අටුවාකථාවස්තු - පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහාස්ථවිර
හැඳින්වීම
අපේ බොහෝ විද්වතුන් පර්යේෂණ කාර්යයකට යොමුවන්නේ කලාතුරකිනි. එයද බොහෝවිට ආචාර්ය උපාධියක් සඳහා ඉදිරිපත් කරන නිබන්ධයක් පාදක කරගෙනය. මෙම මාර්ගයෙන් වෙනස්ව පාළි සාහිත්‍යයේ අටුවාවන් පිළිබඳව කරනලද පර්යේෂණ ග්‍රන්ථයක් මෙයට වසර පනහකට පමණ පෙර අග්ගමහ හා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන් විසින් ලියා ඇත. එය අටුවා පරීක්ෂණය හා අටුවා කතා වස්තු නමින් හඳුන්වා ඇත.
පොතේ දෙවැනි කොටසේ කෙටි බෞද්ධ කතා 136 ක් වෙති. එයින් වැඩි ගණනක් ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ අපිස් දිවි පැවැත්ම, මහණකමේ පරමාර්ථ මුදුන්පමුනුවාගැනීම සඳහා කරනලද ආරබ්ධ වීර්යය අධිෂ්ඨාන ශක්තිය වැනි පුරුෂාර්ථයන් පිළිබිඹුකරන කතාන්තරය. සැදැහැයෙන් සසුන් වන් කුලදරුවන් විසින්ද එම කතා කියවීම දෙලොවටම හිතකරය. මෙහි අවසාන කතාවේ එන්නේ බෙහෙත් මුලක් නිසා පිශාචයන් දුටු කතාවකි. පිශාචයන් දැකීම බියජනක වුවත් මෙම භික්ෂූන් වහන්සේට එවැනි බියක් හට ගෙන ඇත. එපමණක් ද නොව භික්ෂූන් වහන්සේලා පිශාචයන්ගේ වුවත් බඩගින්න නිවා දැමීමට ආධාර උපකාර කළ මහාගුණයෙන් යුක්ත බවද එයින් උගත හැකිය. මෙවැනි රසවත් කතා කිහිපයක් මෙහි වෙති.
මෙම පොත මෙයට පනස්වසරකට පෙර මුද්‍රණය වූ බව සඳහනි. අද එහි පිටපතක්වත් සොයා ගැනීමට නැත. මෙහි අටුවා පරීක්ෂණය නම් කොටසේ උපයෝගීතාවය සහ වටිනාකම අද එදාට වඩා වැඩිය. මෙය මෙසේ දෙවැනි වරට මුද්‍රණය කිරීම උගත් සහ උගන්නා අයට ඵලදායී වනු ඒකාන්තය. පොත සකස් කිරීම සහ මුද්‍රණය කිරීම සඳහා නන් අයුරින් සහාය දැක්වූ සියලු දෙනාටද දැකුම්කළුලෙස දර්ශනීය පිටකවරයකින්ද යුතුව මුද්‍රණය කළ ග්ලෝබල් ග්‍රැෆික්ස් මුද්‍රණ ආයතනයේ මුද්‍රණ කළමනාකාරතුමන් ඇතුළු සියලු සේවක මහත්ම මහත්මීන්ටද ස්තුතිවන්ත වන අතර ඒ හැමට කෘතඥතා පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි.
මෙයට, ශාසනස්ථිතිකාමී
කිරම විමලජෝති ස්ථවිර
අධ්‍යක්ෂ
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
ඇන්ඩර්සන් පාර,
නැදිමාල, දෙහිවල.
“පොතේ තිබුණ තරමින් යමක් නො විමසා පිළිගතයුතු නොවේ. ආචාර්‍ය්‍යවරයාගේ උසස්කම සලකා යමක් පිළිගතයුතු නොවේ” ය යි බුදුරදුන් විසින් වදාරන ලදි. හැම කරුණක් ම විමසා බලා යමක් පිළිගැනීම යුතු යයි ද තමාට වැටහේ නම් එය පිළිගතයුතු ය යි ද එතුමන් විසින් කියන ලදි. බුද්ධාගමේ පරමාර්ථය වූ මාර්ගඵල පවා ලැබිය හැක්කේ තම තමන් ම විමසා බලා අවබෝධකර ගැනීමෙනි. ලෝකයේ යම් පමණක් ආගම් ඇත්නම් ඒ ආගම් අතුරෙන් පෞද්ගලික විවේචනයට මෙසේ උසස් තැනක් දුන් අන් ආගමක් නැත්තේ ය. අද වසන උසස් ශාස්ත්‍රඥයන්ට බෞද්ධාගම ප්‍රියවී ඇත්තේ “අනුන් කී නිසා පොතේ තිබෙන නිසා ඇදහිය යුතුය” යන නියමයක් මේ ආගමේ නැති බැවිනි.
මෙසේ හැම දෙයම විමසා බැලීමට බෞද්ධාගමේ නිදහස ඇතත් පෙළ-අටුවා-ටීකා පොත්වල තිබෙන දේ විමසා බලා නො ගැළපෙන තැන් පෙන්වීම නොකටයුතු යන්න මින් අවුරුදු තිහ-හතළිහකට පෙර මෙරට බෞද්ධ උගතුන් අතර පැවති මතයකි. මේ මතයට පහරදෙමින් ඒ ඒ පොත්වල ඇති නො ගැළපෙන තැන් පෙන්වමින් මේ වර්තමාන යුගයේදී පළමුවෙන් පුවත්පත් ආදියේ ලිපි පළකරවන්ට පටන් ගත්තේ මෙය ලියන මම ය. මුලදී අමුතු දෙයක් සඳහා ඉදිරිපත් වෙන්නාට බොහෝ අපහාස හිරිහැර විඳින්නට සිදුවීම ලෝකයේ ස්වභාව ධර්‍මයකි. 1930 පටන් මා විසින් මෙවැනි ලිපි පළකරවීම ආරම්භ කරන ලදි. එය දෙබරයකට ගල් ගැසීමක් වැනි විය. “සිංහල බෞද්ධයා” පත්‍රයෙහි මේ ලිපි පළවේගෙන යනවිට බොහෝ දෙදෙන්ක එකල දඹදිව සිටි අනගාරික ධර්‍මපාලතුමන් වෙත ලියුම් යවා ඒ ලිපි පළකරවීම නැවැත්වූහ.
ඉන්පසු කවදත් විවේචනයට කැමති කුමාරණතුංගසූරීන් අලුතෙන් පටන් ගත් “ලක්මිණි පහන් පත්‍රයේ” මේ ලිපි කීපයක් පළකෙරෙව්වෙමි. මේ අතරේ දී “මාරයා මනඃකල්පිත දෙවියෙකි.” යි මා සැපයූ ලිපියක් දිනමිණ පත්‍රයේ පළවීමෙන් 1935 දී දීර්ඝ විවාදයක් ඇති විය. ඒ වාදයෙන් ද බොහෝ කරුණු හෙළි විය. මෙසේ වාද විවාද පවත්නා අතර රටේ උගතකු සේ පිළිගත් පණ්ඩිතොපාධිධර නායක තෙරනමක් මා වෙත ලියුමක් එවමින් ඇතැම් අටුවා පොත්වල නො ගැළපෙන තැන් ඇති බව සැබෑ වුවත් ඒවා නූගත් මිනිසුන්හා අන්‍යභක්තිකයන් කියවන පුවත් පත්වල පළකරවීම යෝග්‍ය නැතැ යි දන්වා එවී ය. යුරෝපයේ පාළිපොත් මුද්‍රණය වී ඇති බවත්, පාළි දන්නා උගතුන් පිටරට වල ඇති බවත්, දැනටම ඒ උගතුන් මේවා විවේචනය කොට ඇති බවත් නො දැන මේ නායක මහාස්ථවිරතුමන් කියන කීමට අනුකම්පා කටයුතු ය. “බුද්ධධර්‍මය විවෘත වූයේ ම බැබළේ” යයි බුදුරදුන් දෙසූ දේශනාව එතුමා නො දැන සිටියා විය හැක.
තවද අටුවාවල දැක්වෙන ලංකා ඉතිහාසයට සම්බන්ධකම් ඇති කථාවස්තූන් සිංහලට නගා 1932 සිට “සිංහල බෞද්ධයා” “සිළුමිණ” යන පත්‍රවල පළකෙරෙව්වෙමි. මෙසේ මේවා පළ වූ පසු හිත්තටියේ උදිත නම් ස්ථවිරතුමකු විසින් 1939 යේ දී “ත්‍රිපිටක පරීක්‍ෂණය” නම් පොතක් පළකරවන ලදි. මේ පොතේ මා විසින් පත්‍රවල පළකරවූ කථාවස්තු රාශියක් ද ඇතුළත්ව තිබේ. ඒ කථාවස්තු හා අටුවාවල නො ගැළපෙන තැන් මා සොයා ගත්තාසේ ම ඒ ස්ථවිරතුමාටත් සොයාගත හැකි බැවින් මාගේ ලිපිවලින් ඒවා උපුටා ගන්නා ලදැයි චෝදනාවක් නො නැගේ. එසේ ද වුවත් ශාස්ත්‍රීය පරීක්‍ෂණයක දී ඒ පරීක්‍ෂණය ඉන් පෙර කවරකු විසින් වුවත් ස්වල්ප වශයෙන් හෝ කරන ලද නම් ඒ බව නො මසුරුව නො මැලිව දැක්විය යුතුය. අපේ ලක්දිව පවත්නා බලවත් ප්‍රතිගාමී ගතියක් නම් මෙස් නම් ගම් දැක්වීමට ඇති අකමැත්තයි. මේ අකමැත්ත නිකාය භේද කුල භේද ආදිය නිසාත් ඇතිවේ. යම් කාරණයක් ගැන අන්‍ය නිකායිකයකු කොපමණ ලීළුත් ඇතැම් අන්‍ය නිකායිකයන්ට එය නොපෙනේ. ස්වනිකායිකයකු ඒ කාරණයම ඊට පසුව ලීවොත් එය ඔවුන්ට හොඳින් පෙනෙනවා පමණක් නොව ඒ ස්වනිකායිකයාට ඒ සඳහා ගෞරවොපාධි පවා පිරිනමති.
මාගේ මේ පොතට මුලදී දී තිබුණ නම “අටුවා වලින් ඉතිහාසයට (-උපකාර වන දේ)” යන්නයි. මෙය ලියා බොහෝ කල් ගතවූ නමුත් කඩදාසි මිල නැගීම ආදී නොයෙක් කරුණු නිසා මුද්‍රණය පමා විය. මෙසේ පවත්නාතර 1950 දී පණ්ඩිත බද්දේගම විමලවංස ස්ථවිරතුමන් ලියූ “බෞද්ධ සාහිත්‍යය” නමැති පොත දැකීමෙන් “අටුවා පරීක්‍ෂණය” නමැති කොටස ද මෙයට එක්කරන්ට සිත්විය. එය වනාහි අලුතෙන් ලියූ කොටසක් නොව පෙර පත්‍රවල පළ වූ ලිපි දාතම් සහිතව සංග්‍රහ කිරීමෙන් සම්පාදිත වූවකි. පත්‍රවල පළ වූ ඒ ලිපි සියල්ල මා ළඟ ඇතත් එයින් වැදගත් යයි හැඟෙන ඒවා පමණක් උපුටා මෙහි සංග්‍රහ කරන ලදි.
මෙහි ඇතුළත් කථාවස්තු වලින් ලංකා ඉතිහාසයට රුකුලක් ලැබෙනවා පමණක් නොවේ, පුරාණ ලක්දිව සමාජතත්‍වය තේරුම් ගැනීමට ද ඒවා බොහෝ උපකාර වෙති. මෙහි අග තිබෙන සංඥානාම සුචියෙන් ඇතැම් නම් දෙතුන් විධියකට පොත්වල ලියවී තිබෙන සැටි පෙනෙනවා ඇත. සිංහල නම් පාළියට නැගීම නිසා අපේ ඉතිහාසයට සිදුවී තිබෙන පාඩුව මහත් ය. සිංහල නම් ම තිබුණා නම් දැනුත් ඇතැම් ස්ථානයක් ඇඳින ගැනීම පහසුවෙන්ට තිබුණි. “නළඛණ්ඩපධානඝර” යන්න සද්ධර්‍මාලංකාරයෙහි ලියවී තිබෙන්නේ “බටකඩ භාවනාගෙය” වශයෙනි. කථා දෙකේ සමානත්‍වය නිසා එය එක් ස්ථානයෙකැයි තේරුම් ගත හැකිවා මිස නම් දෙකේ හැටියට නම් එක් තැනකැයි තේරුම් ගැනීම අපහසු ය.
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
30.07.1951 අම්බලම්ගොඩ.
තලගුරු වෙහෙර විසූ ධම්මදින්න මහතෙරුන්ගේ ආචාර්‍ය්‍යවරයා උච්චවාලිකවාසී මහානාග මහතෙර යයි විභංග අටුවාහි (346) කියවේ. ධම්මදින්න ස්ථවිරතුමා වනාහ පිළිසිඹියාපත් රහත් නමකි. එක්දිනක් එතුමා දිවාස්ථානයෙහි හිඳ ස්වකීයාචාර්‍ය උච්චවාලික හෝ උච්චතලංකවාසී මහානාග තෙරුන් ගේ ශ්‍රමණ කෘත්‍යය මස්තකප්‍රාප්ත වී දැයි දිවැසින් බලා එතුමන් ඒතාක් පෘථග්ජන බව දැක සෘද්ධියෙන් අහසට නැග ගොස් තෙරුන් ඉදිරියෙහි අහසින් බැස වැඳ වත් දක්වා වාඩි විය. “ධම්මදින්නය, කුමක් හෙයින් නොකල්හි ආයෙහිදැ” යි ඇසූවිට “ප්‍රශ්නයක් විචාරන්ටය”ය කීය. “ඇවැත්නි, විචාරව, දන්නා දෙයක් කියමි”යි මහතෙරුන් කීවිට ධම්මදින්න තෙර ප්‍රශ්න දහසක් විචාළේය. තෙරණුවෝ විචාළ ප්‍රශ්න සියල්ල නොපැකිලි විසඳූහ. “ස්වාමීනි, ඔබගේ නුවණ ඉතා සියුම්ය, කවර කලක මේ ධර්‍මය අවබෝධ කරන ලද්දේදැ”යි ඇසූ විට “මින් අවුරුදු සැටකට පෙරදී” යය කීහ. “සෘද්ධිබල පෑමෙහිත් සමත් වෙත්දැ’යි ඇසූ විට එසේය” යි උත්තර දුන් බැවින් “ස්වාමීනි, ඇතකු මැව්ව මැනවැ”යි කීය. එතුමන් විශාල සුදු ඇතකු මැවූවිට “ස්වාමීනි, මේ ඇතා කෙළින් කොට ගත් කන් ඇතිව, දික් කළ නඟුට ඇතිව, සොඬය කටේ දමාගෙන, භයානක ශබ්ද කරමින් ඔබ ඉදිරියට එනසේ කළ මැනවැ”යි කීය. මහතෙරණුවෝ ඒ කී සේ කොට වේගයෙන් එන ඇතාට භයවී නැගිට දුවන්ට සැරසුණේ ය. එවිට ධම්මදින්න ස්ථවිරතුමා එතුමාග් සිවුරුකොණ අල්වා නවත්වා “ස්වාමීනි, රහතුන්ට භය උපදීදැ”යි ඇසීය. ඒ අවස්ථාවේ දී තමා රහත් නොවන බව දැන මහස්ථවිරතුමා “ධම්ම දින්නය, මට පිහිට වෙව”යි කියමින් ශිෂ්‍යයාගේ පාමුල ඇණතබාගෙන වාඩි විය. ධම්මදින්න තෙර එතුමාට කමටහනක් කීය. මහතෙරනම කමටහන් ගෙන සක්මනට බැස තෙවෙනි පියවරේ දී රහත්ඵලය ලැබුවේ ය.
මැදුම්සඟිඅටුවාහි සල්ලෙඛසූත්‍රවර්‍ණනාවෙහි කියවෙන්නේ හඞ්කන විහාරයෙහි විසූ තෙරනමක් ධම්මදින්නතෙරුන් විසින් රහත් කරවන ලද බවයි.
ගිරුවා දනව්වෙහි කොන්තරකට්ඨ’පබ්බත මහාවිහාරයෙහි විසූ මහානාග නම් තෙරනමක් ගැන රසවාහිනියෙහි දුටුගැමුණු කථාවෙහි කියවේ. එතුමා දුටුගැමුණු කුමරු උපදින්ට ආසන්න කලක අපවත් වූ බව ඒ කථාවෙන් පෙනේ. තලගුරුවෙහෙර ධම්මදින්න තෙරුන් දුටුගැමුණු කාලයෙහි විසූ බව ඔප්පු වෙන හෙයින් එතුමාගේ ආචාර්‍ය්‍යවූ මහානාග තෙරුන් කාවන්තිස්ස කාලයේ දී විසීම සිදුවිය යුත්තකි.
අංගුත්තරඅටුවාහි එකනිපාතවණ්ණනාවෙහි (29) උච්චවාලිකවාසී මහානාග ස්ථවිරතුමා කායික වීර්‍ය්‍ය-චෛතසික වීර්‍ය්‍යය යන ද්විවිධ වීර්‍ය්‍යයෙන්ම ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ වීයයි ද එතුමා සතියක් මුළුල්ලේ සක්මන් කිරීමද තවත් සතියක් මුළුල්ලේ සිටීමද සතියක් මුළුල්ලේ හිඳීමද සතියක් මුළුල්ලේ නිදීමද කෙළේයයි කියන ලදි.
මෙතුමා ස්ථවිරභාවයට පැමිණෙන්ට පෙරම බොහෝ භික්‍ෂූහු මෙතුමාගේ අවවාදයෙහි පිහිටා රහත් ඵලය ලැබූහ. ඒ ප්‍රවෘත්තිය ඇසූ තිස්සමහාවිහාරවාසී සංඝතෙමේ තෙරුන් කැඳවාගෙන ඒම පිණිස භික්‍ෂූන් සමූහයක් යැවීය. තෙරණුවෝ “ස්වාමිවරුනි, ඔබ වහන්සේ තමන් සොයන්නහු ද? අනුන් සොයන්නහුදැ” යි අසා “තමන් සොයන්නෙමු” යි කී විට ඒ භික්‍ෂූන්ට කමටහන් දුන්හ. එතුමෝ එය වඩා රහත්බවට පැමිණියාහ. දෙවෙනි වර යැවූ භික්‍ෂු පිරිසත් එසේම රහත් විය. ඒ පිරිස් දෙකම හැරී නොගිය බැවින් තෙවෙනි වරත් පිරිසක් යැවීය. ඒ පිරිසද කමටහන් ගෙන රහත්ව එහිම නැවතුණි. ඉක්බිති තිස්සමහාවිහාරවාසී සංඝතෙමේ එක්තරා වයස්ගත වී පැවිදි වූවකු ඒ සඳහා යැවීය. ඒ බුඩ්ඪපබ්බජිතයා එහි ගොස් “ස්වාමීනි, ධම්මදින්නයන් වහන්ස, තිස්සමහාවිහාරවාසී භික්‍ෂූසංඝ තෙමේ තෙවරක් ඔබට පණිවිඩ එවීය. ඔබ සංඝාණත්තියට ගරු නොකරන්නාහ”යි කීහ. එවිට තෙරණුවෝ එකෙණෙහිම තිස්සමහාවිහාරයට යන්ට පිටත්විය. අතරමගදී හඞ්කන විහාරයට ගොස් සැටවස් පිරි මහතෙරනමක් රහත් කරවීය. (මීට මුලින් කථාව බැලිය යුතු) එතැනින් සිතුල්පව්වට ගොස් එහිත් අධිමානයෙන් රහත්මියි සිතාගෙන සිටි සැටවයස් පිරි තෙරනමක් රහත් කරවීය. (=අටවෙනි අංකයේ කථා බැලිය යුතු.)
ඉන්පසු තෙරණුවෝ පිළිවෙලින් තිස්සමහාවිහාරයට පැමිණියහ. ඒ වේලාවෙහි එහි තෙරවරු සෑ මලුව හැමද බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිටියාහු ය. ඉන් එක්නමක්වත් ධම්මදින්න තෙරුන්ට “මෙහි පාත්‍රය තබව” ආදි වශයෙන් කියන්නෙක් නොවීය. එසේ ආගන්තුක වත් නො කොට “මේ ධම්මදින්න භික්‍ෂුව වෙන්ට ඇතැ”යි සිතා ඒ තෙරුන්ගෙන් ප්‍රශ්න ඇසූහ. එතුමා ඒ ප්‍රශ්නයන් විසඳා පයේ ඇඟිල්ලෙන් මහපොළොවට ගසා “මේ අචේතනික වූ මහපොලොවත් මගේ ගුණ දනී; ඔබ වහන්සේ මාගේ ගුණ නොදක්සේකැ”යි කියා අහසට නැගී තලගුරු වෙහෙරටම වැඩිසේක. (මේ පුවත මැදුම්සඟිඅටුවාවේ සල්ලෙඛසූත්‍රවර්‍ණනාවෙහි එය.)
තලගුරු වෙහෙර
“තලගුරු වෙහෙර” හෙවත් තලඞ්ගරතිස්ස පබ්බත විහාරය කොහි පිහිටියේ දැයි සෙවිය යුතුය. සද්ධර්‍මාලංකාරයෙහි සිලුත්ත වස්තුවෙහි “එක් සමයෙක් හි ................. රුහුණුරට “තලගුරුතිස්” නම් පර්‍වතයෙහි වසන ධර්‍මදින්න මහතෙරුන් වහන්සේ දෙවුරුභා[1] නම් ගල්ලෙනක වසනසේකැ”යි කියවෙන බැවින් එය රුහුණේ පිහිටියේයයි දතයුතු.
විසූකාලය
මුන්වහන්සේ කාවන්තිස්ස - දුටුගැමුණු රජුන්ගේ කාලයේ දී විසූබව “සද්ධර්‍මාලංකාර”යෙහි සාලිරජ වස්තුවෙන් පෙනේ. සාලිරාජකුමාරයා ඉන් පෙර අත්බැව්හි මහවැලි ගඟ අසළ මුණ්ඩවාක නම් ගමේ ලෝකුරුවෙක්ව ඉපද සිටියේ ය. ශ්‍රද්ධාවත් වූ හෙතෙමේ තමාට ලැබුණු ඌරුමසක් පිස එයින් දන් දෙනු කැමතිව “මේ ලංකාද්වීපයෙහි සෘද්ධිමත් වූ යම්කිසි උත්තම ක්‍ෂීණාශ්‍රවකෙනෙක් වෙත්නම් ඔවුන් අතුරෙන් රහත් අටදෙනෙකුන් වහන්සේ කරුණාකොට සෙට මාගේ ගෙට සිඟා වැඩිය මැනවැ”යි ඝෝෂා කෙළේය. ඉක්බිති තලගුරු වෙහෙර වසන ධම්මදින්න නම් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යාය වූ ගොධම්ම[2] තෙරුන්වහන්සේ වෙත ගොස් උන්වහන්සේ සමග අහසින් අවුත් මහාසමුද්‍ර විහාරයෙහි වසන සඞ්ඝරක්ෂිත මහතෙරුන්වහන්සේ ය[3] කාලවෙලම්මක විහාරයෙහි[4] වසන මහානාග තෙරුන් වහන්සේය, උඩුකඩ විහාරයෙහි[5] වසන මහාසංඝරක්ෂිත තෙරුන්වහන්සේ ය, උණංගමු වෙහෙර වසන භූමිචාලක ධම්මගුත්ත මහතෙරුන් වහන්සේය, භාතියවංස විහාරයෙහි[6] වසන මහානාග තෙරුන් වහන්සේය, කල්ලතාපව්වෙහි[7] වසන මලියදේව මහතෙරුන් වහන්සේ ය යන මේ තෙරුන් සද්දෙනා වහන්සේ කැඳවාගෙන අහසින් ගොස් පිළිවෙලින් ගමට වන්සේක.”
රසවාහිනියේ සද්ධාසුමනාවගෙ කථාවෙහි ඇය මාගමින් අනුරාධපුරයට යන අතරමගදී ඇගේ දන පිළිගැනීමට නිරෝධයට සමවැද නැගිටි තලංගරසමුද්දපබ්බතවාසී මහාධම්මදින්න තෙරණුවෝ අහසින් වැඩියාහුයි කියවේ. සද්ධර්‍මාලංකාරයෙහි එම වස්තුවේ කියවෙන්නේ “තලගුරු මුහුදු පව්වෙහි වසන මහාධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ” එහි පැමිණි බවයි. තලගුරුපව්ව මූද අසළ පිහිටි බව මේ පොත් දෙකෙන්ම ඔප්පු වේ.
මහාවංශයේ දුටුගැමුණු කථාවෙහි ඒ රජුගේ මරණමඤ්චකයේ දී ඔහු කළ පින් විස්තර කරන අභය මහාස්ථවිරතුමා මෙසේ කීය: “ඒ තෙරුන් වහන්සේලා පස්දෙනා අතුරෙන් ඇඹුල් සහිත තණබත් ගත් මලියදේව මහස්ථවිර තෙමේ සමන්කුළු පව්වෙහි නවසියයක් භික්‍ෂූන්ට දී වැලඳූසේක. පෘථිවීචාලක ධර්‍මගුප්ත ස්ථවිර තෙමේ ඒ පිණ්ඩපාතය කැලණි විහාරයෙහි පන්සියයක් භික්‍ෂූන් සමග බෙදාගෙන තෙමේත් වැලඳූසේක. තලගුරුවැසි ධම්මදින්න ස්ථවිර තෙමේ පුවඟු දිවයින දසදහසක් භික්‍ෂූන්ට බෙදා දී එය වැලඳූසේක. මංගණවැසි මහාසෘද්ධි ඇති කුඩාතිස්ස ස්ථවිර තෙමේ කෛලාශ විහාරයෙහි[8] සැට දහසක් දෙනාට බෙදා දී වැලඳූ සේක.
දුටුගැමුණු රජුගේ මේ ඇඹුල්තණබත් දානය සිදුවූයේ රජකම ලබන්ට පෙර “කොත්මලේ” හෝ කඳුරටේ අන්කිසි තැනක වසද්දී බුඑකෑසාය (අක්‍ඛක්‍ඛායික ජාතකය) පවත්නා කල්හිය. එබැවින් මලයමහාදේව (මලියදේව), තලගුරු වෙහෙර ධම්මදින්න, මංගණඛුජ්ජතිස්ස යන තෙරවරුන් දුටුගැමුණු රජුගේ බාලකාලයේ දී විසූ බව ඔප්පු වේ. [9]
මෙහි කියවුණු තෙරවරුන් කීපනමක් ගැන ජාතක අටුවාවේ වීසතිනිපාතයේ හත්‍ථිපාලජාතකවණ්ණනාවෙහි කියවෙන ප්‍රවෘත්තිය මෙසේ යි:- මේ තාම්‍රපර්ණිද්‍වීපයෙහි පඨවීචාලක - ධම්මගුත්තතෙරය, කටකන්‍දරවාසී ඵුස්සදේව තෙරය, උපරිමණ්ඩල මාලවාසී මහාසංඝරක්ඛිත තෙරය, මලියමහාදේව තෙරය, භග්ගිරිවාසී මහාදේව තෙරය, ගාමන්තපව්වෙහි වැසි මහාසීව තෙරය, කළුවැල්මඩුවේ මහානාග තෙරය යන මේ තෙරවරු කුද්දාලකසමාගමය, මූගපක්‍ඛසමාගමය, චුල්ලසුතසෝමසමාගමය, අයොඝරසමාගමය, හත්‍ථිපාල සමාගමය යන මේ රැස්වීම්වල දී සියල්ලන්ට පසුව පැමිණ පැවිදි වූ පුරුෂයෝ වූහ” යි. මෙයින් අදහස් කරනු ලබන්නේ තේමිය කුමාරාදීන් පැවිදි වූ අවස්ථාවලදී ඔවුන් අනුව පැවිදි වූ දහස් ගණන් පුද්ගලයන් අතරෙහි මේ තෙරවරුන් සිටි බවත් මේ තෙරවරුන් ඒ ඒ අවස්ථාවන්හිදී සියල්ලන්ට පසුව ඇවිත් පැවිදි වූ බවත් ය.
මේ ජාතක අටුවා පාඨයෙහි සත්නමකගේ නම් පෙනෙත්. එයින් මලියදේව, ධම්මගුත්ත දෙනමගේ නම් මහාවංශයේ දුටුගැමුණු කථාවෙහි ඇතුළත් ය. ඒ අටුවාවේ පෙනෙන හැමදෙනා වහන්සේම චරිත අපේ මේ ග්‍රන්‍ථයෙහි විද්‍යමාන වෙති.
ජාතක අටුවාවෙහිම මූගපක්‍ඛජාතක වර්‍ණනාවේදී 1. මංගණ ඛුජ්ජතිස්ස[10] 2. මහාවංසක, 3. කටකන්‍දර ඵුස්සදේව, 4. මහා (සංඝ) රක්ඛිත, 5. භග්ගරිවැසි මහාතිස්ස, 6. මහාසීව, 7. මහාමලියදේව යන තෙර සත්නමගේ නම් දක්වා ඒ තෙරහු මූගපක්‍ඛසමාගමාදියේ සියල්ලට පසුව පැවිදි වූවෝ යයි දක්වා තිබේ. දුටු ගැමුණු කථාවෙහි කියවුණු තෙරවරුන් අතුරෙන් මංගණවැසි කුඩා තිස්ස තෙරුන්ගේ නම එහි ඇතුළත්ව තිබේ.
විශුද්ධිමාර්‍ගයේ ඉද්ධිවිධනිද්දෙසයෙහි මෙසේ කියන ලදි. “ධම්ම දින්නතෙර තිස්සමහා විහාරයේ මහසෑමලුවෙහි අපණ්ණක සූත්‍රයෙන් දහම් දෙසන්නේ විජිනිපත යටිකුරු කොට එහි සිටි පිරිසට අවීචිය පෙන්වීය; එය උඩිකුරු කොට බඹලොව දක්වා දෙව්ලොව පෙන්වීය. මෙසේ නරකභයින් තැති ගන්වා දෙව් සැපයෙන් පොළඹවා දහම් දෙසා බොහෝ දෙනකුන්ට ධර්‍මාවබෝධය කරවීය”
රසවාහිනියේ ධම්මදින්නවස්තුවෙහි මේ තෙරුන් නාගදීප චෛත්‍යය වඳින්ට ගිය ගමනක් ගැන සඳහන්ව තිබේ. එහි කියවෙන්නේ එතුමා තලගුරුපව්ව අසල තිස්සමහාවිහාරයෙහි විසූ බවයි.
මෙතුමන්ගේ බෑනා ව සුධම්මසාමණේරනම පැවිදිවීමට හිසකෙස් බානා අවස්ථාවෙහි රහත්ව ධම්මදින්න තෙරුන්ගේ ධර්‍මකථාවන් අසා තුන්පිටකය උගත්තේ යයි විභංග අටුවාහි පටිසම්භිදාවණ්ණනාවෙහි (4) කියා තිබේ.
“මලියදේව” නාමය ලක්දිව ඉතාප්‍රකටය. එතුමා මෙහි සිටි අන්තිම රහත්නම යයි ජනප්‍රවාදයක් තිබෙතත් එතුමන් දුටුගැමුණු කාලයටත් පෙර වැඩසිටි බව පොත්වලින් පෙනේ. සාලිය කුමරු ඉන් පෙර ජාතියේ දී දුන් දනක් පිළිගැනීමට කොටගල වැසි මලියමහාදේවතෙරනම වැඩියේ යයි මහාවංසටීකා - සද්ධර්‍මාලංකාර - රසවාහිනී යන පොත්වල කියවේ. මහාවංසටීකාවෙහි මේ නම පෙනෙන්නේ මලියමහාදේව වශයෙනි. අංගුත්තර ඒකනිපාත අටුවාහි මලියදේව මහාදේව යන නම් දෙකම එක තෙරනමට යොදා තිබේ. එබැවින් මලියමහාදේව යන්නත් ඒ තෙරුන්ටම ව්‍යවහාරවීම නොහැකි නොවේ.
මෙහි මලිය යන්නේ තේරුමක් නැත. මලය යන්නේ තේරුමක් තිබේ. මලයරට උපන් දේව ස්ථවිරතුමා මලයදේව විය හැක. නමුත් මලිය යන්න බොහෝ තැනක ලිය වී තිබෙන බැවින් එය හැරදැමිය හැකි නොවේ. මැඳුම් මඟිඅටුවාහි ඡඡක්ක සූත්‍රවර්‍ණනාවෙහි (1024 පිට) එක් පාඨභේදයක මාලෙය්‍යදේවත්‍ථෙරො යයි පෙනේ. මාලදිවයිනේ උපන් අයකුට “මාලෙය්‍ය” හෝ “මාලිය” නාමය යෙදිය හැකි බැවින් මෙය මාලියදේව නො විය හැකිදැයි විමසිය යුතු. පෙර බෞද්ධ සිංහලයන් විසූ මාලදිවයින්වල උපන් තෙරනමක් මෙහි විසීම සිදුවිය නොහැක්කක් නොවේ.
අංගුත්තර-ඒකනිපාත අටුවාහි මලයදේවතෙරුන් සම්බන්ධයෙන් මේ කථාව පෙනේ:- මලියදේව තෙමේ තුන්වස් ඇති භික්‍ෂුවක් වූ කල කල්ලකගම මණ්ඩලාරාම මහා විහාරයෙහි[11] ධර්‍මය ඉගෙන ගත්තේ ය. එක් දිනක් පිඬු පිණිස හැසිරෙන ඒ භික්‍ෂුනම දුටු එක් උපාසිකාවක් කැඳකිණිස්සක් දී පුත්‍රස්නේහය උපදවා ගෙයතුළ හිඳුවා ප්‍රණීතාහාර වලඳවා තොරතුරු විචාරා “ඉගෙනීම කරනතෙක් මම ඔබට උපස්ථානකරමි”යි කීය. නිතර එතැන වලඳන ඒ භික්‍ෂුනම උපාසිකාවට “සුවපත් වේවා, දුකින් මිදේවා” යන වචනවලින් පමණක් අනුමෝදනා කෙළේය. වස් අවසානයේදී භික්ෂුනම සිවුපිළිසිඹියා සමග රහත්ඵලය ලැබී. ආරාමාධිපති මහතෙරණුවෝ “මහාදේවය, අද විහාරයට මහාජනයා රැස්වෙයි, ඔවුන්ට ධර්‍මදානය දෙව”යි කීහ. තරුණ භික්‍ෂූහුත් සාමණේරවරුත් “අද ඔබගේ පුත්‍රයා ධර්‍මදේශනා කරන්නේ යයි උපස්ථාන කළ උපාසිකාවට දැනුම් දුන්හ. එවිට උපාසිකාව “සියල්ලෝ බණ කියන්ට නොදනිති. මාගේ පුත්‍රයා මෙතෙක් කල් “සුවපත් වේවා, දුකින් මිදේවා” යන වචන මිස අන් කිසිවක් කියන්ට අසමර්‍ථවීය”යි කීය. නමුත් සෙස්සෝ “එයින් කම් නැත බණ අසන්ට එව”යි කීහ. මලියදේව තෙමේ ධර්‍මාසනයෙහි හිඳගෙන ත්‍රිපිටකය අලලා ඒ වාක්‍ය දෙකේ අර්‍ථ විස්තර කරමින් රාත්‍රිය ගෙවෙනතෙක් ධර්‍මදේශනා කෙළේය. උපාසිකාව සෝවාන් විය.
මැඳුම්සඟි අටුවාහි ඡඡක්කසූත්‍රවර්‍ණනාවෙහි මෙසේ දැක්වේ:- මලියදේව මහතෙරුන් ලෝමහපායේ පහතමාලයේ දී ඡඡක්ක සූත්‍රය දෙසූවිට සැටනමක් භික්‍ෂූහූ රහත් වූහ. මහාමණ්ඩපය, සෑගිරිය, ශාක්‍යවංශවිහාරය, කූටාලි විහාරය, අන්තරසොබ්භ, මුතියංගණ, වාතකපර්‍වතය, පැදුම් ගෙය, දිගාවැව, ලෝකකන්‍දරය, ගාමෙණ්ඩවාල යන තැන්හි දෙසූවිටත් සැටනම බැගින් රහත්වූහ. සිතුල්පව් විහාරයට පැමිණ දෙසූවිට හැටවස් පිරි මහතෙර සැටනමක් ද රහත්බව ලැබූහ. ඉක්බිති තිස්සමහාවිහාරයෙහිද කැලණියේ නාගමහාවිහාරයෙහි ද කළු තොට (කාළකච්ඡ) ගමෙහි ද දෙසූවිටත් සැටනම බැගින් රහත්වූහ. මෙසේ මේ තෙරුන් මේ සූත්‍රය දෙසූ සැටතැනකදී සැටනම බැගින් රහත් වූහ.
මුන්වහන්සේ ලෝහප්‍රාසාදයේ දී දහම් දෙසීයයි කීමෙන් දුටුගැමුණු කාලයට පසුව සිටියාහයි සැකකළ හැකිවේ. අප විසින් මුලදී දක්වන ලද්දේ මෙතුමන් දුටුගැමුණු කාලයට නුදුරු අතීතයෙහි වැඩසිටිබවයි. ලෝහප්‍රාසාදයක් දුටුගැමුණු කාලයට පෙරදීත් තිබුණේය. දේවානම්පියතිස්ස රජු විසිනුත් ලෝහප්‍රාසාදයක් කරවන ලද බව:-
“තතො මහාබොධිඝරං ලොහපාසාදමෙව ච
සලාකග්ගං ච කාරෙසි භත්තසාලං ච සාධුකං”
යන මහාවංසයේ 15 වෙනි පරිච්ඡේදයේ එන ගාථාවෙන් පෙනේ. දුටුගැමුණු රජ ඒ පරණ ප්‍රාසාදය ඉවත්කොට එතැන්හි ඒ නමින් ම මහාප්‍රාසාදයක් කරවීය. ඒ බව “තං හි පච්ඡා විද්ධංසෙත්‍වා දුට්ඨගාමිණී මහාරාජා සුවණ්ණඛචිතං කත්‍වා කාරෙසි” යන මහාවංසටීකා පාඨයෙන් ඔප්පු වේ.
(බු.ව. 350-425 අතර)
සද්ධාතිස්ස මහරජ වරක් තමා විසින් සත්කාර කළ යුතු රහත් නමක් ගැන ඇසූ විට භික්‍ෂූහු මංගණවැසි ඛුජ්ජතිස්ස තෙරනම මහාගුණසම්පන්නයෙකැයි කීහ. රජතෙමේ මහපිරිස් පිරිවරා ගෙන අනුරාධපුරයෙන් පස්යොදුන් පමණ තැන පිහිටි ඒ විහාරයට ගියේ ය. මහපිරිසේ ශබ්දය ඇසූ තෙරණුවෝ “මේ කිනම් ශබ්දයක්දැ”යි විචාරා “ඔබ දැකීමට රජ පැමිණියේය”යි කීවිට “මහලු කල මට රජගෙයින් ඇති වැඩය කිමෙක්දැ”යි සිතා දිවාස්ථානයෙහි වූ ඇඳෙහි වැතිර බිම ඉරි අඳිමින් හුන්හ. රජතෙමේ සමීපයට ගොස් එය දැක “රහතන්ගේ මෙවැනි හස්තවිකාරයක් නැත. මෙතුමා රහත් නොවන්නේය”යි සිතා නොවැඳම හැරී ගියේය. “කුමක් හෙයින් ශ්‍රද්ධාවත් රජ කලකිරවන ලද්දේදැ”යි භික්ෂූන් විසින් විචාරන ලද්දේ “රජු පැහැදවීම මහලු තෙරුන්ට බාරය”යි කීය.
පසුකලක පිරිනිවෙන තෙරණුවෝ “මාගේ සිරුර තබන කුළුගෙයි තවත් ඇඳක් තැබිය යුතුය”යි භික්‍ෂූන්ට දැනුම් දී එසේ කළ පසු “මේ කුළුගෙය රජු විසින් දක්නා තුරු බිමට නොබසීවා”යි අධිෂ්ඨාන කොට පිරිනිවියහ. කුළුගෙය පස්යොදුනක් දුර අහසින්ම ගියේය. ඒ මග ගස් ද පඳුරු ද කුළුගෙය දෙසට නැමී ගියහ. “ඛුජ්ජතිස්සතෙර පිරිනිවියේය, කුළුගෙය අහසින් එන්නේය”යි රජුට දැනුම්දුන් නමුත් රජ ඒ කීම විශ්වාස නොකෙළේය. කුළුගෙය ථූපාරාමය වටේ කැරකී ශෛලචෛත්‍යය සමීපයට පැමිණිවිට ඒ සෑය පිහිටි භූමියත් සමඟ උඩට නැගී කුළුගෙයට උඩින් සිටියේය. මහාජනයාගෙන් දහස් ගණන් සාධුනාදයන් නික්මුණු විට ලෝමහපායේ සත්වෙනි මාලයෙහි විනයකර්‍මයක් කරමින් වැඩහුන් මහාව්‍යග්ඝ නම් තෙරනම ඒ ශබ්දය කුමක්දැයි විචාරා මේ සිද්ධිය දැන “පින්වතුන් නිසා මමත් සත්කාර ලබන්නෙමි”යි කියා අතවැසියන් සමාකරවාගෙන අහසින් ගොස් කුළුගෙට ඇතුල්ව දෙවෙනි ඇඳෙහි හෙවැ පිරිනිවියේය. රජතෙමේ මල් සුවඳ ආදිය ගෙනගොස් අහසෙහි තිබුණු කුළුගෙය දැක එයට පූජා කෙළේය. එවිට කුළුගෙය බිමට පාත්විය. රජ මහාසත්කාරයෙන් දෙනමගේ ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් බැන්දවීය. (මෙය අංගුත්තර අටුවාහි තිකනිපාත වණ්ණනා (385) වෙහි පෙනේ.)
ලොකප්පදීපකසාර නම් පාලිග්‍රන්ථයෙහිත් මේ කථාව පෙනේ. එහි එතුමාගේ නම පෙනෙන්නේ කුණ්ඩලතිස්ස යන්නෙනි. කථාපුවතෙහිත් ඇතැම් වෙනස් පෙනෙන බැවින් එහි තිබෙන සැටියෙන් ද මේ කථාව දක්වනු ලැබේ :- සද්ධාතිස්ස මහරජ වරක් මහාසංඝයාට දන් දී “ස්වාමීනි, ඔබ සියලු දෙනා වහන්සේගේ සම්මතයෙන් මට අවවාද කිරීමට යෝග්‍ය තෙරනමක් ගැන දැනුම් දුන මැනවැ”යි ඉල්ලා සිටියේය. එවිට සංඝතෙමේ “මහරජ, මෙයින් සිවුයොදුන් පමණ තැන අරණ්‍යවාසී වූ කුණ්ඩලතිස්ස නම් තෙරනමක් ඇත. ඒ තෙරනම ඔබට අවවාද දීමට සමර්‍ථ ය යි කීය. රජ තෙම ඊට පසුදා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන තෙරුන් දැකීම සඳහා ඒ ප්‍රදේශයට ගොස් සේනාව ටිකක් දුරින් නවතා තෙමේ තනිවම තෙරුන් දැකීමට පයින් ගියේය. තෙරනම රජුගේ ඒම දැනගෙන “රජු හා විශ්වාසය ඇති කිරීමෙන් මට පලක් නැතැ”යි සිතා තමාගේ විහාරය නො උස්තැනක් කොට මවාගෙන විහාරය ඇතුළට වී දොර වසාගෙන ද්වත්තිංසාකාරය පොළොවෙහි ලියමින් හුන්නේ ය. රජ තෙම දොරලඟට අවුත් යතුරු කඩොල්ලෙන් ඇතුළත බලා බිම අකුරු ලියමින් උන් තෙරුන් දැක මේතෙම මට අවවාද දීමට සුදුස්සෙක් නොවේයයි සිතා නොවැඳම හැරී ගියේ ය. මෙයින් කලකට පසු නැවතත් රජතුමා සංඝයාගෙන් විචාළ විට සංඝතෙමේ නැවතත් ඒ තෙරුන්ගේ නමම කීය. රජ දෙවෙනි වරත් එහි ගිය නමුත් තෙරුන් පෙරසේ ම ක්‍රියා කළ බැවින් කලකිරී හැරී ගියේ ය.
කලකට පසු ඒ තෙරුන්ට රෝගයක් උපණි. තමාගේ ආයුසංස්කාරය පිරිහී ගියබව දත් තෙරනම “සද්ධාතිස්ස රජ මා කෙරෙහි කලකිරී පව් පුරවා ගන්නේ ය. එබැවින් ඔහුගේ කලකිරීම දුරු කිරීම සඳහා අධිෂ්ඨානයක් කළ යුතුය” යි සිතා මෙසේ අධිෂ්ඨාන කෙළේය: “මාගේ සිරුර කුළුගෙයක තබා ආදාහන කිරීම පිණිස පූජාව පවත්වන කල්හි ඒ සිරුර සහිත කුළුගෙය මිනිසුන්ගේ අතින් මිදී අහසින් රජ ගෙට ගොස් රජු විසින් වැඳිකල්හි එතැනින් ගොස් මාගේ මිත්‍ර වූ මහාව්‍යග්ඝ තෙරුන් සමීපයට පැමිණ අහසෙහි සිටීවා. එකල්හි ශෛල චෛත්‍යය තිබුණු තැනින් ඉවත් වේවා. ඉක්බිති සහාය තෙරුන්ගේ කුළුගෙය සමග මාගේ කුළුගෙය අහසින් ගොස් දරසෑයෙහි පිහිටි විට චෛත්‍යය යථාස්ථානයෙහිම පිහිටාවා” මෙසේ අදිටන් කොට එතුමන් පිරිනිවිකල්හි මහජනයා රැස්ව මහත් පූජාවිධානයෙන් එතුමාගේ සිරුර පෙට්ටියක බහා කුළුගෙයක තබා සෑය ළඟට ගෙන ගියහ. සෑයළඟ තැබූ කුළුගෙය නැවත සොලවන්ට නොහැකිවිය. එය අහසට නැගී රජගෙය ඉදිරියට ගොස් අහසෙහි සිටියේය. ඉක්බිති සද්ධාතිස්ස මහරජ අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා ගෙන රජගෙයින් නික්ම වැඳපුදා “ස්වාමීනි, ඔබ ජීවමානකල මට කරුණා නොකළහ. විද්‍යාමාන ගුණය වසා මට අන්‍යථාත්‍වයක් ඇති කළහ. දැන් මා කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩිසේක. මට සමාවුවමැනවැ”යි කීය. ඉක්බිති ඒ කුළුගෙය එතැනින් ඉවත්ව මහාව්‍යග්ඝතෙරුන්ගේ වාසස්ථානයට ගියේය. රජ ද එය පසු පස්සේ ගියේය. එකල්හි මහාව්‍යග්ඝ ස්ථවිරතුමා ලෝහප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට ධර්‍මය උගන්වමින් සිටියේ මේ මහත්ඝෝෂණය කුමක්දැයි විචාරා ඔබගේ මිත්‍ර වූ කුණ්ඩලතිස්ස තෙරනම පිරිනිවියේ ඔබ වෙත පැමිණියේ ය. මහරජ ද පැමිණියේ ය” යි කියන ලද්දේ තමාගේ ආයුසංස්කාරයත් එදවස්හිම ගෙවී යන බව දැක කළ පිනැත්තන් ආශ්‍රය කොට සත්කාර ලබන්නෙමි”යි කියා අතවැස්සන් සමාකරවාගෙන අහසට නැග ඒ කුළුගෙට ඇතුල්වී පිරිනිවියේ ය. ඉන්පසු ඒ තෙර දෙනමගේ කුළුගෙවල් දෙක සෑය මත්තෙහි පිහිටි විට ගිනි කඳන් නැඟී ඒවා දැවූහ. මෙයින් කුණ්ඩලතිස්ස තෙරනම පෙර දඹදිව අධිරාජව සිටි අශෝක රාජ තෙමේය. මහාව්‍යග්ඝ ස්ථවිරතුමා මහානාම (ශාක්‍ය) රාජවිය. සීහලවත්‍ථු නම් ග්‍රන්ථයෙහි මෙසේ කී බැවින් මා විසින් මෙය උපුටා ගන්නා ලදි.
මේ ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථය වනාහි බුරුම රට සිරිරතන නුවර “සෙතකුඤ්ජරාධිපති” මහරජුගේ මාතෘදේවිය වූ සුසද්ධා නමැත්තිය කරවූ ස්වර්ණාලිප්ත මහා විහාරයෙහි විසූ මේධංකර නමැති සංඝරාජ තෙරුන් විසින් ලියන ලද්දකි. එතුමා ලාංකික භික්‍ෂු වංශයකට අයත් වූ බව සීහළදීපෙ අරඤ්ඤවාසීනං පසත්‍ථ මහාථෙරානං වංසාලංකාර භූතේන” යන නිගමන වාක්‍යාංශයෙන් පෙනේ. එය කළ වර්‍ෂය පොතේ සඳහන් ව නැත. මෙතුමා ලක්දිවට අවුත් වනවාසී සංඝයාගෙන් උපසම්පදාව ලබාගත්තා වූද මුත්තිමනුවර සෙතිභින්‍ද රජුගේ මෑණියන්ගේ ආචාර්‍ය්‍යවරයායි ද බුරුම ශාසන වංශයෙහි කියවේ. සුණ්ණසොභතෙරුන් මෙහි එන්නට ටික කලකට පෙර මෙතුමා ලක්දිවට ආයේය. ක්‍රි.ව. 1429 දී සිරිසද්ධම්මාලංකාර, සීහලමහාසාමි යන තෙර දෙනමක් සර්‍වඥධාතු ද රැගෙන ලක්දිවින් ගොස් කුසීම (බැසින්) තොටට ගොඩබටහ. මෙකල්හි රාමඤ්ඤරටේ රජ වූ බ්‍යඤ්ඤා රජ ඒ දෙනම තම රටේ නැවතීම ගැන විරුද්ධ වූ බැවින් ඒ දෙනම බුරුම රටේ සිරිඛෙත්ත නුවරට ගිය විට එහි රජතුමා ඒ දෙනම සාදරයෙන් පිළිගෙන සංග්‍රහ කෙළේය. ඒ දෙනම විසින් එහි බුදුසසුන වඩන ලදී. මෙසේ සිංහල භික්‍ෂුවංශයක් රත්නපුරයෙහි ඇති වූ බව බුරුම සාසනවංසයෙන් පෙනේ.
“සීහළවත්‍ථු” නම් පොතක් ගැන ද මෙහි සඳහන් වේ. බුරුම පුස්කොළ පොත් අතරේ මේ නම පෙනෙතත් එය ලක්දිව ඇති බවක් දැනගන්ට නැත. “සහස්සවත්‍ථුප්පකරණ” නම් පොතද අභාවප්‍රාප්ත වී යයි බොහෝ දෙනා සිතා සිටි නමුත් දැන් එය සොයා ගෙන තිබේ. මේ සීහළවත්‍ථු නම දී තිබෙන්නේ සහස්සවත්‍ථුවටම ද යන්න සෙවිය යුත්තකි. මේ දෙකෙහිම ලක්දිව සිදු වූ කථාප්‍රවෘත්ති ඇතුළත් බැවින් මේ පොත් සොයා ගැනීම ඓතිහාසික ප්‍රවෘත්ති දැනගනු කැමැත්තන්ට මහත් ප්‍රයෝජන පිණිස පවත්නේ ය.
ජාතක අටුවාවේ මූගපක්‍ඛ (=තෙමිය) ජාතක වර්‍ණනාවෙහි මේ තෙරුන්ගේ නම පෙනෙන්නේ “මංගණවාසී ඛුද්දකතිස්සත්‍ථෙරො” වශයෙනි. මහාවංශයේ 32 වෙනි පරිච්ඡේදයෙහි තිබෙන්නේ “මංගණවාසිකො ඛුද්දතිස්සත්‍ථෙරො” වශයෙනි. “කුඩාතිස්ස තෙරනම” යන අර්‍ථය එයින් ලැබේ. “ඛුද්ද” යන්නෙන් “කුඩා” යන තේරුම ලැබෙන අතර ‘ඛුජ්ජ’ යන්නෙන් “කුදු” යන තේරුම ලැබේ. නමුත් “ඛුද්ද” වෙනුවට ඇතැම් තැනක “ඛුජ්ජ” යන්න ලියවී තිබේ. ථෙරගාථාවන්හි පෙනෙන “ඛුජ්ජසොභිත” යන්න එයට නිදර්‍ශනයකි.
මූගපක්ඛජාතක අටුවාවෙහි වනාහි මුන්වහන්සේ හා මෙහි නම් දැක්වෙන තවත් මහතෙරුන් කීප නමක් සම්බන්ධයෙන් අද්භූත ප්‍රවෘත්තියක් කියා තිබේ. එය නම් “මේ ඛුද්දතිස්ස තෙර ද මහාවංසකතෙර ද කටකන්‍ධකාර (?) වාසී ඵුස්සදේවතෙර ද උපරිමණ්ඩලමාලවාසී මහාරක්‍ඛිතතෙර ද, භග්ගරිවාසී මහාතිස්ස තෙර ද වාමත්ත (ගාමන්ත?) පබ්භාරවාසී මහසීවතෙර ද කාළවේලවාසී මහාමලියදේවතෙර ද යන මේ තෙරවරු අයෝඝර සමාගමයේ දී ද හත්‍ථිපාලසමාගමයේ දී ද කුද්දාලකසමාගමයේ දී ද මූගපක්‍ඛසමාගමයේ දී ද (හෙවත් ඒ ජාතකයන්හි කියවෙන පැවිදිවීම්වල දී) සියල්ලන්ට පසුව පැමිණියෝයයි කියත්” යන්නයි. මද්ධවාසී මහානාගතෙර ද මලියමහාදේවතෙර ද පිරිනිවෙන දිනයේ දී රැස් වූ සංඝයා අමතා “ඇවැත්නි මූගපක්‍ඛජාතකයේ පිරිස අද අවසන් වීය” යි කීහ. “ස්වාමීනි, කුමන කරුණක් නිසා දැ” යි ඇසූ විට “ඇවැත්නි, මම එදා රා සොඬෙක් වීමි, මා හා මත් පැන් බීමට අනිකකු නො ලැබ මම සියල්ලන්ට පසුව ගොස් පැවිදි වීමි”යි ඒ තෙර දෙනම වෙන් වශයෙන් කීහයි ද ඒ ජාතක වර්‍ණනාවේම දැක්වේ.
මේ කථාවේ ඇතුළත් වූ මහාව්‍යග්ඝ තෙරුන්ගේ නාමය මහා වංශයේ 32 වෙනි පරිච්ඡේදයෙහි පෙනේ. දුටුගැමුණු රජ කුමාර කාලයේ දී ඇති වූ “බුළුකෑසාය” පවත්නා කල්හි දුන් ඇඹුල්තණ බත පිළිගත් තෙරුන්ගෙන් එක් නමක් මහාබ්‍යග්ඝ තෙරයයි එහි කියවේ.
(කාවන්තිස්ස රජු කල)
මුන්වහන්සේ තලගුරු වෙහෙර ධම්මදින්න මහතෙරුන්ට සමකාලිකයයි රසාවාහිනී - මහාවංසටීකා යන පොත් දෙකෙන් පෙනෙන බැවින් කාවන්තිස්ස කාලයෙහි විසූහයි පිළිගතයුතු වේ. මේ කාළවල්ලිමණ්ඩපය (=කළුවැල්මඩුව)[12] රුහුණේ පිහිටිබව අංගුත්තර තිකනිපාත අටුවා (384) වෙන් පෙනේ. එහි තිබෙන මෙතුමන් සම්බන්ධ පුවත මෙසේ යි:- පැලලුප් නුවර දොරටු ශාලාවක හුන් බමුණෝ දෙදෙනෙක් කාලවල්ලිමණ්ඩපවාසී මහානාග තෙරුන්ගේ ගුණ කථාව අසා එතුමන් දැක දන් දෙනු කැමතිව ලක්දිවට එන්ට පිටත් වූහ. ඉන් එක් අයෙක් අතරමගදී මළේය. අනිකා නැව්නැගී අවුත් මාතොටට ගොඩබැස අනුරාධපුරයට පැමිණ “කාළවල්ලිමණ්ඩපය කොහිදැ”යි විචාළේය. රුහුණේ යයි කී විට එහි ගොස් චුල්ලනගරය (සුලුන්නරුව)ට පැමිණ එගම්හි ඉදිරියෙහිම තිබෙන ගෙයි නැවතී තෙරුන්ට දන් පිළියෙල කොට උදෑසනම නැගිට තෙරුන් වසන තැනට ගොස් පිරිස් කෙළවර සිට දුරදී තෙරුන් දැක එතැනදීම වැඳ නැවත සමීපයට ගොස් දෙපා අල්වා වැඳ “ස්වාමීනි, ඔබ ඉතා උස්වෙති”යි කීය. එසේ කීයේ එතුමාගේ ශරීරයට උස් නිසා නොව ගුණය උසස් බැවිනි. ඒ ගුණකීර්තිය මූදෙන් එතර පාටලීපුත්‍රය දක්වා පැතිර ගියේ ය. හෙතෙම තෙරුන්ට දන් පිළිගන්වා තුන් සිවුරු සපයාගෙන තෙරුන් වෙත පැවිදිව පසුකලක රහත්විය.
අට්ඨසාලින අටුවාහි නික්ඛේපකණ්ඩවණ්ණනාවෙහි මේ කථා පුවත එයි:- බුත්තල (=භූත්තසාල) ගම සොරුන් පැහැරූ කල්හි නිරොධසමවතෙන් එකෙණෙහි නැඟී සිටි එක් තෙරණියක් භික්‍ෂුණියක් ලවා බඩු ගෙන්වා ගෙන මිනිසුන් සමඟ මගට බැස නකුලනගර[13] ගම් දොරට පැමිණ ගසක් මුල හුණි. කළුවැල්මඩුවේ මහානාගතෙර පිඬු පිණිස එන්නේ ඒ තෙරණියන් දැක මධ්‍යාහ්නය ළංව තිබුණු බැවින් බතින් විචාළේය. “මට පාත්‍රයක් නැතැ”යි ස්ථවිරිය කී විට “මෙහිම අනුභව කළ මැනවැ”යි කියා පාත්‍රය සමඟම පිණ්ඩපාතය දුනි. බත්කිස නිම වූ ස්ථවිරිය පාත්‍රය සෝදා දී “මින් පසු ඔබට භික්‍ෂාවෙහි හැසිරීමෙන් වෙහෙස විඳින්ට සිදු නොවන්නේ ය”යි කීය. එතැන් පටන් තෙරණුවන්ට අඩකහවණුවකට වැඩි වටිනාකම ඇති පිණ්ඩපාතයක් නිරායාසයෙන් ම ලැබුණි.
මෙතුමා ගතපච්චාගතවත පුරමින් පළමුකොට බෝසතුන්ගේ මහාප්‍රදහනයට පුදමියි සිතා සත්හවුරුද්දක් සිටීමෙන් හා සක්මනෙන් ගත කළහ. ඉන්පසුත් 16 අවුරුද්දක් ඒ වත පුරා රහත් විය. පිඬු පිණිස ගමට ඇතුල්වන එතුමා කච්ඡක විලෙන් ජලය ගෙන මුඛය පුරවාගෙන යයි. කුමක් සඳහා ද? මිනිසුන් වඳින විට “දීර්‍ඝායුෂ්ක වෙත්වා”යි කියන පමණිනුත් තමාගේ භාවනාව කඩ නොකරන පිණිසය. මේ පුවත දික්සඟි අටුවාහි (132) සාමඤ්ඤඵලසුත්තවණ්ණනාවෙහි ද විභංග අටුවාහි (247) ඣානවිභංග නිද්දෙසයෙහි ද මැඳුම්සඟි අටුවාහි සතිපට්ඨානවණ්ණනාවෙහි ද එයි.
දික්සඟි අටුවාවේ සාමඤ්ඤඵලසුත්තවණ්ණනාවෙහි (141) සම්පජානකාරී යන පදය ගැන ත්‍රිපිටක මහාසීව තෙරුන්ගේ මතයක් දක්වන ලදි. එම අටුවාහිම මහපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහ (376) මේ නම දීඝභාණක - ත්‍රිපිටක මහාසීවයයි පෙනේ. මැඳුම්සඟි අටුවාහි මහාසච්චකසූත්‍රවණ්ණනාවෙහ (463) මහාසීව නාමය විශේෂණ පදයක් නැතිව පෙනේ. එහිම අච්ඡරිය ධම්මසුත්තවණ්ණනාවෙහ (918) තිපිටකමහාසීව තෙරුන්ගේ මතයක් දක්වා මහාසීව නමැති අන්‍යතෙරනමකගේ මතයක් ද පෙන්වා තිබේ. එබැවින් මහාසීව නමින් ප්‍රකට කීපනමක් සිටියාහයි පිළිගත යුතුය. ඒ අටුවාහිම සතිපට්ඨානවණ්ණනාවෙහි (218) තිපිටකමහාසීව නාමය පෙනේ.
අට්ඨසාලින - චිත්තුප්පාදකණ්ඩ - ලොකුත්තරකුසල කථාවෙහි (180) ආජීවපාරිශුද්ධිය ගැන මහාසීවතෙරුන්ගෙ අදහසක් පෙන්වා තිබේ. එහිම විපාක කථාවෙහ (215) මහාසීව තෙරුන්ගේ මතයක් දක්වා එය ප්‍රතික්ෂෙප කොට තිබේ.
මහවග අටුවාහ (237) භෙසජ්ජක්‍ඛන්‍ධකවණ්ණනාවෙහි මේ කථාව පෙනේ:- විනයධරයන්ට ප්‍රමුඛ වූ කරවීකතිස්ස ස්ථවිර තෙමේ මහාසීළු තෙරුන් වෙත ගොස් පහන් එළියෙන් ගිතෙල් කළයක් දැක “මේ කුමක්දැ”යි විචාලේ ය. “ගමකින් ගිතෙල් කළයක් ගෙනෙන ලදි. රූක්‍ෂාහාර ලැබුණු විට ගිතෙල් හා අනුභව කිරීම සඳහාය”යි මහාසීවතෙර කීය. “එසේ තැබීම නොවටී”යයි කී විට මහාසීවතෙර එය ඉස්තෝප්පුවෙහි තැබ්බවිය. පසු දිනක ආ තිස්ස තෙර එය දැක නැවත විචාරා සහසෙය්‍යාවට යෝග්‍ය තැනක එය තැබීම නුසුදුසුයයි කීය. මහාසීවතෙරුන් එය ගෙයින් පිට තැබ්බ වූ විට එය සොරු ගෙන ගියහ. ඒ බව තිස්ස තෙරුන්ට දැන් වූ විට “ස්වාමීනි, සාමණෙරයකුට දියයුතු නො වේදැ”යි කීය.
විනය අටුවාහි නිස්සග්ගියවණ්ණනායෙහ ද වෙඬරු කෑම ගැන මහාසීවතෙරුන්ගෙ මතයක් දැක්වේ.
අංගුත්තරඑකනිපාත අටුවාහි (24) ද දික්සඟි අටුවාහි සක්කපඤ්හසුත්තවණ්ණනාවෙහ ද ගාමන්තපබ්භාරවාසී මහාසීව නම් තෙරනමක් පිළිබඳ කථාවක් පෙනේ. එය මෙසේයි:- තෙරණුවෝ මාගම තිස්සමහාවිහාරයෙහි වසමින් භික්‍ෂුසමූහ අටළොසකට ධර්‍මය උගන්වයි. එතුමාගේ අවවාදයෙහි පිහිටා තිස්දහසක් භික්‍ෂූහු රහත්ඵලය ලැබූහ. එයින් එක් භික්‍ෂුනමක් තමාගේ ආචාර්‍ය්‍යවරයාට රහත්ඵලය ඇද්දැයි බලන්නේ එතුමන් පෘථග්ජන බව දැක “මාගේ ආචාර්‍ය්‍ය තෙමේ අනුන්ට පිහිට වෙයි, තමන්ට පිහිටවෙන්ට අසමර්‍ථය”යි සිතා අහසින් ගොස් විහාරය සමීපයේදී බැස දිවාස්ථානයෙහි හුන් තෙරුන් වෙත ගොස් වැඳ වාඩිවිය. එවිට මහතෙර “පිණ්ඩපාතිකය, කුමක් සඳහා ආවෙහිදැ”යි විචාලේය. ස්වාමීනි, අවසර ලැබේ නම් බණ පදයක් විචාරන්ට ආවෙමි”යි කීවිට ඇවැත්නි, බොහෝ දෙනෙක් උගනිත්: ඔබට අවකාශයක් නො ලැබෙන්නේය”යි කීය. “ස්වාමීනි, විතර්‍කමාලකයෙහි[14] සිටිවිට විචාරන්නෙමියි කීවිට “එතැනදී අන්‍යයෝ විචාරති”යි කීය. ඉක්බිති පිඬුපිණිස වඩින විට, සිවුරු පොරවන තැනදී, අසුන්හලට පැමිණ කැඳබී කල්හි, ඇතුල්ගමින් නික්ම එනකල්හි, බොජුන්හලෙහි දන් වළඳා අවසන් වූ කල්හි, දිවාස්ථානයේ දී, පාදෝනා කල්හි, උදෑසන දැහැටි ගෙන මූන දොවීමට යන කල්හි, මූන සෝදා එනකල්හි, එසේ අවුත් සෙනසුනට ඇතුල් වූ කල්හි විචාරන්නෙමි යි පිළිවෙලින් එක් එක් අවස්ථාව ගැන ඇසූ නමුත් ඒ හැමතැනම දී ප්‍රශ්න විචාරන්නෝ සිටිති යි මහතෙර කීය. එවිට ඒ පිණ්ඩපාතික භික්‍ෂූ නම “ස්වාමීනි, මෙපමණකුත් අවකාශයක් නැත්නම් ඔබට මරණයට අවකාශයක් ලැබෙන්නේ ද? බිම ඇතුරූ ලෑල්ලක් මෙන් අනුන්ට උපකාර වෙතත් තමන්ට උපකාර කරගන්ට අසමර්‍ථ වූ ඔබගේ ධර්‍මපදයෙන් මට ක්ම නැතැ”යි කියා තෙරුන් වැඳ එතුමන් බලාසිටියදීම අහසට නැඟ ගියේය.
එය දුටු මහතෙර “මේ භික්‍ෂුව මාගෙන් ප්‍රශ්න විචාරීමට නොව මා සංවේගයට පත් කිරීම සඳහා ආයේය”යි තේරුම් ගෙන දවල්කාලයේත් ප්‍රථම - මධ්‍යම යාමයන්හිත් ඉගෙනීමට ආ භික්‍ෂූන්ට උගන්වා පශ්චිමයාමයෙහි ඉගෙනීමට පැමිණි භික්‍ෂුවක් අලුයම නික්ම යන කල්හි තමාගේ පාත්‍ර සිවුරු ගෙන තෙරණුවෝත් නික්ම ගියහ. වාඩිවීහුන් භික්‍ෂූහු කිසියම් කටයුත්තක් නිසා තෙරණුවෝ පිටත යතියි සිතූහ. “රහත් බව ලැබීම මට අරුමයක් නොවෙයි, දෙතුන් දිනකදී රහත්වී හැරී එන්නෙමි” යි සිතා ශිෂ්‍යයන්ට දැනුම් නොදීම ඇසළ මස පුරතෙළෙස්වක් දා නික්ම ගිය තෙරණුවෝ ගාමන්තපබ්භාරයට ගොස් “රහත් බවට නො පැමිණ නො නිදන්නෙමි”යි අධිෂ්ඨාන කොට ඇඳ හරවා තබා සක්මන් කරමින් භාවනාව පටන් ගත්හ. වස්එළඹෙන දිනට පෙර රහත්වන්නෙමි යි උත්සාහ කළ නමුත් නොහැකි විය. වස්කාලය තුළත් නොහැකි වී පවාරණයට පෙර රහත්වෙන්නට උත්සාහ කළ නමුත් ඒත් නොහැකි විය. මෙසේ 29 අවුරුද්දක් ගතවිය. ඒතාක් කල් නිදීම හෝ පා දෙවීම නො කෙළේය. වස් පවාරණ දිනය පැමිණි විට අන්‍ය සබ්‍රහ්මචාරීහු විසුද්ධි පවාරණය කෙරෙතියි සලකන එතුමාට කඳුලු වැගුරුණි. තිස්වෙනි වස්පවාරණ දිනයෙහි “දැන් භාවනාවෙහි යෙදුනු මට තිස් අවුරුද්දක් ගතවිය, එහෙත් රහත්වන්ට නොහැකි වූ බැවින් මේ ආත්මයේ දී මාර්ගඵලාධිගමයක් නොවන්නේය” යි සිතූ එතුමාට මහත් දොම්නසක් ඉපදී අඬන්ට පටන් ගත්තේය. එවිට සක්මන අසළ සිටි එක් දේවතාවක් ද හඬන්ට පටන් ගති. “මෙහි හඬන්නේ කවරෙක්දැ”යි තෙරුන් විචාළ විට “මම දේවතාවක් වෙමි. ඇඬීමෙන් මාර්ගඵල ලැබිය හැකි නම් මමත් එසේ ලබන්ට උත්සාහ ගනිමි”යි කීය. තෙරණුවෝ “දෙවිවරුන් මට සරදම් කෙරෙත්, මේ ශෝකවීම සුදුසු නැතැ”යි සිතා විදසුන් වඩා පිළිසිඹියා සමග රහත්ඵලය ලැබූහ.
එදින පුන්සඳමඬල බලා “මේ සඳමඬල පිරිසිදු ද? මාගේ ශීලය පිරිසිදු දැ”යි විමසා බලන තෙරනම සඳමඬලෙහි සසලපය ඇතත් මාගේ ශීලයෙහි කිසි කැලලක් නැතැයි මහත් ප්‍රීතියක් උපදවා ගෙන එය යටපත් කොට විදසුන් වඩා රහත්වූහ යි අංගුත්තර අටුවාහි කියවේ. දේවතාවකුගේ කවටකමක් ගැන එහි නො කියවේ.
රහත් වූ ඉක්බිති තෙරණුවෝ දැන් හොවන්නේම යි සිතා ඇඳ පිළියෙල කොට පා දොවීම පිණිස තරප්පලෑල්ලක වාඩිවිය. එකෙණෙහි එතුමන්ගේ ශිෂ්‍ය වූ තිස්දහසක් රහත්හු ඒ බව වෙන්වශයෙන් දැක “මා වැනි අතවැසියකු සිටියදී මාගේ ආචාර්‍ය්‍යයන්වහ්නසේ තමන්ම පා දොවීම නොගැළපේ” යයි සිතමින් ඒ තිස්දහසක් භික්‍ෂූහු “මම පා දොවින්නෙමි, මම සෝදන්නෙමි”යි කියමින් එතැනට රැස්වූහ. ශක්‍රදේවෙන්‍ද්‍රයා ද මේ කාරණය දැන සුජාඅසුරකන්‍යාව සමග එහි අවුත් “ස්වාමීනි, ස්ත්‍රියකැ”යි කියමින් ඒ තිස්දහසක් පිරිස පීරාගෙන තෙරුන් වෙත ගොස් “ස්වාමීනි, මා වැනි උපස්ථායකයකු සිටිය දී ඔබ වහන්සේ පා සෝදා ගැනීම නොයෙදේ”යි කීය. තිස් හවුරුද්දක් මුළුල්ලේ පා නො සේදූ බැවින් එතුමාගේ පතුල් පැළී ගියහ. ඇතැම් විට ගම්දරුවෝ අවුත් කටුවලින් විද ඒ පැළී ගිය තැන් මැසූහ. උපමාවට කියන විටත් මහාසීවතෙරුන්ගේ පතුල් මෙනැ”යි කියන්ට පුරුදු වූහ. එබැවින් තෙරණුවෝ “දේවෙන්‍ද්‍රය, දෙවියන්ට මිනිසුන්ගේ ගඳ ඉතා නපුරු වෙයි, එබැවින් තිස්වසක් නොසේ දූ පා සේදීම තොපට නොහැක්කකැ”යි කීහ. “ස්වාමීනි, ඔබගේ ශීලසුගන්‍ධය සෑම දෙව්ලොවම පැතිර ගියේය. ඒ සුගන්‍ධය නිසා මම මෙහි පැමිණියෙමි”යි කී සක්දෙව්රජ වමතින් විලුම්දෙක අල්වාගෙන දකුණතින් පතුල්දෙක පිරිමැද්දේ ය. එකෙණෙහි තෙරුන්ගේ පාදෙක කුඩා ළමයෙකුගේ පා මෙන් මෘදුබවට පත්වූහ.
පුණ්ණවාලිකවාසී මහාතිස්ස ස්ථවිරතුමා පුණු පොහෝ දිනක සිය අරමේ සෑමලුවට ගොස් හඳඑළිය දැක “අවස්ථාවෙහි සිවු පිරිස්හු මහසෑ වඳිති”යි සිතා පෙර තමන් ඒ වැඳීම දුටු සැටි මෙනෙහි කොට බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තේ ය. බලවත් වූ ඒ ප්‍රීතිය නිසා පොළොවේ ගැසූ පන්දුවක් මෙන් එතුමාගේ ශරීරය අහසට නැගී මහසෑ මලුවේ පහළ විය. එය සෘද්ධිබලයකින් නොව ප්‍රීතිවේගය නිසා සිදු වීයයි විසුද්ධිමග්ග - පඨවිකසිණනිද්දෙසයෙහි ද අට්ඨසාලිනී - චිත්තුප්පාදකණ්ඩයෙහි ද කියා තිබේ.
විනය අටුවාවේ නිස්සග්ගියවණ්ණනාවෙහි (359) උභතොවිභංගධාරී පුණ්ණවාලිකවාසී තිස්සතෙරුන්ගේ සිවුරු අධිෂ්ඨානය පිළිබඳ මතයක් දැක්වේ. “ආලින්දකවාසී ඵුස්සදේව” තෙරුන් රහත්බවට පැමිණි දා උපස්ථානයට ආ දෙවිවරුන්ගේ ආලෝකය දැක වනවාසී මහාතිස්ස නම් තෙරනම එතුමන් වෙත පැමිණ ඒ ආලෝකය කුමක්දැයි විචාළේය. ඵුස්සදේව තෙර “ආලෝකය නම් පහන් වලිනුත් මැණික්වලිනුත් නික්මේ” යනාදිය කීය. “ඔබ එය වසනසේක්ය”යි කීවිට තෙරණුවෝ දෙවියන්ගේ පැමිණීම ප්‍රකාශ කළහ. (මේ පුවත දික්සඟි අටුවාවේ සාමඤ්ඤඵලසුත්ත වණ්ණනා (132) වෙහි ද මැඳුම්සඟි අටුවාවේ සතිපට්ඨානසුත්තවණ්ණනාවෙහි ද ඣානවිභංග අටුවාහි (ඉං 247) ද එයි.
විශුද්ධිමාර්ගයේ ශීලනිර්දේශයෙහි (20) ද අසුභකම්මට්ඨාන නිද්දෙසයෙහි (193) ද මෙතුමා පිළිබඳ කථාවක් තිබේ. එය මෙසේ යි:-
අනුරාධපුර වැසි එක් කුලස්ත්‍රියක් සිය සැමියා සමඟ කලහකොට දෙවඟනක් මෙන් සැරසී උදෑසනම ගෙයින් නික්ම නෑ ගෙයකට යන්නී අතරමගදී සෑගිරියෙන් අනුරාධපුරයට පිඬුපිණිස වඩින මහාතිස්ස තෙරුන් දැක්කේ ය. ඕ තොමෝ තෙරුන් කෙරෙහි ඇලුණු සිතැත්තී මහත්සේ සිනාසුණි. තෙරනම මේ කිමෙක්දැයි ඒ දෙස බලන්නේ ඇගේ දත් දෙක ඒ දත්කෙරෙහි අශුභ සංඥාව උපදවා රහත්බවට පත්විය. ඇගේ හිමියා ඇය ලුහුබැඳ යන්නේ තෙරුන් දැක “ස්වාමීනි, මේ මග ගිය ස්ත්‍රියක් දුටුසේක්දැ”යි ඇසීය. එවිට තෙරණුවෝ :
“නාභිජානාමි ඉත්‍ථි වා පුරිසො වා ඉතො ගතො
අපි ච අට්ඨසංඝාටො ගච්ඡතෙ”ස මහාපථෙ”
“පින්වත, මෙහෙන් ගියේ ස්ත්‍රියක් ද පුරුෂයෙක්දැයි නො දනිත්: එතකුදුවුවත් මේ ඇටසැකිල්ලක් මහමග ගමන් කෙරේ”යයි කීහ. (තෙරුන් කීවේ බොරුවක් නොවේ. කමටහන් යුත් සිතින් ආ එතුමා ඇය දෙස බැලූ විගස ඇගේ දත් පෙනුනෙන් එතුමා ඒ ඇට අශුභ ලෙස සලකා නැවත භාවනාවට බැස්සේය. ඊට වැඩි දෙයක් සලකා බැලීම සඳහා ඇස් යොමු නොකෙළේය. එතුමාට ඇට සම්බන්ධ කමටහන වැඩූ බැවින් ඇටසැකිල්ල ප්‍රකට වුණි. එබැවින් ඇටසැකිල්ලක් යන බව කීය.)
අට්ඨසාලිනී අටුවාහි අසුභකථාවෙහි ද “දන්තට්ඨිදස්සාවිනොපන චේතියපබ්බතවාසිනො මහාතිස්සත්‍ථෙරස්ස විය” යන්නෙන් මේ කථාප්‍රවෘත්තිය සිහිපත් කරවා තිබේ.
මහාතිස්සතෙරනම වනාහි උපසම්පදාව ලැබූකල පටන්ම අෂ්ටසමාපත්තිලාභියෙක් විය. එතුමා සමාපත්තියෙන් යටපත් වූ ක්ලේශයන්ගේ ඉපදීමක් නැති බැවින් සැටවස් පිරුණු කල්හිත් තමා පෘථග්ජනයකු බව නො දැන (රහත්නමක් යයි සිතාගෙන) සිටියේය. එක් කලක මාගම තිස්සමහාවිහාරයේ භික්‍ෂූහු තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන්ට ධර්‍මදේශනාව සඳහා ආරාධනාවක් යැවූහ. ධම්මදින්න ස්ථවිරතුමා පිරිස සමඟ එහි යන්ට පිටත්ව තමාට වඩා මහලු තෙරනමක් කැඳවාගෙන යාම සුදුසුයයි සිතා තමාගේ කර්‍මස්ථානදායකාචාර්‍ය්‍යවරයා වූ මහාතිස්ස තෙරුන් වෙත ගොස් දිවාස්ථානයෙහි හුන් තෙරුන්ට වැඳ වැඩහුන්නේ ය. එවිට මහතෙරනම “ධම්මදින්නය, බොහෝ කලකින් ආවේ කුමක් සඳහාදැ”යි ඇසීය. “ස්වාමීනි, තිස්සමහවෙහෙරින් මට ආරාධනාවක් ලැබුණි. මම ඔබවහන්සේත් කැටිව එහි යනු කැමැත්තෙන් ආමි”යි කී ධම්මදින්න තෙර තවත් සිහිකටයුතු දේ කියා “ස්වාමීනි, ඔබ වහන්සේ විසින් ධර්‍මාවබෝධය කරන ලද්දේ කවර කලදැ”යි ඇසීය. “ඇවැත්නි, සැට හවුරුද්දකට පමණ පෙරය”යි කී විට “ස්වාමීනි, එක් පොකුණක් මැව්ව මැනවැ”යි කීය. පොකුණ මැවූ විට එහි නෙලුම් පඳුරක් ද ඒ පඳුරෙහි විශාල නෙලුම් මලක් ද ඒ මලෙහි සොළස් හැවිරිදි තරුණියක් ද මැව්ව මැනවැයි කීය. ඒවා පිළිවෙළින් මැවූ පසු “ස්වාමීනි, මේ රූපය නැවත නැවත ශුභ වශයෙන් මෙනෙහි කළ මැනවැ”යි කීය. එසේ මෙනෙහි කරන තෙරුන්ට රාගචේතනාවක් උපන්නේ ය. එකෙණෙහි තමා පෘථග්ජන බව දැන ගත් ස්ථවිරතුමා “සත්පුරුෂය, මට පිහිටවෙව”යි කියමින් තමාගේ අතවැසි ධම්මදින්න තෙරුන් ළඟ උක්කුටිකයෙන් හිඳගත්තේ ය. ධම්මදින්න තෙර එතුමාට අශුභ කමටහනක් කියා දී භාවනාවට අවකාශ දීම සඳහා පිටත නික්මියේය. එකෙණෙහිම එතුමා රහත්ඵලය ලැබීය. ඉන්පසු ධම්මදින්නතෙරණුවෝ එතුමන් සංඝස්ථවිර කොට ගෙන තිස්සමහාවිහාරයට ගියේ ය. මෙය අංගුත්තර ඒකකනිපාතවණ්ණනාවෙහි (25) එයි.
මේ ප්‍රවෘත්තිය මැඳුම්සඟි අටුවාහි සල්ලෙඛසූත්‍රවර්‍ණනාවෙහිත් කියවේ. එහි තිබෙන්නේ මේ තෙරුන් සිතුල්පව්වේ විසූ බවයි.
කස්සකලෙණෙහි මහාමිත්ත නම් තෙරනමක් විසී. ගොදුරු ගමෙහි එක් උපාසිකාවක් තෙරුන් පුත් තනතුරෙහි තබාගෙන උපස්ථාන කරන්නී එක් දිනක් වනයට යන්ට පෙර දුවණියට කථාකොට “අසවල් තැන පරණ සහල් ඇත. අසවල් අසවල් තැන්වල කිරි - පැණි - ගිතෙල් ඇත. තාගේ සොහොයුරු තෙරුන් ආ කල ඒවා ගෙන බත් පිස කිරි - පැණි - ගිතෙල් සමඟ දෙව; තෝත් අනුභව කරව. මම වනාහි ඊයේ පිසූ ඉතිරි බත් කාඩි සමඟ අනුභව කෙළෙමි. දාවලට පලාකොළ බහා සුන්සහල් වලින් ඇඹුල් කැඳක් උයා තබව”යි කීය. ගෙය සමීපයට අවුත් සිවුරු පොරවා පාත්‍රය අතට ගන්නා තෙරුන්ට මේ කථාව ඇසුණි. එවිට තෙරනම තෙමේ ම තමාට මෙසේ අවවාද කෙළේ ය. “උදේ හීල්බත් කෑ උපාසිකාව දාවලට ඇඹුල්කැඳ බොන්නීය. තා පිණිස පරණ සහල් ආදිය සපයා තබයි. තා නිසා ඈ කෙත්වත් ආදියක් හෝ කෑම - ඇඳීමාදියක් හෝ නො ලැබේ. හුදෙක් ත්‍රිවිධ සම්පත් පතමින් දන්දෙයි. තෝ ඈට ඒ සම්පත් ලබාදීමට සමර්‍ථ වෙහිද?” මෙසේ සලකා පාත්‍රය නැවත පසුම්බියෙහි බහා සිවුරු ගණ්ඨිය ලිහා හැරීගොස් පාත්‍රය ඇඳයට තබා සිවුර වැලේදමා “රහත් නොවී ලෙණෙන් පිට නොයන්නෙමි”යි අධිෂ්ඨාන කොට හිඳගත්තේ විදසුන් වඩා පෙරවරු කාලයේ දීම රහත්විය.
ඉක්බිති පිපෙන පියුමක් වැනි ප්‍රේමනීය වූ මුහුණක් ඇති එතුමා ලෙණෙන් දොරට බැස පෙරවරුව ඉක්ම නොගිය බව දැන ගමට ඇතුල්විය. දැරිය දන් පිළියෙල කොට බලා සිටින්නී තෙරුන් පැමිණිවිට ඒ කිරිබත පිළිගන්වා හැරීයන තෙරුන් දෙස බලා සිටියාය. මෑණියන් වනයෙන් අවුත් තෙරුන්ගේ පුවත් විචාළ විට තරුණිය එතුමාගේ මූණ වෙනදාට වඩා බැබළුණේයයි ද ඡවිවර්‍ණය පැහැදිලි වී යයි ද කීය. තෙරුන් එදා රහත්ඵලය ලැබූබව උපාසිකාව එයින් තේරුම් ගෙන “තාගේ සොහොයුරා මහණදමෙහි ඇලෙන්නේය”යි කීය. (මේ කථාව මැඳුම්සඟිඅටුවාහි සතිපට්ඨානවණ්ණනා (237) වෙහිද අංගුත්තරඒකකනිපාත අටුවාහි (276) ද විභංග අටුවාහි සතිපට්ඨානවිභංගවණ්ණනා (197) වෙහිද සමාන ලෙස පෙනේ.)
විශුද්ධිමාර්ගයේ ශීලනිර්‍දෙශයෙහ මේ කථාව පෙනේ :- චෝරක මහාවිහාරවාසී මහාමිත්ත තෙරුන්ගේ මෑණියන්ට විසගඩු රෝගයක්[15] වැළඳුණු විට ඒ තෙරුන්ගේ සොහොයුරියක් වූ භික්‍ෂුණීය මෑණියන් බලන්ට ආය. “සොහොයුරු තෙරුන් වෙතගොස් බෙහෙතක් දැන ගෙන එව”යි මෑණියන් විසින් යොදවන ලද ඒ භික්‍ෂුණිය තෙරුන් වෙත අවුත් ඒ කාරණය කී විට “මම මුල් ආදිය රැගෙන බෙහෙත් සෑදීමට නොදනිමි. මා පැවිදි වු තැන් පටන් අසංවරයෙන් යුක්තව ලෝභසහගත සිතින් රූපයක් බලා නැත; මේ සත්‍ය වචනයෙන් මෑණියන්ගේ රෝගය සංසිඳේවා. මේ වචන කියා මෑණියන්ගේ සිරුර පිරිමැද්ද මැනවැ”යි තෙරණුවෝ කීහ. භික්‍ෂුණිය ගොස් ඒ කී සේ කළ විට ගෙඩිය පෙණ පිඬක් සේ දිය වී අතුරුදහන් විය.
සැට හවුරුද්දක් කුරණ්ඩකලෙණෙහි [16] විසූ චිත්තගුත්ත ස්ථවිරතුමා ඒ ලෙණතුළ බිත්තිවල ඇඳ තිබුණු සත් බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍රමණයන් පිළිබඳ මනෝඥ සිතියම් කිසිවිටෙකත් නො බැලුවේය. ලෙණදොර අසළ තිබුණු නාගසේ මල් පිපී බිම වැටුණු විට මල් පිපුණු බව දැන ගත්තේ ය. රජතුමා [17] තෙරුන්ගේ ගුණ කථාව අසා තෙරුන් වඳිනු කැමතිව තුන්වරක් දූතයන් යවාත් ගෙන්වා ගත නොහැකිව ලෙණ අවට ගම්වල ළදරුවන් ඇති මවුවරුන්ගේ පයෝධරයන් බන්දවා සීල්තබ්බවා තෙරුන් නුවරට වඩින කල් ළදරුවන්ට කිරිබොන්ට නො ලැබෙන්නේ යයි ප්‍රකාශයක් කරවීය. තෙරණුවෝ එය අසා ළදරුවන්ට අනුකම්පාවෙන් මාගම්පුරට වැඩියාහ. රජ තෙරණුවන් රජමැදුරට ගෙන්වා දන් දී පිටත වඩින විට මෙහෙසියත් සමග පසු ගමන් කොට නැවතුණේ ය. මෙසේ සත්දිනක් දන් දුන් පසුත් රජු වඳින විට ද මෙහෙසිය වඳින විට ද තෙරණුවෝ “මහරජ සුවපත්වේවා”යි කීහ. සෙසු භික්‍ෂූන් විසින් “රජු වඳින විටත් මෙහෙසිය වඳින විටත් මෙසේ කීමට හේතුව කවරේදැ”යි විචාළ විට “ඇවැත්නි, රජ යයි හෝ මෙහෙසිය යයි හෝ වෙන්කොට හැඳින ගැනීම් මට නැතැ”යි කීහ. ඉක්බිති රජ තෙරුන්ට එහි විසීම අපහසුය යි සලකා කරඬුලෙණටම පිටත් කොට යැවීය. ඒ පැමිණි දා රාත්‍රි පර්‍වතය කම්පා කරවමින් එතුමා රහත්ඵලය ලැබීය. (මේ කථාව විශුද්ධිමාර්‍ගයේ ශීලනිර්‍දෙශයෙහි පෙනේ.)
විශුද්ධිමාර්‍ගයෙහි ම තේජෝකසිණ නිද්දෙසයෙහි චිත්තගුත්ත නම් තෙරනමක් බණ කියන දිනක පෝය ගෙට ඇතුල්ව පහන් සිළ බලාසිටිය දී එතුමාට තේජෝකසිණ නිමිත්ත උපන්නේ යයි දැක්වේ. එහිම පීතකසිණ නිද්දේසයෙහි සිතුල්පව්වෙහි විසූ චිත්තගුත්ත නම් තෙර නමකට පතඟිමල් පිදූ මලසුනක් දුටු විගස මල් ආසනය පමණ පීතකසිණ අරමුණ උපන්නේය යි කියවේ.
(කාවන්තිස්ස රජු කල.)
අම්බරියවිහාරවාස පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරතුමා තිස්ස මහාවිහාරයේ චෛත්‍යය වඳිනු කැමතිව දිනක් එහි යන්ට පිටත් වය. මාගම වල්ලිවීථියෙහි දාරුභණ්ඩකතිස්ස නම් උපාසකයෙක් විය. දර විකිණීමෙන් ජීවිකාව කළ දුගියෙක් වූ හෙතෙම දන්දීමේ අනුසස් අසා බිරිඳ හා කථාකොට ශක්ති ප්‍රමාණයෙන් පාක්‍ෂික බතක් [18] සති දෙකකට වරක් දෙන දානයයි. පිළියෙල කොට දන් දුණි. එකල සංඝයාට ප්‍රණීතාහාරයෙන් අඩුවක් නොවූ බැවින් අන් තැන්වලින් ලත් රසවත් බොජුන් වැළඳූ සාමණේරවරුත් තරුණ භික්‍ෂූහුත් මොවුන් දුන් රූක්‍ෂාහාරය ඉවත දමා ගියහ. එය දුටු ස්ත්‍රිය ශෝකයට පත්ව සැමියාට දැනුම් දී “තම දුව උකසට තබා කහවණු දොළසක් ගෙන එයින් කිරිදෙනක් ගෙනායුතුය”යි යෝජනා කළාය. හිමියත් ඊට එකඟව එසේ කෙළේය. ඉන්පසු ගිතෙල් මිශ්‍රකිරිබත් පිළියෙල කොට දන් දුන්හ. පසු කලක දියණියන් නිදහස් කරගනු කැමතිව පිටපලාතකට ගොස් උක්මෝලක හමසක් වැඩකොට කහවණු 12 ක් ඉතිරි කොට ගෙන ගමට යන්නේ තිස්ස මහාවිහාරයට වඩින යථෝක්ත තෙරුන් දැක එතුමන් හා කථා කරමින් ගමන් කෙළේය. දාවල් දන් වේලාව ළං වූ විට “තෙරුන්ට කෙසේ දන් දෙන්නෙම් දැ”යි සිතමින් යන විට බ ත් මුලක් ගෙන යන මිනිසකු දැක “කහවණුවක් ගෙන බත්මුල දෙව”යි ඉල්වීය. ඔහු දෙන්ට නො කැමති වූ විට ක්‍රමයෙන් ගණන වැඩි කොට කහවණු දොළසම දී එය රැගෙන තෙරුන්ට දුණි. එය වළඳා නැවත ගමන් ඇරඹූ තෙරනම උපාසකයාගේ තොරතුරු විචාරා සංවේගයට පත්ව තිස්ස මහාවිහාරයට ගොස් සෙනසුනක් ලැබ එහි හිඳගෙන කමටහන් වැඩුවේය. පසුදා පිඬු පිණිස නො හැසිරම භාවනා කෙළේය. මෙසේ ගෙයින් පිටට නෑවිත් සත්දිනක් භාවනා කොට සත් වෙනිදා උදය රහත් විය. සත් දිනක් ආහාර නොගත් බැවන් තමාගේ ජීවිතය නො පවත්නා බව දැන ගත් එතුමා සෙනසුන තැන්පත් කොට පාත්‍ර සිවුරු රැගෙන විහාරය මැදට පැමිණ බෙරය ගස්වා සංඝයා රැස්කරවා තමා හා උපාසකයා පිළිබඳ සියලු පුවත් සංඝයාට දැනුම් දී “මාගේ මෘතදේහය තැබූ කුළුගෙය දාරුභණ්ඩකතිස්සයන් අතගැසූ විට පමණක් සෙලවේවා, අන්‍යයකු විසින් නො සෙල්විය හැකිවේවා” යි අධිෂ්ඨාන කොට පිරිනිවියේ ය. කාවන්තිස්ස රජ මේ පිරිනිවීම අසා එහි අවුත් සිවිගෙයක් තනවා මෘතදේහය එහි තබ්බවා ඔසවන්ට උත්සාහ කළ නමුත් නොහැකි විය. ඉක්බිති සංඝයාගේ කීම පරිදි යථෝක්ත උපාසකයා ගෙන්වා “මින් සත්දිනකට පෙර තා විසින් තෙරනමකට දනක් දෙන ලදදැ”යි විචාරා එසේ යයි කීවිට “මේ අපවත් වූ තෙරනම තොප දන් දුන් තෙරනමද, නැද්දැයි බලව”යි නියම කෙළේය. සිවිගෙය වෙත ගොස් තෙරුන්ගේ මෘතදේහය බැලූ උපාසකයා මහත් ශෝකයට පැමිණ දෙ අතින් පපුව බදාගෙන “මහරජ, ඒ මාගේ ආර්‍ය්‍යයන් වහන්සේ ය”යි කී විට රජතෙම ඔහුට මහාපසාධන නම් ආභරණය පළඳවා “සිවි ගෙය ඔසවව”යි කීය. උපාසකයා ගොස් තෙරුන් ගේ පාදෙක රැගෙන හිසමත තබාගත් කෙණෙහි එය අහසට නැගීගොස් දරසෑය මත්තෙහි තැන්පත් විය. එකෙණෙහි දරසෑයේ සිවු කොණින් ඉබේම ගිනිදැල් මතු වී ආදාහනය විය. (= මේ කථාව අංගුත්තරඒකකනිපාත අටුවාහි (276) විස්තර ලෙස පෙනේ.)
මෙය රසවාහිනී - සද්ධර්‍මාලංකාර දෙක්හි එන්නේ “නකුල උපාසකයාගේ වස්තුව” වශයෙනි. එහි ඇතැම් වෙනස්කම් ද පෙනෙත්. ඒ තෙරනම පිණ්ඩපාතය වළඳා සත් දිනකින් අපවත් වූ බවක් ඒ පොත් දෙකේ නො කියවේ. එදාම රහත් බවට පැමිණ තිස්සමහාරාමයට අවුත් එහි සංඝයාට උපාසකයා පිළිබඳ පුවතත් තමන් පිරිනිවෙන කලක කරන අධිෂ්ඨානයත් දැනුම් දී ස්වභාව වශයෙන් ආයුසංස්කාරය ගෙවී පිරිනිවෙන විට එසේ අධිෂ්ඨාන කළ බවත් රජු විසින් හා රැස් වූ ජනයා විසින් උපාසකයාට බොහෝ පරිත්‍යාගයන් කරන ලද බවත් ඔහු විසූගම ඔහුට නින්දගමක් වශයෙන් ලැබුණු බවත් එහි කියවේ. ඒ ගම ඔහුට ලැබුණු තැන් සිට ඔහුගේ නම මුල් කොට “නකුලකණ්ණිකා” යයි ප්‍රකට වූ බවත් කියවේ. මේ නම නකුලනගරකණ්ණිකා යයි මහාවංශාදියෙහි පෙනේ. “බැමිණිතියාසාය” කාලයේදී මහා විප්ලවයකට මුල් වූ තීය - බ්‍රාහ්මණයා උපන්නේ මේ නකුල නගරයෙහි ය. මෙය වර්‍තමාන “නාකුලුගමුව” විය හැක. “නකුලගම” පහසුවෙන් “නාකුලුගමුව” යයි ව්‍යවහාරයට පත්විය හැකිය.
රජරට තාලචතුක්කය (=තල්ගස් සතර) අසළ සුදර්‍ශන පධානඝරයෙහි පිණ්ඩපාතික තිස්ස නම් තෙරනමක් විය. සුළු රජයෙහි තිස්ස නම් ඇමතියෙක් අනුරාධපුරයට අවුත් රාජොපස්ථාන කොට හැරීයන්නේ අතරමග දී පිඬු පිණිස වඩින මේ තෙරුන් දැක තමාගේ ගෙට ගොස් බත් නො තිබුණු බැවින් කහවණු අටක් දී මග යන මිනිසකුගෙන් බත් මුලක් ගෙන තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම පිණ්ඩපාතය ලැබුණු සැටි සලකා භාවනා කොට රහත් වී එය වැළඳුවේ යයි රසවාහිනියෙහි සද්ධාතිස්ස ඇමතියාගේ කථාවෙහි දැක්වේ.
විශුද්ධි මාර්‍ගයේ කම්මට්ඨානගහණ නිද්දේසයෙහි “චුල්ල පිණ්ඩපාතික තිස්ස” නම් තෙරනමක් ගැන කියවේ. කමටහන් ගැනීම සඳහා භික්‍ෂූන් තුන් නමක් එතුමන් වෙත පැමිණි විට තෙරණුවෝ “මා වෙනුවෙන් කුමක් කිරීමට තෙපි සමර්‍ථවව් දැ”යි විචාළහ.
එයින් එක් නමක් “මම ඔබ වහන්සේ සඳහා පුරුෂ ප්‍රමාණ සියයක් පමණ උස් වූ ප්‍රපාතයක වැටෙන්ට නිර්භය වෙමි”යි කීය. එක්නමක් “මම ඔබවහන්සේ වෙනුවෙන් මාගේ ශරීරය විලුඹේ පටන් ගලක උලා අවසන් වෙනතෙක් ගෙවන්ට සමර්‍ථ වෙයි”යි කීය. අනික්නම “මම ඔබවහන්සේ උදෙසා හුස්ම හිරකොටගෙන මැරෙන්ට සමර්‍ථවෙමි”යි කීය. තෙරනම “මේ භික්‍ෂූහු කමටහන් වැඩීමට යෝග්‍ය වූවෝයයි දැන ඔවුන්ට කමටහන්දුණි. ඒ තුන් නම කමටහන් වඩා රහත් වූහ. මැඳුම්සඟි අටුවාහි රථවිනීත සූත්‍ර වර්‍ණනාවෙහි චුල්ල පිණ්ඩපාතිකතිස්ස නම් තෙරනමක් ගැන පහත පෙනෙන ප්‍රවෘත්තිය දැක්වේ:- එක් උපාසිකාවක් ඒ තෙරුන්ට දොළොස් හවුරුද්දක් උපස්ථාන කළාය. එක් දිනක් එගමෙහි ගින්නක් හටගැනී සියලු ගෙවල් දැවී ගියහ. අන්‍යයන්ගේ කුලුපග භික්‍ෂූහු අවුත් “කිමෙක් ද උපාසිකාවනි, යම්කිසි බඩුවක් බේරාගත හැකි වීද?” යනාදිය අසා කථාබස් කළහ. මේ තෙරනම එසේ විචාරීමට නො පැමිණ පසු දා පිඬුපිණිස හැසිරෙන වෙලාව සලකා එහි ආය. එවිට උපාසිකාව දා ඉතිරි වූ බිත්තියක් අද්දර එතුමන් හිඳුවා ආහාර සම්පාදනය කොට දුණි. තෙරුන් දන් වළඳා කිසිවක් නො කියා ගියවිට අසල්වැසි මිනිසුන් “අපේ උපාසකම්මාගේ හාමුදුරුවෝ දන්වළඳන වේලාවටම ආයේය”යි කීහ. එවිට උපාසිකාව “තොපගේ ස්වාමිදරුවරු තොපට යහපත් වේ. මාගේ ස්වාමි දරුවෝ මට හොඳය”යි කීය.
විසුද්ධිමග්ග - අසුභකම්මට්ඨානනිද්දේසයෙහි චුල්ලපිණ්ඩපාතික තිස්ස නමැති තෙරනමකට කළුදිගාවැව ඇතුළේ වැටී මැරුණු ඇතකුගේ මළ සිරුර බැලීමේ දී අශුභනිමිත්ත උපන්නේය යි කියා තිබේ.
(බු.ව. 375 - 450 පමණ)
දකුණුදිග විහාරයේ දායක ගමක ඇමති කුලයක උපන් මෙතුමා සුදුසුකල පැවිදිව ත්‍රිපිටක ඉගෙන ගණචාර්‍ය්‍යයෙක් වී භික්‍ෂූන්ට ධර්‍මය උගන්වන්නේ දිනක් මහත් ශිෂ්‍ය පිරිසක් පිරිවරාගෙන ස්වකීය උපාධ්‍යාය තෙරුන් දැකීමට ගියේය. ඒ තෙර නම ඕහට සංවේග උපදවන අදහසින් ඔහු හා කිසිවක් කථා නො කෙළේ ය. පසුදා අලුයම් කාලයෙහි බුද්ධරක්ඛිත තෙර මහතෙරුන් වෙත එළඹ “ස්වාමීනි, මා උගතෙක්ව ආ පසු මා හා කිසිවක් කථානොකරන්නේ කවර වරදක් නිසාදැ”යි ඇසීය.
“බුද්ධරක්ඛිතය, තෝ මෙතෙකින් පැවිදිකිස මස්තකප්‍රාප්ත වී යයි සලකන්නෙහි දැ”යි ඇසූ විට “ස්වාමීනි, කුමක් කළයුතුදැ”යි විචාළේය. පිරිස හා බැඳුම් හැරදමා වාතකසිණපබ්බත විහාරයට[19] ගොස් මහණදම් පුරව”යි කීය. ඒ අවවාදයෙහි පිහිටි එතුමා එසේ පිළිපැද පිළිසිඹියාවන් සමඟ රහත්ඵලය ලැබ රාජපූජිතව මහපිරිවර ඇතිව සෑගිරි වෙහෙර විසීය.
එකල්හි එක් දිනක සද්ධාතිස්ස මහරජ පෙහෙවස් සමාදන්ව සෑගිරියේ රාජගිරිලෙණෙහි වසන්නේ තෙරුන් බණ කියතොත් ඒ බව තමාට දන්වනසේ තෙරුන්ගේ එක් උපස්ථායක භික්‍ෂුනමකට කීය. තෙරුන් කණ්ටකසෑමලුවට නැඟී සෑය වැඳ කළු තිඹිරිගස මුල සිටි විට එක් පිණ්ඩපාතික තෙරනමක් කාළකාරාම සූත්‍රයේ ප්‍රශ්නයක් විචාළේය. තෙරණුවෝ “අද බණකියන දවස බැවින් මෙහිම හිඳගෙන දහම් දෙසන්නෙමි”යි කියා ආසනයක් ගෙන්වාගෙන ඒ ගස යට වැඩහිඳ දේශනාව පටන් ගත්හ. රජුට මේ බව දැනගන්ට ලැබී ප්‍රාරම්භ ගාථාවන් අවසන් කරන විට එහි පැමිණ අප්‍රකට වෙසින් පිරිස් කෙළවර සිටගෙන තුන්යම් රැය මුළුල්ලේම බණ ඇසීය. බණ අවසන්හි සාධුකාර දුන්විට තෙරණුවෝ රජු හැඳින “කොයි වේලේ පැමිණියේ දැ”යි ඇසූහ. “බණ පටන්ගත් කෙණෙහිමය”යි කී විට “මහරජ, ඔබ විසින් අපහසු දෙයක් කරනලදැ”යි කීහ. “ස්වාමීනි, මෙසේ සිටගෙන බණ ඇසීම අපහසු දෙයක් නොවෙයි; ඉදින් ඔබ කී වචනවලින් එකක්වත් මට නෑසී ගියේ නම් - වික්‍ෂිප්තභාවයක් ඇති වී නම් මෙලක්දිව් පොළොවේ කෙවිටිකොණක් ගසන තරම් භූමි ප්‍රදේශයකට වත් ස්වාමිත්‍වය මට නො ලැබේවා”යි කීය.
ඒ දේශනාවෙහි බොහෝ වූ බුදුගුණ ප්‍රකාශ කරන ලද බැවින් රජතෙමේ “ස්වාමීනි, බුදුගුණයෝ මෙතෙක්ම වෙත් ද? තවත් ඇත්තාහුදැ”යි ඇසීය. “මහරජ, මහාගංගාවක් ගලාබසින කල්හි ඉදිකටු සිදුරක් එයට අභිමුඛ කළහොත් ඒ ඉදිකටු සිදුරෙන් ගලාබස්නා ජලය අල්පවන්නාසේ මා කී ගුණයෝ අල්පවෙති. ඉතිරි ගුණ රැස මහජලස්කන්‍ධය සේ විශාල වේ” යනාදි උපමා කීපයක් තෙරුන් දැක් වූ විට පැහැදුණු රජතෙම තෙරුන්ට ලංකාරාජ්‍යය පූජා කෙළේ ය. තෙරණුවෝ එය නැවත රජුට ම භාර දී “ධර්‍මයෙන් රාජ්‍යය පාලනය කළ මැනවැ”යි කීහ.
මේ ස්ථවිරතුමා වනාහි අප බුදුන් ජීවමාන කල ප්‍රකටව සිටි සච්චකනිගණ්ඨයා ය. බුදුරද සච්චකයාට දහම් දෙසුවේ අනාගතයෙහි මෙසේ පැවිදිව රහත්වන බව දැනගෙන යයි මැඳුම්සඟි අටුවාවේ මහාසච්චක සූත්‍රවර්‍ණනාවෙහි දැක්වේ. පූජාවලි නම් සිංහල ග්‍රන්ථයෙහි “පූජාසංග්‍රහකථා පරිච්ඡෙදයෙහි”ත් මෙය විස්තර ලෙස දැක්වේ.
මැඳුම්සඟිඅටුවාහි අරණවිභංග සූත්‍ර වර්‍ණනාවෙහි මේ ප්‍රවෘත්තිය පෙනේ:- මෙලක්දිව උත්තරගම විසූ පිඞ්ගල බුද්ධරක්ඛිත ස්ථවිරතුමා පිඬු පිණිස ඒ ඒ ගෙය ඉදිරියෙහි සිට පිණ්ඩපාතය ලැබෙන තෙක් යම් කිසි සමවතකට සමවැදුණි. උත්තරගම පිහිටි ගෙවල් සියයෙන් එකක්වත් ඒ සමවත් සමවැදීමෙන් අත් නොහැරිණි.
අට්ඨසාලින අටුවාවේ චිත්තුප්පාදකණ්ඩ කුසලකම්මපථකථාවෙහි පහත පෙනෙන කථාවස්තුව එයි:- උතුරුවඩමන් පව් වැසි උපාසකයෙක් පිඞ්ගලබුද්ධරක්ඛිත තෙරුන්ගෙන් ශික්‍ෂාපද (පන්සිල්) රැගෙන ගොස් තමාගේ කෙත සී සෑවේය. දාවල් ගොණුන් ලිහායැවූ විට ඔහුගේ ගොණෙක් කැලයට වැදුණි. ගොණා සොයමින් වනයෙහි ඇවිදින හෙතෙම පිඹුරකු විසින් වෙළාගන්නා ලදි. තමා අතේ තිබුණු කැත්තෙන් පිඹුරාගේ හිස කපාදැමිය යුතු යයි ඔහුට සිතුණු නමුත් “ගරුකටයුතු මහතෙර නමක් වෙත සිල්සමාදන් වී එය කඩ කිරීම මට සුදුසු නැතැ”යි සිතා නොකපා නැවතුණේය. නැවතත් කැපීමට සිත උපන් නමුත් නැවත එසේ සිතා නැවතුණි. තෙවෙනි වරත් කැපීමට සිත උපන් විට “මාගේ ජීවිතය නැතිවෙතත් ශික්‍ෂාපදය බිඳීම අයෝග්‍ය”යි සිතා අතේ තිබුණු කැත්ත ඉවත වීසිකෙළේය. එකෙණෙහි පිඹුරා වෙළුම ලිහා ඔහු නිදහස් කොට ඉවත ගියේ ය. මේ කථාවෙහි ඒ තෙරනම අම්බරියවිහාරවාසියෙකැයි කියවේ. රුහුණෙහි කුටුම්බරිය නම් විහාරයක් තිබුනේ යයි අංගුත්තරඒකකනිපාත අටුවාහි (262) පෙනේ. මින් පෙර දැක් වූ පිණ්ඩපාතිකතිස්ස තෙරුන්ගේ කථාවෙහි ඒ තෙරනම විසූයේත් අම්බරියවිහාරයෙහි යයි පෙනේ. එබැවින් “අම්බරිය - කුටුම්බරිය” යන විහාර දෙක ම රුහුණෙහි වූහයි සැලකිය යුතු. මේ නම් දෙකම එක් විහාරයක් සඳහා ද යන්නත් විමසිය යුතුය.
සංයුත් අටුවාහි ධාතුසංයුත්තවණ්ණනාවෙහි (ii 113) ද මේ කථාව පෙනේ. එහි උපාසකයාගේ ගම “අන්තරවඩ්ඪමාන පබ්බත”යයි දැක්වේ.
අම්බස්ථල (සෑගිරි) විහාරයෙහි මහාරෝහණගුත්ත නම් තෙර නමක් විසීය. එතුමන් ගිලන්ව සිටි අවස්ථාවක උපස්ථානය සඳහා තිස්දහසක් භික්‍ෂූහු රැස් වූහ. නා රජෙක් ද පැමිණ තෙරුන්ට කැඳ පිළිගන්වන කල්හි ගුරුළු රජෙක් ඒ නා රජු අල්වන්ට දිවගෙන ආවේය. එකෙණෙහි ඒ පිරිසෙහි සිටි වස් අටක් පමණැති බුද්ධරක්ඛිත නම් සෘද්ධිමත් භික්‍ෂුනම ගල්පර්‍වතයක් මවා නා රජු අතින් අල්වාගෙන පර්‍වතය ඇතුළට ගියේය. ගුරුළුරජ පර්‍වතයෙහි හැපී පලා ගියේය. මහතෙර නම මේ කාරණය දැක “ඉදින් බුද්ධරක්ඛිතයා නොසිටියේ නම් අපි හැමදෙනම ලැජ්ජාවට පැමිණෙන්නෙමු”යි කීය. මේ කථාව විශුද්ධිමාර්‍ගයේ පඨවිකසිණනිද්දේසයෙහි ද ඉද්ධිවිධනිද්දේසයෙහි ද පෙනේ. ඉද්ධිවිධනිද්දෙසයෙහි රක්ඛිතත්‍ථෙර යන්න පමණක් පෙනේ. අට්ඨසාලිනීඅටුවාහි ද චිත්තුප්පාදකණ්ඩවණ්ණනාවෙහි මේ කථාව විශුද්ධිමාර්‍ගයෙන් බලාගත යුතුය යි කියන ලදී.
මේ සිද්ධියෙන් පසු මහතෙර නම ඒ පැමිණ සිටි මහත් භික්‍ෂු පිරිසට කථාකොට තමා රැගෙන යන ආයුධය නිතර මුවහත් තබා ගෙන යා යුතුවාසේ තමන් ලබා තිබෙන සෘද්ධි බලය මොහොතක දී ක්‍රියාවෙහි යෙදවිය හැකිවන සේ ඛිප්පනිසන්තීන් (වහා ක්‍රියා කළ හැක්කක්) විය යුතුය යි අවවාද කෙළේය. ඒ තිස්දහසක් භික්‍ෂූහු එතුමන්ගේ අවවාදයෙහි පිහිටා හැමදෙනම ඛිප්පනිසන්ති ඇත්තෝ වූහ. මේ පසුව දැක්වූ කොටස එන්නේ ඉද්ධිවිධනිද්දෙසයෙහිය.
(බු.ව. 400 - 480 පමණ)
විනය අටුවාහි ප්‍රථම පාරාජිකවතවණ්ණනාවෙහි (137) මේ ප්‍රවෘත්තිය පෙනේ: - තාම්‍රපර්ණිද්වීපයෙහි උපතිස්ස - ඵුස්සදේව යන සමානාචාර්‍යක තෙර දෙනමක් වූහ. මහාභය (හෙවත් බැමිණිතියාසාය) පැමිණි කල්හි මේ දෙනම විනය පිටකය දරමින් රැක ගත්හ. එයින් උපතිෂ්‍යස්ථවිරතුමා ව්‍යක්තතරය. එතුමාට මහාපදුම - මහාසුම්ම යන ශිෂ්‍ය දෙනමක් වූහ. ඔවුනතුරෙන් මහාසුම්මතෙර නවවරක් විනයපිටකය අස්වාගත්තේය. මහාපදුම තෙර මහාසුම්ම තෙරුන් හා නවවරක් ද වෙන් වශයෙන්ද නවවරක් දැයි 18 වරක් විනය පිටකය අස්වාගත්තේ ය. එබැවින් ඒ දෙනම අතුරෙන් මහාපදුමතෙර ව්‍යක්තතරයි.
උපතිස්ස තෙරුන් වෙත මහාපදුමාදි ශිෂ්‍යයන් පන්සියයක් විනය උගත් බව විනය අටුවාහි පඨමපාරාජිකාවණ්ණනාවෙහි ම කියන ලදි.
කුලදූසක ශික්‍ෂාපද වර්‍ණාවේදී උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයන් “කුලදූසකයා වසන ගමෙහි හෝ නුවරින් නෙරපිය යුතුය” යි කී තැන ඇතැම් විට නගරයක් දොළොස් යොදුන් පමණක් වන බැවින් කෙසේ පිළිපැද්ද යුතුදැයි ඇසූවිට “ඇවැත්නි, යම්වීථියක වෙසේ නම් ඒ වීථියෙන් නෙරපීම යෝග්‍යය”යි උපතිස්ස තෙරුන් කී බව දැක්වේ. ඒ මතය අනාචාර්‍ය්‍යයන් විසින් පිළිනොගන්නා ලදි. “තං පන ථෙරස්ස මනොරථමත්තමෙව”යි කියමින් අර්‍ථකථාචාර්‍ය්‍යයෝ එය ප්‍රතික්‍ෂේප කළහ.
මිනිසකු මැරීම සඳහා භික්‍ෂු නමක් විසින් බොරුවළක් කැණ තැබූ විට එහි යකකු වැටී මැරුණොත් ඌ මැරෙණවිට තිරිසන් රූපයක් ගෙන මළත් ථුල්ලච්චය ඇවැත සිදුවේ යයි උපතිස්ස තෙරුන් කී බවත් එතුමාගේ සොහොයුරු ඵුස්සදේව තෙර පාචිත්තිය ඇවැත යයි කී බවත් චතුත්‍ථපාරාජික වණ්ණනා (348) වෙහි කියවේ.
නිස්සග්ගියවණ්ණනාවෙහි උද්දොසිත සික්ඛාපදයේදී අවිප්ප වාස සම්මුතිය ගැන උපතිස්ස - ඵුස්සදේව දෙනමගේ උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යවූ මහාසුම්ම - මහාපදුම දෙනමගේ ද මතභේද සතරක් දක්වා තිබේ. (364) එහිම 365 වෙනි පිටෙහිත් උපතිස්ස තෙරුන්ගේ නම පෙනේ.
නිස්සග්ගිය - ඡබ්බස්ස ශික්‍ෂාපද වර්‍ණනාවෙහි ද උපතිස්ස තෙරුන්ගේ මතයක් ගැන කියවේ (383). එහිම භෙසජ්ජිසික්ඛා පද වණ්ණනාවෙහි උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයන් ස්වකීයාචාර්‍ය්‍යවරයාගෙන් “ස්වාමීනි, ගිතෙල් - වෙඬරු - වුරුණුතෙල් මිශ්‍රකොට පිසගත් විට එය විකාලයෙහි කැපදැ”යි ඇසූවිට “කැපැ නැතැ”යි උත්තර දුන් බව කියවේ. (402)
සුළුවගඅටුවාහි සෙනාසනක්ඛන්‍ධක වණ්ණනාවෙහි “විනයධර උපතිස්සත්‍ථෙරො පන බිම්බොහනං කරිස්සාමීති කප්පියතුලං වා අකප්පියතුලං වා පක්ඛිපිත්‍වා කරොන්තස්ස පමාණයුත්තමෙව වට්ටතීති ආහ” යන්නෙන් උපතිස්ස තෙරුන්ගේ මතයක් දක්වා තිබේ. (308)
මෙතුමා බැමිණිතියාසාය පැමිණෙන විට ස්ථවිරභාවයට පැමිණසිටි බව කියවෙන බැවින් බු:ව: 441ටත් 480 ටත් අතර කාලයෙහි ජීවත්වී යයි සැලකිය හැක. බැමිණිතියාසාය පැමිණියේ වලගම්බා (=වට්ටගාමිණී අභය) රජු රාජ්‍යය හැර ගොස් සැඟවී සිටි කාලයේදීය. එය නම් බු:ව: 441 ටත් 455ටත් අතර කාලයයි. ත්‍රිපිටකය පුස්තකාරූඪ කරන ලද්දේත් මේ කාලයේදී විය යුතුයි. පොත්වල ලිවීමට පෙර ත්‍රිපිටකයම රක්නා ල්දදේ කටපාඩම් කළ තෙරවරුන් විසිනි. මේ උපතිස්සතෙර මහාභයේදී විනය රැකගත් බව කියවේ. (රැකගත්තේ නිතර කටපාඩම් කීමෙනි.) එබැවින් පුස්තකාරෝපණයේදී මෙතුමා ප්‍රධානස්ථානයක් ගෙන ක්‍රියාකළාට සැක නැත.
මෙතුමාගේ නාමය අමරණීය වූයේ විනයදැරීමෙන් පමණක් නොවේ. දැන් අපට තිබෙන විසුද්ධිමග්ග නම් ප්‍රකරණය හා නොයෙක් ආකාරයෙන් සමාන වූ විමුත්තිමග්ග නම් ධර්‍මසංග්‍රහ ග්‍රන්ථය නිපදවන ලද්දේ මුන්වහන්සේ විසිනි. ඒ පාළිපොත චීනයට ගෙන යන ලදින් ක්‍රි:ව: 505 දී සංඝපාල නම් තෙරනමක් විසින් චීනබසට නගන ලදි. මේ සංඝපාල තෙරනම චීනයේ සිටි භාරතීය ගුණභද්‍ර තෙරුන්ගේ ශිෂ්‍යභාවයට පැමිණ කාම්භෝජයෙහි උපන්නෙකැයි සලකත්. යථෝක්ත ගුණභද්‍ර තෙරනම දඹදිවින් චීනයට යද්දී ලක්දිවට පැමිණියේ යයි වාර්‍තා වී තිබේ. එබැවින් එතුමා විසින් විමුත්තිමග්ගය චීනරටට ගෙන යන ලදැයි සැලකිය හැක.
“විමුත්තිමග්ග” නමැති පාළි පොතක පරිවර්‍තනයක් වූ චීන පොතක් විද්‍යමානයයි ද එය උපතිස්ස නම් තෙරනමක් විසින් ලියනලදැයි ද පළමු කොටම උගතුන්ට දැන්වූයේ ටෝකියෝ නුවර අධිරාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය්‍යවරයකු වූ එම්. නාගායි මහතා විසිනි. ඉන්පසු ඒ චීනපොත ඉංග්‍රීසියට නැගූ පූනානුවර ෆර්ගුසන් විද්‍යාලයේ පාලිකථිකාචාර්‍ය්‍යවරයා වූ පී.වී. බාපාත් මහතා විශුද්ධිමාර්‍ගයත් විමුත්තිමග්ගයත් සසඳා බලමින් පොත් දෙකේ ඇති සමානකම් හා වෙනස්කම් දක්වමින් 1937 දී පිටු 200 කින් පමණ යුත් ග්‍රන්ථයක් පළකරවීය. ඒ මහතා කියන්නේ විමුත්තිමග්ගය අභයගිරි වාසීන්ගේ “විශුද්ධිමාර්‍ගය” වූ බවයි. විශුද්ධිමාර්‍ගයෙහි හා පාලි අටුවාවල ප්‍රතික්‍ෂෙප කොට තිබෙන “මිද්ධය රූපයක් වේ” යනාදී නොයෙක් මතයන් ඒ විමුත්තිමග්ගයෙහි පිළිගෙන තිබෙන බව ඒ මහතා සවිස්තර ලෙස දක්වයි.
මේ පොත අභයගිරිවාසීන් පිළිගත් බව සැබෑවුවත් “උපතිස්ස” මහතෙර පළමුවෙන් අභයගිරිවාසියෙක් නොවීය. බැමිණිතියාසාය පවත්නාකල්හි අභයගිරි විහාරය ආරම්භ වී නො තිබුණේය. එහි මූලාරම්භය වූයේ ඒ මහාභය ඉක්ම ගොස් වළගම්බා රජු නැවත රාජ්‍යයට පැමිණි පසුය. අභයගිරි විහාරය කරවන කාලයේදී උපතිස්ස තෙරුන් ජීවත්ව සිටින්ට ඇත. එතුමා පසු කලක ඒ විහාරයෙහි නැවතී සිටියේදැයි නොදනිමු. එසේ සිටියත් එතුමා එක් පක්‍ෂයකට අයත් තෙරනමක් නොවන බව විනය අටුවාවෙන් පෙනේ. එතුමාගේ ඇතැම් මතයෝ විනය අටුවාවෙන් ප්‍රතික්‍ෂෙප කරන ලද්දාහ. ධර්‍මය සම්බන්ධ වූ වෙනස් මතයන් ද ආචාර්‍ය්‍යවරයන් අතර තිබෙන්ට ඇත. විමුත්තිමග්ගයෙහි පෙනෙන්නේ ඒ වෙනස් මතයයි සිතම්හ.
(බු:ව: 400-480)
විනය අටුවාවේ නොයෙක් තැන නම පෙනෙන ඵුස්සදේව ස්ථවිරතුමා මහණකමින් උපතිස්ස මහතෙරුන්ගේ සොහොයුරෙකි. උපතිස්සතෙරුන් මෙන්ම විනය ධරව සිටි මේ තෙරුන්ගේ මතයන් ගැන විනය අටුවාහි නොයෙක් තැන කියවේ. මිනිසකු සඳහා කැපූ බොරුවලක අමනුෂ්‍යයකු වැටී මළොත් වළ සෑරු භික්‍ෂුවට පාචිත්තිය ඇවැත වේ යයි ඵුස්සදේව තෙරුන් කී බව තතියපාරාජික වණ්ණනාවෙහි (248) කියවේ. නිස්සග්ගිය වණ්ණනාවෙහි ගිලාන සම්මුතිදානය ගැන එතුමාගේ මතයක් කියවේ. (364) ඡබ්බස්ස සික්‍ඛාපද වර්‍ණනාවෙහි ද එතුමාගේ නම සඳහන් වේ. (383) කැප වූ පුලුන් ගෙන කොට්ටයක් සාදන විට එය ප්‍රමාණයට වඩා මහත් වුවත් වරදක් නැතැයි මේ තෙරුන් කී බව චුල්ලවග්ග සෙනාසනක්ඛන්‍ධ අටුවාහි (308) පෙනේ.
විශුද්ධිමාර්‍ගයේ ඡඅනුස්සති නිද්දෙසයෙහි (ඉං 228) කටකන්‍දරවාසී ඵුස්සදේව නම් තෙරනමක් මාරයා මැවූ බුදුරුව බලා ප්‍රීති උපදවා විදසුන් වඩා රහත් වී යයි කියවේ.
මැඳුම්සඟි අටුවාවේ චුල්ලවෙදල්ල වණ්ණනාවෙහි හා සතිපට්ඨානවණ්ණනාවෙහි ද දික්සඟිඅටුවාවේ සාමඤ්ඤඵලසුත්තවණ්ණාවෙහි (131) ද මේ කථාව පෙනේ. මහාඵුස්සදෙව තෙරනම එකුන් විසි වර්‍ෂයක් ගතපච්චාගත වත පිරුවේය. (ගතපච්චාගත වත නම් කමටහන් යුත් සිතින් ගමන්කරන විට යම් අවස්ථාවක දී එය සිතින් බැහැරව ගියේ නම් එය දැනගත් විගස ආපසු හැරී ගොස් කමටහන ගිලිහුණු තැන සිට නැවත භාවනාව පටන්ගෙන ඉදිරියට යාමයි.) එසේ ආපසු හැරී යන තෙරුන් දැක වැපිරීම් සී සෑම් ආදිය කරන මිනිසුන් “මේ තෙරනම යමක් සිහිනැතිව වැටුණ නිසා යන්නේ ද? මග වැරදී හැරීයන්නේ ද?” යනාදිය කථාකළ නමුත් ඒ කථාගණණ් නො ගෙන එතුමා තමාගේ ප්‍රතිපත්තිය පිරුවේය. මෙසේ කමටහන් වැඩූ ඒ තෙරනම විසිවෙනි වර්‍ෂයේ දී රහත්ඵලයට පැමිණියේ ය. එතුමන් රහත්වන දා, එතුමාගේ සක්මන කෙළවරේ ගසක අධිගෘහිත දේවතාවක් තමාගේ ඇඟිලි වලින් පහනක් දල්වාගෙන සිටියේ ය. සිව්වරම් රජවරු ද ශක්‍රදේවෙන්‍ද්‍රයා ද සහම්පතී බ්‍රහ්මයා ද උපස්ථාන පිණිස ආහ.
(බු:ව: 440 - 480 පමණේදී.)
විනයධර උපතිස්ස තෙරුන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වූ මෙතුමා විනය පිටකයෙහි කෙතරම් ප්‍රකට ආචාර්‍ය්‍යවරයෙක්ව සිටියේ ද යන්න විනය අටුවාවේ විසිතුන් පලක එතුමාගේ නම සඳහන් කිරීමෙන් ඔප්පු වේ. මෙතුමා 18 වරක් විනය පිටකය අස්වාගත් බව උපතිස්ස මහතෙරුන්ගේ ප්‍රවෘත්තියෙහි කියන ලදි. මෙතුමාගේ සොහොයුරු මහාසුම්මතෙර නවවරක් විනය අස්වාගෙන ගඟෙන් එගොඩ (හෙවත් මාවැලිගඟෙන් දකුණු දෙසට) ගියේ ය. මහාපදුමතෙර ඒ ගැන නොසතුටුව ගුරුවරයා ජීවත්ව සිටියදී එසේ යාම ගැන මහාසුම්මතෙරුන්ට දොස් නැඟීය.
උත්තර නම් රජකුමරා රන්කරඬුවක් සාදා මහාපදුම තෙරුන්ට යැවීය. ස්ථවිරතුමා එය නො කැපයයි ප්‍රතික්‍ෂේප කෙළේ යයි විනය අටුවාවේ තෙරසකවණ්ණනාවෙහි (299) කියවේ. මේ උත්තර රාජකුමාරයා වනාහි මහාචූළික රජුගේ වෛමාතෘක සහෝදරිය වූ සුමනාදේවියගේ පුත්‍රයකැයි මහාවංශටීකාවෙහි කියන ලදි. සුමනාදේවියට තිස්ස - අභය - උත්තර යන පුත්‍රයෝ තිදෙනෙක් වූහ. ඔවුනතුරෙන් අභය - උත්තර දෙදෙන මහසිළු මහරජු නගරය තුළ දී මැරීමට කුමන්ත්‍රණයක් කළහ. ඒ කුමන්ත්‍රණය හෙළි වූ නිසා අනුන් අතින් මියයාමට වඩා තමන්ම මියයාම යෙහෙකැයි සිතූ ඒ කුමාරවරු ගිරිනිගණ්ඨයාගේ ආරාමය අසළ දැන් අභයගිරිසෑය තිබෙන තැන, දරසෑයක් කරවා ගිනි දල්වා ඒ දර සෑයට පැන මළහ. ඔවුන් ගේ නෑයෝ (79 පිට) පසුකලක එතැන චෛත්‍යයක් බැන්දවූහයි මහාවංශ ටීකාවේ 34 වෙනි පරිච්ඡේද වර්‍ණනාවෙහි කියවේ. මේ චෛත්‍යයට අභයුත්තර නාමය ලැබී තිබෙන්නේ මේ හේතුවෙනි. පරණ පොත්වල බොහෝ සේ මේ චෛත්‍යයටත් විහාරයටත් “අභයුත්තර චේතිය, අභයුත්තර විහාර” යන නම ව්‍යවහාරකොට තිබේ.
නමුත් මහාවංශයෙහි කියවෙන්නේ වට්ටගාමිණීඅභය රජුගේ අභය නාමයත් ගිරිනිගණ්ඨයාගේ නාමයත් එක්කොට අභයගිරි නාමය ඒ විහාරයට තැබූ බවයි. වළගම්බාරජු ගිරිනිගණ්ඨයාගේ ආරාමය වනසා එතැන සංඝාරාමයක් පිහිටෙව්වේ ය. ඒ රජු විසින් එහි පිරිවෙන් (හෙවත් ලැගුම් ගෙවල්) 12 ක් පිහිටු වන ලදැයි කියවෙන පමණ මුත් එහි චෛත්‍යයක් ගොඩනැංවූ බවක් මහාවංශයෙහි නොකියවේ. එබැවින් විහාරය අභයගිරි යයි ද ඉන් පසුකලක ඒ අසළ කරවනු ලැබූ චෛත්‍යය අභයුත්තර සෑය යයි ද දෙකක් සේ ගණන්ගත යුතුය. පසුකලක ඒ සෑය අභයගිරි විහාරයට ආසන්න බැවින් ඊට අයත් චෛත්‍යය ලෙස ගණන් ගෙන විහාරයටත් ඇතැම්විට අභයුත්තර විහාරය යි ව්‍යවහාර කරනලදැයි සැලකීම වටී. මේ ආරාමයට අභය නාමය නැතිව උත්තරවිහාර යයි නම් කොට තිබෙන බව ද මහාවංශ ටීකාවෙන් පෙනේ.
විනය අටුවාහි තතියපාරාජික වණ්ණනාවෙහි (257) මේ ප්‍රවෘත්තිය පෙනේ:- “වසභරජුගේ දේවියට රෝගයක් වැලඳුණු විට එක් ස්ත්‍රියක් මහාපදුම තෙරුන් වෙත ගොස් ඊට බෙහෙත් විචාළ කල්හි තෙරණුවෝ ඈට බෙහෙත් නොකියා මේ රෝගය අසුවල් බෙහෙත්වලින් සුවවන්නේ යයි භික්‍ෂූන්ට කීය. ඒ කථාව අසා සිටි ස්ත්‍රිය ඒ බෙහෙත් කරවීමෙන් දේවියගේ රෝගය සුවපත් විය. ඉන්පසු තුන්සිවුරු ද කහවණු තුන්සියයක් සමඟ බෙහෙත් කරඬුවක් ද ගෙනවුත් තෙරුනගේ පාමුල තබා “ස්වාමීනි, මෙයින් මල් පිදුව මැනවැ”යි කීවිට තෙරනම එය ප්‍රතික්‍ෂේප නො කොට ගුරුපඬුරු වශයෙන් ගෙන මල් පූජාවක් කරවීය. මෙහි කිසිම විශේෂයක් නොකොට “මහාපදුමත්‍ථෙරොපිකිර” ආදි වශයෙන් පටන්ගෙන මේ ප්‍රවෘත්තිය කීමෙන් මෙතුමා උඩ නම දැක් වූ මහාපදුමතෙර නමම යයි වැටහෙන නමුත් වසභ රජු බු:ව: 609 සිට 650 දක්වා රාජ්‍යය කළ බැවින් මේ කියවෙන්නේ මුලින් කී උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය වූ මහාපදුමතෙර විය නොහැක. එතුමා වැඩසිටියේ වලගම්බා කාලයේ දී හා ඔහුට අනතුරුව රාජ්‍යයට පැමිණි මහසිළුමහතිස් රජුගේ කාලයේ දී ය. එය බුද්ධවර්‍ෂ 440 - 480 පමණේ දී විය යුතුය.
(බු:ව 440 - 480 පමණේ දී.)
උපතිස්ස මහතෙරුන්ගේ ශිෂ්‍යයන් අතුරෙන් ප්‍රකට භාවයට පැමිණි දෙවෙනි ශිෂ්‍යයා මහාසුම්ම තෙරණුවෝ ය. මහාපදුම තෙරුන්ගේ මතය දැක්වූ බොහෝ තැන්වල ඊට අනතුරුව ම මහාසුම්ම තෙරුන්ගේ මතය දක්වනු ලැබේ. විනය අටුවාවේ එකුන්විසි (19) තැනක මෙතුමාගේ නාමය සඳහන් කොට තිබේ. මෙතුමා ස්වකීයාචාර්‍ය්‍යයන් වෙතින් නව වරක් විනය පිටකය අස්වා ගත්තේ ය. මුන්වහන්සේගේ උපාධ්‍යායවරයා අනුරුද්ධ නමැති තෙරනමකැයි විනය අටුවාවේ නිස්සග්ගිය වණ්ණනාවෙහි (392) කියන ලදී.
දීපවිහාරවාසීසුම්ම නමැති මහතෙරනමක් ගැන මැඳුම්සඟි අටුවාවේ ආකංඛෙය්‍යසුත්තවණ්ණනාවෙහි (126) ද අංගුත්තරඅටුවාහි දුකනිපාතවණ්ණනාවෙහි (319) ද කියන ලදි. ඒ දෙතැන් හිම “පාතිමොක්‍ඛසංවරසංවුතො” යන පදය ගැන එතුමාගේ අදහසත් එතුමාගේ ශිෂ්‍යවූ තෙපිටකචූලනාග තෙරුන්ගේ ඊට වෙනස් වූ අදහසත් දක්වා තිබේ. සම්මොහවිනොදනියෙ ඣාන විභංගවණ්ණනාවෙහි ද මේ ගුරු ශිෂ්‍ය දෙනමගේ මතභේදයක් ගැන කියා තිබේ. [20]
බු.ව. 467 සිට 14 වර්‍ෂයක් රාජ්‍යය කළ “මහාචූළි මහාතිස්ස” රජ සියතින් කර්‍මාන්ත කොට ලබාගත් දෙයින් දන්දීම මහත්ඵල යයි අසා තමා රාජ්‍යය ලැබූ ප්‍රථම වර්‍ෂයේ දී ම අප්‍රකට වේශයෙන් ගොස් ඇල්කෙතක ගොයම් කපා ලත් කුලියෙන් මහාසුම්ම තෙරුන්ට දනක් දුන්නේ යයි මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයෙහි කියවේ. එහිම 33 වෙනි පරිච්ඡේදයේ 60 - 61 - 62 වෙනි ගාථාවලින් ථෙරපුත්තාභය යෝධයාගේ පියා මහාසුම්ම තෙරුන් ගේ උපස්ථායකයෙක් වී යයි ද හෙතෙම කෝටපබ්බත විහාරයේ දී තෙරුන්ගෙන් බණ අසා පැවිදි වී රහත්වී යයි ද කියා තිබේ. මහසිළු - මහතිස් රජුගේ (බු.ව. 467-481) කාලයෙහි සිටි තෙරනමක් (බු.ව. 383 පමණේ දී) දුටුගැමුණු කාලයෙහිත් සිටියේ යයි පිළිගැනීම පහසු නොවේ. මෙය විමසිය යුත්තකි.
(බු.ව. 475-530 පමණේ දී)
තිපිටක (හෝ තෙපිටක) චූලනාග මහාස්ථවිරතුමා දීපවිහාරවාසී සුම්ම මහතෙරුන්ගේ ශිෂ්‍යයා යි. මේ ගුරු ශිෂ්‍ය දෙනමගේ මතභේදයන් ගැන මැඳුම්සඟි අටුවාහි (126) ආකංඛෙය්‍යසූත්‍ර වර්‍ණනාවෙහි ද, අංගුත්තරඅටුවාහි (319) දුකනිපාතවණ්ණනාවෙහි ද, විනයඅටුවාහි (392) නිස්සග්ගියවණ්ණනාවෙහි ද, ඣානවිභංග අටුවාහි ද දක්වන ලදි.
මේ දීපවිහාරවාසී සුම්මතෙර උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය වූ මහාසුම්ම තෙරනම වී නම් චූලනාග තෙරුන්ගේ කාලය මහසිළුමහතිස් රජුගේ කාලයට සමීප විය යුතුයි.
මේ තෙරුන් ලෝහප්‍රසාදයෙහි ත්‍රිලක්ෂණය පිළිබඳ ධර්‍මයක් දේශනා කරද්දී බණ අසමින් හුන් එක් බමුණකුට සංස්කාරයෝ ශූන්‍යවශයෙන් වැටහුණාහ. හෙතෙම ප්‍රපාතයක වැටෙන්නකු මෙන් හැඟීමක් ඇතිව වහා එතැනින් පලාගොස් ගෙට පැමිණ පුත්‍රයා ළෙහි හොවාගෙන “ශාක්‍යධර්‍මය විමසන මම නටුයේ වෙමි”යි කීය. මේ ප්‍රවෘත්තිය සංයුත්ත අටුවාහි ඛන්‍ධසංයුත්තවණ්ණනාවෙහි (ii, 201) කියවේ.
චූලනාගතෙරුන් අම්බිලහාල විහාරයේ දී ඡඡක්කසූත්‍රය දෙසූ අවස්ථාවෙහි මිනිස් පිරිස ගව්වක් පැතිර සිටියායයි ද දෙවිපිරිස යොදුනක් පමණ වූවා යයි ද දහසක් භික්‍ෂූහු රහත් වූවාහයි ද මැඳුම්සඟි අටුවාහි එම සූත්‍රවර්‍ණනාවෙහි (1025) දැක්වේ.
කූටකණ්ණරජ චූලනාග තෙරුන් කෙරෙහි මහත් භක්ති ඇත්තේ විය. තෙරුන්ගේ ඇඟිල්ලක ගෙඩියක් හටගත් විට රජතුමා එහි පැමිණ බලවත් ප්‍රේමයෙන් ගඩසහිත ඇඟිල්ල තමාගේ මුඛයෙහි බහාගත්තේ ය. ගෙඩිය මුවතුළ දී පැළී සැරව නික්මුණි. රජතෙමේ සැරව ඉවත නොදමා ගිල්ලේ යි විභංග අටුවාහි (319) ඤාණවිභංගනිද්දෙසයෙහි දැක්වේ. මේ තෙරුන්ට මාරණාන්තික රෝගය වැලඳුණු විට ද රජ එහි ගොස් අශුචි කබල හිසින් ගෙන යමින් “දහම් රථයේ අකුර බිඳේ” යයි කියා වැලපුණු බවත් එතැනම කියවේ. මේ කූටකණ්ණ රජුගේ නාමය අටුවා කීපයකම පෙනෙතත් ලක්දිව මුද්‍රිත මහාවංස එකකවත් ඒ නාමය නොපෙනේ. එංගලන්තයේ මුද්‍රිත පොතේ ඒ නම දක්නා ලැබේ. මේතෙම මහාචුළීමහාතිස්ස රජුගේ පුත්‍රයෙකි. බු.ව. 502 සිට අවුරුදු 22 ක් රාජ්‍යය කෙළේ ය. මොහුගේ නම මෙහි මුද්‍රිත පාළිපොතේ කාලකණ්ණිතිස්ස යයි ද සිංහල පොත්වල මකලන්තිස් යයි ද පෙනේ. මේ චූලනාග තෙරුන්ගේ ආචාර්‍ය්‍ය වූ මහාසුම්ම තෙරුන් මහාසිළුමහතිස රජුකල සිටිබව මින් උඩදී දැක්වූ බැවින් චූලනාග තෙරුන් ඒ රජුගේ පුත්‍රයාගේ කාලයේ දී විසීම සිදුවිය යුත්තකි.
චූලනාග තෙරුන් තිපිටක චූලාභය තෙරුන්ට සමකාලීන බව ඛන්‍ධවිභංග අටුවාදියෙන් පෙනේ. චූලනාග තෙර “අකුශලයෙහි දී දළ - සියුම් බවක් නොසැලකිය යුතුය. එය ඒකාන්තයෙන් ඖදාරිකය” යි කීය. මේ කථාව තිපිටක චූලාභය තෙරුන්ට දැන් වූ විට ඒ තෙරණුවෝ; “සර්‍වඥයන් වහන්සේ විසින් අභිධර්‍මයේ දී බෙදිය යුතු දෙයක් නොබෙදා හරන ලද්දේ නොවේ. ඇතැම් තෙරකෙනෙක් අකුශලයන්ගේ ඖදාරික - සූක්‍ෂමත්‍වය බෙදන්ට නොකැමති වෙයි. බුදුරජ ලොකොත්තර චිත්තයන්ගේත් ඖදාරික - සූක්‍ෂමත්‍වය දැක්වීය”යි කීහයි විභංග අටුවා (16 ඉං) හි පෙනේ.
මැඳුම්සඟි අටුවාවේ හා දික්සඟි අටුවාවේ සතිපට්ඨානවණ්ණනාවන්හි මේ ප්‍රවෘත්තිය දැක්වේ:- ත්‍රිපිටක චූලනාග ස්ථවිරතුමා සතිපට්ඨානය ඒකායනමාර්‍ගය වන්නේ පූර්‍වභාග ප්‍රතිපදා වශයෙනැයි කීය. එතුමායේ ආචාර්‍ය්‍ය වූ ත්‍රිපිටක චුල්ලසුම්ම මහතෙර එය මිශ්‍රකමාර්‍ගය යි කීය. ආචාර්‍ය්‍යයන් නැවත නැවත එසේම කී බැවින් චූලනාග ස්ථවිරතුමා නිශ්ශබ්ද විය. ආචාර්‍ය්‍ය ස්ථවිරතුමා නාන කොටුවට යමින් මේ විවාදය ගැන සලකා බලන්නේ සූත්‍රය මුලසිට අග දක්වා මෙනෙහි කෙළේය. එවිට සූත්‍රය අග තිබෙන “යො හි කොචි භික්‍ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි” යන මේ වාක්‍යය දැක “ඉපද සත්වර්‍ෂයක් පවතින ලොකොත්තර මාර්‍ගයක් නම් නැත. එබැවින් මා කී මිශ්‍රකමාර්‍ගය නො ලැබේ. චූලනාගයන් කී පූර්‍වභාග මාර්‍ගයම ලැබේය” යි නිශ්චයට පැමිණ අටවක් දා ධර්‍මශ්‍රවණයට ඝෝෂාකළ විට එහි ගියේ ය. එදින දහම් දෙසීමට වාරය පැමිණ තිබුණේ චූලනාග තෙරුන්ටය. එතුමන් ආසනයට නැග මාතෘකා ගාථාවන් කී විගස ආචාර්‍ය්‍යතෙරනම ආසනය පිටිපසින් සිටගෙන “ඇවැත් චුල්ලනාගයෙනි”යි ආමන්ත්‍රණය කෙළේය. චුල්ලනාගතෙර ආචාර්‍ය්‍යවරයාගේ කටහඬ හැඳින “ස්වාමීනි, කිමෙක්දැයි” ඇසී. “චුල්ලනාගය, මා කී මිශ්‍රක මාර්‍ගය නො ලැබේ. තොප කී පූර්‍වභාග සතිපට්ඨානමාර්‍ගයම ලැබේ ය”යි මහාස්ථවිරතුමා කීය. එවිට චුල්ලනාග ස්ථවිරතුමා “ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර ශ්‍රැතබුද්ධ වූ මාගේ ගුරුවරයා වැන්නකුටත් මේ ප්‍රශ්නය පැටලේ නම් අනාගතයේ දී සාමාන්‍ය උගතුන්ට මෙය පැටලීයාම පුදුමය්ක නොවන්නේය”යි සිතා ඒ ප්‍රශ්නය නිරාකරණය සඳහා “පටිසම්භිදාමග්ග” පාළියෙන් සාධක ගෙනහැර දක්වා ධර්‍මය දේශනා කෙළේය.
ධ්‍යානලාභියකු මාර්‍ගඵල ලැබූ විට ඒ මාර්‍ගඵල සිත් කිනම් ධ්‍යානයකින් යුක්ත වෙත් ද? යන ප්‍රශ්නයේ දී පුද්ගලයාගේ අදහස පරිදි මාර්‍ගඵලසිත් ප්‍රථම ධ්‍යානාදියෙන් යුක්ත වෙතියි චූලාභය ස්ථවිරතුමා කීය. ඒ කථාව ගෙනවුත් චූලනාග තෙරුන්ට කී විට “යමෙකුට පාදක ධ්‍යානයක් නැත්නම් ඕහට තමාගේ අදහස පරිදි එය ලැබිය හැක. යමෙක් යම් ධ්‍යානයක් මුල්කොට ගෙන විදර්‍ශනා වඩා මාර්‍ගඵල ලැබී නම් ඕහට ඒ පාදක ධ්‍යානයට සමාන වූ ධ්‍යානයක්ම ලැබෙන්නේය”යි එතුමා කීය. (මේ කථාප්‍රවෘත්තිය අට්ඨසාලිනී අටුවාහි ලොකුත්තර කුසලකථාවෙහි එයි.)
තිපිටක චූලනාග තෙරුන්ගේ ශිෂ්‍යයන් ළඟ තිබුණු අකැප පාත්‍රයක් පිළිබඳ කථාවක් විනය අටුවාවේ (328) නිස්සග්ගිය වණ්ණනාවෙහි කියවේ.
සෘද්ධිබලයෙන් උපාදින්නක රූපය කුඩා හෝ මහත් හෝ විය හැකි බව තිපිටක චූලනාග තෙර කීයේයැයි විසුද්ධිමග්ග - ඉද්ධිවිධනිද්දෙසයෙහි දැක්වේ. (398)
චූලනාග - මහානාග තෙර දෙනමගේ මව සම්බන්ධ කථාවක් කස්සපසංයුත්තට්ඨකථාහි එයි. හේ මෙසේ යි:- වසාළ නගර නම් ගමින් සොහොයුරෝ දෙදෙනක් නික්ම පැවිදි වූහ. ඔවුහු පසු කලක චූලනාගත්‍ථෙර - මහානාගත්‍ථෙර යන නම් වලින් ප්‍රකට වූහ. ඒ දෙනම සිතුල් පව්වෙහි තිස් හවුරුද්දක් වාසය කොට රහත් බවට පැමිණ මෑණියන් දැකීම සඳහා අවුත් වාසළ නගර විහාරයෙහි නැවතී පසුදා මව වසන තැනට පිඬු පිණිස ගියහ. මවද කිණිස්සෙන් කැඳගෙනවුත් එක් නමකගේ පාත්‍රයෙහි වත්කෙළේය. ඈට ඒ තෙරුන් කෙරෙහි පුත්‍රස්නේහය උපන් බැවින් “ඔබ මාගේ පුත්‍ර වූ මහානාගතෙරදැ”යි ඇසීය. “පස්සෙන් සිටින තෙරුන්ගෙන් විචාරව”යි කිය තෙරනම නික්ම ගියේය. පසුව සිටි තෙරුන්ටත් කැඳ බෙදා “ඔබ මාගේ පුත්‍ර චූලනාග තෙරදැ”යි ඇසීය. ඒ තෙර නම “උපාසිකාවෙනි, ඉදිරියෙන් සිටි තෙරුන්ගේ විචාළේ නැද්දැ”යි කියා යන්ට ගියේය.
අනුරාධපුර ථූපාරාමයෙහි වූ අසිග්ගාහක පිරිවෙන් විසූ චූලනාග නම් තෙර නමක් පිළිබඳ කථාවක් රසවාහිනියේ තිබේ. එය මෙසේය:- පිණ්ඩපාතිකවූ චූලනාග මහතෙර නිතර චන්‍ද්‍රවංක වීථියෙහි පිඬු පිණිස හැසුරුණේය. එක් දිනක් වළඳා අවසන් වී දිවාස්ථානයෙහි වැඩහුන් ඒ තෙරුන් වෙත අලුත දරුවන් වැදූ සාගින්නෙන් පෙළුණු බැල්ලියක් අවුත් සිටිනු දැක දියයුතු අන් දෙයක් නොදැක උගුරේ ඇඟිල්ල ඔබා තමන් වැලඳූ ආහාර වමාරා බැල්ලියට දුණි. ඉන් පසුත් ඒ පුරුද්ද නිසා ආ බැල්ලියට ආහාර පානයෙන් සංග්‍රහ කෙළේය. තෙරුන් කළ කුශලකර්‍මයේ විපාකයෙන් එදිනම බොහෝ ගිතෙල් - මී - සකුරු ආදිය ලැබුණි. පසුදා ලැබුණු දානය තිස්දහසක් භික්‍ෂූන්ට සෑහෙන තරම් විය. එතැන් පටන් චන්‍ද්‍රවංකවීථිවාසීහු මුර බෙදාගෙන තෙරුන් ප්‍රමුඛ සංඝයාට දන් දුන්හ. මෙසේ තෙරුන් ලාභයෙන් අගතැන් පත්වූ බැවින් දඹදිව මහබෝ වඳින්ට යනු කැමති පන්සියයක් භික්‍ෂූහු තෙරුන් සමග දඹදිව ගියහ. අතරමගදී ඒ පිරිසට ආහාර පානාදියෙන් පීඩාවක් නොවීය. හැරී එන ගමනේ දී තෙරුන්ට බලවත් වාතාබාධයක් ඇතිවිය. එවිට තෙරණුවෝ “මා අපවත්වූ පසු මාගේ ධාතු ගෙන පෙරහන්කඩක දමා ගමකට ඇතුල්වෙන විට එය සංඝ ස්ථවිරයන්ගේ කුඩයෙහි බැඳගෙන යායුතුය; එවිට ආහාරපානාදියෙන් පීඩාවක් නොවන්නේය”යි කියා සෙසු භික්‍ෂූහු එසේ කොට සුවසේ ලක්දිවට හැරී ආහ.
(බු.ව. 475 - 530 පමණේදි.)
මේ මහතෙර 20 වෙනි අංකයෙහි දැක්වූ චූලනාග මහතෙරුන්ට සමකාලිකයෙකැයි ඒ චරිතයෙහි දක්වන ලදි. මෙතුමා බොහෝ භික්‍ෂූන්ට ධර්‍මය ඉගැන්වූ ආචාර්‍ය්‍යයෙක්ව ද භික්‍ෂූන්ගේ නඩු විසඳූ උතුමෙක් වද සිටි බව විනය අටුවාහි තේරසකවණ්ණනා (328) වෙහි පෙනේ. දිනක් මේ තෙරුන් ලෝහප්‍රාසාදයේ යට මාලයෙහි භික්‍ෂූන්ට විනය උගන්වා හවස නැගිටින විට විරුද්ධ භික්‍ෂුදෙනමකගේ අධිකරණයක් තෙරුන් ඉදිරියට පැමිණියේය. එක් නමක් අනික් භික්‍ෂුව නගන නගන චෝදනාව අසත්‍යයයි කියමින් ප්‍රතික්‍ෂේප කෙළේය. ප්‍රථම යාමය ඉක්මෙන්ට ළංවන තෙක් ඒ කථාව අසා සිටි තෙරුන්ට “මේ භික්‍ෂුනම සත්‍යයෙහි පිහිටා කියයි, අනිකා ප්‍රතිඥා නොදෙයි; ඒකාන්තයෙන් මොහු විසින් වරද කරන ලද්දේ වනැ”යි සිතක් උපණි. (විනිශ්චයකාරයකුට එවැනි සිතක් පහළවීම අයෝග්‍ය බැවින්) තෙරණුවෝ තල්අතු මිටෙන් පාපුටුවට තට්ටුකොට “මම මේ නඩුව විසඳන්ට යෝග්‍ය නොවෙමි; අන්‍ය තෙරනමක් ලවා විසඳෙව්ව මැනවැ”යි කීහ. කුමක් හෙයින්දැයි ඇසූ විට ඒ කාරණය දැනුම් දුන්හ. එවිට චෝදනා ලැබූ භික්‍ෂුවගේ සිරුරෙහි දාහයක් ඇතිවිය. හෙතෙම මහතෙරුන් වැඳ “ස්වාමීනි, අධිකරණ විනිශ්චය කරන්නකු ඔබ වැනි වියයුතුය; මා විසින් බොහෝ වේලාවක් ඔබ වෙහෙසට පමුණුවන ලදහ. සමාවුව මැනවැ”යි කියා තෙරුන් සමාකරවා ගෙන සිවුරු හැර ගියේය.
ස්මෘතිමතුන්ට නිදර්‍ශනයක් වශයෙන් දික්සඟිඅටුවාහි මේ තෙරුන්ගේ නම දක්වා තිබේ. තමන් වහන්සේගේ ස්මරණ ශක්තිය ගැන භික්‍ෂූන් විචාළවිට අනුරාධපුරයේ දොරටු සතරෙන් තුනක් වස්වා එක් දොරටුවකින් ඇතුළත වසන සියලු මිනිසුන් නික්මෙන කල්හි ඔවුන්ගේ නම් අසා සිත තබාගෙන හවස හැරී එන විට ඒ සියල්ලන්ගේ නම් නොවරදවා කියහැකි බව ප්‍රකාශ කෙළේය යි එහි මහාපරිනිබ්බාණ සූත්‍රවර්‍ණනා (365) වෙහි කියවේ.
“පශ්චිමභවික බෝසතුන් උපන්කෙණෙහි උතුරට අභිමුඛව පයින් ගියේද? නැතහොත් අහසින් ගියේද?” යනාදි ප්‍රශ්න කීපයක් මේ චූලාභය තෙරුන් විසින් ලෝහප්‍රාසාදයේදී විසඳන ලද බව දික්සඟිඅටුවාහි මහාපදාන සූත්‍රවර්‍ණනාවෙහි ද මැඳුම් සඟියේ අච්ඡරියාබ්භූත” සූත්තවණ්ණවෙහි (928) ද කියවේ. “බෝසත් තෙමේ පොළොවෙහි ගියේය; මහජනයාට අහසෙහි යන්නාසේ පෙනුණි. එතුමන් වස්ත්‍ර රහිතව ගිය නමුත් වස්ත්‍රාභරණයෙන් සැරසුනාසේ පෙනුණි. ළදරුව ගියනමුත් සොළොස් විය ඇත්තකුසේ පෙනුණි”යි එතුමා ප්‍රකාශ කළේය.
මැඳුම්සඟියේ සංඛාරුප්පත්ති සූත්‍රවර්‍ණනාවෙහි (902) චෙතො ඵරණ, කසිණඵරණ, දිබ්බචක්ඛුඵරණ, ආලෝකඵරණ, සරීරඵරණ යන පැතිරවීම් පසක් ගැන මේ තෙරුන්ගේ මතයක් දක්වන ලදි.
විභංගඅටුවාහි ඤාණවිභංගනිද්දේසයෙහි මේ ප්‍රවෘත්තිය පෙනේ. තිපිටක චූලාභය ස්ථවිරතුමා වරක් පන්සියයක් භික්‍ෂූන් සමඟ නාගදීපයේ චෛත්‍යය වැඳීමට යන්නේ එක් ගමක මිනිසුන් විසින් දන් වැළඳීමට ආරාධනා කරන ලදි. ඒ පිරිසෙහි එක් නොහික්මුණු භික්‍ෂූනමක් විය. ගමේ විහාරයෙහිත් එවැනි භික්ෂුනමක් විය. ගමේ භික්‍ෂු පිරිස සමඟ ආගන්තුක භික්‍ෂු පිරිස ගමට ඇතුල් වනකල්හි මේ නොසරුප් භික්‍ෂුදෙනම අතර කලින් හැඳිනීමක් හෝ දැක ගැන්මක් නොතිබුණු නමුත් ඒ දෙදෙන එක්ව සිනාසෙමින් කථාකරමින් එක්පසෙක සිටියාහ. (පුද්ගලයන් ගතිගුණ වශයෙන් ගැළපෙන සැටි දැක්වීමට මේ කථාව දක්වන ලදි.)
මේ තෙරණුවෝ අටුවා නැතිව ත්‍රිපිටකය පමණක් ඉගෙන පඤ්චනිකායිකයන් මධ්‍යයෙහි ත්‍රිපිටකය සිංහලට නගා කියන්නෙමියි මහාවිහාරයෙහි රන්බෙරය වයන්ට සැලැස්වීය. එවිට සංඝ තෙමේ “කවර ආචාර්‍ය්‍යවරයකුගෙන් උගත් අර්‍ථ කිමෙක්ද? ආචාර්‍ය්‍ය පරම්පරාව ප්‍රකාශ නොකොට අර්‍ථ කියන්ට ඉඩ නොදෙමු ය”යි කීය. එතුමාගේ උපාධ්‍යාය ස්ථවිරතුමා තමන් වෙත වත් දැක්වීමට පැමිණි චූලාභය තෙරුන් දැක “ඔබ විසින් රන්බෙරය ගස්වන ලද්දේදැ”යි ඇසීය. එසේයයි කීවිට “කුමක් සඳහාදැ”යි ඇසීය. “ස්වාමීනි, ත්‍රිපිටකය සියබසට නැගීම සඳහාය”යි කීවිට “ඇවැත් අභය, ආචාර්‍ය්‍යවරු මේපදය කෙසේ විස්තර කෙරෙත්දැ”යි විචාළේය. “ස්වාමීනි, මෙසේ විස්තර කෙරෙත්” යයි කීවිට මහතෙර “හුං” කියා එය ප්‍රතික්‍ෂේප කෙළේය. ඉක්බිති අභය ස්ථවිරතුමා මෙසේ කියත්, මෙසේ කියත්” යයි අන්‍යාකාර වලින් විස්තර කෙළේය. මහතෙර ඒ සියල්ල ප්‍රතික්‍ෂේපකොට “ඇවැත්නි, තා විසින් පළමුකොටම කියන ලද්දේ ආචාර්‍යවාදයයි; ගුරු මුඛයෙන් නූගත් බැවින් ඒ බව නොදැන අන්‍ය විස්තරවලට බැස්සෙහි. ආචාර්‍යයන් වෙත ගොස් ආචාර්‍ය්‍යමතයන් ඉගෙන එව”යි කීය. “ස්වාමීනි, කොතැනට යම්දැ”යි විචාළවිට ගඟින් එගොඩ රුහුණෙහි තුලාධාරපබ්බත විහාරයෙහි සර්‍වපර්‍යාප්තිධර මහාධම්මරක්ඛිත නම් තෙරනමක් වෙසේ: එතුමා වෙත යව”යි කීය. චූලාභය තෙරුන් එහි ගොස් මහතෙරුන් වැඳ හුන් කල්හි “කුමක් සඳහා ආවෙහි දැ”යි ඇසීය. “බණ අසන්ට ආමි”යි කීවිට “ඇවැත් අභය, ඇතැම්හු දික්සඟි දෙක ගැන කලින් කල මා විචාරත්: ඉතිරි කොටස් මා විසින් තිස් හවුරුද්දක් මුළුල්ලේ සලකා නොබලන ලදි. එසේද වුවත් ඔබ රාත්‍රිකාලයෙහි මට ඇසෙනසේ පාළිය පාඩම් කිව මැනවි: මම ඒ පිරිවැහු දේ දවල් කාලයෙහි ඔබට විස්තර කරන්නෙමි”යි කීය. පිරිවෙන් දොරටුවෙහි මණ්ඩපයක් කරවා ගම්වැසියෝ බණ අසන්ට ආහ. තෙරණුවෝ ත්‍රිපිටකය අවසන් වන තෙක් ක්‍රමයෙන් විස්තර කොට අවසන් වූ විට අභය තෙරුන් ඉදිරියෙහි පත්කඩදමා වාඩිවී “ඇවැත්නි, මට කමටහනක් කියව”යි කීහ. “ස්වාමීනි, කුමක් කියනසේක්ද? මම ඔබතුමන්ගෙන් ඉගෙන ගතිමි”යි අභය තෙරුන් කීවිට “ඇවැත්නි, කළ පුරුදු ඇත්තාහුගේ අත්දැකීම අනිකකැ”යි කියා මහතෙරණුවෝ කමටහන් ඉල්ලාගත්හ. (අභයස්ථවිරතුමා එකල්හි සෝවාන්ව සිටියේය.) ඉක්බිති අනුරාධපුරයට ගිය චූලාභයතෙර ලොහප්‍රසාදයෙහි ධර්‍මය උගන්වන්නේ ධම්මරක්ඛිත මහතෙර පිරිනිවියේය යි අසන්ට ලැබී “ඇවැත්නි, මාගේ ආචාර්‍ය්‍යවරයාගේ රහත්වීම අතිශයෙන් යෝග්‍ය එකකි. එතුමා ස්වකීය අතවැසියා වෙත හිඳගෙන කටමහන් ගත්තේය”යි කීය. මේ ප්‍රවෘත්තිය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානභණනිද්දෙස යෙහි එයි.
විසුද්ධිමග්ග - ධුතංගනිද්දෙසයෙහිද ඒකාසනීකාංගය සම්බන්‍ධයෙන් තිපිටක - චූලාභය තෙරුන්ගේ මතයක් දැක්වේ. එහිම ඉද්ධිවිධනිද්දෙසයෙහි පර්‍වතයක් මැදින් නොහැපී සෘද්ධියෙන් යාම පිළිබඳ මේ තෙරුන්ගේ මතයක් දැක්වේ.
මුන්වහන්සේගේ නාමය අටුවා කීඵයකම සඳහන්ව තිබේ. දික්සඟිඅටුවාහි මහාපරිනිර්‍වණ සූත්‍රවර්‍ණනාවෙහි මෙතුමාගේ ස්මරණ ශක්තිය ගැන භික්‍ෂූන් විචාළවිට තෙරණුවෝ “මා ඉපද නවවෙනිදා මාගේ මෑණියන් මා සිපගනු සඳහා පහත්වූවිට ඇගේ කෙස්වැටිය ලිහීයාමෙන් කොණ්ඩය සැරසීමට යොදා තිබුණු නැළියක් පමණ සමන් මල් මාගේ ළය මත්තෙහි වැටී මට දුකක් ඉපදවිය. එදා සිට සිදුවූ දේ සියල්ල මම සිහිකරමි”යි කීය.
එම සූත්‍ර අටුවාහිම තවත් තැනක සකෘදාගාමී පුද්ගලයාගේ ක්ලේශ බහුලත්වය සම්බන්ධයෙන් මේ තෙරුන්ගේ මතයක් දක්වා තිබේ.
මැදුම්සඟිඅටුවාවේ සබ්බාසවසූත්‍රවර්‍ණනාවෙහි මෙසේ දැක්වේ. දීඝභාණක මහාභයතෙරුන් මහාඅරියවංස පටිපදාව දෙසන විට සියලු මාගම්පුර වැසියෝ රැස්වූහ. එතුමාට මහත් සත්කාරද උපණි. ඒ සත්කාරය ඉවසිය නොහැකි එක් මහතෙර නමක් “දීඝභාණකයා ආර්‍ය්‍යවංශය කියමියි රෑ මුළුල්ලේ කලබල කෙළේය.” යනාදිය කියමින් ආක්‍රොශ කෙළේය. ඒ දෙනම තම තමන්ගේ විහාරවලට යන්නාහු ගව්වක් පමණ දුර එකම මග ගියහ. මහතෙර ඒ ගව්ව මුළුල්ලේම ධර්‍මදේශක තෙරුන්ට නිග්‍රය කෙළේය. වෙන්ව යන තැනදී දීඝභාණක තෙරනම මහලු තෙරුන්ට වැඳ “ස්වාමීනි, මේ ඔබ යන මගය”යි කීවිට මහතෙර නෑසෙන්නාසේ කිසිවක් නොකියාම ගියේය. දීඝභාණක තෙරුන් විහාරයට ගොස් පාසෝදා වැඩහුන් විට එතුමන් සමඟ ආ අතවැසි භික්‍ෂුව “ස්වාමීනි, ගව්වක් මුළුල්ලේ අපහාසකළ ඒ තෙරනමට කිසිවක් නොකීවේ කුමක් හෙයින්දැ”යි ඇසීය. “ඇවැත, ඉවසීම මට භාරය; කමටහනින් තොරවූ සිතින් එක් පියවරක්වත් නො එසවීමි”යි කීය.
එක්තරා පිණ්ඩපාතික තෙරනමක් රහත් ද නො රහත්දැයි දැනගත නො හැකි වූ මේ අභය තෙරණුවෝ ඒ පිණ්ඩපාතික තෙරුන් කැළණිගංමෝයේ නාන්ට ගිය විටක දී දිය යටින් කිමිද ගොස් ඒ තෙරුන්ගේ පාදය අල්වන සේ තමන්ගේ අතවැසි නමකට කීහ. ඒ භික්‍ෂුනම එසේ කළ විට පිණ්ඩපාතික තෙරනම කිඹුලෙකැයි සිතා කෑ ගැසුවේය. එයින් ඒ තෙර රහත්නොවන බව ප්‍රකට විය. මේ ප්‍රවෘත්තිය මැඳුම්සඟි අටුවාහි ජබ්බිසෝධන සූත්‍රවර්‍ණනාවෙහි (869) එයි.
මේ තෙරුන් කලක් මිහින්තලා විහාරයෙහි අධිපතිව විසූසේ දැක්වෙන ප්‍රවෘත්තියක් විනයඅටුවාහි තතියපාරාජිකවණ්ණනාවෙහි පෙනේ:- එක්කලක පන්සියයක් සොර පිරිස ඇති අභය නමැති සොර දෙටුවෙක් අනුරාධපුරය අසළ කඳවුරු බැඳගෙන හාත්පසින් තුන් යොදුනක් පමණ තැන බලපැවැත්වීය. අනුරාධපුර වැසියෝ කොළොම් හොයෙන් එතරට යන්ට භය වූහ. මිහින්තලයට යන මග මිනිසුන්ගෙන් හිස්විය. සොර තෙමේ එක් දිනක් මිහින්තලා විහාරය කොල්ලකෑමට ගියේය. විහාර පාලකයන් ඒ බව දීඝභාණක අභය තෙරුන්ට දැන්වූ විට තෙරණුවෝ “සංඝයා උදෙසා ගෙනා සහල් ආදියත් පස්ගෝරසයත් ගෙන ආහාර සම්පාදනය කොට සොරුන්ට දෙව්” යයි කීහ. සේවකයන් එසේ කළ විට සොරු ආහාර අනුභව කොට “මේ සංග්‍රහය කවරකු විසින් කරනලදදැ”යි ඇසූහ. අපගේ ස්වාමි වූ අභය තෙරුන් විසිනැයි කීවිට සොරු තෙරුන් වෙත ගොස් වැඳ “සංඝයාටත් චෛත්‍යයටත් අයිති දේ පැහැර ගන්නෙමු යි ආ අපි ඔබගේ මේ සංග්‍රහයෙන් සතුටු වී එයින් වැළකුණෙමු. අද පටන් විහාරයේ රැකවල අපට අයත් වේවා; නුවර වැසියෝ අවුත් දන්දීම් ආදිය කරත්වා”යි කීහ. එතැන් පටන් දන්දීම් ආදිය සඳහා එන නාගරිකයන් කොළොම් ඔයේ සිට ආරක්ෂා කරමින් විහාරයට පමුණුවා කටයුතු අවසන් වූ පසු නැවත ඔය වෙතට පැමිණවූහ. භික්‍ෂූන් වළඳා ඉතිරි වූ දෙය සොරුන් අනුභව කළහ.[21]
සොරබිය සංසිඳුණු පසු “තෙරුන් වහන්සේ අධිපතිභාවයෙන් සංඝසන්තක දෙය සොරුන්ට දුන්හ”යි චෝදනාවක් ඇතිවිය. එවිට තෙරණුවෝ සංඝයා රැස් කරවා, “සොරුන් සංඝසන්තකවූත් චෛත්‍යයසන්තක වූත් සියලු දෙය පැහැර ගැන්මට ආහ. මම ඒවා නොගැන්ම සඳහා මෙතෙක් දෙයින් සංග්‍රහ කෙළෙමි. සොරුන්ට දුන් දෙයෙහි වටිනාකමත් ඔවුන් පැහැර නොගත් දේවල වටිනාකමත් සසඳා බැලුව මැනවැ”යි කීහ. එසේ සසඳන විට සොරුන්ට දුන් දෙයෙහි වටිනාකම චෛත්‍යගෘහයේ අතුරා තිබුණු එක් පලසක වටිනාකමටත් අඩුබව පෙනී ගියේය.
සොරුන් 500 කට කෑම දීමට කළ වියදම එක්පලසක වටිනාකමට අඩු වී ඒ කාලයෙහි අම්බස්ථල චෛත්‍යගෘහයේත් ඒ මහාවිහාරයේත් වටිනාකම කෙතෙක් විය හැකිදැයි සලකා බැලිය යුත්තකි. මේ මිහින්තලා විහාරයේ තිබුණු ගොඩනැගිලි ආදියේ විස්තරයක් සද්ධර්‍මාලංකාරයෙහි සමණගාම වස්තුවෙහි එයි; එය මෙසේ යි:- “ඒ විහාරය තුන්සිය සැටක් පමණ ධාතුගර්භ සමූහයකින් ප්‍රතිමණ්ඩිතය, එසේම විචිත්‍ර කර්‍මාන්තයෙන් හොබනා සිය ගණන් ප්‍රතිමාගෘහපන්තීන් ගෙන් යුක්තය; මහත් වූ බෝධිවෘක්‍ෂ පන්තීන් සැරහුනා වූ අතිධවල වැලිමලු පෙළින් විරාජමානය............. තවද එක් දහස් සාරසිය සතළිස්හයක් පමණ වූ පිරිවෙන් ගෙවල් පන්තීන් අතිසෝභමානව දර්‍ශනීය වූ ඒ විහාරය දුටු දුටු යම් කෙනෙකුට සතුටු සොම්නස් එළවයි. එහි වසන්නා වූ අල්පේච්ඡතා දී ගුණෝපෙත ප්‍රතිපත්තිසාර වූ දොළොස් දහසක් පමණ මහාසංඝයා වහන්සේ ය.”
විසුද්ධිමාර්‍ගයේ ශීලනිර්‍දෙශයෙහි මේ ප්‍රවෘත්තිය පෙනේ:- “තාම්‍රපර්ණි” ද්වීපයෙහි සොරු එක් තෙරනමක් වනයක් මැද දි අල්ලා රසකිඳ වැලකින් බැඳ තැබූහ. ලැව්ගින්නක් එන කල්හි එතුමා ඒ වැල නොකඩාම විදසුන් වඩා රහත් වී පිරිනිවියේ ය. දීඝභාණක අභයතෙර පන්සියයක් භික්‍ෂූන් සමඟ එතැනින් යන්නේ තෙරුන්ගේ මළ සිරුර දැක එය දවන්ට සලස්වා චෛත්‍යයක් කරවිය.” (ඉං. 36)
එහිම අනුස්සතිකම්මට්ඨාන නිද්දෙසයෙහිද මේ තෙරුන්ගේ නම කියවේ. කායගතාසතිය වඩා එක් එක් කුණප කොටසෙහි වෙන් වශයෙන් ධ්‍යාන ලබාගත් මල්ලක නමැති තෙරනමක් දීඝභාණකඅභය තෙරුන් අතින් අල්වාගෙන “ඇවැත් අභය, මල්ලකස්ථවිර දෙතිස් කොටස්හි දෙතිස් ප්‍රථමධ්‍යානයක් ලැබීය” යනාදිය කීය. (ඉං. 266)
අංගුත්තර අටුවාහ තිකනිපාත වණ්ණනා (386) වෙහි මේ කථාව පෙනේ:- දීඝභාණක මහාඅභය ස්ථවිරතුමා ආර්‍යවංස ප්‍රතිපදාව දේශනා කරන්නේ ය යි අසන්ට ලැබී උල්ලකොල කණ්ණිකාවෙහ [22] වැසි එක් ස්ත්‍රියක් යොදුන් පසක් මඟ ගෙවා දහම් දෙසන තැනට පැමිණ පුත්‍රයා බිම හොවා සිටගෙනම බණ ඇසීය. තෙරණුවන් ප්‍රත්‍යය තුනක විස්තර කියා නැඟිටින්ට සැරසෙන විට ඒ ස්ත්‍රිය “ආර්‍ය්‍යයන් වහන්සේ දහම් දෙසන්නෙමුයි සිනිඳු ආහාර ද මිහිරි පානයන් හා වැල්මී ආදිය ද වළඳා සැරසී දෙසිය යුතු දෙය නවතා නැගිටිති”යි කීය. තෙරණුවන් එයසා නො නැගිට භාවනාරාමකථාව දේශනා කළහ. අරුණ නගින කල්හි ධර්‍මදේශනාවේ අවසානයත් ඒ ස්ත්‍රියගේ සෝවාන්ඵලය ලැබීමත් එකවිට සිදුවිය.
(බු.ව. 440 - 446 පමණ.)
“වළගම්බා” නමින් වට්ටගාමිණී අභය මහරජුගේ කාලයේ දී ලක්දිව අතිදරුණු දුර්භික්‍ෂයක් හා රාජ්‍ය විප්ලවයක් ඇති විය. බොහෝ භික්‍ෂූහු ලක්දිව අත්හැර දඹදිව ගොස් දිවි රැක ගත්හ. ස්වල්ප දෙනෙක් ඉතා දුකසේ මෙහිම ජීවත්වෙමින් ධර්‍මය රැකගත්හ. මේ දුර්භික්‍ෂය හා විප්ලවය චණ්ඩාලතිස්සභය, චණ්ඩාලතීය භය, බ්‍රාහ්මණතිස්ස භය, මහාභය, බැමිණිතියාසාය යන නම්වලින් අඳුන්වනු ලැබේ. දොළොස් අවුරුද්දක් වැසි අඩුවීමෙන් දුර්භික්‍ෂය ඇති වූවා සේම තීය හෝ තිස්ස බ්‍රාහ්මණයා වළගම්බා රජුට විරුද්ධව කැරලි ගැසීමක් ද මෙකල ඇති විය.
මේ කරුණු දෙකෙන් පීඩිත වූ සංඝතෙමේ සෑම පෙදෙසන් දඹකොළ පටුනට අවුත් පරතෙර යාම පිණිස
තට්ටු තුනකින් යුත් පහුරක් බැන්දවිය. මෙතැනට රැස්වූ සංඝයා අතුරෙන් (1) සංයුත්ත භාණක චූලසීව ස්ථවිර, (2) ඉසිදත්තස්ථවිර, (3) මහාසෝණ ස්ථවිර යන තුන්නම ගණප්‍රධානයෝ වූහ. භික්‍ෂූන් පහුරට නැගුණු විට ඉතිරි දෙනම මහාසෝණ තෙරුන් අමතා “පහුරට නැගෙනු මැනවැ”යි කීහ. ඒ දෙනම කුමක් කරන්ටදැ යි මහාසෝණ තෙරුන් විචාළ විට “ඇවැත්නි, දියේ මළත් ගොඩ මළත් එකසේමය. අපි නොයන්නෙමු. තා නිසා අනාගතයෙහි සස්න රැකෙන්නේ ය: එබැවින් පහුරට නැගෙව”යි කීහ. “ඔබ නොයන කල්හි මමත් නොයමි”යි කියා මහාසෝණ තෙරද නැවතුණේ ය.
ඉක්බිති චූලසීව තෙර මහාසෝණතෙරුන් අත්හැර නොයනසේ ඉසිදත්තතෙරුන්ට අවවාද කොට අනුරාධපුරය දෙසට ගියේය. එකල්හි මහාවිහාරයෙහි එක් භික්‍ෂු නමකුත් නොවීය. මහසෑ මලුවෙහි එරඬු ගස් වැවී තිබුණාහ. සෑය පැලෑටිවලින් ගැවසී පෙඳ බැඳී තිබුණි. තෙරණුවෝ මහත් සංවේගයෙන් මහ සෑය වැඳ බටහිර දෙසැ ශාලාවට ඇතුල්ව සිටියහ. එකෙණෙහි දේවතාවෙක් මගියකුගේ වෙසින් සහල් නැළියක් හා සකුරු පිඬක් ගෙන එහි පැමිණ “කොහාට වඩිනසේක්දැ”යි තෙරුන්ගෙන් විචාරා “දකුණු දෙසට යමි”යි කීවිට “මමත් එදෙසට යමි”යි කියා තෙරුන් සමග යන්නේ තිසාවැව ඉවුරට පැමිණ සකුරු වලින් පානයක් සාදා තෙරුන්ට දී ගමන්කොට වේණුනදිය සමීපයෙහි හැරගිය විහාරයට පැමිණවිය. පසු දා උදය කැඳ පිස දී දාවල දානයත් දී දැදුරුඔය සමීපයට කැඳවාගෙන ගොස් කොළ කමින් ජීවත්වන මිනිසුන් වසන තැනක් පෙන්වා තෙරුන් වැඳ අවසර ගෙන ගියේය. තෙරණුවෝ භය සංසිඳෙනතුරු එහි විසූහ. (මේ කථාව ඤාණවිභංග අටුවාහි එයි.)
චූලසීව නම් තෙරනමක් විවේකීව වසනු කැමතිව මාතොටින් නැව්නැගී දඹදිව් යන්නේ සමුද්‍ර ජලය බලමින් සිට ආපොකසිණය උපදවා ගත්තේය යි විශුද්ධිමාර්‍ගයේ සෙසකසිණ නිද්දෙසයෙහි පෙනේ. (170)
විශුද්ධිමාර්‍ගයෙහිම බ්‍රහ්මවිහාරනිද්දෙසයෙහි සංයුත්තභාණක චූලසීව තෙරුන්ට විෂ නොවැදුනාසේ මෛත්‍රිය වඩන්නහුට විෂ නොවැදේය යි දක්වා තිබේ. කථාප්‍රවෘත්තිය එහි නැත. මේ නොබෝ දා ලැබුණු විසුද්ධිමග්ගගණ්ඨියෙහි ඒ කථාව මෙසේ දක්වා තිබේ:- සිංහල ද්වීපයෙහි සොහොයුරෝ දෙදෙනෙක් එකතුව ධනය රැස්කළහ. දෙටු සොහොයුරා කිසියම් රෝගයකින් මළේය. බාලයා ඒ සංවේගය නිසා ගිහිගෙය හැරදමා ගොස් පැවිදිව මෛත්‍රීවිහරණ ඇත්තෙක්ව විසී, සොහොයුරාගේ භාර්‍ය්‍යාව අන්පුරුෂයකු පතන්නී බූදලයේ අයිතිකාරයා වූ තෙරනම ජීවත්ව සිටින බැවින් අන්කසාදයක යාමට ලැජ්ජාවිය. ඕ තොමෝ තෙරුන් නසන්ට උපායක් සිතා විෂ යෙදූ පිණ්ඩපාතයක් එතුමන්ට දුණි. තෙරනම මෛත්‍රීකමටහනෙන් තොර නොවී. ඒ ආහාරය වැළඳූ බැවින් එතුමාට විෂයෙන් අනතුරක් නොවීය. පසුකලක එතුමා රහත්ඵලය ලැබීය.
(බු.ව. 440 - 467 පමණ)
චූලසීව තෙරුන්ගේ පුවතෙහි දැක් වූ මහාභය පිළිබඳව අංගුත්තර ඒකනිපාත අටුවාහි (52) මේ ප්‍රවෘත්තිය පෙනේ:- මේ ද්වීපයෙහි චණ්ඩාලතීය භය ඇති වූ විට සක්දෙව් රජ මහපහුරක් මවා භික්‍ෂූන්ට මෙසේ දැක්විය:- “ස්වාමිවරුනි, මහත් භයක් ඇති වන්නේ ය; වැසි නොවසින්නේ ය. පරතෙරට ගොස් ඔබගේ ජීවිතයන් රැක ගැනීම වටී, මේ මහපහුරට නැගී වඩිනු මැනවි. යම් කෙනෙකුන්ට මෙහි නගින්ට අවකාශයක් නොලැබේ නම් ඔවුන් ලී කැබෙල්ලකවත් පපුව තබාගෙන එතරට යනු මැනවි. කිසිවකුට අනතුරක් නොවන්නේ ය”යි එකල්හි මූදු වෙරළට රැස් වූ භික්‍ෂූන් අතරෙන් සැටනමක් “අපි පරතෙර නොගොස් මෙහිම රැඳී සිටගෙන ධර්‍මය රකින්නෙමු”යි කතිකා කොට ගෙන දකුණු මලයප්‍රදේශයට ගොස් අල - මුල් කොළවලින් ජීවිකාව කරමින් වසන්නාහු ශරීරය කෙළින් තබා ගෙන සිටින හැකිතාක් එක් තැනක වාඩි වී ධර්‍මය පිරිවැහූ හ. කෙළින් ඉන්ට නොහැකි වූ විට වැලි ගොඩක් ගසා ඒ වැලි ගොඩ උඩ හිස් එක්තැන් කොට තබාගෙන පර්‍ය්‍යාප්තිය පාඩම් කීය. මේ ක්‍රමයෙන් මේ භික්‍ෂූහු දොළොස් අවුරුද්දක් මුළුල්ලේ අටුවා සහිත ත්‍රිපිටක ධර්‍මය අඩු නොකොට රැකගත්හ. පිටරට ගිය භික්‍ෂූන් අතරෙන් සත්සිය නමක් ද ත්‍රිපිටක ධර්‍මය කටපාඩමෙන් රැකගෙන සිට භය සංසිඳුණු පසු මෙහි අවුත් කල්ලගාම (=කෑගල්ල) දනව්වෙහි මණ්ඩලාරාම (=වට්ටාරම) විහාරයට පැමිණියහ. ඒ තෙරුන් පැමිණි බව අසා ලක්දිව සිටි යථොක්ත සැටනම එහි පැමිණ ඒ තෙරවරුන් හා සසඳා බලන්නාහු එක් අකුරකවත් වෙනසක් නොදැක්කාහ.
මේ කාලයෙදීම චූලසීව - ඉසිදත්ත - මහාසෝණ යන මහා ස්ථවිර තුන්නම පිටරට නොගොස් රැඳුණු බව චූලසිව තෙරුන්ගේ ප්‍රවෘත්තියෙහි දක්වන ලදි. චූලසීව තෙරුන් ඉතිරි දෙනමගෙන් වෙන්ව අනුරාධපුරය දෙසට ගිය පසු ඉසිදත්ත - මහාසෝණ දෙනම ක්‍රමයෙන් අළජනපදයට ද චොරියස්සරය (=සේරුවිල) ට ද ගියහ. අළදනව්වේ දී ඇට ගෙන ඉවත දැමූ මී පොතු වළඳා සත්දිනක් ගතකළහ. සේරුවිලදී මානෙල් මල් කඩාගත් මිනිසුන් ඉවත දමාගිය මානෙල් දඬු රැගෙන වළඳා එයින් සත්දිනක් ගත කළහ. ඉන්පසු කොළ කා ජීවත්වන මිනිසුන් වසන ගමකට පැමිණියහ. එගම එක් ගෙයක මවුපියෝ “භික්‍ෂු නමක් පැමිණියහොත් ඉවත යන්ට ඉඩ නොදෙව”යි දුවණියන්ට කියා වනයට ගියහ. ඒ දැරිය මේ තෙරදෙනම දැක ගෙයි වැඩ හිඳුවා ඔලිඳපොතු හා උගුරැස් පොතු ඔලිඳකොළ සමඟ කොටා ගුලිතුනක් සාදා එක් එක් ගුළිය තෙර දෙනමගේ පාත්‍ර දෙකේ දමා ඉතිරි ගුළිය ඉසිදත්ත තෙරුන්ගේ පාත්‍රයෙහි දමන්ට අත දිගු කළවිට අත හැරවී ගොස් සෝණතෙරුන්ගේ පාත්‍රයෙහි එය වැටුණි. එය වළඳා තෙරදෙනම වාසස්ථානයට ගියහ. මවුපිය දෙදෙන අවුත් මෙපවත් දැන ඒ දෙනමට ආරාධනා කොට දුර්භික්‍ෂය ගෙවෙන තෙක් කොළ - පොතු ආදියෙන් සංග්‍රහ කළහ.
භය සංසිඳී පිතුමහාරාජ යන නමක් ඇති වළගම්බා රජු නැවත රාජ්‍යයට පැමිණි විට පරතෙර ගිය භික්‍ෂූහු මා තොර පටුනෙන් ගොඩ බැස “මහාසොණතෙර කොහිදැ”යි අසමින් සොයා ගියහ. තෙරණුවෝ මෙසේ ආ පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන කාලකගම වට්ටාටම විහාරයට පැමිණියහ. එකල කාලකගම පවුල් සත්සියයක් විසීය. දේවතාවෝ රාත්‍රීකාලයෙහි ගමේ ඇවිදිමින් “මහාසොණස්ථවිරතුමා 500 ක් භික්‍ෂූන් සමඟ මණ්ඩලාරාමයට පැමිණියේය; එක් එක් අය නවරියන් වස්ත්‍රයක් සමග කහවණුව බැගින් අගනා පිණ්ඩපාතය පිළියෙල කොට ගෙනා යුතු ය”යි කීහ. පසුදා ගමට ඇතුල්වූ භික්‍ෂූන් වැඩහිඳ වූ පසු එක් මහාඋපාසකයෙක් සංඝස්ථවිරවූ තිස්සභූත තෙරුන් වෙත ගොස් “මහාසොණතෙර කවරෙක්දැ”යි අසා දැනගෙන වස්ත්‍රයක් පිණ්ඩපාතයක් පිළිගැන්වීය. සෙසු 699 දෙනද එසේම කළහ. ඒ දානය භික්‍ෂූන්ට බෙදාදී වළඳා ක්‍රමයෙන් අනුරාධපුරයට ගිය එතුමාට ථූපාරාමයේ සිට දකුණු දොරටුවෙන් නුවරට ඇතුල් වූ කෙණෙහි කහවණු සැටක් අගනා පිණ්ඩපාතයක් ලැබුණේය. ඉන්පසු ලැබුණු සත්කාර අප්‍රමාණ විය. (මේ තෙරුන් තුන්නම පිළිබඳ පුවත එන්නේ ඤාණවිභඞ්ග අටුවාවෙහිය.)
(බු.ව. 440 - 467 පමණ)
මේ තෙරුන් සාමණේරකල චණ්ඩාලතිස්සභය උපන්නේය. එතුමාත් එතුමාගේ උපාධ්‍යායස්ථවිරතුමාත් මුහුදෙන් එතෙර නොගොස් කොළ කා ජීවත් වන මිනිසුන් වසන ගමක් සොයාගොස් එය ආශ්‍රයකොට වසන්නෙමුයි සිතා පිටිසර දෙසට යන්නාහු සත්දිනකින් ආහාරයක් නොලැබූහ. හැරදමා ගිය ගමක තල්ගසක ගෙඩි තිබෙණු දුටු සාමණේරනම මහතෙරුන් වළකද්දීම ගසට නැග කුඩා පිහියකින් තල්වල්ල කපන්ට පටන්ගති. ඒ අතර පිහියේ තලය ගැලවී බිම වැටුණි. එවිට සාමණේරනම තල්කොළ ඉරා එකට ගැටගසා වැලක් සාදා එය බිමට පාත්කොට “ස්වාමීනි, පිහියාතලය මෙහි බැන්දොත් යෙහෙකැ”යි කීය. තෙරනම සාමණෙරයන්ගේ උපාය ගැන සතුටුව පිහිය තලය බැන්දවිට එය උඩට ගෙන තල්වල්ල කපාහෙළීය. ගසෙන් බැස තල්ගෙඩි කපා තෙරුන්ට පිළිගන්වා තෙමේත් අනුභවකොට තල්ගෙඩි තිබෙන තුරු එහි නැවතී සිට කොළකන මිනිසුන් වසන ගමක් අසළට පැමිණ හැරදැමූ විහාරයක නවාතැන් ගත්හ. තෙරනම විහාරයට ඇතුල්ව උන්නේය සාමණේරනම නිරාහාරව සිටිනමුත් සෑමලුවේ වැටී හිඳගෙන තණකොළ ඉදුරුවේය. වනයට ගොස් මීපැණි සොයාගෙන පලාකොළත් කඩාගෙන එන මිනිස්සු මලුවේ තණ කොළ සෙලවෙනු දැක මුවෙක් දෝ හෝයි සිතා ළංව බලන්නාහු හෙරණුන් දැක පුවත් විචාරා මීපැණි ටිකක් දී තමන් වසන තැනට යන ලකුණුද කියා ගියහ. සාමණේරතැන මීපැණි ගෙන ගොස් පානයක් සාදා තෙරුන්ට දී තෙමේත් බී උදෑසන තෙරුන් සමග මිනිසුන් වසන තැනට ගියේය. මිනිස්සු තමන් අනුභව කරන අල කොළ ආදිය පිළිගැන්වූහ. ඒ මිනිසුන් ආශ්‍රය කොට ඒ විහාරයෙහි වසන තෙරණුවෝ මා මහලු බැවින් කුමක් සිදුවුවත් කම්නැත; තෝ ජීවිතය රැකගන්නට උත්සාහකරව”යි තෙරණුහට අවවාද කළහ. දුර්භික්‍ෂය නිසා මිනිසුන් මරා කන්නෝ පසුකලක ඒ තෙරුන් මරා කෑහ. නිග්‍රෝධ සාමණෙරතෙමේ ඔවුන්ට අසුනොවී සිට භය සංසිඳුණු පසු උපසම්පන්නව ධර්‍මය ඉගෙන ත්‍රිපිටකධාරීව වත්තබ්බකනිග්‍රෝධස්ථවිර නමින් ප්‍රකට විය. වළගම්බා රජු නැවත රාජ්‍යයට පැමිණි පසු පිටරට ගිය භික්‍ෂූහු නිග්‍රෝධතෙරුන් සොයාගොස් පිරිවරාගත්හ. ස්ථවිරතුමා ඒ භික්‍ෂූන් සමග අනුරාධපුරයට ගොස් මහබෝධියත් මහාසෑයත් ථූපාරාමයත් වැඳ නුවරදෙසට ගියේය. දකුණු දොරටුවට පැමිණෙන්ට මත්තෙන් නව තැනක දී තුන්සිවුරු ලැබුණාහ. නුවර තුළට පැමිණි තැන් පටන් ලැබුණු සත්කාරය අප්‍රමාණ විය. (මෙය ඤාණවිභඞ්ග අටුවාවෙනි)
(බු. ව. 440 - 467 පමණ)
ලක්දිව බටහිරදෙසැ පුප්ඵවාස (=මල්වැස්සා) නම් විහාරයක මහාභය නම් තෙරනමක් විසීය. බැමිණිතියාසාය ඇතිවූ කල්හි එගම්වැසි මිනිස්සු ගම හැර යන බව තෙරුන්ට දැන්නූහ. තෙරණුවෝ චෛත්‍යයක් බෝධියත් හැරදමා යානොහැකැයි කියා ඔවුන් හා යන්ට නොකැමැතිවූහ. මිනිස්සු ජීවිත රැකගැන්ම සඳහා නොයෙක් තැන විසිරගියහ. තෙරනම සෑමලු බෝමල් හැම ද පළමු දිනත් දෙවෙනි දිනත් නිරාහාරවම ගත කෙළේය. තෙවෙනිදා මලු හැමද සිටින විට කරඳගසක අධිගෘහිත දේවතාවෙක් මිනිස් වෙසින් අවුත් පාත්‍රය රැගෙන අහර පුරවාදී “මම ජීවිතාන්තය දක්වා ඔබට උපස්ථාන කරන්නෙමි. අප්‍රමාදීව මහණදම් කළ මැනවැ”යි කීය. මෙසේ වසන විට එක් දිනක් දුර්භික්‍ෂය නිසා මිනිසුන් මරා කන්නෝ වැඩුණු ශරීර ඇති මේ තෙරුන් දැක අල්වාගැනීමට වටකළහ. එකෙණෙහි තෙරුන්ගේ පින් බලයෙන් ආරාමය මැද පර්‍වතයක් මැවිණි. තෙරනම එහි ඇතුල්විය. සොරු ඔබිනොබ බලා තෙරුන් නොදැක රහත් නමක් විය හැකැයි සිතා ඉවත ගියහ. තෙරනම පසුකලක විදසුන් වඩා රහත්ව 12 අවුරුද්දකට පසු අපවත් විය. (මෙය රසවාහිනියේ අභයස්ථවිර වස්තුවෙහි එයි.) එහිම හරන්තික වස්තුවෙහිත් ආරණ්‍යකමහාභය නම් තෙරනමක් ගැන කියවේ.)
(බු. ව. 440 - 480 පමණේදී.)
ඤාණවිභඞ්ග අටුවාහි මේ ප්‍රවෘත්තිය පෙනේ:- කූටකණ්ණ රජ ගිරිගාමකණ්ණ නම් තැන වසන චුල්ලසුම්ම (= සුධම්ම) තෙරුන් කෙරෙහි භක්ති ඇත්තේ විය. වරක් රාජ “උපුල්වැව” නම් තැන වසන්නේ තෙරුන් එහි කැඳවීය. තෙරණුවෝ අවුත් එහි මාලාරාම විහාරයෙහි නැවතුණාහ. රජු තෙරුන්ගේ මෑණියන් කැඳවා “තෙරනම කුමක් වළඳන්ට කැමතිදැ”යි ඇසූවිට “අලවර්‍ග වළඳන්ට කැමතිය”යි කීය. රජතුමා අලවර්‍ග තම්බවා ගෙන මෙහෙසිය සමග විහාරයට ගොස් තෙරුන්ට අල පිළිගන්වන්නේ තෙරුන්ගේ මූණ බලන්ට අසමර්‍ථ විය. ලැගුම් ගෙයින් පිටතට පැමිණි රජ “තෙරනම කෙබඳුදැ”යි බිසවගෙන් ඇසීය. “ඔබ පුරුෂයෙක් වී එතුමාගේ මූණ බලන්ට අසමර්‍ථ වූවාහු නම් ස්ත්‍රියක් වු මම කෙසේ සමර්‍ථ වෙම්දැ”යි බිසව ඇසීය. රජ තෙමේ “මාගේ රටේ අය බදු ගෙවන ගෘහතියකුගේ පුත්‍රයකු දෙස බැලීමට අසමර්‍ථ වෙමි. අහෝ බුද්ධශාසනය ඉතා උස්සය”යි කීහ.
සිතුල්පව්වෙහි නිඞ්කපොණ්ණකපධානඝරයෙහි විසූ චුල්ලසුම්ම නම් තෙරනමක් අධිමාන ඇතිව (හෙවත් රහත් නොවීම රහත්වීමි යන අදහස ඇතිව) විසීය යි ඛුද්දකවත්‍ථුවිභඞ්ග අටුවාහි (346) පෙනේ. මැදුම්සඟි අටුවාහි සල්ලෙඛසූත්‍රවර්‍ණනාවෙහි සිතුල් පව්වෙහි විසූ අධිමාන ඇති තෙරනමක් ගැන මෙසේ කියවේ:-
සිතුල්පව්වෙහිත් එවැනිම තෙරනමක් වසයි. ධම්මදින්න ස්ථවිරතුමා ඒ තෙරුන් කරා එළඹ රහත්ඵලය ලබා කොපමණ කල්ගත වී දැයි විචාරා “සැටවසකට පමණ පෙරය”යි කී විට සෘද්ධිබල ඇද්දැයි විචාරා “එසේ ය”යි පිළිතුරු දුන්විට “ස්වාමීනි, පොකුණක් මැව්ව මැනවැ”යි කීය. එය මැවූ විට “මෙහි නෙලුම් පඳුරක් මවා එහි විශාල පියුමක් මවා ඒ පියුම මැද සිටගෙන මිහිරි හඬින් ගායනා කරමින් නෘත්‍ය දක්වන ස්ත්‍රීරූපයක් මැව්ව මැනවැ”යි කීය. ඒ තෙරුන් ඒ සියල්ල මැවූ විට “ස්වාමීනි, මේ රූපය දෙස නැවත නැවත බැලුව මැනවැ”යි කියා ධම්මදින්නතෙර ලැගුම් ගෙට ඇතුල්විය. ඒ රූපය නැවත නැවත බලන තෙරුන් තුළ හැට අවුරුද්දක් සැඟවී තිබුණු කෙලෙස් මතුවිය. එවිට ඒ තෙරණුවෝ තමන් නොරහත් බව දැන ධම්මදින්න තෙරුන්ගෙන් කමටහන් ගෙන රහත් විය. (මෙහි ඒ තෙරුන්ගේ නම දක්වා නැත. විශුද්ධිමාර්‍ගයෙහි මේ නම පෙනෙන්නේ නිකපෙන්නකපධානඝරවාසී චූල සුමන යනුවෙනි. එහි මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිනිද්දෙසය බැලිය යුතු. අංගුත්තර අටුවාහි මේ සිද්ධිය දක්වා තිබෙන්නේ මහාතිස්සනම් තෙරනමක් ගැනය. මේ පොතේ 8 වෙනි අංකය බැලිය යුතු.)
(සද්ධාතිස්ස රජු කල බු.ව. 407 - 425)
සැදැහැතිස් රජුට වටුමස් කෑමට ආශාවක් උපණි. එය අනුන්ට කීවහොත් දහස් ගණන් වටුවන් මරති යි සිතා අවුරුදු තුනක් ගතවනතුරු කිසිවකුට නොකියා ආශාව මැඩගෙන සිටියේය. මේ නිසා රජුගේ කන්වලින් සැරව වැගිරෙන්නට විය. මින්පසු රජ තමාගේ දිවි යතත් සතුන් නොමරන අයකු සොයවා තමාගේ ආශාව ඔහුට දන්වා “ත්‍රිකෝටිපරිශුද්ධ වටුමසක් සොයා ගෙනව”යි කීය. ඒ ඇමති පුත්‍රයා උදෑසනම නුවර දොර සමීපයට ගොස් විකිණීමට වටුවන් ගෙනෙන මිනිසකු දැක වටුවන් මිලදී ගෙන රජගෙට ගෙන ගොස් කුළු බඩු යොදා අඟුරුමත තබා පලහා වටුමස් රජුට පිළිගැන්වීය. රජු මස් ටිකක් කඩා මුවෙහි තැබූ කෙණෙහි රසය සියලු රසහරණින් පැතිර ගියේ ය. එවිට “මා වැනි රජෙක් වටුමස් කනුකැමතිව අවුරුදු තුනක් ගතවෙනතුරුත් නො ලැබී නම් සංඝයාට කොහෙන් ලැබේදැ”යි සලකා සංඝයා සිහිකොට කටට ගත් මස් ටිකත් අනුභව නොකොට ඉවත දැම්මේය. එවට ළඟසිටි අමාත්‍ය පුත්‍රයා දණින් වැටී ඒ ඉවත දැමූ මස්කෑල්ල තමාගේ කටට ගත්තේ ය. රජතෙම “තාගේ නිර්දෝෂත්‍වය දනිමි”යි කියා ඔහු සනසා ඒ මස් පසු දා වනතෙක් සුරැකිව තබන්ට නියම කෙළේය.
පසුදා කන්‍ථකසාල පිරිවෙණේ මහාස්ථවිර නම් පිඬු පිණිස රජගෙට ඇතුල්විය. මහලුවී පැවිදි වූ තවත් නමක් තෙරුන් සමග එහි ඇතුල් විය. ඒ ආගන්තුක නම රජු විසින් ගෙන්වන ලදැ යි තෙරනම සිතීය. හෙතෙම තෙරුන්ගේ අතවැසියෙකැ යි රජ සිතීය. දෙනම ම වඩාහිඳුවා කැඳ පිළිගැන්වූ පසු වටුමස් ගෙනාවේය. තෙරනම එක් වටුවකුත් අනික්නම තවත් එකකුත් පිළිගත්තේය. ඉතිරි වටුවා නොවිචාරා අනුභව කිරීම සුදුසු නැතැයි සිතූ රජු මහතෙරුන්ට දෙන්ට ගියවිට එතුමා අතින් පාත්‍රය වැසීය. අනික්නම ඌද පිළිගත්තේය. මේ නිසා තුන් අවුරුද්දකින් කන්ට සැරසුණු වටුමස රජුට එදා අනුභව නොකළහැකි විය. නො සතුටු සිතැති රජ වළඳා අවසන්හි තෙරුන්ගේ පාත්‍රය ගෙන පසු ගමන්කරන්නේ “ස්වාමීනි, කුලගෙයකට එන්නන් විසින් වත් උගත් භික්‍ෂුනමක් සමග ඒම වටී”යයි කීය. ආගන්තුක නම රජු විසින් ගෙන්වන ලද්දෙක් නොවේ යයි තෙරනම දැනගත්තේ එවිටය. පසුදා තෙරණුවෝ අතවැසි සාමණේර නමක් සමඟ රජ ගෙට පිවිසියහ. එදා කැඳ දී අවසන්හි වටුමස් ගෙනාවිට තෙරණුවෝ එකකු පිළිගත්හ. සාමණෙරනම ඇඟිල්ල සොලවා වටුවකුගෙන් භාගයක් පිළිගත්තේය. ඉතිරිභාගය නැවත බෙදන්ට ගිය විට දෙනම ම අත්වැසූහ. ඉක්බිති රජ නුදුරුතැන හිඳගෙන වටුමස් අනුභව කොට “වත් උගත් පැවිද්දන් නිසා වටුවන් එකහමාරකගේ මස් කන්ට ලදිමි”යි කීය. මස් අනුභවකළ කෙනෙහි රජුගේ රෝගය සංසිඳුණි.
ඉක්බිති රජ සාමණේරනම වෙත ගොස් “ස්වාමීනි, දිනපතා බත් අටක් බැගින් ඔබට දෙන්නෙමි”යි කීය. “ඒවා මාගේ උපාධ්‍යායයන් වහන්සේට දුනමැනවැ”යි කීවිට “තවත් අටක් දෙමි”යි රජ කීය. ඒවා ස්වකීයාචාර්‍ය්‍ය තෙරුන්ට දෙවීමට සාමණෙර තැන කැමති විය. “තවත් අටක් දෙමි”යි කීවිට ඒවා උපාධ්‍යායයන් හා සමාන තෙරවරුන්ට දෙවීය. ඉන් පසු දුන් අට තෙමේ පිළිගත්තේය. මේ කථාව සළායතන සංයුත්තට්ඨකථාවේ එයි. අංගුත්තරඑකනිපාත අටුවාහි (262) සංක්‍ෂිප්තව පෙනේ.
මින්පසු වසභරජුගේ කාලයේ දී (බු. ව. 608 - 652) මේ පිරිවෙණේ අධිපති වූ සැටවස් පිරි මහතෙරනමක් විය. අවසන් කාලයේදී ඇතිවූ බලවත් ව්‍යාධියකින් හටගත් වේදනාව නිසා ඒ තෙරුන් කෙඳිරිගාමින් මරණමඤ්චකයෙහි හොවිනවිට වසභරජ තෙරුන් බලන්ට ආයේ කෙඳිරිගෑම ඇසී එය කුමක් දැ යි විචාරා තෙරුන්ගේ කෙඳිරිගෑමය යි දැනගත් විට “පැවිද්දෙන් සැට වසක් ගතවීත් වේදනාපරිග්‍රහය පුරුදු නොකරනලදැ”යි කලකිරී තෙරුන් නො වැඳම මහබෝ වැඳීමට ගියේ ය. ඉක්බිති උපස්ථායක භික්‍ෂුනම “ස්වාමීනි, කුමක් හෙයින් අපට ලැජ්ජා උපදවනසේක් ද? ඔබගේ කෙඳිරිගෑම අසා ශ්‍රද්ධාවත් රජ නො වැඳම හැරී ගියේ ය”යි කීය. “එසේ නම් මට අවකාශ දුනමැනයැ”යි කියා තෙරණුවෝ වේදනා යටපත් කොට රහත්බවට පැමිණ අතැවැසි භික්‍ෂුව අමතා “දැන් රජු ලවා වැන්දවුව මැනවැ”යි කීහ. භික්‍ෂුනම ගොස් රජුට එකරුණ දැන්නූවිට රජ එහි අවුත් සම්පූර්‍ණයෙන් බිම දිග ඇදී තෙරුන් වඳිමින් “මම ඔබගේ රහත් බවට නොවඳිමි; පෘථග්ජන භූමියෙහි සිට රැකි ශීලයට වඳිමි”යි කීය.
කන්‍ථකසාල පිරිවෙණ අනුරාධපුරයේ මහාබෝධියට නුදුරු තැනක පිහිටි බව මේ කථාවලින් ඔප්පු වේ.
(වලගම්බාරජු කල.)
කල්ලගම - මණ්ඩලාරාමයෙහි[24] විනය ඉගෙන ගන්නා තිස්සභූති නම් තෙරනමක් විය. එක් දිනක් පිඬු පිණිස හැසිරෙන එතුමාට ස්ත්‍රියක් දැකීමෙන් ඇල්මක් ඇති විය. එකෙණෙහි තමාගේ පාත්‍රයෙහි තිබුණු කැඳ උපස්ථායක නමගේ පාත්‍රයට වත්කොට මේ විතර්‍කය වැඩෙන්නේ මට අනර්‍ථ පිණිස පවත්නේය”යි සිතා ආචාර්‍ය්‍යයන් සමීපයට ගොස් වැඳ “ස්වාමීනි, මට රෝගයක් උපන්නේය, ඉදින් එය දුරුකරගත හැකි වුවොත් හැරී එන්නෙමි. නොහැකිවූවොත් නො එන්නෙමි. ඔබ වහන්සේ අද දාවල් ඉගැන්වීමත් හවස ඉගැන්වීමත් මා සලකා නැවැත්තුව මැනව; හෙට උදෑසන ඉගැන්වීම නො නැවැත්තුව මැනවැ”යි කියා මලයවාසී මහාසංඝරක්ඛිත තෙරුන් වෙත ගියෙය්. ඒ අවස්ථාවෙහි තමාගේ පන්සලේ ගොම පිරිබඩකරමින් සිටි තෙරණුවෝ තිස්සභූති තෙරුන් දෙස නො බලාම “පාසිවුරු තැන්පත්කරව”යි කීහ. “ස්වාමීනි, මට රෝගයක් ඇත. එයට පිළියම් කළ හැකි නම් පාසිවුරු තැන්පත් කරන්නෙමි”යි කීවිට “පිළියමට සමර්‍ථයකු වෙත ආවෙහි, තැන්පත් කරව”යි තෙරණුවෝ කීහ. තිස්සභූති තෙර පාසිවුරු තැන්පත් කොට තෙරුන් වැඳ හුන්විට මහතෙරනම මේ තෙම රාගචරිත ඇත්තෙකැයි දැන අශුභකමටහනක් දුන්හ.
ඉක්බිති හෙතෙමේ එහි එද්දී සලකා ගෙන තිබුණු ඇද්දෙමට ගසක්මුලට ගොස් හිඳගෙන අශුභකමටහන පාදකකොට විදසුන් වඩා රහත්ව පසුදා අලුයම ඉගෙනීමට මණ්ඩලාරාමයට ගියේය. (මේ කථාව අංගුත්තර එකනිපාත අටුවාහි (22) එයි.)
මැඳුම්සඟි අටුවාහි සබ්බාසවසූත්‍රවර්‍ණනාවෙහි මීට මදක් වෙනස් ලෙස මෙය දැක්වේ. විසභාග අරමුණ දැක ලෝභය උපන් විට එතැනදීම විදර්‍ශනාවෙන් එය යටපත්කළ නමුත් රාත්‍රී සිහිනයෙන් ඒ අරමුණ පෙනුණුවිට “මෙය වැඩෙන්නේ මා අපායට හෙළන්නේය”යි සිතා ගුරුවරයාගේ අවසරගෙන මහාසංඝරක්ඛිත තෙරුන්වෙත ගොස් කමටහන් ගෙන පඳුරු අතරට පිවිස පාංශුකූල සිවුර අතුරා හිඳගෙන අනාගාමි මාර්‍ගයෙන් කාමරාගය සිඳ එයින් නැගිට පසුදා උගන්වන තැනට ආයේ යයි එහි පෙනේ.
මේ තිස්සභූති තෙරුන් පසුකලක මණ්ඩලාරාමයෙහි සංඝස්ථවිරව විසූ බව යට දැක් වූ මහාසෝණතෙරුන්ගේ කථාපුවතින් පෙනේ. බැමිණිතියාසාය ඉක්මෙන විට එතුමා වයොවෘද්ධ මහ තෙරනමක්ව සිටියේය යි එයින් පිළිගත යුතුය.
අට්ඨසාලින අටුවාහි නිදාන කථාවෙහි අභිධර්‍මයේ නිදානය ගැන කරුණු (කියමින් මණ්ඩලාරාමවාසී තිස්සභූති ස්ථවිරතුමන් වනාහි පදෙසවිහාර සූත්‍රය ගෙනහැර දක්වා අභිධර්‍මය මහාබෝධිය නිදානකොට ඇත්තේය යි ප්‍රකාශකළ බව දැක්වේ. මෙයින් පෙනෙන්නේ මෙතුමා අතිප්‍රකටවූ ද පූජ්‍යවූ ද ආචාර්‍ය්‍යවරයකුව සිටි බවයි.
(දුටුගැමුණු රජ කල)
අංගුත්තර තිකනිපාතඅටුවාහ (365) මේ කථාව පෙනේ. චුල්ලංගණිය යුද්ධයෙන් පැරදුණු දුටුගැමුණු රජ වෙළඹක් පිට නැග තිස්ස නම් ඇමතියකු සමග පලා ගියේය. වනයක සැඟවුණු ඔහුට බඩගින්න බලවත් වූ බැවින් ආහාරයක් ඇද්දැයි ඇමතියා ගෙන් ඇසූ විට රන්බඳුනක දමා තබා සඟවාගෙන ආ බතක් ඇතැයි කී ඇමතියා එය රජු ඉදිරියෙහි තැබීය. රජ එය කොටස් සතරක් කරවා “මා විසින් සංඝයාට නොදී කිසිවිටකත් අනුභව නොකරන ලදි. අදත් එසේ නො කරමි. කාලඝෝෂණය කරව”යි කීය. ඇමතියා එසේ කළ විට බෝධිමාතුමහාතිස්ස තෙරනම ඒ ශබ්දය දිවකනින් අසා මනොගමනින් අවුත් රජු ඉදිරියෙහි පෙනී සිටියේය. රජ තමාගේ කොටසත් සංඝයාට වෙන්කළ කොටසත් පාත්‍රයෙහි දමා “ආහාර නො ලැබීමක් කිසිකලෙකත් නොවේවා”යි ප්‍රාර්ථනා කෙළේය. තිස්ස ඇමතියා ද “රජු බලා සිටියදී මම කෙසේ අනුභව කරම්දැ”යි සිතා තමාගේ කොටසත් පාත්‍රයෙහි දැමීය. වෙළඹ ද තමාගේ කොටස දෙනුකැමති බව ඇඟෙව් බැවින් ඒ කොටසත් පාත්‍රයෙහි දැමූහ. තෙරනම එය ගෙනගොස් පිඬ පිඬ බැගින් භික්‍ෂූන්ට බෙදා ඉතිරි කොටස ඒ තිදෙනට ප්‍රමාණවන සේ අධිෂ්ඨාන කොට පාත්‍රය අහසට දැමීය. එය අවුත් රජු ඉදිරියෙහි සිටිවිට රජ පාත්‍රය ගෙන එයින් අහර අනුභව කෙළේය. ඉතිරි දෙදෙන ද අනුභව කළ පසු රජතෙම පාත්‍රය සෝදා තමාගේ උතුරුසළුවෙන් පිසදමා ඒ සළුව පාත්‍රය තුළ දමා “මෙය ගොස් තෙරුන්ගේ අතෙහි පිහිටාවා”යි අධිෂ්ඨාන කොට එය අහසට දැමීය. පාත්‍රය තෙරුන් වෙත පැමිණියේ ය.
මේ ප්‍රවෘත්තිය සද්ධර්‍මාලංකාරයෙහි එන්නේ මෙසේ යි:- එකල දුටුගැමුණු රජ්ජුරුවෝ තිස්ස නම් අමාත්‍යයා හා දීඝහූණි නම් වෙළඹ පමණක් ඇරගෙන බිඳී පලා ගියහ. මෙසේ දුටුගැමුණු රජ්ජුරුවෝ පලායන්නාහු සප්පඳුරුහොය දියවැල්ලා නම් තොටට ගොස් සන්නාහය ගලවා තබා ඇමැත්තහු බණවා................... “ඉතාම සයින් පීඩිතයෙමි, බතෙක් ඇද්දැ”යි විචාළහ. එබස් ඇසූ තිස්ස නම් අමාත්‍යයා “ස්වාමීනි, රන්තැටියෙන් ගෙනා බතෙක් ඇත; මෙහෙ නිමවුව මැනවැ”යි කියා රන්තැටියෙන් ගෙනා බත් මෑත්කොට රජ්ජුරුවන්ට දින. එවේලෙහි රජ්ජුරුවෝ පියවර බලා වේලා ඇතිබව දැන සඟුරුවන්ට දන්දීමුත් නොකමී යි සිතා ඒ රන්තැටියෙන් ගෙනා බතෙක් ඇත: මෙහෙ නිමවුව මැනවැ”යි කියා රන්තැටියෙන් ගෙනා බත සංඝයා වහන්සේට දන්දෙන්ට ද තමන්ට ද අමාත්‍යයාට ද වෙළඹට ද මෙසේ සතර කොට්ඨාසයක් කොට බෙදා තමා “බෑණෙනි, සංඝයා වහන්සේට සිඟා වඩනට අඬගාව”යි කීහ. එකල්හි අමාත්‍යයා “ස්වාමීනි, දැන් මේ සංඝයාවහන්සේ සිඟා වඩනාකලැ”යි කාලඝෝෂා කෙළේය. එකල්හි පළමු මෙම දුටුගැමුණු රජ්ජුරුවන්ට ශික්‍ෂාපද දුන් ගෝතම නම් තෙරුන්වහන්සේ පුවඟුදිවයින වැඩ සිටිසේක් ඒ ශබ්දය දිවකණින් අසා තමන් වහන්සේගේ අතවැසි වූ කුටුම්බියතිස්ස නම් මහතෙරුන්වහන්සේ කැඳවා ඒපවත් කියා නික්ම වූ සේක. උන්වහන්සේ ද යහපතැයි ගිවිස ආකාශයෙන් අවුත් රජ්ජුරුවන් ඉදිරියෙහි වැඩසිටිසේක. එකල්හි රජ්ජුරුවෝ උන්වහන්සේ දැක වැඳ පාත්‍රය අතින්ගෙන දන් දෙන්ට තිබූ කොට්ඨාසය හා තමන්ට තිබූ භාගය පාත්‍රයේ බහාපීහ. ඒ දැක අමාත්‍යයා ද තමාට තිබූ භාගය පාත්‍රයේ දමාපීය. වෙළඹ ද තමා ගේ කොට්ඨාසය ද දෙනුකැමති රජ්ජුරුවන් මුහුණ බලා කුරයෙන් සංඥාකළාය. .................. කුටුම්බිය තෙරුන්වහන්සේ ඒ බත් පාත්‍රය ගෙන ගොස් ගෝතම තෙරුන්වහන්සේට දුන් සේක. උන්වහන්සේ ඒ බත් පන්සියයක් දෙනා වහන්සේ හා සමග බෙදා වළඳා එකි එකීනමගෙන් බත් ආලෝපයක් බැගින් (ගෙන) පාත්‍රය පුරවා “මේ බත්පාත්‍රය ආකාශයෙන් ගොස් රජ්ජුරුවන් ඉදිරියෙහි අතපොවා ගත හැකි සැටිසේ සිටීව”යි අධිෂ්ඨාන කොට අහසට හළසේක. එවේලෙහි පාත්‍රය එපරිද්දෙන්ම අවුත් ඉදිරියෙහි සිටියා දැක තිස්ස නම් අමාත්‍යයා පාත්‍රය අතින් ගෙන තබා රජ්ජුරුවන් බත් අනුභව කරවා තෙමේත් බත් කා වෙළඹත් බත් කැවීය. ඉක්බිති රජ්ජුරුවෝ පාත්‍රය සෝදා දියසිඳ තමන් පෙරවි සන්නාහය සුඹුළුවක් කොට පාත්‍රය ඒ පිට තබා “මේ පාත්‍රය තෙරුන් වහන්සේ ගේ අත්ලෙහි පිහිටාවා”යි සිතූහ. ඒ සිත හා සමඟ පාත්‍රය අහසින් ගොස් තෙරුන් වහන්සේ ගේ අත්ලෙහිම පිහිටියේය”
රසවාහිනියෙහි පලායන කල්පකන්දර (කප්කඳුරු) ගඟේ ජලමාලි නම් තොටට පැමිණ සන්නාහය මිදුවේයයි කියවේ. සෙස්ස සද්ධර්‍මරත්නාවලිය හා ගැළපේ. මහාවංශයෙහි වෙළඹගේ නම “දීඝථූනිකා” යයි ද ගඟේ නම කප්පකන්දරයයි ද තොටේ නම් ජීවමාලි හෝ ජවමාල යයි ද පෙනේ. ඉතිරි කොටස සද්ධර්‍මාලංකාරය හා ගැළපේ.
වැලිපිටි විහාරයෙහි විසූ ආභිධම්මික අභයස්ථවිරතුමා වස් එළඹෙන දිනක වෙන්ව විසීමේ අනුසස් දක්වන මහාසුඤ්ඤතා සූත්‍රය භික්‍ෂූන් ඉදිරියෙහි හදාරා ඒ වස්කාලය තුළ වෙන්ව විසීමට කතිකා කෙළේය. සියලු දෙන වෙන්ව විවේකීව භාවනාකොට වස්කාලය තුළ රහත් බවට පැමිණියාහයි මැඳුම්සඟි අටුවාවේ මහාසුඤ්ඤතාසුත්තවණ්ණනා (907) වෙහි එයි.
කැළණිගංමෝය අසළ විසූ මස්මරන්නෙක් දීඝසුම්ම නම් තෙරුන්ට තෙවරක් දන් දුන්නේ ය. මරණාසන්න කාලයේ දී ඒ දානය ඔහුට කර්‍මනිමිත්ත වශයෙන් පෙනී ගිය බැවින් හෙතෙම “දීඝසුම්ම තෙරුන්වහන්සේට මා දුන් දානය මා දුගතියෙන් මුදවන්නේය”යි කීය. මේ ප්‍රවෘත්තිය මැඳුම්සඟි අටුවාවේ දක්ඛිණා විභංගසුත්ත වණ්ණනාවෙහි (1009) එයි.
මීදෙණිය (=මධු අංගණ) නම් ගමේ විසූ දෙමළ දොරටුපාලයෙක් පණස් හවුරුද්දක් මුළුල්ලේ මසුන් මැරීමෙන් ජීවිකාව කෙළේය. ඔහු මහලුවී මරණාසන්නව සිටින අවස්ථාවෙහි ගිරි විහාරවාසී චුල්ලපිණ්ඩපාතිකතිස්ස නම් ස්ථවිරතුමා “මේ පුද්ගලයා මා බලාසිටියදී විපතට නොවැටේවා” යි සිතා ඔහුගේ ගෙදොරට වැඩියේය. ඔහුගේ භාර්‍ය්‍යාව තෙරුන් වැඩිබව ඔහුට දැන්නූවිට “මම කිසිවිටකත් තෙරුන් සමීපයට නොගියෙමි. එබැවින් තෙරුන්ට මෙහි ඒමට හේතුවක් නැත; ආපසු වඩින්ට කියව”යි හෙතෙම කීය. භාර්‍ය්‍යාව තෙරුන්ට එසේ කීවිට “උපාසක තැනගේ තොරතුරු කෙසේදැ”යි තෙරනම ඇසීය. “ස්වාමීනි, ඉතා දුර්‍වලය”යි කීවිට තෙරනම ගෙයතුලට ගොස් ඔහුට සහි උපදවා “පන්සිල් ගන්නෙහිදැ”යි විචාළේය. “එසේය, ගන්නෙමි”යි කීවිට තෙරනම තුන්සරණය දුණි. සිල්පද කියන්ට සැරසෙන විට දිව පහත්ව වැටුණි. තෙරනම මෙපමණක් ඔහුට ප්‍රමාණයයි සිතා නැගිට ගියේය. හෙතෙම කලුරියකොට චාතුර්මහාරාජිකයෙහි ඉපද “කුමක්කොට මෙහි උපන්නෙමිදැ”යි බලන්නේ තෙරුන් නිසා ලැ බූ බව දැක දෙව්ලොවින් අවුත් තෙරුන් වැඳ සක්මන අසළ සිටියේය. “මේ කවරෙක්දැ”යි ඇසූවිට “මම දෙමළ දොරටු පාලයා වෙමි”යි කීය. “කොහි උපන්නෙහිදැ”යි ඇසූවිට “සිවුමහරජයෙහි උපන්නෙමි. ඉදින් මට පන්සිල් ගත හැකිවී නම් ඉන් ඉහළ දෙව්ලොවක උපදින්ට තිබුණේය”යි කීය. (මේ කථාව අංගුත්තරතිකනිපාතවණ්ණනා (367) වෙහි එයි.)
මේ ස්ථවිරතුමා සිංහලද්වීපයෙහි බුද්ධවචනය ඉගෙන පරතෙර ගොස් යෝනක ධම්මරක්ඛිත මහතෙරුන්ගෙන් ද ඉගෙන හැරී එන්නේ නැව් නගින පෙදෙසේ දී උපන් සැකයක් ඇත්තේ නැවත හැරී සියක් යොදුන් මගගෙවා ආචාර්‍ය්‍යතෙරුන් වෙත පැමිණියේය. ඒ හැරීයන ගමනේදී අතරමග එක් කෙළෙඹියකු විචාළ ප්‍රශ්නයක් විසඳුවේය. හෙතෙම පැහැද ලක්‍ෂයක් වටිනා කම්බිලියක් තෙරුන්ට පිදීය. තෙරනම එය ගෙන ගොස් ආචාර්‍ය්‍යතෙරුන්ට දුණි. ආචාර්‍ය්‍යතෙරනම ඒ කම්බිලිය කුඩා කැබලිවලට කප්පවා තමන් හිඳිනා තැන පිසදැම්මෙව්වේය. කුමක් පිණිස ද යත්? සබ්‍රහ්මචාරීන් විසින් ලාභාපේක්‍ෂාවක් නැතිව ධර්‍මය ඉගැන්විය යුතුයයි පශ්චිමජනතාවට ආදර්‍ශයක් පෙන්වීම සඳහාය. තිස්ස ස්ථවිරතුමා තමාගේ සැකය දුරු කොට ගෙන හැරී අවුත් නැව් නැගී ලක්දිව දඹකොළ පටුනෙන් ගොඩබැස වාලිකවිහාර නම් තැනට පැමිණ සෑමලු අමදින වෙලාවෙහි මලුවක් හැමන්දේය. විහාරවැසි භික්‍ෂූහු එතුමන් හැමදිගැන “මේ වීතරාගී භික්‍ෂුවකගේ හැමදීමකැ”යි දැනගෙන තෙරුන් විමසීම පිණිස ප්‍රශ්න විචාළහ. තෙරනම ඔවුන් ඇසු ඇසූ ප්‍රශ්නයන් විසඳුවේය. (මේ කථාව විභංගඅටුවාහි පටිසම්භිදාවිභංගනිද්දෙසයෙහි (273) එයි.
පාචීනඛණ්ඩරාජියෙහි (=පැදුම්කඩරොද) වැසි පංසුකූලික තෙරනමක් එක්දිනක් සෑගිරියේ චෛත්‍යය වැඳීමට අවුත් එය වැඳ තමාගේ සිවුර පරණ වී තිබුණ බැවින් බොහෝ දෙනා වසන තැනින් සිවුරක් ලැබීම පහසුයයි සිතා අනුරාධපුර මහාවිහාරයට ගොස් එහි සංඝ ස්ථවිරයන්ට වැඳ වාසස්ථානයක් ලබාගෙන රාත්‍රියේ එහි නැවතී සිට පසුදා ඒ මහතෙරුන් සමග නුවරට යන්ට පිටත් විය. හෙතෙම මහබෝ දොරටුව දක්වා ගොස් “පින්වතුන් වසන තැන මනවඩන දෙයක් ලැබිය හැක” යන මාගේ සිතිවිල්ල අපිරිසිදුයයි සිතා ඉන් එහාට නො ගොස් නැවතුණි. පසු දා පැනඹමලුව දක්වා ගොස් එසේම නැවතුණි. තෙවෙනිදා මහසෑයේ උතුරු දොරටුව දක්වා ගොස් නැවතුණි. සිවු වෙනිදා මහතෙරුන් වෙතට ගියවිට මහතෙරනම ඒ තෙරුන් සමග නුවර දෙසට යන්නේ “මොහුගේ විතර්‍කයෙහි අපිරිසිදුකමක් ඇතැ”යි සිතා ඔහුගෙන් ප්‍රශ්න අසමින් ගියේ ය. එදා රෑ එක් මිනිසකුගේ මලපහ වී ඇඳ තිබුණු වස්ත්‍රය අපිරිසිදු වූ බැවින් හෙතෙම අශුචි තැවැරුණු ඒ වස්ත්‍රය කසළ ගොඩට දැම්මේ ය. පංසුකූලිකතෙර නම අතර මගදී නිලමැස්සන්ගෙන් පිරුණු ඒ වස්ත්‍රය දැක එයට වැඳගත්තේ ය. මහතෙර “ඇවැත, කසල ගොඩට වඳින්නේ කුමක් නිසාදැ”යි ඇසූවිට “ස්වාමීනි, මම කසලගොඩට නො වඳිමි. පුණ්ණදාසියගේ මළ සිරුර ඔතා දැමූ වස්ත්‍රය දැක නැළි 4 ක් පමණ පණුවන් ගසා දමා හැරගත් බුදුරදුන්ට වඳිමි”යි කීය. ඒ තෙරනම එතැනම සිට විදසුන් වඩා අනාගාමිඵලයට පැමිණ ඒ වස්ත්‍රය සෝදා සිවුරක් කොට හැඳගෙන නැවත පැඳුම්කඩදොරට ගොස් එහිදී රහත් විය. මෙය අංගුත්තර අටුවාහි චතුක්කනිපාතවණ්ණනාවෙහි (489) එයි. මෙහි කියැවෙන “පැනඹමලුව” පාළිපොතේ (හේවාවිතාරණ මුද්‍රණයෙහි) පෙන්තම්බන යයි පෙනේ. පනඅම්බංගණ යයි පාඨභේදයක් ද එහි දක්වා තිබේ. අට්ඨසාලිනී අටුවාහි ලක්දිවින් පලාගොස් පරතෙරගිය මහානාග රජු විසින් එහි දී එක් තෙරනමක්ගෙන් ලැබුණු සංග්‍රහය සලකා මෙරටට හැරී අවුත් රාජ්‍යය ලැබූ පසු ජීවිතාන්තය දක්වා සෙතම්බංගණ නම් තැන සංඝයාට බෙහෙත් දානයක් පැවැත්වී යයි කියවේ. සංඝයාට ලැබුණු ලාභ බෙදන තැන පඤ්හම්බමාලක නම් වී යයි මහාවංශයේ 15 වෙනි පරිච්ඡේදයෙන් පෙනේ. මුද්‍රිත අටුවාවේ “පෙන්නම්බන” යයි පෙනෙන්නේ “පඤ්හම්බංගණ” යන්න විය යුතුයි.
අම්බලට්ඨිකා නම් තැනක් ද අනුරාධපුරයෙහි තිබුණු බව දික්සඟි අටුවාවේ මහාසුදස්සන සූත්‍රවර්‍ණනාවෙන් (449) පෙනේ. එය ලෝහප්‍රසාදයට නැගෙනහිරින් පිහිටි බව “පුබ්බෙ වසභරාජා දීඝභාණකත්‍ථෙරානං ලොහප්පසාදස්ස පාචීනපස්සෙ අම්බලට්ඨිකායං ඉමං සුත්තං සජ්ඣායන්තානං සුත්‍වා” යන වාක්‍යයෙන් ඔප්පුවේ. දැන් තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබෙන ගල්ඔරුවලින් යුත් ස්ථානය මෙය විය හැක.
දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහ (369) මේ කථාව පෙනේ:- බ්‍රාහ්මණතිස්සභය (=බැමිණිතියාසාය) පැමිණි කල්හි බැරගම (=භාතරගාම) විසූ මිනිස්සු එගම විහාරයෙහි විසූ නාගස්ථවිරියට නොකියාම ගම හැර ගියහ. උදෑසන නැගිට ගම ඉතා නිශ්ශබ්ද බව දැන ඒ ගැන සොයා බලන සේ තරුණ භික්‍ෂුණියන්ට කීය. ඒ භික්‍ෂුණීහු ගමට ගොස් සියලු දෙන ගම හැර ගොස් තිබෙන බව මහතෙරණියට දැනුම් දුන්හ. තෙරණියෝ “තෙපි ඒ ගැන නොසිතා තමන්ගේ ඉගනීම් ආදියෙහි යෙදෙව්”යයි කීහ. දාවල් පිඬු පිණිස හැසිරිය යුතු අවස්ථාවෙහි එකොළොස් දෙනෙකු වූ තමාගේ පිරිස සමග සිවුරු පොරවා පාත්‍ර රැගෙන ගම්දොර අසළ නුගරුකමුලට පැමිණ සිටියාය. එවිට එහි අධිගෘහිත දෙවියා ඒ හැමදෙනට පිණ්ඩපාතය දී “අන්තැනක නො ගොස් හැමදා මෙහි වැඩිය මැනවැ”යි කීය.
තෙරණියගේ බාලසොහොයුරු නාග නම් තෙරනමක් ද විය. එතුමා දුර්භික්‍ෂය නිසා රට හැර යනු කැමතිව තමාගේ 11 දෙනෙක් වූ පිරිසක් සමග වාසස්ථානයෙන් නික්මී තෙරණියට දැනුම් දීම සඳහා බැරගමට ආයේය. එවිට තෙරණිය “අද නැවතීසෙට වැඩිය මැනවැ”යි තෙරුන්ට කීය. පසුදා තෙරණිය ගස මුලට පිඬුපිණිස ගොස් පාත්‍රය පුරවාගෙන තෙරුන් වෙත ගොස් “ස්වාමීනි මේ අහර වැළඳුව මැනව”යි කීය. තෙරනම එය පිළිගන්නට නො කැමති විය. “ස්වාමීනි, පිණ්ඩපාතය ධාර්මිකය; සැක නො උපදවා අනුභව කළ මැනවැ”යි ඈ කීවිටත් තෙරනම එය පිළිනොගත්තේ ය. එවිට තෙරණිය පාත්‍රය අහසට දැමීය. එය අහසෙහි සිටියේ ය. තෙරනම “සත්තලක් පමණ අහසේ සිටියත් මේ ආහාරය භික්‍ෂුණියකගේ උත්සාහයෙන් ලැබුණ බැවින් නොවළඳමි. භය නම් හැමකල්හි නොපවත්නේ ය. භය සංසිඳුණු කල්හි මහා ආර්‍ය්‍යවංශය කියන මා විසින් “එම්බා පිණ්ඩපාතිකය, ඔබ භික්‍ෂුණීපරිපාචිත පිණ්ඩපාතය අනුභව නො කළා හුදැ”යි සිතන මට මාගේ සිත ම චෝදනා කරන්නේ ය”යි කියා එය පිළිනොගෙන යන්ට පිටත් විය. දේවතාවා ද “ඉදින් තෙරනම භික්‍ෂුණිය දුන් ආහාරය වළඳන්නේ නම් මම උන්වහන්සේ නො නවත්වමි; එය නො වළඳන්නේ නම් නවත්වන්නෙමි”යි සිතමින් බලා උන්නේ තෙරුන් එය පිළිනොගත් බව දැක ඉදිරියට අවුත් පාත්‍රය ඉල්වාගෙන ගසමුලට කැඳවාගෙන ගොස් එහි වැඩහිඳුවා තෙරුන් සහිත පිරිසට වැළඳවිය. සත් අවුරුද්දක් මුළුල්ලේ ඒ දේවතාවා එසේ දන් දුණි.
අංගුත්තරඡක්කනිපාත අටුවාහි (655) ද මේ කථාව කිසිවෙනසක් නැතුව පෙනේ. මෙය වනාහි සාරාණීයධර්‍මය පිරීම සම්බන්ධයෙන් දක්වන ලදී. ඒ ධර්‍මය පිරීම ගැන ලෙණගිරිවැසිතිස්ස තෙරුන්ගේ කථාවෙහි විස්තර කරන ලදි. මේ නාගස්ථවිරිය ද එය පිරූ තැනැත්තියකි.
මේ භික්‍ෂුනම සමාපත්තිලාභියකු වූ බැවින් එක් දිනක් අහසින් යන්නේ ගිරිගමවැසි කඹුරු තරුණියක් තවත් තරුණියන් පස් දෙනෙකුන් සමග විලකට බැස නාමල් පැලඳගෙන ගී කියන විට ඒ ගී හඬ අසා කාමරාගයෙන් මැඩුනේ සමවතින් පිරිහී විපතට වැටුණේයයි මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනාවෙහි (353) එයි.
මීට සමාන වූ සාමණේරනමක් පිළිබඳ කථාවක් විභංග අටුවාහි සම්මප්පධානවිභංගනිද්දෙසයෙහි (204) විස්තර ලෙස පෙනේ. හේ මෙසේ යි:- පිටිසරවැසි එක් රහත්තෙරනමක් මහසෑයත් මහබෝධියත් වැඳීම සඳහා අතවැසි සාමණේරනමක් සමඟ අනුරාධපුරයට ආයේය. හවස මහාසංඝයාත් මහජනයාත් චෛත්‍යය වඳින කල්හි නොගොස් නැවතී සිට තෙරනම රෑ බෝ වූ පසු සාමණේරනමටත් නොදන්වා මහසෑය වැඳීමට ගියේය. සාමණේරනම එය දැක තෙරනම අවේලාවෙහි කොහි යන්නේදැයි දැනගැන්ම පිණිස එතුමන් පසුපස්සේ නොදැනෙනසේ ගියේය. තෙරනම දකුණු දොරටුවෙන් සෑමලුවට ඇතුල්ව බුද්ධාලම්භණ ප්‍රීතියෙන් යුක්තව සෑය වඳින්ට පටන්ගති. සාමණේරනම තෙරුන් අතිශය භක්තියෙන් වඳින බව දැක මල් ලැබුණොත් පුදන්ට කැමති වෙනවා ඇතැයි සිතීය. තෙරුන් සෑය වැඳ නැගිට දොහොත් මුදුන් තබාගෙන සිටින විට හෙරණතැන කාරා තමා සිටින බව ඇඟවීය. තෙරුන් ඔහු දැක “කොයිවේලේ පැමිණියෙහි දැ”යි ඇසූවිට “ඔබ සෑය වඳිද්දී ආවෙමි”යි කියා “ස්වාමීනි, මල් ලැබුණොත් පුදනසේක්දැ”යි ඇසීය. “මෙවැනි අසදෘශ මහාචෛත්‍යයකට ලැබුණොත් මල්නොපදුන්නේ කවරෙක්දැ”යි කීවිට හෙරණ තැන සෘද්ධියන් හිමවතට ගොස් සුවඳින් හා පැහැයෙන් යුත් මල්කඩා පෙරහන්කඩෙහි දමා ගෙනවුත් තෙරුන්ට දුණි. තෙරනම “මල් ඉතාටික නොවේදැ”යි කියා බටහිර පැත්තේ පඩිපෙළින් උඩට නැග සෑයේ තුන්මල් පේසාවෙහි මල්පුදන්ට පටන්ගති. පළමු පේසාව පිරී දෙවෙනි තට්ටුවට මල් වැටුණාහ. එයත් පිරී පහතට වැටුණාහ. ඉක්බිති සෑමලුව සැමතැනම මල් විසුරුවමින් හැසුරුණි. එතරම් විශාල මලුව සැමතැන පිරුණු පසුත් පෙරහනේ මල් අවසන් නොවූ බැවින් “සාමණේරය, මල් අවසන් නොවෙති”යි කීවිට “ස්වාමීනි, පෙරහන යටිකුරු කොට හැලුවමැනවැ”යි හෙරණ කීය. එසේ කළ විට මල් අවසන් වූහ. තෙරනම පෙරහන හෙරණට දී ඇත්ප්‍රාකාරය සමග චෛත්‍යය තෙවරක් පැදකුණු කොට හැරීයන්නේ “මේ සාමණේරනම මහත් සෘද්ධි ඇත්තේය; මෙය රැකගන්ට හැකිවන්නේ දැ”යි දිවසින් බලන්නේ නොහැකි බව දැක ඔහු අමතා “සාමනේරය, තෝ දැන් මහර්ධි ඇත්තෙහි; නමුත් අනාගතයෙහි මේ සෘද්ධිය නසා ගෙන එකැස්කණ වූ පෙරහළු ස්ත්‍රියකගේ අතින් මඩින ලද කැඳබොන්නෙහි”යයි කීය. හෙරණනම මේ කීම ගැන වැඩි සැලකීමක් නො කෙළේය. මත්තෙහි මාර්ගඵල ලැබීමටත් උත්සාහ නොකෙළේය. තෙරනම එයින් පිටත්ව කුටෙලිතිස්ස මහාවිහාරයට ගියේය. හෙරණතැන තෙරුන් පිඬු පිණිස යනවිට එතුමන් පසුපස්සේ නොගොස් “ස්වාමීනි, කවර ගමකට වඩිනසේක්දැ”ය විචාරා අසවල් ගමටයයි කීවිට තෙරුන් පිටත්කර යවා තෙමේ පසුව අහසින් ගොස් ගම්දොර සමීපයේ දී තෙරුන්ගේ පාත්‍ර සිවුරු දෙයි. තෙරනම “සාමණේරය, පෘථග්ජනසෘද්ධිය නම් දුර්වලය; විරුද්ධ අරමුණක් දැකීමෙන් බිඳීයා හැක; එබැවින් මෙසේ නො කරව”යි නිතර අවවාද කළ නමුත් හෙරණනම ඒ කීම් නොගත්තේ ය. තෙරණුවෝ චෛත්‍ය වන්දනාව කරමින් ක්‍රමයෙන් කබුපේලන්ද[25] විහාරයට පැමිණියහ. එහි වසන කල්හිද සාමණේර නම පෙර මෙන් අහසින් ගමන් කෙළේය. එක් දිනක් එගම්වැසි මනා රූ ඇති පේසකාර තරුණියක් ගමෙන් පිටත විලකට බැස මිහිරි ගී කියමින් නෙලුම් මල් කැඩීය. හෙරණතැන විලමත්තෙන් අහසෙහි යන්නේ ඇගේ ගීත ස්වරයෙහි බැඳී සමවතින් පිරිහී පියා පත් සිඳී ගිය කවුඩකු මෙන් අහසින් වැටුණේ ය. බිඳී ගිය සමාපත්තියාගේ බලයෙන්ම ජලයෙහි නො වැටී විල් ඉවුරට පාත්විය. හෙතෙම වේගයෙන් ගොස් උපාධ්‍යාය තෙරුන්ට පාත්‍ර සිවුරු දී නැවතුණි. තෙරනම අවවාද කළ නමුත් ඔහු නැවැත්විය නො හැකි විය. හෙරණ විල් ඉවුරට ගොස් තරුණිය ගොඩට එනතුරු බලා සිටියේය. සාමණේරනම අහසින් ගිය බවත් නැවත ඇවිත් සිටි බවත් දුටු තරුණිය “මේ තෙම මා නිසා උකටලී වූයේ වනැ”යි සිතා “සාමණේරයෙනි, ඉවත්වෙව”යි කීය. ඔහු ඉවත් වූ කල ඕ ගොඩට අවුත් වස්ත්‍ර හැඳගෙන ඔහු කරා අවුත් “ස්වාමීනි, කුමක් පිණිස සිටිනසේක්දැ”යි විචාළේය. හෙරණ තමාගේ අදහස කී විට ඈ නොයෙක් කරුණු කියා ඔහුගේ අදහස වෙනස් කරවන්ට උත්සාහ ගත් නමුත් නො හැකි වූ බැවින් ඕ තොමෝ ගෙට ගොස් මවුපියන්ට මේ කාරණය දැන්වීය. එවිට මවුපිය දෙදෙන එහි අවුත් ඔහුට අවවාද කළත් අදහස් වෙනස් කරවන්ට නො හැකි වූ විට “අපි පේසකාරයෝ වෙමු; ඒ කර්‍මාන්තය කරන්ට ඔබට හැකිදැ”යි ඇසූහ. “පින්වත්නි, ගිහිවූයේ පේසකාරකර්‍මය හෝ කුලුපොතුකර්‍මාන්තය හෝ කරන්නේ ය. තෙපි වස්ත්‍රයක් දීමට තරම් ලෝභීවෙත්දැ”යි සාමණේරයන් ඇසූ විට පේසකාර තෙමේ තමාගේ බඩේ බැඳ තිබුණු වස්ත්‍රය ලිහා දුන්නේ ය. එය ඇඳගෙන මහණකමින් ඉවත් වූ ඔහු ගෙට කැඳවා ගෙන ගොස් දුවණියන් පාවා දුන්හ. හෙතෙම රෙදිවිවීම ඉගෙන අන්‍යයන් සමග ඒ කර්‍මාන්තය කරන්ට පටන් ගති. අන්‍ය කම්කරුවන්ගේ භාර්‍ය්‍යාවෝ කල් ඇතුවම ඔවුන්ට බත් ගෙනාහ. මොහුගේ භාර්‍ය්‍යාව ඒතාක් කෑම නොගෙනා බැවින් හෙතෙම අන්‍යයන් වැඩ නවත්වා කෑම කනවිටත් රෙදි විවීම කරමින් සිටියේය. තමාගේ භාර්‍ය්‍යාව පසු වී ආ විට හෙතෙම ඈට තර්ජනය කෙළේය. ඈද “අන්‍යයන්ගේ ගෙවල දර - පලාකොළ - ලුණු ආදිය රැස්කොට තිබේ; පිටතින් ගෙනැවිත් දෙන්නෝද සිටිත්. මා තනිවම සියල්ල කළ යුතුය. ගෙයි කුමක් ඇද්ද නැද්දැයි ඔබ නොදනිත්. ඉදින් කැමති නම් අනුභව කරව; නොකැමති නම් අනුභව නොකරව”යි කීය. සීරළු තෙමේ “දවල් වී බත් ගෙනාවා මදිවාට මට වචනයෙනුත් අපහාස කරන්නේ හි”යි කියා ගසා දැමිය යුතු අන්කිසිවක් නොදැක අලුව රැගෙන ඈට දමා ගැසීය. එහි තියුණු වූ කොණක් ඇසේ හැපී ඇස තුවාල විය. ඇහෙන් ලේ වැගිරෙන්නට විය. ඈ අත් දෙනෙක් ඇස බදාගත්තාය. එවිට ඔහුට උපාධ්‍යාය තෙරුන්ගේ “එකැස්කණ පෙහෙරළු ස්ත්‍රියක් පිස කැඳ බොන්නෙහිය”ය යන කීම සිහිපත් වී “මාගේ උපාධ්‍යායතුමා දීර්ඝ දර්ශියෙකැ”යි සිතමින් හඬන්ට පටන් ගත්තේය. එවිට අන්‍යයෝ “පින්වත, හැඬීමෙන් ඇස ප්‍රකෘතිමත් කළ නොහැක. එබැවින් හැඬීම නවතා කළයුතු ප්‍රතිකාරයක් කරවව”යි කීහ. එවිට හෙතෙමේ “මම ඇස තුවාල වූ නිසා නොහඬමි. මාගේ උපාධ්‍යානයයන්ගේ වචන සිහිකොට හඬමි”යි කීහ.
තිස් නමක් පමණ භික්‍ෂූහු කැලණියේ මහසෑය වැඳ කැලෑ මගකින් ගොස් මහ මගට බසින්නාහු අතරමග ගිනිතැබූ කුඹුරක වැඩකොට එන එක් මිනිසකු දුටුවාහ. ඔහුගේ සිරුර හැම තැනම දැලි තැවරී තිබුණි. දැලි වැකුණු වස්ත්‍රයක් ඉණවටේ ඔතා තිබුණි. දාගිය කණුවක් මෙන් පෙනෙන හෙතෙම දාවල්හි වැඩකෙට අඩක් දා ගිය දරමිටියක් බැඳ ඔසවාගෙන පිටෙහි විසිරී හිසකෙස් ඇතිව අතුරු මගකින් අවුත් ඒ භික්‍ෂූන් ඉදිරියේ දී මගට බැස්සේ ය. සාමණේරවරු ඔහු දැක “මේ ඔබගේ තාත්තාය, ඔබගේ බාප්පාය, ඔබගේ මහප්පාය” යනාදිය කියමින් එකිනෙකාට කෙළිකවට වචන කියා “උපාසකය, ඔබගේ නම කුමක්දැ”යි ඇසූහ. එවිට හෙතෙම සංවේගයට පත්ව දරමිටිය බිමතබා රෙද්ද සකසා ඇඳගෙන මහතෙරවරුන්ට වැඳ “ස්වාමීනි, නැවතුනමැනවැ”යි කීය. මහතෙරවරු නැවතුණාහ. සාමණේරවරු අවුත් තෙරුන් ඉදිරියේ දී ද ඔහුට කවටකම් කළහ. උපාසකයා මෙසේ කීය:- “ස්වාමිවරුනි, ඔබ වහන්සේ මා දැක පරිහාස කරන්නාහ. මෙපමණකින් ඔබවහන්සේ සම්පූර්‍ණත්‍වයට පැමිණියාහු නො වෙත්. මමත් පෙර ඔබ වැනි ශ්‍රමණයෙක් වීමි. ඔබවහන්සේට සිත එකඟ කිරීම් පමණකුත් නැත. මම වනාහි මහර්ධි ඇත්තෙක් වීමි; අහස පොළොව කෙළෙමි. පොළොව අහස කෙළෙමි. ළඟ තැන දුර කෙළෙමි; ක්‍ෂණයකින් සක්වළ දහසක් විනිවිද ගියෙමි. දැන් වඳුරන්ගේ අත්මෙන් පෙනෙන මේ අත් වලින් පෙර මම චන්‍ද්‍ර- සූර්‍ය්‍යයන් ස්පර්‍ශ කෙළෙමි. ඒවා මාගේ මා පුටුකොට හුන්නෙමි. එවැනි වූ ඒ මාගේ සෘද්ධිය ප්‍රමාදය නිසා විනාශ විය. ප්‍රමාදය නිසා අන්‍යයෝ ත් මෙවැනි ව්‍යසනයට පත් වෙති. මා අරමුණු කොට අප්‍රමාදී වෙත්වා”යි අවවාද කෙළේය. ඔහුගේ කථාව අසමින් සිටියදීම සංවේගයටපත් තිස් නමක් විදසුන් වඩා රහත් වූහ. (මෙයද විභංගඅටුවාහි සම්මප්පධාන විභංගවණ්ණාවෙහි එයි.)
මජ්ඣිමභාණක දේවස්ථවිරතුමා මලයවාසී මහදේව තෙරුන් වෙත ගොස් කමටහන් ඉල්වීය. “පර්‍ය්‍යාප්තියෙන් කුමක් පුහුණු කොට තිබේදැ”යි ඇසූ විට “මට මැඳුම්සඟිය ප්‍රගුණය”යි දේවස්ථවිරතුමා කීය. “ඇවැත, මැදුම්සඟිය දැරීම අපහසුය; මූලපණ්ණාසකය හදාරනවිට මජ්ඣිමපණ්ණාසකය එයි, එය හදාරණ විට උපරිපණ්ණාසකය එයි. එබැවින් ඔබට කමටහන් වැඩීම අපහසුය”යි මහතෙර කීය. “ස්වාමීනි, කමටහන් ගත්පසු මම එය හැදෑරීම අත් හරින්නෙමි”යි පොරොන්දු වී කමටහන් ලබාගෙන දහනව හවුරුද්දක් මුළුල්ලේ එය හැදෑරීම හැරදමා කමටහන් වඩා විසිවෙනි වර්‍ෂයේදී රහත්ඵලය ලැබීය. ඉන්පසු භික්‍ෂූන් ඉගෙනීමට ආ කල “ඇවැත්නි, මැඳුම්සඟියේ පාඩම් නො බලා දැන් විසි අවුරුද්දක් ගත විය. නමුත් මට එය ඉතා පුහුණුව පැවැත්තේය”යි කියා ඔවුන්ට කියවන්ට පටන්ගෙන එක් පදයක්වත් නො වරදවා කීය. (මෙය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානගහණනිද්දෙසයෙහ පෙනේ. එංගලන්තයේ මුද්‍රිත පොතේ (95 පිට) මේ කථාව පෙනෙන්නේ මජ්ඣිමභාණක රෙවත - මලයවාසී රෙවත යන නම් වලිනි.)
යථොක්ත මලයවාසී මහාදේව තෙරුන් වෙතින් කමටහන් ගනු කැමති භික්‍ෂු දෙනමක් එතුමන් වෙත පැමිණිවිට ස්ථවිරතුමා “ද්‍වත්තිංසාකාරය සාරමසක් මුළුල්ලේ කටපාඩමින් කියව්”යයි ඒ දෙනමට නියම කෙළේය. නිකාය දෙක තුනක් පමණ පුහුණු කොට සිටි ඒ භික්‍ෂු දෙනම ආචාර්‍ය්‍යාවවාදයට ගරු කිරීමක් වශයෙන් නියම කළසේ එය හැදෑරූහ. එය හදාරන අතරම එය අනුව සිත මෙහෙයීමෙන් ඒ දෙනම සෝවාන් ඵලය ලැබූහයි විශුද්ධි මාර්‍ගයේ කායගතාසතිනිද්දෙසයෙහි ත් සතිපට්ඨානවිභංග අටුවාවෙහි ත් කියන ලදි.
කෝලිත වෙහෙර වැසි චතුනිකායිකතිස්ස තෙරුන්ගේ දෙටු සොහොයුරා දත්තාභය නම් තෙරනමකි. ඒ දෙටු තෙරනම පෝතලිය විහාරයෙහි වසන්නේ තමාට රෝගයක් වැලඳුණ කල්හි බාලතෙරුන් කැඳවා “මට කෙටිකොට කමටහනක් කිව මැනවැ”යි කීය. “ස්වාමීනි, කබලිංකාරාහාරය පරිග්‍රහණය කළ මැනවැ”යි ඒ තෙරුන් කී විට “එය කුමක් සඳහාදැ”යි ඇසීය. “එය උපාදාරූපයකි; එක් උපාදාරූපයක් ප්‍රකට වූ විට අවශේෂ තෙවිසි උපාදාරූපයෝ ප්‍රකට වෙති”යි තිස්ස තෙර කීය දෙටුතෙරනම ඒ අවවාදයෙහි පිහිටා විදසුන් වඩා ස්වල්ප වේලාවකදීම රහත්විය. තිස්සතෙරුන් විහාරයෙන් පිටව නොගිය කල්හිම නැවත කැඳවා “ඔබ විසින් මට මහත් උපකාරයක් කරන ලදැ”යි කියා තමන් ලත් අධිගමය එතුමාට දැන්වීය. (මෙය අංගුත්තරතිකනිපාත අටුවාවෙහි එයි.)
දත්තාභය ස්ථවිරතුමා වනාහි අධික වූ ලෝභ - ද්වේෂ ඇත්තෙක් වූවාසේම වජ්‍රොපම ඥානයක් ඇත්තෙකැයි මැදුම්සඟි අටුවාවේ චුල්ලධම්මසමාදාන සූත්‍රවර්‍ණනා (527) වෙහි දැක්වේ. විසුද්ධිමග්ග කම්මට්ඨානගහණ නිද්දෙසයෙහිත් මේ නම පෙනේ.
මැඳුම්සඟි අටුවාහි ආකංඛෙය්‍ය සූත්‍රවර්‍ණනාවෙහ (131) මේ කථාව පෙනේ:- අරියකෝටිවාසී මහාදත්ත ස්ථවිරතුමා ගමනක් යන්නේ අතරමගදී භාවනාවට යෝග්‍ය වනයක් ද ැක මාර්ගයෙන් ඉවත් ව ගසක්මුළ සඟළ සිවුරු එළා පලඟ බැඳ වැඩහුණි.
ඒ ගසේ වසන රුක්දෙවියාගේ දරුවෝ තෙරුන්ගේ සිල් තෙදින් බියව හඬන්ට පටන් ගත්හ. දේවතාවා මුළු ගස කම්පාකරවීය; තෙරණුවෝ නිශ්චලව හුන්හ. දේවතාවා ගසෙන් දුම්පිටකර වීය. එයිනුත් තෙරුන් කම්පා කරවන්ට නොහැකි වූ විට ගිනිදැල් පිට කරවිය. එයිනුත් පලක් නොවූ විට උපාසකයකුගේ වෙසින් අවුත් තෙරුන්ට වැන්දේ ය. “මේ කවරෙක්දැ”යි තෙරුන් ඇසූවිට “මම මේ ගසේ අධිගෘහිත දෙවියා වෙමි”යි කීය. “මේ විකාර තා විසින් කරන ලද්දැ”යි ඇසූවිට “මාගේ දරුවන් බිය වූ බැවින් ඔබ වහන්සේ පලවා හැරීම පිණිස එසේ කෙළෙමි”යි කීය. මුලදීම “අපට අපහසු නිසා මෙතැනින් ඉවත්වුව මැනවැ”යි කියන ලද නම් මම ඉවත් වන්නෙමි. දැන් වනාහි “මහදත්ත ස්ථවිරතුමා අමනුෂ්‍යයන්ට බියව ගියේය”යි කථාවක් ඇතිවන බැවින් තා කීවත් මම නොයමි. අද මෙහිම වසමි. තෝ අද කොතැනක හෝ වාසය කරව”යි තෙරනම කීය.
මැඳුම්සඟි අටුවාවේ භයභෙරවසුත්තවණ්ණනාවෙහ මේ කථාව පෙනේ:- වජගර ගිරි විහාරයෙහි[26] කාළදේව නම් ස්ථවිරතුමා වස් කාලය තුළ යාමගණ්ඩිය (වේලාව දන්වන ගෙඩිය) ගසන්ට පුරුදුව සිටියේය. නමුත් එතුමා කිසිවිටක වේලාව දැන ගැනීම පිණිස යාමයන්ත්‍රනාඩිකාව[27] නොයෙදුවේය. ප්‍රථම යාමය ඉක්මී ගෙඩිය ගැසීම පිණිස තෙරුන් පොල්ල අතට ගෙන සිටින විට හෝ දෙතුන්වරක් ගෙඩිය ගැසූ විගස යාමයන්ත්‍රය (ඔරලෝසුව) වදී. යාමතුනේදීම තෙරණුවෝ අන්කිසිවකින් වේලාව නොබලාම ගෙඩිය ගැසීය. පිඬු පිණිස හැසිර පාත්‍රය දාන ශාලාවෙහි තබා දිවාවිහාරස්ථානයට ගොස් මහණදම් යෙදෙන තෙරණුවෝ දන් වළඳන වේලාව නියම වශයෙන් දැන ඉදිරිපසු නොවී ගෙයින් එළියට පැමිණියහ.
සෑගිරියේ පුවඟු ගුහාවෙහි වූ පධානඝරයෙහි විසූ ලෝමසනාග තෙරනම කමටහන් වඩන්නේ ලොකාන්තරික නරකය සිහිකොට අන්තරාෂ්ටක හිමපාතසමයෙහි[28] නිරාවරණ තැනක කල් යැවීය. එසේම උෂ්ණකාලයේ මධ්‍යාහ්නයෙහි ඩහදිය වගුරුවමින් අභ්‍යවකාශයෙහි හුන්නේ ය. එසේ හුන් තෙරුන් දුටු අතවැසි නමක් “ස්වාමීනි, මේ සිසිල්තැන වැඩහුන මැනවැ”යි කීවිට “අවැත, මම උෂ්ණයට භයින්ම මෙතැන හිඳිමි”යි කියා එතැනම හුන්නේය. (මෙය මැඳුම්සඟි අටුවාවේ සබ්බාසවසුත්තවණ්ණනාවෙහි එයි.)
දිගාවැවෙහි විසූ ජාතකභාණක මහතෙර ගාථාදහසක් ඇති වෙස්සන්තර ජාතකය දේශනා කරන්නේය යි දැනගන්ට ලැබී මාගම තිස්ස මහවෙහෙරවාසී තරුණ භික්‍ෂුනමක් එක් දිනකින් නවයොදුන් මග ගෙවා එහි පැමිණියේය. ඔහු පැමිණි කෙණෙහි ම තෙරණුවෝ ද දහම් දෙසන්ට පටන් ගත්හ. ගමන් වෙහෙසින් විඩාවට පත් භික්‍ෂුනම පළමු ගාථාව ඇසූ විගසම නින්දට වැටී බණ අවසන් කරන වේලෙහි පිබිදුණේ ය. ඕහට අවසන් ගාථාවත් ඇසුණි. එවිට ඒ භික්‍ෂුනම “මා වෙහෙසී ආ ගමන නිෂ්ඵල වීය”යි කියමින් හඬන්ට පටන් ගත්තේ ය. එය දුටු එක් මිනිසෙක් කරුණු විචාරා දැනගෙන ධර්‍මදේශක තෙරුන්ට ඒ කරුණ දැන්වීය. එවිට තෙරනම “මම හෙටත් ඒ බණ දෙසන්නෙමි”යි කීය. ඒ භික්‍ෂුව එදා බණ අසා සෝවාන්ඵලය ලැබීය. (මෙය අංගුත්තර තිකනිපාත අටුවාවෙහි පෙනේ.)
විනය අටුවා හි අනියතවණ්ණනාවෙහි මේ කථාව පෙනේ:- මල්ලාරාම විහාරයෙහි එක් රහත් තෙරනමක් උපස්ථායක ගෙයකට ගොස් ගෙය තුළ වැඩහුන් කල්හි ගෘහණිය නිදන ඇඳක් අසළ සිටියාය. පිඬුපිණිස පැමිණි අන්‍යභික්‍ෂුනමක් දොර අසළ සිටියේ තෙරනම උපාසිකාව සමග එක් ආසනයේ වාඩි වී හිඳිනේය යි පෙනෙන සැටියෙන් සිතා ගත්තේ ය. නැවත නැවතත් බලා ඒ හැඟීම ඇතිවම ඒ භික්‍ෂුනම හැරී ගියේය. තෙරනමද ඒ භික්‍ෂුනම තමා ගැන වැරදි හැඟීමක් ඇතිකර ගත් බව දැන විහාරයට ගොස් තමාගේ කාමරයට ඇතුල්ව හුන්නේ ය. ඒ භික්‍ෂුනම තෙරුන්ට චෝදනාකරන්නෙමි යි අවුත් කාරා දොර හැරි විට තෙරනම ඔහුගේ අදහස දැන අහසට නැගී මුදුන් වහල අසළ පලඟබැඳ වැඩහුන්නේ ය. භික්‍ෂුනම ඇතුළට අවුත් ඇඳ උඩත් යටත් බලා නො දැක උඩ බලා අහසෙහි ඉන්නා තෙරුන් දැක “මෙවැනි සෘද්ධි ඇති ඔබ මාගමක් සමඟ එක් අස්නක හුන්නාහු නොවෙත් දැ”යි විචාළේ ය. “ඇවත, එය වනාහි ගෙවල් තුළට පිවිසීමේ දෝෂය යි; ඔබට මාගේ නිදොස් බව අවබෝධ කරවීමට මෙසේ කරමි”යි කියා තෙරනම බිමට බැස්සේය.
මැඳුම්සඟි අටුවාහි වීමංසකසුත්තවණ්ණනා (537) වෙහි මේ කථාව ස්වල්පයක් වෙනස් ලෙස පෙනේ:- එහි විහාරයේ නම “මුලුප්පල වාපි විහාර”යයි පෙනේ. ඒ විහාරවාසී තෙරනමක් දිනක් මුලුප්පලවාපිගමට පිඬු පිණිස ගිය විට එක් උපස්ථායක ගෙදරකදී එතුමන්ගේ පාත්‍රය රැගෙන ගෙමැද මැටියෙන් උස්කොට තනා තිබෙන (ථණ්ඩිලපීඨිකා) ආසනයට ඉදිරියෙන් අස්නක් පනවා තෙරුන් වාඩි කළහ. ඒ ගෙදර ඇමති දුවක් ද ඒ ථණ්ඩිලපීඨකාවට එහාපැත්තේ මිටි අස්නක හුන්නීය. තවත් භික්‍ෂුනමක් පසුව එහි පැමිණියේ දොරකඩ සිට ගෙයතුළ බලන්නේ තෙරනම ඇමතිදුව හා එක් ආසනයක හුන්නේය යි සිතාගත්තේ ය. “මේ පංසුකූලිකයා විහාරයේ දී සන්හුන් අයෙක් සේ හැසිරෙයි, ගම ඇතුළේ දී උපස්ථායිකාව හා එක් ආසනයෙහි හිඳී” යයි කල්පනා කළ ඒ භික්‍ෂුනම නැවතත් විමසාබලා ඒ අදහස ඇතුව ම හැරී ගියේය. ඉක්බිති විහාරයට ගොස් දන්වළඳා අවසන් හි “මේ පංසුකූලික භික්‍ෂුවට චෝදනා කොට විහාරයෙන් නෙරපන්නෙමි”යි සිතා ඒ නේවාසික භික්‍ෂුනම රහත් තෙරුන් වසන ගෙට ගොස් නොහික්මුණු ආකාරයෙන් එතැන තිබුණු පැන් භාජනයෙහි කිනිස්ස සපමින් පැන් රැගෙන පා සේදුවේය. ඇතුලේ උන් තෙරනම මේ නොහික්මුණු පුද්ගලයා කවරෙක් දැයි මනැසින් බලන්නේ හැම කරුණු දැක “මේ පුද්ගලයා මා කෙරෙහි සිත දූෂ්‍ය කොට අපායෙහි නො උපදීවා”යි සිතා අහසට නැඟ කැණිමඩුල්ල සමීපයෙහි පලඟබැඳ හුන්නේ ය. නේවාසික භික්‍ෂුනම නො සැලකිල්ලෙන් අගුල ඔසවා දොරහැර ඇතුළත බලන්නේ තෙරුන් නොදැක පිටතට එන්ට සැරසුණි. එකෙණෙහි තෙරනම කෑරුවේ ය. අනිකා උඩබලා තෙරුන් දැක නොඉවසිල්ලෙන් යුක්තව “ඇවැත් පංසුකූලිකය, මෙසේ ආනුභාව සම්පන්නා වූ ඔබට උපස්ථායිකාව සමග එක ඇඳේ ඉන්ට සුදුසුදැ”යි ඇසීය. එවිට තෙරනම “ස්වාමීනි, ස්ත්‍රීන් හා එක් ආසනයේ හිඳීම පැවිද්දන්ට සුදුසු නැත. ඔබ විසින් වැරදි ආකාරයකින් දක්නා ලද්දේ”යි කීය.
ගිරිවිහාරයෙහි විසූ චුල්ලසුමන මහතෙර ලෝහප්‍රාසාදයෙහි උගන්වන ආචාර්‍ය්‍යවරයෙක් විය. රූපාවචර චතුර්‍ථධ්‍යානයත් අරූපධ්‍යානයත් උපේක්‍ෂා - ඒකාග්‍රතා දෙකෙන් යුක්ත බැවින් රූපාවචර චතුර්‍ථධ්‍යානය ලබා කෙලෙසුන් නසන්නාත් අරූපධ්‍යානයන් ලබා කෙලෙසුන් නසන්නාත් “උභතොභාගවිමුත්ත” නාමයට සුදුසුයයි ප්‍රශ්නයක් උපන්විට මේ තෙරණුවෝ රූපාවචර ධ්‍යානය නීලා දී කිසියම් අරමුණක එල්බ පවත්නා බැවින් එය ලබා කෙලෙස් දුරු කළවුන්ට උභතොභාගවිමුත්ත (=දෙපැත්තෙන්ම නිදහස් වූ) යන නාමය නොයෙදේයයි ප්‍රකාශ කළහ. (මෙය දික්සඟි අටුවාහි මහානිදාන සූත්‍ර වර්‍ණනාවෙහි එයි.)
මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනාවෙහි (351) ද අංගුත්තර ඒකනිපාත අටුවා (44) හි ද මේ කථාව පෙනේ:- බොහෝ ශිෂ්‍යයන්ට ධර්‍මය උගන්වමින් අවකාශ කාලයක් නොලැබ සිටි මෙතුමා (ශිෂ්‍යයකු විසින් “මරණයට අවකාශයක් ලබන්නේ දැ”යි ඇසීමෙන් සංවේගයට පත් මහාසීව තෙරුන් මෙන්) සංවේගයට පැමිණ කණිකාරවාලිකසමුද්ද (=කිණිහිරිවැල්ලේ මූදු) විහාරයට ගොස් වස්කාලය තුළ එහි ස්ථවිර - නවක - මධ්‍යම වූ හැම භික්‍ෂූන්ට ම උපකාර වෙමින් සිට මහාපවාරණ දිනයේ දී ධර්‍මදේශනා කොට තමාගේ ව්‍යක්තභාවයෙන් ජනපදය කළඹවා ගියේය.
සෝණ පර්‍වතපාදයෙහි වූ පඤ්චල විහාරයෙහ[29] සෝණ නමැති ධර්‍ම කථික තෙරනමක් විය. එතුමාගේ පියා බලු වැද්දෙකි. තෙරනම ඔහුට අවවාද කරන්නේ ඔහු එයින් වළක්වන්ට නොහැකි විය. මහලු වූ කල නො කැමති වූ ම හෙතෙම තෙරුන් විසින් පැවිදි කරන ලදි. මරණ මඤ්චකයෙහි හොත් ඒ මහලු නමට ගතිනිමිත්ත වශයෙන් විශාල බල්ලන් අවුත් සපා කෑමට සිටින්නා සේ පෙනුණි. භයපත් වූ හෙතෙමේ “පුත්‍ර සෝණය, මොවුන් වළක්වව”යි කෑගැසීය. කුමක්දැයි ඇසූවිට “මේ බල්ලන් නො දක්නෙහි දැ”යි කීය. තෙරනම “මා වැන්නකුගේ පියා නරකයෙහි ඉපදීම නොගැළපේය”යි සිතා සාමණේරයන් ලවා නොයෙක් මල් ගෙන්වා සෑමලු බෝමලුවලත් මලසුන්වලත් අතුරා පූජා කරවා “මේ ඔබ සඳහා කළ පූජාවකි; බුදුන් වැඳ සිත පහදාගත මැනවැ”යි කීය. මහලුනම එය බලා සිත පහදා ගත්තේය. එකෙණෙහි ගතිනිමිත්ත වශයෙන් දෙව්ලොව නන්‍දනවනාදීහු ද දෙව්විමන් ද පෙනුණාහ. දිව්‍ය ස්ත්‍රීන් තමා පිරිවරා සිටින්නාසේ දුටු හෙතෙම “සෝණය, ඉවත් වෙව”යි කීය. “කුමක් සඳහා දැ”යි තෙරුන් ඇසූවිට “මේ ඔබගේ මව්වරු එති”යි මහලුනම කීය. ඕහට ස්වර්‍ගය එළඹ සිටිබව තෙරනම එයින් වටහා ගත්තේ ය. (මේ කථාව අංගුත්තර ඒකනිපාත අටුවාහි (256) ද මැඳුම්සඟි අටුවාහි බහුධාතුකසුත්තවණ්ණනා (887) වෙහිද පෙනේ.) විභාගඅටුවාහි ඤාණවිභංගවණ්ණනාවෙහිත් මේ කථාව එයි. එහි විහාරයේ නම පිප්ඵලි විහාරය යි පෙනේ. එහි ඇතැම් පිටපතක ඒ නම සබ්බගිරි විහාරය යි ද දැක්වේ.
රුහුණුරට ගාමෙණ්ඩවාල මහාවිහාරයට නුදුරු ගමක වැදි කුලයක උපන්නෙක් දිනපතා මලපුඩු සියයක් ද උගුල් සියයක් ද අටවමින් සතුන් මරා ජීවිකාව කෙළේය. එක් දිනක් මුවකු මරා වනයේදීම මස් කොට අඟුරුමත තබා පුලුස්සා ඒ මස් කා පිපාසිතව ගාමෙණ්ඩවාල විහාරයට ගියේ එහි තිබුණු කළ දශයකම පැන් නොදැක “මෙපමණ භික්‍ෂූන් වසන තැන කළවල බීමට පැන් ටිකක් නැතැ”යි භික්‍ෂූන්ට දොස් නැඟීය. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරතුමාට ඔහුගේ කථාව ඇසී පැන්හලට ගොස් කළ දශයක් ජලයෙන් පිරී තිබෙන බව දැක “මේ තෙමේ ජීවමානව ප්‍රේතයෙක් විය”යි “උපාසකය, ඉදින් පැන් බොනු කැමැත්තෙහිනම් බොව”යි කියා කළය ඔසවා ඔහුගේ අත්වල ජලය වත් කෙළේය. ඔහුගේ අකුශල කර්‍මය නිසා මුළු කළයක දියබීත් පිපාසාව නො සන්සිඳුණි. ඉක්බිති ඉතිරි කළවල ජලයත් බොන්ට දුන් නමුත් එයිනුත් ඔහුගේ පවස නොසන්සිඳුණේය. එවිට තෙරනම “උපාසකය, තාගේ කර්‍මය ඉතා බලවත්ය; මෙලොවදීම ප්‍රේතයෙක් විය. පරලොවදී ලබන දුක් කෙතරම් වෙත්දැ”යි කීය. එයින් සංවේගයට පත් හෙතෙමේ තෙරුන් වැඳ ගොස් උගුල් ආදිය විනාශ කොට ඉක්මනින් ගෙදරට ගොස් ශස්ත්‍රාදිය ද බිඳ දමා සිරකොට සිටි සතුන් ද මුදා හැර තෙරුන් වෙත එළඹ මහණකම ඉල්විය. තෙරනම අනුකම්පාව නිසා ඔහු පැවිදි කරවීය. අප්‍රමාදීව වත්පිළිවෙත් කරන හෙතෙම ධර්‍මය ද ඉගෙන ගත්තේ ය. එක් දිනක් දේවදූත සූත්‍රය උගනිමින් “තමෙනං භික්‍ඛවෙ නිරයපාලා පුන මහානිරයෙ පක්‍ඛිපන්ති” යන වාක්‍යය අසා “ස්වාමීනි, මහානරකය නම් ඉතා බැරෑරුම් තැනකැ”යි කීය. “එසේය ඇවැත්නි”යි තෙරුන් කීවිට “ස්වාමීනි, එය බැලිය හැකිදැ”යි ඇසීය. “එය බැලිය නොහැක එහි දරුණු බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිවන සේ එක්කාරණයක් පෙන්විය හැකැ”යි කියූ තෙරනම “සාමෙණ්රවරුන් හවුල් කරවා ගෙන ගලක් මතුපිට අමුදර ගොඩක් සෑදිය යුතුය”යි කීය. ඒ පැවිදි තැන එසේ කරවූ විට තෙරනම සෘද්ධිබලයෙන් කණමැදිරියකු පමණ වූ ගිනිපුපුරක් අවුත් ඒ දරසෑය මත වැටෙන්ට සැලැස්විය. මොහොතක දී දරගොඩ දැවී අලුවිය. ඒ දැක සංවේගයට පත් භික්‍ෂුනම තෙරුන් ගෙන් කමටහනක් ලබාගෙන නො පසුබටව භාවනාවෙහි යෙදුණි. හෙතෙම වත් පිළිවෙත් පිරීමද අත්නොහැර වරින් වර සිතුල්පව් මහාවිහාරයෙහි ද ගාමෙණ්ඩවාල මහාවිහාරයෙහි ද කතරගම මහාවිහාරයෙහි ද වතාවත් කෙළේය. රාත්‍රියෙහි නිදිමත එන විට තෙමූ පිදුරු ගුලියක් හිසමත තබාගෙන පාදෙක දියේ ඔබාගෙන නිදිමත දුරු කෙළේය. එක්දිනක් සිතුල්පව් විහාරයෙහි වතාවත්කොට පශ්චිමයාමාවසානයෙහි නිදිමත ආ විට තෙත් පිදුරුගුළිය හිසමත තබාගෙන හුන්නේ ඒ විහාරයේ නැගෙනහිරි පර්‍වතය අසල සාමණේරනමක් :-
“ආරභථ නික්‍ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ
ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”
යන අරුණවතිය සූත්‍රයේ ගාථාව කියනු ඇසී ඒකාන්තයෙන් මා වැනි වීර්‍ය්‍යවත් භික්‍ෂුවක් උදෙසා බුදුරදුන් විසින් මේ ගාථාව දෙසන ලදැයි ප්‍රීති උපදවා ධ්‍යාන ලබා එය පාදක කොට රහත්ඵලය ලැබීය. එතුමන් පිරිනිවෙන කල්හි භික්‍ෂූන් විසින් රහත් වූ සැටි විචාළ විට:-
“අල්ලං පලාලපුඤ්ජා හං සීසෙනාදාය චඞ්කමිං;
පත්තො” සමි තතියං ඨානං; එත්‍ථ මෙ නත්‍ථි සංසයො”
යන ගාථාව කියා තමන් රහත් වූ සැටි විස්තර කෙළේය. (මෙය අංගුත්තරඑකනිපාතවණ්ණනාවෙහි (22) එයි.
ඛන්‍ධසංයුත්ත අටුවාවෙහි (ii, 199) ද මේ කථාව පෙනේ. එහි විහාරයේ නම හෝ ප්‍රදේශයේ නම නොදැක්වේ. එක් දිනක් මුව මස් කා පැන්බීම සඳහා වනවැසි භික්‍ෂුනමකගේ වාසස්ථානයකට ගියේය යි ද එහි පිරවූ පැන්කළයක් තිබුන නමුත් ඔහුට එය හිස් කළයක්සේ පෙනුණේය යි ද, තෙරනම ඔහුට හක්ගෙඩියක වත්කොට ජලය දුන් නමුත් පිපාසාව සන්නොසිඳීම නිසා කලකිරී ඒ තෙරුන් වෙත පැවිදිවීය යි ද කියවේ. ඔහු කමටහන් වඩන්ට ගියවිට සතුන් මැරූ තැන් හා උගුල් ආදිය පෙනෙන්ට වී ශරීරයෙහි දාහයක් හටගත් බැවින් සිත එකඟකළ නොහැකි විය. එහෙයින් මහණකමෙන් පලක් නැතැයි සිතා ගිහිවෙන්ට කැමති වූ හෙතෙම තෙරුන් වෙත ගොස් ඒ බව දැන්වීය. තෙරනම ඔහුට යම්කිසි හස්ත කර්‍මාන්තයක් කරවයි කියා අත්තික්කා ආදි අමුගස් කපා ගොඩක් ගසවයි කීය. එසේ කොට “ස්වාමීනි, දැන් කුමක් කරන්නෙම්දැ”යි විචාළ විට “ඒ දරගොඩට ගිනිදැල්ව ව”යි කීය. සතර පැත්තෙන් ගිනිදල්වා ඒ අමුදර පුලුස්සන්ට නොහැකි වූ හෙතෙම ඒ බව තෙරුන්ට දැන්වීය. තෙරනම එතැනින් ඉවත් වෙවයි ඔහුට කියා අවීචියෙන් කදෝ පැණියකු පමණ ගිනිපුපුරක් අවුත් එහි වැටෙන්ට සැලැස්වීය. මොහොතක දී එය දාගියේය. එවිට තෙරනම “ඉදින් සිවුරු හරින්නෙහි නම් මෙවැනි දරුණු ගිනි ඇති නරකයෙහි උපදින්නෙහිය”යි කීය. එවිට ඒ පැවිදි නම තෙරුන්ගෙන් කමටහන් ගෙන පෙර කීසේ උත්සාහවත්ව භාවනාවෙහි යෙදුනේ එක් තෙරනමක් සාමණේර නමකට කිය වූ:-
“උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති”
යන ගාථාව අසා එය තමා කෙරෙහි එළවා විදසුන් වඩා අනාගාමී ඵලය ලැබුවේය යි එහි කියවේ.
කෝරණක විහාරවාසී මහතෙරුන්ගේ සොහොයුරියකගේ පුතෙක් පැවිදිවී ඉගෙනීම පිණිස රුහුණට ගියේය. අවුරුදු බොහෝ ගණනක් ගත වූ පසු පුතණුවන් දකිනු කැමති මෑණියන්ගේ ඉල්ලීම් ලෙස තෙරණුවෝ භික්‍ෂුනම කැඳවාගෙන ඒම පිණිස රුහුණටයන්ට පිටත්වූහ. භික්‍ෂුනමද ඒ කාලයේදී ම ගමට යනු සඳහා රුහුණෙන් පිටත්ව ආවේය. මේ ගුරු ශිෂ්‍ය දෙනම මාවැලිගඟ අසළ දී මුණ ගැසුණාහ. භික්‍ෂුනම ගසක් මුල වැඩහුන් තෙරුන්ට වැන්දවිට තෙරනම තොරතුරු විචාරා “තාගේ මව නිතර තොරතුරු විචාරයි. තෝ ගමට යව; මම මෙහිම වස්වසන්නෙමි”යි කියා ශිෂ්‍යයා ගමට පිටත් කෙළේය. භික්‍ෂුනම වස් එළඹෙන දිනයේදී ස්වකීය විහාරයට පැමිණියේ ය. ඔහුගේ පියා සෑද වූ ලැගුම් ගෙයම ඔහුට වස් විසීම පිණිස ලැබුණි. වස් එළඹෙන අවස්ථාවෙහි දායකයා අවුත් “මාගේ ලැගුම් ගෙයි වස්වසන්නේ කවරෙක්දැ”යි විචාළේය. “ආගන්තුක භික්‍ෂුනමකැ”යි ප්‍රධාන තෙරුන් කීවිට දායකයා ඒ ආගන්තුකනම වෙත ගොස් “මේ ගෙයි වස්වසන්නන් වස් කාලය තුල මාගේ ගෙයි දන් වැලඳිය යුතුය; වස්අවසන්හි යන විට දැනුම් දී යා යුතුය”යි කීය. උපාසිකාව ද ප්‍රණීතාහාරපාන සපයා ගෙට පැමිණි ඒ භික්‍ෂුවට වැලඳවීය. ගෙයි වැසි කිසිවකුට ඒ තමන් ගේ ඥාතික්‍ෂූවය යි දැනගත නොහැකි විය. වස් අවසන් වී ඔහු යන බව දැන් වූ විට ගෙයිවැසියෝ තෙල්ගුළාව පුරවා දී නවරියන් වස්ත්‍රයක් ද උක්සකුරු පිඬක් ද පූජා කළහ. අනුමෝදනා බණ කියා ඉන් පිටත්ව රුහුණ දෙසට යන භික්‍ෂුනමට හැරී එන ආචාර්‍ය්‍යවරයා මුල්වර හමු වූ තැනදීම හමුවිය. “උපාසිකාව දැක්කෙහිදැ”යි තෙරුන් විචාළ විට සියලු ප්‍රවෘත්ති කියා තෙරුන්ගේ පාවල තෙල්ගල්වා උක්සකුරු වලින් පානයක් සාදා දී ඒ වස්ත්‍රය ද තෙරුන්ට පුදා “මට රුහුණු රටම යෝග්‍යය”යි කියා අවසර ගෙන ගියේය. තෙරනම ස්වකීය විහාරයට ගොස් පසුදා කෝරණක ගමට ඇතුල් විය. උපාසිකාව තෙරනම පුත්‍ර භික්ෂුව කැඳවා ගෙන අද එයි, හෙට එයි යයි සිතමින් මග බල බලා හුන්නී තෙරුන් තනිව එනු දැක “එකාන්තයෙන් මාගේ පුත්‍රයා මළා විය යුතුය”යි සිතා හඬන්ට පටන් ගති. තෙරනම කරුණු විචාරා උපාසිකාව සනසා ඔවුන් දුන් වස්ත්‍රය පෙන්වා ඔවුන්ගේ ලැගුම්ගෙයි වස්විසූ භික්‍ෂුනම ඇගේ පුත්‍රයාය යි කීය. උපාසිකාව පුත්‍රයාගේ අල්පේච්ඡතාවෙහි පැහැද පුත්‍රයා ගිය දෙසට අභිමුඛව මුනින් වැටී වඳිමින් “භාග්‍යවතුන් වහන්සේ රථවිනීත පටිපදාවත් නාළක පටිපදාවත් තුවටක පටිපදාවත් චතුපච්චයසන්තොස - භාවනාරාමතාව දක්වන මහා අරියවංසපටිපදාවත් දෙසුවේ මාගේ පුත්‍රයා වැනි භික්‍ෂූන් නිමිති කොට ගෙනය. වැදු මවගේ ගෙයි තුන්මසක් අනුභව කරන්නේ “මම පුතා වෙමි, ඔබ මෑණියෝ වෙති” යන්න පමණවත් නොකීවේය”යි කීය. (මෙය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානගහණනිද්දෙසයෙහි දසපලිබෝධ කථාවෙහි එයි.)
අනුරාධපුරයේ කුලපුත්‍රයෝ දෙදෙනෙක් ථූපාරාමයෙහ පැවිදි වූහ. එක්නමක් උපසම්පදාවෙන් පස්වස් ඇතිව නිස මිදී පැදුම්කඩ රොද (=පාචීනඛණ්ඩරාජිය) ට ගියේය. අනික් නම ථූපාරාමයෙහි ම විසීය. පැදුම්කඩරොද බොහෝ කලක් විසූ ඒ තෙරනම ඒ ස්ථානය විවෙකයට යෝග්‍ය බැවින් තමාගේ මිත්‍ර තෙරුන් ද එහි කැඳවා ගෙන එනු කැමතිව දිනක් ථූපාරාමයට ආවේය. මිත්‍රතෙර එතුමන් පිළිගෙන වතාවත් කෙළේය. ආගන්තුක තෙරනම තාමට ලැබුණු සෙනසුනට ඇතුල්ව “දැන් මාගේ මිත්‍රතෙර ගිතෙල් හෝ පැණි හෝ පානවර්‍ගයක් හෝ එවනවා ඇතැ”යි සිතීය. ඒ කිසිවක් නොලත් බැවින් උදෑසන “උපස්ථායකයන් එවූ කැඳ හා කැවිලි එවනවා ඇති”යි සිතීය. එයත් නොලැබෙනවා දැක “එවන කෙනෙක් නැතුවා විය හැක;” ගෙවලට ගියවිට ලැබෙනවා ඇතැ” යි සිතා මිත්‍ර තෙරුන් සමග ගොදුරු ගමට ඇතුල්විය. ඒ දෙනම එක් වීථියක හැසිර කිනිස්සක් පමණ කැඳ ලැබ අසුන්හලකට ගොස් එය වැලඳූහ. එවිට ආගන්තුකතෙරනම “නිතර දෙන කැඳක් නැතුවා විය හැක; දාවාල්හි ප්‍රණීතාහාරපාන ගෙනැවිත් දෙනවා ඇතැ”යි සිතීය. නමුත් දාවල්හිත් පිණ්ඩපාතයෙහි හැසිර ලැබුණු දෙයක්ම අනුභව කොට “ස්වාමීනි, හැමකල්හි මෙසේ යැපෙනසේක් දැ”යි ඇසූ විට “එසේ”ය යි නගරවැසිතෙර උත්තර දුනි. “ස්වාමීනි, පැදුම්කඩරොද මීට වඩා සැප පහසු ඇත, එහි වැඩිය මැනවැ”යි කී විට නුවර වැසි තෙරනම දකුණු දොරටුවෙන් නික්ම කුඹල්ගම දෙසට යන්ට හැරුණේය. “ස්වාමීනි, මේ මගට බැස්සේ කුමක් හෙයින්දැ”යි ඇසූවිට, “ඇවැත්නි, ඔබ පැදුම්කඩරොද වර්‍ණනා කළහ; මම එහි යන්ට හැරුණෙමි”යි නුවරවැසි තෙර කීය. “කිමෙක්ද, ස්වාමීනි, මෙතෙක්කල් විසූතැන ඔබට අයත් කිසි බඩුමුට්ටුවක් නැද්දැ”යි ඇසූවිට “ඇවැත්නි, එහි ඇඳපුටු සංඝිකය; ඒවා තැන්පත් කරන ලද්දාහුමය; මා සතු අන් කිසිවක් එහි නැතැ”යි කීය. “ස්වාමීනි, මාගේ සැරයටියත්, තෙල්බෝතලයත් වහන්දමන පසුම්බියත් එහිය”යි කීවිට “ඔබ එකදිනක් විසූතැන මෙතෙක්දේ තැබුවාහුද”යි තෙරනම විචාළේය. එවිට ගම්වැසි තෙරනම “ස්වාමීනි, ඔබවැන්නන්ට හැමතැනම වනවාසයට සමානය; ඔබ මෙහි ම විසුව මැනවැ”යි කියා පසුදා තමාගේ පාත්‍ර සිවුරු ආදිය රැගෙන පැදුම්කඩරොදට ගියේය. (මෙය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානගහණ නිද්දෙසයෙහ (90) එයි.)
ස්මෘතිමතුන්ට නිදර්‍ශනයක් වශයෙන් මෙතුමාගේ නාමය දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාන සුත්තවණ්ණනා (365) වෙහි පෙනේ. “කෙතෙක්කල් සිට සිදුවූ පුවත් සිහිකරනසේක්දැ”යි භික්ෂූන් විසින් විචාරන ලද ඒ ස්ථවිරතුමා “ඉපිද පස්වෙනි දින මංගල පායාසයෙහි තුඩ ගසන්ට සැරසුණු කපුටකු දැක හුං හුං යි ශබ්ද කළ තැන් සිට සිහිකරමි”යි කීය.
(වළගම්බා රජුකල.)
රජරට චූලනාග කඳවුරෙහි “වේණි” නම් ගමක් විය. එය අසළ නළඛණ්ඩ ප්‍රධාන විහාරයෙහි “චූලපිණ්ඩපාතික තිස්ස” නම් තෙරනමක් විසී. මෙකල ලක්දිව බැමිණිතියාසාය හටගති. එගම විසූ “අම්බ” නම් ඇමතියා තමාගේ පිරිස් පිටිසරට යවා ගෙයි වසන්නේ තිබුණු ධාන්‍ය අවසන් වූ විට එකම සහල් නැළියක් සොයා උයවා අනුභව කරන්ට සැරසුණු විට පිණ්ඩපාතික නාගතෙරුන් පිඬු සඳහා ගමට ඇතුල්ව බත් හුලක් වත් නො ලැබ හැරීයනු දැක තමාගේ ආහාරය තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම විවේක ස්ථානයකට ගොස් විදසුන් වඩා රහත් වී එය අනුභව කෙළේය. ඒ දානයේ විපාක ඒ ආත්මයේ දී ම ඇමතියාට ලැබුණු සැටි රසවාහිනියේ අම්බාමාත්‍ය වස්තුවෙහි විස්තර වේ.
සද්ධර්‍මාලංකාරයෙහ මේ ප්‍රවෘත්තිය කියවෙන්නේ මෙසේයි: “මෙම ලංකාද්වීපයෙහි රජරට සුලුන්නරු නම් කඳවුරෙහි මහත් වූ ඉසුරුමත් වූ “වේණිශාල” නම් අමාත්‍යයෙක් විය. ඔහුගේ පුත් වූ අම්බනම් අමාත්‍යයෙක්................. එම කඳවුරෙහි වාසය කෙරෙයි” යනාදි වශයෙනි. විහාරයේ නම “බටකඩ” නම් භාවනාගේ යයි කියවේ.
(වළගම්බා රජුකල.)
මාගම සංඝනම් ඇමතියෙක් විය. ඔහු තරුණ කල ලක්දිව බ්‍රාහ්මණතීය මහාභය ඇති විය. කොටගල වැසි මහානාග තෙරුන් එක් දිනක් මාගම් නුවර පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ හැරී එනු දුටු මේ ඇමතියා දහසක් වටිනා මුතුහරයක් උකසට තබා කහවණුවක් පමණ වටිනා ආහාරයක් ගෙනවුත් තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම ආහාර ලැබුණු සැටි සලකා විදසුන් වඩා ඒ පෙරවරු කාලයේදීම රහත්ව ඒ ආහාරය වැලඳී (මෙය රසවාහිනියේ ප්‍රථම ජයම්පතිකවස්තුවෙහි එයි.)
(බු.ව. 552 - 564 පමණ)
මෙතුමා සාරාණීයවත පුරා මේ ආත්මයේ දී ම එහි විපාක ලැබූවෙකි. සාරාණීයවත පුරන්නහු විසින් තමාට ලැබුනු පිණ්ඩපාතය පළමුකොට ගිලනුන්ට ද ගිලන් උවටැන් කරන්නට ද ආගන්තුක ගැමියන්ට ද අලුත පැවිදි වූ සිවුරු පෙරවීමාදිය නුපුරුදු වූවන්ටද දිය යුතුය. ඉක්බිති ස්ථවිරාසනයේ පටන් කැමති නමකට කැමති පමණක් ගන්ට අවකාශ දිය යුතුය. පාත්‍රයෙහි අහර අවසන් වී නම් නැවත පිඬු පිණිස හැසිර ලත් දෙයින් ප්‍රණීත දේ මහතෙර ආදීන්ට දී ඉතිරි දෙයක් වැළඳිය යුතුයි. මෙසේ නො කඩවා දොළොස් අවුරුද්දක් පිළිපැදීමෙන් ඒ වත පිරේ. ඉදින් අතරතුරේ දී ඒ සාරාණීයවත පුරන තෙරුන් පිඬුපිණිස ගොස් අවුත් පාත්‍රය තබා නාන්ට ගිය විටක ඒ බව දත් තෙරනමක් අයිති නමට නො දන්වාම ඒ පාත්‍රය ගෙන එහි තිබුණු සියලු අහර බෙදාගෙන වැළඳූ විටක “මට ඉතිරි නො කොට වැළඳූහ”යි නො සතුටක් උපන්නේ නම් ඔහුගේ ව්‍රතය බිඳීයයි. එතැන් සිට නැවත 12 අවුරුද්දක් පිරිය යුතු වන්නේ ය. මෙසේ මේ වත පිරිවහුගේ ඊර්‍ෂ්‍යාව හා මසුරුබව දුරුව යයි; මිනිසුන්ට ප්‍රියවෙයි. සුලභ ප්‍රත්‍යය ඇත්තේ වෙයි. පිරිකර බෙදීමේ දී ඉතා අගනා දෙය ඔහුට ලැබේ; ඔහුගේ පාත්‍රයෙන් කොපමණ අහර බෙදා දුන්නත් අවසන් නොවේ.
ලෙණගලවැසි තිස්ස මහතෙර වරක් මහකිරිගම[31] ආශ්‍රය කොට විසීය. නාගදීප චෛත්‍යය වැඳීමට යන තෙර පණස්නමක් කිරිගමෙහි පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ හැරී ආහ. තිස්ස තෙර පිඬුපිණිස ගමට ඇතුල් වන්නේ ඒ තෙරුන් දැක විචාරා ආහාර නො ලත් බව දැන “මා හැරී එනතෙක් මෙහි නැවතුන මැනවැ”යි කියා ගමට ඇතුල් විය. පළමුගෙයි මහාඋපාසිකාව කිරි බතක් සපයා තෙරුන් එනු බලමින් සිට එතුමන් පැමිණිවිට පාත්‍රය පුරවා දුණි. හෙතෙම එය ගෙන ආගන්තුක තෙරුන් වෙත ගොස් “ස්වාමීනි, ගත මැනවැ”යි සංඝස්ථවිරයන්ට කීය. “අප පණස්නමගෙන් එක් නමකට වත් බත්පිඩක් පමණක් නො ලැබුණි. මේ තෙමේ වහා බත් රැගෙන ආයේ කෙසේද”යි සැක සිතූ සංඝස්ථවිරතුමා අන්‍යයන් දෙස බැලීය. “ස්වාමීනි, පිණ්ඩපාතය ධාර්මිකය, සැක නැතිව වැළඳුව මැනවැ”යි කී තිස්ස තෙර මුලපටන් සියලු දෙනට සෑහෙන තරම දී තෙමේ ද සෑහෙන තරමට වැළඳුවේය. බත්කිස අවසන්හි සංඝස්ථවිරතුමා “ඇවැත්නි, ලෝකෝත්තරධර්‍මය ලැබුවේ කවදාදැ”යි ඇසීය. “ස්වාමීනි, මට ලොකොත්තරධර්‍මයක් නැත. ධ්‍යානලාභියෙක් ද නොවෙමි. මා විසින් සාරාණීයවත පුරන ලදි. එතැන් සිට භික්‍ෂූන් දහකට දුන්නත් මාගේ පාත්‍රය හිස් නොවන්නේය”යි තිස්ස තෙර කීය. (මේ කථාව දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාණවණ්ණනා (398) වෙහි එයි.)
මේ තෙරනම සෑගිරියේ ගිරිභණ්ඩමහාපූජාව පවත්වන අවස්ථාවෙහි එහි පැමිණ මේ දානයෙහි ඉතා වටිනා බඩුව කුමක් දැයි විචාරා “වටිනා වස්ත්‍ර දෙකකි”යි කී විට “එය මට ලැබෙන්නේය”යි කීය. එය ඇසූ එක් ඇමතියෙක් “එක් තරුණ භික්‍ෂුනමක් මෙසේ කියන්නේය”යි රජුට දැන්වීය. රජතෙමේ “තරුණ භික්‍ෂූන්ට ඒ ගැන ආශාව ඇතත් සියුම් වස්ත්‍ර මහතෙරවරුන්ට යෝග්‍යය”යි කියා එය මහතෙරුන්ට දීම සඳහා පැත්තකින් තැබීය. වස් පිළිවෙලින් රජු ඉදිරියට භික්‍ෂූන් පැමිණිවිට නොයෙක් දේ පුදන්ට පටන්ගත් රජුගේ අතට මේ වස්ත්‍ර දෙක අසුනොවී තිබී තිස්ස තෙරුන් පැමිණි විට අසු වී ඒ තෙරුන්ට ඒ වස්ත්‍රදෙක පිදීය. ඉක්බිති ඇමතියාගේ මූණ බලා ඒ තෙරුන් නවත්වන්ට සලස්වා දන් දී අවසන්හි තෙරුන් වෙත වාඩි වී “මාර්‍ගඵලාවබෝධය කවර කලක ලද්දේදැ”යි ඇසීය. තෙරනම පෙරදී මෙන් ම තමාට අධිගමයක් නැති බව ප්‍රකාශ කෙළේය. (මේ කථාදෙක දික්සඟිඅටුවාහි (369) ද අංගුත්තර ඡක්කනිපාතඅටුවාහි (669) ද මැඳුම්සඟිඅටුවාහි කොසම්බක සුත්තවණ්ණාවෙහි (545) ද වෙනසක් නැතිව පෙනේ. ගිරිභණ්ඩ මහාපූජාව නම් මහාදාඨිකමහානාග (බු.ව. 552 - 564) රජු විසින් මිහින්තලා මහාවිහාරයෙහි කරවූ මහාපූජාවකි. (මේ රජුට දුබ්බුට්ඨිමහාතිස්ස යන නමක් ද ඇතැම් පොත්වල පෙනේ.) ඒ පූජාව මහාවංසයෙහි මෙසේ විස්තර වේ:- “රජතෙමේ අඹතලා මහසෑය කරවීය................. නන්රුවනින් කළ සැට්ටයක් සෑයෙහි බහා පළඳවා ඒ සැට්ටයෙහි රන්බුබුළු හා එල්ලෙන මුතුදැල් ද තැබ්බවීය. සෑගිරිය අවට යොදුනක් මානය සරසවා හාත්පස මනා වීථි ඇති සතර දොරටුවක් යොදවා වීථි දැලයෙහි සල්පිල් අතුට කොඩිඇගෑ - තොරණින් තැන්හි තැන්හි සරසවා හාත්පසින් පහන් මාලා ආලෝක කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීතවාදිතයන් ද කරවීය. කොළොම් හොය පටන් සෑගිරිය තෙක් මාර්‍ගයෙහි දෙවි පයින් යනු පිණිස ඇතිරිලි ඇතිරවීම ද කරවීය........................ නුවර සතර දොර මහදනුත් දෙවීය. අතුරු නැති පහන් මාලාවන් මුළු ලක්දිව්හි ද හාත්පස යොදුන්ක මානයෙහි මුහුදු දියෙහි ද පැවැත්වීය. ඒ රජුවිසින් සෑ පෙළහරෙහි කරවන ලද්දා වූ මනා වූ උදාර වූ පූජාතෙම ගිරිභණ්ඩමහාපූජා යයි කියනු ලැබේ.”
අංගුත්තර ඒකනිපාත අටුවාහි ද මේ රජු විසින් ගිරිභණ්ඩවාහන නම් මහාපූජාවක් කරවනලදැයි කියා තිබේ.
රසවාහිනියේ අඤ්ඤතරකුමාරිකා වස්තුවෙහි මේ ගිරිභණ්ඩ පූජාව කරවන ලද්දේ දුබ්බිට්ඨි මහරජුවිසිනැයි කියා තිබේ. සද්ධර්‍මාලංකාරයෙහිත් ඒ නම පෙනේ. මහාවංශයෙහි එවැනි නමක් නො පෙනේ. එහි මහාදාට්ඨික - මහානාග රජු විසින් එය කරවන ලදැයි කියවේ. එබැවින් දුබ්බිට්ඨි හෝ දුබ්බුට්ඨි යන්න ඒ රජුට ම ව්‍යවහාර වූ නාමයක් යයි සැලකිය හැක.
(භාතියරජුකල බු.ව. 684 - 708)
විනය අටුවාහි අදත්තාදාන පාරාජිකාව සම්බන්ධ විස්තරයෙහි මේ කථා ප්‍රවෘත්තිය පෙනේ:- අන්තරසමුද්ද නම් තැන විසූ එක් භික්‍ෂුනමක් මහාසටහන් ඇති පොල් ගෙඩියක් ලැබ එය ලියන පට්ටලයක යොදා හක්ගෙඩියකින් තැනූ භාජනයක් වැනි මනොඥ පැන් බොන භාජනයක් සාදා එහි ම තබා සෑගිරියට ගියේ ය. ඉක්බිති අන් භික්‍ෂුනමක් අන්තරසමුද්දයට ගොස් ඒ විහාරයෙහි වසන්නේ ඒ භාජනය දැක සොරසිතින් ගෙන චේතියගිරියට ම ආවේය. එහිදී ඒ භාජනයෙන් කැඳබොන ඒ භික්‍ෂුනම දැක එය සෑදූ අයිතිකාරයා වන භික්‍ෂුව “ඔබට මේ තලිය කොහෙන් ලැබුණේ දැ”යි ඇසීය. “මා විසින් අන්තරසමුද්දයෙන් ගෙනෙන ලදැ”යි කීකල්හි “මෙය ඔබ සතු නොවෙයි. සොරසිතින් ගන්නා ලදැ”යි කියා සංඝයාට පැමිණිලි කෙළේය. එහි දී හෙවත් සෑගිරි යේ දී මේ ගැන විනිශ්චයක් නොලැබිය හැකි වූ බැවින් අනුරාධපුර මහාවිහාරයට අවුත් එහි (විනිශ්චය) බෙරය ශබ්ද කරවා මහසෑය සමීපයෙහි සංඝයා රැස්කරවා විනිශ්චය ආරම්භ කළහ. එහි වූ විනයධරතෙරවරු මෙහි සොරකමක් ඇතැයි නිශ්චය කළහ. ඒ පිරිසෙහි වූ ආභිධම්මික ගෝදත්ත ස්ථවිරතුමා[32] විනයෙහි ද දක්ෂ වූයේ “මොහු විසින් මේ භාජනය කොතැනක දී ගන්නා ලද්දේ දැ”යි අසා “අන්තරසමුද්දයෙහි දීය”යි කී විට “එහි දී මෙය කෙතෙක් අගනේ දැ”යි ඇසීය. “එහිදී මෙය කිසිවක් නොවටී එහි මිනිස්සු පොල්මදය කෑමට ගෙන කටුව ඉවත දමත් එය ලිපේ දැමීමට ගනිත්” යයි කීය. “භාජන හිමි භික්‍ෂුව විසින් මෙහි කරවූ හස්තකර්‍මාන්තය කෙතෙක් වටීදැ”යි විචාළ විට “එය පණමක් හෝ ඊට අඩුගණනක් වටීය” යි කීවිට ස්ථවිරතුමා “බුදුරදුන් විසින් පණමක් හෝ ඊට අඩු වටිනාකමක් ඇති දෙයක් සොරා ගැනීමෙන් පාරාජිකාපත්තියක් වේ ය යි පණවාතිබේදැ”යි ඇසීය. “යහපති, යහපති, විනිශ්චය කළ ආකාරය යෙහෙකැ”යි සාධුකාර නාදයක් ඒ පිරිසෙන් නිකුත් විය.
භාතිය රජතුමා චෛත්‍ය වන්‍දනාව සඳහා නුවරින් නික්ම එන්නේ ඒ ශබ්දය අසා එය කුමක්දැයි විමසා මේ ප්‍රවෘත්තිය දැන “මා ජීවත්වන කල්හි භික්ෂු - භික්ෂූණීන්ගේ ද ගිහියන්ගේ ද අධිකරණයක් පිළිබඳ අන්තිම විනිශ්චය ගෝදත්ත තෙරුන්ගෙන් ලබාගත යුතුය. එතුමාගේ විනිශ්චයෙහි නොපිහිටන්නන් මාගේ අණින් පිහිටුවන්නෙමි යි අණබෙර ලැවීය.
විනය අටුවාහිම තෙවෙනි පාරාජිකවණ්ණනාවෙහි ද අර්පණාසිතට පළමු උපදනා සිත් සම්බන්ධ මතභේදයක් දක්වමින් මේ තෙරුන්ගේ නම දක්වා තිබේ. (1900 මුද්‍රිත පොතේ 233 පිට)” “විශුද්ධිමාර්‍ගයෙහි පඨවිකසිණ නිද්දෙසයෙහි ආභිධම්මිකගෝදත්ත ස්ථවිරතුමා සවෙනි - සත්වෙනි ජවන්සිත්වලත් අර්පණාව ඉපදිය හැකැයි කී බව දැක්වේ. කැලණි මහාවිහාරයෙහි ගෝදත්ත නම් තෙරනමක් සම්බන්ධ ප්‍රවෘත්තියක් මැදුම්සඟි අටුවාහි භයභෙරව සූත්‍රවර්‍ණනාවෙහි පෙනේ. එතුමා ඉර අවරවෙන්ට දැඟුලක් තිබිය දී පිණ්ඩපාතය ගෙන එක අඟලක් තිබිය දී වළඳන්ට පුරුදුව සිටියේ ය. ඉර නොපෙනෙන දිනවල දී උදෑසන කාමරයට ඇතුල්ව හිඳ ඒ නියමිත වේලාවේදී ම ඉන් එළියට එයි. එක් දිනක් ආරාමිකයෝ “හෙට තෙරුන් නික්මෙන වේලාව බලමු”යි සනිටුහන් කොට බත් සම්පාදනයෙන් පසු කාලස්තම්භය මුල බලා හුන්හ. රජ්ජුරුවෝ දැඟුල්පමණ කාලයේ දීම නික්මියහ. එතැන් පටන් හිරුඑළිය නැති දිනවල තෙරුන් නික්මෙන වේලාව බලා බෙරය වයන්ට පටන් ගත්හ. කැළණියේ විසූ මේ තෙරනම පළමු කී තෙරනම ම දැයි විමසිය යුතු.
විනය අටුවාහි තතියපාරාජිකවණ්ණනාවේ අවසන් කොටසෙහි මේ තෙරුන්ගේ නම සඳහන් කොට තිබේ.[33] යුද්ධ කරන අවස්ථාවකදී වේගයෙන් දුවන භටයකුගේ හිස කඩුවකින් කැපූ විට හිස නැති සිරුර තවත් දුර දිවීය. අනිකෙක් ඒ හිස නැති සිරුරට පහර දී බිම හෙළුවේ ය. මේ දෙදෙනාගෙන් පාරාජිකාපත්තිය කාටදැයි ප්‍රශ්නයක් ඉපදුණු විට රැස්වසිටි සඟ පිරිසේ දෙකෙන් කොටසක් “බිම හෙලූ පුද්ගලයාටය”යි කීහ. ආභිධම්මික ගෝදත්තස්ථවිරතුමා වනාහි “පාරාජිකාපත්තිය හිස කැපූ අයටය”යි කීය.
මේ අටුවාහි ම තෙරසකවණ්ණනාවෙහි අභූතාරෝපණය ගැන කියමින් චෝදනාවක් කරන්නහු විසින් චෝදනාව ලබන්නාගේ ඉදිරියේදීම නොකළහොත් එය ස්ථිර නො වන බව දක්වමින් ගෝදත්තතෙරුන්[34] කී කථාවක් ගැන දැක් වේ.
(බු.ව. 650 - 700 පමණ)
භාතිය රජු කල මහසෑය පිළිබඳ මහාපූජාවක් පවත්නා අවස්ථාවක දකුණු දෙසැ භික්‍ෂුනමක් සත්රියන් පඬුවන් වස්ත්‍රයක් උරහිස තබාගෙන එහි පැමිණියේ ය. භාතිය රජු ද සෑය වැඳීමට ආ විට මහජනයාගේ තෙරපීමක් ඇති විය. ඒ භික්‍ෂුනම මිනිසුන් අතර හිරවූයෙන් උරහිසේ තිබුණු වස්ත්‍රය නො දැනීම බිම වැටුණි. සමූහයෙන් ඉවත්ව ගොස් කසාවත නැතිබව දැනගත් භික්‍ෂුනම එය නො සෙවිය හැකැ යි සිතා ආශාව හැර දමා වසන තැනට ගියේය. පසුව එතැනට පැමිණි භික්‍ෂුනමක් ඒ වස්ත්‍රය දැක සොරසිතින් ගත්තේ ය. නමුත් පසුව එයින් විපිළිසර වූ ඒ භික්‍ෂුනම තමාගේ උපසම්පදාව නැති වීය යි සිතා ඒකාරණය විනයධර තෙරවරුන්ට දැන්වීය. එකල්හි මහාවිහාරයෙහි විනයධරයන්ට අග්‍ර වූ සර්‍වපර්‍ය්‍යාප්තිධර චූලාභය සුමන නම් මහතෙරනමක් විසී. වස්ත්‍රය ගත් භික්‍ෂුනම ඒ තෙරුන් වෙත ගොස් තමාගේ සැකය විචාළේ ය. “වස්ත්‍රය අයිති භික්‍ෂුව සොයාගත හැකි නම් කාරණය විනිශ්චය කළ හැකැ”යි මහ තෙරුන් කීවිට ඒ භික්‍ෂුනම පඤ්ච මහාවිහාරයන්හි සොයා නො දැක දකුණු දෙස විහාරයන් හි සොයා වස්ත්‍ර ස්වාමී භික්‍ෂුනම සොයා ගෙන තෙරුන් වෙත ආයේ ය. අයිතිකාරයා බලාපොරොත්තුව හැරගිය බව දැනගත් තෙරනම සොරසිතින් ගත් භික්‍ෂුවට දුෂ්කටාපත්තියක් මිස පාරාජිකාපත්තියක් නැතැ යි නිශ්චය කෙළේ ය. (මෙය විනය අටුවාහි දුතියපාරාජිකවණ්ණනාවෙහ (157) එයි.)
ගලම්බුතිත්‍ථ නම් විහාරයෙහි වස් එළඹීමට පැමිණි පණස් නමක් භික්‍ෂූහු ඇසළ පුණුපොහෝදවස්හි “රහත්ඵලයට නොපැමිණ ඔවුනොවුන් හා කථා නො කරන්නෙමු”යි කතිකාවක් කළහ. ගමට පිඬු පිණිස ඇතුල්වෙන විට මුඛයෙහි දිය පුරවා ගෙන ගියහ. මිනිසුන් පෝයදවස් ආදිය ගැන ඇසුවහොත් වතුර උගුර ගිල උත්තර දුන්හ. එසේ නො අසන ලද නම් හැරී යන විට ජලය ඉවත දමා ගියහ. මේ තෙරවරුන් නිතර මිනිසුන් හා කථා නොකරන බැවින් “මිනිස්සු කිමෙක් ද, මොවුහු අප හා පමණක් කථා නොකෙරෙත්ද?” ඔවුනොවුන් හාත් කථා නොකෙරෙත්දැ” යි සැක සිතා “ඔවුනොවුන් කථා නොකෙරෙත් නම් සමඟි කරවන්නෙමු”යි කථාබස් කොට එක්දිනක් විහාරයට ගියහ. එහි ගිය ඔවුන්ට දෙනමක් එකතැන සිටිනු දකින්ට නො ලැබුණි. නමුත් ඒ අතරෙහි සිටි නුවණැති මිනිසෙක් මෙසේ කීහ: “පින්වත්නි, කලහකාරයන් වසන තැනක් මෙසේ නොවිය හැක. සෑමලු - බෝමලු මනාසේ හමදනා ලදහ; මුස්නු මනාසේ තැන්පත් කරන ලදහ; පැන් භාජනවල පැන් පුරවා තිබේ” යයි. ඔහුගේ කීම අසා ඒ මිනිස්සු භික්‍ෂූන්ට කිසිවක් නො කියා හැරී ගියහ. ඒ භික්‍ෂූහු සියලු දෙන ඒ වස්කාලය තුළ දී රහත් බවට පැමිණියහ. මේ කථාව විභංගඅටුවාහි ඣානවිභංගවණ්ණනාවෙහ එයි.
මග අසළ ගොයම් රකින සිංහල දැරියක් කී ජරා - මරණ සංයුක්ත සිංහල ගී පෙළක් ඇසී ඒ මග සිය සැටනමක් විදර්‍ශක භික්‍ෂූහු ඒ අනුව සිත යොදවා රහත්වූහ යි වංගීස සංයුත්තට්ඨකථාහි (1-211) කියවේ.
භාවනාවෙහි යෙදුණු තවත් භික්‍ෂු නමක් විලක බැස නෙලුම් මල්කඩන දැරියක් කී:
“පාතො ඵුල්ලිතකොකනදං සුරියාලොකෙන තජ්ජීයතෙ
එවං මනුස්සගතා සත්තා ජරාභිවෙගෙන මද්දීයන්ති”
යන ගාථාව අසා රහත්වී යයි එහිම පෙනේ.
රුහුණේ නාගමහාවිහාරයෙහි ප්‍රධාන ස්ථවිරතුමා සංඝයාගෙන් නො විචාරාම එක් නාගසක් කැප්පවීය. එහි අධිගෘහීතව සිටි දේවතාවා තෙරුන්ට කිපී උපක්‍රමයකින් තෙරුන්ට විපතක් පැමිණවීමට සිතා තමා තෙරුන්ට පැහැදුණකු සේ පෙන්වා “මින් සත්වෙනි දිනයෙහි ඔබගේ උපස්ථායක රජ මැරෙන්නේ ය” යි සිහිනෙන් කීය. තෙරනම ඒ කථාව අන්තඃපුරස්ත්‍රීන්ට කීය. එයැසූ ස්ත්‍රීහු එකවර හඬන්ට පටන් ගත්හ. රජු “මේ කුමක්දැ”යි ඇසූ විට තෙරුන් කී කාරණය දැනුම් දුන්හ. රජතෙම දවස් ගණන් කරවා සත්දින ඉක්මුණු පසු තෙරුන්ට කිපී එතුමාගේ අත්පා කැප්පෙව්වේ ය. (මෙය විභංග අටුවාහි ඤාණවිභංගනිද්දෙස (286) යෙහි දැක්වේ.)
සිතුල්පව්වෙහි විසූ එක්තරා තෙරනමක් බලවත් වාතරෝගයක් වැළඳීම නිසා වේදනාවෙන් කෙඳිරිගාමින් ඔබිනොබ පෙරළුණේය. එක් තරුණ භික්‍ෂුනමක් “ස්වාමීනි, වේදනාව පවතින්නේ කොතැනදැ”යි ඇසීය. “ඇවැත, වෙන් වශයෙන් රිදෙන තැනක් නම් නැත; වස්තුව අරමුණු කොට වේදනාව පවතී” යයි කීය. “ස්වාමීනි, එසේ දන්නා විට ඉවසිය යුතු නොවේ දැ”යි භික්‍ෂුනම කී විට තෙරනම “ඉවසමි”යි කියා වේදනාව ඉවසුවේය. වාතය බලවත් වී පපුව දක්වා බඩ පැළීය. බඩවැල් ඇඳෙහි ගොඩ ගැසුණාහ. තෙරනම ඒ භික්‍ෂුනමට කථාකොට “මෙපමණ ඉවසීම සෑහේද” යි අසා විදසුන් වඩා පිළිසිඹියාවන් සමග රහත්ඵලය ලබා සමසිසීව පිරිනිවියේය. (මෙය සතිපට්ඨානවිභංග අටුවා (185) හි ද මැඳුම්සඟි අටුවාවේ සතිපට්ඨානවණ්ණනාහි ද එයි.)
මැඳුම්සඟි අටුවාහි සබ්බාසවසුත්තවණ්ණනාවෙහි මේ කථාව ස්වල්පයක් වෙනස්ව පෙනේ. එය මෙසේයි: සිතුල්පව්වේ ප්‍රධාන තෙරනම රාත්‍රි කාලයේ භාවනාවේ යෙදීම නිසා බඩේ වාතයක් හටගති. එතුමා එය ඉවසිය නො හැකි ව ඒ මේ අත පෙරළුණි. සක්මන අසල සිටි එක් පිණ්ඩපාතික තෙරනමක් එය දැක “ඇවැත්නි, පැවිද්දා ඉවසන ස්වභාව ඇත්තෙක් නොවේ දැ”යි කීය. තෙරනම “යහපතැ”යි කියා නිශ්චලව වැදහොත්තේ ය. වාතය නාභියේ පටන් පපුව දක්වා බඩ පැළී ය. තෙරනම වේදනාව යටපත් කොට විදසුන් වඩා අනාගාමියෙක් ව පිරිනිවියේ ය.
මෙතුමා ත්‍රිපිටකය ශුද්ධකර ගැනීම සඳහා පරතෙරට ගියේය. එක් කෙළෙඹියෙක් එහි දී එතුමාට සිවුපසයෙන් උපස්ථාන කෙළේය. හැරී එන අවස්ථාවේ දී තෙරනම කෙළෙඹියාට යන බව කීය. “ස්වාමීනි, කොහි වඩිනා සේක්දැ”යි ඇසූවිට “මාගේ ආචාර්‍ය්‍ය - උපාධ්‍යායයන් වෙතට” යයි කීය. ස්වාමීනි, මට එහි යන්ට නොහැක. ඔබ නිසා මා විසින් බුද්ධශාසනයාගේ ගුණය දන්නා ලදි. ඔබ ගිය කල්හි කෙබඳු භික්‍ෂුනමක් කරා එළඹිය යුතුදැ”යි විචාළේ ය. එවිට තෙරනම “යම් භික්‍ෂුනමක් සූවිසි සෝවාන් පුද්ගලයන්ද දොළොස් සකෘදාගාමී පුද්ගලයන් ද අටසාළිස් අනාගාමී පුද්ගලයන් ද දොළොස් රහතන් ද විස්තර කොට පෙන්වා බණ කියන්ට සමර්‍ථ නම් එවැනි භික්‍ෂුනම්ක ආශ්‍රය කරව”යි කීය. (මෙය සංයුත්ත මහාවග්ගවණ්ණනාවෙහි ඡළින්‍ද්‍රියවග්ග (iii, 191) යෙහි පෙනේ.
මෙතුමා ලෝහප්‍රාසාදයේ පහත මාලයේ හිඳගෙන ධර්‍මය උගන්වන්නේ අභිධර්‍මයට නිදානයක් නැතැයි කී පරවාදීන්ට නිග්‍රහ කරමින් “එකං සමයං භගවා දෙවෙසු විහරති තාවතිංසෙසු පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං: තත්‍රඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම්මකථං කථෙසි කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යාකතාධම්මාති” යන්න ප්‍රකාශ කළ බව අට්ඨසාලිනී නිදාන කථාවෙහි පෙනේ.
(මෙය එතුමා ම ගළපා කියූ පාටයක් මිස අන්කිසි පොතක තිබෙන්නක් නොවන බැවින් මෙය නිදානයක් නැත යන්න බිඳීමට සමර්ථ වාක්‍යයක් නො වේ.)
අට්ඨසාලිනී අටුවාහි නිදානකථාවෙහි මහාගතිගමිය[35] තිස්ස දත්ත නම් තෙරනමක් මහබෝ වැඳීම සඳහා පරතෙර යන්නේ නැවේ උඩතට්ටුවේ සිටගෙන මහමුහුද බැලීය; එතුමාට මෙතෙර හෝ එතෙර නො පෙනුණේය; සමන්මල් විසුරූ සමබිමක් වැනි පෙණ විසිරුණු මහමුහුදම පෙනුණි. එවිට මහමූදේ රළවේගය බලවත් ද මහපට්ඨානයෙහි නයක්‍රමය බලවත් දැයි සිතන්නා වූ එතුමාට මහමූදේ තෙරක් ඇති බවත් පට්ඨාන ක්‍රමයන්ගේ කෙළවරක් නැති බවත් වැටහී මහත් ප්‍රීතියක් උපදවා එය යටපත් කොට විදසුන් වඩා රහත් වී යයි කියවේ.
විශුද්ධිමාර්‍ගයේ ඉද්ධිවිධනිද්දෙසයෙහි (403) තිස්සදත්ත නම් තෙරනමක් හවස නා තනිපට සිවුර පොරවාගෙන මහබෝ වඳිනු කැමතිව තමාගේ සෘද්ධියෙන් එය ළං කොටගෙන වැන්දේ යයි කියවේ.
එක් දුර්භික්‍ෂ කාලයක දී ලක්දිව විසූ චුල්ලසමුද්ද තෙරුන් වෙතට සත්සියයක් භික්‍ෂූහු පැමිණියහ. එය උදයවරුවක් වූ බැවින් මේ පිරිසට භික්‍ෂාව ලැබිය හැක්කේ කොහෙන්දැයි දිවැසින් බැලූ තෙරුන්ට ලක්දිව කිසි තැනක නො ලැබිය හැකි බවත් දඹදිව පැළලුප් නුවරදී ලැබිය හැකි බවත් දැක භික්‍ෂූන්ට පාත්‍ර සිවුරුගන්ට කියා පොළොව හකුළමින් ඔවුන් සමග පාටලීපුත්‍රයට ගියේ ය. භික්‍ෂූහු පෙර නුදුටු නුවරක් දැක “මේ කවර නුවරක් දැ”යි තෙරුන්ගෙන් ඇසූහ. “පාටලී පුත්‍රයයි” කී විට “ස්වාමීනි, පාටලී පුත්‍රය බොහෝ දුර නොවේදැ”යි ඇසූහ. “ඇවැත්නි, මහලු තෙරවරු දුරතැන් ළංකෙරෙති”යි තෙරුන් කීවිට “මහාසමුද්‍රය කොහිදැ”යි ඇසූහ. “ඇවැත්නි අතරමග දී එක්තරා නිල් පැහැති දිය පාරක් පසුකොට නාවහුදැ”යි තෙරනම කීය. “මහමූද මහත් දෙයක් නොවේදැ”යි ඇසූ විට “මහලු තෙරවරු මහත්දෙය කුඩා කෙරෙති”යි කීය. (මෙය විශුද්ධිමාර්‍ගයේ ඉද්ධිවිධනිද්දෙසයෙහි (403) එයි.)
පැළලුප් නුවර වැසි විසාඛ නමැති කෙළෙඹියකුට සිංහලද්වීපය චෛත්‍ය මලුවලින් අලංකෘතය, කසාවතින් බැබලෙන්නේ ය, ගිය ගිය තැනම විසිය හැක: සෘතුසමත්‍වය, සේනාසනසුලභත්‍වය, ධර්‍මශ්‍රවණලාභය, සේවනයට යෝග්‍ය පුද්ගලයන්ගේ සුලභත්‍වය යන මෙයින් යුක්තයයි. අසන්ට ලැබී තමාගේ ධනස්කන්ධය දූදරුවන්ට පාවා දී දාවලුකොණෙහි බැඳගත් එකම කහවණුවක් ඇතිව ගෙදරින් නික්ම නැව් තොටකට ගොස් නැවක් බලාපොරොත්තු වෙමින් මසක් පමණ කල් ගත කෙළේය. තමා වෙළෙඳාමෙහි දක්ෂ බැවින් ඒ මාසය තුළ දී අතේ තිබුණ කහවණුවෙන් බඩුගෙන වෙළඳාම් කොට ක්‍රමයෙන් කහවණු දහසක් ඉපදවීය. ඉන්පසු ලක්දිවට අවුත් ක්‍රමයෙන් මහාවිහාරයට පැමිණ පැවිද්ද ඉල්වා පැවිදි කිරීම සඳහා සීමාවක් තුළට කැඳවනු ලැබූවිට ඒ කහවණු පොදිය ඔඩොක්කුවෙන් ගෙන පැත්තක තැබීය. “මේ මොනවා දැ”යි ඇසූ විට “කහවණු දහසකැ”යි කීය. “පැවිදි වූ පසු මේවා විචාරණය කරන්ට නො හැකිය; ඊට පෙර ඒවාට කළ යුත්තක් කළ යුතුය”යි කී විට හෙතෙමේ “විසාඛගේ පැවිදිවීම බලන්ට පැමිණියෝ හිස් අතින් නොයෙත්වා”යි කියා කහවණුදහස සීමා මාලකයෙහි විසුරුවා දැමීය. ඉන් පසු පැවිදි උපසම්පදාවන් ලැබූ හෙතෙමේ ප්‍රාතිමෝක්ෂ දෙක ඉගෙන වස්පසක් ගුරුවරුන් සමීපයෙහි වැස එක් විහාරයක සාරමාසය බැගින් වසමින් ලක්දිව සංචාරය කෙළේය. හෙතෙම සිතුල්පව්වට ගොස් සාරමසක් වැස “හෙට උදෑසන අන්තැනකට යන්නෙමි”යි සිතා නින්දට ගියේය. සක්මන කෙළවර මයිලගසේ අධිගෘහිත දේවතාවා තරප්ප පඩියක හිඳගෙන අඬන්ට පටන් ගති. තෙරනම “මේ කවරෙක්දැ”යි ඇසීය. මම මයිලගසේ දෙවියා වෙමි”යි කීවිට කුමක් නිසා හඬන්නෙහිදැ”යි ඇසීය. “ඔබ වහන්සේ මෙහි වසන විට අමනුෂ්‍යයෝ ඔවුනොවුන් හා සමගියෙන් වෙසෙත් ඔබ ගිය විට ඔවුහු නැවත කලහ කරන්නාහ. නපුරු වචන කියන්නාහ”යි කීය. “ඉදින් මා නිසා තොපට සැනසීමක් ලැබේ නම් මම තවත් කලක් මෙහි නවතින්නෙමි”යි කියා තවත් සාරමසක් වසන්ට සැරසෙන විට දේවතාවා නැවතත් හඬන්ට පටන් ගති. ඒ වරත් තෙරනම ගමන නැවැත්වීය. මේ ක්‍රමයෙන් එතුමන් යන්ට සැරසුණු හැමවිටම දේවතාවන් විසින් නවත්වනු ලැබූ බැවින් එතුමා එහිම වැස පිරිනිවියේ ය. මේ ස්ථවිරතුමා මෛත්‍රී විහාරී වූ බැවින් දෙවියෝ එතුමාට මෙසේ ප්‍රිය කළහ. (මේ කථාව විශුද්ධිමාර්‍ගයේ මෙත්තාභාවනාකථාවෙහි එයි.)
මැඳුම්සඟි අටුවාහි විතක්කසණ්ඨානසුත්තවණ්ණනාවෙහි (313) මේ කථාව පෙනේ:- තිස්ස සාමණේර නමගේ උපාධ්‍යායතුමා තිස්ස මහාවිහාරයෙහි වසයි. හෙරණතැන වරක් තමා උකටලී වූ බව තෙරුන්ට දැන්වීය. තෙරනම “මේ විහාරයේ නෑමට ජලය දුර්ලභය; මා සිතුල් පව්වට ගෙනයව”යි කීය. හෙරණ තෙරුන් කැඳවාගෙන එහි ගියේ ය. එවිට තෙරනම “මේ විහාරය අත්‍යන්තයෙන් සංඝිකය; මට පුද්ගලික තැනක් පිළියෙලකරව”යි කීය. හෙතෙම යහපතැ යි කියා සංයුත්තනිකාය ඉගෙනීමත් ගුහාවක් ශුද්ධ කිරීමත් තෙජෝකසිණභාවනාවත් එකවිටම ආරම්භ කොට ගුහාවේ වැඩ අවසන් වන විට සංයුත්තය ඉගෙනීමත් ධ්‍යාන ලැබීමත් අවසන් කෙළේය. වැඩ අවසන් කොට උපාධ්‍යායයන්ට දැන් වූ විට එතුමා “සාමණේරය, තා විසින් දුක් සේ ගුහාව සාදන ලදි. අද එක් රැයක් තෝම එහි වසව”යි කීය. හෙරණ තැන එහි වසන්නේ සෘතුසත්ප්‍රාය ලැබ විදසුන් වඩා රහත්විය. එතුමන් පිරිනිවි පසු ධාතු පිහිටුවා කළ චෛත්‍යය තිස්ස සාමණේර චෛත්‍ය යයි ප්‍රකටය.
අංගුත්තර ඒකනිපාත අටුවාහි (26) මේ කථාව පෙනෙන්නේ මීට ස්වල්පයක් වෙනස් ලෙසය:- සිතුල්පව්වෙහි තිස්ස භික්‍ෂුනමට උපසම්පදාවෙන් වස්ගණනක් නැති කල්හි ම අනභිරතියක් උපන්නේ ය. හෙතෙම එය දුරු කරගන්ට නො හැක්කේ තමාගේ සිවුරු සෝදා පොවා පාත්‍රය දුම් අල්ලා හිසකෙස් බා උපාධ්‍යාය තෙරුන් වෙත ගොස් වැඳ සිටියේ ය. එවිට උපාධ්‍යායතුමා “කිමෙක්ද, මහාතිස්ස, නො සතුටු ආකාරයක් පෙනේය”යි කීය. “එසේය, ස්වාමීනි, මට අනභිරතියක් උපන්නේය”යි කී විට තෙරනම ඔහුට රහත්වීමට හේතු සම්පත් ඇතිබව දැක “තිස්සය, මම මහලුය, මට වසන තැනක් පිළියෙලකරව”යි කීය. භික්‍ෂුනම යහපතැයි පිළිගත්තේ ය. එවිට තෙරනම එය කරන අතරේ ඉගෙන ගන්නා දෙයක් කමටහන් වැඩීමත් අත්නොහරව”යි ද කීය. භික්‍ෂුනම ලෙණක් සෑදීමට සුදුසු තැනක් බලා එහි දර පුරවා ගිනි තබා ශුද්ධකොට ගඩොලින් වටකොට බැඳ දොර - කවුළු යොදා සක්මන් කරන තැන් ආදියෙන් යුක්ත කොට ලෙණ නිමවා ඇඳ පුටු අතුරා තෙරුන් සමීපයට ගොස් වැඳ “ලෙණේ වැඩ නිමි යේ ය”යි කීය. එවිට “තා දුකසේ කළ ගුහාවෙහි අද එක් දිනක් තෝම වසව”යි කීය. එහි හිඳගෙන “මා විසින් උපාධ්‍යායයන්ට මනාප වූ දෙයක් කරන ලදැ”යි සිතන ඔහුට ප්‍රීතියක් උපණි. එය යටපත්කොට විදසුන් වඩා රහත්විය.
මේ දෙක කථා ප්‍රවෘත්ති දෙකකැයි ගැනීමට අවකාශ නැත. එකම ආචාර්‍ය්‍යවරයා ලියූ අටුවා දෙකක මෙවැනි වෙනස්කම් ඇති වීමට හේතුව කුමක්දැයි විමසිය යුතු.
විජයාරාමවාසී එක් රහත්තෙරනමක් භික්‍ෂූන් දෙනමකට කමටහන් දෙමින් සූත්‍රයක් ගෙනහැර දක්වා “සමුද්දො සමුද්දොති භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො භාසති” යන වාක්‍යය කියන්නේ සමුද්ධො යි ධනිත කොට කීය. ඉන් එක් භික්‍ෂුනමක් “ස්වාමීනි, සමුද්ධ නොවේ, සමුද්ද යයි කීවිට තෙරනම “සමුද්ධ යයි කීවත් සමුද්දය යි කීවත් අපි ලවණ සාගරය ගනිමු; තෙපි වනාහි ව්‍යඤ්ජන සොයන්නෝ වව්. අර්‍ථ සොයන්නෝ නොවව්. එබැවින් මහාවිහාරයට ගොස් උගත් භික්‍ෂූන් වෙතින් ව්‍යඤ්ජන ශෝඡනය උගනිව්”ය යි කියා ඔවුන්ට කමටහන් නො දී පිටත් කෙළේ ය. (මෙය මැඳුම්සඟි අටුවාහි කින්තිසුත්තවණ්ණනාවෙහි (828) පෙනේ.
චන්‍දමුඛතිස්ස (හෙවත් සඳමුහුණු) රජුගේ කාලයේ දී මහාවිහාරයෙහි ඇස්පෙනීම අඩු රහත් සංඝස්ථවිරනමක් විය. රජතෙම තෙරුන් පරීක්ෂා කරනු කැමතිව භික්‍ෂූන් පිඬුපිණිස ගිය අවස්ථාවක විහාරයට ගොස් නිශ්ශබ්දව තෙරුන් වෙත ගොස් සර්පයකු මෙන් හැඟෙන සේ තෙරුන්ගේ පය ඇල්වීය. තෙරනම ගල්කණුවක් සේ නිශ්චලව සිටගෙන “මෙහි කවරෙක්දැ”යි ඇසීය. ස්වාමීනි, මම තිස්සයා වෙමි”යි කීවිට “තිස්සය, තාගේ සුවඳ හමනවා නොවේදැ”යි ඇසීය. (මෙය මැඳුම්සඟි අටුවාහි ඡබ්බිසොධන සුත්තවණ්ණනා (869) වෙහි එයි.
මේ ස්ථවිරතුමන්ගේ මතයක් මහාසීව තෙරුන් විසින් බිඳිනු ලැබූ ආකාරය මැඳුම්සඟි අටුවාහි මහාසච්චකසුත්තවණ්ණනා (463) වෙහි පෙනේ.
සෑගිරියෙහි සොහොයුරු තෙරදෙනමක් විසූහ. දෙටුතෙර නම ධුතාංග රකින්නෙක් විය. එක් දිනක් කණිටු තෙරනම තමාට ලැබුණු උක්ගස් කෑල්ලක් රැගෙන දෙටු තෙරුන් වෙත ගොස් එය වැළඳුව මැනවැයි කී විට “ඕනෑ නැතැ”යි කීය. “කිමෙක් ද ස්වාමීනි, ඒකාසනිකවෙත් දැ”යි බාලතෙරුන් ඇසූවිට තමා පණස් අවුරුද්දක් ඒ අංගය රැකි නමුත් ඒ බව සොහොයුරාටව්ත අඟවන්ට නො කැමති වූ වැඩිමහලු තෙරනම උක් කැබැල්ල රැගෙන වළඳා කට සෝදා නැවත ධුතාංගය අධිෂ්ඨාන කොට ගියේය. මෙය මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනාවෙහ (350) එයි. අංගුත්තරඒකනිපාත අටුවාහි (44) ද වෙනසක් නැතිව පෙනේ.
කෝටපබ්බතවිහාරවාසී තිස්ස ස්ථවිරතුමා වනාහි ආනාපානසතිය වඩා රහත් වූ බැවින් තමාගේ ආයුසංස්කාරය පවත්නා කාලය දැන සිරුර පිළිදැගුම් කොට හැඳීම් පෙරවීම් සකස් කොට ගෙන නියමිත කාලයෙහි පිරිනිවියේ ය යි විශුද්ධිමාර්‍ගයේ අනුස්සති කම්මට්ඨානනිද්දෙසයෙහි (292) පෙනේ.
සිතුල් පව්වෙහි විසූ සොහොයුරු තෙරදෙනමගෙන් වැඩිමහල් තෙරනම පසළොස්වක් දිනක දී පාමොක් දෙසා භික්‍ෂූන් පිරිවරා තමාගේ වාසස්ථානයට ගියේ සක්මනට බැස සඳ එළිය දැක තමාගේ ආයුසංස්කාරය බලා භික්‍ෂූන් අමතා “තොප විසින් කොයි ආකාරයෙන් පිරිනිවෙන තැනැත්තෝ දක්නා ලද්දහුදැ”යි විචාලේ ය. ඇතැම් කෙනෙක් “හිඳගෙන පිරිනිවෙන්නන් දුටු වෙමු”යි කීහ. තවත් කෙනෙක් “පළඟබැඳගෙන පිරිනිවෙන්නන් දුටිමු”යි කීහ. ඉක්බිති තෙරනම “මම දැන් තොපට සක්මන් කරමින් පිරිනිවෙන්නකු පෙන්වන්නෙමි”යි කියා සක්මන හරහා ඉරක් ඇඳ “මම මේ සක්මන් කෙළෙවරින් එහා කොණට ගොස් හැරී එන්නේ මේ ඉරළඟට පැමිණ පිරිනිවෙන්නෙමි”යි කියා එසේ ගොස් හැරී ඇවිත් ඒ රේඛාව පැගූ කෙණෙහි පිරිනිවියේ ය. (මෙය විශුද්ධිමාර්‍ගයේ ආනාපානසතිය විස්තර කථාවෙහි (292) එයි.
බ්‍රාහ්මණතිස්ස භය පැමිණිකාලයෙහි සිතුල්පව් මහාවිහාරයෙහි දොළොස්දහසක් භික්‍ෂූහු විසූහ; තිස්ස මහාවිහාරයෙහි ද එපමණ ගණනක් විසූහ. එක් එක් විහාරයෙහි එහි වැසි භික්‍ෂූන්ට තුන් අවුරුද්දකට සෑහෙන තරම් ධාන්‍ය රැස්කොට තිබුණ නමුත් කෑම නැතිව ඇවිදින මහමීයන් රැලක් අවුත් දෙතැන්හිම තිබුණු ධාන්‍ය රාශිය එක් රැයක දී කා දැමූහ. සිතුල් පව්වේ භික්‍ෂු පිරිස ඒ කාරණය දැන තිස්සමහාරාමයට ගොස් ජීවත්වෙමු යි කියා එහියන්ට පිටත් විය. තිස්සමහාරාමයේ පිරිස සිතුල්පව්වට ගොස් ජීවත්වන්නෙමු යි සිතා එහි යන්ට පිටත් විය. මේ දෙපිරිස අතරමඟ ගම්භීරකන්‍දර නම් තැනදී මුණ ගැසී කථාබස්කොට දෙතැන්හිම දන්වැට විනාශ වූ බව දැන “එහි ගොස් කුමක් කරමුදැ”යි කියා ගැඹුරු කඳුරුවනයට ඇතුල්ව තැනින් තැන හිඳගෙන ඒ හුන් ආකාරයෙන් ම පිරිනිවියා හ. භය සංසිඳුණු පසු භික්‍ෂුසංඝ තෙමේ ඒ තෙරවරුන්ගේ ධාතු එක්කොට පිහිටුවා චෛත්‍යයක් කරවීය. (මේ ප්‍රවෘත්තිය විභංග අටුවාහි ඤාණවිභංගනිද්දෙසයෙහ (314) එයි.)
ගවරවාළ අංගනයෙහි තිස්නමක් භික්‍ෂූහු වස් එළඹ අඩමසක් පාසා පෝයදිනයන් හි චතුපච්චයසන්තොස භාවනාරාම අරියවංශය දේශනා කළහ. එක් පිණ්ඩපාතික තෙරනමක් එහි දහම් දෙසන අවස්ථාවක පැමිණ තරමක් දුරින් ආවරණය ඇති තැනක හුන්නේය. ඉක්බිති එක් තෙලිස්සෙක් එතුමාගේ කෙණ්ඩය දෂ්ට කෙළේය. තෙරනම ඌ අල්ලා පසුම්බියක දමා බැඳ තබා ධර්‍ම ශ්‍රවණයට බාධාවක් නො කොට විෂවේගය උසුළාගෙන සිටියේ ය. අරුණ නැගෙන වේලෙහි බණ අවසන් වීමත් තෙරුන් අනාගාමි ඵලයට පැමිණිමත් විෂය ශරීරයෙන් පිටවී පොළොවට බැසීමත් යන තුන එක විටම සිද්ධ විය. (මේ කථාව අංගුත්තරතිකනිපාත අටුවාහි (385) එයි. මෙහි 15 අංකයෙහි දැක්වෙන සංයුත්තභාණක චූලසීව තෙරුන් පිළිබඳ කථාව ද බැලිය යුතු.)
රසවාහිනී ග්‍රන්ථයෙහි මේ කථාව ස්වල්පයක් වෙනස් ලෙස පෙනේ. එහි මෙසේ කියවේ:- සිංහලද්වීපයෙහි මාගම නොයෙක් සියගණන් භික්ෂූන්ට වාසස්ථාන වූ මහවැව නම් විහාරයක් විය. එහි අවුරුදු පතා අරිවංශදේශනාව පැවැත්වූ බැවින් එය ඇසීමට බොහෝ දුරිනුත් මිනිස්සු පැමිණියහ. කුඩ්ඩරජ්ජ පෙදෙස් වැසි එක්තරා තෙරනමක් ද බණ ඇසීම පිණිස එහි ගියේ මලුවෙහි අවකාශයක් නොලැබ මහ පිරිසගේ කෙළවරෙහි මලුවෙන් පිටත තණපඳුරක් ඇති තැන සිට ගෙන මහත් ප්‍රීතියෙන් බණ ඇසීය. රාත්‍රියේ දී ඒ පඳුරේ උන් පොළඟෙක් තෙරුන්ගේ තට්ටම දෂ්ට කෙළේය. තෙරනම එතැනින් ඉවත්ව නො ගොස් සර්පයා අල්වා වහන් පසුම්බියේ දමා බැඳතබා බණ ඇසීය. පසු දා උදය සර්පයා භික්‍ෂූන්ට දක්වා ඔවුන් විසින් කොයිවේලේදී ඌ අල්වන ලද දැයි ඇසූවිට නිදාන කථාරම්භකාලයේ දී යයි කීය. ඉක්බිති සත්‍ය ක්‍රියා කොට විෂ බස්වා ගත්තේ ය.
සැවැත්නුවර හතළිස්කෝටියක් ධනය ඇති කෙළෙඹිපුත්‍රයෙක් ඒ සියල්ල හැර පැවිදිව වනයක විසී. ඒ තෙරනමගේ බාල සොහොයුරා ගේ භාර්‍ය්‍යාව තෙරනම මැරීම සඳහා පන්සියයක් සොරුන් යැවීය. ඔවුන් එහි ගොස් තෙරුන් වටකරගත් විට තෙරනම “කුමක් සඳහා අවුදැ”යි විචාළේ ය. “ඔබගේ ජීවිතය නසන්ටය”යි කී විට “පින්වත්නි, ඇපයක් ගෙන අද එක් රැයක් ජීවත් වීමට මට අවකාශ දුන මැනවැ”යි කීය. “මෙතැන්හි ඔබට ඇප දෙන්නේ කවරෙක්දැ”යි ඇසූ විට තෙරනම ලොකු ගලක් ගෙන තමාගේ කලවා ඇට දෙක බිඳ “උපාසකවරුනි, මේ ඇපය සෑහේ දැ”යි ඇසීය. සොරු සක්මන් කෙළවර ගිනි ගොඩක් ගසාගෙන උන්හ. වේදනාව යටපත් කොට ගෙන තමාගේ ශීලය විමසා බලන ඕහට පිරිසිදු ශීලය නිසා ප්‍රීතියක් හටගති. ඉක්බිති විදසුන් වඩා අරුණ නැගෙන්ට කල්හි රහත්ඵලයට පැමිණියේ මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.
“උභො පාදානි භින්‍දිත්‍වා සඤ්ඤමිස්සාමි වො අහං;
අට්ටියාමි හරායාමි සරාග මරණං අහං
-
එවාහං චින්තයිත්‍වාන යථාභූතං විපස්සිසං
සම්පත්තෙ අරුණුග්ගම්හි අරහත්තමපාපුණිං”
(පා දෙක බිඳ මම තොපට යටත් වෙමි. මම රාග සහිත මරණය පිළිකුල් කරමි. මෙසේ සිතූ මම යථාතත්‍වය විදර්ශනා කොට අරුණ නැගෙන කල්හි රහත් බවට පැමිණියෙමි.)
(මේ කථාව මැඳුම් සඟි අටුවාවේ මූලපණ්ණාසයේ (210 වෙනි පිට) සතිපට්ඨානවණ්ණාවෙහි ද දික්සඟි අටුවාවේ මහාසතිපට්ඨාන වණ්ණනාවෙහි (537) ද දක්වන ලදි.) විශුද්ධිමග්ගගණ්ඨි නමැති පාළිපොතෙහි වනාහි මේ තෙරනම ලක්දිව විසූවෙකැ යි කියා තිබේ. එහි දැක්වෙන කථාව මෙසේයි :- සිංහලද්වීපයෙහි සොහොයුරෝ දෙදෙනෙක් එකම පවුලක් තබාගෙන විසූහ. එයින් එක් සොහොයුරකු කලුරිය කළ විට අනිකා කලකිරී පවුල හැරදමා ගොස් පැවිදි වී වනයෙහි විසී ය. ඔහුගේ භාර්‍ය්‍යාව නැවත පුරුෂයකු පාවාගන්ට කැමැත්තී “මේ භික්‍ෂුව ජීවත්ව සිටියදී මට පුරුෂයකු පාවාගත නොහැක. එබැවින් මොහු මරවා මාගේ අදහස ඉටු කරගන්නෙමැ යි සිතා අල්ලස් දී වධකයන් පිටත්කර යැවීය. ඔවුන් එහි ගිය විට තෙරනම කුමක් සඳහා කොහි සිට අවුදැයි විචාරා “ඔබ මරන්ට” ආවෙමු යි කීවිට තමාට එක් රැයක් ජීවිතදානය සඳහා ඇපයක් වශයෙන් තමාගේ පා දෙක බිඳිව් යයි කීය. සොරු පා දෙක බිඳ ඉවතට ගියහ. තෙරනම විදසුන් වඩා රහත් වූ පසු සොරු එතුමන් මරා ගියහ.
(මේ විසුද්ධිමග්ගගණ්ඨිය වනාහි බුරුම රටේ ලියන ලද්දකැයි සැලකිය හැක. බුරුම ග්‍රන්ථ වංශවල එය ඡප්පට තෙරුන්ගේ කෘතියකැයි කියන ලදී. නමුත් එහි භාෂාව ඡප්පට තෙරුන්ගේ භාෂාවට වඩා පහත් ය. නොයෙක් තැන ව්‍යාකරණ දෝෂ ද දක්නා ලැබේ. මේ පොත ගැන ලක්වැසි අපට දැනුමක් නැතිව තිබෙන අතර 1950 දී ලෝක බෞද්ධ සම්මේලනය සඳහා මෙහි පැමිණි පූනානුවර පාළිමහාචාර්‍ය්‍ය පී.වී. බාපාත් (එම්.ඒ.පී.එච්.ඩී.) මහතා මෙහි දී එයින් පිටපතක් ලබාගත්තේ ය. ඒ පිටපත වනාහි බුරුම රටේ දී ඒ අකුරෙන් ලියා ලක්දිවට ගෙනෙන ලද්දකි. මාගේ උපකාරය ඇතිව බූස්සේ සුදර්ශනාරාමයෙහි තිබී එය සොයා ගන්නා ලදි. ඉන්පසු පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනේ ද අම්බලම්ගොඩ අසල උස්මුදුලාවේ නිග්‍රොධාරාමයේ ද සිංහලයෙන් ලියූ පිටපත් දෙකක් ඇති බව දැනගන්ට ලැබී ඒවා ද ලබා ගෙන පොත් තුන සසඳා බලා ශුද්ධ කෙළෙමි.)
යථොක්ත විසුද්ධිමග්ගගණ්ඨියෙහි මේ කථාව ද පෙනේ. සිංහලද්වීපයෙහි දුර්භික්‍ෂයක් පවත්නා කල්හි මහාතිස්ස නම් තෙරනමක් තමන් විසූ පෙදෙසේ ආහාර නැති බැවින් තමන් උපන් ගම වූ අම්බබාදක නම් තැනට යන්නේ සත්දිනක් නිරාහාර විය. ගම ඇතුළට පැමිණ වෙහෙසට පත්වූයේ ගෙඩි ඇති අඹ ගසක් යට වැටී හුන්නේ ය. අඹගෙඩි එතුමන් හාත්පස වැටුණ නමුත් එතුමා ඒවා ගෙන නො වැළඳීය. ඉක්බිති එක් දේවතාවෙක් අම්බබාදක ගම වැසි එක් මිනිසකුට තෙරුන්ගේ පැමිණීම දැනුම් දුනි. ඒ මිනිසා උදෑසන ම ප්‍රණීත ආහාරයක් සම්පාදනය කරගෙන අවුත් තෙරුන් වැඳ එය පිළිගැන්වීය. තෙරනම ප්‍රණීත වූ ආහාරය දැක කරුණු විමසුයේ ය. මිනිසා සිදු වූ සියල්ල කීය. එවිට තෙරනම “චජෙ ධනං අංගවරස්ස හෙතු” යනාදි ගාථාව කියා ඒ ආහාරය ප්‍රතික්‍ෂෙප කෙළේය. එවිට උපාසකයා වැටී තිබුණු අඹ ගෙන පානයක් සාදා පිළිගැන්වීය. තෙරනම එය බී පසු “ස්වාමීනි, ගමට වැඩිය මැනවැ”යි උපාසකයා කීය. “පින්වත, මට යන්ට ශක්තිය නැතැ”යි කීවිට හෙතෙම තෙරුන් පිට උඩ නංවා ගෙන ගියේ ය. එසේ යන තෙරනම මෙසේ සිතී:-
“මා ඔසවා ගෙන යන මේ උපාසකයා මාගේ පියා නොවේ, මව නොවේ, නෑයෙක් ද නොවේ; සිල්වතෙක් නිසා මා මෙසේ ගෙන යයි” යන්න සිතා සංවේග උපදවා ඔහුගේ පිට උඩින් යද්දී ම විදසුන් වඩා රහත් විය. ඉක්බිති උපාසකයා තෙරුන් චීවරගුම්බ විහාරයට පමුණුවා සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය. විශුද්ධි මාර්ගයේ ශීලනිර්දේශයෙහි මේ තෙරුන්ගේ නම පමණක් දක්වන ලදි.
විශුද්ධිමග්ගටීකාවෙහි මේ කථාව ස්වල්පයක් වෙනස් ව පෙනේ:-
(මුද්‍රිත පොතේ 77-78 වෙනි පිටෙහි) මහාතිස්ස තෙරනම දුර්භික්‍ෂ කාලයක දී මග යන්නේ අහර නැතිකමින් හා ගමන් විඩාවෙන් දුර්‍වල වූයේ ගෙඩි ඇති අඹ ගසක් මුල වැදහොත්තේ ය. වැටුණු බොහෝ අඹ ගසයට වූහ. එක්තරා වෘද්ධ උපාසකයෙක් තෙරුන් වෙතගොස් වෙහෙස දැන අම්බපානයක් සාදා පොවා තෙරුන් තමාගේ පිට උඩ නංවා ගෙන වසන තැනට ගෙන ගියේ ය. තෙරනම ඒ අවස්ථාවේ දී උඩින් කී සේ “න පිතා න පි තෙ මාතා” යනාදිය සලකා විදසුන් වඩා රහත් විය.
(වළගම්බා රජු කල)
අනුරාධපුරයෙහි විසූ මෙතුමා බැමිණිතියාසාය පැමිණි විට උපස්ථායක පවුලක සොහොයුරන් සත්දෙනකුන් හා සොහොයුරියක් විසින් පිටිසරට කැඳවා ගෙන යන ලදින් උපස්ථාන කරන ලදැයි රසවාහිනියෙහි ප්‍රථම ජයම්පතික වස්තුවෙහි කියවේ.
රුහුණු රට කුටිම්බිය විහාරයෙහි සංඝනායක වූ “තිස්ස මහනාග” නම් තෙරනමක් විය. එක් දිනක් එතුමා අමරලෙණවැසි තිස්ස නම් රහත්නම වෙත ගොස් වැඳ හුන් විට රහත්තෙරණුවෝ පෘථග්ජනව විසීමේ දොස් විස්තර කොට කීය. එවිට මහානාග තෙර එතුමන්ගෙන් කමටහනක් ගෙන සිය අරමට යාමට පිටත් විය. අතරමග දී නපුරු ඇතෙක් මග අවුරා ගෙන සිටියේ එකෙණෙහි මහ වැස්සක් ද ඇති විය. තෙරනම ඇතා කෙරෙහි මෛත්‍රී පැතිර විය. එවිට ඇතා තෙරුන්ට වැස්සෙන් පීඩාවක් නො වෙනසේ එතුමන් පා සතරට මැදිකර ගෙන සිටියේ ය. තෙරනම එතැන හිඳගෙන ම විදසුන් වඩා පොළොව කම්පාකරවමින් රහත් විය. (මෙය රසවාහිනියේ තිසස්මහානාග වස්තුවෙහි කිය වේ.)
පීතමල්ල නමැති පොරබැදීමේ දක්‍ෂයෙක් ඉන්දියාවේ රාජ්‍ය තුනක දී තමාගේ දස්කම් දක්වා දිනුම් ලකුණු (පතාක) ලබාගෙන ලක්දිවට අවුත් රජු බැහැදැක රාජානුග්‍රහය ලැබ මෙහි වසන්නේ එක් දිනක් ලජ්ජිකාසන ශාලාවේ දොරටුව අසළින් යන්නේ එහි දහම් දෙසූ තෙරනමක් කියූ “මහණෙනි, රූපය තොපගේ නොවේ; එබැවින් එය දුරු කරව්; දුරු කළ එය තොපට බොහෝ කලක් හිත පිණිස පවත්නේය” යනාදි දේශනාව අසා “රූපය මාගේ නො වේලු, වේදනාදියත් මාගේ නොවේ ලු” යන්න අකුස්සක් මෙන් ගෙන මහාවිහාරයට ගොස් පැවිදි වී උපසම්පදාව ලබා උභයප්‍රාතිමොක්‍ෂය ඉගෙන තිස්නමක් භික්‍ෂූන් සමග “ගවරවාලිය අංගණ” නම් තැනට ගොස් මහණදම් කෙළේ ය. සක්මන් කිරීමට පා දෙක දුර්වල වූ විට දණ දෙකෙන් සක්මන් කළේය. රාත්‍රි කාලයේ දී එක් මුව වැද්දෙක් එතුමන් දැක මුවෙකැයි සිතා හෙල්ලෙන් ඇන්නේ ය. එය සිරුර පසා කරගෙන ගියේ ය. තෙරනම හෙල්ලය ඉවත් කරවා තුවාලයේ කටවල් තණවැටි වලින් අහුරවා තමා ගලක් මතුපිට තබන්ට සලස්වා අවාකශ ගෙන විදසුන් වඩා රහත් විය. ඉක්බිති කෑරීමේ ශබ්දයෙන් භික්‍ෂූන් ගෙන්වා රහත් වූ බව දැනුම් දී ප්‍රීතිවාක්‍ය වශයෙන් මේ ගාථාවන් කීය:-
“භාසිතං බුද්ධසෙට්ඨස්ස සබ්බලොකග්ගවාදිනො
න තුම්හාකං ඉදං රූපං තං ජහෙය්‍යාථ භික්ඛවො
අනිච්චා වත සංඛාරා උප්පාද - වයධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො”
මේ කථාව දික්සඟි - මැඳුම්සඟි අටුවා දෙක්හි සතිපට්ඨාන සූත්‍රවර්‍ණනාවන්හි දක්නා ලැබේ.
උපසම්පදාවෙන් සැටවස් ඉක්ම වූ මහාසංඝරක්ඛිත තෙරුන් මරණ මඤ්චකයෙහි හොත් කල්හි භික්‍ෂූහු රැස්ව එතුමන්ගෙන් මාර්ගඵලාධිගමය ගැන විචාළහ. තෙරනම “මට ලෝකොත්තර ධර්‍මයක් නැතැ”යි කීය. එවිට උපස්ථාන කරන තරුණ භික්‍ෂුනම “ස්වාමීනි, ඔබ රහත්ව පිරිනිවෙන්නාහ යි සිතා හාත්පස දොළොස් යොදුන් ප්‍රදේශයකින් මිනිසුන් රැස්ව සිටිති. ඔබගේ පෘථග්ජන මරණය මිනිසුන්ගේ කලකිරීම පිණිස වන්නේය”යි කීය. “ඇවැත්නි, මම මෙතේ බුදුන් දකින්නෙමි යි සිතා විදසුන් නො වැඩුවෙමි. එසේ නම් හිඳුවා අවකාශ ඇති කරව”යි කී විට භික්‍ෂුනම තෙරුන් වාඩි කරවා පිටතට ගියේය. තෙරනම ඔහු නික්මි විගස ම රහත් බවට පැමිණ අසුර ගැසී ය. සංඝයා රැස්ව “ස්වාමීනි, මෙවැනි මරණාසන්න කාලයක ලෝකෝත්තර ධර්‍මය ඉපදවූ ඔබ විසින් දුෂ්කර දෙයක් කරන ලදැ”යි කීය. “ඇවැත්නි, මෙය දුෂ්කර වැඩක් නොවේ; මීට වඩා දුෂ්කර දෙයක් මම කියමි:-
මා පැවිදි වූ තැන් පටන් සිහි නැතුව නුනුවණින් කළ වැඩක් ගැන නොදනිමි”යි කීය. (මේ කථාව විශුද්ධිමාර්ගයේ ශීලනිර්දේශයෙහි එයි.)
මැදුම්සඟි අටුවාහි සබ්බාසවසූත්‍රවර්‍ණනාවෙහි මේ කථාව පෙනේ. ඛණ්ඩවෙල විහාරයේ කණිකාරපධානඝරයෙහි අරිය වංස සූත්‍රදේශනාව අසමින් සිටි මේ තෙරුන් සර්පයෙක් දෂ්ට කෙළේය. තෙරනම එය නො සලකා පැහැදුණු සිතින් බණ ඇසී. විෂවේගය දරුණු වූ විට තෙරනම උපසම්පදාව ලැබූ තැන් පටන් ශීලය බලා පිරිසිදු සිල් ඇති බව දැක මහත් ප්‍රීතියක් උපදවා ගත්තේ ය. එකෙණෙහි විෂය සිරුරෙන් පිටතට නික්ම ගියේ ය. තෙරනම සිතේ එකඟ බව ලබා විදසුන් වඩා එතැන දී ම රහත් විය. (පධානිය යන්න සංඥානාමයක් නොවේ. සමථභාවනාවෙහි යෙදුණ පුද්ගලයෙක් එයින් කියවේ.)
සිතුල්පව්වේ දෙබිත්ති ගෙයක් තුළ තෙරදෙනමක් විසූහ. මාසේපෝය ද වැසිවළාකුළින් අහස අඳුරුවීම ද පැවති එක් රාත්‍රියක එක් තෙරනමක් අනික් තෙරුන්ට කථාකොට “ස්වාමීනි, මට දැන් චෛත්‍යමලුවේ මල් ආසනයේ තිබෙන නොයෙක් පැහැති මල් පෙනෙති”යි කීහ. අනික් තෙරනම “ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයක් නොවේ; මට මහමූදේ යොදුනක් පමණ තැන්හි වසන මත්ස්‍යයෝ ද කැස්බන් ආදි අනය සත්‍වයෝ ද පෙනෙති”යි කීය. (මෙය වනාහි දිවැසින් දැකීමක් නොවේ. විදසුන් වඩන්නන්ට ඥානය පිරිසිදු වීමෙන් ඇති වන ආලෝකයෙන් පෙනීමකි. මෙය විදර්ශනාවට බාධක වූ උපක්ලේශයක් සේ පෙන්වා තිබේ. විශුද්ධිමාර්ගයේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිනිද්දෙසයෙහි මේ කථාව පෙනේ. (ඉං, 634 පිට) ද්විකුඩ්ඩගෙහ (දෙබිත්ති ගෙය) නම් ගේ මැදින් ගෝණි රෙදි ගසා වෙන් කළ එකකැයි විසුද්ධිමග්ගණ්ඨියෙහි කියන ලදි.)
(කාවන්තිස්ස රජු කල)
පුණ්ණසාලකොට්ඨක (-පුන්හල් කොටුව) නම් ගම අසළ පිහිටි සගිරිවිහාරයෙහි පන්සියයක් ශිෂ්‍යයන් ඇති “බහුලමස්සුතිස්ස” නම් තෙරනමක් විය. තලගුරුපව්ව අසළ තිස්ස විහාරයෙහි විසූ ධම්මදින්න රහත් තෙරනම පන්සියයක් රහතන් සමග මණිනාගදීප චෛත්‍යය වැඳීමට යන්නේ ඒ විහාරයට පැමිණියේ ය. පසු දා ඒ පන්සියනමත් සෑගිරිවිහාරවාසී පන්සියනමත් පුන්හල් කොටුවේ සිටුගෙයකට දන් පිණිස ගිය විිට ඒ දහස්නමටම සෑහෙන තරම් හා මස් දීම නිසා ආගන්තුක භික්‍ෂූන්ට සැකයක් ඉපදී ඒ කාරණය බහුලමස්සුතිස්ස (මහදැලියා තිස්) මහතෙරුන්ට දැනුම් දුන්හ. සිටාණන් පසුදා ඒ සඟපිරිසට එසේ ම දන්දුන් විට අනුමෝදනා බණ කියන ධම්මදින්න තෙරණුවෝ ප්‍රාණඝාතයේ දොස් දක්වමින් බණ කීහ. එයැසූ සිටුතෙම “ස්වාමීනි, මේ සාවෝ අප විසින් මරණ ලද්දාහු නො වෙති. මාගේ ගෙයි කිසි විටක හා මස් වලින් අඩුවක් නො වන්නේ ය. එය කෙසේ පහළ වන්නේදැ”යි අපි ම නො දනිමුයි කීය. එවිට මහතෙරනම පූර්‍ව කර්‍මය බලා පදුමුත්තර බුද්ධකාලයේ දී දුන් හා මසක් නිසා මෙසේ ලැබෙන බව ප්‍රකාශ කෙළේය. (මෙය රසවාහිනියේ ධම්මදින්න වස්තුවෙහි පෙනේ. සක්‍ෂර්‍මාලංකාරයෙහි කියවෙන්නේ මේ මහදැලියා තෙරනම යෙහෙලිගිරි විහාරයෙහි විසූ බවයි.)
(දුටුගැමුණු රජු කල)
දුටුගැමුණු කුමරුට නම් දෙන මංගල්‍යයේ දී 1008 නමක් භික්‍ෂූන්ට සංඝ ස්ථවිරව පැමිණියේ ගෝතම නම් තෙරනමකි. කුමරුට සරණසිල් දෙන ලද්දේ ඒ තෙරුන් විසිනි. ඒ තෙරනම පුවඟුදිවයින විසූ බව “පියංගුදීපට්ඨො සික්ඛාපදදායකො ගොතමත්‍ථෙරො” යන රසවාහිනී වචන වලින් පෙනේ. දුටුගැමුණු රජු චුල්ලංගණිය යුද්ධයෙන් පැරදී සැඟවී ගොස් වනයෙහි සිටින විට දන් පිළිගැනීමට ආවේ බොධිමාතුමහාතිස්ස තෙරයයි අංගුත්තර අටුවාහි කියන ලද නමුත් රසවාහිනියෙහ කියවෙන්නේ මෙකී ගෝතම තෙරුන්ගේ නියමය ලෙස එතුමන්ගේ අතවැසි තිස්සකුටුම්බියපුත්ත තෙරුන් එවූ බවයි.
මහාවංශයේ 22 වෙනි පරිච්ඡේදයෙහි ද ගෝතම මහතෙරුන් කුමරුට පන්සිල් දුන් බව කියැ වේ. එහි ම 24 වෙනි පරිච්ඡේදයෙන් සැඟ වී ගොස් සිටිය දී දන් පිළිගැනීමට පැමිණියේ රසවාහිනියෙහි කී කුටුම්බිකපුත්ත තිස්ස තෙරුන් බව ස්ථිර වේ. මහාවංශයෙහි මෙසේ දැක්වේ. “රජහට ශික්‍ෂා දුන් ස්ථවිර තෙමේ පුවඟු දිවයින වසනසේක් ඒ ශබ්දය දිවකණින් අසා කෙළෙඹිපුත් තිස්ස තෙරුන් එහි නියෝග කළ සේක. රජතෙමේ බතින් පිරූ පය තෙරුන්ට දුන්නේ ය. උන්වහන්සේ වහා අහසින් වැඩ ගොතම නම් තෙරුන්ට දුන් සේක.”
යුද්ධයෙන් පසු රජුගේ පසුතැවිල්ල සංසිඳවීම සඳහා රහත් අටනමක් එවන ලද්දේත් පුවඟු දිවයිනේ සංඝයා විසිනි.
තිස්ස කුමරා ගැමුණු රජු හා යුද්ධකොට පැරදී අප්‍රකට වෙසින් දිගාවැවට ගොස් ගෝධගත්තතිස්ස තෙරුන් වෙත එළඹ තමා කළ වරදට රජුගෙන් සමාව ඉල්ලා දෙන ලෙස අයැද සිටියේ ය. තෙරණුවෝ කුමරුට කුඩය හා පාත්‍රය දී වතාවත් කරන්නකු මෙන් මාගමට කැඳවාගෙනවුත් රජු හා සමගිකර වූහ යි රසවාහිනියේ දුටුගැමුණු කථාවෙහි කියවේ. මහාවංශයෙහි 24 වෙනි පරිච්ඡේදයෙහිත් මේ පුවත මෙසේ ම කියවේ.
ලක්දිව විසූ මහානාගතෙර එක් දිනක් මවු උපාසිකාවගේ ගමට පිඬු පිණිස වැඩියේ ය. උපාසිකාව එතුමන්ට කැඳ දී අසුන් හලෙහි වාඩිකරවීය. තෙරනම දන් පිළියෙල කරන තෙක් නිරෝධය සමවැදුණි. එ වේලෙහි ආසන ශාලාව ගින්නෙන් දැවෙන්ට විය. සෙසු භික්‍ෂූහු තම තමන්ගේ ආසන රැගෙන ඉවත ගියහ. ගම්වැසියෝ එහි රැස්ව ගිනිගත් ශාලාවෙන් පිට නොවීහුන් තෙරුන් දැක “අලස මහණෙකැ” යි කීහ. ගින්න උණගස් දැව - සෙවිලි කළ අතු ආදිය දවා තෙරුන් වටකොට ගෙන සිටියේය. මිනිස්සු කළවලින් වතුර ගෙනවුත් ගිනන් නිවා අලු ඉවත් කොට තෙරුන් නොමළ බව දැක පොළොව ශුද්ධකොට මල්විසුරුවා වඳිමින් සිටියාහ. තෙරනම තමා විසින් නියමිත කාලයේ දී සමාධියෙන් නැගිට මිනිසුන් දැක තමාගේ රහත්බව හෙළි වූ බැවින් නො සතුටට පත්ව අහසට නැගී පුවඟු දිවයින (පියංඟුදීපය)ට ගියේ ය. (මේ කථාව විසුද්ධිමග්ගයේ පඤ්ඤාභාවනානි සංසිනිද්දෙසයෙහි එයි. ඉං. 706)
සීසෑ ඉඩමක් දෙස බලන්නා වූ මේ තෙරුන්ට ඒ ඉඩම පමණ වූ ම පඨවිකසිණ නිමිත්ත උපණි. එතුමා එය වඩා ධ්‍යානපස උපදවා විදසුන් වඩා රහත් වී යයි විසුද්ධිමග්ග පඨවිකසිණනිද්දෙසයෙහි කියවේ. (ඉං. 123)
එහිම කායගතාසතිනිද්දෙසයෙහි (ඉංත 265) මල්ලක නම් තෙරුන්ට කායගතා සතියේ ඇති කොටස් ගණන අනුව වෙන් වශයෙන් ප්‍රථමධ්‍යාන දෙතිසක් උපන්නාහ යි කියවේ.
කැළණිවෙහෙර විසූ එක් භික්‍ෂුනමක් කළුදිගාවැව (කාළදීඝවාපි) ගම් දොර පිහිටි විහාරයට ඉගෙනීම සඳහා ගියේ ය. උගන්වන ගුරුවරයා ඔහුට ඇතිවන අනතුරක් දැක ඉගෙනීමට අවකාශ නො දුණි. නැවත නැවත යාච්ඤා කළ විට “ඉදින් ගම ඇතුළට නො යන්නෙහි නම් උගන්වන්නෙමි”යි කීය. හෙතෙම යහපතැයි පිළිගෙන ඉගෙනීම අවසන් කොට හැරී යන්නේ “මාගේ ආචාර්‍ය්‍යවරයා මෙම්හි නො හැසිරිය යුතු ය”යි මට කීය. කාරණය කුමක්දැයි විමසන්නෙමි”යි සිතා පිඬු පිණිස ගමට ඇතුල්විය. කසාවත් වස්ත්‍රයක් හැඳගත් එක් තරුණියක් එගම්හි ගෙයක දොරකඩ සිටියාය. තරුණ භික්‍ෂුව දැක හටගත් ආලය ඇත්තී කිනිස්සෙන් කැඳ ගෙනවුත් පාත්‍රයෙහි වත්කොට හැරී ගෙට ගොස් ඇඳෙහි වැතිර හොත්තීය. මවුපිය දෙදෙන කිමෙක් දැයි විචාළ විට “දැන් මෙතැනින් ගිය භික්‍ෂු මට ලැබෙතොත් ජීවත්වන්නෙමි, නො ලැබෙතොත් මැරෙන්නෙමි”යි කී බැවින් ඒ දෙදෙන වහා දුව ගොස් භික්‍ෂුනමට දන්වළඳන්ට වඩින්ට කීහ. භික්‍ෂුනම නො කැමති වූ විට කාරණය කියා “අපේ ගෙයි මෙපමණ ධනය ඇත. ඇත්තේ එක ම දියණියෝ ය; ඔබට සැපසේ ජීවත් විය හැකිය”යි ඔවුන් කී නමුත් “මට මෙයින් කම් නැතැ”යි කියා යන්ට ගියේය. එවිට ඒ දෙදෙන හැරී ගොස් “ඒ භික්‍ෂුනම නවත්වන්ට නොහැකි විය; තට අන්‍ය වූ කැමති වූ හිමියකු පාවා දන්දෙමු; නැගිට කෑම්පීම් ආදිව කරව”යි කී නමුත් “මට අන් හිමියකුගෙන් වැඩක් නැතැ”යි කියා නොකා නොබී හිඳ සත්වෙනිදා මරණයට පත් විය. මවුපියවරු ඇගේ භූමදාන කෘත්‍යය කොට දන් දී ඇඳ සිටි කසාවත් වස්ත්‍රය අසළ විහාරයේ සංඝයාට පිදූහ. සංඝතෙමේ ඒ වස්ත්‍රය කැබලි කොට බෙදීය. එක් මහලු තෙරනමක් තමාට ලැබුණු වස්ත්‍ර කැබැල්ල රැගෙන කැළණි විහාරයට ගියේය. යථොක්ත භික්‍ෂුනම ද එහි පැමිණ සිටි බැවින් මහලු තෙරනම ඒ රෙදි කැබැල්ලෙන් පෙරහනක් සාදා දුන මැනවැ යි භික්‍ෂුනමට කීය. “එය කොහෙන් ලැබුණාදැ”යි ඇසූවිට තෙරනම සියලු ප්‍රවෘත්තිය කීය. භික්‍ෂුනම එයසා “මෙවැනි තරුණියක් හා සංවාසය නොලද්දෙමි”යි ශෝකයට පත්ව එයින්ම කලුරිය කෙළේ ය. (මේ කථාව මැඳුම්සඟි අටුවාවේ රථවිනීතසුත්තවණ්ණනාවෙහි (363) එයි. අංගුත්තර එකනිපාත අටුවාහි ද (13) මෙය සංක්‍ෂේපයෙන් පෙනේ.)
සිතුල්පව්වෙහෙර වැසි එක් තරුණ භික්‍ෂුණියක් පෝය කරන දවසක පෝය ගෙට ගොස් දොරටුපාල රූපය බලමින් සිටියදී ඇය තුළ රාගය ඉපද එයින් ම දැවී සිටිවනම කලුරිය කළාය. අන්‍ය භික්‍ෂුණීන් අවුත් මැය සිටින්නී කුමක් හෙයින්දැයි අසා අතින් ඇල්ලූ විගස පෙරළී බිමවැටුණි. (මෙය දික්සඟි අටුවාහි සංගීතිසුත්තවණ්ණනාවෙහ (727) එයි.)
අංගුත්තර එකනිපාතඅටුවාහි (13) මේ කථාව පෙනේ:- මහා දාඨිකනාග රජතෙම අම්බත්‍ථලයෙහි මහාචෛත්‍යය කරවා ගිරිභණ්ඩවාහන පූජාව ද පවත්වා කලින් කල අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා ගෙන සෑගිරියට ගොස් භික්‍ෂුසංඝයාට දන්දෙයි. ඒ රජුගේ “දමිළදේවී” නමැති පළමුවියෙහි පිහිටි මනා රූසපුව ඇති මෙහෙසියක් විය. වයස්ගත වී මහණ වූ චිත්ත ස්ථවිර නමැත්තෙක් අසංවරයෙන් බලන්නේ ඒ දේවිය දැක රූපයෙහි නිමිතිගෙන උමතුවූවා සේ “දෙමළ දේවිය යහපත්ය, දෙමළ දේවිය යහපත් ය”යි උන්සිටි තැන්වල දී කියන්ට විය. වැඩි කලක් ගතවෙන්ට පෙර ඒ දේවියගේ මරණය සිදුවිය. ඇගේ අවමංගල කෘත්‍යය සඳහා ගිය භික්‍ෂූන් අතරෙන් ඇතැම් කෙනෙක් හැරී අවුත් චිත්තස්ථවිරයන් අමතා “ඔබ යම් දේවියක් ගැන වැලපෙන්නාහු නම් ඒ දේවියගේ අශුභ දර්‍ශනයට අපි ගියෙමු”යි කීහ. චිත්තස්ථවිරතුමා “යම් දේවියකගේ ආනුභාවයෙන් තෙපි අශුභ දර්‍ශනයට ගියාහු නම් ඒ තොපගේ මුහුණු දුම් පැහැයෙන් යුක්ත වෙති”යි උමතු වචන ම කීය.
මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනා (354) වෙහි මේ කථාව පෙනේ:- මිරිසවැටි මහාවිහාර පූජාවේදී රැස් වූ භික්‍ෂු පිරිස ලක්‍ෂයක් ද භික්ෂුණී පිරිස අනූදහසක් ද විය. එක් සාමණේර නමක් උණු කැඳ රැගෙන යන්නේ පාත්‍රය වරක් සිවුරු කොණ උඩ ද වරක් බිම ද තැබීය. එක් සාමණේරියක් එය දැක පාත්‍රය තබාගෙන යාම සඳහා තලියක් සාමණේරනමට දුණි. පසුකලක ලක්දිව දුර්භික්‍ෂයක් ඇති වූ විට දෙදෙනම මූදෙන් එතෙර ගියහ. භික්‍ෂුණිය කලින් එහි ගොස් සිටි බැවින් ඒ පෙදෙසට සිංහල භික්‍ෂුනමක් ආයේ යයි අසන්ට ලැබී ඒ තෙරුන් දැකීමට ගියා ය. එසේ ගොස් පිළිසඳර කථාකරන්නා හු “ස්වාමීනි, මිරිසවැටි විහාර පූජා කාලයේ දී ඔබ කෙතරම් වයස්ගතව සිටියාහුදැ”යි භික්‍ෂුණිය ඇසීය. “මම සත්හැවිරිදි සාමණේරයෙක්ව සිටියෙමි”යි කී තෙරනම “ඔබ එකල්හි කෙතරම් වයසේ සිටියාහුදැ”යි ඇගෙන් ඇසීය. “මමත් සත් හැවිරිදි සාමණෙරියක්ව සිටියෙමි. ඒ පූජාවේ දී දිනක් මම උණුකැඳ ගෙනයන තෙරනමකට පාත්‍රය තබා ගැනීමට තලියක් දුනිමි”යි කීවිට තෙරනම “ඒ සාමණේරයා මම වෙමි”යි කියා තලිය එළියට ඇද පෙන්වීය. සැටවස් පිරීසිටි ඒ දෙදෙන පෙර සිදු වූ මේ සංසර්‍ගය නිසා මහණකම රැකගත නොහැකිව සිවුරු හැර ගිහිබවට පැමිණියහ. (මේ දුර්භික්‍ෂය බැමිණිතියාසාය විය යුතුයි.)
සිතුල්පව්වේ විසූ එක් භික්‍ෂුනමක් සාලාසතරක් ඒකාබද්ධව තිබෙන තැන දොරටුව අසළ සිටගෙන ආරාමිකයන්ට හැඟීමක් ඇති කිරීම සඳහා පොළොවෙහි රවුම් වටයක් ඇන්දේය. එයින් එපමණක් මහත් වූ කැවුම් සෑදවීම අදහස් කරන ලදැයි සිතාගත් එක් නුවණැති ආරාමිකයෙක් එතරම් විශාල වූ කැවුම් සාදවා පසුදා බෙරය ගසා සංඝයා රැස් වූ විට කැවුම් ගෙනවුත් මෙසේ කීය. “ස්වාමීනි, මාගේ පියමුතුන්ගේ කාලයේදීවත් මෙවැනි දෙයක් සිදුවීය යි නො අසන ලදි. එක් ස්වාමීන් වහන්සේ නමක් විසින් චතුශ්ශාලාව ඉදිරියෙහි කැවුම් සඳහා වට්ටුවක් අඳින ලදි. මෙතැන් පටන් ස්වාමීවරු තම තමන්ට කැමති සැටියක් කියතොත් අපටත් පහසුවක් වන්නේය”යි කීය. මේ කීම අසා මහතෙරුන්ගේ පටන් එක් භික්‍ෂුනමක්වත් කැවුම් පිළිනොගත්තේ ය. (මෙය විනය අටුවාහි නිස්සග්ගියවණ්ණා (384) වෙහි එයි.)
විනය අටුවාහි නිස්සග්ගියවණ්ණනාවෙහි මේ කථාව පෙනේ: මහාභය පවත්නා කල්හි “මහානිද්දේසය” ප්‍රගුණව තිබුණේ එකම භික්‍ෂුනමකට ය. චතුනිකායික - තිස්ස තෙරුන්ගේ උපාධ්‍යාය වූ මහාතිපිටක ස්ථවිරතුමා මහාරක්ඛිත තෙරුන් අමතා ඒ භික්‍ෂුවගෙන් මහානිද්දෙසය උගතමැනවැයි කීය. රක්ඛිතස්ථවිරතුමා “මේ භික්‍ෂුව පවිටෙක්ය, එබැවින් උගත නො හැකි”ය යි කීය. “ඇවැත, මම තා සමීපයෙහි ඉන්නෙමි; එසේ උගතමැනවැ”යි මහතෙරුන් කී විට ස්ථවිරතුමා ඊට කැමති විය. රෑ දාවල් දෙක්හි මහානිද්දේසය ඉගෙන අවසන් කරන දවසේ දී ඇඳයට හුන් ස්ත්‍රියක දැක “ස්වාමීනි, මා විසින් කලිනුත් මේ ගැන අසන ලදි. ඉදින් මේ කාරණය දැන සිටියෙම් නම් මොහුගෙන් ධර්‍මය ඉගෙන නො ගනිමි”යි රක්ඛිත ස්ථවිරතුමා කීය.
එක් තෙරනමක් රහත් ද නො රහත්දැයි විමසනු කැමති වූ වසභ රජතුමා ඒ තෙරුන් රජගෙට කැඳවා වැඩහිඳුවා තෙරුන්ට පෙනෙන තැනක හිඳගෙන ඩෙබර ගෙඩිවලින් සෑදූ සම්බලයක් මඩිමින් හුන්නේ ය. එය දුටු තෙරුන්ගේ කටට කෙල උනන්ට විය. රහතන්ට රසතෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති බැවින් එවැන්නක් සිදු නොවන නිසා ඒ තෙරනම රහත් නො වන බව දැන ගැනීමට එය හේතුවිය. (මෙය මැඳුම්සඟි අටුවාහි ඡබ්බිසොධන සුත්තවණ්ණනා (869) වෙහි එයි.)
එළාර රජුගේ ප්‍රධාන යෝධයා වූ දීඝජත්තු තෙමේ සුමනගිරි විහාරයෙහි ආකාශ චෛත්‍යයට රතු වස්ත්‍රයක් පිදීය. මරණින් මත්තෙහි උත්සදනරකයක් අසළ උපන් හෙතෙමේ ගිනි දැල්වල ශබ්දය අසා තමන් පිදූ වස්ත්‍රය සිහි කෙළේ ය. ඒ කරණකොට ගෙන හෙතෙම නරකයෙන් මිදී ගොස් ස්වර්‍ගයෙහි උපන්නේ ය. (මෙය අංගුත්තර තිකනිපාතවණ්ණනා (375) වෙහි එයි. මැදුම්සඟියේ දේවදූත සූත්‍රවණ්ණනාවෙහි (959) ත් මෙය පෙනේ. එහි දීඝජයන්ත යයි නම දක්වා තිබේ.
කාළුම්බර ගම්වැසි එක් ස්ත්‍රියක් අත දරුවකු වඩාගෙන බණ ඇසීම සඳහා සිතුල්පව්වට ගොස් එක් ගසක් මුල දරුවා හොවා තොමෝ සිටගෙන ම බණ අසන්ට පටන් ගති. රාත්‍රි කාලයේ දී එක් සර්‍පයෙක් අවුත් ඈ බලාසිටියදී ම ළදරුවා දෂ්ට කෙළේ ය. ඕ තොමෝ ඉදින් මම “මාගේ දරුවා සර්‍පයෙක් දෂ්ට කෙළේ ය”යි කීවොත් ධර්‍මශ්‍රවණයට බාධාවක් වන්නේ ය; සසර ඇවිදින මට පුත්‍රයෙක් ව මේ තෙම නොයෙක් වර උපන්නේ ය; මේ බණ ඇසීම මට පුතකු ලැබීමට වඩා උතුම්ය”යි සිතා තුන්යම් රැය මුළුල්ලේ සිටගෙන ම බණ ඇසීය. අරුණ නැගෙන කල්හි සෝවාන් පලයෙහි පිහිටි ඈ සත්‍ය ක්‍රියා කොට විස බස්වා දරුවා සුවපත් කොට ගෙන ගියාය. (මෙය අංගුත්තරතිකනිපාත අටුවා (386) හි එයි.)
අංගුත්තරතිකනිපාතවණ්ණනා (442) වෙහි මේ කථාව පෙනේ. රුහුණුරට බෙරගල (භෙරිපාසාණ) විහාරයෙහි උත්තර නම් පිටිසර මිනිහෙක් විසී ය. ඒ විහාරයෙහි ගිනිහල් ගෙය තෙමෙන්නට වූ විට එහි වැසි තරුණ භික්‍ෂූහු උත්තරයා සමග වනයට ගොස් තණ කොළ කප්පවා මිටි බැඳ “උඹට කොළ මිටි පණසක් ගෙනයා හැකිදැ”යි ඇසූහ. “නො හැක්කෙමි”යි කී විට “අසූවක් ගෙනයාහැකිදැ”යි ඇසූහ. එයත් බැරිය යි කී විට “මිටි සියයක් ගෙන යා හැකිදැ”යි ඇසූහ. එය ගෙන යා හැකි යි කී විට කොළ මිටි සියයක් එකට බැඳ ඔහුගේ හිස පිට තැබූහ. හෙතෙම කෙඳිරිගාමින් හතිදමමින් එය ගෙන ගොස් ගිනිහල්ගෙය අසළ දැමී ය. එවිට භික්‍ෂූහු “උත්තරය. බොහෝ වෙහෙසුණු සැටියක් පෙනේ ය”යි කී විට “එසේ ය, ස්වාමීනි, තරුණ භික්‍ෂූහු මා රවටති. මේ එක මිටිය ගෙනෙන්ට නො හැකි වූ මගෙන් මිටි 50 ක් ගෙන යා හැකි දැයි විචාළාහ”යි හෙතෙම කීය.
පිතුරාජ නමැති වළගම්බා රජුගේ කාලයේ දී චූලසුමන නමැති ධනවතකුට උදහස් වූ ඒ රජු කෝපයෙන් දත්කූරුගෑම් නිසා ඒ කෙළෙඹියා මළේ ය යි විනය අටුවාහි (239) තතියපාරාජිකවණ්ණනාවෙහි කිය වේ.
ගෝපක සීවලී නමැත්තා තල්පිටි (තාලපිට්ඨික) විහාරයෙහි චෛත්‍යයක් කරවීය. මරණාසන්න කාලයේ දී ඔහුගේ සිතට ඒ සෑය අරමුණු විය. ඒ හේතුවෙන් හෙතෙම දෙව්ලොව උපන්නේ යයි විභංග අටුවාහි පච්චයාකාරවණ්ණනා (109) වෙහි එයි.
සිතුල්පව්වේ වෙහෙර වැසි රහත් තෙරනමකගේ අතවැසි වූ මහලු වී පැවිදි වූ එක් භික්‍ෂුනමක් ඒ තෙරුන් සමග පිඬු පිණිස හැසිර තෙරුන්ගේ පාත්‍ර සිවුරු රැගෙන පිටිපසින් යන්නේ “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ කෙබඳු වෙත්දැ”යි තෙරුන්ගෙන් විචාලේ ය. තෙරනම “ඇවැත්නි, ඇතැම් කෙනෙක් ආර්‍ය්‍යයන්ට වත් පිළිවෙත් කරමින් ඔවුන්ගේ පාත්‍ර සිවුරු රැගෙන යමිනුත් ආර්‍ය්‍යයන් නොහඳුනත් ආර්‍ය්‍යයෝ නම් මෙසේ ඇඳිනීමට අපහසු පුද්ගලයෝ වෙති යි කීය. එසේ කී කල්හිත් මේ තෙරනම රහත් නමකැයි අවබෝධ කර ගැනීම ඔහුට නො හැකි විය. (මේ කථාව අට්ඨසාලිනී අටුවාහි නික්ඛෙපකණ්ඩව වණ්ණනාවෙහි තිකනිද්දෙසයෙහි “අරියානං අදස්සාවී” යන පදය විස්තර කිරීමේ දී දක්වන ලදි.)
විභංගඅටුවාහි ඛුද්දකවත්‍ථුවිභංගනිද්දෙස (335) යෙහි මේ කථාව පෙනේ:- සද්ධාතිස්ස මහරජ සෑගිරියෙහි භික්‍ෂූන්ට නිතර දන් දුන්නේය. “මහරජ, නිතර එක් තැනක් ආශ්‍රය කරන්නේ කුමක් හෙයින්දැ”යි රටවැසියන් විසින් විචාරන ලද රජතෙමේ එක් දිනක් අනුරාධපුරයේ දී මහාදානයක් දෙවීය. එහි පැමිණි එක් භික්‍ෂුනමක් වත් පමණ දැන පිළිගැනීම නො කෙළේ ය. එක් එක් නමට ලැබුණු ඛාද්‍ය - භොජ්‍යාදිය මිනිසුන් දෙතුන් දෙනෙකුන් විසින් ඔසවාගෙන යන ලදි. දෙවෙනි දින සෑගිරියේ භික්‍ෂූන්ට ආරාධනාකොට රජ මැදුරට පැමිණි කල්හි පාත්‍ර දුන මැනවැ යි ඉල්ලූ විට එක්නමක්වත් පාත්‍රයක් නො දුන්නේ ය. ඒ ඒ භික්‍ෂුනම තමා අතේ පාත්‍රය තබාගෙන තමාට සෑහෙන තරමක් ම පිළිගත්තේ ය. එදා භික්‍ෂූන් සඳහා සම්පාදනය කළ දෙයින් බොහෝමයක් ඉතුරු විය. ඉක්බිති රජ නගරවැසියන් කැඳවා “තොපගේ භික්‍ෂූන් අතරෙන් එක්නමක්වත් මාත්‍රඥ නොවීය. ඊයේ පිළියෙල කළ දෙයින් කිසිවක් ඉතිරි නො වීය. අද භික්‍ෂූන් පිළිගත් දෙය අඩු ය. ඉතිරි වූ දෙය වැඩිය”යි කීය.
(භාතික රජු කල)
භාතික රජු කල ගවමස් කන මිනිසුන් සමූහයක් ගෙනවුත් රජුට පෙන්වූහ. (ගවමස් කන්නන් රොඩීරැසට දැමීම එකල සිරිත වී යයි සිතම්හ.) දඩ ගෙවිය හැකි දැ යි රජු විසින් විචාළ විට නොහැකි යි කී බැවින් රජතෙමේ ඔවුන් රජගෙයි මිදුල ශුද්ධ කරන්නන් කෙළේ ය. ඒ පිරිසෙහි වූ එක් තරුණියක් ප්‍රසාද එළවන රූසපුව ඇත්තීය. රජ ඇය දැක අන්තඃපුරයට ගෙන්වා තමාට ප්‍රිය වූ අන්තඃපුර ස්ත්‍රියක් කෙළේ ය. ඇගේ ආනුභාවයෙන් සෙසු නෑයෝ ද සුවසේ විසූහ. (මෙය විභංග අටුවාහි ඤාණවිභංගනිද්දෙස (310) යෙහි දක්වන ලදි.)
ලක්දිව එක් රජතුමකුට පුතකු උපන් කල්හි රජතෙමේ දේවියට පැහැදී වරයක් ගන්ට කීය. ඕ තොමෝ තමා කැමති විටක වරය ගන්නෙමැයි කීය. රජකුමරා ක්‍රමයෙන් වැඩී සත් අටහැවිරිදි වූ කල රජ මිදුලෙහි කුකුළන් පොරකොටවන කල්හි එක් කුකුළෙක් පියඹා අවුත් කුමරුගේ ඇස්දෙක තුවාළ කෙළේ ය. ඔහු සොළොස් හැවිරිදි වූ කල්හි ඔහුගේ මව පිය රජු වෙත ගොස් කුමරුට රාජ්‍යය පවරන සේ ඉල්වීය. රජතෙමේ අංග විකල වූ කුමරුට රාජ්‍ය දිය නොහැකි ය යි කීය. එවිට ඉෂ්ට නො කළ හැකි වරයක් දුන්නේ කුමක් හෙයින්දැ”යි දේවිය විසින් පෙළනු ලබන රජ “මුළු ලක්රජය ඔහුට නො දිය හැක; නාගදීපයට ගොස් එහි ඡත්‍ර නංවා වාසය කරව”යි කියා ඔහු නාගදීපයට යවා එහි රාජ්‍යභාරය පැවරීය. (මෙයත් ඤාණවිභංග නිද්දෙසයෙහි (313) එයි.)
අංගුත්තරඒකනිපාතවණ්ණනා (262) වෙහි මේ ප්‍රවෘත්තිය පෙනේ:- රුහුණු රට කුටුම්බරිය විහාරයෙහි විසූ එක් භික්‍ෂුනමක් දුර්භික්ෂ කාලයෙක දී එක් ලම්බකයකගේ ගෙයි වළඳන්නේ එහි දී වැළඳීමට එක් බත් සැන්දක් ද විහාරයට ගෙන යාමට එක් බත් සැන්දක් ද ගත්තේ ය. එක් දිනක් ඒ ගෙට ආගන්තුකයකු පැමිණ සිටිනු දුටු ඒ භික්‍ෂුනම එක් බත් සැන්දක් පමණක් පිළිගත්තේ ය. ඒ නිසා පැහැදුණු ගෘහස්වාමි තෙමේ ඒ භික්‍ෂුවගේ මාත්‍රඥ බව රජගෙයි තමන්ගේ මිත්‍රයන්ට කීය. ඔවුහු එකතුව නිත්‍ය බත් සැටක් ඒ භික්‍ෂුව වෙනුවෙන් පිහිටු වූහ.
ලක්දිව අතිප්‍රකට දාමරික සොරු දෙදෙනා නම් අභය චොර, නාගචොර යන දෙදෙනා යි. මෙයින් අභය සොරාගේ ප්‍රවෘත්තිය මෙහි 12 වෙනි අංකයෙහි දීඝභාණක අභය තෙරුන්ගේ කථාවෙහි දක්වන ලදි. හෙතෙම 500 පිරිස ඇතිව සිටියේ ය. නාග චොරයා නම් චොරනාගයා විය හැක. වළගම්බා රජුගේ පුත්‍ර වූ චොරනාග තෙමේ මහසිළු මහතිස් රජුගේ රාජ්‍ය කාලයේ දී දාමරික සොරෙක්ව සිටියේ ය. මහසිළුරජ 14 වසක් රාජ්‍යය කෙළේ ය. එයින් පසු චොරනාග රජවිය. දාමරික ව සිටි කාලයේ දී හෙතෙම යම් යම් විහාරයක වාසය නො ලැබී නම් ඒ විහාර සියල්ල විනාශ කරවිය. එසේ විනාශ කර වූ විහාර ගණන 18 ක් විය. දොළොස් අවුරුද්දක් රාජ්‍යය කළ හෙතෙම මරණින් මත්තෙහි ලොකාන්තරික නරකයක උපන්නේ ය යි මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයෙහි කියන ලදි. මැඳුම් සඟි අටුවාහි ද අච්ඡරිය ධම්මසුත්තවණ්ණනා (921) වෙහි මේ සොරු දෙදෙන ලොකොන්තරික නිරයෙහි උපන්නාහ යි කිය වේ.
සිරිනාග නමැති දාමරිකයකු ගැන රසවාහිනියෙහි පෙනේ; එනම් ඇති රජකු ගැන මහාවංශයෙහි ත් කිය වේ. එහි කියවෙන සිරිනාග රජ බු.ව. 738 දී රාජ්‍යයට පැමිණ 19 වසක් රාජ්‍යය කෙළේ ය. හෙතෙම කණිට්ඨතිස්ස රජුගේ පුත්‍ර වූ කුඩ්ඩනාග රජුගේ දේවියගේ සහෝදරයා වූ සෙන්පතියෙකි. ඔහු දාමරිකව අවුත් කුඩ්ඩනාග රජු පලවා හැර රාජ්‍යය ගත් බව මහාවංශයේ කියන නමුත් ඔහු නපුරු ක්‍රියා කළ අයෙකැයි නො කියන ලදි. රසවාහිනියෙහි කියවෙන සිරිනාගරජ බ්‍රාහ්මණ වංශිකයෙකි. එහි පෙනෙන කථාව මෙසේ යි:- සිංහලද්වීපයෙහි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙක් ධනය යෝධයන් රැස්කොට අනුරාධපුරයේ රාජ්‍යය ගන්නෙමි යි සිතා ධනය ලැබිය හැකි සැටි සොයන්නේ දකුණු මහාසෑය දැක මිනිසුන් ගෙන්වා චෛත්‍යය බිඳින්ට නියම කෙළේ ය. ඔවුහු එය සන්ධි කළ තැන නො දන්නා බැවින් බිඳිය නො හැකියි කීහ. “එය කවරෙක් දනීදැ”යි විචාළ විට හෙල්ලෝලි ගම බහුල නම් සැඩොලා දන්නේ යයි කීය. ඔහු ගෙන්වා එහි සන්ධිය ළඟින් චෛත්‍යය බිඳුවයි කී විට “ආනන්තර්‍ය්‍යකර්‍මයක් වැනි වූ චෛත්‍ය බිඳීම කළ නොහැකිය”යි හෙතෙම කීය. කෝපයට පත් සිරිනාග තෙමේ ඔහු උළ හිඳුවන්ට නියම කොට ඔහුගේ පුත්‍රයෝ සත්දෙන සන්ධිය දනිති යි කි බැවින් ඔවුන් ද ගෙන්වා චෛත්‍යය බිඳින්ට කීහ. ඒ සත්දෙනා ද එය කිරීමට නො කැමති වූ විට ඔවුන් ද උළ තැබ්බ විය. ඒ අට දෙන මැරී මිනිසුන් බලා සිටියදී ම දෙවියන් ගෙනා රථවලනැගී දෙව්ලොවට ගියහ. ඒ ආශ්චර්‍ය්‍යය දුටු මිනිස්සු නොයෙක් කරුණු කියා ඒ සෑය බිඳීම වැළැක්වූහ. ඉක්බිති හෙතෙම නැගෙනහිර පැත්තට ගොස් මීපිටිය නම්ගම පැහැර ගෙන මීපිටි චෛත්‍යය බින්දවා ධනය ගෙන සේනාව රැස්කොට යුද්ධ කිරීමෙන් ජය ගෙන අනුරාධපුරයෙහි රාජ්‍යය අත්පත් කර ගත්තේ ය.
වැඩි කලක් ගතවෙන්ට පෙර ඔහුගේ අකුසලකර්‍ම බලයෙන් දරුණු උදරාබාධයක් ඇති විය. එය බෙහෙතින් සුව කළ නො හැකි වූ විට චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට නැවත බැන්ද වූ නමුත් එයිනුත් සුවය ලබා ගත නො හැකි වූ හෙතෙම බඩ පැළී මැරී ගොස් මහානරකයෙහි උපන්නේ ය.
අට්ඨසාලිනී අටුවාහි නික්ඛෙපකණ්ඩවණ්ණනාවෙහ ද චෝර නාග රජුගේ නම පෙනේ. එක් තෙරනමක් පාත්‍රයේ බත් අතින් ගෙන රජුට නොදී පාත්‍රයෙන් ම බත් හළා ඔහුට දීම නිසා හෙතෙම තෙරුන් කෙරේ පැහැදුණේ යයි කිය වේ. (316 නාගර)
විනය අටුවාවෙහි ද තතියපාරාජිකවණ්ණනා (259) වෙහි මෙසේ කියන ලදි:- “ස්පර්‍ශ නො කළ (අත නොගෑ) පිණ්ඩපාතය පැමිණියා වූ දාමරික සොරුට ද අධිපතියාට ද දිය යුතුය. කුමක් හෙයින් ද යත්? ඔවුන්ට ආහාර නුදුන් කල්හිත් කිපෙත්. ඉඳුල්කොට දුන්නොත් ඒ නිසාත් කිපෙත්, එසේ කිපී භික්‍ෂූන් ගේ ජීවිතයටත් ශාසනයටත් විපත් පමුණුවති. රාජ්‍යය පතමින් හැසුරුණු චොරනාගගේ කථාව මෙහි දී කිය යුතුය.” (ඒ කතාව විනය අටුවාහි විස්තර නො කරන ලදි. අට්ඨසාලිනියෙහි අතිසංක්‍ෂිප්තව පෙනේ.)
විනය අටුවාවේ ඒ පිටේ ම තවත් තැනක මෙසේ දැක්වේ:- “සොරුන්ට වනාහි සංඝිකදෙයක් දිය යුතුයි, පටිසන්ථාරයේ (හෙවත් කෑම්පීම් ආදියෙන් සංග්‍රහ කිරීමේ) ආනිසංස දැක්වීම සඳහා චොරනාග වස්තුව ද සොහොයුරා සමග දඹදිවට ගිය මහානාග රජුගේ කථාව ද පිතෘරාජයාගේ රාජ්‍ය කාලයේ දී ඇමතියන් සිවුදෙනගේ කථාව ද අභය සොරාගේ කථාව ද කිය යුතුය” එතැන දක්වා තිබෙන්නේ අභය සොරුගේ කථාව පමණයි. එය මින් ඉහත දක්වන ලදි. පිතුරාජයා නම් වළගම්බා රජතුමා යි ඒ රජුගේ ඇමතියන් සිවුදෙනගේ කථාව මහාවංශයෙහි එයි.
මෙහි මහානාගයය කියවේනනේ වොහාරතිස්ස රජුගේ බාලසොහොයුරු අභයනාග කුමරා විය යුතුයි. හෙතෙම සොහොහුරු රජුගේ මෙහෙසිය හා රහස් සම්බන්ධයක් ඇති කරගත් බැවින් රජුට බියෙන් භල්ලතිත්‍ථ නම් තැනින් නැව්නැගී සුළු පිරිසක් සමග දඹදිවට ගියේ ය. ඉක්බිති අවුරුදු කීපයකට පසු දෙමළ භටපිරිසක් සමග හැරී අවුත් වොහාරතිස්ස රජු මරා අට අවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු රාජ්‍යයට පැමිණියේ බු.ව. 779 දී ය. (මහාවංශයේ 36 වෙනි පරිච්ඡේදය බලනු.)
විනය අටුවාහි පෙනෙන “සොහොයුරා සමග දඹදිවට ගිය” යනතැන “සොහොයුරා සමග විරුද්ධ වී දඹදිවට ගිය” යන අර්‍ථය ලබාදෙන වචනයක් තිබිය යුතුයි. මුද්‍රිත අටුවා පොත් කිසිවක එවැනි වචනයක් දකින්ට නො ලැබෙතත් සොහොයුරකු සමග දඹදිව ගිය කිසි රජකුමරකු ගැන මහාවංශයේ නො පෙනෙන බැවින් එය දූෂිත පාඨයකැයි කිය යුතුය.
විනය අටුවාහි දඹදිවගිය බව මිස පටිසන්ථාරය සම්බන්ධයෙන් කුමක් සිදුවී දැයි නො කියන ලදි. සිදු වූ දෙය සංක්‍ෂේපයෙන් වත් දැක්වෙන්නේ අට්ඨසාලිනී අටුවාවෙහි ය. එහි නික්ඛෙපකණ්ඩවණ්ණනාවෙහි පටිසන්ථාරදුක නිද්දෙසයෙහි මෙසේ කියවේ:- මෙයින් පලාගොස් පරතෙරට ගිය මහානාග රජ එක් තෙරනමක ගෙන් සංග්‍රහ ලැබ නැවත හැරී අවුත් රාජ්‍යය ලැබ තමාගේ ජීවිතාන්තය දක්වා රජකම් කළේ ය. ඒ රජු සෙතම්බංගණයෙහි භික්‍ෂු සංඝයාට බෙහෙත් දානයක් පැවැත්වීය.
දික්සඟි අටුවාහි ජනවසභසුත්ත වණ්ණනාවෙහි (452) මේ ප්‍රවෘත්තිය පෙනේ:- දෙතිස් දෙමල රජුන් ජයගෙන අනුරාධපුරයෙහි රාජ්‍යයට පැමිණි දුටුගැමුණු රජුට ඒ ප්‍රීතිය නිසා මසක් මුළුල්ලේ නින්ද නො ගියේ ය. ඒ බව සංඝයාට දැන්නූ විට සංඝතෙමේ රජුට අටසිල් සමාදන් වෙන්ට නියම කොට ආභිධර්මික භික්‍ෂූන් අටනමක් රාජමන්දිරයට යවා චිත්තයමකය දේශනා කළ යුතුය යි ඔවුන්ට විධාන කෙළේ ය. ඒ අටනම ගොස් රජුට ඇඳේ නිදාගන්ට සලස්වා යමකය හදාරන්ට පටන් ගත්හ. ඒ දේශනාව අසමින් හුන් රජ නිද්‍රෝපගත විය. රජු නින්දට වැටුණු බව දැනගත් භික්‍ෂූහු “රජු පුබුදුවන්ට එපා” යයි සේවකයන්ට දැනුම් දී විහාරයට ගියහ. පසුදා උදය පිබිදුනු රජ තෙරවරු කොහිදැ යි විචාරා “ඔබ නිදන බව දැන ගියාහ” යි කීවිට “මාගේ ආර්‍ය්‍යයන් වහන්සේ නො දන්නා බෙහෙතක් නැත; නිද්‍රාජනක බෙහෙත් පවා දනිති”යි කීය.
සංයුත් අටුවාහි ධාතුසංයුත්තවණ්ණනා (ii, 112) වෙහි මේ කථාව පෙනේ:- සිංහල ද්වීපයෙහි චක්කන නම් උපාසකයා බාලකල ඔහුගේ මවට රෝගයක් වැලඳුණි. ඒ සඳහා අමු හා මස් ලැබිය යුතු යයි වෙදා නියම කෙළේය. චක්කනගේ සහෝදරයා ඔහුට කථා කොට “කුඹුරට ගොස් හාවුන් සොයා බලව”යි කීය. චක්කන කුඹුරට ගිය විට එහි ලා ගොයම් කමින් සිටි එක් හාවෙක් ඔහු දැක දුවන්නේ වැලක පැටලී “කිරි, කිරි” යයි ශබ්ද කෙළේ ය. චක්කන එතැනට දුව ගොස් ඌ අල්ලා ගෙන මවට බෙහෙත් සඳහා ගෙනයන්ට සිතා නැවත “මවගේ ජීවිතය සඳහා අනිකකුගේ ජීවිතය නැති කිරීම නො වටී” යයි සිතී හාවා මුදා හැර හිස් අතින් ගෙට ගියේ ය. සොහොයුරා විසින් විචාරණ ලදින් මේ සියලු පුවත් කී විට හෙතෙම ඔහුට බැණ වැදුණි. චක්කන තෙමේ මව සමීපයට ගොස් “මම උපන්තැන් පටන් දැන දැන සතකු ජීවිතයෙන් තොර නො කෙළෙමි”යි සත්‍ය ක්‍රියා කොට මවගේ රෝගය සුවපත් කෙළේ ය. (මැඳුම්සඟි අටුවාවේ මූලපණ්ණාසසම්මාදිට්ඨිසුත්තවණ්ණනාවෙහි ද පෙනේ.)
ඣානවිභංග අටුවාහි (239) චිත්තමහාමාත්‍යයාගේ ගෙය භික්‍ෂූන්ට පැන් තොටක් මෙන් වී යයි ද එහි නිතරම වේලාව දක්වන යන්ත්‍රය යොදා තිබුණේ යයි ද ගෙදොරට පැමිණි භික්‍ෂූන්ට කිසියම් ප්‍රත්‍යයකින් අඩුවක් නො වී යයි ද එක් දිනයක දී බෙහෙත් සඳහා පමණක් කහවණු සැටක් වියදම් කරන ලදැයි ද කියන ලදි.
අංගුත්තර තිකනිපාතවණ්ණනා (367) වෙහි මේ කථාව පෙනේ:- අන්තරගංගානම් තැන “මහාවාචකාළ” නම් උපාසකයෙක් විය. හෙතෙම සෝවාන් මග ලැබීම සඳහා තිස් අවුරුද්දක් ද්වත්තිංසාකාරය හැදෑරීය. එසේ කොට ආලෝකමාත්‍රයකුත් උපදවන්ට නො හැකි වූ බැවින් බුද්ධශාසනය සසරින් එතෙරවීමට උපකාර වන්නක් නොවේ යයි විපරීත දෘෂ්ටියක් ගෙන මැරී මහවැලිගඟෙහි නව ඉස්බක් පමණ විශාල වූ කිඹුල් ප්‍රේතයෙක් ව උපන්නේ ය. වරක් කසා තොටින් එතරවෙන්ට ගිය ගල්කණු පිර වූ කරත්ත හැටක් ගොනුන් සමග ඌ ගිල දැම්මේ ය.
මැඳුම්සඟි අටුවාහි චුල්ලතණ්හාසංඛය සූත්‍රවර්‍ණනාවෙහි සැවැත් නුවරින් දකුණු දෙසැ ජේතවනාරාමය පිහිටියා සේ අනුරාධපුරයට දකුණෙන් මහාවිහාරය පිහිටියේය යි ද සැවැත් නුවරට නැගෙනහිරින් පූර්‍වාරාමය පිහිටියා සේ අනුරාධපුරයට නැගෙනහිරින් උත්තමදේවී විහාරය පිහිටියේ යයි ද කියන ලදි.
දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහි (399) මෙසේ කියන ලදි. යම් සේ කොළොම්හොය ඉවුරෙන් රාජමාතාවගේ විහාරය ඉදිරියෙන් ථූපාරාමයට යා යුතු වේද, එමෙන් හිරඤ්ඤවත නදියගේ පරතෙර පටන් සල්වන උයන විය. යම්සේ ථූපාරාමයෙන් ගොස් දකුණු දොරටුයෙන් නුවරට ඇතුල්වෙන මග නැගෙනහිර දෙසට ගොස් උතුරු පැත්තෙන් නැවතී ද එසේ ම සල්ගස් පෙළ උයනෙන් නැගෙනහිරට අභිමුඛව ගොස් උතුරෙන් නැවතුණි. එබැවින් එය උපවත්තන නම් විය. (සංයුත් අටුවාහි බ්‍රහ්මසංයුත්තවණ්ණනාවෙහි (i, 175) ත් මෙසේ ම කියන ලදි. උදාන අටුවාහි සිවුවෙනි වර්‍ගයාගේ වර්‍ණනාවේදී (159) ථූපාරාමය නුවරින් දකුණු පැදුම්දෙස හෙවත් ගිනිකොණෙහි පිහිටියේය යි කියන ලදී.)
භාතිය රජු කල මහාවිහාර වාසී වූ අභයගිරිවාසී වූ ද තෙරුන් අතර ශික්ෂාපදය වචනයක් අරභයා විවාදයක් ඇතිවය. එක් පක්ෂයක් ඉතිරි පක්ෂයේ කීම පිළිනොගන්නා බැවින් කාරණය තීරණයකට නො පැමිණි බැවින් රජතුමා “දීඝකාරායන” නමැති අමාත්‍යයකු කැඳවා දෙපක්ෂයේ ම කීම් අසව යි අණ කෙළේ ය. අමාත්‍යතෙම අභයගිරිවාසීන්ගේ “තෙන හි භික්ඛවේ මෙත්තියං භික්ඛුනිං සකාය පටිඤ්ඤාය නාසෙථ” යන කීම ද, මහාවිහාර වාසීන් ගේ “තෙන හි භික්ඛවෙ මෙත්තියං භික්ඛුනිං නාසෙථ” යන කීම ද අසා මහාවිහාරවාසීන් ගේ කීම යෝග්‍යයයි නිශ්චය කෙළේ ය. (විනය අටුවා තෙරසකවණ්ණනාවෙනි.)
දැහැමි තිස්ස මහරජු (සද්ධා තිස්ස රජු) ට එක් දිනක් ගැල් පන්සියයක් උක්සකුරු ගෙන ආහ. රජතෙමේ “මනාප වූ පඬුරක්ය, ආර්‍ය්‍යයන් වහන්සේ නැති ව අනුභව නො කරමි”යි කියා හකුරු ගැල් දෙසිය පණසක් මහාවිහාරයට යවා තෙමේත් උදෑසන බත අනුභව කොට විහාරයට ගියේ ය. බෙරය ගැසූ විට දොළොස් දහසක් භික්‍ෂූහු රැස් වූහ. රජතෙම ආරාමිකයා කැඳවා “රජුගේ දානයෙහි පාත්‍රය හෝ ගෙනා භාජනය පුරවාදීම සිරිතය, ඉදින් කිසි පැවිදිනමක් පමණ දැන පිළිගනිමින් පාත්‍රය පුරවා නො ගන්නේ නම් මට දැනුම් දෙව”යි කීය. ඉක්බිති සෑගිරිවාසී එක්තරා තෙරනමක් මහාබෝධියත් මහාචෛත්‍යයත් වඳින්නෙමි යි අනුරාධපුරයට අවුත් මහාවිහාරයට ඇතුල්වන්නේ මහාමණ්ඩප ස්ථානයෙහි උක්සකුරු ගන්නා වූ භික්ෂූන් දැක පස්සෙන් එන සාමණේර නමට කථාකොට “තට උක්සකුරු වලින් වැඩක් ඇද්දැ”යි ඇසී ය. “ස්වාමීනි, නැතැ”යි කී විට “සාමණේරය, මම ගමනින් වෙහෙසට පැමිණියෙමි. දිවුල්ගෙඩියක් පමණ වූ උක්සකුරු ලබාගනුව”යි කීය. සාමණේරයන් තලිය අතට ගෙන සකුරු දෙන තැනට ගිය විට ආරාමිකයා තලිය පුරවා එසවීය. සාමණේර තැන ඇඟිල්ල සෙලවී ය. “ස්වාමීනි, රජවරුන්ගේ දානයෙහි භාජනය පුරවාදීම ප්‍රමාණ යයි, මෙය ගතමැනවැ”යි කී විට “උපාසකය, රජ දරුවෝ උදාර අදහස් ඇත්තෝ වෙති. නමුත් අපේ උපාධ්‍යායයන් වහන්සේට හකුරු ස්වල්පයකින් ම ප්‍රයෝජන ඇත්තේය”යි කීය.
රජතුමාට ඒ කථාව ඇසී “සාමණේර නම කුමක් කියන්නේ දැ”යි අසමින් ළඟට ආවේ ය. ආරාමිකයා ඒ ප්‍රවෘත්තිය කී කල්හි “ස්වාමීනි, භාජනය පුරවාගත මැනවැ”යි රජතුමාත් කීය. නමුත් සාමණේර නම පෙරසේ ම පිළිතුරු දුන්නේ ය. රජ තෙමේ “මේ සත් හැවිරිදි ළදරු හෙරණ තෙමේත් භාජනය පුරවා ගෙන ගොස් තබාගෙන පසු දිනවලත් කන්නෙමැ යි නො සිතයි. අහෝ! බුද්ධශාසනය පරීක්ෂණය නො කළ හැකිය”යි සිතා සාමණේර නමට පැහැදී ඉතිරි ගැල් දෙසීයපණසේ සකුරුත් ගෙනවිත් සංඝයාට දෙන්ට නියම කෙළේ ය. (මෙය සළායතන සංයුත්ත අට්ඨකථාවේ විද්‍යමානයි.)
එක් දිනක් වසභරජුට ලෝහ ප්‍රාසාදයෙන් නැගෙනහිර දෙස වූ “අම්බලට්ඨිකා” නම් තැන මහා සුදර්ශන සූත්‍රය පිරිවහනු අසන්ට ලැබී අපගේ බුදුපියාණන් කෑ බී තැන සම්පත් වර්‍ණනා කෙළේ කුමක් හෙයින්දැ”යි සිතමින් සිටියේ ය. සූත්‍රාවසානයේ දී “ආනන්දය, මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වෙති” යන වාක්‍යය ඇසුණු විට මේ කාරණය නිසා පසැස් ඇති ඒ උත්තමයන් වහන්සේ විසින් මෙය දෙසන ලදැයි කියා සතුටු සිතැත්තේ අත්පොළසන් දී සාධුකාර දුන්නේ ය. (දික්සඟි අටුවාවේ 449 වෙනි පිටෙනි.)
වසභරජතුමාට මල්සුවඳ අතුරෙන් දෑසමන්සුවඳ අග්‍රවේය යන කීම ඇතුළත් අංගුත්තර දසකනිපාතයේ සූත්‍රයක් අසන්ට ලැබී ඒ කීම සත්‍යදැයි පරීක්ෂණය කරන්ට සිත්විය. රජතුමා එක් කාමරයක් සිව්දෑගඳින් පිරිබඩ කරවා නොයෙක් සුවඳැති මල් ගෙන්වා දෑසමන් මිටක් කරඬුවක් මැද්දේ ද ඉතිරි මල් මිට මිට බැගින් එය වටේට ද තබා කාමරයේ දොර වසා පිටතට නික්මුණේ ය. ටිකවේලාවක් ගතකොට දොර හැර කාමරයට ඇතුල් වෙන විට සියලු සුගන්ධයන්ට පළමුකොට දෑසමන් සුවඳ නාසයට වැදුණේ ය. එකෙණෙහි රජතුමා මාලිගය ඇතුළේ මහාතලයෙහි වැටී මහාචෛත්‍යය දෙසට හැරී සම්බුද්ධයන් වහන්සේගේ කීම් සත්‍යයයි කියමින් වැන්දේය. (අංගුත්තර දසනිපාත වණ්ණනාවෙනි.)
“සංඝමිත්‍ර” නමැති භාණ්ඩාගාරික අමාත්‍ය තෙමේ රන්කම් කළ වස්ත්‍රයක් ලැබ “සර්‍වඥයන් වහන්සේත් රන්වන්ය, මේ රන්වන් වස්ත්‍රය උන්වහන්සේටම හොබනේය”යි සිතා එය මහා චෛත්‍යයට පිදී යයි අට්ඨසාලිනී අටුවාවේ 94 වෙනි පිටේ ද සඳහන් වේ. මේ ඇමිතයා දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරිකයා යනු “අට්ඨසාලිනී යෝජනා” වෙහි කියා තිබේ.
සංයුත් අටුවාහි (1-27) මේ ප්‍රවෘත්තිය පෙනේ:- දිනක් කූටකණ්ණරජතුමා සෑගිරියට යාම පිණිස හකුරු පැහැති අසකුපිට නැගී කොළොම්හොය සමීපයට ආයේ ය. අශ්වයා ගඟදියට බසින්ට නො කැමැතිව සිටින විට රජ අශ්වාචාර්‍ය්‍යයා අමතා “තාගේ අශ්වයාගේ හික්මීම මෙසේදැ”යි ඇසී. “මහරජ, හික්මීමේ වරදක් නිසා ඌ දියට නො බසින්නේ නොවේ” දියේ බැස්සවිට උගේ වලිගය තෙමීමෙන් රජුගේ ඇඳුම්වල වතුර වැටේය යන බියෙන් දියට නොබසී” යයි හෙතෙම කීය. වලිගය ඔසවා බැන්ද පසු ඌ දියට බැස එගොඩ ගියේය.
සැදැහැතිස් මහරජ එක්දිනක් අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරාගෙන විහාරයට පැමිණියේ ය. එක් තරුණ භික්ෂුනමක් ලෝහප්‍රසාදයේ දොරටුව අසළ සිටගෙන අසංවරයෙන් යුක්තව එක් ස්ත්‍රියක් දෙස බැලීය. ඒ ස්ත්‍රිය ද ගමන නවතා ඔහු දෙස බලන්ට පටන්ගති. ටිකවේලාවකට පසු ඇතුළෙහි උපන් රාග ගින්නෙන් දැවී දෙදෙනම මළහ.
ගිරිකණ්ඩවිහාරයට නුදුරු වත්තකාලක ගම එක් තරුණියකගේ මවුපිය දෙදෙන බණ ඇසීමට විහාරයට යන්නාහු “දුව, ඔබට නොකල්හි ඇවිදීම සුදුසු නැත; අපි ඔබටත් පින් සඳහා බණ අස්නනෙමු”යි කියා ගියහ. ඕ තොමෝ යනු කැමති වුවත් මවුපියන්ගේ කීම අසා ගෙදර නැවතුණි. ගෙමිදුලේ සඳඑළිය නිසා ගිරිකණ්ඩකයෙහි කඳුමුදුණේ පිහිටි චෛත්‍යය බලන ඈට එහි පහන් පූජාව ද පෙනුණි. සෑය වැඳ ප්‍රදක්ෂිණා කරන සිවුපිරිස ද දකින්ට ලැබුණි. “මෙවැනි චෛත්‍යයක් ළඟට පැමිණ මල් පුදමින් හැසිරෙන්ට ලබන්නෝ ද මිහිරි බණ අසන්ට ලබන්නෝ ද ඒකාන්තයෙන් භාග්‍යවන්තයෝ වෙති”යි සිතන ඈට උද්වේග ප්‍රීතිය උපණි. ඒ ප්‍රීතිවේගය නිසා අහසට නැගුණු ඕ තොමෝ මවුපියන් එහි පැමිණෙන්ට පෙරම සෑමලුවට අහසින් බැස සෑය වැඳ බණ අසමින් හුණි. මවුපිය දෙදෙන අවුත් ඇය දැක “කොයි මගින් ආවෙහි දැ”යි විචාරන ලද්දී “අහසින් ආවෙමි”යි කීය. “දුවණියනි, අහසින් ගමන් කරන්නේ රහතන් වහන්සේය; තී කෙසේ ආයෙහිදැ”යි ඇසූ විට සිදු වූ දේ විස්තර කොට කීය, (මෙය විශුද්ධිමාර්‍ගයේ පඨවි කසිණනිද්දෙසයෙහි (ඉං 144) පෙනේ)
මෙතුමා අන් අන් පොත් කියවීම හැරදමා අටළොස් අවුරුද්දක් භික්ෂූන්ට ධාතුකථාප්‍රකරණය ඉගැන්වී යයි ද පසුව ගම්වැසි තෙරුන් හා සසඳා බලන විට පිළිවෙලට විරුද්ධව ආ එකම ප්‍රශ්නයක්වත් නැති වී යයි ද විසුද්ධිමග්ග කම්මට්ඨානගහණනිද්දෙසයෙහි කියවේ.
මේ තෙරුන් මාර්ගසිත වැඩීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මතයක් අංගුත්තරඒකනිපාත අටුවාහි අකම්මනියවග්ගයේ සිවුවෙනි සූත්‍රවර්‍ණනාවෙහි ද, “ඒකාන්තයෙන් මෘදුත් කර්‍මණ්‍යත් වන්නේ අභිඥාපාදක චතුර්‍ථධ්‍යාන සිත පමණකැ”යි මේ තෙරුන් කී බව ඒ නිපාතයේ පස්වෙනි වර්‍ගයේ සත්වෙනි සූත්‍රවර්‍ණනාවෙහි ද එයි.
මේ තෙරනම “යම් ස්කන්ධයක් සම්මර්‍ශනය කොට මාර්ගය ලබන්නේ නම් ඒ මාර්ගයක් ඊට එකක් වේය” යන මතය ඇත්තෙක් ව සිටි බව අට්ඨසාලිනී අටුවාහි ලොකුත්තර කුසල කථාවෙහි කියවේ.
මේ තෙරනම ආනාපානසතිය වඩා රහත් වූ බැවින් තමාගේ ආයුසංස්කාරය දැන සියලු කටයුතු නිමවා පිරිනිවියේ යයි විසුද්ධිමග්ග - අනුස්සතිකම්මට්ඨානනිද්දෙසයෙහි (ඉං 292) කියවේ.
කල්‍යාණගම පිඬු පිණිස හැසුරුණු මේ තෙරුන්ට විසභාග අරමුණක් දැකීමෙන් කෙලෙස් අපන්නේ යයි විසුද්ධිමග්ගඤාණදස්සන විසුද්ධිනිද්දෙසයෙහි (ඉං 689) පෙනේ.
මේ තෙරුන් සෝසානිකාංගය රකිමින් හැට අවුරුද්දක් මුළුල්ලේ රාත්‍රි කාලයේ සොහොන්වල විසූ නමුත් අන් කිසිවකුට ඒ බව දැනගත නො හැකි වී යයි අංගුත්තර - එකනිපාතවණ්ණනා (44) වෙහි ද මැඳුම්සඟි අටුවාහි රථවිනීත සූත්‍රවර්‍ණනාවෙහි (350) ද දැක්වේ.
තිස්ස නමැති ඇමතියාගේ මව දහසක් වටිනා වස්ත්‍රයකින් ගැබ්මල (දරු ප්‍රසූතියේ දී පිටවෙන අපිරිසිදු දේ) පිසදම්මවා පාංශුකූලික භික්‍ෂූන්ට ගැනීම සඳහා එය කාළවේලිමග දැම්මවීය යි විසුද්ධිමග්ග - ධුතාංගනිද්දෙසයෙහි (63) කියන ලදි.
විසුද්ධිමග්ග - සීලනිද්දෙසයෙහි (ඉං. 27) උක්කාචනා යන්න තෝරන තැන “තෙලකන්දරික වස්තුව” කියයුතු යයි දක්වන ලදි. නමුත් ඒ පොතේ කිසි තැනක එය විස්තර නො කරන ලදි. විසුද්ධිමග්ගටීකාවෙහි සංක්‍ෂේපයෙන් ද විසුද්ධිමග්ගගණ්ඨියෙහි විස්තර වශයෙන් ද එය දක්වා තිබේ. එක් දැරියක් තෙල් ලබා ගැනීම පිණිස ආ භික්‍ෂුනමකට පුරවා තිබුණු තෙල් කුලාවකින් ස්වල්පයක් වත් කෙළේ ය. භික්ෂුනම ටිකක් එහාට ගොස් අන් ස්ත්‍රියක් හා කථා කරමින්,
“මේ දැරියගේ මව ශ්‍රද්ධාවත් උපාසිකාවකි. ඇය තෙල් දෙනවිට භාජනය පුරවා ගෙනවුත් ඇදහැලෙන දිය ඇල්ලක් මෙන් භාජනයේ ස්වලපයක්වත් ඉතිරිකර නොගෙන පාත්‍රයට තෙල් වත්කළාය” කීය. ඒ කථාව ඇසුණු දැරිය ලැජ්ජාවට පත්ව තෙල් භාජනය ගෙනවුත් ඉතිරි නො කොටම ඒ භික්ෂුවගේ පාත්‍රයෙහි වත් කෙළේ ය.
එක් පංසුපිසාචිකාවක් තමාගේ දරු දෙදෙන ථූපාරාම දොරටුවේ නවත්වා ආහාර සෙවීම පිණිස නුවරට ඇතුල් විය. දරු දෙදෙන බඩගින්න ඉවසිය නො හැකිව පිඬු පිණිස නුවරට යන එක් තෙරනමක් දැක කථා කොට “ස්වාමීනි, අපගේ මව කෑම සෙවීම පිණිස නුවරට ගියා ය. ලැබුණු දෙයක් මොනවා හෝ රැගෙන වහා අවමැනවැ යි ඈට කියනු මැනවි. අපට බඩගින්න ඉවසිය නොහැකැ”යි කීහ. “මම ඈ දකින්නේ කෙසේ දැ”යි ඇසූ විට එක් මුල් කැබැල්ලක් දී මවගේ ලකුණු කීහ. ඒ මුල රැගෙන යන තෙරුන්ට නොයෙක් දහස් ගණන් පිසාචයෝ පෙනුණාහ. යක් දරුවන් කී ලකුණුවලින් උන්ගේ මෑණියන් හැඳිනගත් තෙරනම ඔවුන්ගේ පණිවුඩය ඈට කීය. ඒ අවස්ථාවේ දී ඕ තොමෝ කේවට්ට වීථියෙහි ගර්භමලයක් (වැදෑ මසක්) ලබා ගන්ට උත්සාහ කරමින් සිටියාහ. “ස්වාමීනි, ඔබට මා පෙනුණේ කෙසේ දැ”යි විචාළ විට තෙරනම මුල්කැබැල්ල පෙන්විය. ඈ එය උදුරා ගති. (මේ කථාව මැඳුම් සඟි අටුවාවේ (චා. 713) සකුලුදායිසුත්තවණ්ණනාවෙහි එයි.)
“මහාරබ්භකලෙණ” යයි රසවාහිනියෙහි පෙනේ. ↑
රසවාහිනියෙහි ගොධත්‍ථෙර යයි ද මහාවංසටීකාවෙහි ගොධිය මහා තිස්ස යය ද පෙනේ. ↑
මහාවංසකටීකාහි සමුද්දවිහාරවාසී මහානාග ස්ථවිරයයි පෙනේ. ↑
කාළවල්ලි මණ්ඩපවාසී (මහාවංසටීකා) ↑
චොරකණ්ඩක (මහාවංසටීකා) උපරඛණ්ඩ (රසවාහනී) ↑
භාතිය වංක (මහවංසටිකා) ↑
“කප්පලිනාගපබ්බතවාසී” යයි රසවාහිනියෙහි ද “කොටපබ්බතවාසී” යයි මහාවංසටීකායෙහි පෙනේ. ↑
කෛලාශ විහාරය සුවණ්ණභූමියේ සුධම්මපුරය අසළ පිහිටියේය. විස්තර සඳහා “ථෙරවාදී බෞද්ධචාර්‍ය්‍යයෝ” නමැති පොතේ 8-9 පිටු බැලිය යුතු. ↑
මංගණවැසි ඛුජ්ජතිස්ස තෙරුන්ගේ කථාව මෙහි අන්තැනක දැක්වේ. මේ කියවෙන ඛුද්දතිස්ස යන්නත් ඒ සඳහාම යොදන ලදැයි සිතිය හැක. ↑
කෑගල්ලේ වට්ටාරම විය හැක. ↑
“කල්ලතාපව්ව” යයි සද්ධර්‍මාලංකාරයෙහි ද “කප්පගිකාගපබ්බත මහාරය”යි රසවාහිනියෙහි ද පෙනේ. ↑
කාවන්තිස්ස රජු නකුලඋපාසකයාට දුන් ගම විය යුතුයි. වර්‍තමාන “නාකුළුගමුව” යයි සැලකිය හැක. ↑
විතර්‍කමාලකය නම් පිඬුසිඟීමටයන්ට පිටත්වන්ට පෙර අද කොයිතැනකට යම්දැයි සිතා බලන ස්ථානය වේ යයි විසුද්ධිමග්ගණ්ඨියෙහ කියන ලදි. ↑
මෙය තනයෙහි සෑදෙන ගෙඩියක් යයි විශුද්ධිමාර්‍ග ටීකාවේ කියන ලදි. ↑
අම්බලම්තොටින් උතුරෙහි සැතපුම් කීපයක් දුරින් පිහිටි කරඹගල විහාරය මෙය විය හැක. එය වනාහි දෙවෙනි සිතුල්පව්වකි. එහි තිබෙන බොහෝ ලෙන්වලින් ප්‍රධාන එකක් සේ සැලකිය හැකි විශාල ගුහාවක උඩ පැත්තේ සිතුවම් තිබුණු බවට ලකුණු තවම පෙනෙත්. ↑
කාවන්තිස්ස රජු විය හැකි. ↑
සති දෙකකට වරක් දෙන දානයයි. ↑
චෙතියපබ්බත විහාරයයි ද පෙනේ. ↑
මෙම “සුම්ම - මහාසුම්ම” යන නම් දෙකම එක් ස්ථවිරනමක් සඳහා දැයි විමසිය යුතුය. දීපවිහාර යන්න එංගලන්තයේ මුද්‍රිතපොතේ “දෙවීවිහාර” යයි ද “දිබ්බවිහාර” යයි ද දෙවිධියකින් පෙනේ. ↑
අඨසාලිනී නික්ඛපකණ්ඩවණ්ණනාවෙහිද මේ සිද්ධිය සංක්‍ෂෙපයෙන් පෙනේ. ↑
උබ්හකොළ කණ්ණිකා යයි ද පෙනේ. කණ්ණිකාව නම් පත්තුවක් වැනි ප්‍රදේශයකි. ↑
විනය අටුවාවේ නොයෙක් තැන චූලසුම්ම යන නම් පෙනේ. සුම්ම යයි වචනයක් පාළියෙහි නොපෙනේ. එබැවින් සුධම්ම යන්න ධ-කාරය අඩුවී සුම්ම යයි ලියවුනා විය හැක. ↑
වට්ටාරම ↑
මෙහි මුද්‍රිත පොතෙහි කම්පුපෙලන්‍ද යයි පෙනේ. කම්පුපෙන්‍දපුකම්බුපෙණ්ඩ යනාදී පාඨභෙද ද පෙනෙත්. එංගලන්තයේ මුද්‍රිත පොතේ කබුපෙලන්‍ද යයි පෙනේ. ↑
මෙය “අජගරගිරි” වුවහොත් “පිඹුරාගල” යයි කිය හැක. පිඹුරාගල නමැති විහාරයක් අදත් සීගිරි පර්‍වතය අසළ තිබේ. ↑
“යාමයන්තනාළිකා”යි අටුවාහි පෙනේ. එය පැය ගණන දක්වන යන්ත්‍රයක් විය යුතු. “යාමයන්තං පටති” යන එහි තිබෙන වාක්‍යයෙන් එය වේලාව වදින යන්ත්‍රයක් බව පෙනේ. වෙලාව වදින ඔරලෝසු වර්‍ගයක් එකලත් තිබුණු බව මෙයින් ඔප්පුවේ. ↑
උඳුවප් මාසේ අග සතර දිනක්ද, දුරුතු මාසේ මුල සතර දිනක් ද යන මේ අට දවසයි. මේ කාලය මුළු අවුරුද්දේ අධික ශීත ඇති දවස් ලෙස සලකනු ලැබේ. ↑
පචෙලි විහාරයයි මැදුම්සඟි අටුවාහි පෙනේ. ↑
ලෙණගිරි නම් “ලෙණගල” යයි ප්‍රකට විහාරය විය යුතුයි. ඇතැම් අටුවා පොත්වල ලෙණගිරි යයි පෙනේ; එය සිංහලෙන් “ලුණුගල” විය යුතුයි. “ලෙණගිරි” යන්න වැඩි තැනක පෙනේ. ↑
මහාගිරිගාම යයි දික්සගි අටුවා (368) හි ද මහාඛීරගාම යයි අංගුත්තර මජ්ඣිමඅටුවාවන්හි ද පෙනේ. ↑
ගොධත්‍ථෙර යයි ද සිංහල පොතේ පෙනේ. චීන භාෂාවට නැගූ පොතේ තිබෙන්නේ “ගොදත්ත” කියාය. බුරුම පොත්වල ගොදත්ත යයි පෙනේ. ↑
1900 දී මුද්‍රිත පොතේ මෙතැන තිබෙන්නේ “ගොධකත්‍ථෙර” යන්නයි. ↑
ඒ පොතේම මෙතැන්හි “ගොදත්ත” යයි පෙනේ. ↑
මහාගතිගාමිය යන්න පී. වී. බාපාත්මහතා ශුද්ධකළ නාගරපොතේ තිබෙන්නේ මහානාගතිමිය යන ආකාරයෙනි. ↑