උන්මාදිනී
ස්ත්‍රී ජීවිතයේ යථාර්ථය, කුණාල ජාතකය ඇසුරින්...
01. ස්ත්‍රිය පිළිබඳ ව බෝධිසත්වයන් වහන්සේ විසින් අතීතයේ දි සිදුකරන්නට යෙදුනු දහම් දෙසුමක කරුණු ඇතුළත් කොට අප ගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කුණාල ජාතක දේශනාව පාදක කරගනිමින් සකස් කරන ලද ග්‍රන්ථයකි. මෙහි සඳහන් සිදු වීම් සියල්ල මේ සසර සයුරේ අතීතයේ යම් දිනයක දී සිවූ සත්‍ය ඒවා ම වේ.
02. මෙය ස්ත්‍රීන් කෙරෙහි ද්වේශයෙන් ලියන ලද ග්‍රන්ථයක් නොවේ. ස්ත්‍රීන් ගේ නුගුණ ඉස්මතු කොට ඔවුන්හට පහර ගැසීම උදෙසා ලියන ලද්දක් ද නො වේ. ස්ත්‍රීන් ව සමාජය තුළ හීන තත්වයකට ඇද දමා පුරුෂාධිපත්‍ය පතුරුවන්නට ලියන ලද්දක් ද නො වේ.
01. සංසාර සාගරය වනා හී කෙළවරක් පැන නො හැකි තරම් දීර්ඝ වූ ත් අති භයානක වූ ත් ඝෝර කටුක දුක් වලින් පිරී ඉතිරී ගිය එකකි. ඒ සසර සයුරින් නිදහස් විය හැක්කේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක ගේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමෙන් පසු ඒ ධර්මයට අනුව ධම්මානුධම්මපටිපදාවේ නිරත වීමෙන් ය. ඒ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම දුර්ලභ ධර්මය දැන් අපට අසන්නට ලැබේ. ඒ අනුව ධම්මානුධම්මපටිපදාවේ හැසිරීමේ අවස්ථාව අපට නැවත ත් උදාවී තිබේ.
එනිසා වීරියවන්ත කුල පුත්‍රයන් විසින් කළ යුත්තේ සසරේ සැම දා ම කරමින් පැමිණි කාම සම්පත් භුක්ති විඳීම මදකට හෝ පසෙක දමා, වහ වහා නිවන් මග සම්පූර්ණ කිරීමට උත්සාහ කිරීම යි. නිවන් මඟ පරිපූර්ණ කරන්නට නම් ඔහුට බඹසර ජීවිතයක් ගත කරන්නට සිදුවේ.
නමුත් බඹසර ජීවිතයක් ගතකරන්නට සිතට ඉඩ ලබා නො දෙන, ගිහි ජීවිතය තුළ ම සිත අලවා තබන දේවල් අතරින් ස්ත්‍රියට හිමි වන්නේ ප්‍රධාන තැනකි. ඇය කෙරෙහි ඇල්ම අත්හැරගත නො හැකි ව සිටිනා පුරුෂයා නැවත නැවතත් උපතක් කරා ම යන්නේ මව් වැස්සිය කරායන කුඩා වසු පැටවෙකු සේ යැයි බුදු රජාණන් වහන්සේ වදාළ සේක. එම නිසා උන්මාදිනී සකස් කිරීමේ එක් අරමුණක් වන්නේ ස්ත්‍රී වසඟයට පත් ව සිටින දහම් අවබෝධ කිරීමේ වාසනාව ඇති කුල පුත්‍රයන් ව නිවන් මගේ අප්‍රමාදී කිරීම යි.
02. තව ද බඹසර ජීවිතයක් ගත කරන උතුමන්ට පවා ස්ත්‍රිය කෙතරම් සම්බාධ පිණිස පවතින්නේ ද යන කරුණ බුදු සමිඳුන් ගේ උතුම් දේශනා ඇසුරින් අපට සාධක සහිත ව දැක්විය හැක.
ස්ත්‍රිය බඹසර ජීවිතයට මලකඩයක් (ඉත්ථි මලං බ්‍රහ්මචරියස්ස) බව දේශනා කොට වදාළ තැන් කිහිපයක් ම සූත්‍ර පිටකයේ දක්නට ලැබෙන අතර ස්ත්‍රිය කළු සර්පයෙකුට උපමා කොට වදාළ දේශනයක් ද කණ්ණසප්ප සූත්‍රය යන නමින් සූත්‍ර දේශනා අතර වේ.
පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේලා ස්ත්‍රිය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන කරුණ ගැන බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී වදාළ මෙම දහම් කරුණු දෙස බලන්න.
ධර්මභාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ අසා වදාළ සේක.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රීන් කෙරෙහි අනුගමන කළ යුත්තේ කුමක් ද?”
“ආනන්දය, නො දැක සිටින්න, (අදස්සනං ආනන්ද).”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දක්නට ලැබුනහොත් අනුගමනය කළ යුත්තේ කුමක් ද?”
“ආනන්දය, කථා නො කර සිටින්න, (අනාලාපෝ ආනන්ද).”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් හෙයකින් කථා කරන්නට සිවුවහොත් කටයුතු කළ යුත්තේ කෙසේ ද?”
“ආනන්දය, (සතර සතිපට්ඨානය තුළ) සිහිය පිහිටුවාගත යුතු ය, (සති ආනන්ද උපට්ඨාපේතබ්බා).
(මහා පරිනිබ්බාන සූත්‍රය)
මූලික ව ම ස්ත්‍රිය දැකීමෙන් වළකින ලෙස ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නට නම්, ස්ත්‍රිය බඹසර ජීවිතයට කෙතරම් සම්බාධකයක් ද යන්න අපට පැහැදිලි වේ.
නමුත් වර්තමාන සමාජ ක්‍රමය අනුව ස්ත්‍රීන් සමග කටයුතු කිරීමකින් තොර ව දහමේ හැසිරීමක් ද බලාපොරොත්තු නො හැකි නිසා ස්ත්‍රිය ගේ ආදීනව හොඳින් තේරුම් ගෙන සිටීම බඹසර ජීවිතය සාර්ථක කරගැනීමට හේතුවක් වන්නේ ය.
විශේෂයෙන් ම ස්වාමින් වහන්සේලා ගේ පැවිදි බව ආරක්ෂා කරගැනීමට නම් ස්ත්‍රියගෙන් ප්‍රවේසම් වීම අවශ්‍යයෙන් ම සිදු විය යුතු කරුණකි. එම නිසා මෙය ස්වාමින් වහන්සේලාට ද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
03. දහමේ හැසිරීම සඳහා ඇත්ත වශයෙන් ම පුරුෂයන්ට වඩා ස්ත්‍රියට ඇත්තේ අපහසු පරිසරයකි. හුදෙකලාවේ වනාන්තරයකට ගොස් බණ භාවනා කරගන්නට පවා පරිසරයක් ඔවුන්ට එදා සේ ම අද ද හොඳින් ලැබෙන්නේ නැත. ලැබුණ ද එය දුෂ්කරතා මධ්‍යයේ ය. එම නිසා ස්ත්‍රියක් ලෙස සසරේ ගමන් කරන්නට සිදු වුව හොත් එය අවාසනාවන් ගොන්නකට තවත් අවාසනාවක් එක් වීමකි. ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා වැනි සිදු වීමකි. එම නිසා දහමේ හැසිරෙන පින්වත් ශ්‍රාවිකාවන් ගේ සිත් තුළ ස්ත්‍රී භාවය කෙරෙහි යම් ඇල්මක් ඇත් නම් එය දුරු කොට ගෙන (සසරේ යන්නට සිදු වුවහොත්) ගෝපිකා උපාසිකා තුමිය මෙන් ස්ත්‍රී භාවයෙන් නිදහස් වී සසර දුකින් ඉක්මණින් ම නිදහස් වීමේ අවස්ථාව උදාකර ගැනීමට රුකුල් දීමක් වශයෙන් ද, මෙම ග්‍රන්ථය සකස් වී ඇත.
ඇත්තෙන් ම එය එසේ නො වේ. දිවි දෙවැනි කොට දහමේ හැසිරුනා වූ ද හැසිරෙන්නා වූ ද බුදු රජාණන් වහන්සේ ගේ මඟ-ඵල ලාභී ආර්ය ශ්‍රාවිකාවන්ට මෙම කරුණු කිසිසේත් ම අදාළ නො වේ. එසේ ම සිල් ගුණ දම් රකිමින් සිටිනා ශ්‍රාවිකාවන්ට ද මෙම කරුණු අදාළ නො වේ.
එම නිසා එම ආර්ය ශ්‍රාවිකාවෝ සියලු දෙනා ම අපහට සමාව භජනය කරන සේක් වා.
විශේෂයෙන් ම මෙය කියවන්නා වූ ස්ත්‍රී පාර්ශවයට තමන් ගේ සිත තුළ බුදු රජාණන් වහන්සේ ගැන ඇති ශ්‍රද්ධාවේ තරම මැන ගැනීමට අඟනා අවස්ථාවක් හිමි වේ. මෙය කියවා බුදු රජාණන් වහන්සේ වත් ධර්මයත් අතහරින්නට යම් තැනැත්තියක් තැත් කරනවා නම් එය එම තැනැත්තිය ගේ අවාසනාව බව නො කිව මනා ය. තව ද බමුණු සමාජය තුළ පුරුෂාධිපත්‍යයට යටත් වහල් ජීවිතයක් ගත කළ ස්ත්‍රියට ඉන් නිදහස් වී පරම නිවහල් භාවය භුක්තිවිදීමේ වාසනාව උදාවූයේ ද මහා කාරුණික බුදු සමිඳුන් නිසා ම බව සිත තබා ගත යුතු කරුණකි. (ථේරී ගාථා කියවත් වා!)
තව ද ධර්මයට අනුව පුරුෂ උපතට වඩා ස්ත්‍රී උපත යම් කිසි අල්ප පුණ්‍යභාවයක් නිසා ඇතිවන එකක් බව ආදයෙන් ම පිළිගත යුතු කරුණකි.
එම නිසා ස්ත්‍රී භාවය ගැන ඇති ඇල්ම දුරු කොට සසර උපත කෙළවර කර ගනු කැමති පින්වත් ශ්‍රාවිකාවන් බුදු රජාණන් වහන්සේ ගේ උතුම් දේශනයක් වන අංගුත්තර නිකායේ ‘සංයෝග විසංයෝග ධම්මපරියාය සූත්‍රය’ කියවත්වා!
https://pitaka.lk/main?n=32148
https://tipitaka.lk/an-7-1-5-8/sinh
මෙය කියවන පින්වතියන්ට ද තමන් ගේ ජීවිත වඩ වඩාත් සිල්වත් කොට ගෙන ධර්මයේ හැසිරී උතුම් නිවනින් සැනසෙන්නට වාසනාව උදා වේවා !
සියලු දෙනාට ම ඉතා ඉක්මණින් සසර දුකින් නිදහස් වීමේ භාග්‍ය ලැබේවා !
තෙරුවන් සරණ යි !
ඝෝර කටුක සසරින් සදහට ම නිදහස් වූ උත්තම මහරහත් මෙහෙණිවරු ඇතුළු භාග්‍යවතුන් වහන්සේ ගේ ආර්ය ශ්‍රාවිකාවන්ට අප ගේ නමස්කාරය වේවා !
සෝමා මහරහත් මෙහෙණියට පාපී මාරයා මෙසේ කිව්වා :-
“ඉසිවරුන් විසින් ලැබිය යුතු දුලබ වූ යම් ඒ (අරහත්) පදවියක් ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් ලැබිය නො හැකි යි.”
සෝමා මහරහත් මෙහෙණිය මාරයාට මෙසේ පිළිතුරු දී වදාළා :-
“සිත හොඳින් සමාහිත නම්, අවබෝධඥානය ත් තිබෙනවා නම්, ධර්මයන් මැනවින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනකෙනාට ස්ත්‍රී භාවය කුමක් කරන්න ද?
යම් කිසි අයෙක් මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම කිසියම් කෙනෙක්, කියා සිතනවා නම් මාරයා විසින් ඔය කථාව කිව යුත්තේ එවැනි කෙනෙකුට යි.”
(සෝමා සූත්‍රය - සංයුත්ත නිකාය - සගාථ වර්ගය)
අපේ ජීවිතේ කියන්නේ ගලාගෙන යන නදියක් වගේ එකක්. බොහෝ ම ශාන්ත ව සුදෝ සුදු වැලි තලා අතරින් ලැසි ගමනේ ගලා ගෙන බසින නදී දිය කඳ සමහර තැන් වල දි සැඩ පරුෂ විදියට වේගයෙන් ගලාගෙන යනවා. ගල් මුල් වල හැපිලා රිදී පාට පෙණ බුබුලු ඇති කරනවා. එක පාරට ම කඩාගෙන හැලෙනවා.
ජීවිතෙත් ඒ වගේ ම තමයි. අපේ ජීවිත සමහර කාලවල දී සුන්දර විදියට ලැසි ගමනින් ගලා ගෙන යනවා. සමහර අවස්ථාවල දී ගල් මුල් වල හැප්පෙනවා. තවත් අවස්ථාවල දී කඩාගෙන වැටෙනවා. ඒ අවස්ථා හැම එකක දි ම එක වගේ සතුටින් ඉන්න අපි හැමෝට ම බැහැ. නමුත් ඒ හැකියාව ලබා ගන්න ක්‍රමයකුත් තියෙනවා.
සොඳුරු නදියක් වගේ ගලාගෙන යන ජීවිතේ, හැමදා ම සතුටින් ගත කරන්න නම්, ඒ ජීවිතය ගැන හැම දෙයක් ම අපි දැන ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. නමුත් ජීවිතේ අවබෝධ කරගන්න එක විශාල අභියෝගයක්. ඉතින් මේ ඔබ කියවන්න හදන්නෙත් ඔබේ ජීවිතේට අවබෝධයක් එකතු කරගන්න පුලුවන් දෙයක්. ඉතින් ඒ නිසා මේ සුන්දර වගේ ම යථාර්ථවත් සිදු වීම බොහෝ ම අවධානයෙන් යුතු ව කියවන්න.
‘රෝහිණී’ කියන්නේ ලස්සන නමක්. ඉන්දියාවේ තිබෙන රෝහිණී නදිය ත් ඒ වගේ ම ලස්සන යි. සුවිසල් වැලි තලා මැද්දෙන්, ගල් කුළු අතරින්, ගලා ගෙන යන රෝහිණී ගංඟාව, දකින දකින හැමෝගෙම නෙත් සිත් වලට සතුට කැන්දගෙන ආවා. ඒ විතරක් නෙමෙයි මේ ගංඟාවට කිට්ටුව පිහිටල තිබුණ කිඹුල්වත් නුවර ත් දෙවුදහ නුවර ත් වාසය කරපු මිනිසුන් ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ත් මේ රෝහිණී ගංඟාවෙන් ලබා දුන්නේ අපමණ දායකත්වයක්. කිඹුල්වත් නුවර ශාක්‍ය පිරිස ත් දෙව්දහ නුවර කෝලිය පිරිස ත් තමන් ගේ නගර අතරෙ දී අමුණු බැඳල, මහ සමුදුර කියල වල්ලභයා සොයා ගෙන යන මේ සුන්දර නදී ලලනාව ගේ ඒ ගමනට යම් කිසි බාධාවක් එල්ල කළා.
ඒ වෙන දේකට නෙමෙයි තමන් ගේ ගොවිතැන් බත්වලට නදී දිය කඳේ සහයෝගය ලබා ගන්න. මේ ශාක්‍ය කෝලිය දෙපිරිසේ ම ගොයම් පැසුනේ, කුඹුරු සරුසාර වුනේ එක ම නදියේ ජලයෙන්. හැම දෙනා ම බොහෝ ම සමඟියෙන්, ‘දිය වර’ ක්‍රමයට ජලය බෙදාගෙන පරිහරණය කළා. නමුත් හැම දේ ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ නෙ...
එක කාලෙක පොසොන් මාසෙ නියඟයක් ඇති වුණා. තමන් ගේ ගමනට බාදා කරපු නිසා ද මන්ද, නදී දිය කඳ මිනිසුන් එක්ක තරහ වුනා. සුන්දර රෝහිණී නදියේ ජලය අඩුවෙලා ගියෙ බලාගෙන ඉඳිද්දි. වගා කරල තිබුණ ලා දලු ගොයම් මැරෙන්නට පටන් ගත්තා. ඒත් එක්ක ම මිනිසුන් ගේ සිත් සතනුත් මැලවෙන්න පටන් ගත්තා. දුක ශෝකය ඒ හිත්වලට රිංගගන්න වැඩි කාලයක් ගත වුනේ නැහැ. තමන් බොහෝ ම මහන්සි වෙලා වගා කරපු, නිල්පාටට කිරි වැදී ගෙන එන ගොයම් ටික මැරිල යනකොට මිනිස්සුන්ට හිතුනේ තමන් ගේ ජීවිතේ නැතිවෙලා යන්න හදනවා කියල යි. තම තමන් ගේ ගොයම බේරගන්න දෙපිරිස ම උනන්දුවෙන්න පටන් ගත්තා. ඒ අතරෙ ම කාටත් හොරෙන් ඊරිසියාවත් සිත්වලට රිංගුවා. තමන් ගෙ කුඹුරුයාය පහුකරගෙන අනිත් පිරිස ගේ කුඹුරුවලට ඇදිල යන වතුර ටික දැක්කා ම කාට කාට ත් ඉවසන්න ටිකක් අමාරු වුනා.
ඉතින් දෙහ නුවර ගොවි මහත්තුරු ටික කිඹුල්වත් නුවර ගොවි මහත්තුරුන්ට මෙහෙම කිව්වා.
“ඒයි... මේ අහපල්ලා. මෙහෙම ගියොත් අපි දෙගොල්ලන්ට ම වෙන්නේ එකට මැරෙන්න. මේ වතුර ටික අපි දෙගොල්ලො බෙදා ගන්ට ගියොත් දෙගොල්ලන් ගෙ ම කුඹුරු ටික මැරිලා යනවා. අපේ කුඹුරු පැහෙන්නේ එක දිය වරකින්. ඒක හින්ද අපිට ඉස්සෙල්ලා වතුර දීපල්ලා. ඊ ළඟට බැරියැ උඹල ගෙ ඒව පස්සගන්ට.”
මේ වගේ යෝජනාවකට ශාක්‍ය පිරිස කැමතිවෙන්නෙ නෑ කියන එක කියන්ට ත් දෙයක් නො වෙයි. ඉතින් ශාක්‍ය පිරිස මෙහෙම කිව්වා...
“ආ... ඒක හරි වැඩක් නෙව.. උඹල ගෙ ගොයම් පැහුණා ම, උඹල හොඳට අටුකොටු පුරවා ගනියි. එතකොට අපි රන් රිදී මුතු මැණික් පොදි බැඳගෙන, මලු උස්සගෙන උඹල ගෙ ගෙවල් ගානේ ඇන්ට එන්න ඕනෙ. අපිට නම් පුලුවන් කමක් නෑ ඒක කරන්ට. අපේ ගොයම් පැහෙන්නෙත් එක ම දිය වරකින්. ඕන නම් ඉස්සෙල්ලා අපිට වතුර ටික දීපල්ලා. ඊට පස්සේ උඹලා කැමති දෙයක් කරගනිල්ලා.”
මේ යෝජනාවට කෝලිය පිරිස ත් එකඟ වුනේ නෑ. දෙගොල්ලන්ට ම ඕන වුනේ තම තමන් ගේ ගොයම් ටික රැකගන්ට යි.
ඉතින් කෝලිය පිරිස, ‘අපි වතුර දෙන්නෙ නෑ’ කියල ශාක්‍ය වංශිකයන්ට කිව්වා. ශාක්‍ය පිරිස ත්, ‘අපි ත් වතුර දෙන්නෙ නැහැ’ කියල කෝලිය පිරිසට කිව්වා. මේ විදිහට ශාක්‍ය කෝලිය දෙපිරිස එකිනෙකාට බැණගන්ට පටන් ගත්තා. රණ්ඩුව ටිකක් දුරදිග ගියා.
එක්කෙනෙක් නැගිටලා අනිත් පැත්තේ කෙනෙකුට ගැහුවා. පහරකාපු කෙනා ත් පෙරලා පහර දුන්නා. මේ විසියට මේ දෙපිරිස ගහ මරා ගන්ට පටන් ගත්තා. එකිනෙකාට ජාති කුල ගෝත්‍ර කියමින් බැණ ගන්ට පටන් ගත්තා.
ශාක්‍ය වංශයේ මූලාරම්භක රජ කුමාරවරු තමන් වෙනත් ගෝත්‍රයක් එක්ක මිශ්‍ර වෙයි කියල බයෙන් තමන් ගේ ම සොහොයුරියන් සරණ පාවාගෙන තමයි ශාක්‍ය වංශය බිහි කරල, රැකගෙන ආවේ.
මේ කාරණය මතක් කරපු කෝලිය වංශිකයෝ කිඹුල්වත් නුවර වාසීන්ට මෙහෙම බණින්ට වුණා.
“බොලතොපේ මහ එවුන් හිවල්ලු, බල්ලො වගේ උන් ගේ ම සහෝදරියො ත් එක්ක එකට හිටපු ජාතියක් නෙ. එවුන් ව ලොකු කරගෙන ද අපිට ගොරවන්ට එන්නේ. ඒ වගේ ජාතියක් තියෙන තොපි ඇත්තු අරගෙන ආවත්, අස්සයො අරගෙන ආවත්, කඩු පිහි අරගෙන ආවත් අපිට මොකක් කරන්ට ද?”
මේ විදියට කිව්වට මොකද කෝලිය වංශිකයන් ගේ මූලාරම්භය සිදු වුනෙත් හරි ම අපූරු විදියකට.
කිඹුල්වත් නුවර හිටිය, එක්තරා බිසවක්. ඒ බිසවට කුෂ්ට රෝගයක් වැළඳුනු නිසා ඇය ව ඒ නුවරින් පිටමං කළා. කුෂ්ට රෝගයක් වැළඳීම නිසා ම තමන් ගේ නගරයෙන් පිටමං වෙලා ගස්බෙනයක වාසය කරමින්, තමන් ගේ රෝගයට ප්‍රතිකාර සිදු කරගත්ත රජ කෙනෙක් මේ බිසව ව දැක්කා. ඉන් පස්සේ ඇයට ත් ප්‍රතිකාර කරල ඇය ගේ කුෂ්ට රෝගය ත් සුවපත් කරපු ඒ රජතුමා ඒ බිසව තමන් ගේ මෙහෙසිය කරගෙන අර ගස් බෙනේ ම වාසය කළා. ඉතින් ඔවුන් ගේ පරපුර බිහිවුනෙත් ඒ ගස් බෙනේ ම යි.
ඉතින් ශාක්‍ය වංශිකයින් මේ සිදුවීම සිහිපත් කරල කෝලිය වංශිකයින්ට මෙහෙම දොස් කියන්ට වුනා.
“තොපේ එවුනුත්, තිරිසනුන් වගේ ඉන්ට තැනක් නැතිව, ගස් බෙනයක හිටපු එවුන් නෙ. ඒ කුෂ්ට කොල්ලන් ව ලොකු කරගෙන ද අපි ව භයගන්වන්ට එන්නේ. උඹල සිවුරඟ සෙනඟ අරගෙන ආවත් අපිට මොකක් කරන්ට ද?”
මේ විදියට මේ ශාක්‍ය වංශික හා කෝලිය වංශික ගොවිපිරිස් එකිනෙකා සමඟ රණ්ඩු දබර කරගෙන, ඊට පස්සේ ඒ ගැන අදාළ ඇමතිවරුන්ට කිව්වා.
ඇමතිවරු ඒ පුවත රජ දරුවන්ට කිව්වා. එතකොට ශාක්‍ය රජදරුවො, “නංගිල ත් එක්ක හිටපු එවුන් ගේ හැටි පෙන්වන්නම්” කියල සටනට සූදානම් වෙලා කිඹුල්වත් නුවරින් නික්මුණා.
කෝලිය රජදරුවනුත්, “කොළොම් ගස් බෙනේ හිටවු එවුන් ගේ හැටි පෙන්වන්නම්” කියල සටනට සැරසිලා දෙව්දහ නුවරින් නික්මුණා.
මේ විදියට මේ දෙනුවර වාසීන් හැන්දෑ කාලෙ සටන් කරන්ට රෝහිණී ගංඟාගෙං ඉවුරට එක් රැස්වුණා.
ඉතින් මේ ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයකට සූදානම් වෙද්දි, ඈත හිටපු අසිරිමත් කෙනෙක් ගේ නෙත් දෙක මේ සිදුවීමට යොමු වෙලා තිබුණා. ඒ තමයි ලෝක ශාන්තිදායකයාණන් වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණාවෙන් පිරී ඉතිරී ගිය බුදු නෙත් දෙක.
ඇත්තට ම ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ මුලු තුන් ලෝකයට ම තිලකයක් වගෙ යි. උන්වහන්සේ සියලු ඤාණ සාගරයේ පරතෙරට පත් වුනා. ඒ වගේ ම අනන්ත ගුණ දරාගෙන වැඩ සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ ම සිටින සත්වයින්ට යහපත ඇති කරගැනීමට අනුශාසනා කරනවා. ජාති ජරා මරණ ආදී දුක් වලින් පිරුණු සංසාර සාගරයෙන් සත්වයින් ව එතෙර කරවලා නිර්වාණ ක්ෂේම භූමියට පත්කරවන්නෙ ත් ඒ බුදු සමිඳුන් ම තමයි.
ඉතින් ඒ වෙනකොට බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවපු ජේතවන ආරාමයේ යි.
වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සුවිසි කෙළ ලක්ෂයක් නයින් සපිරුණු මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.
ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩල, දන් පැන් වළඳල, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා.
ඊට පස්සෙ හවස් කාලෙදි, රත් ගල් ගුහාවකින් නික්මිලා යන කේෂර සිංහ රාජයෙක් වගේ, පාත්තර සිවුරු ත් අරගෙන ගන්ධ කුටියෙන් නික්මුණු භාග්‍යවතුන් වහන්සේ, රෝහිණී නදී තීරයේ ශාක්‍ය කෝලිය දෙපිරිස රැස් වෙලා සිටින තැනට වැඩම කොට වදාළා.
එතැනට වැඩ ම කළ බුදු රජාණන් වහන්සේ දෙපිරිස මැද ආකාසයේ පළඟක් බැඳ ගෙන වැඩ සිටියා. ශාක්‍ය කෝලිය දෙපිරිස බුදු රජාණන් වහන්සේ ව දකින්ට කලින් ඒ දෙපිරිස සංවේගයට පත් කරන්ට ඕනෙ කියල භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා.
ඊට පස්සේ ඒ මහර්ෂී වූ තථාගතයන් වහන්සේ සිදු කළේ අපි කාටවත් හිතා ගන්ටවත් බැරි තරම් ආශ්චර්යවත් දෙයක්. බුදු රජාණන් වහන්සේ ක්ෂණයකින්, ‘නීල කසිණ’ සමාපත්තියට සමවැදුනා. දෙතිස් මහා පුරුෂ ලකුණු වලින් ශෝභමාන වුන ඒ ශාක්‍ය සිංහ බුදු රජාණන් වහන්සේ ගේ නිල්වන් වූ කේෂ ධාතූන් ගෙන් ඉතාමත් ඝණ නිල් පාටින් යුක්ත රශ්මාලාවක් හාත්පස ම පැතිරෙන්නට පටන්ගත්තා.
ඒ රශ්මිය මේ ලෝකධාතුව පුරා ම පැතිරයන්නට ඇසිපිය හෙළන තරම් කාලයක් වත් ගත වුනේ නැහැ. අහස් කුස ඝණ නිල් පාට නිසා මුලුමනින් ම අන්ධකාර වුනා.
සටනට සැරසිලා හිටපු ශාක්‍ය කෝලිය දෙපිරිසට සිදු වුනේ මොකක් ද කියල හිතා ගන්ට වත් බැරි වුනා. ඔවුන් අතිශයින් බියට පත් වුනා. සංවේගයට පත් වුනා.
ඉන් පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ඝණදුර බිඳලමින් පර්වතයක් මුදුනින් උදාවන ළහිරු මඬලක් වගේ, තමන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් සවණක් ඝණ බුදු රැස් විහිදුවමින් ශාක්‍ය කෝලිය දෙපිරිසට ම තමන් වහන්සේ ව දර්ශනය වෙන්නට සැළැස්වුවා.
භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශිකයින් ගේ ශ්‍රේෂ්ඨතම ඤාතිවරයා යි. ඉතින් බුදු රජාණන් වහන්සේ ව දැකපු ශාක්‍ය වංශිකයින් මෙහෙම කල්පනා කළා.
“අපේ ශ්‍රේෂ්ඨ ඤාතිවරයාණන් වහන්සේ මෙතැනට වැඩම කළේ අපි මේ කරන්ට සූදානම් වුන යුද්ධය දැකල, අපි ගැන අනුකම්පාවෙන් ම යි. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිද්දී තවත් කෙනෙකු ගේ ශරීරයක් විනාශ කරන්නට අපිට නම් බැහැ.”
එහෙම හිතපු ශාක්‍ය වංශික රජදරුවො හැම දෙනා ම තම තමන් ගේ ආයුධ බිම දැම්මා. දෙව්දහ නුවර කෝලිය රජදරුවනුත්, “අපි ව පැරදුවත් කමක් නෑ. කැපුවත් කමක් නෑ. පිච්චුවත් කමක් නෑ. අපි නම් කිසි ම දෙයක් කරන්නෙ නැහැ” කියල තම තමන් ගේ ආයුධ ත් බිම දැමුවා.
ඊට පස්සෙ දෙපිරිස ම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතු ව භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෙසට ඇඳලි බැඳ ගෙන නිශ්ශබ්ද ව සිටියා.
ඒ අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ ආකාසයෙන් බිමට වැඩම කොට වදාළා. ශාක්‍ය කෝලිය දෙපිරිස ඉක්මණින් ම රෝහිණී ගංගා තීරයේ සුන්දර වැලි තලාවක් මත්තෙ බුදු රජාණන් වහන්සේට වැඩ සිටින්නට ආසනයක් පැණෙව්වා.
අප ගේ භාග්‍යවතුන් වහන්සේ අවරන්ගිර මුදුනේ බබළන සූර්ය මණ්ඩලය වගේ, උපමාකරන්නට බැරි තරම් බුද්ධශ්‍රීයෙන් විරාජමාන වෙමින් ඒ ආසනයේ වැඩ සිටියා. ශාක්‍ය කෝලිය රජදරුවන් දෙපිරිස ත් බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා ඒ සුන්දර වැලි තලාවේ ම එකත් පසෙකින් හිඳ ගත්තා.
ශාක්‍ය කෝලිය දෙපිරිස මේ විදියට රැස් වුනේ ඇයි කියල දැන ගෙන හිටියත්, බුදු රජාණන් වහන්සේ ඔවුන්ගෙන් රැස් වූනේ ඇයි කියල විමසා වදාළා.
එවිට ඔවුන් මෙහෙම පිළිතුරු දුන්නා.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි රැස් වුනේ යුද්ධ කරන්ට යි”
“ඔබලා ගේ යුද්ධය කුමක් නිසා ද?” බුදු රජාණන් වහන්සේ අසා වදාළා.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, රෝහිණී ගංඟාවේ වතුර ලබා ගන්ට යි.”
“රජදරුවනි, වතුර කොයි තරම් වටිනව ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, වතුර නම් එච්චර වටින දෙයක් නෙමෙයි. අල්ප වටිනාකමකින් යුක්ත දෙයක්”
“රජදරුවනි පොළොව කොච්චර වටිනව ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පොළොව අනර්ඝ දෙයක්.”
“රජදරුවනි, රජදරුවන් කොයි තරම් වටිනව ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, රජ දරුවන් නම් බොහෝ ම වටිනවා.”
“රජදරුවනි, අල්ප වටිනාකමක් ඇති ජලය නිසා යුද්ධ කරල, මහා අනර්ඝ රජ දරුවන් වන ඔබලා විනාශයට පත් වෙන්නට සූදානම් වෙන්නේ ඇයි? රජදරුවනි, කිසි ම දවසක රණ්ඩු කිරීමෙන් ආශ්වාදයක් නම් ලැබෙන්නේ නැහැ.”
මේ විදියට දේශනා කරපු බුදු පියාණන් වහන්සේ, රජවරුන් ගේ කලහය සංසිඳවන්නට ජාතක කථාවන් තුනකුත් දේශනා කොට වදාළා.
එතන දි ඉස්සෙල්ලා ම දේශනා කළේ ‘ඵන්දන’ ජාතකය යි. ඵන්දන ජාතකයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ, කරුණු රහිත දෙයක් මුල් කරගෙන ඇති කරගත් විවාදයක් නිසා එක වළහෙකුත් වෘක්ෂ දේවතාවෙකුත් අතර ඇතිවුනු බද්ධ වෛරයක් මේ කල්පය පුරාවට ම පවතින ආකාරය යි.
ඒ වගේ ම එක්තරා හාවෙක් ගේ වචනය විශ්වාස කරපු නිසා යොදුන් තුන් දාහක් විතර විශාල හිමාල වනාන්තරයේ හිටපු මුව, සිංහ, ව්‍යාඝ්‍ර වගේ හැම සතෙක් ම මුහුදු බත් වෙන්ට පටන් ගත් හැටි විස්තර වෙන ‘දද්දභ’, ජාතකය තමයි බුදු රජාණන් වහන්සේ දෙවෙනියට දේශනා කළේ. එතන දි බුදු රජාණන් වහන්සේ, අනුන් ගේ වචන විමසීමක් නැතිව පිළිගැනීමේ අනතුර රජදරුවන්ට පෙන්වල දුන්නා.
එක කැට කිරිල්ලියක් තුන් තැනකින් මද වැගිරෙන ඇත් රජෙක් ව විනාශ කළ හැටි කියැවෙන ලටුකික ජාතකය ත් දේශනා කොට වදාළ බුදු රජාණන් වහන්සේ, සමහර කාලවල දී වල සත්වයින් පවා විශාල සත්වයින් ගේ සිදුරු දකින බව රජ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා.
ඉතින් මේ විදියට ශාක්‍ය කෝලිය දෙපිරිසේ කළහය සංසිඳවන්නට ජාතක කථා තුනක් ම දේශනා කළ බුදු රජාණන් වහන්සේ ඒ දෙපිරිස තව දුරට ත් සමඟි කරවන්නට වෘක්ෂ ධර්ම ජාතකය ත්, වට්ටක ජාතකය ත් කියන ජාතක කථා දෙක ත් දේශනා කොට වදාළා. ජාතක කථා ඇසුරු කරගෙන දේශනා කරපු ඒ සුමධුර දහම් කථාව අහගෙන හිටපු රජ දරුවන් බොහෝ ම සතුටට පත් වුනා.
ඊළඟට බුදු රජාණන් වහන්සේ ඒ රජ දරුවන් ගේ සිතේ ඇති වෙලා තිබුණ ද්වේශය දුරු කරවන්ට අත්තදණ්ඩ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළා. ඒ සූත්‍ර දේශනාව ශාක්‍ය කෝලිය රජ දරුවන් ගේ දෙසවන් අතරින් සිත් සතන් තුළට ගලාගෙන ගියේ ලැවු ගිනි නිවා සනසවමින් මිහිකත මතට ඇදහැලෙන ආකාශ ගංඟා ප්‍රවාහයක් වගෙ යි.
සියලු සත්වයන්ට ම උතුම් වූ ඒ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ ගේ මේ උතුම් ධර්මයට සවන් දුන්න රජ දරුවෝ හැම දෙනා ම අතිශයින් ම සතුටින් සොම්නසින් පිණාගියා. ඒ වගේ ම මේ විදියට ත් හිතන්නට පටන් ගත්තා.
“අනේ....! අපේ බුජාණන් වහන්සේ මෙතෙන්ට නො වැඩියා නම්, අපි හැම දෙනා ම, එකිනෙකා ව මරාගෙන මෙතන ලේ ගඟක් කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ නිසා තමයි අපි ජීවිතය ලබා ගත්තේ.
අපේ මේ බුදු රජාණන් වහන්සේ ගිහි ගෙදර හිටියා නම්, දෙදාහක් කොදෙව් තියෙන මේ මුලු පෘථිවියේ ම අසදිස රජතුමා හැටියට අභිෂේක ලබනවා. ඒ වගේ ම තමන් වහන්සේට සමාන බලයෙන් යුක්ත පුතුන් දහසකුත් ලබනවා. එහෙම වුනා නම් අපි හැම දෙනාට ම ත් පිරිවර රජවරු වෙන්නට තිබුණා.
අනේ ... ඒ වුනත් සත් දවසකින් පහළ වෙන්නට තිබුණු ඒ සක්විසි රජකම ත් අපේ භාග්‍යවතුන් වහන්සේ අත හැරියා. ඒ වගේ ම ජය භූමියක් වගේ තිබෙන කිඹුල්වත් නුවර ත් අතහැරියා. පමණ කරන්නට බැරි සත්රුවන් නිධාන හතරක් වගේ වන රාජ්‍යය ත් අතහැරියා. මේ හැම දේ ම අතහැර දමලා ගිහින් බුදු රජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලබා ගත්තේ අපි ගැන ම අනුකම්පාවෙන් ම යි.”
මේ විදියට හිතපු ශාක්‍ය කෝලිය රජ දරුවෝ, දෙපිරිසෙන් ම දෙසිය පණහ බැගින් කුමාරවරු පන්සියයක් පැවිදි කරන්ට බුදු රජාණන් වහන්සේට භාර දුන්නා.
බුදු රජාණන් වහන්සේ ඒ පන්සියයක් කුමාරවරුන් ව උතුම් පැවිදි බිමට ඇතුළත් කළා.
ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ඒ පන්සියයක් ස්වාමින් වහන්සේලා ත් සමඟ කිඹුල්වත් නුවර සමීපයේ තිබුණු හිමාලවනය ත් එක්ක ඒකාබද්ධ වුනු මහාවනයට වැඩම කළා.
ඒ මහා වනය පුදුමාකාර සුන්දර තැනක්. ඒ වනය පුරා ම, අඹ දඹ කොළඹ කරඹ රඹ සපු නා පනා කොබෝලීල පලොල් කිණිහිරි හෝපලු ඇසළ ඵරහැන්ද කණේරු දුනුමඩලා වැටකේ කරාකේ වගේ සුන්දර ගස් වැවිල තිබුණා. ඒ හැම ගහක ම අතු අඟ සුවඳ විහිදුවන මල් පිපිලා තිබුණා. ඒ වගේ ම මිහිරි ඵල හට ගෙන තිබුණා. ඒ ගස්වල අතු පතර වැළඳගෙන සොඳුරු ලිය වැල් ඉහළට ඇදී ගොස් තිබුණේ පුදුම සුන්දර විදියට යි. ඒ වගේ ම ඒ ගස්වල අතු අග ඉඳගෙන ඵල වැල අනුභව කරල මත් වුන, ගිරා බොකල මොණර සැළළිහිණි සක්වාළිහිණි කුණාල ආදී අතිශයින් විචිත්‍ර කුරුල්ලන් ගේ සුවිසිරි නාදයෙන් ඒ මහා වනය නිරන්තරයෙන් ම රාව ප්‍රතිරාව නැංවුණා.
ඒ ගස්වල අතුපතරින් සෙවන වුණු රුක් මඬුලු යට, සමහර තැනක සුදෝ සුදු වාලුකා තලයන් තිබුණා. ඒ වගේ ම සමහර තැනක නොයෙක් වර්ගයේ මල්පඳුරු වලින් ගැවසීගත් ගල් තලා තිබුණා. ඒ ගල් තලා මත්තෙ සෙබඩ සමූහයන් පිරිවරාගෙන නාද කරමින් පිල්විදහාගෙන රඟ දෙන මත් වූ මොණරුන් නිරන්තරයෙන් ම දක්නට ලැබුණා. ඒ වගේ ම ඒ මහා වනය නොයෙක් ගොදුරු අනුභව කරමින්, තමන් ගේ මෘගාංගනාවන් සමඟ ගමන් කරන විවිධාකාර මුව රංචු ආදී සිවුපාවුන් ගෙන් පිරී තිබුණා.
ඒ විතරක් නො වෙයි ප්‍රසන්න සීතල මිහිරි ජලය නිල්පාටට පිරී ඉතිරේ තිබෙන පොකුණු ඒ වනයේ බොහෝ තැන්වල තිබුණා. ඒ පොකුණු නෙලුම් මහනෙල් කුමුදු කල්හාර හෙල්මැලි ආදී නොයෙක් ජල පුෂ්ඵයන්ගෙන් සෝභමාන වෙලයි තිබුනේ.
ඒ පොකුණු වල ඉවුරු කෙළවරේ නඳුන් සඳුන් කළුවැල් කපුරු දෙවුදුරු තුවරලා වගේ එක පොකුරට මල් පිපෙන ගස් වර්ග වැවී තිබුණා. ඒ ගස් වල අතු අග සිය දහස් ගණන් මල් කිණිති නිරන්තරයෙන් ම පිපී සුවඳ විහිදුවමින් තමයි තිබුනේ. ගුම් නද දෙමින් අහසින් බසින මී මැසි සමූහයා ඒ මල් අග රඟ දෙමින් රොන් උරා බොන අයුරු නිරන්තරයෙන් ම ඒ වනය තුළ දී දැක ගත හැකි යි.
ඒ වගේ ම සුදෝ සුදු වැලි තළා අතරින් ළැසි ගමනින් ගලා බසින ඇළ දොල ආදියෙන් මෙන් ම පර්වතයන් ගේ මුදුනින් ගලා හැලෙන දිය ඇලිවලිනුත් කිඹුල්වත් නුවර මහා වනය සිසිල් වෙමින් තිබුණා. ඒ දිය ඇලිවලින් විසිරෙන දිය බිඳු ස්ඵටික මාණික්‍ය වගෙයි.
ඇත්තවශයෙන් ම කිඹුල්වත් නුවර ආසන්නයේ පිහිටා තිබුණු මහා වනය කියන ඒ වනාන්තරය හැමදා ම වසන්තෝද්‍යානයක් වගේ පරම රමණීය යට තමයි දර්ශණය වුනේ.
ඉතින් මහාකරුණා ඇති අපේ බුදු රජාණන් වහන්සේ අලුතින් පැවිදි බිමට පත් වූ ඒ ස්වාමින් වහන්සේලා පන්සියනම ත් සමඟින් මහා වනයේ තමයි ඒ දවස්වල වැඩ සිටියේ.
මහා වනයේ වැඩ සිටින බුදු රජාණන් වහන්සේ දවස් හයක් කිඹුල්වත් නුවරට ත්, දවස් හයක් දෙව්දහ නුවරට ත් භික්ෂූන් වහන්සේලා ත් සමඟ පිණ්ඩපාතයේ වඩින්නට තීරණය කොට තිබුණා.
ඒ අයුරින් භාග්‍යවතුන් වහන්සේ අලුතෙන් පැවිදි වූ ස්වාමින් වහන්සේලා ත් සමඟ පිණ්ඩපාතයේ වඩින විට කිඹුල්වත් නුවර පිරිසට ත් දෙව්දහ නුවර පිරිසට ත් හරි ම සතුටු යි. ඒ දෙපිරිස ම බුදු රජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට ඉතා ඉහළින් පුද සත්කාර කරන්නට පටන් ගත්තා.
ඉතින් මේ විදියට දවස ගානේ පිණ්ඩපාතේ වඩින කොට අර අලුතින් පැවිදි වූ ස්වාමින් වහන්සේලා පන්සිය නමට සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන එක ගැන අකැමැත්තක් ඇති වුනා. මොකද ඒ ස්වාමින් වහන්සේලා තමන් ගේ ම කැමැත්තෙන් නොවෙයි පැවිදි වුනේ.
ඒ අතරතුර තව ත් දෙයක් සිදු වුනා. ඒ ස්වාමින් වහන්සේලා ගේ ගිහි කාලේ භාර්යාවරු කෙළෙස් ඇතිවෙන විදියේ ලියුම් ලියා ඒ ස්වාමින් වහන්සේලා වෙත යැව්වා. එහෙම කළේ ඒ ස්වාමින් වහන්සේලා ගේ අදහස් දැන ගෙන තමන් ගේ මතයට නම්මා ගන්නා අදහසිනුයි.
ඒ ලියුම් කියවපු ස්වාමින් වහන්සේලා ගේ සිත්වල රාගය ඇති වුනා. බුද්ධ ශාසනය තුළ සිල් ගුණ දම් රැකීම ගැන තිබුණු අකැමැත්ත ඉතා මත් වැඩි දියුණු වුනා. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා ගේ සිත් සතන් තමන් වහන්සේ ගේ බුදු නුවණින් පරීක්ෂා කරන අවස්ථා වේ දී, මේ ස්වාමින් වහන්සේලා ගේ සිතේ තිබුණු අකැමැත්ත දුටුවා. එසේ දුටු බුදු රජාණන් වහන්සේට මේ විදියේ සිතුවිල්ලක් පහළ වුනා.
“මා වගේ සර්වඥ කෙනෙක් ළඟ සිටිය දී ත් මේ භික්ෂූන් වහන්සේලාට බුදු සසුන ගැන අකැමැත්තක් ඇති වුනා. මේ භික්ෂූන් වහන්සේලා ගේ අකැමැත්ත දුරු කරවීම පිණිස දේශනා කළ යුත්තේ කුමන ධර්මයක් ද?”
එසේ සිතා නුවණින් විමසා බලන බුදු රජාණන් වහන්සේට මේ කුණාල ජාතක දේශනාව ඇසීමෙන් ඒ ස්වාමින් වහන්සේලා ගේ සිතේ ඇති ඇති අකැමැත්ත දුරු වී යන බව වැටහුනා.
ඉන් අනතුරුව බුදු රජාණන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවාගෙන පා සිවුරු අරගෙන කිඹුල්වත් නුවරට පිණ්ඩපාතයේ වැඩම කළා. පිණ්ඩපාතය වැළඳීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අර නවක ස්වාමින් වහන්සේලා පන්සියනම තමන් වහන්සේ වෙත කැඳවනු ලැබුවා. කැඳවා මෙසේ අසා වදාළා.
“මහණෙනි, ඔබලා සුන්දර වූ හිමාල වනය දැක තිබෙනවා ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි හිමාල වනය දැක නැහැ”. ඒ ස්වාමින් වහන්සේලා පිළිතුරු දුන්නා.
“එසේ නම් හිමාලවනයේ චාරිකාවේ වඩින්නට කැමති ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, හිමාල වනයේ චාරිකාවේ වඩින්නට සෘද්ධි බල නැති නිසා, අපි කෙසේ නම් වඩින්ට ද?”
“මහණෙනි, යම් කෙනෙක් විසින් කැඳවාගෙන යනවා නම්, පැමිණෙනවා ද?”
“එසේ ය, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස” කියා ඒ ස්වාමින් වහන්සේලා බුදු රජාණන් වහන්සේට පිළිතුරු දුන්නා.
එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගේ සෘද්ධියෙන් ඒ ස්වාමින් වහන්සේලා පන්සියය ත් රැගෙන, පියුම් විලක් කරා පියඹන රාජ හංස සමූහයක් වගේ, අහසට පැන නැඟිලා හිමාල වනයට වැඩම කළා. හිමාල වනයට වැඩම කළ බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා ත් සමඟ අහසේ වැඩ සිටිය දී ම, හිමාල වනයේ සුන්දරත්වය ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට පෙන්වා වදාළා.
දිගින් පළලින් යොදුන් තුන්දහසක් පමණ විශාල, හිමාල පර්වතයේ පිහිටල තිබුණු රන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වත, ඉඟුල් පර්වත, අඤ්ජන පර්වත, පාංශු පර්වත, ස්ඵටික පර්වත, වගේ නොයෙක් ආකාරයේ සුවාසූදහසක් පර්වත මුදුන් භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාට පෙන්වා වදාළා.
ඒ වගේ ම ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පංචමහා ගංඟාවනුත්, කර්ණමුණ්ඩ, රථකාර, සිංහප්‍රපාත, ඡද්දන්ත, මන්දාකිනි, කුණාල කියන විලුත්, තියග්ගලා කියන අතළගල ත්, සක් රුවන් ආකර ත් කියන මේ හැම දේ ම, තමන් වහන්සේ ගේ ආනුභාවයෙන් ඒ ස්වාමින් වහන්සේලාට පෙන්වා වදාළා.
බුදු රජාණන් වහන්සේ විසින් මේ විදියට හිමාල වනයේ සුන්දරත්වය පෙන්වන ඒ ස්වාමින් වහන්සේලා පන්සියනම ගෙ හිතේ ගිහි කාලෙ භාර්යාවරුන් ගැන ඇති වෙලා තිබුණු කැමැත්ත අඩුවෙලා ගියා.
ඊට පස්සේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා ත් රැගෙන ආකාශයෙන් බිමට වැඩම කළා. හිමාල වනයේ බටහිර පැත්තට වෙන්ට පිහිටල තිබුණා යොදුන් හැටක් පමණ උස ගල්තලාවක්. ඒ ගල් තලාව මුන යොදුන් හතක් උස, කල්පයක් පුරා ම නො නැසී පවතින සල් ගසක් පිහිටා තිබුණා. ඒ සල් ගස පාමුල තුන් යොදුනක් පමණ වූ රන්සිරියෙල් ගල්තලාවකුත් පිහිටල තිබුණා.
ඉතින් ආකාශයෙන් බිමට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ අර ස්වාමින් වහන්සේලා පන්සියය ත් සමඟ අන්න ඒ සල් ගස සෙවනේ රන්සිරියෙල් ගල්තලාව මතට වැඩම කළා.
මහා සාගරයේ දිය කඳ සුන්දර කරවමින් සිය දහස් ගණන් රශ්මි මාලා විහිදවාගෙන විරාජමාන වන තරුණ සූර්ය මණ්ඩලය වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ, සවණක් ඝණ බුදු රැස් විහිදුවමින් ඒ ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන රන්සිරියෙල් ගල්තලාව මත වැඩ සිටියේ.
ඊට පස්සේ අප ගේ භාග්‍යවතුන් වහන්සේ කුරවීක කෙවිල්ලෙකු ගේ හඬ පරදවන අෂ්ඨාංග සමන්වාගත බ්‍රහ්මස්වරය විහිදුවමින්, තමන් වහන්සේ ගේ ශ්‍රී මුඛයේ සුගන්ධයෙන් මුලු හිමාලවනය ම සුවඳවත් කරවමින් භික්ෂූන් වහන්සේලා අමතල මේ විදියට ප්‍රකාශ කොට වදාළා.
“මහණෙනි, වෙන කිසි තැනක දී දකින්නට නො ලැබුණු දෙයක් මේ හිමාල වනයේ දී දුනුවොත්, එය ප්‍රකාශ කරන්න.”
ඒ අවස්ථාවේ.දී, එක්තරා කෙවිල්ලන් දෙදෙනෙක් දඬු කෝටුවක දෙපැත්ත තමන් ගේ හොටවලින් අල්වාගෙන ඒ කෝටුව උඩ කොවුල් රජෙක් ව හිඳුවාගෙන අහසින් ගමන් කරනවා. ඒ කොවුල් රජතුමා ගේ ඉදිරියෙනුත්, පිටුපසිනුත්, උඩිනුත්, යටිනුත්, දෙපසිනුත්, කොවුල් අඟනන් අටදෙනා බැඟින් හතළිස් අට දෙනෙක් පියඹාගෙන යනවා.
මේ ආශ්චර්යවත් සිදු වීම මේ ස්වාමින් වහන්සේලා දැක්කා. දැකල භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ සිදුවීම ගැන අසා සිටියා.
ඒ අවස්ථාවේ දී තමයි කාලයෙන් වැසී තිබුණු මේ විශ්මිත සිදුවීම භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා ඇතුළු ලෝකයට හෙළි කොට වදාළේ.
තථාගත බුදු රජාණන් වහන්සේ මේ විදියට දේශනා කළා.
“මහණෙනි, බොහෝ ඉස්සර කාලේ මේ කොවුල් පක්ෂි විශේෂය මාගේ වංශයක්. ඒ අතීතයේ මම ත් මේ විදියට කොවුල් රජෙක් ඉපදී සිටියා. ඒ දිනවල මට ත් මෙසේ උපස්ථාන කරනු ලබනවා. ඒ කාලේ බොහෝ පක්ෂීන් සිටියා.
පක්ෂි කන්‍යාවන් පන්සියයක්, ‘ඉඳින් අප ගේ රජ්ජුරුවන් වහන්සේ මේ ආසනයෙන් ගිලිහී වැටුන හොත්, පියාපත් වලින් පිළිගන්නෙමු’ යි කියා, යටින් පියඹාගෙන යනවා. ඒ වගේ ම තවත් පක්ෂි කන්‍යාවන් පන්සියයක්, ‘ආකාශයෙන් එන අව් රශ්මියෙන් අප ගේ රජතුමා නො පෙළේවා’ කියා, අව්ව වැළැක්වීම පිණිස ආකාශ වියනක් සේ උඩින් පියඹාගෙන යනවා.
තවත් පන්සියය බැඟින් වූ කොවුල් අඟනන්, ‘අප ගේ රජතුමාට සීත සුළං, ග්‍රීශ්ම දුහුවිලි, පරඬලා ආදියෙන් පීඩාවක් නො වේවා යි’ යන අදහසින් දෙපසින් බැඳි තිරමෙන් පියඹාගෙන යනවා. පන්සියය බැඟින් වූ තවත් කෙවිලියන්, වනයේ හැසිරෙන ගොපල්ලන්, වනකාර්මිකයින් ආදී පිරිස් විසින් දමා ගසන කැට කැබිලිති, පොලු මුගුරු, ලී දඬු ආදියෙන් කොවුල් රජු ව ආරක්ෂා කර ගැනීම පිණිස ඉදිරියෙන් පියඹා යනවා. ඒ වගේ ම තවත් පක්ෂි කන්‍යාවන් පන්සියයක් ‘අප ගේ මේ රජතුමාට තමන් සිටින ආසනයේ සිටීමට අකැමැත්තක් ඇති නො වේවා’ කියා, විසිරි මටසිලුටු ප්‍රියංකර වචන වලින් කථාකරමින් පසු පසින් යනවා.
එසේ ම තවත් පන්සියයක් පමණ වූ පක්ෂි කන්‍යාවන් නොයෙකුත් අඹ දඹ එල් කෙසෙල් ආදී ඵලවැල වලින් කොවුල් රජු ගේ කුසගිනි ආදිය නිව් සන්තර්පණය කරමින් පියඹා යනවා.
ඒ විදියට ඒ පක්ෂි කන්‍යාවන් ගෙන් උපස්ථාන ලබමින් සිටි ඒ කොවුල් රජතුමා ගේ නම තමයි කුණාල කියල කියන්නේ.
ඒ කුණාල රජ්ජුරුවන්ට පක්ෂි කන්‍යාවන් තුන්දහස් පන්සියයක් නිරන්තරයෙන් උපස්ථාන කළා. ඒ පක්ෂි කන්‍යාවන් කුණාල රජ්ජුරුවන් ගේ සිත සතුටු කරවීම පිණිස, ඔහු ව රැගෙන උයනින් උයනට, ගංතෙරින් ගංතෙරට, පර්වතයෙන් පර්වතයට, අඹ වනයෙන් දඹ වනයට, දඹ වනයෙන් දෙල් වනයට දෙල් වනයෙන් ඉඳි වනයට ආදී වශයෙන් සුන්දර සුන්දර ස්ථාන කරා පියඹා යනවා.
ඉතින් මේ කුණාල රජතුමා නිරන්තරයෙන් මේ පක්ෂි කන්‍යාවන් තුන්දහස් පන්සියයක ගේ ආදර ගෞරව ලබමින් වාසය කළ ත් හැම විට ම ඒ කොවුල් අඟනන්ට නො සතුටු වචන වලින් තමයි කථා කරන්නේ.
“නීච කෙල්ලනි, හොර කෙල්ලනි, ධූර්ත කෙල්ලනි, අසත්පුරුෂ කෙල්ලනි, දුරාචාර කෙල්ලනි, කෙළෙහි ගුණ දන්නේ නැති කෙල්ලනි, හැම පැත්තට ම හමන සුළගක් වගේ හිතිච්ච හිතිච්ච තැනට යන චණ්ඩාල කෙල්ලනි, නැසියව් නැසියව්” ආදී වශයෙන් තමයි ඒ කුණාල රජතුමා ඒ පක්ෂි කන්‍යාවන්ට කථා කරන්නේ.”
මේ විදියට ඒ අතීත විස්තරය කෙටියෙන් දේශනා කළ බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මේ විදියට ප්‍රකාශ කොට වදාළා.
“මහණෙනි, මම එවැනි ජීවිතයක ඉපදී සිටිය ත් ස්ත්‍රී ජාතිය කෙළෙහි ගුණ නො දන්නා බව දැන ගෙන සිටියා. බොහෝ වඤ්චාවන් සිදු කරන්නට අතිශයින් දක්ෂ බව දැන ගෙන සිටියා. ආනාචාරශීලී බව හොඳින් තේරුම් අරගෙන සිටියා. ඒ වගේ ම මම ඒ ස්ත්‍රීන්ට වසඟ වී ජීවත් වුනේ නැහැ. ස්ත්‍රීන් ව මගේ යටතට තමයි පත් කොට ගෙන සිටියේ.”
බුදු රජාණන් වහන්සේ මේ අයුරින් දේශනා කළ ඒ භික්ෂූන් වහන්සේලා ගේ සිතේ පුරාණ භාර්යාවරුන් ගැන ඇති තිබූ කැමැත්ත තව දුරට ත් අඩු වී සාසනය කෙරෙහි ඇති තිබුණු නො කැමැත්ත ත් යම් තරමකින් අඩු වී ගියා. එවිට බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා.
ඒ වෙලාවේ තවත් කෙවිල්ලන් දෙදෙනෙක් වෙනත් කොවුල් රජෙක් ව කලින් වගේ ම කෝටුවක ඉන්ඳවාගෙන, හය පැත්තකින් තවත් කොවුල් කන්‍යාවන් හතර දෙනා බැගින් පිරිවරාගෙන එම ස්ථානයට පියඹා ආවා. අර පින්වත් ස්වාමින් වහන්සේලා මේ සිදුවීම ත් දැක්කා. දැකල භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඒ පිළිබඳ ව විමසා සිටියා.
“මහණෙනි, මම යම් කාලෙක කුණාල නම් රජු වී සිටියා ද, ඒ කාලයේ මාගේ මිත්‍ර වූ පූර්ණමුඛ නම් වූ ඵුස්ස කෝකිල නම් රජෙක් සිටියා. මේ ඔහු ගේ වංශය යි.”
බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කළ විට ඒ ස්වාමින් වහන්සේලාට ඒ සිදුවීම ගැන විස්තර වශයෙන් දැන ගැනීමේ කැමැත්තක් ඇති වුණා. ඒ කැමැත්ත දැන ගත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.
“පින්වත් මහණෙනි, මේ හිමාල වනයේ ඉතා සුන්දර වූ කුණාල නම් විලක් තිබෙනවා. එ විලෙහි ඕලු නෙලුම් මහනෙල් ආදී නොයෙක් ජලජ කුසුම් හට ගන්නවා. ඒ සුන්දර කුණාල විල වටා දෙල්, එළකිඳ, ඇසතු, පියුම්තුරු, නා, කීණ, ඇසළ, බක්මී, සපු, දුනුකේ, වගේ නොයෙක් ගස් වැල් තිබෙනවා. ඒ වගේ ම යක්ෂ රාක්ෂ නාග සුපර්ණ කිඳුරු ආදීනුත් සිද්ධ විද්‍යාධරයිනුත් ගහන මේ හිමාල වනයේ අතිශයින් ම ට විහිදෙන නාදයක් ඇති, ඉතා සුන්දර ඇස් සඟලක් ඇති, පිරිපුණ් මුඛයක් ඇති, පූර්ණමුඛ නම් ඵුස්සකෝකිල රජ්ජුරු කෙනෙක් වාසය කළා.
මේ ඵුස්ස කෝකිල රජතුමාට ත් උඩින් යටින් දෙපසින් ඉදිරියෙන් හා පසුපසින් ආරක්ෂාවට යන කොවුල් කන්‍යාවන් පනස් දෙනා බැඟින් තුන්සියයකුත්, ඵලවැල කවමින් යන කොවුල් අඟනන් පනහකුත් වශයෙන් කොවුල් කන්‍යාවන් තුන්සිය පණහක් උපස්ථානය පිණිස සිටියා. ඒ කොවුල් කන්‍යාවන් ඵුස්ස කෝකිල රජතුමා ව කුණාල රජතුමා ව මෙන් ආරාමයෙන් ආරාමයට උද්‍යානයෙන් උද්‍යානයට අඹ වනයෙන් දඹ වනයට දඹ වනයෙන් තල් වනයට තල් වනයෙන් පොල් වනයට පොල් වනයෙන් දෙල්වනයට ගලින් ගලට විලින් විලට ගංතෙරින් ගංතෙරට වඩාගෙන යමින් ඒ රජු ගේ චිත්ත ප්‍රීතිය වැඩි දියුණු කරමින් දවස් ගතකරනවා.
ඉතින් මේ විදියට මේ ඵුස්ස කෝකිල රජ්ජුරුවෝ කොවුල් අඟනන් ගේ උපස්ථාන විඳිමින් ඒ කොවුල් අඟනන්ට නොයෙක් අයුරින් ප්‍රසංශා කරනවා.
“නැගණිවරුනි ඉතා ම හොඳ යි. නැගණිවරුනි ඉතා ම හොඳ යි. මේ වගේ ස්වාමියෙක් පෝෂණය කිරීම, ඔබලා වැනි කුල අංගනාවන්ට ඉතා ම සුදුසු දෙයක්”, ආදී වශයෙන් ඒ කොවුල් රජ්ජුරුවෝ ඒ කෙවිලියන්ට පවසනවා.
එක දවසක් මේ ඵුස්ස කොකිල රජ්ජුරුවෝ, තමන් ගේ මිත්‍ර කුණාල රජ්ජුරුවන් ව බැහැ දකින්නට පිරිවර ත් සමඟින් පැමිණියා.
ඒ විදිහට පිරිවර සමඟින් එන ඵුස්ස කෝකිල රජතුමා ව කුණාල රජතුමා ගේ පක්ෂි කන්‍යාවන් දැක්කා. දැකලා ඵුස්ස කෝකිල රජතුමාට පෙර ගමන් කළා. ආදර ගෞරව දැක්වුවා. ඊට පස්සේ මේ විදියට කිව්වා.
“ස්වාමීනි, මේ කුණාල රජ්ජුරුවෝ නම් හරි ම සැර ඵරුෂ කෙනෙක්. අපිට කථා කරන්නේ හරි ම සැර වචන වලින්. අපි දවල් රෑ නැතුව නොයෙක් යට උපස්ථාන කළ ත් අපි ව කිසි ම දවසක ප්‍රිය වචනයකින් සනසන්නේ නැහැ.”
ඒ කථාව අහපු ඵුස්ස කෝකිල රජතුමා, ‘හොඳයි මම ඒ ගැන කථා කරල බලන්නම්කෝ’ කියා, කොවුල් අඟනන් අස්වසල කුණාල රජතුමා ගාවට ගියා. ගිහිල්ලා කුණාල රජතුමා ත් සමඟ පිළිසඳර කථා බස් කළා.
ඊට පස්සේ මේ විදියට කිව්වා.
“ප්‍රිය කුණාල රජතුමනි, අම්මගෙ පාර්ශවයෙනුත් පිරිසිදු තාත්තගෙ පාර්ශවයෙනුත් පිරිසිදු උපතක් තිබෙන, මේ උත්තම අංඟනාවන්ට එකදිගට බණින එක හොඳ නෑ නොවැ. වැරදි වැඩ කරන අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන්ට පවා කරුණු පෙන්වලා දෙන්න ඕනේ ගෞරව ඇතුව ම යි, ඉතින් මේ වගේ අය ගැන කවර කථා ද?”.
මේ කථාව අහපු කුණාල රජ්ජුරුවන්ට තරහා ගියා. ඵුස්ස කෝකිල රජතුමාට මෙහෙම කිව්වා.
ගැහැණුන්ට යට වන පණ්ඩිතයින් සිටි ත් ද..?
“ළාමක අදහස් ඇති නීච යහළුව, මෙතනින් පිටවෙලා යන්න. ළාමක අදහස් ඇති නීච යහළුව, නැසී යන්න. ගැහැණුන් විසින් පරදවන ලද ඔබට වඩා වියතෙක් තව කොහෙද?”
මේ විදියට කුණාල රජතුමා නො සතුටු වචන ප්‍රකාශ කළා ම ඵුස්ස කෝකිල රජතුමාට කියා ගන්නට දෙයක් නැතුව ගියා. එහෙම්ම ම ආපසු හැරිල තමන් වසන තැනට පිටත් වුනා.
ඉතින් ටික දවසකින් මේ පූර්ණ මුඛ කියන ඵුස්ස කෝකිල රජතුමාට ලේ අතීසාර රෝගයක් ඇති වුණා. ශරීරය බලවත් විදියට රිදුම් දෙන්නට පටන් ගත්තා. මේ රෝගය නිසා ඵුස්ස කෝකිල රජතුමා ගේ ජීවිතය මරණාසන්න වුණා. මේ තත්වය දැකපු ඒ රජ්ජුරුවන් ගේ පක්ෂි කන්‍යාවන් මෙහෙම හිතන්නට පටන් ගත්තා.
“දැන් නම් මෙයා හොඳට ම ලෙඩ වෙලයි ඉන්නේ. මෙයා ගේ ජීවිතය රැකෙයි කියල නම් හිතන්න බැහැ. ඉක්මනට ම මැරෙන පාටකුයි තියෙන්නේ. දැන් මෙයා ගෙන් මොන ප්‍රයෝජනයක් ද?”
මෙහෙම හිතපු ඒ පක්ෂි කන්‍යාවන් එකෙක් නෑර සියලු දෙනා ම ඵුස්ස කෝකිල රජතුමා ව අතහැර දමලා කුණාල රජ්ජුරුවන් වෙත ගියා.
කණ්ඩායම් වශයෙන් එක පොදියට තමන් කරා එන කොවුල් අඟනන් ව කුණාල රජතුමා දුර දීම දැක්කා. දැකල මෙහෙම ඇහුවා.
“ඒයි චණ්ඩාල කෙල්ලනේ ... උඹල ගේ ස්වාමි පුරුෂයා කොහෙද?”
“අනේ ස්වාමීනි, අපේ ඵුස්ස කෝකිල රජ්ජුරුවන්ට ලේ අතීසාර රෝගයක් වැළදුනා. දැන් නම් ජීවත් වෙයි කියලා හිතන්න බෑ. මැරෙන පාටක් තමයි තියෙන්නේ. ඒක නිසා, ‘ඔබ වහන්සේ හරි අපි ව රැක ගන්නවා නම් හොඳයි’ කියල හිතල අපි ඔබ වහන්සේ ළඟට ආවා.” කියල ඒ කොවුල් අඟනන් පිළිතුරු දුන්නා.
කෙවිල්ලන් ගේ මේ කථාව අහපු කුණාල රජ්ජුරුවන්ට ලොකු අප්‍රසාදයක් ඇති වුණා. ඒ අප්‍රසාදයෙන් මෙන්න මේ විදියට බණින්න පටන් ගත්තා.
“ඒයි අසත්පුරුෂ, නුවණ නැති, හොර කෙල්ලනි. වහා පෙරලෙන සිත් තිබෙන කෙළෙහි ගුණ නො දන්නා හුළඟක් වගේ වහා කරකැවෙන චණ්ඩාල කෙල්ලනි, නැසී පලයව් නැසී පලයව්”
මේ විදියට ඒ කොවුල් කන්‍යාවන්ට දොස් කිව් කුණාල රජතුමා වහා තමන් සිටි තැනින් නැගිටලා ඵුස්ස කෝකිල රජතුමා ගිලන් වී සිටි තැනට ගියා. ගිහිල්ලා ළං වෙලා ඵුස්ස කෝකිල රජතුමා ගේ මුහුණ බොහොම කරුණාවෙන් බලල නම කියලා කථා කළා. එතකොට ඵුස්ස කෝකිල රජතුමා ත් බොහෝ ම ආයාසයෙන් මේ කථා කරන්නේ කවුද කියල මුහුණ හරවලා බැලුවා. එතකොට කුණාළ රජතුමා මේ පැමිණ සිටින්නේ තමන් බව හඳුන්වා දුන්නා.
අනතුරුව තමන් ගේ හොටින් හා පියාපත්වලින් ළංකරගෙන තමන් ගේ ශරීරයේ හොවාගෙන, ලේ අතීසාර රෝගයට සුදුසු නොයෙක් ආකාරයේ බෙහෙත් වර්ග ගෙන්වා ගෙන කවා පොවා එම රෝගය සුවපත් කළා.
ඵුස්ස කෝකිල රජතුමා සුවපත් වෙලා ඉන්නවා කියල ආරංචි වුණ එතුමා ගේ කොවුල් අඟනන් ආපහු ඇවිල්ලා කලින් වගේ ම ඒ රජතුමා ව පිරිවරාගත්තා. ඉතින් කුණාල රජ්ජුරුවොත් කීප දවසක් එතැන ම නැවතිලා ඉඳලා විසිරි ඵල වැල ගෙන්වාගෙන ඵුස්ස කෝකිල රජතුමාට කැව්වා. ඒ නිසා ටික දවසකින් ම ඒ රජතුමා ගේ ශරීරය පෙර සේ ම බලවත් වුනා. හොඳට ම නිරෝගී වුනා.
එතකොට කුණාල රජතුමා ඵුස්ස කෝකිල රජතුමාට මෙහෙම කිව්වා.
“පින්වත් යාලුවා, දැන් පිරිවර ස්ත්‍රීන් එක්ක සුව සේ වාසය කරන්න. මම මගේ වාසස්ථානයට යනවා.”
ඵුස්ස කෝකිල රජතුමාට තමන් ගෙ ස්ත්‍රීන් ගෙ හැටි දැන් නම් ටිකක් තේරිලයි තිබුනේ. ඒ නිසා එතුමා මෙහෙම කිව්වා.
“යාලුවා, මගේ කෝකිලාංගනාවෝ මම හොඳට ම ලෙඩ වුනා ම මගේ මුහුණවත් බලන්නේ නැති ව, මාව අතහැරදමලා ගියා. ඒ වගේ දූර්ත කෙල්ලන්ගෙන් මට කිසි ම ප්‍රයෝජනයක් නැහැ”
ඒ කථාව අහපු බෝධිසත්ව කුණාල රජතුමා මෙහෙම කිව්වා.
“පින්වත් යාලුවා, දැන් ඔබට ස්ත්‍රීන් ගේ නුගුණ සිහිපත් වුන නිසා, මම ත් මම දන්නා නුගුණ ඔබට කියලා දෙන්නම්. ඒක හොඳින් අසන්න.”
මෙහෙම කියපු කුණාල රජතුමා තමන් ගේ යහලු ඵුස්ස කෝකිල රජතුමාව ත් එක්ක ගෙන හිමාල වනයේ අර ගල්තලාව මත තිබුණු සල් රුක් සෙවනට ගියා.
ඒ සල් රුක් සෙවණ අසල තිබුණු තුන් යොදුන් රන්සිරියෙල් ගල් තලාවේ එක් පසෙකින් ඵුස්ස කෝකිල රජතුමා තමන් ගේ පිරිවර ත් සමඟ සිටියා.
මේ සිදුවීම දැකපු පර්වත වල වාසය කරන දෙවිවරු, “අද කුණාල රජතුමා මනෝසිලා තලය මත හිඳගෙන සර්වඥ විලාශයෙන් ධර්මය දේශනා කරනවාලු, ඒ ධර්මය අසන්නට රැස් වෙන්න” කියා එකිනෙකාට පවසන්නට වුණා. මෙය ඝෝෂාවක් මෙන් පැතිර ගියා.
ඒ ශබ්දය චාතුම්මහාරාජික දෙව්ලොවේ දෙවිවරුන්ට ත් අසන්නට ලැබුණා. ඉතින් ඒ ක්‍රමයෙන් සදෙව්ලොවේ ම දෙවිවරුන්ට මේ පණිවිඩය අසන්නට ලැබුණා. සදෙව්ලෝක වාසී දෙවිවරු ත් බොහෝ පිරිසක් ඒ ධර්මය දේශනා කරන තැනට රැස් වුනා.
ඒ වගේ ම බොහෝ නාග පිරිස් ද, සුපර්ණ පිරිස් ද, හිමාලවනයට ආසන්න ව පිහිටි වනාන්තර වල භූමාටු දෙරු ද මේ සදහම් ඝෝෂාව නිසා එතැනට රැස් වුනා. ඒ දවස් වල ‘අනද’ කියල ගිජු ළිහිණි රජෙක් දස සහසක් පමණ ගිජු ළිහිණියන් පිරිවරාගෙන ගිජුකුලු පව්වේ වාසය කරනවා. මේ ධර්ම දේශනා කාලය ගැන අසන්නට ලැබුණු ඒ ගිජු ළිහිණි රජතුමා ත් තමන් ගේ පිරිවර ත් සමඟ පැමිණිලා එකත් පසෙක හිඳ ගත්තා.
ඒ වගේ ම ඒ දවස් වල නාරද කියන තපස්වීන් වහන්සේ කෙනෙක් තමන් ගේ දසදහසක් පමණ වූ ගෝල තපස්වීන් වහන්සේලා ත් සමඟ හිමාල වනයේ වාසය කරනවා. ඒ තාපසයන් වහන්සේලා සියලු දෙනා ම අභිඤ්ඤාලාභී උත්තමයන් වහන්සේලා. ඒ නාරද තපස්වීන් වහන්සේ ත් කුණාල රජතුමා ත් හිත මිත්‍රයෝ. ඉතින් නාරද තාපසයන් වහන්සේට ත් තමන් ගේ මිත්‍රයා අද ධර්මය දේශනා කරන බව අසන්නට ලැබුණා. ‘මම ත් අද ධර්ම දේශනාව අසන්නට ඕනෑ’ කියා තමන් ගේ ගෝල තපස්වීන් වහන්සේලා ත් සමඟ රන්සිරියෙල් ගල් තලාව මතට වැඩියා. සර්වඥ කෙනෙකුන් වහන්සේ ගේ ධර්ම දේශනාවකට පිරිස රැස් වෙනව වගේ තමයි එදා බෝසත් කුණාල රජතුමා ගේ ධර්ම දේශනාව අසන්නට පිරිස රැස් වුනේ.....
සාදු ! සාදු !! නමඳිමු සදහම්....
ඉතින් කුණාල රජතුමා සාදුකාර මැද්දේ තමන් ගේ ධර්ම දේශනාව පටන් ගත්තා. කලින් සඳහන් කළා වගේ ම ධර්ම දේශනාවට මාතෘකාව වුනේ ස්ත්‍රී පාර්ශවයේ නුගුණ යි. කුණාල බෝධිසත්වයන්ට ඒ ජීවිතයේ දී ජාතිස්මරණ ඤාණය පහළ වී තිබුණා. ඉතින් උන්වහන්සේ තමන් ඉස්සර ජීවිතවල දැකපු ස්ත්‍රීන් ගේ දෝෂ පූර්ණමුඛ කියන ඵුස්ස කෝකිල රජ්ජුරුවන්ට කියන්ට පටන් ගත්තා.
“පින්වත් යහලු පූර්ණමුඛ, බොහෝ ඉස්සර කාලේ මේ දඹදිව ම පියවරුන් දෙදෙනෙක් ඇති ස්වාපුරුෂයන් පස් දෙනෙක් ඇති කණ්හා කියල රාජකුමාරිකාවක් ඉපදුනා.
යහලු පූර්ණමුඛ, මම දැන් කියල දෙන්න හදන්නේ අන්න ඒ කුමාරිකාව ගේ විස්තරය යි.
බොහෝ ම ඉස්සර කාලේ කසී රටේ බ්‍රහ්මදත්ත කියල රජකෙනෙක් වාසය කළා. ඉතින් මේ රජතුමා විශාල සේනාවක් අරගෙන ගිහිල්ල කොසොල් රටේ හිටපු කොසොල් රජතුමා ව මරණයට පත් කරලා ඒ රජතුමා ගේ රාජ්‍ය අල්ලා ගත්තා. ඒ වගේ ම කොසොල් රජ්ජුරුවන් ගේ අග්‍ර මහේෂිකාව තමන් ගේ අග බිසව බවට පත් කරගත්තා. ඒ දේවිය බ්‍රහ්මදත්ත රජතුමාට දාව දියණි කෙනෙක් බිහි කළා. බ්‍රහ්මදත්ත රජතුමාට කලින් දරුවන් සිටියේ නැහැ. ඉතින් මේ දරු උපතෙන් සතුටට පත් වුන බ්‍රහ්මදත්ත රජතුමා තමන් ගේ අග බිසවට කැමති වරයක් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නා.
ඒ බිසව, එම වරය ගැනීම තමන්ට සුදුසු අවස්ථාවක දී සිදුකිරීමට අවසර ගෙන එය කල් තැබුවා. ඒ ඉපදුණු කුමාරිකාවට ක්‍රිෂ්ණා යන නම තැබුවා. ඉතින් මේ ක්‍රිෂ්ණා කුමාරිකාව ක්‍රමයෙන් වැඩිවියට පැමිණුනා. එක් දිනක් අග බිසවුන් වහන්සේ තමන් ගේ ක්‍රිෂ්ණා දියණිය තමන් වෙත කැඳවා මෙහෙම කිව්වා.
“දුවේ.. ඔයා පුංචි කාලේ, ඔයා ගේ පියා ඔයා වෙනුවෙන් කැමති වරයක් ගන්න කියල මට කිව්වා. දැන් ඔයාට කැමති වරයක් ලබා ගන්න.”
ඊට පස්සේ ඒ ක්‍රිෂ්ණා කුමාරිකාව තමන් ලබා ගත යුත්තේ කුමන වරයක් ද කියා කල්පනා කරන්නට වුනා. ඇය රජ කුමරියක් නිසා කිසි දෙයක අඩුවක් ඇයට තිබුණේ නැහැ. නමුත් ඇය ඉතා ම ත් රාගාදික තැනැත්තියක්. ඒ නිසා ඇය තමන් ගේ ලැජ්ජා බය නැති කරගෙන මෙහෙම කල්පනා කළා.
“මට ස්වාපුරුෂයෙක් හැර වෙන කිසි දෙයකින් අඩුවක් නෑ. ඒ නිසා මම මගේ වරය හැටියට ස්වාපුරුෂයෙක් ව ඉල්ලන්නට ඕනෑ.”
එහෙම හිතපු ඇය ඒ බව තමන් ගේ මෑණියන්ට කිව්වා. අග බිසව ත් ඒ කරුණ තමන් ගේ ස්වාමිපුරුෂයා වූ බ්‍රහ්මදත්ත රජතුමාට සැලකළා.
බ්‍රහ්මදත්ත රජතුමා ත්, ‘එහෙනම් කැමති පුරුෂයෙක් තෝරාගන්න’ කියා නුවර පුරා අණබෙර යවා පුරුෂයන් රැස් කරවූවා. ක්‍රිෂ්ණා කුමාරිකාව ත් කැමති පුරුෂයෙක් ව තෝරාගැනීම පිණිස, මල් මාලාවන් ද රැගෙන, සර්වාභරණයන් ගෙන් සැරසී උතුරු සීමැදුරු කවුලුව අසල සිට බලා ගෙන සිටියා.
රැස්වෙලා හිටපු හැම පුරුෂයෙක් දිහා ම බැලුවත් ඇය ගේ හිතට හරියන කෙනෙක් ඒ පුරුෂයන් අතර සිටියේ නැහැ. ඒ නිසා ඇය අපේක්ෂා භංගත්වයෙන් යුක්ත වූ බැල්මෙන් යුතු ව බලා ගෙන සිටියා.
ඒ දවසේ ම පාණ්ඩව රාජ ගෝත්‍රයේ අර්ජුන, නකුල, භීමසේන, යුධීෂ්ධීර, සහදේව කියන රාජ කුමාරවරු පස් දෙනා තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඇසුරෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන, ගුණ දොස් පරීක්ෂා කිරීම සඳහා දඹදිව පුරා චාරිකායෙන අතරතුර බරණැස් නුවරට ත් පැවිසියා.
ඉතින් මේ කුමාරවරුන්ට ත් අර අණබෙරය අසන්නට ලැබුණා. ඒ පිළිබඳ ව විමසා දැනගත් මේ පස්දෙනා ත් ක්‍රිෂ්ණා කුමරිය ගේ ස්වයංවර උත්සවය පැවැත්වෙන තැනට ගියා. පාණ්ඩව ගෝත්‍රයේ මේ කුමාරවරු පස්දෙනා ගෙ ශරීර රත්තරන් පිළිම වගේ ඉතාමත් සුන්දර යි. මේ කුමාරවරු පස් දෙනා දැකපු ක්‍රිෂ්ණා කුමාරිට ඒ පස් දෙනා ගැන ම දැඩි රාගයක් ඇති වුනා. ඊට පස්සේ තමන් ගේ මෑණියන්ට මේ විදියට කිව්වා.
“මෑණියනි, අර රන්පිළිම වගේ බැබලෙන කුමාරවරු පස් දෙනාට ම මම කැමති යි. මට ඒ පස් දෙනා ම විවාහ කරගන්නට ඕනෑ.”
එහෙම කියපු ක්‍රිෂ්ණා කුමාරිකාව ඒ කුමාරවරු පස්දෙනාට ම මල් මාලා දැමුවා. රජ බිසවුන් වහන්සේ මේ ගැන බ්‍රහ්මදත්ත රජතුමාට පැවසුවා. ඒ පුවතට සවන් දුන්න බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ සිතේ ඒ ගැන කැමැත්තක් ඇති වුනේ නැහැ. නමුත් තමන් වරයක් ලබා දී තිබුනු නිසා රජතුමාට කිසි ම දෙයක් කරගන්නට නො හැකි වුනා. ඔහුට සිවුනේ ක්‍රිෂ්ණා කුමාරි ගේ අදහසට ඉඩ දෙන්නට පමණ යි.
ඉතින් රජතුමා ඒ කුමාරවරුන් කවරෙකු ගේ පුතුන් දැ යි කියා විමසා සිටියා. ඔවුන් පාණ්ඩව රාජ කුමාරවරුන් බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා තමන් ගේ සිතේ ඇති වුන නොසතුට නැති කරගෙන සතුටට පත් වුනා. ඒ කුමාරවරුන්ට මහත් වූ සත්කාර සම්මාන කරල රාජ කුමාරවරුන් පස් දෙනා ට ක්‍රිෂ්ණා කුමාරිය ව සරණපාවා දුන්නා.
ඒ කුමාරිකාව ත් තමන් ගේ සත්මහල් ප්‍රාසාදයේ ඒ කුමාරවරුන් පස් දෙනා සමග කාමසේවනයේ යෙදෙමින් වාසය කරන්නට වුනා.
ඒ දවස්වල එම සත්මහල් ප්‍රාසාදයේ ප්‍රධාන දොරටුව අසල විසිලු මුහුණක් ඇති, අත් පා කොර වූ, පපුවේ මුහුණ තිබෙන්නාක් සේ පෙනෙන, එක්තරා විරූපී කුදු මිනිසෙක් සිටියා. මේ කොර මිනිසා දුටු සැණින් ක්‍රිෂ්ණාවන් ගේ සිතේ ඔහු ගැන ත් ඉතා දැඩි රාගයක් හට ගත්තා. ඉතින් රාජ කුමාරවරුන් පස්දෙනා ප්‍රාසාදයෙන් පිටතට ගිය අවස්ථාවක තමන් ගේ රාගය ඉවසා ගත නො හැකි වී ඒ ඇය කොර මිනිසා සමඟ අනාචාරයේ හැසිරුනා. ඉන් පසු ඔහුට මෙසේ කිව්වා.
“මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ. මේ රජකුමාරවරුන් පස්දෙනා මරල උන් ගේ බෙල්ලෙන් ගලන ලේ වලින් ඔයා ගේ සිරිපතුල් හෝදන්ට මම කැමති යි”. මේ ආදී වශයෙන් ඒ කොර මනුස්සයාට චාටු බස් කියන්න පටන් ගත් ක්‍රිෂ්ණා, රජ කුමාරවරු අතරින් වැඩිමහලු කෙනා සමග එක් වූ ඔහු ගේ සිත ගන්නට මෙසේ කියනවා.
“ස්වාමීනි, මේ අනිත් කුමාරවරුන්ට වඩා මම ගොඩාක් ම ආදරේ ඔබ වහන්සේට යි. ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන්ට මට පුලුවන්. මගේ පිය රජතුමා කලුරිය කළා ම මම මේ රාජ්‍ය ඔබට ලබා දෙනවා.”
වැඩිමහලු කුමාරයා ගාව දී මෙහෙම කියන ක්‍රිෂ්ණා අනිත් කුමාරවරුන් සමඟ එකතු වූ විට ත් වෙන වෙන ම ඒ විදියට ම කියනවා.
ඉතින් ඒ කුමාරවරු ත් මේ චාටු බස් වලට රැවටිලා, ‘මේ තැනැත්තිය මට ම යි වැඩිපුර ආදරය කරන්නේ, මැය නිසා තමයි ඉදිරියේ දී මට රජ වෙන්න ත් පුලුවන් වෙන්නේ’ යැ යි වෙන වෙන ම සිතා ඇයට වඩ වඩා ත් සෙනෙහස දක්වනවා.
මේ විදියට ටික දවසක් ගතවෙන කොට මේ ක්‍රිෂ්ණා කුමාරිකාවට අසනීපයක් හැදුනා. වැඩිමහලු රජ කුමාරයා ක්‍රිෂ්ණා කුමාරිකාව ගේ හිස තමන් ගේ ඔඩොක්කුවේ තබා ගෙන සිටියා. අනිත් කුමාරවරු සතර දෙනා ක්‍රිෂ්ණා කුමාරි ගේ දෑත් දෙපා පිරිමදිමින් සිටියා. අර අත් පය කොර වූ මිනිසා ත් එතැන පාමුල වැතිරී හිඳගෙන සිටියා.
මේ අවස්ථාවේ.දී ක්‍රිෂ්ණා කුමාරිකාව, හිස අල්වාගෙන සිටි වැඩිමහලු රජ කුමාරයාට, “ස්වාමීනි, ඔබ වහන්සේ තරම් ප්‍රිය කෙනෙක් තව ත් නම් මට නැහැ. ඔබ වහන්සේ මැරෙන තැන මම ත් මැරෙනවා. ඉතින් මට සුවසේ ජීවත්වෙන්ට පුලුවන් වුනොත් මගේ පිය රජතුමා ගෙන් පසු ව ඔබ වහන්සේට මේ රාජ්‍ය ලබා දෙනවා.” යන අදහස ඒ කුමාරයාට තේරුම් යන පරිදි තමන් ගේ හිසින් සඤ්ඤාවක් කළා. ඒ විදියට කිරීමෙන් වැඩිමහලු රාජ කුමාරය ගේ සිතේ තමන් කෙරෙහි කැමැත්තක් ඇති කෙරෙව්වා.
ඒ විදියට ම, ඒ අදහස ම ඇති වෙන ආකාරයට අනිත් කුමාරවරුන් හතර දෙනාට ත් අත් පා වලින් වෙන වෙන ම සඤ්ඤා කළා. පාමුල සිටි කුදාට ත්, “ඔබ මට ඉතා ම ප්‍රිය යි. ඉතින් ජීවත් වුනොත් ඔබට තමයි මම වැඩිපුර ම සෙනෙහස දක්වන්නේ” කියා දිවෙන් සඤ්ඤාවක් කළා.
මේ හය දෙනා ම කලින් වෙන වෙන ම ක්‍රිෂ්ණා සමඟ කථාබස් කරගෙන සිටි නිසා මේ සිදු කළ සඤ්ඤා තේරුම් ගත්තා. වැඩිමහලු අර්ජුන කුමාරයා දෑත් දෙපාවලින් හා දිවෙන් මේ ස්ත්‍රිය කළ විකාරය දුටුවා. දැකලා “මේ ස්ත්‍රිය මට සඤ්ඤාවකින් යමක් ඇඟෙව්වා නම්, මේ කුදා ඇතුලු අනිත් අයට ත් ඇඟෙව්වේ ඒක ම යි. එකත් එකට ම මේ ස්ත්‍රිය මේ කුදා එක්ක ත් සම්බන්ධයක් ඇති කරගෙන සිටිනවා” කියා තේරුම් ගත්තා.
ඉන් පසු ව තමන් ගේ බාල සහෝදරයන් සතර දෙනාට කථා කොට පිටතට කැඳවාගෙන ගියා. කැඳවාගෙන ගොස් මෙසේ ඇසුවා.
“ක්‍රිෂ්ණාවන් මට හිසින් කළ සඤ්ඤාව ඔබලා දැක්කා ද?”
“එසේ ය, අය්යණ්ඩි, අපි දැක්කා.”
“ඒ සඤ්ඤාවෙන් අදහස් කළේ කුමක් දැ යි කියා දන්නවා ද?”
“නෑ අපි දන්නේ නැහැ.”
මෙන්න සළකුණේ තේරුම....
ඉන් පසු ව අර්ජුන කුමාරයා ඒ සළකුණේ තේරුම තමන් ගේ සහෝදරයින් සතර දෙනාට පැහැදිලි කොට දුන්නා. ඒ වගේ ම ඒ කුමාර වරුන්ගෙන් ඔවුන්ට කළ සඤ්ඤාවල තේරුම ද අසා දැන ගත්තා. අනතුරු ව කුදු මිනිසාට කළ සඤ්ඤාව දුටුවා ද කියා ත් කුමාරවරුන්ගෙන් අසා සිටියා.
ඒ කුමාරවරුන් එම සඤ්ඤාව දැක තිබුනේ නැහැ. ඉතින් ඒ කුදාට කළෙත් තමන්ට කළ සඤ්ඤාව වැනි එකක් ම බව පැහැදිලි කර දුන් අර්ජුන කුමාරයා, ඒ පිළිබඳ ව නිසැක භාවයට පත් වීම පිණිස කුදා ව ගෙන්වා ඒ ගැන ප්‍රශ්න කළා. කුදු මිනිසා එය සත්‍යයක් බව හෙළි කළා.
මේ විදියට මේ රාජ කුමාරවරු පස් දෙනා ඒ ස්ත්‍රිය ගේ අනාචාර ක්‍රියා සියල්ල ප්‍රත්‍යක්ෂ ලෙස ම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ විදියට කල්පනා කළා.
“අපි වගේ උතුම් රජ පෙළපතකට අයිති, ඉතා ම කඩවසම් කුමාරවරු පස් දෙනෙක් එක්ක ත්, මේ වගේ ඇදකුද තිබෙන, විහිලු ශරීරයක් තිබෙන, දැලි කුණු පෙරා ගත්ත කුදෙක් එක්ක ත් අනාචාරයේ හැසිරෙන්න තරම් ලැජ්ජාවක් නැති මේ ගෑනි, මීනි කුණකට ඉව අල්ලන කැණහිල් බැල්ලියක් වගෙයි. මේ වගේ අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන්ට මොලේ තිබෙන මොන මිනිහ ද ආදරය කරන්නේ.”
මේ විදියට ස්ත්‍රීන්ට නින්දා කළ කුමාරවරු පස් දෙනා, ‘දැන් ඉතින් මේ ගිහි ජීවිතයේ ආදීනව අපි හොඳට තේරුම් ගත්තා. තව දුරට ත් මේ ගිහි ගෙදර ගත කරන එක කිසි ම තේරුමක් ඇති දෙයක් නො වෙයි.’ කියා කතා බස් කරගෙන ආපසු නො බලා ම හිමාල වනය බලා පිටත් වුනා. හිමාල වනයට ගොස් සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදි බිමට පත් වුනා. ඉන් පසු අප්‍රමාදී ව බණ භාවනා කොට ධ්‍යාන සමාපත්තීන් උපදවාගෙන, කිසි දිනෙක කාමයන් තුළින් ලැබිය නො හැකි උත්තරීතර සැපතක් විඳිමින් ජීවත් වී කලුරිය කොට බ්‍රහ්මලෝකයේ ඉපදුනා.”
ඉතින් ඒ අර්ජුන කුමාරයන් තමයි පසු ව කුණාල රජ වී උපන්නේ.
ඊළඟට කුණාල රජතුමා තමන් අතීත භවයක දී දුටු තවත් කාරණයක් ඵුස්ස කෝකිලයන්ට කියන්නට වුනා.
“බොහෝ ම ඉස්සර කාලේ දඹදිව බරණැස් නුවර ‘පණ්ඩිත පාලිනී’ කියල නම තිබෙන තැනැත්තියක්, සිවුරක් වැනි දෙයක් පොරවාගෙන යම් කිසි සීලයක් සමාදන් වී එය ආරක්ෂා කරමින් වාසය කළා. ඇය සොහොනේ තමයි පන්සලක් තනවා ගෙන වාසය කළේ. ඒ වගේ ම මේ තැනැත්තිය දවස් හතරකට එක් වරක් පමණ යි ආහාර අනුභව කළේ. ඉතින් ඒ පන්සලේ වාසය කරමින් බරණැස් නුවරින් පිණ්ඩපාතය ලබා ගෙන උග්‍ර විදියට තපස් රකිමින් සිටි ඒ කාන්තාව බරණැස් නුවර ඉර හඳ මෙන් ප්‍රසිද්ධ වුනා.
කොයි තරම් නම් ප්‍රසිද්ධ ගෞරව බහුමානයට ලක් වුනා ද කියනවා නම්, ඒ දවස් වල යම් කිසි කෙනෙකුට කිවිසුමක් ගියොත් හෝ පය පැකිලී වැටෙන්නට ගියොත් හෝ, “නමෝ පණ්ඩිත පාලිනී” කියා ඇය සිහිපත් කොට නමස්කාර කරනවා. ඉතින් මේ විදියට මුලු බරණැස් නුවර ම ජීවත් වුන මිනිසුන් ගෙන් පුද පූජා සත්කාර ලබා ගනිමින් ඒ කාන්තාව වාසය කරන දවස්වල, බරණැස් නුවර මිනිස්සු සැණකෙළියක් පටන් ගත්තා. මිනිස්සු තැන තැන මණ්ඩප සාදා ගෙන, සඳුන් ආදියෙන් සුවඳවත් කරගෙන, රා බොමින් මස් ආදිය කමින් නටමින් ගයමින් සතුටු වෙන්නට පටන් ගත්තා. ඉතින් මේ විදියට මත් පැන් බොමින් සිටි එක් මිනිසෙක් අතින්, රා ඔඩමක් ලිස්සා වැටෙන්නට ගියා. එවිට ඔහු “නමෝ පණ්ඩිත පාලිනී” කියා අර ස්ත්‍රිය සිහිපත් කොට නමස්කාර කළා. ඒ රා මණ්ඩපයේ රා බොමින් සිටි මිනිසුන් අතර සිටි එක්තරා නුවණැති පුරුෂයෙකුට මෙය ඇසුනා. එවිට ඔහු මෙසේ පැවසුවා.
“ඒයි මෝඩ කාලකණ්නියා, ජරාවුනු හිත් තියෙන ස්ත්‍රීන්ට නමස්කාර කරන එක මෝඩයන්ට නම් ගැළපෙන දෙයක්”
එතකොට අර මනුස්සයා මෙහෙම කිව්වා. “යාලුවා එහෙම කියන්න එපා. උතුම් ගුණ තියෙන උන්වහන්සේට වැරදි වචන කියල නරකාදියේ උපදින්ට එපා.”
එවිට අර නුවණැති පුරුෂයා, ‘කහවනු දහසකට ඔට්ටු අල්ලනවා නම්, දවස් හතක් ඇතුළත ඇගේ තවුස් වෙස් හරවා, සියලු අලංකාර ඇඳුම් ආයිත්තම් වලින් සැරසී, මේ රා මණ්ඩපයේ ම රා ඔඩමක් අතින් අරගෙන, නටව නටවා රා බොන තැනට වැඩ සිද්ද කරනවා’ කියා ප්‍රකාශ කළා. ඒ වගේ ම ‘ස්ත්‍රී ජාතිය කියන්නේ ස්ථිර අදහසක පිහිටා ඉන්ට පුලුවන් පිරිසක් නො වෙයි’ කියා ද පැවසුවා.
මේ කථාව අහපු අනිත් මනුස්සයා, ‘ඒකාන්තයෙන් ම ඒ තපස්වීන් වහන්සේ ගේ තපස කාටවත් උගුල්ලන්ට බැහැ, එහෙම කරනවා නම් කහවනු දාහක් ඔට්ටුයි’ කියා ඔට්ටුවට එකඟ වුනා.
ඉතින් මේ විදියට ඔට්ටුව සඳහා එකිනෙකා ව පොරොන්දු කරගෙන සාක්ෂි පිණිස තව කිහිප දෙනෙක් වත් තබා ගත්තා.
ඊට පසුදා හිමිදිරියේ ම අර නුවණැති පුරුෂයා තාපස වේශයක් අරගෙන පණ්ඩිත පාලිනී ගේ පන්සලට සමීප තැනකට ගිහිල්ලා සූර්ය නමස්කාරය කරමින් සිටියා.
පණ්ඩිත පාලිනී උදෑසන පිණ්ඩපාතයට යන විට මේ තාපස වේශය අරගෙන සිටි පුද්ගලයා ව දැක්කා. දැකල මෙහෙම කල්පනා කළා.
“මේ නම් එකත් එකට ම මහානුභාව සම්පන්න තාපසයන් වහන්සේ නමක් වෙන්ට ඕනැ.”
එහෙම හිතපු ඇය අර තාපස වෙස් ගෙන හිටපු තැනැත්තා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මම ත් මේ සොහොන මැද, උග්‍ර විදියට තපස් රකින කෙනෙක්. ඔබ වහන්සේ ගේ ශාන්ත භාවය දැකලා මගේ සිත පැහැදුනා. ඔබ වහන්සේට වන්දනා කරන්න තමයි මම මේ ආවේ.”
ඊට පස්සේ පණ්ඩිත පාලිනී, එහෙම්ම ම බිම පෙරළිලා අර තාපස වෙස් ගෙන හිටපු කෙනාට වන්දනා කළා.
නමුත් හොර තාපසතුමා ඇය දිහා බැලුවේවත් ඇය ත් සමඟ කථා කළේවත් නෑ. ඒ විදියට කථා බහ නො කර සිටියේ තමන් ඉතාමත් ගුණවත් කෙනෙක් කියන බව පණ්ඩිත පාලිනීට අඟවන්න යි. දෙවෙනි දවසේ ත් ඒ විදියට ම කටයුතු කළා.
තුන් වෙනි දවසේ තාපසිය හොර තාපසතුමාට ආදර ගෞරවයෙන් වන්දනා කළ විට, ‘වැඩිපුර කථා බහ මොකේට ද? ඔන්න ඔහෙ වන්දනා කරල කරබාගෙන යන්ට’ කියල ඔහු තාපසියට පැවසුවා.
හතරවෙනි දවසේ, වන්දනා කළ පසු, ‘කොහොම ද, පිණ්ඩපාතයෙන් ද ජීවත් වෙන්නේ?’ යන වචන ටික පමණක් ඒ හොර තාපසතුමා පණ්ඩිත පාලිනිය ගෙන් විමසුවා.
ඉතින් එදා තාපසියට හොඳට ම සතුටු හිතුනා. මොකද එදා තාපසයා වචන කිහිපයක් කථා කළා නෙ. ඒ නිසා තමයි ගොඩාක් සතුටු වුනේ.
පස්වෙනි දවසේ, තාපස වෙස් ගත් පුද්ගලයා පණ්ඩිත පාලිනී ගේ සිත දිනා ගැනීමේ අදහසින් ම ඇගෙන් ගොඩාක් තොරතුරු විමසා සිටියා.
හයවෙනි දවසේ, පැමිණිලා වන්දනා කළාට පස්සේ හොර තාපසතුමා ඇගෙන් මෙහෙම ඇහුවා.
“නැගණිය, මොකක් ද මේ අද බරණැස් නුවර පැත්තෙන් ඇහෙන සංගීත ශබ්දය”
“ඇයි ස්වාමීනි, ඔබ වහන්සේ දන්නේ නැද්ද? බරණැස් නුවර සැණකෙලියක් පටන් අරගෙන නෙ. ඉතින් ඒ සැණකෙළියේ සතුටු වෙන මිනිස්සුන් ගේ ශබ්දය තමා ඒ ඇහෙන්නේ.”
එවිට, ඒ ගැන ඇල්මක් නැති කෙනෙක් වගේ හොර තාපසතුමා තාපසියට මෙහෙම කිව්වා.
“ආ එහෙම ද? ඕවගෙන් ඉතින් අපිට වැඩක් නෑනෙ. ඉතින් නැගණිය ඔබට දවස් කීයකින් ද බත් ටිකක් වළඳන්ට ලැබුණෙ.”
“ස්වාමීනි, මම දවස් හතරකට වතාවක් තමයි බත් අනුභව කරන්නේ. ඔබ වහන්සේ දවස් කීයකට වතාවක් ද බත් වළඳන්නේ?”
පණ්ඩිත පාලිනී එහෙම අහපුවා ම, නිතර ම බත් කන හොර තාපසයා, බොහෝ දිනකින් ආහාර නොගත් කෙනෙක් වගේ, මෙහෙම කිව්වා.
“නඟා... මම නම් බත් වළඳන්නේ දවස් හතකට එක සැරයයි. මම අවුරුදු හයක් තිස්සේ ම මේ විදියට උග්‍ර තපස් රකිනවා. ඒත් ඒ තපස්කමින් කිසි ම වැඩක් උනේ නැහැ නොවැ. මේ වෙනකම්ම මට කිසි ම විශේෂ දෙයක් ලබා ගන්ට බැරිවුනා. ඉතින් නඟා, ඔබ දැන් අවුරුදු දොළහක් තිස්සේ මේ විදියට උග්‍ර තපස් රැකල මොනවත් ලබා ගත්ත විශේෂ දෙයක් එහෙම තියෙනව ද?”
“අනේ ස්වාමීනි, මොන ගුණ විශේෂයක් ද? මේ අවුරුදු දොළහට ම මට කිසි දෙයක් ලබා ගන්ට බැරි වුනා.”
“ඇත්තට ම නඟා.. කාම සැපතකුත් නැති ව, පැවිදි සැපතකුත් නැති ව ගත කරන මේ ජීවිතේ තේරුම මොකක් ද? මේ දුක් තැවුල් තියෙන්නේ අපිට විතරක් ද මන්ද.. දැන් නම් මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම මේ පැවිද්ද අතහැරල දාල, හුඟක් මිනිස්සු අනුභව කරන ඒ අති සුන්දර පංච කාමයන් අනුභව කරන්න පටන් ගන්නවා. මට නම් මේ දුක තව ත් විඳින්න බැහැ.”
ඉතින් හොර තාපසයා ඒ විදියට කිව්වහම, චපල හිතක් තියෙන පණ්ඩිත පාලිනීට සේරම අමතක වුනා. තමන් පුරමින් සිටිය සීලය ත් අමතක වුනා. මිනිස්සුන් ගෙන් ලබපු පුද සත්කාර සියල්ල ත් අමතක වුනා. තමන් ගෙ තත්වය ගැන ඇයට කිසි ම සිහියක් ඇති වුනේ නැහැ. ඇය ගේ හිතේ ඒ වෙනකොට ත් ඒ තාපසයා ගැන යම් කිසි ඇල්මක් ඇති වෙලයි තිබුනේ.
ඉතින් ඇය ඒ තාපසයාට මෙහෙම කිව්වා.
“ස්වාමීනි මම ත් මේ තාපසකම ගතකරන්නේ කැමැත්තකින් නම් නෙමෙයි. ඉතින් ඔබ වහන්සේ මාව අතහරින්නේ නැත්නම්, මම ඔබ වහන්සේට භාර්යාව වෙන්නම්.”
ඉතින් පණ්ඩිත පාලිනී ගේ මේ යෝජනාවට හොරට තාපස වෙස් ගත්ත ඒ පුරුෂයා කැමති වුනා. කැමති වෙලා ඇය ව අත් නො හරින බවට පොරොන්දු වුනා.
ඊට පස්සේ මළ පුඩුවක බැඳුනු මුව දෙනක් වගේ, වචන කියන මළ පුඩුවේ බැඳුනු පණ්ඩිත පාලිනී, සිවුරු ඇරල අර පුරුෂයා ත් එක්ක බරණැස් නුවරට ගිහින් අනාචාරයේ හැසිරුනා. ඊට පස්සේ අර ඔට්ටු අල්ලපු සුරා මණ්ඩපයට ගිහිල්ලා රා ඔඩමක් ගෙන්නා ගෙන එකට ඉඳගෙන මත් පැන් බිව්වා.
ඔට්ටු අල්ලපු මනුස්සයා අර නුවණැති පුරුෂයාට කහවනු දහසක් ලබා දුන්නා.
ඉතින් මෙන්න මේ විදියට යි පණ්ඩිත පාලිනී ‘අපණ්ඩිතපාලිනී’ වුනේ. ඇය පසු කලෙක දී අර පුරුෂයා නිසා ගැබ් ගත්තා. ඉතින් ඒ විදියට ඇය දරු මුණුපුරන් සමඟ පංච කාමය විඳිමින් තමයි තමන් ගේ ජීවිතේ ඉතුරු කාලය ගතකළේ.
මේ විදියට කුණාල රජතුමා තමන් දැකපු ස්ත්‍රීන් ගේ නුගුණ ඵුස්ස කෝකිල රජතුමාට ප්‍රකාශ කළා.
ඊළඟට තවත් සිදුවීමක් විස්තර කළා.
ගොඩාක් ඉස්සර කාලේ දඹදිව කසී රටේ බ්‍රහ්මදත්ත කියල රජ්ජුරුකෙනෙක් වාසය කළා. ඒ රජතුමා කොසොල් රටේ කොසොල් රජතුමා ව මරණයට පත් කරල ඒ රාජ්‍ය තමන් ගේ යටතට ගත්තා. ඒ වගේ ම ගර්භනී ව හිටපු කොසොල් රජතුමා ගේ අග්‍ර මහේෂිකාව, ගර්භනී බව දැන දැන ම තමන් ගේ අගමෙහෙසිය බවට පත් කර ගත්තා.
ඒ බිසව දසමසක් ගත වුනාට පස්සේ රන් රූපයක් වගේ සුන්දර පුත් කුමරෙක් බිහි කළා. ඒ කුමරා ව දැකපු රජ බිසව මෙහෙම කල්පනා කළා. “මේ පුතා වැඩිවියට පත් වුනා ම, මේ මගෙ හතුරගෙ පුතා නෙ කියල, බරණැස් රජතුමා මේ දරුවා ව මරන්නට පුලුවන්. අනුන් අතින් මැරෙනවාට වැඩිය මගේ පුතා, නිකම්ම මැරිල යනවා නම් හොඳ යි.”
එහෙම හිතපු රජ බිසව, කිරි මවකට කථා කරල, දරුවා ව රෙදි කැබැල්ලක නිදි කරවල, සොහොනට ගිහින් දමන්න කියා ඇයට භාර දුන්නා.
ඇය ත් ඒ විදියට ම වැඩ කටයුතු සිදුකළා.
මියගිය කොසොල් රජතුමා ඒ වෙනකොට දෙවිකෙනෙක් වෙලා තමයි ඉපදිලා හිටියේ. ඉතින් ඒ දේවතාවා තමන් ගේ දරුවා සොහොනට දමනවා දැකල, ඒ වෙලේ ම ගිහින් ආරක්ෂාව පිණිස රැකවල් දමා ගත්තා.
ඉතින් ඒ ආරක්ෂක දේවතාවා ගේ ආනුභාවය නිසා, ගොපල්ලෙකුට අයිති එලුවන් රංචුවකින් එක්තරා එළු දෙනක් අර පුංචි කුමාරයා ව තමන් ගේ කකුල් අතර තබා ගෙන දණ බිම ඇණගෙන කිරි පොවන්නට පටන් ගත්තා. මේ විදියට දවසට තුන් හතර වතාවක් ම කිරි පොවා, එතැනින් බැහැර නො වී සමීප ස්ථානවල ම ඇවිදිමින් ගොදුරු කනවා. එළුවන් බලා ගන්නා ගොපල්ලා එළු දෙන ගේ මේ ක්‍රියාව දැක්කා. ඉන් පසු ළඟට ගිහින් විපරම් කොට බැලුවා.
එවිට එතැන වැතිර සිටි රන් රුවක් මෙන් සුන්දර ළදරුවා ව මේ එළු ගොපල්ලාට දැක ගන්නට ලැබුණා. ඉතින් ඔහුට මේ පුංචි කුමාරයා ගැන දරු සෙනෙහසක් ඇති වුනා. ඊට පස්සේ ඒ ගොපල්ලා මේ දරුවා ව තමන් ගේ නිවසට රැගෙන ගිහින් භාර්යාව අතට පත් කළා. නමුත් ඒ භාර්යාව වඳ ස්ත්‍රියක්. ඒ නිසා දරුවාට කිරි දෙන්නට ඇයට හැකියාවක් තිබුනේ නැහැ. කිරි දීම භාර වුනේ අර එළු දෙනට ම යි. මේ දරුවා ව ගොපලු ගෙදරට ගෙනා දවසේ පටන් පුදුම දෙයක් සිදුවන්නට පටන් ගත්තා. ඒ ගොපල්ලා ගේ එළු පට්ටියේ සිටිය එළු දෙනුන් දවසට දෙතුන් දෙනා බැගින් මිය යන්නට පටන් ගත්තා. මේ සිදුවීම ගැන විමසිලිමත් වුන ගොපල්ලා මේ විදියට කල්පනා කළා. “මේ කොල්ලව ගෙට ගෙනාපු දවසේ ඉඳන් මගේ එළු දෙන්නු දෙන්න තුන්දෙනා එක දවසට මැරෙනවා. මේ කොල්ලගෙන් මට මොන ප්‍රයෝජනයක් ද?”
ඒ විදියට කල්පනා කළ ගොපල්ලා, මේ පුංචි කුමාරයා ව හැලියක් ඇතුළට දමල, ඇතුලට ජලය නොයන විදියට ත් වාතය පමණක් යන විදියට ත් පියනකින් වහල, ගංගාවේ පාකොට හැරියා. ඉතින් මේ හැළිය ගංගාවේ පාවෙලා යනකොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ රජමාළිගාවේ අලුත්වැඩියා කටයුතු කරන චණ්ඩාල වංශිකයෙක් තමන් ගේ භාර්යාව ත් සමඟ මුහුණ සෝදන්නට ගංතෙරට ගොස් සිටියා. ඔහු මේ පාවෙලා යන හැළිය දැක්කා. දැකල වේගයෙන් පීනාගෙන ගොස් එය ඔසවාගෙන ගොඩට ගෙනාවා.
පියන ඇරල බැලුවා ම ඇතුලේ හිටපු කුමාරයා ව දැක්කා. චණ්ඩාල වංශිකයාට ත් භාර්යාවට ත් දෙන්නාට ම ඒ පුංචි දරුවා ගැන සෙනෙහසක් ඇති වුණා. ඉන් පස්සේ ඒ දරුවා ව තමන් ගේ ගෙදරට ගෙනැවිත් පෝෂණය කරන්නට පටන් ගත්තා. ඉතින් කාලය ගත වුනා. දැන් මේ කුමාරයා ගේ වයස අවුරුදු හතක් අටක් පමණ ඇති. ඒ දරුවා තමන් ව හදා වඩා ගත් දෙමව්පියන් සමඟ රජ මාළිගාවට යන්නට පටන් ගත්තා. පසු ව අවුරුදු දහසයක් පමණ වූ විට තනිව ම රජ මාළිගාවට ගොස් එහි කළ යුතු කටයුතු සිදු කරන්නට ත් මේ කුමාරයා පුරුදු වුනා.
ඉතින් මේ රජතුමා ගෙ වෙනත් බිසවුන් වහන්සේ කෙනෙකු ගෙ ‘කුරඟවී’ කියල දුවක් සිටියා. මේ දියණිය ඉතා ම ලස්සන යි. කුමාරය ත් සැඩොල් නිවසක හැදී වැඩුනත් රජ කුලයේ ම ඉපදුනු නිසා ඉතාමත් විශිෂ්ට රූප සෝභාවකට හිමිකම් කිව්වා. ඒ වගේ ම මිහිරි වචන තමයි මේ කුමාරයා කථා බහ කරන්නේ.
එක දවසක් අර කුරඟවී රාජ කුමාරියට මේ කුමාරයා ව දකින්නට ලැබුනා. දැක්ක අවස්ථාවේ පටන් ඒ කුමාරියට මේ කුමාරයා ගැන කැමැත්තක් ඇති වුනා. වෙන කිසි කෙනෙක් ගැනවත් ඇලුම් කරන්නේ නැතිව මේ කුමරිය, කුමාරයා වැඩ කටයුතු කරන තැනට පැමිණ බලාගෙන සිටිනවා. මේ විදියට මේ දෙන්නා එකිනෙකා ව නිරන්තරයෙන් දැකීම නිසා ඔවුන් අතර සම්බන්ධයක් හට ගත්තා. ඉන් පසු රජ මාළිගාවේ ආවරණය වූ ස්ථාන වලට වෙලා අනාචාරයේ යෙදෙන්නට පටන් ගත්තා. මේ විදියට මාසයක් විතර ගත වුනා. කොහොම හරි මේ සිදුවීම කුරඟවී කුමාරි ගේ පරිවාර ස්ත්‍රීන්ට දැක ගන්නට ලැබී රජතුමාට සැළ කළා. රජතුමාට හොඳට ම තරහා ගියා. අර කුමාරයා ව අත්අඩංගුවට ගත්තා. ඉන් පස්සේ ඇමතිවරු රැස්කරලා, මේ විදියට කිව්වා.
“ඇමතිවරුනි මේ චණ්ඩාල පුත්‍රයා මේ වගේ නො කටයුතු වැඩක් සිදු කළා. මොහුට දිය යුතු දඬුවම කුමක් ද?”
“මහ රජතුමනි මොහු විසින් සිදු කරල තිබෙන්නේ උග්‍ර අපරාධයක්. මොහුට වෙන කිසිවෙකුට ත් නො දෙන ආකාරයේ නොයෙක් වද දීල පසු ව මරණයට පත් කරනවා නම් හොඳ යි.” ඇමතිවරු පිළිතුරු දුන්නා.
ඒ ක්ෂණයේ ම, ඒ කුමාරයා ගේ ආරක්ෂක දේවතාවා රාජ මහේෂිකාව ගේ ඇඟට ආවේශ වුනා. ඇය වහා ම රජතුමා ළඟට ගියා. ගිහිල්ලා මේ විදියට කියා සිටියා.
“මහ රජතුමනි, මේ දරුවා සැඩොල් දරුවෙක් නොවෙයි. කොසොල් රජ්ජුරුවන්ට දාව මගේ කුසේ පිළිසිඳගෙන ඔබ වහන්සේ ගේ මේ රජමාළිගාවේ දී මා වදපු දරුවා තමයි මේ. එදා මම දරුවා මරාදමයි කියා සිතා, ඔබට දරුවා මැරුණු බවට බොරු කියා අමු සොහොනේ දැම්මා. එතන දී එළු ගොපල්ලෙක් ගෙන ගොස් පෝෂණය කළා. ඔහු තමන් ගේ එළු දෙනුන් මැරෙන නිසා සැළියක දමා පා කොට යැව්වා. එවිට අපේ මේ මාළිගාවේ අලුත් වැඩියා වැඩ කරන චණ්ඩාලයා ඒ හැළිය දැකල කුමාරයා ව රැගෙන පෝෂණය කළා.”
මෙහෙම කිව්වත් රජතුමා එය විශ්වාස කරන පාටක් පෙනෙන්නට තිබුනේ නැහැ. එවිට දේවතාවා බිසව ලවා මෙසේ කියවූවා. “මේ කාරණය ඔබ වහන්සේට විශ්වාස නැත්නම්, ඒ හැම දෙනා ම ගෙන්වා විමසා බලන්න.”
මේ කථාව අහපු රජතුමා, කිරිමව ත් එළු ගොපල්ලා ත්, චණ්ඩාල වංශිකයා ත් යන තුන් පක්ෂය ම ගෙන්වා කරුණු විමසා සිටියා. කථාව සත්‍යයක් බව දැන ගත් රජතුමා, කුමාරයා ජාති සම්පන්න අයෙක් නිසා සුවඳ පැන් කළ දහසයකින් හිස සෝදා නහවා ආභරණවලින් සරසා කුරඟවී කුමාරිකාව ඔහුට ම සරණ පාවා දුන්නා.
මේ කුමාරයා ව මුලින් ම හදා වඩාගත් ගොපල්ලා ගේ එළුවන් මියැදුන නිසා මේ කුමාරයාට ‘ඒළක’ කුමාරයා කියා නමක් ද තැබුවා. ඉන්පසු ව බ්‍රහ්මදත්ත රජතුමා ඒළක කුමාරයා ගේ පිය රජ්ජුරුවන් වූ කොසොල් රජතුමා සතු සේනා වාහන ආදිය ලබා දී පිය රජතුමා සතු රාජ්‍ය ද ලබා ගන්නා ලෙස ප්‍රකාශ කළා.
ඉතින් ඒ ඒළක කියන කුමාර රජතුමා කුරඟවි කියන බිසවුන් වහන්සේ වත් රැගෙන තමන්ට උරුම රාජ්‍ය කරා ගොස් ඒ රාජ්‍යයේ පාලන කටයුතු පටන් ගත්තා.
මේ ඒළක රජතුමා අනාථ ව හැදුනු වැඩුනු නිසා කිසි ම ශිල්පයක් දැන ගෙන හිටියේ නැහැ. මේ බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා ඒළක කුමාර රජතුමාට ශිල්ප උගන්වන්නට ‘ජලග’ නම් කුමාරයෙකුට ගුරු තනතුර දී පිටත් කොට හැරියා.
ඉතින් ඒළක කුමාරය ත් ඒ ජලග කුමාරයාගෙන් ශිල්පාදිය ඉගෙන ගෙන, ‘අනේ මේ මගේ ආචාර්යයන් වහන්සේ නේ...’ කියා ඔහුට තමන් ගේ රාජ්‍යයේ සෙනෙවිරත් තනතුර ලබා දුන්නා.
ටික කාලෙකින් අර කුරඟවී කියන බිසව මේ ජලග ත් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන අනාචාරයේ හැසිරුනා. ජලග සෙනෙවියා මේ කුරඟවී බිසවට වස්ත්‍රාභරණ ආදිය හොරෙන් යවනවා. ඒ යවන්නේ තමන් ගේ ධනන්තේවාසික කියන ගෝලයා අත යි. ඉතින් මොකද වුනේ අර කුරඟවී බිසව මේ ධනන්තේවාසිකයා සමඟ ත් අනාචාරයේ හැසිරුනා.”
ඉතින් අන්න ඒ විදියට කුරඟවී නම් අංඟනාව සිදු කරන්නට යෙදුනු අනාචාරයන් පිළිබඳ ව එදා කුණාල රජතුමා තමන් ගේ ධර්ම දේශනාවේ දී රැස්වී සිටිය පිරිසට පැවසුවා.
තවදුරට ත් ස්ත්‍රීන් ගේ අනාචාරයන් ගැන ප්‍රකාශ කරන කුණාල රජතුමා තව ත් සිදුවීමක් පැවසුවා.
“යහළු පූර්ණමුඛ, බොහෝ ම ඈත අතීතයේ බරණැස් නුවර බඹදත් නමින් රජ කෙනෙක් සිටියා. ඒ රජතුමා ගේ පියා වුනේ කෝසල දේශයේ කොසොල් රජතුමා යි. ඉතින් මේ කොසොල් රජු ගේ බිසවට, ඒ කියන්නේ බඹදත් රජු ගේ මෑණියන්ට තමන් ගේ පුතා වූ බඹදත් රජු ව දකින්නට බරණැස් නුවරට යන්නට අවශ්‍ය වුනා. ඉතින් ඇය රජතුමා ගේ ද අවසර අරගෙන මහ පෙරහැරකින් බරණැස් නුවරට පිටත් වුනා. ඒ යන අතර තුර කොසොල් රටට ත් බරණැස් නුවරට ත් අතරතුර එක්තරා නියම් ගමක ලැගුම් ගත්තා. ඒ බ්‍රාහ්මණ ගමේ ඉතාමත් කඩවසම් පඤ්චාල චණ්ඩී යන නමින් යුත් කුමාරයෙක් සිටියා. මේ කුමාරයා ඒ බිසවුන් වහන්සේට තෑගි බෝග යවා තමන්ට ඇය ත් සමග කාමසේවනයේ යෙදෙන්නට අවශ්‍ය බව දන්වා සිටියා. බිසවුන් වහන්සේ ත් ඒ පඬුරු පිළිඅරගෙන කුමාරයා ගේ කඩවසම් භාවය ත් දැක බලා ගත්තා. ඉන් පස්සේ ඒ කුමාරයා කෙරෙහි රාගයෙන් යුතු ව ඔහු ත් සමඟ කාමසේවනයේ යෙදෙමින් එහි ම කිහිප දවසක් කාලය ගත කළා. පසු ව කොසොල් රටට ගොස් තමන් ගේ පුතණුවන් බැහැ දැක, නැවත එම ගමට පැමිණ, එහි දවස් කිහිපයක් අනාචාරයේ හැසිරෙමින් ගතකොට බරණැස් නුවරට ගියා.
ඉතින් මේ බිසව එතැන් සිට නිරන්තරයෙන් ම නොයෙක් හේතු දක්වමින් තමන් ගේ පුත් රජු බලන්නට යනවා. ඒ යන එන අතරතුර අර ගමෙහි දවස් කිහිපය බැගින් නැවතී සිටිමින් බ්‍රාහ්මණ කුමාරයා සමඟ අනාචාරයේ හැසිරෙනවා.....
ඒ විදියට තවත් අතීත කථාවක් විවර කළ කුණාල රජතුමා පූර්ණ මුඛ කෝකිල රජතුමාට මේ විදියට කිව්වා.
“යහලු පූර්ණමුඛ, ස්ත්‍රී ජාතිය කියන්නේ දුස්සීල පිරිසක්, බොරුකියන සුලු පිරිසක්, නොයෙක් සඨකපටි මායා ප්‍රයෝග දන්නා පිරිසක්.
යහලු පූර්ණමුඛ, මේ මහා පොලොව රන් රුවන් මුතු මැණික් වලට ත්, වෘක්ෂ පර්වත ආදියට ත් නොයෙක් සුගන්ධවත් දේවල් වලට ත් දුර්ගන්ධවත් දේවල් වලට ත්, උත්තම දේවල් වලට ත් අධම දේවල් වලට ත් පැවතීමට පිහිට වෙන දෙයක්. ස්ත්‍රීනුත් අන්න ඒ වගේ ම තමයි. කෙළෙස් වසඟයට ගිය ස්ත්‍රිය, සියලු රජ බමුණු වෙළඳ ගොවි ආදී උතුම් පිරිසට ත්, කෙවුළු කීඩ පනා ආදී නොයෙක් අධමයින්ට ත් යන හැම දෙනාට ම කාමරතියේ යෙදෙන්නට පිහිට වෙනවා.
ඒ වගේ ම යහලු පූර්ණමුඛ, ඔබ දැකල ඇති සැඩ පරුෂ සිංහයින්. ඒ සිංහයින් තමන් ගේ නියපොතු සහිත දෑත් දෙපා හතරෙන් සහ, උල්දත් තිබෙන කටින් කියන පස් තැනින් මුවන් ආදී සිවුපාවුන් අල්වාගෙන ලේ මස් අනුභව කරනවා. අන්න ඒ වගේ ම යි මේ ස්ත්‍රීන්. ඔවුන් රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පස් තැනින් ස්වර්ණදාස වැනි පුරුෂයන් ව පවා අල්ලාගෙන ඔවුන් ගේ ශීල සංවරය කියන ලේ මස් අනුභව කරනවා.
“යථා චෝරෝ යථා දිද්ධෝ වාණිජෝව විකත්ථනී
ඉස්සසිංගමිවාවට්ටා දුජිව්හා උරගෝ යථා”
පින්වත් පූර්ණමුඛ, විශාල වනාන්තර මැදින් වැටී තිබෙන මාර්ග තිබෙනවා. මේ මාර්ගවල පංචායුධ සන්නද්ධ වූ හොරු සිටිනවා. ඒ හොරු ඒ මාර්ගයේ ගමන් කරන, මිනිසුන් පසු පස පන්නාගෙන ගොස් ඔවුන් ගේ ඇඳුම් පැළඳුම් ආදී වස්ත්‍රාභරණ පැහැර ගන්නවා. ස්ත්‍රීනුත් අන්න ඒ වගේ ම තමයි, තමන් ගේ රූප ශබ්ද ගන්ධ රස පහස යන මේ පංචකාමයන්ගෙන් පුරුෂයන් පොළඹවාගෙන ඔවුන් සතු වස්තුව පැහැර ගන්නවා.
ඒ වගේ ම යහලු පූර්ණමුඛ, විෂ මිශ්‍ර රා අනුභව කළ බේබද්දෝ විනාශයට පත් වෙනවා. අන්න ඒ වගේ ම තමයි පංචකාමය නැමති විෂ රා පිරුණු ස්ත්‍රීන්ට වසඟ වූ පුරුෂයෝ කළයුතු දේ නො කළ යුතු දේ හඳුනන්නේ නැහැ. කළ යුත්ත අතහරිනවා. නො කළයුතු දේවල් ම බොහෝ සෙයින් සිදු කරනවා.
යහලු පූර්ණමුඛ, මේ ලෝකයේ සිටින වෙළෙන්දෝ තමන් ගේ භාණ්ඩ ගැන ම යි වර්ණනා කරන්නේ. මේ ලෝකයේ සිටින ස්ත්‍රීනුත් ඒ වගේ ම තමයි. ඔවුන් තමන් තුළ තිබෙන නුගුණ සියල්ල සඟවා ගෙන නැති ගුණ වර්ණනා කරනවා.
ඉස්ස කියල මුව ජාතියක් සිටිනවා. ඒ මුවන්ට කරකැවී ඉහළට එසවුනු අඟක් තිබෙනවා. අන්න ඒ වගේ ම ස්ත්‍රීන් ගේ සිත ත් ඉස්ස මුවා ගේ අඟ වගෙයි. ඉතා ඉක්මණින් කැරකැවී පෙරලෙන සුලු යි. බොරු කීම ම ස්වභාවය කරගෙන සිටින ස්ත්‍රීන් දිව දෙකක් ඇති සර්පයන් වැනි යි. සොයා ගන්නට දුෂ්කර විදියට සඟවපු අසුචි වලක් වගෙයි. වස්ත්‍රාභරණ වලින් සුන්දර විදියට සැරසිලා ඇවිදින මේ ස්ත්‍රීන් කසල පිරුණු වලක් වගෙයි.
මේ මහා සාගරයට ලක්ෂ ගණන් ගංඟා ගලාගෙන බසිනවා. ඒ ගංගාවලින් මොහොතක් වත් නො නැවතී විශාල ජල ප්‍රමාණයක් සමුදුරට එක් වෙනවා. ඒ වුනත් මහ සමුදුර නම් පිරෙන්නේ නැහැ. ඒ වගේ ම ස්ත්‍රී ජාතිය ත් කාම සේවනයෙනුත්, දරුවන් වැදීමෙනුත්, සැරසීමෙනුත් යන කරුණු තුනෙන් කිසි දිනෙක පිරෙන්නේ නැහැ. තෘප්තියට පත් වෙන්නේ නැහැ.
මේ ලෝකයේ සිටින රකුසියන් මස් අනුභව කරන්නට ම යි ගිජුවෙලා ඉන්නේ. ඒ නිසා කිසි දිනෙක වෙනත් සම්පත් දීමෙන් තෘප්තියට පත් කරන්න බැහැ. මස් මාංශ ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ස්වරූපයක් තමයි ස්ත්‍රීන්ට ත් තිබෙන්නේ. ඔවුන්ට කාම සේවනය කිරීම පිණිස ඉතා දැඩි ගිජු බවක් තිබෙනවා. ඒ නිසා බොහෝ සැප සම්පත් ඇති කෙනෙක් සමඟ ජීවත් වුනත් කාම සේවනය කිරීමට ම කැමැත්ත ඇතුව තමයි ජීවත් වෙන්නේ.
මාරයා කියන්නේ ගුණ අගුණ පරීක්ෂා කරන්නේ නැති ව සියලු ම සත්වයින් ව මරණයට පමුණුවන කෙනෙක්. ස්ත්‍රීනුත් ඒ වගේ ම යි. කාම සේවනය කරන්නට ජාති කුල ගෝත්‍ර කිසි දෙයක් පරීක්ෂා කරන්නේ නැහැ. ඉස්සෙල්ලා ම කෙලෙසුන්ගෙන් වසඟ කරලා පුරුෂයන් ගේ සීලය බිඳ දමනවා. ඉන් අනතුරු ව ඒ පුරුෂයන් වගේ ම තමනුත් අපායේ ගිහින් උපදිනවා.
ගින්නට ඇත් කුණක් හසු වුනත්, අස් කුණක් හසු වුනත්, මීනීකුණක් හසු වුනත්, බලු කුණක් හසු වුනත්, ගැරඬි කුණක් හසු වුනත්, ඒ හැම දේ ම කිසි ම භේදයකින් තොර ව පුච්චල දමනවා. ස්ත්‍රීනුත් උත්තම අධම භේදයක් නැති ව පුරුෂයින් ව කෙලෙස් නැමැති ගින්නෙන් පුච්චා දමනවා.
ගලා ගෙන යන නදිය හැම දෙයක් උසුලාගෙන යනවා. ස්ත්‍රීනුත් ඒ වගේ ම තමයි. හැම දෙනාව ම ඇසුරු කරනවා.
හමා ගෙන යන සුළඟට මේ අසූචි ගඳ මේ මල් සුවඳ කියල වෙනසක් නෑ. ගඳ සුවඳ හැම දෙයක් ම රැගෙන තමයි කැමති තැනකට සුළඟ හමා ගෙන යන්නේ. ස්ත්‍රිය ත් අන්න ඒ සුළඟ වගෙයි. චණ්ඩාල කෙනෙක් සමඟ වගේ ම කුලවත් කෙනෙක් සමඟ ත් කාම සේවනය කරන්නට එක වගේ කැමති යි.
නේරුව අවිසේසා ච
විසරුක්ඛෝ විය නිච්චඵලා
නාසයන්ති ඝරේ භෝගං
රතනානන්තකරිත්ථියෝ
මේ ස්ත්‍රීන් සිනේරු පර්වතය වගෙ යි. තමන් වෙත එන හැම පුරුෂයෙක් ව ම සමාන විදියට දකිනවා. සමහර වනාන්තර වල අඹ ගස් වගේ ගස් වර්ගයක් තිබෙනවා. ඒවා අඹ ගෙඩි වගේ ම සටහන් තිබෙන ගෙඩි වර්ගයකින් හැමදා ම පිරිල යි තිබෙන්නේ. ඒ වගේ ම මලුත් අඹ මල් වගේ ම යි. දකින කෙනෙකුට හිතෙන්නේ ‘මේ නම් බොහොම මිහිරි ඵල තිබෙන සුන්දර අඹ ගසක්’ කියල යි. නමුත් ඒ අඹ හලාහල විෂෙන් යුක්ත යි. යම් කිසි කෙනෙක් ඒ අඹ අනුභව කළොත් එසැනින් ඔහු ගේ ජීවිතය කෙළවර වෙනවා. අන්න ඒ වගේ ම සුන්දර විදියට පෙනෙන විෂ අඹ ගෙඩියක් වගේ ස්වරූපයෙන් යුක්ත ස්ත්‍රීන් ගේ පස්කම් ගුණයන්ට යම් කෙනෙක් වසඟ වුනොත් ඒ කෙනා වහා විනාශ වෙලා යනවා.
ඒ විතරක් නෙමෙයි යහලු පූර්ණමුඛ, තමන් ගේ ස්වාමිපුරුෂයා කාම සේවනයේ යෙදෙන්නට බැරි තරමට වයසට ගියා ම, ඒ ස්වාමිපුරුෂයාගේ ම ධනය වෙනත් මිනිසෙකු කරා යවා ඒ ධනය විනාශ කොට ඔහු සමඟ අනාචාරයේ හැසිරෙමින් ප්‍රීති වෙන්නට ත් මේ ස්ත්‍රීන් දක්ෂ යි.
පින්වත් පූර්ණමුඛ, සමහර වැද්දෝ මුවන් වැනි සත්තුන් ව අල්ලා ගන්නට රහස් තැන්වල මල පුඩු තබනවා. අන්න ඒ වගේ මේ ස්ත්‍රී ජාතිය කියන්නේ මුලු ලෝකය ම අල්ලා ගැනීමට මාරයා එලපු සොර මල පුඩුවක් වගෙයි. අන්න ඒ නිසා ඒ වගේ ස්වරූපයෙන් යුක්ත ස්ත්‍රී ජාතිය ගැන යම් කිසි කෙනෙක් ලෝබ කරනවා නම් ඒ කෙනා සතෙක් වගෙයි.
ඒ විතරක් නො වෙයි, මේ ස්ත්‍රීන් කියන්නේ ශෝකය ම උපද්දවන ස්ථානයක් වගෙයි. රෝගයන්ට වාසස්ථානයක් වගෙයි. උපද්‍රව ඇති කරන්නට මාරයා වගේ දක්ෂ යි. ඒ වගේ ම දඩුවම් දීල බැඳ දමන දඟ ගෙයක් වගෙ යි. දහසකුත් එකක් මායාවන් සැඟවිලා තිබෙන ගුහාවක් වගෙයි. ඉතින් ඒ වගේ ගති ගුණ ඇති ස්ත්‍රීන් ගැන යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් ඒ කෙනා සත්වයන් අතර අධම කෙනෙක් කියල යි, ඉස්සර කාලෙ ජීවත් වුන සත්පුරුෂයන් ප්‍රකාශ කළේ.
යහලු පූර්ණමුඛ, මේ විදියට මේ ලෝකයේ ස්ත්‍රීන් ගේ නුගුණ බොහොම යි. නමුත් බ්‍රහ්ම ලෝකයේ හැරෙන්නට වෙනත් කිසි ම තැනක ස්ත්‍රීන් ව නො දකින්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔවුන් ගැන පරිස්සමින් කටයුතු කළ යුතු යි.
ඉතින් මේ විදියට නොයෙක් ආකාරයෙන් ස්ත්‍රීන් ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාල රජතුමා තව දුරට ත් ස්ත්‍රීන් ගේ නුගුණ දක්වන්නට වුනා.
යහළු පූර්ණමුඛ, වෙනත් ගෙදරක නො තැබිය යුතු දේවල් හතරක් තිබෙනවා. ඒ තමයි කරත්තය, ගොනා, ගවදෙන, සහ භාර්යාව. යම් කෙනෙකුට කරත්තයක් ණයට දුන්නොත් ඒ කෙනා සීමාව ඉක්මවල ඒ කරත්තය ධාවනය කිරීම නිසා ඒ කරත්තේ රෝද කඩල දානවා. ඒ වගේ ම ප්‍රමාණය ඉක්මවලා බර ඇද්දවීමෙන් ගොනා ව මරල දානවා. පැටවු ඉන්න දෙනුන්ගෙන් ප්‍රමාණය ඉක්මවලා කිරි දෙවීම නිසා ඒ පැටවුන් ව මරලා දානව. ඒ වගේ ම තමයි හොඳට පතිවත රකින ස්ත්‍රියක් වුනත් ඤාති කුලයකට ගිහිල්ලා කාලය ගත කරන්නට පටන් ගත්තොත් පාපමිත්‍ර සේවනය නිසා දූෂණය වන්නට පුලුවන්. අන්න ඒ නිසා නුවණැති පුරුෂයා මේ කාරණා ගැන සැළකිලිමත් වෙලා ස්ත්‍රිය ඒ ස්ථානයන්ගෙන් ආරක්ෂා කරනවා.
පූර්ණමුඛ, ඒ වගේ ම අවශ්‍යතාවයක් යෙදුන විට දී ප්‍රයෝජනයට ගත නො හැකි වස්තූන් හයක් තිබෙනවා.
ඒ තමයි, දුනුදිය රහිත මින්න, නෑ කුලයෙහි සිටින බිරිඳ, පරතීරයේ තිබෙන නැව, කඩ ඇණය බිදුනු කරත්තය, දුර සිටිනා මිතුරා, පවිටු මිතුරා යන හය.
ඉතින් පූර්ණමුඛ, ස්ත්‍රිය තමන් ගේ ස්වාමිපුරුෂයා ව කරුණු අටක් සම්බන්ධයෙන් පහත් කොට සිතනවා. තමන් ගේ ස්වාමිපුරුෂයා දිළිඳු නම්, රෝගී නම්, වයසට ගිහිල්ලා නම්, බේබදු කමට වැටිලා නම්, මෝඩ නම්, ගෘහ කටයුතු වල ප්‍රමාදී ව ඉන්නවා නම්, හැම වැඩක දී ම තමන්ට යටත් ව ඉන්නවා නම්, හැම ධනයක් ම තමන්ට දෙනවා නම්, යන කරුණු අටෙන් පහත් කොට සළකනවා. පහත් කොට සළකා අතහැර දමනවා.
ඒ වගේ ම මේ ස්ත්‍රීන් කරුණු නවයකින් තමන් තුළ ඇති ද්වේශය ප්‍රකට කරනවා. තමන් ගේ ස්වාමියාට නො දන්වා මල් වතු ආදියට යනවා, උද්‍යානවලට යනවා, ගංතොටට යනවා, නැදෑ ගෙවල්වලට යනවා, අනෙකුත් ගෙවල්වලට යනවා, කැඩපතින් බලමින් වස්ත්‍රාභරණයන් ගෙන් සැරසීමෙහි ම යෙදී සිටිනවා, මත්පැන් පානය කරනවා, කවුලු ආදියෙන් ඉවත බලාගෙන සිටිනවා. අඟපසඟ දක්වමින් දොරකඩ සිටගෙන සිටිනවා. මේ කරුණු නවය උපයෝගී කරගෙන සොර සැමියන් සමඟ ඇසුරට වැටෙන්නට ත් ඔවුන් දක්ෂ යි. ඒ මෙහෙම යි.
ඒ ස්ත්‍රීන් තමන් ගේ ස්වාමිපුරුෂයාට දන්වන්නේ නැතුව මල් වතු, ඵලවැල වතු ආදියට යනවා. ගිහිල්ලා ඒ ස්ථානවල දී සොර මිනිසුන් සමඟ වාසය කරනවා. ඊළඟට තමන් ගේ ගෙදරට ආපසු ඇවිල්ල, ‘මම මේ අහවල් වෘක්ෂ දේවතාවාට යාගයක් කරන්ට ගියා. බලි තොවිල් කරන්ට ගියා’ ආදී වශයෙන් බොරු කියමින් තමන් ගේ ස්වාමිපුරුෂයා ව සනසවනවා. ඒ වගේ ම ‘මට මෙන්න මෙයා මේ උදව්ව කරල දෙන්න එන්ට කිව්වා. දීපු ණයක් ඉල්ලාගන්ට තියෙනවා. මම මේ ඒක ඉල්ලගන්ට යනවා.’ ආදී වශයෙන් තමන් ගේ ස්වාපුරුෂයන්ට බොරු කියා, සොර සැමියන් කරා යනවා. ගිහිල්ලා තමන් ගේ කටයුතු ඉටු කරගන්නවා. ඊට පස්සේ ආපසු තමන් ගේ ගෙදරට ඇවිල්ලා, දොරකඩ හරි, ජනේලයක් ළඟ හරි සිටගෙන තමන් ගේ අඟපසඟ, බාහිර අයට පෙන්වනවා.
ඒ වගේ ම මේ ස්ත්‍රීන් ස්වාමිපුරුෂයා ව ඉක්මවා හැසිරීම පිණිස පර පුරුෂයන්ට ස්ත්‍රී ලීලා හතළිහක් පමණ දක්වනවා. යහලු පූර්ණමුඛ, ඒ ස්ත්‍රී ලීලා හතළිහ මෙන්න මෙහෙම යි.
සමහර ස්ත්‍රීන්, “අද ස්වාමිපුරුෂයා ගෙදර සිටිනවා නම් මේ සඤ්ඤාව දෙන්නම්, නො සිටිනවා නම් මේ සඤ්ඤාව දෙන්නම්” ආදී වශයෙන් තමන් ගේ සොර සැමියන් සමඟ කලින් ම කථා බස් කරගන්නවා. ඉන් අනතුරු ව ඔහු පැමිණි විට ඈනුම් ඇරීම ඇඟ මැලි කැඩීම (විජම්භති) ආදී ඒ සඤ්ඤා ලබා දෙනවා.
මේ ස්ත්‍රීන් යම් කිසි දෙයක් බිමට දමලා, ඒ දේ අරගන්නට නැමෙනවා වගේ බිමට නැමිලා (විනමති) තමන් ගේ පිට පැත්ත පෙන්වනවා. යාම් ඊම් ඉඳීම් සිටීම් සක්මන් කිරීම්, පැළඳගෙන සිටින ආභරණ ගැනීම් ආදී වශයෙන් විවිධාකාර විලාස දක්වනවා (විලාසති).
(පර පුරුෂයන් ඉදිරියේ) අත් පා ඇඟිලිවලින් බිම ඉරි අඳිනවා (විලිඛති). එක වර ම තමන් ගේ ඇඳුම් ආදිය සකස් කරගෙන, පොරෝගෙන බිත්ති ජනේල, දොර කවුලු ආදියට හේත්තු වෙමින් ලැජ්ජාවට පත් වුනා (විලජ්ජති) මෙන් හඟවනවා. නියපොතු වලින් නියපොතු ගටනවා (නඛේන නඛං ගට්ටේති). එක් පයකින් අනෙක් පය පිරිමදිනවා (පාදේන පාදං අක්කමති). ලී කෝටුවලින් බිම ඉරි අඳිනවා (කට්ඨේන පඨවිං ලිඛති). තමන් ගේ හෝ අනුන් ගේ හෝ දරුවන් වඩාගෙන උඩට ඔසවනවා (දාරකං උල්ලංඝේති). නැවත පාත් කරනවා (ඕලංඝාපේති). ඒ දරුවන් සමඟ තමන් සෙල්ලම් කරනවා (කීළති). තමන් සමඟ ඔවුන්ට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙනවා (කීළාපේති). දරුවන් ව සිඹිනවා (චුම්භති). තමන් ව සිඹවාගන්නවා (චුම්භාපේති). ඒ දරුවන්ට කවනවා (භුඤ්ජති). ඒ දරුවන් ලවා තමන්ට කවාගන්නවා (භුඤ්ජාපේති). ඒ වගේ ම බාල දරුවන් අතට යම් කිසි මලක් හෝ ඵලයක් හෝ දෙනවා (දදති). නැවත එය ඉල්ලනවා (ආයාචති). කුඩා දරුවන් සෙල්ලමට යම් කිසි දෙයක් කළ විට තමනුත් එය නැවත කරනවා (කතමනුකරෝති). උස් හඬින් කියනවා (උච්චං භාසති). පහත් හඬින් කියනවා (නීචං භාසති). සිදු වූ යම් කිසි දෙයක් පිරිස මැද දී වසන් කොට කියනවා (අවිවිච්චං භාසති). පසු ව හුදෙකලාවේ විවේකයෙන් සිටින විට විවෘත කොට කියනවා (විවිච්චං භාසති). නැටීමෙන් (නච්චේන), ගී කීමෙන් (ගීතේන), වාදනය කිරීමෙන් (වාදිතේන), හැඬීමෙන් (රෝදිතේන), විවිධ විලාසිතා දැක්වීමෙන් (විලසිතේන), විවිධ ලෙස සැරසීමෙන් (විභූසිතේන) නිමිති දක්වනවා. මහ හඬින් සිනාසෙනවා (ජග්ඝති), හොරැහින් බලනවා (පෙක්ඛති). උකුල නටවනවා (කටිං චාලේති). රහස් පෙදෙස නටවනවා (ගුය්හභණ්ඩකං සඤ්චාලේති). කලවා පළල් කරනවා (ඌරුං විවරති). නැවත ඉක්මනින් හකුලා ගන්නවා (ඌරුං පිදහති). පියයුරු පෙන්වනවා (ථනං දස්සේති). කිහිල්ල ඔසවා පෙන්වනවා (කච්ඡං දස්සේති). ඇඳුම් බුරුල් කොට පෙකණිය පෙන්වනවා (නාභිං දස්සේති). ඇස් පොඩි කරනවා (අක්ඛිං නිඛණති). ඇහි බැම නටවනවා (භමුකං උක්ඛිපති). තොල සපනවා (ඔට්ඨං පලිඛති). දිව සොලවනවා (ජිව්හං නිල්ලාලේති). ඇඳුම් ලිහනවා (දුස්සං මුඤ්චති). නැවත අඳිනවා (දුස්සං පටිබන්ධති). කොණ්ඩය ලිහනවා (සිරසං මුඤ්චති). නැවත බඳිනවා (සිරසං බන්ධති).
ඉතින් පින්වත් පූර්ණමුඛ, මෙන්න මේ කරුණු හතළිහෙන් ස්ත්‍රිය ස්වාමිපුරුෂයා ව ඉක්මවා යෑම පිණිස (වෙනත් පුරුෂයන්ට) ලීලා දක්වනවා.
ඒ වගේ ම යහලු පූර්ණමුඛ, කරුණු විසි පහකින් ද්වේශයෙන් යුතු ව සිටිනා ස්ත්‍රිය හඳුනා ගත යුතු යි.
තමන් ගේ ස්වාමියා ව, ‘අහවල් ගමට දුන්න ණය ඉල්ලවාගෙන එන්න, අහවල් කටයුත්ත කරගෙන එන්න’ ආදී වශයෙන් කියා බැහැර යවනවා. ඒ වගේ ම ස්වාමිපුරුෂයා ගේ බැහැර වාසය කිරීම වර්ණනා කරනවා (පවාසං වණ්ණේති). ස්වාමිපුරුෂයා ව බැහැරට යවා සොර සැමියන් සමඟ අනාචාරයේ හැසිරෙනවා. ඒ වගේ ම බැහැරට ගිය තමන් ගේ ස්වාමිපුරුෂයා ව සිහිපත් කරන්නේ වත් නැහැ, (පවුත්ථං න සරති). බැහැර කටයුත්තකට ගිය ස්වාමිපුරුෂයා ආපසු පැමිණෙන විට ඒ පිළිබඳ කිසි ම අයුරකින් සතුටු වන්නේ නැහැ, (ආගතං නාභිනන්දති). තමන් ගේ ස්වාමිපුරුෂයා ගේ නුගුණ කියනවා, (අවණ්ණං තස්ස භණති). ඔහු ගේ කිසි ම ගුණයක් කියන්නේ නැහැ, (වණ්ණං තස්ස න භණති). ස්වාමිපුරුෂයාට අවැඩ සිදු කරනවා, (අනත්ථං තස්ස චරති). ඔහුට යහපතක් වන දෑ සිදු කරන්නේ නැහැ, (අත්ථං තස්ස න චරති). ඔහු වෙනුවෙන් නො කළ යුතු දෑ සිදු කරනවා, (අකිච්චං තස්ස කරෝති). කළ යුතු දෑ සිදු කරන්නේ නැහැ, (කිච්චං තස්ස න කරෝති).
තදට ඇඳුම් ඇඳගෙන නිදා ගන්නවා, (පරිදහිත්වා සයති). ඒ වගේ ම තමන් ගේ ස්වාමිපුරුෂයාට පිටුපා නිදා ගන්නවා, (පරම්මුඛී නිපජ්ජති). ඒ මේ අත පෙරලෙනවා, නපුරු වචන තෙපලනවා, (පරාවත්තකජාතා ඛෝ පන හෝති කුංකුමියජාතා). දීර්ඝ ව සුසුම් හෙළනවා, (දීඝං අස්සසති). ‘මට ඉසරදෙයි, මගේ බඩ රිදෙනවා’ ආදී වශයෙන් නොයෙක් ප්‍රලාප කියමින් තමන් වේදනාවෙන් පෙළෙන බව අඟවනවා, (දුක්ඛං වේදයති). නිතර නැගිටිමින් මල මූත්‍රාපහ කිරීම පිණිස පිටතට යනවා, (උච්චාරපස්සාවං අභිණ්හං ගච්ඡති). මේ විදියට කටයුතු කරමින් (පරපුරුෂ අපේක්ෂාවෙන්) සිය ස්වාමිපුරුෂයා ගේ කාම සේවන අදහස නැති කොට දමනවා.
ඒ වගේ ම තමන් ගේ ස්වාමිපුරුෂයා උණු භෝජන අවශ්‍ය බව කියූ විට සීතල ආහාර ලබා දෙනවා. සීතල දෙයක් කැමති වූ විට උණු භෝජන ලබා දෙනවා. මේ විදියට ස්වාමිපුරුෂයා ගේ අදහස් වලට විරුද්ධ දෑ ම සිදු කරනවා, (විලෝමං ආචරති). වෙනත් පුරුෂයෙකු ගේ ශබ්දයක් ඇසුණු සැණින් එයට තමන් ගේ කණ යොමු කරනවා, (පුරපුරිසසද්දං සුත්වා කණ්ණසෝතවිවරමෝදහති).
සිය ස්වාමිපුරුෂයා බොහෝ ම දුක් මහන්සි වී උපයා සපයා ගන්නා ධන ධාන්‍ය විනාශ කොට විසුරුවා දමනවා, (නිහතභෝගා ඛෝ පන හෝති). අසල්වැසියන් සමඟ අනවශ්‍ය ලෙස කෙලෙස් වැගිරෙන ආකාරයේ හිත මිතුරුකම් ඇති කරගෙන වාසය කරනවා, (පටිවිස්සකේහි සන්ථවං කරෝති). ඇවිදින කකුල්වලින් ම යුතු ව නිරන්තරයෙන් සොර සැමියන් මුණ ගැසීම පිණිස සංචාරයේ යෙදෙනවා, (නික්ඛන්තපාදා ඛෝ පන හෝති විසිඛානුචාරනී). තමන් ගේ සැමියා කෙරෙහි ද්වේශයෙන් යුතු ව නො සතුටු සිතින් යුතු ව ඔහු ඉක්මවා අනාචාරයේ හැසිරෙනවා, (අතිචාරිනී ඛෝ පන හෝති සාමිකේ අගාරවා පදුට්ඨමනසංකප්පා). නිරන්තරයෙන් දොරකඩට වී සිටිනවා, (අභිණ්හං ද්වාරේ තිට්ඨති). එසේ සිටගෙන කිහිලි වගේ ම අනෙකුත් අවයව ත් පියයුරු ආදිය ත් බැහැරට පෙනෙන සේ කටයුතු කරනවා, (කච්ඡානි, අංගානි, ථනානි දස්සේති). ඒ වගේ ම නිතර නිතර ඔබ මොබ ගොස් වටපිට බලනවා, (දිසෝදිසං ගන්ත්වා පෙක්ඛති).
ඉතින් පූර්ණමුඛ මෙන්න මේ කාරණාවලින් තමයි ද්වේශයෙන් යුතු ව සිටින ස්ත්‍රිය හඳුනාගත යුත්තේ.
‘සබ්බානදී වංකගතී සබ්බේ කට්ඨමයා වනා
සබ්බිත්ථියෝ කරේ පාපං ලභමානේ නිවාතකේ’
යහලු පූර්ණමුඛ, හැම ගංඟාවක් ම වක් වූ ගමනක් තමයි යන්නේ. හැම වනාන්තරයක් ම කොළ අතු ආදී කාෂ්ටමය දේවල්වලින් තමයි සෑදී තිබෙන්නේ. අන්න ඒ වගේ ම අවස්ථාවක් ලැබුනොත් හැම ස්ත්‍රියක් ම පාපී ධර්මයේ හැසිරෙනවා.
ඉතින් කථා බස් කරන්නට සුදුසු අවස්ථාවක් හෝ අනාචාරයේ හැසිරෙන්නට සුදුසු රහස් තැනක් හෝ ලැබෙනවා නම්, හැම ස්ත්‍රියක් ම වෙනත් පුරුෂයෙක් නැන්නම් කුණු ශරීරයක් ඇති, සහමුලින් ම දෑත් දෙපා නැති කුදෙක් සමඟ හෝ අනාචාරයේ හැසිරෙනවා.
මේ කාන්තාවන් කියන්නේ මිනිසුන් ගේ සිත් වල ඇල්ම ඇති කරවන පිරිසක්. නොයෙක් පුරුෂයින් පිළිබඳ ව හිත හිතා ඉන්නා පිරිසක්. නිග්‍රහ කරලා දොස් පෙන්වලා දීල හික්මවන්න බැරි පිරිසක්. මේ ස්ත්‍රීන් ව මුලු හිතින් ම සතුටු කළ ත්, ඔවුන් හැසිරෙන්නේ වෙසඟනන් වගෙයි. අන්න ඒ නිසා නුවණැති මිනිසුන් ඔවුන් ව විශ්වාස කරන්නේ නැහැ. ස්ත්‍රීන් කියන්නේ හැම දෙනාට ම පොදු තොටුපොලවල් වගෙයි.
ඉතා මත් පිළිකුල් ස්වරූපයෙන් යුක්ත කොර මිනිසුන් ගැන දැඩි සෙනෙහසින් කාලය ගත කළ ස්ත්‍රීන් පිළිබඳ ව බොහෝ විස්තර දැන ගන්නට පුලුවන්.
යහලු පූර්ණමුඛ දැන් මම ඔබට කියන්ට යන්නේ ඒ වගේ කථාවක්.....
බොහෝ ඉස්සර අතීතයේ බරණැස් නුවර කණ්ඩරී කියල රජ කෙනෙක් සිටියා. ඒ රජතුමා වසවර්තී දිව්‍ය පුත්‍රයා වගේ අති මනරම් රූප ශෝභාවකින් යුක්ත යි. මේ රජතුමා නිරන්තරයෙන් ම පංචකාම සම්පත් අනුභව කරමින් තමන් ගේ කාලය ගත කළා. මේ රජතුමාට ආහාර පිසින්නේ පවා සුවඳ දර යොදාගෙන යි. ඉතින් මේ කණ්ඩරී රජතුමාට වර්ණනා කරන්නට බැරි තරම් සුන්දර රූ සපුවකින් යුක්ත කින්නරා දේවි කියල අග්‍රමහේෂිකාවක් සිටියා. ඒ වගේ ම මේ රජතුමාට තමන් ගේ වයසේ, එකට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්ත දැන උගත් පංචාල චණ්ඩ නම් පුරෝහිතයෙක් සිටියා.
මේ රජතුමා ගේ මාළිගා පවුර ළඟ, දඹ ගසක් තිබුණා. මේ දඹ ගසේ අත්තක් රජ මාලිගාවේ පහතින් තිබුණු වහළයකට දික් වෙලයි තිබුණේ. මේ දඹ ගස යට ඉතා පිළිකුල් වූ බැලිය නො හැකි ශරීර අවයව ඇති සතර ගාතය ම කොර වූ එක්තරා කොරෙක් සිටියා. එක් දවසක් කින්නරා දේවිය සීමැදුරු කවුලුවෙන් පිටත බලන විට මේ කොරා ව දැක්කා. දුටු සැනින් ඒ පිළිකුල් සහගත කොර මිනිසා ගැන කින්නරා දේවිය ගේ සිතේ රාගයක් හට ගත්තා.
ඉන් පසු එදින රාත්‍රී කාලයේ රජතුමා ගේ කෙළෙස් දාහය සංසිඳවා ඔහු නිදා ගැනීම පිණිස යහනට ගිය විට, මේ කින්නරා දේවිය සෙමින් නැගිට ගොස්, හොඳ රස මසවුලෙන් යුක්ත ආහාර භාජනයක් ද සකස් කරගත්තා. අනතුරු ව ජනෙල් කවුලුවේ කඹයක් බැඳලා, හෙමීට මාලිගාවේ පහත වහලයට නැමී තිබුණු දඹ අත්තට බැස්සා. ඒ දඹ අත්ත දිගේ ගොස් අර කොර මිනිසා සිටින තැනට බැස්සා. ඉන්පසු ඒ කොර මිනිසාට තමන් සකස් කරගෙන ගිය කෑම ටික කැව්වා. ඉන් පසු ඔහු සමඟ පාප ක්‍රියාවේ යෙදුනා. ඊළඟට බිමට බැස්ස ක්‍රමයට ම ප්‍රාසාදයට නැග්ගා. තමන් ගේ ඇඟේ තැවරී තිබුනු කුණු දුහුවිලි ආදිය සෝදාගෙන ඇඟෙහි සඳුන් තවරාගෙන රජතුමා සමඟ ඒ යහනේ ම සැතැපුනා. ඉතින් කින්නරා දේවිය මේ ක්‍රියාව පුරුද්දක් කරගත්තා. ඇය නිතර ම අර කොරා සමඟ අනාචාරයේ හැසිරෙන්ට යනවා. නමුත් රජතුමා මේ පිළිබඳ ව වගක්වත් දන්නේ නැහැ.
ඉතින් එක දවසක් රජතුමා තමන් ගේ නගරයේ චාරිකාවේ ගිහිල්ල නැවත රජ ගෙදරට එනකොට මේ දඹ ගස් සෙවනේ වැතිරී සිටි පිළිකුල් වූ කොර මිනිසා ව දුටුවා. දැකලා පුරෝහිත බමුණා ගේ මුහුණ බලා මෙහෙම කිව්වා. “මේ බලන්න පුරෝහිත, මනුස්ස ප්‍රේතයෙක් ගෙ හැටි. ඈ...යාලුවා.. මේ වගේ පිළිකුල් එකෙක් එක්ක ත් එකට ඉන්න ගෑනු මේ ලෝකෙ ඉන්නව ද දන්නෑ...?”
ඒ කතාව අහපු ඒ කොර මිනිහා ලොකු ආඩම්බරයක් ඇති කරගෙන දොහොත් මුදුන් දී ගෙන රජතුමාට ඇසෙන්නට මෙහෙම කිව්වා. “අනේ මේ දඹ ගසට අධිගෘහිත දේවතාවුන් වහන්ස, අසනු මැන ඔබ වහන්සේ ම තමයි ඒ ගැන දන්නේ...”
ඉතින් කොරා කරපු මේ ක්‍රියාව දැක්ක රජතුමා ගේ පුරෝහිත බමුණා, කල්පනා කළා ‘එකත් එකට ම රජතුමා ගේ අග බිසවුන් මේ දඹ ගහ දිගේ ඇවිල්ලා මේ කොරා සමඟ අනාචාරයේ හැසිරෙනවා වෙන්ට ඕනෑ’ කියලා. එහෙම හිතපු පුරෝහිත බමුණා රජතුමාගෙන් මෙහෙම ඇසුවා.
“රජතුමනි, රාත්‍රියේ දී බිසවුන් වහන්සේ ගේ ශරීර පහස මොන වගේ ද?”
“යාලුවා.. හේතුවක් නම් දන්නේ නැහැ. නමුත් රාත්‍රියේ දී බිසවුන් වහන්සේ ගේ ශරීර පහස උණුසුම් නැහැ. සීතල යි.”
මේ වගේ දේවලු ත් වෙන්ට පුලුවන් ද..?
“එහෙනම් රජතුමනි, වෙන ගෑනියෙක් නො වෙයි, ඔබ වහන්සේ ගේ අගමෙහෙසිය ම මේ පුද්ගලයා ත් සමඟ අනාචාරයේ හැසිරෙනවා.”
“ඈ... පුරෝහිත, මෙච්චර ශෝභමාන ශරීරයක් තිබෙන, ඒ උත්තමාංගනාව මේ පිළිකුල් එකා ත් සමඟ කොහොම ඉන්න ද?”
“රජතුමනි, මාගේ වචනය විශ්වාස කරන්නේ නැත්නම්, අද ඉඳන් හොඳ පරීක්ෂාවෙන් ඉන්ට”. පුරෝහිත බමුණා රජතුමාට අවවාද කළා. රජතුමා ත් ‘හොඳයි පුරෝහිත’ කියා පිළිතුරු දුන්නා.
ඉතින් රජතුමා එදින මෙහෙසිය සමඟ සැතැපී, ‘අද නම් මේක හොයල බලන්ට ඕනෑ’ යැයි සිතා, නිදා ගන්නා වේලාවට නින්ද ගිය අයෙක් මෙන් සිටියා. බිසව ත් රජ තුමා කොයි වෙලේ නිදා ගනී ද කියල හිත හිතා තමයි සිටියේ. ඉතින් රජතුමා බොරුවට නිදා ගත්තාම, ඇත්තට ම නිදා ගත්තා කියල හිතපු මෙහෙසිය කෑම පාර්සලයකුත් අරගෙන හිමීට ම කලින් වගේ ම පහළට බැස්සා.
එවිට රජතුමා ත් වෙන පාරකින් හිමීට පහළට බැහැල අඹ ගසේ සෙවනැල්ලට මුවා වෙලා බලා ගෙන සිටියා. එදා බිසවුන් පිලා ළඟට යන්නට ටිකක් පරක්කු වුනා. ඉතින් මේ නිසා ඒ කොර මිනිසාට බිසවුන් ගැන තරහක් ඇතිවුනා. ඔහු “මොකද ගෑනියෙ මෙච්චර පරක්කු වුනේ..?” කියල රජ බිසවට තමන් ගේ කොර අතින් කණේ පාරක් ගැසුවා. “අනේ ස්වාමීනි.... ඉතින් රජතුමා නිදා ගන්න කම් ඉන්ට එපැයි. ඕකට ඉතින් තරහ ගන්ට ඒපා. කොහොම හරි මම ආවනෙ...” කියල, මේ බිසව නොයෙක් වචන වලින් ඒ කොරා ව සනසන්නට වුනා. ඒ වෙලාවේ මේ රජ බිසව හැසිරුනේ කොරා ගේ ගෙදර ඔහු යටතේ ඉන්න ඔහු ගේ ම භාර්යාව වගෙයි.
අර කොරා ගහපු කණේපාර නිසා බිසවුන් ගේ එක කුණ්ඩලාභරණයක් ගැලවිලා රජතුමා ළඟට වැටුනා. රජතුමා ඒ කුණ්ඩලාභරණය අහුලා ගෙන, ‘මේ ටික හොඳට ම ඇති.. ඊළඟට මුන් කරන දේවල් බලන්ට ඕනෙ නැහැ.’ කියා සිතා රජ ගෙදරට ආපසු ගියා.
ඉතින් රජ බිසව එදා ත් ඒ කොර මිනිසා සමඟ අනාචාරයේ යෙදිල, කලින් දවස්වල වගේ ම ආපසු ඇවිල්ලා රජතුමා ගේ ඇඳේ නිදා ගන්නට හැදුවා. නමුත් එදා රජතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ.
පසු දා රජතුමා, ‘මම දීපු හැම ආභරණයකින් ම සැරසිලා එන්න’ කියා කින්නරා දේවියට අණ කළා.
ඉතින් රජබිසව තමන් ගේ කුණ්ඩලාභරණය රන් කරුවා ගේ ගෙදර යැයි කියා නො පැමිණ සිටියා. එවිට රජතුමා බිසවුන්ට සැරසී එන්න කියා දැඩි ලෙස ම අණ කළා. ඉතින් කින්නරා දේවී එම කුණ්ඩලාභරණය නොමැති ව රජතුමා ළඟට පැවිසියා. එවිට රජතුමා බිසවුන් ගෙන් මෙහෙම ඇසුවා.
“දේවිය.. කෝ ඔබේ කුණ්ඩලාභරණය”
“අනේ ස්වාමීනි, එක තැනක් පලුදු වුන නිසා, අලුත්වැඩියා කරන්ට රන් කරුවා ගේ ගෙදරට යැව්වා”
එතකොට රජතුමා රන්කරුවා ගෙන්නුවා. ගෙන්වා, ‘මේ බිසවුන් ගේ කුණ්ඩලාභරණය ගෙන ගොස් බොහෝ දවසක් තබා ගෙන නොදී ඉන්නට හේතුව කුමක් ද?’ කියා ඔහුගෙන් ඇසුවා. එවිට රන්කරුවා හොඳට ම භය වෙලා, ‘අනේ දේවයන් වහන්ස, මම නම් ගත්තේ නැහැ.’ කියා කිව්වා.
ඉතින් රජතුමා බිසවට ම වැරද්ද පවරා, මේ විදියට කිව්වා. “ඒයි චණ්ඩාල ගෑනියේ.. උඹ ගේ කුණ්ඩලාභරණය ගත්ත රත්තරන් කාරයා මම ම යි.” කියා තමන් අත තිබූ කුණ්ඩලාභරණය බිසවුන් ගේ දෙපා මුලට විසිකළා. එවිට රජ බිසව හොඳට ම භය වුනා. ඊට පස්සේ රජතුමා පුරෝහිත බමුණා ගෙන්වා, ‘යාලුවා, ඔබ කියපු දේ ඇත්තක් ම තමයි. මේ ස්ත්‍රිය අර කොර මිනිසා සමඟ අනාචාරයේ හැසිරෙනවා.’ කියා, බිසව රැගෙන ගොස් හිස ගසා දමන්නට අණ කළා.
ඉතින් පුරෝහිත බමුණා බිසව රැගෙන ගොස් රජ ගෙදර එක්තරා තැනක සැඟවුවා. සඟවා රජතුමා වෙත පැමිණ, රජතුමාට මෙහෙම කිව්වා.
“මහරජතුමනි, බිසවුන් ගැන කිපෙන්ට එපා. හැම ස්ත්‍රියක් ම ඔය වගේ තමයි. ඉතින් ඔබ වහන්සේ ස්ත්‍රීන් ගේ නුගුණ ත් සටකපටි ප්‍රයෝග ත් දකින්ට කැමති නම්, වෙස්වලාගෙන මාත් සමඟ මේ ජනපදයේ චාරිකාවේ යන්න එන්න. මම ඔබ වහන්සේට පෙන්වන්නම්.”
මේ අදහසට එකඟ වුන රජතුමා, තමන් ගේ මෑණියන් වහන්සේට රජය පවරා දී, වෙස්වලාගෙන පුරෝහිත බමුණා ත් සමඟ පිටත් ගියා. යොදුනක් පමණ ගොස් එක්තරා මාර්ගයක් අයිනේ නිදාගෙන සිටියා.
ඒ වෙලාවේ. එක්තරා ගෘහපතියෙක් තමන් ගේ පුත්‍රයාට භාර්යාව කරදීම පිණිස කුමාරිකාවක් කැඳවාගෙන එනවා. විශාල මංගල උත්සවයක් පවත්වලා මහා පෙරහැරකින් තමයි මේ කුමාරිකාව කැඳවාගෙන එන්නේ. මේක දැකපු පුරෝහිත බමුණා රජතුමාට මෙහෙම කිව්වා.
“මහරජතුමනි, ඉතින් ඔබ වහන්සේ කැමති නම්, කලින් වෙනත් මිනිසුන් සමඟ ඉඳල නැති මේ කුමාරිකාව ඔබ වහන්සේ ත් සමඟ සතප්පවන්ට මට පුලුවන්”
එතකොට රජතුමා මෙහෙම කිව්වා.
“යාලුවා... මේ මොනව කියනව ද? මහ පෙරහැරකින් එන මේ ස්ත්‍රිය කොහොම ලබා ගන්ට ද? ඕක නම් කරන්ට පුලුවන් දෙයක් නෙමෙයි.”
“එහෙනම් රජතුමනි, මගේ වැඩ බලන්න” මෙහෙම කියපු පුරෝහිත බමුණා, ඉක්මණට ම පාරෙන් ටිකක් ඇතුළට වෙන්ට, වටේට තිර ඇදල රජතුමා ව ඒ තිර ඇතුලේ තැබුවා. ඉන්පසු පාර අයිනට වෙලා හඬමින් සිටියා.
ඉතින් අර ගෘහපතියා එතැනට ඇවිල්ල, අඬන්නට හේතුව සුවා. පුරෝහිත බමුණා මේ විදියට පිළිතුරු දුන්නා.
“අනේ පින්වත්නි, මගේ බිරිඳ ගර්භනී වෙලයි ඉන්නේ. ඉතින් උදව්වට කවුරු ත් නැති නිසා, මම ඇය ව ඇගේ දෙමව්පියන් ගෙ නිවසට ගෙනිහිං අරින්ට හිතා ගෙන එක්කගෙන ආවා. මේ අතර මඟ දි ම ඇයට විලිරුදාව හැදුනා. අර පේන තිරය ඇතුළෙ මහ දුකක් විඳිනවා. ඒත් මට කරන්ට දෙයකුත් නැහැ. මට එතෙන්ට යන්ට ත් බැහැ. අනේ පුලුවන් නම් එක ගෑනු කෙනෙක් දෙන්න.”
“ඕක සුළු දෙයක් නෙ. අපි ත් එක්ක ගොඩක් කාන්තාවෝ ඇවිල්ලා ඉන්නවා. එතනින් එක්කෙනෙක් දෙන්නම්”. ගෘහපතියා එහෙම කිව්වහ ම පුරෝහිත බමුණා මේ විදියට කිව්වා.
“ඒත් පොඩි ගැටලුවක් තිබෙනවා. අපේ කුල චාරිත්‍රයක් තිබෙනවා. කන්‍යා ස්ත්‍රියක් තමයි දරුවෙක් වදන්න උදව් කරන්ට ඕනෙ. එහෙම උදව් කරන කන්‍යාවට ගොඩාක් යස ඉසුරු ත් ලැබෙනවා.”
පුරෝහිතයා එහෙම කිව්වහම අර ගෘහපතියා හිතුවේ ඒක ඇත්තක් ම තමයි කියල යි. ඉතින් ඔහු හිතුවා, ‘මේක නම් බොහොම සුභ නිමින්තක්. මගේ මේ ලේලිට හොඳට දරුමුණුපුරන් ලැබිල අපේ ගෙදර ස්ථීර වේවි. මේක මේ බමුණ හොඳට දැන ගෙන ම යි කියන්න ඇත්තේ.’ ඉතින් ඒහෙම හිතපු ඔහු තමන් ගේ පුතාට සරණ පාවාදෙන්නට කැඳවාගෙන යන අර කුමාරිකාව ව උදකිරීම පිණිස යැව්වා.
කුමාරිකාව ත් ඇදල තිබුණු තිරය ඇතුළට ගියා ම, අනංගයා ගේ වගේ සුන්දර රූපයක් තිබෙන රජතුමා ව දැක්කා. දැක්ක ගමන් රාගය ඇති වුනා. ඉන් පසු ව ඒ රජතුමා ත් සමඟ අනාචාරයේ හැසිරුණා. රජතුමා ත් ‘මැගේ අභිනව ක්‍රියාව පවා මේ වගේ නෙ’ කියල බොහොම සතුටට පත් වෙලා, තමන් ගේ ලක්ෂයක් වටින පේරැස් මුද්ද ගලවලා ඒ කුමාරිකාව ගේ ඇඟිල්ලේ පැළදුවා. ඉන්පසු ඇය පිටත් වුනා.
ගෘහපතිතුමා, ඒ කුමාරිකාව ගෙන් වදපු දරුවා ගැන විමසුවා. එ ඒ කුමාරිකාව පිළිතුරු දුන්නේ, රන්වන් පුතෙක් වැදුවා කියල යි. ගෘහපතිතුමා ත් ඒ ගැන බොහො ම සතුටට පත් වෙලා ඇය රැගෙන පිටත් වුනා.
ඉතින් ඒ වෙලාවේ පුරෝහිත බ්‍රාහ්මණයා රජතුමා ගාවට ගියා. ගිහිල්ලා රජතුමාට මෙහෙම කිව්වා.
“දැක්ක ද රජතුමනි, කලින් පුරුෂයන් සමඟ වාසය නො කරපු කන්‍යාස්ත්‍රී කුමාරිකාවන් ගේ පාපී ක්‍රියා මේ වගේ නම්, අනිත් ස්ත්‍රීන් ගේ පව්කම් ගැන කවර කථා ද?”
මේ වෙලාවේ පුරෝහිතයා රජතුමා ගේ පේරැස් මුද්ද නැති බව දැක්කා. ඉන් පසු රජතුමා ගෙන්, ‘රජතුමනි, කුමාරිකාවට කිසියම් දෙයක් දුන්නා ද’ කියා ඇසුවා. පේරැස් මුද්ද ලබාදුන් බව රජතුමාගෙන් දැන ගත් පුරෝහිතයා, “අයියෝ.. රජතුමනි ඒ හොර කෙල්ලට ඒ වගේ වටිනා දෙයක් දුන්නේ ඇයි...?’ කියා පසුපසින් ලුහු බැඳගෙන ගොස් ඒ කුමාරිකාව නැගී යන කරත්තය අතින් අල්ලගෙන නවත්වනු ලැබුවා.
ගෘහපතිතුමා පැමිණ කාරණාව විමසුවා. එවිට පුරෝහිතයා මෙහෙම කිව්වා.
“මේ කුමාරිකාව, මගේ බැමිණිය ළඟ තිබුණු මුද්ද හොරකම් කරගෙන, ඇවිල්ලා. එක ලබා ගන්න යි මම මේ ආවේ.”
ඒ වෙලාවේ ඒ කුමාරිකාව, “අනේ උඹ කරපු හොරකමක මහත” කියා ඔහුට අඟවනු පිණිස පුරෝහිතයා ගේ අල්ල කොනිත්තා මුද්ද ආපසු ලබා දුන්නා.
ඉතින් මේ විදියට ඒ පඤ්චාල චණ්ඩ නම් පුරෝහිත බමුණා ස්ත්‍රීන් ගේ නුගුණ නොයෙක් ක්‍රමවලින් රජතුමා ගේ සිතට ඒත්තු ගැන්වූවා. ඉන්පසු තවදුරට ත් නුගුණ පරීක්ෂා කිරීමට දඹදිව චාරිකාවේ පිටත් වන්නට සූදානම් වුනා.
එවිට රජතුමා මෙහෙම කිව්වා.
“යාලුවා... මුලු දඹදිව ම ඇවිද්දත් මේ ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ ම නම්, තවදුරට ත් ඒ දේවල් දැකීමෙන් අපිට මොන ඵලක් ද? මේ දැක්ක ටික හොඳට ම ඇති” කියා ආපසු බරණැස් නුවරට ම ආවා.
ඉන්පසු පුරෝහිත බමුණා, ‘සියලු ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ තම යි, ස්ත්‍රී ජාතිය පාපී අදහස් ඇති පිරිසක්. ඒ නිසා කින්නරා දේවියට සමාව දෙන්න කියා’ රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමා ත් ඇයට සමාව දී අගබිසෝ තනතුරින් පහකළා. වෙනත් බිසවුන් වහන්සේ නමක් අග බිසව බවට පත් කරගත්තා.
අර කොරාව ත් ඝාතනය කළේ නැහැ. ඔහු ව එතැනින් ඉවත් කොට, රජ ගෙදර පැත්තට නැමුණු දඹ අත්ත ද කපා ඉවත් කළා. ඉන්පසු ව පුරෝහිතයා ගේ අනුශාසනා පරිදි රාජ්‍ය පාළන කටයුතු සිකළා.
ඉතින් මේ විදියට ස්ත්‍රීන් ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාළ රජතුමා තවදුරට ත් ඒ ගැන සඳහන් වන කථාවක් මේ විදියට ඉදිරිපත් කළා.
“යහලු පූර්ණමුඛ, ගොඩක් ඉස්සර මේ දඹදිව ම බරණැස් කියලා නුවරක් තිබුනා. ඒ නුවර ‘බක’ කියන රජතුමා ඉතාමත් දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය සිදු කරමින් වාසය කළා.
ඒ නුවර නැගෙනහිර වාසල් දොරටුවෙන් පිටත වීදියක එක්තරා දුප්පත් ගෙදරක ‘පංචපාපා’ යන නම තිබෙන දියණියක් වාසය කළා.
ඇය පෙර ජීවිතයක ත් දුප්පත් ගෙදරක යි ඉපදී සිටියේ. ඉතින් ඒ පෙර ජීවිතයේ එක දවසක ඇය තමන් ගේ නිවසට මැටි ගැසී ම පිණිස මැටි අනාගෙන ගසමින් සිටියා. එදින ම පසේ බුදු රජාණන් වහන්සේ නමකට තමන් වහන්සේ වාසය කරන පර්වත ගුහාවේ මැටි ආලේප කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුනා. ඒ පසේ බුදු රජාණන් වහන්සේ මැටි ලබා ගන්නේ කෙසේ දැ යි කියා කල්පනා කොට, බරණැස් නුවර සමීපයට වැඩිය හොත් ලබා ගැනීමට හැකි වේ යැයි සිතා, පාත්තර සිවුරු රැගෙන අර ස්ත්‍රිය සිටින නිවස අසලට ගොස් වැඩ සිටියා.
එම ස්ත්‍රිය සිතුවේ පසේ බුදු රජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කොට සිටිනවා කියා යි. නමුත් නිවසේ ආහාර පාන තිබුනේ නැහැ. එම නිසා ඇය ඒ බව පසේ බුදු රජාණන් වහන්සේට අඟවා සිටියා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේට අවශ්‍ය වන්නේ මැටි නිසා පසේ බුදුජාණන් වහන්සේ ආපසු වැඩියේ නැහැ. එතැන ම වැඩ සිටියා.
මේ බව දුටු අර ස්ත්‍රියට පසේ බුදු රජාණන් වහන්සේ ගැන ද්වේශයක් ඇතිවුනා. මුහුණ පුලුටු කරගෙන පසේ බුදු රජාණන් වහන්සේ දෙස රවා බැලුවා. ඉන්පසු ව, “මේ හාමුදුරුවන්ට, මැටි ත් පුදුම දෙයක් වගේ යි..” කියා සිතා විශාල මැටි පිඩක් ගෙනැවිත් පසේ බුදු රජාණන් වහන්සේ ගේ පාත්‍රයට දැම්මා. පසේ බුදු රජාණන් වහන්සේ ත් එම මැටි රැගෙන ගොස් තමන් වහන්සේ වැඩ වසන පර්වත ගුහාවේ මැටි ආලේප කළා.
ඉතින් අර ස්ත්‍රිය, පසු කලෙක ආයුෂ ගෙවී යෑමෙන් කලුරිය කළා. අවශ්‍ය කුමක් දැ යි නො දැන, නො සිතා නමුත් මැටි පිළිගැන්වූ නිසා ඒ කුශල කර්මයේ විපාකයක් වශයෙන් දිව්‍යමය පහසක් බඳු ශරීර පහසක් ඇතුව බරණැස් නුවර සමීපයේ මුලින් සඳහන් කළ ස්ථානයේ ඇය ඉපදුනා. පසේ බුදු රජාණන් වහන්සේ දෙස කිපී බැලූ නිසා මුහුණ ත්, අත් දෙක ත්, කකුල් දෙක ත් යන ස්ථාන පහ විරූපී ව තමයි ඇය ඉපදුනේ. මේ කාරණය නිසා තමයි ඇයට පංචපාපා යන ලැබුනේ.
ඉතින් දිනක් බරණැස් රජ්ජුරුවෝ රාත්‍රී කාලයේ අප්‍රසිද්ධ ව වෙස්වලාගෙන තමන් ගේ නුවර පරීක්ෂා කිරීම පිණිස පිටත් වුනා. නුවර පරීක්ෂා කරමින් ඇන අතරතුර පංචපාපා ගේ නිවස ඇති දිසාවට ත් පැමිණුනා. පංචපාපා ත් තමන් ගේ සොහොයුරු සොහොයුරියන් සමඟ කෙළිදෙලෙන් කාලය ගත කරමින් තමයි සිටියේ. ඇය එකවර ම නො දැන ගොස් රජතුමා ගේ අතින් ඇල්ලුවා. ඒ ස්පර්ශය ත් සමඟ ම දිව්‍යමය ස්පර්ශයක් ලැබූ කෙනෙක් මෙන් රජතුමාට ප්‍රකෘති ස්වරූපයෙන් සිටින්නට නො හැකි වුනා. ඒ කුමාරිකාව ගැන දැඩි කැමැත්තක් ඇති වුනා.
ඇය විරූපී වුනත් රජතුමා ඇගේ අත අල්වාගෙන, ‘ඔබ කාගේ දියණියක් දැ’යි කියා විමසා සිටියා. එවිට ඇය, තමන් අසවල් වීදියේ ජීවත් වන දුප්පත් තැනැත්තියක් බව රජතුමාට ප්‍රකාශ කළා. ඉන්පසු රජතුමා ඇගෙන් විවාහ වී සිටින තැනැත්තියක් ද නැද්ද යන වග විමසා සිටියා. ඇය විවාහ දිවියට පත් නො වූ තැනැත්තියක් බව දැන ගත් රජතුමා, “මම කැමති යි ඔබ ව විවාහ කරගන්නට. ඒ බව ඔබ ගේ දෙමව්පියන්ට ඉක්මණින් ගොස් කියන්න” කියා ඇය ව පිටත් කොට හැරියා.
ඇය ත් තමන් ගේ නිවසට ගොස් තම දෙමව්පියන්ට ඒ බව පවසා කළ යුත්තේ කුමක් ද කියා විමසා සිටියා. එවිට දෙමව්පියන් මෙසේ පවසා සිටියා.
“අනේ ඔහු අපිට ත් වඩා දුප්පත් කෙනෙක් වගෙයි. කමක් නෑ. දෙන්න ම කැමති නම් මේ විවාහයට අපි ත් කැමති යි”
ඇය රජතුමා වෙත ගොස් ඒ බව ඔහුට ප්‍රකාශ කළා. රජතුමා ත් එදින ඇගේ නිවසේ සැතපී පාන්දරින් ම රජමාලිගාවට පිටත් වුනා. එදින පටන් රජතුමා නිරන්තරයෙන් ම රජගෙදරින් පිටත් වී වෙස්වලාගෙන පංචපාපා ගේ නිවසට ගොස් ඇය ත් සමඟ සැතපෙනවා. වෙන කිසි ම ස්ත්‍රියක ගේ මුහුණවත් බලන්නේ නැහැ.
මේ විදියට ටික කාලයක් ගත වුනා. හදිසියේ ම පංචපාපා ගේ පියාණන්ට ලේ ග්‍රහණි රෝගයක් වැළදුනා. වෛද්‍ය වරුන්ගෙන් ඒ ගැන අහපුවා ම ඔවුන් පැවසුවේ. කිරි, මීකිරි ගිතෙල් හකුරු යොදා දිය මිශ්‍ර නො කොට සාදන ලද කිරිබතක් අනුභව කළොත් ඒ රෝගය සුව වන බව යි. නමුත් ඔවුන් දුප්පත් නිසා එවැනි ආහාරයක් සකස් කරගන්නට හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා පංචපාපාවන් ගේ අම්මා ඇයට මෙහෙම කිව්වා.
“දුවේ, උඹේ මනුස්සයාට වත් කියල බලපං. උන්දැට වත් පුලුවන් වෙයි ද කියල මේ කිරිබත ගෙනත් දෙන්ට.”
“අනේ අම්මේ.. එයා අපිට ත් වඩා දුප්පත් කෙනෙක් කියල යි මට හිතෙන්නේ. ඒ උනත් මම කියල බලන්නම්. අම්මා දුක් නොවී ඉන්නකො..” පංචපාපා පිළිතුරු දුන්නා.
එදා රජ්ජුරුවෝ එන වෙලාවට පංචපාපා කථාබස් නො කර දුකින් වගේ හිටියා. රජතුමා ඒ ගැන විමසූ විට කාරණය ඔහුට කියා සිටියා. එවිට රජතුමා, “සොඳුරිය, මේක නං පෝසතුන් ගේ බෙහෙතක්. අනේ ඉතින් මම කොහොම ද මේ වගේ බෙහෙතක් ලබා ගන්නේ..” කියා කිව්වා. ඒ වගේ ම රජතුමා මෙහෙම ත් කල්පනා කළා.
“මම මේ විදියට හැම දවසක ම මේ ගෙදරට එන්නට පටන් ගත්තොත් ඒක මට අනතුරුදායක යි. මේ තැනැත්ති ව අන්තඃපුරයට ගෙනිච්චොත්, ‘අපේ රජ්ජුරුවෝ යකින්නක් ගෙනල්ල අන්තඃපුරයට දැම්මා’ කියල බිසවුන් වහන්සේලා මට විහිලු කරන්ට පුලුවන්. ඒක හින්ද මේ නගරයේ ඉන්න හැම දෙනාට ම මැය ගේ ශරීර පහස පෙන්වල, නින්දාවෙන් මිදිල, අන්තඃපුරයට අරගෙන යන්ට ඕනෙ”
එහෙම හිතපු රජතුමා, ‘හොඳයි සොඳුරිය, මම කොහොම හරි ඒ වගේ කිරිබතක් අරන් එන්නම්. ඔබ ශෝක කරන්ට එපා.” කියල ඇය ව සැනසෙව්වා. ඉන් පසු රජතුමා එදා පංචපාපා සමඟ ගතකොට, පසුවෙනිදා උදේ ම රජගෙදරට ගියා. ගිහිල්ලා සුදුසු අකාරයෙන් කිරිබතක් සකස් කරවා ගත්තා. කොලපත් ගෙන්වා ගෙන බත්මුල් දෙකක් බඳින්ට පටන් ගත්තා. ඒ බඳින අතරතුර එක් බත්මුලක් ඇතුළට තමන් ගේ හිස පළඳින මැණික දමා බත් මුල එතුවා.
ඉතින් එදා හැන්දෑවේ මේ බත් මුල් දෙක ත් අරගෙන පංචපාපා බලන්ට ගිය රජතුමා ඒ බත් මුල් දෙක ඇගේ අතේ තබල මෙහෙම කිව්වා. “මම බොහොම දුප්පත් කෙනෙක්. මේ බත් මුල් දෙක ත් බොහොම අමාරුවෙන් තමයි හොයා ගත්තේ. අද මෙන්න මේ බත් මුල කන්ට කියන්න. හෙට මේ බත් මුල කන්ට කියන්ට.” ඒ විදියට කියපු රජතුමා මැණික දාපු බත් මුල පසුවදාට අනුභව කරන විදියට කටයුතු යොදා බත් මුල් දෙක වෙන වෙන ම පංචපාපා අත තැබුවා.
පංචපාපා ත් රජු පැවසූ ලෙසට ම පවසා පියාණන්ට බත් මුල දුන්නා. ඉතින් ගොඩාක් රසවත් විදියට, බොහොම පෝෂණ ගුණයකුත් ඇතිව හදපු බතක් නිසා, ටිකක් අනුභව කරපුවා ම ඒ පියා ගේ අසනීපය අඩු වුනා. ඒ බත් මුලෙන් ඉතුරු බත් පංචපාපා ගේ මව ත් අනුභව කළා. මැණික දාපු බත් මුල පහුව දා අනුභව කරන්නට තබා ගත්තා.
රජ්ජුරුවොත් පහුවදා රජ මාලිගාවට ගිහිල්ලා, මුහුණ කට සෝදාගෙන, තමන්ට පැළඳීම පිණිස චූඩා මාණික්‍ය රැගෙන එන්න කියා සේවකයෙකුට පැවසුවා. සේවකයා මැණික තබන තැන බැලුවත් එය එතැන නැති නිසා රජතුමාට ඒ බව පැවසුවා.
ඉතින් රජතුමා ඇතුල් නුවර රැකවල් යොදා වහා ම පරීක්ෂා කරන්න කියා අණකළා. ඒ විදියට පරීක්ෂා කළත් මැණික සොයා ගන්නට ලැබුණේ නැහැ. එවිට ‘පිටිනුවර දිළිඳු නිවෙස්වල පවා, සැළිවලං ආදියේ ත් කොළවල ඔතන ලද ආහාර පාන ආදියේ ත් පරීක්ෂා කරන්ට’ කියා රජතුමා ගෙන් අණ ලැබුනා.
ඉතින් ඒ විදියට පරීක්ෂා කරන විට පංචපාපා ගේ ගෙදර බත් මුල ඇතුළේ තිබී මැණික ලැබුණා. රාජ පුරුෂයින් ඇගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන ‘මෙන්න දේවයන් වහන්ස හොරු’ කියා රජතුමා ළඟට රැගෙන ආවා. රැගෙන විත් කරුණු විමසා සිටියා.
එවිට පංචපාපා ගේ පියා රජතුමාට මෙහෙම කිව්වා.
“අනේ රජතුමනි, මේ මැණික ගත්තේ අපි නම් නොවෙයි. ඕක බත් මුලක් අස්සේ දාලා අපිට ගෙනත් දුන්නේ වෙන කෙනෙක්”.
“එහෙනම්, කවුද මේ මැණික හොරකම් කරල ගෙනත් දුන්නේ...?”
“දේවයන් වහන්සේ ඔය බත් මුල අපිට ගෙනත් දුන්නේ අපේ බෑණා කෙනෙක්”
“දැන් කොහෙද ඒ බෑණා ඉන්නේ..?”
“අනේ දේවයන් වහන්ස අපි නම් දන්නේ නැහැ. අපේ දියණිය නම් දන්නවා.”
දෙමව්පියන් ඒ විදියට කිව්වා ම පංචපාපාගෙන් ඒ පිළිබඳ ව අසා දැන ගන්නා ලෙස රජතුමා අණකළා. ඇයගෙන් ඒ ගැන ඇසූවිට ඇය පැවසුවේ. තමන් ගේ ස්වාමිපුරුෂයා රාත්‍රියේ ම පැමිණ රාත්‍රියේ ම පිටත් වන නිසා තමන් ඔහු හඳුනන්නේ නැති බව යි.
රාජ පුරුෂයින් ඒ බව රජතුමාට දැන්නුවා. එවිට රජතුමා අමුතු ම උපක්‍රමයක් යෙදුවා. පංචපාපා ව රාජාංගනයට ගෙන්වා, අත දමන්නට පමණක් හැකි කවුලුවක් සහිත තිරයකින් ඇය ව වට කරන ලෙස ත්, ඉන් පසු ව මුලු ප්‍රදේශයේ ම මිනිසුන් රැස් කරවා ඔවුන් ගේ අත් අර කවුලුවෙන් ඇතුළට දැමූ පසු එම අත් අල්ලා බලා ස්පර්ශයෙන් තමන් ගේ ස්වාමිපුරුෂයා ව අල්ලා දෙන ලෙස ඇයට පවසන ලෙස ත් රජතුමා රාජ පුරුෂයන්ට අණකළා. ඉන්පසු රාජ පුරුෂයෝ ත් පංචපාපා සිටින තැනට ගොස් ඇගේ රූපය දැක, නො සතුටු ඉතා පිළිකුලෙන් යුතු ව අතින් නො අල්ලා ම රාජාංගනයට ගෙනැවිත් කවුලුවක් ඇති තිරයකින් වට කළා. ඉන් පසු ව ප්‍රදේශයේ මිනිසුන් රැස් කරවා කවුලුවෙන් ඇතුළට අත දමන්නට අණ කළා.
පංච පාපා ත් තිරය ඇතුළේ සිට දමන දමන අත අල්ලා බලා ‘මොහු නො වෙයි, මොහු නො වෙයි’ කියා හැර දමනවා. ඉතින් ඇගේ ඒ ස්පර්ශය ලැබූ හැම මිනිසෙක් ම දිව්‍ය පහසක් බඳු ඒ හස්ත ස්පර්ශයට ඇලී ඈතට නො ගොස් ළඟ ම සිටිනවා.
‘මේ ස්ත්‍රියට දඩ නියම කරනවා නම්, ඒ දඩය ගෙවා හෝ, මැයට වහල් හෝ මගේ භාර්යාව කරගන්නවා කියා’ සිතමින් හැම මිනිහෙක් ම දුර නො ගොස් සිටින්නට වුණා. වචනයෙන් කියා ඔවුන් ව ඉවත් කරන්නට නො හැකි වූ නිසා රාජපුරුෂයින් පොලු මුගුරු ගෙන පහර දෙමින් ඔවුන් ව බැහැර කරන්නට පටන් ගත්තා. සියලු ම සෙනෙවිවරු, ඈපාවරු, මාපාවරු, ඇතුලු ව යුවරජ්ජුරුවෝ පවා වියරු වැටුනවුන් මෙන් එතැන ම කැරකෙන්නට වුනා.
සියලු ම නගර වාසීන් විමසා බලා නිම වුනත් සොරා සොයා ගන්නට හැකි වුනේ නැහැ. ඉතින් අවසානයේ ඉතිරි වුනේ රජතුමා පමණ යි. රජතුමා ත්, “මම ද එහෙනම් හොරා” යනුවෙන් පවසමින් ගොස් කවුලුවෙන් ඇතුළට අත දැම්මා.
රජතුමා ගේ අත අල්ලාගත් පංචපාපා, ‘මෙන්න හොරා, මෙන්න හොරා’ කියා, රජු ගේ අත අල්ලාගෙන ම මහ හඬින් කෑගැසුවා. ඉතින් රජතුමා ඇය අත අල්ලගෙන සිටිද්දී ම, ඇමති වරුන්ගෙන් ඔවුන් සිතන්නේ කුමක් ද කියා විමසුවා. ඒ ඇමතිවරු ත් තමන්ට හිතුණු හිතුණු දේවල් කිව්වා.
ඉතින් රජතුමා, ඇමතිවරුන්ට මෙහෙම කිව්වා.
“ඇමතිවරුනි, මැය ගේ පහස නො දන්න ඔබලා සියලු දෙනා ම මට නින්දා කරයි කියා මම බය වුනා. මගේ අන්තඃපුරයට මැය ඇතුල් කරගන්නා අදහසින් තමයි මම මෙය සිදු කළේ. ඉතින් දැන් මට කියන්න, මේ තැනැන්තිය වඩා ත් සුදුසු කාට ද?” එ සියලු දෙනා ම ‘ඔබ වහන්සේට යි සුදුසු’ කියා රජතුමාට පිළිතුරු දුන්නා.
ඊට පස්සේ රජතුමා ඇය ව සත්රුවන් ගොඩක් උඩ සිටුවා පැන් වත්කොට තමන් ගේ අගබිසවුන් බවට පත් කරගත්තා. ඇගේ දෙමව්පියන්ට ත් මහත් වූ සැප සම්පත් ලබා දුන්නා.
ඉන් අනතුරු ව සිදු වුනේ හරි ම පුදුම දෙයක්. පංචපාපා ව අගමෙහෙසිය කරගත් දා පටන් රජතුමා නඩු විසඳන්නේ වත්, වෙන කිසි ම රාජකාරියක් කරන්නේ වත් නැහැ. ඒ විතරක් නොවෙයි අන්තඃපුරයේ සිටින දහසය දහසක් පමණ බිසෝවරුන්ගෙන් එක් බිසවක් දෙසවත් රාගයෙන් යුක්ත ව බලන්නේ නැහැ. ඉතින් ඒ අනෙකුත් බිසෝවරු ඉරිසියාවෙන් යුතු ව තොරතුරු පරීක්ෂා කරමින් සිටියා.
එක් දිනක් මේ පංචපාපා නම් බිසව, තමන් සුදු පැහැති ඇතෙක් පිට නැඟී සඳමඩල පිරිමදිනවා සිහිනයෙන් දුටුවා.
ඉතින් මේ සිහිනය ගැන රජතුමාට පැවසූ විට රජතුමා නිමිති ශාස්ත්‍ර දන්නා නිමින්තපාටකයින් ගෙන්වා ඒ ගැන විමසුවා. ඒ සිහිනයේ සැබෑ අරුත වන්නේ ඇය රජවරුන් දෙදෙනෙකු ගේ බිසව බවට පත් වෙනවා යන්න යි. නමුත් නිමින්තපාටකයින් අනෙකුත් බිසෝවරුන්ගෙන් කලින් ම අල්ලස් ලබා ගෙන යි සිටියේ. ඒ නිසා ඔවුන් බොරුවක් ගොතා මෙසේ කිව්වා.
“මහරජතුමනි, බිසවුන් සුදු ඇතෙක් පිට සිටීමේ අර්ථය නම් ඔබ වහන්සේ මරණයට පත් වෙන බව යි. සඳමඬල පිරිමැදීමේ අර්ථය වන්නේ නුඹ වහන්සේ සතුරු රජු අතට හසුවන බව යි.”
ඉතින් මේ කථාව අහපු රජතුමා බොහොම භයට පත් වුනා. බය වෙලා ඔවුන් ගෙන් කළ යුතු දේ ගැන විමසුවා. එ ඒ නිමින්ත පාටකයින් මෙහෙම කිව්වා.
“රජතුමනි ස්ත්‍රීන්ට වද දෙන එක සුදුසු දෙයක් නො වෙයි. එය කළ නො හැකි දෙයක්. නමුත් කළ හැකි එක දෙයක් තිබෙනවා. බිසවුන් වහන්සේ ව නැවකට නංවා ගංගාවේ පාකොට හරින්න.”
ඉන්පසු රජතුමා බිසවුන් වහන්සේ ව නැවකට නංවා, ඒ නැවට ප්‍රමාණවත් පරිදි කෑම බීම වස්ත්‍රාභරණ ආදිය ත් දමා මධ්‍යම රාත්‍රියේ දී ගංගාවට මුදා හැරියා.
ඉතින් පසුවදා ඒ නැව පාවරිය කියන රජතුමා ගේ රාජධානිය අසලින් ගමන් කරන්නට පටන් ගත්තා. එදා පාවරිය රජතුමා පිරිවර ත් සමඟින් නැඟී ජල ක්‍රීඩාදියෙහි යෙදේ සිටියා. ඉතින් පංචපාපා බිසවුන් වහන්සේ ව රැගත් නැව ඉස්සෙල්ලා ම දැක්කේ පාවරිය රජතුමා ගේ සෙනෙවිරත්තුමා යි. ඔහු ඒ නැව දැකලා නැව මා සතු යි කියා කිව්වා. රජතුමා එය අසා නැවේ තිබෙන දේ මා සතු යි කියා කිව්වා.
නැව සමීපයට ආවා. නැවේ සිටි යකින්නක් බඳු පංචපාපා බිසව දුටු රජතුමා, ‘ඔබ කවුරුන් ද..?’ කියා ඇසුවා. එ ඒ බිසව සිනා සී, ‘බක නම් රජු ගේ පංචපාපා බිසව කියන්නේ මට තමයි’ ආදී වශයෙන් සිහිනයක් දැකීමේ පටන් සියලු විස්තර ඒ රජතුමාට පැවසුවා.
මේ බිසව ගේ නම ඒ වනවිට ප්‍රසිද්ධ එකක් වී තිබුණා. ඉතින් පාවරිය රජතුමා, “එහෙනම් ඔබ ද පංචපාපා බිසව කියන්නේ” කියා බිසවුන් ගේ අතින් ඇල්ලුවා.
අත ඇල්ලූ පමණින් ම ඒ ශරීර පහස ගැන පවාරිය රජු ගේ සිතේ දැඩි රාගයක් හට ගත්තා. ඒ රජතුමා ත් පංචපාපා බිසව තමන් ගේ අග මෙහෙසිය බවට පත් කරගත්තා. ඉතින් එදා පටන් පාවරිය රජු ත් වෙන කිසි ම බිසවක ගේ මුහුණවත් බලන්නේ නැහැ. ඒ පංචාපාපා තොමෝ පාවරිය රජු ගේ ජීවිතය බඳු වුනා. මේ විස්තරය බක රජතුමාට අසන්නට ලැබුණා. ඉතින් බක රජතුමා මොකද කළේ, ‘මගේ බිසව පාවරිය රජු ගේ අග මෙහෙසිය කරගෙන සිටීමට ඉඩ දෙන්නේ නැහැ කියා’, සේනාව රැස් කරගෙන මහත් අභිමානයක් උපදවාගෙන පාවරිය රජු ගේ නුවරට මෙගොඩින් නුවරක් තනාගෙන, “එක්කෝ බිසව එවනව ද? නැත්නම් යුද්ධ කරනව ද?” කියා පණිවිඩයක් යැව්වා.
ඒ පණිවිඩය ඇසූ පාවරිය රජතුමා ත් යුද්ධයට සූදානම් වුනා. මේ සිදුවීම දැකපු රජවරු දෙන්නා ගේ ම මන්ත්‍රීවරු මේ විදියට එකිනෙකා සමඟ කතාබස් කළා.
“පළමු ස්වාමියා බක රජු නිසා, මේ බිසව බක රජතුමා සතු යි. නැවින් යන විට ලබා ගත් නිසා මේ බිසව පාවරිය රජතුමා ත් සතු යි. ඉතින් අන්න ඒ නිසා මේ බිසව එක රජකෙනෙක් ගාව දවස් හත බැගින් රජවරු දෙදෙනා ගාව ම සිටිය යුතු යි”. එසේ කතිකා කරගත් ඇමතිවරු එය රජවරුන්ට ත් දැනුම් දී ඔවුන් ව සංසිඳවෙව්වා.
ඉතින් මේ පංචපාපා දැන් රජවරු දෙදෙනාට ම අයිති යි. ඇය දවස් හතක් බක රජතුමා ළඟ සිටිනවා. ඉන්පසු ව ඔරුවක නැඟී පවාරිය රජතුමා ළඟට ගොස් ඔහු ළඟ දවස් හතක් සිටිනවා. මේ විදියට එතෙර මෙතෙර යන අතරේ ගඟ මැදට පැමිණි විට, එම රජවරුන් දෙදෙනා ත් මදි වී, ඔරුව පදින කබර හැදුනු කොර මාලුකාරයා සමඟ ත් මේ පංචපාපා අනාචාරයේ හැසිරෙන්නට පටන් ගත්තා.”
මේ විදියට කුණාල රජතුමා තමන් දැකපු ඒ සිදුවීම ත් පූර්ණමුඛ නම් වූ ඵුස්ස කෝකිල රජුට ප්‍රකාශ කළා. ඊළඟට තවත් සිදුවීමක් විස්තර කළා.
යහලු පූර්ණමුඛ, බොහෝ ම ඉස්සරකාලේ බ්‍රහ්මදත්ත කියන රජ්ජුරුකෙනෙකුට පිංගියානි කියලා අග බිසවක් සිටියා. ඉතින් මේ බිසව දවසක් සීමැදුරු කවුලුව ඇරල බලනකොට මඟුල් අස් ගොව්වා දැක්කා. දැකලා ඔහු කෙරෙහි රාගය ඇති කරගෙන, රජ්ජුරුවන් නිදා ගත් සීමැදුරු කවුලුවෙන් බැස ගොස් ඔහු සමඟ අනාචාරයේ යෙදෙන්නට පුරුදුවුනා. ඉන්පසු ව නැවත රජ මැදුරට පැමිණ සඳුන් සුවඳ තවරාගෙන රජතුමා සමඟ සැතපෙනවා.
ඉතින් එක දවසක් රජතුමාට මධ්‍යම රාත්‍රියේ දී බිසවුන් ගේ ශරීරය සීතල බව තේරුනා. ඒ ගැන පරීක්ෂා කළ යුතු යැයි රජතුමා සිතා ගත්තා. පසුවදා බොරුවට නිදා ගෙන සිටියා. රජතුමා ඇත්තට ම නිදා ගෙන සිටිනවා යැයි සිතූ බිසව හිමීට නැගිටලා පිටත් වුනා. රජතුමා ත් නො දැනෙන විදියට පිටුපසින් ගියා. මේ විදියට ගියපු රජතුමාට තමන් ගේ බිසව අර අස්ගොව්වා සමඟ අනාචාරයේ හැසිරෙනවා දකින්නට ලැබුණා. රජතුමා ආපසු පැමිණිලා නිදාගත්තා. බිසව ත් ආපසු පැමිණ සුළු යහනේ නිදා ගත්තා.
පසුව දා රජතුමා ඇමති මණ්ඩලය මැද ම ඇගේ මේ වරද ප්‍රකාශ කළා. ස්ත්‍රීන් කියන්නේ මේ වගේ නුගුණ තිබෙන පිරිසක් කියා, කළකිරී දඬුවම් දිය යුතු වරදට සමාව දී ඇය ව අගබිසෝ තනතුරෙන් පහ කොට වෙනත් බිසවක් පත් කොට ගත්තා....
ඉතින් ඒ විදියට අතීත සිදු වීම් දේශනා කළ බෝසත් කුණාල රජතුමා තව දුරට ත් ස්ත්‍රී ජීවිතයේ යථාර්ථය හෙළි කොට වදාළා.
“යහලු පූර්ණමුඛ, මේ ස්ත්‍රීන් කුඩා දේට ත් තමන් ගේ ස්වාමිපුරුෂයා ව විනාශ කොට සොරුන් සමග පවා එක් වෙනවා. ස්ත්‍රීන් කියන්නේ වහා පෙරළෙන සිත් ඇති පිරිසක්, කෙළෙහි ගුණ නො දන්නා පිරිසක්, ද්‍රෝහී පිරිසක්, ඉතින් අන්න ඒ නිසා භූතාවිෂ්ට නො වූ කිසි ම පුරුෂයෙක් ස්ත්‍රීන් ව විශ්වාස කරන්නේ නැහැ.
ස්ත්‍රීන් කළ දේ දන්නෙත් නෑ. කළ යුතු දේ දන්නෙත් නෑ. මව හෝ පියා හෝ සහෝදර සහෝදරියන් හෝ දන්නෙත් නෑ. ලජ්ජා විරහිත, ඉක්ම වූ ගුණ දහම් ඇති ස්ත්‍රීන් තමන් ගේ ම සිතේ වසඟයට යනවා.
ප්‍රාණය හා සමාන ව තමන්ට අනුකම්පා කරන, බොහෝ දවසක් එකට වාසය කළ පුරුෂයන් ව පවා, අවස්ථාවක් ලැබුණොත් මැඩපවත්වනවා. අතහැර දමනවා. එම නිසා ස්ත්‍රීන් ව විශ්වාස නො කළ යුතු යි.
මේ ස්ත්‍රීන් ගේ සිත අත්තක් අල්ලාගෙන තවත් අත්තක් අල්ලන වඳුරන් වගෙ යි. සුළඟින් සෙළවෙන අතුපතර වගෙයි. උස් පහත් භේදයක් නො මැති ව වැටෙන ගස් සෙවන වගේ ස්ත්‍රීන් ගේ සිත එක තැනක පිහිටන්නේ නෑ. ඒ වගේ ම ස්ත්‍රීන් ට තිබෙන්නේ, වහා පෙරලෙන කරත්ත රෝදයක් වගේ නොයෙක් අරමුණු වලට පෙරළෙන සිතක්.
ඉතින් යම් කිසි ස්ත්‍රියකට තමන් සොයා බලද්දී පුරුෂයෙක් සතු ව ලබා ගත යුතු වස්තුවක් හෝ යම් කිසිවක් තිබෙන බව දකින්නට ලැබුණොත්, එතකොට කාම්බෝජ දේශයේ මිනිසුන් දිය සෙවෙල් වලින් අශ්වයින් අල්ලා ගන්නවා වගේ, මෘදු වචන වලින් ඒ පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා.
ඉතින් සොයා බලද්දී පුරුෂයා තුළ ගත යුතු දෙයක් නැත්නම් එතකොට, ගඟ තරණය කළ විට පහුර අත හරිනවා වගේ පුරුෂයා ව අතහැර දමනවා.
සිලේසූපමා සිඛීරිව සබ්බභක්ඛා
තික්ඛමායා නදීරිව සීඝසෝතා
සේවන්ති හේතා පියමප්පියඤ්ච
නාවා යථා ඕරකුලං පරඤ්ච
මේ ස්ත්‍රීන් පුරුෂයන් ගේ සිත් අලවන නිසා ලාටු වගෙයි. රාග ගින්නෙන් හැම දෙයක් ම පුච්චා දමන නිසා ගින්න වගෙයි. වේගයෙන් ගලා යන ගංගාව වගේ මේ ස්ත්‍රීන් තියුණු මායා වලින් යුක්ත යි. ඒ වගේ ම මේ ස්ත්‍රීන් එගොඩ මෙගොඩ දෙක ම ඇසුරු කරන නැවක් වගේ ප්‍රිය අප්‍රිය හැම දෙනා ව ම සේවනය කරනවා.
න තා ඒකස්ස න ද්වින්නං
ආපණෝව පසාරිතෝ
යෝ තා මය්හන්ති මඤ්ඤෙය්‍ය
වාතං ජාලේන බාධයේ
මේ ස්ත්‍රින් එක්කෙනෙකුට විතරක් අයිති නෑ. දෙදෙනෙකුට විතරක් අයිති ත් නෑ. විවෘත කරපු සල්පිළක් වගෙයි. යම් කිසි කෙනෙක් ඒ ස්ත්‍රීන් ව මගේ කියල හිතනවා නම්, ඔහු දැළකින් සුළඟක් වළක්වන්න හදනවා වගෙයි.
යථා නදී ච පන්ථෝ ච පානාගාරං සභා පපා
ඒවං ලෝකිත්ථියෝ නාම වේලා තේසං න විජ්ජති
ගං තොටුපොළවල් වලට බොහෝ දෙනෙක් බැහැලා ස්නානය කරනවා. පැන් පානය කරනවා. ස්ත්‍රීනු ත් අන්න ඒ තොටුපොළ වගේ තමයි. රා මණ්ඩපයකට ත් කැමති කැමති කෙනා ගිහිල්ලා රා බොනවා. ස්ත්‍රීනු ත් අන්න ඒ රා මණ්ඩප වගේ තමයි. රැස්වීම් ශාලාවල කැමති කැමති කෙනා ගිහිල්ලා රැස් වෙනවා. මේ ලෝකයේ ස්ත්‍රීනුත් අන්න ඒ රැස්වීම් ශාලා වගෙයි. ඔවුන්ට සීමාවක් නෑ.
ඝතාසනසමාහේතා කණ්හසප්පසිරූපමා
ගාවෝ බහි තිණස්සේව ඕමසන්ති වරං වරං
මේ ස්ත්‍රින් ගින්නට සමාන යි. කලු සර්පයෙකු ගේ හිසකට උපමා කරන්ට පුලුවන්. අලුත් අලුත් තණ කොළ හොයා ගෙන යන හරක් වගේ ඔවුන් පුරුෂයන් අත හරිමින් අලුත් පුරුෂයන් සොයනවා.
කොච්චර දවසක් දැක්ක ත්, කොච්චර ළං වෙලා කාලය ගත කළ ත් මේ ලෝකයේ රජතුමා ත්, සර්පයිනු ත්, මත් වූ ඇතුනුත් විශ්වාස කරන්නට බැහැ. ඒ නිසා ඔවුන් ව ඇසුරු කළ යුත්තේ සිහියෙන් ම යි. ස්ත්‍රීනු ත් අන්න ඒ වගේ තමයි. කෙතරම් කාලයක් ඇසුරු කළ ත් විශ්වාස කරන්ට බැහැ. සැබෑ ස්වරූපය දැන ගන්ට ත් බැහැ.
මේ නිසා ගොඩාක් ලස්සන කාන්තාව ත්, බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තිය ත්, නැටුම් ගැයුම් වලට දක්ෂ ස්ත්‍රිය ත්, වෙනත් අයෙකු ගේ භාර්යාව ත් යන මේ ස්ත්‍රීන් ව සේවනය නො කළ යුතු යි. ධනය නිසා වත් ඇසුරු නො කළ යුතු යි.
මෙන්න මේ විදියට කුණාල රජතුමා සර්වඥයන් වහන්සේ නමක් මෙන් නොයෙක් ක්‍රම වලින් තමන් දැක්කා වූ ත් ලෝකයේ පැවත එන්නා වූ ත් ස්ත්‍රීන් ගේ නුගුණ කැටි වූ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවට සවන් දුන්නු එතැනට රැස් වෙලා සිටි දහස් සංඛ්‍යාත පිරිස දොහොත් මුදුනේ තබා සියදහස් ගණන් සාදුකාර දුන්නා.
ඒ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න ‘අනද’ කියන ගිජුළිහිණි රජතුමා ත් තමන් දන්නා වූ ස්ත්‍රීන් ගේ නුගුණ ඒ අවස්ථාවේ දී මේ විදියට ගාථා වලින් ප්‍රකාශ කළා.
“මේ ලෝකයේ යම් කිසි මිනිසෙක් තමන් ගේ සත්පුරුෂකම නිසා නොයෙක් මාණික්‍ය රත්නයන් ගෙන් පිරුණු සතර මහා සාගරයෙන් වට වූ මේ මුලු මහත් පොලෝ තලයේ ම රාජ්‍යශ්‍රීය යම් ස්ත්‍රියෙකුට ලබා දුන්න ත්, ඒ ස්ත්‍රිය අවස්ථාවක් ලැබුණොත් ඔහු ඉක්මවා වෙනත් කෙනෙක් සමඟ අනාචාරයේ හැසිරෙනවා. ඒ නිසා ඒ වගේ සිහියක් නො මැති ස්ත්‍රීන් ගේ වසඟයට නම් නො යා යුතු යි.
ඒ වගේ ම බොහෝ ම උත්සාහවත්, නො පසුබසිනා වීරියකින් යුක්ත, තරුණ අවදියේ පටන් එකට සිටි තමන් ගේ ප්‍රිය ස්වාමිපුරුෂයා යම් කිසි කටයුත්තක් පිණිස බැහැරට ගිය විට ත් විපතකට පත් වුන විට ත්, වෙනත් කිසියම් කටයුත්තක් ඇති වූ විට ත් ඔහු හැර දමා වෙන එකෙක් සමඟ ලගින එක තමයි මේ ස්ත්‍රීන් ගේ ස්වභාවය. ඒ වගේ ම මේ ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයා නැවත පැමිණි විට “අනේ ඔයා කොහෙද ගියේ...? ඔයා නැතිව මම මේ හරි ම දුකෙන් හිටියෙ.” ආදී වශයෙන් කියමින් සෙනෙහස හඟවමින් හඬනවා. නමුත් කිසි ලෙසකින් වත් විශ්වාස කළ නො හැකි යි.
න විස්සයේ ඉච්ඡති මන්ති පොසෝ
න විස්සයේ රෝදති මේ සකාසේ
සේවන්ති හේතා පියමප්පියඤ්ච
නාවා යථා ඕරකුලං පරඤ්ච
‘මැය මට ආදරෙයි’ කියා ස්ත්‍රිය ව විශ්වාස නො කළ යුතු යි. ‘මැය මං ළඟ හඬනවා’ කියා ස්ත්‍රිය ව විශ්වාස නො කළ යුතු යි. මක් නිසා ද යත්: එගොඩ මෙගොඩ දෙක ම සේවනය කරන නැව මෙන්, ස්ත්‍රීන් ද ප්‍රිය අප්‍රිය දෙදෙනා ම ඇසුරු කරන නිසයි.
න විස්සයේ සාඛපුරාණසන්ථතං
න විස්සයේ මින්තපුරාණචෝරං
න විස්සයේ රාජා සඛා මමන්ති
න විස්සයේ ඉත්ථී දසන්නමාතරං
(ඇතුළත සර්පයින් සිටිය හැකි නිසා) පරණ කොළ ඇතිරිය ගැන විශ්වාස කරන්නට බැහැ. ‘කලින් යාලුව නෙ’ කියා ගම්පහරන හොරා ගැන විශ්වාස කරන්නට බැහැ. මගේ හොඳ යාලුවෙක් කියා රජ්ජුරුවන් ව විශ්වාස කරන්නට බැහැ. පුතුන් දහයක් වදා සිටිය ත් ස්ත්‍රිය විශ්වාස කරන්නට ත් බැහැ.
ස්ත්‍රීන්ට ඇලෙන්නේ බාලයෝ යි...
ඇත්තෙන් ම බාලයන් විසින් ම ඇලුම් කරන, ඉක්මවාගිය සිල් ඇති, හික්මීමක් නැති, ස්ත්‍රීන් ගැන විශ්වාස නො කළ යුතු යි. ගොඩාක් ප්‍රේමයෙන් සිටියත් ඒ භාර්යාව ගැන ත් විශ්වාස නො කළ යුතු යි. මොකද? ස්ත්‍රීන් තොටුපොළවල් වගෙ යි.
හනෙය්‍යු ඡින්දෙය්‍යුම්පි ඡේදයෙය්‍යුං
කණ්ඨම්පි ඡෙත්වා රුධිරං පිබෙය්‍යුං
මා දීනකාමාසු අසඤ්ඤතාසු
භාවං කරේ ගංගාතිත්ථූපමාසු
සැමියා නසන, සිඳින, සිඳවන, බොටුව සිඳ ලේ බොන, ළාමක අදහස් ඇති, සංයමයක් නැති, ගංගා තොටුපොළවල් වැනි ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තක් නම් ඇති කරගන්නට එපා.
මුසා තාසං යථා සච්චං
සච්චං තාසං යථා මුසා
ගාවෝ බහි තිණස්සේව
ඕමසන්ති වරං වරං
මේ ස්ත්‍රීන් ගේ බොරුව ඇත්ත වගෙ යි. ඇත්ත බොරුව වගෙයි. තණ බිමෙන් පිට හොඳ හොඳ තණ කොළ සොයා යන ගවයන් වගේ ස්ත්‍රීන් වෙනත් පුරුෂයන් සොයා යනවා.
මේ ස්ත්‍රීන් ගමනිනුත් බැල්මෙනුත් මඳ සිනාවෙනුත් බාගෙට ඇඳුම් ඇඳීමෙනුත් මිහිරි වචන කීමෙනුත් පුරුෂයන් ව පොළඹවනවා.
චෝරියෝ කඨිනාහේතා වාළා ච ලපසක්ඛරා
න තා කිඤ්චි න ජානන්ති යං මනුස්සේසු වඤ්චනං
මේ ස්ත්‍රීන් කියන්නේ හොරු විශේෂයක්. තද සිත් තිබෙන චපල ජාතියක්. දුෂ්ට සිත් තිබෙන නමුත් හකුරු වගේ මිහිරි වචන ඇති පිරිසක්. මේ මිනිස් ලෝකයේ යම්තාක් වංචා තිබෙනවා නම් ඒවාගෙන් ස්ත්‍රීන් නො දන්නා කිසිවක් නෑ.
අසා ලෝකිත්ථියෝ නාම වේලා තාසං න විජ්ජති
සාරත්තා ච පගබ්භා ච සිඛී සබ්බඝසෝ යථා
මේ ලාමක වූ ස්ත්‍රීන් හැම විට ම රාගයෙන් ඇලිල යි ඉන්නේ. නුසුදුසු ඇවතුම් පැවතුම් වලින් යුතු ව යි ඉන්නේ. සියල්ල දවන ගින්න වගේ, හැම දෙයක් ම වනසනවා. ඔවුන්ට සීමාවක් නම් නෑ.
ස්ත්‍රීන්ට ප්‍රිය කෙනෙකුත් නෑ. අප්‍රිය කෙනෙකුත් නෑ. එගොඩ මෙගොඩ දෙක ම ඇසුරු කරන නැව වගෙ යි. ගස වැළඳගෙන යන වැල වගේ ධනය හේතුවෙන් ස්ත්‍රීන් පුරුෂයන් ව වැළඳගන්නවා. උසස් පහත් භේදයකින් තොර ව ධනය ඇති පුරුෂයා කරා ම තමයි මේ ස්ත්‍රීන් ගමන් කරන්නේ.
ඉතින් මෙන්න මේ විදියට අනඳ නම් ගිජුළිහිණි රජතුමා ස්ත්‍රීන් ගැන පැවසූ පසු, නාරද නම් තාපසයන් වහන්සේ ත් තමන් වහන්සේ ගේ නුවණ බලයෙන් මේ විදියට ස්ත්‍රීන් ගේ නුගුණ ගාථාවලින් දක්වන්නට වුනා.
මේ ලෝකේ කරුණු හතරක් පුරවා නිම කරන්නට බැහැ. ගංගා දහසක ජලය නො නැවතී ගලාගෙන ගියත් මහා සාගරය පුරවන්නට බැහැ. වේද හදාරන බමුණන් ඒ වේද හැදෑරීමෙන් කිසි දිනෙක තෘප්තියකට පත් වන්නෙ ත් නැහැ. නොයෙක් වස්තූන් ගෙන් යුක්ත මහ පොළොව ම ජය ගත්තත් රජවරු තෘප්තිමත් වෙන්නේ නැහැ. පිට සක්වළක් හෝ ප්‍රාර්ථනා කරනවා.
ඒවමේකාය ඉත්ථියා අට්ඨට්ඨ පතිනෝ සියා
සූරා ච බලවන්තා ච සබ්බකාමරසාරහා
කරෙය්‍ය නවමේ ඡන්දං ඌනත්තා හි න පූරති.
ස්ත්‍රීනුත් අන්න ඒ වගේ ම යි. හැම ස්ත්‍රියකට ම සූර වීර, මහා කාය බල, ඤාණ බල ඇති සියලු සැප සම්පත් ලබා දෙන්නට පොහොසත්, සියලු කාමාශාවන් සන්තර්පණය කරන්නට හැකියාව ඇති, ස්වාමිපුරුෂයන් අට දෙනා බැගින් දුන්නත්, නව වැනි හොර සැමියෙකුත් සොයනවා. ඌන භාවය නිසා ම පිරෙන්නේ නෑ.
සබ්බිත්ථියෝ සිඛිරිව සබ්බභක්ඛා
සබ්බිත්ථියෝ නදීරිව සබ්බවාහිනී
සබ්බිත්ථියෝ කණ්ටකානං ව සාඛා
සබ්බිත්ථියෝ ධනහේතූ වජන්ති
සියලු ස්ත්‍රීන් ගින්න වගේ හැම දෙයක් ම කා දමනවා. සියලු ස්ත්‍රීන් ගංගාව වගේ හැම දෙනෙක් ව ම උසුලාගෙන යනවා. සියලු ස්ත්‍රීන් කටු ගස්වල අතු වගෙ යි. සියලු ස්ත්‍රීන් ධනය නිසා පුරුෂයන් ව සේවනය කරනවා.
වාතඤ්ච ජාලේන නරෝ පරාමසේ
ඕසිඤ්චියා සාගරමේකපාණිනා
සකේන හත්ථේන හනෙය්‍ය ඝෝසං
යෝ සබ්බභාවං පමාදාසු ඔස්සජේ
යම් පුරුෂයෙක් කාන්තාවන්ට තමන් ගේ රහස් ප්‍රකාශ කොට ඒ රහස් පිටතට නොයා රකින්නට උත්සාහ කරනවා නම්, ඔහු දැළින් සුළං නවත්වන්නට උත්සාහ කරනවා වගෙ යි. එක අත්ලකින් මහ සමුදුරේ දිය හිස් කරන්නට හදනවා වගෙයි. තමන් ගේ එක ම අතින් අත්පුඩි ගසන්නට හදනවා වගෙයි.
ස්ත්‍රීන් අතර සත්‍ය ඉතා දුර්ලභ යි. හොර ස්වරූපයෙන් යුතු බහු බුද්ධික ස්ත්‍රීන් ගේ අදහස් වතුරේ ගිය මාලුන් ගේ මාර්ගය මෙන් දැන ගන්නට දුෂ්කර යි.
මෙපමණ යැයි කියන්නට බැරි නුගුණ ඇති, නමුත් මුදු මොලොක් වචන ඇති, කෙළෙස් රතියෙන් පිරවිය නො හැකි ස්ත්‍රීන් ගංගා වගෙයි. ස්ත්‍රීන් තමන් ව ඇසුරු කරන්නන් සතර අපායේ ගිල්වන බව දැන ගෙන ඔවුන් ව දුරින් ම දුරු කළ යුතු යි.
ආවට්ටනී මහාමායා බ්‍රහ්මචරියවිකෝපනා
සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයේ
අනුන් මෝහනය කරන මහා මායා ඇති, බඹසර ජීවිතය විනාශ කොට දමන ස්ත්‍රීන් ව ඇසුරු කරන අය සතර අපායේ ගිල්වන බව දැන ගෙන ඔවුන් ව දුරින් ම දුරු කළ යුතු යි.
යම් ස්ත්‍රියක් ආදරය නිසා හෝ ධනය නිසා හෝ යම් කිසි පුරුෂයෙක් ව ඇසුරු කරනවා නම්, පහස ලැබූ ලැබූ තැන පුච්චා දමන ගින්න මෙන් ඉතා ඉක්මණින් ඒ පුරුෂයා විනාශ කොට දමනවා. පුළුස්සා දමනවා.
මේ විදියට නාරද නම් තාපස්වීන් වහන්සේ තමන් දන්නා ආකාරයෙන් ස්ත්‍රීන් ගේ නුගුණ දේශනා කළා.
ඒ අවස්ථාවේ දී බෝධිසත්ව කුණාල රජතුමා, නැවත ත් මේ විදියට පවසන්නට වුණා.
“මේ ලෝකයේ පණ්ඩිත මිනිසුන් සිටිනවා. ඔවුන් සියුම් මුවහතක් ඇති කඩුවක් අතින් ගත් සොරෙක් සමග වුනත් කථා බස් කරනවා. ඒ වගේ ම මීනි කන රාක්ෂයින් සමග කතා කරන්නට වුනත් ඔවුන් භය වන්නේ නැහැ. උග්‍ර විෂ තිබෙන විෂඝෝර සර්පයින් සමඟ කථා බහ කරන්නට වුනත් ඔවුන් ගේ සිතේ පැකිළීමක් නම් ඇති වන්නේ නැහැ. නමුත් හුදෙකලාවේ සිටින ස්ත්‍රියක් සමඟ නම් ඔවුන් කථා බස් කරන්නේ නැහැ.
නැටීම, ගී කීම, කථාව, සිනාව යන මේවා ආයුධ කරගෙන සිටින ස්ත්‍රීන් ලෝකයා ගේ සිත් යටපත් කරනවා. මිනිසුන් ව පොළඹවා කා දමන යක්ෂ දිවයිනේ රකුසියන් වගේ, සිහිය පිහිටුවා නොගත් පුරුෂයන් ව විනාශ කරනවා.
මේ ස්ත්‍රීන්ට හික්මීමක් නැහැ. සංවරයකුත් නැහැ. මත් පැන් වලට හා මස්වලට ගිජුවූ ඒ ස්ත්‍රීන් මහා සාගරයේ මෝරෙක් ගිලින තිමිංගල නම් මාලුවා වගේ පුරුෂයා දුකසේ උපයන ධනය විනාශ කරනවා.
මිහිරි ස්වරූපයෙන් යුක්ත පංචකාම සැපත ම ගොදුරු කරගෙන සිටින, උඩඟු වූ අස්ථීර සිත් ඇති, අසංවර ස්ත්‍රීන්, ගංගාවන් ඇද ගන්නා මහා සාගරය වගේ ප්‍රමාදී පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා.
යම් ස්ත්‍රියක් ප්‍රේමය නිසා හෝ පංචකාමයන් විඳීමට හෝ ධනයට ඇති ඇල්ම නිසා හෝ යම් පුරුෂයෙක් ළඟ නැවතුනොත්, ගුණයෙන් ගින්නක් වගේ බබලන පුරුෂයෙක් ව වුනත්, රාගද්වේශ වලට වසඟ වුන ඒ ස්ත්‍රීන් විනාශ කොට දමනවා.
මේ ස්ත්‍රීන්ට ධන ධාන්‍ය වලින් ආඪ්‍ය වූ පොහොසත් පුරුෂයෙක් ව දැක ගන්නට ලැබුණහොත් ජීවිතය පරිත්‍යාග කරන්නට එන කෙනෙක් වගෙයි ඔහු ළඟට යන්නේ. ඉන්පසු රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු ව, සල්ගසක් වෙලා ගන්නා මාලුවා වැලක් වගේ ඉතා දැඩි ව වෙලාගෙන පීඩාවට පත් කරනවා.
ලස්සනට සැරසීමෙන් අලංකාර කරගත් ශරීර හා මුහුණු ඇති, සියගණන් මායාවන් ගේ දක්ෂ ඒ ස්ත්‍රීන් සම්බර නම් වූ අසුරයා මෙන්, මායාකාරයෙකු මෙන් නොයෙක් ආකාරයෙන් පුරුෂයා ගේ සිත අලවනවා. හඬ නඟා සිනාසෙනවා. මදහස පානවා.
ඒ විතරක් නො වෙයි, මහා තේජසකින් යුක්ත ස්ථානෝචිතප්‍රඥාවෙන් යුක්ත, බොහෝ පිරිසක් විසින් සත්කාර සම්මාන ලබන්නා වූ ලෝක පූජිත වූ උත්තම පුරුෂයෙක් වුනත්, යම් යකින් ස්ත්‍රියක ගේ වසඟයට පත් වුනහොත් ඔහු රාහු ගේ ග්‍රහණයට හසු වූ සඳ දෙව්පුත් මෙන් තෙද රහිත භාවයට පත් වෙනවා. විනාශ වී යනවා.
කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමන්ට අහුවුනු තමන් ගේ සතුරෙකුට කරන්නේ යමක් ද, ස්ත්‍රීන් ගේ වසඟයට පත් වූ තණ්හා සහිත පුරුෂයා ඊට වඩා විශාල විපතකට පත් වෙනවා.
තා කුලේසු විසිඛන්තරේසු වා
රාජධානිනිගමේසු වා පුන
ඔඩ්ඩිතං නමුචිපාසවාකරං
චක්ඛුමා පරිවජ්ජයේ සුඛත්ථිකෝ
මේ ස්ත්‍රීන් ගෙවල්වල ත්, මාවත් අතර ත්, නගර රාජධානිවල ත්, ගම් නියම්ගම් වල ත් මාරයා විසින් අටවන ලද මර උගුලක් වගෙ යි. දැලක් වගෙ යි. එම නිසා නුවණැස් ඇති, දෙලොව සැප කැමති පුරුෂයා ස්ත්‍රිය දුරින් ම දුරු කරනවා.
යම් කිසි කෙනෙක් දෙව් මිනිස් සැපත උදා කරන බඹසර ජීවිතය අතහැර දමා අනාර්ය වූ කාමසේවනයේ යෙදෙනවා නම් ඔහු දෙව්ලොවින් පෙරළී නිරයට වැටෙනවා. වටිනා මැණිකක් දී නො වටිනා දෙයක් ගන්නා ළාමක වෙළෙන්දෙක් වගෙයි.
ස්ත්‍රීන් ගේ වසඟයට ගිය ඒ අනුවණ තැනැත්තා මෙලොව දී ත් පරලොව දී ත් ගැරහීමට ලක් වෙනවා. තමන් විසින් ම කරගත් කර්මයන් විඳවීමට, කාල නියමයක් නො මැති ව දෙව් මිනිස් ලෝකයෙන් ගිලිහී අපායට යනවා. කුළු අශ්වයෙක් යොදපු කරත්තයක් නො මඟ යනවා වගෙ යි.
ස්ත්‍රී වසඟයට ගිය ඒ තැනැත්තා අතිශයින් ම දුක් තිබෙන නිරයට ද යකඩ කටුවලින් යුතු කටුඉඹුල් වනයට ද වැටෙනවා. ඒ වගේ ම තිරිසන් ලෝකය ත් ප්‍රේත විෂය ත් කාලකඤ්ජක අසුර නිකාය ත් ඉක්මවා යන්නට ඔහුට පුලුවන් වන්නේ නැහැ.
ප්‍රමාදී භාවයට පත් වුනු කාන්තාවෝ, ප්‍රමාදී වූ පුරුෂයන් ගේ නන්දන උද්‍යානයේ දිව්‍ය ක්‍රීඩා කරමින් සැප විඳින්නට ඇති අවස්ථාව ත් මනුෂ්‍ය ලෝකයේ සක්විති රාජ සම්පත්තිය ත් නසා දමනවා. ඒ වගේ ම ඒ පුරුෂයන්ට දුගති ත් සලසා දෙනවා.
එම නිසා යම් කිසි කෙනෙක් ලැජ්ජා බය ඇති කරගෙන සත් පුරුෂ ධර්මයන් ගේ පිහිටා ස්ත්‍රීන්ට වසඟ නො සිටිනවා නම් ඒ තැනැත්තා සරත් කාලයේ අහසේ දිදුලන සූර්යයා මෙන් මේ දෙවිසිස් ලෝකය බබුලුවනවා.
දිබ්බඛිඩ්ඩරතියෝ න දුල්ලභා
චක්කවත්තිචරිතඤ්ච මානුසේ
සොණ්ණව්‍යම්භනිලයා ච අච්ඡරා
යේ චරන්ති පමදාහනත්ථිකා
යම් කිසි කෙනෙක්, ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට දිව්‍යමය ක්‍රීඩාවන් ගේ ඇල්ම ත්, විසිස් ලෝකයේ සක්විති සැපය ත්, රන් විමන් වල සිටිනා දිව්‍යාංගනාවනුත් දුර්ලභ වන්නේ නැහැ.
කාමධාතුසමතික්කමා ගති
රූපධාතුයා භවෝ න දුල්ලභෝ
වීතරාගවිසයූපපත්තියා
යේ චරන්ති පමදාහනත්ථිකා
යම් කිසි කෙනෙක් ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට කාම ධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූපභවයේ උපත ත්, වීතරාගී අනාගාමී උතුමන් උපදින සුද්ධාවාස බඹලොවේ උපත ත් දුර්ලභ වන්නේ නැහැ.
සබ්බදුක්ඛසමතික්කමං සිවං
අච්චන්තං අචලිතං අසංඛතං
නිබ්බුතේහි සුචීහි න දුල්ලභං
යේ චරන්ති පමදාහනත්ථිකා
නිවන කියන්නේ කෙලෙස් ගිනි නිවී ගිය තැනක්. හැම දුකක් ම ඉක්මවා ගිය තැනක්. නිර්භය භාවය ඇති කරන තැනක්. කිසි දිනෙක වෙනස් නො වන දෙයක්. කෙලෙසුන් ගෙන් කම්පා නො වන දෙයක්. හේතු ඵල දහමින් සකස් නො වූ දෙයක්. පිරිසිදු අය විසින් ම ලබා ගත යුතු දෙයක්. යම් කිසි කෙනෙක් ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට අන්න ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීම ත් දුර්ලභ වන්නේ නැහැ.”
ඉතින් මෙන්න මේ විදියට එදා හිමාල පර්වතයේ තුන් යොදුන් උසැති රන්සිරියෙල් ගල්තලාව මත වැඩ හිදිමින් කුණාල කියන බෝසත් රජතුමා, ස්ත්‍රීන් ගේ නුගුණ විදහා දැක්වෙන ආකාරයට තමන් ගේ ධර්ම දේශනාව පැවැත්වුවා.
ඒ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ, දෙව් බඹුන් ඇතුලු විශාල පිරිසක්, ඉතාමත් සතුටින් යුතු ව සාධුකාර නංවමින් ඒ දේශනාව අනුමෝදන් වුනා. ඉන් පසු ව කුණාල බෝසත් රජතුමාට ස්තූති කරල වන්ඳනා කරල පිටත් වෙලා ගියා.
අනද නම් ගිජුළිහිණි රජතුමා ත්, නාරද නම් තපස්වීන් වහන්සේ ත් ඵුස්ස නම් වූ කොවුල් රජතුමා ත් තම තමන් ගේ පිරිවර සමඟින් තමන් වාසය කරන ස්ථානවලට ම පිටත් වෙලා ගියා. කුණාල කියන බෝධිසත්වයන් වහන්සේ ත් තමන් ගේ පිරිවර ත් සමඟ තමන් ගේ වාසස්ථානය කරා ගියා.
මේ කුණාල රජතුමා ගේ ධර්ම දේශනාවට සවන් දුන්න සියලු දෙනා ම වගේ කාමයන් ගැන කළ කිරීමක් ඇති කරගෙන අප්‍රමාදී ව පින් දහම් දියුණු කරගෙන දිව්‍ය ලෝකවල ම ඉපදුනා.
මේ විදියට එදා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, අලුතෙන් පැවිදි වූ ස්වාමින් වහන්සේලා පන්සිය නමට හිමාල පර්වතයේ තුන් යොදුන් උසැති රන්සිරියෙල් ගල්තලාව මත වැඩහිඳිමින් මේ දේශනාව පවත්වා වදාළා.
අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කුණාල රජතුමා වෙලා හිටපු කාලේ, ඵුස්ස කියන කොවුල් රජතුමා වෙලා ඉපදිලා සිටියේ උදායි ස්වාමින් වහන්සේ යි. ඒ දවස්වල නාරද කියන තාපසයන් වහන්සේ වෙලා ඉපදිලා සිටියේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ යි.
ඉතින් ස්ත්‍රීන් ගේ නුගුණ ඉතා හොඳින් කියැවෙන මේ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න ඒ ස්වාමින් වහන්සේලා පන්සියය ම මේ ධර්ම දේශනාව ඉතා සතුටින් සාධුකාර නංවමින් පිළිගත්තා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ ස්වාමින් වහන්සේලා තමන් ගේ හිතේ පිළිවෙත් පුරන්න තිබුණු අකැමැත්ත දුරු කරගෙන, මේ දුක්ඛිත සංසාරෙන් හිමාල පර්වතය තරම් ම දුක් ගොඩක් කෙළවර කරල දමල, සෝතාපන්න ඵලයට පත් වුනා.
ඊට පස්සේ අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, අලුතෙන් පියාසර කිරීමට පුරුදු වෙන ගුරුළු පැටවුන් ව පිටුපසින් තබා ගෙන පියඹා යන යොදුන් එකසිය පණහක් පමණ විශාල මහා තේජාන්විත ගුරුළු රාජයෙක් වගේ, ඒ පින්වත් ස්වාමින් වහන්සේලා ත් තමන් වහන්සේ ගේ සෘද්ධි බලයෙන් කැඳවාගෙන නැවත කිඹුල්වත් නුවර මහාවනයට ම වැඩම කළා.
ඉන් පස්සේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාට තව දුරට ත් බණ භාවනා කරන හැටි ඉතා සුන්දර විදියට කියල දුන්නා. ඒ ධර්මයට අනුව අප්‍රමාදී ව බණ භාවනා කරපු ඒ පින්වත් ස්වාමින් වහන්සේලා පන්සියනම ම ඉතා ඉක්මණින් ම හැම දුකක් ම කෙළවර කරල දාල, ශාන්ත නිර්වාණය අවබෝධ කරගත්තා.
එදා ඒ උත්තම මහරහතන් වහන්සේලා පන්සියයත් සමඟ බුදු රජාණන් වහන්සේ කිඹුල්වත්නුවර මහාවනයේ වැඩ ඉන්නකොට තමයි, දසසහශ්‍රී ලෝක ධාතුවෙන් අනන්ත අප්‍රමාණ දෙව් බඹ පිරිසක් බුදු රජාණන් වහන්සේවත් ඒ රහතන් වහන්සේලාවත් දැක බලා ගන්නට මහාවනයට පැමිණුනේ. අන්න ඒ දවසේ තමයි බුදු රජාණන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා ඇතුලු දෙව් මිනිස් ප්‍රජාවට අති උත්තම මහා සමය සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ.
සාදු! සාදු!! සාදු!!!