අනාගත වංශය මෙතේ බුදුසිරිත
විල්ගම්මුල සංඝරාජ හිමි
පටුන
පටුන

අනාගත වංශය හෙවත් මෙතේ බුදුසිරිත

විල්ගම්මුල සංඝරාජ මාහිමියන් වහන්සේ

හැඳින්වීම

ශ්‍රී ලංකා සාහිත්‍යයෙහි වංශකථාවන්ට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. මේ වංශකථා සාහිත්‍යයට පාළි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද ලියැවුණු කෘතීන් රැසක් ඇතුළත්ය. විෂය ක්ෂේත්‍රය අනුව වර්ග කළහොත් මේ වංශකථා හා ඓතිහාසික වංශකථා හා ආගමික වංශකථා වශයෙන් පුළුල් ලෙස දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ඓතිහාසික වංශකථා ඇසුරෙන් දීපවංස හා මහාවංස යන ග්‍රන්ථ දෙක ශ්‍රී ලංකා ද්වීපයේත්, ජාතියේත්, එමෙන්ම බුදුදහමේත් වංශකථාව ප්‍රාමාණික ලෙස විස්තර කරන ඉතා අගනා කෘතීන් වශයෙන් ඉතිහාසඥයින්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

ආගමික වංශකථා රචනා වී ඇත්තේ බෞද්ධයින්ගේ අතිමහත් ගෞරවපුරස්කෘතභක්ත්‍යාදරයට භාජන වන පූජනීය වස්තූන් අරභයාය. මේ ශ්‍රී දළදා වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සර්වඥධාතූන් නිධන් කිරීම නිසා පූජනීයත්වයට පත් ස්ථූප ආදිය ය. මෙම ආගමික වංශකථා අතර ශ්‍රී දළදා වහන්සේ වස්තු කොට ගෙන ලියැවුණු දාඨාවංස, ධාතුවංස, දළදාසිරිත, දළදා පූජාවලිය ආදී වංශ කථා විස්සක් පමණ වේ. ශ්‍රී මහාබෝධීන් වහන්සේ අරභයා බෝධිවංස, චූලබෝධිවංස, සිංහල බෝධිවංශය ආදී වශයෙන් ලොකු කුඩා ග්‍රන්ථ තිහකට ආසන්න සංඛ්‍යාවක් සැකසී ඇත. ථූපවංශය ස්ථූපයේ ප්‍රභවය, වර්ධනය ආදී විස්තර ක්‍රමානුකූලව ඉදිරිපත් කරන අගනා වංශ කථාවකි. මේ වංශකථා අතුරෙන් වැඩි ප්‍රමාණ්‍යක් මුල් පාලි කෘතිවල පරිවර්තන වශයෙන් සැලකේ.

ආගමික වංශකථා අතුරෙන් අනාගතවංශය නම් සිංහල කෘතියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට ප්‍රධාන හේතුව එහි අපූර්ව වස්තු විෂයය. අනාගතයේ දී ලෝක සත්ත්වයාගේ හිත-සුව පිණිස ලොව පහළ වන මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කථා පුවත ඉදිරිපත් කිරීම මෙහි මුඛ්‍ය අරමුණය. මේ නිසාම මෙම වංශකථාව “මෙතේ බුදු සිරිත” යන නමින් ද හැඳින්වේ.

සිංහල අනාගතවංශය ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවේ. එය මුල් පාළි කෘති දෙකක් ආශ්‍රයෙන් සිංහලට සැකසුණකි. මේ සඳහා මූලාශ්‍ර වී ඇති පාළි කෘති දෙක නම්, පාළි බුද්ධවංසයේ අතිරේකයක් වශයෙන් පාළි භාෂාවෙන් ලියැවී ඇති “අනාගතවංස” යන කෘතියත් ඊට අටුවා වශයෙන් සම්පාදනය වුණු සමන්තභද්දිකා යන කෘතියත් ය.

අනාගතවංස නම් පාළි කෘතිය කිනම් වකවානුවකට අයත් කවුරුන් විසින් රචනා කරන ලද්දක් ද යන්න නිශ්චිත ලෙස කිව නොහැකිය. බුද්ධවංසයට අතිරේකයක් වශයෙන් සැකසී ඇති නිසාත්, බුද්ධවංස නම් කෘතිය ඛුද්දකනිකායට අයත් යැයි සැලකෙන නිසාත් අනාගතවංස නම් පාලි කෘතිය ද ඛුද්දකනිකායට ම ඇතුළත් කොට සැලකිය යුතු යයි තර්ක කළ හැකිය. එසේ නම් එය ත්‍රිපිටකයට අයත් කෘතියක් ලෙස පිළිගැණුනු බවක් දක්නට නැත. පාළි අනාගතවංසය මෝහවිච්ඡේදනී, විමතිවිනෝදනී, බුද්ධවංස ආදී පාලි ග්‍රන්ථ සම්පාදනය කළ චෝළදේශවාසි කස්සප නම් ස්ථවිරයන්ගේ ම කෘතියක් ලෙස සැලකිය හැකි බවට බුද්ධවංස, සාසනවංසදීප ආදී කෘතිවල සටහන් වී ඇතැයි ශ්‍රී ලංකාවේ පාළි සාහිත්‍යය පිළිබඳව ගැඹුරු පර්යේෂණයක යෙදුණු මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් දක්වා ඇත.

කරුණු එසේ වුවද ප්‍රචලිත ඉපැරණි සම්ප්‍රදාය අනුවත්, පාළි-සිංහල අනාගතවංශයන්හි සඳහන් පරිදිත් මෙම කෘතිය බුද්ධභාෂිතයක් වශයෙන් සැලකුණු බව පැහැදිලිය.

“සකල ගුණ නිධාන වූ කරුණාවෙන් සිහිල් වූ, තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධවංශ දේශනාවසානයෙහි දහම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් ආකාශයෙහි රුවන් සක්මනක් මවා එහි සක්මන් කෙරෙමින් සිට වදාළා වූ අනාගතවංශ දේසනාව.....” යන සිංහල අනාගතවංශයෙහි ඇතුළත් පාඨය මුල් පාලි කෘතියෙහි අනුවාදයකි. මෙයින් පැහැදිලි වන්නේ මෙම කෘතිය බුද්ධභාෂිතයක් සේ සැලකීම පැරණි සම්ප්‍රදාය බවය. සද්ධර්මාලංකාරයෙහි යෙදෙන “ඒ වනාහි මතු උපදනා මෛත්‍රිය බුදුන්ගේ බුද්ධශ්‍රීය ප්‍රකාශ කිරීම වශයෙන් අප මහා ගෞතම බුදුන් විසින් වදාරණ ලද අනාගතවංශ දේශනාවමය. එබැවින් විස්තර කථාව අනාගතවංශයෙන්ම දත යුතු” යන පාඨයද මෙම සම්ප්‍රදාය පැරණි බව තවදුරටත් තහවුරු කරයි.

අනාගතවංස නම් පාළි කෘතිය මිනායෙෆ් නැමැති විදේශික විද්වතකු විසින් සංස්කරණය කොට පාළි ග්‍රන්ථ සමාගමේ 1886 වර්ෂයේ සඟරාවේ මුල්වරට පළ කරනු ලැබිණි.

සිංහල අනාගතවංශයට මූලාශ්‍රය වූ දෙවන කෘතිය නම් සමන්තභද්දිකා නමින් පාළි අනාගතවංසයට ලියැවුණු අටුවා ග්‍රන්ථයයි. මෙය කාලවාපි (කලාවැව) විහාරයේ සේනරාජප්‍රාසාදවාසි උපසේන නම් ස්ථවිරයකුගේ කෘතියකි. අනාගතවංශයේ එක් සංස්කරණයක් කළ වටද්දර මෙධානන්ද ස්ථවිරයන් ස්වකීය සංස්කරණයට ලියූ ප්‍රස්ථාවනාවෙහි මෙසේ සඳහන් කරයි. බුරුම රටින් ලක්දිවට ලැබී තිබෙන පැරණි ලිපියක අනාගතවංශට්ඨකථා නාමයෙන් එහි කර්‍තෘපාදයෝ ලක්දිව උපසේන මහා ස්ථවිරයන් වහන්සේ බව දක්වා තිබේ. මේ උපසේන ස්ථවිරයන් වහන්සේ නම් නිද්දේසට්ඨකථාදියෙහි කර්තෘ භූත තෙවෙනි අටුවාචාරීන් වහන්සේ යයි පිළිගත හැකිය.

ගන්ධවංශයට අනුව ශ්‍රී ලංකාදීප වාසී උපතිස්ස නම් ස්ථවිරයකුගේ අටුවා කථාවත් අනාගතවංසය සඳහා වූ බවත්, එම අටුවාකථාව වඩා පැරණි මූලාශ්‍රයක් පදනම් කොටගෙන සැකසුනක් බවත් මහාචාර්ය මලලසේකර විද්වතාණන්ගේ අදහස ය.

පාළි අනාගතවංස නම් කෘතිය හා ඊට අටුවාකථාව වශයෙන් ලියැවුණු සමන්තභද්දිකා නම් කෘතිය මූලාශ්‍ර කොට සැකසුණ සිංහල අනාගතවංශය හුදු පරිවර්තනයක් නොවේ. පාළි මූලාශ්‍රයන්හි දක්නට නොමැති උපමා-රූපක ශබ්දාලංකාරාදියත් විවිධ අර්ථකථනත් උපයෝගී කොට ගෙන ස්වකීය කෘතිය රසයෙන් හා අර්ථයෙන් වඩාත් පරිපූර්ණ කොට පෝෂණය කිරීමට කර්තෘ උත්සාහගෙන තිබේ.

සිංහල අනාගතවංශයේ කර්තෘ විල්ගම්මුල ස්ථවිරපාදයන් වහන්සේය. මේ “විල්ලගම්මුල” යන්න පුද්ගලනාමයක් ද යන වග පැහැදිලි නැත. විල්ගම්මුල, සරසිගාම, සරෝගාම ආදී නම්වලින් හැඳින්වුණ, අධ්‍යාපන මූලස්ථානයක් පැරණි ආරාමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අෂ්ටායතන අතර විය. පුරාණ විල්ගම් වෙහෙර යනු දැනට සේරුවිල නමින් ප්‍රසිද්ධ වෙහෙර බව වටද්දර මෙධානන්ද හිමියන්ගේ අදහස ය. පොළොන්නරු යුගයේ සිට ඉතා ශීඝ්‍රයෙන් දියුණුවට පත් මේ ආයතනය කුරුණෑගල රාජධානි සමයේ ද ඉතා ක්‍රියාකාරී ලෙස පැවැතියේ ය. 13 වන සියවසේදී එහි මූලස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්න්ගේ ප්‍රදේශයේ පැවැතියේයි. මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා “ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය” නම් සිය කෘතියෙහි අනුමාන වශයෙන් සඳහන් කරයි.

“විල්ගම්මුල” යන්න විල්ගම්මුල ආයතනයේ අධීශ්වර බව ලැබූ මහතෙරවරුන් හැඳින්වීමට යෙදූ පදවි නාමයක් සේ සැලකිය හැක. කුරුණෑගල යුගයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහි (=හතරවෙනි පරාක්‍රමබාහු) රාජ සමයේ විල්ගම්මුල ආයතනයේ අධීශ්වර වූයේ සිරිමෙවන් කැළණි මහා විහාරයෙහි අධිපති වූ ශ්‍රී පරාක්‍රමබාහු මහා ස්ථවිරයන් වහන්සේ බවත්, එනිසා උන්වහන්සේ විල්ගම්මුල මහා ස්ථවිරයන් වහන්සේ වශයෙන් හැඳින්වුණු බවත් පිළිගත් මතයකි. අනාගතවංශය මුන්වහන්සේගේ කෘතියකි. එම වකවානුවේදී විල්ගම්මුල ආයතනය විශේෂ රාජානුග්‍රහයට ලක් වූ අතර විල්ගම්මුල ස්ථවිරයන් වහන්සේ මා හිමි නැතහොත් සංඝරාජ පදවිය ද හෙබවූහ.

මුන්වහන්සේ විසින් අනාගතවංශය සම්පාදනය කරන ලද්දේ දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇරයුමෙන් බව ග්‍රන්ථයේම දැක්වේ. ඒ ඇරයුම පිළිගත් විල්ගම්මුල මහා ස්ථවිරයෝ “ශ්‍රද්ධා බුද්ධි පූර්වාංගම අදහසින් පාළි පාඨයෙන් කිසිවකුත් නොපිරිහෙළා. මේ අනාගතවංශ නම් වූ ධර්ම ප්‍රබන්ධය ස්වභාෂාවෙන් කොට මස්තකප්‍රාප්ත කළසේක” යයි ග්‍රන්ථාවසානයෙහි සඳහන් වේ. ග්‍රන්ථයේ සමාරම්භයේ ද මේ බව අවධාරණයෙන් දැක්වේ.

දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා කලා හා සාහිත්‍ය ප්‍රබෝධයට සුවිශේෂ සේවාවක් කළ රජතුමෙකි. එතුමා සාමාන්‍යයෙන් ම ධර්මශ්‍රවණයට රිසිබවක් දැක්වූ අතර අනාගතවංශ දේශනාව ඇසීමට ඉමහත් සේ කැමති වූ බව ප්‍රකටය. අනාගතවංශය සිංහලෙන් සැකසීමට එතුමා විසින් ඇරැයුම් කෙරුණේ මේ කැමැත්ත නිසා විය යුතුය.

සත්පුරුෂයින්ගේ පහන් සංවේගය සඳහා අනාගතවංශය උපකාරී වන්නේ එය අනාගතයේ බුදු බවට පත්වීමට සිටින මෛත්‍රිය බුදුන්වහන්සේගේ චරිතාපදානය ඉදිරිපත් කරන හේතුවෙනි. අතීත අනාගත බුදුවරයන් වහන්සේලා පිළිබඳ විශ්වාසය ඉපැරණි අවධියක සිට බෞද්ධයින්ගේ සිත් සතන්වල මුල් බැස ගෙන තිබෙන්නකි. දීපංකර බුදුන්වහන්සේගෙන් ඇරඹෙන අතීත බුද්ධ වංශකථාවේ අතීත බුදුවරයන් වහන්සේලා විසිහත් නමක් ගැන සඳහන් ය. විසි අටවැනි බුදුවරයාණන් වහන්සේ සඳහන් වන්නේ ගෞතම බුදුන්වහන්සේය. මෙම අටවිසි බුදුවරයන් වහන්සේලා අතුරෙන් බුදුවරයන් වහන්සේලා හතර නමක්ම මෙම කල්පයට අයත් යයි පිළිගැනේ. උන්වහන්සේලාගේ නම් මෙසේය. කකුසඳ, කෝණාගම, කස්සප සහ ගෞතම මෛත්‍රිය බුදුන් වහන්සේ මෙම යුගයෙහි පහළ වන පස්වන බුදුන්වහන්සේය. බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළ වන කල්පයක් හෙයින් මෙයට “භද්‍ර කල්පය” යන නම ලැබී ඇත.

අනාගත බුදුන් වහන්සේලා පිළිබඳ සංකල්පය අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ සංකල්පය තරමට දියුණු වී නැත. 12 වන සියවසට අයත් “දසබෝධිසත්ත උප්පත්තිකථා” නම් කෘතියක මෛත්‍රිය බෝධිසත්ත්වයන් ඇතුළුව අනාගතයේදී බුදු වන බෝධිසත්ත්වවරුන් දසදෙනෙකු ගැන සඳහන් වන බව කියැවේ. මේ අතරින් වංශකථාවක් සඳහා වස්තු විෂය වශයෙන් භාවිත වී ඇත්තේ මෛත්‍රිය බුද්ධචරිතාපදානය පමණි.

මෛත්‍රිය බුදුන්වහන්සේ ගැන ඇති එක් ඉපැරණිම සඳහනක් දීඝනිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ ඇතුළත් වේ. ඉන් අනතුරුව වෙනත් කෘතිවල වරින් වර තැනින් තැන සඳහන් වී ඇතතත් පූර්ණ චරිත කථාවක් වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ පාළි අනාගතවංසයේය. අනාගතයේදී දඹදිව සකල සෞභාග්‍යයෙන් සපිරි පුණ්‍ය ක්ෂේත්‍රයක් වන කෙතුමතී නම් නුවර සබ්‍රාහ්මණ සහ බ්‍රහ්මවතී නම් දෙගුරුන්ට දාව අජිත නම් උපත ලබන අනාගත බුදුවරයාණන් වහන්සේ මෛත්‍රිය නමින් බුදු බවට පත්වන ආකාරය මේ වංශකථාවෙන් බුද්ධාලම්බන ප්‍රීතිය සිත් සතන් තුළ දනවන අන්දමින් ඉදිරිපත් කෙරේ.

මෛත්‍රිය බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවාසී ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ ජනතාවගේ සිත් සතන් තුළ වඩාත් සමීපවීමට හේතුවුණු පුරාවෘත්තයක් වංශකථා සම්ප්‍රදායෙහි ගැබ්ව ඇත. අනාගතවංශයේ දැක්වෙන සම්ප්‍රදායට අතිරේක වූ මෙම පුරාවෘත්තය මහාවංශයෙහි ඇතුළත්ය. මේ අනුව අනාගතයේදී මෛත්‍රිය බුදුන්වහන්සේගේ දෙගුරුන් වන්නේ කාවන්තිස්ස රජු හා විහාරමහාදේවී බිසවුන්ය. පුත් වන්නේ සාලිය කුමරාය. දුටුගැමුණු හා සද්ධාතිස්ස යන දෙසොහොයුරු රජවරු මෛත්‍රිය බුදුන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලා වශයෙන් උපදිනු ඇත. ශ්‍රී ලංකා වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් රජ පවුලක් හා මෛත්‍රිය බුදුන් වහන්සේ අතර ඇති සම්බන්ධය මෛත්‍රිය බුදුන්වහන්සේ කෙරෙහි ලංකාවාසී බෞද්ධ ජනතාව තුළ අචල භක්තියක් පුබුදුවාලීමට හේතු වී ඇති බව නිසැකය. ශ්‍රී ලංකාවාසී ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයින්ගේ එකම පොදු පැතුම අනාගතයේදී ලොව පහළ වන මෛත්‍රිය බුදුන්වහන්සේ දැක නිවන් පසක් කර ගැනීමය.

අනාගතවංශය මීට පෙර ප්‍රකාශයට පත්ව ඇත. ඉස්වැල්ලේ ජිනරතන ස්ථවිරයන් විසින් කෙරුණු සංස්කරණය 1934 දී ද වටද්දර මෙධානන්ද ස්ථවිරයන් විසින් කෙරුණු සංස්කරණය 1959 දී ද පළවිනි. දැනට පහසුවෙන් ලබා ගත නොහැකි එහෙත් සැදැහැවත් බෞද්ධයින් විසින් කියවීමට ඉතා ආශා කරන එසේම කියවිය යුතු මේ මහැඟි කෘතිය නැවත වරක් පළ කිරීම බෞද්ධ පාඨකයිනට පිදෙන උපහාරයක් බඳුය.

සනත් නානායක්කාර

බෞද්ධ විශ්වකෝෂයෙහි හිටපු නියෝජ්‍ය කර්තෘ

01-02-1997

සිංහල

අනාගතවංශය

ආරාධනය

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

සකලගුණනිධානවූ කරුණාවෙන් සිහිල්වූ, ල ඇති, ප්‍රඥා නැමැති ප්‍රදීපයෙන් දුරුකරනලද මොහාන්‍ධකාර ඇති, දෙවි මිනිසුන් සහිත ලොවට එකගුරුවූ, මහර්ෂිවූ, අෂ්ටාඞ්ගසමුපෙත බ්‍රහ්මස්වර විහිදුවන්නා වූ ඉෂ්ටානිෂ්ටයෙහි නිර්වීකාරීවූ, තිලොවට එකනෙත්වූ, සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධවංශ දේශනාවසානයෙහි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් ආකාශයෙහි රුවන්සක්මනක් මවා එහි සක්මන් කෙරෙමින් සිට වදාළා වූ, අනාගතවංශය ත්‍රිසිංහලාධීශ්වර, නවරත්නාධිපති, අශරණ ශරණ, කරුණානිධාන, යාචකජනපාරිජාත, ප්‍රාඥජනබන්‍ධු, ප්‍රජාසංරක්‍ෂණප්‍රවීන, නිර්ජිතපුෂ්පකෙතු රූපසෞන්‍දර්ය, අර්ථජනචින්තාමාණික්‍ය, සකලකලාචාර්ය, අනවරතදානධාරාප්‍රවාහ, සකලසත්ත්‍වනෙත්‍රොත්සව, ශාසනාභිවෘද්ධිකර, සකලගුණගණාභරණ විභුෂිත දෙහ, රාජකුලාම්බර පුණ්ණචන්‍ද්‍ර රාජමුකුට මණිරස්මිරඤ්ජිතපාද පීඨ රාජකුලශෙඛරරාජවංශ ශිඛාමණිරාජකුලප්‍රදීපායමාන, ස්වවික්‍රමාක්‍රාන්ත සකලභූමණ්ඩල දානශීලාද්‍යනෙකප්‍රකාර පුණ්‍යසම්භාර සම්පූර්ණ සන්තානොපෙත, දෙවෙනි පණ්ඩිතපරාක්‍රමබාහු මහරජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් ස්වදේශවාසීන්ට වැඩපිණිස ස්වභාෂාවෙන් ප්‍රකාශකොට කියමි. ඒ මා කියන්නා වූ අනාගතවංශය සත්පුරුෂ වූ සියලු සත්ත්‍වයන් විසින් කන් නමා සිත් යොමා සාවධානවැ ඇසිය යුතු.

නිදාන කථාව

තවද මේ අනාගතවංශය කවර කෙනෙකුන් විසින් දෙසන ලද්දේද? කොතැන්හිදී දෙසන ලද්දේද? කවරකලෙක දෙසන ලද්දේද? කුමක් පිණිස දෙසනලද්දේද? කවර කෙනෙකුන්ගේ ආරාධනාවෙන් දෙසන ලද්දේදැයි යන මේ ප්‍රශ්නයන් පස්දෙනාගේ විසඳීම කොට වර්ණනා කටයුතු.

එහි කවර කෙනෙකුන් විසින් දෙසන ලද්දේද යත්:-

සියලු ධර්මයෙහි අසඛලිතවැ පවත්නා ඥානගති ඇති, චතුවෛශාරද්‍ය විශාරද වූ, ධර්මරාජණන්වූ ධම්මස්වාමීවූ සර්වඥවූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද්දේය.

කොතැන්හිදී දෙසන ලද්දේද? යත්:-

කිඹුල්වත්නුවර නිග්‍රොධාරාමයෙහි ඉතා සිත්කලු වූ දැකුම් ඇති, රුවන්සක්මනැ සක්මන් කරන්නා වූ සර්වඥයන් වහන්සේ විසින් දෙසන ලද.

කවරකලෙකැ දෙසන ලද්දේද? යත්:-

බුද්ධවංශදෙශනාවසානයෙහි දෙසන ලද.

කුමක් පිණිස දෙසන ලද්දේද? යත්:-

කාමොඝාදි චතුරොඝයෙන් නිස්තරණය පිණිස දෙසන ලද.

කවුරුන්ගේ ආරාධනාවෙන් දෙසන ලද්දේද? යත්:-

දම්සෙනෙවිසැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසන ලද.

මෙපමණෙකින් කවර කෙනකුන් විසින් දෙසනලද්දේද, යනාදි වූ ප්‍රශ්න පස විශේෂයෙන් ප්‍රකාශ නොවන්නේය, එසේ හෙයින් ඒ ප්‍රශ්නයන් පස්දෙනාගේ විසර්ජනය මේ මතුකියන්නා වූ ක්‍රමයෙන් දතයුත්තේය.

ප්‍රථම ප්‍රශ්නය

එහි කවරකෙනකුන් විසින් දෙසන ලද්දේද? යත්:-

යම් සර්වඥකෙනකුන් වහන්සේ මේ කල්පයට සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයකින් මත්තෙහි අමර නම් නුවර සුමෙධ නම් බ්‍රාහ්මණකුමාරවැ අක්‍ෂරලිඛිතාදිවූ සියලු ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණ දෙමවුපියන්ගේ ඇවෑමෙන් නොයෙක් කෙළගණන් වස්තු පරිත්‍යාග කොට සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවැ හිමාලය වනයෙහි වෙසෙමින් පඤ්චාභිඥා-අෂ්ටසමාපත්ති උපදවා ආකාශයෙන් යන්නාහු දීපඞ්කර සර්ව‍්ඥයන් වහන්සේ සුදර්ශන මහාවිහාරයෙන් නික්ම රඹගම් නුවරට වදනා සඳහා මං එළි කරන්නාවූ මහාජනයා දැක ඒ සුමේධතාපසයෝ තමන්ටත් එක් භූමි ප්‍රදේශයක් ඉල්වා ගෙන ඒ මාර්ග ප්‍රදේශය සරහා නිමවන්නාට පළමු කොට වැඩියාවූ සර්වඥයන් වහන්සේට තමන් හෙයක් කොට මද්ධමත්තේ අතුට සර්වඥයන් වහන්සේ සාරලක්‍ෂයක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ හා සමඟ මද්ධ නොමැඩ මා පිට මැඩගෙන වඩනා සේක්වයි සිතා වැදහොත්තාහුය. දීපඞ්කර සර්වඥයන් වහන්සේ ඒ සුමේධතාපසයන් දැකලා ම මෙතෙම බුද්ධාඞ්කුරයෙක. අනාගතයෙහි සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් කෙළවර ගෞතම නම් බුදුවන්නේය යි විවරණ දී වදාළ සේක.

ඒ සර්වඥයන් වහන්සේට මෑතභාගයෙහි කොණ්ඩඤ්ඤය - මඞ්ගලය - සුමනය -රෙවතය - සොභිතය - අනොමදස්සීය - පදුමය - නාරදය - පදුමුත්තරය - සුමේධය -සුජාතය - පියදස්සීය - අත්‍ථදස්සීය - ධම්මදස්සීය - සිද්ධත්‍ථය - තිස්සය - ඵුස්සය -විපස්සීය - සිඛීය - වෙස්සභූය - කකුසන්‍ධය - කොණාගමනය - කස්සපය යන ලොව බබලවා උපන්නා වූ තෙවිස්සක් පමණ සර්වඥවරයන් වහන්සේ සමීපයෙන් ලබන ලද විවරණ ඇතිවැ දශපාරමිතාය - දශඋපපාරමිතාය - දශපරමාර්ථ පාරමිතාය යන සමත්‍රිංශත් පාරමීධර්මයන් පූරණයකොට විශ්වන්තරාත්මභාවයෙහි සිට මහීකම්පා කරන්නාහු මහදන්දී, පුත්‍රදාරාවන් පරිත්‍යාග කොට, ආයුකෙළවර තුෂිත දිව්‍යලොකයෙහි ඉපැද එහි ආයු පමණින් සිට දසදහසක් සක්වළ දෙවියන් විසින් රැස්වැ සිටැ,

“කාලො’යං තෙ මහාවීර! උප්පජ්ජ මාතුකුච්ඡියං,

සදෙවකං තාරයන්තො බුජ්ඣස්සු අමතං පදං”යි.

යාච්ඤාකරණ ලදුවැ පඤ්චමහාවිලොකනය කොට, එයින් චුතව ශාක්‍යරාජවංශයෙහි ප්‍රතිසන්‍ධිග්‍රහණයකොටැ, එහි මහසම්පත් විඳිමින් ක්‍රමයෙන් සොඳුරු වූ යෞවනයට පැමිණ. තුන්සෘතුවට සුදුසුවූ තුන්පාදයෙහි දිව්‍යලෝකශ්‍රීයක් වැනි වූ රාජ්‍ය ශ්‍රී අනුභව කෙරෙමින් උයන් කෙළියට යන වේලෙහි ක්‍රමයෙන් ජීර්ණණ-ව්‍යාධි-මෘත සඞ්ඛ්‍යාත දේවදූතයන් තුන්දෙනා දැක, සංවේගයට පැමිණ වැලකැ, සතරවැනි වාරයෙහි ප්‍රව්‍රජිතරූපය දැක, ප්‍රව්‍රජ්‍යාව යහපතැයි මහණවීමට සිත් උපදවා, උයනට ගොස් එහි දවස් යවා, මඟල් පොකුණුතෙර හිඳ කපුවෙස් ගෙණ ආ විශ්වකර්මදිව්‍යපුත්‍රයා විසින් සරහා පිළියෙල කරන ලද්දාහු, රාහුල කුමාරයන් උපන් නියාව අසා, ස්නේහය බලවත් බව දැන යම් තාක් ස්නේහබන්‍ධනය මතුමත්තෙහි වඩා ගෙන නො යන්නේ වී නම්, පළමු කොටම ඒ ස්නේහබන්‍ධනය සිඳිමි යි සිතා සවස නුවරට වදනා වූ බෝධිසත්ත්වයෝ,

“නිබ්බුතා නූන සා මාතා නිබ්බුතො නූන සො පිතා,

නිබ්බුතා නූන සා නාරී යස්සා’යං ඊදිසො පති” යි.

කිසාගෝතමී නම් බිසවුන් විසින් කියන ලද මේ ගාථාව අසා, මම මැය විසින් නිබ්බුතපදය අස්වන ලද්දෙමි යි, මුක්තාහාරය ගලවා ඒ බිසවුන්ට යවා තමන්ගේ මාලිගාවට වැද ශ්‍රීයහන්මස්තකයෙහි හුන්නාහු නිද්‍රාවට පැමිණියාවූ නාටක ස්ත්‍රීන්ගේ තැතැනීම් නන්දෙඩීම් දත්කැවිලි ආදිවූ නොයෙක් විප්‍රකාර දැක සසර කලකිරුණාවූ සිත් ඇතිවැ ඡන්න නම් අමාත්‍යයා ලවා කන්‍ථක නම් අශ්වයා ගෙන්වා ගෙන ඔහු පිටට පැන නැගී ඡන්න නම් අමාත්‍යයා සමග දසදහසක් සක්වළ දෙවියන් විසින් පිරිවරනලදුව මහබිනික්මන් නික්ම අනෝමා නම් ගංතෙරදී මහණ ව, ක්‍රමයෙන් රජගහනුවරට ගොස් එහි පිඬුසිඟා ඇවිද පාණ්ඩවපර්වත සමීපයට ගොස් එතැන්හි හිඳ බිම්සරරජ්ජුරුවන් විසින් රාජ්‍යයෙන් පැවරූ කල්හි ඒ රාජ්‍ය ප්‍රතික්‍ෂේප කොට ආළාරකාලාමය, උද්දකරාමපුත්‍රය යන තාපසවරුන් දෙදෙනා සමීඵයට ගොස් ඔවුන්ගේ සමයම පරීක්‍ෂා කොට එහි සාරත්‍වයක් නුදුටු හෙයින් කලකිරුණා වූ සිත් ඇති වැ එතැන් පටන් සාවුරුද්දක් මුළුල්ලෙහි අනන්‍යසාධාරණවූ දුෂ්කරක්‍රියා කොට වෙසක්මස මැදිපොහෝ දිනයෙහි උදෑසන ම සුජාතා නම් සිටුදුව දුන් අසම්හින්න ක්‍ෂීරපායාසය නේරඤ්ජරා නම් ගඞ්ගාතීරයෙහි දී වලඳා තලිය උඩුගඟ බලා හැර ගංතෙර සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි සොත්‍ථිය නම් බ්‍රාහ්මණයකු විසින් දෙනලද හීතණ අටමිටක් ගෙණ ශක්‍ර, සුයාම, සන්තුෂිතාදිවු නොයෙක් දෙවියන් පඤ්චාඞ්ගික තූර්‍ය්‍යනාදයෙන් හා පරසතු මදාරාමල් ආදියෙන් පූජා සත්කාර කරන්ට පටන්ගත් කල්හි මහකෙළ නම් නාරජ්ජුරුවන් විසින් ස්තුතිඝෝෂා පවත්වන්ට පටන්ගත් කල්හි බෝමැඩට පැන නැඟී තණ සළා පැන නැංගාවූ තුදුස්රියන් වජ්‍රාසනාරූඪ වැ යම්තාක් සම්‍යක්සම්බෝධිඥානය සමධිගමය නො කෙළෙම් වීම් නම් ඒතාක් මේ පර්යඞ්කයෙන් නැගී නො සිටිමි යි ප්‍රතිඥා කොට නැගෙනහිරට මුහුණ ලා වැඩ හිඳ හිරු අස්තට යන්නාට පළමු කොට ම සපරිවාර මාරපරාජය කොට ප්‍රථමයාමයෙහි පූර්වෙනිවාසානුස්මෘතිඥානය ද, මධ්‍යමයාමයෙහි ච්‍යුති උත්පත්ති දෙක දන්නා දිව්‍යඤ්චක්‍ෂූරභිඥානය ද, පශ්චිමයාමයෙහි ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සන්මර්ශනය කෙරෙමින් ආනාපානචතුර්ථධ්‍යානයට සමවැද එයින් නැගී පඤ්චස්කන්‍ධයෙහි ද, උදයව්‍යය වශයෙන් සමපණස්ලකුණු දැක ගොත්‍රභූඥානය දක්වා විදර්ශනා වඩා ආර්යමාර්ගයෙන් සකල ක්ලේශයන් නසා අරුණු නැඟෙන වේලෙහි සර්වඥතාඥානය ද ප්‍රතිවේධ කොට ප්‍රීතිවේගයෙන් “අනෙකජාතිසංසාරං” යනාදීන් උදන් ඇනූසේක.

ඒ භාග්‍යවත් වූ නික්ලේශී වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ අනාගතවංශය දෙසන ලද්දේය. මෙපමණෙකින් කවර කෙනෙකුන් විසින් දෙසන ලද්දේද යන මේ ප්‍රශ්නය විශේෂයෙන් විසඳන ලද්දේය.

දෙවන ප්‍රශ්නය

කොතැන්හිදී දෙසන ලද්දේද? යත්:-

ඉක්බිත්තෙන් ලබන ලද සර්වඥතාඥාන ඇති ඒ සර්වඥයන් වහන්සේ බෝධිද්‍රැමසමීපයෙහිම සත්සති ඉකුත් කොට අටවැනිසතියෙහි අජපාලන්‍යග්‍රොධ වෘක්‍ෂමූලයෙහි වැඩහුන්සේක් තමන් වහන්සේ විසින් ප්‍රතිවේධකරණලද ධර්මමය ගැඹුරුබව සැලැකීමෙන් දේශනා කිරීමට මන්දොත්සාහ බවට පැමිණ දසදහසක් සක්වළ මහා බ්‍රහ්මයන් පිරිවර කොට ඇති සහම්පති මහාබ්‍රහ්මයා විසින් “නස්සති වත භො ලොකෙ විනස්සති වත භො ලොකො” යනාදීන් ධර්මදේශනාවට ආරාධනා කළ කල්හි බුද්ධචක්‍ෂුසින් ලොව බලා වදාරා බ්‍රහ්මාරාධනාව පිළිගෙන පළමු කොට මම කවරක්හට ධර්මදේශනා කෙරෙම් දෝ හෝයිනි බලාවදාරණ සේක් ආළාරකාලාමයන් හා උද්දක රාමපුත්‍රයන් කළුරියකළ නියාව දැන පස්වගමහණුන් වහන්සේ තමන්වහන්සේට නොයෙක් පරිද්දෙන් උපකාරීනියාව සිහි කොට හුනස්නෙන් නැඟී කසීපුරයට වඩනාසේක් අතරමඟ දී උපක නම් ආජීවකයක්හු හා සමඟ කථා කොට ඇසළමස පුණුපොහෝ ලද දවස් බරණැස්නුවර ඉසිපතන නම් මිගදායෙහි පස්වගමහණුන් වහන්සේ වසන්නා වූ ස්ථානයට පැමිණ නුසුදුසු වූ ආවුසොවාදාදි ව්‍යවහාරයෙන් වැවහරකරන්නා වූ ඒ භික්‍ෂූන් වහන්සේට තමන්වහන්සේ බුදුවූ නියාව කියා ගිවිස්වා අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ ප්‍රධානකොට ඇති අටළොස්කෙළක් බ්‍රහ්මයන් ධර්මාමෘතපානය කරවමින් ධම්සක්පවතුන්සූත්‍රදේශනාව කොට පවත්වනලද උතුම් ධම්සක්පවතුන්සූත්‍රදේශනා ඇති ඒ සර්වඥයන් වහන්සේ ඇසළ මස අව විසේනියෙහි ඒ සියලු පස්වගමහණුන් වහන්සේ අර්හත්ඵලයෙහි පිහිටුවා එදවස්ම යසකුලපුත්‍රයන්ගේ අර්හත්ඵලයට උපනිශ්‍රය සමෘද්ධිය දැක රාත්‍රිභාගයෙහි කලකිරී ප්‍රාසාදය හැර නික්මෙන්නහු මෙසේ වර! යසය යි, කියා කැඳවා ඒ රාත්‍රිභාගයෙහි ශ්‍රොතාපත්තිඵලයට හා දෙවෙනි දවස් අර්හත්ඵලයට ද පමුණුවා අන්‍ය වූත් ඒ යසකුලපුත්‍රයන්ට යහළුවූ සිවුපණස්දෙනකු එහිභික්‍ෂුප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි කරවා අර්හත්ඵලයට පමුණුවා, මෙසේ ලෝකයෙහි එක්සැටක් රහතුන් වූ කල්හි වැස නිමවන ලද වස් ඇතිසේක් වස් පවරා මහණෙනි! ඒ ඒ තැන්හි චාරිකා කරව යි කියා, සැටක් පමණ භික්‍ෂූන්වහන්සේ ඒ ඒ දිග යවා තමන්වහන්සේ උරුවෙලාවට වඩනාසේක් අතරමඟ කප්පාසිකවනසණ්ඩයෙහි දී භද්‍රවර්ගරාජකුමාරවරුන් තිස්දෙනකුට ධර්මදේශනා කළසේක. ඔවුන් අතුරෙන් ඇමට කෙළවර රාජකුමාරයෝ සෝවාන් වූහ. ඇමට වැඩිමහලු රාජකුමාරයෝ අනාගාමි වූහ.

එතිස්දෙනා එහි භික්‍ෂුභාවයෙන් මහණකරවා ඒ ඒ දිග යවා උරුවෙලාවට වැඩ තුන්දහස්පන්සියයක් ප්‍රාතිහාර්ය දක්වා උරුවෙලකාශ්‍යපයන් ප්‍රධාන කොට ඇති, තුන්බෑජටිලයන් හා දහසක්ජටිලයන් විනයනය කොට එහි භික්‍ෂුභාවයෙන් ම මහණ කරවා ගයාශීර්ෂයේ හිඳුවා ආදීප්තපර්යාය සූත්‍රදේශනාවෙන් අර්හත්ඵලයෙහි පිහිටුවා එ දහසක් රහතුන් වහන්සේ විසින් පිරිවරන ලදුව බිම්සරරජ්ජුරුවන්ට දෙන ලද ප්‍රතිඥාව මුදමියි සිතා රජගහනුවර ලට්ඨිවන නම් වූ උද්‍යානයට වැඩ සර්වඥයන් වහන්සේ වැඩිසේක යනු අසා එක්ලක්‍ෂවිසිදහසක් පමණ බ්‍රාහ්මණගෘහපතීන් හා සමග සමීපයට ආ රජ්ජුරුවන්ට මිහිරි වූ ධර්මදේශනා කරනසේක් රජදරුවන් හා සමඟ එක්ලක්‍ෂදසදහසක් දෙනා සෝවාන්ඵලයෙහි පිහිටුවා දසදහසක් දෙනා ශරණශීලයෙහි පිහිටුවා දෙවෙනිදවස් ශක්‍රදේවෙන්‍ද්‍රයන් විසින් මානවකවේෂයක් ගෙන,

“කප්පකසායෙ කලියුගෙ බුද්ධුප්පාදො අහො මහච්ඡරියං,

හූතවහමජ්ඣෙ ජාතං සමුදිතමකරන්‍ද මිවාරවින්‍දං.”

යනාදීන් විශේෂයෙන් ස්තුතිකරනලද සේක් රජගහනුවරට වැද රජ්ජුරුවන්ගේ මාලිගාවෙහි දී වළදා වේළුවනාරාමය පිළිගෙන එහි වාසය කොට වදාළ සේක.

එසමයෙහි ශුද්ධෝදන මහරජ්ජුරුවෝ මාගේ පුතනුවන් වහන්සේ උතුම්වූ සම්‍යක්සම්බෝධියට පැමිණ පවත්වනලද උතුම්වූ දම්සක් පවතුන් සූත්‍රදේශනාවන් ඇතිසේක් රජගහනුවරට වැඩ වේළුවනාරාමයෙහි වසන සේක, යනු අසා එක්තරා මහාමාත්‍යයකු කැඳවා දහසක් පුරුෂයන් පිරිවරා රජගහනුවරට ගොස් මාගේ කීමෙන් නුඹවහන්සේගේ පිතෘ වූ ශුද්ධෝදන මහරජ්ජුරුවන් වහන්සේ දක්නා කැමැතිසේකැයි කියා මාගේ පුතනුවන් වහන්සේ කැඳවා ගෙන එව යි කියා සම්මත කළාහ. ඒ අමාත්‍යයා යහපත දේවයන්වහන්සැ යි කියා රජ්ජුරුවන්ගේ බස පිළිගෙන පුරුෂයන් දහසක් පිරිවර කොට ඇත්තේ සැට යොදුන් මාර්ගය ගෙවා ගොස් ධර්මදේශනාකරන වේලෙහි විහාරයට වැද රජ්ජුරුවන් වහන්සේගෙන් කියා එවු අසුන් තව තිබෙන්නට යයි සිතා බණ පිරිස් කෙළවර සිට බුදුරජාණන් වහන්සේ වදාරන්නා වූ ධර්මදේශනාව අසා සිටිසේ සිටම පුරුෂයන් දහසක් දෙනා හා සමඟ රහත්ව මහණවීමට අවසර ඉල්වා එහි භික්‍ෂුභාවයෙන් පැවිදි ව පර්ෂත් හා සමග භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ පිරිවරාගෙන සිටිසේක.

ශුද්ධෝදන මහරජ්ජුරුවෝ ගියවුන්ගෙන් එනකෙනකුත් නැත, අස්නකුත් නො ඇසෙන්නේය යි පළමු පරිද්දෙන් ම අටවරෙකැ දහසක් දහසක් පිරිවර කොට ඇති මහාමාත්‍යයන් අටදෙනෙකු යවා ඔවුන් හැමදෙනාත් ගොස් අර්හත්ඵලයට පැමිණ මහණ ව මුවෙන් නො බැණ හුන්කල්හි මහාපුරුෂයාණන් වහන්සේ හා සමග එකදවස් උපන් අතිවිශ්වාසී වූ එක් ව වැලිකෙළි කෙළියා වූ කාළුදායි නම් අමාත්‍යයා කැඳවා දරුව! උදායීනි, මාගේ පුතණුවන් වහන්සේ දක්නා කැමැති ව අමාත්‍යයන් නවදෙනකු හා සමග පුරුෂයන් නවදහසක් යවීමි, උන් හැමදෙනාගෙන් එකෙකුත් අවුත් අසුන් පමණකුත් මට කී කෙනෙක් නැත, එසේ හෙයින් මාගේ පුතණුවන් වහන්සේ මා ඇස පෑපියන්ට පිළිවන්දැයි කීකල්හි ස්වාමීනි! ඉදින් මහණ වන්ට අවසරයක් ලද්දෙම් වී නම් ගෙනවුත් දක්වාලන්ට සමර්ථයෙමි යි කීකල්හි දරුව! තොපි මහණ වේව යි මහණ නොවී වේව යි මපුතණුවන් වහන්සේ මට ගෙනවුත් පෑලවයි සම්මත කළහ. කාළුදායී නම් අමාත්‍යයා යහපත දේවයන්වහන්සැයි කියා දහසක් පුරුෂයන් පිරිවරා රජගහනුවරට ගොස් සර්වඥයන් වහන්සේගෙන් ධර්මදේශනාව අසා පුරුෂයන් දහසක් දෙනා හා සමග අර්හත්ඵලයට පැමිණ එහිභික්‍ෂුප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව මැදින්දින මස පුරපසළොස්වක් දිනයෙහි හේමන්ත කාලය ඉකුත්විය, වසන්තකාලය පැමිණියේ ය, වන ලැහැප් මනා ව පිපියේය, මාර්ගය වැඩීමට සුදුසුය, දශබලධාරී වූ බුදුරජාණන් වහන්සේ ඥාතිසඞ්ග්‍රහකරන්නා වූ කැලැයි සිතා සර්වඥයන් වහන්සේ කරා එළඹ,

“අඞ්ගාරිනොදානි දුමා භදන්තෙ-එලෙසිනොඡදනං විප්පහාය,

තෙ අච්චිමන්තොව පභාසයන්ති-සමයොමහාවීරභගීරථානං.”

යනාදි වූ සැටක් පමණ ගාථාවෙන් මාර්ගවර්ණනා කොට සර්වඥයන් වහන්සේ උදායී ස්ථවිරයෙනි! කුමක් පිණිස ගමනවර්ණනා කරන්නෙහි දැයි වදාළකල්හි එසේය ස්වාමීනි! නුඹවහන්සේට පිතෘ වූ ශුද්ධෝදනරජ්ජුරුවෝ දක්නා කැමැත්තෝය. එසේ හෙයින් නෑයන්ට සඞ්ග්‍රහ කොට වදාළ මැනැවැයි කියා, යහපත උදායී ස්ථවිරයෙනි, නෑයන්ට සඞ්ග්‍රහ කෙරෙමි, එබැවින් භික්‍ෂු සඞ්ඝයාට කියවයි වදාළ කල්හි යහපත ස්වාමීනි යි කියා උදායී ස්ථවිරයන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා වහන්සේට දැන්වූ සේක. සර්වඥයන් වහන්සේ අඟුමගද දෙරටවැසි කුලපුත්‍රයන්ගෙන් දසදහසක් දෙනා වහන්සේය, කිඹුල්වත් නුවර වැසි කුලපුත්‍රයන්ගෙන් දසදහසක් දෙනා වහන්සේයයි කියා එක්කොට විසිදහසක් ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලදුව රජගහනුවරින් නික්ම දවස දවස යොදනක් යොදනක් වඩනාසේක් දෙමසකින් කිඹුල්වත් පුරයට පැමිණි සේක. ශාක්‍යරජදරුවෝත් සර්වඥයන් වහන්සේ වඩනාට පළමුකොට ම අපගේ නෑ උතුමාණන් වහන්සේ දක්නමෝවේ දැයි කියා, භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ වඩනාට පළමුකොට ම අපගේ නෑ උතුමාණන් වහන්සේ දක්නමෝවේ දැයි කියා, භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ වසන්ට සුදුසුතෙනක් පරීක්‍ෂා කරන්නාහු නිග්‍රොධ නම් ශාක්‍යරජ්ජුරුවන්ගේ උයන සිත් කලුය යි සලකා එහි ගඳකිළිමණ්ඩප, සක්මන් මණ්ඩප, දොරටු ආදි වූ රාත්‍රීස්ථාන, දිවාස්ථාන කරවා ගඳදුම්මල්පහන් ගත් අත් ඇති ව පෙර ගමන්කරන්නාහු සර්වාභරණයෙන් සැරහී සුවඳමල් සුවඳසුණු ආදියෙන් පූජා කෙරෙමින් සර්වඥයන් වහන්සේ පෙරදැරි කොට නිග්‍රෝධාරාමයට ගියාහුය. එහි බුදුරජාණන් වහන්සේ විසිදහසක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ විසින් පිරිවරන ලදුව පනවන ලද බුද්ධාසනමස්තකයෙහි යුගඳුරුමුදුනෙහි දිලියෙන්නාවූ ළහිරු මඬලක් මෙන් දිලිහි දිලිහී වැඩහුන්සේක.

ශාක්‍යරජදරුවෝ වූකලි ජාතිය නිසා තදමන් ඇත්තාහු සිද්ධාර්ථ කුමාරයෝ අපට ඉතා බාලයෝ ය, අපගේ මලනුවෝ ය, බෑණනුවෝ ය, මුනුබුරාණෝ ය, පුතණුවෝ ය යි සිතා බාලබාල රාජකුමාරවරුන්ට තෙපි වඳුව, අපි තොපගේ පිටිපස්සේ හිඳුම්හ යි කීහ. මෙසේ ඒ ශාක්‍යරජදරුවෝ ජාතිමානය පෙරදැරි කොට උන්කල්හි ඉක්බිත්තෙන් භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ ඔවුන්ගේ අදහස් බලා මාගේ මෙනෑයෝ තමන් වයසින් වැඩිමහලු වූ පමණකටම නො වඳුම්හ යි කියති; බුදුහු නම් කෙබඳුසේක් ද, බුදුබල නම් කෙබඳු දෙයකැයි කියා ද, බුදුහු නම් මෙබඳුය බුදුබල නම් මෙබඳු දෙයකැයි කියා ද, නො දනිති. එබැවින් මම මාගේ බුද්ධබලය ත් දක්වමි, සෘද්ධිබලයත් දක්වමි, ප්‍රාතිහාර්යය ත් කෙරෙමි යි, ආකාශයෙහි දසදහසක් සක්වළ පැතිර සිටියා වූ සත්රුවන්මය සක්මනක් මවා එහි සක්මන් කෙරෙමින් මහාජනයාගේ අධ්‍යාශය පරීක්‍ෂාකොට ධර්මදේශනාවකුත් කෙළෙම් වී නම් යහපතැයි සිතූසේක.

යමක ප්‍රාතිහාර්‍ය්‍ය

ඉක්බිත්තෙන් මෙසේ බුදුරජාණන් වහන්සේ සිතූසිත හා සමඟ දසදහසක් සක්වළ බූමාටුදෙවියන් ආදිකොට ඇති සියලු දේවතාවෝ සතුටු වූ සිත් ඇති ව සාධුනාද පැවැත්ව්‍හ. එසඳ සර්වඥයන් වහන්සේ සිතූසිතට අනතුරුව ම ඔදාතකසිණසමාපත්තියට සමවැද දසදහසක් සක්වළ ආලෝකවේව යි ඉටූසේක. ඒ අධිෂ්ඨානචිත්තය හා සමඟ ම අවීචියෙහි පටන් අකනිෂ්ටබ්‍රහ්මලෝකය දක්වා ඒකාලෝක විය. එකෙණෙහි භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ දසදහසක් සක්වළ උතුරුවා අභිඥාපාදක කොට ඇති චතුර්ථධ්‍යානයට සමවැද එයින් නැඟී ආවර්ජනා කොට අධිෂ්ඨාන චිත්තයෙන් ආකාශයට පැන නැඟී ඒ නෑයන්ගේ ඉසපිට පස්වගුරුවන්නාක් මෙන් මහත්වූ දිව්‍යමනුෂ්‍ය පර්ෂත් මධ්‍යයෙහි යමකප්‍රාතිහාර්ය දක්වා වදාළසේක.

ඒ කෙසේ ද? යත්:- ඌර්ධ්වශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය, අධඃශරීරයෙන් දියකඳෙක් පවත්නේය, අධඃශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය, ඌර්ධ්වශරීරයෙන් දියකඳෙක් පවත්නේය, පූර්වශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය, පශ්චිමශරීරයෙන් දියකඳෙක් පවත්නේය. පශ්චිමශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය, පූර්වශරීරයෙන් දියකඳෙක් පවත්නේය, දකුණැසින් ගිනිකඳෙක් පවත්නේය, වමැසින් දියකඳෙක් පවත්නේය, වමැසින් ගිනිකඳෙක් පවත්නේය, දකුණැසින් දියකඳෙක් පවත්නේය, දකුණුකන්සිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය, වම්කන්සිදුරෙන් දියකඳෙක් පවත්නේය, වම්කන්සිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය, දකුණුකන්සිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය, දකුණුකන්සිදුරෙන් දියකඳෙක් පවත්නේය, දකුණුනාසාසිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය, වම්නාසාසිදුරෙන් දියකඳෙක් පවත්නේය, වම්නාසාසිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය, දකුණුනාසාසිදුරෙන් දියකඳෙක් පවත්නේය, දකුණු දසරුවෙන් ගිනිකඳෙක් පවත්නේය, වම්දසරුවෙන් දියකඳෙක් පවත්නේය, වම්දසරුවෙන් ගිනිකඳෙක් පවත්නේය, දකුණු දසරුවෙන් දියකඳෙක් පවත්නේය, දක්‍ෂිණහස්තයෙන් ගිනි කඳෙක් පවත්නේය, වාමහස්තයෙන් දියකඳෙක් පවත්නේය. වාමහස්තයෙන් ගිනිකඳෙක් පවත්නේය, දක්‍ෂිණහස්තයෙන් දියකඳෙක් පවත්නේය, දකුණැලයෙන් ගිනිකඳෙක් පවත්නේය, වමැලයෙන් දියකඳෙක් පවත්නේය, වමැලයෙන් ගිනිකඳෙක් පවත්නේය, දකුණැලයෙන් දියකඳෙක් පවත්නේය, දකුණු පයින් ගිනිකඳෙක් පවත්නේය, වම්පයින් දියකඳෙක් පවත්නේය, වම්පයින් ගිනිකඳෙක් පවත්නේය, දකුණුපයින් දියකඳෙක් පවත්නේය, ඇඟිල්ලක් ඇඟිල්ලක් පාසා ගිනිකඳ පවත්නේය, ඇඟිලිඅස්සක් ඇඟිලිඅස්සක් පාසා දියකඳ පවත්නේය, ඇඟිලිඅස්සක් ඇඟිලිඅස්සක් පාසා ගිනිකඳ පවත්නේය, ඇඟිල්ලක් පාසා දියකඳ පවත්නේය, රෝමයක් පාසා ගිනිකඳ පවත්නේය, රෝමකූපයක් පාසා දියකඳ පවත්නේය, රෝමකූපයක් පාසා ගිනිකඳ පවත්නේය, රෝමයක් පාසා දියකඳ පවත්නේය, බුදුරජාණන් වහන්සේ වැඩහුන්සේක් වී නම් නිර්මිතසර්වඥයන් වහන්සේ සක්මන්කරණ සේක් හෝය, වැඩසිටිනාසේක් හෝය, සැතපෙනසේක් හෝය, බුදුරජාණන්වහන්සේ සැතපෙනසේක් වීනම් නිර්මිතසර්වඥයන් වහන්සේ සක්මන්කරණසේක් හෝය, වැඩසිටිනාසේක් හෝ ය, වැඩහිඳිනාසේක් හෝ ය, ඒ භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ තෙජෝකසිණසමාපත්තියට සමවැදීමෙන් ඌර්ධ්වශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය. ආපොකසිණසමාපත්තියට සමවැදීමෙන් අධඃශරීරයෙන් දියකඳෙක් පවත්නේය. නැවත තේජෝකසිණසමාපත්තියට සමවැදීමෙන් අධඃශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය. ආපොකසිණසමාපත්තියට සමවැදීමෙන් ඌර්ධ්වශරීරයෙන් දියකඳෙක් පවත්නේය. මෙහි වූ කලි දියකඳ ගිනිකඳ හා මිශ්‍ර නොවන්නේය. ගිනිකඳ දියකඳ හා මිශ්‍ර නොවන්නේය. ෂට්වර්ණසනබුද්ධරස්මීන් අතුරෙන් දෙවැනි දෙවැනි වූ රස්මිය පළමු පළමු වූ රස්මියට යුවල යුවල වූවාක් මෙන් එකක්‍ෂණයෙහි පවත්නේය. දෙසිතක් එකවිට උපදනේ නැත, එතකුදු වුවත් සර්වඥවරයන් වහන්සේගේ භවාඞ්ගපරිවර්තනය ලඝු බැවින් හා පස් ආකාරයකින් පුරුදුව කරණලද්දාවූ සිත් ඇති බැවින් සවණක්රැස් එකක්‍ෂණයෙහි ම පවත්නේය. ඒ ඒ රස්මි පිණිස ආවර්ජනාදිය පරිකර්මය අධිෂ්ඨානය යන මේ සියල්ල වෙන වෙන ම වන්නේය. ඒ එසේ මැයි. භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ නීලරස්මි සඳහා නීලකසිණසමාපත්තියට සමවදනාසේක. රන්වන්රස් සඳහා පීතකසිණසමාපත්තියට සමවදනා සේක. රත්වූරස් විහිදුවනු සඳහා ලොහිතකසිණසමාපත්තියට සමවදනාසේක. සුදුරස් විහිදුවනු සඳහා ඔදාතකසිණසමාපත්තියට සමවදනා සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ යමකප්‍රාතිහාර්ය කරණකල්හි සියලු දසදහසක් සක්වළ නොයෙක් සැරහීමෙන් සරහන්නාක් මෙන් වූයේය.

ඉක්බිත්තෙන් සර්වඥයන්වහන්සේ යමකප්‍රාතිහාර්ය කරණ සේක් මහජනයාගේ සිත්හසර බලා ඔවුන්ගේ අදහසට සුදුසු වූ ධර්මකථාවක් සක්මන් කරමින් සිට වදාරනු කැමැති ව දස දහසක් සක්වළ දසදහසක් රුවන්මෙර පිළිවෙලින් සිට රුවන් ටැම් මෙන් කොට මෙරමුදුනෙහි දසදහසක් සක්වළ පැතිර සිටියා වූ එක් කෙළවරකින් නැගෙනහිරි සක්වළමෝවිට ඉක්ම සිටියා වූ කෙළවර ඇති, එක් කෙළවරකින් බස්නාහිරි සක්වළ මෝවිව ඉක්ම සිටියා වූ කෙළවර ඇති, සත්රුවන්මය වූ පැහැසරවත් වූ සක්මනක් මවා එහි සක්මන් කරණසේක්, අෂ්ටාඞ්ගයෙන් සමුපෙත වූ කණ්ණශ්‍රවණිය වූ සිත්කලු වූ බ්‍රහ්මස්වර විහිදුවා නොයෙක් නයින් විසිතුරු වූ චතුස්සත්‍යයෙන් යුක්ත වූ අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය ප්‍රකාශ කරන්නා වූ අතිමධුර වූ ධර්මදේශනාව කරණසේක්, දිව්‍යමනුෂ්‍යයන්ගේ නෙත්‍රයට රසාඤ්ජනයක් බඳු වූ යමකප්‍රාතිහාර්ය කොට වදාරණ සේක.

එසඳ භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ ඒ රුවන්සක්මන සක්මන්කරන සේක්, ඒ සක්මන දෙකෙළවරට පැමිණම නවත්නාසේක. අතුරෙහි කෙළවරට නොපැමිණ නොනවත්නාසේක. යම්සේ සතරරියන් පමණ සක්මනෙකැ සක්මන්කරණසේක් සක්මන දෙකෙළවරට පැමිණ ම වහා කරකැවේ ද, එපරිද්දෙන් ම සර්වඥයන් වහන්සේත් දසදහසක් යොදුනෙහි පැතිරසිටි රුවන් සක්මනැ දෙකෙළවරට පැමිණ මුත් අතුරෙහි සිට කරකැවී නොවඩනා සේක.

කිමෙක්ද? ඒ සර්වඥයන් වහන්සේ දසදහසක් සක්වළ පමණ දිග ඇති සක්මන හ්‍රස්ව කොට පූසේක් ද? නොහොත්, ඒ සක්මන දිග පළල නිසා මහත් වූ ආත්මභාවයක් මැවූසේක් ද? යත්: එසේ එදෙක ම නොකළසේක. ඒ සර්වඥයන් වහන්සේගේ බුද්ධ මහිමය නොසිතිය හැක්කේය. අකනිෂ්ටබ්‍රහ්මලෝකයෙහි පටන් අවීචිය දක්වා එකාඞ්ගණ විය. සරසින් දසදහසක් සක්වළ එක් එලිවිය. දෙවියෝ මනුෂ්‍යයන් දකිති, මනුෂ්‍යයෝ දෙවියන් දකිති. යම්සේ සියලු දිව්‍යමනුෂ්‍යයෝ ස්වභාවයෙන් අභිමුඛයෙහි සිට සමීපයේ සක්මන් කරන්නා දකිත් ද? එපරිද්දෙන්ම භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ මෙරමුදුනෙහි පිහිටි රුවන්සක්මන සක්මන්කරන්නා දුටහ. ඒ භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ විසින් කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ ඉතා සිත්කලු වූ දැකුම් ඇති රුවන්සක්මන සක්මන් කෙරෙමින් සිට මේ අනාගතවංශය වදාරණ ලද්දේය.

මෙපමණෙකින් කොතැන්හි දී දෙසන ලද්දේ ද? යන මේ ප්‍රශ්නය සර්වාකාරයෙන් විසර්ජනය කරන ලද්දේය.

තෙවන ප්‍රශ්නය

කවරකලෙක දෙසනලද්දේ ද? යත්:-

පස්විස්සක්පමණ සර්වඥයන් වහන්සේගේ වංශයෙන් සැරහුනා වූ නොයෙක් නයින් විසිතුරු වූ බුද්ධවංශදේශනාවසානයෙහි දෙසන ලද්දේය.

සිව්වන ප්‍රශ්නය

කුමක් පිණිස දෙසන ලද්දේ ද? යත්:-

කාමෝඝය, භවෝඝය, දෘෂ්ට්‍යොඝය, අවිජ්ජෝඝය යන චතුර්විධ වූ ඕඝයෙන් නිස්තරණය කරණුපිණිස දෙසන ලද්දේය.

පස්වන ප්‍රශ්නය

කවරකෙනකුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසන ලද්දේ ද? යත්:-

ධම්සෙනෙවිසැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසනලද්දේය. හේ කෙසේ ද? යත්:-

ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි වසනසේක් භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ කිඹුල්වත් නුවර ආකාශයෙහි රුවන්සක්මනක් මවා එහි සක්මන් කරන්නා දුටුසේක. ඒ බුදුහු කෙබඳු වූ ශ්‍රීසමෘද්ධියෙන් යුක්ත වූ සේක් ද? යත්:- දෙතිස්මහා පුරුෂලක්‍ෂණයෙන් හා අසූඅනුව්‍යඤ්ජනයෙන් බබළන්නා වූ උතුම් වූ ශ්‍රීශරීර ඇති සේක. ශරත්කාලයෙහි සම්පූර්ණ වූ චන්‍ද්‍ර මණ්ඩලය වැනි සේක. අග සිට මුල දක්වා පිපී වැනී ගිය මල් ඇති යොදුන්සියක් උස ඇති පරසතුමදාරා රුක වැනි සේක. අටළොස් රියන් බුද්ධරූපය වටා සිටියා වූ බ්‍යාමප්‍රභාමණ්ඩලයෙන් සශ්‍රීක සේක. ගමන්ගත් උතුම් වූ රුවන්මෙරක් වැනි සේක. සුපිපි පියුමෙන් ගැවැසී ගත්තා වූ පියුම්විලක් වැනි සේක. නොයෙක් රත්නයෙන් විසිතුරු වූ උතුම් රුවන්තොරණක් වැනි සේක. තාරකාරස්මීන් ගැවැසී ගත්තා වූ ආකාශතලයක් වැනි සේක. ඈත මෑත දිවන්නා වූ පනන්නා වූ ෂට්වර්ණ වූ ඝන බුද්ධරස්මිමාලාවන් විහිදුවන සේක. නිරුත්තර වූ බුද්ධශ්‍රීන් හා උපමාවිෂයාතික්‍රාන්ත වූ බුද්ධවිලාශයෙන් බබළන සේක. මෙබඳු වූ බුද්ධශ්‍රීන් විරාජමාන ව සක්මන් කරන්නා වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක මේ සියලු දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මාදීහු රැස්වූහ. මෙ තැන්හි වූකලි මහත්වූ ධර්මදේශනාවක් විය යුතුය. බුද්ධවංශ දේශනාව වූකලි බොහෝසත්ත්‍වයන්ට උපකාරීය. ප්‍රසාදවහය. එසේ හෙයින් මම දශබලධාරී වූ සර්වඥයන් වහන්සේගේ මූලප්‍රණිධානයෙහි පටන් බුද්ධවංශදේශනාව විචාළෙම් වී නම්, යහපත් වන්නේය යි සිතා තමන්වහන්සේගේ පරිවාරභික්‍ෂූන් පන්සියක් දෙනා වහන්සේ හා සමග ආකාශයෙන් ගොස් සර්වඥයන් වහන්සේ සමීපයට එළඹැ නමස්කාර කොට දොහොත් මුදුනෙහි පිහිටුවා සිට මහත් වූ වීර්යය ඇති නරොත්තම වූ සර්වඥයන් වහන්ස! නුඹවහන්සේගේ ප්‍රථමප්‍රණිධානය කෙබඳු ද? කවරකලෙක නුඹවහන්සේ විසින් මේ උතුම් වූ බුදුබව ප්‍රාර්ථනා කරන ලද්දේ දැයි විචාළ සේක. එසඳ අසාධාරණඥාන ඇති සංසාරදුක්ඛාදි වූ සියලුදුක්ඛයන් ප්‍රහීණ කළා වූ භාවනායෙන් වඩනා ලද සිත් ඇති, මිහිරි වූ කටහඬ ඇති, මහර්ෂි වූ ධර්මරාජන් වූ සර්වඥයන් වහන්සේ මේ කල්පයට සාරාසඞ්ඛ්‍යකප්ලක්‍ෂයකින් මත්තෙහි දර්ශනීය වූ මනොඥ වූ අමර නම් පුරෙක් වූයේ ය. යනාදීන් බුද්ධවංශදේශනාව නිමවා, කෙළවර මේ භද්‍රකල්පයෙහි කකුසඳය - කෝණාගමනය - කාශ්‍යපය යන සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහුය. මම දැන් සතරවැනි ව ගෞතම නම් බුදු වීමි. මතු මෛත්‍රෙය නම් සර්වඥකෙනෙක් ලෝකයෙහි පහළවෙති. අෂ්ටලෝකධර්මයෙන් අකම්ප්‍ය වූ සියලු ලෝකවාසී වූ සත්ත්වයන් කෙරෙහි පතළා වූ කරුණා ඇති, මේ සර්වඥවරයෝ පස්දෙන ම මේ කල්පයෙහි ම පහළවන්නාහයි, අනාගතවංශදේශනාවට අවසර තබා බුද්ධවංශදේශනාව නිමවා වදාළ සේක.

අනාගතවංශ දේශනාව

සම්බුද්ධශ්‍රීය හා ආරාධනය

ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ ධම්සෙනෙවිසැරියුත් මහතෙරුන් වහන්සේ දිව්‍යමනුෂ්‍යයන්ගේ අදහස් දැන අනාගතයෙහි පහළවන්නා වූ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේගේත් වංශය අසනු කැමැති ව සර්වඥයන් වහන්සේ කරා එළඹ නමස්කාර කොට සිවුරු ඒකාංශ කොට බහා දොහොත් මුදුනෙහි බැඳ සිට, ස්වාමීනි! නුඹ වහන්සේ විසින් අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදුකෙනෙකුන් වහන්සේ උපදිති යි, සංක්‍ෂෙපයෙන් වදාරණලද. ඒ මෛත්‍රෙය නම් බුදුහු කෙබඳු සේක් ද? ස්වාමීනි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස! මා කෙරෙහි කරුණාවෙන් විස්තර කොට ඒ අනාගතවංශදේශනාව වදාළ හොත් යහපත් වන්නේය යි, ආරාධනා කළ සේක.

සැරියුත් මහතෙර මහිමය

ඒ සැරියුත්මහතෙරුන් වහන්සේ කෙබඳු සේක් ද? යත්:- මනුෂ්‍ය රූපය ඉක්ම දිව්‍යරූපයට නොපැමිණියා වූ රූපසාරයද සියලුලෝකවාසී වූ සත්ත්වයන් විසින් පිදියයුතු වූ බ්‍රාහ්මණමහාසාරකුලය යි කියනලද කුලසාරය ද, ප්‍රමාණාතික්‍රාන්ත වූ සම්පත්තිසාරය ද, භූවනත්‍රයෙහි පතළ වූ චන්‍ද්‍රාලොකයක් හා සමාන සශ්‍රීක වූ යසසාරය ද, කුලස්ත්‍රීන්ට ආභරණයක් හා සමාන වූ ආචාරගුණසාරය ද, මාර්ගඵල උපදවන්ට සමර්ථ වූ කුශලසම්භාරසාරය ද, මොවුන්ට ඇත්නුයි කියා ශාරීයයි තෙරුන්වහන්සේගේ මෑණියන් බැමිණිදෙවින්ට නමක. උන්ගේ ඖරසපුත්‍රහෙයින් ශාරීපුත්‍ර නම්වන සේක. මහත් වූ සතිපට්ඨාන-සම්‍යක්ප්‍රධාන-සෘද්ධිපාද-ඉන්‍ද්‍රිය-බල-බොජ්ඣඞ්ගාදි වූ ධර්මයන් පිළිගන්ට සමර්ථ මහත් වූ ප්‍රඥා ඇති බැවින් හා ලොකස්වාමී වූ සර්වඥයන් වහන්සේ හැර ප්‍රඥාවෙන් තමන්වහන්සේ හා සමකෙනෙකුන් ලෝකයෙහි නැති බැවින් ද, පඤ්චමහාගඞ්ගායෙහි වැලි හා සමුද්‍රයෙහි ජලය හා පෘථිවියෙහි පාංශුව මුන් වහන්සේගේ නුවණට ලක්තබත් ගොත් වැලි ආදිය මද, නුවණම බොහෝ වන බැවින් නොගෙවෙන්නා වූ ප්‍රඥා ඇති බැවින් ද, කපක් මුළුල්ලේ වැසිවටකල්හි ජලථලවනපර්වතාදී වූ හැමතැන්හි වගුළ දියබින්‍දු මෙතෙකැ යි පිරිසිඳ කියන්නට සමර්ථ වූ ප්‍රඥා ඇති බැවින් මහත් වූ ප්‍රඥා ඇති සේක. සමචිත්තපරියායසූත්‍රදේශනාවෙන් කෙළලක්‍ෂයක් දිව්‍යමනුෂ්‍යයන් අර්හත්ඵලයට පැමිණ වූ සේක. සෝවාන්-සෙදගැමි-අනගැමිය යන තුන්මඟ තුන්ඵලයට පැමිණියා වූ සත්ත්‍වයන් සඞ්ඛ්‍යාවෙක් නැත්තේය. මෙපමණ වූ සත්ත්‍වයන් විනයනය කරන හෙයින් විනායක නම්වන සේක. චක්‍රවර්ති රජ්ජුරුකෙනෙකුන්ගේ චක්‍රරත්නය පවත්වන්නා වූ ප්‍රධාන පුත්‍රරත්නයක් මෙන් බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මචක්‍රය අනුව පවත්වා ධර්මයට සෙනෙවිරත් තනතුරෙහි සිටි බැවින් ධර්මසේනාපති නම් වන සේක. මෙබඳු වූ ගුණගණාඞ්ගයෙන් සමන්විත වූ ඒ ධම්සෙනෙවිසැරියුත් මහ තෙරුන් වහන්සේ යොදනක් පමණ දිග ඇති රැහැණක් සුවාසූ දහසක් යොදුන් පමණ ඇති, ගම්භිර සාගරපත්ලට පැමිණ යා නොහෙන්නා සේ කාලත්‍රයවර්තී වූ සියලුධර්මයන් දැනගන්ට සමර්ථ වූ සර්වඥතාඥානය නොලත් බැවින් ප්‍රාදේශික ඥානයට විෂය වූ සිත සර්වඥතාඥානයට විෂය කොට පවත්වනට අසමර්ථ බැවින් ඒ මෛත්‍රෙය බුදුහු නම් කෙබඳුසේක් දැ යි, තමන්වහන්සේගේ සිතට උපන් සැකය මසැස-දිවැස-පැනඇස-බුදුඇස-සමතැස යන පසැස් ඇති, සර්වඥයන් වහන්සේ අතින් විචාරා වදාළසේක. මෙසේ ඒ ධම්සෙනෙවිසැරියුත් මහතෙරුන්වහන්සේ විසින් ආරාධනා කරන ලද්දා වූ සියලු ධර්මයෙහි අස්ඛලිත වැ පවත්නා වූ ඥානගති ඇති, සර්වඥරාජොත්තමයාණන් වහන්සේ රුවන්සක්මනෙහි සක්මන් කරමින් සිටම රත්ගල්තලාමුදුනෙහි සිංහනාද කරන්නා වූ අභීත කේශරසිංහරාජයක්හු පරිද්දෙන් ගර්ජනා කෙරෙමින් බ්‍රහ්මස්වර විහිදුවා ආකාශගඞ්ගාව ගෙන හැර පානා කලක් මෙන් අනාගතවංශදේශනාවට පටන්ගන්නාසේක්, ශාරිපුත්‍රස්ථවිරයෙනි! සර්වඥකෙනෙකුන් හැර අන්‍යසත්ත්‍වකෙනකුන් විසින් දේශනාකරන්ට නොපිළිවන් වූ මෛත්‍රෙයසර්වඥයන්ගේ මහත් වූ කුශලරාශිය සර්වප්‍රකාරයෙන් කියන්ට නොපිළිවන. එතකුදු වුවත් එකදෙශයකින් කියමි යි දුක්වන්නාවූ බුදුරජාණන්වහන්සේ,

“අනප්පකං පුඤ්ඤරාසිං - අජිතස්සමහායසං,

නසක්කා සබ්බසො වත්තුං - විත්‍ථාරෙණෙව කස්සචි

එකදෙසෙනවක්ඛාමි - සාරිපුත්තසුණොහිමෙ.”

මෙසේ වදාළසේක. යම්සේ දිවසින් සියලු මහාසමුද්‍රය දැක සිටියා වූ කෙනකුන්ට තමන් විසින් දක්නාලද සියලු මහාසමුද්‍රය දිවස්නැතිකෙනකුන්ට සර්වප්‍රකාරයෙන් දක්වන්ට නොපිළිවන් ද, එක්ප්‍රදේශයකින් බස්වා මේ සමුද්‍රය බලව යි කියා එකප්‍රදේශයක් ම දක්වන්ට පිළිවන් ද එපරිද්දෙන් ම සර්වඥතාඥානයෙන් සියලු බුද්ධානුභාවය ප්‍රතිවෙධ කොට සිටියා වූ තමන්වහන්සේ විසින් ප්‍රතිවේධ කරන ලද මෛත්‍රෙයසර්වඥයන් කුශලසමෘද්ධිය හා මහානුභාවසම්පන්න යසස්සමෘද්ධිය සර්වඥනොවන්නා වූ තොපට සර්වප්‍රකාරයෙන් දක්වන්නට නොපිළිවන. සංස්කාර-විකාර-ලක්‍ෂණ-නිර්වාණ-ප්‍රඥප්තිය යන පඤ්චවිධඥෙයමණ්ඩලය හස්තාමලකඥානයෙන් දත්තා වූ සර්වඥකෙනකුන් විසිනු දු ඒ මහත් වූ කුශලරාශිය ඥානගතිය ශීඝ්‍රබැවින් දැනගන්ට පිළිවන. වාග්ගතිය මඳබැවින් කියන්නට නොපිළිවන. එසේ හෙයින් එකදේශයකින් කියමි. තමන්වහන්සේ විසින් ප්‍රතිඥාකරන ලද අනාගතවංශය එකදේශයකින් දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ,

“ඉමම්හි භද්දකෙ කප්පෙ - අසඤ්ජාතෙ වස්සකොටියෙ,

මෙත්තෙය්‍යොනාමනාමෙන - සම්බුද්ධොදිපදුත්තමො” යි.

මෙසේ වදාළ සේක.

කල්ප විභාගය

යම් කල්පයෙක්හි සර්වඥවරයෝ පස්දෙනෙක් උපන්නාහු වී නම් ඒ කල්පය අවශේෂ කල්පයන්ට උතුම් වන බැවින් භද්‍රකල්ප නම් වෙයි. එකමකල්පයක සවැනි වූ හෝ, සත් වැනි වූ හෝ, සර්වඥකෙනකුන් වහන්සේ නූපදනා සේක. යටත් පිරිසෙයින් එක්කෙනකුන් වහන්සේ උපදනා සේක. මධ්‍යමවශයෙන් දෙදෙනකුන් වහන්සේ හෝ, තුන්දෙනකුන් වහන්සේ හෝ, සතරදෙනකුන්වහන්සේ උපදනා සේක. උඩත්පිරිසෙයින් බුදුහු පස්දෙනකුන් වහන්සේ එක ම කල්පයක උපදනා සේක. එයින් මත්තේ නූපදනාහෙයින් මේ කල්පය භද්‍රකල්ප නම් විය. මෙහි මහාකල්පය. අසඞ්ඛ්‍ය කල්පය, අන්තඃකල්පය යි කල්පය ත්‍රිවිධ වන්නේය. එහි ගින්නෙන් ලොව නස්නාකල්හි පළමුකොට ම කල්පවිනාශය කරන්නා වූ විපත්තිකර මහා මේඝයෙක් නඟා කෙළලක්‍ෂයක් සක්වළ මහත් වූ ඝනවර්ෂාව වස්නේය. ඒ දැක තුටු පහටු වූ සිත් ඇති මනුෂ්‍යයන් විසින් තමන් වහන්සේ සියලු බිජුවට ගෙන් පිටත් කොට කුඹුරු ආදියෙහි වපුළකල්හි ක්‍රමයෙන් වැඩී ගොයම් සරක් තොලුගානා පමණ වූ කල්හි ගද්‍රභරවය කෙරෙමින් ගර්ජනා කොට එක්පොදබින්‍දුවකුත් බිම නො හෙලන්නේය. එතැන් පටන් සිටුවාපු වැසි සම්පත්තිකර මහා මේඝය දක්වා අතුරෙහි එකදවසකුත් නොවන්නේය. ඉක්බිත්තෙන් සංසාරවෘත්තයෙහි අන්තර්ගත වූ සියලු සත්ත්‍වයන් අතුරෙන් හේතුසම්පන්න වූ සමහර කෙනෙක් ධ්‍යාන උපදවා බ්‍රහ්ම ලෝකයෙහි උපදනාහ. සමහරකෙනෙක් අපරාපර්යවෙද්‍යකර්මයෙන් දිව්‍ය ලෝකයෙහි ඉපැද එහි සිට ධ්‍යන උපදවා බ්‍රහ්ම ලෝකයෙහි උපදනාහ. ලෝකයෙහි අපරාපර්යවෙද්‍යකර්මයෙන් මිදුනු එක ද සත්ත්‍වයෙක් නම් නැත්තේය. වැසි සිටුවූ තැනින් මත්තෙහි බොහෝ කලක් ගියකල්හි දෙවැනි සූර්යයෙක් පහළව ආකාශය දුම්වලා නැති කොට දර්පණතලයක් මෙන් නිර්මල කොට පඤ්චමහාගඞ්ගාව තබා අවශේෂ වූ කුඩා මහත් ගංගා, වැව්, පොකුණු, හෙප්, වළවල් ආදියෙහි පැන් වියලෙන්නේය. තුන්වැනි සූර්යයා පහළ ව ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පඤ්චමහාගඞ්ගාවන් වියළන්නේය. සතරවැනි සූර්යයා පහළ ව අනවතප්තය, ඡද්දන්තය, කුණාලය, කර්ණමුණ්ඩය, රථකාරය, සිංහපතාපය, මන්‍දාකිනීය යන මහවිල්සත වියළෙන්නේ ය. පස්වැනි සූර්යයා පහළ ව මහාසමුද්‍රය වියළෙන්නේය. සවැනි සූර්යයා පහළ ව සියලු සක්වල එකධුම කරවන්නේය. සත්වැනි සූර්යයා පහළව පෘථිවියෙහි එකජ්වාලා ඇවිළ මහපොළොව, මහමෙර, සප්තකූලපර්වත. හිමවත් පර්වතාදීන් දවා චාතුම්මහාරාජිකාදී වූ සදිව්‍යලෝකයෙහි රන්රිදී මැණික්මය වූ විමන් දවන්නේය. එයින් නැඟී බ්‍රහ්මලෝක පසක් දවා ආභස්සර බ්‍රහ්මලෝකය පැහැර සිටිනේය. යම්සේ මේසක්වළ නසී ද, එපරිද්දෙන් ම කෙළලක්‍ෂයක් සක්වළ සූර්යමණ්ඩල සතක් සතක් පහළවීමෙන් නස්නේයි. ඉක්බිත්තෙන් සියලු සංස්කාර ලෝකය දවා ගිනි නිවී ගියකල්හි යට අජටාකාශය හා මත්තෙහි ආකාශය එක් වැ එකාන්‍ධකාර වන්නේය. ඊට මෑත බොහෝ කලක් ගියකල්හි සම්පත්තිකර මහාමේඝය නඟා නහඹතල්කඳ සා ජලධාරා වස්මින් කෙළලක්‍ෂයක් සක්වළ සියලු දාගිය තැන් පුරා අන්තර්ධාන වන්නේය. ඉක්බිත්තෙන් බ්‍රහ්මලෝකය - දිව්‍යලෝකය - මහපොළොවය - මහමෙරය - චක්‍රවාටපර්වතය - හිමාලයපර්වතය - සමුද්‍රය - පඤ්චමහාගඞ්ගාවය - සදත්දහතළාය - චන්‍ද්‍ර සූර්යය - නක්‍ෂත්‍රතාරකාවෝය යන මේ සියල්ල පහළවන්නේය. මෙසෙයින් සියලු ලොව පළමු පරිද්දෙන් ම ප්‍රකෘතිමත් වන්නේය. එහි විපත්තිකර මහාමේඝයෙහි පටන් ජ්වාලෝපච්ඡේදය දක්වා මේ අසඞ්ඛ්‍යකල්පය සංවර්ත නම් වෙයි. ජ්වාලොපච්ඡේදයෙහි පටන් සම්පත්තිකර මහාමේඝය පහළවනතැන් දක්වා මේ අසඞ්ඛ්‍යකල්පය සංවර්තස්ථායී නම් වෙයි. කෙළලක්‍ෂයක් සක්වළ දිය පුරන්නා වූ සම්පත්තිකර මහා මේඝය පහළ වූ තැන් පටන් චන්‍ද්‍රසූර්යයන්ගේ පහළවීම දක්වා මේ අසඞ්ඛ්‍යකල්පය විවර්භ නම් වෙයි. චන්‍ද්‍රසූර්යයන්ගේ පහළවීමෙහි පටන් නැවත කල්ප විනාශය කරන්නා වූ විපත්තිකර මහාමේඝය දක්වා මේ අසඞ්ඛ්‍ය කල්පය විවර්තස්ථායී නම් වෙයි.

එයින් වදාළහ බුදුහු:-

“චත්තාරිමානි භික්ඛවෙ කප්පස්ස අසඞ්ඛෙය්‍යානි. කතමානි චත්තාරි? සංවට්ටො සංවට්ටට්ඨායී විවට්ටො විවට්ටට්ඨායී” යි.

එහි සංවර්ත නම් කපනැසීමය. සංවර්තස්ථායී නම් නැසී සිටීමය. විවර්ත නම් කප අටගැන්මය. විවර්තස්ථායී නම් අටගෙණ සිටීමය.

මෙසේ මෙබඳු සතර අසඞ්ඛ්‍යකල්පයකින් පිරිහුන්නා වූ කල්පය මහාකල්ප නම් වෙයි. ඒ මහා කල්පයෙහි සතරකොට්ඨාසය සතර අසඞ්ඛ්‍යකල්ප නම් වෙයි. එයින් “විවර්තස්ථායි” ය යි කියන ලද සතරවැනි භාගයෙහි ම සම්‍යක්සම්බුද්ධවරයන් වහන්සේ උපදනාසේක. අවශේෂ වූ තුන්භාගයෙහි නූපදනාසේක. අන්තඃකල්පයත් මෙහි ම සම්භව වන්නේය. මෙසේ මෙබඳු වූ ත්‍රිවිධ කල්පයන් අතුරෙන් “විවර්තස්ථායී” යයි කියන ලද අසඞ්ඛ්‍යකල්පයෙහි නොඑක් කෙළගණන් අවුරුදු මතුමත්තෙහි ඉපැද ඉකුත් වූ කල්ප ද්විපදොත්තම වූ මෛත්‍රෙය නම් සර්වඥකෙනෙක් ලෝකයෙහි පහළවෙතී, වදාළ සේක. චක්‍රවර්ති රජ්ජුරුවෝය, සතර වරම් මහරජදරුවෝය - ශක්‍ර - සුයාම - සන්තුෂිතාදි වූ දෙවියෝ ය - බ්‍රහ්මයෝය - යන මේ දිව්‍යබ්‍රහ්මාදි වූ දෙපා ඇති සත්ත්‍වයන්ට උතුම්වන්නාහ. ඒ බ්‍රහ්මාදි වූ දෙවියන්ටත් වඩා උතුම්වන බැවින් සර්වඥයන් වහන්සේ ද්වීපදොත්තම වනසේක.

කුශල සමෘද්ධිය

දැන් වූකලි ද්විපදොත්තම වූ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේගේ කුශලසමෘද්ධි ආදිය දක්වන්නාවූ තිලොගුරු බුදුරජාණන් වහන්සේ:-

“මහාපුඤ්ඤො මහාපඤ්ඤො - මහාඤාණී මහායසො,

මහබ්බලො මහාථාමො උප්පජ්ජිස්සති චක්ඛුමා,

මහාගතී සතී චෙ’ව ධිතිමා බාහුසච්චවා,

සඞ්ඛාතා සබ්බධම්මානං ඤාතො දිට්ඨො සුපස්සිතො

පරියොගාළ්හො පරාමට්ඨො උප්පජ්ජිස්සති සො ජිනො” යි.

මෙසේ වදාළ සේක.

තවද ශාරිපුත්‍රස්ථවිරයෙනි! ඒ මෛත්‍රෙය බුදුහු තමන් විසින් කරනලද දානශීලාදී වූ කුශලයට සියලුලොකවාසී සත්ත්‍වයන්ගේ කුශලය ලක්තබන්ටත් නොසෑහෙන හෙයින් මහත්වූ අපමණ වූ කුසල් ඇත්තාහ. මහත්වූ සංස්කාර-විකාර-ලක්‍ෂණ-නිර්වාණ-ප්‍රඥප්තිය යි කියන ලද පඤ්චවිධඥෙයමණ්ඩලය විෂය කොට පවත්නා වූ මහත් වූ ප්‍රඥාව ඇත්තාහ. අනන්‍යසාධාරණ වූ ෂට් අසාධාරණඥානාදි මහත් වූ ඥාන ඇත්තාහ. දිව්‍යබ්‍රහ්මාදි සියලු සත්ත්‍වයන් පිරිවර කොට ඇති හෙයින් මහත් වූ යසපිරිවර ඇත්තාහ. කායබලදසයක් හා ඥානබලදසයක් ඇති හෙයින් මහත් වූ බල ඇත්තාහ. මහත් වූ චතුර්විධ සම්‍යක්ප්‍රධානවීර්යසඞ්ඛ්‍යාත චෛතසිකවීර්ය ඇතිහෙයින් මහත් වූ ශක්ති ඇත්තාහ. මහමෙර වුවත් විනිවිද පවත්නා වජ්‍රායුධයක් මෙන් අතීතානාගත වර්තමාන සඞ්ඛ්‍යාත කාලත්‍රයවර්ති සියලු ධර්මයන් කෙරෙහි අස්ඛලිත ව පවත්නා අනාවරණඥානසඞ්ඛ්‍යාත මහත් වූ ඥානගති ඇත්තාහ. වෘක්‍ෂාදීන්ට පෘථිවිය මෙන් සියලු සත්ත්‍වයන්ට පරම ප්‍රතිෂ්ඨාවන්නාහ. විදුරුපොළොව මනාකොට කැණ හිඳුවන ලද ඉන්‍ද්‍රඛීලයක් මෙන් ප්‍රාමාණාතික්‍රාන්ත වූ විෂයයෙහි නිශ්චල ව පිහිටවන්නා වූ සර්වඥතාඥානය හා එක් වැ උපන්නා වූ නොඉල්පෙන්නා වූ ස්වභාවය ඇති මහත්වූ ස්මෘතිශක්ති ඇත්තාහ.

දෘඪ වූ වීර්යපාරමිතාවට කාරණව උපන්නා වූ උත්සාහය ස්වභාව කොට ඇති ඥානසම්ප්‍රයුක්ත උත්තම වූ වීර්යයෙන් සමන්විත බැවින් මහත් වූ ධෛර්ය ඇත්තාහ. දුඃඛය-සමුදය-නිරෝධය-මාර්ගය යි කියන ලද චතුරාර්ය සත්‍යය - වාක්සත්‍යය - පරමාර්ථසත්‍යය යනාදි වූ බහුප්‍රකාරසත්‍යය ප්‍රතිවේධ කොට සිටි බැවින් බහුවිධසත්‍යයන් ඇත්තාහ. අතීත-අනාගත-වර්තමාන සියලු ධර්මයන් ප්‍රඥායෙන් පිරිසිඳ සිටි හෙයින් එම ධර්මයන් අතීතාංශඥානයෙන් මනාකොට ස්පර්ශ කරන්නාහ. මෙම කාලත්‍රය වර්තතිවූ ඥානයෙන් සියලු ධර්ම නමැති සාගරයෙහි පත්ලට බටහ. හස්තයෙන් පිරිමදනා රූපයක් මෙන් ඥාන නමැති හස්තයෙන් සියලු ධර්මයන් සර්වාකාරයෙන් පිරිමදනාහ. මෙබඳු වූ කුශලාදි ගුණසමෘද්ධියෙන් යුක්ත වූ ඒ මෛත්‍රෙය සර්වඥයෝ තමන්ගේ ආනුභාව සමෘද්ධියෙන් දෙවිමිනිසුන් සහිත වූ ලොව පැතිරෙමින් අනාගතයෙහි උපදනෝ වේදැයි වදාළ සේක.

නියත විවරණ ලැබීම

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ කවර සර්වඥකෙනකුන් වහන්සේ සමීපයෙන් විවරණ ලැබ කෙතෙක් කල් පාරමී ධර්මයන් පුරා ආ සේක්ද? අනාගතයෙහි උපදනා සේක්ද? යත්: ඒ මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ වූකලි පූර්වභාගයෙහි ජාති-ජරා-ව්‍යාධි සංඛ්‍යාත අනෙකාදීනවයෙන් සමාකීර්ණ වූ අනවරාග්‍රසංසාරයෙහි ඇවිදිනාසේක් බුද්ධාදි කල්‍යාණමිත්‍රයන් සේවනය, භජනය, පයුරුපාසනය කෙරෙමින් අනෙක ජාති කොටිශතසහස්‍රයක් මුළුල්ලෙහි පතිරූපදෙසවාස-සත්පුරුෂසෙවන-සද්ධම්මශ්‍රවණ-යොනිසොමනසිකාර-ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යි කියනලද මේ චතුශ්චක්‍රසම්පත්තිය පුරා මේ කල්පයෙන් යට ෂොඩෂාසඞ්ඛ්‍යකප්ලක්‍ෂයකින් මත්තෙහි උතුම් වූ ජම්බුද්වීපයෙහි ප්‍රභාවන්ත නම් චක්‍රවර්තිරජව ඉපද දෙදහසක් ක්‍ෂුද්‍රද්වීය පිරිවරකොට ඇති සතරමහාද්වීපයෙහි සත්ත්‍වයන් පඤ්චශීලයෙහි පිහිටුවා ප්‍රජාපරිපාලනය කෙරෙමින් වසන්නාහ. එකල ලෝකයෙහි මුහුර්ත නම් සර්වඥකෙනකුන් වහන්සේ ඉපද ධම්සක්පවතුන් සූත්‍රදේශනාව කොට නොයෙක් කෙළලක්‍ෂගණන් ආර්යසමූහයා විසින් පරිවරණලදුව සත්ත්‍වවිනයනය කරණසේක.

එකල ප්‍රභාවන්ත නම් චක්‍රවර්තිරජ්ජුරුවෝ බුදුහු ලෝකයෙහි පහළවූසේක, යනු අසා සතිස්යොදනෙක පැතිර සිටියාවූ පර්ෂදින් පිරිවරනලදුව බුදුරජාණන්වහන්සේ කරා එළඹ සත්රුවනින් පූජාකොට වැඳ පර්ෂත් හා සමග එකත්පස්ව හුන්නාහු ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව චක්‍රවර්තිසම්පත්තිය හැර මුහූති නම් සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණව රත්නස්ථවිරයන් වහන්සේය යි මෙනමින් ආකාශතලයෙහි පූර්ණ චන්ද්‍රමණ්ඩලය මෙන් ප්‍රසිද්ධව ශීල-සමාධි-ප්‍රඥා ගුණයෙන් යුක්තව පඤ්චාභිඥා-අෂ්ටසමාපත්ති-උපදවා සංසාරය හරණාකැමැතිසේකුත් සත්ත්‍වලෝකය බලා අක්මුල් දැකගත නොහැකි දිරාගිය අවුල්හූකැටියක් වැනිවූ, ගුළ නම් පක්‍ෂීන්ගේ අවුල්කදල්ලක් වැනිවූ, දිරාගිය අවුල් මුදුතණ බබුස්තණ කැටියක් වැනිවූ, දෙසැටදෘෂ්ටිගෙණ සසර නො ඉක්ම චුතියෙන් ප්‍රතිසන්‍ධියය ප්‍රතිසන්‍ධියෙන් චුතියය යන නැවත නැවත චුතිප්‍රතිසන්‍ධි වශයෙන් ප්‍රතිසන්‍ධිග්‍රහණය කොට ජාති-ජරා ආදිවූ අනෙකප්‍රකාර දුඃඛයෙන් මිදී සිඳී ත්‍රිවිධභවය-චතුර්විධයොනිය - පඤ්චගතිය - සප්ත විඥානස්ථිතිය- නවසත්ත්‍වාවාසය යන මෙහි ගොනලුවෙහි ලූ ගොන් මෙන් සිසාරා ඇවිදිනාවූ සත්ත්‍වසමූහයා දැක කරුණාවෙන් කම්පිතව සිත ඇතිව ඒ සංසාරදුඃඛයෙන් සත්ත්‍වයන් ගොඩනඟනු කැමැතිව සර්වඥතාඥානය ප්‍රාර්ථනාකොට දානශීලාදි පුණ්‍යසම්භාරයන් රැස්කෙරෙමින් මනුෂ්‍යාත්මභාවාදි අෂ්ටාඞ්ගයෙන් සමුපෙතව වීර්යාධිකප්‍රඥාවත් බෝධිසත්ත්‍ව විශේෂයෙන් දානාධ්‍යාශය ඇතිව දානයෙහි ඇලී ජීවිතයත් පරිත්‍යාගකොට දන්දීමෙහි බලවත්ව අවගත්තාවූ උත්සාහ ඇතිසේක. එකල ධර්මසභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ භික්‍ෂූන්වහන්සේට සිතිවිල්ලෙක් උපදනේ, මේදානාධ්‍යාශය ඇති මහණ අනාගතයෙහි දිව්‍යව උපදී දොහො, නොහොත් ශක්‍රව-මාරව-බ්‍රහ්මව-උපදී දොහො, නොහොත් බුදුවේ දොහොයි, යන මෙසේවූ සිතිවිල්ලෙක් උපන්නේයි. එසමයෙහි මුහුර්ත නම් සර්වඥයන් වහන්සේ මනාකොට සරහා පිළියෙල කරනලද ධම්සභාමණ්ඩපයෙහි මනාකොට පනවන ලද උතුම් බුද්ධාසනමස්තකයෙහි සහස්‍රරශ්මීන් සාහරකුක්‍ෂිය බබුළුවන්නා වූ තරුණසූර්යයා මෙන් සියලු ධම්සභාමණ්ඩපය රුවන්රසධාරාවෙන් පරිෂෙක කරන්නාක් මෙන් නීල-පීත-ලොහිතා’වදාත-මාඤ්ජිෂ්ඨ-ප්‍රභාස්වරය යි කියනලද ෂට්වර්ණ වූ ඝනබුද්ධරස්මිමාලාවෙන් බබුළුවමින් තාරකා සමූහයා විසින් පිරිවරනලද පූර්ණචන්ද්‍රමණ්ඩලය මෙන් භික්‍ෂුසමූහයා විසින් පිරිවරනලදුව වැඩහුන්සේක්, සුපිපිරත්පියුම් වනමධ්‍යයෙහි සඤ්චාරය කරන්නාවූ පස්වණක් පැහැයෙන් හෙබි භ්‍රමරයුගලයක් වැනිවූ පස් පෑ දිස්නා විසිතුරු ඇස්සඟළින් සියලු පර්ෂද බලා ඔවුන්ගේ අදහස් දැන සිවුදැගඳපිරූ රුවන්කරඬුවක් හරණාකලක් මෙන් පර්ෂත් සතුටුකරවමින් මුඛපද්මය විවෘතකොට අෂ්ටාඞ්ගයෙන් සමන්විත බ්‍රහ්මස්වර විහිදුවා මහණෙනි! රම් රත්න නම් මහණ බුදුබිජුවටෙක එතෙම මේඝපටලයෙන් සැඟවුනා වූ සූර්යමණ්ඩලය මෙන් ද, වලායෙන් වැසුනු පුන්සඳමඬල මෙන් ද, හලුවෙන් සැඟවී තුබූ ගිනි පුපුරක් මෙන් ද, පාංශුවෙන් සැඟවී තුබූ ජාතිරඞ්ගමාණික්‍යයක් මෙන් ද, භූමියෙන් සැඟවී තුබූ මහානිධානයක් මෙන් ද, භවයෙන් සැඟවුනේය. විකාශයට ආසන්න වූ උතුම් වූ පියුම්කැකුළක් මෙන් ද, යුගන්‍ධරපර්වතාසන්නවූ ළහිරුමඬලක් මෙන් ද, මහරළනැගීමට ආසන්නව සිටි මහාසාගරය මෙන් ද, සර්වඥතාඥානයට ආසන්නව මහානුභාවසම්පන්න වූ මේ වීරපුරුෂතෙමේ මාගේ ශාසනයට වැද සත්රුවන්මහනැවක් සමීපයෙහි සිටි රන්ගල්වතක් මෙන් ද, පූර්ණචන්ද්‍රමණ්ඩලසමීපයෙහි ඖෂධිතාරකාව මෙන්ද, මහාමේරුපර්වතරාජයා සමීපයෙහි පිහිටි යුගන්‍ධරපර්වතය මෙන් ද, ඡද්දන්ත නම් හස්තිරාජයා සමීපයෙහි සිටි ඇත්පැටවකු මෙන් ද, චක්‍රවර්තිරජක්හු සමීපයෙහි සිටි ප්‍රධාන පුත්‍රරත්නයක් මෙන් ද, මහාබ්‍රහ්මයා සමීපයෙහි සිටි බ්‍රහ්මකුමාරයක්හු මෙන් ද, මා සමීපයෙහි වසන්නේය. මෙතෙම එසේ මෙසේවූ සත්ත්‍වයෙක් නොවෙයි. සොඩෂාසඞ්ඛ්‍යකප්ලක්‍ෂයකින් මත්තෙහි මෛත්‍රෙය බුදුවන්නේය. එබුදුන්ට ඒ ආත්මභාවයෙහි කෙතුමතී නම් රාජධානියෙක් වාසස්ථාන වන්නේය. බ්‍රහ්මවතී නම් බැමිණිබිසවක් මවුවන්නීය. සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ සුබ්‍රහ්ම නම් පුරෝහිතබ්‍රාහ්මණයෙක් පියවන්නේය. අශොකය, බ්‍රහ්මදෙවය යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. සීහනම් උපස්ථායක කෙනෙක් වන්නාහ. පදුමාය සුමනාය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. සුධන්ය සඞ්ඝනය යන උපාසකවරු දෙදෙනෙක් අග්‍රඋපස්ථායක වන්නාහ. යසවතීය සඞ්ඝය යන උපාසිකාවරු දෙදෙනෙක් අග්‍රඋපස්ථායිකා වන්නාහ. නාගවෘක්‍ෂයෙක් බෝධිවන්නේය. අටාසූරියන් උසබුද්ධශරීරය වන්නේය. බ්‍යාමප්‍රභාමණ්ඩලය පස්විසියොදනක් තැන පැතිර සිටිනේය. අසූදහසක් අවුරුදු ආයුෂයවන්නේය යි, මෙසේ විවරණදී වදාරා ස්තුතිකොට උනස්නෙන් නැගී ගඳකිළියට වන්සේක.

ඉක්බිත්තෙන් ඒ මහාපුරුෂයාණන් වහන්සේ තුටුපහටු සිත් ඇතිව දිව්‍යමනුෂ්‍යයන් විසින් පුදනලදුව බුද්ධකාරකධර්මයන් පරීක්‍ෂාකරනසේක් දශපාරමිතාවන් දැක, අනුලෝම ප්‍රතිලෝමාදි වශයෙන් සම්මර්ශනය කෙරෙමින් දසදහසක් සක්වළ කම්පිත කරවා මෙයින් අන්‍ය වූ බුද්ධකාරකධර්මයෙක් නම් නැත යි, නිප්ඨාවට පැමිණ දෘඪසමාදානය කොට එතැන්පටන් සියලු ලෝකවාසීසත්ත්‍වයන් අතුරෙන් එකි එකී සත්ත්‍වයක්හු නිසා කපක්මුළුල්ලෙහිත් නරකයෙහි පැසී දුකින් මුදමියි, මෙසේ පවත්නා කරුණාවශයෙන් එසේම සියලු සත්ත්‍වයන් චක්‍රවර්ති රාජ්‍යශ්‍රීහි පිහිටුවමියි, මෙසේ පවත්නා අනුද්දයාවශයෙන් ද, සියලු සත්ත්‍වයන් වර්තදුඃඛයෙන් මුදා අර්හත්ඵලයෙහි පිහිටුවමියි, මෙසේ පවත්නා අනුකම්පා වශයෙන් ත්‍රිවිධසමාදානය සමාදන්ව ප්‍රමාණාතික්‍රාන්තවූ ජාතිකොටිශතසහස්‍රයක් මුළුල්ලෙහි පාරමීධර්මයන් පුරමින් ආ සේක.

බුද්ධකාරක ධර්‍ම

පාරමිතාවෝ නම් කවුරුද? ඒ පාරමිතාධර්මයන් කෙසේ පිරියයුතුද? යත්:

මහත්වූ බෝධිසත්ත්‍වවරයන්ගේ උත්තමප්‍රතිපත්තිය මා විසින් කියනු ලබන්නීය. එකඟවූ සිත් ඇතිව සත්පුරුෂයෙනි! මනාකොට අසව්.

දානශීලාදිගුණවිශේෂය හා යෙදීම හේතුකොටගෙන සත්වොත්තම බැවින් උත්කෘෂ්ටමහාසත්ත්‍වයෝ නම් බෝධිසත්ත්‍වවරයෝය ඔවුන්ගේ ස්වභාවය හා දානාදික්‍රියාව පාරමිතා නම්වේ. ඒ පාරමිතාවෝ දශවිධ වන්නාහ. කෙසේද? යත්:- භාග්‍යවත් වූ සියලු ධර්මයන් අනාවරණඥානයෙන් දත්තා වූ සර්වඥතාඥානයෙන් දත්තා වූ නික්ලේශී වූ ඒ සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ විසින්,

“විචිනන්තො තදා දක්ඛිං පඨමං දානපාරමිං,

පුබ්බකෙහි මහෙසීහි අනුචිණ්ණංමහාපථං”

යනාදි ක්‍රමයෙන් දානපාරමිතාය - ශීලපාරමිතාය - නෛෂ්ක්‍රම්‍යපාරමිතාව - ප්‍රඥාපාරමිතාය - වීර්යපාරමිතාය - ක්‍ෂාන්තිපාරමිතාය - සත්‍යපාරමිතාය - අධිෂ්ඨානපාරමිතාය - මෛත්‍රීපාරමිතාය - උපෙක්‍ෂාපාරමිතාය යන දශවිධපාරමිතාධර්මයන් දක්වා මෙයින් මත්තෙහි අතීතාදි කාලත්‍රයවර්ති වූ අන් බුද්ධකාරකධර්මයෙක් නම් නැතැයි සනිටුහන් කොට,

‘එත්තකායෙව තෙලොකෙ යෙධම්මා බොධිපාචනා,

තදු’ද්ධං නත්‍ථි අඤ්ඤත්‍ර දළ්හං තත්‍ර පතිට්ඨහ.

වදාරණලද බැවින්ද, ‘කතිනුඛො භන්තෙ බුද්ධකාරකාධම්මා දස ඛො සාරිපුත්ත බුද්ධකාරකාධම්මා කතමෙදස! දානං ඛො සාරිපුත්ත බුද්ධකාරකොට ධම්මො සීලංඛො සාරිපුත්ත බුද්ධකාරකො ධම්මො නෙක්ඛම්මංඛො සාරිපුත්ත බුද්ධකාරකොධම්මො පඤ්ඤාඛො සාරිපුත්ත බුද්ධකාරකොට ධම්මො විරියං ඛො සාරිපුත්ත බුද්ධකාරකොධම්මො ඛන්තී ඛො සාරිපුත්ත බුද්ධකාරකොධම්මො සච්චං ඛො සාරිපුත්ත බුද්ධකාරකොධම්මො අධිට්ඨානං ඛො සාරිපුත්ත බුද්ධකාරකොධම්මො මෙත්තා ඛො සාරිපුත්ත බුද්ධකාරකො ධම්මො උපෙක්ඛා ඛො සාරිපුත්ත බුද්ධකාරකො ධම්මො ඉමෙඛො සාරිපුත්ත බුද්ධකාරකා ධම්මා”යි මෙසේ බුදුරජාණන් වහන්සේ මේ දසපාරමිතාව වදාළසේක. මෙසේ වදාරා එයින් මත්තෙහි,

“දානං සීලඤ්ච නෙක්ඛම්මං පඤ්ඤා විරියෙන පඤ්චමං,

ඛන්ති සච්චමධිට්ඨානං මෙත්තු’පෙක්ඛා’ති තෙදස.”

වදාරණ ලද බැවින්ද,

“දසතො පාරමී නත්‍ථි දසතො නත්‍ථි ඌනකා,

අනූනානාධිකා සබ්බා පූරිතා දසපාරමි.”

වදාරණ ලද බැවින් ද, ඒ පාරමීධර්මයෝ දශවිධ වන්නාහ.

පාරමීලක්ෂණාදිය

සියලුම පාරමිතාවෝ සාමාන්‍යයෙන් මෙරමාට අනුග්‍රහකිරීම ස්වභාවකොට ඇත්තාහ. මෙරමාට උපකාර කිරීම හා විකල්ප සහිත බව කෘත්‍යකොට ඇත්තාහ. හිතෛෂීබව හා බුද්ධත්‍වයම නුවණට වැටහීම් කොට ඇත්තාහ. මහාකරුණාව හා කරුණොපාය ප්‍රඥාව ආසන්නකාරණ කොට ඇත්තාහ. විශේෂයෙන් වූ කලි යම්හෙයකින් කරුණාව හා උපාය ප්‍රඥාවෙන් පිරිසිඳ ගන්නාලද ආත්මොපකරණ පරිත්‍යාගචේතනාව දානපාරමිතා නම් වේද,

කරුණාව හා කාරණප්‍රඥාවෙන් පිරිසිඳගන්නාලද කාය වාක් සුචරිතයද, කාරණහෙයින් අකර්තව්‍යයෙන් වැළකීම හා කර්තව්‍යය කරන්නාවූ චේතනාව සීලපාරමිතා නම් වේද,

කරුණාව හා උපායප්‍රඥාවෙන් පිරිසිඳ ගන්නාලද ආදීනවය දැක්මකොට ඇති කාමභවයෙන් නික්මෙන්නා වූ සිතිවිල්ල නෛෂ්ක්‍රම්‍යපාරමිතා නම් වේද,

කරුණාව හා කාරණප්‍රඥාවෙන් පිරිසිඳ ගන්නා ලද ධර්මයන්ගේ සාමාන්‍යාවබෝධ හා විශේෂාවබෝධය කිරීම ප්‍රඥාපාරමිතා නම් වේද,

කරුණාව හා උපායකෞශල්‍යඥානයෙන් පිරිසිඳගන්නාලද කයින් හා සිතින් මෙරමාට වැඩකිරීමට උත්සාහකිරීම වීර්ය පාරමිතා නම් වේද,

කරුණාව හා උපායප්‍රඥාවෙන් පිරිසිඳගන්නා ලද සංස්කාරයන්ගේ අපරාධසහනය කිරීම හා අද්වෙෂය ප්‍රධානකොට ඇති තදාකාරප්‍රවෘත්ත චිත්තොත්පාදය ක්‍ෂාන්තිපාරමිතා නම් වේද,

කරුණාව හා උපායප්‍රඥාවෙන් පිරිසිඳගන්නා ලද විරතිචෙතනාදීන්ගේ භේදය නො වැරදීම සත්‍යපාරමිතා නම් වේද,

කරුණාව හා කාරණයෙහි දක්‍ෂව පවත්නා නුවණින් පිරිසිඳ ගන්නා ලද අචලසමාදානයෙහි අධිෂ්ඨාන හා ඒ ඒ ප්‍රකාරයෙන් පැවැත්තාවූ චිත්තොත්පාදය අධිෂ්ඨානපාරමිතා නම් වේද,

කරුණාව හා උපායකෞශල්‍යඥානයෙන් පිරිසිඳගන්නා ලද ලොව හිත සැප එළවීම හා කාරණහෙයින් සියලු සත්ත්‍වයන් කෙරෙහි ද්වේෂනොකිරීම මෛත්‍රීපාරමිතා නම් වේද,

කරුණාව හා කාරණප්‍රඥාවෙන් පිරිසිඳගන්නා ලද අනුනය ප්‍රතිඝය නැසීම හා ඉෂ්ටානිෂ්ටයෙහිත් සත්ත්‍වසංස්කාරයන් කෙරෙහිත් සමප්‍රවෘත්ති ඇති බව උපේක්‍ෂාපාරමිතා නම් වේද,

එසේ හෙයින් දානය වස්තුපරිත්‍යාගය ලක්‍ෂණකොට ඇත්තේය. දෙයධර්මයෙහි ලොභ නැසීම කෘත්‍යකොට ඇත්තේය. තමා අයත් බව නැතිකිරීම හා භවසම්පත්තිය නුවණට වැටහීම් කොට ඇත්තේය. පරිත්‍යාගකටයුතු වස්තුව ආසන්නකාරණ කොට ඇත්තේය. ශීලය ප්‍රතිෂ්ඨාව ලක්‍ෂණකොට ඇත්තේය. දුශ්ශීල බව නැසීම කෘත්‍යකොට ඇත්තේය. සුචිබව නුවණට වැටහීම් කොට ඇත්තේය. භය ලජ්ජා දෙක ආසන්නකාරණ කොට ඇත්තේය. “නෛෂ්ක්‍රම්‍යය” කාමයෙන් හා භවයෙන් නික්මීම ස්වභාවකොට ඇත්තේය. කාමය හා භවයෙහි ආදීනව ප්‍රකාශකිරීම කෘත්‍යකොට ඇත්තේය. ඒ කාමයෙන් හා භවයෙන් පරාඞ්මුඛව නික්මෙන බවක් මෙන් වැටහීම් කොට ඇත්තේය. චිත්තොත්‍රාසය හා ශරීරකම්පාව ආසන්න කාරණ කොට ඇත්තේය. “ප්‍රඥාව” දක්‍ෂ වූ දුනුවායක්හු විසින් විදිනාලද ශරවෙගයක් මෙන් යථාස්වභාව ප්‍රතිවේධය හා අස්ඛලිත ප්‍රතිවේධය ලක්‍ෂණකොට ඇත්තේය. ප්‍රදීපයක් මෙන් අරමුණුව බැබලීම කෘත්‍යයකොට ඇත්තේය. අරණ්‍යගත සුදෙශිකයක්හු මෙන් නුමුලාවීම වැටහීම් කොට ඇත්තේය. සමාධිය හා චතුරාර්යසත්‍යය ආසන්නකාරණ කොට ඇත්තේය. “වීර්යය” උත්සාහ ස්වභාවකොට ඇත්තේය, උපස්තම්භකත්‍වය කෘත්‍යකොට ඇත්තේය. නො පසුබැස්ම නුවණට වැටහීම් කොට ඇත්තේය. අෂ්ටවීර්යවස්තුව හා සංවේගය ආසන්නකාරණකොට ඇත්තේය. “ක්‍ෂාන්තිය” ඉවසීම ස්වභාවකොට ඇත්තේය. ඉෂ්ටානිෂ්ට සහනය කිරීම කෘත්‍යකොට ඇත්තේය. ඉවසීම වැටහීම්කොට ඇත්තේය. අවිරෝධය හා තත්වූ පරිද්දෙන් දැන්ම ආසන්න කාරණකොට ඇත්තේය. “සත්‍යය” අවිසංවාදය ස්වභාවකොට ඇත්තේය. යථාස්වභාවය ප්‍රකාශ කරන බව කෘත්‍යකොට ඇත්තේය. සාධුබව වැටහීම්කොට ඇත්තේය. විනීතබව ආසන්න කාරණකොට ඇත්තේය. “අධිෂ්ඨානය” බෝධිසම්භාරයෙහි පිහිටුවීම ස්වභාවකොට ඇත්තේය. ඒ බෝධිසම්භාරයන්ගේ ප්‍රතිපක්‍ෂධර්මයන් මැඩපැවැත්ම කෘත්‍යකොට ඇත්තේය. ඒ බෝධි සම්භාරයන් කෙරෙහි නිශ්චලබව වැටහීම් කොට ඇත්තේය. බෝධිසම්භාරය ආසන්නකාරණ කොට ඇත්තේය. “මෙත්තාව” සත්ත්‍වයන්ට හිතකරණයෙන් පවත්නා බව ස්වභාව කොට ඇත්තේය. සත්ත්‍වයන්ට අභිවෘද්ධි එළවන බව හා ආඝාත දුරුකරණ බව කෘත්‍යකොට ඇත්තේය. සෞම්‍ය බව වැටහීම් කොට ඇත්තේය. සත්ත්‍වයන්ට මනාපබව දැක්වීම ආසන්නකාරණ කොට ඇත්තේය. “උපෙක්‍ෂාව” මධ්‍යස්ථාකාරයෙන් පවත්නා බව ස්වභාවකොට ඇත්තේය. සාධාරණකොට දැක්ම කෘත්‍යකොට ඇත්තේය. අනුනය ප්‍රතිඝය සන්හිඳීම නුවණට වැටහීම්කොට ඇත්තේය. කුශලාකුශලකම්මය ස්වසන්තක බැවින් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ආසන්නකාරණ කොට ඇත්තේය. මෙහි මනුෂ්‍යාත්මභාවය ප්‍රධාන කොට ඇති අෂ්ටධර්මයන්ගේ සමොධානවසයෙන් ද, “බුද්ධොබොධෙය්‍යං” යනාදි මූලප්‍රණිධානවශයෙන් ද, පැවැත්තාවූ ප්‍රථම ප්‍රණිධානය සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. ඒ අභිනීහාර ප්‍රවෘත්තියෙන් මත්තෙහි සියලු පාරමිතාවන්ගේ සෙවීමය, නුවණට වැටහීමය, සමාදානය, අධිෂ්ඨානය, නිෂ්පත්තිය යන මේ සියල්ල මහාපුරුෂ වූ බොධිසත්ත්‍වවරයන්ට සම්භ වන හෙයින් මූලප්‍රාර්ථනාව දානශීලාදී සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. ප්‍රථම ප්‍රාර්ථනාව යම්සේ ප්‍රත්‍යය වේද, එපරිද්දෙන්ම මහාකරුණාව උපායප්‍රඥාවද සියලු පාරමීධර්මයන්ට ප්‍රත්‍යය වන්නේය. යම්සේ මහාපුරුෂයන්ට ආත්මසැපයෙහි නිරපේක්‍ෂබවද, නිරන්තරයෙන් අනුන්ට වැඩකිරීමෙහි තත්පර බවද, නො කොටගත හැක්කා වූ මහාබෝධිසත්ත්‍ව චරිතයෙන් භේදයක් නැති බවද, බෝධිසත්ත්‍වචරිතයෙහි ප්‍රසාදය ඇතිබවද, ප්‍රසාදය වැඩීමද සත්ත්‍වයන්ගේ දර්ශනාවස්ථාවය-ශ්‍රවණාවස්ථාවය-අනුස්මරණාවස්ථාවය යන මේ ත්‍රිවිධාවස්ථාවෙහිම සත්ත්‍වයන්ට හිතසැප එළවීමට කාරණබව සිද්ධවන්නේය. ඒ එසේමැයි:-

ප්‍රඥාවෙන් බුද්ධත්වය සිද්ධවන්නේය. කරුණාවෙන් බුද්ධකාරක ධර්මය සිද්ධවන්නේය. ප්‍රඥාවෙන් තුමූ සසරින් එතරවෙති. කරුණාවෙන් අනුන් එතරකෙරෙති. ප්‍රඥාවෙන් අනුන්ගේ දුක් පිරිසිඳ දකිති. කරුණාවෙන් අනුන්ගේ දුකට පිළියම් කරන්ට පටන් ගනිති. ප්‍රඥාවෙන් දුඃඛයෙහි කළකිරෙති. කරුණාවෙන් දුඃඛය පිළිගනිති. ප්‍රඥාවෙන් නිර්වාණයට අභිමුඛවන්නේය. කරුණාවෙන් නිර්වාණයට නො පැමිණෙන්නේය. කරුණාවෙන් සංසාරයට අභිමුඛවන්නේය. ප්‍රඥාවෙන් ඒ සංසාරයෙහි නො ඇලෙන්නේය. ප්‍රඥාවෙන් හැමතන්හි විරක්තවන්නේය. කරුණාවෙන් අනුව පවත්නා ඥානයක් බැවින් හැමසත්ත්‍වයන්ට අනුග්‍රහ කිරීමෙහි නො පවත්නේ නො වෙයි. කරුණාවෙන් සියලු සත්ත්‍වයන්ට අනුකම්පා කරන්නේය. කරුණාව අනුව පවත්නා නුවණ බැවින් හැමසත්ත්‍වයන් කෙරෙහි නො ඇලුනා වූ සිත් ඇත්තේ නො වෙයි. ප්‍රඥාවෙන් මමය මාගේය යන්නක් නැති බව සිද්ධවන්නේය. කරුණාවෙන් වීර්යය ඇතිබව සිද්ධවන්නේය. ප්‍රඥාවෙන් තමා නො තවන බව සිද්ධ වන්නේය. කරුණාවෙන් අනුන් නො තවන බව සිද්ධවන්නේය. ප්‍රඥාවෙන් තමහට වැඩ සිද්ධවන්නේය. කරුණාවෙන් අනුන්ට වැඩ සිද්ධ වන්නේය. ප්‍රඥාවෙන් නිර්භය බව සිද්ධවන්නේය. කරුණාවෙන් සංසාරයෙහි නො ඇලෙනබව සිද්ධවන්නේය. ප්‍රඥාවෙන් ධර්මයට අධිපතිබව සිද්ධවන්නේය. කරුණාවෙන් ලොවට අධිපතිබව සිද්ධවන්නේය. කරුණාවෙන් පූර්වොපකාර ඇතිබව සිද්ධවන්නේය. ප්‍රඥාවෙන් මොහවිනාශය සිද්ධවන්නේය. කරුණාවෙන් තෘෂ්ණා විනාශය සිද්ධවන්නේය. ප්‍රඥාවෙන් විදර්ශනඥානාදිවිද්‍යා සිද්ධවන්නේය. කරුණාවෙන් ප්‍රාතිමෝක්‍ෂසංවරශීලාදි චරණසිද්ධිය වන්නේය. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාබලාදි දශබල සිද්ධිය වන්නේය. කරුණාවෙන් අන්තරායකර ධර්මාදියෙහි වෛශාරද්‍යසිද්ධිය වන්නේය. සියලු පාරමිතාඵලයට විශේෂයෙන් උපාය බැවින් ප්‍රඥා කරුණා දෙක සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. මේ කරුණා ප්‍රඥා දෙක වූකලි දානශීලාදි වූ සියලු දශපාරමිතාවන්ට මෙන් “බුද්ධො බොධෙය්‍යං” යනාදි මූලප්‍රාර්ථනාවටද ප්‍රත්‍යය වන්නේය.

තවද: “කතිනු ඛො භන්තෙ බුද්ධභූමියො? චතස්සො ඛො සාරිපුත්ත බුද්ධභූමියො, කතමා චතස්සො? උස්සාහොච හොති විරියං උම්මග්ගොච හොති පඤ්ඤාභාවනා අවත්‍ථානං ච හොති අධිට්ඨානං මෙත්තාභාවනා ච හොති හිතචරියා ඉමා ඛො සාරිපුත්ත චතස්සො බුද්ධභූමියො”යි. දක්වන ලද උත්සාහාදි චතුර්විධ බුද්ධභූමීහුද, “නෙක්ඛම්මජ්ඣාසයා බොධිසත්තා කාමෙසු දොසදස්සාවිනො පවිවෙකජ්ඣාසයා බොධිසත්තා සඞ්ගණිකාය දොසදස්සාවිනො අලොභජ්ඣාසයා බොධිසත්තා ලොභෙ දොසදස්සාවිනො අදොසජ්ඣාසයා බොධිසත්තා දොසෙ දොසදස්සාවිනො අමොහජ්ඣාසයා බොධිසත්තා මොහෙ දොසදස්සාවිනො නිස්සරණජ්ඣාසයා බොධිසත්තා සබ්බභවෙසු දොසදස්සාවිනො”යි. දක්වන ලද මහබෝසතුන්ගේ අදහස් සයද, “කතිනු ඛො භන්තෙ බොධාය චරන්තානං බොධිසත්තානං අජ්ඣාසයා? දස ඛො සාරිපුත්ත බොධාය චරන්තානං බොධිසත්තානං අජ්ඣාසයා? කතමෙදස දානජ්ඣාසයා සාරිපුත්ත බොධිසත්තා මච්ඡෙරෙ දොසදස්සාවිනො සීලජ්ඣාසයා සාරිපුත්ත බොධිසත්තා අසංවරෙ දොසදස්සාවිනො -පෙ- උපෙක්ඛජ්ඣාසයා සාරිපුත්ත බොධිසත්තා සුඛදුක්ඛෙ දොසදස්සාවිනො ඉමෙ ඛො සාරිපුත්ත බොධාය චරන්තානං බොධිසත්තානං දසඅජ්ඣාසයා”යි දක්වන ලද මහාබොධිසත්ත්‍වවරයන්ගේ දානාධ්‍යාශයාදි දශවිධ අධ්‍යාශය ද, දානශීලාදි සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. එසේම වස්තූන්ගේ අපරිත්‍යාගයෙහි ආදීනවය හා පරිත්‍යාගයෙහි අනුසස් දැක්ම දානාදි පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය.

ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

දාන ප්‍රත්‍යවෙක්ෂා

ඒ දානශීලාදියෙහි ප්‍රත්‍යවෙක්‍ෂාක්‍රමය මෙසේ දතයුතුය. කෙසේද යත්:-

ක්‍ෂෙත්‍රවස්තු, හිරණ්‍යස්වර්ණ, ගව, මහිෂ, දාසි, දාස, පුත්‍රදාරාදි වස්තුවෙහි ඇලුනා වූ සිත් ඇති සත්ත්‍වයන්ට ක්‍ෂෙත්‍රාදිය බොහෝදෙනා විසින් ප්‍රාර්ථනා කටයුතු බැවින්ද, රජදරුවන් සොරුන් සතුරන් ආදීන්ට සාධාරණ බැවින්ද, විවාදයට පිහිටවන බැවින්ද, සතුරන් ඇතිවන බැවින්ද, නිස්සාර හෙයින්ද, වස්තුලැබ රක්‍ෂාකිරීම ඇතිකල්හි අනුන්ට පීඩාවට කාරණහෙයින්ද, විනාශයට කාරණහෙයින්ද, ශෝකාදිය ඇති කල්හි අනෙකප්‍රකාර දුක් එළවන හෙයින්ද, ඒ වස්තුවෙහි ඇලුම් මූලකාරණකොට ඇති මාත්සර්යමලයෙන් වළඳනාලද සිත් ඇති සත්ත්‍වයන්ට අපායොත්පත්තිය වනහෙයින් දැ යි මෙසේ මේ අර්ථය නම්:- අනෙකප්‍රකාර වූ බොහෝ අවැඩ එළවන්නේය. එසේහෙයින් ඒ වස්තූන්ගේ පරිත්‍යාගය කිරීම බලවත්වූ අභිවෘද්ධියකැයි, වස්තුපරිත්‍යාගයෙහි අප්‍රමාද කටයුත්තේය.

තවද, වස්තුව ඉල්වන්නාවූ යාචකතෙමේ තමාගේ රහස ප්‍රකාශ කොට කියන හෙයින් මට බලවත් විශ්වාස ඇත්තේය යි කියාද, හැරයා යුතුවූ තොප සන්තක වස්තු පරලොවට ඇරගණ යවයි කියන හෙයින් මට උපදෙස් කියන්නාවූ කල්‍යාණමිත්‍රයෙකැයි කියාද, ගිනිගෙන දිලියෙන්නාවූ ගෙයක් මෙන් මරණාගතියෙන් දිලිහෙන්නාවූ ලෝකයෙහි එයින් මා සන්තක වස්තුව පිටත් කරන්ට සහායවන යහළුවෙකැයි කියාද, පිටත්කළ වස්තුව නො නස්නා පරිද්දෙන් නිධාන කොට තබන්ට ස්ථානව සිටියේ යයි කියාද, දානසඞ්ඛ්‍යාත කුශලකර්මයෙහි සහායවන බැවින්ද, සියලු සම්පත්තීන්ට අග්‍ර වූ අතිදුර්ලභ බුද්ධභූමියෙහි සියලු ලොකොත්තර සම්පත්තියට කාරණ බැවින්ද, ඉල්වන්නා වූ යාචක උත්කෘෂ්ටවූ කල්‍යාණමිත්‍රයෙකැයි සැලකිය යුත්තේය.

තවද: මේ යාචකයා විසින් මම බලවත් වූ කාරියෙකින් සම්භාවනා කරන ලද්දෙම් වෙමි. ඒ දානක්‍රියාවෙහි ඒ සම්භාවනා මා විසින් නො වරදවා කටයුතුය යි කියාද, ඒකාන්තයෙන් නස්නා සුලුවූ ජීවිතය යාචකයන් නො ඉල්වුවත් මා විසින් දියයුතුය. ඉල්වූ කල්හි කැලම දියයුතුය යි කියාද, උත්තමාධ්‍යාශය ඇති සත්ත්‍වයන් විසින් යාචකයන් සොයා ඇවිදිත්දන් දිය යුතුය. මාගේ කුශලයෙන් යාචකයා තෙමේම සමීපයෙහි පැමිණියේයයි කියාද, යාචකදානව්‍යා ජයෙන් මටම අනුග්‍රහ කරන්නේය යි කියාද, මෙපරිද්දෙන්ම මේ සියලු ජනයා මා විසින් අනුග්‍රහ කටයුත්තේය යි කියාද, යාචකයක්හු නැති කල්හි මාගේ දානපාරමිතාව කෙසේනම් පිරේදැ යි කියාද, යාචකයන් නිසාම මා විසින් සියලු වස්තු සොයා තිබියයුත්තේය යි කියාද. නො ඉල්වාම මා සන්තක වස්තුව යාචකයෝ තුමූ කවරකලක ඇරගණිද්දෝ හෝයි කියාද, කෙසේ නම් මම යාචකයන්ට ප්‍රියවෙම්ද, මනවඩම්ද, ඒ යාචකයෝත් මට කෙසේ නම් ප්‍රියවෙද්ද, මන වඩද්දැයි කියාද, කෙසේ නම් මම දන්දෙමින් සිටත් දන්දී අන්තයෙහිත් සතුටුවෙම්ද, බලවත්ව හටගත්තාවූ ප්‍රීතිසෞමනස්‍යයෙන් කෙසේ නම් ඔදවැඩී සිත් ඇතිවෙද්දැයි කියාදැයි උදාර්ය බලවත්වූ දානාධ්‍යාශය ඇත්තෝය යි මට යාචකයෝ කෙසේ වූ සිතිවිලි සිතද්ද, නො ඉල්විය දී මම යාචකයන්ගේ අදහස් දැන කෙසේ නම් සිත් පිනවා දන් දෙම්දැයි කියාද, වස්තුවත් යාචකයනුත් ඇති කල්හි දන් නොදීමෙන් මට බලවත්ව නින්දා බස් උපදනේය යි කියාද, කෙසේ නම් මම මාගේ හස්තපාදාදි අවයවයන් හා ජීවිතය යාචකයන්ට පරිත්‍යාග කෙරෙම්දැයි කියාද සැලකිය යුත්තේය.

තවද, මේ අර්ථය නම්:- යම්සේ කඹැළිපණුවා නිරපේක්‍ෂ වූ ඛෙපකයා අනුව යේද, එපරිද්දෙන්ම නිරපෙක්‍ෂ වූ දායකයා අනුව යන්නේයයි අර්ථනිරපෙක්‍ෂතාවෙහි සිත් ඉපදවිය යුත්තේය. ඉල්වන්නා වූ සත්ත්‍ව වූ කලි ඉදින් ප්‍රියපුද්ගලයෙක් වී නම් ප්‍රියපුද්ගලයා මා අතින් ඉල්වන්නේයයි සොම්නස් ඉපදවිය යුත්තේය. ඉදින් ඉල්වන්නාවූ සත්ත්‍ව තමහට උදාසීන පුද්ගලයෙක් වී නම් මා අතින් මේ වස්තු ඉල්වන තැනැත්තේ ඒකාන්තයෙන් මේ වස්තු පරිත්‍යාගය නිසා මට මිත්‍රවන්නේයයි සොම්නස් ඉපැදවිය යුත්තේය. දන්දෙන්නාවූ දායක තෙමේ බොහෝ යාචකයන්ට ප්‍රියවන්නේය. ඉදින් වෛරී පුද්ගලයෙක් ඉල්වා නම් පසමිතුරා මා අතින් ඉල්වන්නේයයි විශේෂයෙන් සොම්නස් ඉපැදවිය යුත්තේය. මෙසේ ප්‍රිය පුද්ගලයා කෙරෙහි මෙන් මධ්‍යස්ථ පුද්ගල වෛරී පුද්ගලයන් කෙරෙහිදු මෛත්‍රී පූර්වඞ්ගමකොට ඇති කරුණාව එළවාම දියයුත්තේය. ඉදින් ලෝභය බොහෝ කලක් පුරුව ආ බැවින් ඒ බෝධිසත්ත්‍වයන්ට දෙයධර්මය විෂයකොට ඇති බලවත් ලෝභධර්මය උපදී නම් ඒ බෝධිසත්ත්ව ප්‍රතිඥා ඇත්තහු විසින් මෙසේ සැලකිය යුත්තේය. කෙසේද? යත්:- සත්පුරුෂයාණෙනි! සම්‍යක් සම්බෝධිය ප්‍රාර්ථනා කරන්නා වූ තොප විසින් සියලු සත්ත්‍වයනට උපකාර පිණිස මේ ශරීරය හරණලද්දේ නොවේ ද? ඒ ශරීර පරිත්‍යාගයෙන් උපන්නා වූ කුශලයත් හරණ ලද්දේ නොවේද? එසේ වූ තොපට බාහ්‍යවස්තුවෙහි ඇල්ම ඉපදවී නම් ඇතුන්ගේ නෑමක් හා සමවන්නේය. එසේ හෙයින් තොප විසින් කිසිවස්තුවෙක ඇල්ම නො ඉපැදවිය යුත්තේය. යම්සේ අටගෙණ සිටි මහත් වූ බෙහෙත් රුකකින් මුල් කැමැත්තෝ මුල්ගෙණයෙද්ද, ගැට කැමැත්තෝ ගැට ගෙණයෙද්ද, සුඹුළු කැමැත්තෝ සුඹුළුගෙන යෙද්ද, කඳ කැමැත්තෝ කඳ ගෙනයෙද්ද, වෙළෙප් කැමැත්තෝ වෙළෙප් ගෙනයෙද්ද, අතුකැමැත්තෝ අතුගෙනයෙද්ද, කොළ කැමැත්තෝ කොළගෙනයෙද්ද, මල්කැමැත්තෝ මල්ගෙනයෙද්ද, ඵලකැමැත්තෝ ඵලගෙනයෙද්ද, මාසන්තකදෙය මේ සත්ත්වයෝ ගෙන යෙතියි ඒ බෙහෙත් රුකට කිසි විරෝධ කල්පනාවක් නො වේද, එපරිද්දෙන්ම සියලු ලෝවැස්සන්ට වැඩ පිණිස වීර්යය කරන්නාවූ මා විසින් දැක්වූ කෙළෙහිගුණ නොදන්නා වූ හැම කල්හිම අපවිත්‍රවූ ශරීරය අනුන්ට උපකාර පිණිස පමුණුවනකල්හි ස්වල්පමාත්‍ර වූ මමය මාගේ යයි යන සිතිවිල්ලක් නො ඉපදවිය යුත්තේය. ඒකාන්තයෙන් බිඳෙන්නා වූ විසිරෙන්නා වූ නැසෙන්නාවූ ස්වභාව ඇති මේ අධ්‍යාත්මික බාහ්‍ය මහාභූතරූපයන් කෙරෙහි වෙනස කවරේද, මේ මාගේය මම නම් මේ ආත්මයය මේ මාගේ ආත්මය යන යම් මේ සිතිවිල්ලෙක් ඇත්නම්; එතෙමේ හුදෙක් මෝහයෙන් පැළඹීම පමණෙක් වන්නේය. එසේ හෙයින් බාහ්‍යවස්තුවෙහි මෙන් අධ්‍යාත්මික වූ හස්තපාද නේත්‍රාදියෙහිද, මාංසරුධිරාදියෙහිද, අපෙක්‍ෂාවක් නැතිව ඒ හස්තපාදාදී වූ සියල්ල කැමැති කැමැති කෙනෙක් ගෙනයෙත්වායි හරණලද සිත් ඇතිවිය යුත්තේය.

මෙසේ සලකන්නා වූ සම්‍යක්සම්බෝධියට මෙහෙයනලද සිත් ඇති කායජීවිතයෙහි අපෙක්‍ෂාවක් නැති ඒ බෝධිසත්ත්‍වයන්ට නිරායාසයෙන්ම කායවචොමනඃ කර්මය විශේෂයෙන් පිරිසිදුවන්නේය. පිරිසිදුවූ කායවාක්ප්‍රයෝග ඇති, පිරිසිදු වූ ආජ්ව ඇති, ඒ මහාබෝධිසත්ත්‍ව තෙමේ ත්‍යාග ප්‍රතිපත්තියෙහි පිහිටුවා අළමනා දෙය යයි නුවණින් හා ගතමනාදෙය යයි නුවණින් යුක්තව වඩවඩා දෙයධර්ම පරිත්‍යාගයෙන් හා අභයදාන ධර්මදානයෙන් සියලුසත්ත්‍වයන්ට අනුග්‍රහකරන්ට සමර්ථ වන්නේය. මේ වූකලි දානපාරමිතාවෙහි ප්‍රත්‍යවේක්‍ෂා ක්‍රම වන්නේය.

ශීල ප්‍රත්‍යවෙක්ෂා

ශීලපාරමිතාවෙහි ප්‍රත්‍යවේක්‍ෂාක්‍රම කෙසේ ද? යත්:- මේ ශීලය නම්:- ගඞ්ගා, යමුනා යනාදි පඤ්චමහාගඞ්ගාවන්ගේ ජලයෙන් හා සමුද්‍රයෙහි ජලයෙන් සුද්ධකරන්ට නොපිළිවන් ද්වේෂමලය පිරිසිදු කරන්නා වූ ජලයක් හා සමාන වන්නේය. රන්වන් සඳුන් ගෝසී සඳුන් ආදී වූ ශීතල ද්‍රව්‍යයෙන්, දුරුකරන්ට නොපිළිවන් රාගාදි පරිළාහය සන්හිඳුවන්නා වූ ශිතල ද්‍රව්‍යයෙක මුත්හර ඔටුනු මිණිකොඬොල් ආදි වූ බොහෝ ජනයා සැරහෙන්නා වූ ආභරණයට වඩා අසාධාරණ වූ සත්පුරුෂයන්ගේ සැරහීමට අලඞ්කාර විශේෂයෙක.

තවද: ශීලය නම්: සියලුදිග හමන හෙයින් සඳුන් ආදී කිසිවෙකින් නො කරන ලද හැමකලට සුදුසු වූ සුගන්‍ධද්‍රව්‍යයෙක. ක්‍ෂත්‍රිය මහාසාරය, බ්‍රාහ්මණ මහාසාරය, ගෘහපති මහාසාරය, යනාදි වූ සියලු මනුෂ්‍යයන් විසින් ද, දිව්‍යබ්‍රහ්මාදි සියලු දෙවියන් විසින්ද වැඳීම් පිදීම් ආදිය එළවනහෙයින් උත්කෘෂ්ට වූ වශීකරණමන්ත්‍රයෙක. චාතුම්මහාරාජිකාදි සදිව්‍යලෝකයට නැගෙන පිණිස ලන ලද හිණිපෙතිපඞ්ක්තියක් හා සමාන වන්නේය. ප්‍රථමධ්‍යානාදි අෂ්ටසමාපත්තිය හා සෘද්ධිවිධාදි පඤ්චාභිඥාවට පැමිණිමට උපාය වන්නේය. නිර්වාණ නැමැති මහපුරයට පමුණුවන්නා වූ මාර්ගයක් හා සමාන වන්නේය. ශ්‍රාවකසම්පත්තිය-ප්‍රත්‍යෙකබෝධිසම්පත්තිය-සම්‍යක්සම්බෝධිසම්පත්තිය යන මේ ත්‍රිවිධසම්පත්තීන්ගේ පිහිටීමම ආධාරභූමියක් හා සමාන වන්නේය. යමක් සිතුවොත් පැතුවොත් ඒ ඒ දෙය සමෘද්ධවත්ව උපායක් බැවින් මේ ශීලය චින්තාමාණික්‍යකල්පවෘක්‍ෂාදියත් ඉක්ම පවත්නේය.

එසේ හෙයින් වදාරණ ලදි:- “ඉජ්ඣිස්සති භික්ඛවෙ සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා”යි. “ආකඞ්ඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්‍රහ්මචාරීනං පියොචස්සං මනාපො ගරුව භාවනීයෙති සීලෙ සෙවස්ස පරිපූරකාරී” යනාදීන්ද, “අවිප්පටිසාරත්‍ථානි ඛො ආනන්‍ද කුසලානි සීලානි” යනාදීන්ද, “පඤ්චිමෙ ගහපතයො ආනිසංසා සීලවතො සීලසම්පදාය” යනාදීන් ද වදාරණ ලද පාලිවශයෙන් ශීලයෙහි ගුණ විශේෂයෙන් සැලකිය යුත්තේය.

තවද අග්ගික්ඛන්‍ධොපමසූත්‍රාදීන්ගේ වශයෙන් ශීලවිනාශයෙහි ආදීනවද සැලකිය යුත්තේය. සීලය නම්:- ප්‍රීතිසෞමනස්‍යය එළවන්ට කාරණහෙයින්ද, අත්තානුවාදභය-පරානුවාදභය-දණ්ඩභය-දුර්ගතිභයාදිය නසන හෙයින්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසාකටයුතු බැවින්ද, විපිළිසර නොවීමට කාරණහෙයින්ද, ලෞකිකලොකොත්තර සම්පත් සඞ්ඛ්‍යාත අභිවෘද්ධි ඵලවන හෙයින්ද, කුලසම්පත්තිය - ධනසම්පත්තිය -අධිපතිසම්පත්තිය - රූපසම්පත්තිය - ස්ථානාන්තරසම්පත්තිය - බන්‍ධුසම්පත්තිය -මිත්‍රසම්පත්තිය යන මේ සියලු සම්පත්තීන් මැඩපවත්නා හෙයින්ද, සීලය උතුම් වූ ගුණඇත්තේ යයි සැලකිය යුත්තේය.

තවද සිල්වත්හට තමාගේ ශීලසමෘද්ධිය නිසා මාවිසින් ඒකාන්තයෙන් කුසල්කරණලද කලණ වූ ක්‍රියාවක් කරණලද; භය පරිත්‍රාණයක් කරනලදැයි, මහත්වූ ප්‍රීතිසෞමනස්‍යය උපදනේය. තවද සිල්වත්හට “කච්චිනු ඛො මෙ අත්තා සීලතො න උපවදතීති”යි යුබැවින්ද, “කච්චිනු ඛො මං අනුවිච්චිවිඤ්ඤු සබ්‍රහ්මචාරී සීලතො න උපවදන්තී” යි යූබැවින්ද, අත්තානුවාද භය-පරානුවාදභය නැත්තේය. දණ්ඩභය-දුර්ගතිභය දෙක කැලම නැත්තේය. සිල්වත්වූ පුද්ගල කලණවූ ධර්මයන් ඇත්තේයයි විඥයන් විසින් ප්‍රහංසා කටයුතු වන්නේය. තවද මා විසින් ඒකාන්තයෙන් පාපයෙක් කරනලද රෞද්‍රවූ ක්‍රියාවෙක් කරණ ලද, කලුෂධර්මයෙක් කරණලදැයි, දුස්සීලයහට යම් විපිළිසරෙක් උපදීනම් ඒ සිත්කලකිරීම සිල්වත්හට නූපදනේය. තවද මේ ශීලය නම්:- අප්‍රමාදයට කාරණ හෙයින්ද, ඥාතිව්‍යසන-භොගව්‍යසන-රෝගව්‍යසනාදිය දුරුකරන්ට කාරණ හෙයින්ද, මහත් වූ වැඩ සාදන හෙයින්ද, අභිවෘද්ධිකාරණ බැවින්ද, උතුම් වූ මඟුලක් හා සමාන වන්නේය. සිල්වත්වූ හීනජාතික සත්ත්‍වයෙකුත් ක්‍ෂත්‍රියමහාසාරාදීන් විසින් පිදියයුතු වන්නේය. ශීලසමෘද්ධිය කුලසම්පත්තිය මැඩපවත්නේය. තවද සොරුන්-සතුරන්-රජදරුවන්-වේයන්-මීයන්-ගිනි-දිය ආදිවූ සියල්ලට අසාධාරණ හෙයින්ද, මිය පරලොව යන්නහු අනුව යන හෙයින්ද, මහා ඵල මහානිසංස ඇතිවන බැවින්ද, සමථවිදර්ශනාදි ගුණයන්ට පිහිටවන බැවින්ද, ශීලධනය බාහ්‍යධනය මැඩ පවත්නේය. උත්කෘෂ්ට වූ අනිමා ලඝිමාදිවූ චිත්තය ඓශ්චර්යයට පිහිටවන බැවින් ශීලය ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදීන්ගේ ඓශ්චර්ය මැඩපවත්නේය. ඒ ඒ සත්ත්‍වනිකායෙහි සත්ත්‍වයන්ගේ ඓශ්චර්යය ශීලයම කාරණකොට ඇත්තේය.

“යොච වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො

එකාහං ජීවිතං සෙය්‍යො - සීලවන්තස්ස ඣායිනො”

යූබැවින් දුශ්ශීල පුද්ගලයාගේ සියක් අවුරුදු ජීවත්වීමටත් වඩා සිල්වත් පුද්ගලයාගේ එකදවසකුත් ජීවත්වීම උතුම් වන්නේය. ශික්‍ෂාප්‍රත්‍යක්ඛ්‍යානය කළ පුද්ගලයාගේ ජීවත්වීමට වඩා මරණයම උතුම්වන්නේය යි, වදාළ බැවින් ශීලය ජීවිතයට වඩා විශිෂ්ටතර වන්නේය. වෛරීන්ටත් මනොඥබව එළවන බැවින්ද, ජරාරොග විපත්තියෙන් මැඩපැවැත්ත නොහැකි බැවින්ද, ශීලය රූපසම්පත්තිය ඉක්මපවත්නේය. ප්‍රාසාද-මණ්ඩප-කූටාගාර-සඳලු-මඬු ආදි ස්ථාන විශේෂයන්ද, රජ-යුවරජ-සෙනෙවිරත් ආදි ස්ථානාන්තර විශේෂයන්ද ශීලය මැඩ පවත්නේය. සැප විශේෂයට පිහිටවන බැවින්ද, ඒකාන්තයෙන් වැඩසිද්ධකරණ හෙයින්ද, පරලොව යන්නහු අනුව යන හෙයින්ද, ස්වභාවයෙන් ස්නේහීව අත්පා මෙහෙවර කරන්නවුන්ද, බන්‍ධුජනයන් හා මිත්‍රයන්ද, ශීලය ඉක්ම පවත්නේය.

එයින් වදාළහ බුදුහු:-

“න තං මාතා පිතා කයිරා අඤ්ඤෙවා පිච ඤාතකා

සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසො තං තතො කරෙයි”

තවද හස්ති-අශ්ව-රථ-පදාති සඞ්ඛ්‍යාත චතුරඞ්ගිනී සේනාවෙන්ද, මන්ත්‍රෞෂධාදි වූ නොයෙක් ශාන්ති විධියෙන්ද, ආරක්‍ෂාව නොකට හැකි බැවින් ආත්මාධීන හෙයින්ද, අපරාධීන හෙයින්ද, මහත්වූ විෂය ඇති බැවින්ද, ශීලයම විශිෂ්ටතර වන්නේය.

එයින් වදාළහ බුදුහු:-

“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං

ධම්මො සුචිණ්ණො සුඛමාවහාති,

එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ

නදුග්ගතිං ගච්ඡති ධම්මචාරී”යි.

මෙසේ ශීලය අනෙකප්‍රකාර ගුණයෙන් සමන්විතය යි සලකන්නා වූ පුද්ගලයාහට අසම්පූර්ණ වූ ශීලය සම්පූර්ණ බවට පැමිණෙන්නේය. නොපිරිසිදු වූ ශීලය පිරිසිදුවන්නේය. ඉදින් ඕහට බොහෝකලක් අබ්හ්‍යාසයෙන් ශීලයට විපක්‍ෂ වූ රාගද්වේෂාදි අකුශලධර්මයෝ අතරතුරෙහි උපදනාහු වී නම් ඒ බෝධිසත්ත්‍වප්‍රතිඥා ඇත්තහු විසින් මෙසේ සැලකිය යුත්තේය. කෙසේද? යත්:-

සත්පුරුෂය! තා විසින් සම්‍යක් සම්බොධිඥානය ප්‍රාර්ථනා කරණ ලද, ශීලපූරණයක් නැතිව ලෞකික සම්පත්තියටත් පැමිණෙන්ට නොපිළිවන. ලෝකෝත්තර සම්පත්තියට පැමිණෙන්ට කැලම නොපිළිවන. සියලු සම්පත්තීන්ට අග්‍ර වූ සම්‍යක්සම්බෝධියට පිහිටවූ ශීලයෙන් උත්කෘෂ්ට වූ බවට පැමිණිය යුතු නොවේද, එසේ හෙයින්,

“කිකීව අණ්ඩං වමරීව වාළධිං

පියංව පුත්තං නයනංව එකකං,

තථෙව සීලං අනුරක්ඛමානකා

සුපෙසලා හොථ සදා සගාරවා”යි.

යනාදීන් වදාරණලද ක්‍රමයෙන් මනාකොට ශිලසංරක්‍ෂණය කරන්නා වූ තොප විසින් ඉතා ප්‍රියශීලී විය යුතුය. තවද තොප විසින් ශ්‍රාවකයානය-ප්‍රත්‍යෙකබුද්ධයානය-සම්‍යක්සම්බුද්ධයානය යන ත්‍රිවිධයානයෙහි ධර්මදේශනාවෙන් ඇතුළත්කිරීම හා ශීල-සමාධි-ප්‍රඥාවෙන් මිහිකිරීම කටයුත්තේය. අපථ්‍යසේවනය කරන්නා වූ පුරුෂයක් හට වෙදකු කරණ පිළියමක් මෙන් දුශ්ශීලපුද්ගලයාගේ වචනය සාරකොට නොගතයුත්තේය. එසේ හෙයින් මම කෙසේ නම් ඇදහිලි කටයුතුව සත්ත්‍වයන්ගේ ත්‍රිවිධ වූ බෝධියට ඇතුළත් කිරීම හා ශීල-සමාධි-ප්‍රඥාවන්ගේ මිහි කිරීම් කෙරෙම්දැයි, ස්වභාවයෙන් පිරිසුදු සිල් ඇතිවිය යුත්තේය. කිසිම ධ්‍යානාදී ගුණවිශේෂයක් හා යෙදීම හේතුකොට ගෙන මාගේ සත්ත්‍වයන්ට උපකාර කරන්ට සමර්ථ බවද, ප්‍රඥා පාරමිතාදීන්ගේ පිරීමද, ධ්‍යානාදිවූ ගුණධර්මයෝද, ශීලපාරිශුද්ධිය නැතිව නොවන්නාහුයයි, මනාකොට ශිලය පිරිසිදු කටයුත්තේය.

නෛෂ්කර්‍ම්‍ය ප්‍රත්‍යවෙක්ෂා

තවද ගිහිගෙයි විසීම නම්:- ඉතා අවුල්වන්නේය ප්‍රව්‍රජ්‍යාව නම්:- රාජපථයක් හා සමාන වන්නේය යනාදීන් ගිහිගෙයි ආදීනවද, පඤ්චකාමය නම්:- ඇටසැකිල්ලට බඳුවූ උපමා ඇත්තේය යනාදීන් කාමයෙහි ආදීනවද, පුරුෂයෙක් ණයගෙන වෙළඳාම් ආදි වූ ඒ ඒ කාරියෙහි යොදාද යනාදීන් කාමච්ඡන්‍දාදියෙහි ආදීනව දැක්වීම පෙරදැරිකොට ප්‍රව්‍රජ්‍යාව නම්:- අභ්‍යවකාශයක් හා සමාන වන්නේය. යනාදීන් පැවිදිවීමෙහි අනුසස් සැලකීම් වශයෙන් නෛෂ්කර්ම්‍ය පාරමිතාවෙහි ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තේය.

ප්‍රඥා ප්‍රත්‍යවෙක්ෂා

තවද ප්‍රඥාව නැතිව දානාදි කුශලධර්මයෝ පිරිසුදු නොවන්නාහ. තමන් තමන්ගේ ක්‍රියාසිද්ධියෙහි සමර්ථ නො වන්නාහයි ප්‍රඥාවෙහි ගුණ සිහිකටයුත්තේය. යම්සේ ජීවිතය නැතිව ශරීර යන්ත්‍රය නොහොබීද, ස්ථාන නිෂද්‍යාදි වූ ඒ ඒ ක්‍රියාවෙහි යෙදෙන්නට අසමර්ථ වේද, යම්සේ චක්‍ෂුරාදි වූ පඤ්චේන්‍ද්‍රියයෝ විඥානය නැතිව තමන් තමන්ගේ විෂයෙහි දර්ශනශ්‍රවණාදි කෘත්‍යය කරන්ට අසමර්ථ වෙද්ද, එපරිද්දෙන්ම ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ ප්‍රඥාව හැර ස්වකෘත්‍යප්‍රතිපත්තියැ අසමර්ථවන්නාහයි, ප්‍රඥාව පරිත්‍යාග ප්‍රතිපත්තියෙහි ප්‍රධානකාරණයක් වන්නේය. දල්වනලද ප්‍රඥා නමැති ඇස් ඇති, මහාබෝධිසත්ත්‍වවරයෝ තමන්ගේ හස්තපාදාදි වූ අඞ්ගපරිත්‍යාග කොටත් ආත්මොත්කර්ෂය නොකෙරෙති. මෙරමා හට නින්දාත් නොකෙරෙති. බෙහෙත් රුකක් මෙන් විකල්ප රහිත වන්නාහ. අතීතාදි කාලත්‍රයෙහිම හටගත්තා වූ සොම්නස් ඇති වන්නාහ. ප්‍රඥා වශයෙන් උපායකෞශල්‍යඥානය හා යෙදීම හේතුකොට ගෙන පරිත්‍යාගය පරහිතප්‍රවෘත්තියෙන් දානපාරමිතාවට පැමිණෙන්නේය. තමා සඳහා භවභොගසම්පත් කැමැතිව දේ නම් ‘යම් සේ වැට තෙල් ඇත්තාක් පහණදිළියේද ඒ නැතිවිටම නිවේද, එපරිද්දෙන්ම කර්මශක්තිය ඇතිතාක්කල් විපාකදෙයි. ඒකර්මශක්තිය නැතිවිටම විපාක නොදෙන්නේය. මෙරමාට වැඩසඳහා දුන දන වූකලි දානපාරමිතාභාවයට පැමිණ තුන්බෝධියෙන් එක්තරා බෝධියක් දී මිස නො නවත්නේය. තවද ප්‍රඥාව නැතිකල්හි තෘෂ්ණා-දෘෂ්ටි-මානාදි සංක්ලේශධර්මයන්ගේ නොනැසීම හේතුකොට ගෙන ශීලවිශුද්ධිය නොවන්නේය. ශීලවිශුද්ධිය නැති කල්හි සර්වඥගුණයට පිහිටබවෙක් කැලම නොවන්නේය. නුවණැත්තාවූ සත්පුරුෂයාට ගිහිගෙයි විසීමෙහි පඤ්ච කාමගුණයෙහි සංසාරයෙහි ආදීනව හා ප්‍රව්‍රජ්‍යාවෙහි-ධ්‍යානසමාපත්තියෙහි-නිර්වාණයෙහි අනුසස් මනාකොට සලකන්නේ පැවිදිව ධ්‍යාන-සමාපත්ති උපදවා නිර්වාණයට යන්නාවූ සිත් ඇතිව අවශේෂ සත්ත්‍වයනුත් ඒ ධ්‍යානසමාපත්ති ආදියෙහි පිහිටුවන්නේය. වීර්යයත් ප්‍රඥාවත් නැතිව නුවණින් යුත් වීර්යයක් නොවන බැවින් කැමැත්ත සිද්ධකොටගත නොහෙන්නේය. ප්‍රඥාවෙන් යුක්ත නොවී කරන්නාවූ කාරියටත් වඩා නොකොට තබාපීමම උතුම් වන්නේය. ප්‍රඥාසහිතවීර්යයෙන් කරන්ට පටන්ගත් කාර්යයෙක් උපායෙන් යුක්තව කරණහෙයින් අතුරෙහි තිබී නො ගොස් වහා සමෘද්ධ වන්නේය. තවද නුවණැති පුද්ගලයාම අනුන් විසින් කරණ අනුපකාරාදි සහනය කරන්නේය. අප්‍රාඥසත්ත්‍වහයා ඇසිල්ලකුත් නො ඉවසන්නේය. බලවත් ප්‍රඥා නැති සත්ත්‍වයාට මෙරමා විසින් කරන ලද අපරාධ ක්‍ෂාන්තියට ප්‍රතිපක්‍ෂවම මතුමත්තෙහි වැඩෙන්නේය. නුවණැත්තාවූ සත්ත්‍වයාට අනුන් විසින් කරන ලද අපරාධ ක්‍ෂාන්තියම මතු මත්තෙහි අභිවෘද්ධි කිරීම් වශයෙන් ස්ථිරත්‍වය පිණිස පවත්නේය. තවද ප්‍රඥාවෙන්ම වාක්සත්‍යය, විරතිසත්‍යය, පරමාර්ථසත්‍යය යන ත්‍රිවිධසත්‍යය ද, ඒ ත්‍රිවිධසත්‍යයන්ගේ උත්පත්තිකාරණ ද, ඔවුන්ට ප්‍රතිපක්‍ෂධර්මයන් ද, තත්වූ පරිද්දෙන් දැන මෙරමාට වඤ්චාකොට වරදවා නො කියන්නේය. ප්‍රඥාබලයෙන් තමා උපස්ථම්භ කොට ධෛර්යසම්පත්තියෙන් සියලු පාරමිතාවෙහි අචලසමාදානයෙන් පිහිටන්නේය. තවද: ප්‍රඥාවෙන් ම ප්‍රිය මධ්‍යස්ථ වෛරී පුද්ගලයන් කෙරෙහි විභාගයක් නො කොට හැමසතුන් කෙරෙහි මෛත්‍රී එළවන්ට සමර්ථ වන්නේය. තවද, ප්‍රඥා වශයෙන් ලාභය-අලාභය-අයසය-යසය-නින්දාය-පසංසාය-සුඛය-දුක්ඛය යන අෂ්ටලෝකධර්මය තමහට පැමිණි කල්හි එහි නිර්විකාරීව මධ්‍යස්ථ වන්නේය. මෙසේ සියලුම පාරමිතාවන්ට ප්‍රඥාවම නිර්මල කාරණයෙකැයි ප්‍රඥාගුණය ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තේය.

තවද: ප්‍රඥාව නැතිව ප්‍රථමමාර්ගසම්පත්තියක් නොවන්නේය. දෘෂ්ටිසම්පත්තියත් නො වන්නේය. ශිලසම්පත්තියත් නොවන්නේය. ශීලදෘෂ්ටිසම්පත්තිය නැත්තාහට සමාධිසම්පත්තියත් නැත්තේය. චිත්තසමාධිය කරන්නට අසමර්ථ වූ පුද්ගලයා විසින් මාර්ගඵලාදි ආත්මහිතමාත්‍රයකුත් සිද්ධ කරන්ට නො පිළිවන. උත්කර්ෂයට පැමිණියාවූ පරහිතය කැලම සිද්ධකරන්ට නො පිළිවන්නේයයි පරහිතප්‍රතිපත්තියෙහි යෙදෙන්නා වූ තොප විසින් සකස් කොට ප්‍රඥාව පිරිසිදු කිරීමෙහි අභ්‍යාස කටයුත්තේ යයි බෝධිසත්ත්‍වයන් තමන් තමන්ට අවවාද කටයුත්තේය.

තවද: ප්‍රඥානුභාවයෙන් මහාබෝධිසත්ත්‍වයෝ සත්‍යාධිෂ්ඨානය, ත්‍යාගාධිෂ්ඨානය, උපසමාධිෂ්ඨානය, ප්‍රඥාධිෂ්ඨානය යන චතුරධිෂ්ඨානයෙහි පිහිටා දාන, ප්‍රියවචන, අර්ථචරියා, සමානාත්මතාය යි කියනලද සතරසංග්‍රහ වස්තුවෙන් ලොවට අනුග්‍රහ කෙරෙමින් සත්ත්‍වයන් නෛර්යාණික මාර්ගයට ඇතුළත් කරන්නාහුය. ඒ සත්ත්‍වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියනුදු මුහුකුරුවන්නාහුය. තවද: ප්‍රඥාබලයෙන් රූපස්කන්‍ධය, වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධය යන පඤ්චස්කන්‍ධයෙහිද, චක්ඛායතනය, සොතායතනාදි ද්වාදසායතනයෙහි ද, චක්ඛුධාතු සොතධාතු ආදී වූ අෂ්ටාදශධාතුයෙහි ද, විනිවිද පවත්නා නුවණ ඇතිව “අවිජ්ජාපච්චයාසංඛාරා” යනාදීන් දක්වනලද සංසාර ප්‍රවෘත්තිය හා “අවිජ්ජානිරොධා සංඛාරනිරොධො” යනාදීන් දක්වන ලද සංසාරනිරෝධය තත්වූ පරිද්දෙන් දාන දානාදි ගුණයන් විශේෂයෙන් අභිවෘද්ධිකර බවට පමුණුවමින් බෝධිසත්ත්‍ව චරිතය සම්පූර්ණව කරන්නේය. යනාදීන් අනෙකප්‍රකාරයෙන් ප්‍රඥාගුණය මනාකොට සලකා ප්‍රඥාපාරමිතාව වැඩිය යුත්තේය.

වීර්‍ය්‍ය ප්‍රත්‍යවේක්‍ෂා

තවද: පෙනෙන්නා වූ නිෂ්ඨා ඇති ලෞකික සත්ත්‍වයන් විසින් කළමනාවීර්ය හීනවීර්ය පුද්ගලතෙමේ කොටනිමවාගත නො හෙන්නේය. දෘඪවීර්ය ඇති දුක්පරීක්‍ෂා නො කරන්නා වූ පුද්ගලයාම පටන්ගත් කාරිය අතුරෙහි නො තබා කොට සමෘද්ධ කරන්නේය. තවද: හීන වීර්ය සත්ත්‍ව තෙම සංසාර නැමැති මහවතුරෙන් සියලු සත්ත්‍වයන් එතර කෙරෙමි යි නිස්තරණයට පටන් ගැන්ම අසමර්ථ වන්නේය. මධ්‍යමපුද්ගල පටන් ගෙන අතුරෙහිම නිමාවට පැමිණෙන්නේය. උත්කෘෂ්ටවීර්ය ඇති පුද්ගල වූ කලි ආත්මසැපයෙහි අපෙක්‍ෂාවක් නැතිව සසරසයුරෙන් එතර කරන්ට සිතූ සත්ත්‍වයන් පරතෙරට පමුණුවාම නිෂ්ඨාව දක්නේය යි වීර්යසම්පත්තිය ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තේය. තවද: රාගාදීවූ දෝෂසමූහයන් මදනැගි ඇතුන් පරිද්දෙන් නොවැලකිය හැකි බැවින්ද, ඒ රාගාදීන් මුල්කොට ඇති පාපකර්මයන්ගේ සමාදානය හිසගසන්නට ඔසවාගත් කඩු ඇති වධකපුරුෂයක්හු හා සමාන බැවින්ද, ඒ පාපකර්මය කාරණ කොට ඇති නරකාදි සතර අපාය හැමකලම හළදොරව තිබෙන හෙයින්ද, ඒ අකුශලකර්මයෙහි යොදන්නා වූ පාපමිත්‍රයන් හැමකලම සමීපයෙහි ගැවසී ගෙන සිටින හෙයින්ද, ඒ පාපමිත්‍රයන් කීවාකරණ බැවින් අකුශලවිපාක එළවූ පෘථග්ජන බව ඇති කල්හි සංසාරදුඃඛයෙන් තමාම මිදීයන්ට වටනේය, යන මිථ්‍යාවිතර්කය වීර්යානුභාවයෙන් දුරුවන්නේයයි කියාද, ඉදින් ආත්මාධීන වීර්යයෙන් සම්‍යක්සම්බෝධියට පැමිණෙන්ට පිළිවන් වී නම් එබඳු වූ වීර්ය කිරීමෙහි දුෂ්කර කවරේද? යනාදි ක්‍රමයෙන් වීර්ය ගුණය ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තේය.

ක්ෂාන්ති ප්‍රත්‍යවෙක්ෂා

තවද: මේ ක්‍ෂාන්තිය නම්:- නිරවශේෂ ගුණයට ප්‍රතිපක්‍ෂ වූ ක්‍රෝධය නසන හෙයින් ගුණසමාධිය කිරීමෙහි සත්පුරුෂජනයන්ට තියුණු වූ ආයුධයක් හා සමාන වන්නේය. සතුරන් මැඩ පැවැත්මෙහි සමර්ථයන්ට සැරහීමක් හා සමාන වන්නේය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බලසමෘද්ධියක් හා සමානවන්නේය. ක්‍රෝධ නැමැති වහ්නිය නැසීමට ජලධාරාවක් හා සමාන වන්නේය. සුන්දර වූ කීර්තිඝෝෂයට උත්පත්තිවේෂයක් හා සමානවන්නේය. පාපී පුද්ගලයන්ගේ වචන නැමැති විෂය නැසීමට මන්ත්‍රෞෂධයක් හා සමාන වන්නේය. සංවරයෙහි පිහිටියවුන්ට උත්කෘෂ්ට වූ වීර්යප්‍රකෘත්තියෙක් වන්නේය. ගම්භීර ප්‍රකෘති ඇති බැවින් සමුද්‍රය හා සමානවන්නේය. ද්වේෂ නැමැති සාගරයට වෙරළක් හා සමාන වන්නේය. අපායෙහි දොරකඩ වැසීමට දොරපෝරුවක් හා සමාන වන්නේය, දිව්‍යබ්‍රහ්මලෝකයට නැගීමට හිණක් හා සමාන වන්නේය, සිය ගුණයන්ගේ විසීමට භූමියක් හා සමාන වන්නේය, උතුම් වූ කාය-වාක්-මනඃ යන ද්වාරත්‍රය පිරිසිදුකිරීමෙකැයි සැලකිය යුත්තේය.

තවද මේ ලෝකයෙහි සත්ත්‍වයෝ ක්‍ෂාන්තිසම්පත්තිය නැති බැවින් සන්තාපකරවූ ක්‍රෝධධර්මය අනුව ගිය බව හේතුකොට ගෙන මෙලොවත් පරලොවත් තැවුලියට පැමිණෙන්නාහුය. ඉදින් මෙරමාට අනුපකාරයට කාරණ වූ දුක් උපදීනම් ඒ දුඃඛයට ක්‍ෂේත්‍ර වූ ආත්මභාවයද, ඊට බිජුවටක් වැනි වූ කර්මයද, මා විසින්ම ඇතිකරන ලදැයි කියාද, එම දුකට මේ ක්‍ෂාන්තිය දරදී නොවෙයි කියාද, අනුපකාර කරන්නක්හු නැතිකල්හි කෙසේ නම් මට ක්‍ෂාන්තිසම්පත්තිය ලැබේදැයි කියාද, සැලකිය යුත්තේය. ඉදින් දැන් මේ තෙම මට අනුපකාරී නමුත් පෙර මොහු විසින් මට මෙනම් උපකාරයෙක් කරන ලද්දේවේදැයි අපකාරයම හෝ ක්‍ෂාන්තියට කාරන බැවින් උපකාරී වන්නේයයි කියාද, මේ සියලුසත්ත්වයෝ මට පුත්‍රයන් හා සදෘශ වෙති. දරුවන් විසින් කරනලද අපරාධයකට කවරෙක් නම් කිපේදැයි කියාද, යම් ක්‍රෝධය නැමැති යක්‍ෂාවේෂයකින් මේ පුද්ගලයා මට අපරාධ කරන්නේවී නම් ඒ ක්‍රෝධය නැමැති යක්‍ෂාවේසය මා විසින් දුරුකරන්ට යුත්තේයයි කියාද, යම් අපකාරයක් හේතු කොට ගෙන මට මේ දුක් උපදින්නේ වී නම් අනුපකාරයටම මම කාරණ වෙමියි කියාද, යම් ධර්මකෙනකුන් කාරණ කොට ගෙන අපරාධ කරනලද්දේ ද, යමක්හු විෂයෙහි අපරාධ කරන ලද්දේද, ඒ සියල්ලෝ එකෙණෙහිම නිරුද්ධ වූහ. දැන් වූ කලි මේ ක්‍රෝධය කවුරුන් විෂයකොට කරන්නාවූ ක්‍රෝධයෙක්දැයි සියලු ධර්මයන් ක්‍ෂණයෙක ඉපද නස්නා බැවින් කවරෙක් කවරක් හට අපරාධ කෙරේදැයි කියාද, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු විසින් ක්‍ෂාන්ති සම්පත්තිය වැඩියයුත්තේය.

ඉදින් මෝහට බොහෝ කලක් පුරුදුවීමෙන් පරෝපකාරය නිමිත්තකොට ඇති ක්‍රෝධය සිත වැළඳ සිටිනේ වී නම් මෙසේ සැලකිය යුත්තේය.

කෙසේද? යත්:-

මේ ක්‍ෂාන්තිය නම්:- අනුන් කළ අනුපකාරයට ප්‍රතිපක්‍ෂ ප්‍රවෘත්තියෙක, පරොපකාරය වර්ධනය කිරීමට නිසි උපකාරයෙක් නො වන්නේයයි කියාද, අපකාරයම මට දුක් ඉපදවීමෙන් සැදෑ ඉපදවීමට හා සියලු ලෝකයෙහි අනභිරති සංඥාවට ප්‍රත්‍යය වන්නේයයි කියාද යන මේ ඉෂ්ටානිෂ්ට රූපාදි ආලම්බනය හා සංයෝගයෙක් ඇත්නම් එතෙමේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ ස්වභාව කෘත්‍යයෙක් වන්නේය. ඒ අනිෂ්ට වූ රූපාදි ආලම්බනයන් හා සංයෝගය මට නො වන්නේය යන යම් සිතිවිල්ලෙක් ඇත්නම් එතෙමේ ඒකාන්තයෙන් එසේවූ සිතිවිල්ලම නොලැබිය හැක්කේයයි කියා ද, ක්‍රෝධවශයට පැමිණියාවූ සත්ත්‍වයා ක්‍රෝධයෙන් උන්මාදයට හා වික්‍ෂේපයට පැමිණියේය, එසේවූ ක්‍රෝධී සත්ත්‍වයා විෂයෙහි ප්‍රත්‍යුපකාර කිරීමෙන් ප්‍රයෝජන කවරේදැයි කියාද, මේ සියලු සත්ත්‍වයෝ සර්වඥයන් වහන්සේ විසින් ඖරස පුත්‍රයන් මෙන් රක්‍ෂාකරණ ලද්දාහ. එසේ හෙයින් එසේවූ සත්ත්‍වයන් විෂයෙහි මා විසින් චිත්තකෝපය නොකට යුත්තේයයි කියාද, අපරාධයත්, ගුණයත් යමක්හට ඇත්නම් අපරාධය දුරුකොට ගුණවත්වූ මොහු කෙරෙහි මා විසින් කෝප නොකටයුත්තේය යි කියාද, ගුණයක් නැතිකල්හි දයාකටයුතු හෙයින් කෝපයෙන් මාගේ ගුණ හා යසස් පිරිහෙන්නේයයි කියාද, ක්‍ෂාන්ති වැඩිය යුත්තේය.

එයින් වදාළහ බුදුහු:-

“අග්ගීව තිණකට්ඨස්මිං කොධො යස්ස පවඩ්ඪති

නිහීයති තස්ස යසො කාළපක්ඛෙ ව චන්‍දිමා”යි.

තවද කිපීමෙන් දුර්වණදුඃඛශය්‍යාදිවූ සතුරන් සිත් පිනවන මිතුරන් සිත් තනවන අමනොඥස්වරූප පැමිණෙන්නේ යයි කියාද, ක්‍රෝධය නම්:- සියලු අවැඩට කාරණ වූ සියලු වැඩ නසන්නාවූ බලවත් පසමිතුරෙකැයි කියාද, ක්‍ෂාන්ති ඇතිකල්හි සතුරුව සිටිනා කිසිකෙනෙක් නැතැයි කියාද, අපරාධ කළ එකක්හු විසින් තමා කළ අපරාධය කාරණකොට මත්තෙහි ලැබියයුතු දුඃඛයට ක්‍ෂාන්තිය උපන් කල්හි එදුක් නො වන්නේ යයි කියාද, කිපෙන්නාවූ මා විසින් පසමිතුරාම අනුවර්තනය කරන ලද්දේය යි කියාද, මා විසින් ක්‍ෂාන්තියෙන් ක්‍රෝධය මැඩ පැවැති කල්හි ඒ ක්‍රෝධයට දාස පසමිතුරා මනාකොට මඩනා ලද්දේය යි කියාද, ක්‍රෝධයට කාරණවූ ක්‍ෂාන්තිගුණය හැරීම මට සුදුසු නො වෙයි කියාද, ගුණවිනාශය කරන්නාවූ ක්‍රෝධය ඇති කල්හි මට ශීලසමාධ්‍යාදි වූ ගුණධර්මයෝ කෙසේ නම් පිරෙද්දැයි කියාද, ඒ ශීලාදීවූ ගුණධර්මයන් නැති කල්හි කෙසේ නම් මම සත්ත්‍වයන්ට උපකාර බහුලව ප්‍රතිඥානුරූප උතුම් බුදුබවට පැමිණෙම්දැයි කියාද ක්‍ෂාන්තියෙහි අනුසස් සැලකිය යුත්තේය.

තවද: ක්‍ෂාන්තිය ඇතිකල්හි සිතට වික්‍ෂෙපයක් නැති බැවින් එකඟ වූ සිත් ඇත්තාහට සියලු සංස්කාරධර්මයෝ අනිත්‍යහෙයින් දුඃඛහෙයින් අනාත්මහෙයින් ද, නිර්වාණධර්මය අසංස්කෘතාමෘත ශාන්තපණීතාදි භාවයෙන්ද, අචින්ත්‍ය අප්‍රමෙයවූ මහිම ඇති බුද්ධධර්මයෝ අප්‍රමෙයාදිභාවයෙන්ද වැටහෙන්නාහ. එසේ හෙයින් මාර්ගානුලොම වූ ක්‍ෂාන්තියෙහි පිහිටියේ මේ සියලු සංස්කාරාදීහු ආත්ම ආත්මීය බවක් නැත්තාහු ධර්මමාත්‍රව තමන් තමන්ගේ ප්‍රත්‍යයෙන් උපදනාහුද, නස්නාහුද වෙති. කිසි තෙනෙකින් නොඑති, කිසි තෙනෙක නො පිහිටති. මේ ධර්මයන් අතුරෙහි කිසිවෙක් කිසිවක්හුගේ කාර්යයෙහි ව්‍යාවෘත නොවන්නේය. මමය, මාගේය යන අහඞ්කාර මමඞ්කාරයට පිහිට නොවන බව නුවණට වැටහෙන්නේය.

තවද: යම් වැටහීමක් නිසා බෝධිසත්ත්‍වයෝ සම්‍යක්සම්බෝධියට නියතව නැවත පසුබස්නාවූ ස්වභාවයක් නැතිවෙද්ද, යනාදීන් ක්‍ෂාන්තිපාරමිතාවෙහි ප්‍රත්‍යවෙත්‍ෂාව දතයුත්තේය.

සත්‍යය ප්‍රත්‍යවෙක්‍ෂා

තවද සත්‍යය නැතිව ශිල-සමාධි-ප්‍රඥා ආදිවූ ගුණධර්මයන්ගේ ලැබීමක් නැති හෙයින්ද, සත්‍යය නැතිව ප්‍රතිඥාවට සුදුසුවූ ප්‍රතිපත්තියෙහි පිහිටීමක් නැතිහෙයින්ද, සත්‍යධර්මය ඉක්ම පැවැති කල්හි සියලු පාපධර්මයන් අවුත් වදනා බැවින්ද, සත්‍යය උතුම් වූ ගුණ ඇත්තේය යි මෙනෙහි කටයුත්තේය.

එයින් වදාළහ බුදුහු:-

“එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනො,

විතිණ්ණ පරලොකස්ස නත්‍ථි පාපං අකාරියං.”

තවද අසත්‍යයෙන් ඔවුනොවුන් සන්‍ධානය කරන්නාවූ පුද්ගලයාගේ වචනය, කාරියට ඇදහිලි නො කළහැකි බැවින් ද, මත්තෙහිත් සත්පුරුෂයන් පිළිබඳ කාරියකට ඔහුගේ බස් නොගත හැකිහෙයින්ද, සත්‍යසමාදානය ඇත්තාහට ශීලසමාධ්‍යාදි සියලුගුණයන් පිහිටවන බැවින්ද, සත්‍යාධිෂ්ඨානයෙන් සියලු බෝධිසම්භාරධර්මයන් පිරිසිදුව සම්පූර්ණබවට පැමිණෙන හෙයින්ද, සත්‍යධර්මය නො වැරදවීමෙන් සියලු බෝධිසම්භාරකංත්‍යය සමෘද්ධ කරන හෙයින්ද, සත්‍යධර්මයෙන්ම බෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිය නිෂ්ඨාවට පැමිණෙන හෙයින්ද, යනාදීන් සත්‍යපාරමිතාවෙහි ආනිසංසසමෘද්ධිය ප්‍රත්‍යවෙක්‍ෂා කටයුත්තේය.

අධිෂ්ඨාන ප්‍රත්‍යවෙක්‍ෂා

තවද දානාදියෙහි දෘඪසමාදානයක් නැතිව ඒ දානාදීන්ට ප්‍රතිපක්‍ෂධර්මයන් සන්තානයෙහි රැස්වූ කල්හි නිශ්චලව පිහිටීමක් නැතිව ඒ අචලාධිෂ්ඨානයෙහි දු ධීරවීරභාවයක් නැතිව දානාදි වූ බෝධිසම්භාරධර්මයෝ සම්‍යක්සම්බෝධියට කාරණ නො වන්නාහුය. යන මේ ආදි ක්‍රමයෙන් අධිෂ්ඨානපාරමිතාවෙහි ගුණ සැලකිය යුත්තේය.

මෛත්‍රි ප්‍රත්‍යවෙක්‍ෂා

තවද ආත්මහිතමාත්‍රයෙක පිහිටන්නහු විසිනුදු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රීසිතක් නැතිව ඓහලෞකිකසම්පත්තියට පැමිණෙන්ට නො පිළිවන් වන්නේය. සියලු සත්ත්‍වයන් නිර්වාණ සම්පත්තියෙහි පිහිටුවන්ට සිතන්නහු විසින් සත්ත්‍වහිතය නැතිව කැලම සියලු සම්පත්තියට පැමිණෙන්ට නො පිළිවන් වන්නේය යි කියා ද, පසුව සියලු සත්ත්‍වයන්ට ලෝකෝත්තර සම්පත්තිය කැමැත්තහු විසින් දැන් ලෞකිකසම්පත්තියෙහි ආකාඞ්ක්‍ෂාව සුදුසුය යි කියාද, දැන් ආසාපමණෙකින් මෙරමාට හිතසැප එළවන්ට අසමර්ථවූයෙම් වී නම් කවරකලෙක ප්‍රයෝගශක්තීන් ඒ හිතසැපය සිද්ධකෙරෙම් දැයි කියාද, දැන් මා විසින් ඉහාත්මභාවයෙහි සැපඑළවීමෙන් වර්ධනය කරණලද්දාහු පසුව මට ධර්මසංවිභාගයට සහාය වන්නෝ වේදැයි කියාද, මේ සියලු සත්ත්‍වයන් නැතිව මට බෝධිසම්භාරධර්මයෝ සම්භනොවන්නාහු යැයි කියාද, එසේ හෙයින් සියලු සර්වඥගුණවිභූතිය සිද්ධකරන්ට කාරණ බැවින්ද, මේ සියලු සත්ත්‍වයෝ මට උතුම් වූ කුශල ක්‍ෂේත්‍රයෙක, නිරුත්තර වූ කුශල නමැති රත්නයන්ට ආකරයෙක, උතුම්වූ ගෞරවස්ථානයෙකැයි කියා ඉතා විශේෂකොට සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතාධ්‍යාශය එළවිය යුත්තේය. බොහෝ කොට කීමෙන් ප්‍රයෝජන කිම්ද? කරුණාවට පිහිට බැවින්ම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රීවර්ධනය කටයුත්තේය. නිවරධිව පවත්නා මෛත්‍රී සිතින් සියලු සත්ත්‍වයන් කෙරෙහි හිත සැප එළවීමට නිරතවන්නාහට ඒ සත්ත්‍වයන්ගේ චිත්තසන්තාපය කරන්නාවූ දුක් දුරුකරනු කැමැති බලවත්වූ මෛත්‍රී උපදනේය. ස්ථිර වූ මුල් ඇති කරුණාව සියලු බුද්ධකාරකධර්මයන්ට ප්‍රථමක්‍රියාවෙක, පාදයෙක, ප්‍රතිෂ්ඨාවෙක, මූලකාරණයෙක, උපායමාර්ගයෙක යන මේ ආදි කාරණයෙන් මෛත්‍රියෙහි ගුණ සැලකිය යුත්තේය.

උපෙක්ෂා ප්‍රත්‍යවෙක්ෂා

තවද: උපෙක්‍ෂාව නැති කල්හි සියලු සත්ත්‍වයන් විසින් කරනලද විප්‍රකාරය සිතට විකාර උපදවන්නේය. චිත්තවිකාරය ඇතිකල්හි දානශීලාදි බෝධිසම්භාර ධර්මයන්ගේ ලැබීමෙක්ම නැතැයි කියාද, මෙත්තා-කරුණා-මුදිතා-සඞ්ඛ්‍යාත ස්නේහයෙන් පිනවන ලද සිත්හි උපේක්‍ෂාව නැතිව බෝධිසම්භාරයෙන් පිරිසුදු බවෙක් නොවන්නේය යි කියාද, උපේක්‍ෂා නැත්තේ බෝධිසම්භාරයෙහි කුශලසම්භාරය හා එහි විපාකය හා සත්ත්‍වයන්ට වැඩ පිණිස පිරිනමන්ට අසමර්ථ වන්නේය යි කියාද, උපේක්‍ෂාව නැතිකල්හි දායක-ප්‍රතිග්‍රාහක දෙදෙනා කෙරෙහි වෙනසක් නැතිකොට වස්තුපරිත්‍යාගය කරන්ට නොපිළිවන් වන්නේයයි කියාද, උපේක්‍ෂාව නැති කල්හි ජීවිතප්‍රවෘත්තියට සුදුසු වස්තූන්ගෙන් ජීවිතයෙහිත් අන්තරාය සිහිනොකොට සිල්පිරිසිදු කරන්ට නොපිළිවනැයි කියාද, උපේක්‍ෂා වශයෙන්ම වස්තුයෙහි ඇල්ම නොඇල්ම සහනය කරන්නාහටම නෛෂ්කර්මය බලය සිද්ධවන හෙයින්ද, උත්පත්ති හෙයින් බැලීම් වශයෙන්ම බෝධිසම්භාර කෘත්‍යය සමෘද්ධවන හෙයින්ද, අධිකවීර්යය ඇත්තාහට උපේක්‍ෂා නො කිරීමෙහි වීර්යකෘත්‍යය ඔලිනව කරණ හෙයින්ද, උපෙක්‍ෂාවෙන් යුක්තයහටම ක්‍ෂමාචින්තාව සම්භවන හෙයින්ද, උපෙක්‍ෂා වශයෙන්ම සත්ත්‍වසංස්කාරයන් නො වරදවා කියන හෙයින්ද අෂ්ටලෝකධර්මයන්ට උපෙක්‍ෂාවීමෙන් තමා විසින් සමාදන්වන ලද සියලු ධර්මයෙහි නිශ්චලපිහිටීම සිද්ධවන හෙයින්ද, පරෝපකාරාදියෙහි අනාභොග වශයෙන්ම මෛත්‍රී පාරමිතාව සිද්ධවන හෙයින්ද, සියලු බෝධිසම්භාරධර්මයන්ගේ සමාදානය-අධිෂ්ඨානය-පරිපූර්ණය-නිෂ්පත්තිය යන මේ සියල්ල උපෙක්‍ෂානුභාවයෙන්ම සමෘද්ධවන්නේය යන මේ ආදි ක්‍රමයෙන් උපෙක්‍ෂාපාරමිතාව ප්‍රත්‍යවෙක්‍ෂා කටයුත්තේය.

මෙසේ අපරිත්‍යාග පරිත්‍යාගයෙහි ක්‍රමයෙන් ආදීනවානශංස ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම දානාදි සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යයෙකැයි දතයුත්තේය.

දසපාරමිතා ප්‍රතිපත්ති ක්‍රමය

දාන ප්‍රතිපත්ති

තවද: මේ දශපාරමිතාවන් අතුරෙහි මේ දානයෙන් මම සියලු සත්ත්‍වයන්ට ආයුෂය-වර්ණය-සැපය-බලය-නුවණය යන මේ ආදීන්ගේ සමෘද්ධියද, සිත්කලුවූ අර්හත්ඵලසම්පත්තියද, සමෘද්ධ කෙළෙම් වීනම් යහපත් වන්නේය යි සිතා ඒ මහාබෝධි සත්ත්‍ව තෙම ආහාරදානය දෙන්නේය. සත්ත්‍වයන්ගේ කාමක්ලේශ නැමැති පිපාසා සන්හිඳුවනු පිණිස පානවර්ගය දන් දෙන්නේය, රන්වන් වූ ශරීර සමෘද්ධිය පිණිස හා භයලජ්ජාදෙකට අලඞ්කාර පිණිස වස්ත්‍ර දන්දෙන්නේය. සෘද්ධිවිධඥානාදීන්ගේ නිෂ්පත්තිය හා නිර්වාණසැපසිද්ධවන පිණිස යානවාහන දන් දෙන්නේය. සර්වඥශීලසුගන්‍ධයාගේ නිෂ්පත්තිය පිණිස සුවඳ දන්දෙන්නේය. සර්වඥගුණශෝභාව සිද්ධවන පිණිස සුවඳමල් සුවඳවිලවුන් දන්දෙන්නේය. බෝමඩ වජ්‍රාසනය ලබනු සඳහා ආසන දන්දෙන්නේය. සිංහශය්‍යාවෙන් සැතපීම ලබනු සඳහා ආස්තරණාදි ශය්‍යාවන් දන්දෙන්නේය. පසළොස්චරණධර්මයන්ගේ නිෂ්පත්තිය පිණිස වාසාගාරයන් දන්දෙන්නේය.

මසැස-පැණැස-බුදුඇස-දිවඇස-සමතැස යන පසැස් ලබනු සඳහා පහන්තෙල් පහන්කඩ ආදිය දන්දෙන්නේය. බ්‍යාමප්‍රභාමණ්ඩලය ලබනු සඳහා රූපදානයද, බ්‍රහ්මස්වර විහිදුවන්නාවූ ධර්මදේශනාව නිසා ශබ්දදානයද, සියලු ලෝකවාසී සත්ත්‍වයන්ට ප්‍රියබව නිසා රසදානයද, සර්වඥසුඛුමාල බව පිණිස ප්‍රෂ්ටව්‍යදානය ද දෙන්නේය. මත්තෙහි මරණ නැතිවන පිණිස බෙහෙත් දන්දෙන්නේය. ක්ලේශ නැමැති දාසත්‍වයෙන් මිදෙන පිණිස දාසයන් නිදහස් කරන්නේය. සද්ධර්මයෙහි බලවත් වූ ඇල්ම සඳහා නිරවද්‍යවූ ක්‍රීඩාභාණ්ඩ දන්දෙන්නේය. සියලුම සත්ත්‍වයන් ආර්යජාතියෙන් තමහට පුත්‍රභාවයට පැමිණෙනු සඳහා දරුවන් දන්දෙන්නේය. සියලු ලොවට ස්වාමිබවට පැමිණෙනු සඳහා දාරයන් දන්දෙන්නේය. සුන්‍දර වූ සුප්‍රතිෂ්ඨිත පාදාදි පුරුෂලක්‍ෂණ සමෘද්ධිය සඳහා රන්, රිදී, මුතු, මැණික්, පබළු ආදිය දන්දෙන්නේය. අසූ අනුව්‍යඤ්ජන සමෘද්ධිය ලබනු සඳහා අනෙකප්‍රකාර ආභරණ දන්දෙන්නේය. සද්ධර්ම නැමැති භාණ්ඩාගාරය ලබනු පිණිස මුතු, මැණික් ආදි සැපත් පිරුණු බද්ධහල් දන්දෙන්නේය.

ධර්මරාජ්‍යය ලබනු සඳහා රාජ්‍යය දන්දෙන්නේය. ධ්‍යාන සමාපත්ති ආදීන්ගේ සමෘද්ධියා සඳහා අරම්, උයන් ආදි වූ තපොවනයන් දන්දෙන්නේය. චක්‍රලක්‍ෂණයෙන් චිහ්නීතවූ පාදයෙන් බෝමඩට එළඹෙනු සඳහා පාදයන් දන්දෙන්නේය. කාමොඝාදි චතුරොඝයෙහි ගැලී පීනන්නා වූ සත්ත්‍වයන්ට සද්ධර්ම නැමැති හස්තය දික්කොට ගොඩනගනු පිණිස හස්තයන් දන්දෙන්නේය. සද්ධින්‍ද්‍රියාදීන්ගේ ප්‍රතිලාභය පිණිස කන්නාසා ආදිය කපා දන්දෙන්නේය. සමතැස් ලබනු පිණිස ඇස් උපුටා දන්දෙන්නේය. දර්ශනය-ශ්‍රවණය-අනුස්මරණය-අත්පා මෙහෙවර කිරීමය යන මේ ආදියෙන් හැමකල්ම සියලු සත්ත්‍වයන්ට හිතසැප එළවන්නාවූ සියලු ලෝවැස්සන් විසින් සමීපයට පැමිණ ජීවත්විය හැක්කා වූ මාගේ ශරීරය සියලු සත්ත්‍වයන්ට ප්‍රයෝජන වේවයි කියා, මස් ලේ ආදිය දන්දෙන්නේය. සියලු ලෝකවාසී සත්ත්‍වයන්ට උතුම්වෙම්වයි කියා ඉස් දන්දෙන්නේය.

මෙසේ දන්දෙන්නා වූ ඒ මහාබෝධිසත්ත්‍වයෝ වූකලි එක් විසින අන්වෙෂණයන් අතුරෙන් එක්තරා එකකින් නුසුදුසු පරිද්දෙන් ප්‍රත්‍යය උපදවාගෙන නොදෙන්නාහ. මෙරමාට හිංසාපීඩා කොටත් නොදෙන්නාහ. භයිනුත් නොදෙන්නාහ. ලජ්ජාවෙනුත් නොදෙන්නාහ. දක්‍ෂිණාර්හ පුද්ගලයන් සොයාත් නො දෙන්නාහ. ප්‍රණීතාහාරය ඇතිකල්හි කටුකාහාරය දන් නොදෙන්නාහ. තමන් උසස් කරනු සඳහාත් නො දෙන්නාහ. මෙරමාට නිද්දා කරනු සඳහාත් නො දෙන්නාහ. කුශලඵලාපේක්‍ෂාවෙනුත් නො දෙන්නාහ. යාචකයන්ගේ නින්‍දා සඳහාත් නොදෙන්නාහ. නිරාදරයෙනුත් නො දෙන්නාහ. වැළි කෙසේදන්දෙද්ද යත්:-

සකස්කොට දෙන්නාහ. යුක්තප්‍රාප්තකාලයෙහි දෙන්නාහ.

එයින් වදාළහ බුදුහු:-

“පඤ්චිමානි භික්ඛවෙ කාලදානානි කතමානිපඤ්ච? ආගන්තුකස්ස දානං දෙති ගමිකස්ස දානං දෙති ගිලානස්ස දානං දෙති දුබ්භික්ඛෙ දානං දෙති යානි තානි නවසස්සානි නවඵලානි තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති ඉමානි ඛො භික්ඛවෙ පඤ්චකාලදානානී”යි. දෙයධර්මයෙහි උත්සාහ ඇතිව දක්‍ෂිණාර්හපුද්ගලයන් කෙරෙහි ගෞරව ඇතිව දෙන්නාහ. මොහු උත්තම යහ, මොහු අධමයහ යන විභාගයක් නොකොට සාමාන්‍යයෙන් දෙන්නාහ. දන්දෙන්නාහු පළමුකොටත් දන් දෙමින් සිටත් දන්දී අන්තයෙහිත් සතුටු සිතින්ම දෙන්නාහ. දන් දී පශ්චාත් තාපයකට නො පැමිණෙන්නාහ.

එයින් වදාළහ බුදුහු:-

“පුබ්බෙව දානා සුමනො දදං චිත්තං පසාදයං,

දත්‍වා අත්තමනො හොති එසා යඤ්ඤස්ස සම්පදා”යි.

ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් මානාවමානයක් නො කරන්නාහ. දන්පිළිගන්නවුන්ට ප්‍රියතෙපුල් කියන්නාහ. යාචකයන්ගේ අදහස් දැන දෙන්නාහ. තවද යාචකයන්ගේ යාඥාවට සුදුසුවූ ඔවුන්ගේ අදහස් නො මැඩ විද්‍යමානවස්තුව සුදුසු පරිද්දෙන් දන්දෙන්නාහ. පිරිවරසහිත වූ දානසමෘද්ධිය සියලු ලෝකවාසී සත්ත්‍වයන්ට හිතසැප පිණිස පමුණුවන්නාහ. තමන්ටත් අකොප්‍ය වූ අර්හත්ඵලවිමුක්තියට පමුණුවන්නාහ. තවද ක්‍ෂය නොවන්නා වූ ඡන්‍දාධිපතියට ද, ක්‍ෂය නොවන්නාවූ වීර්යාධිපතියට ද, ක්‍ෂයනොවන්නාවූ අමෝහයට ද, ක්‍ෂය නොවන්නාවූ චිත්තසමාදානයට ද, ක්‍ෂය නොවන්නාවූ ප්‍රඥාවටද, ක්‍ෂය නොවන්නා වූ සම්‍යක් සම්බෝධිඥානයට ද, පිරිනමා දන් දෙන්නාහ. මේ දානපාරමිතාව පුරන්නා වූ මහාබෝධිසත්ත්‍වයන් විසින් ජීවිතයෙහිත් වස්තුවෙහිත් අනිත්‍යසංඥාව එළවිය යුත්තේය. සත්ත්‍වයන් කෙරෙහිත් මහාකරුණාව එළවිය යුත්තේය. මෙසේ වස්තුසාරය ඇරයන්නාවූ මහාබෝධිසත්ත්‍වයෝ ගිනිගත් ගෙයකින් පිටත්ව යන්නක්හු මෙන් වස්තුවත් තමනුත් පිටත්කෙරෙමින් කිසිවක් නොතබා නිරවශේෂකොටම දන් දෙන්නාහුය. යම් හෙයකින් සර්වඥශීලාලඞ්කාරයෙන් සත්ත්‍වයන් සරහනු කැමැත්තහු විසින් පළමුකොට තමාගේ ශීලයම පිරිසිදු කටයුතුද, එසේහෙයින් සියලු සත්ත්‍වයන් කෙරෙහි යම්සේ ස්වප්නයෙනුත් ආඝාතයෙක් නූපදිනම්, එපරිද්දෙන් දයාපරසිත් ඇති විය යුත්තේය. පරොපකාරයෙහි නිරතබැවින් අනුන් සන්තක වස්තුව ආශීර්විෂයක්හු මෙන් නො ඇල්විය යුත්තේය. සප්තවිධ මෛථුන ධර්මසංයෝගයෙන් වැළකි බැවින් හා පරදාරගමනයෙන් කැලම වැලකි බැවින් අබ්‍රහ්මචරියාවෙනුදු දුරින් ම දුරු වේද, සත්‍යවූ හිතවූ ප්‍රියවූ පමණවූ ධර්මකථාව යුක්තප්‍රාප්ත කාලයෙහි කියන්නේ වේද, ලෝභී නොවේද, ද්වේෂී නො වේද, මිථ්‍යාදෘෂ්ටි නොගනීද, සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විෂයෙහි පිහිටියාහු සැදෑ ඇත්තේ වේද, පිහිටියාවූ ප්‍රේමඇත්තේ වේද, මෙසේ සතර අපාය හා වෘත්තදුඃඛයෙන්ද, අකුශලකර්මපථයෙන් ද, වැළක ස්වර්ගමෝක්‍ෂ මාර්ගයෙහිද, කුශලකර්මපථයෙහිද, පිහිටියාවූ පිරිසිදු වූ අදහස් ඇත්තහුගේ කායවාක් ප්‍රයෝගයක් බැවින් සියලු සත්ත්‍වයන්ට හිතසැප එළවන්නාවූ මනොරථය මහබෝධිසත්ත්‍වයන්ගේ ප්‍රාර්ථනා වූ පරිද්දෙන් වහ වහාම සමෘද්ධවන්නේය.

ශීල ප්‍රතිපත්ති

ඒ මහාබෝධිසත්ත්‍වතෙම ප්‍රාණඝාතයෙන් වැලැකි බැවින් සියලු සත්ත්‍වයන්ට අභයදාන දෙන්නේය. නිරායාසයෙන් ම මෛත්‍රිභාවනා වඩන්නේය. “සුඛං සුපති සුඛං පටිබුජ්ඣති” යනාදි එකොළොස් වැදෑරුම් වූ මෛත්‍රියෙහි අනුසස් ලබන්නේය. නිර්ව්‍යාධි වන්නේය, රෝග නැතිවන්නේය, දීර්ඝායුෂ්ක වන්නේය, සැප බහුල කොට ඇතිවන්නේය, මහාපුරුෂ ලක්‍ෂණ හා අසූඅනුව්‍යඤ්ජන ලක්‍ෂණයට පැමිණෙන්නේය, ද්වේෂවාසනාවත් සිඳුනේය.

තවද ඒ මහාබෝධිසත්ත්‍ව තෙමේ අදත්තාදානයෙන් වැළැකි බැවින් සොරුන්, සතුරන්, රජදරුවන්, වේයන්, මීයන්, ගිනි ආදි සියල්ලට අසාධාරණ වූ ප්‍රමාණාතික්‍රාන්ත වූ සම්පත් ලබන්නේය. කිසිසත්ත්‍වකෙනකුන් විසින් සැක නො කටහැක්කේය. සියලුසත්ත්‍වයන්ට ප්‍රියවන්නේය. මනවඩන්නේය. සියල්ලවුන් විසින් විශ්වාස කටයුතු වන්නේය. සම්පත්තියහෙි අලග්න වූ සිත් ඇතිවන්නේය. පරිත්‍යාගශීලී වන්නේය. ලෝභවාසනායෙහි මුල්සිඳුනේය.

අබ්‍රහ්මචරියාවෙන් වැළැකි බැවින් වස්තුවෙහි ලොල් නොවන්නේය, සන්හුන්නාවූ කායප්‍රයෝගය හා මනඃ ප්‍රයොග ඇත්තේය, සියලු සත්ත්‍වයන්ට ප්‍රියවන්නේය, මනවඩන්නේය, සාංකානොකටයුත්තේය. ඔහුගේ සුන්දර වූ කීර්තිඝෝෂය ලෝකයෙහි පැතිර නැඟෙන්නේය, අලග්න වූ සිත් ඇතිවන්නේය. ස්ත්‍රීවිෂයෙහි බලවත් වූ ලෝභසිත් නැතිවන්නේය, නෛෂ්කර්ම්‍ය බහුල කොට ඇත්තේය, මහාපුරුෂලක්‍ෂණ හා අසූඅනුව්‍යඤ්ජන ලක්‍ෂණයට පැමිණෙන්නේය, ලෝභවාසනාවෙහි මුල් සිඳුනේය.

මෘෂාවාදයෙන් වැළැකී බැවින් සියලුසත්ත්‍වයන්ට ප්‍රමාණ වන්නේය. සියලු සත්ත්‍වයන් විසින් ඇදහිලි කටයුතු වන්නේය. ඇදහිලි කටහැකි බස් ඇත්තේය, ගතහැකිබස් කියන්නේය. දෙවියන්ට ප්‍රියවන්නේය, මනවඩන්නේය, සුවඳැති මුඛ ඇති වන්නේය. විශේෂයෙන් රැක්කහැකි වාක්සමාචාර ඇත්තේය. සුප්‍රතිෂ්ඨිත පාදාදි මහාපුරුෂලක්‍ෂණයටද පැමිණෙන්නේය. ක්ලේශවාසනාවෙහි මුල්සිඳුනේය.

කේලමෙන් වැළැකි බැවින් පරොපක්‍රමයෙන් ඡෙද්‍යභෙද්‍යයට පැමිණවිය නොහැක්කා වූ ශරීර ඇතිවන්නේය, කිසි සත්ත්‍වකෙනකුන් විසින් බිඳුවා විසුරුවාපීය නොහැකි පර්ෂත් ඇති වන්නේය, සද්ධර්මයෙහිත් භේදයකට නො පැමිණෙන්නාවූ ඇදහිලි ඇතිවන්නේය, දෘඪසිත් ඇතිවන්නේය, භවාන්තරයෙහිත් පුරුදුවූ සත්ත්‍වයන්ට ඒකාන්තයෙන් ප්‍රියවන්නේය, ක්ලේශ බහුල නොවන්නේය.

පරුෂ වාක්‍යයෙන් වැළැකි බැවින් සියලු සත්ත්‍වයන්ට ප්‍රියවන්නේය, මනවඩන්නේය, සැපවිඳිනාසුලු වන්නේය, මිහිරි තෙපුල් ඇතිවන්නේය, සියලු සත්ත්‍වයන් විසින් සම්භාවනා කටයුතු වන්නේය, අෂ්ටාඞ්ගයෙන් සමන්විත වූ බ්‍රහ්මස්වර ඇති වන්නේය.

සම්ඵප්‍රලාපයෙන් වැළැකි බැවින් සියලු සත්ත්‍වයන්ට ප්‍රිය වන්නේය, මනවඩන්නේය, පාෂාණච්ඡත්‍රයක් මෙන් ගෞරව කටයුත්තේය, සියල්ලවුන් විසින් සම්භාවනා කටයුතු වන්නේය, ගතහැකිබස් ඇතිවන්නේය, පුරුදුවූ බස් ඇතිවන්නේය, මහෙශාක්‍ය වන්නේය, මහානුභාව සම්පන්න වන්නේය, ස්ථානෝචිත ප්‍රඥාවෙන් ප්‍රශ්නවිසර්ජන කරන්ට සමර්ථ වන්නේය, බුද්ධභූමිහෙයිත් එකම වචනයකිාන් නොයෙක් භාෂා ඇති සත්ත්‍වයන්ට නොයෙක් ප්‍රශ්න විසඳන්ට සමර්ථවන්නේය.

ලෝභී නොවන බැවින් කැමැති කැමැති වස්තු ලබන සුලු වන්නේය, උදාරතර වූ සම්පත්තියෙහි අභිප්‍රාය උපදවන්නේය, ක්‍ෂත්‍රියමහාසාරාදීන් විසින් සම්භාවනා කටයුතු වන්නේය, පසමිතුරන් විසින් මැඩපැවැත්ත නොහැක්කේය, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රිය වෛකල්‍යයට නො පැමිණෙන්නේය, තමාට වැඩිතරම් සත්ත්‍වයක්හු නැතිවන්නේය, ද්වේෂසංඥාව නැතිවන්නේය. සියලු සත්ත්‍වයන් විසින් සම්මානකටයුත්තේය, හිතයෙන්ම සතුටුකරවන බැවින් සියලු සත්ත්‍වයන් නිරායාසයෙන්ම පහදවන්නේය, රූක්‍ෂ ස්වභාව නැතිවන්නේය. මෛත්‍රීබ්‍රහ්මවිහාර සම්පත්තියෙන් යුක්ත බෝධිසත්ත්‍වද වන්නේය, මහානුභාව සම්පන්න වන්නේය.

මිථ්‍යාදෘෂ්ටියක් නැති බැවින් සොඳුරු වූ කීර්තිඝෝෂය පවත්නේය, ශීර්ෂච්ඡේදයට පැමිණෙතුදු අකුශලකර්මයක් නොකරන්නේය, කර්මය ස්වභාව කොට ඇති බැවින් ප්‍රථමමාර්ගය ලද්දක්හු මෙන් කෞතුහලමඞ්ගලිකා නොවන්නේය, සද්ධර්මයෙන් ඒ බෝධිසත්ත්‍වයන්ගේ ශ්‍රද්ධාව මුල්බටුවාක් මෙන් මනාව පිහිටන්නේය, සර්වඥවරයන්ගේ සතරආර්යමාර්ගඥාන නැමැති බෝධිය අදහන්නේය, අපවිත්‍ර වූ කසලගොඩක නො ඇලෙන්නාවූ රාජහංසයකු මෙන් දෙසැටදෘෂ්ටිආදි වූ සමයාන්තරයෙහි නො ඇලෙන්නේය, අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය පිරිසිඳ දක්නට සමර්ථ වන්නේය, කෙළවර අනාවරණඥානලාභී වන්නේය, යම්තාක් සම්‍යක් සම්බෝධියට නො පැමිණෙන්නේ නම් ඒ තාක් ඒ ඒ සත්‍වනිකායෙහි උත්කෘෂ්ට උත්කෘෂ්ටව ම උපදනේය. උදාරතර උදාරතරවූම සියලු බුද්ධකාරකයට පැමිණෙන්නේය. මෙසේ මේ ශීලය නම්. සියලු සම්පත්තීන්ට ප්‍රතිෂ්ඨාවන්නේය. සියලු බුද්ධගුණයන්ට උත්පත්තිභූමියක් වන්නේය, සියලු බුද්ධකාරකධර්මයන්ට ප්‍රථම පාදයෙක ද්වාරයෙක, උපායෙකැයි බුහුමන් උපදවා කාය වාක් සංයමයෙහිද, ඉන්‍ද්‍රියදමනයෙහිද, ආජීවසම්පදායෙහිද, ප්‍රත්‍යයපරිභෝගයෙහිද, ස්මෘතිප්‍රඥාබලයෙන් අප්‍රමාදව ලාභය-සත්කාරය-කීර්තිය යන මේ තුන මිත්‍රයක්හු බඳු මුඛ ඇති සතුරක්හු සෙයින් සලකා “කිකීව අණ්ඩං” යනාදි ක්‍රමයෙන් මනා කොට ශීලසමෘද්ධිය කටයුත්තේය.

තවද මේ ශීලය නම්:- තමහට නරකාදි සතර අපායෙහි දුකින් මිදීමෙන් සුගතියෙහි රාජ්‍යසම්පත්තියක් පිණිසත් නො වන්නේය. චක්‍රවර්ති රාජ්‍යශ්‍රීයක් පිණිසත් නො වන්නේය. දිව්‍යසම්පත්තියක්, ශක්‍රසම්පතක්, මාරසම්පතක්, බ්‍රහ්මසම්පතක් ලබන පිණිසත් නො වන්නේය. තමහට ත්‍රිවිද්‍යා-අෂ්ටවිද්‍යා-පඤ්චාභිඥා-පසළොස්චරණ ධර්ම සඞ්ඛ්‍යාත විශේෂධර්මයන්ගේ ලැබීමක් පිණිසත් නොවන්නේය, ප්‍රත්‍යෙක බෝධිඥානය ලබන පිණිසත් නොවන්නේය. වැලි කුමක් පිණිස ද? යත්:- සර්වඥබවට පැමිණීමෙන් සියලු සත්ත්‍වයන් නිරුත්තරවූ ශීලාලඞ්කාරයෙන් සරහනු පිණිස ම යයි. ශීලය සම්‍යක්සම්බෝධියට පිරිනැමිය යුත්තේය.

නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපත්ති

තවද: සකලක්ලේශයන්ට වාසස්ථාන බැවින්ද, පුත්‍රදාරාදීන්ගෙන් මහත්වූ පීඩා උපදනා හෙයින්ද, ගොවිකම්-වෙළඳාම් ආදිවූ අනෙකප්‍රකාර කර්මාන්තකිරීමෙන් වියවුල් වන බැවින්ද, ගිහිගෙයි විසීම නෛෂ්ක්‍රම්‍ය සැපයට අනවසර යයි සැලකිය යුත්තේය. පඤ්චකාමයන්ගේ වූකලි කඩුමුවාත ගල්වනලද මීබින්‍දු ලෙවීමක් මෙන් ස්වල්ප වූ ආස්වාද ඇතිබව හා බොහෝ අවැඩ එළවන බැවින් විදුලිය ආලෝකයෙන් ගතයුතු නැටීමක් මෙන් මඳ ඇසිල්ලක්ම යයි දතයුත්තේය. ගිනි රත්රනැයි සිතා අසුචි සඳුනැයි සිතා වලඳනා උමතු ඇත්තක්හු සෙයින් විපරීතසංඥාවෙන් අනුභව කටයුතුවන්නේය.

තවද: පඤ්චකාමය නම්:- මලමුත්‍රදෙක වසා සඟවා දුර්ගන්‍ධ නො ඇසීමෙන් වන සැපයක් මෙන් ප්‍රතිකාරයක් මෙන් ම සැප වන්නේය. පැනෙහි ඇඟිල්ලගලා ලෙහකිරීමෙන් පිපාසා නො යන්නාක් මෙන් අතෘප්තිකරය. සාකුස් ඇතිව අනුභවකරන භෝජනයක් මෙන් පීඩාසහිතය. බිලියෙහි අවුනනලද ඇමක් මෙන් වැසන එළවීමට කාරණ වන්නේය. වහ්නිසන්තාපයක් මෙන් අතීතාදි කාලත්‍රයෙහිම දුක් එළවීමට කාරණ වන්නේය. වඳුරුලෑවක් මෙන් බන්‍ධනයට කාරණ වන්නේය. සතුරන් වසන ගමෙක විසීමක් මෙන් භයට කාරණ වන්නේය. සතුරන්ට කරන පොෂ්‍යයක් මෙන් ක්ලේශමාරාදීන්ට ගොදුරු වන්නේය. උත්සවසම්පත්තියක් මෙන් විපරිනාමදුක්ඛයෙන් දුක්වන්නේය. රුක්බිණයක වැදගත් වහ්නියක් මෙන් ඇතුළෙහි සිටම දවන්නේය. දිරාගිය කදල්ලෙක තුබූ අතින් ගණුත් අත් කැපෙන දිවෙන් ගණුත් දිවුකැපෙන බීරණනම් තණෙහි වැදගත් මී බින්‍දුවක් සෙයින් නොයෙක් ආදීනව ඇත්තේය. ලුණුපැන් පීමක් මෙන් පිපාසාවට කාරණ වන්නේය. රාමෙර පීමක් මෙන් හීනජනයන් විසින් සෙවුනා ලද්දේය. බල්ලකු ඩැහැගෙන සපන ගොඇටයක් මෙන් ස්වල්ප වූ ආස්වාද ඇති බැවින් හා සර්ව සාධාරණ බැවින් මස්වැදැල්ලකට බඳු උපමා ඇත්තේය යන මේ ආදි ක්‍රමයෙන් කාමයෙහි ආදීනව සලකා ඒ කාමයට විපරීත ක්‍රමයෙන් නෛෂ්කර්මයයි කියනලද ප්‍රව්‍රජ්‍යාවෙහි අනුසස් දක්නහු විසින් නෛෂ්කර්ම්‍ය සැපය-විවෙක සැපය-ව්‍යුපශම සැපය යන මේ ආදි සැපයෙහි නම්නවූ ප්‍රවණවූ ප්‍රාග්හාර වූ සිත් ඇතිව නෛෂ්කර්ම්‍යපාරමිතාව පිරිය යුත්තේය.

ප්‍රඥා ප්‍රතිපත්ති

තවද යම් හෙයකින් අන්‍ධකාරය හා සමඟ නො පවත්නා වූ ප්‍රදීපාලෝකයක් මෙන් ප්‍රඥාව මෝහය හා සමග නො පවතීද, එහෙයින් පළමුකොට බෝධිසත්ත්‍වයන් විසින් මෝහයට නිසි කාරණ දුරුකටයුත්තේය. ඒ මෝහයට නිසි කාරණ කවරේද? යත්:- උකටලී බවය- කාරියෙහි පමාබවය- මැලි ඇඹෙන බවය- අලස බවය- ගණසඞ්ගණිකායෙහි ඇලුම් ඇතිබවය- නිද්‍රාශීලී බවය- ඤාණයෙහි නිශ්චය නොකරණ සුලු බවය- කුහුල්බවය- කාමච්ඡන්‍දාදි පඤ්චනීවරණයන් ඇතිබවය- විපරීතාභිමානය- නො පිළිවිසකරණ කථා ඇති බවය- කයට මනාකොට පරිහාර නොකිරීමය- එකඟවූ සිත් නැතිබවය- අප්‍රාඥ පුද්ගලයන් සේවනය කිරීමය- ප්‍රඥාවත් පුද්ගලයන් සේවනය නො කිරීමය- තමාට අවඥා කිරීමය- විපරීත කල්පනාවය- කායදරථ බහුලබවය- විපරීතාභිනිවෙශය- සංවේගශීලී නොවන බවය- සංක්‍ෂෙප හෙයින් යම් යම් අකුශල ධර්ම කෙනෙකුන් සේවනය කරන්නාහට නූපන්නාවූ ප්‍රඥාව නූපදීද, උපන්නාවූ ප්‍රඥාව පිරිහේද, මෙසේ මෙබඳු වූ සම්මෝහයට නිසි කාරණයන් දුරුකරන්නහු විසින් බහුශ්‍රැත වීමෙහිද, ධ්‍යානාදියෙහිද, අභ්‍යාස කටයුත්තේය.

එහි බහුශ්‍රැතවීමෙහි විභාග කවරේද? යත්:- රූපස්කන්‍ධාදී පඤ්චස්කන්‍ධය-චක්‍ෂුරායතනාදිද්වාදශායතනය-චක්‍ෂුධාත්‍වාදි අෂ්ටාදශධාතූය-දුඃඛසත්‍යාදි චතුරාර්යසත්‍යය-චක්‍ෂුරින්‍ද්‍රියාදි ද්වාවිංශතීන්‍ද්‍රිය-ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදය-කායානුදර්ශනාදි සතරසතිපට්ඨානය-සතරසම්‍යක් ප්‍රධානය-සතර සෘද්ධිපාදය-පඤ්චෙන්‍ද්‍රියය-පඤ්චබලය-සප්තබොධ්‍යඞ්ගය-ආර්යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන සියලු කුශලධර්ම ප්‍රභේදයද, ලෝකයෙහි නිරවද්‍ය වූ යම්කිසි විද්‍යාස්ථාන කෙනෙක් ඇද්ද, සත්ත්‍වයන්ට හිතසැප එළවීමට කාරණවූ අක්‍ෂර, ලිඛිත, ගණිතාදි යම් චතුෂ්ෂෂ්ටිකලා විශේෂයක් ඇද්ද මෙසේ මෙබඳු වූ ප්‍රකාර ඇති සියලුම ශෘතවිශේෂ විෂයැ උපාය කෞශල්‍යය පූර්වඞ්ගමකොට ඇති ප්‍රඥාවෙන් ස්මෘති වීර්යදෙකට උපස්ථම්භකාරණ හෙයින් සකස් කොට ඉගැනීමය, ඇසීමය, දැරීමය, නැවත නැවත අභ්‍යාසකිරීමය, නොදත් තැන් විචාරීමය යන මෙයින් දැන ඉගෙන ඒ තමා උගත් ධර්මාදියෙහි මෙරමාට පිහිට වීමෙන් ශ්‍රැතමය ප්‍රඥාව ඉපදවිය යුත්තේය. තවද ස්කන්‍ධාදිවූ ස්වභාවධර්මයන්ගේ ආකාර කල්පනාකිරීම් මුඛයෙන් ස්කන්‍ධාදීන් නුවණට වටහන්නහු විසින් චින්තාමය ප්‍රඥාව ඉපදවිය යුත්තේය. එම ස්කන්‍ධාදීන්ගේ ස්වභාව ලක්‍ෂණය සාමාන්‍ය ලක්‍ෂණය පිරිසිඳගැනීම් ගැනීම් ලෞකික ප්‍රඥාව උපදවන්නහු විසින් පූර්වභාග භාවනාප්‍රඥාව සමෘද්ධ කටයුත්තේය. මෙසේ කල්හි මේ නාමරූපමාත්‍රයෙක. සුදුසු සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යයෝ උපදනාහුත් නිරුද්ධවන්නාහුත් වෙති. මේ ශරීරය කරන්නාවුත්, කරවන්නාවුත් කිසි කර්තෘවෙක් නැත්තේය. ඇතිව නැතිවන්නා වූ අර්ථයෙන් අනිත්‍යය. උදාවියෙන් පෙළෙන්නා වූ අර්ථයෙන් දුක්ඛය තමා වශයෙහි නො පවත්නා වූ අර්ථයෙන් අනාත්මයයි, අධ්‍යාත්මික බාහ්‍ය රූපධර්මයන් නිරවශේෂ කොට පිරිසිඳ දැන්මෙන් ඒ ශරීරයෙහි ආලය හැර අන්‍යසත්ත්‍වයනුදු ඒ ශරීරයෙහි ආලය හරවා හුදෙක් කරුණා වශයෙන්ම යම්තාක් බුද්ධගුණය හස්තතලයට සම්ප්‍රාප්ත වේද, ඒතාක් ශ්‍රාවක බෝධි ආදිවූ යාන්ත්‍රයෙහි සත්ත්‍වයන් ඇතුළත්කිරීමෙන් හා නුවණ මිහිකිරීමෙහි පිහිටුවමින් ධ්‍යානවිමොක්‍ෂ, සමාධි, සමාපත්තියෙන් වසඟ බවට පමුණුවන්නේය. ප්‍රඥාපාරමිතාවෙහි මස්තකප්‍රාප්ත වන්නේය.

වීර්‍ය්‍ය ප්‍රතිපත්ති

තවද: කයින්, වචසින්, මනසින් බෝධිසම්භාරධර්මයන් අතුරක් නැතිව රැස්කරන්නහු විසින් බලවත් වූ විර්ය පැවැත්විය යුත්තේය. තවද අචින්ත්‍ය වූ අපරිමිතවූ විපුල වූ උදාරතර වූ නිර්මලව උපමාවිෂයාතීක්‍රාන්ත වූ ගුණසමූහයට නිධාන වූ බුද්ධත්වයට නොපසුබැස ඉදිරියට පැමිණ සමෘද්ධකරන්ට යෝග්‍ය වූ වීර්යානුභාවය බොහෝ ජනයෝ අසන්ටත් සමර්ථ නොවන්නාහ. ඒ එසේමැයි:- ත්‍රිවිධ වූ අභිනීහාර චිත්තොත්පත්තිය චතුර්විධ බුද්ධභූමිය, සතරසඞ්ග්‍රහවස්තුය, කරුණාව එකකෘථ්‍යකොට ඇති බවය, බුද්ධධර්මගුණයන් නුවණට වැටහීමය, සියලු ධර්මයෙහි සඞ්ග්‍රහයක් නැතිබවය සංසාරදුඃඛයෙන් භේදයකට නො පැමිණීමය, සියලු දානවස්තුව පරිත්‍යාග කිරීමය, ඒ දානයෙන් අභිමානය නැතිබවය, අධිශීලශික්‍ෂාව තරකොට ඉටීමය, ඒ අධිෂ්ඨානයෙහි නිශ්චලබවය, මෙරමා විසින් කරනලද අනුපකාරයෙහි අවිකාරීබවය, ධීරවීරගුණ ඇතිබවය, වීර්යාරම්භයෙහි ස්ථිර බවය, කුශලක්‍රියාවෙහි ප්‍රීතිප්‍රමොද්‍ය බහුලකොට ඇතිබවය, විවෙකයට නම්න වූ සිත් ඇතිබවය, ධ්‍යානධර්මයෙහි යෙදීමය, නිරවද්‍යවූ ශ්‍රැතයෙන් තෘප්තියකට නො පැමිණීමය, අසනලද සද්ධර්මය මෙරමාට දේශනා කිරීමය, සියලු සත්ත්‍වයන් නෑය ප්‍රතිපත්තියෙහි පිහිටුවීමය, සමාපත්තිසැපය වසඟකොට ඇති බවය, පඤ්චාභිඥාවෙහි බලවත් පැවතුම් ඇතිබවය, අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය අවබෝධ කිරීමය, සතිපට්ඨානාදි ධර්මයෙහි අභ්‍යාසයෙන් ලෝකෝත්තර මාර්ගය ලැබීමය පාරමිතාවන් පිරීමය යන මේ ආදිවූ සියලු බෝධිසම්භාර ප්‍රතිපත්තිය වීර්යානුභාවයෙන්ම සමෘද්ධවන්නේය යි ප්‍රථමප්‍රණිධානයෙහි පටන් යම්තාක් සම්‍යක් සම්බෝධිඥානය සිද්ධවේද, ඒතාක් වීර්ය නොහරහනු විසින් සකස් කොට වීර්යපාරමිතාව පිරියයුත්තීය. වීර්ය සිද්ධවූ කල්හි ක්‍ෂාන්තිපාරමිතා, දානපාරමිතාදි වූ සියලුම බෝධිසම්භාර ධර්මයෝ ඒ වීර්ය අයති වූ පැවතුම් ඇති බැවින් සමෘද්ධවූවාහු නම් වෙති.

ක්‍ෂාන්තිපාරමිතාදියෙහිදු මෙම ක්‍රමයෙන් ප්‍රතිපත්ති දතයුත්තේය.

දසපාරමිතා ප්‍රතිපත්ති සාරාංශය

මෙසේ සම්‍යක්සම්බෝධියට කරන ලද ප්‍රාර්ථනා ඇති, මහා බෝධිසත්ත්‍වයන් විසින් මා විසින් අද කවර කුශලසම්භාරයක් ඥානසම්භාරයක් රැස්කරන ලදද, මා විසින් අද කවර පරවැඩක් කරනලද්දේදැ යි, දවස දවස ප්‍රත්‍යවෙක්‍ෂා කොට සියලු සත්ත්‍වයන්ට වැඩ සැප එළවීමට උත්සාහ කටයුත්තේය. සියලු සත්ත්‍වයන්ට උපකාර පිණිස තමාගේ කායජීවිතය පරිත්‍යාගය කටයුත්තේය. සියලුම සත්ත්‍වයෝ අනොදිසො ඵරණ මෙත්තාවෙන් හා කරුණාවෙන් පැතිරිය යුත්තාහුය.

තවද, සියලු සත්ත්‍වයන්ට උපදනා යම් දුකෙක් ඇත්නම් ඒ සියලු දුක් තමා කෙරෙහි කැමැතිවිය යුත්තේය. සියල්ල වුන්ගේ කුශලය විශේෂයෙන් අනුමෝදන් වියයුත්තේය. බුද්ධ මහත්වය එක්වන් සැලකිය යුත්තේය. කයින්, වචසින් යම්කිසි කුශල කර්මයක් කරන්නේ වීනම් ඒ සියලු කුශලකර්මය සම්‍යක් සම්බෝධිඥානය පූර්වඞ්ගම කොට කටයුත්තේය. මෙසේ කරන්නාවූ මේ ක්‍රියාවෙන් බෝධිසත්ත්‍වවරයන්ට ප්‍රමාණාතික්‍රාන්ත වූ කුශල සම්භාරය රැස් වන්නේය. තවද සියලු සත්ත්‍වයන්ට ප්‍රයෝජන පිණිස හා සියලු සත්ත්‍වයන් රක්‍ෂා කරනු පිණිසත් මාගේ ශරීරයත් ජීවිතයත් පරිත්‍යාග කොට ක්‍ෂුධාපිපාසා, ශීතොෂ්ණ, වාතාතපාදි, දුඃඛප්‍රතිකාරය සෙවිය යුත්තේය. තවද ඒ මහා බෝධිසත්ත්‍වතෙම යථොක්ත වූ ක්‍ෂුධා පිපාසාදි දුඃඛප්‍රතිකාරයෙන් උපන්නා වූ යම් සැපයෙක් තෙමේ විඳීද එපරිද්දෙන්ම සිත්කලු වූ අරම, උයන, ප්‍රාසාදතලය, අරණ්‍යායතනය යන මේ සියලු ස්ථානයෙහි කයට, සිතට තැව්ලියක් නැති බැවින් නිවියා වූ ආත්ම ඇත්තේ, සැපවිඳිනේය. තවද: ඒ මහාබෝධිසත්ත්‍ව තෙමේ බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ, ආර්ය ශ්‍රාවක බෝධිසත්ත්‍වවරයන්ට ඉහාත්මභාවයෙහි සැපවිහරණය ඇත්තාවූ යම් ධ්‍යාන සමාපත්ති සැපයක් අසාද, ඒ සියලු සැපය සියලු සත්ත්‍වයන් කෙරෙහි සාමාන්‍යයෙන් එළවන්නේය. තෙමේත් විද්‍යමාන වූ ධ්‍යාන සමාපත්ති ආදී වූ විශේෂයකට පැමිණේනම් උපන්නාවූ ප්‍රීතිසෞමනස්‍ය සැපය සියලු සත්ත්‍වයන් කෙරෙහි පිහිටුවන්නේය. තවද ඒ මහාබෝධිසත්ත්‍වයන් විසින් මහත්වූ සංසාරදුඃඛයෙහි ඒ සංසාරදුඃඛයට කාරණවම ගැලුනා වූ සත්ත්‍වසමූහයා දැක එහිදු සිඳීම, බිඳීම, පැසීම, විසිරීම, නරකගින්නෙන් තැවීම යන මේ ආදියෙන් උපන්නා වූ තීව්‍ර වූ කර්කශ වූ දුඃඛවේදනාවෙන් අතරක් නැතිව බොහෝ කලක් දුක් විඳිනා වූ නාරකික සත්ත්‍වයන්ද, ඔවුනොවුන්ට කිපීම, තැතිගැන්ම, පීඩාකිරීම, නැසීම, මෙරමා අයත්වීම යන මේ ආදියෙන් දුක්විඳිනා වූ තිරශ්චීන සත්ත්‍වයන්ද, වහ්නිජ්වාලාවෙන් ගැවසීගන්නා වූ ශරීර ඇති දොහොත් හිස තබා මොරගා හඬන්නා වූ මුඛයෙන් නික්මෙන ගිනිසිළු ඇති ක්‍ෂුධාපිපාසාදියෙන් දන්නා වූ මෙරමා විසින් වමනය කරන ලද ආහාරදිය හා දමනලද කෙළ, සෙම්, සොටු ආදිය ආහාරකොට ඇත්තාවූ මහත් දුක් අනුභවකරන්නා වූ ප්‍රේතයන්ද, වස්තුපර්යේෂණය මුල්කොට ඇති, මහත්වූ අවැඩට දුකට පැමිණෙන්නාවූ හස්තපාද, කර්ණ, නාසාදින්ගේ ඡේදනයෙන් දුක් කම්කටුලට පැමිණීමෙන්ද, දිළිඳුබව ආදියෙන්ද ක්‍ෂුධාපිපාසාදියෙන් මිරිකීමෙන් ද, ප්‍රභූසත්ත්‍වයන් විසින් මැඩපවත්නා විසින්ද, අනුන් අයිතිබැවින්ද, නාරකිකසත්ත්‍වයන්, ප්‍රේතයන්, තිරශ්චීනයන් ඉක්මපවත්නාහුයයි, අපාය දුකට නො වෙනස්වූ මහදුක් අනුභවකරන්නාවූ මනුෂ්‍යප්‍රේතයන්ද, පඤ්චකාමවිෂය අනුභවකිරීමෙන් වික්‍ෂිප්ත වූ සිත් ඇති බැවින් රාගාදීන් දන්නා වූ මාරුතවේගයෙන් නැගි වහ්නිජ්වලාවෙන් සමෘද්ධ වූ වියලී දරගොඩෙහි ඇවිලෙන වහ්නිස්කන්‍ධයක් වැනි වූ නො සන්හුන් කාමාස්වාදය අයිතිව පවත්නා වූ කාමාවචර දෙවියන්ද, මහත්වූ ව්‍යායාමයෙන් පක්‍ෂප්‍රහාර කොට ඉතාදුරුවූ ආකාශයට නැඟි පක්‍ෂීන් මෙන්ද, ශක්තිසම්පන්න ධනුර්ධරයන් විසින් විදිනාලද ශරයන්මෙන්ද, කල්පායුෂ්කව බොහෝ කලක් පැවැතීම් ඇති කල්හිදු අනිත්‍යය කෙළවර කොට ඇති බැවින් ආයුකෙළවර බ්‍රහ්මලෝකයෙන් පිරිහීම් හේතුකොටගෙන නොඉක්මුනාවූ ජාති, ජරා, මරණ ඇති රූපාවචර, අරූපාවචර දෙවියන්ද, දක්නා වූ මහාබෝධිසත්ත්‍වයන් විසින් සියලු සත්ත්‍වයෝ සාමාන්‍යයෙන් මෙත්තා, කරුණා දෙකින් පැතිරිය යුත්තාහ.

මෙසේ සියලු සත්ත්‍වයන්ට සැපයට සුදුසු වූ උපකරණ දන් දීමෙන් නොයෙක් පරිද්දෙන් අනුග්‍රහ කිරීම දානයෙන් වන්නාවූ ප්‍රතිපත්තිය. සියලු සත්ත්‍වයන් ජීවිතය රැකීම, සම්පත් රැකීම, පුත්‍රදාරයන් රැකීම, කේලාම් ආදියෙන් ඔවුනොවුන් නො බිඳවීම, පියතෙපුල් කීම, වැඩට නිසීබස් කීම, මැරීම් තැලීම් ආදී වූ හිංසාපීඩාවක් නොකිරීම යන මේ ආදි සීලයෙන් වන්නා වූ ප්‍රතිපත්ති නම් වන්නේය.

ඒ සියලු සත්ත්‍වයන්ගේ ආහාරපානවර්ගාදි ආමිෂ පිළිගැන්ම හා ධර්මාදානාදි නොයෙක් පරිද්දෙන් වැඩකිරීම නෛෂ්කර්මයෙන් වන්නා වූ ප්‍රතිපත්තිය. ඒ සියලු සත්ත්‍වයන්ට වැඩ සිද්ධ වන්ට සුදුසු වූ කරුණා ප්‍රඥා දෙක සන්තානයෙහි පිහිටවීම ප්‍රඥාවෙන් වන්නා වූ ප්‍රතිපත්තිය. ඒ ප්‍රඥාප්‍රතිපත්තියෙහි උත්සාහය පටන්ගැන්මය-පටන්ගත් වීර්යය නොනැසීමය යන මේ සියල්ල වීර්යයෙන් වන්නාවූ ප්‍රතිපත්තිය. ඒ සියලු සත්ත්‍වයන්ගේ අපරාධ සහනය කිරීම ක්‍ෂාන්තියෙන් වන්නාවූ ප්‍රතිපත්තිය. ඒ සියලු සත්ත්‍වයන්ට අතිශයින් උපකාර කිරීමෙහි සමාදානය-අවිසංවාදය යන මේ ආදිය සත්‍යයෙන් වන්නාවූ ප්‍රතිපත්තිය. ඒ සියලු සත්ත්‍වයන් අනුපකාර කිරීමෙන් තමහට අවැඩට පැමිණෙන කල්හිදු නිශ්චලව පිහිටීම අධිෂ්ඨානයෙන් වන්නාවූ ප්‍රතිපත්තිය. සියලු සත්ත්‍වයන්ට හිතසැප වනසේ එක්වන් සිතීම මෛත්‍රියෙන් වන්නා වූ ප්‍රතිපත්තිය. ඒ සියලු සත්ත්‍වයන් කරන්නා වූ උපකාර අපකාර දෙකෙහි වෙනසකට නොපැමිණ මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම උපේක්‍සාවෙන් වන්නාවූ ප්‍රතිපත්තියයි. මෙසේ ප්‍රාමාණාතික්‍රාන්ත වූ සත්ත්‍වයන් අරභයා අනුකම්පා කරනලද සියලු සත්ත්‍වයන් ඇති මහාබෝධිසත්ත්‍වයන් අවශේෂ පෘථග්ජන සත්ත්‍වයන් හා අසාධාරණ වූ ප්‍රමාණාතික්‍රාන්ත වූ කුශල සම්භාරය හා ප්‍රඥාසම්භාරය හා රැස්කිරීම මේ දානප්‍රතිපත්ති ආදී වූ දශවිධප්‍රතිපත්තීන් නිසා වන්නේයයි දතයුත්තේය. මේ දශවිධපාරමිතාවන්ගේ යම් ප්‍රත්‍යයෙක් කියනලද්දේ වී නම් ඒ ප්‍රත්‍යයාගේ සකස් කොට සමෘද්ධ කිරීම දශපාරමිතා ප්‍රතිපත්ති නම් වන්නේය.

පාරමී ප්‍රභේද

ඒ දශවිධපාරමිතා ධර්මයෝ වූකලි දශපාරමිතාය - දශඋපපාරමිතාය -දශපරමාර්ථපාරමිතාය යි, සමතිස් වැදෑරුම් වන්නාහ.

කෙසේද? යත්:- පුත්‍රදාරයන් හා මුක්තාමාණික්‍යාදි වූ සියලු වස්තූන්ගේ පරිත්‍යාග පාරමිතා නම් වෙයි. තමාගේ අඞ්ග පරිත්‍යාගය උපපාරමිතා නම් වෙයි. තමාගේ ජීවිතපරිත්‍යාගය පරමාර්ථ පාරමිතා නම් වෙයි කියා දානපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. පුත්‍රදාරාදී වූ ත්‍රිවිධපරිත්‍යාගයට හේතු නොඉක්මීම් වශයෙන් ශීලපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. එම ත්‍රිවිධ වස්තුවෙහි ආලය සිඳ නික්මීම් වශයෙන් නෛෂ්කර්මපාරමිතාවේ තුන්දෙනෙක් වන්නාහ. උපකරණය-අඞ්ගය-ජීවිතය යන මේ තුනෙහි තෘෂ්ණාව නසා සියලු සත්ත්‍වයන්ට වැඩ අවැඩ නිශ්චයකිරීම් වශයෙන් ප්‍රඥාපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. යථෝක්ත වූ ප්‍රභේද ඇති දානපරිත්‍යාගාදියට උත්සාහ කිරීම් වශයෙන් වීර්ය පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකාරණය-අඞ්ගය-ජීවිතය යන මේ තුනට අන්තරාය කරන්නවුන්ට ක්‍ෂමා කිරීම් වශයෙන් ක්‍ෂාන්තිපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණය-අඞ්ගය-ජීවිතය නිසා සත්‍යය නො හැරීම් වශයෙන් සත්‍යපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. දානාදිපාරමිතාවෝ කොප්‍යයට නො හැකි අධිෂ්ඨාන වශයෙන්ම සමෘද්ධවන්නාහයි, උපකරණාදීන්ගේ විනාශයෙහිදු අචලාධිෂ්ඨානවශයෙන් අධිෂ්ඨාන පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණාදීන් විනාශකරන්නවුන් කෙරෙහි මෙත්තාව නොහැරීම් වශයෙන් මෛත්‍රීපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. යථෝක්ත වස්තු තුනින් උපකාර අපකාර කරන්නාවූ සත්ත්‍වසංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථවීම් වශයෙන් උපෙක්‍ෂාපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. මෙසේ සියලු දානාදි පාරමිතාවෝ සමතිස් වැදෑරුම් වන්නාහ.

ප්‍රතිඥානුකූල කොට සියලු පාරමිතාවන්ගේ පරිග්‍රහය, සත්‍යාධිෂ්ඨානය, එම සියලු පාරමිතාවන්ට ප්‍රතිපක්‍ෂධර්මයන්ගේ පරිත්‍යාගය ත්‍යාගාධිෂ්ඨානය, සියලු පාරමිතාගුණයේ සන්හුන් බව ව්‍යුපශමාධිෂ්ඨානය, එම පාරමිතාවන් විසින් පර වැඩ කිරීමට උපායකෞශල්‍යය ප්‍රඥාධිෂ්ඨානයයි, ඒ සියලු පාරමිතාවන්ගේ අධිෂ්ඨානයෝ සතර දෙනෙක් වන්නාහ. තවද සියලු පාරමිතාවෝ සත්‍යයෙන් ප්‍රශවකරන ලදහ. ත්‍යාගයෙන් ප්‍රකාශ කරන ලදහ. උපායෙන් වර්ධනය කරන ලදහ. ප්‍රඥාවෙන් පිරිසිදු කරන ලදහ. තවද සියලු පාරමිතාවන්ට සත්‍යය උත්පත්තිකාරණය, ත්‍යාගය පරිග්‍රාහක හේතුය. උපසමය. අභිවෘද්ධියට හේතුය. ප්‍රඥාව පිරිසිදු බවට හේතුය. යම්සේ චතුරාධිෂ්ඨානයෙන් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහය වේද, එපරිද්දෙන් කරුණා ප්‍රඥා දෙකින් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහ වන්නේය. සියලුම බෝධිසම්භාර ධර්මය කරුණා ප්‍රඥා දෙකින් පිරිසිඳ දන්නා ලද්දේය. කරුණා ප්‍රඥාදෙකින් සංග්‍රහ කරනලද දානාදි ගුණධර්මයෝ මහාබෝධිසම්භාර නම් වන්නාහ. බුද්ධත්ත්‍වයාගේ සිද්ධියත් කෙළවර කොට ඇත්තාහ. සියලු පාරමිතා පිරීමෙන් බුද්ධත්වයට පැමිණීමට කරන ලද ප්‍රාර්ථනා ඇති මහාබෝධිසත්ත්‍වයන්ට යථාස්වභාවය දැනීමෙන් සියලු ධර්මයෙහි නො ඇලීම හේතුකොටගෙන ආත්මස්නේහය නිරවශේෂයෙන් සිඳී යන්නේය. මහාකරුණාසමාවේෂයෙන් සියලු සත්ත්‍වයන් ප්‍රියපුත්‍රයන් මෙන් දක්නා වූ ඒ මහාබෝධිසත්ත්‍වයන්ට සියලු සතුන් කෙරෙහි කරුණාස්නේහය මතු මත්තෙහි වර්ධනය වන්නේය. ඉක්බිත්තෙන් ඒ ඒ අවස්ථාවට සුදුසුව ස්වසන්තාන පරසන්තානයෙහි ලෝභ, ද්වේෂ, මෝහ පහකිරීමෙන් දුරුකරනලද මාත්සර්යාදි ප්‍රතිපක්‍ෂ ධර්මයන් ඇති මහාපුරුෂතෙමේ දාන, ප්‍රියවචන, අර්ථචර්යා, සමානාත්මතා සඞ්ඛ්‍යාත සතරසංග්‍රහ වස්තුවෙන්ද, සත්‍යාධිෂ්ඨානාදි චතුරාධිෂ්ඨානයෙන්ද, අතිසයෙන් ජනයාට සංග්‍රහකිරීමෙන් සද්ධර්මයට අවතීර්ණ ජනයන්ගේ ශීලාදි ගුණයෙන් මිහිකිරිවීමද, අනවතීර්ණ ජනයන්ගේ සතරසංග්‍රහ වස්තුවෙන් ඇතුළත් කිරීමද කරන්නේය. එසේහෙයින් කියන ලදි:-

“සච්චවාදී උපසන්තො පඤ්ඤවා අනුකම්පකො

සම්භතසබ්බසම්භාරො කංනාමත්‍ථං නසාධයෙ

-

මහාකාරුණිකොසත්‍ථා හිතෙසීව උපෙක්ඛකො

නිරපෙක්ඛොච සබ්බත්‍ථ අහො අච්ඡරියො ජිනො.

-

විරත්තො සබ්බධම්මෙසු සත්තෙසුව උපෙක්ඛකො

සදාසත්තහිතෙයුත්තො අහො අච්ඡරියො ජිනො” යි.

බෝසත් සිරිත්

මහාබෝධිසත්ත්‍වවරයෝ වූකලි මහාකරුණා මහා ප්‍රඥාවෙන් හා දාන, ප්‍රියවචන, අර්ථචර්යා, සමානාත්මතාය යි කියන ලද සතර සංග්‍රහ වස්තුවෙන් සැරහී සිටිනාහ. කාලවිශේෂය වූකලි යටත් පිරිසෙයින් සතර අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයෙක. මධ්‍යමපරිච්ඡේදයෙන් අට අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයෙක. උත්තමපරිච්ඡේදයෙන් සොළොස් අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයෙක. මෙබඳු වූ මේ කාලවිභාගය ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික බෝධිසත්ත්‍වවරයන්ගේ වශයෙන් දතයුත්තේය. ප්‍රඥාධික බෝධිසත්ත්‍වවරයන්ට ශ්‍රද්ධාවමධ්‍යම වන්නේය. ප්‍රඥාව තීක්‍ෂණ වන්නේය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්‍වයන්ට ප්‍රඥාව මධ්‍යමවන්නේය. ශ්‍රද්ධාව තීක්‍ෂණ වන්නේය. වීර්යාධික බෝධිසත්ත්‍වවරයන්ට ශ්‍රද්ධාව මධ්‍යම වන්නේය. වීර්යය තීක්‍ෂණ වන්නේය. සාමාන්‍යයෙන් අර්හත් ඵල විමුක්තිය, මුහුකුරුවන්නා වූ ධර්මයන්ගේ තීක්‍ෂණ, මධ්‍යම මෘදු භාවයෙන් මේ ත්‍රිවිධ වූ ප්‍රභේදය දතයුත්තේය.

උග්ඝටිතඤ්ඤය, විපචිතඤ්ඤය, ඤෙය්‍යය යන මොවුන්ගේ ප්‍රභේද හෙයින් ත්‍රිවිධ වූ බෝධිසත්ත්‍වවරයෝ අභිනීහාරලක්‍ෂණයෙහි සම්භව වන්නාහ. ඔවුන් අතුරෙන් උග්ඝටිතඤ්ඤ බෝධිසත්ත්‍වතෙමේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සමීපයෙන් සතර පදයෙන් යුක්ත වූ ගාථාවක් අසන්නේ තුන්පදයක් අසා නිමවන්නාට පළමු කොටම ෂට්අභිඥා හා සමග අර්හත් ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිශ්‍රය ඇතිවන්නේය. විපචිතඤ්ඤ බෝධිසත්ත්‍ව තෙමේ සර්වඥයන් වහන්සේ සමීපයෙන් එකම ගාථාවක් අසන්නේ සතරපදය අසා නිමවන්නාට පළමු කොටම ෂට් අභිඥා හා සිවුපිළිසිඹියා හා සමග අර්හත් ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිශ්‍රය ඇතිවන්නේය. ඤෙය්‍ය බෝධිසත්ත්‍ව තෙමේ සර්වඥයන් වහන්සේ සම්මුඛයෙන් සතරපදයෙන් යුක්ත වූ ගාථාවක් අසා නිමවන්නාට පළමු කොටම ෂට් අභිඥා හා චතුපටිසම්භිදා හා සමග අර්හත්ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිශ්‍රය ඇතිවන්නේය.

මෙසේ කරන ලද ප්‍රාර්ථනා ඇති ලබන ලද විවරණ ඇති බෝධිසත්ත්‍වවරයෝ පාරමී ධර්මයන් පුරන්නාහු ක්‍රමයෙන් යථොක්ත වූ කාලවිභාගයෙන් සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නාහුය. ඒ ඒ කාලවිභාගය සම්පූර්ණ වන්නාට පළමුකොට ඒ මහාබෝධිසත්ත්‍වවරයෝ දවසක් දවසක් පාසා විශ්වන්තර දානය හා සමාන වූ දන් දෙන්නාහුද, එබඳුවූ මැ ශීලසංරක්‍ෂණාදී සියලු පාරමීධර්මයන් රැස්කරන්නාහුද, කර්මක්‍ෂයකර ඥානය මුහුකුරා නොගිය බැවින් අතුරෙහි බුදුබවට නො පැමිණෙන්නාහුය. කලට පැසෙන්නා වූ ගොයමක් මෙන් සම්‍යක්සම්බෝධියට නිශ්චය කරනලද කාලවිශේෂයාගේ නිෂ්පත්තීන්ම සමෘද්ධ වන්නේය. යථොක්ත වූ කාලයට නොපිළිවන් වන්නේයයි, පාරමී ධර්මයන්ගේ පූරණය යථොක්ත වූ කාලවිශේෂයෙන්ම සිද්ධවන්නේය යි දතයුතුය.

තවද: කරනලද ප්‍රාර්ථනා ඇති ඒ මහාබෝධිසත්ත්‍වවරයෝ අවීචිමහානරකයෙහි නූපදනාහ. ඔසුපත්නරකයෙහි උත්පත්ති නො වලකනලද්දේය. තවද ලෝකාන්තරික මහනරකයෙහි නූපදනාහුය. රුක්සිදුරුවල අතුරක් නැතිව ඇවිළෙන්නාවූ වහ්නිජ්වාලාවෙන් පහරණාලදුව බලවත් පීඩාවට පැමිණෙන්නා වූ නිජ්ඣාමතෘෂ්නිකා නම් ප්‍රේතලෝකයෙහි නූපදනාහ. ඔසුපත්නරකයෙහි නොයෙක් බුද්ධාන්තරවල ක්‍ෂුධාපිපාසායෙන් යුක්තවූ ක්‍ෂුත්පිපාසා ප්‍රේතව නූපදනාහ. ගිනිගෙන දිලියෙන්නා වූ ආයුධයෙන් ඔවුනොවුන් පැහැර පැසෙන්නා වූ කාලකඤ්ජක අසුර නම් ප්‍රේතනිකායෙහිත් නූපදනාහ. වටු කුරුල්ලන් පමණින් මුත් ක්‍ෂුද්‍රප්‍රාණිවත් නූපදනාහ. ජාතිබධිර නොවන්නාහ. ජාතිමෘග නො වන්නාහ. ජාතියෙන් පිළි නොවන්නාහ. ස්ත්‍රී නො වන්නාහ. පණ්ඩක නො වන්නාහ. නපුංසක නො වන්නාහ. සෝවාන් - සෙදගැමි - අනගැමි - රහත් යන සතරමග සතරඵලයට නො පැමිණෙන්නාහ. මාතුඝාතක -පිතුඝාතක - අරහන්තඝාතක - ලොහිතුප්පාදක - සඞ්ඝභෙදක ය යන පඤ්චානන්තරියකර්මය නො කරන්නාහ. නියත මිථ්‍යාදෘෂ්ටි නොවන්නාහ. අසංඥතලයෙහි නූපදනාහ. පඤ්චසුද්ධාවාසයෙහි අනාගාමීන්ම උපදනා හෙයින් එහි උත්පත්තියට හේතුවෙක්ම නැත්තේයයි, මේ අටළොස් අභව්‍යස්ථානයට ඒ මහා බෝධිසත්ත්‍වරවයෝ නොපැමිණෙන්නාහ.

තවද: “සතො සම්පජානො ආනන්‍ද බොධිසත්තො තුසිතා කායා චවිත්‍වා මාතුකුච්ඡිං ඔක්කමති” යනාදීන් දක්වනලද සොළොස්වැදෑරුම් වූ ආශ්චර්යඅද්භූත ධර්මයෝද, “ජායමානෙ සාරිපුත්ත බොධිසත්තෙ අයං දසසහස්සී ලෝකධාතු සංකම්පති සම්පකම්පති සංපවෙධන” යනාදීන් දක්වන ලද දෙතිස් පූර්ව නිමිත්තද, යම් අනිකුත් බෝධිසත්ත්‍වවරයන්ගේ අභිප්‍රාය සිද්ධියක් හා වසිතාප්‍රාප්තිප්‍රභේදයක් ඇත්නම් ඒ සියලු ආනිසංසත් දතයුත්තේය.

තවද: මහත්වූ කරුණා ඇති අෂ්ටලෝකධර්මයෙන් අකම්ප්‍ය වූ ස්වභාව ඇති සියලු ලෝකවාසීන්ට අසහායබන්‍ධු වූ මහානුභාව සම්පන්න වූ මේ මහාබෝධිසත්ත්‍වවරයෝ මෙසේ මෙබඳු වූ ආශ්චර්යඅද්භූත ගුණධර්මයන් ඇතිවන්නාහ. හැම කල්හි සද්ධර්මය ගෝචරකොට ඇති නිර්මල වූ සල්ලෙඛප්‍රවෘත්ති ඇති මහාබෝධිසත්ත්‍වවරයෝ සර්වඥයන් වහන්සේ හැර අන්‍යසත්ත්‍වයන් විසින් සිතිනුත් නො සිතිය හැකි මහත් වූ ප්‍රතාප තේජස් ආනුභාව ඇත්තාහ. මහත් වූ චණ්ඩමාරුතයෙන් ගසා උඩනගන ලද තරඞ්ගමාලාවන් ඇති මහාසාගරය වෙලාන්තරය යම්සේ නො ඉක්මේ ද, එපරිද්දෙන්ම මහාබෝධිසත්ත්‍වරයෝත් තමන්ගේ ධර්මතාව ඉක්ම නො පවත්නාහ. ලෝකයෙහි ඉපැද වැඩියාවූත් ඒ මහබෝධිසත්ත්‍වවරයෝ වඩනාලද භාවනාමනස්කාර ඇති බව හේතුකොට ගෙන අලපත නෙළුම්පත ඔත්දියත්තක් මෙන් අෂ්ටලෝක ධර්මයෙන් වෙන්ව එහි නො ඇලෙන්නාහ. යම් බෝධිසත්ත්‍ව කෙනෙකුන්ට ඉදින් තමන් කෙරෙහි ස්නේහය යම් යම් පරිද්දෙකින් අඩුවන්නේ වී නමුත් සියලු සත්ත්‍වයන් කෙරෙහි කරුණාස්නේහය ඒ ඒ පරිද්දෙන් අඩුනොවී මතුමත්තෙහි වර්ධනය වන්නේය. යම්සේ චිත්තය තමා වශයෙහි පවතීද, එපරිද්දෙන් මහාබෝධිසත්ත්‍වවරයෝ තමන්ගේ චිත්තස්වභාව සිතුවක් නො කරන්නාහ. යම්සේ සෘද්ධිවිධඥානාදි වූ පඤ්චාභිඥා සඞ්ඛ්‍යාත සෘද්ධිවිශේෂය අධිෂ්ඨාන වශිතාදි වශයෙන් තමා වශයෙහි පවත්නේ වී නමුත් එපරිද්දෙන් මහාබෝධිසත්ත්‍වවරයෝ සෘද්ධ්‍යානුභාවයෙන් යුක්තයමෝ වේ දැයි සිතූ සිතූ පරිද්දෙන් අණිමා ලඝිමාදි සෘද්ධිවිශේෂය නොදක්වන්නාහ. බෝධිසම්භාර ධර්මයන් පුරා ඇවිදිනා වූ පුරුෂශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ බෝධිසත්ත්‍වවරයෝ රාගාදි දෝෂයන් විසින් නො මඩනා ලැබෙති. රාගාදි දෝෂයෝ කිසිසේත් ඒ මහබෝධිසත්ත්‍වවරයන් නැසියත් නොහෙන්නාහ. මෙබඳු වූ උත්තමබෝධිසත්ත්‍වවරයන් විෂයෙහි චිත්තප්‍රසාදය කොට සියලු සත්ත්‍වයන් විසින් සංසාර දුඃඛයෙන් මිදෙන්ට උත්සාහ කටයුත්තේය. ඒ බෝධිසත්ත්‍වවරයන්ගේ උත්තම වූ ප්‍රතිපත්තිමාර්ගය දැන ඉගෙන ඒ ප්‍රතිපත්ති වූ පරිද්දෙන් පිළිපැද සකලක්ලේශයන් නසා අර්හත්ඵලඥානය සමධිගමය කරන්ට උත්සාහ කටයුත්තේය.

තවද: සංක්‍ෂේපයෙන් බුද්ධත්වය සිද්ධකිරීම සියලු පාරමී ධර්මයන්ගේ ඵල වන්නේය. විස්තර හෙයින් දෙතිස් මහාපුරුෂලක්ෂණ අසූඅනුව්‍යඤ්ජන, භ්‍යාප්‍රෙභාදි නොඑක් ගුණ සමූහයෙන් බබළන්නා වූ රූපකාය සමෘද්ධිය හා දශබල-චතුවෛශාරද්‍ය-ෂට්අසාධාරණ ඥාන-අෂ්ටාදශ ආවෙනිකධර්මාදී බුද්ධගුණයන්ට පිහිටවූ නොඑක් කෙළලක්‍ෂගණන් ගුණධර්මසමූහයෙන් හොබනා වූ ධර්මකාය ශ්‍රී සමෘද්ධියදැයි ලොවුතුරා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසිනුත් ශ්‍රී මුඛයෙන් කියා නිමවන්ට නො පිළිවන් වන්නේය යි කියූ මේ රූපකාය සම්පත්තිය හා ධර්මකායසම්පත්තිය ඒ දානාදි සියලු පාරමීධර්මයන්ගේ මුඛ්‍යවිපාකයෙකැයි දතයුත්තේය.

තවද: මේ පාරමිතාවෝ නම් කවුරුද? කවර අර්ථයෙකින් පාරමිතා නම්වූද මේ පාරමිතාවෝ කවර ප්‍රකාරයක් ඇත්තාහුද? මොවුන්ගේ ක්‍රම කවරේද? ලක්‍ෂණ-රස-ප්‍රත්‍යුපස්ථාන-පදස්ථාන කවරේද? මොවුන්ට ප්‍රත්‍යය කවරේද? සංක්ලේශ කවරේද? නිර්මල බව කවරේද? ප්‍රතිපක්‍ෂධර්මයෝ කවුරුද? ප්‍රතිපත්ති කවරේද? විභාග කවරේද? සංග්‍රහ කවරේද? පාරමිතාධර්මයන් සීමාකරන්නාවූ උපාය කවරේද? කොපමණ කලෙකින් සිද්ධ කට හැකිද? ඒ පාරමීධර්මයන්ගේ අනුසස් කවරේද? ඵල කවරේදැයි මාතෘකාපද තබා මහාබෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිසූත්‍රය ත්‍රිපිටකයෙහි විභාග කොට දක්වනලද, අතිවිස්තර හෙයින් මා විසින් ඒ සියලු බෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිය විස්තර කොට නො කියන ලද්දේය. එතකුදු වුවත් මෙසේ සංක්‍ෂේප හෙයින් බෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිය නුවණැති සත්ත්‍වයන් විසින් දතයුත්තීය.

මෙත් බෝසත්

ඒ මෛත්‍රෙය නම් මහාබෝධිසත්ත්‍වයෝ වූකලි මුහූර්ත නම් සර්වඥයන් වහන්සේ සමීපයෙන් ලබනලද විවරණ ඇති ව සොළසාසඞ්ඛ්‍යකප්ලක්‍ෂයක් මුළුල්ලෙහි මෙසේ මෙබඳු වූ පාරමිතාධර්මයන් පුරන්නාහු අවීචි මහානරකයෙහි එළන්නෝ ඇත්තමුත් දන්දීම කඩ නොකරන්නාහ. අඟපසඟ කපා කැබැලි කොට උක්යතෙක ලා මඩින් උක් කැබිලිමෙන් පෙලා පීඩා කෙරෙමින් සිටියත් සිල් කඩ නො කරන්නාහ. සතර මහාද්වීපයෙහි ඓශ්චර්ය හැර විවෙකවාසයයි කියනලද තවුස්වෙස් ම ගන්නාහ. සියලු සක්වළපුරා සිටි කිහිරඟුරු මැඩගෙන මුත් නුවණැත්තවුන් කරා ගොස් කුශලාකුශලාදි ධර්මයන් ම පිළිවිස්නාහ. පවන්වේගයෙන් අළැලීගියාවූ දැතිමෝරු ආදි චණ්ඩ මත්ස්‍යයන් විසින් ගැවැසීගත් මහාසමුද්‍රය බාහුවෙන් පැහැර පිහිනා ගෙන ගොසිනුත් නිර්වාණ නැමැති පරතෙරට පැමිණෙන්ට වීර්ය නොපසුබස්වා පවත්වන්නාහ. කඩුමුවහතින් කන් නාසා කපමින් සිටියදීත් අනුන් කෙරෙහි කෝප නො කරන්නාහ. කඩුපතින් ඉසගසා සිඳිමින් සිටියදීත් බොරු නොකියන්නාහ. සකල ශරීරය සුණු විසුණු කොට විසුරුවමින් සිටියදීත් අධිෂ්ඨානය නොහරින්නාහ. තමා සන්තක රාජ්‍යය උදුරාගත් රජක්හු උත්කෘෂ්ට වූ ප්‍රියපුත්‍රයක්හු මෙන් දැක මෛත්‍රී කරන්නාහ. අනුන් විසින් කරන ලද සුවදුක් දෙකෙහි අනුනය ප්‍රතිඝය නැතිවැ මධ්‍යස්ථව පවත්නාහ. සතර දිග සිට නොයෙක් සියදහස්ගණන් කඩුගත් අත් ඇති පුරුෂයන් විසින් හා යක්‍ෂරාක්‍ෂසාදි භයඞ්කර ස්වරූපය ඇති සත්ත්‍වයන් විසින් භය සන්ත්‍රාස උපදවමින් සිටියදීත් තැති නො ගෙන කුසල්ම කරන්නාහ. ජීවිත පරිත්‍යාගය කොටත් පාරමිතා සමාදානය නොයික්මවන්නාහ.

මෙසේ මෙතෙක්කල් මුළුල්ලෙහි දශපාරමීධර්මයන් සලක්‍ෂණ වශයෙන් පුරන්නාවූ ඒ මෛත්‍රෙය බෝධිසත්ත්‍වයෝ විශ්වන්තරාත්මභාවය හා සදෘශ පශ්චිමාත්මභාවයට පැමිණ සියලු පාරමී ධර්මයන් මස්තකප්‍රාප්ත කොට එයින් චුතව අපගේ සර්වඥයන් වහන්සේ බුදුවන්නාට පළමු කොටම තුෂිත දිව්‍ය ලෝකයෙහි ඉපැද අපමණ වූ දිවසැපත් අනුභව කොට දෙවියන්ටත් ධර්ම දේශනා කෙරෙමින් ඒ තුෂිත දිව්‍යලෝකයෙහි සහපිරිවරින් වාසය කරන්නාහුය.

කේතුමතී රාජධානි සමය

දැන් වූ කලි ඒ මෛත්‍රෙය සර්වඥයන්ට උත්පත්තිස්ථාන වූ රාජධානිය දක්වන්නා වූ තිලෝගුරු සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. කෙසේදයත්:-

“තදා කෙතුමතී නාම රාජධානී භවිස්සති

ද්වාදසයොජනායාමා සත්තයොජන විත්‍ථතා,

ආකිණ්ණා නරනාරීහි පාසාදෙහි විචිත්තිතා

සෙවිතා සුඛසත්තෙහි අජෙය්‍යා ධම්මරක්ඛිතා”යි.

ඒ මෛත්‍රෙය බුදුන් බුදුවන සමයෙහි දිගින් නැගෙනහිර වාසල එළිපත පටන් බස්නාහිර වාසල එළිපතට අතුර දොළොස් යොදනක් පමණ ඇත්තා වූ, පුළුළින් දකුණුදිග වාසල එළිපත පටන් උතුරුදිග වාසල එළිපතට අතුර සත්යොදනක් පමණ ඇති කෙතුමතී නම් රාජධානියක් වන්නීය.

තවද ඒ කෙතුමතී නම් රාජධානිය ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණය-වෛශ්‍යය-ශුද්‍රය යන සතර පක්‍ෂයෙහි වූ ස්ත්‍රීපුරුෂයන් හා නො එක් රූපසංස්ථාන ක්‍රියාවෙන් යුක්ත වූ අවශේෂ ස්ත්‍රීපුරුෂයන් විසින් ගැවසීගත්තීය. එක්මාල්-දෙමාල්-තුන්මාල්-සතරමාල්-පස්මාල්-සමාල්-සත්මාල් ආදි වූ මහල්වලින් හා වටය-සිව්රැස-දිගය-අටැස-සොළොසැස ගුරුළුපියා සටහන යනාදි නොඑක් සටහනින් විසිතුරු වූ මහදොර-සුළුදොර-සිව්මැදුරුකවුළු ආදියෙන් හෙබියා වූ පදනමින් හා රන්රසුදැලින් වටකරනලද්දා වූ දොරටු තොරණ-කෙහෙල්ගස්-ධජ-පතාක-පුන්කළස් ආදියෙන් පිරිවරන ලද්දා වූ සිංහපඞ්ක්තිය, ව්‍යාඝ්‍රපඞ්ක්තිය, මෘගපඞ්ක්තිය, හස්තිපඞ්ක්තිය, අශ්වපඞ්ක්තිය, දිව්‍යරූපපඞ්ක්තිය යනාදි වූ චිත්‍රකර්මරූපපඞ්ක්තියෙන් විචිත්‍ර වූ නීල-පීත-ලෝහිතොදාතාදි ප්‍රභාසමූහයෙන් දිලිහෙන්නා වූ රන්, රිදී, මැණික්මය වූ පර්වතකූටයන් හා සදාගවු අනෙකප්‍රකාර කෙළලක්‍ෂගණන් ප්‍රාසාදයෙන් විසිතුරු වන්නීය. කුශල නමැති ජලයෙන් පවිත්‍ර කරනලද අකුශල නමැති කලුෂ ඇති බැවින් පිරිසිදු වූ චිත්ත සන්තානයෙන් යුක්ත ශුද්ධසත්ත්‍වයන් විසින් සෙවනාලද්දීය. නරෙන්‍ද්‍ර, සුරෙන්‍ද්‍ර, අසුරෙන්‍ද්‍රාදි කිසි පසමිතුරුකෙනකුන් විසින් වැද ජයගෙන පලා යා නොහැක්කීය. කුශලධම්ම, රාජධර්මයෙහි නියුක්ත වූ රජදරුවන් හා අමාත්‍යාදීන් විසින් රක්‍ෂාකරනලද බැවින් ධර්මිෂ්ට සත්ත්‍වයන්ගෙන් කරනලද ආරක්‍ෂා ඇත්තීය. මෙසේ කිසිසත්ත්‍වකෙනකුන් විසින් ජයගත නොහැක්කා වූ ශුද්ධසත්ත්‍වයන් විසින් සෙව්නාලද ප්‍රාසාදයෙහි විසිතුරු වූ ස්ත්‍රීපුරුෂයන් විසින් ගැවැසීගත්තා වූ සත්යොදනක් පළල ඇති දොළොස්යොදනක් දිග ඇති කෙතුමති නම් රාජධානියක් එකල්හි වන්නීය.

තවද ඒ කෙතුමතීනම් රාජධානිය කවරකලෙකැ කොපමණ ආයුෂයක් ඇති මනුෂ්‍යයන් සමයෙහි වේ ද? යත්:- අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි වන්නීය.

කෙසේද යත්:-

ස්වර්ගමෝක්‍ෂ සැප සාදා දෙන්නා වූ මේ ශාසනය පඤ්චප්‍රකාර අන්තර්ධානයෙන් අන්තර්ධාන වූ කල්හි ලෝකයෙහි අකුශලය උත්සන්න වන්නේය. වැදූමෑණියෝය, කුඩාමෑණියෝය, නැඟිනියෝය, බූනැනියෝය, පියාණන් නැඟිනියෝය, මයිලනුවන්ගේ ප්‍රජාපතිය යන මේ නුසුදුසු වූ ස්ථානයෙහි සත්ත්‍වයෝ රාගය උපදවන්නාහ. අනුභවකටයුතු වූ ප්‍රියවස්තුවෙහි ඉතා බලවත් වූ ලෝභය උපදවන්නාහ. පුරුෂයන්ට පුරුෂයන් කෙරෙහි ඡන්‍දරාගය හා ස්ත්‍රීන්ට ස්ත්‍රීන් කෙරෙහි බලවත් වූ ඡන්‍දරාගය උපදනේය. මවුන්ට හිත නො වන්නාහ. පියන්ට හිත නොවන්නාහ. මහණධම් නො කරන්නාහ. බඹසරවස් නො කරන්නාහ. කුලදෙටුවන් නුපුදන්නාහ. එකල අනුක්‍රමයෙන් අකුශලය උත්සන්නවීම හේතුකොට ගෙන අවුරුදු සියයෙකින් පිරිසුන්නා වූ ආයුෂය පිරිහී දසඅවුරුද්දට ආයුෂය වන්නේය. එසමයෙහි පස්මැසිකුමාරවරුන්ට පස්මැසිකුමාරිකාවන් ගෙන හැරැ ආවාහ විවාහ කරන්නාහ. චක්‍රවර්තිසූත්‍රය දෙසන්නා වූ බුදුහු එහෙයින් වදාළහ:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු පඤ්චමාසිකා කුමාරිකා අලම්පතෙය්‍යා භවිස්සති”යි.

එසමයෙහි සියලුරස අන්තර්ධාන වෙයි. ඇල්වී අන්තර්ධාන වෙයි. අමුසාල් වරාසාල් ආදිවූ අනුලොමධ්‍යානයෙහි බත් රජදරුවන්ට අග්‍රභෝජන වන්නේය. එයින් වදාළහ බුදුහු:- එම සක්විති සූත්‍රයෙහි,

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමානි රසානී අන්තරධායිස්සන්ති සෙය්‍යථීදං සප්පි නවනීතං තෙලං මධුඵාණිතං ලොණංදසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුද්‍රෑසකො අග්ගභොජනානං භවිස්සති සෙය්‍යථාපි භික්ඛවෙ එතරහිසාලිමංසොදනො අග්ගොභොජනානං”යි.

එසමයෙහි ප්‍රාණඝාතාදි දශඅකුශලකර්මපථය අතිශයෙන් දීප්තිමත් වන්නේය. ප්‍රාණඝාතයෙන් වැළකීම් ආදිවූ දශකුශල කර්මපථය අන්තර්ධාන වන්නේය. කුශලය යන නාමමාත්‍රයකුත් නැති වන්නේය. කුශලොත්පත්තිය කැලම නො වන්නීය. එයින් වදාළහ බුදුහු:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු දසකුසලකම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති දසඅකුසලකම්මපථා අතිවිය දිප්පිස්සන්ති දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කුසලන්තිපි න භවිස්සති කුතො පන කුසලස්ස කාරකා”යි.

එකල මනුෂ්‍යයෝ අසවල්පුරුෂයා විසින් මවු මරණ ලද්දීය. පියා මරණ ලද්දේය. මහණබමුණෝ ජීවිතයෙන් තොරකරන ලද්දාහ. කුලදෙටුවන් ඇතිබවත් නොදන්නේය. එසේහෙයින් මෙතෙම ඉතා ආශ්චර්යවත් සපන් පුරුෂයෙකැයි ඔහු ම පුදන්නාහුත් වෙති. ප්‍රශංසාකරන්නාහුත් වෙති. එයින් වදාළහ බුදුහු:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු යෙ තෙ භවිස්සන්ති අමත්තෙය්‍යා අපෙත්තය්‍යා අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා න කුලෙ ජෙට්ඨාපචායිනො තෙ පුප්පා ච භවිස්සන්ති පාසංසාච”යි.

එකල මනුෂ්‍යයෝ භයලජ්ජා නැති වැ ආචාරධර්මය ඉක්ම මෑණියෝය, දියණියෝය, නැගනියෝය, බහුනැනියෝය යනාදි සංඥා නූපදවා බලු කැණහිලුන් මෙන් නිර්ලජ්ජි වන්නාහ. එයින් වදාළහ බුදුහු:-

“දසවස්සා’යුකෙසු භික්ඛවෙ මනුස්සෙසු න භවිස්සති මාතා, ති වා මාතුච්ඡා’තීවා මාතුලානී’ති වා ආචරියභරියාති වා ගරුනං දාරාති වා සම්භෙදං ලොකො ගමිස්සති යථා අජෙලකා කුක්කුට සූකරා සොණසිගාලා”යි.

එකල මනුෂ්‍යයන්ට ඔවුනොවුන් කෙරෙහි බලවත් වූ කෝපය නැවත නැවත උත්පත්ති වශයෙන් එළඹ සිටිනේය. වදාළේ මැනෝ:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු තෙසං සන්තාන අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො ව්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං මාතු’පි පුත්තම්හි පුත්තස්සපි මාතරි පිතූපි පුත්තම්හි පුත්තස්සපි පිතරිභාතුපි භාතරි භාතුපි භගිනියා භගිනියාපි භාතරි”යි.

එසමයෙහි ශස්ත්‍රාන්තඃකල්පය වන්නේය. අන්තඃකල්පය තෙමේ දුර්භික්‍ෂාන්තඃකල්පය රොගාන්තඃකල්පය ශස්ත්‍රාන්තඃකල්පය යි ත්‍රිප්‍රකාර වන්නේය. ඒ ත්‍රිවිධ වූ අන්තඃකල්පයන් අතුරෙන් සත්ත්‍වයන්ට ලෝභය අධික වූ සමයෙහි දුර්භික්‍ෂාන්තඃකල්පය වන්නේය. මෝහය අධික වූ සමයෙහි රොගාන්තඃකල්පය වන්නේය. ද්වේෂය අධික වූ සමයෙහි ශස්ත්‍රාන්තඃකල්පය වන්නේය. ඒ තැනින් දුර්භික්‍ෂාන්තඃකල්පයෙන් නටුවා වූ සත්ත්‍වයෝ ආහාරතෘෂ්ණාව බලවත්බව හේතුකොට ගෙන බොහෝසේ ප්‍රේතලෝකයෙහි උපදනාහ. රෝගාන්තඃකල්පයෙන් නටුවා වූ සත්ත්‍වයෝ අප කෙරෙන් අනන්‍ය වූ සත්ත්‍වයන්ට මෙබඳු වූ රෝගයෙක් නුවූයේ වී නම් යහපත් වන්නේය යි මෙත්සිත් උපදනා හෙයින් බොහෝ සේ ස්වර්ගයෙහි උපදනාහ. ශස්ත්‍රාන්තඃකල්පයෙන් නටුවා වූ සත්ත්‍වයෝ ඔවුනොවුන් කෙරෙහි බලවත් වූ ආඝාත ඇති බැවින් නරකයෙහි උපදනාහ. මේ ත්‍රිවිධ වූ අන්තඃකල්පයන් අතුරෙන් මෙතැන්හි ශස්ත්‍රාන්තඃකල්පය දතයුත්තේය.

එකල මනුෂ්‍යයෝ ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥා ඇතිවැ කොල තෙල මුවා ගණුව, මරව, හසුකරව යනාදීන් තුඩුවැඩියා බණන්නාහ. අතින් ඇල්වූ පමණකන් තණපත් පරණලාපත් සියුම්මුවහත් ඇති කඩුපත්සේ මැවී යෙයි. එයද සත්ත්‍වයෝ ඔවුනොවුන් ඒ ආයුධයෙන් මරන්නාහ. වදාළේ මැ නෝ:-

“දසවස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු සත්තාහං සත්‍ථන්තරකප්පො භවිස්සති. තෙ අඤ්ඤමඤ්ඤං මිගයඤ්ඤං, පටිලභිස්සන්ති. තෙසං තිණ්හානි සත්‍ථානි හත්‍ථෙසු පාතුභවිස්සන්ති. තෙ තිණ්හෙන සත්‍ථෙන එස මගො එස මගො’ති අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපෙස්සන්ති” යි.

ඒ සත්ත්‍වයන් අතුරෙන් යම් කෙනෙක් නුවණැත්තෝ වී නම් ඒ නුවණැති මනුෂ්‍යයෝ පළමුකොට ම මේ විනාශය අසා මේ ලෝකවිනාශය පැමිණ සිටියේය. දෙදෙනකු එක තෙනකැ හිඳ ජීවත්වන්ට නො පිළිවන් වන්නේය යි සිතා ගල්ගුහා පර්වත ගුහා ආදියෙහි සතියක් පමණට සෑහෙන ආහාර තබා ගස්අතුරට වනලැහැප් අතුරට පර්වතගුහාවට දිවයින්වලට වැද දෙදෙනෙක් ඔවුනොවුන්ට නොපෙනෙන පරිද්දෙන් සැඟවී ඉඳිනාහුය. වදාළේ මැ නෝ :-

“තෙ තිණගහණං වනගහණං රුක්ඛගහණං නදීවිදුග්ගං පබ්බතවිසමං පවිසිත්‍වා සත්තාහං වනමූලඵලාහාරා යාපෙස්සන්ති”යි.

ඒ වනාන්තර, පර්වතගුහා, ගල්ගුහා ආදියට වන්නා වූ සත්ත්‍වයන් හැර අවශේෂ සත්ත්‍වයෝ ඔවුනොවුන් ආයුධයෙන් කොටාගන්නාහුය. සියලු පොළොව එක මස්කළවිටක් මෙන් වන්නීය. ඉක්බිත්තෙන් සත්වැනිදහස් ඉකුත් වූ කල්හි තමන් තමන් සැඟවුනා වූ ස්ථානවලින් නික්ම ඔවුනොවුන් වැළඳ මම යම්සේ ජීවත්ව උන්හෙයින් තොප විසින් දක්නා ලද්දෙම් වෙමි ද? පින්වත් වූ සත්ත්‍වය, එපරිද්දෙන්ම තොයිත් ජීවත්ව උන් හෙයින් මා විසින් දක්නාලද්දෙහි වේ දැ යි මෙසේ සමග සතුටු වන්නා වූ කථාවෙන් සුවදුක් කියා ඔවුනොවුන් අස්වසා නොමිය උන් හෙයින් ඔවුනොවුන් ඇස දැකපුමෝ වේ දැ යි සතුටුව සමග වන්නාහුය. වදාළේ මැනෝ:-

“තෙ තස්ස සත්තාහස්ස අච්චයෙන තීණගහණා වනගහණා රුක්ඛගහණා නදීවිදුග්ගා පබ්බතවිසමා නික්ඛමිත්‍වා අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගිත්‍වා සභාගායිස්සන්ති. සමස්සා සිස්සන්ති. දිට්ඨාභො සත්ත ජිවසි දිට්ඨා භො සත්ත ජීවසි”යි මෙසේ ඒ සත්ත්‍වයෝ ඔවුනොවුන් සමග බවට පැමිණ පින්වත්වූ සත්ත්‍වයෙනි, අධික වූ අකුශල කර්මය හේතු කොට ගෙන අපගේ නෑයෝ අපකියමන් නො ගෙන ඇමදෙන ම නටහ. උපායෙන් අපි ජීවත් වූම්හ. එසේ හෙයින් අපි කුසල් කළමෝ වී නම් යහපත් වන්නේය යි කියා ප්‍රාණඝාතයෙන් වළක්නාහ. ඒ ප්‍රාණඝාතයෙන් වැළැක්කාවූ දසඅවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. වදාළේ මැ නෝ:-

“අථඛො භික්ඛවෙ තෙසං සත්තානං එවං භවිස්සති. මයං ඛො අකුසලානං ධම්මානං සමාදානහෙතු එවරූපං ආයතං ඤතික්ඛයං පත්තා. යන්නූන මයං කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම යන්නූන මයං පාණාතිපාතා පටිවිරමෙය්‍යාම. ඉදං කුසලධම්මං සමාදාය වත්තෙය්‍යාමාති තෙ පාණාතිපාතා පටිවිරමිස්සන්ති. ඉදං කුසලධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලා නං ධම්මානං සමාදානහෙතු ආයුනා’පි වඩ්ඪිස්සන්ති. වණ්ණෙන’පි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනා’පි වඩ්ඪමානානං වණ්ණෙනාපි වඩ්ඪමානානං දසවස්සායුකානං මනුස්සානං වීසති වස්සාසුකාපුත්තා භවිස්සන්ති”යි.

ඉක්බිත්තෙන් ඔවුන්ගේ දරුමුණුබුරෝ ක්‍රමයෙන් අදත්තාදානයෙන් වළකුම්හ, කාමමිථ්‍යාචාරයෙන් මෘෂාවාදයෙන් ප්‍රියසුන්‍යවචනයෙන්, ඵරුෂවාක්‍යයෙන්, ස්වර්ගමොක්‍ෂයට බාධක වූ ව්‍යර්ථකථාවෙන්, අධික ලෝභයෙන්, අධික ද්වේෂයෙන්, විපරීත දෘෂ්ටියෙන් වළකුම්හ. මේ දශකුශලකර්මපථය සමාදන්ව පවතුම්හ. දෙමව්පිය ආදීන් කෙරෙහි උපදනා අධර්මරාගය, ප්‍රයෝජන විනදසුතු ප්‍රියවස්තු වහි අධික ව උපදනා විෂමලෝභය, පුරුෂයන් පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන්ට ස්ත්‍රීන් කෙරෙහි බලවත් වූ ඡන්‍දරාගයෙන් උපදනා මිථ්‍යාධර්මය යන මේ ත්‍රිවිධ වූ ධර්මයන් දුරුකරම්හ. මවුන්ට හිතවම්හ. පියන්ට හිතවම්හ. මහණුවම් කරම්හ. බඹසරවස් රකුම්හ. කුලදෙටුවන් පුදම්හ යි කියා ඒ කුශලධර්මයන් පුරනට පටන්ගන්නාහ.

මෙසේ මතුමත්තෙහි වඩ වඩා ඒ සත්ත්‍වයන් කුශලධර්මයෙහි හැසිරෙන්ට පටන්ගත් කල්හි විසිඅවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන්ට තිස්අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. තිස්අවුරුද්දට ආයුෂය ඇත්තවුන්ට සතළිස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ. සතළිස්අවුරුද්දට ආයුෂය ඇත්තවුන්ට පනස් අවුරුද්දට ආයුෂය ඇති දරුවෝ උපදනාහ යනාදී ක්‍රමයෙන් දෙසියයක් අවුරුද්දට ආයුෂය ඇති වන්නාහ.

එසමයෙහි මේ ජම්බුද්වීපය හුනවනයක් බටවනයක් මෙන් අතුරු නැති වැ මනුෂ්‍යයන්ගෙන් ගැවැසීගන්නේය. කුකුළුපයන සරගම් නියම්ගම් රාජධානියෙන් සමෘද්ධවන්නේය. සියලු ජනපදයෝ සොරුන් සතුරන්ගෙන් භය නැති හෙයින් සුභික්‍ෂ වන්නාහ. එකල මේ බරණැස්නුවරට එම නම වන්නේය. ඉක්බිත්තෙන් දෙසියයක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයෝ කුශල කර්මවිපාකය දක්නාහු වඩ වඩා මතුමත්තෙහි දානසීලාදි කුශල ධර්මයන් පුරන්නාහ. ඉක්බිත්තෙන් අනුක්‍රමයෙන් ආයුෂය මතු මත්තෙහි කුශලධර්මසමාදානයෙන් වැඩෙමින් තුන්සියයෙක, සාරසියයෙක, පන්සියයෙකැයි කියාද, ඉක්බිත්තෙන් අවුරුදු දහසෙක, දෙදහසෙක, තුන්දහසෙක, සාරදහසෙක, පන්දහසෙකැයි කියාද ඉක්බිත්තෙන් දසදහසෙක, විසිදහසෙක, තිස්දහසෙක, සතලිස්දහසෙක, පණස්දහසෙක, සැටදහසෙක, සැත්තෑදහසෙක, අසූදහසෙක, අනූදහසෙකැයි කියාද, ආයුෂය මතුමත්තෙහි වැඩෙන්නේය. අනූදහසක් අවුරුද්දට ආයුෂය ඇතිකල්හි බරණැස්නුවර නම් පෙරළී යොදනක් පමණ උත්පලනම් නුවරෙක් වන්නේය. ඉක්බිත්තෙන් මනුෂ්‍යයන් අධිකතරව දශකුශලකර්මයෙහි හැසිරෙන්ට පටන්ගත් කල්හි ලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය.

එකල උත්පලනම් නුවර නම් පෙරලී සත්යොත්නක පමණ පදුමනම් නුවරෙක් වන්නේය. ඉක්බිත්තෙන් සත්ත්‍වයන් වඩ වඩා කුශලධර්මය පුරන්ට පටන්ගත් කල්හි කෙළලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඉක්බිත්තෙන් සත්ත්‍වයන්ගේ කුශලකර්මසමාදානයෙන් මතුමත්තෙහි ආයුෂය වඩාගෙන ගොස් අසංඛ්‍යයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එසමයට පදුමනම් නුවර නම් පෙරළී දොළොස්යොදනක් පමණ මන්‍දාර නම් නුවරෙක් වන්නේය. එසමයෙහි මිනිස්ලොව දෙව්ලොවටත් වඩනේය. උපන්කල් නොදනිති. මියෙන කල් නොදනිති. ජරා විලිපිලි නැත, රෝගාන්තරාය නැත. එසේ හෙයින් නොපෙනෙන්නාවූ ජරා මරණ ඇති සත්ත්‍වයෝ නරක දුකින් බලවත් පීඩා විඳි සත්ත්‍වයන් ස්වර්ගලෝකයෙහි ඉපද දුක්සිහි නැතිවීමෙන් කුශල් කිරීමට ප්‍රමාදවන්නාක් මෙන් නැවතත් කුශලධර්ම පූරණයෙහි ප්‍රමාද වන්නාහ. නැවත අකුශලකර්මයෝ සත්ත්‍වසන්තානයෙහි පහළවන්නාහ. හළාහලවිසමිශ්‍ර ජලය වැදීමෙන් අමෘතජලය පිටත්ව පලායන්නාක් මෙන් සත්ත්‍වයන්ගේ සන්තානයෙහි අකුශලකර්මය වැදීමෙන් කුශලධර්මය පිරිහෙන්ට පටන් ගන්නේය. ඒ කුශල ධර්මය පිරිහෙන්ට පටන්ගත් කල්හි ආහාරජ රූපයන්ගේ පිරිහීමෙන් අවශේෂ වූ කර්මජ-චිත්තජ-සෘතුජ-රූපයන් තුන්දෙනාගේ පරිහාණිය මෙන් ආයුෂය පිරිහෙන්නේය. එකල අසංඛ්‍යයක් අවුරුද්දට ඇත ආයුෂය ක්‍රමයෙන් පිරිහී කෙළ ලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එයින් ක්‍රමයෙන් පිරිහී ලක්‍ෂයක් අවුරුද්දට ආයුෂය වන්නේය. එයින් ක්‍රමයෙන් පිරිහී අනූදහසක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඒ අනූදහසක් අවුරුදු ක්‍රමයෙන් පිරිහී අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇතිව සිටිනේය. එසමයෙහි මනුෂ්‍යයෝ අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇතිවන්නාහ. පන්සියයක් හැවිරිදි කුමාරයාට පන්සියයක් ඇවිරිදි කුමාරිකාව ගෙන හැර ආවාහ විවාහ කරන්නාහ. එකල සියලු ජම්බුද්වීපයෙහි උත්තමාධමවූත් සියලු සත්ත්‍වයෝ ආහාරපානවර්ගය, ඛාද්‍යය, භොජ්‍යය, ලෙය්‍යය, පෙය්‍යය යන චතුර්විධ ආහාරවර්ගයෙන් ද, වස්ත්‍රාභරණ සුවඳමල් සුවඳවිලවුන් ආදියෙන් ද, මුත්තාමාණික්‍යාදි දශවිධ රත්නයෙන් හා ශාලිව්රීභ්‍යාදි සප්තවිධ ධාන්‍යයෙන් හා අපරියන්ත වූ උපභොගපරිභොග සම්පත් පිරිවර ආදියෙන්ද, දිව්‍ය වූ පංචකාමකොට්ඨාසයක් හා සමානවූ ඉෂ්ටවූ කාන්තවූ මනවඩන්නාවූ සැපවිඳින්ට සුදුසු වූ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණයෙන්ද යුක්තවන්නාහ. වර්ෂාවත් දෙපෝයෙන් දෙපෝය, දසදවසින් දසදවස, පස්දවසින් පස්දවස, මධ්‍යමයාමයෙහි භූමිරසය වඩමින් වස්නේය.

එකල මන්‍දාර නම් නුවර නම්පෙරළි දිග දොළොස් යොදුන් පුළුල සත්යොදුන් යටකී සියලු සම්පතීන් සමෘද්ධ වූ කෙතුමතී නම් රාජධානියෙක් වන්නේය. එයින් වදාළහ බුදුහු:-

“අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු අයං බාරාණසී කෙතුමතී නාම රාජධානි භවිස්සති. ඉද්ධාවෙව පීතාව, බහුජනාව, ආකිණ්ණමනුස්සාච, සුභික්ඛාව අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු ඉමස්මිං ජම්බුදීපෙ චතුරාසීති නගර සහස්සානි භවිස්සන්ති කෙතුමතීරාජධානි පමුඛානී”යි.

මෙසේ ඒ කෙතුමතී නම් රාජධානිය අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි වන්නේය.

සංඛ සක්විති රජ

මෙසේ කෙතුමතී නම් රාජධානියෙහි උත්පත්තිය දක්වා දැන් එනුවර සංඛ නම් රජ්ජුරුකෙනෙක් සතරමහද්වීපයට අධිපතිව එකාතපත්‍රකොට චක්‍රවර්ති රාජ්‍යශ්‍රී අනුභව කෙරෙමින් අපරියන්ත වූ සෙනාවාහණයෙන් හා සත්රුවනින් හා නොයෙක් ආනුභාවයෙන් යුක්තව උපදනාහුයයි, දක්වන්නා වූ තිලොගුරු සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“සම්මොනාම සොරාජා අනන්තබලවාහණො,

සත්තරතන සම්පන්නො චක්කවත්ති මහබ්බලො

ඉද්ධිමා යස්සාචෙව සබ්බකාම සමප්පිතො,

හතපච්චත්‍ථිකං ඛෙමං අනුසාසති ධම්මතො”යි.

ඒ රජ්ජුරුවෝ කෙබඳු වූ ශ්‍රීසමෘද්ධියක් ඇත්තාහුද? යත්:- ඒ රජ්ජුරුවෝ වූකලි ඇත්සෙනඟය, අස්සෙනඟය, රථසෙනඟය, පාබලසෙනඟය යන අපමණ වූ සිව්රඟසෙනගින් ගැවසී ගත්තා වූ සතිස්යොදනෙක පැතිර සිටිනා වූ නිරන්තරයෙන් උපස්ථාන කරන්නාවූ පිරිසිදු වූ අවිකලාඞ්ගවූ පුරුෂපරාක්‍රම සඞ්ඛ්‍යාතබලයෙන් යුක්ත වූ නොයෙක් සේනාවාහණ ඇත්තාහ. චක්‍රරත්නය-හස්තිරත්නය-අශ්වරත්නය-මාණික්‍යරත්නය-ස්ත්‍රීරත්නය-ගෘහපතිරත්නය-පරිනායකරත්නය යන සප්තරත්නයෙන් සමර්ථයහ. දහසක් දැවි ඇති නිම් වළළු සහිත නැබසහිත සර්වාකාරයෙන් සම්පූර්ණ චක්‍රරත්නය දෙදහසක් කොදෙවු පිරිවර කොට ඇති සතරමහාද්වීපයෙහි පවත්වන්ට සමර්ථ වූ චක්‍රවර්ති රාජානුභාවය ඇත්තාහ. අවශෙෂජනයන්ගේ බලයට වඩා අධික වූ මහත්වූ කායබල ඥානබල-කුශලබලයෙන් සමන්විතයහ. රජ-බමුණු-වෙළඳ-ගොවි සතරකුලෙහි ප්‍රභූසත්ත්‍වයන් හා අධිකාර සෙනෙවිරත්-ඈපා-මාපා-මද්ධලී යන පඤ්චප්‍රධානයන් හා අන්තඃපුර-පිරිපුර-කම්මිත්තන් ආදි නොයෙක් පිරිවරජනයන්ගෙන් පිරිවැරුම් ඇත්තාහ.

සඞ්ඛනම් චක්‍රවර්තිරජ්ජුරුවන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ වහනය වන්නේය. මේ එක්සෘද්ධියෙක. මුඛයෙන් මහනෙල්මල් සුවඳ පැතිරෙන්නේය. මේ දෙවනසෘද්ධියය. දිව්‍යපුත්‍රයෝ සතරදෙනෙක් සතරදිග හැමකල්ම කඩුගත් අත් ඇති ව රැකවල් ගෙන සිටිනාහ. මේ තුන්වැනිසෘද්ධියෙක. ආකාශචාරී වන්නාහ. මේ සතරවැනිසෘද්ධියය. තවද දිව්‍යරූපයට නොපැමිණියාවූ මනුෂ්‍යරූපය ඉක්ම සිටියාවූ විශිෂ්ටවූ රූප ඇත්තාහ. මේ එක්සෘද්ධියෙක. අනුභවකළ ආහාර පානවර්ගය ඇඹුල් නොවී සමව පාකය කරන්නාවූ කර්මජ තෙජෝධාතුවෙන් යුක්තයහ. මේ දෙවැනිසෘද්ධියය ජීවිතාන්තය දක්වාත් සියලු ලෝවැස්සන් දැක තෘප්තියකට නො පැමිණෙන්නා වූ ශ්‍රීසමෘද්ධිය ඇත්තාහ. මේ තුන්වැනිසෘද්ධියය. සිතූසිත හා සමග ආකාශයට පැනනැඟී කැමැති දිහාකට යන්ට සමර්ථ වන්නාහ. මේ සතරවැනි සෘද්ධියය. මෙසේ විප්‍රකාර චතුර්විධසෘද්ධියකින් සමන්විතයහ. ඇසින් දැක ඇලුම් කටයුතු වූ ඉෂ්ට-කාන්ත-මනාප-රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණයෙන් හා දිවසැපතක් හා සමාන වූ ආස්තරණ-පාපුරණ-දාසි-දාස හා දිවසැපතක් හා ක්‍ෂෙත්‍රවස්තු සඞ්ඛ්‍යාත වස්තුකාමයෙන් සමන්විතයහ. නසනලද පස මිතුරන් ඇති නිර්භය වූ සුභික්‍ෂ වූ සියලු පෘථිවිමණ්ඩලය මහත්වූ යසපිරිවරින් හා ආනුභාවයෙන් යුක්තව දසරාජධර්මයෙන් අකොප්‍යව දාන-ප්‍රියවචන-අර්ථචර්යා-සමානාත්මතා යයි කියනලද සතරසංග්‍රහ වස්තුවෙන් ජනරජනය කෙරෙමින් අනුශාසනා කරන්නාහුය.

එසේ හෙයින් වදාළහ බුදුහු:-

“අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කෙතුමතියා රාජධානියා සඞ්ඛොනාම රාජා උප්පජ්ජිස්සති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්‍ථාචරියප්පත්තො සත්තරතනසමන්නාගතො තස්සි’මානිසත්තරතනානි භවිස්සන්ති සෙය්‍යථීදං? චක්කරතනං, හත්‍ථිරතනං, අස්සරතනං, මණිරතනං, ඉත්‍ථිරතනං, ගහපතිරතනං, පරිනායකරතන මෙව සත්තමං, පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවිස්සන්ති සූරා, වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්‍ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසිස්සතී”යි.

ප්‍රාසාද සමෘද්ධිය

මෙසේ සඞ්ඛනම් චක්‍රවර්තිරජ්ජුරුවන්ගේ උත්පත්තිය දක්වා දැන් ඒ රජ්ජුරුවන් වසන්නා වූ ප්‍රාසාදසමෘද්ධිය දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“පාසාදො සුකතො තත්‍ථ දිබ්බවිමානසාදිසො.

පුඤ්ඤකම්මාහි නිබ්බත්තො නානාරතනවිචිත්තිතො

වෙදිකාහි පරික්ඛිත්තො සුවිභත්තො මනොරමො

පහස්සරච්චුග්ගතො සෙට්ඨො දුදික්ඛො චක්ඛුමූයතො

රඤ්ඤො මහාපනාදස්ස, පවුත්‍ථො රතනාමයො

තං යූපං උස්සාපෙත්‍වාන සංඛරාජා වසිස්සති”යි

ඒ කෙතුමතී නම් රාජධානියෙහි මහාපනාද රජ්ජුරුවන් හා සඞ්ඛනම් රජ්ජුරුවන් හා දෙදෙනාගේ කුශලකර්මයෙන් උපන්නා වූ දිව්‍යප්‍රාසාදයක් හා සමාන වූ ප්‍රාසාදයෙක් පහළවූයේය. ඒ ප්‍රාසාදය කෙබඳුද? යත්:- අනෙකප්‍රකාර සත්රුවන්කර්මාන්තයෙන් විසිතුරු වන්නේය. පබළුමය, මැණික්මය, රන්රිදීමය, ලොහිතඞ්කමය, මැසිරිගල්මය, පිළිවහණමය, වෙරළුමිණිමය, සත්රුවන්මය, පිළිපදනම් වලල්ලෙන් හා නිසවත්තෙන් වටකරන ලද්දේය. මහදොර, සුළුදොර, මහකවුළු, සීමැදුරුකවුළු, හිණිමන්පංක්ති, පියගැටපංක්ති, එක්මාල්, දෙමාල්, තුන්මාල්, සතරමාල්, පස්මාල්, කන්කලු, ආභද්‍ර ආදී වින්‍යාසයෙන් මනාකොට විභාගකරන ලද්දේය. ඒ ප්‍රාසාදය බලන්නාවූ සත්ත්‍වයන් තමාහැර අන්තැනකට යා නොදී සිත්අලවන හෙයින් ඉතා සිත්කලු වන්නේය. නභොමධ්‍යගත සූර්යමණ්ඩලය මෙන් දසදිස පැතිරෙන්නා වූ රස්මි ඇතිව ඉතා පැහැසර වන්නේය. උසින් පස්විසියොදනක් පමණ ඇත්තේය. උත්තමසත්ත්‍වයන් විසින් වාසය කටයුතු හෙයින් හා ප්‍රාර්ථනා කටයුතු හෙයින් ශ්‍රේෂ්ඨ වන්නේය. දිලියෙන්නා වූ තේජස් ඇති බැවින් ඇසරුජා වත් ඇස මධ්‍යාහ්න වේලේ වැදගත් හිරුරැසක් මෙන් ඇසකන ඇස දල්වා බැලිය නොහැක්කේය, ඒ ප්‍රාසාදය බලන්නා වූ සත්ත්‍වයන්ගේ ඇස් පැහැරගන්නාක් මෙන් තමහට විමුඛවිය නොදෙන හෙයින් පිටිපෑ යා නොදෙන්නේය.

මෙසේ මෙබඳු වූ පෙර මහාපනාද නම් රජ්ජුරුවන් වාසය කළා වූ සර්වරත්නමය වූ විචිත්‍ර වූ ප්‍රාසාදය නංවා සඞ්ඛනම් චක්‍රවර්ති රජ්ජුරුවෝ ඒ ප්‍රාසාදයෙහි වාසයකරන්නාහ. ඒ ප්‍රාසාදය සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ට කෙසේ පහළවීද? යත්:-

යටගිය දවස බරණැස්නුවර වසන්නා වූ කූඪපතුදෙපුතු පියකෙනෙක් නුවරින් නික්ම හුණවනයට වන්නාහ. එකෙණෙහි එක් පසේබුදු කෙනකුන් වහන්සේ හිමාලවනයේ ගඳමහන්පව්වේ නන්‍දමූලක නම් ප්‍රාග්හාරයෙහි වසනසේක් සත්ත්‍වයන්ට අනුග්‍රහකරනු කැමැතිව උදෑසනම නැඟී සිට සිරුරු පිළිදැගුම් කොට අනවතප්ත ජලයෙන් මුඛය සෝධා නාළිය දැවටු වළඳා සත්යොදනක් පමණ ඇති රත්ගල්තලා මුදුනෙහි සිට ගැටවටුගන්වා ඉඳුනිල්මිණිවන් පයක් අතින් ගෙන සෘද්ධියෙන් ආකාශයට පැන නැගී පස්වණක් වලාපඞ්ක්ති මඩිමින් අවුත් බරණැස්නුවරට නුදුරු තැනකට බැස නුවරට අභිමුඛව නික්මුණුසේක. ඒ කුළුපතුදෙපුතුපිය දෙදෙන නුවරට සිඟා වඩනාවූ ඒ පසේබුදුන් වහන්සේ දැක පසඟපිහිටුවා වැඳ පාත්‍රය ගෙන ගංතෙරට වඩාගෙන ගොස් දාවල් කර්මාන්තයට ගෙන ගිය ලාබත් වළඳවා වළඳා අන්තයෙහි ස්වාමීනි කොතනකට වඩනාසේක් දැයි විචාළහ. එබස් අසා පසේබුදුන්වහන්සේ උපාසකවරුනි, ඇතවස පැමිණියේය. එසේහෙයින් වස්සාරමස වසන්ට සුදුසු වූ ස්ථානයක් පරීක්‍ෂාකොට ඇවිදුම්හයි වදාළ සේක.

එබස් අසා දෙපුතුපියෝ ස්වාමීනි! අපි නුඹවහන්සේට වසන්ට සුදුසු වූ ස්ථානයක් කරම්හයි කියා දිඹුල්දණ්ඩෙන් පාහිඳුවා හුණදණ්ඩෙන් භිත්ති බැඳ තණකොලින් උඩ සොයා මැටි ගසා දොරළි දොරබා ලා පන්සල පසේබුදුන් වහන්සේට පිළිගන්වා කුළු ආදිය විකොට කළවිටිපොළා පිදුරුසළා කරල් අවුලා ලබනලද ධාන්‍යයෙන් සාල් ගෙන බත් පිස ලත්ලත් සැටියේ මුංකොමු යවකොමු මත්ස්‍යමාංස පළාකොල ආදිවු සූපව්‍යඤ්ජන හා සමග බත් දන්දී මෙසේ තුන්මසක් මුළුල්ලෙහි උපස්ථාන කොට වස්ඉක්බිති පවරා අන්තයෙහි පසේබුදුන් වහන්සේ වඩනා අවස්ථාවෙහි තුන්සිවුරු සපයා පිළිගන්වා යවූහ. මෙම ක්‍රමයෙන් සත් ඇතවසෙක සත්පසේබුදු කෙනකුන්වහන්සේ එම පන්සල වස්වා සිව්පසයෙන් උපස්ථාන කළහ. ඒ දෙපුතුපියෝ ආයුපමණින් මනුෂ්‍යලෝකයෙහි සිට කළුරිය කොට තවුතිසා භවනයෙහි ඉපැද තුන්කෙළසැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිව්‍යසම්පත් අනුභවකොට ඒ ආයුෂය ගෙවා කළාවූ කුශලය ගෙවී නොගිය හෙයින් එයින් මත්තෙහි යාමදිව්‍යලෝකයෙහි ඉපද තුදුස්කෙළසතලිස් ලක්‍ෂයක් අවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිව්‍යසැපත් අනුභවකොට එහි ආයුෂය ගෙවා කළ කුශල් නො ගෙවුනුහෙයින් මත්තෙහි තුෂිත දිව්‍යලෝකෙයහි ඉපද සත්පණස්කෙළසැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිව්‍යසැපත් අනුභවකොට එහිත් ආයුෂය ගෙවා කළ කුශල් නො ගෙවුනු හෙයින් එයින් මත්තෙහි නිම්මාණරතී දිව්‍යලෝකයෙහි ඉපැද දෙසියතිස්කෙළසතලිස්ලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි දිව්‍යඓශ්වර්ය අනුභවකොට එහිත් ආයු ගෙවා කළ කුශල් නො ගෙවන හෙයින් එයින් මත්තෙහි පරනිර්මිතවශවර්ති දිව්‍යලෝකෙයහි ඉපැද නවසියඑක්විසිකෙළසැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත්වූ දිවඉසුරු වළඳා එහිත් ආයුෂය ගෙවා කළ කුශල් ගෙවුන හෙයින් නැවත එයින් පාත නිම්මාණරතී දිව්‍යලෝකයෙහි ඉපැද එහි ආයුපමණින් දිව සැපත් අනුභවකොට එයින් පාත තුෂිත දිව්‍යලෝකෙයහි ඉපැද එහිත් ආයුපමණින් දිවසැපත් අනුභව කොට එයින් යට යාම දිව්‍යලෝකයෙහි ඉපැද එහිත් ආයුපමණින් දිවසැපත් වළඳා එයින් පාත තවුතිසා දිව්‍යලෝකයෙහි ඉපැද එහිත් ආයුපමණින් දිවඉසුරු වළඳා මෙසේ සදිව්‍යලෝකයෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මහත්වූ ශ්‍රීවිභූති අනුභව කෙරෙමින් ඇවිදිනාහුය.

කීයේ මැනෝ:-

“නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ අථවා තස්ස සාවකෙ”යි.

සුරුචි කුමරු

මෙසේ ඒ දෙපුතුපියන් ස්වර්ගසම්පත් අනුභව කෙරෙමින් සිටියදීම මහාසම්මතවංශයෙහි මියුලුනුවර, සුරුචි නම් රජ්ජුරුකෙනෙක් වූහ. ඒ රජ්ජුරුවෝ පුතනුකෙනකුන් ලැබ ඒ පුතනුවන්ටත් සුරුචිකුමාරයෝය යි කියා ම නම් තිබුවාහුය. පුරාතනයෙහි රජදරුවෝ වූකලි තමන්ගේ දරුවන් මෙසේකල්හි මොහු නිහතමානීවැ එඩි දප් නැතිව ශීතොෂ්ණක්‍ෂමව ලෝක චාරිත්‍ර දැනගන්නාහු වෙති යි, සිතා තමන්ගේ නුවර දිශාපාමොක්ආචාරීන් ඇතිව තිබැදීත් සිල්පඋගන්නා පිණිස දුරු අන්‍යරාජ්‍යයකට යවන්නාහ.

එසේහෙයින් ඒ සුරුචිරජ්ජුරුවෝත් සොළොස්හැවිරිදි පුතණුවන් සමීපයට කැඳවා ගෙන්වා ගෙන එක්පටවහන් සගලක්, පත්කුඩයක් හා මස්සෙන් දහසක් දී පුත! තක්සලානුවරට ගොස් සිල්ප උගණුවයි යවූහ. ඒ සුරුචිකුමාරයෝ යහපතැයි කියා දෙමවුපියන් වැඳ නුවරින් නික්ම ක්‍රමයෙන් තක්සලානුවරට ගොස් නුවර වාසල්දොර ශාලාවෙක උන්හ. බරණැස් රජ්ජුරුවන්ගේත් පුත්‍ර වූ බ්‍රහ්මදත්ත නම් කුමාර කෙනෙක් එසේ ගොස් සුරුචිකුමාරයන්හුන් පෝරුව මත්තෙහිම හුන්හ. ඔහු දෙදෙන ඔවුනොවුන්ගේ නම් ගොත් විචාරා විශ්වාසීව එක්වම ආචාරීන් සමීපයට ගොස් ආචාරීකොට්ඨාසය දී සිල්ප උගන්ට පටන් ගෙන නොබෝකලකින්ම සිල්ප ඉගෙන නිමවා ආචාරීන් පිළිවිස මඳතැනක් දක්වා මාර්ගයේ එක්වම ගොස් දෙමංසන්‍ධියෙහි සිට ඔවුනොවුන් වැළඳ මිත්‍රධර්මය රක්නා සඳහා කතිකාවක් කරන්නාහු ඉදින් මට පුතණු කෙනෙක් උපන්නාහු වී නම් තොපට දියණි කෙනෙක් උපන්නාහු වී නම් හෝ තොපට පුතණු කෙනෙක් මට දියණි කෙනෙක් උපන්නාහු වී නම් හෝ ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ට ආවාහ විවාහ කරම්හයි, මෙබඳු වූ කතිකාවක් කළහ. මෙසේ කතිකා කොට ඒ දෙදෙනා තම තමන්ගේ රාජ්‍යවලට ගොස් රාජ්‍යය කරන කල්හි සුරුචිමහ රජ්ජුරුවන්ට පුතණු කෙනෙක් උපන්නාහුය. උන්ට සුරුචී කුමාරයෝයයි කියාම නම් තුබූහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට දියණි කෙනෙක් උපන්නාහුය. උන්ට සුමෙධාදේවි යයි නම් තුබූහ. සුරුචිකුමාරයෝ වැඩිවිය පැමිණ තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ආවාහුය.

ඉක්බිත්තෙන් ඒ කුමාරයන් පියරජ්ජුරුවෝ රාජ්‍යයෙන් අභිෂේක කරනු කැමැතිව මාගේ යහළු වූ බරණැස් රජ්ජුරුවන්ගේ දියණි කෙනෙක් ඇත, ඒ කුමාරිකාවන්ම මේ කුමාරයන්ට අගමෙහෙසුන් කෙරෙමියි සිතා ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට බොහෝ පඬුරු දී අමාත්‍යයන් යවූහ. යවු අමාත්‍යයන් එන්නාට පළමු කොටම බරණැස් රජ්ජුරුවෝ බිසවුන් අතින් විචාරන්නාහු සොඳුර! ස්ත්‍රීන්ට බලවත් දුක් නම් කවරේදැයි විචාළහ. දේවයන්වහන්ස! ස්ත්‍රීන්ට සපත්නී රොෂය බලවත් දුක් වන්නේය යි කීහ. එබස් අසා රජ්ජුරුවෝ සොඳුර! එසේ වී නම් අපගේ එකම එක දියණියන් සුමෙධාදේවීන් ඒ සපත්නී රොෂ දුකින් මුදා යම් රජ්ජුරුකෙනෙක් මේ කුමාරිකාවන් තනිවම පාවාගනිත් නම් එසේවූ රජ්ජුරුකෙනෙකුන්ට පාවාදෙම්හයි කීහ. ඒ බරණැස් රජ්ජුරුවෝ සුරුචිරජ්ජුරුවන්ගේ අමාත්‍යයන් අවුත් කුමාරිකාවන්ගේ නම කීකල්හි දරුවෙනි ඒකාන්තයෙන් මා විසින් පළමු මාගේ යහළුවාණන්ට කුමාරිකා කෙනෙක් උපන්නාහු වී නම් පාවා දෙමියි ප්‍රතිඥා කෙළේ නියමය, එතකුදු වුවත් මේ කුමාරිකාවන් බොහෝ ස්ත්‍රී සමූහයා මධ්‍යයෙහි ලන්නා නොකැමැත්තම්හ. යම් රජ්ජුරු කෙනෙක් මේ කුමාරිකාවන් තනිවම පාවාගනිත් නම් එසේවූ රජ්ජුරු කෙනෙකුන්ට පාවා දෙනු කැමැත්තම්හයි කීහ.

එබස් ඇසූ අමාත්‍යයෝ තමන්ගේ රජ්ජුරුවන්ට එපවත් දන්වා යවූහ. සුරුචිරජ්ජුරුවෝ එබස් අසා අපගේ රාජ්‍යය ඉතාම මහත, සත්යොදනක් පමණ මිවුළුනුවර වන්නේය. තුන්සියයක් පමණ රාජ්‍යපරිච්ඡේදය වන්නේය, යටත්පිරිසෙයින් සොළොස් දහසක් පුරාඞ්ගනාවන් ලද මැනවැයි කියා නොකැමතිවූහ. සුරුචිකුමාරයෝ වූ කලි සුමෙධාදේවීන්ගේ රූපසම්පත්තිය අසා ශ්‍රවණසංසර්ගයෙහි බැඳී මම ඒ කුමාරිකාවන් තනිවම පාවාගනිමි. මට බොහෝ ස්ත්‍රීසමූහයාගෙන් ප්‍රයෝජන නැත්තේය. ඒ කුමාරිකාවන්ම ගෙන්වා පාවාදුන මැනවැයි මවුපිය දෙදෙනාට කියා යවූහ. එබස් අසා ඒ මවුපිය දෙදෙන සුරුචිකුමාරයන්ගේ අදහස් නො මිරිකා බොහෝ වස්තු යවා මහපෙරහරින් ගෙන්වා කුමාරයන්ට අගමෙහෙසුන් කොට එක්වම අභිෂේක කළහ. ඒ කුමාරයෝ සුරුචි නම් මහරජව දසරාජධර්මයට කෝපයක් නොකොට සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කෙරෙමින් රාජ්‍යශ්‍රී අනුභව කරන්නාහු ඒ සුමෙධාදේවීන් හා සමග ප්‍රියසංවාසයෙන් විසූහ.

ඒ සුමෙධාදේවී වූ කලි දසදහසක් අවුරුදු මුළුල්ලෙහි ඒ රජ්ජුරුවන් සමීපයෙහි වැස පුතණු කෙනකුන්වත් දියණි කෙනකුන්වත් නොලද්දාහුය. ඉක්බිත්තෙන් නුවරවාසීන් රැස්ව රාජාඞ්ගනයෙහි සිට මුරගා මේ කිමෙක්දැයි විචාළ කල්හි අනික් දෝෂයක් නැත. නුඹවහන්සේගේ රාජවංශය රක්නට සුදුසු වූ පුතණු කෙනකුන් වහන්සේ නැත, නුඹවහන්සේට ඇති සේක්, එකම එක බිසෝකෙනකුන් වහන්සේය, රජදරුවන් වහන්සේට නම් යටත්පිරිසෙයින් සොළොස් දහසක් පුරාඞ්ගනාවන් වුව මැනව, එසේ හෙයින් රජ්ජුරුවන්වහන්ස! ස්ත්‍රී සමූහයා ඇතිකළ මැනව, ඉන් එක්කෙනෙක් කුශල් ඇත්තෝ වී නම් පුතණු කෙනකුන් වහන්සේ ලබන්නෝ වේදැයි කීකල්හි දරුවෙනි! කුමක් කියවුද, අන් ස්ත්‍රීකෙනකුන් නොගෙනෙමියි ප්‍රතිඥා දී මා විසින් මේ බිසොව ගෙන්වන ලදුවාය. එසේ හෙයින් බොරුකියන්ට නොපිළිවන. මට ස්ත්‍රීසමූහයාගෙන් ප්‍රයෝජන නැතැයි රජ්ජුරුවන් විසින් ප්‍රතික්‍ෂෙප කරනලද, නුවරවාසීහු තම තමන්ගේ ගෙවලටම ගියාහුය.

සුමෙධාදේවී එබස් අසා රජ්ජුරුවන් වහන්සේ වූ කලි තමන් වහන්සේ සත්‍යවාදී බැවින් අන් ස්ත්‍රී කෙනකුන් නො ගෙන්වන සේක. මම්ම ඒ රජ්ජුරුවන් වහන්සේට ස්ත්‍රීන් ගෙන්වමි යි සිතා රජ්ජුරුවන්ට මෑණි කෙනකුන් හා සමාන වූ බිසෝතනතුරෙහි සිට තමන්ගේ අභිප්‍රායයෙන් ම රාජකන්‍යාවන් දහසෙක අමාත්‍යකන්‍යාවන් දහසෙක, ගෘහපතිකන්‍යාවන් දහසෙක, සර්ව සාධාරණ නාටකස්ත්‍රීන්ගෙන් දහසෙකැයි සාරදහසක් ස්ත්‍රීන් ගෙන්වූහ.

ඔහු හැමදෙනාත් දසදහසක් හවුරුදු මුළුල්ලෙහි රජගෙයි වැස පුතණු කෙනකුන් වත් දියණි කෙනකුන් වත් නො ලත්හ. මෙම ක්‍රමයෙන් නැවත තුන්වාරයෙක සාරදහසක් සාරදහසක් ස්ත්‍රීන් ගෙන්වූහ. ඔහු හැමදෙනාත් රජගෙයි වැස පුතණු කෙනකුන් වත් දියණි කෙනකුන් වත් නො ලත්හ. මෙසේ හැම එක්කොට සොළොස් පුරාඞ්ගනාවෝ වූහ. සතළිස් දහසක් හවුරුදු ඉකුත් වූයේය. ඒ සතළිස් දහසක් හවුරුදු සුමේධාදේවීන් තනිව විසූ දසදහසක් හවුරුදු හා සමග පනස්දහසක් හවුරුදු වන්නේය.

නළකාර දිව්‍යපුත්‍රයා

ඉක්බිත්තෙන් නුවරවාසීහු රැස්ව නැවත මුරගා සිට මේ කිමෙක්දැයි විචාළ කල්හි රජ්ජුරුවන් වහන්ස! නුඹවහන්සේගේ ස්ත්‍රීන්ට දරුවන් සතන්ට විධාන කළ මැනවැයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි නුවරවැස්සන්ගේ බස් පිළිගෙන සොඳුරු වූ ස්ත්‍රීනි! පුතුන් පතවයි විධාන කළහ. ඒ ස්ත්‍රීහු එතැන් පටන් පුතුන් ප්‍රාර්ථනා කොට නොයෙක් දෙවියන්ට නමස්කාර කෙරෙමින් නොයෙක් ව්‍රතසමාදානය කරන්නාහ. එතකුදුවුවත් දරුකෙනෙක් නූපන්නාහුය. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ සුමෙධාදේවීන්ට සොඳුර! තොපිත් දරුකෙනකුන් පතවයි විධාන කළහ. ඒ සුමෙධාදේවී රජ්ජුරුවන්ගේ බස් යහපතැයි මුදුනෙන් පිළිගෙන පසළොස්වක් දිනයෙහි අෂ්ටාඞ්ගයෙන් යුක්ත වූ උපොෂීිතශීලය සමාදන්ව ශ්‍රීයහන් ගබඩාවට වැද තමන් රක්‍ෂාකරන්නාවූ ශීලය ආවර්ජනා කෙරෙමින් කුරුයහනේ උන්නාහුය. අවශෙෂ ස්ත්‍රීහු අජව්‍රත ගෝව්‍රත සමාදන්ව උයනට ගියාහුය.

සුමෙධාදේවීන්ගේ ශීලතේජසින් ශක්‍රභවනය කම්පිත විය. ඒ බව දැන ශක්‍රදේවේන්ද්‍රයෝ කිමෙක්දෝහෝයි, පරීක්‍ෂාකොට සුමෙධාදේවී දරුවන් පතති. උන්ට පුතණුකෙනකුන් දෙමි. දෙන්නාවූත් මට එසේ මෙසේ වූ පුතණු කෙනකුන් දෙන්ට නො පිළිවන. ඒ බිසවුන්ට සුදුසු වූ පුතණු කෙනකුන් පරීක්‍ෂා කෙරෙමියි, පරීක්‍ෂා කරන්නා වූ ඒ නළකාරදිව්‍යපුත්‍රයන් දෙදෙනා තව්තිසා දිව්‍ය ලෝකයෙහි ආයුෂය ගෙවා තව කළාවූ කුශලය නො ගෙවුන හෙයින් මත්තෙහි දිව්‍යලෝකයෙහි උපදනා කැමැති බව දැන ඔවුන් අතුරෙන් එක් කෙනකුන්ගේ විමන්දොරට ගොස් තමන් සමීපයට අවුත් සිටි තැනැත්තන්ට නිදුකාණෙනි! තොප විසින් මනුෂ්‍යලෝකයට යන්ට වටනේයයි කීහ. මහරජ්ජුරුවන් වහන්ස! මනුෂ්‍යලෝකය නම් ජුගුප්සා කටයුතුය. ඉතා පිළිකුල් කටයුතුය. ඒ මනුෂ්‍යලෝකයෙහි සිට දානාදි පින්කම් කොට දෙව්ලොව උපදනට ප්‍රාර්ථනා කරන්නාහ. එසේවූ මනුෂ්‍යලෝකයට ගොස් කුමක් කෙරෙම්දැයි කීහ. නිදුකාණෙනි! දිව්‍යලෝකයෙහි අනුභව කටයුතු වූ සියලු සම්පත් මනුෂ්‍යලෝකයෙහිදී අනුභව කරව. පස්විසියොදුන් උස ඇති සත්රුවන් ප්‍රසාදයෙකැ වාසය කරව. එසේ හෙයින් මා කීවා ඉවසවයි කීහ. ඒ දිව්‍යපුත්‍රතෙමේත් ශක්‍රදේවේන්ද්‍රයන් කීබස් යහපතැයි මුදුනෙන් පිළිගෙන ගිවිස්සේය. ශක්‍රදේවේන්ද්‍රයෝ ඒ දිව්‍යපුත්‍රයාගෙන් ප්‍රතිඥා ගෙන ඉතා සිත්කලු වූ තපස්වී වේශයකින් රාජෙද්‍යානයට ගොස් ඒ අන්තඃපුර ස්ත්‍රීන් සිටිතැනට උඩ ආකාශයෙහි සක්මන් කෙරෙමින් සිට තමන් දක්වා කවුරුන්ට පුත්‍රවරයක් දෙම්ද? කවරකෙනෙක් මා අතින් පුත්‍රවරයක් ගනිද්දැයි කීහ.

සිල් විමසුම

එසඳ ස්වාමීනි! මට දුනමැනව මට දුනමැනවැයි කියා සොළොස් දහසක් පුරාඞ්ගනාවෝ මිණිවළල්ලෙන් සැරහුණා වූ දෙතිස් දහසක් අත් ඔසවා හිස්මුදුනේ තුබූහ. ඉක්බිත්තෙන් ශක්‍රදේවේන්ද්‍රයෝ කියන්නාහු මම සිල්වත් කෙනකුන්ට දරුවන් දෙම. තොප රක්‍ෂා කරන්නා වූ ශීලය කවරේද? ආචාර සමාචාර කවරේදැයි කීහ. එබස් අසා සොළොස් දහසක් පුරාඞ්ගනාවෝ ඔසවාගත් අත් හකුළුවා ඉදින් නුඹවහන්සේ සිල්වත් කෙනකුන්ට දරුවන් දෙනු කැමැතිසේක් වී නම් සුමෙධාදේවීන් වහන්සේ සමීපයට වැඩිය මැනවැයි කීහ. එබස් අසා ශක්‍රදේවේන්ද්‍රයෝ ආකාශයෙන්ම ගොස් ඒ සුමෙධාදේවීන් වසන්නා වූ ප්‍රාසාදයෙහි සීමැදුරුකවුළුව සමීපයෙහි සිටියාහ. එසඳ බිසවුන් සමීපයට ගොස් කියන්නාහු දේවීන්වහන්ස! එක් තපස්වී කෙනෙක් නුඹවහන්සේට පුත්‍රවරයක් දෙමි. ආකාශයෙන් අවුත් මේ සීමැදුරු කවුළුව සමීපයෙහි සිටිතියි කීහ. එබස් අසා සුමෙධාදේවී තමන් වසන්නාවූ ශ්‍රීයහන් ගබඩාවෙන් නික්ම මහත්වූ පෙරහරින් බලවත් වූ ශ්‍රීසමෘද්ධියෙන් ගොස් සීමැදුරුකවුළුව හරවා සැබෑද? ස්වාමීනි! නුඹවහන්සේ සිල්වත් කෙනකුන්ට පුත්‍රවරයක් දෙනසේක්දැයි විචාළහ. එසේය දේවීනි. සිල්වත් කෙනකුන්ට පුත්‍රවරයක් දෙමියි ශක්‍රදේවේන්ද්‍රයන් කීකල්හි එසේ වී නම් මට දුනමැනැවැයි කීහ. තොප රක්‍ෂාකරන්නා වූ ශීලය කවරේද? මට කියාලව. ඉදින් මට අභිප්‍රාය වී නම් තොපට පුත්‍රවරයක් දෙන්නෙම් වේ දැයි කීහ. ඒ සුමෙධාදේවි ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ බස් අසා එසේ වී නම් ඇසුව මැනවැයි කියා තමන්ගේ ශීලගුණය ප්‍රකාශ කොට කීහ. තවද ඒ සුමෙධාදේවි පළමුකොට තමන්ගේ ස්වාමිපුත්‍රයාණන් කෙරෙහි පිළිපදනා ක්‍රම දක්වන්නාහු මම පනස්දහසක් අවුරුදු මුළුල්ලෙහි මාගේ රජ්ජුරුවන් වහන්සේට පෙරටව හොත් තැනින් නැඟී සිට එදවස් කළමනා කාරිය විධාන කෙරෙමි. රාත්‍රියේ සැතපෙන වේලෙහිත් ඇමට පළමුකොට නොසැතපී රජගෙයි බත් කැවමනා යම්ම කෙනෙක් ඇත් නම් උන් ඇමදෙනා කැපූ ඇත විචාරා හැමදෙනා කා බී ඉක්බිති වූ කල රජ්ජුරුවන් වහන්සේගේ දෙපය සෝදා සුවඳ තෙල් ගල්වා අත පය මැඩ ඇමදෙනාට පසුව යානේ සැතපෙමි. කුමක් කෙරෙම්ද? දේවයන් වහන්සැයි! රජ්ජුරුවන් වහන්සේ පිළිවිස උන්වහන්සේ වදාළ දෙයක් යහපතැයි මුදුනෙන් පිළිගෙන උත්තරයක් නොකියා හැමදවස් කළමනා කාරිය කෙරෙමි. යමෙක් රජ්ජුරුවන් වහන්සේට සිත්කලු වී නම් ඒ සිත්කලු වූ කාරියම කෙරෙමි. යම් බසක් කී කල මා කෙරෙහිත් අවශේෂයන් කෙරෙහිත් පෙම් වඩන්නේ වී නම් එසේ වූ ප්‍රියතෙපුල්ම කියමි. රජ්ජුරුවන් වහන්සේ මා මූණ බැලූ ගමනේ මුන්වහන්සේ මෙසේ වූ අභිප්‍රායෙකින් මා මුහුණ බැලුයේයයි රජ්ජුරුවන් වහන්සේගේ ඉඟි දැන සියලු කාරිය කරන්ට කරවන්ට සමර්ථයෙමි. පනස්දහසක් හවුරුදු මුළුල්ලෙහි මේ රජගෙයි වසන්නෙම් සම්මුඛයෙහි වත් පරාන්‍ධමුඛයෙහි වත් කයින්-වචසින්-මනසින් මාගේ රජ්ජුරුවන් වහන්සේ ඉක්ම නො පැවැත්තෙමියි කියා සත්‍යක්‍රියා කරන්නාහු සෘෂීන් වහන්ස! මේ සත්‍යක්‍රියාව හේතුකොට ගෙන මට පුතණු කෙනෙක් උපදිත්වයි. ඉදින් මම බොරුවක් කීයෙම් වී නම් මාගේ ඉස සත්කඩක්ව පැලී යේවයි කියා සත්‍යක්‍රියා කොට නැදිමයිලන් කෙරෙහි පිළිපදිනා ක්‍රම හා ඔවුන්ට කළමනා වතාවත් දක්වන්නා වූ සුමෙධාදේවි මාගේ ස්වාමිපුත්‍ර වූ රජ්ජුරුවන් වහන්සේගේ දෙමවුපියෝ යම්තාක් ජීවත්ව උන්නාහු වී නම් ඒතාක් මම රෑ දාවල් නො පමාව අත්පා මෙහෙවර කෙළෙමි. එසේ කරන්නාවුන් මම ඕබාදියට නො කොට ඇදහිලි ඇතිව ආදරසම්භාවනා ඇතිව සකස්කොට උපස්ථාන කෙළෙමියි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට සපත්නීන් කෙරෙහි පවත්නා ක්‍රම දක්වන්නාහු මා හා සමග එකරජ්ජුරුවන් වහන්සේට භාර්යා වූ යම් සොළොස් දහසක් පුරාඞ්ගනාවෝ ඇත් නම් ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් වත් කෝපයෙක් වත් මට එකදවසකුත් නොවූ විරීය. යමෙක් ඒ පුරාඞ්ගනාවන්ට හිතවී නම් ප්‍රියවී නම් ඔවුන්ට ප්‍රියවූ වැඩට නිසිවූ කාරියෙන්ම මමත් සතුටු වෙමි. ලෙහිලා වැඩූ දූන් මෙන් ඒ සොළොස් දහසක් පුරාඞ්ගනාවන් දැක සතුටු යෙමි. ඔවුන් අතුරෙන් එක්කෙනෙකුත් මට අප්‍රිය කෙනෙක් නම් නැත. සියල්ලෝම ප්‍රියවූ දැකුම් ඇත්තාහ. ප්‍රේමසහිත වූ මොළොක් සිතින්ම ඒ සොලොස්දහසක් පුරාඞ්ගනාවන්ට මට සිතන්නාක් මෙන් ස්නෙහීවැ දයාපරවැ කරුණා ඇති වැ මෛත්‍රී කෙරෙමියි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට කෙල්ලන් කොල්ලන් හා බැලමෙහෙ කරන්නන් ආදීවූ සත්ත්‍වයන් කෙරෙහි පවත්නා විධි දක්වන්නාවූ සුමෙධාදේවී යමෙක් යම් මෙහෙවරක් කරන්ට සමර්ථ වන්නේ වී නම් ඔහු ඒ කර්මාන්තයෙහිම යොදමි. මෙහෙවරට යවන්නාවුන් මම නිරන්තරයෙන් සතුටුසිත් ඇතිව පෙම්බරදෑස් දල්වා ඔවුන් මුහුණ බලාම මෙහෙවරට යවමි. එම්බල දුෂ්ටකොල්ල! තෝ මෙනම් කාරියක් කරවයි කියා කිපී මා විසින් එකදවසකුත් කිසිකෙනෙකුත් කිසි තැනකට යවූවිරූ නැතැයි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට, මහණබමුණන් කෙරෙහි පිළිපදිනා ක්‍රම දක්වන්නාහු මම ඇමදවස්ම දන්දෙන්ට දික්කළ අත් ඇතිව ඇමවේලෙහිම මහණබමුණන් ආදීන්ට බත්පැන්ලා සේදීමෙන් තෙත් වූ අත් ඇතිව මිහිරි වූ උතුම් වූ අනෙකප්‍රකාර වූ බොහෝ ආහාරපාන වර්ගයෙන් හැමකලම ශ්‍රමණබ්‍රාහ්මණාදීන් සතුටු සිතින් සන්තර්පණය කෙළෙමි යි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට, පෙහෙවස් රක්නාවූ ක්‍රම දක්වන්නාහු, මම පෙහෙවස් රක්‍ෂාකරන්නෙම් අටවක, තුදුස්වක, පසළොස්වක, පෙරගමන්, පසුගමන් වශයෙන් එකි එකී පෝයකට දෙපිටින් දෙදවසක් නියායෙන්ම මසකට දසසතරදවසක් අෂ්ටාඞ්ගශීලය සමාදන්ව පෙහෙවස් රක්‍ෂාකෙරෙමි යි කියා පළමු පරිද්දෙන්ම සත්‍යක්‍රියා කොට, නිත්‍ය ශීලය දක්වන්නාහු, මම පංචශීලයෙන් සංවෘතවැ ඒ පඤ්ච ශීලයෙහි හැසිර රක්‍ෂිත ගොපිත වූ ආත්මභාව ඇතිවැ වෙසෙමි. වධකචිත්තයෙන් උකුණකු, පමණකුත් නොමැරූ විරීමි. සොර සිතින් අසුරෙන් සුණුත් නො ගත් විරීමි. රාගසිතින් අන්පුරුෂයක්හුගේ ඇඟ පමණකුත් නොඇල්වූ විරීමි. කෙළිපිණිසත් බොරුවක් නො කී විරීමි. පිණිබින්දුවක් සාත් රාපෙතක් දිවග තිබූ විරීමි යි කියා, සත්‍යක්‍රියා කොට, මේ සත්‍යවචනයෙන් මට පුතණු කෙනෙක් උපදිත්වයි සෘෂීන්වහන්ස! ඉදින් මම බොරුවක් කීයෙම් වී නම් මාගේ ඉස සත්කඩක්ව පැලී යේවයි කියා සත්‍යක්‍රියා කළහ.

ඒ සුමෙධාදේවීන් තමන්ගේ ගුණවර්ණනා කරමින් සිටියදීම ශක්‍රදේවේන්ද්‍රයෝ දිව්‍යලෝකයෙහි තමන්ගේ බොහෝ කාරිය ඇති බැවින් ඒ සුමේධාදේවීන්ගේ කථාව සිඳ තොපගේ ගුණ ඉතාම ආශ්චර්යය. ඉතා අද්භූතය යි උන්ට ප්‍රශංසා කොට පුත්‍ර වර දෙන්නාහු මාතෘපිතෘ දෙපක්‍ෂයෙන් සත්වැනි මුතුන් පරම්පරාව දක්වා කිසි ඌනතාවක් නැතිහෙයින් විශිෂ්ට වූ ජාති ඇති ප්‍රමාණාතික්‍රාන්ත වූ යසපිරිවර ඇතිවැ දෙරටවාසීන්ද ධම්මරාජන් වූ ජාතිසම්පන්න වූ රාජකුමාරකෙනෙක් සුමෙධාදේවිනි! තොපට උපදනෝ වේදැයි කීහ.

ඒ ශක්‍රදේවේන්ද්‍රයන්ගේ බස් අසා බලවත් වූ සොම්නසට පැමිණි ඒ සුමෙධාදේවි ශක්‍රදේවේන්‍ද්‍රයන් අතින් විචාරන්නා වූ තෙපි ස්වර්ගලෝකයෙන් ආවාවූ ආනුභාවසම්පන්න වූ දේවතාවානකෙනෙක් ද, නොහොත් මහත්වූ සෘධ්‍යානුභාව ඇති තපස්වී කෙනෙක් ද, මෙතනට පැමිණියාවූ තෙපි කවුරුද, තොපවූ පරිදි මට ප්‍රකාශ කොට කියව යි කීහ. එබස් අසා ශක්‍රදේවේන්‍ද්‍රයෝ සුමෙධාදේවින්ට කියන්නාහු සොඳුර! සුධර්මා නම් දිව්‍යසභාවට රැස්වූ දිව්‍යසමූහයා යම් කෙනකුන්ට නමස්කාර කෙරේද, දහසක් නුවණැස් ඇති හෙයින් සහශ්‍රාක්‍ෂිය යන නම් ඇති ඒ ශක්‍රදේවේන්‍ද්‍රයෝ නම් මමය. තොප සමීපයට කිසිකාරියක් නිසා ආමි යි කීහ.

මෙසේ තමන් ශක්‍රනියාව කියා මත්තෙහි සුමෙධාදේවීන්ට ස්තුති කරන්නාහු මෙසේ කියත්. යම් ස්ත්‍රියක් මනුෂ්‍යලෝකයෙහිදී ප්‍රාණඝාතාදි දශඅකුශලකර්මයෙහි නොයෙදී දානශීලාදී දශකුශලකර්මයෙහි හැසිරෙද්ද, යම් ස්ත්‍රියක් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තද, පඤ්චශීලාදි ශීලසංරක්‍ෂණය කෙරේද, නැදිමයිලන් දේවතාතනතුරෙහි තබා වෙසේද, පතිව්‍රතාධර්මය රක්‍ෂා කෙරේද, එබඳු වූ නිර්මල වූ ක්‍රියා ඇති මනුෂ්‍යස්ත්‍රිව සිටි ඒ සුමෙධාදේවින්ගේ දැක්මට මහෙශාක්‍ය වූ දේවතාවෝ කැමැති වන්නාහ. සොඳුර! තෙපි පූර්වජන්මයෙහි මනාකොට පුරුදුකරණ ලද කුශලකර්මානුභාවයෙන් මේ රාජවංශයෙහි සියලු වස්තුකාම ක්ලේශකාමයෙන් සමෘද්ධව උපනුව. තවද රාජමහිෂිකාවෙනි! තොපට දිව්‍යලෝකයෙහි ඉපැද දිවසැපත් අනුභව කරන හෙයින් එක් ජයෙක. මේ මනුෂ්‍යලෝකයේදී සුමෙධාදේවී උතුම් වූ ශිලාදි ආචාරයෙන් යුක්තයෝය. ස්ත්‍රීජාතියෙහි උන් හා සමාන කෙනෙක් නැතැයි සියලු සත්ත්‍වයන්ගේ තුඩතුඩ පැතිරෙන්නා වූ උතුම් වූ යසස් හා කීර්ති ඇති බැවින් මෙලොව ජයයි. මෙසේ මෙලෝ පරලෝ දෙක්හි ම තොපට ජයගැන්ම වන්නේය. සුමෙධාදේවීනි! තෙපි බොහෝ කලක් සුවපත්වම තොප රක්‍ෂාකරමින් සිටි කුශලධර්මය කඩ නො කොට මතුමත්තෙහි වර්ධනය කෙරෙමින් රක්‍ෂාකරව. තොප සිල්වත් ගුණවත් හෙයින් තොපගේ දැක්ම මට ඉතාම ප්‍රියය. හැමවේලෙහිම තොප දැක දැක හිඳිනා අභිප්‍රාය ඇත්තෙමි. එතකුදුවුවත් දිව්‍යලෝකයෙහි මාගේ බොහෝ කාරිය ඇත. එසේ හෙයින් මම දිව්‍යලෝකයට යෙමි. තෙපි කුශල් කිරීමෙහි අප්‍රමාදවවයි කියා ඒ බිසවුන්ට අවවාද කොට ඒ ශක්‍රදේවේන්‍ද්‍රයෝ තමන්ගේ ශක්‍රභවනයටම ගියාහුය.

නළකාරදිව්‍යපුත්‍ර තෙමේ අලුයම් වේලෙහි චුතවැ අවුත් ඒ සුමෙධාදේවීන්ගේ කුස පිළිසිඳ ගත්තේය. බිසවු ඒ බව දැන රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ගබපෙරහර දුන්හ. ඒ සුමෙධාදේවී දසමසක් ඇවෑමෙන් කුමාරකෙනකුන් වැදූහ. උන්ට මහාපනාද කුමාරයෝය යි නම් තුබූහ. වැදෑරට වාසීය, කසීරට වාසීය යන උභයපක්‍ෂයේ මනුෂ්‍යයෝ අපගේ ස්වාමිපුත්‍රයාණන් වහන්සේට කිරිමිල වන්නේය යි කියා එකි එකී කහවණුවක් රාජාඞ්ගනයට දැමූහ. මහත් වූ වස්තුරාසිය වූයේය. එවිට රජ්ජුරුවන් විසින් තොපගේ වස්තුවෙන් අපට ප්‍රයෝජන නැත. තොප තොපගේ වස්තු තෙපි තෙපිම ඇරැගෙන යව යි ප්‍රතික්‍ෂෙප කොට කී කල්හිත් අපගේ ස්වාමිපුත්‍රයාණන් වහන්සේ වැඩිවිය පැමිණ රාජ්‍යශ්‍රීයට පැමිණි කල්හි සේනාවට වැටුප් වියදමට සැලසෙන්නේය යි කියා නොගෙන ම ගියාහ. මහාපනාද කුමාරයෝ මහපෙරහරින් වැඩිවිය පැමිණ සොළොස්හැවිරිදි වයසට පැමිණි කල්හි අක්‍ෂරලිඛිතාදි සූසැටකලාවෙහිත් ශ්‍රැතිශාස්ත්‍රාදි අෂ්ටාදශ විද්‍යාස්ථානයෙහිත් නිෂ්පත්තියට පැමිණියාහ. සුරුචිරජ්ජුරුවෝ පුතණුවන්ගේ වයස බලා සොඳුර! මාගේ පුතණුවන්ට රාජ්‍යාභිෂේකයෙන් අභිෂේක කරන්ට කල් වන්නේය. උන්ට සිත්කලුවූ ප්‍රාසාදයක් කොට අභිෂේක කෙරෙමි යි කීහ. සුමෙධාදේවිත් කී රජ්ජුරුවන් බසට සතුටුව යහපත දේවයන් වහන්ස! අභිෂේක කරන්ට මේ සුදුසු කල්වේදැයි රජ්ජුරුවන් කී බස් මුදුනෙන් පිළිගත්හ. රජ්ජුරුවෝ වාස්තුවිද්‍යාචාරීන් කැඳවා ගෙන්වාගෙන කියන්නාහු එම්බා සගයෙනි! වඩුවන් හැරගෙන අපගේ මාළිගාවට නුදුරුතෙන මාගේ පුතණුවන්ට ප්‍රාසාදයක් කරව. ඒ ප්‍රාසාදය කරවා කුමාරයන් රාජ්‍යයෙන් අභිෂේක කෙරෙමි යි කීහ. වාස්තුවිද්‍යාචාරීවරු රජ්ජුරුවන්ගේ බස් යහපතැයි පිළිගෙන මාලිගා කරන්නට නිසි බිමක් පරීක්‍ෂා කොට ඇවිදිනාහ. එකෙණෙහි ශක්‍රදේවේන්ද්‍රයන්ගේ දිග සැටයොදුන් පුළුල පණස්යොදුන් බොල පස්ළොස් යොදුන් හුන්කල නාභිය දක්වා ගැලී යන්නා වූ නැඟි සිටි කල බෙරඇසක් සේ තැනී යන්නා වූ බඳුවදමලෙක පැහැ සමාන වූ ශෝභා ඇති පාණ්ඩුකඹලශෛලාසනය ඒ ශක්‍රදේවේන්ද්‍රයන් උන් කල්හි නො කැමැති පරිද්දෙන් හුණුව ගියේය. ශක්‍රදේවේන්ද්‍රයෝ මාගේ අස්න මා නො කැමැති පරිද්දෙන් හුණුවන්ට කාරණා කිමෙක් දෝහෝයි පරීක්‍ෂා කරන තැනැත්තෝ මහාපනාද කුමාරයන්ට මාලිගාවක් කරනු පිණිස වාස්තුවිද්‍යාචාරීවරුන් මාලිගාබිම් පරීක්‍ෂා කොට ඇවිදිනා නියාව දැන විශ්වකර්මදිව්‍යපුත්‍රයා කැඳවා කියන්නාහු දරුව මහාපනාද කුමාරයන්ට දිගින් පුළුලින් අඩයොදනක් පමණ ඇති, උසින් පස්විසි යොදුන් පමණ ඇති, සියක්මාල් ඇති රන්ධජ රිදීධජ ආදිවූ නොයෙක් ධජමාලාවෙන් ගැවැසී ගත්තා වූ ඉඳුනිල්මිණි කවුලු සීමැදුරු කවුළු ආදියෙන් හෙබියා වූ සත්රුවන්මය වූ ප්‍රාසාදයක් මවා එව යි කියා විධාන කොට යවූහ. ඒ විශ්වකර්මදිව්‍යපුත්‍රයා ශක්‍රදේවේන්ද්‍රයන්ගේ බස් යහපතැයි පිළිගෙන වඩුවෙසක් මවාගෙන මාලිගාබිම් බලා ඇවිදිනාවූ වඩුවන් සමීපයට අවුත් තෙපි හැම පෙරවරු බත් අනුභව කොට එව යි කියා ඔවුන් හැමදෙනා ම යවා උතුම් භූමිප්‍රදේශයක් බලා රියන්දණ්ඩෙන් බිමට ගසාලූයේයැ. එකෙණෙහිම යථෝක්ත ප්‍රකාර ඇති සර්වරත්නමය වූ ප්‍රාසාදයෙක් පොළොව පලාගෙන නැංගේය. මහාපනාද කුමාරයන්ට ගෙවදනා මඟුල, සේසත් මඟුල, විවාහ මඟුල යන මේ මඟුල් තුන එකදාම කළහ. මඟුල් කරන තෙනට දෙරට වැස්සෝ රැස්ව මඟුල් කෙළි කෙළිමින් සත්හවුරුද්දක් ඉකුත් කළහ. ඒ තාක්කල් මුළුල්ලෙහි රජ්ජුරුවෝ තොප තොප වසන තැන්වලට යව යි සං විධානයක් නොකළහ. ඒ දෙරට වැසි මනුෂ්‍යයන්ට වස්ත්‍රාභරණ ඛාද්‍යභොජ්‍යාදිවූ සියල්ල රජ්ජුරුවන්ගෙන්ම පසුන්හ. ඒ සියලු සත්ත්‍වයෝ සත්අවුරුද්දක් ඇවෑමෙන් මුරගා සුරුචි මහරජ්ජුරුවන් විසින් මේ කිමෙක්දැයි විචාළ කල්හි මහරජ්ජුරුවන් වහන්ස! අප මගුලේ කා ඇවිදිනාවුන්ට සත්අවුරුද්දක් ඉකුත් වූයේය. මේතාක් කල් මුළුල්ලෙහි නුඹවහන්සේ සන්තක වස්ත්‍රාභරණාදි සියල්ල හැරගෙන ප්‍රයෝජනවුනුම්හ. කවරදවසෙක මඟුල් නිමාදැයී විචාළහ.

එබස් අසා රජ්ජුරුවෝ කියන්නාහු දරුවෙනි! මාගේ පුතණුවන් මෙතෙක්කල් මුළුල්ලෙහි සිනාසුනුවිරූ නැති. යම් දවසෙක ඒ මාගේ පුතණුවෝ සිනාසුනවූ නම් එදවස් තෙපි හැම දෙන තොප තොපගේ වාසස්ථානවලට යව යි සම්මත කළහ. ඉක්බිත්තෙන් මහාජනයෝ රටනුවර බෙර හසුරුවා නාටකයන් රැස්කරවූහ. සදහසක් පමණ නාටකයෝ රැස්ව සත්කොටසක් ව නවන්නාහු රජ්ජුරුවන් සිනාසෙවන්ට අසමර්ථවූහ. ඒ මහාපනාද රජ්ජුරුවන් බොහෝ කලක් දිවනළුවන්ගේ නැටුම් දුටු හෙයින් ඒ මනුෂ්‍යනාටකයන්ගේ නෘත්‍යය රජ්ජුරුවන්ට ප්‍රිය නොවන්නේය. එකල භණ්ඩුකර්ණ පණ්ඩුකර්ණ නම් නළුවෝ දෙදෙනෙක් අපි දෙදෙන රජ්ජුරුවන් වහන්සේ සිනාසෙවම්හ යි කියා රඟමඬලට වන්හ. ඔවුන් දෙදෙනා අතුරෙන් භණ්ඩුකර්ණ නම් නාටකයා රජ්ජුරුවන්ගේ සෙණ්ඩුවාලුයෙහි මහත්වූ ‘අතුල’ නම් අඹගසක් මවා ඒ අඹගසට හූපටක් දමා අත්තෙක එල්වාහුය ඔස්සේ අතුල නම් අඹගසට නැංගේය. ඒ අතුල අඹය නම් වෙසවුණුරජ්ජුරුවන්ගේ අඹගසෙක්ල. එසඳ ඒ වෙසවුණු රජ්ජුරුවන්ගේ දාස වූ යක්‍ෂරාක්‍ෂසයෝ භණ්ඩුකර්ණ නම් නාටකයා අඹගස උඩදී ම අල්වාගෙන අත පය ආදීවූ සියලු අඟපසඟ කපා සිඳ වගුරුවාපූහ. අවශේෂ නාටකයෝ ඒ අතුල් පතුල් ආදීවූ අවයව අවුලා එක්කොට ගෙන පැන් ඉසලූහ. එසඳ ඒ භණ්ඩුකර්ණ නම් නාටකයා මල්පටක් හැඳ මල්පටක් පෙරවාගෙන නටමින් ම උඩනැංගේය. මහාපනාද රජ්ජුරුවෝ ඒ ආශ්චර්යය දැකත් සිනා පහළ නො කළාහුය. පණ්ඩුකර්ණ නම් නාටකයා රාජාඞ්ගනයෙහි දරසෑයක් බඳවා තමාගේ පර්ෂද් හා සමග ගිනි වන්නේය. දරසෑය දා නිවීගිය කල්හි අළුගොඩට පැන් ඉසලූහ. එසඳ ඒ පණ්ඩුකර්ණ නම් නාටකයා පර්ෂත් හා සමග මල්පටක් හැඳ මල්පටක් පෙරවාගෙන නටනටා ම උඩපැන නැංගේය. මහාපනාද රජ්ජුරුවෝ ඒ ආශ්චර්යය දැකත් සිනා පහළ නොකළාහුය.

මෙසේ ඒ රජ්ජුරුවන් සිනාසෙවන්ට අසමර්ථ වූ මනුෂ්‍යයෝ නොයෙක් උපායයෙන් නොයෙක් කාරිය දක්වා පීඩිතව ගියාහ. එකල ශක්‍රදේවේන්‍ද්‍රයෝ ඒ කාරණය දැන යා දරුව! මහාපනාද රජ්ජුරුවන් සිනාසෙවා එව යි කියා දිවනළුවකු යවූහ. ඒ දිව්‍යනාටකයා තමාගේ පර්ෂද් හා සමග ගොස් රාජාඞ්ගනයේ ආකාශයෙහි සිට ‘අර්ධරඞ්ග’ නම් වූ නෘත්‍යයක් දැක්වීය. ඒ කෙසේද? යත්:-

එකම අතෙක් සැලෙයි, එකම පයෙක් සැලෙයි, එකම ඇසෙක් නටයි, එකම බැමයෙක් සැලෙයි, එකම රවුලෙක් නටයි, සැලෙයි, වෙවුලයි, ශරීරයෙහි අන්භාගයේ අත-පය-ඇස්-බැම-රවුල නොනටයි, නො සැලෙයි, නො වෙවුලයි, ඒ ආශ්චර්යවත් වූ නෘත්‍යය දැක මහාපනාද රජ්ජුරුවෝ මඳක් සිනාසීපූය. මහාජනයෝ සිනාසෙන්ට පටන්ගෙන සිනාසී ම සිනාරඳවන්ට වත් සිහි එලවන්ට වත් අසමර්ථව අතපය දමා රාජාඞ්ගනයෙහි ම වැගිර ගියාහ. එකල මගුල් සමාප්තව ගියේය.

මහාපනාදරජ්ජුරුවෝ ඒ ප්‍රාසාදයෙහි සත්තෙනක සිට නටන්නා වූ සදාසක් නළුවන් හා සොළොස්දාසක් පුරාඞ්ගනාවන් හා නොයෙක් දහස්ගණන් අමාත්‍යමණ්ඩලයා විසින් පිරිවරන ලදුව අසඞ්ඛ්‍යයක් අවුරුදු මුළුල්ලෙහි මහත්වූ සම්පත් අනුභව කොට ආයුකෙළවර කළපින් ගෙවී නොගිය බැවින් දිව්‍යලෝක යටම ගියාහුය. ඒ ප්‍රාසාදය වූකලි දෙදෙනාට සාධාරණ වූ කර්මප්‍රත්‍යයෙන් උපන්නේය. අන්‍යදිව්‍යපුත්‍රයා විසින් ප්‍රාසාදසම්පත්තිය අනුභව නොකළ බැවින් අන්තර්ධාන නොවී පොළොවින් අහසට නැගී ගංගා නම් ගංගාවෙහි යටියා බලා හුනුයේය.

භද්දිය ස්ථවිර

ඉක්බිත්තෙන් ඒ මහාපනාද නම් දිව්‍යපුත්‍රයා චාතුම්මහාරාජිකාදි සදිව්‍යලෝකයෙහි පළමු පරිද්දෙන් ම දිවසැපත් අනුභව කොට ඇවිදිමින් සිටියදී ම අපගේ සර්වඥයන් වහන්සේ ලෝකයෙහි ඉපද සත්ත්‍වයන් සංසාරසාගරයෙන් එතර කෙරෙමින් ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි මහාපනාද දිව්‍යපුත්‍ර තෙමේ අප විසින් දිව්‍යසැප අනුභවකරන ලද, නිවන් සැපත් අනුභව කරම්හ යි දිව්‍යලෝකයෙන් චුතව අගුරට භද්දියනුවර අසූකෙළක් සම්පත් ඇති භද්දිය නම් සිටාණන්ට පුතව උපන්නේය. ඕහට භද්දිය කුමාරයෝය යි නම් තුබූහ. කුමාරයන්ට ප්‍රාසාද තුනෙක් වූයේය. ඉන් එක් ප්‍රාසාදයෙක් හේමන්ත කාලයෙහි වසන්ට සුදුසු වන්නේය. එක් ප්‍රාසාදයෙක් ග්‍රීෂ්මකාලයෙහි වසන්ට සුදුසු වන්නේය. එක් ප්‍රාසාදයෙක් වර්ෂාකාලයෙහි වසන්ට සුදුසු වන්නේය. දිව්‍යවිමන් හා සමාන වූ රන්රසුදැල් හා රන්ධජ-රිදීධජ ආදි නොයෙක් සැරහුමෙන් සැරහුණා වූ එකී එකී ප්‍රාසාදයෙක දිව්‍යප්සරාවන් හා සදෘශවූ සර්වාභරණයෙන් සැරසුනාවූ නැටීම්-ගීකීම් ආදියෙහි දක්‍ෂ වූ නොයෙක් දහස්ගණන් නාටකයන් විසින් පිරිවරන ලදුව සාරමසක් වාසය කරන්නාහුය. ඒ භද්දිය කුමාරයෝ එක් ප්‍රාසාදයෙක වැස නළුවන් පිරිවරා මහත් වූ යසපිරිවරින් අනික් ප්‍රාසාදයකට යන්නාහ. එකෙණෙහි කුමාරයන්ගේ ශ්‍රී සමෘද්ධිය බලම්හ යි සියලු නුවර වාසීහු ඇලලී පැනනැගෙන්නාහ. මනුෂ්‍යයෝ එක් ප්‍රාසාදයකින් ප්‍රාසාදයකට අතුරෙහි සක්පිට සක් මැසිපිට මැසි බැඳ මැසි ආදියට නැගී භද්දියකුමාරයන්ගේ යසස් සමෘද්ධි බලන්නාහ. එකල භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ජේතවනමහාවිහාරයෙහි වැඩවසන සේක් භද්දියකුමාරයන්ට සංග්‍රහ කෙරෙමි යි භික්‍ෂුසංඝයා වහන්සේ විසින් පිරිවරන ලදුව සැරිසරා වඩනා සේක් භද්දියනුවරට පැමිණ ජාතියවනයෙහි භද්දියකුමාරයන්ගේ ඤාණපරිපාකය බලමින් තුන්මසක් මුළුල්ලෙහි විසූසේක.

සර්වඥයන් වහන්සේ තුන්මසක් වැස අපි යම්හ යි නුවරවාසීන්ට වදාළසේක. නුවරවාසීහු ස්වාමීනි! සෙටදවස් වැඩිය මැනවැයි කියා සර්වඥයන් වහන්සේට ආරාධනා කොට දෙවෙනි දවස් බුදුපාමොක් මහසඟපිරිසට මහදන් සරහා නුවරමැද මණ්ඩපයක් කොට සරහා අසුන් පනවා කල්දැන්වූහ.

සර්වඥයන් වහන්සේ භික්‍ෂුසංඝයා පිරිවරා ඒ මණ්ඩපයට ගොස් වැඩහුන් සේක. එසඳ මනුෂ්‍යයෝ මහදන් දුන්හ. බුදුරජාණන් වහන්සේ වළඳා අන්තයෙහි මිහිරිවූ කටහඬින් අනුමෙවෙනි ධර්මදේශනා කරන්ට පටන්ගත් සේක. එකෙණෙහි භද්දියකුමාරයෝ ප්‍රාසාදයකින් ප්‍රාසාදයකට නික්මුණාහ. ඒ කුමාරයන්ගේ යසස් සමෘද්ධිය දක්නා පිණිස එදවස් කිසිකෙනෙක් නො ගියහ. උන් තමන්ගේ මනුෂ්‍යයෝ ම පිරිවරාගෙන ගියාහ. ඒ කුමාරයෝ මනුෂ්‍යයන් අතින් විචාරන්නාහු සෙසු දවස් මා ප්‍රාසාදයෙන් ප්‍රාසාදයකට යන කල්හි සියලු නුවර ඇළලී යන්නේය. සක්පිට සක්මැසිපිට මැසි බැඳ ඒ මැසි ආදියට නැඟී මාගේ ඓශ්චර්යය බලන්නාහුය. අදවූ කලි මාගේ මනුෂ්‍යයන් හැර අනික් කිසි කෙනෙක් නැත. ඊට කාරණ කවරේදැයි විචාළහ. එසඳ මනුෂ්‍යයෝ කියන්නාහු ස්වාමීනි! බුදුරජාණන් වහන්සේ මෙනුවර නිසා තුන්මසක් වැස අද වඩනා සේක. ඒ සර්වඥයන් වහන්සේ ආහාර කෘත්‍යය කොට නිමවා මහාජනයාට ධර්මදේශනා කරන සේක. සියලු නුවරවාසීහු ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසන්නාහුය යි කීහ.

එබස් අසා භද්දිය කුමාරයෝ එසේ වී නම් වරෝ යම්හ. අපිත් බණ අසම්හ යි කියා සර්වාභරණයෙන් සැරහී මහත් වූ පෙරහරින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ පිරිස් කෙළවර සිට බණඅසා සකලක්ලේශයන් නසා අග්‍රවූ අර්හත් ඵලයට පැමිණියාහ. බුදුරජාණන් වහන්සේ භද්දියසිටාණන්ට ආමන්ත්‍රණය කොට වදාරණසේක් මහසිටාණෙනි! තොපගේ පුතණුවෝ සර්වාභරණයෙන් සැරහී සිට මාගේ ධර්මය අසා අර්හත්ඵලයට පැමිණියෝය. එහෙයින් උන්ට අදම මහණවන්ට හෝ පිරිනිවන් පාන්ට හෝ වුවමැනවැයි වදාළසේක. එසඳ සිටාණෝ ස්වාමීනි! මාගේ පුතණුවන්ට පිරිනිවන් පෑමෙන් ප්‍රයෝජන නැත. උන් මහණ කරවාගෙන සෙට අපගේ ගෙට වැඩවදාළොත් යහපතැයි කීහ. සර්වඥයන් වහන්සේ ආරාධනාව ඉවසා ඒ කුලපුත්‍රයාණන් කැඳවා ගෙන විහාරයට වැඩ මහණ කරවා උපසම්පදා කැරවූ සේක. ඒ කුලපුත්‍රයාණන්ගේ දෙමව්පියෝ සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් මහසඟපිරිසට මහදන් දුන්හ. බුදුහු සතියක් මුළුල්ලෙහි වැස කුලපුත්‍රයාණන් කැඳවාගෙන සැරිසරා වඩිනාසේක් කොටිග්‍රාමයට පැමිණි සේක. ඒ කොටි ග්‍රාමවාසීහු බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂුසඞ්ඝයා වහන්සේට මහවතුරක් වඩනා කළක් මෙන් මහදන් දුන්හ. බුදුරජාණන් වහන්සේ වදාළ අන්තයෙහි සත්ත්‍වයන් සිත් සතුටු කරවමින් අනුමෙවෙනි ධර්මදේශනාවට පටන්ගත් සේක. ඒ කුලපුත්‍රයාණන් වහන්සේ අනුමෝදනාව කරන වේලෙහි ගමින් පිටත ගොස් සර්වඥයන් වහන්සේ මෙතනට වැඩිවිට නැඟීසිටිමියි ඉටා ගංතෙරට සමීපයෙහි එක් රුකක්මුල නිරෝධසමාපත්තියට සමවැද වැඩහුන්සේක. වෘද්ධභික්‍ෂුන් වහන්සේ අවුත් වැඩසිටියදීත් නැගී නොසිට සර්වඥයන් වහ්නසේ සමීපයට වැඩිවිටම සමාපත්තියෙන් නැගීසේක. එසඳ පෘථග්ජන භික්‍ෂුන්වහන්සේ මේ පැවිද්දේ පෙරපරිද්දෙන්ම මහණවත් මහතෙරවරුන් වහන්සේ අවුත් සිටියදී බල බලාම නැගී නො සිටිති යි කිපිසේක. කොටිග්‍රාමවාසීහු සර්වඥයන් වහන්සේ ගංගා නම් ගංගාවෙන් එතරවනු සඳහා නැව් අගුළු බැන්දාහුය. එසඳ සර්වඥයන් වහන්සේ අගුලට නැගී වැඩසිට භද්දජිස්ථවිරයෝ? කොයිදැයි විචාළසේක. ස්වාමීනි! මම මෙතැනැයි කී කල්හි වරැයි භද්දජිනි අප හා සමග එකනැවට නැඟෙවයි වදාළසේක. එසඳ භද්දජි මහතෙරුන් වහන්සේ අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද ඒ අභිඥාචිත්තය හා සමග අහසට පැන නැගී සෘද්ධියෙන් ගොස් බුදුරජාණන් වහන්සේ නැගි එකනැවම වැඩසිටි සේක.

ප්‍රාසාද පෙළහර

එසඳ නැව ගංගාමධ්‍යයට ගියකල්හි සර්වඥයන් වහන්සේ එතැන්හිදී ඒ පෘථග්ජන භික්‍ෂූන් වහන්සේ පහදවනු කැමැතිව භද්දජිස්ථවිරයෙනි! තොප මහාපනාදරජ කල බොහෝ දවසක් විසූ ප්‍රාසාදය කොයිදැයි විචාළසේක. ස්වාමීනි! මේ ස්ථානයේ ගැලී තිබුයේයි. දැන් වූ කල්හි පෘථග්ජන භික්‍ෂූන් වහන්සේ නැවතත් උජ්ඣායනා කළසේක. එසඳ සර්වඥයන් වහන්සේ එසේ වී නම් භද්දජි ස්ථවිරයෙනි! සබ්‍රම්සරුන්ට උපන් සැක දුරුකරවයි වදාළ සේක. එකෙණෙහි තෙරුන්වහන්සේ සර්වඥයන් වහන්සේට නමස්කාර කොට ආකාශයට පැන නැඟී සෘද්ධි බලයෙන් දිය දෙබේකොට ප්‍රාසාදයෙහි මැණික්මය වූ කොත් කැරැල්ල පය ඇඟිලි අස්සෙන් අවුළුවා පස්විසියොදුන් පමණ රුවන්පාය ඔසවා ගෙන ආකාශයට පැන නැඟි සේක. පැනනැගී තැනත් තමන්වහන්සේම ප්‍රාසාදය යටසිටියවුන්ට ප්‍රාසාදය පළාගෙන පෙණුනු සේක. ඒ තෙරුන්වහන්සේ එක්යොදනක් දෙ යොදනක් තුන්යොදනක් දියෙන් ප්‍රාසාදය උඩනැඟූ සේක. එකල භද්දජි මහතෙරුන් වහන්සේගේ පූර්වජන්මයෙහි නෑයෝ ප්‍රාසාදයෙහි ලෝභයෙන් මස්-කැසුප්-මඬු ආදි තිරිසන් නිකායට පැමිණ ඒ ප්‍රාසාදයෙහි උපන්හ. ඒ මඬු ආදි සත්ත්‍වයෝ ප්‍රාසාදය උඩනැඟෙත් පෙරළාගෙන දියෙහි දියෙහිම වැගිර ගියාහ. සර්වඥයන් වහන්සේ පෙරළි පෙරළි වැටෙන්නාවූ මස්-කැස්බන් ආදි වූ සත්ත්‍වයන් දැක භද්දජි ස්ථවිරයෙනි! තොපගේ නෑයෝ බොහෝ පීඩාවට පැමිණෙති යි වදාළ සේක. තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේ වදාළබස් අසා ඔසවන්ට පටන්ගත් ප්‍රාසාදය ගැරපූ සේක. ඒ ප්‍රාසාදය පළමු පරිද්දෙන් ම ගොස් යථාස්ථානයෙහිම පිහිටියේය. මේ ලෝකයෙහි සියලු සත්ත්‍වයෝ ලෝභ-ද්වේෂ-මෝහයෙන් නරකාදි සතර අපායෙහි උපදනාහ. අලෝභ-අද්වේෂ-අමෝහයෙන් ස්වර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් කිසිවස්තුවෙක ලෝභයක්වත්, කිසි කෙනෙකුන් කෙරෙහි ද්වේෂ්‍යක්වත්, කිසි වස්තුවෙක මෝහයක්වත් නොකට යුත්තේය. ආස්තරණ පාපුරණදියෙහි ලෝභයෙන් එහි ඉණිකුණු ආදිව උපදනාහ. ඇඳපුටු ආදියෙහි ලෝභයෙන් එහි මකුණු ආදිව උපදනාහ. කෙත්වත් ආදියෙහි ලෝභයෙන් එහි ඌරු ආදිව උපදනාහ. ගෘහපරිස්කාරයෙහි ලෝභයෙන් එහි ගරඬි ආදිව උපදනාහ. වැව් ආදියෙහි ලෝභයෙන් එහි මඬු ආදිව උපදනාහ. ධනධාන්‍යයෙහි ලෝභයෙන් එහි සර්පමූෂිකාදිව උපදනාහ. උයන් ආදියෙහි ලෝභයෙන් ගොමපැණි ආදිව උපදනාහ. මාතුගාමාදීන් කෙරෙහි ලෝභයෙන් ඔවුන් කුස පණුවන් ආදිව උපදනාහ. ද්වේෂයෙන් නාගරාක්‍ෂසාදිව උපදනාහ. මානයෙන් වඳුරු ආදිව උපදනාහ.

වදාළේ මැනෝ:-

“කොධෙන පන්නගො හොති අති කොධෙන රක්ඛසො,

මානෙන මක්කටො හොති අති මානෙන කුක්කුරො”යි.

ඇතිරිලි-පරුක්කන් ආදි ආස්තරණ පාපූරණාදියෙහි ලෝභයෙන් එහි ඉණිකුණු ආදිව උපදින බව

ඇතිරිලි-පරුක්කන් ආදි ආස්තරණ පාපූරණාදියෙහි ලෝභයෙන් එහි ඉණිකුණු ආදිව කෙසේ උපදිද්ද? යත්:-

භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ජේතවන මහාවිහාරයෙහි වැඩවසන කල්හි සැවැත්නුවර වාසී එක් කුලපුත්‍රයෙක් ශාසනයෙහි මහණව ලබනලද උපසම්පදා ඇතිව තිස්ස ස්ථවිරයන් වහන්සේ යයි මෙනමින් ප්‍රසිද්ධ වූ සේක. ඒ තෙරුන්වහ්නසේ කල්යාමකින් දනව්වෙහෙරක වස්වැස අටරියන් දළඔලියළක් ලැබ වස්අන්තයෙහි සැවැත්නුවරට ගොස් නැඟනියන් අතට දුන්සේක. ඒ නැඟනියෝ මාගේ බෑණන් වහන්සේට සිව්රුකොට වළඳින්ට මේ දළඔලියළ සුදුසු නො වන්නේය යි එකඩ සිවුම් මුවහත් ඇති වෑයෙකින් කපා කපා සුණුවිසුණු කොට වනලා කොටා අඹරා පෙළා සීන් හු කැට කඩක් වියවූහ. තෙරුන්වහන්සේත් හූ ඉදිකටු සපයා සිව්රුගෙත්තමට සුදුසු ලදරුභික්‍ෂූන් හා සාමණේරතැන් රැස් කරවා නැගණියන් සමීපයට ගොස් මා තොප සමීපයේ තුබූ වස්ත්‍රය දෙවා සිව්රක් කරවන්නා කැමැත්තෙමි කී සේක. එසඳ ඒ නැගණියෝ නවරියන් ඔලියළ මෑත්කොට ගෙණවුත් බෑණන් වහන්සේ අතතිබූය. ඒ තෙරුන්වහන්සේ එකඩ අල්වා ගෙන විදහා මාගේ වස්ත්‍රය දළව තිබෙයි. අටරියනෙක. මේ වූ කලි ඉතා සීන් නවරියනෙක. එසේ හෙයින් මෙකඩ මාගේ නොවෙයි. තොපගේ කඩෙක් වන්නේය. මට මින් ප්‍රයෝජන නැත. මාගේ කඩ මට දෙවයි කීසේක.

එසඳ නැගනියෝ ස්වාමීනි! මේ කඩ නුඹවහන්සේගේමය, ගත මැනවැයි කියා දුන්නුය. එසඳ තෙරුන්වහන්සේ නො ඉවසූසේක්මය. ඉක්බිත්තෙන් ඒ නැගිනියෝ තෙරුන්වහන්සේට තමන් කළ කාරිය මුළුල්ලම කියා ස්වාමීනි! මේ ඉණකඩ නුඹවහන්සේගේමය. ගත මැනවැයි කියා දුන්නුය. එසඳ තෙරුන් වහන්සේ ඒ නවරියන් ඔලියළ ඇරගෙන විහාරයට ගොස් සිව්ර ගෙත්තමට පටන්ගැන්වූසේක. එකල උන්වහන්සේගේ නැඟනියෝ සිව්ර ගෙත්තම්කරන භික්‍ෂූන් වහන්සේට කැඳ අවුළුපත්-බත්-මාලු-ආදි වූ දෙය සකස්කොට දුන්හ. ඒ සිව්ර ගෙත්තම් කොට රඳා නිමිදවස් සෙසුදවසටත් වඩා අධික කොට සත්කාර කැරවූසේක. ඒ තෙරුන්වහන්සේ රඳානිමි සිව්ර බලා ඒ සිව්රෙහි උපන්නා වූ බලවත් ලෝභ ඇතිව සෙට පාන්වූකල වළඳිමියි සිව්ර පත්කොට සිව්රුවසෙහි තබා එදවස් වැළඳූ ආහාරය දිරාගත නොහී රාත්‍රියෙහි කාලක්‍රියා කොට එම සිව්රෙහි ඉණිකුණුව උපන්සේක. ඒ තෙරුන්වහන්සේගේ නැගණියෝ බෑණන් වහන්සේ කාලක්‍රියාකළ නියාව අසා අවුත් භික්‍ෂූන්වහන්සේගේ දෙපත්ලෙහි වැටී පෙරළි අඬන්නට පටන් ගත්හ. එඳස භික්‍ෂූන්වහන්සේ එක්ව තෙරුන්වහන්සේගේ ආදාහන කෘත්‍යය කොට ගිලානුපස්ථායකයෙක් ලෙඩ බැලූ තැනක් නැතිහෙයින් සංඝයා වහන්සේටම ඒ සිව්ර පැමිණෙන්නේය. එසේහෙයින් ඒ මතකසිව්ර බෙදම්හයි සිව්ර මෑත්කරවූ සේක. එසඳ ඒ හිණිකුණු තෙමේ භික්‍ෂූන්වහන්සේ මා සන්තක සිව්ර උදුරාගෙන කපා නසනසේකැයි කියා සිව්රෙහි ඈතමෑත දිවන්නේය. සර්වඥයන් වහන්සේ ගඳකිළියෙහි වැඩහිඳම දිවකණින් ඒ හිණිකුණා කියන්නාවූ කථාශබ්දය අසා අනඳ මහතෙරුන් වහන්සේට වදාරණසේක් ආනන්‍දස්ථවිරයෙනි! තිස්සයාගේ සිව්ර නොබෙදා සතියක් තබන්නට කියව යි වදාළසේක. අනඳ මහතෙරුන් වහන්සේත් එපරිද්දෙන්ම කැරවූසේක. ඒ හිණිකුණු සිව්රේම වැස ලෝභය දුරුකොට සත්වැනිදවස් මිය තුෂිතදිව්‍යලෝකයෙහි උපන්නේය. සර්වඥයන් වහන්සේ අටවැනිදවස් තිස්සයාගේ සිව්ර බෙදාගන්නට කියවයි විධාන කැරවූසේක. භික්‍ෂූන්වහන්සේත් බුදුන් වදාළ ලෙසම අටවැනිදවස් සිව්ර බෙදා ගත්සේක. මෙසේ සිව්ර බෙදාගෙන බුදුරජාණන් වහන්සේ කරා ගොස් විචාරණසේක්, ස්වාමීනි! තිස්සස්ථවිරයන්ගේ සිව්ර සත්දවසක් තබා අට වැනි දවස් බෙදාගන්ට අනුදත්තේ කුමක්නිසාදැයි විචාළසේක. එසඳ සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි! තිස්සයා තමාගේ සිව්රෙහි හිණිකුණුව උපන්නේය. තොප ඇම එක්ව සිව්ර බෙදන්නට වන්කල්හි මේ භික්‍ෂූහු මා සන්තක සිව්ර උදුරා ගනිතියි මුරගාමින් ඈතමෑත දිව්වේය. ඒ හිණිකුණු සැබැවින් එදවස් තොප ඇම ඒ සිව්රකපා බෙදා ඇරගතොත් තොප ඇම කෙරෙහි සිත් කළකිරුවා නිරයෙහි උපදනේය. එසේ හෙයින් මම ඒ සිව්ර කපා එදවස් බෙදාගත නොහී තබවාපීමි. දැන්වූ කලි ඒ තෙමේ තුෂිතදිව්‍යලෝකයෙහි උපන්නේය. එසේ හෙයින් තොප ඇමට අටවැනිදස් සිව්ර බෙදාගන්ට මා විසින් අනුදත්තේ මේ කාරණයෙනැයි වදාළසේක. මේ ආස්තරණ-පාපුරණාදියෙහි ලෝභයෙන් එහි හිණිකුණු ආදිව උපදනාහ.

කෙත්වත් ආදියෙහි ලෝභයෙන් හූරු ආදිව උපදනා බව

කෙත්වත් ආදියෙහි ලෝභයෙන් හූරු ආදිව උපදනා පරිදි කෙසේද? යත්:-

එක්තරා පුරුෂයකුගේ පුතුන් දෙබෑකෙනෙකුන් හා එකම දුවක් වුව. ඒ දෙබෑයන්ගෙන් වැඩිමහලු පුතනුවෝ සමීපවිහාරයෙක භික්‍ෂූන් වහන්සේ වදාරන්නාවූ බණ අසා මහණව රහත් වූහ. කුඩාපුතණුවෝ ගිහිගෙයිම විසූහ. උන්ගේ පියාණෝ තමන්ගේ වැවෙහි, කුඹුරෙහි ලොභකොට මිය ගොස් එහි ඌරුව උපන්නාහ.

මෑණියෝ වළන් ආදියෙහි ලෝභකොට මිය එගෙයිම ගැරඩි දෙන්ව උපන්නාහ. නැගනියෝ දියකෙළියෙහි ලෝභ කොට මිය එම වැව මැඩිව උපන්නාහ. එක්දවසක් ගරවිල්ලෙන් ගොදුරු සොයා වැවටගිය තැනැත්තී ඒ මැඩිදුව ගැලපුව. ගොදුරු කා නික්මෙන ගරවිල්දෙන හූරු ගිලීය. කරල්කන්ට බස්නා ඌරා කුඩාපුතණුවෝ විද මරාපුය. හූරා විද මරා මේ හූරුමස් මාගේ බෑණන් වහන්සේටත් දී අනුභව කළ මැනවැයි සිතා උදෑසනම විහාරයට ගොස් ඌරුමසක් ලදිමි. එසේහෙයින් අද මාගේ ගෙයිදී වළඳන්ට වැඩියහොත් යහපතැයි කිවුය. එසඳ තෙරුන් වහන්සේ කෙසේ හූරුමසෙක්දෝහෝයි පරීක්‍ෂා කොට බලා පළමු පැවති සියලු කාරියම නුවණැසින් දැක ධර්මසංවේගයට පැමිණ මා මොහුහට පිටිවහල්වුව මැනවැයි සිතා අප එනතෙක් හූරා මස් නො කරවයි කියා මලණුවන් යවා උදෑසන කළමනා වැඳීම් පිදීම් ආදි සියලු කාරිය කොට නිමවා ගැටවටුගන්වා පාත්‍රය අතින් ගෙන මලණුවන්ගේ ගෙට ගොස් හූරා බලම්හයි කී කල්හි යහපත ස්වාමීනියි කියා මලණුවෝ හූරාගෙන හැර පෑවාහුය. එසඳ තෙරුන්වහන්සේ එතන සිට මේ හූරා බඩ ගරඩි දෙනෙක් ඇතැයි කියා හූරා බඩ පළවා ගරවිල්දෙන මෑත් කර වූසේක. නැවත මේ ගරවිල්දෙන බඩ මැඩියක් ඇතැයි කියා ගරවිල්දෙන බඩ පළවා මැඩියා මෑත්කරවා හූරා සමීපයෙහි ගරවිල්දෙන හොවා ගරවිල්දෙන සමීපයෙහි මැඩියා හොවා මේ හූරා නම් තොපගේ පියාණෝය. මේ ගරවිල්දෙන නම් තොපගේ මෑණියෝය. මේ මැඬිපැටි නම් තොපගේ නැගනියෝය යි කී සේක. එසඳ මලණුවෝ භයපත්වූ ස්වාමීනි! මූ හැම කුමක් නිසා මෙබඳුව උපන්හුදැයි විචාළහ. තෙරුන්වහන්සේ එබස් අසා වදාරණසේක් තොපගේ පියාණෝ වසර ලෝභ කොට මිය එහි හූරුව උපන්නාහ. තොපගේ මෑණියෝ ගෙයි වළන් ආදියෙහි ලෝභ කොට මිය එහි ගැරඬියෙක්ව උපන්හ. තොපගේ නැගනියෝ දියකෙළියෙහි ලෝභ කොට මිය ඒ වැව මැඬිව උපන්හ. මැඬිය ගරවිල්දෙන ගිළුව; ගරවිල්දෙන හූරු ගිලීය. හූරා තොපි ගිළින්ට සිටියා වේදැයි වදාළ සේක. එසඳ මලණුවෝ භයින් ත්‍රස්ව ස්වාමීනි! ජාතියෙන් වෙන්වූ කලම මෙසේ වන නියාවේද? මෙසේ වන බව පළමු මම නොදන්මියි වෙවුලන්ට වන්හ. තෙරුන්වහන්සේ මලණුවන්ගේ බස් අසා සසර අක්මුල්නැති පරිදි දක්වමින් “අනමතග්ගසංයුත්තය” වදාළ සේක. මලණුවෝ තෙරුන්වහන්සේ වදාළ බණ අසා බෑණන්වහන්සේ සමීපයෙහි මහණව රහත්වූහ.

ධනධාන්‍යාදියෙහි ලෝභයෙන් එහි සර්පමූෂිකාදිව උපදනා බව

ධනධාන්‍යාදියෙහි ලෝභයෙන් එහි සර්පමූෂිකාදිව උපදනා පරිදි කෙසේද? යත්:-

බරණැස් නුවර වැසි එක් සිටානකෙනෙක් ගංගාතීරයෙහි සතළිස්කෙළක් වස්තු නිධාන කොට තබා ලෝභයෙන් මිය වස්තුව පිට සර්පව උපන්නාහ. එම නුවර අනික් සිටාන කෙනෙක් තිස්කෙළක් වස්තු නිධානකොට තබා ධනලෝභයෙන් මිය ධන පිට මූෂිකව උපන්නාහ. මෙහි විස්තර එකකනිපාතයෙහි “සච්චංකිරජාතකයෙන්” දත යුත්තේය.

උයන් ආදියෙහි ලෝභයෙන් ගොම පැණි ආදිව උපදනා බව

උයන් ආදියෙහි ලෝභයෙන් ගොම පැණි ආදිව උපදනා පරිදි කෙසේද? යත්:-

යටගිය දසව කසීරට පොතලී නම් නුවරෙක් විය. එහි අස්සක නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ උබ්බරී නම් බිසෝකෙනෙක් වූහ. ඒ බිසව් විශිෂ්ට වූ රූ ඇත්තෝය. මනා වූ දැකුම් ඇත්තෝය. බැලුබැලුවන්ට ප්‍රසාද එළවති. උතුම් වූ රූපසෞන්දර්යයෙන් සමන්විතයෝය. මනුෂ්‍යරූපය ඉක්ම දිව්‍යරූපයට නො පැමිණි උතුම් වූ රූපශ්‍රී ඇත්තාහ. එබඳුවූ රූපශ්‍රීසෞන්දර්ය ඇති බිසව් කිසියම් ව්‍යාධියකින් අභිනව යෞවනයෙහි ම කළුරිය කළාහ. ඒ බිසවුන් කළුරිය කළපසු රජ්ජුරුවෝ සෝකයෙන් මඩනාලදුව බලවත් වූ දුක්දොම්නසට පැමිණ බිසවුන්ගේ ශරීරය දෙනක බහාලා එහි තෙල්පුරා මහාර්ඝ වූ ශ්‍රී යහන යට තබාගෙන නිරාහාරව හඬ හඬා කඳුලු පෙර පෙරා හෝනාහුය. එසඳ දෙමවුපියෝ ය, අවසේසනෑයෝ ය, මිත්‍රයෝ ය, අමාත්‍යයෝ ය, බමුණෝ ය, සිටුවරු ය යන මේ ආදීහු මහ රජ්ජුරුවන් වහන්ස, නුඹවහන්සේ අපකීවකට රැහැණි නුව මැනව, සියලු සංස්කාරධර්මයෝ ම අනිත්‍යය. යම්සේ වැලිසත්ත බිමින් උඩනැගෙන්නේ මුදුනේවැලි තබාගෙනම නැගේ. එපරිද්දෙන් ම උපදනාවූ සත්ත්‍ව මරණත් කැටුවම ගෙන උපදනේ ය. එසේහෙයින් මහරජ්ජුරුවන් වහන්ස, නස්නාසුලු වූ වස්තුවනට නුඹවහන්සේ නොකා නොබී වැලප වැලප වැහැස වැහැස ගෙවීමෙන් ප්‍රයෝජන නැත. අප හැමදෙනා කීවා කොට බිසවුන් වහන්සේ ආදාහන කරවා නුඹවහන්සේ ඉස්සෝධා නහා මේ නිමවා කායසන්තර්පණය කළමැනවැයි අවවාද කළහ. ඔවුන් හැමදෙනා මෙලෙසින් අවවාද කළත් රජ්ජුරුවෝ නො සන්හිඳෙත්මය. මෙසේ හඬන්නා වූ රජ්ජුරුවන්ට සත්දවසක් ඉකුත් වූ සේය. එකල අප මහබෝසතාණෝ ධ්‍යානලාභී තාපසව හිමාලය වනයෙහි වසන්නාහු ආලෝක වඩා දිවසින් දඹදිව බලා ඒ අස්සක නම් රජ්ජුරුවන් මෙසේ වලප්නා බව දැක ඒ රජ්ජුරුවන්ට මා පිටිවහල්වුව මැනවැයි සිතා සෘද්ධියෙන් ආකාශයට පැන නැගී ගොස් රාජොද්‍යානයට බැස මඟුල් සල්සල වට මත්තෙහි ඝන රන් පිළිමයක් මෙන් උන්නාහ. එසඳ එනුවර වැසි බමුණු දරුවෙක් උයනට ගිය තැනැත්තේ ඒ මහාබෝධිසත්ත්‍වයන් දැක වැඳ එකත්පස්ව හුන්නේය. එසඳ මහබෝසතාණෝ ඒ බ්‍රාහ්මණ කුමාරයා සමග සුවදුක් කථාකොට කිාමෙක්ද? මෙනුවර රජ්ජුරුවෝ ධර්මිෂ්ටයෝ දැයි විචාළහ. එබසු අසා බමුණු දරු කියන්නේ ස්වාමීනි! තපස්වීන් වහන්ස? රජ්ජුරුවන් වහන්සේ ධර්මිෂ්ට නියාවට කිසි අඩුවෙක් නැත. ප්‍රජාසංරක්‍ෂණයෙහි නිරතසේක. සත්ත්‍වකරුණා ඇතිසේක. එතකුදු වුවත් උන්වහන්සේගේ බිසවුන් වහන්සේ කළුරිය කළසේක. ඒ මෘතකලෙබරය දෙනක බහා තෙල්වත් කොට පියන්පතගසා යහනයට තබා වැලප වැලප වැද හෝනා සේක. මෙසේ හඬ හඬා වැදහෝනා රජ්ජුරුවන් වහන්සේට අදින් සත්දවසෙක් ඉකුත් වූයේය. නුඹවහන්සේ මෙබඳු ධර්මිෂ්ට රජ්ජුරුකෙනකුන් වහන්සේ මේසා දුකක් විඳිමින් සිටියදී එදුකින් නුමුදන්ට කාරණ කවරේද? නුඹවහන්සේ එබඳු වූ සිල්වත් ගුණවත් මහතුන් ලොවට ඇතුව ඉන්දදි මෙසේවූ ධර්මිෂ්ට රජ්ජුරුකෙනකුන් වහන්සේ දුක්විඳිනවා යහපත්දැයි කීය. එසඳ මහබෝසතාණෝ කියන්නාහු දරුව! මම රජ්ජුරුවන් නොහඳුනමි. ඉඳින් ඒ රජ්ජුරුවන් අවුත් මා අතින් විචාළේ වී නම් මම ඒ රජ්ජුරුවන්ට බිසවුන් උපන්තැන් කියා රජ්ජුරුවන් අභිමුඛයෙහිම කථාකරවන්නෙම් වේ දැයි කීහ.

එසඳ බමුණුදරු එසේ වී නම් ස්වාමීනි! නුඹවහන්සේ මා ගොස් රජ්ජුරුවන් වහන්සේ කැඳවාගෙන එන තෙක් මෙතනම වැඩහින්ට වුවමැනවැයි මහාබෝධිසත්ත්‍වයන් ගිවිසවාගෙන රජ්ජුරුවන් කරා ගොස් එපවත් රජ්ජුරුවන්ට දන්වා ඒ දිවැස් ඇති තපස්වීන් කරා එන්ට වුවමැනවැයි රජ්ජුරුවන්ට දැන්වීය. එසඳ රජ්ජුරුවෝ උබ්බරිය දක්නෙම් වේ දැයි සතුටුව සරහා පිළියෙල කරන ලද රථයකට පැන නැගී උයනට ගොස් මහබෝසතාණන් දැක වැඳ එකත්පස්ව හිඳ විචාරන්නාහු තපස්වීන් වහන්ස! නුඹවහන්සේ අපගේ බිසවුන් මිය උපන්තැන්දන්නේ සැබෑදැයි විචාළහ.

මහබෝසතාණෝ දනිමි, මහරජ්ජුරුවෙනි! කීහ. කොයි උපන්නුදැයි විචාළකල්හි මහරජ්ජුරුවෙනි! ඒ බිසවුන් සුරාමදයෙන් මත්ව ප්‍රමාදවාසයට පැමිණ කුසල් නොකොට අකුසල් කොට මෙම උයන ගොම පැණි යොනියෙහි උපන්නෝ වේදැයි කීහ. රජ්ජුරුවෝ නුඹවහන්සේගේ බස් මා අදහාගන්නේ නැතැයි කීහ. එසඳ මහබෝධිසත්ත්‍වයෝ එසේ වී නම් ඒ බිසවුන් තොපට දක්වා උන් ලවා කථාකරවම්දැයි කීහ. යහපත ස්වාමීනි යි කී කල්හි මහබෝසතාණෝ තමන්ගේ ආනුභාවයෙන් ඒ ගොමපැණියා හා ඈට වල්ලභවූ ගොමපණු හා දෙදෙනා ගොමපිඩක් වටකොට පෙරල පෙරලා රජ්ජුරුවන් අභිමුඛයට එත්වයි අධිෂ්ඨාන කළාහ. මහබෝසතාණන්ගේ අධිෂ්ඨානය හා සමග ඔහුදෙදෙනාත් ගොමපිඩක් පෙරල පෙරලා රජ්ජුරුවන් අභිමුඛයට පැමිණියාහුය. එසද මහබෝසතාණෝ ඔවුන් දෙදෙනා රජ්ජුරුවන්ට දක්වා මහරජ්ජුරුවෙනි! මේ ඉදිරියෙහි උබ්බරීදේවිය ගොමවට පෙරල පෙරලා පසුපස්සේ එන්නේ ගොම පණුවාය. මොවුන් දෙදෙනා බලවයි කීහ. රජ්ජුරුවෝ බෝධිසත්ත්‍වයන්ට කියන්නාහු ස්වාමීනි! උබ්බරීදේවි ගොමපැණි යොනියෙහි උපදනට සුදුසුවූ කෙනෙක් නො වෙත්. මම නුඹවහන්සේගේ බස් අදහා නො ගනිමි කිවූය. එසේ වී නම් මම ඈ ලවා කථාකරවම්ද? මහරජ්ජුරුවෙනියි කී කල්හි කථාකැරවුව මැනව තපස්වීන් වහන්සැයි කීහ. මහබෝසතාණෝ තමන්ගේ ආනුභාවයෙන් ඈ ලවා කථා කරවන්නාහු උබ්බරීනියි කීහ. ඕතොමෝ මනුෂ්‍යභාෂාවෙන් කිවමැනව ස්වාමීනි යි කිව; තී මේතනට පූර්වජන්මයෙහි කෙබඳුව උපනීදැයි විචාළහ.

ස්වාමීනි, මම මේ අස්සක රජ්ජුරුවන් වහන්සේට අගමෙහෙසුන්ව උබ්බරී නම් බිසව්ය යි මේ නමින් ප්‍රසිද්ධවීමි යි කිව. එසඳ මහබෝසතාණෝ කිමෙක්ද? දැන් තිට අස්සක රජ්ජුරුවෝ ප්‍රියයෝද? නොහොත්, ගොම පණුවා ප්‍රියදැයි කීහ. ස්වාමීනි ඒ මාගේ පූර්වජන්මය එකල මම මේ උයන්හි රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය යන පඤ්චකාමය අනුභව කෙරෙමින් ඇවිද්දෙමි. දැන් මා අනික් ජන්මයකට ගිය බැවින් ඒ රජ්ජුරුවන්ගෙන් මට ප්‍රයෝජන කවරේද? දැන්වූ කලි මම අස්සක රජ්ජුරුවන් මරවා උන්ගේ ගලලොහිතයෙන් මට වල්ලභවූ ගොම පණුවාගේ පය සෝදවනු කැමැත්තෙමි. අස්සක රජ්ජුරුවන්ට වඩා ශතගුණයෙන් සහස්‍රගුණයෙන් ගොමපණුවා මට ප්‍රියවන්නේය යි පර්ෂත් මධ්‍යයෙහි මනුෂ්‍යභාෂාවෙන් කථාකළාය.

ඒ අසා අස්සක රජ්ජුරුවෝ විපිළිසරබවට පැමිණ කුණපයගෙන් පිටත් කරවා ඉස්සෝධා නහා මහබෝසතාණන් වැඳ නුවරට ගොස් අනික් බිසෝකෙනකුන් අගමෙහෙසුන් තනතුරෙහි තබා දැහැමෙන් රාජ්‍යය කළාහුය. මහබෝසතාණෝ රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කොට සෝක සන්හිඳවා තමන් වසන්නාවූ හිමාලය වනයට පැමිණියාහුය. මෙසේ උයන් ආදියෙහි ලෝභකොට ගොමපැණි ආදිව උපදනාහුය.

මාගමුන් කෙරෙහි ලෝභ කළවුන් ඇතුළුකුස පණුවම උපදනා බව

මාගමුන් කෙරෙහි ලෝභ කළවුන් ඇතුළුකුස පණුවම උපදනා පරිදි කෙසේද? යත්:-

යම්සේ අවීචියෙහි උපදනා සත්ත්‍වයෝ එකම අකුශලකර්මයකින් නො ඉපද නොයෙක් අකුශල කර්මයෙන් උපදිද්ද? එපරිද්දෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ලෝභය කළාවූ සත්ත්‍වයෝ උන්ගේ කුස පණුවම උපදනාහ. සෙසු අකුසල් කළ සත්ත්‍වයෝත් මාගමුන් කුස පණුව උපදනාහ. පියුම්-පුන්සඳ-නිලිපුල් හා සමකොට දුගඳ පිළිකුල් මාගම්සිරිරු නුවණමඳ සත්ත්‍වයෝත් පස්කම්රාලොබීන් වණනුවහ. එබඳු අඥාන සත්ත්‍වයෝම ඔවුනොවුන්ගේ රූප වර්ණනා කිරීමෙන් ලෝභ උපදවා ඒ මාගමුන් කුස පණුව උපදනාහ.

ද්වේෂයෙන් නාගව උපදනා බව

ද්වේෂයෙන් නාගව උපදනා පරිදි කෙසේද? යත්:-

පියංගමුවෙහෙර වසන්නා වූ තෙරදෙදෙනෙකු වහන්සේ ඔවුනොවුන් වහන්සේ කෙරෙහි දොම්නස් ඇතිවූ සේක. ඉන් එක් කෙනෙකුන් වහන්සේ කාලක්‍රියාවට වැදහෙව අනික් තෙරුන් වහන්සේ ක්‍ෂමා කරවනු කැමැතිව එන්ට කියා යැවූසේක. ඒ තෙරුන්වහන්සේ ක්‍ෂමා කැරපීමට නොලැබුණු සේක. ක්‍ෂමාකරවන්ට උත්සාහ කළ තෙරුන්වහන්සේ මිය ගොස් දඹදිව එක් විලෙක නාරජව උපන්සේක. ක්‍ෂමාකැරපීමට නොලැබුණු තෙරුන් වහන්සේ ඇතුළුව දොළොස්දෙනකු වහන්සේ ශ්‍රීමහා බෝධීන්වහන්සේ වඳිනා කැමැතිව මධ්‍යමණ්ඩලයට වඩනා සේක් ඒ විල්තෙරට පැමිණ රාත්‍රියෙහි විල්තෙර රුකක්මුල පැන් පෙර හා වළඳා වැඩහුන්සේක. ඒ විල වසන්නා වූ නාගරාජයා තමන් වසන්නා වූ භවනයෙන් නික්ම ආතෙනත්තේ සඞ්ඝයා වහන්සේ දැක හැඳින මානවක වේශයක් මවාගෙන ගොස් වැඳ එකත්පස්ව සිට පූර්වජන්මයෙහි තමාගේ නම් සලකුණු කියා ඒ තෙරුන්වහන්සේ තමා කෙරෙහි ක්‍ෂමාකරවන්නට සඞ්ඝයා වහන්සේ ලවා යාඤ්චාකරවා ක්‍ෂමා නො කරන්නේ නැවතත් නොයෙක් පරිද්දෙන් යාඤ්ඤාකොට වෙහෙසීය. තෙරුන්වහන්සේ හුනස්නෙන් නැගී යන්නට වන්කල්හි මානවකවේශය හැර සර්ප වේශය මවාගෙන නාගරාජයා තෙරුන්වහන්සේගේ පිටපත්ලට පෙණයක් ගසා ලූයෙය්. එවිගස තෙරුන්වහන්සේ මිය ඕපපාතික නාගරාජව ඉපැද ක්‍රෝධයෙන් දුමා දිලිහී උනුන් කා ගොස් විලදියෙහි උපන්හ. මෙසේ ද්වේෂ කිරීමෙන් නාගරාජන් ව උපදනාහ.

අධික ද්වේෂයෙන් රාක්‍ෂසව උපදනා බව

අධික ද්වේෂයෙන් රාක්‍ෂසව උපදනා පරිදි කෙසේද? යත්:-

අතීතයෙහි වාසුදෙව, බලදෙවාදී දසබෑරාජකුමාරවරුන් හංසවතී නම් නුවර මල්ලයුද්ධයට බටකල්හි ඔවුන් අතුරෙන් බලදෙව නම් රාජකුමාරයෝ මුට්ඨිමල්ලව නම් මල්ලවයා බැඳගෙන මිරිකා මරනට වන්හ. එසඳ මුට්ඨිමල්ලවයා මම මල්ලවයෙක් නොවෙමියි කීය. ඔහු එසේ කීවත් බලදෙව නම් රාජකුමාරයෝ තා මල්ලව නියාවත් මල්ලව නො වන නියාවත් මම නො දන්මියි, ඔහුගේ බස් නො ගිවිස මිරිකා මරා පූහ. ඒ මල්ලවයා මියන ගමනේ ද්වේෂයෙන් තා කා මැරිය හෙම්වයි පතා මිය ගොස් කාලමත්තිකා නම් අරණ්‍යයෙහි රාක්‍ෂසව ඉපැද ඒ බලදේව නම් රාජකුමාරයන් තමා කළ ප්‍රාර්ථනා නියාවට ම කා මරුයේය. මෙහි විස්තර සානජාතකයෙන් දත යුත්තේය. මෙසේ අධික ද්වේෂය කිරීමෙන් රාක්‍ෂසව උපදනාහ.

මානයෙන් වඳුරුව උපදනා බව

මානයෙන් වඳුරුව උපදනා පරිදි කෙසේද යත්:-

රජගහනුවර ගොපකමොග්ගල්ලාන නම් එක් බමුණෙක් එක්දවසක් කසයින් මහතෙරුන්වහන්සේ ගිජුකුළුපව්වෙන් වඩනා දැක මේ මහාකාලවඳුරකු වැන්නේයයි කීය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ බස් අසා ඉදින් මේ තෙම කසයින් මහතෙරුන් ක්‍ෂමාකැරවූයේ වී නම් යහපත් වන්නේය. ක්‍ෂමා නො කැරවූයේ වී නම් මේ වේළුවනයෙහි මහාකාලවඳුරුව උපදනේ වේදැයි වදාළසේක. බමුණු එපවත් අසා මානයෙන් ක්‍ෂමා නො කරවා ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ කීවා ඒකාන්තයෙන් සැබෑ වේමැයි මා වඳුරුව උපන්කල කෑහැක්කේවේ දැයි වේළුවනයෙහි නොයෙක් ඵලරුක් හිඳුවා රැකවල් ලැවීය. පසුව ඒ බමුණු කල්යාමකින් මියගොස් ඒ වනයෙහි මහාකාලවඳුරුව උපන්නේය. මෙහි විස්තර මැදුම්සඟියෙහි ගොපකමොග්ගල්ලානසූත්‍රයෙන් දතයුත්තේය. මෙසේ මානය කිරීමෙන් මහාකාල වඳුරුව උපදනාහ.

අධිකමානයෙන් බළුව උපදනා බව

අධිකමානයෙන් බළුව උපදනා පරිදි කෙසේද? යත්:-

බුදුරජාණන් වහන්සේ ජේතවනමහාවිහාරයෙහි වැඩවසන කල්හි සැවැත්නුවරට නුදුරුතෙන තුදිනම් ගමෙක් ඇත. එග මට අධිපතිවන බැවින් තොදෙය්‍ය නම් බමුණෙක් කොසොල් රජ්ජුරුවන්ට අග්‍රපුරොහිත විය. ඒ බමුණුතෙමේ සතාසූකෙළක් ධන ඇත්තේය. එතකුදුවුවත් ඉතා මසුරුය.

“අඤ්ජනානං ඛයං දිස්වා උපචිකානං ච ආචයං

මධූනං ච සමාහාරං පණ්ඩිතො ඝරමාවසෙ.”

යන මේ ගාථාව තමාගේ පුතුට උගන්වා කිසිවක්හට කිසිවක් නොදෙන පරිද්දෙන් හික්මවන්නේය. සමීපවිහාරයෙහි වැඩවසන්නා වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ යටත් පිරිසෙයින් කැඳසාළුවක් පමණ වේවයි බත්කෙනෙස්සක් පමණ වේවයි නොදී ධනලෝභයෙන් මිය එම ගෙයි තිරිසන්ව උපදනා තැනැත්තේ අභිමානයෙන් බලුව උපන්නේය. ඔහු පිත් සුය මානවක නම් බමුණුදරු එ් බල්ලාට බලවත්වූ ස්නේහ ඇතිව තමා අනුභවකරණ සැටියේ රසමසවුලෙන් යුක්තවූ ආහාරය ලන්නේය. කසාසඳුන්සුවඳ ආදියෙන් නහවා උතුම් යානෙක හොවන්නේය. එසමයෙහි බුදුරජාණන් වහන්සේ අලුයම්වේලෙහි ලොව බලා වදාරණසේක් ඒ බල්ලා දැක, තොදෙය්‍ය නම් බමුණු වස්තු ලෝභයෙන් මිය තමාගේ ගෙයි බලුව උපන්නේය. අද මා එතනට ගියකල්හි මා දැක බලු බුරයි. ඕහට මම එක බසක් කියමි. ඒබලු ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මා හැඳිනිසේක්වනැයි ගොස් ලිප්දොර හෝනේය. ඒ කාරණයෙන් සුභ නම් මානවකයාට මා හා සමඟ කථාසල්ලාපයෙක් වන්නේය. සුභ නම් මානවකයා මාගෙන් බණ අසා සරණසීලයෙහි පිහිටයි. බලු මිය ගොස් නරකයෙහි උපදනේය යි නුවණැසින් දැක ශරණශීලයෙහි පිහිටන මානවකයා කෙරෙහි අනුකම්පාවෙන් එදවස් උදෑසන කළමනා සියලු දිනචරියාව කොට නිමවා එකලාව ගොස් ඒ තුදී නම් ගමට වැද මානවකයා කිසි කාරියක් නිසා ගමින් බැහැර ගිය වේලේ ඔහුගේ දොරට වැඩ වදාළ සේක. එසඳ ඒ බලුදු සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ දැක බුර බුරා සමීපයට ගියේය. බුදුහු ඕහට වදාරණසේක් තොදෙය්‍යය! තෝ පූර්ව ජන්මයෙහි මට භො භො යනාදීන් අක්‍රොෂපරිභව බැණ බලුව උපන්නෙහිය. දැන් මට බුරා අවීචිමහානරකයෙහි හෙන්නේ වේදැයි වදාළසේක. බලු එබස් අසා ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ මා හැඳිනිසේක් වනැයි කලකිරීමට පැමිණ කර නමාගෙන ගොස් උදුන් අතුරෙහි හළුපිට හොත්තේය. මනුෂ්‍යයෝ ඔහු නගාසිටුවා යහනේ වැදහෙවන්ට අසමර්ථ වූහ. සුභ නම් මානවකයා අවුත් මේ බල්ලා යහනින් බිමලූවෝ කවුරුදැයි විචාළේය. මනුෂ්‍යයෝ ඕහට තමන් හැම යහනින් බිම බල්ලා නුලූනීයාව කියා සර්වඥයන් වහන්සේ ඕහට වදාළ බස් කීහ. මානවකයා එබස් අසා මපියාණන් වහන්සේ බ්‍රහ්මලෝකයෙහි උපන් සේක. තොදෙය්‍ය නම් බල්ලෙක් ඇත්තේ නොවෙයි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මපියාණන් බලුකරණසේක. ඒ බුදුහු නම් මුඛාවශ්‍ය වූ දෙයක් ම කියනසේකැයි කියා බුදුන් මුසවායෙන් මඬනක මැතිව මානවකයා විහාරයට ගොස් එපවත් විචාළේය. බුදුහු ඕහට පළමු තමන්වහන්සේ වදාළ ලෙසම වදාරා ඒ නිබොරු පරිදි දක්වනු සඳහා දරුව! තාගේ පියා තට නො කී වස්තුවෙක් ඇද්දැයි විචාළසේක. එසඳ මානවකයා ශ්‍රමණභවත් ගෞතමයන් වහන්ස! මපියාණන් මට නො කී වස්තු ඇතැයි කියා කරේදැයි බුදුන් විචාළ කල්හි ලක්‍ෂයක් වටනා රන්මාලාවෙක, ලක්‍ෂයක් මවනා රුවන්මිරිවැඩිසඟලෙක, ලක්‍ෂයක් වටනා රන්පලසෙක මසුරන් ලක්‍ෂයෙක යන මේ සියලු වස්තු මපියාණන් මට නො කී වස්තුය යි කීය.

එසඳ බුදුහු වදාරණසේක් දරුව! තෝ ගොස් ඒ බල්ලාට කිරිබත් කවා යහනේ හොවා මද නින්දක් නිදන්ට ගත් කල්හි නොකී වස්තු විචාරව ඒ බලු පූර්වජන්මයෙහි තමා නොකී සියලු වස්තුව තට කියයි. එසඳ ඔහු තා පියබව දැනගණැයි වදාළ සේක. සුභ නම් බ්‍රාහ්මණ මානවකයා ඉදින් බුදුන් බස් සැබෑවී නම් වස්තු ලැබෙමි. බොරුවී නම් මුසවායෙන් නිග්‍රහ කෙරෙමියි දෙකරුණෙන්ම සතුටුව තමාගේ ගෙට ගොස් මනාකොට කිරිබත් පිසවා බල්ලා බඩපුරා අනුභවකරවා යානේ හොයා මද නින්දක් නිදන්ට වන් කල්හි පළමු තමාට නොකී වස්තු විචාළේය. එසඳ බලු තමා හැඳිනිබවට දැන හුං හුං යන අනුකරණයෙන් ධ්වනි පවත්මින් ධන තිබූ තැනට ගොස් පසුරෙන් බිම කැන සලකුණු කෙළේය. ඒ සලකුණෙන් මානවකයා එම වස්තු ගොඩ නඟාගෙන භවයෙන් සැඟවී තිබෙන්නා වූ අති සූක්‍ෂ්ම වූ ජාත්‍යන්තරයෙහි කාරිය පවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රකාශව දැනෙන්නේය. එසේ හෙයින් උන්වහන්සේ ඒකාන්තයෙන් සර්වඥසේකැයි බුදුන් කෙරෙහි පැහැද දහම්පඬුරු ගෙනගොස් ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් ප්‍රශ්නවිචාරන්ට වුවමැනවැයි දෙවෙනි වාරයේ යනගමන් ප්‍රශ්න තුදුසක් සිතින් සනිටුහන් කොට ගෙන බුදුන් කරා එළඹ කථාකොට එකත්පස්ව හිඳ ප්‍රශ්න විචාරන්නේ මෙසේ විචාළේය. භවත් ගෞතමයන් වහන්ස! මනුෂ්‍යයන් කෙරෙහි අල්පායුෂ්ක්‍යත්ත්‍වයෝද, පෙණෙති, බහ්වාබාධසත්ත්‍වයෝද, පෙනෙති. අල්පාබාධසත්ත්‍වයෝද, පෙණෙති. දුර්වර්ණසත්ත්‍වයෝද, පෙණෙති. සුවර්ණසත්ත්‍වයෝද, පෙණෙති. අල්පෙශාක්‍යයෝද, පෙණෙති. මහෙශාක්‍යයෝද, පෙණෙති. අල්පභෝගසත්ත්‍වයෝද, පෙණති. මහාභොගසත්ත්‍වයෝද, පෙණෙති. අකුලීනසත්ත්‍වයෝද, පෙණෙති. කුලීන සත්ත්‍වයෝද, පෙණෙති. නුවණනැති සත්ත්‍වයෝද, පෙණෙති. නුවණඇතිසත්ත්‍වයෝද, පෙණෙති. මොහු කවර කාරණයකින් හීනොත්කෘෂ්ට වෙද්දැයි විචාළෝය.

එසඳ බුදුහු වදාරණසේක් මානවකය! මේ ලෝකයෙහි සත්ත්‍වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහ. කර්මය දායාදයහ. කර්මයොනිහ. කර්ම බන්‍ධුහ. කර්ම ප්‍රතිශරණයහ. එසේහෙයින් කර්මය සියලු සත්ත්‍වයන් හීනප්‍රණීතකොට බෙදන්නේය යි වදාළසේක. එසඳ බමුණුදරු ඝනපිළීපටකින් මුහුණවසා බැඳ අභිමුඛයෙහි මධුරභෝජනයක් තබාලූ කලක් වැනිවිය. බුදුරජාණන් වහන්සේ සංක්‍ෂෙපයෙන් කුමක් පිණිස වදාරණසේක්ද? යත්:-

ඒ බමුන් දරු පණ්ඩිතමානීය. තමා හා සමාන කෙනකුන් ලොව නැතැයි සිතා හිඳිනේය. ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ කියන්නේ කිම්ද? මම යමක් දනිම් නම් ඒම උන්වහන්සේ කියනසේක. උන්වහන්සේ යමක් දන්නා සේක් වී නම් ඒ සියල්ල මම දනිමි. මට වඩා උන්වහන්සේ දන්නා දෙයක් නැතැයි අභිමානපරව හිඳිනේය. එසේ හෙයින් බුදුහු ඔහුගේ මන්බිඳිනා පිණිස පළමුකොට ඔහු නොදතහැකි පරිද්දෙන් කියමි. පසුව ඔහුගේ ආරාධනාවෙන් විස්තරකොට දක්වමි යි සංක්‍ෂෙපයෙන් වදාළසේක.

එසඳ බමුණු දරු සැකෙවින් කීබසැ අර්ථ මට නො දැනෙයි. විස්තර වශයෙන් මා දතහැකිසේ දෙසුව මැනවැයි ආරාධනා කෙළේය. එසඳ විස්තර වශයෙන් පැන විසඳන්නා වූ බුදුරජාණන් වහන්සේ දරුව! යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය කළේ වී නම් ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක් විඳ ඉදින් මනුෂ්‍යජන්මයෙහි උපන්නේ වී නම් උපන්තැන්ම අල්පායුෂ්ක වෙයි, නවයෞවනයෙහි ම මරණ ලැබෙන්නේය. යමෙක් ප්‍රාණවධ නො කොට සත්ත්‍වයන් කෙරෙහි කරුණා ඇතිව වෙසේද, ඒ සත්ත්‍ව දිව්‍යලෝකයෙහි ඉපද බොහෝ සුව විඳ මිනිසත් බවට පැමිණියේ වී නම් උපනුපන් තැන්හි දීර්ඝායුෂ්කව බොහෝකල් ජීවත්ව ඉඳිනේය. යමෙක් සත්ත්‍වයන්ට අතින් හෝ, පයින් හෝ දණ්ඩෙන් හෝ, පහණින් හෝ, ශස්ත්‍රයෙන් හෝ, පීඩා කෙරේද, ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක විඳිමින් මිනිස්පියට ආයේ වී නම් උපනුපන් තැන්හි බව්හාබාධාවෙයි. රෝගී වෙයි. යමෙක් යත්නට පීඩා නො කෙරේද, ඒ සත්ත්‍ව දිව්‍ය ලෝකයෙහි ඉපද බොහෝ සුවවිඳ මිනිස්බවට ආයේ වී නම් උපනුපන් තැන්හි අල්පාබාධ වෙයි. නීරෝගී වෙයි.

යමෙක් ක්‍රෝධබහුලව මදබසෙකිනිදු කිපෙන්නේ වී නම් ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක්විඳ මිනිස්පියට ආයේ වී නම් උපනුපන් තැන්හි දුර්වර්ණ වෙයි. විරූපී වෙයි. යමෙක් ක්‍රෝධ නො කරන්නේ වී නම් ඒ සත්ත්‍ව දිව්‍යලෝකයෙහි ඉපද බොහෝ සුවවිඳ මනුෂ්‍යජන්මයට පැමිණියේ වී නම් උපනුපන් තැන්හි ස්වර්ණවර්ණ වෙයි. අභිරූපවෙයි.

යමෙක් අනුන්ගේ ඓශ්වර්යයද, අනුන්ට කරණ සත්කාරයද ඉවසිය නොහී ඊර්ෂ්‍යා කෙළේ වී නම් ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක් විඳ මිනිස්පියක් ලද්දේ වී නම් උපනුපන් තැන්හි අල්පේශාක්‍ය වෙයි. විගතානුභාව වෙයි. වහලු වෙයි. යමෙක් අනුන්ගේ ඓශ්වර්යයෙහිද, අනුන්ට කරණ සත්කාරයෙහිද ඊර්ෂ්‍යා නොකොට ප්‍රශංසා කෙළේ වී නම් ඒ සත්ත්‍ව දිව්‍යලෝකයෙහි ඉපද දිවසුව වළඳා මිනිස්පියට ආයේ වී නම් උපනුපන්තැන්හි මහේශාක්‍ය වෙයි. මහානුභාව වෙයි. මහත් පිරිවර ඇතිවෙයි. යමෙක් මහණබමුණන්ට අන්නපානාදියෙන් සංග්‍රහ නො කරන්නේ වී නම් ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක්විඳ මිනිසත්බවකට පැමිණියේ වී නම් උපනුපන් තැන්හි අල්පභෝග ඇතිවෙයි. දරිද්‍ර වෙයි. යමෙක් අන්නපානාදියෙන් මහණබමුණන් පිනවූයේ වී නම් ඒ සත්ත්‍ව දිව්‍යලෝකයෙහි ඉපද බොහෝ සුව විඳ මනුෂ්‍යාත්මභාවයට පැමිණියේ වී නම් උපනුපන් තන්හි මහාභෝග ඇතිවෙයි. සුවපත් වෙයි. යමෙක් මානත්‍ථද්ධව අභිමානයෙන් වැන්දමැනවුන්ට නොවිඳීද, පිදුවමැනවුන්ට නුපුදාද, හුනස්නෙන් නැඟමැනවුන්ට අස්නෙන් නොනැඟේද, හිඳිනා අසුන් දුනමැනවුන්ට අසුන් නොදේද, මඟහැර පහවුව මැනවුන්ට මග නොහරීද, සත්කාර කළමැනවුන්ට සත්කාර නො කෙරේද, ගරුකාර කළමැනවුන්ට ගරුකාර නො කෙරේද, ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක්විඳ මිනිස්පියක උපන්නේ වී නම් හීනකුලයෙහි උපදනේය. හැමදෙනා විසින් ගර්හිත වන්නේය.

යමෙක් මානස්තබ්ධ නොව අභිමාන නොකොට වැන්දමැනවුනට වඳීද, පිදුවමැනවුන්ට පුදාද, දැකහුනස්නෙන් නැග මැනවුන් දැක හුනස්නෙන් නැගේද, හිඳිනා අසුන් පනවාදේද, සත්කාර ගරුකාර නමස්කාර කෙරේද, ඒ සත්ත්‍ව දිව්‍යලෝකයෙහි ඉපද බොහෝ සුව විඳ මිනිස්පියෙහි උපන්නේ වී නම් උතුම් කුලයෙහි උපදී. හැමදෙනා විසින් පූජ්‍යවෙයි.

යමෙක් මහණබමුණන් කරා එළඹ වහන්ස! කුසල් කවරේද? අකුසල් කවරේද? කුමක් කටයුතුද? කුමක් නො කටයුතුද? කුමක කළකල දුගතියෙහි දුකපැමිණේද? කුමක් කළකල සුගතියෙහි සැප පැමිණේදැ යි නො පිළිවිසීද, ඒ සත්ත්‍ව නරකයෙහි ඉපද බොහෝ දුක්විඳ මිනිස්පියට ආයේ වී නම් උපනුපන් තන්හි අඥාන වන්නේය.

යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මහණබමුණන් කරා එළඹ වහන්ස! කුසල් කවරේද? අකුසල් කවරේද? යනාදීන් විචාරාද ඒ සත්ත්‍ව දිව්‍යලෝකයෙහි ඉපද බොහෝ සුවවිඳ මනුෂ්‍ය ජන්මයට පැමිණියේ වී නම් පොළොව හා සමාන මහනුවණ ඇතිවන්නේය. මානවකය! මෙසේ අල්පායුෂ්කවන්ට නිසි පිළිවෙත් අල්පායුෂ්ක බවට පමුණුවයි. දීර්ඝායුෂ්කවන්ට නිසිපිළිවෙත් දීර්ඝායුෂ්කබවට පමුණුවයි. බව්හාබාධවන්ට නිසිපිළිවෙත් බව්හාබාධබවට පමුණුවයි. අල්පාබාධවන්ට නිසිපිළිවෙත් අල්පාබාධ බවට පමුණුවයි. දුර්වර්ණවන්ට නිසි පිළිවෙත් දුර්වර්ණ බවට පමුණුවයි. ස්වර්ණවර්ණවන්ට නිසිපිළිවෙත් ස්වර්ණවර්ණ බවට පමුණුවයි. අල්පේශාක්‍යවන්ට නිසිපිළිවෙත් අල්පේශාක්‍යබවට පමුණුවයි. මහේශාක්‍යවන්ට නිසි පිළිවෙත් මහේශාක්‍යබවට පමුණුවයි. අල්පභොගවන්ට නිසි පිළිවෙත් අල්පභෝගබවට පමුණුවයි. මහා භෝගවන්ට නිසිපිළිවෙත් මහාබෝග බවට පමුණුවයි. අකුලීනවන්ට නිසි පිළිවෙත් අකුලීනබවට පමුණුවයි. කුලීවන්ට නිසි පිළිවෙත් කුලීනබවට පමුණුවයි. නුවණැතිවන්ට නිසි පිළිවෙත් නුවණ නැතිබවට පමුණුවයි. නුවණැතිවන්ට නිසි පිළිවෙත් නුවණැති බවට පමුණුවයි.

මෙසේ සත්ත්‍වයෝ කර්මස්වකීයහ. කර්මදායාදයහ. කර්මයොනීහ. කර්මබන්‍ධුහ. කර්මප්‍රතිශරණයහ. එසේ හෙයින් කර්ම තෙමේ ම සියලු සතුන් තෝ හීනවා තෝ ප්‍රණීතවා තෝ අල්පායුෂ්කවා තෝ දීර්ඝායුෂ්කවා තෝ බව්හාබාධවා තෝ අල්පාබාධවා තෝ දුර්වර්ණවා තෝ ස්වර්ණවර්ණවා තෝ අල්පේශාක්‍යවා තෝ මහේශාක්‍යවා තෝ අල්පභෝගවා තෝ මහාභෝගවා තෝ අකුලීනවා තෝ කුලීනවා තෝ නුවණනැතිවා තෝ නුවණ ඇතිවයි හීනොත්කෘෂ්ට කොට බෙදන්නේය. කර්මය මිස සත්ත්‍වයන් හීනප්‍රණීත කොට විනාශකරවන්ට නිසි අන්කිසිවෙක් නැතැයි වදාළසේක.

දේශනාවසානයෙහි සුභ නම් මානවකයා අන්‍යලබ්ධිය හැර ශරණශීලයෙහි පිහිටියේය.

තවද එ් සුභමානවකයා සතාසූකෙළක් ධන හැර ඒ තොදෙය්‍ය නම් බල්ලා මිය නිරෑ තිරිසන් අපායේ උපතුදු වළකන්ට නො පොහොසත් වූයේය. එයින් වදාළහ බුදුහු:-

“පුත්තාමත්‍ථි ධනම්මත්‍ථි ඉති බාලො විහඤ්ඤති,

අත්තාහි අත්තනො නත්‍ථි කුතොපුත්තා කුතො ධනං යි”

මෙසේ අධිකමානයෙන් බලුව උපදනාහ.

අලෝභ අද්වේෂ අමෝහ

මෙහි අලොභාදිවු ධර්මයෝ සදෙන නොයෙක් දෝෂ දුරුකරණ හෙයින්ද, නොයෙක් ගුණ එළවන හෙයින්ද සත්ත්‍වයන්ට බොහෝ උපකාරී වන්නාහ. විශේෂයෙන් යෝගාවචරයන්ට බහූපකාරී වන්නාහ. ඒ එසේ මැයි. අලෝභය මාත්සර්යමලයට ප්‍රතිපක්‍ෂය, අද්වේෂය දෞශ්ශීල්‍යමලයට ප්‍රතිපක්‍ෂය, අමෝහය කුශලධර්මයෙහි අභාවනාවටප්‍රතිපක්‍ෂය. අලෝභය දානයට හේතුය. අද්වේෂය ශීලයට හේතුය. අමෝහය භාවනාවට හේතුය. අලෝභයෙන් ප්‍රිය විප්‍රයොගදුඃඛය නොවන්නේය. අද්වේෂයෙන් අප්‍රියසම්ප්‍රයෝග දුඃඛය නො වන්නේය. අමෝහය රාග වශයෙන් පැමිණීම නසන්නේය. අලෝභය ලෝභ වශයෙන් පැමිණීම නසන්නේය. අද්වේෂය ද්වේෂ වශයෙන් පැමිණීම නසන්නේය. අමෝහය මෝහයවශයෙන් පැමිණීම නසන්නේය. අලෝභය ත්‍යාගයෙන් භෝගප්‍රතිලාභය වන හෙයින් භෝගසම්පත්තියට ප්‍රත්‍යය වන්නේය. අද්වේෂය මෛත්‍රියෙන් මිත්‍රප්‍රතිලාභ වන හෙයින් මිත්‍රසම්පත්තියට ප්‍රත්‍යය වන්නේය. අමෝහය යම්හෙයකින් අමූඪ වූ තෙනත්තේ තමහට වැඩම කෙරෙමින් ආත්ම සමෘද්ධිය කෙරේද, එහෙයින් ආත්මසම්පත්තියට ප්‍රත්‍යය වන්නේය. අලෝභයෙන් ජාතිදුඃඛය නොවන්නේය. අද්වේෂයෙන් ජරාදුඃඛය නොවන්නේය. අමෝහයෙන් මරණදුඃඛය නො වන්නේය. අලෝභයෙන් ප්‍රේතලෝකයෙහි උත්පත්තිය නොවන්නේය. අද්වේෂයේ නරකයෙහි උත්පත්තිය නො වන්නේය. අමෝහයෙන් තිරිසන්යෝනියෙහි උත්පත්තිය නොවන්නේය. මෙසේ වර්ණනා කරන ලද නුගුණ ඇති ලෝභ-ද්වේෂ-මෝහ තුනින් සත්ත්‍වයෝ අපායේ උපදනාහ. මෙසේ වර්ණනා කරන ලද ගුණ ඇති අලෝභ-අද්වේෂ-අමෝහ තුනින් සත්ත්‍වයෝ ස්වර්ගයෙහි උපදනාහ. එසේහෙයින් ස්වර්ගයට යනු කැමැති සත්ත්‍වයන් විසින් සිල්සමාදන්ව කිසිවෙක ලෝභයක්වත් කිසිවක්හට ද්වේෂයක්වත් කිසිවෙක මෝහයක්වත් නො කටයුත්තේය. මේ කාරණය හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ එකල ඒ භද්දජිස්ථවිරයන්ගේ පූර්වජන්මයෙහි නෑයෝ ප්‍රාසාදලෝභයෙන් මස්, කැසුප්, නා’මඩු ආදිව එම ප්‍රාසාදයෙහි උපන්නෝ වේදැයි වදාළසේක. ඉක්බිත්තෙන් භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ ප්‍රාසාදය උඩනැඟෙත් නැඟෙත් පෙරළි පෙරළී දියෙහි වැගිර පීඩාවට පැමිණෙන්නාවූ භද්දජිස්ථවිරයන් වහන්සේගේ පූර්වඥාතීන් දැක ප්‍රාසාදය උඩනැඟී නොදී හරවා ගංගාවෙන් එතර වැඩිසේක. එසඳ සර්වඥයන් වහන්සේට ගන්තෙරම් අස්නක් පැනවූහ. බුදුරජාණන්වහන්සේ පනවන ලද උතුම් වූ බුද්ධාසන මස්තකයෙහි යුගදුරු මුදුනෙහි දිලියෙන්නාවූ ළහිරුමඬලක් මෙන් සවණක් රැස් විහිදුවමින් දිලිහි දිලිහී වැඩ උන්සේක. ඉක්බිත්තෙන් භික්‍ෂූන් වහන්සේ එවේලෙහි ස්වාමීනි! මේ ප්‍රාසාදය භද්දජිස්ථවිරයන් පෙරවිසූ ප්‍රාසාදයෙක් දැයි විචාළ සේක. එසඳ බුදුරජාණන් වහන්සේ මහණෙනි! භද්දජිස්ථවිරයන් පෙර මහාපනාද කාලයේ විසූ ප්‍රාසාදය වේදැයි වදාරා යට කියන ලද ක්‍රමයෙන් පූර්වචරිතය දේශනාකොට දුඃඛ සමුදය නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට නොයෙක් කෙළදහස් ගණන් දිව්‍යමනුෂ්‍යයන් මාර්ගඵලයට පමුණුවා එසමයෙහි “මහාපනාද රජ්ජුරුවෝ නම්” දැන් භද්දජි ස්ථවිරයෝය. සුමෙධාදේවී නම් විසාඛාවෝය. විශ්වකර්මදිව්‍යපුත්‍රයා නම් ආනන්‍ද ස්ථවිරයෝය. ශක්‍රදේවෙන්‍ද්‍රයෝ නම් තිලෝගුරු සම්‍යක්සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාරා දේශනාව නිමවා හුනස්නෙන් පැන නැඟී ආර්යසමූහයා විසින් පිරිවරන ලදුව ජේතවනමහා විහාරයට වැඩ වදාළ සේක. භද්දජිස්ථවිරයන් වහන්සේ ආයුපමණින් සිට අතිමධුර වූ ඵලසමාපත්ති සැපය අනුභව කොට ආයු කෙළවර සසරදුක් හැර නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

ප්‍රාසාදය නැවත මතුවීම

අන්‍ය වූ නලකාරදිව්‍යපුත්‍ර වූ කලි යම්තාක් මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ උපදනාසේක් වී නම්: ඒතාක් ම කුශලකර්ම විශේෂයෙන් සදිව්‍යලෝකයෙහි අනුලෝම ප්‍රතිලොම වශයෙන් මහත් වූ දිව්‍යඓශ්වර්ය අනුභව කොට ඇවිද අනාගතයෙහි අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි දිව්‍යලෝකයෙන් චුතව කෙතුමතී නම් රාජධානියෙහි අසම්භිත්ත වූ ක්‍ෂත්‍රිය වංශ ඇති රාජවංශයෙහි ඉපද මහපෙරහරින් වැඩිවිය පැමිණ සඞ්ඛ නම් චක්‍රවර්ති රජව මහාපනාද රජ්ජුරුවන් පෙර විසූ රුවන්පාය නංවා එහි වසන්නේය. එසේ හෙයින් වදාළහ බුදුහු:-

චක්‍රවර්ති සූත්‍රයෙහි: අථ ඛො භික්ඛවෙ සඞ්ඛො රාජා යො සො යූපො රඤ්ඤා මහාපනාදෙන කාරාපිතො තං යූපං උස්සාපෙත්‍වා වසිත්‍ථ”යි.

ඒ ප්‍රාසාදය වූ කලි සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ කුසලානුභභාවයෙන් ගංගා නම් ගංගාවෙන් උඩනැගී ආකාශයෙන් අවුත් කෙතුමතී නම් රාජධානි මධ්‍යයෙහි පිහිටන්නේය. ඒ රජ්ජුරුවන්ගේ කුශලානුභාවයෙන් උඩනැංගාවූ ප්‍රාසාදය උන් තමන් විසින්ම නංවන ලද්දේ නම් වෙයි කියා රත්නප්‍රාසාද නංවා එහි වාසය කරන්නාහයි, මේ කාරණයෙන් කියන ලද්දේය.

ඒ සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ට දිව්‍යප්සරාවන්ගේ රූපශෝභා සමාන වූ රූපසෞන්දර්ය ඇති පෙරහර, පාදාඞ්ගුලි, පාඩගම්, පාදපාත්‍ර, පාසලඹ, පාදකිඞ්කිණික, පාදජාලා, පාදවකු, පස්රූ, පස්වළලු ආදිවූ අනෙකප්‍රකාර ආභරණ පලන්නා වූ, නැටීම්-ගීකීම්-බෙරවැයීම්-වස්කුලල් ආදිය පිඹීම් ආදිවූ චතුරඞ්ගසඞ්ගතයෙහි දක්‍ෂවූ හාවභාවලීලා කටාක්‍ෂමන්‍දස්මිතයෙන් යුක්ත වූ ප්‍රිය තෙපුල් කියන්නාවූ සුවාසූදහසක් නාටකස්ත්‍රී වන්නාහුය. පුත්‍රයන් දහසක් දෙනාට ප්‍රධාන වූ පරිනායකරත්න වූ අජිත නම් කුමාරයෙක් ප්‍රධානපුත්‍ර වන්නේය. දොළොස් යොදනෙක පැතිර සිටිනා වූ ආතතය-විතතය-ඝනය-සුසිරය-යන පඤ්චාඞ්ගික තූර්යනාදයෙන් පවත්වන්නා වූ රඟමඬල වන්නේය. පස්විසියොදනෙක පැතිරසිටිනා වූ බ්‍රාහ්මණමණ්ඩලය වන්නේය. අටසාළිස් යොදනෙක පැතිර සිටිනාවූ සර්වාභරණයෙන් සැරහුනා වූ පඤ්චායුධසන්නද්ධ වූ නොයෙක් වෙස් ගත් අමාත්‍ය මණ්ඩලය වන්නේය. අනූයොදනෙක පැතිරසිටිනා වූ පර්ෂත් මණ්ඩලය වන්නේය. පන්සියක් යොදනෙක පැතිර සිටිනාවූ සත්රුවන් කර්මාන්ත කරන ලද විචිත්‍ර මණ්ඩපමාලාවෙන් සපිරුණාවූ මහාසේනාව වන්නේය. හාත්පසින් සතරදිග සුවාසූදහසක් පමණ වූ හස්ත්‍යශ්වාදි චතුරඞ්ගිනීසේනාව වන්නේය.

එසමයෙහි දඹදිව සුවාසූදහසක් පමණ රාජධානි වන්නේය. එහි අනූකෙළලක්‍ෂයක් අභිෂේකපලන් රජදරුවෝ වන්නාහ. ඒ සියලු රජදරුවෝම නිරන්තරයෙන් සඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන් පිරිවරා සිටිනාහ. මෙසේ ඒ සඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවෝ මෙබඳු වූ දිව්‍යසම්පත්තිය ඉක්ම පවත්නාක් වැනිවූ සියලු සම්පත්තීන් යුක්තව ඒ ප්‍රාසාදයෙහි වෙසෙමින් සියලු පෘථිවිමණ්ඩලයට අනුශාසනා කරන්නාහ.

නගර ශ්‍රී

දැන් ඒ කෙතුමතී නම් රාජධානියෙහි වීථි, සල්පිල්, පොකුණු, කාලපන්ති, කල්පවෘක්‍ෂ, ආභරණාදිවූ සමෘද්ධිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“අථා’පි තස්මිං නගරෙ නානාවීථි තහිං තහිං

සුමාපිතා පොක්ඛරණී රමණීයා සුපතිත්‍ථකා”

යනාදීන් මෙසේ වදාළසේක.

තවද ඒ කෙතුමතී නම් රාජධානියෙහි ඒ ඒ තැන නොයෙක් වීථි, රන්ධජපතාකා, කෙහෙල්ගස්, රන්තොරණ, රිදීතොරණ, මල්ඇගෑ, පුන්කළස් ආදියෙන් ගැවසී ගන්නේය. ඇත්මුළු-අස්මුළු-රියපෙළ-යොධමුළු-පොරරය යන මල්ලවමුළු-මෙඩෙළු-තිරෙළු-පලෙලු-වෘෂභ-ස්ත්‍රි පුරුෂ සමූහාදීන්ගෙන් නුසුන්නාවූ සඤ්චාර ඇත්තේය.

තවද ඒ වීථි රන්වන් සඳුන්-කළුවැල්-කොට්ටම්-දෙවුදුරු-තකුල්-කැන්-කපුරු ආදිවූ සුවඳසල් පිළින්ද, දෑසමන් ඉද්ද මහනෙල් සපු නා දොඹ පලොල්මල් ආදී මල්පිලින්ද, තිහිරිපිළි කපුපීළි ඛොමදේශයෙහි, පත්තුන්නදේශයෙහි, චීනදේශයෙහි, උපන් පිළී දුහුල්පිළී සොමාරදේශයෙහි උපන් පිළී ආදිවූ නොයෙක් පිළී සල්පිලින්ද, සුවඳහැල් රන්හැල්-මහවි ආදි වූ නොයෙක් ධාන්‍යසල් පිලින්ද, මුතු මැණික් රන්රිදි-සක්-සල-පබලු ආදි අනෙකප්‍රකාර රත්නාපණයෙන්ද, සශ්‍රීක වන්නේය.

තවද ඒ ඒ තැන්හි නොයෙක් වීථි නිර්මල වූ පැහැසරවන්වූ වැල්ලෙන් අතිධවල වන්නේය. නිරන්තරයෙන් පවත්නාවූ මනොඥවූ සුගන්‍ධයෙන් එකසුගන්‍ධ වන්නේය. නන් විසිතුරු පිලි පළඳනා ශෝභාවෙන් විශේෂයෙන් බබලන්නේය. මෙසේ මෙබඳුවූ අනෙකප්‍රකාර කුදුමහත් වීථි ඒ ඒ තන්හි සැරහී සිටිනේය.

තවද එනුවර ඒ ඒ තන්හි සිත්කලු වූ පොකුණු නුබුන් ඉවුරු ඇත්තේය. මඬ නැත්තේය. නොයෙක් පැහැයෙන් දිලියෙන්නා ඒ සර්වරත්නමයවූ ශෝභමාන වූ පියගැට පංක්තියෙන් හෙබියා වූ සැපසේ සියලු සත්ත්‍වයන් බැස ස්නානපානය කට හැකි තොටින් යුක්ත වන්නේය. ප්‍රසන්න වූ නිර්මල වූ මිහිරි වූ සිහිල් වූ හැමකල මනා සෘතුසම්පන්න වූ පත්මොත්පලාදි පුෂ්පගන්‍ධයෙන්ද, හැමකල ම එකසුගන්‍ධවූ පැන් ඇත්තේය.

තවද ඒ පොකුණුවල පැන් සම්පූර්ණව පිරී තිබෙන බැවින් පොකුණු මියුරහුන් කපුටුවන් කර දික් නොකොටම බොන්නට සුදුසු වන්නේය. පිරිසිදු මටසිලුටු වැලිතලාවෙන් ගැවසීගත්තේය. රක්තෝත්පලය, නීලොත්පලය, ස්වෙතොත්පලය යන ත්‍රිවිධ උත්පලයන් හා රක්තපද්මය, ස්වෙතපද්මය, නීලපද්මය යන ත්‍රිවිධ පද්මයෙන් මනාකොට ගැවසී ගත්තේය.

තවද ඒ පොකුණුවලපැන් හැමකලම සෘතුසම්පන්න බැවින් ආවරණයක් නැති බැවින් සර්වසාධාරණ බැවින් කැමැති කැමැති සත්ත්‍වයන් ගොස් ප්‍රයෝජන විඳින්ට සුදුසු වන්නේය.

මෙසේ මෙබඳු දොරටු අටලු පව්රුපදනම් ආදියෙන් සුරක්‍ෂිතව සුගොපිතව නිරන්තරයෙන් සෘතුසම්පන්නව තිබෙන්නේය. පැන් ඇති පොකුණු නුවර ඒ ඒ තන්හි බැබලී තිබෙන්නේය.

තවද එනුවර සිත් කලුවූ විසුරුනා වූ වැලි ඇති සමතල වූ භුමි ප්‍රදේශ ඇති සත්රුවන්මය වූ පවුරු අතුරෙහි පිහිටියාවූ අසූරියන් උස ඇති ඝනරන්මය - රිදීමය -වෛඩූර්මාණික්‍යයමය - ස්ඵටිකමානික්‍යමය - ලොහිතඞ්කමාණික්‍යමය -මසාරගල්ලමාණික්‍යමය සර්වරත්නමය තාලපඞ්ක්තීහු සත්දෙනෙක් වන්නාහ.

ඒ තල්ගස්පඞ්ක්ති සතින් ස්වර්ණමය වූ තාලපඞ්ක්තිය ස්වර්ණමයවූ ප්‍රාකාරසමීපයෙහිම පිහිටන්නේය. රජතමයවූ තාලපඞ්ක්තිය රජතමය වූ ප්‍රාකාර සමීපයෙහි පිහිටන්නේය. වෛඩූර්යමයවූ තාලපඞ්ක්තිය වෛඩූර්යමයවූ ප්‍රාකාර සමීපයෙහි පිහිටන්නේය. ස්ඵටිකමයවූ තාලපඞ්ක්තිය ස්ඵටිකමයවූ ප්‍රාකාර සමීපයෙහි පිිහිටන්නේය.

ලෝහිතඞ්කමයවූ තාලපඞ්ක්තිය ලොහිතකඞ්කමයවූ ප්‍රාකාර සමීපයෙහි පිිහිටන්නේය. මැසිරිගල්මය වූ තාලපඞ්ක්තිය මැසිරිගල්මය වූ ප්‍රාකාර සමීපයෙහි පිහිටන්නේය. සර්වරත්නමයතාලපඞ්ක්තිය සර්වරත්නමයවූ ප්‍රාකාරසමීපයෙහි පිහිටන්නේය. තවද එනුවර හාත්පසින් සත්රුවන්මය වූ ප්‍රභාසම්පන්න වූ සත්පවුරු වළල්ලක් නුවර සිසාරා පිහිටන්නේය.

ඉන් එක් පවුරුවළල්ලක් ඝනරන්මයය, එකෙක් රිදීමයය. එකෙක් වෙරළුමිණිමයය, එකෙක් පිලිවහණමිණිමයය, එකෙක් ලොහිතකඞ්කමයය, එකෙක් මැසිරිගල්මයය, එකෙක් සත්රුවන්මය වූ පවුර උසින් සැටරියනක් ඇතිව මධ්‍යයෙහි පිහිටන්නේය. රන්-රිදී-වෙරළුමිණිමය තුන් පවුර ඒ සත්රුවන්මය පවුරෙන් පිටත අනුක්‍රමයෙන් එකෙක් එකකට මිටිව පිහිටන්නේය. පිළිවහන-ලොහිතඞ්ක-මැසිරිගල්මය තුන් පවුර සත්රුවන්මය පවුරට ඇතුළෙහි අනුක්‍රමයෙන් එකෙක් එකකට මිටිව පිහිටන්නේය. යටගියදවස මහාසුදර්ශන නම් චක්‍රවර්ති රජ්ජුරුවන් විසූ කුසාවතී නම් රාජධානිය හා සමානව ඒ මෛත්‍රෙය සර්වඥයන් උපදනා සමයෙහි කෙතුමතී නම් රාජධානිය සර්වතොභද්‍රව බැලු බැලුවන්ට ප්‍රසාද එළවන්නේය.

තවද එනුවර සතරවාසල්දොර හා වීථිචතුෂ්කොණ ආදිවූ තැන්හි සර්වරත්නමය වූ දිව්‍යානුභාවයෙන් යුක්ත වූ සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ කුශලානුභාවයෙන් නොයෙක් කප්රුක් පොළොව පළාගෙන නැඟෙන්නේය. ඒ කප්රුක්වල දෙවියන්ගේ දිව්‍යවස්ත්‍ර හා සමාන වූ කිසිකෙනකුන් විසින් නොවියන ලද දිව්‍යානුභාවයෙන් යුක්තවූ නිල්පිළීය, රන්වන්පිළීය, සුදුපිළීය, පංචවර්ණපිළීය යන මේ සියලු පිළීද, රන්තෝඩු, රන්මාලා, අගුපළඳනා, හස්තකටක, පාසලඹ ආදි නොයෙක් පළඳනාද අවශේෂ වූ උපභෝගවස්තුද යන මේ සියල්ල එකප්රුක්වල එලෙන්නේය.

තවද එනුවර යම් ශාලාවෙක හිද කෙළනා කැමැති සත්ත්‍වයෝ කෙළිද්ද, හෝනා කැමැති සත්ත්‍වයෝ වැද හොවිද්ද? අධිකරණ විනිශ්චයකරනු කැමැති සත්ත්‍වයෝ අධිකරණ විනිශ්චය කෙරෙද්ද, බණ අසනු කැමැති සත්ත්‍වයෝ බණ අසද්ද, එබඳු සතරදොරක් ඇති චතුශ්ශාලාවෙකින් යුක්තවූ මහත්වූ ශෝභාවෙක් ඒ කෙතුමතී නම් රාජධානි මධ්‍යයෙහි වන්නේය.

යටගියදවස සඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන් පසේබුදුවරයන් වහන්සේට දුන් දානමය කුශලකර්මවිපාකයෙන් උපදනා වූ කල්පවෘක්‍ෂයෙක් ඒ චතුශ්ශාලා දොරකඩ පොළොව පලාගෙන නැඟෙන්නේය.

තවද කපුපිළීය-තිහිරිපිළීය-ඛොමදේශයෙහි කොටුම්බර දේශයෙහි පිළී හා සමානවූ පිළීය, පත්තුණ්ණදේශයෙහි චීනදේශයෙහි උපන් පිළීබඳු පිළීය, දුහුල්පිළීය යන මේ සියලු වස්ත්‍රයෝ සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන් පූර්වජන්මයෙහි කළ කුශලානුභාවයෙන් උපන්නා වූ නුවර සතරවාසල්දොරය, වීථි සන්‍ධිය, නුවර මැදය, චතුශ්ශාලාදොරකඩය යන මේ හැමතන්හි ම පොළොව පලාගෙන නැගි කල්පවෘක්‍ෂයෙහි එලෙන්නාහුය.

අත්තලබෙරය-මිහිඟුබෙරය-පනාබෙරය-ගැටපහටුබෙරය-සිව්රැස්බෙරය-සමුනුබෙරය-දැල්ලිය-තප්පුය-කළබෙරය-යනාදි මේ සියලු භෙරිජාතිය කුශලකර්මානුභාවයෙන් ඉපිද කප්රුක්වල එලෙන්නේය. අතුපැලැන්දයුතු හස්තකටකාදී පෙරහර පලඳනාය-කයපැලැන්දයුතු නෙයූරාභරණාදී පලඳනාය-කරපැලැන්ද යුතු ගැටහූපලඳනා-මුත්තාහාර-එකාවැල ආදී සත්රුවන්මය පලඳනාජාතිය-හිසපැලැන්දයුතු නළල් පට-රුවන් සෝඩු-ඔටුනු ආදි පලඳනාය. මුඛය හොබවන්නා වූ රන්පට-තිලකාභරණ-කුණ්ඩලාභරණ-රුවන් තෝඩු ආදි පලඳනාජාතිය-අඟුපලඳනාය-මිණිමෙවුල්දම්ය-පාදාඞ්ගුලිය-පාදජාලාය-පාසලඹය යනාදි අනෙකප්‍රකාර ආභරණජාතිහු කුශලකර්මයෙන් ඉපැද එකප්රුක්වල එලෙන්නෝය.

තවද සත්ත්‍වයන්ගේ කුශලානුභාවයෙන් උපන්නාවූ සීසෑනොවපුරණ ලදුව තෙමේ තමාම හටගත් බැවින් නිරායාසයෙන් උපන්නාවූ කුඩු සුන් සාල් නැති තෝ නැති පිරිසිදුවූ සිව්දෑ ගඳ හා සමාන වූ සොඳුරු වූ සුවඳ ඇති ඇල්සාල් රන්බඳනෙහි ලා මැණික් උදුනෙහි තබා ජ්‍යොතිපාෂාණයෙන් නැගි ගින්නෙන් බත්පැසුනු කල්හි එබත් රසමසවුලෙන් යුක්ත කොට එසමයෙහි මනුෂ්‍යයෝ අනුභව කරන්නාහ. සත්ත්‍වයන්ගේ කුශලකර්මයෙන් එක් බිජුවටක් හුනුතෙනින් කරල් කපා මැඩිකල දෙදහස් දෙසිය දෙසැත්තෑ ගැලක් පුරා සොළසාමුණු අටලොස්සෙක් සාල් ඉතිරි වන්නේය.

තවද ඒ සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ ආඥා පවත්නා වූ ස්ථානයෙහි උපන්නාවූ සත්ත්‍වයන් හා කෙතුමතී නම් රාජධානියෙහි වසන්නාවූ ස්ත්‍රී පුරුෂයෝ ඒ ඒ තන්හි මිහිරි සිහිල් පැන් පිරුණාවූ පිරිසිදු ධවල වැලිතලාවෙන් ගැවසීගත් තීර රේඛා ඇති මඬනැති සත්රුවන් පියගැට පඞ්ක්තියෙන් ගැවසී ගත් මනහර තොට ඇති හන්ස චක්‍රවාකාදි නොයෙක් පක්‍ෂි සමූහයා විසින් රැව්පිළිරැව්දෙන ලද ජලතලා ඇති ඇඹුල උපුලඑල්මැලි රත්නෙළුම් හෙලනෙළුම් ආදි නොයෙක් පද්මයෙන් ගැවසීගත් පොකුණුවිල්හි තමන් තමන්ගේ අභිප්‍රායවූ පරිද්දෙන් ජලස්නානය කොට දිවසුවඳ විලවුන් ඇඟ ගල්වා දිවමල් පැලඳ කප්රුකින් තමන්ට අභිප්‍රායානුකූලවූ දිවපිළි හැඳ පෙරව දිව්‍යාභරණයෙන් තමන් සරහා උක්තප්‍රකාර සුවඳඇල්සාලේ බත් අනුභවකොට දිවයහන් හා සමානවූ නොයෙක් ඇතිරිලි අතුරණලද මාහැඟි යහන්හි වැදහෙව දිව්‍යගන්‍ධර්ථයන් හා සමානවූ නැටීම් ගීකීම් බෙරවැයීම් ආදිය බලමින් අසමින් සැපසේ නිදා නැවතත් ගසනා පිඹිනා හඬින් පිබිද සුවඳතෙල්පහන් ආලෝකයෙන් තමන්ගේ සම්පත් හා ශ්‍රීසමෘද්ධිය දක්නාහු ධන ධාන්‍ය හස්ති අශ්ව දාසිදාස කර්මාන්තාදි සමෘද්ධිය සිහිකරමින් විශේෂයෙන් සතුටුවූ සිත් ඇතිව සම්පූර්ණවූ උපභෝග පරිභෝග වස්තු ඇති බැවින් කායික චෛතසික සැපයෙන් යුක්තව හැමකල්ම මහත වූ අධික සැප අනුභව කරන්නාහුය.

ජම්බුද්වීප ශ්‍රී

මෙසේ කෙතුමතී නම් රාජධානියෙහි ශ්‍රී සමෘද්ධිය දක්වා දැන් ජම්බුද්වීපයෙහි ශ්‍රී සමෘද්ධිය දක්වන්නාවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ:-

“දස යොජන සහස්සානි ජම්බුදීපො භවිස්සතී

අකණ්ටකො අගහණො සමොසරීතසද්දලො”

යනාදීන් මෙසේ වදාළ සේක.

එසමයෙහි දසදහසක් යොදුන් ජම්බුද්වීපය චොරකණ්ටක විරහිතබැවින් ද, නිල්හීතණ මොළොක් වැලි ආදියෙන් ගැවසීගත් බැවින්ද, පය ඇනෙන්ට නිසි කටු නැති බැවින්ද නිෂ්කණ්ටක වන්නේය. මිථ්‍යාදෘෂ්ටි සමූහයන් නැති බැවින්ද, අලඞ්කෘතොද්‍යානයක් මෙන් සිත්කලු බැවින් ද, කණ්ටක යනාදීන් නැති බැවින්ද, අගහණය. භෙරිතලයක් හා සමානවූ භූමිප්‍රදේශ ඇති බැවින්ද සමතලවන්නේය. රතිඳුගොවුවන් සහිත නිල් මොළොක් සුව පහස් ඇති හීතණයෙන් ගැවසී ගත්තේය.

තවද ඒ ජම්බුද්වීපයෙහි සත්ත්‍වයන්ට අටඅනූවක් රෝග අතුරෙන් ඇසරුජා බඩරුජා ආදිවූ එක්තරා එක්රෝගයෙක් නො වන්නේය. වැළි මොවුන්ට රෝග නම් කවරේද? යත්:-

ඉච්ඡාය-අනසනය-ජරාය යන මේ රෝග තුන වන්නේය. ඒ තුනින් සියලු පෘථිවි මණ්ඩලයෙහි සියලු සත්ත්‍වයන්ට සම්පත් නැත්තේවේදැයි, මුතුමැණික් ආදිවූ උපභෝග පරිභෝග වස්තු පැතීමක් එසමයෙහි නැති බැවින් බත් අනුභව කරන වේලෙහි උපදනා අනුභව කරනු කැමති තෘෂ්ණාව ඉච්ඡාරෝග නම් වන්නේය. අතිමධුර භෝජනය අනුභව කිරීමෙන් ඒ ආහාරානුභවය කරන්නාවූ සත්ත්‍වයන්ට භුක්තාලස්‍යය නිසා නැවත නොකනු කැමති බව උපදවන්නාවූ කායදුර්වලත්‍වය ඇතිව කය තෙමරිකිරීම අනසනරෝග නම් වන්නේය. ආයුකෙළවර වලිත පලිත දන්ත ශෛථිල්‍යාදි වශයෙන් ප්‍රකාශව පෙනෙන්නාවූ ජරාව ජරාරෝග නම් වන්නේය. මෙතුන් රෝගය හැර එසමයෙහි සත්ත්‍වයන්ට අන් රෝගයක් නම් නැත්තේය.

පන්සියක් ඇවිරිදි කුමාරයට පන්සියක් ඇවිරිදි කුමාරිකාව අන්කුලයකින් ගෙනහැර පාවාදීම් වශයෙන් ආවාහ කරන්නාහ.

මෙසේ කරන ලද ආවාහ විවාහ ඇති ස්ත්‍රීපුරුෂයෝ සමග සතුටුව හැමකලම මටසිලුටුබස් ඇතිව ඔවුනොවුන්ට ප්‍රියතෙපුල් බෙණෙමින් කලහ විග්‍රහ නැතිව වාසය කරන්නාහුය.

තවද සියලු පෘථිවිමණ්ඩලයෙහි නැංගාවූ ලතාජාතියද, සිත්කලු වූ නිෂ්කණ්ටකවූ ගහණ නොවන්නාවූ වනලැහැප් රුක් ආදියද, හැමකල්ම පුෂ්පඵලයෙන් සමෘද්ධව සම්පූර්ණ වන්නේය. මුළු පොළොව ඉඹුල්පුළුන් කපුපුළුන් සා මොළොක්වූ පත්ලට සැප උපදවන්නාවූ සතරඟුල් පමණ උසනැගී තෘණජාතිය ඇති වන්නේය. එසමයෙහි සත්ත්‍වයන්ගේ ශරීරයට පීඩාකරන්නාවූ සත්ත්‍වයන් සිතට අනභිප්‍රායවන පමණ සීතයෙක්වත් උෂ්ණයෙක් වත් නොවන්නේය. එක් ජනපදයක වැසිවැස එක්ජනපදයක නො වස්නේද, බිම් තෙමෙන පමණකටවස්නේද, වෑමියර පොකුණුමියර ආදිය බිඳගෙන මහවතුරු මැඬගෙන යන පරිද්දෙන් වස්නේද, කලට නො වස්නේද, නො කලට වස්නේද, විෂමවර්ෂා නම් වෙයි. එසේ නොවැස වැව් පොකුණු ගං හෝ ආදිය පිරෙන පමණක් කොට පසළොස් දවසින් දසදවසින් පස්දවසින් සියලු සත්ත්‍වයන් කා බී සැරසීසුත් පසු මධ්‍යමරාත්‍රියෙහි වස්නා වර්ෂා සමවර්ෂා නම් වෙයි. එසමයෙහි එබඳු සමවර්ෂා වස්නේය. ගේ සෙවෙනි බිඳීම් හා මහරුක් අතුපතර බිඳීම් ආදිය ඇති කොට තදව විෂමව පවන්හැමීම් නැතිවන්නේය. වටාපත් පවන් බදු මඳ මඳ පවන් සත්ත්‍වයන්ගේ ශරීරයට අභිප්‍රාය පමණකට හමන්නේය. හැමකල්හිම හිම-ශිශිර-වසන්ත-ග්‍රීෂ්ම-වර්ෂා-ශරත් යන ෂට්සෘතුව ඒ ඒ කලට අවිරුද්ධව කල්වූ පරිද්දෙන් සමෘද්ධව තිබෙන්නේය. වැව්පොකුණු ගං හෝ කඳුරැලි මහවිල් තටාක හෙප් වළ ආදිය පැන් පිරූ බඳුනක් මෙන් ජලභරිතව සම්පූර්ණව තිබෙන්නේය. ඒ ඒ භූමිප්‍රදේශයෙහි නො තද නො රළු සිනිඳු මටසිලුටු පිරිසිදු ධවල වැලිතැනී තිබෙන්නේය. ඉන් දළ වැලි කලත් ඇට පමණ වන්නේය. සීන්වැලි මුඟැට පමණ වන්නේය. උක්තප්‍රකාර වැලි මුතුකැබලි බඳුය. ඒ ඒ තන්හි විසිර පැතිර තිබෙන්නේය.

චක්‍රවර්ති රජ්ජුරුවන්ට සරහා පිළියෙල කරනලද උතුම් වූ උයන්බිමක් මෙන් සියලු ජම්බුද්වීපයෙහි භූමිප්‍රදේශය සිත්ඇලෙන්ට සුදුසු වන්නේය.

උපභෝග පරිභෝග වස්තුවෙන් හා මනුෂ්‍යාදීන්ගෙන් විශේෂයක් නැතිව අප්‍රසිද්ධවූයේ ගම් නම් වෙයි. උපභෝග පරිභෝගාදියෙන් හා මනුෂ්‍යාදීන්ගෙන් විශේෂ ඇතිව ප්‍රසිද්ධවූයේ නියම්ගම් නම් වෙයි. මෙබඳු ගම්, නියම්ගම්, වස්ත්‍රාභරණ, ධනධාන්‍යාදීන් සම්පූර්ණව හුණවන බටවන පරිද්දෙන් ඝනීභූතව ඒ ඒ තන්හි ඉතා ආසන්නව පිහිටන්නේය. තවද එක්ගමෙක ගෙවල සෙවෙනි පිටින් අනික්ගම ගෙවල සෙවෙනිපිට කුකුළන් පක්‍ෂ ප්‍රහාරකොට ගොස් වැටෙන්ට සුදුසු බැවින්ද, නොහොත් එක් ගමකින් එක්ගමකට කුකුළන් පයින්ම පළායන්ට සුදුසු හෙයින්ද, කුකුළුපියාසරගමැයි, ප්‍රසිද්ධවූ මහත්වූ ගම්, නියම්ගම් ජම්බුද්වීපයෙහි එකල බොහෝ වන්නේය. අවීචිමහනරකය මෙන් ද, නළෙකපුරාලූ තුඹසුණු පරිද්දෙන් ද මනුෂ්‍යයන්ගෙන් අතුරක් නැත්තේය. පිරී තිබෙන්නේය.

තවද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි චතුර්වර්ණයෙහි ස්ත්‍රීපුරුෂයන්ගෙන් නිරන්තරව ඝනව තිබෙන්නේය. සුවඳ බඩු ආදි නොයෙක් උපකරණයෙන් අතුරුනැතිව පිරී තිබෙන්නේය. පිළීසඹඩම්ආදි නොයෙක් උපකරණයෙන් අවිකලබැවින් වෙලඳුන් අතින් බඩු ගන්නෝ නැත. එසෙයින් වෙළඳුන්ගේ භාණ්ඩයෙහි අගය නැති වන්නේය.

තවද ඒ දඹදිව සියලු සත්ත්‍වයෝ රන්සන්නාහ රන් සැට්ටයෙන් සන්නද්ධව සැරහී අනර්ඝ වූ කුණ්ඩලාභරණ පැළඳ සිරිකන්සිරොජාලා, රන්මාලා ආදියෙනුදු සැරහී සකල ශරීරයෙහි රන්වන්සුවඳැති සඳුන් විලවුන් ගල්වා උතුම් වූ අනර්ඝ කසීවස්ත්‍රයන් හැඳ පෙරව ඇවිදිනාහුය.

තවද ඒ සියලු දඹදිව මනුෂ්‍යයෝ මුක්තාමාණික්‍යාදි දශවිධ රත්නයෙන්ද, ශාලිව්‍රීහ්‍යාදි සප්තවිධ ධාන්‍යයෙන්ද, අඩුවක් නැති බැවින් විපුලවූ වස්ත්‍රාභරණ ධනධාන්‍යාදීන් සමෘද්ධව රාත්‍රින්‍දිනයෙහි අතුරු නැතිව පවත්නාවූ දිව්‍යගන්‍ධර්වයන් හා සමාන විචිත්‍රගන්‍ධර්වනාදයෙන් හා වීණා, වස්කුලල්, කංසතාලම්, සින්තාලම්, අත්තල ආදි නොයෙක් ශබ්දයෙන් පොබයන ලද්දාහු නිර්භයව රොගොපද්‍රවයක් නැතිව හැමකල්හි පඤ්චකාමරතියෙහිත් රාජවිල් ආදි අනෙකප්‍රකාර ක්‍රීඩාවෙහිත් නිරත බැවින් තුටුපහටුව ඔදවැඩී කුල්මත්ව නකත්කෙළි කෙළනාවුන් පරිද්දෙන් උත්සවයෙන් යුක්තව නිරන්තරයෙන් කායික චෛතසික සැපයෙන් යුක්තව වාසය කරන්නාහුය.

තවද ඒ දඹදිව්වැසි සත්ත්‍වයන් අනුභවකරන්ට සුදුසු වූ බත් පූපාපූප රසමස් ආදිය හා බුලත් පුවක් කඩ කස්තුරු කපුරුලම්හ තකුල් ආදිය සුලභ වන්නේය. එසමයට දඹදිව චාතුර්මහාරාජිකදෙවියන්ගේ ආලකමන්‍දා නම් රාජධානිය මෙන්ද, කුවෙර නම් වෙසවුණු රජ්ජුරුවන්ගේ විෂාණා නම් රාජධානිය මෙන්ද, කුරුරට වාසීන්ගේ උත්තරකුරුද්වීපය මෙන්ද, ඉතා සිත්කලු වන්නේය.

තවද එසමයෙහි සියලු ජම්බුද්වීපය ඉන්‍ද්‍රනීල මාණික්‍යමය භූමියක් මෙන් සතරඟල් පමණ උස නැඟි ගිරාවන් නීල්හීතණින් ගැවසී ගත්තේය. හැම කල්හි සුපුෂ්පිතවූ පුෂ්පයන් ඇති වෘක්‍ෂලතා වන ලැහැප් ආදියෙන් ගැවසී ගෙණ කුකුළුපියාසර ගම් නියම්ගම් ආදියෙන් අතුරු නැතිව චොරකණ්ටක විරහිතවූ මිථ්‍යාදෘෂ්ටිසත්ත්‍වයන්ගෙන් ගහණ නොවන්නා වූ රාජධානියෙන් බබලමින් උතුරුකුරු, ආලකමන්‍දා විෂාණා රාජධානි මෙන් පරමරමණීයව සර්වරත්නයෙන් සම්පූර්ණව ජලයෙන් පිරුණු ගං හෝ වැව් පොකුණු ආදියෙන් යුක්තව බොහෝ ඛාද්‍යභොජ්‍ය ලෙය්‍ය පෙය්‍ය මත්ස්‍ය මාංස සුරාපානාදි ආහාරපාන වර්ගයෙන් සුභික්‍ෂව වස්ත්‍රාභරණාදි උපභෝග පරිභෝග වස්තුවෙන්ද, සමෘද්ධව භෙරිශබ්දය මෘදඞ්ගශබ්දය ශඞ්ඛශබ්දය පණව ශබ්දය සම්මශබ්දය තාලශබ්දය හස්තිශබ්දය අශ්වශබ්දය කවබොව යනාදි මේ සියලු ශබ්දයෙන් එකනිර්ඝොෂව එකනින්නාද වන්නේය. සියලු පෘථිවිමණ්ඩලය උත්සවකෙළි කෙළනා පිණිස ඝොෂණය කරන ලද දිව්‍යපුරයක් මෙන්ද, සරහා පිළියෙල කරණලද නන්‍දනවනොද්‍යානය මෙන්ද, පරසතුමදාරාමල් කෙළි නක්කෙළි ආදියෙන් යුක්ත වූ සුධර්මා නම් දිව්‍යසභාව මෙන් ද, ඉතා සශ්‍රීකව සියලු ලෝකෙයහි ශ්‍රී සමෘද්ධිතාක් ගෙනහැර එක් තැනෙක රැස්කොටලූවාක් මෙන් උතුම්වූ ශ්‍රී සෞන්‍දර්යයෙන් අග්‍රප්‍රාප්ත වන්නේය.

දෙතිස් ලකුණු

මෙසේ ජම්බුද්වීපයෙහි ශ්‍රී සමෘද්ධිය දක්වා දැන් ඒ ජම්බුද්වීපයෙහි මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ උත්පත්තිය දක්වන්නා වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ:-

“අජිතො නාම නාමෙන මෙත්තෙය්‍යො දිපදුත්තමො,

අනුබ්‍යජනසම්පන්නො ද්වත්තිංසවර ලක්ඛණො”.

යනාදීන් මෙසේ වදාළ සේක. කෙසේද? යත්:-

“සුප්පතිට්ඨිතපාදො හෙට්ඨාපාදතලෙසු චක්ක නි ජාතානි සහස්සරානි සනෙමිකානි සනාභිතානි සබ්බාකාර පරිපූරානි ආයතපණ්හි දීඝඞ්ගුලී මුදුතළුන හත්‍ථපාදො ජාලහත්‍ථපාදො උස්සඞ්ඛපාදො එනිජඞ්ඝො ඨිතකො අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති කොසොහිතවත්‍ථගුය්හො සුවණ්ණවණ්ණො කඤ්චනසන්නිහත්තවො සුඛුමච්ඡවි සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙන උපලිප්පති එකෙක ලාමො එකෙකානි ලොමානි ලොමකුපෙසු ජාතානි උඞ්ග්ගලොමො උඞ්ග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි පදක්ඛීණාවත්තකජාතානි බ්‍රහ්මුජ්ජුගත්තො සත්තුස්සදො සීහපුබ්බඞ්කායො චිතන්තරංසො නිග්‍රොධපරිමණ්ඩලො යාවතක්වස්සකායො තාවතක්වස්ස ව්‍යාමො යාවතක්වස්ස ව්‍යාමො තාවතක්වස්ස කායො සමවත්තක්ඛන්‍ධො රසග්ගකග්ගී සීහහනූ චත්තාලීසදන්තො සමදන්තො අවිවරදන්තො සුසුක්කදාඨො පහූතජිව්හො බ්‍රහ්මස්සරො කරවීකභාණී අභිනීලනෙත්තො ගොපඛුමොඋණ්ණාභමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා උණ්හීසසීසො” යන මේ දෙතිස දෙතිස් මහාපුරුෂලක්‍ෂණ නම් වන්නේය. මෙසේ මේ දෙතිස් මහාපුරුෂලක්‍ෂණය කර්මය-කර්මසාදෘශ්‍යය-ලක්‍ෂණය-ලක්‍ෂණානාශංසය යන මේ සතර කොට්ඨාසයෙන් එකි එකී ලක්‍ෂණය දක්වා විස්තර කළ කල්හි මනාකොට කියන ලද්දේ නම් වෙයි. එසේ හෙයින් එහි මුඛමාත්‍රයක් දක්වා කියම්හ. ඒ කවරේද? යත්:-

ඒ භාග්‍යවත් වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පළමු සසර ඇවිදිනාසේක් අපමණ වූ දහස් ගණන් ජාතියෙහි දශකුශල කර්මපථයෙහි දෘඪසමාදානය ඇතිවූසේක. කිසි ශ්‍රමණයකු විසින් හෝ, බ්‍රාහ්මණයකු විසින් හෝ, දෙවියකු විසින් හෝ, මාරයකු විසින් හෝ, බ්‍රහ්මයකු විසින් හෝ, උන්වහන්සේගේ ඒ කුශලසමාදානය හරවන්ට නො පිළිවන්නේය. එහෙයින් ස්වර්ගයෙහි ඉපද දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍යවූ වර්ණයෙන්, දිව්‍ය වූ සැපයෙන්, දිව්‍යවූ යසසින්, දිව්‍ය වූ අධිපතිභාවයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වූ ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්‍ධයෙන්, දිව්‍ය වූ රස ප්‍රෂ්ටව්‍යයෙන්, සෙසු දෙවියන් මැඩපවත්වමින් ප්‍රමාණාතික්‍රාන්ත වූ කාලයක් මුළුල්ලෙහි ස්වර්ග සම්පත් අනුභවකොට එයින් චුතවූසේක් එසමයෙහි ‘සුප්‍රතිෂ්ඨිත පාදතල ඇතිව උපදනා සේක.

අභ්‍යන්තරයෙහි රාගාදී ක්ලේශයන් විසින් වේවයි, බාහ්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණාදි පසමිතුරන් විසින් වේවයි, අලලා මැඩ පැවැත්ත නොහැකි වනසේක. මෙපමණෙකින් කර්මය කර්මසාදෘශ්‍යය - ලක්‍ෂණය - ලක්‍ෂණානෘශංසය යන මේ සතර සංක්‍ෂේපයෙන් කියන ලද්දේය.

තවද එහි කර්මය නම්:- ඒ මෛත්‍රෙය බුදුන් විසින් සොළසාසංඛ්‍යකප්ලක්‍ෂයක් මුළුල්ලෙහි දෘඪතරව කළාවූ දානාදි කුශල කර්මයය. කර්මශාදෘශ්‍යය නම්:- දෘඪතරව කළබව දෙවිමිනිසුන් සහිත ලෝකවාසීහු දනිත්වයි කියන්නාක් මෙන් උපන්නාවූ සුප්‍රතිෂ්ඨිත මහාපුරුෂලක්‍ෂණය. ලක්‍ෂණනම්:- සුප්‍රතිෂ්ඨිත පාදයන් ඇතිබවය. ලක්‍ෂණානෘශංසනම්:- පසමිතුරන් විසින් මැඩපැවැත්ත නොහැකි බවය. මේ සතර කොට්ඨාසය සියලු මහාපුරුෂලක්‍ෂණයටම යොදා දතයුත්තේය.

ඒ භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මාන්තරයෙහි සියලු ජනයාට සැප එළවූ සේක. උද්වෙග-භය-සන්ත්‍රාස නූපදවා ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය කොට සියලු සත්ත්‍වයන්ට අභය දානය දී පිරිවරසහිත මහදන් දුන් සේක. එහෙයින් අනන්තා පරියන්ත කාලයක් මුළුල්ලෙහි ස්වර්ග සැප අනුභව කොට එසමයෙහි චක්‍රලක්‍ෂණයෙන් චිහ්නිත වූ පාදතල ඇතිවන සේක.

භික්‍ෂු - භික්‍ෂුණී - උපාසක - උපාසිකා - දිව්‍ය - මනුෂ්‍ය - අසුර - ගන්‍ධර්ව - නාග -සුපර්ණාදීහු ඒ භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේට පිරිවර වන්නාහ. ඒ ලෝකනායක වූ සර්වඥයන් වහන්සේ පූර්ව ජන්මාන්තරයෙහි ප්‍රාණඝාතයෙන් වැළකීසේක. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතයෙන් අනුකම්පා කළසේක. එහෙයින් උන්වහන්සේට දික්විළුම් දික්ඇඟිලි ඇති බවය, බ්‍රහ්මයාට බඳු සෘජවූගාත්‍ර ඇතිබවය යන මේ මහාපුරුෂලක්‍ෂණ තුන ඇතිවන්නේය. දීර්ඝායුෂ්ක ද වන සේක. කිසි පසමිතුරු කෙනෙකුන් විසින් උපන් තැන් පටන් පිරිනිවන් පානාදෑතුරෙහි උන්වහන්සේ ජීවිතයෙන් තොරකරන්ට නො පිළිවන්වන්නේය.

ඒ ලෝකපාල සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි ප්‍රණීතාහාරයන් දන්දුන් සේක. එහෙයින් උන්වහන්සේට සත්තුස්සද නම් මහාපුරුෂලක්‍ෂණය ඇතිවන්නේය ප්‍රණීතාහාරයන් ලබන සුලුසේක.

ඒ ලොකෙක ශරණ වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි දාන-ප්‍රියවචන-අර්ථචර්යා-සමානාත්මතා යන සතර සංග්‍රහවස්තු වෙන ජනසංග්‍රහය කළසේක. එහෙයින් උන්වහන්සේට ජාල හස්තපාද ඇති බවය, මුදුතළුන හස්තපාද ඇතිබවය, යන මේ මහාපුරුෂලක්‍ෂණ දෙක ඇතිවන්නේය. සුවිනීත පිරිවරජනයන් ද ඇතිවන සේක.

ඒ ලෝකාලොකදිවාකර වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි බොහෝ ජනයාට අර්ථයෙන් ධර්මයෙන් යුක්ත වූ බස් කී සේක. හිතසැප එළවූ සේක. ධර්මයාගය කළසේක. එහෙයින් උන්වහන්සේට උත්සඞ්ඛපාද ඇති බවය. ඌර්ධවාග්‍රලොම ඇති බවය යන මේ මහාපුරුෂලක්‍ෂණ දෙක ඇතිවන්නේය. ශ්‍රමණයන්ට සුදුසු වූ, ශ්‍රමණයන් විසින් ප්‍රයෝජන වින්දයුතු වූ ශ්‍රමණපරිෂ්කාරයෙක් ඇත්නම් වහා ලබනසුලු සේක. සියලු සත්ත්‍වයන්ට අග්‍රවන සේක.

ඒ ලොකෛකප්‍රදීප වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි සියලු සත්ත්‍වයෝ සිවුසැටසිල්පය හා අෂ්ටාදශවිද්‍යාස්ථාන කෙසේ නම් වහා දැනගනිද්දෝ හෝ කෙසේ නම් වහා ඉගෙනගනිද්දෝ හෝයි සිතා ශිල්පශාස්ත්‍රය සකස් කොට ප්‍රගුණ කැරවූසේක. එහෙයින් උන් වහන්සේට එනිජඞ්ඝ නම් මේ මහාපුරුෂලක්‍ෂණය ඇති වන්නේය.

ඒ ලොකෛක නායක වූ සර්වඥයන් වහන්සේ අතීතභවයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා එළඹ වහන්සේ? කුසල් කවරේද? අකුසල් කවරේද? සාවද්‍ය කවරේද? නිරවද්‍ය කවරේද? කුමක් සේවනය කටයුතුද? කුමක් සේවනය නොකටයුතුද? කුමක් කළ කල මට බොහෝ කලක් අවැඩ හා දුක්වේද? කුමක් කළ කල මට බොහෝ කලක් වැඩ හා සැප වේද යනාදීන් විචාරණ සුලු සේක. එහෙයින් ඒ සර්වඥයන් වහ්නසේ සියුම්වූඡවි ඇති ව උපදනා සේක. මහත් වූ ප්‍රඥාවත් ඇතිසේක. සියලු සත්ත්‍වයන් අතුරෙන් කිසිවෙක් ඒ සර්වඥයන් වහන්සේට ප්‍රඥාවෙන් සදෘශ නො වන්නේය. ඒ ලොකෛකපුණ්‍ය වූ සර්වඥයන් වහන්සේ අතීත ජන්මයෙහි සත්ත්‍වයන් කෙරෙහි ක්‍රෝධ නොකළ සේක. උපායාස බහුල නුවූසේක. බොහෝ ආක්‍රෝශ පරිභව බණිමින් සිටියදීත් කෝපයෙන් සිත් ගටා නො ගත්සේක. සීන් මොළොක් ආස්තරණ පාපුරණාදියත් දුන්සේක. එහෙයින් උන්වහන්සේ ස්වර්ණවර්ණ වනසේක. සීන් මොළොක් ආස්තරණ පාපුරණාදියත් ලබන සේක. ඒ ලොකෛයික බන්‍ධු වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි බොහෝ කලක් නොරක ගොස් වැදහුන් බොහෝ කලක් ගමින් බැහැර ගොස්වැදහුන් නෑයන් මිත්‍රයන් විශ්වාසීන් යහළුවන් උන් උන් ඒ ඒ තැනින් ගෙනහැර තමන් තමන්ගේ නෑයන් හා සමග එක්කළ සේක. ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් උපදවා සමග සතුටුකැරවූසේක. එහෙයින් උන්වහන්සේ කොෂයෙන්ව්‍යවහිතවූ වස්ත්‍රගුහ්‍ය ඇතිව උපදනාසේක. බොහෝ පුත්‍ර සම්පත් ඇතිවන සේක.

ඒ කරුණාමය වූ සර්වඥයන් වහ්නසේ පූර්වජන්මයෙහි මහාජන සංග්‍රහය පරීක්‍ෂාකරනසේක් මේ පුරුෂ මෙනම් සත්කාරයක් විදගන්නට සුදුසුවන්නේය යි පුරුෂ වීශෙෂානුරූප සත්කාර සම්මාන කළසේක. එහෙයින් උන්වහන්සේ නිග්‍රොධපරිමණ්ඩලද වන සේක. සිට නොනැමී ම දෙඅත්ලෙන් දෙදන අතගා පිරිමදිනා සේක. යන මේ මහාපුරුෂ ලක්‍ෂණ දෙකින් සමන්විත සේක. ආඪ්‍යව මහත්ධනීව මහත්වූ උපභෝග පරිභෝගත් ඇතිවන සේක.

එ් ප්‍රඥාදීපවූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි මේ සියලු සත්ත්‍වයෝ ශ්‍රද්ධායෙන් කෙසේනම් වැඩෙද් දෝහෝ ශීලයෙන් ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, ධනධාන්‍යයෙන්, ඥාතිමිත්‍ර ජනයන්ගෙන් කෙසේනම් වැඩෙද්දෝහෝයි බොහෝ ජනයාට වැඩ කිරීමට නිරතවූ සිත් ඇතිව උපකාර කළසේක. එහෙයින් උන්වහන්සේට සිංහයාගේ ඌර්ධවශරීරය බඳු ශරීර ඇති බවය. සම්පූර්ණ වූ අන්තරාංශ ඇති බවය, සමව වටවූ ග්‍රීවා ඇති බවය, යන මේ මහා පුරුෂලක්‍ෂණ තුන ඇතිවන්නේය, සියලු සම්පත්තීන් නොපිරිහෙන්නාවූ ස්වභාවත් ඇතිසේක.

ඒ ගුණසාර වූ සර්වඥයන් වහන්සේ පෙර සියලු සත්ත්‍වයන්ට අතින් පයින් වත් කැටමුගුරු ආදියෙන් වත් ශස්ත්‍රයෙන් වත් මැරීම් තැළීම් කැපීම් ආදි වශයෙන් කිසි හිංසාපීඩාවක් නො කළ සේක. එහෙයින් උන්වහන්සේ එසමයෙහි රසග්ගසග්ගි වන සේක. නිර්ව්‍යාධිද වනසේක.

ඒ ජගදානන්‍දලොචන වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි ප්‍රියචක්‍ෂුසින් බොහෝ ජනයා බැලූසේක. එහෙයින් උන්වහන්සේට අභිනීලනෙත්‍ර ඇතිබවය, ගොපක්ෂ්ම ඇතිබවය යන මේ මහාපුරුෂලක්‍ෂණ දෙක ඇතිවන්නේය, ප්‍රියදර්ශනීයත් වන සේක.

ඒ ධර්මප්‍රදීප වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි බොහෝ ජනයන් කුශලධර්මයෙහි පෙරදැරිකොට හැසිරවූසේක. එහෙයින් උන්වහන්සේට උෂ්ණිෂශීර්ෂ නම් මහාපුරුෂලක්‍ෂණය ඇති වන්නේය. මහාජනයෝත් උන්වහන්සේට අනුව පවත්නාහ.

ඒ පිරිසිදු වූ අදහස් ඇති සර්වඥයන් වහන්සේ පූර්වජන්මාන්තරවල මෘෂාවාදයෙන් වැළකී සත්‍යවාදීවූ සේක. එහෙයින් උන්වහන්සේට එකෙකලොම බවය. දෙබැම අතුරෙහි ඌර්ණරොමධාතුව අටගැන්මය යන මේ මහාපුරුෂලක්‍ෂණ දෙක ඇති වන්නේය. උන් වහන්සේට මහාජනයෝත් සමීපවර්තී වන්නාහ.

ඒ ත්‍රෛලොක්‍යතිලකවූ සර්වඥයන් වහන්සේ පූර්වභවයෙහි ප්‍රිය ශූන්‍ය වචනයෙන් වැළකී සේක. කේලාමින් ඔවුනොවුන් හා බිඳුනු සත්ත්‍වයන් සමග කළ සේක. සමඟවූ සත්ත්‍වයන් සන්‍ධානය කරවූ සේක. සමඟ බැව්හි ඇලුනුසේක. සමඟ කරවන්ට සුදුසු බස් කී සේක. එහෙයින් උන්වහන්සේට චත්තාළීස දන්ත බවය අවිවරදන්ත බවය යන මේ මහාපුරුෂලක්‍ෂණ දෙක ඇතිවන්නේය. භෙදයකට පමුණුවාලිය නොහැකි පර්ෂදදු ඇතිවනසේක.

ඒ සර්වකාමදදවූ සර්වඥයන් වහන්සේ පූර්වභවයෙහි ඵරුෂවාක්‍යයෙන් වැළකීසේක. ප්‍රේමනීයවූ සිත්කලු වූ බොහෝජනයාට කන්කලුවූ බස් කියනසේක. එහෙයින් උන්වහන්සේට මොළොක් පළල් දිව් ඇතිබවය, බ්‍රහ්මස්වර බවය, යන මේ මහා පුරුෂලක්‍ෂණදෙක ඇතිවන්නේය. දෙව්මිනිසුන් විසින් අදහා ගතහැකි බස් ඇතිවනසේක.

ඒ ලෝකස්වාමි වූ සර්වඥයන් වහන්සේ පූර්වජන්මයෙහි සම්පප්‍රලාපයෙන් වැළකී ස්වර්ග මොක්‍ෂයට බාධක වූ නිෂ්ප්‍රයෝජන වූ බස් නොකියා විද්‍යමාන වූ නිධානවත් වූ බස් කියන සුලු සේක. එහෙයින් උන්වහන්සේට සීහහනු නම් පුරුෂලක්‍ෂණ වන්නේය. අභ්‍යන්තර බාහ්‍යවූ පසමිතුරන් විසින් නසාලිය නො හැකි සේක.

ඒ ලෝකප්‍රද්‍යොතවූ සර්වඥයන් වහන්සේ පෙර සසර ඇවිදිනාසේක් අනන්තාපරියන්තවූ දහස්ගණන් ජාතිවල මිථ්‍යාආජීවය දුරුකොට සම්‍යක් ආජීවයෙන් ජීවිකාව කළසේක. තුලාකූට කංසකූට මාර කූටාදියෙන් වැළකී සේක. එහෙයින් ස්වර්ග ලෝකයෙහි ඉපද දිව්‍යවූ ආයුෂයෙන්, දිව්‍යවූ වර්ණයෙන්, දිව්‍යවූ සැපයෙන්, දිව්‍යවූ යසසින්, දිව්‍යවූ අධිපතිභාවයෙන්, දිව්‍යවූ රූපයෙන්, දිව්‍යවූ ශබ්දයෙන්, දිව්‍යවූ ගන්‍ධයෙන්, දිව්‍යවූ රසයෙන්, දිව්‍යවූ ප්‍රෂ්ටව්‍යයෙන්, සෙසුදෙවියන් මැඩපැවැත ප්‍රමාණාතිකක්‍රාන්තවූ කාලයක් මුළුල්ලෙහි දිව්‍යමනුෂ්‍යසම්පත් අනුභවකොට ගියාවූ සර්වඥයන් වහන්සේට සමදන්තබවය සුශූක්ලදංෂ්ට්‍රා ඇතිබවය යන මේ මහාපුරුෂලක්‍ෂණ දෙක ඇතිවන්නේය. පිරිසිදුවූ නිර්මලපර්ෂදුත් ඇතිවනසේක.

මෙපමණෙකින් මහාපුරුෂලක්‍ෂණයන්ගේ කර්මය. කර්මසාදෘශ්‍යය, ලක්‍ෂණය, ලක්‍ෂණානාශංසය යන චතුර්විධ කොට්ඨාසය විස්තර හෙයින් කියන ලද්දේය. මෙසේ මෙබඳු වූ දෙතිස්මහා පුරුෂලක්‍ෂණයෙන් හා චිතඞ්ගුලිතාදි අසූඅනුව්‍යඤ්ජනයෙන් යුක්තවූ ද්වීපදොත්තමවූ ගිහීකල “අජිතකුමාර” යන නම් ඇත. බුදුවූ කල “මෛත්‍රෙය” යන නම් ඇති ඒ භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ අනාගතයෙහි යථෝක්ත වූ ශ්‍රීසමෘද්ධියෙන් යුක්තව ඒ කෙතුමතී නම් රාජධානියෙහි උපදනාසේක. එසේහෙයින් වදාළහ බුදුහු:-

“අජිතොනාම නාමෙන මෙත්තෙය්‍යො දිපදුත්තමො,

අනුබ්‍යඤ්ජනසම්පන්නො ද්වත්තිංසවරලක්ඛණො”යි.

තවද ඒ සර්වඥයන් වහන්සේ කර්මාන්ත කොට නිමවා දිවිදළින් ඔප්නැඟූ මටසිළුටු කරනලද ජාම්බොනදස්වර්ණයක් වැනි වූ රන්වන් ශරීර ඇතිවනසේක. සියුම් ඡවි ඇතිබැවින් හා රජස්ධූලිකය නො ඇලෙන බැවින් පිරිසිදු නිර්මල ශරීර ඇතිවනසේක. රජස් ආදිය කය නො ඇලෙන බැවින්ම සොඳුරු වූ සියලු දස දිග පැතිරෙන්නා වූ ශරීරාලෝක ඇතිවනසේක. සොඳුරු වූ ශරීරාලෝක ඇති බැවින් තේජස්වී වූ ශරීරශෝභා දරණ සේක. උතුම් වූ යසස් හා විශිෂ්ට වූ පිරිවර ඇති බවට පැමිණෙන සේක. කුශලය, ප්‍රඥාය, ශරීරශෝභාය යනාදිවූ ශ්‍රී සමෘද්ධිය ඇතිවන බැවින් ශ්‍රීමත් වනසේක. උඛ්තප්‍රකාර ශ්‍රී සමෘද්ධියෙහි පිහිටි බැවින් විශිෂ්ට වූ පූජ්‍ය වූ අධික රූප ශ්‍රී ඇතිවන සේක. ආයුෂ්කල්පය මුළුල්ලෙහිත් බලන්නා වූ සත්ත්‍වයන්ට අතෘප්තිකරවූ සොඳුරු වූ දැකුම් ඇති වන බැවින් සුදර්ශනීය වනසේක. මහත්වූ සියලු ලෝකානුභාවය මැඩපවත්වන්නා වූ සෘද්ධ්‍යානුභාවය හා ප්‍රතාපතේජස් ඇතිවන බැවින් මහානුභාව වන සේක. තමන් වහන්සේ හා සමාන කෙනෙකුන් ලෝකයෙහි නැතිවන බැවින් අසමසම සේක. උභයකුලපාරිශුද්ධ වී සියලු ලෝවැස්සන් විසින් පිදියයුතු වූ මහානුභාව සම්පන්න වූ මහත්වූ භෝග සම්පත් ආදියෙන් යුක්තවූ පුරොහිත බ්‍රාහ්මණවංශයෙහි උපදනාසේක.

තවද ඒ අජිත නම් මහබෝසතාණන් නිධානගත වූ මහත්වූ ධනය අපරියන්ත වන බැවින් ධනේශ්වර වන්නාහ. සත්ත්‍වයන් විසින් අනවරතයෙන් අනුභව කටයුතු වූ උපභෝග පරිභෝග සංඛ්‍යාත මහත්වූ වස්තු රාශිය ඇතිවන බැවින් මහත්වූ භෝග සම්පත් ඇතිවන්නාහ. වන්‍දනමානනාදි වශයෙන් රජදරුවන්ගෙන් සම්භාවනා ලබන්නට සුදුසු ප්‍රශස්තකුලයෙහි උපදනා හෙයින් උතුම් වූ කුල ඇතිවන්නාහ. තෙපි මෙබඳු ජාතියක් ඇතිවාදැයි කීකල්හි තොපිත් මෙබඳු ජාතියක් ඇත්තවාදැයි නැවත පෙරළා කුලකියා ජාතිගටා බැණ පසු බාලිය නොහැකිවූ බොහෝ කලක් උභයකුලපරිශුද්ධව ආවාවූ උතුම්වූ බ්‍රාහ්මණවංශයෙහි ඒ අජිත නම් මහබෝසතාණෝ යථෝක්ත වූ ශ්‍රී සමෘද්ධියෙන් යුක්තව උපදනාහ.

පඤ්චමහා විලෝකන

ඒ අජිත නම් මහබෝසතාණෝ බ්‍රාහ්මණවංශයෙහි කවරකලෙක උපදිද්ද? යත්:- ඉක්බිති ඒ මෛත්‍රෙය මහාබොධී සත්ත්‍වයන් යට කියන ලද ක්‍රමයෙන් තුෂිතපුරයෙහි වෙසෙමින් සිටියදීම මේ අන්තඃකල්පයට අනුතරු දෙවෙනි අන්තඃකල්පයෙහි අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති මනුෂ්‍යයන් සමයෙහි “බුද්ධ කොලාහල” නම් කෝලාහලයෙක් උපදනේය.

ලෝකයෙහි කප්පකොලාහලය-බුද්ධකොලාහලය-චක්‍රවර්ති කොලාහලය යි කොලාහල තුනෙක් වන්නේය. ඒ ත්‍රිවිධ කොලාහලයන් අතුරෙන් අවුරුදු ලක්‍ෂයක් ඉකුත් වූ කල කල්පවිනාශය වන්නේය යි “ලොකව්‍යවහාර” නම් කාමාවචර දේවතා කෙනෙක් අවමඟුල්වෙසක් ගෙන හිසකෙස් මුදා විසුරුවා හඬන මුහුණ ඇතිව දෑතින් කඳුලු පිස පිස රත්පිළී හැඳ පෙරව ඉතා විරූප වූ වෙස් දරා මනුෂ්‍යපථයෙහි ඇවිදිනාහු නිදුකිනි! නිදුකිනි! මෙයින් අවුරුදු ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විශේෂයෙන් නස්නේය. එහෙයින් මහාසමුද්‍රයක් වියලෙන්නේය, මේ මහාපොළොව හා මහමෙරත් දන්නේය, බ්‍රහ්මලෝකය දක්වා නස්නේය, ලොකය විනාසව විශේෂයෙන් නස්නේය. එහෙයින් නිදුක් වූ සත්ත්‍වයෙනි! මෛත්‍රී භාවනා කරව, කරුණා-මුදිතා-උපෙක්‍ෂා භාවනා කරව, මවුන්ට උපස්ථාන කරව, පියන්ට උපස්ථාන කරව, කුලදෙටුවන්ට උපස්ථාන කරවයි මෙසේ කියා ඇවිදිනාහ. මේ කප්පකොලාහල නම් වන්නේය.

අවුරුදු දහසක් ඉකුත්වූ කල තිලොගුරු සර්වඥකෙනෙක් වහන්සේ ලෝකයෙහි උපදනාසේකැයි ලෝකපාලදේවතාවෝ නිදුකිනි මෙයින් අවුරුදු දහසක් ඇවෑමෙන් ලොව්තුරා සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි උපදනාසේකැයි හඬගා කියමින් ඇවිදිනාහ. මේ බුද්ධකොලාහල නම් වන්නේය. අවුරුදු සියයක් ඉකුත්වූ කල චක්‍රවර්ති රජ්ජුරුකෙනෙක් උපදනාහුයයි දෙවතාවෝ නිදුකිනි! මෙයින් අවුරුදු සියයක් ඇවෑමෙන් චක්‍රරත්නය පවත්වන්නාවූ චක්‍රවර්ති රජ්ජුරුකෙනෙක් ලෝකයෙහි උපදනාහුය යි හඬගා කියමින් ඇවිදිනාහුය. මේ චක්‍රවර්ති කොලාහල නම් වන්නේය. මේ ත්‍රිවිධ කොලාහලය ලෝකයෙහි මහත්ව උපදනේය.

ඒ තුනින් බුද්ධකොලාහල ශබ්දය අසා සියලු දසදහසක් සක්වළ දෙවියෝ එකතැනකට රැස්ව අසවල් නම් සත්ත්‍වයෙක් බුදුවන්නේ යයි දැක ඔහු කරා එළඹ යාච්ඤා කරන්නාහුය. එසේ ආරාධනා කරන්නාහුත් පඤ්චපූර්විනිමිත්ත පහළවූ කල්හි යාච්ඤා කරන්නාහුය. එසමයෙහි වූකලී සියලුම දෙවියෝ එකි එකී සක්වළෙක චාතුර්මහාරාජික, ශක්‍ර, සුයාම, සන්තුෂිත, සුනිර්මිත, වශවර්ති, මහා බ්‍රහ්මයන් හා සමඟ මේ එක සක්වළට රැස්ව තුෂිතභවනයෙහි වසන්නා වූ බෝධිසත්ත්‍වයන් කරා එළඹ නිදුකාණන් වහන්ස! දශපාරමී ධර්මයන් පුරන්නාවූ නුඹ වහන්සේ විසින් ශක්‍රසම්පත්, මාරසම්පත්, බ්‍රහ්මසම්පත්, චක්‍රවර්තිසම්පත්, ප්‍රාර්ථනා කෙරෙමින් පිරුයේ නැත. ලෝවැස්සන් සංසාරසාගරයෙන් එතරකර වන පිණිස සර්වඥතාඥානය ප්‍රාර්ථනා කෙරෙමින් දශපාරමීධර්මයන් පුරන ලද්දේය. දැන් වූ කලි නුඹවහන්සේට ඒ පාරමීධර්මයෝ සම්පූර්ණ වූහ. එසේහෙයින් නිදුකාණන් වහන්ස! බුදුවීමට කල් වන්නේය. නිදුකාණන් වහන්ස! බුදුබවට සමය වන්නේය යි කියා යාච්ඤා කරන්නාහුය.

ඉක්බිත්තෙන් මහබෝසතාණෝ දෙවියන්ට ප්‍රතිඥා නොදීම කාල, දේශ, ද්වීප, කුල, ජන්තෙතී ආයුපරිච්ඡේද වශයෙන් පඤ්චමහාවිලොකන නම් වූ විලොකනයක් කරන්නාහ. ඒ පඤ්චමහාවිලොකනයන් අතුරෙන් මේ බුදුවන්නට කල්දෝහෝ නොවේදෝහෝයි පළමුකොට කාලවිලොකනය කරන්නාහ. එහි අවුරුදු ලක්‍ෂයකින් මත්තෙහි වැඩසිටි ආයුඇතිකල කල් නම් නොවන්නේය. කුමක්හෙයින්ද? යත්:-

එසමයෙහි සත්ත්‍වයන්ට ජරාමරණ නො පෙනෙන්නේය. සර්වඥවරයන්වහන්සේගේ ධර්මදේශනාව නම් ත්‍රිලක්‍ෂණයෙන් විනිර්මුක්ත නො වන්නේය. ඒ සර්වඥවරයන් “අනිච්චං දුක්ඛං අනත්තා යි” ලක්‍ෂණත්‍රයාරෝපණය කොට ධර්මදේශනා කරන කල්හි මුන්වහන්සේලා මේ කියන්නේ කිමෙක්දැයි වදාරන්නාවූ ධර්මය අසන්ටත් නොසිතති, අදහන්ටත් නො සිතති. එසේකල් හි මාර්ගඵලාධිගමය නො වන්නේය. ඒ මාර්ගඵලයට පැමිණීම නැතිකල්හි බුදුන්ගේ අවවාදානුශාසනය සත්ත්‍වයන් නිවනට නොපමුණුවන්නේය. එහෙයින් ලක්‍ෂයක් අවුරුද්දෙන් වැඩුනාවූ ආයුෂය ඇතිකාලයක් බුදුවන්නට කල් නම් නො වන්නේය.

අවුරුදුසියයකින් උනුවූ ආයුෂය ඇතිකලත් බුදුවන්ට කල් නම් නොවන්නේය. කුමක්හෙයින්ද? යත්:- එසමයෙහි සත්ත්‍වයෝ උත්සන්න වූ ක්ලේශයන් ඇතිවන්නාහ. අධිකක්ලේශයන් ඇති සත්ත්‍වයන්ට දුන්නාවූ අවවාදය අවවාදස්ථානයෙහි නො පිහිටන්නේය. දියෙහි ඇඳි ඉරක් මෙන් වහා නස්නේය. එහෙයින් අවුරුදු සියෙන් උනුවූ ආයුඇතිකලත් බුදුවන්ටකල් නම් නොවන්නේය. අවුරුදු ලක්‍ෂයක් පටන් යටිනුත් අවුරුදු සියයකින් මත්තෙහිත් ආයුෂය ඇතිකල බුදුවන්ට කල්නම් වන්නේය.

එසමයටත් අසූදහසක් අවුරුද්දට ආයුෂය ඇති කාලය වන්නේය. එහෙයින් මහබෝසතාණෝ මේ ඉපැද්දයුතු කාලයයි කාලවිලොකනය කරන්නාහ. ද්වීපවිලොකනය කරන්නාවූ මහබෝසතාණෝ පිරිවර සහිත වූ සතරමහා දිවයින බලා තුන්දිවයිනෙක සර්වඥවරයෝ නූපදනාහ. ජම්බුද්වීපයෙහි උපදනාහයි දීපය බලන්නාහ.

ඉක්බිත්තෙන් ජම්බුද්වීපය නම් ඉතා මහත දසදහසක් පමණ යොදුන් ඇත්තේය. කවර ප්‍රදේශයක සර්වඥවරයෝ උපදනාසේක් දෝහෝයි අවකාශ බලන්නාහු මධ්‍යදේශය බලන්නාහ.

මධ්‍යදේශය නම්:- දිගින් තුන්සියයක් යොදුන, පුළුලින් දෙසියපණස් යොදුන, වටින් නවසියයක් යොදුන, මේ ප්‍රදේශයෙහි බුද්ධ, ප්‍රත්‍යෙක බුද්ධ, අග්‍රශ්‍රාවක, අශීතිමහාශ්‍රාවක, චක්‍රවර්තිරජ්ජුරුවන් හා අනිකුත් මහානුභාවසම්පන්න ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාරාදීහු උපදනාහ.

එබඳු මධ්‍යමණ්ඩලයෙහි කේතුමති නම් රාජධානිය වන්නීය. එහි මා විසින් ඉපැද්දයුතුයයි නිෂ්ඨාවට පැමිණෙන්නාහ.

ඉක්බිත්තෙන් ඉපැද්ද යුතු කුලය බලන්නාවූ මහබෝසතාණෝ සර්වඥවරයන් නම්:- වෙළඳකුලෙහිත් ගොවිකුලෙහිත් නූපදනාහ. ලෝකප්‍රසිද්ධ වූ පූජ්‍ය වූ ක්‍ෂත්‍රියකුලය, බ්‍රාහ්මණකුලය යන මේ දෙකුලෙහිම උපදනාහ. මේ බ්‍රාහ්මණකුලය වූකලි ලෝක පූජ්‍ය වන්නේය. එසේහෙයින් බ්‍රාහ්මණවංශයෙහි උපදිමියි ශඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන්ගේ සුබ්‍රහ්මා නම් පුරොහිත බ්‍රාහ්මණයාන කෙනෙක් මට පිය වන්නාහයි කුලය බලන්නාහුය. ඉක්බිත්තෙන් මාතෘවිලොකනය කරන්නාවූ මහබෝසතාණෝ බුද්ධමාතාවෝ නම් පුරුෂලොලත්‍වයක් නැත්තාහ, සුරාධූර්ති නොවන්නාහ, කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පුරනලද පාරමිතාවන් ඇත්තාහ, උපන්තැන් පටන් අඛණ්ඩවැ පඤ්චශීලය රක්‍ෂාකරන්නාහ. මේ බ්‍රහ්මවතී නම් බැමිණිදේවිද වනාහි එබඳු ගුණධර්මයන් ඇත්තෝය. එහෙයින් මේ බ්‍රහ්මවතී නම් බැමිණිදේවී මට මවු වන්නාහ. උන්ට ආයුෂය කොපමණෙක් දෝහෝයි පරීක්‍ෂා කොට බලා දසමසකින් මත්තෙහි සද්දවසක් ආයුෂය දුටුවාහුය.

මෙසේ ඒ මහබෝසතාණෝ මේ පස්බැලුම් බලා නිදුක්නී! බුදුවීමට කල්වන්නේයයි දෙවියන්ට සංග්‍රහකෙරෙමින් ප්‍රතිඥා දී තෙපි හැමදෙනා යවයි. ඒ දෙවියන් යවා තුෂිතදිව්‍යලෝකයෙහි දෙවියන් විසින් පිරිවරනලදුව තුෂිතපුරයෙන් නන්‍දන වනයට වදනාහ. සියලු දිව්‍ය ලෝකවලම නන්‍දනවනොද්‍යාන ඇත්තේය. එහෙයින් ඒ නන්‍දන වනොද්‍යානයට වන් දේවතාවෝ මේයින් චුතවූ නුඹවහන්සේ සුගතිසඞ්ඛ්‍යාත මනුෂ්‍යලෝකයට ගියමැනව, මෙයින් චුතවූ නුඹවහන්සේ සුගතිසඞ්ඛ්‍යාත මනුෂ්‍ය ලෝකයට වැඩියමැනවැයි පූර්වජන්මාන්තරවල කරන ලද කුශලකර්මවලට අවසර සිහිකරවමින් ඇවිදිනාහුය. මෙසේ කුශලකර්මය සිහිකරවන්නාවූ දෙවියන් විසින් පිරිවරන ලද ඒ මහා බෝසතාණෝ ඒ නන්‍දනවනොද්‍යානයෙහි ඇවිදිමින් සිට ම චුතව කෙතුමතී නම් රාජධානියෙහි ශඞ්ඛනම් චක්‍රවර්තිරජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ උභයකුලපරිශුද්ධව උපන්නාවූ ආඪ්‍ය වූ ධනේශ්වර වූ මහත් වූ උපභෝග පරිභෝග වස්තු ඇති අපමණ වූ යසස්සමෘද්ධියෙන් යුක්තවූ සියලු ලොවට ප්‍රසිද්ධවූ සියලු සත්ත්‍වයන් විසින් පුදනලද රජදරුවන් විසින් කරනලද සත්කාර සම්මාන ඇති පුරනලද පාරමිතා ඇති අධිකවූ කුසල්මුල් ඇති පශ්චිමභවිකවූ සුබ්‍රහ්මා නම් පුරොහිතබ්‍රාහ්මණයන් නිසා එබඳුම සියලු ඓශ්චර්යයෙන් සමෘද්ධ වූ බ්‍රහ්මවතී නම් බැමිණිදේවීන් කුස ඇසළමස පුණුපොහෝදවස් අලුයම් වේලෙහි ප්‍රතිසන්‍ධිග්‍රහණය කරන්නාහුය.

මෙසේ ඒ මහබෝසතාණන් මවුකුස පිළිසිඳගත් ඇසිල්ලෙහි එක පැහැරම දසදහසක් සක්වළ සැලෙන්නේය. වෙව්ලන්නේය, ෂට්ප්‍රකාරයකින් කම්පිතවන්නේය.

දසදහසක් සක්වළ අපමණවූ උදාරතරවූ මහත්වූ ආලෝක පැතිරෙන්නේය. ඒ ශ්‍රී සමෘද්ධිය දක්නා කැමැත්තවුන් මෙන් අන්‍ධයෝ ඇස් ලබන්නාහ. බිහිරිසත්ත්‍වයෝ ගීතිකා ශබ්දාදි ශබ්ද අසන්නාහ. ජාතියෙන් කථාකරන්නට අසමර්ථ සත්ත්‍වයෝ කථාකරන්නාහ. කුදුවූ සත්ත්‍වයෝ සෘජුවූ ගාත්‍ර ඇතිවන්නාහ. පිළුවූ සත්ත්‍වයෝ පයින් ගමන් යන්නාහ. බන්‍ධනගත සියලු සත්ත්‍වයෝ අන්‍දුබන්‍ධන, සඞ්ඛලිකබන්‍ධන, රජ්ජුබන්‍ධනාදීන් මිදෙන්නාහ. සියලු එක්සියසතිස්නරකයෙහි ගිනි නිවෙන්නේය. ප්‍රේත ලෝකයෙහි දුකින් මඩනාලද සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂුධාපිපාසා සන්සිඳෙන්නේය. තිරිසනුන්ට භය නැතිවන්නේය. සියලු සත්ත්‍වයෝ ප්‍රියතෙපුල් කියන්නාහ. සියලු සත්ත්‍වයන්ගේ රෝග සන්සිඳෙන්නේය. අශ්වයෝ මිහිරිවූ ආකාරයෙන් හෙසාරවධ්වනි පවත්වන්නාහ. හස්තිහු කුංචනාද කරන්නාහ. වීණාවෙණු ආදීවූ සියලු තූර්යභාණ්ඩයෝ ස්වකීයනාද පවත්වන්නාහ. කිසිකෙනකුන් විසින් නොසොල්වන ලද මනුෂ්‍යයන් අතපය ආදිය පැලදි සියලු ආභරණ විශේෂය තෙමේ ම නාද පවත්වන්නේය. සියලු දසදිග විශේෂයෙන් ප්‍රසන්න වන්නේය. සත්ත්‍වයන්ට සැපඋපදවමින් මොළොක් සිහිල් පවන් හමන්නේය. නොකල්වැසි වසින්නේය. පොළෝ පලාගෙන දිය උඩනැඟි වතුරු ගෙන යන්නේය. සියලු පක්‍ෂීහු ආකාශයෙහි ගමන් අරනාහ. සියලු ගංගා හෝ ආදියෙහි ජලය යටිගංබල නොගොස් ඇතිලියක පුරාලු පැන්පරිද්දෙන් නිශ්චලව සිටිනේය. මහාසමුද්‍රයෙහි ලවණජලය මිහිරිපැන් වන්නේය. සියලු ජල තලය පස්වණක් පියුමෙන් සැදෙන්නේය. දියෙහි ගොඩෙහි පිපෙන සියලු මල් එකපැහැර පිපෙන්නේය. සියලු වෘක්‍ෂයන්ගේ කඳෙහි කඳපියුම්ද, අත්තෙහි අතුපියුම්ද, ලියෙහි ලියපියුම්ද පිපෙන්නේය.

පොළොව පලාගෙන අතළගල් පලාගෙන මතුමත්තෙහි සතක් සතක්ව දණ්ඩක පද්ම නම් සත්බුමු මහ පියුම් පිපෙන්නේය. ආකාශයෙහි ඔලම්බකපද්ම නම් පියුම් එලෙන්නේය. හාත්පසින් මල්වැසි වස්නේය. ආකාශයෙහි දිව්‍යවූ පඤ්චාඞ්ගිකතූර්යනාද පවත්නේය. සියලු දසදහසක් සක්වළ වටකොට ලා දමාලූ මල්වටක් මෙන්ද, තරකොට හසුරුවා බඳනාලද මල්මිටියක් මෙන්ද, සරහා පිළියෙල කරනලද මලස්නක් මෙන් ද එකමාලාවෙන් සැරැහී ගැවසීගන්නේය. තෙවුනාවූ වල්විදුනාවෙන් දසදිග බැබලී තිබෙන්නේය. පුෂ්පධූපගන්‍ධයෙන් එක සුගන්‍ධවන්නේය. මෙසේ සියලු දසදහසක් සක්වළම උතුම්වූ ශ්‍රී සෞන්‍දර්යයෙන් අග්‍රප්‍රාප්ත වන්නේය.

මහාබෝධිසත්ත්‍වයන්ගේ ප්‍රතිසන්‍ධිග්‍රහණයේ පටන් මෙසේ ගන්නා ලද පිළිසිඳ ඇති බෝධිසත්ත්‍වයන්ට හා බෝධිසත්ත්‍ව මාතාවන්ට උපද්‍රව වළකන පිණිස සතරවරම් මහරජදරුවෝ සතරදිග ශ්‍රීයහන් ගබඩාවේ කඩුගත් අත්ඇතිව රකවල් ගන්නාහ.

හුදෙක් ඒ සතරදෙන මතුනොවතී, වැළිකවුරු රකවල් ගණිද්ද? යත්:-

දසදහසක් සක්වළින් එකි එකී සක්වළෙක වරම්රජදරුවෝ සතර සතර දෙනෙකැයි, සතළිස් දහසක් වරම්රජදරුවෝ ගර්භද්වාරප්‍රාසාදද්වාර-පුරද්වාරයෙහි පටන් සක්වළහල දක්වා හාත්පසින් කඩුගත් අත්ඇතිව රකවල් ගන්නාහ. බෝධිසත්ත්‍වමාතාවන්ට පුරුෂයන් කෙරෙහි රාගචිත්තයෙන් නූපදනේය. දොළදුක් ආදිවූ කිසි කායචිත්තපීඩාවෙකින් නො මිරිකී සුඛිතමුදිතව සතුටුසිතින් බෝධිසත්ත්‍වයන් ඇතුළුකුස උන්තැනැත්තන් විශේෂයෙන් ප්‍රසන්න වූ ජාතිරගමාණික්‍යයෙන් අවුණන ලද රන්පලස්හුයක් මෙන් බෝධිසත්ත්‍වමාතාවෝ දක්නාහ.

යම්හෙයකින් බෝධිසත්ත්‍වයන් විසූ මවුකුස නම්:- දාකරඬුවක් හා සමාන වන බැවින් අන්කිසිසත්ත්‍වයක්හු විසින් වසන්ටවත් ප්‍රයෝජන විඳින්ටවත් නො පිළිවන්වේද, එහෙයින් බෝධිසත්ත්‍වමාතාවෝ මහාබෝධිසත්ත්‍වයන් උපන් සත්දවසින්ම කාලක්‍රියාකොට තුෂිතපුරයෙහි උපදනාහ.

යම්සේ අන්‍යස්ත්‍රීහු දසමසට නො පැමිණත් දසමස ඉක්මවාත් හිඳන් දරුවන් වදන්නාහු වෙද්ද, බෝධිසත්ත්‍වමාතාවෝ වූකලී එසේ නො වදන්නාහ. ඒ බෝධිසත්ත්‍වමාතාවෝ බෝධිසත්ත්‍වයන් දසමසක් මුළුල්ලෙහි කුසින් පරිහරණයකොට සිටම වදන්නාහ. මේ බෝධිසත්ත්‍වමාතාවන්ගේ ස්වභාවයෙක් වන්නේය.

වනසිරි හා බුදුකුරු උපත

බ්‍රහ්මවතී නම් බැමිණිදේවීන් පිරුණුතෙල්පාත්‍රයක් මෙන්ද සමසක් මුළුල්ලෙහි කුසින් බෝධිසත්ත්‍වයන් පරිහරණය කොට පිරිහුන් ගප්ඇතිව උයනට යනු කැමැති වන්නාහ. එසමයෙහි උද්‍යානයට යන්නාවූ මාර්ගය සමකරවා නොයෙක් මල් සුවඳදුම් සුවඳසුණු කෙහෙල්ගස් ධජපතාක පුන්කළස පුන්නාලි ආදියෙන් සරහා බෝධිසත්ත්‍වමාතාවන් රන්සිවිගෙයක හිඳුවා මහත්වූ පෙරහරින් මහත්වූ ශ්‍රීසෞන්‍දර්යයෙන් සපු-හෝපලු-නා-දොඹ-කීන-දඹ-මිදෙල්-නදුන්-සඳුන් ආදී නොයෙක් වෘක්‍ෂසමූහයෙන් ගැවැසීගන්නා වූ මුලපටන් අගදක්වා ප්‍රභාසම්පන්න වූ සුවඳමලින් සුපුෂ්පිත වූ නීලාදි පඤ්චවර්ණ භාඞ්ගයන් විසින් අතු පත් මල් අතුරු ආදියෙහි සඤ්චාරය කරන්නාවූ නොයෙක් මත්මොනර කොවුලුකෙවිල් ආදි සියගණන් පක්‍ෂි සමූහයා විසින් රැව් පිළිරැව් දෙන ලද්දා වූ නන්‍දනවනයෙන් ගිලිහී බිමවැටී ගියාක් වැනි වූද, මහානුභාවසම්පන්න රජ්ජුරුකෙනකුන්ට මනාකොට සරහා පිළියෙල කරන ලද සුරාපාන මණ්ඩලයක් වැනිවූ ඉතා සශ්‍රීක ඉසිපතන නම් නාගවනොද්‍යානයට ගෙනයන්නාහ. ඒ බෝධිසත්ත්‍වමාතාවෝ රන්සිවිගෙන් බිමට බැස මහත්වූ පිරිවරින් උයනවට ඇවිදිනාහු සුපිපි මල්රුකක් මුලට පැමිණ සර්වාභරණයෙන් සැරහී දකුණතින් මල්අත්තක් අල්වාගෙන නැගෙනහිර සක්වළ දිශාව බල බලා සිටම මහාබෝධිසත්ත්‍වයන් වදන්නාහ.

යම්සේ අන්‍ය සත්ත්‍වයෝ මවුකුසින් බිහිවන්නාහු පිළිකුල්වූ මලමුත්‍රාදීන් ගැවසුනු ශරීර ඇතිව බිහිවෙද්ද, බෝධිසත්ත්‍වයෝ එසේ බිහි නො වන්නාහ.

මහබෝසතාණෝ වූකලී ධර්මාසනයකින් බස්නාවූ මහා ධර්මකථික කෙනකුන් මෙන් දික්කරන ලද හස්තපාදයන් ඇතිව කසීවස්ත්‍රයෙක්හි තබනලද ජාතිරඞ්ගමාණික්‍යයක් මෙන් බබළමින් මවුකුසින් බිහිවන්නාහ.

ඉක්බිත්තෙන් ඒ බෝධිසත්ත්‍වයන් ප්‍රහීණකාමරාගයන් ඇති සුද්ධාවාසබ්‍රහ්මලෝකයෙහි වසන්නාවූ මහාබ්‍රහ්මයෝ සතරදෙනෙක් අවුත් රන්දැලින් පිළිගෙන මෑණියන් අභිමුඛයෙහි තබා දේවීනි! සතුටුසිත් ඇතිවව. මහානුභාවසම්පන්න පුතණු කෙනෙක් තොපට උපන්නෝ වේදැයි කියන්නාහ.

ඒ මහාබ්‍රහ්මයන් අතින් සතරවරම්මහරජදරුවෝ ප්‍රශස්ත යයි දන්නා ලද සුවපහස් ඇති අඳුන්දිවිසමකින් පිළිගන්නාහ. ඒ වරම්රජදරුවන් අතින් අමාත්‍යයෝ දුහුල් සුඹුළකින් පිළිගන්නාහ. ඔවුන් අතින් බැස සමපත්ලෙන් භූමියෙහි පිහිටා නැගෙනහිරදිග බලමින් සිටිනාහ. එකෙණෙහි පිරිසිදු නිර්මල ශරීර ඇත්තා වූ ඒ මහාබෝධිසත්ත්‍වයන් හා බෝධිසත්ත්‍වයන්ගේ මෑණියන්ට සත්කාර පිණිස ආකාශයෙන් ස්ඵටික මාණික්‍යමය වූ ජලධාරාවෝ දෙදෙනෙක් අවුත් දෙදෙනාගේම ශරීරයේ සෘතුගන්වන්නාහ. හුදුජලධාරාවෝ මතුපහළවන්නාහූ නො වෙති. වැළි කුමක්වේද? යත්:- යටකියන ලද්දාවූ ප්‍රකාර ඇති පෘථිවිකම්පාදි වූ දෙතිස්පූර්වනිමිත්ත පහළවන්නේය.

මෙසේ පහළවූ නොයෙක් ආශ්චර්ය ඇති මහබෝසතාණෝ නැගෙනහිරදිග බලමින් මා හා සමාන කෙනෙක්වත් අධික කෙනෙක්වත් ලෝකයෙහි ඇද්දෝ නැද්දෝ හෝයි පරීක්‍ෂා කරන්නාහ. එසඳ නොයෙක් කෙළලක්‍ෂගණන් සක්වළ එකාඞ්යන වන්නේය. එහි දිව්‍යමනුෂ්‍යයෝ ගඳ-දුම්-මල්-පහන් ආදීන් පූජාකෙරෙමින් මහාපුරුෂයාණන්වහන්ස! මෙහි නුඹවහන්සේ හා සමාන කෙනෙකුන් නැත. එහෙයින් මෙහි නුඹවහන්සේට උත්තරිතරකෙනෙක් කොයින්දැයි අස්වසා කියන්නාහ. මෙසේ සතරදිගය, සතරඅනුදිගය, උඩය, යටය යි දසදික් බලා එයින් තමන් හා සමාන කෙනෙකුන් නොදැක මේ උත්තරදිශාභාගයයි නියම කොට සත්පියවරක් නඟා යන්නාහ.

එසඳ මහාබ්‍රහ්මයා දෙවෙනි පුන්සඳක් බඳුවූ සේසත් මුදුනට ධරා අල්වන්නාහ. සුයාම නම් දිව්‍යපුත්‍රයා වල්විදුනාව අල්වා සලන්නේය. එක්දිව්‍යපුත්‍රයෙක් රන්රුවන් කර්මාන්තකරණ ලද මඟුල්කඩුව අල්වන්නේය. එක් දිව්‍යපුත්‍රයෙක් රන්මිරිවැඩි සඟළ අල්වාගෙන යන්නේය. එක් දිව්‍යපුත්‍රයෙක් දිව්‍යමය වූ නළල්පට අල්වාගෙන යන්නේය. බෝධිසත්ත්‍වයෝ වූකලි තුමූ බාලකුමාරව සිට සොළොස් හැවිරිදි වයස් ඇති කෙනකුන්මෙන් ද, තුමූ නග්න තැනැත්තෝ කසීසළුහන්කෙනකුන් මෙන්ද, තුමූ නො සැරහුණු තැනැත්තෝ චක්‍රවර්තී අලඞ්කාරයෙන් සැරහුණු කෙනෙකුන් මෙන්ද, බිමන් යන තැනැත්තෝ ආකාශයෙන් යන කෙනෙකුන් මෙන්ද සියලු සත්ත්‍වයන්ට පෙනෙන්නාහ.

ඒ උත්තරදිශාභාගයෙහිත් නොයෙක් කෙළලක්‍ෂගණන් සක්වළ එක් එළී වන්නේය. ඉක්බිත්තෙන් එදිග මහාබ්‍රහ්මයා බ්‍රහ්මාභරණයෙන් සැරහී බඹ දුහුල්සළුවක් එකාංශකොට බහා දකුණු දනමඬල බිමහැන වම්දනමඬල ඔසවා සිටුවා එකඇඟිල්ලකින් දහසක් සක්වළ දසඇඟිල්ලෙන් දසදහසක් සක්වළ ආලෝකකරන්ට සමර්ථව මහානුභාව සම්පන්න වූයේ නොයෙක් දහස් ගණන් බ්‍රහ්මසමූහයා විසින් පිරිවරන ලදුව දොහොත්මුදුනෙහි පිහිටුවා නිදුකාණන් වහන්ස! සියලු දසදිග බැලීමෙන් ප්‍රයෝජන කිම්ද? අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා භවාග්‍රයෙහිාා පටන් අවීචිය දක්වා සරසින් අනන්තාපරිමාන සක්වළ නුඹ වහන්සේ හා සමවූත් අධිකවූත් කිසි සත්ත්‍වයෙක් නම් නැත්තේය යි කියන්නේය. එසමයෙහි මහබෝසතාණෝ සියලු සර්වඥවරයන්ට චාරිත්‍ර වූ උත්තමනාද සඞ්ඛ්‍යාත වූ සිංහනාද කෙරෙමින් සියලු ලොව එකනින්නාද කෙරෙමින් සියලු ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ කෙළවර ජාතිය ය, නැවත මට පුනරුත්පත්තියෙක් නැත්තේය යි” මෙසේ අභීතනාද පවත්වන්නාහ.

එසඳ සියලු දිව්‍යමනුෂ්‍යයෝ මහබෝසතාණන් අපමණ වූ පූජාසත්කාරයෙන් උදාරතර වූ ශ්‍රීසමෘද්ධියෙන් මහත්වූ උත්සවයෙන් කෙතුමතී නම් රාජධානියටම ගෙනයන්නාහ. ඒ මහබෝසතාණන්ට මවු වූ බ්‍රහ්මවතී නම් බැමිණිදේවි සත්වැනිදවස් කාලක්‍රියා කොට තුෂිතදිව්‍යලෝකයෙහි මහේශාක්‍ය වූ දිව්‍යපුත්‍ර ව උපදනාහ. මෙසේ ඒ මෛත්‍රෙයබෝසතාණෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි ඉපද අනන්තාපරිමාණ වූ මහපිරිවරින් අනන්ත වූ යසසින් මහත්වූ ශ්‍රීසෞන්දර්යයෙන් දිව්‍යකුමාරයකුමෙන් වැඩිවිය පැමිණෙන්නාහ.

ප්‍රාසාද සම්පත්තිය

මෙසේ ඒ මහාපුරුෂයාණන්ගේ උත්පත්තිය දක්වා දැන් උන්ගේ ප්‍රාසාදසම්පත්ති ආදිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ

“සිරිවඩ්ඪො වඩ්ඪමානො ව සිද්ධත්‍ථො චෙව වන්‍දකො

අජිතස්සත්‍ථාය උප්පන්නා පාසාදා රතනාමයා”

යනාදීන් මෙසේ වදාළසේක.

කෙසේද? යත්:-

එකල අජිත නම් මහාබෝධිසත්ත්‍වයන්ගේ කුශලානුභාවයෙන් පොළොව පලාගෙන නැංගා වූ ශෝභාවෙන් බබළන්නා වූ වර්ධමානය, සිද්ධාර්ථය, චන්‍දකය යන ප්‍රාසාදයන් තුන්දෙනා අතුරෙන් එකි එකී ප්‍රාසාදයෙක් සත්සත් මහල් වන්නේය. එකි එකී මාලයෙක ස්වර්ණමයවූ රජතමයවූ, ප්‍රවාලමයවූ ස්ඵටික මාණික්‍යමය වූ, ලෝහිතඞ්කමාණික්‍යමය වූ, මසාරගල්ලමාණික්‍යමයවූ, සර්වරත්නමය වූ කෙළලක්‍ෂයක් කුළුගෙවල් වන්නේය. එකි එකී ප්‍රාසාදයෙක් සත්රුවන් පවුරුවළලු සතකින් වටකරණ ලද්දේය. ඉන් එක් පවුරුවළල්ලක් රත්නමයය, එකෙක් රිදීමයය, එකෙක් ප්‍රවාලමයය, එකෙක් පිළිවහනමයය, එකෙක් ලොහිතඞ්කමයය, එකෙක් මැසිරිගල්මයය, එකෙක් සත්රුවන්මයය.

එහි සත් සත් තොරණ පෙළ වන්නේය. ස්වර්ණමය ප්‍රාකාරද්වාරයෙහි රජතමය තොරණපඞ්ක්තිය වන්නීය. රජතමය ප්‍රාකාරද්වාරයෙහි ස්වර්ණමය තොරණපඞ්ක්තිය වන්නීය. ප්‍රවාලමය ප්‍රාකාරද්වාරයෙහි ස්ඵටිකමාණික්‍යමය තොරණ පඞ්ක්තිය වන්නීය. ස්ඵටික මාණික්‍යමය ප්‍රාකාරද්වාරයෙහි ප්‍රවාලමය. තොරණපඞ්ක්තිය වන්නීය. ලොහිතඞ්කමාණික්‍යමය ප්‍රාකාරද්වාරයෙහි මසාරගල්ල මය තොරණපඞ්ක්තිය වන්නීය. මසාරගල්ලමාණික්‍යමය ප්‍රාකාරද්වාරයෙහි ලොහිතඞ්කමාණික්‍යමය තොරණ පඞ්ක්තිය වන්නීය. සර්වරත්නමය ප්‍රාකාරද්වාරයෙහි සර්වරත්නමය. තොරණපඞ්ක්තිය වන්නීය. හාත්පසින් සත්රුවන්මය යටග නොයෙක් පැහැඇති විසිතුරු ධ්වජපතාකා ලෙළෙමින් ප්‍රාසාදය සරහමින් බබළමින් සිටිනාහ. සර්වරත්නමය වූ කිඞ්කීණික ජාලාවෝ හාත්පසින් සත්රුවන්මය පළසෙවෙනිමුවවිට එලෙන්නාහු දිව්‍යවූ පඤ්චාඞ්ගිකතූර්යනාදයක් හා සමාන වූ මධුරනාද පවත්වමින් සිටිනාහ. ඒ සත්රුවන්මය වූ රසුදැල්හඬින් හා ධජපතාකාවල බඳනාලද රත්රුවන් මිණිහඬින් සියලු නුවරවැසි සත්ත්‍වයෝ රෑදාවල් දිවපසඟතුරු රැව්හඬින් කුල්මත්වෙමින් වෙසෙසින් සතුටුව සිත්අලවන්නාහ.

ඒ ප්‍රාසාදවලින් නික්මෙන්නාවූ ආලෝකය සූර්යරශ්මිජ්වාලාලෝකයක් මෙන් බබළන්නේය. ඒ ආලෝකයෙන් විශේෂවත් ව බබළන්නා වූ ප්‍රාසාදයෝ දිලියෙන තල්වන, හුනවන, බටවන ආදිය මෙන් දිලියෙමින් සිටිනාහ. ප්‍රවාල, ඉන්‍ද්‍රනීල, ස්ඵටික ලොහිතඞ්කාදිමය වූ දහස්ගණන් කුළුගෙවලින් සියදහස්ගණන් දෙවිදුන්නෙන් වළඳනා ලද රත්නකූටපර්වතශ්‍රීන් බබළන්නාක් මෙන් වන්නාහ.

ඒ ප්‍රාසාදයන්ගේ භිත්තිවල හාත්පසින් ඉන්‍ද්‍රනීලමාණික්‍යයෙන් විචිත්‍ර වූ තාලපංක්තිය, සර්වරත්නමය මකරපංක්තිය, සිංහපංක්තිය, ව්‍යාඝ්‍රපංක්තිය, හස්තිපංක්තිය, අශ්වපංක්තිය, දිවිවළස් ආදි ව්‍යාලරූපපංක්තිය, රථපංක්තිය, මයූරපංක්තිය, හංසපංක්තිය, කොස්ලිහිණිපංක්තිය, බලාකාපංක්තිය, ගිජුලිහිණිපංක්තිය, ගරුඬපංක්තිය, නාගපංක්තිය, දේවපංක්තිය, බ්‍රහ්මපංක්තිය, ලතාපංක්තිය, වෘක්‍ෂපංක්තිය, පර්වතකූටපංක්තිය, ගඞ්ගා යමුනාදි ගඞ්ගාපංක්තිය, අනවතප්තාදි විල්පංක්තිය, මරාවන්මුහුදු, පබළුවන්මුහුදු ආදි සමුද්‍රපංක්තිය, රන්රිදීපබළුවන් වැව්පංක්තිය, කෙතුමතී ආදි නගරපංක්තිය, දෙව්දුනුබඳු රත්නිල් ආදි පස්වණක් පැහැයෙක් දිලියෙන පට්ටිකාපංක්තිය යනාදී විචිත්‍ර රූපපංක්තීහු මනාව විභාශවත්ව පිහිටියාහු වන්නාහ. නිරන්තරයෙන් දිවමල් වැසි වස්නේය. ඒ ප්‍රාසාදවල එකි එකී මාලෙක සත් දහසක් සත්දහසක් ගබඩා වන්නේය. මනාකොට සරහා පිළියෙල කරන ලද වෛඩූර්යමාණික්‍යමය වූ සද්දහසක් සද්දහසක් සිංහාසන වන්නේය. රුවන්මය පුඩුඇති සත්රුවන්මය වූ සත්දහසක් සත්දහසක් ධවලාතපත්‍ර වන්නේය. සතරගුලෙන් දික් ලොම් ඇති කොඳුපලස් අතුළ එළුලොම්මය සුදුඇතිරි අතුළ එසේම එළුලොම්මය රන්ඇතිරි අතුළ සිංහාදී රූපයෙන් විසිතුරු ඇතිරි අතුළ ඝනපුප් ඇතිරි අතුළ එක්පිටෙක ලොම් ඇති ඇතිරි අතුළ දෙපිට ලොම් ඇති ඇතිරි අතුළ රන්කම්කළ මාහැඟි ඇතිරි අතුල නොයෙක් පැහැයෙන් බබළන්නා වූ සද්දහසක් සද්දහසක් ශ්‍රී යහන් වන්නේය.

සත්රුවන් කර්මාන්තයෙන් විසිතුරු වූ මිටිඇති කොන්ත සද්දහසක් සද්දහසක් වන්නේය.

එකි එකී ප්‍රාසාදයක් සමීපයෙහි වටකොට ඡද්දන්ත නම් හස්තිරාජයා ප්‍රධාන කොට ඇති සද්දහසක් සද්දහසක් හස්තීහු සියලු හස්ත්‍යලඞ්කාරයෙන් සරහණලදුව මුදුනෙහි බඳනාලද රන්ධජ, රිදීධජ ආදිය ඇතිවැ රන්දැලින් පිට වසන ලදුව සත්රුවන්මය සන්නාහයෙන් සන්නද්ධව සැරහී සිටිනාහ.

එසේම වළාහක නම් අශ්වරාජයා ප්‍රධාන කොට ඇති ස්වර්ණාලඞ්කාරයෙන් සැරහුනා වූ සත්රුවන්මය සන්නාහයෙන් සන්නද්ධ වූ ආජානීය සෛන්‍ධව වූ සත්දහසක් සද්දහසක් අශ්වයෝ සැරහී සිටිනාහ.

එසේම සත්රුවන්මය වූ නගනලද රන්ධජ, රිදීධජ ඇති සියලු රථාලඞ්කාරයෙන් සැරහුනා වූ බාලාර්කමණ්ඩලයන් හා සමානවූ තමන් තමන්ගේ ආලෝකසමූහයෙන් සියලු ප්‍රාසාදය ගලා පියන්නක් වැනිවූ සද්දහසක් සද්දහසක් රථයෝ සැරහී සිටිනාහ. එකිළු කී මාලෙක දිව්‍යප්සරාවන් හා සමානවූ සියලු ස්ත්‍රී ආභරණයෙන් සැරහුනා වූ නැටීම්-ගීකීම්-බෙරවැයීම් ආදියෙහි දක්‍ෂ වූ හාවභාවලීලාකටැක්‍ෂමන්‍දස්මිතයෙන් යුක්ත වූ ආතත විතතාදි පඤ්චාඞ්ගිකතූර්යභාණ්ඩයන් ගන්නාලද අත් ඇති උභයකුලපරිශුද්ධ උත්තමවංශයෙහි උපන්නා වූ සද්දහසක් සද්දහසක් නාටකස්ත්‍රීහු සැරහී සිටිනාහ. ඔවුන් හැමදෙනාට ප්‍රධානවූ අගමෙහෙසුන් බිසවු චන්‍දමුඛි නම් වන්නාහ.

ඒ චන්‍දමුඛී නම් බිසවු විශිෂ්ට වූ රූපශ්‍රී ඇත්තාහ. දර්ශනීය වෙති, බැලුවන්ට ප්‍රසාද එළවති, උතුම් වූ වර්ණසෞන්‍දර්යයෙන් සමන්විත වෙති, ඉතා උස් නො වෙති, ඉතා මිටි නො වෙති, ඉතා දුර්වල නොවෙති, ඉත් ස්ථූල නොවෙති. ඉතා කැළි නොවෙති. ඉතා එළෙලි නො වෙති, මනුෂ්‍යරූපය ඉක්ම සිටිනාහ, දිව්‍යරූපයට නො පැමිණෙන්නාහ. ඒ බිසවුන්ගේ ශරීරයෙන් සඳුන්සුවඳ වහනය වන්නේය, මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්නේය, ශරීරාලෝකය දොළොස්රියනෙක පැතිර සිටිනේය. කපුපුළුන් ඉඹුල්පුළුන් සේ මොළොක් සුවපහස් ඇති ශරීරස්පර්ශ වන්නේය. කෙසකල්‍යාණය-අට්ඨිකල්‍යාණය-මංසකල්‍යාණය-ඡවිකල්‍යාණය-වයකල්‍යාණය යන මේ පඤ්චකල්‍යානයෙන් සමන්විත වන්නාහ. එම ජන්මයෙහි රහත් ව නිවන් දක්නට සුදුසු කුසල් ඇතිහෙයින් පශ්චිමාත්මභාව ඇතිවන්නාහ. ඒ මහබෝසතාණන්ගේ පුතණුවෝ බ්‍රහ්මවර්ධන කුමාර නම් වන්නාහ. ඒ කුමාරයෝත් අපගේ සර්වඥයන් වහන්සේට පුත්‍රවූ රාහුල කුමාරයන් මෙන් පිරූ පාරමිතා ඇතිව ඉහාත්මභාවයෙහි රහත්ව නිවන් දක්නට සුදුසු පින් ඇතිහෙයින් පශ්චිමභවික වන්නාහ. ඒ බ්‍රහ්මවර්ධන කුමාරයන් ප්‍රධාන කොට ඇති දහසක් පුත්‍රයෝ වන්නාහ.

එකි එකී ප්‍රාසාදයෙහි යොදනක් යොදනක් පමණ දිග පුළුල ගැඹුර ඇති නිධානසැළ සතරක් ඇර ගත්තැන් පිරෙන බැවින් සැළකටින් සත්රුවන් වමාරන්නාක් මෙන් පිරී ඉතිර සිටින්නේය. ඒ ප්‍රාසාදවල සතර සතර කොණ කප්රුක් සතරෙක් පොළොව පලාගෙන නැගී නොයෙක් වස්ත්‍ර නොයෙක් ආභරණ නොයෙක් උපකරණාදියෙන් බබළමින් සැරහී සිටිනේය.

එකි එකී ප්‍රාසාදයෙක මහබෝසතාණෝ තුමූ දිව්‍යකුමාරයක්හු මෙන් සර්වාභරණයෙන් සරහා පිළියෙල කරනලද ශරීර ඇත්තාහු එසේම සර්වාභරණයෙන් සැරහුනා වූ උපමාවියොතික්‍රාන්ත වූ රූපසෞන්දර්යයෙන් යුක්තවූ ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුව අවුරුදු දහසක් අවුරුදු දහසක් සම්පත් අනුභව කෙරෙමින් වාසය කරන්නාහ.

එසමයෙහි අජිත නම් මහබෝසතාණන්ගේ කුශලානුභාවයෙන් මෙහෙයන ලද්දාවූ සියලු ජම්බුද්වීපයෙහි කෙතුමතී නම් රාජධානිය ප්‍රධාන කොට ඇති සුවාසූදහසක් රාජධානිවල රජ දරුවෝද, ශඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන් හා සමග අවශේෂ දිව්‍යමනුෂ්‍යයෝ ද, මහබෝසතාණන් කරා එළඹ නිදුකාණන් වහන්ස! අපි හැම නුඹවහන්සේට අත් පා මෙහෙවර කරනු කැමැත්තම්හ යි කියා මුහුණ බල බලා සිටිනාහ.

එසඳ මහබෝසතාණෝ අපට වෙය්‍යාවත් කරන්නෝ වෙති. තෙපි සැම තොප තොපගේ වාසස්ථානවලට ම යවයි ඒ රජ දරුවන් ආදිවූ දිව්‍යමනුෂ්‍යයන් තමන් තමන්ගේ වාසස්ථානවලටම යවන්නාහුය. එසමයෙහි මහාබෝධිසත්ත්‍වයන් හා සමග දිව්‍යලෝකයෙන් චුතව අවුත් කෙතුමතී නම් රාජධානියෙහි ඒ ඒ උතුම් වූ කුලවල උපන්නාවූ අටළොස් කෙළක් පමණ දිව්‍ය පුත්‍රයෝ බෝධිසත්ත්‍වයන්ට අමාත්‍යමණ්ඩල වන්නාහ.

මහබිනික්මන

මෙසේ ඒ ප්‍රාසාද-නාටක-පරිවාර සමෘද්ධිය දක්වා දැන් ඒ මහබෝසතාණන්ගේ මහාභිනික්මන් දක්වන්නාවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ:-

“රමිස්සති රති සම්පන්නො මොදමානො මහාසුඛො,

අනුභවිත්‍වා යසං සබ්බං නන්‍දනෙ වාසවො යථා”

යනාදීන් මෙසේ වදාළසේක. කෙසේද? යත්:-

මෙසේ අතිශයින් සමෘද්ධ වූ මහායුගයෙහි සම්පූර්ණ වූ පාරමිතා ඇති අජිතකුමාරයෝ ගිහිගෙයි සිට දිව්‍යපඤ්චකාමරතිය ඉක්මවන්නාක් වැනි වූ මනුෂ්‍යකාමරතියෙහි මස්තකප්‍රාප්ත වූ පඤ්චකාමකොට්ඨාසයෙහි ඇල්මෙන් යුක්තව එම කාමරතියෙන් සතුටුව සර්වඥතාඥානයෙන් පිරිසිඳ කියන්ට නො පිළිවන් වූ සැපයට පිහිටවූ බොහෝ සැපයට සුදුසු වූ උපකරණ අතුරුනැතිව උපදනාහෙයින් මහත්වූ කායික චෛතසික සැපයෙන් සිත් අලවා බොහෝ කලක් වාසය කොට නන්‍දනොද්‍යානයෙහි දිව්‍යඓශ්චර්ය අනුභව කරන්නාවූ වාසව සඞ්ඛ්‍යාත ශක්‍රදේවේන්‍ද්‍රයන් පරිද්දෙන් සියලු දිව්‍යලෝක මනුෂ්‍යලෝකයන් එකතැනට රැස්කොට ලූවාක් වැනිවූ මහත්වූ සම්පත්, මහත්වූ යසස්, අපමණවූ ශ්‍රී සමෘද්ධිය අනුභව කෙරෙමින් අටදහසක් අවුරුදු මුළුල්ලෙහි ගිහිගෙයි වැස චන්‍ද්‍රමුඛී නම් අගමෙහෙසුන් බිසවුන් බ්‍රහ්මවර්ධන නම් පුත්රුවන වැදූදා නුවණ මිහිකිරීමෙන් කල්පිරුණු කල්හි එක්දවසක් මහපෙරහරින් මහත්වූ ආනුභාවයෙන් දිව්‍යවිමානයක් සේ සශ්‍රීක වූ උතුම් රථයකට පැන නැගී උයන්කෙළියට යන්නාහු දෙවියන් විසින් මවා පානලද ජරාජිණී රූපයක් දැක යෞවනමදය හැර කලකිරුණා වූ සිත් ඇති බෝධිසත්ත්‍වයෝ උයන් කෙළියට නොගොස් එතන සිටම පෙරළා නුවරට අවුත් නැවතත් එක්දවසක් උයන් කෙළියට යන්නාහු පඤ්චකාමරතිය නැසීමට කාරණවූ ව්‍යාධිරූපයක් දැක ආරොග්‍යමදය දුරුකොට උයනට නොගොස් පෙරළා නුවරට අවුත් නැවතත් එක්දවසක් උයන්කෙළියට යන්නාහු එසේම දෙවියන් විසින් මවාපානා ලද මෘතරූපයක් දැක ජීවිතමදය සැර වජුපර්වතයෙහි දක්නාලද රන්ධ්‍රයක් මෙන්ද, අලුතපිපි උතුම් රත් පියුමෙක දක්නාලද නිශ්‍රීකයක් මෙන්ද සූර්යවිමානයෙහි දක්නාලද අන්‍ධකාරයක් මෙන්ද, ශරත්කාලයෙහි නිර්මල වූ සම්පූර්ණ චන්‍ද්‍රමණ්ඩලයෙහි දක්නාලද අසෞම්‍යබවක් මෙන්ද, දිව්‍යබ්‍රහ්මවිමානයෙහි දක්නාලද මලමූත්‍රයක් මෙන්ද තමන්ගේ ශ්‍රීසමෘද්ධියෙහි දක්නා ලද විපිළිසර ඇත්තාහු නන්‍දනවනයෙහි උකටලී වූ දිව්‍යපුත්‍රයක්හු මෙන්ද, වස්තුකාමක්ලේශකාමයෙහි ආදීනව දැක්මෙන් තමන්ගේ ශ්‍රී සමෘද්ධියෙහි කලකිරී නැවත එක්දවසක් උයන්කෙළියට යන්නාහු ආකාශයෙහි දෙවියන් විසින් දක්වනලද ප්‍රව්‍රජ්‍යා සැපයෙන් සුඛිත වූ ශ්‍රමණරූපයක් දැක ඊට අභිනන්‍දනය කොට මහණවීමෙහි අභිප්‍රාය උපදවා උයන්කෙළි කෙළ දෙවියන් විසින් සරහා පිළියෙල කරන ලදුව නුවරට වැද ප්‍රාසාදයට පැනනැගී සියලු සත්ත්‍වයන් විසින් අනුභවකරන්නාවූ සංසාර දුඃඛය දැක කරුණාවෙන් කම්පිතවූ සිත් ඇති හෙයින් මහාකාරුණිකවූ තෘෂ්ණාච්ඡන්‍දය දුරුකළාවූ සසර කළකිරුණාවූ ඒ මහබෝසතාණෝ සියලු ධර්මයන් අතුරෙන් එක ධර්මයකුත් මේ නිර්වාණධර්මයට උත්තරීතර නොවන හෙයින් නිරුත්තරවූ නිර්වාණය නිසා සකලක්ලේශයන් සන්හිඳෙන හෙයින් ශාන්තිකරවූ සර්වඥයන් ප්‍රධාන කොට ඇති සියලු මහෝත්තමයන්ට පිහිටවූ නිර්වාණධර්මය සොයමින් සියලු බෝධිසත්ත්‍වවරයන්ට ධර්මතාවූ මහභිනික්මන් නික්මෙන්නාහ.

ප්‍රව්‍රජ්‍යාව හා දේවෝපස්ථාන

මෙසේ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ මහබිනික්මන් දක්වා දැන් උන්වහන්සේගේ ප්‍රව්‍රජ්‍යාව දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“සත්තාහං පධානචාරං චරිත්‍වා පුරිසුත්තමො,

පාසාදෙනෙ’ච නෙක්ඛම්මං නික්ඛමිස්සති සො ජිනො”

යනාදීන් මෙසේ වදාළ සේක.

ඒ අජිත නම් මහබෝසතාණෝ උයන්කෙළියට නික්මුණු සතරද්වාරයෙන් කෙළවරදවස් ප්‍රව්‍රජිතරූපය දැක හටගත්තාවූ මහණවීමෙහි බලවත් අභිලාෂ ඇතිව ප්‍රාසාදයේ මතුමාල්තලයෙහි ශ්‍රීයහන්ගබඩාවෙහි සද්දවසක් මුළුල්ලෙහි මහාවීර්ය කොට මාගේ ශරීරය මහණවීමට සමර්ථදෝ හෝ අසමර්ථදෝ හෝ යි පරීක්‍ෂාකරන පිණිස කලට සුදුසුවූ ප්‍රව්‍රජ්‍යාවට යොග්‍යවූ කිසියම්දුකක් අනුභවකෙරෙමින් සතියක් මුළුල්ලෙහි ප්‍රධන්සැරිසරා මැණික්ගුහායෙක්හි පවා උකටලී වූ කේසරසිංහරාජයක්හු මෙන් උක්තප්‍රකාර සකලඓශ්චර්යයෙන් සමෘද්ධවූ රත්නප්‍රාසාදවල උකටලී වූ පුරුෂොත්තමවූ මහබෝසතාණෝ මහභිනික්මන් නික්මෙනු කැමැති වන්නාහ.

ඉක්බිත්තෙන් ඒ මහබෝසතාණන්ගේ චිත්තොත්පාදානුභාවයෙන් සියලු දසදහසක් සක්වළ දේවතාවෝ එකෙණෙහි මේ සක්වලට රැස්වන්නාහ. සියලු රාජධානි හා සියලු ජම්බුද්වීපය අජිතකුමාරයෝ අද මහභිනික්මන් නික්මෙන්නාහුය යි එක කෝලාහල වන්නේය.

එකෙණෙහි ශඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවෝ සුවාසුදහසක් නාටකස්ත්‍රීන් හා අවශේෂ සිව්රඟසෙනඟින් පිරිවරන ලදුව අවුත් ප්‍රාසාදය පිරිවරා සිටිනාහුය.

අවශේෂ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර උපාසක උපාසිකාවරුන් හා යටකියන ලද ක්‍රම ඇති නුවරවැසි, දනව්වැසි සත්ත්‍වයන් හා මෛත්‍රියෙන් ගැලපුනු දූරසම්බන්‍ධ මිත්‍රයන් සියලු කාරියෙහි නියුක්ත අමාත්‍යයන් ආසත්තසම්බන්‍ධ ය හළුවන් නං මල්බෑ මයින් ආදි සාලොහිත බන්‍ධූන් දූරසම්බන්‍ධ අවශේෂ නෑයන් ආදිවූ නොයෙක් ජනසමූහයා සුවඳමල් සුවඳසුණු සුවඳදුම් ධජ-පතාක-කෙහෙල්ගස්-පුනකළස්-පුන්පා මල් ඇගෑ මල් මාලා-මල්කරඬු ආදිය ගත් අත් ඇතිව පිරිවරා ගන්නාහ.

ආකාශයෙහි දේවතාවෝ සැණවෙස්ගෙන දිවමල් දිවසුවඳ ආදිය ගත් අත් ඇතිව සාදුකාරනාදයෙන් හා දිව්‍යගන්‍ධර්ථ නිර්ඝොෂයෙන් අකනිටාබ්‍රහ්මලෝකය දක්වා එතනින් නාද කෙරෙමින් සිටිනාහ. චක්‍රවාටපර්වත අකනිෂ්ටභවනාදියෙහි සිටියාවූ දෙවියන් විසින් රන් රිදී, මැණික්, පබළු, පිළිවහන, ලොහිතඞ්ක, මසාරගල්ල, සත්රුවන්මය කරඬුවලින් දමනලද සුවඳ මල් සුවඳ සුණු ආදියෙන් මුළුලොව අතුරු නැතිව වස්නා ඝන වර්ෂායෙන් මඬනාලද්දාක් මෙන් වන්නේය. එකෙණෙහි සත්රුවන් ප්‍රාසාදය පොළොවින් අහසට නැඟෙන්නාවූන ස්වර්ණහංසරාජයකු මෙන් බෝධිසත්ත්‍වයන් හා අග්‍රමහිෂිකා, නාටකස්ත්‍රීන් ආදීන් විසින් සම්පූර්ණවම ආකාශයට පැන නැඟෙන්නේය.

එකෙණෙහි සියලු පර්ෂත් මහබෝසතාණන්ගේ කුශලානුභාවයෙන් හා චක්‍රවර්තිරජ්ජුරුවන්ගේ රාජානුභාවයෙන් හා දෙවියන්ගේ දේවතානුභාවයෙන් ආකාශයට පැනනැඟෙන්නාහ. යම් යම් කෙනෙක් මහබෝසතාණන් හා සමඟ යනු කැමැති වෙද්ද ඒ ඒ සත්ත්‍වයෝ ආකාශයෙහිදී තමන් තමන් දක්නාහ. මහාබ්‍රහ්මයා තුන්යොදනක් පමණ ධවලච්ඡත්‍රය මස්තකයට දරන්නේය. ශක්‍රදේවේන්‍ද්‍රයෝ එක්සිය විසිරියන් ජයතුරායක තුඩතබා පිඹිනාහ. සුයාම නම් දිව්‍යපුත්‍ර වල්විදුනාව ගෙන සලමින් සිටිනේය. සන්තුෂිත නම් දිව්‍යපුත්‍ර මැණික්තල්වැටක් ගෙන සලන්නේය. පඤ්චසිඛගන්‍ධර්ව නම් දිව්‍යපුත්‍ර බෙලුවපාණ්ඩු වීණාව ගෙන ගායනා කෙරෙමින් සිටිනාහ. සතරදිග කඩුගත් අත් ඇතිව වරම්රජදරුවෝ රකවල් ගෙන සිටිනාහ. දිවසුවඳ මල් පිරුණු රන් රිදී මැණික් කරඬු ආදිය ගත් අත් ඇතිව දෙතිස් දිව්‍යාඞ්ගනාවෝ පූජාකෙරෙමින් සිටිනාහ. නොයෙක් දිග කඩුගත් අත් ඇති යක්‍ෂසේනාධිපතීහු රකවල් ගෙන සිටිනාහ. හාත්පසින් දිව්‍යවූ රන්ධජ රිදීධජ ආදිය අතින් අල්වාගෙන අසුරයෝ සිටිනාහ. මිණිදඬුවැටපහන් අතින් ගෙන දිව්‍යනාගරාජයෝ සිටිනාහ. ස්තුතිගායනා කෙරෙමින් දිව්‍යගරුඩරාජයෝ සිටිනාහ. මධුරස්වරයෙන් ගායනා කෙරෙමින් කිම්පුරුෂ කින්නරාඞ්ගනාවෝ සිටිනාහ. දිවනැටුම් නටමින් ගන්‍ධර්වදිව්‍යපුත්‍රයන් හා දිව්‍යාඞ්ගනාසමූහයෝ දසදිග සිටිනාහ.

මෙසේ මෙබඳුවූ ශ්‍රීසෞභාග්‍යයෙන් සමෘද්ධවූ දිව්‍යමනුෂ්‍යාදි පර්ෂදින් පිරිවරන ලදුව මහබෝසතාණෝ පර්වතයන්ගේ නැටීමෙන් හා ඇතුන්ගේ කුඤ්චනාදයෙන් හා අශ්වයන්ගේ හේසාරවයෙන් හා සිංහයන්ගේ සිංහනාදයෙන් හා ව්‍යාඝ්‍රයන්ගේ නාදපවත්වා මැළිඇඹීමෙන් හා හංසයන්ගේ තුෂ්ටිරාවයෙන් හා දෙවියන්ගේ සාදුකාරනාදයෙන් හා අසුරයන්ගේ ස්තුති ඝෝෂයේ හා බ්‍රහ්මයන්ගේ අත්පොළසන්දීමෙන් හා එක නින්නාද එකනිර්ඝෝෂවූ ආකාශය සරහමින් ප්‍රාසාදයෙන් ගොස් බෝමඬ සමීපයට පැමිණෙන්නාහුය. ඒ ප්‍රාසාදය බෝධිමණ්ඩල සමීපයෙහි ආකාශයෙන් බැස සිත්කලුවූ භූමිප්‍රදේශයෙහි පිහිටන්නේය. එකෙණෙහි මහාබ්‍රහ්මයා දිව්‍යමය අටපිරිකර ගෙන එතනට පැමිණෙන්නේය.

එසඳ මහබෝසතාණෝ ප්‍රාසාදයෙන් බැස රන්කරඬුවෙන් මුහුළු සහිත කෙස්වැටිය කපා ආකාශයට දමා මහාබ්‍රහ්මයා අතින් අටපිරිකර පිළිගෙන ප්‍රාසාදද්වාරයෙහිදී මහණවන්නාහ.

පර්‍ෂත් සම්පත්ති

මෙසේ ඒ මහාපුරුෂයාණන් වහන්සේගේ ප්‍රව්‍රජ්‍යාව දක්වා දැන් උන්වහන්සේට අනුව මහණවන පර්ෂත් දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“චතුරාසීති සහස්සානි බ්‍රාහ්මණා වෙදපාරගා,

මෙත්තෙය්‍යස්මිං පබ්බජිතෙ පබ්බජිස්සන්ති තෙතදා”

යනාදීන් මෙසේ වදාළ සේක.

එසමයෙහි ඒ මෛත්‍රෙය බෝධිසත්ත්‍වයන් මහණවූදවස්ම සෘග්වෙදයයජුර්වෙදය-සාමවෙදය-යන වෙදත්‍රයෙහි පරතෙරට පැමිණියාවූ සුවාසූදහසක් බ්‍රාහ්මණයෝ බෝධිසත්ත්‍වයන්ට අනුව මහණවන්නාහ. ඉසිදත්තය-පුරාණය යන බ්‍රාහ්මණකුමාරවරු දෙබෑකෙනෙක් සුවාසූදහසක් සුවාසූදහසක් පිරිවරගෙන මහණවන්නාහ. ජිතමිත්‍රය-විජයය යන ප්‍රඥාවන්තයෝ දෙදෙනෙක් අග්‍රධර්මදේශනාවෙහිදීම ආර්යමාර්ගප්‍රඥාව ප්‍රතිවේධකරන්ට සමර්ථවූ සුවාසූදහසක් සුවාසූදහසක් පිරිවරගෙන මහණවන්නාහ. සිද්ධාර්ථ නම් සිටාන කෙනෙක් සුවාසූදහසක් උපාසකපර්ෂත් හා සමග මහණවන්නාහ. සුධනා නම් උපාසිකා කෙනෙක් සුවාසූදහසක් උපාසිකා පර්ෂත් හා සමග මහණවන්නාහ. යසවතීය-විශාඛාය යන ප්‍රසිද්ධ යෙහෙළියෝ දෙදෙනෙක් සුවාසූදහසක් සුවාසූදහසක් ස්ත්‍රීපර්ෂත් පිරිවරා මහණ වන්නාහ. තවද අන්‍යවූ නුවරවාසී ජනපදවාසී සත්ත්‍වයෝද, රජ-බමුණු-වෙළඳ-ගොවි සතරපක්‍ෂයෙහි බොහෝ සත්ත්‍වයෝද, නොයෙක් ජාති ඇති අවශේෂ මහජනයෝද නෛෂ්කර්ම්‍යයට නම්නවූ සිත් ඇතිව එසමයෙහි ඒ මෛත්‍රෙය බෝධිසත්ත්‍වයන්ගේ ශාසනයෙහි බෝධිසත්ත්‍වයන්ට අනුව මහණ වන්නාහ.

බුද්ධත්වයට පත්වීම

මෙසේ මහාපුරුෂයාණන් වහන්සේගේ මහණවීම හා උන්වහන්සේට අනුව මහණවන පර්ෂත් දක්වා දැන් උන්වහන්සේගේ බුදුවීම දක්වන්නා වූ තිලෝගුරු සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ:-

“යස්මිං ච දිවසෙ ධීරො නෙක්ඛම්මං අභිනික්ඛමි,

නික්ඛන්තදිවසෙ යෙව බෝධිමණ්ඩං උපෙහි සිති”

යනාදීන් මෙසේ වදාළසේක.

ඒ මහාපුරුෂයාණෝ මහණව ප්‍රාතිමෝක්‍ෂසංවරශීලාදි සියලු සිල් ඉටාගැන්මෙන් සංවරසමාදානය කොට භඞ්ගායෙහි ගැලී ජලස්නානය කිරීමෙන් ශරීරය සෘතුගන්වා චන්‍ද්‍රමුඛි නම් අගමෙහෙසුන් බිසවුන් විසින් දෙනලද දිව්‍යොජස් බැහූ මීකිරිපිඩු බත වළඳා නාගභවනයට යන පරිද්දෙන් රන්තලිය උඩුගංබලා හැර පුෂ්පඵලපල්ලවයෙන් සැරහුණාවූ වනලැහැබක දිවාවිහාර කොට සවස්වේලෙහි රන්වන් සුවඳමල් තුවටුවෙන් ගිලිහී සිව්ර මත්තේ වැටෙන්ට වන්කල්හි නාගසුපර්ණාදීන් විසින් මල්සුවඳ ආදියෙන් පූජාකරන්ට වන්කල්හි දසදහසක්සක්වළ සැලෙන්ට වෙව්ලන්ට පටන්ගත් කල්හි දෙවියන් විසින් සරහා පිළියෙල කරනලද මාර්ගයෙන් දිව්‍යබ්‍රහ්මසමූහයා විසින් පිරිවරන ලදුව ගොස් දක්‍ෂිණදිශාභාගයෙන් නාගශ්‍රීබෝධි සමීපයට පැමිණ තුන්යළක් පැදකුණුකොට පරීක්‍ෂා කරනලද අවිජහිත අචල ස්ථානයෙහි එක්තරා පුරුෂයක්හු විසින් එලවනලද හීතණ අට මිටක් පිළිගෙන අගඅල්වා සලා එකෙණෙහි පොළොව පළාගෙන පැනනැංගාවූ ඒ අපරාජිතපර්යඞ්කයට පැනනැගී මනාව පිහිටි නාග ශ්‍රී බෝකඳ පිටට කොට නැගෙනහිරට මුහුණ ලා මාගේ සම්, මස්, නහර, ඇට වියලී සුණුවිසුණුව ගියේ නමුත් බුදුවමිස මේ අස්නෙන් නොනැඟෙමියි යන චතුරඞ්ගසමන්වාගත වීර්යාධිෂ්ඨානය කොට විදුරස්න මුදුනේ හිඳිනාහ. එසමයෙහි වසවර්තිමාරයා තමාගේ දිව්‍යලෝකයෙහි සිටියේම මහාබෝධි සත්ත්‍වයන් උතුම් බෝධිපර්යඞ්කයට පැනනැගී සර්වඥතාඥානයට නොපැමිණ පර්යඞ්කය නොහරිමියි හුන්නවුන් දැක අජිත කුමාරයා මාගේ විෂය ඉක්මෙනු කැමැත්තේය. දැන් මම ඔහු මාගේ විෂය ඉක්මවිය නොදෙමියි මාරසේනාව ගෙන සක්වළ මුවවිටට බැස බලන්නේ මාහපුරුෂයාණන්ගේ ආනුභාවය හා මෛත්‍රීපිඩක් බඳුවූ ශ්‍රී මුඛය දැක භයින් වෙව්ලා පැරද තමාගේ දිව්‍යලෝකයටම යන්නේය.

එකෙණෙහි පනස්යොදුනක් පමණ ඇති සහස්‍රරස්මීන් හෙබියාවූ සූර්යමණ්ඩලය නිම්වළල්ලෙහි ගෙන සමුද්‍රයෙහි ගලන්නාවූ ස්වර්ණචක්‍රයක් මෙන් අස්තපර්වතයට යමින් සිටිනේය. උනුපණස්යොදුන් පමණ ඇති ප්‍රභාසමූහයා විහිදුවන්නාවූ චන්‍ද්‍රමණ්ඩලය සියලු චක්‍රවාටගර්භය ක්‍ෂීරසාගරයෙහි ගලන්නාක් මෙන්ද, නිම්වළල්ල අල්වාගෙන ආකාශපථයට නඟන්නාවූ රථචක්‍රයක් මෙන්ද, නැගෙහිර සක්වළ මුවවිටින් නැගෙමින් සිටිනේය.

දේව පූජා

එසඳ මහාබෝධිසත්ත්‍වයන් චක්‍රවාටමධ්‍යයෙහි තමන්ගේ රන්වන්වූ ශරීරාලෝකයෙන් ඒ ප්‍රදේශය රන්රසයෙහි ගලන්නාක් මෙන් බබුළුවමින් ඉඳිනාහුය. බ්‍රහ්ම-ශක්‍ර-සුයාම-සන්තුෂිතාදි දෙවියෝ මහබිනික්මන් නික්මෙන වේලෙහි මෙන් ධවලඡත්‍රය-විජයොත්තර ශඞ්ඛ-දිව්‍ය චාමර-දිව්‍යතාලවෘන්ත ගෙන සිටිනාහුය. සමහර දේවතා කෙනෙක් රන්තොරණමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් සත්රුවන්ඇගෑමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් ස්වර්ණකදලීමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් සත්රුවන්මය සිරිවසමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් චාමරමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් අඞ්කුශමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් මත්ස්‍යයුගල මාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් නන්දාවර්තමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් භද්‍රපීඨමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් ශඞ්ඛමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් කලසමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් පුෂ්පපාතිමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් පුෂ්පඝටමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් දුඹුළුසුණුසුමුගුමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් මිණිදඬුවැටප්‍රදීපමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් රජතාදාසමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් මාණික්‍යාදර්ශමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් සර්වරත්නාදර්ශමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් මාණික්‍යප්‍රදීපමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් ධජපතාකමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සමහර දේවතා කෙනෙක් කල්පවෘක්‍ෂමාලාවන් ගෙන පිරිවරා සිටිනාහ. සියලු දසදහසක් සක්වළ දේවතාවෝ මගුල් වෙස් ගෙන දිවනැටුම් දිවගී ආදිය පවත්වමින් සිටිනාහ. එසේම දිවසුවඳමල් සුවඳ සුණු සුවඳදුම් ආදියෙන් පූජාකරන්නාහ. සියලු ආකාශතලය මහත්වූ වැසිවර්ෂාවෙන් පිරීගියාක් මෙන් දිව සුවඳමල් වැස්සෙන් අතුරු නැතිවන්නේය.

එසඳ මහාපුරුෂයාණන් වහන්සේ චක්‍රවාටපර්වත නැමැති තිරයෙන් වටකරන ලද, තාරකා නැමැති මැණික්කර්මාන්ත කරන ලද, ආකාශ නැමැති වියන් ඇති, සකලරාත්‍රියෙහි දිලියෙන්නාවූ චන්‍ද්‍රමණ්ඩල නැමැති ප්‍රදීප ඇති, චක්‍රවාට ගර්භ නැමැති රත්න මණ්ඩප මධ්‍යයෙහි බොධිද්‍රැමනැමැති මරකතමාණික්‍යමය ඡත්‍රයෙකින් යුක්ත වූ වජ්‍රාසනමස්තකයෙහි නාටකස්ත්‍රීන් සහිත දිව්‍ය මනුෂ්‍යපර්ෂත් පිරිවරා වැඩහුන්සේක්ම ප්‍රථමයාමයෙහි පූර්වෙනිවාසානුස්මෘතිඥානය සමධිගම කොට මධ්‍යමයාමයෙහි දිව්‍යචක්‍ෂුරභිඥානය ප්‍රතිවෙධ කොට පශ්චිමයාමයෙහි ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදචක්‍රය, අනුලොම ප්‍රතිලොමාදි වශයෙන් සම්මර්ශනය කෙරෙමින් අරුණොද්ගමනවෙලායෙහි සියලු දසදහසක් සක්වල එකනින්නාදකොට දශබලචතුවෛශාරද්‍යාදි සියලු ගුණසමූහයෙන් හෙබියාවූ සර්වඥතාඥානය ප්‍රතිවෙධ කරන සේක.

එකෙණෙහි ප්‍රතිසන්‍ධිග්‍රහණයෙහි මෙන් දෙතිස් පූර්වනිමිත්ත පහළවන්නේය. සියලු දසදහසක් සක්වළ වටකොට අකුලා දමාලූ වල්වටක් මෙන්ද, ඝනකොට හසුරුවා බඳනාලද මල් කලබක් මෙන්ද, මනාකොට සරහන ලද මලස්නක් මෙන්ද, සරහා පිළිායෙල කරන ලද්දේ වන්නේය.

මෙසේ සියලු ලොව එකනින්නාද, එකනිර්ඝෝෂ කොට එකසාධුකාර, එකොත්සව, එකමඞ්ගල, එකශ්‍රීසෞන්දර්යයෙන් යුක්තකොට ප්‍රතිවෙධ කරන ලද සර්වඥතාඥාන ඇති ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ “අනෙකජාතිසංසාරං” යනාදීන් ප්‍රීතිවාක්‍ය පවත්වන සේක.

දම්සක් පැවතුන් සූත්‍රදේශනාව

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ සම්‍යක්සම්බෝධිය දක්වා දැන් උන්වහන්සේගේ දම්සක් පැවතුන් සූත්‍රදේශනාව දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“උපෙත්‍වා උය්‍යානවරං ඵුල්ලං නාගවනං ජිනො,

අනුත්තරං ධම්මචක්කං එවං සො වත්තයිස්සති”

යනාදීන් මෙසේ වදාළ සේක.

ඒ මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බොධිද්‍රම සමීපයෙහිම නොයෙක් කෙළලක්‍ෂගණන් සමාපත්තියට සමවදිමින් සත්සතිය ඉකුත් කොට අටවැනි සත්තාහයෙහි ධර්මහම්හීරත්‍වය ප්‍රත්‍යවෙක්‍ෂා කරණසේක් බ්‍රාහ්මාරාධනාව නිසා මුල පටන් අගදක්වා සර්වප්‍රකාරයෙන් පැළී පිපීගියාවූ මල් ඇති, නන්‍දනොද්‍යානය හා සමානවූ “ඉසිපතන” නම් නාගවනොද්‍යානයට වැඩ ශ්‍රමණ-බ්‍රාහ්මණ-දිව්‍ය-මාර-බ්‍රහ්මාදීන් විසින් නො පැවැත්විය හැකි උතුම් වූ දේශනාචක්‍රය පවත්වනසේක.

එසමයෙහි මනුෂ්‍යයේද, සියලු දසදහසක් සක්වළ දෙවියෝද බණ අසනු පිණිස රැස්වන්නාහ. මනුෂ්‍යපර්ෂද වටින් සියක් යොදනෙක පැතිර සිටිනාහ. දිව්‍යපර්ෂද සක්වළගබ පුරා සිටිනාහ. මෙබඳු වූ දිව්‍යමනුෂ්‍යපර්ෂත් මධ්‍යයෙහි වැඩහිඳ මෛත්‍රෙය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ:-

“දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං,

අරියං වඩ්ඪඞ්ගිකං මග්ගං දුක්ඛු පසමගාමිනං”

යනාදී ක්‍රමයෙන් දක්වන ලද දම්සක් පැවතුම් සූත්‍රදේශනාව කරණසේක. මෙසේ ත්‍රිපරිවර්තයක් ඇති, ද්වාදශාකාරයක් ඇති, දුඃඛසත්‍යය, සමුදයසත්‍යය, නිරොධසත්‍යය, මාර්ගසත්‍යය යන චතුරාර්යසත්‍යසඞ්ඛ්‍යාත නිරුත්තරවූ ධර්මචක්‍රය මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ යථොක්ත වූ දිව්‍යමනුෂ්‍යපර්ෂත් මධ්‍යයෙහි වැඩහිඳ පවත්වනසේක.

ඒ දම්සක් පවතුන් සූත්‍රදේශනාව කරණ සමයෙහි සත්ත්‍ව සන්තානගත කෙලෙස් නැමැති සතුරන් නසන හෙයින් ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ ඒ දම්සක් පවතුන් සූත්‍රදේශනාව කරන්නාවූ ස්ථානයට රැස්වූ හාත්පසින් සියක් යොදුනෙක පැතිර සිටියාවූ මනුෂ්‍යයන් අතුරෙන් කෙළලක්‍ෂයක් මනුෂ්‍යයන් ක්ලේශබන්‍ධනයෙන්, සංසාරබන්‍ධනයෙන්, භවබන්‍ධනයෙන් මුදා එකම දේශනාවෙන් සතරමග සතරඵලයට පමුණුවා අමාමහ නිවන් දක්වනසේක.

සක්වළගබ පුරා සිටි දෙවියන්ගෙන් මාර්ගඵල ලැබ අමාමහ නිවන් දුටු දෙවියෝ මෙතෙකැයි ගණන් නැත්තාහ.

චක්‍රවර්ති රාජ ප්‍රව්‍රජ්‍යාව

මෙසේ දම්සක් පවතුන් සූත්‍රදේශනාව දක්වා දැන් ශඞ්ඛනම් චක්‍රවර්තිරජ්ජුරුවන්ගේ ප්‍රව්‍රජ්‍යාව දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“තදා සො සංඛරාජාව පාසාදං රතනාමයං,

ජිනපාමොක්ඛසඞ්ඝස්ස නිය්‍යාදෙත්‍වා පුනංපරං”යි.

යනාදීන් මෙසේ වදාළසේක.

ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දම්සක් පවතුන් සූත්‍රදේශනාව කොට ලොකවිනයනය කරන්නාවූ කාලයෙහි ඒ ශඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවෝ තමන් බොහෝදවසක් විසූ පස්විසියො දුන් පමණ රත්නප්‍රාසාදය බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂුසඞ්ඝයා වහන්සේට පිළිගන්වන්නාහු සර්වඥයන් වහන්සේ ඒ ප්‍රාසාදයෙහි භික්‍ෂුසඞ්ඝයා වහන්සේ හා සමග සැපසේ වසන පිණිස මෙතැන් පටන් බුදුන්ට සඞ්ඝාරාම වන්නේය යි පිළිගන්වා එයින් මත්තෙහි දුගී මගී වනී යාචකයන්ට මහදන්දී නාටක ස්ත්‍රීන් සහිත අග්‍රමහිෂිකාවන් හා සමග මහත්වූ රාජානුභාවයෙන් හා අපරියන්ත වූ සේනාවාහනයෙන් යුක්තව අනූකෙළ දහසක් මනුෂ්‍යයන් හා සමග වහ වහා සම්‍යක් සම්බුද්ධ වූ සර්වඥයන් වහන්සේ කරා එළඹෙන්නාහ.

එසමයෙහි මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ විශිෂ්ඨවූ චතුස්සත්‍යධර්ම නැමැති භෙරිය දේශනාකිරීම් වශයෙන් පහරන සේක. චතුස්සත්‍යය ප්‍රකාශකරන්නාවූ ඒ අමෘතභෙරීශබ්දය අසා එසමයෙහි සඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන්ට සමීපචාරී සේවකවූ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර අමාත්‍යාදි ජනසමූහයා අතුරෙන් එකසත්ත්‍වයකුත් නොහැර ඒ සියලුම අනූකෙළදහසක් පමණ මනුෂ්‍යයන් හා එහි භික්‍ෂුභාවයෙන් පැවිදිවන්නාහ. එයින් වදාළහ බුදුහු:-

“අථ ඛො භික්ඛවෙ සංඛො රාජා යො සො යූපො රඤ්ඤාමහාපනාදෙන කාරාපිතො නං යූපං උස්සාපෙත්‍වා අජ්ඣාවසිත්‍වා දදිත්‍වා විස්සජ්ජෙත්‍වා සමණ බ්‍රාහ්මණ කපණද්ධික වනිබ්බක යාව කානං දානං දත්‍වා මෙත්තෙය්‍යස්ස භගවතො සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච්ඡාදෙත්‍වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති”

අවශේෂ දිව්‍යමනුෂ්‍යයන්ගේ අභිසමය

මෙසේ ශඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ ප්‍රව්‍රජ්‍යාව දක්වා දැන් අවශේෂ දිව්‍යමනුෂ්‍යයන්ගේ අභිසමය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“තතො දෙවා මනුස්සා ච උපෙත්‍වා ලොකනායකං,

අරහන්තවරමාරම්හ පඤ්හං පුච්ඡිස්සරෙ ජිනං”

යනාදීන් මෙසේ වදාළ සේක.

ඉක්බිත්තෙන් සියලු දිව්‍යමනුෂ්‍යයෝ නිර්වාණයට අභිමුඛකොට ලෝකවාසී සත්ත්‍වයා පමුණුවන හෙයින් ලෝකනායක වූ සර්වඥයන් වහන්සේ කරා එළඹ ස්වාමීනි බුදුරජාණන් වහන්ස! අර්හත්‍වය නම් කවරේද? ඒ අර්හත්‍වයට පැමිණෙන්නෝ කව්රුද? ඒ අර්හත්‍වයට පැමිණෙන්නාවූ ප්‍රතිපත්තිය කවරීද? යනාදී ක්‍රමයෙන් උතුම් වූ අර්හත්ඵලය උදෙසා ප්‍රශ්න විචාරන්නාහ.

එසඳ සර්වඥයන් වහන්සේ ඒ දිව්‍යමනුෂ්‍යයන්ට උතුම්වූ අර්හත්ඵලය පැමිණෙන පිණිස ඒ අර්හත්ඵලප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත උපාය ප්‍රකාශකරන්නාහු ප්‍රශ්නව්‍යාකරණය කරන සේක. ඒ ප්‍රශ්න විසර්ජනය හේතුකොට ගෙන අසූකෙළදහසක් දිව්‍ය මනුෂ්‍යයන් ගෙන් තුන්වැනි අභිසමය වන්නේය.

මෙසේ අභිසමයතුන වෙන වෙන දක්වා දැන් ඒ ත්‍රිවිධ වූ අභිසමය එක්කොට දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“ඛීණාසවානං විමලානං සන්තචිත්තානතාදිනං,

කොටිසතසහස්සානං පඨමො භෙස්සති සමාගමො”යි.

යනාදීන් මෙසේ වදාළ සේක.

එහි කාමාසවය, භවාසවය, දිට්ඨාසවය, අවිජ්ජාසවය යන චතුරාශ්‍රවයන් ක්‍ෂය කළ හෙයින් ක්‍ෂීණාශ්‍රව නම් වූ පහවූ රාගාදී ක්ලේශමල ඇතිහෙයින් නිර්මල වූ ක්ලේශසංක්‍ෂෙප හයක් නැති හෙයින් සන්හුන්නාවූ සිත් ඇති ලාභාලාභ, අයස යස, නින්දාප්‍රශංසා සුඛදුඃඛයෙහි සමව පැවැත්තාවූ සිත් ඇති බැවින් තාදි ගුණයෙන් යුක්තවූ දම්සක් පවතුන් සූත්‍රදේශනාවෙහි අර්හත්ඵලයට පැමිණියාවූ කෙළලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේගෙන් පළමුවන ශ්‍රාවකසමාගමය වන්නේය මේ පළමුවන ශ්‍රාවකසන්නිපාතය වන්නේය.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පළමු වනවස වැස පවරන්ට සිටිපසු සියලු දිව්‍යමනුෂ්‍යයන් පවුරුණුඝෝෂය කළ කල්හි ශංඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන් හාස මග එහිභික්‍ෂුප්‍රවජ්‍යාවෙන් පැවිදිව රහත්වූ අනූකෙළදහසක් රහතුන්වහන්සේ හා සමග විශුද්ධිපවාරණයෙන් පවරන සේක. මේ දෙවෙනි ශ්‍රාවක සන්නිපාතය වන්නේය.

තවද යම් සමයෙක්හි ඒ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ හිම නම් පිනිබින්‍දු සමූහනයට වාසස්ථාන බැවින් “හිමාලය” නමූ වූ වනයෙහි ඇතුළට වන් වන් සත්ත්‍වයන් කළුවැල් ආදි මූලගන්‍ධයෙන්ද, සඳුන් ආදි සාරගන්‍ධයෙන්ද, සරළාදි ඓග්ගුගන්‍ධයෙන්ද, ලමගසුඹුළු ආදි තවගන්‍ධයෙන්ද, ගිවුළුආදි පපටිකාගන්‍ධයෙන්ද, සදොළමළ ආදි රසගන්‍ධයෙන්ද, තමාලපත්‍රාදි පත්‍රගන්‍ධයෙන්ද, නාඟකුඞ්කුමාදි පුෂ්පගන්‍ධයෙන්ද, ජාතිඵලකක්කොලාදි ඵලගන්‍ධයෙන්ද, සකලගන්‍ධයෙන් මිශ්‍රවූ ගන්‍ධයෙන්ද යන මේ දශවිධ වූ සුගන්‍ධයෙන් සම්බන්ධව උන්මාදය කරවන හෙයින් “ගන්‍ධමාදන” නම් වූ පර්වතයෙහි ස්වර්ණපර්වතය ඇතුළෙහි පිහිටි රජතමය ප්‍රාග්භාරයෙහි ගණයා කෙරෙන් තමන් වහන්සේ වෙන්කොට ගැන්මයයි කියනලද කායවිවෙකය, කාමච්ඡන්‍දනීවරණාදි ක්ලේශධර්මයන් කෙරෙන් දුරුව රූපාවචරාරූපාවචර සමාධි ඉපදවීමය යි කියන ලද චිත්තවිවෙකය, ස්කන්‍ධොපධි ක්ලේශොපධි ආදියෙන් දුරුවූ බැවින් නිර්වාණධර්මසඞ්ඛ්‍යාත උපධිවිවෙකය යන මේ ත්‍රිවිධ විවෙකයෙන් යුක්තව වාසය කරන සේක් සන්හුන්නාවූ සිත් ඇති ඉෂ්ටානිෂ්ටයෙහි නිර්විකාරී වූ රාගමලාදිය දුරුකළාවූ චතුරාශ්‍රවයන් ක්‍ෂය කළා වූ අර්හත්ඵලප්‍රශ්න ව්‍යාකරණයෙහිදී සංසාරබන්‍ධනයෙන් මිදුනාවූ අසූකෙළදහසක් ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන් වහන්සේ හා සමග ආලඹනාදීන් ස්මරණය කරන්නාවූ අර්ථයෙන් ධ්‍යානය යි ලබනලද නම් ඇති රූපාවචරධ්‍යානයට අනුලොමය, ප්‍රතිලොමය, උභතොවර්ධනය, මධ්‍යසංක්‍ෂෙපය යන පඤ්චකනයින් සමවදනා සේක. විදර්ශනාවට පටන් ගෙන ඵලසමාපත්තියට සමවැද ලක්‍ෂණොපනිධ්‍යානයෙන් ධ්‍යානක්‍රීඩාව කරන සේක. මේ තුන් වැනි ශ්‍රාවකසන්නිපාතය වන්නේය.

චාරිකා චරණය

මෙසේ ත්‍රිප්‍රකාරවූ ශ්‍රාවකසන්නිපාතය දක්වා දැන් ඒ සර්වඥයන් වහන්සේගේ පිරිවර භික්‍ෂූන් හා චාරිකාදිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“කොටිසතසහස්සානි ඡළභිඤ්ඤා මහිද්ධිකා

මෙත්තෙය්‍යං ලොකනාථං පරිවාරෙස්සන්ති සබ්බදා

පටිසම්භිදාසු කුසලා නිරුත්තිපදකොවිදා,

-

බහුස්සුතා ධම්මධරා වියත්තා සංඝසොභනා

සුදන්තා සොරතා ධීරා පරිවාරෙස්සෙන්ති තං ජිනං,

-

පුරක්ඛතො තෙහි භික්ඛූහි නාගො නාගෙහි තාදිහි

තිණ්ණො තිණ්ණෙහි දන්තො දන්තෙහි සන්තමාගතො,

-

සද්ධිං සාවකසංඝෙහි පරිවාරෙත්‍වා මහාමුනි

අනුකම්පිකො කාරුණිකො මෙත්තෙය්‍යො දිපදුත්තමො,

-

උද්ධරන්තො බහූසත්තෙ නිබ්බාපෙන්තො සදෙවකෙ

ගාමනිගමරාජධානීසු චරිස්සති චාරිකංජි නො,

-

ආහනං ධම්මභෙරිං ධම්මසංඛඵලාසනං

ධම්මයාගං පකිත්තෙන්තො ධම්මද්ධජසමුස්සයං,

-

නදන්තො සීහනාදං වත්තෙන්තො චක්කමුත්තමං

රසුත්තමං සච්චපානං පායෙන්තො නරනාරිනං,

-

හිතාය සබ්බසත්තානං නාථානාථං මහාජනං

බොධෙන්තො බොධනෙය්‍යානං චරිස්සති චාරිකංජිනො,

-

කස්සචි සරණාගමනෙ නි වෙසෙස්සති චක්ඛුමා

කස්සචී පඤ්චසීලෙසු කස්සචි කුසලෙදස,

-

කස්සචි කස්සචි සාමඤ්ඤං චතුරොඵලමුත්තමෙ

කස්සචි අසමෙ ධම්මෙ දස්සති පටිසම්භිදා,

-

කස්සචී වරසමාපත්තියො අද්ධදස්සති චක්ඛුමා

කස්සචි තිස්සොවිජ්ජායො ඡලභිඤ්ඤායො පවෙච්ඡති,

-

තෙන යොගෙන ජනකායං ඔවදිස්සති සො ජිනො

තදා විත්‍ථාරිකං හෙස්සං මෙත්තෙය්‍යජිනසාසනං,

-

බොධනෙය්‍යං ජනං දිස්වා සතසහස්සෙපි යොජනෙ

ඛණෙන උපගන්ත්‍වාන බොධයිස්සති සො මුනි”

යනාදීන් මෙසේ වදාළසේක.

එසමයෙහි පූර්වෙනිවාසානුස්මෘතිඥානය, දිව්‍යංචක්‍ෂුරභිඥානය, දිව්‍යශ්‍රොත්‍රඥානය, සියලුසත්ත්‍වයන්ගේ චෙතොපරිච්ඡෙදකඥානය, සෘද්ධිවිධඥානය, ආශ්‍රවක්‍ෂයකරඥානය යන මේ ෂට් අභිඥාවන් ඇති අධිෂ්ඨානසෘද්ධිය, විකුර්වණ සෘද්ධිය, මනොමය සෘද්ධිය, ඤාණවිප්ඵාරසෘද්ධිය, ආර්යසෘද්ධිය, කර්මවිපාකජ සෘද්ධිය, පුඤ්ඤවතොසෘද්ධිය, විජ්ජාමයසෘද්ධිය, ඒ ඒ භාවනාමනස්කාරාදියෙහි සම්‍යක්ප්‍රයෝගප්‍රත්‍යයෙන් සමෘද්ධවන්නාවූ සෘද්ධිය යන මේ දශවිධ සෘද්ධීන් සමන්විත බැවින් මහත්වූ සෘද්ධි ඇති කෙළලක්‍ෂයක් පමණ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ හැමකල්හිම ලොකස්වාමීවූ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනාසේක.

තවද අවිපරීත ස්වභාවයෙන් අර්ථාදීන් වෙන් වෙන්කොට ඒ ඒ ධර්මයෙහි ප්‍රභෙදගතවන්නාවූ ඥානය ප්‍රතිසම්භිදා නම් වන බැවින් එබඳු අර්ථපටිසම්භිදාය, ධර්මපටිසම්භිදාය, නිරුත්ති පටිසම්භිදාය, පටිභානපටිසම්භිදාය යන චතුපටිසම්භිදායෙහි දක්‍ෂවූ නිරුත්තිපටිසම්භිදාවට පැමිණි හෙයින්ම ඒ ඒ ව්‍යවහාර කොට්ඨාසයෙහි සමර්ථ වූ ප්‍රගුණව වාවොද්ගතවූ ත්‍රිපිටක බුද්ධවචනය ඇති බැවින් බහුශ්‍රැත වූ පර්යාප්ති සහිත සතරමග, සතරඵල, නිර්වාණ යන නවලෝකෝත්තර ධර්මය දරණ හෙයින් ධර්මධර වූ දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ බැවින් ව්‍යක්ත වූ උක්තප්‍රකාර ගුණයෙන් යුක්ත බැවින් හා සීලාදි ගුණයෙන් යුක්ත බැවින් සඞ්ඝසොභන වූ ඒ ආර්යයන් වහන්සේ හැමකල්හි මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනාසේක.

තවද කිසිසේත් ආරෝහපරිණාහයෙන් හා විශේෂ රූපයෙන් යුක්ත වූ පටසිව්රු, දුහුල් සිව්රු ආදි මටසිලුටු සිව්රු ධරන්නා වූ ගන්නා ලද මැණික්වන් පාත්‍ර ඇති ශරීරයෙහි බහා තිබෙන්නාවූ අවශේෂ පරිස්කාරයන් ඇති දුශ්ශීලභික්‍ෂූහු ශීලාදිය විරහිත බැවින් විචිත්‍ර චිත්‍රකර්මාන්තයෙන් අලඞ්කෘතව අමෙද්ධ්‍යයෙන් සම්පූර්ණ වූ ඝටයක් මෙන්ද, සිංහසම්පොරොවුවනලද කොටලුවන් මෙන්ද, සුවඳ රන්හැල් බඳුනෙහි බොල්මෙන්ද, අන්තොසාරයක් නැත්තාහ. ඉඹුල්රුක් ආදිවූ බොරුහර ඇති රුක්ආදිය මෙන් අභ්‍යන්තර ශුද්ධියක් නැතිහෙයින් සාරයක් නැත්තාහ. දෞශ්ශීලගූථයෙන් සම්පූර්ණ වූ ශ්‍රමණ ගද්‍රභයහ, අභ්‍යන්තරයෙහි ශීලාදි කිසි සාරවස්තුවක් නැතිහෙයින් ශ්‍රමණප්‍රලාපයහ, අභ්‍යන්තරශුද්ධියක් නැති හෙයින් අන්තොපූතියහ, සත්තයෙන් වෑහෙන්නා වූ මේතෙල්බඳුනක් මෙන් නිරන්තරයෙන් වෑහෙන්නා වූ ක්ලේශාසුචි ඇත්තාහ, ගවර වළක් මෙන් ප්‍රතිකූලයහ, සියලු ලෝවැසියන්ගේ කුසල් නැමැති බඩු සොරාගන්නාවූ මහසොරුන් වැනියහ, දෙකෙළවර ගිනිගත් මැද අමෙධ්‍යයෙන් වැකුණු සොහොන් පෙනෙහෙල්ලකට බඳු උපමා ඇත්තාහ. සැඟවුනා වූ ස්වර්ගමෝක්‍ෂමාර්ගයන් ඇත්තාහ, එළිකොට තබන ලද නරකාදි සතර අපාය මාර්ගයන් ඇත්තාහ, නරකාග්නියට පෙනෙහෙලි වැනිවූහ, ප්‍රත්‍යවෙක්‍ෂාකිරීම් නැති බැවින් හා සැදෑ ඇත්තන් දුන් චීවරාදි චතුර්විධප්‍රත්‍යය සීලවිපන්නව සිට අනුභවකරණ හෙයින් ථෙය්‍යපරිභෝග ඇත්තාහ. ශාසනයට නුසුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන හෙයින් බුදුන් විසින් නින්දා කොට හරණාලදහ. නිරන්තරයෙන් උද්වෙගයට පැමිණෙන ලද සිත් ඇත්තාහ. “අග්ගික්ඛන්‍ධොපමසූත්‍රයෙහි” වදාරණ ලද දුක් පිළිගන්ට යෝග්‍යයහ. කරුණාපර ජනයන්ගේ කරුණාවට වස්තුවූහ. අශ්‍රමණව ශ්‍රමණප්‍රතිඥා ඇත්තාහ. සියලු සත්ත්‍වයන් විසින් කරණලද නින්දාවට භාජනයහ. මෙබඳු වූ දුශ්ශීල පුද්ගලයෝ සඞ්ඝයා හොබවන්නාහු නොවෙති. ඔහු ශාලික්‍ෂෙත්‍රය දූෂ්‍යකරන්නාවූ බඩඅමු ආදි තෘණධාන්‍යයක් මෙන් සඞ්ඝදූෂක වන්නාහ. එබඳු දුශ්ශීලභික්‍ෂූන් ඒ සඞ්ඝපර්ෂත්හි නැති බැවින් ඒ සියලු ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන් වහන්සේ සඞ්ඝසොභන නම් වන‍සේක. මෙබඳු සඞ්ඝසොභන වූ කෙළලක්‍ෂයක් රහතුන් වහන්සේ නිරන්තරයෙන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනා සේක.

තවද රූපාදි ෂඩාලම්බනයෙහි පවත්නා චක්‍ෂුරින්‍ද්‍රියාදි ෂඩීන්‍ද්‍රියයන් මනාකොට දමනයෙහි ලූ බැවින් සුදන්ත වූ විශේෂවත් ශීලාදි ගුණයෙහි ඇලුනු බැවින් හා ගම්භීරාරණ්‍යසෙනාසනයෙහිත් උත්කෘෂ්ට කුශල ධර්මයෙහිත් උකටළී බව කරන්නා වූ ක්ලේශයන් ප්‍රහීණ කළ බැවින් සර්වඥඥානයෙහි ඇලුනා වූ තම තමන් වහන්සේලාට සුදුසු ශ්‍රාවක පාරමිතාඥානයෙහි මස්තකප්‍රාප්ත වූ බැවින් ප්‍රඥාවන්ත වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ හැමදවස් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනා සේක.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ ඡන්‍දාදිවශයෙන් අගතියට නොයන සේක් තමන්වහන්සේ බඳු ඡන්‍දාදියෙන් අගතියට නොයන්නා වූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන් වහන්සේ ඉෂ්ටානිෂ්ටයෙහි අකම්ප්‍ය ස්වභාවයට පැමිණිසේක් තමන් වහන්සේ බදු ඉෂ්ටානිෂ්ටයෙහි අකම්ප්‍ය ස්වභාවයට පැමිණියාවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලද සේක. තමන් වහන්සේ සංසාරසාගරයෙන් හා ක්ලේශසාගරයෙන් එතරවූ සේක් තමන් වහන්සේ බඳු සංසාරසාගරයෙන් හා ක්ලේශසාගරයෙන් එතරවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන් වහන්සේ චක්‍ෂුරින්‍ද්‍රියාදි ෂඩින්‍ද්‍රියයන් දමනයෙහි ලූසේක් තමන් වහන්සේ බඳු චක්‍ෂුරින්‍ද්‍රියාදි ෂඩින්‍ද්‍රියයන් දමනයෙහි ලූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ සකලක්ලේශයන් සන්හිඳුවූ බැවින් සාන්තවූ සේක් තමන් වහන්සේ බඳු සකල ක්ලේශයන් සන්හිඳවූ ශාන්තවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ බඳු ක්ලේශාග්නි නිවියාවූ සිත් ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක.

මෙසේ උක්තප්‍රකාර ගුණසමූහයන් ඇති සියලු සත්ත්‍වලෝකයාට අනුකම්පා කරන්නාවූ සකල ලෝකාර්ථසිද්ධියට කාරණව සිටි මහාදයාසඞ්ඛ්‍යාත කරුණා ඇති බැවින් මහාකාරුණික වූ, දෙපා ඇති සියලු සතුන්ට උතුම් වූ බැවින් ද්විපදොත්තම වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ තමන්වහන්සේ බඳු සියලු ගුණගණාංගයෙන් සම්පූර්ණ වූ ශ්‍රාවකසඞ්ඛයා වහන්සේ විසින් පිරිවරන ලදුව සියලු සත්ත්‍වයන් සංසාරදුඃඛයෙන් උඩනඟනසේක් රාගාග්නි ආදි එකාදශාග්නිය නිවා උතුම් මාර්ගඵල නැමැති ජලයෙන් දිව්‍යමනුෂ්‍යයන්ගේ ලය සිහිල්කරනසේක් ගම්, නියම්ගම්, රාජධානියෙහි සැරිසරා ඇවිදිනාසේක.

තවද ඒ සර්වඥයන් වහන්සේ සතරසතිපට්ඨානය, සතරසම්‍යක් ප්‍රධානය, සතරසෘද්ධිපාදය, පඤ්චෙන්‍ද්‍රියය, පඤ්චබලය, සප්ත බොධ්‍යඞ්ගය, ආර්යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්ම නැමැති භෙරිය පහරණා සේක් චතුස්සත්‍යධර්ම නැමැති සඞ්ඛනාදය පවත්වනසේක් නවවිධ ලෝකෝත්තර ධර්ම නැමැති යාගය ප්‍රකාශ කොට වදාරණසේක් එක් පණස් කුශලධර්ම නැමැති ධජයන් නගනසේක් ගම්, නියම්ගම්, රාජධානියෙහි සැරිසරා වඩනා සේක.

තවද ඒ සර්වඥයන් වහන්සේ යම්සේ සිංහයාගේ නාදය සමාන ජාති ඇති සත්ත්‍වයන්ට සොම්නස් උපදවාද, හීනජාති ඇති සත්ත්‍වයන්ට භය, සන්ත්‍රාස උපදවාද, එපරිද්දෙන්ම ඒ සර්වඥයන් වහන්සේගේ නාදය අවිපරීත දෘෂ්ටි ඇති කල්‍යාණාධ්‍යාශය ඇති උත්තමපුද්ගලයන්ට සොම්නස් උපදවන්නේය. අනිත්‍යාදියෙහි නිත්‍යාදිපරිකල්පනා ඇති අනුත්තමධ්‍යාශ ඇති ලාමකසත්ත්‍වයන්ට භය, සන්ත්‍රාශ උපදවන්නේය. එහෙයින් සිංහයාගේ නාද බඳු නාද ඇතිසේක.

තවද යම්සේ සිංහයා හස්ත්‍යශ්වාදි උත්කෘෂ්ටසත්ත්‍වයන් නසාද, කැනහිල් ආදි ලාමක සත්ත්‍වයන්ගේ අවඥා ද සහනය කෙරේද, එපරිද්දෙන්ම සර්වඥයන් වහන්සේ වෛනෙයජන සන්තානගත ක්ලේශයන් නසන හෙයින් හා ලොකාවමානය සහනය කිරීම හේතුකොට ගෙන සිංහයා හා සමාන බැවින් සිංහනාද බඳු නාද පවත්වනසේක.

මෙසේ සිංහනාද පවත්වන්නාවූ උත්තම ධර්මචක්‍රය පවත්වන්නා වූ සියලු රසයන් අතුරෙන් උතුම් රස ඇති චතුස්සත්‍ය පානය සියලු ස්ත්‍රීපුරුෂයන් පානය කරන්නාවූ උත්තමසත්ත්‍වයන්ටම අනුශාසනා කෙරෙමි, අනුත්තම සත්ත්‍වයන්ට අනුශාසනා නොකෙරෙමි, අනුත්තමසත්ත්‍වයන්ට අනුශාසනා කෙරෙමි, උත්තමසත්ත්‍වයන්ට අනුශාසනා නොකෙරෙමි යන මෙසේවූ වෙනසක් නැතිහෙයින් සියලු සත්ත්‍වයන්ට වැඩපිණිස අවශ්‍ය අනවශ්‍ය උත්තම අධම සියලු මහජනයාට අනුශාසනා කෙරෙමින් චතුස්සත්‍යාවබෝධය කටයුතු වූ සත්ත්‍වයන් අවබෝධය කරවමින් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ සැරිසරා වඩනා සේක.

තවද ඒ චක්‍ෂුර්මත් වූ සර්වඥයන් වහන්සේ රත්නත්‍රය සරණයත් අන්‍ය වූ සිහිකටයුතු වූ වස්තුවක් නැති බැවින් හැමකලම ලෞකික ලෝකෝත්තර සම්පත් කැමැත්තහු විසින් සිහිකටයුතු හෙයින්ද, සරණයෙන් මත්තෙහි අන්පිහිටක් නැති බැවින්ද, සරණය කරණකොට ගෙන ස්වර්ගමෝක්‍ෂ සැපයට පැමිණෙන හෙයින්ද, සරණ නම් වූ රත්නත්‍රය සරණය. මෙහි කිසි සත්ත්‍ව කෙනකුන් පිහිටුවන සේක. කිසි සත්ත්‍ව කෙනකුන් පඤ්චශීලයෙහි පිිහිටුවන සේක. කිසි සත්ත්‍ව කෙනකුන් දශකුශලකර්මපථයෙහි පිහිටුවන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට ශීල-සමාධි-ප්‍රඥා සඞ්ඛ්‍යාත ශ්‍රමණභාවය කරන්නාවූ ප්‍රව්‍රජ්‍යා උපසම්පදා දෙක දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට උත්තම වූ චතුර්විධ ආර්ය ඵලයන් දෙන සේක. සමහර සත්ත්‍ව කෙනකුන්ට ලෞකික ධර්මයන් හා අසමාන බැවින් අසම වූ නවලෝකෝත්තර ධර්මය දෙනසේක. සමහර සත්ත්‍ව කෙනකුන්ට අත්‍ථපටිසම්භිදාදි චතුපටිසම්භිදාවන් දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට අපගේ සර්වඥයන් වහන්සේ විසාඛාමහාඋපාසිකාවන්ට හා අනඳමහ තෙරුන් වහන්සේට දුන් වර අට හා සමාන වූ අෂ්ටවරයන් දෙන සේක. සමහර සත්ත්‍ව කෙනකුන්ට ප්‍රථමධ්‍යානාදි අෂ්ටසමාපත්තීන් දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට පූර්වෙනිවාසානුස්මෘතිඥාන - දිව්‍යංචක්‍ෂුරභිඥාන - ආශ්‍රවක්‍ෂයකරඥාන සඞ්ඛ්‍යාතත්‍රිවිද්‍යාවන් දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට යථොක්ත සෘද්ධිවිධඥානාදි ෂට්අභිඥාවන් දෙන සේක.

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ සියලු ජනසමූහයාට යථෝක්ත ක්‍රමයෙන් අවවාද අනුශාසනා කරන සේක. එසමයෙහි ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ පර්යාප්ති-ප්‍රතිපත්ති-ප්‍රතිවේධ වශයෙන් ත්‍රිවිධ වූ යථාපරාධ-යථානුලොම-යථාධර්ම වශයෙන් ත්‍රිවිධ වූ ශාසනය සියලු ලෝකයෙහි ව්‍යාප්ත වන්නේය. සියලු ජම්බුද්වීපය භික්‍ෂු-භික්‍ෂුණීන් වහන්සේ පෙරෙවි සිව්රෙහි ආලෝකයෙන් ඒකාලෝක වන්නේය. ගෙටවදනාවූත් නික්මෙන්නාවූත් භික්‍ෂු-භික්‍ෂුණීය යි කියන ලද සෘද්ධිවරයන්ගේ චීවරමාරුතයෙන් හා අතපය දික්කිරීම් වක්කිරීම් ආදියෙන් උපන්නා වූ ශරීරමාරුතයෙන් සියලු රෝගදුක් දුරුවන්නේය.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ ලක්‍ෂයක් යොදනෙහි ද ඊටත් වඩා දුරුවූ දිව්‍යලෝක-බ්‍රහ්මලෝක-අන්‍යචක්‍රවාටාන්තරයෙහි උපන්නාවූ චතුස්සත්‍යාවබෝධය කටයුතුජනයා දැක අනන්තාපරිමාණ සක්වළ සියලු සත්ත්‍වයන්ට වැඩහුන් තැනම වැඩහිඳ අහස්මුදුනෙහිා පිහිටි පුන්සඳමඬලක් මෙන් පෙනෙන්ට සුදුසු බුද්ධානුභාවයෙන් හා එක්සිතක් ඉපද නිරුද්ධනොවනතෙක් සෘද්ධියෙන් අනන්තාපර්යන්ත සක්වළ කෙළවරට ගොස් පෙනෙන්ට සුදුසු සෘද්ධ්‍යනුභාවයෙන් යුක්ත බැවින් කායගති-චිත්තගතියෙන් එකචිත්තක්‍ෂණයෙහි ම එළඹ ඒ හේතුසම්පත් ඇති සියලු ජනයන් චතුස්සත්‍යාවබෝධය කොට අමාමහනිවන් දක්වන සේක.

අෂ්ටදුෂ්ටක්‍ෂණය

මෙසේ සියලු ගම් - නියම්ගම් - රාජධානියෙහි සැරිසරා වඩනාවූ සියලු දිව්‍යබ්‍රහ්මලෝකාදියට වඩනාවූ ගිය ගිය තැන සත්ත්‍වයන් නියතයෙන් මාර්ගඵලයට පමුණුවන හෙයින් නො සිස් ගමන් ඇති, ඒ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙන සැපතැනක වසන්නාවූ භික්‍ෂූන් අසවල් මහණ මා සමීපයෙන් කමටහන් ගෙන ගියේ, මාර්ගඵල සඞ්ඛ්‍යාත විශේෂයක් උපදවන්ට සමර්ථ වී දෝ හෝයි පරීක්‍ෂාකරන සේක. ඉදින් ඒ භික්‍ෂූන් කමටහන් හැර අකුශලවිතර්කයක් විතර්කනය කරන්නාවුන් දුටුසේක් වී නම් එසඳ මාබඳු සර්වඥකෙනකුන් සමීපයෙන් කමටහන් ගෙන වසන්නාවූ මේ කුල පුත්‍රයා අකුශල විතර්කයෝ මැඩ අනවරාග්‍රවෘත්තදුඃඛයෙහි කෙසේ නම් ගලා හෙලද්දැයි, ඒ කුලපුත්‍රයාට අනුග්‍රහ පිණිස ඔහු උන් තැනට තමන්වහන්සේ දක්වා ඒ කුලපුත්‍රයාට අවවාද කරන සේක. කෙසේද? යත්:-

සත්පුරුෂය! තෝ මාවිසින් කාමවිතර්ක - ව්‍යාපාදවිතර්ක - විහිංසාවිතර්ක සඞ්ඛ්‍යාත ත්‍රිවිධවිතර්කයන් දුරුකරන පිණිස ධර්මය දෙසමින් සිටියදී කෙසේ නම් විතර්කවසඟවෙහිද, අනවරාග්‍රසංසාරයෙහි විතර්කවසඟවූ තා විසින් කායදුශ්චරිතාදිය කොට නොයෙක් දහස් ගණන් ජාතිවල ඉතා දරුණුවූ කර්කශ වූ නරකදුක් අනුභව කරන ලද, ඉදින් දැනුදු චිත්තවසඟ වන්නෙහි වී නම් බොහෝ දහස්ගණන් අවුරුදුමුළුල්ලෙහි ඉතා දරුණු වූ නරක දුක් අනුභව කෙරෙමින් ෂට්විධජ්වාලාමාලාවෙන් ගැවසීගත් මහත්වූ වහ්නියෙන් අතුරුනැති අවීචිමහානරකයෙහි ඉපැද නරකගින්නෙන් ඇවිලෙන්නාවූ ශරීර ඇතිව බැගෑහඬින් හඬමින් “අහොදුක්ඛං අහොදුක්ඛං” යි ආතිත ස්වර පතුරුවමින් මහත් වූ ව්‍යසන අනුභව කරන්නෙහිය.

තවද මේ සංසාරයෙහි කළුවරදෙපෝයේ මධ්‍යමරාත්‍රියය, ඝනවනලැහැබය, මෙඝපටලය යන මේ චතුරඞ්ගයෙන් සමන්විත ඝනාන්‍ධකාරයක් වැනිවූ මොහාන්‍ධකාර ඇති, සද්ධම්ම නැමැති ප්‍රදීපවිරහිතවූ දෙසැටක් දෘෂ්ටියෙන් ගහණවූ බුද්ධශූන්‍ය වූ නොයෙක් කෙළලක්‍ෂගණන් කල්පයන් ඉකුත්වූ කල්හි ඉතා ලැබගත නොහැක්කාවූ එකම සර්වඥ නැමැති සූර්යයෙක් පහළවන්නේය. මෙම ක්‍රමයෙන් උපන්නාවූ නොයෙක් කෙළලක්‍ෂගණන් සර්වඥවරයන් සියලු ජනසමූහයා සංසාරසාගරයෙන් එතර කොට නිර්වාණස්ථලයෙහි පිහිටුවූකල්හි තොප අද දක්වාත් කුශලසම්පත්තීන් පහවූ පූර්වභාග ප්‍රතිපත්ති ඇති බැවින් සංසාරසාගරයෙහිම ඇලී සිටියෙහිය. ඉදින් දැනුදු අවුරුදු සියයක් ගියකල නඟන්නා වූ හිස් ඇති පවන්වේගයෙන් සැලෙන්නාවූ රළපහරින් ලෙළවූ සමුද්‍රමස්තකයෙහි පෙරළෙන එකසිදුරක් ඇති විය. සිදුරට වන්නාවූ හිස් ඇති කණකැස්බක මෙන් අතිදුර්ලභ වූ මනුෂ්‍යාත්මභාවය ලැබ කිසිම කුශලයකින් අෂ්ටදුෂ්ටක්‍ෂණයෙන් විනිර්මුක්ත වූ නවවැනි බුද්ධොත්පාදක්‍ෂණසම්පත්තිය ලැබ සිටියෙහිය. ඒ අෂ්ටදුෂ්ටක්‍ෂණයෙන් වෙන්වූ බුද්ධොත්පාදක්‍ෂණය ලැබීමෙහි ඵල දැන් සිද්ධකොට ගන්ට අසමර්ථවූයෙහි වී නම් මෙබඳු ක්‍ෂණසම්පත්තියක් තට කවරකලෙක ලැබේද?

එහි අෂ්ටදුෂ්ටක්‍ෂණ නම්:- කෙසේද? යත්:-

1. අද්ධක්ඛණවිනිම්මුත්තං ඛණංපරමදුල්ලභං

උපලද්ධෙන කත්තබ්බං පුඤ්ඤං පඤ්ඤවතාසදා

-

2. තයො අපායා ආරුප්පාසඤ්ඤං පච්චන්තිමං පිව

පචින්‍ද්‍රියානං වෙකල්ලං මිච්ඡාදිට්ඨිව දාරුණා

-

3. අපාතු භාවො බුද්ධස්ස සද්ධම්මා මතදායිනො

අද්ධක්ඛණා අසමයා ඉතිඑතෙ පකාසිතා

-

4. කාරෙන්තො කම්මකරණං නිරයෙ අතිදාරුණං

භයානකං භූසංඝොරං කථා පුඤ්ඤං කරිස්සති

-

5. සද්ධම්මසඤ්ඤාජහිතෙ සදාඋබ්බිග්ග ජීවිතෙ

තිරච්ඡාන භවෙසන්තො කථං පුඤ්ඤං කරිස්සති

-

6. ගන්ත්‍වානපෙත්තිවිසයං සන්තාපපරිසොසිතො

ඛුප්පිපාසා පරිස්සන්තො කථං පුඤ්ඤං කරිස්සති

-

7. ආරුප්පා සඤ්ඤලොකෙ සවණොපාය වජ්ජිතො

සද්ධම්මසවණාහීණො කථං පුඤ්ඤං කරිස්සති

-

8. අච්චන්තාධම්මබහුලෙ මුනින්‍දසුතවජ්ජිතො

පච්චන්තවිසයෙ ජාතො කථංපුඤ්ඤං කරිස්සති

-

9. ජළොමූගාදිකොවාපි විපාකාවරණෙඨිතො

ගහණොපාය රහිතො කථංපුඤ්ඤං කරිස්සති

-

10. පක්ඛන්තො පාපිකං දිට්ඨිංසබ්බථා අනිවත්තියං

සංසාරඛාණු භූතොව කථංපුඤ්ඤං කරිස්සති

-

11. බුද්ධාදිච්චෙ අනුදිතෙ සිද්ධිමග්ගාවහාසකෙ

මොහන්‍ධකාරෙ වත්තෙන්තො කථංපුඤ්ඤං කරිස්සති යි.

මෙසේ දක්වන ලද නරකාදි අටතැන්හි උපන් සත්ත්‍වයන් කුසල් කරන්ට අයොග්‍ය වන බැවින් මේ අෂ්ටදුෂ්ටක්‍ෂණයෙන් වෙන්වූ ඉතා ලැබගත නොහැකි නවවැනි බුද්ධොත්පාදකාලය ක්‍ෂණසම්පත්තිය නම් වේ. ක්‍ෂණසම්පත්තියක් සත්පුරුෂය තට කවරකලෙක ලැබේදැයි අවවාද කරණ සේක.

තවද සත්පුරුෂය ඉදින් තෝ නොයෙක් මාණික්‍යසමූහයා ලෝකයෙන් බබළන්නාවූ රත්නාකරයකට වැද කැට කැබිලිති අවුලාරැස් කරන්නාක්මේන ඉතා නොලැබ්බ හැකි ධර්මරත්නයෙන් බබළන්නාවූ මාගේ මේ උතුම් ශාසනයට වැද චිත්තවශඟ වන්නෙහි වී නම් එබඳු වූ තෝ මාගේ ශාසනයෙන් චුතව භව නැමැති වනයට වැද යම්සේ අවුල්හුන් ඇඹුරුලණුවෙක මේ මුලය මේ අගයයි අක්මුල්දැනගත නොහැකිවේද, එපරිද්දෙන්ම අපරිච්ඡින්න පූර්වාපර කොටි ඇති බැවින් අක්මුල්නැති සසරින් නැඟීයානොහී භව අවුලෙහිම ගෙතී ගුළ නම් ලිහිණියන්ගේ අවුල්කදල්ලක් ඇතිව දිරාගිය අවුල් මුදුතණ බබුස්තණින් ඇඹැරූ රෑණක් වැනිව අනාගතයෙහි උපදනා සර්වඥවරයන්ගේ දර්ශනමාත්‍රයකුත් නොලැබ දෙසැට දෘෂ්ටියගෙන අපායදුර්ගති විනිපාත සංඛ්‍යාත සංසාරසාගරය නොඉක්ම චුතියෙන් ප්‍රතිසන්‍ධිය ප්‍රතිසන්‍ධියෙන් චුතියයි මෙසේ නැවත චුතිප්‍රතිසන්‍ධිග්‍රහණය කෙරෙමින් කාමභවාදි ත්‍රිවිධ භවයෙහිද, අණ්ඩජාදි චතුර්විධ යොනියෙහිද, නරකාදි පංචගතියෙහිද, එකත්තකායාදි සප්තවිඥානස්ථිතියෙහිද, එසේම නානත්තකායාදි නවසත්තාවාසයෙහිද, ගැඹුරු ගොරබිරම් මුහුදුපිට හරණා ලද නැවක් මෙන්ද, ගොනලුවෙහි ලූ ගොනකු මෙන්ද ඔබිනොබ පෙරළි පෙරළී ඇවිදිනෙහිය.

වාසනාදෝෂ කථා

තවද දැන් තෝ යම් යම් දුශ්චරිතයක් කරන්නෙහි වී නම් මතු උපනුපන්නාවූ ස්ථානයෙහි වාසනාදෝෂයෙන් ඊට අනුව දුශ්චරිත කෙරෙමින් බොහෝ කලක් ඉකුත් වූ කල්හි කිසිම දෛවබලයකින් අනාගතයෙහි උපදනා සර්වඥකෙනකුන්ට සම්මුඛ වන්නෙහිය. එතැන්හිදී ඒ සර්වඥයෝ තට නිග්‍රහ කොට ලජ්ජාකරවා දිව්‍ය, මනුෂ්‍යපර්ෂද් මධ්‍යයෙහි තාගේ වාසනාදෝෂය ගෞතම සර්වඥයන්ගේ ශාසනයෙහි වෘද්ධභික්‍ෂුකෙනකුන් වහන්සේ හා ළදරුභික්‍ෂූන් දෙදෙනකුන් වහන්සේගේ වාසනා දෝෂය මෙන්ද, උපනන්‍ද - මක්ඛිකාවධක - වාරුණීදූසක - කුටිදූසක - පුටදූෂක -ආරාමදූෂක - අම්බගොපත - දුර්වච කුහකාදීන්ගේ වාසනා දෝෂය මෙන්ද ප්‍රකාශ කොට කියන්නාහ. ඒ තාගේ වාසනා දෝෂ ප්‍රකාශ කොට කීමෙන් දිව්‍යමනුෂ්‍යපර්ෂද් මධ්‍යයෙහි තට මහත්වූ නින්‍දා වන්නේය යි, අවවාද කරන සේක.

වෘද්ධ භික්‍ෂූන් හා ළදරුභික්‍ෂූන් දෙදෙනාගේ වාසනා දෝෂ

එහි වෘද්ධ භික්‍ෂූන් හා ළදරුභික්‍ෂූන් දෙදෙනාගේ වාසනා දෝෂය කවරේද? යත්:-

සැවැත්නුවරවැසි කුලපුත්‍රයෝ දෙදෙනෙක් අපගේ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණව අශුභභාවනා නොකොට රූපමදයෙන් බැගෑවවන්නාහු මම්මයහපත්මි, මම්ම යහපත්මියි ඔවුනොවුන් හා වාද කොට එක් වෘද්ධභික්‍ෂු කෙනකුන් වහන්සේ දැක උන්වහන්සේ කරා එළඹ ස්වාමීනි! අප දෙදෙනා අතුරෙන් යහපත්හු කවුරුදැයි විචාළහ. එසඳ ඒ වෘද්ධ භික්‍ෂූන් වහන්සේ තෙපිත් යහපත්හුව, තෙපිත් යහපත්හුව, තොප දෙදෙනාටත් වඩා මම්ම යහපත්මි යි කීසේක.

සර්වඥයන් වහන්සේ එපවත් අසා මේ මහණ දැන් මතු නොවෙයි, පෙරත් මේ දෙදෙනාට එසේම කීයේවේදැයි ඉකුත්වත් දක්වා වදාළසේක.

අතීතයෙහි ගංගා-යමුනා දෙගඟ එක්වූ තැන මත්ස්‍යයෝ දෙදෙනෙක් මම්ම යහපත්මි, මම්ම යහපත්මි යි රූනිසා වාද කොට අන්‍යවූ සමීපගංගාවෙක වැල්ලේ වැදහොත් ඉබ්බකු දැක මුහුකුරා ගොස් සබඳ! අප දෙදෙනා අතුරෙන් යහපත්හු කවුරුදැයි විචාළහ. ඒ ඉබ්බා කියන්නේ තෙපිත් යහපත්හුය, තෙපිත් යහපත්හුය, තොප දෙදෙනාට වඩා මම්ම යහපත්මි යි කීය. එ කල්හි ඒ ඉබ්බා නම්: දැන් මේ වෘද්ධභික්‍ෂූහුය. ඒ මත්ස්‍යයෝ දෙදෙනා නම්: දැන් මේ ළදරුභික්‍ෂු දෙදෙනාය යි වදාළ සේක.

මෙහි විස්තර දුකනිපාතයේ ගංගෙය්‍යජාතකයෙන් දත යුත්තේය. මේ ඔවුන් තුන්දෙනාගේ වාසනාදෝෂ වන්නේය.

උපනන්‍දස්ථවිරයන් වහන්සේගේ වාසනාදෝෂ

උපනන්‍දස්ථවිරයන් වහන්සේගේ වාසනාදෝෂ කවරේද? යත්:-

උපනන්‍ද නම් ශාක්‍යපුත්‍රයාන කෙනෙක් බුදුසස්නෙහි මහණව අපිස් සතොස් බව් හැර ලොභවශඟව වස්වසන දවස් දෙතුන් විහාරයක් අත්ගෙන එක් විහාරයෙක කුඩයක් තබා එක් විහාරයෙක වහන්සඟළක් තබා එක් විහාරයෙක සැරයටියක් තබා එක්විහාරයෙක ඩබරාවක් තබා එක්විහාරයෙක තමන් වහන්සේ වස් විසූසේක. වස් අන්තයෙහි පවරා හැමතැනින් ලද මනා සිවුරු පිරිකර එකසමයටම ලැබ ගැල්වල පුරාලා ගෙන ජේතවන මහා විහාරයට යනසේක් අතරමග එක් වනවාසවිහාරයෙක පිටිපස්සේ වැලක පැකිල මේ විහාරයෙන් කිසි දෙයක් ලද මැනවැයි ඒ වනවාසවිහාරයට වන්සේක. එහි වස්විසූ භික්‍ෂුහු දෙදෙනෙක් සේලපට දෙකක් හා එක් සිහින් පලසක් ලැබ බෙදාගත නොහී ඒ උපනන්‍දස්ථවිරයන් වහන්සේ දැක සතුටුව මේ අපට බෙදා දුන මැනැවැයි කීහ. එසඳ උන්වහන්සේ යහපතැයි ගෙන්වා ගෙන පිළිදෙක දෙදෙනා වහන්සේට දී මේ මහා විනයධරයාහට නිසියයි පලස තමන් වහන්සේ ඇරගෙන ගිය සේක.

බුදුහු එපවත් අසා දැන් මතු නොවෙයි, පෙරත් ඒ දෙදෙනාට මේ මහණ එසේම කෙළේ වේදැයි වදාරා ඉකුත්වත් ගෙන හැර දක්වා වදාළසේක.

අතීතයෙහි එක් කැනහිලෙක් ගංගාතීරයෙහි මත්ස්‍යයන් සොයමින් ඇවිදිනේය. එසඳ ගංගාවේ මස්කාවෝ දෙදෙනෙක් තමන් අල්වා ගත් රේමසකු බෙදාගත නොහී කැනහිලා දැක සබඳ! මේ අපට බෙදා දී ලවයි කීහ. කැනහිලා යහපතැයි ගිවිස තමා සමීපයට ගෙන්වාගෙන ඉසයටිය වල්පත කඩා තබා තා අනුතීරචාරිහට වල්පත නිසිය, තා ගම්භීරචාරිහට ඉසටිය නිසි ය. මා රජකුලෙහි මැදහත්ව විනිශ්චය කරණ ධර්මිෂ්ට මහාමාත්‍යහට මැදකඩ නිසියයි මැදකඩ ඇරගෙන ගියේය. ඒ කැනහිල් නම් දැන් මේ උපනන්‍ද ස්ථවිරය. මස්කාවෝ දෙදෙන නම් භික්‍ෂුහු දෙදෙනයයි වදාළසේක. මෙහි විස්තර ඡක්කනිපාතයෙහි ධම්මට්ඨජාතකයෙන් දතයුත්තේයි. මේ උපනන්‍දස්ථවිරයන්ගේ වාසනා දෝෂ වන්නේය.

මක්ඛිකාවධකාවගේ වාසනාදෝෂ

මක්ඛිකාවධකාවගේ වාසනාදෝෂ කවරේද? යත්:-

අනේපිඬු මහසිටාණන්ගේ බඩහල රොහිණී නම් දාසියක් තමාගේ මව ඇඟ මැස්සන් ගසමියි මෝලක් හැරගෙන ගසා මව මරාපුව. බුදුහු එපවත් අසා මෑ දැන් මතු නොවෙයි, පෙර මා බරණැස්සිටුව උපන් කල්හි මාගේ බඩහළදී එසේම මැස්සන් ගසමියි, මොහොලක් ගෙන ගසා මව මැරූ එකක් වේදැයි, වදාළ සේක. මෙහි විස්තර එකකනිපාතයෙහි රොහීණී ජාතකයෙන් දතයුත්තේය.

මේ මක්ඛිකාවධකාවගේ වාසනාදෝෂය වන්නේය.

වාරුණීදූෂකයාගේ වාසනාදෝෂ

වාරුණීදූෂකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

සැවැත්නුවර රාවෙළෙඳකුගේ අතවැස්සෙක් රාවෙළඳ ජලස්නානයට යාදී එතනට පැමිණි සත්ත්‍වයන්ට රා විකුණන්නේ ඔවුන්ගෙන් එකකු ලුණුකැටියක් ඩෑගෙන රා බොන්නා දැක රාකිව්ල නවතැයි රාසැළක ලුණුනැලියක් බැගින් ලා ඒ රා කර්කශ කොට නොබිය හැකි කෙළේය. බුදුහු එපවත් අසා මොහු දැන් මතු නොවෙයි, මා බරණැස්නුවර සිටුව උපන් කල්හි මාගේ යහලු වෙළඳකුගේ අතවැස්සෙක්ව මෙසේම රායේ ලුණු ලා රානැසුයේ වේදැයි, වදාළසේක. මෙහි විස්තර එකකනිපාතයෙහි වාරුණිජාතකයෙන් දතයුත්තේය. මේ වාරුණීදූෂකයාගේ වාසනාදෝෂ වන්නේය.

කුටිදූෂකයාගේ වාසනාදෝෂ

කුටිදූෂකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

මහසුප්මහතෙරුන් වහන්සේට අත්පා මෙහෙවර කරණ ළදරුභික්‍ෂු දෙදෙනෙකුගෙන් වත්සම්පන්න නොවන එක් භික්‍ෂු කෙනෙක් මහතෙරුන් වහන්සේ තමන්ට අවවාද කළ හෙයින් උන්වහන්සේ සිඟා ගමට වැඩිකල්හි පැන්වළන් සපා බිඳ පැන් හල ගිනිලා දවා එයින් චුතව ගොස් අවීචිමහනරකයෙහි උපන්හ. බුදුහු එපවත් අසා මේ මහන දැන් මතු නොවෙයි, පෙරත් කුටිදූෂණය කෙළේවේදැයි, වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

එක්කලෙක අප මහබෝසතාණෝ සිලිඹිලි නම් ලිහිණි යෝනියෙක ඉපද ඉපද වැඩිවිය පැමිණි කල්හි තමන්ට යහපත් නො නස්නා කදැල්ලක් ඉදිකොට හිමාලය වන ප්‍රදේශයෙහි වාසය කරන්නාහ. එකල්හි එක් වඳුරෙක් වර්ෂාකාලයෙහි අතුරු නැතිව වස්නා වැස්සේ සීතයෙන් වෙවුල වෙවුලා දත් කකා හුන්නේය. එසඳ මහබෝසතාණෝ ඒ වානරයා බලා ඔහු කර්කශ නියාව දැන තාගේ හිස මිනිසුන්ගේ හිසක් වැන්නේය. අත්පා මිනිසුන් අත් පා වැන්නේය. කවර කාරණයකින් තෝ වසන ගෙයක් කොට ගත නො හෙන්නෙහිදැයි කීහ. එකල්හි වඳුරු සිලිඹිලිය! අතපය බල ඇතත් කාරිය කොට ගනට නිසි නුවණෙක මට නැතැයි කීහ. එබස් අසා බෝධිසත්ත්‍වයෝ සබඳ! එක්තැනෙක්හි තොපි හිටි සැහැල්ලු සිත් ඇති සත්ත්‍වයන්ට සුවයෙක් ඇත්තේ නම් නො වෙයි නුවණ උපදින්ට නිසි ප්‍රයෝග කරවයි අවවාද කළහ. එසඳ වඳුරු තමා නොතෙමෙනතැන හුන්නෙන් පරිභව කෙරෙතියි කිපී බෝධිසත්ත්‍වයන් අල්වනු කැමැතිව සමීපයට දිවගෙන ගියේය. බෝධිසත්ත්‍වයෝ එතනින් නික්ම අනික් තැනකට ගියහ. එසඳ වඳුරු කදල්ල විදා සුණුවිසුණු කොට ගියේයයි වදාළ සේක. මෙහි විස්තර චතුක්කනිපාතයෙහි කුටිදූෂකජාතකයෙන් දතයුත්තේය. මේ කුටිදූෂකයාගේ වාසනාදෝෂය වන්නේය.

පුටදූෂකයාගේ වාසනාදෝෂ

පුටදූෂකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

සැවැත්නුවර වැසි එක් අමාත්‍යයෙක් බුදුපාමොක් මහසඟ පිරිසට මහදන් දෙනු කැමැතිව ආරාධනා කොට කැඳවා ගෙණ ගොස් තමාගේ උයනෙහි හිඳුවා දන් දෙන්නේ කැඳ වළඳා අන්තයෙහි උයන ඇවිදුනා කැමැති භික්‍ෂු කෙනකුන් වහන්සේද උයන ඇවිදිනේ යහපතැයි සම්මත කෙළේය. භික්‍ෂූන්වහන්සේත් අමාත්‍යයා කී පරිද්දෙන්ම උයන සැරිසරා ඇවිදිනා සේක. එසඳ අමාත්‍යයා උයන්වැල්ලේ පත්මහත්රුකකට නැගී මහත් මහත් පත් කඩාගෙන මේ මල්පුරාලාලා තමන්ටය, මේ ඵල පුරාලාලා තබන්ටයයි පළාවිද රුක්මුල එලන්නේය, ඔහුගේ පුතෙක් එලඑලාලූ පත්ගොඩු විද විදා දමන්නේය, බුදුහු එපවත් අසා මේ දැන් මතු පලා විදා දැමුයේ නොවෙයි, පෙරත් පළා විදුයේම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස එක් වඳුරෙක් උයන්ගොවුවකු රුකෙක හිඳ විද එලාලු පත්ගොඩු විදා දමන්නේය. එකල මහබෝසතාණෝ එනුවර එක්තරා කුලයෙක ඉපැද වැඩිවිය පැමිණ කිසිකාරියක් සඳහා උයනට ගියාහු වඳුරා පත්ගොට විදා දමන්නා දැක පළා විදි නියා නපුරුහෙයින් යහපත් කොට විදිනා කැමැතිව පළාවිද යි කීහ. වඳුරු එබස් අසා කළ කළ දෑ නසනු අපගේ ධර්මයෙකැයි කීහ. එබස් අසා බෝධිසත්ත්‍වයෝ තොපගේ ධර්මය මෙසේ කල අධර්මය කෙසේවේදැයි වඳුරාට නින්දා කොට ගියාහ. එකල ඒ වඳුරා නම් දැන් මේ පළා විදා දැමූ අමාත්‍යපුත්‍රයයි වදාළ සේක. මෙහි විස්තර තිකනිපාතයේ පුටදූෂක ජාතකයෙන් දතයුත්තේය. මේ පුටදූෂකයාගේ වාසනාදෝෂ වන්නේය.

ආරාමදූෂකයාගේ වාසනාදෝෂ

කොසොල්රට එක් උයනෙක ගස් හිඳුවූ කල්හි එක් කුමාරයෙක් මුල්පමණින් දියබටනියාව බැලුව මැනවැයි ගස් උදුරා මරා එක් උද්‍යානප්‍රදේශයක් සිස් කළේය. බුදුහු එපවත් අසා දැන් මතු නොවෙයි. පෙරත් මේ බාලකුමාරයා බොහෝ වඳුරන් ගෙන බරණැස් රජ්ජුරුවන්ගේ උයන්හි වසන්නේ උයන්ගොව්වා වඳුරන් ගස්වලට පැන්වත් කරන්ට සලසා සැණකෙළි කෙළින්ට තමා නුවරට ගිය කල්හි වඳුරන් ලවා ගස් උදුරවා බලා ගැඹුරට බට බටගස බොහෝ කොට පැන්වත් කරවා නොබට ගසමුල මඳකොට පැන් වත්කරවා ගස් මරා ඒ උයන්පියෙස සිස්කෙළේ යයි වදාළසේක.

මෙහි විස්තර එකකනිපාතයෙහි ආරාමදූෂකජාතකයෙන් දතයුත්තේය. මේ ආරාමදූෂකයාගේ වාසනාදෝෂ වන්නේය.

අම්බගෝපකයාගේ වාසනාදෝෂ

අම්බගෝපකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

මහලු කල සසුන්වන් එක් වහන්දැනමෙක් දෙව්රම්වෙහෙර පිටිපස අඹවනයෙක පන්සලක් කරවා අඹගසින් වගුළ අඹ අනුභව කෙරෙමින් වාසය කරනසේක. තමන්වහන්සේට ආවේණික කුලුපග මිනිසුන්ටත් දෙනසේක. එකල එක්දවසක් උන් වහන්සේ සිඟන්ට ගිය කල්හි සොරු අවුත් ගසතුබූ අඹ කඩාගෙන ගියහ. එකෙණෙහි සිටුදූසතරදෙනෙක් අචිරවතී නම් ගංගාවෙහි ජලස්නානය කොට යන්නාහු ඒ අඹවනයට ගොස් වන්හ. එසඳ වෘද්ධභික්‍ෂූන් වහන්සේ සිඟාගිය තැනින් අවුත් තෙපියැ මාගේ අඹකෑවොයයි කීසේක. ස්වාමීනි! අපි දැන් ආම්හ. අඹ නොකෑම්හයි කීහ. එසේ තොප කීයතුදු මා අදහන්නේ නැතැයි දිව්රන්ට වුවමැනවැයි කියා ඔවුන් දිවුරුවා ලජ්ජා උපදවා අවසරදී යවුසේක. බුදුහු එපවත් අසා මෙසේ මොවුන් මේ මහණ දැන් මතු දිවුරුවූයේ නොවෙයි පෙරත් දිවුරුවූයේම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

අතීතයෙහි එක් කූටජටිලයෙක් බරණැස නිසා වසනුයේ අඹවනයෙක පන්සලක් කොට ගෙන අඹරුකින් වගුළ අඹ අනුභවකෙරෙමින් තමා සමීපයට පැමිණි කුලුපග මිනිසුන්ටත් දිදී නොයෙක් මිථ්‍යාජීවයෙන් ජීවත්වන්නේය. එකල්හි අප මහබෝසතාණෝ සක්දෙව්රජව ඉපද ලෝකෙයහි මව්පියන්ට උපස්ථාන කරන්නාහු කවුරුදෝහෝ, කුලදෙටුවන් පුදන්නාහු කවුරුදෝහෝ, පන්සිල්, අටසිල්, රක්‍ෂාකරන්නාහු කවුරුදෝ හෝ, පැවිදිව මහණදම් පුරන්නාහු කවුරුදෝහෝ, දුරාචාරයේ හැසිර අකුසල් පුරන්නාහු කවුරුදෝහෝයි නුවණැසින් බලන්නාහු අඹරක්නා කූටජටිලයා දැක මේ ජටිලයා තියුණුභාවනා ආදීවූ මහණදම් හැර අඹ රැක ඇවිදිනේය. ඕහට සංවේග ඉපදවුව මැනවැයි ඔහු සිඟා ගිය කල්හි තමන්ගේ ආනුභාවයෙන් සොරුන් අවුත් අඹ කඩා ගෙන ගියා දැක්වූහ.

එකල බරණැස්නුවර වැසි සිටුදූසතරදෙනෙක් ඒ අඹවනයට ගොස් වන්හ. ඒ කූටජටිලයා සිඟන්ට ගිය තැනින් අවුත් ඔවුන් සතරදෙනා දැක තෙපියැ මාගේ අඹ කෑවෝයයි කීය. එසඳ ඔහු වහන්ස! අපි දැන් ආම්හ. නුඹගේ අඹ නොකෑම්හයි කීහ. එසේ වීනම් දිවුරවයි කීය. දිවුළහොත් අප යාදෙන්නේ ඇද්දැයි කීහ. යාදෙමියි කීකල්හි යහපත වහන්සැයි කියා සතරදෙන දිවුරන්නාහු මින් එකක් නුඹගේ අඹකෑවූ නම් වෘද්ධස්වාමියකු ලැබෙම්වයි කිවුය. එකක් සොළොස් ඇවිරිදි වයස නවයෞවනයෙහි ස්වාමියකු නොලදින් විසි පස් විසිහැවිරිදි කල මුහු කළ වයස ස්වාමියකු ලැබෙම්වයි කීව. එකක් ස්වාමියකු කෙරේ බලවත් ඇදහිලි ඇතිව දෙහුදකලාව ගව් දෙගව් පමණ සලකුණු කීතැනට ගොස් ඔහු නො දකිම්වයි කීව. එකක් හැඳ පැළඳ සුවඳමල් ආදියෙන් සැරහී යහන්හි උදකලාව හොවිම්වායි කීව. එබස් අසා කූටජටිලයා කියන්නේ තොප සතරදෙනා දිවුළ දිවිරීම ඉතා බැරෑරුම් වූ දිවිරීමෙක් වන්නේය. අඹ කෑවෝ අනික් කෙනෙක්මය. තොපි හැම යවයි ඔවුන් සතරදෙනා යවූසේක. එසඳ සක්දෙව්රජ භයානක රූපයක් දක්වා ඒ කූටජටිලයා අඹවනයෙන් නෙරපීය. බුදුහු මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වඳුරා එකල්හි කූටජටිලයා නම් දැන් මේ වෘද්ධමහණය. එකල සිටුදූසතරදෙන නම් දැන් මේ සිටුදූසතරදෙනනාය. එකල ශක්‍රදෙවෙන්‍ද්‍රයෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. මෙහි විස්තර චතුක්කනිපාතයෙහි අම්බජාතකයෙන් දතයුත්තේ. මේ අම්බගෝපකයාගේ වාසනාදෝෂ වන්නේ.

දුර්වචයාගේ වාසනාදෝෂ

දුර්වචයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

සැවැත්නුවර වැසි කුලපුත්‍රයෙක් මේ සර්වඥශාසනයෙහි මහණව ආචාර්යඋපාධ්‍යායන් වහන්සේත් ඉෂ්ටකාමී භික්‍ෂූන් වහන්සේත් කීවා නොකොට නො කී කරුව වාසයකරන්නේය. බුදුහු එපවත් අසා මේ මහණ දැන් මතු නොවෙයි. පෙරත් නොකීකරුම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

අතීතයෙහි එක්කලෙක අප මහබෝසතාණෝ ගිජුලිහිණි යෝනියෙහි ඉපද ගිජුලිහිණිසමූහයා පිරිවරා ගිජුකුළු පව්වෙහි වාසයකරන්නාහ. ඒ බෝධිසත්ත්‍වයන්ගේ පුත්‍රයෙක් ඉතා බලවත් වූ ශක්ති ඇත්තේය. සෙසු ගිජුලිහිණියන්ගේ විෂය ඉක්ම ඉතා දුරු අහසට නැඟෙන්නේය. ගිජුරජ එපවත් අසා ඔහු තමා සමීපයට කැඳවා ගෙන්වාගෙන පුත! තෙපි ඉතා උස් අහසට නැඟෙව්ල. එසේ කරව් නම් තෙපි නොබෝ දවසකින් නැසෙව තොපි යම්පමණ තැනකට නැඟිකල මේ පෘථිවිතලය සතරැස් ලියද්දක් සේ පෙනෙන්නේ වී නම් එයින් මත්තට නොනැඟෙව, අවුරු දහසකට ආයුෂය ඇති ගිජුලිහිණියෝ තමතමන්ගේ විෂය ඉක්ම නැඟිවහාම නටහයි කීහ. ඒ තමා නො කීකරුවන බැවින් උස්අහසට නැඟෙන්නේ පියා කැඩෙන්නාක් වැනි වූ කල වාතයට පැමිණ එයිනුදු උඩනැඟී වෙරම්බවාතයට ගොස් වන වේරම්බවාතවේගයෙන් කැඩි කැඩී අහසම මිය, සුණුවිසුණුවැ අතුරුදන් විය. බුදුහු මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා එකල්හි පියා කීවා නොකළ ගිජ්ඣපුත්‍ර නම් දැන් මේ නොකීකරු මහණ වන්නේය. එසමයෙහි ගිජුරජ්ජුරුවෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. මෙහි විස්තර නවකනිපාතයෙහි ගිජ්ඣජාතකයෙන් දතයුත්තේය. මේ දුර්වචයාගේ වාසනාදෝෂ වන්නේය.

කුහකයාගේ වාසනාදෝෂ

කුහකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

සැවැත්නුවර වසි එක් කුලපුත්‍රයෙක් බුදුසස්නෙහි මහණව සතරපසය සඳහා තුන්වැදෑරුම් කොට කුහකවත් පුරන්නේය. බුදුහු ඔහු කුහක කමින් ජීවිකාව කරන බව අසා මේ දැන් මතු නොවෙයි; පූර්වභවයෙහිදු කොහොන්කම් කොට ජීවත්වූයේ ම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

අතීතයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ පුරොහිත බ්‍රාහ්මණයාට දාව අවශ්‍යව බඩහොත් උද්දාලක නම් කුමාරයෙක් තක්සලානුවරට ගොස් ශාස්ත්‍ර ඉගෙන පසල්දනව් වෙහි තපස්චීවරයන් සමීපයෙහි පැවිදිව උන්ට ආචාරීව එක්දවසක් ඒ තපස් චීවරයන්ට කියන්නේ වනමුල් වනඵලාඵල අනුභව කොට අරණ්‍යයෙහි වාසය කරන්ට සැප නොවෙයි, මිනිසුන් වසන තැන වසම්හයි කීය, තපස්චීවරයෝ කියන්නාහු මනුෂ්‍යයෝ දන්දී බණඅස්නු කැමැත්තෝය, ප්‍රශ්නවිචාරනු කැමැත්තෝය, එසේ හෙයින් අපි ඒ ප්‍රශ්න විසර්ජනාදිය කිරීමෙහි භයින් ඔබ නොයම්හයි කීහ.

එබස් අසා තාපස කියන්නේ තෙපි හැම බණකීම් ආදියට බය නො කරව, සක්විතිරජෙක්වී නමුත් ඔහු සිත්ගෙන බණ කියන්ට මට බාරවන්නේයයි කියා, ඒ සියලු තපස්චීවරයන් කැඳවාගෙන සැරිසරා ඇවිදිමින් බරණැස් නුවර උයනට ගොස් එහි ලැග පළමුවන දවස් නුවර වාසල්දොර ගමකට වැද ලැග දෙවෙනි දවස් අවුත් නුවරට වන්නේය. මනුෂ්‍යයෝ තපස්චීවරයන් දැක දන්දී ධර්මිෂ්ට තපස්චීවරයෝ අපගේ නුවරට වැඩියහ. ඔහු බණ කියති. පැන විසඳතියි ගොස් රජ්ජුරුවන්ට දන්වූහ. රජ්ජුරුවෝ ඔවුන් බස් අසා තපස්චීවරයන් දක්නට යෙමියි, කිවූය. එපවත් උද්දාල තාපසයා අසා අවශේෂ තපස්චීවරයන් කැඳවා කියන්නේ රජ්ජුරුවෝ අපහැම දකින්ට එත්ල, ඉසුරන් එක්දවසක් සිත්ගත්කල දිවිපමණින් ජීවත්විය හැක්ක, එසේ හෙයින් සමහරුන් වවුල්තපස් කළ මැනව, සමහරුන් කටුමැස්සේ වැදහොත මැනව, සමහරුන් හිරමුදුනේ සිටිවේලෙහි සතරදිග ගිනිමැල සතරක් බැඳ ගිනිමැල සතර මැද්දේ වැදහෙව. මුදුනේ හිරුරැසින් හා සතරදිග ගිනිරැසින් තැවී පඤ්චතාපතප්පනය කළ මැනව, සමහරුන් උදෑසනම කරවටක් දියට බැස සිටිය මැනව. සමහරුන් ඒ ඒ තැන හිඳ මන්ත්‍රජල්පනය කළ මැනවැයි, යොදා තෙමේ නුවණැති ප්‍රගුණ කරනලද වාසස්ථාන ඇති තපස්චීවරයන් සත්අටදෙනකු හැරගෙන යහපත් දණ්ඩාසනයක විසිතුරු බණවස්නක් අතුට විසිතුරු පොත් තබාගෙන අතවැස්සන් පිරිවරාගෙන යහපත් හස්නෙක හුන්නේය. එකෙණෙහි රජ්ජුරුවෝ පුරොහිත බ්‍රාහ්මණයා හා සමග මහ පිරිවරින් උයනට ගොස් මිථ්‍යාතපස්කරන්නවුන් දැක පැහැද උද්දාලකයා කරා ගොස් සුවදුක් කථාකොට එකත්පස්ව හිඳ සතුටු සිතින් ඔවුන්ට ප්‍රශංසාකොට ගුණ කිවූය. එසඳ පුරොහිත බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට කියන්නේ, මහරජ්ජුරුවන් වහන්ස! මූහැමදෙන සිල්වත් තපස්චීවර කෙනෙක් නොවෙති, ඇති නුගුණ සඟවා නැතිගුණ අඟවා දඹදිව්වැසි සත්ත්‍වයන් තමන්ගේ කුහක ප්‍රතිපත්තියෙන් නසති. එසේ හෙයින් මොවුන් හැමගේ අවුල්හැර පවුල් උදුරාගෙන ගිහි කැරැවුව මැනැවැයි කීය. රජ්ජුරුවෝ යහපතැයි ගිවිස ඔවුන් හැමදෙන ගිහිකරවා උද්දාලකයාට අනුපුරෝහිත තනතුරුදී, අවශේෂයන්ට කඩුපළගදී, සෙවකකොට හැරගෙන නුවරට වන්හ.

මෙහි විස්තර පකිණ්ණකනිපාතයෙහි උද්දාලජාතකයෙන් දතයුත්තේය. සර්වඥයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා එසමයෙහි උද්දාලකයා නම් දැන් මේ කුහක මහණය, රජ්ජුරුවෝ නම් ආනන්‍දස්ථවිරයෝය, පුරොහිතබ්‍රාහ්මණයා නම් තිලෝගුරු බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

මේ කුහකයාගේ වාසනාදෝෂය වන්නේය.

අවවාද අනුශාසනා

මෙසේ මෙබඳු සත්ත්‍වයන්ගේ වාසනාදෝෂ හා අන්‍යවුත් සියදහස්ගණන් සත්ත්‍වයන්ගේ වාසනාදෝෂ මෙන් සත්පුරුෂය! තාගේ වාසනාදෝෂය දිව්‍යමනුෂ්‍යපර්ෂද් මධ්‍යයෙහි අනාගතයෙහි උපදනා සර්වඥවරයෝ ප්‍රකාශකොට කියන්නාහ. ඒ තාගේ වාසනාදෝෂය දෙවි මිනිස් පිරිස්මැද පහළ කොට කීමෙන් තට මහත්වූ නින්දා වන්නීයයි අවවාද කරන සේක.

තවද සොඳුරු වූ සත්පුරුෂය! සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාස නැමැති ජලයෙන් සම්පූර්ණ වූ ජාති-ජරා-ව්‍යාධි-මරණ නැමැති මහත්වූ රළපතර බිඳුනාවූ ලෝභ-ද්වේෂ-මෝහ-මද-මාන-මාත්සර්යාදි චණ්ඩමත්ස්‍යසමූහයාගෙන් ගැවසීගත්තාවූ ගෘහරාක්‍ෂසීයයි කියන ලද ස්ත්‍රීන්ට වාසස්ථාන වූ නොහොත් මාතුගාම නැමැති උදකරාක්‍ෂසයන් ගෙන් ගැවසී ගත්තාවූ තෘෂ්ණා නැමැති ගංගාජලය වැදීමට පිහිටවූ රූප ශබ්දාදි පඤ්චකාම කොට්ඨාස නැමැති සලාවැටුම් ඇති ඉතා ගැඹුරු වූ පරතෙර දැක්ක නොහැකි සංසාරසාගරයෙහි ගැලෙමින් කාමවිතර්කාදි නැමැති තරඞ්ගවේගයෙන් පහරණා ලදුව, ඇවිදිනාවූ තෝ දැන් ශීල-සමාධි-ප්‍රඥා-විමුක්ති-විමුක්තිඥාන දර්ශනාදි කෙහෙල් සුවඳ හැල්වී-මීඅඹ-තල්-පොල් ආදිවූ ඵලවෘක්‍ෂයෙන් සමෘද්ධ වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම නැමැති රත්නාකරයට වැද දිවසැපත් නිවන් සැපත් දෙන්නාවූ සිත්කලුවූ මාගේ ශාසන නැමැති දිවයිනට පැමිණ උතුම් බලවත් පිහිට ලැබගෙන සංසාර නැමැති මුහුදින් නැගී කෙලෙස් නැමැති සැඩදිය වතුරෙන් ගොස් අපාය නැමැති වඩබාමුඛයෙහි නොවැටෙන පිණිස බඹසරවත් රක්‍ෂා කරව.

තවද සත්පුරුෂය! තෝ සංසාර නැමැති රසාතලයට බට අවිද්‍යා නැමැති මහමුල් ඇති, මහත් ඝනසාර වූ සංස්කාර නැමැති කඳ ඇති, භවාග්‍රය දක්වා නැඟි ජරා මරණ නැමැති අත් ඇති, සියලු ලෝකයෙහි විසිර සිටි තෘෂ්ණා නැමැති අතුපතර ඇති, රූපාදි පඤ්චකාම විෂය නැමැති වසමල් පිපෙන්නාවූ දුක් නැමැති විෂඵලයෙන් භරිත වූ කර්මවර්තක්ලේශව තිත-විපාකවර්තසංඛ්‍යාත ත්‍රෛභූමිකවර්ත නැමැති විෂවෘක්‍ෂය කර්මස්ථාන මනස්කාර නැමැති පොරොවින් කපා සංක්‍ෂේපයෙන් සතරමහාභූතයන්ගේ මනස්කාරයෙන් කඩ කඩ කොට දෙසාළිස් කොට්ඨාසයෙහි විස්තරමනස්කාරයෙන් පළා නාම රූපරිග්‍රහයෙන් කැබලි කැබලි කොට ලැහැලි වපුරා එම නාමරූපධර්මයන්ට ප්‍රත්‍යය පර්යේෂණය කිරීමෙන් මුල් උදුරා අනුපූර්වවිදර්ශනා නැමැති අව්සුළඟින් වියලා අර්හත්ඵලප්‍රාප්ති නැමැති ගින්නෙන් දවාපිය.

එහෙයින් දැන්ම තෝ මදජලයෙන් යුක්තවූ කපොලස්ථල ඇති, ඒ කාරණයෙන්ම වැහෙන්නාවූ මදජල ඇති, භෘඞ්ගනාදයෙන් දොඩමලුවූ මුහුණු ඇති, හස්තියක්හු වජ්‍රාංකුශයෙන් කොටා මුදවා හික්මවන්නාක් මෙන් පඤ්චකාමවිෂයෙහි ලොල් වූ සිතට නුවණ නැමැති වීදුරු එබූ අකුස්සෙන් පැහැර නිග්‍රහ කර, එපරිද්දෙන් චිත්තනිග්‍රහකරන්ට තට ඉතා පිළිවන්ම වන්නේය. හේ කෙසේද? යත්:-

අතීතචිත්තය අතික්‍රාන්තම විය. අනාගතචිත්තය අසම්ප්‍රාප්තවිය. වර්තමාන චිත්තක්‍ෂණයම රක්‍ෂාකර. එසේ එපරිද්දෙන් චිත්තසංරක්‍ෂණය කිරීම තට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේය, යන මේ ආදි ක්‍රමයෙන් අනෙකප්‍රකාරයෙන් අවවාද කොට හිරුරැසින් පුබුදුවන මහපියුමක් මෙන් ඒ සත්ත්‍වයන්ගේ චිත්ත නැමැති පද්මය තමන්වහන්සේගේ අවවාදධර්මදේශනා නැමැති සූර්යරශ්මීන් ප්‍රබෝධ කොට ආකාශයට පැනනැගී ඇසිල්ලකින් මෑත තමන් වහන්සේ වසන්නාවූ ගඳකිළියට වඩනාසේක. එසේ හෙයින් කියනලදි.

“බොධනෙය්‍යං ජනං දිස්වා සතසහස්සෙ පි යොජනෙ,

ඛණෙන උපගන්ත්‍වාන බොධයිස්සති සො ජිනො”යි.

පරිවාර සමෘද්ධි

තවද එසමයෙහි සියලු සතුන් කෙරෙහි කරන ලද අනුකම්පා ඇති මහාකාරුණික වූ දිපදොත්තමවූ මහාමුනිවූ ඒ මෛත්‍රෙය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ෂට් අභිඥා ඇතිසේක්, තමන්වහන්සේ බඳු ෂට් අභිඥා ඇති භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන් වහන්සේ මහත්වූ සෘද්ධි ඇතිසේක්, තමන්වහන්සේ බඳු මහත්සෘද්ධි ඇති භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලදසේක. තමන් වහන්සේ චතුපටිසම්භිදාවට පැමිණි සේක් තමන්වහන්සේ බඳු චතුපටිසම්භිදාවට පැමිණි භික්‍ෂූන් විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ නිරුත්තිපදයෙහි දක්‍ෂවූසේක්, තමන් වහන්සේ බඳු නිරුත්තිපදයෙහි දක්‍ෂවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන්වහන්සේ බහුශ්‍රැත වූසේක්, තමන්වහන්සේ බඳු බහුශ්‍රැත භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන් වහන්සේ ධර්මධරවූසේක්, තමන්වහන්සේ බදු ධර්මධරභික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන්වහන්සේ ව්‍යක්තවූ සේක්, තමන්වහන්සේ බඳු ව්‍යක්ත වූ භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ සංඝශොභනවූසේක්, තමන්වහන්සේ බඳු සංඝශොභන වූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ සුදන්තවූසේක්, තමන්වහන්සේ බඳු සුදන්ත භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ සොරතවූසේක්, තමන්වහන්සේ බඳු සොරත භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ ධීරවූසේක්, තමන්වහන්සේ බඳු ධීරභික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ නාගවූසේක්, තමන්වහන්සේ බඳු නාගභික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ තාදිගුණයෙන් යුක්තවූ සේක්, තමන්වහන්සේ බඳු තාදිගුණයෙන් යුක්ත භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ නිස්තීර්ණසේක්, තමන්වහන්සේ බඳු නිස්තීර්ණ භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ ශාන්තවූ සේක්, තමන්වහන්සේ බඳු ශාන්ත භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ අල්පේච්ඡවූ සේක්, තමන් වහන්සේ බදු අල්පේච්ඡ භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන්වහන්සේ සන්තුෂ්ටවූසේක්, තමන්වහන්සේ බඳු සන්තුෂ්ට භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ ප්‍රවිවික්තවූසේක්, තමන්වහන්සේ බඳු ප්‍රවිවික්ත භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරනලද සේක, තමන්වහන්සේ කුලෙහි ගණෙහි නොඇලෙනසේක්, තමන්වහන්සේ බඳු කුලෙහි ගෙණෙහි නොඇලෙන භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ ක්ලේශසංලිඛනය කරන සේක්, තමන්වහන්සේ බඳු ක්ලේශසංලිඛනය කරන භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ වඩන ලද වීර්ය ඇති සේක්, තමන්වහන්සේ බඳු වඩන ලද වීර්ය ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ ශීලසම්පන්න සේක්, තමන්වහන්සේ බඳු ශීලසම්පන්න භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ සමාධිසම්පන්නසේක්, තමන්වහන්සේ බඳු සමාධිසම්පන්න භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ ප්‍රඥාසම්පන්න වූසේක්, තමන් වහන්සේ බඳු ප්‍රඥාසම්පන්න භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන්වහන්සේ විමුක්තිසම්පන්න වූසේක්, තමන්වහන්සේ බඳු විමුක්තිසම්පන්න භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ විමුක්තිඥානදර්ශන සම්පන්නවූසේක්, තමන් වහන්සේ බඳු විමුක්තිඥානදර්ශන සම්පන්න භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ චොදකවූසේක්, තමන්වහන්සේ බඳු චොදක භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ පාපගරහීවූසේක්, තමන්වහන්සේ බඳු පාපගරහී භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ වක්තෘවූසේක්, තමන්වහන්සේ බඳු වක්තෘ භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ භග්නකරණ ලද ක්ලේශයන් ඇතිසේක්, තමන්වහන්සේ බඳුභග්නකරන ලද ක්ලේශයන් ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ කෙලෙස් අවුල් හළසේක්. තමන්වහන්සේ බඳු කෙලෙස් අවුල් හළ භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ පතිතමානධ්වජ ඇතිසේක්, තමන්වහන්සේ බඳු පතිත මානධ්වජ ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ නසනලද සසර සිරගෙවල් ඇතිසේක්, තමන්වහන්සේ බඳු නසන ලද සිසිර සිරගෙවල් ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන්වහන්සේ සන්තානයෙන් උදුරන ලද සෝක පරිදේවාදි ඉන්‍ද්‍රඛීල ඇතිසේක්, තමන්වහන්සේ බදු සන්තානයෙන් උදුරන ලද සෝක පරිදේවාදි ඉන්‍ද්‍රඛීල ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක.

මෙසේ මෙබඳුවූ උතුම්වූ ගුණසමූහයෙන් යුක්ත කෙළලක්‍ෂයක් පමණ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන්වහන්සේ පිරිවරන ලද ඒ මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ පෙත්තෙන් පිරිවරන ලද කෙසරු මෙන්ද කෙසුරෙන් පිරිවරන ලද පියුම් කෙමියක් මෙන්ද, සප්තකූලපර්වතයෙන් පිරිවරන ලද මහාමේරුපර්වතය මෙන්ද, පබළුවන් පිළීකඩින් වටකරන ලද ස්වර්ණප්‍රාසාදයක් මෙන්ද, නොයෙක් සියදහස් ගණන් මිණිදඬුවැටපහන් මධ්‍යයෙහි පිහිටි දිලියෙන මහ පහන්රුකක් මෙන්ද, සුපිපි රත්පියුම්වන මධ්‍යයකට පැමිණි ස්වර්ණ නෞකාවක් මෙන්ද, අනූදහසක් හංසයන් විසින් පිරිවරන ලද ස්වර්ණහංසරාජයකු මෙන්ද, වෘෂභසමූහයා විසින් පිරිවරන ලද වෘෂභරාජයක්හු මෙන්ද, ව්‍යාඝ්‍රසමූහයා විසින් පිරිවරන ලද ව්‍යාඝ්‍රරාජයක්හු මෙන්ද, සිංහසමූහයා විසින් පිරිවරන ලද කේශරසිංහරාජයක්හු මෙන්ද, හස්තිසමූහයා විසින් පිරිවරන ලද ඡද්දන්ත නම් හස්තීරාජයක්හු මෙන්ද, අශ්වසමූහයා විසින් පිරිවරන ලද වලාහක නම් අශ්වරාජයා මෙන්ද, තාරකා සමූහයා විසින් පිරිවරන ලද පූර්ණ චන්ද්‍ර මණ්ඩලය මෙන්ද, සහස්‍රරස්මීන් පිරිවරන ලද ශරත් සූර්ය මණ්ඩලය මෙන්ද, සතිස් යොදනෙක පැතිර සිටි පර්ෂදින් පිරිවරන ලද සක්විතිමහරජක්හු මෙන්ද, දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද ශක්‍රදේවේන්‍ද්‍රයා මෙන්ද, බ්‍රහ්මසමූහයා විසින් පිරිවරන ලද සහම්පතී මහා බ්‍රහ්මයා මෙන්ද, තුන්සියයක් යොදුන් පමණ ඇති අන්තො මණ්ඩලයෙහිද, සසියයක් යොදුන් පමණ ඇති මධ්‍ය මණ්ඩලයෙහිද, නවසියයක් යොදුන් පමණ ඇති මහාමණ්ඩලයෙහිද, සැරිසරා වඩනා සේක් ධර්මභෙරිය පහරණසේක්, ධර්මශංඛය පිඹිනාසේක්, ධර්මධ්වජය නඟනසේක්, ධර්මකොන්තය ඔසවනසේක්, සිංහනාද කරණසේක්, ධර්මචක්‍රය පවත්වන සේක්, උතුම් චතුස්සත්‍යරස පානය කරවනසේක්, වෛනෙය ජන නැමැති මහාගංගාව ධර්මනැමැති වර්ෂාවෙන් පුරවනසේක්, ධර්මනැමැති හිණ බඳනාසේක්, ධර්ම නැමැති මහදොර සිටුවන සේක්, ධර්ම නැමැති මහනැව මෙහෙවර කරනසේක්, වෛනෙය ජන නැමැති පද්මාකාරය ප්‍රබොධ කරනසේක්, කිසිකෙනෙකුන් ශරණශීලයෙහිද, කිසි කෙනකුන් පඤ්චශීලයෙහිද, කිසිකෙනකුන් ප්‍රව්‍රජ්‍යායෙහිද, කිසි කෙනකුන් උපසම්පදායෙහිද, පිහිටුවනසේක්, කිසි කෙනකුන්ට රූපාවචරධ්‍යානයද, කිසි කෙනකුන්ට අරූපාවචරධ්‍යානයද, කිසි කෙනකුන්ට විදර්ශනාද, කිසි කෙනකුන්ට මාර්ගඵලද, කිසි කෙනකුන්ට චතුපටිසම්භිදාවන්ද, කිසි කෙනකුන්ට අෂ්ටවරයද, කිසි කෙනකුන්ට අෂ්ටසමාපත්තියද, කිසි කෙනකුන්ට ත්‍රිවිද්‍යාවන්ද, කිසි කෙනකුන්ට ෂට්අභිඥාවන්ද, දෙනසේක්, සියලු පෘථිවිමණ්ඩලයෙහි ශාසනය පතුරුවනසේක්, සංසාරදුඃඛයෙන් සියලු සත්ත්වයන් ගොඩනගන සේක්, සියලු සත්ත්‍වයන්ට මාර්ගඵලාවබෝධය කොට සත්ත්‍වයා විනයනය කෙරෙමින් වාසය කරන සේක.

නාග ශ්‍රී බෝධිය

මෙසේ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ පරිවාරසමෘද්ධිය හා චාරිකාගමන්ද දක්වා දැන් උන්වහන්සේගේ මාතෘ පිතෘ අග්‍රශ්‍රාවක - අග්‍රශ්‍රාවිකා - උපස්ථායක - උපස්ථායිකා - බෝධිවෘක්‍ෂ සමෘද්ධිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාළසේක.

“මාතා බ්‍රහ්මවතී නාම සුබ්‍රහ්මානාම සො පිතා,

පුරොහිතො සංඛරඤ්ඤො මෙත්තෙය්‍යස්ස තදා භවෙ.

-

අසොකො බ්‍රහ්මදෙවො ච අග්ගාහෙස්සන්ති සාවකා,

සීහො නාම උපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.

-

පදුමා චෙව සුමනා ච අග්ගාහෙස්සන්ති සාවිකා,

සුධනො චෙව සංඝො ච භවීස්සන්තග්ගුපට්ඨකා.

-

යසවතී ච සංඝා ච භවිස්සන්තග්ගුපට්ඨිකා,

බොධි තස්ස භගවතො නාගරුක්ඛො භවිස්සති.

-

වීසංහත්‍ථසතක්ඛන්‍ධො සාඛා වීසං සතානි ච,

පවෙල්ලිතග්ගා ලලිතා මොරහත්‍ථො ව සොභති.

-

සුඵුල්ලිතග්ගා සත්තං සුරභී දෙවගන්‍ධිකා,

නාලපූරං භවෙ රෙණු සුඵුල්ලාචක්කමත්තකා.

-

අනුවාතපටිවාතම්හි වායති දසයොජනෙ,

අජ්ඣොත්තරිස්සන්ති පුප්ඵානි බොධිමණ්ඩෙ සමන්තතො.

-

සමාගතා ජානපදා සායිත්‍වා ගන්‍ධමුත්තමං,

වාක්‍යංනිච්ඡාරයිස්සන්ති තෙන ගන්‍ධෙන මොදිතා.

-

සුඛො විපාකො පුඤ්ඤානං බුද්ධසෙට්ඨස්ස තාදිනො,

යස්ස තෙජෙන පුප්ඵානං අචින්තෙය්‍යො පවායති”යි.

එසමයෙහි ශංඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ පුරොහිත වූ සුබ්‍රහ්මා නම් බ්‍රාහ්මණමහාසාර යන කෙනෙක් මෛත්‍රෙය සර්වඥයන් වහන්සේට පියවන්නාහ. බ්‍රහ්මවතී නම් බැමිණි දේවී කෙනෙක් මවු වන්නාහ. එකාසංඛ්‍යකප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ඇති නුවණැත්තන් කෙරෙහි අගතැන්පත් වූ ප්‍රථම මහාශ්‍රාවක වූ අසොක නම් මහතෙර කෙනකුන්වහන්සේ දක්‍ෂිණශ්‍රාවක වන සේක. එසේම එකාසංඛ්‍යකප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ඇති සෘද්ධිමතුන් කෙරෙහි අගතැන්පත් වූ ද්විතීය මහාශ්‍රාවක වූ බ්‍රහ්මදේව නම් මහතෙර කෙනෙකුන් වහන්සේ වාමශ්‍රාවක වනසේක. කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ඇති බහුශ්‍රැතාදීන් අතුරෙන් අගතැන්පත් වූ ධර්මභාණ්ඩාගාරික වූ සීහ නම් මහතෙරකෙනකුන් වහන්සේ අපගේ සර්වඥයන් වහන්සේට අනඳ මහතෙරුන්වහන්සේ මෙන් මෛත්‍රෙයසර්වඥයන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරන සේක.

තවද එසමයෙහි පදුමා නම් ස්ථවිරීය, සුමනා නම් ස්ථවිරීය යන දෙදෙනෙක් අග්‍රශ්‍රාවිකා වන්නාහ. සුධනය, සංඝය යන සිටුවරු දෙදෙනෙක් අග්‍රඋපස්ථායක වන්නාහ. යසවතීය, සංඝාය යන උපාසිකාවරු දෙදෙනෙක් අග්‍රඋපස්ථායිකා වන්නාහ. ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේට නාගවෘක්‍ෂයෙක් ශ්‍රී මහා බෝධිය වන්නේය. ඒ බෝධිවෘක්‍ෂයෙහි මඳ මඳ පවනට සැලෙන රන් වූ ලපලු අක් ලීලොපෙතව සැලෙමින් සිටිනේය. මරකත මාණික්‍යමය වූ පත් ඇති බැවින් ඉතා නිල්වූ ඒ බෝධිවෘක්‍ෂය ඝනකොට හසුරුවා බඳනාලද මොනරපිල්කලබක් මෙන් ඉතා හොබනේය. හැමකලම උතුම් මනොඥ වූ දිවසුවඳින් යුක්තවූ සුපිපි මල් ඇතිවන්නේය. එකි එකි මලෙහි නැලියක් පමණ රේණු වන්නේය. පිපිමල් රථසකක් පමණ වන්නේය. ඒ පුෂ්පයන්ගේ දිව්‍යසුගන්‍ධය යටිසුලඟින් උඩුසුලඟින් හාත්පසින් දසයොදනෙක හමනේය. ඒ බෝධිමණ්ඩලය හාත්පසින් තුන්යොදනෙක නා, සපු, සීනිද්ද, බෝලිද්ද, දෑසමන් ආදිහු නොයෙක් සුවඳමල් සලා රැස්කොට පුදන්නාහ. එතනට රැස්වූ දනව්වැසි, නියම්ගම්වැසි, සත්ත්‍වයෝ උතුම් පුෂ්පගන්‍ධය ආඝ්‍රාණය කොට ඒ සුගන්‍ධයෙන් සන්තුෂ්ටවූවාහු සුගන්‍ධයක් ඉතා යහපත් නියාය සුගන්‍ධයක් ඉතා යහපත් නියායැයි කියා සොම්නසින් යුක්තවූ ප්‍රීති වාක්‍යය පවත්වන්නාහ යනාදි ගුණයෙන් යුක්තවූ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ යම් බඳු සැප විශේෂයක් උපදවන්නාවූ කුශලානුභාවයෙන් මහාබෝධිවෘක්‍ෂයෙහි පුෂ්පයන්ගේ නොසිතිය හැකි මනොඥ වූ දිව්‍යසුගන්‍ධය වටින් දසයොදනක් මානයෙහි හමාද එහෙයින් උන්වහන්සේගේ කුශලවිපාකය නොයෙක් සැපයට ආසන්න කාරණ වන බැවින් ඉතා සැපවන්නේය.

එහෙයින් නුවණැත්තා වූ සත්පුරුෂයන් විසින් විශේෂයෙන් කුශල් කටයුත්තේය.

තවද ඒ නාගශ්‍රීබෝධිය වූ කලි සුදු සිනිඳු රිදීකඳක් හා සමානව හටගත් වට මට කෙලින් නැඟී ගැට නැති එක්සිය විසිරියනක් පමණ උස නැඟි කඳ ඇත්තේය. එපමණ වූම පඤ්චමහා ශාඛා ඇත්තේය. මුලපටන් අතුඅග දක්වා අතුර දෙසිය සතළිස් රියන් පමණ වන්නේය. එසේම පශ්චිමශාඛාග්‍රයෙහි පටන් පූර්වශාඛාග්‍රයට දෙසිය සතළිස් රියනක් පමණ වන්නේය. දක්‍ෂිණශාඛාග්‍රයෙහි පටන් උත්තර ශාඛාග්‍රයට දෙසියසතළිස්රියන් පමණ වන්නේය. හාත්පසින් සත්සියවිසි රියනක් පමණ වන්නේය. ඝනකොට හසුරුවා බඳනා ලද මොනරපිල් කලඹක් මෙන්ද, රිදීකඳක් මත්තෙහි තබන ලද කුළු නැති ඉන්‍ද්‍රනීල මාණික්‍යමය පර්වතයක් මෙන්ද, ශෝභමානව සියලු පෘථිවි මණ්ඩලය සරහමින් සිටිනේය. ඒ බෝධිවෘක්‍ෂයෙහි ලාටු හා පඬෙරවන් පත්ද තුවටුවෙන් ගිලිහෙන්නාවූ පත්ද නැතිවන්නේය. හැමකලම ඉන්‍ද්‍රනීලමාණික්‍යමය වූ පත් ඇතිව අතුරෙහි පබළු දළු හා සමාන මද මද පවනින් සැලෙන ලපලු පතින් සැරහී සිටිනේය. ඉඳුනිල්මිණිවන් අතු අතරෙහි හටගත් එකි එකී නා කැකුළෙක් දොළොස් නැලියක් පමණ පැන් ගන්නේය. පිපිමල් මහාරථසකක් පමණ වන්නේය. එකි එකී මලෙක නැලියක් නැලියක් පමණ රේණු වන්නේය. ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ බුදුවන දවස් පිපිමල් අසූදහසක් අවුරුදු මුළුල්ලෙහි පර නොවී තිබී සර්වඥයන් වහන්සේ පිරිනිවන් පානා දවස් තුවටු වෙන ගිලිහී රොන් සළා විසුරුවමින් සියලු සුවඳ දරින් මිශ්‍රවූ සඳුන් දරසෑය මත්තෙහි වැගිරෙන්නේය. ඒ ශ්‍රී මහා නාග බෝධීන් වහන්සේට හාත්පසින් තුන්යොදනක් පමණ තැන නොයෙක් පැහැ ඇති මල්රුක් ඒ බෝධීන් වහන්සේ පිරිවරා උන් වහන්සේට අභිමුඛව සිටිනේය. නොයෙක් පැහැ ඇති මල්පල ගන්නා ලතාජාතිය මනා සුවඳ ඇති නොයෙක් පැහැයෙන් බබලන්නාවූ මලින් සැදී දක්‍ෂිණාවෘත්තව මුක්තාමාණික්‍යයෙන් කරන ලද පවුරක් මෙන් වට සැරහී සිටිනේය. බෝධීන්වහන්සේට වටින් අටයොදනක් පමණ ඇති භූමිය සත්රුවන් වැල්ලෙන් ගැවසී ගෙන තිබෙන්නේය. ඒ සත්රුවන් වැලි පිාට අනෙකප්‍රකාර වර්ණගන්‍ධයෙන් යුක්ත වූ දියෙහි ගොඩෙහි පිපෙන්නාවූ සියලු සුවඳමල් අතුට තිබෙන්නේය. තවද එහි අතුරු නැතිවැ අනොජාමල්, එළනික, රත්නික, සීනිද්ද, බෝලිද්ද, දෑසමන්, පළොල්, සපු, බක්මී, සලල, දොඹ, කීන, දඹ, මුහුලුමල් ආදි මල්වැසි වස්නේය. හාත්පසින් රතුපුල්, නිලුපුල්, හෙලපුල්, රතැඹුල, හෙළඇඹුල, රත්පියුම්, හෙළපියුම් මිටියෙන් පුරණ ලද ස්වර්ණඝටපංක්ති සැරහී තිබෙන්නේය. සතරවාසල්දොර සන්‍ධියෙහි යුක්ත රත්නප්‍රදීපමාලාවෝ වන්නාහ. බෝධිවෘක්‍ෂ මස්තකයෙහි ඔලම්බකපද්මයන් ඇති මල්වියන් ආකාශයෙහි බැඳ තිබෙන්නේය. ආකාශයෙන් යන්නාවූ නොයෙක් පැහැ ඇති දක්‍ෂිසමූහයෝ මධුරනාදයෙන් පූජාකොට පැදකුණු කොට යන්නාහ. අතුපත් වෙළෙප් අතුරෙහි සැඟවී හිඳිනා පක්‍ෂිකෙනෙක් නම් නැත්තාහ. මහාබ්‍රහ්මයාගේ කුශලානුභාවයෙන් උපන්නා වූ මරකත මාණික්‍යමය වූ ඡත්‍රයෙක්හි ශ්‍රී සමෘද්ධිය මඬනාක් වැනි වූ සකල ශ්‍රී සෞන්දර්යයෙන් අග්‍රප්‍රාප්ත වූ ඒ ශ්‍රී මහා බෝධිය බබලන්නේය. නිරන්තරයෙන් දිව්‍යමනුෂ්‍යයන් සහිත ලෝකවාසීන් විසින් සත්කාර ගරුකාර කරන ලද්දේ වන්නේය. නාග-සුපර්ණ-අසුර-ගන්‍ධර්ව-දිව්‍ය-බ්‍රහ්මයෝ නිරන්තරයෙන් බල බලා සිටිනාහුත් තෘප්තියකට නො පැමිණෙන්නාහ. මෙබඳු ආශ්චර්ය ශ්‍රී සෞන්දර්යයෙන් අග්‍රප්‍රාප්ත වූ ශ්‍රී මහා බෝධියෙක් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේට එසමයෙහි පහළ වන්නේය.

රූප විලාසය

මෙසේ මාතෘ, පිතෘ, අග්‍රශ්‍රාවක, අග්‍රශ්‍රාවිකා, උපස්ථායක, උපස්ථායිකා, බෝධිවෘක්‍ෂ සමෘද්ධිය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ රූපකාය ප්‍රමාණාදි සමෘද්ධිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාළසේක.

“අට්ඨාසීති භවෙ හත්‍ථො ආයාමෙනෙව සො ජිනො,

උරම්භවෙපණ්ණූවීසං වික්ඛම්භෙ තස්ස සත්‍ථුනො”යි.

ඒ මහාභාග්‍යවත්වූ මෛත්‍රෙය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධකාය අටඅසූරියන් පමණ වන්නේය. සුප්‍රතිෂ්ඨිත පාදතලයෙහි පටන් දෙදනමඬලට දෙවිසිරියන් පමණ වන්නේය. දනමඬලයෙහි පටන් නාභිමඬලට දෙවිසිරියන් පමණ වන්නේය. නාභිමඬලයෙහි පටන් අකුධාතුවට දෙවිසිරියන් පමණ වන්නේය. අකුධාතුවෙහි පටන් ශිරොධාතුවට දෙවිසි රියන් පමණ වන්නේය. දකුණුඋර මඬලෙහි පටන් වම්උඩමඬලට පස්විසිරියන් පළල වන්නේය. එකි එකී කණ සත් සත් රියන් පමණ වන්නේය. කන්වැල් සැලෙන්නා වූ ආකාරය විදුලිය සැලෙන්නාවූ ආකාරයක් මෙන් ශෝභමාන වන්නේය. එකි එකී ඇස පස් පස් රියන් පමණ වන්නේය. ස්වර්ණපර්වතයක් මස්තකයෙක හුනු ඉතා නිල්වූ දෙව්දුනුසඟළක් වැනි සශ්‍රීක වූ බැමසඟළ පස් පස් රියන් පමණ වන්නේය. දෙබැම අතුර පස්රියන් පමණ වන්නේය. රත්අකුස්සක් හා සමාන උස්වූ නාසිකාව සත්රියන් පමණ වන්නේය. අතීරක්තවූ බිම්බඵලයක් හා සමාන අධරමාංශය පස්රියනක් පමණ වන්නේය. සිනිඳු මොළොක් තුනී ඉතා රත් දිඟු පුලුල් දිව දසරියන් පමණ වන්නේය. ශිරොධාතුව වටින් පස්විසිරියන් පමණ වන්නේය. එසේම රන් කැටපතක් හා සමානවූ මුඛමඬලය වටින් පස්විසිරියන් පමණ වන්නේය. රන්මිහිඟුබෙරයක් මෙන් සමව වටවූ ග්‍රීවාධාතුව වටින් පස්විසිරියන් පමණ වන්නේය. අනන්ත නම් නාගරාජයාගේ දරණවැලයක් බඳුවූ සිත්කලු පිරිපුන් වටමටවූ අත්සඟල සතළිස් සතළිස් රියන් පමණ දිග ඇත්තේය. ජාලාවෙන් වලදනා ලද එකි එකී අතුල්තල පස් පස් රියන් පමණ වන්නේය. මෙසේ ශරීරප්‍රමාණය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ නේත්‍රප්‍රමාණය දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“විසාලනෙත්තො උළාරක්ඛි විසුද්ධනයනො ඉසි,

අනිමිසං දිවාරත්තිං අණුංථූලං මංසචක්ඛුනා

අනාවරණං පස්සෙය්‍ය සමන්තා ද්වාදසංයොජනං”යි.

දිගුපුළුල් පිරිසිදු නිර්මල පස්පෑදිස්නා විසිතුරු මසැස් ඇති ඒ සර්වඥයන් වහන්සේ අනිමිසලෝචනයෙන් රාත්‍රින්දිනයෙහි චතුරඞ්ගසමන්නාගත ඝනාන්‍ධකාරයෙහිත් අවටින් එකි එකී දිගින් දොළොස් දොළොස් යොදුන් ඇතුළත තුබූ හබඇට ආදි සියලු රූපද සාවරණවූත් මාංසචක්‍ෂුසෙහි ආනුභාවයෙන් ආවරණ රහිතව පෙනෙන්නා දක්නාසේක.

ප්‍රභා සමෘද්ධිය

මෙසේ නෙත්‍රසමෘද්ධිය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේගේ රස්මිසමෘද්ධිය දක්වන්නා වූ බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළසේක.

“පභා තිධාවතී තස්ස යාවතා පණ්ණූ වීසති,

සොභති විජ්ජුලට්ඨී ව දීපරුක්ඛො ව සො ජිනො

රතනගඝිකසංකාසො භානුමා විය භාසති.

ලක්ඛණාබ්‍යඤ්ජනා රංසා දිස්සන්ති සබ්බකාලිකා

පතන්ති විවිධා රංසා නෙකසතසහස්සියො”යි.

ඒ භාග්‍යවත් වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ බ්‍යාමප්‍රභාසංඛ්‍යාත ඝනවූ රස්මිමණ්ඩලය ආයුපමණින් පස්විසි යොදනක් මානයේ පැතිර සිටිනේය. ඒ සර්වඥයන් වහ්නසේ වනාහි නිල්වූ ආකාශයෙහි සැලෙන්නා වූ විදුලියකලබක් මෙන්ද, ගිලිහෙන්නා වූ ලක්‍ෂගණන් ජ්වාලාවෙන් ගැවසීගත්තා වූ ප්‍රජ්වලිත මහාප්‍රදීපවෘක්‍ෂයක් මෙන්ද අටාසූරියන් උස ඇති ප්‍රභාසමූහයෙන් බබලන්නාවූ සත්රුවන් ඇගෑයක් මෙන්ද, සහස්‍ර රස්මීන් දිලියෙන්නාවූ සූර්යයා මෙන්ද, විශේෂයෙන් බබලන සේක. එකල ඒ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙහි පිහිටියාවූ ද්වාත්‍රිංශත්වර මහාපුරුෂලක්‍ෂණයෝ පිළිවෙලින් සිටුවන ලද චන්‍ද්‍රදිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද, සූර්යදිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද චක්‍රවර්තිරජ්ජුරුවන් දෙතිස්දෙනකුගේද, වරම්රජදරුවන් දෙතිස්දෙනකුගේද, ශක්‍රදේවෙන්‍ද්‍රයන් දෙතිස්දෙනකුගේද, සුයාම දිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද, සන්තුෂිතදිව්‍යපුත්‍රයන් දෙතිස් දෙනකුගේද, සුනිර්මිතදිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද, මහා බ්‍රහ්මයන් දෙතිස්දෙනකුගේද, ශ්‍රී සමෘද්ධිය මැඩපවත්වන්නාවූ ශ්‍රී සමෘද්ධියෙන් යුක්තවන්නාහ. ඒ දෙතිස්මහාපුරුෂලක්‍ෂණයෙන් බබලන්නාවූ සර්වඥයන්වහන්සේගේ ශ්‍රී ශරීරය නැංගාවූ තාරකාසමූහයෙන් දිලියෙන ආකාශතලයක් මෙන්ද, විකසිත පද්මොත්පලපුණ්ඩරීකයෙන් දිලියෙන්නාවූ මහාවිලක් මෙන්ද, නොයෙක් මාණික්‍යාලෝකසමූහයෙන් බබලන්නාවූ භූමිතල ඇති රත්නාකරයක් මෙන්ද විශේෂයෙන් බබලන්නේය.

තවද ඒ සර්වඥයන් වහන්සේගේ අසූඅනුව්‍යඤ්ජනයෙන් දිලියෙන්නා වූ ශරීරය සන්‍ධ්‍යාවලාපටලයකින් හා සියරැලිවිදුලිය දෙව්දුනු ආදියෙන් රැඳීගිය රන්සිරිකුළක් හා සමාන වන්නේය. ඒ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙන් නික්ම හැසිරෙන්නාවූ ෂට්වර්ණඝනබුද්ධරස්මීහු ඉන්‍ද්‍රනීලමාණික්‍යමය ඝටයෙකින් නික්මුනා වූ නිල්මිණිරසධාරාවෙන්ද, ස්වර්ණඝටයෙකින් නික්මුණු කුඞ්කුමරසධාරාවන් මෙන්ද, ප්‍රවාලඝටයෙකින් නික්මුණු සුපක්ව ලාක්‍ෂාරසධාරාවන් මෙන්ද, රජතඝටයකින් නික්මුණා වූ ක්‍ෂීරරසධාරාවන් මෙන්ද, නික්ම කරකැවි කරකැවී යුවල යුවලව නාඹතල්කඳ රථසක්සේ සත්කුළුගෙවල් ආදි ප්‍රමාණව දසදහසක් සක්වළ එකාවර්තව යටින් වාපොළොව ඉක්ම මත්තෙන් භවාග්‍රය ඉක්ම ශාසනාන්තර්ධානය දක්වා අතුරුනැතිව ප්‍රමාණ තික්‍රාන්ත සක්වළ පැතිර පවත්නාහ. මෙසේ රස්මිසමෘද්ධිය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ පද්මසමෘද්ධිය දක්වන්නාවූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“පදුද්ධාරෙ පදුද්ධාරෙ සුඵුල්ල පදුමා රුහා,

තිංසහත්‍ථා මහාපත්තා අනුපත්තා පණ්ණූවීසති.

-

කෙසරා වීසති හත්‍ථා කණ්ණිකා සොළසම්භවෙ,

සුරත්තරෙණු භරිතා පදුම කොසමන්තරෙ”යි.

ඒ භාග්‍යවත්වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ එබු එබූ පියවරක් පියවරක් පාසා චක්‍රලක්‍ෂණයෙන් ජනිතවූ පාදතලයන් පිළිගණිමින් සුපිපි මහපියුම් පොළොව පලාගෙන නැගෙන්නේය. ඉන් එකි එකී පියුමෙක තිස්රියන් පමණ මහපෙති වන්නේය. පස්විසිරියන් පමණ අනුපෙති වන්නේය. විසිරියන් පමණ මල්කෙසුරු වන්නේය. සොළොස්රියන් පමණ කෙමි වන්නේය. එකි එකී මලෙක අමුණක් අමුණක් පමණ රෙණූ වන්නේය. ඒ සර්වඥයන් වහන්සේ ශ්‍රීපාද එබු එබූ වේලෙහි දැහිඟුල්සුණු හා සමාන වූ ඉතා රත් රොන්සළා කේතුමාලාවෙන් සමලඞ්කෘත වූ නිල් වූ ශීරොධාතුව දක්වා නැඟි ස්වර්ණප්‍රතිමාවෙක ලාක්‍ෂාරසධාරාවන් තවරන්නාක් මෙන් උන්වහන්සේගේ සකල ශරීරය හාත්පසින් තවරා සරහමින් ශ්‍රීපාදමූලයෙහි වැගිරෙන්නේය. අතුර තුරෙහි බලාකාවර්ණ ස්වෙතපද්මයෝද පොළොව පලාගෙන නැගී ඒ සර්වඥයන්වහන්සේගේ ශ්‍රීපාදය හොබවන්නේය.

මෙසේ උපමාවිෂයාතික්‍රාන්තවූ බුද්ධශ්‍රීන් හා අනන්තාපරිමාණ බුද්ධවිලාශයෙන් යුක්තව දෙවිමිනිසුන් සහිතවූ සියලු ලෝකයෙහි බුද්ධරාජ්‍යය කරන සේක.

දේවාවත කථා

මෙසේ රූපකාය ප්‍රමාණ සම්පත්-නෙත්‍ර සම්පත්-රස්මිසම්පත් දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේව කාමාවචර දේවතාදීන් විසින් කරන්නාවූ රන් රුවන් ඇගෑ ආදිවූ පූජාවිශේෂය දක්වන්නාවූ සර්වඥයන්වහන්සේ මෙසේ වදාළසේක.

“කාමාවචරිකා දෙවා නිම්මිනිස්සන්ති අග්ඝිකෙ,

නාගරාජා සුපණ්ණා ච තදා තෙලං කරිස්සරෙ.

-

අට්ඨ සොණ්ණමයා අග්ඝි අට්ඨ රූපිමයා පි ච,

අට්ඨ මණිමයා අග්ඝි අට්ඨ පවාළමයා පි ච.

-

අනෙක රතනවිචිත්තා ධජමාලා විභූසිතා,

ඔලම්බමානා කීළන්ති ධජානෙකසතා බහු.

-

මණිමුත්තදාමභූසිතා විතානා හෙමසණ්ඨිතා,

පරික්ඛිත්තා කිඞ්කිණිකජාලා වටංස කථනා යුතා.

-

නානාපුප්ඵා චිකිරිස්සන්ති සුරභිගන්‍ධ ගන්‍ධිතා,

විවිධා නානාචුණ්ණානි දිබ්බමානුසකානිච.

-

විචිත්ත නානා දුස්සානි පඤ්චවණ්ණක සොභනා,

අභිප්පසන්නා බුද්ධස්මිං කීළිස්සන්ති සමන්තතො.

-

හත්‍ථසහස්සමුබ්බෙද්ධා දස්සනෙය්‍යා මනොරමා,

රතනගඝිතොරණා තස්ස අසම්බාධා සුසණ්ඨිතා.

-

සොභමානා පදිස්සන්ති විසාලා සබ්බතො පභා,

තෙසං මජ්ඣගතො බුද්ධො භික්ඛු-ඞ්ඝපුරක්ඛතො.

-

බ්‍රහ්මාව පාරිසජ්ජානං ඉන්‍දොව විමානන්තරෙ,

ගච්ඡන්ති බුද්ධෙ ගච්ඡන්තෙ තිට්ඨමානම්හි ඨස්සරෙ.

-

නිසින්නෙ සයිතෙ චාපි සත්‍ථරි සහපාරිසෙ,

චතු ඉරියාපථෙ නිච්චං ධාරයිස්සන්ති සබ්බසො.

-

එතෙවඤ්ඤෙ ච පූජායො දිබ්බමානුසකානි ච,

විවිධානි පාටිහීරානි හෙස්සන්ති සබ්බකාලිකා.

-

ආගතා පුඤ්ඤතෙජෙන මෙත්තෙය්‍යමභිපූජිතුං,

දිස්වාන තං පාටිහීරං නානාජච්චා මහාජනා

සපුත්තදාරා පාණෙහි සරණං හෙස්සන්ති සත්‍ථුනො.

-

යෙ බ්‍රහ්මචරියං චරිස්සන්ති සුත්‍වාන මුනිනො වචං,

තෙ තරිස්සන්ති සංසාරං මචුච්ද්ධෙය්‍යං සුදුත්තරං

බහුවිධම්මචක්කං විසොධෙස්සන්ති තෙ සදා.

-

දසහි පුඤ්ඤකිරියාහි තීහි සුචරිතෙහි ච,

ආගමාධි ගමෙහෙව සොභයිත්‍වාන සාසනං.

-

අනුධම්මචාරිනො හුත්‍වා බහුසග්ගූපගා භවෙ,

නසක්කා සබ්බසො වත්තුං එත්තකං ඉති වා සයං

අච්චන්තං සුඛිතා නිච්චං තස්මිං තෙ කාලසම්පදෙ”යි.

එසමයෙහි ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ ගඳකිළිය පිරිවරා හාත්පසින් කාමාවචර දිව්‍යලොකවාසීවූ දේවතාවෝ නොයෙක් රන් රුවන් ඇගෑමවන්නාහ. ඉන් ඇගෑඅටෙක් ස්වර්ණමය වන්නේය. අටෙක් රජතමය වන්නේය. අටෙක් මැණික්මය වන්නේය. අටෙක් පබළුමය වන්නේය. නොයෙක් සිය දහස් ගණන් මල්ඇගෑගඳකිළිය සතරදිග සැරහී සිටිනේය. ඒ සියලුම ඇගෑඋසින් අටඅසූරියන් පමණ වන්නේය. මහානුභාව සම්පන්න නාග-සුපර්ණ-ගන්‍ධර්වාදීහු නොයෙක් සැරහීමෙන් හා අනෙකරත්නයෙන් විචිත්‍ර වූ ධ්වජමාලාවෙන්ද, මුතුදම්, මැණික්දම්, රන්රිදීදම්, සුවඳදම්, මල්දම්, රන්රසුදැල්, මල්කලස මල්කැන් ආදියෙන්ද, හාත්පසින් එල්වන ලද රන්තරු-රිදීතරු-මැණික්තරු ආදියෙන් විසිතුරුවූ සත්රුවන්මය වියතින්ද, ඒ සියලු රන්රුවන් ඇගෑ සරහන්නාහ. හැමකල්ම නොයෙක් දිවසුවඳමල් වැසි වස්නාහ. දිව්‍යසුගන්‍ධයෙන් එකසුගන්‍ධවූ අනෙකප්‍රකාර දිව්‍යමානුෂික වූ සඳුන් සුණු ආදි දිවසුවඳසුණු විසුරුවන්නාහ. ඒ ඇගෑමධ්‍යයෙහිත් එසේම විසිතුරු වූ පස්වනක් පැහැ ඇති නොයෙක් ප්‍රභාසමූහයෙන් බබලන්නාවූ දිව්‍යවස්ත්‍රයෝ සියලු දිගත් ලෙලි ලෙලී සිටිනාහුය.

ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ කෙරෙහි ප්‍රසන්නවූ සියලු දිව්‍යමනුෂ්‍යයෝ සතුටින් කුල්මත්ව නොයෙක් කෙළි කෙළනාහ. ගී කියන්නාහ. ඔල්වරහඬ ගසන්නාහ. පොළුසන් දෙන්නාහ. පිළීහිස සිසාරන්නාහ. අසුරුසන් දෙන්නාහ. සාධුකාර දෙන්නාහ. හාත්පසින් ඒකනිර්ඝෝෂ එකනින්නාද කරන්නාහ. ගඳකිළි දොරකඩ පිහිටියාවූ සෙසුඇගෑයට වඩා විශිෂ්ටවූ දහසක් රියන් උස් ඇති, මනාව පිහිටි විශේෂවත් සටහන් ඇති, දර්ශනීය සිත්කලුවූ රුවන්ඇගෑ හා රුවන් තොරණ සමූහයත් ඉන් ඊට අසම්බාධව පිහිටි විශාලවත් විචිත්‍රවත් රන්ධජ රිදීධජ මැණික්ධජ ආදි නොයෙක් සියදහස් ගණන් ධජමාලාවෙන් ගැවසීගෙන සර්වතොභාගයෙන් අලඞ්කෘතව බැබලි බැබලී සිටිනේය. ඒ ඇගෑ තොරණ දෙකට අතුරෙහි පොළොව පළාගෙන නැඟි රත්නමණ්ඩපමධ්‍යයෙහි පිහිටි රත්නපර්යඞ්කමස්තකයෙහි භික්‍ෂු සංඝයා වහන්සේ පිරිවරා වැඩහුන්නා වූ මෛත්‍රෙය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මපාරිෂද්‍ය බ්‍රහ්මලෝකයෙහි බ්‍රහ්මසමූහයා පිරිවරා හුන්නාවූ සහම්පතී මහාබ්‍රහ්මයා මෙන්ද, දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදුව පාණ්ඩුකම්බල ශෛලාසනමස්තකයෙහි හුන්නාවූ ශක්‍රදේවෙන්‍ද්‍රයන් මෙන්ද, විශේෂයෙන් බබලනසේක. ඒ භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේට වැඩහිඳිනා පිණිස පොළොව පලාගෙන සත්රුවන්මය මණ්ඩපයක් නැඟෙන්නේය. ඒ මණ්ඩපය තෙමේ වටින් දොළොස් යොදනක් පමණ වන්නේය. ඒ මණ්ඩපය සතරකොණ තිස්රියන් පමණ දිග ඇති ඝණ්ඨා සතරෙක් එලෙන්නේය. ඒ ඝණ්ඨාසතර පවනින් සැලෙන්ට පටන්ගත් කල්හි එහි නාදය සක්වළගබ පැතිර එකනින්නාද කරන්නේය. මණ්ඩපමධ්‍යයෙහි සර්වරත්නයෙන් සමලඞ්කෘතවූ මාණික්‍යපර්යඞ්කයක් වන්නේය. ඒ පර්යඞ්ක මස්තකයෙහි සර්වරත්නමය වූ ධවලච්ඡත්‍රයෙක් වන්නේය. ඒ පර්යඞ්කමධ්‍යයෙහි වැඩහිඳ මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකවාසීන්ට ධර්මදේශනා කොට අග්‍රධර්මවූ අර්හත්ඵලය දෙවා වදාරණ සේක. ඒ භාග්‍යවත්වූ සර්වඥයන්වහන්සේගේ කුශලානුභාවයෙන් උපන්නාවූ රන්ඇගෑ, රිදීඇගෑ, මැණික් ඇගෑ, පබළුඇගෑ, රන්තොරණ, රිදීතොරණ, මැණික්තොරණ, පබළුතොරණ, රන්ධජ, රිදීධජ, මැණික්ධජ, පබළුධජ, රන්දම්, රිදීදම්, මැණික්දම්, පබළුදම්, සත්රුවන්දම්, රන්කලස, රිදීකලස, සත්රුවන්කලස, රන්මල්, රිදීමල්, නන්විසිතුරු දිවදුහුල්, පස්වනක් පැහැ ඇති දිවපිළී, මලලොඹු, සර්වරත්නයෙන් විචිත්‍ර වූ පටකඩවියන්, සුවඳමල්පිරූ රන්මාලා, රිදීමාලා, සත්රුවන් මාලා, සුවඳසුණුපිරූ රන්කරඬු, රිදීකරඬු, සත්රුවන්කරඬු, නන්විසිතුරු රුවන්කර්මාන්ත කරන ලද මිටි ඇති රන්චාමර, රිදීචාමර, රන්තල්වැට, රිදීතල්වැට, රන්කැටපත්, රිදීකැටපත් ආදිවූ නොයෙක් පූජාභාණ්ඩ විශේෂය ඒ භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේ වඩනාකල්හි කැටුවම යන්නේය.

පිරිවරසහිත සර්වඥයන් වහන්සේ වැඩසිටිතෙන වැඩහුන් තෙන ඒ පූජාවිශේෂයන් හැමකලම දෙවියන් අල්වාගෙන සිටිනා පූජාභාණ්ඩයක් මෙන් හැමවේලෙහිම සර්වඥයන් වහන්සේ පිරිවරාගෙන සිටිනේය. ඒ මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේට පූජාකරනු සඳහා ආවාවූ නොයෙක් දෙවියන් හා ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර සංඛ්‍යාත චතුර්වර්ණමහාජනයෝ ඒ ප්‍රාතිහාර්යය දැක ප්‍රසන්න වූ සිත්ඇත්තාහු තමතමන්ගේ පුත්‍රදාරයන් හා සමග සර්වඥයන්වහන්සේගේ සරණ යන්නාහ. ඒ භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ මාණික්‍යපර්යඞ්කමස්තකයෙහි වැඩහිඳ මේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුවත් තමන් වහන්සේගේ ධර්මදේශනා ශබ්දයෙන්ම අස්වා බණ වදාරණ සේක.

රත්නමය මණ්ඩපයෙහි රත්නාලෝකයෙන් හා මැණික් ඇගෑයෙහි මැණික්ආලෝකයෙන් හා වියන් තොරණ පිළී රන් රිදී කරඬු කැටපත් ආදියෙහි ආලෝකයෙන් හා දශබලධාරීවූ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරාලෝකයෙන් නිෂ්ප්‍රභවූ සූර්යයා රාත්‍රින්‍දිනයෙහි විභාග දක්වන්ට අසමර්ථ වන්නේය. බුදුන්ගේ ශරීරාලෝකයම අතුරු නැතිව ලෝකයෙහි පැතිර සිටිනේය. එසමයෙහි සවස උදෑසන අඬනඟන්නාවූ කකුළුආදී පක්‍ෂීන්ගේ ශබ්දයෙන් හා සවස පිපෙන දෑසමන් සීනිද්ද බෝලිද්ද සේපාලිකා ආදි මලින් හා උදෑසන පිපෙන නාමල් සපුමල් රත්නෙළුම් හෙලනෙළුම් ඇඹුල උපුල ආදි නොයෙක් මල්පිපෙන සලකුණෙන්ම ලෝකවාසී සත්ත්‍වයෝ රෑය, දවාලය, යන වෙනස දැනගන්නාහ. ඒ දශබලධාරීවූ සර්වඥයන් වහන්සේ අතීත භවයෙහි නොයෙක් සර්වඥවරයන් වහන්සේට කරවා පිළිගන්වන ලද සත්රුවන්මණ්ඩපවල විපාකයෙන් හා පූජාපිණිස කරවන ලද රන්රුවන් ඇගෑ ආදියෙහි විපාකයෙන් උපන්නාවූ සත්රුවන් මණ්ඩපය සකලලෝකශ්‍රීය එකතැනට රැස්කොට ලූවාක් මෙන් සශ්‍රීක වන්නේය. මණ්ඩපය ඒ ඒ කොණ සුවඳමල් සුවඳදුමින් සුවඳකවන ලද මිහිරි සිහිල් පැන් පිරුණු රන් රිදී රුවන් කලස හා සිව්දෑගඳ පිරුණු රුවන්කරඬු අතුරු නැතිව පිළිවෙලින් සිටිනේය.

තවද දිවසුවඳ දුමින් පිරුණු රන් රිදී මැණික් සත්රුවන්මය දුඹුළුසුණු හා සුවඳසුණු පිරුණු රන්රිදී රුවන් කරඬු හා සුවඳතෙල් පිරුණු සකලරාත්‍රියෙහි ඇවිලෙන සත්රුවන්මය පහන්රුක් සතරදිග අතුරු නැතිව පිළිවෙලින් සිටිනේය.

තවද රන්පියුම් හෙලපියුම් රතැඹුල හෙලඇඹුල රතුපුල් නිලුපුල් එළඋපුල් මිටියෙන් ගැවසීගත් රන් රිදී මැණික් පබළු ලොහිතඞ්ක ශංඛ ශිලා ප්‍රවාල මැසිරිගල් පිළිවහන සත්රුවන් ආදියෙන් කරණ ලද සම්පූර්ණ ඝටමාලාවෝ අතුරු නැතිව පිළිවෙලින් සිටිනාහ. මත්තෙහි සර්වරත්නයෙන් විචිත්‍රව බබලන්නාවූ ධජමාලාවෝ ලෙලි ලෙී සිටිනාහ. එසේම විචිත්‍ර රත්නමාලාවෙන් අලංකෘතවූ ධවලාතපත්‍රපංක්තිය හාත්පසින් පිළිවෙලින් අතුරු නැතිව මස්තකය හොබවා සැරහී සිටිනේය. ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේට උපාසකවරුන් ආරාධනා කොට තමන් තමන්ගේ ගෙවලට වඩායනකල්හි සත්රුවන් මණ්ඩපය ආකාශයෙන් ගොස් ගෙදොරවල පිහිටන්නේය. ඒ මණ්ඩපයෙහි එලෙන්නාවූ ඝණ්ඨානාදයෙන් දශබලධාරී වූ බුදුරජාණන්වහන්සේ දැන් දැන්ම වඩනාසේකැයි දැන මනුෂ්‍යයෝ පෙරගමන් කරන්නාහ.

ඒ මනුෂ්‍යයන් අතුරෙහි දෙවියන් හා නාඟමානවකාදීහු භෝජනශාලාවෙහි වළඳවන්නාහ. එසමයෙහි සර්වඥයන් වහන්සේ හා භික්‍ෂූන්වහන්සේට අටළොස් වර්ගයේ පූපාපූප හා නොයෙක් රසමසවුලෙන් යුක්තවූ සුවඳ ඇල්සාලේ බත් දෙන්ට අසමර්ථ කෙනෙක් නම් නැත්තාහ. අනුමෙවෙනි ධර්මදේශනා කරන්නාවූ ඒ සර්වඥයන් වහන්සේගේ ශබ්දය සියලු සක්වළ එකපැහැර පැතිර සිටින්නේය. සියලුමනුෂ්‍යයෝ තමන් තමන්ගේ ගෙවලම සිටියාහ. බුද්ධාලම්බන ප්‍රීති උපදවා රත්නමණ්ඩපයෙහි ඒ ආශ්චර්යවත් ප්‍රාතිහාර්ය හා ඇගෑ පියුම් ආදිය හා සර්වඥවිලාශය දැක තමන් තමන්ගේ ලබ්ධි හැර සර්වඥයන්වහන්සේ ශරණ ගොස් පඤ්චශීලාදී ශීලයෙහි පිහිටා උතුම් බඹසරවස් රක්‍ෂා කොට මාර්ගඵල උපදවා සකලක්ලේශයන් නසා අග්‍රධර්මවූ අර්හත් ඵලයට පැමිණෙන්නාහ. සියලු ලෝකවාසී අන් පාෂාණ්ඩකෙ නෙක් වත් අන් ප්‍රව්‍රජිත කෙනෙක් වත් නො වන්නාහ. බොහෝ ජනසමූහයෝ දාන ශීලාදි දශපුණ්‍යක්‍රියා වස්තුවෙන් හා කාය සුචරිතාදි ත්‍රිවිධ සුචරිතයෙන් හා ත්‍රිපිටකධාරී වීමෙන් හා මාර්ගඵල ඉපදවීමෙන් සර්වඥශාසනය බබුලුවා විදර්ශනා වඩා සමහර සත්ත්‍ව කෙනෙක් රහත්ව ඉහාත්මභාවයෙහි අමාමහ නිවන් දක්නාහ. සමහර සත්ත්‍ව කෙනෙක් එම මාර්ගඵලානුරූපවූ පරිද්දෙන් දිව්‍යලෝක බ්‍රහ්මලෝකයෙහි උපදනාහ.

එසමයෙහි මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ ද්වාත්‍රිංශත් මහාපුරුෂලක්‍ෂණ අසූඅනුව්‍යඤ්ජන බ්‍යාමප්‍රභා කෙතුමාලාලඞ්කාරයෙන් විරාජමානවූ රූපවිලාශය හා දිව්‍ය-බ්‍රහ්ම-මනුෂ්‍ය-ගන්‍ධර්වාදි සියලු සත්ත්‍වයන් විසින් අතුරු නැතිව කරන්නාවූ නොයෙක් පූජාසත්කාර හා උන්වහන්සේගේ කුශලානුභාවයෙන් නිර්මිතවූ රත්නමණ්ඩප, රුවන්ඇගෑ රන්රුවන් තොරණ, රන්රිදීධජපතාකා ආදිවූ පූජාභාණ්ඩවිශේෂය හා නිත්‍ය පරිවාර කෙළලක්‍ෂයක් භික්‍ෂූන්වහන්සේ හැමවේලෙහිම පිරිවරා ඇවිදීම් ආදිවූ නොයෙක් යශශ්ශ්‍රීසමෘද්ධිය මෙපමණෙක් ඇත්තේයයි සර්වප්‍රකාරයෙන් සංඛ්‍යා කොට කියන්ට එබඳුම සර්වඥකෙනෙකුන් වහන්සේට මුත් පෘථග්ජනව සිටි අන්‍යසත්ත්‍වකෙනකුන්ට නොපිළිවන් වන්නේය. එසේ හෙයින් නුවණැති සියලු සත්ත්‍වයන් විසින් මෙබඳු සියලු ඓශ්චර්ය දැක ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේගෙන් ධර්මදේශනාවන් අසා අමාමහ නිවන් දක්නට උත්සාහ කටයුත්තේය.

ආයු සමෘද්ධිය

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේට කාමාවචරදේවතාදීන් විසින් කරන්නාවූ රන් රිදී ඇගෑ ආදිවූ පූජාවිශේෂය දක්වා දැන් එසමයෙහි උපන් සත්ත්‍වයන්ගේ යශස් සැප ආයු-වර්ණ-බල-සමෘද්ධි ආදිය දක්වන්නාවූ සර්වඥයන්වහන්සේ මෙසේ වදාළ සේක.

“මහායසස්සුඛෙනාපි ආයුවණ්ණබලෙන ච,

දිබ්බසම්පත්තිවාතෙසං මනුස්සානං භවිස්සති.

-

අනුභොත්‍වාකාමසුඛං අද්ධානං යාව තිච්ඡතං,

තෙපච්ඡාසුඛිතා යෙව නිබ්බිසන්තායුසංඛසා.

-

අසීතිවස්සසහස්සානි තදා ආයු භවිස්සරෙ,

තාවතා තිට්ඨමානො සො තාරෙස්සති බහුං ජනං.

-

පරිපක්කමානසෙ සත්තෙ බොධයිත්‍වාන සබ්බසො,

අවසෙසතිට්ඨමානං මග්ගාමග්ගානුසාසිය.

-

ධම්මුක්තං ධම්මනාවංච ධම්මාදාසඤ්ච ඔසධං,

සක්කච්චෙනහි සො සත්‍ථා ඨපෙත්‍වා ආයතිං ජනෙ.

-

සද්ධිං සාවකසඞ්ඝෙන කතකිච්චෙන තාදිනා,

ජලිත්‍වා අග්ගික්ඛන්‍ධොවනිබ්බායිස්සති සො ජිනො.

-

පරිනිබ්බුතම්හි සම්බුද්ධෙ සාසනං තස්ස වාහති,

වස්සසතසහස්සානි ආසීතිඤ්ච සහස්සතො,

තතො පරං අන්තරධානං ලොකෙ හෙස්සති දාරුණං”යි.

එසමයෙහි උපන්නාවූ සියලු මනුෂ්‍යයන්ට යසපිරිවර සැපයෙන්ද, ආයු වර්ණ බලසමෘද්ධියෙන්ද, දිව්‍යසම්පත්තියක් මෙන් අඩුවෙන් නොවන්නේය. මෙබඳුවූ සියලු පඤ්චකාම සැපය කැමැති පරිද්දෙන් අනුභව කොට බොහෝ කලක් ඉක්මවා සුඛිත මුදිතවූ සියලු සත්ත්‍වයෝ එම සැපයෙන් නො පිරිහී පසුව ආයුකෙළවර මරණ මඤ්චකයෙහි වැදහොත්තාහු සම්පත්තියෙහි උකටලී වන්නාහ. එසමයෙහි උපන් සත්ත්‍වයන්ට අසූදහසක් අවුරුද්දට ආයුෂය වන්නේය. ඒතාක් කල් මුළුල්ලෙහි ජීවත්ව වැඩහිඳිනාවූ ඒ මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජනසමූහයා සංසාරසාගරයෙන් එතර කොට නිර්වාණ ක්‍ෂෙමභූමියට පමුණුවනසේක.

තවද ඥානපරිපාකගතවූ සියුම් නුවණැති සත්ත්‍වයන්ට සර්වප්‍රකාරයෙන් චතුස්සත්‍යාවබෝධය කරවා ඥානපරිපාකයට නොපැමිණි නුවණ මද චතුස්සත්‍යාවබෝධය නොකළ අවශේෂ සත්ත්‍වයන්ට මේ නිර්වාණගාමී මාර්ගය මේ අමාර්ගයයි මාර්ගදෙක වදාරා අවිද්‍යා නැමැති අඳුරු දුරුකරන්නාවූ ප්‍රඥා නැමැති ආලෝකය ප්‍රකාශ කරන්නාවූ ධර්ම නැමැති ප්‍රදීපය ද සංසාර නැමැති සාගරයෙන් එතරවන පිණිස ධර්ම නැමැති මහනැවද, කුශල ධර්ම නැමැති මහමුහුන නැගි අකුශලධර්ම නැමැති කුරුලෑ ආදිය හරණ පිණිස ඒ මුඛපිළිකාදිය ප්‍රකාශකරන්නාවූ අර්හත් ඵලය කෙළවරකොට ඇති විදර්ශනා සහිතවූ ධර්ම නැමැති කැටපතද, ක්ලේශව්‍යාධිය සන්හිඳුවන පිණිස ඒ ක්ලේශරෝගය නසන්නාවූ ධර්ම නැමැති ඖෂධයද, දේශනා වශයෙන් සකස් කොට ආදරයෙන් අනාගතයෙහි උපදනා භික්‍ෂූන්වහන්සේට වැඩ පිණිස තබා චතුරාර්යසත්‍යයෙහි සොළොස් ආකාරයකින් කළමනා කෘත්‍යය කොට නිමවූ හෙයින් කෘතකෘත්‍යවූ ඉෂ්ටානිෂ්ටයෙහි නිර්විකාරිවූ ශ්‍රාවකසඞ්ඝයා වහන්සේ හා සමග හාත්පසින් අන්‍ධකාර දුරුකොට ආලෝක දක්වා පර්වතමස්තකයෙක් හි ඇවිල නිවීගිය මහත්වූ වහ්නිස්කන්‍ධයක් මෙන් සියලු ලෝකවාසී සත්ත්‍වයන්ගේ සන්තානගතවූ ක්ලේශ නැමැති අන්‍ධකාරය දුරුකොට සර්වඥතාඥාන නැමැති ආලෝකය දක්වා ශාසන නැමැති පර්වතමස්තකයෙහි අනන්තාපරිමාණවූ බුද්ධශ්‍රීන් දිලිහී ඒ මෛත්‍රෙයසම්‍යක්සම්බුද්ධ නැමැති වහ්නිස්කන්‍ධයාණන් වහන්සේ නිරුපධිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑ වදාරණසේක.

ඒ සර්වඥයන්වහන්සේ පිරිනිවී කල්හි උන්වහන්සේගේ ශාසනය එක්ලක්‍ෂ අසූදහසක් අවුරුදු මුළුල්ලෙහි පැවැත අන්තර්ධාන වන්නේය. සියලු දසදහසක් සක්වළ එකාන්‍ධකාර කොට ශාසනාන්තර්ධානය වූකල්හි එයින් මත්තේ ලෝකයේ දශකුශල කර්මපථය පිරිහෙන්ට වන් කල්හි දරුණුවූ කර්කශ වූ දුඃඛවිශේෂය උපදවන්නාවූ අකුශලධර්මය පහළවන්නේය.

භව විරාගය

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා දැන් ජිණිපත්‍රපුටයෙක්හි නිස්සඞ්ගව පවත්නා දිවසසං තප්ත අයඃශුලයක් මෙන් සියලු ධර්මයෙහි අස්ඛලිතව පවත්නාවූ ඥානගති ඇති අපගේ සර්වඥයන්වහන්සේ සර්වාඞ්ගයෙන් ධවලවූ උතුම්වූ හස්තිරාජයක්හු සර්වාලඞ්කාරයෙන් සරහා ඔහුගේ සොද්ධ පොළුගසන්නාක්හු මෙන්ද, සර්වරත්නමයවූ උතුම් ප්‍රාසාදමස්තකයෙහි අසනිපාතයක් එලන්නාක්හු මෙන්ද, නොයෙක් කර්මාන්තයෙන් විසිතුරු කොට කරනලද රාජභවනයක් වහ්නියෙන් දහනය කරන්නාක්හු මෙන්ද, මෙබඳු වූ බුද්ධශ්‍රී සමෘද්ධිය ද, නිත්‍යසංස්කාරයක් නැති බැවින් අන්තර්ධාන වන්නේය. එහෙයින් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි! සියලුම සංස්කාරධර්මයෝ චිරස්ථායීව බොහෝ කලක් නො පවත්නාහුයයි දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාළසේක.

“එවං අනිච්චා සංඛාරා අද්ධුවා තාවකාලිකා,

ඉත්තරා භෙදනාචෙව ජජ්ජරා රිත්තකා භවෙ.

-

තුච්ඡමුට්ඨිසමාසුඤ්ඤා සංඛාරා බාලලාපනා,

න කස්සචි වසො තත්‍ථ වත්තති ඉද්ධිමස්ස පි

එතං ඤත්‍වා යථාභූතං නිබ්බින්‍දෙ සබ්බසංඛතෙ”යි.

මෙසේ ප්‍රදීපසිඛාවක් මෙන් කර්මාදි හේතුප්‍රත්‍යයන් හා සමග උපදනා වූ සංස්කාරධර්මයෝ ඇතිව නැතිවන්නාවු අර්ථයෙන් අනිත්‍යය කෙළවර කොට ඇති බැවින් හා ආදි අන්ත දෙක ඇති බැවින් අනිත්‍යයහ. සියලුම සංස්කාර ධර්මයෝ දියබුබුලු හා පෙණපිඬුමෙන් අස්ථිර බැවින් අධ්‍රැවවන්නාහ. පරායත්ත බැවින් පිරුලෙන්ලත් වස්තුවක් මෙන් තාවකාලික වන්නාහ. ස්වල්පවූ ආස්වාද ඇති බැවින් ස්වප්නයක් මෙන් මන්දාස්වාදව ලාමක වන්නාහ. උපන්නාවූ සංස්කාරධර්මයන් ඒකාන්තයෙන් නස්නා හෙයින් විදුලියක් මෙන් බිඳෙන්නාවූ ස්වභාව ඇත්තාහ.

තවද සියලු සංස්කාරධර්මයෝ කුඹලුන්කළාවූ වලන්පලහන චලනසුලය මුදුනට පලගත් රුකින් නැමුනු අතුඅග තුබූ පිනිබින්දුවක් මෙන්ද, ඉදිකටු අග තුබූ හබඇටක් මෙන්ද, ඒකාන්තයෙන් කලක් නො පිහිටන්නාහු උපන්නාවූ ස්වභාවයෙන් නොසිටීම ධර්මතා බැවින් බිඳෙන්නාවූ ස්වභාව ඇත්තාහ. ස්ථිරත්‍වයක් නැති බැවින් නොපැලහු මැටිවළඳක් මෙන්ද, දැදුරුව බිඳෙන්නාහ. නිත්‍යාදි සාර විරහිත බැවින් ආත්ම ආත්මීය භාවයෙන් සිස්වූ මිටක් මෙන් තුච්ඡවන්නාහ. ක්‍ෂණිකනිරොධයෙන් නස්නා බැවින් නිරුද්ධවන්නාවූ ස්වභාව ඇත්තාහ. මිටමොලවා විදහා පෑ සිස්අතක් මෙන් ගතයුතු ආස්වාදයක් නැත්තාහ. නිත්‍ය සුඛ ශුභත්‍වයක් නැති හෙයින් ශුන්‍යයහ. අප්‍රාඥසත්ත්‍වයන් විසින් මමය, මාගේයයි ගන්නා හෙයින් මාගේ පුතණුවෝය. මාගේ දියණියෝය, මාගේ නෑයෝය, මාගේ ධනධාන්‍යය යන මේ ආදීන් මමත්‍වය උපදවා කියන හෙයින් බාල ලාපනයහ. ඒ සියලු සංස්කාරධර්මයන් කෙරෙහි යශස්මහත්ත්‍වය-පුණ්‍යමහත්ත්‍වය-ප්‍රඥාමහත්ත්‍වය යන මේ ආදිය ඇත්තවුන් අතුරෙන් යම්කිසි පුද්ගලයක්හුගේ වසයෙහි ඓශ්චර්ය නොපවත්නේය. කුමක් හෙයින්ද? යත්:- සෘද්ධිමතුන් කෙරෙන් අගතැන්පත් වූ මහාමෞද්ගල්‍යාන ස්ථවිරාදීන්ගේ වශයෙහි නො පවත්නා හෙයින් සෘද්ධිමතුන්ගේත් ඓශ්චර්යවශගය ඒ සංස්කාරයන් කෙරෙහි නොපවත්නේය. මෙසේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යාදි ස්වභාවය තත්වූපරිද්දෙන් දැන සියලු ප්‍රත්‍යයසමුත්පන්න ධර්මයෙහි කලකිරී භවවිරාගය කටයුත්තේය. මෙසේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව දක්වා දැන් ලෝකයෙහි අමෘතමහානිර්වාණයට පමුණුවන්නාවූ උත්තමපුරුෂයන්ගේ දුර්ලභ බවද දක්වන්නාවූ සර්වඥයන්වහන්සේ මෙසේ වදාළසේක.

දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්‍ථජායති,

යත්‍ථ සො ජායතී ධීරො තං කුලං සුඛමෙධනි”යි.

මහණෙනි! ලෝකයෙහි ස්ථිර සදෙනකුගේ පහළවීම දුර්ලභ වන්නේය. කවර සදෙනකුගේද? නික්ලේශීවූ තථාගතවූ සම්‍යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වන්නේය යනාදි ක්‍රමයෙන් වදාළ බැවින් කප්අසංඛ්‍යයක් මුළුල්ලෙහිත් සර්වඥකෙනකුන්ගේ උත්පත්තිය දුර්ලභ බැවින් පුරුෂාජානීයවූ පුරුෂ ශ්‍රේෂ්ඨ වූ පුරුෂොත්තමයෙක් නො ලැබ්බහැකි වන්නේය. ඒ ඒ බඳුවූ පුරුෂොත්තම පුද්ගලයෙක් සියලු දසදහසක් සක්වළ කෙළලක්‍ෂයක් සක්වළ අනන්තාපරිමාණ සක්වළ වේවයි අන්‍ය දීපාන්තරයෙහි වේවයි ප්‍රත්‍යන්තජනපදයෙහි වේවයි රජ බමුණු දෙකුලය හැර සෙසු කුලයක වේවයි නූපදනේය. ඒ උතුම්ඥාන ගති ඇති පුරුෂාජානීය තෙසුයම් කුලයක උපදනේ වී නම් ඒ කුලය සියලු සැපයෙන් මතුමත්තෙහි අභිවෘද්ධියට පැමිණෙන්නේය. වදාළේ මැනෝ:-

“ඡන්නං භික්ඛවෙ පාතුභාවො දුල්ලභො ලොකස්මිං, කතමෙ සං ඡන්නං? තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං, ආදි. මෙසේ උත්තම පුරුෂයන් ලෝකයෙහි නොලැබ්බ හැකි නියාව දක්වා දැන් මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දක්නට හේතුවූ කුශල සමෘද්ධිය කිරීමෙහි යොදන්නා වූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාළසේක.

“තස්මා මෙත්තෙය්‍ය බුද්ධස්ස දස්සනත්‍ථාය වො ඉධ

උබ්බිග්ගමානසා සුට්ඨු කරොථ විරියං දළ්හං.

-

යෙචීධකතකල්‍යාණා අප්පමාද විහාරිනො,

භික්ඛූ භික්ඛූණීයොචෙව උපාසක උපාසිකා.

-

මහාමහං බුද්ධසක්කාරං උළාරමභිපූජයං,

දක්ඛින්ති භද්‍රසමිතිං තස්මිං කාලෙ සදෙවකා.

-

චරථ බ්‍රහ්මචරියං දෙථ දානං මහාරහං,

උපොසථඤ්චුපවසථ මෙත්තං භාවෙථ සාධුකං.

-

අප්පමාදරතා හොථ පුඤ්ඤකිරියාසු සබ්බදා,

ඉධෙව කත්‍වා කුසලං දුක්ඛස්සන්තං කරිස්සථ”යි.

තවද යම්හෙයකින් අමෘතමහානිර්වාණයට පමුණුවන්නාවූ පුරුෂාජානීයයන්ගේ උත්පත්තිය ලෝකයෙහි දුර්ලභවේද එහෙයින් දුර්ලභොත්පත්ති ඇති මෛත්‍රෙය සර්වඥයන් දක්නා පිණිස තෙපි හැම මාගේ ශාසනයෙහි සිට උද්වේගයට පැමිණි සිත් ඇතිව මනාකොට දෘඪවීර්යකරන්ට උත්සාහ කරමි. ලෝකයෙහි කරණ ලද කුසල් ඇති අප්‍රමාද විහාරිවූ යම් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කෙනෙක් ඇත්නම් ඔහු භාග්‍යවත්වූ සර්වඥයන් වහන්සේට උදාරතරවූ විශේෂවත්වූ මහත්වූ පූජාසත්කාර කරන්නාහු සොඳුරු ගුණයෙන් යුක්තවූ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ එසමයෙහි දිව්‍යමනුෂ්‍යයන් හා සමග දක්නාහුය.

ඒ භාග්‍යවත්වූ මෛත්‍රෙයසර්වඥයන්වහන්සේ දක්නෝ කවුරුද නොදක්නෝ කවුරුද යත හොත්;

ඒ බුදුන් නොදක්නෝ

මාතෘඝාතක පිතෘඝාතක අරහන්තඝාතක ලොහිතුප්පාදක සංඝභෙදකයයි කියන ලද පඤ්චානන්තර්යකර්මය කොට අවීචිමහානරකයෙහි උපන්නාවූ සත්ත්‍වයෝ ඒ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ දැක්කනොහෙත්මය. මෙලොව නැත පරලොව නැත කම්නැත කම්ඵලනැත මවුනැත පියෝ නැත කළාවූ කුශලා කුශලයෙහි විපාකනැත කියා මෙසේ මිථ්‍යාදෘෂ්ටිගෙන අළුගා ඇවිදිනාවූ සත්ත්‍වයෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක්ක නොහෙත්මය. ආර්යොපවාදකළාවූ සත්ත්‍වයෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක්ක නොහෙත්මය. නරකතීර්යක්ප්‍රේත අසුරනිකායෙහි උපන්සත්ත්‍වයෝත් අරූතල අසංඥ තලයෙහි උපන්සත්ත්‍වයෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක්ක නොහෙත්මය. ඉන්‍ද්‍රිය වෛකල්‍යයට පැමිණි සත්ත්‍වයෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක්ක නොහෙත්මය. ප්‍රත්‍යන්තජනපදයෙහි උපන් සත්ත්‍වයෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක්ක නොහෙත්මය. නිගණ්ඨාදි පාෂාණ්ඩයෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක්ක නොහෙත්මය. බුදුන් සතුදෙය, ධර්මය සතුදෙය, සඞ්ඝයා සතුදෙය නොසයින් ගෙන කෑවෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දැක්ක නොහෙත්මය.

ඒ බුදුන් දක්නෝ

මෙයින් පිටත් අවශේෂ සත්ත්‍වයන්ගෙන් දුගී-මගී සත්ත්‍වයන් හා මහණ බමුණන්ට දන්දුන්නෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය. පන්සිල් රක්‍ෂාකළෝ දකිත්මය. පෙහෙවස් රක්‍ෂාකළෝ දකිත්මය. බඹසර රක්‍ෂාකළෝත් දකිත්මය. දාගැප් කරවූවෝ දකිත්මය. බෝධිපිහිටුවූවෝ දකිත්මය. පුෂ්පාරාම, ඵලාරාම කැරැවූවෝ දකිත්මය. උයන්-පොකුණු කැරැවූවෝ දකිත්මය. ඒදඬු ලැව්වෝ දකිති. ගොනටු කැරැවූවෝ දකිති. අම්බලම් කැරැවූවෝ දකිති. මං හෙලිකැරැවූවෝ දකිති. ධර්මශාලා-භෝජනශාලා කැරැවූවෝ දකිති. ලිං කැණැවූවෝ දකිති. පිනපැන තුබුවෝ දකිති. බුදුන්සසුන ඇතිකරනට ඉවහල්වුවෝ දකිති. ධර්මකථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ දකිති. ධර්මාසන සැරහුවෝ දකිති. දණ්ඩාසන-කබලි-බණවසුන් දුන්නෝ දකිති. විජිනිපත්‍ර අතට ඔසවා දුන්නෝ දකිති. බණකියනා ගෙයි වියන් බැන්දෝ දකිති. වියනේ මලලොඹු දුන්නෝ දකිති. රන්මල්-රිදීමල් ආදිය පිදුවෝ දකිති. සුවඳමල්-සුවඳසුණු පිදුවෝ දකිති. සුවඳදුම්ලූවෝ දකිති. බණකියන ගෙයි පහන්දැල්වූවෝ දකිති. බණට අඬගෑවෝ දකිති. බණකියන කල සාධුකාර දුන්නෝ වෙති. බණකියන්නන් පයසේදූවෝ දකිති. මේ සියලු වතාවත් කොට නිමවා බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩාගෙනවුත් ධර්මාසනයේ හිඳුවා සකස්කොට බණ පැවැත්වූවෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය.

තවද ආමිසදාන, ධර්මදානාදීන් සඞ්ඝයා වහන්සේට පූජාසත්කාර කළෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් දකිත්මය. මවුන්ට උපස්ථාන කළෝ දකිති. පියන්ට උපස්ථාන කළෝ දකිති. කුලදෙටුවන්ට උපස්ථාන කළෝ දකිති. ලාබත්-පොහෝබත්-අවදිබත් දුන්නෝ දකිති. දසපින් කිරියවත් පිරුවෝ දකිති. සඞ්ඝාරාම කැරැවූවෝ දකිති. පිළිමගෙවල් කැරැවූවෝ දකිති. පිළිම කරවා ඇස්තැබ්බවූවෝ දකිති. බණපොත් ලියවා දුන්නෝ දකිති.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් දකුම්හයි පතා යටත්පිරිසෙයින් එකමල්මිටක්, එකපහනක්, එකබත්ආලෝපයක් පමණ දන් දුන්නෝද ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දකිත්මය. අනුන්කළ පින් සමසිතින් සතුටුව අනුමෝදන්වූවෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දකිත්මය. තවද ඒ බුද්ධොත්පාදයෙහි උපදමෝවයි පතා කුසල් කළ දිව්‍යමනුෂ්‍යයෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය. ඒ දිව්‍යමනුෂ්‍යයෝද, මෛත්‍රෙය සර්වඥයන්ගෙන් ධර්මය අසා මාර්ගඵලයට පැමිණෙන්නාහුය. මාර්ගඵලයට පැමිණෙන්ට අසමර්ථ කෙනෙක් ස්වර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් නුවණැත්තාවූ සියලු සත්ත්‍වයෙනි! පඤ්චශීල-දශශීල-කෝටියක් සංවරශීලාදි වශයෙන් ශීලසංරක්‍ෂණය කෙරෙමින් උතුම්වූ බඹසරවස් රක්‍ෂාකරව.

දන්දෙන්නාවූ සත්ත්‍වයෝ බොහෝ ජනයාට ප්‍රියවන්නෝය. ඔවුන් බොහෝ ජනයෝ භජනය කෙරෙති. කීර්තියටත් පැමිණෙන්නෝය. ඔහුගේ යසස් වැඩෙන්නෝය. මකුත් නොවී කරත් නොබා සිව්වණක් පර්ෂද් මධ්‍යයට වදනාහ. විසාරදවන්නාහ. මසුරු නො වන්නාහ. බුහුටි වන්නෝය යන මෙතෙක් ගුණ ඇති ඓහලෞකික-පාරලෞකික සැපත් එළවන්නාවූ කෙළවර අමෘතමහානිර්වාණය සාදා දෙන්නා වූ මහාර්ඝ වූ අන්න-පාන-වස්ත්‍ර-යාන-මාලා-ගන්‍ධ-විලෙපන-ශය්‍යාවසථ-ප්‍රදීපෙයසඞ්ඛ්‍යාත දශවිධ දානවස්තූන් ශ්‍රමණබ්‍රාහ්මණාදීන් විෂයෙහි පිහිටි වී මෙන් මහදන් පවත්වව. අටවක-තුදුස්වක-පසළොස්වක සමාදන්ව රැක්කයුත් උපොෂිතශීලය සමාදන්ව පෙහෙවස් රක්‍ෂා කරව. තමාය-තමාට හියෝය-මධ්‍යස්ථයෝය-වෛරීය යන චතුර්විධ සත්ත්‍වයන් කෙරෙහි සියලු සත්හු සුවපත් වෙත්වයි, නිදුක් වෙත්වයි, නීරෝගී වෙත්වයි, තමන් තමන්ගේ ධනධාන්‍ය සම්පත්තියෙන් නො පිරිහී සැපසේ ආත්මපෝෂ්‍යය කෙරෙත්වයි යන මේ ආදි ක්‍රමයෙන් මෛත්‍රීභාවනා කරව. අප්‍රමාදව ප්‍රතිපත්තියෙහි ඇලී වාසය කරව. හැමකලම කුසල්කිරීමෙහි පසු නො බැස බලවත් ඇලුම් ඇතිව කුසල් කරව.

තවද කුශලක්‍රියාවට ආකරවූ බුද්ධොත්පාදකාලයෙහි දාන-ශීල-භාවනාදි අනෙකප්‍රකාර කුසල් රැස්කරව. ඒ කළාවූ කුසලයෙන් අනෙකප්‍රකාරවූ දුක්කෙළවර කොට අමෘතමහා නිර්වාණයට පැමිණෙවයි, අවවාද අනුශාසනා කොට දේශනාව නිමවා වදාළසේක. ඒ ධර්මදේශනාවසානයෙහි කෙළලක්‍ෂයක් දිව්‍යමනුෂ්‍යයෝ දීපඞ්කරසර්වඥයන්වහන්සේ ආදිකොට ඇති මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ කෙළවරකොට ඇති සවිස්සක් පමණ සර්වඥවරයන් වහන්සේගේ බුද්ධවංශය අසා අර්හත්ඵලයෙහි පිහිටියාහ. අසඞ්ඛ්‍යයක් දිව්‍යමනුෂ්‍යයෝ සෝවාන් සෙදගැමි අනගැමි යන තුන්මඟ තුන්ඵලයට පැමිණියාහුය.

චක්‍රවර්ති සූත්‍රය

ඒ දේශනාවට මෑත භාගයෙහි චක්‍රවර්තිසූත්‍රදේශනාව කරන්නාවූ සර්වඥයන් වහන්සේත් අනාගතවංශදේශනාව කොට වදාළසේක. ඒ කෙසේද? යත්:-

එසමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මගධරට සැරිසරා වඩනාසේක් මාතූලා නම් නුවරට පැමිණ ඊට නුදුරු වනලැහැබෙක වාසයකරනසේක් අලුයම්වේලෙහි මහාකරුණා සමාපත්තීන් නැඟී ලොව බලා වදාරණසේක් මේ අනාගතවංශය ප්‍රකාශකරන්නාවූ සූත්‍රාන්තදේශනාවෙන් මාතුලානුවර වාසීවූ සුවාසූදහසක් ප්‍රාණීන්ට වන්නාවූ ධර්මාභිසමය දැක උදෑසනම විසිදහසක් භික්‍ෂූන්වහන්සේ පිරිවරා මාතූලා නම් නුවරට පැමිණිසේක.

එකල මාතූලානුවර වාසී රජදරුවෝ සර්වඥයන්වහන්සේ වැඩිසේක යනු අසා පෙරගමන් කොට දශබලධාරී වූ බුදුරජාණන්වහන්සේට ආරාධනා කොට මහත්වූ සත්කාර සම්මානයෙන් නුවරට වඩාගෙන ගොස් වැඩඉන්ට සුදුසු ස්ථානයක් විශේෂකොට සරහා මහාර්ඝ වූ පර්යඞ්කයෙක වඩාහිඳුවා බුදුපාමොක් මහසඟපිරිසට මහදන් දුන්හ. භාග්‍යවත්වූ සර්වඥයන්වහන්සේ ආහාරකෘත්‍යය කොට නිමවා සිතනසේක්, ඉදින් මම මේ ස්ථානයෙහිදී මේ මනුෂ්‍යයන්ට ධර්මදේශනා කරන්නෙම් වී නම්, මේ ප්‍රදේශය ඉතා හකපටු වන්නේය. මනුෂ්‍යයන් හිඳින්ටවත් සිටින්ටවත් අවසර මදවන්නේය මහත්වූ සමාගමයක් මෙතන්හි වියයුතුය යි සිතූසේක. ඉක්බිත්තෙන් රජදරුවන්ට අනුමෙවෙනි ධර්මය දේශනා නොකොටම පාත්‍රය ගෙන නුවරින් නික්මුණුසේක. මනුෂ්‍යයෝ සිතන්නාහු බුදුරජාණන් වහන්සේ අපට භුක්තානුමෝදනා විචරකුත් නො කොට වඩනාසේක. ඒකාන්තයෙන් බුදුනට පිළිගැන්වූ ආහාරපානවර්ගය නපුරුව ගියේ වන. බුදුහු නම් සිත් ගතහැකි කෙනෙක් නොවනසේක. බුදුන් හා සමග කරන්නාවූ විශ්වාසය නම් පණහප් විදහාගත් නාගරාජයක්හුගේ කරටිය අල්වා කෙළීමක් හා සමාන වන්නේය. එසේහෙයින් පින්වත්නි! වරො යම්හ. බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා කරවම්හ යි කියා සියලු නුවරවාසී සත්ත්‍වයෝ සර්වඥයන්වහන්සේ හා කැටිවම නික්මුණාහ. බුදුරජාණන්වහන්සේ වඩිමින් සිටම මගධක්‍ෂෙත්‍රයෙහි පිහිටි ශාඛාවිටපසම්පන්නවූ ඝනච්ඡායා ඇති, කිරියක්මානයේ පැතිර සිටියාවූ එක් මයිල ගසක් දැක, මේ වෘක්‍ෂමූලයේ හිඳ ධර්මදේශනා කරන්ට වන් කල්හි මහජනයා ඉන්ට සිටින්ට අවසර පෙනේනේය යි දැන වැළක මයිල රුක සමීපයට වැඩ ධර්මභාණ්ඩාගාරිකවූ ආනන්‍දස්ථවිරයන් වහන්සේගේ මුහුණ බලා වදාළසේක. එසඳ අනඳමහතෙරුන් වහන්සේ මුහුණ බැලු ආකාරය දැනලාම බුදුරජාණන්වහන්සේ වැඩහිඳිනා කැමතිසේක්වනැයි දැන සුගත්මහාචීවරය සතරපට කොට මයිලරුකමුල වැඩහිඳිනා පරිද්දෙන් ආසනය පැණවූ සේක. බුදුරජාණන්වහන්සේ පනවනලද ආසනමස්තකයෙහි බාලාර්කබිම්බයක් මෙන් දිලිහී වැඩහුන්සේක. ඉක්බිත්තෙන් උන්වහන්සේ අභිමුඛයෙහි මනුෂ්‍යයෝ උන්හ. දැලයෙහිත් පිටිපසත් භික්‍ෂුසඞ්ඝයා වහන්සේ වැඩහුන් සේක. ආකාශයෙහි දේවතාවෝ සිටියාහ. මෙසේ මහත්වූ දිව්‍ය මනුෂ්‍ය භික්‍ෂුපර්ෂද් මධ්‍යයේ වැඩහුන්නාවූ තිලොගුරු සම්‍යක්සම්බුදුරජාණන්වහන්සේ ධර්මය පිළිගන්ට සුදුසු භික්‍ෂූන්වහන්සේට ආමන්ත්‍රණය කොට මහණෙනි! ආත්මප්‍රතිෂ්ඨා ඇතිව වසව. ආත්මශරණ ඇතිව වසව. අන්සරණයක් ගෙන නො වසව. මහණෙනි! ධර්මය පිහිට කොට වසව. ධර්මය ශරණ කොට වසව. අන්සරණයක් ගෙන නො වසව. යන මේ ආදික්‍රමයෙන් චක්‍රවර්තිසූත්‍රාන්තදේශනාව කොට වදාරා අනාගතවංශයත් දේශනාකොට වදාළසේක. එසේහෙයින් වදාරණ ලදි.

“අසීතිවස්සසහස්සායුකෙසු භික්ඛවෙ! මනුස්සෙසු මෙත්තෙය්‍යොනාම භගවා ලොකෙ උප්පජ්ජිස්සති අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවා ති” ආදි සූත්‍ර දේශනාවගේ කෙළවර විසිදහසක් භික්‍ෂූන්වහන්සේ අර්හත්ඵලයට පැමිණි සේක. සුවාසූදහසක් ප්‍රාණීහු අර්හත්ඵලයට පැමිණ අමාමහනිවන් දුටහ.

මෙසේ “අනාගතවංශය” සියලු ධර්මයෙහි අස්ඛලිතව පවත්නාවූ ඥානගති ඇති දශබලධාරී වූ චතුවෛශාරද්‍යවිසාරද වූ ධර්මරාජන්වූ ධර්මස්වාමී වූ තථාගත වූ අසමසම වූ අප්‍රතිපුද්ගල වූ අද්වයවාදී වූ සර්වඥ වූ තිලොගුරු සම්‍යක්සම්බුදුරජාණන්වහන්සේ විසින් කිඹුල්වත්නුවර පරමරමණීය වූ න්‍යග්‍රොධාරාමයෙහි වෙසෙමින් යමක ප්‍රාතිහාර්ය දක්වන්නාවූ කාලයෙහි තමන්වහන්සේ විසින් විශේෂකොට නිර්මාණය කරන ලද ඉතා සිත්කලු වූ දැකුම් ඇති රුවන්සක්මනැ සක්මන් කෙරෙමින් සිට “බුද්ධවංශදේශනාවසානයෙහි” කාමොඝාදි චතුරොඝයෙන් නිස්තරණය පිණිස දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේගේ ආරාධනාවෙන් දේශනා කරන ලද්දේය.

මෙපමණකින් කවරකෙනකුන් විසින් දෙසන ලද්දේද? කොතැන්හිදී දෙසනලද්දේද? කවරකලෙක දෙසනලද්දේද? කුමක් පිණිස දෙසන ලද්දේද? කවුරුන්ගේ ආරාධනාවෙන් දෙසන ලද්දේද? යන මේ මහාප්‍රශ්නයෝ පස්දෙනා විශේෂයෙන් විසර්ජනය කරන ලද්දාහුය.

ප්‍රාර්ථනා

ධම්මරාජෙ පසාදෙන මෙත්තෙය්‍ය ගුණ සාගරෙ,

ලොකුත්තමස්ස තස්සෙව වංසං වණ්ණනයා මයා.

අත්‍ථබ්බ්‍යඤ්ජන සම්පන්නං කත්‍වාසොතරසාසනං,

යං යං පුඤ්ඤං චිතංතෙන අනන්තං ගගනොපමං.

අනාගතෙ කෙතුමතී නගරෙ චක්කවතිනො,

උප්පජ්ජිත්‍වා කුලෙ දිස්වා මෙත්තෙය්‍යං ලොකනායකං.

-

අගාරෙ සමුපට්ඨානං කත්‍වා තස්ස යසස්සිනො,

බොධිමණ්ඩෙ නිසින්නස්ස පූජං කත්‍වා අනෙකධා,

-

එවං සත්ත සු ඨානෙසු ධම්මචක්කප්පවත්තනෙ,

මහන්තං මංගලං කත්‍වා නරාමරමනොරමං.

-

ධම්මං සුත්‍වා ඨිතො තත්‍ථ විචිනන්තො අනෙකධා,

ගාථාසතසහස්සෙන ථූතිං කත්‍වා මහෙසිනො.

-

ද්වාදසයොජනට්ඨානෙ නානාරතනභාසුරං,

පාසාදද්වාරපාකාරතොරණගඝිකභූසිතං.

-

ජලාසය සහසෙහි සුඵුල්ලකමලෙහිච

මධුරොදක පුණ්ණෙහි සුපතිත්‍ථෙහි සොභිතං

-

මාලචංකම පන්තීහි ලතානං මණ්ඩපෙහිච,

සබ්බදා පුප්ඵසඤ්ජන්නං පාදපෙහි අලංකතං.

-

පාසාදෙනාභිරම්මෙන යිඛාප්පත්තං මහෙසිනො,

පජ්ජලන්තං අහොරත්තං නානාරතනනරංසිනා.

-

විහාරං සාධූ කාරෙත්‍වා අනග්ඝං සයනාසනං,

පඤ්ඤාපෙත්‍වා ජම්බුදීපං එකසංගීතිමණ්ඩලං.

-

කත්‍වා බුද්ධප්පධානස්ස දත්‍වා සංඝස්ස තං තදා,

පවත්තෙත්‍වා මහොඝංව පණීතං චතූපච්චයං.

-

එවං දානං දදන්තොව අන්තො දීඝස්ස අද්ධුනො,

පරිනිබ්බාණතො පුබ්බෙ පබ්බජිත්‍වා මහෙසිනො.

-

සීලාදිගුණ සම්පන්නො අද්ධධම්මසමාහිතො,

ව්‍යාකතො ධම්මරාජෙන අයං බුද්ධො භවිස්සති.

-

ඉච්චෙවං සබ්බබුද්ධානං උප්පන්නානං තතොපරං,

වුත්තප්පකාරං සක්කාරං කත්‍වා නිච්චං මනොරමං.

-

කප්පරුක්ඛොව සත්තානං පූරෙත්‍වා සබ්බපාරමී,

බොධිපල්ලඞ්කමාරුය්හ බුද්ධො හුත්‍වා අනුත්තරො.

-

ධම්මචක්කං පවත්තෙත්‍වා සුවිසුද්ධං තමොනුදං,

තාරෙය්‍යං පාණිනො සබ්බෙ සොහං සංසාරසාගරා.

-

කුසලෙන අනෙනෙව අබ්‍යාපජ්ඣා අවෙරිනො,

සත්තා අසෙසා සුඛිනො ඛෙමිනො හොන්තුසබ්බදා.

ගුණසාගරවූ ධර්මරාජන්වූ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ලොකොත්තම වූ උන්වහන්සේගේ වංශය අර්ථව්‍යඤ්ජනයෙන් සම්පූර්ණ කොට කර්ණරසායන කොට වර්ණනා කරන්නාවූ මා විසින් අනන්තාකාශයට බඳුවූ උපමා ඇති යම් යම් කුසලයෙක් රැස්කරන ලද්දේ වේද, ඒ කුශලකර්මය හේතුකොට ගෙන අනාගතයේ කෙතුමතී නම් රාජධානියෙහි ශංඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ වංශයෙහි ඉපැද ලෝකනායක වූ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක යසපිරිවර ඇත්තාවූ ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේට ගිහිගෙයි දී උපස්ථාන කොට බෝමඬ වජ්‍රාසනාරූඪව වැඩහිඳ සර්වඥතාඥානය සමධිගමය කළාවූ උන්වහන්සේට අනෙකප්‍රකාරයෙන් පූජා සත්කාර කොට එපරිද්දෙන්ම සත්සතියෙහිත්, දම්සක් පවතුන් සූත්‍රදේශනාවෙහිත්, දිව්‍යමනුෂ්‍යයන්ට සිත්කලුවූ මහත්වූ උතුම් මඟුල් කොට බණ අසා සිටියාවූ මම එතැන්හිදී ඒ මහර්ෂීවූ සර්වඥයන්වහන්සේට විසිතුරු වූ ගාථාලක්‍ෂයක් බැඳ අනෙකප්‍රකාරයෙන් ස්තුති කොට දොළොස්යොදනක් පමණ තැන් පැතිර සිටිනාවූ නොයෙක් රත්නයෙන් බබලන්නාවූ ප්‍රාසාද දොරටු පවුරු තොරණ ඇගෑ ආදියෙන් හෙබියාවූ මළුසක්මන් පංක්තියෙන් හා ලියමඬුවෙන් හා මලින් ගැවසී ගත් වෘක‍යෙන් හැමකල්හිම අලංකෘතවූ සුපිපි රත්පියුම්-රත්නෙළුම්-එළනෙළුම්-ඇඹුල-උපුල ආදිය ඇති මිහිරි සිහිල්පැන් පිරුණාවූ සැපසේ බැස නහා පැන්බී ගොඩනැංගහැකි මනා තොට පතර ඇති දහස්ගණන් පොකුණුවලින් සැරහුනාවූ සිත්කලු ප්‍රාසාදයෙන් මස්තකප්‍රාප්ත වූ රෑදාවල් නොයෙක් සත්රුවන් රැසින් බබලන්නාවූ විහාරයක් මහර්ෂිවූ ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේට මනාකොට කරවා මාහැඟි කොඳුපලස ආදි ආස්තරණ හා දළ ඇඳ, දළ පුටු, ආදි නොයෙක් සෙනසුන් පිරිකර එහි පනවා සියලු ජම්බුද්වීපය එකරඟමඬලක් මෙන් කෙරෙමින් නොයෙක් පූජාසත්කාර කොට බුදුන් ප්‍රධානකොට ඇති භික්‍ෂුසඞ්ඝයා වහන්සේට ඒ විහාරය පිළිගන්වා උතුම්වූ ප්‍රණීතවූ චතුර්විධප්‍රත්‍යය මහවතුරක් මඬනාකලක් මෙන් පවත්වා, මෙසේ එසමයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දන් දෙන්නාවුන් මම මෛත්‍රෙය සර්වඥයන්වහන්සේට පිරිනිවන්පාන්ට පළමු කොට මහණව ශීලසමෘද්ධ්‍යාදි ගුණයෙන් යුක්තව මනුෂ්‍යාත්මභාවාදි අෂ්ටාඞ්ගයෙන් සමුපෙතව ධර්මරාජන් වූ ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ විසින් මේ මහණ අනාගතයෙහි බුදුවන්නේය යි විවරණ දෙන ලද්දමේ, ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ වැනිවූම එයින් මත්තෙහි උපදනා සියලු සර්වඥවරයන්වහන්සේට උක්ත ප්‍රකාර වූ සිත්කලුවූ මහත්වූ පූජාසත්කාර නිරන්තරයෙන් කොට ඒ සියලු සර්වඥවරයන් වහන්සේගෙනුත් විවරණ ලැබ සියලු සත්ත්‍වයන්ට කල්පවෘක්‍ෂයක් මෙන් පැවැත, සියලු දශපාරමීධර්මයන් පුරා බෝධිපර්යඞ්කාරූඪව නිරුත්තරවූ සම්‍යක්සම්බෝධිඥානය සමධිගමය කොට මොහාන්‍ධකාර දුරුකරන්නාවූ අති පරිශුද්ධ වූ ධර්මදේශනා කොට සියලු සත්ත්‍වයන් සංසාර නැමැති සාගරයෙන් එතරකොට නිර්වාණක්‍ෂෙම භූමියට පමුණුවම්වා.

මේ අනාගතවංශය විශේෂ කොට කළාවූ මේ කුශලකර්මයෙන්ම සියලු සත්ත්‍වයෝ හැමකල්හි නිදුක් වෙත්වයි, නිරෝගී වෙත්වයි, නිරුපද්‍රැතවෙත්වයි, අවෛරීවෙත්වයි, සුවපත් වෙත්වා.

ග්‍රන්ථ සමාප්තිය

මහාසම්මතපරමපරාභිජාත විජයරාජොත්තම ප්‍රමුඛ නෛකනරප්‍රතිශත නැමැති සාරහාරලතායෙහි විරාජමාන මධ්‍යමාණික්‍යයක් බඳු චක්‍රවාටපර්යන්තානන්තදිගන්තව්‍යාප්ත කීර්ති ප්‍රබන්‍ධ ඇති සද්ධර්මරාජශාසනස්ථාපනාචාර්යවූ පරමබොධිසත්‍වාවතාර වූ සාමන්තභූපාලමකුටමණිකිරණ නැමැති සලිලධාරාවෙන් ප්‍රක්ෂාලිත පාදපද්ම ඇති කලියුගසන්තාපප්‍රශමනයට අභිනව මෙඝ පටලයක් බඳුවූ වෛරීරාජප්‍රතාපභුජගසමූහයාට ගරුඩරාජයක්හු වැනිවූ සුරතරු සුරභි ධනෙශ්වරාදීන්ගේ දර්පභඞ්ගය කරන්නාවූ අනවරතත්‍යාගෞදාර්ය ඇති, නවයුවතිජන මනොමොහනයට සිද්ධෞෂධයක් වැනිවූ අපරිමිතශ්‍රමණගණප්‍රිණනය කරන චතුර්විධප්‍රත්‍යයප්‍රදාන ඇති, දිගන්තයෂ්ටිකොටියෙහි බඳනාලද විශද්ධ කීර්තිධ්වජ ඇති, සරස්වතීකාන්තාවට නිරන්තරවාසවූ මුඛපද්මයක් ඇති, ශත්‍රැරාජ නැමැති හංසයන්ගේ දර්පමර්දනයට වර්ෂාකාලයක් වැනිවූ, සද්ධර්ම නැමැති රත්නාවලියෙන් සරහණලද වක්‍ෂස්ථල ඇති, අනවරත ප්‍රවෘත්ත දශකුශලධර්මය ම බන්‍ධුකොට ඇති, තීක්‍ෂණප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂකරන ලද සමස්තශාස්ත්‍ර ඇති, රත්නත්‍රය පරමප්‍රතිෂ්ඨා කොට ඇති, අකාරණපරමවත්සල ස්වභාව වූ අනන්තභොගීන්‍ද්‍රභොගාවලී සමාන දීර්ඝබාහු ඇති, දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු මහාරාජොත්තමයාණන්වහන්සේ කරුණාසම්පන්න හෙයින් හා සම්පූර්ණ, ශ්‍රද්ධාබුද්ධි ඇතිහෙයින් හා අනන්තසත්ත්‍වයන් කෙරෙහි පතළ කරුණා ඇති බැවින් අනාගතයෙහි ධර්මදේශකයන්ගේ නොලැබීමෙන් මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දැක ලෞකික ලෝකෝත්තර සම්පත් සිද්ධකරනු කැමැති සත්ත්‍වයන්ට හසරෙක් නො පෙනෙන්නේයයි සිතා කලියුගයෙහි නුවණමද සත්ත්‍වයන්ගේ සුඛාවබෝධය පිණිස මේ අනාගතවංශ නම්වූ මහාප්‍රබන්‍ධය ස්වකීය භාෂාවෙන් ලියවුනු කැමැතිසේක් මෛත්‍රීක්‍ෂමොපශමාදි ගුණ ගණාඞ්ගයෙන් සමන්විත වූ සර්වඥශාසන නැමැති පූර්වපර්වතශිඛරයෙහි විරාජමාන පූර්ණචන්‍ද්‍රමණ්ඩලයක් බඳුවූ ත්‍රිපිටක පර්යාප්ති නැමැති ජලනිධිය ප්‍රඥානැමැති මන්‍දාරාචලයෙන් අළලා එහි සාරාර්ථ නැමැති අමෘතය ගෙන විබුධප්‍රබන්‍ධයන් ප්‍රීණනය කළාවූ ශිෂ්‍යවර්ග නැමැති රාජහංසයන්ගේ සන්තොෂයට ශරත්කාලයක් වැනිවූ විල්ගම්මුල මහාස්ථවිර නැමැති කනකගිරිශිඛරයෙහි විජෘම්භමාණ සිංහරාජයක්හු වැනිවූ මහාස්ථවිරපාදයන්වහන්සේට ආරාධනා කළසේක. උන්වහන්සේ ඒ ආරාධනා පිළිගෙන ශ්‍රද්ධාබුද්ධිපූර්වඞ්ගම අදහසින් පාලිපාඨයෙන් කිසිවකුත් නොපිරිහෙළා හසක් එබු කලක්මෙන් පාලියෙන් නිබුළුවාගෙන මේ අනාගතවංශ නම්වූ ප්‍රබන්‍ධය ස්වභාෂාවෙන් කොට මස්තකප්‍රාප්ත කළසේක. තමහට හිතකැමැති සියලු සත්ත්‍වයන් විසින් සාවධානව අසා ලෞකික ලෝකොත්තර සම්පත් සිද්ධකටයුතූ.

ලඞ්කාමොද කරො පරක්කම භූජො රාජා ජනානං බහුං

කත්‍වා සංගහ මුත්තමං ච විපුලං සාධෙතු කාමොහිතං,

භාසායෙත්‍ථ ජනස්ස සන්තිසුඛදං සබ්බඤ්ඤූනා දෙසිතං

කත්‍වා වංස මනාගතං පත රිතුං චින්තෙත්‍ව සද්ධාධනො.

-

සම්මා සරොග්ගාම විහාරමූල මහාදිථෙරස්ස ගුණාකරස්ස

ආරාධයිත්‍වා මහතාදරෙන ඡන්‍දං නිජං දීපයි සො නරින්‍දො.

පාලික්කමං සොපවරො යතීනං නාතික්කමිත්‍වාන යථෙව මුද්දං සකාය භාසාය අකාසි වංසං අනාගතං සාධුජනොදයාය.

සිද්ධිරස්තු.

(ඇතැම් මාතෘකා මුල් පොතේ නොතිබූ අතර කියවීමේ පහසුව සඳහා පසුව එකතු කරන ලදි)