ජිනකාලමාලී ප්‍රකරණය
රත්නපඤ්ඤ හිමි
පටුන
පටුන

ජිනකාලමාලී ප්‍රකරණය

1. යම් බුද්ධ නමැති සූර්‍ය්‍යයෙක් ඥාන රශ්මියෙන් හා ධර්‍ම රශ්මියෙන් ඉතා ඝන වූ මෝහ නමැති අන්‍ධකාරය දුරුකොට ත්‍රිවිධවිනේය ජනයන් නමැති පියුම් පුබුදු කළේද, ඒ බුද්ධ සූර්‍ය්‍යයා වඳිමි.

2. තුන්ලොව රාගාතුරයන්ට ශ්‍රේෂ්ඨ ඖෂධයක් වූ, මෝහාන්‍ධකාරයෙහි උතුම් පහන් වැටක් වූ - යම් ධර්‍මයක් ග්‍රිෂ්මයෙන් මැඬුනවුන් සනසන රුවන් මාලාවක් මෙන් ද්වේශ ගින්නෙන් මැඬුනවුන් සැනසුවේද, ඒ ධර්‍මය වඳිමි.

3. පින් සොයන්නන්ට කෙතක් බඳු වූ, බුදුරදුන්ගේ වංශය රක්නා වූ යම් සමූහයක් බුදුන්ගේ ප්‍රතිමාවක් මෙන් සන්හුන් ඉඳුරන් ඇත්තේද, දෙවි මිනිසුන්ට උතුම් දක්ෂිණාර්‍හවේද, ගණයන්ට උතුම් වූ ඒ සංඝයා වඳිමි.

4. (මේ ගාථාව දැන් තිබෙන සැටියෙන් තේරුමක් ගත නොහැක.)

5. බුද්ධ-ධර්‍ම-සංඝ යන රත්නත්‍රයට නමස්කාරකොට යම් මහත් පිනක් ලැබුවෙම්ද ඒ පිනින් නැසූ අනතුරු ඇත්තේ ජිනකාලිමාලී නම් ග්‍රන්‍ථය කියන්නෙමි.

එහි ජිනකාලය නම් අපගේ භාග්‍යවත් ගෞතම ශාස්තෲන් වහන්සේගේ ප්‍රාර්‍ථනා කාලය මුල්කොට ගෙන පවත්නා ශාසන පරම්පරා කාලයයි. එය අනේකවිධයි. පිළිවෙළින් මෙසේ දතයුතු; පෙරුම් පුරණ කාල වශයෙන් ප්‍රඥාධිකය, ශ්‍රද්ධාධිකය, වීර්‍ය්‍යාධිකය යන තුන් බෝසතුන් අතුරෙහි අපගේ බෝසත්තෙමේ කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍ය සතරක් පෙරුම් පුරා බුද්ධත්‍වයට පැමිණියේ ප්‍රඥෙන්‍ද්‍රීය බලවත් බැවින් ප්‍රඥාධික නම් වේ. අපගේ භාග්‍යවත් තෙමේ සිතින් සත් අසංඛ්‍යයක් ද වචනයෙන් නව අසංඛ්‍යයක් ද කයෙන් හා වචනයෙන් කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති කල්ප අසංඛ්‍ය සතරක් ද බුදුබව පැතීය. අපේ බෝසතුන්ට ඊට පෙරත් බුදුබව සඳහා ප්‍රණිධානය ඇතත් බුද්ධ දර්‍ශනයක් (=බුදුවරයෙකු දැකීමක්) සිදු නොවූ බැවින් ඒ කාලය ගණන් ගැනීම සිදුනොවේ. එය මෙසේ දතයුතු;

අතීතයේදී අපේ බෝසත්තෙමේ ගන්‍ධාර රට දිළිඳු මිනිසෙක්ව වනයෙන් තමා විසින් ගෙනෙන ලද දර හා තණකොළ විකිණීමෙන් ලත් මුදලෙන් මවට උපස්ථාන කළේය. ඉක්බිති එක් දිනක් ග්‍රීෂ්මයෙන් මැඬුනේ, පිපාසාවෙන් පීඩිතවූයේ මහත් බර උසුළමින් අවුත් එක් නුගගසක් මුල විශ්‍රාම ගනිමින් මෙසේ සිතී; “දැන් ශරීර ශක්තියෙන් යුක්ත වූ මම මේ දුක උසුළන්ට සමත් වෙමි. මහලු කල්හි හෝ රෝගී වූ කල්හි නොහැකි වෙමි. මා ස්වර්‍ණභූමියට ගොස් එහෙන් රන් ගෙනවුත් සුවසේ මවට උපස්ථාන කරන්නෙම් නම් මැනවැ”යි. මෙසේ සිතා බැලමෙහෙ කිරීමෙන් මව සමග නැවක නැග වෙළඳුන් හා ස්වර්‍ණභූමි දේශයට ගියේය. සත්වෙනි දිනයේදී ඒ නැව බිඳුණි. වෙළෙන්ඳෝ මහා විනාශයට පත්වූහ. බෝසත්තෙමේ සිය මව කරේ තබා ගෙන මූදේ පීනයි. එකල්හි ශුද්ධාවාස බඹලොව වැසි එක් බ්‍රහ්මයෙක් “එක් අසංඛ්‍යයක් කල්පයක් ඉක්මීත් බුදුවරයෙක් නූපන්නේය; බුද්ධකාරක ධර්‍මයන් පිරීමට සමර්‍ථ යම්කිසි පුරුෂයෙක් ඇද්දැ”යි මුළු ලොව බලන්නේ තමාගේ ජීවිතය පරිත්‍යාගකොට සිය මව කඳෙහි තබාගෙන කෙළවරක් නැති මහමුහුද තරණය කරන බෝසතුන් දැක “මේ මහාපුරුෂතෙමේ ඒකාන්තයෙන් දෘඪ වීර්‍ය්‍යය ඇත්තේය, අනුන්ට හිතවැඩ පතන්නේය”යි දැනගත්තේය. බෝසත්තෙමේ බ්‍රහ්මයාගේ ආනුභාවයෙන් “මම බුදුවී අන්‍යයන්ට නිවන් අවබෝධ කරවන්නෙමි; මම සසරින් මිදුණේ අන්‍යයන් සසරින් මුදවන්නෙමි; මම සසරින් එතෙර වූයේ අනුන් සසරින් එතෙර කරවන්නෙමි”යි සිත් උපදවා මහාමුහුද තරණය කරන්නේ දෙතුන් දිනක් අවෑමෙන් මූදුතෙරට පැමිණියේය. ඉක්බිති හෙතෙම ජීවිතාන්තය දක්වා මවට උපස්ථානකොට මරණින් මත්තෙහි දෙව්ලොව උපණි. ඔහුගේ මවද කර්‍මානුරූපව උපණි. මේ ප්‍රථම චිත්තොත්පාද කාලයයි.

ඉන්පසු ආත්මයකදී මහාපුරුෂතෙමේ දෙව්ලොවින් ච්‍යුතව සිරිමතී නුවර සත්තුතාප නම් රජෙක් විය. එකල්හි බරණැස් නුවර “සිරිමතී” නම් විය. ඒ රජ ඇතුන් කෙරෙහි ඇලුනෙක් විය. හෙතෙම වැද්දෙකු කී ඇත් රජෙකුගේ පුවත් අසා මුළු යුධ සේනාව සමග ගොස් ඒ ඇත් රජු බන්දවාගෙන ආවේය. එයින් අටවෙනි දිනයේදී හස්ති ශිල්පය දත් හස්ත්‍යාචාර්‍ය්‍යයකු විසින් මනාසේ හික්මවන ලද ඇතුපිට නැගී නුවර ප්‍රදක්ෂිණා කළේය. එකල්හි බොහෝ ඇත් සමූහයෝ රාත්‍රී කාලයෙහි වනයෙන් අවුත් උයනට පිවිස ගස්වල අතු කඩා දමා මලමූත්‍ර විසුරුවා ගියාහුය. රජතෙම ප්‍රදක්‍ෂිණාවසානයේදී උයන් පල්ලාගෙන් ඒ ප්‍රවෘත්ති දැනගෙන උයන බැලීම සඳහා උයනට ඇතුල්ව ඒ මේ අත හැසුරුණි. එකල ඒ ඇතාට ඇතින්නියකගේ ගඳ දැනී කාමරාගයෙන් මත්වූයේ ඇතරුවා බිම දමා පලා ගියේය. රජතෙම දියමන්ති බැඳි අංකුශයෙන් අදින්නේද නැවැත්විය නොහැකිව ඇතුපිටින් දිඹුල් අත්තක එල්ලී ඒ ගසෙහි හිඳගති. ඔහුගේ පිරිස ඇතුගේ පියවර අනුව ගොස් රජු දැක කැඳවාගෙන නුවරට ආහ.

රජතෙම හස්ත්‍යාචාර්‍ය්‍යයා ගෙන්වා “තෝ මා මරණු කැමැත්තෙන් වංචාවක් කෙළෙහි” යයි කීය. හස්ත්‍යාචාර්‍ය්‍යයා “මහරජ කුමක් හෙයින් මෙසේ කියන සේක්ද? මේ ඇතා අතිශයෙන් දැමුණේය. කාමාතුර වූ බැවින් මෙසේ ගොස් තමාගේ මනෝ රථය සිදුකරගෙන නැවත එන්නේය”යි කීය. ඒ ඇතා වනයට වැද ඇතින්න හා අභිරමණය කොට සත්වෙනිදා අවුත් තමා සිටි ඇත්හලේ සිටියේය. රජතෙම ඒ පුවත අසා ඇත්හලට ගොස් සොඬය අතගා “හස්ත්‍යාචාර්‍ය්‍යයෙනි, මෙවැනි ඇතා මා විසින් අකුස්සෙන් නවත්වන්ට නොහැකිවූයේ කුමක් හෙයින්දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, කුමක් කීයෙහිද? රාගය නම් වජ්‍රාංකුශයටත් වඩා ඉතා තියුණුය; එබැවින් ඔහු නැවත්වීම නොහැකි විය; හෙතෙම රාගබලයෙන් එහි ගොස් මාගේ මන්ත්‍ර බලයෙන් නැවත ආවේය”යි කීය. “එසේනම් තාගේ මන්තෞෂධ බලයන් මට පෙන්වව”යි කීවිට හස්ත්‍යාචාර්‍ය්‍යයා “යහපත, දේවයන් වහන්සැ”යි කියා තමාගේ මන්ත්‍ර බලයෙන් ඇතුට ගින්නෙන් රත්වී දිලිසෙන විශාල ලොහො ගුළියක් ගන්ට සැලැස්විය. ඇතා ඔහුට බියෙන් එය සොඬින් රැගෙන අත්නොහැර සිටියේය. රජතෙම ඇතා මැරේය යන බියෙන් එය අත්හරවන්නට නියමකොට සංවේගයට පැමිණියේය. “මේ රාගය ඉතා උණුසුම්ය; රාගය නිසා මේ සත්ත්‍වයෝ නොයෙක් ආකාර ඇති දුක් විඳිත්. මම බුදුවී මොවුන් රාගයෙන් මුදවන්නෙමි”යි බුදුබව සඳහා මනඃප්‍රණිදහනය ඉපිදවීය. එහෙයින් කියන ලදී.

6. “බුදුවූ මම අන්‍යයන්ට නිර්‍වාණාවබෝධය කරවන්නෙමි; මිදුණු මම අන්‍යයන් සසරින් මුදවන්නෙමි; මහත් භයැති සංසාරෝඝයෙන් එතර වූ මම අන්‍යයන් එයින් එතර කරන්නෙමි”යි.

මෙසේ චිත්තප්‍රණිදහනය කොට රාජ්‍යය හැර හිමවතට පිවිස තාපස පැවිද්දෙන් පැවිදිව ආයුෂ ඇතිතාක් සිට ආයු කෙළවර දෙව්ලොව උපන්නේය. ඉන්පසු කලක බෝසත් තෙමේ දෙව්ලොවින් ච්‍යුතව මගධ රට සාලද්දියා නම් බ්‍රාහ්මණ ගමෙහි බ්‍රාහ්මණ තරුණයෙක්ව පන්සියයක් බමුණු තරුණයන්ට ත්‍රිවේදය කියෙව්වේය. මවුපියන් මැරුණු කල සියලු ධනය දන්දී තාපස පැවිද්දෙන් පැවිදිව පණ්ඩර නම් පර්‍වතයෙහි වාසය කරයි. මේ ඒරක පර්‍වතයම එකල්හි පණ්ඩර පර්‍වත නම් විය. බෝසතුන්ගේ ශිෂ්‍ය තාපසයන් අතරෙහි දෙටු ශිෂ්‍යතෙමේ මෙතේ බෝසත් විය. ඉක්බිති එක් දිනක් බෝසත්තෙමේ පර්‍වතපාදයක තමාගේ පැටවුන් කනු කැමති එක් ව්‍යාඝ්‍ර ධේනුවක් දැක “අහෝ, සංසාරයට නින්දා වේවා”යි සිතා “මිත්‍රය, සිංහාදීන් කා ඉතිරිකොට ඇති දෙයක් සොයා මේ ව්‍යාඝ්‍රදෙනට දෙන්නෙමු”යි දෙටු ශිෂ්‍යයාට කීය. ඔහු ඒ සඳහා ගිය කල්හි තම සිරුර නොයෙක් පවින් ගැවසුණු බවත් දුකට හේතු බවත් සලකා එයින් මිදෙන උපාය සොයන්නේ බුද්ධකාරක ධර්‍මයන් දුටුවේය. දැකද “අති දුෂ්කර දෙය නොකොට, පරිත්‍යාගයට අපහසු දෙය පරිත්‍යාග නොකොට, ඉවසීමට අපහසු දෙය නොඉවසා බුදුබව ලබන්ට නොහැකිය”යි සිතමින්. (7) “මේ පින්කමින් අනාගතයේදී බුදුවන්නෙමි; සත්ත්‍වයන් සංසාර දුකින් මුදා නිවණට පමුණුවන්නෙමි”යි සිත් උපදවා දෙටු ශිෂ්‍යයා නා කල්හිම පණ්ඩර පර්‍වතය මුදුනෙන් තමා බිමට හෙළා ව්‍යාඝ්‍රිය ඉදිරියෙහි වැටුණි. ව්‍යාඝ්‍රිය එය දැක තමාගේ පැටවුන් කෑම හැර දමා බෝසතුන්ගේ ශරීරය කෑය. එතුමා ඒ කර්‍මයෙන් දෙව්ලොව උපණි.

ඉන්පසුකලක බෝසත්තෙමේ දෙව්ලොවින් ච්‍යුතව කර්‍මාවශෙෂයෙන් පුරාණදීපංකර බුදුරදුන්ගේ වෛමාතෘක[1] සොහොයුරියක්ව උපණි. එකල්හි පුරාණදීපංකර බුදුරද කල්පලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් මුළුල්ලේ පාරමිතාවන් පුරා සාර නමැති එක් කල්පයකදී චම්පකවති නුවර රජකුලයෙහි ඉපද අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස සතර පෙරනිමිති දැක මහාභිනිෂ්ක්‍රමණය කොට සත්දිනක් ප්‍රදහනවීර්‍යකොට සර්‍වඥතා ඥානය අවබෝධ කළේය. එකල පශ්චිම දීපංකර බෝසත්තෙමේ බමුණු කුලයෙහි ඉපද බුදුසස්නෙහි පැවිදිව පඤ්චාභිඥා-අෂ්ටසමාපත්තීන් ලබා ඒ බුදුන් සමීපයෙන් විවරණ ලැබුවේය. ඉක්බිති එක් දිනක් රජුගේ දුවණියක් පශ්චිමදීපංකර තෙරුන්ට අබ තෙල් දන්දී “අනාගතයෙහි මම බුදුවන්නෙමි; මා බුදුවූ කල මේ අබතෙල් දුන් අනුසසින් සිද්ධාර්‍ථ යන නම ලැබේවා”යි ප්‍රාර්‍ථනාවක් කළාය. “මාගේ ප්‍රාර්‍ථනාව ගැන මාගේ සොහොයුරු බුදුරදුන්ට කිව මැනවැ”යි ද තෙරුන්ගෙන් අයැද තෙරුන් අත පණිවිඩය යැවීය. තෙරනම ඒ කාරණය බුදුරදුන්ට දැනුම් දුණි. බුදුරද “අනාගතයෙහි කල්පලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් ඉක්මි කල්හි ඔබ දීපංකර නමැති බුදුහු වන්නාහ. එකල්හි ඔබ මාගේ සොහොයුරියට විවරණ දෙන්නාහ”යි බුදුරද කීය. හෙතෙම බුදුන්ගේ කීම අසා සතුටුව වැඳ පැදකුණුකොට ගියේය. අපේ බෝසත් බුදු හමුවට පැමිණි නමුත් ස්ත්‍රීභාවයෙහි සිටි බැවින් ඒ පුරාණ දීපංකර බුදුන්ගෙන් විවරණ නොලැබී මෙසේ බාහිර නිදාන කථාවේ මනඃප්‍රණිදහනකාලය පිරුණේයි.

දැන් මහානිදාන කථාව පැමිණියෝය.

8. සිතීම හෙවත් මනෝපණිධානය අසංඛ්‍ය සතකි; වචනයෙන් ප්‍රකාශ කිරීම අසංඛ්‍ය නවයකි. (ඉතිරි සාරාසංඛ්‍යකල්ප ලක්‍ෂය) මුළුල්ලේ වචනයෙන් කීම හා ක්‍රියා කිරීමෙන් බුද්ධත්‍වයට පැමිණියේය.

බ්‍රහ්මදේව බුදුරදුන් පටන් පුරාණශාක්‍යමුනි බුදුරදුන් දක්වා සත් අසංඛ්‍යයක් සිතින් ප්‍රාර්‍ථනා කිරීමේ කාලයයි. පුරාණශාක්‍යමුනි බුදුරදුන්ගේ පටන් දීපංකර බුදුරදුන් දක්වා නව අසංඛ්‍යයක් වචනයෙන් ප්‍රාර්‍ථනා කිරීමේ කාලයයි. දීපංකර බුදුන් පටන් පදුමුත්තර බුදුන් දක්වා අසංඛ්‍ය හතර වචනයෙන් ප්‍රාර්‍ථනා කිරීමේත් කයින් ඒ සඳහා ක්‍රියා කිරීමේත් කාලයයි. හේ කෙසේද?

9. නන්‍දය, සුනන්‍දය, පඨවීය, මණ්ඩය, සාගරය, පුණ්ඩරීකය යන මේ සත් අසංඛ්‍යයෝ ප්‍රකාශ කරන ලදහ. මේ අසංඛ්‍යයන්ට ආදි වූ නන්‍ද අසංඛ්‍යයෙහි සාර කල්පයේදී කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් පෙරුම් පුරා බ්‍රහ්මදේව නම් බුදුරද ලෝකයෙහි උපණි. එකල බෝසත්තෙමේ අබ තෙල් දුන් අනුහසින් තුසිත පුරයෙහි ඉපද සිටියේය. එයින් ච්‍යුතව කරණ්ඩක නුවර අතිදේව නම් රජ විය. එකල්හි මෙතේ බෝසත්තෙමේ ඒ රජුට අර්‍ථධර්‍මානුශාසක වූ සිරිගුත්ත නම් පුරෝහිතයා විය. ඒ බුදුරද දම්සක් පැවැත්වීම සඳහා කරණ්ඩක නුවර සමීපයෙහි වූ, සියලු බුදුවරුන් අත්නොහැරි, දම්සක් පවත්වන තැනට වැඩියේය. බුදුරදුන් අත්නොහැරි, දම්සක් පවත්වන තැනට වැඩියේය. රජතෙමේ සිරිගුත්ත බමුණා විසින්;

10. “මහරජ, මේ බුදුතෙමේ ලෝකයෙහි උතුම් පුද්ගලයෙකි; සියලු සත්ත්‍වයන්ට හිත පිණිස ඒ බුදුරජ උපන්නේය. (11) භාග්‍යවත්තෙමේ ලෝකයෙහි රහත් නමකි, යහපත් ගමන් ඇත්තෙකි, ලෝකයේ පරතෙරට ගියේය හෙවත් ලෝකය ඉක්මවා ගියේ; විද්‍යා-චරණ දෙකින් යුක්ත වූයේය; සසර දුකින් මිදීම ලබාදෙන්නේය” යනාදී වශයෙන් කියන ලද නානාවිධ බුදුගුණ අසා උන්වහන්සේ සමීපයට ගොස් නොයෙක් සත්කාරයෙන් පුදා පසඟ පිහිටුවා වැඳ යම්සේ ඒ බුදුරද “මම නිවන් අවබෝධකොට අනුන්ට අවබෝධ කරවන්නෙම්” යනාදියෙන් මනඃප්‍රණිදහනය කළේද එමෙන් අපේ බෝසත්තෙමේ ද බ්‍රහ්මදේව බුදුන් සමීපයෙහි සිතින් ප්‍රාර්‍ථනාව කළේය. ඒ අසංඛ්‍යයේදීම එක්නමක් අඩු පන්දහසක් බුදුවරු උපන්හ. බෝසත්තෙමේ ඒ බුදුවරුන් සමීපයට පැමිණ සත්කාරකොට සිතින් ප්‍රාර්‍ථනාව කළේය. ඊට අනතුරු සුනන්‍ද අසංඛ්‍යයේදී නවදහසක් බුදුවරු උපන්හ. ඊට අනතුරු වූ පඨවි අසංඛ්‍යයේදී දසදහසක් බුදුවරු උපන්හ. ඊට අනතුරු මණ්ඩ අසංඛ්‍යයේදී එකොළොස්දහසකි; ඊට අනතුරු වූ ධරණී අසංඛ්‍යයේදී විසිදහසකි; ඊට අනතුරු වූ සාගර අසංඛ්‍යයේදී තිස්දහසකි; ඊට අනතුරු වූ පුණ්ඩරීක අසංඛ්‍යයේදී සතළිස් දහසක් බුදුවරු උපන්හ. ඒ බුදුවරුන් සමීපයෙහිත් මනොපණිධානය විය. මෙසේ සත් අසංඛ්‍යය තුළ අප බෝසත්තෙමේ එක්ලක්‍ෂ පස්විසිදහසක් පමණ වූ බ්‍රහ්මදේවාදී බුදුවරුන්ගේ සමීපයෙහි අධිකාරකොට සිතින් ප්‍රාර්‍ථනාව කළේය. මෙසේ මහානිදාන කථාවෙහි මනඃප්‍රණිදහන කාලය සම්පූර්‍ණ වේ.

චිත්තුප්පාද කථාවයි

අතිදූරෙ නිදාන

දැන් අතිදූරෙ නිදාන කථාවයි.

12. සබ්බභද්‍ර අසංඛ්‍යය, සබ්බඵුල්ලය, රතනය, උසභක්‍ඛන්‍ධකය, මාණිභද්‍රය, පදුමය, උසභය, ඛන්‍ධුත්තමය, සබ්බඵාල අසංඛ්‍යය නවවෙනි යයි කියනු ලැබේ.

පුණ්ඩරීක අසංඛ්‍යයට අනතුරු වූ සබ්බභද්‍ර අසංඛ්‍යයෙහි අපේ බෝසත්තෙමේ බඹලොවින් ච්‍යුතව බුදුවරුන් සිවුනමක් උපදනා එක් සාරමණ්ඩ කල්පයෙක්හි ධඤ්ඤවතී නුවර රජකුලයෙහි උපණි. පසුකලක සක්විතිවත් පුරා සක්විති රජෙක් විය. ඒ ධාර්මික රජ සිවු දිසාවන්හි හැම රජුන් ජයගෙන ස්ථීරභාවයට පත් ජනපද ඇත්තේ චක්‍රරත්නාදී රත්න සතෙන් යුක්ත වූයේ මූද කෙළවරකොට ඇති මේ පොළොව දඬුවම් දීම් නොමැතිව, ආයුධ පාවිච්චියක් නැතිව ධර්‍මයෙන් ජයගෙන මනාසේ වසමින් සක්විතිරජ අනුභව කළේය. එකල පුරාණශාක්‍යමුණි බුදුරද කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා ලොව පහළ විය.

හෙතෙම පන්දහසක් හවුරුදු ගිහිගෙයි වැස සතර පෙරනිමිති දැක අභිනිෂ්ක්‍රමණය කොට අඩමසක් ප්‍රදහනවීර්‍යකොට බුදුබවට පැමිණියේය. එකල ඒ බුදුරද දම්සක් පැවැත්විය. ඒ ධර්‍මානුභාවයෙන් මහපොළොව කම්පාවෙනවිට රජුගේ සක්රුවන ද කම්පිත විය. රජතෙම එය කම්පා වීමට හේතුව නිමිති දන්නන්ගෙන් විචාළේය. ඔවුහු “මහරජ, බුදුන්ගේ අනුහසින් සක්රුවන කම්පිත විය; එයින් ඔබට අනතුරක් නැතැ”යි කීහ. රජතෙම ඔවුන් කී නානාවිධ බුදුගුණ අසා පස්වැදෑරුම් ප්‍රීතියෙන් පිරුණු ශරීර ඇත්තේ “දැන් බුදුරද කොහිදැ”යි ඔවුන්ගෙන් විචාළේය. “දැන් ඒ බුදුරද මේ ධඤ්ඤවතී නුවර ආශ්‍රයකොට මිගාචීර උයනෙහි වසන්නේය”යි කී විට මහත් සක්විති සිරියෙන් දොළොස් යොදුනක් පැතිර සිටිනා සේනාව සමග නික්ම මිගාචීර උයනට පිවිස සැරසූ බුද්ධාසනයෙහි වැඩහුන් බුදුරදුන් දැක උන්වහන්සේගේ පා දෙක සමීපයෙහි වැටී අනෝපම බුද්ධශ්‍රීය බලා නොයෙක් අයුරින් බුදුගුණ වණා “අනාගතයේදී මේ ශාක්‍යමුනි ගෞතමයන් වහන්සේ මෙන් මමත් බුදුවී සත්ත්‍වයන්ට නිවන් අවබෝධ කරවන්නෙමි, සසරින් මිදුනේ සත්ත්‍වයන් සසරින් මුදවන්නෙමි, සසරින් එතර වූයේ සත්ත්‍වයන් සසරින් එතර කරන්නෙමි”යි සිතා බුදුන් ප්‍රමුඛ සංඝයාට හැමදෙයින් දහස බැගින් දානයක් දී “යම්සේ ඔබ දැන් ගෞතම නම් වෙත්ද, එසේ මමත් අනාගතයේදී ගෞතම නම් බුදුවන්නෙමි”යි වචනයෙන් ප්‍රාර්‍ථනා කළේය. එයසා බුදුරද අනාගතංසඤාණය මෙහෙයවා “මේ සක්විති රජ අනාගතේදී කල්පලක්‍ෂයක් හා තෙළෙස් අසංඛ්‍යයක් ඉක්මවා බුදුවරුන් පස්නමක් උපදනා භද්‍රකල්පයෙක්හි ගෞතම නම් බුදුවරයෙක් වන්නේය”යි දැක “මහරජ, බුද්ධකාරක ධර්‍මයන් පුරව”යි කීය. මේ ආත්මයේදී බුදුන් දැකීම ඇතත් පැවිදිවීම ආදි අංග නොපිරුණි; එබැවින් පුරාණශාක්‍යමුනි ගෞතම බුදුන් සමීපයෙන් විවරණ නොලැබී.

එයසා බෝසත්තෙමේ හෙට බුදුවන්නාක් මෙන් සතුටට පැමිණියේ සක්විති රාජ්‍ය සම්පත් හැර බුදු සස්නෙහි පැවිදිව ජීවිතාවසානයෙහි බඹලොව උපන්නේය. ඒ සබ්බභද්‍ර අසංඛ්‍යයෙහිම අන්‍ය වූ එකුන්පණස් දහසක් බුදුවරු උපන්හ. ඊට අනතුරු වූ සබ්බඵුල්ල අසංඛ්‍යයෙහි සැටදහසක් බුදුවරුද, ඊටඅනතුරු වූ සබ්බරතන අසංඛ්‍යයෙහි සැත්තෑදහසක් බුදුවරුද, ඊටඅනතුරු වූ උසභක්‍ඛන්‍ධ අසංඛ්‍යයෙහි අසූදහසක් බුදුවරුද, ඊටඅනතුරු වූ මාණිභද්‍ර අසංඛ්‍යයෙහි අනූදහසක් බුදුවරුද, පදුම අසංඛ්‍යයෙහි විසිදහසක් බුදුවරුද, උසභ අසංඛ්‍යයෙහි පන්දහසක් බුදුවරුද, සබ්බඵාල අසංඛ්‍යයෙහි දෙදහසක් බුදුවරුද උපන්හ. ඒ බුදුවරුන් සමීපයෙහිදීත් වචනයෙන් ප්‍රාර්‍ථනාව සිදුවිය. මෙසේ නව අසංඛ්‍යයක් තුළ අපේ බෝසත්තෙම තුන්ලක්‍ෂ සත්සැත්තෑදහසක් පුරාණශාක්‍යමුනි ආදි බුදුවරුන් සමීපයෙහි සත්කාරකොට වචනයෙන් ප්‍රාර්‍ථනාව කළේය. මෙසේ අතිදූරෙනිදාන කථාවෙහි වාක්ප්‍රණිදහන කාලය පිරුණේයි.

වාක්භෙද කථාවයි

දූරෙනිදාන කථාව

දැන් දූරෙනිදාන කථාව පැමිණියේයි

13. සේල - ඔභාස - ජය - රුචි යන අසංඛ්‍ය සතරෙහිද තවත් කල්පලක්‍ෂයක් තුළ ද කයින් හා වචනයෙන් ප්‍රාර්‍ථනාව විය.

සබ්බඵාල අසංඛ්‍යයාගේ අවසන්හි සතර අසංඛ්‍යයන් අතරෙන් ප්‍රථම වූ සේල අසංඛ්‍යයාගේ මුලදී මෙයින් කල්පලක්‍ෂයකට හා අසංඛ්‍ය සතරකට උඩදී එක් සාරමණ්ඩ කල්පයකදී තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර නමැති බුදුවරු සිවු නමක් උපන්හ. ඒ සිවුනම අතුරෙන් තණ්හංකර බෝසත්තෙමේ කල්පලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් පෙරුම් පුරා පුප්ඵවතී නුවර ආනන්‍ද රජුගේ අගමෙහෙසිය වූ සුනන්‍දා දේවියගේ පුත්‍ර වූයේ අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස මහාභිනිෂ්ක්‍රමණය කොට සත්දිනක් ප්‍රදහනවීර්‍ය කොට රුක්අත්තන බෝගස මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත් වී පිරිනිවියේය.

එයින් පසුකලෙක මේධංකර බෝසත්තෙමේ පෙරුම් පුරා මේඛලා නුවර සුමේධ රජුගේ අගමෙහෙසි වූ යසෝධරා දේවියගේ පුත්‍රව ඉපද අවුරුදු අටදහසක් ගිහිගෙයි වැස මහාභිනිෂ්ක්‍රමණය කොට අඩමසක් ප්‍රදහනවීර්‍ය කොට එරබදු බෝගස මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු අනූදහසක් ජීවත්ව සිට පිරිනිවියේය.

එයින් පසුකලක සරණංකර බෝසත්තෙමේ පෙරුම් පුරා සුවිපුල්ල නුවර සුමංගල රජුගේ අගමෙහෙසි වූ ධනවතී දේවියගේ පුත්‍ර වූයේ අවුරුදු හත්දහසක් ගිහිගෙයි වැස අභිනිෂ්ක්‍රමණය කොට මසක් කල් ප්‍රදහනවීර්‍ය කොට පළොල් ගස මුල බුද්ධත්‍වයට පැමිණ අසූදහසක් අවුරුදු ජීවත්ව සිට පිරිනිවියේය. ඒ බුදුවරුන් තුන් නමගේ කාලයේදී පෙරුම් පුරා අපේ බෝසතුන්ට අංග සම්පූර්‍ණ නොවූ බැවින් විවරණ ලැබීමක් නොවීය. එබැවින් මේ තුන් නමද අතිදූරේ නිදානයෙහි දැක්වූ තුන්ලක්‍ෂ සත්අසූදහසක් බුදුවරුන්ට අධික ලෙස ගණන් ගත යුතුය.

ඉන්පසු කලෙක දීපංකර බෝසත්තෙමේ කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය සොළසක් පෙරුම් පුරා රම්මවතී නුවර සුදේව රජුගේ අගමෙහෙසි වූ සුමේධා දේවියගේ පුත්‍රව අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම දසමසක් ප්‍රදහනවීර්‍ය කොට මයිල ගස මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු හත්දහසක් වැඩ සිට නන්‍දාරාමයේ දී පිරිනිවියේය. එකල අපේ බෝසත්තෙමේ අමරවතී නුවර සුමේධ නම් බ්‍රාහ්මණයෙක්ව නොයෙක් කෝටි ගණන් ධනය දන්දී හිමවතට නොදුරු ධම්මික පර්‍වතයෙහි තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා බලයන් ලැබී. හෙතෙම සාරලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවැරූ දීපංකර බුදුරදුන්ට තමා පාගාගෙන යාම සඳහා මඩගොඩෙහි යටිකුරුව හොත්තේය. එසේ පොළොවෙහි හොත් ඕහට මෙවැනි විර්‍තකයක් උපණි.

14. “මම කැමතිනම් අද මාගේ ක්ලේශයන් දැවිය හැක. අප්‍රකට වේශයෙන් නිර්‍වාණ ධර්‍මය අවබෝධ කිරීමෙන් ඇති ඵලය කිමෙක්ද? අනාගතයේදී සර්‍වඥතා ඥානයට පැමිණ බුදුවන්නෙමි. (15) තමාගේ ශක්තිය දක්නා පුරුෂයෙක් වූ මා විසින් හුදකලාව සංසාරය එතර කිරීමෙන් ඇති ඵලය කිමෙක්ද? බුද්ධත්‍වයට පැමිණ දෙවියන් සහිත ලෝකයා එතර කරන්නෙමි. (16) සර්‍වඥයන් වහන්සේ කෙරෙහි කරන ලද මේ ගෞරවයෙන් බුද්ධත්‍වයට පැමිණෙන්නෙමි. බොහෝ ජනයා සසර සයුරෙන් එතර කරන්නෙමි. සංසාර නමැති සැඩපහර සිඳ දමා, ත්‍රිවිධභවය විනාශකොට ධර්‍ම නමැති නැවට නැග දෙවියන් සහිත ලෝකයා එතර කරන්නෙමි” යයි.

එකල දීපංකර බුදුරද “මේ තෙමේ මෙයින් කල්පලක්‍ෂයක් හා සතර අසංඛ්‍යයක් අවෑමෙන් ගෞතම නම් බුදුරද වන්නේය”යි බෝසතුන්ට විවරණ දුනි. බෝසත්තෙමේ හිමවතට පිවිස නොපිරුහුණු ධ්‍යාන ඇතිව බඹලොව උපන්නේය.

දීපංකර බුදුරද ප්‍රථමයි

ඒ කල්පය ඉකුත් වූ පසු සේලඅසංඛෙය්‍ය නමැති එක් අසංඛ්‍යයක් විය. ඒ අසංඛ්‍යයාගේ අවසානයෙහි සාර නමැති එක් කල්පයක කොණ්ඩඤ්ඤ නමැති එක් බුදුවරයෙක් උපන්නේය. එතුමා කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා රම්මවතී නුවර සුනන්‍ද රජුගේ අගමෙහෙසි වූ සුජාතා දේවියගේ පුත්‍රව ඉපද අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස රථයකින් නික්ම ගොස් දසමසක් ප්‍රදහනකොට සාලකල්‍යාණි ගසක්[2] මුල බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ආයු වලඳා චන්‍දාරාමයේදී පිරිනිවියේය. එකල අප බෝසත් තෙමේ විජිතාවී නම් සක්විති රජව චන්‍ද්‍රවතී නුවර වසයි. හෙතෙම කෝටිලක්‍ෂයක් පමණ වූ බුදුපාමොක් මහසඟනට දන් දුනි. ඉක්බිති බුදුරජ “මේ තෙමේ මෙයින් කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය තුනක් අවෑමෙන් ගෞතම නම් බුදුරද වන්නේය”යි විවරණ දී ඕහට දහම් දෙසී. හෙතෙම බුදුන්ගේ ධර්‍මකථාව අසා රාජ්‍යය පාවාදී පැවිදිව පඤ්චාභිඥාවන් උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපණි.

දෙවෙනි කොණ්ඩඤ්ඤ බුදුරදයි

ඒ කල්පය ඉක්මුණු කල්හි භාස නමැති එක් අසංඛ්‍යයක් විය. ඒ අසංඛ්‍යයාගේ අවසානයේදී එක් සාරමණ්ඩ කල්පයකදී මංගල, සුමන, රෙවත, සොභිත යන බුදුවරු සතර නමක් උපන්හ. එයින් මංගල බුදුතෙම කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා උත්තර නුවර උත්තර රජුගේ උත්තරා නමැති දේවියගේ පුත්‍රව අවුරුදු නවදහසක් ගිහිගෙයි වැස අසුපිටින් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍ය කොට නා ගසක් මුලදී බුද්ධත්‍වයට පැමිණ අනූදහසක් අවුරුදු ජීවත්ව සිට වෙස්සභු උයනේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සුරුචි නම් බමුණුගම සුරුචි නම් බමුණෙක්ව බුදුපාමොක් කෙළලක්‍ෂයක් රහතන් වහන්සේට මහදන් දුණි. ඒ බුදුරජ “මේ තෙමේ අනාගතයෙහි මෙයින් කල්පලක්‍ෂයක් හා දෙයාසංඛ්‍යයක් ඉක්මිකල ගෞතම නමින් බුදුවන්නේය”යි විවරණ දුණි. හෙතෙමේද සස්නෙහි පැවිදිව පංචාභිඥාවන් උපදවා නොපිරිහුණු දැහැන් ඇත්තේ බඹලොව උපන්නේය.

තෙවෙනි මංගල බුදුරදයි

ඒ බුදුන් පිරිනිවි කල්හි එයින් පසුකලක අනූදහසක් වයසැති මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ක්‍රමයෙන් දසහවුරුද්ද දක්වා පිරිහී නැවත ක්‍රමයෙන් වැඩි අසංඛ්‍යය දක්වා ගොස් නැවත පිරිහෙමින් අනූදහසක් වයස පැමිණි කල්හි සුමන නම් බෝසත්තෙමේ පෙරුම් පුරා මේඛලා නුවර සුදත්ත රජුගේ සිරිමා දේවියට පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් ගොස් අභිනිෂ්ක්‍රමණය කොට අනූදහසක් අවුරුදු ජීවත්ව සිට අඞ්ගාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අතුල නම් නාරජව නාග භවනයෙන් නික්ම බුදුපාමොක් සඟනට මහත් සත්කාර කෙළේය. සුමන බුදුරජද පෙරකී සේ ඕහට විවරණ දුණි.

සිව්වෙනි සුමන බුදුවරයායි

ඒ බුදුන් පිරිනිවි කල්හි එයින් පසුකලක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අනූදහසෙන් පිරිහී දසහවුරුදු ප්‍රමාණයට බැස නැවත අසංඛ්‍යය දක්වා නැගී නැවත පිරිහී අවුරුදු සැටදහසට පැමිණි කල රේවත නම් බෝසත්තෙමේ පෙරුම් පුරා සුධම්මවතී නුවර විපුල රජුගේ අගමෙහෙසිය වූ විපුලා දේවියගේ පුත්‍රව සයදහසක් අවුරුදු ගිහිගෙයි වාසයකොට රථයකින් නික්ම ගොස් සත්මසක් ප්‍රදහනවීර්‍ය කොට සැටදහසක් අවුරුදු ජීවත්ව සිට පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අතිදේව නම් බ්‍රාහ්මණව ඒ බුදුරදුන්ගේ ගුණ වණා උතුරුසළුව පිදීය. ඒ බුදුරද “අනාගතයෙහි මෙයින් දෙයාසංඛ්‍ය කල්පලක්‍ෂයකින් මත්තෙහි මේතෙමේ ගෞතම නම් බුදුරජ වන්නේය”යි විවරණ දුණි.

පසවෙනි රේවත බුදුවරයායි

එයින් පසුකලක සෝභිත නම් බෝසත්තෙමේ කල්පලක්‍ෂයක් හා සතර අසංඛ්‍යයක් පෙරුම් පුරා සුධම්ම නුවර සුධම්ම රජුගේ සුධර්‍මා දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ප්‍රසාදයෙන්ම ගොස් අභිනිෂ්ක්‍රමණය කොට සත්දිනක් ප්‍රදහනවීර්‍ය කොට නාගසක් මුලදී බුද්ධත්‍වය ලැබ අනූදහසක් අවුරුදු ජීවත්ව සිට සිංහාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ රම්මවතී නුවර සුජාත නම් බ්‍රාහ්මණයෙක් වී බුදුපාමොක් සඟනට මහදන් දුණි. ඒ බුදුරජ “මේතෙමේ අනාගතයෙහි ගෞතම නම් බුදුරජ වන්නේ” යයි විවරණ දුණි.

සවෙනි සෝභිත බුදුවරයායි

ඒ කල්පය ඉක්මී ජය නමැති බුද්ධශූන්‍ය අසංඛ්‍යයක් ඉක්මගිය පසු එක්වර කල්පයෙක්හි අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරු තෙනමක් උපන්හ. එයින් අනෝමදස්සී බුදුරද කල්පලක්‍ෂයක් හා සොළොස්අසංඛ්‍යයක් පෙරුම් පුරා චන්‍දවතී නුවර යසවන්ත රජුගේ දේවිය වූ යශෝධරාවගේ පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස දෝලාවකින් නික්ම ගොස් දසමසක් ප්‍රදහනවීර්‍ය කොට කුඹුක් ගසක් මුලදී බුද්ධත්‍වය ලැබ අවුරුදු ලක්‍ෂයක් කල් වැඩ සිට ධර්‍මාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ යක් සෙනෙවියෙක් වී අතිමනොඥ මණ්ඩපයක් මවා බුදුපාමොක් සඟනට මහදන් දුණි. ඒ බුදුරද “මේ තෙමේ අනාගතයෙහි එක් අසංඛ්‍යයක් හා කල්පලක්‍ෂයක් ඉක්මුණු කල්හි ගෞතම නමින් බුදුවන්නේය”යි විවරණ දුණි.

සත්වෙනි අනෝමදස්සී බුදුරජයි

ඒ බුදුන් පිරිනිවි කල්හි මනුෂ්‍යයෝ ක්‍රමයෙන් පිරිහී දසහවුරුදු ඇත්තෝ ද නැවත ක්‍රමයෙන් දියුණු වී අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ ඇත්තෝ ද නැවත පිරිහී අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ඇත්තෝ ද වූහ. එකල පදුම නම් බුදුවරයා පෙරුම් පුරා චම්පක නුවර අසම රජුගේ අසමා නම් දේවියගේ පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස ආජානීය අසුන් යෙදූ රථයකින් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍ය කොට මහාසෝණක ගස මුලදී[3] බුද්ධත්‍වය ලැබ අවුරුදු ලක්‍ෂයක් කල් වැඩ සිට ධර්‍මාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සිංහයෙක්ව ඉපද සත්දිනක් මහවෙනෙහි නිරෝධසමවතට සමවැදී වැඩහුන් බුදුන් දැක වැඳ පැදකුණු කොට තෙවරක් නාදකොට බුදුරදුන්ට උපස්ථාන කළේය. ඒ බුදුරජ ද “අනාගතයෙහි ගෞතම නම් බුදුරජ වන්නේය”යි විවරණ දුණි.

අටවෙනි පදුම බුදුරජයි

ඒ බුදුන් පිරිනිවි පසු යටකී ක්‍රමයෙන් මිනිසුන්ට අනූදහසක් අවුරුදු ආයුෂ ඇතිකල්හි නාරද නම් බුදුරජ අසංඛ්‍ය සතරක් හා කල්පලක්‍ෂයක් පෙරුම් පුරා ධඤ්ඤවතී නුවර සුදේව රජුගේ අනෝමා දේවියට පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස පයින් නික්ම ගොස් සත්දිනක් ප්‍රදහනවීර්‍ය කොට මහාසෝණක ගසක්[4] මුලදී බුද්ධත්‍වයට පැමිණ අනූදහසක් අවුරුදු වැඩ හිඳ සුදස්සන නුවර ධර්‍මාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ තවුස් පැවිද්දෙන් පැවිදිව පිරිවර සහිත බුදුන්ට මහදන් දී රත්සඳුන්වලින් පිදීය. ඒ බුදුරජද “අනාගතයෙහි ගෞතම නමින් බුදුවන්නේය”යි විවරණ දුණි.

නවවෙනි නාරද බුදුරජයි

ඒ කල්පය ඉක්මි කල්හි රුචි නමැති එක් බුද්ධශූන්‍ය අසංඛ්‍යයක් විය. තණ්හංකර-කොණ්ඩඤ්ඤ-මංගල-අනොමදස්සි ආදි බුදුවරු යම් කල්පවල උපන්නාහු නම් ඒ කල්පයෝ සේල-භාස-ජය-රුචි යන අසංඛ්‍යයන්හි ඇතුළත් නොවෙති. නමුත් ඒවා අතරේ පිහිටි බැවින් ඒ අසංඛ්‍ය සතර විසින් සංග්‍රහ කරනු ලැබේ. එබැවින් ඒ අසංඛ්‍ය සතරේදී බුදුවරු දොළොස් නමක් උපන්නාහයි දතයුතු. රුචිඅසංඛ්‍යය ඉක්මගිය පසු මෙයින් කල්පලක්‍ෂයකට පෙර එක් සාරකල්පයෙක්හි පදුමුත්තර නමැති එක් බුදුවරයෙක් පහළ විය. හෙතෙම පෙරුම් පුරා හංසවතී නුවර සුනන්‍ද රජුගේ සුජාතා දේවියගේ පුත්‍රව ඉපද අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස ප්‍රසාදයෙන්ම අභිනිෂ්ක්‍රමණය කොට සලල බෝමුලදී[5] බුද්ධත්‍වය ලබා අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට නන්‍දාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ ජටිල නමැති මහරැටියෙක්ව බුදුපාමොක් සඟනට වස්ත්‍ර සහිත මහදන් දුණි. ඒ බුදුරජද “මේතෙමේ අනාගතයෙහි කල්පලක්‍ෂයකින් මත්තෙහි ගෞතම නම් බුදුරද වන්නේ යයි විවරණ දුණි. මේ කල්පය සාර කල්පයක් වුවත් ගුණ සම්පත්තියෙන් මණ්ඩ කල්පයකට සමාන බැවින් පාළියෙහි මණ්ඩ කල්ප යයි කියන ලදී.

දසවෙනි පදුමුත්තර බුදුරජයි

ඉන්පසු කල්ප සැටනව දහසක් මුළුල්ලේ බුදුවරු නූපන්හ. මෙයින් කල්ප තිස්දහසකට උඩදී එක් මණ්ඩ කල්පයක සුමේධ-සුජාත යන බුදුවරු දෙනමක් උපන්හ. එයින් සුමේධ බුදුරජ පෙරුම් පුරා සුදස්සන නුවර සුදත්ත රජුගේ සුදත්තා දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්මගොස් අඩමසක් ප්‍රදහනවීර්‍යකොට කොසඹ ගසක්[6] මුලදී බුද්ධත්‍වයට පැමිණ අනූදහසක් අවුරුදු ජීවත්ව සිට මේධාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ උත්තර නම් මාණවකයෙක්ව අසූකෙළක් ධනය පරිත්‍යාග කොට බුදුපාමොක් සඟනට මහදන් දුණි. ඒ බුදුරද “මේ තෙමේ මෙයින් තිස්දහසක් කල්පයන් ගතවූ පසු බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

එකොළොස්වෙනි සුමේධ බුදුරජයි

ඒ මණ්ඩ කල්පයෙහිම පෙර කී සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අනූදහසක් වූ කල්හි සුජාත බුදුරද පෙරුම් පුරා සුමංගල නුවර උග්ගත රජුගේ ප්‍රභාවතී දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස අශ්ව යානයකින් නික්ම ගොස් නවමසක් ප්‍රදහනවීර්‍යකොට මහඋණ ගසක් මුලදී බුද්ධත්‍වය ලබා අනූදහසක් අවුරුදු ජීවත්ව සිට සීතාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සක්විති රජෙක්ව බුදුපාමොක් සඟනට සප්ත රත්නයන් සමග සිවු දිවයිනට අයත් රාජ්‍යය පුදා පැවිදි විය.

දොළොස්වෙනි සුජාත බුදුරජයි

එයින් පසුව මේ කල්පයෙන් කල්ප එක්දහස් අටසියයකට මත්තෙහිදී එක් වර කල්පයකදී පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යන බුදුවරු තුන්නමක් උපන්හ. එයින් පියදස්සී බුදුරද පෙරුම් පුරා සුධඤ්ඤ නුවර සුදත්ත රජුගේ චන්‍ද්‍රවතී දේවියගේ පුත්‍රව ඉපිද නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස රථයකින් නික්ම ගොස් සයමසක් ප්‍රදහනවීර්‍යකොට කුඹුක් ගසක් මුලදී බුදුව අනූදහසක් අවුරුදු ජීවත්ව සිට අස්සත්‍ථාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ කාශ්‍යප නම් බ්‍රාහ්මණයෙක්ව කෝටිලක්‍ෂයක් ධනයෙන් සංඝාරාමයක් කරවා බුදුන්ට පිදී. ඒ බුදුරද “මේ තෙමේ මෙයින් කල්ප එක්දහස් අටසියයකින් මත්තෙහි බුදු වන්නේය”යි ප්‍රකාශ කෙළේය. “අට්ඨාරසෙ කප්පසතෙ” යන්නේ තේරුම නම් අටසියයක් අධිකකොට ඇති කල්ප දහසකගේ අවෑමෙන්ය යන අර්‍ථ ඇත්තේය”යි බුද්ධවංස අටුවාවෙහි කියන ලදී. “අට්ඨාරසන්තං කප්පසහස්සානං උපරි” යන මෙයින් සුජාත-පියදස්සී යන බුදුවරුන් දෙනමගේ අතරෙහි එකක් අඩු දොළොස්දහසක් කල්පයෝ බුද්ධශූන්‍ය වූවාහයි දක්වන්නේය”යි ටීකාවෙහි කියන ලදී. චරියාපිටක අටුවාවෙහි වනාහි සුජාත-පියදස්සී යන බුදුවරුන් දෙනමගේ අතරෙහි කල්ප විසිනවදහසක්ද අටසිය දොළසක්ද වෙති”යි කී බැවින් “අට්ඨාරසාධිකෙ කප්පසතෙ” යන්න යුතුමය.

තෙළෙස්වෙනි පියදස්සේ බුදුරදයි

ඒ බුදුන් පිරිනිවි කල්හි ක්‍රමයෙන් වැඩෙන ආයුෂය පිරිහී නැවත අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ඇති කල්හි අත්‍ථදස්සී බුදුරජ පෙරුම් පුරා සොභන නුවර සාගර රජුගේ සුදර්‍ශනා දේවියගේ පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස අශ්ව යානයෙන් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍යකොට සපු ගසක් මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට අනෝමාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සුසීම නම් ජටිලයෙක්ව දෙව්ලොවින් මදාරා මල් හා පරසතු මල් ගෙනැවිත් බුදුන්ට පිදීය. ඒ බුදුරජ “මේ තෙමේ මෙයින් අටළොස් කල්පයකින් මත්තෙහි බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

තුදුස්වෙනි අත්‍ථදස්සී බුදුරජයි

ඒ බුදුන් පිරිනි වී අන්තඃකල්පය ඉක්මි කල්හි සත්ත්‍වයන්ගේ ආයුෂය ප්‍රමාණරහිත-තත්ත්‍වයට පැමිණ නැවත පිරිහී අවුරුදු ලක්‍ෂයේ වයසට පැමිණි කල්හි ධම්මදස්සී බුදුරද ලෝකයෙහි උපණි. හෙතෙම පෙරුම් පුරා සරණ නුවර සරණ රජුගේ සුනන්‍දා දේවියට පුත්‍රව අවුරුදු අටදහසක් ගිහිගෙයි වැස සුදර්‍ශන ප්‍රාසාදයෙන් නික්මී සත්දිනක් ප්‍රදහනවීර්‍යකොට බිම්බල ගස මුලදී[7] බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට කේසාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත් සක්දෙව්රජ වී දිව්‍යමය පූජාවෙන් බුදුන් පිදී. ඒ බුදුරජ “මේතෙමේ මෙයින් කල්පඅටළොස් සියයක් ඉක්මිකල බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

පසළොස්වෙනි ධම්මදස්සී බුදුරජයි

ඒ කල්පය අවෑමෙන් මෙයින් කල්ප අනූසතරකට පෙර එක් සාරකල්පයකදී සිද්ධත්‍ථ නමැති එක් බුදුවරයෙක් උපණි. හෙතෙම පෙරුම් පුරා වේහාර නුවර උදේන රජුගේ සුඵස්සා නම් දේවියට පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස රන්සිවි ගෙයකින් ගොස් දසමසක් ප්‍රදහනවීර්‍යකොට කිණිහිරි ගසක් මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට අනෝමාරාමයේදී අපවත් විය. එකල බෝසත්තෙමේ මංගල නම් තවුසෙක් වූයේ මහදඹ ගසින් දඹ ගෙනවුත් බුදුන්ට දුණි. ඒ බුදුරද “මේ තෙමේ මෙයින් සිවු අනූකපකට පසුව බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

සොළොස්වෙනි සිද්ධත්‍ථ බුදුරජයි

එයින් පසු එක් කල්පයක් බුද්ධශූන්‍ය විය. මෙයින් දෙයානූකපකට පෙර තිස්ස, ඵුස්ස යන බුදුවරු දෙනමක් එකම මණ්ඩ කල්පයකදී උපන්හ. එයින් තිස්ස බුදුරද පෙරුම් පුරා ඛේම නුවර ජනසන්‍ධ රජුගේ පදුම දේවියට පුත්‍රව සත්දහසක් අවුරුදු ගිහිගෙයි වැස අශ්වයකු පිටින් ගොස් පැවිදිව අටමසක් ප්‍රදහනවීර්‍යකොට පියා ගසක් මුලදී බුදුව අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට නන්‍දාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සුජාත නම් රජව රාජ්‍යය හැර තවුස් පැවිද්දෙන් පැවිදිව දිව්‍යමය මල් ගෙනවුත් බුදුන් පිදී. ඒ බුදුරද “මේතෙමේ මෙයින් දෙයානූවන කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

සතළොස්වෙනි තිස්ස බුදුවරයායි

ඉන්පසුකලක ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී දෙවෙනි වර පිරිහෙමින් අනූදහසක් අවුරුදු ආයුෂ ඇති කල පැමිණි විට ඵුස්ස බුදුරද පෙරුම් පුරා කාසි නුවර ජනසේන රජුගේ[8] සිරිමා දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම ගොස් සයමසක් ප්‍රදහනවීර්‍යකොට නෙල්ලි ගසක් මුලදී බුදුව අනූදහසක් අවුරුදු ජීවත්ව සිට සේනාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ විජිතාවී නම් රජෙක්ව මහා රාජ්‍යය හැරදමා පැවිදි විය. ඒ බුදුරද “මේතෙමේ මෙයින් දෙයානූවෙනි කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

අටළොස්වෙනි ඵුස්ස බුදුවරයායි

ඒ කල්පය ඉක්මි කල්හි මෙයින් එක්අනූකල්පයකට මත්තෙහි එක් සාරකල්පයකදී විපස්සී බුදුරජ පෙරුම් පුරා බන්‍ධුමතී නුවර බන්‍ධුමත් රජුගේ බන්‍ධුමතී දේවියගේ පුත්‍රව ඉපද අටදහසක් අවුරුදු ගිහිගෙයි වැස ආජානීය අශ්ව රථයකින් නික්ම අටමසක් ප්‍රදහනවීර්‍යකොට පළොල් ගසක් මුලදී බුදුව අසූදහසක් අවුරුදු ජීවත්ව සිට සුමිත්තාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අතුල නම් නාරජව දිව්‍යතූර්‍ය නාදයෙන් බුදුන් පිදී. ඒ බුදුරජ “මේ තෙමේ මෙයින් එකානූවන කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

එකුන්විසිවෙනි විපස්සී බුදුවරයායි

ඉන්පසු මෙයින් එක්තිස්වෙනි කල්පයේදී එක් මණ්ඩ කල්පයකදී සිඛී-වෙස්සභු යන බුදුවරු දෙනමක් උපන්හ. එයින් සිඛී බුදුරද පෙරුම් පුරා අරුණවතී නුවර අරුණවත් රජුගේ ප්‍රභාවතී දේවියට පුත්‍රව සත්දහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම අටමසක් ප්‍රදහනවීර්‍යකොට ඇටඹ බෝමුලදී බුදුව සැත්තෑ දහසක් අවුරුදු ජීවත්ව සිට දුස්සාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අරින්‍දම නම් රජව බුදුපාමොක් සඟනට බොහෝ උතුම් වස්ත්‍රද සැරසූ ඇත් යානයක්ද දුණි. ඒ බුදුරජද “මෙයින් එක්තිස්වෙනි කල්පයේදී මේ තෙමේ බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

විසිවෙනි සිඛී බුදුවරයායි

ඉන්පසුකලක ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ පිරිහී නැවත වැඩී නැවත පිරිහෙමින් ගොස් සැටදහසක් අවුරුදු ආයු ඇති කල්හි වෙස්සභු බුදුරද පෙරුම් පුරා අනෝම නුවර පුප්ඵවතික රජුගේ යසවතී දේවියට පුත්‍රව හයදහසක් අවුරුදු ගිහිගෙයි වැස රන්සිවිගෙයකින් නික්ම ගොස් සයමසක් ප්‍රදහනවීර්‍යකොට සල් ගසක් මුලදී බුදුව සැටදහසක් අවුරුදු ජීවත්ව සිට ඛෙමාරාමයේදී පිරිනිවියේය. ඒ බුදුවරයාද මේ තෙමේ මෙයින් එක්තිස්වෙනි කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

එක්විසිවෙනි වෙස්සභු බුදුවරයායි

ඉන්පසු කල්ප විසිනවයක් මුළුල්ලේ බුදුවරු නූපන්හ. මේ භද්‍ර කල්පයෙහි කකුසඳ-කෝණාගමන-කස්සප යන තුන් නමය අපගේ බුදුරද යයි බුදුවරු සිවුනමක් උපන්හ. අනාගතයේදී අසූදහසක් අවුරුදු ආයුෂ ඇති කල්හි මෙත්තෙය්‍ය බුදුරජ උපදින්නේය. එයින් කකුසඳ බුදුරජ පාරමිතාවන් පුරා ඛෙමවතී නුවර ඛෙම රජුට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන අග්ගිදත්ත නමැති පුරෝහිත බමුණාගේ භාර්‍යා වූ විසාඛා බැමිණියගේ පුත්‍රව ඉපද අවුරුදු හාරදහසක් ගිහිගෙයි වැස අශ්ව රථයකින් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍යකොට මහරි ගසක් මුලදී බුදුව සතළිස් දහසක් අවුරුදු ජීවත්ව සිට ඛෙමාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ ඛෙම නම් රජව බුදුරදුන්ට බොහෝ දන් දුණි. ඒ බුදුරජ “මේ තෙමේ මේ භද්‍ර කල්පයේදී බුදුවන්නේය”යි විවරණ දුණි.

දෙවිසිවෙනි කකුසඳ බුදුවරයායි

එයින් පසුකලක යට කී ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ තිස්දහස් හවුරුදු වූ කල්හි කෝණාගමන බුදුරජ පෙරුම් පුරා සෝභවතී නුවර යඤ්ඤදත්ත බ්‍රාහ්මණයාගේ බිරිය වූ උත්තරා බැමිණියගේ පුත්‍රව තුන්දහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම හයමසක් ප්‍රදහනවීර්‍යකොට දිඹුල් ගසක් මුලදී බුදුව තිස්දහසක් අවුරුදු ජීවත්ව සිට පර්‍වතාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත් පර්‍වත නම් රජව බුදුපාමොක් සඟනට-කෝසෙය්‍ය-කම්බල ආදි වස්ත්‍ර දන් දුණි. ඒ බුදුරජද පෙර කී සේ විවරණ දුණි.

තෙවිසිවෙනි කෝණාගමන බුදුවරයායි

එයින් පසුකලක යටකී ලෙසින් මිනිසුන්ගේ වයස අවුරුදු විසිදහසක් වූ කල්හි කාශ්‍යප බුදුරජ පෙරුම් පුරා බරණැස් නුවර බ්‍රහ්මදත්ත බමුණාගේ භාර්‍යාවූ ධනවතී බැමිණියගේ පුත්‍රව අවුරුදු දෙදහසක් ගිහිගෙයි වැස ප්‍රසාදයෙන් නික්ම ගොස් සත්දිනක් ප්‍රදහනවීර්‍යකොට නුග ගසක් මුලදී බුද්ධත්‍වය ලැබ විසිදහසක් අවුරුදු වැඩ සිට කසීරට සේතව්‍ය නුවර සේතව්‍ය උයනේදී පිරිනිවියේය. එකල බෝසත් ජෝතිපාල නම් තරුණයෙක්ව සිට පැවිදි වී බුදුසසුන හෙබවී. ඒ බුදුරජද යටකී ලෙසින් විවරණ දුණි.

සූවිසිවෙනි කාශ්‍යප බුදුරජයි

ඒ බුදුන් පිරිනිවි කල්හි ඒ ආයුෂය දසහවුරුදු කාලයට පැමිණ නැවත වැඩෙමින් අසංඛ්‍යය වී නැවත පිරිහී ගොස් සියක් අවුරුදු කාලයට පැමිණියේය. එවිට බෝසත් තෙමේ

19. මනුෂ්‍ය බවය, පුරුෂ බවය, පෙර කළ පින් ඇති බවය, බුදුවරයකු දැකීමය, පැවිදි වීමය, ධ්‍යානලාභාදී ගුණයන්ගෙන් යුක්ත වීමය, ජීවිත පරිත්‍යාගය, මහත් වීර්‍ය ඇතිබවය යන ධර්‍ම අට එක්වීමෙන් ප්‍රාර්‍ථනාව සමෘද්ධ වන්නේයයි කී බැවින් මේ ධර්‍ම අට එක්රැස්කොට දීපංකරාදී සූවිසි බුදුවරුන්ගේ සමීපයෙහි විවරණ ලැබී. ඒ විවරණ ලැබ කළ ප්‍රාර්‍ථනා ඇති බෝසත්තෙමේ:

20. “මෙසේ අංග අටකින් යුක්ත වූ බුදුවීමට නියත වූ පුද්ගලයෝ කල්පකෝටි සියගණනිනුත් දීර්‍ඝ වූ කාලයක් සසර ඇවිදින්නාහු (21) අවීචියෙහි නූපදිති, ලොකාන්තරික නරකයන්හි නූපදිති, නිජ්ඣාමතණ්හික ප්‍රේතයෝද ඛුප්පිපාසික ප්‍රේතයෝද කාලකඤ්ජක ප්‍රේතයෝද නොවෙත්. (22) දුගතියෙහි උපදින්නාහුද කුඩා සත්ත්‍වයෝ නොවෙත්. මිනිස්ලොව උපදිනාහු ජාත්‍යන්‍ධයෝ නොවෙත්, (23) බිහිරෝ නොවෙති, ගොළුවෝ නොවෙති, ස්ත්‍රීහු නොවෙති, උභතොව්‍යඤ්ජනකයෝ හෝ නපුංසකයෝ නොවෙති. (24) මව මැරීම ආදි ආනන්තරික කර්‍මවලින් මිදුණාහු වෙති; හැමතැන පිරිසිදු පැවතුම් ඇත්තාහු වෙති. මිසදිටු නොගෙන කර්‍මවාදී - ක්‍රියවාදීහු වෙති. (25) දේව ලෝකයන්හි වසතත් අසඤ්ඤසත්ත භවයෙහි නූපදිති. ශුද්ධාවාස දෙවියන් කෙරෙහි ඉපදීමට හේතුවක් නැත. (26) කාමයන්හි අනාශක්ත වීමේ ස්වභාව ඇති සත්පුරුෂයෝ කුඩා මහත් භවයන්හි නොඇලුණාහු වෙති. හැම පාරමිතාවන් පුරමින් ලෝකාර්‍ථ චර්‍ය්‍යායෙහි හැසිරෙති”යි කී මේ ආනිසංසයන් අනුභවකොට කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය සතරක් කල් ආවේයයි දතයුතු.

දුරෙනිදානයෙහි විවරණ ලැබූ කාලය නිමියේයි

පරම්පරා කථාව

දූරෙනිදාන කාලයෙහි කල්පය බුද්ධශූන්‍ය-අශූන්‍ය වශයෙන් දෙයාකාරයි. යම් කල්පයක බුදු-පසේබුදු-සක්විතිහු නූපදිත් නම් එය ශූන්‍ය කල්පයයි, ගුණවත් පුද්ගලයන්ගෙන් ශුන්‍ය බැවිනි. එයින් අන්‍ය කල්පය අශූන්‍ය කල්පය නම් වේ, ඒ පුද්ගලයන්ගෙන් හිස් නොවූ බැවිනි. ඒ අශූන්‍ය කල්පය සාර-මණ්ඩ-වර-සාරමණ්ඩ-භද්ද කල්පයන්ගේ වශයෙන් පංචවිධ වේ. එහි කොණ්ඩඤ්ඤ-පදුමුත්තර-සිද්ධත්‍ථ-විපස්සී යන එක් එක් බුදුවරයා යම් කල්පවලදී උපන්නේ නම් ඒ කල්පයෝ සාරකල්ප නම් වෙති. සුමෙධ-සුජාත දෙනමය, තිස්ස-ඵුස්ස දෙනමය, සිඛි-වෙස්සභු දෙනම යයි බුදුවරු දෙනම බැගින් යම් කල්පවල උපන්නාහුද ඒ කල්පයෝ මණ්ඩකල්ප නම් වූහ. අනොමදස්සී-පදුම-නාරද තෙනමය, විපස්සී-අත්‍ථදස්සී-ධම්මදස්සී තෙනමයයි බුදුවරු තෙනම බැගින් යම් කල්පවල උපන්නාහු නම් ඒ කල්පයෝ වරකල්ප නම් වූහ. තණ්හංකර-මේධංකර-සරණංකර-දීපංකරය, මංගල-සුමන-රෙවත-සෝභිතය යන බුදුවරු සතරනම බැගින් යම් කල්පවල උපන්නාහුද ඒ කල්පයෝ සාරමණ්ඩ නම් වෙති. කකුසන්‍ධ-කොණාගමන-කස්සප-ගෝතම-මෙත්තෙය්‍ය යන බුදුවරු පස්නමක් මේ කල්පයෙහි උපදනා බැවින් මෙය භද්‍රකල්ප නමි.

මේ කල්පයාගේ මුලදී පළමුකොට අපගේ බෝසත්තෙමේ මහජනයා විසින් සම්මත වූ බැවින් “මහාසම්මත” නමැති රජ විය. රෝජ-වරරෝජ-කල්‍යාණ-වරකල්‍යාණ-උපොසථ-මන්‍ධාතු-වරමන්‍ධාතු-චරක-උපචරක-චෙතිය-මුවල-මහාමුවල-මුචලින්‍ද-සාගර සාගරදේව-භරත-භගීරථ-රුචි-සුරුචි-පතාප-මහාපතාප-පනාද-මහාපනාද-සුදස්සන-මහාසුදස්සන-නේරු-මහානේරු-අච්චිමන්තු යන මේ අටවිසි රජවරු මහාසම්මත රජුගේ පුත්‍ර-පෞත්‍ර පරම්පරාගත වූවාහු අප්‍රමෙය ආයුෂ ඇත්තාහු ක්‍රමයෙන් කුසාවතී-රජගහ-මිථිලා යන නුවර තුනෙහි විසූහ.

ඔවුනතුරෙන් අච්චිමන්තු රජුගේ පුත්‍ර-පෞත්‍ර වූ එක්සියයක් රජවරු කුසාවතී නුවර රාජ්‍යය කළහ. එක්සියයක් රජුන්ට බාලයා අරින්‍දම නමැත්තේය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ සපණස් රජ කෙනෙක් අයෝධ්‍ය නගරයෙහි රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ දුප්පසහ නම් රජය. ඔහුගේ දරුමුනුබුරු වූ සැටක් රජවරු බාරාණසියෙහි රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ අජිත රජය. ඔහුගේ දරුමුනුබුරු වූ අසූහාරදහසක් රජවරු කම්පිල්ල නුවර රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාලයා බ්‍රහ්මදත්ත රජය. ඔහුගේ දරුමුනුබුරු වූ සතිස්දෙනෙක් රජවරු හස්ති පුරයෙහි රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ කම්බලස්සහ රජය. ඔහුගේ දරුමුනුබුරු වූ දෙතිසක් රජවරු ඒකපක්‍ෂ නුවර රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ පුරින්‍දද රජයි. ඔහුගේ දරුමුනුබුරු වූ රජවරු විසිඅටදෙනෙක් වජිරවතිය නුවර රජය කළහ. ඔවුන්ගේ අන්තිමයා සාධීන රජය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ දෙවිස්සක් රජවරු මධුරා නුවර රජය කළහ. ඔවුන්ගේ අන්තිමයා ධම්මගුත්ත රජය. ඔහු පුත්‍ර-පෞත්‍ර වූ රජවරු අටළොස් දෙනෙක් අරිට්ඨ පුරයෙහි රජය කළහ. ඒ සියල්ලට බාලයා සිවි රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු සතළොස් දෙනෙක් ඉඳිපත් නුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා බ්‍රහ්මදේව රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු පසළොස් දෙනෙක් ඒකපක්‍ඛ නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා බලදත්ත රජය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ රජවරු තුදුස් දෙනෙක් කෝලට්ඨිය නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා හත්‍ථිදේව රජය. ඔහුගේ දරුමුනුබුරු වූ රජවරු නවදෙනෙක් කන්‍යාකුබ්ජ රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා නරදේව රජය. ඒ රජුගේ දරුමුනුබුරු වූ රජවරු සත්දෙනෙක් රෝජ නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා මහින්‍ද රජය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ දොළොස් රජ කෙනෙක් චම්පා නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා නාගදේව රජය. ඒ රජුගේ දරුමුනුබුරු රජවරු පස්විසි දෙනෙක් රජගහනුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා දිවංකර රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු දොළොස් දෙනෙක් තක්සලාවෙහි රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා තාළිස්සර රජය. ඔහුගේ පරම්පරාවෙහි වූ රජවරු දොළොස් දෙනෙක් කුසිනාරාවෙහි රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා සුදින්න රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු නවදෙනෙක් මලිත්තිය නුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා සාගරදේව රජය. ඔහුගේ පරම්පරාවෙහි වූ මඛාදේවාදි රජවරු එක්අසූහාරදහස් කෙනෙක් මිථිලාවෙහි රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා නිමි රජය. බලවත් සක්විති රජෙක් වූ එතුමාගේ පරම්පරාවෙහි වූ කළාරජනක-සමංකර-අශෝක ආදි අසූහාරදහස් තිදෙනෙක් වූ රජවරු බරණැස් නුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා විහායස නම් රජය. ඔහුගේ දරු-මුනුබුරු වූ විජිතසේන-ධම්මසේන-නාගසේන-සමථ-දිසම්පති-රේණු-කුස-මහාකුස-භරත-දසරථ-රාම-බිළාරරථ-චිත්තරංසී-අම්බරංසී-සුජාත-ඔක්කාක යන රජවරු සොළොස්දෙන පිළිවෙළින් බාරාණසියෙහි රාජ්‍යයට පැමිණියහ. ඒ ඔක්කාක රජුගේ පරම්පරාවෙහි වූ නොයෙක් දහස් ගණන් රජුන්ගේ අවෑමෙන් නැවත අන්‍ය වූ ඔක්කාක නම් රජෙක් විය. ඒ රජුගේ පරම්පරාවෙහි වූ නොයෙක් දහස් ගණන් රජුන්ගේ අවෑමෙන් නැවත අන්‍ය වූ ඔක්කාක රජෙක් වී යයි මෙසේ ඔක්කාක පරම්පරා තුනක් වූහ. එයින් තෙවෙනි ඔක්කාක රජුගේ පුත්‍ර-පෞත්‍ර වූ ඔක්කාකමුඛ-නිපුර- චන්‍දිමන්තු-චන්‍දමුඛ-සිවි-සඤ්ජය-වෙස්සන්තර-ජාලී-සිවිවාහන-සීහස්සර යන රජවරු දශදෙන කපිල පුරයෙහි අභිෂේක ලැබූහ. සීහස්සර රජුගේ පරම්පරාවෙහි වූ දෙයාසූදහසක් රජවරු කපිල වස්තුවෙහි රජය කළහ. ඔවුන්ගේ අන්තිමයා ජයසේන රජය. ඒ රජුට සීහසනු නම් පුත්‍රයෙක, යශෝධරා නම් දුවණියකැයි දරුවෝ දෙදෙනෙකි. දෙව්දහ නුවර දේවදහශාක්‍ය නමැති රජෙක් විය. ඔහුටද අඤ්ජන කුමරාය, කච්චානා කුමරිය යයි දරු දෙදෙනෙක් වූහ. කච්චානා කුමරිය සීහසනු රජුගේ අගමෙහෙසි විය. ජයසේන රජුගේ දූ වූ යශෝධරා තොමෝ අඤ්ජනශාක්‍ය රජුගේ අගමෙහෙසි විය. අඤ්ජනශාක්‍ය රජුට මායා-ප්‍රජාවතී යයි දූවරු දෙදෙනෙකි. දණ්ඩපාණි-සුප්‍රබුද්ධ යයි පුත්‍රයෝ දෙදෙනෙකි. සීහසනු රජුට සුද්ධෝදන-ධෝතෝදන-සුක්කෝදන-සුඛෝදන-අමිතෝදන යයි පුත්‍රයෝ පස්දෙනෙක් වූහ. අමිතා-පමිතා යයි දූවරු දෙදෙනෙක් වූහ. එයින් අමිතා තොමෝ සුප්‍රබුද්ධ රජුගේ අගමෙහෙසි විය. ඈට භද්දකච්චානා කුමරියද දේවදත්ත කුමරාදැයි දරු දෙදෙනෙකි. අඤ්ජනශාක්‍ය රජුගේ දූවරු වූ මායා කුමරියත් ප්‍රජාවතී කුමරියන් ශුද්ධෝදන රජුගේ මෙහෙසියෝ වූහ. එයින් අපගේ බෝසත් සිද්ධාර්‍ථ කුමාරතෙමේ මායාදේවියගේ පුත්‍රයායි. සුප්‍රබුද්ධ රජුගේ පුත්‍ර වූ දේවදත්ත කුමරුගේ බාලසොහොයුරිය වූ භද්දකච්චානා තොමෝ බෝසතාණන්ගේ අගමෙහෙසි විය. ඈට රාහුලභද්‍ර නමැති පුත්‍රයෙක් විය.

ප්‍රථම ඔක්කාක රජු අවසන්කොට ඇති මහාසම්මතාදී වූ රජවරු දෙලක්‍ෂපණස් දෙදහස් පන්සිය අටතාළිස් දෙනෙක් වූහ. වෙස්සන්තරාදී වූ ශුද්ධෝදන රජු අවසන්කොට ඇති රජවරු අසූ දෙදහස් හයදෙනෙකි. තෙවෙනි ඔක්කාක රජු පටන් ශුද්ධෝදන රජු දක්වා රජවරු එකී ගණන හා තවත් සත්දෙනෙකුගෙන් වැඩිවෙති. ප්‍රථම ඔක්කාක රජුන් තෙවෙනි ඔක්කාක රජුත් අතරෙහි නොයෙක් දහස්ගණන් රජවරු වූහ. මහාසම්මතාදී වූද තෙවෙනි ඔක්කාකාදී වූද සියලු රජවරු තුන්ලක්‍ෂ තිස්හතර දහස් පන්සිය සැට එක් දෙනෙක් වෙත්. මෙසේ අපගේ බෝසතාණන්ගේ වංශපරම්පරාව දතයුතු.

දූරේනිදානයෙහි පරම්පරා කථාව නිමි.

කාශ්‍යප බුදුන්ගේ කාලයෙන් මෙහා අපගේ බුදුරදුන් හැර අන් බුදුවරයෙක් නූපන්නේය. දීපංකර පාද මූලයේදී කළ ප්‍රාර්‍ථනා ඇති අපගේ බෝසත්තෙමේ මෙසේ අමිශ්‍ර වූ මහාසම්මත රාජ වංශයට අයත් වූ වෙසතුරු අත්බැව්හි ඉපද සත්වරක් මහපොළොව කම්පා කරවා ජාලී-කණ්හා යන දරු දෙදෙන බමුණකුට දී පසුදා (බමුණු වෙසින් ආ) ශක්‍රයාට මද්‍රි දේවිය දීමෙන් පාරමිතාවන් කුළු ගන්වා ආයුෂ කෙළවර එයින් ච්‍යුතව තුසිත දෙව්ලොව උපණි.

දූරේනිදාන කථාවෙහි කයින් හා වචනයෙන් ප්‍රාර්‍ථනා කාලය සම්පූර්‍ණයි

අවිදූරේ නිදාන කථාව

දැන් අවිදූරේ නිදාන කථාව පැමිණියේය.

සියලු පාරමිතාවන් පිරූ බැවින් බෝසත්තෙමේ තුසිත භවනෙහි අවුරුදු සත්පණස් කෝටියක් හා හැටලක්‍ෂයක් කල් විසීය. බෝසතුන් තුසිත භවනෙහි වසන කල්හිම (මෙහි) බුද්ධ කෝලාහලය හටගත්තේය. කෙසේදයත්? බුදුවරයෙකු ඉපදීමට අවුරුදු දහසක් කල් තිබියදී ලෝකපාලක දෙවිවරු “පින්වත්නි, මෙයින් අවුරුදු දහසක් අවෑමෙන් සර්‍වඥ බුදුවරයෙක් ලොව උපදින්නේය”යි ඝෝෂා කරමින් ඇවිදිති. දේවතාවන්ට වනාහි මරණය ලංවූ කල්හි මිනිසුන්ගේ දින ගණනින් සත් දිනක් කලින් පස් පෙරනිමිති පහළ වෙති, දිව්‍ය මල් පරවෙති, වස්ත්‍ර කිලිටි වෙති. කිසිලිවලින් ඩහදිය වැගිරේ, ශරීරය දුර්‍වණ වෙයි, තමාගේ දිව්‍යාසනයෙහි නොඇලෙයි. බෝසත්තෙමේ ඒ නිමිති දැක “මෙයින් අනතුරු අත්බැව්හි බුදුවන්නෙමි”යි දැන බිය නොවෙයි. ඉක්බිති ඒ පෙරනිමිති පහළ වූ බව දැනගත්, බුද්ධ කෝලාහල ශබ්දය ද ඇසූ දසදහස් සක්වළ දෙවියෝ එක්තැන්ව බෝසතුන් වෙත පැමිණ.

27. “මහාවීරයන් වහන්ස, මේ ඔබට (බුදුවීමට) කාලයයි. මවුකුසෙහි උපදිනු මැනවි. දෙවියන් සහිත ලෝකයා එතර කරවීම සඳහා නිවණ අවබෝධ කළ මැනවැ”යි ආරාධනා කළහ. දේවතාවන් විසින් මෙසේ ආරාධනා කරනු ලැබූ බෝසත්තෙමේ ඔවුන්ට ප්‍රතිඥා නොදීම කාල-ද්වීප-දේශ-කුල-මාතෘ-ආයුෂ පරිච්ඡෙද වශයෙන් පස්මහ බැලුම් බැලීය. එහි අවුරුදු ලක්‍ෂයෙන් යට අවුරුදු සියයෙන් උඩ බුදුවරුන්ගේ ආයුෂ කාලයයි. එබැවින් බෝසත්තෙමේ දැන් ඉපැදිය යුතු කාලය යයි කාලය දිටී. ඉක්බිති දඹදිව මධ්‍ය දේශය දැක එහි කපිලවස්තු නුවර මා විසින් ඉපදිය යුතුයයි නිශ්චයට පැමිණියේය. ඉක්බිති ලෝකසම්මත වූ ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි බුදුවරු උපති. දැන් ක්‍ෂත්‍රිය කුලය ලෝකසම්මතය, එහි උපදින්නෙමි; ශුද්ධෝදන නම් රජ පියා වන්නේ යයි කුලය බැලුවේය. බුද්ධමාතාව නම් ලොල් වූ මත්පැනෙහි ගිජු වූ ස්ත්‍රියක් නොවේ; කල්ප ලක්‍ෂයක් පිරූ පෙරුම් පුරා උපන්දා පටන් නොකඩ වූ පන්සිල් ඇති තැනැත්තියක් වෙයි. මේ මහාමායා දේවිය එබඳුය. මෝතොමෝ මට මව් වන්නීය. ඈගේ ආයුෂය කොපමණද? දසමසක් හා සත් දිනකැයි ද දිටී. මෙසේ මේ පස්මහ බැලුම් බලා “පින්වත්නි, මෙය මට බුදුවීමට සුදුසු කාලය වේ” යයි දෙවියන්ට ප්‍රතිඥා දී “තෙපි යව්” යයි දේවතාවන් පිටත්කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව එහි හැසිරෙමින් ච්‍යුතව ඇසළ පුණු පොහෝදා උතුරුසළ නැකතින්, සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත - අසංසකාරික - මහාවිපාක සිතින්, මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගති.

28. තුසිත දෙව්ලොවින් ච්‍යුතව යම්කලක මවුකුසෙහි පිළිසිඳ ගත්තේද එකල දසසහශ්‍රී ලෝකධාතුව කම්පා විය.

එකල මහමායා දේවී තොමෝ ඒ මාසයේ පුර නවවක්දා සිට නැකැත් කෙළියෙහි යෙදී සත්වෙනිදා අටසිල් සමාදන්ව රාජකීය කාමරයට පිවිස තමාගේ සයනයෙහි හෙවැ නින්දට බසින්නී මේ සීනය දිටී: එක් සුදු ඇතෙක් රන් පර්‍වතයකින් බැස ඇය පැදකුණු කොට දකුණු පැත්ත පළාගෙන කුස තුළට පිවිසියාක් මෙන් දිටී. පිබිදුණු ඈ ඒ සිහිනය රජුට දැන්වීය. රජතෙම සූසැටක් බමුණන් ගෙන්වා කුමක් සිදුවන්නේදැයි විචාළේය. බමුණෝ මෙසේ කීහ: “මහරජ, නොසිතුව මැනවි; දේවියට දරු ගැබක් පිහිටියේය. ඒ පිරිමියෙකි. ස්ත්‍රියක් නොවේ. ඉදින් ඒ පුද්ගලයා ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේය; ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් ලෝකයෙහි විවෘතඡ්දන ඇති (-කෙලෙස් වැසීම් දුරුකළ) බුදුවරයෙක් වන්නේය”යි.

ඒ දේවිය මිනිස් ලොව නවවක්දා පටන් නැකැත් කෙළි අනුභව කළ කාලය තුසිත භවනෙහි විසූ බෝසතුන්ට පස් පෙර නිමිති පහළ වූ කාලයමය. බෝසත් මව වනාහි ප්‍රථම වයසේදී සම්පත් අනුභව කොට වස්තු විශද බැවින් (-ගැබ් පිහිටන අවකාශය වැඩුණු බැවින්) මැදුම් වියේ තෙවෙනි කොටසේදී බෝසතුන් දසමසක් කුසින් දරා වෙසක් පුණු පොහෝදා විසා නැකතින් කුමරු බිහිකළාය. ඔහු උපන් කෙණෙහි දෙතිස් පෙරනිමිති පහළ වූහ. (29) සියලු අර්‍ථයන් සිද්ධ කරන, ශාන්තිය හා යහපත සිදුකරන එකුමරු උපන් කල්හි දසදහසක් චක්‍රවාටයෝ කම්පා වූහ, විශේෂයෙන් කම්පා වූහ.

බෝසතාණන් සමග රාහුල මාතාවය, ආනන්‍ද ස්ථවිරතුමාය, ඡන්න ඇමතියාය. කන්ථක අශ්වයාය, නිධිකුම්භීහුය, මහාබෝධිය යන මේ සත්දෙන ද උපන්හ. බෝසතුන් ඉපද සත්දිනක් ගතවූ පසු අන්‍ය සත්ත්‍වයන්ට අසාධාරණ බැවින් මහාමායා තොමෝ වෙසක්මස අවපක්‍ෂයේ සත්වෙනිදා කලුරියකොට තුසිත භවනයෙහි උපණි. ඉක්බිති වප්මඟුල්දා බෝසත්තෙමේ ආශ්වාස ප්‍රශ්වාසයන් පරිග්‍රහණය කොට (-මෙනෙහි කොට) ප්‍රථම ධ්‍යානය ඉපදවිය. පස්වෙනිදා නම් තබන්නෝ සියලු ලෝකාර්‍ථ සිද්ධිය කරන බැවින් එතුමාට සිද්ධාර්‍ත්‍ථ යයි නම් කළහ. ඉක්බිති බෝසත්තෙමේ ක්‍රමයෙන් සොළොස් හැවිරිදි විය. ශාක්‍යයෝ තමන්ගේ දූවරුන් සරසා සතළිස් දහසක් නාට්‍යාංගනාවන් පාදපරිචාරිකා බවට යැවූහ. ඈලා අතුරෙන් රාහුල කුමරුගේ මව වූ භද්දකච්චානා තොමෝ අගමෙහෙසි විය. බෝසත්තෙමේ ඒ ස්ත්‍රීන් විසින් සේවය කරනු ලබන්නේ ඍතු තුනට යෝග්‍ය වූ චන්‍ද-කෝකනුද-කොඤ්ච[9] නම් ඇති ප්‍රාසාද තුනෙහි සම්පත් අනුභව කරයි.

හෙතෙම අටවිසි වයස් කල්හි ඇසළ පොහෝදා උතුම් රථයක නැග උයනට අභිමුඛව යන්නේ ජරාවෙන් දිරාගිය මිනිසකු දැක, එයින් සිවුමසක් ඇවෑමෙන් ඉල් පසළොස්වක්දා රෝගී මිනිසකු දැක, එයින් සිවුමසක් ඇවෑමෙන් මැදින් මස පුණු පොහෝදා මළ මිනිසෙකු දැක හැරී ගියේය. ඉක්බිති විසිනව හැවිරිදි කල්හි ඇසළ පුණු පොහෝදා එසේ යන්නේ පැවිදි වෙසින් යුත් මිනිසකු දැක පැවිදි වීමෙහි රුචි උපදවා උයනට ගියේය. එදවස්හිම රාහුල කුමරා උපන්නේය. උයනෙහි දවල් කාලය තුළ ක්‍රීඩාකොට රාජකීය පොකුණෙහි නා ඉරු අස්තගත වූ කල්හි මඟුල් ගල් තලාවෙහි හිඳ තම ශරීරය සරසවා රථයට නැංගේය. එකෙණෙහි රාහුල කුමරු උපන් පුවත අසා “රාහු ගැනීමක් විය බන්‍ධනයක් ඇති වීය”යි කියා ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව නුවරට ඇතුල් වුණි. ප්‍රාසාදයට නැගී උතුම් සයනෙහි හෙවැ කෙලෙසුන්හි නොඇලුණු සිත් ඇති බැවින් නෘත්‍ය ගීතාදීයෙහි රුචි නැත්තේ මොහොතකින් නින්දට බැස්සේය. මධ්‍යම රාත්‍රියේදී පිබිද මැදපු සක් ගෙඩියක් මෙන් සුදු වූ කන්‍ථක අශ්ව රාජයා පිට නැගී ඡන්නයාට අසුගේ වාලධිය ගන්ට සලස්වා මහාභිනිෂ්ක්‍රමණය සඳහා මහදොරටුව සමීපයට පැමිණියේය. එකල මාරතෙම බෝසතුන් අමතා;

30. “මහාවීරයන් වහන්ස, නික්ම නොගිය මැනව; මෙයින් සත්වෙනිදා ඔබට දිව්‍යමය චක්‍ර රත්නය ඒකාන්තයෙන් පහළ වන්නේය”යි කීය. එවිට බෝසත්තෙමේ (31.) මාරය, මට සක්රුවන පහළ වෙන බව දනිමි; මම රාජ්‍යය ගැන බලාපොරොත්තු නැත්තෙමි. තෝ මෙහි නොසිට යව; (32.) මම වනාහි දශසහශ්‍රී ලෝකධාතුව ශබ්ද කරවා ලෝකයෙහි සමාන නායකයෙකු නැති බුදුරජෙක් වන්නෙමි”යි කීය. හෙතෙම එහිම අන්තර්ධාන විය.

එක් රාත්‍රියකින්ම රාජ්‍ය තුනක් ඉක්මවා තිස් යොදුනක් ගොස් අනෝමා ගංතෙරට පැමිණුනි. එහිදී පැවිදි වූ බෝසත්තෙමේ ඒ පෙදෙසෙහි වූ අනුපිය නම් අඹ වෙනෙහි පැවිදි සුවයෙන් සත්දිනක් ගතකොට එක්දිනකදී තිස්යොදුනක් මග ගෙවා ගොස් අසංගගංගා නම් ගඟෙන් එතෙරව ඇසළ අව අටවක්දා රජගහ නුවරට පිවිස පිඬු පිණිස හැසිර ඇතුල් වූ දොරටුවෙන්ම නුවරින් නික්ම පාණ්ඩව පර්‍වතය සෙවනේ හිඳගෙන වැළඳීය. එහිදී බිම්බිසාර රජු පවා දුන් සියලු සම්පත් ප්‍රතික්‍ෂෙප කොට ඔහුගේ රටට ඒමට ප්‍රතිඥා දී ආළාරකාලාමයන්ද උද්‍රකරාම පුත්‍රයන්ද කරා එළඹ සමාපත්ති උපදවා “මෙය නිවන් ලැබීමට මග නොවේය”යි සිතා උරුවේලාවට ගොස් එහි වසමින් සයහවුරුද්දක් කිරීමට අපහසු වූ මහාප්‍රදාන වීර්‍යය කෙළේය.

ඉක්බිති බෝසත්තෙමේ තිස්පස්වෙනි අවුරුද්දේ තුදුස්වක් දිනයේදී පස්මහ සිහිනයන් දැක වෙසක් පසළොස්වක්දා සුජාතාව දුන් මිහිරි කිරිබත වලඳා රන්තලිය ගෙන නේරඤ්ජරාවේ උඩිකුරුව යන සේ දමා නිදාහුන් කාළතා රජු පුබුදුවා නේරඤ්ජරා ඉවුරෙහි වූ සල්වෙනෙහි දවල් කාලය ගතකොට සවස් කාලයෙහි දෙවියන් විසින් සැරසූ මගින් බෝගස දෙසට ගියේය. එහි යන්නේ සොත්‍ථිය නමැති තණ ගෙනයන්නා දුන් තණමිටිය අතුරා ඇසටු ගස තුන්වරක් පැදකුණු කොට පෙරදිගට මූණලා හුන්නේය. ඉක්බිති බෝසත් හිරු නොබැසී කල්හිම සේනා සහිත මාරයා පරදවා ප්‍රථම යාමයේදී පූර්‍වෙනිවාසය සිහිකොට මධ්‍යම යාමයේදී දිවැස ශුද්ධකොට පශ්චිම යාමයේදී ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි නුවණ බස්වා ආණාපාණ - චතුර්‍ථධ්‍යානය උපදවා එයම පාදකකොට (=අත්තිවාරම කොට) විදසුන් වඩා මාර්‍ග පිළිවෙළින් ගොස් සිවුවෙනි මගින් සියලු කෙලෙසුන් නසා අරුණ නැගෙන විට සියලු බුදුගුණ යුත් සර්‍වඥතා ඥානය ලැබී.

අවිදූරෙ නිදානයෙහි බුද්ධත්‍වයට පැමිණීම නිමි.

සන්තිකෙ නිදාන කථාව

දැන් සන්තිකෙ නිදාන කථාව පැමිණියේයි

මෙසේ අරුණ නැගෙන කල්හි බුදුවී ඒ පර්‍යඞ්කයෙහිම නිදහස් සැප විඳිමින් සත්දිනක් කල් යැවී. වෙසක්මස අවඅටවක්දා පටන් අනිමිසලෝචනයෙන් සතියක් ගතකෙළේය. ඒ මාසයේ අවතුදුස්වක්දා පටන් සත්දිනක් සක්මනින් ගත කෙළේය. පොසොන් පුරපක්‍ෂයේ සත්වෙනිදා පටන් සත්දිනක් රතනඝරයෙහිද, ඒ පක්‍ෂයේ තුදුස්වක්දා පටන් අජපාල නුගගස මුලද පොසොන් අවපස සවෙනිදා පටන් සත් දිනක් මිදෙල්ල ගස මුලද, ඒ පක්‍ෂයේ තෙළෙස්වක්දා පටන් සත් දිනක් කිරිපලු ගස මුලද කල් යැවීය. ඉක්බිති බුදුරද සත් සතියක් ඉක්මවා ඇසළ මස පුරඅටවක්දා සක්දෙව් රජු දුන් දැහැටි වළඳා අරලු අනුභවකොට සිවුවරම් රජුන් දුන් ගල්පාත්‍රය පිළිගෙන තපස්සුභල්ලුකයන්ගේ මීපිඬු හා අත්සුණු අනුභව කොට නැවත අජපාල නුග ගසමුල නැවතී තෙළෙස්වක් තුදුස්වක් දිනයන්හි බෝමැඩ සමීපයෙහිම පිඬු පිණිස හැසිරෙමින් වාසය කොට ඇසළ පුණු පොහෝදා කල් ඇතිවම පාත්‍ර සිවුරු ගෙන අටළොස් යොදුන් මගට බැස්සේ එදිනම සවස ඉසිපතනයට වැඩියේය. උතුරුසළ නැකැත පවත්නා කල්හි එහිදී පස්වග මහණුන්ට දම්සක් දෙසීම සඳහා ආමන්ත්‍රණය කෙළේය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවසානයේදී අටළොස් කෙළක් බ්‍රහ්මයන් සමග අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙර සෝවාන් පෙලෙහි පිහිටියේය.

33. මහාබ්‍රහ්මයා විසින් ආරාධිත වූ බුදුරජ දම්සක පැවැත්විය. අටළොස්කෝටියකට ධර්‍මාවබෝධය විය. එදවස් රාත්‍රියෙහිම අනුස්සවප්පසන්නකාළීතොමෝ[10] සෝවාන් විය. අවපක්‍ෂයේ පළමුදා වප්ප තෙරුන්ට ද දෙවෙනිදා භද්දිය තෙරුන්ටද, තෙවෙනිදා මහානාම තෙරුන්ටද, සිවුවෙනිදා අස්සජී තෙරුන්ටද දහම් ඇස උපණි. පස්වෙනිදා ඒ සියලු පස්වග තෙරහු අනන්තලක්‍ඛණ සූත්‍ර දේශනාවසානයේ දී රහත් බවට පැමිණියහ. අටවෙනිදා නාළක තෙරුන්ට මොනෙය්‍ය ප්‍රතිපදාව දෙසී. ඉක්බිති යසකුල පුත්‍රයා සිය ගෙය හැරදමා ගිය රාත්‍රියේදීම ඔහු සෝවාන් පලයෙහි පිහිටුවා පසුදා රහත් බවෙහි පිහිටුවිය. එහිදීම ඔහුගේ මිත්‍ර වූ සූපණස් දෙනෙකුන් රහත් බැව්හි පිහිටුවිය. මෙසේ බුදුවීමෙන් පසු ප්‍රථම වස් කාලයේදී බුදුරජය, පස්වග භික්‍ෂූුහුය, යස තෙරය, ඔහුගේ මිත්‍රයෝ සූපණස් දෙනදැයි ලෝකයෙහි රහත්හු එක්සැට නමක් වූහ.

පැවැත්වූ උතුම් දම්සක් ඇති බුදුරද ඉසිපතනයෙහි පළමු වස වැස පවාරණය කොට ඒ සැටනමක් රහතුන් නා නා දිශාවන්හි යවා තෙමේ උරුවේලාවට යන්නේ අතරමග කප්පාසික වනරොදේදී භද්දවග්ගිය කුමරුන් තිස්දෙනෙකුන් හික්මවා ඒහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි කරවා දිශාවන්හි යවා ක්‍රමයෙන් උරුවේලාවට පැමිණුනි. එහි තුන් මසක් වසන්නේ එක් දිනක් උරුවේල කාශ්‍යපයාගේ ගිනිගෙයි වසන නා රජකු දමනය කෙළේය. පසුදා උරුවේල කාශ්‍යපයන් වසන තැනට නුදුරු වන ලැහැබක විසී. එක් දිනක් රාත්‍රි කාලයේදී සිවුවරම් රජවරු බුදුන් වෙත පැමිණියහ. පසුදා රාත්‍රි සක්දෙව් රජ පැමිණියේය; ඊට පසුදා සහම්පති බ්‍රහ්මයා පැමිණියේය. දුරුතු පසළොස්වක්දා ලක්දිවට වැඩියේය. එකල උරුවේල කාශ්‍යප තෙමේ “මහාශ්‍රමණයා අද නොඑන්නේ නම් යෙහෙකැ”යි සිතී. ඔහුගේ ඒ සිතිවිල්ල දැන පසුදා පහන් වූ කල්හි පාත්‍ර සිවුරු ගෙන හිමවතට ගොස් සිරුර පිළිදැගුම් කොට උතුරුකර දිවයිනෙන් ආහාර ගෙනවුත් අනෝතත්ත විලේදී වලඳා එහිම දිවාවිහරණය කොට හවස් කාලයේදී ලක්දිව ශුද්ධ කිරීම සඳහා ගොස් මහියංගණය සෑය පිහිටි තැන අහසෙහි වැඩ සිටියේය. එහි කළ යුතු දේ කොට ඒ රාත්‍රි කාලයෙහිම උරුවේලාවට හැරී ආවේය.

පසුදා හිමවතෙන් දඹ ගෙඩියක් ගෙනවුත් උරුවේල කාශ්‍යපට දුණි; ඊට පසුදින අඹ ගෙඩියක්ද ඊට පසුදා නෙල්ලි ගෙඩියක් ද ගෙනැවිත් දුණි. පසුදා ජටිලයෝ එක්වරම පන්සියයක් දඬු පැළුහ; පන්සියයක් ගිනි දැල්ලූහ. ඊටපසුදා ගිනි තපින ලිප් පන්සියයක් මවා දුණි. ඊටපසුදා බුදුරජ හාත්පසින් ජලය උස්ව සිටින්ට සලස්වා ධූලි නැති බිමෙහි සක්මන් කෙළේය. මෙසේ තුන්දහස් පන්සියයක් ප්‍රාතිහාර්‍යයන් පෙන්වා දහසක් ජටිල පිරිවර ඇති උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන් දමනය කොට ගයාශීර්‍ෂයේදී ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීමෙන් රහත් බවෙහි පිහිටුවා ඒ රහතන් දහස විසින් පිරිවරන ලදුව “බිම්බිසාර රජුට දුන් පොරොන්දුව මුදන්නෙමි”යි පිළිවෙළින් රජගහ නුවරට ගොස් රජගහ නුවර සමීපයෙහි ලට්ඨිවන උයනේදී නාරද ජාතකය දෙසී. දේශනාවසානයෙහි බිම්සර රජ එක්ලක්‍ෂ දශදහසක් පිරිස සමග සෝවාන් පලයෙහි පිහිටියේය.

පසුදා දුරුතු මස අවතුදුස්වක්දා වේළුවනය පිළිගෙන පුරපෑළ වියදා දෙසිය පණසක් පරිව්‍රාජකයන් සමග අගසව් යුවල පැවිදි කරවිය. ඒ දෙනම අතුරෙන් මහමුගලන්තෙර නවම්මස සත්වෙනිදා ශ්‍රාවක පාරමී ඥානයාගේ මස්තකයට පැමිණියේය. සැරියුත් මහතෙර වනාහි නවම් පසළොස්වක්දා පාරමී ඥානයාගේ කෙළවරට පැමිණියේය. කුමක් හෙයින්ද? කලින් සම්පාදනය කළ යුතු දේ බොහෝ බැවිනි. නවම් පසළොස්වක්දා මානැකැත් යෝගය පවත්නා කල්හි එක්දහස් දෙසිය පණසක් භික්‍ෂූන් මධ්‍යයෙහි වූ බුදුරද වේළුවනයේදී ශ්‍රාවක දෙනමට අගසව් තනතුරු දී අංග සතරකින් යුත් ශ්‍රාවකයන් රැස්කොට පාමොක් උදෙසී. “එක්දහස් දෙසියපණස” නම් උරුවෙල් කාශ්‍යපාදි කාශ්‍යපයන් තිදෙනගේ පිරිවර ජටිල දහසය, අග්‍රශ්‍රාවකදෙනමගේ දෙසියපණසදැයි මෙසේ පණසක් අධිකකොට ඇති දොළොස් සියයයි. “අංග සතර නම්: සියල්ලෝ ඒහිභික්‍ෂුහු වෙති; සියල්ලෝ ෂඩභිඥාලාභීහු වෙති; සියල්ලෝ කැඳවීමක් නැතිව ආහ; පසළොස්වක පෝය දිනය යන සතරයි. ඒ කරුණු යම් සමාගමයක වෙත්නම් එය “අංග සතරින් යුත් රැස්වීම” යයි කියනු ලැබේ. මෙහි කී මානැකැත් යෝගය වනාහි ප්‍රථම මානැකතයි. අනියම් වශයෙන් කිසිකලක දෙවෙනි මානැකතද වේ.

බුදුරජ උරුවේලාවෙහි තුන් මසක්ද රජගහවෙහි දෙමසක්ද විසී යයි බරණැසින් නික්මුණුදා සිට මේ දක්වා පස්මසක් ඉකුත් විය. මෙසේ එතුමන් ඒ ඒ තැන වසන කල්හි ශුද්ධෝදන රජ “මාගේ පුත්‍රයා සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට උතුම් බුද්ධත්‍වයට පැමිණ පැවැත්වූ උතුම් දම්සක් ඇත්තේ රජගහවට ගොස් වේළුවනයෙහි වෙසේය”යි අසා “එම්බා පින්වත, මිනිසුන් දහසක් සමග රජගහවට ගොස් මාගේ වචනයෙන් ඔබගේ පිය වූ ශුද්ධෝදන මහරජ ඔබ දකිනු කැමැත්තේ යයි කියා මාගේ පුත්‍රයා රැගෙන එව”යි කියා දශවරක් ඇමතියන් දශදෙනෙකුන් යැවීය. ඒ සියලුදෙන දසදහසක් පිරිවර සමග රහත් බවෙහි පිහිටියාහ. බුදුරද ඔවුන් ඒහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි කරවීය. මැදින් පුණු පොහෝදා ඒ සියලු දෙනාට පසුව පැමිණි කාලුදායි තෙර හේමන්තය ඉකුත් විය, වසන්ත කාලය පැමිණියේ යයි සිතා බුදුන් කරා එළඹ ගාථා සැටකින් ගමන් වර්‍ණනාව කොට “ස්වාමීනි, ඔබගේ පියවූ ශුද්ධෝදන මහරජ ඔබවහන්සේ දකිනු කැමැත්තේය; නෑයන්ට සංග්‍රහ කළ මැනවැයි කීය. “යහපත, උදායීති”යි කියා බුදුරද විසිදහසක් රහත් භික්‍ෂූන් විසින් පිරිවරන ලදුව අවපෑළවියදා රජගහවෙන් නික්ම සැටයොදුන් මගට බැස දවසකට යොදුන බැගින් යමින් දෙමසක් ඉක්මවා වෙසක් පුණු පොහෝදා කපිලපුරයට පැමිණියේය. එදවස්හිම ශාක්‍ය රජුන්ගේ මාන්නය දුරුකරවීම සඳහා යමක ප්‍රාතිහාර්‍යය කෙළේය. තමාගේ බුද්ධානුභාවය දක්වමින් දොළොස් යොදුනක් පළලැති දසදහස් සක්වළ පමණ දිගැති රුවන් සක්මනක් මවා එහි සක්මන් කරමින් මහාප්‍රාර්‍ථනාවද පෙරුම් පිරීමද පිළිවිසූ සැරියුත් මහතෙරුන්ට බුද්ධවංශය දේශනා කෙළේය. නැවත “ස්වාමීනි, කෙතෙක් ජාතීන්හිදී කෙසේ මේ බුද්ධකාරක ධර්‍මයෝ පුරණ ලද්දාහුදැ”යි විමසූ සැරියුත් තෙරුන්ට චරියාපිටකය දෙසී. රුවන් සක්මනින් බැස නිග්‍රෝධාරාමයෙහි වසමින් විසිදහසක් රහතුන් විසින් පිරිවරන ලද්දේ පොකුරු වැසි වැසීම නිමිතිකොට වෙස්සන්තර ජාතකය දෙසී. සියලුදෙන පසුදා දන් පිණිස ආරාධනා නොකොට ගිය කල්හි බුදුරද ඊට පසුදින කපිල වස්තුවෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණි.

රාහුල මෑණිතොමෝ සීමැදුර විවෘතකොට බලන්නී බුද්ධශ්‍රීය දැක නරසීහ ගාථා අටකින් ස්තූති කෙළේය. බුදුරද ශුද්ධෝදන රජුට “උත්තිඨෙ නප්පමජ්ජෙය්‍ය (=නැගී සිටුව, ප්‍රමාද නොවෙව)” යනාදී ගාථාවෙන් දහම් දෙසී. ගාථාවගේ අවසන්හි රජ සෝවාන් පෙලෙහි පිහිටියේය. “ධම්මං චරෙ සුචරිතං” යනාදී ගාථාවගේ කෙළවර දී සකෘදාගාමී ඵලයෙහි පිහිටියේය. බුදුරද යශෝධරාවගේ කාමරයට ගොස් චන්‍දකින්නර ජාතකය වදාරා අස්නෙන් නැගිට වැඩියේය.

කපිල වස්තුවට පැමිණි දිනයෙන් තෙවෙනිදා නන්‍ද කුමරු පැවිදි කරවීය. සත්වෙනිදා රාහුල කුමරු පැවිදි කරවිය. කපිල වස්තුවට පැමිණි කාලය නිමියේයි.

ප්‍රථම වර්‍ෂයයි

දෙවෙනි තෙවෙනි සිවුවෙනි වස්ද වේළුවනයෙහිම විසී. පස්වෙනි වස වේසාලී නුවර මහාවනයේ කූටාගාර ශාලාවේ විසී. ඒ අවුරුද්දේ බක්මස කළුවර පෝයදා චූළෝදර - මහෝදර නාරජුන් දෙදෙන දමනය කිරීම සඳහා ජේතවනයෙන් නාගදීපයට වැඩියේය, සවෙනි වස මංකුල පර්‍වතයෙහිය. සත්වෙනි වස තව්තිසා දෙව්ලොවය. ඒ වර්‍ෂයේ ඇසළ පුණු පොහෝදා උතුරුසළ නැකත පවත්නා කල්හි සැවත් නුවරට දොරටුව සමීපයේ ගණ්ඩ නම් අඹ ගස මුලදී යමක ප්‍රාතිහාර්‍යය දක්වන්නේ සෙවනැලි වැඩෙන කල්හි සතිස් යොදුනක් පැතිර සිටිනා සෙනඟ රැස්වූ කල්හි අහසෙහි සක්මනක් මැවී. එය එක් සක්වළක් පමණ දිගැත්තේ විය. බුදුරද එහි ප්‍රාතිහාර්‍ය කොට දකුණු පය ඔසවා යුගන්‍ධර පර්‍වතය මත්තෙහි තබා අනික් පය ඔසවා මහමෙර මත්තෙහි තැබී මෙසේ සැටඅටදහසක් යොදුන් පමණ තැන පියවර තුනක් වූහ. බුදුරද දෙවිපිරිස මැද වැඩහිඳ මෑණියන් අරබයා අභිධර්‍මය දෙසී. තුන්මසක් මුළුල්ලේ අතර නොහැර අභිධර්‍මය දෙසා වස් පවාරණය කොට මහාපවාරණය පැවති දිනයෙහි අස්විද නැකත පවත්නා කල්හි තව්තිසා භවනයෙන් බැස සංකස්ස නුවර දොරටුව සමීපයෙහි වැඩ සිටියේය.

අටවෙනි වස භග්ග නුවර හෙසකලා වනයෙහිය. ඒ වර්‍ෂයෙහි වෙසක් පොහෝදා බුදුරද කපිලවස්තු - කෝලිය දෙනුවර උපන් පන්සියයක් රහතන් විසින් පිරිවරන ලද්දේ සයකෝටියක් නාගයන් පිරිවර ඇති සුමන නාරජු විසින් බුදුරදුන් මත්තෙහි වැටෙන හිරුරැස් වැළැක්වීම සඳහා ඔසවන ලද මනාසේ පිපුණු සපුගසක්[11] ඇත්තේ මිණිඅක් නාරජුට අනුග්‍රහ සඳහා ජේතවනයෙන් කැළණි පෙදෙසට වැඩියේය. ඉක්බිති මණිඅක්‍ඛික නාරජ බුදුපාමොක් සංඝයාට දිව්‍යභෝජන වලඳවා එකත්පස්ව හුණි. බුදුරද ඔහුට භුත්තානුමෝදනා කොට සුමනකූට පර්‍වතයෙහි පාද චෛත්‍යය දක්වා ඒ පර්‍වතයේ පැත්තක දිවාවිහරණය කෙළේය. එතැනින් නැගිට දීඝවාපී සෑය පිහිටන තැන නිරෝධසමාපත්තියට සමවැද එතැන රැකීම පිණිස මහසෙන් දෙවියාට බාරදුණි. එතැනින් නැගිට මහාසෑය පිහිටන තැන (වැඩහිඳ) එතැන රැකීමට සාලරූප දේවපුත්‍රයාටද, එතැනින් ථූපාරාම චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ එය පුථුවිමාල දේවපුත්‍රයාටද, එතැනින් මිරිසවැටිය සෑය පිහිටන තැන වැඩහිඳ එතැන ඉන්‍ද්‍ර දේවපුත්‍රයාට ද ඉක්බිති කතරගම චෛත්‍යස්ථානය මහාඝෝෂ දේවපුත්‍රයාටද, එතැනින් තිස්සමහාරාම චෛත්‍යස්ථානයට පැමිණ එය මණිකාර දේවපුත්‍රයාටද, නාගමහා චෛත්‍යස්ථානය මහින්‍ද දේවපුත්‍රයාටද බාරදී එතැනින් නැගිට ලලාට ධාතුව පිහිටන තැන සමවතට සමවැදී එතැන රැකීම පිණිස සුමන නාගරාජයාටද පාවා දුණි. හැම තන්හිම සමවත් සමවැදුණ කල පොළොව කම්පා විය. බුදුරද “අප්‍රමාදී වෙව”යි සුමන නා රජුට අවවාද කොට පන්සියයක් භික්‍ෂූන් සමග ජේතවනයට වැඩියේය.

නවවෙනි වස කොසඹෑ නුවරය. දසවෙනි වස පාරිලෙය්‍යක වනයෙහිය. එකොළොස්වෙනි වස නාළ නමැති බමුණු ගමය. දොළොස්වෙනි වස වෙරඤ්ජාවෙහිය. තෙළෙස්වෙනි වස රජගහ නුවර පාලිය පර්‍වතයෙහිය.[12] තුදුස්වෙනි වස ජේතවනයෙහිය. පසළොස්වෙනි වස කපිල වස්තුවෙහිය. දොළොස්වෙනි වස ආලවකයා දමනය කොට අසූහාර දහසක් ප්‍රාණීන්ට අමෘතය පොවා ආළවී නුවර විසී. සතළොස්වෙනි වස රජගහවෙහිය. අටළොස්වෙනි - දසනවවෙනි වස් දෙක පාලිය පර්‍වතයෙහිය. විසිවෙනි වස රජගහවෙහිය. මෙසේ විසි වසක් අස්ථිරවාස ඇතිව පහසු ඇති තැන වස් විසී. එතැන් පටන් විසිපස් වසක් ජේතවනය, පූර්‍වාරාමය යන දෙතැන නිත්‍ය වාසස්ථානයන් ලෙස පරිභෝග කෙළේය. කුමක් හෙයින්ද? ඒ පවුල් දෙකේ ගුණමහත්වය නිසාය. අන්තිම වර්‍ෂයේදී වජ්ජිරට වෙසාලි නුවර සමීපයෙහි බේලුව ගමේ වස් එළඹි සේක. ඉක්බිති වස් අවසන් කොට බේලුව ගමින් නික්ම පිළිවෙළින් අවුත් සැවත් නුවර ජේතවනයට පිවිසියේය. එකල දම්සෙනෙවි සැරියුත් මහතෙර “බුදුවරයෝ පළමුකොට පිරිනි වෙත්ද? නැතහොත් අගසව්වෝදැ”යි විමසා බලන්නේ අගසව්වෝ පළමුකොට පිරිනිවෙතියි දැන තමාගේ ආයුෂ පවත්නා කාලය බැලී. සත්දිනක් පමණක් එය පවත්නේ යයි දැන “කොතැන්හි පිරිනි වෙන්නෙම්දැයි සිතී. ඉක්බිති “අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙර ඡද්දන්තවිල සමීපයෙහි ද රාහුල තෙර තව්තිසාවෙහිද පිරිණිවියේය. මම වනාහි නාළක ගමේ උපන් ගබඩාවේදීම පිරිනි වන්නෙමි”යි සනිටුහන් කොට බුදුන්ගෙන් අවසර ගෙන හැමතැන එක්රැයක් විසීමෙන් අතරමග මිනිසුන්ට අනුග්‍රහ කරමින් හවස නාළක ගමට පැමිණ රූපසාරී නමැති තමාගේ මෑණියන්ට ධර්‍මාවබෝධය කරවීය. එසේ කරවා ඉල් පසලොස්වක්දා රාත්‍රි පශ්චිම යාමයේදී පිරිණිවියේය. බුදුරද භික්‍ෂු සංඝයා සමග සැවත් නුවරින් නික්ම ක්‍රමයෙන් රජගහවට ගොස් වේළුවනයෙහි විසී. එකල මහමුගලන් තෙර ඉසිගිලි පර්‍වතය අසල කාළසිලා නම් තැන වසන්නේ කර්‍ම බලය නිසා සොරුන් විසින් පහරදෙන ලද්දේ සිහිය ලැබ බුදුරදුන් වැඳ ඉල්මස කළුවර පොහෝදා එහිදී අපවත් විය. ශ්‍රාවක යුගලය පැවිදි වී සතළිස් වසක් විසී යයි දතයුතු.

දෙඅගසව්වන් පිරිනිවන් පා වැඩිකලක් ගතවෙන්ට පෙර බුදුරද විශාල භික්‍ෂු පිරිසක් රජගහවෙන් නික්මී වේසාලියට පැමිණ මහාවනයේ කූටාගාර ශාලාවෙහි විසී. ඉක්බිති එතුමා වේසාලියෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පාවාල චෛත්‍යය තිබෙන තැනට දිවාවිහාරය සඳහා පැමිණ එහිදී ආයු සංස්කරණය අතහැරියේය. මෙසේ පිළිවෙළින් අන්තිම වස වැස උඳුවප් මස මානැකත ඇතිකල්හි “මෙයින් තුන්මසක් ඇවෑමෙන් බුදුරද පිරිනි වෙන්නේය”යි පාවාල චෛත්‍ය භූමියේදී සිහිනුවණින් යෙදී ආයුසංස්කාරය අත්හැරියේය. ඉන්පසු තුන්මසක් ඇවෑමෙන් වෙසක් පුණු පොහෝදා විසා නැකත පවත්නා කල්හි බුදුරද කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල්වෙනෙහි පිරිනිවෙන ආසනයෙහි වැදහොත්තේ “මහරජ, අද සිංහබාහු රජුගේ පුත් විජය කුමරා සත්සියයක් මිනිසුන් සමග ලක්දිවට ගියේය. අනාගතයේදී ඒ ලක්දිව ද රැක්ක මැනවැ”යි සක්දෙව් රජුට කියා පඤ්චමහා අධිෂ්ඨානයක් ද කෙළේය. කවර පස්දෙනෙක්ද? (1.) ලක්දිව මහබෝ පිහිටුවීම සඳහා අශෝක මහරජ බෝධි ශාඛාව ගැනීමට යන්නේය. එකල මහාබෝධියේ දකුණු අත්ත තෙමේම සිඳී රන් කටාරමෙහි පිහිටාවායි අධිෂ්ඨාන කෙළේය. මේ එක් අධිෂ්ඨානයකි. (2.) ලක්දිව එය සිටුවන කල්හි ඒ බෝඅත්ත හිමවලා ගැබට පිවිස සිටීවායි අධිෂ්ඨාන කෙළේය. මෙය දෙවෙනි අධිෂ්ඨානයයි. (3.) සත්වෙනිදා හිම වලාගැබින් බැස රන්කටාරමේ පිහිටන බෝ ගසේ කොළවලින් හා ගෙඩිවලින් ෂඩ්වර්‍ණ රශ්මීහු නික්මෙත්වායි අධිෂ්ඨාන කෙළේය. මෙය තෙවෙනි අධිෂ්ඨානයයි. (4.) දකුණු අකුධාතුව ථූපාරාම චෛත්‍යයෙහි පිහිටන දවසේ යමක ප්‍රාතිහාර්‍ය්‍ය කෙරේවායි අධිෂ්ඨාන කෙළේය. මෙය සිවුවෙනි අධිෂ්ඨානයයි. මාගේ ද්‍රෝණයක් පමණ ධාතූහු මහාසෑයේ පිහිටවන දවසෙහි බුදුවෙස් ගෙන යමක ප්‍රාතිහාර්‍ය්‍ය කෙරෙත්වායි අධිෂ්ඨාන කෙළේය. මේ පස්වෙනි අධිෂ්ඨානයයි.

මෙසේ සන්තිකේ නිදානකථාවෙහි කෘත්‍යසාධකකාලය නිමියේයි.

නිදාන සයයි

ධාතු වර්‍ණනාව

කුසිනාරාවැසි මල්ලයෝ සත්දිනක් උත්සව පවත්වා සත්වෙනිදා බුද්ධ ශරීරය දැවූහ. දීර්‍ඝායුෂ්ක බුදුවරුන්ගේ සිරුර රන් කඳක් මෙන් වෙන් නොවී සිටියි. අපේ බුදුරදුන්ගේ ධාතුහු ද්‍රෝණ දහසයක් පමණ වූහ. “මම වැඩිකලක් නොසිට පිරිනිවෙමි; මාගේ ශාසනය තවම හැමතැන පැතුරුණේ නැත. එබැවින් පිරිනිවියා වූද මාගේ අබැටක් පමණ වූ ධාතුවක් හෝ ගෙන තම තමන් වසන තැන චෛත්‍යයක් කොට පුදපවත්වන මහජනයා ස්වර්‍ගපරායණ වේවා”යි සිතා ධාතූන් විසිර යාමට අධිෂ්ඨාන කෙළේය. එබැවින් විසිරුණු ධාතූහුද නොවිසුරුණු ධාතූහු ද වූහ. දළඳා සතර ද අකුදා දෙක ද නළල ද යන මේ ධාතූහු සත්දෙන නොවිසුරුණාහ. ඉතිරි ධාතුහු විසුරුණාහ. එයින් කුඩා ඒවා අබඇට පමණ වූහ. මධ්‍යම ඒවා දෙකට කැඩුණු සහල් ඇට පමණ වූහ. විශාල ඒවා මැදින් ගැලවී ගිය මුංපියලි පමණ වූහ. කුඩා ධාතු සමන්මල් කැකුළු පැහැයෙන් යුක්ත වෙති. මධ්‍යම ධාතු පිරිසිදු කළ මුතුඇට පැහැයෙන් යුක්තය. විශාල ධාතු රන් පැහැයෙන් යුක්තවෙති. කුසිනාරාවැසි මල්ලයෝ සත්දිනක් ධාතු පූජාව කොට සත්වෙනිදා ඒවා බෙදූහ.

(34) එක් ද්‍රෝණයක් රජගහවෙහි විය; එකක් වේසාලී නුවර විය; එකක් කපිල වස්තුවෙහි විය; එකක් අල්ලකප්පයෙහි විය; (35) එකක් රාමගාමයෙහි විය; එකක් වේඨදීපක දේශයෙහි විය; එකක් පාවෙය්‍යක මල්ලයන්ගේ රටෙහි විය; එකක් කුසිනාරාවෙහි විය; (36) ද්‍රෝණ බමුණා (ධාතු බෙදූ) ලාහ පිහිටුවා චෛත්‍යයක් කරවිය. සතුටු සිතැති මෞර්‍යයෝ අඟුරු පිහිටුවා චෛත්‍යයක් කළහ. (37) ශාරීරික චෛත්‍යයෝ අටදෙනෙකි; නවවැන්න කුම්හ ස්තූපයයි. (ලාහ පිහිටුවා කළ සෑයයි) දශවෙනි අඞ්ගාර චෛත්‍යය ද එකල්හිම පිහිටියේය. (38) එක් දළදාවක් තව්තිසා දෙව්ලොවය, එකක් නාග ලෝකයෙහි විය; එකක් ගන්‍ධාර රටෙහි විය; එකක් කලිඟු රටෙහිය. (39) ඉතිරි දත් සතළිස ද හිසකෙස් ද ලොම් ද එක එක බැගින් අන්‍ය සක්වළවල දෙවිවරු ගෙන ගියහ. (40) බුදුන්ගේ පාත්‍රය ද සැරයටිය ද සිවුරද වජිරා නුවරය; අඳනය කුරු රටෙහිය; ඇතිරිල්ල කුරරඝරයෙහිය.[13] (41) ඩබරාව ද බඳ පටියද පැළලුප් නුවරය; නහනකඩ චම්පා නුවරය; ඌර්‍ණරෝමධාතුව කොසොල් රටෙහිය; (42) සිවුර බඹලොවය; (ගිහි කාලයේ හිස්වෙළුම) තව්තිසාවෙහිය. පාසාණක චෛත්‍යයෙහි[14] පාසටහන ඇත.[15] (43) වැඩ හිඳිනා ඇතිරිල්ල අවන්ති රටෙහිය; සැතපෙන ඇතිරිල්ල දේව රටෙහිය ගිනිගානා දණ්ඩ මිථිලාවෙහිය; පෙරහන විදේහ රටෙහිය. (44) කරකැත්ත හා ඉඳිකටුකුළාව ඉඳිපත් නුවරය. සෙසු පිරිකර අපරාන්ත ජනපදයෙහිය. (45) ධාතූහු ද්‍රෝණ අටක් වෙති; එයින් සතක් දඹදිවය; රාම ගමෙහි වූ එක් ද්‍රෝණයක් නාරජෙක් රැගෙන ගියේය.

ධාතුවර්‍ණනාව නිමි.

ප්‍රකීර්‍ණක කථාව

දැන් ප්‍රකීර්‍ණක කථාව කිය යුතුය.

හැම බුදුවරුම උතුරුසළ නැකතින් මවුකුසෙහි පිළිසිඳ ගනිති, මහාභිනිෂ්ක්‍රමණය කෙරෙති, දම්සක් පවත්වති, යමක ප්‍රාතිහාර්‍යය කරති. විසා නැකතින් මුල් ප්‍රාර්‍ථනාව කෙරෙති, උපදිති, බුදුවෙති, පිරිනිවෙති. මානැකතින් ශ්‍රාවකසන්නිපාතය ද ආයුසංස්කාරය හැරීමද සිදුකෙරෙති. අස්විද නැකතින් දෙව්ලොවින් බසිති. මේ නැකත් නියමයයි.

බුදුවරුන්ගේ වෙනස්කම් පසකි. කවර පසක්ද? කාල-ආයුෂ-නිමිත්ත-වයස-ප්‍රදහන යන පසයි. එහි ක්‍රමයෙන් ප්‍රඥාධික-ශ්‍රද්ධාධික-වීර්‍යාධික- බෝසත්වරු කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය සතරක්ද, අසංඛ්‍ය අටක්ද, අසංඛ්‍ය සොළසක්ද පෙරුම් පුරාත්. මේ කාල ප්‍රමාණයේ වෙනසයි. දීපංකර-කොණ්ඩඤ්ඤ-අනොමදස්සී-පදුම-පදුමුත්තර-අත්‍ථදස්සී-ධම්මදස්සී-සිද්ධත්‍ථ-තිස්ස යන මේ නව බුදුවරු අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ඇත්තෝය. මංගල-සුමන-සෝභිත-නාරද-සුමෙධ-සුජාත-පියදස්සී-ඵුස්ස යන බුදුවරු අටනම අනූදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝය. විපස්සී බුදුරද අසූදහසක් ආයුෂ ඇත්තේය. සිඛී බුදුරද සැත්තෑ දහසක් ආයුෂ ඇත්තේය. රේවත-වෙස්සභු දෙනම සැටදහසක් අවුරුදු ආයුෂ ඇත්තේය. කකුසඳ-කෝණාගමන-කාශ්‍යප යන බුදුවරු ක්‍රමයෙන් සතළිස්දහස්-තිස්දහස්-විසිදහස් අවුරුදු ආයුෂ ඇත්තෝය. අපේ බුදුරද අවුරුදු සියයක් ආයුෂ ඇත්තේය. හැම බුදුවරුම තමන්ගේ ආයුෂ පසට බෙදා එක් කොටසක් ඉතිරිව තිබියදී පිරිනිවෙති. මේ ආයුෂයේ වෙනසයි.

දීර්ඝායුෂ්ක බෝසත්වරු අවුරුදු සියයක් ඉක්මි කල්හි ජරාජීර්ණාදි නිමිතිවලින් එක එක දැක්කාහුය. අපේ බෝසත්තෙමේ අල්පායුෂ්ක කාලයෙහි උපන්නේ සිවුමසක් ඇවෑමෙන් උයනට යමින් පිළිවෙළින් එක් එක් නිමිත්ත දැක්කේය. මේ නිමිති පහළ වීමේ වෙනසයයි.

දීපංකර-කොණ්ඩඤ්ඤ-අනොමදස්සී-පදුම-පදුමුත්තර-අත්‍ථදස්සී-සිද්ධත්‍ථ බුදුවරුන්ගේ ගිහිගෙයි විසීම දසදහසක් අවුරුදුය. මංගල-සුමන-සෝභිත-නාරද-සුමේධ-සුජාත-පියදස්සී-ඵුස්ස බුදුවරුන්ගේ ගිහිගෙයි විසීම අවුරුදු නවදහසකි. ධම්මදස්සී-විපස්සී බුදුවරුන්ගේ ගිහිකාලය අවුරුදු අටදහසකි. තිස්ස-සිඛී බුදුවරුන්ගේ ගිහිකාලය අවුරුදු සත්දහසකි. රේවත-වෙස්සභු බුදුවරුන්ගේ ගිහිකාලය අවුරුදු හයදහසකි. කකුසඳ බුදුන්ගේ ගිහිකාලය අවුරුදු සාරදහසකි. කෝණාගමන බුදුන්ගේ ගිහිකාලය අවුරුදු තුන්දහසකි. කාශ්‍යප බුදුන්ගේ ගිහිකාලය අවුරුදු දෙදහසකි. අපගේ බුදුන්ගේ ගිහිකාලය අවුරුදු විසිනවයකි. මේ වයසේ වෙනසයි.

දීපංකර-කොණ්ඩඤ්ඤ-සුමන-අනෝමදස්සී-සුජාත-සිද්ධත්‍ථ-කකුසඳ බුදුවරුන්ගේ ප්‍රදහන කාලය දසමසකි; මංගල-සුමෙධ-තිස්ස-සිඛී බුදුවරුන්ගේ ප්‍රදහනය අටමසකි. රේවත බුදුන්ගේ ප්‍රදහනය සත්මසකි. පියදස්සී-ඵුස්ස-වෙස්සභු-කෝණාගමන බුදුවරුන්ගේ ප්‍රදහනය සමසකි. පදුම-අත්‍ථදස්සී-විපස්සී බුදුවරුන්ගේ ප්‍රදහනය අඩමසකි. සෝභිත-නාරද-පදුමුත්තර-ධම්මදස්සී-කාශ්‍යප බුදුවරුන්ගේ ප්‍රදහනය සත්දිනකි. අපේ බුදුන්ගේ ප්‍රදහන කාලය අවුරුදු සයකි. මේ ප්‍රදහනයේ වෙනසයි.

ප්‍රකීර්‍ණ කථාව නිමියේයි.

ප්‍රථම සංගීති කාලය

බිම්බිසාර-සිද්ධාර්‍ථ යන කුමරහු දෙදෙන මිත්‍රයෝ වූහ. ඒ දෙදෙනගේ පියවරුද එසේම මිතුරෝ වූහ. එයින් බෝසත්තෙමේ බිම්බිසාර කුමරුට වඩා අවුරුදු පසකින් වැඩිමහලුය. බෝසත්තෙමේ විසිනව හැවිරිදි කල ගිහිගෙයින් නික්ම ගොස් සය අවුරුද්දක් ප්‍රදහන කොට තිස්පස් වියේදී බුද්ධත්‍වයට පැමිණ බිම්බිසාර රජුගේ රටට පැමිණියේය. බිම්සර රජ පසළොස් වියේදී රාජ්‍යය ලැබුවේය. ඔහු රාජ්‍යයට පැමිණ සොළොස්වෙනි වර්‍ෂයේදී ඔහුට දහම් දෙසී. බිම්සර රජ දෙපණස් වසක් රාජ්‍යය කෙළේය. බුදුන් හමුවෙන්ට පෙර අවුරුදු පසළොසකි; හමුවූ පසු තිස්දහසකි. ඔහුගේ පුත්‍ර වූ අජාසත් තෙමේ ඔහු නසා දෙතිස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඒ රජු රාජ්‍යයට පැමිණ අටවෙනි වර්‍ෂයේදී බුදුරජ පිරිනිවියේය. ඉන්පසු සූවිසිවසක් ඒ රජ රාජ්‍යය කෙළේය. බුදුන් පිරිනිවි සත්දිනකින් සුභද්‍ර නම් වෘද්ධ පැවිද්දා කී “ඇවැත්නි පමණය, ශෝක නොකරව්, විලාප නොකියව්; අපි ඒ මහාශ්‍රමණයාගෙන් මිදුණෙමු” යනාදිය සිහිකරන්නා වූ මහාකාශ්‍යප ස්ථවිරතුමා ධර්‍මවිනය සංගායනා කිරීම සඳහා භික්‍ෂූන්ට උත්සාහ ඉපදවිය. බුදුන් පිරිනිවීමෙන් සාධුක්‍රීඩා දින සතද ධාතු පූජා දින සතද ඉක්මිකල්හි අඩමසක් ඉකුත් විය. දැන් ගිම්හානයෙන් මාස එකහමාරක් ඉතිරිය; වස් එළඹීම ළංවී යයි මහාකාශ්‍යප ස්ථවිරාදි තෙරවරු රජගහවේදී ධර්‍මවිනය සංගායනා කරන්නෙමුයි රජගහවට ගොස් පළමු මාසයේදී විහාරවල කැඩුම් බිඳුම් සංස්කරණය කරවා මධ්‍යම වූ නිකිණි මාසයේදී රැස්ව අජාසත්ත රජු විසින් වේහාර පර්‍වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණී ගුහා දොරටුවෙහි කරවූ දර්ශනීය මණ්ඩපයෙහි ධර්‍මවිනය සංග්‍රහය කළහ. ඒ තෙරවරු වනාහි මහාකාශ්‍යප-උපාලි-අනුරුද්ධ-ආනන්‍ද ආදි පන්සියයක් රහතන් වහන්සේය. එය සත්මසකින් නිමාවට ගියේය. සංගීති අවසානයේදී “මහාකාශ්‍යපාදි තෙරවරු බුදුසසුන පන්දහසක් අවුරුදු කල් පවතින්ට සමර්‍ථ එකක් කළහ”යි හටගත් ප්‍රීති ඇතිව සාධුකාර දෙන්නාක් මෙන් මේ මහපොළොව කම්පාවිය. එය වනාහි (46) පන්සියයක් රහතන් විසින් කරන ලද බැවින් පඤ්චසතා යයිද තෙරුන් විසින්ම කරන ලද බැවින් ථෙරිකා යයි ද කියනු ලැබේ.

ප්‍රථම සංගීති කාලය නිමියේයි.

දෙවෙනි සංගීති කාලය

ඉන්පසු අජාසත්ත රජුගේ පුත් උදයභද්‍ර තෙමේ ඒ රජු මරා සොළොස් අවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහුගේ පුත් අනුරුද්ධ කුමරා ඒ රජු මරා රාජ්‍යය කෙළේය. අනුරුද්ධගේ පුත් මුණ්ඩක තෙමේ ඒ රජු මරා රජ විය. අනුරුද්ධ-මුණ්ඩක දෙදෙනා අටවසක් රාජ්‍යය කළහ. මුණ්ඩකගේ පුත්‍ර නාගදාසතෙමේ ඔහු නසා සූවිසිවසක් රාජ්‍යය කෙළේය. එකල්හි “මෙය පිතෘඝාතක වංශයකැ”යි කිපුණු නාගරිකයෝ නාගදාස රජු පහකොට යහපතැයි සම්මත වූ සුසුනාග නම් ඇමතියා රාජ්‍යයෙහි අභිෂේක කළහ. හෙතෙමේ අටළොස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. (47) අජාතසත්ත-උදයභද්ද රජවරුද අනුරුද්ධ රජ ද නැවත මුණ්ඩ රජ ද නාගදාස ද යන දරු-මුණුබුරු රජහු ද නැවත සුසුනාග රජ ද යන මේ රජවරු සදෙන මගධාධිපති වූ බිම්සර රජු විසින් වජ්ජීන් වැළැක්වීම සඳහා මහාගංගාවට නුදුරු තැන සුනිධ-වස්සකාර ඇමතියන් ලවා කරවූ පාටලීපුත්‍ර නුවර පිළිවෙළින් රාජ්‍යය කළහ. සුසුනාග රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර කාළාසෝක තෙමේ අටවිසි වසක් රාජ්‍යය කෙළේය. ඒ රජුගේ දශවෙනි රාජ්‍ය වර්‍ෂයේ දී බුදුන් පිරිනිවීමෙන් අවුරුදු සියයක් පිරුණි. එකල වේසාලියෙහි දසදහසක් භික්‍ෂූහු දශවස්තූන් ප්‍රකාශ කෙරෙති. එවිට කාකණ්ඩ බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ යශ ස්ථවිර තෙමේ සසුන් පවත් අසා දොළොස් ලක්‍ෂයක් භික්‍ෂූන් මහාවනයෙහි රැස්කර විය. එකල වෙසාලිවස වජ්ජිජාතික පවිටු භික්‍ෂූහු පුෂ්පපුරය (=පාටලීපුත්‍ර) ට ගොස් කාළාසෝක රජුට මෙසේ කීහ. “මහරජ, අපි වේසාලියෙහි මහාවනයේ බුදුන්ගේ ගඳකිළිය පිළිදැගුම් කරමින් වසමු. දැන් වනාහි ගම්වැසි භික්‍ෂූහු ඒ විහාරය අත්පත්කර ගන්නෙමුයි රැස්වෙති. ඔවුන් වැළැක්වුව මැනැවැයි”යි. එවිට රජ මුළාවී එය වැළැක්වීම සඳහා ඇමැතියන් යැවීය. ඒ නිලධාරීහු දේවතානුභාවයෙන් මංමුළා වී නොයෙක් දිශාවන්හි ගියහ. ඔවුන් යැවූ රජ එදා රාත්‍රි කාලයේදී තමා ලෝහකුම්භියෙහි ටැටී සිටින බව දිටී. පිබිදුණු හෙතෙම අතිශයෙන් භයපත් විය. රජුගේ සොහොයුරිය වූ නන්‍දා නමැති රහත් තෙරණිය අහසින් අවුත් (48) අලජ්ජීන්ට අනුබල දී මාගේ ශාසනය පසු බැස්විය. ජීවත් වන්නේම ගැඹුරු වූ ලොහො කුඹු නරකයෙහි උපන්නෙහි (49.) ඔබ විසින් බැරෑරුම් පවක් කරන ලදී. ධාර්මික වූ තෙරවරුන් සමාකර ගනුව. ඒ තෙරවරුන්ට පක්‍ෂ වී ශාසනය නගා සිටුවීම කරව; එසේ කළවිට ඔබට සෙතක් වන්නේය”යි කියා ඉවත්ව ගියාය.

පසුදා පහන් වූ විට රජතෙමේ පුෂ්පපුරයෙන් නික්ම වේසාලියට ගොස් මහාවනයෙහි භික්‍ෂු සංඝයා රැස් කරවා දෙපක්‍ෂයේ වාදය අසා පාවෙය්‍යක භික්‍ෂූන් ධාර්මික බවත්, ප්‍රාචීන දේශවාසී වජ්ජි පුත්‍රයන් අධාර්මික බවත් දැනගෙන “ස්වාමීනි, මම ධාර්මික පක්‍ෂයෙහි සිටිමි; මාගේ අණසකය, ඔබවහන්සේගේ දහම්සකය”යි කියා සංඝයා වැඳ සියනුවරට ගියේය. ඉක්බිති සංඝ තෙමේ මේ අධිකරණය සංසිඳවීම සඳහා බහුජන ඡන්‍දයෙන් (දෙපක්‍ෂයෙන්) තෙරුන් අටනමක් තේරුවේය. (50) සබ්බකාමී තෙරද සාළ්හ තෙරද ඛුජ්ජසෝභිත තෙරද වාසභගාමී තෙරද යන මේ සතර නම ප්‍රාචීන දේශීයයෝය. (51) රේවත තෙරය, සම්භූත සෝණ තෙරය, කාකණ්ඩක පුත්‍ර යස තෙරය, සුමන තෙරය යන මේ සතර නම පාවාදේශවාසීහුය. (52) ඒ රහත් තෙරවරු ඒ දශවස්තූන් සන්සිඳුවීම සඳහා අල්ප ශබ්ද ඇති මහාජනයාගෙන් ගැවසී නොගත් වාලුකාරාමයට ගියහ. එහිදී රේවත තෙර ඒ කරුණු එකිනෙක විචාළේය. සබ්බකාමී තෙර ඒවා කැප නොවෙතියි විසඳීම් කෙළේය. ඉක්බිති ඒ තෙරහු මහාවන විහාරයට ගොස් සියලු භික්‍ෂූන් රැස් කරවූහ. එකල දොළොස් ලක්‍ෂයක් භික්‍ෂූහු රැස්වූහ. නැවත ඒ මහපිරිස මැදදී රේවත තෙරුන් ලවා දශවස්තූන් විචාරාවා අනඳමහ තෙරුන්ගේ ශිෂ්‍ය වූ බුදුරදුන් දැක ඇති අවුරුදු එක්සිය විස්සක් වයසැති සබ්බකාමී තෙරුන් ලවා විසඳවා ඒ දශවස්තූහු ධර්‍මයට විරුද්ධ වෙතියි ශාස්තෘ ශාසනයෙන් ඉවත් වූවාහු යයි නිශ්චය කරන ලදහ. මෙසේ ඒ අධිකරණය (=විවාදය) සංසිඳුවන ලදී.

(53.) සබ්බකාමී තෙරද සාළ්හ තෙරද රේවත තෙරද ඛුජ්ජසෝභිත තෙරද කාකණ්ඩක පුත්‍ර යස තෙරද සාණවාසී සම්භූත තෙරද (54) යන මේ සය නම ආනන්‍ද ස්ථවිරතුමාගේ සමග විසූ ශිෂ්‍යයෝය. වාසභගාමික තෙරද සුමන තෙරද යන දෙනම (55) අනුරුද්ධ තෙරුන්ගේ ශිෂ්‍යයෝය. මෙසේ ඒ තෙර අටනම බුදුරදුන් දුටුවෝය. මෙසේ ඒ තෙරහු ත්‍රිපිටකධර පිළිසිඹියාපත් සත්සියයක් භික්‍ෂූන් තෝරා වේසාලියේ වාලුකාරාමයෙහි රැස්ව කාළාසෝක රජු විසින් ශුද්ධ කරමින් ධර්‍ම සංගීතිය කළහ. එය අටමසකින් නිමියේය. (56) සත්සියයක් තෙරුන් විසින් කළ බැවින් ඒ සංගීතිය ‘සත්තසතා’ යයිද පෙර කළ සංගීතිය ගණන් ගෙන දෙවෙනි සංගීතිය යයිද කියනු ලැබේ.

දෙවෙනි සංගීති කාලය නිමියේයි

තෘතීය සංගීති කාලය

කාළාසෝක රජ සංගීති කාලයෙන් අටළොස්වෙනි වර්‍ෂයෙහි දිවංගත විය. ඔහුගේ පුත් භද්දසේනය, කෝරණ්ඩ වණ්ණය, මඞ්කරය, සභඤ්ජහය, ජාලිකය, සඤ්ජයය, උභයය, කෝරව්‍යය, නන්‍දිවඩ්ඪනය, පඤ්චමතය යන සොහොයුරෝ දශදෙන දෙවිසි අවුරුද්දක් රාජ්‍යය කළහ. උග්ගසේනන්‍දය, කනකනන්‍දය, චණ්ඩකනන්‍දය, භූතපාලනන්‍දය, රඨපාලනන්‍දය, විසාණකනන්‍දය, දසසිද්ධකනන්‍දය, කේවට්ටනන්‍දය, ධනනන්‍දය යන පෙර සොරුන්ව විසූ නන්‍දයෝ නව දෙනෙක් පාටලී පුත්‍රයෙහි දෙවිසි අවුරුද්දක් රාජ්‍යය කරවූහ. ඉක්බිති චාණක්‍ය බ්‍රාහ්මණයා නවවෙනි ධනනන්‍ද රජු මරා මෞර්‍ය වංශයෙහි උපන් චන්‍ද්‍රගුප්ත කුමරා මුළු දඹදිව රාජ්‍යයෙහි අභිෂේක කරවිය. ඒ රජ පාටලීපුත්‍ර නමැති පුෂ්පපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවිය. ඔහුගේ පුත් බින්‍දුසාර රජ අටවිසිවසක් රාජ්‍යය කරවිය. බින්‍දුසාර රජුගේ පුත්‍රයෝ එක්සිය එක් දෙනෙක් වූහ. ඔවුනතුරෙන් මෞර්‍ය වංශික සුර්‍ධමා දේවියගේ පුත්‍ර වූ අශෝක කුමාර තෙමේ තමා හා එක්කුස උපන් තිස්ස කුමරු හැර ඉතිරි අනූනවයක් කුමරුන් මරා තිස්හත්වසක් රාජ්‍යය කෙළේය. හෙතෙම සතර අවුරුද්දක් අභිෂේක නොලැබම රාජ්‍යය කොට ඒ සතර අවුරුද්ද ඇවෑමෙන්, බුදුන් පිරිනිවීමෙන් දෙසියදහඅටවෙනි වර්‍ෂයේදී මුළු දඹදිව ඒකරාජ්‍යාභිෂේකයට පත්විය. අභිෂේකයෙන් සිවුවෙනි වර්‍ෂයේදී නිග්‍රොධතෙරනම පිරිවර සහිත රජු බුද්ධ සාසනයෙහි නොසෙල්වෙන සේ පැහැදුනෙකු කරවිය.

එකල රජුගේ බාලසොහොයුරු තිස්ස උපරජ ද සංඝමිත්තා කුමරියගේ ස්වාමි පුරුෂයා වූ අග්ගිබ්‍රහ්ම නමැති රජ කුමරාද පැවිදි වූහ. ඒ වර්‍ෂයේ චන්‍ද්‍රග්‍රහණය පැවති දිනයේදී රජතෙම දඹදිව අසූහාරදහසක් නුවරවල අසූහාරදහසක් විහාරයන් කරවිය. ඉක්බිති විහාර පූජාවේ සත්වෙනි දිනදී ශාසනදායාදබව පතමින් තමාගේ පුත්‍ර වූ පිරුණු විසිවයස් ඇති මිහිඳු කුමරුද අටළොස්වියැති සංඝමිත්තා නමැති දුවණිය ද පැවිදි කරවිය. බුද්ධ පරිනිර්‍වාණයෙන් දෙසියසූවිසිවෙනි වර්‍ෂයේදී දඹදිව අසූහාරදහසක් චෛත්‍යයන් පිහිටුවීම ද ධාතු පැතිරවීම ද කෙළේය.

එකල මොග්ගලීපුත්තතිස්ස තෙර වස් එක්සැටක් ඇත්තේ විය. රජුගේ අභිෂේකයෙන් අටවෙනි වර්‍ෂයේදී “මෙතැන් පටන් මා රාජ්‍යය කරන කල්හි භික්‍ෂූන්ට ප්‍රත්‍යය දුලර්‍භ නොවෙත්වා”යි සිතා ශාසනික කටයුතු සඳහා දිනකට පන්ලක්‍ෂයක් පරිත්‍යාග කෙළේය. මෙසේ එකල බුදු සස්නෙහි මහත් ලාභ සත්කාර උපණි. තීර්ථකයෝ ලාභය පතමින් තුමූම සස්නෙහි පැවිදිව ස්වකීය දෘෂ්ටීන් ප්‍රකාශ කරති; පෝය කිරීම් ආදියෙහි පෙනී සිටිති. භික්‍ෂූහු ඔවුන් සමග පෝය නොකරති. ඒ නිසා සත් හවුරුද්දක් අශෝකාරාමයෙහි පෝය කිරීම නැවතුණි. එකල මොග්ගලීපුත්තතිස්ස තෙර දහසක් පමණ රහත් තෙරුන්ට ප්‍රමුඛ වූයේ, ධර්‍මාශෝක රජු විසින් උපස්තම්හිත වූයේ සියලු ශාසනමලය ශුද්ධකොට පැළලුප් නුවර අශෝකාරාමයේදී දුරුතු මාසයේදී ධර්‍මවිනය සංග්‍රහය කෙළේය. ඒ වර්‍ෂය වනාහි බුදුන් පිරිනිවීමෙන් දෙසියසූතිස් වෙනි අවුරුද්ද විය. ඒ සංගීතිය නව මසකින් නිමියේය; එහෙයින් දෙවෙනි වර්‍ෂයේ වප්පුර පසළොස් වක්දා මහාපවාරණ දිනයේදී නිමාවට ගියේය. එකල රජුගේ සතළොස්වෙනි අභිෂේක වර්‍ෂය විය. මොග්ගලීපුත්තතිස්ස තෙර දෙසැත්තෑවස් ඇත්තේ විය. (57.) මේ සංගීතිය දහසක් භික්‍ෂූන් විසින් කරන ලද බැවින් සාහස්සිකා යයි ද පෙර සංගීති දෙක ගණන් ගෙන තෙවෙනි සංගීතිය යයි ද කියනු ලැබේ.

තෘතීය සංගීති කාලය නිමියේයි

ලංකාශාසන කථාව

අජාසත් රජුගේ අටවෙනි වර්‍ෂයේදී බුදුරද පිරිනිවියේය. ඒ පිරිනිවි වර්‍ෂයේදීම සිංහබාහු රජුගේ පුත්‍ර වූ විජය කුමරා මේ ද්වීපයට අවුත් මෙහි මෙහි මුල් රජ වූයේ මෙය මිනිස් වාසයක් කෙළේය. ඒ විජය රජ තිස්අටවසක් මෙහි රාජ්‍යයකොට පරලොව ගියේය. ඊට අනතුරුව එක් වර්‍ෂයක් රාජ ශුන්‍ය විය. විජය රජුගේ මරණයෙන් තෙවෙනි වර්‍ෂයේදී ඒ රජුගේ මුණුබුරු වූ පණ්ඩුවාසුදේව කුමරා රාජ්‍යයට පැමිණියේය. හෙතෙම අවුරුදු තිහක් රාජ්‍යයකොට පරලොව ගියේය. ඒ වර්‍ෂයේදීම ඔහු පුත් අභය කුමරා රාජ්‍යය කෙළේය. අභය රජුගේ විසිවෙනි වර්‍ෂයේදී ඔහුගේ මුණුබුරු පණ්ඩුකාභය නම් දාමරිකයා රාජ්‍යය ගත්තේය. රාජ්‍යය ගෙන සතළොස් හවුරුද්දක් අභිෂේක නොකොට සිටියේය. අභිෂේකයෙන් පසු සැත්තෑ වසක් රාජ්‍යය කොට පරලොව ගියේය. ඒ වර්‍ෂයේදී ඔහුගේ පුත් මුටසීව රාජ්‍යයට පැමිණියේය. හෙතෙම සැටවසක් රාජ්‍යය කොට පරලොව ගියේය. මෙසේ තිස්අටක්ද එකක්ද තිසක්ද විස්සක්ද සතළොසක්ද සැත්තෑවක්ද සැටක්දැයි මේ සියල්ල එක්කොට දෙසියතිස්හය වර්‍ෂ කෙනෙක් වෙති. යම් වර්‍ෂයකදී මුටසීව රජ පරලොව ගියේද ඒ වර්‍ෂයේදී ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරා උඳුවප් මාසයේදී ප්‍රථමාභිෂේකය ලැබුවේය. හෙතෙම අශෝක රජ ඕහට වල්විදුනාවක් (=චාමරයක්) ද නළල් පටක්ද ඡත්‍රයක් ද කඩුවක්ද පාවහන් දෙකක්ද අභිෂේකෝපරණයන්ද දහම් පඬුරක් වශයෙන් රත්නත්‍රය සරණ යාමද දන්වා එවීය. ක්‍ෂත්‍රිය කන්‍යාවක්ද එවන ලදී. සියලු ඇමතියෝ ඒ අභිෂේකෝප කරණගෙන වෙසක් පුර පසළොස්වක්දා දෙවෙනි අභිෂේකය කළහ. (58-59) ස්වාමිභක්තිය ඇති ඒ ඇමතියෝ ධර්‍මාශෝක රජුගේ කීම අසා කලින් අභිෂේකයට පැමිණෙව් ලංකාවාසීන්ගේ හිත සුවයෙහි ඇලුණු ලංකේන්‍ද්‍රයා උඳුවප් මස පුරපෑළවියදා නැවත අභිෂේක කළහ.

එකල සක්දෙව්රජ මිහිඳු තෙරුන් කරා එළඹ “ස්වාමීනි, මුටසීව රජ මළේය. දැන් දේවානම්පියතිස්ස රජ රාජ්‍යය කරයි. අනාගතයෙහි මහින්‍ද නම් භික්‍ෂු නමක් තාමුපර්ණි ද්වීපය මිසදිටුවෙන් මුදවන්නේ යයි බුදුරදුන් විසින් කියන ලදී. එබැවින් දැන් ඒ දිවයිනට යාමට සුදුසු කාලයයි. මම ඔබට උපකාර වන්නෙමි”යි කීය. පියරජුගේ අභිෂේකයෙන් නවවෙනි වර්‍ෂයේදී මහින්‍ද ස්ථවිරතුමා ත්‍රිපිටකධර ගණනායකයෙක් විය. එකල පොසොන් පසළොස්වක්දා තාමුපර්ණි ද්වීපයෙහි ජෙඨමූල නම් නැකත් කෙළියක් විය. අභිෂේකයෙන් එක්මසක් ගත වූ දේවානම්පියතිස්ස තෙමේ සතළිස් දහසක් පිරිවර ඇතිව නුවරින් නික්ම දඩයම් කරනු කැමතිව මිශ්‍රක පර්‍වතයට ගියේය. එකල මිහිඳු තෙර (උපසම්පදාවෙන්) දොළොස්වස් ඇත්තේ විය. එතුමා උපාධ්‍යාය තෙරුන්ගේ ද සංඝයාගේ ද අණින් ශක්‍රයා විසින් ආරාධිත වූයේ ඉත්ථිය-උත්තිය-භද්දසාල-සම්බල යන තෙරුන් සමග වේදිස පර්‍වතයෙන් අහසට නැග අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටි මිශ්‍රක පර්‍වතයෙහි බැස්සේය. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු දෙසීයකට පසු ධර්‍මාශෝක රජුගේ අභිෂේකයෙන් අටළොස්වෙනි වර්ෂයෙහි දොළොස්වස් ඇති මිහිඳු තෙර ලක්දිවට ආවේ යයි දතයුතු.

එදවස්හි අභිෂේකයෙන් එක්මස් ඇති දේවානම්පියතිස්ස තෙමේ බුදුසසුනේ පුවත් සිහිකරමින් මිශ්‍ර පර්‍වතයට ගියේය. තෙරුන් කී (60) “මහරජ, අපි ධර්‍ම රාජයන්ගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු” යන්න අසා “ආර්‍ය්‍යයන් වහන්සේ ආවාහු” යයි සිතී. එදවස්හිම තෙරණුවෝ ඒ රජුට චුල්ලහත්‍ථිපදොපම සූත්‍රය දෙසි. දේශනාවසානයෙහි සමචිත්තපරියාය සූත්‍රය දෙසී. එය අවසන්හි අසංඛ්‍යයක් දෙවිවරුන්ට ධර්‍මාමෘතය පානය කරවා චේතියගිරි (=මිහින්තල)යෙහි විසී.

තෙරුන් දිවයිනට ආකාලය නිමි.

දෙවෙනිදා රජුගේ අණින් තෙරවරුන්ට බිම ආසන පැණවූහ (එය දුටු නෛමිත්තිකයෝ) “මොවුන් විසින් පොළොව ගන්නා ලදී. මොවුහු මේ දිවයිනට ස්වාමීහු වන්නාහ”යි කීහ. එදවස්හි තෙරනම ධර්‍මරත්න වර්‍ෂාව වස්වමින් දෙදහස් පන්සියයක් ප්‍රාණීන්ට ධර්‍මාමෘතය පොවා මේඝවන උයනෙහි විසී. පොසොන්මස අවපක්‍ෂයේ දෙවෙනිදා මහාමේඝවනය පිළිගත්තේය. දියබින්දු බිම වැටීම සමග පොළොව කම්පා විය. මහතෙර මේඝවන උයනෙහි සවිසි දිනක් වැස මුල් ඇසළ මස පුරතෙළෙස්වක්දා රජගෙයි දන් වළඳා රජුට අප්‍රමාද සූත්‍රය දෙසා සෑගිරියට ගියේය. ඇසළපුණු පොහෝදා අරිට්ඨ ඇමති ආදි පස්පණස් දෙනෙකුන්ද ඇමතිගේ දෙටු සොහොයුරු දෙදෙනාදැයි සත්පණස් දෙනෙකුන්[16] පැවිදි කරවිය. ඔවුහු උපසම්පදා මාලකයේදී රහත්බවට පැමිණියහ. එකල මහමිහිඳු තෙර දෙසැටක් රහතුන්ට ප්‍රමුඛ වූයේ සෑගිරියෙහි පළමු වස විසී.

මහමෙව්නා උයන පිළිගන්නා දවසේදී අනුලා දේවිය පැවිදිවෙනු කැමතිව රජුට දැනුම් දුණි. රජතෙමේ “ස්වාමීනි, අනුලාව පැවිදි වෙනු කැමතිය. ඇය පැවිදි කළ මැනවැ”යි තෙරුන්ට කීය. තෙරනම “මහරජ, මාගේ සොහොයුරියක් වූ සංඝමිත්තා නම් ස්ථවිරියක් ඇත. මේ ද්වීපයෙහි පෙර තුන් බුදුවරුන්ගේ බෝධි පිහිටියහ; අපේ බුදුන්ගේ බෝධියත් පිහිටිය යුතුය. එබැවින් සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාවක්ද රැගෙන එන සේ (ධර්‍මාශෝක රජුට) හසුන් යවනු මැනවැ”යි කීය. රජතෙම “යහපත, ස්වාමීනි”යි තෙරුන්ගේ කීම පිළිගෙන ඒ වස්කාලය තුළදීම තමාගේ බෑනා වූ අරිට්ඨ ඇමතියා මහාබෝධි ශාඛාව හා සංඝමිත්තා තෙරණිය ගෙන ඒම සඳහා යැවී. අරිට්ඨ ඇමතියා පාටලී පුත්‍රයාට ගොස් අශෝක රජුට ද සංඝමිත්තා ස්ථවිරියට ද මේ කරුණ දැන්වී. රජතෙම ආර්‍ය සංඝයා සමග මහබෝ මැඩට ගියේය. වප් පසළොස්වක්දා රජතෙමේ “ඉදින් මහාබෝධිය ලක්දිව පිහිටිය යුතු නම්, මමත් සස්නෙහි අචලශ්‍රද්ධා ඇත්තෙක් නම්, බෝධි ශාඛාව මේ රන් කටාරමෙහි පිහිටිය යුතුය”යි සත්‍යක්‍රියා කෙළේය. සත්‍යක්‍රියාව සමගම බෝඅත්ත සවස් කාලයෙහි රන් කටාරමෙහි පිහිටියේය. එකෙණෙහිම එය හිමවලා ගැබකට පිවිසී සත්දිනක් සිටියේය. සත්වෙනිදා හිමවලා ඉවත් වූ පසු මහාබෝධිය සම්පූර්‍ණ වූ කඳ-අතු-කොළ ඇතිව ගෙඩි පසක්ද ඇතිව රන් කටාරමෙහි දෘශ්‍යමානවිය අශෝක ධර්‍මරාජ තෙමේ බෝධිය දැක හටගත් ප්‍රීති ඇත්තේ මුළු දඹදිව රාජ්‍යයෙන් අභිෂේක කොට සත්දිනක් ඒ ස්ථානයෙහිම නැවතී සිටියේය. ඉක්බිති හිමවලාවේ සිටි සත්දිනය හා අභිෂේක සත්දිනය ඉක්මවා කළුවර පොහෝදා එක්දවසකින්ම පාටලි පුත්‍රයාට ගොස් ඉල්පුර පෑළවියදා මහාබෝධිය පැදුම්දෙස මහසල්ගසමුල තැබීය. රන්කටාරමෙහි පිහිටි දින පටන් සතළොස්වෙනිදා බෝධියෙහි අලුත් දලු හටගත්හ. ඒවා දැක රජතුමා නැවත දඹදිව රාජ්‍යයෙන් පිදී. ඒ කාර්තික උත්සවය පුරපස දෙවෙනිදා සිට දෙවෙනි ඉල් මාසයේ පසළොස්වක දක්වා පැවැත්තේය.

මහාබෝධි ගමනාරම්භ කාලයයි

අකුධාතුව පිහිටීම

එදවස්හි මිහිඳුතෙර සුමන සාමණේරයන් අමතා “සාමණෙරයෙනි, දඹදිව තාගේ සීයා වෙතින් ධාතු රැගෙන සක්දෙව් රජු විසින් පුදනු ලබන දකුණු අකුධාතුව ද ගෙන “මහරජ, අප ලක්දිවට යවා කවර හෙයකින් ප්‍රමාද වෙහිද’යි විචාරා එව”යි කීය. සුමනතෙමේ “යහපති, ස්වාමීනි”යි කියා ඒ කීම පිළිගෙන එකෙණෙහිම පාත්‍ර සිවුරු ගෙන අහසට නැගී පැළලුප් නුවර දොරටුවෙහි බැස රජු සමීපයට ගොස් ඒ කාරණය දැනුම් දුණි; ඒ කාර්තික උත්සවය ද දිටී. රජතෙමේ සතුටුව සාමණේරයන් අතින් පාත්‍රය ගෙන මුංපියලි වැනි ධාතූන්ගෙන් එය පුරවා දුණි; හෙතෙම එය ගෙන සක්දෙව් රජු වෙත පැමිණ ඒ කාරණය කීය. “යහපති, ස්වාමීනි”යි කියා සක්දෙව්රජ යොදුනක් පමණ වූ මැණික් සෑය විවෘත කොට දකුණු අකු ධාතුව ගෙන සුමන හිමිට දුණි. හෙතෙමේ ඒවා ගෙන සෑගිරියට පැමිණියේය. ඉක්බිති මිහිඳුතෙර අශෝක රජු රන් ධාතූන් සෑගිරියෙහි තබා සෙවනැලි වැඩෙන කල්හි දකුණු අකු ධාතුව ගෙන මහානාග වනයට ගියේය. රජතෙම දා කරඬුව රැගෙන ඇත් කුඹෙහි තැබී. (60) අකු ධාතුව දෙව්ලොවින් අවුත් වප්පුර පසළොස්වක්දා මෙහි ඇත් කුඹෙහි පිහිටියේය. (61) ප්‍රීතියට පත් ඇත්රජ කුඤ්චනාදය පැවැත්විය. මහාඅකාල මේඝයක්ද හාත්පසින් නැගී (62) ඒ සමාගමයෙහි පොකුරු වැස්සක් වැස්සේය. ජලය කෙළවර කොට ඇති පොළොව ද කම්පා විය. චෛත්‍යය නිමකරන තාක් රජතෙමේ කීපදිනක් මහාසත්කාර කොට ස්තූපාරාමයෙහි දකුණු අකු ධාතුව පිහිටෙව්වේය. (63) රජතෙමේ ථූපාරාමයෙහි චෛත්‍යය නොයෙක් රත්නාදියෙන් සරසවා හැමදා පින් රැස් කරවීය.

අකු ධාතුව පැමිණි කාලයයි

මහබෝ පැමිණීම

මහාබෝධි ශාඛාව පැළලුප් නුවරට පැමිණිදාම සංඝමිත්තා තෙරණිය ‘මහරජ, මම තාම්‍රපර්ණි ද්වීපයට යන්නෙමි”යි රජුට කීය. “එසේනම් දුවණියෙනි, මහබෝ අත්ත ද රැගෙන යනු මැනවැ”යි කියා ඉල්මස කළුවර පෝයදා එය ගංගා නදියේ නැවකට නංවා තෙමේද වින්‍ධ්‍යා වනය ඉක්මවා අනුක්‍රමයෙන් සත්දිනකින් තාම්‍රලිප්තියට පැමිණියේය. රජතෙමේ මූදුවෙරලෙහි මහාබෝධිය සත්දිනක් තබා දඹදිව රාජ්‍යයෙන් පිදීය. උඳුවප්මස පළමු පෑළවියදා අශෝක රජ මහාබෝධිය පිටත් කරවිය. නාගයෝ ආශ්චර්‍යයන් දැක තෙරණියට යාච්ඤා කොට මහාබෝධිය ගෙන ගොස් සත්දිනක් නාග රාජ්‍යයෙන් පුදා නැවත ගෙනවුත් තැබූහ. එදවස්හිම නැව දඹකොළ පටුනට පැමිණියාය. දෙවන පෑතිස් රජ මූදෙන් ගොඩ නැගී මූදු තෙර බෝධිය තබා තුන් දිනක් මුළු ලංකා රාජ්‍යයෙන් පිදී. සිවුවෙනි දිනය වූ උඳුවප් මස පුරදසවක්දා මහාබෝධිය රැගෙන වුත් අනුරාපුරයට පැමිණියේය. තුදුස්වක්දා බෝධිය ජාතිසම්පන්න කුලයන් සොළොසගේ අත්වලින් මිදුණු කෙණෙහි අසූරියනක් අහසට නැග ෂඩ්වර්‍ණ රශ්මීන් විහිදුවමින් හිරු බසිනා තෙක් අහසෙහි සිටියාය. හිරු බැස්ස කල්හි රෙහෙණ නැකතින් මහමෙව්නා උයනේ පොළොවෙහි පිහිටියාය. එය එහි පිහිටි කෙණෙහි දිය කෙළවර දක්වා මහපොළොව කම්පා විය.

අනුලා දේවිය පිරිවර සහිතව සංඝමිත්තා තෙරණිය සමීපයෙහි පැවිදිව නොබෝ කලකින් රහත්බව ලැබීය. දෙවෙනි වර්‍ෂයේ පළමු ඉල්මස වස් පවාරණ දිනයේදී මහාඅරිට්ඨ තෙර සෑගිරියේදී ලැබූ උපසම්පදා ඇත්තේ විනය පිටකය කටපාඩමින් කීවේය.

මහබෝ පැමිණි කාලය නිමියේයි

මිහිඳු තෙරුන් අපවත් වීම

61. ධර්‍මාශෝක රජුගේ අටළොස්වෙනි රාජ්‍ය වර්‍ෂයේදී මහාබෝධිය මහාමේඝ වනයෙහි පිහිටියේය. එයින් දොළොස්වෙනි වර්‍ෂයේදී රජුගේ අගමෙහෙසි වූ අසන්ධිමිත්‍රාව පරලොව ගියාය. එයින් සිවුවෙනි වර්‍ෂයේදී රජතෙම තිස්සා[17] නමැති දේවියක් අගමෙහෙසි තනතුරෙහි තැබී. එයින් තෙවෙනි වර්‍ෂයේදී අඥාන වූ, රූපයෙන් මත්වූ ඒ දේවිය “මේ රජ මටත් වඩා මහාබෝධියට මමත්‍වය කෙරේය”යි ක්‍රෝධව සගතව මඩු කටු යෙදීමෙන් මහාබෝධිය නැසී. එයින් සිවුවෙනිදා රජතෙම දුකට පත් වූයෙන් නොසතුටු සිතැත්තේ රෝගයකින් පෙළී පරලොව ගියේය. (65) ධර්‍මාශෝක රජ සත්තිස් වසක් රාජ්‍යය කෙළේය. හෙතෙමේ ද මාරමුඛයට පත්විය. ඒ අසත්පුරුෂයා වළක්වන්නේ කවරෙක්ද?

බුද්ධ පරිනිවාර්‍ණයෙන් අවුරුදු දෙසිය පණස් පසක් ඉක්මි කල්හි ධර්‍මාශෝක රජ දිවංගත විය. (66) “දේවානම්පියතිස්ස රජ නොයෙක් පින් රැස්කොට මරණයට පැමිණියේය. (67) ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරු වූ, මුටසීව රජුගේම පුත්‍ර වූ උත්තිය රජ රාජ්‍යය කෙළේය. (68) ඒ උත්තිය රජුගේ අටවෙනි රාජ්‍ය වර්‍ෂයේදී මිහිඳු මහතෙර සැටවස් ඇත්තේ වස්කාලය තුළ සෑගිරියෙහි විසී (69) ලංකාද්වීපයට දියුණුවක් කළ ඒ මහතෙර උඳුවප් මස පුර අටවක්දා පිරිනිවියේය. බුදුන් පිරිනිවීමෙන් දෙසිය අසූහතරවෙනි වර්‍ෂයේදී මිහිඳු මහතෙර පිරිනිවියේය.

70. ඒ උත්තිය රජුගේ නවවෙනි වර්‍ෂයේදී ලෝකයට ප්‍රදීපයක් වැනි වූ ඒ සංඝමිත්තා තොමෝ පණස්නව වසක් හත්‍ථාළ්හක ආශ්‍රමයෙහි වාසයකොට පිරිනිවියාය. (71.) ඒ උත්තිය රජ දශ වර්‍ෂයක් රාජ්‍යයකොට රෝගයකින් පෙළුණේ පරලොව ගියේය.

මිහිඳු තෙරුන් පිරිනිවි කාලයයි.

ධාතු පැමිණීමේ කථා

72. ඊට අනතුරුව උත්තිය රජුගේ බාලසොහොයුරු වූ සත්පුරුෂ සේවනය ඇති මහාසීව තෙමේ දසවසක් රාජ්‍යය කෙළේය. මහාසීවගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු සූරතිස්ස තෙමේ පණස් හැවිරිදි කල්හි කරන ලද අභිෂේක ඇත්තේ දසවසක් රාජ්‍යය කෙළේය. (73.) රත්නත්‍රය මාමක වූ සූරතිස්ස රජ සැටවයස් ඇත්තේ දසඅවුරුද්දක් රාජ්‍යය කෙළේය. දෙමළ නාවිකයකුගේ පුත්‍ර වූ සේනය ගුත්තිකය යන දෙදෙන මහත් බල ඇත්තාහු සූරතිස්ස රජු නසා දෙවිසිවසක් ධර්‍මයෙන් රාජ්‍යය කළහ. ඉක්බිති අභය-දේවානම්පියතිස්ස-උත්තිය-මහාසීව-මත්තාභය-මහානාග-සූරතිස්ස-කනක යන අටදෙනට නවවෙනි වූ අසේල නමැති මුටසීව රජුගේ පුත්‍රයා ඒ දෙමළුන් දෙදෙන නසා දසවසක් රාජ්‍යය කරවිය.

74. එළාර නමැති රජ අසේල රජු මරා සූසාළිස් වසක් රාජ්‍යය කෙළේය.

දැන් දකුණු දළදාව හා ලලාට ධාතුව ආ සැටි කියයුතු.

ධාතු බෙදන කල වනාහි බුදුන්ගේ ලලාට ධාතුව කුසිනාරාවැසි මල්ලයන්ගේ කොටසෙහි විය. මහාකාශ්‍යප ස්ථවිරතුමා “බුදුරද වැඩ සිටියදීම ලලාට ධාතුව තාම්‍රපර්ණි ද්වීපයෙහි පිහිටිය යුතු යයි අනුදත් සේක; එබැවින් එය මට දුන මැනවැ”යි මල්ල රජුන්ට කියා ඉල්ලා ගත්තේය. එය රැගෙන තමාගේ ශිෂ්‍ය වූ නන්‍ද තෙරුන්ට පාවාදී “කාකවණ්ණතිස්ස නම් රජ මේ ලලාට ධාතුව තාම්‍රපර්ණි ද්වීපයෙහි සේරුවිල කෙළවරෙහි වරාහ නමැති ගල් පොකුණ මත්තෙහි පිහිටුවා චෛත්‍යයක් සහිත සංඝාරාමයක් කරවන්නේය”යි ධාතු වංශය කියා “ඔබ මේ ධාතුව වේසාලියෙහි මහාවනයේ කූටාගාර ශාලාවෙහි බුදුන් වැඩවිසූ ගඳකිළියෙහි තබා පූජාකොට ජීවිතාවසානයෙහි තමාගේ ශිෂ්‍යයකුට ධාතුවංශය කිය යුතුය”යි වදාරා පිරිනිවියේය. නන්‍ද මහාස්ථවිරතුමා ඒ කී සේ පිළිපැද්දේය. එතුමාගේ ශිෂ්‍ය වූ චන්‍ද්‍රගුත්ත තෙර නමද එසේ පිළිපදිමින් සැවත් නුවර ජේතවනයෙහි බුදුන් විසූ ගඳකිළියෙහි තබා පූජාකොට පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය භද්දසේන තෙර එසේ පිළිපදිමින් බරණැස ඉසිපතනයෙහි තබා පූජාකොට පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය වූ ජයසේන තෙරනම රජගහවෙහි වේළුවනයේ ගඳකිළියෙහි තබා පුදා පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය මහාසංඝරක්‍ඛිත තෙර එසේ පිළිපදිමින් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි ගඳකිළියේ තබා පූජාකොට පිරිනිවියේය. එතුමාගේ ශිෂ්‍ය මහාදේවතෙර ඒ ධාතුව ගෙන අහසට නැග මහානාග නම් උපරජු ලක්දිව රුහුණු දනව්වේ මාගම සේසත් නැංවූ කල්හි හත්ථෝදනව්වෙහි (?) කුක්කුට පබ්බත කන්‍දරයෙහි මහසල් ගස මුලට අහසින් බැස්සේය. එකල්හි මහාකාළ නමැති උපාසකයෙක් අඹදරුවන් සහිතව ඒ තෙරුන්ද ධාතූන් වහන්සේද මනාසේ පරිහරණයකොට දිගුකලක් විසී. පෝය දිනයන්හි ඒ ධාතුවෙන් සවණක් රැස් විහිදුණාහ. ඒ පෙදෙස බුදුන් ජීවත්වන පෙදෙස මෙන් විය.

මේ මහානාග රජ කවරෙක්ද යත්? දෙවනපෑතිස් රජුගේ දෙවෙනි සොහොයුරු යුවරජ මහානාග නමැත්තේ විය. හෙතෙම සොහොයුරාගේ භාර්‍යා වූ දේවියට බිය වූයේ තමාගේ දේවියද බලවාහනයන් ද රැගෙන රුහුණට ගියේය. ඔහුගේ මෙහෙසිය අතරමග ලංකා විහාරයේදී[18] පුතකු වැදී. සොහොයුරාගේ ද විහාරයේද නම් ගෙන ඔහුට ලංකාතිස්ස යයි නම් කෙළේය. යුවරජ එතැනින් ගොස් මාගම වසන්නේ රුහුණු පෙදෙසේ රාජ්‍යය කෙළේය. ඉක්බිති එක්දිනක් රජතුමා මහාකාළ උපාසකයාගෙන් ධාතුප්‍රවෘත්තිය අසා ඔහු මාගර්‍ දේශකයා කරගෙන සිවුරඟ සෙනග සමග මහාදේව තෙරුන් වෙත ගොස් වැඳ මෙසේ කීය: “ස්වාමීනි, ඔබ සමීපයෙහි අපගේ බුදුරදුන්ගේ ලලාට ධාතුව ඇතැයි ඇසීමි; එය ගෙනයන්ට ආවෙමි”යි. තෙරනම යහපතැයි කියා රජුට ධාතූන් වහන්සේ පෙන්වීය. රජ ධාතුප්‍රාතිහාර්‍යය දැක තුටුපහටු වූයේ එය ඉල්විය. තෙරනම “මහරජ බුදුරද ජීවමාන කල්හි කාවන්තිස්ස නම් රජෙක් මේ දිවයිනේ මහවැලි ගඟේ දකුණු ඉවුරේ සේරු නමැති විල කෙළවර වරාහසොණ්ඩිය මත්තෙහි මේ ධාතුව පිහිටුවා මහාසෑයක් කරවන්නේ යයි ප්‍රකාශකොට එතැන්හි සමවතට සමවැදුණේය. එබැවින් මෙය ගත මැනවැ”යි කියා ධාතුව දුණි. පිරිවර සහිත රජ මහාසත්කාරයෙන් ධාතුනම මාගමට ගෙන ගොස් රාජ භවනයෙන් නුදුරු තැන දාගෙයක් කරවා එහි දාකරඬුව තබා නිරන්තරයෙන් සත්කාර කරමින් දිගුකලක් විසී. පසුකලක රජතුමා තමාගේ පුත්‍ර වූ ලංකාතිස්ස කුමරුට “දරුව, මා පිදූ ධාතූන් වහන්සේ පුදව”යි කියා ධාතුවංශය ද කියාදී ස්වර්‍ගපරායණ විය. ඒ රජු ඇවෑමෙන් ලංකාතිස්ස රජ ද මහාසත්කාර කරමින් රාජ්‍යය කරවිය. අන්තිම කාලයේ දී පෙර කී ලෙස තමාගේ පුත්‍ර වූ ගෝඨාභය කුමරුට ධාතුව පාවාදී දිවංගත විය. ඔහු ඇවෑමෙන් ගෝඨාභය තෙමේ රාජ්‍යය කරවන්නේ එසේම පිළිපැද්දේය. අන්තිම කාලයේදී සියපුත් කාවන්තිස්ස කුමරුට ධාතුවංශය කියා “ම‍ගේ ඇවෑමෙන් මේ ධාතුව එකී තැන පිහිටුවව”යි අනුශාසනාකොට දෙව්ලොව ගියේය.

ඔහු ඇවෑමෙන් කාවන්තිස්ස කුමරා රාජ්‍යය කරවිය. ඔහු කවුඩන්ගේ බස දන්නා බැවින් මෙනම් ඇත්තේ විය. කැළණියේ රජුගේ දූ වූ විහාරදේවිය ඔහුගේ අගමෙහෙසි විය. ඒ දේවිය ගාමිණීඅභය, තිස්ස යන පුතුන් දෙදෙනෙකු වැදී. කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමදේවිය කැළණියේ සිවමහරජුගේ බෑනා වූ අභයරාජ කුමාරයාගේ අගමෙහෙසි විය. ඒ අභයරජ කුමරා ගිරිනුවර රාජ්‍යය කරවන කල්හි කාවන්තිස්ස රජ තමාගේ පුත් ගැමුණු කුමරු කැඳවා “පුත්‍රය, තෝ ගිරිනුවරට වසව”යි කියා ඇමතියෙකු ඔහුගේ පිය තනතුරෙහි තබා ගිරිනුවරට යැවී. පසුකලක ගැමුණු කුමරු හා කුලය පිළිබඳ ක්‍ෂත්‍රිය විවාදයක් නිසා ඒ අභයරජ තමාගේ දේවිය හා බලවාහන ගෙන සේරු නුවරට ගියේය. සිව නමැති සේරු නුවර රජ අභය රජුගේ මිතුරෙක් විය. සේරු රජ විල්කෙළවර රම්‍යභූමි භාගයක නුවරක් මවා අභය රජුට දුණි. අභය රජ ඒ නුවරට දේවියගේ නම අනුව සෝමනුවර යයි නම් තැබී. සමෘද්ධ වූ ඒ නගරයෙහි අභය රජ රාජ්‍යය කෙළේය.

පසුකලක සෝමදේවිය රජු අමතා “දේවයෙනි, අපේ නුවර චෛත්‍යයක් හා විහාරයක් නැත. එබැවින් චෛත්‍යයක් හා විහාරයක් කරවීම වටී” යයි කීය. රජතෙම යහපතැයි කියා විහාරයට සුදුසු බිමක් සොයන්නේ නුවරට ඉතා දුර නොවූත් ඉතා ළං නොවූත් සල් වනයක් දුටුවේය. ඒ වෙනෙහි මහාඅරිට්ඨ තෙරුන්ගේ පරම්පරාවෙහි වූ මහින්‍ද නම් තෙර නමක් සැටනමක් භික්‍ෂූන් සමග වාසය කරයි. රජතෙම ඒ තෙරුන්ට පැහැදී සල් වනයෙහි විහාරයක්ද දාගැබක්ද සාදවා “ස්වාමීනි, ධාතු කොහෙන් ලබාගන්නෙම්දැ”යි තෙරුන්ගෙන් විචාළේය. එකල තෙරනම තමා විසින් පුදන ලද බුදුන්ගේ දකුණු දළදාව රජුට දුණි. රජ තුටුපහටු වූයේ යහපත් නැකතකින් එය දාගැබෙහි පිහිටුවා අතිමනෝහර වූ දිය බුබුළක් හා කෛලාශ කූටය වැනි වූ චෛත්‍යයක් සෑදවිය. රජතෙම දේවිය සමග ධාතූන් වහන්සේට මහත් සත්කාර කරමින් මිහිඳු තෙරුන් ප්‍රමුඛ සංඝයාට මහදන් දෙමින් රාජ්‍යය කරවිය.

75. රම්‍ය වූ සමෘද්ධ වූ සෝම නම් නගරයෙහි ගිරිරාජවංශ ඇති රජ ද අරිට්ඨවංශ ඇති මිහිඳු තෙර ද දකුණු දළදාව පිහිටෙව්වාහ.

මෙසේ දකුණු දළදා පිහිටි කාලය නිමියේයි.

ඉන්පසු විහාර දේවියගේ සොහොයුරු වූ චූලපිණ්ඩපාතික තිස්සතෙර එක් දිනක් කාවන්තිස්ස රජුගේ ආයුෂ ප්‍රමාණය බලන්නේ ඉතිරිව තිබෙන්නේ ටික කොටසක් බව දැක පසුදා රජු වෙත ගොස් මෙසේ කී: “මහරජ, බුදුන් ජීවමාන කල්හිම දැන් මේ ඔබ පුදන ලලාට ධාතුව අරබයා “අනාගතයෙහි මහවැලි ගඟේ දකුණු පැත්තෙහි සේරු නම් විලේ කෙළවර වරාහ නම් ගල් පොකුණ මත්තෙහි කාකවණ්ණතිස්ස නම් රජෙක් මෙය පිහිටුවන්නේය”යි වදාළ සේක. ඒ නිසා බුදුරද (මෙහි පැමිණිවිට) ඒ ස්ථානයෙහි සමවතට සමවැදුණි. මේ ගැන ඔබ කල්පනා කළ යුතුය”යි. රජ තමාගේ පියා මරණ මඤ්චකයේදී කී වචන සිහිපත් කරන්නේද ධාතුවට ආලය ඇති බැවින් එය නිදන් කරන්ට නොසිතුවේය. දැන් තෙරුන්ගේ කීම අසා පියා කී දෙයද සිහිකරමින් “යහපත, ස්වාමීනි”යි උත්තර දුණි. ඒ රජ සේරු නුවර සිවරජය, සෝණ නුවර මහානාග රජය, සෝමනුවර ගිරිඅබා රජය යන තුන් රජුන්ට ප්‍රධාන වූයේ ඒ රජුන් හා එක්ව වෙසක් පසළොස්වක්දා විසා නැකතින් ධාතු පිහිටුවීම සඳහා මුල් ගල් තැබීය. දාගැබ නිමිකල්හි රජතෙම තෙරවරුන් අමතා “ස්වාමීනි, ධාතූන් නිදන් කරන ගර්‍භය නිමියේය; හෙට රෙහෙණ නැකතින් ධාතු නිදන් කරන්නෙමි. ඔබවහන්සේ කේශධාතු ගැන සෙවිය යුතුය”යි තිස්ස තෙරුන්ට එය භාර කළේය. තෙරනම තමාගේ ශිෂ්‍ය වූ සීව තෙරුන්ට “ඇවැත්නි, භූමින්‍ධර නාග භවනයෙහි ජයසෙන නම් නා රජෙක් වසයි. හෙතෙම තපුස්ස-භල්ලික නම් වෙළඳ දෙබෑයන් පිදූ කේශධාතු පුදයි හෙට ඒ ධාතු ගෙනවුත් රජුට දුන මැනවැයි”යි කීය. පසුදා සීවතෙර භූමින්‍ධර නාග භවනයට ගොස් ජයසේන නා රජු සමීපයෙන් කේශධාතු ගෙනාවේය. චූලපිණ්ඩපාතිකතිස්ස තෙරය, මහාසාගල තෙරය, මහින්‍ද තෙරය යන තුන්නම හා නොයෙක් සියගණන් භික්‍ෂු පිරිසද කාවන්තිස්ස රජු ප්‍රමුඛ රජවරු සතර දෙනද මහවැලි ගඟෙන් දකුණු පැත්තේ සේරු නමැති විල් කෙළවරෙහි වරාහ නමැති ගල්පොකුණ මත්තෙහි බුදුන්ගේ ලලාට ධාතුව පිහිටෙව්වාහුය. එසේ පිහිටුවා රජතෙමේ දිය බුබුළක් හා කෛලාශ කූටය වැනි වූ මහාසෑයක් කරවිය. එහි සියලු වැඩ නිමවා නොයෙක් සත්කාර සම්මානයෙන් නිතර පිදී.

79. උතුම් රුහුණු දනව්වෙහි අභිෂේකයට පැමිණ කඩුවන්ගේ භාෂාව දන්නා තිස්ස රජ තෙමේ බුදුන් කෙරෙහි පැහැදුනේ බුදුරදුන්ගේ උතුම් ලලාට ධාතුව පිහිටෙව්වේය. කාවන්තිස්ස රජ සූ සැට අවුරුද්දක් නොයෙක් පින් රැස්කොට ස්වර්‍ගපරායණ විය.

ලලාට ධාතුව පිහිටීමේ කාලය නිමියේයි.

කාවන්තිස්ස රජු ඇවෑමෙන් ඔහුගේ බාලපුත් තිස්ස කුමරා දිගා වැවෙන් අවුත් පියාගේ ශරීර කෘත්‍ය කරවා මවද කුණ්ඩල ඇතාද[19] ගෙන සොහොයුරාට බියෙන් දිගා වැවට ගියේය. රජුගේ දෙටු පුත් ගාමිණීඅභය කුමරා සොළොස් හැවිරිදි කල්හි පියරජු විසින් සිරකරනු ලැබීමට බියෙන් මලය දේශයට (-කඳුරටට) පලා ගියේය. එකල කඳු රටින් අවුත් මාගමදී අභිෂේක ලද්දේය. කුණ්ඩල ඇතා අරබයා ඒ දෙටු-කණිටු සොහොයුරන්ගේ විවාදයක් ඇතිවී චුල්ල ගණ පිටියේදී යුද්ධයක් පැවති කල්හි තිස්ස කුමරා දිනුවේය. දෙවෙනිවර ගැමුණු කුමරා හැටදහසක් භට සෙනග ගෙන යුද්ධකොට දිනී. තෙරවරු සොහොයුරන් දෙදෙන සමගි කරවා සමා කරවූහ. දුට්ඨගාමිණී අභයරජ ජයකොන්තයෙහි ධාතු නිදන්කොට බලවාහන රැගෙන තිස්සමහාරාමයට ගොස් සංඝයාට වැඳ “ස්වාමීනි, ශාසනය බැබළවීම සඳහා ගඟෙන් එතෙර යන්නෙමි. අපට පින් කෙත් වීම පිණිස අප හා යාමට භික්‍ෂූන් දුන මැනවැ”යි කීය. සංඝතෙමේ පන්සියයක් භික්‍ෂූන් දුණි. රජතෙම සංඝයා ගෙන කුණ්ඩල ඇතු පිට නැගී දශමහා යෝධයන් හා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන යුද පිණිස නික්ම මහියංගණයට ගොස් එහි දෙමළුන් හා යුද කරන්නේ එහි කඤ්චුක ථූපයක් (වැස්මක් මෙන් උඩින් බැඳී සෑයක්) කරවිය.

බුදුරද බුද්ධත්‍වයෙන් නවවෙනි මාසයේදී මේ දිවයිනට පැමිණ ගංඉවුරෙහි වූ මහානාග වන උයනෙහි දැන් මහියංගණ චෛත්‍යය පිහිටි තැන අහසෙහි වැඩ සිට යකුන් දමනය කොට වැඩියේය. බුදුන් පිරිනිවි කල්හි සැරියුත් මහතෙරුන්ගේ අතවැසි සරභූ නම් එක් තෙරනමක් ග්‍රීවාධාතුව රැගෙන භික්‍ෂු සංඝයා සමග අවුත් මෙතැන්හි පිහිටුවා දොළොස් රියනක් උසැති චෛත්‍යයක් කරවා ගියේය. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු චූලාභය රජ ඒ චෛත්‍යය තිස්රියනක් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවිය.

මහියංගණ චෛත්‍යය පිහිටුවීමේ කාලය නිමි.

රජතෙම ඒ මහියංගණයෙහි ඡත්තදෙමළා අල්වා සාරමසකින් අම්බදෙමළා ද, සාරමසකින් කච්ඡකදෙමළාද සාරමසකින් විජිතපුරයෙහි යටත්කොට අන්‍ය දෙමළුන් ද ක්‍රමයෙන් අල්වා අනුරාධපුරයට ගොස් කසාගල කඳවුර බැඳ එහි වැවක් කණවා මුල් පොසොන් මාසයේදී දියකෙළි කෙළියේය. එහි පජ්ජෝත නම් නුවරක් කරවී. අනුරාධපුරයෙහි එළාර රජු යෝධයන් සමග නසා නුවරට ඇතුල් විය. මෙසේ දුටුගැමුණු අභයරජ දෙමළ රජුන් දෙතිස් දෙනෙකුන් මරා මුළු ලක්දිව එකම ඡත්‍රයක් එසවිය. ඡත්‍රමංගලය පැවැත්වූ සතිය ඉකුත් වූ පසු රජ චෛත්‍යය සහිත මිරිසවැටි විහාරය කරවිය. එය අවුරුදු තුනකින් නිමියේය. නිමිකල්හි මහත් විහාර පූජාවක් කෙළේය.

මිරිසවැටියේ කථාවයි.

ඉන්පසු පරීක්‍ෂා කරන රජතෙම රජගෙයි කරඬුවක තිබුණු රන් තහඩුවක ලිපියක් දැක එය කියෙව්වේය. “අනාගතයෙහි එක්සිය සතළිසක් අවුරුදු ඉක්මගිය පසු කාවන්තිස්ස රජුගේ පුත්‍ර වූ දුට්ඨගාමිණීඅභය නමැත්තා මේ මේ දේ කරවන්නේය”යි (එහි ලියා තිබුණි) එකල රජ “දීර්ඝ දර්ශී වූ මහින්‍ද ආර්‍යයන් වහන්සේ විසින් මම දක්නා ලද්දෙමි”යි තුටුපහටු විය. එකල දිව්‍යවිමානයක සටහන බලමින් එක එක පැත්තෙන්ද උසින්ද සියක් රියන් ඇති, නවමහලක් හා දහසක් කාමර ඇති, සිංහපඤ්ජරාදි නොයෙක් විසිතුරු ඇති, ලෝහප්‍රාසාදය කරවා දක්‍ෂිණොදකය හෙළා භික්‍ෂු සංඝයාට දුන්නේ යයි මහාවංශාදියෙහි කියන ලදී. ලෝහප්‍රාසාදය වනාහි දේවානම්පියතිස්ස රජු විසින්ම කරවන ලදී. “එසේද වුවත් මේ කාලයේදී එය නොපැවැති බැවින් අනාගතයේදී යයි කියන ලදැයි ගණ්ඨිපද තුනෙහිම දක්වන ලදී.

ලෝහප්‍රාසාද කථාවයි

ඉක්බිති එක්දිනක් රජ මහබෝ වැඳ නුවරට යන්නේ මහාසෑය දැන් පිහිටි තැන සීයා වන රජු විසින් තමාගේ සයවෙනි රාජ්‍ය වර්‍ෂයේදී සිටුවන ලද ගල් කණුව දැක මිහිඳු තෙරුන් (රන්පටෙහි) කියා තිබුණු කාරණයද සිහිපත් කරමින් වෙසක් පුණු පොහෝදා විසා නැකතකින් මහාසෑය කරවීම සඳහා බිම සකස් කරවන්ට පටන් ගත්තේය. එසේකොට ඇසළපුණු පොහෝදා උතුරුසළ නැකතින් සෑයට මගුල්ගල් තැබී. රජ ධාතු ගර්‍භයෙහි කළයුතු වැඩ නිමවා සංඝයා වැඳ “ස්වාමීනි, ධාතුගර්‍භයේ වැඩ නිමියේය; හෙට ඇසළපුණු පොහෝදා ධාතු නිදන් කිරීම සිදුවන්නේය. ධාතු ලැබෙන සැටි දත මැනවැ”යි කීය. මෙසේ ධාතු ගෙන ඒම සංඝයාට බාරකොට නුවරට ආවේය. සංඝතෙමේ සොළොස් හැවිරිදි සෝණුත්තර හෙරණ තැනට මෙසේ කීය: “ඇවැත්නි, හෙට ධාතු නිදහනය වන්නේය. බුදුරද පිරිනිවන් මඤ්චකයෙහි වැදහෙව සක්දෙව් රජු අමතා මාගේ ද්‍රෝණ අටක් පමණ වූ ධාතූන්ගෙන් කෝළිය රජුන් විසින් පුදනු ලබන එක් ද්‍රෝණයක් අනාගතයෙහි ලක්දිව මහාසෑයේ පිහිටන්නේ යයි වදාළේය. ඉක්බිති බුදුන් පිරිනිවි කල්හි කෝළිය රජුන් රාම ග්‍රාමයෙහි කරවූ චෛත්‍යය ගංවතුරෙන් බිඳී ගිය විට දාකරඬුව මූදට පිවිසියේය. එය මහාකාළ නාරජතෙම මඤ්ජෙරික නාගභවනයට ගෙන ගොස් අද දක්වා පූජා පවත්වයි. එබැවින් තෝ මඤ්ජෙරික නාගභවනට ගොස් ඒ පුවත නාරජුට කියා ධාතූන් ගෙන එව”යි. සෝණුත්තර සාමණේරනම යහපතැයි කියා පිළිගෙන පසුදා තූර්‍ය නාදයෙන් රජු පිටත් වූ බව දැන අභිඥාපාදක-චතුර්‍ථ ධ්‍යානයට සමවැදී මඤ්ජෙරික නාගභවනයේ මහාකාළ නාරජු ඉදිරියෙහි පෙනී සිටියේය. හෙතෙම ඒ නාරජු දුන් ධාතු ගෙනැවිත් මෙහි රජුට දුණි. රජතෙමේ නානාවිධ සත්කාර-සම්මානයෙන් ඇසළ පුණු පොහෝදා උතුරුසළ නැකතින් ධාතු නිධානය කෙළේය. නිධානය කොට එය මත්තෙහි එක්සියවිසි රියන් උසැති සුවර්‍ණමාලී නමැති මහාසෑය කරවිය. ඒ රජ නොයෙක් පින් රැස් කරමින් සූවිසි වසක් රාජ්‍යය කොට තමාගේ ශරීරය සංඝයාට පාවාදී තමා කළ පින් සිහිකරමින් මිය ගොස් තුසිත භවනයෙන් ආ දිව්‍ය රථයෙහි ඉපද දිව අබරණින් සැරසුනේ මහාජනයා බලා සිටියදීම තෙවරක් මහාසෑය පැදකුණුකොට භික්‍ෂු සංඝයා වැඳ තුසිත භවනයට ගියේය.

කාවන්තිස්ස රජ වනාහි මෙත්තෙය්‍ය බුදුන්ගේ පියා වන්නේය. විහාරදේවිය මව වන්නීය. මේ දුටුගැමුණු රජ ප්‍රථම ශ්‍රාවකයා වන්නේය. ඔහු සොහොයුරු සද්ධාතිස්ස රජ දෙවෙනි ශ්‍රාවකයා වන්නේය. රජුගේ නැන්දා වූ අනුලා දේවිය (බෝසතුන්ගේ) අගමෙහෙසි වන්නීය. රජුගේ පුත්‍ර වූ සාලිකුමරා (බෝසතුන්ගේ) පුත්‍රයා වන්නේය. භාණ්ඩාගාරික වූ සංඝාමාත්‍ය තෙමේ අග්‍ර උපස්ථායකයා වන්නේය. තිස්ස ඇමතියාගේ දුව අග්‍රොපස්ථායිකා වන්නීය. මෙසේ ඒ සියලුදෙන පෙරකළ ප්‍රාර්‍ථනා ඇත්තෝය. මෙතේ බෝසත්තෙමේ මහුත්ත නමැති බුදුන් හමුවේදී ලත් විවරණ ඇත්තේ කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා දැන් තුසිත පුරයෙහි උපන්නේ අනාගතයෙහි බුදුවන්නේය.

77. දුටුගැමුණු රජතෙමේ එක්සියවිසි රියන් උසැති රුවන්වැලි සෑය බන්දවා නිරන්තරයෙන් පිදී. (78.) මුළු ලක්දිව එකම උතුම් සෑය අභය නමැති උතුම් රජ පිහිටුවා උතුම් පින් රැස් කෙළේය. අවුරුදු විසිහතරක් උතුම් රාජ්‍යය කොට ඒ රජ උතුම් දෙව්ලොවට ගියේය.

රුවන්වැලි මහාසෑය පිහිටෙව් කාලය නිමි

රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල නොනිමි කල්හිම දුටුගැමුණු රජ පරලොව ගියේය. ඉක්බිති ඔහුගේ බාලසොහොයුරු සද්ධාතිස්ස රජ රාජ්‍යයට පත්විය. හෙතෙමේ මහාසෑයේ කොත් පැලඳවීමද බදාම ගෑමද කරවා අටළොස් වසක් රාජ්‍යය කරවිය. සද්ධාතිස්ස රජුට ලඤ්ජතිස්සය, ථූලත්‍ථනය, ඛල්ලාටනාගය, වට්ටගාමිණී යයි පුත්‍රයෝ සිවුදෙනෙකි. සැදැහැතිස් රජු ඇවෑමෙන් ලඤ්ජතිස්සට බාල වූ ථූලත්‍ථන තෙමේ එක්මසක් හා දසදිනක් රාජ්‍යය කෙළේය. ඔහු නසා ලඤ්ජතිස්ස තෙමේ නව අවුරුද්දක් හා අටමසක් රාජ්‍යය කෙළේය, ඔහු මළකල්හි බාලසොහොයුරු ඛල්ලාටනාග තෙමේ හය අවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහුගේ සෙන්පතියා ඔහු නසා නුවර අල්වා ගත්තේය. රජුගේ බාලසොහොයුරු වට්ටගාමිණී තෙමේ ඒ පවිටු සෙනෙවියා නසා පස්මසක් රාජ්‍යය කෙළේය. පුලහත්‍ථ නමැති දෙමළතෙමේ රාජ්‍යය පැහැරගෙන තුන් හවුරුද්දක් රාජ්‍යය කෙළේය. බාහිය දෙමළතෙමේ පුලහත්‍ථ මරා දෑවුරුද්දක් රජය කෙළේය. චනයමාරක දෙමළතෙමේ ඔහු මරා සත්හවුරුද්දක් රජය කෙළේය. දාඨිය දෙමළතෙමේ ඔහු මරා සත්දෙහවුරුද්දක් රජය කෙළේය. එකල වට්ටගාමිණී රජ තුදුස් හවුරුදු සත්මසක් මලය දේශයෙහි හෙවත් කඳුරටෙහි සැඟවී සිට අනුරාපුරයට ගොස් දාඨිය රජු මරා නැවත රාජ්‍යය අත්පත් කොටගෙන අභයගිරි විහාරය කරවිය.

79. “අනුරාධපුරයෙහි වළගම්බා රජු රාජ්‍යය කරවන කල්හි (ඒ කාලය දක්වා) මහත් ප්‍රඥා ඇති භික්‍ෂූහු ත්‍රිපිටක පාළියද ඒකේ අටුවාද (80.) මුඛ පාඨයෙන් හෙවත් කටපාඩමින් ගෙනාවාහුය. එකල රැස්වූ භික්‍ෂූහු සත්ත්‍වයන්ගේ පිරිහීම දැක (81) ධර්‍මයාගේ චිරස්ථිතිය සඳහා පොත්වල ලියෙව්වාහුය. (82) මෙසේ වළගම්බා රජ මුලදී පස්මසක්ද නැවත දොළොස් හවුරුද්දක්ද රාජ්‍යය කෙළේයයි සාර සංග්‍රහයෙහි මේ සඳහා කියන ලදී.

පොත්වල ලියූ කාලය නිමියේයි

ඒ වළගම්බා රජු පරලොව ගිය පසු ඛල්ලාටනාග රජුගේ පුත්‍ර මහාචූළික තෙමේ තුදුස් වර්‍ෂයක් දැහැමින් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් වළගම්බා රජුගේ පුත්‍ර වූ චෝරනාග තෙමේ දොළොස් හවුරුද්දක් රාජ්‍යය කරවිය. හෙතෙම තමාගේ දේවිය වූ අනුලාව දුන් විෂ අනුභවකොට මළේය. එකල මහාචූළික රජුගේ පුත්‍ර වූ තිස්සතෙමේ තුන් වර්‍ෂයක් රජය කරවිය. සිව නමැති දොරටුපල්ලා කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ විෂ දීමෙන් තිස්ස රජු නසා ඒ දොරටුපාලයාට රාජ්‍යය දුණි. හෙතෙම එක් අවුරුදු දෙමසක් රජය කරවිය. එකල රාජවල්ලභ වූ නගර ශිල්පී වූ වට්ටක නම් දෙමළෙක් විය. ඔහු කෙරෙහි ඇලුණු සිතැති අනුලා තොමෝ විෂ දීමෙන් සීව රජු මරා වට්ටකයාට රාජ්‍යය දුණි, හෙතෙම එක් වර්‍ෂයක් හා දෙමසක් රජය කරවිය. එකල දර වෙළඳාමෙහි නියුක්ත තිස්ස නමැත්තා කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ වට්ටකයා විෂයෙන් මරා දාරුභතිකතිස්සට රාජ්‍යය දුණි. හෙතෙම එක්හවුරුදු එක්මසක් රජය කරවිය. එකල නිළීය නමැති පුරෝහිත බමුණා කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ විෂ දීමෙන් දාරුභතිකතිස්සයා මරා නිළීය බමුණාට රාජ්‍යය දුණි. හෙතෙම හයමසක් රජය කරවිය. එකල භටයන් දෙතිස් දෙනෙකුන් කෙරෙහි ඇලුණු සිතැති අනුලාතොමෝ විෂ දීමෙන් නිළීය බමුණා මරා තොමෝම සාරමසක් රජය කරවිය. එකල බුද්ධ පරිනිර්‍වාණයෙන් අවුරුදු පන්සියයක් ගතවිය. මහාචූළික රජුගේ දෙවෙනි පුත් කූටකණ්ණතිස්ස[20] තෙමේ අනුලාවට භයින් පලාගොස් පැවිදි වී සිට බලසම්පන්න වී අනුලාව නසා දෙවිසි හවුරුද්දක් රජය කරවීය.

ඒ රජුගේ මවද පැවිදි වී සිටියාය. රජතෙම මවට විසීම පිණිස දන්තගෙහ නමැති භික්‍ෂුණී ආශ්‍රමයක් කරවිය. කූටකණ්ණතිස්ස රජු අනුරපුරයෙහි රාජ්‍යය කරවන කාලයේදී දඹදිව සාගල නුවර මිලින්‍ද නම් රජද නාගසේන මහතෙරද යන දෙදෙන පණ්ඩිත වූවාහු ප්‍රශ්න ඇසීමෙන් හා විසඳීමෙන් බුද්ධ ශාසනයාගේ ඉතා ගැඹුරු බව ප්‍රකාශ කරමින් හමුවූහ. එහෙයින් මිලින්‍ද ප්‍රශ්නයෙහි “මා පිරිනිවීමෙන් පන්සියයක් අවුරුදු ගත වූ පසු මේ දෙදෙන උපදිති”යි කියන ලදී. කූටකණ්ණතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ දෙටුපුත් අභයතෙමේ[21] විසිඅට වසක් රජය කරවීය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරු මහානාග කුමරා[22] දොළොස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. මහානාග රජු ඇවෑමෙන් ඔහු පුත් ආමණ්ඩගාමිණී රජ නවහවුරුදු අටමසක් රජය කෙළේය. ඔහුගේ බාලසොහොයුරු කණිරජාණුතිස්ස තෙමේ ඔහු මරා තුන්හවුරුද්දක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ආමණ්ඩගාමිණීගේ පුත්‍ර වූ චූලාභය තෙමේ එක්හවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරිය වූ සීවලී දේවිය සාරමසක් රාජ්‍යය කරවිය. (ඉන්පසු) ලම්බකර්ණයෝ තුන් වර්‍ෂයක් රාජ්‍යය කළහ. ගාමිණීඅභයගේ[23] බෑනා වූ ඉළනාගතෙමේ සය අවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් චන්‍දමුඛසීව අට වර්‍ෂයක් හා සත්මසක් රජය කරවිය. ඔහුගේ බාලසොහොයුරු යසලාලකතිස්ස තෙමේ[24] ඔහු නසා සත් වර්‍ෂයක් හා අටමසක් රජය කරවිය. දත්ත නම් දොරටුපාලයාගේ පුත්‍ර වූ සුභ නමැත්තා යසලාලකතිස්ස රජු මරා හය වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඉක්බිති ලම්බකර්‍ණවංශික වසභතෙමේ සුභ රජු මරා රාජ්‍යය ගත්තේය. ඒ රජ අභිෂේක සතියෙහි ජයපානය බී තමාගේ ආයුෂ ප්‍රමාණය දැනගනු කැමතිව හෝරාපාඨකයකු සමග රහසේ ඉඳගෙන “මාගේ ආයුෂ ප්‍රමාණය දැනගනු කැමැත්තෙමි. එය මට කියව”යි කීය. හඳහන් බලන්නා එය ප්‍රතික්‍ෂෙප කෙළේය. රජු විසින් නැවත නැවත විචාරන ලද්දේ ඒ රජුගේ ආයුෂ ප්‍රමාණය ජ්‍යෙතිශ්ශාස්ත්‍රානුසාරයෙන් රහසේම කියා දුණි. “මහරජ, ඔබට අවුරුදු දොළසක් ආයුෂ ඉතිරිව ඇතැ”යි ඔහු කී විට රජ ආයුෂ වැඩීමට කළයුතු දේ ඇද්දැයි විචාළේය. “ස්වාමීන් වහන්සේලා දනිති”යි ඔහු කීය. රජතෙම රහස රැකීම පිණිස ඔහුට කහවණු දහසක් දී සංඝයා රැස්කරවා එළඹ වැඳ “ස්වාමිවරුනි, ආයුෂ වැඩිවෙන කරුණු ඇත්දැ”යි විචාළේය. (82.) සංඝතෙමේ අන්තරාය වළක්වන කරුණු ඇතැයි කීය. “මහරජ, පෙරහන්කඩ දීමද ලැගුම්ගෙවල් දීමද (83.) ගිලන්බත් දීමද කළ මැනවි. එසේම දිරාගිය ගෙවල් ප්‍රතිසංස්කරණය කළ යුතුය. (84) පන්සිල් සමාදන්ව එය මනාසේ රකිනු මැනවි. පෝය දිනයන්හි අටසිල් රැකීමද කළ යුතුය.” රජතෙම යහපතැයි කියා එකී සියල්ලද අන්‍ය පින්කම්ද කෙළේය. (85.) ඒ රජ අනුරාපුරයෙහි සූසාළිස් අවුරුද්දක් රාජ්‍යය කරවිය. වෙසක් පූජා සතළිස් සතරක්ද කරවීය.

ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් වංකනාසිකතිස්සතෙමේ තුන් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් ගජබාහුකගාමිණීතෙමේ විසි වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ සෙන්පති මහල්ලකනාගතෙමේ හය වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් භාතිකතිස්සතෙමේ සූවිසි වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ සොහොයුරු කණිට්ඨතිස්සතෙමේ අටළොස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් චූලනාගතෙමේ[25] දෙවර්‍ෂයක් රජය කෙළේය. ඔහුගේ බාලසොහොයුරු කුඩ්ඩනාගතෙමේ[26] ඔහු නසා එක් වර්‍ෂයක් රජය කෙළේය. ඔහුගේ දේවියගේ සොහොයුරු වූද සෙන්පති වූද සිරිනාගතෙමේ ඔහු පලවාහැර ලැබූ ජය ඇත්තේ දහනව වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් වොහාරතිස්ස තෙමේ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහුගේ සොහොයුරු අභයනාගතෙමේ ඔහු පලවාහැර අට වර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ සොහොයුරාගේ පුත් සිරිනාගතෙමේ දෙවර්‍ෂයක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් විජය කුමාරයා එක් වර්‍ෂයක් රජය කරවිය.

සංඝතිස්ස, සිරිසංඝබෝධි, ගෝඨාභය යන ලම්බකර්‍ණයෝ තිදෙනෙක් වූහ. සිරිනාගගේ සෙන්පතියා හා ඇමතියෝ විජය කුමරු මරා සංඝතිස්ස කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළහ. හෙතෙම වර්‍ෂ සතරක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් සිරිසඟබෝ කුමරා දෙවර්‍ෂයක් රජය කරවිය. ඒ රජු රාජ්‍යය කරවන කල්හි උපසේනාචාර්‍යයන් විසින් සද්ධම්මපජ්ජොතිකා නමැති මහානිද්දේස අටුවාව විරචිතයි.[27] එකල්හි අනුරුද්ධදේව නම් රජ (බුරුමරට) පුණ්ණගාම නුවර රාජ්‍යය කරවිය. ඒ රජුගේ ආරාධනාවෙන් ජෝතිපාල නමැති මහතෙර ආනන්‍ද නමැති තමාගේ ශිෂ්‍යයාද තවත් ශිෂ්‍ය නමක්ද ලක්දිවට යවා විනයගැටපදය ඉගෙන ගන්ට සලස්වා ලක්දිවින් පුණ්ණගාමනගර නම් වූ අරිමද්දනයට ගෙන්වා ගත්තේය. ඒ රජු ඇවෑමෙන් ගෝඨාභයතෙමේ තෙළෙස් වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් ජෙට්ඨතිස්ස රජ දශ වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් ඔහුගේ බාලසොහොයුරු මහාසේන රජ සත්විසි අවුරුද්දක් රාජ්‍යය කරවිය. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු අටසියතිසක්ද මාස හතරක් හා දසදිනක් ඉක්මි කල්හි මහාසේන රජ ලක්දිව අනුරාධපුරයෙහි රාජ්‍යය කොට පරලොව ගියේය.

ලක්දිව රාජපරම්පරාවේ වර්‍ෂ සංඛ්‍යා එක්කිරීම මෙසේ දතයුතු: විජයරජ තිස්අට වර්‍ෂයකි; එක් වර්‍ෂයක් රාජ ශුන්‍ය විය. පණ්ඩුවාසදේවට වර්‍ෂ තිහකි; පණ්ඩුකාභය සැත්තෑවකි; මුටසීව හැටවසකි; දේවානම්පියතිස්ස හතළිහකි. උත්තිය දසවසකි; සේන-ගුත්තික දෙදෙන දෙවිසි වර්‍ෂයකි; අසේල දශවර්‍ෂයකි; එළාර සතළිසකි; දුටුගැමුණු විසිහතරකි; සද්ධාතිස්ස අටළොසකි; ථුල්ලත්‍ථන මාසයක් හා දසදිනකි; ලංජතිස්ස අටවසක් හා නවමසකි; ඛල්ලාටනාග සය වර්‍ෂයකි; වට්ටගාමිණී පස්මසකි; පුලහත්‍ථ තුන් වර්‍ෂයකි. බාහිය දෙවර්‍ෂයකි. වනයමාරක සත් වර්‍ෂයකි; පිලියමාරක සත්මසකි; දාඨිය දෙවර්‍ෂයකි; නැවත වට්ටගාමිණී දොළොස් වර්‍ෂයකි; මහාචූළික තුදුස් වර්‍ෂයකි; චෝරනාග දොළසකි; තිස්ස තුනකි; සීවදෝවාරික වර්‍ෂයක් හා දෙමසකි; වට්ටක දෙමසක් හා එක් වර්‍ෂයකි; දාරුභතිකතිස්ස එක් වර්‍ෂයක් හා එක්මසකි; නිළීය හයමසකි; අනුලා සාරමසකි; කණිට්ඨතිස්ස දෙවිසි වර්‍ෂයකි; භාතිකාභය විසිඅට වර්‍ෂයකි; මහානාග දොළොස් වර්‍ෂයකි; ආමණ්ඩගාමිණී නව වර්‍ෂයක් හා අටමසකි; කණිරාජාණුතිස්ස තුන් වර්‍ෂයකි; චූලාභය එක් වර්‍ෂයකි; සීවලීදේවිය සාරමසකි; ලම්බකර්‍ණයෝ තුන් වර්‍ෂයකි; ඉළනාග සය වර්‍ෂයකි; චන්‍දමුඛසීව අට අවුරුදු අටමසකි; යසලාලකතිස්ස සත් වර්‍ෂයක් හා අටමසකි. සුභ සය වර්‍ෂයකි; වසභ සූසාළිස් වර්‍ෂයකි; වංකනාසිකතිස්ස තුන් වර්‍ෂයකි; ගජබාහුකගාමිණී විසි වර්‍ෂයකි; මහල්ලකනාග සය වර්‍ෂයකි; භාතිකතිස්ස සූවිසි අවුරුද්දකි; කණිට්ඨතිස්ස අවුරුදු අටළොසකි; චූළනාග දෙවර්‍ෂයකි; කුඩ්ඩනාග එක අවුරුද්දකි; සිරිනාග දහනවයකි; වෝහාරතිස්ස දෙවිස්සකි; අභයනාග අටකි; සිරිනාග දෙකකි; විජයකුමාර එකකි; සංඝතිස්ස හතරකි; සිරිසඟබෝ දෙකකි; ගෝඨාභය තෙළෙසකි; ජෙට්ඨතිස්ස දශයකි; මහාසේන සත් විස්සකි. මෙසේ විජය රජු පටන් මහාසේන රජු දක්වා මේ රජුන් රාජ්‍යය කරවන කල්හි අවුරුදු අටසිය තිස් තුනක්ද තුන්මසක් හා දසදිනක් ද ඉක්මියාහු යයි දතයුතු.

මෙසේ ලක්දිව රජුන්ගේ මහාවංශ කථාවෙහි ශාසනය පැතුරුණු සැටි නිමියේයි

දළඳා පැමිණීමේ කාලය

දැන් දළඳා පැමිණීමේ කාලයයි

ඒ මහාසේන රජු පරලොව ගිය පසු ඔහුගේ පුත්‍ර වූ කිත්තිස්සිරිමේඝ නම් රජ අනුරාධපුරයෙහි රාජ්‍යය කරවිය. එකල අප බුදුන්ගේ වම්දළදාව ලක්දිවට පැමිණියාය. මේ එහි පිළිවෙළ කථාවයි:-

අප බුදුන් පිරිනිවි කල්හි ඛෙම නමැති මහරහත් නමක් දර සෑයෙන් වම් දළදාව ගෙන කලිඟුරට දන්තපුර නුවර බ්‍රහ්මදත්ත රජුට දුණි. ඒ බ්‍රහ්මදත්ත රජ ඒ දළදාව අතිවිචිත්‍ර වූ දාගෙයක තබා රෑදාවල්හි නොයෙක් පූජා සත්කාරයන්ගෙන් පිදී. ආයු කෙළවරදී හෙතෙම දෙව්ලොව උපණි. ඔහුගේ ඇවෑමෙන් ඔහු පුත් කාසිරජ ඒ ධාතුව පුදා ආයු කෙළවර දිවංගත විය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් සුනන්‍ද රජ මනාසේ එය පිදී. හෙතෙමේද මරණින් මත්තෙහි දෙව්ලොව ගියේය. ඉන්පසුත් බොහෝකලක් ඒ ධාතුව රජුන්ගේ සංග්‍රහ ලබමින් ඒ දන්ත පුරයෙහි තිබුණි. ලක්දිව මහාසේන රජු රාජ්‍යය කරන කල්හි ගුහසීව නම් රජෙක් දන්තපුරයෙහි රාජ්‍යය කරවිය. ඒ රජවරු දෙදෙන ඔවුනොවුන් නුදුටු මිත්‍රයෝ වූහ. ඒ ගුහසීව රජ නිගණ්ඨයන්ට උපස්ථාන කෙළේය. ඔවුන්ගේ ලබ්ධිය ගත් බැවින් හෙතෙම ශාසනයට ගෞරව නොකෙළේය. එනුවර වැසියෝ පෙර යහමග පිළිපන් බැවින් නිතරම නොයෙක් පූජා විධියෙන් ධාතූන් වහන්සේ පිදූහ. ඔවුන් මෙසේ පිළිපදින කල්හි එක් දිනක් රජතෙම සීමැදුරු කවුළුව විවෘතකොට මහාපූජා විධානයක් දැක “මේ මිනිස්සු කිනම් උත්සවයක් කෙරෙත්දැ”යි අමතියෙකුගෙන් විචාළේය. බුද්ධමාමක වූ ඒ ඇමතියා බුදුන්ගේ අප්‍රමේය ගුණයන් කියා “මහරජ, පෙර රජවරු මෙසේ පිළිපැද දෙව්ලොව ගියාහ”යි කීය. රජතෙම ඔහුගේ කීම අසා මිසදිටුව අතහැර රත්නත්‍රයෙහි පැහැදුණි. පැහැද ඒ සියලු නිවටුන් සියරටින් පිටුවහල් කෙළේය. එකල නිවටහු පැළලුප් නුවර වසන මුළු දඹදිවට අධිපති වූ පණ්ඩු රජු කරා එළඹ “මහරජ, ගුහසීව නමැති ප්‍රාදේශික රජ ඔබ ගරු කරන ශිව-බ්‍රහ්මාදි දෙවියන්ට නින්දා කරමින් මිනී ඇටයකට වඳීය”යි කේලාම් කීහ. නිවටුන්ගේ කීම ඇසූ ඒ රජ කිපියේ චිත්‍රයාන නැමැති අන් ප්‍රාදේශික රජකු අමතා “කලිඟු රටට ගොස් ගුහසීව රජුද ඔහු පුදන මිනී ඇටයද ගෙනෙවයි”යි අණ කළේය. චිත්‍රයාන තෙමේ සිවුරඟ සෙනග සන්නද්ධකොට ගෙන කලිඟු රටට ගොස් ගුහසීව රජුට ඒ කාරණය කියා ඒ රජු ද ඔහු පිදූ දන්තධාතුව ද ගෙනවුත් පණ්ඩු රජුට දැක්විය. පණ්ඩු රජ “අඟුරු රැසක දමා ඒ ධාතුව දවව්” යයි නිගණ්ඨයන්ට කීය. ඒ නිවටහු තුටුපහටුව එසේ කළහ. එකෙණෙහි රථ රෝදයක් පමණ වූ මහපියුමක් දළදාව පිළිගති. ඒ ආශ්වර්‍යය දැක මිනිස්සු සිය ගණන් සාධුකාර දී නොයෙක් සත්කාරයෙන් පුදා ස්තූති කළහ. ඉක්බිති රජතුමා කිණිහිරයක ධාතුව තබා කුළුගෙඩියකින් තැළවිය. දළදා තොමෝ කිණිහිරයෙහි බාගයක් ගිලී බාගයක් පෙනෙමින් කඳු මුදුනකින් අඩක් නැගුණු සඳ මෙන් පෙනුණි. රජ ඒ ආශ්වර්‍යය දැක විස්මිත සිතැත්තේ විය. එකල ඊර්‍ෂ්‍යාවෙන් මැඩුණු එක් නිගණ්ඨයෙක් පඬු රජුට මෙසේ කීය. “මහරජ, මෙය විෂ්ණුගේ ශරීරයේ කොටසක් බැවින් මෙසේ මහානුභාව ඇත්තේය. එසේ නොවේනම් මෙවැනි ආනුභාවයක් කෙසේ ඇතිවන්නේදැ”යි. “එසේ නම් විෂ්ණුගේ ආනුභාවයෙන් මෙය කිණිහිරයෙන් මුදා ගනිව්” යයි රජ නිවටුන්ට කීය. ඔවුහු එය වෙත ගොස් නොයෙක් ලෙසින් උත්සාහ කරන්නාහුද එය කිණිහිරයෙන් ගලවා ගන්ට අසමර්‍ථ වූහ. එකල ඒ රජ නිවටුන් පිළිකුල් කරමින් එය නික්මවන පිළිවෙළක් සොයන්නේ “යමෙක් මෙය පිටතට ගන්ට සමර්‍ථ නම් හෙතෙම මහත් ධනයක් ලබන්නේය”යි නුවර බෙර හැසිරවිය. එකල සුභද්‍ර නමැති බුද්ධමාමක වූ සිටුපුත් මාලාකාරයෙක් නොයෙක් සත්‍ය ක්‍රියායෙන් පසු නොයෙක් ප්‍රාතිහාර්‍ය දක්වමින් ධාතුව පිටතට ගත්තේය. එකල නිගණ්ඨයෝ එය ඔහුගේ විද්‍යාබලයකැ”යි රජුට කීහ. රජතෙම මොවුන් විශ්වාස කරන විධියක් කරවයි සුභද්‍රට කීය. සුභද්‍රතෙමේ නොයෙක් ආශ්වර්‍යයන් පෙන්වා මහජනයාට විශ්වාස කරවිය. නිගණ්ඨයෝ ඒවා ඔහුගේ වඤ්චාවල් යයි මෝඩ රජුට අවබෝධ කරවා ඉතා පිළිකුල් කටයුතු දියඅඟලක එය දැමූහ. එකෙණෙහි ඒ දියඅඟල නන්‍දා පොකුණ මෙන් නොයෙක් මලින් ගැවසුණු උතුම් සුවඳ ඇත්තක් විය. එකල සත්පුරුෂයෝ නොයෙක් සියගණන් දහස්ගණන් සාධුකාරයන් පැවැත්වූහ. නොයෙක් ආශ්වර්‍යද පහළවූහ. නොසිතිය හැකි ඒ පුදුම දැක ඇමතිවරු රජු කරා ගොස් නොයෙක් කරුණු කියා ඔහුට අවබෝධයක් ඇති කළහ. කරුණු සහිත වූ ඔවුන්ගේ කීම අසා රජතෙමේ සැක දුරුකොට ධාතුව කෙරෙහි පැහැද “දැන් ධාතූන්වහන්සේ දිය අඟලෙන් ගෙනව්; මමත් පුදන්නෙමි”යි කීය. එකල රජතුමා නොයෙක් ප්‍රාතිහාර්‍ය දැකීමෙන් වැඩිදුරත් ධාතුව කෙරෙහි පැහැද ඉතා විසිතුරු මන්දිරයක එය තැන්පත්කොට නොයෙක් පූජා විධියෙන්ද තමාගේ රාජ්‍යශ්‍රීයෙන් ද පිදී.

එකල ඛීරධාර නම් රජෙක් සිවුරඟ සෙනග පිරිවරා යුද පිණිස අවුත් පාටලීපුත්‍ර නුවර වට කෙළේය. පණ්ඩු රජ එසේම සෙනග පිරිවරාගෙන ගොස් ඛීරධාර රජු නසා ලැබූ ජය ඇත්තේ විය. පණ්ඩු රජ ගුහසීව රජුට නොයෙක් සම්පතින් සංග්‍රහකොට දළදාව බාර දී පිටත් කෙළේය. පසුකලක තමාගේ දුවගේ හිමියාට රාජ්‍යය පාවාදී පරලොව ගියේය. ගුහසීව තෙමේ දළදාව දන්තපුරයට ගෙන ගොස් බොහෝකලක් පිදී. හෙතෙම උදේනි රජුගේ පුත්‍ර වූද තමාගේ බෑනා වූද දන්ත කුමාරයාට හේමාජාලා[28] නමැති තමාගේ දුව පාවා දුණි. ඛීරධාර රජුගේ බෑනාවරු වූ රජකුමරහු බලයෙන් යුක්ත වූවාහු සේනා රැස්කොට දළදාව ගැනීම සඳහා දන්තපුරයට ආහ. එයසා ගුහසීව රජ දන්ත කුමරු අමතා “දරුව, මාගේ ජීවිතය ඇතිකල්හි දළදාව අනිකකුට නොදෙන්නෙමි. ඉදින් මම ඒ රජකුමරුන් පරදවන්ට නොහැකි වන්නෙම් නම් තෝ දළදාව ගෙන බමුණු වෙසින් ලක්දිවට යව. ලක්දිව මහාසේන රජ මාගේ ප්‍රිය මිත්‍රයෙකැ”යි කීය. එසේ කියා යුද පිණිස සැරසී සේනාව සමග නික්ම ගොස් ඒ රජකුමරුන් හා යුද්ධ කරන්නේ මරණයට පත්විය. දන්ත කුමරා ඒ ශෝකජනක පුවත අසා වහ වහා දළදාව ගෙන බමුණු වෙසින් දකුණු දෙසට ගොස් පිරී තිබුණු මහානදිය දේවතානුභාවයෙන් එතරකොට වැලි ගොඩක් යට දළදාව තැබීය. එසේ තබා නැවත නුවරට ගොස් වෙස් මාරු කළ තමාගේ බිරියද රැගෙන වහා එහි ගොස් භාර්‍යාව සමග ධාතුව තැබූ තැනට නුදුරු තැනක එක් වනලැහැබක සැඟවී සිටියේය. එකල ෂඩභිඥා ඇති එක්තෙර නමක් අහසින් යන්නේ බැබළෙන වැලිගොඩ දැක එහි බස දළදාව වැන්දේය. ඒ අඹු සැමිදෙදෙන තෙරුන් දැක වැඳ සියලු ප්‍රවෘත්ති කීහ. තෙරනම “ඉදින් තොපට යන මගදී උවදුරක් ඇතිවුවහොත් මා සිහි කරව්” යයි කියා ඔවුන්ට යොග්‍ය ධර්‍මයක් දෙසා පිටත්ව ගියේය. එකල පණ්ඩුහාර නැමැති නාරජ නාග භවනයෙන් නික්ම ඇවිදින්නේ එහි තිබුණු රත්නමය දා කරඬුව ගිල තමාගේ දරණින් මහමෙර මුල වටකොට ගෙන වැදහොත්තේය. පසුදා අඹු සැමි දෙදෙන යනු කැමැත්තාහු ධාතුව තැබූ තැන වැලිගොඩට ගොස් දළදාව නොදැක කඳුලු වගුරුවා හඬමින් මහතෙරුන් සිහිපත් කළහ. ඉක්බිති තෙරනම ඔවුන්ගේ සිතුවිල්ල දැන දා කරඬුව ගිල මේරු පාදයෙහි හොත් නා රජු දිවැසින් දැක මහ ගුරුළු වෙසක් මවාගෙන මහමූද දෙබෑ කරමින් එහි ගියේය. එකල ඉතා බිය වූ නාරජ නාගවේශය අත්හැර තරුණයකුගේ වෙසින් තෙරුන් වෙත පැමිණ “ස්වාමීනි, මේ ධාතුවගේ ආනුභාවයෙන් නාගාත්මයෙන් මිදී සුගතියට යන්නෙමියි සිතා මෙය ගත්තෙමි”යි කීය. තෙරනම “මහරජ, මේ ධාතුව සත්‍යාවබෝධයට යෝග්‍ය වූ මිනිසුන්ට සුදුසු බැවින් ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එබැවින් වහා මට දෙව”යි නාරජුට කීය. නාරද තෙරුන්ට එය දුණි. තෙරනම එය ගෙනවුත් අඹුසැමි යුවලට දී හැරී ගියේය.

අඹු සැමියෝ දළදාවගේ ආනුභාවයෙන් දෙවියන් විසින් රක්නා ලද්දාහු තාම්‍රලිප්ති තොටට පැමිණියාහ. බමුණු වෙස්ගත් ඒ රජ කුමර කුමරියෝ වෙළඳුන් හා නැවක නැග මූද තරණය කළහ. නාගයෝ නාග භවනයෙන් නික්ම මහත් ධාතු පූජාවක් කරමින් සත්දිනක් මූද මැද නැව නිශ්චල කළහ. නැවියෝ මරණ භයින් බියපත් වූහ. එකල අඹු සැමියෝ තෙරුන් සිහිපත් කළහ. එකෙණෙහි තෙරනම එකරුණ දැන ගුරුළු වෙස් ගෙන නාගයන් එළවා දැම්මේය. තෙරුන්ගේ සෘද්ධියෙන් නැව එකෙණෙහිම ලක්දිව වරායකට පැමිණියාය. එකල ලක්දිව මහසෙන් රජුගේ පුත් කිත්සිරිමෙවන් රජුගේ නවවෙනි රාජ්‍යය වර්‍ෂය විය. ඔවුන් පැමිණි දින සවස ඒ දෙමහල්ලෝ දේවාලයක විසූහ. බමුණු වෙස් දැරූ ඔවුන් දුටු රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයා ඔවුන්ට මනා සේ සත්කාරකොට පසුදා ඔවුන්ට අනුරාධපුරයට යන මග පෙන්විය. ඔවුහු ක්‍රමයෙන් ගොස් අනුරාධපුරය අසල ගමකට පැමිණියහ. එහිදී මහාසේන රජුගේ මරණය අසා බලවත් ශෝකයෙන් කඳුලු වැගිරවූහ. නැවත මහසෙන් රජු පුත් කිත්තිස්සිරිමේඝ රජු රත්නත්‍රයමාමක බව අසා ශෝකය දුරු කළහ. ඔවුහු අනුරාධපුරයේ වයඹ දෙසැ පිහිටි මේඝගිරි මහා විහාරයෙහි රාජවල්ලභ වූ එක් මහතෙර නමක් වෙත ගොස් තෙරුන්ට ධාතුව පිළිබඳ ප්‍රවෘත්ති කීහ. එයැසූ මහතෙර තුටුපහටු වූයේ තමා වසන කුටියෙහි දළදාව තබා ඔවුන්ට සංග්‍රහකොට දළදා පැමිණි පුවත රජුට දැන්වීම සඳහා එක් භික්‍ෂු නමක් යැවී. එදවස්හි රජතෙම නාටිකාවන් පිරිවරාගෙන උයනට ගොස් වසන්ත ක්‍රීඩා සුව අනුභව කරන්නේ ඒ භික්‍ෂු නම කී දළදා පුවත අසා චක්‍රරත්නය ලැබූවකු මෙන් උසස් ප්‍රීතියට පත්විය.

“බමුණුවෙස් දරන අඹුසැමි දෙදෙනෙක් සර්‍වඥ දන්ත ධාතුව රැගෙන නොබෝකලකින් මෙහි එන්නාහ” යන නෛමිත්තකයන්ගේ කීම රජ කලින්ම අසා තිබුණි. එබැවින් මේ හස්න අසා රජතෙමේ උයනින් නික්ම මේඝගිරි විහාරයට ගොස් දළදාවගේ

නොයෙක් ප්‍රාතිහාර්‍යයන් දැක අධික ප්‍රීති ඇත්තේ නොයෙක් පූජා විධියෙන් සත්කාරකොට එසවූ සේසතක් ඇති සුදු අසුන් යෙදූ උතුම් රථයක දළදාව තබා මුළු නුවර කළඹවමින් තුති ගී කියවමින් අනුරාධපුරයට ගෙනාවේය. ගෙනවුත් නොයෙක් රත්න වර්‍ග එබ්බූ ධාතු මන්‍දිරයෙක්හි සිංහාසනයක තබා නිතර නොයෙක් පූජා විධියෙන් උපස්ථාන කෙළේය. ඒ අඹුසැමි දෙදෙනට මහත් සත්කාරකොට යොග්‍ය තනතුරු ද දුණි. ඒ රජ දළදාව පුදා මහ පින් රැසක් ලබාගෙන මරණින් මතු දෙව්ලොව උපණි. මෙසේ ඒ දළදාව ලක්දිව රජුන්ගේ දරුමුණුබුරු පරම්පරා විසින් පුදනු ලබන්නී ද්වීපවාසීන්ගේ උත්තම පූජා විශේෂයන්ට භාජන විය. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු අටසිය සතළිසකට පසු බුදුන්ගේ වම් දළදාව ලක්දිව පිහිටියේ යයි දතයුතු.

දළදා පැමිණි කාලය නිමියේයි.

ඉන්පසුකලක බුද්ධදත්තාචාර්‍යතුමාද බුද්ධඝොෂාචාර්‍යතුමාද දඹදිව ප්‍රකට වූහ. එයින් බුද්ධදත්තාචාර්‍යතුමා ලක්දිවට ගොස් ජිනාලංකාරය, දන්ත ධාතුවංසය, බෝධිවංසය යන ග්‍රන්ථ තුන සම්පාදනය කොට හැරී ආවේය.[29] එතුමා දඹදිවට අවුත් අභිධම්මාවතාරය ද උත්තරවිනිච්ඡය සහිත විනයවිනිච්ඡය මධුරත්‍ථවිලාසිනී නමැති බුද්ධවංස අටුවාව ද කෙළේය. බුද්ධඝොෂාචාර්‍යතුමා බුද්ධධර්‍මය සිහළ බසින් ලියා තිබුණා වූද රහතුන් විසින් පොත්වල ලියනු ලැබුවා වූද බුද්ධ වචනය හෙල බසින් මගධ භාෂාවට පෙරළා ලියෙව්වේය යන්න පරම්පරාගත බුද්ධඝෝෂ චරිත කථාවෙහි ප්‍රකටයි. ජිනාලංකාර වර්‍ණනාවෙහි වනාහි: (86.) අවුරුදු එක්දහස් සත්සියයක් ගතවූ කල්හි ලක්දිව රුහුණු දනව්වේ පිරිසිදු වංශයක උපන් පතළ කීර්ති ඇති (87.) භික්‍ෂු සමූහයාට ඉගැන්වීම කරගන්නා වූ බුද්ධරක්‍ඛිත නැමැති ඒ තෙරනම (88) ඉතා තියුණු වූ නුවණ නමැති කඩුවෙන් මාරසේනාව ජයගත් බුදුරදුන් ජිනාලංකාර නමැති අලංකාරයෙන් සැරසුවේය”යි කියන ලදී.

බුදුන් පිරිනිවීමෙන් අවුරුදු එක්දහස් සත්සියසත්සාළිස්වෙනි වර්‍ෂයේදී ශකරාජ වර්‍ෂයෙන් පන්සිය සැටපහක් වූ කුඤ්ජර වර්‍ෂයේදී සිරිතිභුවනාදිච්ච නැමැති ධාර්මික රජුගේ අගමෙහෙසි වූ දක්ඛිණ දේවියගේ පුත්‍ර වූ පුණ්ණගාම නමැති අරිමද්දන පුරයට අධිපති වූ සිංඝවිජය රජු විසින් බෝධිවංසටීකාව ලියවන ලදී. එහෙයින් කියන ලදී. (89.) මනාසේ පුදනු ලබන බුදුරදුන්ගේ පිරිනිවීමෙන් එක්දහස් සත්සිය සත්සාළිසක් ගත වූ කල්හි (90.) මේ රටෙහි රටවාසීන් පිළිගත් ශකරාජ වර්‍ෂයෙන් පන්සිය හැටපස් වසක් ඉක්මි කල්හි” යයි[30]

හරිපුංජ දේශයේ ප්‍රවෘත්ති

බුදුන් පිරිනිවීමෙන් එක්දහස් දෙසිය හතරවෙනි වර්‍ෂයෙහි චූලශකරාජ වර්‍ෂයෙන් දෙවිස්ස පැමිණි කල්හි මැදින් පසළොස්වක්දා වාසුදේව තාපසතෙමේ හරිපුඤ්ජය නුවර මැවී. එයින් දෙවෙනි වර්‍ෂයෙහි චම්ම දේවිය ලවපුරයෙන් අවුත් හරිපුඤ්ජය නුවර රාජ්‍යය කළාය. ඉන්පසු චූලශකරාජ වර්‍ෂයෙන් සාරසිය නවයේදී ආදිත්‍ය රජ හරිපුඤ්ජයෙහි රජවිය. ඉන්පසු චූලශකරාජ වර්‍ෂයේ සාරසිය විසිපස් වැන්නේදී හරිපුඤ්ජය නුවර ධාතු පහළ වී යයි පරම්පරාගත කථාවේ කියවෙයි. එයද හරිපුඤ්ජය ඉතිහාස කථාව හා ගැළපේ, එහෙයින් එය පිළිගත යුතුය. ඒ සිද්ධිය ප්‍රකාශ කිරීම පිණිස මේ හරිපුඤ්ජය නගරයාගේ උත්පත්තිය මුල සිට කිය යුතුය.

පෙර වනාහි වාසුදේව, සුක්කදන්ත, අනුසිස්ස, බුද්ධජටිල, සුබ්‍රහ්ම යන මිත්‍රයෝ පස්දෙනෙක් බුදු සස්නෙහි පැවිදිව පිටකත්‍රය ඉගෙන විනය පිළිපැදීම බැරෑරුම් බව සලකා ගිහිවී තාපස පැවිද්දෙන් පැවිදි වූහ. සුක්කදන්තතෙමේ ගිහිවී ලව පුරයෙහි විසී. වාසුදේවාදී ඉතිරි සිවුදෙන අභිඥා බල ලබා ගෙන සියම් රටෙහි විසූහ. එයින් වාසුදේවතෙමේ රෝහිණී ගං ඉවුරෙහි වූ ඉක්ෂු පර්‍වතයෙහි ද බුද්ධජටිල තෙමේ සාර ගං ඉවුරේ ජුහ පර්‍වතයෙහි ද අනුසිස්ස තෙමේ හළිද්දිවල්ලි නුවර ද සුබ්‍රහ්ම තවුසා වංකනදීතෙර ශුභ පර්‍වතයෙහි ද විසී. එයින් වාසුදේව තෙමේ එක්දිනක් ඉක්ෂු පර්‍වතයෙන් බැස ඇත් පා ඇති දෙදෙනෙක්ද කඟවේන පා ඇති දෙදෙනෙක් ගවර පා ඇති දෙදෙනෙක්දැයි ළමයින් සය දෙනෙකුන් ලබා පෝෂණය කරවිය. ඔවුහු ක්‍රමයෙන් වැඩී අන්‍යොන්‍ය සංවාස ඇත්තෝව[31] වාසුදේවගේ උපස්ථායකයෝ වූහ. එක් මුවදෙනක් වාසුදේව මුත්‍ර කරන ස්ථානයට අවුත් ශුක්ල මිශ්‍ර වූ මුත්‍ර පානය කොට ගැබ් ගෙන මිනිස් දරුවන් දෙදෙනෙකුන් වැදීය. වාසුදේවතෙමේ කරුණා උපදවා ඇඟිල්ලෙන් නික්මුණු කිරෙන් ඔවුන් පෝෂණය කෙළේය. ඒ දෙදෙන ක්‍රමයෙන් වැඩී අඹුසැමියෝ වූහ. එයින් පුරුෂයාගේ නම කුනරිසීය. ස්ත්‍රියගේ නම මිගුප්පත්තිය. වාසුදේව තෙමේ මිගසංගර නම් නුවරක් මවා එහි කුනරිසි රජ කරවිය. අන්‍ය වූ කලින් කී සදෙන ද එහි වාසය කරවිය. කුනරිසි රජ වාසුදේවයන්ගේ අවවාදයෙහි පිහිටා මිගසංගර නුවර සත්සැත්තෑ වර්‍ෂයක් රාජ්‍යය කරවිය. කුනරිසිට කුනරීරාජ, කුනරිලෝල, කුනරිසිගනාස යන පුත්‍රයෝ තිදෙනෙක් වූහ. වාසුදේව තෙමේ ඒ පුතුන් තිදෙනට වෙන්වූ නගරයන් සාදවා දුණි. එයින් කුනරිසිගනාස තෙමේ පියාගේ ඇවෑමෙන් මිගසංගරයෙහි රාජ්‍යය කරවා නැවත තවුසා විසින් ගොඩනංවන ලද රන්න පුරයෙහි රාජ්‍යය කරවිය. හෙතෙම රන්න පුරය ලී කැබැල්ලක් මෙන් කොට මවට උපස්ථාන කිරීම ද සිඳ දමා අධර්‍මයෙන් විනාශ කෙළේය.

එකල වාසුදේවතෙමේ ආරක්‍ෂා සහිත තැනක් සොයන්නේ අප බුදුරදුන් වැඩහුන් තැනක් දැක මෙය අතිශයෙන් නිර්භය ස්ථානයක් යයි නිශ්චය කොට බිංග නදී තීරයෙහි වූ එහි එක් නුවරක් කරවිය. එය කරවා “අපගේ මිත්‍ර වූ සුක්කදන්තයාට වඩා ශීලාදීගුණ යුක්තයෙක් නැත; ඔහුට මේ නුවර සුදුසුය”යි සිතා හස්නක් ලියා නුදුරු තැන පිහිටි උණ පහුරක බැඳ එය බිංග නදී අනුසාරයෙන් ලවර පුරයට යැවීය. ශුක්ල දන්තයා ඒ ලිපිය කියවා උණපහුරක නැගී බිංග නදිය දිගේ උඩුගං බලා ගොස් එතැනට පැමිණියේය. ශුක්ලදන්ත තෙමේ (තවුසා අමතා) “ස්වාමීනි, ලවපුරයේ චක්කවත්ති රජුගේ පාරම්පරියෙකු මෙහි ගෙනාවොත් අභිවෘද්ධියක් වන්නේය”යි කීය. එවිට ඒ දෙදෙන එක්ව පන්සියයක් මිනිසුන් සමග ගවය නමැති දූතයකු ඒ රජු වෙත යැවූහ. ගවය තෙමේ එහි ගොස් ලවර පුරාධිපති වූ චක්කවත්ති රජුට වැඳ වාසුදේව තවුසා කී සියල්ල දැනුම් දුණි. ගවය තෙමේ එහි අවුරුද්දක් වැස එය ගෙවී ගිය පසු ඒ රජුගෙන් විචාළේය. රාමඤ්ඤ රට ප්‍රාදේශික රජකුගේ අගමෙහෙසිය වූ චක්කවත්ති රජුගේ දූ වූ චම්ම දේවිය ගැබ්ගෙන තෙමස් ඇත්තී විය.[32] චක්කවත්ති රජ ඒ චම්මදේවී නමැති තමාගේ දුව මෙහි රජකම් කිරීම සඳහා එවීය. ඕතොමෝ සියල්ලෙන් පන්සියය බැගින් ඇති පිරිවරද ත්‍රිපිටකධර පන්සියයක් තෙරවරුන්ද සමග නැව් නැගී බිංග නදියේ යාත්‍රා කිරීමෙන් සත්මසකින් මෙනුවරට පැමිණියාය.

වාසුදේව තෙමේද සුක්කදන්තතෙමේද ඒ චම්ම දේවිය රන් ගොඩක් උඩ සිටුවා අභිෂේක කළහ. ඒ නිසා මෙනුවරට “හරිපුඤ්ජය” යන නම අද දක්වා පරම්පරාගතව එයි. ඒ චම්ම දේවිය මෙහි ඇවිත් සත් දිනකින් නවම් මස පසළොස්වක් දා පුතුන්

දෙදෙනෙකුන් වැදී. එයින් දෙටු පුත්‍රයා මහායසය; බාලයා ඉන්‍දරවය. ඉන්‍දවරට “උන්තතයස” යන නමක්ද ඇත. ඔවුන් සත්හැවිරිදි කල්හි මහායස කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළහ. චම්ම දේවිය බුදු සස්නෙහි නොයෙක් කුශල කර්‍මයන් රැස්කොට නගරගුත්තික දෙවිවරුන්ට පින්දී සත්කාර කළාය. ඇගේ පුණ්‍යානුභාවයෙන් දෙවිවරු තේජස් ඇති ඇතකු මඟුල් ඇතා සඳහා ගෙනාවාහුය. එකල අසූදහසක් භවපිරිවර ඇති බිලංක නමැති මිලේච්ඡ රජෙක් හරිපුඤ්ජය ගැනීමට ආය. මහායස තෙමේ ඇතාගේ කුඹෙහිද ඉන්‍දවර කුමරා මැදද හස්තිපාලයා පසු අස්නෙහිද හිඳගෙන නොයෙක් භටයන් විසින් පිරිවරන ලද්දේ බටහිර දොරටුවෙන් යුද පිණිස නික්මුණි. එකල ඒ මිලේච්ඡ රජ සුදු ඇතාගේ දළ අග බැබළෙන රතු පැහැය දැක මරණ බියෙන් බියපත් වූයේ යුදබිම සිටින්ට නොහැකිව පලා ගියේය. හැම යෝධයෝම බැලූ බැලූ අත දිවූහ. එතැන් පටන් හරිපුඤ්ජය නුවර අර්බුද රහිත ක්‍ෂෙම ස්ථානයක් විය.

හරිපුංජය නුවර ආරම්භය නිමියේයි

චම්ම දේවියගේ පුත් ඉන්‍දවර තෙමේ වෙනම රජයක් කරනු කැමතිව තමාගේ කැමැත්ත මවට කීය. ඕතොමෝ ඒ කාරණය වාසුදේව තවුසාට කියවිය. වාසුදේව තෙමේ මෙසේ කී: “හරිපුඤ්ජය නුවරට නැගෙනහිර දෙසැ සාර ගංඉවුරෙහි ජුහ පර්‍වතයෙහි බුද්ධජටිල නමැති තවුසෙක් වසයි. ඉන් එහා ලුද්ද පර්‍වතයෙහි ඛෙලාංග නමැති වැද්දෙක් වසයි. ඉන්එහා වංක ගංඉවුරෙහි ශුභ පර්‍වතයෙහි සුබ්‍රහ්ම නමැති තවුසා වසයි. ඉදින් ඉන්‍දවර කුමරා රාජ්‍යයක් කරනු කැමති නම් එහි ගොස් බුද්ධ ජටිලයා වැඳ ඉන් එහා ගොස් ඛෙලාංග වැද්දා මග පෙන්වන්නා කරගෙන ඉන් එහාට ගොස් සුබ්‍රහ්ම තවුසා වැඳ ඒ නුවර ඉල්වව”යි (කීය.) එයසා ඉන්‍දවර තෙමේ තමාගේ මවට වැඳ සිය පිරිවර ගෙන වාසුදේව තවුසා කී පරිද්දෙන් ගොස් සුබ්‍රහ්ම තවුසා වැඳ ඒ නුවර ඉල්විය. එවිට සුබ්‍රහ්ම තෙමේ ඒ වැද්දා සමග සුරක්‍ෂිත නුවරක් ගොඩ නංවා ඉන්‍දවරට දුණි. එය කරණකොටගෙන මේ නුවරට ඛෙලාංග යන නම ඇතිවිය. ඉන්පසුකලක ඉන්‍දවර තෙමේ තමාගේ මෑණියන් වඳිනු කැමතිව ඇය එහි කැඳවාගෙන ඒම සඳහා ඇමතියෙකු යැවීය. හෙතෙම හරිපුඤ්ජයට ගොස් චම්ම දේවියට සියලු ප්‍රවෘත්ති කීය. ඕතොමෝ තුටුපහටුව ඉන්‍දවර දකිනු කැමතිව මහපිරිවරින් හරිපුඤ්ජයෙන් නික්ම ක්‍රමයෙන් ඛෙලාංග නුවරට පැමිණියා එහි ඉන්‍දවර කුමරා මහත් ඓශ්වර්‍යයෙන් යුක්තකොට අභිෂේක කරවිය. ඉන්‍දවර රජ මවට මහත් සත්කාර කොට සතුටු විය. ඕතොමෝ හයමසක් ඛෙලාංග නුවර වැස සුබ්‍රහ්ම තවුසා විචාරා හරිපුඤ්ජයට හැරී ආය. එහි අවුත් දෙමසකින් නොයෙක් කුසල් රැස්කොටගෙන මරණප්‍රාප්ත විය.

91. රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ මහායස මහරජ හරිපුඤ්ජය නුවර අසූ වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. යම් වර්‍ෂයක වාසුදේව තවුසා හරිපුඤ්ජය ගොඩනැංවීද එයින් දෙවෙනි වර්‍ෂයෙහි චම්ම දේවිය එහි අභිෂේක කරන ලදී. ඕතොමෝ සත් වර්‍ෂයක් හරිපුඤ්ජයෙහි රාජ්‍යය කරවිය.

චම්ම දේවියගේ උත්පත්ති කාලය නිමි.

මහායස රජුගේ ඇවෑමෙන් ඔහු පුත් කුමඤ්ඤ රජ සතළිස් අවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් රුදන්ත රජ විසිහත් වසක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් සොණ්ණමඤ්ජුසක (=රන් පෙට්ටි) රජ තිස් වර්‍ෂයක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් සංසාර රජ දසහවුරුද්දක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් පදුම රජ තුන් වර්‍ෂයක් හා දසමසක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් කුලදේව රජ සත් වර්‍ෂයක් රජය කෙළේය. එකල නොයෙක් බලවාහන ඇති මහාරාජ නමැත්තෙක් සප්පාලක නුවරින් අවුත් යුද කිරීමෙන් හරිපුඤ්ජය නුවර ගෙන එක් වර්‍ෂයක් රජය කෙළේය. ඉක්බිති ලක්‍ඛුන්‍ද්‍රිය නමැති මිලක්‍ඛ රජු හරිපුඤ්ජය අල්වාගෙන තුන් වර්‍ෂයක් හා තෙමසක් රාජ්‍යය කෙළේය. නැවත කුලදේව තෙමේ භටයන් රැස්කොට ලක්‍ඛුන්‍ද්‍රිය රජු මරා එක් වර්‍ෂයක් හා තුන් මසක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් නෝක රජ සත්මසක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් දල රජ දෙමස් අඩමසක් රජය කරවිය. ඔහු ඇවෑමෙන් ගුත්ත රජ දශ වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ඔහු ඇවෑමෙන් සේල රජ තුන් අවුරුද්දක් රජය කරවිය. ඉක්බිති ධ්‍රැවරජ හයමසක්ද බ්‍රහ්මතාරඤ්ඤ රජ දෙවර්‍ෂයක් හා තුන් මසක්ද මුකස රජ දෙවර්‍ෂයක් හා සාරමසක්ද ත්‍රාබක රජ දෙවර්‍ෂයක් හා දසමසක්ද රාජ්‍යය කරවූහ. ශූර වූ ත්‍රාබක රජ යුද පිණිස සැරසුනේ ලවපුරය ගැනීම සඳහා බිංග නදියේ පහළට ගියේය. එකල ලව පුරයෙහි විසූ උච්ඡිත්තචක්කවත්ති රජ එය’සා යුද පිණිස සැරසී ලව පුරයෙන් නික්මුණි. මේ දෙදෙන යුද්ධයට සැරසී සිටි කල්හි සිරිධම්ම නුවර ජීවක නම්[33] රජ බොහෝ භට සේනා ඇත්තේ බොහෝ නැව්වලින් අවුත් ලවපුරය අල්ලා ගත්තේය. එකල්හි ඉතිරි රජවරු දෙදෙන වහ වහා හරිපුඤ්ජයට ගියහ. එයින් උච්ඡිත්තචක්කවත්ති රජ පළමුකොට හරිපුඤ්ජයට ආවේය. ත්‍රාබක රජ පැරදී නැවත ලවපුරය ගැනීම සඳහා ගියේය. උච්ඡිත්තචක්කවත්ති රජු රාජ්‍යය කරවන කල්හි කම්බෝජ රජෙක් හරිපුඤ්ජය ගැනීමට ආවේය. ඔහුගේ ඒම අසා උච්ඡිත්තචක්කවත්ති තෙමේ සන්නද්ධව නික්මී විජයප්‍රාප්ත විය. කම්බෝජ රජ පැරදී සේනාව සමග පලා ගියේය. ඒ උච්ඡිත්තචක්කවත්ති රජ තුන් වර්‍ෂයක් රජය කෙළේය. ඔහු ඇවෑමෙන් කම්බල නමැති රජෙක් විසි වර්‍ෂයක් හා සත්මසක් රාජ්‍යය කෙළේය. ඔහු රාජ්‍යය කරවන කල්හි හය වර්‍ෂයක් මුළුල්ලේ අහිවාතක (=මහාමාරි) රෝගය හටගත්තේය. නුවර වැසියෝ ජීවත්වීමට නොහැකිව (රාමඤ්ඤ රට) සුධම්ම පුරයට ගියහ. ඉක්බිති අරිමද්දනයේ රජු විසින් පීඩිත වූ සුධම්ම නුවර සිටි හරිපුඤ්ජය වැසියෝ සියලු දෙන කංසාවතී නුවරට ගියහ. අහිවාතක රෝගය සංසිඳුණු පසු ඒ සියල්ලෝ හරිපුඤ්ජයට හැරී ආහ. එබැවින් පූර්‍වයේදී හරිපුඤ්ජය වැසියෝ අවුරුදු පතා රාමඤ්ඤ රටට කප්පම් ගෙන ගියහ. ඉක්බිති චක්කවත්ති රජ අතිගුය නුවරින් අවුත් හරිපුඤ්ජය රැගෙන නව වර්‍ෂයක් රාජ්‍යය කරවිය.

ඉක්බිති වාසුදේව තෙමේ එක් වර්‍ෂයක් හා දෙමසක් රාජ්‍යය කරවිය. ඉක්බිති ඤෙය්‍යල රජ දශ වර්‍ෂයකි. ඉක්බිති සප්පාල නුවරින් මහාරාජතෙමේ මෙහි අවුත් ඤෙය්‍යල රජු පලවා හැර නැවත එක් වර්‍ෂයක් රජය කරවිය. ඉක්බිති සේල රජ නැවත තුන් අවුරුද්දක් රජය කරවිය. ඉක්බිති කඤ්චන රජ සය වර්‍ෂයකි. ඉක්බිති ජිලංක රජ දශ වර්‍ෂයකි. ඉක්බිති බන්ධුල රජ විසි වර්‍ෂයකි. ඉක්බිති ඉන්දවර අවුරුදු තිසකි. ඉක්බිති දිත්ත රජ රාජ්‍යානුශාසනා කෙළේය. හෙතෙම ශූර භටයන් පිරිවරා ගෙන ලවපුරයට ගොස් චෛත්‍ය ගොඩනැංවීමේ ධර්‍ම යුද්ධයක් කොට පරාජිත වූයේ හැරී ගියේය. ලව රජුගේ පුත්‍රයා යුද පිණිස සැරසී හරිපුඤ්ජයට අවුත් දිත්ත රජු සමග වැව් සෑරීමේ ධර්‍ම යුද්ධයක් (-තරඟයක්) කොට පැරදුනේ පලා ගියේය. ලව භටයන් සැරූ ඒ විල අද “මෝඩවිල” යයි ප්‍රකටයි; නුවණමද භටයන් විසින් කණින ලද බැවිනි. හරිපුඤ්ජයික භටයන් කැණූ විල “දේවවිල” නමින් ප්‍රකටයි; නුවණැති භටයන් විසින් සාරන ලද බැවිනි. මෙසේ ලව භටයන් පලාගිය පසු දෙවෙනි ලව රජ නැවත හරිපුඤ්ජය ගැනීම පිණිස පුත්‍රී නමැති මහඇමතියකු යැවීය. හෙතෙම ශූර භටයන් විසින් පිරිවරන ලදුව අවුත් දේවතානුභාවයෙන් මංමුළා වී ඔබිනොබ දිව්වේය. එකල දිත්ත රජ ඔහුගේ ඒම අසා සිවුරඟ සෙනග හා නික්මියේය. ඔහු නික්මි බව අසා කාම්බෝජයෝ බියපත්ව නොයෙක් දිශාවන්හි පලා ගියහ. මහාකරුණා ඇති දිත්ත රජ ඔහුට අභය දී ඔවුන් ලවා මහාබල චෛත්‍යය කරවා භට පිරිස සහිත පුත්‍රී ඇමතියාට දිවුරුම් දිය පොවා ඔවුන්ට ලව පුරයට යන්ට අවසර දුණි. භට පිරිස සහිත පුත්‍රී ඇමතියා දිත්ත රජුට වැඳ ලවපුරයට හැරී ගියේය. නැවත සිරිගුත්ත නමැති ශූර ඇමතියෙක් ලව රජු විසින් එවන ලද්දේ සේනාව සමග අවුත් දේවනුභාවයෙන් මංමුළා වූයේ නොයෙක් දිශාවන්හි ඇවිද්දේය. ඔවුන්ගේ ඒම අසා හරිපුඤ්ජයික ශූර භටයෝ පිටත්ව ඔවුන් ලුහු බැන්දාහ. කාම්බෝජයෝ අතිශයෙන් බියපත්ව විසිරී පලා ගියහ. එතැන් පටන් හරිපුඤ්ජය නුවර උවදුරු නැති නිර්භය ස්ථානයක් විය. ඒ දිත්ත රජ හරිපුඤ්ජය නුවර තිස් වර්‍ෂයක් රාජ්‍යය කරවිය. චම්ම දේවිය පටන් දිත්ත රජු දක්වා රජවරු තිස් එක් දෙනෙක් වූහ. අවුරුදු තුන්සිය අසූහතක් ඉක්ම ගියහ.

දිත්ත රජුගේ ඇවෑමෙන් ඒ වර්‍ෂයේදීම හෙවත් හාරසිය නවවෙනි ශක වර්‍ෂයේදී ආදිච්ච රජ හරිපුඤ්ජයෙහි අභිෂේක ලද්දේය. ඒ රජ පෙර රජුන්ට වඩා උසස් වූයේ පිනැත්තේ නුවර මැද එක් ප්‍රාසාදයක් කරවා සත්දිනක් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දී සත් දින ඇවෑමෙන් ප්‍රාසාදය විකුණා ශාසනයට කැප බඩු දුන්නේය. ඉක්බිති එක්දිනක් වැසිකිළියට ගිය රජුගේ හිස මත්තෙහි කාක්කෙක් වර්චස් හෙළීය. රජු එය කුමක්දැයි බලා “වහ වහා කවුඩන් අල්වව්”යි කියන විට ඔහුගේ කටෙහිද වර්චස් පිඩක් බහා ගියේය. රජ නොසතුටට පත්ව “කවුඩන් සොයව්” යයි මිනිසුන්ට අණ කෙළේය. රජ අණ ලැබූ මිනිස්සු කාක්කන් සොයන්නාහු එක් කවුඩකු දැක අල්වා රජු වෙත ගෙන ආහ. කිපුණු ඒ රජ “මේ කවුඩා මැරිය යුතුදැයි” ඇමතියන් විචාළේය. “දේවයන් වහන්ස, නොමරනු මැනවි; නිමිති දන්නන් විචාළ මැනවැ”යි කීහ. රජු විසින් විචාරන ලද නෛමිත්තකයෝ “දේවයන් වහන්ස, ඔබට යහපතක් වන්නේය”යි කීහ. රජ ඒ කවුඩා කූඩුවක දමා ආරක්‍ෂා කරවා රාත්‍රි කාලයේදී මෙවැනි සිහිනයක් දිටී:- එක් දේවතාවෙක් අවුත් රජු හා මෙසේ කථා කෙළේය. “මහරජ, ඒ කාරණය දැනගනු කැමති නම් ඉපදී සත් දිනක් ගත වූ ළදරුවෙකු කවුඩා සමීපයෙහි හොවා පෝෂණය කළ මැනවි; එවිට ඒ කාරණය දැනගත හැකිවන්නේ”යි. රජතෙම සිහිනය අනුව ක්‍රියා කෙළේය. කවුඩා සමීපයෙහි හත් වර්‍ෂයක් පෝෂණය කරනු ලැබූ ළමයා කවුඩු බස ද මිනිස් බස ද දන්නෙක් විය. දරුවාහේ මව ඔහු රජුට බාරදුණි. රජතෙම ඒ ළමයා ලවා කවුඩාගෙන් ඒ කාරණය ඇස්විය. කවුඩා මෙසේ කීය: “දරුව, මාගේ සීයා වූ සුදු කවුඩු රජ මහලුය. හෙතෙම මේ ස්ථානය සර්‍වඥ ධාතු ඇති තැනකැයි ද එය ආරක්‍ෂා කරවයිද මට කියා දැන් හිමාලයෙහි වාසය කරයි. ඉදින් රජ විස්තර වශයෙන් එය දැනගනු කැමති නම් මම මාගේ සීයා කැඳවාගෙන එන්නෙමි”යි. ළමයා ඒ සියල්ල රජුට කීය. රජ කාක්කාගේ සීයා කැඳවා ගෙනෙන්ට නියම කෙළේය. කවුඩා හිමවතට ගොස් කවුඩු රජුට ඒ ප්‍රවෘත්ති කීය. කවුඩු රජ තරුණ කවුඩන් දෙදෙනෙකුන් ඩැහැගත් ලීයක හිඳගෙන අහසින් අවුත් සත් දිනකින් හරිපුඤ්ජයට පැමිණියේය. ආදිත්‍ය රජ කවුඩු රජු රජ මිදුලෙහි හිඳුවා කවුඩු ආහාර අනුභව කරවා කවුඩු බස දත් ඒ ළමයා ලවා ඒ කාරණය විචාර විය. කවුඩු රජ මෙසේ කීය: එක්කලක අපගේ බුදුරජ බරණැස් නුවර වසන්නේ උදෑසනක තනිවම පාත්‍රසිවුරු රැගෙන අහසින් අවුත් එක් කැලෑබද ගමක බැස පිඬු පිණිස හැසුරුණි. ඒගම මිනිස්සු පැහැදී උන්වහන්සේට ආහාර දුන්හ. බුදුරජ ඔවුන්ට යෝග්‍ය ධර්‍මයක් දෙසා ඒ මිනිසුන් තිසරණයෙහිත් පඤ්ච ශීලයෙහිත් පිහිටුවා එතැනින් අහසින් අවුත් මේ ගල් තලාවෙහි පාත්‍රය තබා බත්කිස කෙළේය. බත්කිස අවසන්හි මෙසේ ප්‍රකාශයක් කෙළේය:- “බුදුන් පිරිනිවි කල්හි අනාගතයෙහි මේ ස්ථානය මහා නගරයක් වන්නේය. එහි ආදිත්‍ය නමැති රජෙක් රාජ්‍යය කරවන්නේය. එකල්හි මෙහි සර්‍වඥධාතු පහළ වන්නාහ”යි. කවුඩු රජුගේ කථාව එලෙසින්ම ඒ ළමයා රජුට කීය. ඒ කීම ඇසූ රජ තුටුපහටු වූයේ වැසිකිළිය ඉවත් කරවා එතැන සමතලාකොට සුවඳදුම් ගස්වා පිරිසිදු තැනක් කරවිය. මුළු නුවර බෙර හසුරුවා තෙමේ හිස් සෝදා නහා රාජාභරණ පැළඳගෙන නොයෙක් පූජා වස්තූන් රැගෙන එහි ගියේය. හෙතෙම මුළු නුවර වැසි භික්‍ෂු සංඝයා ලවා ඒ ස්ථානයට පූජා පවත්වවා ඇඳිලි බැඳ නමස්කාර කරමින් මෙසේ ආරාධනා කෙළේය:

92. “අපගේ බුදුරජ නොයෙක් කල්පයන්හි කුසල් රැස්කොට ලෝකානුකම්පාවෙන් නොයෙක් දුක් විඳ අති දීර්‍ඝ කාලයක් උත්සාහකොට බුද්ධත්‍වය ලැබුවේය. (93.) කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ අප සියලු දෙනගේ සැක දුරු කිරීම සඳහා ආශ්වර්‍යවත් ප්‍රාතිහාර්‍යයක් දක්වන සේක්වා; එසේකොට අප සියල්ලන් දුකින් මුදත්වා. (94.) කවුඩු රජු විසින් යමක් කියන ලද නම් ඒ සියල්ල සත්‍ය නම්, බුදුවරුන්ගේ කීම සත්‍යනම් අපේ ඇසටද ප්‍රාතිහාර්‍යයක් දක්වනු මැනවි.”

ඔහු එසේ ආරාධනා කරන කල්හි ධර්‍මාශෝක රජු විසින් කරවන ලද ධාතු සහිත රන් කරඬුවක් දේවතානුභාවයෙන් තුන් රියනක් පමණ උසට නැග සවණක් රැස් විහිදුවමින් සිටියේය. රජ ද සියලු නුවර වැසියෝ ද ධාතූන්ගේ ප්‍රාතිහාර්‍යය දැක විස්මයට පැමිණි සිතැත්තාහු සාධුකාර දෙමින් නොයෙක් පහන්-සුවඳදුම්-මල් ආදියෙන් ද ආභරණවලින්ද පුදමින් ස්තූති කරමින් සිටියාහ. එකල ආදිත්‍ය රජ දා කරඬුව අන්තැනකට ගෙන යනු කැමතිව එතැන සැරවිය. එකෙණෙහිම දේවානුභාවයෙන් දාකරඬුව පොළොවේ ගිලී නොපෙනී ගියේය. නැවත රජ අතිශයෙන් පූජාවන් කොට ආරාධනා කෙළේය. නොයෙක් අයුරින් ආරාධනා කළ විට කරඬුව සහිත ඒ ධාතුව නැවත තුන් රියනක් පමණ පොළොවෙන් නැගී සවණක් රැස් විහිදුවිය. රජතෙම අශෝක රජු කරවූ ඒ කරඬුව නානාරත්න විචිත්‍ර වූ අන් කරඬුවක බහා ගල් තලාවක් මත්තෙහි තබා එහි කණු සතරක් හා දොරටු සතරක් ඇති දොළොස් රියන් උසැති ප්‍රාසාද ස්තූපයක් කරවිය. ධර්‍මාශෝක රජ යම් වර්‍ෂයක මුළු දඹදිව ධාතු පැතිරවීම කෙළේද, එයින් එක්දහස් තුන්සිය අසූතුන් වර්‍ෂයක් ඉක්මි කල්හි ආදිත්‍ය රජු අභිෂේකයට පැමිණ සොළොස්වෙනි වර්‍ෂයේදී හරිපුඤ්ජය නුවර ධාතු පහළවීම සිදුවිය. එය වනාහි බුදුන් පිරිනිවීමෙන් එක්දහස් හයසිය සත්වෙනි වර්‍ෂය විය. ආදිත්‍ය රජුගේ දේවිය “සුවණ්ණචේතිය” නමැති ස්තූපයක් කරවිය.

95. හරිපුඤ්ජය නුවර ආදිත්‍ය රජතෙම අසූ වර්‍ෂයක් රාජ්‍යය සම්පත් විඳ නිරන්තරයෙන් දානාදි පින් රැස්කොට ස්කන්‍ධ භේදයෙන් අනිත්‍යභාවයට පැමිණියේය.

හරිපුඤ්ජයෙහි ධාතු පහළ වූ කාලය නිමි.

ආදිත්‍ය වංශකථාව

ආදිත්‍ය රජුගේ ඇවෑමෙන් එක් ධාර්මික රජෙක් රාජ්‍යය කරවන්නේ අටළොස් රියන් බුද්ධ රූපයක් කරවා පස් වර්‍ෂයකින් පරලොව ගියේය. ඉන්පසු රථ රජ පස් වර්‍ෂයක් ද ඉන්පසු සබ්බසිද්ධි රජ සතළොස් හැවිරිදි කල්හි අභිෂේක ලද්දේය. හෙතෙම ආදිත්‍ය රජු සෑදවූ ධාතු මන්‍දිරය සූවිසි රියනක් උස්කොට තනවා නොයෙක් පින්කම් කරමින් සතළිස්පස් අවුරුද්දක් රාජ්‍යය කරවිය. ඉන්පසු ඔහුගේ පුත් ජෙට්ඨරාජ තෙමේ පසළොස් වර්‍ෂයක් ද ඔහුගේ පුත්‍ර චක්‍යෙක රජ දෙවිසි වර්‍ෂයක් ද ඉන්පසු ත්වාඤ්ඤ රජ දෙවර්‍ෂයක් ද ඉන්පසු ගංගා රජ දොළොස් අවුරුද්දක් ද සිරිපුඤ්ඤ රජ දෙවර්‍ෂයක්ද උදේන රජ එක් අවුරුද්දක්ද බන්තොඤ්ඤ රජ තිස් වර්‍ෂයක් ද රාජ්‍යය කරවූහ. දෙය්‍ය නමැති ඇමතියා ඛෙලාංග නුවරින් බලසෙන් සමග අවුත් බන්තොඤ්ඤ රජු නසා හරිපුඤ්ජය අල්වා ගත්තේය. ඉන්පසු ශ්‍රද්ධා නැති රත්නත්‍රයෙහි ප්‍රසන්න නොවූ ආතාන්ත නම් රජෙක් තුන් වර්‍ෂයක් ද හ්වාම රජ දශ වර්‍ෂයක් ද තරංගල රජ එක් අවුරුද්දක්ද ඤොත්ත රජ දසහවුරුද්දක් ද ඤීපා රජ දශ වර්‍ෂයක් ද රාජ්‍යය කළහ. ආදිත්‍ය රජු පටන් ඤීපා රජු අවසන්කොට ඇති එකුන්විසි රජුන් රාජ්‍යය කරවන කල්හි අවුරුදු දෙසිය සතළිස් පසක් ඉකුත්වූහ. චම්ම දේවිය පටන් ඤීපා රජු දක්වා රජවරු පණස් දෙනෙක් වූහ. ඒ කාලය තුළ අවුරුදු හයසිය තිස් එකක් සම්පූර්‍ණ වූහ.

ආදිත්‍ය වංශකථාව නිමි.

මංරාය රාජ කථාව

දැන් ලාව වංශකථාව කිය යුතුය. පෙර වනාහි කළ පිනැති එක් පුද්ගලයෙක් යාංග නුවර අසල රම්‍ය ස්ථානයක පිහිටි ඩෙබර ගසක් මුල ඕපපාතිකව උපන්නේය. හෙතෙම කළ පිනැති බැවින් තේජස් ඍද්ධි ඇත්තේ, ශක්තිය ජවය පරාක්‍රමය යන මෙයින් යුක්ත වූයේ පිළිගත යුතු වචන ඇති තවුසෙක් විය. මෙසේ ගුණ සතකින් යුක්ත බැවින් මහජනයාට අධිපති වූයේ යාංග පුරයට අවුත් එනුවර ප්‍රථම රජව රාජ්‍යය කෙළේය. හෙතෙම ලාවචංග රජ යයි මුළු යොත් රටෙහි ප්‍රකට විය. ඒ රජුගේ දරු මුණුබුරු පරම්පරාවෙහි වූ රජවරු විසිතුන් දෙනෙක් ක්‍රමයෙන් එනුවර රාජ්‍යය කළාහුය. ඒ රජුගේ අන්තිමයා වූ මංරාය රජ ශක වර්‍ෂයෙන් හයසිය එක්වෙනි කුඤ්ජර වර්‍ෂයෙහි උපන්නේය. දෙවිසි වයස් ඇති හෙතෙම පියාගේ ඇවෑමෙන් අභිෂේකයට පත්විය. එයින් දෙවෙනි වර්‍ෂයෙහි හෙවත් හයසිය සූවිසිවෙනි ශක වර්‍ෂයේදී තෙවිසි වයස් ඇති මංරාය රජ ජංරාය නුවර ගොඩනැංවිය. ඒ වර්‍ෂයේදී ගේරිං නමැති ඔහුගේ පුත්‍රයා උපන්නේය. එයින් සිව්වෙනි වෘෂභ වර්‍ෂයෙහි ග්‍රාම රජ උපන්නේය. හෙතෙම ශක වර්‍ෂ හයසියතිස් එකේදී ජයපුරය අල්ලා ගත්තේය. ඉන්පසු හයසිය තිස් පස්වෙනි ශක වර්‍ෂයේදී කුස නගරය පිහිටෙව්වේය. ඒ වර්‍ෂයේදී ඔහුගේ පුත්‍ර වූ ත්‍රෙජ නමැත්තා උපන්නේය. එයින් දෙවෙනි වර්‍ෂයේදී කාව රජු හා යුදකොට දදරපුරය අල්ලා ගත්තේය. ඉක්බිති ශක වර්‍ෂයෙන් හයසිය හතළිස් නවවෙනි කුඤ්ජර වර්‍ෂයෙහි මංරාය රජ ද පුරච්ඡාදන රජ ද රෝව රජ ද යන මිත්‍ර වූ මේ රජවරු තිදෙන ජයඉග්ඝ නමැති තැනදී හමුවී අන්‍යොන්‍ය මිත්‍රභාවය දැඩිකොට ස්වකීය නුවරවලට ගියාහු යයි පරණ පොත්වල ප්‍රකටව තිබේ.

එයින් දෙවෙනි වර්‍ෂයෙහි මංරාය රජ සමීපයෙහි සිටි ආයදේවයා හරිපුඤ්ජය නුවරට යැවී. ඉක්බිති තෙපණස් වයසැති මංරාය රජ ශක වර්‍ෂයෙන් හයසිය සිව්පණසක් වූ මහොරග වර්‍ෂයෙහි දොළොස් ලක්‍ෂයක් භටයන් විසින් පිරිවරන ලදුව හරිපුඤ්ජයට අවුත් ඤීපා රජු සමග යුදකොට ඔහු පලවාහැර ලැබූ ජය ඇත්තේ මුළු යොන් රටෙහි ද හරිපුඤ්ජය දේශයෙහි ද එක් සේසතක් එසවිය. එයින් පසු හයසිය පණස්අටවෙනි වානර වර්‍ෂයෙහි ඉක්‍ෂු පර්‍වතයටද බිංග නදියටද අතරෙහි නබ්බිසිපුරය ගොඩනැංවිය. මංරාය රජු ඤීපා රජු සමග යුද්ධකොට ජයගත් කල්හි පිරිවර සහිත ඤීපා රජ පලාගොස් ඛෙලාංග පුරයට පැමිණියේය. එහි ගියේද එහි සිටින්ට නොහැකිව තමාගේ බාලසොහොයුරු ඛෙලාංග පුරාධිපති රජු හා දකුණු දෙසට පලා ගියේය. දෙදෙනම දකුණු දෙසට ගිය කල්හි මංරායතෙම එක් මිලේච්ඡ ජාතිකයෙකු ඛෙලාංග පුරයෙහි අධිපති කරවිය. ඒ මිලේච්ඡ අධිපතිතෙමේ සියලු නුවර වැසියන් රැස්කොට පුරාණ ඛෙලාංග පුරය හැරදමා අලුත් ඛෙලාංග පුරය ගොඩනැංවිය. ඒ කාලයේ පටන් අටසිය අටසැත්තෑ වන ශක වර්‍ෂය දක්වා ඒ නුවර රජවරු පණස් පස්දෙනෙක් අනුක්‍රමයෙන් රාජ්‍ය සම්පත් අනුභව කළහ. අවුරුදු දෙසිය පසළොසක් ද ගතවිය. ඉන්පසු හයසිය පණස් පස්වෙනි ශක වර්‍ෂයේදී කුමාම නුවර ගොඩනංවා එහි බුද්ධරූප සැටකින් යුත් රන් අලේප කළ චෛත්‍යයක් කරවිය. දෙසැත්තෑවක් වයස් ඇති මංරාය තෙමේ දෙවිසි වසක් රාජ කුමාරව සිට යෝන රටෙහි තිස්එක් වර්‍ෂයක්ද යෝන-බිංග දෙරටෙහි දහනවසක් ද රාජ්‍යශ්‍රීය විඳ ශක වර්‍ෂ හයසිය සැත්තෑ තුනේදී පරලෝක ප්‍රාප්ත විය.

මංරාය රාජ කථාව නිමි.

සුමන තෙරුන්ගේ ප්‍රවෘත්ති

මංරාය රජුගේ ඇවෑමෙන් ඔහු පුත් ගෝ වර්‍ෂයෙහි උපන් ග්‍රාමරාජ හතළිස්හය අවුරුදු වයසැත්තේ බිංග නුවර සාරමසක් රාජ්‍යය කොට එහි තමාගේ පුත්‍ර සේනභූ කුමරා තබා යෝන රටට ගියේය. සේනභූ රජ එහි සාරවසක් රාජ්‍යය කරවිය. ග්‍රාම රජුගේ බාලසොහොයුරු ගෝරිං රජ පියාගේ මරණය අසා භට සේනාව සමග නාය නගරයෙන් අවුත් හරිපුඤ්ජය අල්ලා ගත්තේය. සේනභූ තෙමේ ඔහුගේ ඒම අසා යෝන රටට ගියේය. කුක්කුට වර්‍ෂයෙහි උපන් ගෝරිං රජ රත්නත්‍රයෙහි ප්‍රසන්න වූයේ ශක වර්‍ෂ හයසිය හැත්තෑ හතරේදී හරිපුඤ්ජය නුවර ගෙන නව වර්‍ෂයක් රාජ්‍යය කරවිය. ගෝරිං රජුගේ පුත්‍ර ග්‍රෝත්‍රෝ රජ දෙමසක් රාජ්‍යය කරවිය. ඒ වර්‍ෂය ශක වර්‍ෂයෙන් හයසිය අසූ තුනකි. ඉක්බිති ග්‍රෝන රජුගේ දෙටුසොහොයුරු ඛග්ග තෙමේ තුන් මසක් රාජ්‍යය කරවිය. ඉක්බිති ග්‍රාම රජුගේ පුත් නජ්ජොත්‍ථර තෙමේ සේනා සහිතව තාක්ක පුරයෙන් අවුත් හරිපුඤ්ජය අල්වා ගත්තේය. ඛග්ග තෙම බියපත්ව ඛෙලාංග නුවරට ගියේය. නජ්ජොත්‍ථර තෙමේ සාහසික ක්‍රෑරයකු වූ බැවින් පියා සමීපයට නොගියේය. සේනභූ රජ බලවාහන ඇත්තේ සේනාව සන්නද්ධ කරගෙන බිංග රටට අවුත් නජ්ජොත්‍ථරයන් හා යුද්ධකොට ඔහු පණ පිටින් අල්වාගෙන ගොස් ග්‍රාම රජුට දැක්විය. ග්‍රාම රජ ස්වකීය පුත්‍ර වූ නජ්ජොත්‍ථර කුමරු දැක පුත්‍ර ස්නේහය උපදවා නිර්භය ස්ථානයකට යැවීය. නජ්ජොත්‍ථර තෙමේ සත් මසක් රාජ්‍යය කරවිය. ග්‍රාමරජ යෝනරට සිටගෙන සේනභූ කුමරු ලවා බිංග රටේ රාජ්‍යය කරවිය. ඒ කුක්කුර වර්‍ෂයෙහිදීම සතිස් වයසැති සේනභූ තෙමේ නැවත බිංග පුරයෙහි රජය කරවිය. හෙතෙම නැවතත් එහි ටිකකලක් වැස තමාගේ පුත්‍ර හරිස්වන මවද එහි තබා තෙමේ යෝන රට ග්‍රාම රජුට උපස්ථාන කෙළේය. හයසිය අසූහත්වෙනි ශක වර්‍ෂයෙහි ග්‍රාම රජ පරලොව ගියේය. සේනභූ තෙමේ යෝන-බිංග දෙරටෙහිම රාජ්‍යයට පත්විය.

හෙතෙම ඒ වර්‍ෂයේදී ඛරගංගාව හා කක්කගංගාව එක්වෙන තැන එක් නුවරක් ගොඩනංවා එහි හඳුන් හරයෙන් වැඩ සිටින බුදුපිළිමයක් කරවිය. ඉන්පසු හයසිය අසූ නවවෙනි ශක වර්‍ෂයේදී ජයසේන පුරය ගොඩනංවා එයින් සිවුවෙනි අවුරුද්දේ දී එනුවර මැද මහාවිහාරයක් කරවිය. එයින් තෙවෙනි වර්‍ෂයේදී ගල් පිළිමයක් සෑදවීය. එයින් දෙවෙනි වර්‍ෂයේදී ඒ ප්‍රතිමාව සඳහා මහෝත්සවයක් පැවැත්විය. අටසාළිස් හැවිරිදි වූ සේනභූ රජ දොළොස් අවුරුද්දක් රාජ්‍යය කරවා හයසිය අනූහයවෙනි ශක වර්‍ෂයේදී පරලෝකගත විය.

ඔහු ඇවෑමෙන් ඔහු පුත් හරිප්‍යව තෙමේ රාජ්‍යය ලැබී. හෙතෙම තමාගේ පියරජු ජීවත්ව සිටියදී කාවරජු හා යුද්ධකොට බල නගරය ගත්තේය. කුක්කුව වර්‍ෂයෙහි උපන් ඒ රජ අටවිසිවය සැත්තේ දෙවර්‍ෂයක් රජයකොට හයසිය අනූ අටවෙනි වර්‍ෂයේදී යෝන රටෙහිදී පරලොව ගියේය. ඔහු ඇවෑමෙන් ඔහු පුත් හ්‍රයූ කුමරා මැදින් මාසයේදී අභිෂේකයට පත්විය. හයසියසත් සැත්තෑවෙනි වර්‍ෂයේදී උපන් හෙතෙමේ දොළොස් හැවිරිදි කල්හි රාජ්‍යය ලබා තුන් වර්‍ෂයක් යෝන රටෙහි වැස මෙහි ආවේය. හෙතෙම මංරාය රජු කරවූ නබ්බිසි පුරය දිගින් බඹ දහසක්ද පළලින් බඹ නවසියයක්ද අතිවෙන සේ විශාල කරවා බඹ නවයක් පළලැති දිය අඟලක් ද ගඩොල් ප්‍රාකාරයක් ද කරවිය. එනුවර මැද රියන් හැත්තෑ හයක් උසැති, එක් එක් පැත්තෙන් හතළිස් අට රියනක් දිග පළලැති මහාසෑයක් කෙරෙව්වේය. ඒ හ්‍රයූ රජ විසි වර්‍ෂයක් රාජ්‍යය කරවා හත්සිය දහහත්වෙනි ශක වර්‍ෂයේදී පරලොව ගියේය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර වූ, හත්සිය එක්වෙනි ශක වර්‍ෂයෙහි උපන් කිලනාරජ සොළහැවිරිදි කල්හි අභිෂික්ත විය. හෙතෙම තමාගේ බාලසොහොයුරු මහාබ්‍රහ්ම කුමරු ජංරාය පුරයට යැවීය. එකල සියම්රට සුඛෝධය නුවර ධර්‍මරාජ නමැති රජෙක් රාජ්‍යය කරවිය. බුදු සස්නෙහි පැහැදුණු කිලනා රජ වනවාසී භික්‍ෂූන්ගේ පැමිණීම පතමින් බොහෝකලක් ඒ ගැන සිතුවේය. එකල්හි සුඛෝදය නුවරවැසි සුමන නම් තෙරනමක් අයොජ්ඣ නුවරට ගොස් ගුරුවරුන්ගෙන් ධර්‍මය ඉගෙන සුඛෝදයට හැරී ආවේය. එකල්හි උදුම්බර නමැති මහාස්වාමි නමක් ලක්දිවින් රාමඤ්ඤ රටට පැමිණ සිටියේය. එයැසූ සුමනතෙර මිත්‍රයෙකු සමග රාමඤ්ඤ දේශයට ගොස් උදුම්බර මහා සාමි වෙත නැවත පැවිදි වී ධර්‍මය උගත්තේය. එකල ධම්මරාජ රජතෙම සියලු සංඝ කර්‍මයන් කිරීමට සමර්‍ථ භික්‍ෂු නමක් සොයන්නේ එවැනි තෙරනමක් එවීම සඳහා ආයාචනා කොට මහාසාමීන් වෙත දූතයන් යැවීය. ශාසනාභිවෘද්ධිය පතන මහාස්වාමිතෙමේ සුඛෝදය නුවර සියලු සංඝ කර්‍මයන් කිරීම පිණිස සුමන තෙරුන් ධර්‍ම රාජයන් වෙත යැවීය. මිත්‍ර භික්‍ෂුව සහිත සුමනතෙර මහාස්වාමීන්ගෙන් අවසර ගෙන සුඛෝදයට ගියේය. තුටුපහටු වූ ධර්‍මරාජ තෙමේ අම්බවනාරාමය කරවා තෙරුන් එහි නවත්වා සිවුපසයෙන් උපස්ථාන කෙළේය. එක්වරක් සුමනතෙර සජ්ජිනාලය නුවරට යන්නේ පා නමැති ගඟ කරා පැමිණ එහි විසී. එහි එක් පුරාණ විහාරයක එක් ධාතු නමක් රාත්‍රි කාලයේදී ප්‍රාතිහාර්‍ය දැක්විය. එය දුටු මහජනයා තෙරුන්ට ඒ ප්‍රවෘත්තිය කීය. රාත්‍රි කාලයේදී රුක් දෙවියෙක් බමුණු වෙසින් අවුත් ධාතු පිහිටි තැන තෙරුන්ට කීය. තෙරනම එහි ගොස් එතැන සාරවා ධාතු නමක් සහිත කරඬුවක් ලබා ගත්තේය. සුමනතෙර ඒ ධාතුව රැගෙන සජ්ජනාලය නුවරට ගියේය. එකල ධර්‍ම රාජයාගේ පුත්‍ර වූ ලිදෙය්‍ය රජ එනුවර රාජ්‍යය කරවිය. තෙරුන්ගේ පැමිණීම ඇසූ ඒ රජ පෙර ගමන් ගොස් නුවර තුළට පමුණුවා ශ්‍රී පර්‍වත පාදයෙහි වූ මහාරත්තවනාරාමයෙහි වාසය කරවිය. ධාතුව දකිනු කැමති ලිදෙය්ය රජුට තෙරනම ධාතුව පෙන්විය. රජතෙම ධාතුවගේ ආශ්වර්‍යයන් දැක අතිශයෙන් සතුටුව පිදීය. ධර්‍මරාජ තෙමේ ධාතූන්ගේ පුවත් අසා දකිනු කැමතිව තෙරුන් වෙත දූතයෙකු යැවීය. සුමනතෙර සුඛෝදය නුවරට ගොස් අම්බවතාරාමයෙහි විසී. ධර්‍මරාජ තෙමේ ධාතුව දකිනු කැමතිව නොයෙක් පූජා ද්‍රව්‍ය ගත්තන් සමග අවුත් “ස්වාමීනි, ධාතුව දකිනු කැමැත්තෙමි” කියා තෙරුන්ට වැන්දේය. තෙරනම රජුට එය දැක්විය. ධර්‍මරාජ තෙමේ ධාතූන් වහන්සේට වැඳ පුදා සුවඳ දියෙන් පිරුණු නිමර්‍ල මනොඥ තඹක්ක භාජනයක තබා අභිෂේක කෙළේය. (හෙවත් නෑව්වේය.)

96. ඒ ධාතු තොමෝ ඒ සුඛෝදය පුරයෙහි නවතිනු කැමති බැවින් ඒ රජුට ප්‍රාතිහාර්‍යයන් දැක්විය.

සුමන තෙරුන් ධාතු ලැබූ කාලය නිමි.

එකල කිලනා මහරජ නබ්බිසි නුවර සියලු සංඝ කර්‍මයන් කරවන්ට සමර්‍ථ භික්‍ෂු නමක් පතමින් රාමඤ්ඤ දේශයෙහි උදුම්බර මහාස්වාමීන් වෙත දූතයෙකු යැවීය. මහාසාමිතෙමේ තමාගේ ශිෂ්‍ය වූ ආනන්‍ද තෙරුන් රාජ දූතයාට පෙන්විය. ඒ ආනන්‍ද තෙර රාජදූතයා සමග විසි යොදුනක් මග ගෙවා සියම් රටට පැමිණියේය. කිලනා රජ තුටුපහටු වූයේ ඒ තෙරුන්ට සිවුපසයෙන් උපස්ථාන කෙළේය. ඒ ආනන්‍ද තෙර ස්වකීය ගුරුවරයාගේ අනුමතිය නොලත් බැවින් අරණ්‍යයෙහි සංඝකර්‍ම කිරීමට නොකැමැති විය. එසේ නොකැමතිව “මහරජ, මාගේ ආචාර්‍යවරයා විසින් යවන ලද සුමන නම් තෙරනමක් දැන් සුඛෝදය නුවර වසයි. හෙතෙම හැම සංඝ කර්‍මයන් කරවන්ට සමර්‍ථය; ඒ තෙරුන් මෙහි ගෙන්වාගත මැනවි; අපිත් ඒ තෙරුන් හා සංඝ කර්‍ම කරන්නෙමු”යි රජුට කීය. තෙරුන්ගේ කීම අසා රජතෙමේ “සුඛෝදය පුරයට ගොස් මාගේ වචනයෙන් සුමන තෙරුන් නොලැබ සද්ධාතිස්ස නමැති තෙරනමක් ගෙනාවේය. ආනන්‍ද ස්ථවිර තෙම සද්ධාතිස්ස තෙරුන් හා සංඝ කර්‍ම කරන්ට නොකැමැති විය. රජතෙමේ සුමන තෙරුන් ලබා ගැනීම සඳහා නැවත පඬුරු සහිත දූතයෙකු ධර්‍ම රාජයන්ට දැනුම් දී තමාගේ උතුම් ධාතුව ද රැගෙන රාජදූතයා සමග නබ්බිසි පුරයට ගියේය.

97 ඒ තෙරුන් සුඛෝදය නුවරින් පිටත්ව නැවතුණු නැවතුණු තැන්වලදී මනා පැහැති බුදුරදුන්ගේ ඒ ධාතුතොමෝ නානාවිධ ආශ්වර්‍යයන් පෙන්විය. (98.) සත්පුරුෂයන්ට සතුට උපදවන මනොඥ වූ ඒ ධාතුතොමෝ දිනපතා ඇතැම්විටක ගින්නක්[34] මෙන්ද, ඇතැම්විට රන් කඳක් මෙන් ද ඇතැම්විටක සඳරැස් මෙන්ද ප්‍රාතිහාර්‍ය පෑවේය. සුමනතෙර ධාතූන් වහන්සේට මනා සේ උපස්ථාන කෙළේය. ශකවර්‍ෂ හත්සියතිස් එකේදී කිලනා රජ හරිපුඤ්ජය නුවර නැගෙනහිර පැත්තේ පිහිටි මහසිටි පිළිමගෙයි වැඩ සිටින බුද්ධරූප සතර කරවිය.

සුමන තෙරුන් පැමිණි කාලය නිමි

සිංහල ප්‍රතිමාවේ ප්‍රවෘත්ති

බුදුන් පිරිනිවීමෙන් අවුරුදු සත්සියයක් ඉක්මි කල්හි ලක්දිව රහත් තෙරවරු විසිනමක් වූහ. එකල සිංහල රජ බුද්ධ රූපය දකිනු කැමතිව විහාරයකට ගොස් “අපේ බුදුරජ ජීවත්ව සිටියදී තුන්වරක් මේ ලක්දිවට ආයේ යයි කියති. යමකු විසින් එතුමා දක්නා ලද්දේ නම් එවැන්නෙක් දැනුත් ඇද්දැ”යි සංඝ ස්ථවිරයන්ගෙන් විචාළේය. එකෙණෙහි රහතන්ගේ ආනුභාවයෙන් නාරජෙක් මිනිස් වෙසින් අවුත් සිංහල රජුගේ සැකය දුරුකිරීම පිණිස බුද්ධ රූපය මැවීය. රජ දින සතක් මුළුල්ලේ ඒ රූපය පිදී. එකල රජ ප්‍රතිමා සාදන්නන් ගෙන්වා නාරජු මැවූ පිළිරුව අනුව මීඉටි පිළිමයක් ද පිටත සටහන ද මනාසේ කරවා එහි උණු කළ ලෝකඩ-ඊයම්-රන්-රිදී මිශ්‍රණයක් වත් කරවිය. ඒ පිළිමය මැදීම් ඔපදැමීම් ආදිය නිමි කල්හි ජීවමාන බුදුන් මෙන් මනොඥ ද පැහැ විහිදුවන්නක් ද විය. සිංහල රජ එය නොයෙක් පූජාවලින් මනාසේ පිදී. ඔහුගේ දරුමුනුබුරු පරම්පරාවේ වූවෝ ද එය පිදූහ. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු එක්දහස් අටසියයක් ඉක්මි කල්හි හත්සිය අටළොස්වෙනි ශක වර්‍ෂයේ දී දඹදිව ගිනිකොණ දෙසැ පිහිටි සියම් රටේ සුඛෝදය නුවර රෝචරාජ නමැත්තෙක් රජය කරවිය. (එකල ගෝගාම නම් තැන උපන් බලසම්පන්න රූපවත් එක් මිනිසෙක් වනයෙහි හැසුරුණි. ඔහු දුටු එක් දෙව්දුවක් ඔහු හා සංවාසය කැමතිව ස්ත්‍රී මායම් දැක්විය. හෙතෙම ඇය හා සංසර්‍ගයෙහි යෙදුණි. ඒ සංවාසයෙන් පුතෙක් උපණි. හෙතෙම ශක්තියෙන් හා රූප සම්පතින් යුක්ත විය. එබැවින් සමගි වූ සියලු ගම්වැසියෝ ඔහු අභිෂේකයට පත්කළහ. හෙතෙම රෝචරාජ යයි ද පසුකලක රුද්‍රරාජ යයි ද ප්‍රකට විය.

එක්කලක රෝචරජ මහමුහුද දකිනු කැමතිව නොයෙක් දසදහස් ගණන් සේනාව විසින් පිරිවරන ලදුව නාන් ගංගාව අනුව පහතට ගොස් සිරිධම්ම නුවරට පැමිණියේය. එනුවර සිරිධම්ම නමැති රජෙක් විය. හෙතෙම රෝච රජුගේ ඒම අසා පෙරගමන්කොට පිළිගෙන සත්කාර කරවා ඔහුට ලක්දිව තිබෙන සිංහල ප්‍රතිමාවේ ආශ්වර්‍යයන් තමා ඇසූ සැටියෙන් කීය. එයැසූ රෝචරජ “අන්‍යයන් විසින් එහි යාම හැකිදැ”යි විචාළේය. සිරිධම්ම රජ “එහි යාම නොහැකිය; කුමක් හෙයින්ද? සුමන-රාම-ලක්‍ෂ්මණ-කතරගම යන තේජස් ඍද්ධි ඇති දෙවිවරු සතර දෙනෙක් ලක්දිව රකිති”යි කීය. ඉක්බිති රජවරු දෙදෙන එක්ව දූතයකු ලක්දිවට යැවූහ. එසේකොට රෝචරජ සුඛෝදයට ගියේය. රාජ දූතයා සිංහල ද්වීපයට ගොස් සිංහල රජුට ඒ ප්‍රවෘත්ති කීය. එයසා රජතෙමේ සත්දිනක් ඒ පිළිමයට පූජා පවත්වා රාජ දූතයාට බාර දුණි. රාජදූතයා පිළිමය නැවක නංවාගෙන ගියේය. ඒ නැව චණ්ඩ වාතවේගයෙන් දුවගොස් මූදේ ගලක හැපී විනාශ විය. ඒ ප්‍රතිමාව ලෑල්ලක රැඳුණි. ඒ ලෑල්ල නා රජකුගේ ආනුභාවයෙන් තෙදිනක් ගමන්කොට සිරිධම්ම නුවර සමීපයට පැමුණුණි. එකල සිරිධම්ම රජ දේවතාවක් දැක්වූ සිහිනයෙන් බුදුපිළිමයේ පැමිණීම ප්‍රත්‍යක්‍ෂයෙන් මෙන් දැක උදෑසනම නොයෙක් දිශාවන්ට නැව් පිටත් කොට යවා තෙමේද නැවක නැග සිංහල ප්‍රතිමාව සොයන්නේ දෙවිරජුගේ ආනුභාවයෙන් ඒ ලෑල්ල දැක ගෙනවුත් පූජා පැවැත්විය. ඉක්බිති සිරිධම්ම රජ පිළිමය ලැබුණු බව රෝච රජුට දන්වා යැවීය. එයසා රෝචරජ සිරිධම්ම නුවරට පැමිණ පිළිමය සුඛෝදය නුවරට ගෙන ගොස් පූජා පැවැත්විය.

99. ඒ රජ ගලින් හා ගඩොලින් තනා සුණු බදාම ගෑ මහත් චෛත්‍යයක් ද රන් අලේප කළ තඹ තහඩුවලින් දිව්‍ය විමානයක් වැනි පිළිම ගෙයක් ද සජ්ජනාලයපුරයෙහි කරවිය. එසේ කරවා සජ්ජනාලය-වජිරපාකාර-සුඛෝදයාදි නගරවලින් රැස්වූ මහජනයා සමග අතිවිශාල වූ විහාර පූජාවක් කෙළේය. රෝචරජ නොයෙක් පින් රැස්කොට පරලොව ගියේය.

ඔහු ඇවෑමෙන් ඔහු පුත් රාමරජ සුඛෝදයෙහි රාජ්‍යය කරවිය. ඒ රජ ද පෙරසේම සිංහල ප්‍රතිමාව පිදීය. ඔහු ඇවෑමෙන් පාල රජ රාජ්‍යයට පැමිණ ඒ පිළිමය පිදී. ඔහු ඇවෑමෙන් ඔහු පුත් උදක්‍ඛජෝතත්‍ථ රජ රාජ්‍යයට පැමිණ ඒ පිළිමයට සත්කාර කෙළේය. ඔහු ඇවෑමෙන් ලිදෙය්‍ය රජ එහි රාජ්‍යය කරවිය. හෙතෙම ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන ධර්‍මරාජ යයි ප්‍රකට විය. එක්කලක ජයනාදපුරයෙහි දුර්භික්‍ෂයක් විය. රාමාධිපති නමැති අයෝධ්‍ය රජ කාම්බෝජයෙන් අවුත් ධාන්‍ය විකුණන්නා සේ හඟවා ඒ නුවර අල්වා ගත්තේය. එසේ ගෙන සුවර්‍ණ භූමියෙහි රාජ්‍යය කරවූ, තමාගේ මහාමාත්‍ය වූ වත්තිතේජ නමැත්තා ජයනාද පුරයෙහි නවත්වා තෙමේ අයෝධ්‍ය පුරයට ගියේය. ඉන්පසු ධර්‍මරාජ තෙමේ රාමාධිපති රජුට බොහෝ පඬුරු යවා ඒ ජයනාදපුරය ඉල්විය. රාමරජ එය දුණි. වත්තිතේජ තෙමේ සුවර්‍ණ භූමියටම ගියේය. ධර්‍මරාජ තෙමේ සුඛෝදය නුවර තමාගේ බාලසොහොයුරිය වූ මහාදේවිය ද වජිරපාකාර නුවර තිපඤ්ඤ ඇමතියාද තබා තෙමේ සිංහල ප්‍රතිමාව රැගෙන ජයනාදපුරයට ගොස් එහිදී එය පිදීය.

කාම්බෝජ රටට ද අයෝධ්‍ය පුරයටද අධිපති වූ රාමාධිපති රජු මරණ මඤ්චයෙහි හොත්විට වත්තිතේජ තෙමේ සුවර්‍ණ භූමියෙන් අවුත් කාම්බෝජ රට අල්වා ගත්තේය. ඉක්බිති ජයනාද පුරයෙහි ධර්‍මරාජයන් දිවංගත කල්හි වත්තිතේජ තෙමේ අයෝධ්‍ය පුරයෙන් අවුත් ජයනාද පුරය රැගෙන සිංහල පිළිමය අයෝධ්‍ය පුරයට ගෙනවුත් පිදී. බ්‍රහ්මජෙය්‍ය නමැති මහඇමතියා සුඛෝදය නුවර අල්ලා ගත්තේය. තිපඤ්ඤ ඇමතියා වජිරපාකාර පුරයෙහි රාජ්‍යය කරවීය. හෙතෙම තමාගේ මව අයෝධ්‍ය රජු වෙත යැවීය. ඕතොමෝ ඒ රජුට ප්‍රිය ද මනාප ද විය. එක්දිනක් ඕතොමෝ රජුට ප්‍රියකථා කියා තඹලෝ පිළිමයක් ඉල්ලීමෙන් සිංහල ප්‍රතිමාව රැගෙන වහා නැවක පටවා වජිරපාකාරපුරයට යැවී. තිපඤ්ඤ රජ තුටුපහටු වූයේ මහත් පූජා විධානයෙන් මනාකොට සිංහල පිළිමය පිදී. ඉක්බිති එක්දිනක් ජංරාය පුරාධිපති මහාබ්‍රහ්මතෙමේ පහත රටින් ආ එක් භික්‍ෂු නමකගෙන් සිංහල පිළිමයේ ආනුභාවයන් අසා ඒ භික්‍ෂුව සෑදු ඒ පිළිමයේ මී ඉටි ආකෘතිය දැක සතුටු වූයේ ඒ පිළිමය දකිනු කැමති චිත්තවේ ඇත්තේ බලසෙනඟ පිරිවරාගෙන නබ්බිසි පුරයට අවුත් දෙටුසොහොයුරු කිලනා රජුගෙන්ද භටසේනා ඉල්වාගෙන අසූදහසක් භටයන් ඇතිව ක්‍රමයෙන් ගොස් වජිරපාකාරපුරය අසල කඳවුරු බැඳ තිපඤ්ඤ රජුට හසුන් යැවීය. එවිට තිපඤ්ඤ රජ අයෝධ්‍ය පුරයේ රජු වෙත හසුන් යැවී. එයසා වත්තිතේජ රජ වහා සේනාව සන්නද්ධ කරගෙන අවුත් මහාගංගාවේ මුවදොරට පැමුණුණු. මහාබ්‍රහ්ම රජ පඬුරු සහිත දූත ඇමතියෙකු සුගන්‍ධ නම් මහතෙර ද යැවීය. ඔවුහු නුවරට ඇතුල්ව මිහිරි පිළිසඳර කථා කළහ. සුගන්‍ධ මහතෙර දෙපක්‍ෂයටම පෙනෙන සේ මැද නැවක සිටියේය. රජවරු දෙදෙන දෙපැත්තේ නැව්වල සිටියාහ. දෙරජුන් සමගි කරවීම සඳහා සුගන්‍ධ තෙර මෙසේ කීය:-

100. ඔබ දෙදෙනම මහපිනැත්තෝය, මහනුවණැත්තෝය, මහබල ඇත්තෝය; සත්‍යයෙහි පිහිටියාහු සත්‍ය ධර්‍ම ඇත්තාහු බුද්ධ ශාසන මාමකයෝය. (101) රටවැසියන්ට පිහිට වූ ශීලවන්තයෝය, ජනප්‍රියයෝය; එබැවින් දෙදෙන සමගි වුව මැනවි, අන්‍යොන්‍ය විරුද්ධත්‍වය දුරුකළ මැනවි. (102) මේ වජිරපාකාර නුවරයි, අර නබ්බිසි පුරයයි; ඒ දෙක මෛත්‍රී යොතෙන් බඳින ලද්දේ එකක්ම වේවා, වෙන් නොවේවා”යි. එතුමාගේ වචන අසා රජවරු දෙදෙන පිළිගත්හ. තිපඤ්ඤ රජ උපරාජ වූ මහාබ්‍රහ්මයන්ට ඇත් පඬුරු ආදි පඬුරු යැවීය. මහාබ්‍රහ්මතෙමේ තිපඤ්ඤ රජුට අශ්වාදීන් ද අභිෂේකොපකරණයන්ද යැවී. එසේ යවා මහාබ්‍රහ්මතෙමේ තිපඤ්ඤ රජුගෙන් සිංහල පිළිමය ඉල්වී. ඒ රජ ඉල්වූ පරිදි එය දුණි. වත්තිතේජ තෙමේ තිපඤ්ඤ රජු වෙත දූතයෙකු යවමින් “දැන් මහා බ්‍රහ්ම රජු ඉවත්ව ගියා හෝ නොගියා හෝ ඉදිරියට ගොස් ඔහු හා යුද්ධ කරන්නෙමි”යි දන්වා යැවී. එයැසූ තිපඤ්ඤ රජ සුගන්‍ධ මහ තෙරුන්ට මෙසේ කීය: “ස්වාමීනි, මේ රජවරු දෙදෙනම ශූරයෝය, මහාබල ඇත්තෝය, වළක්වන්ට නොහැකිය; එබැවින් ඔබවහන්සේ මහාබ්‍රහ්ම රජු දුරට ඉවත් කරවා තාක්කපුරයෙහි නවත්වනු මැනවැ”යි. තෙරනම දූතයකු යවා මහාබ්‍රහ්ම රජුට ඒ කාරණය දැන්විය. එයසා හෙතෙමේ “වත්තිතේජ රජ මා ලුහුබැඳ ඒවා; ඔහු හා යුද්ධ කරන්නෙමි”යි කියා වජිරපාකාර පුරයෙන් ඉවත්ව තාක්කපුරයට ගොස් යුද්ධයට සැරසී සිටියේය. තිපඤ්ඤ රජ (මහාබ්‍රහ්ම රජු) ඉවත්ව යන බව වත්තිතේජයන්ට දැන්විය. තිපඤ්ඤ තෙමේ සුගන්‍ධ තෙරුන්ට මිහිරි වචනයෙන් කථාකොට සිංහල පිළිමය දුණි. තෙරනම එය නැවක නංවාගෙන උඩුගං බලා අවුත් තාක්කපුරයට පැමිණියේය. මහාබ්‍රහ්මතෙමේ අමෘතයෙන් අභිෂේක ලැබුවා සේ රන්සිවි ගෙයකින් ඒ පිළිමය ගෙනවුත් ක්‍රමයෙන් නබ්බිසි පුරයට පැමිණ ඇතුළු නුවර මහාවිහාරයෙහි එය තැබී. ඉක්බිති දෙටු සොහොයුරු රජ ඒ මහාවිහාරයෙහිම මහසෑයට නිරිත කොණෙහි සිංහල පිළිමය තැබීම සඳහා අලුත් ගුහාවක් සාදවන්ට ආරම්භ කෙළේය. ඒ ගුහාව නොනිමි කල්හි මහාබ්‍රහ්මතෙමේ ඒ සමාන වූ ලොහොමුවා අන් පිළිමයක් කරවීම සඳහා සිංහල ප්‍රතිමාව ජංරාය පුරයට ගෙන ගොස් එතැනින් ජයසේන පුරයට ගෙනවුත් පල්ලංකදීපයේදී එයට මහාපූජා විධානයෙන් අභිෂේක දුණි. නැවත ජංරාය පුරයට ගෙන ගොස් මහාබුද්ධ රූප විහාරයෙහි තබා ප්‍රමාණයෙන් ද ආකාරයෙන් ද සිංහල ප්‍රතිමාවට සමාන වූ බුද්ධ රූපයක් ලෝකඩ-ඊයම්-රන්-රිදී මිශ්‍රණයකොට වත්කරවා මහෝත්සවයක් පැවැත්විය.

සිංහල පිළිමය පැමිණි කාලයයි.

කිලනා රජුගේ ප්‍රවෘත්ති

හත්සිය තෙතිස්වෙනි ශක වර්‍ෂයේදී කිලනා රජ තමාගේ උයන වූ මල්වත්ත මහාවිහාරයක් කරවා හරිපුඤ්ජය නුවරින් සුමන තෙරුන් ගෙන්වා එය පාවාදී එහි වාසය කරවිය. ඉන්පසු ඒ තෙරුන් විසින් සුඛෝදය නුවරින් ගෙනෙන ලද සවර්‍ඥ ධාතුව කිලනා රජුගේ උපස්තම්භයෙන් හත්සියතිස් පස්වෙනි ශක වර්‍ෂයේ නිකිණි මස බදාදා ඒ පුෂ්පාරාමයෙහි පිහිටුවන ලදී. ඒ ධාතුව මේතාක් රජුන් සහිත මිනිසුන් විසින්ද ශ්‍රමණ සමූහයා විසින්ද වඳිනු පුදනු ලැබේ. හතළිස් හයක් වයසැති කිලනාධිපති තෙමේ තිස් වර්‍ෂයක් රාජ්‍යය කරවා මාර මුඛයට පත්විය.

පුෂ්පාරාමයෙහි චෛත්‍යය කරවූ කාලය නිමි.

කිලනාරාජ කථාවයි

ලක්දිවින් උපසම්පදාව ගෙන ඒම

ඔහු ඇවෑමෙන් ඔහු පුත් ලක්‍ඛපුරාගම නමැති තෙවිසි හැවිරිදි රජ නබ්බිසි පුරයෙහි ධර්‍මයෙන් රාජ්‍යය කරවිය. එකල මහාබ්‍රහ්මතෙමේ මහත් සේනාවක් සන්නද්ධ කරගෙන නබ්බිසිපුරයට අවුත් හරිපුංජය දේශය අල්වාගෙන තමා කැමති දේවල් රැගෙන ජංරාය පුරයටම ගියේය. පසුව ලක්‍ඛපුරාගම තෙමේ මහා සේනාවක් සන්නද්ධ කොට යෝන රටට ගොස් සුළු පියා සමග මන්ත්‍ර යුද්ධයක් කිරීමෙන් ඔහු පණ පිටින් අල්වාගෙන ජංරාය පුරයට ගොස් එතැනින් සිංහල ප්‍රතිමාව රැගෙන නබ්බිසි නුවර තුළ මහා චෛත්‍යයෙහි පියා කරවූ ගුහාවෙහි තබා සකසා පිදී.

103. උතුම් සිංහල ප්‍රතිමා තොමෝ ලක්දිවද සිරිධම්ම පුරයෙහි ද සුඛෝදය නුවර ද ජයනාද පුරයෙහිද අයෝධ්‍ය නුවර ද වජිරපාකාර පුරයෙහිද (104.) නබ්බිසි පුරයෙහිද ජංරාය නුවර ද පල්ලංක දීපකයෙහි ද මිනිසුන් හා රජුන් විසින් පුදන ලදී. (105.) රත්නත්‍රයමාමක වූ ලක්‍ඛපුරාගම රජ බහුශ්‍රැත වූයේ ධර්‍මධර වූයේ ඉගනීම්-විචාරීම් ඇත්තේ (106.) බොහෝ දෙනෙකුන්ට ධර්‍මය ඉගැන්විය. යම්කෙනෙක් සන්‍ධි-නාමාදිය පමණවූත් ව්‍යාකරණයක් ඉගෙන ගත්තාහු නම් ඒ සියල්ලන්ට සිවුපසයෙන් සංග්‍රහ කෙළේය. හෙතෙම දෙලක්‍ෂ දශදහසක් රන් කොළවලින් හරිපුංජය නුවර මහාධාතු චෛත්‍යය වැසීය. (=රත්රන් ගෑවීය.)

107. තිස්නව වියැති ලක්‍ඛපුරාගම රජ නබ්බිසි නුවර සොළොස් වර්‍ෂයක් රාජ්‍යය කරවිය. (108). නබ්බිසි පුරය මැද රාජකූටයක්[35] කරවීමට ඒ රජ ආරම්භ කෙළේය. එය නොනිමිකල්හි හෙතෙම පරලොව ගියේය. ඔහුගේ ප්‍රධාන දේවිය වූ රායාතොමෝ එය නිමකරවිය.

ඔහු ඇවෑමෙන් ඔහු පුත් දොළොස් හැවිරිදි කුමරා රාජ්‍යය කරවිය. (109.) ශාසනයෙහි මැද ශ්‍රද්ධා ඇති පිටත් දෙයෙහි පැහැදුණු හෙතෙමේ සත්පුරුෂයන් කරා නොපැමිණ යක්‍ෂ දාසයන් පිදී. (110.) ඒ රජ ආරාම වෘක්‍ෂ චෛත්‍යයන් ද පර්‍වතයන් ද වනයන්ද ගවමහිෂාදි වස්තුවලින් පිදී. (111.) ඔහුට අයිති රටෙහි ඒ ඒ පටුනුවල යක්‍ෂදාසයෝ යයි ප්‍රකට වූවෝ විසූහ. (112.) සාරනදී තීරයෙහි වූ තමා උපන් ස්ථානය වූ රම්‍ය නගරයෙහි පුරච්ඡන්න නමින් ප්‍රකට වූ මහාවිහාරයක් කරවිය. හෙතෙම ඒ මහාවිහාරයට ප්‍රත්‍යය ලැබීම සඳහා කුඹුරු ආදිය වෙන්කොට දුණි. මුළු රටෙහි ඒ ඒ තැන බුද්ධ ප්‍රතිමාදියට කුඹුරු ආදිය වෙනකොට දුණි.

113. ඒ නබ්බිසි පුරයෙහි තිස්ස රජු රජය කරවන කල්හි මෙධංකරාදි තෙරවරු ලක්දිවින් මෙහි ආහ. ඒ කෙසේද? බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සත්සැටවෙනි වර්‍ෂයේදී, හත්සිය අසූපස්වෙනි ශක වර්‍ෂයේදී මහාධම්මගම්භීර[36]-මහාමේධංකර-මහාඤාණමංගල-මහාසීලවංස-මහාසාරිපුත්ත-මහාරතනාකර-මහාබුද්ධසාගර ආදි තෙරවරු විසිපස් නමක්ද මේ නබ්බිසි පුරයෙහිත් පහළ කාම්බෝජ රටෙහිත් විසූ මහාඤාණසිද්ධ ආදි තෙරවරු අටනමක්දැයි තෙතිස් නමක් එකතුව මෙසේ මන්ත්‍රණය කළහ. “ජීවමාන බුදුරද ලක්දිව මාගේ ශාසනය පිහිටන්නේ යයි තෙවරක් ලක්දිවට වැඩියේය. අපිත් ලක්දිවට ගොස් ශාසනොපසම්පදාව ගෙනවුත් අපේ රටෙහි රෝපණය කරන්නෙමු”යි. මෙසේ කථා කොට ඒකමතිකව ක්‍රමයෙන් ලක්දිවට ගොස් වනරතන මාහිමියන් කරා එළඹ වැඳ මධුර වචනයෙන් පිළිසඳර කථාකොට එහි විසූහ. ඒ තෙරවරු ද රාමඤ්ඤ රටෙන් ආ තෙර සයනමක්දැයි තිස්නව නමක් තෙරවරු ලක්දිව පැවති අකුරු පිළිවෙළ ද වචන උච්චාරණය කරන සැටිද ස්වර නගා කීම ද ඉගෙන උත්තමාර්‍ථය ප්‍රාර්‍ත්‍ථනා කරමින් උපසම්පදාව ඉල්ලූහ. ඔවුහු බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සැට අටවෙනි වර්‍ෂයෙහි, හත්සිය අසූවෙනි ශක වර්‍ෂයේ මහෝරග නමැති වර්‍ෂයෙහි, දෙවෙනි ඇසළ මස පුරපසළොස්වක්ලත් ඉරිදා තෙළෙස්වෙනි තිථියේ දෙට නැකත පවත්නා කල්හි සිංහල රජු විසින් කැළණියේ යාපා පටුනෙහි ඔරු එකට ගළපා සෑදවූ මණ්ඩපයෙහි දී වනරතන මහාසාමීන් කර්‍මවාක්‍යාචාර්‍ය කොටගෙන ධම්මචාරී නමැති ධර්‍මාචාර්‍යයන් උපාධ්‍යාය කොටගෙන විංශති වර්ගික සංඝයා වෙතින් උපසම්පදාව ලබාගත්හ.

ඒ තෙරවරු උපසම්පන්න වී දළදාව ද සමන් කුළෙහි සිරිපාද සටහන ද සොළොස් මහාස්ථානයන් ද වැඳ ආචාර්‍යොපාධ්‍යායයන්ගෙන් අවසර ගෙන හැරී ආහ. ඔවුහු දුර්භික්‍ෂය නිසා සාරමසක් පමණ ලක්දිව විසූහ. හැරී එන තෙරවරු උපාධ්‍යාය බව පිණිස වික්‍රමබාහු තෙර, උත්තමපඤ්ඤ තෙර යන දෙනම ද වැඳීම සඳහා සර්‍වඥ ධාතුනමක් ද ඉල්ලූහ. එයින් වික්‍රමබාහු තෙර වස් පසළොසක් ඇත්තේය. උත්තමපඤ්ඤතෙර දශවස් ඇත්තේය. නැවෙන් එන කල්හි මූද මැදදී බ්‍රහ්ම ස්ථවිර - සෝම ස්ථවිර දෙනම හා මුණගැසී මූද මැදදීම ඒ දෙනම උපසම්පන්නකොට අයෝධ්‍ය පුරයට පැමිණ එනුවර අධිපති පරමරාජයන්ගේ දේවියගේ ආචාර්‍ය වූ සීලවිසුද්ධි මහතෙරුන් ද සද්ධම්මකෝවිද මහතෙරුන්ද උපසම්පන්න කළහ. ඒ තෙරවරු මුල් වස මූද මැද නැවෙහිද දෙවෙනි තෙවෙනි සිවුවෙනි පස්වෙනි වස් අයොජ්ඣ පුරාදියෙහිද විසූහ. ඉන්පසු සජ්ජනාලය නුවරට ගොස් එහිදී බුද්ධසාගර තෙරුන් උපසම්පන්න කරවා සුඛෝදය නුවරට අවුත් සවෙනි වස එහි විසූහ. බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සිව්සැත්තෑවෙනි වර්‍ෂයේදී, ශක වර්‍ෂයෙන් සත්සිය අනූදෙකක් වූ කුක්කුර වර්‍ෂයේදී ධම්මගම්භීර-මහාමංගල තෙරුන් ප්‍රමුඛ මේ තෙරවරු නබ්බිසි පුරයට පැමිණියාහු රත්තවන මහාවිහාරයෙහි සත්වෙනි වස ද අටවෙනි වස ද විසූහ. ඔවුහු ශක වර්‍ෂයෙන් සත්සිය අනූහතරවෙනි මූෂික වර්‍ෂයේදී ඛෙලාංග නුවරට ගොස් එනුවර අධිපති වූ සූරමහාමාත්‍යයා විසින් තමාගේ සැපත නොසලකා උපකාර කරනු ලබන්නාහු නුවරින් ඊශාණ දෙස වංක නදියේ වච්‍යංජ නමැති තොටේදී පළමුවෙන් උපසම්පදා කර්‍මයක් කළාහුය. දදරපුරවාසී චන්‍ද තෙරනම එහි උපසම්පදාව ලැබූවන්ගෙන් එක් නමකි.

ඒ වර්‍ෂයේදීම හරිපුංජය නුවරට අවුත් බිංග නදියේ හරිපුංජය තොටේදී දෙවෙනි උපසම්පදා කර්‍මය කළහ. ධම්මරක්‍ඛිත-ධම්මරතන-ඤාණබොධි යන තෙරවරු එහිදී උපසම්පදාව ලැබුවෝය. ඉන්පසු නාළිකෙරයාංග නමැති තොටේදී තෙවැනි උපසම්පදාව කළහ. ඉන්පසු සිරිධම්මචක්කවත්ති රජුගේ දෙටු සොහොයුරු බාලිසිදේව නමැති රජකුමරා විසින් උපස්තම්භිත වූවාහු කුම්භාවආපන්න තොටෙහි සිවුවෙනි උපසම්පදාව කළහ. ඒ මූෂික ශක වර්‍ෂයේදීම නැන්දා වූ දේවිය විසින් කරවන ලද උපරි ආරාමයෙහි වස් එළඹෙන කාලයේදී ඛණ්ඩ සීමාවක් බැන්දාහ. බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සත්සැත්තෑවෙනි වර්‍ෂයෙහි, ශක වර්‍ෂයෙන් හත්සිය අනූපස්වෙනි පශු වර්‍ෂයෙහි මේ තෙරවරු යෝන රට ජයසේන පුරයට ගොස් පල්ලංක දීපයෙහි බොහෝ කුලපුත්‍රයන් උපසම්පන්න කළහ. ධම්මසේනාපති-කුලවංසාදි මහතෙරවරු එහි උපසම්පන්න වූවෝය. ඒ ශක වර්‍ෂයෙහිම නවම් මස පුරපසළොස්වක්දා නුවරින් වයඹ දෙස පිහිටි කිත්තිකූට පර්‍වත පාදයෙහි වූ රත්තවන මහාවිහාරයට පැමිණියහ. ජයසේන පුරයෙන් අවුත් ජංරාය පුරයෙහි සුවණ්ණපාසාණක නම් තැනදී ඒ වර්‍ෂයේදීම උපසම්පදාවක් කළහ. ධම්මදින්නාදි තෙරවරු එහිදී උපසම්පන්න වූවෝ යයි දතයුතු. ඉන්පසු තිස්ස රජුගේ අණ පවත්නා රටෙහි ඒ සංඝතෙමේ බොහෝ වාරයක් උපසම්පදාවන් කෙළේය. එකල සිංහල වංශිකයෝ බොහෝ වූහ. සත්පණස් වයසැති තිස්ස රජ සොළොස් වසක් රාජ කුමාරව සිට සතළිස් එක් වර්‍ෂයක් රාජ්‍යයකොට තමාගේ පුත්‍ර වූ සිරිධම්මචක්කවත්ති නමැති යුවරජුට රාජ්‍යය පාවාදී (ඉන්පසුත්) සතර වර්‍ෂයක් සිට පරලොව ගියේය.

සිංහල උපසම්පදාව පැමිණි කාලය නිමි.

මහාධාතු චෛත්‍ය කථාව

ඔහු ඇවෑමෙන් ඔහු පුත් ගෝ වර්‍ෂයෙහි උපන් බිලක රජ දෙතිස් වයස් කල්හි කුක්කුට වර්‍ෂයේදී නබ්බිසි නුවරදී අභිෂේක ලැබී ශූරවූ ශක්ති-පරාක්‍රම-අනුභාවයන්ගෙන් යුක්ත වූ, ආත්මාර්‍ත්‍ථ-පරාර්‍ථයන් දැනීමෙහි සමත් වූ පණ්ඩිත වූ ශ්‍රද්ධාවත් රත්නත්‍රයෙහි පැහැදුණු ඒ රජ ගැඹුරු නුවණින් යුක්ත විය. අභිෂේක ලැබූකල පටන් “සිරිධම්මචක්කවත්තිබිලකරාජාධිරාජ” යයි හැම දිශාවන්හි ප්‍රකට විය. ඒ වර්‍ෂයේදීම මේධංකර-ඤාණ-මංගල-සීලවංස යනමහතෙරුන් ප්‍රමුඛ සංඝතෙමේ අභිෂේකයට පැමිණ පස්මසක් ගත වූ ඒ රජු විසින් උපකාර කරනු ලබන්නාහු මැදින් මාසයේදී බිංග නදියේ මහාස්ථාන තොටේදී කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. මහාමංගල-මහාසුරිය-මහාආලෝක ආදි තෙරවරු එහිදී උපසම්පන්න වූවෝය. ඉන්පසු ජයසේන පුරයෙහි සේනාය නමැති මහාමාත්‍යයා රාජ්‍යය කරවන කල්හි මහාඤාණමංගලතෙර ත්‍රිපිටකධර භික්‍ෂූන් පිරිවරාගෙන ජයසේන පුරයට ගියේය. ඊට අනතුර වූ මූෂික වර්‍ෂයේදී ඒ මහඇමතියා විසින් උපස්තම්භිතව පල්ලංකදීපයෙහි ඛණ්ඩ සීමාවක් සම්මත කළහ. එකල දදර පුරවැසි චන්‍දතෙර සීමාසම්මුති කර්‍මවාක්‍යය කීය. ඒ වර්‍ෂයේදීම මේ නබ්බිසි පුරයෙහි සූරසිහ නම් මහතෙර මහාස්ථාන තොටේදී උපසම්පදාව ලැබී. ඉන්පසු ශශ වර්‍ෂයේදී සිරිධම්මචක්කවත්ති රජුගේ උපස්තම්භය ඇතිව පුරාණ මහාධාතු චෛත්‍යය හාත්පසින් දශරියනක් පමණ ද ගැඹුරෙන් මිනිස් ප්‍රමාණයක් ද අත්තිවාරම් පිණිස කණවා මනාසේ ස්ථීර ලෙස අත්තිවාරම බන්දවා මේධංකර මහාස්වාමිතෙමේ රන් ආලේප කළ මංගල ගල් පතුරගෙන නවම්මස කළුවර පොහෝදා ඉර මුදුන් වේලෙහි හොරණෑ ශබ්දය පැවැත්වූ කල්හි නැගෙනහිර දෙස මංගලබලි කර්‍මය කරන තැන පළමුකොට පිහිටුවිය. ඊටඅනතුරුව සියලු භික්‍ෂූහු ද ස්ත්‍රී පුරුෂයෝ ද තමතමන්ගේ ආභරණාදිය එහි දමා බැඳීම පටන් ගත්හ. එහි සියලු බැම්ම ගල් කැබලිවලින් විය. නවම් මාසයේදී ආරම්භ කළ ඒ සෑය වෙසක් මාසයේ දී නිමියේය. එය බඳින කාලයේදී නොයෙක් ආශ්වර්‍යයෝ පහළ වූහ. දිග පළලින් දෙපණස් රිය නැති, උසින් දෙයානූරියන් ඇති, එක් මුදුනකින් යුත් ඒ මහා ධාතු චෛත්‍යය නිමකරවිය.

ඊට අනතුරුව එක් එක් පැත්තේ සත්පණස්රියන් දිගැති උසින් දෙරියනකට වැඩි වූ මලසුන් කරවිය. ආරක්‍ෂාව පිණිස සිවුදිශාවන්හි දිගින් දෙසියඅටවිසිරිය නැති, පළලින් එක්සියපණස් රියන් ඇති ප්‍රාකාරයක් ගලෙන් හා ගඩොලින් බැන්දවිය. ඒ වර්‍ෂයේදී අරිමද්දනයේ ඡප්පදතෙරනම සංඛෙපවණ්ණනාටීකාව ලිවී.[37] ඒ චෛත්‍යයේ සුණු පිරියම් අවසානයේදී ශශ වර්‍ෂයේදී සිරි ධම්මචක්කවත්ති බිලක මහරජ ඒ සෑයට උතුරු දිශාවෙහි අභිෂේක ප්‍රාසාදයක් කරවා තමාගේ ආචාර්‍ය වූ මේධංකර මහතෙරුන් එහි පමුණුවා ඉතා වටිනා විශේෂ පිරිකර වර්‍ග පුදා අභිෂේකකොට එතුමාට “අතුලසක්ත්‍යාධිකරණමහාසාමි” යයි නමක් දුණි. ඉන්පසු මහාධාතු සෑයට නොයෙක් පූජා සත්කාරවලින් මහාපූජාවක් කරවිය. ඉන්පසු ඒ සෑය අග සිට මුල් අඩිය දක්වා රන් අලේප කළ තඹ තහඩුවලින් වස්වා නැවත ඝන රන් තහඩුවලින් වැස්සෙව්වේය.

මහාධාතු චෛත්‍ය කථාව නිමි.

බිලකබද්ධසීමා කථාව

ඒ ශක වර්‍ෂයේදීම සිරිධම්මචක්කවත්තිබිලක රජ මවුපියන්ගේ ගුණ සැලකීම පිණිස ශාසනදායාදභාවය පතමින් මෑණියන්ට රාජ්‍යය පාවාදී පැවිදි විය. සංඝතෙමේ අතුලශක්ත්‍යාධිකරණ මහාස්වාමීන් ආචාර්‍යකොට ඤාණමංගල තෙරුන් උපාධ්‍යායකොට ඒ රජු (පැවිදිකොට) උපසම්පන්න කරවිය. ටිකකලකට පසු හෙතෙම ආචාර්‍ය-උපාධ්‍යායයන්ගෙන් අවසර ගෙන ගිහිවී රාජ්‍යය සම්පත් අනුභව කෙළේය. අටසිය දශවෙනි ශක වර්‍ෂයේදී සෝමචිත්ත තෙර ඛෙම රටෙහි සිංහල උපසම්පදාව පිහිටුවිය. ඉන්පසු සර්‍ප වර්‍ෂයේදී බිලක රජ නොයෙක් භටසේනා සමග ගොස් නන්‍දපුරය ගත්තේය. ඒ රජුගේ පියා වූ තිස්ස රජ පුතාට රාජ්‍යය දී සිවුවෙනි පශු වර්‍ෂයේදී පරලොව ගියේය. බිලක රජ පියාගේ සිරුර රත්තවන මහාවිහාරයේදී නොයෙක් සත්කාරයෙන් යුක්තකොට දැවීය. ඔහු නන්‍දපුරය අල්වාගත් වර්‍ෂයේදී ඔහුගේ මවු දේවිය පරලෝක ගතවිය. ඒ මවගේ ශරීරය ද පියාගේ සිරුර දැවූ තැනම තබා දැවීය. රජතෙම මවුපියන් උදෙසා නොයෙක් පින් කෙළේය. මවුපියන්ට නිතර පින් ලැබීම සඳහා බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය අනූපස්වෙනි වූ, ශක වර්‍ෂයෙන් අටසිය තෙළෙස්වෙනි වූ අජ වර්‍ෂයේදී මහාරත්ත වනවිහාරයෙහි තමාගේ මවුපියන්ගේ සිරුරු දැවූ තැන එක්පෝයගෙයක් කරවිය. ඉන් දෙවෙනි දින මර්‍කට වර්‍ෂයේ මහාපවාරණ දිනයෙහි බිලකාධි රජ පෝයගෙය හාත්පස බඹ විස්සක් පමණ තැන් අත්හැර කණුවලින් වටකරවා (ඒ වටේ භටයන් සිටුවා) තෙමේ “මෙය වෙනම ගමක් වේවා”යි අටුවාවෙහි ඇති පාඨය කීය. ඉන්පසු නිමිති ප්‍රකාශ කරන තෙරනම “නැගෙනහිර දෙස නිමිත්ත කුමක්දැ”යි විචාළේය. එවිට රජතුමා “ස්වාමීනි, ගලක්ය”යි කීය. “මේ ගල නිමිත්ත වේ”යයි (තෙරනම කී.) මෙසේ හැමදිශාවන්හි නිමිති නියමකොට අතුලසක්ත්‍යාධිකරණ මහාසාමිතෙමේ සීමාසම්මුති කර්‍මවාක්‍යය තෙමේම කීය. සීමාසම්මුතිය අවසන් වූ කල්හි ධර්‍මරාජතෙමේ සත්දිනක් මහා පූජාවක් පැවැත්විය. ඉන්පෙර මහතෙරවරු බිංග නදියේ උදකුක්‍ඛෙප සීමාවෙහි උපසම්පදා කර්‍මය කළහ. මේ සිරිධම්මචක්කවත්තිබිලක සීමාව සම්මත කළ පසු ඒ මර්‍කට වර්‍ෂයේදීම ඒ සීමාවේදී මහානාරද තෙරුන් ප්‍රමුඛ බොහෝ කුලපුත්‍රයන් උපසම්පන්න කළහ. සංඝතෙමේ අතුලසක්ත්‍යාධිකරණ මහාස්වාමීන් උපාධ්‍යායකොට මහාමේඝිය තෙරුන් කර්‍මාචාර්‍යකොට මහානාරද තෙරුන් උපසම්පන්න කළහ. ඊටඅනතුරු වූ කුක්කුට වර්‍ෂයේදී ද මේ මහතෙරවරු බොහෝ කුලපුත්‍රයන් උපසම්පන්න කළහ. ඒ වර්‍ෂයේදී ඒ සීමාවේදී උපසම්පදාව ලැබූවන් අතරෙහි අභයසාරද මහතෙර ආදි කුලපුත්‍රයෝ වෙති. මර්‍කට වර්‍ෂයේ පටන් අද දක්වා නබ්බිසි පුරාධිපති රජුගේ රාජ්‍යයෙහි හැම සිංහලවංශික භික්‍ෂූහු හැමනුවරවලින් උපසම්පදාපේක්‍ෂකයන් රැගෙන නබ්බිසි පුරයට අවුත් අවුරුදු පතා මේ බිලකබද්ධ සීමාවෙහි උපසම්පදාව කරත්.

සිරිධම්මචක්කවත්තිබිලක සීමාසම්මුති කාලයයි.

මැණික් පිළිමයේ කථාව

ඉන්පසු බිලක රජතෙමේ සිංහල වංශික භික්‍ෂූන් වෙතින් බෝගස් සිටුවීමේ ධර්‍ම කොටස අසා මහාබෝධියක් පිහිටුවනු කැමතිව තැනක් සොයන්නේ මේ මහාබෝධාරාමය පිහිටි තැන දිටී. එසේ දැක ශක වර්‍ෂයෙන් අටසිය සතළොස්වෙනි කුංජර වර්‍ෂයේදී නබ්බිසි නුවරින් වයඹ දෙස රෝහිණී ගංතෙර එක්තරා උස් වූ රම්‍ය ස්ථානයක උත්තමපඤ්ඤ නම් තෙරුන්ට විසීම පිණිස ආරාමයක් කරවිය. ඒ වර්‍ෂයේදීම එහි බෝගසක් රෝපණය කරවිය. ඉන්පෙරදීම ලක්දිවට ගිය භික්‍ෂූහු දකුණු ශාඛා මහාබෝධියෙන් ඇට ගෙනවුත් දේව පර්‍වත පාදයෙහි වූ ආරාමයක පැලකළහ. රජතෙම එතැනින් එය ගෙනවුත් මෙහි රෝපණය කරවිය. මහාබෝධියක් රෝපණය කරන ලද බැවින් මේ ආරාමය “මහාබෝධාරාමය”යි ප්‍රකට විය. එය රෝපණයකොට මාරවිජය කළ මහාබෝධිය අසළ පිහිටි වේදිකාව වැනි වේදිකාවක් ද සත්සතියැ වූ තැන්ද ගොඩනැංවිය. ඉන්පසු අටසිය තිස්වෙනි මර්‍කට වර්‍ෂයේදී ඒ ආරාමයෙහි මහාවිහාරයක් කරවිය. ඉන්පසු අටසිය සාළිස්වෙනි කුක්කුර වර්‍ෂයේදී බිලක මහරජ ලක්‍ඛපුරාගම රජු කරවූ පුරාණ රාජකූටය සීහළගොත්ත නම් සෙන්පතියා ලවා සංස්කරණය කරවිය. එය පරණකූටයට වඩා උසින්ද මහතින් ද වැඩිවිය. පළලින් බඹතිස් පහක් ද උසින් බඹ හතළිස් පහක්ද ඇති එක් මුදුනකින් යුත් රාජකූටය අතිශයෙන් ප්‍රසාද එළවන්නේ, නබ්බිසි පුරයට තිලකයක් වැනි වූයේ, ශක්‍රයාගේ මසක්කසාර නුවර සිළුමිණ සෑය මෙන් බබළයි. මහාධම්මගම්භීර තෙරුන් විසින් ලක්දිවින් ගෙනෙන ලදින් පරම්පරාගතව සීහළගොත්ත මහසෙනෙවියා විසින් පුදන ලද ධාතු නමද හෙතෙම එහි පිහිටුවිය. එයින් සිවුවෙනි පශු වර්‍ෂයේදී එය නිමකරවිය. ඒ රාජකූටය ආරම්භ කළ වර්‍ෂයේ පටන් නිමවීම දක්වා නොයෙක් ආශ්වර්‍යයෝ පහළ වූහ. ධාතු තේජසින් මහපොළොව නැවත නැවත කම්පා විය. රාජකූටය නිමිකල්හි බිලක මහරජ තෙමේ ශක වර්‍ෂයෙන් අටසිය හතළිස් තුන්වෙනි පශු වර්‍ෂයේදී ඛෙලාංග නුවරින් අප්‍රමාණ තේජස් බල ඇති මැණික් පිළිමය ගෙනවුත් ඒ රාජකූටයෙහි තැබීය.

ඒ මැණික් පිළිමයේ උපත මෙසේ දතයුතු: බුදුන් පිරිනිවීමෙන් අවුරුදු පන්සියයක් ඇවෑමෙන් ධම්මරක්‍ඛිත නමැති තෙරනමක් පුප්ඵවතීපුරය (-පාටලීපුත්‍රය) ආශ්‍රයකොට අශෝකාරාමයෙහි විසී. එතුමාගේ ශිෂ්‍ය නාගසේන නමැති තෙරනමක් විය. හෙතෙම මිලිඳු රජුගේ ආචාර්‍යස්ථානයෙහි සිටියේය. ධම්මරක්‍ඛිත තෙරුන් ඇවෑමෙන් නාගසේන තෙර “කොයි ආකාරයකින් අනාගතයේදී ශාසනය බබළවන්නෙම්දැ”යි සිතී. ඉක්බිති බුදුපිළිමයෙන් ශාසනය බබළන්නේ යයි දැනගත්තේය. නැවත “ඉදින් මම රනින් හෝ රිදියෙන් බුද්ධ රූපයක් කරවන්නෙම් නම් අනාගතයේ මිනිස්සු ලෝභයට වසඟව පවිටු අදහස් ඇත්තෝ බුදුපිළිමයට අනතුරු කරන්නාහ. ඍද්ධිමත් මැණිකකින් බුදුපිළිමයක් කරවන්නෙම් නම් යෙහෙකැ”යි සිතී. එකෙණෙහි එතුමාගේ සිතිවිල්ල දැන සක්දෙව් රජ තව්තිසාවෙන් බැස විශ්වකර්‍මයා සමග තෙරුන් වෙත ගොස් “ස්වාමීනි, කිමෙක්ද? ඍද්ධිමත් මැණිකකින් බුදුපිළිමයක් කරවන්නාහුදැ”යි ඇසී. “එසේය, මහරජ”යි කීවිට ශක්‍රතෙමේ විස්කම් අමතා “දරුව, යව, වේපුල්ල පවර්‍ත පාර්ශවයෙහි තිබෙන ජෝතිරතන මැණික ගෙන එව”යි අණ කෙළේය. විස්කම්තෙමේ “දේවයෙනි, කුම්භාණ්ඩයෝ එය මට නොදෙන්නාහ”යි කීය. එවිට ශක්‍රතෙම ඔහු හා වේපුල්ල පවර්‍තයට ගොස් කුම්භාණ්ඩ රජු අමතා “මම ජෝතිරතන මැණික ගෙන යාම සඳහා ආවෙමි; එය මට දෙව”යි කීය. කුම්භාණ්ඩ රජ “මේ මැණික සක්විති රජුගේ පරිභෝගයකි; එබැවින් එය දිය නොහැක. එසේද වුවත් ප්‍රමාණයෙන් දෙරියනක් හා අඟල් තුනක් ඇති මරකත මාණික්‍යයක් සත්සිය පණසක් රත්නයන් පිරිවරකොට ගෙන ජෝතිරතන මැණික තිබෙන ප්‍රාකාරය ඇතුළේ තිබෙයි; එය ගත මැනවැ”යි කීය. ඉක්බිති ශක්‍රයා එය ගෙනවුත් තෙරුන්ට දුණි. තෙරණුවෝ “මේ ගලෙන් බුදුපිළිමයක් කරන්නා කවරෙක්දැ”යි සිතී. එකෙණෙහි විශ්වකර්‍මතෙමේ රූප සාදන ශිල්පියකුගේ වෙසින් අවුත් ඍද්ධියෙන් නොව අතින්ම එය කැපී. හෙතෙම සත්රෑ දාවලකින් රියනක් හා අඟලක් උසැති බුදුපිළිමයක් ඒ ගලෙන් කපා නිම කෙළේය. ඉක්බිති රහතන් සමග තෙරනම ද දෙවියන් සහිත සක්දෙව්රජ ද සත්දිනක් මුළුල්ලේ ඒ පිළිමයට පූජා පැවැත්වූහ. එකල්හි එය නොයෙක් ප්‍රාතිහාර්‍යයන් පෙන්විය. තෙරනම ධාතු සත්නමක් ඒ පිළිමයට ඇතුල් වෙන සේ අධිෂ්ඨාන කෙළේය. ඒ අධිෂ්ඨානය සමග එක් ධාතුවක් හිස මුදුනෙහි එකක් නළලෙහි ද එකක් හෘදයෙහි ද දෙනමක් අත්දෙකෙහිද දෙනමක් දන දෙකෙහිද ඇතුල්වූහ. තෙරනම අනාගත කාලය දැක “මේ පිළිමය කාම්බෝජ-අරිමද්දන-සියම් යන රට තුනක බබළන්නේ”යි ප්‍රකාශයක් කෙළේය. රාජපරම්පරාව අටසියවෙනි ශාසනවර්‍ෂය දක්වා එය පිදීය. බන්‍ධුමරජය, ඔහුගේ මුණුබුරු කලංධම්ම රජය, සිරිධම්මකිත්ති රජය යන රජවරු තිදෙන ඒ පරම්පරාවේ අන්තිමයෝ වූහ.

සිරිධම්මකිත්ති රාජ කාලයේදී මහාකලියුගය විය. එබැවින් ඒ පිළිමය මිනිසුන් ගෙන යාමෙන් ලංකාද්වීපයෙහි පිහිටියේය. බුද්ධ වර්‍ෂයෙන් එක්දහස් දෙසියයක් ඉක්මි කල්හි අරිමද්දන නුවර එක් ධාර්මික රජෙක් පහළ විය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් අනුරුද්ධ රජ ඍද්ධි ඇති අහසින් යන්නෙක් විය. බුදුසස්නෙහි පැහැදුණු ඒ රජ තුන්පිටකය ලියවනු කැමැත්තේ “අපේ රටේ පිටකත්‍රය ශුද්ධද අශුද්ධදැ”යි පණ්ඩිතයන්ගෙන් විචාළේය. ඔවුහු “මේ රටේ පොත් අශුද්ධය; ලක්දිව පොත් ශුද්ධය”යි කීහ. එය’සා හෙතෙමේ තුන්පිටකය ලබාගන්නෙමියි ආජානීය අසකු පිට නැගී අහසින් ලක්දිවට ගියේය. ඔහුගේ පිරිවර ජනයෝ නැවකින් ගියහ. එහි ගොස් ලංකේශ්වර රජුට “අපි තුන්පිටකය ගන්නෙමු”යි කීහ. “එසේනම් අපි ලියවන්නෙමු”යි ලක්දිව රජ කීය. අනුරුද්ධ රජ “තොපගේ ලිවීම මට රුචි නැත; අපිම ලියන්නෙමු”යි කියා තුන් පිටකයද නිරුත්ති පිටකයද ලියාගෙන එක් නැවක පිටක දෙකක් ද එක් නැවක පිටක දෙකක් හා මැණික් පිළිමය ද තබ්බවාගෙන ආවේය. මූදට බැස්ස ඒ නැව් දෙකෙන් එකක් අරිමද්දනයට පැමිණියාය; පිළිමය තැබූ නැව සැඩ සුළඟින් ගොස් මහානගරයට[38] පැමුණුණු. බොහෝකලක් ඒ මැණික් පිළිමය ද පිටක දෙකක ද මහානගරයෙහි තිබුණාහ. අනුරුද්ධ රජ ඒ ප්‍රවෘත්තිය අසා අසකු පිට නැගී අහසින් මහානගරයට පැමිණ සංඝාරාමයට ගොස් අසුපිටින් බැස එක් ගලක් උඩ මූත්‍ර කෙළේය. ඔහුගේ මූත්‍ර ගල බිඳගෙන යටට බැස්සේය. එක් භික්‍ෂු නමක් ඒ සිද්ධිය දැක “උපාසකය, ඍද්ධිමත් වූ ඔබ කවරෙක්දැ”යි ඇසී. රජතෙම තමාගේ නම නොකියා “ස්වාමීනි, මම අනුරුද්ධ රජුගේ සේවකයෙක්මි”යි කීය. “කුමක් පිණිස ආවෙහිදැ”යි ඇසූවිට “පිටක දෙක ගැනීමට ආවෙමි”යි කීය. ඒ භික්‍ෂු නම මහාස්වාමීන්ට කීය. මහාස්වාමිතුමා රජුට මෙසේ දැන්විය: “අනුරුද්ධ රජ ඔබට ලැබුණු පිටක දෙක ගෙන යාමට දූතයෙක් එවීය”යි. රජතෙම “මාගේ පිනින් ලැබුණු පිටක දෙක මම කිසිවකුට නොදෙමි”යි කීය. එයැසූ අනුරුද්ධ රජ ලී කැබැල්ලකින් කඩුවක් සාදා ඒ කඩුවේ මුවාතේ සුණු තවරා අසුපිට නැගී තුන්වරක් ප්‍රාකාරය මත්තේ කරකැවී රාජාදීන් බලා සිටියදීම ඒ ලී කඩුවෙන් ඔවුන්ගේ ගෙලවල් සිඳ තර්‍ජනයකොට “ඉදින් තොපි මට පිටක පොත් නොදෙව් නම් මේ ආකාරයෙන් තොපගේ ගෙලවල් සිඳින්නෙමි; තොපගේ බෙලි අතගා බලව්” යයි කීය. නුවර වැසියෝ බෙලි අතගා බලා සුණු තැවරී තිබෙනු දැක මරණ බියෙන් බියපත්ව රජුට ඒ කාරණය දැනුම් දුන්හ. ඉක්බිති මහානගරාධිපති රජ අනුරුද්ධ රජුට පිටක දෙක දුණි. අනුරුද්ධ රජ පිටක පොත් ගෙන මැණික් පිළිමය ගැන සිහිනැතිව සිය නුවරට ගියේය.

මෙසේ මැණික් පිළිමය කාම්බෝජ රට ප්‍රකට විය.

එකල මහානගරාධිපති රජුගේ පුත්‍රයා එක් නිලමැස්සෙක් පෝෂණය කෙළේය. රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයා මකුළුවකු පෝෂණය කෙළේය. එක්දිනක් මකුළුවා රජකුමරුගේ මැස්සා අල්වා කෑවේය. රජකුමරා ඌ කෙරෙහි ප්‍රේමය නිසා මහත් සේ විලාප කීය. භටසේනාව ඒ කාරණය රජුට දැන්විය. එයසා රජ පුරෝහිත පුත්‍රයාට කිපී ඔහු ගෙන ගොස් දලේසාප නම් විලේදී මැරවිය. පුරෝහිතයා රජුට කිපී “මෙයින් මේතෙම අධාර්මිකය”යි තමාගේ භාර්‍යාව රැගෙන පලා ගියේය. ඉක්බිති නාරජෙක් රජුට කිපී මහාගංවතුරකින් එනුවර විනාශ කරවිය. නැව්-ඔරුවල සිටි මිනිසුන් හැර ඉතිරි සියල්ලෝ මහා විනාශයට පත්වූහ. එකල මිනිස්සු රුවන් පිළිමය ගෙන නැවකින් ගොස් එක් පිටිසර පෙදෙසක තැබූහ. ඉන්පසු ආදිත්‍ය නමැති අයෝධ්‍ය පුරාධිපති රජමහානගරය අල්වාගෙන මැණික් පිළිමය ගෙන ගොස් අයෝධ්‍ය පුරයෙහි තැබී. එහි රජවරු ද නුවරු ද බොහෝකලක් එය පිදූහ. ඉන්පසු වජිරපාකාරපුරාධිපති රජෙක් අයෝධ්‍ය පුරයට ගොස් රුවන් පිළිමය ගෙන වජිරපාකාරපුරයෙහි තබා දිගුකලක් පිදී. ඉන්පසු වජිරපාකාර නුවර තිපඤ්ඤ රජ රාජ්‍යය කරවන්නේ ඒ පිළිමය පිදී. එකල කිලනා රජුගේ බාලසොහොයුරු මහාබ්‍රහ්ම රජ ජංරාය පුරයෙහි රජය කරවිය. හෙතෙම සිංහල පිළිමයේ ද මැණික් පිළිමයේ ද ආශ්වර්‍යයන් අසා අසූදහසක් සේනාව සමග වජිරපාකාරයට ගොස් මැණික් පිළිමය ගෙන ජංරාය පුරයට අවුත් පූජා කෙළේය. සියල්ල සිංහල පිළිමය ගැන කී සේ දතයුතු.

ලක්‍ඛපුරාගම රජ තමාගේ සුළු පිය වූ මහාබ්‍රහ්ම රජු සමග යුද්ධකොට ලත් ජය ඇත්තේ ජංරාය පුරයට ගොස් සිංහල පිළිමය පමණක් ලැබීය, මැණික් පිළිමය නොලැබී. කවරහෙයකින්ද? මිනිසුන් විසින් සඟවන ලද හෙයිනි. කලියුග කාලයේදී සුණු ආලේප කිරීමෙන් ඒ පිළිමය අප්‍රකට විය. බිලක රජු නබ්බිසි නුවර රජය කරවන කල්හි එය ජංරාය පුරයේදී ප්‍රකට විය. එපුවත අසා බිලක මහරජ ජංරාය පුරයෙන් එය ගෙන්විය. පිළිමය මහාමාර්‍ගයෙන් එන්ට නොකැමැති බැවින් ඔසවන්ට බැරි තරම් බරවී ප්‍රාතිහාර්‍යයක් පෙන්විය. මහ මගින් එය ගෙන යනු කැමති මහාජනයාට එය ඔසවන්ට නොහැකි විය. කුමක් හෙයින්ද? ඒ අතරමග මහානගරයන් නැති බැවිනි. ඛෙලාංග නුවර පිහිටි මගින් ගෙන යනු කැමති වූ විට එක් මිනිසකුටත් එය එසවිය හැකිවිය; ඛෙලාංග නුවර විශාල බැවිනි. එහෙයින් මහාජනයා ඒ පිළිමය ඛෙලාංග නුවරට ගෙනගොස් තැබීය. ඒ නුවර සුවර්‍ණ නමැති ඇමතියා රාජ්‍යය කරවන කල්හි බිලක මහරජ එනුවරින් එය ගෙන්වා වැඩ නිමකළ රාජකූටයෙහි තැබ්බවිය. මෙසේ ඒ මැණික් පිළිමය ඛෙලාංග නුවර තිබුණු බැවිනුත් එනුවරින් ගෙනෙන ලද බැවිනුත් “නගරප්‍රතිමාව” යයි ප්‍රකට විය.

මැණික් පිළිමය පැමිණි කාලය නිමි.

එයින් පසු අටසියපන්සාළිස්වෙනි ශකවර්‍ෂයේ ශශ නමැති අවුරුද්දේ ඇසළ මස පුරතියවක ලත් බදාදා සතභිස නැකැත ඇතිකල්හි සිරිධම්මචක්කවත්ති බිලකාජාධිරාජතෙමේ රජ අණ ඉටුකරන මහඇමතියා වූද සෙන්පතියා වූද සහගොත්ත නමැත්තා ලවා නබ්බිසි නුවර නිරිතදිග පිහිටි තාලවන මහාවිහාරයේ දී ලෝකඩ (වීසා) එක්ලක්‍ෂතිස්තුනක්[39] බරැති ලාව ප්‍රතිමාවට සමාන වූ මහාලෝහ ප්‍රතිමාවක් වාත්තු කරවිය. එසේ කරවා රජතෙමේ තමාගේ ධාතු මන්‍දිරයෙන් මැණික් පිළිම රන්පිළිම සමග පන්සියයක් පමණ ධාතු ගෙනවුත් පිළිමයේ හිසේ තැන්පත් කරවිය. එකල ඒ ආරාමයෙහි ධම්මදින්න නම් තෙර නමක් ගණාචාර්‍ය ද උපාධ්‍යාය ද විය. සිරිධම්මචක්කවත්ති බිලක රාජාධිරාජතෙමේ පන්සාළිස් වර්‍ෂයක් රාජ්‍යයකොට අජ වර්‍ෂයේදී දිවංගත විය. එකල ඔහුගේ වයස අටසැත්තෑවක් විය.

බිලකරාජ කථාවයි.

ජංරාය රාජකථාව

සිරිධම්මචක්කවත්තිබිලක රජු දිවංගත වූ කල ඔහුගේ මුණුබුරු මූෂික වර්‍ෂයෙන් උපන් ජංරාය අගරජ තිස්එක් වියැත්තේ අජ වර්‍ෂයේදී රාජ්‍යයට පත්විය. හෙතෙම භට සේනාවක් හා සේන ඇමතියා සමග ස්වකීය මුත්තණුවන්ගේ ශරීරය රන් දෙණකින් ගෙන ගොස් මහාබෝධි විහාරයේදී දැවීය. දැවූ පසු එතැන මහාස්තූපයක් කරවා එහි ධාතු පිහිටුවා නිරන්තරයෙන් පිදී. ශක වර්‍ෂයෙන් අටසිය සිව්පණස්වෙනි මූෂික වර්‍ෂයේදී තපෝදාරාමය කරවිය. පල්ලංකදීපයේ ඤාණමංගල තෙරුන් විසින් සම්මත වූ ඛණ්ඩ සීමාව පශු වර්‍ෂයේ නවම් මාසයේදී රජතෙම ශුද්ධ කරවිය. කවර කෙනෙකුන් ලවා ශුද්ධ කරවීද? රජුගේ මාමා වූ මහඇමතියා ද වේළුවන්තතෙර ද ඤාණ‌බෝධි-සූරසීහ-නාරද-ධම්මසණ්ඨිර යන මේ මහතෙරුන් ද ලවාය. ඒ රජ ධජ ලක්‍ෂයකින් හරිපුඤ්ජය මහාධාතුව පිදී. හෙතෙම අට වර්‍ෂයක්රාජ්‍යයකොට ශශ වර්‍ෂයේදී සියපුත් කුමරුට රාජ්‍යය පාවා දුණි. එසේකොට එකොළොස් වර්‍ෂයක් ජීවත්ව සිට ව්‍යාඝ වර්‍ෂයේදී පරලොව ගියේය. ඔහුගේ වයස පණහක් විය.

ජංරාය රජුගේ පුත්‍රයා ශාර්දූල වර්‍ෂයෙහි උපන් බිලකපනත්තාධි රාජයා යයි දතයුතු. තෙළෙස් වියැති හෙතෙම අටසියසත්පණස් වෙනි ශක වර්‍ෂයේ නිකිණි මස පුරපසළොස්වක්දා අභිෂේක ලද්දේය. අභිෂේක ලැබූ කාලයේ පටන් බුදු සස්නෙහි පැහැදී උතුම් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අපරිමිත මහෝඝයකින් කැළඹුණු මහාසාගරය මෙන් නිරතුරුව නොයෙක් සියගණන් සිවුපසය දීම් ආදියෙන් යුක්ත විය. අභිෂේකයෙන් දෙවෙනි වූ මහෝරග වර්‍ෂයේදී, අටසියඅටපණස්වෙනි ශක වර්‍ෂයේ වෙසක්පුරසතවක් ලත් අඟහරුවාදා තමාගේ සීයා ද පියා වූ යුවරජු ද පෙර විසූ ගමෙහි එක් ආරාමයක් කරවිය. ඒ ආරාමය නබ්බිසි පුරයේ නැගෙනහිර දෙසැ පිහිටි බැවින් පූර්‍වාරාමයයි නම් කෙළේය. එයින් තුන්වෙනි වූ තුරඟ වර්‍ෂයේදී ඒ මහාවිහාරය මැද බුද්ධ ප්‍රතිමාවක් තැබීම පිණිස ප්‍රාසාදයක් ගොඩනැංවිය. එයින් සිවුවෙනි වර්‍ෂය වූ කුක්කුට වර්‍ෂයේදී බිලකපනත්තාධිරාජතෙමේ පූර්‍වාරාමයෙහි තමා කරවූ පොත්ගුලෙහි රන්පොත් පිහිටුවීමේ පූජාවකොට සිය මව වූ සිරියසවතී දේවියගේ උපන් තැන වූ කුසාවතියෙහි කරවූ කුමාරාරාමයේ ද මහෝත්සවයක් පැවැත්විය. ඉන්පසු අටසිය හැටහයවෙනි මූෂික වර්‍ෂයේ ඇසළමසපුර එකළොස්වක්ලත් බෘහස්පතින්දා පූර්‍ව ඵාල්ගුණි නැකත පවත්නා කල්හි ඒ අධිරාජතෙමේ පුෂ්පාරාමයෙහි මහපිළිමයක් වාත්තු කරවීමට පටන් ගත්තේය. එයින් දෙවෙනි වූ පශු වර්‍ෂයේ දී බක්මසපුර අටවක්ලත් ගුරු දින පුනර්‍වසු නැකත පවත්නා කල්හි ඒ පිළිමය වැක් කරවිය. තඹලෝ කෝටියක ප්‍රමාණය ඇති මේ බුද්ධ රූපය කොටස් අටක් ඇතිවෙන සේ වාත්තු කරවන ලදී. පොසොන් මස මුල්රිවි දින තයසීයපුරයෙහි සිරිපා සටහනක් ප්‍රකට විය. මහාබුද්ධ රූපයේ වැඩ අවුරුදු පසකින් නිමාවට ගියේය. අටසියඑක්සැත්තෑ වෙනි ශකවර්‍ෂයේ බක්මස පුරසිවුවෙනිදා වූ බදාදා රජතෙමේ සෙනවි-ඇමතියන් හා නුවර වැසියන් ද නිකාය තුනේ භික්‍ෂූන්ද අසල්වැසි රජුන්ගේ දූතයන්ද සමග ඒ පිළිමය වාත්තු කළ තැනින් ගෙන ගොස් පුෂ්පාරාමයේ පෝයගෙයි තැබීය. එසේ තබා, තුන්කොටසේ වූ දහසක් පමණ භික්‍ෂූන්ට සුදු හා රතු පැහැති චන්‍ද්‍රකෞශික වස්ත්‍රාදිය ඇති මහාදානයක් දී විශාල වූ ප්‍රතිමා පූජාවක් කෙළේය.

පුෂ්පාරාමයෙහි මහාබුද්ධ රූපය පිහිටි කාලයයි.

ඉන්පසු බිලකපනත්තාධිරාජයෝ තමාගේ පිය රජුගේ සිරුර දැවූ තැන සීයා වූ බිලක රජු කරවූ මහාබෝධාරාමයෙහි සරසින් රියන් අටසැත්තෑවක් හා වියතක් ඇති වෘෂභ ලක්‍ෂණ ඇති එක් පෝයගෙයක් කරවිය. එහි ගල්කණු නිමිති ඇති තැන පළලින් රියන් එක්සාළිසක් ද දිගින් එක්සියසොළොස් රියනක්ද විය. ගම්කෙත පළලින් තිස්බඹයක් ද දිගින් ඔබ සතළිස් නමයක් ද විය. රජතෙමේ එය අවට වටේ යාහැකි භූමියක්ද වෙන් කරවිය. එය දිගින් බඹ සැටක්ද පළලින් සතළිසක් ද ඇත්තේ විය. බුදුන් පිරිනිවීමෙන් දෙදහස් සිවුපණස්වෙනි වර්‍ෂයෙහි, ශක වර්‍ෂයෙන් අටසියදෙසැත්තෑවෙනි තුරංග වර්‍ෂයේ බක්මස අවඅටවක්දා රාජාධිරාජතෙමේ ග්‍රාමක්‍ෂේත්‍රයට අයත් ඒ වටේ යා හැකි භූමිය දුන්නේය. සීමාසම්මුති කාලයේදී රජුගේ ආරාධනා ඇතිව නොයෙක් නුවරවලින් පැමිණි භික්‍ෂුසංඝතෙමේ මහාබෝධරාමයෙහි රැස්විය. විනයධර තෙරවරු එහි කළ යුතු සියලු දේ කළහ. එයින් දෙවෙනි වර්‍ෂයෙහි හෙවත් අටසිය තෙසැත්තෑවෙනි අජ වර්‍ෂයේ වෙසක්පුර තියවක්ලත් තමා උපන්දින වූ ඉරිදා අස්විද නැකත ඇතිකල්හි එය පිරිසිදු සීමාසම්මුති වාක්‍යයෙන් සම්මත කරවිය. එකල බිලකපනත්තාධිරාජතෙමේ “මෙය වෙනම ගමක් වේවා”යි කියා (ප්‍රශ්නයට උත්තර වශයෙන්) “ස්වාමීනි, ගල්ක්” යයි කීය. බෝධාරාමධිපති මහතෙරුන් හා අභයසාර මහතෙර සම්මුතිකමර්‍ වාක්‍යය කීහ. ඒ සීමාව සම්මත කළ කාලයේදී රජතුමා තිස්වයස් ඇත්තේය; බෝධිරාමාධිපති මහතෙර සත්සාළිස්වස් ඇත්තේය. එකල නබ්බිසි පුරයෙහි අන්‍ය වූ සුමංගල-බ්‍රහ්මදත්ත-ඤාණසිද්ධි-සුරිය-ඤාණරංසි-ධම්මවංස-දීපංකර-ආනන්‍ද-සහස්සරංසී-සරභංග-බුද්ධාදිච්ච-වජිරපඤ්ඤා යන තෙරවරු ද හරිපුඤ්ජයෙහි ඤාණමංගල තෙරද, ජංරාය පුරයෙහි ඤාණාලංකාර තෙරද, ජයසේන පුරයෙහි ඤාණවිලාස-ඤාණසිද්ධි-සද්ධම්මරංසි තෙරවරුද, බ්‍යාව නුවර රතනපඤ්ඤ-සීලවිලාස තෙරවරුද ඛෙලාංග නුවර චන්‍දරංසි, රතනපඤ්ඤ තෙරවරුද, ජාංග නුවර දේවමූළ තෙරද යන මේ චිරරාත්‍රඥ වූ, පිටකත්‍රයෙහි කළ පුරුදු ඇති, විනයෙහි තත්ත්‍වය දන්නා වූ මහාශිෂ්‍ය පිරිස් ඇති, ගණාචාර්‍ය වූ තෙරවරු මහාබෝධාරාමයෙහි රැස්ව සමගියට පත්වූහ.

ඒ සීමාව සම්මත කළ පසු අධිරාජතෙමේ තමාගේ පියාට ද මවට ද මහපින් රැසක් පතමින් සංඝයා ලවා එහි උපසම්පදා කර්‍මය කරවිය. අටසිය තෙතිස්වෙනි අජ වර්‍ෂයේ වෙසක්පුර සවෙනිදා වූ බදාදා රෙහෙණ නැකත ඇතිකල්හි ද සියලු සිංහල වංශික සංඝතෙමේ ඒ සීමාවේදී කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. ඒ උපසම්පදා කර්‍මය වෙසක් පසළොස්වක්දා නිමාවට ගියේය. එකල මහරජතෙමේ පිටරටවලින් ආවා වූද නබ්බිසි පුරවැසි වූ භික්‍ෂූන්ට සුදු රතු පැහැති චන්‍දකෝසෙය්‍ය චම්පා වස්ත්‍ර ආදිය ඇති සිවුපසය පිදී. මහාබෝධාරාමයේ සීමාව සම්මත කළ කාලයේ පටන් මුත්තණු රජුට ද පිය රජුට ද මහාපුණ්‍ය ස්කන්‍ධයක් වැඩීම පිණිස වර්‍ෂයක් හැර වර්‍ෂයකදී සංඝකර්‍ම කෙරෙව්වේය.

මහාබෝධාරාමයෙහි සීමාසම්මුති කාලයයි.

ඒ අවුරුද්දේම දුරුතු පසළොස්වක්දා රජතෙමේ සියලු නුවර වැසියන් සමග මහාධාතු චෛත්‍යය රිදී වැටකින් වටකරවිය. තුන්වටයක් ඇති ඒ වැට රිදී දෙලක්‍ෂ විසිදහසකින් යුක්තවිය. ඒ[40] සියල්ල රත්තරන් මිලදී ගැනීම සඳහා යෙදවිය. ඒ මුදලෙන් රන් විසිපන්දහසක් ගෙන ඝන රන් පටින් ඒ මහාධාතු චෛත්‍යය වැස්විය. දුරුතු පසළොස්වකට පෙරදී ඒ මහාධාතු චෛත්‍යයෙහි වූ රන් ප්‍රමාණය පාද දහනවලක්‍ෂ අසූපන්දහස් සාරසිය දෙකකුත් භාගයක් විය. [41]ඒ මාසයේම පුරනවක්ලත් බදාදා ශ්‍රාවණ නැකත ඇතිකල්හි තාලාරාමයෙහි චෛත්‍යයක් කරවිය. එයින් දෙවෙනි වූ මර්කට වර්‍ෂයේ ඇසල පුරසත් වෙනිදා උත්තරඵාල්ගුණී නැකත ඇතිකල්හි බිලකපනත්තාධිරාජ තෙමේ හරිපුඤ්ජය නුවර උතුරු දිශාවෙහි ගංගා දෙක එක්වෙන තැන පිහිටි සණ්ඨිර ගමෙහි රාජ මන්‍දිරයක් ගොඩනැංවිය. එයින් දෙවෙනි නිකිණි මස පුරදසවක්ලත් සිකුරාදා අනුර නැකත ඇතිකල්හි රජතුමා ඒ මන්‍දිරයට ප්‍රවිෂ්ට විය. එයින් තුන්වෙනි කුක්කුර වර්‍ෂයේ වෙසක්මස පුරතෙළෙස්වක්ලත් බ්‍රෘහස්පතින්දා අධිරාජතෙමේ මේ නබ්බිසි පුරයෙහි තමාගේ මහාවිනිශ්චය ශාලාවත් හරිපුඤ්ජය නුවර මහාධාතු විහාරයත් කරවිය. ඒ දෙකේම පටන් ගැනීම එකවිට සිදුවිය. ඒ අටසියසයසැත්තෑවෙනි ශක වර්‍ෂයේ නවම්මස පුරසතවක්දා බිලකපනත්තාධිරාජතෙමේ ජයසේන පුරයට ගියේය. එහි යන්නේ නබ්බිසි පුරයෙහි සිටි ශ්‍රමණ සමූහ තුනට ආරාධනාකොට ගියේය. මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ විසිනමක් පමණ සිංහල වංශික තෙරවරු එහි ගියහ. එහි ගිය රජ ජයසේන පුරයෙහි උපසම්පදාවක් කරවනු කැමැත්තේ නබ්බිසි පුරයෙන් ද අන්‍ය පිටදේසවලින් ද තුන්නිකායික භික්‍ෂූන්ට ආරාධනා කෙළේය. බක්මස පුරනවක්දාට පැමිණි සිකුරාදා මහරජ ජයසේන පුරය මැද පිහිටි මහාවිහාරයෙහි මහසෑයක් පිණිස අත්තිවාරම් කැණවිය. බක්මස අවපැළවියලත් තමාට අයත් සිකුරාදා මහාසෑය බැඳීම ආරම්භ කරවිය. එය පළලින් බඹපසළොසකි, උසින් බඹ විසිපහකි. ඒ රජු විසින් ආරාධිත වූ හැම භික්‍ෂූහු හැම නුවරවලින් අවුත් ජයසේන පුරයෙහි රැස්වූහ. රජතෙමේ භික්‍ෂූන්ට උපසම්පදාව කිරීම පිණිස පල්ලාකදීපයට උඩහින් නැව් එකතුකර බැන්දවිය. ශ්‍රමණ සමූහ තුන අතුරෙන් මහාබෝධාරාමාධිපති මහතෙරුන් ප්‍රමුඛ සිංහලවංශික එක්සිය අටනමක් වූ සංඝතෙමේ බුදුන් පිරිනිවීමෙන් දෙදහස් පණස්නවයක් වූ, අටසියසත්සැත්තෑවෙනි ශක වර්‍ෂයට අයත් කුඤ්ජර වර්‍ෂයේ බක් අටවක්දා උතුරුසළ නැකත පවත්නා කල්හි නාවාසංඝාටයට නැග උදකුක්‍ඛෙප සීමාවේදී දෙසිය තිස්පස්දෙනෙක් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කෙළේය. ඒ උපසම්පදා කර්‍මය එකොළොස් වෙනිදා නිමාවට ගියේය. ඊට අනතුරුව නගරවාසී භික්‍ෂු ගණයා ඒ පහුරටම නැගී තුන්සිය සැත්තෑවක් කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. ඊට අනතුරුව පුෂ්පාරාමවාසී[42] ගණතෙමේ එක්දහස් එකොළොසක් කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය.

රජතෙමේ මහාරත්තවනාරාමයෙහි පුස්තකාලය සඳහා තමාගේ රාජ මණ්ඩපය තැබ්බවීය. හෙතෙමේ ජයසේන පුරයේදී සිය මෑණියන් සමග ලක්‍ෂයක් පමණ වූ චන්‍දකොසෙය්‍ය-චම්පාදි වස්ත්‍ර පරිත්‍යාග කෙළේය. මෙසේ ජයසේන පුරයේදී රත්නත්‍රය පිදීමෙන් නොයෙක් කුශල කර්‍මයන් රැස්කොට නැවත ජංරාය පුරයට හැරී ආය. එහිදීත් නොයෙක් කුශල කර්‍මයන්කොට නබ්බිසි පුරයට හැරී ගියේය. ජයසේන පුරයෙන් ආ රජතෙමේ ඒ කුඤ්ජර වර්‍ෂයේ ඇසළපුර තුදුස්වක්දාට පැමිණි ඉරිදා දෙටනැකත පවත්නා කල්හි මේ නබ්බිසි නුවර උපසම්පදා කර්‍මය කරවිය.

ජයසේන පුරයට යාමේ කථාවයි.

සිඛී පිළිමයේ කථාව

ඒ කුඤ්ජර වර්‍ෂයේදී අයෝධ්‍ය රජ බලසෙනග සමග ඛෙලාංග නුවරට ආවේය. හෙතෙම උඳුවප් පසළොස්වක්දා වූ අඟහරුවාදා එනුවරට අවුත් ශ්වේතකූටාරාමයෙන් සිඛී නමැති බුදුපිළිමයක් ගෙන ඉවත්විය. මෙතැන සිට සිඛී පිළිමයේ උත්පත්තිය කියයුතුය. අයෝධ්‍ය නුවරින් නුදුරු තැන ගඟේ බටහිර ඉවුරෙහි එක් කළු ගලක් විය. අප බුදුන් ජීවමාන කල්හි එක්දිනක් රහතන් විසින් පිරිවරන ලදුව අහසින් වඩින්නේ එහි බැස ඒ කළුගල මත්තේ වැඩහිඳ භික්‍ෂූන්ට දාරුක්‍ඛන්‍ධොපම සූත්‍රය දෙසී, එතැන්පටන් ඒ ගල දෙවිමිනිසුන් විසින් වැඳිය යුතු පිදිය යුතුවිය. එබැවින් එය “ආදරගල” යයි ප්‍රකට විය. එතැන් පටන් ඒ ගල වැඩිමහලු රාමඤ්ඤ දේශවාසීන් විසින් සියබසින් සිලාධිමි යයි කියන ලදී. ඉන්පසු ප්‍රාදේශික රජුන්ට අධිපති වූ රාමඤ්ඤ රට එක් අධිරාජයෙක් මෙසේ සිතී: “ඒ මේ ගල පරිභෝග කළ පමණින් දෙවිමිනිසුන්ට මහත් පින් ලබා ගැනීම පිණිස පවතී. ඉදින් මම එයින් බුදුපිළිමයක් කරවන්නෙම් නම් ශාසනාන්තර්ධානය දක්වා දෙවිමිනිසුන්ට මහත් පින් පිණිස පවතින්නේය”යි. එසේ සිතා ප්‍රතිමා ශිල්පීන් රැස්කරවා බුද්ධරූප පසක් සෑදවිය. එයින් එකක් මහානගරයෙහි ද එකක් ලවපුරයෙහි ද එකක් සුධම්ම නුවර ද තබා දෙකක් රාමඤ්ඤ රටෙහි තබා ගත්තේය. ඒ සියලු බුද්ධ රූප තේජස් ඍද්ධි ඇත්තෝ වූහ. රාමඤ්ඤ රජ ඒ බුද්ධ රූප දෙකට නිතර පුද පවත්වා ස්වර්‍ගපරායණ විය. ඔහුගේ පුත්‍ර රජද එසේම පිදී. ඔහුගේ පුත් මනෝහාර රජ එරට රාජ්‍යය කරවමින් ඒ පිළිම දෙකට නිතර පුද පැවැත්විය.

එකල අරිමද්දන නුවර අනුරුද්ධ නමැති රජෙක් රාජ්‍යය කරවිය. අහසින් යාමේ ඍද්ධි ඇත්තෙක් වූ හෙතෙම කළුගල් ප්‍රතිමාවක් ලබනු කැමතිව මනෝහාර රජු වෙත දූතයකු යැවී. මනෝහාරතෙමේ බුද්ධමාමක බැවින් එය නොදුන්නේය. අනුරුද්ධ රජ ඒ රජුට කිපී භටසේනා සමග රාමඤ්ඤ රටට ගොස් ඔහු හා යුද කොට ඒ රජු පණ පිටින් අල්වාගෙන අරිමද්දනයට ආවේය. අරිමද්දනයෙහි වසන මනෝහාරතෙමේ අතිවිශාල සැතපෙන පිළිමයක් කරවා නිතර පුද පැවැත්විය. ඒ රජ එහිදීම මළේය. අනුරුද්ධ රජු බුද්ධමාමක බව දැනගත් මහානගරාධිපති (කාම්බොජ) රජ තමා පිදූ කළුගල් පිළිමය ඔහුට දුණි. එයැසූ අනුරුද්ධ (බුරුම) රජ මහජනයා ලවා ඒ පිළිමය මහානගරයෙන් ගෙන්වා පිදී. බුදුන් පිරිනිවීමෙන් එක්දහස් දෙසිය වර්‍ෂයක් ඉක්මි කල්හි චම්ම දේවී තොමෝ කළුගල් පිළිමය ගෙන ලව පුරයෙන් අවුත් හරිපුඤ්ජය නුවර රජය කරවීය. ඕතොමෝ ලමක්ක නම් තැනට පැමිණ ලමක්කාරාමය සාදවා එහි එක් කළුගල් පිළිමයක් තැබී. ඒ කාරණය නිසා දැන් ඒ ආරාමයට ආරද්ධබුද්ධාරාමය යයි කියත්. චම්ම දේවිය තක්කාරපුරයෙහි සුධම්ම රජු ලවා රාජ්‍යය කරවිය. ඒ රජ එනුවර රාජ්‍යය කරවන්නේ තමා පිදූ කළුගල් පිළිමය සුධම්ම පුරයෙන් ගෙනවුත් තක්කාර පුරයේ සුධර්‍මාරාමයෙහි තැබ්බවිය. ඒ පිළිමය සුධම්ම රජු විසින් සුධම්ම පුරයෙන් ගෙනෙන ලද බැවින් සුධම්මා නමැත්තීය. සුධම්ම රජ ඒ පිළිමය සොලවන්ට බැරි වෙන සේ කරනු කැමතිව සත්කාරකොට අවසර ගෙන මහබුදුරුව නියනකින් විද ඒ මහබුදුරුව ඇතුළේ මේ කළුගල් පිළිමය තබා බදාම ගා ප්‍රකෘතිමත් කෙළේය. එතැන් පටන් ඒ පිළිමය අද දක්වා දෙවිමිනිසුන්ගේ පූජාවට සුදුසුවිය.

අනුරුද්ධ රජ හරිපුඤ්ජය නුවර සසුන බබළන බව අසා සතුටු සිතැත්තේ වැඩිපුරත් ශාසනයේ බැබළීම ප්‍රාර්‍ථනා කරමින් මහානගරාධිපති රජු විසින් තමාට දෙන ලද සිඛී බුදුන්ගේ ආකාර ඇති කළුගල් පිළිමය හරිපුඤ්ජය නුවර චම්ම දේවිය වෙත යැවී. ඒ අවස්ථාවේදී චම්ම දේවිය මහන්තයස නමැති තමාගේ පුත්‍රයා දැකීම පිණිස ඛෙලාංග නුවරට ගොස් සිටියාය. රාජදූතයෝ ඛෙලාංග නුවරට ගොස් එහිදී චම්ම දේවියට ඒ පිළිමය දුන්හ, චම්ම දේවිය හැරී යන කල මහන්තයස රජ සිය මෑණියන්ගෙන් ඒ පිළිමය ඉල්ලාගෙන ඛෙලාංග නුවර තබා පිදී. එකල සුබ්‍රහ්ම තාපස තෙමේ අනාගතය දැක මෙසේ කීය: “ඉදින් මේ සිඛී පිළිමය වංක නදියේ නැගෙනහිර ඉවුර පැත්තේ තිබෙන්නේ නම් මිනිසුන්ගේ මහත් අභිවෘද්ධිය පිණිස නොපවත්නේය. ඉදින් එය ගඟේ බටහිර පැත්තේ තිබෙන්නේ නම් මිනිසුන්ට අභිවෘද්ධිකාරණයක් වන්නේය”යි. එබැවින් අලුත් ඛෙලාංග පුරය ගොඩනැගු පසු සිඛී පිළිමය නුවරින් බටහිර දෙසැ වූ ගෙවත කූටාරාමයෙහි පිහිටියා යයි දතයුතු.

සිඛී පිළිමයේ උත්පත්ති කාලයයි.

හරිපුඤ්ජය ගල්පවුර බැඳීම

ඉක්බිති සිරියවතී දේවිය නමැති රාජ මාතාව තිරියවාපියට අධිපති වූ ඇමතියා විසූ ගම සංඝාරාමයක් සඳහා පරිත්‍යාග කළාය. එසේකොට මේ මූෂික වර්‍ෂයේ පොසොන් මස පුරපක්‍ෂයේ දී එහි චෛත්‍යයක් බැන්දවිය. මේ වර්‍ෂයේදීම බිලකපනත්තාධිරාජතෙමේ මහාස්ථාන තොටෙහි මහපාලමක් සාදවා ඇසළ පුණු පොහෝදා බුදුන් ප්‍රමුඛ තුන් ගණයේ භික්‍ෂූන්ට ආරාධනාකොට ඒ පාලම උඩදී සුදු-රතු චන්‍දකොසෙය්‍ය වස්ත්‍ර හා ආහාර සහිත මහාදානයක් දුණි. මේ වර්‍ෂයේ උඳුවප්මස පුරදොළොස්වක්දා ඒ රාජ මාතාව තමා කරවූ ආරාමයේ බැන්ද වූ චෛත්‍යයේ කොත් පැලඳවීමද මහාවිහාරයට අත්තිවාරම් දැමීම ද කරවිය. මේ වර්‍ෂයේදීම බිලකපනත්තාධිරාජතෙමේ හරිපුඤ්ජය මහාධාතු චෛත්‍යය රැකීම පිණිස ද සතුරු සෙනග වැළැක්වීම පිණිස ද එනුවර ගල් පවුරකින් වට කිරීම ආරම්භ කෙළේය. ඒ රජ දුරුතු මස පුරපස්වෙනිදා වූ බෘහපතින්දා උතුරුසළ නැකත යෙදී ඇති ඉරුඅස්තගත වේලෙහි තිස්ලක්‍ෂයක් පමණ වූ භටසේනාව ලවා ඒ ගල්ප්‍රාකාරය බැන්දවිය. ඒ බැඳීම බටහිර දොරටුවෙන් පටන් ගන්නා ලදී.

හරිපුංජයේ ගල් පවුර බැඳීමේ කාලය නිමි.

සිංහල වංශය බැබළවීම

ඒ වර්‍ෂයේදීම බිලකපනත්තාධිරාජතෙමේ රත්තවන මහාවිහාරය දියුණු කරනු කැමතිව “දැන් සිංහල පරම්පරාවට මහාස්වාමි නමක් නැත; රත්තවන විහාරයද අතිශයෙන් දිරා ගියේය. රත්තවන විහාරයෙහි සිංහල ශාසන වංශයේ මහාස්වාමි තනතුරට මහාබෝධාරාමාධිපති වූ සද්ධම්මසණ්ඨිර නම් මහතෙරුන්ට ආරාධනා කළොත් යෙහෙකි. එසේකළවිට රත්තවන මහාවිහාරය අතිශයෙන් බබළන්නේය. සිංහල ශාසන වංශය ද නගා සිටුවීමක් වන්නේය”යි සිතා නවම්පුර දොළොස්වක් ලත් සෙනසුරාදා රත්තවන විහාරයෙහි මණ්ඩපයක් ද පිරිවෙණක් ද සඳහා පොළොව ශුද්ධ කරන්ට ආරම්භ කරවිය. ඒ මාසයේදීම අවපෑලවියලත් බදාදා රජතුමා තෙමේම රත්තවන මහාවිහාරයට ගොස් ඒ ස්ථානය විමසා බැලී. ඉන්පසු මැදින් මස පුරදසවක් ලත් සිකුරාදා හවස ප්‍රථම යාමයෙහි කැති නැකත පවත්නා කල්හි පිරිවෙණ ද මණ්ඩපය ද පිහිටුවීම රජතුමාම කරවිය. ඒ මණ්ඩපය වනාහි නබ්බිසි නුවරින් ඊශාණ දෙසැ සිරිභූමගමේ මුත්තණු රජු විසූ ප්‍රාසාදය විය. එය එතැනින් ගෙනැවිත් මහතෙරුන්ගේ විසීම පිණිස මෙහි සවිකරවිය. පිරිවෙණ සඳහා සකස්කළ බිම දිගින් බඹවිසි නවයක් ද සරසින් බඹ විසිතුනක් ද ඇති ගජ ලක්‍ෂණයෙන් (=ඇතෙකුගේ ආකාරයෙන්) යුත් එකක් විය. (116, 117) වෘෂභ රාශියෙහි (බක්‍රින්‍දහෝරා?) චන්‍ද්‍රයා හා අඟහරු ද, කටක රාශියෙහි රාහු ද, වෘශ්චිකයෙහි සෙනසුරු ද, කන්‍යාවෙහි ගුරු ද, මකරයෙහි සිකුරා ද, කුම්භයෙහි බුද-හිරු දෙදෙන ද ඇතිකල්හි ධර්‍මරාජ තෙමේ ශාසනය බැබළවීම සඳහා රත්තවන මහාවිහාරයෙහි මණ්ඩපයක් ද පිරිවෙණක් ද පිහිටු විය.

එදවස්හිම කුම්භාමදීපාරාමයේ මහපිළිමයේ හිස වාත්තු කිරීම ද සිදුවිය. ඉන්පසු බක්මස පුරපස් වෙනිදාට පැමිණි අඟහරුවාදා අස්විද නැකත ඇතිකල්හි තමාගේ විසීම සඳහා රජ ගෙයක් ආරම්භ කෙළේය. ඉන්පසු වෙසක්මස පුරනවවක්දා තමාට අයත් ඉරිදා පුනර්‍වසු නැකත ඇතිකල්හි චන්‍ද්‍රයා කටක රාශිගත වූ කල්හි මහාකූටයට අත්තිවාරම් දැම්මවිය. අටසිය නව සැත්තෑවෙනි පශු වර්‍ෂයේ වෙසක් මස පුරතෙළෙස්වක් ලත් බෘහස්පතින්දා මානැකත ඇතිකල සූර්‍යෝදයට පෙර මුහුර්‍ත කාලයේදී බිලකපනත්තාධිරාජතෙමේ නබ්බිසි පුරයේ ප්‍රාකාරය ගඩොල්වලින් බැන්දවිය. එදිනම මධ්‍යාහ්න කාලයේදී රජතුමා මහාවිනිශ්චය ශාලාවට ප්‍රවිෂ්ට විය.

118, 119. මීනයෙහි සිකුරා ද කටකයෙහි ගුරු-රාහු දෙදෙනද මේෂයෙහි ඉරු ද සිංහයෙහි චන්‍ද්‍රයා ද මිථුනයෙහි අඟහරු ද (-?පසභණෙ) බුදහු ද ධනුවෙහි ශනි ද සිටිකල්හි රජතෙමේ නබ්බිසි පුරය ආරක්‍ෂා කිරීම ද හෙබවීම ද සඳහා ගඩොලින් ප්‍රාකාරයක් බැන්දවිය.

අජ වර්‍ෂයෙන් පසු අවුරුද්දක් ගතවීමෙන් පශු වර්‍ෂයේදී මහාබෝධාරාමයේ ඛණ්ඩසීමාවේදී උපසම්පදාව කළ යුතු විය. නමුත් බිලකපනත්තාධිරාජතෙමේ රත්තවන මහාවිහාරයේ බැබළීමද මහාස්වාමීන්ට විසීම සඳහා ගොඩනංවන ගෙයි වැඩ වහා නිම කිරීම ද පතමින් මුත්තණු රජු කරවූ ඛණ්ඩ සීමාවේ නාගරූප සෑදවීම හා රන් ගෑමද උළු සෙවිලි කිරීම ද අලුතෙන් කරවා මේ පශු වර්‍ෂයේදී සිරිධම්මචක්කවත්තිබිලක බද්ධ සීමාවේදී එය කරවිය. එකල මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ සංඝතෙමේ වෙසක්මස අවපක්‍ෂයේ සිවුවෙනිදා පටන් අටවෙනිදා දක්වා දෙසියපණස් දෙනෙක් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. (120, 121) සිංහල ගණයට අයත් සංඝතෙමේ සුදුසු කාලයෙහි රැස්ව පශු වර්‍ෂයේ වෙසක්මස අව සිවුවෙනි බදාදා චන්‍ද්‍රයා විසා නැකතෙහි සිටිකල්හි ශාසනොපස්තම්භයක් වූ උපසම්පදා කර්‍මය කෙළේය.

ඉන්පසු රජ ද රාජ මාතාව ද බුදුපාමොක් සඟනට දෙදහසක වියදමෙන් දන්දී පළමු ඇසළ මස පුරනවවක්දා වූ බදාදා උත්තර ඵාල්ගුණී නැකත ඇති කල්හි තිරියවාපියට අධිපති ඇමතියා පෙර විසූ ගමෙහි රාජමාතාව වූ සිරියසවතී දේවිය විසින් කරවන ලද ආරාමයෙහි බුද්ධසාගර නම් මහතෙර නමකට ආරාධනාකොට වාසය කරවූහ. ඒ ආරාමය රාජමාතාව කරවූ බැවින් සුධම්මාරාම යයි නම් තැබූහ. ආරාමිකයන් විසි දෙනෙකුන්ද එයට දුන්හ. එදවස්හිම එහි මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ මහතෙරවරු ඛණ්ඩ සීමාවක් බැන්දාහ. ඒ මස අවපක්‍ෂයේ දශවෙනිදා රජ දෙදෙන[43] මහදන් දී ඛෙලාංග නුවර තිරියවාපි අධිපතියාගේ සිරුර දැවූ තැන කරවූ ආරාමයෙහි මහාපූජාවක් කරවූහ. එහෙයින් එයට නන්‍දාරාම යයි නම් කළහ.

ඉන්පසු නිකිණි මස පුරසතවකලත් සිකුරාදා නායපුරාධිපති වූද ජයසංකපුරාධිපති වූද ප්‍රාදේශික රජවරු දෙදෙන මේ නබ්බිසි පුරයට අවුත් රාජාධිරාජයන්ගේ පා වැඳ තමන්ගේ සේනා බලයත් තමනුත් මහරජුට පාවා දුන්හ. එදවස්හි මහරජ මහබෙරය වාදනය කරන්ට සැලැස්විය. නිකිණි පසළොස්වක්දා මහරජ තෙමේ භටසේනා සහිත ප්‍රාදේශික රජුන් දෙදෙනගේ මහත් අභිවෘද්ධිය පතමින් සිංහල පිළිමය ද තුන් කොටසේ සංඝයා ද පිටකත්‍රය ද වන්දවා රත්නත්‍රය ඉදිරියේදී පොරොන්දු කියවා දිවුරුම් දිය පෙව්වේය.

පෙර සිරිධම්මචක්කවත්තිබිලක මහරජු විසින් ත්‍රිපිටකධර මහතෙරුන් තෝරා තුන්පිටකය ශුද්ධ කරවා ඒ පොත් තැබීම පිණිස මහාබෝධාරාමයෙහි කරවූ මහාමන්‍දිරය දිරාගිය බැවින් රජතෙමේ මුත්තණු වූ සිරිධම්මචක්කවත්ති රජු විසින් ද තමාගේ පියරජු විසින් ද තමා විසින් ද පරිභෝග කළ පුරාණනගරකූටය පුස්තකාලයක් කරවිය. ඒ සිද්ධියෙන් පසු උඳුවප් මස පුරඅටවක්දා පටන් පුරපසළොස්වක දක්වා මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ ත්‍රිපිටකධර මහතෙරුන් සතළිස් නමක් ලවා තුන් පිටකය දේශනා කරවා මහාපූජාවක් කෙළේය.

ඒ රජ නුවර වැසියන් සමග මුත්තණු රජුගේ සිරුර දැවූ තැන තමාගේ පියා කරවූ මහාසෑය වසන්ට රන්තහඩු ගැනීම සඳහා නොයෙක් සියගණන් කෝශෙය්‍ය වස්ත්‍ර-චන්‍ද්‍ර වස්ත්‍රාදියෙන් මහාසෑය වැස්විය. ඉන්පසු නවම්මස පුරඅටවක්දා පටන් පසළොස්වක දක්වා රජතෙමේ බුද්ධ වංසය අසමින් හරිපුඤ්ජය මහාධාතුව පිදී. එය එක් ලක්‍ෂයට අධික වූ රන්කාසිවලින් වට කරවිය. ඒ මස අවනවවක් ලත් බදාදා විසා නැකත ඇතිකල උතුරු දිශාවෙහි විහාරයක් ආරම්භ කෙළේය. යම් මූෂික වර්‍ෂයක අභයසාරදමාහිමි දිවංගත වූයේද ඒ වර්‍ෂයත් ඊළග පශු වර්‍ෂයත් මාහිමිවරුන්ගෙන් ශූන්‍ය විය. කුමක් හෙයින්ද? රත්තවන මහාවිහාරයෙහි මහාස්වාමීන්ගේ විසීමට සෑදවූ මහාමණ්ඩපය නොනිමි බැවිනි. ඒ දෙවර්‍ෂයේදී ජිනකාලමාලී නමැති මේ ග්‍රන්ථය ලියූ මා විසින් මහාබෝධාරාමාධිපති තෙරුන්ගේ අනුමතියෙන් මහාකඨිනය අතුරන ලදී. රාජාධිරාජතෙමේ මවුදේවිය සමග දහසකට වැඩි රන්මිල පරිත්‍යාගකොට මහාබෝධාරාමාධිපති මහතෙරුන්ට විසීම පිණිස රත්තවනාරාමයෙහි යම් මහාමණ්ඩපයක් කරවීද එය සිවුකොණෙහි පිරිවර මණ්ඩප සතරකින් ද වේදිකා-දොරටුවලින් ද අවට පිරිවෙන්වලින් ද කුඤ්ජරශාලා-මහාගෘහ-රාජගෘහ ආදියෙන් ද යුක්ත විය. ශාර්දූල වර්‍ෂයේදී හැම ආකාරයෙන් නිමාවට පැමිණි එය ශක්‍ර භවනය මෙන් ශෝභමාන විය.

මහරජතෙමේ මහතෙරුන් තමාගේ ගුරු ස්ථානයෙහි අභිෂේක කිරීම පිණිස හරිපුඤ්ජය-ජයසේන-ජයජේහ-ජංරාය-ඛෙලාංග-වංගඛර යන නුවරවලින් මහතෙරවරුන්ට ආරාධනා කෙළේය. ඒ තෙරවරු මෙහි රැස්වූහ. හෙතෙමේ ඒ තනතුරේ ද මහතෙර නමගේ ද අභිවෘද්ධිය වැඩිවීම පතමින් එක්සිය විසිනමක් භික්‍ෂූන් ලවා නොයෙක් පුදසත්කාර ඇතිව තුන් දිනක් මුළුල්ලේ මංගල සූත්‍රය ද දම්සක් පැවතුම් සුතුර ද මහාසමය සූත්‍රය ද දේශනා කරවිය. ශක වර්‍ෂයෙන් අටසිය අසූවෙනි ශාර්දූල වර්‍ෂයේදී බක්මස දොළොස් වෙනිදා පටන් අමාවක් දින දක්වා පිරිත් කිවූ කාලයයි. ඊළඟ දවස වූ වෙසක්මස පුරපෑළවිය ලත් සිකුරාදා[44] අසූනමක් භික්‍ෂූන් සමග මහතෙරුන් රාජ මන්‍දිරයේ දී වැලඳ විය. එසේ රාජ භවනේ දී ගෞරවකොට හවස් වරුවේ ප්‍රථම කොටසේදී ඡායාව වැඩෙන කල්හි නොයෙක් සත්කාර සම්මානයෙන් යුක්තව උතුම් ඇතුන් යෙදූ ප්‍රසාදයකින් පන්සියයක් භික්‍ෂූන් පිරිවරකොට ඇති මහතෙරුන් වඩම්වාගෙනවුත් සිරිධම්මචක්කවත්තිබිලක සීමාව ඉදිරියෙහි සරමජ්ජග්ග නමැති විසිතුරු ප්‍රාසාදයේ දී රජ-කුමර-බ්‍රාහ්මණ-මහසිටු යන මොවුන් ලවා අභිෂේක ජලයෙන් අභිෂේක කරවිය. ඊට අනතුරුව රජතෙමේ තුන් ගණයේ තෙරුන් අතුරෙන් ප්‍රමුඛ තෙරුන් අසූනමක් තෝරවා මහාමණ්ඩප නම්වූ සංඝාවාසයට ප්‍රවිෂ්ට කරවිය. එකල්හි රාජයෝග්‍ය වූ නොයෙක් සත්කාර සම්මානවලින් ද අගනා ශ්‍රමණ පරිෂ්කාරවලින් ද පූජාකොට මහතෙරුන්ට රන්කාසි සියයක ප්‍රමාණය ඇති රන්පටක ලිවූ නාම ප්‍රඥප්තිය කියවන්ට සැලැස්විය. ඒ නාමය නම් “සමගේච-බ්‍රහ්මමහාසාමි-ත්‍රිලෝකනාථරාජගුරුචූඩාමණි-සද්ධම්මරංසි-සීලවිසුද්ධ-ව්‍යක්තමුත්තවාදී-මහාකවි-සීහළවංශපරිනායක-රත්තවනාධිපති-වීරසුමන-අතුල්‍යමුඤ්ජවන්තොළාරජ්ඣාසය-තෙපිටකධර-වරමෙධංකර-පරමතිලොකාචාර්‍ය”[45] යන්නයි. අනූහත්වරක් එය කියෙව් පසු මහතෙරවරු අධිරාජයන්ගේ මහාදානයට අනුමෝදනා වශයෙන් මේ ගාථාවන් කියෙව්වාහ. (මේ ගාථාවන්ගේ අර්‍ථ තේරුම් ගැනීම ඇතැම් තැන අපහසු බැවින් ගාථාවන් එසේම යොදමි. අනුවාදක.)

122. රාජින්‍දාානං’ඛිලානං සුකතකමකූටෙ සෙලභාසෙනභාසං

රාගප්පත්තො භූපානං අසදිසසරණං නෙකසාතං නියාති.

සෙට්ඨෙමං රාජවංසෙ සුවිමලමතුලෙ යාව චංගාධිරාජා

තස්සෙවාලංකිභූතො පුථුලවරධජො භූතලෙ’කො විභාති.

.

123. රඤ්ඤා තෙනස්සමබ්‍යා සුරපතිභවනං හාසයන්තෙන ව්‍යම්හං

දානෙනානග්ඝදාතා සුවිමලමනසා පූජිතෙ’කො යතින්‍දො

යස්ස’ඤ්ඤෙසං අසන්තං කුසලමුපගතං දෙන්ති රාමාදිනාමං

ලංකාදීපාගතං තං මුනිවරවචනං ජොතනත්‍ථං උභොපි

.

124. නරවරපති හෙසො චන්‍දනෙය්‍යාණෙය්‍යො

ගුණවරතිකරො භාවන්තියො ආයතීන

සකලදිසමසෙසෙ කිත්තිමන්තො ජලන්තො

විමලසරදකාලෙ භානුමාලීව ඛම්හි

.

125. සකලජනහිතෙසී බුද්ධබීජංකුරෙ’සො

වරකනකචිචිත්තෙ ව්‍යම්හසෙට්ඨෙ තයොපි

සකලගුණනිවාසෙ ධම්මරාජා යජෙනි

ඉතරමයුගනාමෙ ප’ජ්ජ දින්නම්පි සෙට්ඨං

.

126. රාජින්‍දෙනූපචිත්තං කුසලඛිලවරං මොදමානා මයම්පි

සබ්බං භූමිං ජිනිත්‍වා දසබලපයුතං බුද්ධභාවං නරින්‍දො

දෙවී මාතා ආරොගී දසබලජනනී’නාගතෙ සාව හොතු;

දීඝායුද්‍යාතිසාතං සකලපිසිගණෙ රාජග්‍රෑ සො පයාතු.

.

127. සිරිධරමකුටින්‍දෙ රාජවංසෙ පුරෙ’සි

ඉභ-හය-බලකායෙ රාජයොගෙ අසෙසෙ

අමිතබහලිසෙරිං රාජධානිං අසෙසං

කුසලමුපචිතං තං රාජභාවංභිවාතූ.

.

128. යො සො බොධාය බොධිං අතුලකුලසිරී ඉද්ධිමා රාජසෙට්ඨො

පුඤ්ඤානන්‍දො ජනින්‍දො සහ ච සිරිමහාදෙවියා සජ්ජනෙත්‍යා

ථෙරං දුල්ලද්ධතූලං ධිතිසතිමතිමං මන්‍දකන්තාතිකන්තං

අඤ්ඤෙ රඤ්ඤෙ ච දළ්හං අතිව දයුදයං අත්‍ථකාරං පරෙසං,

.

129. උද්දිස්සොභාසසොභං රතනවරුජලං චිත්‍රකිච්චාභිකිණ්ණං

මාපෙත්‍වාවාසසෙට්ඨං තිදිවතලතුලං රාජගෙහාධිගෙහං

මණ්ඩෙත්‍වා පිණ්ඩයිත්‍වා සුඛුමතරවරං සම්පිරික්‍ඛාරදානං

දින්නො දින්නොභිබොධිං සකලජනවරෙ තොසයන්තො අහොසි

.

130. රඤ්ඤඤ්ඤෙසං මකුටසිතපාදස්ස භුම්‍යාසපුඤ්ඤා

සග්ගෙ ඡග්ගෙ හබලතුලකෙ සාමමෙවානුභොගං

ලොකග්ගො ලොකං සනරමරුං රඤ්ජයං තාරයන්තො

දෙවා වා දෙවවිජයද දා සාදරං සො විජෙතං”

අනුමෝදනාවසානයේදී මිහිරි හඬින් යුත් මනාසේ අකුරු ශබ්ද කළ හැකි භික්‍ෂූන් අටනමක් තෝරා මහාමංගල පිරිත කියවේවාහුය.

131-134. සිංහල ගණයාගේ අභිවෘද්ධිය පතන අධිරාජතෙමේ ලග්නාධිපති සිංහ රාශියෙහි ද ඉරු සඳු දෙදෙන මේෂයෙහි ද වෘෂභයෙහි සිකුරා ද ධනුවෙහි සෙනසුරා ද මිථුනයෙහි රාහු ද මීනයෙහි බුධ ද කුම්භයෙහි අඟහරු ද ඇතිකල්හි ශාර්දූල වර්‍ෂයේ වෙසක්මස පළමු දින වූ සිකුරාදා අස්විද නැකත ඇතිකල්හි හවස්වරුවේ මහාබෝධාරාමයෙන් පස්පණස්වස් ඇති මහතෙරුන් ගෙනවුත් මහාවිහාරයෙහි නවතා තමාගේ ආචාර්‍ය ස්ථානයෙහි තැබීය.

යම්කලක බිලකපනත්තාධිරාජයා මහතෙරුන්ට රාජගුරු නාමය දුන්නේද, එකල බුදුන් පිරිනිවීමෙන් දෙදහස් දෙසැට වර්‍ෂයක් ඉක්ම ගියේය. නබ්බිසිපුරයට ගියකාලයේ පටන් සිංහල භික්‍ෂු වංශයට අවුරුදු අසූඅටක් ගතවිය. සතිස් හැවිරිදි රජ රාජ්‍යයට පැමිණීමෙන් තෙවිසි හවුරුදු ඇත්තේ විය. මහතෙරුන්ට රාජ ගුරුනාමය දුන් දිනයෙන් සිවුවෙනිදා සිංහල වංශික සංඝයා ලවා උපසම්පදාව කරවිය. රාජගුරු මහාස්වාමි ප්‍රමුඛ සංඝතෙමේ තුන්සියදශ දෙනෙක් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කරවීය. ඒ උපසම්පදා කර්‍මය අටවක්දා නිමාවට පැමිණියේය.

ඒ වෙසක්මස අවඅටවක්දා පටන් පුණු පොහෝ දින දක්වා රජතෙමේ මවුදේවිය සමග රාජගුරු ප්‍රමුඛ ත්‍රිපිටකධර මහතෙරුන් දෙවිසිනමක් තෝරා මහත් සේ පූජාකොට සතරබණවර ග්‍රන්ථය කියෙව්වේය. සැටක් පමණ භික්‍ෂූන්ට ආරාධනාකොට තෙමේද මහාවිනිශ්චය ශාලාවෙහි සිටගෙන ඒ ධර්‍මය ඇසී.

සිංහල ශාසනය බැබළවීමේ කාලය නිමි.

ගජුප්පත්ති කථාව

ඊට අනතුරුව ඇසළ පුණුපොහෝදාට පසුදා පූර්‍වාෂාඪයෝගය ඇති කල්හි රජතෙමේ සංඝරාජ තෙරුන්ට විසීම පිණිස සිරිභූම ගම ද මහාස්වාමීන්ට පූර්‍වාරාමයද ඤාණබෝධි තෙරුන්ට මහාචෙතියාරාමය ද පිදී. ඉන්පසු උඳුවප් මස දශවෙනි සිකුරාදා උත්තර භද්‍ර යෝගය ඇතිකල්හි මධ්‍යාහ්න කාලයෙහි රජතෙමේ මහාචෛත්‍යාරාමයෙහි ද සිංහලාරාමයෙහි ද මහාවිහාරයන් සෑදවීමට අත්තිවාරම් දැම්මවිය. (135-138) ශාර්දුල වර්‍ෂයේ උඳුවප් මස දශවෙනි සිකුරාදා චන්‍ද්‍රයා උත්තරභද්‍රකයෙහි සිටි මධ්‍යාහ්න කාලයෙහි මිථුනයෙහි අඟහරු ද මීනයෙහි රාහු ද තුලාවෙහි චන්‍ද්‍රයා ද වෘශ්චිකයෙහි ගුරු-සිකුරු දෙදෙනද ධනුවෙහි හිරු ද මකරයෙහි ශනි ද සිටිකල අපගේ රජතෙමේ මහාචේතියාරාමයෙහිද සිංහලාරාමයෙහි ද විහාරයන් කරවීම ආරම්භ කෙළේය.

ඉන්පසු රාජගුරු ප්‍රමුඛ සියලු සිංහල වංශිකයෝ දුරුතුපුර පස්වෙනි සඳුදා උදය කාලයේදී සිරිධම්මචක්කවත්තිබිලක බද්ධසීමාවේ වේදිකාවක් බැන්දවූහ. සද්ධම්මජෝතිතෙර ඒ මස නවවක් ලත් සිකුරාදා දහාරාමයෙහි නවරියනක් උසැති බුද්ධ රූපයක් කරවිය. ඒ කාලපක්‍ෂයේ දෙවෙනිදා වූ ශනි දින ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයෝ මහරජුගේ හිස නැවීම (?) කළහ. ඒ මහරජුගේ පුණ්‍යානුභාවයෙන් ද නගරාරක්‍ෂක දෙවියන්ගේ මෙහෙයීමෙන් ද නවම්මස අවදිය වක්ලත් සඳුදා නබ්බිසිපුරයට උතුරු දෙසෙහි සකලමංගල ලක්‍ෂණයෙන් යුක්ත වූ සියල්ල සුදු වූ කෛලාශ පර්‍වතය වැනි හස්ති රාජයෙක් පහළ විය.

ඇතු පහළ වීමේ කාලය නිමි.

සඳුන් පිළිමයේ කථාව

ඉන්පසු රජතුමා දේවිය සමග නවම්මස පුරපස්වෙනිදා වූ බදාදා දීඝාය්වීසාරාමයේ මහසෑයේ ධාතු නිධානය කෙළේය. ඉන්පසු අධිරාජතෙමේ ශක වර්‍ෂයෙන් අටසිය එක්අසූවෙනි ශශ වර්‍ෂයේ වෙසක්මස තමාට අයත් වූ බදාදා මධ්‍යාහ්න කාලයෙහි රත්තවන විහාරයේ මහලැගුම් ගෙය සඳහා ලී දඬු සම්පාදනය කරවිය. අටවක්දා සිංහල වංශික සංඝතෙමේ උපසම්පදාව කෙළේය. සිංහල සංඝයාගේ උපසම්පදා වාර තුනක් මුලසිටම පැවතියේය. එයින් එක් එක් වාරයක කොටස් දෙකක් ද උපසම්පදා පේක්‍ෂකයෝ සූවිසි දෙනෙක් ද වූහ. මේ වර්‍ෂයේදී වාර සතරක් වූහ. එයින් එක් එක් කොටසෙහි වර්‍ග එකක් ද අපේක්‍ෂකයෝ දොළොස් දෙනෙක් ද වූහ. සියල්ලෝ තුන්සිය දෙනෙක් වෙති. ඒ උපසම්පදා කර්‍මය තුදුස්වක්දා නිමකළහ. පොසොන්මස පුරඅටවක්දා පටන් පසළොස්වක දක්වා අධිරාජ තෙමේ නුවරුන්ද සාමන්ත රජුන්ගේ දූතානුදූතයන් ද සමග සිංහල පිළිමය නාවා මහපිරිවෙන කරවීම පිණිස නොයෙක් දහස් ගණන් රන්මිල පරිත්‍යාගකොට තමා ලියවූ මහාවෙස්සන්තර නිදානය හා මහාවෙස්සන්තර නමැති දහම් කොටස ඇසුවේය. ඉන්පසු පළමු ඇසළමස පුරපස සයවෙනිදා පුසේ නැකත නමැති සිද්ධියෝග ඇති බෘහස්පතින්දා පුෂ්පාරාමයෙහි මහාවිහාරයක් ගොඩනැංවිය. දෙවෙනි ඇසළමස පුර අටවක්දා පටන් පසළොස්වක දක්වා රජද රාජ මාතාවද භටසේනා හා සාමන්ත රජුන්ගේ දූතානුදූතයන් සමග හරිපුඤ්ජය මහාධාතු චෛත්‍යයට රන්තහඩු කරවීම සඳහා රිදී ප්‍රාකාරයකින් වටකොට බුද්ධවංශ ධර්‍මය ඇසූහ. පසළොස්වක්දා ලෝකඩ ප්‍රාකාරයකින් වටකරන ලදී.

ඉල්මස පුරපස්වෙනිදා වූ බෘහස්පතින්දා කුම්භාමදිපාරාමයේ මහආසනයෙහි තිස්දහසක් බරැති මහාලෝහ ප්‍රතිමාව නැංවිය. උඳුවප්මස පුරඑකොළොස්වක්දා වූ සිකුරාදා නබ්බිසි නුවර ගිනිකොණ දෙසෙහි වූ වේළුවන විහාරයෙහි මහාසෑයේ ධාතු නිධානය කරවිය. තෙළෙස්වක්ලත් බදාදා උදය රාජමන්‍දිරය අසළ ප්‍රාකාර සහිත ප්‍රාසාද සතරක් ගොඩනැංවිය. තුදුවක්ලත් ගුරු දින මධ්‍යාහ්න කාලයේදී රත්තවන මහාවිහාරයේ පරණ පෝයගෙය සංස්කරණය කරවිය.

ඉන්පසු රජතෙමේ ශක වර්‍ෂයෙන් අටසිය දෙයාසූවෙනි මහෝරග වර්‍ෂයේ බක්මසපුර දොළොස්වක්ලත් සිකුරාදා පූර්‍වඵාල්ගුණී යෝගය ඇති කල්හි සිංහල ගණයාගේ උපසම්පදාව කරවිය. රජතෙම මවුදේවිය සමග ඇසළ මස තෙවෙනි දා වූ ඉරිදා මධ්‍යාහ්න කාලයේදී දීඝාය්වීසාරාමයෙහි මහසෑයේ කොත් පැලඳවීම කරවිය. දසවක්ලත් ඉරිදා රත්තවන මහාවිහාරයේ පුස්තකාලයේ පරණ දැව දඬු (ඉවත් කරවා) ප්‍රතිසංස්කරණයක් කරවිය. අවඑකොළොස්වක් ලත් අඟහරුවාදා මහාචන්‍දන ප්‍රතිමාව කරවීමට ආරම්භ කරවිය. දුරුතුපුර තෙළෙවක්දා රජගෙයි මංගල සූත්‍රය දේශනා කරවිය. එය පසළොස්වක්දා නිමියේය.

අවදියවකලත් අඟහරුවාදා පුසේ නැකත ඇති කල්හි බ්‍රාහ්මණාචාර්‍ය පුරෝහිතයාගේ රජුට ශාන්තිකර්‍ම (?) කළාහුය. ඔවුහු නවම් මස අවතියවකලත් සිකුරාදා උත්තරඵාල්ගුණී යෝගය ඇතිකල අභිෂේක කළහ. එය තෙවෙනි අභිෂේකයයි. අභිෂේක ලැබූ රජ එදිනම තුන් ගණයේ භික්‍ෂූන් පන්සිය නමකට කෝසෙය්‍ය-චම්පා-චන්‍ද්‍ර වස්ත්‍රවලින් මැහූ සිවුරු දන් දුණි. මැදින්මස පුරදසවක්ලත් සිකුරාදා ලක්‍ඛපුරාගම විහාරයේ මහසෑයට අත්තිවාරම් කැප්පවිය. සාරවා බක්මස පුරදසවක්ලත් ඉරිදා අත්තිවාරම් බැන්දවිය. එය සරසින් බඹ අටහමාරකි, උසින් බඹ තුදුසක් හා භාගයකි.

ඒ වර්‍ෂයේදී බිංගසේනාතොමෝ රත්තවන විහාරයේදී තුන්පිටකය ලියෙව්වේය. ඉන්පසු රජතෙම ශක වර්‍ෂයෙන් අටසිය අසූතුන්වෙනි ශශ වර්‍ෂයේ බක්අවදසවක්ලත් සඳුදා ශ්‍රාවණ යෝගය ඇති කළ සිංහල වංශිකයන්ගේ උපසම්පදාව කෙරෙව්වේය. සංඝතෙමේ එදවස පටන් තුදුස්වක් පෝය දක්වා එය කොට නිම කෙළේය. දෙසිය සූවිසි දෙනෙකුට වැඩි උපසම්පදාපේක්‍ෂකයෝ වූහ. ඉන්පසු රජ ද රාජ දේවිය ද නැන්දා වන දේවිය ද රාජගුරු තෙරුන් ප්‍රමුඛ තුන් ගණයේ භික්‍ෂූන් ද සමග නිකිණි මස පුරතෙළෙස්වක් ලත් බුද දින චන්‍ද්‍රයා පූර්‍වාෂාඪයෙහි යෙදී සිටියදී ලක්‍ඛපුරාරාමයේ මහසෑයෙහි ධාතු නිධානය කරවිය. මුත්තණු රජුගේ කාලයේ පටන් පැවති පුරාණ විනිශ්චයශාලාව අභිවෘද්ධිකාරණයකැයි රජතෙම සිතීය. එබැවින් එය සංස්කරණය කරවා රජ මිදුලේ බටහිර පැත්තේ නෘත්‍ය මණ්ඩලයක් (සඳහා ආරම්භයක් කරවිය)[46] පිහිටෙව්වේය. ඒ ධාතු නිධානය කළ දවසේදීම රජතුමා රාජගුරු තෙරුන් ප්‍රධාන මහතෙරවරුන්ට අරාධනාකොට ඒ රංග මණ්ඩපයෙහි පිරිත් කියෙව්වේය. එය පෝය දිනයේදී අවසන් විය. තමාගේ අභිරමණය පිණිස රජු කැණවූ මගුල් පොකුණ ඉවුරෙහි රාජගුරු තෙරුන් ප්‍රධාන විසිඅටනමක් හිඳුවා බක්පුර පසළොස්වක්ලත් ඉරු දින උදෑසන පිරිත් කියෙව්වේය. එදිනම මංගල භුත්තානුමෝදනාව අවසන්හි රාජගුරු මහතෙරුන්ට කැප බඩු ගැනීම සඳහා නුවර (අයබදු) අත්හැරියේය. රජතෙමේ නවම්මස පුර අටවක්දා පටන් පසළොස්වක්දා දක්වා නොයෙක් විසිතුරු තලි පහන් වශයෙන් ගෙන දැල්වීමෙන් හරිපුඤ්ජය මහාධාතු සෑය පිදී. ඒ විසිතුරු තලි විකුණා ඒ මුදල චෛත්‍යයේ රන්තහඩු ඇල්ලීම සඳහා යෙදවිය. (139-140) මේ වර්‍ෂයේ නවම්මස අවතුදුස්වක්ලත් ඉරිදා ග්‍රහයෝ සත්දෙනෙක් මකර රාශියෙහි එක්වූහ. රවි-චන්‍ද්‍ර-බුධ-ගුරු-ශුක්‍ර-ශනි-අඟහරු යන මේ සත්දෙන මකරයෙහි වූහ. මීනයෙහි රාහු විය.

මැදින්මස නවවෙනි අඟහරුවාදා රත්තවනාරාමයේ මහාආවාසයට ද ධම්මසේනාපති තෙරුන්ගේ ආරාමයෙහි විහාරගෙය සඳහා ද ලී දඬු කැප්පවීම කරවිය. (141) පරමධාර්මික රජ නවම්මස පුරඅටවක්දා බෙරණ නැකතෙහි සිකුරු සිටිකල්හි සිය මාලිගාවෙන් සඳුන් පිළිමය ගෙනැවිත් පූර්‍වාරාමයෙහි තැබ්බවිය. ඒ සඳුන් පිළිමයේ පිළිවෙළ කථාව මෙසේයි:-

පසේනදී කොසොල් රජ බුදුරදුන් සැවැත් නුවරදී ත්‍රිවිධ චෛත්‍යයන් අනුදත් බැවින් පසුකලක සියලු ලෝකවාසීන්ට වැඳීමාදියෙන් පුණ්‍ය බීජ රෝපණය සඳහා මේ සඳුන් පිළිමය කෙරෙව්වේය. විඩූඩභ රජු රාජ්‍යය කරවන කල්හි සුවර්‍ණ භූමියේ රජ ඒ පිළිමය ගෙනැවිත් පිදී. (142) යම් වර්‍ෂයකදී රජතුමා සඳුන් පිළිමය කෙරෙව්වේද ඒ වර්‍ෂයෙන් සත්වෙනි අවුරුද්දේ දී බුදුරජ පිරිනිවන් පෑවේය. (143) සුවණ්ණ භූමියේ රජවරු ඒ පිළිමය (ගෙනවුත්) පරම්පරාවෙන් පිදූහ. මෙසේ පිරිනිර්‍වාණයෙන් වර්‍ෂ දහසක් ඉක්ම ගියේය. සුවර්‍ණ භූමික රජුන්ගේ වංශයෙහි උපන් නරපති රජුගේ පුත්‍ර වූ ආදිත්‍ය රජ සුවණ්ණ භූමියෙන් එය ගෙනවුත් සියම් රට විජේත ජනපදයෙහි විජේව පර්‍වත මස්තකයෙහි නුවරක් මවා එහි තබා බොහෝ කලක් පිදී. ඒ විජේත නගරයෙහි අවුරුදු නවසිය තිහක් පමණ කල් එය තිබුණි. බුද්ධරක්‍ඛිත තෙර එය රැගෙන විජේත නුවර සුවණ්ණසාම රජුට දුණි. ඒ රජ දශ වර්‍ෂයක් පිදීය. ඉන්පසු මුද්දිකනේත්‍ර රජ එය ගෙනවුත් සෝසුද්ධ නුවර තබා දශ වර්‍ෂයක් පිදී. සීවතෙර නම එතනින් එය ගෙනවුත් විජේතරට “බලු” නම් ගමේ වැද්දෙකුට දුණි. හෙතෙම දහතුන් වසක් එය පිදී. ඉන්පසු බලිම නුවර අභයතෙරනම එය ගෙනවුත් පිදී. වැඩිකලක් යන්ට පෙර ඒ වැදිතෙමේ නැවත එය බලුගමට ගෙනගොස් පිදී. ඉන්පසු බුයාවරට මෝළී නමැති උපාසකයෙක් එය පදුමාරාමයට ගෙනවුත් සැට වර්‍ෂයක් පිදී. ඉක්බිති යුද්ධසණ්ඨිර නමැති බුයාම නගරාධිපතියා එය ගෙනවුත් විජය විහාරයෙහි තබා පිදී. (144-145) පිරිනිවි කාලයෙන් අවුරුදු දෙදහසක් ඉක්මි කල්හි, ශක වර්‍ෂයෙන් අටසිය අවළොසක් ඉක්මි කල්හි මූෂික වර්‍ෂයේදී විජය විහාරයෙහි පිහිටි සඳුන් පිළිමය දෙවිසි හවුරුද්දක් එහි තිබුණි.

ඉක්බිති ධම්මසේනාපති මහතෙර එය ගෙනවුත් නබ්බිසි නුවර නැගෙනහිර දිග අගලින් පිටත අශෝකාරාමයෙහි තබා පිදී. (146-147) ශක වර්‍ෂයෙන් අටසිය සතළිස්වෙනි කුක්කුර වර්‍ෂයේදී සඳුන් පිළිමය නබ්බිසි පුරයට ආවේය. බිලක රජු රාජ්‍යය කරවන කල්හි එහි පැමිණි ඒ පිළිමය උතුම් අශෝකාරාමයෙහි පසළොස් වර්‍ෂයක් තිබුණි. ඉන්පසු පාදේප නම් මහඇමතියා එය ගෙන ගොස් බුයාවරට විජය විහාරයෙහි තබා පිදී. (148) ශක වර්‍ෂයෙන් අටසිය පණස්පස්වෙනි වර්‍ෂයේදී එය විජය විහාරයෙහි විසිඅට වර්‍ෂයක් තිබුණි. ඉන්පසු බිලකපනත්තාධිරාජතෙමේ නාගරපණ්ණිකාධිපති ඇමතියා ලවා එය ගෙන්වා නවම් අටවක්දා පූර්‍වාරාමයෙහි පිහිටුවිය. (149) රජතෙමේ මිත්‍ර ධර්‍මය ස්ථීර කරවමින් දක්‍ෂිණ රාජදූතයා ලවා පූර්‍වාරාමයෙහි සඳුන් පිළිමය වැන්දවිය. (150) ශක වර්‍ෂයෙන් අටසිය අසූතුන්වෙනි සර්‍ප වර්‍ෂයේදී ඒ ප්‍රතිමාව නබ්බිසි පුරයට ආයේය. (151) ඒ කාලයේදී බුද්ධ පරිනිර්‍වාණයෙන් දෙදහස් සැටපස් වර්‍ෂයක් ඉක්ම ගියේ යයි දතයුතු. සඳුන් පිළිමයේ කථාව සංක්‍ෂෙපයෙන් මෙසේයි. විස්තර වශයෙන් වරචන්‍දනසාර නමැති ග්‍රන්ථයෙහි ආයේය.

සඳුන් පිළිමයේ කථාව නිමි.

ජෙට්ඨාධිපති රජ

බක්මස පුරසතවක්දා රජකුමරිය දිවංගත විය. අවදොළොස්වක්දා ඒ මෘත දේහය රන් තහඩුවලින් තැනූ දෙණක තබා සිංහලාරාමයට ගෙනවුත් කොටස් තුනේ සංඝයාට කොසෙය්‍ය-චම්පාදි වස්ත්‍ර සහිත මහාදානයක් දී දැවීය. ඉන්පසු අටසිය අසූහතරවෙනි තුරංග වර්‍ෂයේ වෙසක් මස පුරඅටවක් ලත් ගුරු දින බෙරණ නැකත ඇතිකල්හි සිංහල ගණයාගේ උපසම්පදාව කරවිය. දෙසියවිසි දෙනෙක් උපසම්පදාපේක්‍ෂකයෝ වූහ. දෙවෙනි ඇසළමස පස්වෙනි ගුරු දින පුසේ නැකත ඇතිකල්හි ධම්මසේනාරාමයෙහි විහාරයක ආරම්භය විය.

ඉන්පසු රජතුමා තමාගේ දුවණිය සඳහා පින් කරන්නේ දෙවෙනි ඇසළ මස තෙළෙස්වක්දා පටන් පුරපසළොස්වක්දා දක්වා රාජගුරු මහතෙරුන් ප්‍රධාන මහතෙරුන් පසළොස්නමකට ආරාධනාකොට බණ කියෙව්වේය. එක් එක් නමට ඉතා වටිනා සිවුරු ජෝඩුව බැගින් ධර්‍මපූජා සඳහා දුණි. ඉන්පසු ඉල්මස පුර සිවුවෙනිදා වූ බදාදා රත්තවනාරාමයෙහි පුස්තකාලයක් ආරම්භ කර විය. උඳුවප්මස පළමුවෙනි බදාදා මහභූමිකම්පාවක් විය. රජතෙම නැවත ද තමාගේ දුව සඳහා පින් කරන්නේ ඒ පක්‍ෂයේ අටවෙනිදා පටන් පසළොස්වක දක්වා රාජගුරු තෙරුන් ප්‍රමුඛ තෙරුන් සවිසි නමකට ආරාධනාකොට බුද්ධවංශය දේශනා කෙරෙව්වේය. ඒ එක් එක් නමට කෝසෙය්‍ය දෙපට සිවුර බැගින් පිදී.

දුරුතු මාසයේදී රජතෙමේ මහාබෝධාරාමයේ පෝයගෙය වූ නොයෙක් විචිත්‍ර රන් කැටයමින් හෙබි රන් ආලේප කළ ප්‍රසාදයෙහි නොයෙක් පූජා සත්කාර ඇතිව කාම්බෝජ ප්‍රතිමාව තැන්පත් කෙළේය. අටවක්දා පටන් පසළොස්වක දක්වා රාජගුරු තෙරුන් ප්‍රමුඛ ත්‍රිපිටකධර තෙරුන් සතිස් නමකට ආරාධනාකොට චරියා පිටකය දේශනා කරවා එය ඇසුවේය. එක් එක් නමට උතුම් සිවුරු යුගල බැගින් පුදන ලදී. රජතෙම පසළොස්වක්දා දක්‍ෂිණ රාජදූතයා ලවා හරිපුඤ්ජය මහාධාතුව වැන්දවිය. එදවස්හි රජතෙමේ හංසාවතියට අධිපති රජුගේ මිත්‍රසන්‍දෙශයට කළාසේම අරිමද්දනයේ රජු විසින් මිත්‍රධර්‍මය දියුණු කිරීම සඳහා රාජදූතෝප දූතයන් අත එවූ සන්‍දෙශය හරිපුඤ්ජය මහාධාතු චෛත්‍යයේ පාමුල තැන්පත් කෙළේය.

නවම්මස තෙළෙස්වක්ලත් ගුරු දින රත්තවන විහාරයෙහි ආගන්තුක ශාලාවක් ගොඩනැංවීම ආරම්භ කෙළේය. ඉන්පසු අටසිය අසූපස්වෙනි අජ වර්‍ෂයේදී බක්මස අවසතරවෙනිදා වූ සෙනසුරාදා දෙටනැකත ඇති කල්හි සිංහල ගණයාගේ උපසම්පදාව කරවීය. එය අටවක්දා අවසානයට පැමිණියේය. දෙසිය සතළිස් දෙනෙක් අපේක්‍ෂකයෝ වූහ. පස්වෙනි ඉරිදා භටසමූහය උතුරු දිශාවෙන් පිටවිය. එකොළොස්වෙනි සෙනසුරාදා ඛෙමාධිපතිගේ වංශයෙහි උපන් ජයගංගා කුමරා තමාගේ පිරිවර සමග රත්නත්‍රය ඉදිරියෙහි දිවුරා දිවුරුම් දිය බීවේය.

රජතෙම දුවණිය සඳහා පින් කරමින් ඇසළ තෙළෙස්වක්දා රාජගුරු ප්‍රමුඛ තෙරුන් අටළොස් නමකට ආරාධනාකොට සිංහලාරාමයෙහි බණ කියවිය. එය පසළොස්වක්දා නිමාවට ගියේය. එක් එක් තෙරනමට කෝසෙය්‍ය වස්ත්‍ර යුගලය බැගින් ධර්‍මපූජා සඳහා පිදී. නිකිණි මස දෙවෙනි බදාදා පූර්‍වඵාල්ගුණී යෝගය ඇති මධ්‍යාහ්න කාලයේදී රත්තවනාරාමයෙහි රාජගුරු මහතෙරුන්ට විසීම පිණිස බඹ විස්සක ප්‍රමාණ ඇති මහලැඟුම් ගෙයක් ආරම්භ කරවිය. (152-154) කුම්භයෙහි ශනි-රාහු-ගුරු යන මොවුන් ද කටකයෙහි සිකුරා ද සිංහයෙහි රවි-බුධ දෙදෙනද කන්‍යාවෙහි චන්‍ද්‍රයාද, අඟහරු තුලාවෙහිද වෘශ්චිකයෙහි කේතුද සිටි කල්හි අජ වර්‍ෂයේ නිකිණි මස දියවක්ලත් බදාදා මධ්‍යාහ්නයෙහි පූර්‍වඵාල්ගුණිය ඇතිකල්හි ශාසනය බබුළුවන රජතෙමේ මහාකුටිය ආරම්භ කරවිය.

රජතෙමේ මුත්තණු රජුගේ වාසස්ථානය වූ මනාසේ සංස්කරණය කළ රජගෙයි රාජගුරු තෙරුන් ප්‍රමුඛ දොළොස්නමක් ගෙන්වා තුන්දිනක් පිරිත් කියවා ඒ තෙරවරුන්ට පූජා සත්කාරකොට උඳුවප් මස අවසතර වෙනිදාට පැමිණි බෘහස්පතින්දා පුසේ නැකත ඇතිකල්හි අතිශය ශ්‍රී විලාසයෙන් ඒ රජගෙට ඇතුල්විය. දුරුතු මස තෙළෙස්වක්ලත් ශනිදින කුම්භාමදීප නුවර “සුවර්‍ණකූට” නම් තැන මහාවිහාරයක් ආරම්භ කරවිය. පසළොස්වක්දා පිරිවර සහිත දේවමංගල තෙරුන්ට උතුම් වස්ත්‍ර යුග්මවලින් යුත් පිරිකර දනක් දී සැටක් පමණ ත්‍රිපිටක පොත් සමග ඒ තෙරුන් දසලක්‍ඛකුඤ්ජර නුවර රජුගේ ප්‍රසාදය පිණිස එහි යැවී.

නවම්මස දශවෙනි සිකුරාදා පුෂ්පාරාමයෙහි ද පූර්‍වාරාමයෙහි ද අධිපති තෙරවරුන්ට අගනා පිරිකර පුදා පිටත් කරවිය. මැදින් මස තෙළෙස්වක්ලත් බදාදා රත්තවනමහා විහාරයේ පොකුණක් සෑරවිය. අසූසවෙනි වර්‍ෂයේ උඳුවප්මස අවපැළවියලත් සිකුරාදා රාජගුරු තෙරුන් මහලැගුම්ගෙට ප්‍රවේශ කරවිය. අටසියසත් අසූවෙනි කුක්කුට වර්‍ෂයේ වෙසක්පුර දොළොස්වක්ලත් සඳුදා උපසම්පදා කර්‍මය කෙරෙව්වේය. එය පසළොස්වක්දා නිමියේය. පොසොන් පුර පස්වෙනි සෙනසුරාදා රත්තවනාරාමයෙහි මහපිළිම ගෙයක් ආරම්භ කරවිය. දෙවෙනි ඇසළ මස පුරනවවක්ලත් ..... මහාබෝධාරාමයේ පෝයගෙයි සඳුන් පිළිමය පිහිටෙව්වේය. හතළිස්තුන් වියැති ඒ රජ නවම්මස පුරදසවක්දා පරලෝ සැපත්විය.

ඒ රජුගේම දෙටුපුත් යුවරජ අවපෑළවියදා ..... පැමිණියේය. අටසිය නවපණස්වෙනි සර්‍ප වර්‍ෂ‌යෙහි උපන් ඒ රජ එකල අටවිසිවයස් ඇත්තේ විය. (155-156) ශාර්දූලවාර්ෂික වූ පියරජ තෙළෙස් වියැත්තේ ශශ වර්‍ෂයේදී අභිෂේක ලබා තිස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. තෙසාළිස් වියැත්තේ කුක්කුට වර්‍ෂයේදී දිවංගත විය. ඒ රජුගේ දෙටුපුත් වූ සමාන වීර්‍ය ඇති යුවරජ අටවිසි වියැත්තේ කුක්කුට වර්‍ෂයේදී රාජ්‍ය සම්පත්තිය ලැබී. ඒ රජ ද ධාර්මික රජෙකි. කුක්කුට වර්‍ෂයේ වෙසක්මස පස්වෙනිදා රාජගුරු මහතෙර අපවත් විය. ඒ වර්‍ෂයේදී රජතුමා තමාගේ ගුරුවරයා ගෙන්වා තමා පැවිදි වූ තැන වූ මහාබෝධාරාමයෙහි නවතා මහාසාරභංග තෙරුන් ගෙනවුත් රත්තවනාරාමයෙහි නවතා එතුමාට .... රාජනාමය දුණි. මහාදේවියගේ ආරාමය වූ උත්තර විහාරයේ මහාසුරිය තෙරුන්ට “මහාසාමි” යන නම දුණි. (157) අටසියඅටඅසූවෙනි කුක්කුරශක වර්‍ෂයේ නවම්මස සොළොස්වෙනි ගුරු දින ජෙට්ඨාධිපති රජතෙමේ ශ්වෙතච්ඡත්‍රය නැංවිය.

ඒ වර්‍ෂය ඉකුත් වූ පසු අටසිය අසූනවවෙනි ශක වර්‍ෂයේදී වෙසක්පුර දියවක්ලත් සඳුදා ජෙට්ඨාධිපති රජ සිංහල ගණයා ලවා උපසම්පදාව කරවිය. ඒ කුඤ්ජර වර්‍ෂයේදුරුතු පසළොස්වක්දා පියරජු වාත්තු කරවූ මහරන්පිළිමය ගෙන ගොස් හරිපුඤ්ජය නුවර මහාවිහාරය මැද පිහිටි රන්පහයෙහි සකලලෝකයාට පින් ලබා ගැනීම සඳහා තැන්පත් කෙළේය.

158. සිරිධම්මචක්කවත්තිබිලක රජතෙමේ මංරාය වංශයෙහි උපන්නේ යයි හැමතැන ප්‍රකටයි. (159.) ඒ රජුගේ මීමුණුබුරු වූ බුද්ධමාමක වූ ධාර්මික වූ ශාසනය බබුළුවනු කැමති රජ (160) රත්තවන විහාරයෙහි මහාකුටියක් කරවිය. ඒ රජුගේ උපස්තම්භය ලැබ ඒ කුටියෙහි වසන (161) ප්‍රඥාව මොහුට රත්නයක් වේ යන අර්‍ථයෙන් රතනපඤ්ඤ නමැති තෙවිසිවස් ඇති තෙරනම වස් වසමින් බුද්ධ ශාසනයේ කාලපරිච්ඡෙදයන් ගනිමින් යම් ග්‍රන්ථයක් කෙළේද, (162) එය බුදුරදුන්ගේ පරම්පරාවෙන් ආවාවූද නොයෙක් ග්‍රන්ථවල විද්‍යාමාන වූද කාලපරිච්ඡෙදයන් පණ්ඩිතයන්ට සැපසේ දැනගැනීම සඳහා කළ බැවින් ජිනකාලමාලි යයි දතයුතු.

163. යම්සේ ඒ ග්‍රන්ථය අනතුරක් නැතිව අදහස් කළ පරිද්දෙන් සංක්‍ෂෙපයෙන් නිමාවට ගියේද එමෙන් සත්ත්‍වයන්ගේ සියලු යහපත් ප්‍රාර්‍ථනාවෝ සිද්ධියට පැමිණෙත්වා.

164. කුශලකරණයෙහි නියැලි වූ රජවරු ස්වකීය යටත් වැසියන්ගේ වචනයන් අසත්වා. පොළොවෙහි වර්‍ෂාව නියම කාලයෙහි වසීවා, සියලු සත්ත්‍වයෝ සැප අනුභව කරත්වා.

165. නුවණැති පුද්ගලයා මෙය දැක ශාසන කාලය සැපසේ දැනගන්ට සමර්‍ථ වෙයි. (ඒ කුශලයෙන්) අනාගතයේදී මෛතෙය බුදුරදුන්ගේ ධර්‍මය අසා වහා අවබෝධ කරගන්නෙක් වන්නෙම්වා.

බුදුන් පිරිනිවීමෙන් වර්‍ෂ දෙදහස් සැටක් ඉක්මිකල්හි, ශක වර්‍ෂයෙන් අටසිය සත්තෑවෙනි මූෂික වර්‍ෂයේදී බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය සඳහා ලිවූ මේ ජිනකාලමාලි ග්‍රන්ථය නිමියේයි.

  1. එක් පියකු ඇතත් වෙනස් මෑණිවරුන් ඇති

  2. පූජාවලිය “සල්සිරිබෝ”

  3. ස.රත්නාවලිය. “හුණගස”

  4. ස.රත්නාවලිය. “මුරුතගස”

  5. හොරගසයි

  6. ස.රත්නාවලිය. “බක්මීගස”

  7. රත්තකූරදීක නමැති “රත්කරව්” ගස මුලදී යයි බුද්ධවංසයෙහි කියන ලදී.

  8. බුද්ධවංසයෙහි “ජයසේන” යයි පෙනේ.

  9. රම්ම-සුරම්ම-සුභ යයි අපේ පොත්වල පෙනේ.

  10. මෙය අපේ පොත්වල නැත. මේ පොතේ මුල් කොටසේ කී බොහෝ කරුණු ද අපේ පොත්වල නැත.

  11. මෙය කිරිපලු ගසක් යයි අපේ පොත්වල කියවේ.

  12. අපේ පොත්වල චාලිය හෝ ජාලිය යයි පෙනේ.

  13. මේ වචනය “සීලසව්හයෙ”යි සියම් පොතේ පෙනේ. බුද්ධවංස පාලියෙහි “කුලඝරෙ, යි පෙනේ එය “කුරරඝර” විය යුතු යයි මම සිතමි.

  14. මේ පාරායන සූත්‍රය දෙසූ තැනයි.

  15. “යං චාපි අච්චකං පදං”යි තිබෙන සතරවෙනි පදය තේරුම් ගත නොහැක.

  16. මහාවංශයෙහි කියවෙන්නේ පණස්පස් දෙනෙකි.

  17. අත්පොත්වල “තිෂ්‍යරක්ෂිතා” යයි පෙනේ

  18. මහාවංශාදී අපේ ඓතිහාසික හැම වාර්‍තාවලම තිබෙන්නේ යටාල වෙහෙරේදී පුතකු ලැබූ බවයි. මේ යන මග ලංකා විහාරයක් අදත් තිබෙන බැවින් මේ පොතේ කීමද හැරදැමිය හැකි නොවේ.

  19. අපේ පොත්වල “කණ්ඩුල” යයි තිබෙන නමුත් මේ පොතේ හැමතැනම “කුණ්ඩල” යයි යොදා තිබෙන බැවින් එසේ තිබෙන්ට හැරියෙමි.

  20. සියම්පොතේ කණ්ණතිස්ස යන්න පමණක් පෙනේ.

  21. භාතිකාභය රජයි.

  22. ......................

  23. ......................

  24. සියම්පොතේ “ලංකාතිස්ස” යයි පෙනේ.

  25. සියම්පොතේ උජුනාග

  26. සියම්පොතේ: කුණ්ඩලනාග

  27. මෙය වරදවා ගැනීමකි. මින්පසු කියවෙන අනුරුද්ධ රජ සිටියේ මෙරට මහාවිජයබාහු කාලයේදීය.

  28. අපේ පොත්වල හේමමාලායි පෙනේ.

  29. මෙකීම බුද්ධඝොසුප්පත්තිය අනුව ගොස් කී අසත්‍ය කථාවකි. බුද්ධඝොසුප්පත්තියේ වැරදි ඇති බව මේ කර්‍තෘවරයා විසින්ම පසුව දක්වා තිබේ.

  30. මේ වර්‍ෂ සංඛ්‍යා පෙන්වීමෙන් අදහස් කරන්නේ ජිනාලංකාර-බෝධිවංස දෙක බුද්ධත්තාචාර්‍ය්‍යන් නොලීබවයි.

  31. ඔවුන් වැඩුණු පසු එකිනෙකා අඹු සැමියන් වශයෙන් විසීම මෙයින් කියවේ.

  32. ඒ රාමඤ්ඤ රජු යුද්ධයකදී මළ බැවින් දේවිය මෙහි පැමිණි සිටි බව දතයුතු.

  33. සිරිධම්මපුරය මලේ අර්ධද්වීපයෙහිය. මේ රජ ජාවක (=ජා) රජෙකැයි සිතමි. ජාවක යන්න මෙහි ජීවක යයි ලියවී තිබේ.

  34. පෙලේ තිබෙන්නේ ‘අනිලං’ යන වචනයයි. අනිල නම් වෘතයයි. වාතය මෙන් පෙනෙන්ට නොහැකි බැවින් මෙය ගිනිවාචි ‘අකල’ විය යුතු යයි සිතමි.

  35. රාජකූටය නම් සියම් රටේ තිබෙන නොයෙක් සියගණන් පට්ටම් ඇති උසට නැගෙන මුදුනක් ඇති චෛත්‍ය විශේෂයයි සිතමි.

  36. සියම් භාෂාවේ තෙරවරුන්ගේ නම මුලට ප්‍ර-යන්නක් යොදති. එය ගෞරවර්‍ථයෙහිය. මෙහි මහා- යන්න යොදා තිබෙන්නේ ඒ සඳහායි.

  37. මේ කියන්නේ බුරුම රටේ ප්‍රවෘත්තියකි. ඡප්පද තෙරනම ලක්දිවට ඇවිත් සවෙනි පැරකුම්බා කාලයේදී මෙහි සිටියේය.

  38. කාම්බෝජ රට නුවරකි.

  39. “තෙත්තිංසගණිත කංසසතසහස්සපරිමාණං”යි පොතේ පෙනේ. එය තේරුම් ගැනීම අපහසුය. “තෙත්තිංසගුණිත” වුවහොත් තිස්තුනෙන් වැඩිකළ යුතුය. එවිට වීසා තිස්තුන්ලක්‍ෂයක් වේ. වීසාව රුපියල් 100 ක බරයි.

  40. රිදී කාසි තුන් වටයක් තැබීමෙන් පූජාකොට ඒ මුදල් එක්කොට එයින් රත්රන් මිලට ගත්තේ යයි සිතමි.

  41. පාදය කහවණුවෙන් සතරෙන් කොටසකි. අද සියමේ රුපියලක වටිනාකම පාදයකි. එය ඔවුහු “භාත්” යයි ශබ්ද කරති.

  42. පොතේ පෙනෙන්නේ “පුප්ඵවාසී” යන්නයි.

  43. රජ හා රාජ මාතාව වියයුතු.

  44. “ආදිච්චචාරෙ සුක්‍රචාරෙ”යි වචන දෙකක් පොතේ පෙනේ. ආදිච්චචාර නම් ඉරිදායි.

  45. පොතේ ඇති සැටියෙන් ලීවෙමු.

  46. ඒ ශාලාව එතැන සවි කෙරෙව්වේ යයිද පරිවර්‍තනය කළ හැක. උට්ඨාපෙසී යන වචනය නොයෙක් තේරුම් සඳහා යොදා තිබේ.