රසවාහිනී - වනරත්න ව්‍යාඛ්‍යා
ජම්බුදීපුප්පත්ති කථා - ධම්මසොණ්ඩක වග්ගො
ලංකාදීපුප්පත්ති කථා - මිගපොතක වග්ග, උත්තරොලිය වග්ග
සම්පාදක
පණ්ඩිත, රන්ජිත් වනරත්න. (බී.ඒ.)
දඹදෙනි යුගය උදාවෙත්ම පාලි සාහිත්‍යයේ නවෝදයක් ඇති විය. විවිධ කරුණු ඔස්සේ විවිධ සාහිත්යික ග්‍රන්ථ නිපැයීමෙන් එය වඩාත් වර්ධනය විය. සිංහල, පාලි, ග්‍රන්ථ නව මුහුණුවරක් දෙමින් බිහිවූයේ දඹදෙනි යුගයෙහිය. සමහරක් නැවත සංස්කරණය කළ අතර, සමහරක් අමුතුවෙන්ම නිපදවූහ. පාලි සාහිත්‍ය ග්‍රන්ථ නිපදවීමේ වැඩි ගෞරවය ලාංකෙය භික්‍ෂූන් වහන්සේ සතුවෙති. මුල දී “පාලි” යන්න බුද්ධ ධර්මය හැඳින්වීමට භාවිත වුව ද පසුව එය පාලියේ ගැටලු තැන් විසඳීමට විස්තෘතව අටුවා, ටීකා ආදියෙන් වැඩි භාෂාවක් වශයෙන් සංවර්ධනය විය. අනතුරුව වංශ කථා, චරිත කථා ආදිය නිසා පාලි භාෂා සාහිත්‍යය වඩාත් දියුණු විය. ථෙරවාදී බෞද්ධ සාහිත්‍යය දියුණු වීමට පාලි භාෂාව උපකාර විය. මහායානිකයන් සංස්කෘත භාෂාව මාධ්‍යය කරගෙන බුද්ධ ධර්‍මය විචාරයට ලක් කළ අතර, ථෙරවාදීහු එයට පහර ගසමින් බුද්ධභාෂිත හුදු පාලි භාෂාවෙන්ම දෙශිත යයි කියමින් පාලි භාෂාවෙන්ම බෞද්ධ සාහිත්‍යය දියුණු කළහ.
ලංකා සාහිත්‍ය ඉතිහාසයේ පොළොන්නරු යුගය වන විට සංස්කෘතය තදින් පැතිරී ගිය බව පිළිගැනේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ සංස්කෘත භාෂාවෙන් ලද ආභාසය නිසා පාලි සාහිත්‍ය සංවර්ධනයට එය උපකාර කරගත් බැව් පශ්චාත් කාලීන පාලි ග්‍රන්ථ සමීක්‍ෂණයෙන් එය පැහැදිලි වේ. දඹදෙනි යුගය වනවිට ද එය බලපා ඇති අයුරු එම යුගයෙහි රචිත ථූපවංස, රසවාහිනී ආදී ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වේ.
මෙහිදී අපේ විචාරයට ලක්වනුයේ “රසවාහිනී” යයි. රසවාහිනිය වංශ කථා ගණයට මෙන්ම මහාර්‍ඝ ධර්‍ම ග්‍රන්ථයක් වශයෙන් ද, චරිත කථා සංග්‍රහයක් වශයෙන් ද ගිණිය හැකි චම්පු කාව්‍යයකි. මෙහි සඳහන් කථා බුද්ධ පරිනිර්‍වාණයෙන් පසුව ඇති වූ සිද්ධීන් වශයෙන් සැලකේ.
රසවාහිනිය ලිවීමට ද සිංහල කථා පොතක් උපකාර වූ බැව් එහිම මෙසේ සඳහන් වේ.
“තත්‍ථ තත්‍ථූප්පන්නානි - වත්‍ථූනි අරහා පුරෙ
අභාසුං දීපභාසාය - ඨපෙසුං තං පුරාතනා
මහා විහාරෙ තඞ්ගුත්ත - වඞ්ක පරිවෙණ වාසිකො
රට්ඨපාලො’ති නාමෙන - සීලාචාර ගුණාකරො
හිතාය පරිවත්තෙසි - පජානං පාලි භාසතො
පුනරුත්තාදි දොසෙහි - තමාසි සබ්බ මාකුලං
අනාකුලං කරිස්සාමි - තං සුණාථ සමාහිතා”
මුලදී සිංහල බසින් තුබූ පොත මහා විහාරයෙහි තඞ්ගුත්ත වඞ්ක පිරිවෙන් වැසි රට්ඨපාල හිමිතුමන් විසින් පාලියට නැගූ බවත්, එයද පුනරුක්තාදි දොෂයන්ගෙන් ගහණ නිසා මේ රසවාහිනිය යථොක්ත දොෂයන්ගෙන් පහකොට කළ බවත් සඳහන් වේ. එයින් මේ කෘතිය තනිකරම වෙදෙහ හිමියන්ගේ නිෂ්පාදනයක් හැටියට දැක්විය නොහේ.
රසවාහිනී කතුවරයා වෙදෙහ හිමිතුමන්ය. ඒ බව ග්‍රන්ථාවසානයෙහි දැක්වෙන කර්තෘනාම සංදර්ශනයෙහි මෙසේ එයි.
“කාලිඞ්ගව්හො මහාථෙරො - යස්සො පජ්ඣායතං ගතො,
මඞ්ගලව්හො මහාථෙරො - ඛණ්ඩසීමාපතී යතී.
යස්ස ආචරියො ආසි - සබ්බසන්‍ථ විසාරදො
අරඤ්ඤායතනානන්‍දො - මහාථෙරො මහා ගණී.
ගරුන්ත මාගතො යස්ස - සත්ථ සාගර පාරගු
යො විප්පගාම වංසෙ’ක - කෙතුභූතො ති සීහලෙ.
යො’කා සීහල භාසාය - සීහලං සද්දලක්ඛණං
යො ච සමන්ත කූටස්ස - වණ්ණනං වණ්ණයී සුභං
තෙන වෙදෙහ ථෙරෙන - කතා’යං රසවාහිනී”
“කාලිඞ්ග නම් මහතෙර නම යමෙකුගේ උපාධ්‍යාය භාවයට පත්වීද, භණ්ඩසීමාපතිවූ සියළු ශාස්ත්‍රයන්හි විශාරද මංගල මහතෙර යමෙකුගේ කර්‍මාචාර්‍ය්‍ය වීද, මහ පිරිස් ඇති, ශාස්ත්‍ර සාගර පාරගතවූ ආනන්‍ද වනරතන ස්ථවිරතුමා යමෙකුගේ ආචාර්‍ය්‍ය වීද: යම් තෙර නමක් ත්‍රී සිංහලයෙහි විප්ප ගාම වංශයට එකම ධ්වජයක් වැනි වීද, යමෙක් සිංහල බසින් එම භාෂාවේ ව්‍යාකරණයක් ලීවේද, යමෙක් ‘සමන්තකූට වණ්ණනා’ නැමැති ග්‍රන්ථය සම්පාදනය කෙළේද, ඒ වෙදෙහ තෙරුන් විසින් මේ ‘රසවාහිනි’ය කරණ ලදි.
රසවාහිනිය ලියූ වෙදෙහ හිමිත්, සඟරාව ලියූ පතිරාජ පිරුවන්පති හිමිත්, එකෙකු සේ සලකත් නම්, මුන් වහන්සේගේ ජීවන සමය දඹදෙණි යුගයෙහි රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයට සම්බන්ධ වේ. මෙකල්හි විසූහ’යි යන මතය බහු සම්භාවිත මතය සේ සැලකේ.
රසවාහිනිය ප්‍රමාණ වශයෙන් බණවර තිස් දෙකකි. පෙර තෙරුන් වහන්සේලා විසින් කියන ලද කථා වස්තු මෙහි ඇතුළත්ය. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව හටගත් කථා වස්තු දක්වන කොටස හා ලංකාවේ හටගත් කථාවස්තු දක්වන කොටසත් වශයෙනි. දඹදිව කථා සමසතළිසකි. එහි ගාථා 657 කි. ලක්දිව කථා හැට තුනකි. එහි ගාථා 1076 කි. එයින් මෙය ලංකාවේ උපන් කථා කොටසට අයත් 5. මිගපොතකවග්ග, 6. උත්තරොලිය වග්ග පිළිබඳ වූ විස්තරය ප්‍රධාන කොට ඇත්තකි.
රසවාහිනිය කථා මාර්ගයෙන් බුද්ධ ධර්මය ප්‍රකාශයට ගත් මාර්ගයකි. එය විවිධ කරුණු ඔස්සේ ගමන් කරයි. ඉතිහාසය චරිත කථා, දහම් ක්‍රම ආදිය උපයෝගී කරගෙන රචනා කර ඇත. රසවාහිනී කථා විලාසය නොබිඳී ගලා යන ගඞ්ගාවක් සේ පාඨකයා තුළ රස දනවමින් කතාව ගෙනයයි. මෙහි සරල පාලි භාෂා රීතිය අනුගමනය කර ඇත. එහෙත් සමහර තන්හිදී කාව්‍යමය රචනා විලාසයක් ද දක්නා ලැබේ. මෙය රචනයෙහිදී සංස්කෘත රචනා ශෛලිය අනුගමනය කිරීම එයට හේතුවී ඇත. අනුප්‍රාස, අලංකාර හිතාමතා යොදා ඇත. මේ නිසා සරල ශෛලිය ගිලිහී ගිය තැන්ද දක්නා ලැබේ. පාලි ග්‍රන්ථ කර්තෘවරුන් බොහො දෙනෙකු අනුගමනය කළ ක්‍රමයක් නම් සිංහල සංඥානාම පාලි කිරීමයි. එනිසා තත් ග්‍රාම නාමාදිය විකෘත වී ඇත. මෙහිද එය දක්නා ලැබේ.
කිස්තු පූර්ව දෙවන - පළමුවන සියවස්හි ලංකාවේ පැවති සමාජය ගැන දැන ගැනීමට මේ කථා උපකාරී වේ. තත් කාලීන සමාජය පිතෘ මූලික සමාජයක් විිය. සිංහල සමාජයේ අගනුවර වූයේ අනුරාධපුරයයි. මාගම දෙවැනි අගනුවර වශයෙන් සැලකේ. තත්කාලීන රාෂ්ට්‍ර පාලකයෝ රුහුණු, කැළණි, අනුරාධපුර වශයෙන් භෙද වූහ. එයින් වැඩි සමාජ තත්ත්වයක් දක්නට ලැබෙන්නේ අනුරාධපුරයෙහි හා රුහුණෙහි ය. රුහුණෙහි ධර්‍මකාමී සමාජයක් දක්නට ලැබෙන අතර අනුරාධපුර සමාජය විදේශීය බලයෙන් පීඩිතව පැවතියකි. එහෙත් සාමකාමී සමාජයක් පැවති බව පෙනේ. රුහුණු බෞද්ධයා දන්දීම ඉතා අගේ කොට සැලකූහ. පුන්‍යක්‍රියාවන්හි නිරත වූ සමාජයක් එහි දැක්ක හැකිය.
අපේ වංශ කථා සාහිත්‍යයේ සඳහන්වන දශමහා යොධයන්ගේ ජීවන ප්‍රවෘත්ති මෙහි දැක්වේ. ඒවා මති මතාන්තර නොව සත්‍ය ප්‍රවෘත්ති බව දැන් එම පෙදෙස්වලින් ලැබෙන, ලැබී ඇති සෙල්ලිපිවලින් හෙළිවේ.
රසවාහිනී i යොධ වග්ගයේ කපුටාගේ කථාවෙන් කපුටු භාෂාව උගත් ගිහි පැවිදි දෙපක්‍ෂයම සිටි බව පෙනේ. තත් කාලීන සංඝ සමාජය ඉතා සිල්වත් බොහෝ භික්‍ෂූන් වහන්සේගෙන් පිරී පැවති බව පෙනේ. මෙහිදී ලංකා ඉතිහාසයේ රාජවංශ පරම්පරාවේ නම් දෙවන පෑතිස් රජුගේ සිට දුටුගැමුණු රජතුමා දක්වා සංක්‍ෂෙපයෙන් දක්වා ඇත. දුටුගැමුණු චරිතය සම්පූර්ණයෙන් දක්වයි. එදා රජයට සංඝයා වහන්සේගේ බලය කොතරම් දුරට බලපෑවේද යන්න මෙහි සඳහන් වේ. භික්‍ෂූන් වහන්සේ යුද පෙරමුණට පවා වැඩියහ. රාජ්‍ය නායකයන් තේරීමේ නිරතවූහ. සංඝ බලය අසීමිත සේ නැගී සිටි බව පෙනේ.
දශ මහා යොධයන්ගේ චරිත හා බල වික්‍රම දක්වන අතර එදා සිංහල රට ද්‍රවිඩ උපද්‍රවයෙන් බේරා ගැනීමට ගත් උත්සාහයත්, එහිදී යුද්ධ ක්‍රම ආරක්‍ෂා සංවිධාන ආරක්‍ෂක බලකොටු ආදිය පිළිබඳ විස්තරත් දැක්වේ.
යුද්ධයට පෙර රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කෘෂිකර්මය දියුණු කිරීමෙන් එය පැහැදිලි වේ. මෙයින් එදාද ලංකාව කෘෂිකාර්මික අතින් දියුණුවක් ලබා තිබූ බව පැහැදිලි වේ.
මෙලොව පරලොව පිළිබඳ හැඟීමත්, පව් පින්වල විපාකයන් මැනවින් දත් සමාජයක් එදා වූ බව පැහැදිලිවන අතර, රා බීම, ස්ත්‍රීන්ගේ කාමාංශක්ත භාවාදිය ගැන ද සඳහන් වේ. මෙසේ සමාජයේ විවිධ අවස්ථා මෙහි දැක්ක හැකිය.
රසවාහිනිය නොනවත්වා කියවිය හැකි රසවත් නිබන්‍ධනයක් වන අතර එදා සමාජ තත්ත්වය දැන ගැනීමට මහඟු උපකාරයෙක් ද වේ.
මෙයට, ශාෂ්ත්‍රොන්නතිකාමී,
රන්ජිත් වනරත්න
1987.5.13
‘වනමල්’
ඉරට්ටකුලම,
මාදම්පෙ. (වයඹ)
කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසන අන්තර්ධානයෙන් පසු බරණැස් රජුගේ අග මෙහෙසිය කුස බෝසතාණෝ පිළිසිඳ ගත්හ. මොහු උපන් කාලයේ සිට සියලු මිනිසුන්ට ධර්මය ගැන හැඟීමක් පහළ විය. එනිසාම දහම් සොඬ නාමය කුමාරයාට තැබිණ. සව්සත කෙළ පැමිණි තරුණ කුමාරයා දසපින් කිරියවත් පුරන්නේ අබිසෙස් ද ලැබීය. මෙසේ බරණැස් රජය විචාරණ දහම් සොඬ රජතුමා ධර්මයෙන් තොරව රාජ්‍යය විචාරීම නුසුදුසුය යන හැඟීම ඇතිකර ගති. “බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම පදයක් නොඅසා, එම ධර්මයෙන් තොරව රාජ්‍යය කරවීම නුසුදුසුය” යන හැඟීම රජතුමාට තහවුරු විය. එනිසා ඇමතියන්ගෙන් ධර්මය ගැන විචාළේය. ඔවුහු ධර්මය නොදත්තෙමුයි ප්‍රකාශ කළහ.
රජතුමා ඇතකු පිට කහවණු දහසක් තබා අණබෙර ලවා සතර පදයකින් සංග්‍රහ කරන්නාට එය දෙමියි සනිටුහන් කොට නගරයෙහි ප්‍රචාරය කරවීය. දෙදහස, තුන්දහස ආදී විසින් වැඩි කොට කෝටි ගණන් ධන පරිත්‍යාගයට පිළිණ දුන්නත් බණ කියන්නෙකු සොයාගත නොහැකි විය. මෙසේ දහම් පිපාසයෙන් පෙළුණු රජතුමා දහම් දත්තකු නොලැබ රජය ඇමැතියන්ට පවරා දහම් සොයමින් මහවනයට වැදුණේය.
මෙයින් ශක්‍ර දේවයන්ගේ ආසනය උණු විය. කරුණු සොයන සක් දෙවිඳුට දහම් සොඬ රජතුමා දහම් සොයමින් තමන්ගේ රට, රාජ්‍යය, නෑයන් අත්හැර මහ වනයට පිවිසුණු බව දැක ඔහුට උපකාර කළයුතුය යන තීරණයට බැසගෙන සක් රජ ස්වරූපය අත්හැර බියජනක රකුස් වෙසක් මවාගෙන මහ බෝසත් ඉදිරිපිට පෙනී සිටියේය.
ඉක්බිති මහ බෝසත්තෙම තමා ඉදිරියෙහි වූ රකුසා දැක කිසි බියක් නොමැතිව මොහු බණ දන්නේ නම් යහපතැයි සිතා රකුසා සමඟ කතා කරමින් ධර්මය සොයා රාජ්‍යය අත්හළ බව ද පවසා ඔබ බණ දත්තේ දැයි විමසීය. රකුසා “මම බණ දනිමි. එම බණට දෙන පූජාව කුමක්දැ”යි විමසීය. බුදුරජුන්ගේ ධර්මය මට දේශනා කරන්නේ නම් ඔබට මගේ සිරුරෙහි මස් හා ලේ දෙන බව පැවැසීය. බඩසා දුකින් පෙළෙන නිසා මස් අනුභව කොට ලේ බී මිස බණ කීමට අපහසු බව රකුසා බෝසතුන්ට කීයේය. මුලින් මගේ මස් කා ලේ බී පසුව කාට බණ කියන්නටදැයි බෝසත්තුමා ඇසීය. එම නිසා යහපත් ක්‍රමයක් දක්වන්නැයි බෝසත් රකුසාගෙන් ඉල්ලීය.
බෝසත්තුමා මෙසේ කී කල්හි රකුසා යුක්තිය මම විසඳමියි අඳුන් පර්වතයක් මවා “මහරජ, මෙහි නැඟ ඔබ මගේ කටට පනින්න. ඒ අතර මම ඔබට බණ කියමි” යි යෝජනා කෙළේය. බෝසතාණෝ මෙසේ කල්පනා කළහ. නොයෙක් ක්‍රමවලින් ජීවිතය විනාශයට යෑම සිරිතකි. මම මේ ජීවිතය ධර්මයට පරිත්‍යාග කළ යුතු යයි තීරණය කොට පර්වත මුදුනට නැග සද්ධර්මයට ජීවිතය පුදමියි සතුටු වූ රකුසාගේ දැල්වූ කටට පැන්නේය.
ඉක්බිති ශක්‍රයා රකුසු බව අත්හැර දෙවු අත් බව ගෙන බෝසත්තුමා පිළිගෙන දෙවු ලොවට ගෙන ගොස් දිවමල්, දිව සුවඳ ආදියෙන් පූජා කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද
අනිච්ඡාවත සංඛාරා උප්පාදවය ධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො
යන ගාථාවෙන් ධර්මය දේශනා කෙළේය. පසුව දෙව් සැපත් පෙන්වා බරණැස් රජ විමනට ගෙන ගොස් රජය පවරා දී අවවාද කොට දෙව්ලොවට ගියේය.
මෙයට තිස්එක්වැනි කපට පෙරාතුව සිඛී සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි එක් සමයක විවේක සැපය විඳිමින් එක් වන සෙනසුනක සඟල සිවුර එලා වැඩහුන් සේක. දෙව් බඹ ආදීහු එහි රැස්ව උන්වහන්සේට පුදමින් වඳිමින් සිටියහ. ඔවුනට බුදුහු චතුරාර්ය සත්‍යය දේශනා කළහ. එක් මුව වැද්දෙක් දඩයමට ගොස් මෙසේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක එකත් පස්ව සිට බණ අසා සිත පහදා එයින් මියගොස් දෙව්ලොව ඉපිද නැවත නැවතත් සදෙව්ලොවම ඉපිද මේ බුද්‍ධොත්පාදයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද නුවණ ඇතිව බුදු සසුනෙහි මහණව ගෙණ, දිනක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අසා සිව්පිළිසිඹියාපත්ව සංඝයා මැද දී තමා විසින් කරන ලද පින්කම පිළිබඳ උදානය මෙසේ පැවැසීය.
සිඛී බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ධර්ම දේශනා කරමින් ජීවත් වූහ. එ සමයෙහි මම මුව වැද්දෙක් වී දඩයමට කැලයට ගියෙමි. දෙව් බඹුන්ට දේශනා කළ චතුරාර්ය සත්‍යය මම ද ඇසීමි. එම පින නිසා දෙව්ලොව ඉපදුනෙමි. නැවත නැවතත් සදෙව්ලොව ඉපිද දෙව් සැපත් වින්දෙමි. ඒ මම දැන් මහ ධනවත් කුලයක ඉපිද වැඩිවියට පත්ව ගිය කල්හි දිනක් දෙව්රම් වෙහෙරට ගියෙමි. එහිදී ශිෂ්‍යයන්ට ධර්මය දේශනා කළ බුදුරජුන් දැක මම ද බණ ඇසීමි. පසුව මහණ වීමි. දැන් නිවන් පසක්කර ගත්තෙක් වෙමි. එබැවින් මම එක වචනයක් කියමි. එනම්, “මනාකොට ධර්මය අසව්” යන වචනයයි.
පෙර දඹදිව නියඟයක් ඇතිවිය. මෙයින් ජලචර ආදි සත්තු විනාශයට ගියහ. මහවනයන්හි ගස් කොළන් මලානික විය. පවසින් පීඩිත වූවෝ මිරිඟුව දිය යයි සිතමින් ඔබිනොබ දුවමින් මහ දුකට පත්වූහ.
මේ අතර එක් ගිරවෙක් වතුර සොයමින් ඇවිද සැටරියන් පමණ එක් නරාවළක ඇති පැන් ගඳ ඉව වැටී කෑදරකමට එහි බැස්සේය. බැස අධිකව වතුර බී එයින් ගොඩවීමට අසමත් විය. ඊට පසුව මෙසේම නයෙක් ද, මිනිසෙක් ද වතුර බීමට එහි වැටුණහ. නයාට ද නොපෙනී යෑමට විවේකයක් නොලැබීය. මිනිසාට ද ගොඩවීමට හැකියාවක් නොවීය. මේ තිදෙනාම මරණ බියෙන් බියපත්ව විසූහ.
එක්තරා මිනිසෙක් බරණැසින් මේ කැලයට පැමිණ පැන් සොයන්නේ මෙතැනට පැමිණ කරදරයට පත් මේ තිදෙනා දැක අනුකම්පා කොට වැල්වලින් කූඩයක් හදා සාල්ලක තබා මේ තිදෙනා බේරා ගත්තේය. ඒ තිදෙනාම තමන්ට ජීවිත දානය කළේ යයි සතුටුව “මෙතැන් පටන් ඔබ අපේ මිත්‍රයාය. අපිත් ඔබේ මිත්‍රයෝ වෙමු. අප වසන තැන්වලට එනු කැමැත්තෝ වෙමු.” ගිරවා “හිමියාණෙනි, බරණැස දකුණු දොරටුවෙහි ලොකු නුග ගසක් ඇත. එහි මම වසමි. ඔබට වඅහ්‍යථාවක් වූ විට මාගේ සමීපයට පැමිණ යහළු සුව යයි අඬ ගහන්න” යයි මිත්‍රකම තහවුරු කොට ගියේය. නයාද කියන්නේ “එම නුග රුක සමීපයෙහි ලොකු හුඹසක් ඇත. එහි මම වසමි. ඔබට උවමනාවක් වූ විට දීඝ යයි අමතන්න.” මිනිසා ද “බරණැස අසුවල් ගෙයි මම වසමි. උවමනාවක් වූ විට එහි එන්න” යයි කියා හෙතෙම ද ගියේය.
පසු කලක උපකාරක මිත්‍රයා ජීවත්වීමට අපහසුව, කියූ සලකුණ සහිත නුග ගස වෙත ගොස් “සම්ම සුව” යයි ඇමතීය. ගිරවා වහා අවුත් සතුටුව පැමිණි කරුණ විචාළේය. ජීවත්වීමේ අපහසුව නිසා පැමිණි බව හේ කීයේය. ගිරවා ස්වල්ප වේලාවක් මෙහිම වාසය කරන්න යයි කියා බරණැස් රජුගේ පොකුණ දෙසට ගියේය. මේ වේලාවේ රජතුමා ආභරණ ගලවා ජල ක්‍රීඩා කරමින් සිටියේය. ගිරවා තු අතරට වී පරීක්‍ෂාවෙන් හිඳ ආරක්‍ෂක පුරුෂයන්ට නොපෙනෙන සේ ආභරණ තැබූ තැනට පැමිණ රජුගේ මුතුහර ගෙන ගියේය. ගෙන ගොස් මිතුරාට දී මෙය රැගෙන ජීවත් වන්න යයි කීය. මිනිසා පැරණි යහළු මිනිසාගේ ගෙදරට ගොස් සියල්ල කීය. මුතුහර ආරක්‍ෂා සහිතව තබන්න යයි කීය.
මේ අතරතුර ආභරණ පැළඳීමට පැමිණි රජතුමා මුතුහර නැති බව කියා වහාම පරීක්‍ෂා කරවීය. එහෙත් නොලැබිණ. පසුව අණබෙර යවා මුතුහර ගෙනත් දෙන කෙනෙකුට තෑග්ගක් දෙන බව ප්‍රසිද්ධ කෙළේය. මේ ප්‍රචාරය ගෙහි විසූ හිමියා අසා මට මොහුගෙන් වැඩක් නැත. මොහු භාර දී තෑග්ග ගනිමියි සනිටුහන් කොට රාජපුරුෂයන් වෙත ගොස් එක් මිනිහෙක් මේ මුතුහර මගේ ගෙයි තබා ඇතැයි දැන්වීය. රාජපුරුෂයෝ වහා අවුත් මුතුහරත්, පුරුෂයාත් රැගෙන රජු සමීපයට ගෙන ගියෝය. රජතුමා මුතුහර සොරකම් කළ අය දිවැස්හුල තැබීමට නියෝග කෙළේය. වධකයන් විසින් ගෙනයනු ලබන මේ උපකාරක මිනිසා නයාගේ හුඹස දැක ඔහු ගැන කල්පනා වී දීඝ යයි හඬගෑය. නයා මේ තත්ත්වය දැක කනගාටු වී එහි ගොස් ඔහු සනසා මිනිස් වෙසක් ගෙන මොහොතක් මොහු නොමරවයි කියා රජමැදුරට ගොස් අගමෙහෙසියට දෂ්ට කෙළේය. ඕ විෂ වේගයෙන් මූර්ඡා වී පසු නැවත මිනිස් වෙස් ගෙන වධයට නියම වූ මිනිසා ඉතා හොඳ සර්ප විෂ බෙහෙතක් දනී යයි කියා මිත්‍රයා වෙත ගොස්, “රජතුමා ඔබ කැඳවූ විට ගොස් දිය පතක් දේවියගේ ඇඟට ඉස විෂ රහිත කරන්න” යයි කීයේය.
රජතුමා අර ප්‍රවෘත්තිය අසා වධයට නියම වූ පුරුෂයා කැඳවා දේවියගේ විෂ බැස්සීමට නියම කෙළේය. ඔහුත් නා රජු කියූ පරිදි දිය පතක් ගෙන දේවියගේ ඇඟට ඉස විෂ නැති කෙළේය. රජතුමා එය දැක ඉතා සතුටුව ඔහුට කුඹුරු, වතු, යාන වාහන දී සත්කාර කෙළේය. ඔහු පසුව කැලෑවෙහි නරා වළෙහි වැටී සිටි තැන සිට සියලු විස්තර රජතුමාට කීයේය.
රජතුමා ඒ ප්‍රවෘත්තිය අසා අතිශයින් පැහැදී ඔහුට විශාල මන්දිරයක් කිරීමට නියෝග කෙළේය. ඔහු තමන්ට තනන එම ගෙන නුග දෙසටත්, හුඹසටත් අතර කරන්නට යයි කීයේය. එසේ කොට රජුට ද උපස්ථාන කරමින් මිතුරන් දෙදෙනා සමඟ ද සතුටුව වාසය කෙළේය.
දඹදිව පාටලී පුත්‍ර නගරයෙහි අසූහත් කෝටියක් ධනය ඇති එක් සිටු ගෙදරක් විය. මේ සිටාණන්ට එකම දුවක් වූවාය. ඇයගේ නම බුද්ධෙනි ය. ඇයට සත් අවුරුදු කලැ දෙමව්පියො පරලෝසැපත් වූහ. මුළු බූදලය බුද්ධෙනියට අයත් විය. ඕ ඉතා රූමත්ය. දෙවඟනක් හා සමය. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්‍ධාවත්ය. එම නගරයෙහි සිටුවරු සෙන්පතිවරු යුවරජවරු මැය කැමැත්තෙන් තෑගි බෝග සහිත මංගල යෝජනා යැවූහ. ඕ මේ යෝජනා අසා මෙසේ සිතුවාය. මගේ දෙමාපියෝ මේ සියලු වස්තුව අත්හැර ගියහ. හිමි කුලයකට යෑම මේ සම්පත් විනාශ කරගන්නකි. මා විසින් මේ ධනය බුදු සසුන්හි නිදන් කළ යුතුය. මෙසේ සිතා විවාහ යෝජනා ප්‍රතික්‍ෂෙප කොට එතැන් පටන් මහ දන් දුන්නීය. මෙසේ ඕ තොමෝ මැනැවින් දන් දුන්නාය.
පසු කලෙක එක් අස් වෙළෙන්දෙක් නැගෙනහිර සිට බස්නාහිරට අසුන් වෙළෙඳාමෙහි පැමිණ මැයගේ නිවසෙහි නවාතැන් ගත්තේය. ඒ වෙළෙන්දා බුද්ධෙනිය දැක දුහිතෘ ස්නේහය උපදවා ඇයට නොයෙක් වස්තු පරිත්‍යාග කෙළේය. ආපසු යන වේලාවෙහි තමන් සතුටු අශ්වයකු ගන්නට යයි ඇයට කීවේය. ඕතොමෝ ශෛන්ධව අශ්ව පෝතකයකු පෙන්වා ඌ ඉල්ලුවාය. වෙළෙන්දා ඒ අසු පැටියා දී ආරක්‍ෂා කරන්න යයි කීවේය. මේ අසුපැටියාට අහස් ගමන් හැකි බව පසුව ඕ දැන ගත්තාය. පින් කිරීමට මට යහළුවෙක් ලැබිණ. මීට පෙර නොගිය සිරිමහ බෝධිය වැඳිය හැකිය. මෙසේ කල්පනාකොට බොහෝ රන්මාලාදිය රැගෙන අශ්වයා පිට නැගී අහසින් ගොස් බෝධි පූජාවට ආර්‍ය්‍යයන් වහන්සේලාටත් සහභාගී වන සේ ආරාධනා කළාය. සිංහල දිවයිනෙහි රහත් භික්‍ෂූහු මේ ආරාධනාව පිළිගෙන සිරිමහ බෝමැඩට ගොස් එම පූජාවන්ට සහභාගී වූහ. මෙතැන් පටන් ඕ තොමෝ නිතර නිතර බෝමැඩට ගොස් මෙසේ පූජා පැවැත්වූවාය. මෙසේ නිතර ගමන් කරන ඇය දුටු වැදි මිනිස්සු පැළලුප් නුවර රජුට මේ ප්‍රවෘත්තිය කීවාහුය. ඔබතුමාට යෝග්‍ය කුමාරිකාවක් බව ද පැවැසුවාය. රජතුමා ඇය අල්ලාගෙන එන සේ ඔවුනට නියෝග කෙළේය. මිනිස්සු සැඟවී උන්නාහුය.
කුමාරි තොමෝ එදා ද අසු පිටින් පැමිණ රහතන් වහන්සේ සමඟ බෝධි පූජාව කළාය. ධම්මරක්ඛිත තෙරණුවෝ ඇයට මේ කරදරය ගැන කියා පරිස්සම් වන සේත්, කරදරයක් වුවහොත් තුන් සරණය සිහි කරන සේත් අවවාද කළෝය. මිනිස්සු කුමරිය දැක අල්ලා ගැනීමට සූදානම් වූහ. ඕ තොමෝ අසුට විළුඹින් සනිටුහන් කළාය. අශ්වයා ඉතා වේගයෙන් අහසට පැන්නේය. අසුගේ වේගය ඉවසන්නට බැරි වූ කුමාරිකා තොමෝ අසු පිටින් ගිලිහෙන්නී පුතා, කළ උපකාරය සිහි කරන්න යයි කීවාය. අසු වහාම ආපසු පහතින් ගොස් කුමරිය තම පිට උඩ තබා ගෙන සිය නිවසට ගෙන ගියේය. මෙසේ බුද්ධෙනිය මුළු බූදලයම බුදු සසුනට වියදම් කොට පින් එකතු කොට මිය දෙව්ලොව උපන්නීය.
කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසා බුද්ධ කෘත්‍යය කොට සෙතව්‍ය නුවරදී පිරිනිවන් පෑ සේක. මිනිස්සු උන්වහන්සේගේ ධාතු නිදන් කොට කෝටි ගණනක් වියදම් කොට චෛත්‍යයක් බැඳවූහ. මේ අතර එක් අහිගුණ්ඨිකයෙක් ගම් නියම්ගම් දනව්වල හැසිර නයි නටවා ජීවත් විය. සෙතව්‍යා නුවර මිනිස්සු බෞද්ධයෝය. රාත්‍රියට නින්දට යන්නේ “නමෝ බුද්ධාය” යන්න සිහි කොටය. අහිගුණ්ඨිකයා බුදු ගුණ නොදනී. මේ නමෝ බුද්ධාය යන්න උපහාසයක් කොට කියන්නේය.
මෙසේ එක් දිනක් ක්‍රීඩා කරවීමට සුදුසු නයකු සොයමින් හේ ඇවිදී. එක් නාගරාජයෙක් කාශ්‍යප බුදුරජුන්ගේ චෛත්‍යයට වැඳ හුඹසකට යන අතර මොහු දැක මන්ත්‍ර ජපකර අල්ලා ගැනීමට සූදානම් විය. නාගයා ඔහුගේ මන්ත්‍ර ජප කිරීම අසා කිපී ඔහු පසු එළවීය. හැකිතාක් වේගයෙන් දිව බණ බේරා ගන්නට සූදානම් වූ නමුත් ගලක පය වැදී ඇදවැටුණි. ඔහුට පුරුදුව තුබූ “නමො බුද්ධාය” යන්න එහිදී කියවිණ. නාගයා එයින් තෘප්තියට පැමිණ දෂ්ට නොකොට, පැහැදී රන් මල් තුනක් තෑගි වශයෙන් දුන්නේය. මෙයින් එක මලක් මට පින් පිණිසත්, එකක් ඔබට පින් පිණිසත් පූජා කරවයි කීය. තුන්වැන්න වැයකොට අඹුදරුවන් පෝෂණය කරන්න යයි කීයේය.
මේ කී අයුරු චෛත්‍යයට රන්මල් දෙකක් පුදා එකක් විකුණා කහවනු දහසක් ලැබ දන් පින් කරමින් කාලය ගත කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.
සැවැත් නුවර සුමන නම් ගෘහපතියෙක් විය. ඔහුගේ භාර්යාව සුජම්පතිකා නම් වූ, මේ දෙදෙනට දුවක් හා පුතෙක් ලැබිණ. ඔවුන් කුඩා කල්හිම දෙමාපියෝ කළුරිය කරන්නෝ වැඩිමහලු පුත්‍රයා කැඳවා ‘දරුව, ඔබ සුදුසු තැනක යෙදවීමට නොහැකි වූයෙමු. අප අයත් සියලු ධනය ගන්න. මේ නැඟණියගේ ද දියුණුව සලස්වන්න’ යැයි වැඩිමහලු පුතාගේ අත බාල දියණියගේ අත තබා ඔවුහු කළුරිය කළෝය. මවුපියන්ගේත් ආදාහන කෘත්‍යය කොට නැගණිය සුදුසු කුලයකට සම්බන්ධ කොට තමා ද විවාහ වී විසුවේය.
කල්යාමෙන් ඔහුගේ නැගණිය ගැබ්ගෙන සැමියාට කියා සොහොයුරාගේ ගෙදරට පැමිණියේය. මේ අතර භික්‍ෂු සංඝයා පිරිවරා වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක පහන් සිත් ඇතිව නමස්කාර කොට එකත් පසක සිටියෝය. උන්වහන්සේ ඒ දෙදෙනාගේ වාසනා සම්පත් දැක සරණ සිල්හි පිහිටවූ සේක. මෙසේ ද දේශනා කළහ. කිසි අවස්ථාවක කරදරයක් වුවොත් බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කියා බුදුන් වැඳ ඔවුහු ගමන් කළෝය. වැඩිමහල් සොහොයුරා මෙසේ පැමිණි මේ දෙදෙනා දැක සුදුසු සේ සැලකීය. සැමියා ටික දිනක් වාසය කොට කටයුත්තක් ඇත කියා නංගී අයියාට බාරදී ගියේය. හෙතෙම සිය බිරිය කැඳවා ඇයට සලකන්නට නියම කෙළේය. කියූ පරිදි උපස්ථාන කරන ඇයට මේ තැනැත්තියගේ ආභරණ ගැන ආසා සිතී කෑම වර්ජනය කොට කාමරයක් තුළට වී විසුවාය. සැමියා මෙයට හේතු විචාළේය. නමුත් ඕ අදහස සැඟවූවාය. පසුව සැමියාගේ බලවත් පෙරැත්තය නිසා අදහස වෙනස් කොට ඔබගේ සොහොයුරියගේ පංචමාංශ අනුභව කිරීමට මට ආසාවක් ඇති විය. ඒ ආසාව ඉටු කිරීමට බැරි නම් මම මරණයට පත්වෙමියි තරයේ ඕ කීවාය. ඔහු මරණයේ වැරැද්ද පෙන්වීය. නමුත් ඕ තමා ගත් අදහසේ තරව සිටියාය.
ඇගේ සැමියා සිය සොහොයුරිය මැරීමට තීරණය කොට වෙනම උපායක් යොදා දෙමාපියන්ට අයත් ණයකරුවන් හමුවීමට යමු යයි යෝජනා කොට සැප පහසු වාහනයක නංගී නංවාගෙන කැලෑවට ගියේය. රිය පාර සමීපයේ නවතා ඇයගේ හිසකේ අල්ලා බිම පෙරළීය. මේ අවස්ථාවේ ඇයට කර්මජාවත සෙළවිණ. ඒ බැව් සොහොයුරාට කියා ඔහු ඉවත් කිරීමට මහන්සි ගත්තාය. නමුත් සඵල නොවීය. මෙසේ පහර දෙද්දීම ඇයට දරුවා ලැබිණ. නැගණිය, බෑණා දෙස බලා නොමරන මෙන් ඉල්ලුවාය. නමුත් ඒ නර රකුසා නැගණිය ඒ අසල වූ නුගරුක යටට ගෙන ගොස් මරන්නට තැත් කළේය. මුලදී ඇය විලාප නැංවූවාය. එහෙත් විලාප හඬින් කිසිවෙක් පැමිණියහොත් එය සොහොයුරාට අයහපතට හේතු යයි සලකා මෛත්‍රී කෙළේය. බුදු සරණ ගැනම සිතීය.
නුගරුක් දෙවියා මේ අපරාධය දැක නංගිගේ ස්වාමියා සේ එතැනට පැමිණ තර්ජන ගර්ජන කොට ඔහු එළවීය. පසුව ඇයවත්, දරුවාත් වාහනක නංවා සැවැත් නුවරට ගෙන ගොස් නගරයෙහි වූ ආගන්තුක ශාලාවෙහි නතර කොට ගියේය. ඇගේ සැමියා ඇය එතැනට පැමිණ, කවුරුන් සමඟ පැමිණියේදැයි විමසී, ඔබත් සමඟ යයි ඕ කීවාය. පසුව සොහොයුරා කළ බලහත්කාරකම ස්වාමියාට කීවාය. දින කීපයකට පසු බුදුරජාණන් වහන්සේට දන් සරසා වැඩම කරවා දන් දී ජීවිතය ලැබුණු අයුරු විස්තර කළෝය. තමන්ගේ දරුවාට සරණ යන නම තැබූහ. ධර්‍ම දේශනාව අසා දෙදෙනාම සෝවාන් වූහ. සරණ කුමාරයා විසි වයසේදි විදසුන් වඩා සරණ හිමි යයි ප්‍රසිද්ධ විය.
දඹදිව කොසඹෑ නුවර කොසඹෑ රජතුමාගේ අග බිසව වෙස්සාමිත්තාය. බුදුරජාණන් වහන්සේ ද කොසඹෑ නුවර මෙසමයෙහි විසූ සේක. වෙස්සාමිත්තාවෝ රජතුමා සමඟ විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ බුද්‍ධ ලීලාව දැක පැහැදී සරණ සිල්හි පිහිටියාය. පසු කාලයක පිටිසර බද රජෙක් රජුට විරුද්ධව පැමිණ රාජ්‍යය හෝ යුද්ධය කියා සන්දේශයක් එවා තිබුණි. මෙයැසූ රජතුමා සේනාව පිරිවරාගෙන මෙහෙසියත් සමඟ යුද බිමට ගොස් ඇයට මෙසේ කීයේය. ‘දේවීනි, යුද්ධය ගැන කීමට අපහසුය. මා යම් විධියකින් පරදින බව පෙනී ගියොත් කඳවුරෙහි රතු කොඩියක් ඔසවමි. ඒ සලකුණෙන් ඔබට කොසඹෑ නුවරට යා ගැනීමට හැකි වන්නේය.” රජතුමාට යුද්ධයෙන් පරාජය පෙනෙනු බැවන් දේවියට දැන ගැනීමට කඳවුරෙහි රතු කොඩියක් ඔසවා යුද කොට පරාජයට පත්විය. දේවිය සලකුණෙන් පරාජය දැන කොසඹෑ නුවරට යන අතර පසල් දනව් රජුගේ ආරක්‍ෂකයන්ට අසුවී ඔවුහු ඇය රජුට ඉදිරිපත් කොළෝය. රජතුමා ඇයට තමන්ගේ අග බිසොව වන්න යයි ආරාධනා කළේය. ඕ එය ප්‍රතික්‍ෂේප කළා. නැවත නැවතත් අග බිසෝ වීම ප්‍රතික්‍ෂේප කළ නිසා රාජාඞ්ගනයෙහි දර සෑයක් කරවා එයට ගිනි දී ගින්නට පනින මෙන් ඇයට නියෝග කළේය. ඕ නොයෙක් යුක්ති කියමින් එයින් ගැලවීමට උත්සාහ කළත් කිසි ප්‍රයෝජනයක් නොවීය. පසුව දැල්වෙන ගින්නට බලහත්කාරයෙන් ඇය දැම්මවීය. මේ මොහොතේ ඇය බුදුරජුන් සරණය ගැන උස් හඬින් කියා සිටියාය. පුදුමයකි! ඒ ගිනි දැල් ඇගේ ලෝම කූපයක් දැවීමට අසමත් විය. මේ පුදුමය දුටු රජතුමා වහා පැන ඔසවාගෙනවිත් ආසනයක තබා ඇඳිලි බැඳගෙන මේ නොදැවීමට හේතු විචාළේය. බිසව් තොමෝ තමා බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උපාසිකාවක් බවත්, ඒ බෙලෙන් නොදැවී ගිය බවත් ප්‍රකාශ කළාය. ඇගේ මේ බණ කථාව අසා අතිශයින් සතුටට පත්ව ඇය මව් තනතුරෙහි තබා ගත්තේය. රජතුමාත්, බොහෝ සේනාවත් මෙහිදී තුනුරුවන් සරණ ගියෝය.
විපස්සී සම්බුදු රජුන්ගේ කාලයෙහි බන්ධුමතී නුවර මන්ධාතු රජතුමා සන්නාලියේකව ඉපදුනේය. බන්ධුමතී නගරවාසීහු බුදුපාමොක් මහ සඟනට මහ දන් පැවැත්වූහ. සන්නාලියට පමණක් මේ දන්වැටට සහභාගී වීමට තමන්ගේ දුප්පත් ජීවිතය නිසා අපොහොසත් විය. කෙසේ හෝ සුළු මුදලක් උපයාගත් මොහු කඩයෙන් මෑ ඇට ගෙනවිත් එය තම්බාගෙන දන් ශාලාවට ගියමුත් එක පාත්‍රයකටවත් මෙය බෙදීමට ක්‍රමයක් නැත. හෙතෙම බලවත් ශ්‍රද්‍ධාවෙන් තමන් ගෙන ආ මෑ ඇට, පාත්‍ර තබා තුබූ තැනට විසි කළේය. බුදුරදුන්ගේ හා දෙවියන්ගේ අධිෂ්ඨානය අනුම එම මෑ ඇට සියල්ලම බුදු රජුන්ගේ පාත්‍රයේ සිට සෑම පාත්‍රයකටම වැටිණ. ඔහුට නිම්හිම් නැති සතුටක් ඇතිවිය. එහිදී මෙබඳු පැතීමක් කළේය. මේ පින්කමේ අනුසසින් සසරෙහිදී පස්කම් සැප විඳින්නන්ගෙන් අග්‍ර වෙමි. අප්පුඩි ගසා අහස දෙස බැලූ විට අහසින් සත්රුවන් වැසි වැසිය යුතුය.
ඔහු සසරෙහි සැරිසරා මහත් දෙව් සැපත් වින්දේය. පිළිවෙලින් රජ පරපුරේ මන්ධාතු යයි උපන් ඔහු සක්විති රජකම් ලැබ රාජ්‍යය කරවයි. පැතූ සේම සත්රුවන් වැසි වැස්සේය. අසූහාර දහසක් අවුරුදු කුමාර සැපද, අසූහාර දහසක් අවුරුදු යුවරජ සැපද, අසූහාර දහසක් අවුරුදු සක්විති රජ සැපත් වින්දේය. පසුව සක්විති රජකමට උකටලිව සක්රුවනට පැන් වඩා චාතුම්මහාරාජිත දෙව්ලොවට ගොස් සතරවරම් රජදරුවන් විසින් රාජ්‍යයෙන් පිදූ එහි දෙව් සැපත් පිරිවරත් සමඟ විඳ, ඒ කම් සැපෙනුත් තෘප්තිමත් නොවී තව්තිසා දෙව්ලොවට පිරිවර සමඟ ගියේය. ශක්‍රයා තමන්ගේ රාජ්‍යය දෙකට බෙදා වස්තුව කොටසක් බාර දුන්නේය. බොහෝ ගණනක් අවුරුදු එහි සක්දෙව් රජ සැප වින්දේය. ශක්‍රයන් 36 දෙනකු ඉපිද, මැරෙනතුරුම මන්ධාතු ශක්‍ර සම්පත්ති විඳ කොටසක් පමණක් මදි යයි සිතා ශක්‍රයා මැරීමට තීරණය කළේය. ශක්‍රයා ද පින් ඇති කෙනෙකි. ඔහු මැරීමට බැරිය. මේ හේතුවෙන් මන්ධාතු සක් සැපතින් ගිලිහී තමන්ගේ රාජ්‍යයේ උද්‍යානයට පිරිසත් සමඟ පිවිසියෝය. උයන් පල්ලා රජුට දන්වා ආසනයක් පනවා දුනි. ඔහු එහිදීම මළේය. ලෝකයාට ඔබ දෙන පණිවිඩය කුමක්දැයි ඇසූ අයට මෙසේ කීයේය. “මන්ධාතු දෙදහසක් කොදෙව් සහිත සතර මහාද්වීපයෙහි සක්විතිවත් චාතුම්මහාරාජික දෙව් ලොවත් තව්තිසාවෙත් ශක්‍ර රාජ්‍යය පාලනය කළේය. 36 දෙනෙක් ශක්‍රයන් මියයන තෙක් එහි ශක්‍ර දේවත්වය ඉසිලීය.” මෙසේ කියා පරලොව ගියේය.
දඹදිව පාටලී පුත්‍ර නගරයෙහි බුද්ධවම්ම නම් වෙළෙන්දෙක් විය. ගැල්සාත්තුවක් සමඟ වෙළෙඳාම් කරමින් ඇවිදී. මේ සමයෙහි බුදුරජාණන් වහන්සේ චාරිකාවෙහි වඩිමින් සිටියහ. මේ වෙළෙන්දාට මුන්වහන්සේ සවස් කාලයක හමුවිය. උන්වහන්සේට වැඳ සවස් කාලයෙහි දානය සඳහා ආරාධනා කළේය. මේ නොකල් බව කියා සිටි විට සුදුසු අටවැදෑරුම් පාන වර්ග ගැන දැන්වූයෙන් මිදි යුෂ ගිලන් පසක් සේ පිළියෙල කොට පිළිගැන්වීය. උන්වහන්සේ භික්‍ෂූන් සමග මේ මිදි පැන් වළඳා අනුමෝදනා කොට චාරිකාවෙහි ගියහ. වෙළෙන්දා ද පිරිස සමඟ වෙළෙඳාමෙහි ගියෝය. ඔහු මහාවත්තනිය නම් දිය නැති කාන්තාරයට පිවිසියේය. මොහුගේ ගැල්වල තිබූ පැන් නිමාවට ගොස් තිබිණ. අර වෙළෙන්දා හැම ගැලක පැන් සොයා නොලැබී වෙහෙසට පත්විය. පසුව එක් ගැලෙක කම්කරුවෙක් පැන් ඉතා ටිකක් ඇතැයි කීයෙන් ඔහුම එය විවෘත කොට පානය කළේය. එම පැන් මිදි රසයෙන් යුක්තය. සියලු දෙනාම මිදි පැන් බීවෝය. බුදුරජුන්ට දුන් දානයේ ආනිසංසය ලැබී යයි අතිශයින් සියල්ලෝම තුටු වූහ. ආපසු නගරයට පැමිණ බුද්ධවම්ම වෙළෙන්දා විහාරයට ගොස් සිදුවුණු ප්‍රාතිහාර්‍ය්‍ය විස්තර කළේය. ඊට පසු දින මහදන් පිළියෙල කොට බුදුපාමොක් මහසඟනට පූජා කළේය. මෙසේ නිතර නිතර දන් දුන් මේ වෙළෙන්දා මියගොස් දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක ඉපදුණේය. ඔහුගේ පින්කම ප්‍රකාශ වෙන පිරුණු මිදි පැන් රන් බඳුන්වල තිබිණි. දෙවියෝ මේ පැන් බී නටති, ගයති, වයති.
විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි බන්ධුමතී නගරයෙහි රමණීය වූ විහාරයෙහි උන්වහන්සේ වාසය කළ සේක. එක් ගම් දැරියක් විහාරයෙහි ඇවිද ගිලන් වූ භික්‍ෂූන් වහන්සේ නමක් දැක අනුකම්පා කොට අසනීපය ගැන බෙහෙත් කැඳක් පිළියෙල කරන බවත්, හෙට තමන්ගේ ගෙදරට වඩින ලෙසත් ආරාධනා කළාය. ඕ ගෙදර ගොස් දෙමාපියන්ට ද කියා නොයෙක් ඖෂධ වර්ග බහා බෙහෙත් කැඳක් ද, ආහාර ද පිළියෙල කළාය. එකී භික්‍ෂූන් වහන්සේ ගෙදරට පැමිණි විට බෙහෙත් කැඳ හා ආහාර පිළිගැන්නුවාය. බෙහෙත් කැඳ වැළඳීමත් සමඟ භික්‍ෂුවගේ රෝගය සන්සිඳිණ. ඊට පසු දින ද එසේම පිළියෙල කළත් භික්‍ෂූන් වහන්සේ නොවැඩි සේක. ගම්දැරිය විහාරයට ගොස් බෙහෙත් දින කීපයක් වැළඳිය යුතු බව කී විට එම බෙහෙත් කැඳින් රෝගය සන්සිඳුණු බව ප්‍රීතියෙන් කීහ. ඕ අතිශයින් සන්තෝෂයට පත්වූවා පසු කල කළුරිය කොට දෙව්ලොව උපන්නීය. බුද්‍ධාන්තර 6 ක් යනතුරුම ඕ දෙව් සැපත් වින්දාය. අපේ සම්බුදුන්ගේ කාලයෙහි ධනවත් බමුණු කුලයක ඉපදුණාය. ඈ උපන්දා සිට එම ගෙදරට නැළි අටක සහල් ලැබේ. ඇගේ රූප සම්පත් දුටු දෙමාපියෝ ‘රූප දේවී’ යයි නම් තැබූහ.
ඕ සාල් නැළියක් ගෙන පිසන්නට පටන් ගත් විට තමන් කැමැති මස් මාළු එළවළුත්, ගිතෙල් වෙඬෙරු කිරි ආදියත්, දුරු මිරිසුත්, කෙසෙල්, වරක ආදී පළතුරුත් භාජනය පුරවා ඇත. ඈ අතින් ගත් කිසි ආකාරයක් නරක් නොවේ. මුළු නුවර වැස්සන්ටම මේ ආහාර දෙන්නීය. එහෙත් නිමාවකට නොයයි. පන්සියයක් භික්‍ෂූන් වහන්සේ ඇගේ ගෙදර නිතිපතා වළඳති. පිළිසිඹියාපත් මහා සංඝරක්ඛිත හිමියෝ ඇගේ පෙර කර්මය දන්නේ දැයි දිනක් විමසූහ. ඕ එය නොදන්නා බවත්, කරුණාකොට ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටියාය. උන්වහන්සේ ඇයට පෙර රෝගාතුර භික්‍ෂුවකට කළ පින්කම ප්‍රකාශ කළ සේක. දැනුත් පින්කම් කිරීමට පමා නොවන්නට බණ කී සේක. පසුව නිතර නිතර පින්කම් කොට සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් වූවාය.
දහම් සොඬවග නිමි.
1. සිංහලද්වීපයෙහි උද්දලොලක නම් එක් සිත්කළු විහාරයක් විය. ඒ විහාරය සමීපයෙහි බොහෝ මුවෝ හා ඌරෝ වසති. එකල්හි එක් වැදි ගමක වැදි පුතෙක් මේ වනයෙහි, බොහෝ මුවන් හා ඌරන් දැක එක් දිනක් වනයෙහි එක් පැත්තක කොටුවක් සාදා වනයෙහි කෙළවර කොළ අතු බැඳ දුනු කලප් රැගෙන මුවන්ගේ පැමිණීම බලමින් කොටුවෙහි සිටියේය.
ඉක්බිති මුවෙක් එහි ගොදුරු ගෙන පැන් බොන්නට තොටට යන්නේ එම විහාරයෙහි බණ අසනු සඳහා ඝෝෂා කළ ශබ්දය අසා දික්කළ ගෙලින්, උස් කළ කනින් හා බිම නොතබන ලද දකුණු පාදයෙන් යුතුව දම් දෙසන භික්‍ෂුවගේ කට හඬෙහි නිමිති ගෙන සිටියේය.
2. එකෙණෙහි වැද්දා එක පහරින්ම විද මරණයට පත් කෙළේය. ඉක්බිති ඒ මුවා කළුරිය කොට එම වෙහෙර වැසි අභය හිමියන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳගෙන දසමස් ඇවෑමෙන් මවු කුසින් බිහිවී පිළිවෙළින් වැඩෙන්නේ සත් වයස් ඇත්තෙක් විය. මවුපියවරු ඒ දරුවා අභය හිමියන් ළඟට ගෙන ගියාහුය. හේ නොබෝ කලකින් පැවිදි කරවීය. ඒ කුමරා පෙර මුව දිවියෙහි දී කරන ලද දහම් දෙසුම්හි බලයෙන් කර අගදීම රහත් බවට පැමිණියේය. ඔහුගේ මයිලණුවන් වන හිමියෝ අවබෝධ කළ පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති ඇත්තෝ නමුදු රහත් බව් නොලැබුවෝය. ඉක්බිති එක් දිනක් සාමණේරයන් වහන්සේ උදෑසනම උපාධ්‍යාය ස්ථවිරයන් වහන්සේ කරා ගියහ. ඉක්බිති උපාධ්‍යායයන් වහන්සේ අත ඔසවා සඳ මඬල පිරිමදිමින් සිටියේය. සාමණේරතෙම ස්වාමීනි, මෙය රැකීම සුදුසුය කීයේය. ස්ථවිරයන් වහන්සේ සාමණේර තැන අගපල රහත් බවට පත් බව නොම දැන ඔහුගේ වචනය මෙනෙහි නොකළහ. ඉක්බිති සාමණේර තෙම සෘද්ධියෙන් දහසක් චන්‍ද්‍රයන් ගෙන හැර පා තෙරුන් වහන්සේට දක්වා ස්වාමීනි, චන්‍ද්‍රයන් දහසක් ලක්‍ෂයක් ගෙන හැර පෑම අමාරු නොවේ. යමෙක් එකම තෘෂ්ණාව අත හරීද එයම ශ්‍රේෂ්ඨය වැදගත් යයි සලකමන් මෙසේ කීයේය.
3. යම් නැණහීන මිනිසෙක් ඉවුරෙහි සිට මහමුහුද දැක මහ මුහුද දැක්කෙමි යි කියයිද?
4. මෙවැනිම මහණ තමා ළඟ ඇති කෙලෙස් පහකොට නොහැර එකාන්තයෙන් අභිඥා බලය ලබා ගෙන,
5. කෙලෙස් නොනසා කෙලෙස් නැසුයෙමියි හඟීද (හේ) තෘෂ්ණා නමැති දාසකමින් යුක්ත වූයේ නො මිදීම පවතී.
6. ඉතා නිශ්‍රක වූ, ක්‍ෂෙම නොවූ බියජනක වූ අත්හැර නොයන්නා වූ තෘෂ්ණාව යමෙක් ඉවත් කෙරේද හේ මරුගේ බැඳුම්වලින් නිදහස් වූවා වේ.
7. මෙය අසා ස්ථවිරයන් වහන්සේ එදිනම රහත් වූ සේක. ඉක්බිති දෙවැනි දින තෙරුන්ගේ නැගණියෝ සාමණේරයන් වහන්සේත් සමග තෙරුන්ට ආරාධනාවක් කළහ. ස්ථවිරයන් වහන්සේ සොහොයුරියට මෙසේ වදාළහ.
උපාසිකාව තී විසින් අද බොහෝ මහණුන්දෑ දැක සිත පැහැදිය යුතුය. එහෙත් (ආහාර) කොටස දෙදෙනාට පමණක් විය යුතු යයි ඇය යවා පෙරවරු සමයෙහි හැඳ පොරවාගෙන පා සිවුරු ගෙන මහණුන්දෑ තිස් දහසක් සමග වැඩම කළහ. ඇය එය දැක මාමාට හා බෑණාට පමණක් ආසන පැනවූවාය. ඒ ආසන උන්වහන්සේලාගේ ආනුභාවයෙන් තිස් දහසක් පමණ විය. උන්වහන්සේලාගේම ආනුභාවයෙන් ඇගේ ගෙය ද විශාල විය. භික්‍ෂූහු පැමිණි පැමිණි අසුන්වල වැඩ හුන්හ. ඒ දෙදෙනා වහන්සේට පිළියෙල කරන ලද සුපව්‍යාඤ්ජනාදිය ඒ තිස් දහසක් පමණ භික්‍ෂූන්ට සෑහිණ. වළඳා අවසානයෙහි ඒ උවසිය අනුමෙවෙනි බණ සඳහා සාමණේරයන්ගේ පාත්‍රය ගත්තාය. ඒ හෙරණුන්දෑ ද උන්වහන්සේලාගේ මැද අභිවෘද්ධිය වඩවමින් මිහිරි වදන් පිට කරමින් ධර්‍මය දෙසූහ. දෙසුන් අවසන මවුපියන් මුල් කොට කුල පන්සියයක් සෝවාන් පෙලෙහි පිහිට වූහ. බොහෝ දෙනාට ධර්‍ම දේශනාව සාර්‍ථක වූවාය.
8. දහම් දෙසන විට වන සත්තු ද ඒ ශබ්දයේ නිමිත්ත පමණක් ලැබගෙන මිනිස් සැප හා නිවන් සැප ලබති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොදවන ලද ශ්‍රද්‍ධාව ඇති අය බණ අසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වර්‍ණනාවට සුදුසු දෙව් විමන්වල නො ඇලේද (ඇලේමැයි)
1. මිගපොතක කථාව නිමි.
1. ලක්දිව රුහුණු දනව්වෙහි සිය ගණන් මහණ මෙහෙණින්ගෙන් ගැවසුණු, සිය ගණන් වෙහෙර විහාරයන්ගෙන් ද නොයෙන් රන් රුවන් ඈ වස්තූන්ගෙන් ද සමන්විත ප්‍රභූ ජනයාගෙන් ද ගැවසුණු, නන් නළු ගී හඬින් නිතොර දනමන පුබුදු කරවන නිරතුරු දන්දීම් නමැති ක්‍රීඩාවෙහි යෙදුණු මිනිසුන්ගෙන් හෙබි, තුනුරුවන්ට පූජා කිරීමෙහි නියැලුණු, සැදැහැති කුලයන්ගෙන් ගැවසුණු, ඒ ඒ තැන හැසිරෙන දහම් සොඬ මිනිසුන් විසින් එකනින් පැවැත්වෙන සාධු නාදයෙන් යුත් මහගම නම් එක් සිත්කළු ගමක් විය.
ඒ ගමෙහි රජමහ වෙහෙර මැද සුදෝ සුදු පවුරින් වට කරන ලද මුතු ඇතුරුවා වැනි සිය ගණන් සුදු වැලි තලාවෙන් සැරසුණු මලුව මැද මිහි අඟන මත කරන ලද රිදී ඔටුන්නක් වැනි සොබා දහමින් අගතැන් පත් මැණික් වෙහෙර නම් වෙහෙරක් විය. ඒ විහාරයෙහි මහ දොරටුව සමීපයෙහි පිළියෙල කරන ලද දහම් මඩුයෙහි නිතොර දහම් දෙසුම් පැවැත්වේ.
2. බණ ඇසීමට එක් උවැසියක් තමන්ගේ පුතා ඇඟිල්ලෙහි එල්ලාගෙන පැමිණ පිරිස් කෙළවරෙහි හිඳ විපිළිසර නොවී බණ ඇසුවාය. ඇයගේ පුතා (මේ අතර) සෙල්ලම් කරමින් පවුර සමීපයට ගොස් වැලි කෙළි කෙළියි. එක් නයෙක් පවුරේ සිදුරෙන් පිටට පැමිණ ඒ ළමයාට දෂ්ට කොට සැඟවුනේය.
ඈ පුතා දෂ්ට කළ නයා දැක ඉදින් කිසිවෙකුට කියම් නම් මගේ ධර්‍මය ඇසීම අනතුරට පත් වේ. පුත්‍රයෝ දුර්ලභ නොවෙත්. බුද්ධොපාදය දුර්ලභය. අමාරුවෙන් ලැබූ මිනිස් දිවියක් ඇති මා විසින් දුලබ දහම් ඇසීම ඉතා වටිනේ යයි කිසිවෙකුට නොකියා ධර්මය ඇසීය. ඇගේ පුතා ද විෂ වේගයෙන් මූර්ඡා වූයේය. ඊට පසු ධර්‍මදේශනාව කෙළවරට ගිය කල්හි උවැසිය නැගිට දරුවා සමීපයට ගොස් විෂ වේගයෙන් තදවූ සිරුරක් ඇති පුතා දැක මන්ත්‍ර හා ඖෂධයන්ගේ ප්‍රයෝජනයක් නොමැත. සත්‍යක්‍රියා නැමැති ඖෂධයම උසස් යයි පුතාගේ හිස ගෙන සත්‍යක්‍රියා කරන්නී මෙසේ කීවාය.
3. යම් සත්‍ය වචනයක් හේතුකොට මම බුදුරජාණන් වහන්සේ ගේ සරණයෙහි පිහිටියෙම් නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මාගේ මේ පුතා විස නැතිව සුවපත් වේවා.
4. යම් සත්‍ය වචනයක් හේතුකොට මම ධර්‍මයෙහි පිහිටියෙම් නම් ඒ සත්‍ය වචනය හේතුකොටගෙන මාගේ මේ පුතා විස නැතිව සුවපත් වේවා.
5. යම් සත්‍ය වචනයක් හේතුකොට මම සඟ සරණයෙහි පිහිටයෙම් නම් ඒ සත්‍ය වචනය හේතුකොට ගෙන මාගේ මේ පුතා විස නැතිව සුවපත් වේවා.
6. යම් සත්‍ය වචනයක් හේතුකොට මම මොහොතක් නොවිපිළිසරව ධර්‍මය ඇසීම් නම් ඒ සත්‍ය වචනය හේතුකොට ගෙන මගේ පුතා විස නැතිව සුවපත් වේවා.
7. අකුරක් හෝ පදයක් හෝ කථාමාර්ගය අත් නොහැර උතුම් ධර්මය ඇසුවෙමි. ඒ සත්‍ය වචනය කරණ කොට ගෙන විස නසීවා.
8. බුදුරජාණන් වහන්සේ සව්නේ ගෙවා දැන නෛර්‍ය්‍යානික සේක් වී නම් ධර්මය මේ ජීවිතයේම අකාලික ඵල දෙන්නේවී නම් ඒ සත්‍ය වචනය හේතුකොට ගෙන මාගේ පුතාගේ විස නැතිවී සුවපත් වේවා.
9. සුපිළිපන් මහා සංඝයා වහන්සේ සුප්‍රතිපන්න සේක් වී න්ම සතරමග සතර ඵලයෙහි පිහිටි සේක් වී නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මාගේ පුතාගේ විස නැතිව සුවපත් වේවා.
10. මේ බුදු සසුන අවුරුදු පන්දහසක් පවතී නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මගේ පුතාගේ විස නැතිව සුවපත් වේවයි (සත්‍යක්‍රියා කළාය.)
11. මේ සත්‍යක්‍රියාවගේ කෙළවර ඇගේ පුතා සුවපත්ව නිදුක්ව නිදා පිබිදියෙකු මෙන් නැගිට මවු සමීපයෙහි සිටියේය. ඈ මෙසේ සත්‍යක්‍රියාවෙන් පුතා නිදුක් කොට ගෙන ගෙදරට ගෙන ගොස් ඒ සොම්නසින්ම බොහෝ පින්කම් කොට එයින් චුතව ස්වර්‍ගයෙහි උපන්නාය.
12. මෙසේ පිනාගිය සිතින් යුතුව බණ අසන ස්ත්‍රීහු ද එවැනි තද විෂ පවා නැති කොට දෙව්ලොව ඉපද එහි සැපවිඳිති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ජනතාව යහපත් ධර්‍මයෙහි හැසිර දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ නිවන් ද ලබති.
2. බණ ඇසූ උපාසිකාවගේ කථාව නිමි.
1. සිංහල ද්වීපයෙහි මහගම නොයෙක් සිය ගණන් භික්‍ෂූන් වහන්සේ වාසය කරන මහවැව නම් විහාරයක් විය. එකල ඒ විහාරයෙහි වසරක් පාසා අරියවංස ධර්‍ම දේශනාව පවත්වන්නේය. දුර සිටත් බොහෝ දෙනා පැමිණෙති. මහත් වූ ජනසමාගමය වේ. මේ දනව්වෙහි වාසය කරන එක් මහ තෙර නමක් මම ද අරියවංශ ධර්‍මදේශනාව අසමි. එහි ගොස් ඉඩක් නොලැබ මහ පිරිස් කෙළවර මලුවෙන් පිටත තණ පඳුරෙන් යුත් තැනෙක්හි අවසරයක් ලැබීය. හේ එතැන සිට මුළු රැයම බණ අසමින් අධික සන්තෝෂයට පැමිණියේ ලොමු ඩැහැගත් සිරුර ඇත්තේ විය. ඒ තණ පඳුරෙහි පොළඟෙක් වසයි. ඉක්බිති ඒ පොළඟා තමා වසන තැනින් නික්මී තෙරුන්ගේ කකුල් අතර වැද සතර දළ ඔබා තට්ටමට දෂ්ට කෙළේය. මෙ කරුණ දුටු තෙරුන් වහන්සේ ඉදින් මම මෙතැනින් පහව ගියෙම් නම් බණ ඇසීමට කරදර වේ යයි අත පාත බහා පොළඟාගේ හිස දැඩිකොට අල්වාගෙන වහන් පසුම්බියෙහි බහා කට බැඳ එක් පසක තබා ධර්මය ඇසීය. බණ ඇසීමේ ආනුභාවයෙන් ඔහුගේ ශරීරයෙහි විෂ නො පැතිරිණ. ඉක්බිති අරුණ උදාවූ විට මිනිසුන් (විහාරයෙන්) ගිය කල ස්ථවිරයන් වහන්සේ මා විසින් සර්පයෙක් ගත්තේ යයි සර්පයා දැක්වීය. කවර වේලාවක සර්පයා ගත්තේ දැයි භික්‍ෂූන් විසින් විචාරණ ලද්දේ නිධාන කථාව ආරම්භ කළ කාලයේම යයි කීයේය. පුදුමයි ස්වාමීනි පුදුමයි. තමනුන්නාන්සේ විසින් සිදු කොට ඇත්තේ මහා පුදුම දෙයකි. මෙබඳු ඝෝරවූ සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ නමුදු විෂ වේගයෙන් විපිළිසර නොවී බණ අසන ඔබ විසින් කරන ලද්දේ යයි කීවාහුය. ඉක්බිති තෙරුන් වහන්සේ, එම්බා ඇවැත්නි, මාගේ ශරීරයෙහි විෂ ඉතිරි විය. එය සත්‍යක්‍රියාවෙන් අත හරින්නෙමියි සත්‍යක්‍රියා කරන සේක් මෙසේ කීහ.
බුදුරජාණන් වහන්සේ විසින් ලෝ වැස්සනට හිත පිණිස මොනවට වදාරණ ලද නව ලොව්තුරා සදහම් අද මා විසින් ඉඳුරා අසන ලද්දේ වී නම් ඒ සත්‍ය වචනය හේතුකොට ගෙන පොකුරු පත නො ඇලි පහව යන පැන් ටිකක් මෙන් මාගේ ශරීරගත විෂය විනාශයට පැමිණේවා.
3. ඒ අසන්නා වූ ධර්‍මයෙහි එක අකුරක් පදයක් නොනසමින් පදගත අර්ථය ද ධර්මයද මෙනෙහි කරමින් ඉඳුරා බණ ඇසීමි. මෙ සත්‍ය වචනය හේතුකොට ගෙන පොකුරු පත නො ඇලී පහව යන දිය සේ ශරීරයෙහි ද විෂ විනාශයට යේවා.
4. බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද එම බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ධම්මානුභාවයෙන් ද සංඝයා වහන්සේගේද තේජස කරණකොට වහාම මේ විෂ වේගය විනාශයට පැමිණේවා.
5. මේ සත්‍යක්‍රියාවගේ කෙළවර පියුම් පත්හි දිය බින්දු සේ විෂ පෙරලී පොළොවට පිවිසියේය. ඉක්බිති හෙතෙම විෂයෙන් තොරවූයේ භික්‍ෂූන්ට ධර්‍මානුභාව විශේෂය දක්වමින් ස්තුති කරමින් මෙසේ වදාළහ.
6. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලදි. සංසාර නමැති සාගරයෙන් එතරවීමට මහ නැවක් වැන්න. බ්‍රහ්ම සුරාසුරයන් විසින් වැන්ද යුතුය. තුන් ලොවෙහිම ඇති එකම රසය ධර්‍ම රසයයි.
7. ධර්‍මය ජරාමරණ නමැති රෝග පහ කිරීමට දිව ඔසුවක් වැන්න. සියළු උපද්‍රව නැමැති විෂ නැසීමට දිව්‍ය මන්ත්‍රයක් වැන්න. කැමැති කැමැති දෑ දෙන බැවින් කප්රුකක් වැන්න. එසේම සිතුමිණි රුවනක් වැන්න. බදුරු කළයක් වැන්න.
8. දහමින් තොර මවුපිය කෙනෙක් නොමැත. ධර්‍මයම රක්‍ෂස්ථානය වේ. පිහිට වේ: එසේ හෙයින් පින්වත්නි, සෙසු කාර්ය තබා ධර්‍මය අසව්: සිතිනුත් ධර්‍මයෙහි ම හැසිරෙව්: දරව්.
9. මෙසේ හේ ධර්‍මස්තුතියෙන් මහණුන්ට අවවාද කොට සිය තැනටම ගොස් බොහෝ කලක් එහි වාසය කොට ආයු කෙළවර ස්වර්ගයෙහි උපන් සේක.
10. මෙසේ ඒ තෙරුන් වහන්සේ සතුටු සිතින් බණ අසා ඒ දහම් ආනුභාවයෙන් විෂඝෝර සර්පයා දෂ්ට කළ එවැනි විෂ වේදනා ඉවසා නිදුක් වූ සේක. එබැවින් පින්වතුනි, තොපි හැමදෙනාම ද සෙසු දෑ නැතත් බණ පමණක් අසව්. ඒ බණ තොපට අනාගතයෙහි දිව්‍ය මනුෂ්‍ය සම්පත් හා නිර්‍වාණ සම්පත්තිය සාදා දෙන්නේය.
3. කුඩ්ඩරජ්ජවාසී තෙරුන්ගේ කථාවස්තුව නිමි.
1. සිංහලද්වීපයෙහි මහවැව නම් විහාරයෙක් විය. එහි අභය නම් පරියත්ති හා ත්‍රිපිටකධාරී එක් මහ තෙර නමක් ග්‍රාමසේනාසනය අතහැර එයට සමීප එක් වන ලැහැබක කරන ලද පන්සලක වසයි. හේ මෑත භාගයක ආරණ්‍යක මහා අභය ස්ථවිර යයි ප්‍රසිද්ධ විය. ඉක්බිති එක් කලෙක උපාසක කෙනෙක් උන්වහන්සේ කරා එළඹ වැඳ බණ අසා සතුටු සිත් ඇත්තේ උන්වහන්සේට අභියාචනය කොට අවුරුදු දොළසක් සිවු පසයෙන් උවටැන් කෙළේය. හේ තෙරුන්ට සිවුරු සඳහා කලින් කල සළු දෙයි. දුන් දුන් සළු ඒ ගෙය තුලදීම හරන්තික නම් එක් හොරෙක් රාත්‍රියෙහි ගොස් පැහැර ගනී. තෙරුන් වහන්සේ දිරූ සිවුරු ඇත්තේම වී.
ඉක්බිති එක් දිනක් උපාසක තෙම විහාරයට ගොස් තෙරුන්ගේ දිරුණු සිවුරු දැක සිවුරු සඳහා සළු පිළි ගන්වා මෙසේ සිතීය. මා විසින් මුන් වහන්සේට බොහෝ සිවුරු දෙන ලදි. නමුත් සිවුරු මසා නොපොරවයි. එකතු කිරීමක් හෝ වෙන කෙනෙකුට දීමක් හෝ නොපෙනේ. මොකක් හෝ කරුණක් විය යුතු යයි ආසන්න ස්ථානයක පාරෙන් ඉවත්ව යන එන්නන් පරීක්‍ෂා කරමින් සැඟවී සිටියේය. ඉක්බිති සොරා තෙරුන් වහන්සේට සිවුරු පිළී පිළිගැන්වූ බව දැනගෙන එය ගනිමියි රෑ යාමෙහි විහාරයට ගොස් සළු ගෙන නැවත ඒ මඟින්ම එයි. ඉක්බිති උපාසකයා බඩු සහිත සොරා දැක වේගයෙන් දිව ගොස් ඔහුගේ ඔළුවෙන් අල්ලාගෙන මෙතෙක් කල් ආර්‍ය්‍යයන් වහන්සේට දුන් සළු ගත්තේ බොල, තෝ නොවෙහි දැයි ඇසීය. ඔහු විසින් එසේ යයි පිළිගත් කල්හි උපාසක තෙම ඔහුගේ අතින් සිවුරු පිළි ගෙන අත් පා වලින් ඔහුට තලා දුර්වල කොට අමු සොහොනට ගෙන ගොස් මළ මිනියක් යටිකුරු කොට ඔහුගේ පිටෙහි උඩුකුරු කොට හොවා අත් පා පිට ආදියෙන් බැමි කොට වෙන වෙනම දැඩි කොට බැඳ හොවා පින්වත් ගම් වැසියෙනි, මගේ වචනය අසව්! අද රාත්‍රි එක අමනුෂ්‍යයෙක් එයි. හේ නුඹලාට මහා විනාශයක් කරන්නේය. (එම නිසා) නිර්භය ස්ථානයකට පිවිස දොරවල් වසා හිඳිව්. මම අසවලා වෙමි. අසවලාගේ නෑයාය. මිත්‍රයාය ආදිය කියා කථා කරන්නේ නමුදු ඔහු හා සමග කථා නොකොට යුතු යයි උද්ඝෝෂණය කෙළේය.
2. ගම් වැස්සෝ එය අසා බියව ත්‍රස්තව දොරවල් වසාගෙන ඒ ඒ තැන සැඟවුණහ. රාත්‍රියෙහි සොරාට මළ මිනය මුදා ගැනීමට නොහැකි වූයේ එය සමගම එයට බැඳුණේ තමන්ගේ දොරකඩට ගොස් බිරියට ඇමතීය. මම හරන්තික වෙමියි. ඇය බිය පත්ව ත්‍රස්තව යක්‍ෂයා යන කල්පනාවෙන් සැඟවී ගති. සොරා තමා නන් අයුරින් අදහවන්නේ නමුදු දොර ඇරවා ගන්නට නොහැකි වන්නේ එසේම දෙමාපියන්ට නෑ සහලේ නෑයන් යහළුවන්ගේ ද ගෙවලට ගොස් එසේ දොර අරවා ගැනීමට බැරි විය. ගිය ගිය තැන මිනිස්සු අමනුෂ්‍යයා ආයේ යයි යන කල්පනාවෙන් බියට පැමිණ දොරවල් විවෘත නොකළහ.
සොරා ගම සෑම තැනම ඇවිද වෙන පිළිසරණක් නොලබන්නේ තෙරුන් වහන්සේම පිළිසරණ කර ගනිමියි විහාරයට ගොස් ස්වාමීනි, ඔබ වහන්සේගේ දාසයාට පිහිට වන්න. මේ මළ සිරුර මුදවා මා සුවපත් කරනු මැනැවැයි ඉල්ලීය. තෙරුන් වහන්සේ වෙවුලන සිරුර ඇති ඔහු දැක වහාම මළ මිනිය මුදා දුරට දමා ඔහු උණුදියෙන් නහවා කුලාවෙන් තෙල් ගෙන ඔහුගේ මුළු සිරුරෙහි ගල්වා ඔහු විසින් පහර දුන් තැන් පිරිමදිමින් හුන්නේය. රාත්‍රිය පහන් වූ විට උපාසක තෙම සොරා කොහි ගියේ දැයි විචාරමින් සොයන්නේ තෙරුන් සමීපයට ගොස් ඔහුගේ පිට තෙල් ගල්වනු දැක තෙරුන් සමග කථා කරමින් මෙසේ කීවේය.
3. මොහු මගේ යහළුවා යයි යමෙක් උපකාර කෙළේද, ඒ සොරා එය සිහි නොකෙරේ. සොරා සමග යහළු කමක් නැත.
4. කමින් ද බොමින් ද එකට නිදිමින් ද සිටින්නේ නමුත් සොරා තමන්ගේ ස්වභාවය අත් නොහරී. සොරා සමග යහළුකමක් නැත.
5. සොරා කටින් එකක් කියයි. (එසේමම) හේ කයින් අනිකක් කරයි. අවකාසයක් ලැබුණු හැටියේම සොරකම් කරයි. සොරා සමග මිතුරු කමක් නොමැත.
6. මවුපියෝ ද නෑදෑයෝ ද මිතුරෝ ද හොරා දැක දුරින්ම දුරු කරත්. හැමදා ඔහු හා එක්වීම සැක කෙරෙති.
7. මෙසේ කියා ස්වාමීනි, මෙබඳු අනුන්ගේ වස්තුව පැහැර ගන්නා මිත්‍රද්‍රෝහියාට උපකාර නොකරනු මැනවි. පලවා හරිනු මැනවියි කීයේය. ඉක්බිති ඔහුට අවවාද කරන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
8. යම් බල්ලෙක් යමෙකුගේ පාදය ඩසින්නේ ද ඔහු බල්ලාගේ පාදය දෂ්ට නොකෙරේ. මෙසේම දුෂ්ට ගති ඇති අසත්පුරුෂයා කවරතරම් අපරාධයක් කළත් උන්ට සත්පුරුෂයෙක් නපුරක් නොසිතති.
9. කෙළෙහිගුණ නොදන්නා මිනිසාට යම්කිසි සත්පුරුෂ කෙනෙක් මෛත්‍රි නොකරන්නාහු නම් ඔහු කවරෙකුට මෛත්‍රිය කෙරෙද්ද, එය උතුම් චර්‍ය්‍යාව යැයි පණ්ඩිතයෝ කියත්.
10. මෙසේ ද කියා පින්වත, දූෂණය වූ සිතින් තමා විසින් කරන ලද කර්‍මයාගේ විපාකය ඔහු විසින් ලබන ලදැයි කියා උපාසකයා යැවීය. හරන්තික කිහිප දිනකින් ශරීර ශක්තිය ලබා තෙරුන් වහන්සේ කරා පැමිණ වැඳ ස්වාමීනි, මම මේ දිවියෙන් අනිකෙකු සේ වීමි. නැවත ගිහිගෙයි වාසය කරන්ට නොහැක්කෙමි. අනුකම්පා උපදවා මා පැවිදි කරනු මැනවි ස්වාමීනියි, පැවිද්ද ඉල්ලීය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහු මහණ කරවා උපසම්පදා කරවීය. හේ වත් පිළිවෙත්හි දක්‍ෂ වූයේ භාවනානුයෝගීව වසන්නේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණ හරන්තික ස්ථවිරයයි ප්‍රකට වීය.
11. යමෙක් ප්‍රථම වයසෙහි පවිටෙක් වී පස්කම්හි ගිජුවූයේ ද නුවණින් කල්පනා කිරීමෙන් පසුව ඒ මද ගතිය අත්හරිත් ද ඔහු කාමය පහකොට ත්‍රිභවයෙහිම බුදුරජාණන් වහන්සේ පැසසූ නිර්වාණ පුරයට යති.
4. ආරණ්‍යක අභය තෙරුන්ගේ කථාව නිමි.
1. සිංහල ද්වීපයෙහි සිරිනාග නම් බමුණු පුතෙක් වීය. හේ එක් දිනක් විවේකයෙන් යුක්ත වූයේ මෙසේ සිතීය, ධනය සොයාගෙන එයින් යුද්ධ හමුදාවක් නඩත්තු කොට අනුරාධපුරයෙහි සේසත් ඔසවා රජ වන්නෙම් යනුයි. ඊට පසු හෙතෙම ධනය කොහෙන් ලබන්නෙම් දැයි ධනය ලැබෙන සැටි බලන්නේ දක්‍ෂිණ මහා විහාරයෙහි චෛත්‍යයක් දුටුවේය. මෙය බිඳ ධනය ගෙන පිරිසට සංග්‍රහ කරන්නෙමියි හේ බොහෝ මිනිසුන් සෙන ඒ ඒ තැන පැහැර ගන්නේ දක්‍ෂිණ මහා විහාරයට පැමිණ ස්තූපය බිඳින්න යයි මිනිසුන් යෙදවීය. මිනිස්සු චෛත්‍යයේ සන්ධිය සොයන්නෝ සන්ධිය නොදකිමු ස්වාමීනියි කීහ. ඉක්බිති කවරෙක් එය දනීදැයි සිරිනාග විසින් අසන ලද්දී ස්වාමීනි, හෙල්ලෝලි ගම බහුල නම් සැඬොලෙක් වේ. හේ එය දනීයයි (ඔවුහු) කීවාහුය.
ඉක්බිති හේ ඔහු කැඳවා කොල, මේ සෑයෙහි සන්ධිය නුඹ විසින් දන්නා බව මිනිස්සු බොහෝ සෙයින් කියති. සන්ධිය දැන සෑය බිඳින්න යයි කීයේය. ඉක්බිති හෙතෙම ස්වාමීනි, දෙවියන් මරුන් බඹුන් මහණ බමුණන් සහිත මෙලොව අග්‍රවූ ශ්‍රෙෂ්ඨ වූ භගවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුන්ගේ සරණය දිවි තෙක් මම සරණ කොට ගිය උපාසකයෙක්මි. මම ඒ දේවාති දේවවූ උන්වහන්සේගේ ධාතු නිදන් කොට පිහිටෙව් සෑය බිඳීම ආනන්තර්ය කර්මයක් සමානයි ස්වාමීනි, කීයේය.
2. ඔහුගේ මෙවන් බුදු ගුණ කනෙහි පිවිසි යකඩ උල් මෙන් විය. හේ ඔහුට කිපී මොහු ගෙන ගොස් දිවස් උලෙහි තබවයි නියෝග කෙළේය. ඔවුහු ඔහු දිවල් උල තැබූහ. මොහුට පුත්තු සත්දෙනෙක් ඇත. ඔවුහු මේ සන්‍ධිය දනිතියි කීහ. හේ ඔවුන් ද කැඳවා සන්ධිය බිඳුවව් යයි නියෝග කෙළේය. ඔවුහු ද එසේම බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධානයෙන් කළ චෛත්‍යය බිඳින්නට නොහැකි වෙමුයි අකමැති වූහ. සිරිනාග ඔවුනට ද කිපී එසේම දිවැස් උලෙහි තැබ්බවීය. ඒ එසේමැයි.
3-4. සත්පුරුෂ නමැති සඳුන් අගිල් ආදී සුවඳ ද්‍රව්‍යවල සුවඳ ආඝ්‍රාණය කළ නිලමැස්සෝ එයින් වෙන්වෙති. කුණපයෙහිම ඇලෙති.
බුදුරජාණන් වහන්සේ දැකද කනට රස ඇති කරවන ධර්‍මය අසාද සසර කණු වැනි ඒ අසත්පුරුෂයෝ සිතේ සතුට නූපදවත්.
5. ඉක්බිති මේ අටදෙනාගේ ගුණ ආනුභාවයෙන් දෙවියෝ දේවලෝකයෙන් වාහන ගෙන අවුත් සියල්ලන්ම බලාගෙන ඉඳිද්දීම රියෙහි නංවාගෙන දේව සේනාවන් සමග තුසිත දිව්‍ය ලෝකයට ගෙන ගියහ. එහි රැස් වූ මහජනයා මේ ආශ්චර්ය කාරණය දැක පැහැදුණු සිතැත්තෝ දේවයන් වහන්ස: සෑය නොබිඳුණු මැනවයි සිරිනාගට දැන්වූහ. ඉක්බිති හේ ඔවුන්ගේ වදන් අසා සෑය අතහැර දමා නැගෙනහිර මහ ගඟ සමීපයෙහි මීවිටි නම් ගම කොල්ලකා එහි මීවිටි නම් සෑය බිඳුවා ධනය ගෙන එයින්ම මහත් වූ සේනාවට සංග්‍රහ කොට යුද කර රාජ්‍යය ගෙන අනුරාධපුරයෙහි සේසත නංවා රජසිරියට පැමිණියේය. ඒ මේ අකුශලය නිසා නොබෝ කලකින්ම අතිශය දරුණු පින්කම් නොකළ හැකි බඩේ අමාරුවක් ඇති විය. පිළියම් කරන්නෝද ඒ රෝගය නිමා කිරීමට නොහැකි වූහ. ඉක්බිති හෙතෙම ධනය රැස්කොට සෑයෙහි පිහිටුවා ප්‍රකෘතිමත් කරන්නේ රෝගය සංසිඳුවාගන්නට නොහැකිව ඒ ආබාධයෙන්ම මහ දුකට පැමිණ කුස පලා කළුරිය කොට පා උඩුකොට හිස යටකොට දිළිසෙන අඟුරුවලින් ගැවසුණු මහා නරකයෙහි උපන්නේය. ඒ එසේ මැයි.
6. යමෙක් සධාතුක සෑයක් බිඳී ද හෙතෙම සිරිනාග සේ හුදෙක් දුකට පැමිණේ.
7. යමෙක් බුදුපිළිමයක අත් පා සිඳීම් කෙරේ ද හෙතෙම සිරිනාග මෙන්ම අපායවල උපදී.
8. යමෙක් බෝරුකට සිඳුම් බිඳුම් ආදිය කෙරේ ද ඔහු ප්‍රත්‍යක්‍ෂයෙන් මෙලොව විනාශයට ද, මරණින් මතු රෞරව නරකයට ද යයි.
9-10-11. යමෙක් මහා සංඝයා වහන්සේට අපරාධ කෙරේද හෙමෙ ඒකාන්තයෙන් අපායගාමී වේ. යමෙක් බණ ලියූ පොත්පත් සිඳ බිඳ දමා විනාශ කෙරේ ද හේ මෙලොව අතපය සිඳීම් ඇත්තෙක් වේ. නරකයට ද යයි. නුවණැත්තා මෙය මහත් හානිකර මඟක් යයි දැන උවදුරු සහිත මඟ දුරින්ම දුරු කරයි.
12-13. මෙසේ දෙවියෝ කළ සුචරිත ඇති සැඬොලා පවා තුනුරුවන් පූජා කරන්නේ නම් තව්තිිසා වැසි දෙවියෝ දෙව්ලොවට ගෙන ගොස් ස්වර්ග සම්පත්ති දෙති. එසේම කුසල් දම් නොකළ රජවරුන් පවා ඝොරවූ අපායට යති. එහෙයින් මේ පින ය පව යයි දැන පව් දුරු කරව් පන් කරව්.
5. සිරිනාගගේ කථාවස්තුව නිමි.
1. ලක්දිව සද්ධාතිස්ස මහරජතුමා රාජ්‍ය කරවන කාලයෙහි යුවරජ තනතුරෙහි තිස්ස නම් එක් ඇමැතියෙකු වීය. සැදැහැයෙන් යුත් හෙතෙම ඔහුගේ ශ්‍රද්ධාබලය නිසා සද්ධාතිස්ස අමාත්‍යයායි නමක් ලැබීය. එකල්හි හේ අනුරාධපුරයට ගොස් රජුට උවටැන් කරමින් වසයි. ඉක්බිති එක් දිනක් හේ රජුට උවටැන් කොට තමන්ගේ ගෙට ආපසු එන්නේ තාළචතුෂ්ක නම් ස්ථානයෙහි වූ සුදස්සන පදන් ශාලාවෙහි වාසය කරන පිණ්ඩපාතික තිසස් ස්ථවිරයන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පාත්‍රය ගෙන තමන්ගේ ගෙට ගොස් බත් පිස නොමැත්තේ බත් මුලක් රැගෙන යන එක මිනිසෙකු දැක මිත්‍රය කහවණුවක් ගෙන බත්මුල මට දෙනු මැනවයි කීයේය. මම තට නොදෙමියි කී කල්හි පිළිවෙලින් කහවණු මිළ දියුණු කොට කහවණු 8 ක් ගෙන දෙන්න මෙ පමණමයි මා අතේ ඇත්තේ යයි කීය. ඉක්බිති හෙතෙම යහපතැයි දුන්නේය. හේ එය ගෙන පාත්‍රයට බෙදා තෙරුන් වහන්සේ පිණ්ඩපාතය ලැබූ සැටි දැන තමා තමාටම අවවාද කරමින් මෙසේ කීය.
2. තිස්සය, මේ උපාසකතෙම ඔබේ පියාවත්, මවවත්, මාමාවත්, නෑයෙක්වත් සහ ලේ නෑයෙක්වත් මිත්‍රයෙක්වත් නොවේ.
3. පෙර ඔබ විසින් ඔහුට කරන ලද උපකාරයක් නැත. සීලවන්තයෙක යන හැඟීමෙන් ඔබට ආහාර දුන්නේය.
4. ඉදින් ඔබ සතුටු නම් ඔහුට මහත් වූ ආනිසංසයක් දිය හැකියි. මැරුණත් මේ බොජුන සරාගීව අනුභව නොකරනු.
5. ඒ ධෛර්යවත් තෙරුන් වහන්සේ තමන්ට අවවාද දී එකල්හි දුක ක්‍ෂය කොට බුද්ධශාසනය බබුළුවන්නෙක්ව බත් කිස කළහ.
6. මෙසේ හේ තමන්ටම අවවාද කොට ගෙට ගොස් කරජකය ගැන සිතා විදර්ශනා වඩා අරහත්ව පිණ්ඩපාතය වැළඳීය. එකල්හි රජුගේ සේසතෙහි අධිගෘහිත දේවතාදුව සාධුකාර දුන්නීය. රජතුමා කුමක් නිසා සාධුකාර දුන්නේදැයි විචාරණ ලද්දී සද්ධාතිස්සගේ දානය නිසා සාධුකාර දුනිමියි සියල්ල කීවාය. රජතුමා ඔහුද ඔහුගේ දෙමවුපියන් ද කැඳවා ඔවුනට බ්‍රහ්මදෙය්‍ය කොට වඩමන් නගරය දුන්නේය.
විෂමව ගිය ගොවිතැන නිසා පසු කලක ලංකාව දුර්භික්‍ෂයකින් පෙළිණ. මිනිස්සු පැන් නොලබන්නෝ ක්ලාන්ත වෙති. එකල්හි මොහුගේ පින්බලයෙන් දෙවියෝ මවන ලද විලකින් පැන් කළ එළවූහ.
ඉක්බිති හෙතෙම ආර්යයන්ට පැන් නොදී පාවිච්චි කිරීම නුසුදුසු යයි සිතා මට අනුකම්පා, කොට ආර්යවරු පැමිණෙත්වායි කල් දැන්වීය.
තිස් දහසක් පමණ භික්‍ෂූහු එක්වූහ. ඉක්බිති හෙතෙම ඒ භික්ෂූන් වහන්සේට කැමැති සේ පැන් කළයෙන් වැළඳවීය. එකල්හි ද රජුගේ සේසතේ අධිගෘහිත දෙව්දූ සාධුකාර දුන්නාය. රජතුමා ද ඔහු කැඳවා විචාරා ඇති සැටියේ අසා කොටදොර අතර ගඟ නම් තැනක් දුන්නේය.
7. ඉක්බිති එක් දිනක් අන්තර ගමට යන්නේ කඩදොරට පැමිණ මොනර මස් කනු කැමැත්තේ මිනිසුන් අතින් විචාළේ නැතැයි කීහ. ඉක්බිති ඔහුගේ පින් තෙදින් දෙවියෝ මොනර මස් එළවූහ. ඉක්බිති හෙතෙම ආර්යයන් වහන්සේලා පැමිණෙත්වායි අඬ ගැසීය. එකල්හි බොහෝ භික්‍ෂූහු එක්රැස් වූහ. හේ කැමතිතාක් මොනර මසින් වැළඳවීය. එදා ද දෙවතා දූ සාධුකාර දුන්නීය. ඉක්බිති රජතුමා ඔහු කැඳවා බොහෝ සම්පත් දුන්නේය. ඊට පසු කාලයෙහි රජතුමා සෑ පව්වෙහි අම්බස්ථල මහ සෑයෙහි හිරියල් මඩින් විලේපන කරනු කැමැත්තේ ඒ තිස්ස ඇමතියා ද සමග අම්බස්ථලයට ගොස් සෑය හිරියල් සුන්නෙන් උලා පූජා කෙළේය. ඇමතියා ද එකල දොළොස් දහසක් භික්ෂූන් වහන්සේට හිරියල් පාට වැනි පාට ඇති තුන් සිවුරු දුන්නේය. සියළුම පින්වතුන් වහන්සේලා මේ සිවුර පොරවා සෑය වඳිත්වායි ඉක්බිති ඔවුහු මනාව හැඳ පැළැඳ හිරියල් මඩෙහි ගැලුණවුන් මෙන් බබළමින් ඒ සෑය පැදකුණුකොට පිළිවෙලින් රන් හසුන් බසින්නා සේ බසිති. එයින් හේ අධික සතුටට පැමිණියේ ප්‍රීතියෙන් පිනා ගිය සිරුරු ඇත්තේ එහි සිටම සෝවාන් විය. රජ පිරිසෙන් ද ඇතැමෙක් සෝවාන් වූහ. මේ පුදුමය දුටු බොහෝ දෙනා දන් දී සිල් රැක පොහොයකම් කොට දෙව්ලොව උපන්හ.
8. එසේ හෙයින් පින්වත්නි, මෙසේ ආශ්චර්යමත් ලෙස කරන ලද කුශල ධර්‍මයෝ දෙවියෝ පවා සාධුකාර දෙමින් අනුමෝදන්ව ස්තුති කරමින් පින් කරන්නන්ගේ ගුණ වර්ණනා කරති.
මෙසේ දැන ගත් පණ්ඩිත මිනිස්සු මානයෙන් තොරව ලෝකයෙහි පින් රැස් කරති. මොහොතක්වත් හිස් නො කරවා නිතර කුසල් කරනු මැනවි.
6. සැදැහැතිස් ඇමැති කථාව නිමි.
1. එක් කාලයක සෑපව් වැසි දොළොස් නමක් භික්‍ෂූහු ලඞ්කාවෙහි තැනින් තැන බෝධි චෛත්‍යයන් වඳිමින් පිළිවෙලින් සමණගමට (මහණ ගමට) පැමිණියෝ ය. එකල්හි හිරු බැස ගිය කල්හි රාත්‍රියෙහි අන් අතක යෑමට නොහැක්කෝ එහි පෙර පස පූර්‍වපාදයෙහි සෙවණැති මහත් මයිල ගසක් දැක ගස මුලට ගොස් නිදාගත්හ. ඉක්බිති ඔවුනතුරෙන් එක් භික්‍ෂුවක් නැගිට කාශ්‍යප සර්‍වඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද, නන්‍ද බ්‍රාහ්මණයා විසින් අපගේ සුතසෝම බෝධිසත්‍වයන්ට කියන ලද අතිශයින්ම උසස් වූ අදහසින් යුත් සීයක පරිත්‍යාගයට සුදුසු සතාරභ නම් වූ ගාථාවන් පිරිවහා පින් දුන්නේය. කෙසේද යත්?
2. සුතසෝමයෙනි, සත්පුරුෂයන් හා එක්වීම එකවරද යහපති. අසත්පුරුෂයන් හා සියක් අවුරුදු එක තැන් වාසය කිරීම අයහපත සඳහා වේ.
3. යහපත් අය සමගම මිතුරු දම් කරව්. සත්පුරුෂයා සද්ධර්‍මය දැනගෙන ශ්‍රෙෂ්ඨයෙක් නොවේ.
4. මනාව සරසන ලද රජුන්ගේ වාහන පවා දිරති. ඉක්බිති ශරීරය ජරාව කරා යයි. සත්පුරුෂ ධර්‍මය ජරාවට නොපැමිණේ. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ශාන්තිය ප්‍රකාශ කරති.
5. අහසට පොළව දුරු වූවා සේ ද, සමුද්‍රයෙහි මෙතෙරෙට එතෙර දුරු වූවාසේ ධර්‍මය අධර්‍ම දෙක අතර දුර ප්‍රමාණය ඊට ද වඩා දුර යයි කියත්.
6. ඒ රුකෙහි අධිගෘහිත දේව පුත්‍රයා මේ ගාථා අසා පැහැදී රාත්‍රිය පහන් වූ කල්හි මහණුන් ගමන් කරන වේලෙහි මිනිස් වෙසින් පැමිණ ඔවුනට මෙසේ කීහ. “ස්වාමීනි, අද නොයනු මැනවි, ගස මුලම හිඳිනු මැනවි. මම නුඹ වහන්සේලාට පිණ්ඩපාතය එළවන්නෙමියි භික්‍ෂූහු ඔහුගේ ආරාධනාව පිළිගෙන වැඩ හුන්හ. ඒ දේවපුත්‍රයාට ආහාර ඉපදවීමෙහි පිනක් නොමැත. නිතර බදාලතා කොළම ලැබේ. හේ මෙය වළඳමින් එහි වසයි. භික්‍ෂූන් වහන්සේලාට ද දිව ඕජසින් පිරී ගිය බදාලතා කොළම එළවීය.
භික්‍ෂූහු ද එයින ්නිම කරන ලද ආහාර කිස ඇත්තේ ටිකක් විශ්‍රාම ගෙන අපි යමු නිදුකාණෙනියි දේවපුත්‍රයාට කීවාහුය. මේ ඇසූ දේවපුත්‍රයා පින්වත් ස්වාමිවරුනි, මට සමාවන්න මා ළඟින් රළු කොළම වැළඳූහ. මගේ මිත්‍රයා එක් දිව්‍ය පුත්‍රයෙක් වේ. හේ දවසක් මෙහි පැමිණ පිරිවර සහිතව මහත් ආනුභාවයෙන් දිව්‍යමය භෝජන වළඳන්නේය. හෙට එන දවසයි. ආර්යයන් වහන්සේලා බත් කිස කොට යන සේක්වායි ආරාධනා කෙළේය.
ඉක්බිති ඒ රාත්‍රිය ගෙවීමෙන් පසු මිතුරු දෙව් පුතා පිරිවර සහිතව ඔහුගේ සමීපයට ගියේය. ඔහුගේ පරිභෝගයට තුන් ගව්වක් පමණ තැන මග දිව්‍යමය කැඳ භාජන ගෙන පිළිවෙලින් සිටියාහු ය. ඉක්බිති ඒ දිව්‍ය පුත්‍රයා තෙරවරුන් වඩා හිඳුවා දිව්‍යමය කැඳ වළඳවා පසුව පිරිවර සහිතව තමා පාවිච්චි කෙළේය. ඊට අනතුරුව අවුළුපත් ගෙන එසේම සිටියාහු ය. දිව්‍යපුත්‍ර තෙම දිව්‍ය ආහාරවලින් තෙරවරුන් මනාව වළඳවා සත්කාර කෙළේය. ඉක්බිති ඒ ස්වාමිවරු දිව්‍ය පුත්‍රයාගේ මහත් වූ දිව්‍ය සම්පත්තිය දැක පුදුමයට පැමිණි සිත් ඇත්තෝ ඒ පින්කම් ගැන විචාරමින් මෙසේ ඇසූහ.
7. දිව්‍ය පුත්‍රයාණෙනි, (ඔබ) මහත් වූ දිව්‍යමය සෘද්ධියට පැමිණියෙහි, ඔබගේ ආලෝකය හැම දිසාවක්ම එළි කරයි. දිව්‍යමය පිරිස පිරිවරති. ඔවුහු නොයෙක් ආයුධ, සෙමෙර මොනර ආදි නොයෙක් අත් ඇතිව පිරිවරා සිටිත්.
8. දෙවඟනෝ නෘත්‍ය භූමියට ගියෝ නෘත්‍යයෙන් ගීතයෙන් යුක්තව ලයෙන් තොර නොව සවනට අමාවක් වැනි උත්සව ගීතයෙන් ගී කියා නටති: ගයති.
9. සමහර දෙවඟනෝ වීණා, වස් දඬු, තන්ත්‍රි ආදිය ගෙන ඒවායේ හඬ හා ගීත ස්වරය නො ඉක්මවා නානා විලාස දක්ව දක්වා තොප සතුටු කරවති.
10. නොයෙක් දෙනා සැරසී බෙර, මුතිඞ්ග, මුරජ, දෙණ්ඩිම ඝන හා නොයෙක් නලා වර්ග ගෙන වාදනය කරති. නටති. කෙළිති.
11. දිව්‍යමය ආහාර පාන වර්ගයන්ගෙන් පිරී ගිය රන්මය භාජන අරගෙන තුන් ගවු පමණ මග සිටිති. පිරිවර සහිත, තෝ ඒ කරුණෙන් සතුටු වෙති.
12. මහත් ආනුභාව ඇති දේවතාවාණෙනි, මම ඔබගෙන් අසමි. මිනිසෙක් වූ සමයෙහි කෙබඳු වූ පිනක් කෙළෙහි ද? කවර ශීලයක කවර ව්‍රතයක, කවර බ්‍රහ්මචරියාවක, කවර පරිශුද්ධත්‍වයක මේ විපාකද?
13. ඉක්බිති ඒ දිව්‍ය පුත්‍රයා උන්වහන්සේලාට තමන් විසින් පෙර භවයෙහි පෑ පව්වේ භික්‍ෂුවක් වී තමන්ට වස් අගින් ලැබුණු බතින් කොටසක් සංඝයා වහන්සේට පූජා කොට මේ සම්පත්තිය ලබා ගතිමියි ප්‍රකාශ කරමින් මෙසේ කීයේය.
14. ලඞ්කාවේ මිස්සක පව්ව නමින් මහා විහාරයක් ප්‍රසිද්ධ විය. නොයෙක් සෑ වලින් බබළන, පිළිම ගෙවල් පඞ්ක්ති ඇති.
15. බෝධීන් වහන්සේගෙන් බබළන, සුදු වැලියෙදු මළුවෙන් අලඞ්කාර, මනාව පිපීගිය මලින් හා සිහිල් දියෙන් පිරුණු නොයෙක් පොකුණු පතැස් ආදියෙන් ගැවසී ගත්තේය.
16. එක් දහස් සාරසීය සතළිස් සයක් පමණ පිරිවෙන් පෙළවල් සතකින් අතිශයින්ම දැකුම්කළු වූ ඒ විහාරය සැමදාම මිනිසුන්ට ප්‍රීතිය ගෙන දේ.
17. එහි වාසය කරන යති සමූහයා සුපෙශලාදි නොයෙක් ගුණ ඇත්තෝය. සියළුම ජනයා වාසය කරති. ආත්මාර්ථය හා පරාර්ථය සිද්ධ කරති.
18. ස්වාමවරුනි, මම දෙවන ජාතියෙහි එහි එක් ශ්‍රමණයෙක් වීමි. ඒ මම ශ්‍රද්ධාව, ශීලය දරමින් පිළිවෙතින් තුණුරුවන්ට පිදීමි.
19. පසු කාලයක මහජනයා භික්‍ෂූන් උදෙසා එලවන ලද අතිශයින් පිරිසිදු ප්‍රණීත මහත් ආහාර පාන තම තමාම භික්‍ෂූන්ට වළඳවත්.
20. මම ද එයින් කොටසක් ලදිමි. එයින් අඩක් ඒ දානයාගේ ආනිසංස අදහමින් බුද්ධානුභාවය ද සිහි කරමින් සංඝයාට පූජා කෙළෙමි.
21. මා විසින් කරන ලද මේ දානයාගේ ශීල සංරක්‍ෂණයේ ආනුභාවයෙන් එයින් පරලෝ සැපත්ව භූමට්ඨ කෙනෙක්ව අනූනවූ දිව්‍යශ්‍රී අනුභව කෙළෙමි.
22. සුදුසු ස්ථානයෙහි ශ්‍රද්ධාවෙන් කරන ලද මේ දානමය සුළු පින්කමෙන් මහත් වූ සම්පත්තියක්ම ලබමි. මනා කෙතක වපුරණ ලද බීජය ගොවියාගේ සිත සතුටු කරන්නා සේ (මගේ සිත) සතුටු විය.
23. මෙසේ හෙතෙම තමා විසින් කරන ලද කුශල කර්‍ම ප්‍රකාශ කළේය. භික්‍ෂූහු ඔහුගේ කථාව අසා ගිය ගිය තැන දේව පුත්‍රයා විසින් කරන ලද කර්මය ප්‍රකාශ කරමින් බොහෝ දෙනා දන්දීම් ආදී කුශල කර්‍මයන්හි යෙදවූවාහු ය.
24. මෙසේ කුශලයෙහි නිරත වූ පින්වත්හු හොඳ කෙතක් බලා එහි කුඩා වූ බිත්තර වියක් වපුරා බොහෝ වූ අස්වැන්නක් ලබති. සුසිල් කෙතක භක්තියෙන් නැමී එක් කබලක් පමණ ආහාර පූජා කොට දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා නිවන් සැපද ලැබිය හැක.
7. සමණගාම කථා වස්තුව නිමි.
1. ලඞ්කාවෙහි බස්නාහිර පලාතෙහි මල්වැස්ස නම් සිත්කළු විහාරයක් විය. ඒ විහාර ආසන්නයෙහි දේව ග්‍රාමයෙහි දේව නම් ඇමැතියෙක් ඔහුගේ ප්‍රධානත්‍වය පතුරුවයි. එක් දිනක් ඇමතිතුමා ගමෙහි ඇවිද ගෙදරට පැමිණ වතාවත් කරන්නන් අමතා වැළඳිය යුතු යයි කීයේය. එකල්හි ඔහුට වතාවත් කරන්නෝ කෑම එළවූහ. එකෙණෙහි බඩසයින් පෙළුණු එක් බල්ලෙක් බඩගින්නෙන් පෙළුණේ වෙවුලමින් විත් බත් දැක මෙයින් කිසිවක් ලදිම් නම් මැනවයි ඔහු සමීපයට පැමිණියේය. ඔහුගේ එක් සුළු සේවකයෙක් බල්ලා එළවමියි දණ්ඩක් ඇරගෙන දිවීය. ඇමැතියා සුනඛයා කෙරෙහි කරන ලද කරුණාවෙන් පින්වත, ඌට පහර නොදෙන්න යයි වළක්වා නොයෙක් රසයෙන් යුත් ලොකු බත් පිඩක් ගුලි කොට දුන්නේය. බල්ලා බත් අනුභව කරන්නට පටන් ගති. මේ දුටු ඇමැතියා තමා විසින් දෙන ලද දානයෙහි ම සිත පැහැදවීය. හේ මේ පින්කමින් පමණක් කළුරිය කොට එම ගමෙහිම එක් කුල ගෙදරක උපන්නේය. හේ පිළිවෙලින් වැඩිවියට පැමිණ අඹුවන් පෝෂණයෙන් ගෙදර වාසය නොකොට මහළු කාලයෙහි මල්වැස්ස විහාරයට ගොස් භික්‍ෂූන් වහන්සේ සමීපයෙහි පැවිදිව පර්යාප්ති සද්ධර්මය ඉගෙන මහා අභය ස්ථවිර යයි ප්‍රකට විය. ඒ එසේ මැයි. සිත පැහැදුණු කල්හි තිරිසන් ගතයෙකුට පවා දුන් දානය මහත් විපාකයක් වේ.
2. මේ ලෝකයේ යම් මිනිසෙක් ශ්‍රද්ධාව මුල් කොටගෙන තිරිසන්ගත කුහුඹියෙකුට පවා දන්දේද,
ඒ දානයේ විපාකය දිව්‍ය මානුෂික සැප දී කෙළවර නිර්වාණ සම්පත්තිය දෙන්නේය.
3. ඉක්බිතිව ඊට පසු කලක ලඞ්කාවෙහි බැමිණිතියාසාය නම් සොරබියක් විය. අවුරුදු දොළසක් මනාකොට නොවැස්සේය. දුබික් බියක් හෝ රෝ බියක් ඇති විය. ඒ නිසා විහාර සමීපයෙහි මිනිසුන්ට ජීවත් වීමට නොහැක්කේ අන් තැනකට ගොස් ජීවිකාව කරමුයි තෙරුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ කීහ.
ස්වාමීනි, දුබික් බියක් ඇතිවිය. මෙහි වසමින් ජීවත්වීමට නොහැකිය. නුඹවහන්සේත් වඩිත්වා යි ආරාධනා කළහ. තෙරුන් වහන්සේ ඔවුනට මෙසේ කීහ. බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කොට කරන ලද චෛත්‍යය හා බෝධියට ජීවමාන බුදුන්ට මෙන් පුදා සත්කාර කරමින් නිරත වසමි. ඒ වස්තු අත්හැර යන්නට නොහැක. මෙහිම වසමින් දිවිතෙක් උන්වහන්සේට පිළි දැගුම් කරමි. මා කැඳවා ගෙන යෑමට උත්සාහ නොකරනු මැනවි. මේ අසා මිනිස්සු ඒ ඒ තැන්වලට පලා ගියාහුය. තෙරුන් වහන්සේ ආහාර නොගෙනම පළමු වැනි දවසෙහි වත් පිළිවෙතින්ම දවස ගෙවීය. දෙවැනි දවසෙහි ද එසේම ගෙවී ගියේය. තුන්වැනි දින සෑමළු හැමදීම් ආදියෙන් කළ යුතු දේ කොට විතර්කමාලයෙහි සිටියේය. ඉක්බිති උන්වහන්සේගේ ගුණ තේජසින් මළුව කෙළවරෙහි සිටි කරගසෙහි අධිගෘහිත දිව්‍ය පුත්‍ර තෙම සිරුර මැලවුණු තෙරුන් දැක තමන්ගේ බිරිය කැඳවා මේ අභය හිමි සෑයත් බෝධියත් අතහැර අන් තැනක නොයමියි කරන ලද පිළිණ ඇත්තේය. මෙවැනි දුක් බික් බියක් ඇතිවූ කල කිසි තැනක නොගොස් බතින් තොරව වත් පිළිවෙත් කරයි. උන්වහන්සේට භික්‍ෂාවෙහි හැසිරෙන්ට තැනක් නොමැත. යම් විදියකින් උන්වහන්සේ කාලක්‍රියා කළොත් එය නුසුදුසු ය. අද මුන්වහන්සේට දානය දෙමු දැයි ඇසීය. ඉක්බිති සැමියාණෙනි, ඔබ තෙරුන් වහන්සේට අහර දෙමියි කීයෙහි. උන්වහන්සේ පෙර කරන ලද පින්කම් මට කියනු මැනවයි අසන්නියට මෙසේ කීයේය.
4. දේවයෙනි, මොහු සසර නමැති මහා දුර්ගයෙහි හැසිරෙද්දී භව භෝග සම්පත් ලැබීමට කිනම් පින්කමක් කෙළෙහිද? කුමන කරුණක් නිසා උන්වහන්සේට දනක් දීමට ඔබගේ සිත මෙහෙයවී දැයි මම ප්‍රශ්න කරමි. එය ප්‍රකාශ කරනු මැනවි. දේව පුත්‍රයා ඇයට මේ පින මෙසේ ප්‍රකාශ කෙළේය.
5. මේ භික්‍ෂුව ගිය ජීවිතයේ දී ‘දේව’ නමින් ප්‍රකට විය. හේ ආහාර ගැනීමට සූදානම් වූ විට බඩසයින් යුත් ක්ලාන්තවූ බල්ලකු දුටුවේය.
6. කනු කැමැත්ත ඇති ඒ සුනඛයාට ඒ බතින් මහ ලොකු පිඩක් ගසා දුන්නේය. සොඳුර, ඒ මේ දානයේ විපාකයෙන් මේ ජීවිතයෙහි විපාක එන්නේය. දන සුළු යයි නොසිතිය යුතුය. කුඩාම බීජයකින් මහ නුගයක් හට ගන්නාක් මෙනි.
7. මෙසේ කියා දෙව්පුත් තෙමේ තමන්ගේ ආත්මභාවය අත හැර මිනිස් වෙසින් තෙරුන් වහන්සේ කරා පැමිණ පාත්‍රය ගෙන දිව්‍යාහාර දී මෙසේ කීය. ස්වාමීනි, ජීවිතාන්තය තෙක් නුඹවහන්සේට ආහාර දෙමි. ඔබ වහන්සේ පමා නොවී මහණකම කරනු මැනවි. මගේ විමන කරඳ රුකයි. ඔබ වහන්සේ එතැනට වැඩිය මැනවයි ආරාධනා කොට විමනට ගියේය. එතැන් පටන් තෙරුන් වහන්සේ ගසමුලට එළඹෙති. දිව්‍ය පුත්‍ර තෙමේ නිතර දිව අහරම දෙමින් වසයි.
ඉක්බිති එක් දිනක් බඩසයින් පෙළුණු මිනිස්සු මිනීමස් කමින් ඒ විහාරයට පැමිණ දිව්‍යමය ආහාරයෙන් වැඩුණු සිරුර ඇති තෙරුන් දැක මොහු මරා කමුයි සාකච්ඡා කොට තෙරුන් සෑ මළුව හැමද නික්මුණු කල්හි මහා හඬ නගමින් දඬු මුගුරු ආදිය ගෙන වැටලූහ. තෙරුන් විසින් පෙර අමාත්‍ය කාලයෙහි බල්ලාට ගසනු පිණිස මුගුරු ඔසවා එළඹී මිනිසා වැළකීය. ඔහුගේ මේ පින්කමින් වෙහෙර මැද මහත් පව්වක් පැනනැගී විවරයක් තැබීය. සොරු පැමිණ ඔබ මොබ බලා එහෙත් නොදැක රහත් භික්‍ෂූන් වහන්සේ නමක් වන්නේ යයි සිතා පලා ගියහ.
8. දඬුවමකට නුසුදුස්සෙකුට යමෙක් දඬුවම් කෙරේද හේ භවයක් භවයක් පාසා දඬුවම් ලබන්නෙක් වේ. යමෙක් කෝපය නසා දඬුවම් නො කෙරේද දෙවි මිනිස්සු ඔහු රක්‍ෂා කෙරෙති.
9. ස්ථවිරයන් වහන්සේ දෙවියන් විසින් දෙන ලද සුධා භෝජන වළඳන්නෝ දොළොස් අවුරුද්දක් පුහුදුනෙක්ව විසූහ. පසුව විදර්ශනාව වඩා රහත් බවට පැමිණ එසේම අවුරුදු දොළසක් ගෙවීය. මෙසේ දිව්‍ය පුත්‍ර තෙම අවුරුදු විසිහතරක් දිව්‍ය ආහාරයෙන් තෙරුන්ට පිළි දැගුම් කෙළේය. තෙරුන් වහන්සේ එම විහාරයෙහිම පිරිනිවියෝය.
10. බඩසයින් පෙළුණු එක් බල්ලෙකුට ආහාර පිඩක් දී දිව්‍යාහාර ලැබුවේය. එසේම ඒ යතීන්‍ද්‍රියා නිවීමට පත්වූයේය. නුඹලාද නිතර කාට හෝ යමක් දිය යුතුය. එය සංසාරයෙහි දී පිළිසරණ වේ. කෙළවර නිර්වාණයද ලබයි.
8. අභයහිමිගේ කථා වස්තුව නිමි.
1. බුදුරජාණන් වහන්සේ ජීවත්ව වාසය කරන සමයෙහි ලඞ්කාවෙහි නාගදීපයෙහි දී චූලෝදර-මහෝදර යන මාමා බෑණලා අතර මැණික් පුටුවක් උදෙසා මහා යුද්ධයක් එළඹ සිටියේය. එකල්හි බුදුරජාණන් වහන්සේ බෝධියෙන් 5 වැනි අවුරුද්දෙහි දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරමින් අළුයම ලොව බලන්නේ ඔවුන් දැක අද මම එහි ගොස් කලහය සංසිඳවීම සුදුසු යයි සිතා බලන්නේ සමිද්ධි සුමන නම් දෙව් රජුන් දුටහ. මේ දෙව් රජ කවරෙක් ද? හේ මීට පෙර ජීවිතයෙහි නාගදීපයෙහි එක්තරා මිනිසෙක් වී. එකල්හි ගන්‍ධමාදන පර්වතයෙහි වසන එක් පසේබුදු කෙනෙක් පිඬු පිණිස හැසිර ඒ කිරිපලු නුග ගස ත බුණු තැන හිඳ බත්කිස කෙරෙති. හේ ඒ දැක එකෙණෙහිම සිත පහදවා පාත්‍රය සේදීමට කොළ කඩා දුන්නේය. හේ ඒ පින්කමෙන් එයින් චුතව දෙව්ලොව ඉපද අපගේ බුදුන් වහන්සේලාගේ කාලයෙහි දෙව්රම දොරටු කොටුවෙහි පසක කිරිපලු රුකක දේවතාවා වී උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්රජුට කථාකොට මා සමග නාගදීපයට එන්නැයි කීහ. ඉක්බිති ඔහු විසින් තමන්ගේ භවනය වූ කිරිපලු ගස උදුරා භාග්‍යවතුන් වහන්සේගේ හිසට කුඩයක් මෙන් දරමින් යන මොහු සමග භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩිසේක.
එහෙයින් මහා වංශයෙහි කියන ලදි.
2. බක් මස කළුවර පක්‍ෂයෙහි පොහෝ දිනයෙහි උදයෙහි උතුම් පා සිවුරු ආදිය ගෙන, බුදුරජාණන් වහන්සේ කිරිපළු ගස රැගත් සුමන දෙවියා සමගම අහසින් පැමිණ නයින්ට අනුකම්පාව සඳහා නාගදීපයට වැඩි සේක.
3. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේ නාරජුන දෙදෙනාගේ සංග්‍රාමය මැද අහසෙහි හිඳ වැස්ස, සුළඟ, අඳුර ආදියෙන් බිය හා තැති ගැන්ම උපදවා එයින් ඉතා ඝන අඳුරු පටල පැන නැඟි සූර්යා සේ සවණක් රැසින් බබළමින් ආකාශයෙහි තමන් දක්වා ඔවුන් අස්වසා සියළුම බිය සංසිඳවීය. ඉක්බිති නාගයෝ සවණක් රසින් බබළන භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතින් ගත් ගත් ආයුධයන් හැර බුදුරජාණන් වහන්සේ දෙපා හිසින් වැන්දාහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කළ සේක. මහා වංශයෙහිම කියන ලදි.
4. බුදුරජාණන් වහන්සේ ඔවුනට සමගි කරන ධර්මය දේශනා කළ සේක. ඒ දෙදෙනාම සතුටුව පුටුව බුදුපියාණන් වහන්සේට දුන්නාහුය.
5. භූමියට වැඩම කළ බුදුරජාණෝ රතනාසනයෙහි වැඩ හුන් සේක. දිව්‍යමය ආහාර පානයෙන් නාගරාජයන් විසින් තර්පණය කරන ලදි.
6. ජලයෙහි හා ගොඩ වාසය කරන නාගයෝ අසූ කෙළකි. බුදුරජාණන් වහන්සේ ඔවුන් සරණ ශීලයෙහි පිහිටවූ සේක.
7. බුදුරජාණන් වහන්සේ ඒ කිරිපළු ගස ද මහාර්ග වූ ආසනයද නා රජුන්ට පූජා කරන්නට දුන් සේක.
8. නාරජුනි, මගේ පාරිභෝගික චෛත්‍යයන්ට නමස්කාර කරව්. එය නාග රජුනි, ඔබට හිත සැප පිණිස වේ.
9. මේ ආදී ක්‍රමයෙන් ධර්ම දේශනා කොට ඔවුන් සමගි කරවා සමිද්ධි සුමන දෙවියන් කිරිපළු ගසක් සමග එහිම නවතා දෙව්රම් වෙහෙරටම ගිය සේක. ඉක්බිති නාගයෝ එහි සෑයක් හදා නිතර වඳිමින් පුදමින් වාසය කළාහු ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි එහි මිනිස්සු සෑයක් කළාහුය. අද ද එය රාජායතන චෛත්‍ය නාමයෙන් ප්‍රකට ය. මේ රාජායතන චෛත්‍යයාගේ උත්පත්තියයි.
10. එක් කලෙක ලඞ්කාද්වීපයෙහි සැට නමක් පමණ භික්‍ෂූහු සමන්කුළු කැළණි ආදි මහා විහාරයන් වඳිමින් පුදමින් සැරිසරති. ඉක්බිති ඔවුහු නාගද්වීපයෙහි රාජායතන චෛත්‍යය වඳිනු කැමැතිව පිළිවෙලින් එහි ගොස් රාජායතන චෛත්‍යය වැඳ පුදා රැය පහන් වූ කල්හි උන්වහන්සේලා මනාව හැඳ පැළඳගෙන ගමට පිඬු පිණිස පිවිස මුළු ගමෙහම ඇවිද කිසිවක් නොලැබ සේදූ පාත්‍රයෙන්ම නික්මුණාය. එකල්හි එගමෙහි කහවණු සැටකට දාසියක වී එක ගෙදරක වාසය කරන්නා වූ නාගා නම් දැස්සක් කළයද රැගෙන දිය සඳහා යන්නී ගම්දොර ඒ භික්‍ෂූන් දැක ඔවුන්ගේ සමීපයට ගොස් වැඳ ආර්යවරුනි, භික්‍ෂාභාර ලැබුවාහුදැයි විචාළහ. උපාසිකාව තවම පෙර බත් කාලය යි කීවාහු ය. ඕ තොමෝ උන්වහන්සේලාට කිසිවක් නොලැබුණු බව දැනගෙන දොම්නස්ව කිනම් උපායකින් අද ආර්යන්ට දන් දෙම්දැයි සිතන්නී පෙර කහවණු හැට ණයට ගෙන පරකුලයක සේවය කරමි. දැන් මම රාත්‍රිකාල දාසියක්ව දන් දෙමියි සනිටුහන් කොට ගෙන භික්‍ෂූන් කරා පැමිණ උන්වහන්සේලාගේ ඉදිරිපස කළය තබා ස්වාමීනි, මේ කළය රන් පාදයක් වටී. මා එනතුරු මෙතැනින් ඉවත් නොවනු මැනවැයි කියා සක්මන් කොට ඒ ගෙදරටම ගොස් තවත් කහවණු සැටක් මට දෙන්නැයි කීවාය. හේ එය අසා පින්වතිය, තී පරකුලයෙහි දැස්සක්ව පරණ ණයෙන් නොමිදුණෙහි, එසේ වුවත් නැවතද වැඩියෙන් ධනය ගනී. මේ කිමෙක්ද? ධන ගැන නොසිතනු මැනව ස්වාමීනියි ඈ කීවාය. ඔබගේ ගෙදර රාත්‍රි සේවිකාවක්ව කර්මාන්ත කරමින් ණය ගෙවමි. කහවණු සැටක් මට දෙන්න. හේ යහපතැයි හසුනක් ලියා කහවණු දුන්නේය. ඉක්බිති ඇය එය රැගෙන මුළු මහත් ගමෙහි ම ඇවිද එක එක ගෙදරට එක එක කහවණුව බැගින් කහවණු හැටම දී බත් පිළියෙල කොට පාත්‍රවලට බෙදා පිළිගන්නවා තමා විසින් කරන ලද වෑයම භික්‍ෂූන්ට මෙසේ කීවාය.
11. ආර්යයන්ගේ ශ්‍රී පාදය වඳිමින් මෙය දන්වමි. එය හොඳින් ශ්‍රවණය කරනු මැනවි. දුගී බවෙන් මා හා සම කෙනෙක් මේ මිහිපිට නොමැත.
12. මම පළමු ණයට ගත් කහවණු ඇති නිසා ඉණ දාසියක් වීමි. පිස අනුභවයට සාල් නැළියක් වත් නොමැතිව භෝගයන් ගෙන් තොරව නෑයන් නැත්තියක්ව වසමි.
13. අද දන් දුන්නී රාත්‍රි දාසී බවට පත්වීමෙනි. ආර්යවරු මවිසින් දෙන ලද දුප්පත් දානය වළඳත්වා!
14. මේ ආදි ක්‍රමයෙන් තමා විසින් කරන ලද සියල්ල කියා වැඳ කළයද රැගෙන ගියාය. භික්‍ෂූහු ඇගේ කථාව අසා අහෝ! පුදුමයි යන විස්මිත සිතින් බත් ගෙන මහානාම නම් විල සමීපයේ මුචලින්‍ද වනයට ඇතුල්ව සිටියාහු ය. ඉක්බිති ඔවුනතුරින් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ ඇවැත්නි, යයි භික්‍ෂූන් අමතා ආයුෂ්මත්හු මැයගේ ශ්‍රද්ධාබීජයට කෙත ශුද්ධ කරත්වා! රාගීව හිඳ මේ දානය නොවළඳත්වායි කියා මෙසේ කීහ.
15. එම්බා ඇවැත්නි, මෝ ස්ත්‍රීතොමෝ අපගේ මවක්, සොහොයුරියක්, නැන්දණියක්, යෙහෙළණියක්, නෑයෙක්, මිතුරියක් නොවන්නීය.
16. මේ භික්‍ෂූහු ශීලවන්තයහ, ගුණවන්තයහ, මනාවූ ව්‍රත ඇත්තේයි. මොවුන් වහන්සේලාට දුන් සුළු දෙය තමාට ඵල ගෙන දේයයි.
17. ඉතා දීනවූ දිළිඳු වූ ඕ තොමෝ අනුන්ගේ වැඩට තමා තමාම විකුණා අපට අද දන් දුන්නීය.
18. ඒ උපාසිකාවට මහ ආනිසංස ඇතිවනු සඳහා ආත්මයන් පිරිසිදු කරමු. එයම කැමැත්තෙන් රාගීව, ආශ්‍රවයන් දුරු නොකොට නොවළඳමු.
19. මෙසේ කියා ඔවුහු මුචලින්‍ද වනයෙහි ඒ ඒ තැන හිඳිමින් විදසුන් වඩා සිවුපිළිසිඹියාපත් රහත් වූහ. ඉක්බිති උන්වහන්සේලා එම වනයෙහි දෙවියන් විසින් සාධුකාර පවත්වද්දී පැමිණ බත් අනුභව කළහ. ඉක්බිති ඇගේ ද භික්‍ෂූන් වහන්සේගේ ද ප්‍රවෘත්තිය දැන දෙවියන්ගේ සාධුකාරය අසා රජුගේ සේසතෙහි අධිගෘහිත දෙව්දුව සතුටුව සාධුකාර දෙන්නී.
20. මහා ශ්‍රද්ධා ඇති තැනැත්තිය, තී විසින් කරන ලද්දේ ඉතාම යහපත් ක්‍රියාවකි. දානය නමැති බීජය කෙත් වතට ගියේය. තිට යහපත් ලාභයක් විය.
21. රජතුමා දෙව්දුවගේ සාධු නාදය අසා බොල දෙවතාවිය. කිමෙක් ද තී අපගේ දානය සඳහා ද සාධුකාර දුන්නීද, නැතහොත් කවර කෙනෙකුගේ දානයට සාධුකාර දුන්නී දැයි ඇසීය. තමුන්නාන්සේගේ දානය ගැන නොවේ. නාගාවගේ දන ගැනයි කීහ.
22. යමෙක් සිඳුම් බිඳුම්වලින් පෙළා මහදන් පවත්වතියි ද, එවිට එය මහත් ඵල නොවෙයි.
23. ආදරය පෙරදැරි නොකොට, ශ්‍රද්ධාවෙන් තොරව, නුවණින් නොසිතා කෙත් නොවන තැනකට යමෙක් දන්දේද එය මහත් ඵල නොවේ.
24. දිළිඳු වූයේ නමුදු මහා ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ ආදර සහිතව පිරිසිදු සිතින් ඉතා සුලු දෙයක් හෝ දන් පිණිස දේද? එය හැම කල්හි අප්‍රමාණ විපාක ගෙන දෙන්නේ ය.
25. මේ ආදි විසින් මහත්ඵල බව වණා මහරජ, නාග දීපයෙහි නාගා නම් සැට කහවණුවක් ණයට ගත් ඉණ දාසියක වී භික්‍ෂූන්ට මෙසේ මෙසේ දන් දුන්නීය. භික්‍ෂූහු ද ඇගේ දානය නිසා රහත්වූහ. මම ඇයට සතුටුව සාධුකාර දුනිමියි සියල්ල විස්තර වශයෙන් කීයේය. රජතුමා එය අසා සතුටු වූයේ ණය දුන්නාට නියමයෙන් ණය දී ඇය දාසි බවෙන් මුදවා ඒ මුළු දිවයිනම උතුම් දායාද කොට ඇයට දී මහ සම්පත්ද දෙවීය. එතැන් පටන් ඒ දිවයින නාගදීපයයි ප්‍රකට විය. ඇය එතැන් පටන් බොහෝ පින්කම් කොට දිවි කෙළවර දෙව්ලොව උපන්නීය.
26. මෙසේ නුවණ ඇති ශ්‍රද්ධාවන්තයෝ තමන්ගේ ජීවිතය පවා අනුන්ට දාසකොට දී දන් පින් කොට මෙම ජාතියෙහි දිව්‍ය මනුෂ්‍යාදී බොහෝ දෙනාගේ ප්‍රශංසා ලැබ දිව්‍යලෝකයට යති. එනිසා දානය නම් කැමැති කැමැති දෑ දෙන කප් රුකක් සම ය. සත්‍වයන් විසින් මසුරු සතුරා විනාශ කොට දාන නැමැති මිත්‍රයා භාජනය කරව්.
9. නාගාවගේ කථාව නිමි.
1. එක් කලෙක සිංහල රටෙහි බැමිණිතියාසාය නම් බියක් දොළොස් අවුරුද්දක් පැවතිණි. මෙතෙක් කල් ලක්දිව වැස්ස මනාව නොවැස්සේය. එනිසා ගොවිතැන මනාව නොවැඩුණු නිසා සා බිය හටගති. නරක ආහාර ගැනීමෙන් උවදුරට පත් මිනිසුන්ට රෝ බියද හටගති. මෙසේ මිනිස්සු ඇට හා හම ඉතිරි බවට පත්වූහ. ස්ත්‍රීහු ගෙයක් ගෙයක් පාසා යකින්නන් මෙන් වූහ. පිරිමි ප්‍රේතයන් හා පිශාචයන් වැනි වූහ. ඒ ඒ දොරවල අවමඟුල් කොලාහල හඬින් හඬන්නන්ගේ විලාප හඬින් ද එකනින් කොලාහල විය. ඒ ඒ තැන මළවුන්ගේ කුණප ගඳින් රැස්වුණු අමනුෂ්‍යයන් ගේ වශයෙන් මහත් බියක් විය. මෙසේ නොයෙක් බිය වලින් උවදුරට පත් ලක්වැස්සෝ පර්වත ගංගා ආදී තැන්වලට ගොස් ජීවත් වෙති. එකල්හි වත්‍ථුල පර්වත සමීපයෙහි මිනිස්සු ඒ පර්වතය පිහිට කොට බොහෝ සෙයින් පර්වතපාදයෙහි වාසය කරති. එකල්හි පර්වත පාදයෙහි වසන ගම්වැසි එක් මිනිසෙක් තමන්ගේ මාගම සමග ජීවත්වීමට උපායක් සොයන්නේ පර්වතයට ඇවිදිමින් පර්වත මස්තකයෙහි එක් කර රුකක් දැක වාසය කරන්නෙමියි රුක ආශ්‍රය කොට ගෙදරක් කොට එහිම වාසය කරයි. ඒ කර රුකෙහි අතු තුනක් වේ. හෙතෙම ඒ අතු වලින් එකකින් ආගන්තුක සත්කාර කරන්නෙමු. එකකින් දනක් දෙමු. එකක් අපට පරිභෝගය සඳහා වන්නේයයි නියමිත කොට තමන්ට නියමිත අත්තෙහි කොළ අනුභව කරමින් එහි වසයි.
2. ඉක්බිති එක් දිනක් එක් භික්‍ෂුවක් භික්‍ෂාචාරස්ථානයක් සොයන්නේ ඔවුන්ගේ ගෙයි දුම් දැක සංඥාවෙන් ඔහුගේ ගෙට ගියේය. ඉක්බිති ඒ පුරුෂයා එය දැක සොම්නසට පැමිණියේ පුදුමයි මම මේ කර කොළ නිසා මහත් පින්කම් රැස්කරමි. ආර්යයන් වහන්සේ ද බොහෝ කාලයකින් දක්නා ලද්දාහු අභිවාදනය ද කරමියි ගොස් තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන පහසු තැනක උන්වහන්සේ වඩා හිඳුවා කොළ ගෙන එන්නෙමියි කරගස සමීපයට ගියේය. එකල්හි රාත්‍රිභාගයෙහි ඒ ගසේ කොළ පටන් යටත් පිරිසෙයින් දල්ලක් දක්වාම පණුවෝ කෑහ. හේ මේ ගස දැක දුකට පැමිණ දොම්නස්ව ආපසු හැරී ගෙදරට ගියේය. ඉක්බිති ඔහුගේ භාර්යාව හිස් අතින් එන ඔහු දැක අද හිමියනි! කුමක් නිසා හිස් අතින් එන්නේදැයි ඇසීය. එකල්හි හේ මෙසේ කීය.
පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධි වේ. නමුත් පින්මද අයට තමන් පතන දේ සිද්ධ නොවේ.
බොහෝ කාලයකින් දකින ලද ආර්යයන් වහන්සේට අද දන් සඳහා දීමට කොළයක්වත් නොලද්දෙමි. අපේ මඳපින් ඇති බව අනේ!
5. මෙසේ ද කියා සොඳුර කරගසේ කොළයක් හෝ දල්ලක් යන හැම දෙයක්ම පණුවෝ කෑහ. ඇය එය අසා මෙසේ කීවා ය.
6. ලොව කළ පින් ඇති සත්‍වයාට ඇතිවන ස්වභාවය මෙයයි. මුතු වෛරොඩි ආදිය පින්වතා කරා ඉබේටම පැමිණේ. මෙය ස්වභාව ධර්මයකි.
7. පින් මද කාලකණ්ණි සතුන් විසින් බොහෝ උත්සාහයෙන් සොයාගත යුතු යම් වස්තුවක් ඇති නමුත් එය කිසියම් සැලැස්මකින් විනාශව යන්නේය.
8. මෙසේ ද කියා දැන් කුමක් කරමුද? තෙරුන් වැඩ හිඳුවා ටිකක්වත් නොදෙන්නට නුසුදුසු යයි කියන්නී, තමන්ගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට නොදන්වා දෙමියි සිතා ලියන ආයුධයක් රැගෙන තමන්ගේ කලවා මාංශය කපනු කැමැතිව ගෙට පිවසියාය. ඇගේ සැමියා ද එසේම තමන්ගේ මස් තෙරුන්ට එසේම දෙමියි මස් කපනු කැමතිව එසේම පිවිසියේ බිරිය එසේ කරනු දැක කුමක් කරන්නේදැයි විචාළේය. ඕ මාගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට දෙමි ස්වාමීනීයි කීවාය. ඒ අසා සැමියා ද තමන්ගේ සිරුරෙහි මස් දෙනු කැමැත්තේ සොඳුර, ස්ත්‍රිය නම් ස්වල්ප නුවණ ඇත්තේ දුක් ඉවසන්ට නොහැකි වෙත්. මගේ සිරුරෙහි මස් දෙමියි කීයේය. ඉක්බිති ඔහුගේ බිරිය මස් දෙන්ට කැමතියි සැමියා ද එසේය. පුදුමයි ඔවුන්ගේ දන් දීමෙහි මහත් අදහස, කියන ලදමැයි.
9. මෙසේ දානපතියන්ට දානයෙහිම සිත ඇලේ. මෙසේ ආධ්‍යාත්මික ශරීර මස් දෙන්න කැමැත්තා බාහිර දානය ගැන කියනුම කවරේද?
10. මේ දෙදෙනාම මම දෙමි මම දෙමියි සිත්නනෝ:
මෙසේ ඔවුන් විසින් මස් දීමෙහි උත්සාහවත් වූ විට ඔවුන්ගේ ශ්‍රද්ධා බලයෙන් ශක්‍රයාගේ පණ්ඩුකම්බල ශීලාසනය උණු විය.
11. හේ බලන්නේ ඒ අඹුසැමි දෙදෙනාගේ පිරිසිදු ආධ්‍යාත්මික දාන අධ්‍යාසය දැන මේ බෝසත් අදහසමය යි සතුටු සිත් ඇත්තේ රත් ඇල්හාල් තිඹක් ද මුව පිඩියක් ද කළයක්ද තෙල් කළයක් ද රැගෙන මොහොතකින් ගොස් මිනිසෙකු මෙන් ඔවුන්ගේ ගෙදොර සිට මේ ගෙදර මිනිස්සු කොහි ගියාහුදැයි ඇසීය. මේ හඬ අසා අඹුසැමි දෙදෙනා ගේතුළයැයි කියමින් ගෙදරින් පිටවූවාහු ය. ඉක්බිති ඔවුනට ශක්‍රයා පින්වත්නි, මේ ආර්යයන්ට දිය යුත්තක් තිබේදැයි ප්‍රශ්න කළ කල්හි ස්වාමීනි! අපි දුප්පත් වෙමු. ආර්යයන් වහන්සේට කොහෙන් දිය යුතු දෙයක් ලබම් ද යටත් පිරිසෙයින් කොළයක්වත් නැතැයි සියල්ල කීවෝ ය. ඉක්බිති ශක්‍රයා එසේ නම් මේ සහලින් බත් පිස මේ උපකරණත් සමග තෙරුන් වළඳව්. ඉදින් මම පසුවෙම් නම් මා ගැන නොසලකා නුඹලාත් අනුභව කරව්. ඉතිරිවා කැමැති හැටියක් කරවයි කියා ඒ ආහාර අඩු නොවන සේ අධිෂ්ඨාන කොට දෙව් ලොවටම ගියේය.
ඉක්බිති ඔව්හු ඒවායෙන් බත් පිස තෙරුන්ට වළඳවා ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වූයේ නො පැමිණි නිසා ඔව්නුදු අනුභව කළහ. සැළියෙහි එක හැන්දක් ගත් පමණක්ම පෙනේ. උපකරණ එසේම ඉතිරිව ඇති. ඉක්බිති ඔවුහු මේ ආශ්චර්යය දැක සතුටුව එතැන් පටන් බොහෝ භික්‍ෂු සංඝයා රැස්කරවා සත්කාර ගරුකාර කරමින් පුදමින් පර්වතපාදයෙහි මිනිසුන් හා නොයෙක් දුගී මගී යාචකාදීන්ට දිව්‍යමය ආහාර පානයන්ගෙන් සතපවා සිල් රකිමින් පෙහෙකම් කරමින් දැහැමෙන් සෙමෙන් වැස ආයු කෙළවර දෙව්ලොව උපන්නාහු ය.
12. පින්වතුනි, ශ්‍රද්ධා බලය බලව්. අඹුසැමි දෙදෙනා ශරීර මාංස දීම සඳහා කළ දන්දීම් අදහස් පුරා ඔවුහු දානයාගේ ආනිසංස ලැබූහ. තෙපිද ශ්‍රද්ධාධුරය සේවනය කරව්.
10. වත්‍ථුල පර්වත කථා වස්තුව නිමි.
5. මිගපෝතක වර්ගය නිමි.
1. සිංහලද්වීපයෙහි බුද්ධාගම පිහිටි කල්හි ඒ ඒ තැන පැතිර ගිය ධර්මය හා විනය ඇති රජරට උතුරාලු නම් එක් විශාල ගමක් විය. ඒ ගම අසළ ගොපලු ගමෙහි එක් ගොපලු සේවකයෙක් දහඩිය වැකුණු සිරුර ඇතිව කඩමාල්ලක් ඇඳ කැඳ බී පාදාමයක් හා කෙවිටක් ගෙන උදෑසනම ගවයන් බැලීමට වනයට යයි. ඉක්බිති ඔහුගේ මහළු මවු තොමෝ දරුව, නුඹ සමීපයට එන්නට කෙනෙක් නැත. මෙය කන්න යයි පිළුණු කටු අලයක් දුන්නේය. හේ එයත් රැගෙන යන්නේ අතරමග එක පිණ්ඩපාතික තෙර නමක් දැක වැඳ කටු අලය පාත්‍රයට බෙදුවේය. තෙරුන් වහන්සේ එය පිළිගෙන මෙසේ සැලකූහ. මේ ළමයා ඉතාම දුප්පති, ඔහුගේ මේ දාන වස්තුව සඵල කරන්නෙමියි එහිම සිටගෙන විදසුන් වඩා රහත් බවට පැමිණ වැළඳූහ. බුද්ධපුත්‍රයන්ගේ කරුණා මහත්ත්‍වය පුදුමයි.
2. සත්පුරුෂයන්ගේ කරුණා මහිමය මෙබඳු තන්හි පවතී. මේ බුද්ධපුත්‍රයන් වහන්සේ ඉතාම දුප්පත් ළමයා පිළිගැන්වූ පිට පොත්ත හරිහැටි ඉවත් නොකළ පිළුණුවූ ලුණු නොදැමූ පිසූ කටු අලය අනුභව කොට බාලයා සැපවත් කළසේක.
3. ඉක්බිති ඒ දරුවා ආයු කෙළවර කලුරිය කොට එම ගම එක්තරා ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. එකල්හි ඔහු පිදූ කටු අලයේ ආනුභාවයෙන් එක් නිධානයක් හට ගත්තේය. ඒ නිධානය උතුරා ලූ වැවෙහි ඔබිනොබ පෙරළෙමින් හැසිරේ. එකල්හි එක් ස්ත්‍රියක් පෙරළෙනු ලබන ඒ නිධානය දැක වේගයෙන් ගොස් එය ගත්තීය. ඉක්බිති එහි අධිගෘහිත දේවතාවා ඇගේ අත මිදවීය. ඉක්බිති ඇය එක අතක් මිදෙන කල එක අතකින් ගත්තීය. ඉක්බිති දේවතාවා ඇගේ එක් අතක් එහිම ඇලවීය. ඇය ඒ අත අදින්නට නොහැකි වන්නී හැඳි වස්ත්‍රාදිය හා පැළඳි අභරණද නිධානයටම දමා දෙවියන් ආරාධනා කොට මිදුණු අත් අත්තී නැවත ඒ නිධානය බැලීමට ද නොහැකි විය. ඉක්බිති ඇයගේ අතින් මිදුණු හැටියේම නිධානය ගොස් පොළොවෙහි පිහිටියේය. ඉක්බිති ඒ ස්ත්‍රිය ගොස් ඒ ප්‍රවෘත්තිය මිනිසුන්ට සැළකළාය. ගම්වැසි බොහෝ මිනිස්සු නිධානය බැලීමට වැවට ගියාහුය.
4. ඉක්බිති කටු අලය පිදූ ළමයාගේ මවද ඔහු කුසින් දරමින් තවත් පුතෙකු ඇකයෙන් වඩා ගෙන වැවට ගියාය. එකල්හි මේ නිධානය පොළොවෙන් මතුවී දිය මත ඔබිනොබ හැසුරුණෝය. එකල්හි මිනිස්සු අප සමීපයට ඒවායි පතමින් සිටියහ. ඉක්බිති ඒ කුමාරයාගේ මව් තොමෝ එසේ කියා සිටියාය. නිධානය ටිකක් දුරට පැමිණ ඇයගේ ඉදිරියෙහි සිටියේය. නැවත ඇය මගේ ඇකයේ වස දරුවාගේ පිනට පැමිණේවායි කීවාය. නොපැමිණියේමය. ඉක්බිති ඈ මගේ කුසහොත් දරුවාගේ පින කරණකොට පැමිණේවා යි කීවාය. එය කියූ සැටියේම නිධානය වහාම පැමිණ ඇගේ ඉදිරියෙහි සිටියේය. ඉක්බිති ඇය නිධානයට ඔබට සුදුසු තැන ඔබම දැන ගන්නයි කී හැටියේම නිධානය පොළොවෙහි පෙරළෙමින් ගොස් ඇගේ ගෙයි සුදුසු තැන පිහිටියේය. කුමාරයාට වැය කරණය හැර අන් කිසිවක් නිධානය කරන්නට ඉඩ නොදේ. ඉක්බිති මෑත කාලයක කුමරා මව් කුසෙන් නික්මී ක්‍රමයෙන් ශිල්ප ඉගෙන ගන්නා වයසට පැමිණියේය. එකල්හි දිවයිනෙහි මිනිස්සු පස්මැසි කුමාරයා සම්පත්තියට ගැලපෙන ආභරණයන්ගෙන් සරසා මංගල මොහොතින් ඉගැන්වීම් කරවති. එකල්හි ඔහුගේ මෑණියෝ අකුරු කියවීමේ මංගල උත්සවය දින පුතාට ආභරණ පළඳවන්නී, නිධානයෙන් එදා ස්ත්‍රිය විසින් අත්හරින ලද වස්ත්‍රය ගෙන හැන්දවූවාය. ඉක්බිති වස්තුව අයිතිකාරයෝ ඒ ගෙදරට ආවෝ වස්ත්‍රය හැඳින ගෙන මෙය මගේ වස්ත්‍රය යයි ගත්තෝ ය. කුමාරයාගේ මවු තොමෝ එය දැක වස්ත්‍රය ලැබුණු සැටි සියල්ල කීවාය. ඇය මේ නිධානය ලැබගෙන සඟවාගෙන වළඳන්නෙහි ය. නිධාන රජුට අයිති බව නොදන්නෙහි ද? කුමක් නිසා තී විෂයකටත් වඩා වැඩි නිධානයක් වළඳන්නෙහිදැයි කියා මෙසේ කීයේය.
5. සර්ප දෂ්ට විෂ විෂ නොවේ. රජුන් සන්තක ධනය ගැනීම නියම විෂ යයි, සර්ප විෂයෙන් කෑ එක තැනැත්තාම මැරේ. රජුන්ගේ ධන සංඛ්‍යාත විෂයයෙන් කුලයම නැසේ.
6. වනයෙහි ගස් ලැව් ගින්නෙන් දැවී ඉතිරිව ගිය ගස් තිබේ. රජ කෝප නමැති ගින්නෙන් දැවුණු කලැ මිනිස්සු ඉතුරු නොවෙති.
7. රජදරුවන්ට වඩා බලවත් මාරයා ද නැතහොත් මාරයාට වඩා රජතුමා බලවත් ද මෙසේ තොප සිතට සංශයක් වේද කල්ගත නොකර විපාක දෙන නිසා මාරයාට වඩා රජතුමා බලවත්ය.
මෙසේ කියමින් තර්ජන කළාය. ඉක්බිති කුමාරයාගේ මව මෙසේ කීවාය.
8. යමෙකු විසින් යම් ධනයක් අයුක්තියෙන් ලබන ලද්දේ නම් ඔහුට රාජාදි භය ලැබෙයි. යමෙකු විසින් පූර්වජන්මයෙහි වාසනාවෙන් ලබන ලද ධනයක් වේ නම් එය දෙවියන්ට ද විනාස කිරීමට නොහැකි වේ.
9. මෙසේ ඈලා අතර වස්ත්‍රය නිසා ඇති වූ කලහය මුල් කොට ඇති මෝ කථාව රජු ළඟට ගියේ ය. රජතුමා එය අසා ධනය ගෙන ඊමට මිනිසුන් යැවීය. මිනිස්සු ධන හිමියා ළඟට ගොස් නිධානය දැක නිධානය ඇල්ලූහ. ඉක්බිති ඒ නිධානය බියජනක ශබ්ද පවත්වමින් ඔබිනොබ පෙරලෙමින් දිගු කළ අත් එහිම ඇලෙමින් ගන්නට නොහැකි විය. රාජපුරුෂයෝ මේ ප්‍රවෘත්තිය රජුට කියා යැවූහ. රජතුමා එය අසා පුදුමව එසේ නම් ධනය අයිතිකරු ධනයත් සමග ගෙන ඒවා යයි කියා යැවීය. ඔවුහු නිධානයත් සමග ධන හිමියා ගෙන ගොස් රජුට පෙන්නූහ. රජතුමා නිධානයෙහි පුදුමය දැක ධනහිමියාට මෙසේ කීය. පින්වත, ඔබගේ නිධානයෙන් අපට ද ධනය දෙව, ඉක්බිති දිය ගෙන නිධානයට වත් කෙළේය. එකෙණෙහිම නිධාන මුඛයෙන් උඩට ආ මහත් වූ ධන රාශියක් විය. රජතුමා එය දැක ඉතා පුදුමයට පැමිණි සිත් ඇත්තේ නිධානය සමග ඔහුට මහත් වූ භෝග සමූහයක් දී ඒ ජනපදය ඔහුටම දී මහත් පිරිවරින් යැවීය. හෙතෙම එතැන් පටන් දන්දීම ආදී පින්කොට ආයුෂ කෙළවර අඹුදරුවන් සහිතව ගොස් දෙව්ලොව උපන්නේය.
10. යමෙක් ඒකාන්තයෙන් ගුණයන්ට ආධාර වූ භික්‍ෂූන්ට ශ්‍රද්ධාවෙන් දාන වස්තුව දේද: හෙතෙම පරලොව සංසාර නමැති මහා දුර්ගයෙහි සම්පත් නමැති නැවෙහි පිහිටීමට පැමිණේ.
1. උත්තරොලිය කථා වස්තුව නිමි.
1. එක් කලෙක ලඞ්කාවෙහි සද්ධාතිස්ස නම් රජ කරවයි. එකල්හි එක් රාජපුරුෂයෙක් රජතුමා විසින් කොටහල් දනව්වට යැවීය. රාජකාර්යයෙහි යෙදුණු එගම් වැසි මිනිස්සු ඔහුට ආගන්තුක සත්කාර කරමින් ගිතෙල් ව්‍යඤ්ජන සහිතව බස් පිස කාලය සැලකවූහ. ඉක්බිති ඔහු බොජුන් සඳහා හුන් කල්හි එක් භික්‍ෂුවක් පිඬු පිණිස හැසිරෙමින් එතැනට පැමිණියේය. හේ තෙරුන් දැක පැහැදී එතැනට පැමිණ පාත්‍රය ගෙන ගිතෙල් සහිත බත් තෙරුන්ට දුන්නේය. ස්ථවිරයන් වහන්සේ බත් වළඳා ගිතෙල් බෙහෙත් සඳහා එළවුය. හේ මෙතෙක් පින්කම් කොට ආයු කෙළවර කළුරිය කොට මේ දිවයිනෙහිම වල්ලව ගමෙහි එක්තරා ගෙදරක උපන්නේය.
ඉක්බිති ඔහුගේ දෙමවුපියෝ සුමන යයි ව්‍යවාහර කළහ. හේ ක්‍රමයෙන් වැඩිවිය පැමිණ විවාහ වී ගෙදර වාසය කරන්නේ ගිහිගෙයි ආදීනව ද පැවිදිවීමේ ආනිසංසය ද දැන සැපත් අත්හැර බ්‍රාහ්මණරාම විහාරයට ගොස් පැවිදිව පටන්ගත් වීර්ය ඇත්තේ වත් පිළිවෙතින් යුක්තව නොබෝ කලකින්ම විදසුන් වඩා රහත් බවට පැමිණ තම්බසුමණ තෙරණුවෝ යයි ප්‍රකට වූහ. ඉක්බිති ඔහුගේ පින් බලෙන් එම වෙහෙරෙහි තිඹිරි ගසක අධිගෘහිත දෙවියා තෙරුන්ට නිතොර දිව්‍යමය ආහාරයෙන් උපස්ථාන කෙරේ. ඒ තෙරුන්ගේ දොළොස් වස් කාලයෙහි ලක්දිව බැමිණිතියාසාය පැමිණියේය. එකල්හි දුබ්බික් දුකින් මිනිසුන් පෙළෙන කල්හි තෙරුන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් ආහාරයෙන් ක්ලාන්තවෙනු දැක ඔවුන් අමතා ඇවැත්නි, අපි කොහි ගොස් ජීවත් වෙමුදැයි කියා එක්සිත් වූ කල්හි තෙරුන්වහන්සේ ගමනට සූදානම් වූහ. මේ දෙව්පුත්තෙම ස්වාමීනි, කුමක් නිසා ගමනට සූදානම් ද? කොහි වඩිනා සේක්ද? ඇසූහ. මේ අසා තෙරුන් වහන්සේ දෙව් පුතාට මෙසේ කීහ.
2. එම්බා දිව්‍ය පුත්‍රය, දැන් මේ ලඞ්කාද්වීපය හුදෙක් දුර්භික්‍ෂා විය. විල් පොකුණු වේලී පැලී ගියාහුය.
3. මත්ස්‍යයෝ විනාශ වූහ. පිපාසයෙන් යුත් මුවෝ ඌරෝ දුර පෙනෙන මිරිඟු දිය දැක දුවති.
4. වෘක්‍ෂයෝ වැටී ගිය කොළ ඇත්තෝ වූහ. පොළොවෙහි හටගත් තෘණ හා පැලෑටි වර්ග සැඩ සුළඟින් බොහෝ සෙයින්ම වියළී ගියහ.
5. දිවයිනෙහිම මිනිස්සු නරක ආහාරයෙන් පෙලුනාහ. ඇට හා මස් පමණක් ඉතිරිව ගිය මොවුන්ගේ ලේ වියළී ගියහ.
6. දේවතාවුන් වහන්ස, ජීවිත ආශාව ඇති මිනිස්සු ජීවිත ආසාව නිසා අඹුදරුවන් රැගෙන යම් තැනෙක ජීවත්වීමට හැකිවෙද්ද ඒ ඒ තැන්වලට ද අඹුදරුවන් සමග ගියාහු ය.
7. දේවතාවුන් වහන්ස, මේ සිංහල රටෙහි ජීවත්වීමට නොහැකිය. එනිසා දඹදිව යන්නෙමුයි කීය.
8. මේ අසා, දෙව්පුත් තෙම ඔහුගේ අතීත කර්‍මය ප්‍රකාශ කොට ගමන් සිත වලක්වමින් මෙසේ කීය.
9. ස්වාමීනි, නුඹවහන්සේ අතීත කාලයෙහි එක් භික්‍ෂු නමකට පින්ඵල විශ්වාස කරමින් ගිතෙල් සහිත බත් දුන්නේය.
10. එයින් චුතවූ ඔබ ඒ පින්කමේ ආනුභාවයෙන් සැපවත් වූ මේ දෙවැනි ආත්මභාවයෙහි ඉපිද - සැපයෙහි පිහිටියේය.
11-12. දෙමවුපියන් අතහැර අමු රන් සහිත සිය ගෙදර අත හැර බුදු සසුන්හි බැඳ සිතැතිව එහි මහණව, පිළිවෙත් පුරන්නෙක් වී තිලකුණු වඩා ඒ ඔබ රහත් වූයෙහි. එය එකල්හි දුන් දානයාගේ විපාකයයි.
13. මා විසින් දෙන ලද යම් ඒ දිව්‍යමය ආහාර වළඳන්නෙකි. ඒ මේ එදා දුන් දනෙහි විපාකයයි.
14. මේ සිංහලද්වීපයෙහි දුබ්බික් බිය යම් කලෙක සංසිඳේද ඒතාක් කඩනොකොට දානය දෙමි. මට කරුණා කොට ශිෂ්‍යයන් සමග මෙහිම වාසය කරන්න.
15. සිවුරු පිණ්ඩපාත බෙහෙත් යහන් ආසන යන මේවා ඔබගේ පින් බලයෙන් උපන්නේය.
16. පින්වතුන් වහන්සේලා කිසි දිනක දඹදිවට නොවඩිනු මැනව. ධ්‍යාන භාවනා කොට දුක් කෙළවර කෙරෙත්වා.
17. මෙසේද කියා දෙව්පුත් තෙම දඹදිව් ගමන නවතා එතැන් පටන් තෙරුන්ට දිව්‍යමය සිවුරු පිණ්ඩපාත සේනාසනයන් ගෙන් උපස්ථාන කෙරේ. එය පන්සියයක් දෙනා වහන්සේට පොහෝනේ විය. මේ දෙව් රජ තෙම දොළොස් අවුරුද්දක් උපස්ථාන කෙළේය. දුබ්බික් බිය සංසිඳුණු කල්හි ස්ථවිරයන් වහ්නසේ දිව්‍ය පුත්‍රයාට අමතා දනව් සැරිසරන්නෝ පන්සියයක් භික්‍ෂූන් සමග පිළිවෙලින් රජ රට කඩරොද්ද නම් මහගමට පිඬු පිණිස හැසිර එක් තැනක හිඳ වළඳන්නට පටන් ගති. භික්‍ෂු සංඝයා ද එදා වැසි වලාකුල් වලින් ගැවසී ගත් කල්හි සූර්යාලෝකය නොදැක්කෝය. ඉක්බිති ඇතැම් භික්‍ෂූහු කුකුස් කරන්නෝ නොවැළඳූහ. ඉක්බිති ස්ථවිරතෙම ඔවුන්ගේ කුකුස නැති කිරීමට එක් (සකුරු පහනක්) ගල් කැටයක් ගෙන නිය අගින් අහසට දැම්මේය. හේ අහසට පැන නැගී හිරු මෙන් දිලිහෙමින් සිටියේ ය. ඉක්බිති ඒ භික්‍ෂූහු සැක නැත්තෝව වැළඳූහ. එනිසා ඒ ස්ථානය එතැන් පටන් මිණිසූරිය නාමයෙන් ප්‍රකට විය. ඉක්බිති තෙරුන් වහන්සේ නික්මී ගඟ අසල සුළුවැසර නම් ගම පිඬු පිණිස හැසිර ගං ඉවුරෙහි හිඳ වළඳන්නේ ඒ භික්‍ෂූහු ව්‍යඤ්ජන මඳව රූක්‍ෂ බත් වළඳනු දැක ඇවැත්නී රළු බත් නොවළඳව්. සුවඳ ගිතෙල් මගේ පිනෙන් හට ගනී. එය සමග වළඳන්න යයි කීයේය. එය භික්‍ෂූහු නිශ්ශබ්ද වීමෙන් ඉවසූහ. තෙරුන් වහන්සේ ද එකල්හි තමා විසින් මුල් ජීවිතයේ එක භික්‍ෂුවකට දෙන ලද ස්වල්ප ගිතෙල් ගැන කල්පනා කොට මේ ගඟෙහි දිය ගිතෙල් වේවායි අධිෂ්ඨාන කළෝය.
ඉක්බිති සුළු වෑසර විහාරතොට සිට බත්බුන්නතොට දක්වා යොදුන් දෙකක් පමණ ජලය වෙනස්ව ගිතෙල් විය. භික්‍ෂූහු හැකිතාක් වැළඳූහ. කියන ලදි.
18. ගිතෙල් ටිකක් දීමෙන් මෙවැනි ප්‍රතිඵල ලැබීය. යමෙක් බොහෝ බෙහෙත් දෙද්ද එහි ප්‍රතිඵල කවරෙක් කියත් ද?
19. ඉක්බිති ගඞ්ගාවේ දෙපස ගම්වැස්සෝ එය අසා මහසැල, කළ කොතලාදිය පුරවා තම තමන් ගෙවල එක්රැස් කළහ.
20. එක් භික්‍ෂුවකට එක් වරක් දුන් දානයාගේ ප්‍රතිඵල මේ යයි දැන පින්වත්හු දාන වස්තුව ඇති කල්හි සිල්වතුන් සොයා ශ්‍රද්ධාවෙන් දන් දෙව්.
2. තම්බසුමන ස්ථවිරයන්ගේ කථා වස්තුව නිමි.
1. ලෝ වැස්සා ධර්ම අමෘත රස පානයෙන් නිවන් මහ නුවර පුරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේට පෙර කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූහ. එකල්හි දනව් වැසි මිනිසෙක් වෙළෙඳාමෙන් ජීවත් වෙමින් වසයි. ඉක්බිති පසු කාලයක හෙතෙම හිරියල් සුණු විකුණමින් ගම් නියම්ගම්හි හැසිරෙයි. එකල්හි එක් ගමෙක යොවුන් ස්ත්‍රියක් එය දැක කැඳවා මිළෙන් මනො සිලා සුණු ගත්තේය. ඉක්බිති වෙළෙන්දා විසින් බඩ සා ඇත්තෙමි මෑණියෙනි යි කී කල්හි ඕ තොමෝ ඔහුට මොනර මස් රසයෙන් සුවඳ ගිතෙල් සමග ඇල්හාලේ බත් වැඩුවේය. එකෙණෙහි එක් සුනඛයෙක් වෙවුලමින් බඩසයින් යුක්ත වූයේ කෙළ ගිලිමින් ඔහුගේ ඉදිරියට ගියේය. ඉක්බිති හේ ඔහු දුකට පත් වූ බව දැක කරුණාවෙන් කම්පාවන හෘදය ඇත්තේ මොනර මස් රසයෙන් හා තෙලේ මිශ්‍ර කොට මහත් වූ බත් පිඩක් දුන්නේ ය. ඒ බල්ලා බත් අනුභව කොට සතුටු වූයේ වල්ගය හොල්ලමින් ඔහුගේ ඉදිරියට පැමිණියේය. මේ දැක වෙළෙන්දා ද සතුටුව මෙසේ ප්‍රාර්ථනාවක් තැබීය.
2. මේ පින්කමින් ජාතියක් ජාතියක් පාසා මම ගිතෙල් හා මොනර මස් සහිත උසස් ඇල්සාල් බත් ලබම්වා අවසානයෙහිදී නිවන් පුරය භජනය කරම්වා!
3. ඒ වෙළෙන්දා මෙපමණ පිංකම් කොට ජීවිතය කෙළවර දෙව්ලොව ඉපද බුද්ධාන්තරයක් මහත් දිව සැපත් අනුභව කොට එයින් චුතව මිනිස් ලොව පන්සියයක් වරක් ඉපදී මොනර මස් ගිතෙල් සමග ඇල්හාලේ බතම ලැබීය. එහෙයින් මේ බුද්ධොත්පාද කාලයෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සිංහල රටෙහි මහවැලි ගං ඉවුරෙහ පූගලු නම් ගමැ එක්තරා ගෙදරක පිළිසිඳ ගෙන පිළිවෙලින් ගැබ මෝරා මවු කුසින් නික්මුණේය. ඔහුගේ මවුපියෝ තිස්ස යයි නමක් කළහ. හේ වැඩිවියට පැමිණියේ ගිහි ගෙදර විපාක ද පැවිද්දෙහි ආනිසංස ද අසා සියළුම සම්පත් අතහැර පූගලු විහාරයට එළඹ පැවිද්ද ඉල්ලීය. භික්‍ෂූහු ඔහු පැවිදි කොට උපසම්පදා කළාහු ය.
හෙතෙම බොහෝ කලකින්ම උත්සාහ කරන්නේ උසස් ඵලය වූ රහත් බවට පැමිණියේ පින්වතෙක් හා නැණවතෙක් විය. තිස්ස තෙරණුවෝ යයි මුළු සිංහල රටෙහිම ප්‍රසිද්ධ වූහ. ඒ තෙරුන්ගේ පාත්‍රය යම්කිසි ඉසුරුමත් කෙනෙක් හෝ දිළින්දෙක් ගත්තාහු නම් හේ වනාහි ඔහුට මොනර මස්, සුවඳ ඇල්හාලේ බත් හා ගිතෙල් සමග පුරවා දෙයි. මේ ක්‍රමයෙන් මොහුට සැට අවුරුද්දක් ඉක්ම ගියහ.
4. ඉක්බිති මෑත කාලයෙහි එක් ඇමැති පුතෙක් මෙසේ සිතී ය. මේ තෙරුන්ට නිතොර මොනර මස් සුවඳ ගිතෙල් සහිත ඇල්සාල් බත්ම උපදී යයි බොහෝ දෙනා කියත්. මෙය අප විසින් වනාහි මේ කරුණ පරීක්ෂා කරන්නට සුදුසු යයි සිතා ගෙදරට ගොස් රෑ යාමයෙහි භාර්යාවට මෙසේ කීයේය. සොඳුර, පූගලු විහාරයෙහි වාසය කරන තිස්ස ස්ථවිරයන්ට අද දනක් දෙනු කැමැත්තෙමි. තෙරුන් වහන්සේ මෙහි පැමිණි කාලයෙහි නිවුඩු සාලෙන් කුඩුමුසු කැඳ පිස වළඳවා වේලාව සමීප වූ කල්හි පලා මාලුවක් හා කාඩි ඇඹුල් දෙවැනි කොට නිවුඩු සාලේම බත් දෙන්නැයි කියා රැය පහන් වූ විට තමාම විහාරයට ගොස් තෙරුන් වැඳ ස්වාමීනි, අද අපට අනුග්‍රහය කරන්න යයි ආරාධනා කොට තෙමේ අන් තැනක ගියේ ය.
ඉක්බිති ඔහුගේ ගෙදර අධිගෘහිත දෙවියා රාත්‍රී භාගයෙහි භාර්යාව සමග කථා කරන ඒ වචන අසා මොවුහු ඒකාන්තයෙන් මේ තෙරුන් විසින් පෙර කරන ලද කර්මය විපාකය කිසිවෙකු විසින් නොවැලැක්විය හැකි බව සිතා ඒ ගෙදර මහළු මිනිසෙකු මෙන් ඇල්සහල්, මොනර මස් සහ ගිතෙල් කළයක් ද ගෙන ගෙදරට පැමිණ ඔහුගේ භාර්යාවට දුන්නේය. ඈ විසින් කොහෙන් ගෙන එන ලද්දේ දැයි ඇසූ කල්හි දේවතාවා මෙසේ කීයේය. මෑණියෙනි, අමාත්‍ය පුත්‍ර තෙම මා දැක පින්වත, මා විසින් පූගලු වාසි තිස්ස හිමියන්ට දනට ආරාධනා කරන ලදි. තෝ මේ උපකරණ ගෙන ගෙදරට ගොස් ගෘහණියට දී මෙසේ කියව. මෙයින් බත් පිස ව්‍යඤ්ජන සහිතව තෙරුන් වළඳවන්න යයි මට කීවේය යයි කියා අතුරුදහන් විය.
5. ඕ තොමෝ ද ඔහුගේ කථාව අසා මස් සහිත බත් පිළියෙල කොට තෙරුන් වහන්සේ පැමිණි කල්හි පාත්‍රය ගෙන වැඩ හිඳුවා ව්‍යඤ්ජන සහිත බත් වැළඳ වීය.
තෙරුන් වහන්සේ බත් කිස නිමවා විහාරයට වැඩි සේක. ඊටපසු ඇමැතියා පැමිණ භාර්යාවන්ගෙන් තී තෙරුන්ට ආහාර දුන්නේ දැයි විචාළේය. ඕ තොමෝ නුඹ වහන්සේ එවූ උපකරණයන්ගෙන් බත් පිළියෙල කොට දෙන ලදැයි කීවාය. ඇමැතියා, සොඳුර, මා විසින් නොඑවන ලදි. කා විසින් එය ගෙන එන ලද්දේ දැයි ඇසීය. අසුවල් මහල්ලා විසිනැයි කී කල්හි ඔහු ද විචාරා ඔහු විසින් මෙවැන්නක් නොගෙනෙන ලදි යයි කී කල්හි එය තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් මේ දෙවියන්ගේ වැඩක් යයි දැන කළ පින් ඇත්තහුගේ කුසල් විපාකය වලක්වන්නට නොහැකි යයි කියා බුදුසසුන්හි පැහැදුනේ දානපතියෙක් විය. ඊට මෑත භාගයෙහි තෙරුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි වැදහොත්තේ වෙහෙර බෙර හසුරුවා භික්‍ෂූන් කැඳවා තමන් පිරිනිවන් පානා බව ප්‍රකාශ කෙළේ ය. ඉක්බිති භික්‍ෂූහු නුඹ වහන්සේ මහ පින් ඇත්තෙකි. නුඹ වහන්සේගේ පින මුළු ලඞ්කාවෙහිම ප්‍රකටය. අතීතයෙහිදී කවර නම් පින්කමක බලයෙන් මේ විපාකය ලැබී දැයි විචාළහ. එය අසා තෙරුන් වහන්සේ තමා විසින් අතීතයෙහි කරන ලද කර්මය ප්‍රකාශ කරමින් මෙසේ කීය.
6. මේ භද්‍ර කල්පයෙහි කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ නමක් මුළු සත්වයන්ට හිතවත්ව උපන්නේය.
7. මම එදා හිරියල් වෙළඳාම් කරන වෙළෙන්දෙක් වීමි. ඒ වෙළෙඳ කර්මයෙන්ම ඒ ඒ තැන ඇවිදිමින් ජීවත් වූයෙමි.
8. ඉක්බිති එක් දවසක වෙළෙඳාම සඳහා ජනපදයකට ගියෙමි. එහි එක ගෙදරක කුලදැරියක් මා දැක,
9. මගෙන් බඩු රැගෙන බඩසයින් පෙලුණු මා දැක්කාය. ඉක්බිති ඇය මොනර මස් සුවඳ ගිතෙල් සමග,
10. ඇල්හාලේ බත් ද කරුණාවෙන් වැළඳීමට මට දුන්නීය. ඉක්බිති මම බත් කනු කැමැති බල්ලකු දැක,
11. ගිතෙල් සහිත බත් පිඩකින් සතපවා මෙසේ පැතීමි. මම ඒ පින්කමින් දෙව්ලොවට ගියෙමි.
12. එහි දී දෙවියන් සමග රුවන්මය ප්‍රාසාදයෙහි මිහිරි නෘත්‍ය ගීත වාදිතයන්ගෙන් සතුටුව,
13. දෙවඟනන් පිරිවරා දිව්‍ය සේනාව මුල් කරගෙන දිව්‍ය සම්පත් අනුභව කොට බොහෝ කාලයක් ගත කෙළෙමි.
14. එයින් චුතව මිනිසුන් අතර ජාති පන්සීයක් මහත් ධනය ඇති මහා භෝග ඇති විශාල වූ ලෝකයා ගරු කිරීමට භාජනය වූ.
15. නෑ සමූහයා විසින් පූජා කරන ලද උසස් කුලයක උපන්නෙමි. කර්මයට සුදුසු සම්පත් මම අනුභව කෙළෙමි.
16. ගිතෙල්, මොනර මස්, ඇල්හාලේ බත් පන්සියයක් ජාතිවල නිතර වළඳන ලද මගේ ආහාරය විය.
17. මේ අන්තිම ජීවිතයේදී එවැනි භෝජන හැම කල්හිම ලැබීමි. මගේ එක බත් පිඩක ආනිසංස බලන්න.
18. පින්වතාගේ පින්කම මාරයාට ද වැළැක්වීමට නොහැක. එය වැළැක්වීමට සමත් අන් කවරෙක් වේද?
19. තිරිසන්ගතයකුට පවා යමෙක් දන් දේද මා සේ හේ සියළුම භවයන්හි ත්‍රිවිධ සම්පත්ති විඳින්නේය.
20. මෙසේ උන්වහන්සේ භික්‍ෂු සංඝයා මැද තමා විසින් කරන ලද කුශල කර්මය ප්‍රකාශ කොට අවවාද කොට පිරිනිවන් පෑ සේක. තෙරුන් වහන්සේගේ වචන අසා මහාජනයා දන්දීම් ආදී පින් කොට මැරී ගොස් දිව්‍ය ලෝකයෙහි උපන්නාහ.
21. ඉතා සුළු දන්දීමකින් පවා මිනිස්සු මෙසේ පුදුම විපාකයක් ලබති. බොහෝ කාලයක් මුලුල්ලේ දුන්නාවූ දානයාගේ විපාක බුදු නොවූ කිසිවෙකුට මෙපමණ යයි කියා නිම කිරීමට නොහැක.
3. පූවපබ්බත තිස්ස කථා වස්තුව නිමි.
1. එක් කලෙක ලඞ්කාවෙහි දුටුගැමුණු අබය නම් රජෙක් රජ කරවීය. එකල්හි ඔහුට තිස්ස නම් එක් සුළු සේවකයෙක් අභ්‍යන්තරව රජකම් කරයි. එකල්හි රජුගේ කණ්ඩුල නම් ඇතා යදම හා බැඳි කණුව බිඳ නැගෙනහිර බලා කැලයට වැදී සල් බෝ ගස් කොළ ආදිය සිඳ බිඳ කමීන් පිළිවෙලින් මහකඳුරු නම් විහාරයට ගොස් ඒ ඒ තැන්වල රුක්මුල්සුන්‍යාගාර ආදී තැන්වල ධ්‍යානඞ්ග දරණ භික්‍ෂූන් දැක පසන් සිත් ඇත්තේ ඔවුනට කුඩා ගෙඩි මහා ගෙඩි ගෙනවිත් උපස්ථාන කරන්නේ එහිම වාසය කෙළේය. රජතුමා ඒ ඇතා ගිය තැන් පරීක්‍ෂා කරන්නේ නොදැක අමාත්‍යයන් සතර දෙනෙක් සතර දිශාවට යවා සුළු සේවක තිස්ස ඇමතියා නැගෙනහිර දිශාවට යැවී ය. අන් දිශාවන්ට ගියෝ ඇතා නොදැක්කෝය. ඒ ඇමතියා ගම් නියම්ගම් පරම්පරාවෙන් හැසිරෙන්නේ පිළිවෙලින් එම විහාරයටම පැමිණියේය. එම විහාරයෙහි,
2. යම් යහපත් විහාර උපවනයෙක්හි රුක්ඛමූලිකාඞ්ග භාවනා වඩන්නෝ, ඒ ඒ රුක්මුල්හි හුන්නාහු ය.
3. ඒ ඒ විහාරයෙහි අභ්‍යවකාශයෙහි භාවනා කරති. යහපත් භාවනා ක්‍රම ගෙන සුන්‍යාගාරයෙහි ඇලෙති.
4. පාංශුකූලික අඞ්ග සමාදන්වූවෝ ද කසිණ භාවනා වඩන්නෝ ද මැණික් පොරෝනා පෙරවූ එකචාරී ඇතුන් මෙන් භාවනාවෙහි සිත් අලවා වෙසෙති.
5. යම් තැනක සොසානිකාඞ්ගය රකින නිතර මරණ සිහිය ඇති බුද්ධපුත්‍ර භික්ෂූහු බුද්ධ ශාසනයෙහි මනාව ඇලෙති.
6. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා (යන බ්‍රහ්ම විහරණ) වඩන පිණ්ඩපාතික භික්ෂූහු මේ විහාරයෙහි වාසය කරති.
7. ඒ ඒ තැන්නවල නෙසජ්ජික ධුතාඞ්ගධාරීහුය. එකාසනිකාඞ්ග ධූතාඞ්ගධාරීහු ය. බුද්ධානුස්සති ආදි අනුස්සති භාවනා වඩන භික්‍ෂූහු විහාරයෙහි වාසය කෙරෙති.
8. සිල්වත් ගුණවත් බුද්ධශාසන මාමකයෝ යම් වෙහෙරක වසත් ද එතැනට චූලතිස්ස ඇමැති තෙමේ ද පැමිණියේය.
9. මේ අමාත්‍යයා විහාරයට ගොස් භික්‍ෂු සංඝයාට වැඳ එකත්පස්ව සිටියේය. ඉක්බිති කණ්ඩුල නම් ඇති එකල්හි මනාව පැසුණු කරගෙඩි සහිත කර අත්තක් කඩා, භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීය. ඇමැතියා එය දැක මෙවැනි කැකුළු ඵරුෂ මිනිසුන් මරණ තිරිසන්නු ද ගුණවන්තයන්ගේ ගුණයෙහි පැහැදුනේ වතාවත් කරති. මේ භික්ෂූහු නොයෙක් වතාවත්වලින් මහණකම මුදුන් පමුණුවා ප්‍රත්‍යදායකයන්ට ද තමන්ටද ප්‍රත්‍යය වෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවය නොසිතිය හැකියයි පුදුම විය. ඒ එසේමැයි.
10. අපිස් සතොස් හා විවේකකාමීන්ට තපසම ධන කොටැති පිරිසිදු සිල් ඇති බව දැක මිහිරි බව දැනගෙන කාගේ නම් සිත ප්‍රීතියට පත් නොවන්නේද? වන්නේමැයි.
11. ඉක්බිති ඇමැතියා භික්‍ෂු සංඝයා වහන්සේට වැඳ රජු සමීපයට ගොස් රජතුමනි, කණ්ඩුල ඇතා මහ කඳුරු වෙහෙරට ගොස් මහා සංඝයා වහන්සේට වතාවත් කරනු මා විසින් දක්නා ලදැයි කීයේය. ඒ අසා කොල, තෝම ඇතා අල්ලා ගෙන එන්න යයි රජතුමා කීයේය. ඉක්බිති හේ යහපතැයි පිළිගෙන සංඝයා වහන්සේට බොහෝ උක් සකුරු ආදිය ගෙන්වාගෙන වෙහෙරට ගොස් මනාව ඉදුණු කරගෙඩි ගෙන්වා සකුරුත් සමග මිරිකා පැන් කොට භික්ෂූන්ට වළඳවා පැහැදුණු සිත් ඇත්තේ ඇතා ගෙන නගරයට ගියේය.
හෙතෙම මෙපමණක් පින් කොට එයින් චුතව මේ ලංකාද්වීපයෙහිම උතුරෙහි අඹවිටි නම් ගමෙහි එක් ගෙදරක උපන්නේය. ඔහුගේ මවුපියෝ ඔහුට තිස්ස යයි නම් තැබූහ. හේ වැඩි වයසට පැමිණ සුදුසු කුමාරිකාවක් සමග වාසය කරන්නේ ගිහිගෙයි කළකිරී පැවිදිව තිස්ස තෙරණුවෝ යයි ප්‍රකටව ප්‍රතිපත්තියට ගරු කරන්නෙක්ව වාසය කරයි.
ඉක්බිති හේ මෑත භාගයෙහි ජයමහ බෝධිය වඳිනු සඳහා යන්නාවූ භික්ෂූන් හා උපාසක උපාසිකාවන් සමග නැවට නැංගේය. මෙසේ නැවෙහි ගමන් කරන ඔවුනට ජලය නිමාවට පත්විණ. එකල්හි ඒ තෙරණුවෝ පවස ඇත්තේ පැන් සොයා නොලැබ පවස ඉවසන්නට නොහැක්කේ පාත්‍රය බහා මුහුදු දිය ගෙන බීමට පටන් ගත්තෝය. එකෙණෙහිම ඒ ලුණු දිය උන්වහන්සේගේ ආනුභාවයෙන් වෙනස්ව මිහිරි රස ඇති සකුරු පැනක් සේ විය. කියන ලද මැයි.
12. සුළු පින්කමක ආනුභාව මහත් බව අහෝ පුදුමයි. අද්භූතයි. ලොම් කෙලින් සිටුවයි. අතීතයෙහිදී භික්ෂූන් වහන්සේට සකුරු පැන් දී හේ මහසයුරේ වතුර මිහිරි බවට පෙරළිණ.
13. ඉක්බිති ඒ තෙරණුවෝ පැන් බී නැවේ සියළු දෙනාට ද දුන්නෝය. එය රසවත්, ඔජවත්, ක්‍ෂය නොවන දිව ආමවතුර සේ විය. ඒ සියළුම මහාජනයා මහ බෝ වැඳීමට යන එන කල්හි එම පැන්ම බීවාහුය. ඉක්බිති ආයුෂ ඇතිතාක් පින් කොට කළුරිය කොට දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක ඉපිද අප්සරාවන් දහසක් දෙනා විසින් පිරිවරා මහත් වූ දිව්‍ය සම්පත් අනුභව කෙළේය. ඔහුට ඒ සකුරු පැන් දිව්‍ය මනුෂ්‍ය ලෝකවලද නිතරම ඇතිවේ. ඒ ඒ තැන දිව්‍යමය පැන් සැළි පුරා සිටිති. පැමිණි පැමිණි දෙවියෝ ඒවායින් පැන් බී නටමින් ගයමින් කෙළිමින් තම තමන්ගේ ගෙවලට ද පැන් ගෙන යති. මෙබඳු ආනුභාව සම්පන්න පැනක් විය.
14. ලෝකයෙහි සමහර කෙනෙක් පැන් ටිකකින් මෙසේ මහත් වූ සම්පත් ලබති. බොහෝ දානවස්තු දුන් මිනිසාට මේ ලෝකයෙහි ලැබෙන විපාකය කවරෙක් වර්ණනා කෙරෙත්ද?
4. චූලතිස්ස කථා වස්තුව නිමි.
1. සද්ධාතිස්ස මහරජතුමාගේ කාලයෙහි රුහුණු දනව්වෙහි තිස්සම්බතොට නම් ගමෙහි මුණ්ඩගුත්ත නම් එක් දුගියෙක් විය. ඔහුගේ භාර්යාව ද තිස්සා නමි. ඕ ද එබඳුම ය. ඔවුහු අමාරුවෙන් එහි ජීවත් වන්නෝ අනුන්ගෙන් කහවණු සැටක් පමණ ණයට ගෙන එය ගෙවන්නට නොහැකි වන්නෝ ණයෙන් මිදෙන තුරු ඔහුගේ ගෙදර දාසකම් කොට කාලය ගත කරති. එසමයෙහි ගම්වැස්සෝ බොහෝ භික්‍ෂු සංඝයාට ආරාධනා කොට දන් දෙමින් සිල් රකිමින් පින්කම්හි නිරතව වසත්. ඉක්බිති මේ අඹුසැමි දෙදෙනා සියල්ලෝම දන් දෙති. අපි හොඳටම දුප්පත් නිසා දන්දීමට නොහැකි වෙමු. පෙර කිසිවක් නොකළ නිසා දැන් මහ දුප්පත්තු වූහ. දැනුදු කිසිවක් නොකොට අනාගතයෙහිද මෙසේ වන්නෙමු. යම්කිසි උපායකින් දන් දීමට වටී යයි සාකච්ඡා කළහ. ඉක්බිති ඇයගේ ස්වාමියා සොඳුරු ගම්වැස්සෝ නොයෙක් සූප ව්‍යඤ්ජනයන්ගෙන් පංච ගව රසය සමග දන් දෙති. අපි කෙසේ දෙමු දැයි කියා සැඟවුනේ ය. ඕ තොමෝ අද ද හෙට ද මරණය යයි නොපැණේ. රළු හෝ ප්‍රණීත වූ හෝ දෙයක් දුන්නේ නම් එයම උසස් යයි කියති. මෙසේ කීහ.
2. අද අදම කළ යුත්ත කටයුතු ය. හෙට මරණය සිදුවේ දැයි කවරෙක් දන්නේද? නොයෙක් සේනා වාහන ඇති මාරයා හා අප අතර විශ්වාසයක් නැත.
3. එනිසා හිමියාණෙනි, ප්‍රණීත හෝ රූක්‍ෂ හෝ වේවා ලබන ලද්දක්, එයින් අවස්ථා පැමිණිවිට සංඝයාට දන් දෙමු. ක්‍ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා.
4. මෙසේ කියා දෙවැනි දවස තමන්ගේ දිළිඳුකම නිසා කාඩි බත ලුණු නොදමා පිසූ කර කොළ සමග එක භාජනයක් පුරා හිසින් උසුලන්නී. ආසන ශාලාවට ගෙන ගොස් සිටියේ මහළු කළ පැවිදි වූ එක් මහළු පැවිද්දෙක් පැවිදී පඞ්ක්ති ලැබ ඒ භික්ෂුවගේ පාත්‍රයෙහි බල්ලන්ට බත් දෙන පෝරුවෙහි දැම්මේ ය. මෝහයාගේ විපාක පුදුමයි. ඒ එසේමැයි.
5. මෙය සුදුසුය, මෙය නුසුදුසු යයි යන්න මුළාවූ විට නොදනිති. කළ යුත්ත නොකළ යුත්ත, කරුණ නොකරුණ නොදනිති.
6. ඔවුහු මෙලොව පමණක් දකිති. පරලොවක් නොබලති. හරිහැටි කරුණු නොදන්නා හෙතෙම ගර්‍හාවෙන් මිදීමට පත් නොවේ.
7. මෙසේ අවැඩදායක වූ මෝහය නිතරම අනිටු ඵල ගෙන දේ. සියළු සතුන්ගේ සිත්හි නොම පවතීවා.
8. ඉක්බිති ඒ උපාසිකා තොමෝ එදැක සොම්නසට පැමිණියේ ගෙට ගොස් ශොක කරමින් වැදහොත්තීය. ඉක්බිති ඇගේ ස්වාමියා කැලෑවෙන් පැමිණ ඒ දැක සොඳුර, අමාරුවක් දැයි ඇසීය. ඕ තොමෝ සැමියාට නොකැමැත්තෙන් දන් දුන් නිසා පිළිවදන් නොදුන්නී ය. ඉක්බිති ඕ තොමෝ සැමියා විසින් නැවත නැවතත් විචාරණ ලද නිසා සියළුම ප්‍රවෘත්තිය කීවේය. ඒ අසා හෙතෙම නොසතුටු සිත් ඇත්තේ සොඳුර, කුමක් කරමුද? මෙය අපේම වැරැද්දයි. මේ බුද්ධොත්පාද කාලයෙහි අපට පිහිාටක් නොකර ගත්තමු නම් අපේම පිරිහීම වන්නේය. ඒ නිසා දන් දිය යුතුමය යයි කියා ඔවුහු දෙදෙනාම එක් ඊශ්වර කුලයකට ගොස් තමන්ගේ පුතා මිළ කොට ඒ ගෙදරට දී කහවණු 8 ක් වටිනා එළදෙනක් ගත්හ. ඒ එළදෙන එදවසම එක් වස්සකු වැදුවාය. දෙවැනි දවස්හි ඕ තොමෝ ඒ දෙනගේ කිරි දොවනා කාලයෙහි දන්දීමේ අදහසට පැමිණ නැලි දෙකක් පමණ තෙල්ම දුන්නීය. ඉක්බිති ඔව්හු තෙල් ගෙන දන් සම්පාදනය කොට භික්‍ෂූන්ට දන් දුන්හ. ඉක්බිති ඕ තොමෝ දෙවැනි දින පටන් පෙර බත් කාලයෙහි සතරක් ය, පසු බත් කාලයෙහි සතරක් යයි නිත්‍යයෙන්ම නැළි අටක් පමණ සුවඳ ගිතෙල්ම දෙන්නීය. එයින් මේ දෙමාල්ලෝ පෙර බත් කාලයෙහි ලබන ලද නැළි සතර ගෙන භික්‍ෂූන්ට ගිතෙල් බත් දෙති. බතින් පසු ලැබූ ගිතෙලින් පහන් පූජා කරති. භික්‍ෂූන් වහන්සේට බෙහෙත් පිණිස දෙති. මෙසේ කල් ගෙවෙත්ම මේ ගමේ වසන එක් රාජ පුරුෂයෙක් ඔවුන්ට ගිතෙල් ලැබීමේ පුවත අසා කොළ මටත් පින්වත්නි, ගිතෙල් ගෙන එත්වා! යයි මිනිසුන් යැවීය. ඒ පණිවුඩ කරුවන්ගේ කථාව අසා මෙසේ කීවාහුය. අපිදු ගිතෙල් පාවිච්චි නොකරමු. ලැබූ හැටියෙන් භික්‍ෂු සංඝයාට දන්දෙමු. පහන් පූජාදිය කරමුයි එයින් කිසිවක් නුදුන්නේය.
ඉක්බිති ඒ රාජපුරුෂයා යවන ලද මිනිසුන්ගෙන් ඒ කථාව අසා බොලව් තෙපි රජුන්ට සුදුසු ගවරසය සඟවාගෙන වළඳව්. රජුට දන්වා ගිතෙල් තෙපිට කවන්නෙමියි තර්ජනය කරන්නේ බිය කරවීය. ඉක්බිති මුණ්ඩගුත්ත බිරියට කීවේය. සොඳුර, මිනිසුන්ට යම්කිසි බියක් උපදීනම් එය අසත්පුරුෂයෙකුගෙන්ම උපදී. මේ හිස් මිනිසා රජුට කියා අපගේ දානයට අනතුරු කරන්නේ ය. මෙය නොමැනවි. ඔහුට නැලි බාගයක් පමණ දෙමු යයි කියා නිතරම නැලි බාගයක් පමණ තෙල් දෙති. ඉක්බිති පසු කාලයක ඒ රාජ පුරුෂයා රජුගේ උවටැනට ගියේය. ඔහු ගිය බව දැන ඔව්හු ඔහුට තෙල් නුදුන්හ. ඉක්බිති හේ රජුගේ උපස්ථානයට ගොස් අවුත් බත් අනුභව කරන්නේ ගිතෙල් ගෙන්වීය. ඔහුගේ බිරිය ස්වාමීනි, නුඹ වහන්සේ ගිය කාලයේ සිට ගිතෙල් නුදුන්නාහුය යයි කීයේය. එය අසා දණ්ඩෙන් පහර ලත් සර්පයකු සේ කිපුණේ ය. ඒ එසේමැයි අසත් පුරුෂයෝ නොතැන්හිම කිපෙති. එහෙයින් කියන ලදි.
9. කාරණයක් ඇති කල්හිම බියජනක සර්පයෝ කිපෙති. අධම මිනිස් සර්පයෝ කරුණක් නොමැතිව කිපෙති.
10. ඉක්බිති හෙතෙම රජු සමීපයට ගොස් දේවයන් වහන්ස, ඔබ තුමාට සුදුසු භාණ්ඩයක් එකෙක් සඟවා ගෙන තෙමේම වළඳයි කීවේය. රජතුමා අසත්පුරුෂයාගේ වචනයෙන් එම මගට පිළිපන්නේ එසේනම් කොළ එකම ඒ දෙන ගෙන ඊව අයුතුය. ඔබම ඒ එළදෙනත් සමග කපිලවන් දෙනුන් සීයක් ගෙනෙවයි නියෝග කෙළේය. හෙතෙමේද ගම් නියම්ගම් වල හැසිර ඒ දෙනත් සමග දෙනුන් සියයක් ගෙන රජු දැන්වීය. ඉක්බිති දේවිය සියළු අලඞ්කාරයෙන් සරසා තෙල් දොවයි කීයේය. දේවිය විසින් දොවන කාලයෙහි එක් තෙල් බිංදුවක්වත් පියයුරෙන් නොපැමිණියේය.
ඉක්බිති රජතුමා දෙනගේ අයිතිකාරිය කැඳවව් යයි කැඳවා ඇයද සියළු අලංකාරයන් ගෙන් සරසා තෙල් දොවවයි කීයේය. ඕ තොමෝද යහපති දේවයන් වහන්ස යයි කියා දෙන නොදෙවි දින ගණන බොහෝ ය. දෙකක් තුනක් සැළවල් ගෙන්වාගෙන තමන්ගේ ශ්‍රද්ධාව කල්පනා කොට දෙනගේ පියයුරු ගත්තේය. ඉක්බිති ඇගේ අතින් ස්පර්ශ කළ හැටියේම පියයුරෙන් ඉබේටම තෙල් වැගිරිණ. ඕ තොමෝ සැළි පිරවූ ගිතෙල් රජුට දැක්වීය. රජතුමා තෙල් බලා මෙතෙක් කල් මේ ගිතෙලින් කුමක් කෙළේදැයි ඇසීය. ඕ තොමෝ තමන්ට දෙන ලැබුණු සැටි ද ගිතෙල් භික්‍ෂූන් වහන්සේට දීමට දෙන ගෙන ආ බව ද යන සියල්ල කීවාය. මේ අසා රජතුමා මෙසේ නම් මේ ගිතෙල් අප විසින් පාවිච්චි කිරීම නුසුදුසු යයි කිියා නුවරද පස්මහ ආවාසවල භික්‍ෂූන් වහන්සේ ද රැස් කරවා ඇයගේ ශ්‍රද්ධා බලය ප්‍රකාශ කොට ගිතෙල් සංඝයාට දෙව වීය. ඊට පසු දෙනගේ අයිතිකාරිය කැඳවා ඒ ජනපදය ඇයටම දී භේදකාරී රාජ පුරුෂයා ඇයටම මෙහෙකාරයෙකු කොට දුන්නේය. ඉක්බිති ඒ අඹු සැමි දෙදෙන එම දනව්වෙහිම වසමින් දිවි තෙක් කුසලකම් කොට දෙව් ලොවට ගියාහුය.
11. දිළිඳු ධනය නොමැති මිනිස්සු තුනුරුවන්හි ශ්‍රද්ධාව වඩා බොහෝ ස්වර්ග සම්පත්තිය ලබති. එනිසා රත්නත්‍රයෙහිම ශ්‍රද්ධාව වඩව්.
5. තිස්සගේ කථාව නිමි.
1. හෙතෙම අතීතයෙහි රුහුණු දනව්වෙහි ජගාම වාරයෙහි එක්තරා කුල ගෙයක ඉපදි වැඩිවිය පැමිණියේ වීය. හේ එක් දිනක් ජගාම බෝධියඞ්ගනයට ගොස් බෝධිය ද භික්‍ෂු සංඝයා ද වැඳ එතැන් පටන් නිතරම බෝමළුවෙහ වැලි විසුරුවමින් මලුවෙහි මැටිකම් කරමින් මල් පූජා කරමින් බෝධිය ගඳ පැනින් ඉසිමින් සුවඳ පසැඟිලි කරමින් දන් දෙමින් බොහෝ පින්කම් රැස් කොට එයින් චුතව එම රෝහණ ජනපදයෙහි මහාගාම මඟුල් වීථියෙහි මහාධන දේව නම් ප්‍රධානියෙකු නිසා ඔහුගේ භාර්යාවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. හෙතෙම ගැබ මේරීමට පැමිණ මවු කුසින් නික්මිණ. ඔහුගේ මවු පියෝ ඔහුට තිස්ස යයි නමක් කළහ. ඉක්බිති ඊට මෑත භාගයෙහි ඔහුට අවුරුදු පහක් හයක් ගිය කල සෙල්ලම් කිරීම ඔහුගේ ස්වභාවය නිසා කේළිය තිස්ස යයි ව්‍යවහාර කළහ. ඉක්බිති හෙතෙම මෑත භාගයෙහි බුදු සස්නෙහි පැහැදුනේ භික්‍ෂූන් වහන්සේ සමීපයෙහි පැවිදිව පිළිවෙත් පුරන්නේ පස් වසක් විසී ය. ඉක්බිති හෙතෙම සාසන ප්‍රතිපත්තිය පුරන්නට නොහැකි වූයේ සිවුරු හැරීමට කැමැත්තේ විය.
2. ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා විසින් බුදු සසුන්හි පැවිදිව ඉතිරි තිස්ස නොකොට ප්‍රාතිමොක්ෂ සංවර ශීලය පාලනය කළ යුතුයි.
3. චක්ඛු සොත ආදී දොරටුවලට රූප ශබ්ද ආදිය ගොදුරු වන දේ වැළැක්විය යුතුයි. හැම කල්හි ඔහු විසින් ශ්‍රද්ධාවෙන් ඉන්ද්‍රිය සංවර ශීලය රැකිය යුතුයි.
4. කුලදූෂණාදිය නොපවත්වා හැමදා ශුද්ධ වූ ආජීවයෙන් තමන්ගේ දිවිය මෙන් ආජීව පාරිශුද්ධි ශීලය රැකිය යුතුයි.
5. සතර පසය නුවණින් නිතර මෙනෙහි කරන්නා විසින් ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය හැමකල්හි ආදර සහිතව කිය යුතුයි.
6. මේ සතර ශීලය පුරණ යතිතෙම ස්වර්‍ගමොක්‍ෂ සම්පත්තිය අවශ්‍යයෙන්ම අනුභව කරන්නේය.
7. යමෙක් රාග ද්වේශ මෝහයන් කරණකොට සීලයන්හි ආදර රහිතව අලසව නිරයෙහි උපදින්නේ ය.
8. හෙතෙම දායකයන් සතුටු නොකරයි. හෙතෙම තමා ද සතුටු නො කෙරේ. සොහොන් ගිණිපෙනෙල්ලක් සමාන වේ. හෙතෙම ඥානවන්තයන් විසින් නින්දා කරන ලද්දෙක් වේ.
9. එනිසා එය පුරන්නට නොහැකි භික්‍ෂුව විසින් එහි නොඇලී ශාස්තෘ ශාසනයෙන් උපැවිදි බවට යා යුතුය.
10. හේ මෙසේ සිතා සෙනසුන පිළියෙල කොට තබා සිවුරු සෝධා පාත්‍රය සමග පිළියෙල කොට තබා නිවැරදි සලුවක් නොමැති කමින් නග්නව ජලයෙහි සැඟවී ගඞ්ගාවෙහි වැටී යන්නේ ජලයෙන් පාවෙන ඒ දරකඩ පපුවට තබාගෙන එතෙරව යටි ගං බලා යයි. එකල වනිතාවන් දෙදෙනෙක් යටි ගංතොට නහන්නෝ ගඟ දියෙන් ගසාගෙන එන දරකඩ දුරින්ම එනු දැක ඔවුන්ගෙන් එකියක් මේ දරකඩ මගේ යයි කීවාය. අනික් තැනැත්තිය යමක් එහි වේ නම් එය මගේ යයි කීවාය. ඊට පසු ඒ දරකඩ ළංවෙත්ම දෙදෙනාම පීනා ගොස් අල්ලාගෙන ඒ දර කඩ සමග ඉවුරට පැමිණ වූවාහුය. ඉක්බිති ඈලාගෙන් යම් තැනැත්තියක් එහි විද්‍යාමාන දේ මගේ යයි කියූ තැනැත්තිය වස්ත්‍ර නැති ඔහු දැක ඔහුට සළුවන් ගෙන එන්නෙමියි කියා තමන්ගේ ගෙදරට ගියාය. ඇය ගියාට පසු ඉතිරි තැනැත්තී තමන් ඇඳි වත මැදින් ඉරා එහ හඳවා මවුපියන්ගේ ගෙදරට ගෙන ගියා ය. ඇගේ මවුපියෝ ඔහුගේ කුලවංශය විචාරා ඇයටම භාර කළහ. ඕ තොමෝ නමින් සුමනා නම් වූවාය. ගම්වැස්සෝ ඔහු ගඟෙන් පැමිණි නිසා ගඞ්ගාතිස්ස යයි නම් කළහ. මේ ගඞ්ගාතිස්ස ගෙදර වසන්නේ කෘෂි වණික් ආදී කිසි කර්මාන්තයක් නොකරන්නේ ඒ ඒ තැන හැසිරේ. ඒ නිසා ඔහුගේ අකර්මන්‍ය ශීලතාවයෙන් යුක්ත නිසා නිකම් තිස්ස යයි ව්‍යවහාර කරති. ඉක්බිති සුමනාවගේ සහේදර සහෝදරියෝ එක් රැස්ව මවුපියන්ට මෙසේ කීහ. සුමනාවගේ හිමියා අලසකමින් යුක්තව වසයි. අපි ඔහුට කුමක් කරමුදැයි ඉක්බිති ඔව්හු දරුවන්ට දැන්වීමට තිස්ස පිට ගිය වේලෙහි සුමනා කැඳවා මෙසේ කීවාහුය.
11. තිගේ හිමියා කෘෂිකර්මය හෝ වෙළෙඳාමක් හෝ නොකොට අලස ස්වභාවයෙන් යුක්තව කෙසේ නම් කුලය ගෙන යන්නේද?
12. අඹුදරුවන් නෑයන් සමග කුලය දියුණු කරගනු කැමති අය විසින් සියළු කටයුතුවල හැමදාම අලසයෙකු නොවී පැවතිය යුතුයි.
13. කෙසේවත් දැසි දස් මීමුන් ආදීන් කෙරෙහි අලස නොවූයේ නම් හේ පිදිය යුත්තෙක් වේ. සිය නෑයන් අතර ද පිරිවර ජනයා අතර ද පිදිය යුත්තෙක් වේ.
14. මේ සීත කාලය, මේ උෂ්ණ කාලය යයි නොසිතමින් කායික දුක් ඉවසන්නේ කාලය - අකාල යයි දැන සෑම කල්හි වීර්ය කටයුතුයි.
15. වෙළෙඳාම් වලින් ද ශිල්ප උද්ග්‍රහණ ධාරණ අවස්ථාවෙහිද අනලස්ව හැමදාම නොමියන කෙනෙක් මෙන් උත්සාහ කළ යුතුයි.
16. මෙසේ ද කියා ඇයට නැළියක් පමණ සහල් ද එක භාජනයක් දී දී අද සිට තෙපි වෙනම වසව්. අපගේ ගෙයි නොවසව් යයි කියා යැවූහ. ඒ එසේමැයි.
17. මව, පියා, සහෝදරයා, සහෝදරී, අඹු, නෑයන් යනාදී සියල්ලෝ දිළින්දන් කැමැති නොවෙති. මෙය ලෝක ස්වභාවයයි.
18. ධනවතා කුලවතෙක් නොවූවත් ඒ ප්‍රභූවරයා ධනවත් වේ නම් ලෝ වැස්සා ඔහුට සැලකිලි කරයි. මෙය ලෝක ස්වභාවයයි.
19. ඉක්බිති සුමනා ඒවා රැගෙන පාලු ගෙදරක කඳුලු සල සලා හඬමින් හුන්නීය. තිස්ස තමා ගිය තැනින් අවුත් හඬන භාර්යාව දැක සොඳුර, කුමක් නිසා හඬන්නේ දැයි විචාළේ ය. ඕ තොමෝ මවුපියන් කියූ හැම දෙයක්ම කියා වෙන් කළ බව කීවේ ය. එය අසා අප වෙන් කරන්නෝ කුමක් දී එසේ කළාහු ද? එක සහල් නැළියක් හා පිසන බඳුනක් දුන්නාහු යයි කී කල්හි හෙතෙම එය අසා සොඳුර තී අමත්තක් නොසිතව, අපි කිසියම් උපායකින් ජීවත් වෙමු. සොඳුර, අපි වෙන් කළ දින සිට භික්‍ෂු සංඝයාට කිසිවක් නොදී නොවළඳමුයි කියා තෙමේ මහා විහාරයට ගොස් සලාකයක් නියමකොට ගෙන අවුත් බිරිය අමතා සොඳුර මම එන තුරු ණයක් ගෙන හෝ කිසියම් උපායකින් නොපමා වී ආර්යයන්ට දන් දෙන්නෙහි යයි කියා තෙමේ කම්කරු වැඩක් සොයමින් ගියේය.
එකල්හි ඔහුගේ පියා වූ මහාධන දේවයන්ගේ මිත්‍ර චන්දසූරිය නම් රාෂ්ටික පුත්‍රයෙක් චිත්තසර කෙතෙන් පන්සිය කිරියක් ලැබ ශශ්‍ය කරවීය. එකල්හි පැසුනේ විය.
එකල්හි තිස්ස බැළ මෙහෙයක් සොයමින් රාෂ්ටිකගේ ගෙදරට ගොස් ඔහු දුටුවේය. රාෂ්ටික ඔහු දැක කුමක් සඳහා පැමිණියෙහිදැයි විචාළේය. බැළමෙහෙයට ගොයම් කැපීමේ වැඩක් සොයාගෙන ආමි යි කී කල්හි රාෂ්ටික ඔහු දෙස බලා දරුව, ඔබ සිය අතින් කර්මාන්ත මීට පෙර නොකළ විරූය. ඔබට වී කපන්නට හැකි දැයි ඇසීය. මම ගොයම් කපමි යයි කී කල්හි පිළි නොගත්තේ ය. ඉක්බිති තිස්ස එහෙනම් මගේ වීර්ය බලව් යයි දෑකැත්ත ගෙන කෙතට බැස පෙරවරු කාලයෙහි ම ඒ කිරිය පන්සියයම කැපී ය.
රාෂ්ටික මේ දැක පුදුමට පත්ව ඔහුට සතුටු වී තමන් සඳහා ගෙනත් තුබූ බත් භාජන ද දැසි දස්සන් ද දුන්නේය. ඊට පසු තිස්ස ඒ සියළු කෙත තමාම එක් කොට මැඩ පිදුරු ඉවත්කොට තමාම පොළා වී මහ ගොඩක් කෙළේය. මහාරාෂ්ටික මේ මිනිසාගේ වීර්ය දැක ඉතාම පැහැදී ඒ කෙතෙහි සියළුම ධාන්‍ය ඔහුට දුන්නේය.
20. තිස්ස එතැන් පටන් භික්‍ෂූන්ට සලාක දාන අටක් දෙයි. දෙන්නේ වතුර ලුණු පමණක් කොට සප්පාය නොවන සේ දෙයි. එනිසා ඔහුට උදකලොණ තිස්ස යයි ව්‍යවහාර කෙරේ. මේ භික්ෂූන් අතර වෘද්ධි ප්‍රව්‍රජ්ජිතයෝ මහළු භික්‍ෂූහු ඒ බත් ගෙන බල්ලන්ට බත්ලන පෝරුවෙහිම බහාලති. භික්‍ෂූන්ගේ ඒ ක්‍රියාව දැනගෙන එතැන් පටන් දහසය කිරියක කිරි හා සලාක බත් එළවීය. එනිසා ඔහුට භික්ෂූන් වහන්සේ ඛීරභත්ත තිස්ස යයි නම් කළහ.
මෙසේ බොහෝ කලක් කිරිබත්ම වැළඳීමෙන් ඒ භික්ෂූන් වහන්සේට අරුචියක් හට ගති. ඒ කිරිබත් සිත නොපැහැදේ. ඉක්බිති ඛීරභත්තතිස්ස ඒ කාරණය දැනගෙන දෙනුන් සීයක් ලැබ තමන්ගේ ශ්‍රද්ධාව ගැන සිහිකොට තනය ගති. සුවඳ ගිතෙල්ම වැගිරිණ. හේ එතැන් පටන් භික්ෂූන් වහන්සේලා දහසය නමකට ගිතෙල් මිශ්‍රකොට සෑදූ බතක් දෙයි. ඉක්බිති ඔහුට කල්‍යාණ භත්ත තිස්ස යයි නම් විය. හෙතෙම පිළිවෙලින් දානය දියුණු කරමින් පන්සියයක් භික්ෂූන් වහන්සේට ගිතෙල් මිශ්‍ර බත් දෙයි. හෙතෙම එක් දිනක් භික්ෂු සංඝයාට අල වර්ග දානයක් මා විසින් දිය යුතුය සිතා බොහෝ මිනිසුන් සමග කුම්බූල පර්වතයට නැග අල ජාති සොයන්නේ නිධන් සැටක් දැක තමන්ගේ ගෙදර නිධන් ගෙන ගොස් එයින් පසු වැඩිපුර දන් දෙමින් වාසය කරයි.
එසමයෙහි අනුරාධපුරයෙන් පන්සියයක් භික්ෂූහු ඒ ඒ තැන බෝ පිළිම ආදිය වඳිමින් පිළිවෙලින් මහගමට ගියාහු ය. ඒ කල්‍යාණභත්ත තිස්සයෝ ඔවුන් දැක සතුටට පත්ව ආරාධනා කොට මහදන් දී අනුමෙවෙනි බණ කෙළෙවර ආර්යයන් වහන්සේ කොහි සිටි පැමිණියේ දැයි ඇසීය.
උන්වහන්සේලා උපාසකවරුනි, අනුරාධපුරයේ සිට ආවෙමුයි කීහ. හෙතෙම ස්වාමීනි, දැන් කොතැනක බොහෝ භික්ෂූන් වසත් දැයි ප්‍රශ්න කෙළේය. ඉක්බිති ඒ භික්ෂූහු නිදුකාණෙනි, දැන් ලඞ්කාද්වීපයෙහි චෙතියම්බ විහාරයෙහිද අනුරාධපුරයෙහි හා නාගද්වීපය යන තුන් තැන නොයෙක් සිය ගණන් භික්ෂූහු වාසය කරතියි කීවාහුය. ඔවුන්ගේ මේ කථාව අසා සතුටුව එහි ගොස් මා විසින් දන් දිය යුතුය යයි සිතා මුලින්ම චෙතියම්බ විහාරයට ගොස් එහි භික්ෂූන්ට දන් දී ඊට පසු අනුරාධපුරයෙහි පඤ්චමහා ආවාසයෙහි නොයෙක් දහස් ගණන් භික්ෂූන්ට දන් දී රජතුමාටද පඬුරු දී ඔහු විසින් අනුග්‍රහ කරන ලදුව නාගදීපයට ගොස් එහි භික්ෂූන් වහන්සේට මහ දන් දී එයිනුදු නික්ම අරියගාල තිත්ථියෙහි වාසය කරයි.
එකල්හි හෙතෙම තමන්ගේ භාර්යාව කැඳවා සොඳුර, භික්ෂු සඞ්ඝයාට දන් වැට නොකඩා දන් දෙව. මම ගංගාවෙහි ඔබිනොබ මිනිසුන් එගොඩ මෙගොඩ කරවමින් පින් රැස් කරවමියි අවවාද කොට තෙමේ මිනිසුන් නැවෙන් ඉවුරට පමුණුවමින් දවස ගෙවීය. ඒ අරියතිත්ථයෙහි නියුක්ත බැවින් ඔහුට අරියගාල තිස්ස යයි නම් කළහ.
මෙසේ ඒ පින්කමින් ඔහු කල් ගත කරන කල්හි ශක්‍රයා ඔහුගේ ශ්‍රද්ධාබලය දන්නේ නමුදු ඔහු විමසනු කැමැත්තේ බමුණු වෙසකින් පැමිණ නැවෙහි හුන්නේය. අරියගාල තිස්ස තෙම ඔහු ගෙන පදින්නේ පරතෙර සමීපයට පැමිණියේය. ඉක්බිති බමුණුතෙම පින්වත, සැරමිටිය අමතක වීමියි කීයේය. හෙතෙම නැවත පදිමින් එය ගෙන ගියේය. නැවත පයෙහි ගාන තෙල් නැලිය අමතක වී යයි කී කල්හි නැවත ගොස් එයද ගෙනාවේය. මෙසේ හේ යමක් කමක් කියයි ද ඒ ඒ දේ ගෙන එමින් සිත දූෂණය නොකොට ඔබිනොබ සැරිසරන්නේ ශක්‍ර තෙම මෙසේ එය විමසා ඔහුගේ ශ්‍රද්ධාව නිශ්චල යයි දැනගෙන සතුටුව තමා අතහැර අහසෙහි තමාගේ ශක්‍ර විලාසයෙන් සිට අවවාද කොට අරියගාල සමීපයෙහි එක් විලක බොහෝ ස්වයංජාත වී මවා සත් රුවනින් ඔහුගේ ගෙය පුරවා අප්‍රමාදයන් අවවාද කොට දෙව් ලොව ගියේය ය.
ඉක්බිති අරියගාල තිස්ස රන් අමුරන් ආදිය ගෙදර පමුණුවා නොයෙක් දානාදි පින්කම් කොට එහිම වසයි. ඉක්බිති මෑත කාලයක පියඟු දිවයිනෙහි භික්ෂූ සඞ්ඝයා වහන්සේ එක් කලක එක් තැනක රැස්කොට හුන්නාහු මෙසේ කථාවක් නැංගුවාහුය. දැන් දස දහසක් යොදුන් දඹදිවෙහි ශ්‍රද්ධාවන්තයෝ කොහි වාසය කරන්නෝ ද ඉක්බිති මේ භික්ෂූන් අතර සම්බෝධි ස්ථවිරතෙම දැන් සිංහලද්වීපවාසීහු ශ්‍රද්ධා සම්පන්නයෝ යයි කීහ. යොන් රට රජපුත් බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ යොන් රට වැස්සෝ ශ්‍රද්ධාවන්තයෝ යයි කීහ. ඒ අසා භික්ෂූහු අදම එය විමසමුයි ඒ ඒ රටට යැවූහ. ඔවුන් අතුරෙන් බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ වේලාව සමීප වූ කල්හි යොනක රටට ගියේ ය. සති සම්බෝධී ස්ථවිර තෙම ලංකාවේ අරියගාල තිස්සගේ ගෙදොරට පැමිණියේය. එදා අරියාගල තිස්ස භාර්‍ය්‍යාව සුමනා දොළොස් දහසක් භික්ෂූන් වහන්සේට දසවරක් දන් දී තමන්ගේ දානය ගැන මෙනෙහි කරන්නී කුඩා යහනක හුන්නී ය.
22. මා විසින් සිවුරු ආදී මේ මේ දේ දෙන ලදි. එසේම සියුම් සැප ස්පර්ශය ගෙන දෙන ඇඳ පුටු ආදිය ද දෙන ලදි.
23. මිහිරි ආහාරපාන කෑයුතු පිය යුතු දෙයන්ද බුලත් මුව සුවඳ දෙයින්ද බෙහෙත් ආදියෙන් මනා කොට, සන්තර්පණය කරන ලදි.
24. මෙම හෙට මීට අධිකව එය මනා කොට සපයා දෙන්නෙම් දැයි දාසි ගණයා විසින් පිරිවරා විචාරමින් උන්නීය.
25. මෙසේ හුන්නේ පැමිණි තෙරුන් දැක කාලය බලා දැන් බත් කිස දීමට නොහැකි යයි වහ වහා තෙල් කපාලයක් ගෙන උදුනට නගා සුවඳ ගිතෙල් බහා කැඳ බත් භාජනයෙහි බත් උළු පෙරා සෝදා ගිතෙලින් බැද එහි චතුමධුර බහා දිව්‍ය භෝජනයක් මෙන් පාත්‍රය පුරවා වස්ත්‍ර සුඹුලුවක් තබා තෙරුන්ට එලවීය. තෙරුන් වහන්සේ ඇගේ ප්‍රසාදය වැඩීම සඳහා සොහොයුරිය, පාත්‍රය අහසෙහි හරින්න යයි කීහ. ඕ තොමෝ බියෙන් අත නොහැරියේය. තෙරුන් වහන්සේ විසින් ඔබගේ ශ්‍රද්ධා ගුණය ගැන කල්පනා කොට අත්හරින්නැයි කී කල්හි එසේ කොට අහසෙහි අත්හැරියේය. තෙරුන් වහන්සේ මේ බත වළඳන භික්ෂූන් වහන්සේ මෝ තොමෝ දකීවායි අධිෂ්ඨාන කොට බුද්ධරක්ඛිත තෙරුන් නොපැමිණෙන්නට පෙර ගොස් භික්ෂූන් වහන්සේලාගේ පාත්‍රවලට පිණ්ඩපාතය දී වැළඳ වූහ. ඕතොමෝ දානය වළඳන භික්ෂූන් වහන්සේලා දැක හටගත් ප්‍රීතිය ඇත්තී සාධුකාර දෙමින් ගෙදරට ගොස් සැමියා පැමිණි කල්හි ඔහුට තමා විසින් හා තෙරුන් වහන්සේ විසින් කරන ලද සියල්ල කීයේය. හෙතෙම එය අසා ඉතාමත්ම පැහැදුනේය. මෙසේ පුදුම එළවන පින්කම් රැස් කරමින් මෑත භාගයෙහි මරණපරායණ විය. එය එසේමැයි. පින්වතුන්ට මරණ වේදනාවක් නොමැත. නිදා පිබිදියෙකු සේ කැමැති ස්ථානයක උපදී. ඒ නිසා පැරණියෝ කීහ.
26. පින් කළ අය යම් කලෙක මරුගේ වේගයෙන් අදිනු ලබන කල්හි මරණ මඤ්චකයෙහි ගැහෙමින් හොත්තේ වේද,
27. එසමයෙහි ඔහු විසින් කරන ලද යම් කුශලකර්ම කෙනෙක් වෙත්නම් ඒවා ඒ වේලාවෙහි ඔහුගේ මනසෙහි එල්බ ගනිත්.
28. එකල්හි ස්වර්ගයට යන සත්ත්වයාට උසස් වාහන විමන් ආදියද ඉටුවූ අනුකූල නිමිතිද දකිත්.
29. සිය ගණන් අප්සරාවන්ගේ නෘත්‍යගීතාදියෙන් ද විමාන යානාවක් ද දැක ඔහුගේ (සිත) සතුටු වේ.
30. එකල්හි ඒ දායක මිනිසා පරම ආස්වාදය ලබයි. පරණ මඩුවක් අතහැර ප්‍රාසාදයකට නගින්නා මෙනි.
31. සසර බියෙන් එතෙරවනු සඳහා මා විසින් යහපත් දෙය කරන ලදී. කුශලානුභාවයෙන් හටගත් උදාර පුණ්‍ය විපාකය අනුභව කරමි.
32. මෙසේ හෙතෙම සතුටට පත්ව අභීතව අතිශයින් සතුටුව තමන්ගේ පින්කමින් අතිශයින් නැලවී
33. පණ්ඩිත තෙම පින්කළ අයට ආවාසයක් වූ ස්වර්ගයාට පමුණුවයි. ඔහුට නුමුළා මරණය සිදුවේ. පින්කම් කරන්නන්ට එය නියතයි.
34. මෙසේ හොත්තා වූ ඔහුට දෙවියෝ දෙව් ලොවින් රථ සයක් ගෙනවිත් තම තමන්ගේ දෙව්ලොව වර්ණනා කළාහුය.
හේ එය අසා සදහම් අසා පුරුදු නිසා තුසිත දෙව් ලොවින් ගෙන ආ රථය හැර ඉතිරි ඒවා ගෙන යන්න යයි කීයේය. ඒ අසා ඒ අසල සිටි සුමනා තොමෝ කිමෙක්ද ස්වාමීනි, මෙතෙක් කුසල් කොට මෙසේ මරණාසන්න කාලයෙහි විලාප කරන්නෙහිද, තිස්ස, එය අසා සොඳුරු, මම විලාප නොකියමි. දෙව්ලොව දෙවියෝ රිය සයක් ගෙනාවාහුය. මම ඔවුන් සමග කථා කෙළෙමි යි කීයේය. එය අසා සුමනා තොමෝ මම ඒවා නොදකිමි කොහි දැයි විචාරන ලද්දී මල්දාමයන් ගෙන්වා ගෙන අහසට දැම්මවීය. එය ගොස් රිය හිසෙහි එල්බුණේය. ඒ දැක සුමනා තොමෝ ගැබට පිවිස ඇඳට ගොස් නාසිකාවාතය හිරකොට කළුරිය කොට සැමියාට මුලින් ගොස් රථයෙහි පහළ වූවා ය. ඕ තොමෝ එහි සිටිමින් සැමියාට හසුනක් එවමින් මෙසේ කීවා ය.
35. සාරයක් නොමැති ඒ මිනිසත් බවෙහි කුමක් නිසා බොහෝ කල් පමා වන්නෙහිද? අශුචියෙන් අපිරිසිදු පණුවන්ට නිවසක් වූ මේ මිනිස් සිරුර අතහැර වහා එන්න. මේ දිව්‍යශ්‍රීය බලන් මම පළමු කොටම ආවෙමි. හිමියනි, දැන් තුසිත දිව්‍යලෝකයට යමු.
36. මෙය අසා සිටි හෙතෙමේද කළුරිය කොට එම රියෙහිම උපන්නේය. ඔවුහු දෙදෙනාම සමගියෙන් සතුටුව දෙව් පිරිස පිරිවරා මහජනයා බලාසිටිද්දීම තුසිත පුරයට ගියාහු ය.
37. බුද්ධිමතුන්ගේ මේ චරිත දැනගෙන දිව්‍ය මනුෂ්‍ය සම්පත් හා නිවන් සැපත් පතමින් කල්ප වෘක්‍ෂය හා සමාන සංසාරයෙහි වසනා තෙක් කැමැති දෑ ලැබෙන නිර්මල ශීල ඇති බුද්ධ පුත්‍රයන්ට දන් දෙව්.
6. අරියගාල තිස්ස කථා වස්තුව නිමි.
1. ලඞ්කාවෙහි දකුණු පස බ්‍රහ්මචෝල නම් ගමක් විය. එහි මිනිස්සු විශාල බිම් පෙදෙසක් සීසෑමට පිළියෙල කොට එහි මෑ ඇට වැපුරූහ. ඉක්බිති ඔවුහු මෑ පැසුණු කල්හි මෑ සිඳින්නෙමියි පැන් ගෙන මහා ග්‍රීෂ්ම කාලයෙහි එහි ගියහ. එසමයෙහි එක් ගම්වැසි පිපාසායෙන් මැඩගත් භික්ෂුවක් මිනිසුන් සමීපයට ගියේය. මෙහිදී පැන් ලබමුයි. එකල්හි එක් ගම්දැරියක් ක්ලාන්ත ඉඳුරන් ඇත්තේ පිපාසයෙන් පීඩිත වූ භික්ෂුව දැක උපන් ශ්‍රද්ධා ඇත්තී මිනිසුන්ට නොදන්වා කළයෙහි තුබූ පැන් ගෙන ඒ භික්ෂුවට දී එහි සතුටින් සිත පහදවා යන තෙරුන් විඳිමින් සිටියේය. ඉක්බිති මෑ කපන්නෝ පැමිණ කළයෙහි වූ පැන් නොදැක කවුරුන් විසින් පැන් ගන්නා ලදදැයි විචාළහ. ඕ තොමෝ ස්වාමීනි, මා විසින් ගෙන පිපාසිත වූ එක් භික්ෂුවකට දෙන ලදැයි කීහ. එකල්හි මිනිස්සු එය අසා පිපාසිත වූ අපට බීමට ගෙන ආ පැන් අපට නොදන්වා භික්ෂූන් වහන්සේට තමා දුන්නීය. අනේ මැගේ ශ්‍රද්ධාව යයි යයි අපහාස කොට කිපී අපි සුළඟින් අව්වෙන් වේළෙන්නමෝ මෑ කපමින් පිපාසිතයම්හ. වහාම අපට පැන් ගෙන එව යයි ඇය සමග කළහ කළහ. ඉක්බිති ඕ තොමෝ ඔවුන් ආක්‍රොශ කරද්දී පරිභව කරද්දී නොකිපෙමන් දන් නිසා ඇති වූ සොම්නස් මෙනෙහ කරන්නී කළයක් ගෙන ඔවුන්ට පැන් ගෙන එන්නෙමියි සිටගෙන තමන්ගේ ශ්‍රද්ධාව කල්පනා කොට මෑ කෙත දෙස බැලීය. ඇගේ ශ්‍රද්ධා බලය නිසා මහ පොළොව බිඳගෙන මැණික් වැනි ලොකු දිය බුබුලක් නැග පොළොවෙහි පැතිරී පැවතුනේ ය. අහෝ ඇගේ ශ්‍රද්ධාවේ මහත් බව, භික්ෂූන් වහන්සේට පැන් ටිකක් දී එහිදීම නොසිඳෙන පැන් ලැබුණේ ය. එහෙයින් කියන ලදී.
2. දන්දීමට ශ්‍රද්ධාවම මුල් වේ. ත්‍රිවිධ සම්පත්තියට ශ්‍රද්ධාව මුල් වේ. ශ්‍රද්ධාවෙන් දෙන ලද කුඩා වූ දානය ද කල් නොයවා විපාක දෙන්නේ ය.
3. දන්දීම ස්වර්ගයට නිදානයයි. එසේම අනුගාමික නිධානයයි. සියළු ලෝ වැස්සන් වශී කරන්නකි. එය පරම ඖෂධයකි. මන්ත්‍රයකි.
4. ඒ දානය විපතක් පැමිණි කල්හි මිත්‍රයෙකු සමානය. කැමැති දේ දෙන්නා වූ උතුම් සිතුමිණි රුවනකි. දානය ඒකාන්තයෙන් භද්‍රඝටයක් සමානය. දානය ඒකාන්තයෙන් දිව්‍ය වෘක්ෂයෙක් හා සමානය.
5. මේ ගම්දැරිය ශ්‍රද්ධාවෙන් පැන් ස්වල්පයක් දී, ඕතොමෝ එම ඇසිල්ලෙහිම ක්ෂය නොවන්නා වූ සිසිල් ජලය ලැබීය.
6. උත්තම - අධම - මධ්‍යම යන සියල්ලන් කෙරෙහි හැම කල්හ දානයක් දිය යුතුය. මුල මැද අග යන තුන් තැන ශ්‍රද්ධාව මුල්ව දිය යුතු වේ.
7. ඉක්බිති ඒ කුමාරිකා තොමෝ ගලන දිය දැක සතුටු සිත් ඇත්තේ කැමැති සේනා පැන් බී එක් පැන් කළයක් ගෙන පිපාසිත මිනිසුන්ට දුන්නී ය.
එවැනි දිය කඳක් අන් අය නොමදකිති. ඕ තොමෝ ම දකී. ඒ නිසා ඕ තොමේ නැවත එහි ගොස් නහන්නීය. පැන් බොන්නීය. කළයෙන් දිය ගෙන මිනිසුන්ට දෙන්නීය. ඒ දැක මිනිස්සු අප මීට පෙර මෙහි පැන් නොදැක්කෙමු. මෑණියෙනි, කොහෙන් තී නා පැන් ගෙන එන්නෙහිද? අපට ද එය පෙන්වවයි ඉල්ලූහ. ඕ තොමෝ ඔවුන්ගේ ඒ කථාව අසා සතුටු සිත් ඇතිව ඉදන් මේ පැන් මගෙ පුණ්‍යානුභාවයෙන් උපන්නේ ය. එය සියළුම මිනිසුන්ටත් මුව ඌරු කුරුලු ආදීන්ටද පාවිච්චියට සුදුසුව පෙනේවායි අධිෂ්ඨාන කළාය. එකෙණෙහිම ඇගේ ශ්‍රද්ධා බලයෙන් පාවෙන පෙණ සමූහයෙන් ද බිඳි බිඳී නැගෙන තරග මාලාවෙන් ද විසිරී යන ජල කර්ණිකාවෙන් යුක්ත වූ ජල වේගයෙන් හට ගත් ඝෝෂාවෙන් යුතුව ගලා බසින මහ දිය කඳ දැක පුදුමයට පත් සිත් ඇත්තාහු අහෝ මැගේ දානානිශංසය මැය සකසා සිල්වතුන් කෙරෙහි පිහිට වී යයි ඇයට පසසමින් නා පැන් බී ගියාහුය. ඉක්බිති මෑත සමයෙහි එහි මිනිස්සු ගමක් පිළියෙල කර ගත්හ. ඒ ගමට මාස පිට්ඨි ගම යයි නම් කෙළේය. පසුව ඒ ජලාශය ආශ්‍රය කරගෙන එහි විශාල විහාරයක් කළාහුය. ඕ කුමාරි තොමෝ ආයුෂ ඇතිතාක් වාසය කොට පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උපන්නීය. ඕ තොමෝ එහිදී නොයෙක් ගස් සමූහයෙන් සැරසුණු උයන් ද බබළන පස්වණක් පියුමෙන් ගැවසීගත් මිහිරි ජලයෙන් පිරී ගිය ජලාශයන්ගෙන් ගැවසුණු නොයෙක් අප්සරා දසදහසක් විසින් මනාව වාදනය කරන ලද බෙර - තූර්ය නාදයන් ගෙන් ගැවසී ගත් නටන නොයෙක් දෙව් නිළියන්ගෙන් ගැවසුණු දොළොස් යොදුන් දෙව් විමනක උපන්නීය. ඇගේ පින ප්‍රකාශ කරනු පිණිස දිව පැනින් පිරී ගිය එක් රන් කළයක් එහිම හටගති. එය ඇය යන යන තැනට යයි, දෙදෙව් ලොව දෙවියන් පරිභොග කරන සමයෙහි ද සිඳීමට නොගියේ ය.
8. මෙසේ යහපත් සත්පුරුෂයෝ ශ්‍රද්ධාවෙන් පැන් දන් දී මහ සම්පත් විඳිති. බොහෝ කොට දන්දෙන්නහුගේ සම්පත්තිය බුදු නොවූ කවර සත්වයෙක් ඉතිරි නොකොට කියන්නට සමර්ථ වේ ද? නොවේමැයි.
7. ගම්දැරියගේ කථා වස්තුව නිමි.
1. සිංහල දිවයිනෙහි ලජ්ජතිස්ස රජතුමා රාජ්‍ය කරන කාලයෙහි රුහුණු දනව්වෙහි ගිරිතිම්බිල තිස්ස පර්වත මහා විහාරවාසී භික්ෂූන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන තැන සිව නම් ගමෙක් විය. ඒ ගමෙහි එක් දුගී ධර්මා නම් ස්ත්‍රියක් අනුන්ට දර කොළ දිය ආදිය ගෙනෙමින්, වී කොටමින් පිදුරු වනමින් ගොයම් පාගමින් අමාරුවෙන් ජීවිකාව කරමින් වසන්නීය. ඕ තොමෝ මෑත කාලයෙහි මෙහෙකාර කම් කොට දුක සේ වස්ත්‍රයක් සපයාගෙන මෙසේ සිතී ය. ඒ එසේමැයි.
2. රාග නමැති ගින්නෙන් දැවී දෝෂ නමැති රකුසාගෙන් පෙළී, මෝහයෙන් මුලාවී බොහෝ කළක් සංසාරයෙහි හැසුරුණෙමි.
3. පෙර පිනක් නොකරන ලද්දේද, නැවත කිසිවක් කිරීමට ද, නොහැකි දුප්පත් වීමට ඒකාන්තයෙන් කවර නම් පාපයක් මා විසින් කරන ලද ද?
4. එනිසා මම අනුන්ගේ ගෙවල්වල අපහසුවෙන් මෙහෙකාරකම් කරමින් ජීවත් වෙමි. මට සැපයක් නම් අහසට පොළොව මෙන් දුරය.
5. දැන් බුද්ධොත්පාද කාලයයි. ලෝකයෙහි ධර්මය බබළයි. ගුණ සාගර වූ බුද්ධපුත්‍රයෝ ලෝකයෙහි පවතිත්.
6. මා විසින් ඒකාන්තයෙන් ක්‍ෂණයක් ලබන ලදි. දැන් මගේ ආත්මය ගොඩනගා ගත නොහැකි වූයේ නම් සසර ගිලුනා වූ මම කවදා හිස ඔසවන්න ද?
7. දුකසේ උපදවා ගත් එක් සළුවක් මට ඇත. දැන් ඒ සළුවෙන් භව සාගරයෙහි පිහිට කරගන්නෙමි.
8. ඕ ධර්මාවෝ මෙසේ සිතා එකල්හි ඒ වස්ත්‍රය සංඝයා වහන්සේට මහත් ඵල ගැන විශ්වාසය තබමින් ශ්‍රද්ධාවෙන් දුන්නීය.
9. එකල්හි ගිරිතිම්බිල තිස්ස පර්වත විහාරයෙහි පන්සියයක් භික්‍ෂූහු වස් එළඹුනහ. එයින් භික්‍ෂූහු සිව ගමට පිඬු පිණිස බොහෝ සෙයින් එළඹෙත්. එකල්හි ඕ තොමෝ උපන් ශ්‍රද්ධාව විනාශ නොකොට වස්ත්‍රය ගෙන ආසන ශාලාවට ගොස් එක භික්ෂුවකට මෙසේ කීවාය. ස්වාමීනි. මේ වස්ත්‍රය එක විහාරයක භික්ෂූන්ට වස්වාසික කොට දෙන්නෙමි. නුඹ වහන්සේලා එහි වැඩම කරවා මගේ දුප්පත්කමත් මේ සළුව දුකින් ලැබුණු බවත් භික්ෂූන්ට කියා දෙනු මැනව. උන් වහන්සේට වස්ත්‍රය දී සොම්නසින් ගියාය. ඉක්බිති උන්වහන්සේ ඒ වස්ත්‍රය ගෙන විහාරයට ගොස් රැස් වූ මහණුන්ට ඇය කියූ වචන කියා ස්වාමීනි, මේ වස්ත්‍රය අඳින්නට සමත් කෙනෙකුට දෙනු මැනැවැයි භික්ෂු සංඝයාට වස්ත්‍රය දුන්නේය.
ඒ අසා භික්‍ෂූන් අතර එක නමක් ස්වාමීනි, මට තුන් මසකට දෙන්න. එය මම පරිභෝග කරමියි කීයේය. එය අසා අනික් භික්ෂුවක් මට දෙමසකට දෙන්න, එක් භික්ෂුවක් ස්වාමීනි මට මසකට, සති දෙකකට, දස දිනකට යයි මෙසේ කාලය අඩු කරමින් ක්‍රමයෙන් එක් භික්ෂුවක් මට එක දිනකට දෙන්න, මම එය පාවිච්චි කරමි. ඉක්බිති භික්ෂූහු ඔහුට ඒ සළුව දුන්හ. හෙතෙම ඒ වස්ත්‍රය ගෙන දහවලූ කපා මස් කප් බින්‍දු තබා සිවුරු පොරවා සක්මනට නැග පියවර සතක් ගෙවා අවසානයෙහි කෙලෙස් සතුරා දිනමින් රහත් බවට පැමිණ ඒ සිවුර සෝදා, දෙවෙනි දවසෙහි භික්ෂූන්ට දුන්නේය. මේ ක්‍රමයෙන් එම සිවුර නිසා ඇතුල් වසම පන්සියයක් භික්ෂූහු රහත් බවට පැමිණියහ.
10. ඉක්බිති ලජ්ජිතිස්ස මහරජතුමා මහා පාවාරණ දවසෙහි රජ ගෙදරින් නානා පාට වස්ත්‍රයන් ගෙන්වාගෙන වියන් බඳිව්, තොරන් ඔසවව්, ධ්වජ හා පතාක බඳිව්, විහාර අලඞ්කාර කරව් යයි මිනිසුන් යෙදවීය.
ඉක්බිති ඔවුහු විහාරය අලඞ්කාර කළහ. භික්ෂූහු ද විහාරය අලඞ්කාර කරන කළ සිවුර ගෙන මේ සිවුර බොහෝ දෙනාගේ කෙලෙස් මළු නැති කිරීම සඳහා හේතු වී යයි මුළු දොර කොඩියක් කොට එසවූහ. ඉක්බිති රජතුමා මළු දොර ඔසවන ලද මේ අර්හත් ධ්වජය දැක, අපි නොයෙක් පාට වස්ත්‍ර එවීමු. කුමක් නිසා දිරුණුක් ඉදිරිපිට බැන්දාහු දැයි ආරාමියකන් ගෙන් ඇසූහ. මහරජ, ආර්යයන් වහන්සේලා තමන්ට මෙය උපකාරී යයි ඉදිරිපස බැන්දවූහයි කී කල්හි රජු විසින් ඔවුන්ට මෙය විසින් කවර උපකාරයක් කෙළේ දැයි කී කල්හි දේවයන් වහන්ස, අපි නොදනිමු. ආර්යයෝම දනිතියි කීහ. ඉක්බිති රජතුමා භික්ෂු සංඝයා වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේ ස්වාමීනි, මේ වස්ත්‍රය සංඝයාට බොහෝ උපකාර යයි කියති. ඊට හේතු කවරේද? භික්ෂු සංඝ තෙමේ මහරජ, මේ වස්ත්‍රය නිසා මේ ඇතුල්වස පන්සියයක් භික්ෂූහු රහත් බවට පැමිණියෝය. එනිසා භික්‍ෂූන්ට එය බොහෝ උපකාර යයි සිවුරෙහි ගුණ කියමින් මෙසේ කීයේය.
11. මලමුත්‍ර වලින් තැවරුණු අපිරිසිදු පිලෝතික රහත් ධ්වජය දැක යම් තැනක අනාදර නො කළ යුතු වේ.
12. මිනිසුන් විසින් පිදිය යුතු ඒ අර්හත් ධජය ක්‍ෂේම භූමියට පමුණුවයි. එනිසා ආදර කළ යුතු වේ.
13. රජතුමාණෙනි, රහතන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද ඒ මේ දිරුණු ඔසවන ලද අරහත් ධ්වජය රහතුන් විසින් පරිභෝග කරන ලදි. එහෙයින් ඒ වස්ත්‍රය පූජාවට සුදුසුය.
14. මේ ආදී ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලදි. මේ ඇසූ රජතුමා සන්තෝෂව මේ වස්ත්‍රය දෙන ලද්දේ කවුරුන් විසින් දැයි විචාළේය. ඒ අසා භික්‍ෂූහු, මහරජ, සිව ගමෙහි දිළිඳු ධර්මා ස්ත්‍රියක් ඇත. ඈ විසින් මෙය දෙන ලදැයි කීවාහුය. රජතුමා එය අසා ඇය කැඳවා ඇයට බොහෝ වස්තු දී සිවගම ඇගේ බත්ගම කොට දුන්නේය. එතැන් පටන් ඒ ගම ධම්මසීව ගම යයි ප්‍රසිද්ධ විය. රජතුමා ඇය තමන්ගේ දූ තනතුරෙහි තබා මහත්වූ සම්පත් දුන්නේය. ඕ තොමෝ එතැන් පටන් දන්දී සිල්රැක ආයු කෙළවර ගොස් දෙව්ලොවැ උපන්නීය.
15. දිළිඳු ගැහැණියක විසින් සුපේශල සංඝයා වහන්සේට දෙන ලද වස්ත්‍රයාගේ ආනිශංස ආනුභාවය පුදුමයි. ධර්මා තොමෝ ද භවභෝග සම්පත් ලැබුවාය. භික්ෂූහු ද ක්‍ෂීණාශ්‍රවයෝ වූහ.
8. ධර්මාවගේ කථා වස්තුව නිමි.
1. ලංකාවේ කාවන්තිස්ස රජතුමා රාජ්‍යය කරන කාලයෙහි අනුරාධපුරයෙහි සඞ්ඝනම් මහා අමාත්‍යයෙක් විය. රජතුමා ඔහුට රුහුණෙහි මහගම බත්ගම් කොට දුන්නේ ය. හෙතෙම වනාහි තමන්ගේ චුල්ලසඞ්ඝ නම් මල්ලී අමතා තෝ රජුගේ මෙහෙකරුවෙකු වී උවටැන් කරවයි රජු සමීපයෙහි නවතා තමා මහගමට ගොස් වසයි. එකල ඔහුට එක් දුවක් වූවාය. නමින් කිඤ්චිසඞ්ඝා නමි. රූපයෙන් යුත් දෙවඟනක් වැන්නී ය. මවු පියවරු ඇයට සූප ශාස්ත්‍රය උගන්වා පිසීම් ශාස්ත්‍රය උගැන්නුවාය. ඉක්බිති ඔවුහු ඇය විසින් මුලින් පිසූ කොටස භික්ෂු සංඝයාට දුන්හ. ඕ තොමෝ එතැන් පටන් බොහෝ සෙයින් සංඝයාට බත් හා ව්‍යඤ්ජන පිස උපස්ථාන කරන්නීය. ඔව්හු ඇයට සංඝ උපස්ථායිකාව යයි ව්‍යවහාර කරති.
2. මෑත කාලයෙහි සංඝාමාත්‍ය තෙම ජනපදය පෙළමින් කොල්ලකමින් කලබල කරති. ඒ ප්‍රවෘත්තිය මිනිස්සු ගොස් රජුට කීවෝය.
රජතුමා එය අසා ඔහුගේ මළණුවන් කැඳවා සහෝදරයා ජනපදය සංග්‍රහ කිරීමට යවන ලදි. දැන් ජනපදය පෙළා කලබල කරයි. මෙයට ඔබේ සහෝදරයාට ලිපියක් යවා වලක්වන්න යයි කීයේය. හෙතෙම එය අසා සහෝදරයාට ලියුමක් යවමින් මෙසේ කීයේ ය.
3. මගේ සහෝදරයාට වැඳ මෙහි පැතිරී ඇති ප්‍රවෘත්තිය කියමි. සහෝදරය, වංචාව නැතිව රජවරු සේවනය කළ යුත්තෝය.
4. මේ පොළොවෙහි, යම, ආදිත්‍ය, චන්ද්‍ර, මාර, කුවේර, අග්නි යන සයදෙනා එක්කිරීම් විසින් රජවරු මවන ලදහ.
5. යම තෙම පින්පව් අනුව සත්වයන් ස්වර්ගයට හා අපයාට පමුණුවය. යම හා සමාන රජතුමා ද එසේ පවතී.
6. ප්‍රබෝධ කළ යුත්තන් ප්‍රබෝධ කරයි. වියලවීමට සුදුස්සන් වියලවයි. මෙසේ සූර්යා ලෝකය ආලෝකය කෙරේ. සූර්යා සමාන රජතුමා ද එසේමය.
7. චන්ද්‍රයා ග්‍රහතාරකා සමූහයා විසින් පිරිවරණ ලද්දේ දස දික්හි අති සිසිල් රශ්මි කදම්බයන් පතුරුවමින් ලෝකයා සතුටු කරයි. ලොව රජු ද චන්ද්‍රයා මෙනි.
8. මාරයා මැරිය යුතු අය දයාවෙන් තොරව මරා ද, රජවරු ද මාරයා මෙන් අසත්පුරුෂයන්ට නිග්‍රහ කළහ.
9. ධනය දීමෙන් කුවේරයා සතුටු කරනාතර ධන නමැති දිය සිඳීමෙන්ද කුවේරයා කටයුතු කරයි. මෙසේ රජතුමා ද කුවේර වැනිය මිත්‍ර - සතුරු අය ධන දීමෙන් හා ධනය ගැනීමෙන් කුවේර වැනිය.
10. ගින්න ලොවැ ඇති සියළු භූතයන් දවයි. රජතුමා ද ගින්න මෙන් අසතුටු පුද්ගලයන් දවයි.
11. ගින්න නරකට ඇසුරු කළොත් ඒ අයම ගින්න විනාශ කර දවයි. රජ නමැති ගින්න නෑයන් සහිත වූ චරාචර සියළු සතුන් සහිත කුලයම දවයි.
12. දැවුණු වනයෙහි ඇතැම් ගස් තිබේ. රජුගේ කෝප නැමැති ගින්නෙන් මනුෂ්‍ය නැමැති වනයෙහි අපරාධ කළ කිසිවෙක් ඉතිරි නොවෙත්.
13. දිග අත් ඇති රජවරු දූර යයි සලකා අවමන් නොකළ යුතුය. ලෝකය පෙළන්නාවූ සතුරා වහා දැඩි කොට අල්වා ගනිති.
14. ප්‍රත්‍යන්තය නොපෙළව්. ගැමියන් පැහැර නොගනිව්. අනුන්ගේ දේ පැහැර ගන්නෙක් නොවේවා. තමන්ගේ මුල් නොසිඳුව මැනවි.
15. රජවරු පක්ෂපාති උපකාරී හිත එළවන්නාවූ මිනිසාට කීර්ති දීම් ආදියෙන් මනාව වර්ධනය කරත්.
16. මෙසේ ද කියා අප නොබලව් ද, අප්‍රමාද වී ජනයාට සංග්‍රහ කරමින් වාසය කරව් යයි සන්දේශයක් යැවීය. හෙතෙම ඒ සන්දේශය අසා මගේ බාල මල්ලී රජුගේ අදහස දැන සන්දේශය එවීය. රජු කිපී කල සිට අපට මෙහි වාසය කරන්නට නොහැකැයි සිතා දුවත්බිරියත් හරුබස්නත් රැගෙන යන්නේ පිළිවෙලින් නිග්‍රොධසාලඛණ්ඩ යට පැමිණියේය. එහිදී මෙසේ සිතීය. මම රජුට බියෙන් පලායමි. නැවත ඔහු දකින්නට නොහැකිය. අනුරාධපුරයට නොගොස් මලය රටට ගොස් යම්කිසි තැනක වාසය කොට ජීවත් වෙමියි මේ කරුණ තමන්ගේ භාර්යාවට කියා ඇය පිළිගත් කල්හි තමන්ගේ දුවගේ රූසපුව සලකා ඉදින් අපට බිය උපදී ද, එය මෑ නිසා උපදී යයි සිතා සොඳුර, කිමෙක්ද? සංඝයා නිසා අපට බියක් හටගනී. ඉදින් ඔබට රුචි නම් ඇය අත්හැර යමු යි කීයේය. එය අසා ඕ තොමෝ ඔබට යමක් කැමැති නම්, එය කරවු. මම ඔබ සිත නොබිඳින්නෙමි යි කීවාය. ඉක්බිති හෙතෙම දුව අමතා, දුවණියෙනි, අපි ඇතුළු ගමට ගොස් ආහාර සොයා එනතුරු ටිකක් මෙතැන ඉන්න යයි දුව නවතා පලා ගියහ. පුදුමයි. බියට පත් සතුන්ට ලෝකයෙහි ප්‍රේමණීය අය කෙරෙහි ප්‍රේමය හෝ ලෝභ කටයුතු වස්තුවෙහි ලෝභය ගෙවීමට යේ. ඒ එසේමැයි.
17. මෙබඳු වූ දුක් ඇති වූ කල්හි මේ මිනිස්සු පුතුන්ට ඇති ප්‍රේමය අත්හරිති. තමන්ගේ දරුවන් කන කිඹුලන් හා කැස්බන් මෙනි.
18. ඉක්බිති එහි සිටි කුමාරිකාව යන එනවුන් දැක මේ කුමාරිකා තොමෝ අභිරූපය, සුකුමාරය කුමක් සඳහා මෙහි සිටින්නී දැයි පුදුමව ළඟට එළඹ අප සමග මෑණියෙනි, එන්න යයි කියති. ඕ තොමෝ ඔවුන්ගේ ක්‍රියාව අසා මාගේ මවුපියන් වචනය කඩ නොකෙරෙමියි සිතා නිශ්ශබ්දව එහි සිටියේය. මෙසේ එතැන කල් ගෙවන්නාවූ ඇයට දින හතක් ඉක්මිණි. මෙතෙක් කල් නිරාහාරව සිටියේය. එකල්හි ශක්‍රතෙම දෙව් මිනිස් ලොවෙහි සැරි සරන්නේ එසේ සිටි ඇය දැක මහ ගුණවත් කුමාරිකාවකැයි ඇය විමසමියි සිතා සිත් කළු තරුණ රූපයක් මවා ගෙන ඇගේ සමීපයට එළඹ ඇය සමග කතා කරමින් මෙසේ කීයේය.
19. නිල් වූ අග්බඹුරු වූ කෙස් කලාපයෙන් යුත්, පිපී ගිය නෙළුම් වනයක් වැනි මුහුණක් ඇති නිල් පළල් ඇස් ඇති ඇසට උත්සවයක් වැනිය තී.
20. සොඳුර, ලීලාවෙන් රන් ලීයක් බඳු නඳුන් උයනෙහි දිව්‍ය කන්‍යාවක් බඳු අහසෙහි චන්ද්‍රලේඛාවක් බඳු තී, මෙහි සිටින්නෙහිය.
21. සිත්කළු තැනැත්තිය, තී කවුද? කාගේ දුවක්ද? කොහිසිට මෙහි පැමිණියෙහිද? කුමක් සඳහා මෙහි සිටින්නෙහිද තිගේ ස්වාමියා කව්ද?
22. තරුණයෝ තරුණියක්ම කැමැති වෙති. යෞවනියද එසේම තරුණයන් කැමැති වේ. සොඳුර! මෙහි දැන් තීද මමද සමාන වයසෙහි සිටියෝ වෙමු.
23. තී අද පටන් හැම කල්හි භාර්යාභාවයෙන් පෝෂණය කරමි. මම තීගේ හිමියා වන්නෙමි. තී මගේ බිරිය වෙහි.
එය අසා කුමාරිකාව මෙසේ කීවාය.
24. මිත්‍රය, නුඹ යමක් සඳහා මා සමග කථා කරන්නෙහිද එය කරුණක් මෙන් පෙනේ. ලෝකයෙහි ස්ත්‍රීහු පුරුෂ නමැති ආභරණ යෙන් තොරව නොබලත්.
25. යම් හෙයකින් ඈලාට ස්වාමිවරුන් නැත්නම් විධවා (වැන්දඹු) යයි කියති. හැමදාම වැන්දඹුව සියළු දුකට කොටස් කාරයෙක් වේ.
26. මට මවු හා පියා ඇත. ඔවුහු මට මෙසෙ අනුශාසනා කළහ. දුවණිය අප එනතුරු මෙහිම නවතින්න.
27. මවුපියන්ගේ වචනය යමෙක් මේ මනුලොව නොකරත්ද හේ මේ ලෝකයෙහි විනාශයට ද පරලොව දුගතියටද පැමිණෙත්.
28. තරුණය, යම් හෙයකින් මගේ දෙමව්පියෝ ඔබ සමග එක්වීම අනුමත කරත් නම් එක්වීම සිදුවේ. එසේ නොවුවහොත් එක්වීමක් නොමැත.
29. ඉක්බිති ශක්‍රයා ඇගේ කථාව අසා එසේ නම් පින්වතිය, තී අධික බඩගිනි ඇත්තෙහිය. මේ බත් වළඳවයි කියා එක බත් මුලක් ඇයට දී ගියේය. ඕ තොමෝ බත් ගෙන කාලය බලා තවම පෙරවරු යයි දැන දන් දී වළඳිමියි කාල ඝොෂා කළා ය. තුන්වැනි ශබ්දය කෙළවර සිතුල්පව් වෙහෙර වැසි එක් රහත් නමක් එය අසා අහසින් අවුත් ඇගේ ඉදිරියෙහි පහළ විය. ඕ තෙරුන් දැක සතුටු සිතැතිය පසඟ පිහිටුවා වැඳ පාත්‍රය බතින් පුරවා තෙරුන්ට දී ටිකක් සිටින්න ස්වාමීනි යි කියා වහ වහා ලැහැබකට පිවිස ගස් අතු කඩා ඇඳගෙන වැලකින් බැඳගෙන හැඳිවත් සෝදා සුඹුලක් දරණක් කොට තෙරුන්ට දුන්නේය. තෙරුන් වහන්සේ ඒ පාත්‍රය සුමුලෙහි (දරණෙහි) තබා මෝ මා දකීවායි අධිෂ්ඨාන කොට ඈ දකිද්දීම අහසට නැග විහාරයට ගියෝය. ඕ තොමෝ එය දැක සතුටු සිතින් දන් දී ඉතිරි වූ දෙය අනුභව කොට තමන්ගේ දානය ගැන සලකා ලැහැබක සැඟවී සිටියාය. එකල්හි රජුගේ සේසතෙහි අධිගෘහිත දෙව්දුව ඇයගේ දානයෙන් සතුටුව සේසත් පිඬු චීවරයෙන් නික්ම සාධුකාර දෙමින් මෙසේ කීවාය.
30. කුමරිය, මැනවි, මැනවි, ධර්මයෙන් ජීවත්වන තැනැත්තිය ශ්‍රද්ධා ඇත්තී වෙහි. තී යහපත් කොට දන් දුන්නෙහි. හැම කල්හි යහපත් පූජා ඇත්තියක් වෙව.
31. රජතුමා එය අසා කවරෙකුට පිනැත්තිය සාධුකාර දුන්නෙහිද? යි විචාළේය. ඕ තොමෝ මහරජතුමාණෙනි, මහාගමෙහි සංඝාමාත්‍යයාගේ කිංචිසංඝා තොමෝ නුගගල්කඩ දොරදී දනක් දුන්නීය. ඇයට මම සාධුකාර දුනිමි යි කීවාය. රජතුමා එය අසා ඇමැතියන් ඇණවීය. පින්වත්නි, තෙපි වහා එහි ගොස් ඇය යෝග්‍ය වූ රථයක් වඩා හිඳුවා සරසා ගෙන එව් යයි කීයේය. ඔවුහු ගොස් ලැහැබ අතර හුන් කුමරිය දැක මෑණියෙනි, අපේ රජතුමා තී ගෙන ඊම පිණිස අප එවී ය. එන්න යන්න යයි ඉල්ලූහ. ඉක්බිති ඕ තොමෝ මගේ මවුපියන් නොපැමිණ දින සතකි. දැන් මා අතහැර එක්කෝ ගියාහු ය. නැතහොත් මළාහු විය යුතු යයි සිතා ඔවුන්ගේ වචන මැනවයි පිළිගත්තාය.
ඉක්බති ඇමතියන් විසින් උනන්දු කරන ලද (ඇය) ජලය බී නහා කොළ අතු දියෙහි දමා ඇඳීමට වස්ත්‍ර ගෙන එන්න යයි අත දික් කළාය. ඇමතියෝ රජතුමා විසින් එවන ලද සළුව බැහැර කොට ඇගේ අතෙහි තැබූහ. ඕ තොමෝ එය දැක පින්වත්නි, මේ වස්ත්‍ර රළුය. සිත්කළු නොවේ. වෙන එකක් ගෙන එන්න යයි කීවා ය. ඉක්බිති ඇතැම් කෙනෙක් එය අසා අතු ඇඳ සිටි තැනැත්තියට මේ සළු ප්‍රිය නොවේ යයි කියා මිනිස් ලොවට මීට වඩා සියුම් වස්ත්‍රයක් නැතැයි කීවාහු ය.
32. එකෙණෙහි ශක්‍රයා ඇයගේ පින් බලෙන් දිව්‍යමය කිසිම දිනක විනාශයට නොයන සළු පසක් යැවීය.
ඕ තොමෝ එක් සළුවක් ගෙන ඇඳ වාහනයට නැග මහියංගන විහාරයට ගොස් එහි බොහෝ භික්ෂූන්ට සිවුරු පිණිස වස්ත්‍ර දී තමන්ගේ පිරිවර ජනයාටද දිව්‍ය වස්ත්‍රම දුන්නීය. පැසින් වස්ත්‍ර ගත් ගත් තැන අඩුව පිරිණ. ඉක්බිති ඕ තොමෝ පිළිවෙලින් අනුරාධපුරයට ගොස් රජතුමා දැක්කාය. රජතුමා ද ඇය දැක සතුටුව ඇයට මහත් සැපත් දුන්නේ ය. ඕ තොමෝ එහි සියළු භික්ෂු භික්ෂුණී සංඝයාටද රජතුමා ප්‍රධාන සියළු රජ පිරිසටද නුවර වැස්සන්ටද දිව්‍ය වස්ත්‍ර දුන්නීය. රජතුමා ඇය එක පුතෙකුට පාවාදී ඇයට මුළු රුහුණු ප්‍රදේශයම බත්කම් කොට දුන්නේය. ඕ තොමෝ එතැන් පටන් එහිවසමින් දන්දීම ආදී බොහෝ පින්කම් කොට ආයු කෙළවර පිරිස් සහිතව දෙව්ලොව උපන්නී ය.
35. දානය කරණකොට ගෙන සත්වයෝ දෙව් ලොව යති. දානය කරණකොට ගෙන මිනිසුන් අතර සම්පත් විඳිති. දානය කරණකොට ගෙන නිර්වාණයද ලබති. එනිසා නිතර දන් දෙව්.
9. කිඤ්චි සංඝාවගේ කථා වස්තුව නිමි.
1. එක් කලෙක අනුරාධපුරයෙහි මහවැලි වීථියෙහි සුමනා නම් ශ්‍රද්ධාවත්, තුණුරුවන් කෙරෙහි පැහැදුණු ඒ ඒ තැන සෑබෝ ආදියට මල් ආදියෙන් පුදන බණ අසන භික්ෂූන් වහන්සේට උපස්ථාන කරන එක් ස්ත්‍රියක් වූවාය. ඇයට ශ්‍රද්ධාවත් බව නිසා ශ්‍රද්ධා සුමනා යයි නමක් වූවාය. එසමයෙහි රුහුණු දනව්වෙහි මහගමින් එක් මිනිසෙක් කිසියම් කටයුත්තකට අනුරාධපුරයට පැමිණ මහවැලි වීථියෙහිම නවාතැන් ගති. ඕ තොමෝ ඔහු සමග මිතුරු දම් පවත්වා ඔහු පිළිබඳ සිතැත්තී වූවාය. ස්ත්‍රීන්ගේ සිත්හි පවත්නා අශිෂ්ටත්වය පුදුමයි.
2. මේ කටුගසකි; මේ විෂ ගසකි; මේ සඳුන් ගසකි. යයි වැලකට මෙන් වෙනසක් නොමැත.
3. ලෝකයෙහි කාමයෙන් අන්ධ වූ ස්ත්‍රීහු හීන උත්කෘෂ්ඨ මධ්‍යම යන මිනිසුන්ය. කුලීනයයි හීන කුලීනයයි, වැලක මෙන් අත් නොහරිත්.
4. හෙතෙමේ ද ඇය පිළිබඳ සිතැති නිසා ඇය මහගමට ගෙන ගියේ ය. ඉක්බිති ඕ තොමෝ එහ ගොස් ඔහුගේ ගෙයි වසමින් නිතරම භික්ෂූන් වහන්සේලා අට නමකට සලාක බත් දුන්නාය. නිතර බණ ඇසුවාය. වෙහෙර බෝධි ආදියට වඳිමින් පින්ම කළාය.
ඉක්බිති ඕ තොමෝ අසුන්හලට ගොස් භික්‍ෂූන් වහන්සේට වතාවත් කරමින් කාලය ගෙවුවාය. ඇගේ හිමියා ශ්‍රද්ධාවන්තයෙක් නොවේ, එනිසා ඔහු ගෙදරට පැමිණි කල්හි තී පින්කම් කරමියි ගෙදර කිසිවක් නොකරන්නෙහි යයි ඇයට කිපී ගෙදරින් බැහැර කෙළේය. ඕ තොමෝ සත් දිනක්ම කැඩුණු වැටුණු ගෙබිතක් නිසා නිරාහාරව වාසය කොට නිසැකයෙන්ම තමා අත්හැරී බව දැන ගෙන අනුරාධපුරයෙහි මගේ දෙමවුපියන් සමීපයට යන්නෙමියි අනුරාධපුර මගට පිළිපන්නී ඒ ඒ තැන සෑ බෝ ආදිය වඳිමින් පිළිවෙලින් නුගගල්කඩ දොර පැමිණියාය. හුදෙකලාව ඇවිදින්නට මෙවැනි පිරිහීමක් වේමය. එ එසේමැයි.
5. කුඩා වූ හෝ මහත් වූ හෝ ඉටු අනිටු වූ යම්කිසි කාර්යයක් මවුපියන් ආදී වැඩිමහල්ලන් විසින් අනුදත් දේම කළ යුතුය.
6. දෙමාපියන්ගේ අනු දැනුම නොමැතිව රාජ්‍ය සම්පත්තියක් ලබන්නේ නමුදු ඒ සම්පත්තිය ද අනුජාත පුත්‍රයා විසින් බහුමාන නොකරන්නේ ය.
7. මවුපියන් ආදී වැඩිමහල්ලන්ගේ අදහස් නොබලා යම් කිසි ආශ්චර්යමත් වූ කාර්යයක් කළත් හිතුවක්කාරයෙක් යයි නෑයෝ පවා ඔහුට නින්දා කරති.
8. එමනිසා උඩඟු නොවී චපල නොවී ඥානවන්තව, සංයම වූ ඉඳුරන් ඇතිව වැඩ කරන පුත්‍ර තෙමේ ප්‍රශංසාවක් ම ලබයි. හැම අතින්ම ප්‍රශංසාවට පැමිණේ.
9. ඕ ශ්‍රද්ධා සුමනාවෝ මවුපියන්ට නොදන්වා පැමිණි නිසා මෙතෙක් දුක් අනුභව කළාය. ඉක්බිති එහි සිටි ඇය දිව්‍ය මනුෂ්‍යයන් අතර සැරිසරණ ශක්‍රයා දැක මෝ තොමෝ ශ්‍රද්ධාවත් ය. තුනුරුවන්හි ඇලුණි යයි සිතා මහළු වෙසකින් බත් මුලක් රැගෙන ඇයගේ ඉදිරිපිට පහළව ඇයගේ සමීපයට ගොස් කොහි යන්නෙහි ද මෑණියෙනියි විචාළේය. ඇය අනුරාධපුරයට යමියි කී කල්හි ශක්‍ර තෙම තිට අධික බඩගිනි වෙහි, මේ බත් අනුභව කරවයි බත්මුල දුන්නේය. ඕ තොමෝ බත් මුල රැගෙන මෙතැන ජලය නැතැයි කියා සිටියාය. ශක්‍රයා එයට නුදුරු තන්හි පිපීගිය එක් පොකුණක් දැක්වීය. ඕ තොමෝ පොකුණට ගොස් නා බත් මුලගෙන අත සෝධා සිට කල් බලා තවම පෙර බත යයි දැන කල් දැන්වීය. මෙය අසා තලගුරු මුහුදු පව්වෙහි වාසය කරන ධම්මදින්න තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද සත්වැනි දිනයෙහි නිරෝධ සමාපත්තියෙන් නැගිට පා සිවුරු ගෙන ඇගේ ඉදිරියෙහි ප්‍රකට විය. ඉක්බිති ඕ තොමෝ තෙරුන් දැක සතුටු සිතින් පාත්‍රය රැගෙන බත් පුරවා තෙරුන්ට දී ස්වාමීනි, මොහොතක් වැඩ සිටිනු මැනවයි කියා සැඟවුණු තැනකට පිවිස කොළ අතු ඇඳ ඇඳන් සිටි වස්ත්‍රය සෝදා සුඹුලුවක් කොට දුන්නීය. තෙරුන් වහන්සේ ඕ තොමෝ මා බලාවයි අධිෂ්ඨාන කොට වත් සුඹුලුවෙහි පාත්‍රය තබා අහසට පැන නැගී විහාරයටම වැඩි සේක.
ඕ තොමෝ තෙරුන් වහන්සේ වඩිනු දැක ප්‍රීතියෙන් පිනාගිය ශරීර ඇත්තී දර්ශන පථය ඉක්මෙත්ම පසඟ පිහිටුවා වැඳ දී ඉතිරි වූ බත් අනුභව කොට අනුරාධපුර මගට පිළිපන්නීය.
10. එකෙණෙහි ඒ නුග ගසෙහි අධිගෘහිත දෙවියා එක් පසුම්බියක දිව්‍ය වස්ත්‍ර 8ක් තබා එක් පැත්තක දිව්‍යමය බතක් ද තබා දිව්‍යමය කැවිලි වර්ගයෙන් පුරවා සුදුසු වාහනයට නැගී එය එහි තබා ගෙන ගැල පදවමින් ඈට නුදුරු තන්හි පෙනී සිට මෑණියෙනි, කොහි යන්නෙහි දැයි විචාළේය. ඇය විසින් අනුරාධපුරයට යමි යි කී කල්හි එසේ නම් එන්න. මේ ගැලෙහි වාඩිවෙන්න. මම ද එහි යමියි ඕ තොමෝ මැනවි ආර්යය, ඔබ සමග පසුව එමි. කොළ අතු ඇඳ රියෙහි නගින්නට නොහැකි යයි කීවා ය. ඉක්බිති හේ ඇයට එක් දිව්‍ය වස්ත්‍රයක් දුන්නේය. මෙය ඇඳගෙන රියට නඟින්න. ඕ තොමෝ එය ඇඳගෙන රියට නැංගාය. ඒ රිය දෙවියන්ගේ ආනුභාවයෙන් මොහොතකින්ම සෑගිරියට පැමිණියේය. එකල්හි දිව්‍ය පුත්‍ර තෙම සකුරා පූ සියඹරාව සමීපයෙහි ගැල නතර කොට මෙතැන් මතු මට යා නොහැකියි කියා පසුම්බිය ඇයට දී අතුරුදහන් විය. එකල්හි සකුරු පූ සියඹරාවෙහි වාසය කරන දේවතාවා ඒ පසුම්බිය රැගෙන යන්නිය දැක වතාවත් කරන්නෙකු මෙන් වී ඇගේ ඒ සියල්ල ගෙන අනුරාධපුරයට පැමිණ මහා පාලියෙහි වාසය කරන භික්‍ෂූන් දැක සතුටු සිත් ඇත්තේ පස්මග ආවාසයෙහි නොයෙක් සිය ගණන් භික්‍ෂූන්ට ද භික්‍ෂුණීන්ටද දිව්‍යමය රස කැවිලිද දිව්‍යමය සාටක ද දුන්නේය.
11. එකල්හි රජතුමා විහාරයට යන්නේ මහා පාලි දන්සැලෙහි වූ මේ සියල්ල දැක සතුටු සිතැතිව කවරෙකු විසින් මෙය දෙන ලද්දේදැයි විචාළේය. මිනිස්සු ශ්‍රද්ධා සුමනාව විසින් දුන් බව කීවාහුය. රජතුමා ඇය කැඳවා දන් උපකරණ ලැබුණු සැටි විචාළේය. ඕ තොමෝ ඒ සියල්ල විස්තර කොට කීවාය. රජතුමා ඇයට සතුටුව තමන්ගේ අග මෙහෙසුන් බවෙන් අභිෂේකය දුන්නේය.
ඕ තොමෝ අභිෂේකයට පැමිණ රජතුමා ආදි කොට ඇති සියළු නුවර වැසියන්ට දිව්‍ය වස්ත්‍ර දුන්නීය.
දිව සළු අට ගෙවීමකට (නිමාවට) නොගියේය. ඕ තොමෝ එතැන් පටන් දන්දීම් ආදී පින්කම් කොට දිව්‍ය ලෝක පරායණ වූවාය.
12. පින්වත්නි, ජනයන්ගේ ශ්‍රද්ධා බලය බලව්! දෙවියෝ මෙලොවදීම ඔහුට ගරුසත්කාර කරති. දෙවි - මිනිසුන් අතර ඉපද විඳිනු ලබන මහත් වූ සම්පත්තිය ගැන කියනුම කවරේද?
10. ශ්‍රද්ධාසුමන කථා වස්තුව නිමි.
සයවැනි උත්තරොලිය වර්ගයයි.
රසවාහිනී වනරත්න ව්‍යාඛ්‍යා ප්‍රථමභාගය නිමි.