සද්ධම්ම සංගහො - ධම්මකිත්ති මහාසාමි හිමි 1989.pdf
- කතෘ :
- ධම්මකිත්ති මහාසාමි හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1989
- මුද්‍රිත වර්ෂය :
- 2014
- පිටු ගණන :
- 248
- බාගත කිරීම් ගණන :
- 362
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 104 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සද්ධම්ම සඞ්ගහො (සද්ධර්ම සංග්‍රහය) යනු සියමේ සුඛෝදය රාජධානියෙහි ධර්මකීර්ති මහාසාමි සංඝරාජයන් වහන්සේ විසින් රචිත පාලි ඓතිහාසික කෘතියකි. මෙහි පළමු ධර්ම සංගායනාවේ සිට ශ්‍රී ලංකාවේ හා බුදු සසුනේ වැදගත් සිදුවීම්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, අටුවා හා ටීකා සම්පාදනය ඇතුළු ථෙරවාද බෞද්ධ ඉතිහාසය විස්තර කෙරේ.
මෙම සංස්කරණය තොටගමු රජමහා විහාරාධිපති පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර ස්ථවිරයන් විසින් පාලි පෙළ සහ සිංහල අනුවාදය සහිතව හැඳින්වීමක් ද එක් කර සම්පාදනය කරන ලද්දකි.
මෙහි ප්‍රධාන පරිච්ඡේද 11ක් අන්තර්ගත වේ:
- පඨම, දුතිය, තතිය සහ චතුත්ථ සංගීති වණ්ණනා
- පොත්ථකෙසු පිටකත්තය ලිඛිත වණ්ණනා
- තෙපිටකට්ඨකථා පරිවත්තන හා පිටකත්තය ටීකා වණ්ණනා
- පිටකත්තය ලෙඛනානිසංස හා සද්ධම්ම සවණානිසංස වණ්ණනා
පිළිගැන්වීම
මා ගේ ගිහි පැවිදි ගුරුවරුන්ට සාදර භක්තියෙනි.
හැඳින්වීම
සංඥෙය
කාලයත් සමග ඉදිරියට යන මිනිසාට මුහුණ පාන්නට වන ලොකු ම විසඳුම වන්නේ ද කාලය සීමා සහිත වීම යි. ඉන්ද්රිය විෂය මේ ලෝකය විවිධ වීමෙන් ම කාර්ය්ය බහුල සංකීර්ණ වූවකි. එන්ට එන්ට ම එහි පුළුල් බව මිස කාලයේ නම් වෙනසක් නැත. එදත් අදත් දවස එක ම ය. විනාඩියේ අඩු වැඩි වීමක් වේ ද?. මේ නිසා නව පන්තියේ සොයා ගැනීම් වැඩි හරියක් එය හා බැඳේ. වේග බහුල විධි, ස්වයං ක්‍රියාත්මක ක්‍රම, පරිගණක වැනි උපාය ද ඒ අතර වේ. ඉන්ද්රිය විෂය එම තත්වය හමුවෙහි දැනුම උදෙසා ද ක්‍රම-උපක්‍රම එමට ඇති.
සංකේත, සංක්ෂේප, සාරාංශ, සමපිණ්ඩන සහ ප්‍රත්‍යාහාර වැනි ලඝු ප්රයත්න අතරට “සංගහ” ද එක්විය. එය උප පදය කොට ගෙන පාලියෙන් ද සංග්‍රහ-සඟරා යටතේ සංස්කෘත හා සිංහල දෙකින් ද ලියැවුණු සාහිත්‍ය කෘති සම්භාරයක් අද අපට තිබේ. සතර සංග්‍රහ වස්තු ධර්මයෙහි ප්‍රසිද්ධ ය. ඒ දාන-ප්‍රිය වචන-අර්ථචර්ය්යා-සමානාත්මතා කාගෙත් සිත්ගනී. සාදර-සත්කාර වැනි අවස්ථා නිරූපනයෙහි යෙදෙන “සංගහ” ද එසේ ම ය. විසිර පවත්නා දත යුතු දෑ එක් තැන්-එක් රැස් කළ අරුතින් සාහිත්‍යයෙහි සංගහ (සංග්‍රහ-සඟරා) නමින් ද ග්රන්ථ වේ.
සුත්ත සංගහ, අභිධම්මත්ථ සංගහ, සාරසංගහ ආදී පාලි භාෂාවෙන් ද වේදාර්ථ සංග්‍රහ, තර්ක සංග්‍රහ, තත්ව සංග්‍රහ ආදි සංස්කෘත භාෂාවෙන් ද සිදත් සඟරා, ලෝවැඩ සඟරා, සාරාර්ථ සංග්‍රහ ආදි සිංහල භාෂාවෙන් ද කරණ ලද ග්රන්ථ සම්භාරයක් ඒ ඒ සාහිත්‍යයන්හි වේ. එය පර්යේෂණාත්මක නිබන්ධයකට වුව ද තරම් ය. ඒ අතරට එක් වූවකි “සද්ධම්ම සංගහ”.
සද්ධම්ම සංගහය ලඝු පුස්තකයකි. සාර ග්රන්ථයකි. සංග්‍රහ කරණයකි. එහෙත් මෙහි “සංගහ” යෙදුනේ යට දැක්වූ සංක්ෂේපාර්ථයෙන් ම ද යනු විමසා බැලිය යුත්තේ සද්ධර්මය සංග්‍රහ කිරීම එසේ මෙසේ කරුණක් නො වන බැවිනි. එය හුදෙක් සම්බුද්ධයන් වහන්සේට ම සාධාරණ වූවකි. තනි පදයක (අප්පමාද) අකුරු අටෙක-පද තුනෙක (අනිච්ච දුක්ඛ අනත්ත) සද්ධර්මය සංගෘහීත අවස්ථා වේ. ස්කන්ධාදි අප්‍රමාණ ප්‍රභේද ඇති සකල බුද්ධ වචනය වූ සද්ධර්මය, සංග්‍රහ කිරීම අන්කිසිදු කෙනෙකුට විෂය නොවේ. පුහුදුන් කෙනෙකු ගැන කියනුම කවරේ ද?.
සද්ධර්මය ම ත්‍රිපිටකය යි කියමු. එහි සංක්ෂිප්තයක් මෙම සද්ධම්ම සංගහයෙහි වේද?. නැත. තව ද ඒ ත්‍රිපිටක පොත් පිළිවෙළින් වඩා හිඳුවා, ඒ දෙස බලා මේ සද්ධර්මය යි යමෙකු කියතොත් ඒ ඔහුගේ පුහුදුන්බවේ ලකුණෙකි. ඒ පරියාප්ති සද්ධර්මය පමණි. බුදු රදුන් දකින්නට උන් වහන්සේ ගේ රූපකාය බලමින් සිටි වක්කලී තෙරුන් ගේ නිගමනයට දෙවෙනි නැත. එය පරියාප්ති සද්ධර්මය ප්‍රතිපත්ති සද්ධර්මයට ප්‍රත්‍යය වෙයි. එය ම අධිගමයට ප්‍රත්‍යය වෙයි. එ බැවින් මූලික පර්‍ය්‍යාප්තිය සුරක්ෂිත වනු පිණිස කරණු ලබන මෙහෙය ද සංග්‍රහ නම් වේ. මෙවැනි සංග්‍රහ කරුණ ඒ සේවාවයි. එවිට නිර්මල ධර්මයේ සුරක්ෂිතභාවය හා ව්‍යාප්තිය උදෙසා ප්‍රථම මහා සංගීතියෙන් ඇරඹි ක්‍රියාවලිය ඉන් අදහස් කෙරේ. කාලීන වශයෙන් දීර්ඝ වූ ද දේශීය වශයෙන් ව්‍යාප්ත වූ ද ශාසන සංග්‍රහ ය.
කල්ලගාම ජනපදයෙහි මණ්ඩලාරාම විහාරයෙහි දී “සසුනට මුල් වනුයේ පරියත්තිය ද? නැතහොත් පටිපත්තිය ද?’’ යනුවෙන් ධර්මකථික සහ පංශුකූලික හිමිවරුන් අතර උපන් විවාදයේ දී ජය අත් වූයේ “පර්‍ය්‍යාප්තිය මුල් වේ ය”යි කියූ ධර්මකථිකයන් වහන්සේටය. ප්රතිපත්තියත් ප්‍රතිවේධයත් ආරක්ෂා කරන්නට නම් පර්‍ය්‍යාප්තිය රැක ගත යුතු ම ය. මහාපරිනිර්වාණයට පෙරටුව ආනන්ද තෙරුන් ගේ සැක දුරු කරමින් තමන් වහන්සේ ගේ ඇවෑමෙහි ධර්ම-විනය ශාස්තෘ ලෙස සලකා ඉදිරියට කටයුතු කර ගන්නට යි වදාළ කරුණ ද මෙහි දී සිහි කරණු වටී. (පරි. 10 බ.) මහ-පල නිවන් යන නව ලොවුතුරා සදහම් පර්‍ය්‍යාප්තිය මුල් කර ගෙන ඇති බැවින් “සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය” යි කියමු.
පළමු වරට ශාසන ඉතිහාසයෙහි ත්‍රිපිටකය උදෙසා සංග්‍රහ කරණයෙහි අගය දුටුතුමාණෝ තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ය. එයට සාධක වනුයේ ප්‍රථම මහා සංගායනාව යි. එය පළමු වරට ධර්මය උදෙසා කරණ ලද සංග්‍රහය වේ. “... සංගහං ආරොපෙත්වා.... ධම්ම සංගහාසානෙ ... පඨමං සංගහං කත්වා ...” යනාදි යෙදුම් එය පවසයි. ශ්‍රී සද්ධර්මය චිරස්ථායී වනු පිණිස ස්ථවිරවාදී බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේ කලින් කලට කරණ ලද ඒ උතුම් සේවාවන් සංක්ෂෙපයෙන් සංග්‍රහ කර දැක්වීමේ අරුතින් මෙයට “සද්ධම්ම සංගහ” යි කියනු යෙදේ. “... දුතියො පන සංගීතො යෙහි ථෙරෙහි, ... තතියං සංගහං කත්වා; ... චතුත්ථං සංගහං කත්වා ....” යි මෙහි පැනෙන බැවිනි. බැලූ බැල්මට එය හුදෙක් බුද්ධ ධර්මය සංග්‍රහ කිරීමෙකැයි කියනු නො ම යෙදේ. බුද්ධ ශාසන ඉතිහාසයේ සිදුවීම් පෙන්වා දීමකැයි යනු තරමක් ගැලපේ. “සද්ධම්ම සංගහ” යනු ලංකාවේ බුද්ධාගම සම්බන්ධ ඉතිහාසයකැයි යෙමින් තව-දුරටත් කරුණු කියා ඇති සැටි විමසුමට ලක් වන්නකි. පාලි සාහිත්‍ය ගැන පළමු වරට සිංහලෙන් පොතක් කළ පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන් මෙය වංශ කථා ගණයට අයත් කෙරෙමින් සංකීර්ණ පසුබිමක කර ඇති හැඳින්වීම සැලකිය යුත්තෙකි. පරණවිතාන සූරීන් ගේ විමසුම සද්ධම්ම සංගහයේ “ආපසු ගමනකැ”යි කිව යුතු ය. (ඉදිරියට එම වර්ෂානුක්රමණිකා යටතේ දක්වමු.)