පාවචන න්යාය - මඩබාවිට ඤාණාවාස හිමි 1950.pdf
- කතෘ :
- මඩබාවිට ඤාණාවාස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1951
- මුද්රිත වර්ෂය :
- 1951
- පිටු ගණන :
- 98
- බාගත කිරීම් ගණන :
- 373
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්රමාණය :
- 21 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාවචන න්යාය යනු අලව්වේ ශ්රී රාහුල පරිවේණස්ථ උප ප්රධානාචාර්ය පණ්ඩිත මඩබාවිට ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ විසින් ප්රාචීන භාෂෝපකාර සමිතියේ පණ්ඩිතෝපාධිය සඳහා පිළියෙල කරන ලද ග්රන්ථයකි. ත්රිපිටක ධර්මය නිසියාකාරව අවබෝධ කරගැනීමේ පහසුව සලකා නෙත්තිප්පකරණය හා එහි අටුවාව ආශ්රය කරගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
බුද්ධ දේශනාවෙහි නය විනිශ්චය, සූත්ර, අභිධර්ම හා විනය පිටකයන්හි ලක්ෂණ මෙන්ම නෙත්ති ක්රමවේද විස්තර කෙරෙන මෙම කෘතිය බු.ව. 2494 (ක්රි.ව. 1950/1951) දී සම්පාදනය විය. ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ ලේලියක (කානිට්ඨ පුත්රයාගේ ලොකු මෑණියන්) වන කොළඹ ඇල්. ආර්. සේනානායක මැතිනිය විසින් පුස්තකාල ප්රයෝජනය සඳහා මෙහි පිටපත් 1,000 ක් මුද්රණය කරවා පරිත්යාග කර තිබේ.
සංඥාපනය
ප්රාචීන භාෂෝපකාර සමිතිය මගින් පවත්වනු ලබන අවසාන පරීක්ෂණයෙන් එතෙර වන්නන් විසින් පණ්ඩිතෝපාධිය පිණිස පොතක් ලිය යුතු යයි පැනවුණු ව්යවස්ථාව අනුව ත්රිපිටක ධර්මය නිසියාකාර තේරුම් ගැනීමේ පහසුව සලකා නෙත්තිප්පකරණය හා එහි අටුවාව ආශ්රය කොට ගෙන “පාවචන න්යාය” නමින් මේ ග්රන්ථය නිපදවන ලදී. එසේම මේ පොත පණ්ඩිතෝපාධි ප්රදානයට සුදුසු යයි සම්මත කරන ලදී.
එබැවින් මාගේ විශේෂාභිප්රායය එම ප්රාචීන භාෂෝපකාර සමිතියට හිමිවිය යුතු බැව් සාතිශය ප්රීතියෙන් පළමුකොට සඳහන් කෙරෙමි.
ත්රිපිටක දේශනාව පිළිබඳ මේ නෙත්ති න්යායය පළමුකොට ප්රකාශ කරන ලද්දේ තථාගතයන් වහන්සේ සැකෙවින් වදාරණ ලද්දා විස්තර වශයෙන් බෙදාලන්නවුන් අතුරෙන් අග්ර තැන්පත් වූවකු හැටියට ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙන් අග්ර තනතුරු ලත් සිවුපිළිසිඹියාපත් මහාකාත්යායන මහරහතුන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් රචනා කරන ලද ග්රන්ථය “පෙටකොපදෙසය” යි ද නෙත්තිප්පකරණය ඉන්පසු යම්කිසි ත්රිපිටකධාරී බුද්ධිමතෙකු විසින් පෙටකොපදෙසය ආශ්රය කොටගෙන රචනාකරණ ලද්දෙකැයිද සමහරු කියති. “මහා කච්චායනෙන නිද්දිට්ඨා” යනාදී නෙත්තිප්පකරණ පාඨ ඊට සාක්ෂිකොටද දක්වති. එය උන්වහන්සේගේම කෘතියක් විනමි “මයා නිද්දිට්ඨා” යි පැවසීම වඩා උචිත වන බැවින් අමුදු ඒ කියමන පිළිගනිමු.
බුද්ධ වචනය නිසියේ අවබෝධ කරගනු කැමැත්තවුන් සියල්ලන් විසින් නෙත්ති න්යාය සම්බන්ධ පටුතර ඥාණයක් ඇතිකර ගත යුත්තේය. බුද්ධ වචනය පිළිබඳ ගැඹුරු ඥාණය ඇතිකර ගැනීමට උපකාර වූ න්යායය මෙයින් ප්රකාශ වන බැවින් මෙය ධර්ම සංග්රහයක් වන්නේය.
නෙත්තිප්පකරණය ලඟ අතීතයෙහි ත්රිපිටකය හදාරන්නන් කෙරෙන් තරමක් ඈත්ව තිබුණේය. ප්රාචීන භාෂෝපකාර සමිතියේ අවසාන විභාගයට එය නියමකොට තිබීම එය හදාරන්නවුන් බහුලවීමට අනුබලයක් විය.
බුද්ධ ශාසන මහා ධුර සෙනාපති යන උපාධි නාමයකින් විශිෂ්ඨ වූ ඇම්. ධර්මරත්න ලක්මිණී පත්රයේ කර්තෘතුමා විසින් ප්රණීතවූ නෙත්ති ප්රදීපයද පිටකත්රයෙහි සුනිපුණ ඥාණයන් ඇතිව විසූ අස්මදාචාර්ය්ය පානදුරේ වලපොල ශ්රී සද්ධර්මෝදය පරිවෙණාධිපතිව වැඩ විසූ ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය ෂෝඩශගොඩ උපසේන මහා නායක ස්ථවිර ස්වාමීන් වහන්සේ විසින් නෙත්ති න්යායය සුදු වැන්නි උදාහරණ ක්රමයෙන් දක්වා විරචිත වූ “නෙත්ති රසවාහිනී” නම් ග්රන්ථයද උන්වහන්සේ විසින්ම කරණ ලද නෙත්ති සන්නයද මෙය උගනු කැමැත්තවුන්ගේ පහසුව පිණිස මෑත කාලයෙහි විරචිත වූ ග්රන්ථයෝය.
යථෝක්ත අස්මදාචාර්ය්ය ෂෝඩශගොඩ උපසේන මහා නායක ස්වාමින් වහන්සේද උන්වහන්සේගේ අග්ර ශිෂ්යව සිටි සම්පූජ්යවූ බුද්ධදත්ත ස්වාමින් වහන්සේද කෘතගුණ පූර්වකව මෙහි ලා අනුස්මරණය කෙරෙමි.
එසේම යථෝක්ත මහා නායක ස්වාමින් වහන්සේගේ ශිෂ්යයෙකු වූද පානදුරේ ගොරකපොල විද්යාරාජ පිරිවෙන් අග්රාධිපතිවද දැනට මාතම්මන ජයවර්ධනාරාමාධිපතිව වැඩ වසන කලවානේ සිරි ධම්මාලොක පණ්ඩිත ස්ථවිර ස්වාමින් වහන්සේ මේ කෘතිය සඳහා ගුරුපදෙශ දීමෙන්ද මුද්රණයේදී ශෝධ්ය පත්ර බලා දීමෙන්ද කරණ ලද උපකාරය ගෞරවයෙන් සිහිපත් කෙරෙමි.
තවද මෙබඳු ග්රන්ථ රචනාවක් කිරීමේ භාග්යය ලබාදුන් මාගේ ආචාර්ය්යවරයානන් මේ අවස්ථාවේදී සිහිකිරීම මගේ යුතුකමකි. ශාසනාභිවෘද්ධිය අපේක්ෂාකොටගෙන මා පැවිදි කිරීමෙන් ධර්ම විනයෙහි හා ශබ්ද ශාස්ත්රයෙහි මා හික්මවූ අලව්වේ ශ්රී රාහුල පරිවේණාධිපති සඤ්ඤා ලෙඛකාචරිය සද්ධර්මකීර්ති පූජ්ය පණ්ඩිත ශ්රී රතනාලංකාර මහා ස්ථවිරස්වාමින් වහන්සේ අත්යන්ත ගුරු ගෞරවයෙන් සංස්මරණය කෙරෙමි. දැනට මෙම රාහුල පිරිවෙන්හි උපාචාර්ය්ය පණ්ඩිත උපාලි ස්ථවිරයන් වහන්සේද ගල්පොක්කන්දෙනියේ සාසනවංස ස්ථවිරයන් වහන්සේද උපකාරී වූ බැවින් සිහිකෙරෙමි.
මේ පොත රචනාකොට කලක් ගතවුවද මුද්රණයෙන් ප්රකාශයට නොපැමුණුවන ලද්දේ ඒ සඳහා වියදම් කිරීමට ත්යාගශීලි උතුමෙකු ඉදිරිපත් කරගැනීමේ ප්රමාදය නිසාය.
මඩබාවිට අපගේ කෘතහස්ත සහෝදරයා හා ඩී. පී. ඇල්. අතුකෝරල මහත්මයා ඇතුළු හිතවත් කීප පලකගේම ඇයදුම පරිදි ඩී. ඇස්. සේනානායක අග මැතිතුමාගේ කානිට්ඨ පුත්ර ඇෆ්. පී. සේනානායක මැතිතුමා වෙත මෙය මුද්රණය කරවීම සඳහා පවරණ ලදී. එය ප්රීතියෙන් භාරගෙන එතුමාගේ ලොකු මෑණියන් වන ඇල්. ආර්. සේනානායක මැතිනිය වෙත බාර කරණ ලදුව එතුමිය විසින් මෙයින් පිටපත් 1000 මුද්රණය කරවා, පුස්තකාලයන්හි ප්රයෝජනය සඳහා පරිත්යාග කිරීමට ඉදිරිපත් වූ බැව් ප්රීතියෙන් සඳහන් කෙරෙමි. මෙය අන්යයන්ටද ආදර්ශයක් වේවා !
තවද මාගේ දියුණුව සඳහා මුල පටන් ආධාර කාරිවූ අලව්වේ ඇම්. පුංචිබණ්ඩා රාලහාමි ප්රධාන සහෝදර මහතුන් ඇතුළු ශ්රී රාහුල පරිවේණස්ථ දායක සභාව හා විශේෂයෙන් පී. ඇම්. පී. රත්නායක නිතිඥතුමින්ද මෙය මුද්රණයේදී විශේෂ උනන්දුවෙන් ක්රියා කළ කොළඹ දිවසර සහ සමාගමේ මහතුන්ද ස්තුති පූර්වකව සිහිකෙරෙමි.
තවද මේ සත්කාරියෙන් ජනිත පුණ්යය අපවත්වූ මාගේ මව් පිය බන්ධු මිත්රාදීන්ට හා සියළු සත්ව සමූහයාටද සැප පිණිස පවතිවායි සමාසංසනය කෙරෙමි. මෙය සර්ව නිදෝෂවු කෘතියෙකැයි අපි නොකියමු. මෙහි යම්කිසි ඌනාතිරික්තතාදි දෝෂයක් වෙතම් සුධීහු අනුකම්පාවෙන් එය ප්රකාශ කිරීමෙන් ධර්ම සංග්රහය කෙරෙත්වා !
නැවත මුද්රණය කිරීමේදී මෙය වඩා පිරිසිදුලෙස හා විස්තර ලෙසත් සකස්කොට ප්රකාශයට පත් කිරීමට බලාපොරොත්තුවෙමි.
මීට,
මඩබාවිට, ඤාණාවාස ස්ථවිර.
ශ්රී : බු : ව : 2494 බිනර පුරපසළොස්වක් ලත් සඳු දින
අලව්වේ ශ්රී රාහුල පිරිවෙනේදීය.