ගෞතම බුද්ධ චරිතය
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
පටුන
පටුන

ශාක්‍යමුනීන්ද්‍රාවදානය

හෙවත් සිද්‍ධාර්ථ ගෞතම

බුද්‍ධ චරිතය

සම්පාදක

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය

මහනායක හිමිපාණන් වහන්සේ

බුද්‍ධ කාලයේ ජම්බුද්වීපය භූමි විස්තරය ඇතුළත් උපන්‍යාස

පිරිනැමීමයි

මේ ‘ශාක්‍යමුනීන්ද්‍රාවදාන’ ග්‍රන්ථය

මට දම් සතර උගන්වාවදාළ

මුර්තිමත් ගුණකදම්බයක් වූ

විනයාචාර්‍ය්‍ය ආභිධර්මික

දෙණිහේනේ ශීලානන්දාභිධාන

මගේ ආචාර්යපාදයන් වහන්සේ ගේ

ශ්‍රී නාමයට

ආදරභක්තියෙන් පිරිනැමෙන

උපහාරයෙක් වේවා.

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය භික්ෂු

මෙම පොත (සංශෝධිත මුද්‍රණය 2000) අතිගරු බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ විසින් අපවත්වීමට ප්‍රථම සංස්කරණය කරන ලදී.

පෙරවදන

බොහෝ පෙර සිට මිනිසාගේ අදහස් උදහස් පැවැසුම් විසින් රැසැයුණු ග්‍රන්ථ බොහෝයැ. මුල දී කට පාඩමින් ද අකුරු ලිවීම දියුණු වූ පසු පොත් තනා ඒවායේ ලිවීමෙන් ද, මුද්‍රණ ශිල්පය වැඩුණු පසු මුද්‍රාපණයෙන් ද ග්‍රන්ථ පළ කැරිණ. ආගම ධර්ම, ඉතිහාස, දෝ සතර, වෙද සතර ආදී නානාවිධ විෂයයන් පිළිබඳ ග්‍රන්ථ දියුණු වූ හැම රටෙක ම සිය ගණනින් දහස් ගණනින් නැගී ආයේය. ඒ රටවලැ පොත්ගුල් පහළ විය. පොත් සිය ගණනින් දහස් ගණනින් ඒ පොත් ගුල් පිරිණ. නොයෙක් අංශයෙන් ලෝකාර්ථ චර්යායෙහි යෙදුණු වීරයන් ගේ චරිත කථා ඒ ගත් අතුරෙහි පාමොක් තැනැ වැජැඹිණ.

මේ චරිත කථා අතුරෙහි බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කථාවට ලැබී ඇත්තේ උසස්ම තැනය. බෞද්‍ධයකුට බුද්‍ධ චරිතය මහාර්භ වැ පැනෙනු අරුම නො වේ. තමන් ගත් දෘෂ්ටියෙහි දැඩි ලෙස බැඳීම නිසා බුද්‍ධ ධර්මය නාස්තිකවාදයෙකැ යි දොස් නැගුවෝ පවා බුදුරජුන් ගේ චරිතය ආදර්ශවත් ශ්‍රෙෂ්ඨ එකෙකැයි කීහ. බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතික්ෂිප්ත කළ නො හැකි බ්‍රහ්මලබ්ධිකයෝ උන් වහන්සේ දෙවියන්ගේ සතුරන් වූ අසුරයන් මුළා කරනු පිණිස, ලොවැ මිනිස් වැ පහළ වූ විෂ්ණු දෙවියෝ (විෂ්ණුහු ගේ නව වන අවතාරය) යැ යි කීහ. බුදු දහමේ ඇතැම් කරුණු නො පිළිගන්නා දැඩි කතෝලික භක්තිමතෙක් වූ බර්තොලමි සේනේට් හිලෙයර්[1] “උන් වහන්සේ ගේ ජීවිතය නො කිලිටි ය. වීරත්වය පරාර්ථය පිණිස ආත්ම පරිත්‍යාගය (සිය සැප නොතකා හැරීම), මෛත්‍රිය, සද්ගුණ මාධූර්ය යන ගුණවලට ශ්‍රෙෂ්ඨ ආදර්ශය යැ” යි කී ය. එසේ ම අබෞද්‍ධ ආචාර්යවරයෙක් වූ බාත් මහතා[2] උන්වහන්සේ “සංසුන් බව, දක්නවුන් තුළ ගෞරවාන්විත භක්තිය පහළ කරවන තේජස, හැම සතුන් කෙරෙහි පැතිරැවූ අපරිමිත දයාව සියලු දුඃඛිත සත්ත්වයන් කෙරෙහි පෑ මහා කරුණාව, පරිපූර්ණ ආධ්‍යාත්මික නිදහස, අගතියෙන් තොර වූ සර්වසාධාරණත්වය යන ගුණයන් ගේ පූර්ණ මූර්තිය යැ” යි කී ය. සිය වස් ගණනකට පෙරැ පර්සියාවේ (ඉරාණයේ) වුසූ අබුල් අත හීයා නමැති ඓස්ලාමික ගත් කරු[3] “මිනිසුන් අතරැ පහළ වූ උත්තරී තම” තැනැත්තා දකිනු කැමැත්තහු නම්, භික්ෂක වේශයෙන් සැරි සැරූ රජාණන් දෙස බලන්න. ඒ මිනිසුන් අතරැ සිටි, පරම පවිත්‍ර උත්තමයාණෝ යැ” යි කී ය. ඔහුගේ මේ කියුම පිරික්සූ අවුස්ත්‍රියාවේ බුඩාපෙස්ට් නුවර මහාචාර්ය ගෝල්ඩ්සීහර්[4] පඬිතුමා “අබුල්අතහියා මෙය කීයේ පාංශුකූල චීවරයක් පෙරෙවැ භික්ෂාටනයෙන් දිවි පවත්වමින් ලෝ වැඩෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ ගැන ම යැ” යි පැවැසීය.

උදාන පාළිය පළමුවෙන් ම ඉංගිලිසියට නගා පළ කළ ආචාර්ය ඩී. එම්. ස්ට්‍රොං මහතා ඒ පොතට පෙර වදන ලියනුයේ, “මේ පොත මා ඉංගිලිසියට නගා පළ කරනුයේ පාළිභාෂා විෂයයෙහි මගේ ප්‍රවීණත්වයක් පෙන්වීමට නො වැ ඉන්දියාවේ පැවිදි වෙසින් සැරි සැරූ ලොවැ දුක් ලෙඩින් පෙළෙන්නවුන් සුව පත් කිරීමට ඉදිරි පත් වූ චිකිත්සකයන් අතරැ අග්‍රතමයාණන් වූ දුකින් පිරුනු මේ භව නැමැති සිර ගෙයින් මිදී සදාහාවි විශ්‍රාමය වූ විමුක්තියට(නිවනට) පැමිණෙනු පිණිස දෙවි මිනිස්නට මඟ පෙන්වීමට ලොවැ පහළ වූ ඒ භාග්‍ය වත් අර්හීත් සම්‍යක් සම්බුද්‍ධ මහෝත්තම ගෞතමයන් වහන්සේ සිහි කොට කැරෙන ආදර භක්තිමය පූජාවක් වශයෙනි” යි සඳහන් කෙළේ ය.

මේ ටික පැවැසූයේ අබෞද්‍ධ උගතුන් පවා බුදුරජාණන් වහන්සේ ගේ චරිතයේ ජෙෂ්ඨත්වය පිළිගෙන තිබෙන සැටි දැක්වීමට ය. අනෙකකු ගේ “රෙකමනක්”, අවශ්‍ය නැත. එලැඹැ සිටි සිහි ඇති ව මුල සිට අගට ම බුද්‍ධ චරිත කථාව කියන කියවන කාට වුව ද එය ආදි කල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍යවසාන කල්‍යාණ හෙවත් සියලු ලෙසින් ම කලණ ගුණයෙන් පිරිපුන් එකෙකැ යි වැටහෙනු ඇත. ශීලයෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥායෙන් හෝ බුදුරජුනට වැඩි තරම් කෙනෙක් පෙරත් නො වූහ. මතුත් නො වෙති, දැනුත් නැත. උන් වහන්සේ සකල සද්ගුණ නිධානහ, අසම හ, අසම සම හ.

අසහාය ජගදාචාර්ය වූ අතුල්‍ය පරාර්ථචාරී වූ සකල සද්ගුණ සමුදායයේ පරම මූර්තිය වූ සිද්‍ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ ගේ චරිත කථාව ලිවීමේදීත් එය පුන පුනා කියැවීමේදීත් මේ ග්‍රන්ථයෙහි කර්තෘහට ඇති වන ප්‍රීතිය හා චිත්ත ශාන්තිය අන් මොන ම කෙනකු ගේ චරිතයක් කියැවීමේදී නො ම ලැබේ. සෙස්සනට ද එසේ මැයැ යි අනුමානයෙන් සිතම්හ.

බුද්‍ධ චරිතය විදහා නොයෙක් භාෂාවලින් රැසැයුණු පොත් අද පළ වැ ඇත. හෙළ බසිනුදු බොහෝ පෙර සිට ම ගද්‍ය පද්‍ය දෙකින් ම රචිත වූ බොහෝ ග්‍රන්ථ ඇත. අපට ද බුද්‍ධ චරිත ග්‍රන්ථයක් ලියනුවට කොළොඹ තරුණ බෞද්‍ධ සමිතියෙන් අයැදුමෙක් ලැබිණ. ඒ ව්‍යවහාර වර්ෂයෙන් 1928 වන්නෙහි අප කොළොඹැ අනඳ මහ විදුහලැ රැඳී වෙසෙමින් එහි බුදු දහමත් පාලි සංස්කෘත භාෂාත් උගන්වන සමයෙහි යැ. එය ලියා දුනුමු. “ශාක්‍ය සිංහාවදාන” නමින් එය පළ කැරිණ. පළමු වර පොතට වඩා කරුණු එකතු කොට දෙවෙනි වර මුද්‍රණයට පොත සකසා දුනුමු. මේ අතර පණ්ඩිත වැලිවිටියේ සෝරත නායක ස්ථවිරයන් වහන්සේ බොහෝ පොත් බලා එකතු කොට සූවිසි මහා සමාගම් නම් වැල වෙසක් කලාපයක පළ කැරැවූහ. උන් වහන්සේ ගෙන් ලැබුණු අවසරය පරිදි එය ද අප පොතට එකතු කළෙමු. පොත වාර ගණනක් ම මුද්‍රිත විය. එහෙත් මෙයින් හවුරුදු කිහිපයකට පෙර දහම් පාසල් පාඩම් මාලාව අන් සැටියෙකින් සකස් විය. “ශාක්‍යසිංහාවදානය” අනවශ්‍ය විය. එහි මුද්‍රණය නැවැතිණ. පොත අභාවයට ගියේ ය. එසේ වුව ද බොහෝ දෙනා එය යලි දු මහජනයා අතට පමුණුවන්නැයි නොයෙක් වර අප අයැදුහ. කොළොඹැ මරදානේ මාලිගාකන්ද මාවතේ සමයවර්ධන මුද්‍රණාලයාධිපති ආරියදාස වීරමන් මහතා ද බුද්‍ධ චරිතයක් ලියා දෙන ලෙස අයැදීය. පළමු අප සැකැසූ බුද්‍ධචරිතය පදනම් කොට ගෙන අළුතෙන් තවත් බොහෝ කරුණු එකතු කොට මේ “ශාක්‍යමුනින්ද්‍රාවදානය” පිළියෙල කළමු. පොත මුද්‍රිත වු පසු මෙහි සමහර තැනෙක භාෂාව ගැඹුරු යැ යි අපට හැඟිණ. මෙහි දෙවෙනි සංස්කරණය බොහෝ ලිහිල් බසින් පළ වනු ඇත.

මේ පොතේ බෝධිසත්ත්ව චරිත කොටස කියවන සමහර කෙනකුට මෙය වෛතුල්‍ය මත ඇතුළත් එකෙකැයි හැඟෙන්නට ද පිළිවන. එබැවින් එය ගැන ද යමක් කිය යුතුය.

මෙහි ඇතුළත් මහාසම්මත රාජ පරම්පරාවද ශාක්‍යවංශයේ ප්‍රභවය ද තරමක් දුරට පාළි පොත්හි දැක්වෙත්. ස්ථවිරවාද ශාඛාවක් වූ සර්වාස්තිවාදයට අයත් පොත්වලද මහාසාංඝිකයන් ගෙන් ප්‍රභූත වූ මහායානයට අයත් පොත් වලද ඒවා වඩාත් විස්තර කොට දැක්වෙත්. මෙහි දැක්වෙන විස්තරය ඒවායිනුත් කරුණු ගෙන සැකැසුමු.

සුදොවුන් කුමරු පසල් දනව්වක් සංසිඳුවූ පුවත කිසි දු පාළි පොතෙකැ නැත. එය ටිබෙට් චීන පොත්වල ඉංගිලිසි පරිවර්තන ද මහාවස්තු ආදී සංස්කෘත බණ පොත් ද ඇසුරින් සැකැසූමු. මහාමායා කුමරියත් පජාපතී කුමරියත් යන දෙදෙනාම සුදොවුන් කුමරු ආවාහ කොට ගත්තේ කවර හෙයින්ද? කෙසේ ද? යනු කිසිම පාළි පොතක දැක්වී නැත. සර්වාස්තිවාදී ආදීන් ගේ පොත්වලැ ආ ඒවා පිළිබඳ විස්තර කථාව ඒ පොත්වලින් ම ගෙන මෙහි බහා ලුමු.

සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේ ගේ කුඩා වියේ තොරතුරු විස්තරයෙන් දැක්වෙන්නේ සර්වාස්තිවාදීන් ගේ ද මහායානීන් ගේ ද පොත්වල යැ. යශෝධරාවන් සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේට ආවාහ කොට දීමේ පුවත පාළි පොත්හි එනුයේ සැකෙවිනි. අන්‍ය නිකායවල පොත්හි එය බොහෝ විස්තරයෙන් දැක්වේ. මෙ අත්බව්හි ම රහත්බව ලබනු සඳහා විවසුන් වැඩූ, සස්නේ ආදිම යුගයේ සිටි ථෙරවාදීන් ඒ පුවත් දැන ඉගැමෙන් තමන් පිළිවෙතට වන වැඩක් නැතැ යි දැක ඒවා මුව පරපුරින් නොගෙනාවා විනා, ග්‍රන්ථාරූඪ නො කළා විනා ඒ පුවත්වල සත්‍යතාව නොපිළිගත්තා නො වේ. එහෙත් ඒ පුවත්වල ඓතිහාසික අගය සැලැකූ අන්‍ය බෞද්‍ධ නිකායිකයෝ ඒවා රැකගත්හ, ග්‍රන්ථාරූඪ ද කළහ. ලුම්බිණි උයන ඇති වූ සැටි ද දැක්වෙනුයේ ඒ පොත්හි මය. යශෝධරාවන් ආවාහ කැරැ ගත් පසු ගිහි ගෙන් නික්මෙන අවස්ථාව තෙක් ඒ දෙදෙනා වහන්සේ ගේ ජීවිත ප්‍රවෘත්තිය පිළිබඳ කිසිවකුත් පාළි අටුවාහි නො දැක්වේ. කම්සැපෙහි ම ගිලී, වට පිටාව ගැන කිසිත් නොදැනෙන ලෙසට කැරැවුණු ආවරණ මැද “නිවාස හිර බාරයේ” කල් ගෙවූවකුගේ සැටියක් ජාතක අටුවා ආදියෙන් දැක්වේ. එහෙත් ත්‍රිපිටක පාලියේ සමහර සුත්‍රවල, කොතරම් සැප පහසු කම් මැද වුසුවත් බෝසතාණන් වහන්සේ එලැඹැ සිටි සිහියෙන් කල් යැවූ බව සඳහන් වේ. මහායානිකයන් ගේත් සර්වාස්තිවාදී ආදීන් ගේත් පොත්වල ද නාඬි ග්‍රන්ථාගත බුද්‍ධ චරිතවල ද එන පුවත් එයට අනුකූල වේ.

සිද්‍ධාර්ථ රාජයාණන් වහන්සේ පමණක් නොව යශෝධරා දේවීන් වහසේත් ගිහි ගෙහි ඇලුම් නැති ව වුසූහ. ඕ බෝසතාණන් කැටුව ම ගිහි ගෙන් නික්මෙන්නට සිතා සිටී, පෙරැ සසරැදි සේ ම මේ අත්බව්හි ද, බෝසතාණන් ගිහි ගෙන් නික්මැ තවුස්දම් පුරා බුදු වන තුරු ඔබට උවටන් කරමින් ඔබ රැක බලාගන්නට පත පතා සිටි, බෝසතාණන් වහන්සේට මවක සේ ද ඉතා ළැදි සොහොයුරියක සේ ද, කීකරු සේවිකාවක සේ ද, උන්වහන්සේ කෙරෙහි අපරිමිත ස්නේහයෙන් යුතු ව සිටි මහාමායා දේවීන් වහන්සේත් ප්‍රජාවතී ගෞතමීන් වහන්සේත් යන දෙදෙනා පමණටම සද්ගුණ සමුදායෙන් පරිපූර්ණ වූ, මෙ කපැ පෙරැ ද පහළ නොවූ මතු ද පහළ නො වන අසම රූප සම්පත්තියෙන් සේ ම ගුණසම්පත්තියෙන් ද දෙව්මිනිස් දෙලොව්හි ම සියලු ස්ත්‍රීන් අබිබවා සිටි ආශ්චර්‍ය්‍ය ස්ත්‍රී රත්නයෙකැ යි ඒ අන්‍ය නිකායිකයන්ගේ පොත් වලැ එන පුවත්වලින් ද දැක්වේ.

“බෝසතාණන් වහන්සේ අනුව ඕ ද ජරා ව්‍යාධි මරණාදී දුක් ගැන සිතමින් සාකච්ඡා කරමින් කල් ගත කළා ය.” යන්න වියැ යුතු වියැ හැකි සැටිය මය.

බෝසතාණන් වහන්සේ කාට වත් නො දන්වා ගිහි ගෙන් නික්මගිය පමණෙක් පාලි පොත් හි දැක්වේ. ඒ, සිදු වූ දැය (විස්තර මනා කොට) සැකෙවින් කී අයුරු ය. එහි විස්තර කථාව ලලිත විස්තරාදී බොහෝ පැරැණි සකු බණ පොත්හි සඳහන් වේ. මේ පොතට ඒ පොත්වලින් ගෙන ඒ විස්තරය ඇතුළත් කළම්භ.

පාලි පොත්හි දැක්වෙන සංක්‍ෂිප්ත සඳහනින් බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මෙන මෙහොතෙහි කාටත් නොදැන්වූ බව මිස, එයට කලින් එය ගැන මාපිය ආදී කිසිම කෙනෙකු සමග කථාමාත්‍රයකුත් නො කළහ යි සිතිය නොහැක්ක. ජරාරූපාදිය දක්නා වේලෙහි බෝසතාණන් වහන්සේ ළහ සිටි ඡන්නයා ගෙන් ඒ තොරතුරු සෙස්සනට හෙළි නොවිණි ද? ඡන්නයා ගෙන් ඒ තොරතුරු දැනගත් සුදොවුන් මහරජාණන් ඒ ගැන කළ යුතු දැ පිළිබඳ වැ රජගෙදර අය හා මැති ඇමැතියන් හා කතා බස් කළ බව රකවල් තරකිරීමේ යෙදුණු බව (පාලි පොත්හි ද එන) පුවතින් හෙළි පෙහෙළි වේ. එය දැනගත් ප්‍රජාවතී ගෞතමීන් වහන්සේ යශෝධරා දේවීන් වහන්සේ නන්ද කුමාරිකාවන් බෝසතාණන් වහන්සේගේ හිතමිත්‍ර කාලුදායි ආදීන් හෝ සෙසු නෑදෑ කෙනකු එය ගැන උන්වහන්සේ හා වචන මාත්‍රයකුත් කතා නොකළෝද? එසේ කතා කරන්නට බිය ඇත්තන් කරන තරම් රළු පරොස් හැඩිදැඩි බවෙක් ගොර හැඬි බවෙක් උන්වහන්සේ තුළ වූයේ යැ යි සිතියැ හැකිද? උන් වහන්සේ තේජස්වී වුවත් දුරාසද වුවත් මහාකාරුණික මෘදුගුණ සම්පන්න කෙනකු බව ඒ හැම දෙනා ම අතර ප්‍රකට බැවින් ඔවුන් උන්වහන්සේට සුදුසු ගෞරව දක්වා ඒවා ගැන කරුණු කීවා යන්න වියැ හැකි මය. උන් වහන්සේ ද ඒ කවුරුන් සමගත් කාමාදීනව ලොවැ ජරාමරණාදිය අනිවාර්‍ය්‍ය බව පිළිබඳ ව නොයෙක් විට කරුණු වදාළා ද විය හැක්කකි. තමන් වහන්සේ තුළ පහළ වූ හැඟීම් ගැන කිසිම කෙනකු හා කිසිත් නොකියා ගොළුවත රකිමින් හෝ තුන් ප්‍රාසාදයන්හි පැවැති නෘත්‍යගීතාදිය අතට ම යොමු කළ ඉඳුරන් ඇති වැ මුළාවෙනුත් මුළාවට වැටෙමින් කම් සැපෙහි ම ගිලී අටවිසි වන හවුරුද්ද තෙක් අඳුරෙහි ම, ක්‍රීඩෝත්සව පිරුණු හිරගෙයෙක කල් ගෙවා, අන්තිමේදී දෙවියන් විසින් දැක්වූ පෙරනිමිති දැක කලබොල වැ කාටවත් නො දන්වා පලාගිය හා යන්න සාරාසෙකි කප් සිය දහසක් පැරුම් පිරූ නුවණ වැඩූ මහා වීරපුරුෂයකු ගත් ක්‍රියා මාර්ගයෙකැ යි කෙසේ පිළිගත හැකි ද? අටුවායෙහි සංක්‍ෂිප්ත කොට සඳහන් කළ ද එහි විස්තරය නොදන්නාහු වරදවා සිතා ගෙන බෝසතුන් කාටවත් නොදන්වා එදා ම උපන් දරුවා සහිත බිරිය ද අසරණ කොට නොතකා රහසින් පලාගිය කෙනෙකු කොට දැක්වූහ. එහෙත් එහි යථාතත්වය මෙහි හෙළි කොට දැක්වූමු.

“සිද්‍ධාර්ථයන් වහන්සේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ බඹහු දුන් අට පිරිකර පිළිගෙන යැ” යි පාලි අටුවාහි ඇත. ඡන්නයා ඉදිරියේදී මෙය සිදු වී නම් ඔහු ආපසු ගොස් සුදොවුන් රජු ආදීනට එය කියනු ඇත. බඹහු අහසින් බැස එය පිළිගැන්වූහු නම් මේ ආශ්චර්ය සිද්‍ධිය ඔහු පවසනු ම ඇත. බඹහු ඡන්නයාට නොපෙනී බෝසතාණන් වහන්සේට පමණක් පෙනෙමින් අට පිරිකර පිළිගැන්වූහු නම් ඒ මොහොතේ “ඉබේ ම පහළ වු අට පිරිකර” ගැන ද ඔහු රජ ගෙදරැ දී කියනු විය හැකි ම ය. එය ද පුදුම සිද්‍ධියක් බැවිනි. බඹුන් අවුත් ඒවා පිළිගැන්නුවේ බඹ වෙසින් ද මිනිස් වෙසින් ද කෙසේ ද යනු පාලි අටුවාවේ විස්තර වැ නැත. බඹුන් අටපිරිකරින් පිදු බව පමණෙක් පාලි පොත්හි කොටින් දැක්වේ. සර්වාස්තිවාදීන් ගේත් මහායානීන්ගේත් පොත්හි එය විස්තරයෙන් දැක්වේ. ඔවුන් කියන පරිදි වැදිවෙසින් ආයේ බඹුහු යැ නැත හොත් බ්‍රහ්මාවෙශයෙන් ආ කෙනෙකි.

“මා හැදු වැඩූ නොපමණ වියදම් කොට මට සුව පහසු සැලැස්සූ ආදරණීය පියාණනට නොදන්වා අවසර නො ගෙන ගිහිගෙන් නික්මිය යුතු නො වේ, යැ” යි. “කෙසේ හෝ පියා ගෙන් අවසර ගෙන ම ගිහිගෙන් නික්මෙමි” යි බෝසතාණන් වහන්සේ සිතූ නියාව ලලිත විස්තරාදියේ දැක්වේ. මෙයින් බෝසතුන් වහන්සේ දැක්වූ ආදර්ශය, උන්වහන්සේ ගේ විශාරදත්වය කොතරම් ශ්‍රෙෂ්ඨ ද? කාටත් නො කියා පලායෑමේ කතාවට වඩා මෙය කොතරම් අගෙන්ද?

බෝසතාණන් වහන්සේ රාත්‍රියේ පිය රජු දක්නට ගිය වේලේ උන්වහන්සේ ගේ ශරීරයෙන් බඹයක් තරම් දුර පැතුරුණු එළිය ගැන ලලිත විස්තරයේ දක්වා ඇති ලෙසට ම මෙහි ද සඳහන් කළම්හ. මෙයත් විය හැක්කක් දැයි කෙනකුට සිතෙන්නට පිළිවන. මිනිසුන්ගේ ශරීරවලින් පමණක් නොව ගස් වලින්ද රශ්මියක් විහිදෙන බව අද විද්‍යාඥයන් සොයා දැන ගෙන තිබේ. ඒ ඒ තැනැත්තාගේ ශරීර තත්වය අනුව ඒ රශ්මිය අඩු වැඩි වේ. මෙයින් අවුරුදු සියයකට පමණ පෙර තම සිරුරෙන් විදුලිය එළි වැනි රශ්මියක් විහිදුවන කෙනකු රශියාවේ සිටි බව කලකට පෙර පළ වූ ඥානාදර්ශ සඟරා වේ පළ වී තුබුණේය. බුදුවන මහෝත්තමයා ගේ සිරුරෙන් බඹයක් පමණ එළියක් විහිදුණ බවත් එය පැහැදිලි වනුයේ උන් වහන්සේ අඳුරු තැනක සිටින විට බවත් හැඟේ. මෙය ඛ්‍යාම ප්‍රභාමණ්ඩල යැයි ථෙරවාදීන් ගේ පොත්වල ද දැක්වේ.

බෝසතාණන් වහන්සේට ගිහි ගෙන් නික්ම යන්නට අවසරය දී යලිත් ඒ ගමන නවත්තන්නට සුදොවුන් රජු මුර කළ බව සුදුසු ද? යන ප්‍රශ්නයද නැංවිය හැක්ක. සුදොවුන් රජු ඒ අවසරය දුන්නේ කැමැත්තෙකින් සතුටෙකින් නො වේ. තව ස්වල්ප කලකට වත් ගමන පමා කළොත් යෙහෙකැ යි යනු රජුගේ අදහස විය. කවදා නුමුත් ගිහි ගෙන් නික්මෙන බව නියතයෙන් ම දැනගත්තත් ගමන තව ටිකක් පරක්කු කළ හැකි වුවොත් මැනැව යනු රජුගේත් අනිත් නෑ පිරිසගේත් අදහස විය. මුර කළේ එහෙයිනි. පුත්‍රප්‍රේමයේ බලවත් බව නිසා ය.

“මා ගිහි ගෙන් නික්මැ යන ගමනේ දී කොතරම් දුර බැහැර යන්නට වේ ද, කොතරම් කරදර වලට මුහුණ පාන්නට වේ දැ යි කිය නො හැක්ක. අත දරුවකු ඇති වැ නුඹ මේ ගමනට එක් වීම නුඹටත් දරුවාටත් දුක් හිරි හැර ඇති කැරැ ගැන්මෙකි. නිරර්ථක ක්‍රියාවෙකි, බුද්‍ධත්වය සඳහා නොපමණ වෙහෙස වින්දැ යුතු යැ. එබැවින් ඔබ මේ ගමනට එක්වීම මා ගන්නා ක්‍රියාමාර්ගයට බාධකයෙක් වෙයි. එයින් දරුවාට වත් ඔබට වත් මට වත් වන වැඩෙක් නැත. ඒ බැවින් මා ගොස් ගුණදහම් වඩා බුදු වැ අවුත් ඔබට ත් මපියාණනටත් කුඩා මෑණියන් ආදී සෙස්සනටත් මා අවබෝධ කළ ධර්මය අවබෝධකර වන්නෙමි, මා ලබන විමුක්තිය ඔබ ඇතුළු හැම දෙනාට බෙදා දෙන්නෙමි, එ බැවින් ඔබ නවතින්න, දරුවා රැක බලා ගන්න, ඔබට මෙහි සියලු සැප පහසු කම් තිබේ. පියාණෝ ද කුඩා මෑණියෝ ද සෙසු නෑයෝ ද ඔබේ ආරක්ෂවට සිටිති. මා එන තෙක් බලාපොරොත්තු වී සැනැසී ඉන්නැ” යි යශෝධරා දේවීන් වහන්සේට බෝසතාණන් වහන්සේ අවවාද කොට සනසා ඇගෙනුත් මහබිනික්මනට අවසර ගත් පුවත කොතරම් අගී ද! ස්වභාවිකද ! මෙය මහායානයේ හෝ සර්වාස්තිවාදයේ හෝ වෛතුල්‍යවාදීන් ගේ හෝ කවර කෙනකුගේ පොතෙක තිබුණත් “යශෝධරාවනට තමා කිසිසේත් නොදන්වා දරුවා සහිත ඇය හැරදමා රහසින් පලා ගියේය” යන්නට වඩා පිළිගත හැකි ස්වභාව සිද්‍ධියෙකි. කලින් ඒ කාටත් දන්වා අවසර ගෙන තිබුණු බැවින් ගමන නොදැන්නුවේ පිටත් වන මොහොතේ ය. හැම දෙනා ම තමන් වටා රැස් වැ හඬන්නට වැලැපෙන්නට වුවොත් එය ගමනට බාධක වන බැවිනි. බෝසතාණන් වහන්සේ පිටත් ව ගිය බව දැනගත් පසු ප්‍රිය විප්‍රයෝග දුකින් කවුරුනුත් හැඬුව ද, වැලැපුණ ද, ‘උන් වහන්සේ බුදු වී තමන් වෙත එතැ’ යි යන තහවුරු වූ විශ්වාසය නිසා ඔහු හැම දෙනාම සැනසුණහ, සාපේක්‍ෂක වූහ. ස්වල්ප දේපල ඇති දුප්පත් දරුපවුලකට “මතු සැපසේ ඉන්නට හැකි වනු පිණිස ටිකකලෙකින් මහා ධනස්කන්ධයක් සපයා ගෙන එමැ” යි කියා ධන සැපයීමට ඈත රටකට යන ගෙහිමියා ගේ වෙන් වැ යෑමේ දුක වැන්නෙහි කිඹුල්වත්පුර රජගෙහි ඇති වූයේ. එහෙත් ඒ ගමන ඔවුන් ගේත් සෙස්සන් ගේත් යහපත පිණිස ම යැ යි ඔවුහු දත්හ. එයින් සැනසුණහ, කලින් ම මෙය සලකා බැලූ බෝසතාණන් වහන්සේ අබිනික්මන් මොහොතේ කාටත් නොදැන් වූහ.

මේ පොතෙහි බෝධිසත්ත්ව චරිතයේ දැක්වෙන, සර්වාස්තිවාදී ආදීන්ගේ පොත්වල එන විස්තර අප ලබා ගන්නේ ලලිත විස්තර මහාවස්තු ආදී සංස්කෘත පොත්වලිනුත්, ටිබෙට් පොත්වලත් චීන පොත්වලත් ඉංග්ලිසි පරිවර්තනවලිනුත් ය. ඒ ටිබෙට් චීන පොත් යනු බුදු දහම ඉන්දියාවෙන් අතුරු දහන් වන්නට බොහෝ කලින් එහි සංස්කෘත මාගධී ආදී භාෂාවලින් තිබුණු බණපොත් ය. ඒවා මහාරාශියක් ටිබෙට්රටට ද චීනයට ද ගෙන ගොස් ඒ භාෂාවලට නගා තුබුණේ ය. එයින් සමහරෙක් ඉංග්ලිසියට නගන ලදු ව පළ වුණහ. මේ බුද්‍ධ චරිතය සැකැසීමේදී ඒ බොහෝ පොත්වල එන බෝසත් සිරිතේ ඇතැම් කොටස් සස ඳා බලා මෙහි ඇතුළත් කළම්හ.

මෙතෙකින් පෙර වදන අවසන් කරම්හ.

මේ අවස්ථායෙහි, අප පැවිදි කොට සිංහල පාලි සංස්කෘත භාෂාත් ධර්ම විනයයත් උගන්වා වදාළ, අපට ඉංග්‍ලිසි භාෂා විෂයයෙහි දැනීම දියුණු කැරැ ගන්නයි එයට දිරි දුන්, බළන්ගොඩැ බුලත්ගමැ (උඩුමුල්ලේ) ශ්‍රී නන්දාරාමාධිපතිවැ වැඩ වුසූ විනයාචාර්ය ආභිධම්මික දෙණිහේනේ ශ්‍රී ශීලානන්දාභිධාන අස්මදාචාර්ය පාදයන් වහන්සේ ද, අපගේ අභිවෘද්‍ධියට හැම ලෙසින් ම රුකුල් දුන් මහවළ තැන්නේ චන්ද්‍රශේඛර මන්ත්‍රීන්ද්‍රාරාමාධිපති වැ වැඩ වුසූ දාමහන ධම්මානන්දාභිධාන අස්මත් ප්‍රාචාර්ය මහානායක ස්වාමීන්ද්‍ර පාදයන් වහන්සේ ද මේ ගත රැසැයීමේ පින් අනුමෝදන් කරමින් සිහි කරම්හ. ඒ දෙදෙනා වහන්සේට ද, අප මාපියනටද අප දියුණුවට අතිශයයෙන් උපස්තම්භක වූ ඇස්. ඩී. මහවළතැන්නේ රටේ මැතිතුමාට ද බාන්ස් රත්වත්තේ රටේ තුමාට ද සගමොක් සුව පිණිස මෙය ලියූ පින ද ප්‍රත්‍යය වේ වායි ද පතම් හ.

මෙයට

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර

අමරාවතී විහාරය, ග්‍රෙය්ට් ගැඩස්ඩන්, එංගලන්තය

1985 ඔක්:

නමො භගවතො විසුද්‍ධචරිතස්ස

සම්පුරිතාපමිත පාරමිතාපගාය

නිද්ධූය යො’ ඛිල කිලෙසමලප්පබන්ධං

නිස්සේසඤෙය්‍යවිදුතාභරණො රරාජ

සො චිත්තගන්ධකුටියං ලසතං ජිනො මෙ

පුරාතන ජම්බුද්වීපය

හිමාලය පර්වතයෙහි පිහිටි ජම්බු වෘක්ෂ නමින් ප්‍රකට කඳුවැටියෙන් ලක්ෂිත වූ ද්වීපය ජම්බුද්වීප නම් වේ. මෙය දැන් ඉන්දියා නමින් ව්‍යවහාර වූ දේශයයි. ඉන් බාහිර රටවල් බුද්ධාදී උතුමන්ගේ ජන්ම භූමි නොවූ හෙයින් සුලු කොට සැලකීමෙන් දෝ ජම්බුද්වීපයේ පිරිවර වූ කොදිව් යැයි කියන ලදහ.

දඹදිව බෙදීම

දඹදිව වනාහි මහාමණ්ඩල, මධ්‍යමණ්ඩල, අන්තර් මණ්ඩල යැයි විශාල කොටස් තුනකට බෙදා තිබුණ බව අටුවාවලින් පෙනේ. එයින් මහා මණ්ඩලය යොදුන් නවසියෙකි. මධ්‍ය මණ්ඩලය යොදුන් නවසියෙකි. අන්තො මණ්ඩලය යොදුන් තුන් සීයෙකි.

මෙහි මහා මණ්ඩල නමින් දැක්වුණේ මධ්‍යම දේශයැ යි හැඟේ. මධ්‍යම ජනපදයෙහි ප්‍රමාණය වටින් යොදුන් 900 කැයි පෙනෙන බැවිනි.

මධ්‍යම ජනපදයේ සීමා නම්: නැගෙනහිරින් කජංගලා නිගමය, ගිනිකොනින් සළලවතී ගඟය, බටහිරින් ථූනා නම් බමුණුගමය, උතුරින් උශීරධ්වජ පර්වතය යන මොහුය. මෙ කී සීමාවලට මැදි වූ මධ්‍ය දේශය මිහිඟු බෙරයකට බඳු හැඩහුරුකම් ඇත්තේ ය. බුද්ධාදීන් පහළ වන ශ්‍රේෂ්ඨ භූමිය වේ.

තවද කොදෙව් සහිත වු සියලූ මැ ජම්බුද්වීපයට මධ්‍ය දේශයැ යි ද, අපරගෝයාන, පූර්ව විදේහ, උත්තරකුරු යන ඉතිරි මහාද්වීප තුනට ප්‍රත්‍යන්ත දේශ යැ යි ද ව්‍යවහාරයෙකුත් වීය. ගෝයාන යනු තවලම් මඟයි. එයින් බටහිරැ වූයේ අපර ගෝයානය යි. විදේහ යනු ඉන්දියාවේ නැගෙනහිර මායිමේ වූ පෙදෙසෙකි. එයින්ද නැගෙනහිරැ වූයේ පුර්වවීදේහය යි. කුරුරටට උතුරින් වූයේ උත්තරකුරුව යැ, උත්තරකුරු නමින් රටවල් දෙකක් තුබුණු බව පෙනේ. එකක් හිමාලයයට උතුරෙන් වූ ටිබෙට් රටට උතුරු දිගැ සතර පැත්තෙන් ම කඳුවලට මැදි වූ ගුප්ත ප්‍රදේශයෙකි. එහි වසන යෝගීන් ගේ කැමැත්ත නැතිව කිසිවකුට එහි යෑ නොහැක්ක. අනිත් උත්තරකුරුව උතුරු ඇමෙරිකාවට අයත් පෙදෙසෙකි. කොරියාව පුරාතනයේ කුරුද්වීප නම් විය. එයට උතුරු අතට පිහිටියේ උත්තර කුරුව යි. මෙය ඔට්ටර කොරා යනුවෙන් මෙගස්තීනස් නම් ග්‍රීක් ඉතිහාසඥයා සඳහන් කරයි.

මේ උඩ දැක්වුණු මහාද්වීප බෙදීම මෙයින් වර්ෂ 50000 කටත් පෙරැ පොළොවේ පිහිටීම අනුව ව්‍යවහාරයට ආවකි.

සොළොස් මහා ජනපද

බුද්‍ධ කාලයෙහි දියුණු වැ පැවැති දඹදිව මහා ජනපද නම් :- අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වංස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස යි. ශාක්‍යදේශයය මෙයින් ඉතාම දියුණු වූ රටක් වුවත් භූමිවශයෙන් කෝශල ජනපදයේ ම උතුරු කොටසය. එහෙත් කොසොල් රජුට නොයටත් ශාක්‍යයන් ගේ ම පාලනය පිට පැවැති එකෙකි.

1. අංග රට

අංග ජනපදය මගධ දේශයට නැඟෙනහිරින් පිහිටියේය. චම්පා නදිය එ දෙරට අතර සීමාව විය.

චම්පා පුරය

අංග ජනපදයේ අගනුවර චම්පා පුරය යි. එය පිහිටියේ චම්පා නදිය ගංගා නදියට වැටුණු ස්ථානය කිට්ටු ව ය. පවුරු පදනම් ආදි සියලු නගරාංගයන්ගෙන් සමන්විත වූ මෙය ඉතා පූර්වයෙහි මාලිනී, කාලචම්පා යන නම්වලින් ප්‍රකට වැ පැවැත්තේ පසු කාලයෙහි චම්පා පුර යැ යි වැහැරැවිණ. මෙහි සිට ස්වරණභූමියට නැවින් යන වෙළෙඳුන් කරන කොටැ වෙළඳාම අතින් ද මෙය ප්‍රසිද්‍ධියක් ඉසුලූයේ ය. මෙයින් කොචින් චීනයට ගොස් පදිංචි වූවන්ගේ ඒ (පදිංචි වූ) භූමියට ද චම්පා යන නම පසු කාලයෙකැ ව්‍යවහාර විය. බුද්‍ධ කාලයෙහි දඹදිවැ වූ මහා නගර සයෙන් චම්පා පුරය එකෙකි. මෙහි ගර්ගරා නම් මෙහෙසියක කෙරැවූ ගර්ගරා නම් පොකුණ ගැන ද මෙය ප්‍රසිද්‍ධ වැ පැවැත්තේ ය. මේ නගරය වූ භූමිභාගයෙහි කොටසෙකැ චම්පාපුර චම්පා නගර යන නමින් කුඩා ගම් දෙකෙක් දැන් ඇත්තේ ය. එ ගම් පිහිටා ඇත්තේ භගලපූර් සමීපයෙහි චාන්දන් නදී තීරයේ ය. චාන්දන් යනු පුරාණ චම්පා නදියට දැන් ව්‍යවහාර නාමය යි. බුද්‍ධ කාලයෙහි මෙහි ඡාත්‍රයන් 300 ක් සහිත වූ සෝණදන්ඩ නම් බමුණු ඇදුරෙක් රාජ පූජිත වැ විසී ය.

කජංගලා

මෙය බෞද්‍ධ මධ්‍යදේශයේ නැඟෙනහිරැ සීමා ස්ථානය යි. මෙහි මහා ශිෂ්‍ය පිරිසක් සහිත වූ පාරාසරිය නමින් ප්‍රකට බමුණෙක් විසී ය. චම්පා පුරැ සිටැ මෙයට දුර සැතැපුම්[5] ස-සැටක් පමණ වේ. මැදුම් සඟියේ අන්තයෙහි සඳහන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වදාළේ මෙහි දී ය. මෙහි බොහෝ උපාසකයෝ වූ හ.

උග්ග පුර

මෙහි ප්‍රධාන සිටුහුගේ පුත්‍රයාට අනාථපිණ්ඩික සිටුහුගේ දූ වූ චුල්ල සුභද්‍රා විවාහ කොටැ දෙන ලද්දී ය. ජෛන ලබ්ධික මුළු සිටු පවුල මැ ඇගේ මගින් බෞද්ධෝපාසක විය.

අස්ස පුර

මේ නිගමයෙකි. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහා අස්සපුර සුත්ත, චූල අස්සපුර සුත්ත දෙක දෙසූ සේක.

අංගුත්තරාප දනව්ව

අංගුත්තරාප ජනපදය අංග රටෙහි වූ විශාල පළාතෙකි. මෙය එරට මැදින් ගලා යන මහා මහී නදියෙන් උතුරු පැත්තේ පිහිටියේ ය. මෙහි නගර අතුරෙන් අංගුත්තරාප නගරය, ආපණ නගරය, භද්දිය නගරය යන මොහු බුද්‍ධ කාලයෙහි ප්‍රසිද්‍ධ වැ පැවැත්තෝ ය. ඉන් ආපණ පුරය විශාල වෙළඳාම් පලෙකි. භද්දිය නුවර මහ සිටුවරුන්ගේ වාසස්ථානයකි. සාමාවතී, විශාඛා යන දෙදෙනාගේ ජන්ම භූමිය මේ භද්දිය පුරය යි. බුදු වූ වර්ෂයේ දී භාග්‍යවතුන් වහන්සේ අංගරට අංගුත්තරාපයෙහි සැරිසරන සේක් භද්දිය පුරයට වැඩිසේක. එකල සත් හැවිරිදි වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ ප්‍රථම වාරයේ දී මැ බණ අසා සෝවාන් වූවා ය. භද්දිය පුරයෙහි ජාතියා වන නම් උයනෙක් විය. බුදුරජාණන් වහන්සේ එහි ද වැඩ වුසූ සේක.

2. මගධ රට

මගධ රටෙහි බුද්‍ධ කාලයේ දී මැ බුදුසස්න බෙහෙවින් පැතිරැ ගියේ ය. උතුරෙන් ගංගා නදිය ද, නැඟෙනහිරින් චම්පා නදිය ද, නිරිතෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝනා නදිය ද යන මොහු මගධ ජනපදයේ සීමාවෝ යි.

රජගහ නුවර

රජගහ පුරය මගධ රට අගනුවර යි. මෙය ගංගා නදියට (දකුණෙන්) යොදුන් 5 ක් පමණ ඈතින් පිහිටියේ ය. මෙයට පූර්ව කාලයෙහි වසූමතී යන නාමයෙක් වී ය. වසූ නම් රජකු විසින් මෙය ඉදිකරන ලදැ යි රාමායණයෙන් පෙනේ. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙළේ මහාගෝවින්ද පඬිතුමා ය. මෙයට මාගධ පුර, ගිරිව්‍රජ පුර යන තවත් නම් දෙකක් ද විය. බුද්‍ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිව්‍රජ පුර යන නම් දෙක බැවහාර වී ය. ගාලක් වටේ බැඳි වැටක් මෙන් නුවර හාත්පස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත පස පිහිටියේ ය. මේ පර්වත පසේ නම් හින්දු ග්‍රන්ථයන් හි වෛභාරගිරි, විපුලගිරි, වරාහගිරි, වෘෂභගිරි, සෘෂිගිරි යැයි සඳහන් වේ. ඉතා පූර්වයේ සිට මහ රජුනට නිවාස වූ බැවින් මෙයට රාජගෘහ යන නම වී ය. “මගධානං ගිරිබ්බජං” යන්නෙන් මගධ ජනපදයේ ගිරිව්‍රජ යැ යි පාළි පොත්හි සඳහන් වේ. “මගධ ජනපදයේ” යන්නෙන් වෙසෙසන ලද්දේ කේකය ජනපදයේත් ගිරිව්‍රජ නමින් නුවරක් වූ බැවිනි. ස්වාංජ්ශ්චාන්[6] නම් චීන යාත්‍රිකයාගේ ගමන් විස්තරයෙහි මෙයට කුශාගාර පුර යැ යි ද කියන ලදී.

ගයාව අසලැ කඳුවලට මැදි වූ දැන් රාජගිර් යන නමින් ව්‍යවහාර වන භූමියෙහි පුරාණ රාජගෘහ පුරය වූයේ ය. රජගහ පුරයේ සිටැ කපිලවාස්තු පුරයට දුර යොදුන් 60 කි. මෙහි සිටැ විසාලා පුරයට ගංගා නදිය පසු කැරැ යෑ යුතු විය. ගංගා නදියට මේ නුවර සිට යොදුන් 5ක් ද, ගංගා නදියේ සිටැ වෛශාලි පුරයට යොදුන් 3ක් ද දුර ප්‍රමාණය වූ බැවින් වෛශාලි පුරය රජගහ සිටැ යොදුන් 8 ක් ඈත්හි වූ බව පෙනේ. රජගහ පුරයෙන් අනෝමා ගං තෙරට දුර යොදුන් 30කි. රජගහ පුර සමීපයේ තල්වනය, වේළුවනාරාමය, ශීලවනය, මද්දකුච්ඡි මිගදාය, ජීවකම්බවනය, මෝරනිවාපය, ලට්ඨිවනය යන ආදීහූ භාග්‍යවතුන් වහන්සේ වුසූ තැන් ය. මෙහි ගිරිකුළුපව්ව මුදුනට එහි පාමුලැ සිට පහසුවෙන් යා හැකි මාර්ගයක් බිම්බිසාර රජහු විසින් කරවන ලදී.

ගිජුකුළු පව්වෙහි වූ ආවාස හැරැ රජගහ වටා පිහිටි සෙසු පර්වතවලත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක ගණයාත් වුසූ තැන් වීය. ඉන් සමහරෙක් නම් : චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) නම් මිනී පිට්ටනිය සමීපයෙහි වූ සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව යන මොහු යි. මින් තපෝදාරාමය වූයේ උණුදිය උල්පතක් සමීපයේ ය. තපෝදා යනු උණු දිය උල්පතට නමෙකි. දැනුදු මේ උණු දිය උල්පත එහි ඇත්තේ ය. ඉන්දසාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්කපඤ්හ සූත්තය දෙසු සේක. නගරයෙන් පිටතැ කැලෑවල ද අරණ්‍ය කුටිකාවන්හි භික්ෂූහු වුසූහ.

සූකරඛත ලෙන (ඌරන් හැරූ ලෙන) ගිජුකුළු පව්වෙහි වූයේ ය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ බෑණනු දීඝනඛ පිරිවැජියාට වදාළ වේදනා පරිග්ගහ සුත්ත (දීඝනඛ සුත්ත) දේශනාව අසා තෙරණුවෝ රහත් වූහ. දෙවෙනි, තෙවෙනි, සිවුවන, සතළොස්වන, විසිවන වස් කාලයන්හි බුදුරජාණන්වහන්සේ රජගහ නුවර වූසූ සේක. සංජය නම් ශාස්තෘහු වුසුයේ මෙහි ආශ්‍රමයෙක යි. බුද්‍ධප්‍රාදුර්භාවයෙන් පළමුයෙන් මැ පහර වැදුණේ ඔහුට යි. සැරියුත් මුගලන් දෙනම මොහුගේ ශිෂ්‍ය වැ සිට ඉන් නික්ම බුද්‍ධශ්‍රාවක වූහ.

නාලන්දා පුරය

නාලන්දා නුවර රජගහ නුවරින් යොදුනක් ඈත පිහිටියේ ය. මෙහි අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙක් (රජුගේ ක්‍රීඩා පිණිස කැරැවූ ප්‍රාසාදයෙක්) වී ය. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය දෙසූයේ එහිදීය. දුස්සපාවාරික නම් සිටූහු විසින් ද මෙහි පාවාරිකම්බ වනයෙහි විහාරයක් කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කරන ලදී. නිර්ග්‍රන්ථ ඥාත පුත්‍රයා (නිගණ්ඨ-නාතපුත්තයා) නාලන්දා වැසියෙකි.

අම්බසණ්ඩා නිගමය

මෙය රජගහට නැගෙනහිර විය. මෙහි උතුරෙන් පිහිටි වේදිසක පර්වතයෙහි ඉන්ද්‍රශාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජු ඇසූ ප්‍රශ්න විසඳීමෙන් (දික්සඟියේ). සක්කපඤ්හ සුත්තය දෙසූ සේක.

කල්ලවාලමුත්ත ගම

මෙය මගධ රට සීමාව ආසන්නයෙහි යැ යි සිතිය හැකි.

මාගධ ක්ෂෙත්‍රය

මෙය මගධ රට කුඹුරුවලින් ගහණ වූ පෙදසෙක් බැවින් මාගධ ක්ෂෙත්‍ර නම් විය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස පාෂාණචෛත්‍ය නම් තන්හි විහාරයක් කරවා තුබුණේය. එය පාසාන චේතිය විහාර (පාෂාණ චෛත්‍ය විහාර) නම් වී ය.

අන්ධකවින්ද ගම

මෙය රජගහ පුරින් ගවු තුනක් ඈත් හි සප්පිනිකා නදිය සමීපයේ වී ය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස උපාසකයකු විසින් කරවන ලද විහාරයක් වී ය. අන්ධකවින්ද සූත්‍රය දෙසූයේ මෙහි දී ය.

මහාතිත්ථ බ්‍රාහ්මණ ගම

මෙය මහා කස්සප තෙරුන්ගේ ජාත භූමි යයි.

නාලක ගම

මෙ මගධ රට නැගෙනහිර පැත්තේ පිහිටි බමුණු ගමෙකි. සැරියුත් තෙරුන්ගේ උත්පත්තිය ද, පිරිනිවන් පෑම ද මෙහි දී ම වී ය.

ජෙන්ත ගම

මෙය මගධෙශ්වර වූ බිම්බිසාර රජු යටතේ මාණ්ඩලික රාජයකු විසින් පාලිත වී ය. එම මාණ්ඩලික රජුගේ පුත්‍ර වූ ජෙන්ත (ජයන්ත) කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය.

උරුවෙලා ජනපදය

බොහෝ පෙරැ තවුසන් විසින් ගෙනවුත් ගොඩ ගසන ලද මහත් වැලි රැසක් කරණ කොටැ මේ පෙදෙසට උරුවේලා යන නම වී ය යනු පාළි අට්ඨවණ්ණනාචරිය මතයයි. මහ බෙලි පල ගන්න පෙදෙසක් බැවින් මේ උරුවිල්වා නැමැයි සංස්කෘත බෞද්‍ධ ග්‍රන්ථයන්හි සඳහන් වේ.

සෙනානී නිගමය

මෙහි මගධ රජුගේ සේනාධිපතියකු (සේනානියකු) වූ හෙයින් සේනානි නිගමයැ යි නම් වී යැ යි සිතියැ හැක. බුදුවන දාට පූර්ව දිනයෙහි අප මහසතාණන් ක්‍ෂීරපායාසයෙන් පිදු තැනැත්තී යථෝක්ත සෙනෙවි කෙළෙඹියාගේ දූ වූ සුජාතාවෝ යි.

ගයා

ගය නම් රාජර්ෂීන් විසින් කරන ලද බැවින් මෙයට ගයා යන නම ව්‍යවහාර වී ය. මෙය ජයසිරි මහ බෝ මැඩින් තුන් ගව්වක් පමණ ඈත්හි නේරංජරා නදිය අද්දරැ වූ ගමෙකි. මෙ ගම සමීපයෙහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව් සෝදන පොකුණක් වී ය. නේරංජරාවේ තොටුපල ද ඔවුන්ගේ පාපප්‍රවාහස්ථානයෙක් වී ය. එබැවින් එ දෙපොල මැ ගයා තීර්ථ නමින් දන්නා ලද්දේ ය. ඉන් ගම් දොරටුව සමීප තන්හි ගයා පොකුණ තෙර ලොකු ගල් සතරක් උස දිග පුළුල ඇති මහත් ගල්ලෑල්ලක් අතුට කරන ලද ගල් ඇඳෙක් වී ය. මෙය ටංකිතමංච යැ යි දන්නා ලද්දේ ය. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ වූසු සේක. තවද ගයා ගම සමීපයේ මැ ගයා තොටුපල ඉස්මත්තේ ගජ ශීර්ෂයක් (ඇත් ඔලුවක්) බඳු කඳු මුදුනෙක් වී ය. එ කඳු මුදුනේ වූ විශාල සම ගල් තලය දහසක් පමණ භික්‍ෂූනට විසුමට තරම් අවකාශ ඇති වී ය. ගයා තොටුපල ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලයෙහි (ගයා ශීර්ෂයෙහි) ද භාග්‍යවතුන් වහන්සේ වූසූ සේක. පුරාණ ජටිල භික්‍ෂූනට ආදිත්ත පරියාය සූත්තය දෙසූයේ මෙහි දී යි. මෙහි දෙව්දත් තෙරුනට අජාසත් රජු කරවා දුන් විහාරයෙක් ද වී ය. සංඝභෙදය කොටැ පන්සීයක් පමණ වූ නවක භික්ෂූන් ගෙන ආවේත් ඒ ගයා ශීර්ෂ විහාරයට යි. දැන් බුද්‍ධගයා නමින් ප්‍රසිද්‍ධ වැ ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශය යි.

රෝහිත වාස්තු (රෝහණ වත්ථු), උරුවේලකප්ප (උරුවිල්වා කල්ප), අනාලය, සාරථිපුර යන ග්‍රාම නිගමයෝද බෝ මැඩින් උතුරු දිගැ මහ මඟැ පිහිටියෝ යැ.

පාටලී ග්‍රාමය

මෙය බුද්‍ධ කාලයෙහි මගධ රටැ උතුරෙහි ගංගා නදිය අද්දරැ තොටුපල යි. පරිනිර්වාණ වර්ෂයේ දී අජාසත් රජු විසින් මෙය මහා නගරයක් කරන ලදී. එතන් පටන් පාටලී පුත්‍ර නමින් ප්‍රකට වී ය. නගර නිර්මාපණ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ නුවරින් පිටැ වූ ද්වාරයට ගෞතමද්වාර යැයි ද, ගඟ අද්දරැ වැඩි තොටුපලට ගෞතමතීර්ථ යැ යි ද නම් කරන ලදී. ඉෂ්ටකාවතී, දීඝරාජි යනු ද මගධ රට ගම් දෙකෙකි. මෙයින් ඉෂ්ටකාවතියෙහි අරුණවතී නම් විහාරයෙක් වී ය.

දක්ෂිණගිරි ප්‍රදේශය

රජගහ පුරය වටේ වූ කඳුවැටියෙන් දකුණු පැත්තේ (එනම් නුවරට දකුණින් පර්වත වළල්ලෙන් පිටතැ) පිහිටි පෙදෙස දක්ඛිණගිරි ජනපද යැයි කියන ලදී. ඒකනාලාව මෙහි ප්‍රධාන ගමය. භාග්‍යවතුන් වහන්සේ මෙහි එකොළොස්වන වස වුසූ සේක. කසීභාරද්වාජ සූත්‍රය වදාළේ මෙහි දී ය.

බානුමත

මෙය සසුන් පැතුරුණු බමුණු ගමකි. මෙහි කූටදන්ත බමුණා බෞද්ධෝපාසක වී ය.

පංචශාල

මෙය ද බමුණු ගමෙකි. දිනක් මෙහි පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේට කිසි මැ තැනෙකින් භික්ෂාව නො ලැබුණේ ය.

විශේෂ කරුණු

මගධ දේශයට පුරාතනයේ කීකටස්ථාන යැ යි ද කීහ. බුද්‍ධ කාලයෙහි අංග මගධ දෙ රටේ ප්‍රමාණය යොදුන් 300 ක් වීය. දෙරට මැ අසූදාහක් පමණ ග්‍රාමයෝ වූහ. බුද්‍ධ කාලයෙන් බොහෝ පෙරැ අංග ජනපදය, මූදු වෙරළ දක්වා විශාල වැ පැවැත්තේ ය. මගධ රට පවා අංග ජනපදයට යටත් පළාතෙක් වී ය. සමහර කලෙකැ එ දෙ රට වෙන වෙන මැ මහ රජුන් යටතේ පැවැත්තේ ය. අප මහසතාණන් බුදු වන්නට පෙරැ අංග මගධ දෙ රට රජුන්ගේ යුද්‍ධ ඇති වී ය. මුල් වරැ අංගාධිපති වූ බ්‍රහ්මදත්ත රජහු විසින් මගධෙශ්වර භට්ටිය රජ පරදවන ලද්දේ ය. එහෙත් පසුවැ භට්ටිය රජුගේ පුත් බිම්බිසාර කුමරු යුද්‍ධයට වැද බ්‍රහ්මදත්ත රජහු මරා අංග දේශය අල්ලා ගත්තේ ය. එතැන් සිට අංග ජනපදය මගධ රාජ්‍යයට ඇතුළත් වී ය. බිම්සර කුමරු තෙමේ ද අංග රට ප්‍රධාන නුවර වූ චම්පා පුරයෙහි වසමින් යුවරජකම් කොට පිය රජහුගේ ඇවෑමෙන් රාජගෘහ පුරයට පැමිණැ එහි නැවතී අඟු මගධ දෙරට ආංඩු කෙළේ ය. බුද්‍ධ කාලයෙහි අංග රට ආංඩු කෙළේ බිම්සර රජු යටතේ සිටි රජෙක් ය. හෙතෙම අංගරාජ යන නමින් හැඳින්විණ. අංග මගධ දෙරට සින්ධු සෝවීර යන රටවල් හා වෙළෙදාම් අතින් සම්බන්ධ වී ය.

ආගම

මෙහි පූරණ කාශ්‍යපාදී ෂට් ශාස්තෲන් ගේ ධර්ම අනු වැ ගියෝ කලෙකැ බොහෝ වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පසු එ සියලු අන්‍ය තීර්ථ දර්ශන දැඩි අඳුර භජනය කෙළේ ය.

රාමඍෂීගේ පුත්‍ර උද්‍රක නම් තවුසාගේ ආශ්‍රමය වූයේත් මගධ රටෙහි ය.

3. කාශි රට

කාශි දේශයේ මායිම් මොන මැ පොතකිනුදු නො දුටුමු. දඹදිව සොළොස් මහ ජනපද අතුරෙන් මෙය බොහෝ සමෘද්‍ධ වැ බැබැළුණු රටෙකි. උසස් දියුණුවක් පැවැති කාලයෙහි මෙහි ප්‍රමාණය සැතපුම් දෙදාහකට අඩු නොවී යැයි කියන ලදී. කලක් දකුණු ඉන්දියාවේ අස්සක ජනපදයත් කාශි දේශයේ පළාතෙක් වැ පැවැත්තේ ය. තවත් කාලයෙක කෝශල රටත් කාශි ජනපදයට ඇතුළත් වූයේ ය. පළමු පැවැති දියුණුවෙන් මඳක් පහත බැස්ස මේ ජනපදය බුද්‍ධ කාලයෙහි කෝශල රාජ්‍යයට අයත් වී ය.

බාරාණසී

බාරාණසී පුරය (බරණැස්නුවර) කාශි රටේ අගනුවරයි. පිහිටියේ ගංගා නදිය අද්දර ය. වරණා අසී යන නදීන් දෙදෙනා අතරැ වූ භූමි භාගයෙහි ඉදිකළ බැවින් වරණාසි යැ යි වැහැර වූ මෙය පසු කාලයෙක බාරාණසි ය යි ව්‍යවහාරයට පැමිණියේ ය. එසේ මැ වටින් තවත් ගම් ආදිය නගරයටමැ ඇතුළත් වීමෙන් ක්‍රමයෙන් විශාල පුරයෙක් වී ය. බුද්‍ධ කාලයෙන් පූර්වයෙහි එක් කලෙක යොදුන් දොළොසක් තරම් වැ පැවැත්තේ ය. මෙහි නානා ලබ්ධික ජනයා රැස් වැ තමතමන්ගේ දෘෂ්ටි ගැන කථා පවත්වන සමයප්‍රවාදක නම් නගර ශාලාවෙක් ද වීය. තවුසන්ගේ අසපුවක් වූ සෘෂිපතනය (ඉසිපතනය) මෙයට සමීපයේ ය. භාග්‍යවතුන් වහන්සේ මුලින් මැ දම්සක් පැවැත් වූයේ ද මුල් වස වුසූයේ ද මෙහි ය. බරණැස පටන් ජයසිරි බෝමැඩට දුර ගවු 18 යි . බෞද්‍ධයන් විසින් විශේෂයෙන් යා යුතු පුණ්‍ය භූමි සතරින් බරණැස එකෙකි.

විශේෂ කරුණු

නුවරින් ඊශානයෙහි වරණා ගඟේ බටහිර තෙර ලී[7] 10 ක් පමණ දුරින් ඉසිපතනාරාමය වී යැ යි ද මෙය වටේ විශාල ප්‍රාකාරයෙක් වී යැ යි ද, මෙහි හීනයානයට අයත් සම්මිතිය නිකායිකයන්ගේ ධර්මය හදාරන භික්ෂුන් 100 ක් පමණ තමන් එහි යන කාලයේ වූසූ හ යි ද, ප්‍රාකාරය ඇතුළත අඩි 200 ක් තරම් උස් විහාරයක් වූහ යි ද. එහි මැද දම්සක් පවත්වන අයුරු දක්වන තඹමුවා විශාල පිළිමයක් වූහ යි ද, මෙය සමීපයේ පසෙකැ ආඥාත කෞණ්ඩිණ්‍යාදීන් තවුස් දම් පිරූ ස්ථානයෙහි ස්තූපයක් වූහ යි ද, එයට නොදුරින් පසෙක් හි බෝසතාණන්ගේ උත්පත්තියට බුද්‍ධක්‍ෂේත්‍රයෙහි ඉඩ සලසනු පිණිස පන්සීයක් පසේ බුදුවරුන් වැඩ පිරිනිවන් පෑ ස්ථානයෙහි කළ ස්තූපයක් වූහ යි ද, ඊළඟැ මෛත්‍රෙය බෝධිසත්වයන් විවරණ ලත් තැන කළ ස්තූපයක් වූහ යි ද ආදී විස්තරයෙක් ය්වාංජ්ශ්වාන්ගේ ගමන් වාර්තා පොතේ පෙනේ.

පෙසකාර ගම

බරණැස සමීපයේ පෙහෙරුන්ගේ ගමෙක් වී ය. බරණැසට බටහිරින් ගංගා නදියේ එගොඩ වාසභ නම් ගමක් ද, එය ඉක්මවා චුන්දත්ථික නම් ගමක් ද වූ බව පොතින් පෙනේ. මේවා ගැන කියැ යුතු තරම් විශේෂ කිසිත් නැත. බිම්සර රජුන්ගේ කෝලිය නම් මහාමාත්‍යයකු පසල් දනව්වෙක කැළඹීමක් සංසිඳුවා ආපසු එන ගමන් ගංගා නදිය දිගේ පහළට යාත්‍රා කළ බවකුත් ඔහුට චුන්දත්ථි ගමට ගඟ දිගේ ඉහලට යන ප්‍රෙතයකු හමු වූ බවකුත් පොතින් පෙනේ. බරණැස කිට්ටු වැ මගධ රටට යටත් දනව්වක් වූ බව මෙයින් සිතිය හැකි ය. ඒ එසේ නම් මගධ දේශය කාශි ජනපදය තෙක් ව්‍යාප්තවැ පැවැති බව ද සිතිය හැකි ය. කේවට්ටද්වාර නම් ගමෙක් බරණැස් නුවර එක් දොරටුවක් සමීපයෙහි වී ය.

4. කොශල දේශය

බටහිරින් පංචාල රට ද දකුණින් ගංගා නදිය ද, නැගෙනහිරින් සදානීරා[8] නදිය ද, උතුරෙන් නේපාලිය කඳුකර පෙදෙස ද යන මොහු කෝශල ජනපදයේ සීමාවෝ යි. දැන් අවුද් නමින් ප්‍රසිද්‍ධ පලාතට පුරාණ කෝශල දේශය පිහිටි භූමියෙන් ඉතා වැඩි කොටසක් ඇතුළත් වේ. උත්තර කෝශල, දක්ෂිණ කෝශල යැයි මෙහි බෙදීම් දෙකක් වීය. බුද්‍ධ කාලයෙන් පෙරැ උත්තර කෝශලයෙහි අගනුවර ශ්‍රාවස්ති (සාවත්ථි) පුරය වී ය. දක්‍ෂිණ කෝශලයෙහි ප්‍රධාන නුවර කුසාවතී පුරය යි. එහෙත් බුද්‍ධ කාලයේ දී කුසාවතී නමින් ප්‍රසිද්‍ධ මහා නගරයක් වූ බවෙක් නොපෙනේ. ශ්‍රාවස්තිය මැ මුළු කෝශල රටේ අග නගරය වැ පැවැත්තේ ය. බුද්‍ධ කාලයෙහි කොසොල් රටැ වූ මහා නගර තුන ශ්‍රාවස්ති, සාකේත, අයොධ්‍යා යන මොහු යි.

ශ්‍රාවස්ති

ශ්‍රාවස්ති (සාවත්ථි) පුරය අචිරවතී නදී තීරයේ පිහිටියේ ය. නදිචක්‍රය ඇතුළැ වූ බැවින් උතුරු දකුණු දෙසින් මැ නදිය වී යැ. පසේනදී කොසොල් රජුගේ වාසය වූයේ මෙහි ය. බුද්‍ධ කාලයේ මෙය අනාථ පිණ්ඩික, විශාඛා ආදි උපාසක උපාසිකාවන්ගෙන් විශේෂයෙන් බැබලී ගියේ ය. බුදුරජාණන් වහන්සේ ඉතා වැඩි කලක් වැඩ වුසූයේ මේ නුවර සමීපයේ ය. නගරය ජනයාගේ ආකීර්ණතා හේතුයෙන් නිතර මැ පාහේ ඝෝෂ සහිත වැ පැවැත්තේ ය. රෑ ප්‍රථම යාමය දක්වා මුළු කාලය මැ පවා රථ යාන වාහන ගමනයෙන් ද, ගනුදෙනු පිණිස යනෙන ජනයාගේ කථා ශබ්දයෙන් ඝුෂ්ට වී ය. අචිරවතී නදියේ එගොඩැ දකුණු දිගැ ජේතවනාරාමය වී ය. ඒ සමීපයෙහි මැ පසේනදී කොසොල් රජහු කැරැ වූ රාජකාරාම විහාරය ද වී ය. සැවැතට නැගෙනහිරින් නුවර සමීපයේ පූර්වාරාමය වී ය. මේ සැවැත් පුරයේ සිට කපිල වාස්තු පුරයට දුර යොදුන් 15 ක් පමණ ය.

ශ්‍රාවස්තියේ ප්‍රමාණය වටින් “ලී” 6000 ක් පමණ යැයි ද, ජේතවනය නගරයට “ලී” පහක් හයක් පමණ දකුණින් වූයේ යැයි ද තමා එහි යන කාලයෙහි ජේතවනාරාමය ජරාවාස වැ විහාර අත්තිවාරම් පමණක් ඉතිරි වැ පැවැත්තේ යැයි ද, එහි ඉතිරි වැ පැවැති ගඩොල් ගොඩනැගිල්ලක් තුළ පිළිමයක් පමණක් වී යැයි ද, ඒ පිළිමය වනාහි භාග්‍යවතුන් වහන්සේ මාතෘ දෙව්පුතුට දම් දෙසීමට ස්වර්ගයට නැංග කල උදායන (උදෙන) රජහු සඳුනින් බුදුරුවක් කැරැ වූ බව අසා කොසොල් රජු විසින් කරවන ලද බුදුරුව යැ යි ද ය්වාංජ්ශ්වාන් තුමාගේ ගමන වාර්තායෙහි දක්වන ලදී.

තවද සංඝාරාමයට පියවර 100 ක් පමණ නැගෙනහිර දිගැ විශාල ගැඹුරු අගලෙක් වේ යැ යි ද, භාග්‍යවතුන් වහන්සේ ට වස දෙන්නට උපායක් යෙදු දෙව්දත[9] ගිලුණු තැනයැ යි ද එයට දකුණින් දේවදත්ත පාක්ෂික කුකාලී (කොකාලිකා) මෙහෙණිය බුද්ධාපවාද අකුශල හේතුයෙන් පොළවැ ගිලූණු තැනැ වූ ගැඹුරු අගලෙකුත් එයට පියවර 100කින් පමණ දකුණෙහි චිංචිමානවිකා පොළෝ ගිලූණු තැනැ වූ අගලත් වේ යැ යි ද, වහින කාලයෙහි දිය ගලා අන් ගංගා වැව් පොකුණු ඉතිරැ ගියත් මෙකී තුන් අගල් වතුර ඇති බවක් වත් නො පෙණෙන තරම් ගැඹුරු යැ යි ද යන ආදී විස්තරයෙක් යට කී ගමන වර්ණනායෙහි මැ පෙනේ.

භාග්‍යවතුන් වහන්සේ ධරමාණ කාලයෙහි මෙහි ද පූරණකාශ්‍යපාදීන් ගේ ධර්මය පැවැත්තේ ය. ඉනුත් වැඩි වශයෙන් දියුණු වැ පැවැත්තේ මංඛලි පුත්‍ර ගෝශාල නම් ආජීවක නායකයාගේ සමය යි. එ ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා හේතුයෙන් දුබල වැ ගියේ ය. මෙහි නැගෙනහිරින් අචිරවතී නදිය සමීපයේ විශාඛාව කරවා පිදූ පූර්වාරාම විහාරය විය. මෙ පුරැ වුසූ ජානුස්සෝනී, පිංගලකොච්ජ, සුන්දරිකභාරද්වාජ, අස්සලායන, ඒසුකාරී, සුභ, සංගාරව ආදි ප්‍රභූ බ්‍රාහ්මණ ගෘහපතීහු බෞද්ධෝපාසකයෝ වූහ.

වීදේහ රට වැස්සන් හා වෙළෙහෙළෙඳාම් අතින් සැවැත් වැසියන්ගේ සම්බන්ධය වී ය. සැවැත් නුවර වූ භූමි ප්‍රදේශය දැන් සහෙත් මහෙත් නමි. අචිරවතියට දැන් රප්ති යැ යි කියත්. පුරාතන කාලයෙහි ශ්‍රාවස්ති පුරයට ධර්මපත්තන ධර්ම පූරි යන නම් ද ව්‍යවහාර විය. ශ්‍රවස්ත [10]1 සෘෂිහුගේ වාස භූමිය වූ බැවින් මෙයට ශ්‍රාවස්ති යන නම විය. සියල්ල ඇත්තේ ය යන අර්ථය පිට සර්වමස්ති යැ යි කිය යුතු තැන එය වෙනස් වී යැ යි ද පුරාතනයෝ කීහ. මේ නගරයේ සීමායෙන් පිට ජේතවනයට ඊසානින් අන්ධ වන නම් බිහිසුණු වන ලැහැබෙක් වී ය. එය දිවා විහාරය පිණිස ප්‍රව්‍රජිතයන් පැමිණෙන තැනෙකි.

අයොධ්‍යා

මෙය සැවැත් නුවරින් දකුණේ ශරයු ගඟ බඩ පිහිටියේ ය. බුද්‍ධ කාලයෙහි වැඩි ප්‍රසිද්‍ධ නුවරක් නොවූවත් ඉන් බොහෝ පෙරැ ප්‍රසිද්‍ධ මහා නගරයෙක් වූයේ ය. මේ නුවර ද භාග්‍යවතුන් වහන්සේ වැඩ දම් දෙසූ සේක.

සාකෙත

සැවැත් නුවරට දකුණින් සත් යොදුනක් පමණ ඈත්හි අයොධ්‍යා නුවර ළඟැ මෙය පිහිටියේ ය. මේ නුවර බුද්‍ධ කාලයෙහි (බුදුරජාණන් වහන්සේ බුදු වූ වර්ෂය පමණේ දී) කොසොල් රජහු විසින් ඉදි කරවන ලදී. ඉන් පසු මහා සිටු කුලයන්ගේ වාසස්ථානයක් වී ය. දඹදිව මහා නගර සයෙන් මෙය ද එකෙකි. සාකේත පුර ළඟැ කාලාරාම, කණ්ටකී වන, අංජන වන යැ යි ආරාම තුනෙක් වී ය. එය කරවන ලද්දේ කාලක සිටුහු විසිනි. මිසදිටු වූ හෙතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් විය.

මාතිගාමය

මෙය කොසොල් රට පර්වත පාදයෙහි (කඳු පාවුල) පිහිටි බොහෝ ජනයාගෙන් ගැවසී ගත් ගමෙකි.

පඞ්කධා

මෙය නිගමයෙකි. මෙහි ද භාග්‍යවතුන් වහන්සේ වැඩ වුසූ සේක.

සක්ඛර නිගමය

සක්ඛර නම් නියම්ගම රජගහපුර සමීපයේ වී ය. මුගලන් තෙරණුවෝ මෙහි වැසි කොසිය නම් මසුරු සිටුහු දමිත කොටැ සසුන්හි පැහැදවූහු.

පණ්ඩු පුරය

පණ්ඩු පුරය සැවැත් නුවර සමීපයේ ගමෙකි. කියැ යුතු තරම් විශේෂ යමක් මෙහි දී වූ බවෙක් නොපෙනේ.

සේතව්‍යා පුරය

සේතව්‍යා පුරය ද කෝශල රටේ බ්‍රාහ්මණයන්ගේ වාස භූමියකි. මෙහි සිංසපා වනයෙහි බුදුරජාණන් වහන්සේ වූසූ සේක. මෙය ශ්‍රාවස්ති සේතව්‍යා නගර දෙක අතුරෙහි පිහිටියේ ය.

උක්කට්ඨා

උක්කට්ඨා (උල්කාසථා) පුරය පසේනදි කොසොල් රජු විසින් පොක්ඛරසාදි බමුණාට ත්‍යාග වශයෙන් දෙන ලද්දෙකි. නොයෙක් පළාත්වලින් ශිල්පශාස්ත්‍රාභිලාෂිහු මෙහි පැමිණ පොක්ඛරසාදි බමුණා ඇසුරු කළහ.

ඉච්ඡානඞ්ගල ගම

මෙය ද බමුණු ගමෙකි. උක්කට්ඨා නුවරට කිට්ටු වැ පිහිටියේ ය. මෙහි වේද සාකච්ඡා ශාලාවෙක් විය.

ථුන ග්‍රාමය

මෙය ද බමුණු ගමෙකි.

ශාලාවතිකා, ඔපසාද, සාලා, නගරවින්ද, මනසාකට, වේනාගපුර, දණ්ඩකප්පක, කේසපුත්ත යන මොහු ද සැවතට කිට්ටුව පිහිටි ග්‍රාම නිගමයෝ යි. ශාලවතිකායෙහි ලෝහිච්ච බමුණා ද ඕපසාදයෙහි චංකි බ්‍රාහ්මණ, කාපථික මානව ද යන ආදි බෞද්ධෝපාසක වූ බමුණු ගැහැවියන්ගේ නම් පෙළ පොත්හි දක්නා ලැබේ. මේ ඉහතැ කී ගම් සියල්ලෙහි මැ බුදු සසුන පැතිරැ පැවැත්තේ ය.

ශාක්‍ය ජනපදය

ශාක්‍ය ජනපදය කෝශල රටට, භූමියේ පිහිටීම් වශයෙන් ඇතුළත් ය. හිමාලය කඳු වැටියේ දකුණු පැත්තේ බෑවුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදයෙහි අන්තර්ගත විය. මේ දනව් සීමාවෝ කවුරුදැ යි කිසි පොතකින් නුදුටුමු. මෙහි බුද්‍ධ කාලයේ දී ශාක්‍ය ජනපදය ශුද්ධෝදන රජතුමා විසින් ආණ්ඩු කරන ලදී. පසු වැ බෝසතාණන් වහන්සේ 13 වර්ෂයක් රජය කැරැ වූ සේක. බෝසතාණන් මහණ වූ පසු සුදොවුන් රජතුමා ම ආණ්ඩු කෙළේ යැයි පෙනේ. එයට පසු අන්‍ය ශාක්‍ය රජෙක් ආණ්ඩු කෙළේ දැයි පොතෙකින් නො පැනේ. එහෙත් බෝසතුන් බුදු වූ පසු කලක් භද්දිය රජ ද එයට පසු මහානාම රජු ආණ්ඩු කළ බව පෙනේ. රට පාලනය පිළිබඳ විශේෂ කටයුත්තක් පැමිණි විටැ සාකච්ඡා කැරැ ගැනීමට රජතුමා සහිත වූ අනිකුත් ශාක්‍ය ප්‍රධානයන් කපිලවාස්තු පුර සන්ථාගාර ශාලාවට පැමිණීම සිරිත විය. ශාක්‍ය රජුහු වංශය අතින් තමන් ශ්‍රෙෂ්ඨ ලෙස ද, බලසම්පන්න වුවත් කෝශල රජු ආදීන් පහත් ලෙස ද සැලකූහ. එසේම අන්‍ය රජුන් විසින් ද ශාක්‍ය වංශය ශ්‍රෙෂ්ඨ යැයි සම්මත වී ය. ශාක්‍ය වංශයේ ආරම්භ කාලයේ පටන් ම ඥාති සම්බන්ධයෙන් බැඳුණු කෝලිය වංශිකයෝ ද වංශයෙන් ශාක්‍යයන් මිස අන් කිසිවකු තමනට සම තන්හි නො තැබූහ. ශාක්‍ය කෝලියයන්ගේ වාස භූමීහු රෝහිණී නදියේ දෙ තෙරැ වූහ. ශාක්‍යයන්ගේ බලය වැඩි බැවින්, පාලක බලය ඔවුන් අතැ ම තුබුණු බව පෙනේ. මෙසේ හෙයින් කෝලිය රට ශාක්‍ය ජනපදයේ ම පළාතක් වූ බව පෙනේ. තමන් රාජවංශිකයන් වූවත් ඔහු ගොවිතැන ගරු කොට සලකා එහි යෙදුණහ. ශාක්‍යයෝ පරහිංසායෙන් වැළැකුණු, ධාර්මික වූ, සත්පුරුෂ ධර්මය රකින්නෝ වූහ.

කපිලවාස්තු පුරය

මෙය රෝහිණී නදිය අද්දරැ පිහිටියේ ය. ශාක්‍ය ජනපදයේ අගනුවර යි. මෙය බිමට බට දෙව්පුරයක් මෙනැ යි කාව්‍ය කාරයෝ වැණූහ. රජුන්ගේ සන්ථාගාර ශාලාදියෙන් මේ සම්පූර්ණ වී ය. අතීතයෙහි බෝධිසත්ත්ව කපිල තපස්වීහුගේ වාසස්ථානයෙහි ඉදි කළ මේ නගරයට කපිලවාස්තු යැයි නම් කළහ. බුද්‍ධ කාලයෙහි නුවර වටේ ලෝහ දොරවලින් යුත් විශාල ප්‍රාකාරයෙක් වූයේ ය. මෙයින් සැවැත් පුරයට දුර යොදුන් පසොළොසක් පමණ ය. රජගහ පුරයට යොදුන් සැටක් පමණ ය. කපිලවාස්තු පුරයට දැන් පදරියායි ව්‍යවහාර යි. රෝහිණී නදිය කොහානා නමින් දන්නා ලැබේ. ය්වාංජ්ශ්වාන්ගේ යාත්‍රා වාර්තාවෙහි ඔහු එහි පැමිණි කාලයේ පැවැති කපිල පුර තත්ත්වය ලියා තිබේ. ඒ එයින් ගෙන සැකෙවින් මෙහි දැක්වේ.

“කපිලවාස්තු රාජධානිය වටින් “ලී” 400 කි. මෙහි නගර දහසක් පමණ ජරා වාස ව මනුෂ්‍ය වාසයෙන් තොර ව පවතී. මහා නගරය නෂ්ටාවශේෂ දැයින් වැසී තිබේ. රජ මාලිගාව පිහිටි භූමිය ලී 14 ක් පමණ වට ය. එහි සියලු ගොඩනැගිලි ගඩොලින් ම නිමවා තිබුණේ ය. එහි අත්තිවාරම් භිත්ති තවමත් ඉතා ශක්තිමත් ය. උස් ය. ඒ අසළැ මිනිසුන් ඉන්නා බිම් කට්ටි ඉතා ස්වල්පයෙකි. මෙහි එක ම මහරජෙක් නැත. එක එක නගරය එහි අධිපති රජකුගේ පාලනය පිටැ පවතී. පොළොව සාර ය. ධාන්‍ය නියම කලකට සශ්‍රීක ව වැඩේ. දේශගුණය ද එයට සුදුසු ව පවතී. වැසියෝ මෘදු මොළොක් ගුණ ඇත්තෝ ය. දහසකටත් වැඩි තරම් ජරාජීර්ණ වූ සංඝාරාමයෝ දක්නා ලැබෙත්. රජ මාලිගාව පිහිටි බිම සමීපයේ තවමත් භික්ෂූන් තිස්නමක් පමණ ඉන්නා සංඝාරාමයෙක් ඇත. ඔහු සම්මිතිය නිකායාන්තරගත හීනයාන ධර්මය හදාරති. මාළිගා භූමිය තුළැ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති සතරෙක් ඇත. මොහු ශුද්ධෝදන රජුගේ නිවාසය කැඩී බිඳී ගොස් ඉතිරි ව පවත්නා දෑ ය. ප්‍රාසාදය වූ තැන ශුද්ධෝදන රජුගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයෙක් ඇත. මෙයට නුදුරෙහි මායා බිසව ගේ ශයනාගාරය වූ තන්හි කරවන ලද විහාරයෙක් වේ. එහි මායා බිසවගේ රූපය තනා තිබේ. මෙහි අද්දරැ විහාරයෙක් වේ. එය බෝසත් කුසැ පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි මායා බිසව නිදාහොත් තැන ය. මේ ප්‍රවෘත්තිය ඒ විහාරයේ බිත්තියෙකැ සිතියම් කැරැ තිබේ. ස්ථවිර වාදයෙහි උත්තරාෂාඪ මස තිස්වන දා රෑ බෝධිසත්ත්ව ප්‍රතිසන්ධානය වී යැ යි මතයෙක් පවතී. අන්‍ය පරම්පරාවල ඒ මස තෙවිසි වන දා මේ වී යැ යි පිළිගැනේ. මෙ කී තැනින් ඉසාන දිග බෝසතාණන් අසිතර්ෂි විසින් පිළිගත් තැන කරවන ලද ස්තූපයෙක් වේ.

නුවර දකුණු දොරැ ස්තූපයෙක් ඇත. මෙය දෙව්දත් කුමරුන් විසින් නළලට ගසා මරා දමා පාර මැද දැමූ ඇතකු සිදුහත් කුමරු විසින් ඔසොවා නුවර දිය අගලින් එ පිටට වීසි කළ ස්ථානයේ කරවන ලද්දෙකි. මෙය සමීපයෙහි සිදුහත් කුමරුන්ගේත් යශෝධරාවගේත් ශයනාගාරය වූ තැනැ විහාරයෙක් වේ. මෙහි යශෝධරාව රාහුල කුමරු ළෙහි හොවා ඉන්නා සැටි හඟවන රූප සාදා තිබේ. මේ විහාරයේ එක් අද්දරෙකැ තවත් විහාරයෙක් දක්නා ලැබේ. මෙහි ශිෂ්‍යයකු ඉගෙන ගන්නා සැටි හඟවන රූපයෙක් වේ. මෙය වනාහි සිදුහත් කුමරු ශිල්ප උගත් ස්ථානය යි.

නුවරට ගිනිකොනැ සිදුහත් කුමරු සුදු අසකු අරා ඉන්නා සැටි හඟවන ප්‍රතිමා සහිත විහාරයෙක් වේ. මෙය බෝසතුන් ගිහි ගෙන් නික්මුණු ස්ථානය යි. නුවර සතර දොරින් පිටතැ මහල්ලකු, ලෙඩකු, මලකඳක්, පැවිද්දකු යන එක් එක් රූපයක් සාදා තිබෙන විහාර සතරෙකි. මේ සතර පෙර නිමිති දුටු සථාන සතර යි. මාලිගාවට නුදුරින් නුවර දකුණු දිගැ බුද්‍ධත්වයෙන් පසු මුලින් ම සුදොවුන් රජුට බුදුරජාණන් වහන්සේ හමු වූ තැනැ ද ස්තූපයෙක් වේ.

නුවරට දකුණු නැගෙනහිර සර්වඥ ධාතු නිධාන කැරැ කරවන ලද ස්තූපයෙක් වේ. එය ඉදිරියෙහි අඩි තිහක් උස මත්තෙහි නෙලු සිංහ රූපයක් ඇති ස්ථම්භයෙක් වේ. එහි පැත්තෙකැ බුද්‍ධ පරිනිර්වාණ වාර්තාව ලිපි කොටැ තිබේ. මෙය අශෝක රජහු විසින් කරවන ලද්දෙකි.

නුවරින් ඉසාන දිග ‘ලී’ 40 ක් පමණ දුර වප් මඟුල් දා බෝසතුන් ප්‍රථම ධ්‍යානයට සමවැද හුන් තැන ද කැරැ වූ ස්තූපයෙක් දක්නා ලැබේ.

නුවරින් වයඹ දිග විරූඪක (විඩූඩභ) රජහු විසින් ශාක්‍ය රජුන් මරන ලද ස්ථානයෙහි දහස් ගණන් ස්තූප දක්නා ලැබේ. මෙයින් දකුණු බටහිරැ කුඩා ස්තූප සතර දෙනෙක් වෙත්. මේ ශාක්‍ය රජුන් සතර දෙනෙකුන් සතුරු සෙනඟ ප්‍රතිවර්තනය කැරැලු ස්ථානය යි. විඩූඩභ කුමරුන් ශාක්‍යයනට විරුද්‍ධ ව එනු දුටු ශාක්‍ය රජහු සිවුදෙනෙක් ඔවුනට විරුද්‍ධ ව ඉදිරියට ගොස් ඔවුන් විසුරුවා හැරැ නුවර වන්හ. ඔවුන් කළ දෑ ඇසූ ශාක්‍යයෝ අපේ වංශයෙහි අය සත්ත්ව ඝාතනයෙන් තොර වූවෝ ය. මොවුන් වංශ ප්‍රවේණියට නින්දා ලැබෙන අකුශලයක් කළහ යි කියා ඔවුන් රටින් නෙරැපූහ. ඔහු ද හිමවතට ගියහ. ඉන් එක් අයෙක් වධ්‍යයන්ගේ රටෙහි රජ වූහ. අයෙක් උද්‍යාන රටෙහි ද, අයෙක් හිමතල රටෙහි ද සතර වැන්නා ශාම්බි රටෙහි ද රජ විය. එහි ඔවුන්ගේ රාජ පරම්පරාව අවිච්ඡන්න ව පැවත ආ ය.

නුවරින් දකුණැ ලී තුන හතරක් දුරැ භාග්‍යවතුන් වහන්සේට ශාක්‍යයන් කරවා දුන් නිග්‍රෝධාරාමය වේ. මෙහි සංඝාරාමයේ පසෙකැ ස්තූපයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රජාවතී ගෞතමිය විසින් මහඟු කසාවතක් පුදන ලද්දේ මෙ තැන දී ය.[11]

නුවර නැගෙනහිර දොරින් ඇතුළතැ මහ මගැ වම් පසැ සිදුහත් කුමරුන් ධනුශ් ශිල්පාදිය පුරුදු කළ ස්ථානය හැඟවීමට කළ ස්තූපයෙක් දක්නා ලැබේ.

නුවරින් පිට ඊශ්වර දේවාලයෙක් වේ. මෙහි දේවරූපය බිමට නැමී නැගී සිටින ආකාර පෙනේ. බෝසතාණන් උපන් දා සුදොවුන් රජ ලුම්බිනී වනයෙන් එන ගමනැ ශාක්‍ය දරුවන්ගේ ශුභ සිද්‍ධිය සඳහා ඔවුන් උපන් අළුතැ පළමු කොට ඔවුන් ලවා වන්දවන ස්ථානය වූ යථෝක්ත දේවාලයට පැමිණියේ ය. මේ වේලාවේ ප්‍රජාවතී ගෞතමී බෝසත් කුමරු වඩා ගෙන ආවාය. ඇය බෝසතුන් ගෙන එහි ඇතුළැවන් කෙනෙහි දේවරූපය හුනස්නෙන් නැගිට බෝසතාණනට නමස්කාර කෙළේ ය. මේ ඒ ස්ථානය යි.

නුවර දකුණු දොරින් පිට මහ මඟැ වම් පසැ ස්තූපයෙක් දක්නා ලැබේ. බෝසත් විද්ද ඊගසක් බිම වැදී පොළොව බිඳී ගොස් දිය උල්පතක් මතු වී පොකුණක් වූ තැනෙකැ යි සලකනු ලබන ශරකූප නම් පොකුණෙක් යට කී ස්තූපයෙන් ලී තිහක් දකුණු නැගෙනහිරින් දක්නා ලැබේ. මෙහි ජලය ද මඩ ද රෝග සුව කිරීමේ ශක්තිය ඇත්තහ යි අසල් වැසියෝ සලකත්.

මේ පොකුණෙන් ‘ලී’ අසූවක් ගිය තැනැ ලුම්බිනී වනය වේ.

ලුම්බිනී ග්‍රාමය [12]1

ලුම්බිනී නම් රජ කුමරියකගේ නමින් ඉදි කරන ලද රාජෝද්‍යානය සමීපයේ වූ ගම ද ලූම්බිනී ග්‍රාම නමින් ප්‍රකට වී ය. යථෝක්ත උයන මහා බෝධිසත්ත්ව සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේගේ ජාතභූමියයි. මෙය කපිලවාස්තු (කිඹුල්වත්) පුරයටත් දෙව්දහ පුරයටත් අතරැ පිහිටියේ ය. පසු කාලයෙක ධර්මාශෝක රජතුමා මෙය බලන්නට අවුත් ලූම්බිනී ගම අය බද්දෙන් නිදහස්කොට එහි ගල් කණුවක් කරවා තමාගේ පැමිණීම් ආදිය එහි කොටවා තැබ්වී ය. මේ ශිලාලිපිය තව ම දක්නා ලැබේ. දැන් ලුම්බිනී ග්‍රාමයට රුමීන්දායි යැයි කියත්.

ලූම්බිනී වනය ගැන ය්වාංජ්ශ්වාන්ගේ ගමන වාර්තායෙහි මෙසේ සඳහන් වේ.

“මෙහි (මේ ලුම්බිනි වනයෙහි) ශාක්‍යයන් නාන පොකුණ වේ. එහි ජලය කැඩපතක් සේ පිරිසුදු ය. පැහැදිලි ය.

පොකුණින් උතුරට පියවර විසි පහක් පමණ ගිය තැන දිරා ගිය අශෝක රුකෙක් ඇත. මෙහි දී වෙසක් පුර අටවක දා බෝසත් උපන්නේ ය. ස්ථවිරවාදීහු මෙය පසළොස්වක් දා යැ යි කියති. මෙයින් නැගෙනහිර නාගයන් බෝසතාණන් නෑවූ ස්ථානයෙහි අශෝක රජහු කැරැවූ ස්තූපයෙක් වේ.

ඉන් නැගෙනහිර පිරිසුදු දිය උල්පත් දෙකෙකි. මෙය බෝසතුන් උපන් කෙණෙහි එකෙකැ ඇල් දිය ද අනෙකෙහි උණු දිය ද ඇති වැ පහළ වූ දෙ උල්පත් ය. මේ සමීපයෙහි ද ස්තූප දෙකක් දක්නා ලැබේ. මෙයට දකුණින් ශක්‍රයා බෝසතුන් වඩා ගත් තැනැ කැරැවූ ස්තූපයක් දක්නා ලැබේ. මෙයට නො දුරෙහි බෝසතුන් උපන් කෙණෙහි සිවු වරම් රජුන් එ තුමන් වඩා ගත් තැන ස්තූප සතර දෙනෙක් වෙත්.

එයට නො දුරින් පසෙකැ අශෝක රජහු කැරැ වූ මත්තෙහි අශ්ව රූපයක් සහිත ගල් කුලුනෙක් වේ. මෙය නාගයකු විසින් පසු කලෙකැ මැදින් කඩා කොටසක් බිම හෙලන ලදී. මෙයට ඉතා සමීපයෙහි ගිනිකොණට ගලා යන කුඩා දිය පාරෙක් වේ. ඒ තෙල් නදිය යැ යි කියනු ලැබේ. මෙය බෝධිසත්ව ප්‍රසූතිය කළ මායා බිසවගේ පරිහරණයට දෙවියන් මැවූ පොකුණෙකි. පසු වැ එය කුඩා නදියෙක් වී ය.

මෙ තැනින් “ලී” 100 ක් පමණ නැගෙනහිරට ගිය තැන රාමග්‍රාමය වේ.

දෙව්දහ පුරය

දෙවදහ පුරය සුප්‍රබුදධ ශාක්‍ය රජුගේ වාසභූමිය යි. මෙය ද ශාක්‍ය ජනපදයේ වී ය.

තවත් ගම්

චාතුමා, සාමගාම, බෝමදුස්ස. සීලවතී, දෝන වත්ථු, නාගරක, උළුම්ප යනු ද ශාක්‍ය ජනපදයේ තවත් ග්‍රාමයෝ යි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා වර්ෂයේ උළුම්ප නම් ශාක්‍ය ගම වැඩ වසන සමයෙහි කොසොල් රජ එහි පැමිණ කතා බස් කොට බණ අසා ගියේ ය. රජුගේ ඇමැතියා කල් ඇති වැ පිරිස කැටුව ගොස් ඒ රජුගේ මැ පුත්‍ර වූ විඩුඩභ කුමරු රජ බවට පැමිණැවූයේ ය. තනි වූ රජ, පිහිට ලබනු වස්, සිය බෑනණු වූ අජාතශත්‍රැ රජ වෙත (රජගහපුරයට) ගියේ ය. රෑ නුවර දොරටු වසා තුබුණෙන් නුවරින් පිට ශාලාවෙක නවාතැන් ගත්තේ ය. ශෝකයටත්, වෙහෙසටත් පත් වැ සිටි අසූ හවුරුදු මහල්ලෙක් වූ දුර්වල රජ තෙම මෙහි දී කලුරිය කෙළේ ය.

හලිද්දිවසන, සජ්ජනේල, සාපූග, උත්තරකා, කක්කරපට්ට යනු කෝලිය රජුන් ගේ ග්‍රාම නිගමයෝ යි.

විශේෂ කරුණු

ශාක්‍යයෝ ගෞතම ගොත්‍රයෙහි (පෙළපතෙහි) වූවෝ ය., එබැවින් සමහර විටෙකැ පෙළපතේ නම් ද ඔහු කරුණු ව්‍යවහාර කළහ. බෝසතාණනට ද, අනඳ තෙරුණටද ගෝතම යන නම් ව්‍යවහාර කළ බව පෙනේ.

කෝලිය රජුහු ව්‍යග්ඝපජ්ජ යන නම ව්‍යවහාර කළහ. ඔවුන් ගේ මුල් බිම රාමග්‍රාමය යි.[13] කෝළනගර, ව්‍යාඝ්‍රපද්‍ය යනු ද එයට ම නමි. ශුද්ධෝදන රජතුමාට පසු සිද්‍ධාර්ථ රජතුමා රාජ්‍යය කැරැවූ බව මත්ස්‍ය පුරාණයෙන් පෙනේ. ශාක්‍ය රජුගේ පුත්‍ර ශෞදොධදනි (සිද්‍ධාර්ථ) රජය, තප්පුත්‍ර රාහුල ය, තත්පුත්‍ර ප්‍රසෙනජිත් ය යන රජවරුන් රජ කැරැ වූහ යි විෂ්ණු පුරාණයෙහි පෙනේ. එහෙත් රාහුල කුමරු රජ වූ බවද ප්‍රසේනජිත් රාහුල පුත්‍ර වූ බව ද බෞද්‍ධ පොත්වලට හාත්පසින් ම විරුද්‍ධයි. ශුද්ධෝදන රජතුමා මුළු කෝශල රටට ම මහරජ වූ බවක් පෙළ අටුවාවලින් නො පැනේ. ශාක්‍ය ජනපදය පමණක් සුදොවුන් රජු විසින් පාලිත වූ බවද මහා කෝශල රජු කෝශල ජනපදයේ අග රජ වූ බව ද ඔහුගේ ඇවෑමෙන් කොසොල් රට පසේනදි කොසොල් රජුගේ පාලනය පිට පැවැති බව ද පෙළ අටුවාවලින් පෙනේ.

බුද්‍ධ කාලයෙහි කාශි කෝශල දෙ රට කෝශල මහ රජුට අයත් විය.

ආළවි පුර

මෙය ආටවී පුර යැ යි සංස්කෘත පොත් හි සඳහන් වේ. මෙය කොසොල් ජනපදයෙහි වූ වෙන ම මාණ්ඩලික රාජයකු විසින් පාලිත රටෙකි යි පෙනේ. සැවත සිට මෙයට දුර යොදුන් තිහකි.

ආළවි රට

මෙ පුරැ අග්ගලාව චෛත්‍ය ස්ථානය, ගෝමග්ග සිංසාප වනය යන දෙ තන්හි භික්ෂූහු වූහ.

මෙහි ආධිපත්‍යය දැරූ හස්ථකාලවක රජ සතර සංග්‍රහ වස්තූයෙන් රට රක්නන්ගෙන් අග තැන්පත් බෞද්ධෝපාසකයෙකි.

5. වජ්ජිරට

වජ්ජි (වෘජ්ජි) රට වජ්ජි, විදේහ, ලිච්ඡවී, නාතික ආදි ගෝත්‍ර අටෙක ක්‍ෂත්‍රියයන් ගේ සමානචජන්දයෙන් පාලිත වි ය. ඔවුන්ගෙන් විදේහ ලිච්ඡවි ගෝත්‍ර දෙකෙහි වූවෝ සෙස්සනට වඩා ප්‍රකට වූ බලවත්තු යැ යි හැඟේ. මෙයින් ලිච්ඡවීන්ගේ ප්‍රධාන නගරය වේසාලි (වෛශාලි) පුරය යි. විදේහයන්ගේ ප්‍රධාන නුවර මිථිලාව යි. නාතිකයන්ගේ අගනුවර කුන්දපුර (කුන්දග්‍රාම) ය යි. අන් ගෝත්‍රවලැ වූවන්ගේ ප්‍රධාන නගර පොතකින් නො පෙනේ. බුද්‍ධ කාලයේ දී විසාලා පුරය ඒ සියලු ම වජ්ජි රටේ අග්‍ර නගරය වී ය. වජ්ජි ජනපදයේ සීමාවෝ කවරහු දැ යි නො පැනේ. මෙහි සමූහ ආණ්ඩුවක් පැවති බව හැඟේ.

වේසාලි පුරය

මේ වජ්ජි ජනපදයේ අගනුවර යි. වජ්ජිගාම යැ යි ද මෙයට නම් වී ය. ගංගා නදියෙන් තුන් යොදුනකින් ඈත උතුරු දිගැ පිහිටියේ ය. රජගහ පුරය මින් යොදුන් අටෙකින් මෑතැ ගංගා නදියෙන් දකුණු දිගැ පිහිටියේ ය. මේ නුවරට පිටි පසැ මහාවනය හිමාලය තෙක් පැතිරැ පැවැත්තේ ය. එහි භාග්‍යවතුන් වහන්සේ පිණිස කූටාගාරශාලා නම් විහාරයක් කරවා තුබුණේ ය. භාග්‍යවතුන් වහන්සේ පස්වන වස වුසූයේ එහි ය. මෙ නුවර වටේ ගව්ව බැගින් එකිනෙකට ඈත් වූ ප්‍රාකාර වලලු තුනෙක් විය. ලිච්ඡවි රජහු 7707 දෙනෙක් විශාලා පුරයෙහි මැ නැවැතී රාජ්‍ය පාලන කටයුතුවල යෙදුණහ. මේ නගරය සමීපයේ උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, සාරන්දද චේතිය, චාපාල චේතිය යන චෛත්‍ය ස්ථානයන් හි ද, අම්බපාලි වනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක. මෙය වර්තමානයෙහි ගණ්ඩකී නම් නදිය අද්දරැ වූ බෙසාර් නම් පුරය යි.

බේළුව ග්‍රාමය

භාග්‍යවතුන් වහන්සේ අන්තිම වස වුසූ ස්ථානය මෙය වේ. මෙය පිහිටියේ වෛශාලි පුර සමීපයේ ය. මේ වේණුව ග්‍රාම නමින් ද සංස්කෘත බෞද්‍ධ පොත්හි සඳහන් වේ. භාණ්ඩග්‍රාමය ද වජ්ජි රටෙහි ගමෙකි.

කෝටි ග්‍රාමය

මෙය "කුන්දග්‍රාම, කුන්දපුර" යන නම් වලින් ද ප්‍රකට වී ය. විසාලා පුර ළඟ පිහිටියේ ය. නාතික (ඥාතික) ගම් දෙකින් මේ කෝටි ග්‍රාම ය එකෙකි. නිගණ්ඨනාතපුත්තයාණන්ගේ පියා වූ සිද්‍ධාර්ථ ක්‍ෂත්‍රිය තෙම මෙහි ආධිපත්‍යය දැරූයේ ය.

කොල්ලාග (නාතික)

බෞද්‍ධ පොත්හි නාතික නමින් ව්‍යවහාර වන්නේ මෙය විය හැකි ය. මේ කුන්ද ග්‍රාමය හැර ඥාතිකයන්ගේ අන් (දෙවෙනි) ගම යි. මෙහි ගිඤ්ජකාවසථ (උළු සෙවිලි කළ ගෙය) නමින් කරවා තුබුණු විහාරයෙහි භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක. ගෝසිංග සාලවනදාය මෙයට නො දුරෙහි වී ය.

මිථිලා

මෙය පුරාතනයෙහි විදේහ දේශයේ අගනුවර ව බලසම්පන්නව පැවැත්තේ ය. පසු කාලයෙකැ විදේහ ලිච්ඡවි ආදීන් එක් ව සමූහ ආණ්ඩුවක් පිහිටුවා ගත් තැන් පටන් වෛශාලි පුරය ප්‍රධාන නගරය වූයෙන් මිථිලාව එයට දෙ වැනි වූ (විදේහයන්ගේ ප්‍රධාන නුවර) වී ය. නේපාල සීමාවේ දැනට තිබෙන ජනක් පූර් නම් කුඩා ගම පුරාණ මිථිලා පුරය වූ භූමි භාගයෙන් පසෙකැ වී යැ යි පැරැණි තතු සොයා බැලූ සමහර උගතුන් ගේ මතය වේ. දියුණු වී පැවැති කාලයෙහි මෙහි ප්‍රමාණය වටින් සත් යොදුනක් පමණ වී ය. මෙහි ද භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක.

ධම්ම කොණ්ඩ පුරය

මෙය විදේහ රට මැදැ පර්වත රටේ (කඳුකර පෙදෙසේ) මහී නදී තීරයේ පිහිටියේ ය. ධනිය නම් ගොපල්ලාට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ මෙහි වැඩිසේක. දැන් මෙය ධාම් කොණ්ඩ නමින් ප්‍රකට ය.

විශේෂ කරුණු

ප්‍රබල ව පැවැති වජ්ජි ජනපදය භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් තුන්වන වර්ෂය පමණේ දී අජාතශත්‍රැ රජහු විසින් ගන්නා ලදී. එය එ තන් පටන් මගධ දේශයට යටත් පළාතෙක් වී ය.

ආගම්

භාග්‍යවතුන් වහන්සේ පහළවන්නට සියවස් කිහිපයකට පෙර පාර්ශවනාථ නම් ජෛන ශාස්තෘහුගේ කාලයේ පටන් ලිච්ඡවී රටෙහි ජෛන සමය පැතිරැ පැවැත්තේ ය. නිගණ්ඨනාතපුත්තයන් පහළ වූ පසු වඩාත් ඒ පැතිර ගියේ ය. මෙයට වැඩියෙනුත් හේතු වූයේ නිගණ්ඨනාත පුත්තයන් එහි සම්භාව්‍ය ක්ෂත්‍රියයකු වීම යි.

ලිච්ඡවි රාජ පරම්පරාවෙහි ඥාත (නාත) පෙලපතේ එවකට අධිපතිව සිටි කුන්ද (-කෝටි) ග්‍රාමවාසී සිද්ධාර්ත්ථ නම් ක්ෂත්‍රියයාගේත් තද්භාර්‍ය්‍යා වූ විදේහදත්තා (ත්‍රිශාලා) නම් (වේතක් ලිච්ඡවි රජු දූ වූ) ක්ෂත්‍රියාණියගේත් පුත්‍ර වර්ධමාන මහාවීර යන නමින් ප්‍රකට නිර්ග්‍රන්ථඥාත පුත්‍රයා (නිගණ්ඨනාත පුත්තයා) එ සමයෙහි පහළ වැ මහා ශ්‍රාවක පිරිසක් ඇති වැ සිටි ජෛන ශාස්තෘවරයා යි.

6. මල්ල ජනපදය

බටහිරින් ශාක්‍ය ජනපදය ද, දකුණින් වජ්ජි රට ද මල්ල ජනපදයේ සීමා යි. මෙහි වැසියෝ භක්තිමත් බෞද්‍ධයෝ යි. මල්ල රජුනට වාසෙට්ඨ යන නමෙක් ද විය. මේ මල්ල රජුහු ඔක්කාක රාජවංශයට අයත් වූවෝ ය. පුරාතනයෙහි රාජාංඩුවක් පැවැති මේ රටෙහි පසු කාලයෙහි (එනම් මගධ රට භට්ටිය රජ ආණ්ඩු කරන කාලයෙහි) මල්ල රජුන් විසින් සමූහ ආණ්ඩුවක් පිහිටුවන ලදී. මල්ල ලිච්ඡවී යන රටවල් සමීප බැවින් නොයෙක් විටැ ඔවුන් ගේ සතුරු මිතුරුකම් ඇති වී ය. බන්ධුල නම් කොසොල් රජුගේ සේනාපතියා මල්ලරාජ වංශිකයෙකි. ඔහු විසින් ලිච්ඡවි රජුන් 500 ක් මරා දමන ලද බව භද්දසාල ජාතක කථා ආදියෙහි පැනේ.

කුසිනාරා

මෙය බුද්‍ධ කාලයෙහි කුඩා නගරයෙක් ව පැවැත්තේය. කුසිනාරා ඉන් බොහෝ පෙරැ කුසාවතී නමින් දියුණු අඩියකැ පැවැති නුවරෙකි. මෙය හිරණ්‍යවතිය (හෙවත් අචිරවතියේ නැගෙනහිර කොටස) ගණ්ඩකි නදිය හා එක් වූ තන්හි පිහිටියේ ය. දැන් නේපාලයට අයිති යි. වර්තමානයෙහි ගෝරක්පූර් නම් පෙදෙසේ නැගෙනහිර පැත්තේ වූ කුසී නගරය මේ කුශාවතී (හෙවත් කුසිනාරා) පුරය යි. මෙහි වූ පරිනිර්වාණ චෛත්‍යය නොබෝදා සොයා ගන්නා ලදී. එහි එක් තඹ තහඩුවෙක “පරිනිර්වාණ චෛත්‍ය තාම්‍රපට්ට ඉති” යන වාක්‍ය සඳහන් වී ය. මේ නගරයෙහි හිරණ්‍යවති නදිය අද්දර වූ උපවත්තන නම් රාජශාලවනයෙහි දී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

පාවා

මෙය බුද්‍ධ කාලයෙහි මල්ල රජුන්ගේ අගනුවර යි. මෙහි නුවර මැද උබ්භතක නමින් සන්ථාගාර සාලාවක් මල්ල රජුන් ගොඩ නංවා නිමැ වූ කාලයෙහි ද භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේක. මල්ලයන් ගේ ආයාචනා පිටැ පළමුයෙන් ම එය පරිභෝග කළ සේක. ඒ කාලයෙහි දී ම පාවා පුරයේ දී නිගණ්ඨනාථපුත්තයා මළේ ය. ඔහු ගේ අතැවැසියෝ නිර්ග්‍රන්ථධර්මය ගැන නානා මත පහළ කරමින් ආරාවුල් කරන්නට වූහ. මෙය ඇසූ සැරියුත් තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ ගේ අවසර පිට භික්ෂූනට දම් දෙසනුවෝ, බුද්‍ධ වචනය ගැන භික්ෂූන් ගේ මත භේදයක් නොවනු පිණිස මුළු බුද්‍ධ වචනය පිඬු කොට සංගීති සුක්තය දෙසූහ. මේ පාවා නගරයේ මැ චුන්දකර්මාර පුත්‍රයා ගේ අඹවනයෙක් ද වී ය. එහි ද භාග්‍යවතුන් වහන්සේ කලින් කල වුසූ සේක.

අනුපිය නගරය

මෙය අනෝමා නදී තීරයේ පිහිටි මල්ල රට කුඩා නුවරෙකි. මෙයට අනුපිය නිගම යැ යි ද නම් විය. මෙහි මල්ලයන් ගේ අඹ වනයෙක් වී ය. බුදු වූ අළුතැ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේක. භද්දිය, අනුරුද්‍ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත, උපාලි යන සත් දෙන අවුත් පැවිදි වූයේ බුදුරජුන් ඒ අනුපිය අඹ වෙනෙහි වසද්දී ය. දබ්බමල්ල තෙරුන් වහන්සේ ගේ ජාතභූමියත් මේ නගරය යි.

කිඹුල්වතැ පටන් මෙ පුරය තෙක් දුර යොදුන් 30 කි. ගෝරක්පූර් පෙදෙසේ වූ අඋමි නමින් දැන් ප්‍රකට නදිය අනෝමාව යි.

7. චේති රට

චේති රට වනාහි කුරු රට සමීපයෙහි කොසොල් රටට බටහිරින් යමුනා නදී තීරයේ පිහිටියේ ය. මෙහි දකුණු සීමාව වින්ධ්‍යා කඳුවැටිය යි. වර්තමානයේ බන්ඩල්කන්ඩ් නමින් ප්‍රසිද්‍ධ පෙදෙස හා එයට යා බද වූ පළාත් මේ පුරාණ චේති ජනපදය වූ භූමි භාගයට ඇතුලත් යැයි සලකනු ලැබේ. මේ රටට වේදී යැයි ද ව්‍යවහාර වි ය. මෙහි භද්දවතිකා පුර සමීපයේ අම්බතීර්ථය වී ය. මෙ රට ගැන වැඩි විස්තරයක් කිසිද පොතෙකැ නො පැනේ.

සහජාති

මෙය ගංගා නදිය අද්දර ප්‍රසිද්‍ධ තොටුපලෙකි. පාරිලේය ග්‍රාමය මේ සමීපයේ ය.

8. වත්ස රට

වත්ස ජනපදය අවන්ති රටට උතුරෙන් යමුනා නදී තීරයේ පිහිටියේය. මෙයට වංස ජනපදය යැ යි ද ව්‍යාවහාර වි ය. බුද්‍ධ කාලයේ දී පරන්තප රජු ගේ පුත් උදේන (උදායන) රජ මෙය ආණ්ඩු කෙළේ ය. එකල අවන්ති රට රජ වූ චණ්ඩප්‍රජ්‍යෝත රජුන්ගේ දූ වූ වාසුලදත්තා උදේන රජු ගේ මෙහෙසියක් වූ ය. බෝධිරාජ කුමාර තෙම උදේන රජුගේ පුත්‍රයෙකි.

කොසම්බි පුරය

කොසම්බි (කෞශාම්බි) හෙවත් කොසඹෑ නුවර වංස කෝසම්බි දේශයේ අගනුවර යි. උදේන රජ වුසුයේ මෙහි ය. මෙය පිහිටියේ යමුනා නදී තීරයේ යි. නදියෙන් යතොත් මෙහි සිට බරණැසට දුර යොදුන් 30කි. මෙහි බදරිකාරාම, ඝෝසිතාරාමය, කුක්කුටාරාම, පාවාරිකම්බවන විහාර යැ යි ප්‍රධාන විහාර සතරෙක් විය. භාග්‍යවතුන් වහන්සේ නව වන වස වුසූයේ මෙහි ඝෝෂිතාරාමයේයි. මේ නගරයෙහි නදී තීරයෙහි උදකවන නම් උයනේදී පිණ්ඩොල භාරද්වාජ තෙරුන්ගෙන් බණ අසා පැහැදී උදේන රජ බෞද්‍ධයෙක් වී ය. දැන් අලහබාද් නගරයේ සිටැ මයිල 30 ක් පමණ උතුරෙන් කොසාම් නම් ගමෙක් පුරාතන කොසැඹෑ පුර පිහිටි පෙදෙසේ ඇත.

පයාග පතිට්ඨාන

මෙය ගංගා නදී තීරයේ පිහිටියේය. සෝරෙය්‍ය පුරය මෙයට සමීපයේ වීය.

බාලක ලෝණකාර ගම

මෙය කොසඹෑ පුර සිට කොසොල් රටට යන මාර්ගයේ චේතිය රට දෙසට හුරුව පිහිටියේ යි සිතමි. පාරිලෙය්‍ය වනයට වඩනා බුදුරජාණන් වහන්සේ මෙහි බාලකලෝණකාරාමයට පැමිණ භගු තෙරුනට දම් දෙසූ සේක.

භග්ග රට

භග්ග ජනපදය වංස රටට ඇතුළත් ය. මෙහි සංසුමාර ගිර නුවර සමීපයේ භේසකලා නම් වනයේ බුදුරජුහු අට වන වස වුසූහ.

9. කුරු රට

නැගෙනහිරින් පංචාල රට ද, දකුණින් මාත්ස්‍ය රට ද මෙහි සීමායි. සෙසු දිශාවලින් කිනම් සීමා වී දැ යි පොතෙකින් නො පැනේ. මෙහි වට යොදුන් 300 කි. යුධිෂ්ඨිර පෙළපතේ රජුහු මෙහි රාජ්‍යය කැරැවූවෝ ය. බුද්‍ධ කාලයෙහි කෝරබ්බ (කෞරව) රජකු විසින් පාලිත වූ බව පමණෙක් පෙනේ.

ඉන්දපත්ථ පුරය

ඉඳිපත් නුවර මෙහි අග නුවර යි. රජුගේ වාසය වූයේ මෙහි යි. මිගාවීර නම් උයනේ දී රට්ඨපාල තෙරණුවෝ රජුට දම් දෙසූහ. මේ නගරය යොදුන් 7 ක් පමණ විශාල යැ යි කියන ලදී. මෙය වූ තන්හි දැන් ඉන්ද්‍රප්‍රාත් නම් ගමෙක් වේ. පිහිටා තිබෙන්නේ දිල්හි පුරය සමීපයේ යි.

හස්තිනා පුරය

හස්තිනා පුරය පෙරැ ඉතා බලසම්පන්න වැ පැවැති බව මහා භාරතයේ සඳහන් වේ. බුද්‍ධ කාලයෙහි හස්ථිනී නම් කුඩා නුවරෙකි.

ථුල්ලකොට්ඨිත

මෙය මහාධනීන් ගේ නියම් ගමෙකි. රට්ඨපාල තෙරුන් ගේ ජාත භූමිය යි.

විශේෂ කරුණු

කුරු රට දේශ ගුණය විශේෂයෙන් සුබ දායක යි. මනා සැප පහසු ඇති බැවින් එහි මිනිස්සු අන් රටවලැ ජනයාට වඩා නිරෝග වූහ. නුවණ සුව සේ මුහුකුරුවන්නට හැක්කෝ ද වූහ. ගැඹුරු බණ දහම් අසා තේරුම් ගැනීමෙහි සමර්ථයෝ වූහ. එබැවින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහාසතිපට්ඨාන, මහානිදාන, සතිපට්ඨාන, සාරෝපම, රුක්ඛෝපම, මාගන්දිය, ආනෙජ්ජසප්පාය යන ගැඹුරු සූත්‍රාන්තයන් දෙසූ සේක. රට්ඨපාල සූත්‍රය දෙසන ලද්දේ ද මෙහි දී ය. තව ද මෙහි වැසියෝ නිරර්ථක කථායෙන් කල් නො ගෙවුවෝය. ඉතා පහත් දාස දාසීහු පවා යම් කිසි සතිපට්ඨාන භාවනාවක් ඉගෙන එය වැඩීමෙහි යෙදුණාහ. භාවනා නො කිරීම ඔවුනට ලජ්ජාවට කරුණු වී ය. පසු කාලයක මෙහි සමූහ ආංඩුවක් වී යැ යි ඓතිහාසිකයෝ කියත්.

10. පංචාල දේශය

කුරු රටට නැගෙනහිරින් පංචාල දේශය විය. මෙය මැදින් වූ භගිරථි (ගංගා) නදියෙන් උතුරු කොටස උත්තර පංචාල යැ යි ද දකුණු කොටස දක්ෂිණ පංචාල යැයි ද බැවහර වී ය. මෙහි බුද්‍ධ කාලයෙහි කිසි රාජාංඩුවෙක් වීද නැතහොත් සමූහාණ්ඩුවෙක් වී දැ යි බෞද්‍ධ පොතක නො පෙනේ. කම්පිල්ල නුවර වුසු සජය රජතුමා රාජ්‍යය හැර ගොස් නිගණ්ඨනාතපුත්තයා ගේ සස්නෙහි පැවිදි වූ බවක් ජෛනයන්ගේ උත්තරාධ්‍යයන සූත්‍රයෙහි සඳහන් වේ. ඉන් පසු සමූහ ආණ්ඩුවෙක් වූයේ යැයි ඓතිහාසිකයන් ගේ මතයයි. මෙය බුද්‍ධ කාලයෙන් පෙරැ දඹදිව ඉතා බලසම්පන්න රටෙක් වි ය. කම්පිල්ල (කාම්පිල්‍ය) පුරය දක්ෂිණ පඤ්චාලයේ ප්‍රධාන නුවර යි. දැන් මෙයට කම්පිල් යැ යි කියත්. උත්තර පඤ්චාලයේ ප්‍රධාන නුවර අභිව්ඡත්‍ර පුරය යි. මේ අභිව්ඡත්‍ර පුරයට වර්තමාන ව්‍යවහාරය රාම්නගර් යනු යි.

කාන්‍යකුබ්ඡ පුරය ද මෙහි ප්‍රසිද්‍ධ නුවරෙකි. ගංගා නදිය අද්දර පිහිටියේ ය. මෙය දැන් කානුජ් නමි. එක් කලෙකැ මහෝදය යැ යි ද මෙයට නම් විය.

11. මත්ස්‍ය රට

කුරු රටට දකුණින් (යමුනා නදියට බටහිරින්) මච්ඡ (මාත්ස්‍ය) රට පිහිටියේ ය. විරාට පුරය මෙහි අගනුවර යි. මෙය දැන් ජයපූර් කෙරෙන් උතුරෙන් මයිල 40 කින් ඈත් වු බෛරාට් නම් නගරය යි. මෙහි ද සමූහ ආණ්ඩුවෙක් වීය යනු ඓතිහාසිකයන් ගේ මතය යි.

12. සුරසේන රට

සුරසේන රට මාත්ස්‍ය රටට නිරිතින් යමුනා නදියට බටහිරින් වීය. බුද්‍ධ කාලයෙහි මෙය ආංඩු කෙළේ අවන්ති පුත්‍ර නම් රජෙකි.

මධුරා

මධුරා පුරය සුරසේන රට අග නුවර යි. යමුනා තීරයේ පිහිටියේ ය. රජු ගේ වාසභූමිය මෙහි විය. භාග්‍යවතුන් වහන්සේ කීප වරක් මෙහි වැඩි සේක. මෙයට දැන් මධුරා මත්‍රා යන නම් ව්‍යවහාර යි. දකුණු ඉන්දියාවේ ද තිනවෙල්ලි පළාතේ මධුරා නම් නුවරෙක් ඇත. ඉන්දියාවේ බොහෝ උතුරෙහිද මේ නමින්මැ තවත් නගරයෙක් වී ය. මේ ශුරසේන රටේ වූ මධුරා නගරය හින්දු සමයෙහි පෙනෙන ශ්‍රී කෘෂ්ණයාගේ ජාත භූමිය යි.

වේරඤ්ජා

මෙය මධුරාවට නො දුරු තන්හි බටහිරින් පිහිටියේ ය.

13. අස්සක

අස්සක (අශ්මක) ජනපදය ගෝධාවරී මාහිස්සති (හෙවත් නර්මදා) යන දෙ නදීන් අතරැ පිහිටියේ ය. මේ සමීපයේ ම (ගෝධාවරියේ අනිත් තීරයේ) මූලක ජනපදය වි ය. මේ දෙරට ම ආන්ධ්‍ර තෙලිඟු රජහු රජය කරවූහ. මෙ රටවල් දක්ෂිණාපථ (දක්ෂිණ ජනපද) යට අයත් හ.

පෝතන හෙවත් පෝතලි

කාලිංග දේශය ද මූලක රට ද බුද්‍ධ කාලයේ අස්සක ජනපදයට යටත් ව පැවති බව පෙනේ. පෝතන පුරය සංස්කෘත පොත්හි පෞදන්‍ය යැ යි කියන ලදී. මේ අස්සක රටේ අගනුවර යි.

පතිට්ඨාන

පතිට්ඨාන පුරය මූලක රටේ අගනුවර යි. ගෝධාවරී නදී තීරයේ පිහිටියේ ය. මෙයට දැන් පෛතාන් යැ යි කියනු ලැබේ. ග්‍රීක ඉතිහාසයෙහි බෛතානා යි කියන ලදී.

විශේෂ කරුණු

අලහබාද් පෙදෙසේ දැන් ප්‍රයාග නම් වූ පුරය ද පෙර පතිට්ඨාන නම් විය. මෙහි වෙන නගර ග්‍රාමාදියක් ගැන පෙළ අටුවාවලැ නොදුටුමු. ගෝධාවරී නදිය දෙකට බෙදී ගලන තැන යොදුන් තුනක් පමණ වූ අතුරු දූපතෙක් වූයේ ය. කොසොල් රජු ගේ පුරෝහිත බාවරී බමුණු තෙම එහි අවුත් අසපුවක්[14] කොට තවුස්දම් රැක්කේ ය. බුදුරජාණන් වහන්සේ පහළ වූ පසු හෙතෙම එ පවත් අසා අජිත, තිස්ස, මෙත්තෙය්‍ය, පුණ්ණක, මෙත්තගු, ධෝතක, උපසීව, නන්ද, හෙමක, තෝදෙය්‍ය, කප්ප, ජතුකණ්ණි, භද්‍රාවුධ, උදය, පෝසාල, මෝඝරාජ, පිංගිය යන ශිෂ්‍යයන් භාග්‍යවතුන් වහන්සේ දක්නට එවී ය. උතුරු ජනපදයට එන ඔහු පතිට්ඨාන, මාහිස්සති, උජ්ජේනි, ගෝනද්‍ධ, වෙදිසා, වනසාවත්ථි, කොසම්බි, සාකේත, වෙසාලි, රාජගහ යන මේ නගරයන් පසු කොටැ මාගධ ක්ෂේත්‍රයෙහි පාෂාණක චෛත්‍ය විහාරයෙහි වැඩ උන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෝ ය. දන්ත පුරය ද අස්සක රටේ වී යැයි සිතිය හැකි.

14. අවන්ති ජනපදය

මෙය දක්ෂිණාපථයට උතුරින් පිහිටියේ ය. බුද්‍ධ කාලයෙන් ශත වර්ෂ 12 කින් පමණ පසු මෙයට මාලව දේශ යැ යි ව්‍යවහාර වී ය. මෙය උත්තර අවන්තිය, දක්ෂිණ අවන්ති යැ යි පළාත් දෙකකට බෙදී පැවතිණැයි සිතිය හැකි. අවන්ති දක්ෂිණාපථ යැ යි දකුණු අවන්තියට කියන ලදැ යි හැඟේ. වර්තමානයෙහි මල්චා නිමර් යන පළාත් දෙකත් එයට සමීප වූ මධ්‍යම පළාතේ සීමායෙහි කොටස් කීපයකුත් යන මේ කී සියල්ල පුරාතන අවන්ති දේශයට ඇතුළත් වූ බව පෙනේ. බුද්‍ධ කාලයෙහි මෙහි රජය කැරැවූයේ චණ්ඩප්පජ්ජෝත රජතුමා යි. එතුමා බෞද්‍ධයෙකි.

මෙහි කුරරඝර නුවරැ පපාත පබ්බතයෙහි ද මක්කරකටක ගම අසළැ ද කච්චාන තෙරුන් ගේ ආශ්‍රම වි ය.

උජ්ජෙනි

ග්‍රීකවරු ojene (ඔජෙනේ) යැ යි මෙයට ව්‍යවහාර කළහ. මෙය බුද්‍ධ කාලයෙහි මුළු අවන්ති දේශයේ ප්‍රධාන නුවරයි. මහ රහත් කච්චායන තෙරුන් වහන්සේ ගේ ජාතභූමියයි. මිහිඳු මාහිමියන් වහන්සේ උපන්නේ මේ නුවරෙහි ය. මෙය අවන්ති රටේ උතුරු කොටසේ චර්මන්වතී නදී තීරයේ පිහිටියේ ය.

මාහිස්සති

අවන්ති දක්ෂිණාපථයේ ප්‍රධාන නගරය වූ මෙය බුද්‍ධ කාලයෙන් පෙරැ කලක් මුළු අවන්ති ජනපදයේම අග්‍ර නගරය වි ය. නර්මදා නදී තීරයේ පිහිටියේ ය. දැන් මෙය මන්ධාතෘ පුර යැයි කියනු ලැබේ.

කුරරඝර

මේ නගරය අවන්ති රටට අයත් බව මිස කිනම් පැත්තෙකැ පිහිටියේ දැ යි අවිනිශ්චිත යි. මෙහි වුසූ කාලි නම් තැනැත්තිය මුලින් ම මේ සස්නෙහි සෝවාන් වූ උපාසිකාව යි. ඇගේ පුත්‍ර වූ සෝණකුටිකණ්ණ තෙම භාග්‍යවතුන් වහන්සේ ගෙන් තනතුරු ලත් මහා ශ්‍රාවකයෙකි.

වේදිසා

මෙය මාහිස්සති නුවර සිට සැවැත් පුරට යන මහා මාර්ගයෙහි චේත්‍රවතී නදී තීරයේ වූයේ ය. සැරියුත් මුගලන් යන දෙඅගසව්වන් වහන්සේ ගේ ධාතු නිදන් කොට කරවන ලද චෛත්‍ය දෙක මේ සමීපයෙහි ය. අශෝක රජු ගේ පළමු බිරින්දෑ මෙහි කුමරියකි.

ගෝනද්‍ධපුරය

මෙය උජ්ජෙනි වේදිසා යන දෙනුවර අතරැ වී ය.

15. ගන්ධාර දේශය

මෙය දඹදිව උත්තරාපථයේ පිහිටියේ ය. කාශ්මීර රට ද මෙයට ඇතුළත් විය. බුද්‍ධ කාලයෙහි පුක්කුසාති නම් රජෙක් මෙය ආණ්ඩු කෙළේ ය. හෙතෙම බිම්සර රජු ගේ මිත්‍රයෙකි. පසු කලැ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් බණ අසා අනාගාමි වී ය.

උක්කල පුරය

මෙය උත්තරාපථයෙහි නගරයෙකි. පුෂ්කරවතී නුවර මෙයට සමීප යැ යි සිතියැ හැකි ය. මෙහි තපුස්ස භල්ලික දෙදෙන සර්වඥ කේශධාතු නිදන් කොට චෛත්‍යයක් කළහ. බංගාලය වරාය අද්දරැ පිහිටි ඔරිස්සා පුරයට ද උත්කල යැ යි නමෙක් වේ.

තක්ෂශිලා පුරය

තක්ඛසිලා (තක්සලා) පුරය ගන්ධාරයේ අගනුවර යි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩි බවක් පොතකින් නො දුටුමු.

පොක්ඛරවති පුරය

පුෂ්කරවති නුවර සින්ධු නදියේ අත්තක් වූ සුවාස්තු නදිය අද්දරැ පිහිටියේ ය. තපුස්ස භල්ලික දෙදෙනා මෙහි සාර්ථවාහකයකු ගේ පුත්‍රයෝ යි.

අසිතඤ්ජන

මෙය පොක්ඛරවතී පුර සමීපයේ වී යැයි හැඟේ. තපුස්ස භල්ලික දෙදෙනා ගේ ජාත භූමිය යි.

විශේෂ කරුණු

පුක්කුසාති රජ පැවිදි වූයේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ අළුතයි. එයින් පසු කවරෙක් රජ වී දැ යි බෞද්‍ධ පොතක නො පෙනේ. නග්ගති (නග්නජිත්) නම් රජකු එහි නිගණ්ඨනාතපුත්තයාට සම කාලයෙහි වූ බවත් ඔහු නිගණ්ඨ සමය පිළිගත්තකු බවත් ජෛන පොත්වලින් පෙනෙන බැවින් පුක්කුසාති රජුගෙන් පසු නග්නජින් රජ වූ යේ යි සිතීමට ඉඩ තිබේ. නිර්ග්‍රන්ථ ඥාතපුත්‍ර ධර්මයේ පොතක් වූ උත්තරාධ්‍යයන සූත්‍රයෙන් පංචාලයෙහි විමුඛ රජ, විදේහ රට නමි රජ, කාලිංගයෙහි කරකණ්ඩු රජ යන තුන් දෙනා නිගණ්ඨනාත පුත්තයාණන් සරණ ගිය බව පෙනේ.

16. කාම්බෝජ රට

මෙය ද උත්තරාපථයෙහි (දඹදිව) වයඹ පැත්තේ පිහිටියේ ය. මෙහි වැසියෝ ශිෂ්ටාචාරයෙන් අඩු, රළු ගති ඇත්තෝ වූහ. මේ රට අශ්වයන් ගැන ප්‍රසිද්‍ධ විය. භාග්‍යවතුන් වහන්සේ වේරංජා පුර වස්වුසූ සමයෙහි උත්තරාපථයෙන් ආ අස් වෙළඳහු උන් වහන්සේ සහිත භික්ෂු පිරිසට උපකාර කළහ. ඒ වෙළඳහු මේ කාම්බෝජ රටින් ආවෝ යැයි සිතිය හැක්ක.

ද්වාරකා පුරය

මෙය දඹදිව බටහිර සීමායෙහි වූයේය. කාම්බෝජයේ අග නුවරයි. රාජපුරය ද මෙහි වූ තවත් නුවරෙකි.

විශේෂ කරුණු

වියට්නාම් රටට දකුණින් කාම්බෝදියා යි කුඩා රටෙක් වේ. එය අප පොත්හි සඳහන් කාම්බෝජය නො වේ. අනෙකෙකි.

කුඩා රටවල්

මද්‍ර දේශය සොළොස් මහ රටවලින් කුමකට අයත් වී දැ යි අවිනිශ්චිත යි. සාගල පුරය මෙහි අගනුවර යි. මෙය දැන් පංජාබ් පළාතට අයිති යි.

සින්ධු දේශය

මෙය වර්තමාන රාජපුටානාහි වාලුකා කාන්තාරයට බටහිරින් සින්ධු නදිය දෙපැත්තේ පිහිටියේ ය. සැවැත් නුවර හා වෙළෙඳාම අතින් මෙහි සම්බන්ධය විය.

සෝවීර දේශය

මෙය රාජපුටානාහි වාලුකා කාන්තාරයට දකුණින් (පුරාතන) අවන්තියට බටහිරින් වින්ධ්‍යා කඳු වැටියට උතුරින් පිහිටියේ ය. මෙහි අගනුවර රෝරුක හෙවත් රෝරුව පුරය යි. සෝවීර රට ද සැවැත් නුවරට වෙළෙඳාම අතින් සම්බන්ධ වී ය. බුද්‍ධ කාලයෙහි මෙහි තිස්ස නම් රජ රජය කැරැවූයේ ය. ඔහුට ඔහුගේ මිත්‍ර වූ බිම්සර රජ බුද්‍ධ චරිතය වස්ත්‍රයෙක සිතියම් කරවා, රන් පතෙකැ පටිච්චසමුප්පාදය ලියවා තෑගි පිණිස එවූයේ ය. එය බලා පහන් වූ තිස්ස රජ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පැවිදි වූයේ ය.

අපරාන්ත රට

මෙය දක්ෂිණා පථයට බටහිරින් සමුද්‍ර තීරයේ පිහිටියේ ය. භරුකච්ච, සුප්පාරක යනු මෙහි තොටවල්ය. මෙයට සුනාපරන්ත ය යි ද කියන ලදි.

බාහිය රට, අජිත රට, අල්ලකප්ප රට, වේඨදීප රට, ආළවි රට, කෝකාලික රට, පත්තුන්න රට, පානියත්ථ ජනපදය, බුලු ජනපදය යන මේවා දඹදිව සොළොස් මහ ජනපදවලින් කුමකට අයත් දැ යි කිසි පොතකින් නො දුටුමු. භද්දවතී රට චේතිය ජනපදයේ වී යැ යි අනුමානයෙන් සිතමු. එහි ප්‍රධාන පුරය භද්දවතී නුවර යැ යි පැනේ. දැන් මෙය භතල් නමි. අල්ලකප්පක වේඨදීපක යන දෙ රට එකිනෙකට යා බද ව පිහිටියා විය හැකි ය. බුදුරජාණන් වහන්සේ ගේ පහළ වීමට වර්ෂ 60 කින් පමණ පෙර මෙහි රජය කැරැවූ රජුන් දෙදෙන සිය රටවල් හැර පර්වත දෙකකට ගොස් තවුස් දම් රැක්ක බව දම්පියා අටුවායෙහි කියන ලදී. කොසඹෑ පුරයේ උදේනි රජ කුඩා කාලයේ දී වේඨදීපක තවුසා ළඟ වැඩුණේ ය. වේඨදීප රට දැන් බෙටියා නමි. එය නේපාලයට දකුණින් ගොරක්පුරයට නැගෙනහිරින් පිහිටියේ ය.

කෝකාලික රට

කෝකාලික තෙරුන් ගේ ජාතභූමිය යි.

පත්තුන්න රට

පට්ටවස්ත්‍ර ගැන ප්‍රසිද්‍ධ වූවෙකි.

බුලු ජනපදයේ උත්තරකා නම් නියම් ගමේ භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක.

නගරග්‍රාම :

පහත සඳහන් නගර ග්‍රාම කිනම් රටකට අයත් දැ යි අනිශ්චිත යි.

දීඝලම්බක පුරය

මේ නුවර සමීපයේ අරණ්‍ය කුටිකාවෙක භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක. එ සමයෙහි නගරවාසි බමුණු දරුවකු යක්ෂෝපද්‍රවයෙන් මුදනු සඳහා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ලවා සත් දිනක් දිවා රෑ දෙක්හි මැ පිරිත් බැණවූ සේක.

මුණ්ඩනිගමය:

මෙය වින්ධ්‍යා පර්වත අඩවියේ පිහිටියේ ය.

කේසපුත්ත පුරය :

කාලාමගෝත්‍රයෙහි වූවන් ගේ බලය පැවැති නුවරෙකි.

හස්තිග්‍රාමය (හත්ථිගාමය) :

මෙහි නාගවනාරාම නම් වෙහෙරක් වී ය. මෙය වජ්ජි රටට හෝ මල්ලරටට අයත් වියැ යුතු යි.

අට්ඨක නගරය :

මෙහි කුක්කුටාරාම නම් වෙහෙරක් වී ය.

ජාලිකා පුරය:

මෙය කිපිල්ලිකා නදී තීරයේ වී ය. මේ චාලිකා නමින් ද ව්‍යවහාර විය.

පිප්ඵලිවන පුරය :

මෝරියවංසික රජුන් ගේ නගරයෙකි.

වෙළුකන්ටකි පුර, මන්තාවතී පුර, මාතුලා පුර යන මොහු ද කිනම් රටකට අයත් දැ යි නො හැඟේ.

ගමන මාර්ග

දඹදිව ඉතා දීර්ග මාවත් කීපයෙක් සඳහන් වෙත්.

උතුරැ සිට නිරිත දිගට වූ මාර්ග : සැවැත් නුවර සිට පතිට්ඨාන නුවර තෙක් පිහිටියේ ය. ඉන් එහා තවත් දකුණු අතට එය පිහිටි නො පිහිටි බවෙක් අපේ පොතෙකින් නො පැනේ. මෙහි අතරැ වූ ප්‍රධාන නවාතැන් පළවල් නම් සාකේත, කෝසම්බි, වේදිසා, ගෝනද්‍ධ, උජ්ජේනි, මාහිස්සති යන නගරයෝ යි.

උතුරැ සිට ගිනිකොන (දකුණු - නැගෙනහිර) අතට වූ එක් මාර්ගයෙක් සැවැත් පුර සිට රජගහ නුවර තෙක් ද, ඉන් ගයාව තෙක් ද වීය. මෙහි නොයෙක් තැනැ නදීන් පසු කරැ යෑ යුතු ය. මෙහි අතර ප්‍රධාන නවාතැන් පළවල් නම් (සැවැත පටන්) සේතව්‍යා, කපිලවාස්තු, කුසිනාරා, පාවා, හස්ති‍ග්‍රාම, භාණ්ඩග්‍රාම, වේසාලි, පාටලීග්‍රාම, නාලන්දා, රාජගෘහ, ගයා යන මොහු යි.

බරණැස සිට තාමලිත්ති පටුන දක්වා ගයාව පසු කරැ යන තවත් මාර්ගයෙක් වී ය. මෙය ද උතුරැ සිට ගිනිකොණ දක්වා වූයේ ය. නැගෙනහිරැ පටන් බටහිරට දියෙන් යෑ යුතු විය. එ ගමන ගංගා නදිය දිගේ ඉහළට යාත්‍රා කොට සහජාත තොටුපළ ළඟදී යමුනා නදියට වැද බටහිර අතට කොසැඹෑ පුර තෙක් යෑ යුතු විය. කොසැඹෑ පුරැ සිට යමුනාව දිගේ පහළට (නැගෙනහිරට) යාත්‍රා කැරැ ගංගා නදියට වැදැ බටහිරට එය දිගේ ගොස් මුහුදට පැමිණ මූදු වෙරළ සමීපයෙන් යාත්‍රා කොට ස්වර්ණ භූමියට (බුරුමයේ දැන් ථාටෝන් නම් වූ පළාතට) වෙළෙඳුන් ගේ යාත්‍රා කිරීම ද වූ බව පෙනේ.

වේරංජාපුර සිට බරණැස දක්වා වූ දීර්ඝ මාර්ගයේ ප්‍රධාන ස්ථානයේ සෝරෙය්‍ය, සංකස්ස, කඤ්ඤකුජ්ජ, පයාගපතිට්ඨාන (මෙහිදී ගංගා නදියෙන් එගොඩ විය යුතුයි.), බරණැස් යන නගර ග්‍රාමයෝ යි. විදේහ රටින් ගන්ධාරයට ද, මගධයෙන් සෝවීර රටට ද මහා මාර්ග විය. ඒ මාර්ග දෙක්හි වාලුකා කාන්තාරයන් පසු කළ යුතු බව ද පෙනේ. එ වැලි බිමැ යන විට රාත්‍රියෙහි ම යෑ යුතු වේ. එ ගමනේ දී තාරකා ලකුණින් මඟ පෙන්වන නියාමක පුරුෂයෝ ද ආවශ්‍යක වූ හ..

භාරුකච්චය පටන් කොට ඉන්දියාවේ වෙරළ සමීපයෙන් යාත්‍රා කොට සුවර්ණ භූමියට යන තවත් සමුද්‍ර මාර්ගයෙක් වී ය. බබිලෝනියට ද දඹදිවින් ඇත්දත් ආදී අගනා දෑ නැව්වල පටවා ගෙන ගිය බව බෞද්‍ධ පොත්වලින් ද ඉතිහාසයෙන් ද පැනේ. බබිලෝනිය බෞද්‍ධ පොත්හි බාවෙරු රට යැ යි කියන ලදී.

උපතට පෙර

මහා සම්මත රජ

ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්‍ධාර්ථ ගෞතම බුද්‍ධ චරිතය

නමෝ බුද්ධාය

ලොවැ මිනිසුන් ඇති වූ මුල් යුගයෙහි ඔවුන් පාලනය කරන රජෙක් නොවී ය. මිනිස්සු දැහැමින් සෙමෙන් කල් යවන්නාහු තුමූ ම තමන් ගේ පාලකයෝ වූහ. ඔවුන් අතර ප්‍රාණවධාදි කිසි අපරාධයෙක් නො වී ය. ඔහු ජාති කුල ගෝත්‍ර ආදි වශයෙන් නො බෙදුණහ. සියල්ලෝ එක් ම පවුලෙහි සහෝදර පිරිසක්සේ සමගියෙන් වුසූහ.

මෙසේ බොහෝ කලක් ගෙවිණ. ටිකින් ටික නරක ගති ගුණ මිනිසුන් කෙරෙහි පහළ වන්නට පටන් ගත. කිසි කෙනෙක් අන් සතු දෑ සොරා ගත්හ. නින්දා ගර්හා කිරීම ද බොරු කීම ද ඇති විය. නොබෝ කලෙකින් අනුනට හිංසා පීඩා කිරීම ද පටන් ගැනිණ.

මෙසේ අපරාධ වැඩී ගෙන යන විට මහජනයා ගේ ආරක්ෂාව පිණිස පාලකයකු පත් කැරැ ගැන්ම අවශ්‍ය වි ය. මිනිස්සු එක්රැස් වැ මහා සභාවක් පැවැත්වූ හ. පවත්නා තත්ත්වය ගැන සාකච්ඡා කොට සමානච්ඡන්දයෙන් සුදුස්සකු පාලක ධූරයට පත් කරන්නට තීන්දු කැරැ ගත්හ. ඔවුන් අතුරෙහි වූ ආරෝහ පරිණාහ සම්පන්න, පෙනුමෙන් ශෝභන වූ එහෙත් තෙදවන් ශූරවීර පුරුෂයකු තෝරා ගෙන ඔහු තමන්ගේ පාලකයා කැරැ ගත්හ. හැම දෙනා ගේ සම්මතියෙන් පත් කැරැණු බැවින් හේ මහාසම්මත නම් විය. දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුයෙන් ජනරංජනය කරන බැවින් රාජ නම් ද විය. මේ ලොව ඇති වූ, පළමු මහරජු ය.

මෙකී මහාසම්මත රජුහු ඇවෑමෙන් ඔහු පුත් රෝජ නම් කුමර රජ විය. ඔහුගේ පරපුරෙහි පිළිවෙළින් වරරෝජ, කල්‍යාණ, වර කල්‍යාණ, උපෝසථ, මන්ධාතු, චර, උපචර, චේතිය, මූචල, මුචලින්ද, සගර, සාගර, භරථ, භගීරථ, රුචි, සුරුචි, ප්‍රතාප, මහාප්‍රතාප, ප්‍රණාද, මහා ප්‍රණාද, සුදර්ශන, මහාසුදර්ශන, නේරු, මහානේරු, අච්චිමන්තු යන රජුහු රජය කැරැවූහ. ඔවුන්ගෙන් සමහරු කුශාවතී නුවර ද සමහරු රාජගෘහ නුවර ද, සමහරු මිථිලා නුවර ද, රාජධානිකොට ගෙන ජනතාව පාලනය කළහ. අච්චිමන්තු රජු ගේ පරපුරෙහි සමහරු මිථිලා නුවර ද, බොහෝ දෙනෙක් බාරාණසී (බරණැස්) නුවර ද, සමහරු අයෝධ්‍යා ආදි කලින් කලැ නැංවුණ නගර ද රාජධානි කැරැගත්හ. ජනගහනය වැඩි වත් ම පොළොවේ නොයෙක් අතට විහිද පැතිරී ගිය ජනතාව සමග ම මේ රජ පරපුරේ පාලකයෝ ද වෙන වෙන පෙදෙස් පාලනය කරන රජුන් වශයෙන් බෙදී ගියහ.

දහස් ගණනක් රජුන් ඇතුළත් මේ මහාසම්මත වංශයෙහි වූ මහේශ්වර සේන නම් රජෙක් එක් කලෙක බරණැස් නුවර රජදහන කොට ගෙන දඹදිව එක් ප්‍රදේශයක් පාලනය කෙළේ ය. ඔහුගේ පුතුන් අතුරෙන් කර්ණික නැමැත්තා පිය රජු ඇවෑමෙන් පෝතලී (පෞදන්‍ය) නම් නුවරෙක වැස රට පාලනය කෙළේය. ඔහු ගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමාලු ගෝතම නම් කුමර රජ සැප අතහැර වනගතවැ කෘෂ්ණ නම් තවුසකු ඇසුරු කෙරෙමින් විසී ය. ඔහුට දෙදරු කෙනෙක් වූහ. හිරු උදා වන මෙහොතෙහි උපන් බැවින් ඔහු දෙදෙනා ම සූර්ය යන නමින් හැඳින් වුණහ. ඔවුන් උපන් පෙදෙස ඉක්ෂු (උක්) වනයෙකි. එහෙයින් ඔහු ඉක්ෂ්වාකු (ඔක්කාක) නම් ද වූහ. මේ කුමරුන් දෙදෙනාගෙන් දෙවැන්නා ඉක්ෂ්වාකු රාජ නමින් පෝතලී පුරයේම රජ වී ය. ඔහුගේ පරපුර ඉක්ෂ්වාකු (ඔක්කාක) වංශ සූර්යවංශ නමින් ද ගෝත්‍ර වශයෙන් (ගෝතම තවුසාගේ නමින්) ගෞතම නමින් ද හැඳින්විණ. මේ පරපුරෙහි ඉක්ෂ්වාකු නමින් ප්‍රසිද්‍ධ වූ රජුහු තුන්දෙනෙක් වූහ. එයින් තුන්වැන්නා ඉක්ෂ්වාකු විරූඪක (ඔක්කාක විරූළ්හක) නම් විය. ඔහුට පළමු බිසෝවරුන්ගෙන් උල්කාමුඛ, කරකර්ණ (කරකණ්ඩු), හස්තිනික, නුපුර (නිපුර) නම් පුතු සතර දෙනෙක් ද දියැණියෝ පස් දෙනෙක් ද වූහ. [15]

විරූඪක ඉක්ෂ්වාකු රජ පළමු බිසෝවරුන් මළ පසු තවත් ආවාහයක් කැරගත්තේ ය. ඒ අළුත් බිසොව ගෙන් උපන් කුමරුට ජන්තු යන නම තැබී ය. කුමරු දැක, රජ පැහැද බිසොවට තමා රිසි වරයක් ඉල්ලා ගත මැනැවැ යි කී ය. “පසු කලෙකදී පිළිවනැ යි” ඕ එය කල් දැමුවා ය. කලකට පසු ජන්තු කුමරු තරුණ වයසට ළං වූ සමයෙහි ඕ රජු කරා ගොස් වරය ඉල්ලුවා ය. කුමක් වුවමනා දැ? යි විචාල රජුට තම පුත් ජන්තු කුමරු රජයට හිමි කරන්නැ යි ඕ ඉල්ලුවා ය. කැමති වරයක් දෙමැ යි කලදී ම පොරොන්දු වූ බැවින් රජ බිසොවගේ ඉල්ලීමට විරුද්ධ විය නො හැකි විය. එහෙත් මැය නිසා තමාගේ අනිත් කුමරුවන් සතර දෙනාට විපත් වෙතැ යි සැක කොට, ඔවුන් රහසින් කැඳවා “ඈත පෙදෙසකට ගොස් වාසය කරන්නැ”යි උපදෙස් දුන්නේ ය.

කුමරුවෝ සතර දෙන රට හැරයන්නට සැරැසුණා හ. ඔවුන් ගේ බිහිනියෝ පස් දෙනා ද[16] “සොහොයුරන් යන තැනකට ම අපිත් යම් හ’ යි කියා ඔවුන් කැටුව ම නික්මුණාහ. තමන්ගේ පාලක රජුහු ගේ දූ පුතුන් අන් දෙසකට යතැයි ඇසූ නුවර වැසි බොහෝ ජනයෝ අවශ්‍ය වූ උපකරණ ද රැගෙන කුමර කුමරියන් අනුව ගමන් ඇරඹූහ. සිය නුවරින් නික්මුණු කුමරුවෝ අන් කෙනකු පාලනය කරන කිසි ද පෙදෙසෙක රැඳෙනු නො කැමැත්තෝ, හිමාලය වන ප්‍රදේශය අතට ම ගියාහ. එහි වාසයට සුදුසු පෙදෙසක් සොයා යන්නාහු කපිල නම් සෘෂිහු ගේ අසපුවට පැමිණියහ. සෘෂි තෙම ඔවුන් ආ කරුණ විචාරා, තමා වසන අසපු පෙදෙස “ජයභූමියකැ”යි ද එහි නගරයක් නැංවුවහොත් ප්‍රබල පාලකයන් වසන තැනක් වෙතැ”යි ද කියා එ පෙදෙස කුමරුවනට පවරා දී තෙමේ එයට නොදුරු අන් බිම් පෙදෙසෙක අසපුවක් කොට ගෙන විසී ය. කුමරුවෝ එහි තමන් කැටුව ආ ජනයා හා එක් වැ මාර්ග, වීථි, මන්දිර ආදියෙන් පරිපූර්ණ නගරයක් නැංවූහ. කපිල සෘෂිහට වාසස්ථාන වූ තැනැ නැංවූ බැවින් එයට කපිලවාස්තු යැ යි නම තැබූහ. වැඩිමහලු උල්කාමුඛ කුමර සෙස්සන් විසින් පාලක රාජයා වශයෙන් පත් කැරැ ගන්නා ලද්දේ ය. සෙසු කුමරුවෝ යුවරාජ සෙන්පති ආදී වශයෙන් සුදුසු තනතුරුවලට පත් වූහ.

උල්කාමුඛ ආදි ඒ සහෝදර රාජපුත්‍රයනට සුදුසු කුමරියන් ආවාහ කොට පාවාගත යුතු අවස්ථාව පැමිණියේ ය. කිසිම සමීප පෙදෙසක ඔවුන්ගේ ගෝත්‍රයට සරිලන ගෝත්‍රයකට අයත් කුමරියෝ නො වූහ. ඔහු “පහත් තැනෙකින් කැරැගත් ආවාහයෙන් වංශය කිලිටි වෙතැයි” ද බිය වූහ. ගොස් කපිල සෘෂීහු ගෙන් උපදෙස් විචාළාහ. තමන් කැටි වැ අවුත් සිටින වෛමාතෘක[17] බිහිනියන් පාවා ගන්නැ යි සෘෂි තෙම කීය. ඔහු ද සෘෂිහුගේ උපදෙස් පරිදි තමනට වැඩිමහලු කුමරිය මවු තන්හි තබා සත්කාර කළහ. වයසින් බාල කුමරියන් භාර්යා කොට ගත්හ.

මෙසේ කල් යවන සමයෙහි ඒ වැඩිමහලු කුමරියට දරුණු කුෂ්ට රෝගයෙක් ඇති විය. එය බෝවෙන ලෙඩක් වූ බැවින් රජකුමරුවෝ සමීප වන පෙදෙසෙහි බිම් ගෙයක් සාරා වාසයට යෝග්‍ය වන ලෙසට අවශ්‍ය සියල්ල සපයා කුමරිය ගෙන ගොස් එහි රඳවා ආහාර පානාදිය යවමින් සාත්තු කළහ.

එක් රැයෙක එය අසල ගැවසෙන ව්‍යාඝ්‍රයෙක් මිනිස් ගඳ ඉව වැටී ඒ ගුහාවේ දොර ළඟට ගොස් පහුරු ගාමින් පස් ඇවිස්සී ය. කුමරිය බිය ගෙන මහ හඬින් කෑ ගැසුවා ය. ව්‍යාඝ්‍රයා එයින් බිය පත් වැ පලා ගියේ ය.

මෙයට සමීප කාලයෙහි බරණැස රජය කැරැවූ රාම නම් රජ තමාට වැළැඳුණු කුෂ්ට රෝගය සුව කැරැගත නො හැකි වැ පුතුට රාජ්‍යය පවරා තෙමේ හිමවත් පෙදෙසට අවුත් ඇවිදිනුයේ ලොකු බෙනයක් ඇති කෝල (ඩෙබර) ගසක් දැක එහි බෙනය ශුද්ධ කොට දොර අගුළු යොදා කාමරයක් සේ සකස් කොට එහි වැස පලවැල කොළමුල් පොතු ආදිය වළඳමින් කල් යවනුයේ රෝගය දුරු වූයෙන් සුව පත් විය. ඔහු වසන තැනට කුමරිය කෑ ගැසූ හඬ ඇසිණ. පසු දින උදෑසනක් සේ ම හඬ ආ පැත්තට ගොස් විපරම් කරනුයේ ගුහා දොර දැක එතැනට ගොස් මෙහි කවුරු දැ යි ඇසී ය. “මම රජ දුවකිමි” යි ඕ කීවා ය. “මම රාම නම් බරණැස් රජ වෙමි” යි හෙතෙම කී යේ ය. “ඔබ රාජවංශික වෙත් නම් ක්ෂත්‍රිය මායාව දත්තකු විය යුතු යැ” යි ඕ කීවාය. එ බසට රාම රජ ක්ෂත්‍රිය මායා පැවැසී ය. කුමරිය සැක හැර ඔහු ගේ බසට අවනත වූවා ය. හේ ඉනිමඟක් තනා වළට බස්වා එහි තුළ වූ ගුහාවෙන් උඩට එන්නැයි කැඳවී යැ. ඕ ද ආවා ය. එයට පසු කතා බස් කොට ඇය තමා වසන තැනට කැඳවා ගෙන ගොස් තමා වැළඳු කොළමුල් පොතු වර්ග වළඳන්නට දුන. එයින් කුමරිය සුවපත් වැ රූ සිරින් බබලන්නී වූ ය. රාම රජ ඇය භාර්යා කොට ගෙන විසී ය. මෙයතරැ එ රජු ගේ පුත් තම පිය රජු ගැන සොයා බලන්නට එවූ දූතයන්ගෙන් රජු සුවපත් වැ සිටිනු අසා මහ පිරිවර ඇති වැ ඒ වන පෙදෙසට අවුත් ඔහු දැක “බරණැසට ගොස් රජය බාර ගන්නැ”යි අයැදී ය. රජ එය පිළිකෙවු කොට “නුඹ ම එහි රජය කරවන්න, හැකි නම් මේ ගස උගුල්ලවා මෙහි නිවසක් කරවා දෙන්නැ”යි කී ය. එවිට හෝ තමා කැටුව ආ පිරිස ලවා ගස උගුල්ලවා එහි මාලිගාවක් තනවා දී පිය රජු ගේ මෙහෙවරට තමාගේ පිරිසෙන් කොටසක් නවත්වා බරණැසට ම ගියේ ය. වෙනෙහි රැඳුණේ ක්‍රමයෙන් ඒ පෙදෙස ගෘහ මන්දිර වතු පිටි කෙත් ආදිය තනමින් දියුණු කොට මහ නුවරක් බවට පෙරැළූහ. කෝල වෘක්ෂය වූ තන්හි කැරැවුණ බැවින් එය කෝලිය නගර යැ යි ද ව්‍යාඝ්‍රයා ගැවසුණ පෙදෙසැ වූ බැවින් ව්‍යාඝ්‍රපද්‍ය යැ යි ද නම් දෙකෙකින් ප්‍රසිද්‍ධ විය. ඒ නගරය ද කල් යෑමෙන් විශාල වී ඒ පෙදෙසෙහි තව තවත් ගම් නියම්ගම් ආදිය ඇති වූයෙන් මුළු පෙදෙස කෝලිය රට නම් වීය. එහි රාම රජුගේ පරපුර කෝලිය වංශ නම් විය.

විරූඪක රජු තම දරුවන් ගේ තොරතුරු දැනගෙන ඊමට විටින් විට රාජ දූතයන් කපිලවාස්තු පුරයට එවන්නේ විය. වරෙක එහි විත් රජු කරා පැමිණි රාජපුරුෂයෝ “තමන් වංශය කිලිටි වෙතැ” යි බියෙන් රාජපුත්‍රයෝ සිය නැගෙණිවරුන් පාවා ගෙන වෙසෙතැ යි සැළ කළහ. ඔක්කාක රජ එය අසා ප්‍රීතියෙන් ඉපිල ගියේ “මගේ දරුවෝ සිය පරපුර රක්නට ශක්‍යයෝ යැ. ඔහු ශක්‍යයෝ (හැක්කෝ) යැ”යි උදන් ඇනීය. රජුහු කී ‘ශක්‍ය’ යන්න ම කපිල වාස්තුවේ වුසූ ඔක්කාක වංශයේ රජදරුවන් හඳුන්වන නාමය විය.

කපිල වාස්තුවේ පිහිටි පෙදෙසෙහි ශාක (තේක්ක?) ගස් බහුල බැවින් ඒ පෙදෙස ශාක්‍ය නම් වී යැයි ද කියති.

ස්වල්ප කාලයෙකින් කපිලවස්තු වාසි ශාක්‍ය කුමර කුමරියෝ ද කෝලිය වංශික කුමර කුමරියෝ ද ආවාහ විවාහ මගින් ඥාති සම්බන්ධයෙන් බැඳුණාහ. කපිලවස්තු පෙදෙස ද ක්‍රමයෙන් විශාල විය. එක් පසෙකින් අචිරවතී නදිය තෙක් ම රට වැඩී විහිදී ගියේ ය. ශාක්‍ය කෝලිය දෙරට අතරින් ගලා ගිය රොහිණී නදියෙන් දෙරටේ ම කෙත් වතු සශ්‍රීක විය.

පසු කලෙක ඔක්කාක වංශික රජුහු (ජන්තු රජුන්ගේ පරම්පරාව) කෝශල දේශයෙහි ශ්‍රාවස්ති නගරය රාජධානි කොට ගත්හ. ශ්‍රාවස්තියෙහි රජුන් ඔක්කාක පරපුරට අයත් වූවද අන්‍යගෝත්‍රිකයන් හා ආවාහ විවාහ මගින් මිශ්‍ර ව සිටි බැවින් ශාක්‍යයෝ ඔවුන් පහත් කොට සැලකූහ.

ශාක්‍ය වංශය

මහාසම්මත සූර්ය වංශයෙන් ප්‍රභව වූ ශාක්‍ය රාජ පරම්පරාව අවිච්ඡින්න වැ දිගට ම පැවැත්තේ ය. කෝලිය රටේ කෝලිය වංශය ද එසේ ම විය. පසු කලෙක ශාක්‍යවංශික ජයසේන නම් ප්‍රබල රජෙක් ශාක්‍ය දේශයේ පාලක වැ කපිලවාස්තු පුරයේ විසී ය. එ සමයෙහි කෝලිය රටේ දෙව්දහ නුවර දේව දහ ශාක්‍ය නම් රජෙක් විය. ජයසේන රජුට සිංහහනු නම් පුතෙක් ද යශෝධරා (ලුම්බිනී) නම් දුවක් දැ යි දෙ දරු කෙනෙක් වූහ.

ජයසේන රජහු ඇවෑමෙන් සිංහහනු කුමර ශාක්‍යදේශයේ පාලකයා විය. හේ දේවදහ ශාක්‍යයා ගේ දියැණියන් වූ කාංචනා කුමරිය අග මෙහෙසිය කොට පාවා ගත්තේ ය. කෝලිය රටේ ද දේවදහශාක්‍යයාගේ ඇවෑමෙන් ඔහු පුත් අංජන (හෙවත් මහාසුප්‍රබුද්‍ධ) කුමර රජ විය. හේ සිංහහනු රජු ගේ නැඟැණියන් වූ යශෝධරාව (හෙවත් ලුම්බිනී කුමරිය) අග මෙහෙසුන් කොට ගත්තේ ය.

සිංහහනු නම් ශාක්‍ය රජුට ශුද්ධෝදන, ශුක්ලෝදන, ද්‍රෝණෝදන, අමෘතෝදන, (අමිතෝදන) යැ යි පුත්තු සතර දෙනෙක් ද. ශුද්ධා, ශුක්ලා, ද්‍රෝණා. අමෘතා (අමිතා) යැ යි දියැණියෝ සතර දෙනෙක් ද වූහ.

ලුම්බිනී උයන

දෙව්දහ නුවරැවැසි එක් සිටුවරයකු ගේ ශෝභන වූ මහ උයනෙක් විය. රජ පවුලේ අය ද නොයෙක් විට ගොස් උයන බලා ඇවිදිති. දවසෙක මහාසුප්‍රබුද්‍ධ රජ සිය බිසොව කැටුව ඒ උයන බලන්නට ගියේ ය. උයන් සිරි දුටු බිසොවට ඒ උයන අත්පත් කැරැ ගන්නට ආශාවක් ඇති විය. ඕ රජුට ඒ බව කීවා ය. රජ තෙම සිටුවරයා කැඳවා ඔහු ගේ උයන මිළයට ගන්නට කැමැත්ත පැවැසී ය. සිටුවරයා එය තමා කිසිසේත් නො විකුණන බව කීය. එ විට රජ දෙව්දහ නුවරට සමීප මහ වන පෙදෙසක් හෙළි පෙහෙළි කරවා යට කී සිටුහුගේ උයනටත් වඩා විශාල ද ශෝභන ද වූ උයනක් කරවා බිසොව නමින් “ලුම්බිනී උයනැ” යි නම් කොට ඇයට තෑගි කළේය.

අංජන (මහාසුප්‍රබුද්‍ධ) රජුට රුසිරින් අගපත් ලුම්බිනී බිසොවගෙන් ඇය සේ ම දැකුම්කලු ශ්‍රී සෞභාග්‍යප්‍රාප්ත දූහු දෙදෙනෙක් වූහ. වැඩිමාලු දියණියන් උපන් ටික දිනකින් ඇයට නම් තබනුයේ දුටුවන් මෝහනයට පත් කරවන රූපශ්‍රීයෙන් ශෝභිත බැවින් මායා යැ යි නම තැබී ය. හවුරුදු දෙක තුනකට පසු එවැනි මැ රූසිරින් හෙබි තවත් දුවක් ලැබිණ. එවිට පළමු දුවට මහාමායා ගෞතමී යි නම් කොට දෙවැනි දුවට මායාගෞතමී' යි නම් කළේය. මේ දෙදෙනා උපන් අළුත පිය රජු ජ්‍යොතිර්විද්‍යාඥ නිමිත්ත පාඨක බමුණන් ගෙන්වා ඒ කුමරියන් උපන් දින වේලාවල් ද ගත ලකුණු ද අනුව පලාපල කියන් නැ යි අයැදී යැ. ඔහු මැනැවින් ඒ සියල්ල පිරික්සා බලා මේ කුමරියන් දෙදෙනාම සක්විති රජ වන්නට තරම් පින් ඇති දරුවනට මවුන් වෙති යි පැවසූහ. බමුණන් ගේ ශාස්ත්‍ර අනුව දෙවෙනි දුව (මායා ගෞතමී) බොහෝ දරු කැලකට මවක වෙතැ යි කී බස අසා පිය රජ ඇගේ පළමු නම වෙනස් කොට "ප්‍රජාවතී ගෞතමී"යැ යි දෙවෙනි නමක් තැබී ය.[18] පසුව ඒ දෙවෙනි නමින් ම ඕ ප්‍රසිද්‍ධ වූවා ය.

ශුද්ධෝදන කුමරු

සිංහහනු රජුහු ගේ දරුවන් අතුරෙන් වැඩිමහලූ ශුද්ධෝදන (සුදොවුන්) කුමරු රූප සම්පත්තියෙන් සේ ම ශුර වීර බැවින් අන් හැමට වඩා විශිෂ්ට විය. යුද්‍ධ ශිල්පයෙහි ද ප්‍රවීණ විය. වරෙක ශාක්‍ය රටේ පසල් දනව්වෙක මහ කැරැල්ලෙක් පැන නැංගේ ය. සිංහහනු රජු එය සංසිඳුවනු පිණිස තම දරුවන් යැවීමට අදහස් කෙළේ ය. ශුද්ධෝදන කුමරු හැර සෙස්සෝ පසු බෑහ. ශුධෝදන කුමරු බල සෙනඟක් ගෙන පසල් දනව්වට ගොස් කැරළිකරුවන්ගේ බලය බිඳ ඔවුන් තමන් යටතට ගෙන දනව්ව සංසිඳුවා පෙරලා කපිලවාස්තු පුරයට අවුත් පියරජහු ඉදිරියේ පෙනී සිටියේ ය. රජ ඔහු කළ දෑ අසා බොහෝ පැහැද තමා කැමැති වරයක් ඉල්ලන්නැ”යි කී ය. සුදොවුන් කුමරු මහාමායා ප්‍රජාවතී යන සිය මයිලනුවන්ගේ දූන් දෙදෙනා ගැන බමුණන් කී අනාවැකි අසා තිබුණන් කවරදා හෝ මේ දෙදෙනා ම පාවා ගන්නෙමි” යි ඉටා ගෙන සිටියේය. “වරයක් ඉල්ලන්න”යි පියරජු කී බස අසා තමා ඉටූ දැය සිදුකැරැ ගන්නට කාලය පැමිණියේ වනැ යි සිතා, සිය මයිලණුවන්ගේ දූන් දෙදෙනා ම පාවාගන්නට අවසර ඉල්ලී ය.

විශේෂයෙන් සැළකියැ යුතු කරුණක් නැති වැ, එක් භාර්යාවකට වැඩියෙන් බිරියන් තබා ගැන්ම ශාක්‍යවංශික රජුන් ගේ නීතියෙන් තහනම් වූ දැයෙක. එබැවින් සිංහහනු රජ රාජ සභාව කැඳවා පුතු ගේ ඉල්ලීම එයට ඉදිරිපත් කෙළේ ය. රාජසභාව සුදොවුන් කුමරුගේ අදහස විචාරා එයට කී කරුණු විමසා බලා කුමරියන් දෙදෙනා ම පාවා ගන්නට අවසර දුන. සිංහහනු රජ අංජන රජුට පණිවුඩ යවා කැමැත්ත ගෙන ඔහු ගේ දූ කුමරියන් දෙදෙනා ම සුදොවුන් කුමරුට පාවා දී යුවරජ තනතුරට ද පත් කෙළේ ය.

සිංහහනු රජුහුගේ ඇවෑමෙන් ශුක්ලෝදනාදී සොහොයුරු පිරිසත් ඇමැති මඬුල්ලත් එක් වැ ශුද්ධෝදන කුමරුට මහරජ තනතුර පැවරූහ. ශුද්ධෝදන රජතුමා ද සක්විති රජ කමට සුදුසු පුතකු පතා දෙවියන් යැදුම් ව්‍රත සමදාන ආදිය කෙරෙමින් දැහැමෙන් සෙමෙන් රට පාලනය කෙළේ ය.

තුන් කෝලාහල

කල්ප කෝලාහලය. බුද්‍ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහල යැයි ලොවැ කෝලාහල (මහා උද්ඝෝෂණ) තුනෙකි. කල්ප විනාශයට හවුරුදු සිය දහසක් තිබියැදී කිසි කාමාවචර දෙවි කෙනෙක් මිනිස් වෙස් ගෙන විසුළ කෙහෙ ඇති වැ රත්පැහැ වස්ත්‍ර හැඳ පෙරවැ අතින් කඳුළු පිසිමින් හැඬූ මුහුණින් “භවත්නි, මෙයින් හවුරුදු සිය දහසක් ගිය තැන ලොව වැනැසෙයි. බඹලොවැ තෙක් ම ලෝකය වැනැසී යන්නේ ය. එබැවින් මෛත්‍රී වඩවු කරුණාව වඩවු, මුදිතාව වඩවු, උපේක්ෂාව වඩවු, මා පියනට උවටන් කරවු. පවුලේ වැඩිහිටියනට ගරු බුහුමන් කරවු, පස් පවින් දස අකුසලින් වළකිවු” යන ආදීන් අවවාද කරන්නාහු ලොව පුරා හැවිදිති. මේ කල්ප කෝලාහල නමි.

ලොවුතුරා බුදු කෙනෙකු ලොව පහළ වන්නට හවුරුදු දහසක් තිබියැදී ලෝකපාලක දෙවිවරු මිනිස් වෙස් ගෙන මිනිස් ලොව පුරා හැවිදින්නාහු “භවත්නි, මෙයින් හවුරුදු දහසක් ගිය තැන සර්වඥ බුදු කෙනෙක් පහළ වන්නාහ. උන් වහන්සේ දක්නා කැමැත්තෝ අකුසලින් වැළකී කුසල් දහම් පුරත් වා” යි උද්ඝෝෂණ කෙරෙති. මේ බුද්‍ධ කෝලාහල නම් වෙයි.

චක්‍රවර්ති රජහු පහළ වන්නට හවුරුදු සියයක් තිබිය දී කාමාවචර දේවතා කෙනෙක් මිනිස් වෙස් ගෙන ලොව පුරා හැවිදින්නාහු “භවත්නි, තව හවුරුදු සියයක් ගිය තැන සක්විති රජෙක් ලොවැ පහළ වන්නේ ය. මුළු පොළොව එක ම රජයකට යටත් කොට, සියලු වාද භේද නැති කොට. මිනිස්නට ද සිවුපා පක්ෂි ආදී තිරිසන් සත් කැලට ද හැම සැටියෙන් සුව පහසු සලස්වා, සියලු දෙනාට සැනැසුම් ඇති කොට, දැහැමෙන් සෙමෙන් රජය කරවන්නේ ය. ඔබ දක්නට කැමැත්තෝ අකුසලින් වැළැක කුසල් කෙරෙත්වා” යි උද්ඝෝෂණය කෙරෙති. මේ චක්‍රවර්ති කෝලාහල නම් වෙයි.

දේවායාචනය

අප මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර අත් බැවින් සැව තුෂිත භවනයෙහි ඉපිදැ සන්තුෂිත (හෙවත් ශ්වේතකේතු) නමින් ප්‍රකට වැ වසන සේක. මේ අතරැ උන්වහන්සේට මිනිස් ලොවැ උපදනට හවුරුදු දහසක් තිබියැ දී, උඩැ කී පරිදි බුද්‍ධ කෝලාහල රාවය දෙව් මිනිස් බඹ යන තුන් ලොව්හි පැතිරිණ. එයින් බොහෝ දෙව් බඹුහු “ලොවුතුරා බුදු වන මහතාණෝ කොහි දැ?” යි සොයා බැලීමෙහි උත්සුක වූහ. ඔහු තුෂිත දිව්‍යලෝකයෙහි වැඩවසන මහබෝසතාණන් දැන හැඳින ගත්හ. යට කියන ලද හවුරුදු දහස පිරෙන්නට ළං වැ තිබිය දී ඔහු තුසීපුරැ බෝසතාණන්වෙත රැස්ව වැඳ ගරුබුහුමන් දක්වා, “නිදුකාණනි, දැන් ඔබට බුදුවනු පිණිස මිනිස් මවු කුසයෙක උපදනට කාලය පැමිණියේ යැ” යි සැළ කළාහ.

මහ බෝසතාණන් වහන්සේ ඔවුනට එක් වරම ප්‍රතිඥාවක් නොදී නිහඬ වැ විමසන්නාහු. “කාල, දේශ, ද්වීප, කුල, මාතෘ” යනු කරුණු පස සම්පූර්ණ වැ ඇත් දැ”යි දිවැස යොමා බැලූහ.

හවුරුදු ලක්ෂයට වඩා පරමායුෂ ඇති සමයෙහි මිනිස්නට ආයු දික් බැවින් ලෙඩ රෝග නැති බැවින්, දුබික් ආදී දුක් නැති බැවින්. අනිත්‍යතාව දුඃඛතාව අනාත්මතාව පිළිගැන්වීම අසීරු වෙයි. පරමායුෂ හවුරුදු සියයට අඩු වැ ගිය සමයෙහි රාග ද්වේෂ ආදි කෙලෙස් බහුල වන බැවින් අවවාදයට නො නැමෙති. ඔවුනට කරන අවවාද දියෙහි ඇඳි ඉරි සෙයින් වහා මැකීයෙයි. එ බැවින් පරමායුෂ හවුරුදු ලක්ෂයටත් සියයටත් අතර කාලය ම බුදුවරුන් පහළ වන කාල සීමා ව යැ. මෙය විමසා බලන බෝසතාණන් වහන්සේ “දැන් මිනිසුන්ගේ පරමායුෂ සියය ය. එබැවින් මිනිස් ලොවැ උපදනට සුදුසු කාලයැ”යි දුටුහ.

ඊළඟට කවර මහද්වීයක ඉපැදියැ යුතු දැ?යි කවර පෙදෙසක ඉපැදි යැ යුතු දැ?යි බලන සේක්, දඹදිව් හි ගුණවතුන් පිරි සරුසාර වූ මධ්‍ය දේශය උපදනට යෝග්‍ය ම රට යැයි දුටුහ.

රටේ කවුරුනුත් “උසස් යැ”යි පිළිගත් කුලයෙකැ (-පවුලෙකැ) ඉපැද එහි සියලු යස ඉසුරු හැරදමා චාම් දිවි පෙවෙතට බැස ජාතිභේදාදියට විරුද්ධ ව ද කම් සුවෙහි ගැලීමට විරුද්ධ වැ ද කරන දේශනාව හැම දෙනාගේ සිත් හි තදින් කා වැදෙයි. එවැන්නහුගේ චාම් ජීවිතය උසස් මැදුම් පහත් යන හැම තරාතිරමේ ම අයට මහත් ම ආදර්ශය වෙයි. එසේ කුලයේ සේ ම උසස් වූ පිරිසිදු චරිතයක් ඇති ගුණවත් පියකු ගේ දරුවකු වීම ද ලෝ වැඩ කරන්නට ඉදිරිපත් වන්නහුට අවශ්‍ය දැයෙකි. එබැවින් මේ දෙ කරුණ ම විමසා බලනසේක්, එදා දඹදිව හැම දෙනා විසින් උසස් මැ යැ යි ගෞරවයෙන් සලකන ලද ශාක්‍ය වංශය ද දඹදිව අන් රටවල රජුනට වඩා සැප සම්පතින් ආඪ්‍ය වූ ශාක්‍ය වංශිකයන්ගේ පාලක ශුද්ධෝදන මහ රජු ද දුටු සේක. ඊළඟට මව වීමට සුදුසු තැනැත්තියක් ඇත් දැ?යි විමසනුවෝ මුළු ලෝවැස්සාට ම මවක බඳු කරුණා ගුණ සම්පන්න, සිල්වත්, පිරිසිදු පැවැතුම් ඇති මහාමායා ගෞතමී දේවීන් දුටුහ.

බෝසතාණන් වහන්සේ මෙසේ කාල දේශාදි අවශ්‍ය කරුණු පහ ම සම්පූර්ණ වැ තිබෙනු දැක, “කල් නොයාදී ම මිනිස් ලොවැ උපදිමි” යි වදාරා දෙව් බඹ පිරිස පිටත් කළ ස්ක. ඉක්බිති මවු වන මහාමායා ගෞතමීන්ගේ ආයුෂ කාල සීමාව විමසා බලා, ඇයට ආයුෂය තව දසමසකුත් සත් දිනක් ඉතිරි වැ තිබියැ දී දෙව්ලොවින් ච්‍යුත වන්නට ඉටා ගත් සේක. මෙසේ නියම කැරැගත් අවස්ථාව පැමිණි සෙමෙහි පිරිවර දෙවියන් කැටුවැ තුසී පුරැ වූ නන්දන වනයට[19] වැඩියහ. එහි පිරිවර දෙවියන් විසින්, “නිදුකාණන් වහන්ස, මෙයින් සුගතියට - මිනිස් ලොවට වඩින්නැ, බුදු වැ ලොකාර්ථචර්යාවෙහි යෙදෙන්නැ”යි කියනු ලබන ආශිර්වාදාත්මක ප්‍රිය කථාව අසන සේක් ම “දැන් මෙයින් ච්‍යුත වෙමි” යි අධිෂ්ඨාන කළ සේක.

ඇසළ උළෙල

දඹදිවැ හැම පෙදෙසෙක ම හවුරුද්දකට වරක් ඇසළ මසැ පැවැත්වෙන මහෝත්සවයෙකි. ඉහත කී පරිදි බෝසතාණන් දෙව්ලොවින් ච්‍යුතවන්නට සතියක් තිබියැ දී ද මේ උළෙල ඇරැඹිණ.

මේ උළෙල පැවැත්වෙන සමයෙහි හැම දෙනා ම පහන්දොර නැඟීසිට ඉස් සෝදා නා මනා ලෙස හැඳ පැළඳ සැරැසී උත්සවයෙහි යෙදෙති. ශුද්ධෝදන මහරජාණෝ ද ඉස් සෝදා නා මිහිරි රජ බොජුන් වළඳා සිහසුන් අරා ඇමැති මඬුල්ල පිරිවර කොට ගෙන සිරි සැපත් විඳිති. රජ පවුලේ හැම දෙනා ද නොයෙක් ලෙසින් කෙළිදෙළෙන් කල් යවති. රට වැසියෝ මුළු රට ම එක් මැ මඟුල් ගෙයක සිරි ගන්වති. මෙසේ දින සයෙක් ගත විය. පළමු සදිනෙහි නකත්කෙළි සුවින් කල් ගෙවූ මහාමායා ගෞතමී තොමෝ2 සත්වන දා පහන්දොරින් මැ නැඟී සිට ඉස් සෝදා නා වෙන දා සේම රජ ගෙදරට රැස් වැ සිටි දුගී මගී යාචකාදීනට ආහාරපාන වස්ත්‍රාදියෙන් සංග්‍රහ කොට යැවූවා ය. ඉක්බිති තොමෝ සිය නැඟෙණියන් වූ ප්‍රජාවතී ගෞතමිය ද රජගෙහි වෙසෙන සෙසු කාන්තාවන් ද සමග බොජුන් වළඳා එයට පසු සහ පිරිවරින් රජුගේ උයනෙහි වෙසෙන අසිත දේවල සෘෂීන් වෙත එළැඹියා ය. වැඳපුදා ඔබ වෙතින් පෙහෙවස් සමාදන් වූවා ය. එයින් පසු සිය පහයට අවුත් ධර්මසංවාදයෙන් ද මෛත්‍රීභාවනාදියෙන් ද මුළු දහවල ගෙව්වා ය. රෑ නිදන කාලය පැමිණියෙන් සිරියහනැ සැතැපී තමා වැඩු ගුණ දහම් මෙනෙහි කෙරෙමින් මැ නින්දට බටුවා ය. මෙසේ නිදාගත් දේවී තොමෝ පශ්චිම යාමයෙහි පුදුම සිහිනයක් දුටුවා ය.

මහාමායා දේවීන්ගේ සීනය

“සතර වරම් දෙව් රජුහු අවුත් බිසොව, හොත් යහන දේවින් ගේ පිටින් ම ඔසොවා ගෙන ගොස් හිමාලය පර්වතයේ සිරියල් ගල් තලාවෙක මහ සල් රුකක් මුල තබා පසකට වී සිටියාහ. එවිට ම ඔවුන් ගේ දේවීහු එහි අවුත් මහාමායා දේවීන් අනෝතත්ත විලට කැඳවාගෙන ගොස් නාවා දිව සළු හඳවා දිව සුවඳ විලෙවුන් ගල්වා දිව මල් පලඳවා සමීපයේ රිදී පර්වතයෙක වූ රන් පහයකට ගෙන ගියා හ. එහි බටහිර දෙසට සිරස ලා සැතපෙන ලෙසට යහනක් පණවා ඇය එහි සැතැපවූහ. මේ අතර දැකුම්කලු සුරතල් සුදු ඇත් පැටියෙක් සමීපයේ වූ රන් පව්වෙහි හැවිද එයින් බැස රිදී පව්වට නැඟ හැවිදිනුයේ උතුරු පැත්තෙන් අවුත් සොඬින් සුදු පියුමක් ගෙන දේවීන් සැතපෙන රන් විමනට වැදුණේ ය. එයින් පසු ඇය සැතැපෙන යහන වටා තුන් වරක් හැවිද ඇගේ දකුණැලයට ළං වීය. ඉක්බිති ඇය කුසට පිවිසියාක් මෙන් විය.3

මෙ ස්වප්නයෙහි ඇත් පැටියා ඇය කුස පිවිසියා සේ දැනුණේ මහ බෝසතාණන් තුසී දෙලොවින් සැව දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි ය.4

පසු දා උදාසන දේවී තොමෝ රජු කරා ගොස් තමා දුටු සීනය පැවසුවා ය. රජ තෙම වේදවේදාංගයන්හි සමත් බමුණු පඬිවරුන් සූ සැටක් කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට, ඉක්බිති බිසොව දුටු සීනය දන්වා “එය කුමක් නිසා පෙනුණු එකක් දැ?” යි විචාළේ ය. ඔහු එය ගැන සාකච්ඡාකොට කියන්නාහු. “මහරජාණනි, ඔබ ගේ දේවිය කුසැ දරුවෙක් පිළිසිඳගෙන ඇත. හේ පුතෙකි. හේ සක්විති රජක්හු වන්නට හෝ ලොවුතුරා බුදු වන්නට හැකි මහ පිනැත්තෙකි”යි පැවසූහ. මව කුසැ පිළිසිඳගත් මහ බෝසතාණෝ සුවසේ වැඩුණාහ. මෑණියෝ කිසිදු රෝගාදී පීඩාවකින් නොපෙළී සුව සේ කල් යැව්වාය.” 5

ලුම්බිනි ගමන

දරු ගබට දස මස පිරෙන්නට ළං විය. දේවී මාපියන් වෙතට දෙව්දහ නුවරට යන්නට අදහස් කොට ඒ බව සුදොවුන් රජුට දැන් වූවා ය. දෙව්දහ නුවරට වැඩි දුරෙක් නැත. කපිලවාස්තුව රෝහිණී නදියෙන් මෙ ගොඩ ය. එගොඩැ ලුම්බිනී උයනට ටිකක් එපිටින් දෙව්දහ නුවර පිහිටියේ ය.

සුදොවුන් මහ රජතුමා “එන පසොළොසවක් දා මහාමායා දේවීන් එහි එතැ” යි දන්වා අංජන රජු වෙතට දූතයෙකු යැවී ය. යන මග දිගට ම සැරැසැවී ය. නියමිත දිනයෙහි දේවිය රන්සිවි ගෙයක නංවා ක්ෂත්‍රිය කාන්තාවන් පිරිවර කොට දී ඇමැතියන් ගේ රකවරණ ඇති කොට මහ පෙරහැරින් දෙව්දහ පුර කරා යැවී ය. මෙසේ ගමන් ගත් පිරිස රෝහිණී නදිය ද තරණය කොට යන්නාහු ලුම්බිනී උයන සමීපයට පැමිණියහ. දෙව්දහ පුරයෙන් ද දේවීන් පිළිගැනීමට මහත් නැදෑ පිරිසෙක් ලුම්බිනිය වෙත අවුත් පොරොත්තු වැ සිටියා හ.

මෙ දවසැ ලූම්බිනී උයන මල් පල බරින් බර වූ වෘක්ෂලතාවන් ගෙන් ශෝභාසම්පන්න වූයේ අතිසයින් බැබැළිණ. එහෙ මෙහෙ පියාසර කරන තැන තැන රැව් පිළිරැව් දෙන ගිරා මොනර ආදි පක්ෂීන් ගේ හඬින් ද මල් රොන් ගනිමින් හැසිරෙන බඹරුන්ගේ ගුමු ගුමු හඬින් ද උයන් පෙදෙස ඒකනින්නාද විය. සුගන්ධ මන්දමාරුතයෙන් මුළු පෙදෙස ම සුගන්ධිත වූයේ ඉතා රම්‍ය විය.

සමීප මාර්ගයෙන් යන පෙරහැර දෙව්දහ නුවරින් ආ නෑදෑ පිරිස විසින් පිළිගැනිණ. මේ අතර ම මහාමායා දේවී උයන් සිරි දැක එහි යන්නට කැමැත්ත පළ කළා ය. ඇය කැටුව ම පෙරහැර ලුම්බිනී උයනට පිවිසියේ ය. මහාමායා දේවී රන්සිවි ගෙයින් බැස සිය නැඟැණියන් ආදි ක්ෂත්‍රියාවන් හා සෙසු සේවක සේවිකාවන් හා උයන් සිරි බලා හැවිදිනී මුලසිට අග දක්වා මලින් සැදුණු මඟුල් සල් රුක6 දැක එහි ගියා ය. අත්තක් අල්ලා ගනු කැමැත්තී දකුණත දිගු කළාය. සල් අත්ත නැමිණ. එය අල්ලා ගත්තී ය.

ගිහිගේ ජීවිතය

බෝසත් උපත

එකෙණෙහි ම කර්මජවාතය සැලිණ. මායා දේවී තමාට ප්‍රසව අවස්ථාව පැමිණි බව ළඟ සිටියවුනට දැන්නුවාය. ඔහු ඇමතියනට සැළ කළහ. සියල්ලෝ එක් වැ වහාම යහනක් පණවා වට තිර ඇද සේවිකාවන් ළඟ නවතා තුමූ තිරයෙන් පිටත ඈත් වැ රකවරණ ලා සිටියහ. මඳ වේලාවෙකින් බෝසතාණෝ මව කුසින් බිහි වූහ.7 මේ මොහොතෙහි හිරු වටා වර්ණවත් චක්‍රයක් කරකැවෙන්නා සේ දර්ශනයෙක් වීය. දෙතිස් පෙර නිමිති පහළ විය. ක්ෂණයක් මුළු ලෝදාහි ම සියලු දුක් කරදර නිවී ගිය බවෙක්, මහා ශාන්තියෙක් පැවැතිණ. මෙය වූයේ කලියුග වර්ෂයෙන් 2478 වන්නෙහි වෙසක් පුණු පෝදා උදයාදි එකොළොස් වන පැය පමණේ දිය.8

මාතංග පසේ බුදුන් පිරිනිවීම

මෙ සමයෙහි රජගහ නුවර ඉසිගිලි පව්වෙහි මාතංග පසේ බුදුන් නම් පසේ බුදුවරයෙක් විසී ය. බෝසතාණන් උපන් කෙණෙහි ඔබ දක්නට එන දේවතාවෝ ඒ පසේ බුදුරජුන් වෙත ද ගියහ. ගොස් “වහන්ස, ලොවුතුරා බුදුවන බෝසතාණෝ උපන්හ. අපි උන්වහන්සේ දක්නට යම්හ” යි කියා වැඳ අවසර ගෙන නික්මියාහ. ඔවුන්ගේ කථාව ඇසු පසේ බුදු රජුහු තමන් ගැන විමසනුවෝ තමන් ආයුෂ කාලය ද නිමියේ යි දුටුහ. ඉක්බිති උන්වහන්සේ හිමවත්හි මහාප්‍රපාත පර්වතයට වැඩ පිරිනිවන් පෑහ. මේ, මෙ අතුරුකපැ අන්තිම පසේබුදු රජු යැ..

දේව සන්නිපාතය

බෝසතාණන් මව කුසින් බිහි වූ කෙණෙහි දෙවියෝ ලුම්බිනී උයනෙහි රැස්වූහ. ඔවුන් අතුරෙන් සතර දෙනෙක් බඹහු මව කුසින් බිහිවූ බෝසතාණන් රන් දැලින් පිළිගත්හ. ඔවුන් අතින් වරම් රජුහු ද[20] ඔවුනතින් ඇමතියෝ ද ඔබ පිළිගත්හ.

බෝසතාණන් වහන්සේ ඇමැතියන් අතින් බිමට බැස පියුම් පිට සත් පියක් වැඩ සත්වන පියවරෙහි සිටැ

“මම ලොවට අග්‍රයෙමි, ජ්‍යෙෂ්ඨයෙමි,

ශ්‍රේෂ්ඨයෙමි, මේ මගේ අන්තිම අත්බව ය.

මෙයට පසු මට භවෝත්පත්තියක් නැතැයි”

වදාළාහ.[21]

පෙරළා කිඹුල්වත් පුරයට යෑම

මෙයට පසු, කිඹුල්වත් පුරයෙන් ද දෙව්දහ නුවරින් දැයි දෙපෙදෙසින් ම එක්රැස් වැ සිටි නෑදෑයෝ බෝසතාණනුන් මෑණියනුත් මහ පෙරහැරින් කිඹුල්වත් පුරයට වැඩම කැරැවූහ.10

අසිතර්ෂින් පැමිණීම

ශුද්ධෝදන රජතුමා ළපැටි වියෙහිදී සිප්සතර උගත්තේ එවකට සිංහහනු රජුහට පුරෝහිත වැ සිටි අසිතදේවල නම් බමුණු පඬිවරයා ගෙනි. සිංහහනු රජු කලුරිය කළ නොබෝ කලෙකින් හේ තවුස් පැවිද්දෙන් පැවිදි වූ රජගෙට නොදුරු උයනේ වැස ධ්‍යාන වඩා පංචාභිඥා හා අෂ්ට සමාපත්තීන් ඉපදැවීය. හෙතෙම කිසි විටෙක දෙව් ලොව ගොස් කිසි කෙනෙකු නැති ශුන්‍ය විමානයක රැඳී සමවත් සුවයෙන් කල් යවයි.

බෝසතාණන් වහන්සේ උපන්දා ද එ තුමාණෝ පෙර වරුයෙහි රජගෙහිදී දන් වළඳා තව්තිසා දෙව්ලෝ වැඩ කිසි ම කෙනකු නැති ශුන්‍ය දිව්‍ය විමානයෙක ධ්‍යාන සමාපත්තියෙන් කල් ගෙවී ය. ටික වෙලාවකට පසු (දඹදිවට සවස් වූ වේලෙහි) සමාපත්තියෙන් නැඟී සිටියහ. වටපිට බලනුවෝ ගැයුම් වැයුම් ආදියෙන් සැණකෙළි කෙළනා දෙවියන් දුටුහ. දැක එයට කරුණු විචාළාහ. “බුදුවන මහ බෝසතාණන් වහන්සේ අද කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජුගේ අගබිසෝ වූ මහාමායා දේවීන් කුසින් බිහි වූහ. එ හෙයින් මෙසේ සැණ කෙළි පවත්වම්හ” යි දෙවියෝ කීහ. තවුසාණෝ එය අසා වහා ම දෙව්ලොවින් නික්ම කිඹුල්වත් පුර පැමිණ සුදොවුන් මහරජුගේ මාලිගාවට වැඩියාහ. රජතුමා වඩිනා තවුසාණන් දැක වහා අසුන් පණවා ඉදිරියට ගොස් වැඳ රජගෙට කැඳවා ගෙනවුත් අස්නක් පිළිගැන්වී ය. තවුසාණෝ හිඳගත්තාහු ම “මහරජ, තොපට පුතෙක් උපන්නේ ලු. ඔබේ ඒ පුත්‍රයාණන් දක්නා කැමැත්තෙන් ආම්හ” යි සැළකළහ.

රජ තෙම මහාමායා දේවීන් හොත් ගබට ගොස් “ආචාර්‍ය්‍යන් වහන්සේ, අප පුතාණන් දකිනු රිසින් අවුත් හිඳිති” යි කියා බිසොවට සැළකොට කුමරුවාණන් වඩා ගෙන තවුසාණන් වෙත ආයේ ය. මහාමායා බිසෝ ආදි කවුරුත් අවුත් තවුසාණන් වැඳ පසෙක සිටියාහ. රජතුමා පුත් කුමරුවා තවුසාණන් ළඟට ගෙන ගොස් “පුතා තාපසයාණන් වහන්සේ වැඳ පින් සිදු කැරැගන්නැ” යි කියා තවුසා දෙසට කුමරුවා යොමු කළේය. එකෙණෙහි ම පුත් කුමරුවාණන් ගේ සිරිපතුල් දෙක එසැවී තවුසාණන් ගේ හිසැ ජටාමඩුල්ල මත පිහිටියේස්ය. අසිත තවුස් තුමාණෝ දෙවියන් කී වචන ද සිහි කොට අනාගතාංශඥානයෙන් ද බලනුවෝ “මේ ලොවුතුරා බුදු වන මහා උතුමාණෝ යැ” යි දුටුහ. දැක වහා අස්නෙන් බැස කුමරුවාණන් ගේ දෙපා තමන් හිස මත්තෙහි තබා ගෙන වැන්දාහ. තමන් හැම දෙනා ගෙන් ම වැදුම් ලබන තවුසාණන් කළ දෑ දුටු රජු ද මහාමායා දේවී ද රැස් වැ සිටි සෙසු හැම දෙනා ද මහත් පුදුමයට පත් වූහ.

තවුසාණෝ කුමරුවාණන් වඩාගෙන ශරීර ලක්ෂණ ද විමසනුවෝ දෙතිස් මහා පුරිස් ලකුණු දුටුහ. දැක සිනහ පහළ කොට මඳක් නිහඬ වැ හිඳ හැඬූහ. සෘෂීන්ගේ සිනාවත් හැඬීමත් දුටු සියල්ලෝ කැලඹුණහ. “ඔබවහන්සේ සිනාසී හැඬුයේ මන්ද? කුමරුවනට සැපත සේ ම විපතකුත් වෙති දෝ?” යි විචාළහ.

තවුසාණෝ කියන්නාහු “මෙතුමාණෝ මතු බුදු වන්නාහ. එය දැකීමෙන් හටගත් ප්‍රීතිය නිසා සිනහ පහළ විය. “මෙතුමාණන් ගේ බුද්‍ධශ්‍රීය දැක්කහෙම්දැ?” යි අනාගතාංශඥානයෙන් බැලූ විට මා තව ටික කලෙකින් මැරෙන බව ද බෝසතාණන් ලබන බුදුසිරි දකින්නට නොලැබෙන බවද11 දුටුයෙමි. මුල් කරුණින් සිනහව ද දෙවෙනි කරුණින් ශෝකය ද ඇතිවී යැ” යි තවුසාණෝ පැවසූහ. තවුසාණන් වඳිනු දුටු රජතුමා ද පුත්‍රයාණන් ගේ දෙපතුල් නලළ මතැ තබාගෙන නමස්කාර කෙළේ ය.

නාලක පැවිද්ද

ටික වෙලාවකින් පසු රජ ගෙයින් නික්මුණු තවුසාණෝ සිය නැඟණියන්ගේ ගෙට ගියහ. තමන් බැහැණනු නාලක බමුණු කුමරුවා12 බණවා “පුතා, ශුද්ධෝදන රජුට උපන් පුත්‍රයාණෝ වයස තිස්පහ වන විට ලොවුතුරා බුදු වන්නාහ. නුඹ අද ම එතුමාණන් නමට පැවිදි වන්න. එ තුමාණන් බුදු වූ පසු එහි ගොස් දෙන අවවාද පරිදි පිළිපැද දුක් කෙළවර කරන්නැ” යි කියා එතැනින් නික්ම ගියාහ. එදාම නාලක කුමරු කඩ වීදියට කෙනකු යවා කසාවතුත් මැටි පාත්‍රයකුත් ගෙන්වා ගෙන කෙහෙ රැවුලු බහවා ගෙන කසාවත් හැඳ පෙරවැ පාත්‍රය උරේ එල්ලාගෙන බෝසතාණන් දිශාවට දොහොත් මුදුන් තබා වැඳ ගෙන “මගේ මේ පැවිද්ද ලොවැ අසහාය මහතාණන් උදෙසායැ” යි කියා උද්දිස්සක පබ්බජ්ජායෙන් පැවිදි විය. ඉක්බිති මෑණියන් ගෙන් සමුගෙන හිමවත් පෙදෙසට ගොස් තපස් කෙළේ ය. මහ බෝසතාණන් උදෙසා පැවිදි වූ පළමු ම තැනැත්තා මේ නාලක කුමරාය.12

නාමකරණ මංගලය

බෝසතාණන් වහන්සේ ඉපිද පස්වැනි දවස විය. සුදොවුන් රජතුමා පුත්‍රයාණන්ගේ ශරීර ලක්ෂණ පිරික්සැවීමට ද නමක් තැබ්වීමට ද අදහස් කෙළේ ය. මෙසේ හේ උගත් බමුණන් එක්සිය අට දෙනකු ගෙන්වා අන්නපානාදියෙන් සත්කාර කොට, තමා ඔවුන් ගෙන්වු කාරණය සැළ කෙළේ ය. ඔහු ද “මැනැවැ” යි ගිවිසැ තුමූ ම සාකච්ඡා කොට තම පිරිසෙහි වූ අග්‍ර ම පඬිවරුන් අට දෙනාට ඒ කාර්‍ය්‍ය පැවරූහ. ඒ අට දෙනා වනාහි රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බමුණෝය.13

ඔහු බෝසතාණන්ගේ ගත ලකුණු විමැසූහ. තමන් දත් ශාස්ත්‍රය පරිදි සිය නිගමනය පැවැසූහ. “මේ කුමාරයාණෝ ගිහිගෙයි රැඳෙන්නාහු නම් මුළු පොළොව ම පාලනය කරන සක්විති රජෙක් වන්නාහ. ඉදින් ගිහි ගෙයින් නික්ම ගියෝ නම් පැවිදි ව ලොවුතුරා බුදු වන්නාහ යි ඇඟිලි දෙකක් ඔසොවා රාම, ධජ, ලක්ඛණ යන තිදෙන කීහ. එහෙත් අනිත් මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන පස් දෙනා කුමාරයාණන්ගේ ගත ලකුණු බලා එකැඟිල්ලක් ම ඔසොවා, “මහරජාණනි, අප දන්නා ශාස්ත්‍රය අනුව නම් මෙතුමාණෝ කිසිසේත් ගිහිගෙයි නොරැඳෙන්නාහ. ගිහි ගෙන් නික්ම පැවිදි වූ ලොවුතුරා බුදු වන්නාහු මැයැ” යි නිශ්චිත කොට කීහ. ඉක්බිති “පුතකු ලබම්හ” යි බොහෝ කලක් රජහු බලාපොරොත්තු වූ අර්ථය සිද්ධ කළ බැවින්[22], “සිද්ධ කළ අභිමතාර්ථය ඇත්තේ ය” යන අදහස අනුව, “සිද්‍ධාර්ථ” යන නම දුන්හ.14

“මගේ පුත්‍රයාණෝ කරුණක් නැති ව ගිහිගෙය හැර නො යති. කිමෙකින් කලකිරී ගිහිගෙය හැර දමා යන්නේ දැ?” යි රජ ඇසී ය. බමුණෝ තමන් උගත් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව15 අනුව විමසන්නෝ “මහල්ලකුත් ලෙඩකුත් මිණියකුත් පැවිද්දකුත් දැක ම ගිහි ගෙය හැර යන්නාහ” යි කීහ. පුත්‍රයාණන් සක්විති රජක්හු වී සිටිනු දක්නට ම අපේක්ෂා කළ රජ තුමා “ඒ පෙර නිමිති දැක්ම වැළැක්වූ විට ගිහිගෙයි ම රැඳෙතැ” යි සලකා එසේ කරන්නට ඉටා ගත්හ.

එතැන් සිට බෝසතාණෝ ගෝත්‍ර නාමයත් සහිත ව සිද්‍ධාර්ථ ගෞතම නමින් ප්‍රකට වූහ.

මහාමායා දේවීන් කලුරිය කිරීම

බෝසතාණන් උපන් දා සිට මහාමායා ගෞතමී දේවින් තොමෝ කිසිදු වෙහෙසක් දුකක් නැති වැ සැපයෙන් කල් යැවුවාය. ඕ අසිත සෘෂීන් විසින් ද ලක්ෂණ පාඨක බමුණන් විසින් ද තමන් පුත් කුමරුවාණන් පිළිබඳ වැ කී අනාවැකි නිතර සිහි කරන්නී, සිය නැගණියන් වූ ප්‍රජාවතී ගෞතමී ආදි නෑදෑ කාන්තාවන් හා ඒ ගැන ම කතා කරන්නී මහත් මැ ප්‍රීතියෙන් කල් ගෙව්වා ය. මෙසේ බලවත් ම ප්‍රීතියෙන් සතුටින් කල් යවන්නී සතිය ගෙවුණු සත්වැනිදා රැයෙහි ඇසි පියා ගත්තී යලි මේ සිරුරෙන් නොමැ නැගිට්ටා ය. තුෂිත දිව්‍ය ලෝකයෙහි සොළොසැවිරිදි දෙව් කුමරක්හුගේ බඳු වූ දිව්‍ය ශරීරයක් ඇති වැ ඇස් හැරියා ය. හෙවත් දෙව් ලොවැ දෙව් පුතෙක් වැ උපන්නා ය. හේ දෙවියන් අතරැ මාතෘ දේවපුත්‍ර (මව් දෙව්පුත්) නමින් ප්‍රකට වූයේ සියලු දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට පාත්‍ර විය.

කිරි මවුන් සෙවීම

සුදොවුන් මහරජතුමා තම පුත‍්‍රයාණන් රැක බලා ගන්නට කිරි මවුන් සෙවී ය. කිරි මවු තනතුරට හොබනා ගුණාංග ඇති රාජ වංශික කාන්තාවන් සමූහයක් තෝරා ගෙන කුමරුවාණන් ඔවුනට පැවරුණේ ය.

වප්මඟුල් උළෙල

බෝසතාණන් ඉපිද පස් මසෙක් ගත විය, මෙ සමයෙහි කිඹුල්වත් නුවර රොහිණී ගඟ අද්දරැ දිගට ම පිහිටි රජුට අයත් විශාල කුඹුරුයායේ වාර්ෂික හීහෑමේ මහ උළෙලට කාලය විය. මඟුල් නඟුල අත තබා එය ඇරැඹීම ශුද්ධෝදන රජුට පැවරුණේ ය. උළෙල බලන්නට රැස්වන ජනයා සුදු වතින් සැරැසී සුදු මල් පැලැඳ එති. මහරජු ද රජගෙහි තව බොහෝ ජනයෝ ද එහි යන්නට සැරසුණහ. රජු ද පුත් කුමරුන් කිරිමවුන් බාරේ රන් සිවිගෙයෙකින් ගෙන්වාගෙන පිටත් විය. කුඹුර අද්දර මහ කමතේ වූ මහ දඹගස් සෙවණේ වට තිර අදවා උඩුවියන් බඳවා ඇඳක කුමරුන් හොවා රැක බලාගන්නට කිරි මවුන් නවතා රජතුමා කුඹුරට බැස රන් නඟුලක අත තබා සුබ මොහොතින් වැඩ ඇරැඹීය. සේවකයෝ ගී ගයමින් හී හෑම පැවැත්තූහ. මඳ වේලාවකින් එය බලන්නට කිරි මව්වරු ද තිරයෙන් පිටත ආහ.

මෙ වේලෙහි බෝසතාණෝ ළඟ කිසිවකුත් නැති නියාව දැක නැගිට ඇඳෙහි ම පළක් බැඳගෙන අනාපාන සතිය වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද හුන්හ. මඳ වේලාවකින් කිරිමවුහු තිරයෙන් ඇතුළට ගියාහු බෝසතාණන් වැඩ ඉන්නා නියාව දැක මවිත ව වහා ගොස් රජුට දැන්වූහ.

රජ අවුත් කුමරුන් උන් සේ දැක විස්මිත වැ උපන් බලවත් සෙනෙහස දරා ගත නො හැකි වූ කුමරුන්ගේ පතුල් ළඟ ඉස තබා ගෙන “පුතා නුඹ අද ම බුදු වූ යෙහිදැ” යි කියමින් වැන්දේ ය.17

මඳ කලකට පසු ප්‍රජාවතී ගෞතමී (මහාමායා දේවීන් ගේ බාල සොහොයුරී) ද පුතකු වැදුවා ය. රජ තෙම බෝසතාණනට සෙයින් එ කුමරුට ද ශරීර ලක්ෂණ පිරික්සැවීම් ආදිය කරවා හැම දෙනා ම සතුටු කරවමින් උපන් බැවින් නන්ද යන නම තැබීය. නන්ද කුමරු උපන් පසු ඔහු ගේ මවු වූ ප්‍රජාවතී ගෞතමී තොමෝ කලුරිය කළ වැඩිමහල් සොහොයුරිය ගේ දරු වූ සිද්‍ධාර්ථ (සිදුහත්) කුමාරයාණන් තමා ගේ බාරයට ගෙන තම පුත් නන්ද කුමරුවා කිරි මවුනට පැවරුවාය. සිද්‍ධාර්ථ කුමරු සුළු මවුගේ තනෙන් කිරි බී වැඩුණේ ය. නන්ද කුමරු උපදනට හවුරුදු දෙකකට පමණ කලින් ද ඇයට ලැබුණු නන්දා නම් දුවක් ද සිටියා ය. නන්දා, සිද්‍ධාර්ථ, නන්ද යන දරු තිදෙනා ගේ ම මවු වශයෙන් වූසූ ඇයට දරුවන් ඇති ගෞතමී යන අර්ථය අනුව ප්‍රජාවතී ගෞතමී (ප්‍රජාපතී ගෝතමී) යන නම සුදුසු ම විය. ළදරු වියේ සිට ම සිද්‍ධාර්ථ කුමාරයනට මව ගේ මරණය කිසිසේත් නො දැනෙන ලෙසටද ප්‍රජාවතී ම එතුමන් ගේ ද මෑණියෝ මැ යැ යි හැඟෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝ ම කතා බස් ආදි හැම එකෙක දී ම පරිස්සමින් ක්‍රියා කළහ. මෙසේ බෝසතාණන් වහන්සේ ද නන්ද කුමරු ද ඒ දෙදෙනාට ම වැඩිමලු වූ නන්දා කුමරි ද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙළෙන් සුවසේ වැඩුණහ. සිද්‍ධාර්ථ කුමාරයාණට සේ ම නන්ද කුමරුට ද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන් ද මහ පිරිසෙක්18 නිතර රජ ගෙය ඇසුරු කෙළේ ය.

සිප් සතර ඉගැන්ම

18සිය දරුවනට සිප් සතර ඉගැන්මට කාල යැ යි සැලකූ ශුද්ධෝදන රජ තුමා සුදුසු ඇදුරක් හු සොයනුයේ, එදා පැවැති හැම සිප් සතරෙහි ප්‍රවීණ සර්වමිත්‍ර (විශ්වාමිත්‍ර)19 නම් බමුණු පඬිවරයා ගැන අසා ඔහු ගෙන්වා මාළිගාවෙහි ම රඳවාගෙන සිදුහත් කුමරු නන්ද කුමරු ආදී රජ පවුලේ දරුවනට ඉගැන්වීම සිදු කැරැවීය. ඔවුන් අතුරෙන් සිදුහත් කුමරුවාණෝ කල්නො යා දීම ඇදුරු බමුණා දත් සියලු සිප් සතර උගත් හ.[23] 20

ළමාවිය

සිය මල් නන්ද කුමරු ද තවත් ශාක්‍ය කෝලිය කුමාරවරු ද ඇමැති පුත් කාලුදායි වත්ස ආදි හු ද රියැදුරු පුත් ඡන්න ආදිහු දැයි බෝසත් සිදුහත් කුමරාණන්ගේ බොහෝ මිතුරෝ වූහ. කිසිවිටෙක දේව දත්ත (දෙව්දත්) කුමරු ද සිදුහත් කුමරාණන්ගේ කෙළිමඬලට එයි.

දෙව්දත් කුමරුගේ අරගල

හෙතෙම ක්‍ෂත්‍රියමානයෙන් මත් වූවෙකි සැඩ පරොස් පුද්ගලයෙකි. සිද්‍ධාර්ථ කුමාරයාණන් ඡන්න ආදී සේවකයන් ගේ දරුවන් හා මිත්‍ර ලීලාවෙන් ගැවසෙනු හේ නො ඉවසයි. තමාට පහත් අය හා සමාගම් නොපවත්වන්නැයි හේ බෝසතාණනට කියයි. බෝසතාණන්වහන්සේ ඔහු ගේ බසට කන් නො දෙති. එවිට දෙව්දත් කුමරා සුදොවුන් මහරජුන් වෙත ගොස් “සිදුහත් කුමරු පහත් කුලවලැ අය හා සමානයන් හා සේ එක් වැ ගැවසෙතැ”යි පැමිණිලි කෙරෙයි. බෝසතාණන්ගේ සැටි දන්නා රජ තුමා එයට කිසිවක් කියා ඔහු අස්වසයි.

හංසයා ඇරැබ නඩුව

දවසක බෝසතාණෝ තමන්ගේ කෙළිමඬලෙහි සිට එන්නාහු තමා ඉදිරියෙහි කිසිවක් වැටුණා දැක දිවැ ගොස් බැලූහ. ඒ අත හැන්දෙක ඊයක් ඇනී බිමැ වැටුණු හංසයෙකි. බෝසතාණන් වහන්සේ වහා ම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙය දෙසට ගියහ. දෙව්දත් කුමරු තමා විද හෙලූ “හංසයා කොහි දැ?” යි සොයා එනුයේ සිදුහත් කුමරුන් අතෙහි ඉඳිනු දැක “ඔය හංසයා මගෙයි, මා ඊයෙන් විද බිම හෙලු එකා”යි කියා ඌ ඉල්ලීය. බෝසතාණෝ ඌ නොදී ම ගෙන ගියහ. උගේ තුවාලයට බෙහෙත් කළහ.

දෙව්දත් කුමරු ගොස් සුදොවුන් රජුට නඩුව පැමිණිලී කෙළේ ය. රජ පුත් කුමරු කැඳවා ප්‍රශ්න කෙළේ ය. තමාට හමු වූ ඒ අසරණ සතා සුවපත් කොට මුදාහරිනු මිස ඌට හිංසා පීඩා කරන්නකුට නොදෙමි” යි බෝසතාණෝ කීහ.

“මතු රටේ පාලනය බාරගන්නට සිටින මේ දරුවන් කුඩා වියේ සිට ම නීතියට අනුව සිටින්නට පුරුදු වියැ යුතු යැ”යි සිතූ රජතුමා “නුඹ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්න” යි දෙව්දත් කුමරුට කී ය. හේ එසේ පැමිණිලි කෙළේ ය. රජතුමා රාජ සභාව කැඳවා “මේ මා පුතාත් බෑනණුවනුත් අතර නැංග ආරවුල විසඳා තීන්දුව දෙන්නැ”යි නියෝග කෙළේ ය.

රාජ සභාව රැස්විය. කුමරුවන් දෙදෙනා ම කැඳවා නඩුව විනිශ්චය කෙළේ ය. “දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුනට ම අයිති ය. එ බැවින් දෙව්දත් කුමරුනට හංසයා බාර දිය යුතු යැ”යි එක්කෙනෙකු හැර අනිත් සියලු සහාසදයෝ තීන්දු කළහ. එවිට සිද්‍ධාර්ථ කුමාරයෝ නැඟී සිට. අහසේ නිදහසේ පියාහඹා ඇවිදින කිසිදු පක්‍ෂියෙක් මිනිසුනට අයත් නැත. උන් පෙළීමට ද කිසිවෙකුට අයිතියෙක් නැත. එ බැවින් උන් පිළිබඳ අයිතිකම් පැවැසීම වියරුවෙකැ’යි පවසා “ජීවියකු අයත්වතොත් අයත් වනුයේ උගේ දිවි නසන්නාට ද? නැත හොත් දිවි රකින්නාට දැ?” යි ප්‍රශ්න කළහ. බෝසතාණන් ඉදිරිපත් කළ යුක්තිය ඇසු සභාව ගොළු විය. මද වේලාවකින් පසු එක් මහළු සහාසදයෙක් නැගිට “ජීවියකු අයත් වන්නේ උගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ යැ” යි කීය. කාටත් කාරණය අවබෝධ විය. “හංසයා දිවි ඇති බැවින් සිදුහත් කුමරුනට අයත් යැ”යි සියල්ලන් ගේ තීන්දුව විය. නඩුවෙන් පැරැදුණු දෙව්දත් කුමරු කෝපයෙනුත් ලජ්ජාවෙනුත් සභා ශාලායෙන් බැස තමා ගේ නිවාසය කරා ගියේ ය. බෝසතාණෝ ද නික්ම ගිය හ. කීප දිනක් සාත්තු කොට, සුවපත් වූ හංසයා මුදාහැරියා හ.

කුමාරවරුන් හා ඈත ගමන් අත්හැරීම

දවසෙක නෑ රජ කුමරුවෝ කිහිප දෙනෙක් අවුත් සිද්‍ධාර්ථ කුමාරයාණන් ද කැඳවා ගෙන ඇවිදින්නට ගියහ. කුමරුවන් සඳහා පිළියෙල කොට තුබුණු කෙළි බිම ද ඉක් මැ ඈත වන පෙදෙසකට ඔහු ගියහ. එහි ඈත මෑත දිව හැවිදුනා ගෝන මුව ආදී සතුන් බලමින් සතුටු වූහ. සමහර කුමාරවරු ඔවුන් ලුහුබැඳ යන්නාහු ඔවුන් විද මැරූහ. සිද්‍ධාර්ථ කුමරුවාණෝ එය දැක, “අනේ! තමන් ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි, ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට මෙහෙම හිරිහැර කරන්නේ ඔවුන් මොන වරදක් කළාට ද? කැලේ හැදෙන වල් පැලෑටි කමින් තමන් ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත් වන මේ අසරණ සතුනට හිංසා කරන්නේ ඇයි ද?” කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාවට ම ආහ. එයින් පසු ඔවුන් හා ඇවිදින්නට නො ගියහ.

ලා බාල වියෙහි සිට ම සිදුහත් කුමරාණන්ගේ ජීවිතයෙහි කරුණාව මෛත්‍රිය ක්ෂාන්තිය (ඉවසීම) පරෝපකාරය සමානාත්මතාව යන ආදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිබිඹු ව පැවැත්තාහ. බෝසතාණන් ගේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනා ම ඔබ කෙරෙහි මහත් ආදරයත් ගෞරවයත් දැක් වූහ. බෝසතාණන් ගේ කීර්තිය හැම තැන ම පැතිර ගියේ ය. මගධ රට රජය කරවන මහාපද්ම මහ රජ ද තම පුත් බිම්බිසාර කුමරු ලවා සිද්‍ධාර්ථ කුමාරයනට තුටු පඬුරු එවීම් ආදියෙන් ඒ කුමරුවන් අතර මිත්‍ර සම්බන්ධය ද ඇති කෙළේ ය. ලිච්ඡවී රජහු ද විටින් විට බෝසතාණනට තුටු පඬුරු එවූහ. හැම රජක්හුගෙන් ම බෝසතාණනට සුබ හසුන් ලැබිණ.

ප්‍රාසාද

උතුරු දඹදිවැ කාලගුණය අනුව ශීත සෘතුව, ග්‍රීෂ්ම සෘතුව, වර්ෂා සෘතුව යැයි සෘතු තුනෙකි. ශීත සෘතුවට අයත් මාස සතරෙහි දැඩි ශීතය ද ග්‍රීෂ්ම සෘතුවෙහි සාර මසෙහි ම උෂ්ණය ද, වැසි සාර මසෙහි නො තොර වැස්ස ද පවතී. එබැවින් සමහරු තමනට අහිතකර සෘතු ගුණය ඇති වූ විට ඈත පෙදෙස්වලට යෙති. බොහෝ පොහොසත් උදවිය තමන් ඉන්නා පෙදෙහි ම වෙනස් වන සෘතු ගුණය අනුව එයට ගැළපෙන පරිදි නිවාස පිළියෙල කරවා ගෙන ඒ ඒ සෘතුවලදී ඒවාට මාරු වෙති.[24]

ශුද්ධෝදන මහ රජාණෝ ද තම දරුවනට තුන් සෘතුවට සරිලන වෙන් වෙන් උයන් හා ප්‍රාසාද කැරැවූහ. සිද්‍ධාර්ථ කුමාරයන් සඳහා රම්‍ය සුරම්‍ය ශුභ නමින් ප්‍රාසාද තුනක් කැරැවූහ.

රම්‍ය ප්‍රාසාදය

එයින් ශීත සෘතුවේ වාසයට කැරැවුණු ප්‍රාසාදය රම්‍ය ප්‍රාසාදය නමි. එය මහල් නවයකින් යුක්ත විය. ඒවායේ ද උණුසුම ගන්වනු පිණිස එකකට එකක් අනුක්‍රමයෙන් මිටි වන ලෙසට ද දොර කවුළු සිදුරු නැති සේ මනාව හේතු කොට ද කරවන ලදහ. බිත්තිවලැ ඇවිලෙන මහ ගිනි දැල් සිත්තම් කැරැවිණ. සියලු බුමුතුරුණු කම්බ වස්ත්‍රවලින් ම සෑදැවිණ. එහි දී පරිභෝග කැරෙන තිර වියන් ද සැට්ට හා හඳනා පොරෝනා වස්ත්‍ර ද හිස්වෙළුම් ද කම්බල වස්ත්‍රවලින් ම කැරැවූණහ. පහය තුළ උණුහුම ඇති වනු පිණිස දොරවල් ද ජනෙල් ද දහවල් හැර තබන ලද්දහු රාත්‍රියෙහි වසා තබන ලදහ.

සුරම්‍ය ප්‍රාසාදය

ග්‍රීෂ්මර්තුයෙහි වාසයට කැරැවුණු පහය සුරම්‍ය නම් විය. එය පස් මහල් යැ. එහි මහල් ද උසින් දිගින් පුලුලින් වැඩි කොට ද, දොර ජනෙල් විවර සහිත කොට ද, දැල් කවුළු ඇතිකොට ද කැරැවුණහ. බිත්තිවලැ නිල් මහනෙල් මල් හෙළ පියුම් රත් පියුම් ආදි දියේ හට ගන්නා මල් ද හඳවන ලදහ. බුමුතුරුණු තිර වියන් සැට්ට හඳනා පොරෝනා වස්ත්‍ර හිස්වෙළුම් ආදිහු දුහුල් රෙද්දෙන් ම කැරැවුණහ. ප්‍රාසාදය අවට තැන තැන ජලයන්ත්‍රිකා කැරැවිණ. මෙයින් වැසි වනා සෙමෙහි සෙයින් නිතර පාහේ දිය දහර විදෙයි. තන්හි තන්හි මඩ පිරැවූ ඔරු තබවා ඒවායේ පස්වනක් පියුම් වැවිණ. පහයේ දොර කවුළු දහවල් හි වසා ද රාත්‍රිහි විවෘත කොට ද තැබිණ.

ශුභ ප්‍රාසාදය

වැසි සාරමසෙහි විසීම පිණිස කැරැවුණු පහය ශුභ නම් විය. ඒ මහල් සතක් ඇත්තේ විය. ශීතයත් උණුහුමත් ප්‍රමාණවත් වැ ඇති වන්නට එහි මහත් වඩා මිටිත් වඩා උසුත් නො වන සේ මැදුම් පමණින් කැරැවිණ. සමහර දොර කවුළු හොඳට හේත්තු වන ලෙසට ද, සමහරෙක් එ තරම් හේත්තු නොවන ලෙසට ද කැරැවිණ. බිත්තිවලැ කිසි තැනෙක ගිනිජල් ද කිසි තැනෙක ජලජ පුෂ්ප ද සිත්තම් කැරැවිණ. ඇතැම් දොරකවුළු දහවල් විවෘත ද රාත්‍රියෙහි වසන ලද්දේ ද විය. සෙස්ස දාවල් වැසුනේ ද රාත්‍රියෙහි විවරුණේ ද විය.

සිදුහත් කුමරාණෝ මෙසේ වූ මේ තුන් පහයෙහි ඒ ඒ සෘතුයෙහි වෙසෙමින් ඒවායේ නිතර පැවැත්වෙන නෘත්‍යගීතාදී දකිමින් අසමින් මහත් සිරි සැපතින් වැඩෙනාහු තරුණ වයසට පත් වූහ.

ආවාහ මංගලය

එක් දිනෙක ශුද්ධෝදන මහරජුත් සෙසු රජුහුත්[25] මැති වරුත් කිඹුල්වත් පුර සංස්ථාගාර ශාලායෙහි රැස් වැ රාජ්‍යයෙහි කටයුතු පිළිබඳ ව සාකච්ඡා කෙරෙමින් හුන්හ. එහි දී මහළු ශාක්‍ය රජවරු ශුද්ධෝදන මහරජුට “දේවයිනි, නිමිත්ත පාඨකයන් කී පරිදි සිද්‍ධාර්ථ කුමාරයෝ ගිහිගෙහි වුසූවොත්, චක්‍රවර්ති රජ කෙනෙක් වන්නාහ. පැවිදි වුවොත් බුදු වන්නාහ. ඔබත් අපත් පතනුයේ ඔවුන් චක්‍රවර්ති රජ කෙනෙකුන් වීම යි . මෙසේ වූ කලැ පෙරද චක්‍රවර්ත්තීන් සිටි අපේ වංශය නොසිඳී දිගට ම පවතින්නේ ය. අපි හැම සෙසු රටවලැ රජුන් විසින් මානිත ද පූජිත ද වන්නමු. එබැවින් කුමාරයනට ස්ත්‍රීගණයා සහිත කුමරියක පාවා දියැ යුතු කාලය පැමිණියේ යැ”යි කීහ.

“එසේ ය, කුමාරයනට සුදුසු කුමරියක සොයා බලන්නැයි” යි මහරජු කීය. එහි සිටි රජෙක් “මගේ දුව සුදුසු යැ” යි කීය. සෙසු රජහුත් “අපේ දූහු සුදුසු යැ” යි කීහ.

එවිට ශුද්ධෝදන රජ්ජුරුවෝ “සිද්‍ධාර්ථ කුමාරයෝ ලෙහෙසියෙන් අනුන්ගේ බසට නො නැමෙන කෙනෙක. එහෙයින් පළමු කොට ඔවුන් කැමති කුමරිය කවරී දැ? යි ගොස් අසමු” යි කීහ. ඉක්බිති ශුද්ධෝදන මහරජු ප්‍රධාන කොටැති ඒ හැම දෙනාම සිද්‍ධාර්ථ කුමාරයන් වෙත එළඹුණහ. එළැඹ කාරණය සැළ කළාහ. “මම් මෙයින් සත්වැනි දිනෙහි උත්තරයක් දෙන්නෙමි” යි කුමාරයෝ කීහ. ඉක්බිති එතුමෝ විවේකී වැ හිඳ මෙසේ සිතූහ.

“කම් සැපෙහි දොස් අනන්ත ය. කලහ වෛර ශෝක නානාවිධ දුක් කරදර ඇති වීමට කම් සැපත මුල් වේ. කම්සැප බියකරු ය. කෑ කෙණෙහි දිවි නසන විෂ ඵල පත්‍ර බඳු ය. ගිනි ජාලාවක් බඳු ය. කඩුමූණතක් බඳු ය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවෙක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නො වේ. වනයකට වී ධ්‍යාන සමාධි සැපයෙන් වසන්නට ඇතොත් මැනැව”

මෙසේ සිතා, “මගේ අදහස පියාණනට දන්වා කිසි සේත් වනවාසයට යන්නට නම් අවසර ගත නො හැක්ක. එබැවින් ඔවුනට කළ නොහැකි දැයක් ලියා දන්වමි”යි සිතූහ. සිතා මෙසේ ලිපියක් සැකැසූහ.

“මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇත්තියක විය යුතු. ඕ රූපමදයෙන් මත් නොවිය යුතු. මවක සේ සොහොයුරියක සේ මෙත් සිතැත්තියක විය යුතු. මහණ බමුණනට දන් දීමෙහි ඇලුණියක වියැ යුතුය. මානය, කිපෙන ගතිය. ශඨ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති ස්වාමිභක්තිය ඇති, උඩඟු නොවූ, හැඩි දැඩි නොවූ, රසයෙහි ගිජු නොවූ, ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාලාගෝට්ටි කෙරෙහි ඇලුම් නැති, සුවඳ විලෙවුන් දැරීමෙහි ආශා නැති, ලොහොබි නොවූ, අන් සතු දැය දැක ආශා නො කරන, සත්‍යවාදී වූ, සැපතෙහි දී ආඩම්බර නොවන. විපතෙහි දී නො තැවෙන, ඒ හැම තැන දී මධ්‍යස්ථ (උපේක්‍ෂක) වැ සිටින, ලජ්ජා බය ඇති, දෘෂ්ටමංගල ශ්‍රැතමංගලයෙහි (ප්‍රිය දෑ දැකුම් ආදියෙන් සුබ පල ලැබෙතැයි යන මතයෙහි) නොඇලුණු, ගුණදහමින් යුත්, හැම කල්හි හිත කය වචන යන තුන්දොර ම පිරිසිදු ලෙස රැක ගන්නා, අලස බැවින් කුසීත බැවින් දුරු වූ, කුලමාන වංශ මානයෙන් මත් නොවූ, විමසා කටයුතු කරන, ධර්මාචාරී වූ, නැඳිමයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති, දාසියක සේ යටහත්, මවක සේ කාරුණික, කුහක නොවූ එකියක විය යුතු, මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි”යි යනු යැ.

මෙය ලියා ශුද්ධෝදන මහරජුනට දුන්හ. මහරජ එය කියවා බලා පෙරෙවි බමුණා කැඳවා. “බමුණාණනි යන්න, මෙහි සඳහන් ගති ගුණ ඇති කන්‍යාවක් ඇද්ද?” යි සොයා බලන්න. යම් කන්‍යාවක කෙරෙහි මේ ලිපියෙහි සඳහන් ගුණ ඇත්නම්, ඕ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන කවර කුලයෙක එකියක වුව ද කම් නැත. මගේ පුතාණෝ කුල වංශ ගෝත්‍ර භේද නො සලකති. ඔහු ගුණදහම පමණක් සලකන්නාහ”යි කීහ. බමුණු තෙමේ ද ලියැවිල්ල ගෙන හැම තැන ම විමසමින් හැවිදිනුයේ, මානාධික වූ ශාක්‍ය කන්‍යාවන් අතුරෙහි හෝ අන් කුලවල දැරියන් අතරැ හෝ ලියවිල්ලෙහි දැක්වෙන සියලු ම ගුණවලින් පරිපූර්ණ තැනැත්තියක සොයා ගත නො හැකි විය. නො පසු බැස තවදුරටත් සොයා හැවිදුනා, හෙතෙම එක් රාජවංශිකයකුගේ[26] ගෙයකට පිවිසියේ පෙරැ නොදුටු විරූ රූප සම්පත්තියෙන් යුත් කන්‍යාවක දිටී ය. බමුණා දුටු කුමරි වහා ඉදිරියට අවුත් පෙරෙවි බමුණා ගේ පාමුලැ වැටී දෙපා අල්ලා “ඔබට කිමෙක් අවශ්‍යදැ?” යි ඇසුවා ය. හේ ලියවිල්ල පෙන්වා ශුද්ධෝදන මහරජු පුත් සිද්‍ධාර්ථ කුමාරයා මේ ලියවිල්ලෙහි දැක්වෙන ගුණ ඇත්තියක ආවාහ කොට ගන්නට අපේක්ෂා කෙරෙතියි සැළ කෙළේය. මේ කුමරී නම් යශෝධරාවෝ ය. ඕ ලියැවිල්ල අතට ගෙන කියවා බලා එහි සඳහන් සියලු ගති ගුණ තමා තුළ ඇති නියාව දැක, “බමුණාණනි, මෙහි සඳහන් හැම ගුණ ම මා කෙරෙහි ඇත. සිද්‍ධාර්ථ කුමාරයෝ මගේ ස්වාමීහු වෙත්වා. එය කුමාරයනට කියන්නැ. පහත් ගති ඇති කිසිවකු හා එක් වැ මගේ වාසයෙක් නොවන්නේයැ” යි කීවාය. මේ යශෝධරාවෝ සුප්‍රබුද්‍ධ රජුන්ගේ, සුදොවුන් රජුගේ සොහොයුරියකගේ, දියැණියෝ ය.

බමුණාණෝ ගොස් සුදොවුන් මහරජුට යශෝධරාවන් පිළිබඳ වැ තමා විමසා දත් සියල්ල සැළ කළාහ. එවිට රජ තෙම “කුමාරයෝ දුරා සදහ, ගුණ දහම් හි ම ඇලුණේ ය. ඇතැම් විට ස්ත්‍රීහු තමන් කෙරේ නැති ගුණ ද ඇති සේ අඟවති. එ බැවින් කුමරියක තෝරා ගැන්ම කුමාරයනට ම පැවැරීම නුවණට හුරු යැ මම එයට උපායක් යොදමි” යි කියා, ස්ත්‍රී පලඳනා රාශියක් කරවා “මේවා කුමරුන් ලවා රැස්වන ශාක්‍ය කුමාරිකාවනට දෙවන්නෙමියි ද, මේවා දීමේ දී යම් එකියක කෙරෙහි කුමරුවෝ වැඩි සැලකිල්ලෙන් බැල්ම හෙලූහු නම්, ඇය පාවා දෙමැ”යි ද සිතා ගත්තේ ය. ඉක්බිති රන් රිදී මුතු මැණික් යොදවා ස්ත්‍රී පලඳනා රාශියක් කැරැ වී ය.

එයට පසු “තව සතියෙකින් කපිලවාස්තුවෙහි සංස්ථාගාරශාලාවෙහි සිද්‍ධාර්ථ කුමාරයෝ පෙනී සිටින්නාහ. එහි එන සියලු දැරියනට තුටු පඬුරු දෙන්නාහ. ඒවා ලබනු කැමැති සියලු දැරියන් එදා සංස්ථාගාර ශාලාවට පැමිණිය යුතු යැ” යි හැමතැන ම ඝණ්ඨාඝෝෂණාව කැරැ වී ය.

සත් වන දිනයෙහි බෝසතාණෝ සංස්ථාගාර ශාලාවට වැඩ තමනට නියමිත භද්‍රාසනයෙහි හිඳගත්හ. ශුද්ධෝදන රජ ද කවර නම් තැනැත්තියකට කුමාරයාණෝ වැඩි සැලැකිල්ලක් දක්වත් දැ’යි විමසා තමාට දන්වන්නැ’යි රහසින් බලා සිටින්නට රාජපුරුෂයන් කිහිප දෙනෙකු ද යෙදී ය.

කුමාරිකාවෝ එකියකට පසු වැ එකියක් දැ යි පිළිවෙළින් කුමාරයාණන් වෙත ආහ. සිද්‍ධාර්ථ කුමාරයාණන් රූපශ්‍රීයෙන් අගපත් වුව ද ඒ එක්ක ම පැවැති තේජස නිසා ඒ කිසි ම කුමරියක් කුමාරයාණන් දෙස කෙලින් බලනට නො සමත් වූවා ය. බිම බලා ගත් වන ම අවුත් කුමාරයාණන් දෙන පඬුර පිළිගෙන වහා නික්මියා ය. සිද්‍ධාර්ථ කුමාරයෝ ද තුටු පඬුරු දුන්නාහු නුමුදු ඒ කිසි ද කුමරියක දෙස ඕනෑකමින් නො බැලූහ. මැදහත් බැල්මෙන් යුතු ව ඒ හැම දෙනාට ම තුටු පඬුරු දුන්හ. වටා ආසනවල හිඳ බලා සිටි ශාක්‍යධිපතීහු කුමාරයාණන්ගේ ඉරියවු දැක, “මේ නම් මහ පුදුම කෙනෙක. දෙව් කුමරියන් බඳු මේ තරම් රූසිරින් හෙබි මේ කුමරියන් දැක ද ඕනෑකමින් බැල්මකුදු නො හෙළී ය. සිනහ පමණකුදු නො පෑයේ ය. කිසි කෙනකු විසිනුත් නමා ගත නොහැකි තද සිතැත්තෙකැ”යි ඔවුනොවුන් කතා බස් කළහ. සියලු කුමරියන් නික්ම ගිය නොබෝ වේලායෙහි යශෝධරාවෝ ආහ. අවුත් කුමාරයාණන් වෙත ගොස් ඔවුන් දෙස බලාගත් වණ ම පසෙක සිටියාහ. මේ වන විට දීමට පිළියෙල කැරැ තුබුණු සියලු ම පළඳනා දී නිම වී තිබිණ. එහි යශෝධරාවනට දෙන්නට කිසිත් ඉතිරි නොවී ය. යශෝධරාවෝ කුමාරයාණන් ළඟට ම ගියාහ. ගොස් සිනාමුසු මුහුණින් යුතුවැ “කුමාරයාණනි, මට තුටු පඩුරක් නොදෙන්නහු ද? ඔබෙන් යමක් පතා ආ මට සැලකිල්ලක් නො දක්වවු දැ” යි, ඇසුවා ය. “ඔබට නොසලකන්නෙම් නො වෙමි. සියලු තුටු පඬුරු දී නිම විය. ඔබ ආවේ බොහෝ පරක්කු වී” යැ යි කියා සිනහ මුහුණින් යුතු ව තමන්ගේ ඇඟිල්ලෙකැ තුබුණ ලක්‍ෂගණනක් අගනා මුද්ද ගලවා ඇය ඇතෙහි තැබුහ.

“මේ ඔබේ මුදුව පලඳින්නට මම් සුදුසු දැ?”යි ඕ ඇසුවාය. “මෙය මා සතු මුද්දෙක. මෙය පිළිගන්නැ”යි කුමාරයාණෝ කීහ. “අපි ඔබ පලඳනා හැරැ ගෙන ඔබ ඇඟිලි හිස් කරන්නට නො කැමැත්තම්හ. අපි ඔබ සුදුසු පලඳනායෙන් සරසන්නම්හ”යි කියා යශෝධරාවෝ ගරුබුහුමන් දක්වා නික්මියාහ.

සිදු වන දෑ රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ ශුද්ධෝදන රජහු වෙත ගොස්, “දේවයන් වහන්ස, යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේ ගේ ඇසට ඉලක්ක වූහ. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් දැවී” යැ යි සැළ කළාහ. ශුද්ධෝධන මහරජ එය අසා ප්‍රීත වැ යශෝධරාවන් ගේ පියාණන් වෙතට “ඔබ දුව මා පුත් කුමරාට පාවා දෙන්නැ” යි දූතයකු යැවී ය.

යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහරජුට පිළිතුරු එවනුයේ, “ආර්‍ය්‍යය, ඔබේ පුත් කුමර රජගෙහි ම සිවුමැලි වැ වැඩුණේ ය. සිප් සතර දන්නකුට මිස නො දන්නකුට අපේ කන්‍යාවෝ නො දිය යුතුහ, යන්න අපේ කුල ධර්මයෙකි. ඔබ පුතා කිසිත් නොදනී. කඩු දුනු ආදිය පිළිබඳ වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නො දන්නා ඔබ පුතුට කෙසේ මා දුව දෙන්නෙම් දැ?” යි කියා එවී ය. මේ තම පුත්‍රයා සිප් සතර නො දනිතැ යි යන කථාව ඇසු සුදොවුන් රජ “මෙයට කුමක් කරම්දෝ” යි කල්පනාවෙහි ගිලී හුන්නේ ය. කෙසේ හෝ මේ කථාව සිද්‍ධාර්ථ කුමාරයාණට ආරංචි විය. කුමාරයාණෝ පිය රජු වෙත ගොස් “පියාණනි, මේ මුසුප්පුවෙන් ඉඳිනුයේ ඇයි දැ?” යි ඇසූහ. “එය ඔබට වුවමනා නැතැ” යි රජ කීය. කුමරුවාණෝ තුන්වරක් ම ප්‍රශ්න කළහ. එවිට රජ ඇත්ත ම කී ය. “පියාණනි, මා හා ශිල්ප ශාස්ත්‍ර අතින් තරඟ කිරීමට සමතෙක් මිහිපිට නැතැ” යි කුමාරයෝ කීහ. රජ සිනාමුසු මුහුණින් “පුත, ශිල්ප දක්වන්නට ඔබට හැකි දැ?'යි ඇසීය. “හැක්කෙමි, ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි” යි කුමාරයෝ කීහ.[27]

ශුද්ධෝදන රජ “මෙයින් සත් වන දා සිද්‍ධාර්ථ කුමාරයෝ ශිල්ප දක්වන්නාහ. සියලු ශිල්පඥයෝ කිඹුල්වත් නුවරැ ශිල්ප දක්වන භූමියෙහි රැස්වෙත් වා”යි ඝණ්ඨාඝෝෂණාව කැරැවී ය.

නියමිත දිනයෙහි හැම දෙනාට පළමුවෙන් දේවදත්ත කුමාරයා සරඹ බිම වෙත එන්නට නික්මුණේ ය . බෝසතාණනට සතුටු පඬුරු වශයෙන් ලිච්ඡවී රජයෙන් එවන ලද සුදු ඇත් පැටියා ද ඇත් ගොව්වෝ තරඟ බිම දෙසට ගෙනෙන්නෝ වූ හ. දේවදත්ත තෙම ඌ දැක ඊර්ෂ්‍යාවෙන් මඩනාලද්දේ ඌට වැරයෙන් පහරක් දී ගියේ ය. ඇත් පැටියා එ තැනම මැරී වැටුණේ ය. එහි එන කිසි කෙනෙක් ඇත් කුණ ඉවත් කිරීමෙහි සමත් නො වී ය. මේ අතර සුන්දර නන්ද කුමරු මළ ඇතා දැක. “අහෝ කර ඇති අපරාධයෙක සැටි!”යි කියා ඇත් කුණ පාරෙන් පැත්තකට ඇද දමා නික්ම ගියේ ය. හැම දෙනාට ම පසුව ආ සිද්‍ධාර්ථ කුමාරයෝ ඇතාට වූ දෑ අසා නන්ද කුමරු කළ සැටි සුදුසු යැයි කියා “මෙය මෙතැන කුණු වූ පසු, මුළු පෙදෙසෙහිම දුගඳ පැතිරෙතැ”යි ද කියා එය ඔසොවා නගර ප්‍රාකාරයෙන් පිටතට වීසි කළහ. ඇතු වැටුණ තැන ඇති වූ වළ එදා සිට හස්තිගර්තා නමින් හැඳින්විණ. කුමාරයාණන් කළ දෑ දුටු ජනයා විස්මිත වැ. ප්‍රීතියෙන් උද්ඝෝෂණ කළහ.

ශිල්පඥයන් රැස් වූ පසු තරඟය පැවතිණ. සිදුහත් කුමරුවෝ අක්‍ෂර ශාස්ත්‍ර සංඛ්‍යා ශාස්ත්‍ර ආදී ශාස්ත්‍ර සියල්ලෙහි අන් හැම පරදවා ජය ගත්හ. එයට පසු දිවුම් පැනුම්, කඩු සිප් දුනු සිප් ඈ ශිල්ප සම්බන්ධ තරඟයෙන් ද සිද්‍ධාර්ථ කුමාරයෝ ම අන් හැම අභිභවා සාමර්ථ්‍යය දැක්වූහ.

යශෝධරාවන් ගේ පියා සිදුහත් කුමරුවන් භාෂාශාස්ත්‍ර ශිල්ප විද්‍යා විෂයයන් හි දැක් වූ සාමර්ථ්‍යයෙන් පැහැදුණ ද, ළපැටි වියෙහි කුමාරයන් පිළිබඳ අනාවැකි පැවැසූ නිමිත්ත පාඨකයන් ගේ කථාවන් සිහි කොට, කවරදාක හෝ මෙ කුමරු ගිහි ගෙය හැර දමා පැවිදි වෙතැයි සිය දියණියන් පාවා දීමට මැලි විය. එහෙත් එය පිටතට නො අඟවා යශෝධරාවනට තම අදහස් පිළිගන්වනු පිණිස ඇය ළඟට කැඳවා, “දුව. සිද්‍ධාර්ථ කුමාරයෝ කවරදාක හෝ ගිහි ගෙය හැර තපසට යන්නාහ. අසිතර්ෂි තුමා ද නිමිත්ත පාඨක බමුණන්ද කී මේ අනාවැකිය ප්‍රකට එකෙක. නුඹ ඔවුනට පාවාදුන හොත් වැඩිකල් නොයා දී ම කණවැන්දුම් වෙති. එබැවින් ඔහු හා කාර බන්ධනයට කැමති නොව ව”යි කීය.

“පියාණනි, මා සරණ යතොත් සිද්‍ධාර්ථ කුමාරයන් සමග ම ය. එතුමන් හෙට පැවිදි වතත් එතුමන් කෙරෙහි ම මිස අන් කිසිවකු කෙරෙහි නො වසමි,”යි ඕ තරයේ ම කීවා ය.

සිද්‍ධාර්ථ කුමාරයෝ ද “යශෝධරාවන් ම මිස අන් කිසිම කුමාරියක ආවාහ කොට නොගන්නෙමි” යි කීහ.

මෙසේ ඒ කුමර කුමරියන් ගේ සරණ මඟුල කිසිවකු විසිනුත් වළක්වාලියැ නො හැකි විය. නොබෝ දිනෙකින් මහත් මඟුල් උළෙලින් යශෝධරාවෝ සිද්‍ධාර්ථ කුමාරයාණනට පාවා දෙන ලදහ. ඉක්බිති ශුද්ධෝදන රජ්ජුරුවෝ දෙදෙනාට ම එක් විට කිරුළු පැළැඳවූහ.[28]

සිද්‍ධාර්ථ බෝසතාණන් වහන්සේත් යශෝධරා දේවීන් වහන්සේත් පෙර සිය දහස් ගණන් ජාතීන්හි එකට ඇසුරු කරමින් පැරුම් පිරීමට උනුනට උපකාරී වූහ. එයින් ඇති වූ ස්නේහය නිසා ඔහු එක්වැ විසීමට කැමැත්ත ඇති වැ සිටියත් කාමාසක්ත නො වී සෙනෙහෙබර සහෝදරයකුත් සහෝදරියකත් සෙයින් ඔවුනොවුනට උපකාරී වැ ළැදි වැ කල් යැවූහ. ශුද්ධෝදන රජ ද ප්‍රජාවතී ගෞතමී ද මේ අළුත් රාජ රාජිනී දෙදෙනාට දුක් පිළිබඳ කිසිම හැඟීමක් ඇති නොවන ලෙසට අවශ්‍ය හැම දැයක් ම සැපයූහ.

යශෝධරාවන් රජ ගෙට එන්නට පෙරැ රජ පවුලේ පිරිසට වෙනමත් සේවක සේවිකාවනට වෙනමත් බොජුන් පිළියෙළ කැරිණ. එහෙත් යශෝධරාවෝ එය වෙනස් කොට රජ පවුලට පිළියෙල කැරෙන රාජභෝජනය ම එහි සේවක සේවිකා දාස දාසි හැම දෙනාට ම දෙන්නට සැලැස්වූහ.

එදා රටේ සිරිත අනුව ශුද්ධෝදන රජ ගෙදර ද දාස දාසී නමින් සේවක පිරිසක් සිටියත් ඔහු වහල්ලු නො වූහ. රජ පවුලේ හිත මිතුරන් සේ මහත් රුචියෙන් සේවාව කළෝ වූහ.

රජගෙයි පමණක් නොව මුළු රටෙහි ද හැම දෙනාම යශෝධරාවන් ගේ කරුණා ගුණය කෙරෙහි පැහැදුණාහ. කපිලවාස්තු පුර වැසි සියල්ලෝ යශෝධරාවනට තමන් හැම දෙනා ගේ මවකට මෙන් මහත් ආදර ගෞරව දැක්වූහ.[29]

සිද්‍ධාර්ථ කුමාරයාත් යශෝධරාවත් වසන මාළිගාව ශුද්ධෝදන රජුගේ මෙහෙයීමෙන් නිරතුරු පැවැත්වෙන නෘත්‍යගීතාදියෙන් හැම දා ම මඟුල් ගෙයක සිරි දැරී ය. කොතරම් සිරි සම්පතින් පිරිවැරුණත් සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් රජගෙහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස්වියකුගේත් තපස්විනියකගේත් ජීවිත බඳු විය. ඔහු ලොවැ තතු සලකා බලනුවෝ එළැඹ සිටි සිහියෙන් කල් යැවූහ. “යම්කිසි දවසක ගිහිගෙය හැරැ යෑ යුතු යැ, අනගාරික ජීවිතයක් ගත කළ යුතු යැ” යනු දෙදෙනාගේ ම අදහස විය. තවුසන් මෙන් දිවි ගත කළ ඔවුනට බොහෝ කලක් යන තුරුත් දරුවෙක් නො ලැබිණ. යශෝධරාවන් කුසැ දරුවකු පිළිසිඳ ගත්තේ බෝසතාණනට අටවිසි වැනි හවුරුද්දේ දී ය.[30]

උයන් කෙළි ගමන

දවසෙක බෝසතාණන් වහන්සේ නගර සීමාවෙන් ඈතට ද ගොස් උයන් වතු පිටි ආදිය බලන්නට සිත් විය. පිය රජුට මෙය සැළ කළහ. ශුද්ධෝදන රජ “ලබන සතියේ අසෝ දවසෙහි සිද්‍ධාර්ථ කුමාරයෝ උයන් කෙළි යෙති”යි නුවර වැසියනට දන්වා මඟ දෙපස සරසවා මහල්ලන් රෝගීන් මළ සිරුරු හෝ පැවිද්දන් ඒ පෙදෙසට නො එන්නට රකවල් ලැවී ය. නියමිත දිනයෙහි සිද්‍ධාර්ථ කුමරුවෝ ද සුදු අසුන් යෙදූ මහඟු රියෙකින් උයන් බලා නික්මුණාහ. පිරිවර කුමර කුමරියෝ ද ඔබ අනුව පිටත් වූහ. “සිද්‍ධාර්ථයන් වහන්සේ එති”යි ඔබගේ රූසිරි දකුම්’හ යි මිනිස්සු මඟ දෙපස රැස්කකා සිටියාහ. කුමාරයන් වහන්සේ ට වැඩි දුරක් නොයා දීම වෙවුලමින් සැරයටි වාරුවෙන් යන ඇඟ රැලි ගැසුණු කෙහෙ රවුලු පැසුණු කුදු වූ මහල්ලෙක් මඟ පසෙක දක්නට ලැබිණ. මෙ තරම් ජරපත් මහල්ලකු පෙර කිසි ම දාක ඔබ නොදුටුවහ. අනුමානයෙන් මේ මහල්ලෙකැ යි දැනගත්තත්, රියැදුරු ඡන්නයා ගෙන් “අර කවරෙක්ද?” යි බෝසතාණන් වහන්සේ ඇසූහ. ඡන්නයා “ඒ මහල්ලෙකැ”යි කී ය. තව තවත් ඔහු ගැන කථා කරන බෝසතාණන් වහන්සේ “අපටත් මෙවැනි අවස්ථාවක් ඇති වෙයි දැ?” යි ඇසූහ. “බොහෝ මහලු වන විට අප හැමත් මේ තත්වයට වැටෙතැ”යි ඡන්නයා කී ය.

බෝසතාණනට, මෙ තරම් ජරපත් මහල්ලකු පෙර නොදුටු බැවින් මහලු බව ගැන දුරට සිතන්නට අවස්ථාවෙක් නො එළැඹිණ. එහෙත් එදා ජරපත් මහල්ලා දුටු මොහොතෙහි මහලු බව ගැන ගැඹුරට ම සිතනුවෝ උයන් කෙළියෙහි ඇල්ම හළහ. “පෙරළා යම්හ”යි කියා රථය ආපසු මාලිගාව අතට ම හැරැවූහ.

වැඩි වෙලාවක් යන්නට කලින් බෝසතාණන් ආපසු පැමිණි කරුණ ඡන්නයා ගෙන් දැනගත් ශුද්ධෝදන රජ්ජුරුවෝ ද ප්‍රජාවතී ගෞතමි ආදී සෙසු හැම දෙනා ද කැළඹුණාහ. බෝසතාණන් තුළ පහළ වූ අදහස් අමතක වන ලෙසට අමුතු අමුතු නෘත්‍යාදියෙන් ඔබගේ ප්‍රාසාදය සෝෂවත් කැරැවූහ. ප්‍රාසාදය කොතරම් නෘත්‍යගීතාදියෙන් ඇලී ගියත්, බෝසතාණන් වහන්සේ තමන් දුටු දැය ගැන නිතර සිතූහ. යශෝධරාවන් සමග ද තමන් කොතරම් රූපශ්‍රීයෙන් යුතු ව සිටියත් කලක් ගිය තැන දත් වැටුණු ඇඟ රැලි ගැසුණු කුදු ගැසුණු මහල්ලන් විය හැකියැ යි කියන්නෝ වූහ. මේවා ගැන සිතන කතාබහ කරන ඒ කුමර කුමරියෝ දෙදෙනා ම සිය රූප ශෝභාව නිසා මත් නො වූහ. රූප මදය ඔවුන් ගෙන් ඈත් විය. “යම් දවසක අපි දෙදෙනාම ගිහිගෙන් නික්මැ අජර සුවය සොයා යම්හ” යි කතිකා කළහ.

ලෙඩකු දැකීම

කාලයෙක් ගත විය. යළි දු බෝසතාණෝ අසෝ දිනයෙහි උයන් කෙළි යම්හැ’යි පිය රජුට දැන්වූහ. ශුද්ධෝදන රජ ද අසෝදින පුත්‍රයාණන් උයන් කෙළි යතැ යි නුවරුනට දන්වා පෙර සේම මග දෙපස සරසවා රකවල් ලැවී ය. බෝසතාණන් වහන්සේ ද පෙර සෙයින් ම මහ පිරිසෙන් පිරිවැරුණෝ අස්රිය නැඟ නික්මුණහ. වැඩි දුරක් යන්නට නො ලැබිණ. කුෂ්ට රෝගයෙකින් පෙළෙන මහසැළක් සෙයින් ඉදිමුණු බඩ ඇති බරවා පා ඇති ලෙඩෙක් මහ මඟැ පැත්තෙකැ දක්නට ලැබිණ. බෝසතාණෝ මෙතරම් විකෘතියකට පැමිණියෙකු පෙර නොදුටුවත්, මේ කිසියම් කායික පීඩාවකට පැමිණියෙකැ යි අනුමානයෙන් දැන ගෙනත් තවත් විස්තර දනු කැමැත්තෝ, “අර කවරෙක් දැ?”යි ඡන්නයා අතින් විචාළාහ. ඡන්නයා “ඒ ලෙඩෙකැ”යි කීය. තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී කාට වුවත් මෙ බඳු තත්ත්වයක් ඇති විය හැකි බව පැවැසී ය. බෝසතාණන් වහන්සේ ගැඹුරට ම සිතූහ. “මම් නීරොගයෙමි”යි යන ආරෝග්‍ය මදය පහ විය. එය ඔස්සේ ම සිතන්නට වූහ. උයන් ගමන එපා විය. “ආපසු යම් හ”යි එදා ද ඉක්මනින්ම පෙරළා සිය පහයට ම ගියහ. එදා සුද්ධෝදන රජතුමා එපවත් ඡන්නයාගෙන් දැන ගෙන වඩාත් කැලැඹිණ. නිමිත්ත පාඨකයන් කී අනාවැකි එසේ ම හරි යන සේ පෙනුණෙන් රජගෙහි සියල්ලෝ නො සන්සුන් වූහ. බෝසතාණන් ගේ ප්‍රාසාදයේ ක්‍රීඩෝත්සවයනට අමුතු අමුතු අංග එකතු කරමින් උන්වහන්සේ ගේ සිත ඒවා අතට යොමු කරවන්නට බොහෝ උත්සාහ කළහ. බෝසතාණෝ ද යශෝධරාවෝ ද ජරාරෝගවලට ගොදුරු වන මේ කය බොහෝ ආදීනව ඇති එකකැයි සිතනුවෝ “කවර දා නම් මේවායින් මිදෙන මඟක් සොයන්නට යමෝ දැ?” යි සිතමින් කල් යැවූහ.

මිණියක් දැකීම

තව කලෙක් ගෙවිණ. එක් තැන ම කල් ගෙවන කෙනෙකුට කාය ව්‍යායාමය පිණිස හෝ ඈතකට ඇවිදින්නට යන සිත ඇති වේ. බෝසතාණන් වහන්සේට ද ඈත උයනට යන්නට සිත උපන. අසෝ දවසැ උයන් කෙළි යමැ’යි පිය රජුට දැන් වූහ. පිය රජ පෙර වතාවලැ සේම මඟ දෙපස සරසවා කලටත් වඩා හොඳට රකවල් ලැවීය. බෝසතාණෝ ද මඟුල් අස්රිය නැඟ මහ පිරිවරින් පිටත් වූහ. ඔබට යන්නට ලැබුණේ මඳ දුරෙකි. මහපාර පසෙක[31] කට ඇරැගෙන හෝනා ඉදිමී නිල් වැ ගිය නව දොරින් නික්මෙන පණු කැලන් ගෙන් වැසුණු මළ සිරුරෙකි. බෝසතාණෝ පෙරැ කිසි ද කලෙක එවැන්නක් නො දුටුවෝ, “අර කිමෙක් දැ” යි ඡන්නයා ගෙන් ඇසූහ. ඡන්නයා “එය මළ සිරුරෙකැ”යි කී ය. “අප සිරුරටත් එසේ වේ දැ?” යි ඇසූ විට, “අප හැම දෙනා ගේ ම සිරුරට මෙය වෙතැ”යි විස්තර කෙළේ ය. බෝසතාණෝ එය අනුව සිතනුවෝ සිරුර කෙරෙහි කළකිරුණහ. එයින් ජීවිත මදය දුරු විය. උයන් ගමන එපා විය. පළමු දෙ වර සෙයින් ම පෙරළා සිය පහය කරා ගියහ.

ශුද්ධෝදන රජ ගමනේ තොරතුරු අසා අසිතර්ෂි ආදින් කී දෑ එලෙසට ම සිදු වී ගෙන යන සැටි සිතමින් සිත සනසා ගත නො හැකි වැ බියටත් නොසන්සුන් බවටත් පත් විය. “පැවිදි රුව දැක්මෙන් ගිහිගෙය හැර යතැ” යි කී බස සිහි කොට එය දැකීම වැළැක්කුවොත් පුතු ගිහිගෙහි ම රැඳෙතැ යි යන්තම් සිත හදා ගෙන එය සඳහා උපා යෙදී ය. කිසි ම පැවිද්දකුට කපිලවාස්තු නගරයට වත් උප නගරයට වත් පිවිසෙනු නො හැකි වන්නට දැඩි රකවල් තැබ්වී ය.

මහණ රුව දැකීම

ටික කලකට පසු එක් දිනෙක බෝසතාණෝ අස්රිය නැඟ පළමු සේ ම උයන් යන්නෝ උයනට නොදුරෙහි “ශාන්ත දාන්ත වැ විය ගහක් තරම් දුරට හෙලූ ඇස් ඇති වැ සෙමෙන් සංසුන් වැ යන මහණක් හු දුටහ.23 තමන් කුඩා වියෙහි ගුරුහු වෙතින් වේද වේදාංගාදී සිප් සතර උගනිද්දී දැන ගෙන තුබුණු පරිදි ‘මේ ශ්‍රමණකෙනකැ’ යි අනුමානයෙන් සිතුවත් සැක හැරැ දැනගනු රිසියෙන් “රියදුරනි, අර කවරෙක් ද?” යි විචාළ හ. “ජරාරෝගාදී වශයෙන් ඇති සසර දුකින් මිදෙනු වස් ගිහි ගෙය හැර පැවිදි වැ ගුණ දහම් වඩන මහණ කෙනෙකැ” යි ඡන්න පැවැසී ය. එය ඇසූ බෝසතාණන් වහන්සේ තුළ පැවිදි වීමේ උනන්දුව බලවත් විය. ඔබ එදා උයනට ම වැඩ උයන් සිරි බලමින් ප්‍රීතියෙන් කල් යැවූහ. මේ අතර ශුද්ධෝදන රජු විසින් එවන ලදු වැ, එහි අවුත් සිටි කාලුදායි ඇමැතියා ගේ මෙහෙයුම් පරිදි, නාටිකාවන් බෝසතාණන් සිත කම්සුවෙහි අලවනු පිණිස නොයෙක් ලෙසින් භාව භාව විලාස පාමින් ක්‍රීඩා කළ නුමුත්, තමන් දුටු මහල්ලා ද රෝගියා ද මළ සිරුර ද සිහි කරන බෝසතාණනට ඔවුන් ගේ ඒ සියලු විලාස පෑම් දුගඳ ලේ මස් නහරින් බැඳුණු ඇටසැකිලි ගොඩක් කරන වියරුවක් සේ වැටහිණ. එහෙත් නිහඬ වැ, තමන් බලාපොරොත්තු වන පැවිද්ද ගැන ම සිතමින්, සිය පිරිවර කුමරුන් හා උයන් සිරි බලා පැවිදීම් ආදියෙන් දවස ගෙවූහ.

සවස් විය. බෝසතාණෝ මඟුල් පොකුණට බැස නා ගොඩ නැගුණාහ. එ කෙණෙහි මඟුල් කපුවා පැමිණ ඔබ වස්ත්‍රාභරණයෙන් දෙව් රජක්හුසේ සැරැසී ය. බෝසතාණන් වහන්සේත් ගදඹුවන් ගේ පසඟ තුරු ගොසින් ද බමුණන්ගේ ස්තෝත්‍ර ගායනයෙන් ද පුදනු ලබනුවෝ මඟුල් අස්රිය නැඟුනාහ. එකෙණෙහි ම සුදොවුන් මහරජාණන් දූතයකු අතැ එවූ “යශෝධරාවනට පුතෙක් ලැබිණ” යන හස්නට කන් යොමු කළහ. “රාහුලයෙක් උපන,24 ඒ බන්ධනයෙක් පහළ වී යැ” යන වචන බෝසතාණන් ගෙන් කියැවිණ.

දූතයා ආපසු ගියේ ය. බෝසතාණන් කී වචනය මහරජුට දැන්වී ය. රජ එය අසා, මෙ තන් සිට මා මුනුබුරු තෙම රාහුල නම් වේ වායි’ කී ය.

බෝසතාණන් වහන්සේ ද රිය නැඟ මහ පෙරහැරින් සිය භවනය අතට ගමන් ගත්හ. උන් වහන්සේ යන මඟ අද්දරැ ප්‍රාසාදයෙක සිට ඔබ දෙස බලා සිටි කෘශාගෞතමී (හෙවත් මෘගජා) නම් ශාක්‍ය කුමාරිකාවක් තේජස් සම්පන්න වූ නුමුත් ඒ එක්ක ම කරුණාබර ශාන්ත බැල්මෙන් යුත් බෝසතාණන් දැක “මොහු හෝ මෙ වැනි පුතක්හු ලත් මව නිවුණි වේ. පියා ද නිවුණේ වේ. මොහු හෝ මෙවැන්නකු ස්වාමි ව ඇති ස්ත්‍රී ද නිවුණියක් වේ” යැයි ගාථාවකින් හඬ නඟා ස්තෝත්‍ර කළා ය.25

සසරැ දුක් ගිනි නිවීම අතට ම යොමු කළ සිත් ඇති වැ ඒ ගැන ම කල්පනා කරමින් හුන් බෝසතාණන් වහන්සේ ඇය ගේ කථාව අසා “මා හෝ මා වැන්නකු අයත් මවත් පියාත් බිරියත් නිවුණවුන් වෙති”යි මෝ කියයි. “කුමක් නම් නිවුණු කලැ හදවත නිවේ දැ?” යි සිතන්නාහු, රාග ගින්න. ද්වේෂ ගින්න, මෝහ ගින්න, මාන දෘෂ්ටි ආදී කෙලෙස් ගිනි නිවී ගිය කල්හි ම හදවත නිවුණේ වේ යැ” යි දුටුහ. ඉක්බිති “සියලු දුක්වල නිවීම සොයන මා සිතට ධෛර්‍ය්‍ය දෙන හස්නක් එවීමෙන් මා උනන්දු කළ මැයට තුටු පඬුරක් යැවිය යුතු යැ”යි සිතා ගෙල පලන් ලක්ෂයක් වටනා මුත්හර ගලවා ඇයට ගුරු පඬුරු කොට යැවූහ. සිය පහයට ගොස් සිරි යහන් හි හෙවැ ගිහි ගෙන් නික්ම යෑම ගැන ම කල්පනා කළහ.

බෝසතාණන් වහන්සේ ටික වෙලාවකින් පිබිදුණාහ. “ගිහිගෙන් නික්මෙන්නට කාලය පැමිණියේ යැ”යි සැලැකූහ. එහෙත් “මා හදා වඩා රැක බලා ගත්, මගේ සැප පහසුව ද අභිවෘද්‍ධිය ද තකා පමණ කළ නොහැකි මහත් ධනසම්භාරයක් වියදම් කළ, රෑ දෙවේ මගේ යහපත ම පතා, නො පමණ වෙහෙස මහංසි දැරූ මගේ කරුණාබර පියාණන් වහන්සේට නො දන්වා උන් වහන්සේ ගෙන් අවසර නො ගෙන නික්ම යෑම අයුත්තෙකි. එය අකෘතඥ බවෙකි. එ බැවින් දැන් පියාණන් වහන්සේ වෙත ගොස් දන්වමි” යි සිතූහ. සිතා මහ රෑ ම පියාණන් ගේ මාළිගාව වෙත ගියාහ. ස්වභාවයෙන් ම බෝසතාණන් වහන්සේ ගේ සිරුරේ ප්‍රභාව බඹයක් පමණ වටා ආලෝකවත් කෙරෙයි. යශෝධරාවන්ගේ ශරීරප්‍රභාව ද එබඳු ම ය. විශේෂයෙන් මෙය ප්‍රකට වනුයේ රෑ අඳුරෙහි ඉන්නා විට ය. බෝසතාණන් වහන්සේ පිය රජුන්ගේ පහයට ගිය කෙණෙහි ඔබේ ශරීර ප්‍රභාව පැතිර පෙදෙස ආලෝකවත් වූ විට, රෑ පවා පුත් කුමරු ගැන නිතර සෝදිසියෙන් සිටි ශුද්ධෝදන රජ සේවකයන් බණවා “කිමෙක් ද? රෑ පාන් වූයේ දැ?” යි ඇසී ය. “නැත දේවයිනි, තව ම මහ රෑ ය. රාජපුත්‍රයාණන් වහන්සේ වැඩිය සේකැ” යි සේවකයෝ කීහ. ශුද්ධෝදන රජතුමා යහනින් නැගිට අවුත් බෝසතාණන් පිළිගෙන “පුතා, මේ මහ රෑ මෙහි ආයේ කිසි වුවමනාවෙක් දැ” යි ඇසී ය.

“එසේ ය, පියාණන් වහන්සැ” යි බෝසතාණෝ වදාළාහ.

“ මොකක් ද පුතා, උවමනාව?”

“පියාණන් වහන්ස, මට දැන් ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේ ය. මට සමා වෙන්න. රට වැසියන් සහිත පියාණන් වහන්සේ ගෙන් සමාව යදිමි, මම පිටත් ව යන්නෙමි.”

“පුතා හැයි ද මේ නෑදෑ පිරිසත් රාජ සම්පතත් කීකරු රට වැසියනුත් හැර දමා යන්නට සිතන්නේ? ඔබට වුවමනා යම් දැයෙක් ඇත්නම් ඒ සියල්ල සපයා දෙමි.”

“මට වුවමනා දැය සපුරාදෙතොත් මේ රජ සැප හැර නො යමි. සපයා දත හැකි නොවෙතොත් මට යන්නට අවසර ඇද්ද?"

“මා විසින් සපයාදෙත නො හැකි කිසිත් නැත. සියල්ල සපයමි. ඒ කිසිවක් මට නො හැකි වී නම්, එය සොයා යන්නට අවසර ඇත.”

“එසේ නම් පියාණන් වහන්ස, මට අවශ්‍ය ව ඇති දෑ සතරෙකි. එනම්, “මහළු බව මට ඇති නො වේ වා” මෙය මා ඉල්ලන එක් දැයෙකි.

“යොවුන් බව, මනා පැහැපත් තරුණ බව හැම කල්හි ම මා කෙරෙහි වේවා” මේ මා ඉල්ලන දෙවෙනි දෑ ය.

“කිසිදු කලෙක මා සිරුරට රෝගයක් නො වැළඳේ වා” - මේ තුන්වැනි දැ ය යි.

“කිසිදු කලෙක නො මැරෙම්වා” මේ මා ඉල්ලන සතර වැනි දැය යි.

පියාණන් වහන්ස, මෙසේ මහළු නොවන බව, සදා තරුණ බව, ලෙඩ නොවන බව, නොමැරෙන බව යන කරුණු සතර හැර මට අවශ්‍ය අන් දැයෙක් නැත. මේවා සපයා දෙත හැකි නම් රජගෙය හැර නොයමි. මෙහි ම රැඳෙමි. මේවා සපයා දෙත නො හැකි නම්, මගේ පමණක් නොව, ඔබ වහන්සේ ගේ පමණක් නො ව, මා වැඩූ කුඩා මෑණියන්ගේ ද යශෝධරාවන් ගේ ද, රාහුල නන්ද ආදි මගේ සහලේ නෑයන්ගේ ද පමණක් නො වැ, ජරා ව්‍යාධි ආදි දුක්වලින් පෙළෙන සියලු අසරණ ලෝකයා ගේ යහපත පිණිස, ඒ හැමදෙනාට මෙකී සියලු දුකින් මිදෙන මඟ සොයා පිහිට වනු පිණිස, එය මේ රජ ගෙය තුළැ රැඳී කට නො හැක්කක් බැවින් එය සොයනු පිණිස මා මෙහෙන් නික්ම යෑ යුතු නොවේ ද?”

බෝසතාණන්ගේ කථාව අසා සිටි ශුද්ධෝදන රජතුමාට තමා මෙතෙක් කල් කොතරම් උපා යෙදුවත් කොතරම් වෙහෙස මහන්සි ගත්තත් අසිත සෘෂිතුමාත් නිමිත්තපාඨක බමුණනුත් කී අනාවැකි හරි යන බව ම හැඟිණ. එය වළක්වන්නට නො හැකි බව ම වැටහිණ. ඉක්බිති කඳුළු පිරි මුහුණින් පුත්‍රයාණන් දෙස බලා හිඳ “පුතංඩ, ඔබ ඉල්ලූ වර දීමෙහි ශක්තියෙක් මට නැත. මහානුභාව සම්පන්න දීර්ඝායුෂ්ක සෘෂිහු පවා කලුරිය කළහ. ඔබේ අදහස මට වැටහෙයි. ගමනට ඔබට අවසර ඇත. ඔබ තුළ පවත්නා ලොව ජරාමරණාදි දුකින් මුදාලීමේ ශ්‍රේෂ්ඨ අදහස එසේ ම සඵල වේවා, සම්පූර්ණ වේ වා!”

මෙසේ පියරජු ගෙන් අවසර ගත් බෝසතාණන් වහන්සේ ඔබට ගරු බුහුමන් දක්වා එ තැනින් සිය මාළිගයට පැමිණියාහ.

පසු දින පහන් දොරැ ශුද්ධෝදන රජ සියලු ශාක්‍ය ප්‍රභූන් රැස්කරවා සිද්‍ධාර්ථ කුමාරයෝ ගිහිගෙන් නික්මෙන්නාහ’යි තමාත් පුත්‍රයාත් අතරැ ඇති වූ කථාව කියා “මෙයට කුමක් කර මෝ දැ?” යි ඇසී ය. “නිමිත්තපාඨකයන් කියා තිබෙන පරිදි පැවිදි වීම හෝ සක්විති වීම වයස එකුන් තිස් වැන්න පිරුණු තැන දී ය. ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියෙකි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතු යැ”යි ශාක්‍යයෝ කීහ. කියා එයට කටයුතු දෑ නිශ්චය කැරැ ගත්හ. එය අනුවැ එදා සිට නුවරැ දකුණු වාසල් දොරැ ද්‍රෝණෝදන රජු සමග පන්සියයක් ශාක්‍ය තරුණයෝ ද, බස්නාහිර පැත්තේ වාසල් දොරැ ශුක්ලෝදන රජු සමග එපමණ ම ශාක්‍ය තරුණ පිරිසෙක් ද, උතුරු වාසල් දොරැ අමෘතෝදන (අමිතෝදන) රජ සහිත තරුණ ශාක්‍ය පිරිසෙක් ද, නැගෙනහිර වාසල් දොර පන්සියයක් පමණ ශාක්‍ය තරුණයන් සමග ශුද්ධෝදන මහරජ ද, රකවල් කරන්නට නියම කැරැ ගත්හ. ඔවුන්ගේ නියමය පරිදි නුවර සෑම දෙමං හන්දි තුන්මං හන්දි සතරමං හන්දි ආදී සන්ධිස්ථානවල මහළු ශාක්‍ය රජුහු රකවල් කරන්නට බාරගත්හ. නුවර මැද සංචාරය කරමින් ආරක්ෂා කැරැ ගැන්ම මහානාම කුමාරයාට පැවරිණ.

මෙසේ ඔහු සදිනක් ම රෑ නිදිවරා නගරය ඇතුළත පිටත හැම තැනම මුර කළහ.

ඔවුන් ගත් ක්‍රියා මාර්ගය දැනගත් සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේ ද සුදුසු දිනය හා වේලාව පැමිණෙන තුරු බලාපොරොත්තු වූහ. ප්‍රජාවතීගෞතමී ද නුවර හැම ප්‍රාසාදයෙකම හැම ගෙයකම ඉන්නා ස්ත්‍රීනට රෑ එළිවන තුරු පහන් නොනිවා සෝදිසියෙන් ඉන්නට විධාන කළා ය.

බෝසතාණෝ ද මේ කාලය තුළ ලොවැ දුඃඛ තත්වය නුවණින් සලකා බැලීම්, තමන් ජාතිස්මරණඥානය ඇත්තකු බැවින් අතීත ජාතීන්හි කළ චිත්තප්‍රණිධීන් මෙනෙහි කිරීම් ආදී වශයෙන් “තවුසක්හු සේ කල් යැවූහ. සිද්‍ධාර්ථ කුමාරයන් ද සුදොවුන් මහරජු ද අතරැ පැවැති කථාව රහසෙක් නොවී ය. යශෝධරා ආදි කවුරුත් දත්හ. කවර දාක හෝ සිද්‍ධාර්ථ කුමාරයන් කැටුව තමා ද ගිහිගෙන් වෙන් වැ තවුස් දිවියට බස්නට ඉටාගෙන සිටි යශෝධරාවෝ ඒ කිසිවෙකින් කලබොල නො වූහ. එහෙත් ඇය ගේ සිත නොසංසුන් වන්නට කරුණෙක් ඇති විය. ඒ එකී සත්වැනිදා රෑ කලින්ම නිදා ගත් ඇය දුටු සිහිනයෙකි. එදා සැන්දෑවේ ඕ නිදාගත්තී සිහිනයක් දැක පිබිදී සිද්‍ධාර්ථ කුමාරයන් වෙත ගියා ය. තමා දුටු සිහිනය සැළ කරන්නී. “ස්වාමීනි, ඔබ මෙහි මා තනිකොට හැර දමා තපසට ගියා සීනෙන් දිටිමි. ස්වාමීනි, ඔබ යන තැනට මම ද යෙමි” යි ඕ කීවා ය. බෝසතාණෝ ද ‘තමන් යනුයේ නිවන දෙසටය, යන්න සලකා, “එසේය, මා යන තැනට ම නුඹත් පමුණුවමි” යි කීය. ඉක්බිති නිවන් අවබෝධ කරනු පිණිස මහත් දුක් පීඩා වින්ද යුතු බව, බෙහෝ වෙහෙස මහන්සි වියැ යුතු බව, අතදරුවකු සහිත යශෝධරාවන් බඳු සියුමැලි ස්ත්‍රියකට එවැනි දුක් පීඩාවලට මුහුණ පෑ හැකි නොවන බව පැහැදිලි කොට දී, “මම් විමුක්ති සැපය අත්පත් කොට ගෙන අවුත් ඔබ හැමට එය ලබවන්නෙමි. එතෙක් ඉවසා දරුවා රැකගන්න. මේ සියලු ධන සම්පත් ඔබට ඇත. මා පියාණෝ ද කුඩා මෑණියෝද ඔබේ ආරක්ෂාවට සිටිති” යි සැනසිලි බස් කීහ. දුර දිග දක්නා නුවණ ඇති, ස්වාමිභක්තිය ඇති, විනීත වූ යශෝධරාවෝ කුමාරයාණන්ගේ අවවාදයට අවනත වූහ. ප්‍රිය විප්‍රයෝග දුක ඉවසා දරා ගන්නට නොයෙක් දෑ සිතමින් උත්සාහ කළා හ.

මහාභිනිෂ්ක්‍රමණය

යශෝධරාවෝ “ළඟදී ම ස්වාමි දරුවෝ නික්ම යති. කවරදාක හෝ නික්ම යතොත් තමාට කියා ම යති යි ටික කලකට පසු මමත් කෙසේ හෝ උන් වහන්සේ අනුව යමි” යන ආදීන් සිතා සැනැසෙන්නට උත්සාහ කරන්නී සිය ඕවරයකට ගොස් නිදාගත්හ. බෝසතාණෝ ද කල්පනායෙහි නිමග්න ව තම යහනෙහි හොත්හ. මේ වෙලාවේ පෙර දිනවල සේම නාටිකාවෝ රැස්ව ඔබ ඉදිරියේ නැටුම් ගැයුම් ඇරඹූහ. බෝසතාණෝ ඒ කිසිත් නොසලකා සිත සිතා හොත්තාහු නින්දට බටහ. එය දුටු නාටිකාවෝ ‘සාමිදරුවෝ නින්දට බටහ. අපේ ක්‍රීඩාවලින් වැඩෙක් නැතැ’යි කියා තුමූ ද තමන්ගේ වාද්‍ය භාණ්ඩ ඒ ඒ තැන තබා එහි ම නිදා ගත්හ. මැදුම් රැයෙහි බෝසතාණෝ නින්දෙන් පිබිදියාහ. යහනෙහිම හිඳ අවට බැලූහ. නිදන නාටිකාවන් ගේ විප්‍රකාරය දුටුහ. කෙනෙක් මුව අයා ගොරවති. කෙනෙක් කට දෙකොණින් කුණු කෙල වගුරුවති. කෙනෙක් සිහිනෙන් නන්දොඩති. කෙනෙක් වැළැපෙති, කෙනෙක් නිරුවත් වැ හෙති, කෙනෙක් අවුල් වැ විසිරැ ගිය කෙහෙ ඇතියෝ වෙති. ඔවුන් දුටු බෝසතාණනට තමා මළ කඳන්, රැසක් මැද ඉඳින්නකු සේ හැඟිණ. ටික වෙලාවකට කලින් දෙවඟනන් පිරි දෙව් විමනක් බඳු වැ පෙනුණු මේ මැදුර දැන් මළ කඳන්, පිරුනු තැනක් බඳු යැ’ යි සිතිණ. මෙය සිතත් සිතත් ම ගිහිගෙය කෙරෙහි කලකිරීම වැඩි විය. ගිහි සැප යනු මිරිඟුවක් වැනි බව පෙනිණ. නික්මැ යෑ යුතු අවස්ථාව සලකන්නාහු, අවට විමසා බලා සදිනක් තිස්සේ ම නිදිවරා වෙහෙස පත් සියල්ලන් ම පාහේ තද නින්දට වැටී හෝනා නියාව දැන ගත්හ. දැන් පිටත් වන්නට වේලාව යැයි සැලැකූහ. යශෝධරාවනට කථා කොට පුතු ද වඩාගෙන සිඹ සනසා එයට පසු ප්‍රාසාදයෙන් බැස්ස යුතු යැයි සිතා ඇය නිදන ඕවරකය දෙසට පිය තැබූහ. එහි දොර ළගට ම ගොස් දොර හැර තිරය ඔසොවා ඇතුළත බලන්නාහු, කාන්ත වූ මෘදු පහන් එළියෙන් අඳුරු දුරු වැ ගිය, පහනෙහි දැවෙන සුවඳ තෙලින් සුවඳවත් වූ සිරියහන් ගබඩායෙහි සමන් මල් අමුණක් අතුළ යහනෙහි රහල් කුමරු මෙහි හොවා නිදන යශෝධරාවන් දුටුහ. “ඇතුළට ගොස් ඇය පුබුදුවාලුවොත් ගමනට බාදා වියැ හැක්ක. දැන්ම නොයන්නැ”යි ඇය ඇවිටිලි කරනු ඇත. පසු වැ අවුත් මොවුන් දක්නෙම් වේ ද! දැන් නිහඬ වැ නික්ම යෑ යුතු යැ”යි සිතාගත්හ. මෙසේ සිතා අඹුදරු ආදීන් කෙරෙහි ඇති සසිම ප්‍රේමයට මුළු ලොවැසි සියලු සතුන් කෙරෙහි හටගත් මහා දයාව මාරු කොට, ජරා මරණාදී නොපමණ දුකින් පෙළෙන ලෝකයට පිහිට වෙමි’යි උපන් මහා කරුණාව පෙර දැරිකොට ගත්තාහු, ලෙහෙසියෙන් ම පය එළිපත්තෙන් පිටතට ඇද ගත්හ. මෙසේ නික්ම ප්‍රාසාදයේ උඩු මහලෙන් බැස තරප්පුව පාමුල නිදන ඡන්නයා පිබිදැවූහ. “ඡන්නය, කන්තක අසු සරසා ගෙනෙන් නැ” යි කීහ. “ස්වාමීනී, මේ මැදුම් රෑ කොහි යන්නට දැ?”යි ඡන්නයා ඇසී ය. ‘මම පැවිදි වන්නට ගිහි ගෙන් නික්මෙමි’යි බෝසතාණෝ වදාළහ. “ස්වාමීනි, මේ මාපිය නෑදෑ පිරිස් හැර දමා, කොහි වඩින්න ද? එසේ නොම වඩින්න ස්වාමීනි”යි ඡන්නයා අඬන්නට වන. බෝසතාණෝ නොයෙක් සැටියෙන් කරුණු කියා ඡන්නයා කැමැති කරවාගත්හ. එසේ වුවද හේ ගමනට සැරසෙන අතර ම යශෝධරාවනට ඇසෙන මානයට ගොස් ඇය පුබුදුවන්නට මහ හඬක් පවත්වා පෙරළා ආයේ ය. එහෙත් ඕ නොම පිබිදුණා ය. ඉක්බිති හේ කන්තක අසු සරහ ගෙනායේ ය. බෝසතාණෝ අසුගේ හිස මුහුණ අත ගා ආදරය දක්වා ඌ පිට නැගුනාහ. ඡන්නයා ද පිටු පසැ ඉඳුවා ගත්හ. ගමන ඇරඹූහ. නැගෙනහිර වාසල් දොරකඩ වෙත ගිය බෝසතාණෝ එහි නිදාහොත් පිය රජු දැක, පියාණන් කෙරෙහි තමන් තුළ වූ දැඩි ප්‍රේමය නිසා නැංග ප්‍රිය විප්‍රයෝග දුක ඉතා අමාරුවෙන් මැඩ ගෙන, “පියාණන් වහන්ස, මට අවසර යි. මම නික්ම යමි. මගේ අභිමතාර්ථය සපුරා ගෙන ඔබ වෙත එන්නෙමි” යි ආචාර පවත්වා දොර හැරැගෙන එතැනින් නික්මුණාහ. වැඩි දුරක් නොයා දීම මාහානාම කුමරු හමු විය. හෙතෙම “ඔබට සක්විති රජබව ලැබෙනුයේ සෙට ය, එ බැවින් නොයන්න” යන ආදීන් නොයෙක් සැටියෙන් කන්නලවු කෙළේ ය.[32] බෝසතාණෝ ඒ කිසිත් නොතකා ඉදිරියට ම ගියාහු ශාක්‍යදේශය ද පසු කළාහ. ක්‍රමයෙන් කෝලිය රට ද ඉක් මැ මෙසේ දොළොස් යොදුන් මඟ[33] ගෙවා මල්ල රටට පැමිණ පසු දිනට එළිය වැටීගෙන එන වේලෙහි අනෝමා නදී තීරයට පැමිණියහ. අසු පිටින් නො බැස ම නදියෙන් එගොඩ ව ගියහ. එහි සුදු වැලිතලායෙහි දී අසු පිටින් බිමට බැස්සාහ. ඉක්බිති ටික වේලාවක් එහි වැල්ලේ හිඳ ගමන් වෙහෙස නිවා ගෙන මුහුණ අත්පා සෝදා ගත්හ. එයට පසු දකුණතින් කඩුව ද වමතින් කෙස් වැටිය ද ගෙන එය සිඳ අහසට දැමූහ. එය එයින් ම නොපෙනී ගියේ ය.[34]27 බෝසතාණන් වහන්සේ තමන් ගේ වස්ත්‍ර ම තවුසකු ගේ නියායෙන් හැඳ පෙරෙවැ අතීත බුදුවරුන් සිහිකොට දොහොත් මුදුන් තබා වැඳ ආජීවාෂ්ටමක ශීලය28 සමාදන් වැ ගත්හ. මෙසේ තවුස් පැවිද්දෙන් පැවිදි වූහ. ඉක්බිති තමන් හැඳ පැළඳ තුබුණු සැට්ට හා ආභරණ ඡන්නයාට පැවරූහ. මෙ විට “ස්වාමීනී, මමත් පැවිදි වෙමි” යි ඡන්නයා සැළ කෙළේ ය. “ඡන්නයිනි, ඔබ දැන් ම පැවිදි වනු නො යෙදෙයි. පියාණන් වහන්සේත් කුඩා මෑණියන් වහන්සේ යශෝධරාවෝත් නන්ද කුමාරයෝත් සෙසු නෑයෝත් මා පැවිදි වූ බව නො දනිති. එබැවින් අශ්වයාත් මේ ආභරණාදියත් රැගෙන නුඹ දැන් කිඹුල්වත් පුරයටම යන්න. ගොස් මේවා බාර දී මපියාණන් වහන්සේටත් සෙසු අයටත් මා පැවිදි වූ නියාව සැළ කරන්න. තව කලක් ගිය තැන නුඹ ද පැවිදි කැරැ ගන්නෙමි, දැන් පිටත් ව යන්නැ”යි බෝසතාණෝ වදාළහ. මේ වේලෙහි කන්තක අසු සිය ආදරණීය ස්වාමියා ගෙන් තමා වෙන් වන අවස්ථාව එළැඹී ඇති බව හැඟීමෙන් සෙනෙහබර සිතින් බෝසතාණන්ගේ සිරිපා ලෙවකමින් සෞම්‍ය බැල්මෙන් ඔබ දෙස බලා ගෙන ම හුන්නේ ය. බෝසතාණෝ ද ඔවුනට සමු දී එතැනින් පිටත් ව ගියහ. අස් තෙම එසේ වඩනා බෝසතාණන් දෙස ඇසි පිය නොහෙළා කඳුළු පිරි ඇසින් බලා ගෙන ම සිටියේ, ඔබ නො පෙනී ගිය පසු ප්‍රිය විප්‍රයෝග දුක ඉවසාගත නොහී ළය පැළී එහි ම මැරී වැටුණේ ය.29 (හේ තව්තිසාහි දෙව්පුතෙක් වැ උපන.)

ඡන්නයා අශ්වයාගේ මළ සිරුරට කළ යුතු සත්කාර කොට හඬමින් වැලැපෙමින් කිඹුල්වත අතට නික්ම ගියේ ය.

බෝසතාණන් වහන්සේ ද අනෝමා තීරයෙන් පිටත් ව වඩනාහු, වැඩි දුරක් නො ගියාහු ම තමන් ඉදිරියෙන් එන වැද්දකු30 දුටුහ. හේ ළගට ම ආයේ ය. දුනුහී ඇති වැ සිටි නුමුදු ඔහු පිටැ එල්ලෙන පසුම්බියක් සහිත පාත්‍රයෙක් විය. ඔහු හිසැ තබා ගත් බඩු පොට්ටනියෙක් ද විය. බෝසතාණන් වහන්සේ පාත්‍රය දැක විමසුම් සහිත වූහ. “ඔබ හිසැ පොට්ටනියේ කිමෙක් ඇද්ද?” යි විචාළාහ. හේ පොට්ටනිය බිම තබා ලිහා පෙන්වීය. එහි සිවුරු පිරිකර ය. “මේවා කොහි ගෙනයවු දැ?” යි බෝසතාණෝ පුළුවුත්හ. “මෙය ඕනෑ කරන පැවිදි කෙනෙකුට දෙන්නට ගෙන යමි. මෙය රුක් බෙනයක තිබී ලදිමි” යි වැදි කී ය. “මම පැවිද්දෙකිමි. ඔය සිවුරු හා පාත්‍රය මට දෙන්න, මගේ මේ කශී වස්ත්‍ර නුඹ ගන්නැ” යි බෝසතාණෝ වදාළාහ. හේ ඒ බස පිළිගෙන තමා ගෙනා පැවිදි පිරිකර බෝසතාණන් වහන්සේ ට පිළිගැන්වී ය. බෝසතාණෝ ඒවා හැඳ පෙරැවා පාත්‍රය ද උරේ එල්ලා ගත්හ.[35] තමන් එතෙක් දැරූ කශී වස්ත්‍ර වැද්දා අත තැබූහ. හේ ද ඒවා රැගෙන කිඹුල්වත අතට ම නික්ම ගියේ ය.

බෝසත් තවුසාණන් වහන්සේ ද සමීපයේ වූ අඹවනයක් දැක එහි වැඩියාහ. මේ මල්ලරටැ මායිම් වූ අනුපිය නම් නුවර සමීපයේ වූ අඹවනය ය..

අනුපිය අඹවෙනෙහි සතියක්

ළදරු වියේ සිට නවවිසි වන වස තෙක් ම නිතර පැවැති නැටුම් ගැයුම් වැයුම් හා ඇසුරු කළවුන් ගේ කතාබස් ආදී වශයෙන් කිසිදු නිසි විවේකයක් නොලැබ කල්ගෙවූ බෝසතාණන් වහන්සේට ඒ සියල්ලෙන් වෙන් වැ පටන්ගත් මේ හුදෙකලා ජීවිතය මහත්ම සැනසිල්ලෙක් වැ වැටහිණ. ලෝක තත්වය ජීවිත තත්ත්වය සිතා බලන කෙනකුට අවශ්‍ය වනුයේ ජනයා ගෙන් වෙන් වූ හුදෙකලා බවයි. එය ලත් බෝසතාණන් වහන්සේ එයින් උපන් විවේකය ද ඒ නිසා ම උපන් ප්‍රීතිය ද භුක්ති විඳිනුවෝ නුවණින් ජීවිත තත්ත්වය විමසනුවෝ සතියක් ම කල් යැවූහ. සාපිපාසාවක් ඇති නොවී ය. මේ අතර “මගේ වියෝගයෙන් ඇති වන ප්‍රියවිප්‍රයෝග දුක දරා ගැනීමේ ශක්තිය පියාණන් වහන්සේටත් කුඩා මෑණියන් වහන්සේටත් යශෝධරාවනටත් නන්ද කුමාරයාටත් නන්දා කුමරියටත් සෙසු ඥාති ගණයාටත් යන හැම දෙනාට ම ඇති වේ වා. එයින් කිසි කෙනකුටවත් කිසිම විපතෙක් නොවේ වා”යි තරයේ අධිෂ්ඨාන කළහ.

බෝධිසත්වයන් වහන්සේ අනුපිය අඹ වනයෙහි සතියක් වැස එයින් නික්මුණාහු ශාක්‍යා බ්‍රාහ්මණී නමින් ප්‍රසිද්‍ධ තපස්විනියක ගේ අසපුවට වැඩියාහ. තපස්වැනි තොමෝ බොජුනින් ද නවාතැනින් ද සංග්‍රහ කළා ය. එ තැනින් උගත යුතු දැයක් නැති සේ දැක නොදුරැ වූ පද්මා නම් තපස්විනිය ගේ අසපුවට වැඩියාහ. එහි දී ද මහත් ආදර සත්කාරයෙන් පිළිගන්නා ලදහ. එතැනිනුත් උගත යුතු දැයක් නැති නියා දැක එහෙන් ද නික්මුණාහු. නොදුරැ වූ රේවත නම් සෘෂිහු ගේ අසපුවට වැඩියාහ. ඒ සෘෂිහුගේ ද ධර්මයෙහි සාරයක් නොදුටුවාහු එ තැන නො සිට නික්මුණාහ. මෙසේ වඩනාහු රජගහ නුවරට සමීප අසපුවෙක යාගහෝම, කෙරෙමින් නොයෙක් ව්‍රත පුරමින් වසන තවුසන් සමූහයක් ඉන්නා භාර්ගවාශ්‍රමයට පිවිසියාහ. අසපුවට අධිපති භාර්ගව තම මහත් සත්කාරයෙන් බෝසතාණන් පිළිගත. ඔහුගේ දහම විමසා බලනුවෝ සගසුව පතා යාගහෝම කරනුවට වැඩියෙන් දැයක් නැතැයි දැක එතැනින් ද නික්මෙන්නට සැරැසුණහ. එය දුටු එහි ව්‍රත පුරන මහලු තවුස් කෙනෙක් “ඔබ සොයන දහම උගන්වන ආළාර නම් තවුස් කෙනෙක් විසාලා මහනුවර වින්ධ්‍යාකෝෂ්ඨ නම් අසපුවේ වෙසෙති. එහි වඩින්නැ යි” කීහ. විසාලා මහනුවරට යෑමට රජගහ නුවරට ගොස් ගංගානදියෙන් එගොඩට යෑ යුතු ය. එ බැවින් බෝසතාණෝ පළමු කොට රජගහ නුවර අතට ගමන ඇරැඹූහ.

බෝසතාණන් වහන්සේ රජගහ නුවරට පැමිණියේ එක් දවසෙක උදේ වරුවේ ය. පිඬු සිඟා යෑමට කාලය වූ බැවින් උන් වහන්සේ පාත්‍රය අතින් ගෙන නික්මුණා හ. එහි රජය කරවන බිම්බිසාර රජ බෝසතාණන් වහන්සේ ගේ අදෘෂ්ට මිත්‍රයෙකි. “මා මෙහි ආ බව රජුට දැන්නුවොත් මහත් සත්කාර සංග්‍රහ ලැබෙනු ඒකාන්ත ය. එහෙත් දන්වා යවා සංග්‍රහ ලැබීම නො සුදුසු ය. පිඬු සිගා ගොස් ලත් දැයින් යැපීම එයට වඩා උතුම් යැ” යි බෝසතාණන් වහන්සේ සිතූහ. එසේ සිතා පාත්‍රය ගෙන ගෙපිළිවෙළින් නුවර වීථියේ පිඬු සිඟා වැඩි සේක. එයට පෙර කිසි කලෙක නොදුටු අපූර්ව රූපශ්‍රීයෙන් බබලන බෝසතාණන් දුටු නුවරු විස්මිත වූහ. බෝසතාණන්ගේ රූපශ්‍රීයෙන් වශීකෘත වූවාහු තමන්ගේ වැඩ කටයුතු නවතා උන්වහන්සේ දෙස බලා ගත් වන ම සිටියාහ. “මේ නම් මනුෂ්‍යයෙක් නොවේ. මහා බ්‍රහ්මයා කිසි යම් අදහසකින් මිනිස් වෙසින් පැමිණ සිට යැයි කෙනෙක් කීහ. සමහරු, මේ බ්‍රහ්මයා නොවේ කලින් කල ලොවට එන විෂ්ණුහුගේ මනුෂ්‍යාවතාරයෙකි” යි කීහ. සමහරු, “මේ ශිව දෙවියෝයි” ද සමහරු, “මේ සඳ මඬලට අරක්ගත් සඳ දෙව්රජ යැ” යි ද තව කෙනෙක්, “මේ හිරුමඬලට අරක්ගත් සූර්යදිව්‍යරාජයා විය යුතු යැයි” ද තව කෙනෙක්, “මේ අනංගයා ම විය යුතුයැයි” ද තමතමන්ගේ ඇදහිලි අනුව කියන්නට වූහ. ගැඹුරට කරුණු සිතා බලන කිසි කෙනෙක් “මේ ඔය කියන කිසිවෙක් නොවේ. ලෝවැඩ පිණිස පහළ වූ කිසි යම් මහ පිනැති උත්තමයෙකැ” යි කීහ. රාජපුරුෂයෝ බිම්සර රජු වෙත ගොස් බැහැ දැක, “දේවයන් වහන්ස, රටට මහා ශාන්තියක් සැලැසෙන පෙර නිමිත්තෙක. “දෙවියෙක්ද මිනිසෙක්දැ”යි නොදනිමු. පෙර නොදුටුවිරූ විස්මය උපදවන රූපශ්‍රීයෙන් යුත් කෙනෙක් පැවිදි වෙසින් නුවර පිඬු සිඟා යෙති” යි කීහ. රජ ද සීමැදුරුකවුළුව හැර බලනුයේ මහසතාණන් දැක විස්මිත වැ බලා උන්නේ ය. “මේ ආශ්වර්ය කෙනක, දැකුම්කලු අඟපසඟින් යුක්තහ. ආරෝහපරිණාහ සම්පන්න හ. පිරිසිදු බබලන ඡවිචර්ණයෙන් යුත්හ. දුටුවන් පහදවන ඉරියව්වෙන් යුත්හ. දෙවියෙක් හෝ වෙන අමනුෂ්‍යයෙක් වී නම් ටික දුරක් ගොස් අදෘශ්‍යමාන වෙයි. මිනිස්සෙක් වී නම් කිසි තැනකට ගොස් සිඟාලත් ආහාර වළඳයි. තෙපි ගොස් බලා අවුත් මට කියවු” යැයි රජතුමා රාජපුරුෂයන් පිටත් කොට යැවීය.[36]

බෝසතාණන් වහන්සේ, පිඬු සිඟාගෙන වඩනාහු “මෙහි එන පැවිද්දෝ කොහි නවාතැන් ගනිද්දැ?” යි මිනිසුන් අතින් විචාරා, “අර පෙනෙන පාණ්ඩව පර්වතයේ නැගෙනහිර බලා පිහිටි ගල්තල්ලෙහි යැ” යි ඔවුන් කී බස් අසා ඒ අතට වැඩියහ. කන්ද නැග ගල්තල්ල ඇතුළට වැඩ, හිඳ ගෙන බොජුන් වළඳන්නට සැරසුණහ. බෝසතාණන් පස්සේ යමින් ඔබ කරනා සියල්ල විපරම් කරමින් ගිය රාජපුරුෂයෝ උන්වහන්සේ බොජුන් වළඳන්නා දැක වහා කන්දෙන් බැස රජු වෙත ගොස් තමන් දුටු සියල්ල සැළ කළාහ.

“මේ නම් මනුෂ්‍යයෙක, එහෙත් සෙසු මිනිසුන් බඳු කෙනෙක් නොවෙති. ආශ්චර්ය පුද්ගල කෙනෙක. ගොස් තොරතුරු විමසනු වටී” යැයි රජුට සිතුණේ ය. හේ මහ පිරිසක් කැටුව පිටත් වැ බෝසතාණන් වෙත පැමිණියේ ය.

රජ තෙම බෝසතාණන් දුටු කෙනෙහි ම උන්වහන්සේ ගේ වර්ණනා විෂයාතික්‍රාන්ත අනුපමෙය රූපශෝභාවෙන් වශීකෘත විය. ගරුබුහුමන් දක්වා පසෙක හිඳ කතාවට බටුයේ ය. “ඔබ ඉතා සියුමැලි කෙනෙක, තව ම තරුණ වියෙහි ය. පිඬු සිඟා යැපෙනු ඔබ වැන්නකුට නො වටී. පින්වතාණනි, මේ අංගමගධ දෙ රට විශාල ය. සරුසාර ය. මේ මුළු පෙදෙස දෙකට බෙදා කොටසක් ඔබට පිරිනමමි. ඉතිරි කොටස මම ගනිමි. මෙසේ අපි දෙදෙනා ම රට පාලනය කරම්හ” යි කී ය.

බෝසතාණන් වහන්සේ ඔහුගේ කථාව අසා, “මේ රජ මා නොහඳුනති” යි තමන් හඳුන්වන්නට සිතූහ. “මහරජ, භූමි ප්‍රදේශ වශයෙන් කෝශල රටට ඇතුළත් ශාක්‍ය නම් රටෙක් හිමවත් පාමුල ඇත. බොහෝ පෙර සිට ම පරම්පරා උරුමයෙන් රටට අධිපති වූ පාලනය කරන සූර්යවංශික වූ ශාක්‍ය නමින් ප්‍රකට පරම්පරාවෙක් ඇත. ජරා ව්‍යාධි මරණ යන දුක්වලින් ලොව පෙළෙන්නා දැක එයින් මිදෙන මඟක් සොයනු වස් මට අයත් රජකම හැර දමා ඒ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වීමි. විමුක්ති මාර්ගය සොයා යමි. එබැවින් ඔබ පිරිනමන රාජ්‍යයෙන් මට වැඩෙක් නැතැ” යි බෝසතාණෝ වදාළාහ.

එය ඇසූ කෙණෙහි ම රජුට කාරණය වැටහිණ. “පින්වතාණන් වහන්ස, ශාක්‍යදේශාධිපති ශුද්ධෝදන මහරජාණන් ගේ පුත් වු සිද්‍ධාර්ථකුමාරයන් සතර පෙර නිමිති දැක ගිහිගෙන් නික්ම ගොස් පැවිදි වැ බුදු වෙති” යි අසා ඇත්තෙමි. ළදරුවියේ සිට ම මා හා හසුන් හා තුටුපඬුරු හුවමාරුවෙන් මිතුරු වැ සිටින මගේ හිත මිතුරු වූ ඔබ වහන්සේ දැක්මෙන් ඉතා ප්‍රීති වෙමි. පින්වතාණන් වහන්ස, ඔබේ මනෝරථය සඵල වේවා. ඔබ වහන්සේ බුදු බව ලැබූ පසු කල් නො යවා තමන්ගේ නුවරට ද වඩින සේක් වා. ඔබ ලැබූ විමුක්ති සැපය අපට ද දී අප සනසන සේක්වා” යි රජ කී ය. බෝසතාණන් වහන්සේ ද “එසේ ය, බුදු වූ පසු එන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති රජ ද පිරිස ද බෝසතාණනට මහත් ආදර බුහුමන් දක්වා වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. බෝසතාණන් වහන්සේ ද එදා රෑ ගිජුකුළු කඳු පෙදෙස අසපුවෙක වැස පසු දින උදේ විසාලා මහනුවරට යනු පිණිස එතැනින් පිටත් වූහ.

බිලි පූජා නැවැත්වීම

සිද්‍ධාර්ථ ගෞතම තපස්වීන් වහන්සේ විසාලා මහනුවරට යන අදහසින් ගංගානදියෙන් එ තෙර වියැ යුතු බැවින් එය අතට ගමන් ගත්හ. මේ අතරැ පන්සීයක් පමණ වූ බැටෙළු රංචුවක් දක්කා ගෙන රජගහ නුවර අතට එන අජ පල්ලකු ඉදිරි දෙසින් එන්නා දුටුහ. ඒ බැටෙළු රැළෙහි හැමට ම පස්සෙන් කොරගසමින් අමාරුවෙන් පිය නගන බැටෙළු පැටියෙකි. ඌ අහළින් ම උගේ මව් බැටෙළු දෙන ද එයි. අජපල්ලා කිසිදු අනුකම්පාවක් නැතිව කෝටුවෙකින් තළමින් බැටෙළු පැටියා ඉදිරියට යවයි. බෝසතාණන් වහන්සේ ඔහු හමු වැ මොවුන් කොහි ගෙන යන්නෙහි දැ? යි ඇසූහ. “අප මහරජුගේ අපල උවදුරු දුරු කරන්නට වේද නියමය පරිදි අද නුවර ළඟ දෙවොලෙහි බිලි පූජාවක් කැරෙයි. රාජ නියෝගයෙන් බැටෙළුවන් පන්සියයක් ගෙන යෑම මට පැවැරුණි. මොවුන් ඒ දෙවොලට ගෙන යෙමි” යි අජපල්ලා කී ය. “එසේ වී නම් මමත් එමි. මේ ළදරුවාට තළන්නට එපා. මේ පැටියා මම් වඩා ගෙනවුත් දෙමි” යි වදාළහ. ඉක්බිති තවුසාණන් වහන්සේ බැටෙළු පැටියා වඩා ගත් සේක. බැටෙළු රංචුව පස්සෙන් ගමන් ඇරැඹූහ. බැටෙළු පැටියාගේ මව ද උන්වහන්සේ ගේ කාරුණික බව හැඟී උන්වහන්සේ එක්ක ම ගියා ය.

බෝසතාණන් වහන්සේ කෙළින් ම පූජාසනය කරා වැඩියහ. එකෙණහි පුදසුනෙහි හෝනා බැටළුවකු කෙළින් මුවහත් පිහියක් ඔසොවාගත් පූජකයා එය අසරණ බැටළුවා ගේ බෙල්ලට කිට්ටු කරන්නට සැරසුණා පමණ ය. බෝසතාණන් වහන්සේ වහා එ තැනට පැන ඔහුගේ අත අල්ලා ගත්හ. බෝසතාණන් ගේ මුහුණ දුටු පූජකයා මෙල්ල වැ පසු බෑයේ ය. එහි පැමිණ සිටි බිම්බිසාර රජු දෙස බැලීය.

රජ බෝසතාණන් දැක නිහඬ වැ බලාගත් වන ම සිටියේ ය. බෝසතාණන් වහන්සේ “අසරණ සතුන් බිලි දෙමින් තමන් ගේ උවදුරු දුරු කරගන්නට සිතා කරණ ඒ ක්‍රියාවලින් වඩාත් පව් රැස්වනු මිස, විපත් වැඩි වනු මිස, ඒවා අඩු නො වෙතැ යි ද, මේ අසරණ සතුන් බිලිගන්නා තැනැත්තෙක් ඇත්නම් ඒ දෙවියෙක් නොවැ හීන දීන රකුසෙකැ යි ද යන ආදීන් කරුණු කියා අවවාද කළහ. බිම්බිසාර රජතුමා ඒ අවවාදය පිළිගෙන එ වේලෙහි ම සිය රටෙහි සත්ත්ව බලිපූජා තහනම් කෙළේ ය. බුදු වූ පසු වඩින්නැ’යි යලිදු අයැද වැඳ නික්මියේ ය.

බෝසතාණෝ ද විසාලා මහනුවර බලා වඩනාහු ගංගා නදිය අතට පිය නැඟූහ.

කිඹුල්වත් නුවර තොරතුරු

බෝසතාණන් රජගෙන් නික්ම ගිය බව දත් සියල්ලෝද නුවර වැසියෝ ද හඬා වැලැපුණාහ. මුළු නුවර මළගෙයක් මෙන් විය. ප්‍රජාවතී ගෞතමී, පැටියා නැති වූ දෙනෙක මෙන්, ශෝකභරිත වූවා බිම වැතිර වැලපෙන්නට වූවා ය. යශෝධරාවෝ මුසපත් වැ වැටුණාහ. සේවිකාවෝ දිය ඉසීම් ආදි විසින් කළ සාත්තු නිසා බොහෝ වේලාවෙකින් පියෙවි සිහි ලද්දී සියගෙහි බිම වැතිර හැඬූ කඳුලෙන් කල් ගෙව්වා හ. ශුද්ධෝදන රජ ඇයට කිසි විපතක් වේ දෝ යි බියෙන් නිතර අවවාද කරමින් රාහුල කුමරු රැක ගැන්මෙහි මෙහෙයී ය. දෙව්දත් කුමරු හැර සෙසු සියලු ශාක්‍යයෝ “තමන් බලාපොරොත්තු වූ ශාක්‍යවංශිකයන් ගේ නැගීම නැවතිණැ”යි බොහෝ සෙයින් තැවුණාහ.

සතියක් මෙසේ ගෙවුණ තැන ඡන්නයා එහි ආයේ ය.[37] දුටු දුටුවෝ “සාමි දරුවන් ගෙන කොහි ගියෙහිද?” යි ඔහුට බැණ වදින්නට වූහ.

පෙරළා ආ ඡන්නයා දුටු යශෝධරාවෝ ඔහු බණවා “සාමිදරුවෝ කොහි ගියෝද? නුඹ කිසිවකුටත් ඇඟවීම් මාත්‍රයකුත් නොකොට සාමිදරුවන් කොහේදෝ ගෙන ගොස් දමා අවුත් දැන් බොරුවට කඳුළු වගුරුවති” යි තරවටු කළා ය. “ආර්යාවනි, සාමිදරුවන් ගේ සේවක වූ මම් උන්වහන්සේ කරණ නියෝගය පිළිපදිනුවා විනා අන් කුමක් කළ හැකියෙම් ද? මම් අඬා වැලැපෙමින් ගමන නවත්තන්නට කොතරම් වත් තැත් කෙළෙමි. බැරි ම වූ තැන උන්වහන්සේට නො දැනෙන්න ක්ෂණයෙන් ඔබවහන්සේ ගේ යහන් ගබඩාවේ දොර ළඟට අවුත් ඔබ පුබුදුවන්නට සිතා මහත් ශබ්දයක් කොට වහා ගියෙමි. ඔබ ඒ හඬින් පිබිද ආවා නම් ගමන නතර කරන්නට තුබුණි. එහෙත් කිසිමැ කෙනෙක් නො පිබිදුණාහ. කිසිම කෙනෙක් නාහ. සේවක වූ මම් ස්වාමියාගේ අණ පිළිපැද්දෙමි. මා කළ වරදෙක් නැතැ” යි ඡන්නයා කී ය. එයට පසු කිසි ම කෙනෙක් ඔහුට දොස් නො නැඟූහ.

ශුද්ධෝදන රජ ද පුත්‍රයාණන් ගැන බාරහාර වීමට ශාක්‍යවර්ධන දෙවොලට ගොස් ආවාහු ඡන්නයා දැක තොරතුරු අසා වැලැපෙන්නට විය. මේ අතර බෝසතාණන්ගේ කසීවස්ත්‍ර මිටියක් කොට බැඳ හිස තබා ගෙන නුවරවන් වැද්දා දුටු මිනිස්සු ඔහු රජු වෙත ගෙනාහ. රජ්ජුරුවෝ ඒවා දැක “මේවා කෙසේ ලද්දෙහි ද? කුමරුට විපතක් වත් කෙළෙහිදැ?” යි ඇසූහ. හේ සියලු පුවත කී ය. රජ බෝසතාණන් ගිය දිශාව ඔහුගෙන් දැනගත්තේ ය. පුත්‍රයාණන් සිය කැමැත්තෙන් ඔහුට දුන් දෑ ඔහුට ම වේවා” යි කියා යන අතෙක යන්නට ඔහුට සමු දුන. ඡන්නයා තමා ගෙනා ආභරණ ප්‍රජාවතී ගෞතමීනට බාර දුන්නේ ය.

රජුහුගේත් ප්‍රජාවතී ගෞතමී යශෝධරා ආදීන්ගේත් මහත් වැලපීම දුටු පෙරෙවි බමුණාත් මහ ඇමැතියාත් “ඔබ අවසර දෙතොත් අපි ගොස් කුමාරයාණන් කැඳවා ගෙනෙම්හ” යි කියා ඔවුන් අස්වැසූහ. හැඬුම් වැලැපුම් අඩු විය. රජ්ජුරුවෝ පෙරෙවියාත් ඇමැතියාත් පිටත් කැරැ යැවූහ. ඉක්බිති දෙවොලෙහි පූජකයන්ගේ නියමය පරිදි බෝසතාණන් දේව බලයෙන් ගෙන්වන්නට ව්‍රත පිරීමෙහි යෙදුණාහ.

අස්රියවල නැඟ වේගයෙන් පදවා ගිය පෙරෙවියා සහිත පිරිස දෙවෙනි දවසෙහි රජගහනුවර ද පසුකොට යන්නාහු, විසාලා මහනුවර දෙසට යන ගමනේ ගංගා නදියෙන් මෙ පිට මහ රුක් සෙවෙණෙක විචික්ත ව ඉන්නා බෝසතාණන් දුටුහ. ප්‍රීතියෙන් ඉපිල ගිය සිතැත්තෝ රිය නවතා එයින් බැස වහා බෝසතාණන් වෙත ගොස් වැඳ පසෙක ඉඳ ගත්හ. පියරජාණන් ඇතුළු හැම දෙනා මහත් සොවින් හඬන වැලපෙන නියාව කියා, “ඔවුනට එසේ දුකක් දීම ධර්මය නො වේ යැ යි ඔවුන් සනසනු “පිණිස කලක් රජය කරවා පසු ව පැවිදි වියැ හැක්කැ” යි ආදීන් කියා ආපසු යන්නට කැඳවූහ. බෝසතාණෝ ඔවුන්ගේ කථාව නිහඩව අසා හිඳ මෙසේ කියන්නට වූහ: “මාපියන්ගේ දරු සෙනෙහස මම දනිමි. එහෙත් අපේ ජීවිතය ගොදුරු කැරැගන්නා ජරා ව්‍යාධි මරණ යන මේ දරුණු දුක් තුන වඩාත් මගේ සිතට වැදිණ. එබැවින් එයින් මිදෙන මඟක් සොයන්නට ය මා සිත නැමුණේ. දැන් ඔවුන් සනසන්නට මා ගියත් කවර දා හෝ මරණය ආ විට ආයෙත් මේ හැඬුම් වැලැපුම් ඇති වෙයි. මගේ පියා තුළත් කුඩා මෑණියන් තුළත් යශෝධරා ආදීන් තුළත් ශෝකය ඇති කළේ මා යැ යි ඔබ කියති. මම. එය නො පිළිගනිමි. මපියාණන් ආදීන්ගේ ශෝකයට හේතුව ජීවිතයේ යථා තත්වය මුවහ කරණ ඒ අය තුළ ම පවත්නා අවිද්‍යාව යි. දූදරු නෑ මිතුරන් හා එක් වැ විසීම ස්වප්නයක් වැනි එකෙකි. ඔවුන්ගෙන් වෙන් වෙමැ යි හෝ වෙන්වූම්හයි හැඟෙන්නා හා ම ශෝකය ඇති වේ. පියවිප්‍රයෝගය ලොවැ ඉපිද ඉන්නා තාක් ම ඇති වන එකෙකි. එය වැළැක්විය නොහෙයි. එය වළක්වන්නට නම් ලොවින් මිදීගත යුතු ය. මේ සියලු දුකින් මිදීමට මඟ සොයා මා ඉදිරියට තැබූ පියවර ආපසු නො ගන්නෙමි. මගේ මනෝරථය මස්තක ප්‍රාප්ත කැරැගෙන මිස එසේ නැති වැ නෑදෑයින් වෙත නො එන්නෙමි.”

බෝසතාණෝ මෙබඳු වූ ම කරුණු තව දුරටත් වදාළහ. ඉක්බිති හුනස්නෙන් නැගී සිට පිටත් වැ ගියහ. පෙරෙවියාත් ඇමැතියාත් බෝසතාණන් වඩිනා මඟ දෙස බලා සිට “දැන් කුමක් කරමෝ ද? මහ රජුට මොනවා කියමුද?” යි කියා තමන් හා ආ රාජපුරුෂයන් කිහිප දෙනකු “අප්‍රසිද්‍ධ වේශයෙන් ගැවසෙමින් කුමාරයාණන් යන යන අතට ගොස් ආරක්ෂා සලස්වන්නැ”යි කියා එහි නවතා, තුමු පෙරළා කිඹුල්වතට ම ගියහ.

බෝසතාණන් වහන්සේ රජගහ නුවර පෙදෙසින් නික්ම විසාලා මහනුවර බලා වඩනාහු ගංගානදී තීරයට පැමිණියාහ. ගඟින් එගොඩ වූහ. විසාලා මහනුවරට වැඩ එය සමීපයේ වූ වින්ධ්‍යාකෝෂ්ඨයට පැමිණියාහ. එ සමයෙහි කාලාම ක්ෂත්‍රිය පරපුරට අයත් ආළාර නම් සෘෂි තෙම තුන්සියක් පමණ වූ තවුස් ගණයාට නායක වැ වින්ධ්‍යාකෝෂ්ඨ අසපුවෙහි වෙසෙයි. හේ සප්ත සමාපත්තිලාභී මහ තවුසෙකි. ශ්‍රාවකගණයාට ආකිංචඤ්ඤායතන භූමිය තෙක් ශමථභාවනා මාර්ගය පෙන්වා දෙයි. හෙතෙම එහි වැඩි බෝසතාණන් දැක සාදර වැ පිළිගෙන එහි නැවැතී භාවනා කරන්නට අවශ්‍ය සියලු සැප පහසුකම් සැලැස්වී ය. බෝසතාණෝ ද ඔහුගේ අවවාදයෙහි පිහිටා බවුන් වැඩූහ. කලින් ගිහි කලැ ආනපානසතිය වඩා පුරුදු බැවින් සිත සමාධිගත කිරීම ඔබට ලෙහෙසි කාරියෙක් විය. මෙසේ නොබෝ දිනකින් බෝසතාණෝ ද ආකිංචඤ්ඤායතන ධ්‍යානය ලැබූහ. ආළාර තවුසාණෝ බෝසතාණන් තමන්ගේ තත්ත්වයට ම නැංග නියාව දැක ඉතා පැහැදුණෝ ගෝල පිරිස දෙකොටසකට බෙදා කොටසක් බෝසතාණනට පැවරූහ. එතැන් සිට තමාට දායකයන් පිරිනමන සියලු සත්කාර බෝසතාණන් අතට ම යොමු කෙරෙති. ඉතිරි වූ දැයක් ඇතොත් තුමූ පිළිගනිති. හැම තන්හිදී මහ බෝසතාණනට ප්‍රමුඛස්ථානය දෙති. බෝසතාණෝ ද ආකිංචඤ්ඤායතන සමාපත්තිය පිරිසිඳ බලනුවෝ එය පරම විමුක්තිය නොව ලොවට ම ඇතුළත් තරමකට සිතැ සංසුන් බව ඇති කරන සමාධි මාත්‍රයක් බව දුටුහ. “මෙයටත් එහා කළ යුතු දැයෙක් නැත් දැ”යි ආළාරයන් විචාළහ. “නැතැ” යි “මේ පරම නිෂ්ඨාව යැ”යි ඔහු කීහ. ඉක්බිති බෝසතාණෝ මෙහි විසීමෙන් වන විශේෂ අර්ථයෙක් නැතැ යි සලකා. ආළාරයනටද ඒ බව දන්වා සමුගෙන ඒ අසපුවෙන් නික්මිය හ.

උද්‍රකයා වෙත යෑම

මහ බෝසතාණන් වහන්සේ සැරිසරන සේක් මහී නදියෙන් එගොඩ රාමපුත්‍ර උද්‍රක නම් මහ තවුස් ඇදුරකු ඉන්නා බව ඇසූහ. එ පළාතේ අධිපති ඒළෙය්යක පෙදෙස් රජ ද ඔහුගේ යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකී, ගන්ධබ්බ, අග්ගිවෙස්සාන යන මහ ඇමැතියන් ද ඔහු තමන් ගුරුකොට සලකන බව ද ඇසූහ. එහි ගියොත් මැනැවැ යි බෝසතාණනට සිත් විය. නොබෝ දිනෙකින් ම ඔහුගේ අසපුවට වැඩියාහ. ඒ තවුසාණෝ ද බෝසතාණන් දැක සාදර ගෞරවයෙන් පිළිගත්හ. නවාතැන් දුන්හ. ආහාරපානා දී අවශ්‍ය සියලු දෑ සපයමින් ම තමන්ගේ කර්මස්ථාන මාර්ගය ද ඉගැන්වූහ. බෝසතාණෝ ද එය ඉගෙන පිළිපැද නොබෝ දිනෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ලැබූහ. බෝසතාණෝ තමන් ලත් සමාධි තත්ත්වය පැවැසූහ. “මගේ ගුරු වූ රාම තවුසාණෝ ද ඔය සමාධිය ලැබ සිටියහ. එහෙත් මා වනාහි ඒ මගේ ගුරුන් ගෙන් මේ සමධි භාවනා ක්‍රමය ඉගෙන ඇතත් එ පරිද්දෙන් ම උගන්නතත්, තව ම ඒ සමාධිය නම් නො ලැබීමි. ඔබ මගේ ගුරු වූ රාම මහර්ෂීන්ගේ තත්ත්වයට පැමිණියහ. මෙ තැන් සිට මෙහි අධිපති වැ වැඩ ඉන්න. අපි හැම ඔබගේ ශිෂ්‍යයම්හ” යි කියා ශිෂ්‍යයොත් තෙමේත් බෝසතාණන්ගේ ශිෂ්‍ය බවට පත් වූහ. “මෙයින් වැඩිමනත් කිසිවක් ඔබ නො උගත්වත්ද?” යි බෝසතාණෝ උද්‍රකයාගෙන් ඇසූහ. “නැත, මේ අප ගුරු වූ රාමර්ෂීන් ඉගැන් වූ පරම විමුක්තියැ” යි උද්‍රක කීය. බෝසතාණෝ විමසා බලනුවෝ එය තමන් සොයන පරම විමුක්තිය නොවේ යැ යි දැන, එයට මඟ පෙන්වන අන් ඇදුරක්හු සොයා යන්නට සැරසුණාහ.

ශුද්ධෝදන රජතුමා ද පුතණුවන්ගේ තොරතුරු විමසා තමාට දන්වනු පිණිස මාරුවෙන් මාරුවට තමා යවන දූතයන් මගින් බෝසතාණන් වහන්සේගේ තොරතුරු දැන ගනී. මෙය රජ පවුලේ හැම දෙනාට ම සිත් සනසා ගන්නට හේතු විය. උන්වහන්සේ රාමපුත්‍ර උද්‍රක තවුසාණන් ගේ අසපුවට පැමිණ වසන සමයෙහි රජුහු විසින් එවන ලද දූතයෝ ඔබට විශේෂ උපස්ථායක කෙනෙක් නැතැ” යි දුටුහ. ගොස් එපවත් රජුට දැන්වූහ. මෙය ඇසූ සුදොවුන් රජුත් සුප්‍රබුද්‍ධ රජුත් තමන් වෙතින් වෙන වෙන ම පිරිස් දෙකක් බෝසතාණනට උපස්ථාන පිණිස ඒ අසපුවට එවූහ.

ඒ පිරිස්හි වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන තවුසන් පස් දෙනා පමණක් බෝසතාණෝ තමන් වෙත රඳවා ගත්හ. සෙස්සන් පෙරළා යැවූහ. මෙයින් කොණ්ඩඤ්ඤ යනු බෝසතුන් උපන් පස් දිනෙන් නාමකරණ මංගලයට පැමිණි බමුණන් අතුරෙන්, “මෙ තුමෝ ගිහිගෙයි නොරැඳෙන්නා හ. පැවිදි වැ බුදු වනාහු මැ යැ” යි කී බමුණන් පස් දෙනා ගෙන් ළා බාල ම තැනැත්තේ ය. සෙසු සතර දෙනා අනිත් බමුණන් සිවු දෙනාගේ දරුවෝ ය. ඔහු ඒ කාලයේ ම බෝසතාණන් නමින් තවුස් පැවිද්දෙන් පැවිදි වැ කිඹුල්වත් පුර අසළ වෙනෙහි වැස තවුස් දම් වැඩූහ. ශුද්ධෝදන රජුත් සුප්‍රබුද්‍ධ රජුත් බෝසතාණනට උවටන් පිණිස එවන පිරිසට ඇතුළත් වැ ආහ.

බෝසතාණන් උද්‍රක ආශ්‍රමයෙන් නික්මෙනුවන් කැටුව ම ඔහු ද නික්මුණා හ. බෝසතාණෝ ද පස්වැගි තවුසන් කැටුව සැරිසරනුවෝ රජගහ පුරයෙන් ද නික්ම ගයාවට පැමිණ එහි ගයා ශීර්ෂයෙහි ලැගුම් ගත්හ.

එහි වසන බෝසතාණනට දවසෙක මෙසේ සිතෙක් විය. “තෙත් වූ ගිනිගානා දඬු දෙකක් එකට කොතරම් මැද්දත් ගිනි නො උපදින්නා සේ කාමයන්හි ඇලී ගැලී සිටිනවුනට එහි ඇලී සිටුනා තාක් උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරගත නො හැක. තෙත් වූ ගිනි ගානා දඬු දෙකක් වියැලි බිමෙහි තබාගෙන මැද්දත් ගිනි නොඋපදින්නා සේ කම් සැපෙහි ඇලී ගැලී නො උන්නත් සිත තුළැ කාමතෘෂ්ණාව තිබෙන තාක් උත්තරී මනුෂ්‍යධර්මයන් ලබත හැකි නො වන්නේ ය. වියැලි ගිනිගානා දඬු දෙකක් වියලි බිමැ තබා මඬිනා විට ම ගිනි උපදින්නා සේ කාමතෘෂ්ණාව දුරුකොට සිටියාහු විසින් ම උත්තරීමනුෂ්‍යධර්ම සාක්ෂාත් කටහැක්ක. මම් වනාහි කම් සැප ද කාමතෘෂ්ණා ද මුළුල්ල ම දුරු කොට, ඒ සියල්ලෙන් වෙන් වැ ඉඳිමි. ඒ මම් උත්තරීමනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නට සමත් වෙමි. එයට උත්සාහ කරමි” යනු යැ.

ඉක්බිති බෝසතාණෝ කිහිප දිනක් එහි වැස එයින් නික් මැ නිල්දලා (නේරංජරා) නදී තීරයට වැඩියාහ. එහි සුදුසු තැනක් සොයා ඇවිදුනාහු ගලන මිණි කඳක් වන් නිමල් සිසිල් නිල් සිලිලෙන් හොබනා සිත්කලු නිල්දලා නදිය ද එහි අද්දරැ සුපිපි මලින් සැදුණු රුක්ලියෙන් සැදුම්ලත් මනරම් බිම් පෙදෙස ද අනිත් පසෙහි විහිදැගිය මොනරපිල් කලඹක් වන් ප්‍රසාද ජනක වනලැහැබ ද හාත්පසැ නොදුරැ වූ සේනානී නිගමය ද දැක, “මේ නම් බවුන් වඩන යෝගීනට සුදුසු ම තැනැ යි නිශ්චය කොටගෙන පස්වැගි තවුසන් හා එහි වාසග්‍රහණය කළාහ.

භාවනා වැඩීම

මෙසේ උරුවෙල් දනව්වෙහි නිල්දලා ගං තෙර වන පෙදෙසෙහි වෙසෙන මහ බෝසතාණෝ පළමුවෙන් ම මෛත්‍රී භාවනාව වැඩූහ. නොයෙක් විට වනයෙහි විසීමේ දුෂ්කරතා විමසනුවෝ, කායික වාචසික මානසික දුශ්චරිතාදිය වෙනෙහි වසන්නවුනට බියට හේතු යැ යි දුටුහ. තමන් තුළ ඒ කිසිදු ලාමක ගති නැති බැවින් බිය ගන්නට කරුණු නැතැ යි දුටුහ. මිනිසුන් අදහන පරිදි තුදුස්වක් අමාවක් පසොළොස්වක් අටවක් තිථින්හි අමනුෂ්‍යයන් බැල්ම හෙලන චෛත්‍ය වශයෙන් සලකන ලද රුක් වෙත ද වන පෙදෙස් වෙත ද රෑ ගොස් විමසන්නාහු මුවකු හෝ වෙන යම් එබඳු සතකු තමා වෙත එන නියාව ද කුරුල්ලකු ගසෙකින් ලී කැබැල්ලක් හෙලන නියාව ද සුළඟින් ගසකොළ සැලෙන නියාව ද දුටුහ. මිනිසුන් එහි ඇතැයි කියන භූත විකාර (හොල්මන්) මේවා නොවේ දැ යි සලකා බැලූහ.

පස්වැගි තවුසන් උපස්ථාන කළ ද බෝසතාණෝ හුදෙකලා වැ ඉඳීම ම රිසි කළහ. එහි වසන සමයෙහි ඒ ස නම ම පිඬු සිඟා වැඩියේ සෙනානි නිගමයට ය.

ඒ මහ වන පෙදෙසෙහි තන්හි තන්හි තවත් පැවිද්දෝ වූහ. ඔහු නොයෙක් තපෝව්‍රත පිරූහ. ඔහු පිහිතාසව නම් ජෛන ආචාර්යවරයාගේ සව්වෝ ය. ඒ ආචාර්‍ය්‍ය තෙම එයින් හවුරුදු හත්අටසියයකට පෙර සිටි පාර්ශවනාථ නම් ශාස්තෘවරයක්හුගේ පරපුරෙහි වූ ජෛන නම් ශ්‍රමණ ගණයා ගේ නායකයෙකි. සිවුරු පොරොවන තවුසෙකි. ඔහු වෙත රැඳී ව්‍රත පිරුවෝ බොහෝ ය. ඔවුන් අතුරෙහි මහාවීර වර්ධමාන යන නම්වලින් ප්‍රසිද්‍ධ වැ සිටි ඥාතපුත්‍රනිර්ග්‍රන්ථ තෙම ප්‍රමුඛස්ථානයක් ගත්තේ ය. හේ ක්ෂත්‍රියයෙකි. ලිච්ඡවිරාජවංශයේ ශාඛාවක් වූ ඥාත (නාත) ගෝත්‍රයට අයත් කුන්දග්‍රාම කොල්ලාග යන ගම් දෙකට අධිපති සිද්‍ධාර්ථ නම් රජුගේ පුත්‍රයා ය. හේ සසරැ කලකිරී පැවිදි වැ මේ උඩ කී පිහිතාසව තවුසාණන් වෙත අවුත් දොළොස්හවුරුද්දක් කයට දුක් දෙන කෂ්ටව්‍රත පුරා “ජිනත්වයට පත්වීමි” යි එතැනින් නික්මැ ගොස් කිසිදු වස්ත්‍රයක් නොහඳින නග්න ශ්‍රමණ නිකායයක් ඇති කොට ගණනායක වැ විසීය.

අප්‍රාණක ධ්‍යානය වැඩීම

බෝසතාණන් එහි වැඩියේ පිහිතාසව තවුසා කලුරිය කළ මද කලකට පසු ය. එහෙත් පිහිතාසව තවුසා වැඩීම ට ඉගැන්වූ ව්‍රත පුරන තවුසෝ වූහ. බෝසතාණෝ ඔවුන් පුරන දුෂ්කර ව්‍රත ද පුරන්නට සිතූහ. උන් වහන්සේ තමන් ලබා තුබුණු ධ්‍යාන අතුරෙන් රූපාවචර චතුර්ථධ්‍යානයට සමවැද ආශ්වාස ප්‍රශ්වාස දෙක ම නවතා අප්‍රාණකධ්‍යානය වඩන්නට පටන් ගත්හ. එවිට කඹුරු සමක් පුඹුනා විටෙක සෙයින් කන් සිදුරුවලින් වාතය මහ හඬින් නික්මෙන්නට වන. තියුණු බුරුම කටුවෙකින් හිස විදුනා විටෙක සෙයින් දරුණු හිස රුජා නැඟෙන්නට වන. කුමක් වුවත් මෙය තව දුරටත් වඩමී සිතා මහත් උත්සාහයෙන් දෙකන් සිදුරෙන් නික්මෙන වාතය රඳවාගත්හ. එවිට වරපටෙකින් හිස වැරයේ බැන්ද විටෙක සෙයින් දරුණු හිසරුජා ඇති විය. මුවහත් කැත්තෙකින් සිඳුනා කලෙක සෙයින් කුස තුළ ද මහත් රුජා නැඟිණ.

පවත්තඵල භෝජී වීම

බෝසතාණන් වහන්සේ ටික කලක් සේනානී නිගමයට පිණ්ඩපාතය පිණිස වඩිනුවෝ දිවි පැවැත්වූහ. ටික කලකට පසු ව පවත්තඵල භෝජනයෙන් (කෙනෙකු විසින් නො වවන ලද කැලේ තමන් ම වැවුණු ගස් වැල්වැලැ පලපත් වළඳා) දිවි පවත්වන්නට ඉටා ගත්හ. ටික කලකට පසු එය ද හැර දමා තමන් උන් තැනට ස්වයං පතිත වූ (කෙනෙකු නො කඩා) තමන් ම වැටුණු ඵල ප‍ත්‍රාදිය වළඳමින් දිවි යැපූහ.

කෙලෙස් තවන ව්‍රතයක්

මෙසේ කල් යවන මහත්මාණෝ ඒ වනයෙහි ජෛන පිළිවෙත් පුරන තවුසන්ගේ කෙලෙස් තවන ව්‍රතය පුරනුවෝ උඩු යැටි දත් එකට ගැටෙන සේ තදින් මුව පියා දිවෙන් උඩු තල්ල ගටා එලැඹැ සිටි සිහි ඇති වැ ස්ථිර සිතින් විමසමින් චිත්තසන්තානයෙහි කුශල පක්ෂය වඩමින් අකුශල පක්ෂය තැවූහ. මෙයින් කයෙහි දැඩි වෙහෙස ඇති විය. ශක්තිමත්තු විසින් අල්ලා ගෙන පෙළනු ලබන ශක්තිහීන පුරුෂයකුගේ සෙයින් උන්වහන්සේගේ කිසිලිවලින් ඩහ ගලන්නට වන. එහෙත් එයින් ඒ ව්‍රත පිරීමේ ධෛර්‍ය්‍ය හීන නොවී ය.

අප්‍රාණකධ්‍යානය වඩන බෝසතාණන් වහන්සේ එයින් වන කිසිම පීඩාවෙකින් පසු බට නොවූහ. එය දිගට ම වැඩූහ. බෝසතාණන් වහන්සේට එය වඩ වඩත් ම බලවත් පුරුෂයන් දෙදෙනකු දුබලයකු ගිනි අඟුරු වළකට දමා තවන කලෙක සෙයින් කයෙහි දැඩි දැවිල්ල විය. මෙසේ වූ දැඩි කාය දාහ හේතුයෙන් දවසෙක මුර්ඡිත වූවෝ සක්මන් මලුයෙහි ම වැටුණාහ. ඒ දුටු දේවතා කෙනෙක් “සිද්‍ධාර්ථ තවුසාණෝ කලුරිය කළහ” යි කීහ. ඔහු ගොස් ශුද්ධෝදන රජතුමාට ද බෝසතාණන් මළබවක් දැන්වූහ.31 “මා පුත් කලුරිය කෙළේ බුදු වී ද? නොවී දැ”යි රජු ඇසීය. බුදු වියැ නොහී ය, ප්‍රධාන භූමියෙහි ම වැටී කලුරිය කළහ’යි දේවතාවෝ කීහ.” බුදු නො වී මා පුතුගේ කාලක්‍රියාවෙක් නො වන්නේ යැ”යි කියා, රජ ඔවුන් බස් නො ඇදහීය.

බෝසතුන්ගේ අල්පාහාරතාව

මඳ වේලාවකින් මූර්ඡායෙන් නැගී සිටි බෝසතාණන් වහන්සේ “සර්වප්‍රකාරයෙන් ම ආහාර වර්ජනය කරන්නෙමැ”යි සිතූහ. එවිට දේවතාවෝ “සිද්‍ධාර්ථයන් වහන්ස, ඉදින් ඔබ වහන්සේ කොහෙත් ම අහර නො ගන්නා සේක් නම් අපි ලෝම කූප මගින් වත් ඕජාව ඔබ සිරුරට ඇතුළු කරන්නම්හ”යි කීහ. එවිට බෝසතාණන් වහන්සේ “මා අහර මුළු මනින් ම හළොත් දේවතාවෝ මා සිරුරෙහි කූප මගින් ඕජාව ඇතුළු කරති. එසේ වතොත් මගේ ආහාර වර්ජනය හුදු රැවටිල්ලක් වන්නේ යැ” යි සිතා සම්පූර්ණ ආහාර වර්ජනයෙහි අදහස හැරැදමා, එ තැන් සිට පතක් පමණ වූ මුං තැම්බූ දියෙන් හෝ කොල්ලු තැම්බූ දියෙන් හෝ කඩල තැම්බූ දියෙන් හෝ කලතණ තැම්බූ දියෙන් දිවි පැවැත් වූ හ. මේවා පිළියෙල කළෝ පස්වග තවුසෝය.

සිරුර කෙට්ටුවීම

ක්‍රමයෙන් ආහාර ගැන්ම අඩු කළ සේක.32 මේ හේතුයෙන් සිරුර කෙට්ටු වෙවී ගොස් අන්තිමේදී සමින් නහරින් වැසුණු ඇටසැකිල්ලක්ම විය.

බඩ සම පිට කටුයෙහි ඇළිණ. උන්වහන්සේ සිරුර අස්වසනු පිණිස අතින් පිරි මැද්ද කල කුණුවූ මුල් ඇති ලෝමයෝ ඉන් ගැලැවී ආහ. හිස අත ගෑ කල කෙහෙ අතට ම ගැලැවී ආයේ ය.

උන්වහන්සේගේ ශරීරය අඳුනා ගත නොහෙන සේ දුර්වර්ණ ද වී ය. කෙනෙක් උන්වහන්සේ දැක “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු පැහැ ය”යි ද, අන් කෙනෙක් “පලාවන් පැහැ ඇත්තෝ යැ”යි ද ඇතැම් කෙනෙක් “මඟුරු සිවි බඳු පැහැ ඇත්තෝ යැ” යි ද කීහ. බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මේ තරම් උග්‍ර තැනට නැංගේ ය. මේ සා දුක් විඳිමිනුත් උන්වහන්සේගේ සිතෙහි කිසි පසු බැස්මෙක් නම් නොවී ය.

මූර්ඡිතව වැටීම

දිනෙක බෝසතාණන් වහන්සේ සිරුරු කිස පිණිස ඉඳගත් සේක. මුළු සිරුර වියැලී මල මඟ හැකිලී යෑමෙන් ගුද ප්‍රදේශයෙහි දැඩි දුක් වේදනා ඇති විය. එ හෙයින් මල කිස කරනු නො හැක්කෝ මූර්ඡිත වැ එහි මැ වැටුණහ.

එ කල ද දෙවියෙක් “බෝසත් මළේ ය”යි සිතා ගොස් එ පවත් සුදොවුන් රජුට කී ය. කිමෙක් ද, “ම පුත් බුදු වීද නොහොත් බුදු නොවී දැ යි මළේ” යැ යි රජු විතාළේ ය.

“බුදු නොවී ය” යි දෙවියා කී ය.

“ඉවත යා, ම පුත් බුදු බව ලබා විනා නො මැරෙන්නේ ය” යි රජ දෙවියාට තර්ජනය කෙළේ ය. දෙවියා එයින් ම අතුරුදන් වී ය.

මහසතාණන් වහන්සේ ද මඳ වේලාවකින් සිහි ලැබ නැගී සිටි සේක.

නැවත දිනෙක ද අප්‍රාණික ධ්‍යානය වඩන සේක්, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්කූ සේක. ඒ නැහැයෙන් නික්මෙනු නො ලබන්නේ දෙකන් සිලෙන් නික්මණි. නැවැත දෙකන් සිල ද වසා ගත් කල්හි ඉන් නැගී හිස මත්තට පැමිණියේ ය. හිසෙහි දැඩි දුක් වේදනා විය. යලි හිස මත්ත සාරන කලෙක සෙයින් දැඩි කැක්කුම් වී. ඒ වාතය ද හිස බිඳ යෑ නොහෙනුයේ පෙරැළී බඩට පිවිසියේ ය. ඉන් බඩ ඇතුළ ගෙරි කපනා කැත්තෙකින් සිඳින කලෙකැ මෙන් දැඩි පීඩා ඇති වී ය.

මෙ සේ මහපුරුෂයාණන් වහන්සේ අතරතුරැ අප්‍රාණික ධ්‍යානය ද වඩමින් මහත් දුක් වින්ද සේක. එතෙකුදු වුවත් වීර්‍ය්‍ය කිසිදු නො පසු බැස්සේ ය. නො සැලුණේ ය. සිත එකඟ වූයේ, වික්ෂිප්ත නො වී ය. සිහි මනාව එළඹැ සිටියේ, මුළායෙක් නොවීය. නාම කය සංහුන් වූයේ සිත ද සමාහිත වි ය.

යශෝධරාවන්ගේ ව්‍රතසමාදානය

බෝසතාණන් ආහාර අඩුකිරීම් ආදීන් පුරන දුෂ්කර තපෝව්‍රත පිළිබඳ තොරතුරු කිඹුල්වතින් යැවෙන රාජ දූතයන් මගින් ශුද්ධෝදන රජ්ජුරුවෝ හැම දා ම දැනගත්හ. එහෙත් එ තුමෝ අසිතර්ෂි ආදීන් කී අනාවැකි සියල්ල ඒ තාක් අකුරට ම හරි ගිය බැවින් ඉතිරි ටිකත් එසේ ම හරියතැයි ද “මා පුතාණෝ බුදු වන්නාහු ම යැ” යි අදහන්නාහු ලැබෙන ආරංචිවලින් නො කැලැඹුණාහ. කොතරම් දුෂ්කර ව්‍රත පිරුවත් විපතක් නොවෙති යි තරයේ ම සිතූහ. එහෙත් බෝසතාණන් ආහාර අඩු කිරීම් ආදී වශයෙන් කරන කය තැවීම් පිළිබඳ කිසි ම පුවතක් යශෝධරාවනට ආරංචි වෙන්නට ඉඩ නො තැබූහ. ඒ වගක් ඇයට නොකියන ලෙසට ඒ රාජ පුරුෂයනට ද අණ කළහ. යශෝධරාවන් සිතා සිටියේ බෝසතාණන් සාමාන්‍ය තවුසකු සේ ජීවත් වන බව පමණ ය. ඕ රාජපුරුෂයන් ගෙන් බෝසතාණන් බිම සැතපෙති යි අසා තොමෝත් ඇඳ පුටු පරිහරණය අත්හරියා ය. කසට පෙවූ සිවුරු හඳිතැයි පොරොවතැ යි අසා තොමෝත් ආභරණ සුවඳ විලෙවුන් පාවිච්චිය හැර දමා කසට පෙවූ වස්ත්‍රයක් හැඳ කසට පෙවූ වතක් ම පෙරෙව ගත්තී ය. බෝසතාණන් කෙස් වැටිය සිඳ දැමූ පවත් අසා තොමෝ කෙස් වැටිය සිඳ දැමුවා ය. බෝසතාණන් වළඳනුයේ එක් වේලක් පමණයැ යි තොමෝත් එක් වේලක් ම අහර ගත්තා ය. මෙසේ රජගෙහි හිඳම තපස්විනියක සේ කල් යවන්නී ද හැම සැප පහසුවක්ම දෙමින් මැනැවින් රහල් කුමරු පෝෂිත කළා ය. තව ටික කලෙකින් මගේ ස්වාමිදරුවන් බුදු වී අවුත් අපට දුකින් මිදෙන මාර්ගය පෙන්වතියි, අපට විමුක්ති සැපය ලබවතියි උදාර අපේක්ෂා ඇත්තී අනාගත භාග්‍යය පතමින් කල් යැව්වා ය.

මරහුගේ දයාවක්

නිවන් සුව අපේක්ෂා කෙරෙමින් අප්‍රාණකධ්‍යානය දැඩි සේ වඩන බෝසතාණන් දුටු වසවත් දෙව්පුත් “සිද්‍ධාර්ථ කුමාරයන්ගේ වෑයම ඉතා මහත් ය. කිසි දවසක බුදුවනු සැක නැත. දැන් ම ඔහු රවටා දුෂ්කර ක්‍රියාව නවතාලුවොත් යහපතැ” යි සිතීය. දවසක් හේ බෝසතාණන් වෙත ගොස් හිත විලාසයක් පා, “යහලුව, ඔබ කෙට්ටු ය, දුර්වර්ණ ය, මැරෙන්නට ළඟ ය. මරණය අතට ම බරවූ අප්‍රාණකධ්‍යානාදී දෑ දහස් ගණනෙකි. එයට ඔබේ ජීවිතය එක් කොටසක් වා පමණෙකි. පින්වතාණෙනි, මේ තරම් දුක් නො විඳින්න, ජීවත් වෙන්න. ජීවත් වීම මරණයට වඩා උතුම්. හොඳට ආහාර පාන ගනිමින් ජීවත් වෙමින් දානමානාදී පින් කරන්න. ඒ අතර ඉඩ ලැබෙන පරිදි බඹසර ද පුරන්න. හෝම පූජා කරන්න. එයින් බොහෝ පින් රැස් වේ. ජීවත් වේදෝ යි සැක සිතෙන තරමට කටුක ලෙස මේ දුෂ්කර ව්‍රත පිරීමෙන් සිදු වන යහපත කිමෙක්ද? යහලුව, පෙර බුද්ධාංකුරයන් ගිය ප්‍රධාන වීර්ය මාර්ගය අද සිටින අයට දුර්ගම එකෙක, දුෂ්ප්‍රාප්‍ය එකෙකැ” යි ව්‍යාජ දයාවක් පෙන්වා කීයේ ය.

මරුට තර්ජනය කිරීම

බෝසතාණෝ මේ වසවතු’ යි දැනගත්හ. ඔහු බස් පිළිකුල් කොට පිළිකෙවු කරන සේක් “පමා වූවන් බැඳ ගන්නා පවිට, මගේ ප්‍රධාන ව්‍යායාමයට හානි කිරීමට, තගේ වාසිය තකා ම තෝ මෙහි ආයෙහි. ඒ තා වණන පින් බිඳෙකිනුත් මට වැඩෙක් නැත. යම් කෙනෙක්නට එබඳු පිනින් වැඩෙක් ඇද්ද ඔවුනට නම් තගේ කථාව හොබී.

“ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, ප්‍රඥා, ස්මෘති, සමාධි යන පඤ්ච ඉන්ද්‍රියෝ මා තුළැ ඇතියහ. මෙ කී අංගයන් ගෙන් සමන්විත ව ප්‍රධාන ව්‍යායාමයෙහි යැවූ සිතැති, නිවන් සඳහා පරිත්‍යක්ත ආත්මභාවය ඇති මගෙන් (ප්‍රධානයෙන් ජීවිතයට කවර වැඩෙක්දැයි”) ජීවනය ගැන ප්‍රශ්න කෙරෙහිද?

“මා අප්‍රාණික ධ්‍යානයෙන් ඉපැදැ වූ වායු තෙම ගංගා ශ්‍රෝතයනුදු වියලන්නට සමත් ය. එබැවින් මේ වායු තෙම කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වූ දැඩි වීර්‍ය්‍ය ඇති මගේ නැලියක් පමණ වූ ස්වල්ප ලෙය කිමෙක නො වියලන්නේ ද? ලෙය වියැලෙන කල්හි පිතත් සෙමත් වියැලේ. මෙසේ පිළිවෙළින් මසුත් ක්ෂීණ වන කල්හි ද සිත වඩාත් පහදී. සිහිය ද ප්‍රඥාව ද සමාධිය ද ස්ථිර ව පිහිටති. තෝ මෙ බඳුවූ මගේ ධෛර්‍ය්‍යවත් සිත නො දැන “කය පමණක් බලා, “කෘශ ය” යන ආදීන් කියයි ද?

“දෘඪාධිෂ්ඨාන ඇති ව මෙසේ කර්මස්ථානානුයෝගී වැ වසන මගේ උතුම් විඳීම බලව, මෙ තරම් දුර්වල වුවත් මෙය හැර ආපසු රාජ සම්පත් ආදිය බලා යමි’යි මසිත කිසිදු කාම වස්තුවක් අපේක්ෂා නො කරයි. බලව, සත්ත්වයකුගේ ශුද්‍ධියෙක හැටි !”

දස මරසෙන්

“තවද පවිට මම දනිමි, කාමයෝ තගේ පළමු සේනාවයැ. ගුණධර්මයෙහි උකටලී බව දෙවෙනි සේනාව ය. බඩගිනි හා පවස තෙවෙනි සේනාව ය. ආහාරාදිය සෙවීමෙහි ආශාව සිවු වන සේනාව ය. චිත්ත චෛතසිකයන්ගේ මිලාන බව පස් වන සේනාව ය. බියසුලු බව සවන සේනාව ය. මේ මඟ වේ ද නැද්දැයි පිළිවෙත්හි සැකය සත් වන සේනාව ය. මකු බව හා සිත අවවාදයට නො නැමෙන දැඩි බව අට වන සේනාව ය. ලාභ කීර්ති සත්කාර හා නො නිසි මගින් ලත් යස ඉසුරු යන මෙයින් නැංග තෘෂ්ණා මානයෝ නව වන සේනාව ය. තමා උසස් තැනැ තැබීම හා මෙරමාට අවමන් කිරීම දස වන සේනාව ය.

“නමුචිය, මේ අකුශල රාශිය තගේ දස වැදෑරුම් සේනාව යි. මහණ බමුණන් පෙළන පාපී වූ තගේ ආයුධ රැස යි. ශූර නො වූයෙක් තගේ එ දස මරසෙන් නො දිනයි. ශූර තෙමේ ම උන් හැම බිඳ ජය ගනී. දිනීමෙන් වනාහි ඒකාන්ත සුවය ලබයි.

“ජය ගෙන මිස පෙරළා නො ඊමේ ලකූණක් වශයෙන් මුදු තණ ගසක් දරන යෝධයකු සේ 33 කොට මා සලකා ගනුව. මේ ක්ලේශ යුද්‍ධයෙන් පැරදුණොත්. ඒ මගේ ජීවිතයට නින්දා වේවා ! පැරැදී ජීවත් වීමට වඩා රණබිමැ වැටී මිය යෑම උතුමි.

“ඇතැම් මහණ බමුණෝ මේ ක්ලේශ සේනා මධ්‍යයෙහි වන්නෝ නො පැනෙත්. මනා පැවතුම් ඇතියන් නිවනට යන ප්‍රතිපත්ති මාර්ගය ද නො දනිත් යැ” යි වදාළ සේක.34

මෙ බස් ඇසූ වසවත් මරු කිසිත් නො බැණ පලා ගියේ ය.

දුෂ්කර ක්‍රියායෙහි යෙදුණු බෝසතාණන් වහන්සේ එයින් කිසි විශිෂ්ට ගුණ ලාභයක් නො දුටු සේක. සිතීම් සයුරෙහි කිමිද බලන සේක්,

“යමෙක් මෙ ලොවැ, දුෂ්කර ක්‍රියා කෙරෙද්ද, ඔවුහු මට සම හෝ හීන වෙති. මෙයට වැඩි තරමින් දුෂ්කර ක්‍රියා කරන්නට සමතෙක් නම් නැති. මේ සා දුෂ්කර ක්‍රියා කොටත් සම්බෝධිය නො ලැබීමි. එ බැවින් මේ බෝධියට මඟ නොවේ යැ”යි දුටු සේක.

සතානුසාරි විඤ්ඤාණය පහළවීම

35යලි ගත වූ කාලය විමසා බලන සේක්, තමන් කුඩා වියෙහි පියාණන්ගේ කෙත් බිමේ දී දඹ ගස යටැ හිඳ වැඩූ ආනාපාන ස්මෘතිය සිහි කොට, “මෙය බෝධියට මඟ වේ දෝ” යි සිතා එය වැඩීමට ඉටාගත් සේක. “දුර්වල සිරුර ඇති ව ආනාපාන ස්මෘතිය පුරනු නො හැකි ය. එබැවින් ආහාර සේවනයෙන් කය සතපා, එයට පසු ව සමාධිය වඩන්නෙම් නම් යෙහෙකැ” යි සිතූ සේක.

කය සැතැප්වීම

ඉක්බිති බෝසතාණන් වහන්සේ පාත්‍රය තුබුණු තැනින් ගෙනැ උරුවෙල් දනව්වට පිඬු පිණිස වැඩියහ.36 මිනිස්සු උන්වහන්සේ දැකැ, “පෙර මෙ තුමා තමා ළඟට ගෙනවුත් දුන් ආහාරය වත් නො ගත්තේ ය. ඒකාන්තයෙන් මුන් වහන්සේ ගේ මනෝරථය මස්තක ප්‍රාප්ත වූයේ වන. එබැවින් තුමූ ම පිඬු පිණිස ආහයි සතුටු වැ ප්‍රණීත ප්‍රණීත ආහාර පිළිගැන්වූහ.

පස්වග තවුසන් බෝසතුන් අත්හැර යෑම

පිඬු පිණිස හැසිර වළඳා කය සතපනු දුටු පස්වග තවුසෝ, “මෙ තුමා නිවන් මගින් බැහැරවැ ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ඉවත් වැ ආපසු කාය සෞඛ්‍යයට පෙරැළී ගියේ යැ. නිවන් මගින් ඈත් වී යැ” යි කලකිරුණාහ. උන්වහන්සේ හුදෙකලා කොට නික්ම ගියාහ. බරණැසට පැමිණැ සෘෂිපතනයෙහි වුසුම් ගත්හ.

බෝසතාණන් වහන්සේ සෑහෙන තරම් සුව පහසු ලැබෙන තෙක් ප්‍රණීත ආහාර වළඳමින් දෙසතියක් පමණ කාය විවේකයෙන් කල් යැවූ සේක.

විතර්ක විමැසීම

ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේගේ සිත් සතන්හි නෛෂ්කාම්‍යසංකල්ප ආදී කුශල විතර්කයෝ මහ ගංවතුරක් සේ ඉතා අධික වැ පහළ වෙමින් පැවැත්තාහ. කලක් ම කෘශ වැ සිටි මුත් ආහාර සේවනයෙන් නැවතත් සිරුර ප්‍රකෘතිමත් වැ කලදී සේ ම මහා පුරුෂලක්ෂණයන් මතු වැ බ්‍රහ්මශරීරය ද ඉක්මැ ශෝභාසම්පන්න වූ නියාව දැක්මෙන් “මගේ ශරීරය සමෘද්‍ධියට පැමිණියේ යැ”යි කිසි විටෙක උන්වහන්සේට කල්පනා වෙයි. එහෙත් එය ද කාමවිතර්කයක් කොට සලකා නැවැත එවැන්නක් සිතේ පහළ නො වන ලෙසට සිත රැක ගන්න ඉටා ගත්හ.

තව ද පන්සල ඉදිරියේ ඉන්නා බෝසතාණන් වහන්සේ මුව ගව ආදි සිවුපාවුන් ද වෙනෙහි රැව් පිළිරැව් දෙමින් රුකින් රුක සරණ මොනර වලිකුළු ආදී පක්ෂීන් ද, නෙලුම් ඕලු මහනෙල් කුමුදු ආදී ජලජ පුෂ්ප සංඡන්න හෙප් හා මඬවගුරු ද, නානා පුෂ්ප සමූහයෙන් ශෝභිත තරුවර ශතයෙන් ගහන වනරොද ද, මිණි කඳක් වන් පිරිසිදු ජල ධාරායෙන් ශෝභමාන නේරංජරා නදිය ද දකින සේක. ඒ දැක්මෙන්, “මේ සිවුපා රැල සිත්කළු ය. මේ පක්ෂීහු ප්‍රියංකර හ. මේ දිය හෙප් රම්‍ය ය, මේ රාජිහු ශෝභමාන හ. නේරංජරාව දර්ශනීය යැ”යි උන් වහන්සේට සිතෙයි. එවිට “අහෝ මට කාම විතර්කයෙක් වී යැ” යි ඒ ස්වල්පය පවා කාමවිතර්ක පක්ෂයෙහි ලා සලකා ඒ ද දුරු කිරීමට ඉටා ගන්නා සේක.

දැඩි උණුසුම් දැඩි ශීත ආදියෙන් සිතෙහි මඳ පෙරැළීමක් වූ විටැ එය ව්‍යාපාද විතර්ක පක්ෂයෙහි ලා සලකා එබඳු විතර්ක ද දුරු කරන්නට සිතූ සේක.

පන්සල් දොරැ ඉන්නා කිසි විටෙකැ උන් වහන්සේට ව්‍යාඝ්‍රාදීන් මුව හූරු ආදී දුබල සතුන් පෙළනු දක්නට ලැබේ. ගමට පිඬු පිණිස වැඩි කිසි විටෙක රාජකාර්‍ය්‍ය හේතුයෙන් තමන් රැකියාවන් කැරැ ගන්නට නො ලැබැ උපද්‍රෑත වූවෝ ද දක්නට ලැබෙයි. මෙකී දර්ශන හේතුයෙන් උන්වහන්සේගේ සිතෙහි ශෝක උපදී. ඒ අනුනට හිරිහැර ඇති කරන්නන් ගේ අකාරුණික බව, ක්‍රෑරකම උන්වහන්සේට පැනේ. ඉන් සිත නොසංසුන් වේ. නො එකඟ වේ. එවිටැ ඒ ස්වල්ප නොසන්සුන් බව පවා විහිංසා විතර්ක යැ යි ගෙන, එය ද දුරු කටයුතු යයි සිතූ සේක.

“මෙ සේ සිතන බෝසතාණන් වහන්සේ විතර්කයන් කුශලාකුශල වශයෙන් දෙ කොටසකට බෙදන සේක් “මේ කාම විතර්කය, මේ ව්‍යාපාද විතර්කය, මේ විහිංසා විතර්ක යැ”යි අකුශල පක්ෂය එක් කොටසක්ද “මේ නෛෂ්කාම්‍ය විතර්කය, මේ අව්‍යාපාද විතර්ක ය, මේ අවිහිංසා විතර්ක යැ” යි කුශල පක්ෂය එක් කොටසක් දැ’යි කුසල් අකුසල් විසින් විතර්කයන් දෙ කොටසක් කොට අකුශල විතර්ක වැනසීමෙහි ද කුශල විතර්ක වැඩීමෙහි ද යෙදුණු සේක. කාම විතර්කාදී අකුශල විතර්කයන් පහළ වූ විටැ එය තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයට ම අවැඩ පිණිස පවත්නා බව, ලොවීලොවුතුරු සුවයට බාධක බව, දුක් පැත්ත ගෙන සිටින බව, නිවන් පිණිස නො පවත්නා බව සැලැකූ සේක. මෙසේ සලකන බෝසතාණන් වහන්සේ තුළැ ඒ හටගත් දුර්වල විතර්ක විනෂ්ට විය. උන්වහන්සේ අකුශල ධර්මයන් ගේ දෝෂයත් ලමා බවත් කෙලෙසුමත් කුශල ධර්මයන්ගේ, නෛෂ්කාම්‍යයාගේ, අනුහසුත් විශුද්ධ පක්ෂයත් දුටු සේක.

මෙ සේ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව වසන සේක්, තමනට පහළ වූ නෛෂ්කාම්‍ය විතර්කාදී කුශල සංකල්පයන් තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයටමත් අවැඩ පිණිස නො පවත්නා බව ද, ලොවී ලොවුතුරා ප්‍රඥාව ගේ වැඩුමට හිත බව ද, දුඃඛ පක්ෂයෙහි නො වන බව ද, නිවන් පිණිස පවත්නා බව ද දුටු සේක.

යටැකී පරිදි රෑ මුළුල්ල ද, දාවල් මුළුල්ල ද, රෑ දාවල් දෙක් හි ම ද විතර්කන විචාරණයන්හි යෙදුණු උන් වහන්සේගේ ශරීරය ක්ලාන්ත වේ. සිරුර ක්ලාන්ත වූ විට සිත නො සංසුන් වේ. ඒ හේතුයෙන් සිත එකඟ බැවින් ඈත් වේ. එවිට සමාපත්තියට සමවැද ඒ සියලු පීඩා ද නො සංසුන් බව ද සංහිඳුවා ගන්නා සේක. අකුශල විතර්ක පක්ෂය නුවණින් බලමින් නිග්‍රහකොට කුශල විතර්ක පක්ෂය වඩන සේක.

මෙ සේ ප්‍රධන් වීර්‍ය්‍ය වඩන බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ ගේ ඒ තවුස් ජීවිතය සම්බන්ධ සවන වර්ෂයේ අවසාන භාගය පැමිණියේය.

බුද්‍ධත්වය ලැබීම

බෝසතුන් දුටු සීන පස

වෙසක් මස පුර තුදුස්වක් විය. එ දින රාත්‍රියෙහි නිද්‍රෝපගත වූ බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ එළි වීගෙන එන වේලෙහි පහත සඳහන් සීන පස දුටු සේක.

පළමු සීනය

“මහ පොළොව යහනෙක් වී ය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරු වැ නිදන බෝසතාණන්ගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද බැහුණා හ.” මේ උන් වහන්සේ දුටු පළමු සීනය යි . (මෙය උන් වහන්සේ ලොවුතුරා බුදුවන බවට පෙර නිමිත්ත ය.)

දෙවෙන සීනය

“උන් වහන්සේ ගේ නාභියෙන් රතු ඊතන ගසෙක් ඉතා උසට නැගී අහසැ පැතිර සිටියේ ය.” (මේ ස්වප්නය උන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේධ කොට ලොවට ප්‍රකාශ කරන බවට පෙර නිමිත්ත ය.)

තෙවෙන සීනය

“කළු හිස් ඇති සුදු පණුවෝ පා මුලින් නැගී දණ ඉස දක්වා වසා ගත්හ.” (මෙය බොහෝ ගිහියන් උන් වහන්සේ ගේ උපාසකයන් වන බවට පෙර නිමිත්ත ය.)

සිවු වන සීනය

“නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේ ගේ පා මුලැ හොත්තෝ වහා සුදු පැහැ වූහ. (මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදි වැ පිරිසිදු වැ නිවන් පැමිණෙන බවට පෙර නිමිත්ත ය.)

පස් වන සීනය

“උන් වහන්සේ මහත් අශූචි පර්වතයක් මතුයෙහි ඒ අශූචි යෙන් නො තැවරී සක්මන් කළ සේක.” (මෙය සිවුපස බොහෝ සේ ලැබෙතත් එහි නො ඇලෙන බවට පෙර නිමිත්ත ය.)

අජපල් නුගරුක් කරා යාම

“මහා පුරුෂයාණන් වහන්සේ මෙකී ස්වප්න පස දැක, තුමූ ම ඒ විසඳා බලා, තමන් ‘බුදු වන බව නිසැක’ යි දැනැ, පසු දා උදය ම සිරුරු පිළිදැගුම් කොට, ගොස් අජපල් නුග රුක් මුල භික්ෂාචාර වේලාව තෙක් පෙර දිගට මුහුණ ලා වැඩ උන් සේක.

සුජාතාවන්ගේ කිරි පිඬු දානය

එදා වනාහි සේනානි නිගමයෙහි30 අධිපති කෙළෙඹිහු ගේ දූ වූ සුජාතාව කලෙක සිට සිරිත් පරිදි කරන වාර්ෂික දේව බලි පූජායෙහි දිනය විය. බෝසතාණන් ගොස් වැඩ හුන්නේ ඔවුන්ගේ දේවායතනය වූ රුක මුලැ ය. යථෝක්ත සිටු දූ බිලියම් පිණිස ගෙහි දිය නො මුසු කිරිබතක් පිළියෙල කරන්නී පුණ්ණා නම් දාසිය බණවා ‘නුගරුක මුල ඇමද පිළියෙල කරව’යි යැවූය. ඕ ද එහි ගියා, රුක් මුලැ වැඩ ඉන්නා බෝසතාණන් වහන්සේ ගේ අතුල්‍ය ආශ්චර්‍ය්‍ය දේහ ශ්‍රිය දැක. ‘වෘක්ෂ දේවතා යැ’යි සිතා ගත්තී, පෙරලා යුහු යුහුව ගොස් සුජාතාවට එපවත් සැළ කළා ය. එය අසා සුජාතා දේවී ප්‍රමුදිත වූවා එකෙණෙහි ඇය නිදහස් කළා ය. සියලු ස්ත්‍රී පලඳනායෙන් ඇය මොනොවට සරසාලූ ය. තොමෝ ද දහසක් අගනා රන් තලියක් කිරිබතින් පුරා රන් තලියෙකින් වසා ඉස මත්තෙහි තබා ගෙන මහ පිරිවරින් නුග රුක අතට ගමන් ගත්තා ය. එ සේ යන ඕ සියලු රුක ශරිර ප්‍රභායෙන් රන්වන් කොට, මූර්තිමත් වූ පින් කඳක් මෙන් බබලමින් වැඩ ඉන්නා ඒ බෝධිසක්ත වූ මහා සත්ත්ව රාජර්ෂීන් වහන්සේ දුරැ දී ම දුටුහ. දැක හටගත් ප්‍රීති සොම්නස් ඇති වැ, ඒ දුටු තන් සිට ම නැමී නැමී ගොස් වෙත එළැඹ, හිසින් රන්තලිය බා ගෙනැ, පියන හැර, බෝසතාණන් අතැ තබා, පසඟ පිහිටුවා වැඳ, “මගේ මනෝරථය යම් සේ මස්තකප්‍රාප්ත වී ද, එ සේ ම ඔබ වහන්සේ ගේ මනෝරථය ද නිපදීවා”යි 33 කියා රන්තලිය ද බෝසතාණනට ම පියා පැදකුණු කොට නික්ම ගියා ය.

නේරංජරා තීරයට වැඩීම

බෝසතාණන් වහන්සේ ද කිරිපිඬු සහිත රන් තලිය ගෙන නිල්දලා (නේරංජරා) ගංතෙර වැඩියහ. එහි සුපිහිටි තොට අස සෙවෙණෙහි රන්තලිය තබා, දියට බැස සනහා ගොඩ වූත් සිවුරු හැඳ පෙරව ගෙන සිසිල් රුක් සෙවනෙකැ හිඳ යථෝක්ත කිරිබත එකුන් පණස් පිඬක් කොට වැළඳු සේක. ඉන් පසු ‘ඉදින් අද ම බුදු වැ ගත හෙම් නම් මේ රන්තලිය උඩුගං යේ වා’යි ඉටා ඒ ස්වර්ණ පාතිය දියට දැමූහ. එය හොය මැදට දිවැ, දිය පිටැ දුවන නැවක් සේ උඩු ගං බලා ගොස්, දිය සළායෙකැ ගැසී දියේ ගැලිණ.37 ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත යැ’යි සිතූහ.

භද්‍ර වනයෙහි දිවා විහරණය

ඉක්බිති මහා පුරුෂයාණන් වහන්සේ ගං තෙරැ පිහිටි පරම සුරභි කුසුම සමලංකෘත වූ, පත්‍රයන් ගේ නීලාවභාෂයෙන් ශෝභිත, මනෝරම්‍ය උත්තුංග ශාල වෘක්ෂ පංක්තීන් ගෙන් සුසජ්ජිත භද්‍ර වනයට වැඩි සේක . එහි දිවා විහරණය කරන සේක්, පෙර ආළාර උද්‍රකයන් වෙත් හි දී උපදවන ලද, පසු කලැ දුෂ්කර ක්‍රියා සමයෙහි නොවැඩූ හෙයින් මල බැදුණවුන් මෙන් වූ අෂ්ටසමාපත්තීන් හා පංචාභිඥාවන් පිරිසිදු කළ සේක. (මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ චිත්තවිසුද්‍ධි ලාභ39 යැ යි දත යුතු.)

බෝරුක කරා වැඩීම

බෝසතාණන් වහන්සේ දහවල් සමවත් සමවදිමින් කල් යවා එ දා සවස් හි සල් වනයෙන් නික්ම බෝරුක දිශාවට යන මාර්ගයට බැස ගමන් ගත් සේක. ඉදිරි මගින් එන ස්වස්තික නම් බමුණෙක් උන් වහන්සේ ගේ ආකාරය දැක තමා ගෙන එන කුසතණවලින් අට මිටකින් පුදා ගියේ ය. බෝසතාණන් වහන්සේ ද එය පිළිගෙන බෝරුක වෙත එළැඹි සේක. එළැඹ එහි දකුණු දිග්භාගයෙහි වැඩ සිටි සේක. එකෙණෙහි එ පෙදෙස නෙළුම් පතකැ දිය බිඳක් මෙන් කම්පිත වූ සේ පෙනිණ. එවිට මේ ප්‍රදේශය මගේ ගුණය උසුලනු නො හැකි යැ”යි සිතා, පශ්චිම දිශා භාගයට වැඩි සේක. හෙ ද කම්පිත වූ සේ පෙනිණ. උතුරු දෙසට ද වැඩ සිටි සේක්. එද චංචල වූ සේ පෙනිණ. ඉක්බිති නැගෙන හිර දෙසට වැඩි සේක්, එහි පර්යංකයක් පමණ තැන නිශ්චල යැ යි දැකැ “මේ මගේ කෙලෙස් නසන තැනැ” යි සනිටුහන් කොට එහි තණ අට මිට සලා,

අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම

“මේ ශරීරයේ සම් මස් ලේ ඇට නහර වියැලි සුණු විසුණු වන කල්හි ද පුරුෂස්ථාමයෙන් පුරුෂ විර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියැ යුතු වූ සම්‍යක් සම්බෝධිය ලැබ මිස මා උත්සාහය අත් නොහරිමි” යි චතුරංග වීර්‍ය්‍යය40 ඉටා බෝ කඳට පිට දී පෙර දිග බලා වජ්‍රාසනයෙන් (අජේය පර්යංකයෙන්)41 වැඩහුන් සේක.

මාර සංග්‍රාමය

මහා පුරුෂයාණන් වහන්සේට ගෞරව ස්තූති පූජා පිණිස, ගලා එන මහාජලෞඝයක් මෙන් අතුරු සිදුරු නැති සේ රැස් වන දිව්‍ය බ්‍රහ්ම සේනා හේතුයෙන් හාත් පස සියලු පෙදෙස මිහිබට දෙව් පුරයෙක සිරි ඉසිලී ය. මේ අතරැ කලින් ම ඈත එන සතුරකු දැක බිය ලකුණු සෙස්සනට ද පහළ කොට පැන යන්නක්හු සෙයින් හිරු අස්ත පර්වතය දිසාවට නැමුණු ගමන් ඇත්තේ විය. සඳ වූ කලී තමා නො තෙද වුවද වුවමනා විටෙකැ බෝසතාණනට පැරුම් පිරූ බවට දෙස් කියනු පිණිස නො බා එන හිතැති ගැත්තක්හු හෙයින් සුප්‍රකාශිත ශශ ලාංඡන ඇත්තේ ගගන තලය බබුළුවමින් උදා වන්නට ආරම්භ දැක්විය.

ඇසතු රුක් මුලැ පෙර දෙසට මුහුණ ලා රන් පුටුයෙකැ තැබූ රිදී කඳක් සේ පනස් රියන් උස් බෝ කඳට පිට දී මතුයෙහි දැරුණු දිව්‍ය මණිච්ඡත්‍රයක් වැනි නීල පත්‍ර සංඡන්න ශාඛාවන් ගේ සිසිල් සෙවෙණෙහි තණ ඇතිරි මතුයෙහි වජ්‍රාසනයෙන් වැඩ හුන් මහ බෝසතාණන් වහන්සේ ගේ ස්වර්ණ වර්ණ ශරීර ප්‍රභායෙන් මුළු පෙදෙස රන් රෙසෙහි ගිල්වනු ලබන කලෙක මෙන් අහිරාම ව බැබළිණ.

දුර්නිමිති

බෝධි වෘක්ෂය හාත්පසැ පැවැති මංගලෝත්සව අදිසියෙන් නැවතිණ. එතෙක් මහෝත්සවයෙන් කල් යැවූ සියලු දේව බ්‍රහ්ම සමූහයෝ ඈත එන අවාර්ය සතුරෙකු දැක්මෙන් සේ ක්ෂණයෙකින් හිස් ලූ ලූ අතැ දිවැ ගත්හ. එකෙකුදු එහි සිටින්නට සමත් නොවී ය. දහස් ගණන් උල්කාවෝ පතිත වූහ. ඝෝර දිග්දාහයෙක් විය. අහසැ ධූමකේතූහු දෘශ්‍යමාන වූහ. දිශාවෝ ඝනාන්ධකාරය භජනය කළහ. පෘථිවිය සුළඟින් පහළ වැලක් මෙන් සැලෙන්නට විය. හාත්පස චණ්ඩ වාතය හැමී ය. මේ ගැජුම් බඳු බිහිසුණු ගිගුම් ද විය. හැම අතින් වලාහක ප්‍රතිච්ඡන්න දුර්දිනයෙක ආකාර පහළ විය. රාහු ග්‍රහණ වේලායෙකැ සෙයින් බැස ගෙන යන සූර්යයා නටුවා වූ රශ්මි ඇත්තේ වී. වැසි නැති මුත් අහසෙහි දෙව්දුනු ද විදුලි ද දෘශ්‍යමාන වූහ. දිලියෙන ගිනි හෙන තැන තැන පතිත වීය. වන කවුඩු රැල නාද කරන්නට පටන් ගත්තු. හාත්පස උළලෙහණුන් ගේ ද මහ මුහුණන්ගේ ද අමනොඥ හඬ ඇසෙන්න විය. සොහොනින් නැගිට ආ ඇටසැකිලි රැසක් බඳු භය ජනක ප්‍රේත රැලක ගේ සංචාරයෙක් ද දෘශ්‍යමාන වීය. මේ සියල්ලටත් වඩා බිහිසුණු වූ ලොමු දහගන් වන සුලු කබන්ධ රූපයෙක් (හිස නැති සිරුරෙක්) අහසැ හැසිරෙන්නට වන.

මෙ සේ අශුභ අනිටු නානාප්‍රකාර දුර්නිමිති පහළ වෙමින් පවත්නා කල්හි ම කඩු පොරෝ ශර අඩයැටි තෝමර ආදිය ගත් අතැති, විහිදෙන ගිනිදැල් හා විස දුම් සහිත විවෘත මුඛ ඇති, නග්න දුර්වර්ණ ප්‍රෙතාදීන් වැනි නොයෙක් අප්‍රිය දර්ශන ඇති භයංකර සත්ත්ව සමූහයන්ගේ බෝමැඩ දිශාවට දිව ඊමෙක් විය. “ගනිවු, තළවු, මරවු” යන ආදී ක්‍රෑර වචන ද හැම දෙසින් ශ්‍රැයමාණ විය. බිහිසුණු වෙසින් එහි රැස් වූයේ බ්‍රහ්ම පර්ෂදට ද ආවිෂ්ට වැ පීඩා කිරීමෙහි පොහොසත් කාමභූමිශ්වර වූ වසවර්ති මාරයා සහිත තත් සේනාව ය. එහෙත් ඔහු බෝ මැඩට ඇතුළු වියැ නොහී පිටත මැ සිටියහ.

මහා සත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ පැමිණීම සුළඟින් පරණලා ගසා ඊමක් පමණට ද නො තකා, පක්ෂීන් මැද ගුරුළු රජක් හු සේ, මුවන් මැද කේශර සිංහයකු සේ, අජේය වූ පැරුම් බල ඇති වැ විශාර ද වැ වීතභය වැ හුදෙකලා වැ වැඩ හුන් සේකි. මර සෙනඟ ගෙන අඩැසින් බල බලා අවුත් සිටි මර තෙම “මම් මැ යැ මුළු ලොවට ජ්‍යෙෂ්ඨ, දෙව් මිනිස්නට ශ්‍රේෂ්ඨ යැ”යි සිතා “මිනිස් ලියක කුසැ කලලයෙහි කුණු මසෙක පණුවකු සේ උපන් මේ මහණ නිර්ලජ්ජීය, තමා පමණ නො දනී. මා වැන්නකු ඉදිරියේ සිටියදීත් නො ම නැගී සිටි යැ” යි මහසතාණන් වහන්සේ ට ගර්හා කෙළේ ය. ගරහා, මොහු බිය ගන්වා පලවමි” යි සිතා නව විධ වර්ෂාවන් මවා ලී ය. බෝසතාණන් වහන්සේට ඉන් පීඩාවෙක් නොවී ය. ඉක්බිති තමා නැඟී හුන් ගිරිමේඛලා ඇතු මහසතාණන් වෙත පමුණුවා “එම්බා සිද්‍ධාර්ථ, ඔය පළඟින් නැගිටුව”යි කී. මහසතාණන් වහන්සේ සිය පා මුලෙහි කෙළනා ළදරුවා අතින් පයින් පහර දෙන කල්හි දු, කිසි වියරුවක් කරන කල්හි දු, පුත්‍ර ප්‍රේමයෙන් වැළඳ ලෙහි හොවා ගන්නා දයාබර පියකු සේ, එ මරහු ගේ විකාරයෙන් අකම්පිත වැ මදකුදු දොම්නසක් නො කොට දයාබර වූ සේක්, මෙත් වඩනා සේක්, මරහු දෙස බලා “මාරය, මම මෙයින් නො ම නැගිටිමි”යි වදාළහ. යලි හාත්පස රැස්ව සිටි මර සෙනඟ ද ගිරිමෙවුල් ඇතු නැඟි මරහු ද බලා, වටා සියලු පෙදෙසැ ඉතිරැ පැතිරැ සිටි ගිරිමෙවුල් ඇතු නැගී මරු සහිත සේනාව දැක, “මේ ධර්ම යුද්‍ධය පිණිස නො පසු බට සිතින් ඉදිරිපත් වෙමි. යම් සේ මර තෙම මා මේ පළගින් සොලවන්නටත් නො හැකි වන්නේ ද එසේ ම කරන්නෙමි” යි ඉටා,

“මාරය, සදේවක ලෝකයා විසින් යුෂ්මතා ගේ කාමාදිසේනාව අජේ ය ය. එය දනිමි. එහෙත් මම් ඒ තාගේ බිහිසුණු මර සෙනඟ අමු මැටි බඳුනක් ගලෙකින් සෙයින් ප්‍රඥායෙන් බිඳැ ලන්නෙමි. මාරය, ආර්‍ය්‍ය මාර්ගය වැඩීමෙන් සියලු මිථ්‍යා කල්පනා දුරු කොට සම්‍යක්සංකල්පය පවත්වා, කායාදි සතර තන්හි මොනොවට පිහිටුවා ලූ, සිහි ඇති වැ, සව්වන් හික්මවමින් රටින් රට යන්නෙමි. මගේ අනුශාසනා පරිදි පිළිපදින එ සව්වෝ නො මුළා සිහි ඇත්තේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තෝ, යුෂ්මතා ගේ නො කැමැත්ත කිසිදු නො තකා, යෑමෙන් පසු තමන් ශෝක නො කරන තෙනට (-අමා මහ නිවන් පුරට) යන්නාහ” යි වදාළ සේක.

එය අසා මාර තෙම, “මහණ, මෙ බඳු රළු යකකු වූ මා දැකත් බිය නොගන්නෙහි දැ? යි ඇසීය.

“එසේ ය, මාරය, නො බාමි” යි බෝසතාණන් වහන්සේ වදාළ සේක.

“කුමක් හෙයින් නො බොනෙහි දැ” යි මර ඇසී ය.

“මා දානාදි පැරුම් පිරූ හෙයිනැ”යි බෝසතාණන් වහන්සේ වදාළ සේක.

“යුෂ්මත්හු පින් කළැ යි කවරෙක් දනී දැ” යි මාර ඇසී ය.

එ විටැ මහ බෝසතාණන් වහන්සේ,

“මාරය, මෙහි ලා දෙස් දැක්වීමෙක් කුමට ද? අවශ්‍ය නම් එක් වෙසතුරු අත්බැවෙහි පමණක් දුන් දනින් සත් යලක් කම්පිත වූ මේ මහ පොළොව ම දෙස් වේ යැ”යි වදාරා, සැඳෑ වලා ගැබින් නිකුත් විදුලියක් සෙයින්, සිවුරු ගැබින් දක්ෂිණ ශ්‍රී හස්තය නිකුත් කොට බිමට දිගු කළ සේක. එ කෙණෙහි මහ පොලොව බිහිසුණු හඬ දෙමින් කම්පිත විය. ඒ ඇසූ මර තෙම සෙන පහර ලදුවකු සේ බිය පත් වැ ධ්වජය නමා ගෙන සෙනග හා පලා ගියේ ය. මෙසේ හිරු ධරමාන කල්හිම බෝසතාණන් වහන්සේ දෙව්පුත් මරහු පරද වා විජයශ්‍රීය ලැබූ සේක.

ජය පරාජය බලමින් ඈත සිටි දෙව් බඹුහු මහතාණන් ලත් විජය ශ්‍රිය දැක “එවු නිදුකාණනි. සිද්‍ධාර්ථයන් වහන්සේ ට ජය ය. අසිද්‍ධාර්ථ වූ මරහට පරාජය ය. ජයමංගලය ද බුද්‍ධ මංගලය ද එකට කරන්නමු” යි කියා, එක් පැහැර අවුත් බෝ මැඩ වටා රැස් වූහ.

සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්‍ය්‍ය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ අවර දිගින් බැස්සේ ය. කාන්ත වූ ප්‍රභා සමුදය විහිදුවමින් අහස් ගබ හොබවමින් නේමිය ගෙන ගසනු ලදුව අහස බමන රිදී සකක් මෙන් පුර සඳ ප්‍රාචීන දිග්භාගයෙන් නැංගේ, ඒ මුළු රෑ දැවෙන ප්‍රදීපයෙක ශ්‍රීය දැරී ය. තරු සහිත වලා නැති පිරිසිදු අහස මහතාණන් මතුයෙහි මණිඛවිත දිව්‍ය විතානයෙක ශෝභාව ගත්තේ ය. පෘථිවිය හාත්පසැ වලයාකාර ක්ෂිතිජය විශාල වූ සාණි ප්‍රාකාරයක් ලෙසින් දිස් විය. මහී වර වධුව ගේ හෘදය ස්ථානීය වූ උත්තම ස්ථානයෙහි පිහිටි බෝධි මණ්ඩය අනන්‍ය සාධාරණ මණ්ඩපයෙක ශ්‍රී ඉසිලී ය. මුල පටන් ශාඛාග්‍රය තෙක් සියක් රියන් පමණ උස් වූ ඝනබද්ධ මයුර පිංජ කලාපයක් සේ විද්‍යෝතමාන වූ, මත්තෙහි දැරුණු මණිචඡත්‍රයෙක ශෝභාව ගත් බෝධි වෘක්ෂරාජයා ගේ සෙවණෙහි, සුධර්මායෙහි ඉන්ද්‍රාසනාරූඪ සනත් කුමාරයාට ද නිගා දෙමින් වැඩ ඉන්නා ජගදේක වීරපුරුෂයාණන් වහන්සේ, විජිත දිව්‍ය පුත්‍ර මාරයා ඇති සේක්, අවශේෂ මාරයන් හා ද සංග්‍රාමයට සැරසුණු සේක.

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්‍ධිසම්පාදනය

මහ බෝසතාණන් වහන්සේ පළමුකොට ආනාපාන ස්මෘති කර්මස්ථානය වඩා පළමු වන දෙවෙනි ලැබීම හා තෙවෙනි සිවුවන රූපාවචර ධ්‍යානයන් සමවන් සේක. නැවැත චතුර්ථධ්‍යානයෙන් නැඟී සිට (සිත ඒ ධ්‍යානාලම්බනයෙන් ඉවත් කොට) පෙර වුසූ කඳ පිළිවෙළ අතට එල්ල කොට යැවූ සේක. මෙසේ අතීත ජාතීන් සිහි කරන සේක්, අනේක කෙළ දහස් ගණන් ජාතීන් තත්වාකාරයෙන් දුටුහ. උක්ත පරිදි එදා පූර්ව යාමයෙහි ම පෙර වුසූ කඳ පිළිවෙල වසා ලන මෝහය බිඳී යෑමෙන් මහසතාණන් වහන්සේට පූර්වෙනිවාසානුස්මෘතිඥාන ප්‍රතිලාභය විය.

පූර්වෙනිවාසානුස්මෘති ඥානයෙන් පෙර වුසූ කඳ පිළිවෙළ බලන බෝසතාණන් වහන්සේ,

“නාමරූපයෝ තත්තද්භවයෙහි පරම්පරා වශයෙන් පහළ වෙමින් බිඳෙමින් පැවැත්තාහ. එ නාම රූප පරම්පරාව ගේ ම චක්ෂුරාදි ද්වාරයන්හි රූප දැකීම් ආදි වශයෙන් නානා විඥානයෝ හට ගැනෙමින් බිඳෙමින් පැවැත්තාහ. එහෙත් හුදු තනි අවිකාරි තත්වයෙක් හෝ ජීවයෙක් හෝ පුද්ගලයෙක් නො වී ය. එය මවන දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ නො වී යැ” යි දක්නා සේක් විංශද්වස්තුක සත්කාය දෘෂ්ටිය42 බින්ද සේක. මේ වනාහි බෝසතාණන් වහන්සේ ගේ දිට්ඨිවිසුද්‍ධි සම්පාදනය යි.

ද්විතීය විද්‍යාව ලැබීම හා කංඛාවිතරණ විසුද්‍ධි සම්පාදනය

නැවැත මහබෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි ද පළමු පරිදි ම ආනාපාන චතුර්ථධ්‍යානයට සම වැද ඉන් නැගී සිට, සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුපපත්තීන් බැලීමට සිත යොමුකළ සේක්, මරණයට ඉතා ළං වූ ද, එ කෙණෙහි පිළිසිඳ ගත්තා වූ දැ යි කළකම් පරිදි සුගති දුගති දෙක්හි මැරෙන උපදින නන් වැදෑරුම් සත්ත්වයන් දුටු සේක.

මෙසේ සත්ත්වයන්ගේ ච්‍යුති උපපත්ති දැක්මෙන් තත් ප්‍රතිච්ඡාදක මෝහය දුරු විය. “මම අතීතයෙහි වීම් ද, නොවීම ද යන ආදි වශයෙන් සොළොස් පරිද්දෙකින් වන සියලු සැකය 42 ද ප්‍රහීණ විය. (මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ කංඛාවිතරණ විසුද්‍ධි සම්පාදනය යි.)

රෑ තුන් වැනි යාමය පැමිණියේ ය. මහ බෝසතාණන් වහන්සේ පළමු සේ ම ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැඟී සිට ස්කන්ධ පස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන සේක්, කලාප සම්මර්ශනයේ සිට එක් එක් පටිච්චසමුප්පාද අංගය සත්තානුපස්සනාවීථියට බැස් වූ සේක. මෙසේ විවසුන් වඩමින් අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාව ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාව ද, විරාගානුපස්සනායෙන් රාගය ද, නිබ්බිදානුපස්සනායෙන් නන්දිය ද, නිරොධානුපස්සනායෙන් සමුදයය ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානය ද දුරලූ සේක.

නැවැත සියලු සංස්කාරයන් නාම රූප වශයෙන් දෙකට බෙදා උදය ව්‍යය වශයෙන් බලන උන් වහන්සේට ආලෝක පීති පස්සද්ධි ඤාණ සද්ධා සති සුඛ උපෙක්ඛා විරිය නිකන්ති යන විදර්ශනා උපක්ලේශ දහය පහළ විය.

ඉක්බිති ඒ ආලෝක ප්‍රීති ආදි ධර්මයන් නුවණින් බලන සේක්, “තෘෂ්ණා දෘෂ්ටි මානයට අරමුණු බැවින්” මොහු මාර්ගය නො වෙත්, තරුණ විදර්ශකයාට ධර්මතා වශයෙන් පහළ වන විදර්ශනෝපක්ලේශයෝ ම වෙති, මොවුන්ගෙන් මිදුණු විදර්ශනා වීථියට පිළිපන් නුවණ ම මාර්ගය වේ යැ” යි මෙසේ මාර්ගාමාර්ග පිරික්සා දැන ඒ ආලෝකාදීන් කෙරෙහි නො ඇලී සිත විදර්ශනා භාවනාවට ම යොමු කළ සේක.

(මෙහි උන්වහන්සේට පහළ වූ මාර්ගාමාර්ග පරීක්ෂා කැර තීරණ කොට ගන්නා තියුණු විදර්ශනා ප්‍රඥාව මග්ගාමග්ගඤාණදස්සන විසුද්‍ධි සම්පාදනයයැ.)45

පටිපදාඤාණ දස්සණ විසුද්‍ධිය

ඉක්බිති විදර්ශනා මාර්ගයට පිළිපන් මහාසත්ත්වයන් වහන්සේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පරීක්ෂා කරන සේක් පංචස්කන්ධයේ පහළ වීමත් විනාශයත් දුටු සේක. (උදයව්‍යය ඥානය46 ලැබූ සේක.) ස්කන්ධයන්ගේ පහළවීමත් විනාශයත් වඩ වඩා බලත්ම වඩ වඩා ස්කන්ධ භංගය ම ප්‍රකට වැ පෙනිණ. තමන් ඉදිරියෙහි සිටින ව්‍යාඝ්‍රයකුගේ අයා ගත් මුඛයම පැනෙන්නා සේ ඉතා බලවත් වී මරණය ම පෙනෙන්නට විය. සියලු ස්කන්ධ පංචකය හුදු මරණය නම් දැයෙකින් ම සැදුණාක් මෙන් වැටහිණ. (භංගානුපස්සනාඤාණය46 පහළ විය.)

ඉක්බිති භංගය අනුව බලන සේක් භවත්‍රය ගත සියලු සංස්කාරයන් ව්‍යාඝ්‍ර සර්පාදීන් මෙන් භයක් කොට, භයට කාරණ කොට දුටු සේක. (භයතොපට්ඨාන ඤාණය47 ලැබූ සේක.) මෙසේ සංස්කාරයන් භය වශයෙන්, භය උපදවන්නන් වශයෙන් බලත් බලත් ම භවත්‍රය මුළුල්ල ගිනිගත් කිහිරඟුරු වලක් සේ ජාති ජරාදී එකළොස් ගින්න ඇවිල පවත්නා ප්‍රතිෂ්ඨා රහිත තැනක් සේ පෙනිණ. “භවය මෙ නම් ජාති ජරාදි දුකින් යුක්ත ය” යි භවත්‍රයයේ ම දෝෂ දුටු සේක. (ආදීනව ඤාණය ලැබූ සේක.)48

ආදීනව ඤාණයෙන් සංස්කාරයන්ගේ දෝෂ බලන කල්හි තමන් සර්ප මුඛයට අසුවූ මැඩියකු සේ ද, දැලෙක අසු වූ මසකු සේ ද, හැඟී යෑමෙන් තුන් භූමියට අයත් සියලු ධර්මයන්ගෙන් මිදෙනු කැමැති නුවණ ඇති විය. (මුඤ්චිතුකම්‍යතා ඤාණය49 පහළ විය.)

මිදෙන උපාය සොයන සේක්, චණ්ඩ මෘගයන් ඇති වනයකට වන්නකු ඉන් පැන යෑමට ඒ මේ අත මඟක් සොයා ඇවිදින්නාක් මෙන්, යළිත් සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රිලක්ෂණයට නඟා සම්මර්ශනය කළ සේක. (පටිසංඛානුපස්සනා ඤාණය)50ලත් සේක.

මෙසේ විදසුන් වඩන කල්හි දුරාචාර දෝෂයෙන් කලකිරී හරනා ලද භාර්යාවක සැඩොලුන් ගේ සමාගමයෙකැ සිටිනු දැක ද, ආලයක් හෝ අමනාපයක් නැති වැ උදාසීන වන්නාක් මෙන්, දොස් දැක්මෙන් කලකිරුණු, ඇල්ම හැර දැමූ, සංස්කාරයන් මධ්‍යස්ථ වැ බලනා නුවණ (සංඛාරුපෙක්ඛා ඤාණය)51 පහළ විය.

මෙහි කී උදයව්‍යය ඤාණය පටන් කොට සංඛාරුපෙක්ඛාඤාණය තෙක් වූ අෂ්ට ඥානයෝ මහබෝසතාණන් වහන්සේ විසින් පෙරැ බුදුවරයන් වෙත පැවිදි ව ධර්මය ඉගෙන විදර්ශනා වැඩීමෙන් ලදුවැ අළු යට ගිනි පුපුරු මෙන්, කුටියක් තුළැ ඇවිලෙන පහන් මෙන් සිටියෝ, වහා ම පහළ වැ ආහ.

උක්ත පරිදි වූ සංඛාරුපෙක්ඛාඤාණය පුරුදු කරන මහසතාණන් වහන්සේ ගේ ශ්‍රද්ධාව52 බලවත් විය, වීර්‍ය්‍ය මනාව වැඩිණ, සිහිය මොනවට එළැඹ සිටියේ ය. සිත සුසමාහිත විය. සංස්කාරෝපේක්ෂාව (සංස්කාරයන් මධ්‍යස්ථ ව බැලීම) ඉතා තියුණු විය.

සංඛාරුපෙක්ඛාව (සංස්කාරෝපේක්ෂාව) සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් සම්මර්ශනය කරමින් නැවැතැ භවාංගයට බැස ගති. ඉක්බිති, භවාංගයට අනතුරු වැ සංඛාරුපෙක්ඛා ඤාණයෙහි ආ පරිදි ම අනිත්‍යතාදි ත්‍රිලක්ෂණ අරමුණු කරමින් මනොද්වාරාවර්ජන සිත පහළ විය. ඉක්බිති යටැ පහළ වූ උදයව්‍යය ඥානාදි අෂ්ට ඥානයන් ගේ කෘත්‍ය සංසිද්‍ධියටත් මතු පහළ වියැ යුතු වූ බෝධිපාක්ෂික ධර්මයනටත් අනුකූල වැ, චතුස් සත්‍යයන් මුවහ කරන අවිද්‍යාව බිඳ හරිමින්, අනිත්‍යාදි තිලකුණු සර්වප්‍රකාරයෙන් ප්‍රකට කෙරෙමින්, සියලු ලෞකික විදර්ශනාවන් ගේ මුදුන් පැමිණ මහා කුශල ජවන ගත ඥානත්‍රයය පිළිවෙළින් බලවත් වැ පහළ විය. (සච්චානුලොමික ඤාණය පහළ වූයේ ය.)

ගෝත්‍රභූ ඥාන ලාභය

තදනන්තර ව පෘථග්ජන ගෝත්‍රය (ලෞකික බව) මඬිමින්, ඉක්මෙමින්, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ගෝත්‍රභූ ඥානය54 පහළ විය.

ඥාන දර්ශන විශුද්‍ධිය - බුදුවීම

55ගෝත්‍රභූ ඥානය පහළ වැ නිරුද්ධ වීමට අනතුරුව එයින් දෙන ලද සංඥා ඇත්තක්හු සේ දුක දකිමින්, සමුදය දුරු කරමින්, (-දුකට හේතු වූ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නසමින්) නිරෝධ සත්‍යය (නිවන) අරමුණු කරමින්, මාර්ග සත්‍යය (අරිඅටැඟි මඟ) වඩමින් ප්‍රථම ඥාන දර්ශනය (සෝතාපත්තිමග්ග ඤාණය) පහළ විය.56

එයට අනතුරු ව සොතාපත්ති ඵලය ද, ඉන් පසු තමන් ආ මාර්ගය බලන මහා පච්චවෙක්ඛණ ඤාණය ද,57 ලත් මාර්ගයේ අනුසස් බලන ඵල පච්චවෙක්ඛණ ඤාණය ද, බිඳ හල කෙලෙසුන් විමසා බලන පහීණ කිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද, ඉක්බිති ඉතිරි වූ කෙලෙසුන් සොයා බලන වජ්ඣකිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද යන ඤාණයෝ පහළ වූහ.

යලිදු උදයව්‍යය ඤාණයේ සිට සංස්කාරයන් තිලකුණට නඟා බලන බෝසතාණන් වහන්සේට සංඛාරුපෙක්ඛාව කෙළවරැ අනුලෝම ඤාණ වෝදාන ඤාණයෝ ද තදනන්තර වැ දුක් පිරිසිඳිමින් රාගදෙවෂමෝහයන් තුනී කෙරෙමින් නිවන සාක්ෂාත් කෙරෙමින් අරිඅටැඟි මඟ වඩමින් දෙවෙනි ඥාන දර්ශනය (හෙවත් සකදාගාමිමග්ග ඤාණය58) පහළ විය. එයට අනන්තර වැ එහි ඵලය ද එයට පසු මාර්ගයත් ඵලයත් ප්‍රහීණ ක්ලේශත් ප්‍රහීණ නො කළ ක්ලේශත් පිරික්සන ප්‍රත්‍යවේක්ෂාඥානයෝ පිළිවෙළින් පහළ වූහ.

නැවැත ද මහා පුරුෂයාණන් වහන්සේ උදයව්‍යය ඥානයේ සිට සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්නට පටන් ගත් සේක. උන්වහන්සේට පළමු සේ ම සංස්කාරෝපේක්ෂාව අවසනැ අනුලෝමවෝදාන ඤාණයෝද, තදනන්තරව දුක් පිරිසිඳිමින්, සමුදය (කාමරාග ව්‍යාපාදයන්) ප්‍රහාණ කරමින්, නිවන් පසක් කරමින් අරි අටැඟි මග වඩමින් තෙවෙනි ඥාන දර්ශනය (අනාගාමි මාර්ගය)59 පහළ විය.

එයට අනන්තර වැ තදනුරූප ඵලය ද මාර්ග ඵල ප්‍රහීණ ක්ලේශ, ඉතිරි කෙලෙස් යන මොවුන් පරීක්ෂා කරන ඥානයෝ ද පහළ වූහ.

තවත් වධ්‍ය ක්ලේශයන් ඇති බව දැක පළමු පරිදි ම උදය ව්‍යයාදි නව මහා විදර්ශන ඥානයෙන් සංස්කාරයන් ලක්ෂණත්‍රයට නඟා ක්‍රමයෙන් විමසා බලන යෝගීන්ද්‍ර වූ මහා පුරුෂයාණන් වහන්සේ ට සංඛාරුපෙක්ඛා ඥානය ද, ඉන් පසු අනුලෝම වෝදාන ඥානයෝ ද පහළ වූහ. තදනන්තර වැ සියලු දුක් පිරිසිඳ දකිමින්, සමුදය (ඉතිරිවැ සිටි සියලු කෙලෙසුන්) වාසනා දෝෂ ද සමග විහත විධ්වස්ත කරමින්, නිවන් සාක්ෂාත් කරමින් මාර්ගය භාවිත කරමින්, සිවු වන ඥාන දර්ශන ය (අරහත්ත්වමාර්ග ඥානය) පහළ විය. මෙසේ සෝවාන් ආදී සතර මාර්ගයන් ලැබීම උන්වහන්සේ ගේ ඤාණදස්සන විසුද්‍ධි සම්පාදන යයි.

අර්හත්ත්වමාර්ග ඥානයට අනතුරුව අරිහත්ත්ව ඵලය ද ඉක්බිති මාර්ගත් ඵලත් ප්‍රහීණ ක්ලේෂත් නිර්වාණයත් යන මොවුන් පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂණ ඥානයෝ60 ද පහළ වූහ.

මහාපුරුෂයාණන් වහන්සේට අර්හත්ත්වමාර්ග ඥානය සමග ම සිවුපිළිසිඹියා ද ෂඩ් අසාධාරණ ඥාන ද තුදුස් බුද්‍ධඥාන ද අටළොස් ආවෙණික ධර්ම ද දශබල චතුර්වෛශාරද්‍යාදි අපරිමිත බුද්‍ධ ගුණයෝ ද සමෘද්ධ වූහ.

මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලු කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාළ සේක.

බෝසතාණන් මෙසේ බුදු බව ලදුයේ කලියුග වර්ෂයෙන් 2513 වන්නෙහි පුර පසළොස්වක් දා ය.

පළමු ප්‍රීතිවාක්‍යය

ලොවුතුරා බුදුබව ලැබගැනීමෙන් ස්වකීය මනෝරථය මුදුන් පමුණුවාගත් භාග්‍යවතුන් වහන්සේ තමන් බිහිසුණු සසර දුකින් මිදුණු බව, දුර්ලභ වූ සම්‍යක් සම්බෝධිය ලත් බව, එයින් මහත් ම විජයශ්‍රීය ලත් බව, දහම් ඇස ලත් බව, දම් දෙසා සත්ත්වයන් සසර දුකින් මුදාලීමෙහි සමත් වූ බව සැලැකු සේක. මෙය සලකත් ම මහත් ප්‍රීතියෙක් ඇති විය. සිතැ තුළැ මැ මෙසේ වූ ප්‍රීති ප්‍රකාශයක් ද ඇති විය.62

“යලි යලි ඉපැද්ම දුක් ය. එබැවින් ආත්මභාව නැමැති ගෙය නංවන තෘෂ්ණා නැමැති වඩුවා සොය සොයා උහු දැක්ක හැකි සත්‍යාවබෝධ ඥාන ඇස ලබන්නට අපේක්ෂා ඇති වැ එහෙත් ඌ දැක ගත නො හැකි ව නොයෙක් සිය දහස් ගණන් උත්පත්ති ඇති සසරැ දිව ඇවිද්දෙමි. හෙම්බා වඩුව, දැන් තා දිටිමි. මෙයට පසු තෝ මට අත් බව් ගෙය නො නංවන්නෙහි ය. තගේ සියලු කෙලෙස් පරාල මම බිඳ දැම්මෙමි. අවිද්‍යා කැණිමඩල පළා දැමීමි. මා සිත නිවන අතට ගියේය. තෘෂ්ණාව වැනසීමි (රහත් බව ලදිමි.)”

පළමු සතිය

මෙසේ සිත තුළැ ම උදන් අනා, ඉක්බිති, “මම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මේ පළඟ (පර්යංකය) පිණිස දිවැ ආමි. මේ මා ජයග්‍රහණය කළ විජයපර්යංක යැ. “චතුරංගික වීර්‍ය්‍ය වඩමි ඉටා මා බුදු වූයේ මේ පළඟෙහි යැ” යි සිතූ සේක්, පළඟ නො ලිහා මැ, උන් සැටියෙන් මැ ඉඳගෙන අර්හත්ත්වඵල සමාපත්තියට සිය දහස් ලක්ෂ කෝටි වාර ගණනක් සමවදිමින් සතියක් මැ කල් යැවූ සේක. සතිය අවසන් වූ දා රෑ අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය63 මෙනෙහි කළ සේක. (ප්‍රත්‍යය වන දෑ ද එයින් එයින් උපදනා (ප්‍රත්‍යයෝත්පන්න) දෑ ඉපිදෙමින් ඉදිරියට යන සැටි ද මෙනෙහි කළ සේක. ඉක්බිති (යාමය අවසනැ) “වීර්‍ය්‍යවත්, ධ්‍යාන වඩන, පව් බැහැර කළ යෝගාවචරයාට බෝධි පාක්ෂික ධර්ම සිතැ පහළ වන ක්ෂණයෙහි සියලු සැක දුරු වේ.”64 යැයි ප්‍රීති වාක්‍යය මුවින් පිට කළ සේක.

යලි රෑ මධ්‍යම යාමයෙහි පටිච්ච සමුප්පාද ය ප්‍රතිලෝම වශයෙන් “මෙය නො උපන් කලැ මෙ නම් දෑ නො උපදී” යැයි මෙනෙහි කළ සේක. මැදුම් ය ම අවසනැ,

“කෙලෙස් තවන වැර ඇති, ධ්‍යාන කරන, පව් බැහැර කළ යෝගියාහට බෝධි පාක්ෂික ධර්ම පහළ වන කෙණෙහි අවිද්‍යාදි ප්‍රත්‍යයන්ගේ ක්ෂයයට කාරණ වූ නිවන නුවණැසට ඉලක්ක වන බැවින් එය පිළිබඳ වූ ඔහු ගේ සියලු සැක දුරුවැ යේ” යැයි මේ දෙවෙනි ප්‍රීතිවාක්‍යය ද මුවින් පිට කළ ස්ක.

රෑ තුන් වන යාමයෙහි උන් වහන්සේ පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් ද ප්‍රතිලෝම වශයෙන් දැයි දෙසැටියෙන් ම මෙනෙහි කළ සේක. යාමය අවසන් වූ කෙණහි,

“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති, ධ්‍යාන වඩන, පව් බැහැර කළ යෝගී තෙම, තමා තුළ බෝධිපාක්ෂික ධර්ම පහළ වූ කෙණෙහි, අඳුර දුරැ ගසා අහස බුබුලුවන හිරු සෙයින් සියලු මර සෙන් බිඳ හරිමින් සිටී” යැ යි මේ ප්‍රීතිවාක්‍යය මුවින් පිට කළ සේක.

යමා පෙළහර

බුදු වීමෙන් පසුත් උන් පළඟ නො ලිහා ම බෝ මුලැ භාග්‍යවතුන් වහන්සේ ඉන්නා දුටු ඇතැම් දේවතා කෙනෙක්නට71 තව ම සිද්‍ධාර්ථයන් වහන්සේ විසින් කළ මනා කෘත්‍ය ඇත්තේ වන. පළඟෙහි ඇල්ම නො හැරියේ එහෙයින් දෝ”යි කල්පනා විය. එවිටැ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ පරිවිතර්කය දැන, අහස් නැග ඔවුන් විතර්ක දුරු කිරීමෙහි සමර්ථ වූ යමා පෙළහරක් දැක් වූ සේක.

දෙවෙනි, තෙවෙනි, සිවු වන සති

දෙවෙනි සතිය67

ඉක්බිති බෝමුලැ වැඩ උන් තෙනට මඳක් ඊසාන පැත්තේ සිට, තමනට බුදු බව ලබා ගැනීමට ආධාර වූ ස්ථානය බව සලකා ඒ දෙස ඇසි පිය නො හෙළා බලාගෙන සතියක් ම ඇසින් පූජා කරමින් සමවත් සමවැද සිටිසේක. (මෙතැන අනිමිසලෝචන චෛත්‍ය නම් වී.)

තෙවෙනි සතිය

ඉක්බිති බෝ පළඟත් වැඩ සිටි තෙනත් අතරැ නැගෙන හිරැ සිට බස්නාහිරට සක්මනක් මවා එහි සතියක් දහම් මෙනෙහි කරමින් සක්මනින් කල් ගත කළ සේක. (මේ ස්ථානය රත්නචංක්‍රමණ චෛත්‍ය නම් වී.)

සිවු වන සතිය

භාග්‍යවතුන්වහන්සේ සිවු වන සතියෙහි බෝරුකින් වයඹ පැත්තේ රුවන්ගෙයි68 වැඩ හිඳ ධර්මය මෙනෙහි කොට, වෛනේය ජනයන් බලා ශීලයෙහි පිහිටා සමාධිය වඩා ප්‍රඥායෙන් විවසුන් කොට සත්ත්වයෝ ආර්යමාර්ගයට බසිතැ” යි ශීල සන්දීපක වූ විනය පිටකය ද, සමාධි සන්දීපක වූ සුත්‍රාන්ත පිටකය ද ඉක්බිති ප්‍රඥාසන්දීපක වූ අනන්තනය ඇති අභිධර්ම පිටකය ද සම්මර්ශනය කරන සේක් ප්‍රස්ථාන ධර්මය මෙනෙහි කිරීමට බැස ගත් ස්ක. සියල්ලට ම වඩා ගැඹුරු වූ ප්‍රස්ථාන ක්‍රමය මෙනෙහි කරත් කරත් ම උන්වහන්සේට බලවත් ප්‍රීතිය ඇති විය. හෘදයවාස්තු ගත ලෙය ප්‍රසන්න විය. වාස්තු රූපය ද විශේෂයෙන් පහන් විය. ඡවි වර්ණය ද පැහැදුණේ ය. චිත්ත සමුත්ථාන (සිත කරණ කොටැ සෘතුයෙන් හටගත්) වර්ණය හාත්පස අසූරියන් පමණ තැන පැතිරැ සිටියේ ය. එය වටා පෙදෙස සිය දහස් දෙව් දුනු පහළ වූවා සේ, ඉර සඳ සුවහසක් පහළ වූ කලෙකැ සේ එකාලෝක විය.69

පස්වන සතිය

බමුණකුගේ ප්‍රශ්නයක්

70බුදු වීමෙන් මසක් ගත වී ය. උක්ත පරිදි මසක් ම බෝ මැඩ අසළ වුසූ භාග්‍යවතුන් වහන්සේ ඉන් නික්ම අජපාල නුග රුක කරා වැඩැ ඒ මුලැ සතියක් විමුක්ති සුඛය විඳිමින් උන් ස්ක. “උන් වහන්සේ පල සමවතින් නැඟී සිටි කිසි වේලාවෙකැ මානයෙන් දැඩි වූ, අනුන් හෙලා දක්නා සුලු එක්තරා බමුණෙක් එහි පැමිණියේ ය. උරුවෙල්හි උන් වහන්සේ දුෂ්කර ක්‍රියා සමයේත් නැවැත සේනානි ගමෙහි පිඬු පිණිස හැසිරෙන සමයේත් මෙ තෙම උන් වහන්සේ දැක කතා බස් කර අඳුනන කෙනෙකි. පැවිදි වූ තන් පටන් කොට ගෞතම තාපසයන් වහන්සේ යන නම ඉර සඳ සේ දඹදිව ප්‍රකට ව පැවැත්තේ ය. එබැවින් හෙ තෙම ගෝත්‍ර නාමයෙනුත් උන් වහන්සේ හඳුනයි.

හේ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත්, “භාග්‍යවත් ගෞතමයන් වහන්ස, කරුණු කීයෙකින් බ්‍රාහ්මණයෙක් වේ ද? කෙනකු බමුණකු කරන ධර්මයෝ කවුරු ද?” යන ප්‍රශ්නය ඇසී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ :

“පව් දුරු කළ, මානාහංකාරයෙන් අනුන් හෙලා නො දක්නා, කෙලෙස් කසට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැක ගත්, සතර මඟ නුවණින් නිවන් කරා පැමිණි, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමැ වූ යමෙක් වේ නම්, හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ. ලොවැ කිසි අරමුණකුත් රාග ද්වේෂ මෝහ මාන දෘෂ්ටින්ගේ වශයෙන් නො ගන්නා හෙ තෙම තමා “බමුණෙකැ”යි ප්‍රතිඥා කෙරේ නම්, ඒ කරුණු සහිත”70 යැ යි වදාළ සේක.

මරහු ගේ දෝෂාරොපණයක්

අජපල් නුග රුක මුල වැඩ ඉන්නා භාග්‍යවතුන් වහන්සේට “අනර්ථ නිඃශ්‍රිත දුෂ්කර ක්‍රියායෙන් තමන් මිදී මැදුම් පිළිවෙතෙහි පිහිටා බුදු වූ බව කොතරම් යෙහෙක් දැ,යි සිතෙක් වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ වූ කල්පනාව දැනගත් දේවපුත්‍ර මාර තෙම එහි විත්,

“සත්වයන් ගේ ශුද්‍ධියට හේතු වූ තපස් කිරීමෙන් ඉවත් වැ අශුද්ධ වැ “ශුද්ධ වෙමි”යි සිතවු ද? ඔබ ශුද්‍ධිමාර්ගයෙන් බොහෝ ඈත් වැ ඉඳිති”යි කී ය.71

එවිට භාග්‍යවතුන් වහන්සේ “මේ මාරයා”යි දැන,

“නො මැරෙන පිණිස යැ යි කරන ලද ආත්මක්ලමථය, වනයෙහි නැවක් හබලෙන් පදනට තැත් කිරීමක් මෙන්, නිෂ්ඵල හිස් අවැඩ ගෙන දෙන එකෙකැයි දැන, මාර්ගඥාන ලාභය පිණිස මහත් වූ ශීල සමාධි ප්‍රඥා යන ධර්මත්‍රයය වඩා පරම ශුද්‍ධියට (රහත් බවට) පැමිණියෙමි. මාරය තෝ පැරදුණෙහි” යි වදාළ සේක.

එ විට මාර තෙම “බුදු රජු තමා හැඳින ගත්තේ වනැ”යි දැනැ දොම්නසින් එහි ම අතුරුදහන් විය.

මරහු බුදුරදුන් බිය කරන්නට කළ උත්සාය

එක් දිනක් රෑ දැඩි කළුවරයෙහි භාග්‍යවතුන් වහන්සේ අජපල් රුක අසළ සක්මන් කෙළවරැ ගල් පුවරුයෙහි හුන් සේක. මඳින් මඳ වැහි පොද ද වැටිණ. එ කලැ දෙවමාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට බිය ගන්වන අදහසින් ලොකු ඇතකුගේ වෙසින් ආ ය. ඔහු හිස මහ කළුගලක් වැන්න. දත් පිරිසිදු රිදී මෙන් සුදුය. හොඬ මහ නගුලිසක් පමණ විශාල ය.

භාග්‍යවතුන් වහන්සේ “මේ මාරයා”යි දැන “දීර්ඝ කාලයක් ම ප්‍රිය අප්‍රිය අනේක ප්‍රකාර වෙස් ගෙන නොයෙක් වර මා වෙත ආයෙහි ය. ලාමකය, මේ යුෂ්මතාගේ බිය ගැන්වීමේ ව්‍යාපාරයෙන් වැඩෙක් නැතැ”73 යි වදාළ සේක.

එ විට මාර තෙම “බුදු රජහු මා හැඳින ගත්තෝ” යි සිතා දොම්නසින් එහි ම අතුරු දහන් ව ගියේ ය.

තවත් වරෙකැ මාර තෙම අඳුරු වේලායෙහි භාග්‍යවතුන් වහන්සේට බිය ඇතිකරන අදහසින් කුදු මහත් ශුභාශුභ වෙසින් පෙනෙන්නට විය. එ විටැ ද පළමු සේ ම වදාරා, “මාරය, කයින් වචසින් මනසින් සංවෘත වූවෝ යුෂ්මත්හුගේ වශයට නො යෙත්, යුෂ්මත්හුගේ අත වැස්සෝ හෝ නො වෙත් යැ” යි වදාළ සේක. එවිටත් පළමු සේ ම මර පලාගියේය.74

භාග්‍යවතුන් වහන්සේ ගුරුවරයකු පත්කර ගැනීම

අජපල් රුක් මුලැ මෙසේ වැඩ ඉන්නා බුදුරජාණන් වහන්සේ වහන්සේට “කිසිවකු ගුරු තන්හි නො තබා, කිසිවකුට යටත් පැවතුම් නැති වැ ඉන්නා තැනැත්තේ වනාහි දුකසේ වෙසේ. මම කවර මහණ බමුණකුට ගරු බුහුමන් යටත් පැවතුම් කොට කවුරු ඇසුරු කොට වසම් දැ?”යි කල්පනාවෙක් වීය. එහෙත් ශීල සමාධි ප්‍රඥා යන ගුණවලින් තමන් වහන්සේ ට වැඩි හිටි කෙනකු තුන්ලොවැ”ම නැති බව දුටු භාග්‍යවතුන් වහන්සේ “මා පිළිවිදි ලෝකෝත්තර ධර්මයට ම සත්කාර කොට ගරු බුහුමන් කොට එය ඇසුරු කොට වසම් නම් යෙහෙකැ”යි සිතූ සේක.

එ කෙණෙහි සහම්පති මහබඹුහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට ඇඳිලි බැඳ “එසේ ය, භාග්‍යවතුන් වහන්ස, එසේ ය, සුගතයන් වහන්ස, අතීතයෙහි අර්හත් සම්මා සම්බුදුවරුන් ධර්මයට මැ සත්කාර ගුරුකාර කොට එයමැ ඇසුරු කොට වුසූ හ. අනාගතයෙහි ඇතිවන අර්හත් සම්මා සම්බුදුවරුත් ධර්මයට ම සත්කාර කොට ධර්මය ම ඇසුරු කොට වසන්නෝ ය. වහන්ස, මෙ සමයෙහි අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයට ම සත්කාර කොට, ධර්මය මැ ඇසුරුකොට වසන සේක් වා!”යි කී ය.

සවැනි සත්වන සති

සවැනි සතිය

පස් වන සතිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ එ තැනින් නික්මැ සමීපයේ වූ මිදෙල්ල ගහක් කරා වැඩ එහි මුලැ සතියක් පල සමවත් සුවින් ගෙවූ සේක. එ සමයෙහි හද්දා වැස්සක් වට. වැහිපොද මුසු තද ශීත සුළං වූ හෙයින් එ දවස් කරදර සහිත විය. යට කී මිදෙල්ල රුක අසළ වුසූ නාගයෙක් ඒ දැක භාග්‍යවතුන් වහන්සේට ශීත සුළං නො වදිනාසේ ඒ සතියේ ම ආවරණය කොට සිටියේ ය.

සතිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ සමාපත්තියෙන් නැඟී සිටි සේක. වැස්ස නැවති බව දැක නාග තෙමේ ද උන් වහන්සේ ඉදිරියට වුත් නමස්කාර කෙරෙමින් සිටියේ ය. මේ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ විවේක සැප විඳින්නහුට කොතැනත් සැප බව සලකා,

“චතුර්මාර්ගඥාන සන්තෝෂයෙන් සතුටු වූ, තමා තුළ ප්‍රකට වූ ලොවුතුරා දහම් ඇති නුවණැසින් උපධි විවේකය (නිවන) බලන පුද්ගලයාට ඒ සැප වේ. ලොව කිසිවකු කෙරෙහිත් නො කිපෙන බව ද සත්ත්වාහිංසාව ද සැපයි. කාමාශායෙන් වෙන්වීම වූ විරාග බව ද ලොවැ සැපෙකි. අස්මීමානයේ විනාශය උසස් ම සැප වේ”යැ යි උදන් ඇනූ සේක.

සත්වන සතිය

සවන සතියෙන් පසු බුදුරජාණන් වහන්සේ නුදුරෙහි වූ කිරිපලු රුක වෙත වැඩ එහි සමවත් සුව විඳිමින් සතියක් හුන් සේක.

බුදු වූ තැන් පටන් කොට ගත වූ සත් සතියෙහි භාග්‍යවතුන් වහන්සේ කිසි දු අහරක් නො වැළඳූ සේක. ඵල සමාපත්තියෙන් ම කාලය ගත කළ සේක.

අටවන සතිය

සක් දෙවිඳුගේ පූජාවක්

සත්වන සතිය අවසන්හි සමවතින් නැඟී සිටි උන්වහන්සේට සක් දෙව් රජාණෝ දැවටු දඬු ද මුව දෝනා පැන් ද බෙහෙත් අරළුවක් ද ප්‍රදානය කොට ගියහ. භාග්‍යවතුන් වහන්සේ ද දැහැටි වළඳා මුව දොවා කිරිපළු රුක් මුලමැ හුන් සේක.

තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ

මෙ සමයෙහි උත්කල ජනපදයෙන් වෙළඳාමෙහි යන තපුස්ස භල්ලික77 නම් සහෝදර වෙළෙන්දෝ දෙදෙනෙක් පන්සීයක් පමණ ගැල් පදවා ගෙන ඒ පෙදෙසට බටහ. වියලි බිම එරුණාක් මෙන් වීමෙන් ගැල්පැදවියැ නොහැකි විය. ගැල් තිබුණු තැනින් මඳකුත් සොලොවන්නට අසමත් වූහ. මෙසේ ඔවුන් කරදර වන අතරැ එක් දෙව්දුවක් අතැවැසි පුරුෂයකුට ආවිෂ්ට වී බුදු රජුන් ඒ වනයෙහි කිරිපලු රුකක් මුලැ ඉන්නා බව කියා ඔවුන් දන් දීමෙහි මෙහෙයූවා ය.

වෙළෙන්දෝ ද දේවතානුශාසනය පරිදිම භාග්‍යවතුන් වහන්සේ කරා එලැඹ විළඳිනුත් මී පිඬුයෙනුත් උන්වහන්සේ පිදූහ. ඒ පිළිගන්නට භාග්‍යවතුන් වහන්සේ වෙත කිසි භාජනයෙක් නොවීය. “කිමෙකින් මෙය පිළිගනිම් දැ”යි උන්වහන්සේට සිතෙක් විය.

උන් වහන්සේ ගේ චිත්තාවාරය දත් සිවුවරම් දෙව්රජහු මුං වන් ගල්මුවා පාත්‍ර සතරක් ගෙනවුත් පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්‍ර සතර ම අධිෂ්ඨාන බලයෙන් එකක් කොට එයින් යටැ කී දෙ වෙළෙඳුන් දුන් අත් සුණු හා මී පිඬු පිළිගෙන වැළැඳූ සේක.

වළඳා අන්තයෙහි උන් වහන්සේ ඔවුනට භූත්තානුමෝදනා වශයෙන් ආනුපුබ්බී කථාව වදාළ සේක. බණ ඇසූ ඔවුහු ද “වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේත් ධර්මයත් සරණ යම්හ. අද පටන් දිවි හිමි කොට. බුදුන් දහම් සරණ ගිය උපාසකයන් හැටියට අප සලකන සේක් වා”යි කියා සරණ ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නමින් පිදීමට වස්තුවක් ඉල්ලූ ඔවුනට කේශධාතු මිටක් දුන් සේක. ඔවුහු රන් කරඬුයෙන්, ඒ ගෙන ගොස් සිය ජාත භූමිය වූ අසිතංජන පුරයෙහි චෛත්‍යයක් කොට පිදූහ.

බඹුගේ ඇයැදුම්

භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යලිත් අජපාල නුගරුක වෙත වැඩි සේක. ඒ රුක්මුලැ ඉන්නා උන් වහන්සේට මතු සඳහන් වන පරිදි වූ කල්පනාවෙක් ඇති විය.

“මා අවබෝධ කළ මේ සිවුසස් දහම් ගැඹුරු ය. සුව සේ දැක්ක නොහැකි ය. සුව සේ අවබෝධ කළ නො හැකිය. මා අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය ශාන්ත ය, ප්‍රණීත ය, තර්ක මාත්‍රයෙන් බැස ගත නො හැකි ය. ශූක්ෂ්මය, මනා ව පිළිපන් නැණැතියන් විසින් ම දත හැකි ය. මේ සත්ත්වයෝ තෘෂ්ණායෙන් දැඩි සේ බැඳී ගියෝ, එයින් මිදීමට තැත් නො කොට එයින් ම තෘප්තියට පැමිණ ඉඳිත්. ඥානාන්ධ වූ මොවුන් විසින් ප්‍රත්‍යයාකාර ධර්මය ද නිවන ද දත නොහැක්ක. ඥානාන්ධ ව ඉන්නා තුරු එය මොවුනට දෙසීම නිෂ්ඵල වෙහෙසීමෙකි. මා ඉතා පරිශ්‍රමයෙන් අවබෝධ කළ ගැඹුරු ධර්මය දෙසීමට තව ම යෝග්‍ය නො වේ. රාගයෙන් රක්ත ද්වේෂයෙන් ද්විෂ්ට වූවන් විසින් මෙය අවබෝධ කළ නො හැකිය. උඩු හොයට ගිය, සියුම්, ගැඹුරු, දුර්දර්ශ, ඉතා ශූක්ෂ්ම වූ චතුස් සත්‍යය රාගයෙන් රත් වූ අවිද්‍යා අඳුරු කඳින් වැසුණු සිත් ඇතියෝ නොදක්නාහ.”79

ධර්මයේ ගැඹුරු බවත්, සත්ත්වයන් දැඩි කෙලෙස් බැඳුම්වලින් බැඳී ඉන්නා තෙක් ම එය දෙසීම නිෂ්ඵල බවත් සිතීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේට ඇති වූ මන්දෝත්සාහය දත් සහම්පති බඹ තෙම කැළැඹී ගියේ ය. දස දහසක් සක්වල දෙවි බඹුන් කැටි වැ “බණ අසා අවබෝධ කිරීමට වීර්‍ය්‍ය කරම්හ”යි උනන්දුව ඇති කැරැගෙන අවුත් බණ අසන්නට දැඩි ඕනෑකම දන්වා ආයාචන කරනුයේ,

“මගධ රටෙහි කෙලෙස් සහිත පුද්ගලයන් සිතා නිපැදවූ අශුද්ධ ධර්මයෙක් පෙරැ පහළ විය. එබැවින් වහන්ස, මේ අමා දොර (ධර්මය) විවෘත කළ මැනවි. නික්ලේශීන් වහන්සේ අවබෝධ කළ ධර්මය අසත්වා, සුප්‍රාඥයන් වහන්ස, සර්වඥයන් වහන්ස, සෙල් පව්වක් මුදුනැ සිටියකු හාත්පසැ පහත් පෙදෙසැ සිටියන් දක්නා සේ, ඔබ වහන්සේ ධර්මප්‍රාසාදයට නැඟී පහ වූ ශෝක ඇති සේක්, ශෝකයෙහි බට ජාති ජරා දුකින් මැඩුණු සත්ත්ව සමූහයා බලා වදාළ මැනැවි. වීරයන් වහන්ස. මාරසංග්‍රාමයෙන් ජයගත් මහෝත්තමයන් වහන්ස. සසර කතරින් සතුන් එ තෙර කරන නාථයන් වහන්ස, කාම නැමැති ණය නැති නිදහස් ශ්‍රේෂ්ඨයන් වහන්ස. නැඟී සිටිනු මැනව. දැන ගන්නෝ ඇති වෙති”යි කීය.80 මහබඹුහුගේ මෙහෙයීමෙන් බොහෝ දෙව් බඹුහු ධර්මාවබෝධයට උත්සාහවත් වූහ.

භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බැලූ සේක. ඇසූ කෙණෙහි ම ධර්මය අවබෝධ කිරීමට තරම් මේරූ නුවණ ඇතියන් ද ලුහුඩින් වදාළක් ඒ ඇසූ කෙනෙහි අවබෝධ නොකට හෙතත් විස්තර කරන සෙමෙහි අවබෝධයට පොහොසතුන් ද බුද්‍ධ වචනය විස්තර ලෙස දැන ඉගෙන නුවණින් සලකමින් සත්පුරුෂාශ්‍රයය කිරීමෙන් ධර්මාවබෝධය කිරීමට තරම් ශක්ති ඇත්තන් ද, කිසි ලෙසකිනුත් මේ ජාතියේ දී ධර්මාවබෝධයට පෙහොසත් නො වූවන් ද යන සතර වැදෑරුම් පුද්ගලයන් දුටු සේක. දැක දහම් ඇසීමට බොහෝ සත්ත්වයන් සැරැසී ඉන්නා බැවින්, දැන් ධර්ම දේශනාවට කාලය යැයි සලකා, බ්‍රහ්මය, ප්‍රණීත වූ ධර්මය එය අවබෝධ කැරැගැන්මට උනන්දුව නැත්තවුනට දෙසීම පීඩාකරය” යන අදහසින් නො දෙසීමි. දැන් වනාහි බොහෝ දෙනා උත්සාහවන්තහ. කන් ඇත්තෝ (-දහම ඇසීමට) ශ්‍රද්ධාව විහිදුවත්වා! ඔවුනට අමාදොරවල් (ආර්‍ය්‍ය මාර්ග ද්වාරයෝ) හැර තබන ලදහ, නො වසන ලදහ”යි වදාළ සේක.

සහම්පති බඹ ද බුදුරජාණන් වහන්සේ තම අයැදුම පිළිගත් බව දැන ඔබ වැඳ පැදකුණු කොට දෙව් බඹ පිරිස් හා එතන්හි ම අතුරුදන් විය.

ශ්‍රෝතෲන් සෙවීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මම පළමුවෙන් ම මිනිසුන් අතුරෙහි කාට දම් දෙසම්දැ” යි සිතූ සේක්, “ආළාර තවුසා ඉඳී නම් ධර්මාවබෝධයට සමර්ථ යැ” යි දුටු සේක. හේ දැන්, කොහි ඉඳී දැයි දිවැසින් බලා ඔහු මැරී එවකට සතියක් වූ බව දැක, “අන් කවරෙක් ධර්මාවබෝධයට තරම් නැණැත්තේ දැයි බැලූ සේක්, උද්‍රක තෙමේ සමතැ” යි දුටු සේක. “හේ කොහි ඉඳී දැ” යි බැලූසේක්, හීයේ රෑ හෙතෙම මළේ යැ”යි දුටු සේක.83 යලි අන් කවුරු ධර්මාවබෝධයට සමත් දැයි විමසා පස්වග තවුසන් දැක, “උහු කොයි දැ” යි දිවැසින් බලා බරණැස ඉසිපතන්හි ඉන්නා නියා දැක එහි යන්නට අදහස් කළ සේක.

උරුවේලායෙන් පිටත් වීම උපකයා හමු වීම

භාග්‍යවතුන් වහන්සේ කිහිප දිනක් බෝ මැඩ අසලැ වාසය කොට, ඉක්බිති, බරණැස් නුවර බලා අටළොස් යොදුන් මහ මඟට පිළිපන් සේක. මෙසේ වඩනා උන්වහන්සේට බෝ මැඬටත් ගයාවටත් අතරෙහි දී උපක නම් ආජීවකයෙක් හමු වීය.84 හෙ තෙම බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, “ආයුෂ්මතාණෙනි, ඔබ ගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ප්‍රසන්න හ. ශරීර වර්ණය පිරිසිදුය. ඔබ කිනම් ශාස්තෘවරයක්හු උදෙසා පැවිදි වූ ද නොහොත් ඔබ ගේ ශාස්තෘ කවරෙක් ද? කාගේ ධර්මයෙක් ඔබට රිසියෙහි දැ?” යි ඇසීය.

එ විට ඔහුට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

85මම් තුන් භවයට අයත් සියලු දෑ මැඩලූයෙම් වෙමි. සියල්ල දනිමි. භවයට අයත් සියල්ලෙහි නො ඇලුණෙමි. භවයට අයත් ඒ සියල්ල දුරැලූයෙම් වෙමි. රහත්පල නැමැති විමුක්තිය ලැබ සියලු සසර දුකින් මිදුණෙම් වෙමි. එසේ වූ මම් තමා සත්‍යාවබෝධය කොට කවරක්හු ආචාර්‍ය්‍ය වශයෙන් දැක්විය හෙම් ද? (මට ඇදුරෙක් නැත. මම ම මගේ ම උත්සාහයෙන් සත්‍යය අවබෝධ කෙළෙමි.)

“මේ සත්‍යාවබෝධයෙහි මට කිසි බාහිර ඇදුරෙක් නැත. එබැවින් මට සම කෙනෙක් (අද) නැත. දෙවියන් සහිත ලොවෙහි මට සම පුද්ගලයෙක් නැත.”

“මම් අද ලොවැ එකම රහත් පුද්ගලයා වෙමි. එක ම නිරුත්තර ශාස්තෘ වෙමි. එක්ම සම්මා සම්බුදුවරයා වෙමි. ක්ලේශාග්නිය නිවීමෙන් සිසිල් වූයෙමි. නිවුණෙක්මි. ඒ මම් බරණැස යෙමි. අවිද්‍යායෙන් අඳුරු වූ (අවිද්‍යා නින්දෙහි වැටී සිටින) ලොවෙහි (ධර්ම ලාභය සඳහා ප්‍රබෝධය ඇති කරනු පිණිස) අමා බෙරය ගසන්නෙමි” යි වදාළ සේක.

එවිටැ “ඔබ තමන් ප්‍රතිඥා කරන පරිදි අනන්තජින වීමට සුදුස්සෝ යැ” යි උපක කී ය. ඔහු ගේ වචනයට භාග්‍යවතුන් වහන්සේ,

“රහත් බවට පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, සියලු පාපයෝ මා විසින් දිනන ලදහ. එ හෙයින් මම ජින වෙමි” යි වදාළ සේක.

ඒ අසා උපක තෙම “එසේත් විය හැකි යි, ඇවැත්නි” යි කියා හිස සලා භාග්‍යවතුන් වහන්සේට වඩිනට මඟ හැරැ (පාරෙන් අයින් වැ) දකුණු දෙසට, ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද උතුරු දෙසට වැඩි සේක් ගයා පෙදෙස ඉක්මැ රෝහිතවාස්තු, උරුවිල්වාකල්ප, අරුණාලය, සාරථිපුර ආදී ග්‍රාමනිගමයන් පසු කොට ගංගා නදියෙන් එ තෙරැ වී බරණැස් නුවරට පැමිණිසේක.

මේ වනාහි ඇසළ පුණු පොහෝ දා ය.

ඉසිපතනයට වැඩීම

සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ නගරයට නොදුරු වූ ඉසිපතනයට සමීප වූ සේක. පස්වග තවුසෝ ඈත වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝ ය. දැක,

“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් පහ වැ, සුව පහසු ප්‍රත්‍යය පරිභෝගයට පෙරැළී බැස, බුදු වී ගත නොහී, දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟීම හෝ ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු. උසස් කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් පැණැවිය යුතු”යැ යි කතිකා කැරැ ගත්හ.

එහෙත් බුදුරජාණන් වහන්සේ ළං වත් වත්ම ඔහු තමන් කැරැ ගත් කතිකායෙහි පිහිටා සිටින්නට නො හැකි වූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්තේ ය. එක් තවුසෙක් අසුන් පැණැවී ය. තවත් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුව ද පාද කඨලිකාව ද ගෙනවුත් ළං කොට තැබී ය.

භාග්‍යවතුන් වහන්සේ ද පැණැ වූ ආසනයෙහි හිඳ පා සේදූ සේකි. ඉන් පසු තවුසෝ බුදු රජාණන් වහන්සේට පෙරැ සේ තමනට සම කෙනෙකුට කථා කරන්නාමෙන් “ඇවැත්නි,86 ගෞතමයනි,” කියා ආමන්ත්‍රණය කරන්නෝ “ඇවැත්නි ගෞතමයනි, අපි ඒ කාලයෙහි උරුවේලායෙහි වසන්නමෝ ඔබ ගේ පා සිවුරු ඔසොවා ගෙන හැසුරුණමු. මුව දෝනා දිය හා දැහැටි පිළියෙල කොට දුනුමු. ඔබ වුසූ පිරිවෙන ඇමැද්දමු. ඉන් පසු ඔබට වත් පිළිවෙත් කොළෝ කවුරු ද? අප ඔබ හැර දමා ගිය කලැ අප ගැන යමක් සිතුණේ නැද්ද?” යන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හා කථාවට පටන් ගත්හ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා, “මහණෙනි, තථාගත වූ තැනැත්තහුට “ඇවැත්නි” කියාත්, නම කියාත්, ආමන්ත්‍රණය නො කරවු, මහණෙනි, තථාගත තෙම සියලු කෙලෙස් නැසූයෙකි, මනා කොට සියලු ධර්මයන් තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, කන් යොමු කරවු. තථාගත වූ මා විසින් නිවන ලද්දේ ය. ඒ මම් යුෂ්මත්නට අනුශාසනා කරමි, දහම් දෙසමි. කුල පුතුන් ගිහි ගේ හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන ඒ ඉතා උතුම් රහත් බව මා අනුශාසනා පරිදි පිළිපැදීමෙන් යුෂ්මත්හු තුමූ ම ලබාගෙන වසවු යැ” යි වදාළ සේක.

එවිට පස්වග මහණහු “ආයුෂ්මත්නි, ඒ දවස්වලැ දී ඒ තරම් වීර්‍ය්‍යයෙනුත් එ තරම් දුෂ්කර ක්‍රියායෙනුත් ඔබට ලෝකෝත්තර ගුණයෙක් නො ලැබුණේ නම්, කිම! ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා හැර දමා ආහාරපානාදි ප්‍රත්‍යයයන් බහුල කොට ගැනීමෙන් ශරීරයට සැප පහසු සලසාලීමෙන් දැ?” යි කීහ.

එවිට බුදුරජාණන් වහන්සේ “මහණෙනි, තථාගත තෙම ප්‍රත්‍යය බහුල කොට ගැනීමට බැස්ස කෙනෙක් වත් වීර්‍ය්‍ය හැරැ දැමූ කෙනෙක්වත් නො වේ. තථාගත තෙම, අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. මා විසින් නිවන් ලද්දේ ය. මම යුෂ්මත්නට අනුශාසනා කරමි, දහම් දෙසමි, කුලපුතුන් ගිහි ගේ හැර දමා ගොස් පැවිදිව නිසි ලෙස බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන ඉතා උතුම් වූ ඒ රහත් පදය මා අවවාදානුශාසන පරිදි පිළිපැදීමෙන් යුෂ්මත්හු තුමූ ම මේ අත්බව්හි දී ම ලබා වසන්නහු යැ” වදාළ සේක. මෙසේ වදාළ විට ද පස්වග මහණහු පළමු සේම කීහ. නැවතත් බුදුරජාණන් වහන්සේ පළමු සේ ම වදාළාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා වදාරන සේක් “මා ඒ උරුවෙල් දනව්වේ යුෂ්මතුන් හා වැස ප්‍රධන් වීර්‍ය්‍ය කරන කාලයෙහි කිසි ම දිනෙකැ යුෂ්මතුන් රවටා සනසනු සඳහා, “මට මෙසේ එලියෙක් පෙනේ යැ කියා හෝ මෙසේ අමුතු අරමුණෙක් පෙනේ යැ කියා (නො ලැබූ යමක් ලැබීමි යි) බොරුවක් කී බවක් මතක ද? යි ඇසූ සේක. මෙ සේ වදාළ විට පස්වග තවුසෝ කාරණය තේරුම් ගෙන උන් වහන්සේ “බුදු බව ලැබුණේ යැ” යි කළ ප්‍රකාශය සත්‍ය යැ යි පිළිගත්හ. “ස්වාමීනී, ඔබ වහන්සේ බොරුයෙන් අප කිසි කලෙකත් නො රැවටූ සේකැ” යි ඔවුහු කීහ. එ විට බුදුරජාණන් වහන්සේ පළමු වදාළ සේ ම “මහණෙනි, තථාගත තෙම අරහත් ය, සම්‍යක්සම්බුද්ධය” යන ආදිය වදාළ සේක. පස්වග තවුසෝ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලත් බැවින් ම මෙසේ වදාරන සේකැ” යි පිළි ගත් හ. පිළිගෙන ධර්ම ශ්‍රවණයට සැරසුණ හ.

ප්‍රථම දේශනා සමාගම ය

ප්‍රථම මහා සමාගම

සූර්‍ය්‍ය තෙම අවර දිගට නැමී ගමන් ගත්තේ ය. මල් සුවඳින් උපන් මදයෙන් මුදිත ව හඩ නඟන බමර කැල ගෙන් ද, අතු අගැ රඟ දෙන මයුර පංක්තීන්ගෙන් ද සෙසු සියලු පක්ෂි නාදයනට නිගා දී හඩ නඟන කෝකිල සමූහයා ගෙන් දැ යි අනේක පක්ෂි කුලයන්ගෙන් හා මෙය නිරුපද්‍රිත යැ”යි දැනැ පෙම් කෙළිමින් සිය දරුවන් කැටි ව දිව පැන ඇවිදුනා මෘගාදීන් ගෙන් දැ යි මෙසේ අනේක විධ මෘග පක්ෂි ගණයා ගෙන් සවස් කාලයෙහි ඍෂිපතනය රඟ බිමෙක ශ්‍රී ඉසලී ය. කොන්ඩඤ්ඤ භද්දිය වප්ප මහානාම අස්සජී යන තවුසෝ පස් දෙන එක් එළි මහන් පෙදෙසකැ රැස් වූහ. ඔවුනට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ අනුපමේය බුද්‍ධශ්‍රීන් බබළමින් අස්නෙකැ වැඩහුන් සේක. එ කෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ ගලා එන මහ වතුරක් සේ සියුම් වෙස්ගෙන එහි රැස් වූහ.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කොට බ්‍රහ්ම ස්වර විහිදුවා දම් දෙසන්නට ආරම්භ කළ සේක. ඒතාක් පැවැති සියලු ශබ්ද නැවතී දැඩි නිශ්ශබ්දතාවෙක් ඇති වි ය. සියලු මෘග පක්ෂීහු ද නිහඬ ව හුන් තැන ම හිඳ උන් වහන්සේ ගේ මධුර කට හඬට කන් යොමු කළහ.

සද්ධර්මවර චක්‍රවර්ති වූ ද්විපදෝත්තම ශාක්‍යසිංහ සාමිදරුවන් වහන්සේ පස්වග තවුසන් අමතා මෙසේ වදාළ සේක.

ප්‍රථම දේශනාව

“මහණෙනි, පැවිද්දහු විසින් නො සෙවිය යුතු මේ කෙළවර දෙකෙකි. ඒ කවර දෙකෙක් ද? හීන ග්‍රාම්‍ය අන්ධබාල ලෞකිකයන් ගේ පුරුද්දක් වන, අනාර්‍ය්‍ය අවැඩ ගෙන දෙන කාමසුඛල්ලිකානු යෝගය ද, දුක් උපදවන, අනාර්‍ය්‍ය, අවැඩ ගෙන දෙන අත්තකිලමථානුයෝග ය ද යන අන්ත දෙක යැ.

මහණෙනි, මේ කී අන්ත දෙක හැර දමා, නුවණැස පිරිසිදු කරන, ඥානය පහළ කරන, කෙලෙස් දුරු කරනු පිණිස, සත්‍ය ප්‍රතිවේධය පිණිස, සම්බෝධිය පිණිස, නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිස පවත්නා මධ්‍යම ප්‍රතිපත්තිය තථාගත වූ මා විසින් පසක් කැරිණ. ඒ මධ්‍යම ප්‍රතිපත්තිය නම්

1. සම්‍යක් දෘෂ්ටිය

2. සම්‍යක් සංකල්පය

3. සම්‍යක් වචනයට

4. සම්‍යක් කර්මාන්තය

5. සම්‍යක් ආජීවය

6. සම්‍යක් ව්‍යායාමය

7. සම්‍යක් ස්මෘතිය

8. සම්‍යක් සමාධිය

යන මේ අංග අටක් ම වූ87 ආර්‍ය්‍ය මාර්ගය යැ.

මහණෙනි, මේ වනාහි තථාගත මා විසින් අවබෝධ කරන ලද, නුවණ පහළ වීම පිණිස ද නිවන ප්‍රත්‍යක්ෂ කරනු පිණිස ද පවත්නා ඒ මධ්‍යම ප්‍රතිපත්තිය යි.

දුක්ඛ සත්‍යය

මහණෙනි, “ඉපැත්ම දුක් ය, ජරාව ද දුක් ය, ව්‍යාධිය ද දුක් ය, මරණය ද දුක් ය, අප්‍රියයන් හා එක්වීමත්, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. ලබනු කැමති දෑ නො ලැබීම දුක් ය. සැකෙවින් කියතොත් උපාදාන ස්කන්ධ පසම දුක් ය” යන මෙය වනාහි දුඃඛාර්‍ය්‍ය සත්‍යය යි.88

සමුදය සත්‍යය

මහණෙනි, නැවත නැවත සසර ඉපැත්ම සිදු කරන. නන්දි රාගය හා එක්ව හට ගන්නා ඒ ඒ උපනුපන් භවයෙහි ඇල්ම කරන යම් තෘෂ්ණාවෙක් වේද,

කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා යැ යි තුන් වැදෑරුම් වූ ඒ තෘෂ්ණාව දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි.89

නිරෝධ සත්‍යය

මහණෙනි, ඒ තෘෂ්ණාව ගේ යම් මුල් සිඳීමෙක් වේ ද, යම් දුරු කිරීමෙක් වේ ද, සර්වප්‍රකාරයෙන් යම් බැහැර ලීමෙක් වේ ද, යම් ආලය නො කිරීමෙක් වේ ද, තෘෂ්ණා නිරෝධයට කාරණ වූ ඒ නිර්වාණය දුඃඛ නිරෝධාර්‍ය්‍ය90 සත්‍යය යි.

මාර්ග සත්‍යය

මහණෙනි, සම්‍යග්දෘෂ්ටි, සම්‍යක්සංකල්ප, සම්‍යග්වචන, සම්‍යක් කර්මාන්ත, සම්‍යගාජීව, සම්‍යග්ව්‍යායාම, සම්‍යක් ස්මෘති, සම්‍යක්සමාධි යන මේ අංග අට ම වූ උතුම් උපාය ම දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය91 සත්‍යය යි.”

සත්‍ය ඥානය 92

මහණෙනි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය නමැති පෙර නෑසු චතුස්සත්‍ය ධර්ම විෂයයෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ඥනාලෝකය මට පහළ විය.

කෘත්‍ය ඥානය 93

මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍ය සත්‍යය පිරිසිඳ දත යුතු ය යි පෙර නෑසූ ධර්ම විෂයෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ඥනාලෝකය මට පහළ වී ය.

කෘත ඥානය 94

මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍ය සත්‍යය මා විසින් පිරිසිඳ දන්නා ලද්දේ වේ යැ යි පෙර නො ඇසූ ධර්ම විෂයයෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය මට පහළ වී ය.

සමුදය සත්‍යයෙහි සත්‍ය ඥානය 95

මහණෙනි, මේ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය යැ යි කියා පෙර නෑසූ ධර්ම විෂයයෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය මට පහළ වී ය.

සමුදය සත්‍යයෙහි කෘත්‍ය ඥානය 96

මහණෙනි, “ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය ය (තෘෂ්ණාව) පහ කළ යුතු යැ” යි පෙර නෑසූ ධර්ම විෂයයෙහි නුවණැස, ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය මට පහළ වී ය.

සමුදය සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි, ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය (තෘෂ්ණාව) මා විසින් නසන ලදැ යි නුවණැස............... මට පහළ වී ය.

නිරෝධ සත්‍යයෙහි සත්‍ය ඥානය

මහණෙනි, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය (නිවන) නම් මේ යැ යි පෙර නෑසූ ධර්ම විෂයයෙහි නුවණැස........... පහළ වී ය.

නිරෝධ සත්‍යයෙහි කෘත්‍ය ඥානය

මහණෙනි, මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය (නිවන) ප්‍රත්‍යක්ෂ කළ යුතු යැ යි පෙර නෑසූ ධර්ම විෂයෙහි මා තුළ කෘත්‍ය ඥානය පහළ වී ය.

නිරෝධ සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි, ඒ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය (නිවන) මා විසින් ප්‍රත්‍යක්ෂ කරන ලදැ යි පෙර නෑසූ ධර්ම විෂයයෙහි නුවණැස..................... මට පහළ වී ය.

මාර්ග සත්‍යයෙහි සත්‍ය ඥානය

මහණෙනි, පෙර නෑසූ ධර්ම විෂයයෙහි “මේ දුක් නැසීමට පමුණුවන උපා යැ යි නුවණැස .................. මට පහළ වී ය.

මාර්ග සත්‍යයෙහි කෘත්‍ය ඥානය

මහණෙනි, පෙර නෑසූ ධර්ම විෂයයෙහි “ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය ය මා විසින් වැඩිය යුතු යැ”යි නුවණැස................ මට පහළ වී ය.

මාර්ග සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි, පෙර නෑසූ ධර්ම විෂයෙහි “ඒ දුක් නසන උපාය මා විසින් වඩනා ලදැ”යි නුවණැස............... මට පහළ වී ය.

මහණෙනි, මෙ සේ සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන යැ යි එක සත්‍යයක් පාසා තුන් ආකාර වීමෙන් සතර සත්‍යයහි දොළොස් ආකාර95 වූ තත්ත්වඥානය යම්තාක් කල් මා තුළ පහළ නො වී ද, ඒ තාක් ම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්ව වර්ගයා අතුරෙහි “මම නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලැබුයෙමි” යි ප්‍රතිඥා නො කෙළෙමි.

එහෙත් මහණෙනි, යම් කලෙක් හි චතුස්සත්‍යයන් පිළිබඳ ව තුන් පරිවර්තයක් ද දොළොස් ආකාරයක් ද ඇති තත්ත්වඥානය මට පහළ වී ද, මහණෙනි, එයින් පසු ම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්ව වර්ගයා අතුරෙහි “මම් නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලැබීමි” යි ප්‍රතිඥා කෙළෙමි. මා තුළ දර්ශන ඥානය පහළ වී ය. මගේ චිත්ත විමුක්තිය අකෝප්‍ය ය. මේ කෙළවර අත්බව ය. දැන් මතු භවයෙක් මට නැත. (මින් මතු භවෝත්පත්තියෙක් නැත.”) මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ තවුසනට මේ පළමු දම් දෙසුම කළ සේක.

ප්‍රථම සෝවාන් පුද්ගලයා

මේ ධර්මය ඇසීමෙන් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ට දහම් ඇස (ස්‍රෝත ආපත්ති මාර්ග නුවණ) පහළ විය96

“කිසිවකු විසින් අප්‍රතිවර්ත්‍ය වූ ධර්මචක්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලදැ” යි භෞම දේවතාවන් පටන් කොට බ්‍රහ්මකායික දෙවියන් තෙක් දෙව් බඹහු මහත් උද්ඝෝෂණ කළහ. දසදහසක් ලෝ දා කම්පිත වී ය. අප්‍රමාණ වූ උදාර අතුළ්‍ය ආලෝකයෙක් සියලු දෙව් බඹුන්ගේ ආලෝක මැඩ ගෙන පහළ වී ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “භවත්නි, කොණ්ඩඤ්ඤ තෙම සිවු සස් දැන ගත්තේ වේ දැ”යි දෙවරක් ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.

මෙ තන් පටන් කොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ අඤ්ඤාත කොණ්ඩඤ්ඤ96 නම් වූ සේක.

මෙසේ සෝවාන් වූ කොණ්ඩඤ්ඤ තවුසාණෝ භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලූහ. “භික්ෂුව එව, ධර්මය ස්වාක්ඛ්‍යාතය, මනා කොට දුක් නසන පිණිස මඟ බඹසර පුරව”යි97 භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ම කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ උපසම්පදාව වී ය.

පළමු වස ඉසිපතනයේ

ඉර බස්නට පෙරැ ම භාග්‍යවතුන් වහන්සේ ගේ දම් දෙසුම අවසන් වී ය. මෙ දිනැ වැසි සමය ඇරැඹිණ. එ බැවින් ඒ ඇසළ පුණු පෝදා සැන්දෑවෙහි “මේ වර්ෂර්තුයෙහි ඉසිපතන්හි ම වෙසෙමි” යි භාග්‍යවතුන් වහන්සේ ඉටූ සේක. මේ බුදුරජුන්ගේ පළමු වස් විසීම යි.

ශාතාගිර හා හෙමවත

දම්සක් පැවැත්වීමෙහි දී ඇති වූ පෘථිවිකම්පනාදි ප්‍රාතිහාර්‍ය්‍ය යකුන් අතුරෙන් පළමු ව දුටුයේ ශාතාගිර 98 නම් යක් සෙනෙවියා යි. “මෙයට හේතු කවරේදැ?” යි විමසා දැන ගත් හෙතෙම සිය පිරිස කැටි ව අවුත් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසීය. එහෙත් හේ සොවාන් වීම වැනි කිසි ගුණ විශේෂයක් නො ලැබීය. කවර හෙයින් ද? යත් : සිය මිතුරු හේමවතයා නා බව දැන එය ගැන සිතමින් නොඑකඟ සිතින් සිටි හෙයිනි.

ශාතාගිර තෙම “යහළුවා කැඳවා ගෙනෙමි” යි ආකාශචාරී වැ මවාගත් හස්තියාන අශ්වයාන ගරුඬයානාදියෙන් සිය පිරිස හා හිමවත අතට පිටත්ව ගියේ ය.

තථාගතයන් වහන්සේ ගේ ප්‍රතිසන්ධි උත්පත්ති අභිනිෂ්ක්‍රමණ සම්බෝධිප්‍රාප්ති පරිනිර්වාණ අවස්ථාවන්හි පහළ වන පෙර නිමිති වැඩි වේලා නො සිටින නුමුත් දම්සක් දෙසන අවස්ථාවෙහි පහළ වූ පෙර නිමිති වනාහි විශේෂ වැ වැඩි වේලා පැවැත්තේ ය.

හිමවතැ නොකල් මල් පිපීම් ආදිය දුටු හේමවත යක්ෂ ද “මා මිතුරා හා මේ පුෂ්ප ශ්‍රී විඳීමි”යි ශාතාගිර යකු කැඳවා ගනු පිණිස මධ්‍ය දේශාභිමුඛ ව නික්මියේ ය.

මෙසේ දෙ දෙසින් පිටත් වැ ආ මිත්‍රයෝ දෙදෙන රජගහ පුර මත්තෙහි දී හමු වූහ. හමු ව ඔවුනොවුන් දක්නට ඊමට හේතු විචාළහ.

කිසි කලෙකැ නො දුටු විරූ නො කල් මල් පිපීමෙන් හිමවත් පෙදෙස අභිරාම ව බබළන බවත්, ඒ පුෂ්ප ශ්‍රී විඳින රිසියෙන් මිතුරා සොයා තමා ආ බවත් හේමවත යක් කී ය.

“මේ අකල් මල් පිපිම් පෙළහරට හේතු දනු දැ?” යි ශාතාගිර ඇසී ය.

“නො දනිමි” යි හේමවත කීය.

“නිදුක, මේ පෙළහර හිමවතැ ම නොවේ. වැලි දස දහසක් ලෝ දා පහළ වූයෙක. සම්මා සම්බුදුහු ලෝ උපන්හ. අද දම්සක් පැවැත්තූහ. ඒ කාරණයෙන් මේ පෙළහර වී යැ” යි ශාතාගිර තෙම බුදුරජුන් පහළ වූ බව පැවැසී ය.

ඉක්බිති හේ හේමවතයා කැඳවනුයේ “අද පසොළොස්වක් පොහොයයි. පුන්සඳ එලියෙන් බබළන රාත්‍රියක් ද එලැඹ සිටියේ ය. ඒකාන්ත විශ්වාස ඇතිව එව, යම්හ. අලාමක නම්99 ඇති ගෞතම ශාස්තෲන් වහන්සේ දකුම් හ” යි කීය.

ඉක්බිති පහත සඳහන් පරිදි ඔවුන්ගේ කථාව වී ය.

හේමවත : කිමෙක් ද? එ තොප ශාස්තෘහුගේ සිත මනා ව පිහිටියේ ද? හෙතෙම සියලු සතුන් කෙරේ සම සිත් ඇත්තේ ද?100 කිමෙක් ද, ඉටු අනිටු අරමුණෙහි රාග ද්වේෂ වශයෙන් පහළ වන සංකල්ප එතුමා විසින් වශඟ කරන ලද ද?

ශාතාගිර: “එ තාදීහු[38] ගේ සිත මනා වැ අචල වැ සියල්ල කෙරේ සම වැ පිහිටියේ ය. ඉටු අනිටු අරමුණු විෂයයෙහි සංකල්පයෝ උන් වහන්සේ විසින් වශඟ කරන ලදහ.”

හේමවත : “කිමෙක් ද හේ අන්සතු දෑ සොර සිතින් නො ගනී ද? පණිවායෙන් දුරු වූයේ ද? අබ්රම්සරින් දුරු වී ද? ධ්‍යානය හිස් නොකෙරේ ද (නො හරී ද?)?”

ශාතාගිර: “බුදු රජාණන් වහන්සේ අන් සතු නො දුන් දෑ නො ගන්නා සේක. පණිවායෙන් ද වැළැකී සේක. අබ්රම්සරින් දුරු වූ සේක. ධ්‍යානය නො හරිනා සේක.”

හේමවත : “කිමෙක් ද, ඒ යුෂ්මත්හුගේ ශාස්තෘ තෙම බොරු නො තෙපලා ද? පරුෂ බස් නො බෙණේ ද? කේලාම් නො කියා ද? ප්‍රලාප බස් නො දොඩා102 ද?”

ශාතාගිර : “උන් වහන්සේ බොරු නො තෙපලන සේක. පරුෂ බස් නො බණිනා සේක. කේලාම් නො කියන සේක. ප්‍රලාප නො දොඩන සේක. නුවණින් පිරිසිඳ වැඩ පිණිස පවත්නා වචන ම103 වදාරන සේක.

හේමවත : “කිමෙක්ද? හේ කාම වස්තූන් කෙරෙහි නෑ ලේද? ඔහු සිත ව්‍යාපාදයෙන් නො කැළැඹුණේ ද?

මිථ්‍යාදෘෂ්ටියට හේතු වූ මුළාව ඉක්මියේ ද? ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිලැ පවත්නා සමතැස් ඇත්තේ ද?

ශාතාගිර : “ඒ භාග්‍යවතුන් වහන්සේ පංච කාමයන්හි නො ඇලෙන සේකි. උන්වහන්සේ ගේ සිත ව්‍යාපාද දෝෂයෙන් නො කැළඹුණේ ය. උන් වහන්සේ මෝහය ද ඉක්මි සේකි. ඒ බුදුරජාණන් වහන්සේ සකල ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිළ පවත්නා සමතැස් ඇති සේක.”

හේමවත : “කිමෙක? එ ශාස්තෘහු අෂ්ට විද්‍යායෙන් යුක්ත ද?104 පිරිසිදු චරණ ධර්ම ඇත්තෝ ද? ඔවුන් විසින් ආස්‍රවයෝ නසන ලදු ද? ඔවුනට පුනර්භවයෙක් නැද්ද?”

ශාතාගිර: “ඒ ශාස්තෘන් වහන්සේ අෂ්ට විද්‍යායෙන් ද සම්පන්න සේක. පිරිසිදු චරණ ධර්ම ද ඇති සේක.

උන්වහන්සේගේ පුනර්භවයෙක් නැත.

හේමවත : “ඒ මුනීන්ද්‍රයන් වහන්සේන්ගේ සිත සම්පූර්ණද? විද්‍යා චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ උන් වහන්සේට යුෂ්මත්හු බෝ ගුණ දැන ම ඇති ගුණයෙන්ම ප්‍රශංසා කරවුද?”

ශාතාගිර : “එසේය මිත්‍රය, ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිත ඒ කී පරිදි ම සම්පූර්ණ ය. පිරිසිදු කාය වාක් මනඃ කර්මයෙනුත් සම්පූර්ණය. ඒ යුෂ්මත්හු විසින් මොනවට දැන ගන්නා ලද්දේ ය. එ සේම යැ යි මැනැවින් පිළිගන්නා ලද්දේ ද වේ.”

“ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සිත සම්පූර්ණය, කාය වාක් මනඃ සුචරිත සම්පන්නය. සැක රහිත ව එය දැන ගන්න. එසේ වූ විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්ත උන් වහන්සේ දැකුම්හ.” (මේ තාක් කළ කථාව නුවණින් සැලකූ හේමවතයා එහි දී සෝවාන් විය.) භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තවත් තොරතුරු ශාතාගිරයා වෙතින් අසා දත් හේමවත යක් තෙම මෙසේ ද කී ය.

හේමවත : “එව මිත්‍රය, යම්හ, ඒනි මෘගයකුගේ වැනි ක්‍රමයෙන් වට වූ කෙංඩා105 ඇති ස්ථුල නොවූ සිරුරක් ඇති, වීර වූ, ස්වල්පහාර ඇති ආහාරයෙහි ලොල් නො වූ, මුනි ගුණ ඇති107 වනයෙහි ධ්‍යාන කරන ඒ ගෞතමයන් වහන්සේ දකුම්හ. සිංහයකු මෙන් ඒකචාරී වූ, පව් නො කරන, කාමයන්හි අපේක්ෂා රහිත ගෞතමයන් වහන්සේ කරා එළැඹ මරහුගේ මලින්108 මිදීමට නිමිත්ත වූ නිවන විචාරමු.”

පළමු සෝවාන් උපාසිකාව

මේ වේලෙහි රජගහ පුරයේ ඇසළ නකත් උළෙල පැවැත්තේ ය. මිනිස්සු නුවර සරසා නකත් කෙළි සුව විඳිති. කාලි නම් කුල ස්ත්‍රියක් ක්‍රීඩා සුව විඳින්න සිය පහයෙහි සී මැදුරු කවුළුව විවෘත කොට ගිම් නිවන්න, සුළං වදිනා තැනෙක සිටියා ය. ඕ යට කී ශාතාගිර හේමවත දෙදෙනා ගේ කථාව මුළුමනින් ම අසා සිටියා ය. ඉක්බිති “බුදුවරයෝ මෙබඳු විශිෂ්ට ගුණ ඇත්තෝ යැ” යි බුද්ධාලම්බන ප්‍රීති උපදවා සෝවාන් පෙලෙහි පිහිටියා ය. මෝ ආරංචියෙන් බුදු ගුණ අසා පැහැදුණු පළමු වන සෝවාන් උපාසිකාව ය.

දෙවෙනි ධර්ම දේශනාව

යට කී ඒ යක් සෙනෙවියෝ මධ්‍යම යාමයෙහි සිය පිරිවර හා ඍෂිපතනය ට පැමිණ දම්සක් පැවැත්තු පළඟින් ම හුන් බුදුරජාණන් වහන්සේ කරා එළැඹියහ. ඉක්බිති හේමවත යක්තෙම භාග්‍යවතුන් වහන්සේ වැඳ මේ මතු දැක්වෙන පරිදි ප්‍රශ්න විචාළේ ය.

“සත්‍යයන් බෙදා නිශ්චය කොට වදාරන, ආර්‍ය්‍ය සත්‍ය විෂයයෙහි ඥානය පවත්වන, සිවු බිමැ සියලු දහමුන්ගේ පර තෙරට පැමිණි, මෝහ නිද්‍රායෙන් පිබිදුණු, වෛර හා භය ඉක්මැවූ ගෞතමයන් වහන්සේ විචාරම්හ.”

“කුමක් නම් උපන් කල්හි ලෝකය උපන්නේ වේ ද? කුමක් කෙරෙහි සත්ත්ව තෙම තෘෂ්ණා දෘෂ්ටි සංස්තවය කෙරේ ද? කුමක් නිසා “ලොව” යැ යි ව්‍යවහාර වේ ද? කවර කරුණෙකින් ලොව පෙළේ ද?”

භාග්‍යවතුන් වහන්සේ : “ආධ්‍යාත්මික බාහිර ෂඩාතනයන් උපන් කල්හි ලෝකය උපන්නේ වේ. ඒ ද්විප්‍රකාර ආයතනයන් කෙරෙහි ම ලෝ වැසි තෙම තෘෂ්ණා දෘෂ්ටි සංස්තවය කෙරේ. ඒ දෙ වැදෑරුම් ෂඩායතන නිසා ම “ලෝක යැ”යි ව්‍යවහාරය වේ. ඒ ෂඩායතනයන් ඇති කල්හිම ලෝකය පෙළේ.”

හේමවත: යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ලෝකය පෙළේ නම් එ උපාදානිය ධර්ම කවරේ ද? ලෝකය කෙරෙන් නික්ම යන මාර්ගය කවරේ ද? උපාදානීය ධර්මයෙන් (දුකින්) කෙසේ සත්ත්ව තෙමේ මිදේ ද? මේවා මට පැහැදිලි කරන සේක් වා!

භාග්‍යවතුන් වහන්සේ: ලොව මනස සවන කොට ඇති පංච කාම ගුණාලම්බනයෝ ඇත. ඒ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්විවිධ වූ ෂඩායතන විෂයයෙහි තෘෂ්ණාව සර්ව ප්‍රකාරයෙන් දුරු කිරීමෙන්106 මෙසේ සත්ත්ව තෙම දුකින් මිදේ.

“මෙය ලෝකයෙන් නික්මෙන උපාය යි. දහස්වර විචාළත් මා විසින් අවිපරිත කොට කියන ලද මේ ලෝකනිර්යායණ මාර්ගය ම කියමි.

කවර හෙයින් ද? මෙයින් ම සත්ව තෙම දුකින් මිදේ, එහෙයිනි.”

මේ දේශනාව අවසන්හි දී යක් සෙනෙවියෝ දෙදෙන දහසක් පමණ යක්සෙන් හා සෝවාන් වූහ.

ඉක්බිති හේමවත තෙම ස්වභාවයෙන් ම තමා දහමට ගරු කරන හෙයින් මෙතෙකින් අතෘප්ත ව මත්තෙහිත් සේඛාසේඛ භුමි විචාරන්නේ,

“මෙහි කවරෙක් සතර ඕඝයෙන් එ ගොඩ වේ ද? කවරෙක් මෙහි සසර සයුරින් එ තෙරැ වේ ද? යැටින් පිහිටක් හෝ මත්තෙන් එල්බෙන තැනක් නැති ගැඹුරු සසර සයුරෙහි කවරෙක් නො ගිලේ දැ?”යි ඇසුයේ ය.

මෙය විසඳන භාග්‍යවතුන් වහන්සේ:

“සෑම කල්හි ශීල සම්පන්න වූ, ලොවි ලොවුතුරා ප්‍රඥා ඇති, උපචාර අර්පණා සමාධියෙනුත් යට මාර්ග ඵලයෙනුත් මොනොවට පිහිටි, නිජ ස්කන්ධ පංචකය තිලකුණට නගා විමසන සුලු, එලැඹ සිටි සිහි ඇති පුද්ගල තෙම සතර ඕඝයෙන් එතෙර වේ.

කාම සංඥායෙන් සර්ව ප්‍රකාරයෙන් දුරු වූ, සියලු සංයෝජනයන් ඉක්ම, තෘෂ්ණාව හා පුනර්භවය ක්ෂීණ කළ රහත් පුද්ගලයා සසර සයුරෙහි ච්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් නො ගැලේ.”

මේ කථායෙන් පසු හේමවත තෙම යහලු ශාතාගිරයා දෙස ද සෙසු යක් පිරිස දෙස ද බලා, ප්‍රීති සොම්නසින්:

“ගැඹුරු ප්‍රඥා ඇති, ප්‍රශ්නයන් ගේ අර්ථ දක්නා, රාගාදි පරිබෝධ නැති, වස්තුකාම ක්ලේශ කාම දෙක්හිත් ත්‍රිවිධ භවයෙහිත් නො ලැගුණු, ස්කන්ධාදි ප්‍රභේද ගත සියලු අරමුණෙහි ඡන්ද රාග වශයෙන් බැඳීමෙන් මිදුණු, දිව්‍ය විහාර පථයෙහි (හෝ පල සමවහි) නුවණින් බස්නා ඒ මහර්ෂීන් වහන්සේ බලවු. සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ (අලාමක) නම් ඇති නිපුණාර්ථදර්ශී වූ, ප්‍රඥා දායක වූ කාමාලයයෙහි නො ඇලුණු, සියල්ල දන්නා, ශෝභන වූ (පාරමිතා) ප්‍රඥා ඇති, ආර්යෂ්ඨාංගික මාර්ග පථයෙහි (හෝ පල සමවත්හි) නුවණින් බස්නා ඒ මහර්ෂීන් වහන්සේ බලවු. චතුරෝඝ තරණය කළ නිරාස්‍රව වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දැකගත් හෙයින් අද අප ගේ ශුභ දැක්මෙක් විය. අද පහන් වීම ශුභ ය. අද නින්දෙන් නැගී සිටියා ශුභ ය. තවද කර්ම විපාකජ සෘද්‍ධියෙන් සමන්විත වූ යශස් ඇති මේ සියලු දහසක් යක්කු ලොවුතුරා සරණ ගමණයෙන් ඔබ සරණ යෙති. ඒ අපි සම්බුද්ධ වූ, ඔබ වහන්සේට ද ඔබ වහන්සේ ගේ ධර්මයේ සුධර්මත්වයට ද 111 නමස්කාර කරමින් දෙව් ගමින් දෙව් ගමට ද දිව්‍ය පර්වතයෙන් දිව්‍ය පර්වතය ට ද යන්නමු.”

මෙසේ හේමවත තෙම භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට වැඳ ප්‍රදක්ෂිණා කොට සිය මිතුරා සහිත යක්සෙන් කැටුව ස්වකීය භවනයට ම ගියේ ය.112

අව පෑලවිය දා වප්ප තවුසා සෝවාන් වීම

ඇසළ පුණු පොහො දිනෙන් දෙවෙනි දිනයෙහි අන් සිවුදෙන පිඬු පිණිස යවා භාග්‍යවතුන් වහන්සේ ආරාමයෙහි හිඳ, වප්ප තවුසාණනට ඔවා දුන් සේක. වප්ප තවුසාණෝ ද, භාග්‍යවතුන් වහන්සේ දුන් කමටහන් වඩා පෑලවිය දා ම සෝවාන් ව ඒහි භික්ෂු ප්‍රව්‍රජ්‍යෝසම්පත්තිය ලැබූහ.113

එ සේ ම අව දියවක් දා භද්දිය තවුසාණෝ ද,

අව තියවක් දා මහානාම තවුසාණෝ ද,

අව ජලවක් ද අස්සජී තවුසාණෝ ද,

භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටා කමටහන් වඩා සෝවාන් වූහ. ඒහි භික්ෂු සම්පත්තිය ද ලැබුහ.

මේ දිනවල ඒ භික්ෂූනට අවවාද කෙරෙමින් විහාරයෙහි ම භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් සේක. තුන් නමක් පිඬු පිණිස ගොස් ගෙනා භෝජනයෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු සනම ම යැපුණා හ.

අනාත්ම ලක්ෂණ සූත්‍රය

අව විසේනිය දා අනන්ත ලක්ඛණ සුත්ත දේසනාව

නැවැත අව විසේනිය දා භාග්‍යවතුන් වහන්සේ ඒ කොණ්ඩඤ්ඤ ආදී පස් නම ම අමතා අනාත්ම ලක්ෂණ සූත්‍රය වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි, රූපය ආත්ම (තමා) නොවේ. මේ රූපය ආත්ම වේ නම්, ආබාධ පිණිස නො පවත්නේ ය. “මාගේ රූපය මෙසේ වේවා මෙසේ නම් නො වේ වා” යි රූපයෙහි තමා රිසි අයුරෙක් ලැබෙන්නේ ය. එහෙත් මහණෙනි, රූපය ආත්ම නොවන බැවින් ම ආබාධ පිණිස පවතී. “මෙසේ මගේ රූපය වේ වා, මෙසේ නම් නො වේවා! යි තමා රිසි අයුරෙක් රූපයෙහි නො ලැබෙන්නේ ය.

මහණෙනි, වේදනාව ආත්ම නො වේ. මේ වේදනාව ආත්ම වේ නම් ආබාධ පිණිස නොපවත්නේ ය............

මහණෙනි, සංඥාව ආත්ම නො වේ. මේ සංඥාව ආත්ම වේ නම් ආබාධ පිණිස නො පවත්නේ ය.............., මහණෙනි, සංස්කාරයෝ ආත්ම නො වෙත්. මේ සංස්කාරයෝ ආත්ම වෙත් නම් ආබාධ පිණිස නො පවත්නේ ය.............. මහණෙනි, විඥානය ආත්ම නොවේ. මේ විඥානය ආත්ම වේ නම් ආබාධ පිණිස නො පවත්නේ ය.............. මහණෙනි, රූපය නිත්‍ය ද? නොහොත් අනිත්‍ය ද? තෙපි මේ කිමැයි සිතවු ද?

පස්වග මහණහු : වහන්ස, ඒ අනිත්‍ය යි.

භාග්‍යවතුන් වහන්සේ : යමෙක් අනිත්‍ය නම් ඒ දුක් ද නො හොත් සුවද?

පස්වග මහණහු: ඒ දුක්ය, වහන්ස.

භාග්‍යවතුන් වහන්සේ: යමෙක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම් පෙරැළෙන සුලු නම්, එය “මෙය මගේ ය, මේ මම ය, මේ මා තමා යැයි දක්නට සුදුසුද?

පස්වග මහණහු: ඒ (එ සේ දක්නට) නම් සුදුසු නො වේ මය, වහන්ස.

වේදනා සංඥා සංස්කාර විඥාන යන සතර ගැනත් මෙසේ ම ප්‍රශ්න උත්තර කථාව විය.

භාග්‍යවතුන් වහන්සේ: එහෙයින් මහණෙනි, අතීතානාගත හෝ වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර වූ, ඖදාරික හෝ ශූක්ෂම වූ, හීන හෝ ප්‍රණීත වූ දුරැ හෝ සමීපයේ වූ යම් රූපයෙක් වේ ද, එ සියලු රූපය “මෙය මගේ නොවේ. මෙය මම් නො වෙමි. මෙය මගේ ආත්මය නො වේ යැ” යි මෙසේ තත් වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥායෙන් දැක්කැ යුතු ය.

අතීතානාගත හෝ වර්තමාන වූ යම් වේදනාවෙක් වේ ද.... අතීතානාගත හෝ වර්තමාන වූ..... යම් සංඥාවෙක් වේ ද ...... අතීතානාගත හෝ වර්තමාන වූ....... යම් සංස්කාර කෙනෙක් වෙත්ද....... අතීතානාගත හෝ වර්තමාන වූ........ යම් විඥානයෙක් වේද....... එ මේ සියලු විඥානය “මෙය මගේ නො වේ, මම් නො වෙමි, මගේ ආත්මය නො වේ යැ” යි මෙසේ ඇති සැටි ලෙස සම්‍යක්ප්‍රඥායෙන් දැක්කැ යුතු ය.

මහණෙනි, මෙසේ දක්වා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම රූපය කෙරෙහි කලකිරේ, වේදනාව කෙරෙහි කලකිරේ, සංඥාව කෙරෙහි කලකිරේ, සංස්කාර කෙරෙහි කලකිරේ, විඥානය කෙරෙහි කලකිරේ. කලකිරෙන්නේ එහි ඇල්ම දුරු කෙරේ, ඇල්ම දුරු කිරීමෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදේ, මිදුණු කලැ මා සිත මිදුණේ යැ යි දැනීම වේ. මතු ඉපදීම ක්ෂීණ විය, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැසනිමවන ලද්දේ ය. (රහත් බවට පැමිණියෙමි.) දුකින් මිදීමට කළමනා සියලු (ගෝඩෂ විධ) කෘත්‍යය කරන ලද්දේ ය. මේ රහත් බව පිණිස තවත් කළ යුතු කිසිත් නැතැ” යි දැන ගනී.

භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දේශනාව ඇසීමෙන් ඒ පස්වග මහණහු සියල් කෙලෙස් නසා රහත් වූහ.

නාලක තෙරහට මෝනෙය්‍ය වත දෙසීම

සැටවක් දා නාලක තෙරණුවෝ අවුත් මෝනෙය්‍යවත්114 විචාළහ. එය භාග්‍යවතුන් වහන්සේ විස්තර කොට වදාළ සේක. තෙරහු එය ඉගෙන එදා ම නික් ම ගියහ. පෙරළා කිසි ම කලෙක නාහ.

යසකුල පුත්‍රයා

එ සමයෙහි එක් දිනෙකැ රෑ බරණැස් සිටු පුත් යස නම් තරුණ තෙම ගිහිගෙය කලකිරී, කිසිවකුටත් නො දන්වා හුදෙකලාව සිය මාලිගයෙන් නික්ම තවුස් පැවිද්ද ලබන අදහසින් යන්නේ, එ කලැ තවුසන්ගේ වාසස්ථානයක් ලෙස ප්‍රකට ව පැවැති සෘෂිපතනයට ළඟා වි ය. මේ වේලාව රෑ එළිවෙන යාම යයි. භාග්‍යවතුන් වහන්සේ සිරිත් පරිදි අලුයම්හි නැගිට නුවණින් ලොව බලන සේක්, යසකුල පුත්‍ර ගිහිගෙන් නික්ම එන්නහු දැක ඔහු හමු වීම ද බලාපොරොත්තුවෙන් සක්මන් කරමින් සිටි සේක. සක්මනෙහි යෙදී සිටි උන් වහන්සේ දුරැ එන යස කුල පුතු දැක සක්මන් මළුයෙන් බැස (පස් වග රහතුන් විසින් එ වේලායෙහි) පණවන ලද ආසනයෙහි වැඩ හුන් සේක. යස තෙම ආරාමය සමීපයට එන්නේ භාග්‍යවතුන් වහන්සේ නො දුරු තන්හි දී “අහෝ! ගිහිගෙය උවදුරු සහිතය! අහෝ! හිරිහැර සහිතය! යන වචන කීයේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “යස, මේ මහණ දම නම් ඒ උවදුරුවලින් මිදුණේ ය. හිරිහැර නො මැත්තේ ය. යස මෙහි එන්න, ඉඳ ගන්න, නුඹට ධර්මයක් දේශනා කරන්නෙමි” යි වදාළ සේක. එය ඇසූ යසකුලපුත් “මේ මහණ දම් උවදුරු නැති එකක් ලු, හිරිහැර නැති එකක් ලු” යැ යි සිතා සතුටු වැ පාවහන් ගලවා තබා, බුදුරජාණන් වහන්සේ කරා පැමිණ වැඳ එක් පැත්තකැ ඉඳ ගත්තේ ය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ “දන් දීමේ අනුසස්, සිල් රැකීමේ අනුසස්, එයින් ලැබෙන ස්වර්ග සම්පත්තියේ හැටි, එහෙත් ඒ සියලු කාම සම්පත්තීන් දොස් සහිත බව, ලාමක බව, කිලුටු බව, එ බැවින් කම්සැප හැර දමා මහණවීමේ වටිනාකම” යන දේශනා ක්‍රමයෙන් දහම් දෙසු සේකි. ඒ බණ ඇසීමෙන් කෙලෙස් බර ගතිය, කෙලෙස් රළු ගතිය අඩු වී ගොස් යස කුල පුතුගේ සිත මෘදු වූ, පහන් වූ, චතුස්සත්‍ය අවබෝධ කැර ගැනීමට සුදුසු සේ පිළියෙල වූ විගස බුදුවරුන්ගේ ම දේශනා ක්‍රමය වූ දුක්, දුක් හේතුව, නිවන, නිවනට මඟ යන සැබෑ සතර ප්‍රකාශකැරැ වදාළ සේක. පිරිසිදු වස්ත්‍රය යම් සේ රදන් (සායම්) ඉතා තදින් උරා ගන්නේ ද, එසේ ම එ ආසනයේ ඉන්දැ දී ම චතුස්සත්‍යාවබෝධය කිරීමෙන් යස කුල පුත් සෝවාන් විය.

තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා

යස කුල පුතුගේ මවු ප්‍රාසාදයට නැග සිය පුතු නො දැක, සැමියා හට ඒ බව දැන්වූවා ය. සිටු ද පුතු සොයනු පිණිස සිවු දෙසට අසරු දූතයන් යවා තෙමේත් නික්ම යනුයේ, රන් මිරිවැඩිවල අඩි සටහන් දැක එය අනුව ගියේ, ඉසිපතනාරාමයට පැමිණියේ ය. ඈත එන ඔහු දුටු භාග්‍යවතුන් වහන්සේ සිටුහට යස කුලපුත්‍ර නො පෙනෙන්නට සැලැස් වූ සේකි.

සිටු තෙමේ ද ආරාමයට පැමිණ “භාග්‍යවතුන් වහන්ස, දැන් ටිකකට පෙර මේ පැත්තට ආ යස කුලපුත්‍රයා දුටු සේක් දෝ”යි විතාළේ ය. “යස කුලපුතු දක්නා කැමැත්තෙහි නම්, ගෘහපතිය, ටිකක් මෙහි හිඳින්න. තව ටිකෙකින් මෙහි ම ඉන්නා යස කුලපුතු දැක්කැ හැකි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එ විටැ ගෘහපති තෙම “මෙහි ම ඉන්නා යස කුල පුතු දක්නෙමි” යි සිතා සතුටුව වැඳ එක් පැත්තෙකැ ඉඳ ගත්තේය. එසේ උන් ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ දාන කථාදී පිළිවෙළින් බණ වදාළ සේක. දේශනාවසානයේදී හේ සෝවාන් වූයේ, ඒ බව දන්වා වචනයෙන් ද තෙරුවන් සරණ ගියේ ය. ලොවැ තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා යස කුල පුතුගේ පියා වූ බරණැස් සිටුය.

යස කුල පුතු පැවිදි වීම

තම පියාට දෙසූ ධර්මය අසා යස කුලපුත් තෙම නුවණ මුහුකුරුවා සියල් කෙලෙස් නසා රහත් විය. ඉන්පසු හේ කිසිසේත් ගිහි ගෙයි නො බැඳෙන්නේය. මේ බව සැලකූ බුදුරජාණන් වහන්සේ බරණැස් සිටුහට යස කුලපුත්‍රයා පෙනෙන්නට සැලැස් වූ සේක. එ විට ගෘහපති තෙම ස්වකීය පුත්‍රයා දැක “පුත, නුඹේ මව හඬමින් මැරෙන තරම් ශෝකයෙන් තැවි තැවී ඉඳී. මවට ජීවිතය දෙව” යි කීය. යස තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ මුහුණ බැලීය. බුදුරජාණන් වහන්සේ යස කුලපුතු රහත් වූ බවත් එහෙයින් ගිහිගෙහි නොරැඳෙන බවත් වදාළ සේක. සිටු ද යස කුල පුත්‍රයාට වූයේ මහත් ලාභයෙකැයි සතුටු වැ එ දින දනට යසයන් හා සමග වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආයාචන කෙළේ ය. බුදුරජාණන් වහන්සේ ද තුෂ්ණිම් භාවයෙන් එය පිළිගත් සේක. සිටු ද බුදුරජාණන් වහන්සේ තමාගේ ආයාචනය පිළිගත් බව දැන, වැඳ පැදකුණු කොට ගියේ ය. සිටු ගිය පසු යස කුල පුත් තෙම බුදුරජාණන් වහන්සේගෙන් ඒහි භික්ෂු සම්පත්තිය ලැබුයේ ය.

සුජාතාවත් ඇගේ යෙහෙළියත් උපාසිකාවන් වීම

ඉක්බිති. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි යස භික්ෂුව කැටුව සිටුහුගේ ගෙට වැඩි සේක. පණවා තුබුණ ආසනයේ ඉඳගත් සේක. ඒ වේලායෙහි සුජාතා (යස භික්ෂුවගේ මවු) ද පෙරැ ගිහි කලැ ඔහුගේ භාර්යයාව වූ තැනැත්තී ද අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙකැ උන්හ. දාන කථා ශීල කථා ස්වර්ග කථාදි පිළිවෙළ කථායෙන් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට බණ වදාළ සේක. බණ ඇසීමෙන් ප්‍රසන්න වූ ඔවුනට චතුස්සත්‍ය ධර්මය ප්‍රකාශ කළ සේක. ඒ අසා දෙදෙනාම සෝවාන් වූහ. ඉක්බිති තමන් ගේ පැහැදීම දන්වා වචනයෙනුත් උහු තෙරුවන් සරණ ගියාහ.

යස කුල පුතුගේ යහළු සිවු දෙනෙකුන් පැවිදි වීම

ඉක්බිති ඔහු බුදුරජාණන් වහන්සේටත් යස භික්ෂුවටත් දන් පිළිගැන් වූහ. ඔවුන් වහන්සේ දන් වැළඳු පසු. ඔහු එක් පසෙකැ ඉඳ ගත්හ. බුදුරජාණන් වහන්සේ ඔවුනට අනුමෝදන බණ වදාරා විහාරයට වැඩි සේක.

යස කුල පුතු මහණ වූ පවත් ඇසූ ඔහුගේ යහළු වූ බරණැස උසස් කුල සතරෙකැ දරු වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සිටුකුල පුත්තුද යස රහතුන් වහන්සේ කරා පැමිණ වැඳ පසෙක සිටියෝය. යස රහත්හු එ යහලුවන් සිවුදෙනා ගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළැඹියහ. වැඳ පසෙක හිඳ ඔවුනට අවවාදානුශාසනා කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ අයැදූහ. බුදු රජාණන් වහන්සේ ඔවුනට දාන කථා ශීල කථා දි පිළිවෙල කථායෙන් අවවාදානුශාසනා කළ සේක. ඉක්බිති ඒ ඇසීමෙන් තුනී වූ කෙලෙස් ඇති ඔවුනට චතුසත්‍යය ප්‍රකාශ කළ සේක. ඔහු ඒ අසා සෝවාන් ව ඒහි භික්ෂූපසම්පත්තිය ලැබූහ. නැවතත් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට බණ වදාළ සේක. එය ඇසූ ඒ භික්ෂූහු සියලු කෙලෙස් නසා රහත් වූහ.

යස කුල පුතුගේ තවත් යහළුවන් පනස් දෙනෙක්

යස රහතුන් වහන්සේ ගේ ගිහි කාලයෙහි යහළු වූ අන් පළාත් වැසි තවත් පනස් දෙනෙක් කුල පුත්තු යස කුල පුත් මහණ වී යැයි අසා, එහි අගය සලකා ආයුෂ්මත් යසයන් වහන්සේ වෙත පැමිණියාහ. පැමිණ වැඳ එක් පසෙකැ සිටියහ. යස රහත්හු ඔවුන් පණස්දෙනා ගෙන බුදුරජුන් කරා ගියහ. ඔවුනට ද දානකථාදි පිළිවෙළ කථායෙන් සර්වඥයන් වහන්සේ බණ දෙසූ සේක. ඒ ඇසීමෙන් මෘදු මොලොක් සිත් ඇති වු ඔවුනට ඉන් පසු චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. ඒ ධර්ම කථාව ඇසූ කුලපුත්තු පනස්දෙනා ම සෝවාන් වූහ. ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් මහණකම ඉල්ලුවෝ ඒහිභික්ෂූපසම්පත්තිය ලැබුවෝ, එයට පසු වැ දෙසු දහම් අසා සියල්ලෝම රහත් වූහ.

රහතුන් හැට එක් නමක්

මෙ සේ එසමයෙහි ලොවැ බුදුරජාණන් වහන්සේත් ඇතුළු සියලු ම රහත්හු එක් සැට නමක් වූහු.

ඒරකපත්ත්‍ර නාගරජ සමාගමය

ඒරකපත්ත්‍ර නම් නා රජෙක් “බුදුවරයකු ලොව පහළ වූ විට ඒ පවත් මහ ජනයා මගින් දැන ගනිමි”යි සිතා, සිය දුවට ගාථාවක් උගන්වා ගංගා නදිය මත්තෙහි සිට ඇය නටවමින් ගයවයි.

“යමෙක් මැය ගයන ගීතයට සරිලන ප්‍රතිගීතයක් ගෙනේ නම් ඔහුට මැය මහත් සම්පත් හා පාවා දෙන්නෙමැ” යි ප්‍රසිද්‍ධ කැරැවී ය. හෙතෙම අඩමසක් පාසා පොහෝ දිනයන්හි ඇය ලවා ගයවමින් නටවයි. මෙසේ දීර්ඝ කාලයෙක් ගත විය.

අප බුදුරජාණන් වහන්සේ බුදුවැ සත්සති ගෙවා බරණැස් වැඩ දම්සක් දෙසා පළමු වැසි සමයෙහි ඉසිපතන්හි වසන සේක්, පසොළොස්වක් දිනෙක අලුයම්හි සිරිත් පරිදි නිවන් අවබෝධ කළ හැකි සත්ත්වයන් සොයනු පිණිස ලොව බැලූ සේක්, ඒරකපත්ත්‍ර නාගරාජාදීන් දැක, බරණැසින් නොදුරු තන්හි ප්‍රසිද්‍ධ වැ පැවැති රිටිගස් සතින් එකක් මුලට වැඩහුන් සේක.

මෙදිනැ දඹදිව නොයෙක් පළාත්වලින් බොහෝ ජනයෝ ඒරකපත්‍රනාගරාජයාගේ දුව ගේ ගීතයට ප්‍රතිගීත ගොතා ගෙන ගංගා නදිය අසළ රැස්වූහ. භාග්‍යවතුන් වහන්සේ එහි යන උත්තර නම් මානවකයා දැක “කැඳවා කොයි යෙහිදැ?” යි විචාළ සේක. ඒරකපත්‍රයාගේ දුව ගයන තෙනට යනබව හේ කීය. ඇය ගේ ගීතයට ප්‍රතිගීතයක් දන්නෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“දනින් වහන්සැ”යි මානවකයා කීය.

“එය කියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. හේ කී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු අමතා,

“මෙය ඇය ගේ ගීතයට පිළිගීයක් නොවේ. මම නුඹට පිළිගීයක් දෙන්නෙමි. එය ගෙන යවැ” යි වදාළ සේක. හේ “මැනැවැ” යි පිළිගත. භාග්‍යවතුන් වහන්සේද ඔහුට ගීයක් උගන්නා “උත්තරය, මෙය යුෂ්මතා ගැයූවිට ඕ මෙ නම් ගීයක් ගයන්නී ය. එයට ප්‍රතිගීත විසින් මෙය ගයව”යි තවත් ගීයක් උගන්වාලූ සේක.

උත්තර මානවකයා මේ ධර්මනිඃශ්‍රිත ප්‍රතිගීත ඉගෙන ගන්නේ ම එහි අරුත් මෙනෙහි කොට සෝවාන් වීය.

මෙසේ උත්තර තෙම ප්‍රතිගීත ඉගෙන යට කී ගංගා තට ප්‍රදේශයට පැමිණ, රැස් වැ සිටි මහජනයා මැදින් ගොස් තමා පිළිගීයක් ගෙනා බව කී ය.

එවිට නාග මානවිකා තොම,

“කුමකට අධිපති පුද්ගල තෙම රජ නම් වේ ද? කෙසේ වනාහි රජ තෙම රජස්වර නම් වේ ද? කෙසේ නම් ඒ රජ තෙම විරජ වේ ද? ඒ රජ කෙසේ නම් බාලයෙකැ යි කියනු ලැබේ ද?” යන අර්ථ ඇති ගීතයක් ගැයූ ය.

එවටැ උත්තර මානවක තෙම භාග්‍යවතුන් වහන්සේ උගන්වාලූ පරිදි,

“චක්ෂුරාදි සදොරට අධිපති ව ඒ එක් දොරෙකත් රූපාදි අරමුණුවලැ නො මැඩුණු පුද්ගල තෙම රජ නම් වෙයි. යමෙක් වූ කලී ඒ රූපාදි අරමුණුවලැ රජ්ජමාන ද (-ඇලෙන්නේ ද) හෙ තෙම රජස්සර නම් වේ. ඒ අරමුණුවලැ නො ඇලෙන පුද්ගල තෙම විරජ නම් වේ. ඇලෙන තැනැත්තේ වනාහි “බාලයා” යි කියනු ලැබේ.” යන මේ අදහස් ඇති ප්‍රතිගීතය ගැයුවේ ය.

එවිට නාග මානවිකාව -

“බාල (අඥ) තෙම කිමෙකින් පහළට ඇද ගෙන යනු ලැබේ ද? එය පණ්ඩිත තෙම කෙසේ දුරු කෙරේ ද? කෙසේ නම් යෝගක්ෂෙමි (බන්ධනයෙන් මිදී නිරුපද්‍රැත) වේ ද? එය මට කියා දුන මැනැවි.

යන අර්ථ ඇති ගීතයක් ගැයුවා ය.

එයට ප්‍රතිගීත වශයෙන් උත්තර තෙම තමාට භාග්‍යවතුන් වහන්සේ උගන්වා ලූ,

“කාමෝඝාදි සතර ඕඝයෙන් බාල තෙම ඇදී යයි. පණ්ඩිත තෙම සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍ය නැමැති යෝගයෙන් ඒ සතර ඕඝයන් දුරු කෙරේ. කාමාදි සියලු යෝග (යොත්) වලින් මිදුණු පුද්ගල තෙමේ යෝගක්ෂෙමි නම් වේ” යන අදහස ඇති පිළිගීය ගැයී ය.

ඒරකපත්‍ර තෙම එය අසා “මේ නම් බුදුවරයක්හු ගේ විසර්ජනයෙකැ”යි සිතා අතිප්‍රීත ව උත්තර මානවකයා වෙත අවුත් ඔබට මෙය ඉගැන්වූ “ශාස්තෘන් වහන්සේ කොහි දැ?” යි ඇසී ය. “අර රුක්මුලැ ඉන්නා සේකැ” යි හේ කීය. ඉක්බිති නාරජ ඔහු හා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. සෙසු සියල්ලෝ ද නා රජහු හා ම ගියහ.

භාග්‍යවතුන් වහන්සේ ඒරකපත්ත්‍රයා ආදි කොටැති ඒ පිරිසට දම් දෙසන සේක්,

“මනුෂ්‍යත්වය දුර්ලභ ය. සත්ත්වයන් ගේ දිවි පැවැත්වීම දුකසේ කටයුතු ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය. බුදුවරුන්ගේ පහළ වීම දුර්ලභ යැ”යි විස්තරයෙන් දහම් වදාළ සේක. දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය වී ය.

චාරිකාවේ වැඩම කිරීම

පළමු ධර්ම දූත පිරිස භික්ෂූන් හැට නමක්

වැසි කාලය ගත විය. තවත් මාසයක් (ඉල් මස පසොළොස්වක් දා වන තුරුත්) භාග්‍යවතුන් වහන්සේ බරණැස ම වුසූ සේක. එසේ වසන උන් වහන්සේ එක් දවසක් රහත් සැට නම බණවා,

“මහණෙනි, මම් සියලු දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද පාශයෙන් මිදුණෙමි. තෙපි ද එසේ ම එයින් මිදුණහු ය. මහණෙනි, බොහෝ දෙනා ගේ දියුණුව පිණිස, බොහෝ දෙනාගේ යහපත පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ දියුණුව පිණිස, යහපත පිණිස, සැප පිණිස, ගම් නියම් ගම්හි හැසිරෙවු, තෙපි දෙදෙනෙක් එක් මගින් නො යවු. මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවරැ යහපත් වූ116 අර්ථ සහිත ව්‍යංජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ පිරිසිදු ධර්මය දේශනා කරවු, (සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ වූ ද පිරිසිදු වූ ද) බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරවු, මඳ වූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්හ. ධර්මය අසන්නට නො ලැබුණොත් ඔවුනට උසස් ගුණ නො ලැබීයෙයි. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇති වෙති. එ බැවින් දම් දෙසීමට පිටත් වැ යවු. මහණෙනි, මමත් උරුවෙල් දනව්වට ධර්ම දේශනා පිණිස යන්නෙමි” යි වදාළ සේක.

මෙසේ වදාරා ඒ රහත් ධර්ම දූතයන් හැට නම හැට දෙසක යවා තමන් වහන්සේත් උරුවෙල් දනවු බලා නික්මුණු සේක.

භද්‍රවර්ගික කුමරුන් පැවිදී වීම

“බරණැස පටන් උරුවෙලාව තෙක් පිහිටි මහා මාර්ගයෙන් වඩනා බුදුරජාණන් වහන්සේ මහ වනය පැත්තෙක පිහිටි කැප්පෙටියා ලැහැබක් දැක මගින් ඉවත් ව එහි වැඩ රුකක් මුලැ හුන් සේක.

මේ වේලෙහි තිසක් භද්‍රවර්ගීය කුමරුවෝ117 සිය බිරියන් හා ඇවිදින්නට යන්නෝ, ඉන් බිරියක නැති කුමරුට වේශ්‍යා ස්ත්‍රියක ද ගෙන්වා ගෙන, ඒ වන ලැහැබෙහි ප්‍රීතියෙන් ඇවිද්දෝ ය. එහි දී වේශ්‍යා ස්ත්‍රී කුමරුන්ගේ පමාවක් දැක ඔවුන්ගේ බඩුත් ගෙන පලා ගියා ය. කුමරුවෝ ඇය සොයමින් ඇවිදුනෝ රුකක්මුලැ හුන් භාග්‍යවතුන් වහන්සේ දැක එහි පැමිණැ, “වහන්ස, භගවත්හු මේ පැත්තෙන් යන ස්ත්‍රියක දුටුහු දැ?” යි ඇසූහ.

“ළමයිනි, තොපට ස්ත්‍රියක සෙවීමෙන් ඇති කම කිම් දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.

“වහන්ස, භාර්යාවන් හා අපි මෙහි සෙල්ලම් පිණිස ඇවිදින්නමෝ අපේ එක් කුමරකුට භාර්යාවක නැති බැවින් වේශ්‍යා ස්ත්‍රියක ගෙන්වා ගතුමු. ඕ අපේ ප්‍රමාදයක් දැක බඩුත් රැගෙන පලා ගියා ය. යහළු කුමරුට උදවු වශයෙන් ඇය සොයමින් මෙසේ ඇවිදිමු” යි කීහ.

“ළමයිනි, තමන් සොයා ගැන්ම වඩා උතුම් ද? නැත හොත් (අන්‍ය) ස්ත්‍රියක සෙවීම වඩා උතුම් ද? තෙපි මෙය කෙසේ සිතවු ද?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක.

“ස්වාමීනි, අපි අපම සොයමෝ නම්, ඒ සෙවීම් උතුම් යැ” යි ඔහු උත්තර දුන්හ.

“එහෙනම් ළමයිනි, ඉඳ ගනිමු. යුෂ්මත්නට තමන් සොයා ගන්නා සැටි කියන්නෙම්” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

ඔහු ද “එහෙයි, ස්වාමීනි” යි කියා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට පැත්තෙකැ ඉඳ ගත්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාන කථා ශීල කථාදි පිළිවෙල කථායෙන් අවවාද අනුශාසනා කළ සේක. එය ඇසීමෙන් ප්‍රසන්න වූ මෘදු මොළොක් වූ සිතැති ඔවුනට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. එය ඇසීමෙන් ඔවුනට දහම් ඇස පහළ වී ය. (හෙවත් සමහරු සෝවාන් වූහු, සමහරු සකෘදාගාමී වූහු. අන්හු අනාගාමි වූහ.) මෙසේ ආර්‍ය්‍ය භූමියට පැමිණි එ කුමරුවෝ බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලූහ. බුදුරජාණන් වහන්සේ ද ඒහිභික්ෂුපසම්පත්තියෙන් ඔවුන් පැවිදි උපසපන් කළ සේක. ඔවුන් ගේ භාර්යාවෝ ආපසු සිය මාලිගාවනට ගියහ.

දෙවෙනි ධර්මදූත පිරිස තිස්දෙනෙක්

භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් තිස් නම ද ධර්මදූත මෙහෙයෙහි යෙදීම පිණිස දිසාවන්හි යවා තමන් වහන්සේ හුදෙකලා වැ උරුවිල්වා ජනපදය බලා ගමන්ගත් සේක.

ජටාධර සහෝදර තවුස්න තිදෙන

ඒ කාලයෙහි උරුවෙල් දනව්වෙහි උරුවිල්වාකාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යැ යි සහෝදර තවුසෝ තිදෙනෙක් නේරංජනා ගඟ අද්දර තාපසාරාම කොට ගෙන වසති. ඉන් උරුවිල්වාකාශ්‍යප නම් වැඩිමහලු තවුසාගේ පිරිස පන්සියයක් පමණ ය. මධ්‍යම සහෝදර නදී කාශ්‍යප තෙමේ තවුසන් තුන් සියයකට නායක ය. බාල සොහොයුරු ගයා කාශ්‍යප තෙමේ ජටිලයන් දෙ සියයක ප්‍රධාන තැනැත්තේ ය.

පළමු පෙළහර

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවු වැඩ උරුවිල්වාකාශ්‍යපයා ගේ ආශ්‍රමය වෙත එළැඹි සේක. උරුවිල්වා කාශ්‍යපයාට කථා කොට “කාශ්‍යපය, මගේ ඉඳීම නුඹට බරක් (කරදරයෙක්) නො වේ නම් එක් රැයක් ගිනිහල් ගෙයි වසනෙමි?” යි වදාළ සේක.

“මහා ශ්‍රමණය, එහි ඉඳීම මට නම් බරෙක් නො වේ. එහෙත් එහි ඉතා රෞද්‍ර නාගයෙක් ඉඳී. ඌ ඔබට වෙහෙසක් වත් කෙරේ දෝ!”යි උරුවෙල්කසුප් කී ය.

“මට උගෙන් පීඩා ඇති නො වේ. එ බැවින් ගිනිහල් ගෙයි ඉඳීමට අවසර දුන මැනැවැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“මහා ශ්‍රමණයාණනි, එසේ හැකි නම් සුව සේ එහි වුසුව මැනැවැ” යි කියා ජටිල අනුදත්තේ ය.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩ තණ ඇතිරියක් පණවා ගෙන එහි හුන් සේක. එහි වැඩි බුදුරජාණන් වහන්සේ දුටු නා රජ කුපිත ව දුමා ගියේ ය.

“මොහු ගේ සිවි මස් නහර ඇට ඇටමිදුලු යන මේ කිසිවකට පීඩා නො වන සේ, මගේ සෘද්‍ධි තේජසින් මොහු ගේ තෙද මැඩ පවත්වන්නෙමි” යි සිතා බුදුරජාණන් වහන්සේ ද සෘද්‍ධි බලයෙන් දුම් විහිදුවූ සේක. ක්‍රෝධය නො ඉවැසිය හැකි වූ නාග තෙම ගින්නෙන් දිලිහුණේ ය. බුදුරජාණන් වහන්සේත් (සෘද්‍ධි බලයෙන්) ගින්නෙන් දිලිහුණු සේක. එයින් මුළු ගිනිහල් ගෙය ගිනි දැල් සහිත වුයේ, ගිනි ඇවිලැ ගත්තාක් මෙන් පෙනුණේ ය.

එය දුටු තවුසෝ ඊ වටා රැස්වී “අහෝ! ශෝභාවත් මහා ශ්‍රමණයා නාගයා විසින් පෙළෙනු ලැබේ!”යි කීහ.

රෑ පාන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද බිඳුණු නාගයා පාත්‍රයෙහි බහා ගෙන ගොස් “කාශ්‍යපය, මෙන්න ඔබේ නාගයා! ඔහු ගේ තේජස මගේ තේජසින් මැඩ පැවැත්වීමි” යි කියා උරුවිල්කාශ්‍යපයාට ඌ පෙන්වූ සේක. මෙය දුටු හේ “එ තරම් චණ්ඩ පරුෂ සෘද්‍ධිමත් නයකු දැමූ මහා ශ්‍රමණයා මහත් සෘද්‍ධි ඇති මහානුභාව ඇති කෙනෙක් ම ය. එහෙත් මා සේ රහතෙක් නම් නො වේ යැ” යි සිතුයේ ය.

ඒ පෙළහර දැක්මෙන් සතුටු වූ උරුවිල්වාකාශ්‍යප ජටිල තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරේ ඉතා පැහැදී “මහා ශ්‍රමණයාණෙනි, මෙහි ම වුසු වැ මැනැවි. හැමදාම මම බතින් සංග්‍රහ කරන්නෙමි” යි කීය.

උරුවිල්වා කාශ්‍යපයා මහණ වීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවිල්වා කාශ්‍යපයාගේ අසපුව සමීපයේ එක් ලැහැබෙක වුසූ සේක්, තවත් බොහෝ පෙළහරවල්118 දක්වා අන්තිමේ දී කාශ්‍යපයා තුළැ පැවැති “තමා රහතෙක” යන මතය ද වැරැදි බව පෙන්වා වදාළ සේක. එය පිළිගත් උරුවෙල් කසුප් තවුසා ප්‍රධාන කොට ඇති සියලු ජටිලයෝ භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහි භික්ෂූපසම්පත්තියෙන් පැවිදි උපසපන් කළ සේක.

නදී කාශ්‍යපයා මහණ වීම

උරුවිල්වාකාශ්‍යපයා ප්‍රධාන කොටැති ජටිල පිරිස ශාසනයේ මහණ වීමේදී ජටා මඩුලු ආදි තවුස් පිරිකර ගඟේ පා කැරැ යැවූහ. නෙරංජරා නදිය අද්දර වූසූ නදී කාශ්‍යප තවුසා ගඟේ පාවී යන තවුස් පිරිකර දැක, ගඟ ඉහළ වුසූ සිය සොහොයුරාට අනතුරෙක්වත් වූයේ දෝ යි සොයා බලනු පිණිස ජටිලයන් ඒ අතට යවා තෙමේත් එහි ගියේ ය. එසේ ගිය හෙ තෙම ශාසනයෙහි පැවිදි ව සිටි සිය සොහොයුරා දැකැ “මේ පැවිද්ද වඩා හොඳ දැ?” යි ඇසූයේ ය. “එසේ ය. ඇවැත්නි, තාපස ප්‍රව්‍රජ්‍යාවට වඩා මේ උතුමැ”යි උරුවිල්වාකාශ්‍යපයන් වහන්සේ පිළිතුරු දුන් සේක. එවිට නදී කාශ්‍යපයා ප්‍රධාන කොටැති පිරිස ද ජටා මඬුලු ආදිය ගඟේ පා කැරැ යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ ප්‍රව්‍රජ්‍යාව අයැදූහ. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂූපසම්පත්තියෙන් ඔවුන් ද පැවිදි උපසපන් කළ සේක.

ගයා කාශ්‍යපයා මහණ වීම

නදී කාශ්‍යපයා සිටි අසපුවටත් පහළැ ඒ නදිය අද්දර අසපුවෙකැ වුසූ ගයා කාශ්‍යපයා ද පාවෙන තවුස් පිරිකර දැක සිය සොහොයුරනට අනතුරක් වත් වීදෝ යි සොයනු පිණිස පිරිස හා ගඟ ඉහළ දෙසට ආයේ උරුවිල්වා කාශ්‍යපයන් වහන්සේ දැක “කාශ්‍යපයන් වහන්ස, තාපස ප්‍රව්‍රජ්‍යාවට වඩා මේ උතුම් දැ?” යි ඇසූයේ ය. උරුවිල්වාකාශ්‍යපයන් වහන්සේ “එසේ යැ” යි උත්තර දුන්හ. එවිට ගයා කාශ්‍යපයා ද සිය පිරිස කැටුව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් පැවිද්ද ඉල්වූයේ ඒහිභික්ෂූපසම්පත්තිය ලැබුයේ ය.

භාග්‍යවතුන් වහන්සේ පුරාණ ජටිල භික්ෂුන් ගයා ශීර්ෂයට ගෙන යෑම.

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි ටික දවසක් වැස පෙර ජටිල වැ සිටි ඒ දහසක් භික්ෂූන් කැටුව ගයා ශීර්ෂයට119 වැඩ එය මත්තෙහි ශිලාතලයෙහි හිඳ ඔවුන් අමතා මෙසේ වදාළ සේක.

අදිත්ත පරියාය සුත්ත දේසනාව

“මහණෙනි, සියල්ල ගින්නෙන් ඇවිලැ ගත්තේය. මහණෙනි, කවර සියල්ලෙක් ගින්නෙන් ඇවිලැ ගත්තේ ද? යත්: මහණෙනි, ඇස ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. රූප ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂූර් විඥානය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂුඃස්පර්ශය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂුඃස්පර්ශයෙන් පහළ වන සුඛ දුඃඛ උපේක්ෂා යන තුන් වේදනා ගින්නෙන් ඇවිලැ ගත්තේ ය.

ඒ කවර ගින්නෙකින් ද? යත් : රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් ය. ජාති ජරා මරණ ශෝක දුක්ඛ දෞර්මනස්‍ය උපායාස නැමැති දුක් ගිනිවලින් යැ යි කියම්.

කණ... ශබ්ද... ශ්‍රෝත්‍ර විඥානය.. ඝ්‍රාණය... ගන්ධ.. ඝ්‍රාණ විඥානය.... දිව ..රස... ජිහ්වා විඥානය.... කය ... ස්ප්‍රෂ්ටව්‍ය .... කාය විඥාන.. මනස....ධර්ම.. මනෝ විඥානය.... මනඃ සංස්පර්ශ ප්‍රත්‍යයයෙන් පහළ වන සුඛ දුඃඛ උපේක්ෂා යන තුන් වේදනා ද ගින්නෙන් ඇවිල ගත්තේය.

කවර ගින්නෙකින් ද? යත්: රාගාග්නි, ද්වේෂාග්නි, මෝහාග්නි යන කෙලෙස් ගිනිවලින් ඇවිල ගත්තේ ය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස සංඛ්‍යාත දුක් ගිනිවලින් ඇවිල ගත්තේ යැ” යි මම කියමි.

මහණෙනි, මෙ සේ නැණසින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහි කලකිරේ. රූප කෙරෙහි ද කලකිරේ. චක්ෂූර් විඥානය කෙරෙහි ද කලකිරේ. චක්ෂූඃස්පර්ශයෙහිද කලකිරේ. චක්ෂුඃස්පර්ශ ප්‍රත්‍යයයෙන් පහළ වන සැප දුක් උපේක්ෂා යන තුන් වේදනා කෙරෙහි ද කලකිරේ. ශ්‍රෝත්‍රය කෙරෙහි ද කලකිරේ. ශබ්ද... ශ්‍රෝත්‍ර විඥානය... ඝ්‍රාණය..... ගන්ධ... ජීහ්වා... රස... කාය..... ස්ප්‍රෂ්ට්‍ය... මනස... ධර්මාලම්බන.. මනඃසංස්පර්ශ... මනඃසංස්පර්ශයෙන් පහළ වන සැප දුක් උපේක්ෂා යන ත්‍රිවිධ වේදනා කෙරෙහි ද කලකිරේ. කලකිරෙන්නේ නො ඇලේ. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තෙක් නැත්තේ යැ යි දැන ගනී.”

මේ ධර්ම දේශනාව අසා ඒ දහසක් භික්ෂූහු රහත් වූහ.

භාග්‍යවතුන් වහන්සේ ලක්දිව වැඩීම දුරුතු මැදි පෝදා

දුරුතු මස මැදි පෝය පැමිණියේ ය. මහා කරුණා ඥානයෙන් ලොව බලා වදාරන භාග්‍යවතුන්වහන්සේ ලක්වැසියනට තමන් වහන්සේගෙන් විය හැකි ශාන්තිය දුටු සේක්, එදින අහසින් ලක්දිවට වැඩි සේක. එහි දී දැනට මහියංගන චෛත්‍යය පිහිටි තන්හි සම්කඩ අතුටැ වැඩ හිඳ, මහවැලි ගඟ අසල මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්ෂයක් වැ සංග්‍රාමයට සැරසුණු යකුන් ස්වීය සෘද්‍ධි ප්‍රාතිහාර්යයෙන් බිය ගන්වා පලවා, ඉක්බිති එහි නානා දිගින් රැස් වූ මහා සුමන දෙව් රජහු ප්‍රමුඛ ලක් වැසි භෞම දේවතා සමූහයාට දම් දෙසා120 ඔවුන් සරණ සිල්හි පිහිටු වූ සේක. එදා ම සෝවාන් වූ මහසමන් දෙවිහු පූජ්‍ය වස්තුවක් ඉල්වූයෙන් ඔහුට ඉස පිරි මැද කේසධාතු මිටක් දී එදින ම උරුවෙල් දනව්වට පෙරළා වැඩි සේක.

රජගහ පුර තල්වනයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට121 පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක. උන්වහන්සේ එහි වසන බවත් උන්වහන්සේ ගැන රටේ පැවැති ගුණ සෝෂයත් ඇසූ බිම්සර රජ 120000 ක් පමණ වූ ජන සමූහයක් කැටුව ඔබ දක්නට ආයේ ය. අවුත් දැක ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්තේ ය.

රජු හා ගිය පිරිසේ සමහරු භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර බස් කථා කොට ද, තවත් කෙනෙක් උන්වහන්සේ දෙසට ඇඳිලි බැඳ හිස නමා ආචාර කොට ද, ඇතැම් කෙනෙක් උන්වහන්සේගේ සමීපයෙහි තමන් නම් ගොත් අස්වා ද, අන් සමහරු මේ කිසිත් නො කොට නිශ්ශබ්දව ද හිඳ ගත් හ. එසේ හුන් පිරිසට “කිමෙක් ද? ශ්‍රමණ ගෞතමයෝ උරුවිල්වාකාශ්‍යපයන්ගේ ශිෂ්‍ය වැ මහණ දම් කරත් ද? නැතහොත් උරුවිල්වාකාශ්‍යපයෝ ශ්‍රමණ ගෞතමයන් ගේ ශිෂ්‍ය වැ මහණ දම් පුරත් දැ” යි සැකයෙක් විය. එය දුටු බුදුරජාණන් වහන්සේ “කුමක් හෙයින් ගිනි පිදීම අත් හරින ලද දැ?” යි උරුවිල්වාකාශ්‍යපයන් ගෙන් විචාළ සේකි. එ විට බුද්‍ධ වචන අසා ගිනි පිදීමේ නිෂ්ඵලතාව තේරුම් ගෙන එය හළ බවත්, තමන් බුද්‍ධශ්‍රාවක බවත් කාශ්‍යප තෙරණුවෝ පැවැසූහ. පැමිණ සිටි පිරිස ගේ සැක එයින් ම දුරු විය. මෙහි දී වච්ඡපාල බ්‍රාහ්මණ ආදීහු පැහැදී තෙරුවන් සරණ ගියෝ ය.

ඉක්බිති උරුවිල්වාකාශ්‍යපයන් දමනය කිරීම ගැන පිරිස ස්තූති කළ විට ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ඉන් පෙරත් තමන් විසින් ඔහු දමිත කළ බව වදාරා මහානාරද කාශ්‍යප ජාතකය122 දෙසූ සේක.

බිම්සර රජ හා පිරිස උපාසක වීම

ඉන් පසු බුදුරජාණන් වහන්සේ ඒ රජ ප්‍රමුඛ පිරිසට දානකථාදි පිළිවෙලින් දම් දෙසූ සේක. එයින් ඔවුන්ගේ සිත් පහන් වූ කල්හි චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. ඒ ඇසීමෙන් රජු සහිත 110000 ක් පමණ පිරිස සෝවාන් වූහ. 10000 ක් පමණ උපාසක වූහ. මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි.123 මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් විය. රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූහ. මේ පිරිසැ සිටි විශාඛ සිටු සෝවාන් විය.

බිම්සර රජු ගේ ප්‍රාර්ථනා පස

ඉක්බිති බිම්සර රජතෙම “තමා රජ වීමත්, ඉන් පසු තමාගේ රටට බුදුරජාණන් වහන්සේ ගේ පැමිණීමත්, උන්වහන්සේ ඇසුරු කිරීමත්, බණ ඇසීමත්, ධර්මාවබෝධය කිරීමත් යන බලාපොරොත්තු පහක්” තමාට තුබුණු බවත් දැන් ඒ මුදුන් පැමිණි බවත් කියා තමා තිසරණ ගත උපාසකයකු බව වචනයෙන් ද දන්වා පසු දා දානයට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

රජ ගෙදර දානය සහ වේළුවන පූජාව

පසුදා දන් පිළියෙල කොට කාලය දන්වා එවූයෙන් සහ භික්ෂු සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ තල් වනයෙන් පිටත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේ දැකීමේ රිසියෙන් අලුයම වේලේ සිට රැස්වන ජනයාගෙන් රජගහ පුරය ඇලලී ගියෙන් තල්වනයේ සිට තුන් ගව්වක් පමණ දුර රජගහ පුර මාවත අතුරු සිදුරු නැතිවිය. මේ වේලායෙහි එක් පුදුම එළවන සුලු රූපාලංකාරයෙන් යුත් තරුණයෙක්124 බුදුගුණ ගී125 කිය කියා භාග්‍යවතුන් වහන්සේට පෙරටුව මඟ අවසර ඇතිකරමින් ගියේ ය. “තමා කාගේ කවුරුදැ” යි විචාරන ජනයාට “මම ධීර වූ, හැම තන්හි දාන්ත, ශුද්ධ, අප්‍රතිපුද්ගල, අරහත් සුගතයන් වහන්සේ ගේ අතවැස්සෙකිමි” යි හෙතෙම කියයි.

(මේ රාජගෘහ නගර ප්‍රවේශයේදී ද භාග්‍යවතුන් වහන්සේ දැක බොහෝ ජනයෝ පැහැදී ගියහ. චිත්‍රා සිටු දූ, බිම්සර රජු පුරෝහිතයාගේ දූ සෝමා, කෙළෙඹි දූ ශුක්ලා, ශුභා බ්‍රාහ්මණ කන්‍යා ආදී බොහෝ ස්ත්‍රීහු ද භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශන මාත්‍රයෙන් පැහැද උපාසිකා වූහු. (පසු කාලයේ දී පැවිදි වූහ.)

බුදුරජාණන්වහන්සේ මහා සේනාව මැදින් යථොක්ත තරුණයා විසින් අවකාශ ඇති කොටදුන් මාර්ගයෙන් මාළිගාවට වැඩ එහි පණවන ලද ආසනයන්හි භික්ෂු සංඝයා සහිත ව හුන් සේක. රජ තෙමේ ප්‍රණීත ආහාර පානයෙන් සංග්‍රහ කෙළේ ය. දන් වළඳා අවසන් වූ පසු රජ පැත්තෙක හිඳ,

“ස්වාමීනී, බුදුන් දහම් සංඝයා ගෙන් තොර ව, ඉඳීම මට කළ නො හැකි යි. එ බැවින් වේලායෙහිත් අවේලායෙහිත් එන්නෙමි. තල් වනය නම් රජ ගෙයින් ඉතා ඈත් ය. අපේ වේළුවන නම් උයන මෙයින් වැඩි ඈත් නො වේ. වඩා ම කිට්ටුත් නො වේ, යෑම ඊම ද පහසු ය, අධික ජනගහනයෙන් ඇති විය හැකි පීඩාත් කිසිත් නැත. විවේක පහසු ඇත්තේය, රුක් සෙවණිනුත් ජලාශයවලිනුත් යුක්ත ය, ගල්තලායෙනුත් සිත් කළු ය, රම්‍ය භූමිභාග ඇත්තේ ය, ගුරුළු පියාපත් වැනි සෙවණ ඇති ගෙවලින්, සඳලු සහිත ගෙවලින්, ප්‍රසාද මණ්ඩප ආදියෙන් ප්‍රතිමණ්ඩිත ය, ඒ උයන භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා”යි කීයේ ය.

මෙසේ කියා රන් කෙංඩියෙන් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී හස්තයෙහි දිය වත් කොට ආරාමය පරිත්‍යාග කෙළේ ය. බුදුරජාණන් වහන්සේ විහාර දීමේ අනුසස් වදාරා භික්ෂු සංඝයා සහිත ව වේළුවනයට වැඩි සේක. ඉන් පසු මේ කාරණය මුල් කොට ගෙන “මහණෙනි, ආරාම පිළිගැනීමට අවසර දෙමැ”126 යි වදාළ සේක.

ප්‍රේතයනට පින් පෙත් දීමක්, තිරොකුඩ්ඩ සුත්ත දේශනාව

වේළුවනය පූජා කළ දා රෑ මැදුම් යම්හි තමන් ඉදිරියේ සිට මහ හඬින් හඩා වැලැපෙන ප්‍රේත සමූහයක් බිම්සර රජ්ජුරුවෝ දුටු හ. ඔහු පසු දා උදාසන ම ගොස් එ පවත් භාග්‍යවතුන් වහන්සේ ට සැළ කළහ.

ඔවුන් ඒ රජුන්ගේ බොහෝ පෙර අත්බැවෙක නෑ සමූහයක් බවත්, සංඝයාට වෙන් කළ දන් හොරා කෑ පවින් නිරයේ ඉපැද දුක් විඳ ඉන් සැව ප්‍රේතයෝනියේ ඉපැද තුන් බුද්ධාන්තරයක් කල් සා පවස් දෙකින් පෙළී ඒ තාක් ම දුක් විඳින බවත් පවසා “ඔවුනට පින් පෙත් දෙව”යි සාමි දරුවන් වහන්සේ වදාළ සේක.

බිම්සර රජ්ජුරුවෝ එ දුරුතු අවදියවක් දා ප්‍රේතයන් නමින් බුද්‍ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් දුන්හ. ප්‍රේතයෝ දිව්‍ය භෝජන ලැබුවෝ ප්‍රීතිමත් ව එදා රෑ වස්ත්‍ර නැති ව රජ්ජුරුවනට පෙනී සිටියහ. රජ්ජුරුවෝ ඒ පවත් ද පසු දා, භාග්‍යවතුන් වහන්සේ ට දන්වා බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට වස්ත්‍ර ශයනාසන සහිත භික්ෂාව දී, ප්‍රේතයනට පින් දුන්හ. උහු ද එ අනුමෝදන් කොට ගත්තෝ සියලු දිව යස ඉසුරු ලදහ.

භෝජනාවසානයෙහි භාග්‍යවතුන් වහන්සේ රජහට අනුමෝදනා බණ වශයෙන් තිරෝකුඩ්ඩ සුත්ත127 දේශනාව වදාළ සේක.

සැරියුත් මුගලන් දෙනම

භාග්‍යවතුන් වහන්සේ වෙත සැරියුත් මුගලන් දෙදෙනා පැමිණීම හා පැවිදිවීම නවම් මස පුර පෑලවිය දා

එ සමයෙහි සංජය නම් පරිව්‍රාජකයෙක් දෙසිය පනහක් පමණ වූ පිරිවැජි පිරිසකට නායකවැ රජගහ නුවර සමීපයෙහි පරිව්‍රාජකාරාමයෙකැ වෙසෙයි. රජගහනුවරට නො දුරු උපතිස්ස කෝලිත නම් ගම් දෙකේ අධිපති බමුණන්ගේ පුත් වූ හෙයින් ඒ ගම්වල නමින් ම ප්‍රසිද්‍ධ වූ කුල පුත්‍රයෝ දෙදෙනෙක් ගිහි සැපත්හි කලකිරී දුකින් මිදෙන මඟක් සොයමින් ඇවිදුණෝ යට කී සංජය පරිව්‍රාජකයාගේ ශිෂ්‍ය වැ ඔහු ගේ සමය ඉගෙන, ඔහු වෙත මහණකම කෙරෙමින් වුසූ හ. එහෙත් ඔහුගේ දහමින් ඒ දෙදෙනා තෘප්ත නො වූහ. “අප දෙදෙනා ගෙන් යමෙක් පළමුවෙන් නිවන් ලැබුයේ නම් හේ අනෙකාට ඒ බව දන්වාවා”යි ඔහු කතිකාවක් ද කැරැ ගත්තෝ ය. මෙසේ කතිකා කොට ඔහු එතැනින් නික්ම දඹදිව පුරා ඇවිද්දහ, යලිදු පෙරළා රජගහ නුවරට පැමිණියාහ.

මෙසේ ඒ පිරිවැජි අරමෙහි ඔවුන් සිටින අතර, ඉහත කී පරිදි ධර්මදූත මෙහෙයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දිශාවනට යැවුණු භික්ෂූන් අතුරෙන් අස්සජී තෙරුන් වහන්සේ නවම් පුර පෑළවිය දා රජගහ නුවරට පැමිණ පෙරවරු කාලයෙහි පිඬු පිණිස හැසිරෙන සේක. වීථියට ආ උපතිෂ්‍ය පරිව්‍රාජකයා උන්වහන්සේ දිටී ය. ඒ දැක්මෙන් පරිව්‍රාජකයාට “මේ ඒකාන්තයෙන් රහත් වූ හෝ රහත් මඟ පිළිපන් උතුමකු විය යුතු, මුන්වහන්සේ කරා එළැඹ තොරතුරු විචාළොත් මැනවැ” යි සිතිණ. ඉක්බිති “මේ පිඬු පිණිස හැසිරෙන වේලාව එයට සුදුසු නො වේ යැ” යි හේ සිතීය. උන්වහන්සේ පසු පස්සෙන් ගියේ ය. ගොස් තෙරුන් පිණ්ඩපාතය ලැබ එක් තැනකට ගොස් ඉඳගනු කැමති බව දුටු පරිව්‍රාජක තෙම තමාගේ පරිව්‍රාජක පුටුව පිළියෙල කැර දුන්නේ ය. තෙරුන් වහන්සේ එහි වැඩහිඳ දන් වැළැඳූ සේක. ඉක්බිති පිරිවැජි තෙම කෙංඩියෙන් වතුර පිළිගැන්වී ය. මෙසේ ආචාර්‍ය්‍යකුට කළ යුතු වත් කොට, ඉක්බිති තෙරුන් හා කථාවට බටුයේ ය.

“ආයුෂ්මත්නි, ඔබ ගේ ඇස් කන් ආදී ඉන්ද්‍රියයෝ සුප්‍රසන්නහ, ඇඟ පැහැය පිරිසිදු ය. ශෝභන ය. ඔබ කවරකු නිසා පැවිදි වූ කෙනෙක් දැ?” යි විචාළේ ය.

තෙරණුවෝ ද “මොහුට ශාසනයේ ගැඹුරු බව පෙන්වන්නෙමි” යි සිතා තමා ගේ නවක භාවය (අළුත ශාසනයට වන් බව) දක්වන්නෝ,

“ආයුෂ්මත්නි, මම් නවක වෙමි. ළඟ දී මහණ වූයෙකිමි” යි තෙරණුවෝ කීහ.

එ විට, පිරිවැජි තෙම,

“මම උපතිස්ස නම් වෙමි. ස්වල්ප කොට හෝ බොහෝ කොට හැකි පරිද්දෙකින් ධර්මය වදාළ මැනවි. එය ක්‍රම සියයෙකින් දහසෙකින් අවබෝධ කිරීම මට බාර වැඩෙකැ” යි කී ය.

එවිට අස්සජි තෙරණුවෝ මුළු බුද්‍ධ වචනය ම ඇතුළත් කොට,

“හේතුයෙන් පහළ වන යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඔවුන්ගේ හේතුව ඒ තථාගතයන් වහන්සේ වදාරන සේක. ඔවුන්ගේ යම් නිරෝධයෙකුත් වේ ද එය ද වදාරන සේක. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරන කෙනෙකැ” යි වදාළ හ. 128

මෙහි පළමු දෙ පදය අසමින් ම සියදහස් නයින් එහි අර්ථ දුටු පරිව්‍රාජක තෙම දහසක් නයින්129 යුත් සෝවාන් පලයෙහි පිහිටියේ ය. අන් පද දෙක දෙසුවේ සෝවාන් වූ පසු යි. සෝවාන් වූ පමණ මුත් ඉන් මත්තෙහි විශේෂ ගුණයකට නො පැමිණි බැවින් එයට කාරණයක් ඇතැයි සිතූ පිරිවැජි තෙම තෙරුන් අමතා,

“ස්වාමීනී මේ පමණක් සෑහේ, අපේ ශාස්තෘන් වහන්සේ කොහි වසනා සේක් දෝ? යි ඇසී ය.

“ආයුෂ්මත්නි, උන් වහන්සේ දැන් වේළුවනයෙහි වසන සේකැ” යි තෙරණුවෝ කීහ.

“ස්වාමිනී, එසේ වී නම් ඔබ වහන්සේ පළමු කොට වැඩිය මැනවි. අපේ යහළුවෙක් ඇත. “පළමු ව නිවන් දුටුවහු විසින් අනෙකාට දැන්විය යුතු යැ”යි අප දෙදෙනා විසින් කතිකාවතක් කරන ලදී. ඒ පොරොන්දුවෙන් මිදී මගේ යහළුවාත් කැඳවා ගෙන ඔබ වහන්සේ වැඩි මගින් ම ශාස්තෘන් වහන්සේ වෙත එන්නෙමි” යි කියා පසඟ පිහිටුවා වැඳ පැදකුණු කොට පරිව්‍රාජකාරාමය අතට ගියේ ය. ඔහු ඈත එන්නහු දුටු කෝලිත පිරිවැජි තෙම “අද මා යහළුවා ගේ මුහුණ අන් දවස්වල මෙන් නො වේ. ඒකාන්තයෙන් ඔහු විසින් නිවන් ලද්දේ වනැ”යි සිතා “නිවන් ලැබුයෙහි දැ” යි විතාළේ ය. “එ සේය. ආයුෂ්මත්නි, නිවන් ලදිමි” යි උපතිස්ස තෙම උත්තර දී තමාට අස්සජි තෙරුන් වදාළ දහම් පද ම කී ය. එහි අවසනැ කෝලිත තෙම සෝවාන් පෙළෙහි පිහිටා “අපේ ශාස්තෘන් වහන්සේ කොහි වසන සේක් දැ?”යි ඇසී ය. එ විටැ උපතිස්ස තෙම “යහළු, වේළුවනයේලු, මේ බව අපේ ආචාර්ය අස්සජි තෙරණුවෝ වදාළහ” යි කී ය. “යහළු, එසේ වී නම් යම්හ, ශාස්තෘන් වහන්සේ දකින්නමු” යි කෝලිත කී ය.

“යහළුව, මේ පිරිවැජියෝ දෙසිය පණස අප නිසා. අප බලා, මෙහි වෙසෙත්. ඔවුනටත් අප නිවන් ප්‍රත්‍යක්ෂ කළ බව දන්වමු. එවිට ඔවුහු තමනට රිසියක් කරන්නා හ” යි උපතිස්ස කීය. ඉන්පසු ඒ දෙදෙන පිරිවැජි පිරිස කරා ගොස් තමන් බුදුරජාණන් වහන්සේ වෙත යන බව කීහ. “අපි ඔබ දෙදෙනා බලා ඉඳුම්හ, ඔබ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ වෙත මහණදම් පුරතොත් අපිදු එසේ ම කරන්නමු” යි පිරිවැජියෝ කීහ.

ඉක්බිති කෝලිත උපතිස්ස දෙදෙන සංජය පරිව්‍රාජයා වෙත ගොස් තමන් අවබෝධ කළ ධර්මය ගැන දන්වා බුදුරජාණන් වහන්සේ වෙත යන්නට කැඳැ වූහ. “ආයුෂ්මත්නි, එහි යෑමෙන් කමෙක් නැත. අපි තුන් දෙනා එක් වැ මේ පරිව්‍රාජක පිරිස පාලනය කරම්හ”යි සංජය කී ය. දෙවනුත් ඔහු සංජය පිරිවැජියහු කැඳවූහ. දෙවනුත් හේ පෙරැ සේ ම කී. තෙවනු කැඳවූ විට ද හෙතෙම පළමු සේ ම කියා ගමන ප්‍රතික්ෂේප කෙළේ ය. ඉන් පසු උපතිස්ස කෝලිත දෙ පිරිවැජියෝ දෙසිය පණසක් පමණ වූ පරිව්‍රාජක පිරිස හා වේළුවනයට ගියහ. ඈත එන ඔවුන් දුටු භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් බණවා,

“මහණෙනි, තෙල කෝලිත උපතිස්ස නම් දෙ යහළුවෝ එති, ඔහු දෙදෙන මගේ අග සවු යුවල වන්නාහ” යි වදාළ සේක.

මෙහි කී කෝලිත තෙම මොග්ගලී නම් බැමිණියගේ පුත්‍ර බැවින් “මොග්ගල්ලාන” යන නමින් ප්‍රසිද්‍ධ විය. උපතිස්ස තෙම රූපසාරී බැමිණිය ගේ පුත් බැවින් “සාරිපුත්ත” නමින් හැඳින්විණ.

සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ උන් වහන්සේ ගේ පා මුලැ හිස තබා වැඳ පැවිද්ද ඉල්ලූහ.

“මහණෙනි, මෙහි එවු. ධර්මය මනා ලෙස ප්‍රකාශිත යි. දුක් මුල් සුන් කරනු පිණිස මාර්ග බ්‍රහ්මචර්යාව පුරවු”යැ යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එය ම ඒ දෙදෙනා ප්‍රමුඛ පිරිස ගේ මහණ උපසම්පදාව විය.

සැරියුත් මුගලන් දෙදෙනාගේ පිරිවර රහත් වීම

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් ගේ චරිතයට අනුකූල ධර්මයක් දේශනා කළ සේක. සැරියුත් මුගලන් දෙ නම හැර සෙසු සියල්ලෝ එහි නුවණ යවා රහත් වූහ.

මුගලන් තෙරුන් කල්ලවාලමුත්ත ගමට වැඩීම

මුගලන් තෙරණුවෝ වනාහි පැවිදි වූ දා ම භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ඉගෙන මගධ රට කල්ලවාලමුත්ත නම් ගමට වැඩ එහි සමීපයේ කැලයෙකැ වැස විදර්ශනා වැඩූහ.

භාග්‍යවතුන් වහන්සේ භග්ග රටට වැඩීම.

මේ අතරැ භාග්‍යවතුන් වහන්සේ ද, සැරිසරා වඩනා සේක් වත්ස ජනපදයෙහි වූ භග්ග රට වැඩ එහි සුංසුමාරගිර නගරය අසල භෙෂකලා අඩවියෙහි වසන සේක.

මුගලන් තෙරණුවෝ රහත් වීම නවම් පුර අටවක් දා

යටැ කී පරිදි කල්ලවාලමුත්ත ගමේ වෙනෙහි මහණ දම් පුරණ මුගලන් තෙරණුවෝ සත් දිනක් සක්මනෙහි යෙදුණෝ, සත් වන දා වෙහෙස වැ චිත්ත චෛතසිකයන් ගේ මැලි බවට බැස්සෝ ය. භාග්‍යවතුන් වහන්සේ දිවැසින් ඒ දැක සෘද්‍ධියෙන් එතැනට වැඩ ධාතු කර්මස්ථාන දේශනයෙන් දම් දෙසූ සේක. ඒ අනුව සිහි නුවණ යෙදූ තෙරණුවෝ එහි දී ම රහත් වූහ. මේ වනාහි උන්වහන්සේ පැවිදිවීමෙන් සත් වන දා යැ.

භාග්‍යවතුන් වහන්සේ ගේ රාජගෘහ ප්‍රාප්තිය සැරියුත් තෙරුන් රහත් වීම නවම් පුර පසළොස්වක් දා

එයින් නික්ම සැරි සරණ භාග්‍යවතුන් වහන්සේ ඊළඟ සතියෙහි රජගෘහ පුරයට පෙරළා වැඩි සේක්, ගිජුකුළු පව්වෙහි සූකරඛත ලෙනට (ඌරන් හෑරූ ලෙනට) වැඩ එහි වුසූ සේක. මේ සැරියුත් තෙරුන් පැවිදිවීමෙන් පසොළොස්වන දා ය. භාග්‍යවතුන් වහන්සේ මෙදින තෙරුන්ගේ බෑනණු වූ උච්ඡේදවාදී දීඝ නඛ පරිව්‍රාජකයාට වේදනා පරිග්‍රහ සූත්‍රය190 වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් සිටි සැරියුත් තෙරණුවෝ ඒ දේශනාව ඔස්සේ නුවණ යවා රහත් වූහ.

භාග්‍යවතුන් වහන්සේ එය දැන අහස් නැඟ ක්ෂණයෙන් වේළුවනයෙහි පිහිටි සේක. සැරියුත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ කොයි වැඩියෝ දැ?” යි ආර්වජන කොට දැන, තුමූ ද අහසින් වේළුවනයට ම වැඩිය හ.

අගසවු තනතුරු දීම, මහා ශ්‍රාවක සන්නිපාතය, පාමොක් දෙසීම්, නවම් මැදි පොහෝ දා

මෙ දින වනාහි නවම් මස මැදි පොහෝ වී. එ දා සවස වේළුවනාරාමයෙහි මහා සංඝ සන්නිපාතයෙක් විය. උරුවේල කාශ්‍යපයන් වහන්සේ ආදි පුරාණ ජටිල භික්ෂූහු දහසක් ද, සැරියුත් මුගලන් දෙ නම ප්‍රධාන දෙසිය පනස දැ යි එක් දහස් දෙසිය පණසක් ක්ෂීණාස්‍රවයන් වහන්සේ එක් තැන රැස්වූහ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙ නම අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ සේක. ඉක්බිති අවවාද ප්‍රාතිමෝක්ෂය දෙසූ සේක.

අගසවු තනතුරු ගැන භික්ෂූන්ගේ වැරැදි අදහස් දුරලීම

ඉක්බිති පසු ව පැමිණි සැරියුත් මුගලන් දෙ නමට අගසවු තනතුරු දීම ගැන සමහර පෘථග්ජන භික්ෂුන් අතර ඇති වූ කථා අසා, සියලු භික්ෂූන් කැඳවා භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පංචවර්ගික භික්ෂූන්, යස භික්ෂු, භද්‍රවර්ගික භික්ෂූන්, තුන් බෑ ජටිල භික්ෂූන් යන මොවුන් වහන්සේ අනෙකක් ම පතා පින් කළ බවත්, අගසවු බව නො පැතූ බවත්, සැරියුත් මුගලන් දෙ නම ම අගසවු බව පතා ම පින් කළ බවත් වදාරා ඔවුන් වහන්සේ ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්ෂූන් ගේ විමති දුරු කළ සේක.

සංජයයන් ගැන වදාළ බණ

මෙයින් පසු දෑගසව්වෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ තමන් ගිහි ගෙයි කලකිරී පැවිදි වූ සැටිත් අස්සජි තෙරුන් ගෙන් බණ අසන්නට ලැබුණු සැටිත් එයට පසු සංජය පරිව්‍රාජකයාට ශාස්තෘන් වහන්සේ දැකීම පිණිස එන්නට කථා කළ විට ඒ නො පිළිගත් සැටිත් සැළ කළහ. එ විට බුදුරජාණන් වහන්සේ “මහණෙනි, සංජය තෙම තමා මිථ්‍යාදෘෂ්ටික බැවින් සාරය අසාරය ලෙසත්, අසාරය සාරය ලෙසත් සැලකී ය. එතෙකුදු වුවත් තෙපි තමන් නැණවත් බැවින් සාරය සාරය ලෙසින් අසාරය අසාරය ලෙසත් දැන, අසාරය හැර සාරය ම ගත්තහු”132 යැ යි වදාරා,

“අසාර දැයෙහි සාර යැයි වැරැදි මත ඇති, සාර දැයෙහි අසාර යැයි වැරැදි දැකුම් ඇති, වැරැදි කල්පනා ගොදුරු කොටැති ඔහු සාර ධර්මය නො ලබත්. සාරය සාර ලෙසත්, අසාරය අසාර ලෙසත් දැන ගැනීමෙන් ඒ (දන්නා) පුද්ගලයෝ නිවැරැදි කල්පනා ගොදුරු කොට ඇත්තෝ සාර ධර්මය ලබත්” යැයි දහමක් වදාළ සේක.

මේ ධර්මය ඇසීමෙන් බොහෝ දෙන ඥානය මුහුකුරුවා සෝවාන් ඵල ආදියට පැමිණියෝ ය.

විශාඛාව සෝවාන් වීම

බුදුරජාණන් වහන්සේ භද්දිය පුර වැඩිම,

භාග්‍යවතුන් වහන්සේ මෙසේ රජගහ පුර වසන සේක් මේ අතර කාලයෙහි ටික දිනක් මහත් භික්ෂු සංඝයා පිරිවරා අංග රට සැරිසරන සේක්, භද්දිය නගරයට වැඩි සේක. එහි අමිතභෝගී වූ මෙණ්ඩක සිටු ඒ පවත් අසා, සිය මිනිබිරිය වූ සත් හැවිරිදි විශාඛා ළදැරිය ඇගේ පිරිවරත් සමග භාග්‍යවතුන් වහන්සේ දක්නට යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසූ බුද්‍ධිමත් විශාඛා තොම සෝවාන් පෙලෙහි පිහිටියා ය. මෙණ්ඩක සිටු ද, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසා සෝවාන් වූයේ, පසු දා බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන්නේ ය. මේ කෙමෙන් අඩ මසක් ම සිටු තෙමේ මහදන් පැවැත්වී ය. භාග්‍යවතුන් වහසේ ටික දිනක් එහි වැස ඉන් නික්ම වඩනා සේක්,

කෙණිය - සේල දෙදෙනාට දම් දෙසීම

අංගුත්තරාප දනව්වෙහි ආපණ නම් නිගමයට පැමිණි සේක. මෙහි දී කේණිය ජටිලයාට133 බණ වදාරා ඔහු පහදවා, සේල බ්‍රාහ්මණයාට දහම්දෙසා ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් ඔහු පැවිදි කොට, පෙරලා රජගහ පුරට ම වැඩි සේක.

කිඹුල්වත් පුර වැඩීම

බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට දැන්වීමට අසරු දූත පිරිසක් යෙදී ය. බෝසතාණන් වහන්සේ යන එන හැම තැනම උන්වහන්සේට නො දැනෙන සේ මේ දූත පිරිස වෙළා හැසුරුණහ. දිනපතා කිඹුල්වත් නුවරට කිහිප දෙනෙක් පැමිණෙති. රජුට තොරතුරු දන්වති, මෙසේ මාරුවෙන් මාරුවට කිඹුත් පුරට යමින් එමින් සාවුරුද්දකට වැඩි කලක් ඔහු මේ රහස් සේවයෙහි යෙදුනාහ. බෝසතාණන් වහන්සේ බුදු වී දම්සක් පවත්වා රජගහ පුර වැඩ එහි වසන තොරතුරුත් ශුද්ධෝදන රජතුමාට සැපයූවෝ ද මේ රහස් දූතයෝ ය. ශුද්ධෝදන රජතුමා ඔවුන් ගෙන් තොරතුරු දැන “දැන් පුත්‍රයාණන් වහන්සේ තම නුවරට වැඩම කැරැවීමට කාලයැ” යි සිතී ය. සිතා එහි වඩින්නට ආයාචනා කරන පිණිස ඇමතියකු රාජපුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහ නුවර භාග්‍යවතුන්වහන්සේ වෙතට යැවී ය. හේ කිඹුල්වත සිට රජගහ පුර දක්වා වූ සැට යොදුන් මාර්ගය ගෙවා වේළුවනාරාමයට පැමිණියේ ය. එ වේලෙහි දම් දෙසමින් හුන් බුදු රජාණන් වහන්සේ ගේ කථාව අසා හේ පිරිවර දහසක් දෙනා හා රහත් බව ලබා පැවිද්ද ඉල්වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් කළ සේක. රහත් වූවායින් පසු මධ්‍යස්ථ වීම ආර්‍ය්‍යන් ගේ ස්වභාවයක් බැවින් ඒ තෙරණුවෝ රජු එවූ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේට දැන්වීමෙහි යුහුසුලු නො වූහ.

සුදොවුන් රජ ද කල් යනු දැක පළමු පරිද්දෙන් ම තවත් දහසක් පිරිවර සහිත වූ ඇමැතියකු යැවූයේ ය. ඒ පිරිස ද පළමු පිරිස සේ ම රහත් ව තුෂ්ණිම්භූත වූයෙන්. මෙසේ පුරුෂයන් දහස බැගින් පිරිවර කොට ඇති ඇමැතියන් නව දෙනකුන් වරින් වර යවා, ඒ සියලු දෙන ම රහත් වැ පැවිදි ව තුෂ්ණිම්භූත වූයෙන්, බෝසතුන් හා එක දා උපන් කාළුදායි නම් ඇමැතියා කැඳවා “දරුව, කාළුදායි, මගේ පුත්‍රයා දකිනු කැමැත්තෙන් කැඳවා ගෙනෙනු පිණිස නව දහසක් පුරුෂයන් සහිත නව දෙනෙකුන් යැවූ මුත් කිසිවෙක් අවුත් ආරංචි මාත්‍රයකුත් නො කී ය. මරණය කවර දා වේ දැ යි නියම නැත. මැරෙන්නට පළමු පුත්‍රයාණන් දක්නා කැමැත්තෙමි. මගේ පුත්‍රයා කැඳවා ගෙන එන්නට නුඹට හැකි දැ”යි ඇසී ය. “දේවයිනි. මහණ වෙන්නට අවසර දෙතොත් එය කරන්නෙමි” හේ කී ය. “නුඹ කැමැත්තක් කැරැ ගෙන මා පුතු දැක්වුව මැනැව”යි රජ කී ය, හේ ද “යහපතැ” යි කියා පුරුෂයන් දහසක් සහිත ව ගොස් බණ අසා රහත් වැ ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් බව ලැබී ය.

මහා කාශ්‍යපයන් වහන්සේ

මගධ රට මහාතීර්ථ නම් බමුණුගමැ කපිල නම් මහා ධනවත් බමුණකු ගේ පිප්පලී මානවක නම් පුතෙක් විය. තුරුණු විය පත් ඔහුට බමුණු කුමරියක පාවා දෙන්නට පිය බමුණා නියම කැරැගත්ය. මේ පිප්පලී මානවක බඹලොවින් චුත වැ මිනිස් ලොවැ උපන්නෙකි. කාමාශාව නැත්තෙකි. එහෙත් පියාගේ පෙරැත්තයෙන් බේරෙන පිණිස මට කුමරියක ගෙනෙතොත් මෙබඳු එකියක සොයා ගෙනෙන්නැයි රන්රුවක් කරවා දුන. පිය බමුණා දූතයනට එය භාර දී මෙබඳු රුවක් ඇති බමුණු දැරියක සොයා බලා දන්වන්නැ යි කියා ගමන් වියදම් දී ඒ රන්රුව බමුණන් කිහිප දෙනෙකුට බාර දුන. ඔහු රටින් රට සොයා යන්නාහු මද්‍ර දේශයේ (මදුරටැ) සුරූපී ස්ත්‍රීන් ගැන ප්‍රසිද්‍ධ සාගල නුවරට පැමිණි ය හ. එහි දී රන්රුවට සරිලන භද්‍රා නම් බමුණු දැරියක දැක අවුත් කපිල බමුණාට දැන්වූහ. හේ ද ඇගේ මාපියනට පණිවුඩ යවා බමුණු සිරිත් පරිදි කුමරිය පිප්පලී මානවකයාට පාවා දුන්හ. භද්‍රා ද බඹ ලොවින් චුත වූ කෙනෙකි. එබැවින් කාමාශා නැත්තේ ය. සරණ මඟුල් පැවැති දින ම රාත්‍රියේ තරුණ තරුණි දෙදෙන තම තමන්ගේ අදහස් එකිනෙකාට කීහ. සමාන අදහස් ඇති බැවින් ඔහු සතුටු වූහ. අඹුසැමියන් වශයෙන් පිටතට පෙණුනත් ඔහු දෙදෙනා ම සහෝදරයකුත් සහෝදරියකත් ලෙසින් උනුනට ළැදි ව බ්‍රහ්මචාරී ව ගෙදරදොර කටයුතු ඉටු කරමින් වුසූහ. පිප්පලී මානවක සිය මාපියන් මළ පසු ගිහිගෙන් නික්ම පැවිදිවන්නට අදහස් කෙළේ ය. භද්‍රාවට එය දැන්වී ය. ඕ ද මටත් ගිහි සැප වුවමනා නැත. මමත් පැවිදි වෙමි යි කීවා ය. මෙසේ දෙදෙනා ම කතා බස් කොට වීදියේ කඩයෙකින් ගුරු රෙදි මැටි පාත්‍ර ආදි තවුස් පිරිකරගෙන්වා ගෙන තවුස් පැවිද්දෙන් පැවිදි ව තමන් සතු මහා ධනස්කන්ධය කැමැති කෙනකුට ගන්නට ඉඩ හැර තුමූ කාටත් නොදන්වා නික්ම ගියහ. බොහෝ දුර යන ඔහු දෙමංහන්දියකට පැමිණියහ. පිප්පලී තෙම “පැවිදි වූ අපි එකට යනු නො වටී. ඔබ මේ මඟින් යන්න මම් අනිත් මඟින් යමි” යි භද්‍රාවට කී ය. ඕ ද එය පිළිගෙන වම් පසැ පාරට බැස ගොස් පරිව්‍රාජිකාවන්ගේ අසපුවකට ඇතුළත් වූවා ය. පිප්පලී මානවක ද යනුයේ රජගහ නුවරටත් නාලන්දාවටත් අතරැ දික් මඟට බැස ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු එන්නාහු දිවැසින් දැක වේළුවනයෙන් පිටත් වැ රජගහටත් නාලන්දාවටත් අතර වූ බහුපුත්තික නමින් ප්‍රකට නුග රුක වෙත සෘද්‍ධියෙන් වැඩ එහි සෙවණෙහි සිරුරෙන් රස් විහිදුවමින් වැඩහුන් සේක. පිප්පලී තෙම ඒ පැත්තෙන් එනුයේ භාග්‍යවතුන් වහන්සේ දැක “මගේ ශාස්තෘ වන තැනැත්තෝ මුන්වහන්සේ” යැ යි ඈත සිට ම දොහොත් මුදුන් තබා ගෙන අවුත් තුන් තැනෙක දී වැඳ වැටී “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්තෘ යැ, මම භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙමි” යි කී ය.

“කාශ්‍යපයෙනි, ඉඳගන්න. ඔබට දෑවැද්දක් දෙමි” යි වදාළසේක. “ස්ථවිර මධ්‍යම, නවක භික්ෂූන් කෙරෙහි හිරිඔතප් ඇතිවැ සැළකිලිමත් වැ විසිය යුතු, අසන බණ සිත් කන් යොමුකොට එළැඹැ සිටු වූ සිහි ඇති වැ ඇසිය යුතු, අශුභ භාවනා ආනාපාන සති භාවනා යන කායගතාසති භාවනා ප්‍රථමධ්‍යානය පාදක කොට වඩමි යි පුහුණු විය යුතු යැ” යි අවවාද කළ සේක. මේ අවවාදය පිළිගැනීම ම කාශ්‍යපයන් වහන්සේ ගේ උපසම්පදාව විය. මෙය ඔවාදූපසම්පදා නමි.

මේ කාශ්‍යපයන් වහන්සේ ගේ පියා කාශ්‍යප නම් බමුණු පරපුරට අයත් ය. එහෙයින් පැවිදි වූ තැන් සිට බුදුරජාණන් වහන්සේ ගොත්‍රනාමයෙන් ඔවුන් ඇමතු බැවින් පිප්පලී යන නම අභාවයට ගියේ ය. කාශ්‍යප යන නමින් ම උන්වහන්සේ හැඳින්වුණහ.

මෙසේ ඔවුන් පැවිදි උපසපන් කොට භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා තවත් කරුණක් සලකාගෙන කාශ්‍යපයන් වහන්සේ කැටුව මඳ දුරක් වැඩ රුකක් වෙත පැමිණ ඉඳගනු කැමැති සැටියක් දැක්වූ සේක. එවිට කාශ්‍යපයන් වහන්සේ තමා පෙරෙවි දෙපට සිවුර[39] සතර පටට නමා රුක්මුලැ එලූහ. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳගත් සේක. ඉක්බිති තමන් පිරිනිවි කල සිදුවන ධර්මසංගායනාව ද එහි තමන් වෙනුවට ප්‍රධාන ස්ථානය දැරීමට ඉතිරි වන එක ම මහා ශ්‍රාවකයා කාශ්‍යපයන් වහන්සේ යි ද දැක, “දැන් ම එතැනට හිමි කරම්හ”යි තමන් වහන්සේ පෙරෙවි සිවුර කාශ්‍යපයන් වහන්සේට දෙන්නට අදහස් කොට සිතා එලා තුබුණු කාශ්‍යපයන් වහන්සේ ගේ සඟළ සිවුර අතගාමින් “කාශ්‍යපයෙනි, තොප ගේ මේ පට සඟළ සිවුර මොළොකැ” යි වදාළ සේක. “භාග්‍යවතුන් වහන්සේ මගේ සඟළ සිවුර පොරවනු කැමැති සේක් වනැ” යි සිතා “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ සඟළ සිවුර පිළිගෙන පොරවන සේක්වා”යි තෙරණුවෝ කීහ. “ඔබ කුමක් පොරවන්නාහුදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්සේ ගේ හඳනය ලැබුණොත්[40] පොරවන්නෙමි” යි කාශ්‍යපයන් වහන්සේ කීහ. භාග්‍යවතුන් වහන්සේ තමන් ඒ තාක් පරිභෝග කළ පාශුකූල හඳනා සිවුර කාශ්‍යපයන් වහන්සේ දුන්ට සේක. මෙසේ සිවුරු මාරු කැරැ ගැනීමෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් අතුරෙහි කාශ්‍යපයන් වහන්සේට තමනට කිට්ටු ම තැන දුන් සේක. කාශ්‍යපයන් වහන්සේ ද “ශාස්තෘන් වහන්සේන්ගේ සිවුරක් දැරීමට මා ගුණයෙන් එයට සුදුසු විය යුතු යැ” යි සිතා එවේලේ ම ධුතාංග තෙළෙස ම සමාදන් ව ගත්හ. එයින් පසු භාග්‍යවතුන් වහසේ කාශ්‍යප තෙරුන් කැටුව වේළුවනාරාමයට ම වැඩිසේක. භාවනානුයෝගී ව කල් ගෙවූ කාශ්‍යපයන් වහන්සේ සතියක් ගත වූ තැන අභිඥාලාභී සිවුපිළිසිඹියාපත් මහරහත් කෙනෙක් වූහ.

කාශ්‍යප යන නම දැරූ තවත් තෙරහු වූහ. ඔවුන් වහන්සේ ගෙන් වෙන් කොට ගනු පිණිස පසු කලෙක “මහාකාශ්‍යප” නමින් අන් තෙරහු මුන්වහන්සේ හැඳුන්වූහ.

විශාල භික්ෂු පිරිසක්

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාවේ සිට ගත වූ මේ අට මසක් පමණ වූ අතර කාලයෙහි නානා දිශාවලට යැවූ භික්‍ෂූන්ද පුරාණ ජටිල භික්ෂූන් එක දහස් තුන් දෙනෙක් ද, සැරියුත් මුගලන් දෙදෙනා ඇතුළු පුරාණ පරිව්‍රාජක භික්ෂූන් දෙසිය දෙ පණසක් ද අංග මගධ දෙරට කුලපුතුන් මහණ වුවන් දස දහසක් පමණ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූවන් දස දහස් දස දෙනෙක් දැ යි සියල්ලෝ ම එක් විසි දහස් තෙ සිය පස් පනසක් පමණ භික්ෂූහු වූහ.

කාළුදායි තෙරුන් ගේ ගමන වර්ණනා

කාළුදායි තෙරුන් ගේ පැමිණීමෙන් දින හත අටෙක් ගත වීය. මැදින් මස පසළොස්වක් පොහොය පැමිණි යේ ය. හේමන්ත සෘතුව ලැබූයෙන් කිඹුල්වත් පුරට භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවීමට සුදුසු කාලයැයි කාළුදායි ස්ථවීර සිතී ය. සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ගමන වර්ණනා කරනුයේ135

“වහන්ස, දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු වැනි රතු පැහැති මල් දලු ඇත්තෝ, පරණ කොළ වැටී පල දරන කාලයට පැමිණියෝ වෙත්. ඒ වෘක්ෂයෝ ගිනි දැල් සහිත වූවන් සේ බබලත්. මහා වීරයන් වහන්ස. භගීරථ පරම්පරායෙහි වූවනට (ශාක්‍යයනට) අනුග්‍රහ පිණිස වඩින්නට දැන් කාලය වේ.

“පිපුණු මල් ඇති වෘක්ෂයෝ හැම අතට සුවඳ විහිදුවත්. පුරාණ පත්‍ර හැර දමා (වැටීමෙන් පසු) ඵල බලාපොරොත්තුවෙන් සිටින්නෝ වෙත්. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත් වන්නට කාලය යි.

“ඉතා ශීත හෝ උෂ්ණ නැත් ම ය, වහන්ස. සෘතුව සැප පහසු ගෙන දෙයි. ගමනකට යෝග්‍ය ය, ආපසු හැරී රෝහිණී ගඟින්134 එතෙරැ වන ඔබ වහන්සේ ශාක්‍ය කෝලිය රජු හු දකිත් වා.”

“ගොවි තෙම මතු බලා ම කුඹුර හායි. හාන්නහු විසින් ද මතු බලා වී වපුරනු ලැබේ. ධන රැස් කරන වෙළෙඳහු මතු බලා සමුද්‍ර තරණය කරත්. මම ද ඔබ වහන්සේ කිඹුල්වතට වැඩම කරවන්නට යම් බලාපොරොත්තුවෙකින් සිටියෙම් ද ඒ මගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ වා.

“එක් වරෙකින් නො නැවැතී ගොවියා යලි යලි ධාන්‍ය වපුරත්. වැස්ස ද නැවැත නැවැත වසී. නැවැත නැවැත ද ගොවීහු කුඹුරු හාත්. නැවැත නැවැත හැල් ආදී ධාන්‍ය රටට ලැබේ.

“යාචකයෝ ද යලි යලි කුලයන් කරා එළඹෙත්. දානපතීහු ද යලි යලිත් දන් දෙත්. එසේ වීමෙන් නැවැත නැවැත ස්වර්ගයෙහි උපදිත්.

“යම් කුලයෙක මහා ප්‍රාඥ වූ වීර පුරුෂයෙක් වේ නම්, හෙතෙම මනා පිළිවෙතින් සත්වන මුතුන් මිත්තන් දක්වා පරම්පරා යුග සතක් ශුද්ධ කරයි. දෙලෝ වැඩ දන්නා හෙයින් මුනි යන නම සත්‍ය වශයෙන් ලත් දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේ එයටත් වඩා පාප නිවාරණයෙහිත් යහපතෙහි අනුන් පිහිටුවා ලීමෙහිත් සමර්ථ සේකැ” යි සිතමි.

“මහර්ෂීන් වහන්සේ ගේ පියා ශුද්ධෝදන මහ රජාණෝ යි. යම් උත්තමාවක් බෝ සතුන් කුසින් දරා සිට මරණින් මතු දෙව්ලොවැ දෙව් පුතෙක් ව ඉපිද සැප විඳී ද, ඒ මායා දේවි පින්වතුන් වහන්සේ ගේ මෑණියෝ යි. මෙයින් කළුරිය කළ ගෞතම ගෝත්‍රජ වූ ඕ තොමෝ දෙව් ලොවැ ඉපිද දේව සමූහයා පිරිවරා මහත් සැප විඳී”

යන ආදීන් ගමන වර්ණනා කොට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචනා කෙළේ ය.

කිඹුල්වත බලා පිටත් වීම මැදින් දින මැදි පෝදා, කිඹුල්වත් පුරයට පැමිණීම වෙසක් පසළොස්වක් දා

භාග්‍යවතුන් වහන්සේ සිය ගමනින් වන මහදභිවෘද්‍ධිය දැක අංග මගධ දෙරටින් පැවිදි ව රහත් වූ දස දහසක් පමණ වූ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූ දස දහසක් පමණ වූ දැයි විසිදහසක් වූ රහතුන් පිරිවරා පිටත් වූ සේක්, මඟ දී බොහෝ දෙනා තමන් වහන්සේ ගෙන් බණ ඇසීම් ආදියෙන් අපමණ වැඩ සිදු කැරැගන්නා බැවින් පා ගමනින් ම දවසකට යොදුන බැගින් දෙ මසකින් වැඩ වෙසක් පසළොස්වක් දා කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වූ සේක. මේ කාලයෙහි කාළුදායි තෙරණුවෝ සියලූ ම දිනයෙහි සෘද්‍ධියෙන් කිඹුල්වත් පුර රජගෙට ගොස් දන් වළදා රජ ගෙයින් භෝජන පාත්‍රය බැගින් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. ඒ ඒ ගමනේ දී භාග්‍යවතුන් වහන්සේ වැළැදු ආහාරය විය.

යමා පෙළහර පෑම වෙසක් පුණු පෝදා

න්‍යග්‍රෝධාරාමයට පැමිණීම

දිනපතා රජ ගෙට කලින් යමින්, බුදු ගුණ කියමින්, ඒ ස්ථවිර තෙම බුදුරජාණන් වහන්සේ ගේ නෑ සමූහයා උන්වහන්සේ කෙරෙහි පැහැද වූයේ ය. පැහැදුණු ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේ වැඩි විට විසීම පිණිස නිග්‍රෝධ ශාක්‍යයාගේ උයන පිළියෙල කළහ.

බුදුරජාණන් වහන්සේ නගරයට වඩින විට සුවඳ මල් ආදිය ගෙන පෙර මඟට යන ශාක්‍යයෝ මනා ලෙස සැරසුණ නගරවාසි ළදරු ළදැරියන් පළමු කොට ඉදිරියට යැවූහ. ඔවුනට පසු ව රජ කුමර කුමරියෝ ගමන් කළහ. රජහු ඔවුනට පසු ව තුමූ ම සුවඳ මල් ආදියෙන් පූජා කරමින් භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවා ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ද විසි දහසක් පමණ රහත්තු ද පනවා තුබුණු අසුන්හි වැඩහුන්හ. ස්වභාවයෙන් ම මානාධික ශාක්‍යයෝ “සිදුහත් කුමරු අපට වයසින් බාලය. අපේ බෑනණුවෝ ය, අපේ මුණුබුරෙකි” යන ආදීන් සිතනුවෝ තුමූ නමස්කාර නො කොට ළදරු කුමර කුමරියන් ලවා ම නමස්කාර කැරැවූහ.

ඔවුන් ගේ අදහස් දත් සර්වඥයන් වහන්සේ මාන මර්දනය කළ යුතු යැ යි සලකා, අභිඥපාදක136 ධ්‍යානයට සමවැද ඉන් නැඟිට අහස් නැඟ මහ පෙළහරක් දැක්වූ සේක. ඒ දුටු ශුද්ධෝදන රජතුමා “පින්වතුන් වහන්ස, ඔබ උපන් දින අසිත තවුසා වන්දවන්නට එළවූ ඔබ ගේ පාද පෙරැළි ඔහුගේ ජටා මස්තකයෙහි පිහිටියා දැක ඔබ වැන්දෙමි. ඒ මගේ පළමු වැඳීම යි. වප් මගුල් දින දඹ සෙවනැ සිරි යහනෙහි දී ඔබේ පෙළහර දැක දෙවෙනි වැඳීම කෙළෙමි. දැන් මින් පෙරැ කිසි කලෙකත් නොදුටු විරූ මේ පෙළහර දැක ද ඔබේ පා වඳිමි. මේ තුන් වන වැඳීම යැ”යි කියා බුදුරජාණන් වහන්සේට නමස්කාර කෙළේ ය. ඒ දුටු කිසි දු ශාක්‍ය රජකු විසින් නොවැඳ සිටිය හැකි නො වූයෙන් සියල්ලෝ ම උන්වහන්සේ වැන්දහ.

මල්ල රජ කුමරුන් සිවු දෙනෙකුන් පැවිදිවීම

පාවා නුවර මල්ල රජුන් සිවු දෙනෙකු ගේ පුත්‍ර වූ ගෝධික සුබාහු වල්ලීය උත්තිය නම් මිත්‍ර කුමරහු කිසි කටයුත්තක් නිසා ඒ දිනවල එහි විත් සිටියෝ එදා භාග්‍යවතුන් වහන්සේ දැක් වූ පෙළහර දැක පැවිදි වූහ. විදසුන් වඩා නොබෝ දිනෙකින් රහත් වූහ.

වෙස්සන්තර ජාතකය දෙසීම

මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑයන් ලවා වන්දවා ඔවුන් ගේ මානය බිඳ, පණවන ලද අස්නේ වැඩහුන් සේක. සියලු නෑ රජහු ද සංසුන් ලීලායෙන් හුන්හ. එකල මහත් මල් වැස්සෙක් වට. ඒ මුල්කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය137 වදාළ සේක. ධර්ම කථාවසානයේ සියල්ලෝ වැඳ තමන් ගෙවල් කරා ගියහ.

වෙසක් අව පෑලවිය දා

බුදුරජාණන් වහන්සේ නෑයනට එදා වදාළ බණ ඇසූ ශාක්‍ය රජහු පෙරළා සිය නිවෙස් යන්නෝ ධර්ම ශ්‍රවණ ප්‍රීතියෙන් මත් වූවෝ, පසු දා දනට පැවරීමට සිහිමඳ ව ගියහ. භාග්‍යවතුන් වහන්සේ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි දවස් යැවූ සේක.

සුදොවුන් රජු

භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයෙහි පිඬු සිඟීම, යශෝධරාව සුදොවුන් රජුට දැන්වීම

පසු දා භික්ෂාචාර වේලාව පැමිණි විට විසිදහසක් රහතුන් පිරිවරා කපිලවාස්තු පුර වැද වහසල් දොරැ සිට ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩි සේක.

නුවර වැසියෝ ප්‍රාසාදයන්හි සී මැදුරු කවුලු හැර “අප ස්වාමි වූ සිද්‍ධාර්ථ කුමාරයෝ පිඬු සිඟති” යි විස්මය ප්‍රාප්ත ව බලා ගත් වණම උන්හ.

යශෝධරා දේවී භාග්‍යවතුන් වහන්සේ පිඬු සිඟා වඩනා විත්තිය අසා මේ මගේ ස්වාමි පුත්‍රයෝ පෙර මෙ නුවර රන්වන් රිය නැඟී සූසැටක් ආභරණ පැලැඳ මිණි රැසින් දිලෙන මහඟු වොටුන්නක් හිස ලා ලක්ෂයක් අගනා මුත්හරෙකින් උරමඬල සරහා දේවේන්ද්‍ර ලීලායෙන් මහ පෙළහරින් වැඩියෝ, දැන් කෙස් දැළි රවුළු ගා දමා, කසාවත් හැඳ පෙරව, පාත්‍රයක් අතින් ගෙන පිඬු සිඟත් ල. කිමෙක ! ඒ වෙස ඔබට හොබී දෝ නැද්දෝ” යි මා බැලුව මනා යැ” යි සිතා, සී මැදුරු කවුළුව හැර බලන්නී, ෂඩ්වර්ණ බුද්‍ධ රශ්මි මාලායෙන් දිලිසෙමින් ස්වීය ශරීරාලෝකයෙන් මුළු වීථිය හොබවමින් අනුපමෙය ශ්‍රීන් විරාජමාන ව වඩනා සාමිදරුවාණන් වහන්සේ දුටුවා ය. දැක ප්‍රීතියෙන් මත් වැ

“අහෝ සිද්‍ධාර්ථයෙනි, එදා මධ්‍යම රාත්‍රියෙහි මා වැනි පක්ෂපාත ස්ත්‍රීයකටත් නො දන්වා රාහුලයා වැනි ප්‍රිය දරු පැටියා දැක, අත ගා සිඹ සනසාලීම් පමණකුත් නො කොට, පලා ගියේ මෙ වැනි ආශ්චර්‍ය්‍ය ශ්‍රීයක් ලබනුවට වේ ද! මෙ බඳු ශරීර ප්‍රභාවක් පතා ඔබ ගිය දෑ ද! මෙ බඳු ශාන්ත පිරිසක් බලා ගිය දෑ ද! මේ නුවරත් රාජ්‍යශ්‍රියත් හැරැ ඔබ ගිය ගමන නම් යහපත් ම ය.! රාජශ්‍රිය හැර ඔබ මහණ වූ නියා යහපත්මය.! ඔබ ලත් සැප ඔබට හොබීමය. පෙර ඔබ වින්ද රාජ්‍ය ශ්‍රියට වඩා ඔබගේ මේ සිඟන රාජ්‍යය මට නම් ඉතා රුචි යැ”යි කියා ගාථා අටෙකින් කෙසග පටන් නිය අග තෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ රූපය වර්ණනා කොට, සිය මයිලණුවන් සුදොවුන් මහ රජාණන් කරා දිව, “ඔබ පුතණුවෝ වීථියෙහි පිඬු සිඟා යෙති” යි කීවා ය.

බුදු රජුන් හමුව කථා කිරීම

රජ එ බස් අසා කලබල වී සළුව හඳිමින් ම යුහුසුළු වැ ගොස්, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිට, “ස්වාමීනි, අපට ලජ්ජා ඇති කරවන්නේ ඇයි ද? සිඟා ඇවිදින්නේ කුමට ද? මේ භික්ෂු පිරිසට රජ ගෙයින් ආහාර ලැබිය නො හැකි යැ යි රටට අඟවන සේක්දැ” යි ඇසී ය.

එවිටැ “මහරජ, මේ අපේ වංශයේ සිරිත යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“ස්වාමීනි, අපේ වංශය නම් මහා සම්මත ක්ෂත්‍රිය වංශය යි. එහි පිඬු සිඟා ඇවිද්ද කිසි රජෙක් නො වී යැ” යි රජ කීය. එවිට බුදුරජාණන් වහන්සේ,

“මහරජ, ඒ ඔබේ වංශය යි. අපේ වංශය නම් දීපංකර කොණ්ඩඤ්ඤ ආදී බුදුවරයන් ගේ වංශය යි. ඒ බුදුවරු ද සෙසු ඉන් පෙරැ සිටි නොයෙක් දහස් ගණන් බුදුවරු ද පිඬු සිඟා හැසුරුණෝ ය. පිඬු සිඟීමෙන් ම දිවි පැවැත්වූවෝ යැ”යි වදාරා වීථිය මැද සිට මැ රජුට දහම් දෙසන සේක්,

රජුට බණ දෙසීම

“නැඟී සිටින්න, පමා නො වන්න, සුචරිත ධර්මය පුරන්න, ධර්මාචාරී තෙම මෙ ලොවැ ද පරලෙව්හි ද සුවසේ වෙසේ138 යැ” යි වදාළ සේක.

මේ ධර්ම කථාව ඔස්සේ සිත යැවූ රජතුමා එහි සිටියේ ම සෝවාන් වී ය.

සුදොවුන් රජු සකෘදාගාමි වීම, ප්‍රජාවතී ගෝතමී සෝවාන් වීම

ඉක්බිති රජ්ජුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් පාත්‍රය ලබාගෙන බුද්‍ධ ප්‍රමුඛ විසි දහසක් රහතුන් මාලිගාවට, වැඩම කරවා ගෙන ගොස්, වඩා හිඳුවා දන් වැළැඳවූහ. වළඳා අන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ අනුමෙවෙනි බණ වදාරණ සේක්.

“සුචරිත ධර්මය පුරුදු කළ යුතු. දුසිරිතෙක් ලොව වේ ද, ඒ නො ම කළ යුතු. මෙසේ ධර්ම චාරී වූ පුද්ගල තෙම මෙ ලෝ පර ලෝ දෙක්හි ම සුව සේ කල් ගෙවා”139 යැ යි වදාළ සේක.

එය අසා ශුද්ධෝදන රජුරුවෝ සකෘදාගාමී වූහ. ප්‍රජාවතී ගෞතමී දේවී සෝවාන් වූහ.

නාටිකාවන්ගේ වන්දනා

ඉක්බිති බෝසත් කලැ නාටිකා වැ සිටි රජ කුමරියෝ අවුත් භාග්‍යවතුන් වහන්සේ වැන්දහ. ශුද්ධෝදන රජ්ජුරුවෝ යශෝධරාවට ද අවුත් වඳින සේ දන්වා යැවූහ. එය ඇසූ යශෝධරා තොමෝ,

බුදු රජුන් යශෝධරාව දක්නට වැඩීම

“සිද්‍ධාර්ථ කුමාරයෝ ඉතා දැඩි සිතැත්තෝ ය තපසට යන්නෝ නොකියා සොරා ම ගියහ. මා උන්වහන්සේට පක්ෂපාත වැ වුසුවා සැබෑ නම්, උන් වහන්සේ ම මගේ ගෙටත් වඩනා සේක. වැඩි කලැ ම වඳින්නෙමි” යි කියා නොගියා ය. ශුද්ධෝදන රජහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය පෙරැ තමන් වහන්සේට පාරමී පිරීමට සහාය වූ නියාව සලකා, පිය රජුට පාත්‍රය දී ඔහු පළමු ව යවා තමන් වහන්සේ දෑගසව්වන් කැටුව යශෝධරාව ගේ ගෙට වැඩි සේක. එසේ වඩනා සාමිදරුවෝ දෑගසව්වන් අමතා, යශෝධරාව තමන් වහන්සේ කෙරෙහි බැඳගත් ප්‍රේමය ඇති බවත්, ඇය කෙලෙසුන් නසන තුරු ඇගේ ම චරිතයෙන් සතුටු කරවන්නට තමන් වහන්සේ ගේ අදහස ඇති බවත්, අද ඇයට තමා රිසි සේ හඬන්නට ඉඩ නෑරියොත් ශෝකයෙන් ළය පැළී මියෙන බවත්, අස්වැසිල්ලක් ලදොත් ඇය සසුන් වැද අමා මහ නිවන් ලබන බවත්, එ හෙයින් රිසි සේ අඬා වැලැප ශෝකය නිවා ගන්නා තුරු කිසිවකු ඇය නවතන්නට උත්සාහ නො කළ මනා බවත් වදාළ සේක.

යශෝධරාවන්ගේ ගෞරවාදරය

යශෝධරා දේවී භාග්‍යවතුන් වහන්සේ තමාගේ ගෙට වඩනා බව අසා, කසාවත් හැඳ පෙරෙවැ බලා සිටියා ය. භාග්‍යවතුන් වහන්සේ දෑගසව්වන් හා එහි වැඩ, පණවා තිබුණු අසුන්හි හුන් සේක. යශෝධරා තොමෝ දෘඪ ප්‍රෙමය රඳවා ගත නො හී භාග්‍යවතුන් වහන්සේ ගේ පා මුල වැටී ගොප් මස අල්ලා ගෙන හඬ හඬා වැන්දා ය. ඇය පියකු ගේ පා අල්ලා හඬන දුවක කොට සලකා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණායෙන් තුෂ්ණිම්භූත ව හුන්සේක. මඳ වෙලාවකින් සිහි ලත් ඕ තොමෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, මයිල් රජහු කෙරෙහිත් ලජ්ජායෙන් තමා කළ දෑ සිහි කොට බියෙන් පසකට වී උන්හ.

රජ්ජුරුවෝ “ඕ බුදුරජාණන් වහන්සේට අනාදරයක් කළ හැකි”යි බිය ව “ඇයට කමවමි” යි සිතා යශෝධරාවන් ගේ ගුණ කියන්නෝ.

“ස්වාමීනි, මගේ දූ ඔබ කසාවත් හැඳ පෙරවැ ගත් බව අසා, තොමෝ ත් එ තැන් සිට අලංකාර වස්ත්‍රාභරණ පාවිච්චි නො කොට කසා වත් ම හැඳ පෙරැවූවා ය. එක් වේලේ වළඳනු අසා තොමෝත් එක් වේලක් ම වළඳන්නියක් වූවා ය. ඔබ උස් අසුන් මහ අසුන් පාවිච්චිය හළ බව අසා තොමෝත් උසසුන් මහසුන් අත්හැරියා ය. ඔබ මල් ගඳ විලෙවුන් හළ බව අසා තොමෝත් එය අත් හැරියාය. සම කුලයෙහි කුමාරයන් ඇය සරණ පාවා ගැන්මට අසා එවූ නමුත් මේ ඒ කිසිත් නො පිළිගත්තා යැ” යි කීහ. එ විටැ බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල් කොට ගෙන චන්ද කින්නර ජාතකය140 වදාළ සේක.

යශෝධරාවන් මහණ වන්නට අදහස් කිරීම

රැස්ව සිටි නෑයෝ යශෝධරාවන්ගේ ගුණ අසා ඇයට සාධුකාර දුන්හ. යශෝධරාවෝ ද නිශ්ශෝක වැ සතුටින් පිනා ගියහ. එදවස් ම මහණවනු කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේ, මෙහෙණි සස්නට ඇය පළමුයෙන් නො ගත යුතු බවත්, මතු කුඩා මෑණියන් විසින් ම ඒ තනතුරු ලැබිය යුතු බවත් සලකා, ඇගේ ඉල්ලීම නො පිළිගත් සේක. රජ්ජුරුවෝ ද කරුණු කියා ඇය නවතා ලූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ තැනින් නික්ම නිග්‍රෝධාරාමයට වැඩි සේක.

නන්ද කුමරු පැවිදි කිරීම

බුද්‍ධත්වයෙන් දෙ වැනි වසැ අව තියවක් දා.

පසු දා නන්ද කුමරුගේ රාජාභිෂේක මංගලය ද, ගෙවදින මංගලය ද, සරණ මංගලය දැ යි උත්සව තුනෙක් විය. එ දිනැ භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමාරයාගේ මාලිගාවට වැඩ දන් වළඳා, මංගල ධර්මය141 දේශනා කොට, නන්ද කුමරු අතට පාත්‍රය දී පෙරාතුව වැඩි සේක. කුමර තෙම “බුදුරජුන් දැන් දැන් පාත්‍රය ගනිතැ” යි සිත සිතා නො කැමැත්තෙන් ම යන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති මහද් ගෞරවයෙන් කිසිත් නො කියා නිශ්ශබ්දව ම පස්සෙන් ගියේ ය. නන්ද කුමරුට සරණ පාවා දීමට නියමිත වූ ජනපදකල්‍යාණි කුමරි ඒ දැක, “ස්වාමි පුත්‍රයාණනි, වහා ම අව මැනවැ” යි කියා බෙල්ල දිගු කොට නන්ද කුමරු දෙස බැලුවාය. මේ කථාව කුමරු ගේ සිත්හි තදින් වැදී ගියේ ය. එහෙත් කුමර තෙම “පාත්‍රය ගත මැනැවැයි කීමට නො හැක්කේ බුදුරජාණන් වහන්සේ අනුව විහාරයට ම පැමිණියේ ය. එහි දී භාග්‍යවතුන් වහන්සේ “නන්දය, මහණ වන්නෙහි දැ” යි ඇසූ සේක. හෙතෙම ජනපද කල්‍යාණිය කෙරේ ප්‍රේමයෙන් එයට නො කැමැති වීත්, බුද්‍ධ ගෞරවයෙන් ඒ බව නො කියා, “එසේ ය, මහණ වෙමි” යි කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු මහණ කළ සේක. මෙසේ කිඹුල්වත් පුරයට බුදුරජාණන් වහන්සේ වැඩි තුන් වන දා නන්ද කුමරු ගේ ප්‍රව්‍රජ්‍යාව විය. මේ වනාහි බුද්‍ධත්වයෙන් දෙවෙනි වර්ෂයෙහි වෙසක් මස අව දියවක් දා ය.

රාහුල කුමරුන් මහණ කිරීම

බුද්‍ධත්වයෙන් දෙවෙනි වසැ සැටවක්දා

භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක. යශෝධරා දේවී සත් හැවිරිදි වූ රාහුල කුමරුවා මනා කොට හඳවා පලඳවා “පුත, විසි දහසක් ශ්‍රමණයන් වහන්සේ විසින් පිරිවරන ලදුව, රන් පැහැයෙන් බබලමින් තෙල වැඩ ඉන්නේ නුඹේ පියා ය.”143 යන ආදීන් කියා පියා සතු ධනය ඉල්ලනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා යැවූ ය. හේ ද එහි පැමිණ ඉතා සතුටු සිතැති ව පිතෘස්නේහයෙන් “ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණ මට ඉතා සැප යි” යන ආදීන් නොයෙක් සුරතල් බස් කියමින් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අන්තයෙහි අනුමෝදන බණ වදාරා, හුනස්නෙන් නැඟිට වැඩිසේක. රාහුල කුමාර තෙම “ශ්‍රමණයන් වහන්ස, මට දායාද්‍යය දුන මැනවැ”යි කියමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේ ය. පස්සෙන් එන කුමරහු භාග්‍යවතුන් වහන්සේ නො ම නැවැත්වූ සේක. බලා සිටි පිරිස ද කුමරු ගේ ගමන නැවැත්වීමෙහි නො හැකි වූහ. මෙසේ කුමරු භාග්‍යවතුන් වහන්සේ සමඟ විහාරයට ම ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ “මා බෝ මැඩ දී ලත් සප්ත විධ ආර්‍ය්‍ය ධනය මොහුට දෙමි. ලෝකෝත්තර දායාද්‍යය මොහු හිමි කරන්නෙමි” යි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා රාහුල කුමරු මහණ කිරීමට නියෝග කළ සේක.

“වහන්ස, කෙසේ රාහුල කුමරුවන් මහණ කරම් දැ?” යි සැරියුත් තෙරණුවෝ ඇසූහ. තිසරණ ගැන්වීමෙන් සාමණේර ප්‍රව්‍රජ්‍යාව144 සිදු කරන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන් සේක. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුමරුන් ගේ හිස කේ බා කසා වත් හඳවා තිසරණ සමාදන් කැරැවූ සේක. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අවවාදාචාර්‍ය්‍ය වූ සේක. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උපාධ්‍යාය වූ සේක.

රාහුල කුමරුන් පැවිදි කිරීම සුදොවුන් රජු ගේ බලවත් කනගාටුවට හේතු වී ය. එ බැවින් රජහු බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ, එක් පසෙක හිඳ මා පියන් ගේ අවසර නැති ව දරුවන් මහණ නො කරන ලෙස වරයක් ඉල්ලූහ. ශික්ෂාපදයක් පැණවීමට මේ ආයාචනය බලාපොරොත්තුව හුන් බුදුරජාණන් වහන්සේ එයට ද අනුකූල වූ සේක. ඉක්බිති කාලෝචිත ධර්මාවවාදයෙන් රජුන් සතුටු කොට පින් දහම් කිරීමෙහි උත්සාහවත් කළ සේක. රජ බණ අසා සතුටු ව වැඳ නික්ම ගියේ ය. ඉන් පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් රැස් කරවා අවවාදානුශාසන කොට “මහණෙනි, මා පියන්ගෙන් අවසර නො ලත් දරුවා මහණ කළ යුතු නොවේ යැ” යි වදාළ සේක.

මහා ධර්මපාල ජාතකය දේශනා කිරීම, රජ අනාගාමී වීම, බුද්‍ධත්වයෙන් දෙවෙනිවසැ වෙසක් අව සතවක් දා

බුදුරජාණන් වහන්සේ පසු දා උදයැ රජ ගෙට වැඩි සේක. දන් වළඳා නිමැවූ විට සුදොවුන් රජහු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ,

“වහන්ස, ඔබ දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දිනක් එක් දේවතාවක “මහරජ, තොප පුත්‍රයා මළේ ය” යි කී නමුත් “මගේ පුත්‍රයා බුදු නො වී කළුරිය නො කෙරෙති”යි කියා ඒ දේවතාවාගේ කථාව නො පිළිගතිමි” යි කීහ. එ විට බුදුරජාණන් වහන්සේ,

“මහරජ, දැන් එ බඳු වචනයක් ඔබ කෙසේ නම් අදහත් ද? පෙර කලෙක “මේ මළා වූ නුඹේ පුත්‍රයා ගේ ඇට කැබලි යැ” යි අනෙකකු විසින් පෙන්වා කරුණු කී කල්හිත් ඒ වචන ඔබ නො ම ඇදහූහ” යි වදාරා ඒ ප්‍රවෘත්තිය විස්තර කිරීම් වශයෙන් මහා ධර්මපාල ජාතකය145 වදාළ සේක. ධර්ම කථාවසානයේ දී රජහු අනාගාමී ඵලයෙහි පිහිටියහ.

යශෝධරාවන්ගේ ශෝකය, ඇය පැවිදිවන්නට සැරැසීම

භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරු මහණ කැරැ වූ බව ඇසූ යශෝධරාවෝ දරු සෙනෙහසින් හටගත් ශෝකය ඉවසා ගත නොහී,

“ම පුතණුවන් මගෙන් උදුරා ගත් බැවින් මම ගිහි ගෙයි නො වසමි. මහණ වෙමි” යි සැහැසි වූහ.

ඒ අසා සුදොවුන් රජ්ජුරුවෝ ඇය කරා ගොස් මෙ සේ ඔවා දුන්හ.

සුදොවුන් රජු යශෝධරාවනට අවවාද කොට සනසාලීම

ලෙහෙළිණියෙනි, එදා වදාළ වෙස්සන්තර ජාතකයෙහි තොප වැදු දරුවන් පූජක බමුණාට බැඳ දුන් කල පවා තොප දරු ශෝකය ඉවසා සිටි බව නො ඇසුවහු ද? දානපාරමිතාව පුරන අනන්ත ජාතීන්හි තොප වැදූ දරුවන් ඉල්ලා ආවුනට බැඳ දුන් වැල් පමණක් ගොඩ කළොත් මේරු පර්වතයටත් වඩා උස් වන බව වදාළා නො ඇසුවහු ද? මේ කිසි තැනෙක දී තොප දොම්නස් නොවූ බව වදාළා නො ඇසුවහු ද? මෙසේ කලැ දැන් උන් වහන්සේ බුදු වී, සිය පියා වූ මාත් ඇතුළු සකල ලෝකවාසීන් දරු කොට ගත් කලැ, තමන්ගේ ම දරුවා මහණ කැරැගත් බව ගැන කවර දොසක් කියමෝ ද? රාහුල කුමරුන් මහණ කැරැවූ බව අසා අද මම උන්වහන්සේ කරා ගියෙමි. ගොස් උන්වහන්සේ ගේ ධර්ම කථාව අසා, තොපට තවත් පුතකු නො සිටින හෙයින් මිස, සිටියි නම් ඔහුත් උන්වහන්සේ වෙතැ පැවිදි කරවා ලනු කැමැති වීමි. අද තෙපි ඒ බණ ඇසුවහු නම් මහණ කරවන්නට තවත් පුතක්හු ඇතොත් කොතරම් යසෙක් දැ”යි සිතන්නහු ම ය. පෙරැ බොහෝ දරුවන් දන් දුන් උන්වහන්සේට දැන් එක පුතකු නිවන් සැප වින්දැවීමට තමන් වහන්සේ වෙතට ගැනීම ගැන තොප ශෝක කිරීම අයෝග්‍ය ය. ඒ තොප වැන්නනට සුදුසු නො වේ. තොප පුතුට හොඳක් ම උන්වහන්සේ කළ සේක. පුත්‍රයා මහණ වී සිය පියාණන් ළඟ, සඳු පස්සේ යන නකත් තරුවක් සේ, සිටින්නහු දක්නා දරුවන් ඇතියවුනට ලොවැ තවත් එ වැනි සතුටෙක් කොයින් ද? තව ද ලෙහෙළිණියනි, මේ කාරණයෙහිදී තොප මහණ වූවොත් “එය සැදැහැයෙන් නො වේ. දරු සොවින් ම කළ එකෙකැ” යි ලෝවැසි තෙම තොප හෙළා දකී. ඒ බැවින් දැන් ම මහණ නො වව.”

මෙ සේ කියා ඇගේ ශෝකය ද නිවා මහණ වියැ නොදී ඇය රඳවා ගත්හ.

භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයෙන් නික්මීම.

භාග්‍යවතුන් වහන්සේ නො බෝ කලෙකින් ම කපිලවාස්තු පුරයෙන් නික්ම මල්ල රටට පැමිණ එහි සැරිසරන සේක්, අනෝමා නදී තීරයෙහි වූ අනුපිය නිගමයට සම්ප්‍රාප්ත වැ එහි අඹ වනයෙහි වසන සේක.

භද්දියාදී ශාක්‍ය කුමරුවන් පැවිදි වීම.

ශුද්ධෝදන රජ්ජුරුවන් විසින් මෙහෙයන ලද ශාක්‍ය රජුන් විසින් යැවුණු කුමරුවෝ බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ. ඉක්බිති තව ම නො පැවිදි ව සිටි භද්දිය, අනුරුද්ධ, ආනන්ද,[41] භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍යයන් සදෙනා දැක, පැවිදි වූවන් ගේ මා පියෝ “මොවුන් බුදුනට නො නෑ හෙයින් වේද පැවිදි නො වන්නේ යැ” යි දොස් නැගූහ. ඉක්බිති ඔහු ස දෙන සතියක් දෙවියන් සේ රජ සිරි විඳ අට වන දා උපාලි කපුවා එක්ක මහ සෙනඟින් පිරිවැරුණෝ කිඹුල්වතින් නික්ම ගියහ. ශාක්‍ය කෝලිය ජනපද ඉක්මි තැන දී සෙනඟ පෙරළා එවා ඔහු සත්දෙන අනුපිය අඹ වනයට වැදෑ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ.

දෙවෙනි තෙවෙනි වස් රජගහ පුරැ වේළුවනයෙහි

භාග්‍යවතුන් වහන්සේ රජගහපුර වැඩීම, විසල්පුරැ වැඩීම.

භාග්‍යවතුන් වහන්සේ ටික කලක් අනුපිය, නිගමයෙහි වැස ඉන් නික්ම රජගහ පුරයට වැඩි සේක. මෙ සමයෙහි විසාලා මහනුවර රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ යන තුන් හේතුයෙන් හට ගත් උපද්‍රවයෙන් පෙළුණේ විය. විසාලා මහනුවර රජුහු බුදුරජාණන් වහන්සේ ගැන අසා මහාලී ලිච්ඡවී රජුත් පුරෝහිත පුත්‍රයාත් රජගහ පුර යවා භාග්‍යවතුන් වහන්සේට විසල්පුර වඩින්නට අයදැවූහ. ඔවුන් ආයාචනා පරිදි භාග්‍යවතුන් වහන්සේ මහ පෙරහැරින් එහි වැඩ, රතන සූත්‍රය දෙසා සෙත් කොට පුරය නිරුපද්‍රැත කළ සේක. මෙය වූයේ පොසොන් මාසයෙහි ය.

පෙරලා රජගහ පුර වැඩීම

මෙසේ අඩ මසක් පමණ කල් එහි වැස පෙරළා රජගහපුරයට ම වැඩි සේක.

දෙවැනි වස රජගහ පුර වේළුවනාරාමයෙහි

වැසි කාලය පැමිණියෙන් බුද්‍ධත්වයෙන් දෙවැනි ඒ වර්ෂර්තුව රජගහපුර සමීපයෙහි වූ වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.

සුමන මාලාකාර සමාගමය

මෙ සමයෙහි සුමන මාලාකාරයා තමා රජු පිණිස ගෙන යන මලින් බුදුරජාණන් වහන්සේ පිදීය. රාජ දණ්ඩනය ද නො තකා බලවත් ශ්‍රද්ධායෙන් ඔහු කළ ක්‍රියාවට සතුටු වූ බිම්බිසාර රජ තුමා ඔහුට එකවගෙන් අට බැගින් ඇතුන් අසුන් දාස දාසින් හා මහත් පළඳනා ද, කහවනු අට දාහක් ද සියලු අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රීන් අට දෙනෙකුන් ද ගම්වර අටක් ද දුන්නේ ය.

මාලාකාරයා ගේ ඒ පුෂ්ප පූජායෙහි දී මහත් පෙළහර ඇති විය. මේ සියල්ල දුටු අනඳ හිමියෝ සුමන මාලාකාරයා ගේ මතු ගතිය විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඔහු දෙව් මිනිස් සුව විඳ ගොස් මතු සුමන නම් පසේ බුදු වන බව වදාළ සේක.

සවස් වේලේ දම්සභා මඬුයෙහි රැස්වූ භික්‍ෂූන් විසින් සුමන මල්කරුවා සම්බන්ධයෙන් කළ කතාව ඇසූ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්,

යම් කර්මයක් කොට සත්ව තෙමේ නො තැවේ ද, යම් කර්මයෙක විපාකය හටගත් ප්‍රති සොම්නස් ඇත්තේ විඳින්නේ ද, එබඳු වූ ම කර්මය කරන ලද්දේ මැනැව”145 යි වදාරා විස්තර කොට සිවු සස් දෙසූ සේක.

මේ දේශනාව අවසන්හි අසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය වී ය.

වස් වැස පවරා සැරි සරන භාග්‍යවතුන් වහන්සේ චේති දේශයට වැඩ එහි ප්‍රාචීනවංශ මෘගදායයට පැමිණි මහජනයා සග මොක් මංහි පිහිටුවා ඉන් භේසකලා වනයට වැඩ, යළි රාජගෘහ පුරයට ම පෙරළා වැඩි සේක.

පුණ්ණයන් පැවිදි වීම

මෙ සමයෙහි අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ කිඹුල්වත් ගොස් එහි දෝණවත්ථු ගමැ දී සිය බෑනණු (මන්තානිපුත්ත) පුණ්ණයන් පැවිදි කළහ. පුණ්ණයෝ කොණ්ඩඤ්ඤ තෙරුන් හා එන්නාහු කිඹුල්වත රැඳී කමටහන් වඩා රහත් වූහ. ඔවුන් වෙත කිඹුල්වත් වැසි කුලපුත්තු පන්සියයක් පැවිදි වූහ. තෙරණුවෝ ඔවුනට දශ කථා වස්තුයෙන්146 ඔවා දුන්හ. ඒ අසා උහු හැම රහත් වූහු. ඉක්බිති තෙරුන් විසින් මෙහෙයවන ලදුවෝ ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට ගියෝ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් සුව දුක් විචාරා “කොහි සිට එවුදැ” යි ඇසූ සේක. “ජාත භූමියෙහි[42] සිට එම්හ” යි කීහ. “ජාත භූමියෙහි කවරෙක් නම් දශ කථා වස්තු ලාභී ද” එහි වැසි භික්ෂූන් විසින් සම්භාවිත දැ?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක. “මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවෝ යැ”යි ඔහු කීහ. මෙ කථාව අසා සිටි සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන් දක්නා කැමැති වූහ.

තෙවෙනි වසැ රජගහ නුවර වේළුවනයෙහි

භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වර්ෂර්තුවත් රජගහ නුවරැ වේළුවනයෙහි ම ගත කළ සේක. මෙ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රජගහට නො දුරෙහි වුසූ ජම්බුක නම් අසූචි කන නග්න ආජීවකයකු දමනය කොට සසුන්හි පැහැද වූ සේක. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම කථා ශ්‍රවණයෙන් රහත් වූයේ ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ය.

ජම්බුකාජීවක සමාගම

මේ වනාහි ජම්බුකාජීවකයාට ප්‍රසන්න වැ සිටි අඟු මගද දෙ රට වැසි බොහෝ ජනයා ඔහුට සත්කාර ගෙන ආ දවස ය. භාග්‍යවතුන් වහන්සේ වෙත ජම්බුකයන් ඉන්නා දුටු මහජනයාට “මේ දෙදෙනා ගෙන් කවරෙක් මහත් දැ?” යි සැක ඇති වී ය. ඔවුන්ගේ පරිවිතර්කය දත් භාග්‍යවතුන් වහන්සේ ජම්බුක තෙරුන් අමතා,

“එ පිරිසේ සැකය දුරු කරව” යි වදාළ සේක. තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ පාමුලැ වැතිර වැඳ තමන් ශ්‍රාවක බව දැක්වූහ. ඒ ඇසූ මහජනයා බුද්‍ධ ගුණයේ මහත් බව ගැන පුදුමයට පත් වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස හා කථාව පටන් ගෙන, නොකා නො බී තපස් රැකීම නිෂ්ඵල ක්‍රියාවක් බව වදාරන සේක්,

“දහම් පිරිසිඳ නො දත් යමෙක් මසකට වරක් තණ පත් කෙළවරින් බොජුන් බිඳක් ගෙන වළඳන්නේ නමුදු හෙතෙම සිවුසස් දහම් පිරිසිඳ දත් ආර්‍ය්‍ය පුද්ගලයන් ගේ සොළොස් වන කලාව පමණ වත් නො වටී යැ” යි වදාළ සේක.147

අනේපිඬු සිටුතුමා

භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම

එ සමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත148 සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා කටයුතු අධික බව ද රජගහ නුවර සිටු හට තමා හා පෙරැ සේ කතා බස් කැර කැර ඉඳීමට එදා කිසි අවකාශ පහසුවක් නැති බව ද සුදත්ත සිටු හට පෙනුණේ ය. “පෙර මෙහි මා ආ විට, අන් මොන කටයුත්තක් වුව ද, ඒ ගැන වැඩිපුර නො සලකා මා හා සතුටු සාමීචි කතා බස් ඇති ව හිඳීම මොහුගේ සිරිත ය. අද එසේ නො කොට වැඩකාරයනට ඒ ඒ කටයුතු නියෝග කරමින් මෙ තෙම හැසිරේ. කිමෙක් ද? මෙහි කුමරකුට අන් තැනෙකින් කුමරියක පාවා ගෙන ඊමෙක් හෝ මෙහි කුමරියක අන් කෙනෙකුට පාවා දීමක් හෝ වන්නේ ද? නැතහොත් මහා පූජෝත්සවයක් ඇති වන්නේ ද? සෙට බලසෙන් සහිත වූ බිම්සර මහ රජුට මෙහි භෝජන සංග්‍රහයෙක් හෝ වන්නේ දැ?”යි අනේපිඬු සිටුහට විතර්කයෙක් විය.

රජගහ නුවර සිටු තෙම වැඩකරුවනට කටයුතු විධාන කොට අවුත් අනාථ පිණ්ඩික සිටුහු හා පිළිසඳර කතා කරන අතර අනේපිඬු සිටු ඒසා මහත් කටයුතු සම්පාදනයකට හේතුව විචාළේ ය. රජගහ නුවර සිටු තමා පසුදාට “බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට දනට නිමන්ත්‍රණය කැර ඇති බවත් එ බැවින් එය සඳහා කටයුතු පිළියෙල කරවමින් උන් බවත් කීය. “බුද්‍ධ” යන වචනය කනැ වැටුණු පමණින් විස්මයට පත් සුදත්ත තෙම “ගහපතිය, බුද්‍ධ යැ යි කියහිදැ?” යි ඇසීය. “එසේ ය, බුද්‍ධ යැ” යි කියමි යි රජගහ නුවර සිටු කී ය. දෙවෙනි වරත් තෙවෙනි වරත් සුදත්ත සිටු පළමු සේ ම ඇසී ය, දෙවෙනි තුන් වන වාරයන්හිත් රජගහ නුවර සිටු පළමු සේ ම පිළිතුරු දුන. ඉක්බිති සුදත්ත සිටු “ගෘහපතිය, බුද්‍ධ යන නම පවා ඇසීම දුර්ලභ යි. ඒ බුද්ධෝත්තමයාණන් දකින්නට දැන් යෑ හැකි දැ?” යි ඇසී ය.

“ගෘහපතිය, ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යෑමට දැන් සුදුසු වේලාව නො වේ, හෙට උදෙන් ම උන් වහන්සේ දක්නට යෑ හැකි යැ” යි රජගහ නුවර සිටු කී ය. ඉන් පසු සුදත්ත තෙම “සෙට ඉතා උදෙන් ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යන්නෙමි” යි අධිෂ්ඨාන කොට නිදා ගත්තේ රෑ තුන් විටක් ම “පහන් වී ඇතැ” යි සිතා නැගිට්ටේ ය. තෙවෙනි වාරයෙහි නැඟී සිටි හෙතෙම බුදුරජාණන් වහන්සේ දක්නා පිණිස යනුයේ, නුවර පසු කොට සීවක වන දොරට පැමිණියේ ය. ඔහු එහි පැමිණි විට එහි දොර හැරුණේ ය. සීවක වනයටවන් කෙරෙහි ම කලින් වූ ආලෝකය අතුරුදහන් වී මහ කළුවරෙක් වී ය. ඒ දුටු සිටු තැති ගැන්මට, ලොමුදහ ගැන්මට පැමිණියේ ය. එ තැනින් එහා අඩියකුත් නො තබා ආපසු යන්නට අදහස් කෙළේ ය. එ කෙණෙහි ම,

“ලක්ෂයක් ඇතුන්, ලක්ෂයක් අසුන්, ලක්ෂයක් උතුම් අසුන් යෙදූ රථ, ලක්ෂයක් මිණිකොඬොල් ඈ පැලැඳි කන්‍යාවන් දීම බුද්ධාදි උතුමන් දැකීමට යෑමේදී එක් පියවරක් තැබීමෙක සොළොස් වන කලාව පමණ වත් නො අගී ය”යි කිසිවකු කියන හඬෙක් ඔහුට ඇසිණ.149

තවද “ගෘහපතිය, ඉදිරියට යව, ආපසු ගියොත් යෙහෙක් නො වේ යැ”යි කියන්නක් ද කනැ වැටිණ. අඳුරු දුරු වී ය. සිටු ද බිය සැක නැති ව ගියේ ය.

යළිත් අඳුර පැතිරිණ. සිටු බිය වැ පෙරළා යන්නට සිතීය. එ කෙණෙහි පළමු සේ ම ගමනේ අගයත් ඉදිරියට ම යන්නට කරන අවවාදයත් ඇසීය, අඳුරත් දුරු වි ය. බිය දුරු වී ගියෙන් සිට ඉදිරියට ම ගියේ ය.

තෙවෙනි වර ද අන්ධකාර වී ය. බියටත් සැකයටත් පත් සිටු පෙරළා යමැ යි සිතී. එහෙත් එ කෙණෙහි ම පළමු සේ ම ඉදිරියට යෑමට නියෝගයත් යෑමේ යහපතත් කියනු ඇසුණෙන්, අඳුරත් දුරු ව එළිය වැටුණෙන්, මඟ ඔස්සේ ම ගියේ අලුයම් වේලෙහි ශීත වනයට පැමිණියේ ය. සිරිත් පරිදි අලුයමැ නැඟී සිට සක්මනේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ ඈත එන සිටුහු දැක, සක්මන් මලුයෙන් බැස, භික්ෂූන් පණවා දුන් ආසනයේ වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම “සුදත්ත, මෙහි එන්නැ” යි ඇමැතූ සේක. සිටු තෙම “බුද්ධෝත්තමයාණෝ මගේ නමින් මට හඬ ගසති” යි සතුටු ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පා මුලැ හිස තබා වැතිර වැඳ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, සුව සේ සැතැපුණු සේක්. දැ”යි ඇසී ය.

සිටුහු සෝවාන්වීම

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහට බණ දෙසීම.

“කෙලෙස් දුරු කළ, පවින් මිදුණු, කාමයන්හි නො ඇලුණු, එහෙයින් ම නිවී සැනැසුණු, කිසි උපක්ලේශයක් නැති තැනැත්තා සෑම කල්හි ඒකාන්තයෙන් සුවසේ සැතැපේ. සියලු තෘෂ්ණා සිඳීමෙන්, සිතෙහි දුක් පීඩා දුරු කිරීමෙන් සිතේ සංසුන් බවට පැමිණ නිවී සැනැහුණු පුද්ගලයා සුව සේ සැතැපේ”150 යැ යි වදාරා, ඉක්බිති දාන කථාදි පිළිවෙළ කථායෙන් දම් දෙසූ සේක. ඒ ඇසීමෙන් සිටු තෙම උන් අස්නෙහි ම සෝවාන් විය. ඉක්බිති බණ වදාළ සැටිය ගැන ප්‍රශංසා කොට, “මා බුදුන් දහම් සඟ සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා” යි කියා පසු දා දනට ද ආයාචන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉන්පසු සිටුතෙම වැඳ අවසර ගෙන පිටත් ව ගොස් පසුදා රජගහ නුවර සිටුහුගේ ගෙහි දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා ඛාද්‍ය භෝජ්‍යයෙන් මොනොවට සත්කාර කෙළේ ය. දන් වැළඳූ ඉක්බිති සිටු තෙම බුදුරජාණන් වහන්සේට එකත්පස් වැ හිඳ ගත්තේ ය. හිඳ සංඝයා හා සැවැත් නුවරැ වස් වසන්නට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආයාචනා කෙළේ ය.

“ගෘහපතිය, තථාගතවරු ශුන්‍යගාරයට සතුටුහ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“එ සේ ය, මට වැටහුණේ ය, වහන්සැ” යි කියා සිටු තෙම සෙනසුන් පිළියෙල කළ යුතු සැටි තමාට වැටහුණු බව පැවැසීය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ධර්ම කථායෙන් ගෘහපතියා සතුටුකොට පින් කිරීමෙහි උත්සාහවත් කොට, හුනස්නෙන් නැගිට වැඩි සේක.

සැවැත්නුවරැ ආරාම පිළියෙල කිරීම

සුදත්ත සිටු බොහෝ යහළු මිතුරන් ඇත්තෙකි. හේ රජගහ නුවරට තමා ආ කටයුත්ත අවසන්කොට සැවැත් නුවරට පෙරළා යන්නේ, මඟදී හමු වන සියල්ලනට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බවත්, තමා උන්වහන්සේට සැවැත් නුවර වඩින්නට ආයාචන කළ බවත්, උන් වහන්සේ ඒ මහාමාර්ගයෙන් වඩනා බවත්, එ බැවින් කලින් විහාරාරාම කොට දන් දීමට බලාපොරොත්තු විය යුතු බවත් කියා කහවනු සිය දහස් ගණන් ද එ පමණ වටිනා උපකරණ ද දී සතළිස් පස් යොදුන් මාර්ගයෙහි යොදුනක් පාසා විහාර කරවා සැවැත් නුවරට පැමිණියේ ය. ඉක්බිති සැවැත් නුවර හාත්පස පරීක්ෂක්ෂා කැරැ බලනුයේ, ජේතරාජ කුමාරයාගේ උයන බුදුරජාණන් වහන්සේ ගේ වාසයට සුදුසු බව දුටුයේ ය.

මේ ඉක්බිති සිටු තෙම ජේත කුමාරයා වෙත ගොස් “ආර්‍ය්‍යපුත්‍ර ය, විහාරයක් කිරීමට උයන දිය හැකි දැ? යි ඇසීය. “ගෘහපතිය, කහවනු කෝටියක් ඇතුරුවත් නො දිය හැකි” යි කුමර කී ය. “එ සේ නම් ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය මා විසින් ගන්නා ලදැ” යි සිටු කීය. “නැත, එ පමණින් ආරාමය නො ගන්නා ලදැ”යි කුමර කී ය. ඉක්බිති ඔහු විනිශ්චයකාර ඇමැතියන් විචාළහ. “ආර්‍ය්‍ය පුත්‍රය, ඔබ ඉඩමේ වටිනාකම කී බැවින් ඉඩම දෙන ලදැ” යි ඔහු තීන්දු කළහ. ඉක්බිති සුදත්ත සිටු ගැලින් කහවණු දහ අට කෝටියක් අදවා ඉඩමෙහි අතුළේ ය. තව ස්වල්ප කොටසකට මඳ වූයෙන් ගොස්, ඒ බිම් කොටස වැසීමටත් කහවනු ගෙනෙන ලෙස මෙහෙකරුවනට නියෝග කළේය. මෙ තරම් මහත් මුදලක් වියදම් කොටත් සිටුහු මඳකුදු අප්‍රසන්න නො වූවහු දුටු කුමාර තෙම “මෙය ඉතා වැදගත් වැඩෙකැ” යි සිතා “ගෘහපතිය, ඔය ඇත. මේ ඉතිරි බිම් කැබෙල්ල මම මේ කටයුත්තට ත්‍යාග කරමි” යි කී ය. “එතරම් ප්‍රසිද්‍ධ උසස් රාජ කුමාරයකුගේ පැහැදීම සසුන් දියුණුවට බලවත් උපකාරයෙකැ” යි සිතූ සිටු එයට එකඟ වී ය. ඒ බිම් කොටසෙහි ජේත රාජ කුමාර තෙම තට්ටු සතක් ඇති විශාල ප්‍රාසාදයක් කැරැවීය. සිටු තෙම තවත් කහවණු දහ අට කෝටියක් වියදම් කොට ඒ ජේත කුමරුන්ගේ උයනෙහි (ජේතවනයෙහි) විහාර, පිරිවෙන්, උපස්ථාන ශාලා, ගිනි හල්, වැසිකිළි, කෙසකිළි, සක්මන් මලු, නාන ගෙවල් යන ආදිය කැරැවී ය.

සැවැත් නුවර වැඩීම

අනාථ පිණ්ඩික (අනේ පිඬු) සිටු තුමා විහාර කර්මාන්තය නිමවා “දැන් සැවැත් නුවරට වඩින්නට කාලය යැ” යි දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙතට දූතයකු එවී ය. භාග්‍යවතුන් වහන්සේ ද මහසඟ පිරිවරා ගමනාරම්භ කළ සේක. සැරි සරා වඩනා සේක් සති කිහිපයකින් සැවැත් නුවරට පැමිණ වදාළ සේක. අනේ පිඬු සිටු භාග්‍යවතුන් වහන්සේ ගේ පැමිණීම බලාපොරොත්තු වැ ජේතවනයෙහි සිටියේ, ඉදිරියට ගොස් වැඳ සිය විහාරයට ම වැඩම කැරැවී ය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩියේ සැන්දෑවේ ය. සිටු තුමා පසුදින බොජුන් පිණිස සිටු ගෙදරට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

ජේතවන පූජාව

පසු දා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එහි වැඩ, පණවා තුබුණු ආසනයෙහි හිඳගත් සේක. සිටු තෙමේ බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට ප්‍රණීත ආහාර පානයෙන් සත්කාර කොට ඉක්බිති එක් පසෙක හිඳ ගත්තේ ය. එසේ හිඳ ජේතවනය පූජා කළ යුතු සැටි විචාළේ ය. “එසේ වී නම් ගෘහපතිය, මෙහි පැමිණි නො පැමිණි සතර දිසා වැසි සංඝයා ජේතවනයෙන් පුදව”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“එහෙයි, වහන්ස” යි කියා අනේ පිඬු සිටු තෙම බුද්‍ධ වචනය පිළිගෙන ඒ ජේතවනාරාමය සංඝ සන්තක කෙළේ ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ විහාර දානයෙහි අනුසස් වදාරා නැගිට ජේතවනාරාමයට වැඩි සේක.

මේ ජේතවන පූජා දවසෙහි උසභ කුලපුත්, අධිමිත්ත බමුණු කුමර, භේරඤ්ඤකානි ගම් මුදලි, සබ්බමිත්ත බ්‍රාහ්මණ, කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු, සිරිමන්ත කුළ පුත්, සිරිවඩ්ඨ කුලපුත්, උපවාන බ්‍රහ්මණ, අපර ගෝතම බ්‍රාහ්මණ, පසු කළ ඒකුද්දානිය නමින් ප්‍රකට වූ කුලපුත් ආදී බොහෝ ජනයෝ භාග්‍යවතුන් වහන්සේ දැක බණ අසා පැහැද පැවිදි වූහ. කොසොල් රජුන්ගේ පෙරෙවි බමුණු ගේ දූ වූ දන්තිකා ද තවත් බමුණු දුවක් වූ සකුලා ද තවත් බොහෝ ස්ත්‍රීහු ද බුදු සසුන්හි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පළමු වරයෙහි නව මසක් පමණ කල් වුසු සේක. එ සෙමෙහි බොහෝ කුලපුත්තු සස්නෙහි පැහැදී පැවිදි වූහ. උපාසක පිරිස ද දින පතා වැඩි වූහ. මෙහි රත්නත්‍රයට දිවි පුදා ක්‍රියා කළ අනේ පිඬු සිටු යැ යි ප්‍රසිද්‍ධ සුදත්ත ගෘහපති තුමා ඒ මුළු උපාසක පිරිසේ අග්‍රස්ථානයට පත් විය. දවසකට දෙවරක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑමේ සිරිත එ තුමා කිසි දිනෙකත් නො කැඩුවේ ය.

“බුදුරජාණන් වහන්සේ ඉතා සියුමැලි සේක. මා යමක් ඇසුවෙන් “මේ සිටු මට බොහෝ උපකාරී යැ” යි සලකා භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන ස්ක. එසේ වෙන්නට ඉඩ තැබීම සිවුමැලි වූ උන්වහන්සේට වෙහෙස කිරීමකි.” යනු එ සිටුතුමාගේ අදහස විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අධික ස්නේහ හේතුයෙන් හේ කිසි දිනෙකත් ප්‍රශ්න නො විචාරයි. සිටුහු ගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ ඔහු ආ සෑම වාරයෙහි කිසි ධර්ම කථාවක් කරන සේක.

සිටු නිවස

තවද සිටුතුමා ගේ ප්‍රාසාදය හැම භික්ෂූන් වහන්සේ ට සතර මං හන්දියක වූ ළිඳක් මෙන් වී ය. එහි නිතර ම දහසක් භික්ෂූනට අසුන් පණවා තිබුණේ ය. ආහාර පාන බේත් යන මේ දැයින් යමක් ලබනු රිසි භික්ෂුවට රිසි සේ ම ඒ සැපැයුණේ ය.

නන්ද භික්ෂු

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ වසන සමයෙහි, ඉන් මාස කීපයකට පෙර කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ සිවුරු හැර ගිහි වීමට අදහස් කොට ඒ බව භික්ෂූනට දැන්වී ය. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ඒ පවත් දැන්වූහු. එවිට භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු කැඳවා ඒ පවත් සැබෑදැ” යි ඇසූ සේක. නන්ද භික්ෂු සියලු ප්‍රවෘත්තිය කී ය. එ විටැ බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂූහු ගේ අත අල්ලාගෙන සෘද්‍ධි බලයෙන් තව්තිසා දෙව්ලෝ වඩනා සේක්, අතර මග දා ගිය හේනකැ දා ගිය ලී කොටයෙකැ ඉන්නා කන් නාසා නගුටු සුන් පුලුටු වැඳිරියක දක්නට සැලැස්සූ සේක. ඉක්බිති තව්තිසා භවනයට වැඩ එහි සක් දෙව් රජුට උපස්ථාන පිණිස ආ ශෝභාසම්පන්න පන්සියයක් පමණ දෙවඟනන් පෙන්වූ සේක. පෙන්වා, “නන්දයෙනි, දැන් තොප අදහස කෙසේ ද? මේ දෙවඟනන් ද ජනපද කල්‍යාණිය ද යන දෙපක්ෂයෙන් කවුරු වඩා ශෝභන දැ?”යි ඇසූ සේක. “වහන්ස, මේ දෙවඟනක ගෙන් දහසයෙන් කලාවකට ද ඕ නො වටී. ඈ මේ දෙවඟනකට සමාන කිරීමේදී මඟදී දුටු පුලුටු වැඳිරිය මෙන් පෙනේ ය” යි කීය. “නන්දයෙනි, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යායෙහි ඇලෙව. එවිට ඒ දෙවඟනන් ලැබිය හැකි බවට මම ඇප වෙමි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ එයට ඇප වන සේක් නම් මහණ දම් පිරීමෙහි ඇලෙන්නෙමි” යි නන්ද භික්ෂු කී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු ගෙන දෙව්ලොවින් අතුරුදන් වූ ක්ෂණයෙකින් ජේතවනයට පැමිණි සේක. එදා නන්ද භික්ෂුව ද තමන් දවල් ලගිනා තෙනට ගිය විට උපස්ථානයට ආ භික්ෂූනට සිදු වූ ප්‍රවෘත්තිය වදාරා “මහණෙනි, තෙපි “කුලීකාරයෙක, දෙවඟනන් නැමැති කුලිය බලා මහන දම් කරන්නෙකැ” යි කියා නන්ද භික්ෂුවට කිය වූ” යැ යි වදාළ සේක. භික්ෂූහු ද එසේ කළහ. භික්ෂූන් විසින් කරනු ලබන නින්දා සහගත කවටකමින් ලජ්ජාවට පත් ආයුෂ්මත් නන්දයෝ ඉතා උත්සාහයෙන් මහණ දම් පුරන්නෝ නො බෝ කලෙකින් සියලු කෙලෙස් නසා රහත් වූහ. පසු දා උදේ නන්ද රහත්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ, “වහන්ස, මට දෙවඟනන් ලැබෙන බවට වූ ඇපයෙන් භාග්‍යවතුන් වහන්සේ දැන් නිදහස් සේකැ” යි කීහ.

“නන්දයෙනි, තොප රහත් වූ කෙණෙහිම ඒ ඇපයෙන් මම නිදහස් වීමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති,

“ආර්‍ය්‍ය මාර්ග නැමැති හේ දංඩෙන් සංසාර නැමැති මඩ වගුර යමකු විසින් තරණය කරන ලද්දේ ද, චිත්ත සන්තානය විදින සියලු ක්ලේශකාම නැමැති කටුව මාර්ග ඥාන නැමැති පොල්ලෙන් මැඩැ පොඩිකර දමන ලද්දේ ද, එසේ කිරීමෙන් රහත් ඵලයත් නිවනත්, ලැබූ ඒ භික්ෂු තෙම ශුභ අරමුණු නිසා ඇති විය හැකි සැප වේදනායෙන් ද, අශුභ අරමුණු නිසා ඇති විය හැකි දුක් වේදනාවෙන් ද, (නොහොත්) අෂ්ටලෝක ධර්මයෙන් චංචල නොවේ.”151

යන ප්‍රීති වාක්‍යය පහළ කළ සේක. එයින් පසු දිනෙක භික්ෂූහු ආයුෂ්මත් නන්ද මහ රහතුන් වහන්සේ වෙත එළැඹ “ආයුෂ්මතුනි, ඔබ මහණකම ගැන කලකිරුණු බවක් කීවෝ නො වෙත්ද? දැන් කෙසේද?” කියා ඇසූහ. “ඇවැත්නි, ගිහි කමට ඇල්මෙක් නැතැ” යි නන්ද හිමියෝ කීහ. භික්ෂූහු එය විශ්වාස නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් එපවත් සැළ කළහ. එවිට බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් රහත් වූ බව වදාරා.

“නො නිසි සේ සෙවිලි කළ හෙවත් සිදුරු වූ පලය ඇති ගෙයට යම් සේ වැසි වතුර වදී ද, එසේ ම භාවනා වශයෙන් දියුණු නොවූ සිත විනිවිද ගෙන රාගය ද වැද ගනී. එහෙත් මනා සෙවිල්ලක් ඇති ගෙට වැසි වතුර යම් සේ නො වදී ද, එසේ ම ශමථ විදර්ශනා වශයෙන් මනා ව වැඩුණු සිත විදගෙන රාගය වදිනු හැකි නොවේ.” යැ යි වදාළ සේක.

ඉක්බිති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂු නම හික්මවූ සැටිය ගැන දම් සබා මඩුවෙහි කතා බස් කරමින් හුන්හ. බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඔවුන් අතර වූ කථාව අසා එය මුල් කොට ගද්‍රභ ජාතකය වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැවැත් නුවර දෙව්රම්හි වසන සේක්, විටින් විට ගම් නියම් ගම් හි සැරි සැරූ සේක. එක් වරෙක පසල් ගමකට වැඩ ඔවුන් මාර්ග ඵලයන්හි පිහිටුවා පෙරළා සැවතටම වැඩ එහි වුසූ සේක.

ආමගන්ධ සෘෂීන් සහිත පිරිස පැවිදි වීම

එකී පසල් ගම් වැස්සෝ වනාහි ආමගන්ධ නම් ඍෂියකුට පැහැද සිටියෝ ය. එ සෘෂීහු ද කලින් කලැ සිය පිරිස හා හිමවතින් එ ගම් වැද මාස කීපයක් වැස යෙති. භාග්‍යවතුන් වහන්සේට එහි වැසියන් පැහැදුණු පසු ද සිරිත් පරිදි ඔහු ගේ පිරිස හා එහි ආ නමුත් පළමු පරිදි මහ පෙරහරින් සංග්‍රහ නො ලද්දෝ ය. මනුෂ්‍යයන් පෙර සේ උනන්දුවක් නො දැක්වීමට හේතුව ඔහු විචාළහ. මිනිස්සු “බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ සේකැ” යි ද මෙහි වැඩිසේකැ” යි ද කීහ. .

එවිට ඔහු “බුද්‍ධ” යන වචනය ඇසීමට පවා දුර්ලභ බව කියා “කිමෙක් ද? ඒ බුදුහු ආමගන්ධය වළඳත් දැ” යි ඇසූහ.

“ආමගන්ධය යනු කුමක් ද වහන්සැ?” යි ඔහු ඇසූහු. “ආමගන්ධ නම් දිය ගොඩ සතුන්ගේ මස් යැ” යි සෘෂිහු කීහ.

“එය නම් ඒ භාග්‍යවතුන් වහන්සේ වළඳන සේකැ” යි මිනිස්සු කීහ. සෘෂිහු “එ සේ නම් හේ බුදුවරයෙක් නො වේ දෝ”යි විපිළිසර ඇති වී “ගොස්, විචාරා දැන ගනිමු” යි සිතා භාග්‍යවතුන් වහන්සේ වැඩි අත ඒ මිනිසුන්ගෙන් අසා දැන, සිය පිරිස හා යුහු යුහු ව ගියෝ, සැවැත් නුවරට පැමිණියහ. ඔවුන් දෙව්රම් පිවිසෙන වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පිණිස ධර්මාසනාරූඪ වූවා පමණෙකි.

තවුසෝ එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ නො වැඳ පසෙක උන්හ. භාග්‍යවතුන් වහන්සේ වූ කලී ඔවුන් ගේ ගමන් බිමන් සුව දුක් ආදිය විචාළ සේක. ඔහු ද එයට නිසි උත්තර දුන්හ.

ඉක්බිති ආමගන්ධ තාපස තෙම “භවත් ගෞතමයෙනි, ආමගන්ධය ඔබ වළඳත් ද, නැද්ද?” යි ඇසූහ.

“මේ තොප කියන ආමගන්ධය නම් කවරේ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“මත්ස්‍ය මාංශය, භවත් ගෞතමයිනි” ඔහු කීහ.

“බ්‍රාහ්මණය, මත්ස්‍ය (දිය මස්) මාශ (ගොඩ මස්) ආමගන්ධ නොවේ. සියලු ලාමක අකුසල ධර්මයෝම ආමගන්ධ නම් වෙති”යි වදාරා,

“බ්‍රාහ්මණය, දැන් තෙපි පමණක් මෙය නො විචාළහු ය. පෙර තිස්ස නම් බමුණෙක් ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ ප්‍රශ්නය විචාළේ යැ” යි වදාරා එය විස්තර කිරීම් වශයෙන් ආමගන්ධ සූත්‍රය[43] වදාළ සේක.

එය අසා පැහැදුණු ආමගන්ධ සෘෂිහු සිය පිරිස වු පන්සීයක් පමණ සෘෂීන් හා භාග්‍යවතුන් වහන්සේ පාමුලැ වැටී වැඳ පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් ඔවුන් පැවිදි කළ සේක. කීප දිනකින් උහු හැම රහත් වූහ.

පුණ්ණ තෙරුන් පැමිණීම

පුණ්ණ මන්තානි පුත්ත මහ රහත්හු භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩි බව අසා, එහි වැඩ දෙවුරම්හි ගඳකිළිය කරා ගොස් උන්වහන්සේ දුටුහ. ශාස්තෘන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. තෙරණුවෝ බණ අසා භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන සැවැත සමීපයෙහි අන්ධ වනයට ගොස් රුකක් මුල හුන්හ. සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන්ගේ ඊම අසා ඔවුන් ගිය මඟ වැඩියෝ ඒ රුක මුලට එළැඹ පිළිසඳර කථා කොට සප්ත විසුද්‍ධි ක්‍රමය විචාළහ. පුණ්ණ තෙරණුවෝ ඒ විචාළ පැණ විසැඳූහ. දෙ තෙරණුවෝ ඔවුනොවුන් බස් සතුටින් පිළිගත්තෝ ය.155

මංගල සූත්‍ර සමාගමය

භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වසන සමයෙහි ම එක් දිනක් රෑ දෙව් පුතෙක් අවුත් වැඳ එකත් පසෙක සිට භාග්‍යවතුන් වහන්සේ ගෙන් “උත්තම මංගලය නම් කවරේදැ” යි විචාළේ ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රය දෙසූ සේක. දේශනාව අවසානයේදී කෙළ ලක්ෂයක් දේවතාවෝ රහත් වූහ. සෝවාන් සකෘදාගාමි ඵලයනට පැමිණියන්ගේ ගණන අගණ්‍ය ය.

සිවු වන වස

භාග්‍යවතුන් වහන්සේ දනවු සැරිසරා වඩනා සේක් වර්ෂාණ කාලය ළං වූ විටැ රාජගෘහ නගරයට ම පැමිණි සේක. බුද්‍ධත්වයෙන් සිවු වන වසැ වර්ෂර්තුවත් එහි වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.

බිම්සර රජ, පුක්කුසාති රජුට ධර්මය ලියවා යැවීම

තක්සලා නුවර රජය කැරැ වු පුක්කුසාති රජ මගධ රටට අධිපති බිම්බිසාර රජතුමාගේ අදෘෂ්ට මිත්‍රයෙකි. (නො දැක ආරංචියෙන් ලියුම් ගනුදෙනුයෙන් මිත්‍ර වුයෙකි.), තම මිත්‍රයාට බුද්‍ධ ශාසනයේ තොරතුරු ලියා යවන අදහස ඇතිවූ බිම්බිසාර රජ රියන් සතරක් දිග ද වියතක් පුළුල ද ඇති රන් පතක් තළවා එහි දෑහිඟුල් දියෙන් (සාදිලින්ගම් වලින් කරන ලද තීන්ත වැනි රස විශේෂයකින්) බුදුගුණ සංග්‍රහ කොට ලියන්නේ, පළමු කොට බුදු කෙනෙකුන් උපන් කළ ලොව ඇති වන කීර්ති ඝෝෂය වු “ඉධ තථාගතො ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නෝ” යන ආදි වූ සංක්ෂිප්ත බුදුගුණ කථාව ඇතුළත් කොට, දස පැරුම් පුරා උන්වහන්සේ තුසී ලොව ඉපිද වුසූ තන් සිට බුදුවීම ද, බුදු වී ප්‍රාතිහාර්‍ය්‍ය පෑ තැන් ද දක්වා ලියුයේ ය.

ඊළඟට “යංකිඤ්චිවිත්තං ඉධ වා හුරං වා” යන ආදි ගාථාව ලියා ඉන් පසු ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යන ආදී ධර්ම ගුණ පාඨය ද, සතර සතිපට්ඨාන, සතර සෘද්‍ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන, පඤ්චෙන්ද්‍රිය, පඤ්චබල, සප්ත බොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග යන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ද, සංක්ෂෙපයෙන් සඳහන්කොට “යම්බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං” යන ආදී ගාථා ලියූයේ ය.

ඉන්පසු “සුපටිපන්නෝ භගවතො සාවක සංඝො” යන ආදී සංඝ ගුණ පාඨය ලියා කුලපුත්‍රයන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම කථාව අසා පැවිදි වන බව ද, සමහරුන් රජකම ද, සමහරුන් යුවරජකමද, සමහරුන් සේනාධිපතිකම ද තවත් සමහරුන් නානාප්‍රකාර තනතුරු ද ධන සම්පත් ද හැර දමා මහණ වන බව ද, එසේ පැවිදි වූවන් සුපටිපන්නතා ඤායපටිපන්නතා ආදි ගුණවලින් සමන්විත වන බව ද සඳහන් කොට, මෙසේ ක්ෂුද්‍ර ශීල, මධ්‍ය ශීල, මහා ශීලයන් සැකෙවින් ලියා, සතර සංවර ශීල, නවුකාර සේනාසන, පංච නීවරණ දුරු කරන සැටි, කමටහන් වල තතු දැයි රහත් වීම තෙක් පිරියැ යුතු සියලු ගුණ රාශිය වූ ශීල සමාධි ප්‍රඥාවන් ද ලියැවූයේ ය.

එයින් පසු ආනාපානස්මෘති භාවනා ක්‍රමය විස්තර ලෙස සඳහන් කොට බුද්‍ධ පුත්‍ර සංඝයා මේ ගුණවලින් යුක්ත යැයි දක්වා “යෙ පුග්ගලා අට්ඨ සතම්ප සත්ථා” යන ආදි ගාථාව ද ලියා ඉක්බිති,

“ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මනාව ප්‍රකාශිත ය නුවණැත්තන් විසින් පුරුදුකොට නිවන් ලැබිය යුතු ය. ඉදින් මගේ මිත්‍රයා හැකි නම් ගිහිගේ හැර එ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වේවා යැ” යි ද,

අවවාද සඳහන් කොට, මෙසේ ඒ ලියුම සම්පූර්ණ කැරැ මැණික් රන් සඳුන් යන තුන් වර්ගයෙන් කළ හෙප්පු තුනක් එකින් එකක් වසා බහා ඊ තුළ ලියුම ලා, ගෞරවයෙන් තක්සලා නුවර පුක්කුසාති රජු වෙත යැවුයේ ය. එ රජ එය ලැබ කියවා වහා ම රාජ්‍යය හැර දමා පැවිදි වැ භාග්‍යවතුන් වහන්සේ දක්නා අදහසින් ම පිටත් වැ යොදුන් දෙසිය සත්තිසක් පමණ වූ දීර්ග මාර්ගය ගෙවා ගොස් රජගහ නුවර කුම්භකාර ශාලාවට පැමිණියේ, එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා අනාගාමී විය.

තිස්ස රජුට යැවූ දහම් ලිපිය

මධ්‍ය දේශයෙන් බොහෝ ඈත සෝවීර රටෙහි රෞරව පුර රජුගේ තිස්ස[44] නම් කුමාරයෙක් විය. වැඩි වයසට පත් හෙතෙම පියා මළ පසු රජ විය. එ රජ බිම්බිසාර නරපතීහු ගේ අදෘෂ්ට මිත්‍රයෙක් වූයේ එ රජුට මුතු මැණික් ආදි වූ බොහෝ පඬුරු යැවූයේ ය. ඒ ලැබූ බිම්සර රජ සිය මිතුරාට පඬුරක් යවන්නේ විසිතුරු වස්ත්‍රයෙක බුද්‍ධ චරිතය සලකුණු කරවා රන් පතෙක පටිච්චසමුප්පාද ධර්මය ලියවා යැවූයේ ය. එය ලැබ චිත්‍ර වස්ත්‍රයෙහි බුද්‍ධ චරිතය ද රන්පතෙහි පච්චසමුප්පාද ධර්ම ක්‍රමය ද බලා, කාරණය මනා ව තේරුම් ගෙන, “භාග්‍යවතුන් වහන්සේ ගේ ආකාරය මම දනිමි. ධර්ම චක්‍රය ද එක් අයුරෙකින් දනිමි. මේ කාම සම්පත් බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ හිරිහැර සහිත ය. මට ගිහිගෙයි සැපතින් කිම් දැ”යි කියා රජ සැප අත් හැර දමා හිසකේ රවුලු බාවා කසාවත් හැඳ, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වැ, මැටි පාත්‍රයක් ගෙන, තමාගේ නගරවාසීන් හඬද්දීම එයින් නික්මැ, ක්‍රමයෙන් ගම් නියම්ගම් ගෙවා අවුත් රජගහ පුරයට පැමිණියේ ය. එහි සප්පසොණ්ඩික පබ්හාර නම් ගල්තල්ලේ වසන බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ දහම් අසා කමටහන් ගෙන වීර්‍ය්‍ය වඩා රහත් බවට පැමිණියේ ය.

සැඬොලකු පැවිදිවීම

රජගහ නුවර සුනීත නම් චණ්ඩාලයෙක් වී ය. හෙතෙම අශූචි ඇද විථි ශුද්ධ කිරීමෙන් දිවි පවත්වන්නෙකි. එහෙත් ඔහු රහත් වීමට හේතු සම්පත් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ දිනක් රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන සේක්, ඒ සුනීත චණ්ඩාලයා ශුද්ධ කරන වීථියට වැඩිසේක. සුනීත තෙම ඒ ඒ තැනින් අශූචි හා කසල එක් රැස් කොට කදින් නුවරින් පිටත ගෙන යන්නේ, භික්ෂු සංඝයා හා වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක බියෙන් තැති ගැනීමෙන් ව්‍යාකූල වැ ඉවත් වැ යන්නට මඟක් හෝ සැඟවෙන්නට තැනක් නැත්තෙන් කසල කද බිත්තියක් අද්දර තබා සිටියේ ය. කරුණාවෙන් තෙත් වූ ළයැති බුදුරජාණන් වහන්සේ ඔහු වෙත පැමිණ මෘදු වූ හඩින් “සුනීත” කියා ආමන්ත්‍රණය කොට, “මේ දුක සේ දිවි රැකීමෙන් කවර අර්ථයෙක් ද? පැවිදි වන්නට පිළිවන් දැ”යි ඇසූ සේක. සුනීත තෙම ඒ වචනය අසා ඔද වැඩී ගිය සිතැත්තේ,

“භාග්‍යවතුන් වහන්ස, මා වැනි නීචයනට මේ ශාසනයෙහි පැවිදි වන්නට ඉඩක් දෙතොත් පැවිදිවන්නට බැරි කිම? එසේ නම් භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරන සේක්වා”යි කීයේ ය,

“බුදුරජාණන් වහන්සේ ඔහු ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කළ සේක. ඉන්පසු ඒ සුනීත භික්ෂුව විහාරයට කැඳවාගෙන ගොස් භාවනා පිළිවෙළක් කියා දුන් සේක. හෙතෙම ඒ අනුව භාවනා කොට පළමු පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති ලබා ඉන්පසු විදර්ශනා වඩා ෂඩ් අභිඥා ඇති රහතෙක් වූයේය. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද ඒ සුනීත රහතුන් වහන්සේ කරා එළැඹ වන්දනමාන කළහ. දේව සමූහයා පිරිවැරූ තෙරුන් දුටු බුදුරජාණන් වහන්සේ සිනා පහළ කොට ප්‍රශංසා කරන සේක්.

“ඉන්ද්‍රිය සංවරයෙන්ද ප්‍රඥායෙන් ද මේ කී දෑ හැර අනෙකුත් ශ්‍රේෂ්ඨ හැසිරීමෙන් ද යන මෙයින් බ්‍රාහ්මණයෙක් වේ. මෙසේ බාහිත පාප වූ පුද්ගලයා ම උතුම් බ්‍රාහ්මණයා කොට බුද්ධාදීහු කියත්”යැයි156 වදාළ සේක.

නැවැත භික්ෂූහු “ආයුෂ්මත් සුනීත, කිනම් කුලයකින් ඔබ නික්ම පැවිදි වූහුද? චතුස්සත්‍ය ප්‍රතිවේධය කළෝ දැ?” යි විචාළහ. එ විට සුනීතයන් වහන්සේ තමන් පෙර අශූචි අදින ඉතා නීච චණ්ඩාල කුලයෙක කෙනකු බව ද, භාග්‍යවතුන් වහන්සේ කරුණායෙන් තමා පැවිදි කළ බව ද, බුද්‍ධ වචනය පරිදි පිළිපැද කෙලෙස් නසා රහත් වූ බව ද, ඉක්බිති ශක්‍රාදීන් අවුත් තමාට නමස්කාර කළ බව ද, ඔවුන් පිරිවරා සිටි තමා දැක බුදුරජාණන් වහන්සේ සිනා පහළ කර ඒ කාරණය මුල්කොට ගෙන දම් දෙසූ බව ද පැවැසූහ.

මහලු සැඬොලියකට දැක්වූ කරුණාව

භාග්‍යවතුන් වහන්සේ දිනක් අලුයම්හි මහා කරුණා සමාපත්තියට සමවැද ඉන් නැඟිට ලොව බලා වදාරන සේක්, එ නුවරැ කුප්පායමෙකැ වසන ආයු පිරිහී සිටි, මරණින් මතු නිරයෙහි ඉපදීමට හේතු වූ අකුසල කර්මයක් එළැඹ ඇති මහලු චණ්ඩාල ස්ත්‍රියක දුටු සේක. දැක ඇය කෙරෙහි මහත් අනුකම්පායෙන් මෙහෙයුණ සිත් ඇති සේක්, ඇගේ දුගති ගමන වළක්වන අදහසින් භික්ෂු පිරිස හා රජගහ නුවර පිඬු පිණස වැඩි සේක. එ කලැ යට කී මහළු සැඬොල් ස්ත්‍රී සැරයැටි වාරුවෙන් ඇවිදින්නී, ඉදිරි මඟින් වඩිනා බුදුරජාණන් වහන්සේ දැක නැවැතී සිටියා ය. භාග්‍යවතුන් වහන්සේ ද ඇගේ ගමන වැළැක්වීමට මෙන් ඉදිරි පසින් සිටි සේක. එ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේන්ගේ අදහස දැන, ඇගේ මරණය ළං බව ද දැක, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කිරීමෙහි ඇය මෙහෙයනුවෝ,

“චණ්ඩාලිය, කීර්තිමත් ගෞතමයන් වහන්සේ ගේ පා වඳු, නුඹට මහා අනුකම්පායෙන් මේ මහර්ෂීන් වහන්සේ ගමන නවතා දැන් මෙහි සිටින සේක් ය. පිරිසිදු සිත් ඇති, ලාභාලාභාදියෙන් කම්පිත නො වන මේ පූජ්‍ය මහෝත්තමයාණන් කෙරෙහි සිත පහදවා ගන්න, වහා දොහොත් මුදුන් තබා මුන් වහන්සේ වඳින්න, නුඹේ ආයුෂ ඉතිරි වැ ඇ ත්තේ ඉතා ම ටික යැ” යි වදාළහ.

ඕ එය අසා සිය මරණය ඉතා ළං යැයි සලකා, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා, පසඟ පිහිටුවා වැඳ, නැඟිට දොහොත් මුදුන් තබා වැඳගෙන ම බුදුගුණ සැලකීමෙන් එකඟ සිතැති ව ප්‍රීතියෙන් සිටියා ය. බුදුරජාණන් වහන්සේ “මෙය ස්වර්ගෝත්පත්තිය පිණිස මෑට සෑහේයැ” යි දැක භික්ෂු සංඝයා හා එතැනින් නික්මි සේක. උන්වහන්සේ වැඩි පසුත් බලවත් ප්‍රීතියෙන් ඒ දෙසට වැඳගෙනම සිටි ඕ තොම, කුලප්පු වී ඒ අතට වේගයෙන් දිව ගිය දෙනක විසින් අඟින් අනින ලද්දී, වැටී මළා ය. මරණින් මතු ඕ තව්තිසා දෙව් ලොව ඉපැද සැපත් විඳිමින් වුසූ තැනැත්තී, දිනෙක දිව්‍ය ලෝක චාරිකායෙහි වඩනා මුගලන් තෙරණුවනට තමා ගේ ඒ සියල් පවත් දැන්නුවා ය. මුගලන් තෙරුන් අවුත් ඒ පවත් දැන් වූ කල්හි බුදුරජාණන් වහන්සේ එය මුල් කොට පිරිසට දම් දෙසූ සේක.

සෝපාක නම් අසරණ දරුවා

රජගහ නුවර චණ්ඩාලයෙකුට දාව පුක්කුස කුලයෙක ස්ත්‍රියකට දරුවෙක් ලැබුණේ ය. ඔහුට සෝපාක යන නම වීය. ඒ දරුවා සිවුමැසි කලැ පියා මළේය. ක්‍රමයෙන් වැඩුණු සෝපාක තෙම සත් ඇවිරිදි වීය. දිනක් සුලු පියා “මූ මගේ පුත්‍රයා හා කලහ කෙරේ යැ”යි කිපී ඒ සෝපාක දරුවා අමු සොහොනට ගෙන ගොස් අත් දෙක ලණුවෙකින් එක් කොට බැඳ ඒ ලනුවෙන් ම ඔහු මළ කඳකට දැඩිකොට බැඳ “මූ සිවල්ලූ කා දමත් ව”යි ඔහු තනි කැරැ දමා ගියේ ය. අසරණ කුඩා දරුවා රැ මධ්‍යම යාමය පමණේ දී,

“අහෝ! මගේ කවර වරදෙක් ද? අනාථ මට අනේ! නෑයෙක් වත් පිහිට වෙන්නට නෑ! අනේ සොහොනේ බැඳි මා කවුරුවත් මුදා හරින්න!”යි විලාප කියා හැඬුයේ ය. .

“ඒ වේලෙහි ලොව බලා වදාරන බුදුරජාණන් වහන්සේ අනාථ වැ වැලැපෙන දරුවා දැක ඔහු දෙසට ආලෝකය පතුරුවා හැර ඔහුට ප්‍රකෘති සිහිය උපදවා,

“දරුව සෝපාක, මෙහි එව. තථාගතයන් දෙස බලව. රාහු ගෙන් සඳුහු මිදුණාක් මෙන් මම් නුඹ ගලවා ගන්නෙමි”යි වදාළ සේක.

දරු තෙමේ බුද්ධානුභාවයෙන් බන්ධනයෙන් මිදී ඒ බුදුරජාණන් වහන්සේ වැඩ උන් විහාරයේ පිළේ සිටියේ ය. සෝපාකයාගේ මව දරුවා නො දැක උහුගේ සුලු පියහු විචාළ නමුත්, ඔහු තමා කළ හිරිහැරය නොකීයෙන්, ඒ ඒ තැන ඇවිදත් සොයා ගත නො හැකි වැ “බුදුවරු තුන් කාලය දන්නා තැනැතෝ ලු. එ බැවින් භාග්‍යවතුන් වහන්සේ ගෙන් ම දරුවා ගේ තොර තුරු දැන ගනිමැ” යි සිතා විහාරය දෙසට ගියා ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. භාග්‍යවතුන් වහන්සේ සෘද්‍ධි බලයෙන් දරුවා මවට නො පෙනෙන්නට සැලැස්සු ස්ක. ඒ ස්ත්‍රී “ස්වාමීනි, ම පුතා දකින්නට නැත. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තොරතුරු දන්නා සේක් ද?”යි බුදුරජුන් විචාළා ය බුදුරජාණන් වහන්සේ,

“මරහු විසින් මඩනා ලද්දහුට පුත්‍රයෝ ද සෙසු බන්ධුහු ද පිහිට පිණිස නො වෙත්. නෑයන් කෙරෙහි ප්‍රතිෂ්ඨාවෙක් ද නැත. මෙම කරුණ දැන නුවණැත්තහු ශීලයෙන් සංවෘත ව නිවන් මග යුහුසුලු ව පිරිසිදු කළ යුතු යැ”යි වදාළ සේක.157

ධර්ම කථාව අසා ඕ සෝවාන් වූවා ය. සෝපාක තෙම රහත් විය. ඉක්බිති මවට දරුවා පෙනෙන්නට සැලැස්වූ සේක. ඕ පුතු දැක තුටු පහටු ව, ඔහු රහත් වූ බව අසා, පැවිදි කරවා ගියා ය. සෝපාක තෙම ගඳකිළිය සමීපයෙහි සක්මන් කරමින් සිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ උන් වහන්සේ පසු පස්සෙන් හක්මන් කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ සෝපාක සාමණේර නමට උපසම්පදාව දෙනු කැමැති සේක්, “එක නම් කිමෙක් ද?” යන ආදින් ප්‍රශ්න දහයක් ඇසූ සේක. සාමණේර තෙම ඒ සියල්ලට ම හරියට උත්තර දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ළදරුවකු වූ ඔහුගේ සමත්කමට සතුටු පඬුරක් වශයෙන් සත් හවුරුදු වයසේ දී ම උපසම්පදාව දුන් සේක. මෙය පඤ්භව්‍යාකරණූපසම්දා නම් විය.

භාරද්වාජයන් පැවිදිවීම

රජගහනුවර භාරද්වාජ ගෝත්‍රයට අයත් බැවින් එ නමින් ම ප්‍රසිද්‍ධ වූ බමුණක්හු ගේ ධානංජානි නම් භාර්යාව තෙරුවන් කෙරෙහි පැහැදුණු උපාසිකාවක් වූවා ය. දවසක් ඕ සිය සැමියාට බත් පිළිගන්වන්නී පය ලිස්සා වැටෙන්නට ගියා ය. එකෙනෙහිම ඕ භාග්‍යවතුන් වහන්සේ සිහිකොට “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස” යන්න තුන් වරක් කීවා ය. එ විට බමුණා කිපී “මේ වසලී කොතැනැදීත් ඒ මුඩු මහණා ගේ ගුණ කියයි. වසලිය, මම් තිගේ ඒ ශාස්තෘහට වාද නගමි” යි කී ය.

“බ්‍රාහ්මණය, දෙවියන් ඇතුළු ලෝකයෙහි මහණ බමුණන් සහිත ජනතායෙහි ඒ භාග්‍යවත් අරහත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට වාදාරෝපණයට සමතෙක් ඇතැයි නො සිතමි. උන්වහන්සේ වෙතට ගියා ම මා කියන්නේ ඇත්ත ද නැත්ත දැ?” යි වැටහේවි” බැමිණි කීවා ය.

එවිට බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කොට පැත්තෙක ඉඳ ගත්තේ ය. ඉඳගෙන මේ ප්‍රශ්න ඇසී ය :

“කුමක් නැසීමෙන් සුවසේ වැදහෙත හැකි ද? කුමක් නැසීමෙන් ශෝක නො කැරැ ඉඳිත හැකි ද? මොන එක් දැයක් වැනැසීම ඔබට රිසියේ දැ?”

බමුණා ඇසු මේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ,

“ක්‍රෝධය නැසීමෙන් සුව සේ වැදහෙයි, ක්‍රෝධය නැසීමෙන් ශෝක නො කැරැ ඉඳිත හැකි වෙයි. බ්‍රාහ්මණය, අග මිහිරක් වැ පැනෙන, දුක් විසට මුල වූ ක්‍රෝධය වැනැසීම මැනැවැ” යි ආර්‍ය්‍යයෝ පසසත්. ඒ ක්‍රෝධය නැසීමෙන් නිශ්ශෝක වේ” යැයි වදාළ සේක.

මෙය ඇසූ බමුණා තෙරුවන්හි පැහැද උපාසකයෙක් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහුට පැවිද්දත් උපසම්පදාවත් දුන් සේක. පැවිදි වූ හෙතෙම විදසුන් වඩනුයේ නොබෝ දිනෙකින් කෙලෙස් නසා රහත් බවට පැමිණියේ ය.

භාරද්වාජගොත්ත බමුණා භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වීයැ යි ඇසු ඒ ගෝත්‍රයට ම අයත් තව බමුණක් කුපිත වැ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් අසභ්‍ය පරුෂ වචනයෙන් පරිභව කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඔහුගේ බැණුම් අසා හුන් සේක. ඔහුන්ගේ බැණුම අවසන් වූ පසු ඔහුට කතා කොට,

“බ්‍රාහ්මණයෙනි, ඔබ වෙතට නෑ මිතුරෝ අමුත්තෝ හෙම ඉඳහිට එත්දැ?” යි ඇසූ සේක.

“එසේ ය එති”යි බමුණා කී ය.

“ඔවුනට ඔබ කන බොන දෑ දෙත් ද?”

“එසේ ය, දෙමි”

“ඔබ ඔවුනට දෙන ඒ දෑ උන් නො පිළිගත්තොත් ඒවා කාට අයත් වෙත්ද?”

“වෙන කාටද? ඔවුන් ඒවා නො පිළිගත්තොත් ඒවා අපට ම යි.”

බමුණා මෙසේ කී කලැ, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා කොට,

“බ්‍රාහ්මණයෙනි, අප ඔබට බැණුමක් කිපීමක් කලහ නැගීමක් නැතිව නිහඬ වැ ඉන්දදී තෙපි අපට ආක්‍රෝශ පරිභව කළහු ය. තොපගේ ඒ ආක්‍රෝෂ පරිභව අපි නො පිළිගනිමු. ඒවා ඔබට ම ආපහු ලැබෙයි. බ්‍රාහ්මණයෙනි, ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කරන්නාද, කිපෙන්නාහුට පෙරළා කිපෙන්නා ද, කලහ නගන්නහුට පෙරලා කලහ නගන්නා ද ඒ තැනැත්තා අනෙකාත් සමග එකතුව ඒවා වළඳන්නෙකි. අපි ඔබ හා එකතු ව නො වළඳමු. ඔබ කී දෑ ඔබ කරා ම පැමිණේ යැ” යි වදාළ සේක.

“රජු සහිත පිරිස “ශ්‍රමණ ගෞතමයෝ රහත් කෙනෙකැ” යි රජුත් රට වැස්සාත් පිළිගෙන ඇත. එහෙත් ශ්‍රමණ ගෞතමයන් කිපෙන බවක් මට හැඟේ යැ” යි බමුණා කී ය.

භාග්‍යවතුන් වහන්සේ.

“දාන්ත වූ සංසුන් පැවැතුම් ඇති මනා ව නුවණින් දැන සියලු කෙලෙසුන් ගෙන් මිදුණු, ලාභ අලාභ නින්දා ප්‍රශංසාදී අට ලෝ දහමින් නො සැලෙන ස්ථිර ගුණ ඇති ක්‍රෝධ නොකරන රහතකු තුළ ක්‍රෝධයෙක් කොයිද?”

“කිපුණහුට පෙරළා කිපෙන්නා ඒ පළමු වැන්නාට වඩා ලාමක ය. කිපුණහුට නො කිපෙන්නා ලෙහෙසියෙන් දිනත නො හැකි යුද්‍ධයෙකින් දිනුවෙක් වෙයි.

අනෙකා කිපුණා දැක සිහි ඇති ව ඉවසන තැනැත්තේ තමාටත් අනෙකාටත් යන දෙදෙනාට ම අභිවෘද්‍ධිය සලසන්නෙකි.

“මෙසේ ඉවැසීමෙන් තමාටත් අනුනටත් යහපත සලසන්නාට ධර්මය නොදන්නා අන්ධබාලයෝ “මෝඩයෙකැ” යි හඟිත්” යැ යි වදාළ සේක.

මේ කථාව අසා සිටි, මුලදී භාග්‍යවතුන් වහන්සේට ආක්‍රෝශ පරිභව කළ ඒ භාරද්වාජ බමුණා පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. ඉක්බිති පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ද පැවිදි උපසපන් කළ සේක. හේ විවසුන් වඩනුයේ නොබෝ කලෙකින් සියලු කෙලෙස් නසා රහත් විය.

මාතුපෝසක බමුණා

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙවුරම්හි වසන සමයෙහි ම එක් බමුණෙක් අවුත් පිළිසඳර කථා කොට තමා ගේ වතගොත කියනුයේ “භවත් ගෞතමයිනි, මම් දැහැමින් භික්ෂාව සොයා ගනිමි. එසේ සොයා ගෙනවුත් මගේ මවත් පියාත් පෝෂිත කරමි. භවත් ගෞතමයෙනි, මෙසේ ක්‍රියා කරන මම් සිය යුතුකම කරන්නෙකිම් වෙම්දැ?”යි ඇසී ය.

ඒ බසට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්,

“දැහැමින් ආහාරපානාදිය සපයා මවත් පියාත් පෝෂිත කරන්නා තමාගේ සත්පුරුෂ ධර්මය හේතුකොට ගෙන මෙ ලොවැදිත් පැසැසුම් ලබයි. පරලොවැ දීත් ස්වර්ගයෙහි සැප විඳිමින් සතුටු වේ”, යැ යි වදාළ සේක. මෙය අසා පැහැදුණු බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය.

උග්ගසේන සමාගම

රජගහ පුරැ උග්‍රසේන නම් සිටු පුතෙක් එ නුවර පැමිණ ක්‍රීඩා දක්වන තරුණියක දැක ඇය කෙරේ පිළිබඳ සිතැති විය. මා පියෝ ඔහු අදහස වෙනස් කරන්නට හැකි සෑම උපායම කළෝ ද නො හැකි වූහ, පුතු සනසනු කැමැත්තෝ එ තරුණිය ගේ පියාට දන්වා යවා ඇය සිය පුතුට පාවා දෙන්නට කථා කළහ. සිටු කුමරහු තමන් හා එකතු වැ හැසිරෙතොත් ම සිය දුව දිය හැකි බව තරුණිය ගේ පියා තරයේ කියා සිටියේ ය. උග්ගසේන තෙම සිය ධනස්කන්ධය ද හැර දමා තැන තැන නටා ඇවිදිමින් දිවි රක්නා ඒ නාටක ජනයාට එක් වන්නට කැමැති විය. හේ මා පියන් නො කැමැත්තෙන් නික්ම, නටන ජනයා කරා ගොස් ඇය පාවා ගෙන ඔවුන් හා ගම් නියම් ගම්හි ඇවිද්දේ ය. කලෙකින් හෙ තෙමෙ ඔවුන් ගේ ක්‍රීඩා ද මොනවට උගත්තේ ය. තැනින් තැන ඇවිදුනා එ පිරිස යලි රජගහ නුවරට ආහ. “උග්ගසේන සිටු පුතු ක්‍රීඩා ශිල්ප දක්වතැ”යි අසා නුවර වැස්සෝ එහි රැස් වූහ. උග්ගසේන තෙම හුණ ගසක් මත නැඟී අහසට පැන කරනම් සතක් ගසා බැස හුණ ගසෙහි ම පිහිටා සිටියේ ය. මේ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නුවරට වඩනා සේක. ක්‍රීඩා බලා සිටි පිරිස උග්ගසේනයා නො තකා හැර භාග්‍යවතුන් වහන්සේ දෙස බලා ගත් වණ ම සිටියහ. උග්ගසේන තෙම මහජනයා තමා දෙස නො බලා භාග්‍යවතුන් වහන්සේ දෙස බලා සිටිනු දැක ශිල්ප දැක්වීමෙහි පසුබට වූයේ ය.

භාග්‍යවතුන් වහන්සේ සිටු පුතු ගේ චිත්තාචාරය දුටු සේක. දැක මුගලන් මහතෙරුන් අමතා “මෞද්ගල්‍යායනය, ශිල්ප දක්වන්නට සිටු පුතුට කියන්නැ” යි වදාරා ඔහු වෙත යැවූ සේක. තෙරණුවෝ ද එහි වැඩ ශිල්ප දක්වන්නට කීහ. හෙතෙම “ශාස්තෘන් වහන්සේ මගේ ශිල්ප දක්නා කැමති සේක් වනැ”යි සිතා “එ සේ නම් බැලුව මැනැව වහන්සැ” යි කියා කරණම් ගසා හුණ ගස මත ම සිටියේ ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ උග්ගසේනයා අමතා,

“හුණ ගස මුදුන සිට එයින් අහස් පැන කරණම් ගසන්නහු හුණ ගස පෙර පසු දෙ කොණ ද මැද ද යන තුන් තැන ම අතින් මුදන්නා සේ ස්කන්ධ සන්තතිය ගේ පෙර (ස්කන්ධ) කොටස් කෙරේ ඇල්ම මුදාලව (හැර දමව), පසු (අනාගත ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මැද (වර්තමාන ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මෙසේ හැම තන්හි ඇල්ම හැර මිදුණු සිතැත්තේ ජාති ජරා මරණයට නො පැමිණේයැ”යි

වදාරා දම් දෙසූ සේක.157

දේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය. සිටුපුත් තෙම එසේ හුණ ගස මතුයෙහි සිටියේ ම සිවුපිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේ, බැස අවුත් පසඟ පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැවිද්ද අයැදී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කළ සේක.

පස් වන වස විසාලා මහනුවර

ශාක්‍ය කෝලිය යුද්‍ධය භාග්‍යවතුන් සංසිඳුවීම

වස් වසා පවරා ඉක්බිති සැරි සරා වඩනා සාමි දරුවන් වහන්සේ දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණි සේක්, න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. එසමයෙහි ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ ඇසූ ඔවුන් ගේ ක්‍රෝධය සංහිඳිණ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඵන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක, වට්ටක ජාතක යන මෙයින් දම්දෙසා එ රජුන් සමඟි කැරැවූ සේක. මෙයින් පහන් වූ ඔහු එක් කුලයෙන් දෙ සිය පණස බැගින් ශාක්‍ය කෝලිය ද කුලයෙන් පන් සියයක් කුමරුන් භාග්‍යවතුන් වහන්සේ ට පිරිවර පිණිස දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සියලු දෙනා ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කළ සේක. එයින් පසු කිඹුල්වත් පුරට නො දුරු මහ වනයට ඔවුන් ගෙන වැඩි සේක. ඒ භික්ෂූන් ගේ පෙර අඹුවෝ නොයෙක් අයුරු පණිවුඩ යවන්නෝ ඒ භික්ෂූන් සිත් ගන්නට තැත් කළහ. භික්ෂූහු ද පැවිද්දෙහි ඇල්ම හළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පවත් දැන ඔවුන් සෘද්‍ධියෙන් හිමාලය වනයට ගෙන ගොස් එහි දී කුණාල ජාතකය වදාළ සේක. එය ඇසූ භික්ෂූහු ගිහි වීමේ අදහස දුරැ හළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චතුස්සත්‍ය කථායෙන් ඔවුනට බණ වදාළ සේක.

ඒ ඇසීමෙන් ඔවුන්ගෙන් බාල ම තැනැත්තේ සෝවාන් විය. වැඩිමාළු තැනැත්තේ අනාගාමී විය. සෙස්සෝ සෙදගැමි වූහ. තව ද මෙහි දී බුද්ධානුභාවය දැක පැහැදි උසභ ශාක්‍ය කුමාර, ගෝතම ශාක්‍ය කුමාර, ශුද්ධෝදන රජුන්ගේ පුරෝහිත පුත් සප්පදාස, කෝලිය පුත් නිසභ ආදී අන්‍ය බොහෝ ජනයෝ ද පැවිදි වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගෙන මහ වනයට ම පෙරළා වැඩ ඔවුනට බණ වදාළ සේක. සියල්ලෝ ඒ දේශනාව ඔස්සේ සිත යවා විදසුන් වඩා රහත් වූහ.

ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පසෙක උන්හ, දස දහසක් සක්වළ දෙව් බඹුහු ද ඉතා සියුම්වෙස් ගෙන එහි රැස් වූහ. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහා සමය සුත්තය[45] වදාළ සේක. ඉක්බිති එහි වූ රාගචරිත, ද්වෙෂචරිත, මෝහචරිත, ශ්‍රද්ධාචරිත, බුද්‍ධිචරිත, විතර්කචරිත යන චරිත සයින් ඒ ඒ චරිත ඇති දෙවියනට අවවාද කරනු පිණිස තමන් වහන්සේ ම වැනි බුදු රුවක් මවා, තමන් වහන්සේ ඉදිරියෙහි නැගෙන හිර පැත්තේ සම ආසනයක හිඳ ප්‍රශ්න අසන සේ සලස්වා, ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රාග චරිතාදීනට සුදුසු සේ පිළිවෙළින් සම්මාපරිබ්බාජනිය සුත්ත, පුරාභෙද සුත්ත, කලහවිවාද සුත්ත, චූලවියුහ සුත්ත, මහාවියුහ සුත්ත, තුවටක සුත්ත යන[46] දේශනා සයින් දහම් දෙසූ සේක.

බුදුරජාණන් වහන්සේ මෙසේ කිඹුල්වත් පුර වසන සමයෙහි මහා ප්‍රජාවතීගෞතමී දේවී උන්වහන්සේ කරා එළැඹ, වැඳ එක් පසෙක සිට, ස්ත්‍රීනට සස්නෙහි පැවිදි වීමට අවසර දෙන ලෙස තුන් වරක් ම අයැදුවා ය. තවම එයට කාලය නො වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට අවසර නුදුන් සේක. එ විට ඕ තොමෝ ශෝක පත් වැ කඳුළු පිරුණු මුහුණ ඇතිව හඬමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියා ය.

පස් වන වස විසාලා පුරයෙහි

බුදුරජාණන් වහන්සේ ටික කලක් කිඹුල්වත් පුරයෙහි වැස ඉන් නික්ම පිළිවෙළින් සැරි සරන සේක් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක. එ කල වර්ෂර්තුව විය. එබැවින් විසල් පුර සමීපයෙහි මහා වනයෙහි කූටාගාර ශාලා නම් විහාරයේ වුසූ සේක.

සුදොවුන් රජ රහත් වීම

එ සමයෙහි දිනක් අලුයමැ ලොව බලා වදාරන සාමි දරුවන් වහන්සේ සුදොවුන් රජ රෝගයකින් පෙළෙන බවත් රජුහු තමන් වහන්සේ දක්නා කැමැත්තෙන් ඉන්නා බවත් දැක, ශ්‍රාවක පිරිසකුත් කැටුව සෘද්‍ධියෙන් එහි වැඩි සේක. එහි රෝගාතුර වූ රජු සැතැපී උන් ඇඳ ඉස පැත්තේ පැණැවූ අස්නේ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ රජු හිසැ දක්ෂිණ ශ්‍රී හස්තය තබා සත්‍ය ක්‍රියා බලයෙන් රිදුම දුරු කළ සේක. නන්ද මහ රහත්හු රජු දකුණත අල්ලා සත්‍ය ක්‍රියා කළහ. එ කෙණෙහි ම එ අතැ රුජාව ද දුරු වී ය. අනඳ තෙරණුවෝ රජහු වමතැ ද, සැරියුත් තෙරණුවෝ පිටෙහි ද, මුගලන් තෙරණුවෝ දෙපසෙහි ද, සිය අත් තබා සත්‍ය ක්‍රියා කළහ. එකෙණෙහි රජු සිරුරෙහි සියලු රුජාව මුළු මනින් දුරු වීය. මෙසේ රජ රෝගයෙන් මිදුණේ ය. එහෙත් ඉතා මහළු වූ එ තුමාගේ කයෙහි දුර්වල බව පැවැත්තේ ය.

මේ අවස්ථායෙහි දී භාග්‍යවතුන් වහන්සේ රජුට අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කථායෙකින් අවවාද කළ සේක. ධර්ම කතාවසානයේ දී රජ්ජුරුවෝ රහත් වූහ.

ශුද්ධෝදන රහත් හු පිරිනිවන් පෑම

එ තන් පටන් සතියක් කල් ශුද්ධෝදන රහත්හු විමුක්ති සැප විඳිමින් කල් ගෙවා, සත් දින අවසන්හි භාග්‍යවතුන් වහන්සේ වැඳ, ඒ මංචකයෙහි ම හිඳ සිය ඇමැති ගණයා කැඳවා, තමන් ගෙන් වූ වරදෙක් ඇත් නම් ක්ෂමා කරන ලෙස වදාරා, කඳුළු ධාරායෙන් නැහැවෙමින් වටා රැස්ව හඬා වැලපෙන ප්‍රජාවතීගෞතමී දේවී ප්‍රමුඛ රජ පවුලෙහි ලොකු කුඩා සියල්ලට ශෝක වීමේ නිෂ්ඵල බව දක්වා අනිත්‍යතා ප්‍රතිසංයුත්ත ධර්ම කථායෙන් අවවාද කොට, එ යහන් මතැ සැතපී අනුපාදිශේෂ පරිනිර්වාණධාතුයෙන් පිරිනිවන් පෑහ.

භාග්‍යවතුන් වහන්සේ පීතෘ දේහය ආදාහන කරවා රැස් වූ මහ පිරිසට දම් දෙසා ඉන් නික්ම පෙරළා විසාලා මහනුවරට ම වැඩි සේක.

මෙහෙණි සස්න

යශෝධරාව මහණ වෙන්නට තැත් කිරීම

මෙයින් පසු යශෝධරා දේවී “මහණ වෙමි” යි මෙ විටැ තැත් කළා ය. මහා ප්‍රජාපතී ගෞතමී එය අසා “දුව, මා වැනි මවකට පවා තෙ වරක් යාඥා කොටත් භාග්‍යවතුන් වහන්සේ පැවිද්දට අවසර නුදුන් සේක. උන් වහන්සේ බුදු වූ පසු තබා, ඉන් පෙරැ ගිහිගෙයි වසන කලැ අග මෙහෙසි ව සිටින සමයෙහි පවා, තෙපි උන්වහන්සේ ඉදිරියේ සිට එඩිතර වැ පුරා වචන දෙකක්වත් කියා ගත නුහුනු වූහ. එසේ කලැ දැන් තෙපි කෙසේ පැවිද්ද ඉල්ලා ගන්නට තරම් විශාරදවන්නහු ද? එය තොපට බැරි ය. මම ම ගොස් පැවිද්ද ඉල්ලා ගන්නෙමි. ඉන්පසු මහණවවු” යැයි කියා ඇය නවතා ලූ ය.

ප්‍රජාවතී ගෞතමින් පැවිදි වීම

ඉක්බිති මහාප්‍රජාපතී ගෞතමී දේවී යලිත් පැවිදි වන අදහසින් ඉහත රෝහිණී නදී තීරයෙහි කලහ විවාද සූත්‍ර දේශනාවසානයේ දී පැවදි වූ කුමරුවන් ගේ භාර්යාවන් පන්සියය හා හිස් මුඩු කරවා ගෙන කසාවත් හැඳ පා ගමනින් ම විසාලා මහනුවරට ගියා ය.

මෙහෙණි සස්න පටන් ගැන්ම

එ සේ ගොස් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ලවා මේ භාග්‍යවතුන් වහන්සේ ට අයැදුම් කරවා ගුරුධර්ම අටක් පිළිගැණීමෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබුවා ය.

ඒ ගුරු ධර්ම අට නම් :

“උපසම්පදාවෙන් වස් සියයක් වූ මෙහෙණිය විසින් ද එදා ම උපසපන් වූ භික්ෂුව දැක වැඳුම් හුනස්නෙන් නැගී සිටීම් ආදී සැලකිලි දැක්විය යුතු.

භික්ෂූන් නැති පෙදෙසකැ ආවාසයක මෙහෙණිය විසින් වස් නො විසිය යුතු.

අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාල යුතු. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු.

වස් අවසානයේ දී භික්ඛු භික්ඛුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු.

ගරු ඇවැතකට පැමිණි මෙහෙණිය විසින් උභතෝසංඝයා කෙරෙහි මානත පිරිය යුතු.

දෑවුරුද්දක් ශික්ෂමාණාවක ව සිට එයට පසු ම උපසම්පදාව ලැබිය යුතු. මොන ම කාරණයෙකිනුත් මෙහෙණියක විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නො කළ යුතු.

මෙහෙණිය විසින් භික්ෂූනට අවවාද කළ නො හැකිය. භික්ෂූන් විසින් මෙහෙණියනට අවවාද කළ මනා ය. ඒ අවවාද මෙහෙණියන් විසින් පිළිගත යුතු ම ය.”

මහා ප්‍රජාවතීගෞතමීන් මේ ගුරුදහම් අට පිළිගෙන පැවිද්දත් උපසම්පදාවත් ලැබූ පසු ශාක්‍ය කුමාරිකාවෝ ද ඇය ගුරුකොට ගෙන උපසම්පදාව ලැබූහ. උපසපන් වූ මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ පසෙක සිටියා ය. එසේ සිටි ඈට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසූ සේක. ඉක්බිති ඕ තොමෝ කර්මස්ථාන ගෙන විදසුන් වඩා රහත් වූවා ය. සෙසු මෙහෙණියෝ පන්සියය ද නන්දක තෙරුන් කළ දේශනාවක් අසා රහත් වූහ. ඉන්පසු භද්‍රකාංචනා (යශෝධරාව) ද ප්‍රජාවතීගෞතමිය ගේ දූ වූ නන්දා ද තවත් බොහෝ ශාක්‍ය කුමාරිකාවෝ ද ප්‍රජාවතී ගෞතමිය කරා එළැඹ පැවිදි වූහ.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වැසි සාර මාස ගෙවුණ පසු වස් පවරා විසාලා මහනුවරින් නික්ම වඩනා සේක් සැවැත් පුරට පැමිණ වදාළහ.

කොසොල් රජ තෙරුවන් සරණ යෑම

එහි ජේතවනයෙහි වසන භාග්‍යවතුන් වහන්සේ වෙත දිනක් කෝශලාධීශ්වර ප්‍රසේනජින් රජතුමා එලැඹියේ ය. එළැඹ පිළිසඳර කථා කොට පසෙක උන්නේ ය. එසේ හුන් රජ තෙම,

“භවත් ගෞතමයන් වහන්සේ තුමූ නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලැබූහ යි ප්‍රතිඥා කෙරෙත් දැ”යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ප්‍රශ්න කෙළේ ය.

එයට උත්තර දෙන භාග්‍යවතුන් වහන්සේ,

තමන් වහන්සේ සම්‍යක්සම්බුද්ධත්වය ලැබූ බවත්, එබැවින් ම සම්‍යක්සම්බුද්ධයෙමි” යි ප්‍රතිඥා කරන බවත් වදාළ සේක.

එ විටැ “ස්වාමීනි, මහ පිරිස් ඇති කීර්තිමත් පූරණකස්සප, මක්ඛලීගෝසාල, නාතපුත්ත නිගණ්ඨ, බෙල්ලට්ඨ පුත්ත සංජය, කකුධ කච්චායන, කෙසකම්බලී අජිත යන සදෙනා ගෙනුත්, “ඔබ සම්‍යක්සම්බුද්ධ දැ?” යි මා විසින් ප්‍රශ්න කරන ලද නමුත් සම්‍යක්සම්බුද්ධ බවක් ඉඳුරා නො කීහ. කිමෙක් ද? උන් හැමට වඩා වයසින් බාල වූ මෑත පැවිදි වූ ගෞතමයන් වහන්සේ තුමූ සම්‍යක් සම්බුද්ධ හ යි ප්‍රතිඥා කෙරත් දැ” යි රජ ඇසී ය. එ විට භාග්‍යවතුන් වහන්සේ රජු අමතා,

“රජ කුමරා ද, සර්පයා ද, ගින්න ද, භික්ෂුව ද යන සතර දෙන ළදරු යැයි පහත් කොට සැහැල්ලු කොට නො සිතිය යුතු යැ”යි වදාරා දහම් දෙසූ සේක. ඒ ඇසූ රජ පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. මේ රජ ජේතවනයෙහි බුදුරජුනට රාජකාරාමය නම් විහාරයක් ද කැරැ වී ය. බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට වදාළ බණ අසා රජු ගේ නැන්දණියෝ සුමනා දේවී සරණ ශීලයන්හි පිහිටියහ. ඈ පැවිදි වනු කැමැති වුවත් රජුන්ගේ මිත්තණියට උපස්ථාන කළ යුතු වැ තුබුණු බැවින් අවසර නො ලත්හ.

කලකට පසු රජු ගේ මිත්තණියෝ මළහ. රජ ශෝක පත් වැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ බව දැන්වී ය. එ විට සියලු සත්වයන් මරණයට යටත් බව වදාරා භාග්‍යවතුන් වහන්සේ රජුගේ ශෝකය සංසිඳුවූ සේක. ඉක්බිති සුමනා තොම රජ කැටුව බොහෝ අනැගි භාණ්ඩ ගෙන ගොස් සංඝයාට දෙවූවා ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ බණ අසා ඕ අනාගාමී ව පැවිද්ද ඉල්ලුවා ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා රහත් ව තොමෝත් එය ම කීවා ය. ඒ ම ඇගේ පැවිද්ද හා උපසම්පදාව විය.

භාග්‍යවතුන් වහන්සේ ලක්දිව වැඩි දෙවෙනි ගමන

සැවැත් නුවර වසන භාග්‍යවතුන් වහන්සේ බක් අව පසළොස්වක් දා අලුයමැ ලොව බලා වදාරන සේක්, චූලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා විය හැකි යුද්‍ධයක් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් සෘද්‍ධියෙන් ලක්දිව වැඩි සේක. දෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි කිරිපළු රුකට අධිගෘහිත සමිද්‍ධිසුමන නම් දේවතාවා එය උදුරා ඡත්ත්‍රයක් මෙන් භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි දරමින් ගෙනායේ ය. එසේ වඩනා භාග්‍යවතුන් වහන්සේ මණිනාග දිවයින් වැඩ, යුදයට සැරැසී සිටි නාග සේනාවට පෙනෙමින් අහසැ හිඳ, පෙළහර පා ඔවුනට බණ වදාරන සේක්, .

සංසාර දෝෂය ද මක්ඛ පලාසාදීන්ගේ ආදීනවය ද කාකෝලුක ජාතක, එන්දන ජාතක, ලටුකික ජාතක, වට්ටක ජාතක යන මෙයින් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුසස් ද ප්‍රකාශ කොට අවවාද කළ සේක.

ධර්ම කථා ශ්‍රවණයෙන් සතුටු වූ දෙ පක්ෂයේ නා රජුහු සමග ව ඒ මිණි පළඟින් භාග්‍යවතුන් වහන්සේ පිදූහ. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳ ගත් සේක, ඉක්බිති නාගයෝ මධුර භෝජනයෙන් භාග්‍යවතුන් වහන්සේ වළඳවා මනා ව බණ ඇසූහ. බොහෝ නාගයෝ සරණ සිද්‍ධි පිහිටියහ.

මහෝදර රජු ගේ මයිල් මණිඅක්ඛික නා රජ කැලණිපුර සිට යුද්‍ධ පිණිස එහි පැමිණ සිටියේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පූජ්‍ය වස්තුවක් ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේ එ මිණිපළඟ ද තමනට සෙවණ කළ සමිද්‍ධි සුමන දේවතාවා අරක් ගත් කිරිපළු රුක ද නාගයනට පූජ්‍ය වස්තු කොට දී යලි දු අවවාදානුශාසන කොට පෙරළා ජේතවනාරාමයට ම වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක සැවැත්නුවර වර්ෂා ඍතුව ගත කොට එයින් පසු දක්ෂිණාගිරි ජනපදයට වඩින්නට සැරැසුණු සේක. මේ පවත් ඇසූ අනේපිඬු සිටාණෝ ද විශාඛා උපාසිකාවෝ ද පසේනදී කොසොල් රජතුමා ද නොයෙක් කරුණු කියා තව ටික කලක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ම නවත්වා ගන්නට උත්සාහ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ ඉල්ලීම නො පිළිගෙන ගමන වඩින්නට ම සැරැසුණු සේක. අනේපිඬු සිටාණෝ මෙයින් මහත් කණගාටු වී ගෙයි පැත්තකට වී කල්පනා කරමින් හුන්නෝ ය. සිටු හුගේ බැල මෙහෙවර කරන පුණ්ණා නම් දාසී එය දැක, “ස්වාමීනි, කණගාටු ගතියෙකින් ඉන්නේ ඇයි දැ?” යි ඇසුවා ය. සිටුතෙම කාරණය කීයේ ය. “ස්වාමීනි, මමත් උත්සාහයක් කැරැ බලන්නෙම්, මගේ උත්සාහය සාර්ථක වුවොත් මට දෙන්නේ මොනවා දැ?” යි ඇසුවා ය. “නුඹ දාසභාවයෙන් මුදා පවුලේ කෙනකුගේ තත්ත්වයට නංවමි” යි සිටු කී ය.

එ විට ඕ වහා දිව ගොස් ජේතවනයෙන් වඩනා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, මට අනුකම්පාකොට මේ ගමන නවත්තන්නැ”යි කීවා ය. “මේ ගමන මා නැවැත්වීමෙන් නුඹට වන යහපත කිමෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. ඕ සිටුතුමා කී වචනය සැළ කොට “භාග්‍යවතුන් වහන්සේ මේ ගමන ටික කලකට නැවැත්තුවොත් මම් දාසිභාවයෙන් මිදීගත හෙන්නෙමි” යි කීවා ය.

භාග්‍යවතුන් වහන්සේ අනාගතාංශඥානයෙන් බලා මතු ඇය පැවිදි රහත් වන බව ද දුටු සේක. පුණ්ණා ගොස් සිටුතුමාට තමාගේ උත්සාහය සාර්ථක වූ බව පැවැසුවා ය. සිටුතෙම සොයා බලා භාග්‍යවතුන්වහන්සේ ආපසු වැඩි නියාව දැක සතුටු ව ඇයට ප්‍රශංසා කොට දාසභාවයෙන් ඇය මිදුයේ ය. විශාඛාවෝ ද පසේනදී රජ තුමා ද ඇයට ස්තූති කොට සත්කාර කළ හ. ඕ මෙහෙණි සස්නේ පැවිදි වැ ස්වල්ප කලෙකින් රහත් වූවා ය.

ස වන වස මකුල පර්වතයෙහි

භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම සැරිසරන සේක්, මකුල පර්වතයට වැඩ ස වන වර්ෂර්තුව එහි ගත කළ සේක.

රජගහපුර වැඩීම

වස් පවරා ඉක්බිති සැරිසරන සේක්, රජගහපුර වැඩ එහි ටික කලක් වුසූ සේක.

රූප මදයෙන් මත් වූ ඛෙමා

මදුරට සාගල නුවර රජ කුලයෙහි විශිෂ්ට රූපශ්‍රීන් හෙබි ඛෙමා නම් කුමරියක් වූය. වැඩි විය පැමිණි ඕ බිම්බිසාර මහ රජුගේ මෙහෙසි වූවා ය. ඕ තොම රූප මදයෙන් මත් වූවා, බුදු රජුන් රූපයට නිග්‍රහ කරති යි අසා භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ගියා ය. රජ තෙම දේවිය බුදු රජුන් දැක්මට යවන අදහසින් උපායක් යොදන්නේ, වේළුවනයේ අලංකාරය වණන ගීතිකා බඳවා නෘත්‍යකාරාදීනට දෙවී ය. ඔවුන් ගයන ඒ ගී ඇසූ බිසවට වෙළුවනය පෙර නොදුටුවාක් මෙන් හැඟුණේ ය. දිනෙක වේළුවන දර්ශනාභිලාෂයෙන් ම එහි ගියා ය. “භාග්‍යවතුන් වහන්සේ දක්නට නො පැමිණ, ආපසු එන්නට සැරසුනොත් බලාත්කාරයෙන් වත් ඇය උන්වහන්සේ වෙතට ගෙන යෑ යුතු යැ” යි රජු රාජ පුරුෂයනට අණකොට තිබුණේ ය. දේවි තොමෝ ද වේළුවනය බලා ඇවිද භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ගොස් ආපසු එන්නට සැරසුණා ය. රාජ පුරුෂයෝ ඇය බලාත්කාරයෙන් බුදුරජාණන් වහන්සේ ඉන්නා තැනට ගෙන ගියහ.

ශාස්තෘන් වහන්සේ ඇය එන්නිය දැක, සෘද්‍ධියෙන් දෙවඟනක වැනි ශ්‍රීමත් ස්ත්‍රියක තමන් වහන්සේ වෙත සිට විජිනිපතක් ගෙන පවන් සලන්නා සේ ඇයට පෙනෙන්නට සැලැස්වූ සේක. ඛේමා එය දැක “මෙබඳු දෙවඟනන් වැනි රූප ශ්‍රී ඇති ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සිටිත්. මම මොවුන් ගේ මෙහෙකාරකමට වත් නො වටනා තරම් ය. භාග්‍යවතුන් වහන්සේ රූපශ්‍රීයට නිග්‍රහ කරන සේකැ යි රටේ පවත්නා කථාව බොරු චෝදනාවකැ” යි සිතුවා ය. සිතා, ඒ ස්ත්‍රී රූපය දෙස ම බලාගෙන සිටියා ය. ඇය බලා සිටියැ දී ම බුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි, ඒ ස්ත්‍රී රූපය ප්‍රථම වයස ක්‍රමයෙන් ගෙවා, මධ්‍යම වයසට ද, එය ද ඉක්මැ මහලු වයසට ද පැමිණ, ඉසකේ පැසුණු සම රැලි වැටුණු විරූප වූ කඩදත් මැහැල්ලක් වී, විජිනිපත හැර දමා බිම වැටුණේ ය. ඛේමා තොම ඒ බලා සිට මෙබඳු ශ්‍රීමත් ශරීරය පවා මෙසේ විනාශයට පැමිණියේ ය. මගේ ශරීරයත් මෙසේ ම වන්නේ නො වේ දැ” යි සිතුවා ය. ඇගේ රූප මදය හීන වී නුවණ මුහුකුරා ගිය බව දත් බුදුරජාණන් වහන්සේ ශරීරයේ පිළිකුල ප්‍රකාශ කොට දම් දෙසූ සේක. එය ඇසීමෙන් කෙලෙස් බර ගතිය තුනී ව නිරෝග වූ සිත් ඇති ඇයට මහානිදාන[47] සුත්තය වදාළ සේක. එය අසා ඕ සෝවාන් ව රජු ගෙන් අවසර ගෙන පැවිදි වූවා ය. එයින් අඩ මසක් ගිය තැන පහනක් ඇවිලීමත් නිවීමත් දැක ඒ අරමුණු කොට විවසුන් වඩා රහත් වූවා ය.

විකුර්වණර්ද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය පෑම තහනම් කිරීම

භාග්‍යවතුන් වහන්සේ රජගහ පුරැ වසන සමයෙහි රාජගෘහික සිටු සැට රියන් පමණ ඉහළ රත්හඳුන් පාත්‍රයක් එල්වා “සෘද්‍ධිමත් රහතෙක් ඇත්නම් මෙය ගනී වා” යි නුවර ප්‍රකාශයක් කැරැවී ය. ඔහු රවටා එය ගැන්මට පූරණකාශ්‍යපාදී තීර්ථකයෝ නොයෙක් උපාය කොටත් නො හැකි වූහු. සත් වන දින පින්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ අහසින් වැඩ පෙළහර දැක්වූයෙන්, සිටු එය උන් වහන්සේට පිරිනැමී ය. මේ කාරණය ඇරැබ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා විකුර්වණර්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීම තහනම් කළ සේක. එ විට තීර්ථකයෝ “මෙයට පසු ශ්‍රමණ ගෞතමයනුත් තත් ශ්‍රාවකයනුත් ප්‍රාතිහාර්‍ය්‍ය නො පාති” යි සිතා “අපි පාත්‍රයක් ලබනු සඳහා අපේ රහත් ගුණය ප්‍රකට නො කෙළෙමු. එහෙත් මින් පසු ශ්‍රමණ ගෞතමයන් හා ම ප්‍රාතිහාර්‍ය්‍ය පාන්නමු” යි කියා ඇවිද්දහ.

බිම්සර රජු මේ ගැන භාග්‍යවතුන් වහන්සේ විචාළහ. එ විට භාග්‍යවතුන් වහන්සේ රජහු තමා ගේ අඹ උයනෙහි ඵල අනුභව කිරීම තහනම් කළොත් එය රජු හැර සෙස්සනට ම බවත්, එ මෙන් ම ඒ තහනම තමන් වහන්සේ ට නො වන බවත් ශ්‍රාවකයනට ම බවත් තව සාර මසෙකින් සැවැත් නුවර සමීපයේ ගණ්ඩම්බ රුක ළඟ දී පෙළහර පාන බවත් වදාළහ. එකී දින රජගහ නුවර පිඬු පිණිස හැසිර දවල් දන් වළඳා, ඉක්බිති එයින් නික්ම සැවැත් පුර අතට වැඩිසේක. තීර්ථකයෝ ද “ශ්‍රමණ ගෞතමයෝ අප හා ප්‍රාතිහාර්‍ය්‍ය නො පා පලායෙති” යි කියමින් බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා පසු පස්සෙන් ගමන් කළහ. ඔවුන් අනු ව බොහෝ ජනයෝ ප්‍රාතිහාර්‍ය්‍ය දක්නා අටියෙන් සැවැත් නුවර බලා ගියහ. භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩ ගණ්ඩම්බ රුක් මුල දී ඇසළ මස පුර පසොළොස්වක් දා සවස ප්‍රාතිහාර්‍ය්‍ය දැක් වූ සේක.

යමා මහ පෙළහර

පෙළහර පාමින් අතරින් පතර ඒ පිරිසට දහම් දෙසු සේක. පෙළහර දක්වා ඉක්බිති එයින් ම තව්තිසා භවනයට වැඩි සේක. එකෙණෙහි ඒ සේනාව භාග්‍යවතුන් වහන්සේ නො දැක “බුදුරජාණන් වහන්සේ කොහි වැඩි සේක් දෝ” යි කියා හැඬූහ. ඔහු මුගලන් තෙරුන් වෙත එළැඹ “භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩිසේක් දැ”යි විචාළහ. උන් වහන්සේ තමන් කාරණය දත් නමුත් අන් තෙරුන්ගේ ගුණය ප්‍රකට කරනු අටියෙන් “අනුරුද්ධ තෙරුන් ගෙන් ඇසුව මැනැවැ” යි වදාළ සේක. ඉක්බිති ඔහු අනුරුද්ධ තෙරුන් විචාළහ. තව්තිසා භවනයෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වැස මාතෘ දෙව් රජුට අභිධර්මය දෙසනු පිණිස වැඩි බව අනුරුත් තෙරණුවෝ වදාළහ. “කවර දා පෙරළා වඩනා සේක්දැ”යි ඔහු විචාළහ. “වස් තුන් මස ගත කොට පවාරණ දිනයෙහි යැ” යි තෙරණුවෝ වදාළහ. එ විට පෙළහර දැකීමට රැස් වූ මහ පිරිස කඳවුරු බැඳ එහි ම එ තුන් මස රැඳුණහ. චුල්ල අනාථපිණ්ඩික සිටුහු ඒ සියල්ලට ආහාර පාන බුලත් ආදියෙන් තෙ මස මුළුල්ලෙහි ම සංග්‍රහ කළහ. ඔවුනට බණ වදාරන්නට මුගලන් තෙරුනට භාග්‍යවතුන් වහන්සේ කලින් ම නියෝග කර තුබුණෙන් උන්වහන්සේ එහි ම රැඳී එ තුන් මසෙහි ඒ පිරිසට ධර්ම කථායෙන් සංග්‍රහ කළ සේක.

සත් වන වස තව්තිසා භවනයෙහි

යටැ කී සේ තව්තිසා භවනයෙහි වස් වූසූ භාග්‍යවතුන් වහන්සේ එ තුන් මසෙහි නිතර දම් දෙසු සේක. භවනයෙහි ඒ දේශනා කළ පරිදි නම් : භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත කාලය වන තෙක් ම දම් දෙසා, ඉක්බිති තමන් වහන්සේ වැනි ම බුදුරුවක් මවා, “මා එන තෙක් මෙතෙක් ධර්මය දෙසා වා”යි අධිෂ්ඨාන කොට හිමාලයට වඩිනා සේක. එහිදී නාලිය දැවටු වළඳා උතුරුකුරු දිවයිනේ පිඬු පිණිස හැසිර හිමවු පව්වට ම ආපසු වැඩ, එහි අනෝතත්ත විල ළඟ හිඳ දන් වළඳන සේක. ඒ වේලාවේ දී සැරියුත් තෙරණුවෝ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත් කරති, වළඳා අවසානයෙහි, “සාරිපුත්‍රයෙනි, අද මම් මෙ තෙක් බණ කීමි, එය තමන් ඇසුරු කරන භික්ෂූනට උගන්වනු” යි නියෝග කොට තමන් එදිනෙදා තව්තිසා භවනයේ දී වදාළ බණ සැරියුත් තෙරුනට වදාරන සේක. ඉන්පසු තව්තිසා භවනයට වැඩ නිර්මිත බුදුරුව අතුරුදන් කොට, එ බුදුරුව වදාළ තැන් සිට දහම් දෙසන සේක. මේ නියායෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මස ගත කළ සේක.

ධර්ම දේශනාව තුන් මසෙකින් අවසන් විය. දේශනාවසානයේ දී මවු දෙව්පුත් සෝවාන් පෙලෙහි පිහිටියේ ය. අසූ කෝටියක් දෙවියෝ ද මාර්ග ඵල ලැබූහ.

පවාරණයට සත් දවසක් කලින් මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ “කවර දා වඩිනා සේක්දැ” යි ඇසූහ. ඉන් සත් වන දා සංකස්ස නගරද්වාරයට තව්තිසායෙන් බස්නා බවත් තමන් වහන්සේ දක්නා කැමැත්තන් එහි ඉයැ යුතු බවත් වදාළ සේක. සැවැත් නුවර සිට සංකස්ස නගරයට දුර යොදුන් රැසක් වුවත් ඒ සැවැත් පුර රැස්ව සිටි පිරිසට එහි යෑම සමීප විහාරයකට යන ගමනක් මෙන් ඉතා ඉක්මන් ද පහසු ද විය.

භාග්‍යවතුන් වහන්සේ වප් මස මැදිපෝදා පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි දී ම වස් පවරා, එදාම, ශක්‍ර බ්‍රහ්මාදීන්ගේ පූජෝත්සවයෙන් ගෞරව ලබමින් මහ පෙරහැරින් සංකස්ස නගර ද්වාරයට බැස්ස සේක. ඒ දුටු සැරියුත් තෙරණුවෝ බුදුරජුන් වැඳ එ වැනි බුද්‍ධ ශ්‍රීයක් ඉන් පෙර තමන් නුදුටු බව, ආදිය කී කල, එය ඇරැබ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළ සේක. එය ඇසූ දෙවියන් ඇතුළු මහා පිරිසකට ධර්මාභිසමය විය. සැරියුත් තෙරුන්ගේ සද්‍ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂූහු රහත් වූහු. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනැත්තනට විෂය වූ ප්‍රශ්න පෘථග්ජන සෝවාන් ආදීන්ගෙන් පිළිවෙළින් අසා අන්තිමේ දී මේ සස්නෙහි මහා ප්‍රාඥ වූ සැරියුත් තෙරුන්ගෙන් බුදුවරුන් විසින් ම විසඳිය හැකි ප්‍රශ්න විචාළ සේක. එය මුල දී උන්වහන්සේට නො හැකි වූ නමුත්, ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන ලද නය ක්‍රමයෙහි සිට විසඳිය හැකි විය. මෙයින් සැරියුත් තෙරුන් සෙසු සියල්ලට ම වඩා නුවණින් අග තන් පත් බව භාග්‍යවතුන් වහන්සේ පැවැසූ සේක.

මෛත්‍රෙය බෝසතාණෝ පැවිදි වීම

දේවාවරෝහණ උත්සවය දැක්මෙන් පැහැදුණු අප්‍රමාණ ජනයෝ බුදු බව පැතූ හ. ඉනුත් විශේෂයෙන් ම මෛත්‍රෙය බෝසතාණෝ භාග්‍යවතුන් වහන්සේගේත් සැරියුත් තෙරණුවන් ගේත් අතරැ වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසුවෝ එදා ම පැහැදී පැවිදි වූහ.

මේ මෛත්‍රෙය බෝසතාණෝ වනාහි මෙයින් සොළොස් අසංඛ්‍යෙය කල්ප ලක්ෂයෙකින් යටැ මතු බුදු වනුවට නියත විවරණ සිරි ලැබුවෝ පෙරුම්දම් පුරමින් දෙව්මිනිස් දෙ ලෝහි සරනුවෝ, අප බුදු පියාණන් දවසැ දෙව් ලොවින් චුත ව, සැවැත් නුවරින් තිස් යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලෙක සිරිවඩ්ඪ නම් මහ කෙළෙඹියාට පුත් ව උපන්නෝ ය. සුව පෙරහරින් වැඩුණු එ තුමෝ දිසා පාමොක් ඇදුරක්හු වෙත ඉගෙන ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළවරට පැමිණ මා පියන් ඇවෑමෙන් කුටුම්බ ස්වාමීව, මහ පිරිවර ඇත්තෝ, ශ්‍රී සම්පත් විඳ වසන්නෝ, යට කී පරිදි දේවාවරෝහණ සමාගමයෙහි දී, සියලු ගිහි සැප හැර දමා, දහසක් පමණ පිරිවර ජනයා එක්ක එදා ම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ, පැවිදි උපසපන් බව ලත් ආර්‍ය්‍යමෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූහු බුද්‍ධ වචනය මොනොවට ඉගෙන නොයෙක් සිය ගණන් භික්ෂු සමූහයාට එය ඉගැන්වූහ.

මෛත්‍රෙය බෝසතුන් විවරණ ගැනීම

නැවැත පසු කලෙක ඒ මහාසත්ත්වයාණෝ තමනට වස්සග්ගයෙන් ලැබුණු මහඟු වස්ත්‍ර යුගලයෙන් එකක් භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධකුටියෙහි වියන් කොට බැඳ අනිත් වස්ත්‍රය ඉරා වියන් කෙළවර පන්ති කොට එල්ලූහ.160

භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍යමෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් ගේ අදහස් දැන භික්ෂු සංඝයා මධ්‍යයෙහි දී ඔබ පෙන්වා.

“මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයෙකින් බුදුන් පිදු මේ භික්ෂූහු බලවු, මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නම් සම්‍යක්සම්බුද්ධ වන්නේ ය. එ කලැ මේ බරණැස් පුර කේතුමතී නම් රාජධානියෙක් වන්නේ ය. එහි සංඛ නම් සක්විති රජෙක් වන්නේ ය. ඔහු පුරෝහිත සුබ්‍රහ්ම නම් බමුණා මෛත්‍රෙය බුදුන් ගේ පිය වන්නේ ය. එ පෙරෙවිහුගේ භාර්‍ය්‍යා වූ බ්‍රහ්මවතී බැමිණි මව වන්නී ය. නා රුකෙක් ඒ බුදුහු ගේ බෝරුක වන්නේ යැ”යි විවරණ සිරි දී වදාළ සේක.

අටවන වස භේසකලා වනයෙහි

ශාස්තෘන් වහන්සේ සංකස්ස පුරයෙහි ටික දිනක් වැස සැරි සරන සේක්, භග්ග දේශයෙහි සුංසුමාරගිර පුරය අසළ වූ භේසකලා වනයට වැඩ අට වන වැසි සමයැ එහි වුසූ සේක.

බෝධිරාජ කුමාරයාට දම් දෙසීම

එ සමයෙහි බෝධිරාජ කුමාරයා ගේ කෝකනද නම් මහඟු පායෙක් නිමවන ලද්දේ ය. ගෙවදින උත්සවය එළැඹැ සිටි සමයෙහි කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කෙළේ ය.

ඒ බෝධිරාජ කුමාරයා වනාහි දරුවන් නැත්තෙකි. එ බැවින් “ඉදින් මට පුතෙක් හෝ දුවක් ලැබේ නම් භාග්‍යවතුන් වහන්සේ මේ පියවිල්ල ඇක්ම වඩනා සේකැ” යි සිතා රෙදි පියවිල්ලක් ද එලුයේ ය. කුමරුගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ එහි පා නො තැබූ සේක. එහි පා තබා වඩින සේ තුන් වරක් ම කුමරු අයැදූ නමුත් භාග්‍යවතුන් වහන්සේ එය නො පිළිගත් සේක.

කුමර තෙම ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගේ වචනය පරිදි ඒ පියවිල්ල අකුළා භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් ගෙට වැඩම කරවා මධුරාන්න පානයෙන් සංග්‍රහ කෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඳ, පියවිල්ලෙහි පා නොතැබූ කාරණය විචාළේ ය.

“කුමක් සිතා ඒ පියවිලි එලූයෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.

“පුතෙක් හෝ දුවක් ලැබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙය පා ගා වඩනා සේකැයි සිතිමි” යි කුමර කී ය.

“එ හෙයින් ම මම එහි පා නො තැබීමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“කිමෙක් ද වහන්ස, මට පුතෙක් හෝ දුවක් නො ලැබේ දැ?” යි කුමර විචාළේ ය.

“නො ම ලැබෙන්නේය. කුමාරයෙනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“කුමක් හෙයින් ද වහන්සැ?” යි කුමර පුළුවුත.

එ විට භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පෙර අත් බැවෙක කළ වරදෙක හේතුවෙන් දරුවන් නො ලබන බව වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.

“පෙර පිරිසෙක් නැව් නැගී ගියේ ය. නැව මූද මැද දී බිඳිණ. එහි උන් අය අතුරෙන් අඹු සැමි දෙදෙනෙක් ලී කොටයෙකැ එල්බ පීනන්නෝ, අතුරු දූවකට පැමිණ එහි වුසූහ. ඒ දිවයිනෙහි බොහෝ පක්‍ෂීහු වසති. ඒ දෙදෙනා පක්ෂී බිජුවට දැක ඒවා ගෙන ගින්නෙහි පලහා කෑහ. ඉන් පසු කුරුළු පැටියන් ද මරා කෑහ. තරුණ තලතුනා මහළු යන තුන්වයසෙහි ම ඔහු මෙසේ ප්‍රමත්ත ව කල් යැවූ හ.”

මෙහි ඒ අඹු සැමි දෙදෙනා නම් බෝධිරාජ කුමරුත් ඔහු දේවියත් යැ යි පවසා,

“තමා ප්‍රිය කරන්නන් විසින් තුන් වයස් හි ම තමා නො පමාව රැක්ක යුතුයැ161” යි වදාරා දහම් දෙසූ සේක.

දේශනාවසානයේ දී බෝධිරාජ කුමාරයා සෝවාන් විය.

පුණ්ණ කෙළෙඹි පැවිදි වීම

සැවැත් පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වස් සමයෙන් පසු සැවැත් පුර වැඩ, කලක් එහි වුසූ සේක. එ සමයෙහි සුනාපරන්තයේ සුප්පාරක පටුනින් පන්සියයක් පමණ ගැලින් වෙළෙඳාම සඳහා සැවැත් පුර පැමිණි පුණ්ණ නම් කෙළෙඹියෙක් දිනක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යන පිරිස දැක, තෙමේ ද ඔවුන් කැටුව ජේතවනාරාමයට ගියේ ය. හෙ තෙම බණ අසා පැහැදුණේ පසු දා බුද්‍ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් දී, තමා ඉපැයූ ධනය සිය මයිලණුවනට භාණ්ඩාගාරිකයා බාරේ යවා තෙමේ පැවිදි විය.

අප්‍රමත්ත ව මහණ දම් පුරන පුණ්ණ හිමියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ “වහන්ස, මට සංක්ෂේපයෙන් අවවාදයක් කළ මැනැවැ” යි කීහ.

පුණ්ණ තෙරුන් සුනාපරන්තයට යෑම

භාග්‍යවතුන් වහන්සේ ද ඔවුනට රහත් බව තෙක් කර්මස්ථාන ක්‍රමය[48] සැකෙවින් වදාළ සේක. ඉක්බිති “තෙපි ගොස්, කොහි වසවු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරුන්ගෙන් ඇසූහ.

පුණ්ණ : වහන්ස සුනාපරන්ත නම් ජනපදයෙක් ඇත. එහි ගොස් වසන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ : පුණ්ණය, සුනාපරන්ත ජනපද වාසීහු දරුණු මිනිස්සු ය. ඔවුන් තොපට ආක්‍රෝශ කළොත්?

පුණ්ණ : වහන්ස, ඔවුන් මට ආක්‍රෝශ කළත් අතින් මිටින් පහර නුදුන්නොත් ඒත් යහපතැ යි සිතමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔවුන් අතින් මිටින් පහර දුන්නොත්?

පුණ්ණ : කැට කැබැලිත්තෙන් නො ගසා අතින් මිටින් තැළුවත් එයත් ඔවුන් ගේ ගුණයක් කොට සලකමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔවුන් කැට කැබිළිතිවලින් පහර දුන්නොත්?

පුණ්ණ: කැටින් පහර දුන්නත් දංඩෙන් පහර නො දෙත් නම් එයින් ඔවුන් හොඳ මිනිසුන් කොට සලකන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් දංඩෙන් පහර දුන්නොත්?

පුණ්ණ : මොහු යහපත් මිනිස්සු ය. මට ආයුධයෙන් පහර නො දෙති” යි සිතන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔහු සැතින් පහර දෙත් නම්?

පුණ්ණ : මොහු තියුණු සැතින් පැහැර මා දිවි නො නසති. එ බැවින් මොහු මනා මිනිස් කෙනෙකැ යි සිතමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔහු තොප දිවි තොර කරත් නම්?

පුණ්ණ : ඉදින් ඔහු එ සේ මා දිවි තොර කරත් නම්, “ඇතැම් කෙනෙක් සිරුරෙහි කලකිරී, තමන් දිවි තොර කරන කෙනෙකුන් සොයති. මම වනාහි නො සොයා ම එවැනි කෙනකුන් ලැබීමි” යි සිතමි, වහන්ස.

පුණ්ණ තෙරුන් ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ තුන් යලක් සාධුකාර දී, “පුණ්ණයෙනි, තෙපි සුනාපරන්තයෙහි වසන්නට නිස්සහ” යි වදාළ සේක.

පුණ්ණ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන නික්ම ගියෝ, සුනාපරන්ත ජනපදයට පැමිණ එහි අම්බාටක[49] පර්වතයෙහි වසන්නෝ, දිනක් වෙළෙඳ ගමට පිඬු පිණිස වැඩියහ. තෙරුන්ගේ බාල සොහොයුරු කෙළෙඹි පුත් තෙම තෙරුන් හැඳින, ඈත යෑ නො දී එහි ම වස්වා සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය. තෙරණුවෝ එයින් මූදු තෙර සමුද්‍රගිරි නම් වෙහෙරකට වැඩියාහ. එහි සමුද්‍ර ඝෝෂය ඇසෙන බැවින් කමටහන් වැඩීමට ඒ නො සැප යැ යි සලකා, ඉන් මාතුලගිරි නම් වෙහෙරකට වැඩ එහි ලිහිණියන්ගේ අධික ශබ්දය ඇති බැවින් නො සැප යැයි සලකා, ඉනුත් නික්ම, සිය වෙළෙඳ ගමට නුදුරු නො ළං වූ ජනවිචික්ත, නිශ්ශබ්ද, යෑම ඊමට පහසු වූ මකුලාරාම නම් වෙහෙරකට පැමිණ එහි වස් වුසූහ. තෙරණුවෝ එහි දී රහත් වූහ. දිනක් පුණ්ණ තෙරුන් ගේ බාල සොහොයුරු වූ වෙළෙඳ තෙම අතවැසි පන්සියයක් පමණ වෙළෙඳුන් හා වෙළෙඳාම් පිණිස පිටරට යන්නට සැරසුණේ තෙරුන් ගෙන් පන්සිල් ගෙන වැඳ නැව් නැග පිටත් විය.

සුප්පාරකයෙහි වෙළෙඳුන් සරණාගතයන් වීම

ඔහු මෙසේ යාත්‍රා කරන්නෝ එක් දිවයිනකට බටහ. එය පරීක්ෂාකර බලන්නෝ රත්සඳුන් වනයෙකැ යි දැන, “මෙයට වැඩි වටිනා දෙයක් ඔබ්බෙන් නො ලැබිය හැකි. මේ ම ප්‍රමාණ යැ” යි කියා නැව හිස් කරවා රත් සඳුනෙන් පුරවා, පෙරළා සිය රටට යාත්‍රා කළහ. නැව මහත් උත්පතනයකට අසු වී ය. ප්‍රධාන වෙළඳ තෙම “පුණ්ණ තෙරහු අපට පිහිට වෙත්වා”යි තෙරුන් සිහි කළහ. තෙරණුවෝ ද ආවර්ජන කොට බලනුවෝ. සොහොයුරා නැගී ගිය නැව අන්තරායකට මූණ පෑ බව දැන එහි වැඩ ඔවුන් අස්වසා, මොවුන් කැමැති තෙනකට නැව යේ” වා යි අධිෂ්ඨාන කළහ. මෙසේ සියලු වෙළෙන්දෝ නිරුපද්‍රිතව සිය ගමට ආහ. ඉක්බිති ඔහු වඩාත් පැහැදී සිය බිරියන් හා අවුත් තෙරුන් හමුයෙහි දී තිසරණයෙහි පිහිටියහ.

රත් සඳුනින් විහාර කැරැවීම

ඉක්බිති වෙළෙන්දෝ නැවෙන් බඩු බා ගෙන කොටසක් තෙරණුවනට දුන්හ. තෙරණුවෝ “මට බඩු කොටසින් අර්ථයෙක් නැතැ” යි වදාරා, “තෙපි බුදුරජාණන් වහන්සේ දුටුහු ද?” යි අසා, “නැතැ” යි කී කල, “එසේ නම් මෙයින් බුදුරජාණන් වහන්සේ ට විහාරයක් කරවු, බුදුරජාණන් වහන්සේ දක්වන්නෙමි”යි වදාළහ. ඔහු තෙරුනට වෙන් කළ කොටසින් ද තමනට අයත් කොටස්වලින් ද භාග්‍යවතුන් වහන්සේටත් සංඝයාටත් විහාර කළහ. විහාර කර්මාන්තය නිමවා ඒ බව තෙරුනට දැන්වුහ. තෙරණුවෝ ඍද්‍ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් එහි වඩනට ආයාචන කළහ.

භාග්‍යවතුන් වහන්සේ සුනාපරන්තයට වැඩීම

සච්චබද්ධ ජටිලයා පැහැදවීම

භාග්‍යවතුන් වහන්සේ ද ඒ පිළිගෙන, පසුදා පන්සියයක් භික්ෂු සමූහයා හා අහසින් වැඩි සේක. එ සේ වඩින බුදුරජාණන් වහන්සේ අතර මඟ සච්චබද්ධ නම් පර්වතයකට බැස එහි උග්‍ර තපස් ඇති ජටිලයාට දම් දෙසා ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කොට, ඒ භික්ෂු ද කැටි ව වෙළෙඳ ගම් වැඩි සේක.

ගම් වැස්සෝ බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට මහ දන් දී තමන් තැනැවූ ආරාමයට වැඩම කැරැවූහ.

සුනාපරන්ත වාණිජ සමාගම

සවස් කාලයෙහි ගම් වැස්සෝ මල් පහන් ආදිය ගෙන ආරාමයට ගියහ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසූ සේක. ඔහු සෝවාන් ආදී මාර්ග ඵලයනට පැමිණියහ. ඔවුනට වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි කිහිප දිනක් ම වුසූ සේක.

නර්මදා නදී තීරයෙහි පා සටහන තැබීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරුන් එහි ම නවතා, ඉන් නික්ම නර්මදා නදී තීරයට වැඩි සේක. නර්මදා නා රජ පෙර ගමන් කොට, භාග්‍යවතුන් වහන්සේ ස්වීය භවනයට පමුණුවා මහත් සත්කාර කෙළේ ය. ඒ නා රජුගේ ආයාචනයෙන් භාග්‍යවතුන් වහන්සේ නර්මදා නදී තීරයෙහි පාද ලාංඡනය තැබූ සේක.

සච්චබද්ධ පර්වතයෙහි පා සටහන

ඉක්බිති සච්චබද්ධ[50] පර්වතයට වැඩ එහි සච්චබද්ධ තෙරුන් නැවැත් වූ සේක. පූජ්‍ය වස්තුවක් තෙරණුවෝ ඉල්ලූ හ. භාග්‍යවතුන් වහන්සේ ගල මත්තෙහි අලුත් මැටි පිඩෙකැ මෙන් පාද ලාංඡනය තැබූ සේක.

බුදු රජුන් තෙවෙනි වරැ ලක්දිවැ වැඩීම

භාග්‍යවතුන් වහන්සේ පෙරළා ජේතවනාරාමයට වැඩ එහි වසන සෙමෙහි, බුද්‍ධත්වයෙන් අටවන වර්ෂයෙහි මණිඅක්ඛික නම් ලක්වැසි නාගාධිපතියෙක් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ලක්දිව වඩනට ආයාවන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ අයැදුම පිළිගත් සේක.

නා රජ තෙම සතුටු ව ලක්දිව ගොස් ස්වකීය කැළණි පුරය සරසවා, බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට සෙනසුන් පිළියෙළ කරවා, භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාග ජනයා හා පෙර මගට වුත් බලා සිටියේ ය.

මේ දවස වනාහි වෙසක් මස පුණු පොහෝ දා ය. භාග්‍යවතුන් වහන්සේ මහද්භික්ෂු සංඝයා පිරිවරා අප්‍රමේය බුද්ධානුභාවයෙන් බබලමින් ලක්දිව වැඩ කැළණියට බැස්ස සේක. නාගයෝ බුද්‍ධ ප්‍රමුඛ සංඝයා වඩා හිඳුවා දන් වැළැඳැවූහ. වළඳා අන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ පහත සඳහන් අදහස් ඇති දහමක් දෙසූ සේස්ක.

[51] 162 “පින්වත් නාගයිනි, අසවු. සසර සත්ත්වයෝ බුදුවරයකු ලබා ද පිහිට කොට නොගන්නෝ අනාථ ව දුකෙහි ගැලෙති.”

“නාගයිනි, දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය බොහෝ කලෙකින් ලබාගෙන සිටින තෙපි පමා නො වවු. සසර වසන්නහුට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෞර්මනස්‍යයෝ නියත හ. සසරින් මිදුණාහට එ කිසි දුකෙක් නො වේ.”

“ සත්ත්වයන්ගේ තරුණ බව නෙලුම් මලෙක ස්වභාව සේ ස්වල්ප කලක් පවත්නා එකෙකි. ජීවිතය පිනිබිඳක් මෙන් නිස්සාර ය. ධන සම්පත් රළ බිඳීම මෙන් අස්ථිර ය. සිත නිතර නන් වැදෑරුම් ශෝකයෙන් තැවේ”

“පෙර ආකාශචාරී ඍද්‍ධිමත් සෘෂිහු ද ස්ත්‍රී රූපයෙහි ඇලුණෝ ධ්‍යානයෙන් පිරිහී වනසට පැමිණියහ. නුවණැත්තෙනි, තෙපි එ බැවින් රූපයෙහි නො ඇලෙවු.”

“පෙර එක් මොනරෙක් සෙබඩක ගේ හඬෙහි ඇලුණේ ඒ අනුව ගියේ වැද්දකුට අසු විය. එ හෙයින් ශබ්දයෙහි ඇල්ම ද මහත් දුකට කාරණ ය.”

“මී මැසි තෙම මද ගන්ධයෙහි ඇලුණේ මල් පැණියෙහි ඇල්ම ද හැර දමා මතැතුන් ගේ කුම්භස්ථලයට පැමිණ කන් තල පහර ලබා සුන් බුන් ගාත්‍ර ඇත්තේ වනසට පැමිණේ. ගන්ධයෙහි අල්ම ද විනාශයට කාරණයෙකි.”

“ගැඹුරු ජලයෙහි බොහෝ ආහාර ඇත ද, රසයෙහි ගිජු වූ මත්ස්‍ය තෙම බිලිය ගිල මහත් දුකට පැමිණේ. රස කාමයෙහි දොස් සලකා ඒ හැර දමවු.”

පෙර ඇත්බැවෙක “බඹ ලොවින් චුත ව වුත් මිනිස් ලොව ඉපිද පරිශුද්ධ බ්‍රහ්මචාරී ව සිටි බෝධිසත්ත්ව තෙමේ ද ස්ත්‍රී සංගමයෙහි ඇලුණේ තම සතු රාජ්‍යයෙන් ද පිරිහුණේ ය. ස්ප්‍රෂ්ටව්‍යකාමය මහත් ව්‍යසනයට කාරණයෙකි.”

එබැවින් මෙ කී පංචකාමයන්හි ඇල්ම හරිවු.

“පෙර කැනහිල් සා වඳුරු දියබලු යන අහේතුක ප්‍රතිසන්ධි ඇති සත්වයෝත් දාන පාරමිතාව පුරා ඉන් මිදී අවුත් නිවන් සැප ලදහ. නාගයිනි, නිවන් පතන කවරෙක් දානපාරමිතාව නො පුරා ද?”

“ඒ දාන ශීල හේතුයෙන් ලැබෙන ස්වර්ගය මහත් රත්න ප්‍රාසාදාදියෙන් ගැවැසී ගත්තේ ය. බොහෝ දෙවඟනන්ගෙන් සුන්දර ය. පිපි පුෂ්ප ජාතියෙන් යුත් පද්මාකර උද්‍යානාදීන් සිත් කළු ය. එහි දෙවියෝ මරණය නැත්තවුන් සේ නිතර සැපෙන් කල් යවත්.”

“පින්වත්නි, ඒ දිව්‍ය සම්පත්තියට වඩා බ්‍රහ්ම සම්පත්තිය රම්‍ය ය, එයටත් වඩා නිර්වාණ සම්පත්තිය ශ්‍රේෂ්ඨ ය. එ බැවින් සිය දියුණුව පතන නැණැතියෙනි, ඒ නිවන් ලබනු පිණිස නිතර වීර්‍ය්‍ය කරවු.”

සුමන දිව්‍ය රාජයාගේ ආයාචනය

නාග ජනයෝ මේ ධර්ම කථාව මොනවට පිළිගත්හ. ධර්ම දේශනාව ඒ පිරිසට සාර්ථක විය. ඒ මහා සභාවට පැමිණි සුමන දෙව්රජ තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ, තමා වසන සමන්තකූට පර්වතයට ද වඩින ලෙස ආයාචනා කෙළේ ය. එය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සමූහයා සහිත වැ එදා පස්වරුයෙහි අහසින් ඒ පර්වතය කරා ද වැඩි සේක. මහත් දේවගණයා රැස්වී ය. මෙහිදී සුමන දිව්‍ය රාජයා සිරිපා සටහන තබන මෙන් භාග්‍යවතුන් වහන්සේ ඇයැදී ය. භාග්‍යවතුන් වහන්සේ ද වම් සිරිපා ලකුණ එහි පිහිටු වූ සේක.

ඉක්බිති පර්වත ප්‍රාන්තයෙහි එක් ගල් ගුහායෙක දිවා විහරණය කළ සේක. ඒ භගවද්ගුහා නමින් දන්නා ලදී. ශ්‍රාවකයෝ පර්වතයෙහි තැන තැන දිවා විහරණය කළහ.

ඉන්පසු ශ්‍රාවක ගණයා සහිත බුදුරජාණන් වහන්සේ එ තැනින් නික්මැ අහසින් රුහුණු ජනපදයට වැඩ එහි දැන් දීඝවාපි ස්තූපය පිහිටි තැන නිරෝධ සමාපත්තියෙන් මඳ වේලාවක් හුන් සේක.

එයින් අහස් නැග අනුරාධපුරය වූ භූමිභාගයට වැඩ සිරිමහ බෝමැඩ, මඟුල් මහසෑය, අකුදා නිදන් කළ තැන යන මෙකී ස්ථානයන්හි මඳ මඳ වේලා නිරෝධ සමාපත්තියෙන් කල් යවා. දැන් ශෛල චෛත්‍යය වූ ස්ථානයට වැඩ, එහිදී දම් දෙසා ඉන් අහස් නැග දඹදිව සැවැත්පුර ජේතවනාරාමයට ම පෙරළා වැඩි සේක.

නව වන වස කොසඹෑ පුර ඝෝෂිතාරාමයෙහි

භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ සැවැත්පුර වසන පළමු සමයෙහි හිමවත් පෙදෙසැ සිට එන තවුසන් සමූහයෙක් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ බවත් එ සමයෙහි සැවැත් නුවර වසන බවත් අතර මඟදී අසා, සැවැත් පුරට යන අදහස් ඇති ව, තමන් ඇසූ ආරංචිය තමනට උපස්ථායක වූ කොසඹෑ නුවර සිටුවරුනට ද දන්වන පිණිස කොසඹෑ පුරයට පැමිණියහ. එහි ඝෝෂිත කුක්කුට පාවාරික යන මහාධන සිටුවරුන් තිදෙනාට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව දන්වා ඒ තවුසෝ සැවැත් නුවර බලා ගමන් කළහ. ඔහු එහි ජේතවනාරාමයට පැමිණ පැවිදි ව රහත් වූහ. යට කී සිටුවරු තිදෙනා ද සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූහ. ඔහු බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට අඩ මසක් මහදන් දී තමන් ගේ නුවරට වඩිනා ලෙස ආයාචන කොට ගියෝ, කොසඹෑ නුවරට පැමිණ තම තමන් ගේ උයන්හි විහාර කැරැවූහ. ඉන් ඝෝෂිත සිටුහු කැරැවූ ආරාමය ඝෝෂිතාරාම යැ යිද, කුක්කුට සිටුහු කැරැවූ ආරාමය කුක්කුටාරාම යැයි ද, පාවාරික සිටුහු කැරැවූ ආරාමය පාවාරිකම්බවන යැ යි ද ප්‍රසිද්‍ධ වී ය. මෙසේ විහාර කරවා භාග්‍යවතුන් වහන්සේට වඩින ලෙසට පණිවුඩ යැවූහ. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වඩිනා පිණිස මහද්භික්ෂු සංඝයා සහිත ව පිටත් වූ සේක.

මාගන්දිය බමුණා පැවිදි වීම

පිළිවෙළින් සැරි සරන භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය නම් බමුණකු රහත් වීමට හේතු සම්පත් ඇති බව දැක අතර මගදී කුරු රට අතට යන පාරට බැස කල්මාෂදම්‍ය නම් නිගමයට වැඩ පසුදා උදේ වරුයෙහි එහි පිඬු පිණිස හැසුරුණු සේක. එහිදී මාගන්දිය[52] බමුණා බුදුරජාණන් වහන්සේ දැක “තම දුවට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් ලැබිණැ” යි සතුටු ව දුව සරසවා කැඳවා ගෙන අවුත්, “මැය බිරින්දෑ කොට ගත මැනැවැ” යි දැන්වූයේ ය. එ විට කාමසම්පත්තියෙහි තමන්වහන්සේ නෑලෙන බවත් මල මුත්‍ර පිරුණු මේ ශරීරයක් පයින් වත් ස්පර්ශ කරන්නට නො කැමැති බවත් වදාළ සේක. එය අසා ඒ බමුණාගේ දූ වූ මාගන්දියා තොම ඇගේ සිරුර මල මුත්‍රයෙන් පිරුණු එකෙකැයි අවමන් කෙළේ යැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දා ය. බුදුරජාණන් වහන්සේ එය නො සලකා ඇගේ මාපිය දෙදෙනාට බණ වදාළ සේක. දේශනාවසානයේ දී ඒ දෙදෙන අනාගාමී වූහ. දූ වූ තරුණ මාගන්දියා බැමිණිය ඇගේ සුලු පියාට බාර කොට දී තුමු පැවිදි වැ රහත් වූහ. තරුණ මාගන්දියා තොමෝ ද නොබෝ කලෙකින් ඇගේ රූපශ්‍රියෙහි ඇලුණු උදේනි රජහු විසින් ගෙන්වා අග මෙහෙසුන් කර ගන්නා ලදී ය.

යට කී පරිදි භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය බමුණු බැමිණි දෙදෙනාට අනුග්‍රහ කොට ආපසු වැඩ කොසඹෑ පුරයට යන දීර්ඝ මාර්ගයට බැස සැරිසරා වඩනා සේක්, නොබෝ කලෙකින් එහි පැමිණි සේක. කොසඹෑ පුර සිටුහු ද පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තමන් කැරැවූ ආරාම තුන පිදූහ. ඉක්බිති පසු දා දනට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට තමන් ගෙවලට ගියහ. උදේන රජු ගේ භාර්‍ය්‍යා වී සිටින මාගන්දියා තොමෝ, බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව අසා නුවර වැසි නො හික්මුණු මැරවැර කොලු ගැටයනට අල්ලස් දී භාග්‍යවතුන් වහන්සේ ට නින්දා අපහාස කරන්නට නියෝග කළා ය. එ සේම ඔහු පසු දා නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ දැක නොයෙක් අන්දමින් නින්දා සහගත බැණුම් දෙඩුම් කළහ. ඒ දුටු ආනන්ද ස්ථවිර තෙම “මේ නගරය හැරැ යම්හ” යි භාග්‍යවතුන් වහන්සේ ට සැළ කෙළේ ය. “ආනන්දය, තථාගතවරු ලාභ අලාභ අයස යස ආදි අෂ්ට ලෝක ධර්මයෙන් චංචල නො වෙත් යැ”යි ද, මේ නින්දා අපහාස කිරීම සතියකට වඩා නොපවන්නේ යැයි” ද වදාරා බුදුරජාණන් වහන්සේ එහි ම වුසූ සේක. ඒ සිටුවරු තිදෙන මාරුවෙන් මාරුවට දන් දෙමින් මාසයක් ගත කොට සෙසු නගර වාසීනට ද දන් දීමට අවකාශ දුන්හ. නුවර ඒ ඒ වීථිවල වැසියෝ එක් ව මහ දන් පැවැත් වූහ.

සාමාවතී ගේ මරණය

එ සමයෙහි දිනක් බුදුරජාණන් වහන්සේ නුවර ප්‍රධාන මාලාකාරයා ගේ ගෙයි දනට වැඩි සේක. උදේන රජු ගේ සාමාවතී නම් අග මෙහෙසියක ගේ උපස්ථායිකා වූ ඛුජ්ජුත්තරා නම් ස්ත්‍රියක් මල් මිල දී ගැන්මට වෙන දා සේ ම එදාත් පැමිණි තැනැත්තී එහි දී බණ අසා සෝවාන් වූවාය. ඉක්බිති මාලිගාවට ගිය ඇගෙන් බණ අසා සාමාවතී ද ඇය පිරිවර ස්ත්‍රීහු ද සෝවාන් වැ, එතැන් සිට ඇය දාසි භාවයෙන් මුදා මවු තනතුරෙහි ද ඇදුරු තනතුරෙහි ද තබා සත්කාර කළහ. ඛුජ්ජුත්තරා උපාසිකා තොමෝ ද සියලු දිනයෙහි ම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා අවුත් සාමාවතී ආදීනට කියන්නී කල් යෑමේදී ත්‍රිපිටකධර වූවාය. සාමාවතිය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි බව දත් මාගන්දියා බිසව නොයෙක් අයුරින් ඇය කෙරේ රජු බිඳුවා ලීමට උත්සාහ කළා ය. කිසි විටෙක රජ ඒ විශ්වාස කළ නමුත් පසු ව සාමාවතියගේ නිදොස් බව තේරුම් ගත්තේ ය. ඉක්බිති සාමාවතී තොම රජු ගෙන් අවසර ගෙන ඇගේ මාලිගාවට ආනන්ද ස්ථවිරයන් වහන්සේ කැඳවා සත්කාර කොට බණ ඇසුවා ය. මේ කිසිවක් ඉවැසිය නො හී වඩ වඩා කෝපයෙන් දිලිහුණු මාගන්දියා තොම ඇගේ කුඩා පියා ලවා සාමාවතිය ගේ මාලිගාවට රහසින් ගිනි ලැව්වා ය. සාමාවතී සහිත පන්සියයක් පමණ වූ ඇගේ පිරිවර ස්ත්‍රීහු එයින් දා මළහ. රජ තෙම පසු ව එය මාගන්දියාව විසින් කරවන ලද බව දැන ගෙන, දරුණු වද දී ඇය ද ඇගේ නැදෑයින් ද මරවා දැමී ය.

නව වන වස

භාග්‍යවතුන් වහන්සේ බුද්‍ධත්වයෙන් නව වන වර්ෂයෙහි වැසි සාරමසෙහි ද ඉන්පසු ද කොසඹෑ පුර සෝෂිතාරාමයේ වුසූ සේක.

භද්‍රවතිකා ඇතින්න

මෙ සමයෙහි උදේන රජු ගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නො තකා අසරණ කොට අත් හැර දමන ලද්දී, තැන තැන යෙමින් දුක සේ කල් යැවූවාය.

ඕ ශක්තිමත් සමයෙහි එ රජු ගේ මඟුල් ඇතින්න වැ සිට මහත් සත්කාර ලැබුවා ය. යුද්‍ධවලදී ද රජුට ජය ලබන්නට සහාය වූවා ය. එහෙත් ඇය මහළු වැ දුර්වල වැ කිසිත් කරන්නට නො හැකි වූ විට, රජ අන් ඇතකු මඟුලැත් තනතුරට පත් කොට ඇය නො සලකා හැරියේ ය. එ තැන් සිට ඕ සුදුසු පමණ අහරක් හෝ ඉන්නට නිසි තැනක් හෝ නො ලැබ තැන තැන ඇවිදිමින් දුක සේ කල් ගෙවූවා ය. දවසෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬු පිණිස වඩින්නා දැක, ඕ උන් වහන්සේ වෙත අවුත් පා මුල වැටී තමා විඳුනා දුක අඟවන්නී, ශබ්ද නගා හැඬුවා ය. ඇය ඇඟැවූ අදහස භාග්‍යවතුන් වහන්සේ දත් සේක. දැන, “සිතට දුක් නොගන්න. මම් ගොස් පළමුවෙන් ඔබට ලැබී තුබුණු ලෙසට ම සත්කාර සලස්වන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදේන රජුගේ මාලිගාවට වැඩි සේක. රජ ද බුදු පාමොක් සඟනට දන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසනැ “මහරජ, ඔබේ භද්‍රවතිකා ඇතින්න කොයි දැ”යි විචාළ සේක. “නො දනිමි වහන්සැ” යි රජ කීය.

එ විට භාග්‍යවතුන් වහන්සේ රජුට අවවාද කරන සේක්, “මහරජ, තමනට උදවු කළ අයට ශක්තිමත් කාලයේ දී සත්කාර සම්මාන කොට, උන් මහළු වූ කලැ එය පැහැර ගැන්ම නො වටී. ඔබ හැම කළගුණ දන්නවුන්, කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කරන්නවුන් විය යුතු. භද්‍රවතිකා දැන් මහළු ය. ජරා ජීර්ණ ය. අසළ වෙනෙහි වැටකේ ආදී නීරස නිරෝජස්ක දෑ කමින් අනාථ වැ කල් ගෙවයි. මහළු වූ ඇය අනාථ වන්නට ඉඩ හැරීම ඔබට නො වටී. පෙර සේ ම ඇයට සත්කාර කරන්නැ” යි වදාළ සේක.

එයසා රජ තම වරද පිළිගෙන වහා ම කෙනකු යවා ඇතින්න ගෙන්වී ය. ඇයට පළමු සේ ම සත්කාර සැලැස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙ සේ ඇයට සෙත සලස්වා ඝෝෂිතාරාමයට වැඩි සේක.

දස වන වස පාරිලේය වනයෙහි

සංඝයාගේ භේදය

එ සමයෙහි ඒ ඝෝෂිතාරාමයෙහි වැසි විනයධර ස්ථවිර නමක ගේත් ධර්ම කථික ස්ථවිර නමකගේත් විවාදයෙක් වී ය. ස්වල්පයෙන් පටන් ගත් විවාදය ඒ දෙදෙනා ගේ පක්ෂයට බොහෝ පෘථග්ජන ගිහි පැවිද්දන්ගේ බැඳීමෙන් ක්‍රමයෙන් දියුණු වී ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට කළහ විවාද අසමග බව්හි ආදීනව වදාරන සේක්, ලටුකික ජාතක, වට්ටක ජාතක, දීඝිති කෝසල ජාතක යන මෙයින් අවවාදානුශාසනා කළ සේක. එහෙත් ඔහු ශමථයකට නො පැමිණියහ. බුදුරජාණන් වහන්සේ මතු ඔවුන් සමගියට පැමිණවියැ හැකි අයුරු ද ඊළඟ වස් කාලයෙහි පාරිලේය හස්ති ආදී කීප දෙනෙකුනට තමන් වහන්සේ නිසා ලැබෙන අර්ථ සිද්‍ධිය ද දැක, විවේකය ද කැමැති වැ, පාරිලේය වනය දෙසට යන්නට අදහස් කළ සේක. එ සේ අදහස් කොට කොසඹෑ පුරයෙහි පිඬු පිණිස හැසිර කිසිවකුටත් නො දන්වා හුදෙකලා ව ම වැඩි සේක.

බාලකලෝණකාර ගමට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි පසු භික්ෂූහු අනඳ තෙරුන් වෙත එළැඹ “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ හුදෙකලා ව වැඩි සේක. අපිත් උන් වහන්සේ අනුව යම්හ” යි කීහ. “ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කාටත් නො දන්වා හුදෙකලාව වඩිනුයේ විවේකී ව තනි ව වසන අදහසිනි. ශ්‍රාවකයන් විසින් ශාස්තෘන් වහන්සේගේ අදහස අනුව හැසිරිය යුතු. එ බැවින් මේ දින වල භාග්‍යවතුන් වහන්සේ පසු පසින් නො යෑ යුතු යැ”යි කියා අනඳ තෙරණුවෝ ඒ භික්ෂූන් වැළැක්වූහ. තුමුද නො ගියහ.

බුදුරජාණන් වහන්සේ ද ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරන සේක්, බාලකලෝණකාර ග්‍රාමයට පැමිණ, එහි තනි ව වසන භෘගු ස්ථවිරයන් වහන්සේට මුළු පස්වරු කාලයේ ද, තුන් යම් රැය මුළුල්ලේ ද, හුදෙකලා වැ විසීමේ අනුසස් වදාරා, පසු දා තෙරුන් හා ගමේ පිඬු පිණිස හැසිර දන් වළඳා තෙරුන් එහි ම නතර කොට, තමන් වහන්සේ පළමු සේ ම හුදෙකලා ව එයින් පිටත් වූ සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ චෙති රට ප්‍රාචීනවංශ මෘගදායයට පැමිණ, එහි දී අනුරුද්ධ භද්දිය කිම්බිල යන තෙරුන් තුන් නමට රෑ තුන් යම්හි ම සමගියේ අනුසස් වදාරා, ඉන් හුදෙකලා ව ම නික්ම කෝසල ජනපදයෙහි වූ පාරිලේය නම් නුවරට සම්ප්‍රාප්ත වූ සේක. එහි වැස්සෝ පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත් අසුන් පණවා වඩා හිඳුවා දන් දුන්හ. ඉක්බිති ඒ පාරිලේය නුවර සමීපයේ වන ලැහැබක පන්සලක් කොට, එහි වස්වසන්නට ආයාචන කොට, භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කැරැවූහ.

ඒ පන්සල ළඟ රම්‍ය සල් රුකක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ එක් ඇතකු විසින් දක්නා ලද සේක. ඒ ඇතාත් විවේකී වූ වසනු කැමැත්තෙන් රැළින් වෙන් වූයෙකි.

ඇතකුගේ උපස්ථානය

හස්ති තෙම බුදුරජාණන් වහන්සේ දුටු හැටියේ ම සොඬ අකුලා දන බිම ඇන නමස්කාර කෙළේ ය. ඉන් පසු වට පිට බලා කිසිවකු නො දැක එ රුක යටැ භූමිභාගය පයින් පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේ ය. එතැන් පටන් හස්ති තෙම භාග්‍යවතුන් වහන්සේට බීමට ද මුහුණ දෙවීම් ආදී පරිභෝගයට ද වතුර පිළියෙල කැරැදෙයි. උණු දියෙන් ප්‍රයෝජන ඇතැයි හැඟුණු විට උණු දිය ද පිළියෙල කෙරෙයි. ඒ මෙසේ ය: ගිනි ඉපැද විය හැකි දඬු සොඬින් ගෙන එකට මැද ගිනි උපදවයි. ඉක්බිති දර කැබලි ගොඩ ගසා ගිනි දල්වා ඒ ඒ ලොකු ගල් ගෙනවුත් ඒ ගිනි ගොඩෙහි දමා රත් කරයි. ගල් රත් වූ පසු දඩු කැබැල්ලක් ගෙන ඒවා පෙරළාගෙන ගොස් දිය පිරුණු කුඩා ගල් වලෙක හෙලා ලයි. ඉන්පසු සොඬය බහා රත් වූ බව දැන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සොඬ අකුළා දන බිම ඇන හිඳියි. එවිට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ජලස්නානය කරන සේක. ඉක්බිති හස්තියා නොයෙක් ඵල වර්ග ගෙනවුත් පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු පිණිස වඩනා විට හස්ති තෙම පාත්‍රය හා දෙපට සිවුර කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමාවේ දී ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදෙකලා ව ම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස හැසිර ආපසු වඩනා සේක. ඇත් තෙම මග බලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කෙණෙහි පාත්‍රය හා දෙපට සිවුර ගෙන ඔබ කැටුව සල් රුක වෙතට යයි. ගොස් පාත්‍ර සිවුරු පන්සලෙහි තබා අත්තෙකින් පවසන් සලයි. නැවැත රාත්‍රී කාලයෙහි චණ්ඩ මෘගයන් ගෙන් උපද්‍රව වළක්වන අදහසින් මහත් දංඩක් සොඬින් ගෙන ඒ ලැහැබෙහි අතර තුරැ හැසිරෙයි. බුදුරජාණන් වහන්සේ රක්ෂිත කැරැ (රැක) ගන්නා අදහසින් ඒ ඇතු හැසිරුණු වන ලැහැබට එ තැන් සිට රක්ෂිත වන ලැහැබ යැ යි නම් විය. එළි වූ කල්හි මුහුණ සේදීමට පැන් දීම් ආදී වශයෙන් මෙසේ ඒ හස්ති තෙම බුදුරජාණන් වහන්සේට සියලු වත් පිළිවෙත් කරයි.

වඳුරකුගේ පූජාව

ඇතු කරන උපස්ථාන දුටු එක් වඳුරෙක් “මමත් සත්කාරයක් කෙරෙමි” යි සිතා දීමට සැහෙන යමක් සොයා ඇවිදින්නේ, මැස්සන් විසින් හරනා ලද දඬුවැල් බෑ මීයක් දුටුයේ ය. දැක එය ගෙනැවිත් කෙසෙල් කොළයක් කඩා එහි තබා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන් වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත් සේක. ඉක්බිති වඳුරු තෙම උන් වහන්සේ “එය වළඳන සේක් දෝ, නැද්දෝ යි බලා හිඳ, එය නො වළඳන බව දැක, එයට කරුණු කිම් දැ යි ඒ මීය බැඳි දඩු කැබැල්ල අල්ලා ඒ මේ අත පෙරළා බලන්නේ මළා වූ පිළවුන් දැක, අවුලා දමා යලිත් ඒ මධුපටලය පිළිගැන්වූයේ ය. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. වඳුරු තෙම ඒ දැක සතුටු සිතැති ව අත්තෙන් අත්ත අල්ලමින් නටා ඇවිදුනේ, අල්ලා ගත් අත්තත් පා තැබූ අත්තත් අදිසියෙන් බිඳීමෙන්, කණුවක් උඩ වැටී කය සිදුරු ව මළේ ය. බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිතින් ඉන්දැදී ම මළා වූ හෙතෙම තව්තිසා භවනයෙහි දෙව් පුතෙක් වැ උපන්නේ ය.

කොසැඹෑ වැසි භික්ෂූනට කළ දඬුවම්

යටකී පරිදි බුදුරජාණන් වහන්සේ කොසඹෑ පුරයෙන් නික්මුණු පසු එහි වැසි උපාසකවරු “භික්ෂූන් ගේ අසමගි බැවින් විවාද හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඉන් පිටත් වූ සේකැ” යි සිතා කලහකාරී භික්ෂූනට සත්කාර නැවැත්වූහ. ඒ භික්ෂූහු ද ආහාර නැති බැවින් පීඩිත ව ටික දිනෙකින් ම සමග වූහ. ඉක්බිති උපාසකවරුනට ඒ බව දැන්වූ හ. “භාග්‍යවතුන් වහන්සේ කමා කරවා ගත් පසු පෙර මෙන් ම අපි ඔබට සලකන්නමු” යි ඔහු කීහ. භික්ෂූහු ද වස් කාලය බැවින් පිටත යෑ නොහැකි වැ ඒ තුන් මස ආනන්දාදි අන් තෙරුනට ලැබෙන ආහාර පානාදියෙන් යැපෙමින් දුක සේ ගත කළ හ.

භාග්‍යවතුන් වහන්සේ ඇතකු ගේ උපස්ථාන ඇති ව පාරිලේයක වනයෙහි වසන බව දඹදිව පතළ වී ය. සැවැත් නුවරින් අනේපිඬු සිටු, විශාඛා උපාසිකා ආදී ප්‍රභූහු භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙනෙන ලෙස අනඳ තෙරණුවනට පණිවුඩ එවූහ. දිශාවාසි පන්සියයක් පමණ භික්ෂූහු ද වස් පවරා කොසඹෑ නුවර වුසූ අනඳ තෙරුන් වෙත එළැඹ “ස්වාමීනි, අපට භාග්‍යවතුන් වහන්සේ ගෙන් දහම් අසන්නට සැලැස්සුව මැනැවැ”යි අයැදූ හ.

භික්ෂූන් බුදුරජාණන් වහන්සේ දැකීමට යෑම

ආනන්ද ස්ථවිර තෙම ඒ භික්ෂූන් හා කොසඹෑ නුවරින් නික්ම වැඩියේ ය. එ සේ ගමන් කොට පාරිලේය වනයට පැමිණ භික්ෂූන් පිටත නවත්වා තෙමේ හුදෙකලා ව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. හස්ති තෙම එ සේ එන තෙරහු දැක දංඩක් ගෙන ලුහු බඳින්නට සැරැසුණේ ය. එය දුටු භාග්‍යවතුන් වහන්සේ “මෙ තෙම මගේ උපස්ථායකයෙකි. මඟ හරුව” යි වදාළෙන් හස්ති තෙම දඬු කඩ හැර දමා පාත්‍ර සිවුරු පිළිගන්නට තෙරහු වෙත ගියේ ය. ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පාත්‍ර සිවුරු බිම තබා වැඳ පසෙක හුන්නේ ය. “ආනන්දය, ආයේ හුදෙකලාවදැ?” යි බුදුරජාණන් වහන්සේ වදාළ කලැ. තවත් පන්සියයක් පමණ භික්ෂු පිරිස ආ බව කීයෙන් “ඔවුන් කැඳවව”යි වදාළ සේක. තෙරණුවෝ ද ඒ භික්ෂූන් කැඳවාගෙන ආහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් හා සුව දුක් තොරතුරු කතාබස් කළ සේක. ඒ භික්ෂූන් ද උපස්ථායකයකු නැති වැ වනයෙහි තනි වැ විසීමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දුෂ්කර දැයක් කරන ලදැ යි කීකල, පාරිලේය වන වාසී ඇතු විසින් සියලු උපස්ථාන කළ බවද, එ වැනි යහළුවකු 163 ඇත්තහු විසින් ඔහු හා විසීම යුතු යැ යි ද, නැතහොත් තනි ව හැසිරීම උතුමැයි” ද වදාරා සත් පුරුෂයන් හා එක් ව විසීමේත් බාලයන් ගෙන් වෙන් වීමේත් අගය වදාළසේක. දේශනාවසානයේ දී ඒ දිශාවාසී භික්ෂූහු රහත් වූහ.

ඇතුගේ මහා දානය,

බුදු රජ වනයෙන් පිටත් වීම

ඉක්බිති අනේ පිඬු සිටු ආදීන් එවූ හසුන් දැන්වූ කල භාග්‍යවතුන් වහන්සේ පාත්‍ර සිවුරු ගන්වා ගෙන පිටත් වූ සේක. එ විට හස්ති තෙම ගොස් පාර සරස සිටියේ ය. “වහන්ස, හස්ති තෙම කුමක් කෙරේ දැ” යි භික්ෂූහු විචාළහ. “මහණෙනි, මේ තෙම තොපට භික්ෂාව දෙනු කැමැත්තේ ය. මේ ඇතා මට බොහෝ කලක් උපකාර කළ කෙනෙකි. එ බැවින් මොහු ගේ සිත රිදුවීම හොඳ නැත. මහණෙනි, ආපසු යම්හ” යි වදාළ සේක. එ සේ වදාරා ඒ භික්ෂූන් ගෙන ආපසු වැඩි සේක. හස්ති තෙමේ ද කැලෑයෙහි ඇවිද කොස් කෙසෙල් ආදී නානා ඵල ගෙන වුත් රැස් කොට තබා පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂූනට පිළිගැන්වුයේ ය. වළඳා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හා පිටත් වූ සේක. එ විට හස්ති තෙම භික්ෂූන් මැදින් ඉඩ ගනිමින් ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හරස් ව සිටියේ ය. “වහන්ස, ඇත් තෙම කුමක් කෙරේ දැ”යි භික්ෂූහු විචාළහ. “මහණෙනි, තොප යවා මෙ තෙම මා නවතනු කැමැත්තේ යැ” යි වදාළ ස්ක. එ සේ වදාරා, ඇතුට කතා කොට “පාරිලේයකය, මාගේ මේ ගමන නැවැත් විය නො හැකි ය. නුඹට මේ තිරිසන් ආත්මයේ සිට මේ පින් මිස මෙයට වැඩියෙන් ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් ලැබිය නො හැකි ය, එබැවින් නුඹ මෙහි සිටින්නැ”යි වදාළ සේක. එය තේරුම් ගත් හස්ති තෙම සොඬය මුඛයෙහි බහා හඬමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේ ය. ශාස්තෘන් වහන්සේ ගම සමීපයට පැමිණ “පාරිලේයකය, මෙ තැනින් එහා යෑම නුඹට අයෝග්‍ය යි. මිනිස් පියෙසට ගියොත් නුඹට හිරිහැර ඇතිවෙයි. එ බැවින් නුඹ මෙයින් එහා නො ගොස් නවතින්නැ”යි වදාළ සේක.

හස්ති තෙම බලවත් ශෝකයෙන් හඬමින්, බුදුරජාණන් වහන්සේ වඬිනු බලා ගත් වණම සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට නො පෙනී ගිය කෙණෙහි හේ ඉසිලිය නො හැකි ශෝකයෙන් ළය පැළී මළේ, තව්තිසා භවනයෙහි දෙව් පුතෙක් ව උපන්නේ ය.

සැවැත් පුරයට වැඩීම

ශාස්තෘන් වහන්සේ ද පිළිවෙළින් සැරි සරා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩි සේක. කොසඹෑ පුර භික්ෂූහු ඒ බව අසා සැවැත් නුවර යෑමට පිටත් වූහ. ඒ භික්ෂූන් එන බව ඇසූ කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ “මගේ රටට එන්නට ඒ භික්ෂූනට ඉඩ නො දෙමි” යි කීය. එවිටැ “මහ රජ, ඔවුනොවුන් විවාද කැරැ ගත්තත් ඒ භික්ෂූහු සිල්වත්තු ය. දැන් ක්ෂමාව ලබා ගන්නට මා වෙත එති. එන්නට ඉඩ දෙව” යි වදාළ සේක. අනේපිඬු සිටු ද දෙව්රමට එන්නට ඉඩ නො දෙන්නට සැරසුණු නමුත් භාග්‍යවතුන් වහන්සේ පළමු සේ ම වදාරා විහාරයෙහි ඉඩ ලබා දෙවා ඒ භික්ෂූනට ඉදුම් හිටුම් ආහාර පානාදිය නිසි සේ ලබා දෙවූ සේක. එහෙත් අන් කිසිදු භික්ෂුවක් ඒ කොසඹෑ පුර භික්ෂූන් හා එක් වැ නො උන්නේ ය. එහි පැමිණි පැමිණි තැනැත්තන් “විවාදකාරී භික්ෂූහු මොහු දැ?” යි ඇඟිලි දික් කොට පෙන්වා ඇසීමෙන් ඒ භික්ෂූහු වඩ වඩා ලජ්ජාවට පත් වූහ. හිස් ඔසවා ගන්නට ද බැරි පමණට ලජ්ජාවට පත් වූ ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පා මුල වැදැ හෙවැ ක්ෂමාව ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට සමාව දී අවවාද කොට දීඝිති කෝසල ජාතකය වදාළ සේක.

එකොළොස් වන වස ඒකනාලා බමුණු ගමෙහි

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම දනවු සැරි සරන සේක්, මගධ රටැ දක්ෂිණාගිරි ජනපදයට වැඩි සේක. එකොළොස්වන වැසි සෘතුයෙහි ඒකනාලා නම් බමුණු ගමෙහි වුසූ සේක.

භාග්‍යවතුන් වහන්සේ කසීභාරද්වාජ 164 නම් බමුණකු හික්මවූයේ මෙහි දී ය. ශාසනය කෙරෙහි දෘඪ භක්ති ඇති වේළුකණ්ටකී නන්දමාතු උපාසිකාව මෙහි උපාසිකා පිරිසේ මාර්ගදෙශිකා වැ සිටියා ය.

සිවුරු කැපීමට නියමය

ප්‍රසිද්‍ධ වූ මගධ ක්ෂේත්‍රය මේ ගම නො දුරෙහි ය. ඒ සමීපයට වැඩි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට කුඹුර පෙන්වා එහි මියරවලින් ලියැදි වෙන් කොට ඇත්තා සේ සිටින්නට සිවුරු කඩ කපා මසා ගත යුතු බව වදාළ සේක.

වේරංජා පුර වැඩීම

වස්සාන කාලයේ අවසන්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩ එහි වුසූ සේක. නැවැත සැරි සරා වඩනා සේක්, ශූරසේන ජනපදයෙහි මධුරා පුරයට වැඩි සේක. එහිදී පැමිණි පැමිණි කාරණයෙහි ධර්මානුශාසන කොට ඉන් නික්ම වේරංජා පුරය බලා පිටත් වූ සේක. අතර මගදී ගැහැවි පිරිසක් හමු වැ ගෘහ්‍ය ජීවිතය සම්බන්ධ ධර්ම කථාවෙකින් ඔවුනට අවවාද කළ සේක. ඉක්බිති ඉන් නික්ම වඩනා සේක් වේරංජා පුරයට සම්ප්‍රාප්ත වූ සේක.

වේරංජා පුරයෙහි නලේරු නම් යකකු විසින් අරක්ගන්නා ලදැ”යි සලකා ඔහුට පුද පවත්වන දෙවොලක් වූ විශාල කොසඹ රුකෙක් විය, එය නලේරු පුචිමන්ද නමින් ප්‍රකට විය. වේරංජා පුර වැඩි භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹ රුක් මුලැ ආවාසයෙහි වුසූ සේක.

දොළොස් වන වස වේරංජායෙහි

භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණීමත් උන් වහන්සේ ගේ ගුණ කීර්තියත් ඇසූ වේරංජා වාසී උදය නම් වේරංජායෙහි ධනවත් බමුණෙක් එහි ගියේ ය. ගොස් කථා කොට පැහැදී ඒ වර්ෂාණ කාලයෙහි එහි වස් වසන්නට ආයාචන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සහිත ව ඒ දොළොස් වන වර්ෂයෙහි වේරංජා පුරැ නලේරු කොසඹ රුක අසැ පන්සලෙහි වුසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ට එහි වස් වසන්නට ආයාචනා කළ බව වේරංජා බමුණාට සිහි නො වීය. පුරවාසීනට ද ඒ ගැන නො සිහි වීය. (එයට හේතුව මාරාවේශයෙකැ යි කියන ලදී) එ කාලයෙහි තද දුර්භික්ෂයෙක් ඒ පළාතේ ඇති විය. භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂූනටත් එහි නිවැසි කිසිවකු ගෙන් කිසි සංග්‍රහයෙක් නො ලැබුණේ ය. එහෙත් උත්තරාපථයෙහි සිට අස් වෙළෙඳාමෙහි යන වෙළෙඳුන් සමූහයෙක් ඒ වැසි සමයෙහි එහි නවාතැන් ගත්තේ ය. ඔහු භික්ෂූනට දින පතා එක නමකට යව නැළිය බැගින් දී සත්කාර කළහ. භික්ෂූහු සත් අට දෙනා ද දස දොළොස් දෙනා ද එකතුව ඒවා කොටා දියෙන් තෙමා වළඳමින් මහණ දම් පිරූහ. එ වෙළෙඳහු භාග්‍යවතුන් වහන්සේට දින පතා යව නැළියකුත් එයට සුදුසු පමණ ගිතෙල් මී හා සකුරුත් දුන්හ. අනඳ තෙරණුවෝ එය අඹරා පිටි කැර ගිතෙල් ආදිය හා නිසි ලෙස සංයෝග කොට භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.

මෙසේ ඒ වස් කාලය ගත කොට, වස් පවරා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් හා වේරංජ (උදය) බමුණාගේ ගෙදරට වැඩි සේක. බමුණාගේ මෙහෙකරුවෝ එ පවත් ඔහුට දැන් වූහ. බමුණු තෙමේ සිහි ලැබ කනගාටුවට පත් වැ වහා නැඟිට අගනා අස්නක් පණවා, පෙරගමන්කොට භාග්‍යවතුන් වහන්සේ කැඳවා, වඩා හිඳුවා, වැඳ පසෙක හිඳ, ගිහි ගෙයි කටයුතු බහුල බැවින් උන් වහන්සේට සත්කාර කළ හැකි නො වූ බව කියා, භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සමූහයාට මහ දන් දී සත්කාර කළේ ය. භාග්‍යවතුන් වහන්සේ බමුණා සහිත පිරිසට දම් දෙසා උනස්නෙන් නැගී සිට නික්මුණු සේක. බමුණු තෙමේ අඹුදරුවන් කැටු ව අවුත් භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් නමස්කාර කොට “වහන්ස, මතුත් අප ට අනුග්‍රහ කළ මැනවැ”යි ආදීන් කියා මඳක් දුර පසුගමන් ගොස් කඳුළු පිරුණු මුහුණින් යුතු වැ නැවැතුණේ ය.

වේරංජායෙන් පිටත්ව බරණැසට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වේරංජා පුරයෙන් නික්ම මහා මණ්ඩලය මැදින් ගමන් ගත් සේක. පළාතේ දුර්භික්ෂ දෝෂ හේතුයෙන් භික්ෂුන් ක්ලාන්ත වැ සිටි හෙයින් අතර මඟ වෙන වෙන දිසාවලට නො වැඩ සෘජු මාර්ගයෙන්ම වඩනා සේක්, සෝරෙය්‍ය, කඤ්ඤකුජ යන නගරයන් පසුකොට ප්‍රයාගප්‍රතිෂ්ඨාන තීර්ථයට පැමිණ එහි දී ගංගා නදියෙන් එ තෙරැ වී බාරාණසී පුරයට එළැඹි සේක. මේ වනාහි මෙයින් වර්ෂ දොළොසකට පෙර පළමු වැසි සමයෙහි බරණැස සිට නිම වැඩියායින් පසු එහි පැමිණි වාරය යි.

කච්චායන බමුණා පැවිදී වීම

භාග්‍යවතුන් වහන්සේ බරණැස ටික කලක් ව වැඩ වුසූ සේක. මෙ සමයෙහි අවන්ති රටට අධිපති චණ්ඩප්‍රජ්‍යෝත මහ රජ ස්වකීය පුරෝහිත කාත්‍යායන බ්‍රාහ්මණයා අමතා භාග්‍යවතුන් වහන්සේ සිය රටට වැඩම කරවා ගෙන එන්නට නියෝග කෙළේ ය. හේ “පැවිදි වන්නට අවසර දෙතොත් භාග්‍යවතුන් වහන්සේ ගෙන එන්නෙමි” යි කියා පැවිදි වීමට රජුගෙන් අවසර ගෙන තවත් සත් දෙනෙකුත් සමග නික්ම බරණැස භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා බව අසා එහි පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. දේශනාවසානයේ ඒ සත් දෙනා ද කාත්‍යායන බමුණා ද රහත් බව ලැබුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් වූහ.

කාත්‍යායන තෙරුන් අවන්ති රට සසුන් පිහිටුවීම

ටික දිනෙකින් පසු කාත්‍යායන තෙරණුවෝ උජ්ජේනි පුරයට වැඩීමට කාලය සුදුසු බව කීහ. භාග්‍යවතුන් වහන්සේ තෙරුනට පළමුවෙන් යන්නට නියෝග කළ සේක. තෙරණුවෝ තමන් හා පැවිදි වූ සත් නම කැටුව උජ්ජේනි පුරයට වැඩ එහි රජහු ගේ කාංචන වනෝද්‍යානයට පැමිණිය හ. උයන් පල්ලා විසින් ඒ බව දන්වන ලද. චණ්ඩප්‍රජ්‍යෝත රජ එහි ගොස් කථාබස් කොට පැහැදී තෙරුන් එහි නවතා ගෙන සත්කාර කෙළේ ය. රජ මෙහෙසි තොම කාංචන වනයෙහි තෙරුන් පිණිස විහාරයෙක් කැරැවී ය. රජ තෙරුන් ගේ අවවාදයෙහි පිහිටා චණ්ඩ ගති හැර දමා අකර්තව්‍යයෙන් වෙන් ව දැහැමි මඟ ගමන් ගත්තේ ය.

ධර්මය ලියැවීමක් - ඍෂිදත්ත

අවන්ති රටැ වර්ධග්‍රාම නම් ගමෙහි එක් ගැල් නායකයකු ගේ සෘෂිදත්ත නම් පුතෙක් වී ය. තරුණ වයසට පත් හෙතෙම මච්ඡිකාසණ්ඩ නුවර චිත්‍ර ගෘහපතිහුගේ අදෘෂ්ට මිත්‍රයෙක් වි ය. චිත්‍ර ගෘහපති තෙම සරණ ගත උපාසකයෙකි. හෙතෙම සිය මිතුරාට බුද්‍ධ ධර්මය ගැන කරුණු දන්වා යවනු කැමති වූයේ, බුදුරජාණන් වහන්සේ ගේ රහත් බව, සම්‍යක්සම්බුද්ධ බව, විද්‍යාචරණ සම්පන්න බව ආදී ගුණ රාශිය විස්තර කොට ලියා දීර්ඝ ලියුමක් යැවුයේ ය. ඒ ලියුම ලැබ කියවා බැලූ සෘෂිදත්ත තෙම අප්‍රමාණ ප්‍රීතියටත් ශාසනය කෙරේ මහත් පැහැදීමටත් පැමිණියේ, ගිහිගේ හැර මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ පැවිදි වී ය. විදසුන් වැඩු හෙතෙම නොබෝ කලෙකින් ෂඩභිඥාලාභී රහතෙක් වී ය.

මේ කාලයෙහි කුටිකණ්ණසෝණ සිටුපුත් ද පැහැදී කච්චායන තෙරුන් වෙත පැවිදි විය. කණ්ඩරායන බ්‍රාහ්මණ ආදී තවත් බොහෝ ප්‍රභූහු ද සස්නෙහි පැහැදුණාහ. බොහෝ කුලපුත්‍රයෝ ශාසන ගත වූහ. නො බෝ කලෙකින් උජ්ජේනි පුරය කසාවතින් බැබලුණේ ය.

මෙ සමයෙහි අවන්ති රට කුරරඝර පුරයෙහි ප්‍රපාත[53] පර්වතයෙහි ද මක්කරකටක නම් නිගමයෙහි ද සස්නෙහි පැහැදුණු ජනයා විසින් ආරාමයෝ කරවන ලදහ.

සුදින්න කුලපුතුන් පැවිදි වීම

විසල් පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ බරණැස ටික දිනක් වැස ඉන් නික්ම සැරි සරන සේක්, විසාලා මහනුවරට වැඩ එහි මහාවනයෙහි කූටාගාරශාලා - විහාරයෙහි වුසූ සේක.

සුදින්න කුලපුත්‍ර මහණවීම

එ සමයෙහි පුර අසල කලන්දග්‍රාම යැ යි ප්‍රසිද්‍ධ ගමෙක් වීය. එහි ප්‍රධාන සිටු තෙම සතළිස් කෝටියක් ධන ඇත්තේ, රාජ සම්මත වූයේ, ගමේ නමින් ම කලන්ද සිටු යැ යි ප්‍රසිද්‍ධ විය. ඔහු පුත් සුදින්න නම් තරුණයෙකි. බුදුරජාණන් වහන්සේ එහි වැඩි කාලයෙහි කාර්තිකෝත්සවය පැවැත්තේ ය. කලන්ද පුත්‍ර සුදින්න තෙම උත්සව සඳහා එහි පැමිණියේ, උදේ බොජුනෙන් පසු සුවඳ මල් ගඳ විලෙවුන් ගෙන විහාරයට යන උපාසකයන් දැක ඔවුන් හා ගොස් පිරිස් කෙළවර හිඳ බණ ඇසුයේය. බණ අවසානයෙහි හෙතෙම පිරිස හා මඳක් තන් ගොස් යලි ආපසු අවුත් භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වීය. “මා පියන් ගෙන් අවසර ලබා එව” යි බුදුරජාණන් වහන්සේ වදාළෙන් හෙතෙම ගෙට ගොස් මා පියන් ගෙන් මහණ වන්නට අවසර ඉල්ලූයේ ය. ඔහු අවසර නො දුන්හ. හෙතෙම දින කීපයක් නො කා නො බී බිම වැතිර හිඳ අමාරුවෙන් ඔවුන්ගෙන් අවසර ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි උපසපන් වී ය. (මේ තෙම මින් අට වන වර්ෂයෙහි ප්‍රථම පාරාජිකා ශික්ෂා පදය පැනවීමට ආදිකර්මික වූයේ ය.)

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩීම

බුදුරජාණන් වහන්සේ ටික දිනක් වෛශාලි පුරයෙහි වැස, ඉන් නිම කපිලවස්තු පුරයට වැඩ එහි න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. උන් වහන්සේ වැඩි බව ඇසූ මහානාම ශාක්‍ය රජ ගොස් වැඳ, පසෙක හිඳ, “ස්වාමීනි, භික්ෂු සංඝයා වහන්සේ වේරංජායෙහි දී භික්ෂාව නිසි සේ නො ලැබීමෙන් හිරිහැර වින්ද සේක් ලු. එ බැවින් සිවු මසක් මම උන්වහන්සේ පෝෂිත කරන්නෙමි” යි කියා අයැද ගොස්, පසුදා සිට බුද්‍ධප්‍රමුඛ සංඝයාට මධුර වූ ඕජස් සම්පන්න ආහාර පානයෙන් සත්කාර කෙළේ ය.

තෙළෙස් - සොළොස් වන වස් (13-16)

තෙළෙස් වන වස චාලිකා පර්වතයෙහි

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතැ ටික කලක් වැස ඉන් නික්ම චාලිකා නගරයට වැඩ එය අසළ චාලිකා පර්වතයෙහි වූ විහාරයෙහි තෙළෙස් වන වස වුසූ සේක.

තුදුස් වන වස

වර්ෂාණ සමය ගත වූයෙන් භාග්‍යවතුන් වහන්සේ සැරි සරා සැවැත් නුවරට වැඩි සේක. තුදුස් වන වැසි සෘතුයෙහි එහි දෙව්රම් වෙහෙරෙහි වුසූ සේක.

රාහුලයන් වහන්සේ ගේ උපසම්පදාව

මෙ සමයෙහි රාහුල හෙරණ පිරුණ විසි වයස් ඇත්තේ උපසපන් බවට පමුණුවන ලද්දේ ය. මෙ වස් කාලය ඇතුළත දී ම භාග්‍යවතුන් වහන්සේ වදාළ මහා රාහුලෝවාද සුත්තය[54] අසා රාහුල භික්ෂු නම රහත් විය.

වැසි සාර මස ගත වූ පසු සැරි සරා වඩනා භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩවදාළ සේක.

පසළොස් වන වස

භාග්‍යවතුන් වහන්සේ පසොළොස් වන වර්ෂර්තුයෙහි වුසුයේ එහි න්‍යග්‍රෝධාරාමයෙහි ය. මෙ සමයෙහි නන්දිය ශාක්‍ය රජ සස්නෙහි පැහැදුණේ ය. සුප්‍රබුද්‍ධ නම් කෝලිය රජ භාග්‍යවතුන් වහන්සේ ට සතුරු කම් කැර මහත් අකුසල් රැස් කොට පොළොවැ ගිලී විනාශයට පත් විය.

ජේතවනයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ වසින් පසු කිඹුල්වතින් නික්ම සැරි සරන සේක්, සැවැත් නුවරට පැමිණ ජේතවනයෙහි වුසූ සේක.

ශක ප්‍රශ්න සමාගම

එ සමයෙහි දිනක් රෑ සක්දෙව් රජ මහත් දිව්‍ය සමූහයක් කැටුව අවුත්,

“වහන්ස, කවර දානයෙක් ශ්‍රේෂ්ඨ ද?

කවර රසයෙක් ශ්‍රේෂ්ඨ ද?

කවර රතියෙක් (ඇල්මෙක්) ශ්‍රේෂ්ඨ ද?

තෘෂ්ණාක්ෂයය (අර්හත් බව) කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ ද?

යන ප්‍රශ්න සතර ඇසුයේ ය.

එය විසැඳීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ:

“ධර්ම දානය සියලු දීම් මැඩ ජය ගනී. ලෝකෝත්තර ධර්ම රසය සියලු රසයන් මැඩ ජය ගනී. ධර්මය කීම කියැවීම ඇසීම යන මෙහි ඇල්ම සියලු ඇලීම් මැඩ ජය ගනී. තෘෂ්ණාක්ෂයය (රහත් බව) සියලු භව දුක් මැඩ ජයගනී.”165 යැ යි වදාළ සේක.

ධර්මදේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය.

ශක්‍ර තෙම මේ ධර්ම කථාව අසා ප්‍රමුදිත ව “ස්වාමීනි, මෙ සේ උතුම් වූ ධර්මදානය කිරීමේ දී ඒ කථිකයන් ලවා අපට පින් නො දෙවන්නේ මන්ද?” වහන්ස, මෙ තැන් සිට භික්ෂු සංඝයා වහන්සේට වදාරා අපට පින් දෙවනු මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇයැදී ය.

භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන භික්ෂු සංඝයා රැස්කොට “ලොකු කුඩා මොන ම ධර්ම කථාවක් කළත් එයින් ලබන පින් ලෝවැස්සනට අනුමෝදන් කරවන්නැ”යි වදාළ සේක.

ආළවක සමාගමය

සැවැත් පුර වසන භාග්‍යවතුන් වහන්සේ කළුවර පක්ෂයේ පොහෝ දිනෙක අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන සේක්, ආළවක කුමරු අනාගාමී වීමට හේතු සම්පත් ඇති බව ද, අළවු යකු සෝවාන් ඵලයෙහි පිහිටුවිය හැකි බව ද, ධර්ම දේශනාව අසා බොහෝ ප්‍රාණීනට ධර්මාභිසමය වන බව ද දැක, එදා සවස හුදෙකලාව පයින් ම වැඩ ආළවි පුරයට ටික දුරෙක වනයේ වූ ආළවක යකු ගේ ප්‍රාසාදයට වැඩි සේක. වැඩ, ආළවක යකු ගේ පුටුයෙහි හිඳ එහි පැමිණි යක්ෂ ස්ත්‍රීනට අවවාද කළ ස්ක. ටික වේලාවෙකින් ආළවක යක් තම එහි පැමිණ නොයෙක් අයුරින් භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කරන්නට තැත් කෙළේ ය. ඒ කිසිවෙකින් ජයක් නො ලත් හෙතෙම භාග්‍යවතුන් වහන්සේ කුපිත කළ හැකියි සිතා නින්දා සහගත බසින් “ශ්‍රමණය, මින් පිට වව” යි කීය. මෙතැන දී මෘදු බව දැක්වීමෙන් යකු ගේ තද කෝපය අඩු කළ හැකි බව සැලකූ බුදුරජාණන් වහන්සේ “යහපත, ඇවැත්නි” යි කියා ගෙන් පිට වූ සේක. එවිට යක් තෙම මේ “ශ්‍රමණයෝ සුවච කෙනෙක. එක් වචනයෙන් ම පිටත් වූහ. මෙසේ එක් වචනයකින් ම මෙයින් නික්මවන්නට හැකි වූ මොහු ට විරුද්ධ ව නිකරුණේ රෑ මුළුල්ලේ යුද්‍ධ කෙළෙමි” යි මෘදු වූ සිතැති වැ “මේ තෙම ක්‍රෝධයෙන් නික්මියේ ද නැත හොත් සුවච බැවින් නික්මියේ දැ?”යි පරීක්ෂා කරමි” යි සිතා “ශ්‍රමණය, ඇතුළට එව”යි කීයේ ය. “යහපත, ඇවැත්නි” යි කියා බුදුරජාණන් වහන්සේ ගෙට වන් සේක. දෙවෙනි තෙවෙනි වර ද යක් තෙම පිට වන්නටත් ඇතුළට එන්නටත් අණ කෙළේ ය. බුදුරජාණන් වහන්සේ ද පළමු සේම ඔහු කී පරිදි කළ සේක. කිසිවක් ඉල්ලා හඬන දරුවාට එය දී නලවන මවකසේ බුදුරජාණන් වහන්සේ (ක්‍රෝධයෙන් හඬන) අළවු යකු නලවන පිණිස ඔහු කී දෑ කළ සේක. එවිට යක් තෙම මේ “ශ්‍රමණයා ඉතා සුවචය. එළිවන තුරු මෙසේ ම ඇවිදුවා වෙහෙසවම් යැ” යි අදහස් කොට සතර වන වරද “මහණ, නික්මෙව”යි කීයේ ය. එවිට ඔහුගේ අදහස දත් බුදුරජාණන් වහන්සේ “නො නික්මෙමි. නුඹට හැකි දෙයක් කරන්නැ” යි වදාළ සේක. එ ඇසූ අළවු යක් තෙම, “ප්‍රශ්න අසා මොහු වෙහෙසවන්නෙමි” යි සිතා, තමා මා පියන් ගෙන් උගත් ප්‍රශ්න සතරක් විචාළේ ය.166 භාග්‍යවතුන් වහන්සේ ඒ විසඳීම් වශයෙන් ඔහුට දම් දෙසූ සේක. බණ ඇසීමෙන් යක් තෙම සෝවාන් විය.

පහන් වූ බැවින් වෙන දා මෙන් ම ඔහුට බිලි පිණිස ආළවි රජු ගේ ඇමැතියෝ කුඩා දරුවකු එහි ගෙනාහ. ඒ ආළවි රජුන්ගේ පුත් කුමරුවායි. රාජපුරුෂයෝ භවනය ඇතුළට ම ගොස් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට හුන් අලවු යකු දැක “මහා යක්ෂය, මේ කුමරු තොපට බිල්ලට ගෙනාමු. මෙන්න පිළිගනුව, පිළිගෙන කව. තට කැමැත්තක් හෝ කරවයි” කීහ. සෝවාන් වූ හෙතෙම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දී ම ඇසූ වචනයෙන් ලජ්ජාවට පැමිණියේ, කුමරුවා දෑතින් පිළිගෙන, “ස්වාමීනි, මේ කුමරා මට එවන ලද්දෙකි. මම මොහු භාග්‍යවතුන් වහන්සේ ට දෙමි. බුදුවරු හිතානුකම්පා ඇත්තෝ ය. වහන්ස. මොහුට හිත වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ මොහු පිළිගන්නා සේක්වා”යි කියා භාග්‍යවතුන් වහන්සේ අතට දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ “මේ දරුවා පෝෂිත කොට නැවැත මට දෙවු” යැ යි වදාරා කුමරා රාජපුරුෂයන් අතට ම දුන් සේක. මෙසේ අතින් අතට දෙන ලද බැවින් ඒ කුමරා එ තැන් සිට හත්ථාළවක නමින් ප්‍රකට විය. රාජපුරුෂයෝ ද කුමරහු ගෙන ආපසු අළවු නුවරට ම ගියහ. මේ ප්‍රවෘත්ති ය එහි පතළ වූයෙන් ඒ පෙදෙස නුවර වැස්සන් ගේ ප්‍රීති ඝෝෂයෙන් ඇලලී ගියේ ය.

පිණ්ඩපාත වේලාව පැමිණි කල යක් තෙමේ පා සිවුරු ගෙන බුදුරජුන් පසු පස්සෙන් මාර්ගයේ අඩ දුරක් ගොස් නැවැතුණේ ය. භාග්‍යවතුන් වහන්සේ ද නුවර පිඬු පිණිස හැසිර වළඳා නුවර දොරටුව සමීපයෙහි රුකක් මුල පණවා දුන් අස්නේ වැඩ හුන්සේක. ආළවි රජ ද නුවර වැස්සෝ ද එහි එක් රැස් ව උන් වහන්සේ වැඳ පිරිවරා උන්නෝ

“එ බඳු දරුණු යකකු කෙසේ හික්මවා වදාළ සේක් දැ?යි විචාළහ. බුදුරජාණන් වහන්සේ සිදු වූ සියල්ල වදාරා යකුට දෙසූ ධර්මය ම ඔවුනට වදාළ සේක. එය ඇසීමෙන් අසූසාර දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය විය.

සොළොස් වන වස ආළවියෙහි

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආළවක යකු හික්මවා රටට සෙත සලසා ඒ වස් කාලයෙහි ආළවි ජනපදයෙහි ම වුසූ සේක.

සතළොස් වන වස රජගහ පුර

ආළවියෙන් නික්ම සැරිසරා වඩනා භාග්‍යවතුන් වහන්සේ වර්ෂර්තුව ළං වැ සිටි කල රජගහ පුරයට වැඩ සතළොස් වන වස වේළුවනාරාමයෙහි වුසූ සේක. එම කාලයෙහි ජීවක වෙද තුමා ගේ සොහොයුරි වූ සිරිමා නම් ගණිකා මළා ය. ඇය ජීවත්ව හින්දැදී දැක, ඇය කෙරේ ඇල්මෙන් නිරාහාර වූ තරුණ භික්ෂුවක් විය. බුදුරජාණන් වහන්සේ ඇගේ ශරීරය ආදාහන නො කොට සොහොනෙහි ම බලු සිවල් ආදීනට ළං විය නො හැකි කොට රක්වන ලෙස රජුට පණිවුඩයක් යැවූ සේක. රජද එසේ ම කෙළේ ය.

සිරිමා නගර සෝභිනී සමාගමය

තුන්දිනක් ගිය පසු ඒ ශරීරය ඉදිමී කුණු වී පණුවන්ගෙන් ගැවැසී ගත්තේ ය. බුදුරජුන් වදාළ පරිදි “ගෙවල් රක්නා ළමයින් හැර සෙසු සියලුදෙනා එය දක්නට පැමිණිය යුතු ය යැ” යි රජ අණබෙර ලැවූයේ ය. බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට ද එහි වඩිනා ලෙස ආයාචන කොට යැවූයේ ය. කෑම නො කා සිවු දිනක් ම වැතිර හොත් තරුණ භික්ෂු ද සිරිමාව දැක්මට යෑම පිණිස අන් භික්ෂූන් විසින් කැඳවනු ලදු ව වහා නැගිට්ටේ ය. බුදුරජාණන් වහන්සේ ඒ සියලු භික්ෂූන් කැටුව සොහොනට වැඩ සිරිමාව ගේ මළ සිරුර සමීපයෙහි පසෙක සිටි සේක. භික්ෂු සමූහයා ද රාජපුරුෂයෝ ද උපාසක උපාසිකාවෝ ද ඒ මළ සිරුර වටේ එක් එක් පාර්ශවයෙහි සිටියහ.

බුදුරජාණන් වහන්සේ රජුට කථා කොට “මහරජ මේ කවුරු දැ?” යි ඇසූ සේක. “වහන්ස, මේ සිරිමා යැ”යි රජ කීයේ ය. “මේ සිරිමා දැ?” යි යලිත් බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “එ සේ ය වහන්සැ” යි රජ පිළිතුරු දුන්නේ ය.

“මහරජ, එසේ නම් රන් දහසක් දී සිරිමාව ගණිත්වා”යි නුවර වැස්සනට දැන්වුව මැනැවැ” යි වදාළ සේක. රජ ද එසේ කැරැවූයේ ය. එහෙත් කිසිවෙක් එය මිළයට ගන්නට කැමැති නො වීය. ඉක්බිති ක්‍රමයෙන් කහවණු පන්සියය දෙසිය පනස එක්සිය පනස විසි පහ විස්ස දහය ආදී පිළිවෙළින් පණම දක්වා මිල පහත් කොට ඒ සිරුර ගන්නට කී නමුත් කිසි ම කෙනෙක් එයට කැමැති නො වූහ. එවිටැ “නොමිළයේ එය ගන්නා ලෙස පිරිසට දැන්වුව මැනැවැ” යි වදාළ සේක. රජ එසේ දැන්වීය. එහෙත් කිසිම කෙනෙක් එයට කැමති නොවූහ. එ විට බුදුරජාණන් වහන්සේ වදාරන සේක්, “මහණෙනි, බලවු. පෙර මහ ජනයා මැය රන් මිල දහසක් වුවත් දී එක දවසකට පමණ ද (භාර්‍ය්‍යා වශයෙන්) ගත් හ. දැන් නොමිළයේ වත් ගන්නා කෙනෙක් නැත. මහජනයාට ප්‍රිය වූ එබඳු රූපය දැන් මෙසේ ක්ෂීණ ව විනාශයට පැමිණියේ ය. ගිලන් අත් බැව් සැටි නුවණින් බලවු” යැ යි වදාරා.

“යම් සිරුරෙක ස්ථිර පැවැත්මෙක් නැද්ද, වණ රැසක් වූ ඇට රැසින් ගළපා සිටුවන ලද්දක් වූ. ගිලන් වූ, බොහෝ දෙනා විසින් ශුභ වශයෙන් වරදවා කල්පනා කොට ගන්නා ලද, වස්ත්‍රාභරණාදියෙන් සරසන ලද ඒ මේ ශරීරය අශූචි දුගඳ පිළිකුල් දැයක් කොට ඇති සැටි ලෙස සලකා බලන්නැ”යි වදාළ සේක. දේශනාවසානයේ දී සුවාසූ දහසකට ධර්මාභිසමය විය. සිරිමාව කෙරේ ඇලුම් කළ භික්ෂූ ද, පියෙවි සිහිය ලැබී ය.167

දුගියකුට ආහාර දෙවා දම් දෙසීම

වස් කාලයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා කැටුව වඩිනා සේක්, සැවැත් පුර පැමිණ එහි කලක් වුසූ සේක.

දිනක් සිරිත් පරිදි අලුයම් කාලයෙහි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටීමට තරම් හේතු සම්පත් ඇති අළවු පුර වැසි දිළිඳු මිනිසකු දුටු සේක. දැක ඔහුට අනුග්‍රහ පිණිස භික්ෂූන් පිරිවරා එහි වැඩි සේක. ආළවි පුර වාසීහු බුද්‍ධ ප්‍රමුඛ සඝයා වඩා හිඳුවා දන් දුන්හ. දන් වළඳා ඉවර වූ පසු ඒ පිරිස අනුමෝදන ධර්මය අසනු අටියෙන් හුන්හ. එහෙත් දයාබර ලෝකස්වාමීන් වහන්සේ තිස් යොදුන් මග ගෙවා යම් අසරණ දුප්පත් මනුෂ්‍යයකු බලා එහි වැඩි සේක් ද, ඔහු එනතුරු ම දම් නො දෙසා බලාපොරොත්තු වූ සේක. ඒ දුප්පත් පුරුෂයාත් නැති වූ ගොනකු සොයනු පිණිස උදේ පිටත් වූයේ ගොනු සොයා ගාලට දමා, බලවත් බඩ ගින්නෙන් පීඩිත වූවත් ගෙට නො ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ගියේ ය. ගොස් වැඳ පසෙක සිටියේ ය. ඔහු බඩ ගින්නෙන් පීඩිත බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ දන් පලෙහි වතාවත් කළ අයකු කැඳවා “සංඝයා වළඳා තවත් ඉතිරි වූ ආහාර ඇත් දැ” යි අසා වදාළ සේක. “එසේ යැ” යි වතාවත් කරු කීය, “එසේ නම් අසුවල් තැන හිඳුවා මොහුට ආහාර දුන මැනවැ” යි වදාළ සේක. හෙ තෙමේ ද බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ම කැඳ අවුළුපත් බත් ආදියෙන් මොනොවට ඔහු වැළැඳවී ය. කෑම, කා මුව සෝදා ඉවර ව බඩ ගින්නත් වෙහෙසක් නිවාගෙන සුවපත් වූ ඔහුටත් එහි හුන් සෙසු මහ පිරිසටත් භාග්‍යවතුන් වහන්සේ දාන කථාදි පිළිවෙළ කථාව වදාරා ඉන්පසු චතුස්සත්‍යයන් ප්‍රකාශ කළ සේක.

ඒ පුරුෂයා දේශනාවසානයේ සෝවාන් වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ද අනුමෝදන බණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි ස්ක. මහජනතෙමේත් උන් වහන්සේ පසු පසෙන් ටික දුරක් ගොස් හැරී ආයේ ය. බුදුරජාණන් වහන්සේ හා වඩනා භික්ෂූහු “ඉතිරි වූ ආහාර ඇද්දැ?” යි අසා ඒ පුරුෂයාට කෑම දෙවූ කාරණය ගැන කථා කරමින් ගියහ. බුදුරජාණන් වහන්සේ එය අසා ආපසු හැරී භික්ෂූන් දෙස බලා “මහණෙනි, කුමක් කියවුදැ?” යි ඇසූ සේක. භික්ෂූන් ඒ පවත් කී කල, “එසේ ය, මහණෙනි, තිස් යොදුන් දීරඝ මාර්ගය ගෙවා මා ආයේ ඒ උපාසකයා ගේ හේතු සම්පත් දැකීමෙන් ය. ඔහු ඉතා උදේ පටන් නැති වූ ගොනකු සොයමින් වනයේ හැසිර ආයේ බලවත් බඩගින්නෙන් පෙළෙමින් ය. බඩගිනි හෙයින් ධර්ම ප්‍රතිවේධය කළ නො හැකි බව සලකා ඔහුට ආහාර දෙවූයෙමි.

“බඩගින්න සියලු රෝග අතුරෙන් දරුණු ම රෝගය යි. සංස්කාර දුක සියලු දුක් අතුරෙන් දරුණු ම දුකයි. මේ බව තත් වූ පරිදි අවබෝධ කොට නැණැතියෝ නිවන ප්‍රත්‍යක්ෂ කරති. ඒ නිවන වනාහි අග්‍ර ම සුවයයි. එයට වැඩි සුවයෙක් නැතැ”යි 168 වදාළ සේක.

අටළොස් වන එකුන් විසිවන වස චාලිය පර්වතයෙහි

පෙෂකාර දුහිතෘ සමාගමය

භාග්‍යවතුන් වහන්සේ වස් කාලයෙන් පසු ආළවියෙන් නික්ම සැරිසරා වඩනා සේක් ඊළඟ වැසි සමය ළංවැ තිබිය දී චාලිය පර්වතයට වැඩ එහි වුසූ සේක. මෙ සමයෙහි දිනක් අළවු නුවර වැඩ පෙහෙර දුවකට අනුග්‍රහ කළ සේක. මුල සිට ඇය ගේ ප්‍රවෘත්ති කථාව මෙසේ ය:

පෙර එක් දිනෙක අළවු නුවර වැස්සෝ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කළ නිමන්ත්‍රණය කොට මහ දන් දුන්හ. දන් වළඳා අන්තයෙහි සාමිදරුවන් වහන්සේ අනුමෝදන බණ වදාරන සේක්,

“ජීවිතය අනියත යි. මරණය නියත ය. කවරදාක නුමුත් මරණය ඒකාන්ත ය. මේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය, දිවි පැවැත්ම මෙතෙක් කලැ යි නියම නැත. මරණය පැමිණෙන බව නම් නියත යැ යි මෙසේ මරණානුස්මෘතිය වඩවු. යම් කෙනෙක් එය නො වැඩුහු නම් ඔහු පසු ව මරණය පැමිණි විට බලාපොරොත්තු නැති වැ සර්පයකුට මුණගැහුණවුන් සේ බිය වැ තැති ගැන්මට පැමිණ බියෙන් මරහඬ දෙමින් මැරෙති. යම් කෙනෙක් වනාහි මරණානුස්මෘතිය වැඩහු නම්, ඔහු ඈත දී ම දංඩක් ගෙන සිටි පුරුෂයක් හු මෙන් මැරෙන කාලයෙහි මහ බියකට නො පැමිණෙති. එබැවින් මරණානුස්මෘතිය වැඩිය යුතු යැ”යි වදාළ සේක.

ඒ ඇසූ සෙස්සන් එය සිහි නො කොට තම තමන්ගේ එදඑදා කටයුතුවල ම ව්‍යාවෘත වූ නමුදු පේශකාරයකු ගේ (රෙදි වියන්නකුගේ) දූ වූ සොළොස් හැවිරිදි තරුණියක් භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදය සිතැ තබා නිතර මරණානුස්මෘතිය වැඩීමෙහි යෙදුණා ය. නැවත ඉන් වර්ෂ තුනකට පසු දිනක් අලුයම් වේලෙහි සිරිත් පරිදි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥානයට ඇය පෙනුණ බැවින් කිමෙක් දැ” යි නුවණින් බලා, ඇය සෝවාන් වීමට හේතු සම්පත් ඇති නියාව දැක පන්සියයක් පමණ භික්ෂූන් හා ජේතවනාරාමයෙන් නික්ම පිළිවෙළින් වඩනා සේක් ආළවී පුරැ අග්ගලාව විහාරයට සම්ප්‍රාප්ත වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ වැඩිය බව අසා, අළවු වැසියෝ රැස් ව දානයට නිමන්ත්‍රණය කළහ. යටකී තරුණි ද භාග්‍යවතුන් වහන්සේ වැඩිය බව අසා “පුන්සඳ මඬලක් වැනි මුහුණ ඇති මාගේ සාමිදරු ගෞතම සම්බුද්ධයන් වහන්සේ වැඩිසේකැ” යි සතුටු ව “මා රන්වන් ශාස්තෘන් වහන්සේ දුටුයේ මෙයින් වර්ෂ තුනෙකින් පෙර ය. අද උන්වහන්සේ ගේ රන්වන් ශරීරය දක්නටත් මිහිරි ධර්මය අසන්නටත් ලැබෙන්නේ යැ” යි සිතුවා ය.

ඇගේ පියා රෙදි වියන ශාලාවට යන්නේ, එදා ම එක රෙද්දක් වියා නිම කළ යුතු වූයෙන්, ඒ සඳහා පිළි වියන දඬු අඹරා ඉක්මණින් පිළියෙල කොට ගෙනෙන්නට ඇයට අණකොට ගියේ ය. ඕ “එය පිළියෙල කොට දී එයට පසු බණ අසමි” යි සිතා පුටුවක හිඳ දඬු, ඇඹරුවා ය. අළවු වැසියෝ දන් වළඳවා ඉක්බිති අනුමෝදනා බණ අසන අටියෙන් හුන්හ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ තමා එහි යම් තැනැත්තියකට සෙත් සලනු වස් වැඩි සේක් නම්, ඇය එහි පැමිණෙන තුරු ම කිසිත් නො වදාරා තුෂ්ණිම්භූත වූ සේක.

පෙහෙර දූ ද දඬු අඹරා පිළියෙල කොට පැසෙක ලා ගෙන පියා කරා යන්නී බණ අසන්නට රැස් වැ හුන් පිරිස වෙත එළැඹ පිරිස් කෙළවරින් භාග්‍යවතුන් වහන්සේ දෙස බලන්නී ම ගියා ය. එවිට භාග්‍යවතුන් වහන්සේ කර ඔසොවා ඇය දෙස බැලූ සේක. ඕ තොමෝ ඒ දැක භාග්‍යවතුන් වහන්සේ කරා ගියා ය.

මෙහි දී බුදුරජාණන් වහන්සේ කුමක් හෙයින් ඇය දෙස මෙසේ බැලූ සේක් ද? යත්: පෙර කළ අකුශල කර්මයක් හේතු කොට ගෙන තව ටික වේලාවකින් ඕ මැරෙන්නී ය. ඉන් මෙහා බණ ඇසුවොත් ඕ සෝවාන් පෙලෙහි පිහිටන්නී ය. එයින් මරණයෙන් පසු තුසිත දෙව් ලොව උපදින්නී ය. එබැවින් ඇයට දම් දෙසනු සඳහා ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිස ඔසොවා බැලූ සේක. ඕ තොමෝ ද බුදුරජුන් වෙත පැමිණ වැඳ පැත්තෙක සිටියා ය. එ කෙණෙහි ම බුදුරජාණන් වහන්සේ,

“කුමරිය, කොහි සිට ආයෙහි දැ” යි අසා වදාළ සේක.

නිතර ම මරණ සතිය වඩන ඕ තොම තමා ගේ අදහසට අනුව උත්තර දෙන්නී.

“වහන්ස, කොයින් ආයෙම්දැ”යි නො දනිමි” කීවා ය.

“කොහි යන්නෙහිදැ?” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.

“වහන්ස, නො දනිමි” යි ඕ පිළිතුරු දුන්නී ය.

“ඉක්බිති නො දන්නෙහි දැ?” යි ඇසූ සේක.

“දනිමි වහන්ස”යි ඕ කීවා ය.

“දන්නෙහි දැ”යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක.

“නො දනිමි” යි ඕතොම පිළිතුරු දුන්නා ය.

මේ කථාව ඇසූ එහි රැස් ව සිටි පිරිස, භාග්‍යවතුන් වහන්සේ ඇසූ ප්‍රශ්නයට උත්තර වෙනුවට හිතුණු හිතුණු යමක් කීවා යැ” යි ඇයට දොස් නඟන්නට වූහ. භාග්‍යවතුන් වහන්සේ පිරිස නිශ්ශබ්ද කොට,

“කොහි සිට ආයෙහි දැ?” යි ඇසූ විට, ඈ එසේ කීයේ මන්ද?” යි ඇය ම පුළුවුත් සේක.

එවිට උත්තර දෙන්නී “ස්වාමීනි, මා පේශකාරගෙහි සිට එන බව ප්‍රකට කාරණයෙකි, ඔබ විචාළේ “කොයින් අවුත් උපනෙහි ද?” යන වග යි. එය මා නොදන්නා බැවින්, “නො දනිමි”යි කීමි”යි උත්තර දුන්නී ය.

එ විටැ බුදුරජාණන් වහන්සේ සාධුකාර පවත්වා “මා ඇසූ ප්‍රශ්නයට ම නිසි උත්තර දුන්නෙහි යැ” යි ඇයට ප්‍රශංසා කළ සේක.

“නැවත කොහි යන්නෙහි දැ?” යි ඇසූ විට, “නො දනිමි” යි කීයේ මන්ද?” යි විචාළ සේක.

“පේශකර්ම ශාලාවට යන බව ප්‍රකටයි. ඔබ වහන්සේ ඇසූයේ කොහේ උපදින්නෙහි” ද යන්න යි. ඒ ද මා නොදන්නා බැවින් “නො දනිමි” යි කීමි” යි ඕ කීවා ය. එවරත් බුදුරජාණන් වහන්සේ පළමු සේම සාධුකාර දුන් සේක.

“නැවත නො දන්නෙහි දැ?” යි ඇසූ විට “දනිමි” යි කීයේ මන්ද?” යි ඇසූ සේක.

“වහන්ස, මා මැරෙන බව දනිමි. එ බැවින් එ සේ කීමි” යි කීවා ය. එ වරත් බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.

ඉන් පසු “දන්නෙහි දැ?” යි ඇසූ විට “නො දනිමි” යි කීයේ මන්දැ?” යි ඇසූ සේක.

“වහන්ස, කිනම් වේලාවෙක මරණය වන්නේ දැ යි නො දන්නා බැවින් එසේ කීමි” යි ඕ කීවා ය.

“මා ඇසූ ඇසූ ප්‍රශ්නවලට ම නිසි පිළිතුරු දුන්නෙහි යැ” යි සතර වන වරද බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිරිස අමතා, “මේ සා මහ පිරිසේ කිසිවෙක් ම කාරණය තේරුම් නො ගත්තේ ය. එහෙත් දොස් නැඟීම නම් කළෝ ය. ප්‍රඥා ඇස නැති තැනැත්තෝ අන්ධයෝ ය. ප්‍රඥා ඇස ඇති තැනැත්තෝ ම ඇස් ඇත්තෝ ය. මේ ලෞකික ජන තෙම ප්‍රඥා නැමැති ඇස නො මැත්තේ අන්ධ ය. ඉතා ටික දෙනෙක් ම අනිත්‍යාදී වශයෙන් බලත්. ලිහිණි වැද්දාගේ දැලෙන් මිදුණු පක්ෂියා මෙන් ටික දෙනෙක් ම සුගතියට ද නිවනට ද යන්නෝ යැ” යි වදාළ සේක.169

දේශනාවසානයේ දී කුමරිය සෝවාන් වූවා ය. මහ ජනයාට ද ධර්මදේශනාව සාර්ථක විය. ඒ තරුණි ද පැස ගෙන පියා වෙත ගියා ය. ඒ වේලායෙහි පෙහෙර තෙම ඉඳ ගෙන ම නින්දට බටුයේ ය. තරුණිය ඒ බව නො සලකා පැස තබන විට එය වෙමි කෙළවර වැදී ශබ්ද විය. පෙහෙර තෙම හදිසියෙන් පිබිදුණේ පළමු වෙමි තැබු පරිදි ම ඇද්දේ ය. වෙමි කෙළවර එයට එල්ලව සිටි තරුණිය ගේ ඇඟේ ඇනී ඕ එතැනම මැරී වැටුණා ය. පෙහෙර තෙම නැඟිට බැලූයේ වැටී මැරී මුළු ඇඟ ම ලෙයින් තැවරී හොත් තැනැත්තිය දැක අතිශය ශෝක ප්‍රාප්ත වැ තමා සනසාලීමට භාග්‍යවතුන් වහන්සේ මිස අන් කිසිවෙක් නැතැයි සලකා එහි ගොස් වූ පවත් දැන්වී ය. ශාස්තෘන් වහන්සේ ඔහු අස්වසා,

“ශෝක නො කරව, දීර්ඝ වූ සසර මෙ පරිද්දෙන් ම දරුවන් මළ සොවින් වගුරුවාලූ කඳුළු සිවු මූදු ජලයටත් ඉතා වැඩියැ” යි අවවාද කොට අනමතග්ග කථාව170 වදාළ සේක.

ඒ අසා තුනී වූ ශෝක ඇති හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වැ උපසම්පදාව ලබා නොබෝ කලෙකින් රහත් වූයේ ය.

එකුන් විසි වන වස චාලිය පර්වතයෙහි

වස් කාලයෙන් පසු සැරි සරා වඩනා භාග්‍යවතුන් වහන්සේ පෙරළා වැඩ බුද්‍ධත්වයෙන් එකුන් විසි වන වසෙහි වැසි සමයෙහි චාලිය පර්වතයෙහි ම වුසූ සේක.

විසිවන වස රජගහ පුර වේළුවනයෙහි

යලි දු වර්ෂර්තුයෙන් පසු සැරිසරා වඩනා සේක්. නැවැත රජගහ පුර වැඩ විසි වන වර්ෂා ඍතුව එහි ගත කළ සේක.

අංගුලිමාල දමනය

කොසොල් රජුගේ පුරෝහිතයා භාර්ගව නම් බමුණෙකි. ඔහු බිරිය මන්තානි නම් බැමිණියක. ඔවුන් ගේ අහිංසක නම් පුතෙක් විය. හේ මා පියන් විසින් ඉගැන්ම පිණිස තක්සලා නුවර දිසාපාමොක් ඇදුරු වෙත යවන ලද්දේ ය. හේ දක්‍ෂ ලෙස ඉගෙන ගත්තේ ය. ඇදුරු ඔහු කෙරෙහි විශේෂ ලැදි බවක් දැක්විය. අන් සිසුවෝ අහිංසකයාත් ඇදුරුත් අතර භේදයක් ඇති කිරීමට උපායක් යෙදූහ. අහිංසකයා දිසාපාමොක් ඇදුරුගේ බිරිය හා රහස් මිත්‍රත්වයක් ඇති ව ඉඳිතැ’යි බොරු ගොතා ඇදුරාට කියැවූහ. ඇදුරු තෙම එය හැදැහී ය. ඔහු මරවා දමන්නට සිතී ය. “තමා වෙත හින්දැදී එ වැන්නක් වුවොත් එය හෙළි වුවොත් “දිසාපාමොක් ඇදුරා තමා වෙත එන ශිෂ්‍යයන් මරවතැ”යි කථාවක් පැතිරෙන්නට පුළුවන. එසේ වුවොත් තමා වෙත එන ශිෂ්‍යයන් අඩුවෙන්නට පුළුවනැ”යි හේ සිතී ය. “අනුන් ගෙන් මොහුට මැරුම්කන්නට මඟක් යොදමි” යි සිතී ය. අහිංසකයා ඉගෙන අවසන් කොට සිය ගමට යන්නට ඇදුරුහු ගෙන් සමු ගන්නට ගිය විට “නුඹ උගත් සිප් සතර උපචාර පිණිස කළ යුතු හෝමයට එක් එක් මිනිසා ගෙන් ඇඟිල්ල බැගින් ඇඟිලි දාහක් අවශ්‍ය යැ යි කී ය. “මිනිසුන්ගේ ඇඟිලි කපාගන්නට ගිය විට ඒ කවරකු ගෙන් හෝ මොහුට මැරුම්කන්නට සිදු වෙතැ”යි සිතා දිසාපාමොක් ඇදුරු අනුන් ලවා අහිංසකයා මරවන්නට මේ උපාය යෙදී ය. “අප ගෙහි කිසිම කෙනෙක් ප්‍රාණවධ නො කර තැ” යි අහිසංක කී ය. “එසේ වී නම් අවශ්‍ය බලි පූජාව නො කළ බැවින් නුඹ උගත් සියලු සිප් සතර නිෂ්ඵල වෙතැ”යි ඇදුරු කී ය. අහිංසක තෙම ඇඟිලි දහසක් ගෙනෙමැ” යි පොරොන්දු විය. හේ තක්සලාවෙන් පිටත් ව ගොස් කොසොල් රටට පැමිණ කඩු දුනු ආදි ආයුධ සපයා ගෙන මහ මඟට සමීප වන පෙදෙසෙක සැඟවී හිඳ මිනිසුන් මරා ඇඟිලි කපාගන්නට පටන් ගත්තේ ය. මෙයින් දර පිණිස පලා ආදිය පිණිස වත් ඒ වන පෙදෙසට මිනිසුන් ගේ පැමිණීම නැවැතිණ. ඒ මගින් මිනිසුන්ගේ යෑම ඊම ද නැවතිණ. හේ රෑ ගෙවලට ගොස් දොරවල් කඩා නිදා හොත්ත වුන් මරා ඇඟිලි කපා ගන්නට විය. කපා ගන්නා ඇඟිලි තුබූ තැන්වලින් සතුන් ගෙන යන බැවින් ඇඟිලි විද හූයෙක අමුණා මාලාවක් මෙන් බෙල්ලේ බැඳගෙන සිටියේ ය. එයින් ඔහු දුටු මිනිස්සු අංගුලිමාල යැයි ඔහු හැඳුන්වූහ. ඔහුගෙන් ඒ පෙදෙස උපද්‍රැත විය.

මිනිස්සු සැවැත් නුවරට ගොස් පසේනදී කොසොල් රජු බැහැදැක අංගුලිමාලයාගෙන් වන උවදුරු සැළ කළහ. “මම සෙට ඔහු අල්ලාගන්නට සේනාව රැගෙන එන්නෙමි” කියා ඔවුන් අස්වසා යැවී ය. මිනිසුන්ගේ කථාව ඇසූ පුරෝහිත තෙම මේ තමාගේ පුත් අහිංසකයා යයි දැන ගෙන ගොස් සිය බිරියට ම පවත සැළ කෙළේ ය. “ස්වාමීනි, ඔබ ගොස් පුතු කැඳවා ගෙනෙන් නැ” යි ඕ කීවා ය. බමුණා “සොරා විශ්වාස කළ නො හැක්කැ’යි කියා එයට කැමැති නො වී ය. බැමිණි “මම ගොස් මා පුතු කැඳවා ගෙන එමි” යි කීවා ය.

පසු දින අලුයම් වේලේ ලොව බලන භාග්‍යවතුන් වහන්සේ කලින් අංගුලිමාලයා වෙත තමන් වහන්සේ නො වැඩියොත් ඔහු මව මරා ආනන්තර්‍ය්‍ය පාපයක් කොට අවීචිනිරයේ ඉපිද දීර්ඝ කාලයක් දුක් විඳින බව ද, තමන් වහන්සේ ඔහු කරා වැඩියොත් බණ අසා පැවිදි ව රහත් වන්නට තරම් පෙර කළ පින් ඇතියකු බව ද දුටු සේක්, එදා පස් වරුයෙහි පියෙවි වෙසින් අංගුලිමාලයා වසන පෙදෙස අතට ගමන් කළ සේක. මිනිස්සු උන් වහන්සේ දැක “ඔය පැත්තට නො වඩින්න ඔහි මිනීමරු අංගුලිමාලයා සිටිති”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ම වැඩි සේක.

අංගුලිමාලයා මඟ අද්දර සිටියේ මහ මඟ දිගේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී ය. ආයුධයෙන් සැදී භාග්‍යවතුන් වහන්සේ පස්සෙන් ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ළං විය නො හෙන ලෙසට ඍද්‍ධිමය අධිෂ්ඨානයක් කළ සේක. අංගුලිමාලයා වේගයෙන් දිවෙයි. එහෙත් පියෙවි ගමනින් වඩනා භාග්‍යවතුන් වහන්සේට ළං විය නො හෙයි. මෙසේ බොහෝ දුරක් වැඩිසේක. අංගුලිමාලයා හති වැටී තවත් දිවිය නො හැක්කේ “මහණ ඔහි නවතුව”යි කී ය. “මම නම් නැවතී ඉඳිමි. නැවැතිය යුත්තේ නුඹයැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එය ඇසූ අංගුලිමාල තෙම මේ මහණ යෙමින් ම නැවැතී ඉඳිමි” යි කියයි. නැවතී සිටි මට යන්නකුට මෙන් “නවතින්න” යි කියයි. මෙය විචාරමි යි සිතී ය. “ඔබ කෙසේ නැවතී සිටිවු ද? මම් කෙසේ නො නැවතී සිටිම් දැ?” යි හේ ඇසී ය. “හිංසායෙන් වැළකී ක්ෂාන්ති මෛත්‍රිය පතුරුවමින් ඒ ගුණයන් හි රැඳී සිටින බැවින් මම් නැවැතී සිටිමි. ඔබ එවැනි ගුණයෙක් නො සිටියෝ ය. ඔබ මරණින් මතු නිරය අතට යන ගමනෙහි යෙදුනෝ නො නැවැතී යෙති” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“මෙ වැනි ශ්‍රෙෂ්ඨ නිර්භය වචන කිය හැකි එක් ම තැනැත්තෝ මායා දේවීන්ගේ පුත්‍ර සිද්‍ධාර්ථ ශ්‍රමණයෝ ය. මේ ඔවුන් විය යුතු යැ මට අනුග්‍රහ පිණිස වැඩිසේක් වනැයි අංගුලිමාලයා සිතී ය. හේ භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට පව් නො කරන බවට පොරොන්දු විය. තමාගේ ආයුධ පල්ලමකට දමා ගැසී ය. ළඟට ගොස් වැඳ තමා පැවිදි කරන ලෙස අයැදී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් කළ සේක. ඔහු කැටුව ජේතවනයට වැඩි සේක.

අංගුලිමාලයාගේ මව ඒ වනයට ගොස් සොයා බලා ඔහු නොදැක පෙරලා සිය නිවසට ම ගියා ය.

පසේනදි රජු අංගුලිමාලයා අල්ලා ගනු සඳහා සිවුරඟ සෙන් ගෙන නික්මුණේ, යන ගමනේ ජේතවනාරාමයට ගියෝ ය. භාග්‍යවතුන් වහන්සේ වැඳ, තමා අංගුලිමාලයා අල්ලාගන්නට යන බව සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ම සිටි අංගුලිමාල තෙරහු හඳුන්වා දුන් සේක. රජුගේ සේනාව තෙරුන් දැක බිය වැද පලා ගියහ. රජ ද බියපත්ව වෙවුලන්නට වන. භාග්‍යවතුන් වහන්සේ අංගුලිමාල තෙරුන් ගෙන් කුරාකුහුඹුවකුට වත් කිසිදු හිරිහැරයක් නොවන බව වදාළහ. රජුන්ගේ බිය දුරු විය. හේ තමා තෙරුනට උපස්ථායක වූ කැපකරුවූ බව කී ය. මෙසේ වූ චණ්ඩ පුද්ගලයකු හික්මවූ නියාව ගැන තමාගේ විස්මය පවසා වැඳ මාලිගාව බලා පිටත් විය.

එක් විසි - සුසාළිස් වන වස සැවැත් පුරෙහි. (21-44)

එක් විසි වන වස සැවැත් පුර ජේතවනයෙහි

භාග්‍යවතුන් වහන්සේ විසිවන වර්ෂර්තුවෙහි රජගහ පුර වේළුවනයෙහි වැස වස් පවරා සැරිසරන සේක් ඊළඟ වර්ෂර්තුව සමීප වැ සිටි කලැ සැවැත් පුරයට එළඹි සේක. එක් විසි වන වස පටන් සුසාළිස් වන වස දක්වා මේ සූවිසි වස්සාන කාලයන්හි සැවැත් පුරම වුසූ සේක. ඉන් අටළොස් වසක් ජේතවනාරාමයේ ද ඉතිරි ස වස පූර්වාරාමයෙහි ද ගත කළ සේක. වැසි සමය අවසන් වූ පසු පෙර සේ ම ජනපද චාරිකායෙහි යෙදෙන සේක. මේ අන්ත්‍ය කාලයෙහි සැවැත් පුර ම නිබඬ වාසය කොට ගත්තේ එහි වූ අනාථපිණ්ඩික ගෘහපති විශාඛා උපාසිකා යන දෙදෙනාගේ ගුණ මහත්ත්වය සැලැකීමෙනි.

ස්ථිර උපස්ථායකයකු පත් කිරීම

මුල් විසි වර්ෂයේදී නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මේඝිය, යන තෙරහු ද චුන්ද සාමනේර ද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝ ද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතරැ කඩ නො කොට දිගට ම රැක ගත හැකි නොවීය. එබැවින් විසි වන වසින් පසු දිනෙක භාග්‍යවතුන් වහන්සේ ගඳකිළි පිරිවෙණහි පණවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ තමන් වහන්සේට නිත්‍ය උපස්ථායකයකු පත් කළ යුතු බව දැන්වු සේක. සැරියුත් මුගලන් ආදී පිළිවෙළින් සියලු මහා ශ්‍රාවකයෝ තම තමා උපස්ථායක වනු කැමැති බව පැවැසූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ සේක. මේ වේලායෙහි තුෂ්ණිම්භූත ව හුන් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැක “ඇවැත්නි, ඔබ වත් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක තනතුර ඉල්ලුව මැනැවැ”යි කීහ. එ විටැ ඉල්ලා ලත් තනතුර මා හැඟි නො වේ. ශාස්තෘන් වහන්සේ කැමැති නම් තමන් වහන්සේ ම වදාරනවා ඇතැ” යි ආනන්ද ස්ථවිර කී ය. එවිට බුදුරජාණන් වහන්සේ “මහණෙනි, ආනන්ද තෙම අනුන් විසින් මෙහෙයියැ යුතු නොවේ. තෙමේ ම දැන මට උපස්ථාන කරන්නේ යැ”යි වදාළ සේක.

භික්ෂූහු “ඇවැත් ආනන්දයෙනි, නැඟිට උපස්ථායක තනතුර බාරගත මැනැවැ”යි කීහ. අනඳ තෙරණුවෝ ද නැඟිට පොරොන්දු අටක් පිට භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක බව බාර ගත්තේ ය.

ඒ පොරොන්දු අට මෙසේ යි:

ප්‍රතික්ෂේප සතර

“භාග්‍යවතුන් වහන්සේ ලත් ප්‍රණීත සිවුරු තමාට (අනඳ තෙරුනට) නො දිය යුතු ය.

“භාග්‍යවතුන් වහන්සේ ලත් ප්‍රණීත පිණ්ඩපාතය තමාට නො දිය යුතු ය.

“භාග්‍යවතුන් වහන්සේ හා එක ගන්ධකුටියෙහි තමාට වසන්නට නො දිය යුතු ය.

“භාග්‍යවතුන් වහන්සේ නිමන්ත්‍රණ පිළිගෙන තමා හා නො වැඩි ය යුතු ය.”

ආයාචන සතර

“තමා පිළිගත් නිමන්ත්‍රණයට භාග්‍යවතුන් වහන්සේත් වැඩිය යුතු ය.

“භාග්‍යවතුන් වහන්සේ දැකීමට පිටින් යම් කෙනෙකු ආ කෙණෙහි ම තමන් වහන්සේ වෙත ඔවුන් කැඳවා ගෙනෙන්නට අවසර තිබිය යුතු ය.

“තමාට සැකයක් ඇති වූ කොයිම විටෙක වුවත් භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නට අවසර තිබිය යුතුය.

“තමා නැති තැන දෙසූ සෑම ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් තමාට වදාළ යුතු ය.” යන මේවා ය.

එ තැන් පටන් කොට ආනන්ද ස්ථවිර තෙම ශීත උෂ්ණ යන දෙ වැදෑරුම් ජලය පිළියෙල කිරීමෙන් ද, හීන මධ්‍යම ලොකු යැ යි තුන් වැදෑරුම් දැහැටි දීමෙන්ද පා මිරිකීමෙන් හා පිට මිරිකීමෙන් ද, ගඳකිළි පිරිවෙන ඇමදීමෙන් දැ යි මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමෙහි යෙදුණේ ය. “මේ වේලායෙහි මෙනම් දෑ භාග්‍යවතුන් වහන්සේට ලැබිය යුතු යැ”යි පරීක්ෂායෙන් දිවා කාලයෙහි උන්වහන්සේ ගේ සමීපයේ ම හැසිරේ. රාත්‍රියෙහි මහත් දඬුවැට පහණක් ගෙන නව වරක් ගඳකිළි පිරිවෙන වටේ ඇවිදියි. මෙසේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ හදිසියෙන් කථා කළොත් පිළිවදන් දෙනු සඳහා නින්දට නො වැටී සිහියෙන් යුක්තව ඉඳිනු පිණිස ය.

පූර්වාරාම පූජාව

සැවැත් පුර පූර්ණවර්ධන සිටුහු ගේ බිරින්දෑ විශාඛා නමු. ඕ සත් හැවිරිදි වියෙහි දී තම ජන්ම භූමිය වූ භද්දියපුර දී භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූවා ය. පතිකුලයට ආ නොබෝ දිනෙකින් සිය මයිලණු මිගාර සිටු ආදි කොට ඇති මුළු සිටු කුලයම සස්නෙහි පැහැදවූවාය. එතැන් සිට මයිලණුවන් විසින් මාතෘ ස්ථානයෙහි තබන ලදී මිගාරමාතෘ නමින් ද ප්‍රකට වූවා ය.

දිනක් ජේතවනයට බණ අසන්නට ගිය විශාඛා සිය මෙහෙල පළඳනාව සඳහන් නැති ව බණ මඩුවේ දමා ගියා ය. පසුව ඕ “එය භාග්‍යවතුන් වහන්සේට ම අයත් යැ”යි කියා, එය විකුණා ගත් මුදලින් විහාරයක් කරවන්නට ඉටා ගත්තීය. ඉක්බිති කහවණු නව කෙළ ලක්ෂයක් වැය කොට මුදලින් සැවැත් පුර සමීපයේ නුවරට නැගෙනහිර පැත්තෙන් බිමක් ගෙන දෙමහල් පායක් කරවා භාග්‍යවතුන් වහන්සේට පැවැරුවා ය. ඒ පූර්වාරාම විහාර නම් විය.[55]

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්‍ය්‍යා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂපදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන් කොට මුල් විසි වර්ෂයෙහි භාග්‍යවතුන් වහන්සේ ඕවාදපාතිමොක්ඛය දෙසූ සේක.

ඕවාද පාතිමොක්ඛය නම්,

“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා

සචිත්තපරියොදපණං - එතං බුද්ධාන සාසනං”

.

“ඛන්තී පරමං තපො තිතික්ඛා

නිබ්බානං පරමං වදන්ති බුද්ධා

න හි පබ්බජිතො පරූපඝාතී

න සමණො හොති පරං විහෙඨයන්තෝ”

.

“අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛෙ ච සංවරො

මත්තඤ්ඤුතා ච හත්තස්මිං පන්තං ච සයනාසනං

අධිචිත්තේ ච ආයෝගෝ එතං බුද්ධාන සාසනං”

යන මෙය යැ.

මෙහි අර්ථය: “සියලු අකුසලින් දුරු වීම, කුසල් කිරීම හා දියුණු කිරීම, තමාගේ සිත පිරිසිදු කිරීම යන මේ බුදුවරයන්ගේ අනුශාසන යි.”

“ඉවසීම මේ සස්නෙහි උතුම් තපස යි, බුදු පසේ බුදු මහ රහත් හු නිර්වාණය උතුම්කොට කියත්. අන්හට හිංසා පීඩා කරන්නා පැවිද්දෙක් ශ්‍රමණයෙක් නො වේ.

“උපවාද නො කිරීම, හිංසා පීඩා නොකිරීම, ප්‍රාතිමුඛ්‍ය (ශික්ෂාපද) ශීල ඉන්ද්‍රිය සංවර ශීල දෙක රැකීම, භෝජනයෙහි පමණ දැනීම (ආජීව පාරිශුද්‍ධි ශීලය හා ප්‍රත්‍යය සන්නිඃශ්‍රිත ශීලය), විවේක සෙනස්නෙක විසීම, අෂ්ට සමාපත්තීන් ලැබීමෙහි විර්‍ය්‍ය වැඩීම යන මේ දෑ කළ යුතු’ ය යනු බුදුවරයන් ගේ අනුශාසන යි.”

බුද්‍ධත්වයෙන් විසි වන හවුරුද්දෙහි වර්ෂර්තුයෙන් පසු සැවැත් නුවර වසන සේක්, මේ ඔවාදපාතිමොක්ඛය නවතා ආණාපාතිමොක්ඛය දෙසීමට අණ කළ සේක. එයට හේතුව නම්: සැවැත් නුවරැ පූර්වාරාමයෙහි පසොළොස්වක් පොහෝ දිනෙක රාත්‍රියෙහි බුදු රජාණන් වහන්සේ භික්ෂු සමූහයා පිරිවරා හුන්සේක. ප්‍රථම යාමය ගත වූ කල අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ, ප්‍රථම යාමය ඉක්ම ගිය බවත් භික්ෂු සංඝයා බොහෝ වේලා ඉඳගෙන හුන් බවත් කියා, පාමොක් දෙසීමට ආයාචන කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූතව හුන් සේක. දෙවෙනි යාමය ගත වූ විටත් අනඳ තෙරණුවෝ ඒ බව දැන්වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූත වැ හුන්සේක. නැවත අන්තිම යාමය ගත වැ අරුණු නැඟි කල්හි ද, අනඳ තෙරණුවෝ පළමු සේ ම දැන්වූහ. තෙවෙනි වරැ “ආනන්දය, පිරිස අපිරිසුදු යැ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එවිට කිනම් පුද්ගලයකු සලකා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක් දැයි නුවණින් බලන මුගලන් තෙරණුවෝ භික්ෂු සමූහයා අතරෙහි හුන් දුශ්ශීල පුද්ගලයකු දුටුහ. දැක උහු වෙත එළැඹ, “ඇවැත, නැගිටින්න. යුෂ්මතා භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, භික්ෂූන් හා එක්වැ විසීමෙක් යුෂ්මත්හට නැතැ”යි වදාළහ. හෙ තෙම නොම නැගිට්ටේ ය. දෙවෙනි තෙවැනි වාරයන්හි ද නැඟිට යන්නට කී නමුත් හේ එය නො තැකී ය. ඉක්බිති මුගලන් තෙරණුවෝ ඔහු අත අල්ලා දොරින් පිටත යවා දොර වසා යතුරු ලා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ පවත් දන්වා පාමොක් දෙසීමට ආයාචන කළහ.

“මෞද්ගල්‍යායනය, ආශ්චර්‍ය්‍ය යි! ඒ පින් මඳ පුද්ගලයා තම අත අල්ලා පිට කරන තුරුත් රැඳුණේ වේ දැ” යි වදාරා දම් දෙසන සේක්, මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇති නියාත් සස්නෙහිත් එසේ ම ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇති නියාත් දෙසූ සේක.

ආශ්චර්‍ය්‍ය ධර්ම අට

මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්ම අට නම්:

මුහුද ගොඩ පටන් ක්‍රමයෙන් ගැඹුරු වේ. මුහුදට වන් තැන ම ගැඹුරු නොවේ. මුහුද වෙරළ නො ඉක්මවයි. කිසි කුණපයක් මුහුදේ නො රැඳේ. ඒ ගොඩටම පැමිණැවේ. නානා නම් ඇති නදීහු මුහුදට වන්නෝ, පළමු නම් හැර මුහුද යන එක ම නම ලබත්. වැසි වටත් නො වටත් ඇළ දොළ ගලා ගියත් නො ගියත් මුහුද අඩු වැඩි බවෙක් නො පැනේ. මුහුද ලුණු රසයි . මුහුදේ මුතු මිණි ආදී නානා රත්නයෝ වෙත්. විශාල සත්වයෝ ද වෙත්.

ශාසනයේ ආශ්චර්‍ය්‍ය අට:

ශාසනයෙහිත් ශික්ෂාවන් ක්‍රමයෙන් වැඩිය යුතු යි. ඒ පිළිවෙළින් වඩා මිස නැතහොත් එක පැහැර රහත් විය නො හැකි ය.[56] සැබෑ බුද්‍ධ ශ්‍රාවකයා බුද්‍ධ ප්‍රඥප්ත සික පද දිවි නැසෙතත් නො බිඳියි.

දුශ්ශීල පුද්ගලයා හා සංඝ තෙම එක්වැ නො වසයි. දුශ්ශීලයා සංඝයාගෙන් ඈත් ම වේ. නානා නම් ගොත් ඇත්තෝ සසුන් වන්නෝ පළමු නම් ගොත් හැර ශාක්‍යපුත්‍රිය ශ්‍රමණ යන නම ලබත්. කො පමණ දෙන පිරිනිවියත් නිවනේ අඩුවෙක් හෝ වැඩියෙක් නො පැනේ. මේ ශාසනය විමුක්තිය රසය කොට ඇත්තේ ය. මේ ශාසනයේ සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති රත්නයෝ ඇත. මේ ශාසනයෙහි ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ආදී මහ ගුණැති පුද්ගලයෝ ඇත්හ.

මෙ සේ මුහුදේ මෙන් ශාසනයේ ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇතැ”යි වදාළ සේක. ඉක්බිති භික්ෂූන් අමතා,

මහණෙනි, මෙයින් මතු මම් පොහෝ නොකරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. තෙපිම පොහෝ කරවු, පාමොක් ද උදෙසවු”

යන ආදීන් වදාරා ආනාපාතිමොක්ඛය170 උදෙසීම පැණැවූ සේක.

ආනන්ද බෝධි රෝපණය

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වැ ජනපද චාරිකායෙහි යෙදුණු දිනයෙකැ බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්‍ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට ආවාහු, භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී වැ, ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු තැනක් ද නැත්තෙන්, විහාර * සමීපයෙහි රැස්කොට තබා ගියාහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි විට උන්වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජ්‍ය වස්තුවක් ඉල්ලා ගන්නට සිතූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔහු රැස් වැ පූජ්‍ය වස්තුවක් ඉල්ලීමෙහි අනඳ තෙරුන් මෙහෙයූහ. අනඳ තෙරණුවෝ ගොස් “පූජ්‍ය වස්තු කවරේ දැ?” යි විචාරා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ.

තුන් චෛත්‍යයෝ

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය ශාරීරික, උද්දේශික, පාරිභෝගික යැ යි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්‍ධ පරිනිර්වාණයෙන් පසු ව වන්නේ ය. උද්දේශික පූජාව නම් ධර්මයට බුද්‍ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්‍ධත්වයේ දී පිටදුන් බෝධි වෘක්‍ෂයට ද කැරෙන සත්කාරය යි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා සත්කාර කරත් හොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළසේක.

අනඳ තෙරණුවෝ මෙ පවත් කොසොල් රජු ආදීනට දන්වා එ වේලායෙහි ම ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා, ජයසිරි මහ බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එ කෙණෙහි ඍද්‍ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජයශ්‍රීමහාබෝධිවෘක්‍ෂය සමීපයට වැඩ එහි නටුයෙන් ගැළැවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන, එකෙණෙහිම ගෙනැවිත් අනඳ තෙරුනට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට බාර කළහ. රජ එය රුවන් කරඬුවෙකින් ගෙන හිස මත තබා ගෙන එය හිඳුවීමට කැරුණු වළ තෙවරක් පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේ ය. සිටුහු ගන රන් තලියෙක සුවඳ කලල් පුරා, තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූ හ.

මෙය අනඳ තෙරුන් ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින් ද මහජනයාගේ සිතැ ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු හෙයින් ද ආනන්ද බෝධි නම් වීය.

දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයදනින් ඒ බෝරුක මුල රෑ තුන්යම්හි සමාපත්ති සැපයෙන් වැඩ හුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් වීය.

ජීවකම්බ වනය පිදීම

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයයෙන් පැහැදුණු රාජ වෛද්‍ය කෝමාරභච්ච ජීවක තුමා ස්වකීය අඹ වනයෙන් උන්වහන්සේ පිදුයේ මෙ සමයෙහි ය.

සුන්දරී පරිව්‍රාජිකාව ගේ දුෂ්ට ක්‍රියා

භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද රට වැස්සාගේ මහත් ගෞරවාදර සත්කාර දුටු තීර්ථකයෝ ඉවැසියැ නො හැකිව භාග්‍යවතුන් වහන්සේට අපකීර්තියක් ඇතිකිරීමෙහි සුන්දරී නම් රූපශ්‍රීයෙන් යුත් පරිව්‍රාජිකාවක මෙහෙයූහ. ඕ තොම සුදු වස්ත්‍ර හඳිනා පොරෝනා නිකායකට අයත් තැනැත්තියකි. ඕ මනාව හැඳ පොරවා මල් ගඳ විලවුනෙන් සැරැහී ජේතවනාරාමයෙන් මහජනයා සවස බණ අසා එන වේලාව බලා විහාරය අතට යෙයි. “කොහි යෙහි දැ?” යි ඔවුන් ඇසූ විට ජේතවනාරාමයට යන බව කියා ගොස් ආරාම ප්‍රාකාරයෙහි දොරටුව සමීපයෙහි සක්මන්කොට දොර වැසූවිට නුවරට යයි. නැවත පසු දා උදේම ජේතවනාරාමයට ගොස් ගඳකිළිය සමීපයේ මල් සොයන්නියක මෙන් හැසිරෙයි. බුද්ධෝපස්ථානයට ආ මිනිසුන් “මෙහි කුමට අවුදැ?”යි විචාළ විට යම් කිසිවක් කියා මඟ හරියි. මෙසේ අඩ මසක් පමණ ගත වූ පසු එක් රැයෙක තීර්ථකයෝ රහසින් ඇය මරවා ජේතවන පොකුණ අද්දර වළැ ලා පාන් වූ කල “සුන්දරී නැතැ” යි කලබල කළහ. කොසොල් රජුට ද දැන්වූහ. ඔවුන් කැමැති තැනක ඇවිද ඇය සෙවීමට රජ විසින් අවසර දෙන ලදින්, ජේතවනයට වැද ඇය සොයන්නවුන් සේ අඟවා, වළැලූ තැනින් සිරුර ගොඩ ගෙන ඇඳක තබා නුවරට ගෙන ගොස්, ශ්‍රමණ ගෞතමයන් හා භික්ෂු සංඝයා විසින් ඕ මරා සඟවන ලදී යැයි චෝදනා කොට ඇවිද්දහ. එදා අලුයම බුදු රජාණන් වහන්සේ නුවණින් ලොව බලා වදාරන සේක්, එ දින තීර්ථකයන් අපකීර්තියක් උපදවන බව දැන “ඔවුන් ගේ බොරු චෝදනා” පිළිගෙන මහජනයා මා කෙරේ නිකරුණේ කිපී අපායාභිමුඛ නො වේවා”යි ඔවුන් කෙරේ කරුණායෙන් ගඳකිළියේ දොර වසා ඇතුළේ ම උන් සේක. පිඬු පිණිස වත් නො වැඩි සේක. භික්ෂූහු වනාහී පිඬු පිණිස හැසුරුණහ. මිනිස්සු භික්ෂූන් දැක නොයෙක් අයුරින් බැණ වැදුණහ. අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට එපවත් සැලකොට, “ස්වාමීනි, තීර්ථකයන් විසින් මහත් අපකීර්තියක් උපදවන ලදී. මෙහි විසිය නො හේ, ජම්බුද්වීපය විශාල ය. අන් තැනකට යම්හ” යි කීහ. “ආනන්දය, එහි දී මෙසේ ම අපකීර්තියක් ඇති වූවොත් කොහි යන්නෙමු දැ?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “වෙන නුවරකට යන්නමු” යි තෙරණුවෝ කීහ. එවිට බුදුරජාණන් වහන්සේ,

“ආනන්දය, ඉක්මන් නො වව, බලාපොරොත්තු වව, මේ නින්දා ගර්ත ඝෝෂය පවතින්නේ සතියක් පමණ ය. සමහරු දුෂ්ට සිතැති ව ද, තවත් කෙනෙක් ඇත්තක් ම යැ යි සිතා ද, ආක්‍රෝශ කෙරෙති. තීර්ථකයෝ දුෂ්ට සිතින් බොරුයෙන් දොස් නඟත්. ඔවුන්ගේ කතා ඇසුවෝ ඒ සැබෑ යැ යි විශ්වාස කොට ගර්හා කෙරෙත්. එ හෙත් බුද්‍ධ මුනි තෙම නිර්දෝෂ බැවිනුත්, නො කිපෙන බැවිනුත්, ඒ ගර්හා අපහාස නො සලකයි. නො පිළිගනියි. කිසිවක් කෙරෙහි රාගයෙන් රැඳීමකට ද්වේෂයෙන් විෂ්ට බවකට හෝ මෝහයෙන් මුළා බවකට නො පැමිණේ යැ”යි වදාළ සේක.

සියලු තැනදිම තුෂ්ණිම්භූත නො විය යුතු

මෙ සේ වදාරා “ආනන්දය, මිනිසුන් නින්දා අපහාස කරන විට භික්ෂූහු කුමක් කියද්දැ” යි ඇසු සේක. “කිසිවක් නො කියතැ” යි අනඳ තෙරණුවෝ කීහ. එවිටැ “ආනන්දය, මම් සිල්වතිමි” යි හැම විට ම නිහඬ වැ සිටිය යුතු නො වේ.

“නැති දොස් නගා බොරු කියන්නා නිරයට යයි. තමා පව් කොට එය නො කෙළෙමි යි කියන්නා ද එසේ ම නිරයට යයි, නිභීන කම් කළ ඔහු දෙදෙනා ම පරලොවැ දී දුක් විඳින්නාහු සම වෙත් යැ”යි ඒ චෝදකයනට මෙසේ පෙරළා චෝදනා කරවු” යි වදාළ සේක. භික්ෂූහු ද එසේ ම කළහ. නුවණැති මිනිස්සු ඒ අසා නිශ්ශබ්ද වූහ.

රජ තෙමේ ද රාජ පුරුෂයන් සැම තැන යවා පරීක්ෂා කොට තීර්ථකයන් ගෙන් අල්ලස් ගෙන සුන්දරිය මරා දැමූ ධූර්තයන් අල්ලා ඔවුනට නිග්‍රහ කොට ඔවුන් ගෙන් එ පවත් දැන තීර්ථකයනට ද නින්දා කෙළේ ය. මිනිස්සු ද තීර්ථකයනට දුටු දුටු තැන දී “භාග්‍යවතුන් වහන්සේට මොහු අපහාස කළහ” යි කියා, ගලින් මුලින් ගැසූහ. එ පවත් අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. ඔවුන් කළ අපරාධය ඔවුන් පිට ම පැමිණි බව වදාරා, බුදුරජාණන් වහන්සේ ඒ මුල් කොට ගෙන දම් දෙසු සේක. සතිය ඉක්ම ගිය පසු රජ තෙම මළකුණ ඉවත් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ “ස්වාමීනි, මෙ වැනි අයසක් ඇති වූ විට මටවත් දැන්විය යුතු නො වන්නේදැ?”යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ “මහරජ, මම සිල්වතෙක, ගුණ සම්පන්නයෙකැ”යි කියා අනුනට දැන්වීම ආර්‍ය්‍යනට නො වටී යැ” යි වදාළ සේක. ඉක්බිති මෙය ඇරැබැ රජුට දහමක් දෙසූ සේක.

කාලාම සූත්‍රය

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටැ සැරි සරා වඩනාසේක් කාලාම නම් ක්‍ෂත්‍රියයන් වසන කේසපුත්ත නම් නියම් ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩි බව ඇසූ කාලාම ගොත්‍රිකයෝ ඔබ කරා පැමිණියහ. සමහරු වැඳ ද සමහරු තමන් නම අස්වාද සමහරුන් කිසිත් නො කොට නිහඬ ව ද පසෙක ඉඳගත්හ. එසේ හුන් ඔවුන් හැම වෙනුවෙන් එක් කාලාමයෙක් භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කරුණක් සැළකෙළේ ය. “වහන්ස මේ කේසපුත්ත නිගමයට කලින් කල නානාවිධ මහණ බමුණෝ එති. ඔහු එකෙක් අනෙකා කී දැයට විරුද්ධව කියති. අනෙකා හෙලා දකිති. ඔවුන් ගේ කථා ඇසූ අපට කවුරු ඇත්ත කියද් ද? කාගේ බස පිළිගත යුතු ද? යි සැක ඇති වෙයි, මෙය කෙසේ විසඳා ගනිමෝ දැ”යි කීහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්,

“කාලාමයෙනි, එබඳු එකට එකක් විරුද්ධ කථා අහන විට ඔබට සැක ඇති වනු සුදුසු ම ය. සැක කටයුතු කරුණෙහි ම ඔබ කාටත් සැක ඇති වී ඇත. කාලාමයෙනි, ළදරු කලැ සිට අසා ඇති පමණින් මේ ඒකාන්ත සත්‍යයෙකැයි නො පිළිගන්න.(කථාවල සැබෑත් ඇතිවිය හැක්ක, බොරුත් තිබිය හැක්ක) පරම්පරාවේ පිළිගෙන රැක ගෙන තිබුණු පමණිනුත් සත්‍ය ම යැ යි නො පිළි ගන්න (මුතුමිත්තන් පරම්පරාවේ රැක ගෙන ආ දැයෙහිත් හැබෑත් තිබිය හැක්ක, බොරුත් තිබිය හැක්ක). “මෙන්න මෙහ ම ලු” යි යමක් ආරංචි වූ පමණෙනුත් නිගමනයට නො පැමිණෙන්න (එසේ තියෙන දැයේ ඇත්තත් නැත්තත් තිබිය හැක්ක). අප ඉගෙන ගත් පොතේ දැක්වෙන දැය හා ගැළැපේ යැ යි කියාත් එපමණින් සත්‍ය යැ යි නො පිළිගන්න (පොතේ ඇති ඇතැම් දෑ හරි වන්නටත් හැකි ය. ඇතැම් දෑ වැරැදි වන්නටත් හැකි ය). කෙනෙකු තර්ක විතර්ක කොට කී ඔහුගේ සංකල්පය ඇසූ පමණින් නො පිළිගන්න (එහිත් හරි දෑත් ඇතිවිය හැක්ක වැරැදි දෑත් ඇති විය හැක්ක) මේ යුක්තිය අනුව මෙසේ වියැ යුතු යැ යි අනුමානයෙන් බැස ගත් නය ක්‍රමයක් පෙන්වා කී පමණිනුත් නො පිළිගන්න.(අනුමානයෙන් සිතා ගන්නා දැයෙත් හරිදෑ මෙන් ම වැරැදි දෑත් ඇති විය හැක්ක). තමන් කල්පනා කරන ආකාරයෙන් එක එක දෑ කියන්නහුගේ කථාත් එ පමණින් නො පිළිගන්න (ඇතැම් එවැනි කතා හරි වන්නටත් පිළිවන, ඇතැම් දෑ වැරැදි වන්නටත් පිළිවන). කරුණු සිතා ගෙන යන විට තමනට රිසි වූ කරුණක් දැක එය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් සේ දැඩිකොට සිතින් ගෙන කියා පාන කථාවන් ඇසූ පමණින් නො පිළිගන්න (එවැන්නෙහි ද හරි දෑත් තිබිය හැකි, වැරැදි දෑත් තිබියැ හැකි). පිටතට පැනෙන සැටිය බලා මේ තෙම පිදියැ යුතු ගුණ ඇත්තෙකැ යි සිතා ඔහු කී පමණිනුත් ඒ කී දෑ නොපිළිගන්න.(සිල්වත්කම තිබුණ පමණින් ඔහු කියන සියල්ල ම හරි විය නො හැක්ක.) මේ මහණ තෙම අපේ ගුරුවරයා යි සලකා ඔහු කී පමණින් නො පිළිගන්න (මහණහට ද ගුරුනට ද වරදින දෑ කොතෙකුත් ඇත.)

මේ දෑ කුසල් යැ යි මේ දෑ අකුසල් යැ යි තම නුවණින් ම සලකා බලා තමන් අත්දැක්මෙන් ම දැන, මේ කුසල් යැ මේ අකුසල් යැ, මේ නුවණැත්තන් වැණූ දෑ යැ මේ නුවණැත්තන් ගැරහූ දෑ යැ යි වැටහුණු කල ඒ අකුසල් අත හරින්න, කුසල් කරන්න. කාලාමයෙනි, ලෝභය තමන් සිතැ ඇති වූ විට එයින් හොඳක් වේ ද නරකක් වේ දැ යි තුමූ ම සිතා බලවු සිතැ හටගන්නා ලෝභයට වහල් වීම නිසා සතුනුත් මරයි සොරකමුත් කරයි පරදාර සේවනයත් කරයි, බොරුත් කියයි, අනුන් ලවාත් ඒ දෑ කරවයි. එයින් ඔවුනට වන්නේ අවැඩක්ම ය.

ද්වේෂයෙන් (තරහවෙන්) ඇවිස්සුණු තැනැත්තේ ත් ඒ ප්‍රාණවධාදිය කරයි, මුළාව (මෝඩ බව) ඇති වූ කල ද එයට වහල් වූයේ ප්‍රාණවධාදී ඒ සියලු වැරැදි කරයි. එයින් අවැඩ ම වෙයි.

ඉතින් කාලාමයෙනි, මේ ලෝභ, ද්වේෂ, මෝහ යන තුන කුසල් ද අකුසල් ද?

“අකුසල් ය, වහන්ස.”

“ඉතින් කාලාමයෙනි, ළපැටි කල පටන් ඇහූ දෑ ය කියා එපමණින් නො පිළිගන්න යනාදීන් කීයෙත් තුමූ ම සිතා බලා වටහා ගන්නැයි කීවේත් මෙසේ කරුණු තවත් දුරට හිතා බලා ඒවායේ ආදීනව හෝ ආනිසංස හෝ සලකා බලා නිශ්චයයට බසිනු පිණිසය.

කාලාමයෙනි, අලෝභය අද්වේෂය අමෝහය සිතැ ඇති වූවොත් එකී ප්‍රාණ වධාදි නපුරු දෑ නොකරයි.

“ඉතින් ඒ කුසල් ද අකුසල් ද වැරැදි දෑ ද, නිවැරැදි දෑද?”

“කුසල් ය, වහන්ස, නිවැරැදි දෑය, වහන්ස,”

“ළපැටි වියේ සිට අසා ඇති පමණින් නො පිළිගන්න යන ආදීන් මා කීයේ මෙසේ තමන් ම සිතා බලා ආදීනව ඵල විපාක සලකා බලා කුසල් අකුසල් හැඳින අකුසල් අතහැර කුසල් කරන්නට ය.

කාලාමයෙනි, මෙසේ තමා ම සිතා බලා කුසල් අකුසල් හැඳින ගත් ආර්ය ශ්‍රාවකයා ඒ ලෝභ ද්වේෂ මෝහයන් මැඩ, සිහිනුවණින් යුතු ව මෛත්‍රී කරුණා මුදිතා උපෙක්ෂා යන සතර බ්‍රහ්මවිහාර භාවනා වඩනුයේ ලෝ හැම දෙනා කෙරෙහි එකසේ ම පතුරුවයි. එය පළමු දිසාවට දෙවෙනි දිසාවට තෙවෙනි දිසාවට සතරවන දිසාවට උඩ දිසාවට යට දිසාවට පතුරුවා සිහි නුවණින් යෙදී වෙසෙයි. මෙසේ භාවනා වඩනා ඔහුට හිතට සැනැසිලි සතරෙක් ඇති වෙයි.

පරලොවක් ඇත්නම්, කළ කර්මවලට විපාක ඇත්නම්, මරණින් මතු මට සුගති සැප ලැබේ යැයි සිතට සැනසිල්ලෙක් ඔහුට ඇති වෙයි. මේ පළමු වන සැනසිල්ල යි.

පරලොව කියා එකක් නැත්නම්, කළ කර්මයට පරලොවදී විපාක ලැබීමක් නැත්නම්, මෙසේ මා ලෝභාදියෙන් දුරු වැ මෛත්‍රී භාවනාදියෙන් යුතු ව ඉන්නා බැවින් මෙලොවැ සුවසේ සුවපත් සිතින් වෙසෙමි යි සිතෙයි. මේ දෙවෙනි සැනසිල්ල ය.

වරද කරන්නාට දඬුවම් ලැබෙන්නේ. මම් කිසි වරදක් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ නො කරමි, එබැවින් මට කරදරයක් වෙතැ යි බිය ගන්නට කරුණක් නැතැ” යි සිතයි. මේ තුන්වැනි සැනසිල්ල යැ.

වරදක් කරන්නහුට දුක් විපාක නො ලැබෙතොත් ඒ අතින් ද වරදක් නො කරන මට කිසිසේත් දුකක් කරදරයක් ඇති නො වේ යැ’යි හේ සිතයි. මේ සතර වන සැනසිල්ල ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාලාමයෝ ද “එසේ ය වහන්ස, ඔබ වහන්සේ වදාළ සේ මැනැ වැ” යි භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව පිළිගෙන පැහැද තෙරුවන් සරණ ගොස් තමන්ගේ උපාසක බව වචනයෙන් ද පවසා වැඳ පැදකුණු කොට නික්මියාහ.

චුල්ල සුභද්‍රා සමාගමය

අනේපිඬු සිටුහුගේ මිත්‍ර සිටුවරයෙක් උග්‍ර නම් නුවරෙක විසී ය. දිනෙක හේ අනේපිඬු සිටු වෙත අවුත් ඔහුගේ දියණියන් වූ චුල්ල සුභද්‍රාවන් තම පුතුට පාවාදීමට කතා කෙළේ ය. උග්‍ර සිටු වනාහි නිර්වස්ත්‍ර නිගණ්ඨයන් සරණ ගිය මිසදිටුවෙකි. එබැවින් අනේ පිඬු සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් තම දියැණියන් උග්‍ර සිටුහුගේ පුතුට පාවාදීම සුදුසුදැ?යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූයේ ය. භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා ඇය එහි යෑමෙන් උග්‍ර සිටු සමදිටු වන බව දැක “ඇය එහාට පාවාදීමේ වරදක් නැතැ” යි වදාළ සේක.

නොබෝ කලෙකින් චුල්ලසුභද්‍රා තොම උග්‍ර සිටුහු ගේ පුතුට විවාහ කොට දෙන ලද්දී ය.

මංගලෝත්සව දිනවලැ උග්‍ර සිටු තෙම සිය යෙහෙළිය ලවා අචේලකයන් වැන්දවීමට උත්සාහ කෙරෙයි. ඕ තොමෝ ලජ්ජායෙන් ඒ නග්න තීර්ථකයන් දක්නට යෑමට පවා නො කැමැති වෙයි.

උග්‍ර සිටු තෙම ඇයට ඇප වශයෙන් එවන ලද ගෘහපතියන් අට දෙනාට මෙ පවත් කීය. ඔහු කාරණය පරීක්ෂා කොට ඇය නිදොස් බව සිටුහට දැන්වූහ. නැවත සිටු තෙම “මැය මාගේ ශ්‍රමණයන් වහන්සේ නිර්ලජ්ජහු යැ යි නො වඳිති” යි සිය බිරින්දෑට කී ය.

ඕ තොම “තොප ගේ ශ්‍රමණයෝ වනාහි කෙ බඳු වෙත් දැ”යි චුල්ලසුභද්‍රාව විචාළා ය. එ විට සුභද්‍රා තොම භාග්‍යවතුන් වහන්සේගේත් බුද්‍ධ ශ්‍රාවකයන්ගේත් ගුණ වණන්නී,

“මාගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි සන්හුන් ඉඳුරන් ඇත්තෝ ය. ශාන්ත සිත් ඇත්තෝ ය. උන්වහන්සේ ගේ යෑම් ඊම් ඉඳීම් සිටීම් ශාන්ත ය. බිමට හෙලූ ඇස් ඇතියෝ ය. ප්‍රමිත වචන ඇතියෝ ය.

උන්වහන්සේ ගේ කාය කර්මය පිරිසිදු ය. වාක් කර්මය නොකිලුටු ය. මනඃකර්මය සුවිශුද්ධ ය.

උන්වහන්සේ ගේ ඇතුළ පිට දෙපස ම මල රහිත ය. සක් මුතු සේ ශුද්ධ ය. ශුද්ධ ගුණ දහමින් පූර්ණ ය. මාගේ ශ්‍රමණයන් වහන්සේ ඔ වැන්නෝ ය.

ලෝවැස්සා වනාහි ලාභයෙන් උස්ව නගී, අලාභයෙන් මිටි ව පහත් වේ. එහෙත් මාගේ ශ්‍රමණයන් වහන්සේ ලාභාලාභ දෙක්හිදීම නො වෙනස් ව සිටිති.

යසස් හේතුයෙන් ලෝවැස්සා උන්නත ද අයසින් අවනත ද වේ. මාගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි යස අයස දෙක්හි ම වෙනස් නොවී එකසේ ම සිටිති.

ලෝවැස්සා වනාහි ප්‍රශංසායෙන් උන්නත ද නින්දායෙන් අවනත ද වේ. මා ගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි නින්දා ප්‍රශංසා දෙක්හි ම අචලහ, සමහ.

සුවයෙන් ලොව උන්නත ද දුකින් අවනත ද වේ. මාගේ ශ්‍රමණයන් වහන්සේ මේ දෙක්හි දීම අකම්පිත ව සිටිති. මාගේ ශ්‍රමණයන් වහන්සේ ඔ වැනියහ.”

යන ආදීන් කියා සිය මයිලණුවන් විස්මිත කළා ය. හෙතෙම “තොප ශ්‍රමණ යන් අපට දැක්විය හැකි දැ?” යි ඇසී ය. “හැකි යැ” ඕ කීවා ය.

“එ සේ නම් දක්වව”යි හේ කී ය.

ඕ ද බුද්‍ධ ප්‍රමුඛ සංඝයා පිණිස මහදන් පිළියෙල කරවා පාය මතු මහලට නැඟී දෙවුරම දිශාවට හැරී පසඟ පිහිටුවා වැඳ බුදු ගුණ අවජා, සුවඳ දුම් මලින් පුදා, වහන්ස, සෙට පිණිස බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට නිමන්ත්‍රණය කරමි. මේ ලකුණින් ඒ බව දැන වදාරන සේක් වා”යි ඉටා සමන් මල් අට මිටක් අහසට දැමුවා ය. ඒ මල් ගොස් දෙව්රමැ සිවු පිරිස් මැද දම්දෙසන භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි මල් වියන් වැ දෘශ්‍යමාන වී ය.

ධර්මදේශනාවසානයෙහි අනේපිඬු සිටු තෙම පසු දා දනට භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කෙළේ ය. “ගෘහපතිය, සෙට දනට කළ නිමන්ත්‍රණයක් ඉවසන ලදැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, මට පෙරාතු ව මෙහි කිසිවෙක් නායේ ය. කාගේ නිමන්ත‍්‍රණයක් ඔබ ඉවසූ සේක් දැ?”යි සිටු විචාළේ ය.

“ගැහැවිය. චුල්ල සුභද්‍රාව විසින් නිමන්ත්‍රිතයම්හැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස. චුල්ලසුභද්‍රා මෙයින් එක්සිය විසි යොදුන් පමණ දුර වසන්නී නො වේ දැ?”යි සිටු ඇසී ය. මේ කාරණය මුල්කොට භාග්‍යවතුන් වහන්සේ දම්දෙසන සේක්,

එසේ ය, “දුර වසතත් සත්පුරුෂයෝ හිමවත් පව්ව සේ බුදුවරයන් ගේ ඥාන පථයට වදින්නෝ ප්‍රකට වෙත්. අසාධුහු වනාහි මෙහි (දකුණු දන මඬල) සමීපයේ හුන්නෝ ද, දැඩි කළුවර රැයෙක විදි ශරයක් සේ නො පැණෙත්”යැ යි වදාළ සේක. දේශනාවසානයෙහි බොහෝ ජනයෝ ස්‍රෝතාපත්ති ඵලාදියට පැමිණියහ.

පසු දා භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් රහතන් පිරිවරා සක්දෙව් එවූ පන්සියයක් කුළුගෙවල්හි නැගී උග්‍ර පුරයට වැඩි සේක.

උග්‍ර සිටු තෙම මහත් ගෞරවයෙන් බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා පිළිගෙන දන් දී යලි නිමන්ත්‍රණය කොට සතියක් මහදන් පැවැත්වීය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මය ඇසූ උග්‍ර ආදී බොහෝ ප්‍රාණීනට ධර්මාභිසමය විය.

භාග්‍යවතුන් වහන්සේ සුභද්‍රාවට අනුග්‍රහ පිණිස අනුරුද්ධ තෙරුන් එ පුරැ රඳවා සැවැත්පුර වැඩි සේක. එතැන් සිට එ පුර වැස්සෝ සස්නෙහි පැහැදුණෝ වූහ.

අසදෘශ මහා දානය

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරකොට ගෙන සැරිසරන සේක්, සැවැත් නුවර වැඩ දෙවුරමට පැමිණි සේක. කොසොල් රජ විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කොට පසු දා මහා ආගන්තුක දානයක් දුන්නේ ය. නුවර වැසියෝ එය දැක පසු දිනයෙහි තුමූ ද මහ දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ සහිත භික්ෂු පිරිසට සත්කාර කළහ. එහි “අපේ දානයත් මහරජ තෙමේ දකීවා” යි කියා පණිවුඩ යැවූහ. රජ ද අවුත් ඒ දැක තමා දුන් දනට වඩා නගරවාසීන් දුන් දන උත්තරීතර බව සලකා එයටත් වඩා උසස් ලෙස පසු දා දන් පැවැත්වීය. එයට පසු නගර වාසීහු රජු ගේ දනටත් වඩා මහත් ලෙස දන් දුන්නෝ ය. මෙසේ රජු ද නගරවාසීහු ද දෙපක්ෂයෙක් වී ඔවුනොවුන් පැරැදවීමට දන් දෙන්නෝ ස වරක් මහදන් පැවැත්වූහ. ස වන වාරයේ දී මේ නම් දෑ මෙහි නැතැ යි නො කිය හැකි පරිදි සියලු දානෝපකරණයෙන් සම්පූර්ණ කොට රජු ගේ දානයටත් වඩා සිය දහස් ගුණයෙන් මහත් ලෙස නාගරිකයෝ දන් පැවැත්තූහ. එයට වඩා උත්තරීතර ලෙස දන් දිය නොහැකි යැ” යි සිතූ රජ තෙම ලැජ්ජාවටත් කනගාටුවටත් පත් වැ ඇඳෙහි හෙව “කුමක් කරම් දැ” යි සිත සිතා හුන්නේ ය. මල්ලිකා දේවී ඒ දැක තොරතුරු අසා කිසිසේත් නගරවාසීන් විසින් පිළියෙල නො කළැකි සේ දන් දිය යුතු සැටි කියන්නී, පහත සඳහන් පරිදි සැළ කළා ය. “මහරජ, බුදුරජාණන් වහන්සේටත් උන් වහන්සේ ගේ නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේටත් ඉන්නට දාන ශාලායෙහි සල් පුවරු පිට ම අසුන් පිළියෙල කළ මැනව. සෙසු වහන්සේට ඉන් පිටතින් අසුන් පිළියෙල කළ මැනව. ඒ පන්සිය නමට එක එක කුඩය බැගින් සුදු කුඩ පන්සියයක් අල්ලා ගෙන ඉන්නට ඇතුන් පන්සීයක් යෙදුව මැනව. මණ්ඩපය මැද රන් පුවරු අටක් හෝ දහයක් කරවාලුව මැනව. භික්ෂූන් වහන්සේ දෙදෙනෙකුන් අතරෙහි එක එක රජ කුමරියක බැගින් ඉඳ සුවඳ ඇඹරිය යුතු ය. සෙසු කුමරියක විසින් ඒ ඇඹරූ සුවඳ ගෙන මඩුව මැද රන් පුවරුවලැ ලෑ යුතු ය. ඔවුනතුරෙන් සමහර කුමරියන් විසින් නිල් මානෙල් මල් මිටිය බැගින් ගෙන රන් පෝරුවලැ ලූ සුවඳෙහි ගල ගලා සුවඳ ගැන්විය යුතු ය. එක එක කුමරිය භික්ෂූන් දෙනමකට විජිනිපතින් පවන් සලමින් සිටිය යුතු ය. මේ සියලු දෑ සම්පූර්ණ කරන්නට ඔබ මිස නුවර වැස්සන් විසින් නො හැකි ය. මෙසේ කොට මහ දන් පිළියෙල කළ මැනව. එවිට නුවර වැස්සෝ පරදිති” යි කීවා ය.

බිසව කී බස් ඇසූ රජ සතුටු වැ එසේම සියල්ල පිළියෙල කැරැවී ය. ඉක්බිති බුද්‍ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ එහි වැඩම කරවා දන් වළඳවා භාග්‍යවතුන් වහන්සේ වැඳ “ස්වාමීනි, මේ දන් හලෙහි ඇති බඩු සියල්ල ඔබ ට ම දෙමි” යි කීය. මේ එකම දවසෙහි දුන් මහදන් සඳහා තුදුස් කෝටියක් ධනය වියදම් විය. භාග්‍යවතුන් වහන්සේට පිළියෙල කළ සුදු කුඩය ද, පුටුව ද පාත්‍රය තිබු වළල්ල ද, පාපුටු ද යන සතරේ අගය පමණ කළ හැකි නො වන තරම් ය. සතියක් ම රජ මෙසේ දන් පැවැත්වී ය. අන් කිසිවකු විසින් දිය නො හැකි තරම් වූ මේ මහ දානය අසදෘශ දාන නමින් ප්‍රසිද්‍ධ වී ය. ඉක්බිති ඒ පරිදිම අනේපිඬු සිටු තෙමේත් තුන් දිනක් දන් දුන්නේ ය. විශාඛා උපාසිකාව ද එසේම තෙ දිනක් දන් පැවැත්තුවා ය. මෙසේ පැවතුණ මේ අසදෘශ දානයේ තොරතුරු සියලු දඹදිව පතළ වී ය.

මෙයින් මහජනයා අතර,

දාන විපාක

“මහත් ධනය වියදම් කළ පමණින් ම දාන ඵල මහත් වන්නේ ද? නැත හොත් තමාට හැකි පමණින් දීමෙන් ම ඵල මහත් වන්නේ දැ?” යි කථාවෙක් ඇති විය. භික්ෂූහු ඒ කථාව අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ.

“මහණෙනි, දාන වස්තුව මහත් වූ පමණින් දානය මහත් ඵල නො වේ. හිත පැහැදීමෙනුත් දන් ලබනා පුද්ගලයන්ගේ ගුණ මහත්වයෙනුත් මහත් ඵල ඇති වන්නේ ය. එබැවින් කුඩු මිටක්, රෙදි කඩක්, තණ හෝ කොළ ඇතිරියක්, ගෝමුත්‍ර අරළු කඩක් පමණ වුවද පිරිසිදු සිතින් දක්ෂිණාර්හ පුද්ගලයනට දෙන ලද්දේ නම් එය මහත් ඵල මහත් අනුසස් වන්නේ යැ”යි වදාළ සේක.

දන් පැවැත්වීම

ඒ කථාව රටේ පැතිරිණ. මිනිස්සු තම තමන් ගේ වත් පෝසත් කමේ හැටියට මහණ බමුණු දුගී මඟී යදියනට විශේෂයෙන් දන් දීම පටන් ගත්හ. තම තමන්ගේ ගෙ මිදුල් හි සැළිවලැ පැන් පුරවා යන එන්නන්ගේ ප්‍රයෝජනය පිණිස තැබ වූහ. එසේම දුගී මඟී යාචකාදීන් ගේ පහසුව සලකා දොරටුවලැ අසුන් පණවා තැබූහ.

දෙව්දත් තෙරණුවෝ

භාග්‍යවතුන් වහන්සේ මල්ල රට මල්ල රජුන් ගේ අනුපිය නම් නිගමය සමීපයෙහි වූ අඹ වනයට වැඩ එහි වසන සමයෙක භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමරුන් සදෙනාද උපාලි නම් කපුවා ද එහි අවුත් පැවිදි වූහ. ඔවුන්ගෙන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුණ්ණමත්තානිපුත්ත තෙරුන්ගෙන් බණ අසා සෝවාන් වූ සේක. භගු, කිම්බිල යන දෙනම පසු කාලයෙහි විදසුන් වඩා රහත් වූහ. දේවදත්ත තෙරණුවෝ ධ්‍යාන වඩා ලෞකික සෘද්‍ධිය ලැබූහ.

පසු කලෙක කොසඹෑ නුවර වසන සමයෙහි ශ්‍රාවක සංඝයා සහිත වූ තථාගතයන් වහන්සේට මහත් ලාභසත්කාර ඇති විය. මහජනයා වස්ත්‍ර බෙහෙත් ආදිය ගෙන විහාරයට ගොස් ශාස්තෘන්වහන්සේ කොහි ද? ශාරිපුත්‍රයන් වහන්සේ කොහි ද? මහාමෞද්ගල්‍යානයන් වහන්සේ කොහි ද? යන ආදීන් භාග්‍යවතුන් වහන්සේත් අසූ මහ සව්වන් වහන්සේත් වසන තැන් සොය සොයා යයි. දෙව්දත් තෙරුන් අසා බලන කිසිවෙක් නැති. දෙව්දත් තෙරණුවෝ සිතන්නෝ “මමත් මොවුන් සමග ම පැවිදි වූයෙකිමි. මොහුත් රාජවංශයෙන් නික්ම පැවිදි වූවෝ ය. මමත් එසේ ම ය. ලාභ සත්කාර ගෙන එන මිනිස්සු මොවුන් ම සොයති. මගේ නම කියන කෙනෙක් නැත. කවුරුන් හා එක්ව කවුරුන් පහදවා ගෙන මම ලාභ සත්කාර නිපදවා ගන්නෙම් දැ?”යි සිතී ය. “මේ බිම්සර රජ බුදුරජාණන් වහන්සේ දුටු මුල් වතාවේ දී ම සෝවාන් වූවෙකි. එ බැවින් මොහු හා එකතු විය නො හැකි. කොසොල් රජු හා ද එක් වීම හැකි නො වේ. මේ බිම්සර රජු පුත් අජාතශත්‍රැ කුමාරයා නම් කිසිවකු ගේ ගුණ දොස් නො දනී. මොහු හා එක් වන්නෙම්” යැයි දෙව්දත් තෙරණුවෝ ඉටා ගත්හ. ඉක්බිති කොසඹෑ නුවරින් රජගහ පුර ගොස් සෘද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙකින් අජාසත්[57] කුමරුන් තමන් කෙරේ පහදවා ගත්හ.

දෙව්දත් කෙරේ පැහැදුණු අජාතශත්‍රැ කුමාර තෙම මහත් ධන වියදමින් ගයා ශීර්ෂයෙහි ආරාමයක් කරවා දුන්නේ ය. එහි ලාභ සත්කාර උපදවාගෙන වසන හෙතෙම දිනක් ජේතවනාරාමයට අවුත් භාග්‍යවතුන් වහන්සේ රජු සහිත පිරිසට බණ වදාරන වේලෙහි එහි පැමිණ වැඳැ භික්ෂු සංඝයා පාලනය කිරීම තමාට පවරන ලෙස අයැද සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ අකැප ජීවිකාවෙන් දිවි පවත්වන ඔහුට එහි නින්දිත බව දක්වා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක. එයින් නො සතුටු වූ දෙව්දත් තෙර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පළමු වන නො සතුට ඇති කැර ගත්තේ ය.

දෙව්දත් බිම්සර රජ මරවන්නට තැත්කිරීම

දිනක් දෙව්දත් තෙර අජාතශත්‍රැ කුමරු වෙත එළැඹ ඔහු අමතා, “කුමාරය, පෙර මිනිස්සු දීර්ඝායුෂ ඇත්තෝ ය. දැන් අය වනාහි අල්පායුෂ්කහ. කුමාර වැ ම හිඳ, රජකම් කරන්නට නො ලැබ, ඔබ ගේ මරණය වන්නටත් පිළිවන. එබැවින් ඔබ පියා මරා රජවන්න, මම බුදුන් නසා බුදුවන්නෙමි” යි කීය. දෙව්දතු ගේ වචනය පිළිගත් කුමර දිනක් දහවල් කිරිච්චියක් ඉනේ සඟවා ගෙන පිය රජු මරන අදහසින් ගියේ, තැති ගැනුම් සහිත ව සැක ඇති ව හදිසියෙන් අන්තඃපුරයට වැදිණ. අන්තඃපුර ඇමැතියෝ බියෙන් තැති ගැනුම් සහිත ව එන ඔහු දැක සැකකොට අල්ලා පරීක්ෂා කළහ. එ විට ඔහු ඉනේ සඟවා ගෙන තුබුණු කිරිච්චිය දැක. “කුමක් කරනු කැමැත්තෙහි දැ” යි විචාළහ. “පියා නසනු කැමැත්තෙමි යැ”යි හෙතෙම කීය. “කාගේ අනුබලයෙන් දැ”යි ඇසූ කලැ “දෙව්දත් තෙරුන් කී බැවින් යැ”යි කීයෙන් “කුමාරයා ද දෙව්දත් තෙර ද තදනුවර සියලු භික්ෂූන් ද මැරිය යුතු යැ” යි සමහර මහාමාත්‍යයෝ කීහ. සමහර ඇමැතියෝ “දෙව්දත් අජාසත් යන දෙදෙනා පමණක් මැරිය යුතු යැ” යි කීහ. සමහරු “ඒ කිසිවක් නො කොට රජුට කාරණය දන්වා රජු කියන දැයක් කළ යුතු යැ”යි කීහු. සියල්ලෝ එයට ඒකමතික ව කුමරු ගෙන රජු කරා එළැඹ කාරණය දැන්වූහ. “කුමට මා මරන්නට සිතුවෙහි දැ?” යි රජ තෙම කුමරහු විචාළේ ය. “රජකම ලබා ගන්නට යැ” යි කුමරු කීය. “ පුත, රජකම ඕනෑ නම් මෙන්න රාජ්‍යය! බාර ගනුව”යි කියා බිම්සර රජ තම පුතු සිඹ සනසා ඔහුට රාජ්‍යය පැවරී ය.

අජාසත් තෙම දෙව්දත් තෙරට තමා රාජ්‍ය ලත් බව කී ය. දෙව්දත් ඒ අසා නො සතුටු ව “කිහිප දිනෙකින් තොප පියා තොපගේ රාජ්‍යය පැහැර ගනිතැ” යි අජාසත් කුමරු කළඹා, රජහු මරා ලීමෙහි ඔහු මෙහෙයී ය. “ආයුධයෙන් සිය පියා මැරිය නොහැකි යැ” යි අජාසත් කී විට “ආහාර නොදී මරව”යි දෙව්දත් කී ය.

අජාතශත්‍රැ රජ තෙම පිය රජාණන් සිරගෙයි ලා මෑණියන් මිස අන් කිසිවකුට එහි යෑ නොදී රකවල් ලැවූයේ ය. එදා පටන් ඒ බිසෝ රජ දක්නට යන්න බත් පුරා ලූ රන් තැටියක් හිණ ගන්නා ගෙන ගොස් දෙයි. රජ්ජුරුවෝ ඒ භෝජනයෙන් ජීවත් වෙති. අජාසත් රජ එපවත් අසා මෑණියනට කිසිවක් හිණින් ගෙන යෑමට ඉඩ නො දෙවු යැ”යි රකවලෙහි හුන් පුරුෂයනට අණ කෙළේ ය.

එ තැන් පටන් බිසෝ බඳුනෙකින් ආහාර ගෙන යෑ නො හැක්කෙන් බොජුන් ටිකක් මුහුලස තුළ ලා ගෙන ගොස් රජ්ජුරුවනට දෙති. අජාසත් රජ එ පවත් අසා මවට මුහුලස බැඳ ගෙන යෑමට අවසර නැති කෙළේ ය.

ඉන් පසු බිසෝ රන් මිරිවැඩියෙහි අග්‍ර භෝජන සකස් කොට පියනින් වසා එ පය ලා ගොස් රජ්ජුරුවන් කවා එන්නී ය. අජාසත් එ පවත් ද අසා මිරිවැඩි ලා එහි යෑමට මෑණියනට ඉඩ නො තැබුයේ ය. එයින් පසු ඒ දේවි අන් උපායක් නො දැක සුවඳ පැනින් නා සිරුරැ චතුමධුර ගල්වා උතුරු සළුවක් පොරොවා රජ්ජුරුවන් දකින්නට යන්නී ය. රජ්ජුරුවෝ ද ඇඟ ලෙවැ ජීවත් වෙති. අජාසත් ඒ දැන ගෙන මෑණියනට රජ්ජුරුවන් දක්නට යෑම මුළුමනින් ම තහනම් කෙළේ ය.

බිසෝ සිර ගෙය දොර වෙත ගොස් යන්නට අවසර නො ලැබ රජ්ජුරුවනට ඒ පවත් කියා අඬා වැලැප පෙරළා ආවා ය.

බිම්සර රජුගේ මරණය,

භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්‍ධත්වයෙන් සත්තිස් වන වර්ෂයෙහි

එ තැන් සිට රජ්ජුරුවෝ කිසි ආහාරයක් නො ලත්හ. එහෙත් සක්මන් කරමින් මාර්ගඵල සුඛයෙන් කල් යවති. අජාසත් රජ තෙම පියා තවමත් සක්මනින් ජීවත් වන බව අසා සක්මන් කරනු නො දෙනු පිණිස කරනැවෑමියකු ලවා පිය රජහු පතුල් කරයෙන් පළවා ලුණු ඇඹුල් හා තෙල් ගල්ලවා ගිනි අඟුරෙන් පැසැවැවී ය. මෙයින් දැඩි දුක් වේදනා ඇති වුවත් රජ්ජුරුවෝ ඒ සියල්ල ඉවසා තෙරුවන් ගුණ සිහි කරමින් හිඳ නොබෝ වේලායෙන් මිය ගොස් චාතුර් මහාරාජික දෙවු ලොවැ ජනවසභ නම් දිව්‍ය රාජව උපන්හ. නො බෝ කලෙකින් රජ බිසවු ද ස්වාමියා මළ ශෝකයෙන් කළුරිය කළාය.

ස්වාමිදරුවාණන් නසන්නට දෙව්දතු ගේ උත්සාහය

බිම්සර රජු ගේ මරණය වූයේ භාග්‍යවතුන් වහන්සේට වයස දෙ සැත්තෑයෙහි දී ය. භාග්‍යවතුන් වහන්සේ ගේ අග්‍ර උපාසක වූ බිම්සර රජ මරවා සිය මනෝරථය සිදු කර ගත් දෙව්දත් තෙම “දැන් බුදුන් මරා බුද්‍ධ රාජ්‍යය ගන්නෙමි” යි සිතී ය. සිතා රජු වෙත ගොස් සිය අදහස දැන්වී ය. රජ ද එයට කැමැතිව දෙව්දත් තෙරුන් කියන්නක් කරන්නට මිනිස්නට අණ කෙළේ ය.

ඉක්බිති දෙව්දත් තෙම මිනිසකු කැඳවා “අසුවල් තැන ශ්‍රමණ ගෞතමයෝ වසති. ඔවුන් මරා මේ මාර්ගයෙන් එව”යි කියා දුනුවායකු යැවී ය. තවත් පුරුෂයකු ඒ මාර්ගයේ නවත්වා “යමෙක් තනි ව මෙ මගින් ඒ නම් ඔහු මරා මෙ මගින් එවු යැ” යි යට කී පුරුෂයා එන මඟ දෙදෙනෙකුන් නැවැත්වී ය. ඔවුන් දෙදෙනා මැරීමට ඒ මඟ අන් තැනෙක සතර දෙනෙකුන් ද, ඔවුනට පාරක් පෙන්වා ඒ මාර්ගයෙහි එන සතර දෙනා මරන්නට අට දෙනෙකුන් ද ඔවුන් එන මාර්ගය නියම කොට එහි ඔවුන් මැරීමට සොළොස් දෙනකුන් ද නැවැත්වී ය. මෙසේ බුදුරජාණන් වහන්සේ නැසීමට ගිය පුරුෂයාත් අණකළ තැනැත්තාත් දැන ගත නො හැකි වනු පිණිස මේ උපාය දෙව්දත් යෙදී ය.

භාග්‍යවතුන් වහන්සේ නැසීමට අණ ලත් පුරුෂ තෙම දුනු ආදියෙන් සැරසී නික්මුණේ, උන් වහන්සේ දැක තැති ගැනීම් සහිත වැ බිය වැ සැක ඇති වැ තද වූ ශරීරය ඇති වැ නොදුරු තැනෙක සිටියේ ය. සාමිදරුවන් වහන්සේ ඔහු දැක කථා කොට “භවත මෙහි එන්න. බිය නො ගන්නැ” යි වදාළ සේක. හෙ තෙම ඒ අසා ආයුධ පැත්තෙක දමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ පසෙක හිඳ තමා කරන්නට ආ අපරාධය දන්වා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ක්ෂමාව ඉල්ලූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට වරද වරද ලෙස පිළිගැනීමේ සුදුසු බව වදාරා දාන කථාදී පිළිවෙළ කථායෙන් බණ දෙසා චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. හෙතෙම බණ අසා සෝවාන් වූයේ ය. ඉන්පසු සාමිදරුවන් වහන්සේ ඔහු යන්නට අදහස් කළ මාර්ගයෙන් යා නොදී අන් මඟකින් යැවූ සේක. ඒ පුරුෂයා ගේ පැමිනීම බලා මඟ රැක උන් දෙදෙන ඔහු නො එනු දැක “මෙ තෙක් පමා මන්දැ”යි සිතා ඔහු හමු වන අටියෙන් මාර්ගයේ ඉදිරියට ගියහ. එ සේ ගිය ඔහු රුකක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වෙත පැමිණ වැඳ පසෙක උන්හ. ඔවුනට ද පළමු පුරුෂයාට මෙන් ම බණ වදාළ සේක. දේශනාවසානයේ දී ඔහු සෝවාන් වූහ. ඔවුන් ද යන්නට සිතූ මඟ හැර අන් මඟකින් යැවූ සේක. ඒ දෙදෙනා එනතුරු මඟ රැක උන් සිවු දෙන ද ඔවුන් පමා වන හෙයින් මාර්ගයේ ඉදිරියට ගියෝ, රුකක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක ගොස් පසෙක හුන්හ. ඔවුනට ද පළමු පුරුෂයනට මෙන් ම බණ වදාළ සේක. ඔහු ද සෝවාන් වූහ. ඔවුන් ද බුදුරජාණන් වහන්සේ අන් මඟෙකින් යැවූ සේක. මේ පරිද්දෙන්ම මග රැක උන් ඉතිරි අට දෙනා ද ඔවුන් මැරීමට බලා උන් සොළොසදැ” යි යන මේ සියල්ල ම තමන් වහන්සේ වෙත එන්නට සලස්වා දහම් දෙසා හික්මවා යැවූ සේක.

සාමි දරුවන් මත්තට ගලක් පෙරැළීම

යටැ කී පළමු පුරුෂයා දෙව්දතු කරා ගොස් “ස්වාමීනී, ඒ භාග්‍යවතුන් වහන්සේ මහානුභාව ඇත්තේ ය. මහර්ද්ධිමත්හ. නැසිය නො හැකියැ” යි කී ය. එවිට “මම් ම ශ්‍රමණ ගෞතමයන් නසන්නෙමි” යි හෙතෙම ඉටා ගත්තේ ය. එසේ සිතා දිනෙක ගිජුකුළු පව්වේ පාමුල භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන අතර ඒ කන්ද නැග යන්ත්‍රයක් මගින් මහත් ගලක් භාග්‍යවතුන් වහන්සේ දෙසට පෙරළා හැරියේ ය. මතු වූ අන් විශාල ගල් දෙකක රැඳී ඒ ගල යෑ නො හී නැවැතිණ. එහෙත් ඒ ගල් එකට එක වැදීමේ දී පතුරක් කැඩී ගොස් භාග්‍යවතුන් වහන්සේ ගේ පිටි පතුලේ අගැ හැපී එ තන් හි ලේ පිරුයේ ය. බුදුරජාණන් වහන්සේ උඩ බලා දෙව්දත් හට “අභාග්‍ය පුරුෂය, තෝ දුෂ්ට සිතින් තථාගතයන්ගේ ඇඟේ ලේ සැලීමෙන් බොහෝ පව් කෙළෙහි” යැ යි වදාළ සේක. ඉක්බිති භික්ෂූනට ආමන්ත්‍රණය කොට මෙසේ දෙව්දත්හු ලෝහිතුප්පාදය කිරීමෙන් පළමු වන ආනන්තර්ය පාප කර්මය කැරැ ගත් බව වදාළ සේක. මේ කාරණය මුල් ව භික්ෂූන් අතර බොහෝ කථා ඇති විය. ඒ තන්හි දී භාග්‍යවතුන් වහන්සේ අවස්ථානුරූප වූ ධර්මදේශනයෙන් භික්ෂූනට අවවාද කළ සේක.

ධනපාල සමාගමය

ඒ කාලයෙහි රජගහ පුරැ නාලාගිරි (ධනපාල) නම් ඇතෙක් චණ්ඩ වූයේ මිනිසුන් මරයි. දෙව්දත් තෙම ඇත් හලට ගොස් ඇත් ගොව්වන් ගේ සිත් ගෙන භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට වැඩි විට ඌ ලිහා උන් වහන්සේ ඉදිරියට යවන ලෙස නියෝග කෙළේ ය. ඔහු ද එය පිළිගත්හ.

දිනෙක බුදුරජාණන් වහන්සේ උදේ වරුවෙහි භික්ෂූන් හා පිඬු පිණිස රජගහපුර පිවිස ඒ වීථියෙන් වඩනාසේක. ඇත්ගොව්වෝ උන් වහන්සේ දැක නාලාගිරි ඇතු ලිහා ඉදිරියට යැවූහ. ඈත වඩනා සාමිදරුවන් දුටු ඇත් තෙම සොඬය ඔසොවා කෝපයෙන් උන් වහන්සේ දෙසට දිව්වේ ය. භික්ෂූහු ඒ දැක ඉවත් ව වඩනා ලෙස තුන් වරක් ම බුදුරජාණන් වහන්සේට දැන්වූහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ බුදුවරයකු ගේ දිවි නැසීම අනිකකු විසින් නොකළ හැකි බව පවසා, “මහණෙනි, එවු බිය නො වවු” යැ යි වදාරා භික්ෂූන් හා ඉදිරියට ම වැඩි සේක. මිනිස්සු කුපිත ව දුවන ඇතු දැක කලබල වී ප්‍රාසාදවලට නැග “අහෝ විශිෂ්ට රූපශ්‍රීයෙන් යුත් මේ මහා ශ්‍රමණයන් වහන්සේට ඇතු පීඩා කරතැ”යි කියමින් බියෙන් ද, බුද්‍ධ භක්තිකයෝ වනාහි “පින්වත්නි, හස්ති නාගයකුත් මනුෂ්‍ය නාගයකුත් අතර බොහෝ කලෙකින් යුද්‍ධයක් වන සැටි!” යැයි කියමින් භාග්‍යවතුන් වහන්සේ ඇතු මැඩ පවත්වන සැටිය දක්නට ද මහත් නො ඉවසිල්ලෙන් බලා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ද ඇතු කෙරෙහි මෛත්‍රිය පැතිරැවූ සේක. උන්වහන්සේ ගේ මෛත්‍රි බලයෙන් වශීකෘත වූ ඇත් තෙම සොඬය අකුලා ගෙන වෙත පැමිණ ඉදිරියෙන් සිටියේ ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඇතු ගේ කුම්භස්තලයෙහි අත තබා,

“මා කුංජර නාගමාසදො

දුක්ඛං හි කුංජර නාගමාසදො

න භි නාගහනස්ස කුංජර

සුගති හොති ඉතොපරං යතො

මා ච මදො මා ච පමා දො

න හී පමත්තා සුගතිං වජන්ති

තෙන ත්වඤ්ඤෙව තථා කරිස්සසි

යෙන ත්වං සුගතිං ගමිස්සසි”යි[58] වදාළ සේක.

එ කෙණෙහි ඇත් තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ පාමුල වැටී දූවිලි සොඬින් ගෙන තම හිස් මුදුනෙහි විසුරුවා ගෙන උන් වහන්සේ පෙනෙන තෙක් මානයේ පසු පස්සෙන් ගොස් ආපසු හැරී ඇත් හලට ම ගියේ ය. නාලාගිරි හස්ති තෙම ඒ තන් පටන් හික්මුණේ ම විය. මේ දෙව්දතු භාග්‍යවතුන් වහන්සේ මරන්නට කැරැ වූ උපායෙකැ යි නුවරු දැනගන්හ.

ඔහු “මේ තරම් මහර්ද්ධිමත් මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් නසන්නට තැත් කරන මේ දේවදත්ත ස්ථවිර කොතරම් පාපයෙක් ද! කාලකණ්ණියෙක් දැ!”යි කියමින් දෙව්දත් තෙරුනට බැණ වදින්නට වූහ.

ඇමැතියෝ ගොස් අජාතශත්‍රැ රජුට දෙව්දතු ගේ දෝෂ දක්වා කරුණු කියා ලජ්ජාවට පත් කළහ. රජ තමා කළ මෝඩකම් සලකා ලජ්ජාවට පැමිණ දෙව්දතු කෙරේ කළකිරී ඔහුට ඒ තාක් තමාගෙන් දින පතා දෙන බත් වසුන් කත් පන්සීය ද නැවැත්තුයේ ය. එ තැන් පටන් දෙව්දත් ලාභයෙන් යශසින් පිරිහී ගියේ ය. එ හෙයින් හේ සිය පිරිස හා කුලයන් කරා ගොස් ඉල්වා ලත් ප්‍රත්‍යයයෙන් යැපුණේ ය. නො බෝ දිනකින් ඔහු ගේ ශ්‍රාවක පිරිස ද ඔහු හැර ගියහ. පිඬු සිඟීමට නුවරවන් කලැ මිනිස්සු ඔහු දැක, “තවත් මෙ පුර ඉඳ බත් කවුදැ?”යි කියා ගල් ගසා පාත්‍රය බිඳ නුවරින් පලවාපූහ.

සංඝ භේදය

දෙව්දත් යනෙන අතක් නැත්තේ “මට බුදුරජහු මිස වෙන පිළිසරණෙක් නැතැ” යි සලකා භාග්‍යවතුන් වහන්සේ කරාම ගොස් විසී ය.

එසේ වෙසෙමිනුත් ස්වභාවයෙන් ම දුෂ්ට වූ හෙ තෙම “පිරිස් බලය ලබමි” යි සිතා සංඝ භේදය කරන අදහස් ඇත්තේ, සිය සවු වූ කෝකාලික, කටමෝරක තිස්ස. සමුද්දදත්ත යන භික්ෂූන් ද ථුල්ලනන්දා මෙහෙණිය ද හා සාකච්ඡා කොට භාග්‍යවතුන් වහන්සේ නො පණවතැ” යි තමා සැලකූ වස්තු පසක් ඉල්ලන්නට ඉටා ගත්තේ ය.

ඒ වර පස නම්:

“ජීවිතාන්තය තෙක් භික්ෂූන් ආරණ්‍යක ම විය යුතු යි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් පිණ්ඩපාතික ම විය යුතු යි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් පාංශුකූලික ම විය යුතු යි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් වෘක්ෂමූලික ම විය යුතු යි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් මුළුමනින් ම වැළකිය යුතු යි” යන මොහු යි.

එක් දිනෙක දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මෙ කී වස්තු පස පණවා වදාරන සේ ඉල්ලීමක් කෙළේ ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ කැමැති කෙනෙක් ඒ ආරණ්‍යක වීම් ආදිය කෙරෙත්වා” යි ද “නො කැමැති කෙනෙකුන් ඒ නො කළාට වරදක් නැතැ” යි ද වදාරා දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂිප්ත කළ සේක.

තමා අදහස් කළ සංඝ භේදයට මඟ පෑදුණ බව සැලකූ දෙව්දත් තෙම මහත් සතුටට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සිය පිරිස හා පිටත් වැ ගියේ, රජගහ පුර පිවිස තමන් වස්තු පසක් පණවන ලෙස ඉල්ලූ නමුත් බුදුරජාණන් වහන්සේ එය නො පිළිගත් බවත් නමුත් තමන් ඒ සමාදන් ව වසන බවත් කියා ඇවිද්දේ ය.

ඒ ඇසූ අනුවණ මිනිස්සු “මේ ශ්‍රමණවරු හෑල්ලු පැවතුම් ඇත්තෝ ය. ශ්‍රමණ ගෞතමයෝ සැප සේ කල් යවන්නෝ ය” යන ආදීන් කියා දෙව්දතුට ප්‍රශංසා කළහ. ඒ කථාව භික්ෂූහු අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ දෙව්දතු කැඳවා “සංඝ භේදය කරන්නට තැත් කරන බව සැබෑ දැ?” යි ඇසූ සේක. “සැබෑව, වහන්සැ” යි හේ කීය. එ විටැ කල්පයක් නිරයෙහි පැසෙන බලවත් අකුශලයක් බව වදාරා එ බන්දක් නො කරන ලෙස අවවාද කළ සේක.

ඉන් නික්ම ගිය දෙව්දත් තෙම රජගහ පුර පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දැක සමීපයට ගොස් “ඇවැත් ආනන්දය, අද පටන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් වෙන් ව පොහොය කරන්නෙමි. සංඝ කර්ම කරනෙමි” යි කීයේ ය. පිණ්ඩපාතයෙන් පසු අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දෙව්දත් කී කාරණය දැන්වූහ.

එ විට භාග්‍යවතුන් වහන්සේ:

“සත්පුරුෂයා විසින් හොඳ දෑ පහසුවෙන් කට හැක්ක. පාපී පුද්ගලයා විසින් හොඳ දෑ කට නො හැක්ක. පාපියා විසින් පාපය සුව සේ කට හැක්ක. ආර්‍ය්‍යන් විසින් පාපය නො කට හැකි යැ”යි174 වදාළ සේක.

නැවත දෙව්දත් තෙම එක් පොහෝ දිනෙක භික්ෂු සංඝයා මැද නැඟී සිට තමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් පංච වස්තූන් පණවන ලෙස ඉල්ලීම් කළ නමුදු එය උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බවත් ඒ පංච වස්තූන් සමාදන් ව විසීමේ වටිනා කමත් දන්වා “මගේ මේ අදහසට එකමුතු තැනැත්තේ සලාක ගනීවා” යි කියා සලාක ගැන්වී ය. අළුත පැවිදි උපසපන් වූ පන්සියයක් පමණ වජ්ජිපුත්තක භික්ෂූහු දෙව්දතු ගේ වචනයට රැවටී ඔහුට පක්ෂ වූහ. දෙව්දත් තෙමේ ද ඒ පන්සියය ගෙන ගයා ශීර්ෂයෙහි අරමට ගියේ ය.

ඉක්බිති සැරියුත් මුගලන් දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ පවත් දැවූහ. ඒ භික්ෂූන් විනාශයට පැමිණෙන්නට පළමු කැඳවා ගෙනෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුනට වදාළහ. දෑගසව්වෝ ද ගයා ශීර්ෂයට ගියහ. එ සමයෙහි දෙව්දත් තෙර මහා පිරිස් මැද බණ කියමින් හුන්නේ තමන් වෙත එන සැරියුත් මුගලන් දෙ නම දැක “මහණෙනි, බලවු. මගේ ධර්මය කොතරම් ස්වාඛ්‍යාත ද? ශ්‍රමණ ගෞතමයන් ගේ අග සවු සැරියුත් මුගලන් දෙදෙනාත් සතුටු ව මා වෙත එන්නෝ යැ” යි කී ය. එ විට කෝකාලික තෙම “සැරියුත් මුගලන් දෙ නම නො ඇදහිය යුතු යැ” යි කී ය. දෙව්දත් ඒ වචනය නො පිළිගත්තේ ය. ඉක්බිති දෙව්දත් තමා ගේ ආසනයට අඩක් මිටි ආසනයක් සැරියුත් තෙරුනට පෙන්වා එහි ඉඳ ගන්නට කීය. සැරියුත් තෙරණුවෝ එහි නො හිඳ අන් අස්නෙක ඉඳ ගත්හ. මුගලන් තෙරණුවෝ ද පසෙක අස්නෙක ඉඳ ගත්හ. දෙව්දත් රෑ බොහෝ වේලා බණ දෙසා තමා ගේ පිට රිදෙන බව කියා බණ කීම සැරියුත් තෙරුනට පැවැරී ය. සැරියුත් තෙරණුවෝ ආදේශනා ප්‍රාතිහාර්යයෙනුත් අනුශාසනා ප්‍රාතිහාර්යයෙනුත් බණ දෙසූහ. ඉන් පසු මුගලන් තෙරණුවෝ සෘද්‍ධිප්‍රාතිහාර්යයෙන් බණ වදාළහ. ඒ අසා පන්සියයක් පමණ ඒ වජ්ජිපුත්‍රක භික්ෂූහු සෝවාන් වූහ. ඉක්බිති දෑගසව්වෝ ඒ භික්ෂු පිරිස ගෙන අහසින් භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. කුපිත වූ කෝකාලික තෙම දෑගසවන් ඒ භික්ෂූන් ගෙන ගිය බව කියා පරොස් බසින් දෙව්දතු පුබුදු වන්නේ, වැලමිටින් ඔහු ගේ ළය මැදට පහරක් දින. පිබිදුණු දෙව්දතුට එ තැන ම උණු ලේ වමන විය.

“වහන්ස, සැරියුත් තෙරණුවෝ තමන් දෙවෙනි කොට ගියෝ ය. දැන් මහ පිරිවර ඇති ව එන්නෝ හොබනෝ යැ” යි භික්ෂූහු කීහ. එය ඇරැබැ බුදුරජාණන් වහන්සේ ලක්ඛණමිග ජාතකය වදාළ සේක.

දෙව්දතු දෑගසව්වන් දෙ පස හිඳුවා බුද්‍ධ ලීලායෙන් දම් දෙසමියි භාග්‍යවතුන් වහන්සේ ට සම ව ක්‍රියා කරන්නට තැත් කළ සැටිය භික්ෂූන් කී විට ද එ වැනි කථා ඇති වූ ඉන් පසු දිනවල ද භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජාතක කථාවන් වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ කලක් රජගහ පුර වැස ඉන් නික්ම සැවැත් පුර වැඩ. එහි ජේතවනාරාමයෙහි වුසූ සේක.

දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම

දෙව්දත් තෙර නව මසක් ගිලන් ව වැස කෝකාලිකයා ළයට දුන් වැලමිටි පහරින් මරණය ළංවූ බව දැක පශ්චිම කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැත්තේ තමා එහි ගෙන යන්නැ යි සිය සව්වනට දැන්වී ය. “ඔබ ශක්තිමත් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට සතුරු කම් කොට දැන් දුබල වූ විට උන් වහන්සේ දක්නට යනු කැමැත්තෝ ය. අපි ඔබ එහි ගෙන නො යන්නම්හ” යි ඔහු කීහ. එවිටැ දෙව්දත් තෙම තමා උන් වහන්සේ කෙරෙහි වෛරී වැ සිටියත් උන් වහන්සේ තුළ නම් කෙසඟක් පමණත් තමා කෙරෙහි අමනාපයක් නැතැයි කියා, තමා එහි බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලෙස නැවත නැවත ඉල්ලීය. ඔහු ගේ බලවත් ඉල්ලීම නිසා ඔහු ද දෙව්දත් තෙරහු ඇඳකින් ගෙන පිටත් වූහ. එසේ යන්නාහු සැවැත් පුර පැමිණියාහු ජේතවන පොකුණ සමීපයට වන්හ.

දෙව්දතු පොළවැ ගිලීම

ඔහු එහි පොකුණු තෙර ඇඳ තබා නාන්නට දියට බටහ. දෙව්දත් තෙර ද ඇඳෙන් නැඟිට දෙපා බිම තබා හුන්නේ ය. එ කෙණෙහි පොළොව පැළී ක්‍රමයෙන් දෙව්දත් එහි ගිලුණේ ය. බෙල්ල දක්වා ගිලී හනු ඇටය පොළොවැ සැපී සිටි කල්හි,

“මේ හනුකාස්ථීන් නිමිතිකොට ගෙන නො හොත් මේ කරුණු කොට, අග්‍ර පුද්ගල වූ දෙවියනට අධිදේව වූ පුරුෂදම්‍ය සාරථි වූ සමතැස් ඇති සිය පින් ලකුණු ඇති ඒ සර්වඥයන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගියෙම් වෙමි.” යි කියා බුදුන් සරණ ගියේ ය. හෙ තෙම පොළෙහි ගිලී මැරී අවීචි නිරයෙහි උපන්නේ ය.

දෙව්දත් තෙරුන් පොළේහි ගිලුණු බව භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට සැළ කළහ. මේ කාරණය ඇරැබ එයින් පෙරත් දෙව්දතු තමන් වහන්සේට ද්‍රෝහී ව පොළෝහි ගිලුණු බව දැක්වීම් වශයෙන් ඡද්දන්ත ජාතකය ද ඒ ගැන කථා ඇති වූ තවත් අවස්ථාවල දී ක්ෂාන්තිවාදී ජාතකය හා චුල්ල ධම්මපාල ජාතකය ද, දෙව්දතු ගේ මරණයෙන් බොහෝ නුවර වැස්සන් සතුටුවන බව භික්ෂූන් දැන් වූ විට, පෙරත් ඔහු මළ කල මහ ජනයා සතුටු වූ බව දක්වමින් පිංගල ජාතකය ද වදාළ සේක.

“දෙව්දත් තෙර කොහේ උපන්නේ දැ?” යි භික්ෂූහු ඇසූහ. අවීචි නිරයේ උපන් බව වදාරා

“පව් කරනා මේ ලොව ද තැවේ. පරලොව ද තැවේ. “මා විසින් පව් කරන ලදැ”යි සිත සිතා මෙලොව දී තැවේ. දුගතියට ගොස් දුක් විපාක විඳිමින් බොහෝ සෙයින් තැවේ.” යැයි176 වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුද ඇරැබ ඒ අවස්ථාවෙක දී,

දෙව්දතු ගේ අනාගතය

“දෙව්දත් මෙසේ අපරාධකාරයකු වුවත් පෙර බොහෝ කල් පැරුම් පිරුවෙකි යි” ද නිරයෙන් මිදී අවුත් පින් දහම් පුරා මතු කලෙක සට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ177 යැ” යි වදාළ සේක.

අජාසත් රජු පැහැදීම

පිය රජුන්ගේ මරණයෙන් පසු අජාසත් රජුට කිසි ම දිනෙක සුවසේ නිදා ගත හැකි නො වී ය. “නිදමි” යි ඇස් පියා ගත්තේ අදිසියෙන් බිය ව ඇස් හරී. දෙව්දතු පොළො ගිලීම අසා රජ වඩාත් බිය විය.

මෙසේ කල් යවන රජ රාත්‍රියෙහි “කිසි උතුමකු දක්නට යමැ” යි සිතයි. නිගණ්ඨනාතපුත්තාදී ෂට් ශාස්තෘන් බැලීමට වෙන වෙන ම ස වරක් මෙසේ හෙ තෙම ගියේ ය. තමා ගේ සැක දුරු කැරැලීමට ඔවුන් අසමර්ථ වූ බැවින් එයින් පසු ඔවුන් වෙත නො ගියේ ය.

හේ සඳ රැසින් යුත් එක් රැයෙක “කිසි උතුමකු දක්නට යමි” යි සිතා ඇමැතියන් විචාළේ ය. ඔවුන් නිගණ්ඨනාතපුත්තාදීන් ගේ නම් සඳහන් කළ විට රජ තුෂ්ණිම්භූත විය. කොමාරභච්ච ජීවක වෙදහු අතින් පුළුවුත් විටැ “බුදුරජුන් වහන්සේ දක්නට යෑම මැනැව”යි හේ කී ය.

ඉක්බිති රජ සිය පිරිස් කැටුව ගොස් භාග්‍යවතුන් වහන්සේ දැක පිළිසඳර කථා කොට, මහණ දම් පිරීමෙන් මෙම අත්බව්හි ලැබෙන ඵල විචාළේ ය. භාග්‍යවතුන් වහන්සේ එය විස්තර කොට වදාළ සේක. මෙය දික් සඟියේ සාමඤ්ඤඵල සූත්‍රය නමින් ඇතුළත්ව ඇත. රජ ඒ ධර්ම කථාව අසා පැහැද තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. තමා කළ ද්‍රෝහිකම් සඳහන් කොට ඒවාට ක්‍ෂමාව ද ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේ ක්ෂමාව දී ආයතිසංවරයෙහි පිහිටීමේ අගය වදාරා රජු සැනසූ සේක. රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් ව ගියේ ය. එ තැන් සිට රජුට රාත්‍රියේ නිදිවැරීම අවශ්‍ය නොවී ය. හොඳට නින්ද ගියේ ය. පියා නො මැරැවී නම් මේ රජ එදා ම සෝවාන් විය හැකි ව සිටියේ ය. මොහු තරම් ලෞකික ශ්‍රද්ධාවෙන් සමන්විත අන් කිසිවෙක් නො වීය.

උපාලි දමනය

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් වැස වස් පවාරණයෙන් පසු මහ සඟන පිරිවරා සැරිසරන සේක්, රජගහ පුරයට වැඩ එහි වේළුවන යෙහි වුසුම් ගත් සේක. මේ බුද්‍ධත්වයෙන් සත්තිස් වන වස පමණේ දී ය. මෙ සමයෙහි කිසි දවසෙක වේළුවනයෙන් නික්ම එයට යොදුනක්[59] පමණ දුරැ වූ නාලන්දා නුවරට වැඩ එහි පාවාරික සිටුහුගේ අඹවනයෙහි වූ වෙහෙරට වැඩි සේක. එහි ටික දිනක් වුසුම් ගත් සේක.

මෙ සමයෙහි නාත පුත්ත නිගණ්ඨ තෙම මහත් සවු පිරිසක් සමග නාලන්දා නුවරැ සිය අසපුයෙහි වෙසෙයි. ඔහුගේ දීඝ තපස්සී නම් අග සවු නිගණ්ඨ තෙම දවසෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ආයේ ය. භාග්‍යවතුන් වහන්සේ හා සතුටු සාමීචි කොට පසෙක ඉඳ ගත්තේ ය. එයට පසු භාග්‍යවතුන් වහන්සේත් දීඝතපස්සිහුත් අතර මෙසේ කථාවෙක් විය.

භාග්‍යවතුන් වහන්සේ - තපස්නි, පාපක්‍රියායෙහි පාපකර්මයන් ගේ පැවැත්මෙහි ලා කර්ම කීයක් පණවත් ද?

දීඝතපස්සී - ආයුෂ්මත් ගෞතමයනි, කර්මයැ යි කර්මයැ යි පැණැවීම නාත පුත්ත නිගණ්ඨයාණනට නො හුරු ය. ඔහු පණවනුයේ “දණ්ඩය, දණ්ඩ යැ”යි කීයේ යැ.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, පව් කිරීමෙහි ලා නාත පුත්ත නිගණ්ඨයෝ දණ්ඩ කීයක් පණවත් ද?

දීඝ. - ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ, වචී දණ්ඩ, මනො දණ්ඩ යැයි පව් කිරීමෙහි ලා දණ්ඩ තුනක් ම නාතපුත්ත නිගණ්ඨයෝ පණවත්.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, කාය දණ්ඩ, වචී දණ්ඩ, මනො දණ්ඩ යනු වෙන් වෙන් තුනෙක් ම ද?

දීඝ. - එසේ ය, ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ ය එකෙක, වචී දණ්ඩ ය අන් එකෙක, මනො දණ්ඩය ඒ දෙකින්ම අන්‍ය වූ එකෙක.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, මේ දණ්ඩ තුනින් කවර එකෙක් මහත් ම සාවද්‍ය යැ යි ඔහු පණවත් ද?

දීඝ.- ආයුෂ්මත් ගෞතමයනි, මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය නම් කිරීමෙහි ලා මහත් ම සාවද්‍ය එක යැ යි නාතපුත්ත නිගණ්ඨයෝ පණවත්. අනිත් දණ්ඩ දෙක මෙය තරම් බලවත් නො වෙයි කියත්.

භාග්‍යවතුන් වහන්සේ - දීඝ තපස්සීනි, කාය දණ්ඩය අන් දෙකට ම වඩා මහා සාවද්‍ය යැ යි ඔහු කියත් ද?

දීඝ.- එසේ ය, ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩය ම එ තුනින් අතිශය සාවද්‍ය යැ යි නාතපුත්ත නිගණ්ඨයාණෝ පණවත්.

භාග්‍යවතුන් වහන්සේ - කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියත් ද?

දීඝ.- එසේ ය, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියති.

භාග්‍යවතුන් වහන්සේ- කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියත් ද?

දීඝ. - එසේ ය, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියත් යැ යි කියමි.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැයි කියත් ද?

දීඝ. - එසේය, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැයි, ඔහු කියත්”යි කියමි. ආයුෂ්මත් ගෞතමයනි, පව් කිරීමෙහි ලා ඔබ දණ්ඩ කීයක් කියත් ද?

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, දණ්ඩ යැ යි තථාගතවරු නො කියත්. කර්මය කර්ම යැ යි ම කියත්. පව් කිරීමෙහි ලා කායකම්ම වචී කම්ම මනෝ කම්ම යැ යි කර්ම තුනක් ම මම් කියමි.

දීඝ. - ආයුෂ්මත් ගෞතමයනි, කිම? කාය කම්මය අන් එකෙක් ම වචී කම්ම ය අන් ම එකෙක් ද? මනො කම්මය ඒ දෙකින් ම අනෙකෙක් ද?

භාග්‍යවතුන් වහන්සේ - එසේ ය ඒ තුන ම වෙන් වෙන් කර්ම යැ යි කියමි.

දීඝ. - ආයුෂ්මත් ගෞතමයිනි, මේ තුනින් කවරෙක් අතිශයෙන් ම සාවද්‍ය ද?

භාග්‍යවතුන් වහන්සේ - මනෝ කම්ම ය අතිශයයෙන් ම සාවද්‍ය ය.

(දීඝ තපස්සී තුන් වරක් ම මේ ප්‍රශ්නය ඇසී ය. තුන් වර ම භාග්‍යවතුන් වහන්සේ මේ උඩ සඳහන් පරිදිම උත්තර දුන් සේක.)

මේ සාකච්ඡායෙන් පසු දීඝ තපස්සී ස්වකීය ශාස්තෘවරයා වෙත ගියේ ය. මේ වේලෙහි නාතපුත්ත නිගණ්ඨ තෙම මහත් නිගණ්ඨ පිරිසක් පිරිවරා ගෙන හුන්නේ ය. ඔවුන් ගේ දෙටු ගිහි සවු වූ උපාලි ගෘහපති ද මහත් ගිහි සවු පිරිසක් පිරිවරා එහි ආයේ ය. අවුත් වැඳ පසෙක හුන්නේ ය.

නාත පුත්ත තෙම එහි පැමිණි දීඝ තපස්සීන් දැක කොහි ගොස් ආවු දැ” යි පුළුවුත. “ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් ආමි” යි හේ කී ය. “කිසි කතා බහක් වී දැ?” යි නාත පුත්ත ඇසී. දීඝ තපස්සීහු භාග්‍යවතුන් වහන්සේත් තමාත් අතර පැවැති මුළු කථාව ම පැවැසූහ. එය ඇසූ නාතපුත්තයෝ සාධුකාර දී “තොප ශ්‍රමණ ගෞතමයන් හට පිළිතුරු දුන් නියාව සරි ය. ශාස්තෘ ශාසනය දත්තෝ තෙපි ය, ලාමක වූ (සුළු වූ) මනෝ දණ්ඩය මහත් වූ කාය දණ්ඩය හා සම නො වෙයි. පව් කිරීමෙහි ලා කාය දණ්ඩ ය ම මහා සාවද්‍ය ය, වචී දණ්ඩ මනෝදණ්ඩ දෙක මහා සාවද්‍ය නො වෙ” යි කීහ. මෙය අසා හුන් උපාලි ගෘහපති නාතපුත්තයන් අමතා, “වහන්ස, මම මේ කාරණයෙහි ශ්‍රමණ ගෞතමයන් හා වාද කරන්නට යෙමි.” ශක්තිමත් එකකු දික් ලොම් ඇති එළුවකු, ඒ මේ අතට ඇද හල හපන්නා සේ ම ශ්‍රමණ ගෞතමයන් වෙහෙසවමි” යනාදීන් වහසි බස් කියා භාග්‍යවතුන් වහන්සේ හා වාද කරන්නට යනු කැමත්ත පැවැසී ය.

එයැසූ නාතපුත්ත තෙම “ගෘහපතිය මෙහි ලා ශ්‍රමණ ගෞතමයන් හා වාද කරනුවට මම් ද දීඝ තපස්සී ද නිස්සම්හ, තෝ ද නිස්සෙහි ය. ගොස් වාදාරෝපණය කරව”යි කීය. එවිට දීඝතපස්සී තෙම “වහන්ස, උපාලිහු ශ්‍රමණ ගෞතමයන් හා වාදාරෝපණයට යනු මට නො රිස්සෙයි. ශ්‍රමණ ගෞතමයෝ මහා මායාවී කෙනෙක, අනුන්ගේ සව්වන් තමන් අතට ඇදැගන්නා මහා වශීකරණ විද්‍යාවක් (ආවට්ටනී මායාවක්) දන්නාහ. ඔහු යනු සුදුසු නො වෙ”යි කීය.

එබස් ඇසූ නාතපුත්ත නිගණ්ඨයෝ “තපස්සී ය, උපාලි ගැහැවි ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවක වෙයි යන්න සිදු විය නොහැක්ක, වැලි ශ්‍රමණ ගෞතමයෝ උපාලිහු ගේ ශ්‍රාවක වෙති යන්න වියැ හැක්ක, ගැහැවිය තෝ යව” යි කීහ.

තුන් වරක් ම දීඝ තපස්සී තෙම උපාලිහු නො යැවිය යුතු යැ යි කරුණු කී ය. ඔහු බස නො තකා නාතපුත්තයෝ උපාලි ගැහැවියාට යන්නට අවසර දුන්හ. උපාලි තෙම නාතපුත්තයන් වැඳ පැදකුණු කොට පාවාරික අඹවන වෙහෙර බලා නික්මිණ.

උපාලි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹැ වැඳ පසෙක හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ හා සාකච්ඡාව ඇරැඹී ය.

උපාලි - වහන්ස, දීඝ තපස්සීහු මෙහි ආවෝ ද?

භාග්‍යවතුන් වහන්සේ - එසේ ය, ගැහැවිය.

උපාලි - ඔවුන් හා ඔබ හා අතර සාකච්ඡාවෙක් වී ද? භාග්‍යවතුන් වහන්සේ තමන් හා දීඝ තපස්සීන් අතර පැවැති කථාව වදාළ සේක. එයැසූ උපාලි ගැහැවි සාධුකාර දී ස්වකීය ශාස්තෘහුගේ ශාසනය දන්නෝ නම් ඔහු ය. ලාමක වූ මනෝ දණ්ඩය මහත් වූ කාය දණ්ඩය හා සම නො වෙයි, පව් කිරීමේ දී කාය දණ්ඩය ම මහා සාවද්‍ය ය වචී දණ්ඩ මනො දණ්ඩ එසේ නොවෙයි” කී ය.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සත්‍යයෙහි පිහිටා කථා කරවු නම් මෙහි ලා තොප හා කථා කරමි.

උපාලි - වහන්ස, සත්‍යයෙහි පිහිටා සිටිමි වදාරන්නැ.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවිය, සිහිල් දිය නො බොන, උණු දිය ම බොන නුවටෙක් දරුණු ලෙඩක් වැළැඳ උණු දියක් නො ලැබීමෙන් මළේ නම්,[60] හේ මරණින් මතු කොහි උපදී යැ යි නාතපුත්තයෝ කියද්ද?

උපාලි - වහන්ස, මනස්සත්ත්ව නම් දේව නිකායෙක් ඇත. ඒ වෙනුවට ඒ දෙවියන් අතුරැ උපදී, මනසෙහි බැඳී මළ බැවිනි.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, ගැහැවියනි, සිහි එළවා කතා කරන්න. තෙපි කායදණ්ඩය මහත් යැ යි කිවූ හ. දැන් තොප දුන් පිළිතුරෙන් මනො දණඩය මහත් යැ යි පැවසෙයි.

උපාලි - එසේ වුව ද වහන්ස, කාය දණ්ඩය ම මහත් ය.[61]

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, කිසි නුවටෙක් ප්‍රාණවධ නො කරයි. නො කරවයි. එය සමාදන් ද නො කෙරෙයි, සොරකම් නො කරයි, නො කරවයි, සමාදන් ද නො කරයි, බොරු නො කියයි. නො කියවයි, එය සමාදන් ද නො කරයි, පස්කම් සුව නො විඳී, නො විඳුවයි, එය සමාදන් ද නො කෙරෙයි. යනුයේ එනුයේ බොහෝ කුඩා ප්‍රාණීන් අපත්මෙයි, එයින් උහු මැරෙත්. ඔහුට නාතපුත්තයෝ කවර නම් විපාකයෙක් ලැබේ යැ යි කියත් ද?

උපාලි - වහන්ස, වධ වේදනා නැති බැවින් එය මහා සාවද්‍ය යැයි නො කියත්.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, හේ ඒ දෑ කරන්නේ සිතා නම් චේතනාව ඇත්තේ නම්, නාතපුත්තගේ ඒ චේතනාව කවරක් හි කවර කොටසෙහි ඇතුළත් කොට කියත් ද?

උපාලි - වහන්ස. මනො දණ්ඩයෙහි ඇතුළත් කොට කියති.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සිහි එළවා කියන්න, තොප පළමු කී දැය හා පසුව කී දෑ නො ගැළැපෙයි. පසුව කී දැය හා පළමු කී දෑ නො ගැළපෙයි.

උපාලි - භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළත් පාප ක්‍රියාහි කාය දණ්ඩය ම මහත් යැ, වචී දණ්ඩ මනෝ දණ්ඩ දෙක එසේ මහත් නොවේ.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, මේ නාලන්දාව සරුසාර නො වේ ද, බොහෝ ජනගහනය ඇතියේ නො වේ ද? කිසිවෙක් කඩුවක් ඔසොවා ගෙන මෙහි අවුත්, මම් ක්‍ෂණයෙන් මේ සියලු නාලන්දාව එක් ම මස් ගොඩක් කරමැ යි කියා නම් හේ තමා කියන පරිදි එය කළ හැකි වන්නේ ද?

උපාලි - වහන්ස, එකකු තබා දසයක් විස්සක් තිසක් සතලිසක් පණසක් මිනිස්සු ආ හු ද එය කළ නො හෙන්නාහ.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සෘද්‍ධිමත් චෙතොවශීප්‍රාප්ත මහණෙක් හෝ බමුණෙක් අවුත් කිපී මේ මුළු නාලන්දාව ම ක්‍ෂණයෙන් අළු කෙරෙමි යි කීවොත් එය කරනුවට හෝ සමත් වෙයි ද?

උපාලි - එසේ ය, වහන්ස, හේ සමත් වෙයි. එහෙත් කාය දණ්ඩය මැ මහත් ය.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, දණ්ඩකාරණය, තාලිංගාරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය යන මේවා ඇති වූ හැටි ඔබ අසා ඇද්ද?

උපාලි - එසේ ය, වහන්ස, අසා ඇත්තෙමි.

භාග්‍යවතුන් වහන්සේ - ඒවා කිමෙකින් එසේ වූහු ද?

උපාලි - වහන්ස, සෘෂීන් ගේ සිහි වූ දැහැවිල්ලෙන් යැ යි ඇසීමි.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සිහි එළවා කථා කරන්න, කාය දණ්ඩය මහතැ යි ඔබ මුලින් කී බස් හා දැන් මේ කියන කතාව නො ගැළපෙයි.

උපාලි - වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළ පළමු උපමායෙන් ම මම් පැහැදුනිමි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ වදාරණ කථාව තව තවත් අසනු අටියෙන් ව්‍යාජ විරුද්ධත්වයක් පෑයෙමි. වහන්ස, සැඟවි යට පත් ව තුබුණු දැයක් මතු කොට දැක්වූවා සේ ධර්මයන් ගේ යථාතත්තවය හෙළි කොට වදාළා ඉතා මැනැවි. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ඔබගේ ධර්මය ද ශ්‍රාවක සංඝයා ද සරණ යෙමි. වහන්ස, අද සිට දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා පිළිගන්නා සේක් වා.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සිතා බලා මෙවැනි දැය කළ මැනැව. ඔබ වැන්නන් මා දැක මා සරණ යන කලැ නැවැත නුවටු දැක ඔහු සරණ යන කලැ “මෙ තෙම දුටු දුටුවන් සරණ යෙ” යි මිනිස්සු කියති, ඔවුනට එසේ කියන්නට අවකාශ නො තබනු මැනැව. තොප වැනි ප්‍රසිද්‍ධ මිනිසුන් කිසිවක් පිළිගැන්මෙහි ඉක්මන් නො වියැ යුතු. බොහෝ දුරට සිතා බලා ම ක්‍රියා කරනු ය සුදුසු.

උපාලි - වහන්ස, ඔබ ගේ ඒ වචනයෙන් මම් වඩාත් සතුටු වෙමි. තීර්ථකයෝ වූ කලි සව්වකු ලද විට “අසෝ රජ, අසෝ ඇමැති, අසෝ සිටු, අප සරණ ගියේ යැ” යි ධ්වජ ඔසොවා හඬ නගා ඇවිදිති. තමන්ගේ මහත් බව ප්‍රකට කරනු පිණිස ය. මා ඔවුන් සවු වූ කල්හි ද එසේ කළහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ “ඉක්මන් නො වී සිතා පිරික්සා බලා මැ පිළිගන්නැ” යි වදාරන සේක. වහන්ස, දෙවන වරට ද මම් ඔබ සරණ යෙමි.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, බොහෝ කලක් ඔබේ ගෙය නිගණ්ඨයනට සතර මං සන්ධියෙක ළිඳක් මෙන් විය. මත්තෙහි ද ඔවුන් ආ විට දන් දීම පෙර සේ ම කළ මැනැව, එය නොම නවත්තන්න.

උපාලි - වහන්ස, “මට ම දිය යුතු යැ යි අන්හට නොදිය යුතු යැ” යි මගේ සව්වනට ම දිය යුතුය, මට ම මගේ සව්වනට ම දුන් දෑ මහත් පල ය. අන්හට දුන් දෑ එසේ නො වේ යැ”යි ශ්‍රමණ ගෞතමයන් කියති” යි භාග්‍යවතුන් වහන්සේ ට දොස් කියනු මා අසා ඇත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයනට ද දන් දීමෙහි මා යොදන සේක. වහන්ස, මම් ඔබ ගේ මේ දෙසුම නිසා වඩාත් පැහැදුණෙමි, තෙවනු වරත් ඔබ ද ඔබ දහම ද ඔබ සව්මුළුවද සරණයෙමි.

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ දාන කථාදී ආනුපුබ්බි කථායෙන් දහම් දෙසූ සේක. එය අසා නීවරණයන් යට පත් වැ පිරිසිදු වූ සිතැති උපාලිහට සිවුසස් පැවැසූ සේක. එය අසා හේ නුවණ මුහු කුරවා සෝවාන් විය. එයට පසු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සිය මැදුර බලා ගියේ ය. පැවිදි පිරිසද ඔහුගෙන් ඉවත්වැ ගියහ.

මෙයතරැ (දීඝතපස්සී තෙම) “උපාලි ගැහැවි ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස්, කළ කී දෑ දැන ගෙන එමි” යි කියා නාතපුත්ත නිගණ්ඨයාණන් ගෙන් අවසර ගෙන උපාලිහුගේ මැදුර බලා ගියේ ය. හේ පෙර සේ ගෙය ඇතුළට යන්නට සැරැ සිණ. දොරොටු පල්ලා එය දැක, ඔහුට ගෙයැතුළ යන්නට නොදී “සිටින්න, වහන්ස, අප මහ සිටාණෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක විය. ඔබ බොජුන් කැමැත්තේ නම්, මෙහි ම සිටින්න. මම් ගෙට ගොස් බොජුන් ගෙනෙන්නෙමි” යි කීය. “මට බතින් කම් නැතැ” යි කියා හෝ පෙරළා නාතපුත්තයන් වෙත ගියේ, “උපාලි ගෘහපති ශ්‍රමණ ගෞතමයන් ගේ සවු බවට ගියේ” යි සැළ කෙළේ ය.

නාතපුත්ත නිගණ්ඨයෝ ඔහු කී බස නො හදහා “මම මැ ගොස් දැන ගනිමි” යි කියා මහත් නිගණ්ඨ පිරිසක් පිරිවරා උපාලි ගෘහපතිහු ගේ මැදුර කරා ගියේ ය. දොරොටුපල් තෙම ඔවුන් ගෙට වැද්ද නො දී “මෙහි සිටින්න, අප මහ සිටාණෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක බවට පැමිණියේ ය. ඇතුළට නොයන්න. බොජුන් කැමැති නම් මෙහි නවතින්න, බොජුන් මෙතැනට ගෙනෙති” කීය. “තෝ ගොස් මහ සිටුහට මා අවුත් ඔහු දක්නට මෙහි පොරොත්තු වැ සිටිනා බව කියව”යි නාතපුත්ත කීය. හේ ද ගොස් සිටුහට ඒ පවත් සැළ කෙළේ ය. “සතරවන දොරොටුයෙහි තමාට හිඳිනා ලෙසට අස්නක් පණවන්නැ යි සිටු නියෝග කෙළේ ය. හේ ද එය කොට, ගොස් නාතපුත්තයන් කැඳවීය. නාතපුත්තයෝ සවු පිරිස සමග සතර වන දොරොටුව වෙත ගියහ. උපාලි ගැහැවි උස් මැ අස්නෙහි හුන්නේ, එහි ආ නාතපුත්තයන් දැක, “ඉඳ ගනු කැමැත්තහු නම් තෙලැ අසුන්හි හිඳගන්නැ” යි කීය. එය ඇසූ නාතපුත්තයෝ “ඔබ ශ්‍රමණ ගෞතමයන් හා වාදයට ගොස් ඔවුන්ගේ ආවර්ථිනීමායාවට හසුව ආවාහු නොවෙද් දැ?” යි කී ය.

උපාලි තෙම, “වහන්ස, ඒ ආවර්ථිනී මායාව කල්‍යාණය. එය මා සෙනෙහැති සියලු නැදෑයනට, සියලු කැත් බමුණු ගැහැවි සුදුරු හැමට, සැම දෙව් මිනිස්නට භද්‍ර ය, බොහෝ කල් හිත සුව පිණිස පවතී. ඔබේ ශාසනය නෛර්යාණික නොවේ. අප භාග්‍යවතුන් වහන්සේ ගේ සස්න ම නෛර්යාණික ය යනාදීන් දීර්ඝ ලෙස කරුණු කියා බුදු සස්නැ අගය වැණී ය.

නාතපුත්තයෝ, “මහ සිටාණනි, රජු සහිත සියලු පර්ෂද් තොප අපගේ ශ්‍රාවක බව දනී, දැන් තෙපි කාගේ ශ්‍රාවක දැ?”යි දැනගනු කැමැත්තම්හ” යි කීහ. එ විට උපාලි සිටු නැගී සිට, උතුරු සළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන දිශාවට හැරී දොහොත් මුදුන් තබා, “ධීරස්ස විගත මොහස්ස” යනාදී ගාථා දසයෙකින් බුදුගුණ කියා. මම් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකිමි” යි කී ය.

සිටුහුගේ කථාව ඇසීමෙන් නාතපුත්තයෝ බලවත් ශෝකයට වැටුණහ. ඉතින් අපි නටුවම් හැ” යි කී ය. බලවත් ශෝකයෙන් හුණු වූ බැවින් ඔවුන්ගේ මුවින් පාත්‍රයක් පමණ ලේ වමන විය. සව්වෝ ඔවුන් හැදෙකින් පාවා නුවර ඔවුන් අසපුවට ගෙන ගියහ. හේ නොබෝ දිනෙකින් මළේ ය.

භාග්‍යවතුන් වහන්සේ පාවාරිකම්බවනයෙන් නික්ම වඩනාසේක්. මල්ල රටැ පාවා පුර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවනයට වැඩි සේක. එහි වෙහෙරෙහි වැඩ ඉන්නා සෙමෙහි පාවා නුවර මල්ල රජුන් ගෙන් ඔවුන් විසින් අළුත ම කැරැවුණ සන්ථාගාරයට වඩනට නිමැතුමක් ලද සේක. එහි වැඩ, රැස්වැ සිටි මල්ල රජුන් ප්‍රමුඛ මහ පිරිසට දහම් දෙසූ සේක. එදා සැන්දෑවෙහි ඔවුන් හැම නික්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහතෙරුන් බණවා, “සාරිපුත්තයෙනි, මේ භික්ෂු පිරිසට දහමක් දෙසන්න. මා පිට රිදෙයි,[62] මම් ටික වෙලාවක් වැද හෙමි” යි සැතැපුණු සේක.

පාවා නුවර දී නාතපුත්ත නිගණ්ඨයන් කලුරිය කළේ මෙ සමයෙහි ය. නාතපුත්තයන්ගේ මරණින් පසු ඔවුන් සව්වන් අතර ඔවුන් දෙසූ ධර්මවිනය පිළිබඳ ව විවිධ මත නැංගෙන් නිගණ්ඨ සව්වන් අතර කලහ විවාද ඇති විය.

සාරිපුත්ත තෙරණුවෝ නුවටන් අතරැ නංග ගැටුම් සඳහන් කොට සම්‍යක්සම්බුද්ධ නොවන්නකු ගේ අනෛර්යාණික වූ සස්නැ එසේ කලහ විවාද ඇති වනු ස්වභාව සිද්‍ධියෙකි. එහෙත් අප භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුධයන් වහන්සේ වදාළ ධර්මවිනයය නෛර්යාණිකය, එහි ඔබ හැම ඒක මතික විය යුතු ය. එය එකට සංගායන කටයුතු ය. එය බොහෝ දෙනාගේ හිත සුව පිණිස වන්නේ යැ යි වදාරා, එක් ධර්මය, ධර්ම දෙක, ධර්ම තුන යනාදී පිළි‍වෙලින් ගලපා බුද්‍ධ වචනය සැකෙවින් වදාළහ. භාග්‍යවතුන් වහන්සේ එය අසා “සාරිපුත්තයෙනි තොප මේ සංගීති පර්යාය දෙසූසේ මැනැවැ” යි එය අනුදත් සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ ධරමාණ කාලයෙහි ම ඔබ ඉදිරියේ ම කළ ධර්ම සංගායනාවක් වැන්නෙකි. මෙය දෙසන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයට අට වසකට පෙර නාතපුත්ත නිගණ්ඨයාණන් කලුරිය කළ අළුත ය.

ඡත්තපාණී උපාසකතුමා

සැවැත් නුවර ත්‍රිපිටකධාරී ඡත්‍රපාණී නම් අනාගාමී උපාසකයෙක් වීය. හෙ තෙම දිනෙක ඉතා උදය ම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ බණ අසමින් උන්නේ ය. ටික වේලාවෙකින් ප්‍රසෙනජිත් කෝශල රජ තුමා ද භාග්‍යවතුන් වහන්සේ දැකීමට ආයේ ය. එන්නාවූ රජු දැක නැඟිටි ය යුතු ද නැද්දැයි සිතා බැලූ උපාසක තෙම “අග්‍ර රාජ වූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හිඳ, මේ ප්‍රදේශ රජකු දැක නැඟිටීම යුතු නැත. රජු තරහ විය හැක්ක, එහෙත් නො නැඟිටිමි” යි ඉටා නො නැඟිට ම උන්නේ ය. රජු ඔහු නො නැඟිට හුන්නාහු දැක කිපී කිසිත් නොකියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳ ගත්තේ ය. රජු උපාසකතුමා කෙරේ කිපුණු බව දත් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තතු වදාරන සේක්, මහරජ මේ ඡත්ත්‍රපාණී උපාසක තෙම පණ්ඩිතය, සත්‍යවබෝධය කළ කෙනෙක, ත්‍රිපිටකධර ය, වැඩ අවැඩ දැනීමෙහි සමර්ථ නුවණැත්තෙකැ” යි වදාළ සේක. එය ඇසූ රජු ගේ සිත මෘදු වූයේ ය.[63]

නැවත දිනෙක රජ සිය පහයේ මතු මහල් තෙලෙහි සිට නුවර දෙස බලන්නේ දිවා භෝජනයෙන් පසු කුඩයක් ගෙන පා වහන් ලා රජ ගෙයි මිදුලින් යන ඡත්ත්‍රපාණී උපාසකයා දැක කැඳවීය. හේ ද කුඩය හා පා වහන් ඉවත් කොට රජු වෙත ගොස් වැඳ පසෙක සිටියේ ය.

ඉක්බිති පහත සඳහන් පරිදි ඒ දෙදෙනා ගේ සල්ලාපයෙක් වී ය.

රජ - ඇයි, ඉසැ ලාගෙන ආ කුඩයත් පා වහනුත් ඉවත් කෙළේ.

උපාසක - ඔබ වහන්සේ මා කැඳවා යැවූ බව අසා.

රජ - අප රජ බව දැන ගත්තේ අද ද?

උපාසක - නැහැ දේවයන් වහන්ස, අපි කවදත් ඒ බව දනිමු.

රජ - එහෙනම් එදා ශාස්තෘන් වහන්සේ සමීපයේ දී අප දැක නො නැගිටේ?

උපාසක - දේවයිනි, ලෝකාග්‍ර මහරජාණන් වහන්සේ ළඟ හිඳ ඔබ වැනි ප්‍රදේශ රජකු දැක නැගිට්ටෙම් නම් එය උන් වහන්සේ ට ගෞරව කිරීමක් නොවේ. එබැවින් නො නැගිට්ටෙමි.

රජ - එසේ වේවා! ඔබ පණ්ඩිත ධර්මධර උගත් කෙනෙකු බව අසා ඇත්තෙමි. එ බැවින් අපේ අන්තඃපුරයේ ස්ත්‍රීනට බණ උගන්වන්නට ඔබට හැකි ද?

උපාසක - බැහැ ස්වාමිනී.

රජ - ඇයි බැරි?

උපාසක - රජ ගෙවල කටයුතු බැරෑරුම් ය. ඒවායේ හැසිර පුරුද්දකුත් අපට නැත. එ හෙයින් බැහැ මේ අමුතු නො පුරුදු කටයුත්තක් කරන්නට.

රජ - එසේ නො කියන්න. එ දා මා දැක නැඟී නො සිටියාට මගේ අමනාපයක් ඇතැ යි සැක නොකරන්න.

උපාසක - දේවයන් වහන්ස, ගිහින් වසන තෙන බොහෝ සම්බාධ සහිත ය. එක් ප්‍රව්‍රජිතයන් වහන්සේ නමක් කැඳවා ලා ම බණ කියැවීම වඩා මැනැවි.

රජ - හොඳා, ඔබ එහෙනම් යන්න.

ඉක්බිති, රජ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් පන්සීයක් භික්ෂූන් කැටිව රජ ගෙට වැඩ බණ උගන්වන්නට භාග්‍යවතුන් වහන්සේට ආයාචන කෙළේ ය.

“මහරජ. නිතර එක් තැනට ම එළැඹීම බුදුවරයන්ගේ සිරිත නො වේ. බොහෝ දෙනාට වැඩ සිදු කරන්නට ඇති හෙයිනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ නම් එය එක් භික්ෂූන් වහන්සේ නමකට බාර කළ මැනැව”යි රජ කී ය.

රජ ගෙයි බණ ඉගැන්වීම

භාග්‍යවතුන් වහන්සේ එය අනඳ මහ තෙරුනට පැවැරූ සේක. එ තැන් පටන් අනඳ තෙරණුවෝ නිතර රජගෙට වැඩ බණ උගන්වති. රජුගේ ප්‍රධාන බිසෝ වූ මල්ලිකා, වාසභක්ඛත්තියා යන දෙදෙනා අතුරෙන් මල්ලිකා බිසව මනා ව ධර්මය උගනියි. නිසි සේ පාඩම් ද වෙයි. වාසභක්ඛත්තියා තොම ඉගැන්ම වත් සකසා නොකරයි. දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය, කිමෙක් ද? බිසෝවරු බණ උගනිද්දැ? යි ඇසූ සේක. “එසේ ය ස්වාමීනි” යි තෙරණුවෝ උත්තර දුන්හ. උන් ගෙන් කවරෙක් වඩා හොඳට ඕනෑකමින් මනාව බණ උගනී දැ?” යි පුළුවුත් සේක. “ස්වාමීනි, මල්ලිකාවෝ ඕනෑකමින් මනා ව බණ උගනිති. ඉගෙන ගන්නා සැටිත් පාඩම් කරන සැටිත් පාඩම් දෙන සැටිත් යහපත, ඔබ වහන්සේ ගේ නෑයන්ගේ දූ වූ වාසභක්ඛත්තියාවෝ ඕනෑකමින් ඉගැනීම නො කරති” යි තෙරණුවෝ කීහ. එවිට බුදුරජාණන් වහන්සේ,

“ආනන්දය. මා දෙසූ ධර්මය ඕනෑ කමින් ඇසීම ඉගෙනීම පාඩම් කිරීම ඒ වූ පරිදි පිළිපැදීම නොකරන තැනැත්තට ඵල නැත. කෙසේ ද යත්? පෑය ඇතත් සුවඳ නැති මල පැලැඳීමෙන් ශරීරයේ සුවඳ පැතිරීම නොවන්නාක් මෙනි. මනා ව ශ්‍රවණාදිය කරන තැනැත්තාට ම ය ශ්‍රවණාදියෙන් ප්‍රයෝජන ඇත්තේ” යි 202 ආදීන් වදාළ සේක.

කාල නම් සිටු පුත්‍රයා

සැවැත් නුවර අනේ පිඬු සිටුහු ගේ කාල නම් පුත්‍රයෙක් විය. එ තරම් සැදැහැවත් උතුමකු ගේ පුතකු වුවත් මහා විහාරයකට යන්නට වත් සිය ගෙට භාග්‍යවතුන් වැඩි විටෙක උන් වහන්සේ දක්නට ඊමට වත් බණ අහන්නට වත් සංඝයාට වතාවත් කරන්නට වත් හේ නො කැමැත්තේ ය. අනේපිඬු සිටුහු කොතරම් අවවාද කළත් හෙ තෙම එය නොතකයි. පුත්‍රයා හොඳ මගෙක යොදන උපායක් විමසන සිටුතෙම එක් දවසක මුදල් දීමෙන් වත් මොහු හොඳ මඟෙක යෙදවිය හැකි” යි සිතා ගෙන පෙහෙවස් සමාදන් කොට ගෙන වෙහෙරට ගොස් බණ අසා ආවොත් කහවණු සීයක් දෙන්නෙම්” යැ යි කී ය. හෙ තෙම තුන් වරක් ම පියා ගෙන් ප්‍රතිඥා ගෙන පෙහෙවස් සමාදන් කොට ගෙන වෙහෙරට ගියේ ය. එහෙත් බණ ඇසීමට ඔහුට කිසි ඕනෑකමෙක් නැත. එ බැවින් හේ පහසු තැනෙක හෙව පසු දා ගෙට ගියේ ය. සිටුතෙම “මගේ පුතා පෙහෙවස් වැස එන්නේ යැ”යි සතුටු වැ වහා ඔහුට කැඳ බත් ආදිය පිළියෙළ කරවා දුන්නේ ය. එහෙත් සිටු පුත් තෙම පොරොන්දු මුදල දෙනතුරු ඒ කිසි ආහාර පානයක් නො පිළි ගත්තේ ය. සිටුහු කහවණු සියය ඔහුට දුන් පසු ම වැළඳුවේ ය. නැවත දෙවෙනි දිනයෙක සිටු තෙම පුතුට කතා කොට “පුත, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහි සිට එක බණ පදයක් ඉගෙන එතොත් කහවණු දහසක් දෙන්නෙමි” යි කියා ඔහු විහාරයට යැවී ය. සිටු පුත් ද විහාරයට ගොස් එක බණ පදයක් ම ඉගෙන පැන යන අදහස ඇත්තේ වී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු අදහස් දැන ඔහුට අර්ථ මිස පද අවුලා ගත නොහෙන සේ බණ වදාළ සේක.

“අන් අන් පදයක් උගනිමි” යි සිත සිතා අසන තැනැත්තේ අවසානය දක්වා ම මොනොවට බණ ඇසුයේ ය. පද සිත තැබිය නො හැකි වුව ද සියලු ධර්ම කථාවේ අර්ථ අවබෝධ කැර ගත හැකි විය. මෙසේ දේශනාවසානයේ දී හේ සෝවාන් වී ය.

රෑ බණ අසා පසු දා උදේ බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා කැටුව ම සැවැත් පුර ආ ඔහු දුටු අනේ පිඬු සිටු තෙම අද මා පුතාගේ සැටිය යහපතැ” යි සිතුයේ ය. කාල තෙමේ ද ම පියාණන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී කහවණු නො දුන්නොත්, කහවනු කරුණින් පෙහෙවස් රැකි බව නොම ඇඟෙව්වොත් මැනැවැ” යි සිතූයේ ය.

සිටු තෙම බුද්‍ධ ප්‍රමුඛ සංඝයා වළඳවා පුත්‍රයාට ද ආහාර දෙවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී ම කහවණු දහසින් බැඳි පියල්ලක් සිටු කුමරුට දුන්නේ ය. කාල තෙම ලජ්ජායෙන් හැකිලී “මට වුවමනා කහවණුවක් නැතැ” යි කී ය. “ගනුව”යි පියා කියද්දීත් හේ නොම ගත්තේ ය.

“වහන්ස, අද මා පුතුගේ සැටිය මනා යැ” යි සිටු කී කල භාග්‍යවතුන් වහන්සේ “ඒ කිම් දැ?”යි ඇසූ සේක. සිටු තෙම සියලු ප්‍රවෘත්තිය සැළ කෙළේ ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ,

“ගෘහපතිය, අද නුඹේ පුත්‍රයාට ඔබඳු මුදලක් සුළු වන්නේ පුදුම නො වේ. “චක්‍රවර්ති රාජ්‍යයටත් දිව්‍ය බ්‍රහ්ම සම්පත්තියකටත් මුළු ලොවේ අධිපතිකමටත් වඩා සෝවාන් බව ඔහුට උතුම් වේ” 203 යැ යි වදාරා මෙය මුල් කොට දහම් දෙසූ සේක. දේශනාවසානයේ දී බොහෝ දෙනා ස්‍රෝත ආපත්ති ඵලාදියට පත් වූහ.

සුන්දරික භාරද්වාජයා දමිත කිරීම

කොසොල් රට සුන්දරික භාරද්වාජ නම් බමුණෙක් විය. දිනෙක හෙ තෙම සුන්දරිකා නදිය සමීපයෙහි ගිනි දෙවියා කිරි බතින් පිදී ය. කිරිබත් ගිනි ගොඩේ ලා ගිනි දල්වා තවත් ඉතිරි වූ කිරිබත් දැක මෙසේ ගින්නේ ලූ මේ කිරිබත් මහාබ්‍රහ්මයා වැළැඳුයේ ය. තවත් ඉතිරි ව ඇත. ඒවා බ්‍රහ්මයා ගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයකුට ම දුන්නොත් පියාත් පුත්‍රයාත් සන්තර්පිත කළා නම් වේ. එසේ කිරීම බඹලොව යන මඟ හෙළි කළා නම් වේ යැ” යි සිතුයේ ය.

බුදු රජුන් හිස පටන් වසා පොරවා හිඳීම

මෙසේ සිතා බමුණකු දක්නා පිණිස වට පිට බලන්නේ රුකක් මුල හිස සිට වසා පොරොවා ඉන්නා තැනැත්තකු දුටුයේ ය. ඒ හුන්නේ අන් කිසිවෙක් නොවේ. බුදු රජාණන් වහන්සේ ය. එසේ කුමට උන් සේක් ද යත්:

එ දින අලුයම් හි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණා කරන නිෂ්ඵල ක්‍රියාව දැක “ඔහු නිසි මඟ යවමි”යි සිතා එහි වැඩියහ. ඈතදී ම භාග්‍යවතුන් වහන්සේ අඳුනා ගත්තොත් බමුණා ළඟට නේ යි. ඇඳින ගත් සැටියේ නෑවිත් ආපසු යයි. එ බැවින් ඔහු ළඟට ගෙන්වනු පිණිස ඉහත සඳහන් පරිදි හිස සිට වසා පොරොවා හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ දුටු බමුණු තෙම “මේ රෑ මුළුල්ලේ ධ්‍යාන වැඩු බ්‍රාහ්මණයෙකැ” යි සිතා සතුටු වැ සමීපයට ආයේ ය. එ විට බුදුරජාණන් වහන්සේ හිස විවෘත කළ සේක. බමුණා ලුහුඬු හිසකේ දැක “මේ හිස මුඩු කෙනෙකැ” යි කියා වැඩි දුරටත් පරීක්ෂා කරන්නේ හිසැ ශිඛාව පමණකුත් නො දැක, පිරිහෙළන්නේ “මුණ්ඩකයෙක් මැ” යි කීයේ ය. මෙ සේ කියා එතැනින් ම ආපසු යන්නට හැරුණේ නැවත ද කොහොමටත් සමහර බමුණෝ හිස මුඩු කළෝත් ඇත. ගොස් ජාති විචාරන්නෙ”මි යි සිතී ය. මෙ සේ සිතා භාග්‍යවතුන් වහන්සේට තවත් ළං වැ ඔබ මොන ජාතියෙක දැ” යි විචාළේ ය.

එ විට බුදුරජාණන් වහන්සේ, “දානය මහත් ඵල කැරැ ගන්නා අදහස ඇත්තෙහි නම් ජාතිය නො විචාරච, ශිලාදී ගුණ විශේෂය ම විචාරව. ඒ විශේෂ ගුණය ම දක්ෂිණාර්හ බවට කරුණු වේ. දර කෙබඳු වුවත් ඉන් හටගන්නා ගින්න ම අග්නි කෘත්‍යය සිදු කරයි. එ බැවින් පහත් කුලයෙක උපන්නකු වුව ද මුනි ගුණයෙන් යුක්ත නම්, වීර්‍ය්‍යවත් නම්, කාරණාකාරණ දක්නා නුවණ ඇත්තේ නම්, පවට පිළිකුල් කොට පවින් දුරුව සිටී නම්, පරමාර්ථ සත්‍යාව බෝධයෙන් දාන්ත වූයේ නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම් සතර මාර්ග ඥානයෙන් කෙලෙසුන් ගෙන් එ තෙරට ගියේ නම්, වැස නිම වූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ නම්, ඒ පරමාථ බ්‍රාහ්මණයා ම යඥය පිළිගැනීමට, පිදිය යුතු දෑ පිළියෙල කළ තැනැත්තේ කැඳවා වා ඉන්ද්‍ර දෙවියා කැඳවමු, සෝම දෙවියා කැඳවමු, වරුණ දෙවියා කැඳවමු යන ආදී වූ කැඳවීම් නිරර්ථක ය. “වහන්ස, දැන් කාලයැ”යි කියා සුදුසු වේලායෙහි රහතුන් කැඳවා සිවු පසයෙන් සත්කාර කෙරේ නම් ඒ තැනැත්තේ පූජාර්හයන් යාගයෙන් පුදන්නේ නම් වේ. අචේතනික වූ ගින්නෙහි පූජා භාණ්ඩ හෙළීම නිසි යාග කිරීමක් නම් නො වේයැ” යි වදාළ සේක.

මෙ කථාව ඇසූ බමුණා පැහැදී “මේ තාක් ඔබ වැනි සැබෑ බ්‍රාහ්මණයන් නැති කමින් අනෙකෙක් දක්ෂිණාව පිළිගත්තේ ය” යන ආදීන් කියා භාග්‍යවතුන් වහන්සේ ට භෝජන පිළිගැන්වීය. ගාථා කියා ලත් භෝජනය නො වළඳන බව කියා භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක.

එවිට බමුණු තෙම යාගාවශිෂ්ට කිරිබත ජලයෙහි ලා අවුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පසෙක සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මතු සඳහන් පරිදි වදාළ සේක.

“බ්‍රාහ්මණය, දර පිළිස්සීමෙන් ශුද්‍ධියෙක් නො වේ. දර පිළිස්සීම ආර්‍ය්‍ය ධර්මයෙන් බාහිර වැඩෙකි. එයින් ශුද්‍ධියක් ලැබෙතොත් මිණී පුළුස්සන්නන් බොහෝ දර පුළුස්සන බැවින්, අන් අයට පළමුවෙන් ඔවුන් ශුද්ධ විය යුතු යි. බාහිර දඬු කැබැලි පුළුස්සා ශුද්‍ධියක් බලාපොරොත්තු වීමෙන් එය ලබන බවක් නුවණැත්තෝ නොකියත්. බ්‍රාහ්මණය, මම නම් දර කැබැලි ගොඩ ගසා එහි ගිනි දැල්වීම නො කරමි. මාගේ චිත්ත සන්තානයෙහි ම ඥාන නැමැති ගින්න දල්වමි. ආවර්ජන ප්‍රතිබඬ වූ සියල්ල දක්නා නුවණ නැමැති ගින්නේ නිතර දිලිසෙමි. නිතර මනා ව තැන්පත් වූ සිතැත්තෙමි. (බෝ මැඩ දී) සම්පූර්ණ කළ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තෙමි. පූජාර්හ වෙමි. බ්‍රාහ්මණය, නුඹේ මාන ය නුඹ උසුලා ගෙන තිබෙන මහත් යාග ද්‍රව්‍ය බරෙකි. නුඹේ සිතෙහි වූ ක්‍රෝධය ඥාන ගින්න කෙලෙසන දුම ය. මුසාවාදය ඥාන ගින්න ඇවිලෙන්නට නොදී වසා ගත් අළු ගොඩ ය.

බ්‍රාහ්මණය, ඔබේ යාගයට රන් රිදී ආදියෙන් කළ යාග හැන්දක් යම් සේ පාවිච්චි කෙරෙත් ද, එසේ ම මගේ ධර්ම යාගයටත් මගේ පුළුල් වූ දිව නැමැති යාග හැන්ද පාවිච්චි කරමි. ඔබේ යාගය නදී තීරයෙහිය. මගේ ධර්ම යාගය සත්වයන්ගේ හෘදයෙහි කරමි. ඒ ඒ තැනැත්තා ගේ දාන්ත වූ සිත ගිනිදැල්ල නම් වේ. ඔබ යාගයෙන් පසු සුන්දරිකා නදියෙහි නාති. මම නම් ඒ ඒ සත්වයන් ආර්‍ය්‍යෂ්ටාංගික මාර්ග නැමැති දිය වළෙහි නාවමි. ඒ දිය වළට බසිනා තොට නම් සතර පිරිසිදු ශීලය යි. ඔබ නාන දිය වළැ කීප දෙනෙකුන් නාන විට කැළැඹෙතත් මගෙ ආර්‍ය්‍යෂ්ටාංගික මාර්ගය නැමැති දිය වළ අසංඛ්‍ය ගණන් සත්ත්වයන් නෑමෙනුත් නො කැළඹෙයි. ඒ ම උතුම් වේ. උතුමන් විසින් ප්‍රශස්ත ද වේ. එහි නෑ ප්‍රඥාවත්හු කෙලෙස් දූලි ඉවත් කැරැ ගැන්මෙන් පිරිසිදු ව නිවන් නැමැති පරතෙරට යත්. ආර්‍ය්‍යෂ්ටාංගික මාර්ගය බ්‍රහ්මචර්‍ය්‍යාව යි. සැබෑ බ්‍රහ්ම භූමිය ශාශ්වත උච්ඡේද යන දෘෂ්ටි දෙකට අතරැවූ මධ්‍යම ප්‍රතිපත්තිය පිරීමෙන් ම ලැබිය යුතු වේ. මෙසේ නිසිමග ගොස් සිතේ කෙලෙස් වංක ගතිය දුරු කරැ ගත් සෘජු වූ රහතන්ට නමස්කාර කරව. යටැ කී සේ ගුණ දම් වැඩීමෙන් සැබෑ උතුම් මාර්ගය ම වැඩූ තැනැත්තාට “ධර්මසාරී” (කුසල් දහමින් අකුසල් ඉවත යවා දුරුකොට සිටි) පුද්ගලයා යැ යි කියමි.”

මේ වචන ඇසූ බමුණා ඉතා ප්‍රසන්න වැ, භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කොට තෙරුවන් සරණ ගොස් පැවිදි ව උපසම්පදාව ලබා, විදසුන් වඩන්නේ නොබෝ කලෙකින් රහත් වූයේ ය.

පාළු වූ කෙතක් ඇති මිසදිටු බමුණකු පැහැදවීම

මිසදිටු බමුණෙක් අචිරවතී ගඟ අද්දර කුඹුරක් ඉදි කෙළේ ය. පිඬු පිණිස වඩනා බුදුරජාණන් වහන්සේ ඔහු ගේ ගොයම් නැසෙන බව ද එයින් ශෝකයට පත් වන ඔහු බණ අසා සෝවාන් වන බව ද නුවණින් දැක, තද මිසදිටුවකු වූ ඔහු ගේ සිත ක්‍රමයෙන් මෘදු කරනු පිණිස, ඔහු බිම් නඟන කෙතට වැඩි සේක. බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේ දැකත් තුෂ්ණිම්භූත විය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඔහු අමතා “බ්‍රාහ්මණය, කුමක් කෙරෙහි දැ?” යි ඇසූ සේක. එ විට “පින්වත් ගෞතමය, කෙතෙක් ඉදි කරමි” යි හේ කී ය.

වපුරන නෙළන කාලයන්හි ද ගොයම් රක්නා කල්හි ද බුදුරජාණන් වහන්සේ එහි වැඩ “කුමක් කෙරෙහි දැ?” යි අසන සේක. බමුණා ද තමා කරන කටයුත්ත මේ මේ යැයි දන්වයි. යලි යලි එහි වැඩ තොරතුරු විචාරන බුදුරජාණන් වහන්සේට දිනෙක “පින්වත් ගෞතමයිනි, බිම් ඉදි කරන කාලයේ පටන් කොට ඔබ මෙහි යලි යලි වැඩ පිළිසඳර කථා කරති. එ බැවින් මෙය පැසුණු විට ඔබටත් කොටසක් දෙමි. ඔබට නොදී නො කමි. ඔබ මෙතන් පටන් මගේ යහළුවෙකැ” යි බමුණා කී ය.

කල් යෑමේ දී ගොයම් පැසුණේ ය. “හෙට ගොයම් කපන්නෙමි” යි සිතා සැරැසී සිටි නමුත් රෑ මහ වැසි වැස ගොයම් සියල්ල වැහි වතුරෙන් ඉදිරී ගසා ගෙන ගියෙන් කුඹුර සැස්සාක් මෙන් හිස් විය. පසු දා එය දුටු බමුණා හටගත් බලවත් ශෝක ඇත්තේ “මම කුඹුර ඉදි කිරීමේ සිට ම ශ්‍රමණ ගෞතමයෝ මෙහි ආහ. ගොයම් පැසුණ කල එ තුමනට කොටසක් දෙන බව ද කීමි. අහෝ ! ඒ මා තුළ වූ බලාපොරොත්තු දැන් සුන් වී යැ”යි සිතමින් කෑම ද නො කා තැවි තැවී ඇඳක වැද හොත්තේ ය.

එදින බුදුරජාණන් වහන්සේ ඒ ගෙ දොරට වැඩි සේක. ඒ බව ඇසූ බමුණා උන් වහන්සේ කැඳවා “ඉඳ ගන්නට සලස්වවු” යැ යි පිරිවර ජනයාට අණ කෙළේ ය. ඔහු ද එසේ කළහ. බුදුරජාණන් වහන්සේ ද වැඩහිඳ “බ්‍රාහ්මණයා කොයි දැ?” යි ඇසූ සේක. “යහන් ගැබැය” යි කී කල “කැඳවා ගෙන එවු යැ” යි වදාළ සේක. ඉක්බිති එහි පැමිණි බමුණාට “කිමෙක් ද බ්‍රාහ්මණ යැ” යි වදාළ සේක. බමුණා ද කෙත ඉදිකිරීමේ පටන් කොට සියල් පවත් කියා, “මම කුඹුර පැසුණි නම් ඔබට කොටසක් දෙමි” යි කීමි, එය ඉටු කළ හැකි නො වමි. ගොයම් නැසුණාටත් වඩා ඒ ගැන මහත් ශෝකයට පත් ව හිඳිමි” යි කී ය. “බ්‍රාහ්මණය, ශෝකයට හේතුව දන්නෙහිදැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “නො දනිමි, ඔබ දනිත් දැ” යි බමුණා ඇසුයේ ය. “එ සේ ය. මම දනිමි යි වදාරා “බ්‍රාහ්මණය, ශෝකය හෝ භය හෝ කුමක් වුවත් ඒ සියලු දුක තෘෂ්ණා හේතුයෙන් උපදී204 යැ” යි වදාරා දම් දෙසා ඔහු සැනැසූ සේක. දේශනාවසානයේ දී බමුණා සෝවාන් පෙලෙහි පිහිටියේ ය.

රජ්ජුමාලා

උරුවෙල් දනව්වේ ගයා නුවර බමුණු ගෙයක දාසියක් වීය. ඒ ගෙයි බමුණා ගේ ලේලියට ඒ දාසිය නොරුස්සන්නී ය. දාසිය පෙනෙන විට ඇයට දැඩි කෝප ඇති වේ. ඇතැම් විට ඕ කිසි ම වරදක් නැතිව, කොංඩයෙන් අල්ලා ගෙන ඇයට තළයි. නිතර ම පාහේ කැරෙන මේ අතෝරය ඉවසිය නො හී දවසෙක ඒ දාසී අම්බැට්ටයකු ලවා තම දික් කෙස් වැටිය සිඳුවා හිස බාවා ගත්තාය. ස්වාමිනී ඇය හිස මුඩු කරවා ගත්තිය දැක කලටත් වඩා කිපී ඇය බෙල්ලෙහි ලනුවක් බැඳ එයින් අල්ලා ගෙන තැළුවා ය. බෙල්ලෙහි මාලාවක් සේ නිතර එල්ලෙන ලනු පට ඇති බැවින් එ තැන් සිට ඕ රජ්ජුමාලා නම් වූවා ය. දවසෙක ඕ ස්වාමිනිය ගේ තැළුම් පෙළුම් ඉවසිය නො හී වතුර ගෙනෙන්නට යන්නියක සේ කළය ගෙන නික්මුණා ය. වන ලැහැබකට ගොස්, “අනේ මෙහෙ ම ජීවත් වීමෙන් මට මොන ප්‍රයෝජනයක්ද? මෙ තැනම දිවි නසා ගන්නෙමි” යි සිතුවා ය. ඉක්බිති ලනුවක් ගහක බැඳ මල පුඩුවක් ද සාදා බෙල්ලෙහි වැල ලා ගන්නට සැරැසෙන්නී, ළඟ කිසිවෙක් ඇද්දෝ යි හාත්පස බැලුවා ය.

එ දා පාන්දොර නුවණින් ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ ඇය එල්ලී මැරෙන්නට සැරසෙනු දැක, කලින් ම එහි වැඩ ගසක් මුලැ හුන් සේක. වට පිට බැලූ රජ්ජුමාලා රන් පැහැති සිරුරින් බබළමින් ගසක් මුල ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දෙස බලා ගත් වණ ම සිටින්නී සිය ඇස උන් වහන්සේ වෙතින් ඉවතට ගත නො හැකි වූවා ය. මහා කාරුණිකයන් වහන්සේ ඇයට කතා කොට, “දුවේ රජ්ජුමාලා, එල්ලී මැරෙන්න එපා! දුවේ මා වෙත එන්න.” කියා අඬ ගසා වදාළ සේක. එය ඇසුණු කෙණෙහි ම ඇගේ සියලු දුක් අමතක විය. අමා දහරින් නෑවුණු කලෙක සෙයින් ඇය සිත මහත් සැනැසුම් ඇති විය. ඕ මහත් ම භක්ති ප්‍රේමයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් පා පියුම් වැඳ පැත්තකට වී හුන්නාය. භාග්‍යවතුන් වහන්සේ ඇයට ධර්මාවවාද කළ සේක. නිවී ගිය සිතැති ඕ ඒ දහම් අසා සත්‍යාවබෝධය කළාය. සෝවාන් පෙලෙහි පිහිටියා ය. දිවි යතත් සතකු නො පෙළන, තම දිවි නසන සතුරනට ද මෙත් වඩන දයායෙන් පිරි ආර්‍ය්‍යාවක් වූවා ය.

ඉක්බිති ඕ භාග්‍යවතුන් වහන්සේ වැඳ සමු ගෙන, “මගේ ස්වාමිනිය මට ගැසුවත් මැරුවත් කමෙක් නැත. මගේ දුවකට මෙන් ඇයට මෙත් වඩමි” යි ඉටා ගෙන, කළයෙන් පැනුත් ගෙන, “සියලු සත්හු සුවපත් වෙත්වා”යි මෙත් වඩමින් ගේ අතට ගියා ය. ගෙහි ප්‍රධාන බමුණා මෛත්‍රීන් බබළන මුහුණැති ඇය දැක, ඇගේ මෙත් බලයෙන් වසඟ වූයේ, “දුව, වතුර ගෙනෙන්නට ගොස් මෙතෙක් වේලා ගත කෙළේ හැයි ද? අද තිගේ මුහුණ ඉතා ම බබළයි. අද වෙනදා සේ නොව ආදරයෙන් ගෙයි කටයුතු කරනු පෙනෙයි. මෙසේ වන්නට කරුණු කිම් දැ?” යි ඇසී ය. එවිට රජ්ජුමාලා කියන්නී, “අද මම් ලොවෙහි එක ම පියාණන් වහසේ වූ බුදු රජුන් සරණ ගියෙමි. තුනුරුවනට දිවි පිදීමි. එ බැවින් ස්වාමිනිය මා මරතත් මෛත්‍රිය ම වඩමි. මගෙන් මෙයින් පෙර සිදු වූ වරදට කමා වුව මැනැවැ” යි කීවා ය. එයැසූ බමුණා “අපේ බුදුරජාණෝ මහෝත්තම කෙනෙක. රජ්ජුමාලා හොඳ තැනැත්තියක් වූවා” යි සිතා තම ලේලිය වෙත ගොස් “දුවේ, අදින් පස්සේ මගේ රජ්ජුමාලාට මොන ම පීඩාවක් වත් නො කරන්නැ”යි අවවාද කෙළේ ය.

ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස්, උන් වහන්සේ වැඩම කරවාගෙන අවුත් මහත් භක්තියෙන් දන් වැළැඳැවූහ. භාග්‍යවතුන් වහන්සේ වැඩි බව අසා නුවර වැසියෝ එහි රැස් වූහ. රජ්ජුමාලාවට පීඩා කළ තරුණි ද අවුත් වැඳ පසෙක උන්නී ය. භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනා ගේ සිත් නිවමින් දම් දෙසූ සේක. තරුණ බැමිණිය ගේ සිත මොළොක් විය. ඕ තෙරුවන් කෙරේ මහත් සේ පැහැදුනා ය. හැම සතුන් කෙරේ මෙත් කුළුණු වඩන්නියක් වූවා ය. “මෙයින් පසු රජ්ජුමාලා මා මැරුවත් ඇයට සිතින් වත් අවැඩක් නො සිතමි” යි ඉටා ගත්තීය. මහළු බමුණා ඉතා සතුටුවැ, “රජ්ජුමාලා, අද සිට තෝ මගේ දාසියක් නො වෙයි. අද සිට තෝ මගේ දුවෙකැ” යි කියා ඇය දූ තන්හි තැබී ය. තරුණ බැමිණි ද රජ්ජුමාලාවට එක් කුස උපන් සොහොයුරියකට මෙන් ආදරයෙන් සැලැකුවා ය.

පුත්‍රයන් විසින් පිටමං කරන ලද අනාථ බමුණකුට පිහිට වීම

සැවැත් නුවර ධනවත් බමුණෙක් විය. ඔහු ගේ පුත්තු සතර දෙනෙකි. හේ වැඩි වයසට පත් ඔවුනට කුමරියන් ආවාහ කොට දී වස්තු යෙන් සාර ලක්ෂයක් ද දුන්නේ ය. කල් යෑමේ දී බැමිණි කලුරිය කළා ය. ඉන් පසු බමුණා ගේ පුත්තු සිවුදෙන “පිය බමුණා අන් බිරියක ගෙන්වා දෝ”යි සැක කොට එයට පළමු ඔහු රවටා ඉතිරි ධනය ද තමන් අතට ගන්නා අදහසින් හැම පරිද්දෙන් ඔහුට උපස්ථාන කරන්නෝ ය. දිනක් බමුණා දවල් නින්දෙන් නැඟී සිටි කල ඔහු සිවු දෙන ඔහු ගේ අත් පා මිරිකන්නෝ, එක එකා වෙන වෙන ම ගිහි ගෙයි වීසීමේ දොස් දක්වමින් “මෙ පරිද්දෙන් ම දිවි ඇති තෙක් අපි ඔබට උපස්ථාන කරම් හ. ඉතිරි වස්තුවක් දුන මැනැවැ”යි කීහ. බමුණා ද එක එකාට ලක්ෂය බැගින් ඉතිරි ධනය ද සිවු දෙනාට බෙදා දුන්නේ ය. ටික දිනකින් කියා ලූ පරිදිම වැඩි මහළු පුත් ඔහුට උපස්ථාන කෙළේ ය. කිහිප දිනකට පසු දවසෙක නාගෙන ගෙට එන බමුණාට වැඩි මාළු පුතු ගේ භාර්‍ය්‍යාව කථා කොට “වැඩි මාළු පුතාට සීයක් හෝ දාහක් වැඩි පුර දුන්නෙහි ද? කාටත් වස්තුව බෙදා දුන්නේ සරි සරියේ නො වේ ද? ඇයි ද? සෙසු පුතුන් ගේ ගෙවලට පාර දන්නේ නැද්ද?” යි ඇසුවා ය. එය ඇසූ බමුණා කුපිත වැ “වසලි” යැයි බැණ වැදී අන් පුතකු ගේ ගෙට ගියේ ය. එ තැනිනුත් ටික දිනක් උපස්ථාන ලත් පසු ඒ පුතු ගේ භාර්‍ය්‍යාව ද අන් පුතකු වෙත යන්නට කීයෙන් හේ කුපිත වැ පෙර සේ ම බැණ වැදී තෙවෙනි පුතු කරා ගියේ ය. මේ ක්‍රමයෙන් පුතුන් සතර දෙනාගේ ගෙවලින් ටික ටික උපස්ථාන ලැබ ඉන් නෙරපන ලද්දේ අන්තිමේ දී කිසි ගේකට නොගැනුණේ, සිඟා කමින් කල් ගෙවී ය. කල් යෑමෙන් ඉතා ජරාවට දුර්වල බවට පැමිණි හෙ තෙම මැලැවී ගිය සිරුර ඇත්තේ, දිනෙක සිඟා අවුත් පිළෙක වැද හෙව නිදා නැඟිට, තමාට වූ දෙය සිතා බලා, බුදුරජාණන් වහන්සේ වෙත ගියොත් පිහිටක් ලැබිය හැකියැ”යි සිතා, සිඟන භාජනයත් සැරමිටියත් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ පිළිසඳර කථා කොට සියලු පුවත් දැන්වූයේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “බ්‍රාහ්මණය, එසේ නම් මේ ගාථා ඉගෙන බොහෝ දෙනා රැස් වන තැන පුතුන් ද පැමිණ හුන් කලැ කියන්නැ” යි වදාරා ගාථා පසක් බමුණාට කට පාඩම් කැරැවූ සේක:

යෙහි ජාතෙහි නන්දිස්සං - යෙසං ච භවමිච්ඡිසං

තෙ මං දාරෙහි සම්පුච්ඡ - සා’ව වාරෙන්ති සූකරං

අසන්තා කිර මං ජම්මා - තාත තාතාති භාසරෙ

රක්ඛසා පුත්තරූපෙන - පජභන්ති වයොගතං

අස්සො’ව ජින්නො නිබ්භොගො - ඛාදනා අපනීයති

බාලකානං පිතා ථෙරො - පරාගාරෙසු භික්ඛති

දණ්ඩොව කිර මෙ සෙය්‍යා - යං මෙ පුත්තා අනස්සවා

චණ්ඩම්පි ගොණං වාරෙති - අථො චණ්ඩම්පි කුක්කුරං

අන්ධකාරෙ පුරෙ හොති - ගම්භීරෙ ගාධමෙධති

දණ්ඩස්ස ආනුභාවෙන - ඛලිත්වා පතිතිට්ඨති”.

බමුණා ද මේ ගාථා ඉගෙන බ්‍රාහ්මණයන්ගේ රැස්වීමකට තම පුතුන් සැරසී අවුත් හුන් කල සභා මධ්‍යයට ගොස් අවසර ගෙන ඒ ගාථා ගැයී ය.

ගාථාවල තේරුම :-

උපන් යම් කෙනෙකුන් කරණ කොට සතුටු වීම් ද, ඒ යම් කෙනෙකුන් ගේ දියුණුව පැතීම් ද, එ මගේ පුත්‍රයෝ සිය බිරියන් හා සාකච්ඡා කොට ඌරකු වළක්වන (හඹවන) සුනඛයකු සේ මා වළක්වත් (හඹවත්).

ලාමක වූ අසත්පුරුෂ වූ දරු වෙසින් සිටි එ රාක්ෂයෝ මට පියාණෙනි පියාණෙනි” යි කීහ. එහෙත් ඔහු දැන් වයෝගත වූ මා අත්හරිති.

ජරායෙන් දැදුරු වූ පරිභෝගයට අයෝග්‍ය වූ අශ්වයා කෑමෙන් ඉවත් කරනු ලබන්නාක් මෙන් ඒ බාලයන් ගේ පිය වූ මහලු තෙම කෑමෙන් ඉවත් කරන ලදුව අන් ගෙවල්හි සිඟයි.

මගේ පුත්‍රයෝ යම් හෙයකින් මට යටත් පැවතුම් ඇත්තෝ නොවෙත් ද, එ හෙයින් ඔවුනට වඩා සැරයැටිය ම උතුම්. කුමක් හෙයින් ද? සැරයටිය චණ්ඩ ගවයා වළක්වයි. රෞද්‍ර වූ සුනඛයා ද වළක්වා ලයි.

අඳුරේ යන විට පෙරටු වෙයි. ගැඹුරු දියෙහි යෑමේ දී පිහිට ලබා දෙයි. (පැකිලී වැටෙන්නට යන විට) සැරයටියේ උපකාරයෙන් පිහිටා (නො වැටී) සිටී. එ හෙයිනි.

ඒ කාලයෙහි “පොහොසත් කම ඇති ව සිට සිය මවුන් පියන් නො රක්නහු නැසිය යුතු ය” යි පණතෙක් විය. එ හෙයින් ගාථා ඇසූ බ්‍රාහ්මණ පුත්‍රයෝ සිවු දෙන බියපත් ව පියා ගේ පා මුලැ වැටී “පියේ, අපට ජීවිතය දුන මැනැවැ” යි යාච්ඤා කළහ. බමුණු ද මෘදු වූ සිත් ඇති වැ “මගේ පුතුන් නො නසවු. ඔහු මා රක්නහ” යි කීය. එහි සිටියෝ ද “මින් පසු පියාට උවටන් නො කළොත් තොප වනසන්නමු” යි කියා ඔවුන් බිය ගැන්වූහු. ඔහු ද බිය ව පියා පුටුවෙක හිඳුවා තුමූ ම ඔසොවා ගෙන ගොස් බොහෝ සත්කාර කොට සිය බැමිණියනට ද ඔහුට මනා සේ සත්කාර කරන ලෙස අණ කළහ. මනා ආහාරපානාදියෙන් සංග්‍රහ ලබන බමුණා කීප දිනකින් ම සුවපත් වූයේ, හටගත් කාය බල හා පිනා ගිය ඉඳුරන් ඇත්තේ, “මේ සැපත මට ලැබුණේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ උපකාරයෙන් ය” යි සලකා දිනෙක ත්‍යාග පිණිස වස්ත්‍ර යුගලක් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් සුව දුක් කථා කොට පසෙක හිඳ, වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේ ගේ පා මුල තබා, “ගුරු පඬුරු වශයෙන් මෙය පිළිගත මැනැවැ” යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහු කෙරේ කරුණායෙන් එය පිළිගත් සේක. පිළිගෙන ඔහුට දම් දෙසූ සේක. දේශනාවසානයෙහි බමුණු තෙම උපාසක භාවයෙහි පිහිටා, ගෞතමයන් වහන්ස, මගේ පුතුන් සිවු දෙනා ගෙන් මට නිති බත් සතරෙක් ලැබේ. ඉන් දෙකක් ඔබට දෙන්නෙමි” යි කීය. බුදුරජාණන් වහන්සේත්: “හොඳයි බමුණ, අදහස් කරන තැනකට එන්නමෝ වේ දැ” යි වදාළ සේක. බමුණා ගෙට ගොස් පුතුන් අමතා දරුවනි, “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ යහළුවෝ ය. උන් වහන්සේට මම නිති බත් දෙකක් දුනිමි. තෙපිත් උන් වහන්සේ තො පගේ ගෙවලට වැඩි කල පමා නො වවු”යැයි කීය. ඔහුද මැනැවැ යි පිළිගත්හ.

භාග්‍යවතුන් වහන්සේ පසු දා පිඬු පිණිස වඩනා සේක් බමුණා ගේ වැඩි මාළු පුතු ගේ ගෙදොරට වැඩි සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ දැක වහා ගොස් පාත්‍රය ගෙන, ගෙට වැඩම කරවා අගනා අස්නෙක වඩා හිඳුවා, ප්‍රණීත භෝජනයෙන් සත්කාර කෙළේ ය. බුදුරජාණන් වහන්සේ දෙවෙනි දවස් දෙවෙනි පුතු ගේ ගෙට දැ යි මෙසේ පිළිවෙළින් බමුණු පුතුන් සිවු දෙනාගේ ම ගෙවලට වැඩි සේක. ඔහු ද මනා සේ සත්කාර කළහ. දිනෙක වැඩි මාළු පුතු ගේ උත්සවයෙක් විය. “මංගල භෝජනය කාට දෙමු දැ” යි හෙ තෙමෙ පිය බමුණු විචාළේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ යහළුවෝ ය. උන් වහන්සේ මිස වෙන දිය යුතු කෙනකු නො දනිමි” යි බමුණු කීය. එ සේ නම් පන්සියයක් භික්ෂූන් සහිත ව ගෙට වඩින්නට නිමන්ත්‍රණ කළ මැනැවැ යි කීයෙන් බමුණා ද එසේ කළේ ය. දෙවෙනි දා ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයා සහිත වැ වැඩි සේක. වැඩි මාළු බමුණු පුත් තෙම මොනොවට සරසා ලූ ගෙහි උන් වහන්සේ වඩා හිඳුවා දිය නො මුසු මිහිරි කිරි බතින් හා ප්‍රණීත ඛාද්‍යයෙන් සංග්‍රහ කෙළේ ය. වළඳන අතර බමුණු පුතු සතර දෙනා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ හිඳ, “ගෞතමයන් වහන්ස, අපි අපේ පියා පෝෂිත කරම්හ. එහි පමාවෙක් නැත. අප පියා ගේ පෙර සැටිත් දැන් සැටිත් බලා වදාළ මැනැවැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ද “ඒ යහපත, මාපිය උවටන නම් පෙර නුවණැත්තන් පුරුදු කළ උතුම් ගුණ ධර්මයෙක් මැ” යැ යි වදාරා, මාතු පෝසක නාගරාජ ජාතකය විස්තර කොට දම් දෙසූ සේක. ඉන් පසු චතුස්සත්‍යයන් ප්‍රකාශ කළ සේක. දේශනාවසානයේ බමුණා ද, ඔහුගේ පුත්තු සතර දෙන ද, ඔවුන් ගේ භාර්යාවෝ සිවු දෙන ද යන නව දෙන ම සෝවාන් වූහු.

දුප්පත් ගොවියෙකු රාජ දණ්ඩනයෙන් මුදාලීම

එක් රැයෙක සොර මුළෙක් සැවැත් නුවර පෝසත් කෙනෙකු ගේ කට උමගක් කැණ ගෙට වැද ධනය රැගෙන යනුවෝ, කුඹුරකට ගොස් සොරකම් කළ දෑ එහි දී බෙදාගත් හ. යුහු සුලුව ඔවුන් ඒවා බෙදා ගෙන නැගිට යන විට එකකු අතින් දහසින් බැඳි පියල්ලෙක් බිමැ වැටිණ. .

අලුයම්හි බුදුරජාණන් වහන්සේ ලොව බලා වදාරන සේක් පසු දා උදේ යටැ කී කුඹුර සාන්නට එන දුප්පත් ගොවියාට ඒ රන් පියල්ල නිසා වන අන්තරාය දුටු සේක. දැක එහි යන්නට අදහස් කළ සේක.

සිරිත් පරිදි ගොවියා උදාසනින් කුඹුරට ගියේ ය. බුදුරජාණන් වහන්සේත් අනඳ තෙරුන් හා එහි වැඩි සේක. ගොවියා අවුත් වැඳලා සී සාන්නට පටන් ගත්තේ ය. බුදුරජාණන් වහන්සේ රන් පියල්ල වැටී තිබුණ තෙනට වැඩ අනඳ තෙරුනට එය පෙන්වා “ආනන්දය, සර්පයා දුටු දැ” යි ඇසූ සේක. “එ සේ ය, දිටිමි” යි අනඳ තෙරණුවෝත් කීහ. ඒ ඇසූ ගොවියා උන් වහන්සේ එ තැනින් වැඩි පසු කැවිට ගෙන එ තැනට ගියේ, එහි සර්පයකු නො ව රන් පියල්ලක් දැකැ, “සර්පයනට මෙන් ළං නො විය යුතු හෙයින් බුදුරජාණන් වහන්සේ මෙය සර්පයකු කොට වදාළ සේකැ” යි සිතා එය තුබුණු තැන තිබෙන්නට නෑර, තමා සොරකම් නො දන්නා හෙයින් එය ළඟ ම තබා සාන්නට වන්නේ ය. උදේ වස්තු හිමියෝ සොරුන් උමං බිඳ බඩු ගෙන ගිය නියාව දැක, සොයා ඇවිදුණෝ, ඒ කුඹුරට පැමිණියහ. එහි දී සොරුන් වස්තු බෙදා ගෙන ගිය බව දැක, පරීක්ෂා කරන්නෝ එක් තැනෙක තුබුණු රන් පියල්ල දැක සමීප කෙතෙහි සිටි ගොවියා සොරෙකැ” යි බැඳ කොසොල් රජු වෙත ගෙන ගියහ. රජ එ පවත් අසා ඔහු මරන්නට නියම කළහ. රාජ පුරුෂයන් විසින් තළ තළා වධ ස්ථානයට පමුණුවනු ලබන හෙතෙම බුදුරජුන් වදාළ බස් සිහි කොට, “ආනන්දය, සර්පයා දුටු දැ?” යි වදාළ වචනයත් “එ සේය වහන්ස, දිටිමි” යි කී අනඳ තෙරුන් ගේ කථාවත් කිය කියා ගියේ ය. රාජ පුරුෂයෝ ඒ අසා “තෝ කුමක් කීයෙහිදැ?” යි ඇසූහ. “රජ්ජුරුවන් ළඟට ගෙන ගියොත් කියන්නෙමි” යි ගොවියා කී ය. ඔහු රජු වෙත ගොවියා ගෙන ගොස් ඒ පවත් කිවූය. රජ “තගේ මේ කථාවේ තේරුම කිම් දැ?” යි විචාළේ ය. හෙතෙම තමා සොරකු නො වන බවත්, බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව ආදී සියලු ප්‍රවෘත්තියත් කී ය. රජ තෙම “බුදුරජාණන් වහන්සේ සාක්ෂ්‍යකාරයකු කොට කියන සැටියෙන් මොහුගේ වරදක් කිය නො හැක්ක. කළ යුත්ත මම දනිමි” යි කියා ඔහු තමා වෙත රඳවා ගත්තේ ය. සවස ඒ පුරුෂයා හා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් වැඳ පසෙක හිඳ “ස්වාමීනි, මූ සානා තෙනට අද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් හා වැඩි සේක් දෝ” යි විචාළේ ය.

“එසේ ය, මහරජ ගියම්හ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“එහි දී කුමක් වදාළ සේක් දැ” යි රජ පුළුවත.

දහසින් බැඳි පියල්ල දැක තමන් වහන්සේ වදාළ වචනයත් අනඳ තෙරුන් කී වචනයත් වදාළසේක.

එ විට රජ “වහන්ස, මේ අහිංසකයා වෙනුවට සාක්කියට ඔබ වහන්සේ වැනි කෙනෙක් නො වූහු නම් අද මොහු දිවි නැත. ඔබ වහන්සේ ගේ වචනය නිසා අද මොහු ගේ දිවි රැකුණේ යැ”යි කී ය.

එ බසට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “මොහු ඒ පියල්ල නො ඇල්ලුවත් වස්තු හිමියෝ මොහු අල්ලා ගන්නෝ යැ”යි වදාරා,

“පසු තැවිල්ලට හේතු වන දෑ නො කට යුතු ය” යන්න මාතෘකා කොට දම් දෙසු සේක.205 ඒ ගොවි තෙම සෝවාන් විය. රැස් ව සිටි බොහෝ ජනයාට දේශනාව සාර්ථක විය.

ද්‍රෝණ බමුණාට වදාළ බණ

එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවරටත් සේතව්‍යා නුවරටත් අතරැ මහ මඟින් වඩනා සේක් රුක් සෙවණකට වැඩ ටික වේලාවක් විවේකී වැ හුන් සේක. මේ වේලාවේදී ඒ මඟින් යන ද්‍රෝණ නම් බමුණෙක් එහි කිසි තැනෙක භාග්‍යවතුන් වහන්සේ ගේ අඩි සටහන දුටුයේ ය. අන් අයගේ පිය සටහන්වලත් මෙහිත් වෙනසක් දැක විමසනුයේ “මෙය නම් අපූරු එකෙක. මෙය කාගේ පිය සටහනෙක් දැ”යි විපරම් කරනුයේ, ඒ අහළ රුක් සෙවණෙක වැඩ ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටී ය. “පෙර කිසි කලෙක නොදුටු විරූ අපූර්ව රූපශෝභායෙන් යුත් ශාන්ත පෙනුමක් ඇති මේ තැනැත්තා කවරෙක් දැ?” යි දැනගනිමි” යි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ කථාකරනුයේ,

“ඔබ දෙවියෙක් දැ?” යි ඇසී ය.

“නැත” යි උත්තරය විය.

“ඔබ ගාන්ධර්වයෙක් ද?”

“නැත,”

“ඔබ යක්ෂයෙක් ද?”

“නැත.”

“ඔබ මනුෂ්‍යයෙක් ද?”

“නැත.”

භාග්‍යවතුන් වහන්සේ දුන් උත්තරවලින් ඔහුට කිසිත් වටහාගත නො හැකි වැ, මා ඇසූ හැම ප්‍රශ්නයටම ඔබ නැතැ”යි කියති. ඔබ ඒ කී “දෙවි ආදී කිසිවෙකුත් නො වෙත් නම් කවරෙක් දැ?” යි යළිත් බමුණා ප්‍රශ්න කෙළේ ය.

“ඔබ කියන දේව ගාන්ධර්ව යක්ෂ මනුෂ්‍ය යන නම් ලබන අය තුළ පවත්නා ආස්‍රව (කෙලෙස්) කිසිවකුත් මා තුළ නැත. එ බැවින් මම් ඒ කිසිවෙක් නො වෙමි. ඔවුන් තුළ පවත්නා ඒ සියලු ආස්‍රවයෝ මුලින් ම නැසූ, දත යුතු සියල්ල අවබෝධ කළ මම් “බුද්‍ධ” නම් වෙමි. දියෙහි හැදුණු වැඩුණු නෙළුම් මල් දියෙන් ඉහළ නැඟ දිය ස්පර්ශ නො කොට (වතුරේ නො ගැවී) සිටුනා සේ, ලොවැ මිනිසුන් මැද උපන්නත් ඔවුන් කෙරෙහි පවත්නා කෙලෙස් දුරු කොට ඔවුන්ගෙන් ඉහළ නැග ඔවුනට නොබැඳී සිටිමි. එසේ වූ මා බුද්‍ධ නැමැ”යි දත යුතු යැ”යි වදාළ සේක. බමුණා පැහැද බුදුරජුන් සරණ ගිය උපාසකයෙක් වී ය.

වර්ෂ නියමයක් කට නොහැකි ප්‍රවෘත්ති

(මේ පරිච්ඡේදයේ ඇතුළත් ප්‍රවෘත්තීන් සම්බන්ධ වර්ෂ නියමයක් කට නොහැකියි.)

මිසදිටු ළමයින් සමූහයක් පැහැදවීම

එක් සමයෙක අන්‍ය තීර්ථකයන් ගේ උපාසකවරු තම පුත්‍රයන් බෞද්ධෝපාසකයන් ගේ දරුවන් හා රැස් ව ක්‍රීඩා කරන්නවුන් දැක ඔවුන් ගෙට ආ විට “තොප ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයනට වැඳුම් පිදුම් නො කළ යුතුයි, ඔවුන් ගේ විහාරයට වත් නො යෑ යුතු යැ” යි කියා එය නොකරන ලෙසට ඔවුන්ගෙන් දිවුරුම් ගත් හ. දිනක් ඒ ළමෝ ජේතවන විහාර දොරටුව සමීපයෙහි පිටත රැස් ව සෙල්ලම් කළහ. ක්‍රීඩා කොට වෙහෙසී පිපාසිත වූ ඔහු “නුඹ ගොස් පැන් බී අපටත් ගෙනෙන්නැ”යි කියා එක් බෞද්‍ධ දරුවකු විහාරයට යැවූ හ. හෙ තෙම විහාරයට වැද බුදුරජාණන් වහන්සේ වැඳ පැන් බී, පැන් ගෙන යන්නටත් ඕනෑ බව දැන්වී ය. එ විට බුදුරජාණන් වහන්සේ “නුඹ ගොසින් එහි සෙසු ළමයිනුත් පැන් බොන්නට මෙහි ම එවන්නැ”යි වදාළ සේක. හෙ තෙමේ ද එ සේ ම කෙළේ ය. බුදුරජාණන් වහන්සේ එහි පැන් බීමට ආ මිසදිටු ළමුන් කැඳවා ධර්ම කථායෙන් අවවාද කොට පහදවා තිසරණ පන්සිල්හි පිහිටුවා ලූ සේක. එ ළමෝ ගෙවලට ගොස් එපවත් මා පියනට කීහ. ඔහු “අපේ දරුවෝ නො මඟැ ගියහ” යි දොම්නස්ව හැඬුවෝ ය. සමීප ගෘහවාසීහු අවුත් ධර්මාවවාද කොට ඔවුන්ගේ ශෝකය නිවූ ය. ඔහු ද සතුටු ව “මේ ළමුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ට ම දෙම්හ” යි මහත් නෑ සමූහයා හා එක් ව ඒ දරුවන් විහාරයට ගෙන ගොස් බුදුරජාණන් වහන්සේ ට බාර කළහ. බුදුරජාණන් වහන්සේ ද ඔවුනට දම් දෙසූ සේක. දේශනාවසානයෙහි එ සියලු මිසදිටු පිරිස තිසරණයෙහි පිහිටා බෞද්ධෝපාසක වූහ. ඉක්බිති ඔහු නැවත බණ දහම් ඇසීමෙන් නුවණ මුහුකුරුවා සෝවාන් පෙළෙහි පිහිටියහ.

ගරඬියකු පෙළූ ළමයිනට දම් දෙසීම

බුදුරජාණන් වහන්සේ දිනක් සැවැත් නුවර පිඬු පිණිස වඩිනා සේක්, ළමුන් සමූහයක් එක් ගරඬියකුට දංඩෙන් පහර දෙනු දැක, “දරුවනි, තෙපි කුමක් කරවු දැ?” යි ඇසූ සේක.

“අපි මේ සර්පයාට දංඩෙන් පහර දෙමු” යි ඔහු කීහ.,

“ඒ ඇයි දැ?” යි බුදුරජාණන් වහන්සේ පුළුවුත් සේක.

“මූ දෂ්ට කරන බැවින් යැ” යි ළමෝ පිළිතුරු දුන්හ.

එවිට බුදුරජාණන් වහන්සේ “දරුවෙනි, තමනට සැප පහසු සිදු කරන අදහසින් සතකු පෙළීමෙන් උපනුපන් තන්හි තෙපි සැපයක් නම් නො ම ලබන්නහු ය. තමන් ගේ සැප පතමින් අනුනට හිංසා පීඩා වධ බන්ධන කිරීම හරි නැතැ”යි206 වදාරා අවවාද කළ සේක. දේශනාවසානයේ දී සියලු ළමෝ සෝවාන් පෙළෙහි පිහිටියා හ.

කුමාර කාශ්‍යප මාතෘ

දෙව්දත් තෙරුන් පිට මං කළ මෙහෙණියක්

රජගහ නුවර එක් සිටු දුවක් පැවිදිවනු කැමැත්තී මා පියන් ගෙන් එයට අවසර ඉල්ලූහ. එයට ඔහු කැමැති නො වූහ. නැවැත සිටු පුතකුට ඇය පාවා දෙන ලදු වැ කලක් පති කුලයෙහි වුසූ තැනැත්තී ගබ් ගත්හ. කුසයෙහි දරුවකු පිළිසිඳ ගත් බව නොදත් ඕ සැමියා ගෙන් පැවිදි වීමට අවසර ඉල්ලුවා ය. සිටු පුත් තෙම සතුටු ව මහත් සත්කාර සහිත ව ඇය මෙහෙණින් කරා පමුණුවා පැවිදි කැරැ වීය. කල් යෑමේ දී මෙහෙණිහු ඈ ගර්භිණී බව දැන “මේ කිම්දැ?” යි ඇසූහ. ඕ තොම “ආර්‍ය්‍යාවනි, මේ කෙසේ වී දැ?යි නො දනිමි. මගේ ශීලය ඒකාන්තයෙන් පිරිසිදු යැ” යි කීවා ය. මෙහෙණීහු ඇය දෙව්දත් තෙරුන් කරා ගෙන ගොස් ඒ පවත් දැන්වූහු. තමා ගේ අවවාද පරිදි පිළිපදිනා මෙහෙණීනට ඇය හේතු කොට ගෙන අපකීර්තියක් විය හැක්කැ” යි සිතා “ඇය සිවුරු හරවා පිට මං කරවු යැ” යි දෙව්දත් තෙරණුවෝ මෙහෙණීනට අණ කළහ. එය ඇසූ තරුණ මෙහෙණි තොම “ආර්‍ය්‍යාවනි, මා සිවුරු නො හරවවු. මම දෙව්දත් තෙරුන් උදෙසා පැවිදි නො වීමි. වැඩිය මැනැවි. මා ජේතවනයට ශාස්තෲන් වහන්සේ ගේ සමීපයට ගෙන යනු මැනැවැ” යි කීවා ය. මෙහෙණීහු ද ඇය ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්වූහ. බුදුරජාණන් වහන්සේ ඇය ගිහි කලැ ම දරුගබ පිහිටි බව දත් නමුත් අන්‍යයන් ගේ අපවාදයක් ඇති නො වනු පිණිස පසේදී කොසොල් රජු ද මහ අනේපිඬු සිටු සුලු අනේපිඬු සිටු විශාඛා උපාසිකා ආදී ප්‍රභූන් ද කැඳවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු පිරිස මැද දී කාරණය විනිශ්චය කරන්නට විනයධර උපාලි තෙරුනට අණ කළ සේක. උපාලි තෙරහු රජු ඉදිරිපිට දී ම විශාඛාව කැඳවා මෙහෙණිය පරීක්ෂා කිරීම ඈට පැවැරූ හ. විශාඛා තොම වට තිර ඇද මෙහෙණිය එහි ඇතුළට කැඳවා තොමෝ ම පරීක්ෂා කොට දින ගණන් බලා, ඇය පැවිදි වන්නට පෙර ලත් දරු ගැබක් බව දැන, තෙරුනට ඒ පවත් දැන් වූහ. ඉක්බිති තෙරහු මෙහෙණිය ගේ නිර්දෝෂත්වය ඒ සභාවේ දී ප්‍රකාශ කළහ. “නඩුව විසැඳූ සැටි යහපතැ” යි කියා බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.

මෙසේ ඒ මෙහෙණියට දෙව්දත් තෙරුන්ගේ දුර දිග නො බැලීමත් අනනුකම්පාවත් හේතු කොට, වන්නට ගිය අන්තරායේ දී බුදුරජාණන් වහන්සේ පිහිට වූ සේක. පසු වැ ඈට ලැබුණ දරුවා පසේනදී කොසොල් රජහු රජ ගෙදරට ගෙන්වා පෝෂිත කරවන ලද්දේ ය. කාශ්‍යප යනු ඒ දරුවාට තබන ලද නම විය. වැඩුණු හෙ තෙම යලි යලි “මවු කවුරු දැ?” යි විචාරන්නේ, ඔහු රවටන්නට උත්සාහ කොටත් නො රැවැටිය හැකි වූ රජු විසින් “ඕ අසවල් මෙහෙණියැ” යි කියන ලද වචනය අසා පැවිදි වනු කැමැත්තේ, රජු ගෙන් අවසර ඉල්ලුයේ ය. රජු ඒ කුමරු සරසා භාග්‍යවතුන් වහන්සේ වෙත ගෙන ගොස් පැවිදි කැරැවීය. ළදරු කලැ මහණ වූ බැවින් බුදුරජාණන් වහන්සේ “කාශ්‍යපයා කැඳවන්න. මේ ඵල මේ කැවිලි කාශ්‍යපයාට දෙන්නැ”යි වදාරන සේක. එවිට, “කුමන කාශ්‍යපයාට දැ?” යි භික්ෂූහු අසත්. “කුමාර කාශ්‍යපයාට” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක. එ හෙයිනුත් රජ ගෙහි කුමරකු වශයෙන් ඇති දැඩි වූ හෙයිනුත් පසු කාලයේ දී හෙතෙම කුමාර කාශ්‍යප නමින් ප්‍රකට විය.

හේ මහණ වූ දා පටන් විදසුන් වැඩීමෙහි ව්‍යාවෘත විය. බුද්‍ධ වචනය ද උගත්තේ ය. පසු කලෙක අන්ධ වනයේ වසන ඒ හෙරණ වෙත එක් මිත්‍ර බ්‍රහ්මයෙක් පැමිණ ප්‍රශ්න තුදුසක් තබා ඒවා බුදුරජාණන් වහන්සේ ගෙන් විචාරන්නට නියම කොට ගියේ ය. හේ ද එය කෙළේ බුදුරජාණන් වහන්සේ එකී ප්‍රශ්න විසඳීම් වශයෙන් දෙසූ ධර්මය අසා රහත් වූයේ ය. කුමාර කාශ්‍යපයන් වහන්සේ පැවිදි වූ දා සිට දොළොස් වර්ෂයක් ම මවු මෙහෙණි පුතු සිහි කරමින් විටින් විට කඳුළු වැගුරුවා ය. මෙසේ වසන ඕ තොම පුතුගෙන් වෙන් වූ ශෝකයෙන් කඳුලින් තෙත් වූ මුහුණ ඇති ව පිඬු පිණිස හැසිරෙන්නී දිනක් වීථිය මැද දී පුත්‍ර තෙරුන් දැක, “පුතා පුතා”යි කියා හඬමින් තෙරුන් දෙසට දුවන්නී පය පැකිලී වැටුණා ය. නැවැත පුත්‍ර ස්නේහයෙන් දෙ තනින් කිරි වගුරුවමින් නැගිට කිරෙන් තෙත් වූ සිවුරු ඇත්තී ගොස් තෙරුන් ඇල්ලුවා ය. ස්ථවිර තෙම, මෘදු වචනයක් මගෙන් නොලදොත් මැය ශෝකයෙන් මිය යතැ’යි සලකා,

“මෑණියනි, මේ කුමක් කරමින් ඇවිදින්නහු ද? තව ම ගේහසිත පුත්‍ර ස්නේහය වත් දුරු කළැකි නුවූහු ද?” යන ආදීන් කියා අවවාද කෙළේ ය.

එයින් ප්‍රබුද්ධවූ සිතැති ඕ තොම ගේහසිත ප්‍රේමය දුරු කොට විවසුන් වඩා එ දින ම රහත් වූහ.

පසු දිනෙක “මේ වැනි හේතු සම්පන්න කුමාර කාශ්‍යපයාණෝත් මුන් වහන්සේ ගේ මෑණියෝත් දෙව්දත් තෙරුන් විසින් පිට මං කරන ලද්දෝ ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ දෙ දෙනාට ම පිහිට වූ සේක. අහෝ! බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝ යැ” යි දම්සබා මඬුයෙහි භික්‍ෂූන් ගේ කථාවෙක් පහළ විය.

භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ එ පවත් අසා පෙරත් තමන් වහන්සේ ඔවුනට පිළිසරණ වූ බව ප්‍රකාශ කිරීම් වශයෙන් නිග්‍රෝධමිග ජාතකය වදාළ සේක.

වාගිෂ්ඨි

විසාලා මහනුවර කුල ගෙයෙක වාගිෂ්ඨි නම් තරුණියක් වූවා ය. වැඩිවිය පැමිණි ඕ තොම කුලපුතකුට පාවා දෙන ලද්දී ය. සුවසේ වසන ඒ ස්ත්‍රී කල් යෑමේදී පුතකු ලැබුවා ය. යම්තම් දිවැ ඇවිද සෙල්ලම් කරන කාලයෙහි ඒ දරුවා මළේ ය. වාශිෂ්ඨි තොමෝ දරුවා මළ ශෝකයෙන් පීඩිත වූවා. උමතු වූවා ය. ඇගේ උමතුව සුව කිරීම පිණිස නෑයෝ නොයෙක් පිළියම් කළහ. දිනක් ඒ උමතු ස්ත්‍රී කිසිවකුටත් නො දන්වා ගෙන් නික්ම ගොස් තැන තැන මුළාව ඇවිදිමින් මියුලු නුවරට පැමිණියා ය. බුදුරජාණන් වහන්සේ ද එ දවස මියුලු නුවර වැඩි සේක් වීථියෙහි දී ඇය විසින් දක්නා ලද සේක. දුටු කෙණෙහි බුද්ධානුභාව හේතුයෙන් ඇගේ උමතු බව දුරු විය. ඇයට ප්‍රකෘති සිහිය ලැබුණේ ය. ඉක්බිති බණ අසා ගිහි ගෙයි කලකිරී බුදුරජාණන් වහන්සේ ගෙන් අවසර ගෙන මෙහෙණි සස්නේ පැවිදි වූවා ය. උත්සාහවත් ව විදසුන් වඩන ඕ තොම නො බෝ කලෙකින් සිවු පිළිසිඹියාවන් හා රහත් බව ලැබුවා ය.

පටාචාරා

සැවැත් පුර සිටුවරයකු ගේ දුවක් ගෙයි මෙහෙකරුවකු හා රහසින් මිත්‍ර වැ සිට දිනෙක ගෙන යෑ හැකි තරම් ධනයත් ගෙන ඔහු සමග පැන ගොස් ඈත ගමෙක වුසුවා ය. කල් යෑමේ දී ගර්භණී වූ ඕ තොම දරු ගැබ මේරු කල මා පියන් වෙත යෑමට සැමියාට පෙරැත්ත කළා ය. “අද යම්හ, හෙට යම්හ” යි කිය කියා හෙ තෙම කල් ගත කෙළේ ය. දිනෙක ඕ තොම තමා මා පියන් වෙත ස්වාමියා ගෙන නො යන බව සිතා, ඔහු ගෙයි නැති වේලාවක් බලා අසල් වැසියනට තමා මා පියන් වෙත යන බව කියා, හුදෙකලා ව නික්ම ගියා ය. ගෙට ආ සැමියා එ පවත් අසා “අහෝ මා නිසා මේ කුල දුව අනාථ වූවා යැ” යි කණගාටුවට පත් ව යුහුව ගොස් ඇයට සම්මුඛ විය. මඟ දී පුත්‍ර ප්‍රසූතිය විය. එ හෙයින් ඒ ස්ත්‍රී කුල ගෙට නො ගොස් සැමියා හා ආපසු ම ආවා ය. නැවැත දෙවැනි වරෙකත් ගර්භිණී වූ ඕ තොම වදන කාලය ළංව තිබැද්දී පෙර සේ ම මා පියන් වෙත යන අදහසින් නික්මුණා ය. සැමියා ඇය සොයා ගොස් දැක ඇය හා සැවැත් නුවර බලා ගමන් කළේ ය. එදා රෑද මගදී සිටු දුව පුතකු වැදුවා ය. තද අකල් වැස්සට ද ඔහු අසු වූහ. “ස්වාමීනි, නො තෙමී ඉන්නට තැනක් පිළියෙළ කළ මැනැවැ” යි ස්ත්‍රිය විසින් කියන ලද යථෝක්ත පුරුෂ තෙම පඳුරක් දැක එහි ගොස් අත තුබුණ කැත්තෙන් එක් රුකෙක අත්තක් කැපුයේ ය. එ කෙණෙහි එ රුක යට තණකොළින් වැසුණු තුඹසින් සර්පයෙක් පිට වී අවුත් ඔහු දෂ්ට කෙළේ ය. පුරුෂ තෙම ඒ තැන ම වැටී මළේ ය. ස්ත්‍රී මහත් දුකින් ඔහු ගේ ඊම බලාපොරොත්තු වන්නී වැස්සට තෙමී හඬන දරුවා බඩතුරෙහි කොට දෙ දනින් හා දෑතින් ම බිම වැතිර එළි වන තුරු ම ඉතා දුකින් උන්නා ය. එළි වූ කල බාල දරුවා අත් දෙකින් ලෙහි හොවාගෙන වැඩි මාළු පුතු හා සැමියා ගිය අතට යන තෙනැත්ති, මළා වූ ඔහු දැක විලාප කියා හඬා හඬා යන්නී, රෑ වැස්සෙන් තන මතක් උසට පිරී ගලන නදියක් වෙත පැමිණියා ය. එගොඩ යනු කැමැති ඕ තොම නුවණ මඳ බැවිනුත් දුර්වල බැවිනුත් දරු දෙදෙනාම එක විට ගෙන යන්නට බියව පළමු කොට කුඩා දරුවා ගෙන ගොස්, එ ගොඩ අත්තක් බිම අතුරා එහි රෙදි කඩෙක හොවා, වැඩි මාළු පුතු ගෙන යනු පිණිස ගඟට බැස නැවත හැරී ආ පසු බල බලා යන්නී, ගඟ මැදට පැමිණියා ය. එ කෙණෙහි උකුස්සෙක් බාල දරුවා මස් කැටියකැ’යි සිතා ඒ අතට ආයේ ය. ඒ දුටු ඈ අත් ඔසොවා “සූ සූ” යැ යි තුන් වරක් ශබ්ද කළා ය. ඈත බැවින් උකුසු තෙම එය නො තකා ළදරුවා ඩැහැ ගෙන ඉගිලී ගියේ ය. අත් ඔසොවා ශබ්ද කළා දැක මෙ ගොඩ හුන් වැඩි මාළු දරුවා මවු තමාට අඬ ගැසූහ යි සිතා වහා දියට පැන්නේ සැඩ පහරට අසු විය.

ඉක්බිති ඒ ස්ත්‍රී “එක් පුතකු උකුස්සෙක් ගෙන ගියේ ය! අනෙකා ගං වතුරට අසු වී ය! මග දී සැමියා මළේ යැ!”යි හඬමින් වැලැපෙමින් යන්නී, සැවැත් නුවර සිට එන මිනිසකු දැක “කොයි සිට එයි දැ?” යි ඇසූ ය. සැවැත් පුර සිට එන බව කී විට, සැවැත්හි අසුවල් වීථියෙහි අසුවල් පවුලේ තොරතුරු දන්නෙහිදැ?” යි ඇසුවා ය. “දනිමි. එහෙත් එය හැර වෙන යමක් ඇසුව මැනැවැ” යි හේ කී ය. “අනෙකක් මට ඕනෑ නැත. එය ම විචාරමි” යි ඕ කීවා ය. එවිට හෙ තෙම “ඊයේ රෑ වැස්ස දුටු දැ?” යි ඇසී ය. “දිටිමි. මමත් එයින් තෙමුණෙමි. මගේ තොරතුරු පසු ව කිය හැකි, සිටු පවුලේ ප්‍රවෘත්තිය කියන්නැ” යි ඕ අයැදුවා ය.

“රෑ වැස්සෙන් සිටු ගෙය කඩා වැටුණ බවත්, සිටාණන් ද ඔහු ගේ භාර්‍ය්‍යාව ද පුත්‍රයා ද යන ති දෙන ම එයට යට වී මළ බවත්, ති දෙන ම එක දර සෑයෙහි දැවෙන බවත් කියා දර සෑයේ දුම ද පෙන්වී ය. එ කෙණෙහි ඇගේ ශෝකය වඩ වඩා දියුණු වූවෙන් ඇඳි වත ලිහී වැටෙන බව වත් සලකා ගත නො හැකි තරම් උමතු වූවා ය. එයින් පසු ඕ,

“අහෝ මා දරුවෝ මළහ! සැමියා මග දී මළේ ය ! මෑණියෝත් පියාණෝත් සහෝදරයාත් එක ම දරසෑයේ දැවෙත් යැ” යි විලාප කියමින් බිම සැපි හැපී හඬ හඬා ඒ මේ අත දුව පැන ඇවිද්දා ය. එ තැන් පටන් ඈට නිරුවතින් ඇවිදිනා බැවින් පටාචාරා[64]* යන නම ඇති විය. මිනිස්සු ඒ උමතු ස්ත්‍රිය දැක “පිස්සිය දිවපියැ” යි කියමින් ගල් මුල් ආදියෙන් ගසා පලවා හැරියහ. හඬමින් වැළපෙමින් ඒ මේ අත දිව පැන ඇවිදුනා ඇය රහත් වීමට තරම් මේරූ පින් ඇත්තියක බව දුටු බුදුරජාණන් වහන්සේ ඈට විහාරය දෙසට එන්නට සැලැස්සූ සේක. හඬා වැලපෙමින් විහාරය දෙසට එන ඇය දුටු පිරිස “පිස්සියට මෙහි එන්නට නො දෙවු” යැ යි කියා ඇගේ ගමන නවතා ලන්නට තැත් කළහ. භාග්‍යවතුන් වහන්සේ “ඇගේ ඊම නො නවත්වවු” යැ යි වදාරා, ඇය සමීපයට ආ විට “නැගැණියනි, සිහි උපදවා ගන්නැ” යි වදාළ සේක. බුද්‍ධ තේජස් හේතුයෙන් ඕ ප්‍රකෘති සිහිය ලැබ තමා වස්ත්‍ර රහිත බව දැන විළි ඇති ව උත්කුටුක වැ බිම වැතිර හිඳ ගත්තී ය. එක් මිනිසෙක් තමාගේ උතුරු සළුව ඇය වෙතට වීසි කෙළේ ය. එය හැඳ ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි, මට පිහිට වුව මැනැව. මාගේ පුතකු උකුස්සෙක් ගෙන ගියේ ය. පුතෙක් දියේ වැටී නැසුණේ ය. මා පියෝත් සහෝදරයාත් කඩා වැටුණ ගෙට යටවී මළාහු එක දරසෑයෙහි ම දැවෙත්” යැ යි කීවා ය. මහා කාරුණිකයන් වහන්සේ ඇයට වදාරන සේක් “පටාචාරා, කනගාටු නො වන්න. උපකාර ලබා ගත හැකි තෙනට ම තෙපි ආවහු ය. තෙපි දැන් පුත්‍රාදීන් මළ සොවින් කඳුළු වගුරුවහු, මෙසේ ම පෙරත් අනවරාග්‍ර සංසාරයෙහි අනන්ත ජාතිවලැ පුත්‍රාදීන් මළ ශෝකයෙන් තොප වගුළ කඳුළු රැස සතර සාගරයේ ජලයටත් වැඩි ය” 207 යි වදාරා ධර්මාවවාද කළ සේක. එය ඇසීමෙන් ඇගේ ශෝකය තුනී විය. ඉක්බිති “පටාචාරාවෙනි, පරලොව යන්නාට පිහිට වන්නට පුත්‍රාදීහු සමර්ථ නොවෙත්” යන ආදීන් වදාරා නුවණැත්තා විසින් ශීල ශුද්‍ධිය ඇති කොට ගෙන නිවන් මග ම සිද්ධ 208 කටයුතුයැ” යි අවවාද කොට දම් දෙසු සේක. දේශනාවසානයේ දී ඕ සෝවාන් පෙලෙහි පිහිටා පැවිද්ද ඉල්ලුවා ය. භාග්‍යවතුන් වහන්සේ ඇය මෙහෙණියන් වෙත යැවූ සේක. පටාචාරා තොමෝ එහි පැවිදි උපසපන් ව උත්සාහයෙන් විදසුන් වඩන්නී දිනෙක බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් අසා නුවණ මුහුකුරුවා පිළිසිඹියා හා රහත් බව ලැබුවා ය.

පූර්ණා දාසී

අනේපිඬු සිටුහු ගේ ගෙයි දාසියකට දුවක් ලබුණා ය. ගණනින් දාසීන් සියය සම්පූර්ණ කරමින් උපන් ඈට පූර්ණා යැ යි නම් කළහ. වැඩුණු ඕ තොම සීහනාද සූත්‍ර දේශනාව අසා සෝවාන් වූවා ය. ඕ උදක ශුද්‍ධික බමුණකු උදේ සවස දියේ ගිලී ගොඩ නැගෙන්නහු දැක ඔහු ගේ ක්‍රියාව නිෂ්ඵල බව කියා දී බමුණා හික්මැවූවා ය. බමුණු තෙම පැහැදී තිසරණ පන්සිල්හි පිහිටා පසු කලැ ශාසනයෙහි පැවිදි ව කමටහන් වඩා රහත් වී ය. බමුණා හික්මැ වූ ප්‍රවෘත්තිය අසා සතුටු වූ සිටු තෙම ඇය දාස බැවින් මිදුයේ ය. ඉක්බිති ඕ මෙහෙණි සස්නේ පැවිදි ව විදසුන් වඩා නො බෝ කලෙකින් සිවු පිළිසිඹියා හා රහත් බව ලැබූහ.

කෘශා ගෞතමී

සැවැත් පුර දුප්පත් පවුලක ගෞතමී නම් ස්ත්‍රියක් වූවා. මඳක් කෘශ බැවින් ඕ කෘශා ගෞතමී නමින් ප්‍රකට වූවා ය. ඇය ගේ ස්වාමි කුලයෙහි අය දුගී තෙනැත්ති යැ යි ඇයට නිග්‍රහ කළහ. එහෙත් පුතකු ලැබුණු තන් සිට ස්වාමි කුලයේ කවුරුත් ඇයට සැලැකිලි දැක්වූහ. ඒ දරුවා යම්තම් ඇවිද සෙල්ලම් කළ හැකි තරම් වයසේදී කළුරිය කෙළේ ය. එයින් ඕ බලවත් ශෝකයට පැමිණියා ය. ශෝකාතුර වූ ඕ තොම දරුවාගේ මළ සිරුර ඇකයෙන් ගෙන දුටු දුටු අය ගෙන් බෙහෙත් ඉල්ලමින් ඇවිද්දා ය. “මළ කඳට මොන බෙහෙත් දැ”යි කියමින් මිනිස්සු අත් පොළසන් දෙමින් සිනා සුණහ. ඕ වනාහි සිහි එළවා ගත නො හැකි වූවා ය. එක් නුවණැති පුරුෂයෙක් කාරණය තේරුම් ගෙන “අම්ම, ඔබේ දරුවාට බෙහෙත් දෙන්නට බුදුරජාණන් වහන්සේ මිස අන් කිසිවෙක් නො දනී. උන් වහන්සේ ළඟැ විහාරයෙහි වසන සේක. එහි යන්නැ’යි කියා ඇය බුදුරජාණන් වහන්සේ වෙත යැවූයේ ය. කෘශා ගෞතමී තොම ජේතවනාරාමයට පැමිණ ධර්මාසනාරූඪ වූ භාග්‍යවතුන් වහන්සේ දැක දරුවාට බෙහෙතක් දෙන ලෙස යාච්ඤා කළා ය. ඇය රහත් වන්නට හේතු සම්පත් ඇති බව දුටු භාග්‍යවතුන් වහන්සේ “ගෞතමිය, බෙහෙත් සඳහා මෙහි තොප ආවා යහපති. දැන් නුවරට ගොස් එහි කොනෙක සිට මුළු නුවර ම ඇවිද වත් කිසි කළෙක මරණයක් නො වූ ගෙයකින් අබැටක් ගෙනෙන්නැ”යි වදාළ සේක. ඕ ද සතුටු ව නුවර වැද එහි මුල්ගෙට ම පැමිණ තම දරුවාට බෙහෙත් සඳහා බුදුරජාණන් වහන්සේ වෙත ගෙන යෑමට අබැටක් ඉල්ලුවා ය. ඔහු ද එය ගෙනවුත් දුන්හ. එ විට ඕ “මෙහි කවුරුත් පෙර නො මළෝ දැ?” යි විචාළා ය. “මේ මොනවා කියයි ද? මෙහි මළවුන් ගණන් කරන්නට කාටවත් බැරි තරම් යැ” යි ගෙ වැසියෝ කීහ. “එහෙනම් මෙය එපා. භාග්‍යවතුන් වහන්සේට ඕනෑ කළේ කිසිවකු නො මළ ගෙයෙකින් අබ ඇටෙකැ” යි කියා එයින් නික්මැ තවත් ගෙවල් දෙකකට ගියා ය. එ දෙ තැනැ දී ද මේ ගෙයි මෙපමණ මෙපමණ නෑදෑ මිත්‍රාදීහු මළහ” යන වචනයෙක්ම අසන්නට ලැබුණේ ය. තෙ වැනි ගෙට යෑමෙන් පසු කාරණය තේරුම් ගෙන මුළු නුවර ම ඇවිද්දත් කිසිවකු නො මළ තැනෙක් නො ලැබෙන්නේ ය. හිතානුකම්පා ඇති බුදුරජාණන් වහන්සේ මට කාරණය වටහා ලීමට නො මළ ගෙයෙකින් අබැටක් ගෙනෙන්නට වදාළ සේකැ” යි සිතා ශෝකය දුරු කොට එ තැනින් ම පිටත් ව සොහොන් පිට්ටනියට ගොස් පුතු ගේ මළ කඳ අතින් ගෙන “පුත, මේ මරණය ඔබට පමණක් වූයේ යැ’යි මම සිතීමි. එ සේ නො වේ. මරණය නම් කාටත් පොදු වූ ස්වභාවයෙක් යැ”යි කියා එය සොහොනෙහි දමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා ය. එ විට බුදුරජාණන් වහන්සේ “ගෞතමිය, අබැටක් ලැබුණේ දැ”යි විචාළ සේක. “ස්වාමීන් වහන්ස, අබැටෙන් කළ යුත්ත ඉවර ය. ඔබ වහන්සේ මට පිහිට වුව මැනැවැ”යි කීවා ය. බුදුරජාණන් වහන්සේ මරණය සර්ව සාධාරණ බව වදාරා “මහ වතුරක් නිදන ගම්වැසි සමූහයා ගසා ගෙන යන්නා සේ පුත්‍ර ගව මහිෂාදීන් ඇති බැවින් මහත් වූ පස් කම්හි ඇලුණු සිතැති පුද්ගලයා මරණයට හසුවේ”යැ යි වදාළ සේක. ධර්ම දේශනාවසානයේ දී ඕ තොම සෝවාන් ව පැවිද්ද ඉල්ලුවා ය. බුදුරජාණන් වහන්සේ එයට අවසර දුන් සේක. ඕ ද මෙහෙණියන් වසන ආරාමයට ගොස් පැවිදි වූවා ය. යලි උපසම්පදාව ලබා විදසුන් වඩා නො බෝ කලෙකින් රහත් වූවා ය.

කුෂ්ට රෝගාතුරයනට උපස්ථානයක්

සැවැත් නුවර කුලපුත්‍රයෙක් බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා පැහැද පැවිද්ද හා උපසම්පදාව ලැබුයේ, තිස්ස ස්ථවිර නමින් ප්‍රසිද්‍ධ විය. කලක් ගිය තැන උන් වහන්සේට කුෂ්ට රෝගයෙක් වැළඳුණේය. මුලින් අබ ඇට පමණින් පටන් ගත් පිළිකාවෝ ක්‍රමයෙන් වැඩී අන්තිමේදී බෙලි ගෙඩි තරම් ලොකු වී බිඳුණාහ. එයින් මුළු ශරීරය ලේ සැරොව ගලන ලොකු කුඩා සිදුරු රාශියකින් වැසී ගියේ ය. මෙසේ රෝගය අසාධ්‍ය විය. ඇඳි පෙරෙවි සිවුරු ලේ සැරොවින් ඇඟේ බැඳී ගියේ ය. වෙහෙර වැසි සියල්ලෝ උපස්ථාන කළ නො හැකි ව උන්වහන්සේ හැර දමා ඉවත් වූහ. මෙසේ ඒ ස්ථවිර අනාථව හුදෙකලා ව හොත්තේ ය. අලුයමෙහිත් සැන්දෑවෙහිත් නුවණින් ලොව බැලීම බුදුවරයන් ගේ සිරිතකි. එ දා නුවණින් ලොව බලා වදාරන බුදුරජාණන් වහන්සේ අනාථ ව හෝනා තිස්ස ස්ථවිරයන් වහන්සේ රහත් වීමට හේතු සම්පත් ඇති බව දුටු සේක. දැක “මා මිස මේ භික්ෂුවට පිළිසරණ වීමට සමත් අනෙකෙක් නැතැ” යි සලකා විහාර චාරිකායෙහි යෙදුණු සේක්, තිස්ස තෙරුන් ඉන්නා විහාරයට පැමිණි සේක. පැමිණ ගිනිහල් ගෙට වැඩ සැළියක් සෝ දා දියෙන් පුරා ලිප තබා වතුර උණු වන තුරු එහි ම සිටි සේක. රත් වූ පසු ලෙඩ භික්ෂුව වෙත පැමිණ ඒ භික්ෂු හොත් ඇඳ ඔසොවා ගෙනෙනු පිණිස එහි කෙළවරක් ගත් සේක. එ කෙණහි එය දුටු භික්ෂූහු “ස්වාමීනී, ඉවත් වුව මැනැවි. අපි මෙය ගෙනෙන්නම්හ” යි කියා ඇඳ ඔසොවා ගිනිහල් ගෙට ගෙනාහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ සිවුරු සෝදන ඔරුවක් ගෙන්වා එහි උණු දිය වත්කරවා කුෂ්ඨ රෝගී භික්ෂුව හැඳි පෙරෙවි සිවුරු උණු දිය ඉස සෝදවා මඳ අව්වේ වැනැවූ සේක. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ම ඒ රෝගී භික්ෂුව ළඟට වී ඔහු ඇඟ උලා උණු දියෙන් නෑවූ සේක. ස්නානාවසානයේ දී පොරෝනා සිවුර වේලුණෙන් එය හඳවා හැඳි සිවුර සෝදවා වැනැවූ සේක. තෙරුන් ගේ ශරීරයෙහි තෙත සිඳුණ විට, අව්වේ ලැවූ සිවුරු ද වේලී ගියෙන් එය ගෙන්වා දුන් සේක. ඒ ස්ථවිර තෙම එක් සිවුරක් හැඳ එකක් ඒකාංශ කොට පොරොවා හෑල්ලු වූ ශරීර ඇත්තේ එකඟ සිතින් ඇඳෙහි හොත්තේ ය. බුදුරජාණන් වහන්සේ තෙරුන් ගේ ඉස පැත්තේ සිට ශරීරයේ අනිත්‍ය බව අසාර බව ප්‍රකාශ කොට බණ වදාළ සේක.210 දේශනාවසානයේ දී ඒ ස්ථවිර තෙම නුවණ මුහුකුරුවා සිවු පිළිසිඹියා සහිත රහත් බව ලබා නො බෝ වේලාවෙකින් පිරිනිවන් පෑයේ ය. තවත් බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියහ. බුදුරජාණන් වහන්සේ තෙරුන් ගේ ශරීරය ආදාහන කරවා ධාතූන් ගෙන්වා චෛත්‍යයක් කැරැවූ සේක.

කුක්ෂිරෝගී භික්ෂුවකට උපස්ථාන කිරීම

එක්තරා විහාරයෙක භික්ෂු නමක් බඩ රුජායෙන් පෙළුණේ, කිසි උපස්ථානයකුත් නැත්තේ, දොරට පිළට වත් යෑ නො හැක්කේ, තමා ගේ මලමුත්‍රයෙහි ම ගැලී හොත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් හා භික්ෂූන් වසන සේනාසනවලට වඩිමින් ඔවුනට අවවාද දීම් ආදිය කෙරෙමින් හැසිරෙන සේක්, යටැ කී ලෙඩ භික්ෂුව ගේ සේනාසනයට ද පැමිණි සේක. එහි පැමිණ “භික්ෂුව, අසනීපය කිමෙක් දැ” යි වදාළ සේක. “ස්වාමීනි, බඩ රුජාවෙකැ” යි හේ කී ය. “උපස්ථායකයෙක් නැද්දැ” යි ඇසූ සේක. “නැත වහන්සැ” යි හේ කී ය. “කවර හෙයින් දැ” යි ඇසූ සේක. “මම කිසිවකුට සත්කාර නො කෙළෙමි. එ හෙයිනැ”යි ඒ භික්ෂු කීය.

එ විට භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වතුර ගෙනෙන්නට වදාළ සේක. තෙරුණුවෝ එය කළහ. භාග්‍යවතුන් වහන්සේ රෝගී භික්ෂුවට දිය වත් කළ සේක. අනඳ තෙරණුවෝ ඔහු ඇඟ සේදූහ. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ එ භික්ෂු හිස පැත්තෙන් ද, අනඳ තෙරණුවෝ පා පැත්තෙන් ද ගෙන ඔසොවා ඇඳෙක සැතැප්පූ හ.

භාග්‍යවතුන් වහන්සේ ඉන් නික්ම වැඩ භික්ෂූන් කැඳවා අනාථ භික්ෂුව ගේ තතු විචාරා “මහණෙනි, යුෂ්මත්නට උපස්ථාන කරන මවක් පියෙක් නැත. යුෂ්මත්හු ම ඔවුනොවුනට උපස්ථාන නො කරවු නම් අන් කවුරු උපස්ථාන කෙරෙත් ද?

“මහණෙනි, යමෙක් ගිලනාට උපස්ථාන කෙරේ නම් හේ මට උපස්ථාන කරන්නේ ය. මගේ වචනය පිළිපදින්නේ යැ”යි වදාළ සේක.211

ඉක්බිති ග්ලානෝපස්ථාන කළ යුතු සැටි ද, ග්ලානෝපස්ථකයා තුළ විය යුතු ගති ගුණ ද වදාරා එයින් වැඩි සේක.

කෝලිය මහාමාත්‍ය සමාගමය

බරණැස් නුවර සමීපයෙහි නුවරට බටහිර දිග ගංගා නදියෙන් එ ගොඩ වාසභග්ගාම නම් ගමෙක් විය. එයට නොදුරු චුන්දත්ථිකග්ගාම නම් ගමැ එක් මුව වැද්දෙක් විය. හේ වල් වැද මුවන් මරා, අඟුරෙහි පළහා කා සෙස්ස කද බැඳ ගෙන ගෙට යේ. බාල දරුවෝ ගම්දොර දී ඔහු දැක ළඟට දිව මස් ඉල්ලති. හේ ඔවුනට මස් ටික ටික දී යෙයි.

දිනෙක වැදි තෙම මස් නො ලැබ ඇසළ මලක් පැළඳ මල් රැසක් අතින් ගෙන එන්නේ පුරුදු පරිදි මස් ඉල්ලා ආ දරුවනට මල් පොකුර බැගින් දී ගියේ ය. හේ මෑත භාගයෙහි මළේ ප්‍රේත යෝනියෙහි උපන්නේ ය.

ඒ ප්‍රේත තෙම වනාහි නග්න ය. විරූප ශරීර ඇත්තේ ය. භය ජනක දර්ශන ඇත්තේ ය. ආහාර පාන නො මැත්තෙන් නිතර සා පවස් දෙකින් පීඩිත ය. එහෙත් හිස පැළදි ඇසළ මල් කළඹක් ඇත්තෙකි.

දිනෙක හේ “නෑයන් වෙතින් කිසි ආහාරයක් ලැබිය හැකිදෝ”යි සිතා ගංගා නදිය මත්තෙන් උඩු ගංගා බලා යන්නේ ය. එ සමයෙහි කෝලිය මහාමාත්‍ය නමින් ප්‍රකට බිම්සර රජහු ගේ ඇමතියෙක් පිටිසර බද දනව්වෙක කැරැල්ලක් සංසිඳුවා, බලසෙන් ගොඩින් යවා තෙමේ නැවෙකින් ගංගා නදියෙහි යටි ගං බලා එයි. හේ යටැ කී ප්‍රේතයා දැක්කේ ය. දැක, ඔහු තතු විචාළේ ය. හේ තමා චුන්දත්ථික ගමට නෑයන් දක්නට යන බව කීය. ඇමති තෙම ඔහු “ප්‍රේතයෙකැ” යි දැන හත් සුණු ද බත් ද රන්වන් වස්ත්‍ර දෙකක් ද නැවෙහි සිටි කපුවකුට දෙවා එහි පින් ඔහුට පැමිණැ වී ය. ප්‍රේත තෙම පින් අනුමෝදන් කොට ගත්තේ, පුණ්‍ය ඵල වශයෙන් දිව්‍ය අන්නපාන හා වස්ත්‍ර ලැබී ය.

කෝලිය මහාමාත්‍ය නැවින් එන්නේ පසු දා සූර්යෝදය සමයෙහි බරණැසට සම්ප්‍රාප්ත විය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ ඇමැතියා ප්‍රමුඛ පිරිසට අනුග්‍රහ පිණිස අහසින් වැඩ ගංතෙර සිටි සේක. මහාමාත්‍ය තෙම ඒ දැක සතුටු ව නැවින් ගොඩ බැස භාග්‍යවතුන් වහන්සේ නිමතා එ කෙණෙහි කොළ මඩුවක් තනවා වියන් බඳවා සුවඳ මල් ආදියෙන් පිදී ය. ඉක්බිති හේ පසෙක හිඳ තමාට එදී හමු වූ ප්‍රේතයා සම්බන්ධ ප්‍රවෘත්තිය කියා ඔහුට පින්පෙත් සඳහා දන් දෙන බව දැන්වී ය.

භාග්‍යවතුන් වහන්සේ “භික්ෂු සංඝ තෙම වඩීවා” යි අධිෂ්ඨාන කළ සේක. එ කෙණෙහි භික්ෂු පිරිස ද බුද්ධානුභාවයෙන් මෙහෙයන ලද්දේ සෘද්‍ධියෙන් අවුත් එහි භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හුන් හ.

“අද මහත් ධර්ම දේශනාවක් වෙතැ”යි සලකා මහ ජනයා ද එහි රැස් වූහ. එය දැකීමෙන් ඔද වැඩී ගිය සිතැති මහ මැති තෙම බුද්‍ධ ප්‍රමුඛ සංඝයා මනා ව වැළැඳවී ය.

භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා ඉක්බිති බරණැස සමීපයේ ගම්හි වැස්සේ ද පැමිණෙත් වා යි ඉටු සේක. බුද්‍ධිර්ධි බලයෙන් ඒ මහජනයා ද රැස් විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුනට බොහෝ ප්‍රෙතයන් පෙනෙන්නට සලස්වා ඔවුන් ලවා ම ඔවුන් ගේ ප්‍රේත ව ඉපදීමට හේතු වූ අකුසල් ද කියැවූ සේක.

තමන්ගේ පව් හෙළි කරන ඒ ප්‍රෙතයන් ගෙන් ඇතැම් කෙනෙක් තමන් ඊර්ෂ්‍යා මානාදියෙන් කල් ගෙවූ සැටි ද, ඇතැම් කෙනෙක් තමන් ගෘහ ස්වාමි ස්වාමිනීන් ව ඉඳත් දනක් පිනක් නො කළ සැටි ද, ඇතැම් කෙනෙක් තමන් මිහිරි ආහාර පාන වර්ග ලබා යාචකයනට කිසිත් නො දී කමින් බොමින් ආත්මම්හර වැ මැ කල් යැවූ සැටි ද, ඇතැම් කෙනෙක් තමන් ප්‍රතිග්‍රාහකයනට කිසිත් දෙමිනුත් ඔවුනට අවමන් කළ සැටි දැ යි මෙ ආදීන් කළ පව්වල විපාක තමන් විඳිනා සැටි කියා පෑහ.

මෙය අසා සංවේගයට පත් කෝලිය මහාමාත්‍ය ප්‍රමුඛ මහා සමූහයාට භාග්‍යවතුන් වහන්සේ චරිතානුකූල ධර්ම දේශනාවෙකින් අවවාද කළ සේක. දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාවබෝධය විය.

සුලසා නගර ශෝභිනී

රජගහ නුවර මහධන සිටුවරයෙක් වී. හේ සිප්සතර ඉගැන්ම සිය පුතුට මහත් වෙහෙසට කරුණු යැ යි සිතුයේ, ඔහුට කිසි සිප් සතරක් නො මැ ඉගැන්වී ය. සුකුමාර ව වැඩී තුරුණු විය පත් සිටු පුතුට එ වැනි ම ධනවත් කුලයෙකින් සිටු දුවක ආවාහ කොට දුන්හ.

ඔහු මාපියන් මළ පසු සුරාධූර්තාදීන් පිරිවරා ගෙන නැටුම් ගැයුම් ආදියෙහි ගැලී කිසි ගුණධර්මයෙක නොයෙදී කල් යැවූහ. එයින් සියලු ධනය විනාශ කොට ගෙන දුගී බවට පත් වූහ. ඔවුන් සතු සියලු කෙත් වත් ආදිය ණය හිමියන් සතු විය.

එක් කලෙක දෙව් කුමරකුත් දිව්‍යාප්සරාවකත් ලෙසින් කල් යැවූ ඒ දෙදෙන, රැකෙන්නට අන් මඟක් නැති ව කබල් ගත් අත් ඇත්තෝ, සිඟා කමින් දිවි රකිමින් අනත් හලෙක වුසූ හ.

දිනෙක සොරු ඒ සිඟන්නහු දැක “භවත, තට මේ දුඃඛ ජීවිතයෙන් මොන අර්ථයෙක් ද? තෝ ජවබල ඇත්තෙක, අප හා එකතුව සොරකමින් දිවි රකුව” යි කීහ. “මම සොරකම නො දනිමි” යි සිටුපුත් කීය. “අපි තට සොරකම් උගන්වන්නමු. තෝ අප කියනා දැයක් ම කරව”යි සොරු කීහ. හේද සොරුනට එක් විය.

දිනෙක සොරු ගෙයක් බිඳ ගෙට වන්නෝ “අන් කිසිවක් හු ආවොත් මින් ගසා මරව”යි සිටුපුතු අතට පොල්ලක් දී ගෘහ සන්ධිය සමීපයෙහි සිටුවූහ. සොරු වනාහි බඩු ගෙන පලා ගියහ. යථොක්ත මූඪ සිටුපුත් පිටතින් කිසිවකුගේ ඊම ම බලා එහි සිටි යේ, කලබල ව ඒ මේ අත දුවන ගෘහ ස්වාමීනට හසු විය. ඔහු සිටු පුතුට දඬු මුගුරින් බැට දී, ගෙන ගොස් රජුට දැක් වූහ. රජු නඩු අසා ඔහු වධයට පමුණුවන ලෙස නගර ගුප්තික ඇමැතියාට අණ කෙළේ ය.

පිටිතල හයා බැඳ වද බෙර ගසමින් වධ භූමියට පමුණුවනු ලබන ඒ පුරුෂ තෙම සිය පායේ ජනෙල් කවුළුවෙන් නුවර දිසාව බලන සුලසා නම් නගර ශෝභිනියක විසින් දක්නා ලද්දේ ය. ඕ පෙර ඔහු හා පුරුදු වාසය ඇත්තී ඔහු හැඳින “අහෝ මෙ තෙම මෙ වැනි අනතුරකට පැමිණියේ යැ” යි අනුකම්පා උපදවා අග්ගලා සතරකුත් පැනුත් මෙහෙකරුවකු අත ඔහුට යවා, මොහුට මේ අග්ගලා කා පැන් බොන තුරු ස්වාමීහු පොරොත්තු වෙත් වා” යි කියා නගර ගුත්තිකයාට ද දන්වා යැව්වා ය.

මේ අතුරෙහි මුගලන් තෙරණුවෝ දිවැසින් ලොව බලනුවෝ වධයට නියත වූ කළ පිනක් නැත්තෙන් මරණින් මතු අපාය ගත වන ඔහු දැක, කරුණායෙන් මෙහයුණ සිතැත්තෝ, “මොහුගෙන් දන් ලබා අන්තිම මොහොතේ සැනසිල්ලක් ඇති කොට සුගතිගාමී කරන්නෙමි” යි සිතා එහි වැඩියාහ.

ඒ පුරුෂ තෙම තමා වෙත පැමිණි මුගලන් තෙරුන් දැක පැහැදී “දැන් මරණයට නියත මට මේ අග්ගලායෙන් කවර වැඩෙක් ද? මෙයින් තෙරුන් පුදමි. ඒ පින පරලොව යන මට මඟ වියදම් වන්නේ යැ” යි සිතීය. එ සේ සිතා එයින් තෙරුන් පිදීය. තෙරණුවෝ ඔහු සිතේ පැහැදීම වඩනු පිණිස ඔහුට පෙනෙන තැනෙක හිඳ එය වැළඳූහ.

සිටු පුත් නො බෝ වේලායෙකින් වධකස්ථානයට පමුණුවන ලද්දේ හිස සිඳ මරන ලද්දේ ය. මළ හෙ තෙම එක් පර්වත ප්‍රදේශයක මහ නුග රුකෙක රුක් දෙවියෙක් ව උපන්නේ ය.

දිනෙක යටැකී සුලසා තොමෝ උයනට ගියා ඒ රුක් දෙවියා විසින් දක්නා ලද්දී ය. රුක් දෙවි ඇය පිළිබඳ සිතැතිව අඳුරක් මවා ඇය සිය විමනට ගෙන ගියේ ය. ඇයට සිය තොරතුරු ද කී ය.

සුලසාව ගේ මව ඇය නො දැක හඬමින් සොයා ඇවිදින්නී, “මුගලන් තෙරණුවෝ සෘද්‍ධිමතෙක, ඇය ගතිය දනිතැ” යි මහ ජනයා විසින් කියන ලද වචනය අසා, තෙරුන් කරා ගොස් විචාළා ය.

“අදට සත් වන දා වේළුවනාරාමයේ බණ පිරිස් කෙළවරැ දී ඇය දැක්ක හැකියැ”යි තෙරණුවෝ වදාළහ.

සුලසාවෝ සතියක් රුක් දෙවියා හා සැපැත් විඳ, තමා නැති බැවින් මව ශෝක කරතැ යි සිතා, ඒ බව කියා තමා සිය නිවසට පමුණුවා ලන සේ ඔහු ඇයැදුවා ය. දෙව් තෙම ඇය ගෙන ගොස් වේළුවනාරාමයෙහි බණ අසන පිරිස් කෙළවරැ නවතා නො පෙනී සිටියේ ය.

බොහෝ දෙනා සුලසාව දැක ඇය ගිය තන් විචාළහ. ඕ ද සිදු වූ පවත් කීහ. “පින් නො කොට පව් කළ ඒ පුරුෂයා අන්තිම මොහොතෙහි මුගලන් තෙරුනට දන් දී පැහැදී දෙවියෙක් ව උපන්නේ යැ” යි ඇය කී බස් අසා “රහත් හු ලෝ වැස්සට උතුම් පින් කෙත් යැ”යි කියමින් මිනිස්සු ප්‍රසාදය පළකළහ.

භික්ෂූහු එහි ධර්මදේශනා පිණිස වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. එ විටැ මෙය මුල් කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්,

“රහත්හු මොනවට සකස් කළ කෙත් වැනියහ. (ප්‍රත්‍යය දෙන) දායකයෝ ගොවීන් වැන්නහ, දාන වස්තුව බිජුවට වැන්න. මේ (ප්‍රතිග්‍රාහක, දේය ධර්ම, දායක යන) අංගත්‍රය සම්පූර්ණ වීමෙන් මහත් සුඛ විපාක උපදියි (හෙවත් සැප දෙමින් විපාක ශක්තිය දීර්ඝ කාලයක් පවතී.)

මෙ සේ කියන ලද පරිදි වූ පුණ්‍ය බීජය ද, පින් බිජු වට වැපිරීම ද. පින් කෙත ද යන මේ කරුණු ති දෙන ප්‍රේතයනට ද දායකයාට ද වැඩ පිණිස පවතී. ඒ දානමය පුණ්‍ය කර්මයේ විපාක ඵලය ප්‍රේතයෝ පරිභෝග කෙරෙත්. දායක තෙමේ ද ඒ පින්කම් හේතුයෙන් වැඩීමට පැමිණේ. මෙහි කුසල් කොට ප්‍රේතයනට පින් දෙන පුද්ගල තෙම ඒ මහා කුසල කර්ම හේතුයෙන් සුගතිගාමී වේ” යැයි වදාළ සේක.

දේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය විය.

සාකේත බ්‍රාහ්මණ සමාගමය

බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂු සංඝයා හා සාකේත නගරයෙහි පිඬු පිණිස හැසුරුණු සේක. එ කල කිසි කටයුත්තක් සඳහා නුවරින් නික්මුණු ධනවත් මහළු බමුණෙක් නුවර දොර සමීපයේ දී භාග්‍යවතුන් වහන්සේ දැක පුත්‍ර ස්නේහය උපදවා “පුත, බොහෝ කලෙකින් දැක්කෙමි” යි කියා හඬමින් ඉදිරියට ගියේ ය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා, “මහණෙනි, මේ බමුණා කැමැත්තක් කරා වා. ඔහු නො වැළැක්විය යුතු” යැ යි වදාළ සේක. බමුණු තෙමේ ද ළඟට වුත් “පුතා, බොහෝ කාලෙකින් නුඹ දිටිමි බොහෝ කලක් අපෙන් වෙන් ව සිටියහු යැ” යි කියා උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය හාත්පසින් වැළඳ ගත්තේ ය. එයට ඉඩක් නො ලැබුණේ නම්, ඒ බමුණා ශෝකයෙන් මැරෙන්නේ ය. එබැවින් ඔහු කැමැත්තක් කරන්නට භාග්‍යවතුන් වහන්සේ ඉඩ දුන් සේක. ඉන්පසු බ්‍රාහ්මණ තෙම “භාග්‍යවතුන් වහන්ස, ඔබ හා වැඩි මේ සියලු භික්‍ෂූන් වහන්සේට භික්ෂාව දීම මා විසින්ම කළ හැකි යි. එබැවින් මට අනුග්‍රහ කොට මේ ඉල්ලීම පිළිගත මැනැවැ” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ එය තුෂ්ණිම් භාවයෙන් පිළිගත් සේක. බ්‍රාහ්මණ තම පාත්‍රය ගෙන පෙරටුව යමින් “පුතා ආයේ ය. ආසන පණවන්නැ”යි ගෙට පණිවුඩයක් යැවී ය. බැමිණි ද ඉතා සතුටු ව අසුන් පණවා බලාපොරොත්තුව හුන් තැනැත්තී, වීථියේ වඩනා බුදුරජාණන් වහන්සේ ඈත දීම දැක, පුත්‍ර ස්නේහය ඉසිලිය නො හී ඉදිරියට දිව ගොස් “පුතා, බොහෝ කලකට පසු දිටිමි” යි කියා පා මුල වැටී හඬා ගෙට වැඩම කරවා ගෙන ගොස් සකසා වැළැඳැවූවා ය. දන් වළඳා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. බණ අසා දෙදෙනා ම සෝවන් වූහ. ඉන් පසු ඔහු එ නුවරැ වසන තාක් කල් ඔවුන් ගේ ම ගෘහයෙන් භික්ෂාව ගන්නා ලෙස අයැදු හ. භාග්‍යවතුන් වහන්සේ “බුදුවරු එකම තෙනකට නිතර නො වඩිත්” යැ’ යි වදාරා ඒ ආයාචනය ප්‍රතික්ෂේප කළ සේක. “එසේ නම් ස්වාමීනි, භික්ෂු සංඝයා හා පිඬු පිණිස හැසිරෙ මෙහිදී ම දන් වළඳා වත් අපට බණ වදාරා විහාරයට වැඩිය මැනැවැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට අනුග්‍රහයෙන් එය පිළිගත් සේක. මිනිස්සු ඒ බමුණු බැමිණි දෙදෙනාට බුද්‍ධපිතෘ බුද්‍ධමාතෘ යැ යි කියා ව්‍යවහාර කළහ. ඒ පවුලට ද බුදුකුලයැ යි නම් වීය.

“මම භාග්‍යවතුන් වහන්සේ ගේ මා පියන් දනිමි. මේ දෙදෙනා තුමූ බුදුරජාණන් වහන්සේ ගේ මා පිය බවක් කුමට කියත් දැ?” යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඇසූහ. එබසට වදාරන සේක්, “ආනන්දය, මේ බමුණු බැමිණි දෙදෙන බොහෝ පෙර පිළිවෙළින් ම පන්සියයක් පමණ ජාතීන් හි මගේ මවු පිය ද, එ පමණ කල් ලොකු මවු පිය ද, සුළු මවු පියද වූහ. ඒ පූර්ව ස්නේහය මතු වීමෙන් ඔවුන් මෙසේ කියති” යි වදාළ සේක.

ඉන්පසු කලක් එහි වැස නැවතත් සැරිසරන සේක් සැවැත් නුවරට ම වැඩි සේක. ඒ බමුණු බැමිණි දෙදෙන ද භික්ෂූන් වෙත එළැඹ බණ අසා සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන ඉතිරි මාර්ග තුනටත් පැමිණ අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිණිවිය හ. නුවර වැසි බමුණෝ ද උපාසකවරු ද මහත් සත්කාර සහිතව මෘත ශරීර කූටාගාරයක බහා නුවරින් ආදාහනස්ථානයට ගෙන පිටත් වූහ. බුදුරජාණන් වහන්සේ අලුයම්හි ලෝ බලන සේක්, තමන් වහන්සේ ගේ එහි වැඩීමෙන් බොහෝ දෙනාට ධර්මාභිසමය වනු දැක, සැවැත් නුවරින් නික්ම ඒ සොහොන් බිමට වැඩි සේක. මිනිස්සු උන්වහන්සේ දැක, “සිය මා පියන් ගේ ශරීරාදාහනෝත්සවයට භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ.”යි කියා අවුත් වැඳ සිටියා හ. නගර වැසිහු ද මෘත ශරීර ලූ කූටාගාරය පෙරහැරින් ගෙන ආදාහන භූමියට පැමිණිය හ. ඉක්බිති “ගෘහස්ථ ආර්‍ය්‍යශ්‍රාවකයන් කෙසේ පිදිය යුතු දැ?” යි ඔහු විචාළ හ. එවිට භාග්‍යවතුන් වහන්සේ “අශෛක්ෂනයට (රහත් ඵලයට පැමිණියනට) පූජා කළ යුතු පරිදිම ඔවුන් පිදිය යුතුයැ” යි දක්වන සේක් ඒ දෙදෙන රහත් වූ බව ප්‍රකාශ කොට ඉක්බිති ජරා සූත්‍රය [65]* දෙසූ සේක.

ඡාත්‍ර මානවක සමාගමය

සේතව්‍යා නගරයෙහි බමුණකුගේ පුතෙක් වී ය. ඉගැන්මට නිසි වයස පැමිණි විට හෙ තෙම පිය බමුණහු විසින් උක්කට්ඨා නගරයෙහි ප්‍රසිද්‍ධ ආචාර්‍ය්‍යවරයකු වූ පොක්ඛරසාදී නම් බමුණු පඬිවරයා වෙත යවන ලද්දේ ය. නුවණැති බැවින් වැඩි කල් යන්නට පෙර හේ වේදයෙහි ද සෙසු විද්‍යා ශිල්පයන්හි ද සමර්ථ වී ය. ඉන් පසු ඡාත්‍ර තෙම ඇදුරු බමුණා වෙත එළැඹ “ඔබ වෙත මම උගත්තෙමි. ගුරු පඬුරු වශයෙන් කුමක් දෙම් දැ?” යි ඇසීය. “ගුරු පඬුරු නම් ගෝලයන් ගේ වත් පොහොසත්කමේ හැටි හැටියට ය, එබැවින් කහවණු දාහක් ගෙනෙව” යි ඇදුරු බමුණා කී ය. ඡාත්‍ර තෙම ගුරු පඬුරු ගෙන එන්නට ගුරුවරයා වැඳ සමුගෙන පිටත් ව ගියේ ය. ගොස් මාපියනට ඒ පවත් දන්වා කහවණු දහසක් ලබා ගෙන පොදියක් බැඳ පසු දා ආචාර්‍ය්‍යවරයා වෙත එන්නට පිටත් වීය. තරුණයාගේ ගමනේ තොරතුරු කලින් දැනගත් මං පහරන සොරු ඔහු යන මඟ අසළ ලැහැබකැ සැඟවී සිටියහ.

සැවැත් නුවර වසන බුදුරජාණන් වහන්සේ එදින අලුයම්හි බුදු ඇසින් ලොව බලන සේක්, ඡාත්‍රයාට වැළැක්විය නො හැකි බර අකුසල විපාකයක් එළැඹ සිටි බවත් එයින් ඔහු සොරුන් ගෙන් මැරුම් කන බවත් දැක, එයට පෙර ඔහු තිසරණ පන්සිල් ගන්නා ස්වර්ග මාර්ගයෙහි පිහිටුවන අදහස් ඇති ව, කලින් ම වැඩ මාණවකයා යන පාර අද්දර රුකක් මුලැ හුන් සේක. මාණවක තෙමේ ද කහවණු පසුම්බියත් ගෙන පිටත් ව යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක සමීපයට ගොස් සිටියේ ය. එ විට “ඡාත්‍ර, කොහි යන්නෙහි දැ” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “ගෞතමයන් වහන්ස, උක්කට්ඨා පුරයට යමි, මගේ ආචාර්‍ය්‍ය වූ පොක්ඛරසාදි බමුණුතුමාට ගුරු දක්ෂිණාව දෙන්නට යැ”යි මාණවක තෙම පිළිතුරු දුන. “මාණවකය, තිසරණත් පංච ශීලයත් දන්නෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “ඒ කිම් ද? ඒ කුමට දැ?” යි මාණවක ඇසී. බුදුරජාණන් වහන්සේ තිසරණ ගමනයත් පංච ශීලයත් මේ මේ යැයි දක්වා එය සමාදන් කොට ගැන්මේ ඵලයත් අගයත් දක්වා “මාණවකය, සරණ ගමන විධිය උගනුව”යි වදාළ සේක. “උගන්නෙම් වහන්ස, වදාරන්න” යි ඔහු කීයෙන් ඔහුට රුචි වන පරිදි වූ ගාථා බන්ධනයක් කොට දුන් සේක. මාණවක තෙමේ ද ඒ අනුව කියා ගාථා කටපාඩම් කැර ගත්තේ ය.

ඒ ගාථාවෝ,

“යෝ වදතං පවරො මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ

පාරගතෝ බල විරිය සමඞ්ගී තං සුගතං සරණත්තමුපේමී

.

රාග විරාගමනේජමසෝකං ධම්මමසංඛතමප්පටිකූලං

මධුරමිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත්තමුපේමි

.

යත්ථ ච දින්නමහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගේසු

අට්ඨ ච පුග්ගල දම්මදසා තේ සංඝමිමං සරණන්තමුපේමී.

මේ ගාථා තුන කියා සරණ පිහිටි ඡාත්‍ර මානවකයාට පඤ්චශීලයේ සැටි, පල හා අනුසස් ද වදාළ සේක. එය සිතට ගත් හෙ තෙම පන්සිල් ඉටා ගෙන “ඉතින් භාග්‍යවතුන් වහන්ස, මම් යන්නෙම්” යැ යි කියා අවසර ගෙන තෙරුවන් ගුණ සිහි කෙරෙමින් ම මං බැස්සේ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “මොහුට දෙව් ලෝහි ඉපදීමට මේ කුසල් ම සෑහේ යැ”යි සලකා ජේතවනයට ම පෙරළා වැඩි සේක.

මහා මාර්ගයෙන් යන ඡාත්‍ර තෙම සොරුන් වසන පෙදෙසට පැමිණියේ ඔවුන් ගැන කිසිත් නො සලකා තෙරුවන් ගුණ සිහි කෙරෙමින් ම ගියේ ය. එ කලැ හෙ තෙම පඳුරෙකැ සැඟෙවී සිටි සොරකු විසින් විෂ පෙවූ ඊයෙකින් හදිසියෙන් විදුනා ලද්දේ එ තැන ම මැරී වැටුනේ ය. සොරු කහවනු පොදිය ගෙන පලා ගියහ. මළා වූ ඡාත්‍ර තෙම නිදා පිබිදියකු සේ තව්තිසා දෙව් ලොවැ රන්විමනෙක උපන්නේ ය.

සේතව්‍යා පුරයට යන මිනිස්සු මළා වූ ඡාත්‍ර යා දැක ඔහු ගේ මාපියනට ද, උක්කට්ඨා පුරයට ගිය තැනැත්තෝ පොක්ඛරසාදී බමුණාට ද ඒ බව දැන්වූහ. ඒ දෙනුවරින් ඡාත්‍රයා ගේ මවු පිය නෑ මිතුරෝ අවුත් රැ අඬා වැළපී මාර්ගය සමීපයේ දර සෑයක් කොට මළ සිරුර ආදාහන කරන්නට ආරම්භ කළහ. එහි දී සිදු වන යහපත දැක බුදුරජාණන් වහන්සේ එහි පැමිණ ගසක් මුල හුන් සේක. ඡාත්‍ර දෙව් පුත් ද තමා ලත් සැපතට හේතුව බලනුයේ බුදුරජාණන් වහන්සේ නිසා ඒ සා මහත් සැපත් ලත් බව දැක, එහි පැමිණ භාග්‍යවතුන් වැඳ පසෙක සිටියේ ය. ඒ දුටු මහජනයා විස්මිත ව භාග්‍යවතුන් වහන්සේ පිරිවැරූහ. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙව් පුතු ලවා ඔහු ගේ සියලු ප්‍රවෘත්තිය ප්‍රකාශ කරවා ඉක්බිති දහම් දෙසූ සේක. ඒ ඇසූ දෙව්පුත් තෙමේ ද ඔහු ගේ පෙර අත් බැවැ මා පියෝ ද තවත් බොහෝ දෙනා ද සෝවාන් වූහ. දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට භික්ෂු සංඝයා වහන්සේට යටත් පැවතුම් දක්වා මාපියන් ගෙන් සමුගෙන දෙව්ලොවට ම ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා සහිත ව නික්මි සේක. ඡාත්‍රයා ගේ මා පියෝ ද සෙසු මහජනයා ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට නැවතුණහ.

බකබ්‍රහ්ම සමාගමය

භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නගරය අසල සුභග වනයෙහි සල් රුක මුලැ වසන සේක. එ සමයෙහි බක නම් බ්‍රහ්මයා හට “මේ බඹලෝ නිත්‍යය, ධ්‍රැවය, ශාශ්වතය, කෛවල්‍යය, නොනැසෙන සුලුය. මෙය නො සෑදේ, නො දිරයි. නො මැරේ, නූපදී, මෙයින් අන්‍ය නිඃශරණයෙක් (මෙයින් මිදී යන තැනෙක්) නැතැ යි මිථ්‍යාදෘෂ්ටියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහු ගේ අදහස දැන, උන් තැනින් අතුරුදහන් ව ක්ෂණයෙකින් බඹ ලොවැ පහළ වූ සේක. බඹා භග්‍යවතුන් වහන්සේ දැක,

නිදුකාණනි, වඩිනු මැනැව. ඔබගේ මෙහි ඊම ස්වාගත ය. ඔබ මෙහි වැඩියේ කලෙකිනි. නිදුකාණෙනි, බඹ ලොව වනාහි නිත්‍ය ය, ධ්‍රැව ය. ශාශ්වත ය, කෛවල්‍යය, නො නැසෙන සුලුය, මෙය නො සෑදේ. නො දිරයි, නො මියෙයි, නො සැවේ, නූපදී, මින් ච්‍යුත ව යෑමෙක් නැතැ” යි කී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ගේ ප්‍රකාශය වරද බව, ඔහු අවිද්‍යායෙන් අන්ධ ව මෙසේ සිතන බව වදාළ සේක. එ කල මාර තෙම එක්තරා බඹක් හු සිරුරැ ආවිෂ්ට ව “මොහුට ගර්හා නො කරව. මහණ, මේ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මය, සියල්ල මැඩැ ගෙන ඉන්නේ ය. කිසිවක් හු විසිනුත් අනභිභූත ය, සියල්ල ඒකාන්තයෙන් දන්නේ ය. වශවර්ත්තී ය. ඊශ්වර ය, කාරක ය, නිර්මාපක ය, ශ්‍රෂ්ටා (සියල්ල සාදන්නා) ජේතෘ ය, සියලු උපනුන් උපදනාවුන්ගේ පීතෘ ය. මහණ, තට පූර්වයෙහිත් පෘථිව්‍යාදියට ගැරැහුවෝ, පිළිකුල් කළ මහණ බමුණෝ වූහ. එහෙත් පෘථිවි, අප්, තේජස්, වායු, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම යන මොවුනට ගරහා මරණින් පසු අපාය භාග් වූහු. එහෙත් ඒ පෘථිව්‍යාදීන් නො ගැරැහූ මහණ බමුණෝ මරණින් පසු බඹ ලොව්හි උපන්හ. එ බැවින් මම් තට කාරණයක් කියමි. එය කරව, පින්වත, මේ බඹහු කියන්නක් කරව. මොහු ගේ වචන නහමක් ඉක්මව. ඉදින් තෝ එය ඉක්මවන්නෙහි නම්, වෙත එන ශ්‍රීය දැක මොහොලක් ගෙන පලවා හරින්නා වැන්න. මහණ ප්‍රපාතයක වැටෙන්නේ, අතින් ගන්නට හෝ පය රඳවන්නට කිසිත් නොලදොත්, එහි වැටෙන්නේ මය. එසේ ම තා බඹහු කියන්නක් ඉක්මුවහොත් තට වනසෙක් වන්නේ ය. එබැවින් මෙම බඹහු කියන්නක් කරව. මොහු බස නො ඉක්මව. මේ බඹහු පුදා යශසින් හා ශ්‍රීයෙන් බැබළෙව” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔහු දැන, “පාපීය, තා අඳුනමි, මා තා නො දනිතැ යි නො සිතව. මේ බඹාත් සෙසු බඹ පිරිසත් තා අත් අඩංගුයෙහි ය. තා වශයෙහි ය. ඒ තෝ මා තගේ අතට හසු වූයෙකැ යි නො සිතව. මම් වූ කලී, පාපීය, තා අතට නො හසු වූයෙකිමි. තා වශයට නො ගියෙකිමි” වදාළ සේක.

මෙ සේ වදාළ කළ බක බ්‍රහ්ම තෙම,

“නිදුකාණෙනි, මම් වනාහි නිත්‍යයක් ම නිත්‍ය යැ යි, ධ්‍රැවයක් ම, ධ්‍රැවයැ යි, ශාශ්වතයක් ම ශාශ්වත යැ යි, කෛවල්‍යයක් ම කෛවල්‍ය යැ යි, නො මැරෙන සුල්ලක් ම නො මැරෙන සුලු යැයි, දැනුම් දිරුම් මැරුම් සැවුම් නැත්තක් ම ඒ නැතැ යි, මින් අන්‍ය වූ මත්තෙහි නො මැති නිඃශරණයක් නො මැතැ” යි කියමි. යුෂ්මත් ද මින් අන්‍ය නිඃශරණයක් නො ම දක්නෙහි ය. එය සොයන්නට යෑමෙන් තොර වැ යුෂ්මත් පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපතී බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට ගෙන සිතින් එහි ලග්නෙහි නම්, මට ළංව අරක් ගෙන සිටින්නෙහි ය. මම් ද යුෂ්මත්හු කැමැතියක් කරන්නෙමි. සෙස්සන් හැර යුෂ්මත්හු ඇතුළත් කර ගන්නෙමි” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ “මොහු ගේ මානය බිඳිමි” යි සිතා, “බ්‍රහ්මය, පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට සිතින් ගෙන මොවුන් කෙරෙහි සිත ලග්වම් නම් මා තට ළංව ඉන්නකු බව, තට අරක් ගත්තකු වන බව, තා සිය කැමැත්තක් මට කැර ලන බව, සෙස්සන් පිටත් කොට මා ඇතුළත් කැරැ ගන්නා බව දනිමි. එහෙත්, බ්‍රහ්මය. බක බ්‍රහ්ම මේ තරම් තෙදැත්තෙකැයි නො සිතමි. මම තාගේ ගතිය ද ච්‍යුතිය ද දනිමි” යි වදාළ සේක.

“නිදුකාණෙනි, යුෂ්මත් කෙසේ මගේ ගතිය ච්‍යුතිය දන්නෙහි දැ?”යි බක බ්‍රහ්ම ඇසී.

එ බස් අසා භාග්‍යවතුන් වහන්සේ “රිවි සඳු දෙදෙනා දිශාවන් බබුළුවමින් ඇවිදිනා තාක් වැනි දහසක් ලෝක ධාතුව තාගේ වශයෙහි පවතී. තෝ මෙතෙක් තන්හි හීන ප්‍රණීත සත්ත්වයන් දනිහි. සරාග විරාග ද සතුන් දනිහි. උපදනවුන් මැරෙනවුන් දනිහි. අත් බවට ඊමත් ඉන් යෑමත් දනිහි. තා දන්නේ මෙතෙක් ය බ්‍රහ්මය, මෙසේ තගේ ගති ච්‍යුති සෘද්ධ්‍යානුභාව ප්‍රමාණයෙන් මම දනිමි. බ්‍රහ්මය, තා නොදන්නා නොදක්නා කාය තුනෙක් ඇත. එය මම් දනිමි. බ්‍රහ්මය, තා සිට ආ තැන වූ, බොහෝ කල් ගත වූ බැවින් තට සිහි නැති ආභස්සර නම් බ්‍රහ්මකායයෙක් ඇති. මම් වනාහි එය දනිම්, දකිම්, මෙ සේ ඒ දැනීමෙන් තෝ මට නො සමය. එසේ කලැ එයින් මගේ තට මිටි බවෙක් කොයින් වන්නේ ද? බ්‍රහ්මය. සුභකිණ්හ නම් බ්‍රහ්ම කායයෙක් ඇත. ඒ ද තෝ නො දනිහි. නො දකිහි. මම් වූ කලි එය දනිමි, දකිමි. වේහප්ඵල නම් බ්‍රහ්ම කායයෙක් ඇත. එය තෝ නො දනිහි, නො දකිහි. එය මම් දනිමි. දකිමි. මෙසේ බ්‍රහ්මය, තෝ මට නොසම ය. මගේ තට මිටි බවෙක් කොයින් ලැබේ ද? මේ හැම දෙයින් මම් තට වැඩි ම යැ” යි වදාළ සේක. වදාරා, පෘථිවි අප් ආදීන්ගේ තත්ත්වය තමන් වහන්සේ අවබෝධ කැර ඇති බවත්, බඹහු එය නොදත් බවත්, ඒ බඹහු තමන් වහන්සේට එයිනුත් පහත් බවත් වදාළ සේක.

බඹා කිසිත් කැරැ ගත නො හී “එසේ නම් මම තට අතුරුදන් වෙමි” යි කීය.

“හැකි නම් අතුරුදන් වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

බඹ තෙම “අතුරුදන් වෙමි” යි තැත් කළේ ද, නො හැකි විය. කෙසේ සැඟවුණත් භාග්‍යවතුන් වහන්සේ ඔහු දක්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ අතුරුදන් වන බව වදාරා සිය කථාව ඔවුනට ඇසෙන්නටත් රූපය නො පෙනෙන්ටත් සැලැස්වූ සේක.

බක බ්‍රහ්මයා ආදී සියලු බඹ පිරිස භාග්‍යවතුන් වහන්සේ ගේ මහර්ධිකතාව ගැන පුදුමයට හා විස්මයට පැමිණියහ.

ඉක්බිති මාර තෙම එක් බඹකුට ආවිෂ්ට ව “ඉදින් නිදුකාණෙනි, තෙපි මෙසේ දන්නහු නම්, තෙපි සම්‍යක්සම්බුද්ධ නම්, ශ්‍රාවකයන් ඇති නො කරවු. පැවිද්දන් ඇති නොකරවු. ඔවුනට දම් නො දෙසවු. ඔවුන් කෙරෙහි ඇල්ම නො කරවු. යුෂ්මත්නට පෙරත් “සම්‍යක්සම්බුද්ධය” යැ ප්‍රතිඥා කළ මහණ බමුණෝ වූහු . ඔහු සව්වන් ඇති කොට ඔවුනට දහම් දෙසා ඔවුන් කෙරෙහි ඇල්ම ඇතිකොට මැරී පහත් අත් බව්හි උපන්හ. එහෙත් යුෂ්මත්නට පෙර පහළ වූ සම්‍යක්සම්බුද්ධ යැ යි ප්‍රතිඥා කළ සව්වන් ඇති නො කළ මහණ බමුණෝ වූ කලි උසස් අත්බව්හි පිහිටියහ. එ බැවින් මම්, මහණ, තොපට කියම්, මන්දෝත්සාහ වවු. දෘෂ්ට ධර්ම සුඛවිහාරී ව වසවු. අන් හට බණ නො කීම යහපති. අන්හට ඔවා නො දෙවු”යි කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, තා මම් දනිමි. නො දනිතැයි නො සිතව, තෝ පාපීය, මාරයෙහි ය. තෝ වැඩ කැමැති ව දයායෙන් මෙසේ නො කියහි ය” යන ආදීන් මාරයා ගරහා පලවා හැර. ඒ බඹ පිරිසට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. දහසක් බඹුහු රහත් වූහ.

මණ්ඩුක දේවපුත්‍ර සමාගමය

භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක චම්පා පුරයෙහි ගර්ගරා පොකුණ අසළ ආරාමයෙහි වුසූ සේක. නුවර පිඬු පිණිස හැසිර වළඳා දවල් කාලය ඵලසමාපත්ති සැපයෙන් ගෙවා සවස දම් සබා මඬුයෙහි සිවු පිරිස මැද දම් දෙසන සේක.

එ කෙණෙහි මැඬියෙක් පොකුණෙන් අවුත් “මේ මනා කථාවකැ” යි යන සංඥායෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ මධුර ස්වරයට කන් යොමු කොට පිරිස් කෙළවර හුන්නේ ය.

එක් ගොපල්ලෙක් ද එහි අවුත් බණ අසන පිරිස දැක, සැරයටිය බිම ගසා, එහි එල්බ එයට බර වැ සිට බණ ඇසී ය. හේ මැඩියා නො දුටුයේ ය. ඔහු සැරයැටිය තුබුයේ මැඩියා මත්තෙහි ය. මැඩි තෙම වනාහි ඉන් තෙරැපීත් භාග්‍යවතුන් වහන්සේ ගේ කටහඬෙහි යැවූ සිතැත්තේ, ප්‍රසන්න සිතින් මළේ, තව්තිසා දෙව්ලොවැ දෙව් පුතෙක් ව උපන්නේ ය. දෙව්ලොවැ උපන් කෙණෙහි හේ “කොහි සිට කවර පිනකින් මෙහි උපන්නෙම් දැ?” යි බැලූයේ, වූ සියලු පවත් දැක විමානය පිටින් ම එකෙණෙහි යථොක්ත බණ අසන පිරිස සමීපයට අවුත් විමනින් බැස මහ ජනයා බලා හින්දැ දීම, දෙව් පිරිස කැටිව භාග්‍යවතුන් වහන්සේ වෙත එලැඹ, පාමුලැ වැටී වැඳ ඇඳිලි බැඳ ගෙන නමස්කාර කරමින් සිටියේ ය.

කර්ම ඵලය දෙව් පුතු ලවා ම මහජනයාට ප්‍රකාශ කරවා ලන අදහසින් භාග්‍යවතුන් වහන්සේ “මා පා වඳින මේ තෙම කවරේ දැ”යි අසා වදාළ සේක.

දේව පුතු තමා පෙර මැඩියකු ව සිටි බවත්, තමා භාග්‍යවතුන් වහන්සේ ගේ කථා ශබ්දයෙහි නිමිත්ත ග්‍රහණය කරමින් සිටින විට ගොපළු දරුවකු ගේ සැරයටියට අසු වී තෙරැපී මළ බවත්, ප්‍රසන්න සිතින් කළුරිය කොට තව්තිසා දෙව්ලොව දෙව් පුතකු ව උපන් බවත් කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ මෙය ඇරැබ, පැමිණ සිටි මහ පිරිසට විස්තර වශයෙන් ධර්ම දේශනාවක් කළ සේක. දේශනාවසානයෙහි දෙව් පුත් සෝවාන් වී ය. සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය වී ය. දෙව් පුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ සිය පිරිස හා දෙව්ලොවට ම ගියේ ය.

ආනන්ද ශ්‍රෙෂ්ඨි සමාගමය

සැවැත් පුර සතළිස් කෙළක් ධනය ඇති ආනන්ද නම් මහ සිටෙක් වී ය. හේ මහ මසුරෙකි. හේ සිය පුතුට අවවාද කරන්නේ, “මේ සතළිස් කෙළක් ධනය බොහෝ යැ යි නො සිතව. ඇති ධනය නො දිය යුතු ය. ධනය වැඩිම නම් කළ යුතු ය. එක කහවණුවකුත් වියදම් කරන්නහු ගේ ධනය එ පමණට ගෙවේ යැ” යි කිය යි. හේ කිසි දිනෙකැත් තමා සතු මහා නිධාන පස අසුවල් තැන යි පුතුට නො දැන්වී ය. මෑත භාගයෙහි හේ මළේ නුවර සමීපයෙහි සැඩොල් ගමෙක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේ ය.

පියා ගේ මරණින් පසු ඔහු පුත් මූලසිරි තෙම සිටු තනතුරට රජහු විසින් පත් කරන ලද්දේ ය.

යටකී සැඩොලිය ගබ් ගත් දා සිට ම ඒ ගම සැඩොලුනට කුලී වැඩකුත් නො ලැබෙන තරම් වීය. ඔහු කාලකණ්ණියා සොයා බලනුවෝ ඒ සැඩොලිය කුස උපන් දරු යැයි සලකා ඇය සැඩොල් ගමින් නෙරැපූහ. සැඩොලිය දුක සේ කල් ගත කොට පුතකු වදාපු දෑය. ඒ උපන් දරු තෙමේ වනාහි අංග විකල පාංශුපිසාචයකු වැන්නෙකි. එහෙත් පුත්‍ර ස්නේහය බලවත් බැවින් මවු ඔහු පෝෂිත කළහ. සිඟා කෑමට තරම් වයස් වූ විට ඒ දරු අතට කබලක් දී “පුත, තා නිසා අපි මහත් දුක් වින්දම්හ. දැන් තා පෝෂණය අපට නො හැකිය. මේ නුවර දුගියනට මගියනට බත් දෙන තැන් ඇත. එහි ගොස් සිඟා කා දිවි රකු” යැ යි කියා ඔහු යැවූ ය.

ඒ දරු තෙම නුවර ගෙ පිළිවෙලින් හැසිරෙන්නේ පෙර තමා ආනන්ද සිටුව උන් සමයෙහි වුසූ සිටු මාලිගාව දැක ජාතිස්මරණය කොට සිය ගෙට පිවිසියේ ය. තුන් දොරටුවල සිටි කිසිවෙක් ඔහු නො තැකුයේ ය.

සතරවන දොරටුවට ඔහු වන්නහු දැක මූලසිරි සිටුහු ගේ දරුවෝ බිය වැ කෑ ගැසූහ. සිටුහු ගේ ඇමතියෝ ඔහු දැක පිටත යව, කාලකණ්ණියැ” යි කියා තළා කසළ ගොඩට හෙළා ලූහ.

මේ වේලායෙහි ශාස්තෘන් වහන්සේ අනඳ තෙරුන් හා පිඬු පිණිස වඩනා සේක්, එ තැන දී තෙරුන් දෙස බලා, කසළ ගොඩැ උන් දරුවාගේ ප්‍රවෘත්තිය වදාළ සේක. එවිට තෙරණුවෝ මූලසිරියා කැඳවූහ. මහ ජන සන්නිපාතයෙක් ද විය.

භාග්‍යවතුන් වහන්සේ මූලසිරි සිටු අමතා, ඒ දරුවා පෙන්වා “මේ කවරැ යි දනිහි දැ?”යි ඇසූ සේක.

“නො දනිමි” යි සිටු පිළිතුරු දුන්නේ ය. “මෙ තොප පියා ආනන්ද ශ්‍රෙෂ්ඨි” යැ යි වදාළ සේක. සිටු නො ඇදහී ය. එ විට භාග්‍යවතුන් වහන්සේ සැඩොල් දරු අමතා “ආනන්ද සිටාණෙනි, තොප පුත්‍රයාට තොප ගේ පංච මහා නිධානය “ඇති තැන් කියවු” යැ යි වදාළ සේක. සැඩොල් දරු එය පෙන් වී ය. ඉක්බිති සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය අදහා පැහැදී තෙරුවන් සරණ ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ සිටු පාමොක් ජන සමාගමයට දම් දෙසන සේක්,

“මගේ පුත්තු ඇත, ධනය ඇතැ”යි පුත්‍ර තෘෂ්ණායෙන් ද ධන තෘෂ්ණායෙන් ද ලාමක පුරුෂ තෙම වෙහෙසේ. තෙමේ ද තමාට නැත. මරණය හෝ අකුශල කර්ම විපාකය හෝ එළැඹ සිටි පුද්ගලයාට පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද?” යි වදාරා දම් දෙසූ සේක.

දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය වී ය.

ගරහදින්න සමාගමය

සැවැත්හි සිරිගුත්ත යැ යි ගරහදින්න යැ යි යහළුවෝ දෙදෙනෙක් වූහු. සිරිගුත්ත තෙම බෞද්ධෝපාසකයෙකි. ගරහදින්න තෙම නිර්ග්‍රන්ථ ශ්‍රාවකයෙකි. නිර්ග්‍රන්ථයෝ ගරහදින්නයා ලවා නිතර සිරිගුත්තයාට තෙරුවන් දොස් කියවා නිර්ග්‍රන්ථයන් ගේ අගය වර්ණනා කරවා තමන් කෙරෙහි පහදවා ගන්නට තැත් කෙරෙති.

සිරිගුත්ත තෙම කීප වරක් තුෂ්ණිම්භූතව සිට දිනෙක ගරහදින්නයා තමාට රත්නත්‍රයයේ අගුණ කියන්නට ආ විට,

“තෙපි මට “ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් කුමක් ලබන්නෙහි ද, මගේ ආර්‍ය්‍යන් වෙත ගොස් දන් දෙව”යි නිතර කියවු, කිව මැන, තොප ගේ ආර්‍ය්‍යයෝ කුමක් දනිත් දැ?” යි ඇසී ය.

ගරහදින්න තෙම “අහෝ ස්වාමීනි, එසේ නො කිව මැන. මගේ ආර්‍ය්‍යන් නො දත් දැයෙක් නැත. සියල්ල දනිති” යි කීය.

එ විට සිරිගුත්ත “එ සේ නම් මෙතුවක් කලක් මේ බව නො කියා සඟොවා ගෙන සිටියා ලොකු වරදෙකි. අද තොප ගේ මඟින් ආර්‍ය්‍යන් ගේ ඥනානුභාවය මම දතිමි. යන්නැ, මගේ වචනයෙන් ආර්‍ය්‍යනට නිමන්ත්‍රණය කරන්නැ”යි කී ය.

ගරහදින්නයා ගොස් ඒ පවත් කියා නිර්ග්‍රන්ථයන් පසු දා බතට නිමැතුයේ ය. නිර්ග්‍රන්ථයෝ “සිරිගුත්තයා තමන් කෙරේ පැහැදුණේ යැ”යි තුටු පහටු ව එය පිළිගත් හ.

සිරිගුත්තයාගේ වාසස්ථානය විශාල ය. හේ එහි ගෙවල් දෙකක් අතර දිගට ම අගලක් සාරවා එහි අශූචි හා මඩ පුරවා ඊ පිට දෙ පසැ කණු සිටුවවා, ලනු බඳවා ආවාටය අද්දරැ ආසන පණවා ලූයේ ය. ඒ ආසනවලැ ඉදිරි පා වළ අද්දර ද පසු පා වළ මත්තෙහි ලනු උඩ ද තැබැවී ය. එසේ කළේ අසුන්හි හුන් විට ලනු පෑගී ආසනවල පසු පා පහත් ව බැස ඒ නිගණ්ඨයන්, පිටි අතට හිස යටිකුරු වැ වැටෙනු පිණිස ය. මෙසේ කොට වළ නොපෙනෙන සේ ආසනත් වළ මුව විටත් වසා ඇතිරි අතුරුවාලූයේ ය. මහත් සැළි සෝදවා කෙසෙල් කොළින් ද කඩවැස්මෙන් මුව වසා බඳවා ඒ හිස් බඳුන් පිට පැත්තේ බත්තුළු ගිතෙල් පැණි ආදිය ඉස්වා ගෙයි පිටිපස තැබ්වී ය.

ගරහදින්නයා උදේ අවුත් බලා දන් පිළියෙල වූවා දැක සතුටු ව ගියේ ය. ඔහු ගිය පසු පන්සියයක් පමණ නිර්ග්‍රන්ථයෝ එහි ආහ. සිරිගුත්ත තෙම ගෙන් නික්ම පසඟ පිහිටුවා වැඳ ඔවුන් ඉදිරියේ දොහොත් මුදුන් තබා සිට “ඔබ වහන්සේ අතීතාදී සියලු කාලය දන්නෝ ල. ඔබ එය දනිතැ” යි ඔබ ගේ උපස්ථායකයා මට කීය. ඉදින් තුන් කල් නො දනිත් නම් මා ගෙට නො එනු මැනැව. මා ගෙට ගියත් කැඳ බතෙක් නො ලැබේ. නො දැන, පිවිසියොත් ඔබ හැම අසූචි වළැ හෙළා තළවන්නෙමි” යි සිතීය. ඔවුන් ඉඳගත් කල්හි ලනු වසා එළූ පසතුරුණු ඉවත් කරන්නට පුරුෂයනට සංඥා කෙළේ ය.

ඉක්බිති හේ නිවටුන් කැඳැවී ය. උහු ද වැද අසුන්හි ඉඳගන්නට ආරම්භ කළ කෙණෙහි එහි සිටුවා ලූ පුරුෂයෝ “ස්වාමීනි, ටිකක් සිටිනු මැනවැ”යි කීහ. “ඒ මන්දැ?”යි නිවටහු ඇසූහ. “අප ගෙට පැමිණියවුන් වත් දැන ඉන්ද යුතු ය. ඔබ වහන්සේ තම තමනට පැමිණි ආසන ළඟ සිට එක් විට ම ඉන්ද යුතු” යැ යි ඔහු කීහ. “මැනැවැ”යි ගිවිස උහු ද එක විට ම ඉඳ ගත්හ. ඔවුන් ඉඳගන්නට නැමෙන විට ම එහි වූ ඇතිරි එක විට හැර ගත් හ. ඔවුන් ඉඳගනුත් සමග ම ලනු පිට තුබු අසුන් පා පහත බැස්සේ ය. නිගණ්ඨයෝ පිටි අතින් පා උඩුකුරු කොට වළැ වැටුණහ. සිරිගුත්ත තෙම දොරවල් පියවා ඔවුන් වලින් නැගුණ නැගුණවුන් තළවා වළට හෙළවා “තොපට මෙතෙක් සෑහේ” යැයි කියා දොරවල් හරවා ලූයේ ය. පලා යන ඔවුන් යන මඟ සුණු පිරියම් කළ බිමෙහි නානු බෙලසුල් වත් කරවා තුබුණු බැවින් එහි ද වැටී ගියහ. එහි නවතා ලූ පුරුෂයෝ වැටුණ වැටුණවුන් තළා පලවාපූහ.

නිගණ්ඨයෝ හඬා ගෙන ගොස් වූ පවත් ගරහදින්නයාට දැන්වූහ. හේ කිපී නඩු දැමූයේ ය. එහෙත් එයින් සිරිගුත්තයාට ම ජය වී ය.

ගරහදින්නයා ටික දිනක් සිරිගුත්තයා හා කථා මාත්‍රයකුත් නො කොට ඉඳ, යලිදු කපට අදහසින් ඔහු හා යහළු විය. දිනෙක සිරිගුත්ත තෙම බුදු ගුණ කියා භාග්‍යවතුන් වහන්සේ ට දන් දීමෙහි ගරහදින්නයා මෙහෙයී ය. ගරහදින්නයා ද “යහපතැ” යි ගිවිස ඔහු ලවා ම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට නිමන්ත්‍රණය කැරැවී ය. ඉක්බිති හේ ගෙවල් දෙකක් මැද මහ වළක් කණවා, කිහිරි දර පුරවා ගිනිකොට අඟුරු බස්වා වළ මත්තෙහි පෝරු අතුරුවා ඊ මතුයෙහි කළාල හා පැදුරු එළැවී ය. එහි අතුළ පෝරු අතුරෙන් භාග්‍යවතුන් වහන්සේ වඩනා ප්‍රදේශයෙහි පා තැබූ කෙණෙහි කඩා වැටෙන පරිදි දිරා ගිය ලෑලි අතුරුවා තැබී ය. වසන ගේ පැත්තෙහි සිරිගුත්තයා කළ පරිදිම හිස් බඳුන් බත් ආදිය ඉස කෙසෙල් කොළ ආදියෙන් වස්වා තැබීය.

නිමන්ත්‍රිත පරිදිම භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස හා වැඩි සේක. මහ ජනයා ද එහි රැස් විය, ගරහදින්නයා ගෙයින් පිටත අවුත් පසඟ පිහිටුවා වැඳ, දොහොත් මුදුන් තබා, පෙර සිරිගුත්තයා සිතු ලෙසින් “ඔබ තෙකල් දන්නා සේක්ය. නො එසේ නම් මෙහි පිවිසි විට දැනේ යැ” යි සිතා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවාගෙන ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ගෙට වැද ශ්‍රී පාදය අඟුරු වළ මත්තෙහි තැබූ විට ම රිය සක් සා පියුම් නැඟුණෙන් ඊ මත්තෙන් වැඩ ප්‍රඥප්තාසනයෙහි හුන් සේක. භික්ෂු පිරිසක් ඒ පියුම් මත්තෙන් ගොස් ආසනවලැ හිඳ ගත්හ.

ගරහදින්නයා මෙය දැක තැති ගත්තේ ය. සිරිගුත්තයා වෙත ගොස් වූ සියලු පවත් කියා, “තමා පිසූ දනක් නැති බව දැන්වී ය. එවිට සිරිගුත්ත තෙමේ “යව, ගොසින් බලව, බුද්ධානුභාවය ඉන් ම දත හැක්කැ” යි කියා ඔහු එය බලන්නට යැවී ය. ගරහදින්නයා ගොස් බැලූයේ ය. ඒ සියලු භාජන කැඳ බත් ආදියෙන් පිරී තුබුණු නියා දැක, විස්මිත ව ගොස් සියතින් ම දන් වැළැඳැවී ය. භෝජනාවසානයෙහි හේ අනුමෙවෙනි බණට අයැද පසෙක හුන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන බණ වදාරන සේක්, “මේ සත්ත්වයෝ ප්‍රඥා ඇස නැති බැවින් මගේ ශ්‍රාවකයන්ගේත්, බුද්‍ධශාසනයේත් ගුණ නොම දනිත්, ප්‍රඥා ඇස නැත්තහු අන්ධයෝ නම. ප්‍රඥාවත්හු ම ඇසැත්තෝ නමැ” යි වදාරා.

“මාවතක් අද්දරැ හළ කසළ ගොඩෙක සුවඳැති සිත්කළු පියුමෙක් යම්සේ පැන නගී ද, එසේ ම කෙලෙස් කුණින් පිරුණු ඥානාන්ධ වූ ලෞකික ජනයා අතුරෙහි උපන්නේ වී නුමුදු සම්‍යක් සම්බුද්ධශ්‍රාවක නෙම ගුණයෙන් ඒ සියලු ලෞකික ජනයා මැඩ අතිශයයෙන් බැබැළේ? යැ” 212 යි වදාරා දහම් දෙසූ සේක.

දේශනාවසානයෙහි සුවසූ දාසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය. ගරහදින්න සිරිගුත්ත දෙදෙනා ද සෝවාන් වූහ.

නැවැත සවස් කාලයෙහි දම් සබායෙහි රැස් වූ භික්‍ෂූන් කිහිරඟුරු මැදින් පියුම් පැන නැඟීම ගැන කථා කරමින් උන් විට, භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ, ඒ පවත් අසා “පෙරත් බෝධිසත්ත්ව සමයෙහි ගිනි අඟුරු මැදින් පියුම් පැන නැංගේ වේ දැ” යි වදාරා, භික්‍ෂූන් විසින් ආයාචිත සේක්, ඛදිරංගාර ජාතකය වදාළ සේක.

මට්ටකුණ්ඩලී සමාගමය

සැවැත් පුර කිසිවකුට කිසිත් නුදුන් විරූ ධනවත් මසුරු බමුණෙක් වී ය. හෙ තෙම අදින්නපුබ්බක නමින් මහජනයා විසින් දන්නා ලද්දේ ය. ඔහුට පුතෙක් විය. කුන්ඩලාභරණ සාදා දිය යුතු වූ විට කර්මාන්තකාරයනට වියදම් දිය යුතු යැයි බියෙන් තෙමේ ම රන් කැබැලි ගෙන කපා මට කොට කුන්ඩලාභරණ දෙකක් තනා පුතුට පැළැන්දැවී. ඒ කුමාර තෙමේ මට වූ කුණ්ඩලාභරණ දරන්නේ මහජනයා අතුරෙහි මට්ටකුණ්ඩලී යන නමින් ප්‍රකට විය.

සොළොස් වයස් පත් මට්ටකුණ්ඩලී හට පාණ්ඩු රෝගයෙක් වැළැඳුනේ ය. අදින්නපුබ්බක තෙම එය දැකත් ධනය වියදම් වෙතැයි බියෙන් කිසි වෙදකු නො ගෙන් වී ය. රෝගය අසාධ්‍ය වැ මට්ටකුණ්ඩලී මරණ මඤ්චකයෙහි හොත්තේ ය. ඔහු දක්නට එන්නවුනට ගෙ තුළැ ඇති ධනය පෙනෙතැයි සැලකූ බමුණා මරණාසන්න වූ සිය පුතු ගෙයින් පිටත පිල් කඩෙහි ඇඳක් මත සැතැප් වී ය.

එදා අලුයම්හි මහ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ මට්ටකුණ්ඩලියා දැක, ඔහු ඉන්න ගෙය සමීපයට වැඩි සේක. බ්‍රාහ්මණ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ දැක සිත පහදවා ගත්තේ ය. නොබෝ වේලාවෙකින් මළ හෙ තෙම දෙව්ලොවැ උපන්නේ ය.

අදින්න පුබ්බක තම පුතු ගේ මළ සිරුර දවා ආදාහන භූමියට ගොස් සැම දවසෙහි පුතුගේ නම කියා හඬන්නේ ය. මට්ටකුණ්ඩලී දෙව් පුත් ද තමා දෙව් ලොව උපදින්නට හේතුව බලන්නේ “සිය පියා මසුරු බැවින් තමාට වෙදකම් නො කරවා මළ පසු සොහොනේ හඬා ඇවිදී” යැ යි ද, “භාග්‍යවතුන් වහන්සේ කෙරේ ප්‍රසාදයෙන් තමාට දෙව් සැපත් ලැබුණේ යැ” යි ද දිටී ය. දැක අදින්න පුබ්බක බමුණා හඬා ඇවිදිනා සොහොනෙහි පැත්තෙක පළමු මට්ටකුණ්ඩලී වේශයෙන් ම සිට හඬන්නට වන.

බමුණු ඔහු දැක “කුමට හඬයි දැ” යි ඇසී. තමාට රථයක් ලැබුණු බවත් එයට රෝද දෙකක් නැති හෙයින් හඬන බවත් කීය. එ විට සිය පුතුගේ රූපාකාරය ඇති ඒ තරුණයා කෙරෙහි ප්‍රෙමයෙන් බමුණු තෙම “වුවමනා පරිදි වූ රිය සක් දෙකක් රිදියෙන් හෝ රනින් වුව ද සපයා දෙන්නෙමි. නො හඬව” යි කී ය.

“ලෙඩින් පෙළුණු සිය පුතුට ධනව්‍යය භීතියෙන් වෙදකමකුත් නො කැරැවූ මෙ තම පුත්‍ර වේශයෙන් ආවකු කෙරෙහි දැන් සෙනෙහෙ කොට මෙසේ කියයි. මොහුට නිග්‍රහකොට වරද පෙන්වා දෙමැ” යි දෙව් පුත් සිතී. සිතා තමාගේ රථයට අන් කිසි රෝදයකින් අර්ථයක් නැති බවත් රිවි සඳු දෙදෙනා ම සුදුසු වූ රෝද බවත් කී ය.

එවිට බමුණා රිවි සඳ නොලද හැකි බවත්, එය පැතීම මෝඩ කමක් බවත් කීය. දෙව් පුත් තෙම “මේ රිවි සඳුහු ඈත්හි වුවත් ඇසට පෙනෙති. මැරී පරලොව ගියහු නම් දක්නට නැත් ම ය. මෙසේ කලැ අපි දෙදෙනා ගෙන් කවරෙක් මූඪතර ද? ඇසට පෙනෙන්නට වත් ඇති රිවි සඳුන් පතන්නේ ද, නැත හොත් කොයි අත ඉඳී දැයි නො දැක්ක හැකි පරලොව සිටියහු පතා ශෝක කරන්නේ දැ” යි ඇසී.

බමුණු ඒ දෙව් පුතු ගේ කතාව අසා තමා වඩා මූඪ බව තේරුම් ගෙන ඒ වචනයෙන් ම තුනී වූ ශෝක ඇත්තේ “භවත, මා සෝ දුක් නිවූ යුෂ්මත් කවරෙහි දැ?” යි විචාළේ ය.

තමා මට්ටකුණ්ඩලියා ම බවත් දෙව්ලොව උපන්න බවත් හේ කීය. දන් දීම් ආදි කිසි කුසලක් ඔහු කිසි දිනෙක කරන්නා තමා නො දුටු බව කියා එසේ කලැ දෙව් ලොව උත්පත්තිය කවර හෙයින් වී දැයි බමුණා ඇසී ය.

මරණ මංචකයෙහි හුන් තමා කෙරෙහි දයාවෙන් වැඩි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවා ගත් ප්‍රසාද මාත්‍රයේ හේතුයෙන් දෙව් ලෝහි උපන් බව හේ කීය. කියා, බමුණාට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන ලෙස අවවාද දී දෙව් පුත් අතුරුදහන් විය.

බමුණා ද ගෙට ගොස් දන් පිළියෙළ කරවා පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩම කැරැවී ය. අබෞද්‍ධයකු භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවූ කලැ අබෞද්‍ධයෝ “අද ප්‍රශ්න ඇසීමෙන් ශ්‍රමණ ගෞතමයන් වෙහෙසවන හැටි බලම්හ”යි ද සෞගතයෝ “අද මහා ධර්මයාගයක් වෙතැ” යි ද සිතා එහි රැස් වෙති, මෙසේ එදා මහා ජනසන්නිපාතයෙක් විය.

භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා සත්කාර කොට ඒ අදින්න පුබ්බක තෙම “ඔබ වහන්සේට දන් නො දී වැඳීම් මාත්‍රයකුත් නො කොට ස්වර්ගයේ උපන්නෝ ඇත් දැ?” යි විචාළේ ය.

භාග්‍යවතුන් වහන්සේ “තොප පුත්‍රයා ම මෙයට සාධක යැ” වදාරා “මට කොඬොල් දෙව් පුත් විමානය සහිත ව මෙහි පැමිණේ වා” යි ඉටු සේක. දෙව් පුත් ද එසේ අවුත් ඔබ වැඳ සිටියේ ය.

මෙහි දී භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව් පුතු සාක්ෂ‍්‍ය ස්ථානයෙහි තබා බමුණා සහිත පිරිසට ධර්මාවවාද කළ සේක. බමුණු තෙම සරණ ගත උපාසකයෙක් විය.

ඉක්බිති මට්ටකුණ්ඩලියා ගේ චිත්තප්‍රසාද ඵලය ඇරැබ දම් දෙසන සේක්,

“සියලු චේතනාදීහු සිත පූර්වංගම කොට ඇත්තාහ. සිත ශ්‍රෙෂ්ඨ කොට ඇත්තාහ, සිතින් නිපදනා හ. ඉදින් පහන් සිතින් කියන්නේ කරන්නේ හෝ සිතන්නේ වේ ද, එහි ඵලය වූ සුඛවිපාක තෙම වෙන් වී නො යන සෙවණැල්ලක් සේ ඒ කුශලකාරී පුද්ගලයා අනුව ම යෙතැ” 189 වදාළ සේක.

මේ ධර්ම කථාව ඇසීමෙන් අදින්නපුබ්බක බමුණු ද මට්ටකුණ්ඩලී දෙව්පුතු ඇතුළු සුවාසූදහසක් ප්‍රාණීහු ද ධර්මාභිසමය කළෝ ය.

සරභ පරිව්‍රාජාකාදි සමාගමය

සරභ නම් භික්ෂු සිවුරු හැර පරිව්‍රාජක ව බුද්‍ධ ධර්මය තමා හොඳින් දත් බවත්, එය දැන ම තමා බුදු සස්න හළ බවත් මහජනයා මැද කියා ඇවිදී. රජගහ පුර පිඬු පිණිස හැසිරෙන භික්ෂූහු ඒ කථාව අසා අවුත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. සැළ කොට සප්පිනිකා නදී තීරයෙහි වූ ඒ පිරිවැජියන් ඉන්නා ආරාමයට වඩින්නට අයැදූහ. භාග්‍යවතුන් වහන්සේ ද එහි වැඩ පැණවූ අනෙහි හුන් සේක.

හිඳ සරභ පරිව්‍රාජකයා අමතා ඔහු එසේ කියන බව සැබෑ දැ යි විචාළ සේක. පිරිවැජි තෙම නිශ්ශබ්ද විය. “සරභය, කියව, තොප විසින් ශ්‍රමණශාක්‍ය පුත්‍රයන් ගේ ධර්ම ය කුමක් හැටියට දැන ගන්නා ලද ද? ඉතින් තොප ගේ දැනීම අසම්පූර්ණ නම් ඒ අඩු හරිය මම් සම්පුර්ණ කැර දෙන්නෙමි. ඉදින් තොප ගේ දැනීම සම්පූර්ණ නම් මම එය මැනැවින් පිළිගන්නෙමි. කියව”යි වදාළ සේක.

තුන් වන වර දක්වා ඇසූ නුමුත් හේ කර බා ගෙන ම නිහඬව උන්නේය. සෙසු පිරිවැජියෝ සරභයා අමතා “ඔබ ශාක්‍ය පුත්‍රීය ධර්මය තේරුම්ගත් නියාව කියන්නැ”යි කීහ. හේ නිහඬව ම බිම බලාගත් වන ම හුන්නේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගේ සම්‍යක් සම්බුද්ධත්වයේ අඩුවක් හෝ ආස්‍රව ක්‍ෂයයේ අඩුවක් හෝ ධර්මයේ අනෙෙර්‍ය්‍යානික බවක් කිසි ද කෙනකු විසින් සකාරණව පැවැසිය නොහැකි නියාව වදාරා දහම් දෙසා එ තැනින් ම අහස් නැඟ නික්මි සේක. භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි පසු පිරිවැජියෝ සරභයාට රළු පරොස් බසින් බැණ වැදුණහ.

ඒ පිරිස් මැද දී භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා මහත් පිරිසක් ධර්මාභිසමය ලැබූ හ.

චිංචි මානවිකාව

බුදු පාමොක් සඟනට දිනෙන් දින මහාජනයා ගේ සත්කාර වැඩි වනු දුටු තීර්ථකයෝ “ශ්‍රමණ ගෞතමයනට ලැබෙන ලාභ සත්කාර නැති කරමු” යි කුමන්ත්‍රණ කොට එයට මඟක් යොදා ගත්හ.

ඔවුන්ගේ චිංචා නම් වූ රූමත් පරිව්‍රාජිකාවක් වූ ය. දවසෙක ඕ තීර්ථකාරාමයට අවුත් වැඳ සිටියා ය. කිසි ම තීර්ථකයෙක් ඇය හා කථා නො කෙළේ ය. ඕ තුන් වරක් ම වැඳ “ස්වාමීනි, කථා නොකරන්නට මා කළ වරදෙක් ඇද්දැ?” යි ඇසුවා ය. “ඇයි, ශ්‍රමණ ගෞතමයන් ලොව තමන් වෙතට ඇද ගනිමින් අප නිෂ්ප්‍රභ කෙරෙමින් ඇවිදිනා නියාව නො දනු දැ?” යි ඔහු කීහ. “ස්වාමීනි, මුසුප්පු නො වුව මැනැව, මම් ශ්‍රමණ ගෞතමයනට අයස උපදවන නියාව දනිමි” යි කියා ඔවුන් සතුටු කළා ය.

එ තැන් පටන් කොට ඕ සෑම සැන්දෑවෙක ම රතු පිළි හැඳ පෙරව ගෙන සුවඳ මල් ආදිය රැගෙන ජේතවනය බලායෙයි. ඇය අඳුරෙහි යන්නිය දැක “කොහි යවු දැ?” යි විචාළ වුනට “මා යන එන තැන් දැන ගන්නට තොපට වුවමනාව කිමෙක් දැ?'යි ඔවුනට සැක උපදනා ලෙසට සැඩ බසින් කියා යයි. ජේතවනයට නොදුරු වූ තීර්ථකාරාමයෙක රෑ ලැග පසු දින උදෑසන ම ජේතවනයේ සිට යන්නියක සේ ඒ පැත්තේ සිට නුවර අතට යෙයි. උදෙන් ම ජේතවනයට එන උපාසකවරුන් “රෑ කොහි ලැග්ගෙහි ද මේ තරම් පාන්දොරින් එන්නේ?” යි ඇසූ විට “මා කොයි ලැග්ගත් එයින් තොපට ඇති වැඩේ මොකක් දැ?” යි බැණවැදී යෙයි. මාස දෙක තුනකට පසු වැ පහන් දොරැ ම තීර්ථකාරාමයේ සිට ජේතවනය අතට ටික දුරක් ගොස් නුවර අතට එන්නී ජේතවනයට උදෙන් ම එනවුන් “මේ උදේම කොයි සිට එවුද” යි ඇසූ විට “දෙව්රමැ ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළියේ නිදා හෙව එමි” යි කියයි. ඇගේ විහිලු බසෙකැ යි කිසිදු කෙනෙක් එය නො තකති. තව තුන් සාර මසක් ගිය තැන දවසෙක ඕ දර සුඹුල් ආදිය ලා ඊ වටා බඩ මහත් ව තිබෙන ලෙසට රෙදි කඩ වෙළා බඩදරු ලියක සෙයින් රත් පිළියක් පොරවා ගෙන සවස භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන වේලෙහි දම් සභාවට ගොසින් ඉදිරියේ සිටියා ය. එසේ සිට “ශ්‍රමණයෙනි, ඔබ දහම්දෙසති, ඔබට දා ව මා බඩැ දරුවෙක් ඇත. වදන අවස්ථාව ළං ව ඇත. වදන ගෙයක් නියම නැත. අවශ්‍ය වුවොත් ගන්නට තෙල් මිරිස් ආදී බෙහෙත් ද නැත. ඔබේ උපාසක ව සිටිනා කොසොල් මහ රජ්ජුරුවනට හෝ අනේ පිඬු සිටාණනට හෝ විශාඛාවනට හෝ කළමනා දෑ කරන්නට විධාන නො කරනුයේ හැයි ද?” යනාදීන් ආඩාපාලි කියන්නට වන.

භාග්‍යවතුන් වහන්සේ දෙසු ම නවතා, “තොප කියන දැයේ ඇත්ත නැත්ත තෙපි දනිවු අපිත් දනිමු” යි වදාළ සේක. එය හා සමග ම ඇය බැඳ බඩ වෙලා තිබුණු ලනු හා කඩ රෙදි ලිහී ගිලිහින. දර සුඹුළුත් කඩ රෙදිත් ඇගේ පා මුල ම වැටිණ.[66]98

රැස් ව සිටි මිනිස්සු එය දැක “කාලකණ්ණි කෙල්ල, භාග්‍යවතුන් වහන්සේට මෙසේ අභූත දෝෂාරෝපණ කරන්නට කාරණ කිම් දැ!”යි බැණ වැදී ඇය එ තැනින් පලවා හළහ. භාග්‍යවතුන් වහන්සේට නො පෙනෙන තෙක් මානයට ඇය ගිය විට පොළොව පැලී විවෘත විය, ගිනි දැල් නැඟිණ. ඕ එයට හසු ව ගිලී මැරී අවීචි නිරයේ උපන්නීය.

චිංචාව කළ ක්‍රියාව තීර්ථකයන් ගේ කුමන්ත්‍රණයෙක ප්‍රතිඵල යැයි හෙළි වූයෙන් ඔවුනට තවත් මහජනයා කළ කිරුණහ. ලබමින් තිබුණු සත්කාර ටික ද නැති විය.

කොසොල් රජු ගේ මරණය

පසේනදී කොසොල් රජ කේලම් බස් හදහා තමාට හිතවත් ව සිටි බන්ධුල සේනාධිපතියාත් ඔහු ගේ පුතුන් දෙතිසත් රහසින් මරවාපී ය. තමා අනුන් ගේ බොරු කථා හදහා තමාට පක්ෂපාත ව සිටි තිස් තුන් දෙනකුන් මරවා ලීමෙන් කෙළේ මහත් වරදෙකැ යි පසු ව දැනගත්තේ මහත් පසුතැවිල්ලට පත් විය. පිළියම් වශයෙන් කළ යුතු අන් කිසිත් නො දුටුයේ බන්දුල සෙනෙවියාගේ බෑනණු දීඝ කාරායණයා මහ සෙනෙවි ධුර යේ තැබී ය. එහෙත් දීඝ කාරායණ තෙම තම මයිලණුවනුත් ඔහු දරුවනුත් මැරීමේ පලිය ගැන්මට අවස්ථාවක් බලා සිටියේ ය. රජ ද තමා කළ බලවත් අපරාධය නොයෙක් විට සිහි කෙරෙමින් මහත් නො සැනසිල්ලෙන් කල් ගෙවී ය.

දවසෙක හේ කිසි රාජ කාර්‍ය්‍යක් සඳහා කොශල රටේ සීමාවේ වූ ගමකට මහ සෙන් පිරිවරා ගියේ ය. ඒ අතර එයට නො දුරෙහි වූ මේදුලුම්ප නම් ශාක්‍ය ගමෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන නියාව අසා තමා මේ පංච කකුධ භාණ්ඩයන් දීඝ කාරායණයා අතට දී තෙමේ මද දුරෙක වූ මේදුලුම්ප ගමට ගියේ ය. දීඝ කාරායණ තෙම සතුරා පිටු දක්නට අවස්ථාව පැමිණියේ යි සිතා අශ්වයකුත් සේවිකාවකුත් කඳවුරෙහි රඳවා තමන් සැවැත් නුවරට ගිය බව රජුට දන්වන් නැ” යි කියා සේනාව ගෙන සැවැත් නුවරට ගොස් විඩූඩභ කුමරුට වොටුනු පළඳවා රජ කමට පත් කැරැවී ය.

රජ භාග්‍යවතුන් වහන්සේ හමු ව කතා බස් කොට සිය කඳවුරට ආයේ ය. සේවිකාව දීඝ කාරායණයා සේනාව හා ආපසු ගිය බව කීවා ය. රජ ඔහු සිය පුතු හා කුමන්ත්‍රණ කොට කළ දෑ තේරුම් ගෙන සිය බෑනණුවන් එක්ක ගොස් ඔවුනට දඬුවම් කරමි යි සිතා ඒ සැන්දෑවේ ම සේවිකාව හා අසු නැඟ රජගහ පුරය බලා පිටත් විය.

රජගහ පුරයට ඔවුන් යන විට රාත්‍රිය විය. නුවර දොරොටු වසා තුබුණේ ය. අන් යෑ යුතු තැනක් නො දුටුයේ නුවරින් පිටතැ වැ ශාලාවෙක රෑ ලැගුම් ගත්තේ ය. සිත රිදුම ද නිරාහාර බව ද ගමන් වෙහෙස ද බලවත් ශීතය ද නිසා මහත් පීඩාවට පත් අසූ වයස් වූ රජ එළිය වැටෙන්නට පෙර ම කලුරිය කෙළේ ය.

කොසොල් රජු මළ පවත කියා හඬන සේවිකාව ගේ කථාව ඇසූ මිනිස්සු අජාසත් රජුට එපවත් සැළ කළහ. රජ එහි අවුත් සේවිකාව ගෙන් සියලු පවත් අසා දැන සුදුසු ගෞරව සහිත කොට රාජ දේහය ආදාහන කැරැවී ය.

විඩූඩභ තෙමේ රජ වූ නොබෝ දිනකින් ම තමාව පහත් කොට සැලකූහ යි ශාක්‍යයන් හා බැඳ ගත් වෛරය නිසා, දැන් එහි පලිය ගන්නට කාලයැ යි සිතා මහ යුද සෙනඟක් ගෙන ශාක්‍ය රට අතට යන්නට නික්මුණේ ය. සැවැත් නුවර වසන භාග්‍යවතුන් වහන්සේ එදා අලුයමැ මහ කුළුණු සමවතින් නැඟී දිවැසින් ලොව බලන සේක්, ශාක්‍යයනට වන්නට යන විපත දැක ඉදුහයෙන් කිඹුල්වත් පුරට මෙ පිට තැනක ට වැඩ, තුනී සෙවන ඇති රුකක් මුල හුන් සේක.

කිඹුල්වත බලා යන විඩූඩභ රජ භාග්‍යවතුන් වහන්සේ දැක, වෙතට ගොස් වැඳ “වහන්ස, මේ සෙවණ හරියට නැති ගසක් මුල තුඩ හිඳුනේ හැයි ද! තෙල ඝන වූ සෙවණ ඇති මහ රුක මුලට වැඩ හිඳුනේ මනා නොවේ දැ! යි කී ය. “මහරජ, එසේ වුවද නෑ සෙවණ සිසිල් වේ” යි වදාළ සේක. විඩූඩභ තෙම “භාග්‍යවතුන් වහන්සේ නෑයන් කෙරෙහි අනුකම්පායෙන් වැඩි සේක් වනැ” යි සලකා පෙරලා සැවැත් නුවරට ම ගියේ ය. තවත් දවසෙක විඩූඩභ තෙම ශාක්‍යයන් තමාට කළ අවමානය සිහි කොට “උන්ගෙන් පලි ගනිමැ”යි මහා සේනාවක් ගෙන කිඹුල්වත බලා නික්මියේ ය. භාග්‍යවතුන් වහන්සේ කල් තබා ම එය දැක පළමු සෙයින් ම වැඩ යටකී ගස මුලැ හුන් සේක. එදාත් විඩූඩභ තෙම භාග්‍යවතුන් වහන්සේ දැක පෙරලා සැවැත් නුවරට ම ආයේ ය. තුන්වන වරකත් “ශාක්‍යයන් මරමි” යි බලසෙන් හා නික්මුණු විඩූඩභ තෙම භාග්‍යවතුන් වහන්සේ පළමු සේම වැඩ හිඳුනු දැක පෙරලා සැවැතට ම ආ යේ ය.

ටික දිනකට පසු සතර වන වර ද විඩූඩභ රජ කිඹුල්වත බලා පිටත් වූ නියාව දුටු භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන් කළ අතීත අකුශලයක් පල දෙන්නට ළං වූයේ වනැ යි සිතා ඔවුන් කළ අකුසල් කවරේ දැ? යි අතීතාංශඥානය යොමා බැලූ සේක. බොහෝ දෙනකුන් ශාක්‍යයන් අතීත අත් බැවෙක එකතු ව නදියකට වස දමා මසුන් මැරූ අකුසලය ඉදිරි පත් ව ඇති බවත් එහි විපාකය නො මැඩලියැ හැකි සේ බලවත් ව මුහුකුරා එළඹැ සිටින බවත් දුටු සේක. ඒ ශාක්‍යයනට වන විපත නො වැළැක්විය හැකි නියා දැක මේ සතර වන වර එහි නො වැඩි සේක.

විඩුඩභයා ශාක්‍යයන් ගෙන් පලි ගැනීම

විඩූඩහ තෙම මහ සෙනගක් සහිත ව කිඹුල්වතට ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ නෑයෝ තමන් මිය යතත් අනුන් නො මරති. එහෙත් තමන් ධනු ශිල්පයෙහි දක්ෂ බැවින් “සතුරන් ගේ ඇඟැ නො වදින සේ ඔවුන් අත් අස්සෙන් හෝ කන් අද්දරින් යන ලෙසට හී විද ඔවුන් බිය ගන්වා පලවා හරිමු” යි කතිකා කොට ගෙන යුද්‍ධයට සැරැසුණු නියාවක් දක්වා සිටියහ.

විඩූඩභ රජ සටන් ඇරැඹීය. ශාක්‍යයන් විදි හී දඬු විඩූඩභයාගේ පිරිසේ භටයන්ගේ අත් අස්සෙන් කන් අගින් හෝ යෙයි. විඩූඩභ තෙම ශාක්‍යයන් හී විදිනු දැක, “හැයි, ශාක්‍යයෝ “ප්‍රාණවධ නො කරම්හ” යි කියම්, තෙල කුමක් කෙරෙත් ද? බලවු, ශාක්‍යයෝ විද මගේ පිරිස වනසා ලති” යි කීය. එහි සිටි පවිටු එකෙක්, “ඔබ සෙනඟෙහි එකෙකුත් නො මළේ ය. පිරිස ගණන් කරවා බලන්නැ” යි කීය. රජ බල සෙනඟ ගණන් කැරැවීය. එකෙකුත් අඩු නැත. යුද්‍ධය හැර පෙරලා යන්නට සිතා සිටි රජ එය දැක, නැවත සටන අරඹනුයේ, “අප මුත්තනුවන් මහානාම ශාක්‍ය රජුනුත් ඔවුන් ළඟ සිටියනුත් හැර “ශාක්‍යයම්හ” යි. කියන සෙසු සියලු දෙනාම මරා දමවු” යැ යි විධාන කෙළේ ය. ශාක්‍යයෝ ද දිවි රැක ගන්නා උපදෙසක් නො ලද්දෝ බොරු නො කියන්නාහු සමහරු තණ ගස් ඩැහැගෙන ද සමහරු හුන දඬු අල්ලා ගෙන ද සිටියාහ. විඩූඩභයාගේ භටයෝ ගොස් “මොහු ශාක්‍යයෝ ද නො වහු දැ?” යි අසති. තුමු බොරු නො කියන්නාහු, තමන් ඩැහැ ගත් තෘණ දක්වා මේ තෘණ යැ ශාක්‍යයෝ නො වෙති යි කියති. හුණ දඬු අල්ලා සිටියේ මේ හුන ය, ශාක්‍යයෝ නො වෙති යි කියති. විඩූඩභයාගේ භටයෝ ඔවුන් ද මහානාම රජු හා ඔහු වෙත සිටියවුන් ද හැර කිඹුල්වතැ සිටි ඉතිරි සියලු ශාක්‍යයන් මරා දැමූහ. තෘණ පෙන්වා රවටා දිවි රැක ගත්තේ තෘණ ශාක්‍ය නමින් ද හුණු දඬු පෙන්වා රවටා දිවි රැක ගත්තෝ එ තන් සිට නළ ශාක්‍ය නමින් ද හැඳින්වුණහ.

විඩූඩභ තෙම මෙසේ ශාක්‍යයන් බොහෝ දෙනකුන් මරා කිඹුල්වත පාලු කොට පෙරලා සැවැත් පුර බලා නික්මුණේ ය. ඔවුන් අචිරවතී නදියට ළං වූයේ අඳුරේය. කලුවර බැවින් තවත් ඉදිරියට යෑ නො හැක්කාහු නදිය අද්දර කඳවුරු බැඳ ගත්හ. නියං සමය බැවින් සමහර කෙනෙක් වැලි තලාව මත්තෙහි වැද හොත්හ. සමහරු ගොඩ වැද හොත්හ. වැලි තලාවේ හොත් සමහරු වැල්ලෙහි කඩි මතු වී ඇඟ වැද ගත් බැවින් එතැනින් නැගී ගොඩට ගොස් වැද හොත්හ. ගොඩ ද කිසි තැනෙක කඩි මතු වූයෙන් උහු නැගිට වැල්ලට ගොස් නිදා ගත්හ. මේ එදා ඔවුන්ගේ මතු වූ පෙරකර්මය ක් නිසා වූ දැයෙක. මෙසේ පෙර කළ පවක් මතු වූවෝ වැල්ලට ගියහ. සෙස්සෝ ගොඩ රැඳුණහ.

ඔවුන් හැමට නින්ද ගිය නොබෝ වේලායෙහි නදීශීර්ෂයට මහ වැස්සෙක් වට. නදිය ගලන්නට විය. විඩූඩභයා සහිත භට සේනාවේ බොහෝ දෙනෙක් ගං වතුරෙන් ඇද ගෙන යන ලද්දාහු දියේ ගිලී මළාහ.[67]*

මෙසේ කාසි කෝශල දෙරට ද අරාජක විය. වූ පවත් අසා අජාසත් රජ සැවැතට අවුත් සියලු කාශි කෝශල දෙරටෙහි ද පාලනය තමා යටතට ගත්තේ ය.

භික්ෂූනට අපරිහානිය ධර්ම දෙසීම

ටික කළක් උළුම්ප ගම වැස ඉන් නික්ම සැරිසරා වඩනා භාග්‍යවතුන් වහන්සේ රජගහ පුර වැඩ එහි ගිජුකළු පව්වෙහි වූසූ සේක. ඒ කාලයෙහි අජාතශත්‍රැ රජ ලිච්ඡවි රජුන් නසනු කැමැත්තේ ස්වීය රාජ්‍යයත් ලිච්ඡවි රාජ්‍යයත් අතර සීමාව වූ ගංගා නදිය අද්දරැ පිහිටි පාටලී ග්‍රාමය සියලු නගරාංගයෙන් සම්පූර්ණ බලකොටු සහිත මහා නගරයක් කිරීමෙහි ස්ව අග්‍රාමාත්‍ය වූ සුනිධ වස්සකාර දෙ දෙනා යෙදී ය. ඔවුන්ගෙන් වස්සකාර බමුණා දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පිළිසඳර කථා කොට පසෙක හිඳ ගත්තේ ය.

මෙ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ, පවන් සලමින් පිටු පස සිටි අනඳ තෙරුන් “අමතා ලිච්ඡවිනට තමන් වහන්සේ වදාළ සප්ත අපරිහාණිය ධර්ම සත ඔහු රකිත් දැ යි අසා, ඔවුන් ඒ රකිනා බව තෙරුන් කී විට, සත ම තබා ඉන් එකක් රැක්කත් පිරිහීමක් නො වන බව වදාළ සේක. වස්සකාර බ්‍රහ්මණයාට ද ආමන්ත්‍රණය කොට තමන් වහන්සේ පෙර විසල් පුරයේ සාරන්දද චෛත්‍යයෙහි වසන සමයෙහි ලිච්ඡවි රජුනට සප්ත අපරිහාණිය[68] ධර්ම වදාළ බවත් ඒ සප්ත ධර්මයන්හි පිහිටා සිටින තාක් ඔවුනට කිසි පිරිහීමක් නො වන බවත් වදාළ සේක.

වස්සකාර බමුණා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට රජගහ පුර සමීපයේ ඉන්නා සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරන්නට නියෝග කළ සේක. තෙරණුවෝ එය කළහ. භාග්‍යවතුන් වහන්සේ ද උපස්ථාන ශාලාවට වැඩ පැනැවුණු අස්නේ හිඳ භික්ෂූන් අමතා අපරිහාණිය ධර්ම සප්තක පසක් හා ෂට්කයක් වදාළ සේක. ඒ මෙහි දැක්වේ.

ප්‍රථම අපරිහාණිය ධර්ම සප්තකය.

1. භික්ෂූන් නිතරම පාහේ බොහෝ සෙයින් එක් රැස්වීම,

2. සමග ව රැස්වීම හා නැඟී සිටීම, සමග ව සංඝ කර්ම කිරීම,

3. තථාගතයන් වහන්සේ නො පැණැවුවක් නො පැණැවීම, පණවන ලද ශික්ෂා ධර්ම නො පිරිහෙළා මනා කොට රැකීම,

4. පැවිදි උපසපන් ව බොහෝ කල් වූ වැඩි සිටි මහ තෙරුනට ගරු බුහුමන් කිරීම, උන් වහන්සේගේ වචනයට ඇහුම් කන් දිය යුතු යැ යි සිතීම,

5. තෘෂ්ණාවට වාල් නො වීම,

6. අරණ්‍ය සේනාසනයන්හි භාවනායෙහි යෙදී විසීම,

7. එළැඹ සිටි සිහි ඇති ව විසීම, නොපැමිණි ප්‍රියශීල සබ්‍රම්සරුන්ගේ පහසුව පැතීම.

දෙවැනි අපරිහාණිය සප්තකය.

1. සිවුරු දෙවීම් මැසීම් ආදී කර්මයන්හි ම මුළු කාලය නො යොදා ඒ ඒ කටයුතු පැමිණි වේලායෙහි ම එය කිරීම,

2. ආලාප සංලාප කථායෙහි ඇලී නො ඉඳීම,

3. නිද්‍රායෙන් කල් නොගෙවීම,

4. ගණ සඞ්ගණිකායෙහි නො ඇලීම,

5. පහත් අදහස්වලින් වෙන් වීම, එසේ වූ අදහස් ඇත්තගෙන් වෙන් වීම,

6. පාප මිත්‍රයන් නො සෙවීම, ඔවුනට නො නැමීම,

7. ප්‍රථම ධ්‍යානාදියක් ලද තරමින් නො නැවතී මතු ගුණයන් ද ලැබීමට තැත් කිරීම.

තෙ වෙනි අපරිහාණිය ධර්ම සප්තකය.

1. ශ්‍රද්ධාවත් වීම.

2. පවට ලජ්ජා ඇති වීම.

3. පවට බිය ඇතිවීම.

4. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව.

5. පටන් ගත් කායික චෛතසික වීර්‍ය්‍ය ඇති වීම.

6. එළැඹ සිටි සිහි ඇති වීම.

7. ප්‍රඥාවත් වීම.

චතුර්ථ අපරිහාණිය ධර්ම සප්තකය.

1. ස්මෘති සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

2. ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

3. වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

4. ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

5. ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

6. සමාධි සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

7. උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

පංචම අපරිහාණිය ධර්ම සප්තකය

1. අනිත්‍ය සංඥාව වැඩීම.

2. අනාත්ම සංඥාව වැඩීම.

3. අශුභ සංඥාව වැඩීම.

4. ආදිනව සංඥාව වැඩීම.

5. ප්‍රහාණ සංඥාව වැඩීම.

6. විරාග සංඥාව වැඩීම.

7. නිරෝධ සංඥාව වැඩීම.

අපරිහාණි ධර්ම ෂට්කය

1. [69]*සබ්‍රහ්මචාරීන් කෙරෙහි සම්මුඛාසම්මුඛ තන්හි මෛත්‍රි කාය කර්මය එළැඹීම.

2. සබ්‍රහ්මචාරීන් කෙරෙහි සම්මුඛාසම්මුඛ දෙතන්හි ම මෛත්‍රී වාක් කර්මය එළැඹවීම.

3. [70]සබ්‍රහ්මචාරීන් කෙරෙහි සම්මුඛාසම්මුඛ දෙතන්හි ම මෛත්‍රී මනඃකර්මය එළැඹවීම.

4. [71]දැහැමෙන් ලත් සිවුපසය සබ්‍රහ්මචාරීන් හා සාධාරණ පරිභෝගයෙන් පරිභෝග කිරීම.

5. සබ්‍රහ්මචාරීන් හා ශීලයෙන් සමව විසීම.

6. සම්‍යක් දෘෂ්ටියෙන් සබ්‍රහ්මචාරීන් හා සම ව විසීම.

බුදුරජාණන් වහන්සේ රජගහපුර ගිජුකුළු පව්වෙහි වසමින් මේ අපරිහාණිය ධර්මයන් ම බෙහෙවින් වදාළ සේක.

රජගහෙන් අම්බලට්ඨිකාවට

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහ පුරයෙන් භික්ෂු සඞ්ඝයා සහිත ව පිටත් ව චාරිකායෙහි යෙදුණු සේක්, රාජගහ නාලන්දා යන දෙ නුවර අතර වූ අම්බලට්ඨිකා නම් උයනෙහි රජහු පිණිස කරවා තුබුණ ගෘහයට වැඩි සේක. පිරිනිවන් පෑමට සමීප වූ කාලය බැවින් “ශීලය මෙ සේ ය. ප්‍රඥාව මෙසේ ය. ශීලයෙහි පිහිටා වැඩූ (විදර්ශනා) ප්‍රඥාව මහත් ඵල ඇත. (විදර්ශනා) ප්‍රඥායෙහි වැඩූ සිත කාමාශ්‍රව, භවාශ්‍රව, දෘෂ්ට්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව යන මොවුන්ගෙන් මනා ව මිදෙතැ” යි මේ කථාව ම බෙහෙවින් වදාළ සේක.

අම්බලට්ඨිකායෙන් නාලන්දාවට

නැවැත අම්බලට්ඨිකායෙන් පිටත් ව භික්ෂු පිරිස සහිත වූ භාග්‍යවතුන් වහන්සේ නාලන්දා පුරයට වැඩ එහි පාවාරික අඹ වනයෙහි වුසූ සේක. එහිදී බොහෝ සෙයින් ශීල සමාධි ප්‍රඥා කතාව ම වදාළ සේක.

නාලන්දාවෙන් පාටලීගමට - පාටලීපුත්‍ර නුවරේ ආරම්භය

ඉක්බිති නාලන්දයෙන් පිටත් ව භික්ෂු පිරිස හා පාටලී ගමට වැඩි සේක. පාටලී ගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි බව අසා ඔබ වෙත පැමිණියහ. පැමිණ තමන් ගේ ආවාස ගෘහය පිළිගන්නා ලෙස ආයාචන කළහ. භාග්‍යවතුන් වහන්සේ ද තුෂ්ණිම් භාවයෙන් ඒ ඉල්ලීම පිළිගත් සේක. ඉක්බිති උපාසකවරු ආවාස ගෘහය වෙත ගොස් එය අසුන් පැණවීම් ආදියෙන් පිළියෙල කොට අවුත් එහි වඩින ලෙස භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා හා එහි වැඩි සේක. එහි දී පාටලි ග්‍රාමීය උපාසකයනට සිල් රැකීමේ අනුසසුත් දුශ්ශීල බවේ දොසුත්[72]* වදාළ සේක.

මේ කාලයෙහි අජාතශත්‍රැ රජුන්ගේ ප්‍රධාන අමාත්‍ය වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවීන් මැඩලීම පිණිස පාටලී ගමෙහි නුවරක් කරවන්නෝ වූහ. බුදුරජාණන් වහන්සේ දිවැසින් බලා එහි ඒ ඒ තන්හි මහායශස්ක අල්පයශස්ක දෙවියන් අධිගෘහිත වන සැටිත් එය පාටලීපුත්‍ර නම් මහා නගරයක් වන සැටිත් මතු ඒ නගරයෙන් කොටසක් ගින්නෙන් ද, තවත් කොටසක් ගංගා නදිය ගැලීමෙන් ද, තවත් කොටසක් නුවර වැසියන්ගේ අන්‍යෝන්‍ය භේදයෙන් ද විනාශ වන සැටිත් අනඳ තෙරුනට වදාළ සේක.

ගෞතම ද්‍වාරය ගෞතමතීර්ථය

සුනීධ වස්සකාර දෙදෙන බුදුරජාණන්වහන්සේ කරා එළැඹ තමන් ගේ දානය භික්ෂු සංඝයා සහිත ව පිළිගන්නා ලෙස අයැදූහ. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන ඔවුන් කල් දැන්වූ විට ඔවුන් ගේ ආවාසය කරා වැඩි සේක. ඒ අමාත්‍යවරු භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩා හිඳුවා දන් දුන්හ. වළඳා අවසන්හි ඒ ඇමැතියන් පසෙක උන් කල්හි “යස්මිං පදෙසෙ කප්පෙති” ආදී ගාථාවලින් අනුමෝදන බණ වදාරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ නගර භූමියෙහි යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ දොරට ගෞතමද්වාර යැයි නම් කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස හා ගංගා නදිය අද්දරට වැඩි සේක. එහි උන් වහන්සේ පැමිණි තොටට ගෞතමතීර්ථ යැ යි ද නම් කළහ.

එ සමයෙහි ඒ ගඟ පිරී ගලයි. මිනිස්සු එතෙරැ වනු පිණිස නැව් ඔරු ආදිය සොයමින් ද පසුරු බඳිමින් ද සිටියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස සහිත ව සෘද්‍ධි බලයෙන් ක්ෂණයෙකින් එතෙරැ වූ සේක. ඉක්බිති,

“ගැඹුරු සසර සයුරින් ද තෘෂ්ණා නදියෙන් ද එ තෙරැ වන උතුමෝ ආර්‍ය්‍ය මාර්ග නැමැති හෙය කොට මඩ වගුරු ස්පර්ශ නො කොට එ තෙරැ වෙත්. ස්වල්ප දිය කඩෙකින් එතෙර වියැටි මේ ජන තෙම පසුරු බඳී. එහෙත් ආර්‍ය්‍ය මාර්ග නුවණින් යුත් තථාගත තෙමේ ද තත්ශ්‍රාවකයෝ ද පසුරක් නො මැති ව එ තෙර වන්හැ”යි මෙසේ උදන් ඇනූ සේක.

කෝටි ග්‍රාමයට වැඩීමට

ඉක්බිති කෝටිග්‍රාමයට වැඩ එහි වසන සේක්, දිනක භික්ෂූන් අමතා, “ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා, ආර්‍ය්‍ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේධ නො කළ හෙයින් පෙරැ දික් සසරෙහි තමන් වහන්සේත් ඒ භික්ෂූනුත් ඇවිද්ද බවත්, නමුත් මේ අත්බව්හි ඒ දෙ පක්ෂය විසින් ම එය අනුබෝධ ප්‍රතිවේධ කළ බවත් එ හෙයින් ඔබට පුනර්භවයක් නැති බවත් වදාළ සේක. මෙහි වෙසෙමින් බෙහෙවින් ශීල සමාධි ප්‍රඥා කථාවම වදාළ සේක.

ඥාතික ගමට වැඩීම

කෝටිග්‍රාමයේ ටික කලක් වැස ඉන් ඥාතික ගමට වැඩි සේක. එහි උළු ගෙයි (ගිංජකාවසථ යැ යි සම්මත ආවාසයෙක) හිඳ ඒ ගමෙහි කළුරිය කළ සාළ්හ භික්ෂු, නන්දා මෙහෙණි ආදීන් ගේ පරලොව ගතිය විචාළ අනඳ තෙරුනට එය විස්තර කොට එයම අරභයා ධර්මාදර්ශ නම් ධර්ම ක්‍රමය වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජනවසභ සූත්‍රය දෙසූයේ ද මෙහි දී ම ය.

විසල් පුර වැඩීම

ඉන් නික්ම වෛශාලි පුරයෙහි අම්බපාලි ගණිකාව ගේ උයනට වැඩ එහි දී භික්ෂූනට සතිපට්ඨාන දේශනාව වදාළ සේක. අම්බපාලි ද[73]* භාග්‍යවතුන් වහන්සේ වැඩි බව අසා යුහුසුලු ව ගොස් පසු දා දනට නිමතා එ දින බුද්‍ධ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා දන් දී භාග්‍යවතුන් වහන්සේ සිය අඹ වනයෙන් පිදූහ. ස්වල්ප කලක් භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වුසූ සේක. මෙ සමයෙහි විසල් පුරය සමීපයෙහි නුවරින් පැසිම් දිග වන ලැහැබෙහි දී මහා සිංහනාද[74] සූත්‍රය වදාළ සේක.

පරිනිර්වාණ වර්ෂය

පාඨික පුත්‍රයාගේ පෙළහර දක්නට රැස් වූවන්ගේ සමාගමය

විසල් පුර සුනක්ඛත්ත නම් ලිච්ඡවියෙක් සස්නෙහි පැහැදී පැවිදි වීය. හේ භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ගෙන වඩා දිවැස් ලද්දේ දිව කනත් ලබන්නට පිළිවෙත් විචාළේ ය. පෙර පැවිදි කෙනෙකුගේ කම්මුලට ගසා බිහිරි කළ පවින් ඔහුට දිවකන් නො ලැබෙන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට පිළිවෙත් නො වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ තමාට දිව කන් ලබනුවට පිළිවෙත් නුදුන්නේ ඊෂ්‍යායෙනැ යි වරදවා සිතූ සුනක්ඛත්ත තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දේ ය.

භාග්‍යවතුන් වහන්සේ බුළු ජනපදයෙහි උත්තරකා නම් නිගමයෙහි වසන සමයෙහි දිනෙක සුනක්ඛත්ත තෙම එහි බලු තපස් කරන කෝරක්ඛත්තිය නම් තීර්ථකයකු දැක “මේ රහතෙකැ” යි සිතී ය. භාග්‍යවතුන් වහන්සේ ඒ දැක ඔහු සිතූ සැටි වරදයැ යි වදාරා කෝරක්ඛත්තිකයා රහතක්හු නො වන බවත්, තව සත් දිනෙකින් අධිකාහාරසේවන හේතුයෙන් මියැ කාලකංජක අසුර නිකායෙහි උපදනා බවත්, මළ කල මිනිසුන් ඔහු බීරණත්ථම්භ නම් සොහොනට ඇද දමන බවත් වදාළ සේක.

සුනක්ඛත්ත තෙම කෝරක්ඛත්තිකයා වෙත ගොස් ඒ පවත් කී ය. හේ ඒ කතාව බොරු කරමි යි සිතා නිරාහාරව සිටියේ ය, සත් වන දා ඔහුගේ උපස්ථායකයෙක් සත් දිනක් ම අප ශ්‍රමණයන් වහන්සේ ගෙට නො වැඩි සේකැ” යි කියා මිහිරි බොජුන් ගෙන්වා ගෙන ගොස් උහු ඉදිරියේ තැබී ය. නිර්ග්‍රන්ථ තෙම ඒ භෝජන දැක “ශ්‍රමණ ගෞතමයන් කී දෑ සැබෑ වතත් බොරු වතත් කා සුවසේ මළත් මැනැවැ” යි සිතා නො දිරවා ගත හැකි තාක් කා දිරවා ගත නො හැකි ව මියැ කාලකංජක අසුර නිකායෙහි උපන. ඔහු මළ සිරුර වෙන අතක ඇද දමන්නට තීර්ථකයෝ උත්සාහ කළේ නො හැකි ව බීරණත්ථම්භ සොහොනට ම ඇද එ තැනින් එය නො සෙලැවිය හැකිව එහි ම ලා ගියහ.

සුනක්ඛත්තයා මෙය දැක විස්මිත ව “ඔබ කාලකංජක අසුර නිකායයේ උපන් සැබෑ දැ?” යි ඒ මළ සිරුරින් ම පිළිවිසී. භාග්‍යවතුන් වහන්සේ අසුරයා ඔහු සිරුරට ආවිෂ්ට කරවා, ඔහු අසුර යෝනියේ උපන් බව කියැවූ සේක.

නැවැත කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල් පුර කූටාගාර ශාලායෙහි වසන සේක. එ නුවරැ කළාරමට්ඨුක නම් නිගණ්ඨයෙක් වෙසේ. සුනක්ඛත්ත මහණ උහු කරා ගොස් පැන පුළුවත. හේ “අවසර නැති ව ප්‍රශ්න විචාරහි යැ” යි පලවාපී ය. සුනක්ඛත්තයා “රහතකුට ද්‍රෝහ කෙළෙමි” යි බියව ඔහු කමා කැරැවී ය.

භාග්‍යවතුන් වහන්සේ සුනක්ඛත්තයා ගේ ක්‍රියා දැක, ඔහු මිථ්‍යා තපෝව්‍රත රක්නා නො රහතකු රහතැ යි වරදවා ගැනීමේ දොස් දැක් වු සේක. කළාරමට්ඨුකයා ද මිථ්‍යා තපස් කොට ලාභයෙන් යශසින් පිරිහී මෙළේ ය.

තව ද විසල් පුර පාඨික පුත්‍ර නම් නිර්ග්‍රන්ථයෙක් ලාභයෙන් යසසින් අගපත් ව වෙසේ. හේ භාග්‍යවතුන් වහන්සේ හා වාද කැර පෙළහර කැර පරදවනු සමත් බවත් මහ පිරිස් මැද දී කියයි. ඇතැම් නුවරු “මේ කියන්නේ හැකි බැවින් ම ය. මේත් රහතෙකැ” යි සිතා ඔහුට මහත් සත්කාර කළහ.

සුනක්ඛත්ත තෙම පාඨික පුත්‍රයා ගේ කථාව අසා උහු කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා වාදයට සැරැසියක්හු සේ හඟවන්නටත් තමා භාග්‍යවතුන් වහන්සේ වාදයට අව නො දී අන් තැනකට ගෙන යන බවත් කියා ඔහු පොළොඹවා ආයේ ය. හේ භාග්‍යවතුන් වහන්සේ කරා අවුත් “පාඨික පුත්‍රයා ඔබ වහන්සේ හා පෙළහර කරන බව කීයේ යැ” යි දැන්වී ය.

තමා “බුද්‍ධ” ය යන කථාව නො හැර ඔහු තමන් වහන්සේ කරා ඉයැ නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, ඔය වදාළ බස රැක්ක මැනැව”යි සුනක්ඛත්ත කීය.

“කුමට එසේ කියහිදැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළහ.

“ඔහු තමා බුදුහු යැයි යන කීමත් දෘෂ්ටියත් නො හැර සිය වෙසින් පෙනී හෝ නො පෙනී, සිංහ ව්‍යාඝ්‍රාදි වේශයෙකින් හෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ආවොත්, භාග්‍යවතුන් වහන්සේ ඔය වදාළ වචනය බොරු වේ. එවිට භාග්‍යවතුන් වහන්සේට මම් බොරුයෙන් නිග්‍රහ කරමියි” කී ය.

තමන් වහන්සේ වදාළ දෑ බොරු නො වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ එදා පස්වරු පාඨික පුත්‍රයාගේ ආරාමයට වැඩි සේක. සුනක්ඛත්ත තෙම විසල් පුරැදී “ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේත් පාඨික පුත්‍රයා ගේත් ප්‍රාතිහාර්‍ය්‍ය බලම්හ” යි කී ය. මහජනයා පාඨික පුත්‍රයා ගේ ආරාමයෙහි රැස් වූහ. පාඨික පුත්‍ර තෙම කලින් ම මේ පවත් අසා බිය වැද පලා ගොස් තිම්බරුක පරිව්‍රාජකයා ගේ ආරාමයට වැදැ එහි සැඟවෙන තෙනක් සොයා බලා ආරාමයේ පිටිපස කුඩා ලැහැබක ගලක් මත්තේ උන්නේ ය.

“මේ අන්ධබාල තැනැත්තේ කිසිවකු ගේ පෙරැත්තයෙන් ඉදින් ආයේ නම් මොහුට වන්නේ මහත් විනාශයෙකැ” යි දැන භාග්‍යවතුන් වහන්සේ “ඔහු හුන් ගල ඇඟැ ඇලේවා” යි ඉටූ සේක. ඒ එසේ මැ වී ය.

මහජනයා පාඨික පුත්‍රයා සොයන්නේ ඔහු තිම්බරුක පරිව්‍රාජකයාගේ ආරාමයෙහි ඉඳිතැ යි අසා ඔහු කැඳවා පණිවුඩ යැවී ය.

හේ “එමි” යි කියා හුන් ගලෙහි ම ඇලෙයි. ඒ පුරුෂ තෙම ඒ දැන ගොස් මහජනයාට ඒ බව කීය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු තමන් වහන්සේ දක්නට ඊමට නො සමත් බව වදාළ සේක.

එ කල ලිච්ඡවි ඇමැතියෙක් පාඨක පුත්‍රයා කරා ගොස් එ පවත් කියා ඔහු ගෙන එන්නට තැත් කොටත් බැරි වැ අවුත් රැස් වූ පිරිසට ඒ බව කී ය.

ඔහු තමන් වහන්සේ දක්නට ඊමට නො නිසි බවත් කිසිවකුට ඔහු නො ගෙනා හැකි බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ජාලිය නම් දාරුපත්තිකයකු[75]* ගේ අතවැස්සෙක් එය අසා “මම් ඔහු ගෙනෙන්නෙමි” යි කියා ගොස් උත්සාහ කෙළේ, උන් තැනින් නැඟී සිටින්නටද නො හැකි ව ගලෙහි ම ඇලී ඉන්නහු දැක, ඔහුට බැණ වැදී අවුත් එ පවත් මහ පිරිසට සැළ කෙළේ ය.

භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍රයා එහි ඊමට අසමත් බව වදාරා පිරිසට දම් දෙසූ සේක.

දේශනාවසානයේ දී සුවාසු දහසක් ප්‍රාණීහු සත්‍යාධිගමය කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සමවැද අහස් නැග රස් විහිදුවා බැබළී මෙසේ පෙළහරක් කොට කූටාගාරශාලා විහාරයට වැඩි සේක.

අන්තිම වස බේලුව ගමෙහි ලොහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම

භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි වනයෙන් නික්ම බේලුව ගමට වැඩ, කැටු ව ගිය භික්ෂූනට විසල් පුර හාත් පසැ යහළු භික්ෂූන් ගේ සෙනසුන්හි වස් එළැඹෙන්නට නියෝග කොට තමන් වහන්සේ බේළුව ගමෙහි වස් එළැඹි සේක. එහි දී “තව දස මසෙකින් පිරිනිවන් පාන්නෙමි” යි ඉටා ගත් සේක. මෙ සමෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා[76]* රෝගයෙක් ඇති වී ය.

සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීම

එය දැන ගත් සක්දෙව් රජ රාත්‍රියෙහි එහි මිනිස් වෙසින් පැමිණ සිය අතින් භාග්‍යවතුන් වහන්සේගේ පා මිරිකුයේ ය. මේ කවුරුදැ’ යි බුදුරජාණන් වහන්සේ විචාළ කල “මම ශක්‍ර වෙමි” යි සක්දෙව් කී ය. “කුමට ආයෙහි දැ?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, ගිලන් වූ ඔබට උපස්ථානයට” යැ යි සක් දෙව් කී ය. “ශක්‍රය, මිනිස් ගඳ යොදුන් සියක පටන් ගෙලේ බැඳි කුණපයක් මෙන් දෙවියනට ඉසිලිය නොහේ. ඔබ යන්න. මට ග්ලානෝපස්ථානයට භික්ෂූහු ඇතැ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. “වහන්ස, මම් යොදුන් අසූ සාර දහසක් තරම් ඉහළ සිට ඔබේ ශීල සුගන්ධය ආඝ්‍රාණය කොට ආමි. මම ම උපස්ථාන කරන්නෙම්” යැ යි සක්දෙව් කී ය. මෙසේ කියා හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීර වලංජන භාජනය අනෙකකුට අල්ලන්නටත් නො දී සිය හිසේ ම තබා ඉවත ගෙන යන්නේ මුව හැකිලීම් පමණකුත් නො කෙළේ ය. සුවඳ බඳුනක් ගෙන යන කලෙක මෙන් ඉතා සතුටින් ගෙන ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද වීර්‍ය්‍යයෙන් ඒ රෝගය මැඩ පවත්වා, තව දස මසක් ම එය මතු නො වන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි පසු ම ශක්‍රයා නික්ම ගියේ ය. ශක්‍රයා ගේ උපස්ථාන ගැන භික්ෂූන් අතර කථා ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් කොට ගෙන “සාහු දස්සන මරියානං”115 ආදී ගාථා වදාළ සේක.

බුදු සස්නේ ගුරුමුෂ්ටි වශයෙන් සැඟෙවූ කිසිත් නැති බව

යට කී පරිදි ගිලන් බැවින් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර අද්දර සෙවෙණෙහි පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. අනඳ තෙරණුවෝ ද එහි පැමිණ පසෙක උන්හ. එසේ හිඳ භාග්‍යවතුන් වහන්සේ ගේ අසනීපය දැක්මෙන් තමන් තුළ බලවත් ශෝක ඇති වූ බවත්, භාග්‍යවතුන් වහන්සේ පශ්චිමාවවාදය වදාරා මිස නැත හොත් පිරිනිවන් නො පාන සේක්” යි සිතීමෙන් ම යන්තම් අස්වැසිල්ලක් ඇති කැරැ ගත හැකි වූ බවත් කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ධර්මය කිසිත් සැඟෙවිල්ලක් නොකොට සියල්ල ම එළිදරවු කොට වදාළ බව පවසා ආත්මයම (තමාම)[77] (ධර්මය ම) පිහිට කොට ගෙන විසිය යුතු බව විස්තර කොට වදාළ සේක.

ධර්මාරාම භික්ෂු

බේලුව ගමින් සැවැතට වැඩීම

ඉක්බිති වස් කාලයෙන් පසු බේළුව ගමින් නික්ම සැවැත් පුරයට වැඩ එහි වුසූ සේක. එහිදී පිරිනිවන් පෑමට මාස සතරක් තිබියැ දී තව මාස හතරෙකින් මගේ පිරිනිවීම වෙතැ යි වදාළ සේක. ඒ ඇසූ නොයෙක් දහස් ගණන් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හැසුරුණහ. පෘථග්ජන භික්ෂූහු කඳුළු පිරුණු ඇස් ඇත්තෝ වූහ. රහත්නට ධර්ම සංවේගය පහළ විය. සියලු භික්ෂූහු කුමක් කරමෝ දැ යි සිත සිතා සමූහ සමූහ වී හැසිරෙන්නෝ වූහු. එහෙත් ධර්මාරාම නම් භික්ෂුවක් භික්ෂූන් වෙත ද නො යයි. ඇවැත්නි, කිමෙක් දැ’යි අන් භික්ෂූන් ඇසූ විට පිළිතුරු ද නො දී, භාග්‍යවතුන් වහන්සේ ධරමාණ කල්හි ම රහත් වන්නෙමි’යි හුදෙකලා ව වසමින් බුද්‍ධ වචනය ආවර්ජනය කරයි, සිතයි. නැවැත නැවැත සිහි කරයි. භික්ෂූහු ගොස් “ධර්මාරාම තෙරුන් තුළ ඔබ වහන්සේට ස්නේහ මාත්‍රයකුත් නැතැ” යි බුදුරජාණන් වහන්සේට දැන්වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ ධර්මාරාම තෙරුන් කැඳවා “ඒ සැබෑ දැ” යි විචාළ සේක. ධර්මාරාම තෙරණුවෝ තමන් ගේ අදහස කීහ. භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දී “මහණෙනි, මට ස්නේහ ඇති තවත් අන්‍ය භික්ෂුවක් ඇත්නම් ඔහුත් ධර්මාරාම භික්ෂු මෙන් විය යුතු. මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ ප්‍රධාන පූජායෙන් පුදන්නෝ නම් නො වෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදනාහු ම මා ප්‍රධාන පූජායෙන් පුදන්නෝ නම් වෙති”216 යි වදාළ සේක.

කාර්තික පෞර්ණමි දිනයෙහි සැරියුත් තෙරුන් පිරිනිවන් පෑම

බුදුරජාණන්වහන්සේ සැවැත්පුර වසන සමයෙහි සැරියුත් තෙරණුවෝ දිනක් තමන් ජීවත්විය හැකි කාලය බලා “තව ජීවිත කාලය සතියෙකැ” යි දැන මවු සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටුවා, තමන් උපන් ගෙයි දී ම පිරිනිවන් පෑ යුතු යැ යි සනිටුහන් කොට භාග්‍යවතුන් වහන්සේට ඒ බව දන්වා, වැඳ අවසර ගෙන, මහද්භික්ෂු පිරිසක් හා තමන්ගේ උපන් ගම වූ නාලක නම් ගමට වැඩියහ. උන්වහන්සේ වදාළ බණ අසා මවු සෝවාන් පෙළෙහි පිහිටියහ. එදා අලුයම්හි සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑහ. ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ පාත්‍ර සිවුරු ද ධාතු ඇතුළත් පෙරහන ද ගෙන ජේතවනයට පැමිණ අනඳ තෙරුන් කැටුව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ ධාතු බහාලූ පෙරහන පිළිගෙන සැරියුත් තෙරුන් ගේ ගුණ වදාරා, ඒ ධාතූන් නිදන් කොට චෛත්‍යයක් කරවා, ඉක්බිති භික්ෂු පිරිස පිරිවරා රජගහ පුරයට වැඩි සේක.

මුගලන් තෙරුන් පිරිනිවන් පෑම

“මුගලන් තෙර දෙව්ලොව ද නිරයේ ද ඇවිද අවුත් සත්වයන් කළ පින් පව් හා ඒවායේ විපාක මිනිස්නට කියයි. එ හෙයින් මිනිස්සු ශ්‍රමණ ගෞතමයනට මහත් සත්කාර කරති. එ බැවින් මුගලන් තෙරහු මරා දැමිය යුතු ය”යි කියා තීර්ථකයෝ කුමන්ත්‍රණ කළහ. ඉක්බිති ඔහු සිය දායකයන්ගෙන් සම්මාදන් කොට කහවණු දාහක් ලබා පල් සොරුනට දී ඒ සමයෙහි කාලසිලා පර්වතයෙහි වුසූ මුගලන් තෙරුන් මැරීමෙහි ඔවුන් මෙහෙයූහ. සොරු ද එහි ගොස් උන් වහන්සේගේ වාසස්ථානය පිරිවැරූහ. උන් වහන්සේ ඒ බව දැන ස්වීය ඍද්‍ධි බලයෙන් කෙසි සිදුරෙන් නික්ම වැඩියහ. සොරහු ද තෙරුන් නො දැක ගොස් තවත් දිනෙක අවුත් එ සේම වැටලූහ. එදා පන්සලෙහි කැණිමඬල බිඳ අහස් නැඟ වැඩියහ. මෙසේ ඒ දෙ වරෙහි ම සොරුනට සිය අදහස සිදු කළ හැකි නො වීය. තුන් වන වාරයෙහි තෙරහු තමන් කළ පාප කර්මයෙක නො වැළැක්විය හැකි සේ විපාකය එළැඹ සිටි බව දැන පිටත නො ගොස් එහි ම හුන්හ. එ කල සොරු විත් උන් වහන්සේ තළා ඇට පොඩි කොට දමා “මළහ” යි සිතා පඳුරක් මත්තේ හෙළා පලා ගියහ. තෙරණුවෝ ධ්‍යාන බලයෙන් ශරීරය ස්ථිර කොට ගෙන අහසින් රජගහ පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ තමන් කාලශිලා ප්‍රදේශයෙහි දී පිරිනිවන් පානා බව දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයක් දේශනා කරන ලෙස තෙරුනට වදාළහ. තෙරණුවෝ ද නොයෙක් සෘද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා බණ වදාරා භාග්‍යවතුන් වහන්සේ ගේ පා මුලැ වැටී වැඳ අවසර ගෙන කාලශිලා වනයට වැඩ එහි දී පිරිනිවන් පෑහ. මෙය වූයේ සැරියුත් තෙරණුවන් පිරිනිවුණු තන් පටන් දෙ සතියකින් පසු අව පසළොස්වක දා ය.

සැවතින් රජගහ පුර වැඩීම

බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් ගේ ද ධාතුන් ගෙන චෛත්‍යයක් කරවා රජගහ පුරයෙන් පිටත් ව පිළිවෙළින් වඩනා සේක්, ගංගානදී තීරයට පැමිණ එහි හිඳ සැරියුත් මුගලන් දෙ නම ගේ පිරිනිවීම මුල් කොට ගෙන බණ වදාරා නැඟී සිට එහි දකුණු දිග උක්කවේලා නිගමයට වැඩි සේක.

චාපාල චෛත්‍යයේදී මරුගේ ආයාචනය

විසල් පුර වැඩීම

ඉන් නික්ම වඩනා භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි විසල් පුරයට සම්ප්‍රාප්ත ව එහි පිඬු පිණිස හැසිර සවස් වේලෙහි චාපාල චෛත්‍යය වෙත එළැඹුණ සේක. එළැඹ පැණැවූ අස්නේ හුන් සේක්, එහි දී අනඳ තෙරුන් අමතා සතර සෘද්‍ධිපාදයන් වැඩූ තැනැත්තහු විසින් කැමැති නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි බව තුන් වරක් ම වදාළ සේක. වසවත් මරු අනඳ තෙරුනට භයංකර අරමුණක් දැක්වීමෙන් උන් වහන්සේ එය බලා හුන්හ. භාග්‍යවතුන් වහන්සේට තව දීර්ඝ කාලයක් වැඩ ඉන්නා ලෙස ආයාචනය කිරීමට අමතක විය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන ගොස් රුක් මුලෙක හුන්හ.

අනඳ තෙරුන් නික්ම ගිය නො බෝ වේලාවෙකින් වසවත් මර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ පසෙක සිට පරිනිර්වාණයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ ද මරහු අමතා එ තන් පටන් තුන් මසක් ගතවූ තැන පිරිනිවන් පානා බව වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ තුන් මසෙහි පමණක් සමවත් සමවැද ඉන් පසු එයට නො සමවදින්නෙමි” යි සිතින් නියම කැරැ ගත් සේක. (ආයුසංස්කාරය හළ සේක.) එ කෙණෙහි බිහිසුණු භූමිකම්පාවක් වි ය. අහස ගිගුරුම් ද ඇති විය. ඒ බව සලකා භාග්‍යවතුන් වහන්සේ ඒ වේලෙහි,

“බුද්‍ධ මුනි තෙම පුනර්භවය ඇති කරන කර්ම නිරාලය ව හැර දැමී ය. රණ බිමෙක මහා යෝධයකු සන්නාහයක් බිඳ ලන්නා සේ විදර්ශනා භාවනායේ ඇලුණේ ශමථ භාවනා වශයෙන් සංහිඳුණේ ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳැලී ය. ප්‍රහීණ කෙලෙස් ඇත්තහුට බියෙක් නැත. ඒ බැවින් අභීත ව ම බුද්‍ධ මුනි තෙම ආයුසංස්කාරය හළේ යැ”යි 217 මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

භූමිකම්පා හේතු අට

සිදු වූ භූමිචලනය දැක අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භූමිකම්පාවට හේතු විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ධාතු ක්ෂෝභයෙන් ද, මහ පින්වතුන් ගේ සෘද්ධ්‍යානුභාවයෙන් ද, බෝධිසත්ත්වවරුන් ගේ ප්‍රතිසන්ධියෙහි දී ද, බිහිවීමේ දී ද, බුදු වීමේ දී ද, ධම්සක් පැවැත්වීමෙහි දී ද, බුදු රදුන් ගේ ආයුස්සංස්කාර හරණයෙහි දී ද, පරිනිර්වාණයෙහි දී දැ”යි යන අට කාරණයෙන් පෘථිවි චලනය වන බව වදාළ සේක.

අනඳ තෙරුන් ගේ ඉල්ලීම

ඒ අසා අනඳ තෙරණුවෝ ශෝක භරිත ව කපක් ජීවත් වන ලෙස ආයාචනා කළහ. “ඒ ආයාචනය කළ යුතු වූයේ එයට පෙර ආයුසංස්කාරය හරින්නට පළමු වෙනැ” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට තුන් මසෙකින් පිරිනිවන් පානා බව වදාළ සේක.

කූටාගාර ශාලාවට වැඩීම

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩි සේක. වැඩ, විසාලා පුර හාත්පස සිටින සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවන්නට අනඳ තෙරුනට නියෝග කළ සේක. භික්ෂූන් රැස් වූ පසු භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩි සේක. එ හිදී ඔවුනට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්‍ධිපාද, පඤ්චේන්ද්‍රිය, පඤ්චබල, සප්තබොද්ධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග යන මේ තමන් වහන්සේ ම දැන වදාළ බෝධි පාක්ෂික ධර්ම මනාව ඉගෙන පුරුදු පුහුණු කටයුතු බව විශේෂයෙන් වදාරා,

“මහණෙනි, කරුණායෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝ ය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩවු. ළඟ දී තථාගතයන් ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැ”යි 218 වදාළ සේක.

ප්‍රජාවතීගෞතමී යශෝධරා දෙනම පිරිනිවන් පෑම

මේ සමයෙහි ම ප්‍රජාවතීගෞතමී මහා ස්ථවිරී ද එයින් පසු යශෝධරා මහාස්ථවිරී දැ යි යන දෙනම ද අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන පෙළහර පා දම් දෙසා පිරිනිවන් පෑහ.

කුසිනාරාව දක්වා ගමන

භාණ්ඩ ග්‍රාමයට වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් භාණ්ඩග්‍රාමයට වැඩි සේක. වැඩ එහි දී ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා, ආර්‍ය්‍ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේධ නො කිරීම් හේතුයෙන් තමන් වහන්සේත් භික්ෂු සමූහයාත් දික් සසර හැසුරුණු බවත්, එහෙත් දැන් ඒ සතර ධර්මයෙන් අනුබෝධ ප්‍රතිවේධ කළ බවත්, තෘෂ්ණාව සුන් කළ බවත්, එ හෙයින් ඉන් මතු භවයක් නැති බවත් වදාළ සේක. එහි වැඩ හිඳිමින් ශීල සමාධි විමුක්තීන් පිළිබඳ කථායෙන් ම කල් ගෙවූ සේක.

අම්බග්‍රාමදිය පසු කිරීම

එයින් පිටත්ව පිළිවෙළින් හස්තිග්‍රාමය, ආම්‍රග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසු කොට භෝගනගරයට වැඩ එහි ආනන්දචෛත්‍ය ස්ථානයෙහි වුසූසේක. එහි දී භික්ෂූනට සතර මහා උපදේශයන් 219 වදාළ සේක.

පාවා නුවරට වැඩීම

එහි ටික දිනක් වැස ඉන් පිටත්ව පාවා නුවරට වැඩ එහි චුන්දකාර්මාර පුත්‍රයා ගේ අඹ වනයෙහි වූ විහාරයෙහි වුසූ සේක. චුන්දකාර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක උන්නේ ය. ඔහුට බුදුරජාණන් වහන්සේ බණ වදාළ සේක. සතුටු වූ චුන්ද තෙම දනට නිමන්ත්‍රණය කොට ගොස් පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මධුර වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භෝජනාවසානයෙහි චුන්දයාට අනුමෝදන බණ වදාරා එයින් නික්ම වැඩි සේක.

රෝගය මතුවීම

පෙරැ බේලුව ගම දී ලෝහිත පක්ඛන්දිකා රෝගය හට ගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දස මසක් ම නො හට ගන්නා ලෙස අධිෂ්ඨාන කොට සමාපත්ති බලයෙන් මැඩලූ සේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තුබුණු රෝගය මතුවිය. ඒ මතු වූයේ චුන්දයා ගේ දානය වැළැඳීමෙන් පසුය. එහෙත් චුන්දයාගේ සිනිඳු වූ බොජුන් වැළැඳි හෙයින් රෝගය මුල දී මෙන් බලවත් ව නො නැංගේ ය. එ භෝජනය නො වැළඳු සේක් නම් එ දින රෝගය ඉතා බලවත් ව දරුණු ලෙස නැඟෙන්නේ ය. සමාපත්ති බලයෙන් එ දිනත් එය මැඩ පැවැත්විය හැකි වුවත්, බුද්‍ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුර ම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සව්වන් කළකිරුවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේ ම තිබෙන්නට ඉඩ හැරි සේක.

පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා පැහැදීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස කැටුව කුසිනාරා පුරයට වඩනා සේක්, ක්ලාන්ත බව දන්වා මහ රුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා අනඳ තෙරුන් ලවා පැන් ගෙන්වා වැළඳු සේක. එ කල්හි ආළාරකාළාම තවුසාගේ ශ්‍රාවකයෙක් වූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳ ගත්තේ ය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු ශරණ ශීලයෙහි පිහිටුවා, ඔහු පිදූ රන්වන් මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක අනඳ තෙරුනට පිළිගන්නවා ඔහුට බණ වදාළ සේක. ඔහු ගිය පසු අනඳ තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයත් භාග්‍යවතුන් වහන්සේට එළවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ අනෙක පෙර වූ සේක. එ කලැ උන් වහන්සේ ගේ ශරීරය එදා වැළඳු විශිෂ්ට ආහාර හේතුයෙනුත් “පෙර බුදුවරයන් වැඩි අමාමහ නිවන් පුරට අද ප්‍රවිෂ්ට වන්නෙම්” යැ යි හටගත් බලවත් සොම්නසිනුත්, බුදු වූ දිනයෙහි මෙන් ම, ගිනි දැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයයෙන් දීප්තිමත් ව බැබැළුණේ ය.

කුකුත්ථා නදිය කරා වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිස හා කුකුත්ථා නම් නදිය වෙත වැඩි සේක. වැඩ, නදියට බැස ජලස්නානය කොට පැන් වළඳා ඉන් නැඟී නදී තීරයෙහි වූ අඹ වනයට එළැඹි සේක. ඒ වේලායෙහි අනඳ තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේ ගේ ජලශාටිකාව (නාන කඩ) මිරිකමින් ගඟෙහි පරක්කු වූ බැවින්, සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සඟළ සිවුර සතර පටක් කොට පණවා සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක. ඉක්බිති එහි වැඩි අනඳ තෙරුන් අමතා. බුදු වන දාට පෙර දා සුජාතාව දුන් භෝජනය ද ඒ පිරිනිවන්පාන දිනට පෙර දා චුන්ද කර්මාරපුත්‍රයා දුන් භෝජනයද සමඵල බව220 වදාළ සේක.

කුසිනාරා පුර වැඩීම

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව හිරණ්‍යවතී ගඟින් එතෙර වී කුසිනාරා පුරයට වැඩි සේක. වැඩ, එහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් උයනට පැමිණි සේක. පැමිණ එහි රජුන් ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට අනඳ තෙරුනට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද එ සේ ම ශයනය පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහ ශය්‍යායෙන් සැතැපුණු සේක.

පිරිනිවන් මංචකයෙහි සැතපීම

එ විට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහස්හි සිට සුවඳ සුණු මල් ආදිය වගුරුවා ලීමෙන් ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන් ද පුද පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා, “ආමිස පූජා මාත්‍රයෙකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නො වන බවත් යම් භික්ෂුවක් හෝ මෙහෙණියක හෝ උපාසකයකු හෝ උපාසිකාවක නවලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකු ව වසතොත් ඒ පුද්ගලයා නිසි උතුම් පූජායෙන් තථාගතයන් පුදන්නකු බවත්” 221 වදාරා අවවාද කළ සේක.

එ වේලෙහි ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පවන් සලමින් සිටියාහ. මහානුභාව සම්පන්න රහතකු වූ උන් වහන්සේ ගේ ශරීරය විනිවිද දැකීමට දෙවියෝ පවා අසමර්ථහ. එ බැවින් එහි භාග්‍යවතුන් වහන්සේ තමන් දැකීමට රැස්වන දේවතාවන් ගේ සිත් රිදෙනුවට අවකාස නො තබන සේක් එ තැනින් ඉවත් වන්නැයි ඒ තෙරුනට වදාළ සේක. දෙවියනට ඉඩ දී තෙරණුවෝ ඉන් ඉවත් වූහ, අනාගාමී ද රහත් ද දේවතාවන් හැර සෙසු දෙවියෝ නොයෙක් අයුරින් හඬමින් වැලැපෙමින් බිම ඇද වැටෙමින් පෙරැළෙමින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ.

ඉක්බිති අනඳ තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

“ශ්‍රද්ධාවත් කුලපුත්‍රයා විසින් දැක්ක යුතු වූ, දැකීමෙන් සංවේග ඇති වීමට හේතු වූ ස්ථාන සතර බුදුරජුන් උපන් භූමිය, බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන” යැයි ද,

වදාරා ඉක්බිති ස්ත්‍රීන් කෙරෙහි භික්ෂූන් විසින් පිළිපැදිය යුතු සැටි ද වදාළ සේක. නැවත භාග්‍යවතුන් වහන්සේ ගේ මෘත දේහය කෙරේ පිළිපැදිය යුතු සැටි විචාළ විට, තථාගත ශරීරය පිදීම පිණිස කාලය මිඩංගු නො කළ යුතු යැ යි ද ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදීන් බුද්‍ධ ශරීරය පුදති යි ද වදාළ සේක.

“බුද්‍ධ ශරීරය කෙරෙහි ඔවුන් විසින් කෙසේ පිළිපැදිය යුතු දැ යි ද විචාළ විට “චක්‍රවර්ති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ලෙස යැ” යි වදාරා, එහි ක්‍රමය ප්‍රකාශ කළ සේක. ඉන් පසු බුද්‍ධ ශරීරයට සත්කාර කිරීමෙන් මහත් පින් ලැබෙන බව ද, බුදු පසේ බුදු රහත් සක්විති රජ යන සතර දෙනා ස්තූපාර්හ පුද්ගලයන් බවද වදාළ සේක. මේ කරුණු ගැන සලකා බලන අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ එ දින ම පිරිනිවන් පාන සේකැ යි වැටහුණේ ය. එ හෙයින් හටගත් බලවත් ශෝක ඇත්තේ ඉන් ඉවත් ව ගොස් මණ්ඩල මාලයෙහි දොරබා කෙළවරැ අගුල් කණුවැ එල්බ ගෙන,

“අහෝ මම් තව ම රහත් වීමට කළ යුතු දෑ අවසන් නො කෙළෙකිමි. මට දයායෙන් අවවාදානුශාසන කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අනේ ! හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම් ද? කාගේ පා සෝදන්නෙම් ද? කාගේ සේනාසනය අරපරිස්සම් කොට තබන්නෙම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදින්නෙම්ද?”

යන ආදීන් විලාප කිය කියා හඬමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, ආනන්ද කොයි දැ”යි විචාළ සේක. “ස්වාමීනි, මණ්ඩල මාලයෙහි අගුල් කණුයෙහි එල්බගෙන හඬන්නේ යැ” යි භික්ෂූහු කීහ. එ විට බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් කැඳවා ගෙන එන්නට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද භික්ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක උන්හ.

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා,

ආනන්දයෙනි, නො හඬන්න. ශෝක නො කරන්න. හැම ප්‍රිය මනාප දැයින් වෙන්වීම කලින් ම මා කීවා නො වේ ද? හැදුණු දෑ කැඩෙන බිඳෙන සුලු ය. එ සේ කලැ එය පලුදු නො වේ වා යි සිතා ඒ පෙරැ ළීම් වළකා ලන්නට කිසිවකුටත් නො හැක්ක. “ආනන්දයෙනි, තෙපි බොහෝ කල් හිත කැමැති ව, හමුයෙහිත් නො හමුයෙහිත් එක හිතින් ම මෛත්‍රීසහගත අප්‍රමාණ කාය වාග් මනඃ කර්මයෙන් තථාගතයනට උවටන් කොළෝ ය. ආනන්දයෙනි, තෙපි පෙර ද බොහෝ පින් කළ කෙනෙක. එ බැවින් පමා නො වවු. නොබෝ කලෙකින් ම තෙපි රහත් බව ලබන්නහු යැ” යි වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට ආමන්ත්‍රණය කොට අනඳ තෙරුන් ගේ ගුණ රාශිය ප්‍රකාශ කළ සේක.

මහා සුදර්ශන සූත්‍රය දෙසීම

ඉක්බිති අනඳ තෙරණුවෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ දුර්ගම ස්ථානයක් වූ කුඩා නුවර දී නො ම පිරිනිවන් පානා සේක් වා. චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කොසඹෑ බරණැස් යන මෙකී නගරයෙක පිරිනිවන් පානා සේක්වා”යි කී හ. එ විට භාග්‍යවතුන් වහන්සේ ඒ එසේ පහත් කුඩා නුවරෙකැ යි නො සිතිය යුතු බවත්, පෙර එය මහාසුදර්ශන චක්‍රවර්ති රජු ගේ වාසස්ථානය වූ බවත් ප්‍රකාශ කිරීමෙන් මහා සුදර්ශන සුත්‍රාන්තය [78]* වදාළ සේක.

මල්ල රජුන්ගේ රැස්වීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් එ දින රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව මල්ල රජුනට අනඳ තෙරුන් අත දන්වා යැවූ සේක. කුසිනාරා පුර සියලු මල්ලයෝ ඒ පවත් අසා ශෝක භරිත ව භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් නමස්කාර කැර සිටියහ.

අන්තිම ශ්‍රාවකයා

එ සමයෙහි කුසිනාරා පුර වුසූ සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා සංලාපය ඇසූ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, සුභද්‍ර පිරිවැජියා හට තමන්ගෙන් ප්‍රශ්න අසන්නට ඉඩ ඇති කළ සේක. පිරිවැජියා ද ගොස් ප්‍රශ්න විචාරනුයේ, “පූරණකාශ්‍යපාදී තීර්ථකයෝ තමන් ප්‍රතිඥා කළ පරිදි දුකින් මිදීමට මාර්ගය දත්තෝ ද? ඔවුන් ගේ ධර්මය නෛර්යාණික ද නැද්දැ” යි විචාළේ ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “ඔවුන් ගේ කරුණු අහක තිබේ වා. මම් නුඹට ධර්මය දෙසන්නෙම්, එය අසන්න, සිත තබා ගන්නැ” යි වදාරා මෙසේ දම් දෙසූ සේක.

“සුභද්‍රය, යම් සස්නෙක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි පළමු ශ්‍රමණයා (සෝවාන් පුද්ගලයා) ද නැත්තේ ය. දෙ වෙනි ශ්‍රමණයා (සකෘදාගාමී පුද්ගලයා) ද නැත්තේ ය. තෙවෙනි ශ්‍රමණයා (අනාගාමි පුද්ගලයා) ද නැත්තේය. සිවු වන ශ්‍රමණයා (අර්හත් පුද්ගලයා) ද නැත්තේ ය. යම් සස්නෙක වනාහි අරි අටැඟි මඟ ඇත්තේ නම් එහි ම එකී සතර ශ්‍රමණයෝ ඇත්හ. සුහද්‍රය, මේ සස්නෙහි අරි අටැඟි මහ ඇත් ම ය. එ බැවින් මෙහි ඒ සතර ශ්‍රමණයෝ ම ඇත්හ. සෝවාන් ආදි සතර ඵල පිණිස විදසුන් වඩන සිවු දෙනා ද මාර්ගස්ථ සිවු දෙනා ද ඵලස්ථ සිවු දෙනා දැයි මෙකී දොළොස් ශ්‍රමණයන් නැති පාරවාදයෝ (අන්‍ය දෘෂ්ටිහු) හිස් හ. තුච්ඡහ. සුභද්‍රය, මේ දොළොස් ආකාර භික්ෂූහු නිසි සේ වසත් නම් (ඒ සෝවාන් ආදීහු අන්‍යයනට ද තමන් ලත් මාර්ග ඵලාදිය කියා දී තවත් මාර්ගස්ථ පුද්ගලයන් ඇති කරන්නට තැත් කරත් නම්) ලෝකය රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.

“සුහද්‍රය, එකුන් තිස් වයස් ඇති ව සිටි මම් කිංසත්‍යගවේෂි ව යම් දිනෙක පැවිදි වීම්ද, එදා පටන් අද තෙක් අතර කාලය හවුරුදු එක් පණසක් පමණ වේ. මේ කාලයෙහි ආර්‍ය්‍ය මාර්ග ඵල ප්‍රාප්තිය පිණිස විදසුන් වැඩීම පමණකුත් කරන කිසි ම පුද්ගලයෙක් මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ඇති) සස්නෙන් පිටත් හි නො වීය. මතුත් නො වන්නේ ය. එ හෙයින් ම මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර වූ කිසි ම ශාසනයෙක්හි ආර්‍ය්‍ය මාර්ගයකට පැමිණි ශ්‍රමණයෙක් කිසි ම කලෙකත් ඇති නො වේ.222

මෙය ඇසූ සුභද්‍ර තෙම පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලුයේ ය. අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ අවසරය පරිදි සුභද්‍රයා පැවිදි කළහ. බුදුරජාණන් වහන්සේ ඔහු උපසපන් කොට කමස්ථානයක් දුන් සේක. සුභද්‍ර භික්ෂු තෙම උයනේ පැත්තකට ගොස් කර්මස්ථාන වඩන්නේ නො බෝ වේලාවෙකින් සියලු කෙලෙස් නසා සිවු පිළිසිඹියා හා රහත් බව ලබා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ පසෙක ඉඳ ගත්තේ ය. මේ තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ පශ්චිම ශ්‍රාවකයා යි.

ධර්මයේ ශාස්තෘ භාවය

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා “තමන් වහන්සේ ගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්තෘ (අනුශාසකයා) වෙතැ”යි ද තමන් වහන්සේ ධරමාණ කාලයෙහි භික්ෂූන් ඔවුනොවුනට “ආවුසෝ” (ඇවැත්නි) යන වචනයෙන් ආමන්ත්‍රණය කළ නමුත් ඉන් පසු වැඩිමාලු භික්ෂුව නවක භික්ෂුවට නමින් හෝ “ආවුසෝ” යන වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතු යැ යි ද නවක භික්ෂුව වයසින් වැඩි මහළු භික්ෂුවට “ස්වාමීනි” කියා හෝ ආයුෂ්මතුන් වහන්ස කියා ආමන්ත්‍රණය කළ යුතු යැ යි ද ආදීන් වදාළ සේක. ඉක්බිති,

භාග්‍යවතුන් වහන්සේ ගේ අන්තිම වචනය

“මහණෙනි, යුෂ්මත්නට කරුණාවෙන් අවවාද කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුල්ලෝ ය. එ බැවින් එළැඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරවු”218 යැ යි මේ අන්තිම වචනය වදාළ සේක.

මහා පරිනිර්වාණය

ජන්මයෙන් අසූවන වියෙහි වෙසක් පසොළොවක් දා

මින් පසු ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉක්බිති ඉන් නැඟිට ද්විතීය ධ්‍යානයටද, ඉන් නැගිට තෘතීය ධ්‍යානයට ද, ඉන් නැඟිට චතුර්ථ ධ්‍යානයට ද, ඉන් නැඟිට ආකාශානන්තායතන සමාපත්තියට ද, ඉන් නැඟිට විඥානානන්තායතන සමවතට ද, ඉන් නැඟිට ආකිඤ්චන්‍යායතන සමාපත්තියට ද, ඉන් නැඟිට නෛවසංඥානාසංඥායතන සමාපත්තියට ද, එයින් නැඟිට නිරෝධ සමාපත්තියට ද සමවන් සේක. යලිත් නිරෝධ සමාපත්තියෙන් නැගිට නෛවසංඥානාසංඥායතන ආකිඤ්චන්‍යායතන විඥානානන්තායතන ආකාශානන්තායතන චතුර්ථධ්‍යාන තෘතීය ධ්‍යාන ද්විතීය ධ්‍යාන ප්‍රථම ධ්‍යානය යන මේවාට ද පිළිවෙළින් ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයට ද සමවැද චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිටි සේක.

එ දා අලුයම්හි අරුණෝද්ගමනයට පෙරටු ව චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිට අනතුරු ව, ඒ මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ අංගීරස ශාන්ති නායකයන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍යතාවට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කෙණෙහි භය ජනක වූ මහද් භූමි කම්පාවෙක් විය. බලවත් වූ අහස් ගිගුරුම් ද විය.

බුද්‍ධ පරිනිර්වාණ ක්ෂණයෙහි ම සහම්පතී මහ බඹ තෙම “ලොවැ මෙ වැනි අප්‍රතිපුද්ගල වූ මේ ජගදාචාර්‍ය්‍යන් වහන්සේ යම් සේ පිරිනිවන් පෑ සේක් ද, එ සේ ම ලෝක ධාතුවේ සියලු ම සත්ත්වයෝ ජීවිතේන්ද්‍රිය විනාශයෙන් සිය සිරුරු මෙහි බහා ලන්නෝ යැ” [79]* යි ද,

ශක්‍ර දේවේන්ද්‍ර තෙම:

“අහෝ සංස්කාරයෝ අනිත්‍යයහ. හැදෙන නැසෙන සුලුහ. ඔහු ඉපිද නිරුද්ධ වෙත්. එ බැවින් ඔවුන්ගේ සංසිඳීම සැප වේ” [80] යැ යි.

අනුරුද්ධ තෙරුණුවෝ:

“ආයුෂ්මත්නි, ස්ථිර සිත් ඇති, අට ලෝ දහමින් කම්පිත නො වන ස්වභාවය ඇති, නිවන් සෙත් පුර අරමුණු කොට කළුරිය කළ මාගේ ශාස්තෘ වූ බුද්‍ධ මුනිවරයාණන් වහන්සේ ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වූහ. නො හැකුළුණු (පිබිදි) සිතින් ඒ ස්වාමි දරුවන් වහන්සේ වේදනාව ඉවසූ සේක. ප්‍රදීපයෙක නිවීමක් සේ ඒ ස්වාමි දරුවන් වහන්සේ ගේ චිත්ත විමෝක්ෂය [81] වී යැ යි ද,

අනඳ තෙරුණුවෝ:

[82]** “සකල උත්තම ගුණයෙන් සමන්විත සම්බුද්ධයන් වහන්සේ ගේ පිරිනිවන් පෑම හා එක් විට ම බිහිසුණු ලොමු දහ ගන්වන සුලු භූමිචලනයෙක් වී ය. අහෝ ! ආශ්චර්යයෙකි !!” යි ද වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කෙණෙහි අවීතරාග භික්ෂූහු හැඬීමට වැලැපීමට පටන් ගත්හ. වීතරාග භික්ෂූහු අනිත්‍යතාව සලකමින් ඉවැසූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හඬන භික්ෂූනට සංස්කාරයන් ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට, හැඬීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැ යි අවවාද කළ සේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති, ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ධර්ම කථායෙන් ගත කළහ.

සර්වඥ දේහය ආදාහන කිරීම

පාන් වූ කල අනඳ තෙරණුවෝ අනුරුද්‍ධ තෙරුන් ගේ නියමයෙන් කුසිනාරා පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව දැන්වූහ. මල්ල රජුන් ප්‍රමුඛ කොට ඇති නගර වාසීහු ඒ පවත් අසා හඬා වැලැප ආදාහන කෘත්‍යයට වුවමනා සියලු උපකරණ ගෙන්වා ගෙන උපවර්තන ශාලාවනෝද්‍යානයට රැස් වැ බුද්‍ධ ශරීරයට නෘත්‍ය ගීතාදියෙන් පූජා කරමින් සත් දිනක් ගෙවා, ඉක්බිති මහ පෙරහැරින් උතුරු දොරින් පිවිස කුසිනාරා නුවර මැදින් පිටතට වැඩම කරවා නැඟෙනහිර පැත්තෙහි වූ මල්ල රජුන් ගේ මුකුටබන්දන නම් චෛත්‍ය ස්ථානයෙහි තැබූහ. ඉක්බිති මල්ල රජහු සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගෙන් අසා දැන අළුත් කසී වස්ත්‍රයෙන් බුද්‍ධ ශරීරය වෙළා ඉන් පසු මනා ව නෙළූ කපු පුළුනින් වෙළූහ. ඉන් පසු නැවතත් කසී වතින් වෙළූහ. මේ නියායෙන් පන්සිය වරක් පන්සියයක් පමණ කපු පුළුනෙන් ද පන්සියයක් කසී වතින් ද බුද්‍ධ ශරීරය වෙළා සුවඳ තෙල් පිරූ රන් දෙණෙක බහා එ බඳු ම රන් දෙණෙකින් වසා සුවඳ දරින් එක් විසි රියන් උසැති කොට කරවන ලද දරසෑයෙහි රන්දෙණ නැංවූහ. ඉක්බිති බාල මධ්‍යම වයස් ඇති මල්ල රජහු සිවු දෙනෙක් සුවඳ දියෙන් ඉස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරැසී චිතකයට ගිනි තැබූහ. ගිනි නො දැල්විණ. මල්ල රජුන් එයට හේතුව විචාළ විට මහා කාශ්‍යප තෙරුන් එන තෙක් එය දැවෙන්නට දෙවියන් ඉඩ නො දෙන බව අනුරුද්‍ධ තෙරුන් වහන්සේ වදාළ සේක. ස්වල්ප වේලාවෙකින් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එහි වැඩි සේක. වැඩ සිවුර ඒකාංශ කොට පොරොවා වැඳ තුන් වරක් දර සෑය ප්‍රදක්ෂිණා කොට ශ්‍රී පාදය පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට සිරිපා යුවල වැන්ද සේක. උන් වහන්සේ හා වැඩි පන්සියයක් පමණ වූ භික්ෂූහු ද වැන්දහ. ඉන් පසු දර සෑය දේවතානුභාවයෙන් තෙමේ ම හාත්පස එක් පැහැර ගිනි දැල්වී ගියේ ය.

දෑ බුද්‍ධ ශරීරයෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු, දෙ අකු ධාතු, නලාට ධාතු යන ධාතුහු සත් දෙන නො විසිරුණහ. ඉතිරි ධාතුහු අබ කඩ සාල් මුං බියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කළ, අහසින් ද පිරිවරා සිටි සල් රුක්වල කඳ අතු අතරින් ද දිය දහර නැඟ සෑයේ ගිනි නිවී ය. මල්ල රජහු ද සුවඳ දිය ඉස්සහ.

ධාතු පූජාව

ඉක්බිති මල්ල රජහු නුවර දෙව් පුරයක් සේ සරසා සර්වඥ ධාතු රන් දෙණක තබා, එය මනා ව සැරැසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා, එහි සන්ථාගාර ශාලායෙහි මහඟු පර්‍යඞ්කයකට පැමිණැවූහ. ඉක්බිති එහි වටේ රකවල් තබවා මල්ල රජුන් ප්‍රමුඛ කුසිනාරා නුවරැ වස්සෝ නෘත්‍යගීතාදියෙන් සත් දිනක් ධාතූන් පිදූහ.

ධාතු බෙදීම

මගධෙශ්වර අජාතශත්‍රැ රජ ද, විසාලා පුර වැසි ලිච්ඡවී රජහු ද, කපිලවාස්තුපුර වාසි ශාක්‍ය රජහු ද, අල්ලකප්පරට වැසි බුලි රජහු ද, රාමග්‍රාම වාසි කෝලිය රජහු ද, වේඨදීපක නුවර වැසි වේඨදීපක බමුණා ද, පාවා නුවර වැසි මල්ල රජහු ද, එහි ගොස් කුසිනාරාව වට කොට ගෙන අයිතිවාසිකම් කියා ධාතු කොටස් ඉල්ලා, තමන් ද ස්තූප කරනු කැමැති බව දන්වා කුසිනාරා පුර මල්ල රජුනට වෙන වෙන ම පණිවුඩ යැවූහ. මල්ල රජහු ද තමන් රටෙහි පහළ වු රුවන් පිටතට නො දෙන බව දන්වා “තෙපි යුද්‍ධ කරනු කැමැති නම් අපිත් යුද්‍ධ කරම්හ” යි කියා පණිවුඩ යැවූහ. මෙයින් ඔවුන් අතර මහත් කැලැඹීම් හට ගත් විට ඒ සියලු දෙනා ගේ ආචාර්‍ය්‍ය වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා ඔවුනට කරුණු කියා සමාදාන කොට ඒ ධාතූන් අට කොටසකට බෙදා දුන්නේ ය. ඉක්බිති ඒ බමුණා ද තමාටත් පූජ්‍ය වස්තුවක් ඕනෑ බව කියා ධාතූන් බෙදු ස්වර්ණමය නාළිකාව ඔවුන්ගෙන් ඉල්ලා ගත්තේ ය.

පිප්පලීවන පුරැ වැසි මෝරිය රජහු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව අසා පසු ව එහි ආහු, ධාතු නො ලැබ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන ගියහ. ධාතු ගෙන ගිය ඒ ඒ රජහු ඒවා නිදන් කොට ස්තූප කරවා පිදූහ. ද්‍රෝණ බමුණා ද තමා ලත් ස්වර්ණ නාළිකාව නිදන් කොට කුම්භථූප නම් චෛත්‍යයක් කෙළේ ය.224

මෝරිය රජුන් දර සෑයේ අඟුරු නිදන් කොට කැරැවූ අංගාර ස්තූප දෙක ද සමඟ සර්වඥ ධාතු නිදන් කළ චෛත්‍ය අට දැ යි සියලු චෛත්‍යයෝ දස දෙනෙක් වූහ.

__________

නිමි

නානා කරුණු ඇතුළත් ප්‍රකීර්ණක කාණ්ඩය

බුද්‍ධ කෘත්‍ය පස

කොතැනක වුසූව ත් බුදුරජාණන් වහන්සේගේ එක ම චර්යයාවෙක් වීය. දවස කොටස් පසකට බෙදා ඒ කාල පසේ සැටියට “පූර්වභක්ත කෘත්‍යය, පශ්චාද් භක්ත කෘත්‍යය, ප්‍රථම යාම කෘත්‍යය, මධ්‍යම යාම කෘත්‍යය, පශ්චිම යාම කෘත්‍යය යැ යි බුද්‍ධ කෘත්‍යය පඤ්ච විධ විය.

පූර්වභක්ත කෘත්‍යය

ඉන් පූර්වභක්ත කෘත්‍යය නම් භාග්‍යවතුන් වහන්සේ ඉතා උදේ නැඟිට උපස්ථායකයනට අනුග්‍රහ පිණිසත් ශරීර පහසුව පිණිසත් මුහුණ සේදීම් ආදිය කරන සේක. ඉන් පසු පිඬු පිණිස හැසිරිය යුතු වෙලාව වන තුරු විවේකයෙන් කල් ගත කරන සේක. ඉක්බිති සිවුරු පොරොවා පාත්‍රය ගෙන, සමහර දවසෙක හුදෙකලා ව හෝ භික්ෂු සංඝයා සහිත ව හෝ පිඬු පිණිස වඩනා සේක. කිසි දිනෙක ප්‍රකෘති වේශයෙන් ද, කිසි දිනෙක බොහෝ ප්‍රාතිහාර්‍ය්‍ය ඇති ව ද වඩනා සේක. ඒ ආශ්චර්‍ය්‍ය දැක “අද බුදුරජාණන් වහන්සේ වඩිනා සේකැ” යි එහි වැස්සෝ කල් ඇතිවම දැන ගනිත්. තුමූ ද මනාව හැඳ පොරොවා සුවඳ මල් ආදිය ගෙන වීථිය අතුරට පැමිණ භාග්‍යවතුන් වහන්සේට පූජා සත්කාර කොට වැඳ “ස්වාමීනි, අපට මෙ පමණ මෙ පමණ භික්ෂූන් වහන්සේ ඕනෑ” යැ යි කියා තම තමනට හැකි පරිදි භික්ෂූන් දස නම විසි නම ආදී වශයෙන් ඉල්ලා භාග්‍යවතුන් වහන්සේත් වැඩම කරවාගෙන ගොස් අසුන් පනවා දන් දෙත්. භාග්‍යවතුන් වහන්සේ ද දන් වළඳා එ පිරිසේ සිටියවුන් ගේ අදහස් නුවණින් බලා ඔවුන් ගේ චරිතවලට සුදුසු සේ දහම් දෙසන සේක. ඒ බණ අසා සමහරු තිසරණයෙහි ද සමහරු පන්සිල්හි ද, සමහරු සෝවාන් ආදී මාර්ග ඵලයන්හි ද පිහිටත්. මෙ සේ ඔවුනට අනුග්‍රහ කොට ඉන්පසු හුනස්නෙන් නැඟී සිට විහාරයට වඩනා සේක. වැඩ, එහි මණ්ඩල මාලයේ පණවන ලද ආසනයෙහි හිඳ භික්ෂූන් දන් වළඳා එන තුරු බලාපොරොත්තු වන සේක. භික්ෂූන් වළඳා අවසන් වූ විට ඒ බව උපස්ථායක භික්ෂුවක් අවුත් දැන් වූ කල ගන්ධකුටියට පිවිසෙන සේක. මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පෙර බත් කිස යි.

පශ්චාද්භක්ත කෘත්‍යය

ඉන් පසු එහි දී උපස්ථායක භික්ෂුව විසින් පණවා යන තබන ලද ආසනයෙහි හිඳ පා සෝදා, පා පුටුයෙහි තබා භික්ෂූන් අමතා, “මහණෙනි, නො මුළා වු සිහියෙන් සියලු කටයුතු සම්පාදනය කරවු. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ යි. මනුෂ්‍යත්වය ලැබීම දුෂ්කර යි, ක්ෂණ සම්පත්තිය දුර්ලභ යි. මහණකම දුර්ලභ යි. බණ ඇසීම දුර්ලභ යැ” යි මෙ සේ වදාරා ඉතා දීර්ඝ ධර්ම කථාවෙකින් අවවාද කරන සේක. එ තැන දී සමහරු උන්වහන්සේ ගෙන් කර්මස්ථාන විචාරත්. බුදු රජාණන් වහන්සේත් ඔවුනට චරිතානුකූල කර්මස්ථාන දෙන සේක. ඔහු ද භාග්‍යවතුන් වහන්සේ වැඳ තම තමන් ගේ රාත්‍රී ස්ථාන දිවාස්ථානයනට යෙත්. ඒ ස්ථාන නම් අරණ්‍ය වෘක්ෂමූල පර්වත ගුහා ආදිය යි. ඉන් පසු බුදුරජාණන් වහන්සේ ගඳ කිළියට වැඩ ඉදින් ශයනය කරන අදහසක් පහළ වූවොත් දකුණැලයෙන් සිහි නුවණින් යුක්තව මොහොතක් සිංහ ශය්‍යාව කරන සේක. ඉක්බිති ඉන් නැඟිට එ පස්වරු කාලයේ දෙ වන කොටසේ දී ලෝ වැස්සා දෙස නුවණින් බලන සේක. තුන් වන කොටසෙහි වේලාවට සුදුසු පෙළහරින් ධර්ම සභාවට වැඩ රැස්වූ පිරිසට දහම් දෙසන සේක. පස්වරු කාලය ගෙවුණු විට, ඉන් නික්මියැ යුතු කාලය බව දන්වන සේක. පිරිස ද භාග්‍යවතුන් වහන්සේ වැඳ නික්ම යෙත්. මේ පස්වරු වැඩ පිළිවෙළ යි.

ප්‍රථම යාම කෘත්‍යය

එ විට රාත්‍රිය ළං වේ. බුදුරජාණන් වහන්සේ ඇඟ සෝදා ගන්නා අදහස ඇති වූවොත් නාන කොටුවට වැඩ උපස්ථායක භික්ෂුව පිළියෙල කැරැ දුන් ජලයෙන් ඇඟ සෝදන සේක. ඉන් පසු උපස්ථායක භික්ෂු තෙම බුද්ධාසනය ගෙන ගොස් ගඳකිළි පිරිවෙනේ ඉස්තෝප්පුවේ පණවයි. නා අවසන් වූ භාග්‍යවතුන් වහන්සේ සිවුර ඒකාශ කොට පොරොවා එහි වැඩ ආසනයෙහි හිඳගෙන මොහොතක් කල් චිත්ත විවේකයෙන් ගත කරන සේක. ඉන් පසු භික්ෂූහු ඒ ඒ තැනින් අවුත් භාග්‍යවතුන් වහන්සේ දැකීමට එහි රැස්වෙත්. සමහරු ප්‍රශ්න විචාරත්. සමහරු කර්මස්ථාන ගනිත්. සමහරු බණ දෙසීමට ආයාචන කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂූන් ගේ අදහස් සිදු කරමින් රෑ පෙර යම ගත කරන සේක. මේ ප්‍රථම යාම කෘත්‍යය යි.

මධ්‍යම යාම කෘත්‍යය

ප්‍රථම යාමය ගෙවුණ පසු දිව්‍ය බ්‍රහ්මයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ තමන් ගොතා ගත් ප්‍රශ්න අසත්. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් ගේ පැන විසඳමින් දම් දෙසීමෙන් මධ්‍යම යාමය ඉක්මවන සේක. මේ මධ්‍යම යාම කෘත්‍යය යි.

පශ්චිම යාමය කෘත්‍යය

පශ්චිම යාමය කොටස් තුනක් කොට ඉන් ප්‍රථම කොටසෙහි සක්මන් කරන සේක. එසේ කරනුයේ ශරීර විඩාව සංසිඳුවීම පිණිස යි. දෙවෙනි කොටසේ ගඳකිළියට වැද සිහි නුවණින් යෙදී සිංහ ශය්‍යායෙන් දකුණැලයෙන් සැතැපෙන සේක. ඉක්බිති ඉන් නැඟිට හිඳ තුන්වන කොටසේ දී පෙර බුදුවරුන් ළඟ දී පින් කළ පුද්ගලයන් දක්නා පිණිස බුදු ඇසින් ලොව බලන සේක. “මේ රෑ එළි වෙන යාමයේ වැඩ පිළිවෙළ යි.

චාරිකා චරණය

තුරිත චාරිකා

තුරිත චාරිකා අතුරිත චාරිකා යැ යි බුදුරජාණන් වහන්සේ ගේ ගමන් දෙකෙකි. ධර්මාවබෝධයට තරම් මේරූ නුවණ ඇති පුද්ගලයකු ඉතා ඈත වසන්නහු දැක ඔහුට දම් දෙසීම පිණිස සෘද්‍ධි බලයෙන් ඉක්මනින් යෑම තුරිත චාරිකා (ඉක්මන් ගමන) නම් වේ. භාග්‍යවතුන් වහන්සේ පිප්පලි මානවකයා හමු වීමට තුන් ගවු පමණ මාර්ගය එක් මොහොතෙකින් ම ඉක්ම වැඩි සේක. ආළවක යකු හික්මවීම් ආදිය පිණිස තිස් යොදුන් මාර්ගය ද, අංගුලිමාල සොරහු හික්මවීමටත් එ පමණ ම දුර ද, පුක්කුසාති රජු හමුවීමට යොදුන් පන් සාළිසක් පමණ දුර ද, මහාකප්පින රජු සඳහා යොදුන් එක්සිය විස්සක් පමණ දුර ද, ධනිය ගෝපාලයා හමුවීමට යොදුන් සත් සියයක් තරම් ඈත ද, වනවාසී තිස්ස සාමණේරයන් වහන්සේ දැකීමට යොදුන් එක්සිය තෙ විස්සක් දුර ද මොහොතකින් වැඩි සේක. මෙ සේ පියෙවි ගමනින් නො වැඩ සෘද්‍ධි බලයෙන් ඉතා ඈත ස්ථානයකට වැඩීම තුරිත චාරිකා නමි.

අතුරිත චාරිකා

ගම් නියම් පිළිවෙළින් දින පතා යොත්ත ආදී වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකානුග්‍රහය කෙරෙමින් වඩනා ගමන අතුරිත චාරිකා (නො යුහු සුලු ගමන) නමි. මෙම අතුරිත චාරිකායෙහි යෙදුණ භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහා මණ්ඩල මධ්‍ය මණ්ඩල අන්තර්මණ්ඩල යන ප්‍රදේශ තුනෙන් එකෙක වඩනා සේක. ඉන් මහා මණ්ඩලය යොදුන් ස සියක් පමණ විශාල වේ. අන්තර්මණ්ඩලය යොදුන් තෙ සියක් පමණ වේ.

යම් කලෙක මහා මණ්ඩලයෙහි වඩනා කැමැති සේක් නම් මහා පවාරණයෙන් පවරා පෑලවිය දවසෙහි මහත් භික්ෂු සමූහයා පිරිවර කොට පිටත් වන සේක. බුදු රජාණන් වහන්සේ මහාමණ්ඩලයෙහි ගමන ආරම්භ කළ බව ඉක්මනින් ම රටේ ආරංචි වීමෙන් යොදුන් සියයක් තරම් ඈත මිනිසුන් තුළ උන් වහන්සේ දැක්මට දන් දීමට බණ ඇසීම් ආදියට මහත් උනන්දුවක් ඇති වන්නේ ය. බුදු රජාණන් වහන්සේ ගේ පැමිණීම කවර දා වේ දෝ යි ඔහු නිතර උන් වහන්සේ පිළිගැන්මට සැරසී සිටිත්. අන්‍ය ලබ්ධික පරිව්‍රාජකාදීහු අපගේ භක්තිමත්හු බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පිළිගනිත් දෝ”යි කැලැඹීමට පත් වෙත්. සම්‍යග්දෘෂ්ටිකයෝ භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට පෙර ගමන් කරත්. අනිත් අන්තර්මණ්ඩල මධ්‍ය මණ්ඩල දෙක්හි ම කැරෙන සත්කාර රාශිය මහාමණ්ඩලයෙහි ම එක් තන් වේ. භාග්‍යවතුන් වහන්සේ එහි ගම් නියම් ගම් ආදියේ දවස් දෙක තුන ආදී වශයෙන් මහජනයා ගේ ආමිස පූජා පිළිගෙන, ඔවුනට අනුග්‍රහ කෙරෙමින්, ධර්ම දානය කිරීමෙන් ස්වර්ග මාර්ග මෝක්ෂ මාර්ග දෙක්හි ඔවුන් පිහිටුවමින් සැරි සරන සේක්, ඒ ගමන නව මසෙකින් අවසන් කරන සේක. ඉදින් වස් කාලය තුළ දී භික්ෂූන්ගේ ශමථ විදර්ශනා නො මේරුයේ නම් මහාපවාරණය නො කොට පවාරණ සංග්‍රහය දී, ඉල් පුර පසළොස්වක් දා පවාරණය කොට, උඳුවප් පෑලවිය දා මහා භික්ෂු පිරිස හා මධ්‍ය මණ්ඩලයට වඩින්නට පිටත්වන සේක. එ ගමන අට මසෙකින් අවසන් වේ. ඒ ගමන් කාලයේ දී අන් මණ්ඩල දෙකේ ම සත්කාර සම්මාන රාශිය මධ්‍ය මණ්ඩලයෙහි ම එක් තැන් වේ. වස් සාර මසේ දීත් භික්ෂූන් ගේ කර්මස්ථාන භාවනා නො මුහු කෙළේ නම් තවත් මසක් දෙ මසක් හෝ තුන් හාර මසක් එහි ම වැස පෙර පරිද්දෙන් ම භික්ෂු සංඝයා සහිත වැ අන්තර් මණ්ඩලයෙහි ගමනට පිටත් වන සේක. අන් දෙ මඬුල්ලෙහි පූජා සත්කාර අන්තර් මණ්ඩලයෙහි ම රැස් වේ. භාග්‍යවතුන් වහන්සේත් පළමු පරිද්දෙන් ලෝකානුග්‍රහය කරමින් සත් මසෙකින් පස් මසකින් හෝ සිවු මසෙකින් චාරිකා ගමන අවසන් කරන සේක.

චාරිකා ගමනට හේතුව

මෙ සේ චාරිකා චරණයට හේතුව කිමෙක්ද? යත් : දුප්පතු ද, බාලයෝ ද, මහලු වූවෝ ද, රෝගාතුරයෝ ද, භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණීමෙහි නො හැක්කෝ ඇත්හ. එහෙත් බුදු රජාණන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි විට, ඔහු වැඳුම් පිදුම් කොට පින් සිදු කර ගනිත්. බණ අසා ස්වර්ග මාර්ගයෙහි හෝ මොක්ෂ මාර්ගයෙහි පිහිටත්. මේ ආදී කරුණු සලකා ලෝකානුකම්පායෙන් චාරිකායෙහි යෙදෙන සේක.

චාරිකා ගමනට තවත් හේතු

එක් තැනෙහි ම ඉඳීමට වඩා ඇවිදීමෙන් ශරීර පහසුව ලැබෙන හෙයින් ද, ධර්ම දේශනා කිරීමට යම් කාරණයක් මුල් කර ගැනීමට එ බන්දක් හමු වන පිණිස ද භික්ෂූනට ශික්ෂා පද පැණවීම පිණිස ද, ඒ ඒ ගම් නියම් ගම් නුවර ආදියෙහි නුවණ මේරූ පුද්ගලයනට චතුස්සත්‍යය අවබෝධ කරවනු පිණිස ද යන සතර කාරණයෙන් ද,

බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා සරණ ගැන්වීම, මහත් වූ ධර්ම වැස්සෙන් සිවු පිරිස සනසාලීම යන සතර කාරණයෙන්ද,

සත්ත්වයන් ප්‍රාණඝාතයෙන් මුදාලීම, අදත්තාදානයෙන් මුදාලීම, කාම මිථ්‍යාචාරයෙන් මුදාලීම, මුසාවාදයෙන් මුදාලීම, රහමෙර පානයෙන් මුදා ලීම යන කරුණු පසින් ද,

ලෝකයා තමන් වහන්සේගෙන් බණ අසා පිළිපැද, ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ත්ථ ධ්‍යාන, ආකාශානත්තායතන ධ්‍යාන, විඥානානන්තායතන ධ්‍යාන, ආකිඤ්චන්‍යායතන ධ්‍යාන, නෛවසංඥානාසංඥායතන ධ්‍යාන යන අෂ්ට ධ්‍යාන සමාපත්තීන් ලබන බව සලකා ද,

මහජනයා තමන් වහන්සේ ගෙන් බණ අසා විදසුන් වඩා ශ්‍රෝත ආපත්ති මාර්ග, ශ්‍රෝත ආපත්ති ඵල, සකෘදාගාමී මාර්ග, සකෘදාගාමී ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අර්හත්ව මාර්ග, අර්හත්ව ඵල යන මොවුන් ප්‍රතිවේධ කරතැ යි දැන ඒ අභිවෘද්‍ධිය සලසන අටියෙන් ද සැරි සරන සේක.

අතුරිත චාරිකා ප්‍රභේද

අතුරිත චාරිකාව වනාහි නිබද්ධ චාරිකා (නිබඳ හැසිරීම) අනිබද්ධ චාරිකා (නො නිබඳ හැසිරීම) යැ යි විවිධ යි. කෙනෙකු නියම කොට නො ගෙන ගම් නියම් පිළිවෙළින් හැසිරීම අනිබද්ධ චාරිකා නමි. ධර්මාවබෝධයට තරම් නුවණ මේරූ කෙනෙකු හමුවීම ම සලකා ඔහු කරා වැඩීම නිබද්ධ චාරිකා නමි.

බුදුරජාණන් වහන්සේ ගේ ධර්මදේශනා ක්‍රම

තමන් වහන්සේ ගේ ම අදහසිනුත් භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන සේක. අනුන් ගේ අදහස් බලා එයට සුදුසු සේත් දම් දෙසන සේක. යම් කාරණයක් සිදු වූ විට එය මුල් කොට ගෙනත් දම් දෙසන සේක. කෙනෙකුන් ගේ ප්‍රශ්න විසඳීම් වශයෙනුත් දම් දෙසන සේක.

ධර්මය අසන පිරිස යම් තැනක දී සාධුකාර ශබ්දය පවත්වා නම් එ කෙණෙහි ම ඵලසමාපත්තියට සමවැද, සාධු නාදය නැවැතුණු කෙණෙහි සමවතින් නැඟිට නැවැත්වූ තැන් සිට බණ වදාරණ සේක.

යමකු බණ අසා මේ ආත්මභාවයෙහි යටත් පිරිසෙයින් තිසරණ පිහිටීම් මාත්‍ර ගුණය වත් නො ලැබුවත් එ දේශනාව ඇසීම ඔහුට මතු භවයකට යහපත පිණිස පවතින්නේ නම් එ බඳු තැන දීත් දම් දෙසන සේක. සච්චකයාට බණ දෙසීම මෙයට නිදසුනකි.

යමකු ගේ මරණය ඉතා ළංවී ඇත්නම්, පිඬු පිණිස හැසිරෙන විට වුව ද හමු වූ ඔහුට දම් දෙසන සේක. දාරුචීරිය වස්තුව මෙයට නිදසුනි.

සමහරුන්ගේ ප්‍රශ්නවලට නිශ්ශබ්දව හිඳීම

සමහරු තමන්ගේ නුවණට විෂය නො වන කරුණු ගැන ප්‍රශ්න ගොතා ගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කිසි ඉගැණීමේ බලාපොරොත්තුවක් නැති ව නො කරුණේ ප්‍රශ්න අසත්. ප්‍රශ්නයට දෙන පිළිතුරු හරි ලෙස අවබෝධ කැරැගත හැකි නො වූ එ බඳු පුද්ගලයාට උත්තර දීම නිෂ්ඵල බැවින්, එ වැනි පුද්ගලයනට උත්තර නිසි සේ අවබෝධ කරන්නට තරම් නුවණ මෝරන තුරු තුෂ්ණිම්භූත වන සේක. එය තේරුම් ගැනීමට තරම් නුවණ මුහුකළ විට ම ඔවුනට නිසි පිළිතුරු දෙන සේක.

තේරුම් ගත නො හැකි වන සේ දම් දෙසීම

සමහරු පණ්ඩිත මානයෙන් මත්ව ප්‍රශ්න ඇසීමට භාග්‍යවතුන් වහන්සේ කරා එති. මානාදී පාප ධර්මයන් ගෙන් පිරී ඉන්න තුරු කිසි උසස් ගුණයකට පැමිණිය හැකි නො වන බැවින් ඔවුන්ගේ මානය දුරු වන ලෙස කාලෝචිත පරිදි සුදුස්සක් කරන සේක. සමහර පණ්ඩිත මානීන්ගේ ප්‍රශ්නයකට ඔවුන් විසින් තේරුම් ගත නො හැකි ගැඹුරු අර්ථ ඇති පිළිතුරක් දෙන සේක. එය තේරුම් ගැන්මට අසමර්ථ පුද්ගලයා තමා ගේ මානය ඉවත ලා සිය නූගත් බව තේරුම් ගත් විට, සුවච වූ විට, ඔහුට කාරණය ලිහිල් කොට තේරුම් කර දෙන සේක. ඕඝතරණ සූත්‍රය මෙයට නිදර්ශන යි.

භාග්‍යවතුන් වහන්සේ වස් වුසූ ස්ථාන

(පෙළ අටුවා දෙකේ පෙනෙන හැටියට)

1 බුදු වූ වර්ෂයේ වැසි සමයෙහි බරණැස ඉසිපතන්හි

2 රජගහපුර වේළුවනයෙහි

3 ” ”

4 ” ”

5 විසල් පුර කූටාගාර ශාලා විහාරයෙහි

6 මකුල පර්වතයෙහි

7 තව්තිසා භවනයෙහි

8 සුංසුමාර ගිර පුර අසල හේෂකලා වනයෙහි

9 කොසැඹෑ පුර ඝෝෂිතාරාමයෙහි

10 පාරිලේයක ගම අසල වනයෙහි

11 දක්ෂිණාගිරියෙහි ඒකනාලා බමුණු ගම

12 වේරඤ්ජා නුවර

13 චාලිය පර්වතයෙහි

14 සැවත් පුර ජේතවනයෙහි

15 කිඹුල්වත් පුර නුග අරමෙහි

16 අළවු රටෙහි

17 රජගහ පුර

18 චාලිය පර්වතයෙහි

19 ” ”

20 රජගහ පුර

21-44 සැවැත් පුර

45 විසල් පුර අසල බේල්ලුව ගමෙහි

(සිංහල ජාතක පොතෙහි)

6 කොසඹෑ පුර කෝසම්බියාරාමයෙහි

11 නාලකාරාමයෙහි

18 සිට දස නව වසක් ජේතවනාරාමයෙහි

37 සිට ස වසක් පූර්වාරාමයෙහි

43-44-45 තුන් තැනෙක්හි

සෙස්ස ඉහත සඳහන් පිළිවෙළ හා සැසැඳේ.

(සද්‍ධර්මාලංකාරයෙහි ශාඛමාල වස්තුයෙහි)

9 කොසඹෑ පුර කොසම්බියාරාමයෙහි

11. නාලකාරාමයෙහි

14. දෙවියන් ගේ ආයාචනයෙන් චාලිය පර්වතයෙහි

15. කිඹුල්වත් පුර මැණික් ලෙනෙක්හි

16. සිට එකුන් විසි වසක් සැවැත් පුර ජේතවනයෙහි

37. සිට සාවුරුද්දක් සැවැත්පුර පූර්වාරාමයෙහි

43-44-45 තුන් තැනෙක්හි

සෙස්ස අටුවායෙහි ආ සැටියට සම යි.

සූවිසි මහ සමාගම්

සමාගමය

සිදුවූ කාලය

ස්ථානය

1. ධර්මචක්‍රප්‍රවර්ත්තන සමාගමය

ප්‍රථම වර්ෂය

බරණැස

2. නාලක සූත්‍ර ”

3. ගංගාවරෝහණ ”

ගංගා නදී තීරය

4. බුද්‍ධ වංශ දේශනා ”

දෙවෙනි වර්ෂය

කපිලවාස්තු පුරය

5. චරියා පිටක ”

6. මහා මංගල සූත්‍ර ”

තෙවෙනි වර්ෂය

සැවැත් නුවර

7. පරාභව සූත්‍ර ”

8. මහාසමය සූත්‍ර ”

පස්වන වර්ෂය

කපිලවාස්තු පුරය

9. සම්මාපරිබ්බාජනීය සූත්‍රය ”

10. චුල්ල වියූහ ” ”

11. මහා වියූහ ” ”

12. තුවටක ” ”

13. පුරාහෙද ” ”

14. කලහ විවාද ” ”

15. යමක මහා පාටිහාරිය ”

සත්වන වර්ෂය

සැවැත් පුර

16. අභිධර්ම දේශනා ”

තව්තිස පුර

17. දේවෝරෝහණ ”

සංකස්ස නගරය

18. පාරායණ සූත්‍ර ”

එකොළොස්වන වර්ෂය

මාගධ ක්ෂේත්‍රය

19. සක්කපඤ්හ ”

තුදුස් වන වර්ෂය

සැවැත් නුවර

20. චුල්ලරාහුලෝවාද සූත්‍ර ”

21. ආළවක සූත්‍ර ”

සොළොස් වන වර්ෂය

ආළවි පුර

22. සමචිත්තපරියාය ”

විසි වන වසින් පසු

සැවැත් නුවර

23. බ්‍රහ්මනිමන්තනිය සූත්‍ර ”

(කාලය අවිනිශ්චිතයි)

බඹලොව

24. මාරතජ්ජනීය සූත්‍ර ”

සුංසුමාරගිරපුරය

සාමාන්‍ය දේශනා සමාගම් කීපයක්

1. ඒරකපත්‍ර නාගරාජාදී සමාගමය

ප්‍රථම වස් කාලය තුළ

ඉසිපතනය

2. සුමන මාලාකාරාදි ”

දෙවෙනි වර්ෂය

රජගහ පුර

3. ජම්බුකාජීවකාදී ”

තෙවෙනි වර්ෂය

4. උග්‍රසේනාදී ”

සිවු වන වර්ෂය

5. සුන පරන්තක වාණිජ ”

අටවන වර්ෂය

සුනාපරන්තයෙහි

6. ශ්‍රීමතිදර්ශනාභිලාෂින්ගේ ”

සතළොස් වන වර්ෂය

රජගහ පුර

7. පේශකාර දුහිතෘ ආදී ”

අටළොස් වන වර්ෂයෙහි

ආළවිපුරයෙහි

8. චූලසුභද්‍රා ”

විසි වන වසින්

උග්ග පුරයෙහි

9. ධනපාල ”

අන්තිම දශ වර්ෂය ඇතුළත

රජගහ පුර

10. පාඨක පුත්‍ර ”

පරිනිර්වාණ වර්ෂයෙහි

වෛශාලිපුරයෙහි

11. කොලිය මහාමාත්‍යාදි ”

වෛශාලිපුරයෙහි

බරණැස් පුර

12. සුලසා නගරශෝහිනී ආදී ”

කාලය අවිනිශ්චිතයි

රජගහ පුර

13. සාකේත බ්‍රාහ්මණාදී ”

කාලය අවිනිශ්චිතයි

සාකේත පුරයෙහි

14. ගරහදින්නාදිය ”

සැවැත් පුර

15. ආනන්ද සෙට්ඨි ආදී ”

16. මණ්ඩුක දේවපුත්‍රාදි ”

චම්පාපුරයෙහි

17. මට්ටකුණ්ඩලී දේවපුත්‍රාදී ”

සැවැත් පුර

18. සරභ පරිබ්‍රාජකාදී ”

විසාලා පුරයෙහි

අසූ මහ සව්වෝ

1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ මහාථෙර

2. වප්ප මහාථෙර

3. භද්දිය මහාථෙර

4. මහානාම මහාථෙර

5. අස්සජි මහාථෙර

6. නාලක මහාථෙර

7. යස මහාථෙර

8. විමල මහාථෙර

9. සුබාහු මහාථෙර

10. පුණ්ණජි මහාථෙර

11. ගවම්පති මහාථෙර

12. උරුවේලකස්සප මහාථෙර

13. නදීකස්සප මහාථෙර

14. ගයාකස්සප මහාථෙර

15. සාරිපුත්ත මහාථෙර

16. මොග්ගල්ලාන මහාථෙර

17. මහාකස්සප මහාථෙර

18. මහාකච්චාන මහාථෙර

19. මහාකොට්ඨිත මහාථෙර

20. මහාකප්පින මහාථෙර

21. මහාචුන්ද මහාථෙර

22. අනුරුද්‍ධ මහාථෙර

23. කඞ්ඛාරේවත මහාථෙර

24. ආනන්ද මහාථෙර

25. නන්දක මහාථෙර

26. භගු මහාථෙර

27. නන්ද මහාථෙර

28. කිම්බිල මහාථෙර

29. භද්දිය මහාථෙර

30. රාහුල මහාථෙර

31. සීවලී මහාථෙර

32. උපාලි මහාථෙර

33. දබ්බ මහාථෙර

34. උපසේන මහාථෙර

35. බදිරවනිය රේවත මහාථෙර

36. පුණ්ණමන්තානිපුත්ත මහාථෙර

37. පුණ්ණ (සුනාපරන්තක) මහාථෙර

38. සොණ (කුටිකණ්ණ) මහාථෙර

39. සොණ (කෝළිවිස) මහාථෙර

40. රාධ මහාථෙර

41. සුභූති මහාථෙර මහාථෙර

42. අංගුලිමාල මහාථෙර

43. වක්කලි මහාථෙර

44. කාළුදායි මහාථෙර

45. මහා උදායි මහාථෙර

46. පිලින්දිවච්ඡ මහාථෙර

47. සෝහිත මහාථෙර

48. කුමාරකස්සප මහාථෙර

49. රට්ඨපාල මහාථෙර

50. වඞ්ගීස මහාථෙර

51. සහිය මහාථෙර

52. සේල මහාථෙර

53. උපවාන මහාථෙර

54. මේඝිය මහාථෙර

55. සාගත මහාථෙර

56. නාගිත මහාථෙර

57. ලකුණ්ටක භද්දිය මහාථෙර

58. පිණ්ඩෝලභාරද්වාජ මහාථෙර

59. මහාපන්ථක මහාථෙර

60. චුල්ලපන්ථක මහාථෙර

61. බක්කුල මහාථෙර

62. කොණ්ඩධාන මහාථෙර

63. දාරුවීරිය මහාථෙර

64. යසෝජ මහාථෙර

65. අජිත මහාථෙර

66. තිස්සමෙත්තෙය්‍ය මහාථෙර

67. පුණ්ණක මහාථෙර

68. මෙත්තගු මහාථෙර

69. ධෝතක මහාථෙර

70. උපසීව මහාථෙර

71. නන්ද මහාථෙර

72. හේමක මහාථෙර

73. තෝදෙය්‍ය මහාථෙර

74. කප්ප මහාථෙර

75. ජතුකණ්ණි මහාථෙර

76. භද්‍රාවුධ මහාථෙර

77. උදය මහාථෙර

78. පෝසාල මහාථෙර

79. මෝඝරාජ මහාථෙර

80. පිංගිය මහාථෙර

ස්ථානාන්තර ලත් භික්ෂූහු

1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ

චිරරාත්‍රඥයන් අතුරෙන් අග්‍රයි

2. සාරිපුත්ත ”

මහාප්‍රාඥයන් ” ”

3. මොග්ගල්ලාන ”

සෘද්‍ධිමතුන් ” ”

4. මහාකස්සප ”

ධූතවාදීන් ” ”

5. අනුරුද්‍ධ ”

දිවැස් ඇත්තන් ” ”

6. කාලිගොධාපුත්ත භද්දිය ”

උසස් කුලයෙහි උපන්නන් ” ”

7. ලකුණ්ට භද්දිය ”

මධුරස්වර ඇත්තන් ” ”

8. පිණ්ඩෝල භාරද්වාජ ”

සිංහනාද කරන්නන් ” ”

9. පුණ්ණ (මන්තානි පුත්ත) ”

ධර්ම කථිකයන් ” ”

10. මහාකච්චායන ”

කොටින් කී දෙයක් විස්තර කිරීමෙහි සමතුන් ” ”

11. චුල්ලපන්ථක ”

මනෝමය රූප නිර්මාණයෙහි සමර්ථයන් ” ”

12. මහාපන්ථක ”

අරූපධ්‍යානයෙන් නැගිට රහත් වුවන් ” ”

13. සුභූති ”

නොකිලිටි විහරණ ඇත්තන් ” ”

14. සුභූති ”

දක්ෂිණාර්භයන් අතුරෙන් අග්‍රයි

15. රේවත (ඛදිරවනිය) ”

ආරණ්‍යකයන් ” ”

16. කඞ්ඛාර්වත ”

ධ්‍යානයෙහි ඇලුණවුන් ” ”

17. සෝණ (කෝළිවිස) ”

ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තවුන් ” ”

18. සෝන (කුට්කණ්ණ) ”

මනාප කථා ඇත්තවුන් ” ”

19. සීවලී ”

ලාභීන් ” ”

20. වක්කලී ”

අධික ශ්‍රද්ධා ඇත්තවුන් ” ”

21. රාහුල ”

ශික්ෂාකාමීන් ” ”

22. රට්ඨපාල ”

ශ්‍රද්ධායෙන් පැවිදි වූවන්

23. කොණ්ඩධාන ”

පළමු කොට සලාකා ගන්නන් ” ”

24. වංගීස ”

වැටහෙන නුවණ ඇත්තවුන් ” ”

25. උපසේන (වංගන්ත බ්‍රාහ්මණ පුත්) ”

සියල්ලෙන් ප්‍රසාද එලවන සුලු තැනැත්තන් ” ”

26. දබ්බ(මල්ල පුත්ත) ”

සෙනසුන් පණවන්නන් ” ”

27. පිළින්දිවච්ඡ ”

දෙවියනට ප්‍රිය වූවන් ” ”

28. බාහිය (දාරුවීරිය) ”

වහා අභිඥා ලද්දන් ” ”

29. කුමාරකස්සප ”

විචිත්‍ර කථිකයන් ” ”

30. මහා කොට්ඨිත ”

ප්‍රතිසංචිත් ප්‍රාප්තයන් ” ”

31. ආනන්ද ස්ථවිර ”

උපස්ථායකයන් ” ”

ධාරණ ස්මෘති ඇත්තන් ” ”

භාග්‍යවතුන් වහන්සේ වදාළ තාක් එ සේ ම දැනගැන්මෙහි

සමර්ථයන්, වීර්යවතුන් ” ”

32. උරුවේල කස්සප ”

මහ පිරිස් ඇත්තවුන් ” ”

33. කාළුදායි ”

කුලයන් සස්න කෙරේ පහදවන්නන් ” ”

34. බක්කුල ”

නීරෝගයන් ” ”

35. සෝහිත ”

පුර්වනිවාසය සිහි කරන්නන් ” ”

36. උපාලි ”

විනයධරයන් ” ”

37. නන්දක තෙරණුවෝ ”

මෙහෙණියනට අවවාද කරන්නන් අතුරෙන් අග්‍රයි

38. නන්ද ”

ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවන් ” ”

39. මහාකප්පින ”

භික්ෂ්වවවාදකයන් ” ”

40. සාගත ”

තේජෝධාතු සමවතට සමවදන වුන් ” ”

41. රාධ ”

ධර්මදේශනා වැටැහීමට ප්‍රත්‍යය වූ දෘෂ්ටි සමුදාචාරාදිය

ඇත්තන් ” ”

42. මෝඝරාජ ”

රූක්ෂ සිවුරු දරන්නන් ” ”

ස්ථානාන්තර ලත් මෙහෙණහු

1. ප්‍රජාවතී ගෞතමී

චිරරාත්‍රඥාවන් අතුරෙන් අග්‍රයි

2. ඛෙමා

මහ නුවණැතියන් ” ”

3. උප්පල වණ්ණා

ඍද්‍ධිමතීන් ” ”

4. පටාචාරා

විනය ධරාවන් ” ”

5. ධම්ම දින්නා

ධර්ම කථිකාවන් ” ”

6. නන්දා

ධ්‍යායිනින් ” ”

7. සෝණා

ආරබ්ධ වීර්යයාවන් ” ”

8. සකුලා

දිවැස් ඇතියන් ” ”

9. භද්දා කුණඩලකේසා

වහා ලත් අභිඥා ඇත්තියන් ” ”

10. භද්ද කාපිලානි

පෙර ජාති සිහි කරන්නන් ” ”

11. භද්ද කච්චානා (යසෝධරා)

මහත් අභිඥා නුවණ ලැබූවන් ” ”

12. කිසා ගෝතමී

රූක්ෂ සිවුරු දරන්නන් ” ”

13. සිගාල මාතා

අධික ශ්‍රද්ධා ඇත්තියන් ” ”

තනතුරු ලත් උපාසකවරු

1. තපස්සු භල්ලික සහෝදර වෙළෙඳ දෙදෙන

මුලින් ම සරණ ගිය උපාසකවරු

2. සුදන්ත (අනාථ පිණ්ඩික)

සිටු අග්‍ර දායක.

3. චිත්ත ගහපති (මච්ඡිකා සණ්ඩ නගරවාසී)

අග්‍ර ධර්ම කථික

4. හත්ථකාළවක රජ

සිවු සඟරා වතින් රට වැසියාට සංග්‍රහ

කරන්නන් ගෙන් අග්‍ර

5. මහානාම ශාක්‍ය රජ

අග්‍ර ප්‍රණීත දායක

6. උග්ග ගහපති (විසල් පුරැවැසි)

සිතට රිසි දෑ දෙන්නවුන් ගෙන් අග්‍රයි

7. උග්ගත ගහපති

අග්‍ර සංඝෝපස්ථායක

8. සුර අම්බට්ඨ

අචල ශ්‍රද්ධා ඇත්තවුන් ගෙන් අග්‍රයි

9. ජීවක කෝමාර භච්ච

පෞද්ගලික ප්‍රාසද ඇත්තන්ගෙන් අග්‍රයි

10. නකුලපිතු ගහපති

විශ්වාස කථා ඇතියන් ගෙන් අග්‍රයි

තනතුරු ලත් උපාසිකාවරු

1. සුජාතා (සේනානි සිටු දූ)

බුදුරජාණන් වහන්සේ දැක සරණ ගිය පළමු

උපාසිකාව

2. විශාඛා (මිගාර මාතු)

අග්‍ර දායිකාව

3. බුජ්ජුත්තරා

බහුශ්‍රැතාවන් ගෙන් අග්‍රයි

4. සාමාවතී

මෛත්‍රී විහාර ඇත්තියන් ගෙන් අග්‍රයි

5. උත්තරා (නන්ද මාතු)

ධ්‍යායිනීන් ගෙන් අග්‍ර උපාසිකාව

6. සුප්පවාසා (කෝලිය දූහිතෘ)

ප්‍රණීත දෑ දෙන්නන් ගෙන් අග්‍රයි

7. සුප්පියා

අග්‍ර ග්ලානෝපස්ථායිකා

8. කාතියානි

අචල ප්‍රසාද ඇත්තවුන් ගෙන් අග්‍රයි

9. නකුලමාතා

විශ්වාසිකාවන් ගෙන් අග්‍රයි

10. කාලි (කුරරඝර නුවර වැසි)

ආරංචියෙන් බුදුගුණ අසා පැහැදුණවුන් ගෙන් අග්‍රයි.

බුද්‍ධ චරිතයේ අග්‍ර දවස්

වෙසක් පුණු පෝ දා

බෝධි සත්ත්වෝත්පත්තිය, බුදු වීම,

බුද්‍ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට මුලින් වැඩි දිනය.

(තුන් වන වරැ) ලක්දිව වැඩීම, පිරිනිවන් පෑම.

වෙසක් පුණු පෝදා

කාලදේවල තවුසාට බෝසතුන් දැක්වීම

වෙසක් අව විසේනිය දා

බෝසතාණනට නම් තැබීම

ඇසළ පුණු පෝ දා

බෝසතාණන් මවු කුසැ පිළිසිඳ ගැනීම

ගිහිගෙයින් නික්මීම, දම්සක් පැවැත්වීම.

ඇසළ අව අටවක දා

මුලින් ම බිම්සර රජුට බෝසතාණන් හමුවීම.

වප් පුණු පෝ දා

දේවාවරෝහණය, මෛත්‍රෙය බෝසතාණන් පැවිදි වීම.

නවම් පුණු පෝ දා

මහා සංඝ සන්නිපාතය (අග සව්වන් පත්කර ගැනීම, අවවාද

ප්‍රාතිමෝක්ෂෝද්දේශය)

බක් අව පසළොස්වක

ලක්දිව වැඩීම (දෙ වෙනි වර)

දුරුතු පුණු පෝ දා

ලක්දිව වැඩීම (පළමු වර)

සස්නෙහි දීර්ඝායුෂ් කාලයක් ඇති වැ සිටියෝ

විශාඛා උපාසිකාව

වර්ෂ 120

පාවාරිය භික්ෂු

වර්ෂ 120

පොක්ඛරසාදි බ්‍රාහ්මණ

” ”

ආනන්ද ස්ථවිර

” ”

බ්‍රහ්මායු බ්‍රාහ්මණ

” ”

මහාකාශ්‍යප ස්ථවිර

” ”

සෙල

” ”

අනුරුද්ධ ස්ථවිර

වර්ෂ 150

බක්කුල ස්ථවිර

වර්ෂ 160

බුද්‍ධ චරිතය උපග්‍රන්ථය

1. සිංහහනු රජතුමාට සුද්ධෝදන, ශුක්ලෝදන, අශුක්ලෝදන, ධෝතෝදන, අමිතෝදන යැ යි පුත්තු පස්දෙනෙක් ද අමතාවී නම් දුවක් ද වූහ යි මැදුම් සඟි අටුවායෙහි කියන ලදි. ශුධෝදන, ශුක්ලෝදන, ධෝතෝදන, අමිතෝදන යැ යි පුතුන් සිවු දෙනෙකුන් ද අමිතා, ප්‍රමිතා යැ යි දූන් දෙදෙනෙකුන් ද වූ බව මහා වංශයෙහි දැක්වේ. ශුද්ධෝදන, අමිතෝදන, ශුක්ලෝදන, අශුක්ලෝදන යැ යි සොහොයුරන් පස් දෙනා ගේ නම් සූත්‍ර නිපාත අටුවායෙහි දක්නා ලැබේ. වප්ප රජු ද බුදු රජු ගේ සුළු පියෙකැ යි අංගුත්තර අටුවාහි පෙනේ.

ශුද්ධෝදන, ශුක්ලෝදන, ද්‍රෝණෝදන, අමෘතෝදන යැ යි සොහොයුරෝ සිවු දෙනෙක් ද, ශුද්ධා, ශුක්ලා, ද්‍රෝණා යැයි සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ යි අවදානකල්ප ලතා පල්ලව නම් සංස්කෘත ග්‍රන්ථයෙහි සඳහන් වේ.

ශුද්ධෝදන රජු ගේ දරුවෝ තිදෙනෙකි, ඔහු නම් නන්ද කුමරිය, සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේ, නන්ද කුමරු යන තිදෙනා යි. මෙයින් නන්දා තොමෝ සිද්‍ධාර්ථ කුමරුටත් වැඩි මහලු යි. නන්ද කුමරු තිදෙනාගෙන් ම වයසින් බාලයා යි. නන්දා නන්ද දෙදෙනා ප්‍රජාවතී ගෞතමියගෙන් ද සිද්‍ධාර්ථ කුමරු මහාමායා බිසොව ගෙන් ද සුදොවුන් රජුට ලැබුණු දරුවෝ යැ යි දත යුතු.

සූර්ය වංශයෙහි රාජ පරම්පරාව

මහාසම්මත (මනුරජ)

රෝජ

කාලරජත

වරරෝජ

කල්‍යාණ

වරකල්‍යාණ

මන්ධාතු

චර

උපචර

චේතිය

මුචල

මුචලින්ද

සාගර

සාගර

හරථ

හගීරථ (හගීරස)

රුචි

සුරුචි

ප්‍රතාප

මහා ප්‍රතාප

පනාද

මහා නාද

දෙනෙක්

සුදර්ශන

මහා සුදර්ශන

නේරු

මහා නේරු

අර්චිෂ්මත්

(මේ රජහු අට විසි දෙන කුසාවතී රාජගෘහ මිථිලා යන නුවර තුනෙහි රජය ජයසේන කැරැවූහු).

අර්චිෂ්මත්

සාගර

ශුද්ධෝදන

මඛාදෙව (මිථිලායෙහි)

(මේ පරපුරෙහිම)

නිමි

ප්‍රේමකර

අශෝක

(මේ පරපුරෙහි රජුහු බොහෝ දෙනෙක් බරණැස රජය කැරවූහ.)

උපෝසථ

දිලීප

රඝු

අජ

දශරථ

රාම

(මේ පෙළපතෙහි මැ)

විජය

(පිළිවෙළින් දරු මුණුබුරු පසළොස් දෙනෙක්)

ඔක්කාක

කුස

සුජාත

-------- ශාක්‍ය වංශය ආරම්භය මෙතැන් සිට

ඉක්ෂ්වාකු උල්කා මුඛ ආදි සතර

(කපිල වාස්තු පුරාරම්භය)

නිපුර

(දරු මුනුබුරු අට දෙනෙක්)

සීහසුර

(දරු මුනුබුරු පරපුරෙහි)

ජයසේන

සිංහහනු

ශුද්ධෝදන

සිද්‍ධාර්ථ

(භාග්‍යවතුන් වහන්සේ).

මේ මහා බෝධිවංශ ග්‍රන්ථි පද විවරණයේ ආ පරිදියි. දික්සඟි අටුවා ආදියේ රජ පෙළපත මෙයට මඳක් වෙනස් ලෙස පෙනේ.

2. මායා දේවී නකත් කෙළි උළෙලට සම්බන්ධ නොවී රජුගෙන් අවසර ගෙන පෙහෙවස් වුසුවා යි මහායාන පොත්හි දැක්විණ.

3. මායා බිසව දුටු ස්වප්නය ගැන ලලිත විස්තර සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ :- මායා දේවි සුඛශයනප්‍රසුප්තා ඉමං ස්වප්නමපශ්‍යත් :- හිමරජතනිහශ්ව ෂඩිවිෂාණඃ සුවරණවාරුභූජඃ සුරක්තශීර්ෂඃ

උදරමුපගතො ගජප්‍රධානො ලලිතගතිර් දෘඨවජ්‍රගාත්‍රසන්ධිඃ

4. බෝසතාණන් තුසීලොවින් ච්‍යුත වන්නට පෙර ස්වකීය ඔටුන්න මෛත්‍රෙය බෝසෙතාණන් හිසෙහි පළඳවා එ තුමනට දිව්‍ය රාජ්‍යය පවරා ඉන් චුත වූ බව ලලිත විස්තරයෙහි පෙනේ.

තව ද පසු දා උදය මායාදේවි පිරිවර ස්ත්‍රීන් කැටුව අශෝක වනයට ගොස් සුදොවුන් රජුට පණිවුඩයක් යැවූ බව ද, රජ එය අසා ගියහු අශෝක වන ද්වාරයේ දී සිය සිරුර උසුලා නො ගත හැකි සේ බරක් දැනී “මේ කිමෙක් දැ?” යි විස්මිත වූ බව ද, එ කෙණෙහි ශුද්ධාවාසකායික දෙව් පුතකු අර්ධ ශරීරයෙන් පෙනී සිට බෝසතාණන් උපන් බව කී වගත් ලලිතවිස්තර සූත්‍රයෙහි පෙනේ.

5. බෝධි සත්ත්ව මාතාව ගේ පහසුව සඳහා විශේෂ ප්‍රාසාදයක් සුදොවුන් රජු කැරැවූ බව ද ශක්‍ර සුයාමාදී දෙවියනුත් කපිල පුරයෙහි තන්හි තන්හි ප්‍රාසාද මැවූ බව ද බෝධිසත්ත්වයන් වහන්සේ මහාව්‍යුහ නම් සමාධියේ ආනුභාවයෙන් ඒ සියලු ප්‍රාසාදයෙක ම මෑණියන් සහිත ව පෙනෙමින් මවු කුස දකුණු පසෙහි බද්ධපර්‍යංකයෙන් හුන් බව ද ලලිත විස්තර සූත්‍රයෙහි දැක්වේ.

6. මේ ප්ලක්ෂ වෘක්ෂයෙකැ’ යි ලලිත විස්තරයෙහි දැක්වේ. අශෝක රුකෙකැ යි ය්වංජීශ්වාං ගේ හ්රමණ වාර්තායෙහි පෙනේ.

7. බෝසතාණන් බිසව ගේ දකුණැලයෙන් ඍද්‍ධියෙන් නික්මුණු බවත් ලලිතවිස්තරයෙහි දක්වන ලදී. යශෝධරා දේවී, ඡන්නාමාත්‍ය, කාළුදායි අමාත්‍ය, ආජානීය ඇත් රජ, කන්ථක අස්රජ, මහ බෝරුක, සතර මහා නිධාන යන මොවුන් ද මෙ දින ම උපන්හ යි ජාතකට්ඨ කථා ආදියෙහි දැක්වේ.

මායා දේවීන් ඇඳක සැතැපුණු පසු බෝසත් උපත වී යැ යි අශ්වඝෝෂයන් ගේ බුද්‍ධචරිත (සමහර) පිටපතෙක සඳහන් වේ.

8. කලියුග වර්ෂ 2478 හි වෙසක් මසැ පුණු පොහෝ ලත් ඉරිදා උදයාදි එකොළොස් පෑ විනාඩි හතරට විසානැකතින් කටක ලනයෙන් සිංහ නවාංශකයෙන් බෝසතාණන් උපන්හයි කෞමාර නාඩිවාක්‍යයේ සඳහන් වේ. උන්වහන්සේ ගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10 දින 15 කැ යි ද එහි ම සඳහන් වේ. එහි දැක්වෙන බුද්‍ධ කේන්ද්‍රය මෙසේ ය.

හෙළදිව බැවහාර වන බුද්‍ධකේන්ද්‍රයේ දස වැන්නේ බුධ රවි එකට සිටුනා බව දැක්වෙතත් නාඩිපොත්හි එන කේන්ද්‍රයේ ඒ දෙදෙනා ගෙන් බුද දසයේත් රවි එකොළොසේත් ඇතැයි දැක්වේ. කාකයර්නාඩි බුද්‍ධචරිතයේ ද කේන්ද්‍ර මේ සැටිම ය. බාග විට භාව වශයෙන් වෙනස් ව ඇති සැටියක් මෙයින් දැක්වෙතැයි සිතිය හැක්ක. ජ්‍යොතිර් විද්‍යාඥයෝ විමසත්වා.

9. උපන් කෙණෙහි බෝසතුන් කීදෑ “අග්ගොහමස්මි ලෝකස්ස” යන ආදීන් අටුවාහි දැක්වේ. සකු බණ පොත්හිද මෙය දැක්වේ. බෝසතාණන් ගේ උත්පත්තිය ගැන අච්ඡරියබ්භූත සූත්‍රාදියෙහි තුසී ලොවින් චුත වූයේ සිහි ඇතිව මැ යි ද පිළිසිඳ ග ත් දැනුම ඇතිව යැ යි ද සඳහන් වේ. මෙසේ හෙයින් බෝසතාණෝ ජාතිස්මරණ (ගිය ජාතිය සිහිකරන) නුවණ ඇත්තෝ වූහ. මව කුසැ වුසුවේත් සිහිනුවණ ඇතිව ම ය. එ බැවින් උපන් කෙණෙහි කථා කිරීම අවිශ්වාසයට කරුණු නො වේ. උපන් කෙණෙහි සත් පියක් පියුම් පිටින් යෑම ද අවිශ්වාසයට කරුණක් නො වේ. ගව ආදි සමහර සතුන් ද උපන් හැටියේ ම දිව ඇවිදී. මව් කුස තුළ දී ම සිරුර එ පමණට වැඩුණ බැවිනි. කලාතුරෙකින් කිසි මනුෂ්‍යයකුටත් එබඳු ශක්තිය ඇති ව ඉපදීමට බැරිකමෙක් නැත.

උපන් හැටියේ කථා කළ තවත් අය ගැන ලෝක වාර්තා ඇත.

1875 දී එංගලන්ත යේ පළ වු Loydi's Weekly නම් සතිපතා පත්‍රයේ උපන් කෙණෙහි කථාකළ දරුවකු ගැන සඳහන් වේ. ප්‍රංශයේ සා ලුයි (Zaar - Louis) නම් ගමේ ගෙයක දරුවෙක් උපන. මිතුරෝ රැස්ව දරුවාගේ පියාට ප්‍රීතිය පවසමින් හුන්හ. මේ අතර දරුවා උපන. එහි සිටියෙක් දැන් වේලාව කීය දැ? යි ඇසී ය. එ කෙණෙහි ම උපන් දරුවා පැහැදිලි වචනයෙන් දැන් දෙකයි’ කී ය. සියල්ලෝ විස්මිත ව නිහඩව බලා හුන්හ. එවිට දරුවා කථා කරමින් “මේ 1875 වන වර්ෂය ශුභ යි. 1876 දී මේ රටේ ලේ වැගිරීම් ඇති වෙයි. මෙය දන්වන්නට මෙ ලොවට ආමි” යි කී ය.

මේ ප්‍රවෘත්තිය ඒ පත්‍රයෙන් උපුටා ගෙන lsis Unveiled (https://en.wikipedia.org/wiki/Isis_Unveiled) නම් පොතෙහි 438 වැනි පිටේ දක්වා ඇත. තවද උපන් අළුත දරුවන් නෙළුම් මල් අතුරා පිට තබාගෙන යෑම ද ඉන්දියාවේ සමහර පළාත්වල අද ද දන්නට ලැබෙන සිරිතකි. මේ සිරිත පැරණි එකෙකි. එදා බෝසතාණන් උපන් බිමැ නෙළුම් මල් අතුරා තුබුණා නම් ඊ පිටින් සත් පියක් වැඩියා යන්න අවිශ්වාස කටයුතෙක් නො වේ.

සාරාසැකිකප් ලක්ෂයක් පෙරුම් පිරූ බෝසතාණන් සෙසු සාමාන්‍ය මිනිසුන් ගේ ගණයෙහි ලා සැලැකීම වැරැදි ය. ලොව පහළ වූ හැම දැයින් ම සෙස්සනට වැඩි දෙවියන්ටත් වඩා උසස් ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි මහා බෝසතාණෝ.

10. පුත්‍ර ප්‍රසුතිය අසා සුදොවුන් රජ ලුම්බිනියට ගියහ යි ද පෙරළා එන ගමනේ ශාක්‍යයන් ගේ දෙවි වූ ශාක්‍යවර්ධන දෙවියාගේ කෝවිලට ආ හයි ද ප්‍රජාවතී ගෞතමීන් බෝසතාණන් වඩාගෙන එහි ඇතුල් වූ හයි ද එ කෙණෙහි දේව රූපය නැගිට නමස්කාර කළ හයි ද ය්වංජීශ්වාං ගේ ගමන් වාර්තායෙහි පෙනේ. මේ දෙවොල අහයා නම් දෙවඟනක ගේ කෝවිලක් බව ද මේ සිද්‍ධියෙන් පසු බෝසත් දේවාධිදේව නම් වී යයි ද මහාවස්තුයෙහිත් ටිබැට් පොත්වලත් පෙනේ. ලුම්බිනියෙන් පෙරළා ඊම සතියකින් පසුවී යැ යි සමහර සංස්කෘත පොත්හි පෙනේ.

ශාක්‍යවර්ධන නම් දේවතාවා ගේ දේවාලයට ශාක්‍යයන් තම දරුවන් ගෙන ගොස් නමස්කාර කරවන බව ද, එ සිරිතට අනුව බෝසතාණන් ලවා ද වන්දවන්නට තැත් කළ බව ද එ කෙණෙහි දේව රූපය උන් වහන්සේ ගේ පා මුල වැටුණ බව ද අවදාන කල්පලතාපල්ලවයෙහි පෙනේ.

බෝසතුන් දකුණු පය දෙවොල ඇතුළෙහි තබනු සමග ම එහි තුබූ ශිව, ස්කන්ධ, නාරායණ, කුවේර, චන්ද්‍ර, සූර්‍ය්‍ය, වෛශ්‍රවණ, ශක්‍ර, බ්‍රහ්මාදි දේවරූප බෝසතුන් ගේ පා මුළ වැටී බෝසත්නට ගාථාවලින් ස්තුති කළ බව ලලිතවිස්තරයෙහි දැක්වේ.

11-12. කාලදේවල නමින් අටුවායෙහි දක්වන ලද්දේ අසිත තවුසා ම ය. මෙ තෙම අසිතදේවල නමින් දන්නා ලද්දේ ය. අසිත තවුසා ගේ බෑණනු වූ කිෂ්කින්ධා පර්වත වාසී නාරද තපස්වීහු බෝසතුන් උපන් දා ඇති වූ මහත් එළිය දැක ඒ කිම් දැ යි අසිත තවුසහු ගෙන් ප්‍රශ්න කළ බව ද, එහි තොරතුරු අසිත තවුස් විස්තර කළ බව ද, ඉක්බිති ඒ දෙදෙන බෝසතුන් දක්නට ආ බව ද අවදාන කල්පලතා පල්ලවයෙහි කියන ලදී. උතුරේ හිමාලය පර්වතයෙහි සිට අසිත තවුසා සිය බෑනණු වූ නරදත්ත මානවකයා හා ආ බව ලලිත විස්තරයෙහි සඳහන් වේ. ඒ තවුසා දකුණෙහි වින්ධ්‍යා පර්වතයෙහි සිට නාලකයා කැටුව ආ බව මහා වස්තුයෙහි දර්ශිත යි.

13. බෝසතාණන් ගේ ලක්ෂණ පරීක්ෂා කළ බමුණන් අට දෙනා ගේ නාම: රාම, ධජ, ලක්ඛණ, මන්ති,

කොන්ඩඤ්ඤ, භොජ, සුයාම, සුදත්ත යැ යි අටුවාහි පෙනේ. මිලිඳු පැනයෙහි මඳක් වෙනස් ලෙස රාම, ධජ, ලක්ඛණ, ජාතිමන්ත, යඤ්ඤ, සුයාම, සුභොජ, සුදත්ත යැ යි දක්වන ලදී.

14. මහාවස්තු ආදී සංස්කෘත පොත්හි බෝසතාණන් ගේ නම සර්වාර්ථසිද්ධ යැ යි පෙනේ. ලලිත විස්තරයෙහි

සිද්‍ධාර්ථ යැ යි ද සඳහන් වේ.

15. අන්තඃකල්පාරම්භයේ දී දෙවියන් සෘෂීන් මගින් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව දුන්හයි අම්බට්ඨ සුත්ත අටුවාහි දැක්වේ. මෙහි යටත් පිරිසෙයින් මහා පුරුෂ ලක්ෂණ එකක්වත් ඇති පිනැතියන් උපදනා කාලය මා පියන්ගේ නම් ගම් ආදිය දැක්වේ. මේවා අද නාඩි වාක්‍ය නමින් ප්‍රසිද්‍ධය. සමහර සෘෂින්ගේ වාක්‍යවල මතු සිදුවන සමහර දෑ අනියමින්ද සමහරුන්ගේ වාක්‍යවල නිශ්චය කොටද දැක්වේ. මහ පටැඟිල්ල බලාද සම්පූර්ණ ඵල කියත හැකි ක්‍රම සමහරෙක දැන්වේ.

16. බෝසත් උපන් පසු සතියක් ඇතුළත දී මායා දේවියගේ මරණය වී යැයි සමහර සංස්කෘත ග්‍රන්ථවල පෙනේ. මායා බිසව දෙව් පුතකුව පුත්‍ර ස්නේහය හේතුවෙන් බෝසත් කුමරු හුන් කාමරයට අරක් ගත් බව ලලිත විස්තරයෙහි පෙනේ.

17. වප්මඟුල් වේලෙහි බෝසතාණන් යහනෙහි ම හිඳ ප්‍රථම ධ්‍යානය ඉපදැවූ බව අටුවාහි කියන ලදී. අහස් වැඩි බවක් කිසි අටුවාවෙක නොපෙනේ. මිලිදු පැනයෙහි සතරවන ධ්‍යානය වඩා අහස් හි පළක් බැඳ හුන් බව කියන ලදී. බෝසතාණන්ට ඇවිදින්නට පුලුවන් තරම් කාලයේදී දිනක් පිය රජු හා උයනට යන ගමනේදී ගොවිපලකට පැමිණි බවද, එහිදී නගුලට අසුවී මළ සර්පයෙකුත් මැඬියකුත් දැක බොහෝ සංවේගයට පැමිණ පසෙක දඹරුකක් යටට වී ඉඳ ධ්‍යාන වඩා ප්‍රථම ධ්‍යානයට සමවන් බවද. ඒ වෙලායෙහි හිමාලයේ සිට වින්ධ්‍යා පර්වතයට අහසින් යන සෘෂීන් පස් දෙනෙක්නට ඒ පෙදෙසින් යා නොහී බැස බෝසතුන් දැක වැඳ ප්‍රශංසා කොට ගිය බවද භෝජන සමයෙහි කුමරු නො දැක සොයා ඇවිදුනා ඇමතියන් බෝසතුන් ඒ රුක් මුල ඉන්නා දැක රජුට දැන්වූ බවද රජු අවුත් එහි ඡායාව වෙනස් නොවීම් ආදී ආශ්චර්ය දැක වැද බවද මහාවස්තුයෙහි සඳහන් වේ. මෙය වූයේ වයස විසි නවයේදී යැයි දිව්‍යාවදානයේ ද ටිබැට් බෞද්‍ධ පොත්හි ද පෙනේ. මේ සම්බන්ධයෙන් ඇතැම් මහායාන පොත්හි ප්‍රවෘත්තිය අටුවාවට සම යි.

18. බෝසත් කුමරා යහපත් ධන්‍ය පුණ්‍ය ගුණ ඇති ඉතා හොඳ මිතුරන් ඇති ව සැප සේ කල් යැවූයේ ය. වත්ස නම් බ්‍රාහ්මණ කුමරා වැළි කෙළියෙහි පටන් එක් ව කල් යැවූ බෝසතාණන් ගේ හිත මිතුරෙකි.

19. සබ්බමිත්ත (සර්වමිත්‍රයා) බෝසත්නට ඉගැන්වූ බව මිලින්ද ප්‍රශ්නයෙහි පෙනේ. බෝසත්හට ශිල්ප ඉගැන් වූ ඇදුරා විශ්වාමිත්‍ර නමැ යි සංස්කෘත බෞද්‍ධ පොත්හි පැනේ. “සර්ව මිත්‍ර” “විශ්වා මිත්‍ර” යනු සමානාර්ථ නාම යි.

20. බෝසතාණන් සියලු විද්‍යාවන් මනා ව ඉගෙන නිමවා ඉක්බිති “බ්‍රාහ්මී” නම් අක්ෂර විශෙෂයෙක් නිපද වූ හයි ක්ෂේමේන්ද්‍ර පඬිහු කළ බුද්‍ධ ජන්ම නම් පොතේ සඳහන් වේ. “බ්‍රාහ්මී අක්ෂර” යනු අශෝකාක්ෂරයනට නමෙකි.

“වර්ධමානඃ කුමාරො’ථ

සර්වවිද්‍යාසු පාරගඃ

ලිපිප්‍රවීණො’ හිනවං

ලිපිං බ්‍රාහ්මීං විනිර්මමෙ” (බුද්‍ධජන්ම)

වැඩෙනා ඒ (සර්වාර්ථ සිද්ධ) කුමරු සියලු විද්‍යාවන්හි පරතෙරට පැමිණියේ ලිවීමෙහි සමර්ථ වූයේ බ්‍රාහ්මී නම් අභිනව ලිපි විශේෂයක් (අකුරු වගයක්) නිපදවූයේ ය” යනු එහි තේරුම යි.

21. සුදොවුන් රජතුමා ප්‍රාසාද තුනක් කරවා තම පුත්‍රයාට කුමරියක ආවාහ කොට දෙනු සඳහා ශාක්‍යයනට හසුන් පත් යැවී ය. “සිදුහත් කුමරු රූපසම්පන්න වුවත් ශිල්පයක් නො දනිති” යන ආදීන් ඔහු බෝසතාණන් ලඝු කොට සලකා තමන් අදහස් කියා එවූහ. එ පවත් පිය රජ සිදුහත් කුමරුට දැන්වී ය. එවිට නෑයන් රැස් කරවා ඔවුන් මධ්‍යයෙහි, බෝසත් තමා දත් ශිල්ප දැක්වූයේ ය. එයින් සතුටු වූ ශාක්‍ය රජුහු තම දූ දරුවන් සරසා එවූහු. සුප්‍රබුද්‍ධ ශාක්‍ය රජු ගේ දූ වූ භද්‍රකාංචනා (හෙවත් යශෝධරා) කුමරිය බෝසතාණන් ගේ අග මෙහෙසි කොට අභිෂේකය කරන ලදී. නෑ රජුන් එවූ ධීරා, වීරා, භද්‍රා, උපශමා, උත්තරා ආදී ශාක්‍ය කුමරියන් සතළිස් දහසක් පමණ අන්තඃ පුරයෙහි වූහ. ඉන් එක් පායෙක දස දහසක් පමණ කුමරියෝ යශෝධරා වගේ පිරිවර වූහ. දණ්ඩපාණී ශාක්‍ය රජු ගේ දූ වූ ගෝපා තොම බෝසතාණන් ගේ අගමෙහෙසි වී යැ යි ලලිත විස්තරයෙහි පෙනේ. බෝසත්නට යශෝධරා, කිසාගෝතමී, මනෝහරා යැයි මෙහෙසියෝ තුන් දෙනෙක් වූහ යි චීන පොත්හි සඳහන් වේ. කිසාගෝතමී දණ්ඩපාණී ශාක්‍ය රජු ගේ දූ යැ යි ද, යශෝධරා මාහානාම ශාක්‍ය රජු ගේ දූ යැ යි ද චීන බෞද්‍ධ ග්‍රන්ථ කාරක මතයි. එහෙත් ගෝපා භද්දකච්චානා මනොහරා බිම්බා සහ සියලු නම් යශෝධරා දේවීන් සඳහාම බැවහර වී යයි සමහර මහායාන පොතක දැක්වේ. නාඩි ග්‍රන්ථවල යශෝධරා පමණක් බෝසතාණන් ගේ දේවී වූ හ යි දැක්වේ. ඇලෙක්සැන්ඩර් ක්සොමා විසින් ටිබැට් බෞද්‍ධ ග්‍රන්ථවලින් කරුණු ගෙන ලියූ ලියවිල්ලක ගෝපා, යශෝධරා. උත්පලවර්ණා යැ යි මෙහෙසියන් තිදෙනෙකුන් ගේ නම් ද මෙහි උත්පලවර්ණා යනු මෘගජා නම් කුමරිය බව ද කියන ලදී[83] යශෝධරා රාහුල මාතා නමින් ද, බිම්බාදේවී නමින් ද භද්දකංචනා නමින් ද ප්‍රකට වූවා ය. භද්දකංචනා යනු භද්දකච්චානා යැ යි ව්‍යවහාරයේ දී වෙනස් ව ආ බව පෙනේ.

22. මෙය නාඩිග්‍රන්ථවලැ එන පුවතෙකි.

23. ජරාවේශාදියෙන් පෙනුණේ දිව්‍ය පුත්‍රයෙකැ යි ලලිත විස්තරයෙහිත් අර්ථ කථාහිත් දැක්වේ.

24. “රාහුලො ජාතො” යන්නෙහි තේරුම නම් රාහු වැනි ග්‍රාහකයෙක් උපනි. රාහු ඉර සඳ අල්ලා ගන්නාක් මෙන් මා පැවිදි වීමට යෑ නොදී අල්ලා ගන්නෙක්, ගිහිගෙයි මා නවත්වන්නෙක් පහළ වීය යනු සමහරුන්ගේ විවරණ යි. වාසවදත්තා යන්න පාළියෙහි වාසලදත්තා යි පෙනේ. මෙයින් වාසව යන්න වාසුල යැ යි වූ සේ ම රාඝව යන්න රාඝුල රාහුල යැ යි වීය යනු අප අදහසයි. එ විට රාහුල යනු රඝු පරපුරැ දරුවෙක් ය යන අරුත දෙයි. ශාක්‍ය රජහු රාඝවයෝ යි.

25.

නිබ්බුතා නූන සා මාතා

නිබ්බුතා නූන සො පිතා

නිබ්බුතා නූන සා නාරී

යස්සායං ඊදිසො පති”

මෝ තොම දණ්ඩපාණිශාක්‍ය රජුගේ දූ යැ යි චීන පොත් හි සඳහන් වේ. මෝ තාම මෘගී නම් වූ අනඳ තෙරුන්ගේ මෑණියෝ යැ යි මහා වස්තුයෙහි ද බෝසතුන් ගිහි ගෙන් නික්මෙන්නට සතියකින් පෙර බෝසතුන් ගේ මෙහෙසියක් වූ හැ යි ටිබැට් පොත්හි ද පෙනේ.

26. ශාක්‍යක්‍රෞද්ධ්‍ය (කෝළිය) මල්ල රාජ්‍යය ඉක්මවා මෛනෙය (මෙනක) යන් ගේ අනුවෛනේය නම් නිගමයට බෝසත් පසු දා පාන්දොර පැමිණි බව ද එය කපිලවාස්තුයෙහි සිට යොදුන් සයක් දුර පිහිටි බව ද එහි දී අසු පිටින් බැස ඡන්දකයා අසු හා පෙරළා එවූ බව ද පසුව එහි ඡන්දක නිවර්තන නම් චෛත්‍යයක් වූ බව ද ලලිත විස්තරයෙහි දැක්විණ.

27. බෝසතාණන් තමන් කැපූ හිසකේ වැටිය ගෙන “මම බුදුවන්නෙක් නම්” මෙය අහස රැඳේවා” යි අධිෂ්ඨාන කොට අහසට විසි කළ කෙණහි සක් දෙව් රජ එය රන් කරඬුවෙකින් තවුතිසා භවනයට ගෙන ගිය බව ද ඉක්බිති එය නිදන් කොට සිළුමිණි සෑය කළ බව ද බෝසතාණන් හැද කසී සළු දෙක ඝටීකාර බඹහු ගෙන ගොස් බඹලොව සිළුමිණි සෑය කළ බව ද අටුවාහි පෙනේ.

28. ශුද්ධාවාසයෙහි දෙව් පුතකු වැද්දකු ගේ වේශයෙන් ශ්‍රමණ පරීෂ්කාර ගෙන එහි පැමිණි බව ද බෝසතාණන් එ පිරිකර ඔහුගෙන් ලබා ගත් බව ද ලලිතවිස්තරයෙහි පෙනේ.

29. බෝසතාණන් තාපස ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වීමේ දී සමාදන් කළේ ආජීවාෂ්ටමක ශීලය යි. ආජීවාෂ්ටමක ශීලය නම් ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් ද චතුර්විධ වාග් දුශ්චරිතයෙන් ද මිථ්‍යාජීවයෙන් දැ යි මෙසේ මෙකී අට වැදෑරුම් වරදින් වැළැකීම සමාදන් කොට ගෙන රකිනා ශීලය යි. එහි ත්‍රිවිධ කාය දුශ්චරිත යන තන්හි කාම මිථ්‍යාචාරය වෙනුවට අබ්‍රහ්මචර්යාව හෙලා මේ තන්හි දී අර්ථ ගත යුතු යි.

30. රජගහ නුවර එකල මගධ රට ප්‍රධාන නගරය යි. එයට ගිරිව්‍රජ යන නමෙක් ද වී ය. පාණ්ඩව, ගෘධුකූට, වෛහාර, වෛපුල්‍ය, සෘෂිගිරි යන පර්වතවලින් වට වූ (වැටෙකින් වට වූ) ගාලක් මෙන් පිහිටි හෙයින් ගිරිව්‍රජ යයි බැවහර වී ය.

30. සෙනානි නිගමය - මහාමන්ධාතු රජු ගේ සේනාපති සෙනානී නම් වීය. එ රජ දිව්‍යලෝකයට ගොස් රජය

කරවන කල්හි ඔහු ගේ සේනානිහු වුසූ ඒ ස්ථානය උපචාර වශයෙන් සෙනානි නම් වී ය. එයට සර්වදිශාභාගයෙන් ජනයා එළඹෙන්නෙන් නිගම නම් වී. සෙනානි නම් ගම්හි නායක කුටුම්බික සෙනානී නම් වී යැයි මහාබෝධිවංශ ගැටපදයේ සඳහන් වේ.

ලලිතවිස්තරාදියෙහි මෙයට සෙනපතිග්‍රාම යැ යි කියන ලදී.

31. බෝසත් මළේ යැ යි සමහර දිව්‍ය පුත්‍රයෙක් ගොස් තව්තිසායෙහි මහාමායා දෙව්පුතුට දැන් වී ය. හේ දිව්‍යප්සරාවන් හා වහා බෝසත් වැටී හුන් තෙනට අවුත් බලා ඇසින් කදුළු වගුරුවමින් මතු සඳහන් විලාප කියා හැඬී යැ යි ලලිතවිස්තරයෙහි පෙනේ.

යදා ජාතො’ සි මෙ පුත්‍ර වන ලුම්බිනිසාහ්වයෙ

සිංහවච්වාග්‍රහීත් සත්වං ක්‍රාන්තඃ සප්තපදාන් ස්වයම්.

.

දිශශ්චාලොක්‍ය චතුරො වාචා ප්‍රව්‍යාහෘතා ශුහා

ඉයංමේ පශ්චිමා ජාතිඃ සො තෙන පරිපූරිතා.

.

අසිතෙන සි නිර්දිෂ්ටො බුද්ධො ලොකෙ හවිෂ්‍යති

ක්ෂුණ්ණං ව්‍යාකරණං තස්‍ය න දෘෂ්ටං තෙන නිශ්චිතං.

.

චක්‍රවර්තිශ්‍රියං පුත්‍ර නපි හොක්තා මනොරමාම්

න ච බොධිමනුප්‍රාප්තො යාතො’සි නිධනං වනෙ.

.

පුත්‍රාර්ථෙ කං ප්‍රපද්‍යාමි කංච ක්‍රන්දාමි දුඃඛිතා

කො මෙ දද්‍යෙක පුත්‍රස්‍ය කිංචිත් ප්‍රාණය්‍ය ජීවිතම්.

බෝසතාණෝ ප්‍රකෘති සිහිය ලැබ තමන් ඉදිරියෙහි හඬන්නාහු අසා කවුරු දැ?” යි ඇසූහ. එවිට

මායා දෙවි පුත්,

“මයා තු දශමසාන් වෛ

කුක්ෂෞ වජ්‍ර ඉතා ධෘතඃ

සා තෙ’හං පුත්‍රක මාතා

විලපාමි සුදුඃඛිතා” යි

ඉක්බිති බෝසත් දෙව්පුතු සනසා යැවී ය.

32. බෝසත් මුළු මනින් ම ආහාර පාන හළේ යැ යි ජාතක අටුවා ආදියෙහි සඳහන් වෙතත් කොල්ලු ආදි යමක් තම්බා ගත් දියෙන් යැපීමෙන් ආහාර අඩු කිරීම සීමා කළ බව මඳුම් සඟි අටුවා ආදියෙන් පෙනේ.

33. දිනා මිස නැත හොත් රණ බිමැ වැටී මැරෙතත් පසු නො බසින බවට ලකුණක් වශයෙන් මුදු තෘණ ගසක් හිස පැළැඳ යෑම දක්ෂ යෝධයන්ගේ සිරිතෙක් වී ය.

34. මෙහි වැටුණු හෝ බැස (නික්ම යෑ නොහී) ඉන්නා මහණ බමුණෝ දක්නා ලැබෙත් යනු ලලිතවිස්තරානුගත අර්ථ වාචනය යි.

එෂා හි නමුවෙඃ සෙනා

කෘෂ්ණබන්ධොඃ ප්‍රතාපිනඃ

අත්‍රාවගාඪා දෘශ්‍යන්තෙ

එකෙ ශ්‍රමණ බ්‍රාහ්මණාඃ (ලලිත විස්තරයෙහි)

35. සතානුසාරිවිඤ්ඤාණ - ‘මේ දුෂ්කර ක්‍රියාව බුද්‍ධත්වයට මඟ නො වේ ආනාපාන ධ්‍යානය නම් එයට මඟ ය” යි මෙ සේ වරක් දෙකක් උපන් සිහියට අනතුරුව උපන් සිත සතානුසාරිවිඤ්ඤාණ (ස්මෘත්‍යනුසාරි විඥාන) නමි.

36. දුෂ්කර ක්‍රියා කරන බෝසත්හට බලා, බලගුප්තා, සුප්‍රියා, විජයසේනා, අතිමුක්ත කමලා, සුන්දරි, කුම්භකාරි, උඵවිල්ලිකා, ජටිලිකා, සුජාතා යන ග්‍රාමික දුහිතෲන් දස දෙන එම අවස්ථාවෙහි බොජුන් සාදා ගෙනවුත් පිළිගන්වමින් උපස්ථාන කළහයි ලලිත විස්තරයෙහි පෙනේ. තවද බෝසතාණන් ගේ යහපත පතා සුජාතාව එ ස වර්ෂයෙහි ම දින පතා බමුණන් 108 දෙනකුට දන් දී පින් අනුමෝදන් කළ බව ද මගේ භෝජන වළඳා බෝධිසත්ත්ව තෙමේ බුදු වේවා යි පතා සිටි බව ද ලලිතවිස්තරයෙහි ම දැක්වේ. දිනක් කෞපින මාත්‍ර වස්ත්‍ර කැබෙල්ලක් ලදොත් මැනැවැ යි බෝසත් සිතී ලු,

එ සමයෙහි සුජාතාවගේ රාධා නම් දාසියක මළ කල ඒ සිරුර රෙද්දක ඔතා අමු සොහොනෙහි දැමිණ. බෝසත් ඒ පාංශුකූල වස්ත්‍රය ගෙන දෙවියන් මැවූ පොකුණින් හෝ දා හැන්දේ යැ යි ලලිතවිස්තරයෙහි කියන ලදී.

37. මෙය කිමිදී නා ලොව ගිය බවත් නා රජහු එ මගින් කාරණය දැන නා සෙන් පිරිවරා බෝ මැඩ වෙත ආ බවත් අටුවාහි කියන ලදී.

38. සුජාතාව රන් තලිය පිටින් කිරිබත පිළිගැන්වූ විට “නැඟෙණියනි, මේ රන් තලියට කුමක් කරම්දැ”යි බෝසත් ඇසී. එය ඔබ වහන්සේට ම වේවා යි ඕ කීවාය. මෙ වැනි බඳුනෙකින් මට ප්‍රයෝජන නැතැ යි බෝසත් කී. “කැමැත්තක් කරන සේක් වා” යි සුජාතා කී. ඉක්බිති බෝසත් ඒ පිණ්ඩ පාත්‍රය ගෙන නෙරඤ්ජරා නදිය වෙත ගොස් දෙවියන් විසින් ප්‍රක්ෂිප්ත ගන්ධ පුෂ්පයෙන් සුවඳ කැවුණු දියෙන් නා ගොඩ වුත් එහි වැසි නාග කන්‍යාවක ගෙනවුත් පිරිනැමූ මිණිමුවා පුටුයෙහි හිඳ දන් වළඳා රන් තලිය කෙරෙහි අපේක්ෂා රහිතව එය නදියට දැමී ය. එය සාගර නා රජු බහුමාන පෙරටුව ස්ව භවනයට ගෙන ගොස් පූජ්‍ය වස්තු කොට තැබී ය. සක්දෙව් එය දැන ගුරුළු වෙසින් එහි ගොස් ගන්නට උත්සාහ කොට නො හැකි ව ප්‍රකෘති වේශයෙන් සිට යාච්ඤා කොට ඉල්ලා ගෙන දෙව්ලෝ ගෙන ගොස් පිදී ය. බෝසතු හුන් මිණි පළඟ එ නාග කන්‍යාව පූජ්‍ය වස්තුවක් කොට පිදුවා ය. සුජාතා තොම දුෂ්කර ක්‍රියා සමයෙහි බෝසතු ගේ සිරුරෙන් ගිලිහුණු කේශ මශ්‍රැන් මංගල වස්තු වශයෙන් ගෙන චෛත්‍යයක් කොට පිදුවා ය. මේ ලලිතවිස්තරාගත ක්‍රමයයි.

39. චිත්ත විශුද්‍ධි නම් - උපචාර සමාධි අපර්ණා සමාධි දෙකින් සිත භාවනා අරමුණෙහි පිහිටුවා නීවරණයන් කෙරෙන් ශුද්ධ කැරැ ගැනීම යි. ස්වස්තික (සොත්ථිය) බමුණා, බමුණු වෙසින් ආ තැනැත්තේ සක්දෙව් යැ යි ශ්වාංජ්ශ්වා - යාත්‍රා වාර්තාවේ සඳහන් වේ. ඔහු හමුවූයේ බෝරුකට දකුණින් යැ යි එහි ම කියන ලදී.

40. අපරාජිත පර්යංකයෙන් චතුරංග වීර්‍ය්‍යය ඉටා වැඩ ඉඳීම.

1. සම ගැලවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.

2. නහර ගැලැවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.

3. ඇට ගැලැවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.

4. මස් ලේ වියැලී ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.

මෙසේ අංග සතරින් යුත් වීර්‍ය්‍යය චතුරංග වීර්‍ය්‍ය නමි.

41. ආසන - ආසන වනාහි ගණනින් අසූසාර ලක්ෂයකැ යි ද එයින් සුවාසූවක් මැනැවැ යි ද ඉනුත් දෙ තිසක් ම වඩා යෝග්‍ය යැ යි දක්වා ඒ ආසන දෙ තිසේ නම් ඝෙරණ්ඩසංහිතායෙහි මෙසේ දැක්වේ:

සිද්ධං පද්මංතථා භද්‍රං මුක්තං වජ්‍රඤ්ච ස්වස්තිකම්

සිංහඤ්ච ගොමුඛං වීරං ධනුරාසනමෙව ච

.

මෘතං ගුප්තං තථා මත්ස්‍යං මත්ස්‍යෙන්ද්‍රාසන මෙව ච

ගොරක්ෂං පශ්චිමොත්තානං උක්කටං සකටං තථා

.

මයූරං කුක්කුටං කූර්මං තථෛවොත්තාන කූර්මකම්

උත්තානමණ්ඩුකං වෘක්ෂං මණ්ඩුකම් ගරුඬං වෘෂම්

.

සලභං මකරං වොෂ්ංට්‍රං භුජඞ්ගං යොගමාසනං

ද්වාත්‍රිංශදාසනානං තු මර්ත්‍යලොකෙ හි සිද්ධිදම්.

යෝගීනට සිද්‍ධිදානය කරන ආසන දෙ තිස මින් කියැවේ.

1. සිද්ධාසන

2. පද්මාසන

3. භද්‍රාසන

4. මුක්තාසන

5. වජ්‍රාසන

6. ස්වස්තිකාසන

7. සිංහසන

8. ගෝමුඛාසන

9. විරාසන

10. ධනුරාසන

11. මෘතාසන

12. ගුප්තාසන

13. මත්ස්‍යාසන

14. මත්ස්‍යෙන්ද්‍රාසන

15. ගෝරක්ෂාසන

16. පශ්චිමෝත්තනාසන

17. උත්කටාසන

18. සංකටාසන

19. මයූරාසන

20. කුක්කුටාසන

21. කුර්මාසන

22. උත්තාන මණ්ඩුකාසන

23. උත්තාන කුර්මකාසන

24. වෘක්ෂායන

25. මණ්ඩුකාසන

26. ගරුඬාසන

27. වෘෂාසන

28. සලහාසන

29. මකරාසන

30. උෂට්‍රාසන

31. භුජඞ්ගාසන

32. යෝගාසන

මෙයින් වජ්‍රාසන නම් :

ජඞ්ඝාභ්‍යඃ වජ්‍රවත් කෘත්වා ගුදපාර්ශවෙ පදාවුභෞ

වජ්‍රාසනං භවෙදෙතත් යොගිනාම් සිද්‍ධිදායකම්

කෙංඩා දෙක වජ්‍ර (දියමන්ති) මෙන් දැඩිකොට දෙපතුල් ගුද මාර්ගය දෙ පස තැබීමෙන් මේ යෝගීනට සිද්‍ධි දායි වූ වජ්‍රාසනය වන්නේ යැ යි දක්වන ලදී. වජ්‍රාසනය යනු සිද්ධාසනයට නමෙකැ යි ද හඨයෝග‍ප්‍රදීපිකායෙහි කියන ලදී. සිද්ධාසනය මෙහි දැක්වූ වජ්‍රාසනයට සමාන යි. ලක්දිව ඔත් පිළිමවල පෙනෙන බද්ධපර්‍යංකය යෝගශාස්ත්‍රයෙහි සුඛාසන නමින් දන්නා ලදී.

42. විංශද්වස්තුක සත්කායදෘෂ්ටිය

1-5 රූපාදී ස්කන්ධ පසින් එකක් ආත්ම යැ යි ගැනීම.

6-10 ඒ ආත්මය. රූපය,වේදනා, සංඥාව සංස්කාර හෝ විඥානය ඇත්තෙකැ යි ගැනීම.

11-15 රූපාදී පසින් යමක් කෙරහි ආත්මය පිහිටියේ යැ යි ගැනීම.

16-20 ඒ ආත්මය කෙරෙහි රූප, වේදනා, සංස්කාර හෝ විඥානය පිහිටියේ යැ යි ගැනීම.

43. සොළොස් වැදෑරුම් සැකය නම්:

1. අතීත භවයෙහි වීම් ද?

2. අතීත භවයෙහි නො වීම් ද?

3. අතීත භවයෙහි කවරෙක් වීම් ද?

4. අතීත භවයෙහි කෙසේ වීම් ද?

5. අතීත භවයෙහි කවරෙක් ව කවරෙක් වීම් ද?

6. මතු භවයෙහි වන්නෙම්ද?

7. මතු භවයෙහි නො ව න්නෙම් ද?

8. මතු භවයෙහි කවරෙක් වන්නෙම් ද?

9. මතු භවයෙහි කෙසේ වන්නෙම් ද?

10. මතු භවයෙහි කවරෙක් ව කවරෙක් වන්නෙම් ද?

11. දැන් වෙම් ද?

12. දැන් නො වෙම් ද?

13. දැන් කවරෙක් ව ඉඳිම් ද?

14. දැන් කෙබඳු ව ඉඳිම් ද?

15. කොයින් ආයෙම් ද?

16. කොහි යන්නෙම් ද?

මෙ සේ මේ සොළොස් තන්හි සැකය යි.

44. සත්තානුදස්සනාවීථි: මෙහි විස්තර විශුද්‍ධිමාර්ගයේ මග්ගාමග්ගදස්සන විසුද්‍ධි නිද්දේසයේ මුල් කොටසින් දත යුතු යි.

45. විසුද්‍ධි මාර්ගයේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්‍ධි නිද්දේසයෙන් විස්තර දත යුතු යි. ව

45. උදයව්‍යය ඥානය : උදය යනු හට ගැනීමයි. ව්‍යය යනු විනාශය යි. ස්කන්ධයන්ගේ පහළ වීමත් බිඳීමත් දැකීම උදය වය ඤාන (උදයඛ්ඛය ඤාණ) නමි.

46. භංගානුපස්සනා ඤාණය : හට ගැනීම හැර භංග (බිඳීම්) මාත්‍රය දැකීම (බලන නුවණ) භංගානුදර්ශන ඥන (භංගානුපස්සනා ඤාණ) නමි.

47. භයතොපට්ඨාන ඤාණය : භංග (බිඳීම්) වශයෙන් ඉදිරියෙහි පෙනි පෙනී සිටිනා ත්‍රෛභූමක ධර්මයන් භය වශයෙන් උවදුරු වශයෙන් දැකීම භයතො පට්ඨාන ඤාණ නමි.

48. ආදීනව ඤාණය : භය වශයේ දුටු ත්‍රෛභූමක ධර්මයන් ගේ දෝෂ අගුණ දැකීම ආදීනව ඤාන (ආදීනව) ඤාණ නමි.

49. මුඤ්චිතුකම්‍යතා ඤාණය : දොස් දුටු ත්‍රෛභූමක ධර්මයන් කෙරේ කලකිරීමෙන් ඉන් මිදෙනු කැමතිව එය දැකුම මුඤ්චිතුකම්‍යතා ඤාණ නමි.

50. පටිසංඛානුපස්සනා ඤාණ : මිදෙන උපාය සම්පූර්ණ කරනු පිණිස යලි යලි සම්මර්ශනය කිරීම් වශයෙන් පවත්නා නුවණ පටිසංඛානුපස්සනා ඤාණ නමි.

51. සංඛාරුපෙක්ඛා ඤාණය : දොස් දුටු සංස්කාරයන් මධ්‍යස්ථ ව බලා ඉන්නාක් මෙන් පහළ වන නුවණ සංඛාරුපෙක්ඛා ඤාණ නමි.

52. මෙහි ශ්‍රද්ධා නම් චිත්තචෛතසිකයන්ගේ ඉතා පෑදුණු බව යි.

53. සච්චානුලෝමික ඤාණය : සච්චානුලෝමික ඤාණය හෙවත් අනුලෝම ඤාන නම් අනිත්‍යාදි තිලකුණු විවිධාකාරයෙන් දැකීම් වශයෙන් යටැ පහළ වූ විදර්ශන ඤාන අටටත් මත්තෙහි මාර්ග චිත්තක්ෂණයෙහි ලැබිය යුතු බෝධි පාක්ෂික ධර්මයනටත් යන දෙ පක්ෂයට ම ගැළපෙන පරිදි ගෝත්‍රභූඥානයට මුලින් ඇති වන පරිකර්ම උපචාර අනුලෝම යන තුන් කාමාවචර මහා කුසල සිත්හි පහළ වන නුවණ යි. මෙයට සානුලොම විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, සංඛාරුපෙක්ඛා විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යි ද කියති. දුඃඛානුදර්ශනය පටන්, කොට සත්‍යානුලෝම ඤානය තෙක් මේ නවය නව විදර්ශනඤාන නමි. මොහු පටිපදාඤාණ දස්සන විසුද්‍ධියේ අවයවයෝ යි.

54. ගෝත්‍රභු ඤාණය : පෘථග්ජන ගෝත්‍රය ඉක්මෙමින් ආර්‍ය්‍යගෝත්‍රයට පැමිණෙන සන්ධියෙහි (අනුලෝම ඤානයටත් සෝවාන් මාර්ග ඤානයටත් අතර) නිවන මුලින් ම දකිමින් පහළ වන ඤානය. මෙය අන්‍ය මාර්ගවලට මුලින් ද පහළ වෙතත් සෝවාන් මඟ හැර අන් සකෘදාගාමී ආදී මාර්ගවලට මුලින් පහළ වීමේ දී චෝදන නමින් හඳුනනු ලැබේ.

55. ඤාණදර්ශන විශුද්ධිය : සොතාපත්ති ආදී සතර මාර්ග චිත්තයන්හි නුවණ ඤානදර්ශන විශුද්ධි නමි.

55. සෝතාපත්තිමග්ග ඤාණය : විපස්සනාව (අනිත්‍යාදි ලක්ෂණත්‍රය) දැකීම මූකුරුවා මාර්ග වීථියට පැමිණීම්

වශයෙන් පහළ වන සිත සෝතාපත්ති මග්ග චිත්ත නමි. මෙහි සෝත (ස්‍රෝතස්) නම් ආර්‍ය්‍ය අෂ්ටාංගික

මාර්ගය යි. එයට බැසීම. මුලින් ම පැමිණීම - සෝතාපත්ති (ස්‍රෝතආපත්ති) නමි.

56. සෝතාපත්ති ඵලය : ස්‍රෝතාපත්ති මාර්ග චිත්තයාගේ විපාක සිත ස්‍රෝතාපත්ති ඵල නමි.

57. මග්ගපච්චවෙක්ඛණ ඵලපච්චවෙක්ඛණ පහීණකිලෙසපච්චවෙක්ඛණ සෙස කිලෙසපච්චවෙක්ඛණ : යනු ප්‍රත්‍යාවෙක්ෂාඤාන යි.

58. සකදාගාමී මග්ග ඤාණය : යලිදු සම්මර්ශන ඤානයේ පටන් විවසුන් වඩා කලටත් වඩා නුවණ මුහුකුරුවා ලබන, දෘෂ්ටිගත විප්‍රයුක්ත සිත් සතෙරෙහිත් දොම්නස් සහගත දෙ සිතෙහිත් දළ කාමරාග ව්‍යාපාදයන් දුබල කරන නුවණ යි. මේ නුවණ ලැබීමෙන් උත්පත්ති වශයෙන් එක් වරක් ම මෙ භවයට ඉයැ හැකි පුද්ගලයෙක් වේ. එයට වැඩියෙන් කාම භවයෙහි උපදවන තෘෂ්ණාවේගය ගෙවාලූ බැවිනි. එ බැවින් තව වරක් මෙහි එන තෙනැත්තේ ය යන අර්ථ ඇති සකෘදාගාමි යන නම ඒ ආර්‍ය්‍ය පුද්ගලයාට ව්‍යවහාර යි.

59. අනාගාමී මග්ග ඤාණය : පළමු සේම සංමර්ශන ඤානයේ පටන් විවසුන් වඩා නුවණ මුහුකුරුවා කාමරාග ව්‍යාපාදයන් අනවශේෂ ප්‍රහාණයෙන් නසමින් මතු කාම භවයට ඊමට අවකාශ නැති කෙරෙමින් පහළ වන මාර්ග චිත්තය. ආගාමි යන එන තැනැත්තා යි. අනාගාමි යනු නො එන තැනැත්තා යි.

60. ප්‍රත්‍යවේක්ෂණ ඥානය : “මෙ නම් මඟින් මම් ආයෙමි” යි මාර්ගය ද, මෙ නම් ආනිසංසයන් ලදිමි” යි ඵලය ද, “මෙ නම් නිවන පසක් කෙළෙමි” යි නිවන ද “මෙ නම් කෙලෙසුන් නැසීමි” යි නැසූ කෙලෙසුන් ද, “මෙ නම් කෙලෙස් ඉතිරිව ඇතැ” යි වධ්‍ය කෙලෙස් ද පිරික්සා බලන කාමාවචර ඤානය යි. මෙය සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයනට පසු ව පහළ වන විට කාමාවචර මහා කුසල ජවන වශයෙන් ද, රහත් ඵල සිතට පසුව පහළ වන විට මහා ක්‍රියා ජවන වශයෙන් ද පහළ වේ.

61.“අනෙක ජාති සංසාරං

සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවෙසන්තො

දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨො’සි

පුනගෙහං න කාහසී

සබ්බා තෙ ඵාසුකා භග්ගා

ගහකූටං විසංඛිතං

විසංඛාරගතං චිත්තං

තණ්හානං ඛයමජ්ඣගා”

අනෙක ජාති සංසාරං ආදි ගය ප්‍රථම ධර්ම දේශනා යැ යි ධම්මපද අටුවා හි“යදා භවෙ පාතුභවන්ති ධම්මා” ආදි ගය ප්‍රථම බුද්‍ධ වචන යැ යි අභිධර්ම අටුවා හි ද කියන ලදී. මේ එකිනෙකට විරුද්ධ මත දෙකක් මෙන් පෙනෙතත් පොත් දෙකේ ම කීම අන්‍යොන්‍ය ප්‍රතිවිරුද්ධ නොවන බව කියන ලදී. “අනේක ජාති” ආදී ගාථාව බුදු වී මුලින් ම සිතින් සිතූ දේශනා ව බැවින් මනසා චින්තික දේශනා වශයෙන් ප්‍රථම බුද්‍ධ වචනය විය. “යදා භවෙ” ආදී ගාථාව කීම් වශයෙන් කළ දේශනාවලින් ප්‍රථම දේශනාව විය යනු අර්ථ කථාචාර්‍ය්‍ය මත යි.

62. මෙහි විමුක්ති සැප නම් අර්හත්ත්ව ඵල සමාපත්තිය යි.

63. පටිච්චසමුප්පාදය : අනුලෝම වශයෙන් මෙනෙහි කිරීම ය; මෙ නම් ධර්ම ස්වභාවය ඇති බැවින් මෙ නම් ඵලය ඇති වේ. එය ඇති බැවින් මෙ නම් ස්වභාවය වේ යැ යි මෙ සේ හේතුඵල පරම්පරාව හැදි හැදී යන සැටි මෙනෙහි කිරීම යි.

පටිච්චසමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම නම්: මෙ නම් ධර්මයාගේ හටගැන්ම නැවැතීමෙන් (නො හටගැනීමෙන්) එ හෙයින් පහළ විය යුතු මෙ නම් ධර්මයා ගේ හට ගැන්මෙක් නොවේ යන ආදීන් හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වන සැටි නුවණින් සැලැකීම යි.

64. යදා භවෙ පාතුභවන්ති ධම්මා

ආතාපිනො ඣායතො බ්‍රාම්හණස්ස

අථස්ස කංඛා වපයන්ති සබ්බා

යතො පජානාති සහේතු ධම්මං

.

65. යදා භවෙ පාතුභවන්ති ධම්මා

ආතාපිනො ඣායතො බ්‍රාම්හණස්ස

අථස්ස කංඛා වපයන්ති සබ්බා

යථා ඛයං පච්චයානං අවෙති.

.

66. යදා භවෙ පාතුභවන්ති ධම්මා

ආතාපිනො ඣායතො බ්‍රාම්හණස්ස

විධූපයං තිට්ඨති මාරසෙනං

සුරියො’ව ඔහාසයමන්තලික්ඛං

මෙයට පසු තවත් ගාථා පහක් වදාරන ලදැ යි මහා වස්තුයෙහි පෙනේ.

67. දෙවෙනි සතියෙහි අනිමිස ලෝචන පූජාව කළ බවත් එයින් සැකයට පත් දෙවියන් ගේ විමති දුරු කරනු පිණිස (දෙ වෙනි සතියෙන් පසු) අහස් නැඟ යමා මහ පෙළහර කොට බෝ පළඟටත් වැඩ සිටි තැනටත් අතර අහසින් බැස සතියක් සක්මන් කළ බවත් අභිධර්ම අටුවායෙහි පෙනේ.

බුදු වී බෝ මුළැ සතියක් උන් බැවින් තවමත් බුදු නොවී දෝ යි සැකයට පත් ඇතැම් දේවතාවන්ගේ විමති දුරු කරනු පිණිස අටවනදා සමවතින් නැඟිට අහස් නැඟ යමා මහ පෙළහර කොට බෝ පළඟට ටිකක් ඊසාන දිග සිට අනිමිස ලෝචන පූජාව දෙ වෙනි සතියෙහි කළ බව ද තෙ වෙනි සතියෙහි සක්මන් කළ බව ද විනය (මහාවග්ග) අටුවායෙහි දැක්වේ.

ජීනාලංකාර ටීකායෙහි මහාවග අටුවාවට සම යි. දෙ වෙනි සතියෙහි චංක්‍රමණය ද තෙ වෙනි සතියෙහි අනිමිස ලෝචනය ද සතර වන සතියෙහි සක්මනෙහි යෙදී සිටින විට මරු අවුත් පිරිනිවනට අයැදු බව ද ලලිතවිස්තර යෙහි පෙනේ.

68. අභිධර්ම සප්තප්‍රකරණ නැමැති රුවන් විමසා බැලූ ස්ථානය බැවින් රුවන් ගේ යැ යි කී බවත් රුවනකින් නිමා ලූ බවක් නිසා එසේ නො කියන ලද බවත්, අභිධර්ම අටුවායෙහි පෙනේ. මෙය බෝ මැඩට පශ්චිම දිගැ දෙවියන් මවාලූ රත්න ගෘහයක් මැ යැ යි විනය (මහාවග්ග) අටුවායෙහි දැක්වේ.

69. මෙයින් පෙර තෙ සතියේ බුද්‍ධ ශරීරයෙන් ෂඩ්වර්ණ රශ්මීහු නො නික්මියහ.

70. “යො බ්‍රාම්හණො බාහිතපාපධම්මො

නිහුංකකො නික්කසාවො යතත්තො

ධම්මෙන සො බ්‍රම්හවාදං වදෙය්‍ය

යස්සුස්සදා නන්ථි කුහිංචි ලොකෙ”

(විනය මහාවග්ග)

කිසි පාලි පොතක නිහුංක ජාතික යැ යි ද කිසිවෙක හුහුංක ජාතික යැ යි ද දැක් වේ. මාන වශයෙන් අන්හට හුං හුං යැයි හෙලා දකින බමුණෙකැයි අටුවාවේ සඳහන් වේ.

න්‍යූංඛජාතික බ්‍රාහ්මණ යනු ශාම වේදාංග වූ ෂට්ප්‍රණව මන්ත්‍රයන් හදාරන බමුණාට වෛදිකයන් ව්‍යවහාර කරන නාමයෙකි.

71. තපො කම්මා අපක්කම්ම යෙ න සුඡ්ඣන්ති මානවා

අසුද්ධෝ මඤ්ඤසි සුද්ධෝ සුඞිමග්ගමපරද්ධො

.

72. අනත්ථසංහිතං ඤත්වා යං කිංචි අමරං තපං

සබබානත්ථවහං හොති පියා රිත්තංච වම්මනි

සීලං සමාධිං පඤ්ඤඤ්ච මග්ගං බොධාය භාවයං

පත්තෝස්මි පරමං සුඞිං නිහතොත්වමසි අන්තක

.

73. සංසරං දීඝමද්ධානං වණ්ණං කත්වා සුභාසුභං

අලං තෙ තෙන පාපිම නිහතො ත්වමයි අන්තක

.

74. යෙ ච කායෙන වාචාය මනසා ච සුසංවුතා

න තෙ මාර වසානුගා නතෙ මාරස්ස පච්චගුං

75. පස් වන සතියේ දී මාර දූන් ආ ප්‍රවෘත්තිය ජාතක අටුවා ආදියෙහි පෙනේ. මෙය පස්වන සතියෙහි නො වන බවත් බුද්‍ධත්වයෙන් වර්ෂයක් ඉක්මැ ගිය පසු වූවක් බවත් සංයුත් සඟියේ මාර සංයුත්තකයේ පෙළ අටුවා සසඳා බැලීමේදී පෙනේ. මෙ සේ ම ජීනාලංකාර ටීකායෙහිත් පෙනේ. විමසා, ගත යුත්තක් ගනිත්වා.

ඒ ප්‍රවෘත්තිය එයින් ගෙන මෙහි බහා ලමු.

මරහුගේ ශෝකය, මාර දූන් ගේ උත්සාහයක්

නැවැත දිනක් මාර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. එහිදී මරහුගේත් බුදුරජාණන් වහන්සේගේත් පහත දැක්වෙන දෙ බස විය.

මාර: “ශෝකයට බැස ගත්තෙක් ව වෙනෙහි සිතිවිලි සිතයි ද? වස්තු සියයෙකින් හෝ දහසෙකින් පැරදුණෙහිද? නො හොත් අන් යමක් පතමින් ඉන්නෙහිද? වෙනෙහි හැසිරෙන්නේ කිමෙක? ගමෙහි අනුන් මුහුන දැක්මටත් නො හැකි තරම් බර පතළ අපරාධයක් වත් කෙළෙහි ද? ජනයා හා මිත්‍ර බවක් ඇස් හමු බවක් නො කරන්නේ මන් ද?”

බුදුරජ: “ශෝකයේ සියලු මුල් උදුරා නිර්දොෂව එ හෙයින් ශෝක නො කරමින් ධ්‍යාන කරම්. ප්‍රමත්තයන් ගේ මිතුර, සියලු තෘෂ්ණාව සිඳ, තෘෂ්ණා රහිතයෙක් ව, ධ්‍යානයෙහි යෙදී හිඳිමි.”

මාර: “තමන්ට අයිති යැ යි කියනු ලබන දෑ කෙරෙහිත් එසේ කියන්නන් කෙරෙහිත් යුෂ්මත්හු ගේ සිතෙක් වේ නම්, ශ්‍රමණය, ඒ යුෂ්මතා මගෙන් නො මිදුණෙහි ය.

බුදුරජ: “යමක් ගැන සත්ත්වයෝ මෙය මා ගේ යැ යි කියත් ද, එය මගේ නො වේ, යම් කෙනෙක් එ සේ කියත් ද, මම ඒ කිසිවෙක් නො වෙමී.”

“පාපි පුද්ගලය, යුෂ්මතා මා ගිය මඟ වත් නො දන්නෙහි ය.”

මාර: “ඉදින් ඔබ අමෘතගාමි ක්ෂෙම මාර්ගය අවබෝධ කෙළෝ නම් ඔබ මින් දුරු වුව මැන. හුදෙකලාව තමන් ම වැඩිය මැනැව. අන්හට කුමන අනුශාසනා කෙරෙත් ද?”

බුදුරජ: “(සසරින් පර තෙර යනු කැමැත්තෝ මරහට ඉඩක් නැති තෙන (නිවන) මා විචාරන්නාහ, එ සේ විචාරනු ලැබූ මම් ඔවුනට සියලු ස්කන්ධ සන්තතිය ගේ කෙළවර වූ උපදි රහිත සැපය (නිවන) ප්‍රකාශ කරන්නෙම්.

මාර: “වහන්ස, ගමක් හෝ නිගමයක් අසල පොකුණක් වේ නම්. එහි කකුළුවෙක් වෙසේ නම්, ඒ ගමින් හෝ නිගමයෙන් බොහෝ ගැහැනු පිරිමි ළමෝ නික්ම යථෝක්ත පොකුණ වෙත අවුත්, එ කකුළුවා දියෙන් ගෙන ගොඩ තබන්නෝ ද, එ විට ඉදින් කකුළුවා අඬු විදහතොත් එ කල ඔහු දඬු කැට කැබිලිතිවලින් ගසා ඒවා සිඳ බිඳින්නෝය. එසේ කලැ කකුළු තෙම සිදුණු බිඳුණු සියලු අඬු ඇත්තේ ඒ පොකුණට පෙර සේ යලිත් බැසීමට යම් සේ අපොහොසත් ද, එසේම, වහන්ස, මා කළ සියලු අවුල්, සියලු විරුද්ධ කම්, සියලු පෙරැළි භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින බිඳින ලදී. සුණු විසුණු කරන ලදී. වහන්ස, මින්පසු ඒ මම් සිදුරු සොයන අදහසින් භාග්‍යවතුන් වහන්සේ කරා එන්නට නො පොහොනෙමි.

“කවුඩෙක් මේද තෙලට සම පැහැ ගලක් දැක, මෙහි මෘදු යමක් රසවත් යමක් ඇතැයි සිතා එහි වටා ඇවිද, එහි කිසිත් නො ලැබ, කඩ වූ බලාපොරොත්තු ඇතිව, යම් සේ ඉන් ඉගිලී යාද අපිත් ඒ කවුඩා මෙන් ගෞතමයන් වහන්සේ නැමැති පර්වතය කරා අවුත් සිදුරු සෙවීම් සංඛ්‍යාත බලාපොරොත්තු කඩවී යෑමෙන් ආස්වාද මාත්‍රයක් නො ලැබ කළකිරීමට පත්ව උන්වහන්සේ හැර යම්හ.”

මාර තෙම මෙ සේ තමාගේ බලාපොරොත්තු කඩ වූ සැටි කියා ඒ තැනින් නික්ම ගොස් භාග්‍යවතුන් වහන්සේ උන් තෙනට නො දුරෙන් බිම පළක් බැඳ තුෂ්ණිම්භුතව තෙද රහිත ව කරබා ගෙන, බිම බලාගත් වන ම සිතිවිල්ලෙහි යෙදී කිසිත් නො වට හා ගත හැකි ව කෝටු කැබැල්ලකින් බිම ඉරි අඳිමින් උන්නේ ය.

“පියාණෝ දක්නට නැත්තේ කොහි ගියෝ දැ” යි සොයන මාර දුහිතෘහු ඔහු බිමැ ඉරි අඳිමින් එහි දුර්මුඛ ව උන්නහු දැක වෙත පැමිණ,

“පියාණනි, ඔබ මොන කරුණෙකින් දොම්නස් කෙරෙත් ද? කවරකු ගැන සිතත් ද? යමකු ගැන ශෝක කෙරෙත් නම්, ඇතින්නක වෙනෙහි ඇතකු මෙන් අපි ඔහු රාග පාශයෙන් බැඳගෙන එන්නම්හ. හේ ඔබට වශග වන්නේ” යැ යි කීහ.

එ විට මාර තෙම ඔවුන් අමතා, “ලොව අර්හත් වූ සුගත තෙමේ කිසිවකු විසිනුත් රාගයෙන් බැඳ ගෙනා හැකි නොවේ. හෙ තෙමේ මරු ගේ විෂය ඉක්මී ය. එ බැවින් බෙහෙවින් තැවෙමි,” යි කී ය. ම

එ කල තෘෂ්ණා, අරති, රගා නම් එ මාර දුහිතෘහු තිදෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “ශ්‍රමණයන් වහන්ස, අප ඔබ ගේ පාදපරිචාරිකා වම්හ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කිසිත් නො තකා නො මෙනෙහි කොට තුෂ්ණිම්භූත ව හුන් සේක.

එවිට උහු තිදෙන පුරුෂයන් ගේ අදහස් නන් අයුරු ය. අපි එකි එකියක් කුමාරිකා වේශ සියයක් බැගින් ගෙන එම්හ යි සිතූහ. සිතා එසේම කොට ගෙන අවුත් වහන්ස, ඔබ ගේ පාදපරිචාරිකා වම්හ’ යි කීහ. භාග්‍යවතුන් වහන්සේ එය නො තකා තුෂ්ණිම්භූත ව හුන් සේකි . එ විටැ ඔහු පුරුෂයන් සරණ ගිය නමුත් දරුවන් නො ලත් තරුණ ස්ත්‍රීන්ගේ වේශ සියය බැගින් ගෙන පළමු පරිදි ම අවුත් පාදපරිචාරිකා භාවය යැදුහ.

භාග්‍යවතුන් වහන්සේ එයට ද තුෂ්ණිම් ව ඒ නො තකා හිඳිනු දැක, ඔහු වරක් දෙවරක් දරුවන් වැදූ ස්ත්‍රීන්ගේ ද මැදුම් වයසට පත් ස්ත්‍රීන්ගේද, මැදුම් වයස ඉක්මි ස්ත්‍රීන්ගේ දැ යි පිළිවෙළින් එකියක් සියය බැගින් අත් බව් මවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පාදපරිචාරිකා භාවය යැදූහ. ඒ කිසිත් නො තකා භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම් ව හුන් සේකි. එ දුටු මාර දුහිතෘහු පැත්තකට ගොස් සිය පියාණන් කී බස සැබෑ ම යැ යි කීහ.

ඉක්බිති මාර දුහිතෘහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ පහත සඳහන් ද කීහ. භාග්‍යවතුන් වහන්සේ ද පහත දැක්වෙන පිළිතුරු වදාළ සේක.

තෘෂ්ණා: ශෝකයට පත් ව වෙනෙහි සිතිවිලි සිතත් ද? සියයෙකින් හෝ දහසෙකින් පැරැදුනෝද, නොහොත් අන් යමක් පතන්නෝද? අනුන් මුහුණ දක්නටත් නොහැකි වන තරම් බරපතල අපරාධයක් මිනිස් පියෙහිදී කොළෝ වත්ද? ජනයා හා ඇස් හමු බවත් කුමක් හෙයින් නො කෙරෙත් ද? ජනයා හා ඔබ ඇස් හමු බවත් (මිත්‍රත්වයක්) නො සිතත්ද?

බුදුරජ: මම් හුදෙකලාව ධ්‍යාන කරමින් ප්‍රිය සුඛ ස්වරූප වූ (ක්ලේශ) සේනාව නසා, හිතාර්ථ ප්‍රාප්තිය හෘදය ශාන්තිය වූ රහත් සුවය අවබෝධ ප්‍රතිවේධ කෙළෙමි. එ හෙයින් ජනයා හා මිත්‍ර සංස්තවය නො කරමි. එ හෙයින් කිසිවකු හා මගේ මිත්‍ර සංස්තවයෙක් නො සැපැයේ.

අරති: මෙහි කවර නම් විහරණයකින් බෙහෙවින් වසන සුලු භික්ෂුවක් පඤ්චද්වාරික කෙලෙස් මහ වතුරෙන් එතෙර වූයේ ස වන මනෝද්වාරික කෙලෙස් මහ වතුරෙන් එතෙර වීද? කාම සංඥාවෝ කවර නම් ධ්‍යානයක් බහුල කොට ඇති ඒ පුඟුලකු නො ලැබ හාත්පසින් බැහැර වෙත්ද?

බුදුරජ: (“චතුර්ථ ධ්‍යානයෙන්) සංහිඳුණු කය ඇති (අර්හත්ත්ව ඵල විමුක්ති යෙන්) මොනවට මිදුණු සිත් ඇති පුණ්‍යාභි සංස්කාරාදීන් අභිසංස්කරණය නොකරන, සිහි ඇති උතුම් පුද්ගලයා චතුස්සත්‍යය දැන, විතර්ක රහිත (චතුර්ථධ්‍යානයෙන්) ධ්‍යාන කරන සුලු වූයේ ද්වෙෂ වශයෙන් නො කිපේ. ඔහුට රාගයෙක්ද ස්ත්‍යානාදියෙක් ද නැත. ස්ත්‍යානමිද්ධ්‍යාදි සෙසු නීවරණ රහිත වූයේ සියලු කෙලෙස් නැසීමෙන් රහතෙක් වේ.

මේ සස්නෙහි මෙසේ බෙහෙවින් වසන සුලු භික්ෂු තෙම පංචද්වාරික ක්ලෙශෞඝය (පංචෝරම්භාගිය සංයෝජන) තරණය කොට සවන මනෝද්වාරික ක්ලෙශෞඝය (පංචුද්ධම්භාගිය සංයෝජන) ද තරණය කෙළේ ය. කාම සංඥාවෝ මෙ සේ ධ්‍යාන කරන සුලු වූ ඒ ධ්‍යාන බහුල කොට ඇති, උතුම් පුගුලා කාම පාශයෙන් ගන්නට නො ලැබ, ඔහු කෙරෙන් හාත්පසින් බැහැරැ වෙත්.”

රගා : “අහෝ! මේ ගණසංගචාරී තෙම තෘෂ්ණාව සින්දේ ය. ශ්‍රද්ධා ඇති අන් බොහෝ ජනයෝ ද මුන් වහන්සේ අනුගමනය කොට කෙලෙස් මහ වතුර තරණය කරන්නෝය. නිරාලය වූ මේ තෙම මෘත්‍යුරාජයා ගේ අතින් බොහෝ දෙන පැහැර ගෙන පරතෙරට (නිවනට) පමුණවන්නේය. ඛේදයකි !

බුදුරජ: “මහා වීර වූ තථාගතවරු වූ කලී සද්ධර්මය කරණ කොට ගෙන ජනයා (නිර්වාණ පරතෙරට) පමුණුවත්මය. චතුස්සත්‍යය දන්නා මනා ධර්මයෙන් ජනයන් (නිර්වාණ පුරයට) පමුණුවන්නාට කවර දොස් නැඟීමෙක් ද?”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි මාර දූහු තිදෙන මරු කරා ගියහ. එන උන් දුර දීම දැක,

“අන්ධ බාල ස්ත්‍රීනි, කුමුදු නළවලින් පර්වතයක් මථනය කරවුද? පර්වතයක් සාරවුද? දතින් යකඩ විකන්නහුද? මහ ගලක් හිසෙහි තබා පාතාලයෙහි පිහිට සොයන්නවුන් සේ වහු ය. ළයෙහි කණුවක් පැහැර මෙන් (ගිය කරුණෙහි) කලකිරී ගෞතමයන් වහන්සේ කෙරෙන් පහ ව එවුද?” ල කීය. මෙසේ කියා. දූන් කැටුව සිය භවනයට ම ගියේය.

76. සුඛො විවෙකො තුට්ඨස්ස

සුත ධම්මස්ස පස්සතො

අඛ්‍යාපජ්ජං සුඛං ලොකෙ

පාණ භූතෙසු සංයමො

සුඛා විරාගතා ලොකෙ

කාමානං සමතික්කමො

අස්මි මානස්ස යො විනයො

ඒතං වෙ පරමං සුඛං

මෙහි අන්තිම දෙපදය:

අස්මින් මානුෂ්‍යවිෂයෙ

ඒතද් වෛ පරමං සුඛම් යැ’යි

ලලිත විස්තරයෙහිද මහා වස්තුයෙහිද පෙනේ.

77. තපස්සු භල්ලික දෙදෙන පුෂ්කරවතී නුවර ශාර්ථවාහකයකු ගේ පුත්තු යැයි ද ඔවුන් පන්සියයක් පමණ ගැලින් වෙළෙඳාම් යන විට බුදු වීමෙන් අට වන සතියෙහි කිරිපලු රුක මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා සමීපයෙන් යන්නට ආ බවද, එහි වියැලි බිමෙහි ගැල් පැද්ද විය නො හැකිව කරුණු කිම් දැයි සිතා බලන ඔවුනට පෙර අත් බැවේ නෑයකු වූ දේවතාවක රුක් වෙළෙප් අතුරේ පෙනී සිට බුදුරජාණන් වහන්සේගේ තොරතුරු කියා උන් වහන්සේට ආහාරයෙන් සංග්‍රහ කරන ලෙස දැන් වූ බවද පරමත්ත දීපනියෙහි කියන ලදී. මෙයට මඳක් වෙනස් ලෙස, ඒ වෙළෙඳ දෙබෑයන් අසිතංජන නුවර කෙළෙඹි ගේක උපන් බවද ඉහත සඳහන් පරිදි ඔවුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා සමීපයෙන් යන විට එක් දේවතාවක්හු ගොනුනට ගැල් ඇද යෑ නොහැකි සේ සැලැස්සූ බව ද ඔවුන් ගැල් ගෙන යෑ නොහැකිව කරදරන දුටු දේවතාවා එ පිරිසේ එක් පුරුෂයකුට ආවිෂ්ට වී අතීත ආත්මයෙහි තමා ඔවුන් ගේ මවු බව කියා භාග්‍යවතුන් වහන්සේ ගේ තොරතුරු ද දවා දන් දීමෙහි ඔවුන් මෙහෙයූ බව ද මනෝරථ පූරණයෙහි කියන ලදී.

78. බුදු රජාණන් වහන්සේ බරණැසට වැඩ දම්සක් පවත්වා පිළිවෙළින් රජගහපුර වැඩ එහි වසන සමයෙහි තපුස්ස භල්ලික දෙදෙනා එහි අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක උන්හ. ඔවුනට බුදුරජාණන් වහන්සේ දම් දෙසූ සේක. තපුස්ස තෙම සෝවාන් ඵලයෙහි පිහිටා උපාසකයෙක්ම වූයේ ය. භල්ලික තෙම පැවිදි ව රහත් වූයේ ය.

79. කිවෙඡන මේ අධිගතං හලං දානිපකාසිතුං

රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො

පටිසොතගාමිං නිපුනං ගම්භිරං දුද්දසං අණුං

රාගරත්තා න දක්ඛීන්ති තමොක්ඛන්ධෙන ආවුතා

.

80. පාතුරඝො සි මගධෙසු පුබ්බෙ

ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො

අවාපුරෙතං අමතස්ස ද්වාරං

සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං

.

සෙලෙ යථා පබ්බත මුද්ධනිට්ඨිතො

යථා පි පස්සෙ ජනතං සමන්තතො

තථූපමං ධම්ම මයං සුමෙධ

පාසාදමාරුය්හ සමන්තචක්ඛු

.

සොකාවතිණ්ණං ජනතමපෙතසොකො

අවෙක්ඛස්සු ජාති ජරාහිභූතං

උට්ඨෙහි වීර, විජීතසංගාම,

සත්ථවාහ, අනණ, චීවර ලොකෙ

.

දෙසස්සු භගවා ධම්මං

අඤ්ඤාතාරො භවිස්සන්ති.

මෙහි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට සමීප කාලයෙහි (උන්වහන්සේ පහළ වීමට පෙර) පූරණ කස්සප, නිගණ්ඨනාත පුත්ත. මක්ඛලිගෝසාල, අජිතකේසකම්බල, කකුධකච්චාන, සංජය බෙල්ලට්ටි පුත්ත, යන තීර්ථකයෝ සදෙනා මගධ රටෙහි පහළ වූහ. ඔවුන් නිපැද වූ ධර්ම පැතිර පවත්නා සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සේක. එ බැවින් කෙළෙස් සහිත පුද්ගලයන් විසින් සිතන ලද ධර්මයෙක් පෙර මගධ රට පහළවී යැයි කියන ලදී.

81. මේ සතර පුද්ගලයෝ උග්ඝටිතඤ්ඤු, විපංචිතඤ්ඤු, ඤෙය්‍ය, පද පරම නමින් දන්නා ලදහ.

82. අපාරුතා තෙසං අමතස්ස ද්වාරා

යෙ සොතවන්තො පමුංවන්තු සද්ධං

විහිංසසඤඤි පගුණං න භාසි

ධම්මං පණීතං මනුජේසු බ්‍රම්හෙ.

83. බුදුරජාණන් වහන්සේ ගේ අදහස් දත් දෙවියෙක්ද ආළාර උද්‍රක දෙදෙන මළ බව උන්වහන්සේට දැන්වී. ඒ දැන්වූයේ බුදුරජාණන් වහන්සේ කාරණය සිය නුවණින් බලා දැන ගත් කෙනෙහි මැයි. පළමු කොට බැලුයේ උද්‍රකරාම පුත්‍රයා ගැන යැයි ද ඔහු මැරී දින 7 ක් වී යැයි ද ඉක්බිති ආළාර ගැන බැලූ බවද ඔහු මැරී දින 5 ක් වී යැයිද ය්වංජ්ශ්වාන් ගමන් වාර්තායෙහි සඳහන් වේ. උද්‍රකාරාම පුත්‍ර මැරී සතියෙකැයි ද ආළාර කාලාම මැරී දින තුනක් වී යැයිද ලලිත විස්තරයෙහි සඳහන් වේ.

84. බෝ මැඩටත් ගයාවටත් අතර තුන් ගව්වක් ඇතුළත දී හමු වූ බව පපංචසුදනී පාසරාසි සූත්‍ර අටුවායෙන් පෙනේ. උපක ආජීවකයා වංගහාර ජනපදයට ගොස් එහි වැදි ගමෙක, තමා අර්ධපාල නම් රහත් කෙනෙකැයි හඟවා කලක් වැස ඉක්බිති ඔවුන් කෙරේ කලකිරී බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වසන කල එහි ගොස් පැවිදිව විදසුන් වඩා අනාගාමි විය.

85. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර:

සබ්බාභිභූ සබ්බ ව්දූහමස්මි

සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ

සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො

සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං

න මෙ ආවාරියො අත්ථි සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලෝකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො

අහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො

එකො’ම්හි සම්මා සම්බුද්ධෝ සීතිභූතො’ස්මි නිබ්බුතො

ධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං

අන්ධභූතස්මිං ලෝකස්මිං ආභඤ්ජං අමතදුන්දුහිං

.

මාදිසා චෙ ජිනා හොන්ති

යෙ පත්තා ආසවක්ඛයං

ජිතා මෙ පාපකා ධම්මා

තස්මා හං උපකා ජිනො.

(විනය මහාවග්ග)

මෙය ලලිත විස්තරයෙහි තිබෙන සැටි මෙසේයි:

ආචාර්යෙයා න හි මෙ කශ්විත් සදෘශො මෙ න විද්‍යතෙ

එකො’භ්‍යමස්මි සම්බුද්ධශ්ශීතිභූතො නිරාශ්‍රවං

සො (උපකාජීවකෝ) වොචත්;

අංර්හන්ඛලු ගෞතමාත්මානං ප්‍රතිජානිෂෙ?

තථාගතො’ වොචත්;

අහමෙවාර්හන් ලොකෙ ශාස්තා භ්‍යහමනුත්තරඃ

සදෙවාසුරගන්ධර්වෙ නාස්ති මෙ ප්‍රතිපුද්ගලඃ

සො’ වොචත්;

ජිනං බලූ ගෞතමන්තමානං ප්‍රතිජානිෂෙ?

තථාගතො’ වොචත්:

ජිනා හි මාදෘශා ඥෙයාමෙ ප්‍රාප්තා ආස්‍රවක්ෂයම්

ජිතා මෙ පාපකා ධර්මාස්තෙනොපක ජිනො භ්‍යහම්

සො’ වොචත්;

ක්ව තර්හ්‍යායුෂ්මන් ගෞතම, ගමිෂ්‍යයි?

තථාගතො’ වොචත්,

බාරාණසිං ගමිෂ්‍යාමි ගත්වා වෛකාශිනං පුරීම්

අන්ධභූතස්‍ය ලොකස්‍ය කර්තාස්ම්‍යසදෘශාං ප්‍රහාම්

බාරාණසීං ගමි..................................................

ශබ්දහීනස්‍ය ලොකස්‍ය තාඩයිෂෙ’ මෘත දුන්දුහිං

බාරාණසිං ගමි..................................................

ධර්මචක්‍රං ප්‍රවර්ත්තිෂ්‍යෙ ලොකෙෂ්ප්‍රවර්ත්‍යකම්

තද්භවිෂ්‍යසි ගෞතම ඉත්‍යුක්ත්වා ස ආජීවකො දක්ෂිණමුඛඃ

ප්‍රාක්‍රාමත් තථාගතො’ ප්‍යුත්තරමුඛඃ ප්‍රාක්‍රාමත්.

ඔහු ගියේ චංගහාර ජනපදයට යි. මෙය බෙංගාලයේ පිටිසර පළාතකි.

86. “ඇවැත්නි” (ආවුසො) යනු වර්තමානයේ “ඕයි” යන්නට සමාන යි.

87. අඞ්ග අට ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ තුනෙහි ඇතුළත් වේ.

මෙසේ යි:

ශීල

සම්මා වාචා

සම්මා කම්මන්ත

සම්මා ආජීව

සමාධි

සම්මා වායාම

සම්මා සති

සම්මා සමාධි

ප්‍රඥා

සම්මා දිට්ඨි

සම්මා සංකප්ප

88. දුඃඛ සත්‍යය: ලෞකික සිත් 81 ද, ලෝභය හැර ඉතිරි චෛතසික 51 ද, අට විසි රූපය ද යන මොහු දුක (දුඃඛ සත්‍යය) නමි.

89. ලෝභ චෛතසිකය (තෘෂ්ණාව) දුකට හේතුව, (දුඃඛ සමුදය සත්‍ය) නමි.

90. ඒ දුක්ඛ සමුදය දෙකින් මිදීමට කාරණ වූ නිවන (දුඃඛ නිරොධ සත්‍ය) නමි.

91. එයට උපාය වූ අංග අට මාර්ග සත්‍ය නමි.

92. මේ දුකය, මේ දුක් හේතුව ය, මේ දුඃඛ නිරෝධ ය, මේ එයට මාර්ග යැ යි මෙසේ සත්‍ය සතර තත්ත්වාකාරයෙන් දැනීම සත්‍යඥාන නමි.

93. ඉන් “දුක බෙදා විභාග කොට දත යුතු යි. දුඃඛ සමුදාය (තෘෂ්ණාව) ප්‍රහීණ කළ යුතු ය. දුඃඛ නිරෝධය (නිවන) තමා ගේ ම නුවණින් දැක්ක යුතු ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතු ය” යි මෙසේ සතර සත්‍යයන් විෂයයෙහි කළ යුත්ත (කෘත්‍යය) දන්නා නුවණ කෘත්‍යඥාන නමි.

94. එ කෘත්‍ය කළ බව දන්නා නුවණ කෘත ඥාන නමි.

95. මෙ සේ එක එක සත්‍යයෙහි සත්‍යඥාන, කෘත්‍යඥාන, කෘතඥාන යැයි තුන් තුන් ආකාර වශයෙන් සත්‍ය සතර ම දොළොස් ආකාරයෙන් දක්නා ඥානය ත්‍රි පරිවර්තයක් ද ආකාර දොළොසක්ද ඇති ඥානදර්ශනය යැ යි කියන ලදී.

96. කොණ්ඩඤ්ඤ තෙර මුලින් ම මාර්ගඵල ප්‍රාප්ත ශ්‍රාවක යා යි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ, අඤ්ඤාසිකොණ්ඩඤ්ඤ යැ යි ද කියත්. ආඥාතකොණ්ඩිණ්‍ය යනු දඹදිව සියලු සංස්කෘත පොත්හි එක සේ ම පෙනේ. එහි තේරුම (දැන ගත් කොණ්ඩඤ්ඤ) යනු යි.

97. බුදුරජහු දකුණත මෑත් කොට “මහණ, මෙහි එව, දුක් කෙළවර කරනු පිණිස මනා ව බ්‍රහ්මචර්යායෙහි යෙදෙව” යන වචනයෙන් යමකුට ආමන්ත්‍රණය කළ පමණින් හෙ තෙම සෘද්ධිමය අට පිරිකරින් සම්පූර්ණ වූ සැට අවුරුදු වයස් මහතෙර කෙනෙකුන් වැනි මනා ඉරියව්වෙන් යුක්ත වූ නිසි ප්‍රව්‍රජිත වේශය ඇත්තෙක් වෙයි. ඔහු ගේ ප්‍රව්‍රජ්‍යාවත් උපසම්පදාවත් ඒ මැයි මේ. “ඒහි භික්ඛුපසම්පදා” යැ යි කියනු ලැබේ.

98. සාතාගිර තෙම සාතාගිරි නම් පර්වතයේ වැසියෙකි. හේමවත හිමවත් පර්වත වැසියෙකි. එහෙයින් හිමවතට සාතාගිර තෙම මිතුරා දැකීමට ගියේ ය.

99. අලාමක නම් ඇතී - චතුස්සත්‍යාවබෝධය. භග්න ක්ලේශ ඇති බව ආදි අවමක නුවූ ශ්‍රෙෂ්ඨ ගුණ හේතුයෙන් ලත් බුද්‍ධ, භගවත් ආදී ශ්‍රෙෂ්ඨ නම් ඇති.

100. සියලු සතුන් කෙරේ සම සිත් ඇත්තේ - අචල බැවින් සම සිත් ඇති බව මෙහි කියන ලදී.

101. ධ්‍යානය සිස් නොකෙරේ ද - මෙයින් ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වැළැක්මේ බලවත් බව විචාරන ලදී. ධ්‍යානයෙහි යෙදුණහු ගේ දුශ්චරිත වීරතිය ශීල මාත්‍රයෙහි සිටියහු ගේ දුශ්චරිත වීරතියට වඩා බලවති.

102. මෙයින් හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ වාග්වාර ශුද්ධිය විචාළේ ය.

103. නො නුවණින් කථා කිරීමෙක් බුදුවරුන් ගේ නැතැ යි මෙයින් හැඟවී ය.

104. ද්වාරත්‍රය පිරිසිදු වූ පමණෙකින් සර්වඥ නොවන බව සලකා මෙය ඇසී ය.

105. ඒනිජංඝ - භාග්‍යවතුන් වහන්සේ ඒණිමුවකු ගේ මෙන් ක්‍රමයෙන් වටව පිරිණු කෙණ්ඩා ඇති සේක.

106. භාග්‍යවතුන් වහන්සේ උස් මිටි සම වට විය යුතු තන්හි එ සේ ම වූ අඟ පසඟ ඇති සේක. ඇතැම් පුරුෂයන් මෙන් තර බාරු නොවන සේක.

107. ප්‍රමිත භෝජන ඇති, ඒකාසන හෝජි වූ මුනි ගුණය මෝනෙය්‍ය නමි. අනාගාරික බව - විවේකයට නැමුණු සිතැති බව.

108. අවිද්‍යා තෘෂ්ණා දෙක (දුඃඛ සමුදය) මරහුගේ මල (මාරපාශ) නම් වේ.

109. චක්ෂුරාදි ආධ්‍යාත්මිකායතන සය ද රූපාදි බාහිරායතන සය ද යන ආයතන ෂට්ක යුගලය ඇති බැවින් ඔවුන් ගේ ස්පර්ශය වේ. එ හෙයින් වේදනාව වේ. මෙ සේ මේ ආයතන ෂට්කද්වය ඇති කල්හිම සත්ත්ව සංස්කාර ලෝකය පෙළෙ යි.

110. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝ (චතුර) සතර නමි.

111. ධර්මසුධර්මත්වය, ධර්මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය ආදි වශයෙන් වූ ධර්මයා ගේ සුධර්ම භාව ය. (හෙමවත සූත්‍රය).

112. “භගවා අත්ථංගතෙ ච සුරියෙ දෙසනං න නිට්ඨපෙසි” යන්නෙන් ඉර බැස්ස පසුත් දම්සක් දෙසූ බව සුත්ත නිපාතයේ හේමවත සූත්‍ර අටුවායෙහි පෙනෙතත් එ තෙක් නො දෙසූ බව මැදුම්සඟි පාසරාසි සූත්‍ර අටුවාහි “සූරියෙ ධරමානෙයෙව දෙසනා නිට්ඨාසි” යන්නෙන් පෙනේ. භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ ම ධර්මචක්‍ර දේශනය ආරම්භ කළ සේක.

113. සතර නමක් පිඬු පිණිස ගිය විට ඉතිරි නමට භාග්‍යවතුන් වහන්සේ බණ වදාළ බව සමහර පොත්හි පෙනේ.

114. මෝනෙය්‍ය වත: මෙය සුත්ත නිපාතයෙහි නාලක සූත්‍රයෙහි විස්තර ලෙස පෙනේ. පසු කලෙක මහාකච්චාන ථෙර නමින් සිටියෝ මේ තෙරණුවෝ ම යැයි සංස්කෘත බණ පොත්හි පෙනේ. ඒ අප පොතට හැම අතින් විරුද්ධයි. නාලක තෙරණුවෝ දෙ දිනක් එක් තැනක නො සිට අන් අන් තෙනකට යමින් සත් වර්ෂයක් පමණ ජීවත් වූහ. මෝනෙය්‍යවත් ඉගෙන ගියායින් පසු කිසි දිනෙක ත් පෙරළා නාහ. (මොනෙය්‍ය සූත්‍රය)

115. උත්තරගීතය

116. මුල යහපත් වූ ධර්ම දේශනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ මුලින් ශීල සමාධි දෙක ද මධ්‍යයෙහි විදර්ශනා මාර්ගයන් ද. අවසානයෙහි ඵල හා නිවන ද ප්‍රකාශ කරන සේක. මෙ සේ ශීල සමාධි සංඛ්‍යාත කල්‍යාණ (යහපත්) කරුණු ඒ දේශනාවගේ මුල කොටසේ ඇතුළත් බැවින් එය මුල යහපත් (ආදිකල්‍යාණ) යැයි ද, විදර්ශන භාවනාවත් සෝවාන් ආදී සතර මාර්ගයත් විස්තර කැරෙන බැවින් එහි මැද කොටස ද යහපත් යැ යි ද, සෝවාන් ආදී ඵල සතරත් නිවනත් අවසාන කොටසෙහි ඇතුළත් වන බැවින් කෙළවර යහපත් (අවසාන කල්‍යාණ) යැ යි දැ යි මෙ ආදී බොහෝ කරුණින් ධර්මය ත්‍රිවිධ කල්‍යාණ වේ.

වප් මස මැදි පොහෝ දා වස් පවරා භික්ෂූන් ධර්මදූත මෙහෙයෙහි පිටත් කැරැලූ බව පූජාවලී මුද්‍රිත පොතේ (199 පිටේ) පෙනේ.

117. භද්‍රවර්ගිය කුමරුවෝ: රූපයෙන් ද සිතෙන් ද භද්‍ර (යහපත්) බැවින් භද්‍ර නම් වූහ. වර්ග බන්ධනයෙක් (එක් ව) හැසිරෙන බැවින් වර්ගීය නම් වූහ. වචන දෙක එක් කොට භද්‍රවර්ගී ය යැයි ඔවුනට නමෙක් වී ය. මොහු කොසොල් රජු ගේ සහෝදරයෝ යි. ධර්මය ඇසීමෙන් පහළ මාර්ග ඵලයට පැමිණි මුත් කිසිවෙක් රහත් නො වී ය.

118. තවත් බොහෝ පෙළහරවල් : දිනක් රෑ සතර වරම් මහ රජදරුවන් බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණීම, තවත් දිනෙක සක්දෙව් රජුන් බණ ඇසීමට පැමිණීම, තවත් දිනෙක සහම්පතී බඹහු ද එසේ ම පැමිණීම, මහා යාගයක් එලැඹ සිටි කළ භාග්‍යවතුන් වහන්සේ ගේ එහි පැමිණීම නූනොත් යහපතැ යි සිතූ උරුවේල කාශ්‍යපයා ගේ අදහස දැන උතුරුකුරු දිවයින් වැඩ පිඬු පිණිස හැසිර දන් වළඳා ආපසු වැඩි විට නායේ මන් දැයි ඇසූ කාශ්‍යපයාට ඔහු සිතූ අදහස් ආදිය ප්‍රකාශ කිරීම, භාග්‍යවතුන් වහන්සේ පාංසුකූල වස්ත්‍රයක් ලැබුණ විට එය සේදීමට පොකුණක් කැණීම ද, මැඩීමට ගලක් ළංකිරීම ද, පොකුණෙන් ගොඩ නැඟෙනු පිණිස අල්ලා ගැනීමට පොකුණ අසැ රුකෙක අත්ත නැමීම ද, වස්ත්‍රය වේලීම පිණිස වැනීමට ගලක් ළං කොට තැබීම දැයි යන මෙකී මෙහෙවර දෙවියන් ගෙන් ලැබීම, එක් දිනෙක හිමවත්හි මහ දඹ රුකින් ඵලයක් ක්ෂණයකින් ගෙන වුත් කාශ්‍යප තවුසාට දීම, දිනක් එ තවුසන් දර පළනු නො හැකිව වෙහෙසෙන විට බුදු රජහු එක් වචනයෙන් ම දර පැළෙන්නට සැලැස්වීම, එසේ ම ගිනි දැල්විය නො හැකිව ඔවුන් වෙහෙසෙන විට එක වචනයෙන් ගිනි දැල්වීම, ගිනි නිවිය නො හැකිව ඔවුන් වෙහෙසෙනු දැක එක වචනයෙන් ම ගිනි නිවීම, ශීත සෘතු කාලයේ දී ඔවුනට ගිනි කබල් පන්සීයක් පමණ (ගිනි තැපීමට) මවා දීම, මහා වැසි වැස වතුර ගලන විට තමන් වහන්සේ ඉන්න ප්‍රදේශයට ජලය නේන්නට සෘද්ධිබලයෙන් සැලැස්වීම යන මෙකී භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ වූ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන ලද්දා වූ ද ප්‍රාතිහාර්‍ය්‍ය දැකත් උරුවෙල කාශ්‍යපයා ශ්‍රමණ ගෞතමයෝ මහානුභාව ඇත්තෝ ය. එහෙත් අප මෙන් රහත් නො වෙතියි කීයේ ය. අන්තිමේ දී භාග්‍යවතුන් ඒ කාශ්‍යපයා රහත් වූ හෝ රහත් මඟට බැස්ස හෝ කෙනෙකු නො වන බව වදාරා ඔහුගේ මානය දුරු කළ සේක.

119. “ගයා ශීර්ෂ” නම් ගයා තොටපලේ ඉස්මත්ත යි. ගය නම් වූ රාජර්ෂින් විසින් කරවන ලද නගරය බැවින් ගයා යි නම් වී ය. මෙය නේරංජරා ගඟ අසබඩ පිහිටියේ ය. එහි තොටුපල ගයාතීර්ථ නමි. බමුණන්ගේ පාපධෝවන (පව්සෝදන) ස්ථානයෙකි.

120. ඔවුනට කෙබඳු ධර්මයක් දේශිත ද යනු සමන්තකූට වර්ණනායෙන් දත හැකිය. ලංකාවට භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ බණ ආදිය ගැන විස්තරයක් ලංකාවතාර සූත්‍ර නම් සංස්කෘත ධර්ම ග්‍රන්ථයෙහි පෙනේ.

121. මේ තල්වනයෙහි නුගරුක මිනිසුන් දෙවියන් පුදන දෙවොලෙකි.

122. මහා නාරදකාශ්‍යප ජාතකය: මේ කර්ම ඵල ඇති බව ගැන ඇති වූ සාකච්ඡාවක් ඇතුළත් මහඟු කථා වස්තුවකි. ජාතක පොතින් දනිත්වා.

123. මේ තෙම බිම්සර රජු හා එකට උගත් ඔහුගේ මිත්‍රයෙකි. පසු කාලයෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා පුරයට වැඩම කරවා ගෙන යන්නට ආයේත් මෙ තෙමේ යි.

124. මේ සක්දෙව් ය.

125. සක්දෙවිඳු ගේ බුදු ගුණ ප්‍රකාශිත ගී.

සන්තො සන්තෙහි සහ

පුරාණජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි

සිංගීනික්ඛ - සවණ්ණො

රාජගහං පාවිසි භගවා

.

දන්තො දන්තේහි සහ පුරාණ............

මුත්තො මුත්තෙහි සහ පුරාණ...........

තිණ්ණෝ තිණ්ණෙහි සහ පුරාණ......

.

දසවාසො දස බලො

දසධම්මවිදු දසහි චුපෙතො

සො දස්සතපරිවාරො

රාජගහං පාවිසි භගවා

.

යො ධීරො සබ්බධි දන්තො

තිණ්නො අප්පටිපුග්ගලො

අරහං සුගතො ලොකෙ

තස්සාහං පරිවාරකො

126. අනුජානාමි භික්ඛවෙ ආරාමං

127. තිරෝකුඩ්ඩ සූත්‍රය. මෙය කුදුගත් සඟියෙහි ඛුද්දක පාඨයෙහි ඇතුළති.

128. අස්සජි තෙරුන් වදාළ ගාථාව.

යෙ ධම්මා හේතුප්පභවා

තෙසං හෙතුං තථාගතො ආහ

තෙසං ච යො නිරොධො

එවංවාදී මහාසමණො

129. සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිත පටිපදා යන කොටස් පසෙහි එක් එක් කොටස චතුෂ්ක පංචක නය විසින් ගුණිතව ලෝකෝත්තර ධ්‍යානයෙහි නය දශයෙකි. ධ්‍යාන, මාර්ග සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන, සෘද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොධ්‍යංග, සත්‍ය, ශමථ, විදර්ශනා, ධර්මස්කන්ධ, ආයතන, ධාතු, ආහාර, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත, යන ධර්ම විස්ස කෙරෙහි එකි එකී ධර්මයකට යට කී දස දස නය වන බැවින් සියල්ල ම නය 200 කි. ඒ ඡන්ද චිත්ත විරිය විමංසා විසින් ගුණිත ව මිශ්‍රක නය 800 ක් වේ. ඡන්ද චිත්තාදින් මිශ්‍රිත නුවූ අමිශ්‍ර නය ද දෙසීයකි. එවිට සියල්ල නය දහසෙකි. විස්තර විභංග ප්‍රකරණයෙහි සත්‍යවිභංගාදියෙන් දත යුතු.

130. වේදනාපරිග්‍රහ සූත්‍රය මෙය දීඝනඛසූත්‍ර යැයි ද දන්නා ලදී. . මැදුම් සඟියේ මජ්ඣිමපණ්ණාසකයෙහි ඇතුළති.

131. අවවාද ප්‍රාතිමෝක්‍ෂය

132. අසාරෙ සාරමතිනො සාරෙ චා සාර දස්සිනො

තෙ සාරං නාධිගච්ඡන්ති මිච්ඡාසංකප්ප ගොචරා.

සාරං ච සාරතො ඤත්‌වා අසාරංච අසාරතො

තෙ සාරමධිගච්ඡන්ති සම්මාසංකප්පගොචරා.

133. කෙණිය ජටිලයාට වදාළ බණ හා සෙල බ්‍රහ්මණයාට වදාළ බණ සුත්ත නිපාත සෙල සුත්ත අටුවා ආදියෙහි පෙනේ.

134. රෝහිණි නදිය ශාක්‍ය කෝලිය ජනපද මැදින් උතුරේ සිට දකුණු දිගට ගලා යයි. රජගහ පුර ඒ නදියට නැගෙනහිරින් වේ. එ බැවින් රජ ගහෙන් කිඹුල්වතට යන තැනැත්තේ එ නදිය තරණය කරන්නේ, ආ දිගට ම මුහුණ ලයි. එ බැවින් මෙ සේ කියන ලදී.

135. කාළුදායි තෙරුන් ගේ ගමන වණ්ණනා ගාථා:

01. අංගාරිනො’දානි දුමා හදන්තෙ

ඵලෙසිනො ඡදනං විප්පහාය

තෙ අච්චි මන්තො’ච පහාසයන්ති

සමයො මහාවීර භගීරසානං

.

02. දුමානි ඵුල්ලානි මනොරමානි

සමන්තතො සබ්බදිසා පවන්ති,

පත්තං පහාය ඵලමාසසානා

කාලො ඉතො පක්කමනාය වීර

.

03. නෙවාතිසීතං න පනාතිඋණ්හ

සුබා උතු අද්ධනියා භදන්තෙ,

පස්සන්තු තං සාකියා කොලියා ච

පච්ඡා මුඛං රෝහිණිං තාරයන්තං

.

04. ආසාය කස්සතෙ ඛෙත්තං, බීජං ආසාය වප්පතෙ

ආසාය වාණිජා යන්ති, සමුද්දං ධනහාරකා

යාස ආසාය තිට්ඨාමි, සා මෙ ආසා සමිජ්ඣතු

.

05. පුනප්පුනං චෙව වපන්ති බීජං

පුනප්පුනං වස්සති දෙවරාජා

පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා

පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

.

06. පුනප්පුනං යාචනකා චරන්ති

පුනප්පුනං දානපතී දදන්ති

පුනප්පුනං දානපතී දදිත්වා

පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානාං

.

07. ධීරො භවෙ සත්තයුගං පුනාති

යස්මිං කුලෙ ජායති භූරිපඤ්ඤො

මඤ්ඤාමහං සක්කති දෙවදෙවො

තයා’භිජාතො මුනි සච්චනාමො.

.

08. සුද්ධෝදනො නාම පිතා මහෙසිනො

බුද්‍ධස්ස මාතා පන මායනාමා,

යං බොධිසත්තං පරිහරිය කුච්ඡිනා

කායස්ස හෙදා තිදිවම්හි මොදති.

.

09. සා ගොතමී කාලකතා ඉතො වුතා

දිබ්බෙහි කාමෙහි සමංගිභූතා

සා මොදති කාමගුණෙහි පංචහි

පරිවාරිතා දෙවගණෙහි තෙහි.

136. අභිඥාපාදක ධ්‍යානය. අභිඥාවට පාදක වූ සතර වන රූපධ්‍යානය. මෙහි දී යමා මහ පෙළහර කළ සේක. එසේ ම දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සතර අපාය ඇති සැටි ලෙස ම බලා උන්නවුනට පෙනෙන්නට සැලැස්වීම් වශයෙන් ලෝක විවරණ නම් පෙළහරක් ද කළ සේක. ඉක්බිති අහස්හි සක්මනක් මවා එහි සිට දහම් දෙසූ සේක. ගිජිකුළු පව්වෙහි සිටි සැරියුත් තෙරණුවෝ එය දිවැසින් දැක සිය භික්ෂු පිරිස් කැටිව එහි වුත් වැඳ භාග්‍යවතුන් වහන්සේ අතින් මහාභිනීහාරයත් පාරමි පූරණයත් විචාළහ. එය විසදීම් වශයෙන් බුද්‍ධවංශය ද ඉක්බිති චරියාපිටකය ද වදාළ සේක.

137. වෙස්සන්තර ජාතකය. ජාතක පොත හෝ පාලි චරියාපිටකය බලනු. මෙය විස්තර ලෙස විලේගොඩ ධම්මානන්ද තෙරුන් වහන්සේ විසින් සිංහලෙන් ලියන ලදින් එච්.එස්. කුලරත්න නීතිඥ මහතා විසින් මුද්‍රාපිත සිංහල චර්යාපිටකාර්ථ කථායෙහි 80 වැනි පිට බලා දත යුතු යි.

138. උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය

ධම්මං සුචරිතං චරෙ

ධම්මචාරී සුඛං සෙති

අස්මිං ලොකෙපරහිම් ච.

(ජාතක, ධම්මපද අට්ඨකථා)

මෙය ටිබැට් රට වැහැරැවෙන සංස්කෘත ධර්මපදයෙහි

උත්තිෂ්ඨෙන් න ප්‍රමද්‍යෙත ධර්මං සුචරිතං චරෙත්

ධර්මචාරී සුඛං ශෙතෙ භ්‍යස්මින් ලොකෙ පරත්‍ර ච

යැයි පෙනේ.

139. ධම්මං චරේ සුචරිතං න නං දුච්චරිතං චරෙ

ධම්මචාරි සුඛං සෙති අස්මිං ලොකෙ පරම්භි ච

(ජාතක, ධම්මපද)

140. බෝසත් සඳ කිඳුරු ව ඉපද සිටි කල කිඳුරිය කෙරේ ඇල්මෙන් බරණැස් රජකු බෝසත් කිඳුරහු විද්ද බවත් කිඳුරිය දෙවියනට දෙස් කියමින් ඉන්න කල සක් දෙව් අවුත් කිඳුරා සුව කැරැදී ගිය බවත් මෙහි සාරාංශය යි.

141. භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමරුන් ගේ මාලිගාවට වැඩ දන් වළඳා “තපො ච බ්‍රම්හ චරියං ච” යන ආදී ගයින් අනුමෝදනා බණ වදාරා කුමරු අතට පාත්‍රය දී වැඩි බව පූජාවලියෙන් පෙනේ.

142. යශෝධරා ව ශෝකයෙන් කල් යවමින් ගොතා ලූ ප්‍රබන්ධයක් වූ නරසීහ ගාථා නම් ගාථා පෙළක් රාහුල කුමරුට උගන්වා යවා ලූ බව ථෙරී අපදානාදියෙහි කියන ලදී. (පූජාවලී යශෝදරා වස්තුව ද බලනු.)

143. සරණගමන ප්‍රව්‍රජ්‍යාව මුලින් ම ඇති වූ අවස්ථාව මෙය වේ.

144. මහා ධර්මපාල ජාතකය. බෝසත් මෙළේ යැ යි ඇදුරහු පිය බමුණාට කී බවත් පිය බමුණු එය නො පිළිගත් බවත් එයට හේතුව පුළුවුත් විට එ කුලයෙහි අය ප්‍රාණඝාතාදී අපරාධ වලින් මුළුමනින් වෙන් ව වසන බවත් ධර්මපාල කුමරු ගේ පියා කී බව මේ ජාතකයෙහි සඳහන් වේ.

145. යඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති

යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.

(ධම්මපද)

146. දශ කථා වස්තු

147. මාසෙ මාසෙ කුසග්ගෙන බාලො භුඤ්ජෙථ භොජනං

න සො සංඛතධම්මානං කලං අග්ඝති සොළසිං

(ධම්මපද)

148. සුදත්ත යනු අනේ පිඬු සිටාණන් ගේ නම යි. අනාථයනට පිණ්ඩදානය කරන කරුණන්, පසු කලැ අනාථපිණ්ඩික (අනේපිඬු) නමින් හේ ප්‍රකට විය.

149. සතං හත්ථි සතං අස්සා සතං අස්සතරී රථා

සතං කඤ්ඤා සහස්සාති ආමුත්තමණිකුණ්ඩලා

එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝති සොළසිං

(විනය චුල්ලවග්ග, සෙනාසනක්ඛන්ධක) මෙ සේ කීයේ සීවක යක්ෂයා යි.

150. සබ්බදා වෙ සුඛං සෙති බ්‍රාහ්මණො පරිනිබ්බුතො

යොන ලිප්පති කාමෙසු සීතිභූතො නිරූපධි.

සබ්බ ආසත්තියො ඡෙත්වා විනෙය්‍ය භදයෙ දරං

උපසෙන්තො සුඛං සෙති සන්තිං පප්පුය්‍ය චෙතසො

.

151. යස්ස නිත්තිණ්ණො පංකො ච මද්දිතො කාමකන්ටකො

මෝහක්ඛයං අනුෂ්පත්තො සුඛදුක්ඛෙසු න වෙධති.

(ධම්මපද)

152. යථා’ගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති

එවං අහාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති.

යථා’ගාරං සුච්ඡන්නං වුට්ඨි න සමතිවිජ්ඣති.

එවං සුභාවිතං චිත්තං රාගො න සමතිවිජ්ඣති.

.

153. තපෙන බ්‍රම්හචරියෙන සඤ්ඤමෙන දමෙන ච

එතෙන බ්‍රාම්හණොහොති එතං බ්‍රාම්හණ මුත්තමං

(ථෙරගාථා).

154. න සන්ති පුත්තා තාණාය න පිතා න පි බන්ධවා

අන්තකෙනාධිපන්නස්ස නත්ථි ඤාතීසු තාණතා

(ථෙරගාථා සොපාක වත්ථු)

155.

156.

157. මුංච පුරෙ මුංච පච්ඡතො මජ්ඣෙ මුංච භවස්ස පාරගු

සබ්බත්ථ විමුත්ත මානසො න පුන ජාති ජරං උපෙහිසී

(ධම්මපද)

158.

159.

160. ප්‍රජාවතීගෞතමීන් විසින් සියතින් වියා සකසන ලද බව කිසි තැනෙක පෙනේ. ඇය විසින් ඒ පුදන ලද්දේ පැවිදිවන්නට පළමු ය. එහෙත් ඒ කාලයෙහි මෙතේ බෝසත් පැවිදි වී නැත. ඒ වස්ත්‍ර කාශ්‍යප තෙරුන් විසින් කුක්කුටගිරි පර්වතයෙහි තබා පසුව මෙතේ බෝසත්නට පැමිණැවූ බව ය්වාංජ්ශ්වාං ගේ යාත්‍රා වාර්තායෙහි පෙනේ.

161. අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං

තින්නමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතො

162. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවෙක අදහස ඇතුළත් කොට සමන්තකූට වර්ණනා කර්තෘ කළ රචනාවෙක. අදහස යි. සමන්තකූට වර්ණනාව බලනු.

163. සවෙ ලහෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං

අභිභූය්‍ය සබ්බානි පරිස්සයානි චරෙය්‍ය තෙනත්තමනො සතීමා.

.

නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං

රාජා’ව රට්ඨං විජිතං පහාය එකො වරෙ මාතඞග රඤ්ඤෙ’ච නාගො

.

එකස්ස චරිතං සෙය්‍යො නත්ථි බාලෙ සහායතා

එකො චරෙ න ච පාපානි කයිරා අප්පොස්සුක්කො මාතංග රඤ්ඤෙ’ච නාගො

(මහාවග්ග කොසම්බකක්ඛන්ධක, ධම්මපදට්ඨ කථා කොසම්බියවත්ථු)

164. මෙහි දී කසී භාරද්වාජ සූත්‍රය දෙසූ සේක. මෙය සුත්තනිපාතයෙහි ඇතුළති.

165. සබ්බදානං ධම්මදානං ජිනාති

සබ්බ රසං ධම්මරසො ජිනාති

සබ්බ රතිං ධම්මරතී ජිනාති

තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති

(ධම්මපද)

166. “කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං” යන ආදීන් මේ ප්‍රශ්න සතරත් උත්තරත් සුත්තනිපාතයේත් සංයුත්සඟියේ යක්ඛසංයුත්තයේ ආළවකසුත්ත යෙන් ද දත හැකි ය.

167. පස්ස චිත්තං කතං බිම්බං අරුකායං සමුස්සිතං

ආතුරං බහු සඞ්කප්පං යස්ස නත්ථි ධුවා ඨිති.

(ධම්ම පද)

168. “ජිගච්ඡාපරමා රොගා සංඛාරපරමා දුඛා

එතං ඤත්වා යථාභූතං නිබ්බානපරමං සුඛං” යි ද දක්නා ලැබේ.

.

169. අන්ධභූතො අයං ලොකො තනුකෙත්ථ විපස්සති

සකුන්තෝ ජාල මුත්තො’ච අප්පොස්සග්ගාය ගච්ඡති.

170. ආණා පාතිමොක්ඛ

171. අනවරාග්‍ර සසර අනන්ත ජාතිවලැ සිය දූ මළ සොවින් වගුළ කඳුළු ගොඩක් වූවොත් සිවු මුහුද දියටත් වැඩියැ යි ආදීන් වදාළ කථාව අනමතග්ග කථා නමි.

172. ඨිතො අහං අංගුලිමාල සබ්බදා

සබ්බේසු භූතෙසු නිධාය දණ්ඩං

තුවං ච පාණෙසු අසඤ්ඤතො’සි

තස්මා ඨිතො’හං තුවමට්ඨිතො’සි

(ථෙර ගාථා අංගුලිමාල වත්ථු, මජ්ඣිම නිකාය අංගුලිමාල සුත්ත.)

173. දූරෙ සන්තො පකාසන්ති

හිමවන්තො’ච පබ්බතො

අයන්තො නප්පකාසන්ති

රත්තික්ඛිත්තා යථා සරා

.

174. සුකරං සාධුනා සාධූ

සාධු පාපෙන දුක්කරං

පාපං පාපෙන සුකරං

පාපමරියෙහි දුක්කරං

(ධම්මපද)

175. ඉමෙහි[84] අට්ඨෙහි තමග්ගපුග්ගලං

දෙවොතිදෙවං නරදම්මසාරථිං

සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං

පාණෙහි බුද්ධං සරණං ගතො’ස්මි

(ධම්මපදට්ඨ කථා දෙවදත්ත වත්ථු)

176. ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරි උභයත්ථ තප්පති

පාපං මෙ කතන්ති තප්පති හිය්‍යො තප්පති දුග්ගති ගතො

177. දෙව්දත් තෙර දේවරාජ නම් සම්‍යක් සම්බුදු වන බව සද්ධර්මපූණ්ඩරීක නම් සංස්කෘත බණ පොතේ පෙනේ. අජාතශත්‍ර රජු ද බුදුවන බව එහි කියා තිබේ.

178. “ආනන්ද. මයා කථිත ධම්මො නාම සංක්කච්චං අසුණන්තස්ස

අගණ්හන්තස්ස අසජ්ඣායන්තස්ස අදෙසෙන්තස්ස වණ්ණසම්පන්නං

අගන්ධකපුප්ඵං විය අඵලො හොති. සක්කච්චං පන සවණාදිනි

කරොන්තස්ස මහප්ඵලො හොති මහානිසංසො”

(ධම්මපදට්ඨ කථා ඡත්තපාණි වත්ථු)

179. පථඛ්‍යා එකරජ්ජෙන

සග්ගස්ස ගමනෙන වා

සබ්බලොකාධිපච්චෙන

සොතාපත්ති ඵලං වරං

(ධම්මපද)

180. තණ්හාය ජායතෙ සොකො

තණ්හාය ජායතෙ භයං

තණ්හාය විප්පමුත්තස්ස

නත්ථි සොකො කුතො භයං

(ධම්මපද)

181. න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති

යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති.

(ධම්ම පද)

යම් කර්මයක් කොට සිහි කරන තැනැත්තේ ඒ හේතුයින් තැවේ නම්, යම් කර්මයක විපාකය කඳුළු පිරුණු මුහුණ ඇති ව විඳී නම් එසේ වූ කර්මය කරන ලද්දේ නො මැනැවි.)

182. සුඛ කාමානි භූතානි

යො දණ්ඩෙන විහිංසති

අත්තනො සුඛමෙසානො

පෙච්ච සො න ලභතෙ සුඛං

(ධම්මපද, උදාන)

183. චතුසු සමුද්දෙසු ජල පරිත්තකං

තතො බහුං අස්සු ජලං අනප්පකං

දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සොවතො

කිං කාරණ සොකචසා පමජ්ජසි.

(අනවරාග්‍ර සසර හැසිරෙන පුත්‍ර ශෝකයෙන් දුකට පැමිණ හඩන්නහුගේ කඳුළු රැස එක් කට හැකි නම් සතර මූදුවල ජලය එයට අඩුවෙයි. ඒ බොහෝ වූ කඳුළු රැස සතර මූදුවල ජලයට වැඩිවෙයි. එ බැවින් ශෝක කිරීම වශයෙන් කුමට පමා වෙහි ද?)

මේ ගාථාව ඇසීමෙන් පටාචාරාව ගේ ශෝකය තුනී විය.

184. “න සන්ති පුත්තා තාණාය න පිතා න පි බන්ධවා

අන්තකෙනාධිපන්නස නත්ථි ඤාතීසු තාණතා

එතං අත්ථවසං ඤත්වා පණ්ඩිතො සීලසංවුතො

නිබ්බානගමනං මගං බිප්පමෙව විසොධයෙ”

(ධම්ම පද).

මරහු විසින් මඩනා ලද තෙනැත්තහුට පුත්‍රයෝ ද පියා ද සෙසු නෑයෝ ද පිහිට පිණිස නැත්තාහ. (පිහිට වීමෙහි අසමර්ථ හ) නෑයන් කෙරෙහි ප්‍රතිෂ්ඨ භාවයෙක් නැත යන මේ අර්ථවත් කාරණය, ශීල සංවරය ඇති පණ්ඩිත පුද්ගල තෙම දැන, නිවනට යන මග යුහුසුලු ව පිරිසිදු කරන්නේ ය.)

185. තං පුත්තපසුම්මත්තං

ඛ්‍යාසත්තමනසං නරං

සුත්තං ගාමං මහොඝො’ව

මච්චුරාදාය ගච්ඡති.

186. වදාළ බණ :

අචිරං වත’යං කායො

පඨවිං අධිසෙස්සති

ඡුද්ධො අපෙතවිඤ්ඤාණො

නිරත්ථං’ව කලිංගරං

(ධම්මපද)

(“මේ ශරීරය සිතින් පහවූයේ වැඩකට නැති දඬු කඩක් සේ හිස් වූයේ නිස්සාර වූයේ, නො බෝ කලෙකින් ම පොළෝ මත හෙන්නේ ය.”)

187. යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය

සො ගිලානං උපට්ඨහෙය්‍ය

(මහාවග්ග චීවරක්ඛන්ධක)

188. යථා සංකාරධානස්මිං - උජ්ඣිතස්මිං මහාපථෙ

පදුමං තත්ථ ජායෙථ - සූවිගන්ධං මනොරමං

එවං සංකාරභූතෙසු - අන්ධභූතෙ පුථුජ්ජනෙ

අතිරොවති පඤ්ඤාය - සම්මාසම්බුද්ධසාවකො

.

189. මනොපුබ්බංගමා ධම්මා - මනොසෙට්ඨා මනොමයා

මනසා චෙ පසන්තෙන - භාසතිවා කරොති වා

තතො නං සුඛමන්වෙති - ඡායා’ව අනපායිනී

.

190. යෙ තරන්ති අණ්ණවං සරං - සෙතුං කත්ව විසජ්ජ පල්ලලානි

කුල්ලං හි ජනො පබන්ධති - තිණ්ණා මෙධාවිනො ජනා

.

191. සාහුදස්සනමරියානං - සන්තිවාසො සදා සුඛො

අදස්සනෙන බාලානං - නිච්චමෙව සුඛී සියා

.

බාලසංගතචාරිහී - දීඝමද්ධාන සොවති.

දුක්ඛො බාලෙහි සංවාසො - අමිත්තෙනෙව සබ්බදා

.

ධීරොහි සුඛසංවාසො - ඥාතීනංච සමාගමො

තස්මාහි ධීරං ව පඤ්ඤං ච බහුස්සුතඤ්ච

ධොරය්හ සීලං වතවන්තමාරියං

තං තාදිසං සප්පුරිසං සුමෙධං

භජෙථ නක්ඛත්ත පථෙ’ච චන්දිමා

බුද්ධාදි ආර්‍ය්‍යන් දැකීම ද උන් වහන්සේ හා එක් ව විසීම ද මැනැවි. ලාමකයන් නො දැකීමෙන් (එ නොදක්නා තෙනැත්තේ) නිතරම සුව ඇත්තේ වන්නේ ය.

ඒ එ සේ මැයි. ලාමකයන් හා එක් ව ගැවසෙන පුද්ගල තෙම ඔහු හා අපරාධ කිරීම් හේතුයෙන් දුක් කම්කටොලු ලැබ දීර්ඝ කාලයක් ශෝක කෙරේ. ලාමකයන් හා එක්ව විසීම සියලු කල්හිම සතුරකු හා එක්ව විසීමක් මෙනි. පණ්ඩිතයන් හා ඒකතෝවාසය නෑයන් හා එක් ව විසීමක් සේ සුව එළවයි.

එ බැවින් ලොවි ලොවුතුරා නුවණ ඇත්තා ද, ආගමාධිගම සම්පන්නයා ද රහත් ඵලයට පමුණුවන ප්‍රතිපත්ති ධූරය උසුලන්නා ද, ශීල ධූතාංග සංඛ්‍යාත මනා ව්‍රත ඇත්තා ද, කෙලෙස් දුරු කළහු ද යන මනා නුවණැති එ බඳු පුද්ගලයකු සඳු අහස සෙවුනාක් මෙන් සේවනය කරන්නේ යහපත.

(මහා පරිනිබ්බාන සුත්ත)

192. භික්ඛවෙ, අඤ්ඤෙනාපි මයි සිනෙහවත්තෙන භික්ඛුනා ධම්මාරාමසදිසෙනෙව භවිතබ්බං, න හි මය්හං මාලාගන්ධාදිහි පූජං කරොන්තා පූජං කරොන්ති නාම. ධම්මානුධම්මං පටිපජ්ජන්තා එව පන මං පූජෙන්ති නාම.

(ධම්මපදට්ඨ කථා ධම්මාරාම වත්ථු)

193. තුලමතුලංච සම්භවං - භවසංඛාරමවස්සජි මුනි

අජ්ඣත්තරතො සමාහිතො - අභින්දිකවච මිවත්ත සම්භවං

(මහා පරිනිබ්බාන සූත්ත)

194. භන්ද’දානි භික්ඛ වෙ ආමන්තයාමි වො. වයධම්මා සංඛාරා.

අප්පමාදෙන සම්පාදෙථ. න චිරං තථාගතස්ස පරිනිබ්බාණං

භවිස්සති. ඉතො තිණ්ණං මාසානමච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සති.

(මහා පරිනිබ්බාන සූත්ත)

195. භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙය අසන ලදැ යි කී පමණින් නො ගෙන ධර්ම විනය හා ගැළැපේ දැ යි බලා ගැළපේ නම් බාර ගැනීම; සංඝයාගෙන් මෙය අසන ලදැ යි කී පමණින් නො ගෙන ධර්මවිනය හා සසඳා ගැළැපෙතොත් පිළිගැනීම; බොහෝ පණ්ඩිත තෙරුන් වෙතින් මෙය ශාස්තෘ ශාසන යැ යි කියා අසන ලදැයි කී පමණින් නො ගෙන ධර්ම විනය හා ගැළැපේ දැ යි බලා ගැළැපෙතොත් පිළිගැනීම; එක් උගත් තෙර කෙනෙකු ගෙන් මෙය ශාස්තෘශාසන යැ යි කියා අසන ලදැ යි කී පමණින් නො ගෙන එය ධර්ම විනය හා ගැළැපේ දැයි බලා ගැළැපෙතොත් බාරගැනීම යන මේ සතර මෙහි (සූත්‍රපිටකයෙහි)’ දැක්වුණු සතර මහාපදෙසයෝ යි.

196. සුජාතා චුන්ද යන දෙදෙනා පිදු භෝජනයන්ගේ සමඵල ඇති බව කෙ සේ ද? යත්: සුජාතා දුන් බොජුන් වළඳා භාග්‍යවතුන් වහන්සේ සෝපදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවි සේක. චුන්දයා දුන් බොජුන් වළඳා නිරුපදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවි සේක. මෙසේ පිරිනිවන් පෑමේ සම බැවින් ද එ වැළැදු භොජනය සම ඵල ඇත්තේ ය. (බුදු වන දා භාග්‍යවතුන් වහන්සේ සූවිසි කෙළ ලක්ෂයක් සමාපත්තිනට සමවන් සේක. පිරිනිවන් පාන දා එ සේ ම සූවිසි කෙළ ලක්ෂයක් සමාපත්තිනට සමවන් සේක. මෙ සේ සමාපත්තීනට සමවැදීමේ සම බැවින් ද එ දෙ දින වැළැඳූ භෝජනය සම ඵල ඇත්තේ ය.)

සුජාතා තමා ගේ දන් පිළිගත්තහු දේවතාවක නො වන බවත් බෝසතාණන් බවත් තමා දුන් බොජුන් එ තුමන් බුදු වන්නට පෙර ලත් භෝජනය බවත් එය බුදුවීමෙන් පසු සත් සතියට ම සෑහුණ බවත් අසා තමාට වූයේ මහත් ලාභයෙකැ යි බලවත් ප්‍රීතියට පැමිණියා ය. චුන්දයා ද අන්තිම භෝජනය තමා විසින් දෙන ලදැයි ද තමා ගේ භෝජනය වැළඳු බුදුරජාණන් වහන්සේ නිවන් පුර වන් සේකැ යි ද අසා බලවත් ප්‍රීතියට පැමිණියේ ය. මෙ සේ තමන් ගේ දානයන් සිහි කිරීමේ සම බැවින් ද එ දෙදෙනා ගේ දන් දෙක සම ඵල ඇති විය. මෙ සේ පරිනිර්වාන සමතා, සමාපත්ති සමතා, අනුස්මෘති සමතා යන තුනින් එ දන් සමඵල වූ බව දත යුතු.

197. න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතොවා පූජිතොවා අපචිතොවා. යො බො ආනන්ද භික්ඛු වා භික්ඛුණී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නෝ විහරති සාමීචිපටිපන්නො අනුධම්මචාරී සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය. තස්මාතිභානන් ද ධම්මානුධම්මපටිපන්නා විහරිස්සාම සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො ති එවං හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති.

198. එකූනතිංසො වයසා සුභද්ද

යං පබ්බජිං කිං කුසලානුඵසී

යතො අහං පබ්බජිතො සුභද්ද

ඤායස්ස ධම්මස පදෙසවත්ති

ඉතො බහිද්ධා සමණො'පි නන්ථි

.

199. භන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො

වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ

200. ශක්‍රයා ද අනවතප්ත නාගරාජයා ද, ඒරකපත්‍ර නාගරාජයා ද යන තිදෙනාත් ධාතු කොටස් ඉල්ලා ආරාවුල් කළ විට සියලු ධාතු ප්‍රධාන කොටස් තුනකට බෙදා එකක් දෙවියනට ද, එකක් නාගයනට ද, අනෙක රාජ්‍ය අටටද බෙදා දුන් බවක් ද, ද්‍රෝණ බමුණා තමාටත් ධාතු ලබා ගැනීමට උපායක් සිතා නාළිකායෙහි ඇතුළත මී පැණි ගා එයින් ඒ ධාතු මැන්න බවද, ඉන් පසු ඒ නාළිකාව පමණක් තමාට ඉල්ලා ගත් බව ද, එහි මී පැණියෙහි ඇලී තුබුණු ධාතූන් සහිත වූ එය ඔහු ගෙන ගිය බව ද, එ සියල්ල බහා කළ ස්තූපය ද්‍රෝණ ස්තූප නම් වූ බව ද “ය්වාංජ්ශ්වාං” චීන භික්ෂුව ගේ දේශාටන වාර්තායෙහිත් දිව්‍යාවදානයෙහිත් සඳහන් වේ.

බළන්ගොඩැ ආනන්ද මෛත්‍රෙය යතිහු විසින් ප්‍රණීත

ශාක්‍යමුනීන්ද්‍රාවදානය යන අපර නාමධෙයයක් ඇති

සිද්‍ධාර්ථගෞතම බුද්‍ධ චරිතය

මෙතෙකින් නිමියේ ය.

-ශිව මස්තු සර්වජගතාම්-

  1. “His life is without blemish, he is the finished model of heroism, self-renunciation, the love, Sweetness he commands.” Bartholemy Saint Hilaire.

  2. “The finished model of calm and sweet majesty, of infinite tenderness for all that breathe and compassion for all that Suffer, of perfect moral freedom and exemption from every prejudice” Barth.

  3. "If you desire to see the most noble of mankind, look at the king in beggar's clothing, it is he whose Sanctity is great among men." Abul Atahiya.

  4. Professor Goldzihar of Budapest.

    I publish this translation not with any pretension to proficiency in Pali but as a tribute of love to the memory of the noble Gotama, who stands forth as the most prominent of the world's physicians, that traversed India in monastic garb the exalted, the holy, the highly illuminated One who came into the world to show to gods and men the way out of the sorrowful prisonhouse of being into the freedom of everlasting Rest, D.M. Strong (preface to the transla tion of Udana),

  5. මෙහි සැතැපුම් යැ යි ව්‍යවහාර කොට ඇත්තේ ඉංග්‍රීසි “මයිල්” එකටය.

  6. හුයාන්ත්සාන් හ්‍යුඑන්සාන් යනු වැරැදියි.

  7. ලී යනු මයිල කාලක් පමණ වූ චීන මැනීමකි

  8. ගණ්ඩකී නදිය යි ද කියත්.

  9. මෙය ලක්දිව පොත්වලැ ප්‍රවෘත්තියට වෙනසි. දෙව්දතු වස දෙන්නට ප්‍රයත්නයක් කළ බවක් දැන් පවත්නා පාළි පොතකැ නැත. එසේම දෙව්දත් සුප්‍රබුද්‍ධ රාජ පුත්‍ර බව මැ පාළි පොත්හි පෙනේ.

  10. 1 ශ්‍රාවගේ පුත් ( යුවනාශ්වගේ මුණුබුරු වු) ශ්‍රාවස්ත විසින් මේ නගරය නිර්මිත වීයැ යි හරිවංශ, විෂ්ණු පුරාණ, මහාභාරත, හගවත් පුරාණ යන ඉතිහාසයන් හිද, පාණිනීය ව්‍යාකරණයෙහි V 1 2, 27 හිද සඳහන් වේ.

  11. මෙය භාග්‍යවතුන් වහන්සේගේ අවවාද පරිදි ඇය විසින් සංඝයාට පුදන ලදී. පසු වැ මහා කාශ්‍යපයන් වහන්සේ විසින් කුක්කුට පර්වතහි සුරැකි කොට මෛත්‍රෙය බෝසතාණන් පිණිස තබා ලූ බවෙක් චීන පොතේ පෙනේ. මෛත්‍රෙය බෝසතාණෝ තමන් ලත් වස්ත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුහ.

  12. 1 මෙහි මුල් නම රුග්මිණි දාය යැ යි සිතමි. රුග්මිණි යනු විෂ්ණු භාර්යාවකි. ඇයගේ නමින් ශාක්‍ය කුමරිය ද රුග්මිණි යයි ප්‍රකට වී යැ යි සිතිය හැකි. රුග්මිණි යනු රුම්මිනි විය හැකි. රුම්මවාසි යන තැන රුම්ම යනු සංස්කෘතයෙහි රුග්ණ යනුවෙන් ආ සේ යි. මෙසේ රුග්මිණි යන්න ලූම්මිණි ලූම්බිණියැ යි විය හැකි. රුක්මිණි දාය යන රුමින්දායි කියා හින්දි බසට ද පෙරළි ආසේ පෙනේ. එසේ වුවත් වෛය්‍යාකරණයෝ ලූඛී ‘ලූම්බ’ යන ධාතුන් කෙරෙන් ප්‍රත්‍යය යොදා ලූම්බිනි ශබ්දය සිද්ධ කරත්. මහා සුප්‍රබුද්‍ධ රජුගේ බිසව (මායා බිසවගේ මෑණියෝ) ලූම්බිනි දේ නැමැති සංස්කෘත පොන්හි පැනේ.

  13. මෙය ලූම්බිනියෙන් ‘ලී’ 300ක් නැගෙනහිරිනැ යි ය්වාංජ්ශ්වාන්ගේ යාත්‍රා වෙහි පෙනේ.

  14. මෙය කපිත්ථ තිත්ථාරාම නම් විය.

  15. දියැණියෝ පස් දෙනා අනිත් බිසෝවරුන් ගේ දරුවෝ යැ යි සකු බණ පොත්හි එයි. පාළි අටුවාහි ඒ හැම එක් ම බිසොවක ගේ යැ යි සඳහන් වේ. සකුපොත්හි එන පුවත හරි විය හැක්ක.

  16. වෙන මවකගේ, සුළු මවගේ

  17. වෙන මවකගේ, සුළු මවගේ

  18. බොහෝ පෙරැ දවස බමුණෝ අද වාක්‍ය නමින් ප්‍රකටව ඇති මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව අනුව ජීවිත ඵල කීහ. ප්‍රජාවතී ගෞතමී මහ දරුපිරිසක් ලබන තැනැත්තියකැ යි ඔවුන් කීයේ, බොහෝ කලකට පසු ඇය පැවිදි වැ එයින් පසු පැවිදි වන සියලූම මෙහෙණින් ගේ ශාසනික මාතෘ (උපාධ්‍යායා) වන බව සැලකීමෙනැ යි පෙනේ.

  19. හැම දෙව්ලොවෙක ම නන්දන නම් උයනෙක් ඇත.

  20. උපන් කෙණෙහි බෝසතුන් පිළිගත් අය නම් කිරීමවුන්ගේ වෙසින් එහි අවුත් සිටි බ්‍රහ්මයොත් දෙවියෝත් යැ යි සමහර මහායාන පොත්හි දැක්වේ. ඒ දෙවිබඹුන් එහි සිටි කිරිමවුනට ආවිෂ්ට වැ මෙසේ බෝසතාණන් පිළිගත්හයි ද විවරණ කෙරෙති.

  21. උපන් කෙණෙහි කථා කළ අය තවත් ලොව වූහ. උපග්‍රන්ථය අංක 10 බලනු.

  22. ලොවට මහත් අර්ථයක් සිදු කිරීම පිණිස උපන් හෙයින් සිද්ධාර්ථ යැ යි නම් කළ හැයි පාළි අටුවාහි දැක්වේ.

  23. මෙසේ සිප් සතර උගත් සිදුහත් බෝසතාණෝ බ්‍රාහ්මී නම් විශේෂ අකුරු වගයක් අමුතුවෙන් නිපැදවූහ යි ක්ෂෙමේන්ද්‍ර පඬිහු කළ අවදාන කල්පලතාපල්ලවයෙහි දැක්වේ. අශෝක රජ භාවිත කළේ ඒ අකුරු ය. පසුව අශෝකාක්‍ෂර නමින් ද ඒවා හැඳින්වුණහ.

  24. යසකුල පුතුනට ද සිය පියා විසින් තුන් සෘතුවට සරිලන සේ වූ ප්‍රාසාද තුනක් කරවා දී තිබුණු බව මහාවග්ග (විනය)පාළියෙහි දැක්වෙයි.

  25. රාජවංශික උසස් නිලතල දරන හැම කෙනෙක් ම රාජ (රජ) නමින් හැඳින් වුණහ. අද ද ඉන්දියාවේ ප්‍රභූවරුනට ඇමතීමේ දී සෙස්සෝ "මහාරාජ්” යන වචනය බැවහර කරති.

  26. නහි කුමාරඃ කුලාර්ථිකො නගොත්‍රාර්ථිකඃ ගුණාර්ථික ඒව කුමාරඃ. (ලලිත විස්තර. පිට 98) බ්‍රාහ්මණිං ක්‍ෂත්‍රියාං කන්‍යං වෛශ්‍යාං ශුද්‍රිං තථෛව ච යස්‍යාඃ එතෙ ගුණාඃ සන්ති තාං මේ කන්‍යා ප්‍රවෙදය, න කුලෙන න ගොත්‍රෙණ කුමාරො මම විස්මිතඃ ගුණ සත්‍යෙව ධර්මෙ ච තත්‍රාස්‍ය රමතෙ මනඃ. ල.වි

  27. මේ පුවත ලලිත විස්තර ආදී මහායාන පොත්හි එන සැටියෙන් මෙහි දැක්වූ මු. පාළි ජාතක අටුවා ආදියෙහි මේ තරම් විස්තර නැත. සිදුහත් කුමරුට යශෝධරාවන් පාවා දුන් පසු ඇයට පිරිවරට කුමරියන් ඉල්ලා යැවූ පසු නෑ රජුන් සිදුහත් කුමරු කිසිත් නොදනිතැයි ප්‍රතික්ෂේප කළ බැවින් ශිල්ප දැක්විණැයි ජාතක අටුවා ආදියෙහි එයි.

  28. මෙය සිදු කරන ලද්දේ සිද්ධාර්ථ කුමරයාණනට සොළොස් වස් පිරුණු තැන දී යැයි පාළි අටුවාහි දැක්වෙතත් සමහර මහායාන පොත්හි දෙවිසිවන වර්ෂයෙහි යැයි කියන ලදී

  29. යශෝධරාවන් පිළිබඳ මේ පුවත නාඩිග්‍රන්ථවල සවිස්තර වැ එයි.

  30. බෝසතාණන් වහන්සේත් යශෝධරාවන් වහන්සේත් බ්‍රහ්මචාරී වැ වුසූහ යි, ද දරුවකු නැතිකමේ පාඩුව කියමින් පියරජුත් කුඩා මෑණියනුත් කරන කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලෙකින් යශෝධරාවගේ නාභිය පිරිමැද්දාහයි ද එයින් රහල් කුමරු පිළිසිඳගයි ද සමහර ආචාර්යවරුන්ගේ මතය යි. හෙළ දිව විසූ ලක්මිණි පහනේ සංස්කාරක ආභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දැරුවෙකි.

  31. සමහර පොතක කරින් ඔසොවාගෙනයන මිණියක් දුටුහ යි සඳහන් ය.

  32. පාලි අටුවාහි වසවත් මරදෙව්පුතු අවුත් ගමන වළක්වාලන්නට කළ කථාව ලෙස අන්‍යාලාපයෙන් සඳහන්කොට ඇත්තේ මේ මහානාම කුමරුගේ උත්සාහය වියැ යුතු ය. පැවිදිගුණදහම් වඩන්නවුනට කෙනකු විරුද්ධ වනුයේ මාරාවේශයෙනි යි ථෙරවාදීන් පවා පිළිගත් අදහසෙකි.

  33. පාලි අටුවාහි තිස්යොදුන් මඟ ඉක්මැ ගියහ යි සඳහන් ව ඇතත් කිඹුල්වත් පෙදෙසැ සිට අද අඋමි නමින් හැඳින්වෙන අනෝමාව තෙක් දුර මයිල සැත්තෑවකට වඩා නැත. සකුබොදු පොත්හි දැක්වෙන දොළොස් යොදුන් කථාව හරි බව හැඟේ. යොදුන යනු එක්කලෙක මයිල පහකුත් ස්වල්පයක් පමණ දුරෙක් ව බැවහර විය

  34. සක්දෙවිඳු ඒවා රුවන් කරඬුවෙකින් ගෙන ගියහ යි අප පොත්හි දැක්වේ.

  35. මේ පුවත පාලි අටුවාහි නැත. සකු බණපොත්හි විස්තරයෙන් ඇත. මෙසේ වැදි වෙසින් හෝ වැද්දකුට ආවිෂ්ට වී පිරිකර ගෙන ආයේ දෙවියෙකැ යි සමහර සකු පොත්හි එයි. එය ම විස්තර නොකොට බ්‍රහ්මයා පිදූ පිරිකර පිළිගත් හ යි ඉතා කොටින් පාලි පොත්හි ආ නියාව පෙනෙයි. යට කී රුක් බෙනයට අට පිරිකර කොයින් ද ? මෙය මහායාන පොත්හි විස්තර කැරෙයි. කලකට පෙරැ එ පෙදෙසේ කිහිප දෙනෙක් පැවිදි වැ පසේ බුදු වූහ. එයින් එක් නමක් පිරිනිවෙනුවෝ නොබෝ කල්හි ලොවුතුරා බුදුවන බෝසතාණන් උපදිති යි දැන තමන් අට පිටරිකර ඒ බෝසතාණනට ලැබෙන ලෙසක් සලස්සන්නැ යි කියා සිය පවුලේ අයට පවරා තුමූ හිමවතට වැඩ පිරිනිවියහ. ඒ බෝසතාණන් උපන් දවසැ පිරිනිවී මාතංග පසේ බුදුහු ය. උන්වහන්සේ ගේ නෑ පරපුරෙහි එය බාර ව අන්තිමට සිටි තැනැත්තී වනයේ මහ රුක්බෙනයෙක එය තැන්පත් කොට රුක්දෙවියා අයැද එය බෝසත් කෙනෙකු පහළ වූ විට ඔබට ලැබෙන සැටියක් සලසන් නැ යි කියා ගියා ය. මේ වැද්දා වෙනෙහි යන විට එය දැක මෙසේ හැරගෙන ආයේය.

  36. මේ ඇසළ අටවක දා යැයි පාලි අටුවාහි පෙනෙතත් සර්වාස්තිවාදී පොත් වලද එබඳු දිනයක සටහනෙක් නැත.

  37. ඡන්නයා සිය කුලයට ගැළපෙන කුලයෙකින් නර්මදා නම් කුලදුවක පාවාගෙන සිටියේ ය. සිද්ධාර්ථ කුමාරයන් කවර දා හෝ පැවිදි වෙති” යි කථාව ශාක්‍යදේශයෙන් පිටත ද පැතිර පැවැත්තේ ය. සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වුණොත් තමාත් පැවිදි වන බව ඡන්නයා සිය ගෙහිදීත් කියයි. මෙයින් ඔහුගේ බිරිය වූ නර්මදා නිතර සැකෙන් බියෙන් කල් යැවා ය. තම සැමියා සිද්ධාර්ථ කුමාරයන් කෙරෙහි පවත්වන ආදර භක්තිය නො ඉවැසුවා ය. බෝසතාණන් සමග ඡන්නයා ද ගිය බව ඇසූ ඕ තොමෝ සිද්ධාර්ථ කුමරුන් තම සැමියා රැගෙන ගියහ යි දෙස් දෙවොල් තබමින් හැඬුවා ය. මේ පුවත ද ඇය කියූ විලාපය ද මුඛ පරම්පරායෙන් ගෙන එන ලදු ව තවම නේපාලයේ පිටිසර ගම්වල ගැමි කථා අතරැ පවතී.

  38. තාදී - ලාභඅලාභාදියෙන් කම්පා නොවන්නා

  39. අධික ශීත සෘතු සමයෙහි පෙරවීමට අවශ්‍ය ම බැවින් තවුසෝත් තනිපට දෙපට විසින් සිදුරු දෙකක් ද අඳනයක් දැ යි සිවුරු තුනක් දරති.

  40. මෙයින් හඳනයත් පොරෝනාවත් ප්‍රමාණයෙන් සමාන බව දැක්වේ.

  41. මහායාන පොත්වල දැක්වෙන පරිදි ආනන්ද කුමරු හැමට ම බාලය. රාහුල කුමරාට සම වයසේ වූයේ ය. පාලි පොත්හි දැක්වෙනුයේ බෝසතණන් උපන් දින ම උපන්නකු හැටියට ය.

  42. ජාතභූමිය නම් කිඹුල්වත් පෙදෙස යි.

  43. මෙය සුත්ත නිපාතයෙහි දෙවැනි (චුල්ල වග්ගයේ) දෙවැනි සූත්‍රය යි. විස්තර එයින් දත යුතුයි.

  44. දිව්‍යාවදානයෙහි මේ රජුගේ නම රුද්‍රායණ යැ යි කියන ලදී

  45. මෙය දික්සඟියේ සූත්‍රයෙකි.

  46. මේවා සුත්ත නිපාතයෙහි ඇතුළති.

  47. මෙය දික්සඟියේ සූත්‍රයකි.

  48. මේ මජ්ඣිම නිකායයෙහි පුණ්ණෝවාද සුත්තය යි.

  49. මේ “අම්බහට්ඨ” ය යි ඇතැම් පොතක පෙනේ.

  50. කඳුහතක් එකට බැඳී පිහිටි බැවින් මෙය සත්තබද්ධ නම් වූ පසු වැ සච්චබද්ධ නම් විය. අද මෙය ඒළු මලෙයි නමින් ප්‍රසිද්ධ ය. මදුරාසි දිස්ත්‍රික්කයට අයත් ය. තිරුපතිපුරය මේ කන්ද පාමුලය.

  51. සමන්තකූට වණ්ණනා

  52. මාර්කණ්ඩෙය.

  53. පවත්ත’ පර්වතයැ යි ද කියත්.

  54. මෙය මැඳුම්සඟියෙහි මජ්ඣිමපණ්ණාසකයෙහි ඇතුළති.

  55. ඇතැම් පොතක පෙනෙන හැටියට මෙය වූයේ පස් විසි වන වසේදී පමණ යැ යි හැඟේ. විමසිය යුත්තෙකි.

  56. සමහරු දහම් ඇසූ කෙණෙහි ම රහත් වෙති. ඔවුන් කෙරෙහි ද ශීල සමාධි ප්‍රඥා තුන මොහොතක් ඇතුළත ක්‍රමයෙන් සම්පූර්ණ වේ.

  57. මෙ සමයෙහි අජාසත් කුමරු සොළසැවිරිදි වයස් ඇත්තේ යුව රජකම ලැබ සිටියේ ය.

  58. මෙහි තේරුම :- හස්තිය, බුද්‍ධ නැමැති ඇත් රජහු පෙළන්නාට මතු යම් හෙයකින් සුගතියෙක් නො වන්නේ ද එ හෙයින් වධක සිතින් බුද්‍ධ නාගයා කරා නො එළඹෙව. බුද්‍ධ නැමැති හස්ති රාජයා වෙත එ සේ වධක චිත්තයෙන් පැමිණීම මතු දුක් විපාක ලැබීමට හේතු වේ. මත් නො වව. පමා නො වව. පමා වූවෝ සුගතියට නො යෙත්. එ බැවින් සුගතියට යෑ හැකි සෙයක් තෝ ම කරව.”

  59. යොදුන (යෝජන) යනු වත්මන් වහරෙහි මයිල පහක් පමණ දුරකි. එක් කලෙක මයිල හතක් පමණ දුරට ද යෝජන (යොදුන) යැ යි ව්‍යවහාර වූ බව පැරැණි දුර මැනුම් විමැසීමේ දී පෙනේ. ඈත පුරාතනයෙහි විය ගහේ දිගට ද යෝජන යැ යි ව්‍යවහාරයක් පැවැති බව ද පෙනේ. රජගහ සිට නාලන්දාවට මයිල 5 ක් 6ක් පමණ දුර ය.

  60. ජලය ජීවිතේන්ද්‍රියය ඇති ප්‍රාණියෙකැ යි කුඩා ජල බින්දු කුඩා ප්‍රාණීහු යැ යි ද මහත් ජල බින්දු මහත් ප්‍රාණීහු යැයි ද නිගණ්ඨයෝ හදහති. එබැවින් ගිහියන් හුණු කැරැ දුන් ජලය ම බොති. කිසි විටෙක එය නො ලදොත් කාඩි

  61. භාග්‍යවතුන් වහන්සේ වදාළ බස ඇසූ උපාලි මෙසේ සිතී: මුර්ඡාවට පත් වූවහුට ආශ්වාස ප්‍රශ්වාස නැතත් සතියක් වුවද නො මැරී හිඳී. සිත ඇති බැවින් හේ මළේ යැ යි නො කියත්. සිත නැති වූ කල්හි ම මළේ යැ යි පිළිගනිත්. චුතියත් පටිසන්ධියත් සිතින් ම වෙයි. එ බැවින් මනෝ දණ්ඩය ම මහත් ය. නාතපුත්ත යන් ගේ වචනය අනෛර්යාණික යැ යි ගෞතමයන් වහන්සේ ගේ දෙසුම නිවරද යැ යි හේ සිතීය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ වදාරන දෑ අසනු රිසියෙන් වාද කථා ව්‍යාජයෙන් හේ තව දුරට කථා කෙළේ ය.

  62. දේව කෝපයෙන් ඒවා අරණ්‍ය බවට පෙරැළුණ ද මිනිසුන් සිතුවේ සිත් රිදුණු සෘෂීන් ගේ ශාපයෙන් ඒ නුවරවල් අරණ්‍ය වූ සැටියෙනි.

  63. මේ පරිච්ඡේදයෙහි සඳහන් ප්‍රවෘත්තීන්ගේ කාල නියමයක් වෙන් වශයෙන් පෙන්විය නො හැකියි.

  64. * අපට චාරා” යැ යි කිය යන්න “පට-අචාරා” යැ යි වී පටාචාරා” යැයි හැඳින් වූ බව පෙනේ.

  65. * මෙය සුත්ත නිපාතයෙහි ඇතුළති

  66. 98 සක්දෙවිඳු සිවුවරම් දෙවියන් යොදා මී වෙස් ගන්වා ඇය බඩ බැඳි ලනු සිඳුවා ලූහයි ධම්මපදට්ඨ කථාවේ දැක්වේ.

  67. * විඩූඩභ යුද්ධයේ පුවත සර්වාස්තිවාදින්ගේ පොත්හි එනුයේ මෙයට වෙනස්ව ය. උපග්‍රන්ථය බලන්න

  68. වජ්ජිනට දෙසු අපරිහාණීය ධර්ම සත:- 1 නිතරම පාහේ රැස්වීම් පැවත්වීම; 2. සමග ව රැස්ව හිදීම; සමගව නැගිටීම, සමග ව කටයුතුවල යෙදීම; 3 නො පැණවුවක් නො පැණැවීම, පැණවූ නීති කඩ නො කිරීම, පෞරාණික වජ්ජි ධර්ම පිළිගෙන ඒ අනුව පැවැත්ම, 4 වැඩිමහල්ලනට ගරු බුහුමන් කිරීම, ඔවුන්ගේ වචනයට ඇහුම් කන් දීම, 5 ඒ ඒ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලාත්කාරයෙන් තම තමන් වෙත වාසයට නො පැමිණැවීම, 6 වජ්ජින් පරම්පරා ගත ව ධාර්මික පූජායෙන් පිදූ දේවාලයනට ඒ පූජා නො කඩව කිරීම; 7 දක්ෂිණාර්භ වූ මහණ බමුණන් නිසි සේ රැක බලා ගැනීම.

  69. * මෛත්‍රී කාය කර්මය නම්: මෛත්‍රී සිතින් කටයුතු කාය කර්ම යි. වාක් කර්ම මනඃ කර්ම ද මේ අනුසාරයෙන් දත යුතු. ආභිසමාචාරිකවත් පිරීම භික්ෂූන් ගේ මෛත්‍රී කාය කර්මයි. චෛත්‍ය වැඳීමට බෝධි වන්දනාවට සංඝයා වැඩම කැරැවීමට යෑම, පිඬු පිණිස වැඩි භික්ෂූන් දැක පෙර ගමන් කිරිම, පාත්‍රය පිළි ගැනීම, අසුන් පැණවිම් ආදිය ගිහියන් ගේ මෛත්‍රී - කාය කර්ම යි. මෛත්‍රී සිතින් බණ දහම් ඉගැන්වීම, කමටහන් කීම භික්ෂූන්ගේ මෛත්‍රී” වාක් කර්මයි. වැඳුම් පිදුම් සඳහා යමු, බණ අසන්නට යමු, යන ආදී වශයෙන් පින් කිරීමෙහි තමන් අනුන් යෙදැවීම සඳහා කරන ගිහියන්ගේ කථාව ගෘහස්ථයන්ගේ මෛත්‍රී වාක් කර්ම නමි.

  70. “සබ්‍රහ්මචාරීන් වහන්සේ සුවපත් වෙත්වා” යන ආදීන් හිත චිත්තය පැතිරැ වීම භික්‍ෂූන් ගේ මෛත්‍රී මනඃ කර්ම නමි. “අපේ ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා” යන ආදීන් සිතන ගිහියන් ගේ ඒ සිතීම් ගෘහස්ථයන්ගේ මෛත්‍රී මනඃකර්ම නමි.

  71. කුහක කම් ආදියෙකින් නොව පිඬු පිණිස හැසිරීමෙන් යුතු ලෙස ලැබූ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන් පස යන මේවා දහැමෙන් සෙමෙන් ලත් සිවු පස නමි.

  72. * ප්‍රාණඝාත අදත්තාදානාදි දුශ්ශීල කමෙහි යෙදීමෙන් ධාර්මික රැකී රක්ෂාවක් කැර ගන්නට ඉඩ නො ලැබීම, බන්ධනාගාරයෙහි දුක් විඳින්නට සිදුවීම යන ආදී වශයෙන් මහත් වූ සම්පතින් හානියට පැමිණී ම ද, මෙ තෙම දුශ්ශීලයෙකැ යි රටේ මහත් අපකීර්තියක් පැතිර යෑම, සභාවට තේජස් රහිත ව පැමිණීම, සිහිමුළා ව කළුරිය කිරීම, මරණින් මතු දුගතියෙහි ඉපැදීම යන මොහු දුශ්ශීල බවේ දෝෂයෝයි. සිල් රක්නාහු නො පමා බැවින් ධන රැස් කරැ ගෙන දියුණුවීම. මේ සිල්වතෙකැයි කීර්තිය පැතිරීම. සභාවට අභීත ව තේජස් සහිත ව එළැඹීම. සිහිමුලා නොවී කළුරිය කිරීම. මරණින් මතු සුගතියේ ඉපැදීම යන මොහු සිල්වත් බවේ අනුසස් ය.

  73. * මෝ තොම නො බෝ දිනකින් පැවිදි වී මහණ දම් පුරන්නී සිය පුත් විමල කොණ්ඩඤ්ඤ තෙරුන් ගෙන් බණ අසා රහත් වූවාය.

  74. මෙය මැදුම් සඟියේ සූත්‍රයෙකි https://tipitaka.lk/mn-1-2-2/pali

  75. * “දාරුපත්තික” යනු ලී පාත්‍රයක් දරන පිරිවැජියෙකි.

  76. * මෙහි ලෝහිතපක්ඛන්දිකා යනු ලේ අර්ශසයැ යි සිතමු.

  77. මෙ තැන “ආත්ම” යනු ආර්යමාර්ගය හා නිවන යි.

  78. * මෙය දික් සඟියේ ඇතුළති.

  79. * සබ්බෙ’ව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං

    යථා එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො.

  80. අනිච්චා වත සංඛාරා, උප්පාදවයධම්මිනො

    උප්පජ්ජිත්වා නිරුක්ධන්ති, තෙසං වූපසමො සුඛො.

  81. නාහු අස්සාසපස්සාසා, ඨිත චිත්තස්ස තාදිනො

    අනෙජො සන්තිමාරබ්භ යං කාලමකරි මුනි.

    අසල්ලිනෙන චිත්තෙන, වෙදනං අජ්ඣවාසයි

    පජ්ජොතස්සෙව නිබ්බාණං, විමොක්ඛො චෙතසො අහු.

  82. ** තදා’ සි යං හිංසනකං තදාසි ලෝමහංසනං

    සබ්බාකාරවරූපෙතෙ, සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.

  83. Asiatic Researches XX. 380, 309.

  84. අට්ඨිහි කියා ත් පාඨයි