බුද්ධ වචනය - ජර්මන් ජාතික ඤාණාතිලොක හිමි 1964.pdf
පරිවර්තන
- කතෘ :
- ඤාණාතිලොක හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1964
- මුද්රිත වර්ෂය :
- 1964
- පිටු ගණන :
- 87
- බාගත කිරීම් ගණන :
- 4,128
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-05-18
- ගොනුවේ ප්රමාණය :
- 29 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ වචනය හෙවත් චතුරාර්ය සත්යය යනු අතිපූජ්ය ජර්මන් ජාතික ඤාණාතිලොක මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්රිපිටක පාඨ ඇසුරින් සම්පාදනය කරන ලද ප්රකට ‘The Word of the Buddha’ නම් ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙය හිටපු අධ්යාපන අධ්යක්ෂවරයෙකු මෙන්ම රාජ්ය තාන්ත්රිකයෙකු වූ එස්. එෆ්. ද සිල්වා මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර 1964 (බු.ව. 2508) වර්ෂයේදී ප්රකාශයට පත් කොට ඇත.
චතුරාර්ය සත්යය පදනම් කරගනිමින් බුදුදහමේ මූලික ඉගැන්වීම් සූත්ර දේශනා ආශ්රයෙන් විස්තර කෙරෙන මෙම කෘතිය, බුදුදහම පිළිබඳ ක්රමානුකූල මූලික අවබෝධයක් ලබාගැනීමට අපේක්ෂා කරන කාහටත් අගනා මාර්ගෝපදේශයකි. දුක්ඛ සත්යය, පංචස්කන්ධ විග්රහය, අනාත්ම ලක්ෂණය, පටිච්චසමුප්පාදය සහ නිර්වාණාවබෝධය දක්වා කරුණු මෙහි පැහැදිලි කර ඇත.
ග්රන්ථයේ ආරම්භයෙහි පූජ්ය පණ්ඩිත හිපන්කන්දේ සෝමාලංකාර හිමියන්ගේ පෙරවදනක් ද, බුද්ධ, ධම්ම, සංඝ සහ තිසරණ-පංචශීලය පිළිබඳ හැඳින්වීමක් ද ඇතුළත් වේ.
පෙරවදන
විද්යාත්මක දියුණුවෙන් ලැබුණු ආලෝකය ඔස්සේ ඇතැමෙකු භෞතික අභිවෘද්ධිය කරා ගමන් කරද්දී එයින් උද්දීපනය වුණු අන්තර්ඥානයක් ඇති බුද්ධිමතුන් සොයා ගියේ සංකීර්ණ වූ සංස්කාර ලෝකයෙන් මුදවන සුලු ආධ්යාත්මික ප්රබෝධයක් ය. බලකාමයෙන් මත් වූ ලෝකාධිපත්යය සියතට ගැනීමෙහි යුහුසුලු වූ ජනනායකයන් විසූ ඇමෙරිකාව, රුසියාව, බ්රිතාන්යය, ජර්මනිය, ප්රංශය වැනි රටවල බුදුදහම ලබා ඇති ව්යාප්තියත් සාර්ථකත්වයත් දෙස බලන විට මෙය පැහැදිලි වෙයි. ලෝක සාමය ගැන බලවත් ජාතීහු සාකච්ඡා කරති; ලියති. එහෙත්, ඒවා ක්රියාවිරහිත ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සාමයක් විශ්වය තුළ ඇති කිරීමට නම් බලකඳවුරුවලට බෙදී ඇති නායකයන්ගේ කථා-වලට වඩා බුද්ධ වචනය පැතිරවීම හා ඒ පිළිබඳ අවධානය යොමු කරවීම වඩාත් ඵලදායී ය. ඒ අතින් බලන විට ජර්මන් ජාතික ඤාණාතිලොක ස්ථවිරයන් වහන්සේගේ බුද්ධවචනය නොහොත් චතුරාර්ය සත්යය යන ග්රන්ථය බුදුදහම දැනගනු කැමති ඕනෑම පුද්ගලයෙකුට ප්රයෝජනවත් ප්රශස්ත නිර්මාණයක් බැව් කිව යුතු යි. බුදුදහම කුමක්දැයි ග්රන්ථ කර්තෘ ද වටහා ගෙන ඇති අතර පාඨකයාට ද ඒත්තු යන පරිද්දෙන් ග්රන්ථය සකසා තිබේ. නුගතා දෙව්ලෝ වැනුම්, පින්පල වැනුම් බුදුදහම ලෙස සලකයි. උගතා ආර්ය සත්ය සතරම නියම බුදුදහම ලෙස සලකයි. සත්ත්වයාත්, ලෝකයාත් පිළිබඳ සත්යය වූ විග්රහයක් එහි ගැබ් වී ඇති නිසා ය. ලොව ඇති සියලු වස්තූන් කෙබඳු විපරිණාමයකට ගොදුරු වූවත් යථෝක්ත සත්ය සතර වෙනස් නොවෙයි. සියලු බුදුවරයන්ගේ දෙසුම ද මෙයයි. එය අවබෝධයට මාවත වූ මධ්යම ප්රතිපදාවත්, එයට බාධා වන වෙනත් වෙනත් ධර්ම ගැන ද පැහැදිලි විස්තරයක් කර තිබීම වැදගත් ය.
“පුද්ගලයාගේ පැවැත්ම පමණක් නොව සකල ලෝකයේ ම පැවැත්ම යථාතත්ත්වයෙන් ගන්නා කල එය වනාහි පංචස්කන්ධය තුළ ම මුළුමනින් ම පවත්නා සදාකාලික විපරිණාම ධර්මයේ ක්රියා පද්ධතියක් පමණකි.” (12 පිටුව)
කර්තෘතුමා අනාත්මධර්මය පහදන්නට කරන මෙම විවරණයෙන් තමා තුළ ඇති ධර්ම ඥානය මනා ලෙස පහදා දෙයි. “මෙසේ රාගයාගේ නැති කිරීම ද්වේෂයාගේ නැති කිරීම අවිද්යාවේ නැති කිරීම නිවන නම් වේ. (25 පිටුව) ඕනෑම කුඩා ළමයෙකුට වුවද තේරුම් ගත හැකි පරිදි නිර්වාණය තෝරා තිබීම ඉතා වැදගත් ය. සතිපට්ඨානය පිළිබඳ කරන ලද සුළු විස්තරයෙන් වුවද එකී භාවනාව ගැන සාමාන්ය අවබෝධයක් ලැබිය හැකි ය. බුදුදහම මුල සිට හදාරන ආධුනිකයෙකුට වුවද පියවරෙන් පියවර ක්රමානුකූලව හැදෑරිය හැකි පරිදි ඇමුණු මුතු දමක් පරිදි කරුණු සකස් කිරීම නිසා වැදගත් කෘතියක් බැව් කිව හැකි යි. මෙවැනි අමූල්ය ධර්ම ග්රන්ථයක් සිංහලයට පෙරළීමෙන් හිටපු අධ්යාපන අධ්යක්ෂ මහජන චීනයේ තානාපති ඇස්. එෆ්. ද සිල්වා මැතිතුමන් විසින් කළේ මහඟු කාරියකි. එසේ ම බුදුදහම වෙනුවෙන් කවදත් ශ්රමයත්, ධනයත් කැපකළ ශ්රීමත් ආනන්ද සෝමගේ විරෝදාර මහතුන් විසින් මෙය මුද්රණය කරවාදීමෙන් කළ ක්රියාව උත්කෘෂ්ට වූවකි. ශුද්ධ පත්ර බැලීමෙන් උපකාර කළ ගරු තුඩාවේ ඤාණෝදය හිමියන් ද කෘතගුණ පූර්වකව සිහිපත් කරමි.
පණ්ඩිත හිපන්කන්දේ සෝමාලංකාර හිමි
හැඳින්වීම
1. බුද්ධ යනු පදගතාරථය අනුව සියල්ල දත් තැනැත්තා යන අර්ථවත් වූ බටහිර ලෝකයේ බුද්ධාගම යන නමින් හැඳින්වෙන, විමුක්ති ධර්මය සොයා ගෙන ලෝකයට ප්රකාශ කළා වූ ගෝතම නම් ඉන්දීය මුනිවරයාණන් වහන්සේට දෙන ලද ගෞරව වාචී නාමයකි.
වර්තමාන නේපාලයේ සීමා භූමියේ පිහිටි රාජ්යයක් වූ ශාක්ය ජනපදය පාලනය කරන රජුගේ පුත්ර රත්නය වශයෙන් ක්රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී කපිල වස්තුවෙහි උන්වහන්සේ උපදුණ සේක. එතුමාගේ පෞද්ගලික නාමය සිද්ධාර්ථ වූ අතර, වංශ නාමය ගෝතම නම් විය. (සංස්කෘත ගෞතම) එතුමාගේ 29වෙනි වියෙහි දි තම රජ යසඉසුරුත් කුමාර ජීවිතයේ ශ්රී විභූතියත් අත්හැර දමා, තමා විසින් දුක් සහිත ලෝකයක් යයි කලින් ම අවබෝධ කරගෙන සිටි දෙයින් මිදීමක් සෙවීම සඳහා අනගාරික තපස්වරයෙක් විය. නොයෙක් ධර්මාචාර්යවරයන් යටතේ ද නිස්ඵල වූ උග්ර තපසින් ද ගවේෂණයෙහි යෙදී අවුරුදු සයක් ගෙවා ඉනික්බිති ගයාවෙහි පිහිටි බෝධි වෘක්ෂයක් යට සම්බුද්ධත්වයට (සම්මා සම්බෝධියට) පැමිණි සේක. ඉන්පසු අවුරුදු පන්සාලිසක් තුළ අවිවේකීව දේශනා කරමින් ද උගන්වමින් අවසාන වශයෙන් අසූවැනි වියෙහි දී “ලෝකයාගේ සුබසිද්ධිය හා ආශීර්වාදය සඳහා පහළ වූ ද මූලාවෙන් තොරවූ ඒ මහා සත්ත්වයා” කුසිනාරාවෙහි පිරිනිවන් පෑ සේක.
බුදුරජාණන් වහන්සේ වනාහි දෙවියෙකු නොවූ බ්රහ්මයෙකු නොවූ දෙවිකෙනෙකුගේ අවතාරයක් ද නොවූ; එහෙත්, මාගේ උත්සාහය හේතු කොට ගෙන කෙළවර මිදීමටත්, පිරිපුන් නුවණටත් පැමිණි දෙවිමිනිසුන්ගේ අද්විතීය ශාස්තෘවරයා වූ අතිශ්රේෂ්ඨ මනුෂ්යයෙකි. ඔහු “ගැලවුම්කාරයාණන්” වන්නේ තමා විසින් ගිය තමා විසින් පෙන්වා දෙන ලද මාර්ගය ඇත්ත වශයෙන් ම කෙළවරට අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ඔවුන් ගේ ම ගැලවීම සොයා ගන්නා ආකාරය පෙන්වා දෙන්නේ ය යන අර්ථය
විසින් පමණි ය. බුදුන්වහන්සේ විසින් සම්ප්රාප්ත කරගන්නා ලද බුද්ධිය හා කරුණාව යන දෙකෙන් යහපත් වූ පරිසමාප්ත මිශ්රණයෙහි උන්වහන්සේ සාධාරණ වූ ද සදාකාලික වූ ද සම්පූර්ණ මනුෂ්යත්වයේ මූර්තිය ඇතුළත් කළ සේක.
2. ධර්මය යනු බුදුන්වහන්සේ විසින් සොයා ගෙන අවබෝධ කරන ලද ප්රකාශ කරන ලද අන්දමට මිදීම පිළිබඳ සම්පූර්ණ ඉගැන්වීමයි. ඒ ධර්මය ත්රිපිටකය නොහොත් (කූඩ තුණ) යන අර්ථවත් (1) භික්ෂු සංඝයා පිළිබඳ විනය නීති ඇතුළත් විනය පිටකය (2) චතුරාර්ය සත්යය දේශනාවට ඇතුළත් නොයෙකුත් දේශනා ධර්මකතා සංවාද ගාථා පාඨ ආදියෙන් යුක්ත, සූත්ර දේශනා අඩංගු සූත්රපිටකය (3) සූත්ර පිටකයේ ධර්ම කරුණු ක්රමවත් ලෙසත් න්යායාකාර ලෙසත් පිළියෙල කරන ලද ගැඹුරු ධර්මය ඇතුළත් අභිධර්ම පිටකය යන ධර්ම පුස්තකවල පැරණි පාලි භාෂාවෙන් ලියා ආරක්ෂා කරන ලද්දේ පැවැත එයි.
ධර්මය යනු අනාවරණ මාර්ගයක් නොව යථාතත්ත්වය පිළිබඳ වූ පැහැදිලි අවබෝධය ගොඩ නගන ලද්දා වූ නිවන පිළිබඳ ඉගැන්වීමයි. ඒ වනාහි විපස්සනාව ලැබීමට හා ක්ලේශයන් මැඩීමට කරන ලද මිනිසාගේ ආරද්ධ වීර්යය නිසා ලබා ගත හැකි මිදීම හා ජීවිතය පිළිබඳ මූලික කරුණු ගැන වූ චතුරාර්ය සත්යය ඉගැන්වීම යි. ඉතා උදාර වූ එහෙත්, යථාර්ථවත් ආචාර විද්යා ක්රමයක් ද ජීවිතය පිළිබඳ තියුණු විග්රහයක් ද, ගැඹුරු දර්ශනයක් ද, සිත සංවර කර ගැනීමේ ක්රියාත්මක ක්රම ද, කොටින් කිවහොත් නිවන් මග සඳහා පෘථුල වූ ද, සම්පූර්ණ වූ ද, මග පෙන්වීමක් ධර්මයෙන් ලබා දෙන්නේ ය. සිතුවිලි හා පැවැත්ම පිළිබඳ නිශ්චල වූත් හානිකර වූත් අන්තද්වය ඉක්මවා යන විමුක්ති සහිත මධ්යම ප්රතිපදාව පෙන්වා දීමෙන් ද හද තුළ හා සිත තුළ ඇතිවන අයිතිවාසිකම්වලට ධර්මය වනාහි එහි පණිවුඩය අගය කිරීමට හැකිවන තරම් වූ මුහුකුරා ගිය හෘදයන් හා සිත් ඇති තැන්වල නිරන්තරයෙන් ම සදාකාලිකව සෑම දෙනාගේ ආදරය හා ගෞරවය දිනා ගන්නා දෙයක් වේ.
3. සංඝ යනු බුදුන්වහන්සේ විසින් ආරම්භ කරන ලද පදගතාරථය අනුව සමාජය නොහොත් සමූහය යන අර්ථවත් බුරුමය, සියම, ලංකාව, කාම්බෝජය සහ බෙංගාලයට අයත් චිතගොන් යන ප්රදේශයන්හි දැනුදු
මුල් ස්වරූපය නොබිඳි පවතින භික්ෂු ශාසනය යි. මේ භික්ෂු ශාසනය හා ජෛන භික්ෂු ශාසනය ලෝකයේ පැරණිතම ආරණ්ය භික්ෂු ශාසනයන් වේ. බුදුන් වහන්සේ දවස ප්රසිද්ධියටපත්ව සිටි ශ්රාවකයන් වහන්සේලා අතර, ගැඹුරු ධර්ම ඥානය පිළිබඳ ව බුදුන් වහන්සේට පමණක් දෙවැනි වූ ශාරිපුත්ත මහරහතන් වහන්සේ ද, සෘද්ධිප්රාතිහාර්යයෙහි අග්රතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ ද, බුදුන් වහන්සේගේ ප්රධාන උපස්ථායක සහ උන්වහන්සේ ළඟින් ම නිතර ම ආශ්රය කළ තැනැත්තා වූ ආනන්ද තෙරුන්වහන්සේ ද බුද්ධ පරිනිර්වාණයත් සමඟම වූ රජගහනුවර පැවති ධර්ම සංගායනාවේ මුලසුන දැරූ මහා කාශ්යප මහරහතන් වහන්සේ ද නිවැරදි සිහිය සහ දිවැස් ඇත්තාවුන් අතර අග්රයයි සලකනු ලැබූ අනුරුද්ධ මහරහතන් වහන්සේ ද බුදුන්වහන්සේගේ ම පුත්ර රාහුල තෙරුන් වහන්සේ ද වූහ.
සංඝයා වූ කලී ලෞකික වූ ඇලීම්වලින් බාධා නොවූ උත්කෘෂ්ට වූ නිවන සාදා ගැනීම සඳහා තම ජීවිතය මුළුමනින් ම නිරත කිරීමට දැඩි ලෙස කැමති සැමදෙනට අවශ්ය බාහිර මූලිකාංග හා සුදුසු වාතාවරණය සපයා දෙති. එබැවින් ආගමික වර්ධනය මුහුකුරා ගිය තැන්වල දී සංඝයා සර්ව සාධාරණ වූ ද සදාකාලික වූ ද විශිෂ්ටත්වයක් උසුලන්නාහ.
ත්රිවිධ සරණය
බුද්ධ ධම්ම හා සංඝ යනු ත්රිවිධ රත්න යයි කියනු ලබන්නේ එහි ඇති අසාධාරණ වූ පාරිශුද්ධය නිසා ද බෞද්ධයාට ලෝකයේ ම ඇති ඉතාම අනගි මාණික්යය නිසා ද වේ. මේ ත්රිවිධ රත්නය ද බෞද්ධයාගේ වචනවලින් කියතොත් තිසරණයට ඇතුළත් වේ. එයින් ඔහුගේ ජීවිතය හා සිතුවිලි හැඩගස්වන මාර්ගෝපදේශකත්වය හැටියට ද සලකනු ලබන බව මැනවින් ඔප්පු කරනු ලැබේ. සරණාගමනය දැනුදු බුදුන්වහන්සේ දවස මෙනි.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
මම බුදුන් සරණ යමි මම ධර්මය සරණ යමි මම සංඝයා සරණ යමි
මෙම පාඨය තුන් විටක් * කීමෙන් යමෙක් බෞද්ධයෙකු වශයෙන් ප්රකාශ වේ.
පංච ශීලය
තිසරණයෙන් පසු පන්සිල් ගැනීම සාමාන්ය පිළිවෙළ යි. මෙම සිල්පද සමාදන් වීම යහපත් ජීවිතයක පදනම වශයෙන් ද විමුක්තිය කරා දියුණු වීමට අඩුම ප්රමාණය වශයෙන් ද සැලකේ.
1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි.
3. කාමෙසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි.
4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි.
5. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මත්පැන් පානය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි.