නිර්වාණ විනිශ්චය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

ලේකම්ගේ සටහන්.....

1926 දී සහ 1927 දී මුල් වරට වෙන වෙනම පලකරන ලද රේරුකානේ නාහිමියන්ගේ “නිර්වාණ විනිශ්චය හා පුනරුප්පත්ති ක්‍රමය” යන ග්‍රන්ථද්වය 1991 දී දෙවන වරට එක් පොතක් වශයෙන් අප මණ්ඩලයෙන් එළි දක්වන ලදී.

ග්‍රන්ථකරණය පිළිබඳ ආධුනික අවධියේදී ලියන ලද මේ පොත්වල භාෂාව පිළිබඳ ආධුනික බවක් මිස, කරුණු විග්‍රහය පිළිබඳ ආධුනික බවක් නැති නිසා නිවන හා පුනරුත්පත්තිය පිළිබඳ ගැඹුරින් හදාරන්නකුට මේ පොත හොඳ අත්වැලකි.

යම් කරුණක් පිළිබඳ පෙලෙහි ඇති විග්‍රහයත්, ඒ අනුව අටුවා ටීකාවන්හි දැක්වෙන ථෙරවාදී පද විග්‍රහයත් එක් තැන් කොට හැකිතාක් සරලව ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුදුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සැලැස්වීම රේරුකානේ නාහිමිපාණන් වහන්සේගේ කෘතීන්හි එන ලක්‍ෂණයයි. පසු කාලයේ පොත් වල ඉතා දියුණුවට පෙණුනු මේ තත්ත්වයට එන්නට නාහිමියන් ගත් වෑයමේ මූල ලක්‍ෂණය ද මේ පොතෙන් තේරුම් ගත හැකිය.

ලෞකික වින්දනය හා ද්‍රව්‍ය හැඳින්වීම සඳහා නිර්මාණය කරගෙන ඇති වචන වලින් ලෝකෝත්තර තත්වයක් විග්‍රහ කරන්නේ කෙසේද යන ගැටළුව ජය ගැනීම රේරුකානේ නාහිමිපාණන්ට පමණක් නොව බුදුන් වහන්සේට ද මතු වූවකි. ඒ නිසා ම බුදුන් වහන්සේ ධර්‍ම දේශනාවට පසුබා ගිය බවත්, මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මය දේශනා කිරීමට නැවත තීරණය කළ බවත් සඳහන් වෙයි. එකල බ්‍රහ්ම සංකල්පය යටපත් කරගෙන මතු වූ බුද්ධ සංකල්පය තුලනය කිරීම පිණිස යෙදී ඇති මේ අදහස් කෙසේ වෙතත්, භාෂාව මෙවලමක් වශයෙන් ගෙන ලෝකෝත්තර වූ නිවන තේරුම් කිරීමත්, තේරුම් ගැනීමත්, කොතරම් අසීරු කාර්යක් වී ද යන්න නිවන සහ රහතන් වහන්සේ තේරුම් කරන්නට දේශිත සූත්‍රවල එන පද හරඹයෙන් වටහා හැකිය.

1927 සිට 1947 දක්වා රේරුකානේ නාහිමියන්ගේ කිසිදු පොතක් පල නොවීම හා මේ කාලය ධර්‍ම පත්‍රිකා පමණක් පළවීම තුළ වසර 20 ක පමණ කාලයක් භාෂාව පිළිබඳ මේ ගැටළුව ජය ගැනීමට නාහිමියන් ගත් වෑයම තේරුම්ගත හැකිය. උන් වහන්සේගේ අනික් පොත් හා සසඳන විට, කරුණු තේරුම් කිරීම අතින් සරල, සුගම නොවූ මේ පොත් දෙක පිළිබඳ අදහසත්, එය පාදක කරගෙන භාෂාව සකස් කරගැනීමත් නිසා මේ පොත් දෙකෙහි වටිනාකම අති විශාලය. 1947 දී පල වූ චතුරාර්‍ය්‍ය සත්‍යය භාෂාව පිළිබඳ වූ අඩුපාඩු ඉවත ලා කියවන්නාගේ අදහස් සීඝ්‍ර වර්ධනයකට ගෙන යා හැකි සේ අදහස් කුළු ගැන්වීමේ ලක්‍ෂණයන්ගෙන් යුක්තව ඉදිරිපත් කිරීමට නාහිමියෝ සමත් වෙති.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මය සැඟවෙන්නට නොදී එය ප්‍රබුද්ධ ජනයාගේ යහපත පිණිස විවර කර දුන් මහා කාශ්‍යප, මහින්ද, බුද්ධඝෝෂාදි මහා සංඝ පරම්පරාවට අයත්ව 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විශාල සේවයක් කර සියක් වසරක් ආයු වළඳා බුද්ධ ධර්මය අනුව ම සංස්කාරයන් කෙරෙහි පිළිපැදීමට ශ්‍රාවකයන්ට අනුබල දී ලෝකය ඉක්ම වූ රේරුකානේ නාහිමියන්ගේ උදාර ගති අවබෝධ කර ගනිමින්, ලොව සත්‍ය වසා ඇති මායා පටලය තේරුම් ගැනීමටත්, ඒ සඳහා උන් වහන්සේගේ සරල සුගම පොත් භාවිතා කිරීමටත්, ඒ පොත් පවත්වන්නට ආධාර අනුබල දෙන්නටත්, අපි ඔබට ආරාධනා කරමු.

මේ මුද්‍රණයේදී ප්‍රයෝජනයට ගත්තේ පෙර මුද්‍රණයේ සෝදුපත් සටහන් ම ය. එහි යෙදුණු මාලනී හා ගයානි වනිගතුංග මෙනෙවියගේ සහාය නැවත සිහිකරන්නේ ගුණ ප්‍රගුණය පිණිසය. හොරණ රූ මායා ග්‍රැෆික්ස්හි සාලිය ජයකොඩි මහතාගේ සංශෝධිත පරිඝණක අකුරු ඇමුණුමත්, සිකුරු ප්‍රකාශකයෝ හි ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්‍ය්‍ය මණ්ඩලයේ මුද්‍රණ සහායත් ස්තුති පෙරටුව සටහන් කරමි.

අප සංරක්‍ෂණ මණ්ඩලයේ කාර්‍ය්‍යයන්හි නිබඳ සහාය දක්වන ගරු සභාපති කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ද මේ කටයුතු කෙරෙහි දක්වන උනන්දුව පැසසුමින් සටහන් කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම්

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය

2007 දෙසැම්බර් 14 වන දින,

පොකුණුවිටදී ය.

සංඥාපනය

ශ්‍රී ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානෛක කල්ප කෝට් ශතසහශ්‍රයෙහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්‍රතිලබ්ධ වූ මාර්ගඥාන ඵලඥාන සර්‍වඥතාඥානයන් කරණ කොට ගෙන අවබෝධ කොට වේනෙය්‍ය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකල බෞද්ධ ජනතාව විසින් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ සුඛපිණ්ඩායමාන වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැන ගැනීම සඳහා සිය බසින් කරන ලද නිර්වාන තත්ත්වදීපක ග්‍රන්ථයක් නැත්තා වූ පාඩුව දුටු අප විසින් නිර්වාණ විනිශ්චය නම් වූ මෙම ග්‍රන්ථය ලියන්නට ආරම්භ කරන ලදී. මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වයද ද්විතීය පරිච්ඡේදයේ නානා විධ නිර්වාණයන්ද තෘතීය පරිච්ඡේදයේ නිවනට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වයද පරිනිර්වෘත පුද්ගල තත්ත්වයද දක්වන්නා වූ දේශනාවන්ද චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්ත්වය දක්වන්නා වූ දේශනාවන්ද පඤ්චම පරිඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ.

අප විසින් මේ ග්‍රන්ථය කරන ලද්දේ අභිධර්ම ප්‍රකරණයන් අතුරෙන් ධර්මසංගණී විභඞ්ග කථාවත්ථු යන ප්‍රකරණ තුනේ එන නිර්වාණය දක්වන දේශනාවන් හා දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, යන නිකාය සතරෙහි නිර්වාණය සම්බන්ධව වදාරා තිබෙන සූත්‍ර සිය ගණනක්ද උදානයෙහි හා ඉතිවුත්තකයෙහි එන දේශනා කීපයක්ද ථෙර ගාථා විමාන වත්ථු නිද්දේස නෙත්ති ආදි ප්‍රකරණයන්හි ඇතැම් දේශනාද ඒ ඒ දේශනාවන්ගේ අර්ථ කථා ටීකාද විශුද්ධි මාර්ගය හා එම ටීකාව ද බුරුම භාෂාවෙන් තිබෙන නිබ්බාන දීපනී නම් වූ ග්‍රන්ථයක් හා තවත් ග්‍රන්ථයන්ද ඇසුරු කිරීමෙනි. නුමුත් මෙහි දක්වා ඇත්තේ සූත්‍ර ස්වල්පයක් පමණකි.

අති සූක්‍ෂම වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය මන්දබුද්ධිකයන්ට අප වැන්නන් විසින් නොව සර්වඥවරයකු විසින් ද අවබෝධ කරවිය නොහේ. අපගේ ව්‍යායාමය මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් හා තීක්‍ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිසය. මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් යුක්ත වූවන්ට තේරුම් ගත හැකි වන පරිදි ග්‍රන්ථය හැකිතාක් උත්සාහයෙන් ලිහිල් කොට සම්පාදනය කෙළෙමු. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්ත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය. මෙහි ප්‍රථම පරිච්ඡේදයෙන් ම කල්‍යාණ පෘථග්ජනයන් විසින් දත හැකි පරිදි නිර්වාණ තත්ත්වය දත හැකි වේ.

නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්‍ය්‍යයන් වහන්සේලා පමණකි. පෘථග්ජනයන් විසින් උන් වහන්සේලාගේ වචනානුසාරයෙන් දතයුතු වේ. උන්වහන්සේලාට එය පෘථග්ජනයන්ට සුවසේ අවබෝධවන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේ ය. කුමක් හෙයින් ද යතහොත්, ලෝක ව්‍යවහාරයෙහි ලෝකයා විසින් නො දන්නා ලද අර්ථයන් ප්‍රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක ව්‍යවහාරයෙහි වූ වචන වනාහි පළමු කොට අර්ථය දැන, දන්නා ලද අර්ථය ප්‍රකාශ කිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. නිර්වාණයෙහි වූ ගුණයන් ප්‍රකාශ කළ හැකි වචන වනාහි ලෝක ව්‍යවහාරයෙහි බොහෝ වෙති. එබැවින් ආර්‍ය්‍යන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්ත කොට ගුණවාචක ශබ්දවලින් ගුණීභූත නිර්වාණය ප්‍රකාශ කළහ. උන් වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචනද බොහෝ වෙති.

අසංඛතං අනතං අනාසවං

සච්චඤ්ච පාරං නිපුනං සුදුද්දසං

අජජ්ජරඤ්ච ධුවං අපලොකිනං

අනිදස්සනං නිප්පපඤ්චං සන්තං

.

අමතං පණීතඤ්ච සිවඤ්ච ඛෙමං

තණ්හක්ඛයො අච්ඡරියඤ්ච අබ්භූතං

අනීතිකං අනීතිකධම්මං

නිබ්බාන මෙතං සුගතෙන දෙසිතං

.

අබ්‍යාපජ්ඣං විරාගො ච

සුද්ධි මුත්ති අනාලයො

දීපං තාණඤ්ච ලෙණඤ්ච

සරණඤ්ච පරායණන්ති

මේ සලායතන වග්ග අසංඛත සංයුක්තකයේ එන ගාථා වලින් නිර්වාණවාචී ශබ්දයෝ දැක්වෙති. මෙයින් “අසංඛත” ශබ්දයෙන් සංස්කරණය නොකරන ලද භව නමැති නිර්වාණ ගුණය නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. “අනත” ශබ්දයෙන් තෘෂ්ණාභාවය නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. මේ වචන වලින් පෘථග්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහි පරම්පරාභතාචාර්ය්‍යෝපදේශානුගමනය කොට පෘථග්ජනයන් විසින් දත යුතු වේ. නිර්‍වාණය ප්‍රකාශ කරන්නා වූ පාල්‍යාර්ථකථා ටීකාවන්හි අර්ථය විපරීතාකාරයෙන් ගෙන නානා වාද ඇති කර ගැනීමට හේතුව ද මේ වචනාර්ථ දුරවබෝධත්ත්වයමය. පරම්පරාභතාචාර්ය්‍යෝපදේශ නොමැතිව තමාම පොත් බලා උගෙනීම කළා වූද එබඳු ආචාර්ය්‍යෝපදේශ ඇසුරු කළා වූද ඇතැම්හු අප රටේ නානාකාරයෙන් නිර්වාණය ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ.

යමකු විසින් සත්‍ය පහදා දුන් කල ද ඔවුහු තමා පෙර කී ක්‍රම වලට විරුද්ධ වූ සියල්ල ඕවා බුරුම බණය, සිංහල බණ නොවේය, සිංහල බණ පොත් වල ඕවා නැතය යනාදිය කියා අඥයන් රවටා තමාගේ පණ්ඩිතකම රැක ගන්නට උත්සාහ කරති. යමක් තීරණය කරගත හැකි ඥානයෙන් හීන වූ පක්‍ෂභජනය කරන සුළු වූ ඇතැම්හු සිංහල බණයයි කීවාම කෙතරම් අසත්‍යක් වුවත් සත්‍යයයි ද ධර්මයයි ද පිළිගනිති. බණවල බුරුම, සිංහල, සියම්, ජපන් ආදි භේදයක් නැතත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්ම විනය දත් පඬිවරුන් ඇත්තේ බුරුමයේ ය. ඊට හේතුව නම් එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නොවී ශාසන පරම්පරාව අවිච්ඡින්නව පැවැත්ම ය. අප රටේ පෙර පටන් පැවත ආවා වූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පත්ද නෂ්ටප්‍රාප්ත වූහ. බුරුමයේ අද දක්වාම අර්ථකථා සහිත පිටකත්‍රයට සන්න ගැටපද විවරණාදිය හා තවත් සියගණන් ඒ භාෂාවෙන් කරන ලද බණපොත් ද ඇත. එරට වැඩ විසූ නානාශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටක ධර්මයයෙහි විශාරද පඬිවරයකු වූ සැටකටත් අධික ග්‍රන්ථ සමූහයක කතුවරයෙක් වූ ලේඩිශයාඩෝ නමින් ප්‍රසිද්ධ වූ මහාස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද නිබ්බාන දීපනි නම් වූ ග්‍රන්ථය අප කෘතියට ද මහෝපකාරී විය. එරට ඉන් අන්‍ය වූද නිර්වාණය ගැන කරන ලද පිටු (400) සාරසියය (500) පන්සියය පමණ ඇති ග්‍රන්ථ කීපයක් ද වේ. එයින් ගම්භීරාගම්භිර මහා නිබ්බුත දීපනී නම් වූ ග්‍රන්ථයෙන් කොටසක් ඇම්. ධර්මරත්න පඩිතුමා ජීවත්ව සිටින කාලයේදී සිංහල භාෂාවට පරිවර්තනය කොට ලක්මිණිපහන් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර වූයේ ය. ඒ වනාහි එරට වැසි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලද ග්‍රන්ථයක් නොවේ. එහි කර්තෘ වූ ශීලාදි ගුණයන් කරණ කොටගෙන අති ප්‍රසිද්ධ වූ ගෞරවාර්හ ජාගරාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වූ බොහෝ ග්‍රන්ථයන්ගේ කතුවරයෙක් වූ විසුද්ධාචාර නායක ස්වාමිපාදයාණන් වහන්සේ විසින් කරන ලද ඡද්දපිධානනි නම් වූ විශුද්ධිමාර්ගය වැනි ග්‍රන්ථයක් වේ. එහි නිර්වාණය දැක්වියයුතු තැන ස්වකීය ආචාර්යාණන්ගේ නිර්වාණ විනිශ්චය තිබිය දී ලේඩිශයාඩෝ නම් වූ මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වා තිබේ. එයින් යථෝක්ත ග්‍රන්ථය උන් වහන්සේගේ ශිෂ්‍යයන් විසිනුත් පිළි නොගන්නා ලද බව ස්ඵුට වේ. එය ඇම්. ධර්මරත්න පඬිතුමා විසින් මෙරට පළකරනු ලැබීම නිසාද එතුමාගේ ඊට අනුව ලියන ලද ලිපි නිසා ද ඒ මත පිළිගත් අය අප රටේ ද ඇති විය හැකි හෙයින් හා තවත් අයට එබඳු මත ඇති නොවීම පිණිසත් ඒ වාදයන් සම්බන්ධව හා තවත් නොයෙක් වාදයන් ගැනද සංක්ෂේප විනිශ්චයවල් මෙහි පඤ්චම පරිච්ඡේදයේ දක්වා ඇත.

රේරුකානේ චන්දවිමල යති.

වැල්ලබඩ පන්සල,

පානදුර.

ක්‍රි.ව. 1926

ප්‍රථම පරිච්ඡේදය

නිර්වාණ විනිශ්චය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සිද්ධ සුද්ධා මිතගුණො නිබ්බානං නිබ්බනං ජනෙ,

බොධෙසි යො මහා වීරො නමෙ තං සිරසා තිධා.

.

සිද්ධියා සුද්ධියා සන්තා යං සෙවිංසු රමහෙසයො,

විසුද්ධං උත්තමං ධම්මං නමෙ තං සිරසා තිධා.

.

සිද්ධා විසුද්ධතා යස්ස සුද්ධිමාගම්ම සබ්බසො

සිද්ධ සිද්ධස්ස සංඝස්ස නමෙ තං සිරසා තිධා.

අශේෂ ඥෙයධර්ම විෂයෙහි ජීර්ණ පත්‍රයෙක්හි දිවස සංතප්ප නාරාචයක් සේ විනිවිද යන්නා වූ අනන්ත ඥාන බලයෙන් සමන්වාගත වූ විමුක්තිනායක වූ ලෝකෛක ශිවංකර වූ අප භාග්‍යවත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ බෝධිද්‍රැම මූලයෙහිදී ප්‍රතිවේධ කොට ගෙන උග්ඝටිතඥාදි අපරිමිත වෛනේය ජනයන්ට අවබෝධ කරවා වදාරන ලද්දා වූ සංසාර දුඃඛ සාගරයෙහි නිමග්න සත්ත්වයන්ට අසහාය ප්‍රතිෂ්ඨාව වූ පරමාර්ථ සත්‍ය වශයෙන් සියලු කල්හි ම විද්‍යමාන වූ බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා පැමිණ පරම ප්‍රීතීන් පිනා උදන් ඇනුවා වූ සකල

ක්ලේශ භාරයන්ගේ විමුක්තියෙන් ශාන්ත සුඛ ස්වරූප වූ ධර්ම රත්නයක් ඇත්තේ ය. ඊට නිර්වාණයැ යි කියනු ලැබේ.

ඒ නිර්වාණ ධර්මය වනාහි පෘථිවි වෘක්‍ෂ පර්වතාදිය මෙන් සටහනක් ඇත්තා වූ හෝ හට ගත්තා වූ ධර්මයක් නොවේ. නිත්‍යවැ පවත්නා හෙයින් කිසි කලෙක අභාවයට පැමිණෙන ධර්මයක් ද නොවේ. ලෝකය ඉක්ම පැවති හෙයින් ලෝකෝත්තර වූවකි. මෙලොවෙහි හෝ පරලෙව්හි නොවන හෙයින් යම් කිසි දිශාවක දේශයක නො පිහිටියා වූ ධර්මයකි. සකල සත්වයන්ගේ ම නිලීයන ස්ථානය වුව ද තමා කෙරෙහි එක ද සත්ත්වයකු නැත්තා වූ ධර්මයකි. බොහෝ සත්ත්වයන් පැමිණෙන නමුත් ඔවුන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නො පැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තා වූ ධර්මයකි. පුරාණාභිනවතා හීනප්‍රණීතතාදි භේදයක් ද නැත්තා වූ ධර්මයකි. තමා කෙරෙහි කිසි විඳිය යුතු සුවයක් නොමැතිව පරම සුඛයවැ පවත්නා ධර්මයකි. එක ද සත්ත්වයකු තමා කෙරෙහි නොමැතිව සකල සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වූ ධර්මයකි. පරම ගම්භිර දුර්දශ ධර්මයකි. අනන්තාපරිමාණ සුඛ සුභ ගුණයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් විද්‍යමාන ධර්මයකි.

මෙසේ ලෞකික මහා ජනයා විසින් විඥාත වූ රූප ශබ්දාදි ලෞකික ධර්මයන්ට අතිශයින් විසදෘශවැ පරම සූක්‍ෂම භාවයෙන් පවත්නා වූ නිර්වාණ ධර්මය ස්කන්ධ ධාත්වායතනාදි ධර්මයන් සම්බන්ධ දැනීම නොමැත්තා වූ අන්ධ පෘථග්ජනයන් විසින් ද දත හැකි නොවේ. ස්කන්ධ ආදි ධර්ම විභාග දන්නා වූ කල්‍යාණ පෘථග්ජනයන්ට අනුමාන වශයෙන් දත හැකි වේ. ආර්‍ය්‍ය පුද්ගලයන්ට ම මාර්‍ගඥාන ඵලඥානයන්ගෙන් ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි වේ. ලෝකයෙහි අන්ධ පෘථග්ජනයෝ ජාත්‍යන්ධයන් වැනි වෙති. කල්‍යාණ පෘථග්ජනයෝ මඳක් පෙනී ම ඇති පටල සහිත ඇස් ඇතියන් වැනි වෙති. ආර්යයෝ පිරිසිදු ඇස් ඇතියන් වැනි වෙති. ඒකාන්තයෙන් විද්‍යමාන වූ නීලපීතාදි වර්ණයෝ ජාත්‍යන්ධයන්ට සර්‍වප්‍රකාරයෙන් දර්ශනය නොවෙති. පටල සහිත ඇස් ඇතියන්ට ස්වල්ප වශයෙන් දර්ශනය වෙති. පිරිසිදු ඇස් ඇතියන්ට සර්වප්‍රකාරයෙන් දර්ශනය වෙති. ඉදින් ජාත්‍යන්ධයන් විසින් ඒකාන්තයෙන් විද්‍යමාන නමුත් තමාට අවිෂය වූ නීලපීතාදි වර්ණයන් ලොව නැතියයි කියා නම් එය සම්පූර්ණයෙන් ම අසත්‍යක් ම වේ. හුදෙක් එය ඇස් ඇත්තන්ගේ හාස්‍ය පිණිස ම වේ. එමෙන් ම ආර්‍ය්‍යයන්ට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ද කල්‍යාණ පෘථග්ජනයන්ට අනුමාන වශයෙන් ද දර්ශනය වන්නා වූ ඒකාන්තයෙන් විද්‍යමාන වූ නිර්වාණ ධර්මය තමාට නො පෙනෙන හෙයින් අන්ධ පෘථග්ජනයන් විසින් නැතැයි කියනු ලැබේ නම් එය සම්පූර්ණයෙන් ම අසත්‍යයක් ම වේ. එය නිවන් පසක් කරන ලද ආර්‍ය්‍යයන්ගේ හාස්‍යය පිණිස ම වේ. එහෙයින් තම තමාගේ දෝෂයෙන් ම තම තමාට නො පෙනෙන නමුත් නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් ඇති බව දත යුතු. එය අන්ධ පෘථග්ජන භාවය ඉක්මවා කල්‍යාණ පෘථග්ජන භාවයට පැමිණ අනුමානඥානයෙන් දත හැකි වේ. පළමුකොට අනුපමෙය්‍ය වශයෙන් දත් තැනැත්තාට ම මාර්ගඥාන ඵලඥානයන් කරණකොට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකිය හැකි වේ. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද කල්හි ම දුකින් මිදිය හැකි වේ. එහෙයින් තම තමා විසින් ලබා ගැනීමට බලාපොරොත්තු වන පරම රමනීය වූ නිර්වාණපුරය ගැන දැනීම ඇතිකර ගැනීමට පෘථග්ජන වූ සියල්ලන් විසින් ම ප්‍රෝත්සාහි විය යුතු ය.

මෙහි නිර්වාණයැයි කියන ලද්දේ ක්ලේශස්කන්ධයන්ගේ නිරවශේෂ නිරෝධයයි. එනම් :– මතු ඉපදීමට කිසිවක් ශේෂ නොවී නූපදනාකාරයෙන් සිදුවන නිරෝධයයි, නිවීමයි, නොපැවැත්මයි. “නිරෝධය නිවීම නොපැවැත්ම” යන වචනයන්ගෙන් අදහස් කරන නිරෝධ තුනකි.

එනම්:

(1) උපන් සංස්කාර ධර්මයන්ගේ ක්‍ෂණයක් පාසා සිදුවන භඞ්ගය.

(2) ගිනි නිවීම. මැවීම යනාදීන්හි අදහස් කරන නාමරූප පරම්පරාවන්ගේ සිඳීම.

(3) මතු කිසිකලෙක නූපදනාකාරයෙන් සිදුවන අනුත්පාද නිරෝධය යන මොව්හුයි.

මෙයින් පූර්ව නිරෝධත්වය වනාහි උපන් සංස්කාර ධර්මයන්ගේ බිඳී අතුරුදහන් වීමයයි කියන ලද සිස් බවෙකි. ඔවුහු අනිත්‍ය සම්බන්ධ කථාවෙහි අභිප්‍රේත නිරෝධයෝ යි. නිර්වාණ කථාවෙහි වනාහි කිසිකලෙක නූපදනා නියායෙන් සිදුවන නාම රූප ධර්‍මයන්ගේ අනුත්පාද නිරෝධය ම අභිප්‍රේත වේ. මේ වනාහි පූර්වෝක්ත අභාවද්වය හා අතිශයින් විසදෘශ වූ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වූ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙන් මුක්ත වූ සූක්‍ෂම ධර්මයකි. යථෝක්ත ස්වභාවික නිරෝධයාගේ හා අනුත්පාද නිරෝධයේ වෙනස කියනු ලබන උපමාවෙන් දත යුතු.

රාත්‍රී කාලයේ තමා කිසි කලෙක නො ගිය විරූ පෙදෙසකට ගියා වූ එක්තරා පුරුෂයෙක් තෙම පෙර මඟ සිටවා තිබූ කණුවක් දැක අමනුෂ්‍යයෙකැයි මහත් භයට පත්විය. මඳ වේලාවක් බියෙන් කණුව දෙස බලා සිටින කල නොසෙල්වී තිබෙන හෙයින් අමනුෂ්‍ය සංඥාව දුරුවී බය නිවී ගියේ ය එකල්හි පුරුෂ තෙම නැවතත් ඉදිරියට ගමන් කළේ ය. ස්වල්පයක් ඉදිරියට ගමන් කළ ඉක්බිති නැවතද අමනුෂ්‍ය සංඥාව පහළ වී භය උපන්නේ ය. ඉක්බිති පසුබැස බලා සිටින කල්හි නැවතත් පෙර සේ ම භය නිවී ගියේ ය. මෙසේ ඉදිරියට ගමන් කරන කල භය වෙමින් ද පසුබැස සිටින කල භය සන්සිඳෙමින් ද කණුව ඉක්මවා යා නොහැකිව යථෝක්ත පුරුෂයා කණුවෙන් ඈත්ව සිටින කල එක් පුරුෂයෙක් තෙම මහත් වූ ආලෝකය ඇති ගිනිහුලක් ගෙන කණුව සමීපයෙන් ගියේ ය. එකල්හි යාගත නොහැකිව සිටි පුරුෂ තෙම ආලෝකය කරණ කොට ගෙන කණුව දැක භය නිවී නිර්භයව කණුව ඉක්මවා ගියේ ය.

මේ උපමාවෙහි කියන ලද පුරුෂයාට භය නිරෝධ (නිවීම්) දෙකක් විය. එනම් ආලෝකයෙන් කණුව දැකීමට ප්‍රථම නැවත නැවත හටගත් භයේ නිවීම එකකි. ආලෝකයෙන් කණුව දැකීමෙන් වූ භය නිවීම එකකි. එයින් පළමු සිදුවූ භය නිවීම උපන් භයේ අභාව මාත්‍රයමැයි. ඒ කිසිවක්හුගේ අභාවය වූ සිස් බව මතු භය නො ඉපදීමට හේතු නො වන බැවින් ඒ අවස්ථාවට භය නොමැති මුත් කණුව කරා යන විට වහාම භය උපදින්නේ ය. ආලෝකයෙන් කණුව දැකීමේදී වූ භය නිරෝධය නම්:- කණුව කණුවක්මයයි නිශ්චයට නො පැමිණියේ නම් කණුව කරා යන කල වන්නට තිබුණු භය නො ඉපදී යාමයි. ඒ වනාහි යට කී උපන් භයේ නිරෝධය මෙන් භයාභාව මාත්‍රයක් නොව මතු කණුව කරා යන කල ද භය නූපදිනාකාරයෙන් පවත්නා වූ ඒකාන්තයෙන් ඇත්තා වූ ශාන්ති ස්වභාවයකි. ඒ නිරෝධයාගේ ශක්තියෙන් යථෝක්ත පුරුෂයාට කණුව කරා යාමේදී පෙර උපදිමින් තිබුණු භය උත්සාහ කොට ද උපදවා ගත නො හැක්කේ ම ය. කුමක් හෙයින් ද යතහොත්? ඒකාන්තයෙන් කණුව අමනුෂ්‍යයෙක් නොවන බව දැනගත් හෙයිනි. ඒ දැනීමෙන් පසු අන්‍යයකු විසින් ද ඒ භය ඔහුට උපදවා දිය නොහැක්කේ ම ය.

මේ උපමාවෙහි දක්වන ලද උපන් බියෙහි නිරෝධය මෙන් උපන් සංස්කාර ධර්මයන්ගේ භඞ්ගය හා සන්තතිවිච්ඡේදය දත යුතු. අනුත්පාද නිරෝධය, ආලෝකයෙන් කණුව දැකීමෙන් සිදු වූ භය නිරෝධය මෙන් දතයුතු. ආලෝකය කරණ කොට ගෙන ප්‍රත්‍යක්‍ෂ වශයෙන් කණුව දැකීමෙන් අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වූ භය මතු හට නොගන්නාක් මෙන් විදර්ශනාඥානාලෝකයෙන් සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණත්‍රය දැකීමෙන් අනුත්පාද නිරෝධයන් නිරුද්ධ වී යන ක්ලේශ ස්කන්ධයෝ මතු කිසිකලෙක හට නො ගන්නාහු ය. ක්ලේශ ප්‍රහාණය කරන ලද රහතුන් වහන්සේලාට ක්ලේශයෝ නම් කෙබන්දෝ දෝහෝයි බැලීමට වත් ස්වසන්තානයෙහි ක්ලේශයන් උපදවා ගත නො හැක්කේ ය. මෙසේ ස්වභාවික නිරෝධයාගේ හා අනුත්පාද නිරෝධයාගේ වෙනස දත යුතු.

එක් එක් පුද්ගලයකුගේ ක්ලේශස්කන්ධයෝ සතර වාරයකදී අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වෙති. එහි පිළිවෙල මෙසේ දත යුතු. ශ්‍රෝතආපත්ති මාර්‍ගක්ෂණයෙහිදී මාර්‍ගයාගේ ශක්තියෙන් දෙසැට වැදෑරුම් වූ මිථ්‍යාදෘෂ්ටිය තෙවදෑරුම් නියත මිථ්‍යාදෘෂ්ටිය අෂ්ට ප්‍රභේද වශයෙන් හා ෂෝඩෂ ප්‍රභේද වශයෙන් දක්වන ලද විචිකිත්සාවය යන මේ ධර්මයෝ නිරුද්ධ වෙති. සකෘදාගාමි මාර්ගක්‍ෂණයෙහි ඖදාරික කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙති. අනාගාමී මාර්ගක්‍ෂණයෙහි තුනී වූ කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙති. අර්හත් මාර්ගක්‍ෂණයෙහි රූපරාග අරූපරාග මානාවිද්‍යාදි ශේෂ සකලක්ලේශයෝ නිරුද්ධ වෙති. මේ ක්ලේශ නිරෝධය සිදුවන පිළිවෙළ යි.

ස්කන්ධයන් අතුරෙන් වනාහි ශ්‍රෝතආපත්ති මාර්‍ගක්ෂණයෙහි අපායෙහි උපදනා සකල ස්කන්ධයෝ ද භව සතකින් මතුයෙහි ඉපදිය හැකි වූ කාම සුගතිය සම්බන්ධ වූ සකල ස්කන්ධයෝ ද නිරුද්ධ වෙති. සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි දී කාමභවයෙහි එක්වරක් ඉපදීමට ඉඩ තබා එහි නැවතත් ඉපදිය හැකි වූ සෙසු ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අනාගාමි මාර්ගක්ෂණයෙහි මතු කාම භවයෙහි ඉපදිය හැකි වූ ඉතිරි ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අර්හත් මාර්‍ගක්‍ෂණයෙහි වර්තමාන ස්කන්ධ කය හැර සංසාරයෙහි මතු ඉපදිය හැකි වූ සකල ස්කන්ධයෝ ම නිරුද්ධ වෙති. මේ ස්කන්ධ නිරෝධය සිදු වන පිළිවෙළ යි.

මෙසේ අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ බොහෝ වූ නමුත් ක්ලේශස්කන්ධ ගණනාවෙන් නිරෝධ බොහෝ ගණනක් ද නොවෙත්. සතර වාරයකදී නිරුද්ධ වන නමුත් ප්‍රමාණ වශයෙන් නිරෝධ සතරක් ද නොවෙත්. පුද්ගල ප්‍රමාණයෙන් බොහෝ ගණනක් ද නොවෙත්. ඒ බව කියනු ලබන උපමාවෙන් දත යුතු. එක් අයකුගේ ශරීරයෙහි පිළිකා එක් දහස් පන්සියයක් එකවිට හටගත්හ. පළමුවෙනි වර භෛෂජ්‍යාලේපය කළ කල්හි එයින් සතරෙන් කොටසක් සුව වූහ. මෙසේ දෙවෙනි වරද තුන්වෙනි වරද බෙහෙත් ගැල්වූ කල්හි කොටස බැගින් සුව වූහ. සතරවෙනි වර ගැල්වූ කල්හි සියල්ලම සුව වී කැලැල් පවා නැතිවී ගොස් ප්‍රකෘති ශරීරය ම විය.

මේ උපමාවෙහි කියන ලද පිළිකාවෝ වනාහි මේ එකක්ය මේ අනිකක්ය යනාදි වශයෙන් වෙන්කිරීමට කරුණු වූ අක් මුල් ආදිය ඇත්තෝ ය. ඔව්හු දැවූ සටහනක් ඇත්තා වූ ධර්‍මයෝ ය. එහෙයින් පිළිකා එක්දහස් පන්සියයක් බව කිවහැකි වේ. පිළිකා සුවය නැමැති ආරෝග්‍ය වනාහි දැවූ සටහන් සහිත වූවක් නොවේ. පිළිකාත් පිළිකා සුවයත් අතර කතා කිරීමේදී සම්බන්ධතාවයක් ඇතුවාක් මෙන් පෙනෙන නමුත් ඔවුහු ලක්‍ෂණ වශයෙන් අහස පොලොව සේ දුර වූවාහු වෙති. ආලෝකයත් අන්ධකාරයත් මෙන් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූවාහු වෙති. පිළිකාවන්ට මෙන් පිළිකා සුවය නමැති ආරෝග්‍යයට මුලක් නැත්තේ ය. පිළිකාවන්ට මෙන් පිළිකා සුවයට මුදුනක් නොමැත්තේ ය. පිළිකාවන්ට ප්‍රමාණයක් ඇතත් පිළිකා සුවයට ප්‍රමාණයක් නැත්තේ ය. පිළිකාවන්ට වර්ණයක් ඇතත් පිළිකා සුවයට වර්ණයක් ඇත්තේ නොවේ. එහෙයින් දැවූ සටහන් සහිත වූ පිළිකා මෙන් දැවූ සටහන් නැත්තා වූ පිළිකා සුවය මේ එක සුවයක මේ අනික් සුවයකැයි වෙන් කළහැකි නොවේ. පිළිකා සුවයේ අක් මුල් ආදියක් කිසිවකුට දැක්විය නොහේ. එහෙයින් එක්දහස් පන්සියයක් වූ පිළිකාවන්ගේ ම සුවය ආරෝග්‍ය -නමැති එක ම ධර්මයක් බව දත යුතු.

තවද පිළිකා සනිමිත්ත (සටහන් ඇති) ධර්ම වූ හෙයින් මේ පළමු වෙනි වර සුව වූ පිළිකාවෝ ය. මේ දෙවෙනි වර සුව වූ පිළිකාවෝය යන ආදි වශයෙන් වාර ප්‍රමාණයෙන් ද බෙදිය හැකි වෙත්. අනිමිත්ත ධර්ම වූ (සටහනක් නැත්තා වූ) ආරෝග්‍ය වනාහි මේ පළමුවෙනි පිළිකා සුවය මේ දෙවෙනි පිළිකා සුවය යන ආදි වශයෙන් වාර ප්‍රමාණයෙන් බෙදිය හැකි නොවේ. සියල්ල සුව වූ පසු සුවයේ කොණක් සෙවිය නොහේ. එහෙයින් සතර වාරයෙහිදී ම වූ සුවය එකම ආරෝග්‍ය බව දත යුතු. මේ එකවර හටගත් එක්දහස් පන්සියයක් වූ පිළිකාවන්ගේ සුවය පමණක් නොව ඔහුගේ ශරීරයෙහි ඒ ආත්ම භාවයෙහි හට ගෙන සුව වූ අන්‍ය රෝගයන්ගේ යම් සුවයක් ඇත්නම් එයද අනාගතයෙහි හට ගෙන සුව වන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන පිළිකා සුවය ද යන සියල්ල ම ද එක ම ධර්මයකි. රෝගයෝ වනාහි සනිමිත්ත ධර්ම වූ හෙයින් වෙන් වෙන් වූවාහු වෙති. එපමණක් ද නොව අනමතග්ග අතීත සංසාරයෙහි උපන්නා වූ සකල භවයන්හිම ඔහුගේ ශරීරයෙහි හටගත් යම් රෝග සුවයක් වේ නම් ඒද අනාගත භවයන්හි හටගන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන භවයෙහි රෝග සුවය හා වෙන් එකම ධර්මයක් වේ. රෝග හා ආත්ම භාව සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ වෙති. එපමණක් නොව සියයක් වූ පුද්ගලයන්ගේ ද දහසක් වූ පුද්ගලයන්ගේ ද දස දහසක් වූ පුද්ගලයන්ගේද අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි සකල භවයන්හි හට ගන්නා වූ සකල රෝගයන්ගේ ම සුවය ද යටකී පුද්ගලයාගේ රෝග සුවය ද යන සියල්ල එක ම ධර්මයක් වේ. පුද්ගලයෝ වනාහි සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ ගණනක් වෙති.

මේ උපමාවෙහි දක්වන ලද පරිදි සතර වාරයකදී සුව වූ එක් දහස් පන්සියයක් වූ පිළිකාවන්ගේ සුවය එකම ආරෝග්‍යය වූවාක් මෙන් සතර වාරයක් හි නිවී යන එක් දහස් පන්සියක් ක්ලේශයන්ගේ හා ස්කන්ධයන්ගේ නිරෝධය ක්ලේශස්කන්ධ ගණනාවෙන් බොහෝ ගණනක් ද නොවේ. සතර වාරයකදී නිරුද්ධ වීම නිමිත්ත කොට වාර ප්‍රමාණයෙන් සතරක් ද නොවේ. බොහෝ සත්ත්වයන්ගේ නානාවිධ රෝග සුවය හා පිළිකා හට ගත්තා වූ පුද්ගලයාගේ රෝග සුවයත් එකම ධර්මයක් වූවාක් මෙන් නිවනට පැමිණෙන්නා වූ සකල සත්ත්වයන්ගේ ම ක්ලේශස්කන්ධ නිරෝධය පුද්ගල ගණනාවෙන්ද බොහෝ ගණනක් නොව එකක් ම වේ.

ක්ලේශ ස්කන්ධ හා පුද්ගලයෝ සනිමිත්ත ධර්මයෝ ය. (සටහන් ඇති ධර්මයෝ ය) නිරෝධය වනාහි අනිමිත්ත (සටහනක් නැති) ධර්මයකි. සනිමිත්ත ධර්ම වූ ක්ලේශ ස්කන්ධ පුද්ගලයෝ මේ එකක් යයි මේ අනිකක්යැයි වෙන් කළ හැකි වෙති. අනිමිත්ත ධර්මයක් වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය (නිවන) එසේ බොහෝ ගණනක් වන පරිදි වෙන් කළ හැකි නොවේ.

ක්ලේශස්කන්ධ නිරෝධය යන වචනයෙන් අදහස් කරන ලද ක්ලේශ ස්කන්ධයෝ ද අතීතයෙහි නූපන්නා වූද අනාගයෙහි නූපදින්නා වූ ද වර්තමානයෙහි ඉපිද නැත්තා වූද කාල විමුක්ත

ක්ලේශස්කන්ධයෝ වෙති. එහෙයින් ඔවුහු ද අනිමිත්ත ධර්මයෝ ය. (සටහනක් නැත්තා වූ ධර්මයෝ ය.) චතුර් මාර්ගයන්ගේ වශයෙන් සතර වාරයකදී ප්‍රහාරණය කිරීම නිමිත්තකොට නානා විධ ක්ලේශ හා නානා විධ ස්කන්ධ ගෙන කියනු ලැබේ. එසේ වුවත් ඒකාන්තයෙන් ඔවුන්ගේ ද නානත්වයක් නො ලැබේ. මෙය අවබෝධ කර ගැනීමට මඳක් දුෂ්කර වූවකි. සිහිනුවණින් යෙදී මුළා නොවී යථාර්ථය අවබෝධ කර ගත යුතු.

නිර්වාණය හට ගැනීමක් හා බිඳීමක් නොමැතිව නිත්‍යව පවත්නා බව

නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ සකල සංස්කාර ධර්මයන්ගේ ම හට ගැනීමක් හා බිඳී අතුරුදහන්වීමක් (අවසානවීමක්) ඇත්තේ ය. හට ගැනීම ම ඔවුන්ගේ සංස්කාර ධර්ම භාවයට කාරණය වේ. හට ගැනීම නමැති පූර්වකෝටිය ඇත්තා වූ ධර්මයන්ගේ බිඳීම නමැති පශ්චිම කෝටිය ද ඒකාන්තයෙන් ම ඇත්තේ ම ය. නිර්වාණ ධර්මය වනාහි හට ගැනීමෙන් හා බිඳීමෙන් පිරිසිඳිනු ලබන පූර්වාපර කෝටිද්වයෙන් වෙන්ව නිත්‍යව පවත්නා ධර්මයකි. නිර්වාණ ධර්මයට පමණක් එසේ පැවතිය හැකි බව හා සංස්කාර ධර්මයන්ට මෙන් පටන් ගැන්මක් හා අවසානයක් නැති බව කියනු ලබන උපමාවෙන් දතයුතු.

එක් පෙදෙසක විෂ වෘක්‍ෂ සමූහයක් තිබේ. ඔවුහු එක එකක් සියක් වර්ෂය බැගින් පවත්නාහුය. එක එක වෘක්ෂයක්හුගේ ඇවෑමෙන් අන්‍ය වූ එක වෘක්‍ෂය බැගින් අභිනව වෘක්‍ෂ ද එක එක වෘක්‍ෂයකගෙන් හට ගන්නාහුය. මෙසේ පැවත එන්නා වූ ඒ වෘක්‍ෂ සමූහයේ පැවැත්ම පිළිබඳ අතීත කාලය ද මෙතෙකැයි පිරිසිඳිය නොහේ. අනාගතයෙහිද ප්‍රමාණ කළ නොහැකි කාලයක් පරම්පරාව නොසිඳී පැවතිය හැකි අවකාශය ද තිබේ. එක්තරා පුරුෂයෙක් තෙම විෂ වෘක්‍ෂයන්ගෙන් වන්නා වූ භය දැක වෘක්‍ෂයන් විනාශ කිරීම සඳහා එකල පනස් වර්ෂයක් වයස්ගත වූ වෘක්‍ෂයන්හි විෂහුල් ප්‍රවේශ කෙළේ ය. ඒ හේතුවෙන් ඒ වර්ෂයෙහි හටගත යුතුව තිබූ පුෂ්ප ඵල හට නොගත්හ. මෙසේ මල් පිපීම හා පල ගැනීම සිඳී ගියෙන් බීජ පරම්පරාව සිඳී ගොස් ඒ වෘක්‍ෂයෝද ඉන් මතු පනස් වර්ෂයකින් අභාවප්‍රාප්ත වූහ. මෙසේ ඒ ප්‍රදේශයෙහි මතු ප්‍රමාණ විෂයාතික්‍රාන්ත කාලයක් මුලුල්ලෙහි පැවතිය හැකිව තිබූ විෂ වෘක්‍ෂ පරම්පරාව හාත්පසින් ම නිරුද්ධව ගියේ ය.

මේ උපමාවෙහි කියන ලද පුරුෂයාගේ ප්‍රයෝගයෙන් උත්පාද හේතු නිරෝධයෙන් නූපදනා බවට පැමිණියා වූ පුෂ්ප ඵල වෘක්‍ෂයෝ වනාහි ඒකාන්තයෙන් සටහන් වශයෙන් පෙර තිබුණා වූ පුෂ්පඵල වෘක්‍ෂයෝ නොවෙති. ඔවුහු මනුෂ්‍යයන්ගේ ව්‍යවහාරයෙහි පමණක් ඇත්තා වූ පුෂ්ප ඵල වෘක්‍ෂයෝ වෙති. එහෙයින් ඔවුහු මේ මතු අසවල් දින පැළවන්නා වූ වෘක්‍ෂය, මේ අසවල් දින පැළවන්නා වූ වෘක්‍ෂය යනාදි වශයෙන් පටන් ගැනීමෙන් පිරිසිඳිය හැක්කා වූ පුෂ්ප ඵල වෘක්‍ෂයෝ ද නොවෙති. මේ අසවල් දින විනාශයට පැමිණෙන්නා වූ වෘක්‍ෂය යනාදි වශයෙන් අවසානයෙන් පිරිසිඳිය හැක්කාහු ද නොවෙති. මේ වෘක්‍ෂය මහත්ය, මේ වෘක්‍ෂය කුඩාය යනාදි වශයෙන් සටහන් හා ප්‍රමාණයෙන් පිරිසිඳිය හැක්කාහු ද නොවෙති. මෙසේ ද්‍රව්‍ය සංස්ථානාදි වශයෙන් ප්‍රකටව නොදැක්විය හැකි පුෂ්ප ඵල වෘක්‍ෂයෝ වනාහි නිරෝධයට හෙවත් හට නොගැනීමට නොපැමිණියාහු නම් මතු ඒකාන්තයෙන් ඉපිද පවත්නා හෙයින් ඒකාන්තයෙන් නැත්තා වූ ධර්මයෝ යයි ද කිව හැකි නොවේ. එහෙයින් ඔවුහු ද්‍රව්‍ය වශයෙන් නැත්තා වූ ද ඒකාන්තයෙන් නැත්තාහු නොවන්නා වූ ද පරමාර්ථ වශයෙන් අසවල් ධර්මය යයි වෙන් කොට දැක්විය නොහැක්කා වූ ද අන්‍යතර ධර්ම නියාම ධාතුවක් යයි දතයුතු.

මෙහි නිරෝධයයි කියන ලද්දේ උත්පාද හේතූන්ගේ නිරෝධය නුවූයේ නම් මතු හට ගැනීමට අවකාශය ඇතුව තුබූ පුෂ්ප ඵල වෘක්‍ෂයන්ගේ හට නොගැනීමටයි. උපන් නාම රූප ධර්මයන්ගේ භඞ්ග සඞ්ඛ්‍යාත අභාව නිරෝධයේ පූර්වකෝටිය (පටන් ගන්නා ස්ථානය) නිරුද්ධ වූ ධර්මයන්ගේ පශ්චිම කෝටියෙන් පිරිසිඳිය හැකි වේ. පැවති ධර්මයාගේ නැති වීමේ පටන් අභාවය පටන් ගනී. ද්‍රව්‍ය සංස්ථාන වශයෙන් පෙන්විය හැකි කිසිවක් නැත්තා වූ යටකී පුෂ්ප ඵල වෘක්‍ෂයන්ගේ අනුත්පාද නිරෝධයේ මුල් කෙලවරක් එසේ ලැබිය හැකි නොවේ ම ය. නිරුද්ධ වන ධර්මය තමා අවිද්‍යමාන බැවින් එකල්හි විෂ හුල් ප්‍රවේශ කළ දිනය හෝ හුල් ප්‍රවේශ කරන ලද වෘක්‍ෂ සමූහය අභාවයට පැමිණි දිනය හෝ පුෂ්ප ඵල වෘක්‍ෂ නිරෝධයාගේ පූර්ව කෝටිය (පටන් ගන්නා ස්ථානය) නොවන බව දතයුතු. වස්තු වශයෙන් පවත්නා ධර්මයන්ගේ නොපැවැත්මක් හෙවත් විනාශ වීමක් ඇත්තේ ය. වස්තු වශයෙන් නොපවත්නා ස්වභාවය වූ නිරෝධයාගේ නැවත නොපවත්නා ස්වභාවයක් නැත්තේ ය. එබැවින් නිරෝධයාගේ පශ්චිම කෝටියක් හෙවත් නිරෝධයේ නැවත නිරෝධයක් නැත්තේ ය. ඉදින් යථෝක්ත පුෂ්පඵල වෘක්‍ෂයෝ නැවත හට ගත්තාහු නම් ඔවුන්ගේ නිරෝධය නොවීය. නිරෝධයට පැමිණියාහු නම් ඒ පුෂ්පඵල වෘක්‍ෂයෝ මතු කිසිකලෙක හට නො ගන්නාහු ය. එහෙයින් නිරෝධය වනාහි පශ්චිම කෝටියක් ද නොමැතිව සියලු කල්හි ම එකසේ පවත්නා වූ නිත්‍ය ධර්මයක්යයි දතයුතු.

යටකී උපමාවෙහි නිරුද්ධවීයැ යි කියන ලද පුෂ්පඵල වෘක්‍ෂයන් මෙන් මාර්ගාධිගමයෙන් නිරුද්ධවන්නා වූ ක්ලේශස්කන්ධයෝ වස්තු වශයෙන් ඒකාන්තයෙන් ඇත්තා වූ ධර්මයෝ නොවෙති. ඔවුන්ගේ මේ පටන් ගැන්මය, මේ අවසානය, මේ එක් කොනක්ය, මේ අනික් කොනය, මේ එකක්ය, මේ අනිකක් ය යනාදි වශයෙන් වෙන් කිරීමට හේතු වන්නා වූ උත්පාදව්‍යය සඞ්ඛ්‍යාත පූර්වාපරාන්තද්වය හා සංස්ථාන ද නැත්තාහුය. ඔවුහු මාර්ගයාගේ ශක්තියෙන් අනුත්පාද නිරෝධයට නොපමුණුවන ලද්දාහු නම් මතු ඔවුන්ගේ හට ගැනීම ඒකාන්ත හෙයින් ඒකාන්තයෙන් නැත්තාහු ද නොවෙති. එහෙයින් ඔවුහු පරමාර්ථ ධර්මයන් අතරින් අසවල් ධර්මයයි දැක්විය හැකි නො වූ අන්‍යතර ධර්ම නියාම ධාතුවක් යැයි දතයුතු.

මෙහි ක්ලේශස්කන්ධ නිරෝධයැයි කියන ලද්දේ සංස්ථාන වශයෙන් ඒකාන්තයෙන් නැත්තා වූ යථෝක්ත ක්ලේශ ස්කන්ධයන්ගේ මතු නො ඉපදීමටයි. උපන් ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධයයි කියන ලද අභාවයෙහි පටන් ගැනීම නිරුද්ධ වූ ධර්මයාගේ භඞ්ග සඞ්ඛ්‍යාත පශ්චිම කෝටියෙන් පිරිසිඳිය හැකි වේ. පැවති ධර්මයාගේ නැතිවීමෙන් පසු ඒ ඒ ධර්මයන් සම්බන්ධ අභාවය පටන්ගන්නා හෙයිනි. මේ නූපන්නා වූ ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධය වනාහි එසේ පටන්ගන්නා වූ ස්ථානයක් නො ලැබේ. ක්ලේශ ප්‍රහාණය කරන්නා වූ මාර්ග චිත්තයාගේ භඞ්ගක්‍ෂණ සඞ්ඛ්‍යාත පශ්චිම කෝටිය හෝ අනුපාදිශේෂ පරිනිර්වාණය සිදුවන අවස්ථාව හෝ ක්ලේශස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණ ධාතුවේ පටන් ගන්නා ස්ථානය නොවේ. එහෙයින් නිර්වාණ ධාතුව යට කී පුෂ්ප ඵල නිරෝධය මෙන් පටන් ගැනීමක් (හට ගැනීමක්) නැත්තා වූ හට ගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව දතයුතු. පුෂ්පඵල නිරෝධයේ පශ්චිම කෝටියක් නැතුවාක් මෙන් නිර්වාණ ධර්මය පශ්චිම කෝටිය නැත්තා වූ පශ්චිම කෝටියක්

ඇති වීමට අභව්‍ය වූ ධර්මයකි. ඒ වනාහි අනමතග්ග සංසාරය හා සමප්‍රමාණව පටන්ගැන්මක් හෝ අවසානයක් නොමැතිව නිත්‍යයව පවත්නා ධර්මයකි.

නිර්වාණයාගේ ලෝකෝත්තර භාවය හා පිහිටියා වූ දිශා දේශයක් නොමැති බව

පරමාර්ථ වශයෙන් හා ප්‍රඥප්ති වශයෙන් විද්‍යමාන වූ සකල ධර්මයෝ ම ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් මාර්ග ඵල නිර්වාණ යන ධර්මයෝ නව දෙන ලෝකෝත්තර නම් වෙති. සෙස්සෝ ලෞකික නම් වෙති. ක්‍ෂණයක් පාසා බිඳෙමින් පවත්නා හෙයින් ද පරම්පරා වශයෙන් කලක් පැවතී සිඳී යන හෙයින් ද ස්කන්ධයෝ ලෝක නම් වෙති. සත්ත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදි ප්‍රඥප්තීන්ගේ වනාහි එසේ නැසීමක් වැනසීමක් නැත්තේ ය. නමුත් ස්කන්ධයන්ගේ නැසීමෙන් වැනසීමෙන් ඔවුහු ද අදර්ශනයට පැමිණෙන හෙයින් ඔවුන්ට ද ලෝකයයි ම කියනු ලැබේ. නිර්වාණය නම් ලෝක නිරෝධයයි. ඒ ලෝක නිරෝධය ලෝකය හා අසම්බන්ධව ලෝකය ඉක්ම පවත්නා ධර්මයකි. එහෙයින් නිර්වාණ ධාතුවට ලෝකෝත්තරයැයි කියනු ලැබේ. දිශා වශයෙන් හා දේශ වශයෙන් ව්‍යවහාර කරනු ලබන්නේත් ලෝකයයි කියන ලද ධර්මයෝමැයි. ලෝක නිරෝධය වූ නිර්වාණ ධාතුවගේ ඔවුන් හා ගැටීමක් පැකිළීමක් සම්බන්ධවීමක් නැත්තේ ය. එහෙයින් දශ දිශාවන් අතුරෙන් යම් කිසි දිශාවක හෝ යම් කිසි ප්‍රදේශයක හෝ නිර්වාණ ධාතුව නැති බව දතයුතු.

අනිමිත්ත ධර්මයක් වූ නිර්වාණයාගේ පැවැත්මට සනිමිත්ත ධර්ම වූ වෘක්‍ෂ පර්වතාදීන්ට මෙන් පිහිටීමට අවකාශයෙක් වුවමනා නොවේ. එහෙයින් පිහිටියා වූ ස්ථානයක් නැතහොත් නිර්වාණයකුදු නැතයැයි නොසැලකිය යුතු ය. සතර අඟලක් පමණ වූ කැඩපතෙක්හි යොදුනක් පමණ වූ පර්වතච්ඡායාවක් දර්ශනය වේ. පර්වතච්ඡායාවෙන් ලක්‍ෂයෙන් පංගුවකුදු මහත් නොවූ කැඩපත තුළ ඒසා මහත් වූ ඡායාවක් නැත්තේයයි යමකු විසින් කියනු ලැබේ නම් එය සම්පූර්ණයෙන් අසත්‍යක් ම වේ. කුඩා වූ වස්තුවක් තුළ විශාල වස්තුවක් පැවතිය හැකියයි කීම න්‍යාය විරෝධී වූවකි. නමුත් මේ කාරණය ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම පිහිටියා වූ ස්ථානයක් නොමැතිව නිර්වාණ ධාතුව පවතීය යනු මේ ලෝකෝත්තර ධර්ම කථා විෂයෙහි ඒකාන්ත සත්‍යයක් බව දතයුතු.

නිවනෙහි සත්වයන් නොමැති බව

ලෞකික මහ ජනයා විසින් සත්වයෝයැයි ව්‍යවහාර කරනු ලබන්නේ ස්කන්ධයන්ට ම ය. ස්කන්ධ පඤ්චකයෙන් අන්‍ය වූ සත්ත්ව සඞ්ඛ්‍යාත මනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක්

හෝ නැත්තේ ය. ගල්, සුණු, දැව ආදිය ඇති කල්හි ගෙයක් ඇත්තේ ය. නැති කල නැත්තේ ය. එමෙන් ස්කන්ධ පඤ්චකය ඇති කල්හි ම සත්ත්වයෝයැයි කියන ලද මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මයෝ ඇත්තාහුය. නැති කල්හි නැත්තාහුය. ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය වූ නිර්වාණ ධාතුව අන්ධකාරයාගේ ප්‍රවේශයට අවිෂය වූ සූර්යාලෝකය මෙන් ස්කන්ධයන්ගේ පැමිණීමට මිශ්‍ර වීමට අවිෂය වූ ධර්මයකි. ස්කන්ධ සම්බන්ධයෙන් පවත්නා වූ සත්ත්ව පුද්ගල ප්‍රඥප්තීහු ද ස්කන්ධයන්ට අවිෂය වූ නිවනට නො පැමිණෙන්නාහුය. එහෙයින් ක්ලේශ ප්‍රහාණය කරන ලද රහතන්වහන්සේලා ඊට පැමිණෙන නමුත් එක ද සත්ත්වයකු එහි නැත්තේ යැයි දත යුතු.

සත්ත්වයන්ගේ නොපැමිණීමෙන් ඌණත්වයක් හෝ පැමිණීමෙන් පූර්ණත්වයක් නොමැති බව

නිරෝධයට පැමිණෙන අවස්ථාවේදීත් සටහන් වශයෙන් ඒකාන්තයෙන් නැත්තා වූ ස්කන්ධයන් සම්බන්ධ සත්ත්ව පුද්ගලාදි ප්‍රඥප්තීහු ඒ නිරෝධය වූ වහාම, අභාවයට පැමිණෙති. සියල්ලන්ගේ ක්ලේශ ස්කන්ධ නිරෝධය ශාන්ති ලක්‍ෂණයෙන් විද්‍යමාන එකම අසංඛත ධාතුව වේ. එහෙයින් අනමතග්ග සංසාරයෙහි බුද්ධත්වයට පැමිණි අනන්ත බුදු වරුන්ගේ ශාසනයන්හි සූවිසි අසංඛ්‍යය බැගින් නිර්වාණයට පැමිණි රහතුන්ගේ වශයෙන් නිර්වාණයේ පූර්ණත්වයක් ද නැත්තේ ය. නො පැමිණීමෙන් ඌණත්වයක් ද නැත්තේ ය. මෙසේ එක ම ධර්මයක්ව පවත්නා හෙයින් රහතන් වහන්සේලාගේ නිවන හීනය, බුදු වරුන්ගේ නිවන ප්‍රණීතය යනාදීන් හීන ප්‍රණීත භේදයක් ද නැත්තේ ය. මීට චතුරසඞ්ඛ්‍යකල්පලක්‍ෂයකින් මතුයෙහි බුද්ධත්වයට පැමිණි දීපංකර සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය පරණය, ගොයුම් බුදුන්ගේ සසුනෙහි වූ ක්ලේශස්කන්ධ නිරෝධය අලුත්ය යනාදි වශයෙන් භේදයක් ද නැත්තේ ය.

නිර්වාණයාගේ පරම සුඛත්වය

සුඛය වනාහි වේදයත සුඛය, ශාන්ති සුඛයැයි දෙවැදෑරුම් වේ. එයින් තම තමා විසින් ලබා ගන්නා ලද මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් අනුභව කිරීම වේදයිත සුඛ නමි. ඒ වනාහි තම තමාගේ අගයේ ප්‍රමාණයෙන් කහවණුවක් අගනා වූ සුඛය, කහවණු සියයක්, දහසක්, ලක්‍ෂයක්, අගනා වූ සුඛය යන ආදි වශයෙන් බහු ප්‍රභේද වේ. එයින් කහවණුවක් පරිත්‍යාග කොට ලැබිය යුතු වූ නැටුම් ආදියක් බැලීම හෝ මිහිරි ශබ්දයක් ශ්‍රවණය කිරීම හෝ සුගන්ධයක් ආඝ්‍රාණය කිරීම හෝ රසවත් ආහාරයක් අනුභව කිරීම හෝ සුඛස්පර්ශයක් කිරීම හෝ කහවණුවක් අගනා වූ වේදයිත සුඛයයි. සෙස්ස ද මේ නයින් දතයුතු.

පැමිණ පවත්නා වූ ද කල් නොගොස් පැමිණෙන්නා වූ ද පැමිණේදෝ නො පැමිණේදෝයි තැවෙමින් සිටිය යුතු වූ ද අනිෂ්ට විපත්තීන්ගේ නිවීම ශාන්ති සුඛ නමි. මේ සුඛය වනාහි යටකී මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සම්පත් විඳීම මෙන් විඳිය යුතු සුවයක් නොව පැමිණ තිබෙන්නා වූ ද පැමිණීමට තිබුණා වූ ද දුඃඛයන් ගෙන් මිදීම් මාත්‍රයකි. එය ද කහවණුවක් අගනා සුවය, කහවණු සියයක්, දහසක්, ලක්‍ෂයක්, කෝටියක් අගනා සුවය යන ආදි වශයෙන් නන් වැදෑරුම් වේ. එයින් කහවණුවක් පරිත්‍යාග කොට ලැබිය යුතු වූ රෝගාදි දුඃඛයකින් මිදීම කහවණුවක් අගනා වූ ශාන්ති සුඛයයි. සෙස්ස ද මේ නයින් දතයුතු.

මේ සුඛ දෙවර්ගය අතුරෙන් වේදයිත සුඛය ලාමක සුඛයයි. ශාන්ත සුඛය ප්‍රණීත සුඛයයි. හිස රුජාවක සුවය ඉතා ලාමක වූ ශාන්තියකි. නමුත් යම්කිසි සිටුවරයකුට හටගෙන තිබෙන හිසරුජාව සුව කළ හැකි එක ම වෛද්‍යවරයකු පමණක් සිටී නම් ඔහු එය සුව කර දීමට කහවණු ලක්‍ෂයක් ඉල්ලා සිටී නම් හෙතෙම කහවණු ලක්‍ෂය පරිත්‍යාග කොට සුවය ලබා ගන්නේ ය. නිරතුරුව හිස රුජාවෙන් පෙළෙමින් සිටීමට වඩා කහවණු ලක්‍ෂය පරිත්‍යාග කොට සුවය ලබා ගෙන සිටීම කහවණු ලක්‍ෂය තබාගෙන සිටීමට වඩා සියවාරයකින් උතුම් වේ. මෙය ස්වල්ප රෝගයක් හෙයින් කහවණු ලක්‍ෂය පරිත්‍යාග කිරීම අනුවණකමක්යැයි නො සිතිය යුතු. රජගහනුවර සිටු තෙම ජීවක වෛද්‍යාචාර්යයාට හිසරුජාව සුව කරදීමට සියලු සිටු සම්පත් පරිත්‍යාග කරන ලෙස පොරොන්දු විය. මෙසේ ලක්‍ෂයක් පරිත්‍යාග කොට ලබා ගන්නා ලද හිසරුජා සුවය නමැති ශාන්ති සුඛය කහවණු ලක්‍ෂයක් අගනේ ය.

හිස පැලී යන තරම් වේදනා උපදවමින් පවත්නා වූ හිස රුජාවක් රජකුහට වැළඳී සුව කර ගත නො හැකිව සිටින අතරට එය සුව කර දීමට සමර්ථ වූ වෛද්‍යයකු පැමිණ රාජ්‍යය පරිත්‍යාග කරතහොත් සුවකරමි යි කියයි නම් රජ තෙමේ ඒ මහත් දුඃඛයෙන් පෙළෙමින් රාජ්‍ය කිරීමට වඩා ඉන් මිදී සුවසේ විසීම ම උතුම් හෙයින් රාජ්‍යය පරිත්‍යාග කොට හිස රුජා සුවය ලබා ගන්නේ ම ය. එසේ රාජ්‍යයක් පරිත්‍යාග කොට ලබා ගන්නා ලද හිස රුජා සුවය රාජ්‍යයක් අගනා වූ ශාන්ති සුඛයකි. වේදයිත සුඛයන් අතරෙහි රාජ්‍යයක් පරිත්‍යාග කොට ලබා ගත යුතු එක සැපයකුදු නොමැත්තේ ය. එක් අයකුගේ අතෙහි නපුරු වූ මහත් දුක් උපදවන්නා වූ වණයක් හට ගත්තේ ය. එය සුව කළ නො හැකි රෝගයකි. නමුත් අත සිඳ දමන ලද්දේ නම් ඒ දුකින් මිදිය හැකි හෙයින් හෙතෙම වෛද්‍යයකු ලවා අත සිඳවා ඒ දුකින් මිදුනේ ය. මේ පුරුෂ තෙම අත පරිත්‍යාග කළේ කවර හේතුවක් නිසා ද යතහොත්? වණය ඇති කල ඇති වන්නා වූ දුඃඛයෙන් මිදීම සඳහා ම ය. ඔහුගේ ඒ ශාන්තිය අතක් පමණ අගනා ශාන්තියකි. අතක අගය මෙතෙකැයි පිරිසිඳිය නොහේ. වේදයිත සුඛයන් අතරෙහි වනාහි අතක් පරිත්‍යාග කොට ලැබිය යුතු සැපයක් නැත්තේ ය. අත් පා සියල්ලක් සිඳ දමා පරිත්‍යාග කොට ද මරණයෙන් නිදහස ලබාගත යුතු වේ. එහෙයින් එක මරණයක නිදහස නමැති ශාන්තියේ අගය පිරිසිඳිය නොහේ. මේ සත්ත්වයෝ සංසාරයෙහි සැරිසරමින් සිටියහොත් එක එක සත්ත්වයකුට පැමිණෙන මරණයන්ගේ සංඛ්‍යාවක් නැත්තේ ය. අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මරණයෝ පැමිණෙත්. නිවනට පැමිණි සත්ත්වයාට පැමිණි වහාම අනන්ත මරණයන්ගෙන් නිදහස නමැති ශාන්තිය ලැබේ. එක මරණකයකින් නිදහස් වීමේ අගය මෙතෙකැයි පිරිසිඳිය නොහැකි කල අනන්තාපරිමාණ මරණයන්ගෙන් නිදහස් වීමේ අගය කෙසේ පිරිසිඳිය හැක්කේද? නොහැක්කේ ම ය. සංසාරයෙහි වාසය කරන්නා වූ සත්ත්වයාට පැමිණෙන්නා වූ මරණ දුඃඛයෙන් අන්‍ය වූ ද අපාය දුක්ඛාදි අප්‍රමාණ දුක්ඛයෝ වෙත්. ඒ සියල්ලගේ නිවීම නමැති ශාන්ති සුඛය නිර්වාණයයි. එහෙයින් නිර්වාණය අවේදයිත සුඛස්වරූපයෙන් පවත්නා ධර්මයක්යැයි දත යුතු. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකවාසී සකල සත්ත්වයන් විසින් විඳිනු ලබන්නා වූ සකල ලෞකික සම්පත්තිය ම නිවනට පැමිණි එක පුද්ගලයකු ලැබූ ශාන්තියෙන් ලක්‍ෂයෙන් කොටසකුදු නොවටනේ ම ය. එහෙයින් නිර්වාණය ම පරම සුඛ යැයි දත යුතු.

මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකයෙහි වූ සකල ලෞකික සම්පත්තීහු ම ඒකාන්තයෙන් දුඃඛයෝ ම ය. ඔවුහු සංස්කාර දුඃඛ, විපරිනාම දුඃඛ, දුඃඛ දුඃඛ යන දුඃඛත්‍රයෙන් සත්ත්වයන් පෙළන්නා වූ ධර්මයෝ ම ය. මේ සත්ත්වයෝ නිවනට නො පැමිණ භවාග්‍රයට පැමිණ ලෞකික සම්පත් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්පත වූ බ්‍රහ්ම සම්පත් විඳිමින් සිටියාහු නමුත් දුක් සහිත වූවෝ ය. දෘෂ්ටි විචිකිත්සා යන ක්ලේශද්වය ප්‍රහාණය නො කළ තැනැත්තේ භවාග්‍රයට පැමිණ සිටියේ නමුත් ඔහුට අට මහ නරකයට පැමිණීම ඇත්තේ ම ය. එපරිද්දෙන් ම එකසිය විසිඅටක් වූ ඔසුපත් නරක වලට ද සකල තිරශ්චීන යෝනි වලට ද සකල ප්‍රේත යෝනි වලට ද සකල අසුර යෝනි වලට ද පැමිණීම ඇත්තේ ය. රාජ චෝරාදි සකල භය පැමිණීම ද ඇත්තේ ය.

එපමණක් නොව පෘථග්ජන පුද්ගල තෙමේ භවාග්‍රයෙහි සිටියේ නමුත් මතු වැද්දෙකු වීමට ද, සොරෙකු වීමට ද, මාතෘ ඝාතකයකු වීමට ද, පීතෘ ඝාතකයකු වීමට ද, අරහන්ත ඝාතකයකු වීමට ද, ලොහිතුප්පාදකයකු වීමට ද, සංඝ භේදකයකු වීමට ද, දෙසැට මිථ්‍යා දෘෂ්ටිය උගන්වන ආචාර්යයකු වීමට ද, කල්ප විනාශ වුව ද නරකයෙන් මිදිය නො හැකි නියත මිථ්‍යා දෘෂ්ටිකාචාර්යයකු වීමට ද, තිබියදී ම භවාඝ්‍රයේ වාසය කෙරේ. තදන්‍ය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භූමි වල වාසය කරන්නවුන් ගැන කියනු ම කවරේද? එක් එක් සත්ත්වයකුට මතු සසරදී පැමිණිය හැකි යයි කියන ලද භය සමූහයට පැමිණීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීහු යයි කියන ලද වේදයිත සුඛයෝ උපකාරක ධර්මයෝ වෙත්. මෙසේ ලෞකික සම්පත්තීන්ගේ භය ජනකත්වය දැන නිර්වාණ සම්පත්තියේ ශ්‍රේෂ්ඨත්වය සිතා බැලිය යුතු.

නිර්වාණය සත්ත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වන පරිදි.

ස්කන්ධයන් හා සත්ත්ව පුද්ගලයන්ගේ නැත්තා වූ නිවන ඇතැම් අයට නිෂ්ඵල වූවක් මෙන්ද ඇතැම් අයට එහි පැමිණිය හොත් මා නැති වේ යැ යි මහා භය ජනක වූවක් මෙන් ද වැටහේ. ස්කන්ධයන් හා සත්ත්ව පුද්ගලයන් නිවනෙහි නොමැති නමුත් යට දක්වන ලද අගය කළ නො හැකි ශාන්ති සුඛය සත්ත්වයන්ට ම අයිති වේ. සත්ත්වයන්ගේ එක ම ප්‍රතිෂ්ඨාව වේ. ඒ මෙසේ යි: ලෝකයෙහි රෝගයයි ව්‍යවහාර කරනු ලබන්නේ ශරීරයේ ම දුක් උපදවන්නා වූ කොටස් වලටය. ශරීරයේ කොටසක් වූ මස් හා ලේ වලට ගණ්ඩ (ගෙඩි) යයි ද කුෂ්ට යයි ද ව්‍යවහාර කරනු ලැබේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයට උණ යයි කියනු ලැබේ. ශරීරයේ කොටසක් වූ වාතයට වාත රෝගයයි කියනු ලැබේ. රෝග වනාහි ඒකාන්තයෙන් දුඃඛයෝ ම ය. රෝගියෙකුට රෝග දුඃඛයෙන් මිදීමට ඇති එක ම ප්‍රතිෂ්ඨාව නම් රෝගයාගේ අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍ය ම ය. රෝග යම්තාක් පවතිත් නම් ඒ තාක් ආරෝග්‍ය ලැබිය නොහේ. එහෙයින් රෝගීව දුක් උපදවමින් පවත්නා වූ ශරීරයේ සමහර කොටස් වූ මස් ලේ සැරව සෙම ආදියේ අභාවප්‍රාප්තිය රෝගීන්ට වන මහත් වූ ශාන්ති සුඛයක් බව ද එය ම රෝගීන්ට ඇති එක ම ප්‍රතිෂ්ඨාව බව ද සියල්ලෝ ම පිළිගනිත්. ඉදින් රෝග සඞ්ඛ්‍යාත ශරීර කොට්ඨාසයක අභාවප්‍රාප්තිය යහපතක් නොවේ නම් රෝගීව විසීම ම යහපතක් විය යුතු වේ.

යමකුගේ අතක් කුණුවී ඇතුළත පිටත පණුවන්ගෙන් ගැවසී මහත් දුක් උපදවමින් පවත්නේ නම් ඔහුට ඉන් මිදිය හැක්කේ රෝග භූත හස්තයේ අභාවප්‍රාප්තියෙන් ම ය. ඔහුට ඒ අත නැතිවීම දුඃඛයක්යැයි කියත හොත් මහත් දුක් උපදවන්නා වූ පණුවන්ගෙන් ගැවසී ගත් අත නමැති රෝගය තබා ගෙන සිටීම ම සුවයක් විය යුතු වේ. එය ඒකාන්තයෙන් දුඃඛයක් හෙයින් අතේ අභාවය ඔහුට වන මහත් ශාන්ති සුවයක් බව ද ඒ ඔහුට ඇති එක ම ප්‍රතිෂ්ඨාව බව ද දතයුතු.

එක් අයෙකුගේ ශරීරයේ ලාදුරු නම් වූ දරුණු රෝගය වැළඳී ඇතුළත පිටත පණුවන් විසින් විදින ලදුව මහත් දුක් උපදවමින් පවත්නේ ය. මොහුට පැමිණ පවත්නා වූ දුඃඛය වනාහි නිරය දුඃඛය වැනි දරුණු දුඃඛයකි. ඔහුට ඉන් මිදිය හැක්කේ රෝගය වී පවත්නා වූ සකල ශරීරයාගේ ම අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍යයෙනි. සකල ශරීරයාගේ අභාවය වනාහි ඔහුට මහත් ශාන්තියකි. ඒ වනාහි යට රාජ්‍යයක් පමණ අගනේ යයි දක්වන ලද හිස රුජා සුවයට වඩා සිය වාරයකින් අගනා ශාන්තියකි. ශරීරයාගේ අභාවප්‍රාප්තියෙන් පසු පුරුෂයෙක් ද නැත්තේ ය. පුරුෂයා නැති හෙයින් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ කුෂ්ටාදි රෝග වූ ලේ මස් ආදියේ අභාවය ද යහපත් නොවේ. කුණු වූ අතේ අභාවය ද යහපතක් නොවේ. ඉදින් ඒ ලේ මස් ආදියේ අභාවය ඒ ඒ රෝගීන්ට සුවයක් වේ නම් සකල ශරීරය ම රෝගව පැවති තැනැත්තාට ද ශරීරයාගේ අභාවප්‍රාප්තිය සිය වාරයකින් සුවයක් වන්නේ ම ය. ගණ්ඩාදීන්ගේ අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය ඒ ඒ පුද්ගලයන් ඇති හෙයින් ඔවුන්ට ම වේ. පුද්ගලයා නැති වන මේ ශාන්තිය කවරකුට වේ ද යතහොත්? මෙය ද ඔහුට ම මිස අන්‍යයකුට නොවේ. ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුඃඛය ඔහු විඳින්නේ ම ය. එහෙයින් දුඃඛය ඇත්තේ යමකුට නම් එහි නිවීම නමැති ශාන්තිය අන්‍යයකුට නොව ඔහුට ම වේ. ඔහුගේ ම ප්‍රතිෂ්ඨාව වේ.

පුද්ගල සත්ත්ව සම්මත ස්කන්ධයෝ වනාහි මෙහි කියන ලද පුරුෂයාගේ ශරීරය මෙන් මහත් වූ දුක් උපදවන්නා වූ රෝගයෝ වෙති. දුඃඛයෝ වෙති. (ඔවුන්ගේ රෝගත්වාදිය සමසතළිස් භාවනා පදයන්ගේ වශයෙන් මතු දක්වනු ලැබේ.) එහෙයින් ඔවුන්ගේ අභාවප්‍රාප්තිය ගණ්ඩ කුෂ්ටාදීන්ගේ හා යටකී පුරුෂයාගේ ශරීරයේත් අභාවප්‍රාප්තිය මෙන් මහත් වූ සුඛයකි. නිර්වාණ සඞ්ඛ්‍යාත නිත්‍ය පරම සුඛය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන් වීමෙන් ම ය. එහෙයින් නිවනට පැමිණීමෙන් වන ස්කන්ධාභාවය භය විය යුත්තක් නොවේ. රෝග භූත සකල ශරීරයාගේ ම අභාවප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය ඒ රෝගියාට අයත් වන්නාක් මෙන් ස්කන්ධ නොමැති මුත් ස්කන්ධ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණ සුඛය ස්කන්ධ දුඃඛය ලැබූ සත්ත්වයා පිළිබඳව ම වේ. මේ ශාන්තිය නැතහොත් දුඃඛය ඇත්තේ ම ය. එහෙයින් සත්ත්වයකු නැති නමුත් එය නිරර්ථක වුවක් නොවේ. සකල ශරීරය ම අභාවයට පැමිණි රෝගියාට ශරීරය නැතත් රෝග සුවය ඒකාන්තයෙන් දුඃඛයෙන් මිදීමට ප්‍රතිෂ්ඨාවක් වූවාක් මෙන් සත්ත්ව පුද්ගල සම්මත ස්කන්ධ නොමැති මුත් නිරුද්ධ වූ ස්කන්ධයන් සම්බන්ධී සත්ත්වයන්ට නිවන ඒකාන්තයෙන් ප්‍රතිෂ්ඨාවක් වේ ම ය. සැඟවී සීටීමට ස්ථානයක් ද වේ. දුඃඛ ධර්ම නමැති සතුරන්ට ඇතුල් විය නො හැකි බලකොටුවක් ද වේ. මෙසේ නිර්වාණය සත්ත්වයාගේ ප්‍රතිෂ්ඨාව වන ආකාරය වැටහෙන පරිදි කල්පනා කළ යුතු.

නිර්වාණයේ ගම්භිර දුර්දශ භාවය.

නිවනට නො පැමිණ සසර සැරි සරමින් සිටිය හොත් එක එක සත්ත්වයකුට පැමිණිය හැකි දුඃඛයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ඒ බව සංසාරයාගේ අනමතග්ග භාවයෙන් දත යුතු වේ. ඒ අගක් නැත්තා වූ විශාල වූ දුඃඛ ස්කන්ධයාගේ නිවීම නිර්වාණය හෙයින් එම දීර්ඝ ප්‍රමාණය හා විශාල ප්‍රමාණය නිර්වාණයාගේ ගම්භිර දීර්ඝ ප්‍රමාණයයි දත යුතු. සංසාරය වනාහි ප්‍රමාණ කළ හැකි වූවක් නො වන්නා සේ ම නිර්වාණයාගේ ගම්භිර භාවය ද ප්‍රමාණ කළ නොහේ. යොදුන් සුවාසු දහසක් ගැඹුරු වූ මහා සමුද්‍රයාගේ ගම්භිර ප්‍රමාණය නිර්වාණයේ ගම්භිර ප්‍රමාණයට උපමා කළ හොත් සූර්යයාට කදෝකිමියකු උපමා කිරීම වැනි වේ.

මේ සත්ත්වයන්ට වනාහි තම තමාගේ ආත්ම භාවයව පවත්නා වූ නාම රූප ධර්ම සමූහය වෙන් කොට එක එකක් ලක්‍ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථාන වශයෙන් හා අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දැන ගැනීමට ද ඉතා දුෂ්කර වේ මය. එහෙයින් නාම රූප ධර්මයන් අනාත්ම වශයෙන් දුටු කල්හි ම දැකිය හැක්කා වූ නිර්වාණ ධාතුව අතිශයින් දුර්දශ වේ. අති සූක්‍ෂම ද වේ.

නිර්වාණයේ අනන්ත ගුණ ඇති පරිදි.

අවිද්‍යා සඞ්ඛ්‍යාත එක එක ක්ලේශ ධාතුවකට මේ සත්ත්වයන් අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙලිය හැක්කේ ය. එසේ ම තදන්‍ය මහ නරකයන්ට ද සකල තිරශ්චීන යෝනි වලට ද ප්‍රේත යෝනි වලට ද අසුර යෝනි වලට ද හෙලිය හැක්කේ ය. අනන්තාපරිමාණ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන් ඇති කිරීමට ද පොහොසත් වූවාය. මෙසේ අවිද්‍යාවගේ දුඃඛ දායක භාවය දත යුතු. අවිද්‍යාවගේ අසුභ භාවය යම් පමණ වේ නම් අවිද්‍යා නිරෝධයේ සුභ භාවය ද එපමණ වේ. එහෙයින් එක ම අවිද්‍යා නිරෝධයේ ගුණ ද අනන්ත වේ. එක්දහස් පන්සියයක් වූ සකල ක්ලේශයන්ගේ ම නිරෝධයේ ගුණ කෙසේ අනන්ත නො වන්නේද? මෙසේ ඒ ඒ ක්ලේශයන්ගේ අගුණයෙන් නිර්වාණ ගුණය සලකා ගත යුතු.

නිර්වාණය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් බව.

මෙතෙකින් දක්වන ලද නිර්වාණ ධාතුව සැප වූ කිසිවක් නැති සැපයක් ද නොවූ අභාව ප්‍රඥප්ති භාවයෙන් විද්‍යමාන වූ සිස් වූ ස්වභාවයකැයි මහජනයාට වැටහිය හැකි වේ. නමුත් එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයකි. එහි පරමාර්ථ භාවය පරමාර්ථ ප්‍රඥප්ති ධර්මයන්ගේ වෙනස හා ඔවුන්ගේ පරමාර්ථ ප්‍රඥප්තිභාවය සොයා ගත යුතු පිළිවෙල ද දැන ගැනීමෙන් අවබෝධ කරගත යුතු වේ. ලෝකයෙහි ඇතිතාක් පදාර්ථයෝ පරමාර්ථ ප්‍රඥප්ති වශයෙන් ද්විප්‍රභේද වෙති. එයින් ස්වකීය ලක්‍ෂණයන් ඒකාන්තයෙන් ඇත්තා වූ පෘථිවි ස්පර්ශාදි ධර්මයෝ පරමාර්ථ නම් වෙති. පරමාර්ථ ධර්මයන්ගේ පිහිටි ආකාරය පමණක් ගෙන ලෝකයා විසින් සලකනු ලබන්නා වූ ඒකාන්තයෙන් නැත්තා වූ ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුද්ගලාදි ධර්මයෝ ප්‍රඥප්ති ධර්ම නම් වෙති. යම් කිසි ධර්මයක් ගෙන එය පරමාර්ථ ධර්මයක් ද ප්‍රඥප්ති ධර්මයක් දැයි දැන ගැනීමට පරිඥා, භාවනා, ප්‍රහාණ, සාක්ෂාත් කරණ යන චතුර්විධ ශාසනික කෘත්‍යයන්හි ලා විමසිය යුතු වේ. ඉන් එක් කෘත්‍යයකට ගෝචර වේ නම් එය පරමාර්ථ ධර්මයකි. මේ සිව්කිස පරමාර්ථ ධර්මයන්හි ම ලැබිය යුතු වේ.

එයින් පරිඥා කෘත්‍යය නම් :- ස්තබ්ධ ආබන්ධනාදි ස්වකීය ලක්ෂණ වශයෙන් හා අනිත්‍ය දුඃඛ අනාත්ම යන සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ද පරමාර්ථ ධර්මයන් පිරිසිඳ දැනීමයි.

නාම රූප ධර්ම පුඤ්ජයන්හි පවත්නා වූ පුරුෂ ප්‍රඥප්තිය ගෙන පරිඥා ඥානයෙන් විමසන කල නාම රූප ධර්මයන්ගේ පිහිටි ආකාරය ම මිස පුරුෂ ප්‍රඥප්තියේ ස්වකීය ලක්‍ෂණයක් නො ලැබේ. එසේ ම රැගෙන අනිත්‍යාදීන්ගේ වශයෙන් බලන කල අනිත්‍ය ලක්‍ෂණය ද නො ලැබේ. පුරුෂයායි සම්මත කර තිබෙන නාම රූප ධර්මයෝ වනාහි අනිත්‍යයට යෙති. ඒකාන්තයෙන් නැත්තා වූ ඔවුන්ගේ පිහිටි ආකාරය වූ පුරුෂ ප්‍රඥප්තියේ අනිත්‍ය ලක්‍ෂණයක් නැත්තේ ය. එහෙයින් ම දුඃඛ ලක්‍ෂණය නො ලැබෙන හෙයින් දුඃඛ ලක්‍ෂණයාගේ වශයෙන් ද පිරිසිඳිය හැකි නොවේ. මෙසේ පරිඥා ඥානයෙන් විමසන කල පුරුෂයෙක් නැති බව හා ස්තබ්ධ ආබන්ධනාදි ලක්‍ෂණ සමූහයක් ඇති බව ද පෙනේ. පරිඥාඥානය දියුණුවන්ට තියුණුවන්ට ස්තබ්ධ ලක්‍ෂණාදිය වඩ වඩා ප්‍රකට වන්නේ ය. ස්තබ්ධ ලක්‍ෂණාදිය ප්‍රකට වන කල්හි පුරුෂයෙක් නොමැති බව වඩ වඩා පෙනී යන්නට පටන් ගනී.

මායාකාරයා විස්න ස්වර්ණ පිණ්ඩයක් මෙන් කොට දක්වන ලද, සාමාන්‍ය පෙනීමට ස්වර්ණ පිණ්ඩයක් මෙන් පෙනෙන මැටි පිඩ ස්වර්ණයෙන් කළ යුතු කර්මාන්තයක යෙදිය හැකි නොවේ. එසේ කර බලන කල්හි එය මැටි පිඩක් බව පෙනේ. එමෙන් ඒකාන්තයෙන් නැත්තා වූ සාමාන්‍ය දැනීමට ඇත යයි වැටහෙන්නා වූ ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුද්ගලාදි ප්‍රඥප්ති ධර්මයන් ගෙන පරමාර්ථ ධර්මයන් ම යෙදිය යුතු වූ පරිඥා කෘත්‍යයෙහි ලා බලන කල ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව පෙනේ. නිර්වාණ ධර්මය වනාහි පරමාර්ථ හෙවත් ඒකාන්තයෙන් ඇති ධර්මයක් වූ හෙයින් පරිඥා ඥානයෙන් බලන කල ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය ලක්‍ෂණයෙන් ද, නිත්‍ය සුඛ අනාත්ම ලක්‍ෂණයන්ගේ වශයෙන් ද, එය ඒකාන්තයෙන් විද්‍යමාන බව පෙනේ. මේ පරිඥා කෘත්‍යයෙහි ලා පරමාර්ථ ධර්ම හා ප්‍රඥප්ති ධර්ම බෙදා ගත යුතු ආකාරයයි.

භාවනා කෘත්‍යය නම් :- එක් එක් ධර්මයක් තියුණු බවට පැමිණෙන පරිදි අනුක්‍රමයෙන් වර්ධනය කිරීමයි.

සමාධිය අනුක්‍රමයෙන් වර්ධනය කළ කල්හි ෂඩභිඥා භාවයට පැමිණීම දක්වා වර්ධනය වේ. ප්‍රඥාව අනුක්‍රමයෙන් වර්ධනය කළ කල්හි අර්හත් මාර්ග ඥානය දක්වා වර්ධනය වේ. ආකාශය

දීප්තිමත් වන පරිදි ඔප දැමිය හැකි නො වන්නාක් මෙන් පරිඥා ඥානයට ගෝචර නො වන ප්‍රඥප්ති ධර්මයන් බලය වර්ධනය වන පරිදි, සෘද්ධි ආනුභාවය වර්ධනය වන පරිදි වැඩිය නොහේ. එහෙයින් භාවනා කෘත්‍යයෙහි ලා වැඩිය හැකි ධර්මයෝ පරමාර්ථ ධර්ම බව දත යුතු. මේ භාවනා කෘත්‍යයාගේ වශයෙන් පරමාර්ථ ප්‍රඥප්ති ධර්මයන් වෙන් කරගත යුතු ආකාරයයි.

ප්‍රහාණ කෘත්‍යය නම් :- සත්ත්ව සන්තානය කෙලෙසන්නා වූ ධර්මයන් දුරුකිරීමයි.

චිත්ත සන්තානයෙහි බොහෝ සෙයින් උපදින්නා වූ ලෝභාදි ක්ලේශ ධර්මයෝ තුමූ සත්ත්වයන් අපායට පමුණුවත්. ඒ ධර්මයන් තදඞ්ග වශයෙන් ප්‍රහාණය කිරීමෙන් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද, විෂ්කම්භණ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් රූපාරූප බ්‍රහ්ම සම්පත් ද, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඵල නිර්වාණ සම්පත් ද ලැබිය හැකි වෙති. පරිඥා ඥානයට ගෝචර නොවන ප්‍රඥප්තීන් අතුරෙන් යම් කිසිවක් වැඩීමෙන් අපායට පැමිණීමක් හෝ පහ කිරීමෙන් ස්වර්ගයට පැමිණීමක් හෝ නොවේ. මනුෂ්‍ය ස්කන්ධ කයෙහි පවත්නා වූ මනුෂ්‍ය ප්‍රඥප්තිය පහ කොට එය දිව්‍ය භාවයට හෝ බ්‍රහ්ම භාවයට හෝ පමුණුවා ගත හැක්කේ ද නොවේ. එහෙයින් ප්‍රඥප්ති ධර්ම ප්‍රහාණයට යෝග්‍ය වූවාහු නො වන බවද දත යුතු. නිර්වාණ පරමාර්ථය ද ප්‍රහාතව්‍ය ධර්මයක් නොවේ. නමුත් ප්‍රහාතව්‍ය ධර්ම සියල්ල ම පරමාර්ථ ධර්ම බව දත යුතු. මේ ප්‍රහාණ කෘත්‍යයෙහි ලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම වෙන් කර ගත යුතු ආකාරයයි.

සාක්ෂාත් කරණ කෘත්‍යය නම් :- කයින් හා ඥානයෙන් ස්පර්ශ කිරීමයි.

එහි නිර්වාණ ධර්මයාගේ කාය ස්පර්ශය “කායේන අමතං ධාතුං ඵුසිත්වා” යන දේශනාවෙන් හා ‘‘පහිතත්තො සමානො කායෙන චෙව පරමත්ථ සච්චං සච්ඡිකරොති” යන දේශනාවෙන් පෙනේ. නිර්වාණ ධර්මයාගේ කාය ඥාන ස්පර්ශය ඇති පරිදි දැක්වීමට ප්‍රථම ලෞකික තදඞ්ග ශාන්තීන්ගේ කාය චිත්ත ස්පර්ශය ඇති පරිදි සුඛාවබෝධය සඳහා දක්වනු ලැබේ. යමකුගේ ශරීරයෙහි ජ්වර රෝගය (උණ) හට ගෙන බලවත් දාහය ඇති වී මහත් වූ දුකින් පීඩිතව වාසය කරන්නේ නම්:- ඒ දුඃඛය ඔහුගේ රූප කයෙහි පවත්නා ධර්මයක් වූයෙන් එය කයින් ස්පර්ශ කරන ලද්දක් වේ. රෝගය ක්ෂණයකින් සුව කරන්නට සමර්ථ වූ ඖෂධයක් වැළඳීමෙන් ක්ෂණයකින් රෝගය සුව වූයේ නම් ඒ රෝග සුවය නමැති සුඛය ද ඔහුගේ රූප කයෙහි ම වූයෙන් කයින් ස්පර්ශ කරන ලද්දක් වේ. රෝගයෝ වනාහි රෝග සුවය නමැති ශාන්තිය පැමිණීමෙන් සුව වෙති. රෝග සුවය නමැති ශාන්තිය කයේ ස්පර්ශ නොවී නම් රෝග සුවය ද කිසි කලෙක නොවේ. එසේ නොවී නම් රෝග සුවය නමැති සුඛයෙන් රෝගියාට ප්‍රයෝජනයක් ද නොවේ. එහෙයින් රෝගය මෙන් ම රෝග සුවය නමැති ශාන්තිය ද කයෙහි ස්පර්ශව පවත්නා ධර්මයක් බව දත යුතු. මේ රූප කයෙහි හට ගන්නා වූ රෝගයන්ගේ නිවීම රූප කයින් ස්පර්ශ කරනු ලබන ආකාරයයි.

ප්‍රේමණීය පුත්‍රදාරාවන්ගේ මරණය හේතුකොට ගෙන මහත් ශෝකාග්නියෙන් පෙළෙමින් සිටින්නා වූ පුද්ගලයකුට සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීමෙන් ශෝකාග්නිය නිවී ගිය කල්හි නාම කයෙහි පැවති ශෝකාග්නිය හා එහි නිවීම නමැති ශාන්ති සුඛය යන දෙක ම ඔහුගේ නාම කයෙහි ම වූයෙන් නාම කයින් ස්පර්ශ කරන ලද්දාහු වෙති. මේ නාම කයෙහි හට ගන්නා වූ ශෝකාදීන්ගේ නාම කයෙහි ස්පර්ශ වන ආකාරයයි.

අනාගත ධර්මයන්ගේ ස්පර්ශය මෙසේ දතයුතු. එක්තරා පුරුෂයෙක් තෙම යම්කිසි අපරාධයක් කිරීම හේතුකොට ගෙන රජු විසින් තුන් දිනකින් මතු හිස සිඳ මැරීමට නියම කරන ලද්දේ ය. ඔහුගේ ඥාති මිත්‍රයන්ගේ ඉල්ලීම හේතු කොට ගෙන දෙවන දවස්හි ඔහුට සමාව දෙන ලද්දේ ය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාට සමාව නොදෙන ලද්දේ නම් තුන්වන දිනයෙහි ඒකාන්තයෙන් ජීවිතක්‍ෂයට පමුණුවන්නා වූ ශස්ත්‍ර ප්‍රහාරය ඔහුගේ රූප කයෙහි පතිත වන්නේ ය. සමාව දීම හේතු කොට ගෙන ඔහු ඉන් මිදුනේ ය. ඒ මිදීම නමැති ශාන්ති සුඛය වනාහි මතු ශරීරයෙහි ස්පර්ශ වන ශස්ත්‍ර ප්‍රහාරයාගේ නිවීම හෙයින් ශස්ත්‍ර ප්‍රහාරය යම් තැනකට වේ නම් ශාන්තිය ද එතනට ම වන ධර්මයකි. එහෙයින් එය රූප කයින් ස්පර්ශ කරන ලද ධර්මයක් වේ. නිදහස් කරන ලද බව ඇසූ වහා ම මහත් වූ ප්‍රීතියට පැමිණ ඒ ශාන්ති සුඛය නාම කයින් ස්පර්ශ කරනු ලබන්නේ ය. මේ අනාගත ධර්මයන් නාම කයෙහි හා රූප කයෙහි ස්පර්ශ වන ආකාරයයි.

එක්දහස් පන්සියක් වූ ක්ලේශයෝ වනාහි සත්ත්වයන්ගේ හෘදයෙහි දැල්වෙන්නා වූ ගිණි කඳු එක්දහස් පන්සියයකි. පෘථග්ජන සත්ත්වයෝ මේ වනාහි ස්කන්ධයන්ගෙන් නිරතුරුව දවනු ලැබෙත්. ඒ දුක්ඛයෙන් මිදෙනු කැමති පුද්ගලයන් විසින් භව බොහෝ ගණනක් මුලුල්ලෙහි පාරමී ධර්මයන් පුරා අන්තිම භවයෙහි ශීල විශුද්ධ්‍යාදි සප්ත විශුද්ධි ධර්මයන් සම්පූර්ණ කළ කල්හි ඔවුහු සෝවාන් මගට පැමිණෙත්. එකල ඔවුන්ගේ සතන් වල පැවති දෘෂ්ටි විචිකිත්සා යන ගිණිකඳු දෙක නිවෙත්. අතීතයෙහි රැස්කරන ලද අපාය ප්‍රතිසන්ධිය ගෙන දිය හැකි අකුශල කර්ම සඞ්ඛ්‍යාත නිරය බීජයන් අතුරුදහන් වීමෙන් අපායෙහි ඉපදිය යුතු ස්කන්ධයෝ ද නිරුද්ධ වෙති. ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය නිර්වාණ ධාතුවයි. ස්වකීය හෘදයෙහි දැල්වෙමින් පැවති ඒ ගිණිකඳු දෙකේ නිවීම ඔවුන්ගේ චිත්ත සන්තානවල ම වූ හෙයින් එය නාම කාය සඞ්ඛ්‍යාත කයින් ස්පර්ශ කරන ලද්දක් වේ. දෘෂ්ටි විචිකිත්සා නමැති ගිණිකඳු දෙක නිවී ගියේ ය, අපායෝත්පත්තිය ද සිඳී ගියේයයි ඥානයෙන් දැනගත් කල්හි ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය (නිවන) ඥානයෙන් ස්පර්ශ කරන ලද්දේ වේ. මේ නිර්වාණ ධාතුව කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කරනු ලබන ආකාරයයි. නිර්වාණ සුඛය මෙසේ කාය ඥානද්වයෙන් ස්පර්ශ කළ හැක්කේ පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් ඇත්තා වූ ධර්මයක් හෙයිනි. ඉදින් පරමාර්ථ වශයෙන් නැත්තා වූ මනුෂ්‍යයන්ගේ ව්‍යවහාරයෙහි පමණක් ඇති ප්‍රඥප්තියක් වී නම් එය කිසිසේත් කයින් හෝ ඥානයෙන් ස්පර්ශ කළ නොහේ. සස විසාණය (සා අඟ) ඒකාන්තයෙන්ම නැති, මනුෂ්‍යයන්ගේ ව්‍යවහාරයෙහි පමණක් ඇති ප්‍රඥප්තියකි. එහෙයින් සා අඟක් කිසිවකුට සොයා ගත නොහේ. කිසිවකුට කයින් ස්පර්ශ කළ නොහේ. මෙයින් අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝ ද මේ සස විසාණය මෙන් කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කළ නො හැක්කා වූ ධර්මයෝ වෙත්. යම් ධර්මයක් එසේ ස්පර්ශ කළ හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් යයි දත යුතු. මේ සාක්ෂාත් කරණ කෘත්‍යයෙහි ලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම බෙදාගත යුතු ආකාරයයි.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ ප්‍රථම පරිච්ඡේදය නිමි.

ද්විතීය පරිච්ඡේදය.

නිර්වාණ භේද

මෙසේ සඞ්ක්ෂේපයෙන් දක්වන ලද නිර්වාණයාගේ සෝපාදිශේෂානුපාදිශේෂාදි බොහෝ භේදයෝ වෙත්. එයින් අභිධර්මාර්ථ සඞ්ග්‍රහයෙහි දක්වන ලද නිර්වාණ භේදයෝ පළමු කොට මෙහි දක්වනු ලැබෙත්.

“තදෙතං සභාවතො එකධම්පි සඋපාදිසෙස නිබ්බාන ධාතු අනුපාදිසෙස නිබ්බාන ධාතු චෙති දුවිධං හොති කාරණ පරියායෙන” යනු අර්ථ කථා යි.

ඒ මේ නිර්වාණ ධාතුව වනාහි ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එක් වැදෑරුම් වූ නමුත් සෝපාදිශේෂ නිර්වාණය අනුපාදිශේෂ නිර්වාණයයි කාරණපර්‍ය්‍යායයෙන් දෙවැදෑරුම් වේය යනු මෙහි භාවයි.

සෝපාදිශේෂ නිර්වාණය

චතුර්මාර්ගයන්ගේ උත්පත්ති සමයන්හි හා ස්කන්ධ පරිනිර්වාණ සමයෙහි දැ යි මෙසේ පස්වාරයක දී සිදුවන නිර්වාණයට පැමිණීම් අතුරෙන් පූර්ව සතර වාරයෙහි දී පැමිණෙනු ලබන නිර්වාණයට සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. කුමක් හෙයින් ද යතහොත්? ලෞකික ස්කන්ධයෝ තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත උපාදානයන් විසින් මමය මගේය කියා දැඩි සේ ගන්නා ලද්දාහු වෙති. එහෙයින් ඔවුන්ට උපාදියයි කියනු ලැබේ. නිර්වාණයෙහි උපාදි ධර්මයන් (ස්කන්ධයන්) නොමැති නමුත් ක්ලේශ ප්‍රහාණයෙන් නිර්වාණයට පැමිණ සිටින ආර්‍ය්‍යයන් සම්බන්ධී ස්කන්ධයෝ, ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා විද්‍යමාන හෙයින් යථෝක්ත විද්‍යමාන ස්කන්ධයන්ගේ ශේෂ භාවය නිමිති කොට එකල ලබන ලද පැමිණෙන ලද නිර්වාණයට සෝපාදිශේෂ නිර්වාණයැයි කියනු ලැබේ.

අනුපාදිශේෂ නිර්වාණය

සකල ක්ලේශයන් ප්‍රහාණය කොට නිර්වාණයට පැමිණ සිටින රහතන් වහන්සේලා ද තම තමාගේ වර්තමාන ස්කන්ධ කය පරිහරණය කිරීම නමැති දුඃඛයෙන් මිදුනාහු නොවෙති. එහෙයින් උන්වහන්සේලා සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු නමුත් දුක් සහිත වූවෝ ම ය. ච්‍යුති චිත්තයාගේ හා කර්මජ රූපයන්ගේ නිරෝධයෙන් හෙවත් ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේලා සර්වප්‍රකාරයෙන් ස්කන්ධභාර පරිහරණ දුඃඛයෙන් මිදී නිවනට පැමිණෙත්. ඒ පරිනිර්වාණයෙන් පසු පැමිණෙනු ලබන නිර්වාණ ධාතුවට උපාදි නම් වූ ස්කන්ධ භාරාභාවය නිමිත්තකොට “අනුපාදිශේෂ නිර්වාණය” යි කියනු ලැබේ.

මෙසේ උපාදි නම්වූ ස්කන්ධයන්ගේ ශේෂාශේෂ භාවය නිමිත්ත කොට නිර්වාණය ද්විප්‍රභේද වන නමුත් එය ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එක ම ධර්මයකි. ඒ බව යට දක්වන ලද පිළිකා උපමාවෙන් දත යුතු. මේ අර්ථය ප්‍රකාශ කරනු සඳහා ආචාර්‍ය්‍යවරයෝ තවත් උපමාවක් දක්වත්. ඒ මෙසේ යි: එක්තරා පුරුෂයෙක් තෙම යම්කිසි අකුශල කර්මයකින් පොළොව යට උපන්නේ ය. කර්මය විපාක දී අවසාන වන කල්හි පළමුකොට ඔහුගේ හිස පෘථිවියෙන් මතුවී ආකාශයෙහි පිහිටියේ ය. මෙසේ දෙවෙනි වර නාභිය දක්වා ද තුන්වන වර දණ මඬල දක්වා ද සතරවෙනි වර ගොප් ඇටය දක්වා ද පොළොවෙන් නික්මියේ ය. පස්වෙනි වර සකල ශරීරය ම පොළොවෙන් නික්ම පොළොව මතුපිට ආකාශයෙහි පිහිටියේ ය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයා විසින් පස්වාරයකින් ආකාශයට පැමිණෙන ලද නමුත් පැමිණෙන ලද ආකාශය එකක් ම වේ. එමෙන් චතුර්‍මාර්ගක්‍ෂණයන්හි ක්ලේශ ප්‍රහාණය කිරීමෙන් වාර සතරකට ද අනුපාදිශේෂ පරිනිර්වාණ සමයෙහිදැයි, මෙසේ පස් වාරයකදීම පැමිණෙනු ලබන නිර්වාණය එකම ධර්මයක් වේ. සෝත ආපත්‍යාදි මාර්ගක්‍ෂණයන්හි සිදුවන ක්ලේශ ස්කන්ධ නිරෝධය නිර්වාණය නොවේ ය, සකල ක්ලේශ ස්කන්ධයන්ගේ නිරෝධය ම නිර්වාණ යැයි මුළාවිය හැකි වේ. ශ්‍රෝත ආපත්ති මාර්ගක්‍ෂණයෙහි නිරුද්ධවන කොටසක් වූ ක්ලේශ ස්කන්ධයෝ අනමතග්ග සංසාරයෙහි මතු කිසිකලෙක උපදින්නාහු නොවෙති. ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය නිරුද්ධ වූ පරිදි නිත්‍යවැ පවත්නේ ය. එහෙයින් කොටසක් වූ ක්ලේශ ස්කන්ධයන් ගේ නිරෝධය ද නිර්වාණ ධාතුව යයි දත යුතු. එය අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පැමිණෙනු ලබන නිර්වාණ ධාතුව හා සම්බන්ධව ම පවත්නේ ය.

මෙතෙකින් සෝපාදිශේෂානුපාදිශේෂ භේදය නිමි.

සුඤ්ඤතාදි ත්‍රිවිධ භේදය

“සුඤ්ඤතං අනිමිත්තං අප්පණිහිතඤ්චේති තිවිධං හොත ආකාරභෙදෙන” මේ සුඤ්ඤතාදි භේද දක්වන අර්ථකථා පාඨයයි. සුඤ්ඤතය, අනිමිත්තය, අප්පණිහිත යයි ආකාර භේදයෙන් නිර්වාණය ත්‍රිවිධ වේය යනු මෙහි භාවයි.

ශුන්‍යතා නිර්වාණය

මෙහි ශුන්‍යතා නිර්වාණය නම් :- සකල පළිබෝධයන්ගෙන් හිස්වූ නිර්වාණයයි. පළිබෝධයෝ නම් ශාන්ති සුඛ බාධක ධර්මයෝ ය. සංස්කාර ධර්මයන් අතුරෙන් ප්‍රණීතතර ධර්මය වූ අරහත්ඵල ජවනය ද පළිබෝධ සහිත වූවක් ම වේ. කෙසේ ද යතහොත් ස්වසන්තානයෙහි අරහත් ඵලය උපදවා ගනු කැමති රහතන් වහන්සේ විසින් පළමුකොට තදනුරූප ආවර්ජනය කළ යුතු වේ. ආවර්ජනාදිය සඳහා වෙහෙසීම නොමැතිව අර්හත් ඵලය උපදවා ගත හැකි නොවේ. ඒ උපදවා ගැනීම සඳහා කරන්නා වූ සකල ප්‍රයත්නයෝ ම පළිබෝධයෝ ය. එය ඉපදීමෙන් පසු ද අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්මයක් වූයෙන් ඒ ඇසිල්ලෙහි ම බිඳී අතුරුදහන් වේ. මද උපදවා ගනු කැමති නම් එසේ ම ප්‍රයත්න කළ යුතු වේ. මෙසේ වෙහෙසෙමින් දවසකට දහස් වාරයක් උපදවා ගන්නා ලද්දේ නමුත් පුද්ගලයාගේ අභිප්‍රායානුකූලව මොහොතකුදු පැවතීමක් නොමැතිව උපන් ඇසිල්ලෙහි ම බිඳී අතුරුදහන් වන හෙයින් සංස්කාර ධර්මයන් අතුරෙන් ප්‍රණීතතර ධර්මය වූ අර්හත් ඵලය ද දුක් උපදවන්නා වූ පළිබෝධ සහිත ධර්මයක් වේ ම ය. තදන්‍ය සංස්කාර ධර්මයන්ගේ සපළිබෝධත්වය කියනු ම කවරේද? අසංඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්වාණ ධර්මය වනාහි ඉපදීමක් ඇති ධර්මයක් නො වන හෙයින් උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කළ යුතු බව යයි කියන ලද පළිබෝධ දුඃඛයෙන් ද හිස් වූවකි. එය නිත්‍ය ධර්මයක් හෙයින් නැවත නැවත උපදවා ගැනීම සදහා වෙහෙසිය යුතු බව යයි කියන ලද පළිබෝධ දුඃඛයෙන් ද හිස් වූවකි. නිර්වාණයට පැමිණීම සඳහා භව බොහෝ ගණනක් මුලුල්ලෙහි දාන ශීලාදි පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමය, ශීල විශුධ්‍යාදි විශුද්ධි ධර්මයන් සම්පූර්ණ කිරීමය යන පළිබෝධයෝ වනාහි නිර්වාණය හේතු කොට ඇත්තාහු නොවෙත්. ඔවුහු නිර්වාණයට පැමිණෙනු කැමති යෝගාවචරයාගේ සන්තානයෙහි පැවති මෝක්‍ෂාවරණකාරි ක්ලේශ ධර්මයන් දුරු කිරීම සඳහා කළ යුතු ප්‍රයත්න වූයෙන් ක්ලේශ හේතුක පළිබෝධයෝ ම වෙත්. ඇසෙහි ප්‍රසාදය පටලයන්ගෙන් වැසී තිබෙන අන්ධ පුද්ගලතෙම චන්ද්‍ර සූර්යයන් දකිනු කැමති වී නම් නානා ඖෂධයන් සේවනය කොට ඇසෙහි පැවති පටල දුරුකොට ඔහු විසින් චන්ද්‍ර සූර්යයෝ දැකිය යුතු වෙති. ඖෂධ සේවනය නමැති පළිබෝධ දුඃඛය වනාහි චන්ද්‍ර සූර්‍ය්‍යයන් නිසා ඇති වූ දුඃඛයක් නොවේ. ඒ වනාහි ඇසෙහි පැවති පටල නිසා ම ඇති වූ පළිබෝධයකි. එමෙන් දානාදි පාරමී ධර්මයන් පිරීම නමැති පළිබෝධයෝ නිර්වාණය හේතුකොට ඇති පළිබෝධ නො වන බව දත යුතු.

අනිමිත්ත නිර්වාණය

අනිමිත්ත නිර්වාණය නම් :- මේ එක නිවනෙක, මේ අනික් නිවනෙකැයි වෙන් කළ හැකි වන පරිදි සංස්ථාන විරහිත වූ නිර්වාණයයි. සංස්කාර ධර්මයන් අතුරෙහි වනාහි සංස්ථාන නිමිත්ත රහිත වූ ධර්මයන් නොමැති වෙයි. එක ම ධර්මයක් වූ අර්හත්ඵල චිත්තය, නිරුද්ධ වූ අතීත අර්හත් ඵල චිත්තය, ක්‍ෂණත්‍රය පර්යාපන්න වර්තමාන අර්හත් ඵල චිත්තය, නූපන් අනාගත අර්හත් ඵල චිත්තය, හීන අර්හත් ඵල චිත්තය, මධ්‍යම අර්හත් ඵල චිත්තය, ප්‍රණීත අර්හත් ඵල චිත්තය, බුදුන්ගේ අර්හත් ඵල චිත්තය, පසේ බුදුන්ගේ අර්හත් ඵල චිත්තය යනාදි වශයෙන් සිය දහස් ගණන් ප්‍රභේද ඇති ධර්මයක් වේ. තදන්‍ය සංස්කාර ධර්මයෝ ද එසේ ම වෙති. සටහනක් නැත්තා වූ අනිමිත්ත නිර්වාණයේ වනාහි මේ පරණ නිවනය මේ අළුත් නිවනයැයි භේදයක් ද නැත්තේ ය. නිවනට පැමිණි පුද්ගලයන්ගේ වශයෙන් භේදයක් ද නැත්තේ ය. උතුරු දිශාවේ පිරිනිවියා වූ රහතන් වහන්සේගේ නිවන උතුරු දිශාවෙහිය යනාදීන් දිශා වශයෙන් භේදයක් ද නැත්තේ ය. සර්වඥයන් වහන්සේ විසින් ලබන ලද නිවන ප්‍රණීතය, දාසිය විසින් ලබන ලද නිවන හීනය යනාදි වශයෙන් හීන ප්‍රණීත භේදයක් ද නැත්තේ ය. හුදෙක් ලෝක ධාතුවෙහි පවත්නා වූ දුඃඛයන්ගේ නිවීමයයි කියන ලද ශාන්ති ලක්‍ෂණයෙන් විද්‍යමාන වූ අසඞ්ඛත ධාතුව ඇති බව පමණක් දත හැකි වේ. එබැවින් ඊට අනිමිත්ත නිර්වාණයැයි කියනු ලැබේ.

අප්‍රණීහිත නිර්වාණය

අප්‍රණීහිත නිර්වාණය නම් :- සකල ප්‍රාර්ථනාවන්ගෙන් හිස් වූ නිවනයි. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි පවත්නා වූ සකල සංස්කාර ධර්මයෝ සප්‍රණිහිත (ප්‍රාර්ථනා සහිත වූ) ධර්මයෝ වෙති. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සම්පත් අතුරෙහි හීන, මධ්‍යම, ප්‍රණීත, ප්‍රණීතතර වශයෙන් නොයෙක් ප්‍රමාණවල සම්පත් ඇත්තාහු ය. එයින් හීන සම්පත්තිය ලැබූවහු තුළ මධ්‍යම ප්‍රණීත සම්පත් ප්‍රාර්ථනා කිරීම ඇත්තේ ය. මධ්‍යම සම්පත් ලැබූවහු තුළ ප්‍රණීත වූ සම්පත් ප්‍රාර්ථනා ඇත්තේ ය. ප්‍රණීත වූ සම්පත් ලැබූවහු තුළ අති ප්‍රණීත වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේ ය. ලෞකික සම්පත් අතුරින් අග්‍රප්‍රාප්ත ප්‍රණීත සම්පත් ලැබූවහු තුළ ද ඒ සම්පත් පරණ වීමට දිරීමට බිඳීමට පැමිණෙන හෙයින් අළුත් අළුත් වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේ ය. ප්‍රාර්ථනාව වනාහි සත්ත්වයන් තවන්නා වූ ගින්නකි. ප්‍රාර්ථනාග්නියෙන් තවන ලද සත්ත්වයෝ මරණයට පවා ඇතැම් විට පැමිණෙති. එහෙයින් ප්‍රාර්ථනා සහිත වූ ලෞකික සම්පත් සියල්ල ම ගිනිගෙන දිලිසෙන වස්තූන් වැනි වෙති. ලෞකික සම්පත් අතුරෙන් මනුෂ්‍ය ලෝකයෙහි චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ද, දිව්‍ය ලෝකයෙහි දිව්‍යරාජ සම්පත් ද, බ්‍රහ්ම ලෝකයෙහි බ්‍රහ්මරාජ සම්පත් ද ශ්‍රේෂ්ඨ සම්පත් වෙති. මහානුභාව සම්පත් වෙති. ඒ සියල්ල ම කර්ම ශක්තිය පවත්නා තුරු පවතිත්. කර්ම ශක්තිය ක්‍ෂය වූ වහා ම ජීවිතයත් සමග ම විනාශයට පැමිණෙත්. ලෝකයෙහි වාසය කරන සත්ත්වයන් අතුරින් එක් එක් සත්ත්වයෙක් අනමතග්ග සංසාරයෙහි අනන්තාපරිමාණ චක්‍රවර්ති රාජ සම්පත් ද දිව්‍ය රාජ සම්පත් ද බ්‍රහ්ම රාජ සම්පත් ද අනුභව කළේ ය. නමුත් ඉන් තෘප්තියට නො පැමිණ සකල සත්ත්වයෝ ම දැනුදු ඒ සම්පත් ප්‍රාර්ථනා කරමින් ම සිටිත්. එහෙයින් ලෞකික සම්පත්, කොපමණ පානය කළත් පිපාසය නො සන්සිඳවන, පානය කරන්නට කරන්නට පිපාසය වර්ධනය වන සමුද්‍රජලය මෙන් සැලකිය යුතු. පිපාසය සංසිඳවා ගැනීමට යමෙක් සමුද්‍ර ජලය පානය කෙළේ නම් කොපමණ පානය කළත් ඔහු පිපාසය තිබියදී ම මිය යන්නේ ය. එමෙන් කොපමණ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම රාජ සම්පත් වින්දේ වී නමුත් සත්ත්වයෝ සම්පත් විඳිනු කැමති බව යයි කියන ලද තෘෂ්ණා පිපාසය තිබියදී ම කළුරිය කරන්නාහු ය. සංස්කාර ධර්මයන් අතුරෙන් අතිප්‍රණීත ධර්මය වූ අර්හත් ඵල සුඛය ද විඳිමින් සිටියදී ම බිඳී යන ධර්මයකි. එහෙයින් අර්හත් ඵලය ද අභිනව අර්හත් ඵල සුඛ උපදවා විඳිනු කැමති බව යයි කියන ලද ඡන්ද ප්‍රාර්ථනාව සහිත වූ ධර්මයක් වේ. ඡන්ද ප්‍රාර්ථනාව ද තෘෂ්ණා ප්‍රාර්ථනාව මෙන් ඖදාරික වූ ගින්නක් නො වන මුත් සියුම් වූ ගින්නකි. මෙසෙයින් සකල සංස්කාර ධර්මයෝ ම ප්‍රාර්ථනාග්නියෙන් දිලිසෙන සප්‍රණිහිත ධර්ම බව දතයුතු. අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමෙන් සකල ප්‍රාර්ථනාවෝ නිරුද්ධ වෙති. එහෙයින් ක්ලේශ ස්කන්ධ නිරෝධයයි කියන ලද්දා වූ අසංඛත ධාතුවට අප්‍රණිහිත නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ සුඤ්ඤතය, අනිමිත්තය, අප්පණිහිතය යන නාමත්‍රයෙන් දක්වන ලද්දේ ඒකාන්තයෙන් වෙන් වෙන් වූ නිර්වාණත්‍රයක් නොවේ. ඒ වනාහි සකල පළිබෝධයන්ගෙන් හිස් වීම, සංස්ථානයෙන් හිස්වීම, ප්‍රාර්ථනාවන් ගෙන් හිස් වීම යන ගුණත්‍රයාගේ වශයෙන් එකම අසංඛත ධාතුව මැයි.

යමෙක් තෙම ත්‍රෛයිභූමික ධර්මයන්හි පවත්නා වූ ප්‍රයත්න කළයුතු බව නමැති පළිබෝධයන් දුඃඛයකැයි දැන ගත්තේ වේ නම් :- ඔහුට නිර්වාණයාගේ සුඤ්ඤත ගුණය ඉතා ප්‍රණීත ගුණයක් වේ. නිත්‍ය වූ එක ම නිර්වාණ ධාතුව පමණක් සකල පළිබෝධයන්ගෙන් හිස් වූ හෙයිනි.

යමෙක් තෙම ජරා භය, මරණ භය, රාජ භය, චෝර භයාදි අනේක භය වලින් ද අනේක උපද්‍රව වලින් ද නිරතුරුව පීඩා ලබමින් ත්‍රෛභූමික ධර්මයන් පවත්නා බව අවබෝධ කරගත්තේ වේ නම් ඔහුට නිර්වාණයෙහි අනිමිත්ත ගුණය අතිශයින් ප්‍රණීත වූ ගුණයක් වේ. කුමක් හෙයින්ද යත් ජරා මරණාදි භය සමූහය විසින් කුදු මහත් සටහන් ඇත්තා වූ ද්‍රව්‍ය පිණ්ඩයන් වූ සංස්කෘත ධර්මයෝ ම පෙළනු ලබත්. සටහනක් නැත්තා වූ අද්‍රව්‍ය වූ අජටාකාශයෙහි ගිනි සුළං, ආයුධ, සෙන ආදි කිසිවකට සැපිය හැකි නො වන හෙයින් එය නිරුපද්‍රිත වූවක් මෙන් සටහනක් නැති අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුව රාජ චෝරාදි අසාධාරණ භය වලින්ද ජාති, ජරා, මරණ යන සාධාරණ භය වලින්ද මිදී පවතී. එහෙයිනි.

යමෙක් ත්‍රෛභූමික ධර්මයන්ගේ මධ්‍යයෙහි පඤ්චකාමය ප්‍රාර්ථනා කරන්නා වූ කාම තෘෂ්ණාව නමැති ගින්නෙන්ද, යහපත් බව ප්‍රාර්ථනා කරන්නා වූ භව තෘෂ්ණාව නමැති ගින්නෙන් ද තැවි තැවී සිටීම දුක බව අවබෝධ කර ගත්තේ වේ නම් ඔහුට නිර්වාණයාගේ අප්පණිහිත ගුණය ඉතා ප්‍රණීත වේ. නිර්වාණයෙහි එබඳු ගිනි නැති හෙයිනි. නිර්වාණයේ සුඤ්ඤත ගුණය හා අනිමිත්ත ගුණය උත්සන්න වූ භව තෘෂ්ණාව ඇති පුද්ගලයන්ට නිරර්ථක වූවක් මෙන් වැටහේ. අප්‍රණිහිත ගුණය උත්සන්න වූ කාම තෘෂ්ණාව ඇත්තා වූ පුද්ගලයන්ට නිරර්ථකාකාරයෙන් වැටහේ. මේ ගුණ තුන අවබෝධ කර නොගත් පුඟුලන්ට නිර්වාණය තුච්ඡ වූවක් සේ වැටහේ.

සුඤ්ඤතාදි ත්‍රිවිධ භේදය නිමි.

සූත්‍රාභිධර්ම දේශනාවන්හි නානා විධ නිර්වාණ

මෙතැන් පටන් ඒ ඒ සූත්‍රාභිධර්ම දේශනාවන්හි දක්නා ලැබෙන නානා විධ නිර්වාණ දක්වනු ලැබේ. ඒ නිර්වාණයෝ සංක්ෂේපයෙන් සතක් වෙති. ඔවුහු නම් :-

  1. මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය.
  2. සම්මුති නිර්වාණය
  3. තදඞ්ග නිර්වාණය.
  4. විෂ්කම්භන නිර්වාණය.
  5. සමුච්ඡේද නිර්වාණය.
  6. ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිර්වාණය.
  7. නිඃසරණ නිර්වාණය.

යන මොවුහු වෙති.

මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය.

මිථ්‍යා දෘෂ්ටික නිර්වාණය නම් :- මිථ්‍යාදෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පරිකල්පනය කොට පනවන ලද්දා වූ නිර්වාණයයි. එය සාමාන්‍යයෙන් එකක් වූ නමුත් ප්‍රභේද විසින් පස් වැදෑරුම් වේ. එයින් ප්‍රථම මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය මෙසේ ය. මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යමෙක් තෙම මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ පස්කම් රසයෙහි ඇලී පස්කම් රසයෙහි සම්පූර්ණව ස්වකීය චක්ෂුරාදි ඉන්ද්‍රියන් කැමති පරිදි පඤ්චකාම ගුණයෙහි හසුරුවමින් පඤ්චකාම සම්පත්තිය විඳින්නේ වේ නම්:- හෙතෙම පරම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේයැයි කියත්. මෙසේ ඔවුහු පඤ්චකාම සම්පත්තියෙන් දුක්ඛයන් නිවා ගැනීම නිර්වාණයයි පනවත්. එහෙයින් වදාරන ලදී. බ්‍රහ්මජාල සූත්‍රයෙහි:-

“ඉධ භික්ඛවේ එකච්චො සමණෝවා බ්‍රහ්මණෝ වා ඒවං වාදි හොති. එවං දිට්ඨි. යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාම ගුණේහි සමප්පිතො සමඞ්ගිභූතෝ පරිවාරෙති එත්තාවතා ඛෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බානං පත්තෝ හොති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්ති.” යි.

මේ ප්‍රථම මිථ්‍යා දෘෂ්ටික නිර්වාණයයි.

ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔවුන්ගේ වාදය ප්‍රතික්‍ෂේප කොට මේ සත්ත්ව තෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධම්යන්ගෙන් වෙන්ව විතර්කය හා විචාරය සහිත වූ විවේකයෙන් හට ගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍රථම ධ්‍යානයට පැමිණියේ වේ නම් හෙතෙම පරම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේ යයි කියත්. මෙසේ ඔවුහු ප්‍රථම ධ්‍යානය නිර්වාණයයි පනවත්. එහෙයින් වදාරන ලදී. බ්‍රහ්මජාල සූත්‍රයෙහි :-

“යතො ඛො භො අයං අත්තා විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො හෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බානප්පත්තෝ හොති. ඉත්ථෙකෙ සතෝ සත්තස්ස පරම දිට්ඨ ධම්ම තිබ්බානං පඤ්ඤාපෙන්ති” යි.

මේ ද්විතීය මිථ්‍යාදෘෂ්ටික නිර්වාණයයි.

ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ දෙක ප්‍රතික්‍ෂේප කොට ද්විතීයධ්‍යානයට පැමිණි සත්ත්ව තෙම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේ යයි ද්විතීය ධ්‍යානය නිර්වාණයයි පනවත්. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ තුනම ප්‍රතික්‍ෂේප කොට තෘතිය ධ්‍යානයට පැමිණි පුද්ගල තෙමේ දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ යයි තෘතීය ධ්‍යානය දෘෂ්ටධර්ම නිර්වාණයයි පනවත්. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ සතර ප්‍රතික්‍ෂේප කොට චතුර්ථ ධ්‍යානයට පැමිණි පුද්ගල තෙම පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ යැයි චතුර්ථ ධ්‍යානය නිර්වාණයැයි පනවත්. විස්තර බ්‍රහ්මජාල සූත්‍රයෙන් දත යුතු.

මේ තෘතීය චතුර්ථ පඤ්චම මිථ්‍යාදෘෂ්ටික නිර්වාණයෝ ය.

තවද, “නිබ්බානං නිබ්බානතෝ සඤ්ජානාති. නිබ්බානං නිබ්බානතෝ සඤ්ඤත්වා නිබ්බානං මඤ්ඤති. නිබ්බානස්මිං මඤ්ඤති. නිබ්බානතෝ මඤ්ඤති. නිබ්බානං මෙති මඤ්ඤති. නිබ්බානං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි” යන මූල පර්‍ය්‍යාය දේශනාවේ දක්වා තිබෙන්නේත් මේ මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය මැයි.

මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය නිමි.

සම්මුති නිර්වාණය.

ලෝකයෙහි හට ගත්තා වූ දුඃඛ භය වෛර අන්තරායයන්ගේ සන්සිඳීමට හා ඉන් මිදීමට සම්මුති නිර්වාණයැයි කියනු ලැබේ. එය “මනෝ නිබ්බාති තාවදේ. රෝගො වූපසම්මති. අන්තරායෝ වූපසම්මති” යනාදි දේශනාවන්හි දක්නා ලැබේ. සිද්ධාර්ථ කුමාරයාණන්ගේ ශ්‍රී සම්පත්තිය දැක කිසා ගෝතමී නම් වූ ක්ෂත්‍රිය කුමාරිකාව විසින් කියන ලද,

“නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා

නිබ්බුතා නූන සා නාරි - යස්සායං රීදිසෝ පතී.”

යන ගාථාවෙහි “නිබ්බුත” පදයෙන් දක්වන ලද්දේත් මේ සම්මුති නිර්වාණයයි. යෞවන වයසින් හා රූප සම්පත්තියෙන් ද පුණ්‍ය සම්පත්තියෙන් හා ප්‍රඥා සම්පත්තියෙන් ද යුක්ත වූ සිද්ධාර්ථ කුමාරයන්ගේ මව් තොමෝ ද පිය රජ තෙමේ ද ප්‍රිය භාර්යාව වූ ස්ත්‍රිය ද යන සියල්ලෝ ම සර්වෝපද්‍රවයන් කෙරෙන් මිදී සුවසේ දිවි ඇති තාක් වාසය කරන්නාහු ය. එබැවින් ඔවුහු කායික, චෛතසික, සකල දුඃඛයන්ගෙන් මිදුනාහු වෙති. ඒ මිදීම හා ඔවුන්ගේ සන්සිඳීම මෙහි දක්වන ලද සම්මුති නිර්වාණයයි. තවද,

“ස්වාහං අබ්බුල්ලා සල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතෝ

න සෙ චාමි න රොදාමි තව සුත්වාත මානව”

යන විමාන වස්තු පාලියෙහි “නිබ්බුතො” යන පදයෙන් දක්වා තිබෙන්නේත් මේ සම්මුති නිර්වාණය මැයි. ප්‍රිය පුත්‍රයාගේ මරණය හේතු කොට ගෙන බ්‍රාහ්මණයා කෙරෙහි පැවති ශෝකාග්නියගේ නිවීම මෙහි දක්වන ලද සම්මුති නිර්වාණයයි.

මේ සම්මුති නිර්වාණය ද නිවීමයයි කියන ලද ශාන්ති ලක්ෂණයෙන් එකක් වූ නමුත් නිවී යන දුඃඛ ධර්මයන්ගේ වශයෙන් අනේක සහස්‍ර ප්‍රභේද වේ. එහි භේද සංක්ෂේපයෙන් මෙසේ දතයුතු. රෝගාන්තර කල්පය, දුර්භික්ෂාන්තර කල්පය, ශස්ත්‍රාන්තර කල්පය යන කල්පත්‍රය නිමිත්තකොට ඔවුන්ගේ සන්සිඳීම් වශයෙන් සම්මුති නිර්වාණ තුනකි.

මෙසේ චතුර්විධ විපත්තීන්ගේ වශයෙන් සතරකි. සතර අපාය දුඃඛයාගේ වශයෙන් සතරකි. පඤ්ච මහා වෛරීන්ගේ වශයෙන් පසකි. අෂ්ටාභව්‍ය ස්ථානයන්ගේ වශයෙන් අටකි. ෂෝඩෂ ප්‍රභේද උපද්‍රවයන්ගේ වශයෙන් සොළසකි. පස්විසි භවයන්ගේ වශයෙන් පස්විස්සකි. ද්වත්තිංස කම්මකරණයන්ගේ වශයෙන් දෙතිසකි. සයානුවක් වූ රෝගයන්ගේ වශයෙන් සයානූවෙකි. විස්තාර වශයෙන් අනන්ත කල්ප අනන්ත චක්‍රවාළ අනන්ත සත්ත්වයන්ගේ වශයෙන් අනන්තාපරිමාණ සම්මුති නිර්වාණයෝ වෙත්. මේ සම්මුති නිර්වාණය අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත අමෘත මහා නිර්වාණයට නො පැමිණියා වූ සකල සත්ත්වයන්ට ම ඇත්තා වූ මහත් වූ ප්‍රතිෂ්ඨාවකි. ලෝකයෙහි පවත්නා වූ රෝගාදි දුඃඛයන්ගේ නිවීමයැයි කියන ලද ශාන්ති ස්වභාවය සත්වයන්ගේ කාය-ඥානද්වයෙහි ස්පර්ශ වන පරිදි යට විස්තර කරන ලදී. යම් ධර්මයක් සත්ත්වයන්ගේ කාය -ඥානද්වයෙන් ස්පර්ශ කළ හැකි වේ නම් එය ස්වකීය ස්වභාවයෙන් ඒකාන්තයෙන් ඇත්තා වූ ධර්මයක් වන හෙයින් මේ සම්මුති නිර්වාණය ද සස විසාණාදිය වැනි වූ පරමාර්ථ වශයෙන් නැත්තා වූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් නොවේ. සාකේත නුවර සිටු දේවියක් සොළොස් දහසක් කහවනු පරිත්‍යාග කොට හිස රුජාවක සුවය වූ ශාන්තිය ලබා ගත්තා ය. රෝග සුවය කාය-ඥානද්වයෙන් ස්පර්ශ කළ හැකි නොවූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් වේ නම් ඕ තොමෝ එපමණ ධනය පරිත්‍යාග කොට ඒ ශාන්තිය ලබා නො ගන්නීය. දැනුදු මනුෂ්‍යයෝ ඒ ඒ දුඃඛයන් ගේ නිවීම වූ ශාන්තිය ලබා ගැනීම සඳහා බොහෝ ධන පරිත්‍යාග කෙරෙත්. එහෙයින් මේ සම්මුති නිර්වාණය ද පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් බව දතයුතු. එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන්නේ අන්‍ය පරමාර්ථ ධර්මයන් මෙන් ද්‍රව්‍ය භාවයෙන් නොව ශාන්ති සුඛ ස්වභාවයෙනි. නමුත් මෙය මතු නූපදනාකාරයෙන් සිදුවන දුඃඛ ධර්මයන්ගේ නිවීම වූ අසංඛත ධාතු සංඛාත මහා නිර්වාණය හා සසඳා බලන කල නිර්වාණය යැයි කීමට ප්‍රමාණ නොවේ. ලෞකික මහජනයා විසින් නිර්වාණාර්ථවාචී නිබ්බුත වූපසන්තාදි ශබ්දයන්ගෙන් ව්‍යවහාර කරනු ලබන හෙයින් මීට සම්මුති

නිර්වාණයැයි කියනු ලැබේ. මෙහි ප්‍රණීත භාවය යට සුඛ කථාවෙහි දක්වන ලද නයින් දත යුතු.

සම්මුති නිර්වාණය නිමි.

තදංග නිර්වාණය

ලෝකයෙහි පවත්නා වූ නානා විධ රෝගයන් සුව කිරීමට නා නා ඖෂධ වර්ග වෙන් වෙන් වශයෙන් ඇතුවාක් මෙන් සත්ත්වයන්ගේ චිත්ත සන්තානයන්හි පවත්නා වූ නා නා අකුශල ධර්මයන් දුරු කිරීමට ඒ ඒ අකුශල ධර්මයන් දුරු කළ හැකි වූ නා නා විධ කුශල ධර්ම වෙන් වෙන් වශයෙන් විද්‍යමානය. ඒ කුශල ධර්මයන්ගේ ශක්තියෙන් එක් එක් අකුශල ධර්මයක ප්‍රහාණයට තදඞ්ග ප්‍රහාණයැයි කියනු ලැබේ. එසේ ප්‍රහාණය කිරීමෙන් එක් එක් අකුශල ධර්මයක් සම්බන්ධී ස්වල්ප කාලයකට වන නිවීමට තදඞ්ග නිර්වාණයැයි කියනු ලැබේ. මෙය මධ්‍යම නිකායාගත සල්ලේඛ සූත්‍රයෙහි වදාරා තිබේ. එය ශාන්ති ලක්‍ෂණයෙන් එකක් වූ නමුත් අකුශල ධර්මයන්ගේ වශයෙන් බහු ප්‍රභේද වේ. එහි ප්‍රභේද මතු දක්වන සල්ලේඛ සූත්‍ර පදාර්ථානුසාරයෙන් දත යුතු.

ප්‍රථම තදංග නිර්වාණය

1. විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරිනිබ්බානාය.

විහිංසකස්ස, (අතින් හෝ ගල් දඬු මුගුරු ආදියෙන්) සත්ත්වයන් පෙළන්නා වූ; පුරිසපුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අවිහිංසා, සත්ත්වයන් පෙළීමට නො කැමැති වූ මෛත්‍රී සහගත කුශල චිත්තය; පරිනිබ්බානාය, (ඔහු තුළ පැවති විහිංසා සඞ්ඛ්‍යාත අකුශලය) නිවීම පිණිස; හොති, වේ.

ස්වචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ විහිංසා සඞ්ඛ්‍යාත අකුශලාග්නියෙන් පෙළෙන පුද්ගලයා විසින් අවිහිංසාවයැයි කියන ලද කුශල ධර්මය උපදවා විහිංසාව ප්‍රහාණය කරන ලද්දේ නම්; ඔහුගේ සිත් සතන්හි අවිහිංසාව පවත්නා තුරු විහිංසාවයයි කියන ලද ගින්න නො දැල්වේ. මෙසේ අවිහිංසාවගේ පැවැත්මෙන් විහිංසාවගේ නිවීම තදඞ්ග නිර්වාණයකි. මතු දක්වනු ලබන තදඞ්ග නිර්වාණයෝ ද මේ නයින් දත යුත්තාහු ය.

2. පාණාතිපාතිස්ස පුරිස පුග්ගලස්ස පාණාතිපාතා වේරමණී හොති පරිනිබ්බානාය.

පාණාතිපාතිස්ස, ප්‍රාණවධ කරන්නා වූ (හෙවත් ප්‍රාණවධ කිරීම නමැති අකුශල ධර්මාග්නියෙන් පෙළෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; පාණාතිපාතා වෙරමණී, ප්‍රාණඝාතයෙන් වැළකීම; (හෙවත් පාණාතිපාතා විරති ශීලමය කුශලය) පරිනිබ්බානාය, ඒ ප්‍රාණවධ කිරීම වූ අකුශලාග්නිය නිවීම පිණිස; හොති, වේ.

3. අදින්නාදායිස්ස පුරිසපුග්ගලස්ස අඳින්නාදානා වෙරමණී හොති පරිනිබ්බානාය.

අදින්නාදායිස්ස, කය වචන දෙකින් නො දෙන ලද මෙරමා වස්තුව පැහැර ගන්නා සුලු වූ (හෙවත් අදින්නාදානමය අකුශලාග්නිය චිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අදින්නාදානා වෙරමණී, අදින්නා දානයෙන් වැළකීම; පරිනිබ්බානාය, (ඒ අකුශලාග්නිය) නිවීම පිණිස; හොති, වේ.

4. අබ්‍රහ්මචාරිස්ස පුරිසපුග්ගලස්ස අබ්‍රහ්මචරියා වෙරමණී හොති පරිනිබ්බානාය.

අබ්‍රහ්මචාරිස්ස, මෛථුන සේවනය නමැති ලාමක චරියාවෙහි හැසිරෙන්නා වූ (හෙවත් මෛථුන සේවනය කිරීම නමැති අකුශලාග්නිය ස්වචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අබ්‍රහ්මචරියා වෙරමණී, මෛථුන සේවනය නමැති ලාමක හැසිරීමෙන් වැළකීම (හෙවත් අබ්‍රහ්මචරියා විරති ශීලමය කුශලය); පරිනිබ්බානාය, ඒ අකුශලාග්නිය නිවීම පිණිස; හොති, වේ.

5. මුසාවාදිස්ස පුරිසපුග්ගලස්ස මුසාවාදා වෙරමණී හොති පරිනිබ්බානාය.

මුසාවාදිස්ස, බොරු කියන සුලු වූ (හෙවත් බොරු කීම නමැති අකුශලාග්නිය ස්වචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; මුසාවාදා වෙරමණී, මුසාවාදයෙන් වැළකීම (හෙවත් මුසාවාද විරති ශීලය); පරිනිබ්බානාය, (ඒ අකුශලාග්නිය) නිවීම පිණිස; හොති, වේ.

6. පිසුණාවාචිස්ස පුරිස පුග්ගලස්ස පිසුණාවාචා වෙරමණී හොති පරිනිබ්බානාය.

පිසුණාවාචිස්ස, කේලම් කියන සුලු වූ (හෙවත් කේලම් කීම නමැති අකුශලාග්නිය සිත්හි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; පිසුණාවාචා වෙරමණී. පිසුණාවාචා විරති ශීලය; පරිනිබ්බානාය, ඒ අකුශලය නිවීම පිණිස; හොති, වේ.

7. ඵරුසවාචිස්ස පුරිස පුග්ගලස්ස ඵරුසා වාචා වෙරමණී හොති පරිනිබ්බානාය.

ඵරුස වාචිස්ස, සැඩබස් බිනින සුලු වූ (හෙවත් ස්වචිත්ත සන්තානයෙහි ඵරුස වචන කීම් නමැති අකුශලාග්නිය දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; ඵරුසාවාචා වෙරමණී, ඵරුෂ වචනයෙන් වැළකීම; පරිනිබ්බානාය, (ඒ අකුශලාග්නිය) නිවීම පිණිස; හොති, වේ.

8. සම්ඵප්පලාපිස්ස පුරිස පුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරිනිබ්බානාය.

සම්ඵප්පලාපිස්ස, නිරර්ථක වචන කියන සුලු වූ (හෙවත් නිරර්ථක වචන කීම නමැති අකුශල ධර්මාග්නිය චිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුග්ගලයාහට; සම්ඵප්පලාපා වෙරමණී, සම්ඵප්‍රලාපයෙන් වැළකීම; පරිනිබ්බානාය, ඒ අකුශල ධර්මය නිවීම පිණිස; හොති, වේ.

9. අභිජ්ඣාලුස්ස පුරිස පුග්ගලස්ස අනභිජ්ඣා හොති පරිනිබ්බානාය.

අභිජ්ඣාලුස්ස, පරසම්පත්තියට ආශා කිරීම යයි කියන ලද්දා වූ අභිධ්‍යාව බහුල කොට ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුග්ගලයා හට; අනභිජ්ඣා, පරසම්පත්තිය කෙරෙහි ලෝහ නොවීම; පරිනිබ්බානාය, ඒ අකුශලධර්මය නිවීම පිණිස; හොති, වේ.

10. ව්‍යාපන්න විත්තස්ස පුරිසපුග්ගලස්ස අව්‍යාපාදෝ හොති පරිනිබ්බානාය.

ව්‍යාපන්න චිත්තස්ස, පූතිභූත සිත් ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; අව්‍යාපාදෝ, අව්‍යාපාදය හෙවත් අදෝෂය; පරිනිබ්බානාය, (ඒ අකුශලධර්මය) නිවීම පිණිස; හොති, වේ.

11. මිච්ඡාදිට්ඨිකස්ස පුරිස පුග්ගලස්ස සම්මා දිට්ඨි හොති පරිනිබ්බානාය.

මිච්ඡාදිට්ඨිකස්ස, පාපදෘෂ්ඨි ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මාදිට්ඨි, සම්‍යදෘෂ්ටිය; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

12. මිච්ඡා සඞ්කප්පස්ස පුරිස පුග්ගලස්ස සම්මා සඞ්කප්පෝ හොති පරිනිබ්බානාය.

මිච්ඡා සඞ්කප්පස්ස, මිථ්‍යා කල්පනා ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා සඞ්කප්පො, සම්‍යක් කල්පනාව; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

13. මිච්ඡාවාචස්ස පුරිස පුග්ගලස්ස සම්මාවාචා හොති පරිනිබ්බානාය.

මිච්ඡාවාචස්ස, මිථ්‍යා වචන ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා වාචා, යහපත් වචන කීම නමැති සම්‍යග්වාචා කුශලය; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

14. මිච්ඡාකම්මන්තස්ස පුරිස පුග්ගලස්ස සම්මා කම්මන්තෝ හොති පරිනිබ්බානාය.

මිච්ඡාකම්මන්තස්ස, මිථ්‍යා කර්ම ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; සම්මා කම්මන්තෝ, යහපත් කර්ම කරනු කැමති සම්‍යග් කර්මාන්ත කුශලය; පරිනිබ්බානාය, (ඒ අකුශලය) නිවීම පිණිස; හොති, වේ.

15. මිච්ඡා ආජීවස්ස පුරිස පුග්ගලස්ස සම්මා ආජීවො හොති පරිනිබ්බානාය.

මිච්ඡා ආජීවස්ස, මිථ්‍යා ආජීවය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; සම්මා ආජීවො, මොනවට ජීවත් වීමට කරුණු වූ සම්‍යගාජීව කුශලය; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

16. මිච්ඡාවායාමස්ස පුරිස පුග්ගලස්ස සම්මා වායාමෝ හොති පරිනිබ්බානාය.

මිච්ඡාවායාමස්ස, මිථ්‍යා ව්‍යායාමය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස පුරුෂ පුද්ගලයාහට; සම්මා වායාමෝ, සම්‍යක් ව්‍යායාම කුශලය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

17. මිච්ඡාසතිස්ස පුරිසපුග්ගලස්ස සම්මා සති හොති පරිනිබ්බානාය.

මිච්ඡාසතිස්ස, අකුශල ධර්ම සිහිකිරීම නමැති සතර අකුශල ස්කන්ධයන් ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා සති, සම්‍යක් ස්මෘතිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

18. මිච්ඡාසමාධිස්ස පුරිසපුග්ගලස්ස සම්මා සමාධි හොති පරිනිබ්බානාය.

මිච්ඡා සමාධිස්ස, මිථ්‍යා ධර්මයන්හි එකඟ බව නමැති මිථ්‍යා සමාධිය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා සමාධි, සම්‍යක් සමාධිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

19. මිච්ඡාඤාණිස්ස පුරිස පුග්ගලස්ස සම්මා ඤාණං හොති පරිනිබ්බානාය.

මිච්ඡාඤාණිස්ස, අකුශල ක්‍රියාවෙහි උපාය චින්තන වශයෙන් පැවති මිථ්‍යා ඥානය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මාඤාණං, සම්‍යක් ඥානය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති,වේ.

20. මිච්ඡාවිමුත්තිස්ස පුරිසපුග්ගලස්ස සම්මා විමුත්ති හොති පරිනිබ්බානාය.

මිච්ඡා විමුත්තිස්ස, මිථ්‍යා විමුක්තිය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා විමුත්ති, සම්‍යක් විමුක්තිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

21. ථීනමිද්ධ පරියුට්ඨිතස්ස පුරිස පුග්ගලස්ස විගත ථිනමිද්ධතා හොති පරිනිබ්බානාය.

ථිනමිද්ධ පරියුට්ඨිතස්ස, ථිනමිද්ධයෙන් මඩනා ලද; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; විගත ථිනමිද්ධතා, පහ වූ ථිනමිද්ධ ඇති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

22. උද්ධතස්ස පුරිස පුග්ගලස්ස අනුද්ධච්චං හොති පරිනිබ්බානාය.

උද්ධතස්ස, අරමුණෙහි විසිර පවත්නා සිත් ඇති; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනුද්ධච්චං, ඖද්ධත්‍යයාගෙන් වෙන් වීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

23. වේචිකිච්ඡස්ස පුරිස පුග්ගලස්ස තිණ්ණ විචිකිච්ඡතා හොති පරිනිබ්බානාය.

වේචිකිච්චස්ස, බුද්ධාදි අටතැන්හි සැක ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; තිණ්ණ විචිකිච්ඡතා, විචිකිච්ඡාවෙන් එතර වූ බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

24. කොධනස්ස පුරිස පුග්ගලස්ස අක්කොධො හොති පරිනිබ්බානාය.

කොධනස්ස, ක්‍රෝධ කරන්නා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අක්කොධො, ක්‍රෝධ නො කිරීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

25. උපතාහිස්ස පුරිස පුග්ගලස්ස අනුපනාහො හොති පරිනිබ්බානාය.

උපනාහිස්ස, වෛර බඳින ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනුපනාහො, වෛර නො බැඳීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

26. මක්ඛිස්ස පුරිස පුග්ගලස්ස අමක්ඛො හොති පරිනිබ්බානාය.

මක්ඛිස්ස, ගුණවතුන්ගේ ගුණ මකන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අමක්ඛෝ, ගුණමකු නොවීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

27. පලාසිස්ස පුරිස පුග්ගලස්ස අපලාසො හොති පරිනිබ්බානාය.

පලාසිස්ස, මෙරමාගේ ගුණ අවගුණ කරන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අපලාසො, පලාසයෙන් වෙන් වීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

28. ඉස්සුකිස්ස පුරිස පුග්ගලස්ස අනිස්සා හොති පරිනිබ්බානාය.

ඉස්සුකිස්ස, ඊර්ෂ්‍යා කරන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනිස්සා, ඊර්ෂ්‍යා නො කිරීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති,වේ.

29. මච්ඡරියස්ස පුරිස පුග්ගලස්ස අමච්ඡරියං හොති පරිනිබ්බානාය.

මච්ඡරියස්ස, මසුරු ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අමච්ඡරියං, මසුරු ස්වභාවයේ අභාවය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති ,වේ.

30. සඨස්ස පුරිස පුග්ගලස්ස අසාඨෙය්‍යං හොති පරිනිබ්බානාය.

සඨස්ස, කෛරාටික වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අසාඨෙය්‍යං, කෛරාටික ස්වභාවයෙන් වෙන් වූ බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

31. මායාවිස්ස පුරිස පුග්ගලස්ස අමායාවිතා හොති පරිනිබ්බානාය.

මායාවිස්ස, මෙරමා රවටන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අමායාවිතා, රවටන ස්වභාවයාගේ නැති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

32. ථද්ධස්ස පුරිස පුග්ගලස්ස අත්ථද්ධියං හොති පරිනිබ්බානාය.

ථද්ධස්ස, තද ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට, අත්ථද්ධියං, නො තද බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

33. අතිමානිස්ස පුරිස පුග්ගලස්ස අනතිමානො හොති පරිනිබ්බානාය.

අතිමානිස්ස, අධික මානය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනතිමානො, අනතිමානය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

34. දුබ්බචස්ස පුරිස පුග්ගලස්ස සොවචස්සතා හොති පරිනිබ්බානාය.

දුබ්බචස්ස, දුර්වචවූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සොවචස්සතා, සුවච බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති. වේ

35. පාපමිත්තස්ස පුරිසපුග්ගලස්ස කළ්‍යාණමිත්තතා හොති පරිනිබ්බානාය.

පාපමිත්තස්ස, පාප මිත්‍රයන් ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; කල්‍යාණමිත්තතා, කල්‍යාණ මිත්‍රයන් ඇති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

36. පමත්තස්ස පුරිස පුග්ගලස්ස අප්පමාදෝ හොති පරිනිබ්බානාය.

පමත්තස්ස, ප්‍රමාද වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අප්පමාදෝ, අප්‍රමාදය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

37. අස්සද්ධස්ස පුරිස පුග්ගලස්ස සද්ධා හොති පරිනිබ්බානාය.

අස්සද්ධස්ස, ශ්‍රද්ධාව නැත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට, සද්ධා, ශ්‍රද්ධාව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

38. අහිරිකස්ස පුරිස පුග්ගලස්ස හිරි හොති පරිනිබ්බානාය.

අහිරිකස්ස, ලජ්ජා නැත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; හිරි; ලජ්ජාව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

39. අනොත්තප්පිස්ස පුරිස පුග්ගලස්ස ඔත්තප්පං හොති පරිනිබ්බානාය.

අනොත්තප්පිස්ස, පව් කිරීමට භය නැත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; ඔත්තප්පං, පාපයෙහි භය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

40. අප්පස්සුතස්ස පුරිස පුග්ගලස්ස බාහුසච්චං හොති පරිනිබ්බානාය.

අප්පස්සුතස්ස, අල්පශ්‍රැත වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; බාහුසච්චං, බහුශ්‍රැත බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

41. කුසීතස්ස පුරිස පුග්ගලස්ස විරියාරම්හො හොති පරිනිබ්බානාය.

කුසීතස්ස, කුසීත වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; විරියාරම්භෝ, වීර්‍ය්‍යාරම්භය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

42. මුට්ඨස්සතිස්ස පුරිස පුග්ගලස්ස උපට්ඨිත සතිතා හොති පරිනිබ්බානාය.

මුට්ඨස්සතිස්ස, මුළා වූ සිහි ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; උපට්ඨිතසතිතා, එළඹ සිටි සිහි ඇති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

43. දුප්පඤ්ඤස්ස පුරිස පුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරිනිබ්බානාය.

දුප්පඤ්ඤස්ස, දුෂ්පාඥ වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; පඤ්ඤාසම්පදා, ප්‍රඥාසම්පත්තිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

44. සන්දිට්ඨපරාමාසි ආදානගාහි දුප්පටි නිස්සග්ගිස්ස පුරිස පුග්ගලස්ස අසන්දිට්ඨ පරාමාසි අනාදානගාහි සුප්පටි නිස්සග්ගිතා හොති පරිනිබ්බානාය.

සන්දිට්ඨ පරාමාසී ආදානගාහි දුප්පටි නිස්සග්ගිස්ස, තමා විසින් දක්නා ලද වරදවා ගත් දෘෂ්ටිය ම පරාමර්ශනය කරන සුලු වූ, දැඩි කොට ගන්නා සුලු වූ අත් හැරීමට දුෂ්කර වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අසන්දිට්ඨ පරාමාසි අනාදානගාහී සුප්පටිනිස්සග්ගිතා, තමා විසින් වරදවා ගන්නා ලද දෘෂ්ටිය පරාමර්ශනය නො කිරීම, දැඩි කොට නො ගැනීම, සුවසේ අත්හැරිය හැකි බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

මේ සල්ලේඛ සූත්‍රයෙහි දේශනා කොට තිබෙන තදඞ්ග නිර්වාණ (44) සිව්සාළිසයි. මේ උප ලක්‍ෂණ වශයෙන් දක්වන ලද ස්වල්පයක් පමණකි. සත්ත්ව සන්තානයන්හි උපදනා වූ අකුශල ධර්මයෝ අනන්තාපරිමාණ වෙති. එසේ ම ඔවුන්ගේ ප්‍රහාණයට හේතු වන කුශල ධර්මයෝ ද අනන්තාපරිමාණ වෙති. එහෙයින් කුශල ධර්මයන්ගේ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් නිවී යන්නා වූ අකුශල ධර්මයන්ගේ වශයෙන් අනන්තා පරිමාණ තදඞ්ග නිර්වාණයෝ වෙත්. මේ අකුශල ධර්මයන්ගේ නිවීම ද සත්ත්වයන්ගේ චිත්ත සන්තානයෙහි ම වන බැවින් තදඞ්ග නිර්වාණය ද කාය ඥානද්වයෙන් ස්පර්ශ කළ හැකි වූ පරමාර්ථ ධර්මයකි. එහි වටිනාකම ද ප්‍රමාණ කළ හැකි නොවේ. බුද්ධාදි උත්තමයන් වහන්සේලා විසින් බොහෝ ප්‍රශංසා කරන ලද්දා වූ ද සඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත මහා නිර්වාණ පක්‍ෂයෙහි සිටියා වූ ද මේ තදඞ්ග නිර්වාණය යට දක්වන ලද සම්මුති නිර්වාණයට වඩා සත සහස්‍ර ගුණයකින් ශ්‍රේෂ්ඨ ධර්මයකි.

තදඞ්ග නිර්වාණය නිමි.

විෂ්කම්භණ නිර්වාණය.

මහද්ගත ධ්‍යානයන් කරණකොට ගෙන දුරින් දුරු කිරීමගේ වශයෙන් ප්‍රහාණය කරනු ලබන ධර්මයන්ගේ නිවීමට විෂ්කම්භණ නිර්වාණයැයි කියනු ලැබේ. එහි ප්‍රභේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ විසින් විචාරන ලදුව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රයන්හි සන්දිට්ඨික නිබ්බානාදි නාමයන්ගෙන් අඞ්ගුත්තර නිකාය නවක නිපාතයෙහි දක්නා ලැබේ. ඒ මෙසේ යි:

“ඉධාවුසො භික්ඛු විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තා භගවතා පරියායෙනා ති”

ආවුසො, ඇවැත්නි; ඉධ, මේ ශාසනයෙහි; භික්ඛු, මහණ තෙම; සවිතක්කං, විතර්ක සහිත වූ; සවිචාරං, විචාරය සහිත වූ; විවේකජං, විවේකය හේතු කොට හට ගත්තා වූ; පීතිසුඛං, ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ; පඨමජ්ඣානං, ප්‍රථම ධ්‍යානය, උපසම්පජ්ජ, සම්පාදනය කොට, විහරති. වාසය කෙරේද; ආවුසෝ, ඇවැත්නි; ඛො, ඒකාන්තයෙන්; එත්තාවතාපි, මෙපමණක් වූ අකුශල ධර්මයන්ගේ නිරෝධයෙන් ද; භගවතා, භාග්‍යවතුන් වහන්සේ විසින්; සන්දිට්ඨිකං නිබ්බානං, සංදිෂ්ටික නිර්වාණය; පරියායෙන, පර්‍ය්‍යායයෙන්; වුත්තා, වදාරන ලදී. ඉති, මෙසේ වදාළසේක යනු අර්ථයයි.

මෙහි සන්දිට්ඨික නිබ්බාණයැයි දක්වන ලද්දේ විෂ්කම්භණ ප්‍රහාණයෙන් දීර්ඝ කාලයක් මුලුල්ලෙහි නිවී පවත්නා පරිදි ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහාණය කරන ලදුව නීවරණ ධර්මයන්ගේ නො ඉපදීමයි. එය පරිනිර්වාණයට ප්‍රථමයෙන් ම ස්වකීය කයෙහි ස්පර්ශ වීමෙන් තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කොට දන්නා ලද නිවීමක් බැවින් ඊට සන්දිට්ඨික නිබ්බාණයැයි කියන ලදී.

මේ ප්‍රථම විෂ්කම්භණ නිර්වාණයයි.

මෙසේ ද්විතීය ධ්‍යාන ලාභියාට වන විතර්ක විචාර නිරෝධය ද, තෘතීය ධ්‍යාන ලාභියාට වන ප්‍රීති නිරෝධය ද, චතුර්ථධ්‍යාන ලාභියාට වන සුඛ වේදනා නිරෝධය ද, ආකාසානඤ්චායතන ධ්‍යානලාභියාට වන ප්‍රතිඝ සංඥා නිරෝධය ද, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන ලාභියාට වන ආකාසානඤ්චායතන සඤ්ඤා නිරෝධය ද, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියාට වන විඤ්ඤාණඤ්චායතන සඤ්ඤා නිරෝධය ද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යාන ලාභියාට වන ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා නිරෝධය ද සන්දිට්ඨික නිබ්බානයෝ යයි වදාරා තිබේ.

මේ ද්විතීයාදි විෂ්කම්භණ නිර්වාණයෝ ය.

මේ මහද්ගත සමාපත්තීන්ගේ වශයෙන් ලබන නිර්වාණ අට නිරවශේෂ නිරෝධය වූ මහා නිර්වාණය නො වන හෙයින් පර්‍ය්‍යාය නිර්වාණයෝ යයි වදාරන ලදී.

මෙසේ පර්‍ය්‍යායයෙන් සාන්දෘෂ්ටික නිර්වාණ අටක් වදාරා නිෂ්පර්‍ය්‍යාය සාන්දෘෂ්ටික නිර්වාණය දක්වනු පිණිස:-

“පුන ච පරං ආවුසෝ භික්ඛු නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤා වෙදයිත නිරෝධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, එත්තාවතාපි ඛො ආවුසො සන්දිට්ඨිකං නිබ්බානං වුත්තං භගවතා නිප්පරියායෙන” යි වදාළ සේක.

ආවුසෝ, ඇවැත්නි; පුනචපරං, අනිකක් නම්; භික්ඛු, මහණ තෙම; නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං, නේවසඤ්ඤානාසඤ්ඤායතනය; සමතික්කම්ම, මොනවට ඉක්මවා; සඤ්ඤා වෙදයිත නිරෝධං, සංඥාවන්ගේ හා වේදනාවන්ගේ නිරෝධයට; උපසම්පජ්ජ, පැමිණ; විහරති. වාසය කෙරේද; අස්ස, ඔහුට; පඤ්ඤාය, ප්‍රඥාවෙන්; දිස්වා, දැක; ආසවා, ආශ්‍රවයෝ; පරික්ඛීණා, නිරවශේෂයෙන් ක්‍ෂය වූවාහු; හොන්ති, වෙත්ද; ආවුසො, ඇවැත්නි; ඛො, ඒකාන්තයෙන්; එත්තාවතාපි, මෙපමණක් වූ නිරෝධයෙන් ද; භගවතා, භාග්‍යවතුන් වහන්සේ විසින්; නිප්පරියායෙන, නිෂ්පර්‍ය්‍යායයෙන්; සන්දිට්ඨිකං නිබ්බානං, සාන්දෘෂ්ටික නිර්වාණය; වුත්තන්ති, වදාරන ලද්දේ යයි (විසඳූ සේක) යනු අර්ථයයි.

මෙහි නිරෝධ සමාපත්තිය ම නිෂ්පර්‍ය්‍යාය සාන්දෘෂ්ටික නිර්වාණයැයි දක්වන ලදී. අර්හත් මාර්‍ගයට පැමිණීමෙන් වන ආශ්‍රවයන්ගේ නිරවශේෂ නිරෝධය ද නිෂ්පර්‍ය්‍යාය සාන්දෘෂ්ටික නිර්වාණයකි. මෙසේ සාන්දෘෂ්ටික නිර්වාණ දෙකක් වූ නමුත් ඒ දෙකම සෝපාදිශේෂ නිර්වාණ භාවයෙන් එකක් ම වූ හෙයින් මෙහි සාන්දෘෂ්ටික නිර්වාණ (9) නවයක් වදාරන ලදහ.

මෙතෙකින් ප්‍රථම සූත්‍රයෙහි දක්වන ලද නිර්වාණ භේද නිමි.

මෙසේ ද්විතීය සූත්‍රයෙහි “නිබ්බානං නිබ්බානත්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො නිබ්බානං වුත්තං භගවතා. ඉධාවුසො භික්ඛු විවිච්චේවකාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි” යන ආදි වශයෙන් නිර්වාණ නවයක් වදාරා තිබේ. තෘතීය සූත්‍රයෙහි “තදඞ්ග නිබ්බානං තදඞ්ග නිබ්බානන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් තදඞ්ග නිර්වාණ නාමයෙන් නවයක් ද, චතුර්ථ සූත්‍රයෙහි “දිට්ඨධම්ම නිබ්බානං දිට්ඨධම්ම නිබ්බානන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් දිට්ඨධම්ම නිබ්බාන නාමයෙන් නවයක් ද, පඤ්චම සූත්‍රයෙහි “ඛෙමං ඛෙමන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් ඛෙම නාමයෙන් නවයක් ද, අෂ්ඨම සූත්‍රයෙහි “ඛෙමපත්තො ඛෙමප්පත්තොති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද, සප්තම සූත්‍රයෙහි “අමතං අමතන්ති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් අමත නාමයෙන් නවයක් ද, අෂ්ටම සූත්‍රයෙහි “අමතප්පත්තො අමතප්පත්තොති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද, නවම සූත්‍රයෙහි “අභයං අභයංති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් අභය නාමයෙන් නවයක් ද, දශම සූත්‍රයෙහි “අභයප්පත්තො අභයප්පත්තොති ආවුසො වුච්චති” යනාදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද, ඒකාදශම සූත්‍රයෙහි “පස්සද්ධි පස්සද්ධීති ආවුසො වුච්චති” යන ආදි වශයෙන් පස්සද්ධි නාමයෙන් නවයක් ද, ද්වාදශම සූත්‍රයෙහි “නිරෝධො නිරොධොති ආවුසෝ වුච්චති” යන ආදි වශයෙන් නිරෝධ නාමයෙන් නවයක් ද, තේරසම සූත්‍රයෙහි “අනුපුබ්බ නිරෝධෝ අනුපුබ්බ නිරෝධොති ආවුසෝ වුච්චති” යනාදි වශයෙන් අනුපුබ්බ නිරෝධ නාමයෙන් නවයක් ද වදාරා තිබේ. මෙසේ මේ සූත්‍ර තෙළෙසෙහි වදාරන ලද නිර්වාණ පිඬු කළ කල්හි (117) එකසිය සතළොසක් වෙයි. එයින් විෂ්කම්භණ නිර්වාණ (104) එකසිය සතරෙකි. සමුච්ඡේද නිර්වාණ (13) තෙළසකි. විෂ්කම්භණ නිර්වාණයෝ බ්‍රහ්මලෝකයෙහි සියලු කල්හි ඇත්තාහුය. මනුෂ්‍ය ලෝකයෙහි වනාහි ධ්‍යානලාභී පුද්ගලයන් කෙරෙහි පමණක් ඇත්තාහු ය. සමුච්ඡේද නිර්වාණ නවය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම අනාගාමි අර්හත් පුද්ගලයන් කෙරෙහි ඇත්තාහ.

මෙහි සමුච්ඡේද නිර්වාණයයි කියන ලද්දේ සෝපාදිශේෂ නිර්වාණය ම යයි දතයුතු. මාර්ගයෙන් කරන්නා වූ ක්ලේශ ප්‍රහාණය සමුච්ඡේද කෘත්‍යයයි. ප්‍රහාණය කරන ලද ක්ලේශයන්ගේ මතු නූපදනාකාරයෙන් නිවීම සමුච්ඡේද නිර්වාණයයි.

එය “තදඞ්ග නිබ්බාන තදඞ්ග නිබ්බානන්ති ආවුසො වුච්චති.” යන ආදි සූත්‍රයෙහි තදඞ්ග නාමයෙන් දේශනා කරන ලද්දේ ප්‍රථම ධ්‍යාන කුශල චිත්තයෙන් නීවරණ ප්‍රහාරණය කෙරේ. ද්විතීය ධ්‍යාන චිත්තයෙන් විතක්ක විචාරයන් ප්‍රහාණය කෙරේ. මේ ආදි වශයෙන් ප්‍රහායක ප්‍රහාතව්‍ය ධර්ම වෙන වෙන ම විද්‍යමාන හෙයින් විෂ්කම්භණ කෘත්‍යයට ද තදඞ්ග කෘත්‍යයයි කිය හැකි හෙයිනි. මේ විෂ්කම්භණ නිර්වාණය යට දක්වන ලද තදඞ්ග නිර්වාණයට සත සහස්‍ර වාරයකටත් වඩා ශ්‍රේෂ්ඨ වේ. නමුත් ප්‍රතිසම්භිදා මාර්ගයෙහි එන අටළොස් වැදෑරුම් මහා විදර්ශනා ඥානයන්ගෙන් ජනිත තදඞ්ග නිර්වාණ අටළොසට වඩා ශ්‍රේෂ්ඨ යයි කිව නොහේ. සමුච්ඡේද නිර්වාණය පමණක් ඊට උතුම් වේ.

විෂ්කම්භණ නිර්වාණය නිමි.

සමුච්ඡේද නිර්වාණය

යට දක්වන ලද සෝපාදිශේෂ නිර්වාණයට ම සමුච්ඡේද නිර්වාණයයි කියනු ලැබේ. ක්ලේශ නිර්වාණය යනු ද ඊට ම නමෙකි. එහි ප්‍රභේදයෝ අඞ්ගුත්තර නිකායෙහි එන තිෂ්‍ය බ්‍රහ්ම සූත්‍රයාගේ වශයෙන් දතයුත්තාහු ය. ඒ මෙසේයි. “සඋපාදිසේස නිබ්බාන” යන මෙහි සඋපාදිශේෂ ශබ්දයෙන් දැක්වෙන උපාදි ධර්මයෝ ක්ලේශෝපාදි, ස්කන්ධෝපාදි වශයෙන් දෙපරිදි වෙත්. එයින් කාමූපාදානාදි උපාදානයෝ සතර දෙන ක්ලේශෝපාදි නම් වෙති. ඔවුන්ට අරමුණු වන ලෞකික ධර්මයෝ ස්කන්ධෝපාදි නම් වෙති. නිවන් පසක් කරන ලද පුද්ගලයන් අතුරෙනුදු ශේෂ වූ උපාදාන ඇත්තා වූ ශෛක්ෂ්‍යයෝ ක්ලේශෝපාදීන්ගේ වශයෙන් ශෝපාදිශේෂ පුද්ගලයෝ නම් වෙති. එබැවින් ඔවුන් විසින් ලබන ලද නිවනට ද ශෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. රහතන් වහන්සේලාට ශේෂෝපාදාන භාවයෙන් අනුපාදිශේෂ පුද්ගලයෝ යයි කියනු ලැබේ. ස්කන්ධෝපාදීන්ගේ ශේෂ භාවයෙන් සෝපාදිශේෂ නම් වූ ඔවුන් විසින් දෙනු ලබන ලද නිර්වාණයට ද උපාදාන ශේෂාභාවයෙන් අනුපාදිශේෂ නිර්වාණයැයි කියනු ලැබේ.

ස්කන්ධ පරිනිර්වාණයට ප්‍රථම ආර්‍ය්‍ය පුද්ගලයන් අටදෙනට ම ශේෂ ස්කන්ධයන්ගේ වශයෙන් සෝපාදිශේෂ පුද්ගලයෝ යයි කියනු ලැබෙත්. ඔවුන් විසින් පැමිණෙන ලද නිර්වාණයට ද සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙන ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු අනුපාදිශේෂ පුද්ගලයෝ නම් වෙති. ඔවුන්ගේ නිර්වාණයට ද අනුපාදිශේෂ නිර්වාණය යයි කියනු ලැබේ. මෙසේ උපාදි ධර්මයන් බෙදීමෙන් ස්කන්ධ පරිනිර්වානයෙන් ලැබිය යුතු වූ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේ භේදයක් නො වන නමුත් සෝපාදිශේෂ නිර්වාණ සඞ්ඛ්‍යාත සමුච්ඡේද නිර්වාණය ක්ලේශෝපාදීන්ගේ ශේෂාශේෂ භාවයෙන්

  1. සෝපාදිශේෂ සමුච්ඡේද නිර්වාණය
  2. අනුපාදිශේෂ සමුච්ඡේද නිර්වාණය යි.

දෙවැදෑරුම් වේ.

තිෂ්‍ය බ්‍රහ්ම සූත්‍රයෙහි පැණෙන තිෂ්‍ය බ්‍රහ්මයාගේ විසර්ජනයෙහි;

“ඉධ පන මාරිස මොග්ගල්ලාන භික්ඛු කායසක්ඛී හොති. තමේනං දෙවා එවං ජානන්ති. අයං ඛො ආයස්මා කායසක්ඛී අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙතාසනානි පටිසෙවමානො කළ්‍යාණ මිත්තේ භජමානො ඉන්ද්‍රියානි සමන්තා නයමානො යස්සත්ථාය කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරිය පරියොසානං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති, එවම්පි ඛො මාරිස මොග්ගල්ලාන තෙසං දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති” යනාදි වශයෙන් කායසක්ඛීය, දිට්ඨප්පත්තය, සද්ධා විමුත්තය, ධම්මානුසාරියයි සෝපාදිශේෂ පුද්ගලයන් සතර දෙනකු දක්වා තිබේ.

එහි ම සර්වඥයන් වහන්සේ විසින් “ඉධ මොග්ගල්ලාන භික්ඛු සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තා චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති. තමෙනං දෙවා එවං ජානන්ති. අයං ඛො ආයස්මා සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති -පෙ- එවං ඛො මොග්ගල්ලාන තෙසං දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති.” යනුවෙන් දක්වා වදාරන ලද එක් සෝපාදිශේෂ පුද්ගලයෙක් වේ. මෙසේ සෝපාදිශේෂ පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. ඒ සෝපාදිශේෂ පුද්ගලයන් පස්දෙනාගේ වශයෙන් සමුච්ඡේද නිර්වාණ පසක් වෙයි.

තිෂ්‍ය බ්‍රහ්මයාගේ විසර්ජනයෙහි ම “ඉධ මාරිස මොග්ගල්ලාන භික්ඛු උභතොභාග විමුත්තෝ හොති තමෙනං දෙවා එවං ජානත්ති. අයං ඛො ආයස්මා උභතො භාග විමුත්තෝ යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛන්ති දෙවමනුස්සා කායස්ස භෙදා න නං දක්ඛන්ති දෙවමනුස්සාති. එවම්පි ඛො මාරිස තෙසං දෙවානං එවං ඤාණං හොති අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති” යනාදි වශයෙන් උභතෝ භාග විමුත්තය, පඤ්ඤා විමුත්තය යි අනුපාදිශේෂ පුද්ගලයන් දෙදෙනකු දක්වා තිබේ. ඒ අනුපාදිශේෂ පුද්ගලයන් දෙදෙනාගේ වශයෙන් අනුපාදිශේෂ සමුච්ඡේද නිර්වාණ දෙකක් වෙයි. මෙසේ සමුච්ඡේද නිර්වාණ සතක් වෙයි.

සමුච්ඡේද නිර්වාණය නිමි.

ප්‍රති ප්‍රශ්‍රබ්ධි නිර්වාණය.

ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිර්වාණය නම්:- අර්හත් ඵලයයි. එය,

“යො කාමේ පරිවජ්ජේති සප්පස්සේව සිරා සදා

ස්වීමං විසත්තිකං ලොකං සතො සමතිවත්තතීති

අයං සඋපාදිසෙසා නිබ්බාන ධාතු.

සායෙව සඋපාදිසෙස නිබ්බානධාතු විජ්ජා”

යනු නෙත්ති පාලියෙහි වදාරා තිබේ. තදර්ථ කථාවෙහි ද “සඋපදිසේස නිබ්බාන ධාතූති අරහත්තඵලං අධිප්පෙතං” යනුවෙන් සඋපාදිසෙස නිබ්බාන ධාතුව නම්, අර්හත් ඵලයයි කියන ලදී. අර්හත් ඵලය වනාහි සකල ක්ලේශයන් ම නිරුද්ධ වූවාට පසු උපදින්නා වූ සිතකි. එබැවින් ඊට නිබ්බාණයැයි කියනු ලැබේ. මෙය යට දක්වන ලද සඋපාදිසේස නිබ්බාණ ධාතුව මෙන් අසංස්කෘත ධර්මයක් නොව සංඛාර ධර්මයක් යයි දතයුතු.

“තපෝ ච බ්‍රහ්ම චරියාව අරිය සච්චාන දස්සනං

නිබ්බාන සච්ඡිකිරියා ච ඒතං මංගල මුත්තමං”

යන මංගල සූත්‍ර පාලියෙහි “නිබ්බාන සච්ඡිකිරියා ච” යන පදයෙන් දක්වන්නේත් මේ ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිර්වාණ සඞ්ඛ්‍යාත අර්හත් ඵලය ම ය. එහි “අරියසච්චාන දස්සනං” යන්නෙන් අසංඛත නිබ්බාන ධාතුව දක්වා තිබේ. මෙසේ ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිර්වාණය සාමාන්‍යයෙන් එකක් වූ නමුත් ධම්මසංගණී පාල්‍යගත නයින් හා සත්‍ය විභංග පාල්‍යගත නයින් බහු ප්‍රභේද වෙයි.

ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිර්වාණය නිමි.

නිශ්ශරණ නිර්වාණය.

නිශ්ශරණ නිර්වාණය නම් :- යට සොපාදිශේෂානුපාදිශේෂ වශයෙන් දක්වන ලද අසංඛත ධාතුවයි. එය “ද්වේමා භික්ඛවේ නිබ්බාන ධාතු කතමා ද්වේ සඋදපාදිසෙසා නිබ්බාන ධාතු අනුපාදිසෙසා නිබ්බාන ධාතු” යනු ඉතිවුත්තක පාලියෙහි වදාරා තිබේ.

“එකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා

සඋපාදිසෙසා භවනෙත්ති සංඛයා

අනුපාදිසෙසා පන සම්පරායිකා

ය නිරුජ්ඣන්තිම්හි භවානි සබ්බසො”

යනුවෙන් ඉති වුත්තකයෙහි සෝපාදිසේස නිර්වාණයට දෘෂ්ට ධාර්මික නිර්වාණයැයිද අනුපාදිශේෂ නිර්වාණයට සාම්පරායික නිර්වාණයැයිද වදාරා තිබේ.

නිශ්ශරණ නිර්වාණ සඞ්ඛ්‍යාත අසංස්කෘත ධාතුවගේ ප්‍රභේද අභිධර්ම සත්‍ය විභඞ්ගපාල්‍යානුසාරයෙන් දත යුත්තාහුය. ඒ මෙසේයි. තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය නිරෝධසත්‍ය සඞ්ඛ්‍යාත නිර්වාණය වූ බැවින් චක්ෂුසෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. සෝතසයෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. ඝ්‍රාණයෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. ජිහ්වායෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. කයෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. සිතෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරෝධය එක නිර්වාණයකි. මෙසේ ආධ්‍යාත්මිකායතන සයෙහි නිර්වාණ සයක් වේ. මෙසේ රූප ශබ්දාදි බාහ්‍යායතන සයෙහි නිර්වාණ සයක් ද, චක්ෂුර්විඥානාදි ෂට්විඥානයෙහි නිර්වාණ සයක් ද, චක්ඛුසම්ඵස්සාදි ඵස්ස සයෙහි නිර්වාණ සයක් ද, චක්ඛු සම්ඵස්සජවේදනාදි වේදනා සයෙහි නිර්වාණ සයක් ද, රූප සඤ්ඤාදි සඤ්ඤා සයෙහි නිර්වාණ සයක් ද, රූප සඤ්චේතනාදි චේතනා සයෙහි නිර්වාණ සයක් ද, රූප විතක්කාදි විතක්ක සයෙහි නිර්වාණ සයක් ද, රූප විචාරාදි විචාර සයෙහි නිර්වාණ සයක්දැයි මෙසේ සත්‍යවිභංගයෙහි හා මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වන ලද තෘෂ්ණා නිරෝධස්ථානයන් නිමිත්තකොට නිරෝධසත්‍ය සංඛ්‍යාත නිර්වාණ සැටක් වෙයි. මේ සැට අර්හත් පුද්ගලයන්ගේ වශයෙන් ගුණ කළ කල්හි අසඞ්ඛ්‍ය අප්‍රමෙය්‍ය නිර්වාණයෝ වෙත්. විභඞ්ග පාලියෙහි දේශනා කොට නොමැති නමුත් දුක්ඛ නිරෝධ පදයාගේ වශයෙන් චක්ෂුසගේ නිරවශේෂ නිරෝධය එක නිර්වාණයක, සෝතයාගේ නිරවශේෂ නිරෝධය එක නිර්වාණයක යනාදි වශයෙන් නිරුද්ධ වන දුඃඛ ධර්මයන්ගේ භේදයෙන් ද නිර්වාණයාගේ අනන්තා පරිමාණ භේද විය හැකි බව දතයුතු. තවද “අවිජ්ජායත්වෙව අසේස විරාග නිරොධො සංඛාර නිරොධො සංඛාර නිරොධො විඤ්ඤාණ නිරොධො” යනාදීන් වදාළ ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන්ගේ නිරෝධයාගේ සෝපාදිශේෂානුපාදිශේෂ මිශ්‍රක නිර්වාණ දොළසක් ද වෙයි. ලෝභයාගේ නිරෝධය එක නිර්වාණයක, ද්වේෂයාගේ නිරෝධය එක නිර්වාණයක යනාදි වශයෙන් තදංග නිර්වාණයෙහි මෙන් නිරුද්ධ වන ධර්ම භේදයෙන් ද අසංඛෙය්‍ය අප්‍රමේය නිර්වාණ භේදයෝ වෙත්. මෙසේ තෘෂ්ණා නිරෝධස්ථාන භේදයෙන් හා නිරුද්ධ වන ධර්මයන්ගේ ද භේදයෙන් නිර්වාණ බොහෝ ගණනක් වන නමුත් අනිමිත්ත වූ නිර්වාණ ධර්මය මුඛ්‍ය වශයෙන් ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය

ස්වභාවයෙන් එක ම ධර්මයකි.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ ද්විතීය පරිච්ඡේදය නිමි.

තෘතීය පරිච්ඡේදය

නිශ්ශරණ නිර්වාණයයි කියන ලද පරමාර්ථ අසංස්කෘත නිර්වාණ ධාතුවට පැමිණෙන ආකාරය වනාහි එය නා නා උපමාවන්ගෙන් සරසා දේශනා කරන ලද සූත්‍රානුසාරයෙන් දතයුතු වේ. ඒ සූත්‍ර දේශනා අතුරෙන් පළමු කොට නිදාන වර්ග සංයුත්තක දුඃඛ වර්ගයෙහි දුඃඛ වෘතයාගේ වර්ධනය වන ආකාරය හා නිවී යන ආකාරය දක්වා දේශනා කොට තිබෙන සූත්‍ර දශය දක්වනු ලැබේ.

ප්‍රථම සූත්‍රය

“එවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි, භික්ඛවොති. භදන්තෙති, තෙ භික්ඛු භගවතො පච්චස්සෝසුං. භගවා එතදවොච.

කිත්තාවතානු ඛො භික්ඛවේ භික්ඛු පරවීමංසමානො පරවීමංසෙය්‍ය සබ්බසො සම්මා දුක්ඛක්ඛයායාති, භගවං මූලකා නො භන්තේ ධම්මා භගවං නෙත්තිකා භගවම්පටිසරණා සාධුවත භන්තේ භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතෝ සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.

තෙන හි භික්ඛවේ සුණාථ සාධුකං මනසිකරොථ. භාසිස්සාමීති. ඒවං භන්තෙති ඛෝ තෙ භික්ඛු භගවතෝ පච්චස්සොසුං. භගවා එතදවොච, ඉධ භික්ඛවේ; භික්ඛු පරිවීමංසමානො පරවීමංසති යඞ්ඛො ඉදං අනෙක විධං නානප්පකාරං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරා මරණං, ඉදන්නු ඛො දුක්ඛං කින්නිදානං කිං සමුදයං කිංජාතිකං කිං පභවං, කිස්මිං සති ජරා මරණං හොති, කිස්මිං අසති ජරා මරණං න හොතීති, සො පරිවීමංසමානො එවං ජානාති යඞ්ඛො ඉදං අනේක විධං නානාප්පකාරකං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරා මරණං, ඉධඞ්ඛො දුක්ඛං ජාතිනිදානං ජාතිසමුදයං ජාතිජාතිකං ජාතිප්පභවං, ජාතියා සති ජරා මරණං හොති ජාතියා අසති ජරා මරණං න හොතීති, සො ජරා මරණඤ්ච පජානාති. ජරාමරණ සමුදයඤ්ච පජානාති, ජරාමරණ නිරෝධඤ්ච පජානාති, යාච ජරා මරණ නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදා තඤ්ච පජානාති. තථාපටිපන්නෝච හොති අනුධම්මචාරි. අයං වුච්චති භික්ඛවේ භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ ජරා මරණ නිරෝධාය, අථා පරං පරවීමංසති ජාති පනායං කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පහවා, කිස්මිං සති ජාති හොති කිස්මිං අසති ජාති න හොතීති, සො පරිවීමංසමානො එවං පජානාති. ජාති භවනිදානා භවසමුදයා භවජාතිකා භවප්පභවා, භවෙ සති ජාති හොති භවෙ අසති ජාති න හොතීති, සො ජාතිඤ්ච පජානාති ජාති සමුදයඤ්ච පජානාති, ජාති නිරෝධඤ්ච පජානාති, යා ච ජාති නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදා තඤ්ච පජානාති, තථා පටිපන්නොච හොති අනුධම්මචාරි. අයං වුච්චති භික්ඛවේ භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ හොති ජාති නිරෝධාය. අථාපරං පරිවීමංසමානො පරිවීමංසති භවෝ පනායං කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පභවො, කිස්මිං සති භවො හොති. කිස්මිං අසති භවො න හොතීති, සො පරවීමංසමානො එවං පජානාති. භවො උපාදාන නිදානො උපාදාන සමුදයො උපාදාන ජාතිකො උපාදානප්පභවො, උපාදානෙ සති භවො හොති උපාදානෙ අසති භවො න හොතීති. සො භවඤ්ච පජානාති. භව සමුදයඤ්ච පජානාති. යා ච භව නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදා තඤ්ච පජානාති, තථා පටිපන්නෝච හොති අනුධම්මචාරි, අයං වුච්චති භික්ඛවේ භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ හොති භව නිරෝධාය, අථා පරං පරවීමංසමානො පරවීමංසති උපාදානං පනිදං කිං නිදානං -පෙ- තණ්හා පණායං කින්නිදානා -පෙ- වෙදනා පනායං කින්නිදානං -පෙ- ඵස්සො පනායෝ කින්නිදානෝ -පෙ සළායතනං පනිදං කින්නිදානං -පෙ-නාමරූපං පනිදං කින්නිදානං -පෙ- විඤ්ඤාණං පනිදං කින්නිදානං -පෙ- සඞ්ඛාරා පනිමේ කින්නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පහවා කිස්මිං සති සඞ්ඛාරා හොන්ති කිස්මිං අසති සඞ්ඛාරා න හොන්තීති, සො පරවීමංසමානො එවං පජානාති, සඞ්ඛාරා අවිජ්ජා නිදානා අවිජ්ජා සමුදයා අවිජ්ජා ජාතිකා අවිජ්ජා පභවා අවිජ්ජාය සති සඞ්ඛාරා හොන්ති අවිජ්ජාය අසති සඞ්ඛාරා න හොන්තීති. සො සඞ්ඛාරෙච පජානාති සඞ්ඛාර සමුදයඤ්ච පජානාති සඞ්ඛාර නිරෝධඤ්ච පජානාති යාච සඞ්ඛාර නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදා තඤ්ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරි, අයං වුච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ සඞ්ඛාර නිරෝධාය අවිජ්ජාගතො යං භික්ඛවේ පුරිස පුග්ගලො පුඤ්ඤඤ්චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති පුඤ්ඤොපගං හොති විඤ්ඤාණං, අපුඤ්ඤඤ්චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති අපුඤ්ඤොපගං හොති විඤ්ඤාණං, ආනඤ්ජඤ්චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති ආනඤ්ජොපගං හොති විඤ්ඤාණං.

යතො ඛො භික්ඛවෙ! භික්ඛුනෝ අවිජ්ජා පහීනා හොති විජ්ජා උප්පන්නා, සො අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා නෙ ව පුඤ්ඤාභිසඞ්ඛාරං අභිසංඛරොති, න අපුඤ්ඤාභි සඞ්ඛාරං අභිසඞ්ඛරොති, න ආනෙඤ්ජාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොති අනභිසඞ්ඛරොන්තො අනභිසඤ්චෙතයන්තො න කිඤ්චි ලොකෙ උපාදියති, අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්ඡත්තං යෙව පරිනිබ්බායති, ඛීණා ජාති වුසිතං බ්‍රහ්ම චරියං කතං කරණීය නාපරං ඉත්ථත්තායාති පජානාති, සො සුඛං චෙ වෙදනං වෙදයති සා අනිච්චාති පජානාති න අජ්ඣොසිතාති පජානාති, සො දුක්ඛං චෙ වෙදනං වෙදියති සා අනිච්චාති පජානාති න අජ්ඣොසිතාති පජානාති න අභිනන්දිතාති පජානාති අදුක්ඛ මසුඛං චෙ වෙදනං වෙදියති සා අනිච්චාති පජානාති, න අජ්ඣොසිතාති පජානාති, න අභිනන්දිතානීති පජානාති, සො සුඛඤ්ච වෙදනං වෙදියති විසඤ්ඤුතො තං වෙදනං වෙදියති, දුක්ඛඤ්ච වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො තං වෙදනං වෙදියති, අදුක්ඛ මසුඛඤ්ච වෙදනං වෙදියති විසඤ්ඤුත්තො තං වෙදනං වෙදියති, සො කාය පරියන්තිකං වෙදනං වෙදියමානො කාය පරියන්තිකං වෙදනං වෙදියාමිතී පජානාති, ජීවිත පරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිත පරියන්තිකං වෙදනං වෙදියාමිතී පජානාති. කායස්ස භෙදා ජීවිත පරියාදානා උද්ධං ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති සරීරානි අවසිස්සන්තීති පජානාති.

සෙය්‍යථා පි භික්ඛවේ! පුරිසො කුම්භකාර පාකා උණ්හං කුම්හං උද්ධරිත්වා සමෙ භූමි භාගේ පති වීසෙය්‍ය, තත්‍ර යා යං උස්මා තත්ථෙව වූපසමෙය්‍ය කපල්ලානි අවසිස්සෙය්‍යුං, එව මෙව ඛො භික්ඛවේ භික්ඛු කාය පරියන්තිකං වෙදනං වෙදියමානො -පෙ- ජීවිත පරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිත පරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති, කායස්ස භෙදා ජීවිත පරියොදානා උද්ධං ඉධෙව සබ්බ වෙදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති සරීරානි අවසිස්සන්තීති පජානති, තඞ්කිම්මඤ්ඤථ භික්ඛවේ අපි නු ඛො ඛීණාසවො භික්ඛු පුඤ්ඤාභිසඞ්ඛාරං වා අභිසඞ්ඛරෙය්‍ය අපුඤ්ඤාභිසඞ්ඛාරං වා අභිසඞ්ඛරෙය්‍ය ආනෙඤ්ජාභිසඞ්ඛාරං වා අභිසඞ්ඛරෙය්‍යාති නො හෙතං භන්තෙ සබ්බසො වා පන සංඛාරෙසු අසති සංඛාර නිරෝධා අපි නු ඛො විඤ්ඤාණං පඤ්ඤායෙථාති? නො හෙතං භන්තේ සබ්බසො වා පන විඤ්ඤාණෙ අසති විඤ්ඤාණ නිරොධා අපි නු ඛො නාම රූපං පඤ්ඤායෙථාති නොහෙතං භන්තේ සබ්බසො වා පන නාම රූපෙ අසති නාම රූප නිරොධා අපි නු ඛො සළායතනං පඤ්ඤායෙථාති නොහෙතං භන්තෙ සබ්බසො වා පන සළායතනෙ අසති සළායතන නිරොධා අපි නු ඛො ඵස්සො පඤ්ඤායෙතා ති නොහෙතං භන්තේ සබ්බසො වා පන වෙදනාය අසති වේදනා නිරොධා අපි නු ඛො තණ්හා පඤ්ඤායෙථාති නොහෙතං භන්තේ, සබ්බසො වා පන තණ්හාය අසති තණ්හා නිරොධා අපි නු ඛො උපාදානං පඤ්ඤායෙතාති නොහෙතං භන්තේ. සබ්බසො වා පන උපාදානෙ අසති උපාදාන නිරොධා අපි නු ඛො භවො පඤ්ඤායෙථාති නොහෙතං භන්තේ. සබ්බසො වා පන භවෙ අසති භවනිරොධා අපි නු ඛො ජාති පඤ්ඤායෙථා ති නොහෙතං භන්තේ සබ්බසො වා පන ජාතියා අසති ජාති නිරොධා අපි නු ඛො ජරා මරණං පඤ්ඤායෙථාති නොහෙතං භන්තෙ සාධු සාධු ඛො භික්ඛවේ එවමෙතං භික්ඛවේ නෙතං අඤ්ඤතා සද්දහථ එව මෙව එතං භික්ඛවේ අධිමුච්චථ. නික්කඞ්ඛා හොථ නිබ්බිචිකිච්ඡා එසෙ වන්තො දුක්ඛස්සාති.

මේ දුඃඛ වර්ගයේ ප්‍රථම සූත්‍රය යි.

මෙහි පද්ගතාර්ථ හෝ භාවාර්ථ දක්වත හොත් ග්‍රන්ථය දීර්ඝ වන බැවින් අදහස පමණක් ඉතා සැකෙවින් දක්වනු ලැබේ. ඒ මෙසේ යි:

අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණ යන මේ ධර්මයෝ එකකට අනිකක් ප්‍රත්‍යය වෙමින් පවත්නා බැවින් මේ සංසාර දුඃඛ වෘත්තය නොසිඳී පවතී. වීමංසනය කරන්නා වූ භික්‍ෂු තෙම ලෝකයෙහි මේ ජරා මරණ සඞ්ඛ්‍යාත මහා දුඃඛය කවර හේතුවකින් හට ගනීද කවර ධර්මයක් නොමැති කල්හි ජරා, මරණ, දුඃඛය නැති වේදැයි සොයයි. එකල්හි ඒ මහණ එය ජාති හේතුවෙන් හට ගන්නා බවද ජාතිය නැති කල්හි නැති වන බවද දැන ගනී. මෙසේ ඒ මහණ ජරා මරණයද, ජරා මරණ හේතුවද, ජරා මරණ නිරෝධයද, ජරා මරණ නිරෝධ ගාමිනි ප්‍රතිපදාව ද, දැන ගනී. මේ ක්‍රමයෙන් ඉතිරි පටිච්ච සමුප්පාදාංග එකොළස ද දැන ගනී. අවිද්‍යාව ඇති සත්ත්වයෝ භවයෙහි නැවත පිළිසිඳ ගැනීමට හේතුවන කුශලාකුශල කර්ම සඞ්ඛ්‍යාත සංස්කාර රැස් කෙරෙත්. පහවූ අවිද්‍යාව ඇති මහණ වනාහි පුනරුත්පත්තියට හේතුවන්නා වූ කුශලාකුශල කර්මයන් රැස් නො කෙරේ. හෙතෙම කිසි උපාදානීය ධර්මයක් මමය කියා හෝ මාගේය කියා හෝ උපාදානයන්ගේ වශයෙන් නොගනී. හෙතෙම සුඛ, දුඃඛ, අදුක්ඛමසුඛ, වේදනාවන් අනිත්‍ය යයි දැන විඳී. එහි නො ඇලේ. අතීතයෙහි රැස්කරන ලද කර්ම හේතුවෙන් හට ගත්තා වූ ඒ භික්ෂුවගේ ස්කන්ධ කය සම්බන්ධී සකල වේදනාවෝ මරණින් මතු නිරුද්ධ වෙති. ඉන්පසු සෘතුජ රූප සමූහය වූ කිසි හරයක් නැති බැවින් කෙසෙල් කඳක් බඳු වූ මෘත ශරීරය පමණක් ශේෂ වේ. උපමාවක් නම්:- කුම්භකාරයාගේ වළන් පලහන ගිනිගොඩෙන් එක් සැලියක් පිටතට ගෙන සම වූ භූමිභාගයෙක්හි තබන ලද්දේ නම් එහි ඇත්තා වූ උණුසුම් ගතිය ක්‍රමයෙන් නිවී ගොස් සැළ පමණක් ශේෂ වේ. සැළිය යම්තාක් කුම්භකාරයාගේ ගිණි ගොඩේ වහ්නි ස්පර්ශය ලබමින් පවතී නම් ඒතාක් අළුත් අළුත් වූ උණුසුම් ගති උපදනා බැවින් සැළියේ ගින්න නො නිවීම පවතී. අළුත් වූ උණුසුම් ගති උපදීමට හේතු වූ වහ්නි ස්පර්ශය නැති කල්හි එකලට පැවති උණුසුම් ගතිය ද නිවී යාමෙන් පසු උණුසුම් ගතියක් නූපදී. එපරිද්දෙන් අර්හත් මාර්ගඥානයෙන් ක්ලේශ ප්‍රහාණය කළ කල්හි මතු භවයෙහි ඉපදිය හැකි හේතු අතුරුදහන් වීමෙන් පසු අතීත හේතුවෙන් හට ගත්තා වූ ආධ්‍යාත්මිකායතනයන්ගෙන් ද නිරුද්ධ වී ගොස් ශාරීරික ධාතු පමණක් ශේෂ වෙයි. දිව්‍ය බ්‍රහ්ම අර්හත් පුද්ගලයකුගේ වී නම් ශාරීරික ධාතු පවා ශේෂ නොවී අතුරුදහන් වේ. මෙසේ මේ සූත්‍රයෙහි වදාළ උපමානුසාරයෙන් අර්හත් පුද්ගලයාගේ සන්තානයෙන් නිර්වාණයට යන ධර්මයක් නොමැති බව දතයුතු.

මේ ප්‍රථම සූත්‍රයේ සංක්‍ෂේප අදහසයි.

ද්විතීය සූත්‍රය

“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච, උපාදානියෙසු භික්ඛවේ ධම්මේසු අස්සාදානු පස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භවපච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදෙව් දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති, එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

සෙය්‍යථාපි භික්ඛවේ! දසන්නං වා කට්ඨවාහානං වීසාය වා කට්ඨවාහානං තිංසාය වා කට්ඨවාහානං චත්තාළීසාය වා කට්ඨවාහානං මහා අග්ගික්ඛන්ධො ජලෙය්‍ය, තත්‍ර පුරිසො කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය සුක්ඛානිච ගොමයානි පක්ඛිපෙය්‍ය සුක්ඛානි ච කට්ඨානි පක්ඛිපෙය්‍ය, එවං හි සො භික්ඛවේ! මහා අග්ගික්ඛන්ධො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං ජලෙය්‍ය. එව මේව ඛො භික්ඛවේ! උපාදානියෙසු ධම්මේසු – අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

උපාදානියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානු පස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරෝධා උපාදාන නිරෝධො, උපාදාන නිරෝධා -පෙ- ජරා මරණං සොක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධො හොති.

සෙය්‍යථාපි භික්ඛවේ! දසන්නං වා කට්ඨවාහානං වීසාය වා කට්ඨවාහානං තිංසාය වා කට්ඨවාහානං චත්තාළීසාය වා කට්ඨවාහානං මහා අග්ගික්ඛන්ධො ජලෙය්‍ය, තත්‍ර පුරිසො කාලෙන කාලං න සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය න සුක්ඛානි ච ගොමයානි පක්ඛිපෙය්‍ය න සුක්ඛානි ච කට්ඨානි පක්ඛිපෙය්‍ය, එවං හි සො භික්ඛවේ! මහා අග්ගික්ඛන්ධො පුරිමස්ස ච උපාදානස්ස පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරො පරිනිබ්බායෙය්‍ය, එවමෙව ඛො භික්ඛවෙ! උපාදානියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරෝධා උපාදාන නිරෝධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධො හොතී ති.”

මෙහි අදහස මෙසේයි:

උපාදානිය ධර්මයන් ආශ්වාදනය කරන්නා හට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව හේතු කොට ගෙන උපාදාන ද, උපාදාන හේතු කොට ගෙන භවය ද, භවය හේතු කොට ගෙන ජාතිය ද, ජාතිය හේතු කොට ගෙන ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ස උපායාස යන ධර්මයෝ ද පවතිත්. මෙසේ දුඃඛ වෘතයාගේ පැවැත්ම වේ.

ගැල් විස්සක් හෝ තිසක් හෝ සතලිසක් හෝ වූ දරවලින් මහ ගිනි කඳක් ඇවිලෙන කල්හි පුරුෂයෙක් තෙම කලින් කල ගිනි කඳට වියළි තණ වියළි ගොම ආදිය බහාලන්නේ වේ නම්, එය දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැල්වේ. එපරිද්දෙන් ම උපාදානයන්ට හිත වූ චක්ෂු, ශ්‍රෝත්‍ර, ඝ්‍රාණ, ජිව්හා, කාය, මන යන ආධ්‍යාත්මිකායතන සයය, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන බාහ්‍යායතන සයය යන දොළොස් ආයතනයන්ගේ සමූහය වූ ස්වකීය කයෙහි මාගේ කයය කියා හෝ මාගේ කායඞ්ගයය කියා හෝ මමය කියා හෝ ආශ්වාදනය කරමින් වාසය කරන තාක් කල් තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව හේතු කොට ඉපදීම් පරම්පරාව දිරීම් පරම්පරාව මැරීම් පරම්පරාව වූ දුඃඛ වෘතය පවතී. පුරුෂ තෙම ඒ ගිනි කඳට කලින් කල වියළි තණපත් ආදිය නො එලවා නම්, පළමු තිබූ ගිනි පෙනෙලි දා අවසාන වී අළුත් තණපත් ආදිය නො එලවීමෙන් අනාහාරව නිවී යන්නේ ය. එමෙන් ම විදර්ශනාවෙහි යෙදී ස්වසන්තානගත දොළොස් ආයතනයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දක්නා වූ විදර්ශනා ඥානය වර්ධනය කොට ඒ ධර්මයන් ආදීනව වශයෙන් දක්නා කල්හි තණ්හාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් තත් හේතුක දුඃඛ පරම්පරාව නිරුද්ධ වේ. අතීත හේතුවෙන් හට ගත්තා වූ ස්කන්ධයෝ පරිනිර්වාණයෙන් පසු නිරුද්ධ වෙති. මෙසේ දුඃඛ වෘතයාගේ නිවීම වේ. ඒ නිවීම නිර්වාණයයි.

මේ ද්විතීය සූත්‍රයේ අදහසයි.

තෘතීය සූත්‍රය

“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච, සඤ්ඤෝජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානු පස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති, තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

සෙය්‍යථාපි භික්ඛවේ! තෙලඤ්ච පටිච්ච වට්ටිච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්‍ය, තත්‍ර පුරිසො කාලෙන කාලං තෙලං අභිසිඤ්චෙය්‍ය, වට්ටිං උපසංහරෙය්‍ය, එවං හි සො භික්ඛවේ තෙලප්පදීපො තදාහාරෝ තදුපාදානො චිරං දීඝමද්ධානං ජලෙය්‍ය, එවමේව ඛො භික්ඛවේ සඤ්ඤොජනියෙසු ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

සඤ්ඤොජනියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානු පස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා උපාදාන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.

සෙය්‍යථාපි භික්ඛවේ! තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්‍ය. තත්‍ර පුරිසො න කාලෙන කාලං තෙලං අභිසිඤ්චෙය්‍ය, න වට්ටිඤ්ච උපහරෙය්‍ය. එවං හි සො භික්ඛවෙ! තෙලප්පදීපො පුරිමස්ස උපාදානස්ස පරියොදානා අඤ්ඤස්සච අනුපහාරා අනාහාරො පරිනිබ්බායෙය්‍ය. එවමෙව ඛො භික්ඛවේ! සඤ්ඤොජනියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා උපාදාන නිරොධො, -පෙ- එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී ති.”

මෙහි ද්විතීය සුත්‍රයෙහි උපාදානයයි වදාළ තැන සංයෝජනීයයි වෙනස්කොට ප්‍රදීපෝපමාවක් දක්වා තිබේ. දැල්වෙන ප්‍රදීපයට තෙල් හා පහන්වැටි බහාලමින් සිටින තුරු එය නොනිවී පවතී. තෙල් හා පහන් වැටි එළවීම නො කළ කල්හි ක්‍රමයෙන් ප්‍රදීපය නිවී යන්නේ යයි උපමාව දතයුතු, උපමෙය්‍ය පක්‍ෂය වූ ස්කන්ධ පැවැත්ම හා නිරෝධය ද්විතීය සූත්‍රයෙහි කී නයින් ම දතයුතු.

මේ තෘතීය සූත්‍රයේ අදහසයි.

චතුර්ථ සූත්‍රය.

“සෙය්‍යථාපි භික්ඛවේ! තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්‍ය” යන ආදි වශයෙන් උපමාව පළමු කොට දක්වා අර්ථය පසුව දක්වා චතුථි සූත්‍රය වදාරා තිබේ.

තෘතීය සුත්‍රය හා එහි වෙනස එපමණක් ම වේ.

පඤ්චම සූත්‍රය.

“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච, උපාදානියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති, තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! මහාරුක්ඛො, තස්ස යානි චෙව මූලානි අධොගමනීයානි යානිච තිරියංගමානි සබ්බානි තානි උද්ධං ඔජං අතිහරන්ති. එවං හි සො භික්ඛවේ! මහා රුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය, එව මේව ඛො භික්ඛවේ! උපාදානියෙසු ධම්මේසු අස්සාදානු පස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති, තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

උපාදානියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා -පෙ- එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! මහාරුක්ඛො අථ පුරිසො ආගච්ඡෙය්‍ය, කුද්දාල පිටකං ආදාය, සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්‍ය, මූලෙ ඡෙත්වා පලිඛණෙය්‍ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්‍ය අන්තමසො උසීරනාලමත්තානිපි, සො තං රුක්ඛා ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්‍ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා ඵාලෙය්‍ය. ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්‍ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්‍ය, අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්‍ය, මසිං කරිත්වා මහා වාතෙවා ඔපුනෙය්‍ය, නදියාවා සීඝසොතාය පවාහෙය්‍ය, එවං හි සො භික්ඛවේ! මහා රුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවං කතො ආයතිං අනුප්පාදධම්මො, එවමේව ඛො භික්ඛවේ; උපාදානියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා; නිරොධො උපාදාන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී ති.”

මෙහි අදහස මෙසේ දතයුතු:

එක් මහා වෘක්ෂයක් ඇත්තේ ය. ඒ වෘක්‍ෂයාගේ මුල යම් තාක් කල් උඩට පෘථිවි රසය පමුණු වන්නාහු ඒ තාක් වෘක්‍ෂය එය ආහාර කොට පවත්නේ ය. එපරිද්දෙන් උපාදානිය ධර්මයන්හි යම්තාක් තෘෂ්ණාව පවතී නම් ඒතාක් දුඃඛ පරම්පරාව ද පවත්නේ ය. යම් කලෙක ඒ වෘක්‍ෂය කපා මුල් උදුරා කඩ කඩ කොට කපා පලා වියළවා ගින්නෙන් දවා අලු සුළඟෙහි හෝ විසුරුවා හැරියේ වේද දියෙහි හෝ පාකර හැරියේ වේද එකල්හි ඒ වෘක්‍ෂය අතුරුදහන් වූයේ වේ. මතු නොවැඩෙන ස්වභාවයට පැමිණියේ වේ. එමෙන් ම උපාදානීය ධර්මයන්හි පැවති තෘෂ්ණාව යම් කලෙක දුරු වී නම් එකල්හි දුක්ඛ පරම්පරාව මතු නූපදනා ස්වභාවයට පැමිණෙන්නේ ය. මෙසේ දුක්ඛ වෘතයාගේ නිවීම වේ. මේ උපමාවෙහි අනමතග්ග සංසාරය මුළුල්ලෙහි පැවත ආ තමාගේ ආත්ම භාවය වූ ආයතන දොළොස වෘක්‍ෂය මෙනි. අවිද්‍යා තෘෂ්ණා දෙක මහ මුල් මෙනි. සෙසු ක්ලේශයෝ කුඩා මුල් මෙනි. නොහොත් ක්ලේශ ධර්ම සමූහය මහ මුල් මෙනි. කුශලාකුශල කර්මයෝ කුඩා මුල් මෙනි. තම ආත්ම භාවය වූ ආයතන දොළස අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දක්නා වූ විදර්ශනා ඥානය මුල් සිඳීමට උපකරණ වූ උදලු පොරෝ ආදිය මෙනි. මාර්ගඥාන ඵලඥානයෝ වියළි වෘක්‍ෂය දවන ගින්න මෙනි. මෙසේ විස්තර වශයෙන් දතයුතු.

මේ පඤ්චම සූත්‍රයේ අදහසයි.

ෂෂ්ඨ සූත්‍රය.

“සෙය්‍යථාපි භික්ඛවේ! මහාරුක්ඛො තස්ස යානි චෙව මූලානි අධොගමනීයානි” යන ආදි වශයෙන් උපමාව පළමුකොට ප්‍රකාශ කොට අර්ථය පසුව දක්වා ෂෂ්ඨ සූත්‍රය වදාරා තිබේ. එහි පඤ්චම සූත්‍රයට වඩා වෙනස මෙ පමණක් ම වේ.

සප්තම සූත්‍රය.

“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච. සංයොජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! තරුණො රුක්ඛො තස්ස පුරිසො කාලෙන කාලං මූලානි පලිසන්තෙය්‍ය, කාලෙන කාලං පංසුං දදෙය්‍ය, කාලෙන කාලං උදකං දදෙය්‍ය, ඒවං හි සො භික්ඛවේ! තරුණො රුක්ඛො තදාහාරො තදුපාදානො වුද්ධිං විරූහිං වෙපුල්ලං ආපජ්ජෙය්‍ය. එවමේව ඛො භික්ඛවේ! සඤ්ඤෝජනියෙසු ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හා පච්චයා උපාදානං -පෙ-එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.

සඤ්ඤොජනියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හා නිරොධා උපාදාන නිරොධො -පෙ- එවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! තරුණො රුක්ඛෝ. අථ පුරිසො ආගච්ඡෙය්‍ය කුද්දාලපිටකං ආදාය, සො තං රුක්ඛං මූලෙ ජින්දෙය්‍ය මූලෙ ඡෙත්වා පලිඛණෙය්‍ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්‍ය, අන්තමසො උසීරනාලමත්තානි පි සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්‍ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්‍ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්‍ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්‍ය, අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්‍ය, මසිං කත්වා වාතාතපෙ ඔපුනෙය්‍ය, නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය, එවංහි සො භික්ඛවේ! තරුණො රුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතෝ අනභාවං කතො ආයතිං අනුප්පාද ධම්මො, එවමේව ඛො භික්ඛවේ! සඤ්ඤොජනියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා උපාදාන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.”

පුරුෂයෙක් තෙම තරුණ වෘක්‍ෂයක්හුගේ මුල පස් බුරුල්කොට කලින් කල පෝරපස් එලවන්නේ වේ නම්, දිය ඉසින්නේ වේ නම් එකල්හි එය වර්ධනය වන්නේ ය. එය සිඳ මුල් උදුරා කඩ කඩ

කොට කපා පලා වියළවා දවා හරින ලද කල්හි වෘක්‍ෂය අතුරුදහන් වේ. නැවත නො වැඩෙන බවට පැමිණේ. මේ මෙහි දක්වා තිබෙන උපමාවයි. දුක්ඛ වෘත්තයාගේ පැවැත්ම හා නිවීම යට කී නයින් මේ උපමාව හා සසඳා දතයුතු.

මේ සප්තම සූත්‍රයේ අදහසයි.

අෂ්ටම සූත්‍රය

“සඤ්ඤොජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති හොති. නාමරූප පච්චයා. සළායතනං, සළායතන පච්චයා ඵස්සො” යන ආදි වශයෙන් නාම රූපයෙහි පටන් සංසාර වෘතයාගේ පැවැත්ම හා නිරෝධය ෂෂ්ටම සූත්‍රයෙහි මෙන් මහාවෘක්‍ෂ උපමාවෙන් දක්වා අෂ්ටම සූත්‍රය දේශනා කොට තිබේ.

නවම සූත්‍රය

“සඤ්ඤෝජනියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සී විහරතො විඤ්ඤාණස්ස අවක්කන්ති හොති. විඤ්ඤාණ පච්චයා නාම රූපං” යන ආදි වශයෙන් විඤ්ඤාණයෙහි පටන් පැවැත්ම හා නිවීම මහාවෘක්‍ෂ උපමාවෙන් ම දක්වා නවම සූත්‍රය දේශනා කොට තිබේ.

තම ආත්මභාවය වූ නාමරූප ධර්ම සමූහය ආස්වාදනීය වශයෙන් දක්නා පුද්ගලයා හට ච්‍යුතියට අනතුරුව ප්‍රතිසන්ධි විඥානය පහළ වීමෙන් දුඃඛ වෘතය දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවතී. එසේ නොදක්නා පුද්ගලයා හට විඥානය පහළ නොවී දුඃඛ වෘතයාගේ නිවීම වේය යනු එහි අදහසයි.

දශම සූත්‍රය.

ප්‍රතීත්‍යසමුත්පාදයාගේ ගම්භීර භාවය සමග වෘත්තදුක්ඛයාගේ පැවැත්ම හා නිරෝධය යට දැක්වූ මහා වෘක්‍ෂ උපමාවෙන් දක්වා දශම සූත්‍රය වදාරා තිබේ. පාලිය යට දක්වන ලද සූත්‍රයන්හි මෙන් දතයුතු.

මෙසේ මේ සූත්‍රයන්හි දක්වා වදාරන ලද උපමානුසාරයෙන් මනුෂ්‍ය අර්හත් පුද්ගලයකුගේ වී නම්:- ච්‍යුති කර්මජ රූප නිරෝධයෙන් පසු සෘතුජ රූප කලාප සමූහයක් වූ ශාරීරික ධාතු පමණක් ශේෂ වන බව ද, දිව්‍ය බ්‍රහ්ම අරහත් පුද්ගලයකුගේ වී නම් කිසිවක් ශේෂ නො වන බව ද, ඔවුන්ගේ සන්තාන වලින් කිසිවක් නිර්වාණය කරා නො යන බවද දතයුතු.

මෙතෙකින් නිදානවර්ග සංයුත්තකයේ දුඃඛ වර්ගයෙහි සූත්‍ර දසය හා ඉන් දතයුතු කරුණු ද දක්වන ලදී.

වච්ඡගොත්ත සූත්‍රය.

දැන් මජ්ඣිම නිකායේ මජ්ඣිමපණ්ණාසකයෙහි වදාළ අග්ගි වච්ඡ ගොත්ත සූත්‍රයෙන් කොටසක් හා එහි අදහස දක්වනු ලැබේ.

“එවං විමුත්තො ඛො පන භික්ඛු කුහිං උප්පජ්ජතී ති; උප්පජ්ජතීති ඛො වච්ඡ! න උපෙති; තෙන හි භො ගොතම න උප්පජ්ජතීති; න උප්පජ්ජතීති ඛො වච්ඡ! න උපෙති; තෙන හි භො ගොතම! නෙව උප්පජ්ජති ච න ච උප්පජ්ජතීති; උප්පජ්ජතී ච න ච උප්පජ්ජතීති ඛො වච්ඡ! න උපෙති; තෙන හි භො ගොතම! නෙව උප්පජ්ජති න නූපපජ්ජතීති; නෙව උපපජ්ජති න නූපපජ්ජතීති ඛො වච්ඡ! න උපෙති.

එවං විමුත්තො ඛො පන භො ගොතම! භික්ඛු කුහිං උපපජ්ජතීති ඉති පුට්ඨො සමානො උපපජ්ජතී ති ඛො වච්ඡ! න උපෙතී ති වදෙසි. තෙන හි භො ගොතම! න උපපජ්ජතී ති. ඉති පුට්ඨො සමානො න උපපජ්ජතී ති. ඉති පුට්ඨො සමානො න උපපජ්ජතී ති ඛො වච්ඡ! න උපෙතී ති වදෙසි, තෙන හි භො ගොතම! උපපජ්ජතී ති ච න ච උපපජ්ජතී ති ඉති පුට්ඨො සමානො උපපජ්ජති ච න ච උපපජ්ජතී ති ඛො වච්ඡ! න උපෙතී ති වදෙසි, තෙන හි භො ගොතම! නෙව උපපජ්ජතී ති නූපපජ්ජතී ති ඉති පුට්ඨො සමානො නෙව උපපජ්ජති න නූපපජ්ජතී ති ඛො වච්ඡ! න උපෙතීති වදෙසි. එත්තාහං භො ගොතම! අඤ්ඤාණ මාපාදිං, යාපි මෙ එසා භොතො ගොතමස්ස පුරිමේන කථාසල්ලාපෙන අහු පසාදමත්තා, සා පි මෙ එතරහි අන්තරහිතාති.

අලං හි තෙ වච්ඡ අඤ්ඤාණාය අලං සම්මොහාය, ගම්භීරොචායං වච්ඡ! ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවේදනීයො, සො තයා දුජ්ජානො අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤත්‍ර යොගෙන අඤ්ඤත්ථාචරියකෙන. තෙන හි වච්ඡ! තඤ්ඤවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තේ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි; තං කිං මඤ්ඤසි වච්ඡ! සචෙ තෙ පුරතො අග්ගි ජලෙය්‍ය, ජානෙය්‍යාසි ත්වං අයං මේ පුරතො අග්ගි ජලතීති, සචෙ ඛො භො ගොතම! පුරතො අග්ගි ජලෙය්‍ය ජානෙය්‍යාහං අයං මෙ පුරතො අග්ගි ජලතීති; සචෙ පනෙතං වච්ඡ! එවං පුච්ඡෙය්‍ය යො තෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලතීති, එවං පුට්ඨො ත්වං වච්ඡ! කින්ති බ්‍යාකරෙය්‍යාසීති. සචෙ මං භො ගොතම! එවං පුච්ඡෙය්‍ය, යො තෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලතීති. එවං පුට්ඨො අහං භො ගොතම! භවං බ්‍යාකරෙය්‍යං. යො මෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගිං තිණකට්ඨුපාදානං පටිච්ච ජලතීති; සචෙ තෙ වච්ඡ! පුරතො සො අග්ගි නිබ්බායෙය්‍ය, ජානෙය්‍යාසි ත්වං අයං මෙ පුරතො අග්ගි නිබ්බුතොති; සචෙ මෙ භො ගොතම පුරතො අග්ගි නිබ්බායෙය්‍ය ජානෙය්‍යාහං අයං මෙ පුරතො අග්ගි නිබ්බුතො ති. සචෙ පන තං වච්ඡ! එවං පුච්ඡෙය්‍ය යො තෙ අයං පුරතො අග්ගි නිබ්බුතො, සො අග්ගි කතමං දිසං ගතො පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වාති; එවං පුට්ඨො ත්වං වච්ඡ! කින්ති බ්‍යාකරෙය්‍යාසීති;න උපෙති භො ගොතම! යං හි යො භො ගොතම! අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච අජලි, තස්ස ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරො පරිනිබ්බුතො තෙව සංඛං ගච්ඡතී ති.

එවමෙව ඛො වච්ඡ! යෙන රූපෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය. තං රූපං තථාගතස්ස පහීණං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං, රූප සංඛා විමුත්තො ඛො වච්ඡ! තථාගතො. ගම්භීරො අප්පමෙය්‍යො දුප්පරියොගාහො. සෙය්‍යථාපි මහසමුද්දා, උප්පජ්ජතීති න උපෙති, න උප්පජ්ජතීති න උපෙති. උප්පජ්ජතී ච න ච උප්පජ්ජතීති න උපෙති, නෙව උප්පජ්ජතී න නූපපජ්ජතීති න උපෙති.

යාය වෙදනාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය. සා වෙදනා තථාගතස්ස පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, වෙදනා සංඛා විමුත්තා ඛො වච්ඡ! තථාගතො ගම්භීරො -පෙ- න උපෙති.

යාය සඤ්ඤාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය, සා සඤ්ඤා තථාගතස්ස පහීණා -පෙ- න උපෙති;

යෙහි සංඛාරෙහි තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය තෙ සංඛාරා තථාගතස්ස පහීණා -පෙ- න උපෙති;

යෙන විඤ්ඤාණෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය තං විඤ්ඤාණං තථාගතස්ස පහීණං -පෙ- න උපෙතීති.”

මෙහි අග්ගිවච්ඡගොත්ත පරිබ්බාජකයා විසින් මරණින් මතු අර්හත් පුද්ගලයාගේ ගතිය (උප්පත්තිය) කෙසේ වේ දැයි විචාරන ලද ආකාරය හා සර්වඥයන් වහන්සේ විසින් විසඳන ලද ආකාරය දක්වා තිබේ. ඒ මෙසේ යි.

වච්ඡගොත්ත :- පින්වත් ගෞතමයාණනි! මෙසේ විමුක්ති සිත් ඇති මහණ (රහතන් වහන්සේ) කොතැන්හි උපදීද?

සර්වඥයන් වහන්සේ :- වච්ඡය! උපදීය යන සංඛ්‍යාවට නොපැමිණේ.

වච්ඡ :- පින්වත් ගෞතමයාණනි! එසේනම්, ඒ මහණ කිසි තැනෙක නූපදී ද?

සර්වඥ :- වච්ඡය! ඒ මහණ නූපදීය යන සංඛ්‍යාවට ද නො පැමිණේ.

වච්ඡ :- පින්වත් ගෞතමයාණනි! රහතුන් අතුරෙන් සමහර කෙනෙක් උපදින්නේත් සමහරෙක් නූපදින්නේත් වෙත්ද?

සර්වඥ :- වච්ඡය! රහතුන් අතුරෙන් සමහරෙක් උපදින්නේත් සමහරෙක් නූපදින්නේත් වේය යන සංඛ්‍යාවට ද රහත්හු නො පැමිණෙති.

වච්ඡ :- පින්වත් ගෞතමයාණනි! ඒ මහණ උපදින්නේත් නොවේ; නූපදින්නේත් නොවේද?

සර්වඥ :- වච්ඡය! ඒ මහණ උපදින්නේත් නොවේ; නූපදින්නේත් නොවේ යන සංඛ්‍යාවට නො පැමිණේ.

පරිබ්‍රාජක තෙමේ සර්වඥයන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනය අසා කිසිවක් අවබෝධ කරගත නොහී විචාරන ලද ආකාරය හා විසඳන ලද ආකාරය කියා පින්වත් ගෞතමයාණනි! මම මෙහි

නොදන්නා බවට පැමිණියෙමි. පින්වත් ගෞතමයාණන්ගේ පූර්වකථා සල්ලාපයෙන් මාහට ප්‍රසාද මාත්‍රයක් විය. එය ද දැන් අතුරුදහන් වීයයි සැළ කෙළේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “වච්ඡය! මාගේ ධර්මය තට නොදැනීමට ප්‍රමාණය, මුළා වීමට ප්‍රමාණය, මේ ධර්මය මහා සමුද්‍රය සේ ගැඹුරු ය, පර්වතයකින් වසා තිබෙන දෙයක් සේ දැකීමට දුෂ්කරය, අවබෝධ කරගැනීමට දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, අතර්කාවචරය, සූක්ෂ්මය, පණ්ඩිතයන් විසින් ම දත යුතුය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තා වූ, අන්‍ය ධර්මයක් ඉවසන්නා වූ අන්‍ය ධර්මයක් කැමති වන්නා වූ අන්‍ය ප්‍රතිපත්තියක යෙදෙන්නා වූ අන්‍ය ශාසනයෙක්හි ආචාර්යයකු ඇසුරු කරන්නා වූ තා විසින් මාගේ ධර්මය දුකසේ දතයුත්තේ ය. වච්ඡය! එසේ වී නම්; මෙහි තාගෙන් නැවත විචාරමි. තෝ යම් ආකාරයකින් ඉවසන්නෙහි නම්; එසේ විසඳව. වච්ඡය! ඉදින් තාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලේ නම් තෝ මාගේ ඉදිරියෙහි ගින්න ඇවිළේ යයි දන්නෙහි ද?

වච්ඡ :- පින්වත් ගෞතමයාණනි! ඉදින් මා ඉදිරියෙහි ගින්නක් දැල්වේ නම් මම මේ ගින්න මා ඉදිරියේ ඇවිළේ යයි දනිමි.

සර්වඥ :- වච්ඡය! තා ඉදිරියෙහි යම් ගින්නක් දැල්වේ නම් එය කුමක් ඇසුරු කොට දැල්වේ දැයි තාගෙන් විචාළේ නම් තෝ කෙසේ විසඳන්නෙහි ද?

වච්ඡ :- පින්වත් ගෞතමයාණෙනි! “තා ඉදිරියෙහි දැල්වෙන ගින්නක් කුමක් ඇසුරු කොට දැල්වේ දැයි” ඉදින් මා විචාළේ නම් මාගේ ඉදිරියෙහි දැල්වෙන ගින්න තණපත් දර යනාදිය ඇසුරුකොට දැල්වේ යයි විසඳමි.

සර්වඥ :- වච්ඡය! ඉදින් තාගේ ඉදිරියෙහි දැල්වුණු ගින්න නිවුනේ නම් තෝ මා ඉදිරියෙහි දැල්වූ ගින්න නිවුනේ යයි දන්නෙහි ද?

වච්ඡ :- පින්වත් ගෞතමයාණෙනි! ඉදින් මා ඉදිරියෙහි දැල් වූ ගින්න නිවුනේ නම් මම මාගේ ඉදිරියෙහි දැල් වූ ගින්න නිවී යයි දනිමි.

සර්වඥ :- වච්ඡය! තා ඉදිරියෙහි යම් ගින්නක් නිවීද ඒ ගින්න කවර දිශාවට ගියේ ද පූර්ව දිශාවට හෝ ගියේ ද? පශ්චිම දිශාවට හෝ ගියේ ද? උත්තර දිශාවට ගියේ ද? දක්‍ෂිණ දිශාවට හෝ ගියේ දැයි විචාළේ නම් තෝ කෙසේ විසඳන්නෙහි ද?

වච්ඡ :- පින්වත් ගෞතමයාණෙනි! තෘණ කාෂ්ඨයන් ඇසුරු කොට යම් ගින්නක් දැල්වී නම්; ඒ තෘණකාෂ්ඨයන් ක්‍ෂය වීමෙන් අන්‍ය තෘණකාෂ්ඨ නො එලවීමෙන් ආහාර රහිත වූයේ නිවුනේය යන සඛ්‍යාවට පැමිණේ. කිසි දිශාවකට ගියේ ය යන සංඛ්‍යාවට නො පැමිණේ.

සර්වඥ :- වච්ඡය! එපරිද්දෙන් ම යම් රූපයක් කරණ කොට ගෙන මනුෂ්‍යයාය, දෙවියාය, බ්‍රහ්මයාය, යනාදි වශයෙන් සත්ත්වයා සම්බන්ධ ප්‍රඥප්තීන් පණවන්නේ වේද ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේ ය. මුල් සිඳින ලද්දේ ය, අග සිඳින ලද තල් රුකක් මෙන් කරන ලද්දේ ය. අභාවයට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාවයට පමුණුවන ලද්දේ ය. වච්ඡය! තථාගත තෙමේ රූප සංස්කරණයෙන් මිදුනේ ය. ඒ තථාගත තෙමේ මහා සමුද්‍රය සේ ගැඹුරු වේ. ප්‍රමාණ කළ හැකි වූවක් නොවේ. දුකසේ පත්ල සෙවිය යුත්තක් වේ. එබැවින් “උපදීය” යන ව්‍යවහාරයට ද “නූපදීය” යන ව්‍යවහාරයට ද “සමහරෙක් උපදී සමහරෙක් නූපදීය” යන ව්‍යවහාරයට ද“උපදින්නේත් නොවේ. නූපදින්නේත් නොවේ” යන ව්‍යවහාරයට ද අවිෂය වේ.

මෙසේ ම වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධ චතුෂ්කය සම්බන්ධව ද වදාරා තමන් වහන්සේ විසින් පළමු වදාළ කාරණය ම පරිබ්‍රාජකයාට පැහැදිලි කොට වදාළ සේක.

ගින්න දර ඇති කල්හි ම දර ඇසුරු කොට පවත්නාක් මෙන් පුද්ගල සත්ත්වාදි ප්‍රඥප්තීහුද නාම රූප ධර්මයන් ඇති කල්හි ම නාමරූප ධර්ම ඇසුරු කොට පවතිත්. පරණ දර දා අවසන් වී අළුත් දර නො ලැබීමෙන් නිවී ගිය කල්හි ඒ ගින්න අසවල් දිශාවට ගියේ ය යන ව්‍යවහාරයට අවිෂය වේ. හුදෙක් නිවී ගියේය. යන අතීත ව්‍යවහාරයට පමණක් එය විෂය වේ. එමෙන් ම පරිනිර්වාණයෙන් රූපස්කන්ධය නිරවශේෂව නිරුද්ධ වූ පසු රූප ස්කන්ධය නිමිත්තකොට පවත්නා වූ ප්‍රඥප්තීහු අදර්ශනයට යෙත්. වේදනාදි ස්කන්ධ චතුෂ්කය නිරුද්ධ වූ පසු ඒ ස්කන්ධ සතර නිමිත්ත කොට ඇති ප්‍රඥප්තීහු අදර්ශනයට යෙති. ස්කන්ධ පඤ්චකය ම නිරුද්ධ වූ පසු ස්කන්ධ පඤ්චකය නිමිත්ත කොට ඇති පුද්ගල ප්‍රඥප්තිය අදර්ශනයට පැමිණේ. මෙසේ ස්කන්ධ නිරෝධයෙන් ස්කන්ධයන් කෙරෙන් හා තන්නිමිත්ත පුද්ගල ප්‍රඥප්තියෙන් ද මුක්ත වූ බැවින් නිවනට පැමිණි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මහා සමුද්‍රය සේ ගැඹුරු වේ. ඥානයෙන් දැන ගැනීමට ඉතා දුෂ්කර වේ. “උපදීය නූපදීය” යන ව්‍යවහාරයට විෂය නොවේ. “නිවීමට පැමිණියේය” යන අතීත ව්‍යවහාරයට පමණක් විෂය වේ.

අතීතයෙහි නිවනට පැමිණි සත්ත්වයන් අතුරෙන් ඉතා ස්වල්පයකගේ පමණක් නාමයෝ අද මනුෂ්‍යයන් අතර හා දිව්‍ය බ්‍රහ්මයන් අතර ද පවතිත්. මීට චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි නිවනට පැමිණියවුන්ගේ නාමයෝ බුදුවරුන්ට පමණක් දතහැකි වෙති. අද ලෝකයේ ඒ නාමයෙන් දන්නා වූ කිසිවෙක් නැත්තේ ය. මතු ද ඒ නාමයෝ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන තුන් ලෝකයෙහි ප්‍රකට භාවයට නොපැමිණෙති. ඒ නාමයන් බුදුවරයන් විසින් දතහැක්කේත් අතීත වූ ස්කන්ධ උන්වහන්සේලාට දතහැකි හෙයිනි. අතීතයෙහි සිටි සත්ත්වයකු සංසාරයෙහි අද නොමැති බව පෙනීමෙන් හෙතෙමේ නිවනට පැමිණියේයැයි සර්වඥයෝ දැන ගනිති. එසේ නොව නිවන බලා, නිවනෙන් මේ අසවල් කාලයේ නිවනට පැමිණි අසවලායයි බුදුවරයන්ට ද දතහැකි නොවේ. මෙසේ පිරිනිවියා වූ රහතන්වහන්සේගේ ගම්භීරාකාරය දතයුතු. මේ සූත්‍ර දේශනාවගේ වශයෙන් ද රහතන් වහන්සේලාගේ ශරීර වලින් නිවනට යන්නා වූ කිසිවක් නොමැති බැව් දතයුතු. කුමක් හෙයින්ද? ස්කන්ධ ප්‍රාදූර්භාවයාගේ නිවී යාම ම ක්‍ෂය වීම ම නිර්වාණය හෙයිනි. නිවනට පැමිණියේ ය නිවනට ගියේ ය යන වචන වලින් ම රහතන් වහන්සේලාගේ ස්කන්ධ කයින් නිවන කරා කිසිවක් නො ගියේ ය යන අර්ථය ප්‍රකාශ වේ ම ය.

මෙතෙකින් අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ අදහස නිමි.

උපසීව ගාථා

දැන් සූත්‍ර නිපාත පාරායන වර්ගයෙහි එන උපසීව ප්‍රශ්න ගාථා හා අර්ථ අදහස් දක්වනු ලැබේ. ඒ සූත්‍රයෙහි ප්‍රශ්න ගාථා සතරක් හා විසර්ජන ගාථා සතරක් ද වෙයි. එයින් පශ්චිම පෘච්ඡාගාථාද්වය හා විසර්ජනා ගාථාද්වය මෙසේ යි.

තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායි

පුගං පි වස්සානි සමන්තචක්ඛු

තත්ථෙච සො සීති සීයා විමුත්තො

චවෙථ විඤ්ඤාණං තථා විධස්ස

මේ උපසීව මාණවකයා විසින් සර්‍වඥයන් වහන්සේගෙන් විචාරන ලද ප්‍රශ්නයයි.

“සමන්ත චක්ඛු, හාත්පස දක්වන නුවණැස් ඇති සර්වඥයන් වහන්ස; සො, ඒ; ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි පුද්ගල තෙමේ; අනානුයායි, අන්තැනකට නොයන්නේ; පුගං පි වස්සානි, බොහෝ වර්ෂ සමූහයක් මුළුල්ලෙහි; චෙ, ඉදින්; තිට්ඨෙ, සිටින්නේ නම්; සො, හෙතෙම; තත්ථෙව, ඒ ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි ම; විමුත්තො, මරණාදි දුක්ඛයන්ගෙන් මුක්තවූයේ; සීති සියා, සීතල ස්වභාවයට පැමිණියේ වේද; අථ, එසේ නොව; තථා විධස්ස, එබඳු ස්වභාව ඇති පුද්ගලයාගේ; විඤ්ඤාණං, විඤ්ඤාණය; චවෙ, චුතවේද යනු අර්ථයි.

අච්චි යථා වාතවෙගෙන ඛිත්තා

අත්ථං පලෙති න උපෙති සඞ්ඛං

එවං මුනී නාම කායා විමුත්තො

අත්ථං පලෙති න උපෙති සඞ්ඛං

මේ සර්‍වඥයන් වහන්සේගේ විසර්ජනයයි.

වාතවෙගෙන, වායු වේගයෙන්; ඛිත්තා, පිඹහරින ලද; අච්චි, ගිනිසිළ; අත්ථං, අස්තයට හෙවත් නිවීමට; යථා, යම්සේ; පලෙති. යන්නේද; සඞ්ඛං, අසවල් දිශාවට ගියේ ය යන සඞ්ඛ්‍යාවට; න උපෙති. නො පැමිණෙන්නේද; එවං, එපරිද්දෙන්; නාම කායා, නාම ධර්‍ම සමූහයෙන්; විමුත්තෝ, මිදුණාවූ; මුනි, භික්ෂු තෙම; අත්ථං, අස්තයට හෙවත් අතුරුදහන් වීමට; පලෙති, පැමිණේ; සඞ්ඛං, ප්‍රඥප්තියක් ආරූඪකොට ව්‍යවහාර කළහැකි සංඛ්‍යාවට; න උපෙති. නොපැමිණේ යනු අර්ථයයි.

උපසීව තවුස් තෙමේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි. ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය කරණකොට රූප කයින් මුක්ත වූවෙකි. එහෙයින් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ප්‍රධාන කොට දුඃඛ වෘතයෙන් එතර වන නියාව විචාළේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ නාම කයෙහි ආස්වාදනය කරන්නා වූ අරූප තෘෂ්ණාව කෙරෙන් මිදීමට නය දෙනුයේ “නාමකාය විමුත්තො” යි වදාළ සේක. උපසීව තාපස තෙමේ අරූප තෘෂ්ණාව දුරු කර ගත නොහී නාම කයෙන් නොමිදියේ නම් ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සිට ඉන් චුතව සංසාරයෙහි නැවත භවයෙන් භවයට ගමන් කරන්නෙක් වන්නේ ය. අරූප තෘෂ්ණාව දුරුකොට නාම කයින් මුක්ත වූයේ නම්; වාත වේගයෙන් පිඹ හරින ලද ගිනිසිල කිසි දිශාවකට නො පැමිණ අතුරුදහන් වන්නාක් මෙන් ඒ භූමියෙහි ම නාම ධර්‍ම පරම්පරාවගේ ද නිවීමට පැමිණේ. ව්‍යවහාරයට නගා ව්‍යවහාර කළ හැකි කිසිවකට නොපැමිණේය යනු මෙහි අදහසයි.

මෙහි “අත්ථං පලෙති” යන්නෙන් ප්‍රකාශිත නිර්‍වාණයට පැමිණේය යන අර්ථයෙහි මනුෂ්‍ය ලෝකයෙන් චුතව දිව්‍ය ලෝකයට පැමිණේයැ යි කීමෙහි පැමිණිය යුතු දිව්‍ය ලෝකයය, පැමිණෙන පුද්ගලයාය, මනුෂ්‍ය ලෝකයෙන් චුතව දිව්‍ය ලෝකයෙහි පහළ වීමේ ක්‍රියාවය යන අඞ්ග තුන ඇතුවාක් මෙන් පැමිණිය යුතු නිර්වාණ භූමියය, පැමිණෙන පුද්ගලයාය, ස්කන්ධයන්ගේ පැවැත්ම අතුරුදහන් වී නිර්වාණ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර භූමියෙහි පුද්ගලයාගේ පහළවීම ය යන අඞ්ග තුන ලැබිය හැකි නොවේ.

ඒ පදය චූළ නිර්දේශ පාළියෙහි “අත්ථං පලෙතීති. අත්ථං පලෙති. අත්ථං ගමෙති. අත්ථං ගච්ඡති. නිරුජ්ඣති, වූපසම්මති. පටිප්පස්සම්භති” යි වර්ණනා කොට තිබේ. අත්ථං පලෙතීති, අත්ථං පලෙති යනු; අත්ථං, නිර්වාණයට හෙවත් අදර්ශනයට; පලෙති. පැමිණේ; අත්ථං, නිර්වාණයට; ගමෙති, යේ; අත්ථං, නිර්‍වාණයට; ගච්ඡති, යේ; නිරුජ්ඣති, නිරුද්ධ වේ; වූපසම්මති, ව්‍යපශමනය වේ හෙවත් සන්සිඳේ; පටිප්පස්සම්භති, සන්සිඳේ යනු අර්ථයයි. මේ පද සය අතුරෙහි පූර්ව පදත්‍රයෙන් හුදකලා වූ අර්ථය ම දක්වන ලදී. “අත්ථං පලෙති” යන ආදි දෙකක් දෙකක් බැගින් වූ පදයන්ගේ ප්‍රකාශිතාර්ථය ස්කන්ධයන්ගේ නිවීම වූ එක ම ධර්මය බව “නිරුජ්ඣති” යන ආදි පශ්චිම පදත්‍රයෙන් දක්වන ලදී.

එහෙයින් ක්ලේශ ස්කන්ධ නිරෝධ සඞ්ඛ්‍යාත එක ම ධම්යට “අත්ථං පලෙති” යි වදාරන ලදැයි දතයුතු. මරණයට යේ, දිරීමට යේ, බිඳීමට යේ, යන දෙකක් දෙකක් වූ වචනයන්ගේ අර්ථ මැරේය, දිරාය, බිඳේයයි එක එකක් ම වූවාක් මෙනි.

“අත්ථඞ්ගතො සො උද වා සො නත්ථි

උදාහු චෙ සස්සතියා අරොගො

තම්මෙ මුනී සාධු වියාකරොහි

තථා හි තෙ විදිතො එස ධම්මො”

අත්ථඞ්ගතො, අස්තඞ්ගතවූ හෙවත් අදර්ශනයට පැමිණියා වූ; සො, හෙතෙම; උදනත්ථිවා, ඉදින් නැත්තේ හෝ වේද; උදාහු, නොහොත්; චෙ, ඒකාන්තයෙන්; සස්සතියා, ස්ථාවර වශයෙන්; අරොගො, පෙරළීම් රහිත වූයේද; මුනි, සර්වඥයන් වහන්ස; තං, ඒ කාරණය; සාධු, මොනවට; මෙ, මට; වියාකරොහි, විසඳා වදාළ මැනව; තෙ, නුඹ වහන්සේ විසින්; එස ධම්මෝ, මේ ධර්‍මය; තථාහි, අවිපරීතාකාරයෙන් ම; විදිතො, දන්නා ලදී. යනු අර්ථයයි.

ස්කන්ධ අනිකෙක, ස්කන්ධයන්ගේ ස්වාමී වූ ආත්මය අනිකෙක, පුද්ගලයාය සත්ත්වයාය ව්‍යවහාර කරනු ලබන්නේ ආත්මයට ම ය යන ලබ්දිය ලෝකයෙහි පැතිර පවත්නා වූ දෘෂ්ටියයි. ස්කන්ධ නිරුද්ධ වූ කල්හි පුද්ගලයා හෙවත් සත්ත්වයා සිඳේය යන ලබ්දිය නාස්තික දෘෂ්ටියයි. හෙවත් උච්ඡේද දෘෂ්ටියයි, “න හොති තථා ගතො පරම්මරණා” යන දෘෂ්ටිය ද මේ නාස්තික දෘෂ්ටියමැයි. ස්කන්ධ පමණක් නිරුද්ධව අතුරුදහන් වෙයි. ආත්මය කිසි කලෙක නිරුද්ධ නොවේය යන ලබ්දිය ආස්තික දෘෂ්ටියයි, හෙවත් ශාශ්වත දෘෂ්ටියයි. “හොති තථා ගතො පරම්මරණා” යන දෘෂ්ටිය ද මෙය ම වේ. සර්වඥයන් වහන්සේ විසින් පූර්ව ගාථාවේ “අත්ථං පලෙති” යන්නෙන් ස්කන්ධ නිරෝධය වදාරන ලද හෙයින් උපසීව පරිබ්‍රාජක තෙම ස්කන්ධ ස්වාමී වූ ආත්මය හෙවත් පුද්ගල තෙම ස්කන්ධ නිරෝධයෙන් පසු සිඳී යන්නේ ද නැතහොත් ස්කන්ධ සඞ්ඛ්‍යාත දුඃඛ ධම්යන් කෙරෙන් මිදී අන්‍යාකාරයකට පැමිණ නිත්‍යව සිටීදැයි ශංකා කොට දෘෂ්ටියට බැස මේ පශ්චිම ප්‍රශ්නය විචාළේ ය. සර්වඥයන් වහන්සේ විසින් මේ ආස්තික නාස්තික දෘෂ්ටිද්වය ප්‍රතික්ෂේප කරන ලද්දකි. එහෙයින් කච්චානගොත්ත සූත්‍රයෙහි “අත්ථිති ඛො කච්චාන එකො අන්තො, නත්ථිති ඛො කච්චාන දුතියෝ අන්තො” යි වදාරන ලදී. අත්ථි යන මේ ලබ්දිය එක් හීන ලබ්දියෙක, නත්ථි යන මේ ලබ්දිය දෙවෙනි හීන ලබ්දියක යනු භාවයි. සර්‍වඥ දේශනාව පරිදි පුද්ගලයා සත්ත්වයා ආත්මය ජීවය යන මොවුහු මුඛ්‍ය වශයෙන් නැත්තාහු ය. නාම රූප ධර්මයෝ ම ඒකාන්තයෙන් ඇත්තාහුය. ඔවුහු අවිද්‍යා තෘෂ්ණාදි හේතු ධර්ම පවත්නා තුරු උච්ඡේද ස්වභාවයට නො පැමිණෙන්නාහු ය. හේතු ධර්ම ප්‍රහාණය කළ කල්හි ඒකාන්තයෙන් නිරෝධයට පැමිණෙන හෙයින් සංසාරයෙහි නිත්‍යයෙන් පවත්නා වූ අස්ති ස්වභාවයෙන් යුක්ත වූවාහු ද නොවෙත්. එහෙයින් ආස්තික නාස්තික දෘෂ්ටි වලට බැස උපසීව පරිබ්‍රාජකයා විසින් විචාරණ ලද ප්‍රශ්නය ආස්තික නාස්තික ස්වභාවයෙන් මුක්ත වූ අන්‍ය පර්‍ය්‍යායකින් විසඳනු කැමති සර්වඥයන් වහන්සේ,

“අත්ථඞ්ගතස්ස න පමාණ මත්ථි

යෙන නං වජ්ජු තං තස්ස නත්ථි.

සබ්බේසු ධම්මේසු සමූහතෙසු

සමූහතා වාදපථාපි සබ්බෙති” යි වදාළ සේක.

අත්ථඞ්ගතස්ස, නාම රූප ධර්මයන්ගේ නිරෝධයෙන් අදර්ශනයට ගියාවූ පුද්ගලයාගේ; පමාණං, ඇත්තේය කියා හෝ නැත්තේය කියා හෝ ව්‍යවහාර කළ හැකි ප්‍රමාණයෙක්; නත්ථි, නැත්තේ ය; යෙන, යම් පරමාර්ථ ධර්ම සමූහයක් කරණ කොට; නං, ඒ පුද්ගලයා; වජ්ජු, නාම ප්‍රඥප්ති ආරූඪකොට ව්‍යවහාර කළාහුද; තස්ස, ඔහුට; තං, ඒ පරමාර්ථ ධර්ම සමූහය; නත්ථි, නැත්තේ ය; සබ්බේසු, සියළු; ධම්මේසු, පරමාර්ථ ධර්මයන්; සමූහතෙසු, මොනවට නසන ලද කල්හි; සබ්බේ, සියළු; වාදපථාපි, ව්‍යවහාර මාර්ගයෝද; සමූහතා, මොනවට නසන ලද්දාහු වෙත්; යනු අර්ථයි.

මේ ගාථාවෙහි ප්‍රථම පාදයාගේ අදහස ද්විතීය පාදයෙන් ද, තෘතීය පාදයාගේ අදහස තෘතීය චතුර්ථ පාදයන්ගෙන් ද වර්ණනා කොට වදාරා තිබේ. අදහස වච්ඡ ගොත්ත සූත්‍රානුසාරයෙන් දතයුතු. මේ ගාථාවන්ගෙන් ද දතයුත්තේ රහතන් වහන්සේගේ සන්තානයෙන් නිර්වාණයට යන්නා වූ කිසිවක් නැති බැවින් නිර්වාණයට ගිය පුද්ගලයා අතීත ව්‍යවහාරයෙන් ම ව්‍යවහාර කරනවා මිස වර්තමාන ව්‍යවහාරය ආරූඪ කොට ව්‍යවහාර කළ හැකි කිසිවක් ඔහුගෙන් ශේෂව නිවනෙහි නැති බව ම ය.

මෙතෙකින් උපසීව ගාථාවන්ගේ අදහස නිමි.

මේ පරිච්ඡේදයෙහි එකිනෙකට වඩා වෙනසක් නැත්තා වූ මෙතෙක් සූත්‍ර දක්වන ලද්දේ ඇතැම්හු අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්වාණ ධර්මය සංකාර ධර්මයන් මෙන් සත්ත්වයන්ගේ නිත්‍ය වාසයට යෝග්‍ය වූ ධාතුවක් ලෙස ද නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා එහි ඇත යයි ද වරදවා තේරුම් ගෙන තිබෙන හෙයිනි. මෙතෙකින් දක්වන ලද සූත්‍ර දේශානුසාරයෙන් ක්ලේශ ස්කන්ධයන්ගේ මතු නූපදනා කාරයෙන් සිදුවන නිරෝධය හැර නිර්වාණ ධාතුවයයි අන්‍ය ධර්මයක් නොමැති බව හා නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා සම්බන්ධ කිසිවක් නිවනෙහි නැති බවත් අවබෝධ කරගත යුතු. “කායස්ස භෙදා ධම්මට්ඨො තින්නො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” යන ආදි දේශනාවන්හි නිර්වාණයෙහි පරිනිවියා වූ සත්ත්වයන් සිටින්නාක් මෙන් වදාරා තිබෙන්නේ පර්‍ය්‍යායයෙනි. සුව වූ ඇතැම් රෝගයන් සුව වූ පරිදි නොපැවතී නැවත හට ගන්නාක් මෙන් නිර්වාණයට පැමිණීමෙන් නිරුද්ධවන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ මතු කිසි කලෙක නැවත හට නොගනිත්. ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධයෙන් නිවනට පැමිණි තැනැත්තාගේ ස්කන්ධයෝ නැවත හටගන්නා වූ ස්වභාවයට පැමිණ නිවනෙහි නො සිට නැවත මනුෂ්‍යන් අතරට හෝ දිව්‍ය බ්‍රහ්මයන් අතරට හෝ නො පැමිණේ. මෙසේ නිවනට පැමිණි සත්ත්ව තෙම ඉන් හැරී නො එන බැවින් නිවනෙහි කිසිවෙක් නැතත් එහි සත්ත්වයන් සිටින්නාක් මෙන් ද නිවන ඔවුන්ගේ වාසස්ථානය මෙන් ද පර්‍ය්‍යායයෙන් ව්‍යවහාර කරනු ලැබේ.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ තෘතීය පරිච්ඡේදය නිමි.

චතුර්ථ පරිච්ඡේදය

නිවනෙහි සුඛත්වය දැක්වූ සූත්‍ර

මෙතැන් පටන් නිර්වාණයාගේ සුඛත්ත්වය දක්වා වදාරන ලද සූත්‍ර කීපයක අදහස සැකෙවින් දක්වනු ලැබේ.

ප්‍රථම සූත්‍රය

“පඤ්චිමෙ ආනන්ද කාමගුණා. කතමෙ, පඤ්ච? චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා” යනාදි වේදනා සංයුක්ත රභෝගත වර්ගයෙහි දශම සූත්‍රයෙහි පඤ්චකාම සුඛය, ප්‍රථමධ්‍යාන සුඛය, ද්විතීයධ්‍යාන සුඛය, තෘතීයධ්‍යාන සුඛය, චතුර්ථ ධ්‍යාන සුඛය, ආකාසානඤ්චායතන ධ්‍යාන සුඛය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන සුඛය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යාන සුඛය, නිරෝධ සමාපත්ති සුඛයයි සුඛ නවයක් වදාරා තිබේ.

එයින් කාම සුඛය යනු මනුෂ්‍ය ලෝකයෙහි ගෘහපතිය, සිටුය, ප්‍රදේශරාජය, චක්‍රවර්තිරාජය යන මොවුන්ගේ සැප හා දිව්‍යලෝකයෙහි දෙවියන්ගේ සැප ද යන මොවුහුයි. මේ කාම සුඛය සුඛයන් අතුරෙන් හීන වූ සුඛයයි. වන ලැහැබෙක්හි ප්‍රථම ධ්‍යානයට සම වැදී වාසය කරන්නා භික්ෂුවගේ ප්‍රථම ධ්‍යාන සුඛය කාම සුඛයට වඩා ප්‍රණීතතර වේ. ප්‍රියතර වේ. මෙසේ ද්විතීයධ්‍යානාදිය ද එකිනෙකට වඩ වඩා ප්‍රණීත වේ. නිරෝධසමාපත්ති සුඛය යනු චිත්ත චෛතසික චිත්තජරූපයන් නිරෝධයට පමුණුවා කර්මජ, සෘතුජ, ආහාරජ රූපයන්ගෙන් පමණක් යුක්තව වාසය කිරීමයි. දෘෂ්ට ධර්ම නිර්වාණය වූ ඒ නිරෝධ සමාපත්ති සුඛය මෙහි දක්වන ලද සුඛයන් අතුරෙන් අග්‍රප්‍රාප්ත ප්‍රණීත සුඛයයි. නිරෝධ සමාපත්ති සුඛය වදාරා අවසානයෙහි :-

“ඨානං ඛො පනෙතං ආනන්ද විජ්ජති, යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං, සඤ්ඤා වේදයිත නිරොධං සමණො ගොතමො ආහ, තඤ්ච සුඛස්මිං පඤ්ඤාපෙති පණීතතරං තයිදං කිංසු තයිදං කථංසූති. එවං වාදිනො ආනන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා. න ඛො පනාවුසො භගවා සුඛඤ්ඤෙව වෙදනං සන්දාය සුඛස්මිං පඤ්ඤාපෙති, යත්ථ යත්ථ ආවුසො! සුඛං උපලබ්භති, යහිං යහිං සුඛං තං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙති” යි වදාළ සේක.

ආනන්දය! ශ්‍රමණ ගෞතම තෙමේ සංඥා වේදයිත නිරෝධයක් වදාළේ ය. එය ප්‍රණීත සුඛයයි ද පණවයි. ඒ කෙසේද? චිත්ත චෛතසිකයන් නැති කල්හි මළ සිරුරක් වැනි වූ කිසිවක් නො දන්නා වූ ශරීරයක් දරන්නා වූ සත්ත්වයා හට කිසි සුවයක් විඳිය හැකි නො වේ. එකල්හි සත්ත්වයාට කවර සුඛයක් වේද? මෙසේ අන්‍යතීර්ථකයන්ට පැන විචාරීමට අවකාශයක් ඇත්තේ ය. මෙසේ කියන්නා වූ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට “ඇවැත්නි! අප භාග්‍යවතුන් වහන්සේ සුඛ වේදනාව ම සුඛයයි නො පණවන සේක, යම් යම් ධර්මයෙක්හි සුඛය ඇත්තේ නම් ඒ සියල්ලම සුඛයැයි පණවන සේක” යි කිය යුත්තේය යනු මෙහි අදහසයි. මේ සූත්‍රයෙන් වේදයිත සුඛයාගේ ලාමක භාවය හා ආධ්‍යාත්මික සන්තාන ගතවූ හීන වූද ඖදාරික වූද නොසන්සුන් වූ ස්වභාවය ඇත්තා වූද ධර්මයන්ගේ නිරෝධය වූ ශාන්ති සුඛයාගේ ප්‍රණීත භාවය ද දක්වන ලදී.

ප්‍රථම සූත්‍රයේ අදහස නිමි.

ද්විතීය සූත්‍රය.

දැන් අංගුත්තර නිකාය නවකනිපාතයෙහි නිර්වාණ සුඛත්ත්වය දක්වා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රයක අදහස සැකෙවින් දක්වනු ලැබේ.

එක් සමයෙක්හි ධර්මසේනාපති වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට “සුඛමිදං ආවුසො! නිබ්බානං සුඛමිදං ආවුසො නිබ්බානං” යි වදාළ සේක. ආවුසො, ඇවැත්නි: ඉදං නිබ්බානං, මේ නිර්‍වාණය; සුඛං, සැපවන්නේය යනු එහි අර්ථයයි.

එකල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ට,

“කිම්පනෙත්ථ ආවුසො! සාරිපුත්ත සුඛං යදෙත්ථ නත්ථි වෙදයිතං” යි සැළ කළේ ය. ආවුසො සාරිපුත්ත, ඇවැත්නි! ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස; යදෙත්ථ, යම් ඒ නිර්වාණයෙක්හි; වෙදයිතං, විඳීමක්; නත්ථි, නැත්තේද; එත්ථ, මේ විඳීමක් නැත්තා වූ නිර්වාණයෙහි; සුඛං, සුවය; කිම්පන අත්ථි; කිමෙක ඇත්තේද යනු එහි අර්ථයයි.

එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “එතදෙවෙත්ථ ආවුසො සුඛං යදෙත්ථ නත්ථි වෙදයිතං” යි වදාළ සේක. ආවුසො, ඇවැත්නි; එත්ථ, මේ නිර්‍වාණයෙහි; වෙදයිතං, විඳීමක්; යං නත්ථි, යම් හෙයකින් නැත්තේද; එතදෙව, විඳීමක් නැතිබවම; එත්ථ, මේ නිර්වාණයෙහි; සුඛං, සුවයයි යනු අර්ථයි.

ඉක්බිති නිර්‍වාණයාගේ සුඛත්ත්වය දක්වන්නා වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක. ඇවැත්නි, ඉෂ්ට වූ මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාමගුණය හේතු කොට උපදනාවූ සුවය කාම සුඛයයි. ප්‍රථමධ්‍යානය උපදවා ධ්‍යානසුවයෙන් කල් යවන්නා වූ භික්ෂුවට ඒ කාම සහගත සංඥාවෝ උපදිත් නම් යම් සේ සුවපත්වූවහුට දුක් උපදින්නාහු නම් ඒ දුඃඛයෝ ඔහුට ආබාධ පිණිස වෙත් ද එපරිද්දෙන් ප්‍රථම ධ්‍යාන ලාභී භික්ෂුවට කාමසංඥාවෝ ආබාධයෝ වෙත්. ඇවැත්නි, යම් ආබාධයක් වේ නම් එය දුඃඛයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ඇවැත්නි, මේ කාරණයෙන් නිර්වාණය සැප බව දැන ගනුව.

ප්‍රථම ධ්‍යාන සුඛය ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදත් මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකවාසී සාමාන්‍ය සත්ත්වයෝ පඤ්චකාම සුඛය උතුම්කොට සලකත්. ප්‍රථමධ්‍යානය ලබා ගත් යෝගාවචර භික්ෂුව වනාහි ප්‍රථමධ්‍යාන සුඛය ප්‍රත්‍යක්ෂ වශයෙන් දත් කල්හි ඔහුට කාම සුඛයාගේ හීනත්ත්වය පෙනේ. දිනපතා රාජභෝජනය අනුභව කරමින් සිටින්නා වූ රජුන්ට දුගීන් විසින් ප්‍රණීත වශයෙන් සලකා අනුභව කරන්නා වූ භෝජනය අනුභව කරන්නට වුවහොත් ඔවුන්ට එය මහත් දුඃඛයක් වේ. එමෙන් ම ප්‍රථමධ්‍යානයට පැමිණ ප්‍රණීත වූ සුවයක් විඳිමින් සිටින්නා වූ භික්ෂුවට කාමසුඛයෝ ආබාධයන් වන බව ද දුඃඛයන් වන බව ද දත යුතු යි.

මෙසේ ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයාට ප්‍රථමධ්‍යානලාභියා විසින් උතුම් කොට සලකනු ලබන්නා වූ විතර්ක විචාර සහගත සංඥාවක් වූ ප්‍රථමධ්‍යානය උපදී නම් එය ඔහුට ආබාධ වන බැවින් ප්‍රථමධ්‍යානය ද, තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයා හට ආබාධයක් වන බැවින් ද්විතීය ධ්‍යානය ද, චතුර්ථ ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් තෘතීයධ්‍යානය ද, ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් චතුර්ථ ධ්‍යානය ද, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකාසානඤ්චායතන ධ්‍යානය ද, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් විඤ්ඤානඤ්චායතන ධ්‍යානය ද, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ද, ඒකාන්තික සුඛයක් නොවන බැවින් ඒ ඒ කාරණයන් ගෙන් නිර්වාණය ම සුඛය බව වදාරන ලදී. ලෞකික සැප අතුරෙන් ප්‍රණීත සුවය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය ද ඉක්මවා අනාගාමි අර්හත් පුද්ගලයෝ සංඥා වේදයිත නිරෝධයට (හෙවත් නිරෝධ සමාප්තියට) පැමිණෙත්. ඒ කාරණයෙන් නිර්වාණයාගේ සුඛය දක්වන ලදී. නිරෝධ සමාප්තිය වනාහි සාන්දෘෂ්ටික නිර්වාණයක් වූ හෙයින් ඒකාන්ත සුඛයකි.

මේ අර්ථය ප්‍රකට වීම සඳහා තවත් උපමාවකින් දක්වනු ලැබේ. ඝන වූ රත් පැහැයෙන් දිලිසෙන්නා වූ කිහිරි අඟුරු වලින් පුරවන ලද ගිනි කබල බලවත් කැසීම ඇත්තා වූ කුෂ්ටරෝගයකින් පෙලෙන්නා වූ පුද්ගලයාට ග්‍රීෂ්ම කාලයේදී නමුත් ඉෂ්ටාරම්මණයක් වේ. ගින්නෙන් ස්වකීය ශරීරය රත්කිරීම සුඛයක් වේ. ඉන් වෙන් වුව හොත් කැසීම වර්ධනය වන බැවින් ගිනිකබල අත්හැරිය නොහේ. ඉන් වෙන් වුවහොත් කුෂ්ටරෝගය විසින් ම රෝගියා වහා ගිනිකබල කරා පමුණුවනු ලැබේ. එපරිද්දෙන් පඤ්චකාම සුවය කෙරෙහි පවත්නා වූ ආශාව නමැති කැසීමෙන් යුක්ත වූ කුෂ්ට චිත්තය ඇත්තවුන්ට රූපාදි පඤ්චකාමයෝ ඉෂ්ටාරම්මණයෝ වෙත්. කාමයන් ආශ්වාදනය කිරීම සුවයක් වේ. කාමාශාව විසින් රූපයන් සොයා යව, ශබ්දයන් සොයා යව යන ආදි වශයෙන් පඤ්චකාමයන් කරා කාමාශාව ඇති තැනැත්තේ නැවත නැවත පමුණුවනු ලබන හෙයින් ඔහුට කාමයන්ගෙන් වෙන් විය නොහේ. යට කී ගිනිකබල කුෂ්ට රෝග නැත්තවුන්ට ග්‍රීෂ්ම කාලයේදී දුක් උපදවන්නා වූ දැකීමට පවා අප්‍රිය වූ භයානකාරම්මණයක් වේ. එපරිද්දෙන් ම පඤ්චකාමාසාව නමැති කුෂ්ට රෝගය දුරුකොට ප්‍රථමධ්‍යානයට පැමිණි භික්ෂුවට පඤ්චකාමයෝ අප්‍රිය වූ භයානකාරම්මණයෝ වෙත්. ඔහු කෙරෙහි පවත්නා වූ ප්‍රථම ධ්‍යානනිකාන්තිය (ආශාව) නමැති කැසීම ප්‍රථම ධ්‍යාන සුඛය කරා ම පමුණුවයි. ප්‍රථම ධ්‍යානය ඔහුට මහත් වූ සුවයක් වේ. ප්‍රථමධ්‍යානනිකාන්තිය නැත්තා වූ ද්වීතීය ධ්‍යාන ලාභියාට වනාහි ප්‍රථමධ්‍යානය අනිෂ්ට වූවක් වේ. මෙසේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය දක්වා කුෂ්ටරෝග උපමාවෙන් විස්තර කළ යුතු.

මේ සූත්‍රයෙන් දක්වන්නා වූ පිණ්ඩාර්ථය මෙසේ දතයුතු. කාමසුඛ ප්‍රථමධ්‍යාන සුඛාදි හීන හීන සුඛයෝ ඒ ඒ සැප ලබනු කැමති තෘෂ්ණාව නමැති කුෂ්ට රෝගය (කැසීම) ඇති කල්හි ම ඒ ඒ තැනැත්තන්ට ම සැප වශයෙන් වැටහෙත්. ප්‍රණීත ප්‍රණීත වූ සුඛයන් ලබා ගත්තා වූ ද ලබා ගැනීම සඳහා පිළිපදින්නා වූ ද පුද්ගලයන්ට වනාහි ලාමක ලාමක වූ වේදයිත සුඛයෝ ප්‍රණීත සුඛයන්ට බාධක ධර්ම වූයෙන් දුඃඛයෝ ම වෙත්, ඒකාන්තයෙන් සැප නොවෙත්, සකල වේදයිත සුඛයන්ගේ ම නිරෝධය වූ ශාන්ති සුඛය ම ඒකාන්ත සුඛය වේ. එය ප්‍රතික්ෂේප කොට ලැබිය යුතු ඊට ප්‍රණීත වූ සුඛයක් නැත්තේ ය.

ද්විතීය සූත්‍රයේ අදහස නිමි.

තෘතීය සූත්‍රය

දැන් වේදනා සංයුක්තකයේ රහෝගත වර්ගයේ ප්‍රථම සූත්‍රයෙන් කොටසක අදහස සැකෙවින් දක්වනු ලැබේ. සර්වඥයන් වහන්සේ විසින් සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, අදුක්ඛමසුඛවේදනාවයයි වේදනා තුනක් වදාරන ලදහ. නැවත “යං කිඤ්චි වේදයිතං සබ්බන්තං දුක්ඛස්මිං” යනුවෙන් යම් වේදනාවක් වේ නම් ඒ සියල්ල දුඃඛයෝ යැයි වදාරන ලදී. එක්තරා භික්ෂුවක් සර්වඥයන් වහන්සේ කරා එළඹ සුඛ වේදනාව හා අදුඃඛමසුඛ වේදනාවකුත් ඇත යයි වදාරා වේදනා සියල්ල ම දුඃඛ යයි වදාරන ලද්දේ කුමක් සඳහා දැයි විචාළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණ; මා විසින් යම් කිසි වේදනාවක් වේ නම් ඒ සියල්ල දුඃඛ යයි වදාරන ලද්දේ සංස්කාරයන් ගේ අනිත්‍ය ස්වභාවය ක්‍ෂය ස්වභාවය නිරෝධ ස්වභාවය විපරිණාම ස්වභාවය සඳහා යයි වදාළසේක.

වේදනා තොමෝ සුඛාකාරයෙන් හා මධ්‍යස්ථාකාරයෙන් ආරම්මණරසය විඳින බැවින් ඒ රසානුභවනාකාරය ගෙන ස්වඥයන් වහන්සේ සුඛ වේදනා උපේක්‍ෂා වේදනාවන් ද වදාල සේක. ඒකාන්ත සත්‍ය වූ චතුඃසත්‍ය දේශනානුසාරයෙන් බලන කල ක්‍ෂණයක් ම පැවතී බිඳී යන්නා වූ වේදනාවෝ දුක් උපදවන බැවින් දුඃඛයෝ වෙති. සුඛයක් හෝ උපේක්‍ෂාවක් නොවේ ම ය. එබැවින් සුඛ වේදනාව නිවනෙහි නැත්තේ ය. නිවනෙහි සුඛ වේදනාව ඇත්නම් නිවන ද දුක්සහිත වූවක් ම වන්නේ ය. සුඛ වේදනාව නිවනෙහි නැත යයි කීම නිවනට ප්‍රශංසාවකි. එය ඇත යයි කීම නිවනට නින්දාවකි. එබැවින් වේදයිත සුඛය නැති බැවින් නිවන සුවයක් නොවේ යයි නො සැලකිය යුතු. නිවන සුව අතුරෙන් ශ්‍රේෂ්ඨ සුඛය වූ ශාන්ති සුඛ යැයි දතයුතු.

තෘතීය සූත්‍රයේ අදහස නිමි.

සමසතළිස් භාවනා පද

දැන් සුඛ සෝමනස්ස විරහිත වූ නිර්වාණයාගේ පරමසුඛත්වය හා මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්ගේ දුඃඛත්වය ප්‍රකට වනු සඳහා සමසතළිස් භාවනා පද දක්වනු ලැබේ.

පඤ්චක්ඛන්ධා, අනිච්චා, දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා. අඝා, ආබාධා, පරෙ, පලොකා, ඊති. උපද්දවා. භයා. උපසග්ගා, චලා, පභඞ්ගු, අද්ධුවා. අතාණා. අලෙණා. අසරණා, රිත්තා, තුච්ඡා, සුඤ්ඤා, අනත්තා, ආදීනවා, විපරිණාම ධම්මා, අසාරකා, අඝමුලා, වධකා, විභවා, සාසවා, සඞ්ඛතා, මාරාමිසා, ජාතිධම්මා, ජරා ධම්මා, ව්‍යාධිධම්මා, මරණධම්මා, සොකධම්මා, පරිදේවධම්මා, උපායාසධම්මා, සංකිලෙසික ධම්මා.

පඤ්චක්ඛන්ධා, පඤ්චස්කන්ධයෝ; අනිච්චා, අනිත්‍ය වූවෝ ය; දුක්ඛා, පීඩා කරන්නෝ ය; රෝගා, රෝගයෝ ය; ගණ්ඩා, ගණ්ඩයෝ ය; සල්ලා, හුල් ය; අඝා, පාපයෝ ය; ආබාධා, ආබාධයෝ ය; පරෙ, අන්‍යයෝ ය; පලොකා, විනාශ වන්නෝ ය; ඊති, අනේක ව්‍යසන පමුණු වන්නෝ ය; උපද්දවා, උපද්‍රවයෝ ය; භයා, භයයෝය ය; උපසග්ගා, නොයෙක් අනර්ථයන් විසින් ලුහු බඳින ලද්දෝ ය.; චලා, සෙලවෙන්නෝ ය; පභඞ්ගු, බිඳෙන්නෝ ය; අද්ධුවා, අස්ථිර වූවෝ ය; අතාණා, සත්ත්වයන්ට ආරක්‍ෂා ස්ථාන නො වූවෝ ය; අලෙණා, සැඟවීමට ස්ථාන නො වූවෝ ය; අසරණා, පිළිසරණ නො වන්නෝ ය; රිත්තා, ධුවභාවාදියෙන් හිස් වූවෝ ය; තුච්ඡා, තුච්ඡ වූවෝ ය; සුඤ්ඤා, ස්වාමි භාවාදියෙන් ශුන්‍ය වූවෝ ය; අනත්තා, ආත්ම නො වූවෝ ය; ආදීනවා, ඉතා දිළින්දෝ ය; විපරිණාම ධම්මා, පෙරෙළෙන ධර්මයෝ ය; අසාරකා, හරයක් නැත්තෝ ය; අඝමූලා, අකුසල මූලයෝ ය; වධකා, වධකයෝ ය; විභවා, දියුණුවක් නො වන්නෝ ය; සාසවා, ආශ්‍රව සහිත වූවෝ ය; සංඛතා, සංස්කරණය කරන ලද්දෝ ය; මාරාමිසා, මෘත්‍යුමාර ක්ලේශ මාරයන්ගේ සපයහ; ජාතිධම්මා, ඉපදීම ස්වභාව කොට ඇත්තෝ ය; ජරාධම්මා, දිරීම ස්වභාව කොට ඇත්තෝ ය; ව්‍යාධි ධම්මා, ගිලන්වීම ස්වභාව කොට ඇත්තෝ ය; මරණ ධම්මා, මැරෙන ස්වභාවය ඇත්තෝ ය; සෝක ධම්මා, ශෝක කරවන්නෝ ය; පරිදේව ධම්මා, හඬවන ධර්මයෝ ය; උපායාස ධම්මා, දැඩි සේ වෙහෙස වන ධර්මයෝ ය; සංකිලෙසිකා ධම්මා, කෙලෙසෙන ස්වභාවයෝ ය යනු අර්ථයි.

පඤ්චක්ඛන්ධා යන මෙහි පඤ්චස්ඛන්ධයෝ නම් රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය යන මොහුයි. ඔවුන් අතුරෙන් රූපස්කන්ධය නම් යටින් අවීචි මහා නරකයෙහි පටන් අකනිටා බඹලොව දක්වා මෙ දෑතුරෙහි කුඩා මහත් දේවල් වී පවත්නා වූ පස්, දිය, ගිනි, සුළඟ යන මහා ධාතු සතරය, ඔවුන් ඇසුරු කොට පවත්නා වූ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බාදි කුඩා රූපයෝ ය යන මොහු යි. වේදනා ස්කන්ධ නම් සැප වූ ද දුක් වූ ද සැප දුක් දෙකට මධ්‍යස්ථ වූ ද විඳීම් සමූහයයි. සංඥා ස්කන්ධය නම් මේ මවය මේ පියාය යන ආදි වශයෙන් කුඩා කාලයේ පටන් සලකා ගන්නා වූ හැඟීම් සමූහයයි. සංස්කාර ස්කන්ධය නම් පැහැදීම්, සිහිකිරීම්, ඇලීම්, කිපීම්, ඊර්ෂ්‍යා කිරීම් ආදි වූ ක්‍රියා සමූහයයි. විඥානස්කන්ධය නම් සිතීම් සමූහයයි. මේ ස්කන්ධ පඤ්චකය ඖදාරික වශයෙන් බෙදා දැක්වීමයි.

පඤ්චක්ඛන්ධා අනිච්චා

මේ ස්කන්ධයෝ වනාහි ක්‍ෂණයක් පාසා බිඳෙමින් පවත්නා බැවින් ද, පරම්පරා වශයෙන් පැවතී සිඳී යන බැවින් ද නිරතුරුව මරණ භය සඞ්ඛ්‍යාත අභ්‍යන්තර භය සහිතව ම පවතිත්. මෙසේ පැවැත්ම අනිත්‍ය ස්වභාවයයි. එබැවින් සත්ත්වයකුගේ මනුෂ්‍යයෙක් වීම ද, දෙවියෙක් වීම ද, බඹෙක් වීම ද ස්වල්ප කාලයක් පිණිස ම වේ. සංසාරයාගේ දීර්ඝත්වය සලකන කල සූ අසූ දහසක් කල්ප ආයුෂ ඇත්තා වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව ඉපදීම පවා ස්වල්ප කලකට ම වේ. එබැවින් මේ සංසාර මහාර්ණවයෙහි පාවෙමින් සිටින සත්ත්වයෝ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මලෝක සඞ්ඛ්‍යාත සුගතීන්හි වරක් උපනහොත් අපායෙහි සිය දහස් ගණන් වාරයන්හි උපදිති. මනුෂ්‍ය ආත්මභාවාදිය නිත්‍ය නම් නැවත නැවත චුතව අපායෙහි උපදින්නට නො වන්නේ ය. නැවත නැවත චුතවී නැවත නැවත අපාය භූමීන්හි උප්පත්ති වීමට සිදුවන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය නිසා ම ය. මේ අනිත්‍ය ස්වභාවය හේතු කොට ඇති භය ස්වභාවයයි. මේ අනිත්‍ය ස්වභාවයෙන් මිදිය හැක්කේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණයට පැමිණීමෙන්ය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භවයන්හි විඳිය යුතු වූ සුවයන් ලැබීමෙන් එයින් කිසිසේත් මිදිය හැකි නොවේ. අනිත්‍ය ස්වභාවය යම් පමණ නපුරු වේද දුඃඛ දායක වේද එපමණ ඉන් මිදීම වූ ශාන්තිය මහත් වේ. මේ පඤ්චක්ඛන්ධා දුක්ඛා යන භාවනා පදයාගේ වශයෙන් නිර්වාණ සුඛත්ත්වය දැක්වීමයි.

පඤ්චක්ඛන්ධා දුක්ඛා

“පඤ්චක්ඛන්ධා දුක්ඛා” යන මෙහි දුක්ඛ නම් පීඩනයයි. ස්කන්ධයන් විසින් සත්ත්වයෝ සංස්කාර දුඃඛය, විපරිණාම දුඃඛය, දුඃඛ දුඃඛය යන දුඃඛත්‍රයෙන් නිරතුරුව බියකරු ලෙසින් පීඩා කරනු ලද්දාහු වෙති. එයින් සංස්කාර දුඃඛය නම් ස්කන්ධයන් උපදවා ගැනීම ලබා ගැනීම සඳහා වන වෙහෙසීමයි. විපරිණාම දුඃඛය නම් උපන් ස්කන්ධයන්ගේ දිරීම බිඳීම නිසා වන පීඩනයයි. දුඃඛ දුඃඛය නම් දුඃඛ දෝමනස්ස වේදනාවෝ ය.

මේ දුඃඛත්‍රයෙන් පීඩා කරනු ලබන ආකාරය කියනු ලබන උපමාවෙන් දතයුතු. වර්තමාන වර්ෂයෙහි බත් ලබාගනු කැමති තැනැත්තා විසින් අතීත වර්ෂයේදී ම බීජ ධාන්‍ය රැස් කර තැබීම සඳහා බොහෝ ප්‍රයත්න කළ යුත්තාහුය. එසේ ම මතු වර්ෂයෙහි සී සෑම සඳහා ගවයන් පෝෂ්‍ය කිරීමට ද නගුල් වැල් කෙවිටි ආදි උපකරණ සම්පාදනයට ද ගොවිතැන් කරන කාලය පැමිණි කල්හි සී සෑම වැපිරීම ආදියට ද වපුරා අවසාන වූවාට පසු විනාශ නොවී වැඩීම සඳහා ආරක්‍ෂා කිරීමට ද පැසුණු කල කැපීම, පෑගීම, වියළීම, මැනීම, ගෙන ගොස් අටු කොටු වල තැන්පත් කර ගැනීම යන ආදියට ද නැවත අටුකොටු වලින් ගෙන වියළීම, කෙටීම, පෙලීම, සේදීම, පිසීම යන ආදියට ද බොහෝ ප්‍රයත්න දැරිය යුත්තාහු ය.

යම් වෙහෙසීමක් වේ නම් එය ඒකාන්තයෙන් දුඃඛයකි. බීජ ධාන්‍ය රැස් කිරීමෙහි පටන් බත පිස අවසානය දක්වා මේ අතර බත උවමනා කරන්නාට වූ කෝටි ලක්‍ෂයකටත් අධික වූ වෙහෙසීම් නමැති දුඃඛයෝ බත නිසා ම ඇති වූ බැවින් බත් බවට පැමිණි එක් එක් බත් හුලක්; බත් උවමනා කරන්නා වූ තැනැත්තාට කෝටි ලක්‍ෂවාරයකටත් වඩා පීඩා කොට බත බවට පැමිණෙන්නාහු ය.

මේ බත සම්බන්ධ සංස්කාර දුඃඛය යි.

අතීත වර්ෂයෙහි බීජ ධාන්‍ය රැස් කිරීමේ පටන් බත් පිස මුඛයට ඇතුල් කිරීම දක්වා මේ අතර කරන ලද සකල කෘත්‍යයෝ ද රැස් කරන ලද සකල ද්‍රව්‍ය සම්භාරයෝ ද විනාශ විය හැකි හේතුවක් පැමිණි කල්හි විනාශ වන ස්වභාවය ඇත්තාහු වෙති. පිස නිමවන ලද බත පවා මුව තුළට පැමිණීමට ප්‍රථම විනාශ විය හැකි සිය දහස් ගණන් හේතූහු වෙත්. එක් එක් අවස්ථාවකදී රාජ භය චෝර භයාදි යම් භයක් හමුවීමෙන් හෝ වර්ෂා ජලය නො ලැබීමෙන් හෝ විනාශ වී ගියේ නම් එකල්හි හට ගන්නා වූ අනේක කායික දුඃඛයෝ ද විනාශ විය හැකි හේතුවක් පැමිණෙන බව දත් කල්හි එයින් වලක්වා ආරක්‍ෂා කර ගැනීම සඳහා විය යුතු වෙහෙසීම් ද, විනාශ විය හැකි හේතුවක් පැමිණෙන බව දැන ගත් කල්හි ඇති වන්නා වූ ශෝක දුඃඛයෝ ද, බත් මුව තුළට ගෙන විකා සප කළ කල්හි පිළිකුල් බවට හා විකාරයට පැමිණීම ද, කුස තුළට පැමිණි පසු නො දිරා තිබේ නම් ඒ හේතුවෙන් වන්නා වූ රෝග දුඃඛයෝ ද, දිරා ගියේ නම් මල මුත්‍ර සෙම් සොටු ආදිය වීමෙන් වන්නා වූ දුඃඛයෝ ද යන මොවුහු බතින් උපදවන්නා වූ විපරිණාම දුඃඛයෝ වෙත්.

මේ බත සම්බන්ධ විපරිණාම දුඃඛයයි.

දුඃඛ දුඃඛය වනාහි සංස්කාර දුඃඛ විපරිණාම දුඃඛයන් හා මිශ්‍රව පවත්නේ ය. බත උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කිරීමෙන් බොහෝ කායික චෛතසික දුඃඛයෝ උපදිත්. රැස් කරන ලද උපකරණාදිය විනාශ වූ කල්හි ද බොහෝ කායික චෛතසික දුඃඛයෝ වෙත්. මේ සියල්ල බතින් උපදවන්නා වූ දුඃඛ දුඃඛයයි.

මේ බත සම්බන්ධ දුඃඛ දුඛයයි.

මෙසේ බතින් ප්‍රයෝජන ගනු කැමති සත්ත්ව තෙම ඉන් වෙන් විය නො හැකිව සිටින තෙක් ආත්මයක් පාසා කියන ලද දුඃඛත්‍රයෙන් බත විසින් පීඩා කරනු ලබන්නේ ය.

මේ උපමාවෙහි සසර හැසිරෙන්නා වූ පෘථග්ජන සත්ත්ව තෙම ගොවියා මෙන් දතයුතු. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, ආත්ම භාවයන් සම්බන්ධ අලුත් අලුත් වූ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභය පිණිස දානමය කුශල කර්මයන් රැස් කිරීමට ප්‍රයත්න කිරීමය, ශීලමය කුශල කර්මයන් රැස් කිරීමට ප්‍රයත්න කිරීමය, මහද්ගත ධ්‍යාන උපදවා ගැනීමට ප්‍රයත්න කිරීමය යන සංස්කාර දුඃඛයෝ බීජ ධාන්‍ය රැස් කිරීම, සී සෑම, වැපිරීම යන ආදිය සඳහා කළ යුතු වූ ප්‍රයත්න සමූහය නමැති සංස්කාර දුඃඛය මෙනි. අතීත කුශල කර්ම බලයෙන් හට ගත්තා වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයෝ පිස නිමවන ලද බත මෙනි.

භවයෙහි පිළිසිඳ ගැනීමෙන් පසු සත්ත්වයන්ගේ ස්කන්ධ බිඳී මරණයට පැමිණිය හැකි හේතුවක් හමුවී නම් කවර පැයක කවර මොහොතක වුවත් බිඳී මරණයට පැමිණෙන්නා වූ ස්වභාවය ස්කන්ධයන්හි නිරතුරුව පවත්නේ ය. එබැවින් මරණයට පමුණුවන්නා වූ හේතුවක් හමු වූ වහා ම මරණයට පැමිණීමය, නා නා විධ රෝග හට ගැනීම හා දිරීමය, බිඳිය හැකි හේතුවක් හමුවූ කල්හි එයින් ආරක්‍ෂා කර ගැනීම පිණිස වෙහෙසීමය යන ආදි ස්කන්ධයන් සම්බන්ධ විපරිණාම දුඃඛයෝ බත සම්බන්ධ විපරිණාම දුඃඛයන් හා සසඳා දතයුතු. සංස්කාර දුඃඛ විපරිණාම දුඃඛයන් හා මිශ්‍රව පවත්නා වූ දුඃඛ දුඃඛයෝ බත සම්බන්ධ දුඃඛ දුඃඛයන් මෙන් දත යුතු.

මෙසේ බත විසින් සංස්කාර දුඃඛාදි දුඃඛත්‍රයෙන් භක්තාස්වාදක සත්ත්වයෝ පෙළනු ලබන්නාක් මෙන් ස්කන්ධයන් විසින් ස්කන්ධාස්වාදක සත්ත්වයෝ සංස්කාර දුඃඛාදි දුඃඛත්‍රයෙන් පෙළෙනු ලබත්. ස්කන්ධාස්වාදනයෙන් වෙන් නොවී ඒ පීඩනයෙන් ඔවුනට කිසිසේත් මිදිය නොහේ. එහෙයින් ස්කන්ධයන්ගෙන් ලැබෙන්නා වූ පීඩනයට බිය වූ පීඩනය පිළිකුල් කරන්නා වූ සත්ත්වයන්ට ඉන් මිදීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්හි පිළිසරණක් ලැබිය හැකි නොවේ. ඔවුන්ගේ නිරෝධය වූ අසංස්කෘත නිර්වාණ ධාතුව ම ඒ ස්කන්ධයන්ගෙන් මිදිය හැකි එක ම පිළිසරණය වේ. මේ සුඛ සෝමනස්ස වේදනා විරහිත වූ ප්‍රීති රහිත වූ ශාන්ති සුඛය ම ඒකාන්ත සුඛය බව “පඤ්චක්ඛන්ධා දුක්ඛා” යන භාවනා පදයාගේ වශයෙන් දැක්වීමයි.

පඤ්චක්ඛන්ධා රෝගා.

“පඤ්චක්ඛන්ධා රෝගා” යන මෙහි රෝගයෝ නම් රිදවන්නා වූ ධර්මයෝ ය. ස්කන්ධයෝ වනාහි තම තමාට අනුරූප සෘතු ආහාරාදි ප්‍රත්‍යය ඇතුව ම යැපෙන්නා වූ ධර්මයෝ වෙත්. යෝග්‍ය වූ ඍතු ආහාරාදි ප්‍රත්‍යයෙන් වෙන් වූවාහු නම් විපරිණාමයට පැමිණ දුක් උපදවන්නා වූ ධර්මයෝ වෙති. යම් සේ ජ්වරාදි රෝගයකින් පෙලෙන තැනැත්තා විසින් එයින් බලවත් දුක් ඉපදවීම වැළැක්වීමට යහපත් වූ ඍතු ආහාරයන් සේවනය කොට යැපිය යුතු වේද, එපරිද්දෙන් ම සත්ත්වයන් විසින් ස්වකීය ස්කන්ධ කය බලවත් වූ දුක් නො ඉපදීම පිණිස ගෙවල් ඇතුලට ඇතුල් කොට තබා යහපත් වූ සෘතු ප්‍රත්‍යය ලං කර දීමෙන් ද, සීතලෙන් පීඩා පැමිණෙන කල්හි ස්කන්ධ කයෙහි වස්ත්‍ර ඔතා (රෙදි පොරවා) උණුසුම් ගතිය නමැති යහපත් වූ ඍතුව ලංකරදීමෙන් ද, එය ම අධික වීමෙන් පැමිණෙන උපද්‍රව වැළැක්වීමට ඝන වස්ත්‍ර ඉවත් කොට සිසිල් සුලඟ ඇති තැනකට පමුණුවා යහපත් වූ සෘතු ප්‍රත්‍යය ලං කර දීමෙන් ද, ආහාරෝපස්තම්භනය නැති කල්හි වන්නා වූ දුක් නැති කිරීමට කය තුළට ආහාර ඇතුල් කිරීමෙන් ආහාර ප්‍රත්‍යය ලංකර දීමෙන් ද, විෂමාහාර ඇතුල් වීමෙන් වන්නා වූ දුඃඛයන් වැළැක්වීමට යහපත් ආහාර කයට ඇතුල් කොට කයට ආහාර ප්‍රත්‍යය ලං කරදීමෙන් ද යැපිය යුතු වේ. මෙසේ යැපිය යුතු හෙයින් ස්කන්ධයෝ රෝගයන් වැනි වෙති. එහෙයින් ම ස්කන්ධයෝ ද රෝගයෝ වෙත්.

යම් සේ ජ්වර රෝගාදි මූල ව්‍යාධිය සීතලය, දාහය, හිස රුජාව ආදි රෝගයන්ට මූල කාරණය වේද එමෙන් ම ස්කන්ධයෝ ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ දෞර්මනස්‍යයන්ට මූලකාරණය වූ බැවින් මූලව්‍යාධියක් හා සදෘශ වූ හෙයින්ද රෝගයෝ වෙත්. ස්කන්ධ පඤ්චක සඞ්ඛ්‍යාත රෝගයාගේ නිරෝධය (සුව වීම) ඒකාන්තයෙන් සුඛයක් වේ ම ය. ඉන් මිදීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන් අතරෙහි කිසි පිළිසරණක් නැත්තේ ය. ඊට පිළිසරණ වූ එක ම ධර්මය නම් ස්කන්ධ නිරෝධය හෙයින් ස්කන්ධ නිරෝධ සඞ්ඛ්‍යාත ශාන්ති සුඛය ම ශ්‍රේෂ්ඨ සුඛය බව දතයුතු. “පඤ්චක්ඛන්ධා රෝගා” යන භාවනා පදයාගේ වශයෙන් ශාන්ති සුඛයාගේ ප්‍රණීතත්වය දැක්වීමයි.

සෙසු භාවනා පද සත්තිසගේ වශයෙන් ද කියන ලද නායානුසාරයෙන් ශාන්ති සුඛයාගේ ම ප්‍රණීත භාවය දත යුතු. ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි නොදක්වනු ලැබේ.

මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භවයන්ගේ නිරෝධ යයි කියන ලද ශාන්ති සුඛයාගේ අනන්ත ගුණය අවබෝධ වීමට සමසතළිස් භාවනා පදයන්ගේ අදහස් විස්තර වශයෙන් දැන ගැනීමට උත්සාහ කෙරෙත්වා.[1]

ලෝකයෙහි අනිෂ්ඨ විපත්ති ධම් සමූහයක් හා ඉෂ්ට සම්පත්ති ධර්ම සමූහයක් ද ඇත්තේ ය. එයින් ඉෂ්ට සම්පත්ති ධර්මයන්ගේ හට ගැනීම හා වර්ධනය වීම මහත් වූ සුඛයකි. ඔවුන් විනාශ වීම හා ඉන් පිරිහීම දුඃඛයකි. අනිෂ්ට විපත්තීන්ගේ හට ගැනීම මහත් වූ දුඃඛයකි. ඔවුන් විනාශ වීම මහත් වූ සුවයකි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයෝ වනාහි සම සතළිස් භාවනා පදයන්ගේ වශයෙන් බලන කල සඞ්ක්‍ෂේපයෙන් සතළිසක් වූද විස්තාර වශයෙන් අනන්තාපරිමාණ වූද දෝෂයෝ වෙත්. එබැවින් ඔවුන්ගේ පැවැත්ම මහත් වූ දුඃඛයකි. නො පැවැත්වීම මහත් වූ සුඛයකි. එබැවින් සකල ස්කන්ධ දුඃඛයාගේ නිරෝධය වූ විඳිය යුතු සුවයක් නැත්තා වූ අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුව ම පරම සුඛයයි දතයුතු.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ චතුර්ථ පරිච්ඡේදය නිමි.

පඤ්චම පරිච්ඡේදය

මේ නිර්වාණ ධාතුව සම්බන්ධව පවත්නා වූ ආචාර්‍ය්‍යවාදයෝ බොහෝ වෙති. ඒ සියල්ල ම පැන නැගී තිබෙන්නේ නිර්වාණය දක්වා වදාරන ලද සූත්‍රාභිධර්ම දේශනාවන්ගේ හා තදර්ථකථාවන්ගේ අර්ථය නා නා ආකාරයෙන් ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් විසින් පිළිගැනීම නිසා ය. නා නා මත පහළ වීමට හේතු වූ සකල දේශනාවන් හා අර්ථ කථා පාඨයන් ද මෙහි දක්වා ඒ සියල්ල සම්බන්ධව එකිනෙකට විනිශ්චය ලියත හොත් ග්‍රන්ථය ඉතා දීර්ඝ වන බැවින් බොහෝ ආචාර්‍ය්‍ය මතයන්ට හේතු වූ “ද්වේ මා භික්ඛවේ නිබ්බාන ධාතුයො” යන ආදි ඉති වුත්තක පාලිය පමණක් දක්වා තත් සම්බන්ධී ආචාර්‍ය්‍යවාද විනිශ්චය පමණක් දක්වනු ලැබේ.

ඉතිවුත්තක පාලිය

ද්වේ මා භික්ඛවේ! නිබ්බාන ධාතුයො, කතමා ද්වේ? සඋපාදි සෙසා ච නිබ්බාන ධාතු අනුපාදිසෙසා ච නිබ්බාන ධාතු. කතමාච භික්ඛවේ! ස උපාදිසෙසා නිබ්බාන ධාතු? ඉධ භික්ඛවේ! භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතාවා කතකරණීයො ඔහීතභාරො අනුප්පත්ත සදත්ථො පරික්ඛීණ භව සඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො තස්ස තිට්ඨන්තෙව පඤ්චින්ද්‍රියානි යෙසං අවිඝාතත්තා මනාපා‘මනාපං පච්චනුභොති. සුඛ දුක්ඛං පටිසංවෙදෙති. තස්ස යො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති භික්ඛවේ! ස උපාදිසෙසා නිබ්බාන ධාතු.

කතමා ච භික්ඛවේ! අනුපාදිසෙසා නිබ්බාන ධාතු? ඉධ භික්ඛවේ! භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතාවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්ත සදත්ථො පරික්ඛීණ භව සඤ්ඤොජනො

සම්මදඤ්ඤා විමුත්තො. තස්ස ඉධෙව භික්ඛවේ සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතලී භවිස්සන්ති, අයං වුච්චති භික්ඛවේ! අනුපාදිසෙසා නිබ්බාන ධාතු. එතමත්ථං භගවා – අවොච. තත්ථෙතං ඉති වුච්චති.

ද්වේ ඉමා චක්ඛුමතා පකාසිතා

නිබ්බාන ධාතු අනිස්සිතෙන තාදිනා

එකාහි ධාතු ඉධ දිට්ඨ ධම්මිකා

සඋපාදිසෙසා භවනෙත්ති සඞ්ඛයා.

.

අනුපාදිසෙසා පන සම්පරායිකා

යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසො

යෙ එතදඤ්ඤාය පදං අසඞ්ඛතං

විමුත්ත චිත්තා භවනෙත්ති සඞ්ඛයා

තෙ ධම්මසාරාධිගමා ඛයෙ රතා

පහංසු තෙ සබ්බභවානි තාදිනොති.

මේ ඉතිවුත්තක පාලියයි.

“යො රාගක්ඛයොති රාගස්ස ඛයො ඛීණා කාරො අභාවො අච්චන්ත මනුප්පාදො, සීතලී භවිස්සන්තීති අච්චන්ත වූපසමෙන සඞ්ඛාරදරථ පටිප්පස්සද්ධියා සීතලී භවිස්සන්ති, අප්පටිසන්ධික නිරොධෙන නිරුජ්ඣිස්සන්තීති. අත්ථො, දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවේ භවා වත්තමානා, සම්පරායිකාති සම්පරායේ ඛන්ධභේදතො පරභාගෙ භවා”

මේ තදර්ථ කථාවෙහි එන ප්‍රධාන වචනයෝ ය.

භික්ඛවේ, මහණෙනි; නිබ්බාන ධාතුයො, නිර්වාණ ධාතූහු; ඉමා ද්වේ, මොහු දෙදෙනය; කතමා ද්වේ, කවර දෙදෙනෙක්ද යත්; ස උපාදිසෙසා නිබ්බාන ධාතු, සෝපාදිසේස නිර්‍වාණ ධාතුව ද; අනුපාදිසෙසා නිබ්බාන ධාතුව, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවද යන මොව්හුය; භික්ඛවේ, මහණෙනි; සඋපාදිසෙසා නිබ්බාන ධාතු, සෝපොදිශේෂ නිර්වාණ ධාතුව; කතමා ච, කවරීද;

භික්ඛවේ, මහණෙනි; ඉධ, මේ ශාසනයෙහි; භික්ඛු, මහණ තෙම; ඛීණාසවො, අර්හත් මාර්ග ඥානයෙන් ක්‍ෂය කරන ලද ආශ්‍රවයන් ඇත්තා වූ; වුසිතාවා, වැස නිමවන ලද මාර්ග බ්‍රහ්මචරියාව ඇත්තා වූ; කතකරණීයො, කොට නිමවන ලද ශ්‍රමණ කෘත්‍යය ඇත්තා වූ; ඔහිතභාරො, බහා තබන ලද ක්ලේශභාරය ඇත්තා වූ; අනුප්පත්ත සදත්ථො, අනුක්‍රමයෙන් පැමිණෙන ලද අර්හත් ඵල සඞ්ඛ්‍යාත උත්තමාර්ථය ඇත්තා වූ; පරීක්ඛීණ භවසඤ්ඤොජනො, අර්හත් මාර්ග ඥානයෙන් ක්‍ෂය කරන ලද භවසංයෝජනයන් ඇත්තා වූ; සම්මදඤ්ඤා විමුත්තො, මාර්ග ඥානයෙන් අවිපරීතව දැන ක්ලේශයන් කෙරෙන් මිදුනා වූ; අරහං, අර්හත් පුද්ගලයෙක්; හොති, වේද; භික්ඛවේ, මහණෙනි; තස්ස, ඒ අර්හත් පුද්ගලයාගේ; පඤ්චේන්ද්‍රියානි, චක්ෂුරාදි පඤ්චේන්ද්‍රියයෝ; තිට්ඨන්තෙව, අනුපාදිශේෂ නිර්වාණයට නො පැමිණ සිටියදී ම; යෙසං, යම් බඳු ස්වභාවය ඇත්තා වූ චක්ෂුරාදි ඉන්ද්‍රියෝ; අවිඝාතත්තා, නොනසන ලද හෙයින්; මනාපාමනාපං, මනාප වූද අමනාප වූද රූපාදි පඤ්චාලම්බනය; පච්චනුභොති, අනුභව කෙරේ; සුඛ දුක්ඛං, සුව දුක් දෙක; පටිසංවෙදෙති, විඳී; තස්ස, ඒ අර්හත් පුද්ගලයාගේ; යො රාගක්ඛයො, යම් රාගක්‍ෂයයක්; යො දොසක්ඛයො, යම් ද්වේෂක්‍ෂයයක්; යො මොහක්ඛයො, යම් මෝහක්‍ෂයයක් වේද; භික්ඛවේ, මහණෙනි; අයං, මේ රාග ද්වේෂ මෝහක්‍ෂයය; සඋපාදිසෙසා නිබ්බාන ධාතු, සෝපාදිශේෂ නිර්වාණ ධාතුව යයි; වුච්චති, කියනු ලැබේ.

භික්ඛවේ, මහණෙනි; අනුපාදිසෙසා නිබ්බාන ධාතු, අනුපාදිසේස නිබ්බාන ධාතුව; කතමාච, කවරීද; භික්ඛවේ. මහණෙනි; ඉධ, මේ ශාසනයෙහි; භික්ඛු, මහණ තෙම; -පෙ- අරහං, අර්හත් පුද්ගලයෙක්; හොති, වේද; භික්ඛවේ, මහණෙනි; තස්ස, ඒ අර්හත් පුද්ගලයාට; ඉධෙව, මේ භවයෙහිදී ම; සබ්බ වෙදයිතානි, සකල අව්‍යාකෘත වේදනාවෝ; අනභිනන්දිතානි, තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් සතුටු නොවන ලද්දාහු; සීතලී භවිස්සන්ති, නිවී යන්නාහුය; භික්ඛවේ, මහණෙනි; අයං, මෙය; අනුපාදිසෙසා නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිර්වාණ ධාතුව යයි; වුච්චති, කියනු ලැබේ; එතමත්ථං, මේ අර්ථය; භගවා, භාග්‍යවතුන් වහන්සේ; අවොච, වදාළ සේක; ඉති,

එහෙයින්; තත්ථ, එහි; ද්වෙ ඉමාචක්ඛුමතා -පෙ- තාදිනොති. ද්වේ ඉමා චක්ඛුමතා -පෙ- තාදිනො යන; එතං, මෙය; වුච්චති, කියනු ලැබේ.

චක්ඛුමතා, පසැස් ඇත්තා වූ; අනිස්සිතෙන, තෘෂ්ණා දෘෂ්ටිනිශ්‍රයයන්ගේ වශයෙන් අනිශ්‍රිත වූ; තාදිනා, ලාභාලාභාදියෙහි කම්පා නොවීම යයි කියන ලද තාදි ගුණයෙන් යුක්ත වූ සර්වඥයන් වහන්සේ විසින්; ද්වෙ, දෙකක් වූ; ඉමා නිබ්බාන ධාතු, මේ නිර්වාණ ධාතූහු; පාකාසිතා, ප්‍රකාශ කරන ලදහ; හි, ඔවුන්ගේ වෙනස කිමද යත්; භවනෙත්ති සඞ්ඛයා, තෘෂ්ණාවගේ ක්‍ෂය වීම යයි කියන ලද; ඒකාධාතු, එක් නිර්වාණ ධාතුවක්; ඉධ, මෙහි; දිට්ඨධම්මිකා, ප්‍රත්‍යක්‍ෂ ආත්ම භාවයෙහි වූවාය;

අනුපාදිසෙසා පන, අනුපාදිශේෂ නිර්වාණ ධාතුව වනාහි; සම්පරායිකා, ස්කන්ධ භේදයෙන් පසුව වූවාය; යම්හි, යම් ඒ නිර්වාණ ධාතුවෙක්හි; භවානි, භවයෝ; සබ්බසො, සර්වප්‍රකාරයෙන්; නිරුජ්ඣන්ති, නිරුද්ධ වෙත්ද; යෙ, යම් අර්හත් පුද්ගල කෙනෙක්; අසඞ්ඛතං, ප්‍රත්‍යන් විසින් සංස්කරණය කරන ලද්දාවූ; එතං පදං, මේ නිර්වාණ පදය; අඤ්ඤාය, මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන; භවනෙත්ති සඞ්ඛයා, තෘෂ්ණාව ක්‍ෂය වීමෙන්; විමුත්ත චිත්තා, ක්ලේශයන් කෙරෙන් මිදුනාවූ අර්හත් ඵල චිත්තය ඇත්තාහු වෙත්ද; තාදිනො, තාදි ගුණයෙන් යුක්ත වූ; තෙ, ඒ අර්හත් පුද්ගලයෝ තුමූ; ධම්මසාරං, අර්හත් ඵල සඞ්ඛ්‍යාත ධර්ම සාරය; අධිගමා, අධිගමනය කිරීමෙන්; ඛයෙ, නිර්වාණයෙහි; රතා, ඇලුනාහු; සබ්බ භවානි, සකල භවයන්; පහංසු, අසංස්කෘත නිර්වාණ ධාතුවට පැමිණීමෙන් ප්‍රහාණය කළාහුය.

මේ ඉතිවුත්ත පාළියෙහි අර්ථයයි.

ප්‍රථම ආචාර්‍ය්‍ය වාදය

ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ “එකාහි ධාතු ඉධ දිට්ඨධම්මිකා සඋපාදිසෙසා, අනුපාදිසෙසා පන සම්පරායිකා” යනුවෙන් මෙහි නිර්වාණය දෘෂ්ට ධාර්මික සාම්පරායික වශයෙන් දෙකක් කොට

වදාරන ලද හෙයින් ද, “යො රාගක්ඛයොති රාගස්ස ඛයො ඛීණාකාරො අභාවො අච්චන්ත මනුප්පාදො” යනුවෙන් රාගයාගේ ක්‍ෂීණාකාරයයි ද රාගයාගේ අභාවයයි ද අර්ථ කථාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් දක්වන ලද හෙයින් ද “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවේ භවා වත්තමානා සම්පරායිකාති ඛන්ධභේදතො පරභාගෙ භවා” යනුවෙන් අර්ථ කථාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් වර්තමාන ආත්ම භාවයෙහි හට ගන්නා වූ නිර්වාණය, ස්කන්ධ භේදයෙන් පසු හට ගන්නා වූ නිර්වාණය යි දක්වන ලද හෙයින් ද මේ ඉතිවුත්තක පාලියෙහි වදාරන ලද නිර්වාණද්වය නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණ ධාතු දෙකක් නොව අසඞ්ඛත වූ අභාව ප්‍රඥප්ති දෙකකැයි කියත්. ඔවුන්ගේ මතයෙන් ක්ලේශයන්ගේ මතු නො ඉපදීම යයි කියන ලද අසංස්කෘත ප්‍රඥප්තිය සෝපාදිශේෂ නිර්වාණයයි. ස්කන්ධයන්ගේ මතු නො ඉපදීම නමැති අසංස්කෘත ප්‍රඥප්තිය අනුපාදිශේෂ නිර්වාණයයි. නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණ ධාතුව එක ම ධර්මයක් වැ නිත්‍ය වැ පවත්නා හෙයින් එය දෘෂ්ට ධාර්මික සාම්පරායික වශයෙන් දෙකක් කොට කිව හැකි නොවේ යයි ද, එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් වූ බැවින් “රාගස්ස ඛීණාකාරො අභාවො”යි කිය හැකි නොවේ යයි ද, ඊට යුක්ති වශයෙන් කියත්.

ද්විතීය ආචාර්‍ය වාදය

ඇතැම් ආචාර්‍යවරයෝ මෙහි වදාරන ලද නිර්වාණ දෙකින් සෝපාදිශේෂ නිර්වාණය නම් ක්ලේශයන්ගේ ක්‍ෂය වීම යයි කියන ලද ක්‍ෂීණාකාර ප්‍රඥප්තිය හා ඔවුන්ගේ අවිද්‍යමාන භාවය නමැති අභාව ප්‍රඥප්ති යයි කියත්. ඊට යුක්ති වශයෙන් “රාගස්ස ඛීණාකාරො අභාවො” යන අර්ථකථා පාඨය ගෙන හැර දක්වත්. සර්වඥයන් වහන්සේ විසින් “සම්පරායිකා” යි වදාළ හෙයින් ද අර්ථ කථායෙහි “සම්පරායිකාති ඛන්ධභෙදතො පරභාගෙ භවා” යි වර්ණනා කළ හෙයින් ද අනුපාදිශේෂ නිර්වාණය ම අසංස්කෘත නිර්වාණ ධාතුව යයි කියත්. එයද අතීතයෙහි පටන් පැවත එන්නා වූ නිත්‍ය වූ එකක් ම වූ ධර්මයක් නොව බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධාදි නික්ලේශී වූ උත්තමයන්ගේ ච්‍යුතියෙන් පසු ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන්ව පහළ වන්නා වූ පහළ වීමෙන් පසු නොබිඳී පවත්නා බැවින් නිත්‍ය වූ ධර්මයක් යයි කියත්. ඔවුහු රහතන් වහන්සේලාට පරිනිර්වාණයෙන් ප්‍රථම නිවන හට නොගත් බැවින් උන්වහන්සේලා නිවනට පැමිණියාහු නොවෙත් යයි ද මතු හට ගන්නා වූ නිර්වාණ ධාතුව රහතන් වහන්සේලා දුටුවාහු පමණක් වෙත් යයි කියත්. රහතන් වහන්සේලා නිවනට නො පැමිණි හෙයින් ම ස්වසන්තානයෙහි නා නා විධ රෝග හට ගැනීම හා නා නා දුඃඛ වේදනා හට ගැනීම නමැති ජාති දුඃඛයෙන් ද ස්කන්ධයන්ගේ දිරීම නමැති ජරා දුඃඛයෙන් ද මරණ දුඃඛයෙන් ද රාජ චෝරාදි භයින් ද ස්කන්ධ කය පෝෂ්‍ය කිරීම නමැති සංස්කාර දුඃඛයෙන් ද නො මිදියාහු ය. කිසි දුඃඛයක් නැත්තා වූ නිවනට පැමිණියවුන්ට මේ දුඃඛයෝ නොවෙත් ද යයි ද නිර්වාණයේ සූක්‍ෂම හටගැනීමක් ඇති බව ස්ථිර කිරීම සඳහා කියත්.

තෘතීය ආචාර්‍ය්‍ය වාදය.

ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවේ භවා වත්තමානා සම්පරායිකාති ඛන්ධභේදතො පරභාගෙ භවා වත්තමානා” යන මෙහි භවා වත්තමානා යන පදයන්ගේ අර්ථය වරදවා තේරුම් ගෙන නිර්වාණයා ගේ අන්‍ය නාමරූප ධර්මයන් මෙන් ඖදාරික වූ ජාතියක් (හට ගැනීමක්) නැතත් සූක්‍ෂම ජාතියක් ඇත්තේ යයි කියත්. ඔවුහු සෝපාදිශේශ නිර්වාණ ධාතුව මාර්ග ඵලයන්ගේ උප්පත්තියෙහි පටන් ද අනුපාදිශේෂ නිර්වාණධාතුව පරිනිර්වාණ ව්‍යුතිචිත්තයාගේ නිරෝධයේ පටන්ද අතිසූක්‍ෂමාකාරයෙන් හට ගන්නේ යැයි සලකත්.

චතුර්ථ ආචාර්‍ය්‍ය වාදය

ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ සූත්‍රයෙහි අර්හත් පුද්ගලයා ගේ රාග ද්වේෂමෝහක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරා තිබෙන හෙයින් රහතන් වහන්සේලා පමණක් සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු වෙත්යයි කියත්. ඔවුන්ගේ මතයෙන් සෝපාදිශේෂ නිර්වාණයට සෝවාන් සකෘදාගාමි අනාගාමීහු පැමිණියාහු හෙවත් නිවන් දුටුවාහු නොවෙත්.

ඒ “ද්වේමා භික්ඛවේ නිබ්බාන ධාතුයො” යන ආදි සූත්‍රය සම්බන්ධ ආචාර්‍ය්‍යවාදයෝ ය.

ප්‍රථමාචාර්ය වාද විනිශ්චය.

“ද්වේ මා හික්ඛවේ නිබ්බාන ධාතුයො” යනාදි සූත්‍රයෙහි දක්වන ලද නිර්වාණ දෙක අභාව ප්‍රඥප්ති දෙකකැයි දක්වන ආචාර්‍ය්‍යවරයෝ ඊට කරුණු තුනක් දක්වත්. එයින් පළමු වෙනි කාරණය නම්:- සර්වඥයන් වහන්සේ විසින් එහි දෘෂ්ටධාර්මික, සාම්පරායික වශයෙන් නිර්වාණ දෙකක් දැක්වීමයි. නිර්වාණධාතුව එකක්ම වූ හෙයින් ඒ නිර්වාණ දෙක අභාවප්‍රඥප්ති දෙකක් යයි ඔවුන්ගේ මතයයි. නිර්වාණ ධාතුව වනාහි රහතුන් ගේ ච්‍යුතියෙන් පෙර ද පසුව ද ඇත්තාවූ ධර්මයකි. එබැවින් එක ධර්මයක් ම වූ නිර්වාණ ධාතුව දෘෂ්ටධාර්මික, සාම්පරායික වශයෙන් දෙකක් කොට කිව හැකි වේ. එකක් වූ ආකාශ ධාතුව කළයෙහි ආකාශය, කවුළුවෙහි ආකාශය යනාදීන් වෙන් කළ හැකි වූවාක් මෙනි. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් දෙකක් කොට වදාරන ලද්දේ මෙහි දක්වන නිර්වාණ ධාතු දෙක නිරෝධ සත්‍ය සඞ්ඛ්‍යාත පරමාර්ථ නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ ප්‍රඥප්ති දෙකක් නිසායයි නොසැලකිය යුතු.

ඔවුන් දක්වන දෙවෙනි කාරණය නම් :– “රාගස්ස ඛීණාකාරො අභාවො අච්චන්ත මනුප්පාදෝ” යන අර්ථ කථා වාක්‍යයයි. මෙහි “ඛීණාකාරො අභාවො” යන වචන වලින් අභාව ප්‍රඥප්තියක් දක්වනු ලැබේ යයි ඔවුහු සලකති. “ඛීණාකාරෝ අභාවො” යන වචන වනාහි රාගයාගේ ක්ෂීණාකාරය හා අභාවය නිමිත්ත කොට නිර්වාණ ධාතුව වාචක වන්නා වූ ශබ්ද දෙකකි. ඒ බව නිර්වාණයාගේ නාමයක් වූ “අච්චන්ත මනුප්පාදෝ” යන පශ්චිම වචනයෙන් පැහැදිලි වේ. එබැවින් “ඛීණාකාරො අභාවො” යන වචන වලින් අභාව ප්‍රඥප්තියක් ප්‍රකාශ නොවන බව දතයුතු.

තුන්වන කාරණය නම් :- “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවෙ භවා වත්තමානා, සම්පරායිකාති ඛන්ධභේදතො පරභාගෙ භවා” යන අටුවා වැකි දෙක ය.

දිට්ඨධම්මිකාති, දිට්ඨධම්මිකා යනු; ඉමස්මිං අත්තභාවෙ, මේ වර්තමාන ආත්ම භාවයෙහි; භවා වත්තමානා, පවත්වන්නා වූ නිර්වාණ ධාතුවයි; සම්පරායිකාති, සාම්පරායිකා යනු; ඛන්ධ භේදතො, ස්කන්ධ භේදයෙන්; පරභාගෙ, පසුකාලයෙහි; භවා, පවත්වන්නා වූ නිර්වාණ ධාතුවයි. මේ අර්ථයි.

මෙයින් නිර්වාණයේ හට ගැනීම ප්‍රකාශ කරනු ලැබේ යයි ඔවුහු සලකති. පරමාර්ථ අසංස්කෘත නිර්වාණ ධාතුව හට නො ගන්නා වූ ධර්මයක් වූ බැවින් යම් නිර්වාණයක හට ගැනීමක් ප්‍රකාශ කර තිබේ නම් එය ප්‍රඥප්තියක් යයි කිය යුතු වේ. මෙහි “භවා වත්තමානා” යන පද වලින් නිර්වාණයාගේ හට ගැනීමක් නො දක්වන ලදී. “භවා” යන මෙහි භූධාතුවේ අර්ථය ධාත්වර්ථ චින්තකයන් විසින් “සත්තායං” යි කියන ලදී. “සත්තස්ස භාවො සත්තා” යනු වචනාර්ථ බැවින් සත්තා යන්නෙන් සංස්කෘත පරමාර්ථයන්ගේ සංස්කෘත ස්වභාවයෙන් විද්‍යමානත්වය ද අසංස්කෘත පරමාර්ථයාගේ අසංස්කෘත ස්වභාවයෙන් විද්‍යමානත්වය ද ප්‍රඥප්තීන්ගේ ප්‍රඥප්ති භාවයෙන් විද්‍යමානත්වය ද වාච්‍ය වේ. පෙර නො පැවති ධර්මයක හට ගැනීම වාච්‍ය නොවේ. “වත්තමානා” යන්නෙන් ද පෙර නොතිබූ ධර්මයක හට ගැනීම නොව තුබූ ධර්මයක පැවැත්ම වාච්‍ය වේ. ධාතූන් අනේකාර්ථ බැවින් භූධාතුවෙන් ද ඇතැම් කල වාච්‍ය වන හට ගැනීම් අර්ථය ප්‍රතික්‍ෂේප කිරීම පිණිස “වත්තමානා” යි කියන ලදී. අර්ථකථාචාර්ය්‍යයන් වහන්සේ පෙර නො තිබූ නිවනක හට ගැනීම ප්‍රකාශ කරනු කැමති වී නම් “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවෙ ජාතා කියා හෝ ඉමස්මිං අත්ත භාවේ නිබ්බත්තා” කියා හෝ වර්ණනා කරන්නේ ය. එසේ නො කළේ උන් වහන්සේට මෙහි හට ගැනීමක් ප්‍රකාශ කිරීම අභිමත නො වන බැවිනි. එබැවින් යථෝක්ත අර්ථකථා පාඨයෙන් නිර්වාණයේ හට ගැනීමක් ප්‍රකාශ නො කරන බව හා පාලියෙහි එන නිර්වාණධාතු දෙක ප්‍රඥප්ති දෙකක් නොවන බව ද දත යුතු. සර්වඥයන් වහන්සේ විසින් අභාව ප්‍රඥප්ති දෙකකුත් නිර්වාණය කොට වදාරන ලදැයි කීම කිසිසේත් යුක්ති යුක්ත ද නොවේ.

මේ ප්‍රථමාචාර්‍ය්‍ය වාද විනිශ්චයයි.

ද්විතීයාචාර්‍ය වාද විනිශ්චය

ද්විතීයාචාර්‍ය වාදයෙහි විනිශ්චය කළ යුතු කරුණු තුනකි. එනම් සෝපාදිශේෂ නිර්වාණය ප්‍රඥප්තියක්ය යන්න එකකි. රහත්හු නිවනට පැමිණියාහු නොවෙත්ය යන්න එකකි. පරිනිර්වාණයෙන් පසු රහතන් වහන්සේලාට වෙන් වෙන් වශයෙන් නිර්වාණ පහළ වෙත්ය යන්න එකකි. මෙයින් පළමුවෙනි කාරණයේ විනිශ්චය මෙසේ යි. ක්ලේශ නිරෝධ, ස්කන්ධ නිරෝධ දෙකින් ක්ලේශ නිරෝධය ම ප්‍රධාන වේ. ක්ලේශයන් නිසා පහළ වන්නා වූ ස්කන්ධයන්ගේ නිරෝධය ක්ලේශ නිරෝධයට ම ඇතුළත්ව පෙර පසු නොවී එකවර ම සිදු වේ. වෘක්‍ෂයාගේ මූලය සිඳ විනාශ කරන ලද්දේ නම් ශාඛාපත්‍රයන්ගේ විනාශය ඊට ඇතුලත්ව ඒ හා සමග ම සිදුවන්නාක් මෙනි. මෙසේ ක්ලේශස්කන්ධ දෙවර්ගයේ ම නිවී යාම එකවර සිදු වන බැවින් රහතන් වහන්සේලා විසින් ච්‍යුතියෙන් පසු ලබන නිර්වාණය අර්හත්වයට පැමිණීමේදී ලැබූ නිරෝධයෙන් අන්‍යවූවක් නොවේ. එබැවින් රහත් වීමේදී ලබන්නා වූ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව ද ප්‍රඥප්තියක් නොව නිරෝධ සත්‍ය සඞ්ඛ්‍යාත නිර්වාණ ධාතුව ම යයි දතයුතු.

ක්ලේශස්කන්ධ නිරෝධ දෙකෙන් ක්ලේශ නිරෝධය ම ප්‍රධාන බැවින් මෙහි තෘතීය පරිච්ඡේදයෙහි දක්වන ලද නිදානවර්ග සංයුක්තකයේ සූත්‍ර වල ද ක්ලේශ නිරෝධය ම ප්‍රධාන කොට වදාරා තිබේ. එපමණක් නොව අභිධර්ම සත්‍යවිභඞග පාළියේ නිරෝධ සත්‍ය නිර්දේශයේ “චක්ඛුං ලොකෙ පියරූපං සාත රූපං එත්තෙසා තණ්හා පහීයමානා පහීයති එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති” යන ආදි වාක්‍ය සැටක ද එසේ ම මහා සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨාන සංයුක්තය යන දේශනාවල ද “තත්ථ කතමං දුක්ඛ නිරොධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො” යනුවෙන් ධර්මචක්‍ර සූත්‍රයෙහි ද “නිබ්බානන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමං තං නිබ්බානං යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති ආවුසො නිබ්බානං” යනුවෙන් ජම්බුඛාදක සූත්‍රයෙහි ද තවත් නොයෙක් තැන්වලද ක්ලේශ නිරෝධය ම ප්‍රධාන කොට නිර්වාණය වදාරා තිබේ. මෙසේ මේ ඉතිවුත්තක පාලිය ද

කොට ක්ලේශ නිරෝධය ප්‍රධාන කොට සෝපාදිශේෂ නිර්වාණ සඞ්ඛ්‍යාත පරමාර්ථ අසංස්කෘත නිර්වාණය වදාරන ලද්දක් යයි දතයුතු. පළමුවෙනි කාරණයේ විනිශ්චයයි.

අර්හත් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි යම් ක්ලේශස්කන්ධ කෙනෙක් නිරුද්ධ වෙත් නම්; ඔවුන්ගේ නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේගේ සන්තානයෙහි ම ය. එබැවින් රහත් වීමේදී

ක්ලේශස්කන්‍ධ නිරුද්ධ වීම සත්‍යයක් නම්; එය රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් නොවීමට කිසි හේතුවක් නැත්තේ ය. ඒකාන්තයෙන් ඒ නිරෝධය රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් ම ය. පැමිණෙන ලද්දක් ම ය. රහතන් වහන්සේලාට ජරා මරණාදි දුඃඛයන් ඇත්තේ උන්වහන්සේලා නිවනට නො පැමිණි බැවින් හෝ නිවනෙහි දුක් ඇති බැවින් හෝ නොවේ. උන්වහන්සේලාට ඇත්තා වූ දුඃඛයෝ වනාහි අතීත ක්ලේශ හේතුවෙන් හට ගත්තා වූ ස්කන්ධ කය නිසා පවන්නා වූ ධර්මයෝ ය. ඔවුහු ලබන ලද නිවන හා සර්වප්‍රකාරයෙන් අසම්බන්ධයහ. එබැවින් නිවනෙහි දුක් නැතත් අර්හත් පුද්ගලයන් දුක් සහිත වූවන් වීම ඔවුහු නිවනට පැමිණියාහු නොවෙත් යයි කීමට කාරණයක් නොවේ. දුක් සහිත රහත්හු නිවනට පැමිණ සිටින අයුරු කියනු ලබන උපමාවෙන් දතයුතු. රජකු විසින් අපරාධයක් කළා වූ එක් පුරුෂයෙක් තෙම දිවිහිම් කොට බන්ධනාගාරයට යවන ලද්දේ ය. ඉක්බිති ඔහුගේ ඥාති මිත්‍රයෝ රැස්ව රජ්ජුරුවන් සතුටු කරවා බන්ධනාගාරයට යවන ලද පුරුෂයාට නිදහස ඉල්ලා සිටියෝ ය. එකල්හි රජ්ජුරුවෝ සත් දිනකින් නිදහස් කරන ලෙස අණ කළේ ය. පුරුෂ තෙමේ ලබන ලද නිදහස ඇතිව ප්‍රීතියෙන් සත්දින ගත කොට සිය නිවසට ගියේ ය. මේ උපමාවෙහි කියන ලද පුරුෂ තෙමේ සත් දිනක් බන්ධනාගාරයේ සිටියේ ලබන ලද නිදහස ඇතුව ම ය. ඔහු විසින් ලබන ලද නිදහස බන්ධනාගාරයෙන් පිටවූ දිනයෙහි ලබන ලද්දක් නොවේ. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාගේ ලබන ලද නිදහස ඇතිව බන්ධනාගාරයෙහි සිටීම මෙන් දුක් ඇති ව රහතුන්ගේ නිවනට පැමිණ සිටීම දතයුතු.

රහත්හු නිවනට පැමිණි පුද්ගලයන් බව සර්වඥයන් වහන්සේ විසින් “කථඤ්ච පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරඞ්ගතො ථලෙ තිට්ඨති. බ්‍රාහ්මණෝ සෝ ආසවානං ඛයා අනාසවං චේතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” යනුවෙන් වදාරන ලදී.

කථඤ්ච, කෙසේ නම්; පුග්ගලො, පුද්ගල තෙමේ; උම්මුජ්ජිත්වා, සංසාර සාගරයේ මතු වී; තිණ්ණො, එතර වූ; පාරඞ්ගතො, පරතෙරට ගියාවූ; ථලෙ, නිර්වාණ සඞ්ඛ්‍යාත ගොඩබිමෙහි; තිට්ඨති, සිටින්නා වූ; බ්‍රාහ්මණෝ, බ්‍රාහ්මණයෙක්; හෝති, වේද; සෝ, හෙතෙම; ආසවානං, ආශ්‍රවයන්ගේ; ඛයා, ක්‍ෂය වීමෙන්; අනාසවං, ආශ්‍රව රහිත වූ ; චතො විමුත්තිං, චිත්තවිමුක්තිය; පඤ්ඤා විමුත්තිං, ප්‍රඥා විමුක්තිය; දිට්ඨෙව ධම්මේ, ප්‍රත්‍යක්‍ෂ ආත්මභාවයෙහි ම; සයං, තෙමේ; අභිඤ්ඤා, විශිෂ්ඨ ඥානයෙන් දැන; සච්ඡිකත්වා, ප්‍රත්‍යක්‍ෂ කොට; උපසම්පජ්ජ, සම්පාදනය කොට; විහරති, වෙසේද; එවං, මෙසේ; පුග්ගලො, පුද්ගලතෙම; උම්මුජ්ජිත්වා, සංසාර සාගරයේ මතුවී; තිණ්ණො, එතෙර වූ; පාරඞ්ගතො, පරතෙරට ගියා වූ; ථලෙ, නිර්වාණයැයි කියන ලද ගොඩබිම; තිට්ඨති, සිටින්නා වූ; බ්‍රාහ්මණො, බ්‍රාහ්මණයෙක්; හොති, වේ; යනු අර්ථයි.

නිවනට පැමිණි පුද්ගලයාට පරිනිර්වෘත පුද්ගලයායයි කියනු ලැබේ. රහතුන් පරිනිර්වෘත පුද්ගලයන් බව රහතන් වහන්සේලා විසින් ම වදාරන ලදී:-

“යො දුද්දමයො දමෙන දන්තො

දබ්බො සන්තුසිතො විතිණ්ණ කඞ්ඛො,

විජිතාවි අපෙත හෙරවො හි

දබ්බො සො පරිනිබ්බුතො ඨිතත්තො.

.

යො පානුදීමච්චුරාජස්ස සෙනං

නළකෙතුංච සුදුබ්බලං මහොඝො,

විජිතාවි අපෙත භෙරවො හි

දන්තො සො පරිනිබ්බුතො ඨිතත්තො.

.

යො දුද්දමයො දමෙන දන්තො

වීරො සන්තුසිතො විතිණ්ණ කඞ්ඛො,

විජිතාවි අපෙත ලොමහංසනො

වීරො සො පරිනිබ්බුතො ඨිතත්තො.

යන ථෙර ගාථා වලින් පෙනේ. මෙයින් ප්‍රථම ගාථාව දබ්බ ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද ගාථාවකි. ද්විතීය තෘතීය ගාථා භල්ලිය, වීර යන ස්ථවිරයන් වහන්සේලා දෙනම විසින් වදාරන ලද ගාථාවෝ ය. මේ දේශනාවන්ගේ වශයෙන් රහත්හු නිවනට පැමිණි පුද්ගලයන් යයි දතයුතු. ඇතැම්හු රහතන් වහන්සේලා අරමුණු කිරීමෙන් පමණක් නිවනට පැමිණියාහු යයි කියත්. එය ද යුක්ති යුක්ත නොවේ. මේ දෙවෙනි කාරණයේ විනිශ්චයයි.

ද්විතීයාචාර්‍ය්‍යවාද විනිශ්චය නිමි.

තෘතීයාචාර්‍ය්‍ය වාද විනිශ්චය.

නිර්වාණයාගේ හට ගැනීමක් ඇතයයි කියන්නා වූ ආචාර්‍ය්‍යවරයෝ එය ස්ථිර කිරීම පිණිස දක්වන්නා වූ ප්‍රධාන සාධක නම්; “දිට්ඨධම්මිකාති ඉමස්මිං අත්තභාවේ භවා වත්තමානා. සම්පරායිකාති ඛන්ධභෙදතො පරභාගෙ භවා” යන අටුවා වැකි දෙකයි. එයින් නිර්වාණයේ හට ගැනීමක් නො දක්වන බව ප්‍රථමාචාර්‍ය්‍ය වාද විනිශ්චයේදී දක්වන ලදී. මෙසේ ම ඔවුන් විසින් වරදවා අර්ථය ගන්නා වූ අන්‍ය අර්ථකථා ටීකාපාඨ ද බොහෝ වෙත්. ග්‍රන්ථය විශාල වන බැවින් මෙහි නො දක්වනු ලැබෙත්. නිර්වාණය හට නො ගන්නා වූ ධර්මයක් බව දක්වා වදාරන ලද දේශනා බොහෝ වෙයි. ඉන් කීපයක් දක්වනු ලැබෙත්.

“තීනිමානි භික්ඛවේ! අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි කතමානි තීනි? න උප්පාදො පඤ්ඤායති න වයො පඤ්ඤායති න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති ඉමානි ඛො භික්ඛවේ; තීනි අසඞ්ඛතස්ස අසඞ්ඛත ලක්ඛණානි” මේ අංගුත්තර නිකායයේ තික නිපාතයේ වදාරන ලද සූත්‍රයකි. මෙහි “න උප්පාදො පඤ්ඤායති” යන්නෙන් නිර්වාණයාගේ ඉපදීමක් නැති බව දක්වන ලදී. “අත්ථි භික්ඛවේ! අජාතං අභූතං අකතං අසඞ්ඛතං” යන උදාන පාලියෙන් ද නිර්වාණය අජාත (හට නොගත්තා වූ) අභූත අකත අසංස්කෘත ධර්මයක්යැයි දක්වන ලදී.

ඇතැම් අයට සෞත්‍රාන්තික දේශනාව පර්‍ය්‍යාය දේශනා යයි කිය හැකි හෙයින් දැන් නිස්පර්‍ය්‍යාය දේශනාව වූ අභිධර්මයේ වදාරන ලද ආකාරය දක්වනු ලැබේ. “නිබ්බානං න වත්තබ්බං උප්පන්නන්තිපි අනුප්පන්නන්තිපි උප්පාදිනොතිපි” මේ ධර්ම සඞ්ගණී ප්‍රකරණයේ එන දේශනාවකි. නිර්වාණය උපන්නා වූ (හට ගත්තා වූ) ධර්මයක්යයි ද; නූපන්නා වූ ධර්මයක්යයි ද, මතු ඒකාන්තයෙන් හට ගන්නා වූ ධර්මයක්යයි ද නො කිය යුතුය යනු මෙහි භාවයි. මෙයින් ද නිර්වාණයේ හට ගැනීමක් නැති බව දැක්වේ. තවද ධර්මසඞ්ගණී පාළියෙහි ම “නිබ්බාණං න වත්තබ්බං අතීතන්ති පි අනාගතංතිපි පච්චුප්පන්නන්තිපි” යි නිර්වාණය අතීත ධර්මයක්යයිද අනාගත ධර්මයක්යයිද වර්තමාන ධර්මයක්යයිද නො කිය යුතුයයි වදාරා තිබේ. ඉදින් නිර්වාණය ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් හට ගන්නා වූ ධර්මයක් වේ නම් එය නො බිඳෙන ධර්මයක් වූ බැවින් අතීත නිර්වාණ නැතත් අතීතයෙහි හට ගෙන දැනුදු ඇත්තා වූ නිර්වාණයන්ට වර්තමාන නිර්වාණයෝයැයි ද අනාගතයෙහි හට ගන්නා වූ නිර්වාණයන්ට අනාගත නිර්වාණයෝ යැයි ද කිය හැකි වේ. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් අතීතාදි වශයෙන් නො වදාළේ නිර්වාණයේ හට ගැනීමක් නැති බැවිනි. ස්වභාව ධර්මයන්ගේ තත්ත්වය නො දැන, කොට කල්පනාවෙන් කල්පනා කරන්නෝ යම් ස්වභාවයක් විද්‍යමාන නම් එය ඇත්තේ හටගත් හෙයින් ම යයි සිතති. එය මහත් මුළාවකි.

ස්වභාව ධර්මයන් අතුරෙහි වනාහි හට ගන්නා වූ ස්වභාව ධර්ම කොටසක් හා හට ගැනීමක් පහළ වීමක් නොමැතිව ඇත්තා වූ ස්වභාව ධර්ම කොටසක් ද ඇතහ. සියල්ල ම හට ගැනීමෙන් පහළ වීමෙන් ඇත්තා වූ ස්වභාවයෝ නොවෙති. එයින් හට නොගෙන ඇත්තා වූ ස්වභාව ධර්මයෝ නම් ආකාශාදිය ය. ආකාශය කවදා පටන් ඇත්තේදැ යි කල්පනා කරන්නාට ආකාශය නො තිබූ කාලයක් නොමැති බව පහසුවෙන් ම අවබෝධ වේ. යමක් නො තිබූ කාලයක් නොමැති නම් එය සියළු කල්හි ම විද්‍යමාන ධර්මයකි. යමක් හට ගත්තේ නම් එය සියලු කල්හි ඇත්තා වූ ධර්මයක් නොවේ. හට ගැනීමට පෙර නො තිබූ හෙයිනි. එබැවින් සියලු කල්හි ඇත්තා වූ ආකාශයේ හට ගැනීමක් නැත්තේ ය.

ආකාශය ඇතයයි පිළිනොගන්නා වූ කිසිවෙක් නැති බැවින් මෙහි හට නො ගත්තේ නම් පහළ නො වූයේ නම් ආකාශයකුත් නැත යයි කිසිවකුට වාද කළ හැකි නොවේ. මේ ආකාශ ධාතුව මෙන් ම අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝ ද හට නො ගෙන ඇත්තා වූ ධර්මයෝ ය. මෙසේ නිර්වාණ ධාතුව ද සෑම කල්හි ම ඇත්තා වූ ධාතුවක් වූ බැවින් එහි හට ගැනීමක් සූක්‍ෂම වශයෙනුදු නැති බව දතයුතු. යට දැක්වූ සෝපාදිශේෂ නිර්වාණ ධාතු දෙකින් අර්හත් ඵල සඞ්ඛ්‍යාත ප්‍රතිප්‍රශ්‍රබ්ධි සෝපාදිශේෂ නිර්වාණය වනාහි හට ගැනීමක් ඇත්තා වූ සංස්කාර ධර්මයකි. නිශ්ශරණ නිර්වාණ සඞ්ඛ්‍යාත අසංස්කෘත සෝපාදිශේෂ නිර්වාණ ධාතුව හට නො ගන්නා වූ හට ගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව ප්‍රථම පරිච්ඡේදයේදී විස්තර කරන ලදී. හට ගැනීම (ජාතිය) දුඃඛයකැයි සර්වඥයන් වහන්සේ විසින් වදාරන ලදී. නිර්වාණය නම් දුඃඛ නිරෝධයයි. ඉදින් සූක්‍ෂම ජාතියක් මුත් නිර්වාණයේ ඇත්නම් එය දුඃඛ නිරෝධයක් නොව ඒකාන්තයෙන් දුඃඛයක් ම වේ. නිර්වාණය සූක්‍ෂම දුඃඛයන්ගෙන් හා ඖදාරික දුඃඛයන්ගෙන් ද මුක්ත වූ පරම සුඛයකි. එබැවින් නිර්වාණයේ සූක්‍ෂම වූද හට ගැනීමක් ඇති විය යුතු නොවන බව දතයුතු.

තෘතීයාචාර්‍ය්‍ය වාද විනිශ්චය නිමි.

චතුර්ථාචාර්‍ය්‍ය වාද විනිශ්චය හෙවත් සෝපාදිශේෂ විනිශ්චය

සෝපාදිශේෂ නිර්වාණය ලැබිය හැක්කේ රහතුන්ට ම යයි කියන්නෝ, එසේ ප්‍රකාශ කරන්නේ නිර්වාණයත් නාම රූප ධාතූන් වැනි වූවාක් යයි සැලකීමෙනි. නිර්වාණය නම් ක්ලේශ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයයි. එසේ නොව නාමරූප ධාතූන් සේ විද්‍යමාන ධර්මයක් යයි ගන්නා වූ පරවාදීන්ට එබඳු නිවනක් ඇති බව ඔප්පු කළ නොහේ. කුමක් හෙයින්ද යතහොත් එබඳු නිවනක් ඇතත් එය කිසි ආකාරයකින් කිසිවකු විසින් ලැබිය හැකි නො වූද එහි සත්ත්වයන් නොමැති බැවින් කිසි සත්ත්වයකුගේ ප්‍රතිෂ්ඨාව නො වන්නා වූ නිරර්ථක ධර්මයක් ද වන බැවිනි. ක්ලේශ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ම නිර්වාණයැයි දැක්වීමෙන් ම එය ලැබිය හැකි ධර්මයක් බව හා සත්ත්වයන්ට ප්‍රතිෂ්ඨා වන ධර්මයක් බව ද දැක්විය හැකි වේ. ඒ සම්බන්ධව කිවයුතු කරුණු ප්‍රථම පරිච්ඡේදයේ විස්තර කරන ලදී. අර්හත් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි හා අන්‍ය මාර්ගයන්ගේ උත්පත්ති සමයයන්හි ද ක්ලේශ ස්කන්ධයෝ නිරුද්ධ වෙති. නමුත් විශාල ලෙස නිරෝධය වන්නේ සෝවාන් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි ය. එය අර්හත් මාර්ගක්‍ෂණයේදී සිදුවන නිරෝධයට වඩා දහස් වාරයකින් දස දහස් වාරයකින් ලක්‍ෂවාරයකින් කෝටි වාරයකින් විශාල වූවකි. ඒ බව කියනු ලබන සූත්‍රයෙන් දතයුතු.

ඒවං මෙ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පරිත්තං නඛ සිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛු ආමන්තේසි, තං කිම්මඤ්ඤථ භික්ඛවේ! කතමං නු ඛො බහුතරං යොචායං මයා පරිත්තො පංසුං නඛසිඛායං ආරොපිතො. අයං වා මහා පඨවීති. එතදෙව භන්තෙ බහුතරං යදිදං මහා පඨවි අප්පමත්තකො භගවා නඛ සිඛායං පංසුං ආරොපිතො. සො නෙව සතිමං කලං උපෙති. න සහස්සිමං කලං උපෙති. න සතසහස්සිමං කලං උපෙති. මහා පඨවි උපනිධාය භගවා පරිත්තො නඛසිඛාය පංසුං ආරොපිතෝති. එවමේව ඛො භික්ඛවේ! අරියසාවකස්ස දිට්ඨප්පත්තස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදේව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං අප්පමත්තකං අවසිට්ඨං නෙව සතිමං කලං උපෙති. න සහස්සිමං කලං උපෙති. න සතසහස්සිමං කලං උපෙති. පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තු පරමතා එවං මහත්ථියො ඛො භික්ඛවේ! ධම්මාභිසමයො එවං මහත්ථියො ඛො භික්ඛවේ ධම්ම චක්ඛු පටිලාහොති.

මෙහි සංක්ෂේප අදහස මෙසේය. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නිය මතුයෙහි ධූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි! මාගේ මේ නිය පිට තිබෙන ධූලි වලින් හා මහා පෘථිවියේ පස් වලින් කවරක් අධිකතර වේදැයි විචාළ සේක. එකල්හි භික්ෂූහු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේගේ නිය පිට තිබෙන ධූලි වලට වඩා මහා පෘථිවියේ පස් ඉතා අධිකය. නිය මතුයෙහි ධූලි මහා පෘථිවියේ සියක් වෙනි කලාවටද දහස් වෙනි කලාවටද සිය දහස් වෙනි කලාවටද නොපොහොනේයැයි සැලකළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! එපරිද්දෙන්ම දක්නා ලද චතුස්සත්‍යන් ඇත්තා වූ සත් වරක් ඉපදීම ඇත්තා වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ක්‍ෂය වූ සංසාර දුඃඛය ඉතා මහත්ය. සේස දුඃඛය ඉතා ස්වල්පය. එය ක්‍ෂය වූ දුඃඛයේ සිය වෙනි කලාවටද දහස් වෙනි කලාවටද සිය දහස් වෙනි කලාවටද නොපොහොනේය. මහණෙනි! ධර්මාභිසමය – ධර්ම චක්‍ෂු ප්‍රතිලාභය මෙසේ මහත් වූ අර්ථදායකය යනුයි. මාර්ගත්‍රයෙන් ම නිරුද්ධ වන්නේ නිය පිට තබන ලද ධූලි ස්වල්පයට උපමා කරන ලද සෝවාන් පුද්ගලයා හට ශේෂ වූ දුඃඛයයි. එයින් අර්හත් මාර්ගක්‍ෂණයෙහි වන ක්ලේශස්කන්ධ නිරෝධයාගේ අල්පත්ත්වය දත යුතු.

දුඃඛයෝ නිවනට නො පැමිණ කිසිසේත් නිරුද්ධ නොවෙති. නිවන ලබා ගැනීමට උත්සාහ කළ යුතු වන්නේ දුක් නැති කර ගැනීම පිණිස ය. ඉදින් නිවනට නො පැමිණත් දුඃඛයෝ නිරුද්ධ වෙත් නම් නිවන නිරර්ථක ධර්මයක් ම ය. ඉදින් පරවාදීහු නිවන සාර්ථක බව දැක්වීමට නිවනට පැමිණීමෙන් ම දුඃඛයෝ නිරුද්ධ වෙතියයි කියතහොත් සෝවාන් පුද්ගලයා නිවනට පැමිණියේයැයි

නො කියා ම කීවාහු වෙති. සෝවාන් පුද්ගලයාට මේ සා මහත් වූ දුඃඛ නිරෝධයක් වූයේ ඔහු නිවනට පැමිණි බැවින් ම ය. එක් එක් මාර්ගයක් දුඃඛ සත්‍යය පරිජානනාදි වූ සිව්කිසක් කරන්නේ ය. අර්හත් මාර්ගයෙන් පමණක් කරන්නා වූ නිවනට පැමිණීම නමැති වෙන් වූ කිසක් ඇති බව ආගම ධර්මයේ දක්වා නැත්තේ ය. එබැවින් සෝවාන් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි සෝවාන් පුද්ගලයා නිවනට නො පැමිණියේ නම් ඉතාම ස්වල්පයක් දුක් නැති කරන්නා වූ අර්හත් මාර්ගයාගේ පහළවීමෙහි අර්හත් පුද්ගල තෙමේ නිවනට කිසිසේත් නො පැමිණෙන්නේ ය. විශාල වූ දුඃඛස්කන්ධයක් නිරුද්ධ වීමෙනුත් නො පැමිණියා වූ නිවනට ඉතා ස්වල්පයක් වූ දුඃඛයන්ගේ නිරෝධයට පැමිණෙන අර්හත් පුද්ගලයා පැමිණේ යයි කීම යුක්ති යුක්ත නොවේ. පරවාදීහු නිවන ක්ලේශයන්ගෙන් මුක්ත වූ බව වදාරන ලද දේශනා දක්වමින් ක්ලේශයන්ගෙන් මුක්ත වූ නිවනට කෙලෙස් සහිත වූ සෝවාන් පුද්ගලාදීන්ට පැමිණිය හැකි නොවේ යයි කියති. නමුත් එයින් ද ඔවුහු පිහිටක් නො ලබති. දුක් සහිත වූ රහත්හු දුඃඛයෙන් මුක්ත වූ නිවනට පැමිණෙන බව ඔවුහු ම කියන හෙයිනි. කෙලෙස් රහිත වූ නිවනට කෙලෙස් සහිත වූ ආර්‍ය්‍යයන්ට නො පැමිණිය හැකි වේ නම් දුක් රහිත වූ නිවනට ද දුක් සහිත අර්හත් පුද්ගලයා පැමිණේයැ යි කීම ද යුක්ති යුක්ත නොවේ.

නිවනට පැමිණ එහි සිටින්නා වූ පුද්ගලයෙක් නැත්තේය. හුදෙක් ව්‍යවහාර පහසුව සඳහා පුද්ගලයා සම්බන්ධ ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධයට පුද්ගලයාගේ නිවනට පැමිණීමයයි කියනු ලැබේ. අර්හත් පුද්ගලයා නිවනට පැමිණියේයයි කියන්නේ ඔහුගේ ක්ලේශස්කන්ධයන්ගේ නිවීමට පැමිණීමට ය. අර්හත් පුද්ගලයාට මෙන් සෝතාපන්නාදීන්ටත් ක්ලේශස්කන්ධයන් නිරුද්ධවන බැවින් ඔවුහුද අර්හත් පුද්ගලයා මෙන් ම නිවනට පැමිණියෝ වෙති. නිවනට පැමිණීම කෙබඳු පැමිණීමක්දැ යි නොදැන ඝෝෂා කරන්නා වූ පරවාදීන්ට එය තේරුම් ගැනීමට පැමිණීම් ගැන සංක්‍ෂේප විස්තරයක් කරනු ලැබේ. පැමිණීම් ක්‍රියාව වනාහි කර්තෘ කෙනකුගෙන් හා කර්මයකින් යුක්ත විය යුතු ක්‍රියාවකි. එය කර්තෘ කර්මයන්ගේ වශයෙන්:

  1. කර්මයක් කරා කර්තෘගේ යෑම ඇති පැමිණීමය.
  2. කර්මයේ කර්තෘ කරා ඊම ඇති පැමිණීමය.
  3. යාම් ඊම් නැත්තා වූ පැමිණීමය.
  4. පැමිණීමෙන් කර්තෘගේ පහළවීම ඇත්තා වූ පැමිණීමය.
  5. පැමිණීමෙන් කර්තෘ විනාශවන පැමිණීමය.

යන ආදී වශයෙන් බහු ප්‍රභේද වේ. මෙයින් පළමුවන පැමිණීමට උදාහරණ නම්, ගෙට පැමිණීමයි. ගෙට පැමිණීම සිදු වන්නේ කර්තෘ ගෙය කරා යාමෙනි. දෙවෙනි පැමිණීමට උදාහරණ නම්, පණ්ඩිත බවට පැමිණීමයි. පණ්ඩිත බව නම් ඥානයයි. මෙහි ඥාන සඞ්ඛ්‍යාත කර්මය කරා කර්තෘ නොගොස් පහළවීම් වශයෙන් කර්‍මය වූ ඥානය කර්තෘ වූ පණ්ඩිතයා කරා ඊමෙන් ම පැමිණීම සිදු වේ. තුන්වන පැමිණීමට උදාහරණ නම්, සහල් බත් බවට පැමිණීමයි. මෙය සහල් වල බත් කරා යාමක් හෝ බත් සහල් කරා ඒමක් හෝ නොමැතිව සිදු වේ. සතරවන පැමිණීමට උදාහරණ නම්, විපතක් පැමිණීම යි. විපත නම් දුකකි. එය පැමිණීමට පෙර නො තිබී පැමිණීමෙන් ම පහළ වීමෙන් පැමිණීම සිදු වේ. පස්වන පැමිණීමට උදාහරණ නම්, ගින්න, නිවීමට පැමිණීමයි. මෙය ගින්න නමැති කර්තෘ ඇතිතාක් සිදු නොවී කර්තෘ විනාශ වීමෙන් ම සිදු වේ.

මේ පැමිණීම් අතුරෙන් නිවනට පැමිණීම පශ්චිමොක්ක පැමිණීමට සමාන පැමිණීමකි. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් “අච්චි යතා වාතවෙගෙන ඛිත්තා අත්ථං පලෙති න උපෙති සඞ්ඛ්‍යං” යි අග්න්‍යෝපමාවෙන් නිර්වාණයට පැමිණීම වදාරන ලදී. “මෙසේ ගින්න නිවීමට පැමිණේ ය.’ යන මෙහි “නිවීම, පැමිණීම” යන වචන දෙකින් ම ප්‍රකාශ කරන්නේ “නිවුනේය” යන එක වචනයෙන් ප්‍රකාශ වන්නා වූ අර්ථය ම ය. නිවීමෙන් අන්‍ය වූ පැමිණීමක් ඒකාන්තයෙන් නැති බැවිනි. මෙසේ ම නිවනට පැමිණේය යන වචන දෙකින් ප්‍රකාශ කරන්නේත් නිරෝධයයි කියන ලද එක ම අර්ථයයි. එබැවින් ක්ලේශ ස්කන්ධයන්ගේ නිරෝධය ම නිවනට පැමිණීමයයි දතයුතු. මෙසේ නොව නිවනත් පැමිණීමත් දෙකක් කොට ගතහොත් නිවනත් සත්ත්වයන් ඇත්තා වූ හෙවත් ස්කන්ධයන් ඇත්තා වූ ස්ථානයක් වීමෙන් මහත් වූ දෝස පැමිණෙත්. මෙසේ නිවනට පැමිණෙන ආකාරය සලකා බලන කල ප්‍රමාණ කළ නොහැකි තරම් මහත් වූ දුඃඛ ස්කන්ධයක නිරෝධය ලැබුවා වූ සෝවාන් පුද්ගලාදීහු නිවනට පැමිණියවුන් බව මනාව වැටහේ.

තවද සකලාර්‍ය්‍ය පුද්ගලයන් විසින් ම නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නා ලද බව නොයෙක් පාල්‍යාර්ථ කථා ටීකාවන්හි දක්වා තිබේ. මෙය වාද රහිතව සියල්ලන් විසින් ම පිළිගත්තා වූ කාරණයකි. නිවනට නො පැමිණියා වූ නිවන නො ලැබුවා වූ පුද්ගලයකුට එය කිසිසේත් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි ධර්මයක් නෙවේ. ඒ බව කියනු ලබන උපමාවෙන් දතයුතු. යමකුගේ ශරීරය ගින්නෙන් දැවේ නම් එකල්හි ඔහුගේ ශරීරයෙහි මහත් වූ දුඃඛ වේදනා හට ගන්නාහු ය. නමුත් ඒ දුක ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දත හැක්කේ ඔහුට පමණෙකි. එය දුටුවා වූද ඇසුවා වූද පුද්ගලයන්ට ඒ දුක අනුමාන වශයෙන් ම මිස ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දතහැකි නොවේ.

කුමක් හෙයින්ද යතහොත් තමා එය නො ලැබූ හෙයිනි. ඊට නො පැමිණි හෙයිනි. එපරිද්දෙන් ම නිවන ද නො ලැබුවාවූ නො පැමිණියා වූ පුද්ගලයකුට ප්‍රත්‍යක්‍ෂ කළ නොහේ. එබැවින් විභඞ්ග මූලටීකාවෙහි:

“නහි අඤ්ඤා ධම්මා විය නිබ්බානං, තං පන අතිගම්භීරත්තා අප්පත්තේන ආලම්බිතුං න සක්කා” යි කීහ.

නිර්වාණය අන්‍ය ධර්මයන් මෙන් නොවේ. ඒ වනාහි ඉතා ගැඹුරු බැවින් නො පැමිණියා වූ පුද්ගලයකුට අරමුණු කළ හැකි නොවේය යනු භාවයි.

කරුණු මෙසේ හෙයින් නිර්වාණයට වඩා සිය දහස් වාරයකින් ඖදාරික වූ දුඃඛ වේදනාව පවා නො ලැබූ තැනැත්තන්ට ප්‍රත්‍යක්‍ෂ කළ හැකි නො වන කල්හි අති සූක්‍ෂම වූ නිර්වාණ ධර්මය නො පැමිණිය වුන්ට කෙසේ ප්‍රත්‍යක්‍ෂ වේද? නොවේ ම ය. එබැවින් මාර්ග ඵලාධිගමය කොට නිවන් පසක් කරන ලද සියල්ලෝ ම නිවනට පැමිණියවුන් බව දතයුතු.

මේ සෝතාපන්නාදීන්ගේ නිර්වාණප්‍රාප්තිය ධර්ම ස්වභාවයාගේ වශයෙන් දැක්වීමයි.

දැන් පාල්‍යාර්ථ කථා ටීකාවන්හි සෝතාපන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තියක් දක්වා නැත යයි ඝෝෂා කරන්නවුන් ගේද පාල්‍යාර්ථ කථා ටීකාවන්ගෙන් නොදැක්වුවහොත් පිළිගත නොහේ යයි කියන්නවුන්ගේද අර්ථය පිණිස පාල්‍යාර්ථ කථා ටීකාවන්හි දක්වා තිබෙන සැටි දක්වනු ලැබේ. සෝවාන් පෙලෙහි පිහිටියා වූ සිරිමා නම් දෙව් දුව තමා නිවන ලබා ප්‍රීතිවෙමින් සිටින බව ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේට සැලකළ බව විමාන වස්තු පාලියෙන් දක්නා ලැබේ. ඒ මෙසේයි,

“ලද්ධානහං අමතවරං විසෙසනං

එකංසිකා අභිසමයෙ විසෙසිය

අසංසයා බහුජන පූජිතා අහං

ඛිඩ්ඩාරතිං පච්චනුභොමි නප්පකං”

මම පෘථග්ජනයන්ට විශිෂ්ඨ භාවය සිද්ධ කරන්නා වූ උතුම් නිර්වාණය ලබා භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ධර්මය ස්වාක්ඛාතය, සඞ්ඝයා සුප්‍රතිපන්නය යි රත්නත්‍රය විෂයෙහි ඒකාන්ත ඇදහීම ඇත්තී චතුඃසත්‍ය ප්‍රතිවේද සඞ්ඛ්‍යාත විශේෂයට පැමිණ ෂෝඩෂ වස්තුක අෂ්ට වස්තුක විචිකිත්සාවගේ නිරෝධයෙන් පහ වූ ශංකා ඇත්තී අන්‍යයන් විසින් ප්‍රාර්ථනීය වූ ගුණ විශේෂ ඇත්තී, අනල්ප වූ ක්‍රීඩා රතිය අනුභව කරමිය යනු මෙහි අදහසයි. ඇතැම් අයට මෙයින් දක්වන්නේ අරමුණු කිරීම් වශයෙන් පැමිණීම යයි කිය හැකි වේ. එය එසේ නො වන බව ඊට පළමුව සිරිමාව විසින් කියන ලද:

“ඤත්වානහං විරජපදං අසඞ්ඛතං

තථාගතේන නධිවරෙන දෙසිතං

තත්ථෙවාහං සමථ සමාධි මාථුසිං

සායෙව මෙ පරම නියාමතා අහු”

යනුවෙන් අරමුණු කිරීම දක්වන ලද බැවින් ස්ඵුට වේ. තවද සෝවාන් පෙලෙහි පිහිටියා වූ රජ්ජුමාලා නම් වූ දෙව්දුව තමා නිවනට පැමිණි බව ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට සැලකරන ලද බව ද විමාන වස්තු පාලියේ දක්නා ලැබේ. ඒ මෙසේයි,

“අනුකම්පකස්ස කුසලස්ස ඔවාදම්හි අහං ඨිතා

අජ්ඣගා අමතං සන්ති නිබ්බානං පදමච්චුතං”

ත්‍රිවිධ ලෝකවාසීන්ට අනුකම්පා කරන සුලු වූ වෛනේය ජන විනය නයෙහි දක්‍ෂ වූ සර්වඥයන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියා වූ මම මරණයක් නැති බැවින් අමත නම් වූ සකල දුඃඛයන්ගෙන් මිදුන බැවින් ශාන්ත වූ නිර්වාණ පදයට ගියෙමි යනු භාවයි. ඉදින් මේ දිව්‍යාඞ්ගනාවෝ නිවනට නො පැමිණියාහු නම් මහ රහතන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප්‍රකාශ නො කරන්නාහු ය. එබැවින් යථෝක්ත ගාථාවන්ගෙන් සෝවාන් පුද්ගලයෝ නිවනට පැමිණියවුන් බව පැහැදිලි වේ. සෝවාන් පුද්ගලයා නිවනට පැමිණි කල අන්‍ය ආර්‍ය්‍ය පුද්ගලයන් ගැන කිවයුත්තක් නැත්තේ ය. මේ පාලියගේ වශයෙන් සකලාර්‍ය්‍ය පුද්ගලයන්ගේ ම නිර්වාණප්‍රාප්තිය දැක්වීමයි.

“පටිවිද්ධ ධම්ම සභාවානං සෙඛාසෙඛානං පතිට්ඨාන ගොචර නිවාසට්ඨානට්ඨෙන නිබ්බානං නගරන්ති වුච්චති” යනුවෙන් බුද්ධ වංශාර්ථකථාවෙහි නිවන ප්‍රතිවේධ කරන ලද ධර්මස්වභාවය ඇත්තා වූ ශෛක්‍ෂාශෛක්‍ෂයන්ගේ නිවාසස්ථානයයි දක්වන ලදී. ශෛක්‍ෂයෝ නම් අර්හත් ඵලස්ථයාගෙන් අන්‍යවූ ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. අශෛක්‍ෂයෝ නම් අර්හත් ඵලස්ථයෝ ය. ඉදින් ශෛක්‍ෂයෝ නිවනට පැමිණියාහු නොවෙත් නම් නිවන ඔවුන්ගේ වාසස්ථානයක් නොවේ. එය ශෛක්‍ෂයන්ගේත් වාසස්ථානයයි දක්වන ලද්දේ ඔවුහු නිවනට පැමිණිය වුන් නිසාම ය. එබැවින් මේ අටුවා වචනයෙන් ද සකලාර්‍ය්‍යයෝ ම නිවනට පැමිණියවුන් බව දැක්වේ. “නහි අඤ්ඤා ධම්මා විය නිබ්බානං, තං පන අතිගම්භීරත්තා අප්පත්තෙ ආලම්බිතුං න සක්කා” යන විභඞ්ග මූලටීකා වැකියෙන්ද ඒ බව දැක්වේ. මේ අටුවා ටීකා නයින් දැක්වීමයි.

මෙසේ ශාස්ත්‍ර යුක්ති වශයෙන් හා පාල්‍යාර්ථකතා ටීකා නයින් ද බලන කල සෝතාපන්නාදි වූ ආර්‍ය්‍ය පුද්ගලයෝ සියල්ලෝ ම නිවනට පැමිණියවුන් බව මොනවට ඔප්පු වේ. සෝතාපන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ප්‍රතික්‍ෂේප කිරීමෙන් යට දැක්වූ පාල්‍යාර්ථකථා ටීකා පාඨයන් ප්‍රතික්‍ෂේප කරන්නට වීමය, නිවනට නො පැමිණ ද දුඃඛ නිරෝධය මෙන් නිර්වාණය නිරර්ථක වීමය, සකලාර්‍ය්‍යයෝ ම නිවන් පසක් කළාහු නො වීම ය යන ආදි බොහෝ දෝෂයෝ වෙත්. එය පිළිගැනීමෙන් වන්නා වූ එක ද දෝෂයක් නැත්තේ ය. සෝපාදිශේෂ නිර්වාණය, අනුපාදිශේෂ නිර්වාණය යන දෙකින් සෝතාපන්නාදීන් විසින් ලබන ලද නිවන කවරක්ද යතහොත් සෝපාදිශේෂ නිර්වාණයයි. එසේ නම් ඉතිවුත්තකයෙහි අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරන ලද්දේ කුමටද යතහොත් අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය නිර්වාණයයි කී කල්හි සෝතාපන්නාදීන්ගේ ක්ලේශක්‍ෂයය ද නිර්වාණය බව දතහැකි හෙයිනි. අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණය වේ නම් සෙස්සන්ගේ ක්ලේශක්‍ෂයය

සෝපාදිශේෂ නිර්වාණය නොවීමට කරුණක් නැත්තේ ය. පාලියෙහි අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි දැක්ම දේශනා ශීර්ෂ මාත්‍රයකි. මෙය “පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ, නිහීයති පුරිසො නිහීනසෙවී” යන ආදී දේශනාවන් “පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ” යන්නෙහි පුරුෂයාගේ මුඛයෙහි යයි දක්වා තිබෙන්නේ ස්ත්‍රියගේ මුඛයෙහි හෝ නපුංසකයකුගේ මුඛයෙහි හෝ කුඨාරිය පහළ නොවන බැවින් නොවේ, පුරුෂයාගේයි දැක්වීම දේශනා ශීර්ෂ මාත්‍රයකි. “නිහීයති පුරිසො නිහීන සෙවි” යන්නෙහි “පුරිසො” යි වදාරා තිබෙන්නේත් ස්ත්‍රිය එසේ පිරිහීමට නො පැමිණෙන බැවින් නොවේ. ඊට සියල්ලෝ ම සංග්‍රහ වෙති. “පුරිසො” යි ප්‍රකාශ කිරීම දේශනා ශීර්ෂ මාත්‍රයකි. මෙබඳු සාවශේෂදේශනා තවත් බොහෝ ගණනක් දක්නා ලැබෙත්. එබැවින් පාළියෙහි සාමාන්‍යයෙන් අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරන ලද මුත් සෙස්සන්ගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණය නොවේයැයි මුළා නොවිය යුතු.

මේ චතුර්ථාචාර්‍ය්‍යවාද විනිශ්චයයි.

මෙසේ ආචාර්‍ය්‍යවාද බහුල බැවින් හා නිර්වාණය පරම සූක්‍ෂම බැවින් ද එය ඇතැම්හු විපරීතාකාරයෙන් ද ඇතැම්හු අවිපරීතාකාරයෙන් ද දැන සිටිත්. නිර්‍වාණය සම්බන්ධව විපරීත වශයෙන් දැනීම හෝ සර්‍වප්‍රකාරයෙන් ම නොදැනීම හෝ නිර්‍වාණ ප්‍රතිලාභියාට බාධක නොවේ. නිර්‍වාණ ප්‍රතිලාභියාට බාධක කාරණය නම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව නො පිරීමයි. යමෙක් නිවන වරදවා තේරුම් ගෙන සිටියේ වී නමුත් ඔහු විසින් නිවැරදි වූ නිර්වාණ ගාමිණී ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන ලද්දේ නම්:- හෙතෙම සකල බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධයන් වහන්සේලා විසින් පැමිණෙන ලද්දා වූ නිවැරදි වූ නිර්වාණ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර භූමියට පැමිණෙන්නේ ය. නිර්වාණය සම්බන්ධ කොපමණ පාරිශුද්ධ වූ දැනීමක් ඇතත් නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව සම්පූර්ණ නො කරන තැනැත්තේ නිවනට නො පැමිණේ. අත් පා තරකොට බැඳ පසුරක තබා ගඟක පාකරන ලද තැනැත්තේ උඩුගඟ පිහිටි රම්‍ය ප්‍රදේශයන් ගැන කොපමණ පිරිසිදු ලෙස දැන සිටියේ වී නමුත් ඒ ප්‍රදේශ වලින් මොහොතෙන් මොහොත වඩ වඩා දුරවන්නේ ය. එපරිද්දෙන් ම පඤ්චකාමයයි කියන ලද වැල් වලින් බඳින ලද චිත්තසන්තානය ඇතිවැ මේ සංසාර මහෝඝයෙහි පාවෙන්නා වූ සත්ත්වයෝ මොහොතෙන් මොහොතට උඩුගඟ පිහිටි රම්‍ය ප්‍රදේශය බඳුවූ නිර්වාණ ක්‍ෂෙම භූමියෙන් දුර වෙති. එබැවින් සකල සත් පුරුෂයන් විසින් ම පරම රමණීය වූ නිර්වාණ භූමියට පැමිණ පරමසුඛය ශාන්තිසුඛය ලබා ගැනීම සඳහා නිර්වාණ ගාමිණී ප්‍රතිපත්තිය සම්පූර්ණ කළයුතු.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ පඤ්චම පරිච්ඡේදය නිමි.

කර්තෘ සන්දර්ශන ගාථා

ඤෙය්‍යප්පමාණ ඤාණෙන - බුද්ධෙන චෙව තාදිනා,

තස්ස සම්පත්ත මොක්ඛෙහි - සාවකෙහි ච දෙසිතා

.

මොක්ඛප්පකාසකා තීසු - පිටකෙසු තහිං තහිං,

විචිත්ත නය සංයුත්තා - සන්ති යා දෙසනා සුභා

.

තාසං අට්ඨකථායො ච - නානා භාසාහි සණ්ඨිතා,

තායො ච අඤ්ඤෙ ගන්ථෙ ච - කවීනං මනවඩ්ඪනෙ

.

සන්නිස්සාය විනිච්ඡිත්වා - නා නා වාදෙ යථාබලං,

අමතං දීපයන්තෙන - සාධූහි අභිපත්ථිතං

.

පත්වාන මුම්ම විසයං - ධම්මං සම්බුද්ධ දෙසිතං,

උග්ගහෙත්වාන පත්තෙන - ලද්ධකාදීප ‘මිමං පුන

.

චන්දවිමල නාමෙන - යතිනා මොක්ඛ කාමිනා,

පකතො ගන්ථො නිබ්බාන - විනිච්ඡයව්හයො අයං

.

ජිව්හග්ගෙ යාව සත්තානං - බුද්ධොති පදමුත්තමං,

වත්තතෙ තාව ගන්ථො යං - තොසයතො කවිජ්ජනෙ

.

දීපයං අමතං ධාතුං - දුක්ඛ මුත්ති ගවෙසිනං,

පුණ්ණචන්දොව ආකාසෙ - ලෝකස්මිං සුපවත්තතං.

ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල යතීන් විසින් සම්පාදිත නිර්වාණ විනිශ්චය නිමි.

පුනරුත්පත්ති ක්‍රමය

සංඥාපනය

අතිවිශාල වූ මේ ලෝකධාතුවෙහි අනන්තාපරිමාණ සත්ත්ව සමූහයක් වාසය කරන බව බෞද්ධ වූ ද අබෞද්ධ වූ ද සැමදෙනා විසින් ම එකසේ පිළිගත්තා වූ කාරණයකි. නමුත් දැනට ජීවත් වන්නා වූ මේ සත්ත්ව සමූහය ලෝකයෙහි පෙර පටන් ම සිටියේ ද? දැන් අළුතෙන් ම උපන්නේ ද? ඔවුහු මරණින් මතු නැවත උපදිත්ද? නූපදීත්ද? උපදිත හොත් ඒ උප්පත්තිය කෙසේ සිදුවේ ද? ඔවුහු පළමුකොට කෙසේ හට ගත්තාහුද? කවර කලෙක හට ගත්තාහුද? පෙර සත්ත්වයන් නොමැතිව ලෝකය හිස්ව පැවැත්තේද? සත්ත්වයන් නැති වීමෙන් මතු කාලයෙහිදී හෝ එසේ වේද? යන මේ කරුණු රැස අල්පධර්මඥානය ඇත්තා වූ සාමාන්‍ය ලෝකයාට තීරණයක් කර ගත නො හැකිව නා නා මත පහළ කරමින් වාද විවාද කරමින් සැක සහිතව පවත්නාහුය. එබැවින් යථෝක්ත කරුණු පහදා දක්වන්නා වූ ග්‍රන්ථයක් මේ කාලයට ඉතාමත් උවමනාව තිබෙන බව දුටු අප විසින් පුනරුත්පත්ති ක්‍රමය නම් වූ මේ ග්‍රන්ථය කාටත් තේරුම් ගත හැකි වන පරිදි ලිහිල් භාෂාවෙන් නා නා හේතු උදාහරණ දක්වා කරුණු ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් ලියන ලදී.

මීට,

රේරුකානේ චන්දවිමල

වැල්ලබඩ පන්සල,

පානදුර.

ක්‍රි. ව. 1927.

පුනරුත්පත්ති ක්‍රමය

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

උප්පත්තික්කම වාදීනං - වරං අනුපපත්තිකං

ජීනඤ්ච තස්ස ධම්මඤ්ච - සඞ්ඝඤ්ච සිරසා නමෙ.

සකල ඥෙය පාරගත වූ අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගේ අත්‍යන්ත නිර්මල ධර්මයෙහි පමණක් නොව රාගාදී ක්ලේශයන්ගෙන් දූෂිත වූ සිත් ඇති ප්‍රදේශදර්ශි ඇතැම් ශාස්තෘවරයන්ගේ ධර්මයන්හි ද මේ සත්ත්වයෝ නැවත නැවත චුත වෙමින් උපදමින් සංසාරයයි කියන ලද මේ භවත්‍රයෙහි ම භ්‍රමණය වෙමින් සිටින බව දක්වා තිබේ. ඒ නැවත නැවත ඉපදීමට පුනරුත්පත්තිය යයි කියනු ලැබේ. නුමුත් බුද්ධාගමයයි කියන ලද සර්වඥධර්මයේ දක්වා තිබෙන පුනරුත්පත්ති ක්‍රමය අන්‍ය ධර්මයන්හි දක්වන ලද පුනරුත්පත්ති ක්‍රමයන්ට ඉතාමත් වෙනස් වූ සූක්‍ෂම වූ ක්‍රමයකි. අන්‍ය බොහෝ ශාස්තෘවරයන්ගේ ධර්මයන්හි සත්ත්වයෝ පළමු කොට දෙවියකු විසින් හෝ බඹකු විසින් මවන ලදුව පසුව ඒ සත්ත්වයන්ගේ ආත්ම අනික් අනික් ස්ථානයන් කරා යාමෙන් පුනරුත්පත්තිය සිදුවන බව දක්වා තිබේ. සර්වඥ ධර්මයේ වනාහි දිව්‍ය බ්‍රහ්මාදි කිසිවකුගේ මැවීමකින් හෝ අන් ක්‍රමයකින් හෝ පළමු කොට පටන් ගැනීමක් නොමැති ව ස්වභාවයෙන් ම ඇත්තා වූ සත්ත්වයන් ගේ පුනරුත්පත්තිය එක් භවයකින් අන් භවයකට කිසිවක් නො ගොස් සිදුවන බව දක්වා තිබේ. එබැවින් එය අන්‍ය ධර්මයන්හි දක්වන පුනරුත්පත්ති ක්‍රමයන්ට අතිශයින් වෙනස් බව දතයුතු. ක්ලේශයන්ගෙන් දූෂිත වූ සිත් ඇත්තා වූ සියල්ල දන්නා නුවණ නැත්තා වූ මිසදිටුවන් විසින් කල්පනා කොට සාදා තිබෙන ආගම්වල දක්වන කරුණු අනුයෝගක්‍ෂම නොවෙති. අනුයෝගක්‍ෂම නොවීම යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ කරුණු ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවහොත් ඒවා විසඳා තමා කියන කාරණය ප්‍රත්‍යක්‍ෂ කරන්නට නොහැකි වීමයි. මිථ්‍යා දෘෂ්ටිකයෝ වනාහි ඔවුන්ගේ ආගම් වල දක්වා තිබෙන්නා වූ පණ්ඩිතයන්ගේ අනුයෝගයේදී (ප්‍රශ්න විචාරීමේදී) ස්ඵුට කළ නොහෙන සියල්ල දේව රහස්ය කියා හෝ දිව්‍ය ඥානයෙන් මිස මනුෂ්‍ය ඥානයෙන් දත නොහෙන කරුණුය කියා හෝ කියති. ඔවුහු ද ඒ ධර්මයන්ගේ හරයක් නැති බව දැක දැකත් ඒවා දේව රහස්ය කියා සැනසෙති. නමුත් නිම්ල වූ බුද්ධධර්මයෙහි ශාස්ත්‍රානුකූලව ඔප්පු කළ වූ අනුයෝගක්‍ෂම නො වූ එක ධර්මයකුදු නැත්තේ ය එබැවින් සර්වඥ ධර්මයේ බුද්ධ රහස්ය කියා හෝ දේව රහස්ය කියා හෝ මනුෂ්‍ය ඥානයෙන් දත නො හැකිය කියා හෝ කිවයුතු ධර්‍ම කොට්ඨාසයක් නැති බව දතයුතු.

බුද්ධ ධර්මයේ වනාහි මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත්කොට උගන්වා නැත්තේ ය. ලෝකයෙහි කල්ප කෝටි ගණනකින් වත් අන්‍යයන්ගෙන් නො ඉගෙන තමාගේ ම ඥාන ශක්තියෙන් සියල්ල ම දැන සර්වඥ බවට පැමිණෙන්නේත් මනුෂ්‍යයෙක් ම ය. දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ කිසි කලෙක සර්වඥ පදවියට නොපැමිණෙති. දහස් ගණන් දෙවියන් එකතුව බොහෝ වර්ෂ ගණන් කල්පනා කොට නිශ්චය කර ගත හැකි නො වූ දුෂ්කර ප්‍රශ්න පවා දිව්‍ය බ්‍රහ්මයෝ බුදුන් කරා පැමිණ විචාරා විසඳාගෙන යති. එබැවින් මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත් නො වන බව හා මිසදිටුවන් විසින් දේව රහස්ය කියන ශාස්ත්‍රානුකූලව ඔප්පු කළ නොහෙන කරුණු ද සත්‍ය නො වන බව දතයුතු.

බුද්ධාගමයේ මනුෂ්‍යයන්ට තේරුම්ගත නොහෙන රහස් නැතැයයි කී නමුත් සකල බුද්ධ ධර්මය ම සෑම දෙනාට ම තේරුම් ගත හැකි නොවේ. ඊට හේතුව නම් ඒ ධර්‍මය අනුක්‍රමයෙන් උගෙන තේරුම් ගත යුතු වූ සියුම් ශාස්ත්‍රයක් වීමයි. එක දෙක තුන සතර යනාදි වශයෙන් ගණන් කිරීමට නො දත් දරුවාට ඒ තත්ත්වයේ සිටින තුරු උසස් ගණිත ක්‍රම උගන්වා තේරුම් කරවිය හැකි නොවේ. කුමක් හෙයින්ද යතහොත් උසස් ගණිත ක්‍රමයක් කියා දුන් කල එය තේරුම් ගත හැකි තත්ත්වයට ඔහු පැමිණ නො සිටි හෙයිනි. එපරිද්දෙන් ම ධර්‍මය උගෙන ඒ ඒ ධර්ම කොටස් තේරුම් ගත හැකි තත්ත්ව වලට පැමිණියා වූ තැනැත්තන්ට ම ඒ ඒ ගැඹුරු දහම් කොටස් තේරුම් ගත හැකි වේ. ඒ ඒ කරුණු තේරුම් ගත හැකි තත්ත්වවලට පැමිණිය හොත් කාට වුවත් බුද්ධාගමයේ දැක්වෙන සියළු ම කරුණු නිසැකව දතහැකි වන බැවින් එහි තේරුම් ගත නො හැකි කරුණු නැත යයි කියන ලදී.

සර්වඥ ධර්මයේ දැක්වෙන පුනරුත්පත්ති ක්‍රමය ඉතා සියුම් වූවක් බැවින් එය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීමත් එපමණ පහසු නොවන බැවින් හා සත්ත්වෝත්පත්තිය ගැන ම තවත් තිබෙන්නා වූ ප්‍රශ්න නිරාකරණය වීම පිණිස ද මෙහි පුනරුත්පත්තිය සිදුවන ක්‍රමය පළමු කොට නො දක්වා පළමුකොට දැන තිබිය යුතු වූ සත්ත්ව භේදය, මැවීම ඇති නැති බව, සත්ත්වයන්ගේ මුලක් ඇති නැති බව, අළුත් සත්ත්වයන් පහළ වන නො වන බව, සත්ත්වයන් ක්ෂය නො වන බව යන ආදිය ප්‍රථම කොට දක්වනු ලැබේ.

සත්ත්ව ප්‍රභේද

සත්ත්වයෝ වනාහි නේරයිකයෝ ය, තිරශ්චීනයෝ ය, ප්‍රේතයෝ ය, මනුෂ්‍යයෝ ය, දෙවියෝ ය යයි පස් වර්ගයකි. එයින් නේරයික සත්ත්වයෝ නම්; අටමහ නරකයෙහි හා එක්සිය විසි අටක් වූ ඔසුපත් නරක වලද දුක් විඳින්නා වූ සත්ත්වයෝ ය. ඔවුහු මනුෂ්‍යයන් මෙන් දෙපා ඇති සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ගේ ශරීර ඉතා මහත් වෙයි. ඇතැම් කෙනකුගේ ශරීරය ගවු පමණ ද, ඇතැම් කෙනකුගේ ශරීරය දෙගව් පමණ ද, ඇතැම් කෙනකුගේ ශරීරය තුන්ගව් පමණ ද, ඇතැම් කෙනකුගේ ශරීරය යොදුන් පමණ ද විශාල වේ. අවීචි මහා නරකයෙහි පැසෙන්නා වූ දේවදත්තයාගේ ශරීරය සියක් යොදුන් ශරීරයකි. ඔවුන්ගේ ශරීර මනුෂ්‍යයින්ගේ ශරීර මෙන් තද නො වෙයි. පෙණ පිඬු මෙන් ඉතා සියුම් වෙයි. දුර්වල වෙයි. මහනිල් මල් පෙත්තකින් ගැසුව ද කැඩී යන තරම් ය. නේරයික සත්ත්වයන්ගේ ස්වභාවය යි.

තිරශ්චීන සත්ත්වයෝ වනාහි ඉතා විසිතුරු වූ කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් පා නැති සත්ත්වයෝ ය, දෙපා ඇති සත්ත්වයෝ ය, සිව් පා ඇති සත්ත්වයෝ ය, බොහෝ පා ඇති සත්ත්වයෝ යයි සතර කොටසකට බෙදති. එකී එක එක කොට්ඨාසයක එකිනෙකට ශරීර ස්වභාව ගතිගුණ ආදියෙන් බොහෝ වෙනස්කම් ඇත්තා වූ දහස් ගණන් සත්ත්ව ජාතීහු වෙති. ඔවුන් අතර මනුෂ්‍ය ඇසට නො පෙනෙන තරම් කුඩා සත්තු ද වෙති. යොදුන් ගණන් විශාල සත්තු ද වෙති. ප්‍රේතයෝ නම් නානා විධ ශරීර ඇති සැපයෙන් පහ වූ මනුෂ්‍යයින්ට නො පෙනෙන්නා වූ සත්ත්ව කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් ජාති දොළසකට බෙදා දක්වා තිබේ. ඔවුන්ගේ නම් හා ස්වභාවය මතු දක්වන පරිද්දෙන් දතයුතු.

1. වන්තාස - සෙම්සොටු ආහාර කොට ඇති ප්‍රේතයෝ.

2. කුණපාස - මිනිසුන්ගේ හා සතුන්ගේ මලකුණු ආහාර කොට ඇති ප්‍රේතයෝ.

3. ගූථඛාදක - අසූචි ආහාර කොට ඇති ප්‍රේතයෝ.

4. අග්ගිජාලමුඛ- කටින් නික්මෙන්නා වූ ගිනිදැල් ඇති ප්‍රේතයෝ.

5. සුචිමුඛ - ඉඳිකටු මලක් පමණ මුඛය ඇති මහා සැළියක් පමණ බඩ ඇති ප්‍රේතයෝ.

6. තණ්හට්ටිත - සාගින්නෙන් හා පිපාසයෙන් නිතර සිටින බැවින් ආහාරපානාශාවෙන්

පෙළෙන ප්‍රේතයෝ.

7. සුනිජ්ඣාමක - ගින්නේ දා ගිය කණුවක් මෙන් වියළී ගිය ශරීර ඇති ප්‍රේතයෝ.

8. සත්ථඞ්ග - ආයුධ වැනි වූ තමාගේ ශරීරය ම කැපෙන නිය ආදි ශරීරාවයව ඇති

ප්‍රේතයෝ.

9. පබ්බතඞ්ග - පර්වත ප්‍රමාණ වූ විශාල ශරීර ඇති ප්‍රේතයෝ.

10. අජගරඞ්ග - පිඹුරන්ගේ ශරීර වැනි ශරීර ඇති ප්‍රේතයෝ.

11. වේමානික - විමාන වල ඉපද සැප දුක් දෙක ම කලින් කල විඳින්නා වූ ප්‍රේතයෝ.

12. මහිද්ධික - කැලෑවල වාසය කරන්නා වූ මහත් වූ සෘද්ධි ඇති ප්‍රේතයෝ.

තවත් මෙහි නො දක්වන ලද්දා වූ මස්පිඩු වැනි ශරීර ඇති ප්‍රේතයෝ ය, ඇට සැකිලි බඳු ශරීර ඇති ප්‍රේතයෝ ය, සම නැති ප්‍රේතයෝ ය යන ආදි නොයෙක් වර්ගවල ප්‍රේතයෝ ද වෙසෙති.

මනුෂ්‍යයන් ගැන විශේෂයෙන් කිවයුත්තක් නැත්තේ ය. දෙවියෝ නම් මනුෂ්‍යයන්ට වඩා අධික වූ සැප ඇත්තා වූ, මනුෂ්‍යයන්ට නො පෙනෙන්නා වූ මහානුභාව සම්පන්න වූ සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ගෙන් සමහරෙක් මේ පෘථිවිය ඇසුරු කොට වෘක්‍ෂ පර්‍වතාදියෙහි විමන්වල වෙසෙති. සෙස්සෝ ආකාශයෙහි විමන් වල වෙසෙති. ඔවුන්ගේ ශරීර ද නොයෙක් ප්‍රමාණවලින් යුක්ත වේ. දෙවි කෙනෙක් වූ රාහු නම් අසුරේන්ද්‍රයාගේ ශරීරය සාර දහස් අටසීයක් යොදුන් උස් වේ. දෙවියන්ගෙන් කොටසකට බ්‍රහ්මයෝ යයි කියනු ලැබෙත්.

ඔවුන්ගේ කොටසකට සිත පමණක් මුත් කයක් නැත්තේ ය. කොටසකට කය මිස සිතක් නැත්තේ ය. කොටසකට සිත කය දෙක ම ඇත්තේ ය. නමුත් ඔවුන්ගේ කයෙහි ඝ්‍රාණ, ජිව්හා, කාය යන ඉන්ද්‍රිය තුන නැත්තේ ය. ඔවුන්ගේ ශරීරයන්හි යොදුන් සිය දහස් ගණන් විහිදෙන්නා වූ ආලෝකය ඇත්තේ ය. ඔවුන්ගේ ශරීර අතිශයින් සියුම් ද වෙති. ඒවා කාමාවචර දෙවියන්ගේ ඇස්වලට ද නො පෙනෙති.

යෝනි

යටකී සත්ත්වයන් උපදින්නා වූ යෝනි සතරකි. එනම් අණ්ඩජ යෝනිය, ජලාබුජ යෝනිය, සංසේදජ යෝනිය, ඕපපාතික යෝනිය යන සතරයි. ඒ ඒ යෝනි වල උපදින්නා වූ සත්ත්වයන්ට අණ්ඩජ ජලාබුජාදි ඒ ඒ නම් ව්‍යවහාර කරනු ලැබෙත්.

මෙහි අණ්ඩජ සත්ත්වයෝ නම් :- බිජු තුළ උපදින්නා වූ සත්ත්වයෝ ය. බිජු තුළ පක්‍ෂීහු ද සර්පයෝ ද මත්ස්‍යයෝ ද බොහෝ සෙයින් උපදිති. බිජු වනාහි ඒ සත්ත්වයන්ගේ මව්කුස පිළිසිඳ ගැනීමෙන් මවුකුස තුළ හට ගෙන ඒවා කුසින් බිහි වූවාට පසු උණුසුමේ ආධාරයෙන් ඒවා තුළ ඉපද සිටින සත්ත්වයෝ අනුක්‍රමයෙන් වැඩී බිජුව පලා ඉන් නික්මෙති. සුදුසු කාලයට උණුසුම නො ලැබුවහොත් ඒ සත්ත්වයෝ එහි ම මිය යෙත්.

ජලාබුජ සත්ත්වයෝ නම් :- මව් කුස දරුවන් හට ගන්නා වූ කෝෂය තුළ උපදින්නා වූ සත්ත්වයෝ ය. අණ්ඩජ ජලාබුජ සත්ත්ව දෙවර්ගය ම පිළිසිඳ ගැනීමේ පටන් සම්පූර්ණ වූ ඉන්ද්‍රියයන් ඇත්තාහු නො වෙති. පිළිසිඳ ගැනීමෙහි ඔවුන්ට පහළ වන්නේ චක්ෂුරාදි පඤ්චන්ද්‍රියයන්ගෙන් කායින්ද්‍රියය පමණකි. සෙසු ඉන්ද්‍රියයන් හා අත්පා ආදි ශරීරාවයව ද පසුව පහළ වෙයි.

සංසේදජ සත්වයෝ නම් :- කුණු වූ මත්ස්‍ය මාංශය, කෑම වර්ගය, ඵලාඵල වර්ගය, දිරා ගිය ලීය, කසලය යනාදි දුර්ගන්ධය ඇත්තා වූ ද්‍රව්‍යයන්හි උපදනා වූ සත්ත්වයෝ ය. මේ සංසේදජ යෝනියෙහි බොහෝ කොට උපදින්නේ තිරිසන් සත්ත්වයෝ ය. ඇතැම් විටක මනුෂ්‍යයෝ ද උපදිති. ආසඞ්කා නම් වූ රාජ දේවිය පියුම් ගැබක උපන්නීය, අම්බපාලි ගණිකාව අඹ ගසක උපන්නීය. චිඤ්චමානවිකාව සියඹලා ගසක උපන්නීය, පදුම දේවියගේ පුත්‍රයන් පන්සිය දෙනාගෙන් සාරසිය අනූ නව දෙනෙක් ගැබ් මලයෙන් උපන්නෝ ය. මේ සංසේදජ සත්ත්වයෝ ද අණ්ඩජ ජලාබුජ සත්ත්වයන් මෙන් උප්පත්තියෙන් පසු, කර්‍මානුකූලව අනුක්‍රමයෙන් වර්ධනය වෙති.

ඕපපාතික සත්ත්වයෝ නම් :- වේගයෙන් අවුත් පැන්නාක් මෙන් සර්වාංග ප්‍රත්‍යංග සම්පූර්ණ උස මහතින් යුක්තව මතු වැඩිය යුත්තක් නොමැතිව උපදින්නා වූ සත්ත්වයෝ ය.

මේ යෝනි සතර අතුරෙන් නේරයික සත්ත්වයන් හා බූමාටු දෙවියන්ගෙන් අන්‍ය වූ දෙවියෝ ද නිජ්ඣාම තණ්හික ප්‍රේතයෝ ද යන මොවුහු ඕපපාතිකව ම උපදිති. සෙසු සත්ත්වයෝ යෝනි සතරෙහි ම උපදිති.

“නිරයේ භූම්මවජ්ජෙසු දෙවෙසු ච න යොනියො,

තිස්සො පුරිමිකා හොන්ති චතස්සොපි ගතිත්තයේ”

සත්ත්වයන්ගේ මුල

ලෝකයෙහි බොහෝ දෙන පටන් ගැනීම ඇත්තා වූ දේවල් වූ එක ම පක්ෂයක් බලා ලොව යමක් ඇත්නම් ඒ සියල්ලේ ම පටන් ගැනීමකුදු ඇතයැයි සිතා සත්ත්වයාගේ පටන් ගැනීම හා ලෝකයේ පටන් ගැනීම ද සොයති. ඒ වනාහි ඉදිබු පියාපත් සෙවීම වැනි වූ, කවුඩු දත් සෙවීම වැනි වූ, නිෂ්ඵල ක්‍රියාවකි. කුමක් හෙයින්ද යතහොත්? සත්ත්වයන්ගේ පටන් ගැනීමක් මුලක් නැති බැවිනි. නැත්තා වූ පටන් ගැනීම සෙවීමෙන් එය කිසිවකුට කිසි කලෙක ලැබිය හැකි නොවේ. ලෝකයෙහි අන්ධකාරයට විරුද්ධ වූ ආලෝකය ද, උෂ්ණයට විරුද්ධ වූ ශීතල ද, දුකට විරුඬ වූ සැප ද, යහපතට විරුඬ වූ අයහපත ද, ලෝභයට විරුද්ධ වූ අලෝභය ද, කෝපයට විරුද්ධ වූ මෛත්‍රිය ද, මෝහයට විරුද්ධ වූ නුවණ ද යන ආදි වශයෙන් සකල ස්වභාව ධර්මයන්ට ම ඒ ඒ ධර්මයන්ගේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයනුදු ඇත්තාහු ය. අපේ ඇස් වලට පෙනෙන්ට තිබෙන සෑම දෙයක ම ඒ ඒ දේ වෙන් කිරීමට කරුණු වන කොන් ඇත්තාහු ය. ඒ කොන් වලින් මෙතැන් සිට අසවල් දේ දක්වා මේ දේ ය, අසවල් තැන සිට අසවල් තැන දක්වා අසවල් දෙය යයි ඒ ඒ ද්‍රව්‍යයන් එකක් අනිකකින් වෙන් කරනු ලැබෙත්. එසේ එකකින් අනික වෙන් කර ගැනීමට කොන් සියල්ලේ ම තිබේද යතහොත්? ආකාශයේ එසේ කොන් නැත. වස්ත්‍රාභරණ ඇඳ පුටු යාන වාහන ගම් නියම් ගම් රාජධානි ආදි බොහෝ දේවල කොන් ඇති බැවින් ආකාශයක් ඇත්නම් එහි ද කොන් තිබිය යුතු යයි යමෙක් ආකාශයේ කොන් සොයන්නට වෑයම් කෙරේ නම් එය නිෂ්ඵල ව්‍යායාමයකි. කුමක් හෙයින්ද යතහොත්? ආකාශය කොන් නැති ස්වභාවයක් වූ බැවිනි. කොන් ඇත්තා වූ ස්වභාවයාගේ විරුද්ධ පක්‍ෂය වූ කොන් නැත්තා වූ දේවල් ඇතුවාක් මෙන් ම පටන් ගැනීමක් ඇත්තා වූ ස්වභාව ධර්මයන්ට විරුද්ධ වූ පටන් ගැනුමක් නැත්තා වූ ස්වභාව ධර්මයෝ ද ඇත්තාහු ය. එබැවින් යමක් විද්‍යමාන නම්:- ඒ සියල්ලේ ම මුල් හට ගැනීම ද තිබිය යුතුය යන කල්පනාව දුරුකර ගත යුතු. ආකාශය පටන් ගැනීම හෙවත් පළමු කොට පහළ වීමක් නැත්තා වූ දෙයකි. ආකාශය ඇති බව සියල්ලන් ම දන්නා කරුණක් බැවින් හට නො ගත්තා නම් ආකාශයකුත් නැතයයි වාදයට එළඹීමට ද කිසිවකුට අවකාශයක් නැත්තේ ය. මේ සම්බන්ධව පරීක්‍ෂා කළ යුතු කාරණය නම් : මේ ආකාශය සෑම කල්හි ම මෙසේ ම පැවතියාද නැතහොත් ආකාශය නො පැවති කලකුත් අතීතයේ තිබුණාද යන්නයි. ලෝකයේ ආකාශය නො තිබුණා වූ කාලයක් අතීතයේ තිබෙන්නට නම් : දැන් ආකාශය පවත්නා වූ සෑම තැන ම වසා පැවතියා වූ යම්කිසි ද්‍රව්‍යයක් පෙර ලෝකය පුරා තිබිය යුතු වේ. පෙර ආකාශය නොමැතිව එබඳු දෙයකින් ලොව වැසී තිබුණේ යයි පිළිගැනීමට එක ද කාරණයක් නැති බැවින් ආකාශය නො තිබූ කාලයක් නො පැවති බව දතයුතු. යමක පෙර නො තිබූ කාලයක් නො මැති නම් එය සෑම කල්හි ම පවත්නා දෙයකි. කාලය ද මුලක් නැත්තා වූ දෙයකි. යමක් හට ගත්තා නම් ඊට පෙර එය නො තිබූ කාලයක් තිබිය යුතු බැවින් ඒ හටගත් දෙය සර්‍වකාලික වස්තුවක් නොවේ. ආකාශය සර්‍වකාලික වූවක් වේ නම්:- එහි පළමු කොට හට ගැනීමක් කිසිසේත් විය යුතු නොවේ. එබැවින් ආකාශය නො තිබූ කාලයක් නැති බව හා ආකාශයක් ඇතත් එහි හට ගැනීමක් නැති බව ද දතයුතු.

මෙසේ හට ගැනීම් වශයෙන් මුලක් නැත්තා වූ මේ ආකාශ කුහරය තුළ පවත්නා වූ නාමරූප ධාතූහු ද ආකාශයට සම වූ ආයුෂ ඇත්තෝ ය. ආකාශය තුළ පවත්නා වූ නාමරූප ධාතූන් නොමැතිව පෙර ආකශය පමණක් ම පැවතියේ යයි කීමට කිසි හේතුවක් ද නැත්තේ ය. එබැවින් ආකාශය තුළ පවත්නා වූ නාම රූප ධාතූන්ගේ ද පළමු කොට පටන් ගැනීමක් නැති බව දත යුතු. සත්ත්වයෝ යයි කියනු ලබන්නේ ද නාමරූප ධාතු සමූහයන්ට ම ය. නාම රූප ධාතූන්ගෙන් අන්‍ය වූ සත්ත්වයා යයි ගත යුතු කිසිවක් නැත්තේ ය. එබැවින් සත්ත්වයෝ ද ආකාශය හා සම වූ ආයු ඇත්තෝ ය. පෙර සත්ත්වයන් නො සිටි කලක් නො පැවැත්තේ ය. එබැවින් සත්ත්වයන්ගේ ද පටන් ගැනීමක් නැති බව දතයුතු. ඒ බව මනාකොට දැන ගත්තා වූ සියල්ල දන්නා වූ මහ නුවණ ඇති ධර්ම රාජයන් වහන්සේ විසින් මේ කාරණය දැක්වීම සඳහා :

“අනමතග්ගොයං භික්ඛවේ! සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති’’ යි වදාරන ලදී.

මහණෙනි! මේ සංසාරය නො දන්නා ලද අක් ඇත්තේ ය. එහි පෙර කොන හෙවත් පටන් ගැනීම නැතය යනු එහි තේරුම යි.

මැවීම

දැනට ලෝකයේ පවත්නා වූ ආගම් අතුරෙන් බොහෝ ගණනක් ආගම් තැනුවා වූ අසර්වඥ වූ ආගම් කර්තෘවරයෝ පටන් ගැනීම ඇති නැති ස්වභාව ධර්ම දෙවර්ගයක් බව නො දැන පටන් ගැනීම ඇති දේවල් නමැති එක පක්‍ෂයකට ම අනුව කල්පනා කොට සා අං සොයන්නාක් මෙන් නැත්තා වූ සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් පුටුව සෑදීමට වඩුවෙක් සිටිය යුතුවාක් මෙන් ලෝකය සෑදූ කෙනෙක් ද සිටිය යුතුයයි පීඨවඩ්ඪක න්‍යායෙන් කල්පනා කොට ලෝකවඩුවා සොයන්නට ගොස් දෘශ්‍යමාන ලෝකවඩුවකු නැති බැවින් අදෘශ්‍යමාන වූ දෙවියන් බ්‍රහ්මයන් වෙතට ලෝකවඩුකම ආරූඪ කොට ඊට අනුව ඒ ඒ ආගම් තනා ගත්හ. ඉබේ ම ඇති වූ එක් සත්ත්වයකු විසින් අන්‍ය සත්ත්වයන් හා ලෝකයත් මැව්වාය කීම පීඨවඩ්ඪකී න්‍යායට සකල ලෝකය ම යටත් කරන්නට තැත් කරන නාමරූප ධාතූන්ගේ තත්ත්වය නො දන්නා වූ මන්දබුද්ධිකයන්ට ඉතා ශක්තිමත් කීමක් සේ වැටහෙන නමුත් එය ධාතූන්ගේ ස්වභාවය උගන්වන්නා වූ නිර්මල සර්වඥ ධර්මාලෝකය ලැබූවන්ට හාස්‍යට කරුණක් වේ ම ය. සත්ත්වයන් මැවීම වනාහි ධ්‍යානලාභීන්ට අභිඥා බලයෙන් ද ආනුභාව සම්පන්න දිව්‍යබ්‍රහ්මයන්ට ඔවුන්ගේ කර්මජ සෘද්ධි බලයෙන් ද කළ හැකි වේ. නමුත් ශක්‍ර බ්‍රහ්මාදි කිසිවකුට සැබෑ සත්ත්වයන් මැවිය හැකි නොවේ. මවනු ලබන්නා වූ සත්ත්වයෝ බයස්කෝප් යන්ත්‍රයෙන් දක්වන සත්ත්වයන් වැනි වූ සත්ත්වාකාරයෙන් පෙනෙන රූප කොටසකි.

ප්‍රකෘතියෙන් ම ලොව ඇත්තා වූ සැබෑ සත්ත්වයන් මවන්නා නම් නාමරූප ධාතූන් ම ය. මව් පිය දෙදෙනාගේ ශුක්‍ර ශ්‍රෝණිත ධාතුවල උපකාරයෙන් දරුවාගේ මව්කුස පිළිසිඳ ගැනීමත් ඉන්පසු සෘතු ආහාර බලයෙන් වැඩීමත් සිදුවන බව සියල්ලන් ම ප්‍රත්‍යක්‍ෂව දන්නා කරුණකි. සත්ත්වයකු පහළ වීම දේවබලයකින් වේ නම්:- කියන ලද හේතූන් නොමැතිව ද මනුෂ්‍යන් ඉපිද සිටිය යුතු වේ. එසේ ඉපිද සිටින්නා වූ එක මනුෂ්‍යයකු ද දක්නට නැත්තේ ය. සෘතු ආහාරයන්ගේ උපකාරයකින් තොරව දේව බලයකින් ජීවත් වන්නා වූ සත්ත්වයෙක් ද දක්නා නො ලැබේ. සත්ත්වයන් තුළ පවත්නා වූ නොයෙක් අදහස් ද ඔවුන්ට පහළ වන්නා වූ සිත් ද රූපාදි ආරම්මණයන්ගේ ද, ඍතු ආහාරයන්ගේ ද, ආශ්‍රය කරන පුද්ගලයන්ගේ ද, තදන්‍ය හේතූන්ගේ ද, උපකාරයෙන් සිදුවන බව පෙනේ. කියන ලද හේතූන්ගේ වශයෙන් නොව අන්‍යාකාරයකින් සත්ත්වයන්ට අදහස් පහළ වන බවක් ද සිත් පහළ වන බවක් ද නො පෙනේ. එබැවින් සත්ත්වයන්ගේ උප්පත්තිය හා වැඩීම ද පැවැත්ම ද යන සියල්ල ම දෙවියකුගේ බලයකින් නොව ධාතූන්ගේ ම බලයෙන් සිදුවන බව දතයුතු. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පෘථිවි වෘක්‍ෂ පර්වතාදි සකල ලෝකාවයවයන්ගේ උත්පත්ති ප්‍රවෘත්ති දෙක ද එසේ ම සිදුවේ.

සත්ත්වයන් තනන වඩුවාගේ (මැවුම්කාරයාගේ) ආධාරය නොමැතිව ලෝක වඩුවාය කියන මැවුම් කාරයා වූ එක ම සත්ත්වයකුට ඉබේ ම පහළවිය හැකි වීමට හා අන්‍ය සත්ත්වයන්ට එසේ

නො හැකි වීමට ද ඔහුට පමණක් පටන් ගැනීමක් මුලක් නැතිවීමට හා අන්‍යයන්ට ඇති වීමට ද කිසිම හේතුවක් නොමැතිව සත්ත්වයන් මැවිය හැකි බලයක් ඒ දෙවියාට පමණක් ලැබීමට ද අන්‍යයන්ට එබඳු බලයක් නො ලැබීමට ද කාරණයක් නැත්තේ ය. එක සත්ත්වයෙක් කෙනකුගේ මැවීම නොමැතිව පහළ වී නම්:- අන්‍ය සත්ත්වයෝත් එසේ ම විය යුත්තෝ ය. එක සත්ත්වයකුගේ පටන් ගැනීම නොමැති නම්:- අන්‍යයන්ගේ ද පටන් ගැනීම නැතිවිය යුතුයි. පුටුව සෑදීමට වඩුවෙක් සිටිය යුතුවාක් මෙන් ලෝකය හා සත්ත්වයන් මැවීමට කෙනෙක් සිටිය යුතු නම් ඒ ලෝක වඩුවා මැවීමට ඔහුටත් වඩා දක්‍ෂ මැවුම් කාරයෙක් සිටිය යුතු ම ය. යට කී පීඨවඩ්ඪකී න්‍යායෙන් බලන කල ඔහු මැවීමට ද තවත් මැවුම් කරුවෙක් සිටිය යුතු වේ. මෙසේ මැවුම් කාරයන් සොයන්නට ගිය හොත් මැවුම්කාර පරම්පරාවේ කොණක් කවර කාලයක ලැබේද? නො ලැබේ ම ය. කරුණු මෙසේ හෙයින් සර්ව බලධාරී වූ එක සත්ත්වයෙක් ඉබේ ම පහළ වී මේ ලෝකය හා සත්ත්වයන් මැව්වාය යන කීම කිසි ම යුක්තියකට නො ගැලපෙන බව දතයුතු.

මැවීම විශ්වාස කරන්නන් තම තමා ගැන කල්පනා කරන්නාක් මෙන් එක ම සත්ත්වයෙක් පමණක් මේ ලෝකයට අහේතුකව පහළ වූයේ කෙසේ ද? ඔහු දෙවි වූයේ කෙසේ ද? සර්‍ව බලයන් ම ඔහුට ලැබුණේ කෙසේද? ඔහු කෙරෙහි පවත්නා මැවිය හැකි ශක්තිය කුමක්ද? ඒ ශක්ති විශේෂයෙන් ලෝකයත් සත්ත්වයාත් කෙසේ සැදුනේ ද? ලෝකාවයව වූ වෘක්‍ෂ පර්‍වතාදි ද්‍රව්‍යයන් හා සත්ත්වයන් සෑදෙන්නේ දේව බලයකින් ද? නැතහොත් ධාතූන්ගේ බලයෙන් ද? යන ආදි වශයෙන් මැවුම්කාර දෙවියන් ගැන හා මැවීම ගැනත් කල්පනා කෙරෙත් නම්:- එය ඔවුන්ට තිබෙන මිථ්‍යාලබ්ධිය තුනීවීමට කාරණයක් වන්නේ ය.

මැවීම පිළිගෙන සිටින්නෝ එය ස්ථිර කර ගැනීම සඳහා පොළොව උසුලා සිටීමට තවත් පොළොවක් ද, හිරුට එළිය දීමට තවත් ඉරක් ද, මලකට සුවඳ දීමට තවත් මලක් ද, උවමනා

නො වන්නාක් මෙන් මැවුම්කාරයා මැවීමට තවත් මැවුම්කාරයකු උවමනා නැතැයයි කියති. නමුත් එයින් ඔවුහු කිසි පිහිටක් නො ලබති. කුමක් හෙයින්ද යතහොත්? උසුලන තවත් පොළොවක් නොමැතිව පොළොව පවත්නාක් මෙන් ද, තවත් ඉරකින් එළිය නො ගෙන ඉර එළිය කරන්නාක් මෙන් ද, තවත් මලකින් සුවඳ නොගෙන මල සුවඳ විහිදවන්නාක් මෙන් ද මැවුම්කාරයෙක් නැතිව ලෝකය හා සත්ත්වයාත් පැවතිය හැකි බැවිනි.

තවද ලෝකයෙහි යමකු විසින් යම් දෙයක් නිපදවනු ලැබේ නම් එය සිදුකළ හැකි වන්නේ නිපදවන කර්තෘට නිපදවනු ලබන දේ සම්බන්ධව දැනීම ඇති වීමෙනි. දැනීම ඇති වන්නේ ඒ දේවල් සම්බන්ධව දන්නා වූ සිත් පහළවීමෙනි. සිත් පහළ වීම වනාහි අහේතුකව සිදුවන කරුණක් නොවේ. එය දතයුතු දේවල් චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට හමුවීම, මෙබඳු දෙයක් ඇතයයි අන්‍යයන්ගෙන් ඇසීම යන ආදි හේතූන් නිසා සිදු වේ. ඉන්ද්‍රියයන්ට හමු නො වුවද ඇති බව නොඇසුවා වූද දේවල් සම්බන්ධව ධ්‍යානලාභියකුට හැර අන් කිසිවකුට කිසි කලෙක සිත් පහළ නොවෙයි.

යමකුගේ දිවෙහි එක් වරකුදු පැණි රස දෙයක් නො තැවරුණේ වේ නම් හෝ පැණි රස ඇති බව අන්‍යයකු කියනවා හෝ එකවරකුදු නො ඇසුවේ නම්:- ඔහු ලොව පැණි රස දේවල් ඇති බව නො දනී. මෙසේ පැණි රසය ඇති බව නො දන්නා වූ තැනැත්තාට මම පැණි රස සොයමිය, පැණි රස දෙයක් සාදමිය යන සිත කිසිකලෙකත් පහළ නොවේ. එබඳු සිතක් පහළ වේ යයි කියතහොත් එය අසත්‍යකි. පැණි රස දන්නා වූ සිතක් පවා පහළ නො වූ තැනැත්තා පැණි රස දේවල් සොයනවාය සාදන්නට උත්සාහ කරනවාය කියනවා නම් එය සම්පූර්ණයෙන් ම අසත්‍යකි. සිද්ධවිය නො හැකි දෙයකි. සිත් වනාහි ලෝකය මැව්වාය කියන දෙවියකුට හෝ වේවා මනුෂ්‍යයකුට හෝ වේවා තිරිසනකුට හෝ වේවා යමකුට පහළ වෙත් නම්; ඒ සියල්ල ම දැනීම් ස්වභාවයෙන් සමාන වෙයි. දෙවියන්ගේ සිතය කියා සිතෙහි වෙනසක් විය හැකි නොවේ. දක්නා වූ සිතට චක්ෂුර්විඤ්ඤාණය යි කියනු ලැබේ. ඒ වනාහි කාට උපනත් දතයුතු වස්තුව ඇසට හමුවීමෙන් ම උපදී. අන්‍ය සිත්වල ඉපදීම ද මෙසේ ම ය. එබැවින් සිත් ඉපදීමට හේතු ද ඒකාකාර විය යුත්තාහු ය.

ලෝකය වනාහි ඉතා විසිතුරු වූවකි. ලෝකාවයව වූ එකිනෙකට සමාන නො වූ සත්ත්ව වර්ගයෝ ද, වෘක්‍ෂ ලතා වර්ග ද, තෘණ වර්ග ද, ලෝහවර්ග ද, ගල්වර්ග ද, මැටි වර්ග ද, තදන්‍ය දේවල් ද, ලක්‍ෂ ගණන් ඇත්තාහු ය. ලෝකය යමකු විසින් මවනු ලැබුවා ය කීම සත්‍යක් නම්:- මැවීමට පෙර ඉන් එකකුදු නො තිබුණේ ය. ඒවා නො තිබූ බැවින් මැවුම් කාරයාගේ ඉන්ද්‍රියයන්ට කිසිවක් හමු නුවූයේ ය. දිවෙහි කිසි කලෙක පැණි රස දෙයක් නො තැවරුනාවූ යටකී පුරුෂයාට ලොව පැණි රස තිබෙන බව දත නොහැක්කාක් මෙන් ලෝකාවයවයන් ගැන මැවුම්කාරයාට දතහැකි නොවේ. ඒවා දන්නා සිත් මැවුම්කාරයාට නූපදී. පැණිරස ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැණිරස සොයමිය පැණිරස දෙයක් සාදමිය යන අදහස ඇති නො වන්නාක් මෙන් දෙවියන්ට ද මම පොළවක් මවමි ය, අහසක් මවමි ය, මිනිසෙක්, ඌරෙක්, කුකුළෙක්, බල්ලෙක්, එළුවෙක්, බැටළුවෙක් මවමිය යන අදහස කිසි කලෙක පහළ නොවේ ම ය. ඉදින් නො දන්නා ලද දේවල් සාදන්නට අදහස් කරනවාය කියා නම් සම්පූර්ණයෙන් අසත්‍යකි. සෑදීමට අදහස් පවා පහළ නො විය හැකි දෙය සෑදුවාය යි කියතහොත් ලොව ඊට වඩා අසත්‍යක් තවත් ඇත්තේ ද? නැත්තේ ම ය. එබැවින් ලෝකය මැවූ කෙනෙක් නැති බව දතයුතු.

පෙර ලෝකයේ නො තිබූ මේ කාලයේ සාදන්නා වූ යන්ත්‍රාදිය නිර්මාණය කිරීමට සිත් පහළවීම සිදුවන්නේ ඉන්ද්‍රියයන්ට හමුවීමෙන් දන්නා ලද්දාවූ ද අසන ලද්දා වූ ද දේවල් සම්බන්ධයෙනි. දැන් ලෝකයෙහි පවත්නා වූ ද්‍රව්‍යයන් නො ගෙන අමුතුවෙන් ම නිපදවන්නා වූ කිසිවක් නැත්තේ ය. එබැවින් වර්‍තමාන ශාස්ත්‍රඥයන්ට අමුතු දේවල් නිපදවිය හැකි වන්නාක් මෙන් මැවුම් කාරයාටත් මැවිය හැකි වීයැයි වරදවා ගෙන මුළා නො විය යුතු.

සත්ත්වයන් මැව්වාය යන දෘෂ්ටිය ඇති වූ සැටි.

මේ සත්ත්වයන් යම් කිසි ඊශ්වරයකු විසින් මවන ලද්දේය යන දෘෂ්ටිය ඉතා දීර්ඝකාලයක පටන් සත්ත්වයන් අතර පැවත එන්නේ ය. එය පළමු කොට බඹලොව බඹුන් අතර පහළ වී එයින් මේ මිනිස් ලොවට ද පැමිණියේ ය. එහි පිළිවෙළ බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වා තිබේ.

ඒ මෙසේයි:-

මේ ලෝකය සෑම කල්හි ම සෙදේ නො පවතී. ඉතා දීර්ඝ කාලයකින් එය නස්නේ ය. එකල්හි මේ සත්ත්වයෝ බොහෝ සෙයින් ධ්‍යානභාවනා කොට ආභස්සර නම් වූ බ්‍රහ්මලෝකයෙහි උපදිති. එහි ඒ සත්ත්වයෝ ප්‍රීතිය ම ආහාර කොට ඇතිවැ, තමාගේ ම ශරීරාලෝකය ආලෝක කොට ඇතිවැ, සිත්කළු වූ වස්ත්‍රාභරණයෙන් සැරසී අලංකාර උද්‍යාන විමාන වල ඉතා දීර්ඝ කාලයක් වෙසෙති. දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් නැවත ලෝකය හට ගන්නා වූ කාලයක් පැමිණේ. එකල්හි පළමු කොට ආකාශයේ එක් ප්‍රදේශයක කිසිවකු නැති බ්‍රහ්ම විමානයක් පහළ වේ. එකල්හි ආභස්සරයෙහි සිටින බ්‍රහ්මයන්ගෙන් කෙනෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ එයින් චුතව අළුත පහළ වූ හිස් වූ බ්‍රහ්ම විමානයෙහි උපදී. ඔහු ආභස්සරයෙහි සිටියාක් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇතිවැ අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී ආකාසයෙන් ගමනාගමනය කරමින් මනෝඥ වූ උද්‍යාන විමානයන්හි හුදකලාව සිට දීර්ඝ කාලයක් ගත වූ කල්හි මා වැනි තවත් සත්ත්වයෝ මේ ලෝකයට පැමිණියාහු නම් මැනවැයි සිතයි.

මෙසේ සිටින අතර ආයුෂය ගෙවුනා වූ ද කර්මය ගෙවුනා වූ ද බ්‍රහ්මයෝ අනුක්‍රමයෙන් ආභස්සරයෙන් චුතව ඔහුගේ බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. ඒ සත්ත්වයෝ ද පළමු උපන් බ්‍රහ්මරාජයා මෙන් ම ප්‍රීතිය ආහාර කොට ආලෝකමත් ශරීර ඇතිව ආකාශචාරීව දීර්ඝ කාලයක් එහි වෙසෙති. මෙසේ සිටින කල ඒ බ්‍රහ්මයන් අතුරෙන් පළමු උපන් බ්‍රහ්මතෙම තමා තවත් සත්ත්වයන් උපදිත්වායි සිතූ බැවින් පසුව උපන් සත්ත්වයන් පහළ වූවායි වරදවා සිතා මේ සත්ත්වයෝ මා විසින් මවන ලද්දාහු ය, මම ඔවුන්ගේ මැව්කාරයාය, සියල්ල ම දන්නා තැනැත්තාය, ලෝකයේ ප්‍රධානියායි පිළිගනී. පසුව උපන් බ්‍රහ්මයෝ ද තම තමන් උපදිද්දී ඔහු සිටිය බැවින් හා ඔහු අන්‍යයන්ට වඩා ආනුභාව සම්පන්න බැවින් ද මේ බ්‍රහ්ම තෙම ලෝකය මැව් තැනැත්තාය, අපි ඔහු විසින් මවනු ලැබුවෝයයි පිළිගනිති. මේ පළමු කොට ම බ්‍රහ්මලෝකයේ සත්ත්වයන් මැව්වාය යන දෘෂ්ටිය උපන් ආකාරයයි.

ඒ බ්‍රහ්ම ලෝකයෙහි උපන් බ්‍රහ්මයන් අතුරෙන් ද පසුව උපන් බ්‍රහ්මයෝ පළමු උපන් බ්‍රහ්මරාජයාට වඩා මඳ වූ ආයු ඇත්තෝ වූහ. එබැවින් ඔවුහු පළමු කොට ඉන් චුතව ඔවුන්ගෙන් සමහර කෙනෙක් මේ මිනිස් ලොවට පැමිණෙති. එයිනුදු ඇතැම් කෙනෙක් ගිහිගෙය හැරදමා තපසට වනයට ගොස් ධ්‍යාන උපදවා ගනිති. එසේ ධ්‍යාන උපදවා ගත් තැනැත්තාට පෙර විසූ කඳ පිළිවෙල දක්නා වූ නුවණ පහළ වේ. එයින් තමා අතීතයේ සිටියා වූ බ්‍රහ්ම ආත්මය පමණක් දකී. ඔහුගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය දුර්‍වල බැවින් ඉන් පූර්‍වයෙහි තමා ඉපිද සිටිය කඳ පිළිවෙළ ඔහුට නො පෙනේ. එබැවින් ඔහු ඉන් අතීතයෙහි තමා සිටි බව නො දැන බඹලෙව්හි සිටියදී ගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටිය නැවතත් ගනී. ඔහු මහජනයාට ද මෙසේ ප්‍රකාශ කරයි.

“මම වනාහි මහත් වූ වීර්‍ය්‍යයෙන් චිත්ත සමාධියකට පැමිණියෙමි. ඒ මට අතීතයෙහි විසූ කඳ පිළිවෙළ පෙනේ. මම අතීතය දක්නෙමි. මේ සත්ත්වයන්ගේ උප්පත්තිය සිදු වූයේ මෙසේ ය. බඹ ලෙව්හි ලෝකයට අධිපති වූ සියළු ලෝකය ම තමාගේ වසයෙහි පවත්නා වූ තමා මැඩපැවැත්විය හැකි කිසිවෙක් නැත්තා වූ කිසි කලෙක නො මැරෙන්නා වූ සියල්ල දත්තා වූ බ්‍රහ්ම රාජයෙක් ඇත. අවශේෂ සත්ත්වයෝ ඔහු විසින් මවන ලද්දාහු ය. මවන ලද අපි වනාහි ඔහු මෙන් නිත්‍ය නො වෙමු. අල්පායුෂ්ක වෙමු. එබැවින් ඒ බඹලොවින් චුතව මෙහි පැමිණියෙමුයයි” ප්‍රකාශ කරයි. මේ මනුෂ්‍ය ලෝකයට බ්‍රහ්මයා විසින් සත්ත්වයන් මවන ලද්දේ ය යන මිථ්‍යා දෘෂ්ටිය පැමිණි පිළිවෙළයි. මෙය ක්‍රමයෙන් මනුෂ්‍යයන් අතර පැතිරයාම නිසා මැවීම උගන්වන ආගම් ලෝකයේ බහුල වූහ. කරුණු මෙසේ හෙයින් නිර්මාණ වාදය පරම අසත්‍යක් බැව් දතයුතු.

අභිනව සත්ත්වයෝ

ලෝකයේ පෙර පටන් ම සිටින සත්ත්වයන් හැර අළුත් අළුත් වූ සත්ත්වයෝ ද උපදිත් යයි ඇතැම් කෙනෙක් විශ්වාශ කරති. නිරවශේෂයෙන් සකල ධර්මයන් දැන වදාළා වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි අභිනව සත්ත්වයන් පහළ වන බවක් නො වදාළ සේක. අභිනව සත්ත්වයන් උපදින බව ප්‍රකාශ කරන්නවුන් අතුරෙන් ඇතැම් ආගම් කාරයන්ගේ මතයේ හැටියට සෑම සත්ත්වයෝ ම අභිනව සත්ත්වයෝ ය. ඔවුන්ගේ මතය එක ගසකින් තවත් ගස් හට ගන්නාක් මෙන් පරම්පරාව බෝ විය හැකි වන පරිද්දෙන් දෙවියන් විසින් මවන ලද සත්ත්වයන්ගෙන් බෝවීමෙන් පෙර නො සිටි අභිනව සත්ත්වයන් උපදින බවයි. එක ගසකින් බෝවී හට ගන්නා වූ ගස් මෙන් මව්පියන්ගෙන් හට ගන්නා වූ දරුවෝ පෙර සිටි සත්ත්වයන් නොවේ යයි කිසිසේත් පිළිගත හැකි නොවේ. කුමක් හෙයින්ද යතහොත්? ගස මෙන් සත්ත්වයෝ එකෙක් අනිකකුට සම නො වන බැවිනි. එක ගසෙක හට ගන්නා වූ බීජයන් ඒ ගස පැවති ප්‍රදේශයේ සෘතු ගුණයට හා පොළොවේ ගුණයට සමාන වූ ඍතු ගුණය හා පෘථිවි ගුණය ඇති ප්‍රදේශයක රෝපණය කළහොත් ඒ ගස් සියල්ල ම මාතෘ වෘක්‍ෂයට සමාන වෙයි. මාතෘ වෘක්‍ෂය පැණි රස පල දරන ගසක් වී නම් එයින් බෝ වූ ගස් ද එසේ ම වෙයි. මාතෘ වෘක්‍ෂය ඇඹුල් රසැති පල දරන ගසක් වී නම් සෙසු ගස් ද එසේ ම වෙයි. ශීතෝෂ්ණාදි ගුණ වලින් මාතෘ වෘක්‍ෂය යම් ගුණයකින් යුක්ත වේ නම් ශේෂ වෘක්‍ෂයෝ ද ඒ ගුණයෙන් ම යුක්ත වෙති. නමුත් මනුෂ්‍යයෝ එසේ නො වෙති.

එක මව් කෙනකුගේ කුසින් එක ම පියකුට දාව සමාන වූ ඍතු ආහාරයෙන් වැඩී එක දවසෙක එක නැකතකින් උපන්.මනුෂ්‍යයන් දෙදෙන පවා ඔවුනොවුන් හා සමාන නො වෙති. ඇතැම් විටෙක ඔවුන්ගෙන් එකෙක් අධික මසුරෙක් වී අනිකා නිර්ලෝභියෙක් හෝ වේ. එකෙක් නැණවතෙක් ව අනිකා මෝඩයෙක් හෝ වේ. එකෙක් බියසුල්ලෙක්ව අනිකා නිර්භය වූවෙක් හෝ වේ. එකෙක් අලසයෙක්ව අනිකා වීර්‍ය්‍යවන්තයෙක් හෝ වේ. එකෙක් ශ්‍රියාවන්තයෙක්ව අනිකා කාළකණ්ණියෙක් හෝ වේ. එකෙක් රූපත්ව අනිකා විරූපී හෝ වේ. එකෙක් බොහෝ රෝග ඇත්තෙක්ව අනිකා නිරෝගි වූවෙක් හෝ වේ. එකෙක් දීර්ඝායුෂ්කයෙක්ව අනිකා මන්දායුෂ්කයෙක් හෝ වේ. සමාන වූ මව්පියන් හා සෘතු ආහාර ඇතිවත් මෙසේ එකෙක් අනිකකුට වෙනස් වන්නේ ඔවුන්ගේ උත්පත්තියට හේතු මාතෘ පීතෘ සෘතු ආහාර පමණක් ම නො වන බැවිනි. ඉදින් ඔවුන්ගේ උත්පත්තියට හේතු ඒවා නම් වෘක්‍ෂ ලතාවන් මෙන් ඔවුන් ද සමාන ගති ගුණ ඇත්තවුන් වන්නාහු ය. මාතෘ, පිතෘ, සෘතු, ආහාර, සඞ්ඛ්‍යාත, ජනකෝපස්තම්භක හේතූන්ගේ සමත්වය ඇති කල්හිදු ඇත්තා වූ මේ සත්ත්ව නානත්වයට හේතු කවරේදැයි විමසත හොත් ඊට හේතුව ඔවුන් විසින් අතීතයෙහි කරන ලද පින් පව් දෙක බව පිළිගත යුතු වේ. අතීතකෘත පුණ්‍යපාපයන් ඇති වීමට ඔවුන් පෙරත් සිටියා වූ සත්ත්වයන් විය යුතු වේ. එබැවින් දැන් උපදින්නා වූ සත්ත්වයෝ මව්පියන් නිසා උපදින නමුත් එය සත්ත්වෝත්පත්තියට ප්‍රධාන හේතුව නො වන බව හා සත්ත්වයන් විසින් කරන ලද කුශලාකුශල කර්‍මයන් විසින් චිත්තසන්තතිය භවාන්තරයට පැමිණ වීමෙන් සත්වෝත්පත්තිය සිදු වන බව ද දතයුතු.

ඇතැම් කෙනෙක් සතර මහාභූත ධාතූන් විසින් අභිනව සත්ත්වයෝ නිර්මිත කරනු ලැබෙත්ය යි කියති. ඔවුහු ඊට සාක්ෂ්‍ය වශයෙන් කුණු වූ මත්ස්‍ය මාංශ, දිරාගිය කසළ, පල් වූ ජල සෙවෙල් ආදියෙහි උපදින්නා වූ සංසේදජ සත්ත්වයන් දක්වති. මේ මතය ද යට දැක් වූ සත්ව නානත්වය නිසා ම පිළිගත හැකි නොවේ. ජල සෙවෙල් ආදි සමාන හේතුවෙන් නොයෙක් ස්වභාව ඇති නොයෙක් වර්ග වලට අයත් සත්ත්වයෝ උපදිති. එක වර්ගයකට අයත් සත්ත්වයෝ ද එකිනෙකට වෙනස් වූ අදහස්, වෙනස් වූ ගතිගුණ ඇත්තෝ වෙති. ඉදින් අතීත කර්ම හේතු විරහිතව මහා භූතයන්ගේ හේතුවෙන් ම ඒ සත්ත්වයෝ උපන්නාහු නම් ඔවුහු එකිනෙකාට සමාන වන්නාහුය. නුමුත් එසේ නො වෙති.

තවද අභිනව සත්ත්වයන් ඉපදවිය හැකි ශක්තියක් මහාභූත ධාතූන්ට නැත්තේ ය. ඒ බව ධාතූන්ගේ තත්ත්වයට අනුව කල්පනා කිරීමෙන් දතහැකි වේ. එක් එක් සත්ත්වයෙක් පිළිබඳ ධාතු දෙවර්ගයක් වෙයි. එනම්:- නාමධාතු, රූප ධාතු යන දෙවර්ගයයි. එයින් නාමධාතු එනම්:- සත්ත්වයාගේ විඥානය (සිත) හා ඒ හා මිශ්‍රව පවත්නා වූ ලෝභාදි ධර්මයෝ ද යන අරමුණු කරා නැමෙන්නා වූ ස්වභාවය ඇත්තා වූ ධර්ම සමූහයයි. රූප ධාතු නම්:- සතර මහා භූතයන් හා ඔවුන් නිසා පවත්නා වූ වර්‍ණ ගන්ධ රසාදිය ද යන සත්ත්වයාගේ ශරීරය සෑදී තිබෙන්නා වූ රූප සමූහයයි. මේ ධාතු දෙවර්ගය අතුරෙන් නාම ධාතු ප්‍රධාන ධාතු වර්ගයයි. කුමක් හෙයින්ද? එය රූප කයට අධිපති වැ තමා කැමති පරිද්දෙකින් රූප කය පවත්වන හෙයින් හා සුවදුක් විඳීමාදිය ද එයින් ම කරන බැවිනි. නාම ධාතූන් අතුරෙනුදු විඤ්ඤාණ ධාතුව (සිත) ප්‍රධාන ධාතුවයි. කුමක් හෙයින්ද? ලෝභාදි ධර්මයෝ විඥාන ධාතුව ඇසුරු කොට එය ඇති කල්හි ම පවත්නා බැවිනි. සත්ත්වයාගේ විඤ්ඤාණ ධාතුව අසංඥ භවයෙහි ඉපදීම නිසා ඇතැම් විටෙක තාවකාලික වශයෙන් නො පවතින නමුත් සර්‍වාකාරයෙන් විඤ්ඤාණ ධාතුව නැත්තා වූ සත්ත්වයෙක් නැත්තේ ය. ඉන් වෙන්ව සත්ත්වයකු නො සෑදේ. සත්ත්වයා සම්බන්ධ විඤ්ඤාණ ධාතූහු ද එකක් නිරුඬ වූවාට පසු එකක් ඉපදීමෙන් පරම්පරා වශයෙන් එක වැලක් වී පවතිනවා මිස මහාභූතයන් මෙන් එකවර සියදහස් ගණන් උපදමින් පවත්නාහු නොවෙති.

එක සත්ත්වයකුගේ ශරීරයක පවත්නා වූ මහාභූත පරම්පරා දහස් ගණනකි. ඇස සම්බන්ධ භූතපරම්පරාව එකකි. කන සම්බන්ධ භූතපරම්පරාව එකකි. කෙස් ලොම් ආදියෙහි ද එක එක කෙස් ගසක් ලොම් ගසක් සම්බන්ධ රූප පරම්පරා වෙන් වෙන් වශයෙන් පවතිත්. මෙසේ ඒ ඒ ශාරීරික කොටස් බලා මහා භූතයන්ගේ වෙන් වෙන් වූ පරම්පරා දත යුත්තාහු ය. මේ භූතපරම්පරා එක එක පරම්පරාවක් අනික් අනික් පරම්පරාවක් ගැන අපේක්‍ෂාවක් නොමැතිව පවතිත්. සත්ත්වයාගේ ශරීරාවයව වී පවත්නා වූ භූතයෝ ද බාහිර වූ භූතයෝ ද යන භූත සියල්ල ම විඥානෝත්පත්තියට උපකාර වෙති. එබැවින් ධාතූන්ගේ බලයෙන් සත්ත්වයාගේ ප්‍රධාන කොට්ඨාසය වූ විඥානධාතුව උපදියි.

උපදින සැටි මෙසේ දතයුතු. සත්ත්ව ශරීරයේ අවයවයක් වූ ඇස ඉදිරියට යම් දෙයක් පැමිණියේ නම් එහි වර්ණය ඇසෙහි ඔපයේ ගැටීමෙන් ඇස හා ඉදිරියෙහි තිබෙන දෙය ද යන ධාතූන් නිසා චක්ෂුර්විඥානයයි කියනු ලබන දකින්නා වූ හෙවත් ඇස ඉදිරියෙහි තිබෙන දෙය දැන ගන්නා වූ සිත පහල වේ. මෙසේ සෝතාදි ඉන්ද්‍රියයන්හි ශබ්දාදිය ගැටීමෙන් ද විඥාන ධාතූහු උපදිති. ඉන්ද්‍රියයන් හා ආරම්මණයන්ගේ ගැටීමෙන් සිදුවන මේ විඥානෝත්පත්තිය ගිනිකූර හා ගිනිපෙට්ටියේ ගැටීමෙන් ගිනි හට ගැනීම මෙන් දතයුතු. මෙසේ රූප ධාතූන් විසින් සත්ත්වයා සම්බන්ධ ප්‍රධාන ධාතුව වූ විඥාන නිර්මිත කරනු ලබන කල්හි ඔවුන්ට විඥාන ධාතු උපදවා අභිනව සත්ත්වයන් නිර්මිත කළ නොහේද යතහොත්, නිර්මිත කළ නොහේ. කුමක් හෙයින්ද? මහාභූතයන්ට ස්වභාවයෙන් ම පවත්නා වූ විඥානධාතු පරම්පරාවකට සම්බන්ධව ම අභිනව විඥානයන් පහළකර විය හැකි වන නමුත් එබඳු විඥාන පරම්පරාවකින් වෙන්ව විඥාන ඉපදවිය නො හැකි බැවිනි. ඒ බව කෙසේ දත හැක්කේ ද යතහොත් එක සත්ත්වයෙකුගේ ශරීරයෙහි විඥානධාතුවේ උප්පත්තියට උපකාර වන ඉන්ද්‍රියන් පිහිටා තිබෙන තැන් බොහෝ ය. ඒ තැන් වල එක විට රූපාදි බොහෝ අරමුණු සැපෙති. නමුත් විඥානය පහළ වන්නේ පුද්ගලයාගේ චිත්ත සන්තතිය යොමුවී තිබුන ආරම්මණය ගැන ම ය. අන්‍ය ආරම්මණ සියල්ල ම ඉන්ද්‍රියයන්හි සැපුන නමුත් සිත් පහළ නො කරවති. පොතක් බලන්නා වූ තැනැත්තාගේ ඇසෙහි පොතේ පිටක තිබෙන පමණ අකුරුවල ඡායා ගැටීමට පැමිණෙති. නමුත් සිත් පහළ වන්නේ තමා අපේක්‍ෂා කරන අකුර ගැන පමණකි. ඒ අකුරු දක්නා වූ සිත් පහළවන කල්හි එහි තිබෙන අනික් එක අකුරකුදු දක්නා වූ සිත් පහළ නො වෙයි. එබැවින් එක සත්ත්ව සන්තානයක සිත් ඉපදීමට ආධාර වන තැන් බොහෝ වෙතත් එකවර පහළ වන්නේ එක සිතක් ම බව දතහැකි වේ. මෙසේ විඥානෝත්පත්තියට හේතු වන්නා වූ ඉන්ද්‍රියයන්හි රූපාදීන්ගේ ගැටීම සිදු වුව ද සත්ත්වයා පිළිබඳ ස්වභාවයෙන් පවත්නා චිත්තසන්තතියෙහි ම මිස ඉන් වෙන්ව අන් තැනක සිතක් නූපදින බැවින් පවත්නා චිත්ත පරම්පරාවක ආධාරය නොමැතිව භූතයන්ට විඥාන ධාතු ඉපදවිය හැකි නො වන බව දත හැකි වේ.

ඉන්ද්‍රියයන්හි රූපාදිය සැපීම නිසා විඤ්ඤාණ ධාතූන් උපදින බව ලෝක ප්‍රසිද්ධ කාරණයකි. පණුවන්, මදුරුවන් ආදි සංසේදජ සත්ත්වයන්ගේ උප්පත්තිස්ථානය වූ පල් වතුර මඩවගුරු කෙළ පඩික්කම් ආදියෙහි රූපාදීන්ගේ සැපීමට ස්ථාන වූ ඉන්ද්‍රියන් අතුරෙන් එකකුදු නැත්තේ ය. ඉන්ද්‍රියන් ඇත්තා වූ සත්ත්ව ශරීරයෙහි පවා තිබෙන්නා වූ චිත්ත පරම්පරාවේ ආධාරය නොමැතිව රූපාදීන්ට විඥානයක් පහළ කරවිය හැකි නො වන කල්හි එක ම ඉන්ද්‍රියකුදු නැත්තා වූ පල්වතුර ආදියෙහි අභිනව විඥාන පරම්පරා කෙසේ පහළ වෙත්ද? නො වෙත් ම ය. එබැවින් භූතයන්ට අභිනව විඥාන ධාතු පරම්පරාවක් පටන් ගන්වා පෙර පටන් ම සිටින සත්ත්වයන් හැර අභිනව සත්ත්වයන් නිර්මාණය කළ නොහෙන බව දතයුතු. පල් වතුර මඩ වගුරු ආදියෙහි උපදින්නා වූ සත්ත්වයෝ ද පෙර පටන් සිටින පරණ සත්ත්වයෝ ම ය. ඔවුන් විසින් කරන ලද පාප කර්මයන් විසින් ඔවුන්ගේ චිත්ත සන්තතිය ඒ දුර්ගන්ධස්ථානයන්ට පමුනුවනු ලැබීමෙන් ඒ සත්ත්වයෝ උපදිති.

මෙතෙකින් අභිනව සත්ත්වයන් නූපදින බව දක්වන ලදී.

නිවන් යාමෙන් සත්ත්වයන් අඩුවී ලෝකය හිස්වන නොවන බව

අභිනව සත්ත්වයන් පහළ නොවෙත් නම් පුරාණ සත්ත්වයන් නිවනට පැමිණීමෙන් ක්‍රමයෙන් සත්ත්වයන් අඩුවී දීර්ඝ කාලයකින් ලෝකය හිස් නො වන්නේ ද යනු සත්ත්වයන් සම්බන්ධව බොහෝ දෙනෙක් අසනු ලබන්නා වූ ගැඹුරු ප්‍රශ්නයකි. ඊට දිය යුතු පිළිතුර නම් කවර කලෙක වත් සත්ත්වයන් අඩුවී ලෝකය හිස් නො වන්නේ ය කියායි. මේ පිළිතුර යට දැක්වූ පටන් ගැනීම නැති බව මෙන් ම එක පක්‍ෂයකට අනුව කල්පනා කරන්නා වූ තැනැත්තාට අසත්‍ය සේ වැටහේ.

ලෝකයෙහි ප්‍රමාණයක් ඇත්තා වූ ද නැත්තා වූ ද ස්වභාවධර්‍ම දෙකොටසක් වෙති. එයින් මහ පොළොව මහ සමුදුර මෙරගල ආදිය ප්‍රමාණවත් වස්තූන්ගේ පක්‍ෂයෙහි විශාල වස්තු වෙති. ඒවා කොපමණ මහත් වූ නමුත් සැතැප්ම ගණනින් මෙතෙක් සැතැප්මය යොදුන් ගණනින් මෙතෙක් යොදුන් යයි ප්‍රමාණයක් ඇති බැවින් ඒවායින් අවුරුදු දහසකට ඇබැටක් පමණ කොටසක් බැගින් අඩුකළත් නො වැඩී පවත්නාහු නම් දීර්ඝ කාලයකින් ඒවා සම්පූර්ණයෙන් ම නැතිවන්නාහු ය. ප්‍රමාණවත් වස්තූන් නමැති එක පක්‍ෂයකට අනුව සත්ත්වයන් ගැන කල්පනා කරන්නා වූ තැනැත්තා සත්ත්වයෝ කොපමණ සිටියත් ඔවුන්ගෙන් අවුරුදු දහසකට ලක්‍ෂයකට එකෙක් බැගින් නිවන් ගියත් මහ පොළොව මහ සමුදුර ආදිය මෙන් කාලාන්තරයකින් අවසන් වන්නාහුයයි වරදවා සිතා ගනී. සත්ත්වයෝ අනන්ත වෙති. ඔවුන්ගේ පරිච්ඡේදයක් ප්‍රමාණයක් නැත්තේ ය. ප්‍රමාණයක් නැත්තා වූ අනන්ත පක්‍ෂයෙහි වූ ස්වභාවයන්ගේ අඩුවැඩි වීමක් අවසන් වීමක් නැත්තේ ය. ඒ බව මෙසේ තේරුම් ගත යුතු. පටන් ගැනීමක් නැති බැවින් අතීත කාලය ද අවසානයක් නැති බැවින් අනාගත කාලය ද අනන්ත වෙයි. ඒ කාල දෙකින් වඩා දීර්ඝ කාලය කුමක්දැයි සොයතහොත් දෙක ම දීර්ඝ ප්‍රමාණයෙන් සමයයි පිළිගත යුතු වේ. අතීතය අනාගතයට වඩා හෝ අනාගතය අතීතයට වඩා හෝ දිගය කියා හෝ කොටය කියා හෝ කිව හැකි නොවේ.

මහපොළොව ආදි ප්‍රමාණවත් වස්තූන්ට අනුව කියතහොත් එයින් එකක් දිගයයි ද අනික කොට යයි ද කිව යුතු වේ. කුමක් හෙයින්ද යතහොත් මොහොතක් පාසා ම වර්‍තමානකාලය ඉක්ම ගොස් අතීත කාලයට ඇතුළත් වීම හා අනාගත කාලය වර්‍තමාන භාවයට පැමිණීම ද සිදුවන බැවිනි. මෙසේ අතීත කාලයාගේ වැඩීම හා අනාගත කාලයේ කොට වීම මොහොතක් පාසා සිදුවන නමුත් සෑම කල්හි ම අතීතය පමණ වූ අනාගත කාලය ඇත්තේ ය. අනාගත කාලය අද යම් පමණ නම් මින් වර්ෂ කෝටියක් ගතවී ලබන දිනයෙහි ද ප්‍රකෝටියක් ගතවී ලබන දිනයෙහි ද එපමණ ඇත්තේ ය. අනාගතය අඩුවී අවසන් වී යාමක් කවර කලෙකවත් නොවන්නේ ය. මේ අනන්ත ධර්මයන්ගේ ස්වභාවය යි. තවද ආකාශය ද අනන්ත වූවකි. එබැවින් එහි කොතැනක සිට කථා කළත් එතැන සිට දස දිගට ම අනන්ත වශයෙන් සමව අවකාශය ඇත්තේ ය. එතැන සිට යම්කිසි ඍධිමතෙක් විනාඩියකට යොදුන් ලක්‍ෂයක් යන්නා වූ වේගයෙන් වර්ෂ ලක්‍ෂයක් එක දිශාවක් බලා ගමන් කොට පැමිණි තැන සිට කථා කළත් ඔහු බොහෝ දුර ගියේ ය කියා ඔහුගේ ඉදිරියේ තිබෙන ආකාශයේ අඩුකමක් හා පසුභාගයේ තිබෙන ආකාශයේ වැඩිකමක් ද නොවේ.

දෙපසෙහි අනන්තභාවයෙන් සමව ම ආකාශය තිබේ. කවර කලෙකවත් එහි කොනකට නොපැමිණේ. ප්‍රමාණය ඇත්තා වූ වස්තුවක යමෙක් මෙසේ ගමන් කළේ නම් ඒ වස්තුවේ ඔහුගේ පිටිපස තිබෙන ප්‍රදේශය මහත්වීම හා ඉදිරියේ තිබෙන ප්‍රදේශය කුඩා වීම ද පියවරක් පාසා සිදු වේ. අනන්ත වස්තු එසේ අඩු වැඩි නොවී සමව පවතිත්. සත්ත්වයෝ ද මේ කාල ආකාශයන් මෙන් අනන්ත වෙති. සත්ත්වයන් තබා ඔවුන්ගේ වාසස්ථාන වූ සක්වළවල් ද අනන්තයහ. එක එක සක්වළක සත්ත්වයන්ගේ ද ප්‍රමාණයක් නැත්තේ ය. එබැවින් මුළු ලෝකයේ ම සත්ත්වයන්ගේ අනන්ත බව කියනු කිම. සත්ත්වයන් අනන්ත බැවින් කොපමණ නිවන් ගියත් කාල ආකාශයන් මෙන් ඔවුන්ගේ අඩුවීමක් නොවේ. සම්පූර්ණයෙන් හිස්වීම ගැන කියනුම කිම. මෙසේ අනන්ත සත්ත්වයන්ගේ අඩු නොවීම අනන්ත වස්තූන් හා සසඳා තේරුම් ගත යුතු.

මෙසේ නොව පෘථිවි සාගරාදි ප්‍රමාණවත් වස්තූන්ට අනුව සිතා මේ කාරණය තේරුම්ගත නොහේ. ප්‍රමාණවත් වස්තූන් අඩුවන බැවින් අනන්ත සත්ත්වයනුත් අවසන් වෙත්යයි කියතහොත් එය පරඬල් ලබුකටු ආදිය දියේ පාවෙන බැවින් කළුගලුත් පාවිය යුතුයයි කීම වැනි ලාමක කීමකි. එබැවින් කිසි කලෙක සත්ත්වයන් අඩුවී ලෝකය හිස් නො වන බව දතයුතු.

පුනරුත්පත්තිය

භවයෙහි නැවත නැවත ඉපදීමට හේතුවන්නා වූ තෘෂ්ණාව නමැති තෙත් ගතිය අර්හත් මාර්ගඥාන සඞ්ඛ්‍යාත ගින්නෙන් වියළවා නො හැරියා වූ සත්ත්වයෝ මරණින් මතු කර්මානුකූලව යම් කිසි භවයක ඒකාන්තයෙන් උපදින්නාහු ය. ඒ බව තේරුම් ගැනීමට යට අභිනව සත්ත්වයන් නූපදින බව දැක්වීම සඳහා කියන ලද කරුණු ම ප්‍රමාණ වෙයි. එහි සත්ත්වයෝ අතීතයෙහි ඉපිද සිටියවුන් බව හේතු සහිතව දක්වා ඇත. එයින් අනාගතයෙහි ද එසේ ම උපදින බව තේරුම් ගත හැකි වේ. එබැවින් පුනරුත්පත්තියක් ඇති බව ඔප්පු කිරීම සඳහා මෙහි කරුණු නො දක්වා එය සිදුවන සැටි පමණක් සැකෙවින් දක්වනු ලැබේ.

කම්මා විපාකා වත්තන්ති - විපාකො කම්මසම්භවො

තස්මා පුනබ්භවො හොති - එවං ලොකා පවත්තති.

මේ පුනරුත්පත්තිය සිදුවන හැටි දැක්වීම සඳහා පෞරාණිකාචාර්‍ය්‍යයන් වහන්සේලා විසින් කියන ලද ගාථාවකි. එහි අර්ථය මෙසේ යි,

කම්මා, කර්මය හේතු කොට ගෙන; විපාකා, විපාකයෝ; වත්තන්ති, පවතිත්; විපාකො, විපාකය තෙම; කම්මසම්භවො, කර්මය ප්‍රභවකොට ඇත්තේය හෙවත් කර්‍මයෙන් හට ගත්තේ ය; තස්මා, එහෙයින්; පුනබ්භවො, නැවත ඉපදීම; හොති, වේ; එවං, මෙසේ; ලෝකෝ, ලෝකය තෙම; පවත්තති, පවතී.

මෙයින් කර්ම හේතුවෙන් විපාක ඇති වීමෙන් පුනරුත්පත්තිය සිදුවන බව දක්වන ලදී. එය සිදු වන ක්‍රමය වනාහි චුතූපපාතඤාණයයි කියන ලද සත්ත්වයන්ගේ ච්‍යුති උත්පත්ති දෙක දක්නා වූ නුවණැත්තන්ට මුත් සෙස්සන්ට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකිය හැකි නොවේ. එබඳු නුවණක් නැත්තවුන් විසින් උන්වහන්සේලාගේ දේශනානුසාරයෙන් අනුමාන වශයෙන් තේරුම්ගත යුතු. එහි පිළිවෙළ සුඛාවබෝධය සඳහා මනුෂ්‍යන්ගේ වශයෙන් මෙහි දක්වනු ලැබේ. ඒ මෙසේ යි,

එක් සත්ත්වයකුගේ ශරීරයෙහි කර්මය, චිත්තය, සෘතුවය, ආහාරය යන ප්‍රත්‍යය සතරෙන් නිපදවන ලද රූප ධාතු සතර කොටසක් පවතියි. එයින් කර්මජ රූපයෝ ඇසට නො පෙනෙන්නා වූ ඉතා සියුම් වූ රූප කොටසකි. ඒවා ඉතිරි රූප කොටස් තුනේ ද ආධාරය ඇතිව ම පවත්නාහු ය. සත්ත්වයාගේ ප්‍රධාන කොට්ඨාසය වූ චිත්ත පරම්පරාව වනාහි කර්මජ රූප කොට්ඨාසයට අයත් රූපයන් ඇසුරු කොට පහන් වැටිය ඇසුරු කොට පවත්නා වූ ප්‍රදීපයක් සේ පවතී. යම් කලෙක වාත පිත්තාදි දෝෂයන් නිසා හෝ ශස්ත්‍ර ප්‍රහාරාදි අන්තරාවක් නිසා හෝ ශරීරගත ධාතූන් අතිශයින් කුපිතව සන්ධි බන්ධන සිඳීම් ආදි වූ දිවි පැහැර ගන්නා වූ ඉවසිය නො හැකි වූ බලවත් වේදනා උපදවන්නාහු නම් එකල්හි සෙසු රූපයෝ කර්මජ රූපයන්ට අනුග්‍රහ කිරීමට අසමර්ථ වෙති. එතැන් පටන් පරම්පරා වශයෙන් නො සිඳී පැවත ආවාවූ කර්මජ රූප සන්තතීන්හි අභිනව අභිනව රූප ඉපදීම නවතී. පුරාණ වූ කර්මජ රූප පමණක් නිවීයාමට ආසන්න වූ ප්‍රදීපශිකාවක් මෙන් ඉතා දුර්වලව පවතී. එකල්හි සත්ත්වයාගේ චිත්ත සන්තතිය මඳ වේලාවකින් ම නිරුද්ධ වී සිඳී යන්නට තිබෙන ඉතා දුර්වල වූ හෘදය වස්තුව, රූපයක් ඇසුරු කොට ගරුකාදි චතුර්විධ කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් විසින් වටහවන ලද කර්ම, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් යම් කිසිවක් අරමුණු කොට පවතී.

මෙහි කර්මය නම්, ස්වසන්තානයෙහි අතීතයෙහි උපන් කුශලාකුශල චේතනාවෝ ය. කර්ම නිමිති නම්, කුශලාකුශල කර්මය කිරීමට උපකරණ වූ දාන වස්තු, චෛත්‍ය, ප්‍රතිමා ආදිය හා කඩු, තුවක්කු, දුනු, දඬු මුගුරු ආදියයි. ගතිනිමිත්ත නම්, තමා උපදින්නා වූ ස්ථානයෙහි තිබෙන යම්කිසි දෙයකි. එය වැටහෙන කල්හි දෙව්ලොව උපදින්නා වූ සත්ත්වයන්ට දිව්‍යවිමාන, දිව්‍යරථ, දිව්‍ය උද්‍යාන, කල්පවෘක්‍ෂ ආදිය ද මිනිස්ලොව උපදින්නා වූ සත්ත්වයන්ට මාතෘ ගර්භය ද, නරකයෙහි උපදින්නන්ට නිරයගිනි නිරයපාලාදීන් ද, ප්‍රේතයෝනියෙහි හා තිරිසන් යෝනියෙහි උපදින්නා වූ සත්ත්වයන්ට පර්වත ආරණ්‍යාදිය ද ගතිනිමිත්ත වශයෙන් වැටහේ. මෙසේ වැටහීමෙන් අතීතයෙහි කරන ලද පුරාණ කර්ම අළුත් වෙයි. කර්මාදීන් අතුරෙන් යම්කිසිවක් නො වැටහී මරණයට පැමිණෙන්නා වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලාගෙන් අන්‍ය සත්ත්වයෙක් නැත්තේ ය. මෙය ඇතැම් කෙනකුට මරණයට ඉතාමත් ආසන්නව ද ඇතැම් කෙනකුට මරණයට පැය ගණනකට හෝ දවසකට දෙකකට හෝ පූර්වයෙහි ද වැටහේ. කිනිහිර පිට තබා මිටියෙන් තළා මරණ ලද මැස්සා වුවත් මේ තුනෙන් එකක් වැටහීමෙන් පසුව ම මරණයට පැමිණේ.

එක රූපයකට ඇත්තා වූ ආයුෂය චිත්තක්ෂණ සතළොසකි, හෙවත් සිත මෙන් සතළොස් ගුණයකි. එබැවින් ඔහුගේ සන්තානයෙහි අන්තිමයෙහි උපන් හෘදය වස්තු රූපය ඇසුරු කොට සිත් සතළොසක් උපදියි. ඉන් පසු ඔහුගේ සන්තානයෙහි සිතට නිශ්‍රය වීමට වස්තුවක් නැති බැවින් සිත් පහළ නො වෙයි. එකල්හි සත්ත්වයා මළේය යි කියනු ලැබේ. මේ අවස්ථාවේදී ඔහු තුළ පැවත ආවා වූ සිත් පරම්පරාව නිශ්‍රය වස්තුවක් නැති බැවින් සිඳී යා යුතු නමුත් චිත්ත පරම්පරාව රූප ධාතූන්ට අසමාන වූ ධාතු සමූහයක් වූ බැවින් හෘදය වස්තු රූප නැති වූ නමුත් චිත්තසන්තතිය සිඳී නො යයි. එය නැවක සිටින්නා නැව දියේ ගිලුණේ වී නමුත් අන් කිසිවක් ආධාර කරගෙන සිටින්නාක් මෙන් දතයුතු.

චිත්තෝත්පත්තියට වනාහි නිශ්‍රය වස්තුවෙන් අන්‍ය වූ ද බොහෝ හේතු ඇත. එයින් මේ වේලාවේදී මැරෙන සත්ත්වයා විසින් රැස් කරන ලද කුශලාකුශල කර්මයෝ ද ඔහුගේ සන්තානයෙහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යා තෘෂ්ණා දෙක ද යන මොවුහු චිත්ත සන්තතිය සිඳී යන්නට නො දෙත්. කෙසේද යතහොත්? චුතවන සත්ත්වයාට ඔහුගේ සන්තානයෙහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යාතොමෝ භවයෙහි ඇත්තා වූ දෝෂය වසන්නීය.

තෘෂ්ණාව වසන ලද ආදීනව ඇත්තා වූ භවය කෙරෙහි චිත්ත සන්තතිය නමවන්නීය. මරණාසන්නයෙහි පැවති ජවන චිත්ත සහගත සංස්කාරයෝ තෘෂ්ණාවෙන් නමවන ලද චිත්ත සන්තතිය අභිනව භවයට පමුණුවති. එකල්හි මරණාසන්නයෙහි තමාගේ ස්වරූපය හෝ කර්ම නිමිත්ත ගති නිමිත්තයන් හෝ දක්වමින් විපාක දානයට ඉදිරිපත් වී තිබූ කර්මය විපාකදීම් වශයෙන් හෘදය වස්තු රූප නිරෝධයෙන් පසු පහළවන්ට තුබූ සිත යම්කිසි තැනක කර්ම හේතුවෙන් ම පහළ වූ අභිනව හෘදය වස්තු රූපයක් ඇසුරු කොට උපදී. ඊට භව දෙක සම්බන්ධ කිරීම් වශයෙන් උපන් බැවින් ප්‍රතිසන්ධි චිත්ත යයි කියනු ලැබේ. ඒ මේ ප්‍රතිසන්ධි චිත්තය අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණියා නොව අතීත කර්මය නිසා වර්තමාන භවයෙහි ම හට ගත්තා වූ ධර්මයකි. එය පහළ වූ පසු සත්ත්වයා භවාන්තරයට පැමිණියේයැයි කියනු ලැබේ. මෙසේ නොවී මිය ගියා වූ තැනැත්තාගේ ශරීරයෙන් ආත්මයක් හෝ අන් කිසිවක් හෝ අභිනව භවයට යාමෙන් සත්වෝත්පත්තියක් සිදු නොවේ. එහෙයින් කියන ලදී.

“ලද්ධප්පච්චයමිති ධම්ම මත්තමෙතං භවන්තර මුපෙති,

නාස්ස තතො සංකන්ති න තතො හෙතුං විනා හොති” යි.

එහි තේරුම නම්:- ලබන ලද ප්‍රත්‍ය ඇත්තා වූ ප්‍රතිසන්ධි චිත්තය නමැති ධර්ම මාත්‍රය ම භවාන්තරයට පැමිණේ. අතීත භවයෙහි සිටියා වූ සත්ත්වයාගේ වර්තමාන භවයට ඒමක් නැත්තේ ය. අතීත භව පර්යාපන්න හේතුවෙන් වෙන්ව වර්තමාන භවයෙහි උපදින්නේ ද නොවේය යනුයි.

අතීතභව පර්යාපන්න ස්කන්ධයන්ගෙන් කිසිවකුත් නො පැමිණ වර්තමාන භවයෙහි අභිනව වස්තු රූපයක් ආශ්‍රය කොට ප්‍රතිසන්ධි විඥානය පහළවේයයි කී කල්හි පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නො දන්නා වූ තැනැත්තන්ට එය අතීත භවයෙහි වූ සිත් හා අසම්බන්ධ වූවකැයි සිතිය හැකි වේ. නමුත් එක භවයක උපදින්නා වූ සිත්වල යම් බඳු වූ අන්‍යෝන්‍ය සම්බන්ධයක් වේ නම් එය අතීත භව පර්යාපන්න චිත්තයන් හා වර්තමාන භව පර්යාපන්න චිත්තයන්හි ද ඇත්තේ ය. එක භවයකදී උපදින්නා වූ සිත් ද එකක් නිරුද්ධ වූවාට පසුව ම අනික උපදින බැවින් ඒ සිත්වල එකට බැඳී එකට සැපී පවත්නා වූ සම්බන්ධයක් නැත්තේ ය. ඔවුන්ගේ ඇත්තා වූ සම්බන්ධය නම් එකක් නිරුද්ධ වූ වහා ම ඒ අතර කාලයක් ගත වන්නට නො දී අතීත චිත්තයන්ගෙන් ප්‍රත්‍යය ලබා ඒ පරම්පරාවට අයත්ව ඉපදීමයි. එසේ පවත්නා සම්බන්ධය අතීත භවයාගේ අන්තිම චිත්තය වූ චුති චිත්තයේ වර්තමාන භවයාගේ පළමුවන සිත වූ ප්‍රතිසන්ධි චිත්තයේ ද වෙනසක් නැතිව ඇත්තේ ය. චුති චිත්තය නිරුද්ධවීමෙන් පසු එය උපන් ස්ථානයෙන් යොදුන් කෝටියක් ඈත් වූ තැනක ප්‍රතිසන්ධි සිත පහළ වුවත් ඊට ගතවන කාලය එක භවයකදී එක සිතක් නිරුද්ධ වූවාට පසු අන් සිතක් පහළ වීමට ගත වන්නා වූ කාලය ම ය. එබැවින් වර්තමාන භවයෙහි අතීත භවයෙන් කිසිවක් නො පැමිණ පහළ වන්නා වූ ප්‍රතිසන්ධිය අතීතභව පර්‍ය්‍යාපන්න චිත්ත පරම්පරාවට අයත් බව දතයුතු.

මෙසේ අතීත භවයෙන් කිසිවක් නො පැමිණ වර්තමාන භවයෙහි අභිනව ස්කන්ධ පහළ වූ කල්හි වර්තමාන භවයේ සිටින පුද්ගලයා අතීත භවයේ සිටි පුද්ගලයා ම ද නැතහොත් අනිකෙක් ද? යන ප්‍රශ්නය මෙහි ඇසිය යුතුව තිබේ. එය පෞරාණිකාචාර්‍ය්‍යවරයෝ ප්‍රතිබිම්භාදි උපමාවලින් විසඳූහ. ඒ මෙසේ ය, ප්‍රතිබිම්භය නම්: කැඩපත් ආදියේ පෙනෙන ඡායාවයි. කැඩපතෙහි පෙනෙන මුහුණේ ඡායාව මුහුණෙන් අන්‍ය වූ කැඩපතේ ම පහළ වූ දෙයකි. නමුත් එය මුහුණ නිසා ම පහළ වන බැවින් හා මුහුණ හා සමාන බැවින් ද මුහුණෙන් අන්‍ය වස්තුවක් ද නොවේ. එබැවින් කැඩපත් වලින් මුහුණ බලන්නෝ කැඩපතේ පෙනෙන සෙවනැල්ල තමාගේ මුහුණ යයි ම සලකති. එබැවින් කැඩපතේ පෙනෙන ඡායාව මුහුණ බලන තැනැත්තාගේ මුහුණ ම ය කියා හෝ නොවේය කියා හෝ කිව හැකි නොවේ. එපරිද්දෙන් ම වර්තමාන භවය සම්බන්ධ ස්කන්ධයෝ අතීත භවයෙහි ස්කන්ධයෝ නොවෙති. නුමුත් අතීත භවයෙහි ස්කන්ධයන් නැති වී නම් වර්‍තමාන භවයෙහි ද ස්කන්ධයන් නැති බැවින් වර්තමාන ස්කන්ධයන් අතීත ස්කන්ධයන් නිසා ම හටගත් බැවින් ඒකාන්තයෙන් ඒවායින් අන්‍ය වූ ස්කන්ධයෝ ද නො වෙති. එබැවින් වර්තමාන භවයෙහි සිටි පුද්ගලයා ඒකාන්තයෙන් අතීත භවයේ සිටි පුද්ගලයා ම ය කියා හෝ අන්‍යයෙක්ය කියා හෝ කියහැකි නොවේ.

මෙසේ ඒකාන්තයෙන් ඒකත්වයක් හෝ නානත්වයක් ලැබිය හැකි නො වීම හේතූන්ගේ හෝ හේතුඵලයන්ගේ ද ස්වභාවයයි. ඉදින් හේතුව හා ඵලය ඒකාන්තයෙන් එකක් ම වේ නම් :- කිරෙන් හට ගත්තා වූ දී හා කිරි එක ම වර්ගයක් විය යුතු වේ. නුමුත් එසේ නොවේ. කිරි අනිකකි. දී අනිකකි. කිරිවල දී ද, දී වල කිරි ද නැත්තේ ය. ඉදින් ඒ දෙවර්ගය ම එක නම් :- එක ම ස්වභාවයකින් තිබිය යුතු වේ. කිරිවල දී වල තිබෙන ස්වභාවය ද, දී වල කිරි ස්වභාවය ද නැති බැවින් කිරි හා දී ඒකාන්තයෙන් දෙවර්ගයකි. කිරි උණුකොට භාජනයක තැබූ කල්හි පසුදින එහි දී තිබේ. ඉදින්, ඒවා ඒකාන්තයෙන් කිරි නොවේ නම්:- දී, කිරි අයිතිකාරයාගේ නොවේයයි කිවයුතු වේ. එසේ කීම ද ලෝක ව්‍යවහාරයට විරුද්ධ බැවින් කිරි හා දීවල ඒකාන්ත ඒකත්ව නානත්වයක් නො ලැබෙන බව දතයුතු. මේ නයින් සකල හේතු, හේතු සමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවය දැන වර්තමාන භවයෙහි පුද්ගලයා අතීත භවයෙහි සිටි පුද්ගලයා ම හෝ ඔහුගෙන් අන්‍යයෙක්

හෝ නො වන බව තේරුම් ගත යුතු. මෙසේ නොව වර්තමාන අතීතස්කන්ධයන්ගේ ඒකාන්ත ඒකත්වය කියත හොත් අතීත භවයෙන් ස්කන්ධ වර්තමාන භවයට නො ආ බැවින් එය අසත්‍යයක් වේ. ඒකාන්ත නානත්ත්ව වශයෙන් සලකතහොත් අනෙකෙක් කරන ලද කර්මයාගේ ඵලය අනිකකුට වේය යන දෝෂය වේ.

තවද අතීත භවයෙන් වර්තමාන භවයට ආවා වූ කර්මඵලය ලබන්නා වූ ආත්මයක් හෝ පුද්ගලයෙක් හෝ නොමැති නම්; කර්මඵලය කවරෙකුට වේද, කවරෙක් කර්මයෙන් ජනිත සැපදුක් විඳීද යතහොත් කර්ම ඵලය ලබන්නා වූ ස්කන්ධයන්ගෙන් අන්‍ය වූ කිසිවෙක් නැත්තේ ය. යම් සේ රථාවයව සමූහයට රථයයි ද, ගෘහාවයව සමූහයට ගෘහයයි ද, ව්‍යවහාර කරනු ලැබේ ද? එපරිද්දෙන් ම ස්කන්ධ සමූහයට ම සත්ත්වයාය පුද්ගලයායා යි කියනු ලැබේ. එබැවින් අතීත කර්ම හේතුවෙන් වර්තමාන භවයෙහි ස්කන්ධ පහළ වූ කල්හි ඒවාට කර්ම ඵලය ලබන්නා වූ කර්මඵලයේ

ස්වාමියා යයි කියනු ලැබේ. එබැවින් ස්කන්ධයන්ගෙන් අන්‍ය වූ කර්මඵලයට ස්වාමී වූ පුද්ගලයෙක් සොයන්නට නො යා යුතු. ගස්වල හට ගන්නා වූ ගෙඩි වනාහි ගස් වල ම කොටසකි. නුමුත් ගසක ගෙඩි හට ගත් කල්හි ගස පලගත්තේයයි ද පල දරනවායයි ද කියනු ලැබේ. එපරිද්දෙන් ම පුද්ගලයාය, සත්ත්වයාය, මනුෂ්‍යයාය, දෙවියාය යි කියනු ලබන්නා වූ ස්කන්ධ සමූහවල කොටස් වූ සුඛ වේදනා දුඃඛ වේදනාවන් හට ගත් කල්හි සත්ත්වයා සැපදුක් විඳීය පුද්ගලයා සැපදුක් විඳීයයි කියනු ලැබේ. මෙතෙකින් පුනරුත්පත්ති ක්‍රමය සැකෙවින් දක්වන ලදී.

මේ ක්‍රමයෙන් කාම, රූප, අරූප, සඞ්ඛ්‍යාත ලෝකත්‍රයෙහි වාසය කරන්නා වූ පහ නො කරන ලද තෘෂ්ණාව ඇත්තා වූ සෑම සත්ත්වයන්ගේ ම ච්‍යුතිප්‍රතිසන්ධි දෙක නො නැවතී නිවනට පැමිණෙන තෙක් සිදු වේ. උපන් සත්ත්වයා මරණයට ද මරණයට පැමිණි සත්ත්වයා ඉපදීමට ද පැමිණෙන බැවින් ස්කන්ධයන්ගේ පැවැත්ම චක්‍රයක් වැනි වූ හෙයින් ඊට සංසාර චක්‍රයයි කියනු ලැබේ. ආදියක් නැත්තා වූ මේ සංසාර චක්‍රයට අසුවී ඉපදීම්, නැසීම් වශයෙන් නැවත නැවත පෙරළෙමින් සිටීම ඒකාන්තයෙන් මහත් වූ දුඃඛයකි. එබැවින් මේ සංසාර චක්‍රය සිඳ නිවනට පැමිණීමට සියල්ලන් විසින් උත්සාහ කළ යුතු.

මෙතෙකින් ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල යතිවරයන් විසින් ලියන ලද පුනරුත්පත්ති ක්‍රමය නිමි.

චිරං තිට්ඨතු සද්ධම්මො.

  1. සමසතළිස් භාවනා පද පිළිබඳ විස්තර රේරුකානේ මහ නාහිමියන්ගේ ම කෘතියක් වන “චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා” පොතෙන් බලන්න.