පොහොය වර්ණනාව
මාපලගම සිරි සෝමිස්සර හිමි
පටුන
පටුන

කර්තෘගෙන් වචනයක්

‘පොහොය වර්ණනාව’ (පළමුවන මුද්‍රණය) නැමැති මේ කුඩා ග්‍රන්ථයෙන් පසළොස්වක් පොහොය දෙ‍ාළොස පිළිබඳ ව ඇති ආගමික හා ඓතිහාසික වටිනාකම ගැන කරුණු විස්තර වෙයි. පොහොය පිළිබඳ ව විශේෂ බෞද්ධ ප්‍රබෝධයක් දක්නට තිබෙන මේ කාලයේ මෙබඳු ග්‍රන්ථයක් පළ කිරීම සුදුසුය යි අපට කල්පනා විය. ඒ අනුව මේ කුඩා ග්‍රන්ථය සැකසුණේ ය. මෙහි ඒ ඒ පෝය දිනයන්හි සිදු වී ඇති ආගමික හා ඓතිහාසික කරුණු ඇතුලත් වෙයි. තව තවත් කරුණු සොයා ගත් විට දෙවන මුද්‍රණයක දී ඒවා ඇතුළත් කිරීමට බලා‍පෙ‍ාරොත්තු වෙමි.

මෙයට ප්‍රස්තාවනාවක් ලියා දෙන ලෙස අප විසින් ආරාධනා කරන ලද්දේ අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේට ය. මේ කාර්‍ය්‍යය සඳහා අප විසින් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ම තෝරා ගන්නා ලද්දේ යම්කිසි හේතුවක් අනුව ය. ජාතික රජය මගින් ඇති කරන ලද සතර පෝය නිවාඩුව පිළිබඳව විශේෂ උද්යෝගයකින් මූලිකව ක්‍රියා කරන ලද්දේ අතිගරු මහානායක හිමිපාණන් වහන්සේ වන හෙයිනි. නොයෙක් කටයුතු මධ්‍යයේ අප ගේ ආරාධනය කරුණාවෙන් පිළිගෙන සාරවත් ප්‍රස්තාවනාවක් ලියා දුන් අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මා හිමිපාණන් වහන්සේට අප ගේ භක්ති පූර්වක අකලඞ්ක ගෞරව නමස්කාරය හිමි විය යුතු ය.

මේ ග්‍රන්ථය පළ කිරීමට පිළිගෙන ක්‍රියා කළ සීමාසහිත ලේක්හවුස් ඉන්වෙස්මන්ට් සමාගමේ ග්‍රන්ථ ප්‍රකාශකයනට ද අප‍ ගේ කෘතඥතාව හිමි වෙයි.

මෙයට

ධර්මෝදයකමී

මාපලගම සිරි සෝමිස්සර

1967-08-25

ශ්‍රී ධර්මෝදය පිරිවෙන,

වැල්ලවත්ත.

ප්‍රස්තාවනා

(අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ විසිනි.)

‘පොහොය’ යනු පාළි උපොසථ යන්නෙන් බිඳුණු ශබ්දයකි. උපොසථ ශබ්දය පාළියෙහි අර්ථ පසෙක්හි වැටේ.

  1. තදහුපො‍සථෙ පණ්ණරසෙ යන ආදී තන්හි සාමාන්‍ය දවසට වඩා විශේෂ සීලාදී ගුණයන් ගෙන් පේවී වාසය කරන දිනයෙහි ද,
  2. ආයාමවුසො කප්පින උපොසථං ගමිස්සාමි යන ආදී තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන් හි මහණ මෙහෙණන් ගේ පාමොක් උදෙසීමෙහි ද,
  3. එවං අට්ඨංග සමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්ථො යන ආදී තන්හි පෝයදා රැක්ක යුතු අෂ්ටාංග ශීලයෙහි ද,
  4. සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධසුස්පොසථෙ සදා යනාදී තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් ම නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදියුෂ ආදිය පමණක් හෝ ගෙනැ කල් යවන ව්‍රතයෙහි ද,
  5. උපෝසථො නාම නාගරාජා යන ආදී තන්හි ඇත් කුලයකට තැබූ නාමයෙක්හි දැයි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි. මෙයින් පළමු අර්ථත්‍රයය අනුවැ බෞද්ධයන් විසින් පාළි උපොසථ ශබ්දයෙහි හා සිංහල පොහො සදෙහි තේරුම් උගත යුතු ය. හතර වැනි අර්ථය බාහිරක තාපසවරුන්ගේ ව්‍රතයෙක්හි ද පස් වැනි අර්ථය නාම මාත්‍රයෙහි ද වැටෙන බව සැලකිය යුතු ය.

මේ පොහාය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙරැ සම්මත වූවෙකි. ඉතා පෙරැ ආදි කාලයෙහි විසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා මැ මෙලොව කටයුතුවලැ පමණක් නො යෙදී සතියකට වරක් පරලොවැ සුභසිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණාහ. මෙකලැ මෙන් දින දර්ශන හා ලිත් සුලභ නැති එකලැ අහසෙහි හඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරුන් ද පොහොය ආගමික දින හැටියට යොදා ‍ගෙනැ තිබිණි.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයටත් පෙර පටන් පැවත එන උපොසථය පොහොය බුද්ධාගමට ඇතුළු වූ සැටිත් පොහොය දා පන්සල් යෑම බණ ඇසීම සිල් සමාදන් වීම ආදිය ආරම්භ වූ සැටිත් සැලකිල්ලට භාජන කරන්නේ පොහොය පිළිබඳව වැ විශේෂයෙන් ශාසනික පොහොය පිළිබඳ වැ ඥානවන්තයන්ගේ නුවණ මෙහෙයවනු සඳහා ය.

බුදුරජානන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ තැන් පටන් භික්‍ෂූන් වහන්සේ ධර්මදේශනා කිරීමටත් උපාසක උපාසිකාවන් ධර්ම ශ්‍රවණය කිරීමත් භික්‍ෂූන් හමුවන්නට පන්සල් යෑමත් ආරම්භ විය. එහෙත් දින සම්මතයක් නො වීය. එසේ වී නමුත් අන්‍ය තීර්ථක ආරමයන්හි පොහෝ දිනයන් හි ධර්ම දේශනාදිය පැවැත්විණ. එයින් ඔවුන් ගේ ගිහි පැවිදි සම්බන්ධය තර විය.

බිම්බිසාර රජතුමා ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙකි. සසුනු දියුණුව කැමැත්තෙකි. අන්‍ය තීර්ථකයන් අතර ගිහි පැවිදි සම්බන්ධය තරවන කරුණු අ‍වබෝධ කරැ ගත් රජතු‍මාණෝ බෞද්ධයන් අතරැ ද මේ කටයුතු ඇතිවීම මැනැවැ යි බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගොස් කරුණු සැල කළහ. කාගේ වුවත් හොඳ යෝජනාවන්ට ගරු කරන බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ චාතුද්දසෙ, පණ්ණරසෙ, අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිතුන්ති - මහණෙනි, - තුදුස්වක්හි, පසළොස්වක් හි, අටවක් හි රැස් වන්නට අනුදනිමි” යි වදාළ හ. මේ පොහෝ දිනයන්හි පන්සල් යෑම ආරම්භ වූ සැටි යි.

බුද්ධ නියමය පරිදි ගිහි පැවිදි දෙපස මැ පො‍හෝ දිනයෙහි රැස් වූ නමුත් ධර්මදෙශනා කිරීමක් නො වීය. එයින් අසතුටට පත් වූ ගිහි ජනතාව ධර්මදේශනා නො කිරීම ගැන දොස් නගන්නට වූහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ, “අනුජානාමි භික්ඛවෙ චාතුද්දසෙ පණ්ණ‍රසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති - මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්ෂයේ අටවක් හි රැස් වී දහම් දෙසන්නට අනුදනිමි” යි වදාළහ. මේ පොහෝ දිනයන්හි ධර්මදෙශනා ආරම්භ වූ සැටි යි.

දිනක් විශාඛා මහා උපාසික‍ාව බුදුරජාණන් වහන්සේ හමුවන්නට පැමිණියා ය. පැමිණි කාරණය විමසූ විට විශාඛා මහා උපාසිකාව ප්‍රකාශ කෙළේ තමා අද පෙහෙවස් රකින බව යි. එසඳ බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි පෙහෙවස් රැකීම පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ප්‍රකාශ කළහ. ත්‍රිවිධ උපොසථයන් දක්වා බෞද්ධයන් ආර්‍ය්‍යුපොසථයෙන් හෙවත් රහතන් වහන්සේ අනුගමනය කරමින් පෙහෙවස් රැකීම මැනැවැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කෙළෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පොහෝ දින පෙහෙවස් රැකීම ආරම්භ කළහ.

දිනක් නිහඬ වැ සිටින බුදුරජාණන් වහන්සේට මෙබඳු අදහසක් පහළ විය. මා විසින් භික්‍ෂූන් හට යම් සික පද කෙ‍නෙක් පනවන ලද්දාහු ද, ඒ සික පද ඔවුනට පාමොක් උදෙසීම කොට අනුදැනැ වදාළොත් නම් යෙහෙ‍කි. ඒ ‍පාමොක් උදෙසීම ඔවුනට පෙහෙකම් වන්නේ ය යනුයි. අනතුරුව භික්‍ෂූන් අමතා “අනුජානාමි භික්ඛවෙ සකිං පක්ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා පාතිමොක්ඛං උද්දිසිතුන්ති” මහණෙනි, පක්ෂයකට වරක් තුදුස්වක්හි හෝ පසළොස්වක් හි හෝ පාමොක් උදෙසන්ට අනුදනිමි”යි වදාළහ. මේ පොහෝ දිනයන්හි භික්ෂූන් ගේ උපෝසථ කර්ම ආරම්භ වූ සැටි යි.

පොහෝ දිනයන් හි පන්සල් යෑම, දහම් දෙසීම, සිල් සමාදන් වීම, පාමොක් උදෙසීම ආරම්භ වූ සැටි මැනවින් පැහැදිලි වේ. මේ අතර පැන නැගෙන ප්‍රශ්නයක් වෙයි. මෙකී දිනයන් හි හැරැ අන් දිනයන්හි එකී ආමික කටයුතු නො කළ හැකි ද නො කළ යුතු ද යන්න යි.

දිනයෙන් පිරිසිදුවන සිල් බුද්ධාගමේ නැත. දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමයෙහි නැත. එහෙයින් පොහොය නො වන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. එහෙත් භික්ෂූන් ගේ පාමොක් උදෙසීම නම් තුදුස්වක් පසළොස්වක් දිනයන්හි හැරැ අන් දිනයන් හි නො කළ හැකි මැ යි. ඒ අතර ම පොහෝ දිනයන් හි ආගමික කටයුතු සම්මතය පිළිබඳ ව ද නුවණින් සිතා බැලිය යුතු ය.

සැලැස්මක් ඇති වැ කාල සටහනක් ඇති වැ කටයුතු කිරීමට ලෝකයෙහි පළමු වරට ඉගැන්වීම කළ උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. පොහොය දින සම්මත වූයේ ද උපාසක උපාසිකාවනට එක් දිනයෙකැ එක් වේලාවෙකැ පන්සලට බැමිණ බුදුන් වැඳ බණ අසා යෑමේ පහසුව සඳහා ය.

පොහොය ආගමික දින වශයෙන් කොතරම් දුරට තහවුරු වූවා දැයි කිවහොත් ශක්‍ර ආදී දෙවියන් පවා මනුෂ්‍යයන් පින් කරන හැටි බලන්නට පොහෙය දිනයන් හි මිනිස් ලොවට පැමිණෙන සැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. පොහොය දින පිළිබඳ මෙතරම් පැහැදිලි වැ තිබෙද්දීත් ඇතැම් අය ‘සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්දස්සුපොසථො සදා” පිරිසිදු තැනැත්තාට සැමදාම පුවපල් ගුණේ නැකත ය. පිරිසිදු තැනැත්තාට හැම දින ම පොහොය යයි බණ පදය වරද්දා අල්ලා ගෙනැ බෞද්ධයාට පින්කම් කිරීමට පොහොය කියා විශේෂ දිනයක් උවමනා නැතැ යි සිතති. කියති. පිරිසිදුව මිථ්‍යා දෘෂ්ටි රැසක් ඇති වැ සිටි බමුණකු ගේ මිථ්‍යා දෘෂ්ටි හරණය සඳහා දේශනා කළ බණ පදයෙන් පොහෝ දින ආගමික කටයුතුවලට පටලවා නො ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙසේ පොහොය දින නියම කළ බුදුරජාණන් වහන්සේ පොහොය දින ගණන් කර ගන්නා අයුරු ද භික්‍ෂූන්ට ඉගැන්වූ හ. අවුරුද්දක් ඍතු තුනකට බෙදා සාමාන්‍යයෙන් එක් එක් ඍතුවෙහි ලැබෙන පොහොය අටෙන් තුන් වැනි හත් වැනි පොහොය දෙක චාතුදස්සී - තුදුස්වක හා ඉතිරි හය පසළොස්වක බවත් ප්‍රකාශ කළහ. උපාසක උපාසිකාවනට පන්සල් යෑමට බණ ඇසීමට සිල් සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ නියම කළේත් මේ පොහො දින මැ යි. එයට අතිරේක ව පක්ෂයෙහි අටවකත් නියම කොට ඇත. මේ තමා ශාසනික පොහොය.

මෙකලැ බෞද්ධයන් ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය නො වැ තිථි පොහොය යි. තිථි පොහොය නමින් මා සඳහන් කෙළේ දැනට ලිත්වල සටහන් වැ සිල් සමාදන්වීම ආදියට ව්‍යවහාර කරැ ගෙනැ එනු ලබන පොහොය යි. ඒ පිළිබඳ විස්තර නො දනිතත් එය වේද කාලයෙහි සිට පැවැත එන ඉතා උසස් ගණිත ක්‍රමයක්ය යි සිතමි. නිවැරදි ශාස්ත්‍රවලට බුදුරජාණන් වහන්සේ විරුද්ධ නො වූයෙන් බෞද්ධයන් විසින් ද නැකැත් ව්‍යවහාරය පෙර පටන් ම කරගෙන එනු ලැබේ. එහෙත් බුදුරජාණන් වහන්සේ නියම කළ පොහොය පින්කම් කරනුවා නම් උන්වහන්සේ නියම කළ පොහොයට මැ කළ යුතු නො වේදැයි සිතා බලන්නේ නම් මැනැවි.

ශාසනික පොහොයන්හිත් තිථි පොහොයන්හිත් වෙනස් කම් කීපයක් පෙනෙන්නට ඇත. ඇතැම් පොහොය දින වශයෙන් දෙදිනකට පැමිණෙයි. ශාසනික පොහොය දිනයෙහි අතරතුර ලබන ගෙවෙන වේලාවක් නො වෙයි. මුළු දවස ම පොහොය යි. තිථි පොහොය දිනයෙහි මුලත් මැදත් අගත් ලබයි; ගෙවෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ පොහොයට නියම කළ පින්කම් පෙ‍ාහොය නැති වේලාවන්හිද කරන්නට සිදුවෙයි. තවද පූර්වයෙහි හෝරා ශාස්ත්‍රඥයන් දිනය ගත්තේ උදේ 6 සිට ය. එහෙත් දැන් බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ රෑ 12 යි මිනිත්තුවේ සිට දිනය පටන් ගැනීම යි. ඒ අනුව පොහොය නියම ද සිදු කරන බව පෙනෙයි. දැන් ලිත්වල පෙනෙන සැටියට රෑ 11 මි. 59ට පොහොය ලැබුවා නම් සිල් සමාදන්වීම අද යයි ද රෑ 12යි මිනිත්තුවට පොහොය ලබනවා නම් සිල් සමාදන වීම හෙට යයි ද කියති. රෑ 11යි මිනිත්තු 59ට පොහොය ලබන දිනයක උපාසක උපාසිකාවන් සිල් සමාදන් වන්නේත් සිල් රකින්නේත් පොහොය නැති වෙලාවන්හි ය. පොහොය ලබන බොහෝ දෙනා තද නින්දේ බව පෙනෙයි.

ශාසනික පොහොය ගන්නවා නම් මෙබඳු අවුලක් නැහැ නො වේද? උදේ 6ට සිල් සමාදන් වන්නේ පොහොය ලබන වේලාවටම යි. පසුදා උදේ 6ට සිල් පවාරණ කරන්නේ ද පොහොය ගෙවෙන වේලාවට ම යි. මෙසේ ශාසනික පොහොය ගත් විට සම්පූර්ණ 24 පැය ම පෙහෙව සිටින අතර හෝරා ශාස්ත්‍රඥයන් ගේ ගණිත ක්‍රම අනුව පොහොය දිනයන්හි වෙනසක් ඇති වන්නේ නැත. අතිරේක කරුණු සියල්ල ම පසෙකින් තබා ප්‍රධාන වශනේ බෞද්ධයන් විසින් සිතට ගත යුත්තේ පොහොය දිනයට සිල් සමාදන් වීම් ආදිය කරනුව‍ා නම් එය බුදුරජාණන් වහන්සේ නියම කළ පොහොයට මැ කළ යුතු නො වේ ද? යන්න යි. හෝරා ශාස්ත්‍රඥයන් ද එය පිළිගන්නවා ඇතැ යි සිතමි.

සියම් බුරුම කාම්බෝජ ආදී ලොව ථෙරවාදී බෞද්ධ රටවල ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය යි. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ශාසනික පොහොය සීතාවක රාජසිංහ රජකාලය දක්වා පැවති බව ඉතිහාසය දන්නෝ කියති. සීතාවක රාජසිංහ රජතුමා විසින් කරන ලද ශාසන විනාශයෙන් පසු ශාසනික ක්‍රම අභාවයට යෑමෙන් ශාසනික පොහොය වෙනුවට තිථි පොහොය ව්‍යවහාරය ඇති වූ බව කිව යුතු ය.

තව ද පොහොය නිවාඩු දින කිරීමට තීරණය කළ රජයට ද ශාසනික පොහොය ගැනීම වඩා පහසු ය. තිථි පොහොය ක්‍රමය අනුව දින 6 නුත් 7 නුත් 8 නුත් 9 නුත් පොහොය යෙදෙයි. ශාසනික පො‍හොය ක්‍රමය අනුව දින 7 ට අඩුවෙනුත් දින 8 ට වැඩියෙනුත් පොහොය නො යෙදෙයි. අවුරුද්දකට පොහොය හතළිස් නවයක් පනහක් ලැබෙන අතර එයින් පොහොය 30 ක් හෝ 31 ක් දින හතෙන් පැමිණෙයි. පොහොය 18 ක් හෝ 19 ක් දින 8 න් පැමිණෙන්නට පිළිවන. තුදුස්වක් පොහොයකට පෙර පැමිණෙන අටවක පමණක් දින 7 න් යොදා ගත යුතු ‍වේ. එයට බෞද්ධයන් අකැමැති නො වනු ඇත. වර්තමාන හෝරා ශාස්ත්‍රඥයන් වැඩි දෙනා බෞද්ධයන් වන බැවින් සිල් ගන්නා දින නියම කැරැ ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ අදහසට අනුව බව පිළිගන්නවා ඇතැයි සිතමි. මෙසේ කිරීමෙන් හෝරා ශාස්ත්‍රඥයන් ගේ ලිත් වල සඳහන් වන අන් එක ද කරුණකට වත් බාධාවක් නො වනු ඇත. එපමණක් නො වැ පොහොය අනුවැ සති වෙන් කිරීමේදී රජයට ලොකු පහසුවක් වනු ඇත.

ලංකාවේ අවුරුදු දෙදහසකට අධික කාලයක් තිබුණු පොහොය නිවාඩුව නැති ‍කළේ 1770 වැන්නෙහි පෝක් නම් වූ ඕලන්ද ආණ්ඩුකාරයා විසිනි. මෙසේ පොහොය නිවාඩුව වෙනස් කොට ඉරිදා නිවාඩුව ඇති කෙළේ වී නමුත් බොහෝ කාලයක් බෞද්ධයන් තුළ මුල් බැස ගෙනැ තිබුණු නිවාඩුව ජනතාවගේ සිත් වලින් අස් කරන්නට ඉතා අපහසු විය. එහෙත් 1817 වැන්නෙහි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් නව පනතක් ඇති කොට දඬුවම් ද නියම කොට පොහොය නිවාඩු වෙනස් කරන ලදී.

අවුරුදු දෙදහස් පන්සියකටත් පෙරැ ලේ වගුරුවන විප්ලවයකින් නො වැ කරුණා මෛත්‍රියෙන් පිරුණු උපදේශ මාලාවකින් සාමකාමී වැ සමාජ පරිවර්තනයන් කළ උත්තමයා අපේ බුදුරජාණන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව ද බුද්ධ ධර්මය පැතුරුණු හැම රටක ම සාමයෙන් සිදු වූ සමාජ පරිවර්තනයෙන් ඒ ජනතාව ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන චතුර්විධ දියුණුවෙන් නැගී ගියේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණ දහම් දෙසා ජනතාව බෞද්ධ කිරීමෙන් සිංහල සමාජය ද මහා පරිවර්තනයෙකින් පුදුමාකාරයෙන් නැගී එන්නට පටන් ගති. බුද්ධ ධර්මය නිසා සිදු වූ සමාජ පරිවර්තනය කොතරම්දැ යි සිතා ගැනීමට පොසොන් උත්සවය මැ ප්‍රමාණවත් වනුවා ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කරන කාලයෙහි පොසොන් උත්ස‍වයෙහි ප්‍රධානාංගය වූයේ රජතුමා ප්‍රධාන ජනතාව දඩයමේ යෑම යි. මිහිඳු මාහිමියන් වහන්සේ ට දේවානම් පියතිස්ස රජතුමා හමුවුණේ ද දඩයමේ ගොස් සිටින විට ය. බෞද්ධාලෝකයෙන් පසු එය කොතරම් දුරට වෙනස් වූවා දැයි කිවහොත් අද පොසොන් යනු කුරු කුහුඹුවකුටත් හිංසා නො කරන උත්සවයෙකි. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදුරජාණන් වහන්සේ හා මිහිඳු මහ රහතන් වහන්සේ පුදන දිනයෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහල බෞද්ධයනට බුද්ධ ධර්මය මෙන් ම බෞද්ධ චාරිත්‍ර ද ඉගැන්වූහ. සතර පොහොයට පන්සල් යෑම ද ඉන් එකකි.

දුටුගැමුණු රජතුමා ධර්මදානමය පින්කම සම්පූර්ණ කරැ ගැනීම සඳහා පොහෝ දිනයන් හි පන්සලක් පාසා ධර්මදේශනා කැරැවීම ආරම්භ ක‍ළෙන් ලක්වැසි ජනතාව ඒ ධර්මෝපදේශයන් අනුවැ කටයුතු කිරීමෙන්, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන චතුර්විධ දියුණුවෙන් කොතරම් ඉහළට නැංගේ දැයි කිවහොත් ලොවැ අන් කිසි මැ රටකට නො ලැබුණු ධර්මද්වීපය යන ගෞරව නාමය ද හිමි කර ගත් සැටි අපේ බාල පරපුරට කියා දිය යුතු ව ඇත.

මෙසේ සිංහල බෞද්ධයා බාහිර දියුණුවෙන් පමණක් නො වැ ගුණ නුවණින් ද ඉහළට මැ දියුණු වී ගියේ ය. අපේ රටත් අපරාධ අඩු වී ලෝ වැසියන් මවිත කරන තරම් ධාර්මික රටක් විය. රූමත් තරුණියකට අල්ලේ වටිනා මැණිකක් තබාගෙනැ තනියම රට පුරා යා හැකි වැ තිබුණා නම් ලංකාවෙහි නිරපරාධී භාවයත් සදාචාර සෞභාග්‍යතාවත් පිළිබඳ වැ අන් කවර කතා ද?

රොබට් නොක්ස් මෙහි පැමිණෙන විට ලංකාවෙහි ස්වර්ණ යුගය අවසාන වී නොයෙක් ලෙසින් පිරිහී සිටි බව කිය යුතු ය. එහෙත් අපේ සමාජය නිරපරාධී ධාර්මික භාවයෙන් එතරම් පිරිහී නො සිටි බව මතු සඳහන් වන රොබට් නොක්ස් ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

“සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිස්සුනට ම වඩා යහපත් ‍අය වෙති. භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය.”

“සිංහලයාගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලා ව ද හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත්, මත්පැන් බීමත්, අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද වහා එය සංසිඳවා ගෙනැ සමගි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිඳු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්‍රීන් ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරිස්සමෙහි ඉතා දක්ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව කොතරම් මහේසාක්‍ය වුවත් කොතරම් දැසිදසුන් සිටියත් සියතින් ම ගෙදර සියලු කටයුතු කෙරෙයි.”

“සිංහලයෝ උදය සවස දෙක් හි පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කෙරෙති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවෙහි යෙදෙති. හොරකම් අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවරදාවත් හොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත් දැකීමෙන් ම දනිමි. සිංහලයන් ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලුටු ය. සුමධුර ය. අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයේ එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”

මෙසේ සෞභාග්‍ය සදාචාර සම්පන්න රටක් ව පැවැති ලංකාවට දුර්භාග්‍ය අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් පැමිණියේ විදේශිකයන් ගේ ආක්‍රමණයත් සමග මිෂනාරීන් ගේ පැමිණීමත් සමග ය. කවර අදහසකින් හෝ ලක් වැසියනට එක්තරා ප්‍රමාණයක අධ්‍යාපනයක් දීම ගැන ඔවුනට කෘතගුණ පූර්වක ගෞරවය පිරිනමමු. ඒ අතරින් බෞද්ධ ජනතාව පන්සලෙන් ඈත් කොට මත්පැන් පානය ආදී දුරාචාර පුරුදු කොට මේ ‍රටේ බෞද්ධකම නරක් කිරීමේ සාපය ද ඔවුනට මැ පිරිනමමු. පන්සලෙන් හෙවත් භික්ෂූන්ගේ ආශ්‍රයෙන් ඈත් කිරීමෙන් ද සංකර සිරිත් පුරුදු කිරීමෙන් හා ගුණ ධර්ම වනසන අධ්‍යාපනයකින් ද දූෂිත වූ බෞද්ධ ජනතාව නො දැනුවත්වම අපරාධයනට පෙළඹෙන්නට පටන් ගනු ලැබිණි. එකලැ අපරාධ පුවත් පත්වලැ මෙතරම් පළ කරවීමේ දුෂ්ප්‍රතිපත්තිය නො පැවැති හෙයින් මහජනයාට දැන ගන්නට නො ලැබු‍ණේ වී නමුත් අපරාධ වැඩි වූ බව කිව යුතු ය. මේ අතරට කර්නල් ඕල්‍කට් තුමා ගේ පුරෝගාමීත්වයෙන් බෞද්ධ පාඨශාලා පැවැත්වීමත් ධර්මපාල තුමා ආදී උදාර පුරුෂයන්ගේ අහිංසක විප්ලවයක් හේතු කොට ගෙන බෞද්ධ සමාජය නැවතත් හොඳ අතට හැරී යන්නට විය. මෙසේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය 2500 සම්බුද්ධ ජයන්තිය නිමිති කැරැගෙනැ ඉහළට මැ නැගී ගියේ ය.

බුද්ධ ජයන්ති ප්‍රබෝධයෙන් අපරාධ අඩු කොට සදාචාරය දියුණු කොට ලංකාවෙහි සෞභාග්‍යය නැවැතත් උදා කළ හැකි වූයේ මේ රටෙහි බහු ජනතාව වන බෞද්ධයන් සතර පොහොයට පන්සල් යෑම, නිතර බණ ඇසීම, පෙහෙවස් රැකීම, භාවනා කිරීම ආදී නොයෙක් පුණ්‍ය කර්මයන්හි බලවත් උද්‍යෝගයෙකින් යෙදී සිටීම නිස යි.

බුද්ධ ජයන්ති උත්සවයට ලක්වැසි බෞද්ධයා පේවූයේ ඉතා උසස් බලාපොරොත්තු ඇති වැ අකලංක ශ්‍රද්ධාවෙකිනි. එයින් මේ රටෙහි අපරාධ අඩු වී සදාචාරය දියුණු වූ ආකාරය විස්මය ජනක ය. ආගමික හැඟීම් දියුණු කිරීමෙන් අපරාධ සංඛ්‍යාව අඩු කර ගත හැකි ප්‍රමාණය දැන ගැනීමට ඒ කාලයෙහි අපරාධ අඩු වූ සැටි පොලිස් වාර්තා අනුවැ පෙන්වීම කාලෝචිතය යි කවුරුත් පිළිගන්නවා ඇත.

බුද්ධ ජයන්ති උද්‍යෝගය ආරම්භ වූයේ 1944 වැන්නෙහි දී පමණ ය. එය ඉහළට ම නැංගේ 1955 දී ය. 1944වැන්නෙහි ලංකාවේ ජනගහණය 62,76,000 කි. අපරාධ සංඛ්‍යාව 34,623 කි. 1955 වන විට මේ රටෙහි ජනගහනය 85,89,000 කට නැගැ තිිබුණේ ය. ජන සංඛ්‍යාව එතරම් නැගැ තිබියදීත් අපරාධ සංඛ්‍යාව 18,163 දක්වා බැස්සේ ය. 1944 දී මිනීමැරුම් 617 කි. 1955 වන විට එය ද 466 දක්වා අඩු විය.

මෙයින් පෙනී යන්නේ ධර්ම ප්‍රචාරය කොට ආගමික හැඟීම් ඇති කිරීමෙන් අපරාධ සංඛ්‍යාව හොඳට මැ අඩු කළ හැකි බවයි. එහෙයින් මෙරටැ නැවැතත් ධර්මද්වීපයක් කිරීමට නම් නැවැතත් බෞද්ධ පරිසරයක් ඇති කළ යුතු ය.

මේ කරුණු හෙඳින් සළකා බලා අවුරුදු 195 කට පසු සිදුවන නිවාඩු පරිවර්තනයෙන් සමාජ පරිවර්තනයක් කිරීමට ලංකාවට හිතැති හැම දෙනාමත් විශේෂයෙන් සිංහල බෞද්ධයනුත් තරයේ ම සිතා ගත යුතු වැ ඇත. කවර කටයුත්තක් වුවත් සඵල සාර්ථක කැරැගැනීමට මනා සැලැස්මක් ඇති වැ ක්‍රියා කළ යුතු බව ලෝකයෙහි පළමුවරට ප්‍රකාශ කෙළේ අපේ බුදුරජාණන් වහන්සේ ය. එහෙයින් මේ සමාජ පරිවර්තනය සඳහා මනා සැලැස්මක් පිළියෙළ කොට ලංකාව පුරා ක්‍රියාත්මක කළ යුතු වේ. එය සාර්ථක කැරැ ගැනීමට ගරුතර මහා සංඝයා වහන්සේ පුරෝගාමී විය යුතු බව ගෞර‍වයෙන් මතක් කෙරෙමි. ගිහි පැවිදි දෙපක්ෂය ම බුද්ධ ජයන්තියට පෙහෙ උණාක් මෙන් උද්‍යෝගයෙන් ක්‍රියා ‍කළොත් සතර පොහොය නිවාඩුව ලංකාව නැවැතත් ධර්මද්වීපයක් කිරීමට අත්තිවාරම වෙනවා ඇත.

පොහොය නිවාඩු බලාපොරොත්තු වූ තරමට ම සාර්ථක වූයේ නැත. ඊට හේතු කීපයෙකි. නිවාඩු පරිවර්තනයෙන් සමාජ පරිවර්තනයක් සඳහා මහජන මතයක් ඇති කිරීමට ප්‍රධාන බාධකය වූයේ පොහොය නිවාඩුව ලැබී දෙ දිනකින් ඇති වූ කලබලය නිසා හදිසි නීතිය පැන වීමයි. එයින් ජනතාව තුළ මහා නොසන්සුන් කමක් ඇති වුනා පමණක් නො වැ සමාජ පරිවර්තනයට උවමනා කරන මහජන උද්ඝෝෂණය වැළකිණ.

තවද පොහොය දිනය අපිරිසිදු කරන යම් යම් කටයුතු රජය ලවා වළක්වා ගන්නට ගත් උත්සාහය ද අසාර්ථක විය. බොහෝ පන්සල් වලට ගමේ ජනතාව පන්සලට ඇදී එන පරිදි පොහොය දිනය වැඩ සටහනක් ද යොදා ගත්තේ නැත.

ඉදිරියට හෝ නිවාඩු පරිවර්තනයෙන් සමාජ පරිවර්තනයක් ඇතිකොට ලංකාව නැවැතත් ධර්මද්වීපයක් කැරැ ගන්නට නම් සිනමාශාලා සමාජශාලා සුරාහල් මස්කඩ ආදී පොහොය දින අපිරිසිදු කරන කටයුතු නීතියෙන් නතර කොට පොහොය දින ආගමික දින හැටියට සම්මත කර ගත යුතු යි. හැම ආරාමයන්හි ම ගමේ ජනතාව දෙලෝ වැඩ සැලසෙන මනා වැඩ සටහනක් පොහෝ දිනයන්හි ක්‍රියාවට නැංවිය යුතු යි.

පොහොය දිනයන්හි වැදගත්කම දැක්වෙන සිද්ධි රාශියෙකි. එය ත්‍රිපිටකයෙහිත් අටුවාවන්හිත් ටීකාවන්හිත් විසිරී පවතී. එහෙයින් සාමාන්‍ය කෙනෙකුට තබා උගත් ධර්මධරයකුට වුව ද දැනැ ගැනීම දුෂ්කර ය.

ශාස්ත්‍රවේදී පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර ස්ථවිරපාදයන් වහන්සේ නොයෙක් තන්හි විසිරී පවත්නා පොහෝ දිනයන්හි සිදු වූ වැදගත් සිද්ධීන් එක් රැස් කොට මේ පොත ලියා ඇත. ත්‍රිපිටකයත් අටුවාත් ටීකාත් ‍බලා මේ කරුණු එක්රැස් කරන්නට කොතරම් පරිශ්‍රමයක් දැරිය යුතු දැයි වටහා ගැනීම නුවණැති කෙනෙකුට අපහසු නො වේ.

මාපලගම සිරි සෝමිස්සර ස්ථවිරපාදයන් වහන්සේ ගේ මේ බලවත් උත්සාහය පොහොය නිවාඩුවෙන් සමාජ පරිවර්තනයක් ඇති කොට ලංකාව නැවැතත් ධර්මද්වීපයක් කිරීමට උපකාර වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි.

මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්ථවිර

2511/1967 අගෝස්තු 24

මහරගම,

සිරි වජිරඤාණ ධර්මායතනයේ දී ය.

1. දුරුතු පෝය

පින්බර දුරුත්තෙහි සැඳෑ අඳුර විනිවිද ගෙන පෙරදිග අහසින් පුන්සඳ උදාවෙන විට හෙල දැයෙහි යටගියාව පිළිබඳ‍ ඓතිහාසික ආගමික පුරාවෘත්තයක් ‍අප ගේ මනැසට නැගී එයි. එය නම් මේ මනරම් දිවයිනට පළමු වරට ගොයුම් ගොත් දම්රදාණන් වහන්සේ ගේ වැඩම වීම සිදුවුණු දුරුතු පුනු පොහෝ දිනය ගැන යි. මෙයට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙරැ දුරුතු පුනු පොහෝ දිනයෙක තථාගතයන් වහන්සේ ගේ ප්‍රථම ලංකා ගමන සිදු විය. ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අබිසෙස් ලබා නව මසකින් තිලෝගුරු බුදු සමිඳාණන් වහන්සේ දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි වූ උරුවෙල් කසුප් - නදී කසුප් - ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් සවුවන් සියදහම් මගට හරවා ඔවුන් හැම අරී සඟ ගණ බවට පත්කොට ඉක්බිති ව එයින් අතුරුදහන් ව හෙළදිව බින්තැන්නේ මාවැළි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවන් ගැබින් පහළ ව පුන්සඳ මඩලක් සේ සවනක් ගන බුදු රැස් මාලාවන් ගෙන් දිලිහි දිලිහී වැඩහුන් සේක.

මහානාග වන නමින් හැඳින්වෙන උයන් බිමට රැස් වූ යක් නා කුල සෙබළෝ සිය පරවේණි උරුමය කරගෙන සිටි බිම් පියසෙහි පත් කඩ අතුරා රන්වන් රැස් කඳින් දිලිසෙමින් වැඩ හිඳිනා තිලෝගුරු බුදුරදුන් වෙත විරුදු ව මහා සටනකට එළඹිය හ. එහෙත් සඳකිරණ පරයන සිසිල් සුදෝ සුදු බුදුරැස් දහරා විහිදුවමින් කුළුණුබර දම්රදාණෝ මිහිරි නදින් දහම් දෙසා ඔවුන්ගේ තෙදබල බිඳලූහ. මේ අනඟි බුදුසිරි නැරඹීමට එහි පැමිණ සිටි සමනොළ පවු වැසි සුමන සමන් දෙව්රදාණෝ දහම්රස වළඳා සෝවාන්ව අරිසව්වකු බවට පත්වූහ. එදවස ම බුදුහිමිපාණෝ සුමන සමන් දෙව් රදුන්ගේ අයැදුම් පිරිදි සුරතින් සිය සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රදානය කළහ. සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමු‍ඟෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිට දහම් අමාවැසි වැස් වූ බිම රුවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේසධාතු නිදන් කොට පුද පෙරහැර දැක්වූහ.

ජාතික සංකෙතය

මේ මියුගුණ මහසෑය සම්බුදු රදුන් බුදු වූ පළමුවැනි වස ම බඳින ලදි. දෙවියකු විසින් බඳින ලද මුල් සෑය මෙය යි. එය අද මුළු ලෝකයේ ම තිබෙන ඉපැරණි මහා සටනක පුරාවෘත්තයක් මතකයට නංවන තථාගතයන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණසමුදාය සිහිකරන ජාතික සංකේතයෙකි. එසේ ම පන්සාලිස් වසක් ගෙවී පිරිනිවුණු සම්බුදු හිමියන්ගේ බුදු සිරුර දැවෙන දර සෑයෙන් දම්සෙනෙවි සැරියුත් මහරහත් මාහිමියන් ගේ අත වැසි සරභූ රහත් හිමියෝ ග්‍රීවාධාතුව නිදන් කොට ‍හිමවතින් ගෙනෙන ලද මේදෝ වර්ණපාෂාණයෙන් දොළොස් රියනක් උසැති සෑයක් කොට බන්දා ලූහ. රහත් හිමි නමක ගේ මෙහෙය වීමෙන් බඳින ලද මුල් දාගැබ වශයෙන් ද මේ මියුඟුණු සෑ සැලකිය හැකි ය.

ඉන්පසු දෙවන පෑතිසි නිරිඳුන්ගේ මලණු උද්ධචූලාභය කුමරුන් විසින් ඒ මියුඟුණු සෑය තිස් රියන් උසැති දාගැබක් කොට බඳවන ලදී. එයින් සියක් වසක් ඇතුළත හෙළදිව එක්සේසත් කළ හෙළ මහා නරවිරුවාණන් වූ ගැමුණු අබා නිරිඳුන් විසින් අසූ රියනක් තුඟු කොට බඳවන ලදී. මියුඟුණු සෑය හෙළදිව පහළවුණු පළමුවැනි සෑය යි. සිංහල ජාතියේ අතීත ප්‍රෞඪත්වය ලොව හමුවේ කියාපාන රාජ පූජිත මහාර්ඝ වූ ජාතික දායාදයෙකි. එය සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා ප්‍රෞරාණික වූවෙකි. ලංකා සම්බුද්ධ ශාසනයට වඩා පැරැණි අඛණ්ඩ ඉතිහැසයක් ඇති ශාරීරික හා පාරිභෝගික වශයෙන් පිවිතුරු බවට පත් චෛත්‍යයෙකි.

අන්ධකාරයේ නිමග්න ව සිටි ජාතියකට ආලෝකය ලබා දෙනු පිණිස ම්ලේච්ඡත්වයේ විසු ජාතියක් ශිෂ්ටත්වයට පත් කරවනු පිණිස වැඩම කර වදාළ ශාන්ති නායකයාණන් වහන්සේ ගේ උදාරතර ඓතිහාසික ප්‍රථම ලංකා ගමන සිහිපත් කරවන මහියංගණ චෛත්‍ය රාජයා වූ කලී අදත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ අභිවාදන පූර්වක ගෞරවයට පාත්‍ර වෙමින් සජෝතිමත් ව ඇත. ජාතියේ වංශ කථාවට මූලාරම්භය වැටුණු, ජාතියේ ප්‍රෞඪත්වයට හා දේශයේ උදාරත්වයට ස්වර්ණමය මාර්ගය උදාවුණු බුදු සිරිපා පහස ලබා පුණ්‍ය ‍ක්ෂේත්‍රයක් බවට මේ හෙළ බිම පළමු වරට පත්වුණු දුරුතු පුනු පොහෝ දිනය සිංහල බෞද්ධයා ගේ ආගමික හා ඓතිහාසික දිනයෙකි.

මේ මහා සෑය හා රෝපිත ‍බෝධිද්‍රැමය සිරි සඟබෝ වැනි බෝසත් රජවරුන්ගේ දිවි තිරකළ ජාතික වස්තුවෙකි. මේ ස්ථානයෙහි පිහිටි බෝධිද්‍රැමය සමීපයෙහි දී සිරි සඟබෝ කුමාරයා සිය මයිල් නන්ද හිමියන් ඇතුළු මහා සඟනට පිදූ බව ඉතිහාසයෙන් හෙළිවෙයි. අද දක්වා ම ඒ බෝධිද්‍රැමය මාවැලි ගඟින් හමා එන සිසිල් මඳ පවනින් නැහැවි නැහැවී නිරුපද්‍රැත ව වැඩ වෙසේ. එම චෛත්‍ය රාජයාගේ ආරක්ෂා සංවිධාන පිණිස සුමන සමන් දෙවියන්ගේ දේවාලයක් ඉදි කොට වර්ෂයක් පාසා පෙරහැර, උත්සවාදිය පවත්වනු ලැබේ.

බුදු සිරි පා පහසින් පළමුවරට මේ පියකරු දිවයින ශුද්ධ භූමියක් බවට පත් කළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය වන දුරුතු පුන් පොහෝදා සිංහාවලෝකනයක් කිරීමට එනම්, ආපසු හැරී තමන්ගේ රටේ අතීත ඉතිහාසය දෙස විමසුම් නුවණින් පිරික්සා බැලීමට සුදුසු හොඳ ම දිනය යි. උපබුදු මිහිඳු මහරහත් මාහිමියනට සදහම් නැමැති බීජයන් රෝපණය කිරීමට ලංකා නැමැති ක්ෂේත්‍රය සකස් කිරීමට වැඩම කළ ප්‍රථම දිනය වූ දුරුතු පෝයදා ඒ ශ්‍රේෂ්ඨ ධර්ම දායාදය කරණකොට ගෙන ජාතියත් ජනතාවත් ලැබූ ශාන්තිය බුදු පුබුදුවෙන් පිබිදුණු බැතිමතකු ලෙස හැම දෙනා ම මහත් හරසරින් සිහිපත් කළ යුතු ය. ජම්බුද්වීපයේ ගංඟා නිම්නයේ පහළ වූ ඒ උත්තරීතර ධර්මයේ ආශිර්වාදය මේ රටට නො ලැබුණා නම් තවමත් සිංහලයා අඳුරේ ම ය.

අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනය රැකගත් ජාතියක් වශයෙන් මහත් ගර්වයෙන් ජාතියේ ප්‍රෞඪ අතීතය දෙස බලා ප්‍රීති වන්නටත් වර්තමානය දෙස බලා සංවේග වන්නටත් අනාගතය දෙස බලා නො සෙල්වෙන අධිෂ්ඨානයක් ඇති කර ගන්නටත් පුළුවන් මාහැඟි දිනය දුරුතු පෝයදා යි. සමස්ත ලෝකයට ම විමුක්තිය හා සාමය ගෙන දීමට සමත් සම්බුද්ධ ධර්මය මේ රටේ පැරණි ආගමාලයෙන් යුත් ජාති හිතෛෂි සිංහලයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත ව රැකගත් අයුරු ඔබ ගේ මනසට නංවන්නේ බුද්ධාගමය රැක ගැනීමේ අද්භුත ඉතිහාසය යි. එදා සිංහල මවුවරුන් බුදුගුණ ගීතයෙන් නළවා ආගමික රසයෙන් රසකව‍ා බෝසත් ගතිගුණ වලින් යුක්ත කොට තැනූ දරුවන් ජාතියේ මුරදේවතාවන් හා ආගමේ ආරක්ෂකයන් බවට පත්ව කලින් කල පරිහානි ප්‍රපාතයට වැටුණු සිංහල ජාතියත් බුද්ධාගමත් රැක ගත් හැටි සිහිපත් කළ යුතු ය. අද අඳුරේ වැටී ඇති අපේ ජාතියට එළිය දෙන්නට පිරිහී ඇති බෞද්ධ ප්‍රතිපත්තීන් නගා සිටුවන්නට අපරාධ ගිනි නිවා ධර්මද්වීපය යන නාමය නැවැතත් අන්වර්ථ කරන්නට, කෙලෙස් බරින් වෙළී සිටින මනුෂ්‍ය වර්ගයාට ශාන්ත ධර්මයේ ආලෝකයෙන් එළිය ලබාදෙන්නට මුල් පියවර වශයෙන් මේ නව වසරේ බුදුසිරි පා පහසින් පිවිතුරු බවට පත් අනුස්මරණීය අත්‍යුත්තම දිනය වන දුරුතු පුන් පොහෝදා ඒ පිළිබඳ යහපත් හැඟීම් වැඩි වැඩියෙන් උපදවා ගත යුතු ය.

බුදුන් වහන්සේ ගේ ධර්මයට අවුරුදු දහස් ගණනක් ගත වුවත් එය අකාලික ව නොවෙනස් ව පවතින්නේ මේ රටේ යි. ඒ ථෙරවාද බුද්ධ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරය ලංකාව වීම කොතරම් භාග්‍ය සම්පන්න ද? මුළු ලෝකයේ ම ජනයා අපට ගෞරව කරන්නේ අප රටට ආදරය කරන්නේ අනිත් කිසිදු දෙයක් නිසා නොවැ නිර්මල බුද්ධ ධර්මය නිසා ය. මේ ශ්‍රේෂ්ඨ දිවයිනේ බුදු රජාණන් වහන්සේ ගේ අකුධාතු - කේශධාතු - ග්‍රීවාධාතු - ලලාටධාතු - ඌර්ණරෝමධාතු - දන්තධාතු ආදී ශාරීරික ධාතූන් ගෙන් වැඩි කොටසක් ඇත. එසේ ම උන්වහන්සේ‍ ගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී ‍බෝධිරාජයාත් පරිභෝග කළ පාත්‍රයත් මේ රටේ සුරක්ෂිත ව පවත්නේ ය. ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථමවරට පුස්තකාරූඪ කරන ලද්දේත් මේ සිංහල ර‍ටේ දී ය. දුරුතු පුන් පොහෝදා මේ හැම කරුණු ඔබ‍ ගේ මනසට නගාගත යුතු ය.

ලංකාය යක්ඛ ගණනී භරණෙ ජිනස්ස

චම්මාසනුග්ගත හුතාසන ඵස්ස දාහා

සංසාර රක්ඛස වපුබභව බුබ්බුලංව

යස්මිං විහාති මහියංගණ ථූප රාජා.

2. නවම් පෝය

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුනු පොහෝ දිනය සැලකිය හැකි ය. සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක ය. සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පුනු පොහෝ දිනයක ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයක ය. මෙසේ සලකා බලන කල්හි නවම් පුනු පොහෝ දිනය බොදු බැතිමතුන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයෙකි.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීමත් බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සන්නිපාතයත් රජගහ නුවර වේළුවනාරාමය කේන්ද්‍රස්ථානය කරගෙන නවම් මස මැදි පොහෝ දා සිදු විය. උරුවේල කාශ්‍යප - නදී කාශ්‍යප - ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් හිමිවරුන් දෙනම ප්‍රමුඛ දෙසිය පනසක් රහතන් වහන්සේ ද යන එක්දහස් දෙසිය පනසක් රහතන් වහන්සේලාගෙන් වේළුවනය බබළන්නට විය. තරු පිරිවරා ගත් පුන්සඳ මෙන් එක්දහස් දෙසිය පනසක් මහ රහතන් වහන්සේ මැද වැඩ හුන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධර්මසේනාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මොග්ගල්ලාන යන මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අග්‍ර ශ්‍රාවක තනතුරුවලට පත් කළ සේක.

අගසවු තනතුරු පිරිනැමුණු ආකාරය පිළිබඳ ව භික්ෂූන් අතර වැරදි හැඟීම් ඇති විය. මුලින් පැවිදි වූ භික්ෂූන් සිටිද්දී බුදු රජාණන් වහන්සේ ළඟ දී සසුනට ඇතළත් වූ සැරියුත් මුගලන් හිමිවරුන් අගසවු තනතුරුවලට පත්කළහ යි ඇතැම් භික්ෂූහු දොස් නැගූහ. මේ පිළිබඳ ව භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ කථා ඇසූ තථාගතයන් වහන්සේ සියලු භික්ෂූන් රැස් කරවා මෙසේ කරුණු පැහැදිලි කර දුන්හ. “මහණෙනි, පඤ්චවර්ගික භික්ෂූහු, යස භික්ෂුව, භද්‍රවර්ගික භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ හැම දෙනා වහන්සේ ම අනෙකක් පතා ම පින් කළහ. අගසවු තනතුර නො පැතූහ. සැරියුත් මුගලන් දෙනම අගසවු බව පතා පින් කළ බව වදාරා” ඒ දෙදෙනා වහන්සේ ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්ෂූන් තුළ පහළ වූ කුකුස් බිඳලූ හ.

සාරිපුත්ත හා මොග්ගල්ලාන චරිතාපදාන

මෙයින් එක් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් හිමියෝ බමුණු මහසල් කුලයෙහි උපන් හ. නමින් සරද මානවක නම් වූ හ. මුගලන් හිමියෝ ගැහැවි මහසල් කුලයෙහි උපන් ය. නමින් සිරිවඩ්ඪ කුටුම්බිය නම් වූ හ. ඔහු දෙදෙනා ම ඉතා ම දැඩි හිතවත් බවින් යුත් මිතුරෝ වූ හ. සරද මානවකයෝ පියාගේ ඇවෑමෙන් ‍කුලසතු මහා ධනයට හිමිකාරයා වූ හ. නුවණින් ලෝක තත්ත්වය විමසා බැලූ සරද මානවක තෙමේ වස්තුව දුගී මගී යාචකාදීන් හට මහ දන් දී මෝක්ෂ ධර්මය සොයනු පිණිස තවුස් පැවිද‍්දෙන් පැවිදි විය. ඔහු අනුව පැවිදි වූ තවුස් පිරිස සූ සැත්තෑ දහසක් පමණ වූහ. ප්‍රධාන තවුසාණෝ පඤ්චාභිඥා අෂ්ට සමාපත්තීන් උපදවා ගෙන සිය පිරිසට ද එය ලබන පිළිවෙත් මඟ කී හ. ඒ අනුව කිසිණු පිරියම් බවුන්හි යෙදීමෙන් ඔවුහු සියල්ලෝ ම පඤ්චාභිඥා අෂ්ට සමාපත්තීන් ඉපද වූ හ.

එසමයෙහි අනෝමදස්සී නම් බුදුහු ලොව පහළ වූ හ. නිසභ හා අනෝම යනුවෙන් අගසවු දෙනමක් වූ හ. දිනක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සරද තවුසාණන් වෙත වැඩම කළහ. දෙ අග සවුවන් ප්‍රධාන ලක්ෂයක් රහතන් වහන්සේ තථාගතයන් පිරිවරා ගෙන හුන්හ. සරද තවුසාණෝ බුදුරදුන් ඇතුළු රහතන් වහන්සේට පුෂ්පාසන පැන වූ හ. සරද තාපසයෝ බුදුන් වහන්සේ ගේ මස්තකයෙහි මල් සතක් දරමින් සිටිය හ. අනතුරු ව ඔහුගේ සත්කාරය මහත් ඵල කරණු පිණිස බුදුහු නිරෝධ සමාපත්තියට සමවැදුණා හ. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුහු දකුණු පස වැඩ සිටි නිසභ තෙරුන් අමතා තාපසයනට පුෂ්පාසන මෝදනාව පවත්වන ලෙස වදාළ හ. නිසභ තෙරහු එසේ කළ හ. ඔබගේ දෙසුම් කෙළවර ද්විතීය ශ්‍රාවකයන් ඇමතූ හ. අනෝම තෙරහු ද දහම් දෙසූහ. සරද තාපසයන් හැර අනෙක් සූ සැත්තෑවක් පමණ වූ පිරිස රහත් වූ හ. සරද තවුසාණෝ අගසවු තනතුරු ලබන රිසින් සිිටි නිසා රහත් නො වූහ. ඔහු බුදුන් හට සතියක් මුළුල්ලෙහි පුෂ්පඡත්‍රය දරමින් කළ මහා සත්කාරය හේතුකොට ගෙන අනාගතයෙහි මේ නිසභ තෙරුන් මෙන් බුදු කෙනෙකුන්ට අග්‍රශ්‍රාවක වෙම්වා යි ප්‍රාර්ථනා කළ හ. බුදුහු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව පහළවන ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි ඒ බුදුන්ට සැරියුත් නමින් අගසවු තනතුරු ලබන බව වදාළ හ.

සිරිවඩු කෙළඹියා හට සිය යහළුවා ගේ මේ උදාර පින්කම පිළිබඳ තොරතුරු දන්වා යැවූ හ. ඔහු ද බුදු පාමොක් භික්ෂු සංඝයාට සත් දවසක් මහදන් පවත්වා භාග්‍යවතුන් වැඳ සිට හේ මෙසේ කී ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මාගේ යහළු සරද තාපසයෝ යම් බුදු කෙනකුන්ට අග්‍රශ්‍රාවක වෙම්වායි ප්‍රාර්ථනා කළාහු ද, මම ද ඔබට ම දෙවැනි ‍ශ්‍රාවක වෙමි”යි ප්‍රාර්ථනා කළ හ. බුදුහු ඔහුට ද විවරණ දී වදාළ හ.

අප බුදුරදුන් කලැ සරද තාපසයාණෝ රජගහ නුවරට නුදුරෙන් වූ උපතිස්ස නම් බමුණු ගම්හි සාරි බැමිණිය ගේ කුස පිළිසිඳ ගත් හ. සිරිවඩුහු ද රජගහ නුවරට නුදුරෙන් වූ කෝලිත බමුණු ගම් හී මොග්ගලී නම් බැමිණිය ගේ කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් පසු ලොව පහළ වූ හ. උපතිස්ස හා කෝලිත නමින් ඔවුන් දෙදෙනා හැඳින් වූ හ. ඔවුන්ට පන්සියය බැගින් පිරිවර සෙනග සිටිය හ. නොයෙක් ශිල්ප ශාස්ත්‍ර උගත් මේ තරුණ යහළුවන් දෙදෙනා මුල පටන් ම එකට හැසිරුණු මිතුරෝ වූ හ. ක්‍රීඩා නාටකයක් බලා සසර කලකිරී සසර දුකින් නිදහස් වීමේ උපාය මාර්ගයක් සොයමින් ඇවිදින්නට වූ හ.

එකල රජගහ නුවර මහත් ලාභයෙන් හා කීර්තිකාමිත්වයෙන් යුතු ව වෙසෙන සඤ්ජය නම් පරිව්‍රාජකයෙක් සිටියේ ය. උපතිස්ස කෝලිත දෙ යහළුවෝ පන්සියයක් අතවැසි පිරිස ගම්වලට යවා ඉතිරි පන්සියයක් අතවැසි පිරිස සමඟ සඤ්ජය තවුසාණන් ගේ අසපුවට ගොස් ඔහු ගුරු කොට තවුස් වෙස් ගත්හ. ඔවුහු ටික දිනකින් සඤ්ජය ගේ ධර්ම මාර්ගය ඉගෙන ගෙන තමන් සොයන නිවන් මග ඔහු ළඟ නො මැති බව තීරණය කොට එතැනින් ඉවත් ව ගිය හ. “දෙදනා ගෙන් යමෙක් පළමු කොට නිවන් ලැබූයේ නම් ඔහු අනිකා හට ද දැන්විය යුතු ය.” යනුවෙන් කතිකාවක් කරගෙන දඹදිව නොයෙක් ගම් නියම්ගම් වල හැසිරෙන්නට වූ හ. මෙසේ කතිකා කරගෙන රජගහා නුවර හැසිරෙන කලැ ප්‍රථම ධර්මදූත පිරිසට අයත් අස්සජි හිමියන් උපතිස්ස තරුණයා හට හමු විය. උන්වහන්සේ ගේ දර්ශන සම්පත්තියෙන් ම උපතිස්ස තරුණයා රහත්මඟට පිළිපන් උත්තමයකු බව දැන ගත්තේ ය. අස්සජි හිමියන් ළඟට පැමිණ ආචාර විධි දක්වා, “ඔබතුමා කවර ශාස්තෘවරයකු උදෙසා පැවිදි වූයෙහි ද? ඔබ වහන්සේ ගේ ආචාර්යවරයා කවුරුන් ද? ඔබ වහන්සේ කවරකු ගේ කිනම් ධර්මයකට රුචි කෙරෙහිදැ”යි ප්‍රශ්න කෙළේ ය.

අස්සජි හිමියන් ලෝකයේ ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ ව වැඩ වෙසෙන බවත් තමන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් උන්වහන්සේ තමාගේ ආචාර්යවරයා බවත් තමා උන්වහන්සේ‍ ගේ ධර්මයට රුචි කරන බවත් උපතිස්ස තරුණයා හට ප්‍රකාශ කෙළේ ය. ඔහු ධර්මයක් දේශනා කරන ලෙස දැන් වූ විට, තමන් වහනසේ ශාසනයට අලුත ඇතුළත් වූ කෙනෙකු බව පළමුවෙන් ප්‍රකාශ කොට සියලු බුද්ධ වචනය ම ගැබ් කොට මේ ගාථාව වදාළ හ.

“යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ

තෙසං ච යො නිරොධො - එවං වාදි මහා සමණො”

“යම් ධර්ම කෙනෙක් හේතු ප්‍රත්‍යයයෙන් උපදිත් ද, ඔවුන් ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ හ. ඔවුන් ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළ හ. මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද ඇත්තේ ය.”

ඉක්බිති උපතිස්ස තරුණයා මේ ධර්ම චක්‍රය ඇසීමෙන් සෝවාන් විය. (මෙහි දී උපතිස්ස පරිව්‍රාජකයා ගාථාවේ පළමු දෙ පදය අසනවාත් සමග ම සෝවාන් විය. ඉතිරි දෙ පදය අසන ලද්දේ සෝවාන් වීමෙන් පසුව ය.)

මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන් පසු උපතිස්ස පරිව්‍රාජකයා අස්සජි හිමියනට ස්වකීය ප්‍රසාදය පළකොට බුදුන් දැකීමට යහළුවාත් සමඟ වේළුවනාරාමය වෙත පැමිණෙන බව ද දන්වා සිය යහළු කෝලිත පරිව්‍රාජකයා සොයාගෙන ගියේ ය. උපතිස්ස ඈත එනු දුටු කෝලිත පරිව්‍රාජකයා සිය යහළුවා නිවන් ලබන ලදැයි සිතා ඒ ගැන විච‍ාළේ ය. උපතිස්ස තෙමේ අස්සජි හිමියන් විසින් වදාළ ගාථාව ප්‍රකාශ කෙළේ ය. එය අසා කෝලිත ද සෝවාන් විය.

අනතුරු ව උපතිස්ස - කෝලිත දෙදෙනා සඤ්ජය ගේ ආශ්‍රමයට ගොස් බුදුරදුන් වෙත පැමිණීමට කථා කළ හ. එහෙත් ඔහු නො කැමති විය. උපතිස්ස - කෝලිත දෙනො පරිව්‍රාජක පිරිස දෙසිය පනසක් දෙනා සමඟ වේළුවනාරාමයට ගිය හ. සිවු පිරිස මැද ධර්ම දේශනා කරන බුදුපියාණන් වහන්සේ දුර එන්නා වූ ඔවුන් දැක භික්ෂූන් අමතා, “මහණෙනි, මා කරා පැමිණෙන්නා වූ තෙල පරිව්‍රාජකවරු දෙදෙනා මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවකයෝ දෙදෙනා වෙති”යි වදාළ හ. බුදුරදුන් වෙත පැමිණි ඔවුනට ධර්ම දේශනා කළහ. කෝලිත - උපතිස්ස දෙදෙනා හැර සියලු දෙනා ම රහත් වූ හ. අනතුරුව පැවිද්ද හා උපසම්පදාව ඔවුනට දුන් හ. උපතිස්ස කෝලිත දෙදෙනා හට ප්‍රථම සංඝ සන්නිපාතය වූ දිනයේ අග්‍රශ්‍රාවක තනතුරු දී වදාළහ. උපතිස්ස තෙරෙම් රූපසාරී නම් බැමිණිය ගේ පුත්‍රයා හෙයින් සාරිපුත්ත යනුවෙන් ද කෝලිත තෙමේ මොග්ගලී නම් බැමිණිය ගේ පුත්‍රයා හෙයින් මොග්ගල්ලාන යනුවෙන් ද ප්‍රකට වූ හ. ධර්මසේනාධිපති සැරියුත් මාහිමියෝ ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරෙන් අග්‍ර ය. මහාර්ධිලාභී මුගලන් මාහිමියෝ ඍද්ධිවන්ත භික්ෂූන් අතුරෙන් අග්‍රය හ.

ධම්මසේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිය මෑණියන් වන සාරි බැමිණිය මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා ඇය සම්‍යක්දෘෂ්ටික තැනැත්තියක බවට පත්කොට සෝවාන් ඵලයට පමුණුවා එදවස ම පිරිනිවන් පෑ වදාළ හ. උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවූයේ මගධ ජනපදයෙහි නාලක නම් තමන් වහන්සේ උපන් ගම්හිදී ය. මුගලන් මහ රහතන් වහන්සේ සැරියුත් මාහිමියන් මෙන් නානාප්‍රකාර ප්‍රාතිහාර්යයන් දක්වා ධර්ම දේශනා කොට බුදුරදුන් වැඳ අවසර ගෙන කළුගල් ලෙනට වැඩ පිරිනිවන් පෑ සේක. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගේ පරිනිර්වාණය සිදුවූයේ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීමට ප්‍රථමයෙනි. මුගලන් හිමියන් ගේ පිරිනිවීම සිදුවූයේ සැරියුත් හිමියන් ගේ පිරිනිවීම සිදු වූ ඉල් පුනු පොහොයන් අඩමසක් ගත වූ උඳුවප් මස කාලපක්ෂ උපෝසථ දිනයේ යි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

නවම් පුනු පොහෝදා සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු දී පසුව මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය ප්‍රථම බෝධියෙහි (විසිවසක්) පිරිසිදු ව නො කැළැල් ව පැවතුණි. එබැවින් ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන් ගේ වැරදි පිළිබඳ ව විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන් ගෙන් එබඳු වැරදි සිදු නො වී ය. ප්‍රථම බෝධියෙහි අල්පරජස්කයෝ ම බහුල වූ හ. රහත්හු සුලභ වූ හ.

එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයනට ඕවාද ප්‍රාතිමෝක්ෂය හික්මීම පිණිස වදාළ හ. ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමක් නැත. මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුවරයන් වහන්සේලා‍ ගේ අනුශාසනාවෝ වෙති. සියලු බුදුවරයන් වහන්සේලාගේ ශාසන පරමාර්ථ වශයෙන් එක සමාන ය. එහෙත් ශාසනායුෂ වශයෙන් විවිධත්වයක් ඇත. වැඩි ආයුෂ ඇති බුදුවරයන්ගේ ශාසන සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වැඩි කල් පවත්නේ නො වෙයි. අඩු ආයුෂ ඇති බුදුවරයන්ගේ ශාසන බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් බොහෝ කලක් පවතින්නේ ය. අවවාද ප්‍රාතිමෝක්ෂය ශාසනාන්තර්ධානය දක්වා ම උදෙසීම දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනවල සිරිත ය. අල්පායුෂ්ක බුදුවරයන්ගේ ශාසනවල ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ ප්‍රථම බෝධියේ දී එනම්, මුල් අවුරුදු විස්ස ඇතුළත පමණකි.

අතීතයෙහි ලොව පහළ වූ විපස්සී නම් බුදුරදුන් ගේ පරමායුෂ අවුරුදු අසූදහසකි. සිඛී නම් බුදුරදුන් ගේ පරමායුෂ අවුරුදු හැත්තෑ දහසෙකි. වෙස්සභූ බුදුරදුන් හට අවුරදු හැට දාහකි. කකුසඳ බුදුරදුන් හට හතළිස් දහසකි. කෝණාගමණ බුදුරදුන් හට අවුරුදු තිස් දහසකි. කාශ්‍යප බුදුරදුන් ගේ පරමායුෂ වර්ෂ විසි දහසකි. අප ගෞතම බුදුරදුන්ගේ ආයුෂ අවුරුදු අසූවකි. මෙසේ හෙයින් දිර්ඝායුෂ්ක - අල්පායුෂ්ක වශයෙන් ශාසනායුෂවල විවිධත්වයක් ඇති බව සැලකිය යුතු ය. ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වනු ලබන ගාථා තුන මෙසේ ය.

1. ඛන්තී පරමං තපො තිතික්ඛා

නිබ්බානං පරමං වදන්ති බුද්ධා

නහී පබ්බජිතො පරූපඝාති

සමණො හොති පරං විභෙඨයන්තො

.

2. සබ්බපාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියොදපනං

එතං බුද්ධාන සාසනං

.

3. අනූපවාදො අනූපඝාතො පාතමොක්ඛෙ ච සංවරො

මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තං ච සයනාසනං

අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං

(ධම්මපද - බුද්ධවග්ග)

1. ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ශාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නො වෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නො වෙයි.

2. කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදී සියලු අකුශල කර්ම නො කිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුශලයන් ඉපදීම ද, උපදවන ලද කුශලයන් වැඩීම ද, පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන් ගේ අනුශාසනා යි.

3. ජාත්‍යාදීන් පරහට ආක්‍රෝශාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නො කිරීමත්, පාණි ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නො කිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත් සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.

මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දේශනා කොට වදාළේ නවම් පුනු පොහෝ දිනයක ය. දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි විසිරී පැතිර සිටින ශ්‍රාවක සංඝයා එක් තැනකට රැස් කොට සය මසකට හෝ තෙ මසකට හෝ මසකට හෝ වරක් බුදුරජාණන් වහන්සේ මේ ‍ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිරිතකි. ශ්‍රාවක භික්ෂු සංඝයාගේ හික්මීමට ප්‍රථම බෝධිය‍ෙහි දී එය ප්‍රමාණවත් විය. අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රථම බෝධියෙහි දී ස්වකීය ශ්‍රාවකයන් හට ඕවාද ප්‍රාතිමෝක්ෂය වදාරණ ලදී. අවුරුදු විස්සෙන් පසුව ආණා ප්‍රාතිමෝක්ෂය වදාළ හ. ප්‍රථම බෝධියෙහි අල්පරජස්කයෝ ම බහුල වුවත් පසුව මහා රජස්ක පද පරම පුද්ගලයෝ ද පැවිදිවන්නට වූහ. එහෙයින් කෙනෙක් බුදුහු හඳුනති. කෙනෙක් නො හඳුනති. කෙනෙක් සුවච වෙති. කෙනෙක් දුර්වච වෙති. පූර්ව භික්ෂු සමාජයෙහි එනම්, ප්‍රථම බෝධියෙහි භික්ෂූන් අතර තිබුණු නිර්මල තත්ත්වය පශ්චාත් භාගයෙහි ක්‍රමයෙන් දුර්වල වෙන්නට විය. පසු ව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා ගේ සුඛ විහරණය ආදී දස කරුණක් නිමිතිකොට සිකපද පනවන ලදී.

ආයුසංස්කාරය හැරීම

සැරියුත් - මුගලන් අගසවු හිමිවරුන් ගේ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය වෙත වැඩිය හ. එහි දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා, “ආනන්දය, සතර ඉර්ධිපාද වැඩුවහුට කැමති නම් කල්පයක් (ආයුස්කල්පයක්) වුව ද ජීවත් විය හැකිය” යි වදාළ හ. බුදුරජාණන් වහන්සේ තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ නමුත් ආනන්‍ද හිමියන්ට මාරාවේශ වී සිටි හෙයින් සිහි එළවා ගත නො හී බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නට ආරාධනා කළ නො හැකි විය. ආනන්ද හිමියන් ගේ පමාවක් බලා සිටි මාරයා අවුත් බුදුරදුන්ට පිරිනිවන් පාන සේ ආරාධනා කෙළේ ය. තථාගතයන් වහන්සේ තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට වදාළ සේක. භාග්‍යවතුන් වස්සේ, “ඉදිරි තුන් මාසය පමණක් සමාපත්තියට සමවැද ඊට පසු නො සමවදින්නෙමි”,යි අධිෂ්ඨාන කොට ආයුසංස්කාරය හැරියහ. ආයුසංස්කාරය හැරීම යනුයෙන් අදහස් කරනුයේ මෙතෙක් කාලයකින් පිරිනිවන් පාන්නෙමි යි කාලය සීමාකර ගැනීම යි. තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හළ කෙණෙහි ම මහාභූමි චලනයෙක් වීය. පසුව ආනන්ද හිමියන් බුදුුරජාණන් වහන්සේට කපක් වැඩ සිටින්නට (ආයු කල්පයක්) ආරාධනා කළ නමුත් ආයුසංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පාන බව වදාළ හ. චාපාල චෛත්‍යයෙන් විසල් පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූටාගාරයට රැස් වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාදය ද කළහ.

බුදුරජාණන් වහන්සේ පාවා නගරයට වැඩම කොට චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවනයෙහි විසූ සේක. ඔහු ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ අන්තිම දානය වළඳා ඔහුට අනුමෙවෙනි බණ වදාළ හ. ලෝහිත පක්ඛන්දිකා රෝගය සමාපත්ති බලයෙන් දසමසකට මතු නො වන ලෙස යටපත් කොට තිබුණි. චුන්ද ගේ දානය වැළඳූ දිනට ඒ දස මස සම්පූර්ණ විය. එහෙයින් නැවැතත් රෝගය මතුවුණි. ‍එහෙත් චුන්ද ගේ ප්‍රණීත ආහාරය නිසා රෝගය උත්සන්න නො වී ය. සමාපත්ති බලයෙන් රෝගය යටපත් කර ගන්නට හැකි නමුත් බුද්ධ ශරීරයට ද රෝග පීඩාදිය පොදු ධර්මතා බව ලෝකයා හට අවබෝධ කරනු පිණිස බුදුරජාණන් වහන්සේ එය නො කළහ.

පාවා නගරයෙන් පිටත් වූ තථාගතයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජවරුන් ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණු සේක. එකල්හි දෙව් බඹ පිරිස අහසෙහි සුවඳ මල්, සුවඳ සුනු විසුරුවා දිව්‍ය සංගීතාදිය පැවැත් වූහ. සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් සම්බුද්ධ පරිනිර්වාණ ප්‍රවෘත්තිය අසා බණ අසනු පිණිස අවුත් ආනන්ද හිමියනට දැන්වී ය. තෙවරක් ම දැන් වූ නමුත් ආනන්ද හිමියෝ එය බුදුරජාණන් වහන්සේට වෙහෙසක් වන බව සිතා ඔහුගේ ඉල්ලීමට ඉඩ නො දුන්හ. පසුව තථාගතයන් හට මේ කාරණය දැන ගන්නට ලැබී තමන් වහන්සේ වෙත පැමිණීමට සුභද්‍රට අවසර දුන් හ. බුදුරදුන් වෙත පැමිණි සුභද්‍ර පරිව්‍රාජකයා හට ‍ධර්ම දේශනා කළහ.

“සුභද්‍රය එකුන් තිස් වියේදී සත්‍යය සොයා ගිය මම යම් දිනයක පැවිදිවීම් ද, එදා පටන් අද වන තෙක් අතර කාලය අවුරුදු පනස් එකක් වේ. මේ කාලයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යය තබා විදර්ශනා ප්‍රඥාව දියුණු කරන කිසි ම පුද්ගලයෙකු මේ සස්නෙන් පිටත්හි නො දුටුවෙහි. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වූ කිසිම ශාසනයක (ආගමයක) ආර්ය මාර්ගයට පැමිණි කිසිම (ගිහියකු තබා) මහණෙක්වත් ඇති නො වේ.” යනුවෙන් වදාළහ.

මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථම - ද්විතීය - තෘතීය චතුර්ත්ථ ශ්‍රමණයන් පිළිබඳ ව සඳහන් කරමින් සෝවාන්, සෙදගැමි, අනගැමි, රහත් යන චතුර්විධ ශ්‍රමණවරු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රකාශිත ධර්ම විනයෙහි ලැබෙන බව වදාළහ. ධර්ම දේශනාව අවසනැ සුභද්‍ර තෙමේ තෙරුවන් සරණ ගොස් පසුව පැවිද්ද හා උපසම්පදාව ලබා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් විය. බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම ශ්‍රාවකයා වීමේ ගෞරවය හිමිවනුයේ සුභද්‍ර හටය.

අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද, නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම වැදී එයින් නැගිට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. ආයුසංස්කාරය අත් හැරීම පිළිබඳ විස්තරයට අනෙක් පරිනිර්වාණය දක්වා වූ තුන් මාසය තුළ කරුණුත් සංකේෂේපයෙන් මෙසේ දැක්වූයේ මුල් කරුණු වලට ප්‍රයෝජනවත් වන හෙයිනි.

3. මැදින් පෝය

හේමන්ත ඍතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචර්‍ය්‍යාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්‍ය්‍ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන්සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය. ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ ගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ‍ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝද දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරඤ්චි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස සුද්ධෝදන රජතුමා ඇමතියෙකු කැඳවා පුරුෂයන් දහසක් පිරිවර වශයෙන් දී රජගහ නුවරට ගොස් රජහු ගේ පණිවුඩය කියා බුදුරදුන් වැඩමවාගෙන එන්නට පිටත් කෙළේ ය. ඔහු පිරිසක් සමඟ කපිල වස්තු පුරයෙහි සිට සැට යොදුන් මග ගෙවා රජගහ නුවර වේළුවනාරාමයට ගියේ ය. ‍එවේලෙහි බුදුරජාණන් වහන්සේ සිවුපිරිස මැද දහම් දෙසමින් වැඩ විසූහ. ඇමති තෙමේ රජුගේ පණිවුඩය පසෙකින් තබා බණ අසා පිරිවර සමඟ රහත් ව මහණ විය. රජතුමා ඇමතියා ආපසු නො පැමිණෙන හෙයින් නැවැත ද ඇමැතියකු ඇතුළු දහසක් පිරිස යැවී ය. මෙසේ සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දෙනකු ප්‍රධාන නව දහසක් පිරිස බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩමවා ගෙන එනු පිණිස යැවී ය. එහෙත් බුදුරදුන් සිය නුවරට ගෙන්වා ගන්නට අසමත් විය. ඒ සියලු දෙනා ම බණ අසා රහත් ව පැවිදි වූහ.

අවසානයෙහි සුද්ධෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා, ‘දරුව, මාගේ පුත්‍රයා කැඳවා ගෙන එනු පිණිස ඇමතියන් නව දෙනෙකු නව දහසක් පිරිස සමග බුදුන් වෙත යැවීමි. එහෙත් ඔවුන් ගැන කිසිදු ආරඤ්චියක් නො මැත. මාගේ ජීවිතය අවසන් වන්නට පෙර, පුත්‍රයා කැඳවාගෙන වුත් දක්වා ලන්නට හැකි දැ”යි විචාළේ ය. එබසට අමාත්‍ය තෙමේ, “ඉදින් පැවිදි වන්නට අවසර දෙතොත් එය ඉටු කරන්නෙමි”යි කීයේ ය. රජතුමා එයට අවසර දුන්නේ ය. කාලුදායී ඇමතියා පිරිවර දහසක් පිරිස සමග වේළුවනාරාමයට ගොස් බණ අසා පිරිවර සහිත ව රහත් ව මහණ විය. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මේ වන විට විසි දහසකටත් අධික ය. ශාක්‍ය ජනපදයෙන් පැමිණි පිරිස දස දහස් දසයෙක් (10010) වූහ. අංග - මගධ දෙ රටින් පැමිණ පැවිදි වූ පිරිස දස දහසෙකි.

කිඹුල්වත් පුරයට වැඩමවීම

කාලුදායි රහතන් වහන්සේ මහණ ව සතියකින් පසු ව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ. සුද්ධෝදන පියරජතුමා තමන් වහන්සේ දක්නට කැමැත්තෙන් සිටින බව ද පැවසූහ. බුද්ධත්වයෙන් දසමසක් සම්පූර්ණ විය. මැදින් පුර පසළොස්වක් පොහොය එළඹියේ ය. පැරණි කොළ වැටුණු වෘක්ෂයෝ අලුත් දලු ලා ගිනිදලු මෙන් බබළති. හැම තුරු ලියක් ම පිපුණු මලින් සැරසී ඇත. දසත සුවඳ පතුරා ලති. මඟ වෙහෙස නිවනට මඳ පවන් මල් සුවඳ මුසු ව ඒ මේ අත හමායෙයි. බුදුපුදයට සැරසුනාක් මෙන් රජගහ නුවර සිට කිඹුල්වත් නුවර දක්වා මඟ දෙපස මෙබඳු අසිරිමත් සිරියෙන් බැබළෙමින් තිබිණි. කාලුදායි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය එළඹී ඇති බව දන්වමින් ගමන් වර්ණනාව ගාථා සැටකින් ප්‍රකාශ කළ හ.

1. අංගාරි‍නොදානි දුමා භදන්තෙ

ඵලොසිනො ඡදනං විප්පහාය

තෙ අච්චිමන්තො ච පහාසයන්ති

සමයො මහාවීර භගීරථානං

.

2. දුමානි ඵුල්ලානි මනොරමානි

සමන්තතො සබ්බදිසා පවන්ති

පත්තං පහාය ඵලමාසසානං

කාලො ඉතො පක්ක මනායවීර

.

3. නෙවාති සීතං න පනාති උණ්හං

සුඛා උතු අද්ධනියා භදන්තෙ

පසසන්තු තං සාකියා කොලියා ච

පච්ඡා මුඛං රොහිණිං තාරයන්තං

.

4. ආසාය කස්සතෙ ඛෙත්තං -

ඛීජං ආසාය වප්පතෙ

ආසාය වාණිජා යන්ති -

සමුද්දං ධනභාරකා

යාය ආසාය තිට්ඨාමි -

සා මේ ආසා සමිජ්ඣතු

.

5. පුනප්පුනං වෙච වපන්ති බීජං

පුනප්පුනං ‍වස්සති දෙවරාජා

පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා

පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

.

6. පුනප්පුනං යාචනකා චරන්ති

පුනප්පුනං දානපති දදන්ති

පුනප්පුනං ‍දානපති දදිත්වා

පුනප්පුනං සග්ගුපෙන්ති ඨානං

.

7. වීරො ‍භවෙ සත්තයුගං පුනාති

යස්මිං කුලෙ ජායති භූරිපඤ්ඤො

මඤ්ඤාමහං සක්කති දෙවදෙවො

තයාභිජාතො මුනි සච්චනාමො

.

8. සුද්ධොදනො නාම පිතා මහෙසිනො

බුද්ධස්ස මාතා පව මායනාමා

යං බොධිසත්තං පරිහරිය කුච්ඡිතා

කායස්ස භෙදා තිදිවම්හි මොදති

.

9. සා ගොතමී කාලකතා ඉතො චුතා

දිබ්බෙහි කාමෙහිසමංගිභූතා

සා මොදතී කාම ගුණෙහි පඤ්චහි

පරිවාරිතා දෙවගණහෙි තෙහි

  1. භාග්‍යවතුන් වහන්ස! දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු මෙන් රතු පැහැති මල් දලු ඇත්තාහ. පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට කැමැති ව සිටිති. වෘක්ෂයෝ ගිනි දැලින් යුක්ත වූවන් සේ බබළත්. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරා ගත ශාක්‍යයනට හිත පිණිස වැඩීමට මේ සුදුසු කාලය යි.
  2. පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවත්. ඔවුහු පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිත්. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත් වීමට සුදුසු කාලය යි.
  3. ඉතා ශීත හෝ ඉතා උෂ්ණ හෝ නැත. වහන්ස, ඍතු ව සුව ගෙන දෙයි. ගමනට සුදුසු ය. ආපසු හැරී රෝහීණි ගඟින් එතර වන ඔබ වහන්සේ ශාක්‍ය - කෝලිය රජහු දකිත්වා.
  4. ගොවි තෙමේ මතු බලා ම කුඹුරු සායි. හාන්නවුන් විසින් මතු බලා ම බීජ වපුරනු ලැබේ. ධන රැස් කරණ වෙළඳහු මතු බලා සමුද්‍ර තරණය කරති. මම ද ඔබ වහන්සේ කිඹුල් වතට වැඩම කරවන්නට යම් පැතුමකින් සිටිම් ද, ඒ මාගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේවා.
  5. ගොවියෝ නැවැත නැවැත ධාන්‍ය වපුරත්. වැස්ස නැවැත නැවැත වසී. ගොවීහු නැවැත නැවැතත් කුඹුරු සාත්. නැවැත නැවැත හැල් ආදී ධාන්‍ය රටට ලැබේ.
  6. යාචකයෝ නැවැත නැවැත කුලයන් කරා එළඹෙත්. දානපතී හු ද නැවැත නැවැත දන් දෙත්. එසේ දීමෙන් නැවැත නැවැත ස්වර්ග යෙහි උපදිති.
  7. යම් කුලයෙක මහා ප්‍රාඥ වූ වීර පුරුෂයෙක් වේ නම් හෙතෙම සත් මුතු පරම්පරාව දක්වා පරම්පරාව යුග සතක් මනා ප්‍රතිපත්ති හෙතුයෙන් ශුද්ධ කරයි. දෙලෝ වැඩ දන්නා හෙයින් මුනි යන නාමය සත්‍ය වශයෙන් ලත් දේවාතිදේව වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එයටත් වඩා පව් සමනයෙහිත් අනුන් යහපතෙහි පිහිටුවාලීමෙහිත් සමර්ථයහ යි සිතමි.
  8. මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ ගේ පිය සුද්ධොදන මහ රජතුමාණෝ ය. යම් උත්තමාවක් බෝසතුන් කුසින් දරා සිට, මරණින් මතු දෙව් ලොව දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද, සැපසම්පත් විඳී ද, ඒ මායා දේවිය භාග්‍යවතුන් වහන්සේගේ දයාබර මෑණියෝ ය.
  9. මේ මිනිස් ලොවින් කලුරිය කළ ගෞතම ගෝත්‍රයට අයත් ඕ මායාදේවී තොමෝ දෙව්ලොව ඉපිද දේව සමූහයා පිරිවරා පඤ්චකාම ගුණයන් ගෙන් සමන්විත ව මහත් සැප සම්පත් විඳී.

යනාදී ගාථා සැටකින් බුදුරජාණන් වහන්සේ‍ ගේ කිඹුල්වත්පුර ගමනට ඉතාමත් යෝග්‍ය කාලය එළඹී ඇති බව කාලුදායී හිමියෝ ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ ද කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය යි සලකා විසි දහසක් පමණ වූ භික්ෂූ සමූහයා පිරිවරා ගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් සවස් වේලෙහි පිටත් වූ සේක. බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසු ජාතග්‍රාමය කරා වැඩම වීමේ ප්‍රථම මංගල ගමන සිදුවූයේ මැදින් පුර පසළොස්ක් පොහෝ දිනයක මේ ආකාරයෙනි. දයාබර පියතුමා ඇතුළු ඥාති සමූහයාට විමුක්ති මාර්ගය හෙළි කර දෙනු පිණිස මහා කරුණාවෙන් රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා ගමනාරම්භ කළ මේ අසිරිමත් පොහොය දිනය සමස්ත බෞදධ ලෝකයා‍ ගේ ම හදවත් තුළ සොම්නස් සහගත පින් සිතිවිලි දහරා උපදවන ශ්‍රෙෂ්ඨ ආගමික දිනයෙකි. කිඹුල්වත් පුර දෙසින් හමා එන සිසිල් මඳ පවන් පවා උන්වහන්සේගේ ගතට සිතට සොම්නස් දැනවීමෙහි සමත් බව වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ ලෝක ශාන්තිය උදාකරලීමට උපන් බිමින් ලැබුණු අනුපමේය සේවාවට කෘතවේදීත්වය දැක්වීමක් වශයෙනි. එබැවින් උන්වහන්සේ ගෙන් කල් යල් බලා සිදුවූයේ යා යුතු ගමනකි. කළ යුතු ශ්‍රෙෂ්ඨ පන්තියේ යුතුකමකි. සිය පියාණන් හට දැක්විය යුතු ඉහළ ම සැලකිල්ලෙකි. ස්වකීය ඤාති සමූහයාට කළ යුතු උතුම් ම ඤාති සංග්‍රහයෙකි. මේ මහා සේවාවට මුල පිරූ මැදින් පුන් පොහෝ දිනය බෞද්ධයා‍ ගේ සදා ගෞරවයට පත් විය යුතු ය.

සැට යොදුන් මග

බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා ‍කිඹුල්වත් පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායී රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂූ සංඝයා හට වැඩ සි‍ටීමට නි‍ග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක් දා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලය යි කල්පනා කොට බුදුරජාණන් වහන්සේ ට නො වැඳ බාල- කුමර කුමරියන් ලවා වැන්ද වූහ. ඔවුන් ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ.

මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුන්වන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට නිවෙස්කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරයට වැඩ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත් ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ “ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැ”යි ඇසී ය, “මහරජ, මේ අපගේ බුද්ධවං‍ශයෙහි සිරිතැ”යි කියමින් පිය රජතුමාට මගදී ම ධර්ම දේශනා කළහ.

“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ

ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”

උත්ථාන වීර්‍ය්‍ය කරන්නේ ය. නො පමා වන්නේ ය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගල තෙමේ මෙලොව පරලොව දෙක්හි ම සුවසේ වාසය කරන්නේ ය. මේ දේශනාවසානයෙහි පියරජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩමවා දන් පිරිනැමී ය. වළඳා අවසනැ භාග්‍යවතුන් වහන්සේ

“ධම්මං චරෙ සුචරිතං - නනං දුච්චරිතං චරෙ

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”

යන ගාථාවෙන් ධර්‍ම දේශනා කළ සේක. එය අසා රජතුමා සකෘදාගාමී විය. මහාප්‍රජාපතී ගෞතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. දන් වළඳා අවසානයෙහි රජ ගෙදර වැසි සියලු ස්ත්‍රීහු අවුත් බුදුන් වැන්දා හ. එහෙත් යශෝදරා දේවිය පමණක් නො පැමිණියා ය. එතුමිය “මාගේ යම්කිසි ගුණයෙක් තිබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා”යි සිතමින් සිය නිවසෙහි ම විසුවා ය.

යසෝධරාව ගේ ගෞරවය

බුදුරජාණන් වහන්සේ පිය රජුත් සමඟ යශෝධරාවන් ගේ ගෙ‍ට වඩින සේක් යශෝධරාවන් ගේ ශෝකය සංසි‍ඳෙන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන් ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි රාහුලමාතා තොමෝ පැමිණ බුදුහිමි සිරිපතුල් අල්ලාගෙන වැඳ වැටී හඬන්නට පටන් ගත්තා ය. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව ඇය කෙරෙහි පතුරුවා නිහඬව වැඩ සිටිය හ. මඳවේලාවකින් පසු ‍ඕ තොමෝ සිහි ලැබ බියෙන් පසකට වී සිටියා ය.

එකල්හි සුද්ධෝදන රජ තෙමේ යශෝධරාවන් ගේ ගුණ කියනුයේ, “ස්වාමීනි, මගේ දුව ඔබ වහන්සේ කසාවත් හැඳි බව අසා කසාවත් පෙරවූවා ය. නුඹ වහන්සේ එක වේලෙහි වළඳනු අසා ඇය ද එක බතින් යැපුනා ය. ඔබ වහන්සේ උස් අසුන් මහ අසුන් අත්හැරිය බව අසා ඇය ද උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකුණා ය. ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තෙ‍ාමෝ ද එසේ කළා ය. ඔබ වහන්සේ මහණ වූ බව අසා සම කුලයෙහි කුමාරවරුන් සරණ පාවා ගන්නට කළ යෝජනා ඇය ප්‍රති‍ක්ෂේප කළා ය” යනාදීන් සුද්ධෝදන රජතුමා යසෝධරාවන් ‍ගේ විශිෂ්ට ගුණයන් වර්ණනා කළේ ය.

බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කොට සඳ කිඳුරු ජාතකය වදාරා යසෝධරාවන් ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන ය‍ශෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නො පිළිගත්හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරමයට වැඩම කළහ.

නන්ද කුමරුන්ගේ පැවිද්ද

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන් වැනි දා නන්ද කුමාරයන් ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරු ගේ මාළිගයට වැඩම කොට දන් වළඳා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු ‘දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ’යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය. නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැවැ”යි කීවාය. ඒ වචනය ඇසූ නන්ද කුමාරය‍ා ගේ හදවත කම්පා විය. එහෙත් බුදුරජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්න නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නන්දය, මහණ වන්නෙහි දැ”යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, “එසේ ය ස්වාමීනි, පැවිදි වන්නෙමි” යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මලණුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය.

රහල් කුමරුන් ගේ පැවිද්ද

තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජු ගේ මාළිගයට වැඩම කළහ. යසෝධරා දේවී තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහ ගාථා කියා පියා ගැන හඳුන්වා පියා සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන “පියාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ සෙවණෙහි වාසය මට සැප ය”යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අනුමෙවෙනි බන වදාරා මාළිගයෙන් වැඩි සේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේ ය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවරූ සේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේ ය. රහල් කුමරුන් ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහකසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී.

රහල් කුමරුන් ගේ පැවිද්ද නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තේ ය. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීයේ ය. “පුත්ත පෙමං භන්තෙ ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්‍දති, චම්මං ඡෙත්වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්‍දති, අට්ඨං ඡෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති”

යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතී යැ”යි කී ය.

“ස්වාමීනි, මවු පියන් ගෙන් අවසර නො ලත් කුලදරුවන් පැවිදි නො කරන්නේ නම් මැනවැ”යි කී ය. එතුමා ගේ ඉල්ලීම පිළිගත් බුදුහු භික්ෂූන් වහන්සේලාට “මහණෙනි, මවු පියන් ගේ අවසරය නොලත් දරුවකු පැවිදි නො කරවු”යි වදාළ සේක. පසු දිනයෙහි තථාගතයන් වහන්සේ රජ මාළිගයට වැඩම කොට දන් වැළඳූ සේක. පසුව සුදොවුන් රජතුමා එකත් පසෙක්හි හිඳ, “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් “තොප ගේ පුත්‍රයා මළේ යැ”යි කීනමුත් මම එය නො පිළිගතිමි’ යි කී ය. එකල්හි බුදුහු “මහරජ, ඔබ දැන් පමණක් නො වැ පෙරත් සේ නොපිළිගත්හ”යි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේ ය.

මේ සා විශාල සේවාවක් ස්වකීය ඥාති පිරිසට කිරීමට තථාගතයන් වහන්සේට හැකිවූයේ මැදින් පුන් පොහෝ දා සිදුවූ ගමනයි.

4. බක් පෝය

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් පරිවාශිත වූ මනහර පියකරු පියුමෙන් ගැවසීගෙත් විල් පෙළින් සමුපේත වූ, බක් මාසය සත් සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි. වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබා දෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මසකි. මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවණක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දනා නිවීසැනහී ගියේත් බක් මාසයේ ය.

භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපති කම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්න‍යෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.

බුදුරජාණන් වහන්සේ බක් අව‍ප‍සළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ. ලෝක නාථයන් වහන්සේ චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති‍ දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසනැ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහි‍ටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ. මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ‍ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රෙෂ්ඨත්වය‍ට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඵෙතිහාසික පෞරාණික ශාසනික පුරාවෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතු ව ක්‍රිියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.

නාගදීප චෛත්‍යය

නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යා‍පනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශත වර්ෂයේ යාප‍නයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ අමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමුවූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. නාගදීපය නමින් හැඳින්වෙන ස්ථානය පුරාණයේ සිංහලයන් ගේ ආගමික හා සංස්කෘතික ඉතිහාසය අතින් වැදගත් තැනක් ගෙන ඇත. මෙය යාපා පටුන නමින් හැඳින්වූයේත් එහි ද්‍රවිඩ බලය වැඩිවූයේත් පොළොන්නරු යුගයෙන් පසුව බව සැලකිය හැකි ය. නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නෙ‍ාවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාග දීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බව කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නො බලා දුෂ්කරකම් ගැන නො සලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්ත ව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මල ව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසා ය.

සතර පෙර නිමිති පහළවීම

සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක් පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේ ය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදු ව සිටිය හ.

සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කළකිරී අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසි තිබුණේ ය. විසිනම වසරක් සපිරි සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා(මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසළ පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.

කිඹුල්වත් පුර ගමන

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක් මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්‍ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්‍ණ කළහ.

5. වෙසක් පෝය

කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි. ඒ නිමිති කොට පෙර අපර දෙ ද‍ිග හීනයාන මහායාන යන කොටස් දෙකට ඇතළත් හැටකෝටියකට අධික බෞද්ධ ජනතාව විසින් ආමිෂපූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමෙන් බුදුහිමියන් ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සි‍ඳෙන බැති කුසුම් පුදා කෘතගුණ සලකනු ලැබේ. මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රෙෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය.

අපේ රට කුඩා වුව ද ලෝක බෞද්ධ සංවිධානයේ පෙරමුණ මේ පුංචි ලංකාවට ලැබීම සිංහලයන් වූ අපගේ මහත් භාග්‍යයකි. අවුරුදු දෙදහස් ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රෙෂ්ඨ බුද්ධ ධර්මය ආරක්ෂා කර ගත් උදාර ජාතියක් වශයෙන් මුළු ලෝකයෙන් ම සිංහලයාට අයත් වනුයේ විශාල ගෞරවයකි. සම්බුද්ධ ධර්මාලෝකයෙන් ආභාසය ලබා නිර්මාණය වුණු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති අදීන ජාතියක් හැටියට සිංහල ජාතිය ලොව පතළ වීමට ප්‍රධාන හේතුව වූයේ ශුද්ධ බුද්ධ ධර්මය යි. අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ටාචාරයට ආගමික ගුණධර්ම වලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වෙසක් පොහෝ දිනය යි. බෞද්ධයා ගේ ශ්‍රද්ධා භක්තියත් කලා කාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිෂ ප්‍රීතිය සැනසිල්ල අන් කිසිදු දිනයක නො ලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.

බුදු පෙළහර

ජීවිතයේ කිසිදු දිනයෙක ශීලසමාදානයේ නො යෙදුණු අය වෙසක් පුනු පොහෝ දිනයේ උදෑසන ම හොඳම හොඳ උවසු උවැසියන් ලෙස සුදුවතින් සැරසී වෙහෙර විහාරයන් කරා පා නඟන්නේත්, කිසිදු දිනයෙක භාවනා කර්මයෙක නො යෙදුණු සමහරුන් පළ පුරුදු යෝගාවචරයන් සේ භාවනා කරන්නේත්, අවුරුද්දේ වෙන කවර දිනයෙකවත්, බණ නො අසන අය ධර්මාලම්බන ප්‍රීතියෙන් යුතු ව සාධු නාද පවත්වමින් බැතිසිතින් දහම් අසන්නේත්, අවුරුද්දේ වෙන කිසිදු දිනයෙක විහාරයට නො ගිය උදවිය තෙල් මල් පහන් ආදී පූජා ද්‍රව්‍යයන් රැගෙන විහාරාරාමයන් කරා පැමිණෙන්නේත්, පොහොසතා ගේ මාළිගයේ සිට දුප්පතා ගේ පැල්පත දක්වා ම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී නාමයට පහනක් දල්වනුයේත්, සැරසිල්ලක් කරනුයේත්, අවුරුද්දේ අන්කිසි දිනයෙක දුගී මගී යාචකාදීන් විෂයයෙහි සුළු දෙයකින් පවා සංග්‍රහ නො කරන අය මහා ත්‍යාගශීලිී දානපතියන් සේ පරිත්‍යාගයෙහි යෙදෙන්නේත්, ගම් - නියම්ගම් - නගර ආදී හැම තැනක ම වෙසක් පහනින් වෙසක් තොරණින් වෙසක් සැරසිල්ලෙන් ආලෝකවත් කරන්නේත්, අන් කිසිදු කරුණක් නිසා නො ව බුදුහිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.

වෙසක් දින සිදුවීම්

මෙයට සාරාසැකි කප් සුවහසකට පෙර සුමේධ තාපස ව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගෙන සිටි අප මහාබෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ප්‍රධාන සාරලක්ෂයක් රහතන් වහන්සේට ස්වකීය ජිවිතය පරිත්‍යාග කොට පස්වනක් ප්‍රීතින් පිනා “බුදුහු අද මා හෙයක් කොට වඩිත්ව යි” මමද මතු ලොව්තුරා බුදු ව මේ ‍බුදුන් සේ ම සියලු සතුන් සංසාර සාගරයෙන් ගළවමි”යි ප්‍රාර්ථනා කරමින් මඩ මතුයෙහි වැතිර සිටියහ. බුදුරජාණන් වහන්සේ දිවි පුදා වැදහොත් බෝසතුන් දැක “මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතු සම්පත් ඇති සේ ය, බුදුන් දුටුවේ ය, තපස්වී ය, ධ්‍යානලාභී ය, අධිකාරත්වයෙන් යුක්ත ය, බුදුබව පතා හොත්තේ ය, මෙසේ හෙයින් පළමුවන අභිනීහාරයට (මුල් පැතුම‍ට) සුදුසු වූ මේ ධර්මයෝ අටදෙන ම දැන් මොහු කෙරෙහි විද්‍යමාන හ. මේ වීර පුරුෂ තෙමේ කවර කලෙක බුදුවේදෝ හෝ යි බලන්නාහු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නමින් සම්මා සම්බුදු වේ යැයි දැක පස්සෙහි වඩනා සාරලක්ෂයක් රහතන් බලා තමන් වහන්සේ ගේ මුඛ නැමැති මහා පද්මයෙන් සුවඳ විහිදුවා

“පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං

අපරිමෙය්‍ය ඉතො කප‍්පෙ - අයං බුද්ධො භවිස්සති”

යනාදීන්, “මහණෙනි, මේ මට ජීවිතය පුදා හොත් පුරුෂයා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නම් බුදු වන්නේ ය”යි ප්‍රථම නියත විවරණ දී වදාළහ. දීපංකර සර්වඥයන් වහන්සේ බෝසතුන් පැදකුණු කොට සමන් මල් අටමිටකින් පුදා වැඩි සේක. පසු පස වඩනා සාර ලක්ෂයක් රහතන් වහන්සේ ද සාර ලක්ෂයක් මල් මිටින් පුදා වැඩි සේක. මෙසේ දීපංකර සම්බුදුරදුන් හමුවෙහි දී සම්බුදු පදවිය සඳහා ප්‍රථම නියත විවරණය ලැබූයේත් වෙසක් පුනු පොහෝ දිනක ය. එතැන් පටන් අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි අනන්ත අප්‍රමාණ ජාතීන් හි ඉපි ද දාන - සීල - නෙක්ඛම්ම - පඤ්ඤා - විරිය - ඛන්ති - සච්ච - අධිට්ඨාන - මෙත්තා - උපෙක්ඛා යන (දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී) සමතිස් පෙරුම් පුරමින්, ඤාතත්ථචරියා - ලෝකත්ථචරියා - බුද්ධි චරියා යන ත්‍රිවිධ චරියාවන් සම්පූර්ණ කරමින් පඤ්ච මහා පරිත්‍යාගයෙහි යෙදෙමින් වෙසතුරු අත්බවෙහි ඉපි ද සත්වාරයක් මහ පොළොව කම්පා කරමින් මහදන් පවත්වමින් දාන පාරමිතාව පිළිබඳ චක්‍රවර්තිත්වයෙන් අබිසෙස් ලබා බුදුවීමට සුදුසු කාලය එළඹෙන තෙක් බුද්ධාංකුරයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්මානුකූලව වෙසතුරු අත් බවින් සැව තුසිත දෙව්ලොව උපන්හ. සත් පනස් කෙළ සැට ලක්ෂයක් හවුරුදු ආයු ශ්‍රී වින්දනය කරමින් තුසිත පුරයෙහි සිටින සන්තුෂිත නම් දිව්‍යරාජයන් වහන්සේ වෙත බුද්ධ කෝලාහලය පහළ වූ කලැ දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයෝ රැස් ව ‍දොහොත් මුදුන් තබා සිට

“කාලො යං තෙ මහාවීර - උප්පජ්ජ මාතු කුච්ඡියං

සදෙවකං තාරයන්තො - බුජ්ඣස්සු අමතංපදං”

යනු විසින් “මහාවීරයන් වහන්ස! සමතිස් ‍පැරුම් දම් පුරා සාරාසැකි කප් සුව‍හසෙක් මුළුල්ලෙහි සසර ඇවිද පින් රැස් කළ තොප විසින් ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් චක්‍රවර්ති සම්පත් ප්‍රත්‍යෙක බෝධි සම්පත් ශ්‍රාවක බෝධි සම්පත් ප්‍රාර්ථනා නො කරන ලදී. ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ප්‍රාර්ථනා කරන ලදී, එසේ හෙයින් දැන් නුඹ වහන්සේගේ පාරමිතාවෝ කුළු ගත්හ. පස් බුදු කෙනෙකුන් ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳ - කොණාගම - කස්සප - යන තුන් බුද්ධාන්තරයක් ඉක්ම ගොසිනි. දැන් මේ නුඹ වහන්සේ බුදු වන්නා වූ කාලය යි. බුදුන් ගේ චාරිත්‍ර අනුව මව්කුසෙක පිළිසිඳ ලොව්තුරා බුදු ව දෙව්මිනිසුන් සසරින් ගොඩ නඟා නිවන්පුර පුරවනු මැනැවැ”යි මෙසේ දස දහසක් සක් වළ දෙවියෝ ආරාධනා කළහ. එකල්හි බෝධි සත්ත්වයන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන

“කාලං දීපං ච දෙසං ච - කුලං මාතරමෙව ච

එතෙ පඤ්ච විලොකෙත්වා - උප්පජ්ජන්ති තථාගතා”

යනු විසින් දැක්වෙන කාලය - දීපය - දේශය - කුලය - මවය යන පඤ්ච මහා විලෝකනය කොට දඹදිව මධ්‍ය දේශයේ කපිලවාස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග බිසව වන මහාමායා මෙහෙසිය කුස ඇසළ පුනු පොහෝ දා පිළිසිඳ ගෙන දසමස් සම්පූර්ණ වීමන් මවුකුසින් ලුම්බිනී ශාලවනෝද්‍යානයේදී බිහිවූයේත් වෙසඟ පුනු පොහෝ දිනක ය. එසේ ලොව දිනූ මහසතාණන් වහන්සේ දස දික් බලා තමන් හා සම කෙනෙකුන් නො දැක සත් පියවරක් උතුරු දිගට වැඩ සප්තපාදාන්තයෙහි සිට

“අග්ගො හමස්මි ලොකස්ස - ජෙ‍ට්ඨො හමස්මි ලොකස්ස

සෙට්ඨො හමස්මි ලොකස්ස - අයමන්ති මාජාති නත්ථි දානි පුනබ්භවො”

යනුවෙන්, “මම ලෝකයට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රෙෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්මභාවය යි. නැවැත උපතක් මගේ නැතැ”යි අභීත ජය සංඛනාදය පවත්වන ලද්දේත් වෙසක් පෝය දිනයක ය. මෙසේ ලෝක ශ්‍රෙෂ්ඨත්වය පිළිබඳ සිංහ නාද කළ පින්බර කුමරුවාණෝ ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තුරුණු වියට පත් ව සොළොස් වියෙහි දී යසෝධරා නම් රජ දියණිය සමග සරණ බන්ධනයට ඇතුළත් වූහ. තුන් ඍතුවට සරිලන සේ රම්‍ය - සුරම්‍ය - සුභ යැයි මාළිගා තුනෙක් ද විය. මිහිපිට පෙනෙන සියලුම පස්කම් සුව එහි එක් තැන් ව ගියාක් මෙන් විය. කල් යත් සසර දුක වැටහීමෙන් සියලු වස්තුව කෙරෙහි කළකිරීම ඇති වන්නට විය. ජාති ජරා මරණ තමන්ටත් මෙරමා හටත් සාධාරණ බව අවබෝධ වන්නට විය.

එකුන් තිස් විය එළඹ සිටි කල්හි පඤ්චකාම සම්පත්තිය කෙරෙහි කළ කිරීමට ඉවහල් වන කරුණු උයන් කෙළියට යද්දී දක්නට ලැබුණි. හැම දෙනට සාධාරණ මහලු බව - ලෙඩ රෝග හා මරණය තමාට ද සාධාරණ බව සිතමින් සිටි සිද්ධාර්ථ කුමරුන් හට සිවු පෙර නිමිති සියැසින් ම දක්නට ලැබීම ගිහි සැපතින් ඉවත් වීමට අතිශයින් උපකාර විය. උයනේ සිට මාළිගයට එන අතර මඟ දී බෝසතුන් ගේ උපශාන්ත ජීවිතය දුටු කිසාගෝතමී නම් සිටු දුව

“නිබ්බුතා නූන සා මාතා

නිබ්බුතො නූන සො පිතා

නිබ්බුතා නූන සා නාරී

යස්සාය ඊදිසො පති”

යනුවෙන් “යම් මවකට මෙබඳු පුතෙක් වේ නම් ඒ මවු තොමෝ ඒකාන්තයෙන් ම නිවුනී ය. යම් පියෙකුට මෙබඳු පුතෙක් වේ නම් ඒ පිය තෙමේ ඒකාන්තයෙන් ම නිවුණේ ය. යම් ස්ත්‍රියකට මෙබඳු හිමියෙක් වේ නම් ඒ ඕ තොමෝ ඒකාන්තයෙන් නිවුනී යැ”යි ප්‍රකාශ කළා ය. මේ නිබ්බුත පද ඇසීමෙන් සතුටට පත් බෝසත් තෙමේ සිය ගෙළ පැළදි ලක්ෂයක් අගනා මුතුහර ගෙළෙන් මුදා කි‍සාගෝතමියට තිළිණ කොට යවා මාළිගයට පැමිණියේ ය. මාළිගයට පැමිණි බෝසතුන් පිරිවරා ගත් නළඟනෝ නැටුම් ගැයුම් වැයුම් හි යෙදුණාහ. පසුව වෙහෙසට පත් ව නිදන නාටිකාංගනාවන් ගේ විප්‍රකාරය දුටු බෝසත් තෙමේ පඤ්චකාමයෙහි අතිශයින් කළකිරුණේ ය. දිව්‍යවිමානයක් වැනි මාළිගය අමුසොහොනක් මෙන් හැඟුණේ ය. තුන් භවය ම ගිනිගත් ගෙයක් සේ වැටහිණ. අද ම ගිහිගෙයින් නික්මීමට වටනේ යැ යි සිතී ය. එසේ සනිටුහන් කරගත් බෝසත් තෙමේ යහනින් නැගිට ඡන්න ඇමැතියා වෙත ගොස් කන්ථක අසු පිළියෙළ කරන ලෙස කී ය. දෙව් සැපත් පරයන සක්විති රජ සැපත පමණක් නො වැ එදවස උපන් රන්රුවක් මෙන් බබළන රහල් කුමරාත් රන්ලියක් මෙන් දිලෙන යසෝධරා දේවියත් දයාබර මව්පිය දෙදෙනා ප්‍රමුඛ කොට ඇති ඥාති සමූහයාත් අලුයම ලූ කෙළ පිඩක් මෙන් අතහැර දමා ඇසළ පුනු පොහෝදා ඡන්න ඇමතියා විසින් සරසා ගෙනෙන ලද කන්ථක අසුපිට නැගී මැදුයම්හි මහබිනික්මන් කළහ. ඒ මොහොතෙහි වසවත්මරු මහ බෝසතුන් අමතා

“මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ

දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතු භවිස්සති”

“මහා වීර වූ සිද්ධාර්‍ත්‍ථයෙනි! අදට සත්වැනි දවස ඔබට චක්‍රවර්ති රාජ්‍යය පහළ වෙයි. දිව්‍යමය චක්‍ර රත්නය ආදී කොට ඇති සත්රුවනින් හෙබි දෙව් සැපත පරයන සක්විති සැපත නිසැකයෙන් ම ඔබට ලැබෙනු ඇත. එබැවින් නො යව” යනුවෙන් පැවසී ය. එහෙත් බෝසත්හු ඔහු ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. මෙසේ ගිහි ගෙයින් නික්මුණු බෝසතාණන් වහන්සේ රජමැදුරෙන් මහ වනයට වැදී තවුස් වෙස් ගෙන පාලු කුටිය රුක් සෙවණ ක්ෂාන්තියේ ‍ක්ෂේම භූමීන් වශයෙන් සලකමින් රාජ භෝජනය වෙනුවට පිඬු සිඟා ලැබෙන බත් දිව්‍ය භෝජන මෙන් සලකා වළඳමින්, රජ මාළිගයේ දී පරිහරණය කළ රන් බඳුන් වෙනුවට මැටි බඳුන් පරිහරණය කරමින් මුළදී පැළඳි රන් කසී සළු වෙනුවට කසාවත් දරමින් සයවසක් මුළුල්ලෙහි වෙනත් කිසිදු මිනිසෙකු විසින් නො කළ හැකි නො සිතිය හැකි මහා දුෂ්කර වීර්‍ය්‍යයක් කොට අන්තිමේ දී එයින් ඉවත් ව මැදුම් පිළිවෙතේ යෙදීමෙන් ගයාවේ අශ්චත්ථ බෝධිමූලයෙහි වැඩ හිඳ භාවනාවෙහි යෙදීමෙන් සවාසනා සකල ක්ලේශයන් විධ්වංසනය කිරීමෙන් ලොව්තුරා සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනයක ය. අපරිමාණ කාලයක් මුළුල්ලෙහි මහ පොළොව කෑගස්වමින් සිදුකළ මහාමාර සංග්‍රාමයක අවසානය වෙසක් පොහෝ දා අලුයම සිදු විය. තමන් තමන් සමඟ සටන් කොට ‍ජය ගැනීමේ විජය ප්‍රීතිය

1. “අනෙක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවෙසන්තො - දුක්ඛාජාති පුනප්පුනං”

.

2. “ගහකාරක දි‍ට්ඨො සි - පුන ගෙහං නකාහසී

සබ්බො තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං

විසංකාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා”

යනුවෙන්

  1. භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවැත නැවැත ඉපදීම් වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දක්නට පිළිවන් ඥානය නො මැතිව සසර අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සිය දහස් ගණන් ජාතිවල ඔබමොබ ඇවිද්දෙමි.
  2. ස්කන්ධය නැමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවාණෙනි, බුදු වූ මා විසින් දැන් නුඹ දක්නා ලද්දෙහි ය. නුඹ මින් මතු මට ස්කන්ධ නැමැති ගෙය නො කරන්නෙහි ය. මා විසින් නුඹ‍ ගේ සියලු කෙලෙස් නැමැති පරාල බිඳින ලදී. අවිද්‍යා නැමැති කැණිමඩල අර්හත් මාර්ගඥාන නැමැති පොරොවින් පළා විනාශ කරන ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. මම තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි” යි වදාළේත් වෙසක් පොහෝ දිනයක ය. විමුක්තියේ අසහාය ප්‍රතිපදා මාර්ගයෙන් ලෝකයා සනාථ බවට පත් කරමින් ලෝකාර්ථ චර්‍ය්‍යාවෙහි යෙදුණු තථාගතයන් වහන්සේ මානයෙන් මත් වූ දුර්ලබ්ධි ගෙන සිටි සිය පිය සුදොවුන් මහ රජුන් ප්‍රමුඛ ඤාති සමූහයාට හිත සුව සලසනු පිණිස ධර්ම දේශනා කරනු සඳහා කිඹුල්වත් පුරයට බුදුව පළමුව වැඩමකොට යමාමහ පෙළහර පැවැත්වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

පන්සාලිස් වසක් මුළුල්ලෙහි තථාගත දිනචර්‍ය්‍යාව නො සිඳ සපුරමින් රජ මැදුරට හා සක්දෙව් මැදුරට මෙන් ම අසරණ දිළින්දාගේ පැල්පතටත් කුළුණු සිතින් වඩිමින් දෙවියන් ගේ සුධා භෝජනය හා කොසොල් රජතුමා ගේ අසදෘශ මහා දානය මෙන් ම දුප්පත් උවැසිය විසින් ලුණුත් නො මැති ව කුඩුයෙන් පිළියෙළ කොට පුදන ලද ආහාරයත් සම සිතින් පිළිගෙන වළඳමින් සිය පුත් රහල් කුමරාට මෙන් ම තමන් වහන්සේ මරන්නට යත්න දැරූ අංගුලිමාල - දේවදත්ත - නාලාගිරි - ආලවකාදී මිනිස් නො මිනිස් හැම දෙනා හට ම සම මෙත් දහම් පතුරවමින් මුව දහසක් මව‍ාගෙන බුදු ගුණ වැනූ අනන්ත නාරදුන් ආදීනට මෙන් ම නන් අයුරින් නිකරුණේ නින්දා අපහාස කළ මාගන්දියා, චිංචමානවිකාදීන් හටත් එක සේ කරුණාව පතුරවමින් ආලවක වැනි චණ්ඩ යක්ෂයන් නාලාගිරි වැනි දරුණු හස්තීන්, අංගුලිමාල වැනි මිනීමරු සොරුන්, අජාසත් වැනි පීතෘඝාතක රජවරුන්, අම්බපාලි වැනි ගණිකාවන්, සච්චක වැනි වාදකාර බමුණන්, පොක්ඛරසාති වැනි මානාධික බමුණන් තම තමන් තුළ තිබුණු දුර්ගුණ නැති කොට දම්මා දහම් අමාවෙන් සනසවා බුදුහිමි පා පියුම් බැති කඳුළෙන් නහවමින් ඒ හැම දෙනා හට ම සුවසෙත් සලසන ලද්දේ ද බුදුරජාණන් වහන්සේ ම ය.

තත්කාලීන සමාජය විසින් කිසිදු උසස් ගුණ වගාවකට නුසුදුසු පුද්ගලයන් වශයෙන් කොන්කර සිටි සුනීත වැනි කසල ශෝධකයන් හට, උපාලි වැනි කරනැවෑමියන් හට සෝපාක වැනි සැඩොල් දරුවන් හට, දාසක වැනි දාසයන් හට, ධනිය වැනි කුම්භකාරයන් හට පිහිට වෙමින් ඔවුන් මිනිස් දෙව්බඹුන් ගේ පුද පෙරහැර ලැබීමට සුදුසු උපශාන්ත පුද්ගලයන් බවට පත් කරවමින් කිසිවකුගේ පිහිටක් නො මැතිව ගෙපිළේ ඇඳක වැතිර මාරයා සමඟ සටන් කරමින් සිටි මට්ටකුණ්ඩලී වැනි අසරණ දරුවන් හට පිහිට වෙමින් ස්වකීය මල මුත්‍ර මත වැතිර වේදනාවෙන් පෙළෙමින් සිටි පූතිගත්ත තිස්ස වැනි ගිලන් මහණුන් හට සිය’තින් ම උවටැන් කරමින් මං නො මං දත නො හී අවිචාරයෙන් භ්‍රමණය වී අසද්ධර්මයෙන් මුසපත්ව සිටි කිසාගෝතමී - පටාචාරා - රජ්ජුමාලා වැනි අසරණ ස්ත්‍රීන් හට පිහිට වෙමින් ඔවුන් සන්මාර්ග ගාමීව භාග්‍යශීලිනීන් බවට පත් කරවමින් ලෝ වැඩ වැඩූහ.

එසේ ම සැරියුත් = මුගලන් - කාශ්‍යපාදී උතුමන් ගෙන් යුත් ශ්‍රෙෂ්ඨ භික්ෂු පරපුරකුත් මහ‍ාප්‍රජාපතී ගෞතමී - යසෝදරා - ඛෙමා - උප්පලවණ්ණා ආදීන් ගෙන් යුත් විනීත භික්ෂූණී පිරිසකුත්, කෝසල - බිම්බිසාර - අජාසත් - අනාථපිණ්ඩිකාදීන් ගේන් යුත් ප්‍රබල ශක්තිමත් දායක (උපාසක) පිරිසකුත්, විසාඛා - බන්ධුල මල්ලිකා - කෝසල මල්ලිකා ආදී සැදැහැබර මව්වරුන් ගෙන් යුත් උපාසිකා (දායිකා) පිරිසකුත් යන සිවුවනක් පිරිසක් ඇති කරවමින් සතර සතිපට්ඨාන - සතරසම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යය - සතර ඉද්ධිපාද - පඤ්ච බල - පඤ්ච ඉන්ද්‍රිය - සප්ත බොජ්ඣංග - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන කරුණු වලින් යුත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති සම්බුද්ධ ශාසන රත්නාකරයක් මතු කරවමින්, රැයකට පැයක් පමණ සැතපෙමින් අවුරුද්දට අට මාසයක් හෝ නව මාසයක් හෝ පා ගමනින් ම ගම් - නියම්ගම් - රජ දනව් හි සැරිසරමින් අසමගියෙහිත් යුද්ධකිරීමෙහිත් දොස් දක්ව‍ා සමඟියෙත් සතුටෙහිත් චාම් ජීවිතයෙහිත් විවේකයෙහිත් අනුසස් දක්වා දහම් දෙසමින් අසංඛ්‍ය සංඛ්‍යාත ජන සමූහයක් අමාමහ නිවන් දක්වා කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවර්තන නම් සල් උයන්හි යමක ශාල වෘක්ෂයන් අතුරෙහි පනවන ලද මඤ්චකයෙහි සැතපී ආනන්ද හිමියන් “අනේ මට කරුණාවෙන් අවවාද අනුශාසනා කළ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාන සේක. අනේ, හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙම් ද? අනේ හෙට සිට කවරෙකුගේ පා සෝදම් ද? හෙට සිට කාගේ සේනාසනය අරපරෙස්සම් කොට තබම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදිම් ද? යනාදී විසින් හඬමින් දුක් වෙද්දී, අපමණ දෙව් - බඹ - මිනිස් සමූහයා නොයෙක් ලෙසින් හඬමින් වැළපෙද්දී රැස් ව හුන් සියලු දෙනා හට ම අවවාද කොට භික්ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා “භන්ද දානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පම‍ාදෙන සම්පාදෙථ” යනුවෙන් “එහෙයින් මහණෙනි, දැන් තොප අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයහ. එළඹ සිටි සිහියෙන් යුක්ත ව කටයුතු සම්පාදනය කර ගනිවු”යි අන්තිම අවවාදය කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වද‍ාළේත් වෙසක් පොහෝ දිනයක ය.

තුන් කල් දත් තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත ව පන්දහසක් කල් පවත්නා රට මේ සිංහල ද්වීපය බව දැනගෙන බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණි අක්ඛිත නා රදුන් ගේ ඇරයුමෙන් කැළණියට වැඩියේත් එදවස ම සුමන සමන් දෙව් රදුන් ගේ ආරාධනා පිළිගෙන සමනොළ පවුව ට වැඩම කොට එහි බුදු සිරි පා සටහන් තබා තුන්වන වරටත් සිරිලක් දිවයින වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පත් කොට වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනයක ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලංකා සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාරන අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේට ධර්ම නැමැති බීජයන් රෝපණය කිරීමට ලංකා නැමැති ක්ෂේත්‍රය සකස් කර දීම පිණිස වැඩම කොට වදාළ බුදුරජාණන් වහන්සේ අන්තිම වරටත් අනුරාධපුරය - තිස්සමහාරාමය - කතරගම අදී සොළොස් මහා පූජ්‍යස්ථානයන්හි සමවත් සුවයෙන් මොහොතක් කල් වැඩ වෙසෙමින් සම්බුදු පා පහසින් මේ හෙළබිම පිවිතුරු බවට පත් කොට වදාළේත් වෙසක් පොහෝ දිනයක ය.

පරිනිර්වාණ මඤ්චකයෙහි සැතපී සිටින මහා කාරුණිකයාණන් වහන්සේ වෙත පැමිණි සක්දෙව් රදුන් අමතා ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පවරන ලද්දේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

සිංහල ජනවංශයේ ආදි පුරුෂයා ලෙස අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන පරිදි ලාටරට සිංහ පුරයෙහි සිංහබාහු රජතුමන්ගේ වැඩි මහලු පුත් විජය කුමරු සත් සියයක් පිරිස සමඟ මේ ලක්දිවට පැමිණ සිංහල ජාතියේ සමාරම්භය සිදු කරන ලද්දේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

සිංහල මනුෂ්‍ය වර්ගයා විසින් සදානුස්මරණීය ශ්‍රේෂ්ඨයාණ කෙනෙකුන් වූ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් විසින් ගෙනෙන ලද සම්බුද්ධ ශාසනය ගෞරවයෙන් පිළිගත් දෙවන පෑතිස් රජතුමා ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළින කොට එවන ලද පඤ්චකකුධ භාණ්ඩයන් සහිත වැ නියම උදාර රජකු ලෙස ද්විතීයාභිෂේකය ලැබූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

පන්සැත්තෑ වසරකටත් අධික කාලයක් පරසතුරන් ගේ බලයට යටත් ව දුර්භාග්‍ය සමයක් ලබා පරිහාණි ප්‍රපාතයට වැටී දුර්වල වී තිබුණු බෞද්ධ බලයත් සිංහල බලයත් පුනරුත්ථාපනයට පත් කළ දුටුගැමුණු රජතුමා ගේ දස දෙස විහි දී ගිය කීර්ති සමූහය එක් රැස් කළාක් මෙන් බබළන, නො වේ නම් සිංහල ජාතියේ ඖදාර්‍ය්‍යය මුළු ලෝකයට ම ප්‍රදර්ශනය කරවන්නාක් මෙන් අනුරපුර මහමෙවුනා උයන්හි සජෝතිමත් ව දිලෙමින් තිබෙන රුවන්වැලි සෑරදුන් සාදන්නට විසා නැකතින් වැඩ ආරම්භ කෙළේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

ප්‍රථම ධර්‍මසංගීතියෙන් පසු ආනන්ද හිමි‍යෝ වසර සතළිසක් වැඩ විසූ හ. ඒ වන විට උන්වහන්සේ ගේ ආයුෂ එකසිය විසි අවුරුද්දක් සම්පූර්‍ණ ය. සත් දවසකින් පිරිනිවන් පාන බව භික්ෂූන්ට දැනුම් දුන් හ. ඒ අනුව තථාගත පරිනිර්වාණයෙන් සතළිස් වන වර්‍ෂයෙහි වෙසක් පුන් පොහෝදා රෝහිණී නදිය මැද අහසෙහි දී සතර ඉරියව්වෙන් තොර ව වැඩ හිඳ දහම් දෙසා

“පරිචින්නො මයා සත්ථා - කතං බුද්ධස්ස සාසනං

ඔහිතො ගරුකො ‍භාරො - නත්ථි දානි පුනබ්භවො”

යනුවෙන් “මා විසින් ශාස්තෲන් වහනසේ ඇසුරු කරන ලදී. බුදුරදුන් ගේ අනුශාසනය ද කරන ලදී. ඉතා බර වූ කෙලෙස් බර බහා තබන ලද්දේ ය. නැවැත මාගේ ඉපදීමක් නො මැත්තේ යැ”යි වදාරා “මාගේ සිරුර බිඳී කොටස් දෙක දෙගං තෙරට යේව”යි ඉටා තේජෝ කසිණ සමවතට, සමවැද පිරිනිවන් පෑ සේක.

ආනන්ද හිමියන් සිවු ඉරියව්වෙන් තොරව රහත් වන බවත්, පිරිනිවන් පානා බවත් බුදුහු වදාළහ. ආනන්ද හිමියන් ගේ පිරිනිවීම සිදු වී ඇත්තේ වෙසක් පුනු පොහෝ දිනයක ය.

අභිෂේක දිනය

ශ්‍රී ලංකාවෙහි වසර බොහෝ ගණනක් මුළුල්ලෙහි නියම වශයෙන් සිංහල බෞද්ධ රජවරුන් ගේ අභිෂේකය සිදු කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනයක ය.

මහා විහාර වංශික උපසම්පදාව

මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා ගේ වර්ෂයක් පාසා කැරෙන උපසම්පදා මහෝත්සවය පැවැත් වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

මෙබඳු අනුස්මරණීය කටයුතු ආගමික වූත්, ජාතික වූත්, ශ්‍රෙෂ්ඨ කරුණු රාශියක් එක් දිනයක යෙදී තිබීම ලෝකයේ අන් කිසිදු ආගමක හෝ ජාතියක හෝ දක්නට නො මැති විශේෂ ලක්ෂණයෙකි. සඳරැස් වැටීමෙන් සඳකත් පහණින් අමාදිය දහරා ගලා යන්නාක් මෙන් ලංකා වාසී හෙළ බොදු බැතිමතුන් ගේ හදවත් තුළින් සොම්නස් සහගත පින් සිතිවිලි ධාරා තරංග දිදී නැගී ගලා නො හැර යන අයුරු ලක්දිව ගම් - නියම්ගම් - නගර ආදී අස්සක් මුල්ලක් නො හැර පවත්වන නොයෙක් මාදිලියේ වෙසක් උත්සයන් ගෙන් පැහැදිලි වෙයි. වෙසක් උත්සවය අතිපුරාණයේ පටන් පැවැත ‍එන බෞද්ධ උත්සවයෙකි. එය ඉංදියාවේ පවා පැවති ප්‍රධාන උත්සවයෙකි. එසේ ම වෙසක් උළෙල පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයෙකි.

වෙසක් උත්සවය පිළිබඳ පළමුකොට ම මහාවංශයෙහි සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමා ගේ රාජ්‍ය සමයේ ය. සූවිසි වසක් රාජ්‍යය කළ එතුමා වෙසක් උත්සව සූවිස්සක් පැවැත් වූ බව එතුමා ගේ පින් පොතෙහි සඳහන් වෙයි. එතුම‍ාට ප්‍රථමයෙන් ද වෙසක් උළෙල ලක්දිව පවත්වන්නට ඇතැයි අනුමානයෙන් සිතිය හැකි ය. අශෝක චක්‍රවර්තීන් ප්‍රදර්ශන හා පෙරහැර පැවැත්වූ බව සිවුවන සෙල්ලිපියෙහි සඳහන් වෙයි. ලංකාවට ධර්මදූත සේවය සඳහා වැඩම කළ මිහිඳු මහ රහත් මාහිමියන් තම පියාණන් විසින් පවත්වන ලද මේ උත්සව හා පෙරහැරවල් දැක ඇත. දෙවන පෑ තිස් රජු හට ද මේ පිළිබඳ අවබෝධයක් ඇති කරවන්නට ඇතැයි සිතිය හැකි ය. දුටුගැමුණු රජතුමා විසින් ඉතා ම විසිතුරු අන්දමින් පවත්වන ලද මේ උත්සවය පසු කාලීන බොහෝ රජවරු ආදර්ශයට ගෙන නො කඩවා ‍පැවැත්වූහ. භාතිය රජතුමා වෙසක් උත්සව විසි අටක් ද, වසභ රජතුමා වෙසක් උත්සව සතළිස් සතරක් ද කරවී ය. වෝහාරතිස්ස රජ - ගෝඨාභය රජ - ජෙට්ඨ තිස්ස රජ - දළ මුගලන් රජ - දෙවන සේන රජ ආදී රජවරු චාරිත්‍රානුකූල ව වෙසක් උත්සව පවත්වා ඇත්තාහ. වර්ෂයක් පාසා වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීම අනුරාධපුර යුගයේ විසූ බොහෝ බෞද්ධ රජවරුන් හට උරුම වූ කාර්‍ය්‍යයක් බව සිතිය හැකි ය. පළමුවන පරාක්‍රම බාහු - දෙවන පරාක්‍රම බාහු ආදී රජවරුන් විසින් ද මේ ශ්‍රෙෂ්ඨතම බෞද්ධ උරුමය ආරක්ෂා කරන ලද බව පැහැදිලි ය. අපේ පැරණි මුතුන් මිත්තන් ගෙන් උරුම වූ මේ ශ්‍රෙෂ්ඨ ජාතික හා ආගමික උත්සවය අවුරුද්දක් පාසා ම බෞද්ධයන් විසින් ඉතා විචිත්‍රාකාරයෙන් පවත්වාගෙන එනු ලැබේ.

බුදු සිරිත

තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලෙහි පරහිත සුව පිණිස මුළු ජීවිතය ම කැප කළ ශාස්තෘවරයෙකි. මෙත් කුළුණින් තෙත් වූ උන්වහන්සේ පරෝපකාරයෙහි පරම කෙළවරට පැමිණිය හ. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රෙෂ්ඨ ආදර්ශය හා අවවාදය අන්‍යයන් හට උපකාර කිරීම යි. ස්වකීය ශ්‍රාවක පිරිසට ප්‍රථම කොට දී වදාළ අනුශාසනාව නම් “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙනි. “මහණෙනි, බොහෝ දෙනා හට හිත පිණිස බොහෝ දෙනා හට සුව පිණිස සැරි සරවු” යි වශයෙනි. නියම ශාස්තෘවරයෙකු වශයෙන් සිදුවිය යුතු සේවයක් වේ නම් එය තථාගතයන් වහන්සේ ගෙන් නො අඩුව සිදු විය. සමාජයේ උසස් පහත් කවරෙකු හට වුව ද නියම මිනිසුන් වශයෙන් නිදහස් ලෙස ජීවත් වීමට හැකි ක්‍රමය මැනවින් පෙන්වා දුන්හ. ලාභයකට හෝ ප්‍රශංසාවකට හෝ ගිජු නො වෙමින් ගත කළ කාර්‍ය්‍ය බහුල බුද්ධ ජීවිතය ගැන නුවණින් මෙනෙහි කරන කලැ බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් වෙත දැක් වූ දයාව යොමු කළ කරුණාව වැඩූ මෛත්‍රිය කොතරම් ද යනු අවබෝධ වෙයි. උන්වහන්සේ අසරණ ‍රෝගියෙකු වෙතට හෝ දුකට පත් අසරණ කෙනෙකු වෙතට හෝ ළදරුවකු වෙතට හෝ සැඩොලකු වෙතට හෝ හික්මිය යුතු කවර තරාතිරමේ කෙනකු වෙතට හෝ වැඩම වීම කිසිසේත් මදි පුංචි කමක් ලෙස නො සැලකූහ. තමන් වෙත පැමිණි කවරෙකු හට වුව ද ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේ‍ ගේ උදාර ගුණයෙකි. තථාගතයන් වහන්සේ සමාජයේ විශාල පරිවර්තනයක් ඇති කළ ශාස්තෘවරයෙකි. පොදු නිදහස අගය කළ බුද්ධි විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් උදා කළ ආගමික විපර්‍ය්‍යයාසයක් ඇති කළ ශ්‍රෙෂ්ඨ ශාස්තෘවරයෙකි. ගතානුගතික අදහස් දුරු කරමින් බුද්ධි ගෝචර ලෙස නොයෙක් සාමාජික ප්‍රශ්නයන් නිරාකරණය කළ නිදහස ගරු කළ ආගම් කතුවරයෙකි. ආගමික නීති රීති වලින් මිනිසා වහලකු වශයෙන් බැඳ තැබීමට කිසිසේත් ඉඩ නො තැබූ බුදුරජාණන් වහන්සේ මිනිසාට හෘදය සාක්ෂ්‍යයට අනුව බුද්ධි ගෝචර ව ප්‍රශ්නයන් නිරාකරණය කර ගැනීමේ නිදහස හෙළි කළහ. තමා තමන්ට සරණක් පිහිටක් පහනක් ලෙස හැසිරිය යුතු බවත් කිසි ම සර්වබලධාරී දෙවියෙකුට බඹකුට යාච්ඤා කිරීමෙන් තමාගේ විමුක්තිය ලබා ගත නො හැකි බවත් පැහැදිලි කළහ. “තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා” “නුඹලා උත්සාහවත් ව ක්‍රියා කළ යුතු ය. තථාගතවරයෝ එයට මඟ කියා දෙන්නෝ ය.” යනුවෙන් අනුශාසනා කළහ.

මනුස්මෘතියෙහි සඳහන් වන හැටියට කාන්තාවට පැරැණි ඉන්දීය සමාජයේ කිසිදු ඉඩෙක් නො තිබිණ. එහෙත් බුදුරජාණන් වහන්සේ පුරුෂයාට යම්බඳු අයිතියක් ඇත්නම් එබඳු ම අයිතියක් ස්ත්‍රියට ද ඇති බව පෙන්වමින් ඔවුනට ආගමික හා ජාතික නිදහස උදාකර දුන්හ. තත්කාලීන භාරතීය සමාජය විසින් කිසිදු උසස් ගුණ වගාවකට ‍නුසුදුසු පිරිසක් වශයෙන් සමා‍ජයෙන් ඈත් කොට තබා සිටි කුලහීනයන්ට ද මිනිස් අයිතිවාසිකම් ලබා ගැනීමේ බොදු උරුමය හේතු යුක්ති සහගත ව දේශනා කළහ. මිනිසා උසස් පහත් වනුයේ තමා උපන් ජාතිය හේතු කොට ගෙන නොවැ තමාගේ සම්‍යක් ක්‍රියා කලාපය චිත්ත පාරිශුද්ධිය නිසා බව දෙසූ හ. හැම කෙනෙකු හට ම ආත්ම ගෞරවය ඇති ව ජීවත්වීමේ මාර්ගය කියා දුන් ශ්‍රෙෂ්ඨ ශාස්තෘවරයෙකු වශයෙන් බුදුන් වහන්සේට හිමිවනුයේ අද්විතීය ස්ථානයෙකි. මධ්‍යම ප්‍රතිපදාව මාධ්‍යය කරගෙන ඇරඹූ ධර්ම දූත සේවය ශීඝ්‍රාකාරයෙන් දඹදිව පතුරුවා හැරීමට හැකිවූයේ අහිංසාව පදනම් වූ ධර්ම දේශනා ක්‍රමයක් නිසා ය. උන්වහන්සේ පුද්ගලයාගේ මෙන් ම සමාජයේත් පාරිශුද්ධිය සඳහා හේතු වන විමුක්තිය පිණිස උපකාර වන සමාජ ශීලයක් සමාජ දර්ශනයක් දේශනා කළහ. අවිද්‍යා අන්ධකාරය දුරුකොට විද්‍යාලෝකය උදාකර ගැනීමට හේතුවන ආත්මඥානය ලබා ගැනීමට සහාය වන ශ්‍රෙෂ්ඨ ධර්මයක් ලෝකයාට බිහි කළහ.

ලෝකවාසී සත්වයනට කරුණාව - මෛත්‍රිය - අනුකම්පාව - ධෛර්‍ය්‍යය - අධිෂ්ඨානශක්තිය - පරෝපකාරය - ආත්ම පරිත්‍යාගය - පරිත්‍යාගශීලි බව - නිරහංකාරකම - අවංක බව - සත්‍යවාදීකම - ධර්මකාමීකම - ඉවසීම - මෘදුබව යන මේ මිනිස් ගුණදහම් පිළිබඳ නියම අවබෝධයක් ඇති කර ගැනීමට හැකිවූයේ තථාගතයන් වහන්සේගෙන් පසුව ය. බුදුරජාණන් වහනසේ මේ උදාර ගුණයන් ගෙන් පිරුණු ගුණ මූර්තියෙකි. උන්වහන්සේ ගේ බුද්ධ ජීවිතයේ හැම අංශයක් පිළිබඳව ම නුවණින් පිරික්සා බලන කලැ පැහැදිලි වනුයේ චාම් ජීවිතයක් ඇති ශ්‍රෙෂ්ඨත්වය ලොවට පෙන් වූ උත්තරීතර ශාස්තෘවරයකු බව ය. උන්වහන්සේ ඉපදුණේ එළිමහනේ ගසක් යටක දීය. බුදුවුණේත් එළිමහනේ ගසක් යටකදී ය. පරිනිවන් පා වදාළේත් එළිමහනේ ගසක් යට දී ය. ගසක් යට දී ඉපදී ගසක් යටකදී බුදු වී ගසක් යටකදී පිරිනිවීමෙන් ලෝකයාට පෙන් වූ ආදර්ශය ශ්‍රෙෂ්ඨ ය. එසේම උන්වහන්සේ මනුෂ්‍යයකු ව ඉපදී මනුෂ්‍යයකු ව මිනිසුන් මැද හැදී වැඩී මිනිසකු ව සියලු කෙලෙසුන් නසා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් අභිෂේක ලබා මනුෂ්‍යයකු ව පන්සාළිස් වසරක් මුළුල්ලෙහි මිනිස් - දෙව් - බඹුන් ආදී කොට ඇති තුන් ලෝ වාසීනට සග මොක් මග වදාරමින් සිට මිනිසකු ව පිරිනිවන් පෑ සේක. එහෙත් උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නො වේ. “අච්ඡරිය මනුස්සො” යනුවෙන් ප්‍රකාශ වන පරිදි ආශ්චර්‍ය්‍යවත් මනුෂ්‍යයෙකි. උත්තරීතර මානුෂික ගුණයන් ගෙන් යුත් ශාස්තෘවරයෙකි. උන්වහන්සේ දෙවියෙක් නො වේ. එහෙත් දේවත්වයට පත් වූහ. දෙවියන්ගේ පුද පූජා ලැබූහ. උන්වහන්සේ බ්‍රහ්මයෙක් නො වේ. එහෙත් බ්‍රහ්මත්‍වයට පත් වූහ. බ්‍රහ්මයන්ගේ පුද පූජා ලැබූහ. එහෙයින් ම උන්වහන්සේ දේවාතිදේව - බ්‍රහ්මාතිබ්‍රහ්ම යන ගුණ පදවලින් හඳුන්වති.

බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණය පරෝපකාරය යි. එය උන්වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කළ ආකාරයෙන් ම පැහැදිලි වෙයි. මාතුපෝසක ජාතකයෙන් ආරම්භ වූ උන්වහන්සේගේ බුද්ධකාරක ධර්මයන් පුරුදු කළ ආකාරය ඉතා විසිතුරු ය. අප බෝසතාණන් වහනසේ නන්ද නම් අසංඛ්‍යයෙහි පටන් පුණ්ඩරීක නම් අසංඛ්‍යය දක්වා වූ සත් අසංඛ්‍යය ඇතුළත ලොව පහළ වූ එක් ලක්ෂ විසිපන් දහසක් (1,25,000) පමණ වූ සියලු බුදුවරයන් වහන්සේලා සියැසින් දැක

“බුද්ධොහං බොධයිස්සාමි - මුත්තොහං මොචයෙ පරෙ

තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා”

යනුවෙන් “මම චතුස්සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව්තුරා බුදුව අන්‍යයන්ට ද අවබෝධකර වන්නෙමි. මම සසර දුකින් මිදී ලෝකයාත් එයින් මුදවන්නෙමි. මම මහ බියැති සසර සයුරෙන් එතර වී ලෝකයාත් එයින් එතර කර වන්නෙමි” යි සිතින් බුදු බව පතමින් මනෝප්‍රණිධානය මුදුන් පත් කළහ. එසේ ම සර්වභද්‍ර නම් අසංඛ්‍යයෙහි පටන් සර්වශෛල නම් අසං‍ඛ්‍යය දක්වා වූ මේ නවාසංඛ්‍ය කල්ප ලක්ෂය ඇතුළත ලොව පහළ වූ තුන් ලක්ෂ අසූ සත් දහසක් (3,87,000) පමණ වූ සියලු බුදුවරයන් වහ්නසේලා සියැසින් දැක මුලින් දැක් වූ ගාථාව අනුව වචනයෙන් බුදු බව පතමින් අප්‍රමාණ වූ පාරමිතාවන් සපුරා වාක්ප්‍රණීධානය මුදුන් පත් කළහ. මෙසේ උන්වහන්සේ මනෝප්‍රණිධානය පිරීමෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද වාක්ප්‍රණිධානය පිරීමෙන් නවාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දැයි යන මේ සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත ලොව පහළ වූ යන මේ පන්ලක්ෂ දොළොස් දහසක් පමණ වූ බුදුවරයන් වහන්සේලා සියැසින් දැක වැඳ පුදා මනෝප්‍රණිධානය හා වාක්ප්‍රණිධානය මස්තක ප්‍රාප්ත කළහ.

දීපංකර බුදුරදුන් ගෙන් නියත විවරණ ශ්‍රී ලබාගත් බුද්ධාංකුරයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දානාදී පාරමී ධර්මයන් පුරා ලොව්තුරා සම්බුද්ධත්වයට පත් වූහ. හැම පාරමිතාවක් ම කරුණා ප්‍රඥා දෙකින් සම්පූර්ණ ව ඇත. උන්වහන්සේ ගේ ෂඩ්අසාධාරණඥානයන් අතර සර්වඥතාඥානයත් මහා කරුණා සමාපත්තිඥානයක් දෙක ප්‍රධාන වේ.

“කරුණා සීතල හදයං පඤ්ඤා පජ්ජොත විහතමොහතමං” යනුවෙන් කරුණාවෙන් සීතල වූ හෘදයක් හා මොහඳුර නසන ප්‍රඥාවක් ද උන්වහන්සේ කෙරෙහි ඇතැ යි පොරණ ඇදුරන් විසින් ප්‍රකාශ කොට ඇත්තේ මේ නිසා ම ය. එදා දීපංකර පාද මූලයේදී අතට පත් නිවන් සුවය හැර දැමූ උන්වහන්සේ ගේ බෝධි චිත්තය වූයේ

“කිං මෙ අඤ්ඤාත වෙසෙන - ධම්මං සච්ඡිකතෙනිධ

සබ්බඤ්ඤුතං පාපුණිත්වා - බුද්ධො හෙස්සං සදෙවකෙ”

යනුවෙන් “මේ අප්‍රසිද්ධ වේශයකින් ධර්මය සාක්ෂාත් කිරීමෙන් මට කවර ප්‍රයෝජනයෙක් ද? සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදු වන්නෙමි”යි යන අධ්‍යාශය යි. දශ පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමේදී විශේෂයෙන් උන්වහන්සේ ගේ සිත් තුළ මහා කරුණාව පෙරමුණ ගෙන ඇත. “පඤ්ඤාස්ස සබ්බ ධම්මෙසු කරුණා සබ්බ ජන්තුසු” යනුවෙන් සියලුම දතයුතු තාක් දේ දැන ගැනීමෙහි නුවණ මූලික වන්නා සේ සත්ත්ව ලෝකයා හට වැඩ සාදා දීමෙහි ලා උන්වහන්සේ ගේ මහා කරුණාව මූලික වන්නේ ය. දිනපතා උදේ හවස මහා කරුණාවෙන් ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේට වෛනෙය්‍ය ජනයන්, චතුස්සත්‍යාවබෝධනීය සත්ත්වයන්, උපනිඃශ්‍රය සම්පන්නයන් දක්නට ලැබුණු විට යොදුන් ගණන් වුව ද පියවි ගමනින් වැඩම කොට ඔවුනට සෙත් සුව ලසා දෙනුයේ මහා කරුණා සමාපත්තිඥානයෙන් යුතුව ම ය.

අචින්ත්‍ය ගුණ සමුදාය

“නියපිටින් ගත් පස් පිඬින් මේ මහා පොළොව යයි දැක්විය නො හැක්කා සේ, කන් හැන්දෙන් ගත් දිය බිඳින් මේ මහා සයුර යයි නො දැක්විය හැක්කා සේ සියොතක්හු ගේ පියා පතකින් අහස් කුස වසා ලිය නො හැක්කා සේ රියනක් දිග මිනුම් දඬින් මහ පොළොව නො මිනිය හැක්කා සේ ඉඳිකටු සිදුරකින් මහ සයුර ජලය එක පැහැර බැහැර කළ නො හැක්කා සේ එක සත්වයකුගේ මුඛයෙන් නොවැ තුන් ලෝ හැම සතුන් විසිනුදු වෙන වෙන ම වුව ද බුදුගුණ කියා නිමවාලිය නො හැක්කේ ම යැ”. එහෙයින් බුදුරජාණන් වහන්සේ ම මෙසේ වදාරා ඇත්තාහ.

“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පම්පි චෙ අඤ්ඤ මභාසමනො

චීයෙථ කප්පො චිර දීඝමන්තරෙ

වණ්නො නඛීයෙථ තථාගතස්ස”

ලෝකයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රෙෂ්ඨ කෙනෙක් නැත්තාහ. ඉදින් සම්බුදු කෙනෙකුන් බුදු වූ දිනයේ පටන් අනෙක් කාර්‍ය්‍යයක නො යෙදී තමන් වහන්සේ ගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි ම එක සම්බුදු වරයෙකු ගේ ගුණ සමුදාය වර්ණනා කරන්නාහු නම් ආයුෂ්කල්පය ගෙවී යයි. බුදුගුණ කියා අවසාන නො වේ. ඒ තරමට ම බුදුගුණයෙහි අර්ථ සීමාවක් නැත”. මේ ලෝකයෙහි මහා පෘථිවියට වඩා පැතිරුණු විශාල වස්තුවෙක් නො මැත. මහා සමුද්‍රයට වඩා ගැඹුරු වස්තුවෙක් නොමැත. ආකාශයට වඩා අනන්ත වූ වස්තුවෙක් නො මැත. බුදුගුණ වර්ණනා කරන්නෝ ලොව්තුරා සම්බුදුරදුන් ගේ ගැඹුරු ගුණ සමුදායට මහා සමුද්‍රයත් පැතුරුණු ගුණයට මහා පෘථිවියත් අනන්ත වූ ගුණයට ආකාශයත්, උස් වූ ගුණයට මහා මේරු පර්වත යත් උපමා කොට ඇත්තාහ. එහෙත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආකාශයට වඩා අනන්ත වූත්, පෘථිවියට වඩා පතළ වූත්, මහ සමුදුරට වඩා ගැඹුරු වූත් මහා මේරුවට වඩා උස් වූත් ගුණයෙන් සමන්විතයහ. එබඳු සම්බුදුරදුන් ගේ අචින්ත්‍ය වූ අප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය මහා සමුද්‍රාදියට කෙසේ උපමා කොට දැක්විය හැකි ද? නො හැක්කේ මැයි.

අවධානය

වෙසක් දිනය නිමිති කොට නොයෙක් ආකාරයෙන් උත්සව පවත්වන ලෝකවාසීන් විසින් විශේෂයෙන් බොදු බැතිමතුන් විසින් අවධානය යොමු කළ යුතු කරුණෙක් ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩ හිඳ දේශනා කළ ශ්‍රෙෂ්ඨ ධර්මයට අවධානය යොමු කළ යුතු ය.

“යො ඛො ආනන්ද භික්ඛුවා භික්ඛුනීවා උපාසකොවා උපාසිකාවො ධම්මානුධම්ම පටිපන්නො විහරති. සාමීචි පටිපන්නො අනුධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය පටිපත්ති පූජාය...” යනුවෙන් “යම් භික්ෂුවෙක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝතර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත උතුම් ප්‍රතිපත්තියට පිළිපන්නකු ව වෙසේ නම් ඒ තැනැත්තේ නිසි උතුම් පූජායෙන් තථාගතයන් වහන්සේ පුදන්නේ නම් වේ යැ”යි වදාළහ. මෙයින් පැහැදිලි වනුයේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රෙෂ්ඨ බවයි. යමෙක් තථාගතයන් වහන්සේට නිසි උතුම් පූජාවෙන් පුදන්නේ නම් නියම ගෞරවය සැලකිල්ල දක්වන්නේ නම් ආමිස පූජාවෙන් පමණක් බුදුරදුන් පුදන්නේ නැති ව ප්‍රතිපත්ති පූජාවෙන් ද බුදුන් පුදන්නට කල්පනා කළ යුතු ය. එය උතුම් බුද්ධ පූජාව ම වන්නේ ය. අද බොහෝ දෙනා ගේ සිරිත ආමිස පූජාවනට පමණක් පුරුදු වීම ය. ප්‍රතිපත්ති පූජාව බොහෝ සෙයින් ඈත් වී යෙයි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ගරු කොට සැලකූ බුදුරජාණන් වහන්සේ ගේ ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ අත්‍යුත්තම පූජනීය වෙසක් පොහෝ දිනයෙහි වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති පූජාවෙහි යෙදිය යුතු ය. සම්මා සම්බුදු රදුන්ගේ අනන්ත ගුණ සමුදායයට ඔබ මෙදින පූජා කරන මලේ සුවඳත් දල්වනු ලබන පහනේ ආලෝකයත් කරනු ලබන සැරසිලි වල ශෝභාවත් අමාමහ නිවන් පුරය තාක් නො නැසී විහිදුවන්නට හැකි අයුරු ඥානාන්විත ව ක්‍රියා කිරීමට කල්පනා කාරී විය යුතු ය. මෙම ශ්‍රෙෂ්ඨතම දිනයෙහි තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රෙෂ්ඨ ගුණ ගරුක ජීවිතයක් ගත කරන්නටත් ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් වහන්සේ පුදන්නටත් අධිෂ්ඨාන කර ගැනීම හැම බෞද්ධයාගේ ම පරම යුතුකම විය යුතු ය.

සියපින් සිරින් සරු

දෙතිස් ලකුණෙන් විසිතුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිම් මුනි උතුමන් තිලෝ ගුරු

6. පොසොන් පෝය

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා

තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”

මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණු මහා වෙනස මෙනෙහි කිරීම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳ ම පොසොන් භාවනාව යි. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ප්‍රාදේශික ධර්මයක් ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත් විය. සමගිය - ඉවසීම සහ අහිංසාව වැනි අත්‍යුත්තම ගුණ ධර්ම ජීවිතයකින් ලැබිය හැකි ශ්‍රෙෂ්ඨ ගුණාංග බවට පත් විය. තෘෂ්ණාව - ‍ද්වේෂය වැනි අමානුෂික දුර්ගුණයන් ඉස්මතු කරවන යුද්ධය - පළිගැනීම පිළිකුලට පත් වී ධර්මයේ ජයග්‍රහණය ම අසහාය විජය ග්‍රහණය බවට පෙරළිණ. මෘග ගති ගුණ මුල් කොට ගෙන ගොඩ නගනු ලබන මහා අධිරාජ්‍ය වෙනුවට මෘදු කල්පනා ගුණය පදනම් කොට තැනෙන අතු පැලෙහි ඇති ශ්‍රෙෂ්ඨ බව ප්‍රකට විය.

රාජකීය දඩ කෙළි සහ අවි සරඹවල ඇති ඊනියා වැදගත්කම යටපත් ව ශීල - සමාධි - ප්‍රඥා ගුණයන් ගෙන් ඔප් නැගුණු ශාන්ති ක්‍රීඩාවන් ගෙන් සුවිශාල රාජ මන්දිර රාජකීය වනෝද්‍යාන ආදිය ශෝභා සම්පන්න විය. විවිධ දූෂණයන් ගෙන් සහ අනේකවිධ මිථ්‍යා ආචාර විචාරයන් ගෙන් කෙළෙසී ගිය ප්‍රත්‍යනික දේශයන් පවා ධර්ම ඝෝෂාවෙන් ගුම් ගැන්වී භක්ති නිකේතනයක් බවට පත් විය. අසද්ධර්මයෙන් මුසපත් ව මං නො මං දත නොහී අවිචාරයෙන් භ්‍රමණය වුණු අවාසනාවන්ත අනේක මනුෂ්‍ය ප්‍රාණීහු සන්මාර්ගගාමී ව මහාභාග්‍යශීලී වූහ. සිංහල ජන වංශයේ උදාවීම ලක් බුදු සසුන් පිහිටුවීමට ශතවර්ෂාධික කාලයකට ප්‍රථම වුව ද සිංහලය නව යුගයකට පා තැබුවේ බෞද්ධෝදයෙන් පසුව ය. මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර පොසොන් පුනු පොහෝ දිනයක සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක් බුදු සසුන් පිහිටුවීමෙන් අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන් විසින් විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට අතුල්‍ය පදනම දමන ලදී. සම්බුද්ධ ධර්මාලෝකයෙන් ආභාසය ලබා නිර්මාණය වුණු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිරීමට මුල් වූයේ මේ ඓතිහාසික මහින්දාගමනය යි. සිංහලයේ හැම යස ඉසුරකට ම මුල් වුණු බුදු සමය නිසා විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, බුද්ධි විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක්, ආගමික උද්‍යොගයක් ඇති විය. මෙසේ වැඩෙමින් තිබුණු සිංහල රාජ්‍යයේ නව උද්දීප්තියටත්, සිංහල ජාතියේ නව ජීවනයටත් බුදුසමය මුල් විය. සිංහලයාට නිදහස් ලෙස සිතන්නටත් - තමන් පිළිබඳ ව ආත්ම විශ්වාසයක් ඇතිකර ගන්නටත් මුල් වූයේ බුදු සමය යි.

මිහිඳු යුගයට පෙර ලක්දිව ආගමික විශ්වාස

අනුබුදු මිහිඳු මහරහත් මාහිමියන් වහන්සේ ලංකාවට වැඩමවීමට ‍ප්‍රථමයෙන් මෙරට පැවති ආගමික තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපට මහාවංශය සහ දීප වංශයත් මුඛ පරම්පරාගත ජන කථාත් පුරා විද්‍යාවත් සහාය වෙයි. පුරාණ ලංකාවේ සභ්‍යත්වය හා සංස්කෘතිය පිළිබඳ තිබෙන හැම දෙයක් ම මහින්දාගමනයෙන් පසු ව ඇතිවුණු ඒවා බව ස්ථිර වශයෙන් අපට නිගමනය කළ හැකි ය. පුරා විද්‍යාව - වාස්තු විද්‍යාව - ප්‍රතිමා ශිල්පය - හා චිත්‍ර කලාව ආදී කලාත්මක අංශයන් ‍දෙස බැලුවත් පුරාණතම ශිලා ලේඛන දෙස විමසුවත් අපට හමු වන්නේ දෙවන පෑතිස් රජු සමයේ මිහිඳු මාහිමියන් ගේ ලංකාවතරණයෙන් පසු ව ආරම්භවුණු බෞද්ධ සංස්කෘතිය යි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය තිබුණු බව යම් යම් සිද්ධීන් දෙස විමසන කල්හි පැහැදිලි වෙයි. ඈත අතීතයේ ලංකාවත් එකට එක් වී තිබුණු බවට ඉන්දියාවේ ධනුස්කොඩියත් ලංකාවේ තලෙයිමන්නාරමත් අතර පිහිටි “ආදම් ගේ පාලම” සාක්ෂ්‍යක් වශයෙන් භූ විද්‍යඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ලංකාව මුහුදෙන් වෙන් වූවාට පසු ඉන්දියාවේ ඇතිවුණු හැම විපර්‍ය්‍යාසයක් ම ලංකාවේ ද බල පෑවේ ය. භාරතයේ ආභාසය ආදියේ සිට ම ලංකාවට ලැබුණු නමුදු එය නියම වශයෙන් ම ක්‍රමානුකූල ව බලපාන ලද්දේ මිහිඳු මාහිමියන් ගේ වැඩමවීමෙන් පසුව ය. බෞද්ධ සංස්කෘතියක නියම ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ දෙවනපෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය කාලයේ පටන් ය. විජය රජු ගේ ලංකාවට පැමිණීමත් සමඟ ම සිංහල ඉතිහාසය ආරම්භ විය. විජය කුමරු ලක්දිවට පැමිණෙන අවධියේ මෙහි යක්ෂ ගෝත්‍රිකයන් ද වාසය කළ බව හෙළි වෙයි. විජය කුමරු ඇතුළු පිරිස ගොඩ බසින ලද්දේ යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ පෙදෙසකට ය.

විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා ලංකාවේ පැවැති සාමයික ඇදහිලි ක්‍රම ගැන වංශකථාවන්හි හා සමන්තපාසාදිකා විනයට්ඨකතාවෙහිත් ස්වල්ප වශයෙන් සඳහන් ව ඇත. ප්‍රාග් යුගයේ එනම්, බුද්ධාගමට කලින් මෙහි පැවැති ප්‍රධාන ලබ්ධි වශයෙන් බ්‍රාහ්මණ ආගම - ‍ජෛනාගම - යක්ෂයන් සහ වෘක්ෂ දේවතාවන් පිදීම යන ඇදහිලි ක්‍රම දැක්විය හැකි ය. අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන හැටියට විජය කුමරු ඇතුළු පිරිස ගේ ලංකාවතරණය සිදු වූයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවුණු දිනයේ ය. එදා පටන් ලක්දිව බ්‍රහ්මාගමය පැවැති බව සිතිය හැකි ය. විජය කුමරුන් සමඟ පැමිණි පිරිස අතර බමුණෝ ද සිටිය හ. විජය රජු ගේ පුරෝහිතයා වූ ද කලක් ලංකාවේ අගනුවර වශයෙන් පැවැති උපතිස්ස ගම ඉදිකරන ලද මූලිකයා වූ උපතිස්ස එයින් කෙනෙකි. ක්‍රි.පූ. සතරවැනි ශත වර්ෂයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා කුඩා කාලයේ ශාස්ත්‍රොද්ග්‍රහණය කෙළේ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා යටතේ බව මහාවංසයෙහි සඳහන් වේ. එම බ්‍රාහ්මණයා‍ ගේ පුත්‍රයා පසුව පණ්ඩුකාභය රජතුමා ගේ පුරෝහිත තනතුරට ද පත් වූයේ ය. දෙවන පෑතිස් නිරිඳුන් අශෝක චක්‍රවර්තීන් හට තුටු පඬුරු යවන විට අරිට්ඨ කුමරුන් සමග ගිය දූත පිරිසෙහි බ්‍රාහ්මණ‍යකු විසූ බව අපේ මහාවංසයෙහි දැක්වෙයි. ලංක‍ාවේ බුද්ධාගම පිහිටුවන්නට කලින් බ්‍රාහ්මණ බලය ශක්තිමත් ව තිබුණු බව මේ කරුණු වලින් පැහැදිලි වෙයි. සිංහල රජවරුන් ගේ බුදුසමය පිළිගැනීමෙන් පසු ඔවුන් ගේ බලය ක්‍රමයෙන් අඩු වී ගියේ ය. එහෙත් පසු කාලවලදී පවා රජවරුන්ට විරුද්ධව කැරලි ගැසීමට කුමන්ත්‍රණ කිරීමට තරම් ඔවුන් බල සම්පන්න ව සිටි බව ද පෙනේ. පණ්ඩුකාභය රජතුමා විසින් ජෝතිය නම් නිගණ්ඨයා හට ගෙයක් තනවන ලදී. කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා උදෙසා රජතුමා විසින් කරවන ලද දෙවොල ඒ නමින් ප්‍රසිද්ධ විය. මෙ‍ාවුහු ජෛනාගමය වැළඳ ගත් මහාවීර නම් ජෛන ශාස්තෘවරයා ඇදහූ ජෛන ශ්‍රමණයෝ වූහ. වට්ටගාමිණී අභය රජතුමාගේ කාලයේ “ගිරි” නමින් ප්‍රසිද්ධ වූ නිගණ්ඨයකු වූ ජෛන ශ්‍රාවකයෙක් විසී ය. ‘ගිරි’ නිගණ්ඨයා විසූ ආරාමය බිඳ දමා පසු ව වළගම්බා රජතුමා විසින් එම ස්ථානයෙහි අභයගිරි නම් විහාරය කරවන ලදී. ජෛනයන් මුල් ම යුගයේ සිට එනම්, විජය රජුගේ කාලයේ පටන් ම ලක්දිව විසූ බව ඓතිහාසික තොරතුරු වලින් හෙලි වෙයි. උතුරු ඉන්දියාවෙන් ජෛනයන් ගේ මෙහි පැමිණීම විජය ගෙන් පසුව වැඩි විය. විජය‍ ගේ පිරිසෙහි කෙසේ වෙතත් ඊට පසුව පැමිණි පිරිස අතර ජෛනාගමය පිළිගත් අය ස්ථිර ව සිටි බවට සාක්ෂ්‍ය ති‍බේ. ජෛනාගමයේ දියුණුවක් දක්නට නැතත් කාශ්‍යප රජුට දහඅට වැන්නෙහි ඔහු ගේ සොවුරු මුගලන් කුමරා නිගණ්ඨයන් ගේ නිවේදනයෙන් දඹදිවින් ලක්දිවට අවුත් දඹකොළ පටුනෙහි කුඨාර නම් වෙහෙරැ මුළ සිට බළ සෙනඟ රැස් කර වූ බව මහාවංසයෙහි සඳහන් වේ.

යක්ෂයන් ඇදහීම ද මුල් කාලයේ සිට පැවැති බැව් පෙනේ. පණ්ඩුකාභය රජතුමා නුවරින් නැගෙනහිර දිග කාලවේල නම් යක්ෂයා උදෙසා දෙවොලක් කරවී ය. චිත්‍රරාජ නම් යක්ෂයා හට අභය වැවේ යට කොනේ වාසය සලසා දුන්නේ ය. ජලයට අධිගෘහිත භූතයෙක් යැ යි පරණවිතාන මහතා සඳහන් කර යි. අවුරුදු පතා රජතුමා යක්ෂයන්ට බිලි දෙවී ය. වෛශ්‍රවණ - ජුතින්ධර - විභීෂණ ආදී යක්ෂයෝ ද වඩවා මූඛී සහ පච්ඡිම රාජිනී නම් යක්ෂණියෝ ද පුරාතනයේ පටන් ලක් වැසියන් විසින් පුදන ලදහ. බුදුසමය ලක්දිව මුල්බැස ගිය ද ප්‍රාග් බෞද්ධ යුගයේ ලක්දිව පැවැති යකුන් ඇදහීම මහජනයා තුළින් ඈත් නො වී ය. එය කලින් කලට වෙනස් මුහුණුවරකින් අද දක්වා ම පැවැත එයි. පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුරයෙහි බටහිර දොර දිශාභාගයෙහි වෙසමුණියා නුගදෙවොල ද, වැදි දෙවියා තල් දෙවොල ද කරවූ බව සඳහන් ව ඇත. ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලංක‍ාවේ වෘක්ෂදේවතාවන් ඇදහීම පැවැති බවට සාක්ෂ්‍ය වශයෙන් මේ කරුණු දෙක සැලකිය හැකි ය. ස්වභාවධර්මය දේවත්වයෙහි ලා සැලකූ සාමාන්‍ය ජනයා ගංගා - ඇළ - දොළ - ගස් කොළන් ආදිය ඇදහීම කරන්නට වූහ. ගස් කොළන් ආදී අචේතන දේට වැඳීම පුද පූජා කිරීම බුදුසමය ලක්දිව පිහිටුවෙීමෙන් පසුව වුව ද අඩුවෙක් නො වීය. අද පවා ලංකාවේ සමහර පෙදෙස්වල මං මාවත් අසල තිබෙන විශාල වෘක්ෂයන් දේවත්වයෙහි ලා සලකන අයුරු ඉතා පැහැදිලි කරුණකි. ඒ වෘක්ෂයනට කළයුතු ගෞරව විධි උල්ලංඝනය කොට ගියොත් ගමන් බිමන්වලට විශාල බාධක පැමිණෙන බව ඔවුහු පිළි ගනිත්. ප්‍රාග් යුගයේ ලක්වැසියෝ ඉර සඳ ආදී වස්තූන් දේවත්වයට නඟා වැඳුම් පිඳුම් කිරීමත් ඒවා ඔවුන් ගේ දෛනික ජීවිතයට බලපාන අයුරු සම්බන්ධ කර ගැනීමත් කළහ. ලංකාවේ ප්‍රාග් බෞදධ යුගයේ වාසය කළ කොටසකි පරිබ්‍රාජක - ආජීවක හා ශ්‍රමණයෝ. පණ්ඩුකාභය රජතුමා ජෝතිය ගේ ගෙයටත් ගැමුණු වැවටත් අතර පරිව්‍රාජකාරාමයක් ද ආජීවකයන් හට ගෙයක් ද කරවූ යේ ය. එසේ ම එතුමා විසින් මිථ්‍යාදෘෂ්ටි කුල පන්සීයකට වාසය සලසන ලදී. ලංකාවේ පරිව්‍රාජකයන් විසූ බවට භද්දකච්චානා කුමරිය සහ ඇගේ පිරිස ලංකාවට පැමිණි පුවත සාක්ෂ්‍ය වශයෙන් සැලකිය හැකි ය. ඔවුන් පැමිණියේ පරිව්‍රාජිකා වේශයෙනි. ලංක‍ාවේ පාෂාණ්ඩ නමින් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අයත් නොවන ශ්‍රමණ කොටසක් මුල් කාලයේ සිට ම විසූහ. මේ කරුණු ගැන විමසන විට මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ඇදහිලි ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි.

අශෝක

මිහිඳු මාහිමියන් පිළිබඳ පුරාවෘත්තය දැක්වීමේදී එතුමා ගේ දෙගුරුන් පිළිබඳවත් ලක්දිවට බුදුසමය ලැබුණු ආකාරය පිළිබඳවත් බුදු සමය පැතිරීමෙන් පසු ලක්දිව ඇති වූ සමාජ විපර්‍ය්‍යාසය පිළිබඳවත් දැන ගැනීම අවශ්‍ය යැ යි සිතමි. චන්ද්‍රගුප්ත රාජ පරම්පරාව වර්ධනය කළ ලෝක ඉතිහාසයෙහි අමුතු ම පරිච්ඡේදයක් එක් කළ අභිනව ර‍ාජ්‍ය තන්ත්‍රයක් ලොවට බිහි කළ කීර්තිමත් බෞද්ධ අධිරාජයාණන් වූ ධර්මාශෝක නිරිඳුන් හා විදිසා පුරයෙහි අධිපති දේව නම් වූ සිටුතුමා ගේ දුහිතෘ වූ විදිසා දේවියත් මිහිඳු මාහිමියන් ගේ දෙගුරුහු වූහ.

මෞර්‍ය්‍ය වංශයෙහි ආදිතමයා වූයේ මගධ දේශාධිපති චන්ද්‍රගුප්ත ය. චන්ද්‍රගුප්ත රජතුමාගේ රාජ්‍යෝදය ලෝක ඉතිහාසයෙහි ශ්‍රෙෂ්ඨ කාලපරිච්ඡේදයකි. එතුමා රාජ්‍යයට පත් වූයේ කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය නිපද වූ චාණක්‍ය නම් පෙරෙවි බමුණාගේ උපදෙස් පරිදි ය. චන්ද්‍රගුප්ත ගෙන් පසු සිංහාසනාරූඪ වූයේ එතුමාගේ පුත්‍ර බින්දුසාර රජතුමා ය. එකල රජවරුනට බොහෝ බිසෝ වරුන් වූයෙන් ඔහුට දරුවෝ එක්සිය එක් දෙනෙක් වූහ. ‍අශෝක හා තිස්ස එක මවුකුසින් උපන් සොහොයුරු දෙපළකි. එයිනුදු අශෝකයෝ ප්‍රධානය හ. පියදාස යන අපර නාමයකින් ද හඳුන්වනු ලබන අශෝකයෝ වික්‍රමාතිශය සම්පන්නය හ. මුළු දඹදිව ම හිමිකර ගැනීමේ භාග්‍ය සම්පන්න ව සිටි වීර පුරුෂයෙකි. අශෝක රජ ශූරයෙකු වූ හෙයින් අවන්ති ජනපදයෙහි ප්‍රතිරාජ පදවියට පත් විය. අවන්තිය විශාල ජනපදයකි. උජ්ජේනිය මෙහි අගනුවර විය. උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදී තිබුණි. වේදිස නම් සිත්කලු පුරවරය වූයේ අවන්ති ජනපදයේ යි. අශෝක රජ වේදිස නුවර දේවි නම් රූමත් කුමරිය සරණ පාවා ගත්තේ ය. මේ ගුණවත් පින්බර කුමරිය සමග යුවරජ තුමා වාසනාවන්ත ජීවිතයක් ගත කළේ ය. නොබෝ කළකින් මහා පුණ්‍ය ශක්තියකින් යුත් දූ පුතුන් යුවළක් පහළ වූ හ. මහින්ද හා සංඝමිත්තා යන නාමයෙන් මව්පියන් විසින් ඔවුන් හඳුන්වන ලදී. පියරජු මරණින් පසු පැළලුප් නුවරට පැමිණි අශෝක රජ තිස්ස කුමරු හැර සෙසු සොහොවුරන් එකුන් සිය දෙනා ම මරා රාජ්‍යය ලබා ගත්තේ ය. මේ බිහිසුණු ක්‍රියාව හේතු කොට ගෙන මහජනයා අතරෙහි ප්‍රකට වූයේ පියදාස යන මුල් නාමයෙන් නො වැ අශෝක යන නාමයෙනි.

කාලිංග යුද්ධය

කලින් නන්ද අධිරාජ්‍යයට ද යටත් ව පැවැති කාලිංගය නන්දයන් ගේ දුර්වල පාලනයෙන් ස්වෛරී වී යැයි සැලකේ. දැනට “ඔරිස්සාව” නමින් හැඳින්වෙන දකුණු ඉන්දියාවේ පිහිටි මෙම කාලිංග දේශය විශාල යුද්ධ හමුදාවක් ඇතිව සතුරු රජකු විසින් පාලනය කරන ලදී. අධිරාජ්‍යයක් පිහිටුවීමේ රාජ්‍ය ලෝභයෙන් මැඩුණු අශෝක රජ තෙමේ කාලිංග දේශය හා යුද වැදුණි. දෘඪ සිතැති ව සිටි අශෝකයන් ගේ ද සිත් කම්පා කර ලීමට තරම් සමත් වූ බලවත් මනුෂ්‍ය ඝාතනයක් එයින් සිදු වුණි. එසේ වුව ද අශෝකයන් නැවතුණේ බිම්බිසාර රජුගේ පටන් දික්විජය පිළිබඳ යුද්ධයන් අවසන් කරමින් කාලිංග දේශය තම අධිරාජ්‍යයට යාබද කොට ගෙන ය. එම යුද්ධය පිළිබඳ ව අශෝකයන් ගේ 13 වැනි ශිලා ලේඛණයේ මෙසේ සඳහන් වෙයි. “එක්ලක්ෂ පනස් දහසක් දෙනා සිරභාරයට ගත්හ. එක් ලක්ෂයක් දෙනා ‍මැරුම් කෑවෝ ය. ඒ ගණන මෙන් කිහිප ගුණයක් තුවාල ලැබූහ” යනුවෙනි. රාජ්‍ය ලෝභයෙන් සිය සොහොවුරන් මැරවීමත් කාලිංග යුද්ධයේදී සිදු කළ දරුණු ක්‍රෑර අමානුෂික ක්‍රියා නිසාත් අශෝකයන් කලක් චණ්ඩාශෝක නමින් ප්‍රසිද්ධ ව විසී ය. ලක්ෂ ගණන් මිනිසුන් මරවමින් ලක්ෂ ගණනකගේ අංගෝපාංග කඩා අනාථයන් බවට පත් කරවමින් ලක්ෂ ගණන් මිනිසුන් සිර ගෙයි ලවා දුක් විඳින්නට සලස්වමින් සිදු කළ මේ දරුණු මනුෂ්‍ය සංහාරයෙන් පසු අශෝක රජ දඹදිව අධිරාජයා ලෙස බුද්ධ වර්ෂ දෙසිය අටලොසෙහි දී සිංහාසනාරූඪ විය.

ධර්මාශෝක

කාලිංග යුද්ධයේදී සිදු වූ දරුණු මනුෂ්‍ය ඝාතනයෙන් බලවත් කම්පනයට පත් අශෝක රජ අතිශය චිත්ත සන්තාපයකට ගොදුරු වූයෙන් එතෙක් පැවැති චණ්ඩ ගති පැවැතුම් අතහැර දමා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරී ය. මුල දී හින්දු ධර්මය ඇද හූ බලවත් හින්දු භක්තිකයකු වූ අශෝක රජතුමා තමා ගේ වැඩි මහලු සොහොවුරු සුමන කුමාරයාගේ පුත් වූ සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ ආකල්පසම්පත්තිය දැක, පැහැදී මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ සාහ්‍යයෙන් බුදු දහම වැළඳ ගත්තේ ය. ඉන් පසු චණ්ඩාශෝකයන් ධර්මාශෝක විය. බෞද්ධාගමය වැළඳ ගැනීමෙන් පසු හෙතෙම අමුතු ම පුද්ගලයෙක් විය. දස රජ දහමින් යුතු ව රාජ්‍යය කළ එතුමා සැබෑ බෞද්ධයෙකු සේ උසස් ආගමික ජීවිතයක් ගත කෙළේ ය. දිග් විජයෙන් නැඟුණු ජය කෙහෙළි ධර්ම වි‍ජයෝ ජය සංඛනාදය බවට පෙරළා ගත්තේ ය. හිංසාව අහිංසාව බවට පත් විය. යුද බෙරය වෙනුවට දහම් බෙරය ලොව පුරා පතුරුවන්නට හැකි විය. ආත්මාර්ථය පරාර්ථය පිණිස යොදවන්නට හැකි විය. ‍මෘගයාත්‍රා - ධර්මයාත්‍රා හා විහාර යාත්‍රා බවට පත් විය. මෙසේ කාලිංග යුද්ධය හේතු කොට ගෙන ඇති වූ ජයග්‍රහණයෙන් පසුව ජයපානය කළ යුතු වෙනුවට ප්‍රීති උත්සව පවත්වනු වෙනුවට අශෝක චක්‍රවර්තීහු බලවත් චිත්ත පීඩාවට පත් ව යුද්ධය ම්ලේච්ඡ හීන අමානුෂික ක්‍රියාවක් බවට පත් කොට සාමයේ අහිංසා හඬ ලොව පුරා පතුරුවා ලූහ. අශෝක රජතුමා ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු වුවද අන්‍යාගමිකයන් කෙරෙහි ද සාධාරණ වූ සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේ ය. අන්‍යාගමික පරිව්‍රාජකයන්ට පවා විහාර - ආශ්‍රම ආදිය සාදා දී ඔවුන්ගේ දන්වැට හා ප්‍රත්‍ය පහසුකම් සැලැස්වී ය.

ධර්මාශෝක රජු‍ ගේ ධර්මදූත සේවය

රාජ්‍ය පාලනයේ දී දස රජ දහමින් යුතුව කටයුතු කළ අශෝකයන් ගේ දර්ශනය “අශෝක ධර්මය” යනුවෙන් ඉතිහාසඥයන් විසින් නම් කොට තිබේ. එතෙක් ලොව කිසිදු රජ කෙනෙකුන් නො කළ විරූ අන්දමින් මහජන ශුභසිද්ධිය තකා කටයුතු කල අශෝකයන් “සියළු මිනිස්සු මාගේ දරුවෝ ය රාජ්‍ය පාලනයෙහි දී වෙහෙසට පැමිණෙන පාලකයා උසස් පාලකයෙක් නො වේ. නීතිය හා දඬුවම හැම දෙනාට ම සම විය යුතු ය” යනාදී උසස් අදහස් දැරූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේ සඳහන් ගිහියන් ට සුදුසු වූ කරුණු අනුව වැසියන් හික්මවීමට අදහස් කළ අශෝක රජු අරියවංස අනාගත භය - මුනි - මෙ‍ානෙය්‍ය - සාරිපුත්ත - රාහුලොවාද යන සූත්‍රයන් ගුරු තන්හි තබා කටයුතු කළ බවත්, ඒ අනුව අවවාද අනුශාසනා කළ බවත් සෙල්ලිපි වල සඳහන් වෙයි. අනෙක් රාජ්‍යයන් හා යුද්ධ කොට ඒවා දිනා ගැනීම වෙනුවට එම රාජ්‍යයන් හා මිත්‍ර සම්බන්ධතා ඇති කරගෙන සුහද ව සිටීමට උත්සාහ ගත් අශෝක රජ තම රාජ්‍යය තුළ පැවැති ප්‍රත්‍යන්ත ජනපද වල දූෂිත පාලනයන් නැති කොට ඒවා ක්‍රමවත් ව සකස් කෙ‍ළේ ය. බලිබිලි පිදීම සුරා පානෝත්සව ‍ආදිය හෙලා දුටු ඔහු සත්ත්වයන් මැරීම හා උනට වධහිංසා කිරීම වළක්වා ලීමට උත්සාහ ගති. මෛත්‍රියට කරුණාවට හා අහිංසාවට අනුව දිවි මග සකස් කර ගැනුමට උත්සාහ වත්වන ලෙස තම රට වැසියනට උපදෙස් දුන්නේ ය. තම රාජ්‍යය තුළ ධර්මය පැතිර වීමට දූතයන් පිටත් කළ හෙතෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූෂණ ආදිය මැඩලීම සඳහා පස් වසරකට වරක් නිලධාරී මණ්ඩලයක් යැවී ය. එසේ ම අධිකරණය වඩාත් සර්ව සාධාරණ කරනු පිණිස හා යුක්ති සහගත කරනු පිණිස “ධර්ම මහාමාත්‍ර” නමින් නිලධාරී පිරිසක් පත් කළේ ය. අධිකරණය මගින් වරද කරුවන් කරනු ලැබූ පුද්ගලයන්ට ද අශෝකයන් කාරුණික ලෙස සැලකුවේ ය. පාලනය පිළිබඳ කාර්‍ය්‍යයන් සඳහා ඕනෑම වේලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී තමා හමුවීමට අශෝක රජතුමා ඇමතියන්ට අවසර දී තිබුණේ ය. වර්තමාන ශුභ සාධක රාජ්‍යයෙකින් කෙරෙන සියලු ක්‍රියාවන් අශෝකයන් ගේ පාලනයෙන් භාරත වැසියනට භුක්ති විඳීමට ඉඩ ලැබුණි. තම රාජ්‍යය තුළ ශිලා ලිපි කොටවා ඒ මගින් ධර්මය පිළිබඳ අවබෝධයක් දිගු කලකට ලබා දීමට උත්සාහ කළ රජ තෙමේ තම රාජකීය චාරිකාවන් නවතා ධර්මය ප්‍රචාරය කරමින් වන්දනා චාරිකාවන්හි යෙදුණේ ය. දිග් විජය නවතා ධර්ම විජයේ යෙදී සිටි එතුමා කලින් ප්‍රාන්තීය රාජ්‍ය කිහිපයක පැතිර තිබුණු බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කරනු සඳහා විදේශ රටවලට ද ධර්ම දූතයන් ‍යැවී ය. ශ්‍රෙෂ්ඨ රාජ්‍ය නායකයකු වශයෙන් හා කාරුණික පාලකයකු වශයෙන් අශෝක රජතුමා මුළු ලෝකයේම ප්‍රසිද්ධ විය. අශෝක සෙල්ලිපි කියවන විට එතුමා ගේ චරිතයේ ඇති ශ්‍රෙෂ්ඨත්වය මැනැවින් පිළිබිඹු වෙයි. එතුමා රටවැසියා ස්වකීය දරුවන් ලෙසත් තමා ඔවුන් ගේ පියා ලෙසත් සලකා ක්‍රියා කළේ ය.

එතුමා ශාසන ශුද්ධියත්, ධර්ම සංගීතියත් ධර්ම ප්‍රචාරය සඳහා ධර්මදූතයන් වහන්සේලා ‍නොයෙක් රටවලට යැවීමත් සඳහා මහත් උත්සාහයකින් ක්‍රියා කළේ ධර්ම විජය ඇති කර ගනු සඳහා ය. රටක් ධාර්මික ව පාලනය කරන්නට නම් රට වැසියා ගුණ නුවණින් හෙබි මිනිස් වගක් කිරීමට නම් රාජ්‍ය නායකයා ආදර්ශ සම්පන්න විය යුතු බව එතුමා හොඳ හැටි දැන සිටියේ ය. ධර්මාශෝක රජතුමා වැනි ආදර්ශවත් පාලකයෝ ලොව දුර්ලභ වෙති. අශෝක රජතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන කිසිදු රාජ්‍ය පාලකයෙකු නො කළ තරම් ධන පරිත්‍යාගයක්, උදාර සේවාවක් සිදු කෙ‍ළේ ය. තම රාජ්‍යයෙන් ලැබෙන ශුද්ධ ලාභය තුන් ලක්ෂයක් ධනය මහා සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදවී ය. සුවාසූ දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් අනූහය කෝටියක් ධනය යොදවා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කරන ලදී. ශාසනයෙහි බන්ධුත්වය ලබා ගනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන් ගේ අනුදැනීම අනුව අවසානයේ සිය දරු දෙදෙනා සසුන් ගත කරනු පිණිස ක්‍රියා කෙළේ ය.

මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව මහ රහතන් වහන්සේ ගේ ආචාර්‍ය්‍යත්වයෙන් මහින්ද කුමාරයා සසුන්හි පැවිදි විය. විසි වයස් සම්පූර්ණ ව සිටි මිහිඳු හිමියෝ පැවිදි වූ දින‍ යේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. මෙයට ප්‍රථමයෙන් තිස්ස යුව රජ තුමා ද සසුන් හි පැවිදි විය. යුව රජතුමා ගේ පැවිද්ද ගැන ඇසූ සංඝමිත්තා කුමරියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද දෙවන දිනයෙහි මහ පිරිවරින් යුතු ව මහණ වූයේ ය. සිය සැමියාණන් ගේ සසුන්හි පැවිදි බවට සංඝමිත්තාවන් ගේ සම්පූර්ණ අනුමැතිය ලැබුණි. සංඝමිත්තාවන්ගේ ආදරණීය පුතණුවන් වූ සුමන කුමාරයෝ ද සත් හැවිරිදි වියේ දී ම බුදු සසුන් හි උතුම් පැවිද්ද ලැබූහ. මේ සියලුම රාජකීයයෝ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. රාජකීයයන්ගේ පැවිදි වීම හේතු කොට ගෙන බුද්ධ ශාසනය වෙත බෞද්ධ මහජනයාගේ ප්‍රසාද භක්තිය දිනෙන් දින ම දියුණු වන්නට විය. බුදු සසුන වෙත ලාභ සත්කාර සිවු දිගින් ම ගලා එන්නට විය. ධර්මාශෝක චක්‍රවර්තීහු ද ලක්ෂ ගණන් ධනය දිනපතා වැය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ලාභ සත්කාරයන් ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ ද ශාසනයෙහි පැවිදි වන්නට වූහ. සමහරු තමන් ම සිවුරු දා ගත්හ. අශෝකාරාමයෙහි පොහොය නො කොට සත් වර්ෂයක් ගත විය. දුසිලුන් ගෙන් සසුන කෙලෙසී ඇති බව දැන ගත් ධර්මාශෝක චක්‍රවර්තීහු මොග්ගලීපුත්තතිස්ස මහ රහත් මාහිමියන්ගේ මෙහෙයීම අනුව සසුන් සෝදුවක් කොට සංගායනාවක් කිරීමට කටයුතු සංවිධානය කර වූහ.

තෘතීය ධර්ම සංගීතිය

සසුනට හොර රහසේ ඇතුළු වී සිටි සැට දහසක් පමණ තීර්ථක සමූහයා සසුනෙන් බැහැර කොට සසුන පිරිසිදු කෙළේ අශෝක අධිරාජයා ය. අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි දී පැළැලුප් නුවර අශෝකාරාමයේ දී ධර්මාශෝක අධිරාජයාගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානාත්වයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහත් මාහිමියන් ප්‍රධාන දහසක් රහතන් වහන්සේලා විසින් තෘතීය ධර්ම සංගායනාව නව මාසයකින් කොට නිමවන ලදී. නව රට සසුන් පිහිටුවනු සඳහා ප්‍රබල බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා යැවීමට කටයුතු අරඹන ලදී. කාශ්මීරයට හා ගන්ධාර දෙරටට මජ්ඣන්තික තෙරුන් ද, මහිස මණ්ඩලයට මහාදේව තෙරුන් ද, වනවාසී රටට රක්ඛිත තෙරුන් ද, අපරන්ත දේශයට යෝනක ධම්මරක්ඛිත තෙරුන් ද, මහා රාෂ්ට්‍රයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, යවන ලෝකයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, හිමවත් පෙදෙසට මජ්ඣිම තෙරුන් ද, ස්වර්ණ භූමියට සොණ - උත්තර තෙරවරුණු ද, හෙළදිවට මහා මහින්ද මාහිමියන් ප්‍රධාන ඉට්ඨිය - උත්තිය - සම්බල - භද්දසාල යන තෙරවරුන් සතර නම ද යැවූහ. මිහිඳු හිමියෝ ලංකා ශාසන ප්‍රතිෂ්ඨාපනය පිණිස සුදුසු කාලය උදාවන තුරු වේදිස ගිරිනගරයට වැඩම කොට සිටියහ.

ලක්බුදු සසුන් පිහිටුවීම

මුටසීව රජු ගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්ස කුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කල සිට ම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධොපාසක ව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය. එසේ ම තමා එවූ අභිෂේක භාණ්ඩ වලින් යළිත් ස්වකීය මිත්‍රයා අභිෂේක ලබන ලෙස ද ඉල්ලා සිටියේ ය. මේ හසුන් පත ලත් තිස්ස රජතුමා මිතුරාගේ වචනයට සැලකිලි වශයෙන් එතුමා එව් පඤ්චකකුධ භාණ්ඩයන් සහිත ව වෙසක් පුනු පොහෝ දිනයෙහි දෙවන වරටත් අභිෂේක ලැබී ය. නොබෝ කලකින් මිහිඳු මහරහතන් වහන්සේත් ඉට්ඨිය - උත්තිය - සම්බල - භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත් පිරිස සමඟ දඹදව වේදිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළ හ. මේ ධර්ම දූත පිරිසගේ ලංකාගමනය සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවන පෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා “පොසොන් සැණකෙළිය” නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙලිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍ර ව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන් ගේ ආගමනයෙන් පසු මිහින්තලය - සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය. පර්වතයට අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස මුවකුගේ වේසය මවා ගෙණ තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වී ය. කෑම කමින් සිටින සතාට විදී ම සුදුසු නැතැ යි සිතූ රජතුමා මුවාට ඇසෙන්නට දුනු දිය ශබ්ද කෙළේ ය. මුවා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේ ය. මුවා ලුහු බැඳ පසු පස දුවන රජතුමා මිහිඳු හිමියන් දකින විට මුවා අන්තර්ධාන විය. හැම දෙනා ම එක විට රජතුමා දු‍ටුවොත් බිය වෙතැ යි සිතූ මිහිඳු හිමියෝ තමන් වහන්සේ පමණක් රජුට දැක්වූ හ. ඒ සමග ම “තිස්ස, තිස්ස, මෙහි එන්න” යනුවෙන් හඬක් ඇසෙන්නට විය. රජතුමා මිහිඳු හිමියන්ගේ වචනය අසා මවිත විය. එතුමාට මේ දිවයිනේ මෙසේ නමින් කථා කිරීමට සමත් වෙනත් කෙනෙක් නැත්තා හ. එබැවින් පුදුමයට පත් ව ඒ මේ අත විමසමින් බලමින් සිටින විට ශාන්ත වූ ශ්‍රමණ රූපයක් දක්නට ලැබුණි. ඒ දුටු රජතුමා ඔබ කවරෙක් දැයි විමසී ය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු මාහිමියෝ මහරජ! අපි ධර්ම රාජයන් වහන්සේ‍ ගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියම් හ”යි වදාළ හ. රජු ගේ බිය හා සැක දුරු විය. ඒ සමඟ ම තම මිතුරු දම්සෝ නිරිඳුන් විසින් එවන ලද පණිවුඩය රජුට සිහි විය. අශෝක රජු ගේ ලිපියෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙකු බව නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා මිහිඳු හිමියන් ළඟ හිඳ ගත්තේ ය රජතුමා සමග ගිය පිරිස ද අවුත් එතුමා පිරිවරා ගත් හ. මිහිඳු මාහිමියෝ තමන් සමඟ පැමිණි අනෙක් සදෙනා ද දැක්වූහ. රජතුම‍ා උන්වහන්සේලා දැක මොහු කවර වේලාවක ආවාහු දැයි විචාළේ ය. “මා සමඟයැ”යි මිහිඳු හිමියෝ වදාළ හ. “මෙබඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැ”යි රජතුමා ප්‍රශ්න කෙළේ ය.

“මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී - ඍද්ධි බලධාරී පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙති” යි මිහිඳු හිමියෝ වදාළ හ. නැවැත රජතුමා “ඔබ වහන්සේලා වැඩියේ කෙසේ දැ”යි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මාහිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ”යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය.

නුවණ විමසීම

දෙවන පෑ තිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු හිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ය ආදර්ශ සම්පන්න ය. උන් වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹ රුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූහ.

“මහරජ, මේ ගසේ නම කුමක්දැ”යි ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජු ගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා - “මෙය අඹ ගසෙකි”යි පිළිතුරු දුන්නේ ය.

මිහිඳු මාහිමි - “මේ හැර තවත් අඹ ගස් තිබේද?

රජතුමා - “එසේ ය, ස්වාමීනි! බොහෝ අඹ ගස් ඇත.”

මිහිඳු මාහිමි - “මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?”

රජතුමා - “ස්වාමීනි, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නො වේ.”

මිහිඳු මාහිමි - “මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?”

රජතුමා - “ඇයි ස්වාමීනි, මේ අඹ ගස?”

මිහිඳු මාහිමි - “මහරජ! ඔබ පණ්ඩිතයෙහි”

මිහිඳු මාහිමි - “මහරජ! තොපට නෑයෝ සිටිත් ද?”

රජතුමා - “එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්.”

මිහිඳු මාහිමි - “මහරජ, තොපට නො නෑයෝත් සිටිත් ද?”

රජතුමා - “‍එසේ ය, ස්වාමීනි! බෙ‍ාහෝ නො නෑයෝත් සිටිති.”

මිහිඳු මාහිමි - “ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත් ද?”

රජතුමා - “ඇයි ස්වාමීනි, මම?”

මිහිඳු මාහිමි - “මහරජ! ඔබ පණ්ඩිතයෙහි.”

මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබොධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදොපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමග තිසරණ පන්සිල් හි පිහිටු වීමෙන් බෞද්ධයෙක් විය. එයින් තුනුරුවනෙහි උසස්කම ද භික්ෂුව ගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රෙෂ්ඨ ගුණ ගරුක ජීවිතය ද අවසානයෙහි සිවුසස් දහම් ද ප්‍රකාශ කරන ලදී. දෙවන දිනයෙහි රජගෙදර දී පේතවත්ථු - විමානවත්ථු සච්චසංයුත්ත යන මෙයින් ධර්ම දේශනා කළ හ. අනුලා බිසව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු ඒ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පැමිණියහ. පේතවත්ථු - විමානවත්ථු දෙකින් වදාළ ධර්මය පරලෝ ගැනත් දෙවියන් හා භූතයන් ගැනත් හැඟීමක් විශ්වාසයක් ඇතිව සිටි ඒ පිරිසට තදින් සිත් හි කා වැදී ගියේ ය. තමන් පිළිගෙන ඇති මතයට විරුද්ධ නැතැ යි යනුවෙන් අසන්නන් තුළ හැඟීමක් ඇති වූ පසු ඔවුහු වඩ වඩාත් එයට කන් යොමු කළ හ. සච්ච සංයුත්තයෙන් වදාළ ධර්මයෙන් සසර දුකත් එයින් නික්මෙන මඟත් දැක්වූ හ. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට දැන්වීම නිසා දෙවන දිනයෙහි දහස් ගණනින් ජනයා රජ මාළිගය අසළට රැස් වූ හ. ඒ සියලු දෙනාට ම ඇතුළු පුර අවකාශ මද බව දැන ගත් රජ තෙමේ මඟුලැත්හල සරසා එහි අසුන් පනවන්නට නියම කෙළේ ය. අසුන් පිළියෙළ වූ පසු මිහිඳු මාහිමියෝ සහ පිරිවරින් එහි වැඩම කොට දේවදූත සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටිය හ. පසුව එය ද ඉඩ මද වූයෙන් නන්දන වනෝද්‍යානයෙහි අසුන් පැනවූ හ. මිහිඳු මාහිමියෝ එහි දී ඔවුනට බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. බාලපණ්ඩිත සූත්‍රයෙන් නුවණින් පව් කොට දෙලොව ම පිරිහෙන සැටිත් නුවණින් ක්‍රියා කොට දෙලොවින් ම දිනන සැටිත් ප්‍රකාශ කළ හ. මේ හැම සූත්‍ර දේශනාවකින් ම වාසනාවන්ත ගුණ ගරුක ජීවිතයක් ගත කරනු පිණිස මිනිසකු විසින් ජීවිතය පැවැත්විය යුතු ආකාරය ඉගැන්වූ හ. බුද්ධ ධර්මය අනුව ලක්වැසි ජනතාව ගේ ජීවිත හැඩ ගස්වා ලීමෙහි මේ සූත්‍ර ධර්ම මහත්සේ උපකාරී විිය. පසුව දෙවන පෑ තිස් රජතුමා විසින් මහමෙවුනා උයන සංඝයාට පූජා කළ පසු එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ථෙරවාදයේ බලකොටුව වූ මහාවිහාරයේ ප්‍රතිෂ්ඨාපනය මහ මෙවුනා උයනින් ආරම්භ විය. උපෝසථ සංඝ කර්මාදිය කරනු පිණිස සීමාවක් අවශ්‍ය ය. සංඝ සම්මතයෙන් මහමෙවුනා උයන උපෝෂථා ගාරයක් බවට ‍පත් විය. දෙ තිසක් ඛණ්ඩ සීමාවන් සම්මත කිරීමෙන් පසු සීමා බන්ධනය අවසානයේ මහ පොළොව කම්පා වූවා ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ ක්‍රමයෙන් තුන්වන - සිවුවන - පස්වන - සවන - සත්වන දිනයන්හි ආසිවිසෝපම - අනමතග්ගිය - ඛජ්ජනීයකගිගෝමයපිණ්ඩික - ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ග ඵලාවබෝධයට පත් කර වූ හ. මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා ශාසනය බබුළුවමින් වැඩ විසූ හෙයින් නන්දන වනය පසුව “ජෝතිය වන” නමින් ප්‍රසිද්ධ විය. රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටු විය යුතු තැන් නියම කොට පසුව සමන් මල් පිදීමෙන් අටමස්ථානයන් පිහිටන තැන් සම්මත කරන ලදී. 1. මාලක සීමාව 2. ජත්තාඝරපොකුණ 3. මහාබෝධිය 4. ලෝවාමහපාය 5. සංඝ ලාභ භාජනස්ථානය 6. චතුස්සාලාව පිහිටි තැන 7. රත්නමාලි චෛත්‍යය පිහිටි තැන 8. තිස්සරාමය යන ස්ථානත් ථූපාරාමය, මිරිසවැටිය - ඉසුරුමුණිය හා වෙස්සගිරිය යන පූජනීය ස්ථානත් මහ මෙවුනා උයනෙහි පිහිටුවන ලදී.

මිහිඳු මිහිමියන් ගෙන් සිදු වූ සමාජ විපර්යාසය

මිහිඳු මාහිමියන් ගෙන් උදාවුණු අභිනව සංස්කෘතිය හේතු කොට ගෙන විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, ආධ්‍යාත්මික විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් ලක් වැසියන් අතර ඇති විය. මිහිඳු හිමියන් විසින් ඉගැන්වූ පිළිවෙත් මඟ සාමකාමී එකක් විය. චාම් දිවි පෙවෙතකට ආධාර විය. භික්ෂූන් වහන්සේ රටට ආදර්ශයක් විය. රට හදන උපදෙස් මාර්ගය කියා දෙන භික්ෂූන් වහන්සේ රජු ඇතුළු සියලු රටවැසියාට ම මහඟු ආදර්ශයක් විය. ලක්දිව හැම ගමක ම විහාරාරාමයන් පිහිටුවන ලදී. ඒවා සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්ථාන බවට පත් විය. අනුරපුර මිහින්තලා කන්දෙන් පැන නැගී ලංකාවේ දශ දිශාවට ගලා ගිය නිර්මල ධර්ම ගංගාව නිසා සියලු සිංහලයෝ බෞද්ධයන් බවට පත් වූ හ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් මුළා වී පැවැති මේ දිවයිනේ උපබුදු මිහිඳු මාහිමියන් විසින් සදහම් මිණි පහන දල්වා සියලු ගණඳුරු නැති කොට අපේ රට සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී. සිංහලයාගේ ඇස් ඇරුණේ, නුවණැස පහළ වූයේ, සත්‍ය ධර්මාලෝකය උදා වූයේ, සමස්ත ලංකා ධරණී තලය ම සදහම් ආලෝක‍යෙන් එළිය වැටුණේ මේ උත්තරීතර ඓතිහාසික මහින්දාගමනයෙන් පසුව ය. ගස් ගල් පර්වතවලට පුද පූජා කරන්නවුන්, මළවුන් - යකුන් අදහන්නවුන්, ක්‍රමයෙන් තුරන් වෙද්දී බමුණන් හින්දු ධර්මයත් සමඟ ද ජෛනයන් ජෛනාගමයත් සමඟ ද ලක් පොළොවින් බැහැර වී යද්දී සදහම් අමා පණිවුඩය ලංකාවේ අස්සක් මුල්ලක් නො හැර පැතුරුනේ ය. බෞද්ධ ප්‍රතිපත්තීන් මත සැකැසුණු බෞද්ධ ශිෂ්ටාචාරයක් පැන නැගී ස්ථීර පදනමක් අනුව බුද්ධාගමය හෙළදිව මුල් බැස ගියේ ය. මෙසේ සත්‍ය ධර්මයෙන් ආශිර්වාද ලත් සිංහලයෝ ක්‍රමයෙන් ප්‍රබුද්ධ පිරිසක් බවට පත් වූහ.

හෙළ කලාවේ උපත

ලක්දිව තිබෙන ජාතික හා ආගමික නෂ්ටාවශේෂයන් ගෙන් අපට ප්‍රදර්ශනය වන්නේ හෙළ කලාවේ උපත බුදුසමයෙන් එනම්, මිහිඳු යුගයෙන් පසුව ආරම්භ වුණු බව ය. සිංහ - කොටි වැනි බිහිසුණු සතුන් ගේ වාස භූමින් බවට පත් ව තිබුණු විශාල ගල්ගුහා ලොව්තුරා මිහිර කැවුණු විහාර ලෙන් බවට පත් වූයේත්, වනයේ තිබෙන මහ කළු ගල්වලට කරුණා - මෛත්‍රී - සමාධි ගුණ කැවී සිංහලයාගේ කලා කාමීත්වය ඔප් නංවමින් ශාන්ත බුදු පිළිම බවට පත් වූයේත්, අලි වලසුන් ගේ කෙළි බිම් බවට පත් ව තිබුණු විශාල වන පෙදෙස් රමණීය විහාරාරාමයන් ගෙන් හා අලංකාර මාලිගාවන් ගෙන් ද මනහර පුෂ්පෝද්‍යානයන් ගෙන් ද සිත්කලු පොකුණු වලින් ද යුත් ඓතිහාසික ජයභූමින් බවට පත් වූයේත් බුදු සමය නිසා ය. මහ කඳු සිඛරයක් වූ සමනොළ කන්ද ලක්ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශුද්ධ භූමියක් බවට පත් වූයේත්, අනුරාධපුරයත්, මිහින්තලයත්, පොළොන්නරුවත්, කතරගම කිරිවෙහෙරත්, සිතුල් පවුවත්, සීගිරියත්, දඹුලු විහාරයත් අපට ඇතිවූයේ බුදුසමය නිසා ය. දුටුගැමුණු, මහපැරකුම්බාවන් වැනි වී‍රෝදාර ප්‍රතාපවත් රජවරුන්, සිරි සංඝබෝධි - බුද්ධදාස වැනි බෝධිසත්ත්ව ගුණෝපේත රජ දරුවන්, සීගිරි - කාශ්‍යප වැනි කලාකාමී නරවිරුවන් සුරනිමල - ථෙරපුත්තාභය වැනි රණකාමී යෝධයන්, අරිෂ්ට - මලියදෙව වැනි සිංහල රහත් හිමිවරුන්, අනුලාවන් වැනි රහත් මෙහෙණින්, ලීලාවති - කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජමෙහෙසියන්, විහාරමහාදේවී - සෝමාදේවී වැනි වීරෝදාර හෙල මවුවරුන්, හේමාවන් වැනි ගුණ නුවණින් හෙබි කුල කතුන් මේ රටේ පහළ වූයේත් බුදු සමය නිසා ය.

මහාසාගරය වැනි ගැඹුරු නුවණින් හෙබි දිඹුලාගල කාශ්‍යප, ශාරිපුත්‍ර, ශ්‍රී රාහුල වැනි සඟරජ හිමිවරුන්, ධර්මසේන හිමි, වෑත්තෑවේ හිමි, මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි - වීදාගම මෛත්‍රිය හිමි, ගුරුළු ගෝමී, විදුසක්විති හා ‍දෙවන පැරකුම්බාවන් වැනි මහා පඬිවරුන් බිහිවූයේත් බුදු සමය නිසා ය. අපේ සිංහල සාහිත්‍යයට ධර්ම ප්‍රදීපිකාව - අමාවතුර - බුත්සරණ - දහම්සරණ - සඟසරණ - සද්ධර්මරත්නාවලිය - පූජාවලිය - ජාතක පොත - කව්සිළුමිණ - කාව්‍යශේඛරය - ගුත්තිලය - බුදුගුණාලංකාරය - ලෝවැඩ සඟරාව හා සුභාෂිතය වැනි ගද්‍ය පද්‍ය ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන් බිහිවූයේත් බුදුසමය නිසා ය.

මෙනයින් ලංකා භූමියේත් සිංහල මිනිසාගේත් එක් එක් අංශය ගෙන බලත් බලත් මහින්දාගමනයත් සමඟ ඇතිවුණු බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නො වුණු එක ද අංශයක් හෝ ඇතැයි නො කිව හැකි ය. සිංහල ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් යැයි නම් කළ හැකි යම් ඒ යුගයක් වේ නම් ඒ සියල්ලම මහා මහින්ද ශ්‍රී නාමයට බැඳී ඇති ණයගැති භාවය පිළිබඳ නො නැසෙන සිහිවටනයැ යි කීම ඉතා ම අඩුවෙන් කීමක් මිස අතිශයෝක්තියක් නම් නො විය හැකි ය. ගුණයෙන් වේව යි ධර්මයෙන් වේව යි ප්‍රතාපයෙන් වේව යි උච්චස්ථානයකට නැංවුණු යම් ම සිංහල මනුෂ්‍යයෙක් වේ නම් ඒ භාග්‍යවන්ත පුරුෂයා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ ගේ සුවිනීත අත වැස්සෙකු වීමට පින්කළ කෙනෙකැ යි කීම කිසිම විදියකින් ඔහුට කෙරෙන නිගරුවක් නො විය හැක. විචිත්‍ර චරිතයෙන් වේව යි, කාරුණික ගුණයෙන් වේව යි, ආදර්ශ සම්පන්න පැවැත්මෙන් වේව යි ජන ප්‍රසාදයටත් ගුණ කථනයටත් පාත්‍රවුණු ස්ත්‍රී රත්නයකැ යි කිව හැකි කවර හෝ සිංහල වනිතාවක් වේ නම් ඇය පරසතු මලින් පිදිය යුතු මහා මහේන්ද්‍ර ගුණ කදම්බය වනපස මලින් පුද කළ දුගී දැස්සකැ යි හඬ නගා කීම කිසිම විදියකින් මදි පුංචි කමක් නො විය හැක.

මේ අත්‍යුත්තම පෙ‍ාසොන් පුනු පොහෝ දිනය වූ කලි දීප ප්‍රසාදක මහා මහේන්ද්‍ර අනුබුද්ධයන් වහන්සේ පිළිබඳවත් දඹදිව අශෝක නරනාථයන් පිළිබඳවත් අතිවිශිෂ්ට අනුස්මරණයන් එකිනෙක පෙරට ගෙන එන අතිශයින් ම වැදගත්, අතිපරිශුද්ධ දිනයෙකි. මේ අතිශ්‍රෙෂ්ඨ මහා පුරුෂයන් පිළිබඳව, අතිසම්භාවනීය චරිතාපදානයන් පිළිබඳ ව එක්වන් මෙනෙහි කිරීම මෙදින කළ හැකි මහා කුශල කර්මයක් වන්නේ ය. විසිතුරු සිද්ධීන් ගෙන් විචිත්‍රවුණු අශෝක චරිතාපදානය දෙස නෙත් කොණින් හෙළන බැල්මක් වුව ද හැම බෞද්ධ සිතකට ම මහත් ආ‍ලෝකයක් ගෙනදීමට තරම් හැම අතින් ම ප්‍රබල ය. එතුමා විසින් ගිරි - පුවරු - ටැම් ආදියෙහි කොටවා තමන් සතු මහා රාජ්‍යයෙහි තන් තන්හි පිහිටුවන ලද ධර්ම ලිපි වලින් අංශුමාත්‍රයක් කියවා මෙනෙහි කිරීම වුව ද සියල් සත්නට වැඩ සාදාලීමෙහි එක සේ පොහොසත් ය. බෞද්ධ සභ්‍යත්වයෙහි දරුවා නැළවුණු තොටිල්ල යැයි ඉතිහාස විශාරදයන් විසින් විවරණය කරනු ලබන මිහින්තලය ගැන පොසොන් පොහෝදා මෙනෙහි කරන ඕනෑ ම බෞද්ධයෙකු වුව ද ප්‍රසාදසංවේගයෙන් ඇළලී යනවාට කිසිම අඩමානයක් නැත. මහා භාරත අධිරාජ්‍යය වැනි ඓශ්චර්‍ය්‍යයකින් අනූන වූ දේශයක සිංහාසනය අලුයම ලූ කෙළපිඬක් මෙන් ඉවත දා මිහින්තලාවේ ගල්ලෙනක් තුළ මුළු ජීවන යුගයක් ගෙවමින් සිංහල රටටත් සිංහල මිනිසාටත් නො නැසෙන ආලෝකයක් ගෙන දුන් අනුබුදු මිහිඳු මාහිමියන් වෙනුවෙන් බැඳී ඇති ණයබර පොසොන් පොහෝදා වැඩි වැඩියෙන් පෙනී යතොත් ඒ අතිශයින් ම ස්වාභාවික ය. “සමණා මයං මහා රාජ!” යනුවෙන් ප්‍රථමයෙන් වදාළ පරිදි ධර්ම රාජයන් වහන්සේ ගේ ශ්‍රාවක ශ්‍රමණයන් වහන්සේ ගේ ප්‍රාදුර්භාවය කරණකොට ගෙන ලංකාවේ මතු වූ අලුත් ගුණ වගාව - අභිනව සංස්කෘතිය පිළිබඳ අල්ප මාත්‍ර වූ ද හැඟීමක් ඇති කර ගත හැකි නම් එය ම අතිශයින් සාර්ථක වූ මහා පොසොන් උළෙලක් පැවැත්වූවා වන්නේ ය. එපරිද්දෙන් මිහිඳු උදාවත් සමග ම පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ආ උසස් බෞද්ධ ප්‍රතිපදාවේ නිර්මල අංග ඔබෙනුත් ආරක්ෂා වී අනාගත පරම්පරාවේ උරුමයක් හැටියට තබා ජාතියේ උදාර රුධිරය එයින් පෝෂිත කළ යුතු යැයි අවංක අධිෂ්ඨානයක් බවට පත් කර ගත හැකි නම්, ඔබ උදාර සිංහල බෞද්ධයකු වීමේ මූල ප්‍රණිධිය සම්පූර්ණ කළ කෙනෙකැ යි ඉතා ගෞරවයෙන් සිහි පත් කළ හැකි වනු ඇත.

බුදු සමයේ ශුභ්‍ර කීර්තිය කැටි ගැසුණු කලක් මෙන් අනුරාධපුර මහ මෙවුනා උයනේ ථූපාරාමය - ඉසුරුමුනිය - මහාබෝධිය - වෙස්සගිරිය - මහාවිහාරය - රුවන්වැලි සෑය - ජේතවනය - අභයගිරිය - මිරිසවැටිය - ලෝවා මහා පාය ආදී පූජනීය ස්ථානත් මිහින්තලා අපරාජිත ශුද්ධ භූමියේ කණ්ඨක චෙතිය - අට සැටලෙන් අම්බස්ථල චෛත්‍යය ආදී පූජනීයස්ථානත් පහළ වූයේ මහින්දාගමනය නිසා ය. සිසිල් දිය පිරුණු දෙවැනි මුහුද වැනි මහ වැව් හෙළදිව තැනින් තැන නිර්මාණය වූයේත්, උතුරු මැදයේ මහා නිම්නය රමණීය කෙත් යායක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූයේත්, පෙ‍ාසොන් පුනු පොහෝදා ලැබුණු සම්බුද්ධ ධර්ම දායාදය කරණකොට ගෙන ය. පණ්ඩුකාභය යුගයෙන් පසු මේ සිංහල රටේ උසස් දියුණුවක් උදා වූයේ බෞද්ධෝදයෙන් පසුව ය. කය සිත දෙකින් ම හැම ලෙසින් මෙසේ සැනසුණු සිංහලයෝ නිර්මල ‍සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාතෘවරයෝ වූහ.

මෙසේ සිංහලයන් ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකට ම මුල් වූයේ මිහිඳු මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිව යුතු ය. සිංහලයන් ගෙන් කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතු ව ස්වදේශය හැර දමා විදේශ ගත ව අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය සිංහල ජාතියත් ලංකා සම්බුද්ධ ශාසනයත් පවත්නා තාක් අමරණීය ව පවතිනු ඇත. මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිස මුණ ගැසුණු මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල බවා සිංහල සැදැහැතියා ගේ ගතට සිතට ලබා දෙනුයේ විශාල සැනසිල්ලකි. ගල් පඩි එක් දහස් අටසිය අසූවකට අධික සංඛ්‍යාවක් ගෙවා අවුරුදු පතා ලක්ෂ ගණන් බැතිමතුන් ලා මිහින්තලා පවුවට නැග සැනසුම් සුසුම් හෙළන්නේ මිහිඳු මාහිමියන් විසින් එහි සිට අරඹන ලද සාම විප්ලවයට කෘතෝපහාර දැක්වීම වශයෙනි.

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය

බුදුහු සැවැත් නුවර දෙව්රම්හි වැඩ වෙසෙන සේක. එකල ජානුස්සෝණී නම් බමුණෙක් සුදෝ සුදු වෙළඹ රියක නැග මද්දහනේ සැවැත් නුවර පැදකුණු කරයි. එ් අතර මග දී බුද්ධෝපස්ථානයට ගොස් පෙරළා පැමිණෙන පිලෝතික නම් පිරිවැජියෙකු හමු වී එහිදී ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාවක් ඇති විය.

ජානුස්සොණී බමුණා - “පින්වත! ඔබ මේ මහ දවල් කොහි සිට පැමිණෙන්නෙහි ද?”

පිලෝතික - “පින්වත! මම බුදුරදුන් වෙත සිට එමි”

ජානුස්සොණී බමුණා - “මහණ ගොයුම්හු ගේ මහා නුවණ ගැන ඔබ කුමක් දන්නෙහි ද?”

පිලෝතික - “බුදුරදුන්ගේ මහා ප්‍රඥාපාටවය දැන ගැනීමට මම කවරෙක් වෙම් ද? එය දත යුත්තේ එබඳු ම බුදු කෙ‍ෙනකුන් විසින් ම ය.”

ජානුස්සොණී - “ඔබ මහණ ගොයුම් හට කරන්නේ උදාර පැසසුමෙකි”

පිලෝතික - “බුදුරදුන් මිනිස්, දෙව්, බඹුන් ගේ පුද පෙරහර ලැබීමට සුදුසු මහා ගුණවතෙකි”

ජානුස්සොණී බමුණා - “ඔබ කවර ගුණයන් දැක මහණ ගොයුම් වෙත පැහැදුණෙහි ද?”

පිලෝතික - “පින්වත, මම බුදුරදුන් ගේ මහා නුවණ සතරක් දැක පැහැදී මි”.

යම් සේ දක්‍ෂ නාග වනිකයෙක් ඇතුන් වසනා වනයෙහි මහ ඇත් පිය සටහනක් දැක මේ පිය සටහන අයිති ඇතා මහ ඇතෙකැ යි නිගමනයට පැමිණෙයි. එමෙන් මම ද බුදු රදුන්ගේ සිවු වෙසරද නුවණක් දැක මහණ ගොයුම්හු සම්මාසම්බුද්ධය හ. එතුමන් ගේ ධර්මය ස්වාක්ඛ්‍යාත ය. ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නයැයි නිගමනයට බැසීමි. ඒ සිවු වෙසරද නුවණ නම්, වාද කිරීමෙහි සමත් යම් ක්ෂත්‍රිය පඬිවරු බ්‍රාහ්මණ පඬිවරු ගෘහපති පඬිවරු ශ්‍රමන පඬිවරු උභතෝකෝටික ප්‍රශ්න ගොතාගෙන බුදුරදුන් හමුවට පැමිණෙති එහෙත් එහි දී වාදාරෝපණය කිරීම තබා තම තමන් ගොතාගෙන ආ ප්‍රශ්න වත් නො විචාරා බුදුරදුන් ගේ දැහැමි කතාවෙන් සතුටු වූ ඔවුහු එතුමන් ගේ සව්වන් බවට පැමිණෙති

මේ පුවත ඇසූ ජානුස්සෝණී බමුණු තෙමේ රියෙන් බැස උතුරු සළුව එකස් කොට පෙරවා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දෙව්රම් වෙහෙර දෙසට හැරී බුදුගුණ සිහිකර ගෙන “නමෝ තස්ස භග‍වතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” (ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා) යනුවෙන් නමස්කාර පාඨය තෙවරක් කියා උදන් පළ කෙළේ ය. පසු දිනයෙක් හි බුදුරදුන් වෙත ගිය ජානුස්සෝණී බමුණු තෙමේ පිලෝතික පරිව්‍රාජකයා සමග ඇති වූ කතා පුවත බුදුරදුන් හට සැල කර සිටියේ ය. එය ඇසූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ හ. බමුණ! හත්ථිපදෝපම උපමාව එතෙකින් සම්පූර්ණ වූයේ නො වෙයි. එය මම සපුරා ඔබට කියමි. මැනැවින් අසව, බමුණ! යම්කිසි ඇත් පාලකයෙක් ඇතුන් වසනා වනයට ගිය විට මනහර පිය සටහනක් දකියි. එහෙත් හෙතෙමේ දක්ෂයෙක් නම් එපමණකින් මේ මහා ඇතෙකැ යි නිගමනයකට නො යෙයි. එයට හේතුව වාමනිකා නම් විශාල පා ඇති මිටි ඇතිනියන් වර්ගයක් එහි සිටින නිසා ය. නැවැත විමසන විට ඔහුට උච්චාකාළාරිකා නම් (එකක් උස්ව එකක් පහත් ව පිහිටි දළ ඇති) මහ ඇතිනි විශේෂයක ගේ පියවර සටහනක් දක්නට ලැබෙයි. එහි දී මේ මහ ඇතෙකැ යි නිශ්චයකට නො ගොස් තව දුරටත් විමසන ඔහුට මහ ඇත් පියවර සටහනක් උඩ අතුවල ගැටුණු තැන් හා දළ පහර ද නුදුරේ සිටිනා මහ ඇතෙක් ද දක්නට ලැබෙයි. එය උච්චාකණෙරුකා නම් කැකුළු දළ ඇති උස් සිරුරින් යුතු ඇතිනි විශේෂයක් බව පිළිගෙන නිශ්චයකට බසියි.

බමුණ! එපරිද්දෙන් බුදුන් ලොව පහළ ව දහම් දෙසන්නට පටන් ගත් කල්හි එය අසා බොහෝ දෙනා ගිහි සැප අතහැර දමා සසුන් හි පැවිදි වෙති. එසේ පැවිදි වූ ඔවුහු මැනැවින් සිල් පුරන්නාහු සිවු පසයෙහි නො ඇලී වෙසෙන්නා වූ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් යුක්ත ව වෙසෙති. ඔවුහු යළිත් ඇසින් රූපයක් දැක කනින් ශබ්දයක් අසා, නහයෙන් සුවඳක් ආඝ්‍රාහණය කොට, දිවින් රසයක් විඳ, කයින් ස්පර්ශයක් ලැබ ඒ නිමිති කොටගෙන ලෝභ දෝසාදී අකුසලයන් ඉපදීමට ඉඩ නොදී ඒ ඇස් කන් නාසාදී ඉඳුරන් සංවර කර ගනිති. මෙසේ ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවර ශීලයෙන් යුත් ඔවුහු නිවැරැදි වූ ආධ්‍යාත්මයෙහි ක්ලේශයන්ගෙන් මිදුණු සුවය විඳිති. යාම් - ඊම් - ඉඳීම් - සිටීම් - කෑම් - බීම් ආදී ඉරියව් පවත්වන්නාහු මනා නුවණින් යුතුව ම (සම්පජානකාරී ව) කරති.

මෙසේ ආර්‍ය්‍ය ශීලස්කන්ධය, ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවරය, ආර්ය ස්මෘති සම්ප්‍රජන්‍යය යන උසස් ගුණයන් ගෙන් යුත් ඔවුහු විවේක සෙනසුනක් වෙත ගොස් බද්ධ පර්‍ය්‍යංකයෙන් කය ඍජුව තබා හිඳ සිහි එළවා කාමච්ඡන්ද - ව්‍යාපාද - ථින මිද්ධ - උද්ධච්ච කුක්කුච්ච - විචිකිච්ඡා යන පඤ්ද නීවරණයන් ගෙන් සිත පිරිසිදු කරගෙන ප්‍රථම ද්විතිය තෘතීය චතුර්ථ යන රූපාවචර ලෞකික ධ්‍යානයන් උපදවා ගනිති. එහෙත් එයිනුදු නිගමනයකට නො පැමිණි ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ධ්‍යානයන් ගෙන් පිරිසිදු වී සිත් තව තවත් දියුණු කොට ලෝ වැසි සත්ත්වයන් ගේ හා තමන්ගේත් පෙර ජාතීන් සිහි කරන්නාහු පෙර විසූ කඳපිළිවෙළ දන්නා පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගනිති. ඉක්බිති සත්ත්වයන් ගේ චුති උත්පත්ති දෙක සොයන්නාහු චුතූපපාතඤාණය උපදවා ගනිති. නැවැත දුක්ඛ සත්‍යයෙන් දුක පිරිසිඳ දැනගෙන සමුදය සත්‍යයෙන් තෘෂ්ණාව නැති කොට ‍ගෙන, මාර්ග සත්‍යයෙන් නිරෝධ මාර්ගය දැනගෙන මෙසේ පිළිවෙලින් සිවුසස් දහම් සෝවාන් ආදී සිවු මගින් සොළොස් ආකාරයෙන් දන්නා අර්හත් මාර්ග ඥානය වූ ආසවක්ඛය ඤාණය උපදවා ගනිති. සියලු කෙලෙසුන් ගෙන් හා සියලු දුක් වලින් මිදුණු ඒ රහත් උතුමෝ බුදුහු සම්‍යක් සම්බුද්ධය හ, ධර්මය ස්වාක්ඛ්‍යාත ය, ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්න ය, යනුවෙන් නිගමනයට බසින්නාහු මේ අර්හත් ඵලඥානය ලද කල්හි ම වෙති යි වදාළ හ.

ජානුස්සෝණි බමුණු තෙමේ මේ දම් දෙසුම අසා පැහැදී එතැන් පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උවසුවෙක් විය. මිහිඳු මාහිමියෝ දෙවන පෑතිස් නිරිඳුන් ප්‍රමුඛ පිරිසට දම් දෙසුවේ මේ සුළු ඇත් පිය උපමා සුතුරෙන් වෙති. උපබුදු මිහිඳු මාහිමියන් මෙය ම තෝරා ගන්නට හේතු ව තෙරුවන් සරණ යෑමේ පටන් අර්හත් ඵලය දක්වා කරුණු මධ්‍යම ප්‍රමාණයෙන් විස්තර වන නිසාත්, ගෞතම ශ්‍රාවකයන් වහන්සේලා ගේ ප්‍රතිපත්ති එනම්, භික්ෂූ ජීවිතය පිළිබඳ තොරතුරු ප්‍රකාශ වන නිසාත් වෙතැ යි සිතිය හැකිය. ඇතකු ගේ පියවර සටහන් උපමා කර ගෙන බුදුරදුන් විසින් ධර්මය විස්තර කළ නිසා මේ සූත්‍රයට හත්ථි පදෝපම සූත්‍රයැ යි නම් තබා ඇත. මෙ බඳු සූත්‍ර දෙකක් තිබෙන නිසා මේ සූත්‍රයට චූල (කුඩා යන) පදය මුලට එක් කොට තිබේ. බුද්ධ චරිතය දෙස බලන කල්හි පොසොන් පෝදා එක් සිද්ධියක් සිදු වී ඇත.

සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.

භණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රධාන ධර්‍මදූත පිරිස සමග පැමිණි භණ්ඩුක කුමාරයා මිහිඳු මාහිමියන් ගේ මවු බිසොවුන්ගේ සහෝදරියගේ දුව ගේ පුත්‍රයා ය. මිහිඳු මාහිමියන් මවු බිසොවුන් හට දේශනා කළ ධර්‍මය අසා අනාගාමී ඵලයට පැමිණියේ තෙරුන් වහන්සේ වෙත ම වාසය කෙළේ ය. වේදිස ගිරියෙහි මාසයක් වැඩ සිටි මිහිඳු මාහිමියන් වහන්සේ පොසොන් පුර පසළොස්වක් දිනයෙහි ධර්‍මදූත පිරිස සමග ලංකාවට වැඩිය හ. ඒ ධර්‍මදූත පිරිස සමග භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද පැමිණියේ ය. පොසොන් පොහෝදා දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදොපම සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට තිසරණයෙහි පිහිටුවා ‍පසුව අනාගාමි ඵලයට පත් ව සිටි භණ්ඩුක කුමාරයා පැවිදි කොට උපසම්පදා කළ සේක. උන්වහන්සේ එ කෙණෙහි ම රහත් වූහ. මේ ලංකාවේ සිදු වූ මුල් ම මහණ උපසම්පදාව යි.

සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම

මිහිඳු මහරහතන් වහන්සේ ගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්‍ම ශ්‍රවණයට කාල ඝොෂා කළ හ. සාම‍ණේරයින් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්‍ම දේශනා කළ සේක.

7. ඇසළ පෝය

වෙසක් සඳ අහසේ උදාවෙන විට සම්මා සම්බුදුවරයෙකු පිළිබඳ ශ්‍රෙෂ්ඨතම ඓතිහාසික සිද්ධීන් රැසක් අපගේ මනසට නැගී එයි. පොසොන් සඳ අහසේ උදාවෙන විට අනුබුදුවර‍යකු පිළිබඳ සටහන් අපගේ මතකයට නැගී එයි. ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට සාර්වභෞම නිදහස උදාවුණු තෙරුවන් ලොව පහළවුණු දිනය වශයෙන් අප‍ ගේ සිතට සිහිපත් වෙයි. බුදු දහම නමැති මිණි පහන දැල්වී එයින් ලෝකය ආලෝක වූ සැටි, බුද්ධ ශාසන රත්නාකාරය මතු වී සසුන් ගුණ රුවනින් තුන් ලොව සැනසී ගිය හැටි, බුදුහිමි මුව ගැබින් වැගිර ගලා ගිය දහම් අමා වහරින් මුළු ලොව තෙමී දුක් ගිනි නිවී සැනහී ගිය සැටි, උතුරු මිනිස් දම් පෙළහරින් තුන් ලොව ශාන්ත වී ගිය සැටි, මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් මිගදාය උතුරා ගලා ගිය සැටි, බුදුරැස් දහරින් බරණැස ඉසිපතනය නැහැවී ගිය සැටි, කාෂාය වස්ත්‍රයෙන් මිගදාය නම් අපරාජිත ශුද්ධ භූමිය බැබළී ගිය සැටි, ආසියා ලෝකයේ කැලුම් දහරා විහිදී පැතිරී ගිය සැටි දෙදහස් පන්සිය හැත්තෑ හත්වන වරටත් අපහට සිහිපත් කරවයි.

ලෝකයා හට සම්‍යක් දර්ශනය පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි. දෙසැටක් මිසදිටු නැමැති දැලෙහි පැටලී නානාප්‍රකාර අත්තකිලමථානු යෝග ක්‍රමවල හා කාමසුඛල්ලිකානු යෝග ක්‍රමවල ද ගැලී සිටි ලෝකයාට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගයක් දේශනා කළ දිනය ඇසළ පුනු ‍පොහෝදා යි. ලෝකයාත් සත්ත්වයාත් හේතු ප්‍රත්‍යයන් ගෙන් උපන් බව දේශනා කරමින් හේතු ඵල වාදය අනුගමනය කළ න්‍යායවාදී ශාස්තෘවරයාණන්ගේ උත්තරීතර ධර්මය ලොව පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි. සම්බුද්ධ දිවාකරයාණන්ගෙන් නිකුත් වූ සදහම් අමා බෙර හඬ ආසියා ලෝකයේ කැලුම් වැදී ඒකාලෝක වූ දිනය ඇසළ පුනු ‍පොහෝදා යි. දුකත් - දුකට හේතුවත් - නිවනත්, එය - ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ දිනය ඇසළ පුනු පොහෝදා යි. විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, බුද්ධි විප්ලවයක්, ආගමික උද්‍යෝගයක්, චින්තන ප්‍රබෝධයක් ඇති කළ දිනය ඇසළ පුනු පොහෝදා යි. ශාස්වත දෘෂ්ටිය හා උච්ඡෙද දෘෂ්ටිය යන දෘෂ්ටිවාද දෙක පරම නිෂ්ඨාව වශයෙන් සලකා ගෙන සිටි ලෝකයාට යථාභූත ඤාණ දස්සනය පහළ වූයේ ඇසළ පුනු පොහෝදා යි.

ශ්‍රෙෂ්ඨ සිද්ධීන් රැසක්

වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍යදේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එකුන් තිස් වියේදී ලෙඩෙකු, මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙර නිමිති දැක ගිහිගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. රාහුල කුමරුන්ගේ උපත සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩම්බ රුක්මල්හි දී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත් වැනි වස ගත කිරීමට තව්තිසා දෙව් ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුනු පොහෝ දිනයක දී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් පනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එසේම උතුරුසළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය මැද සිදුවූයේ ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කරගෙනඑනු ලබන දළදා පෙ‍රහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ - ස්කන්ධ - කුමාර - පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර - ශ්‍රී ජයවර්ධන පුර - අලුත් නුවර - නවගමුව - දෙවුන්දර - රත්නපුරය - කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදු කරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රෙෂ්ඨ දිනයක් වශයෙන් මෙ දවස සැලකිය හැකි ය.

ඇසළ මාසය ඈත අතීතයේ සිට ම දෙවියනට පුද පෙරහර පවත්වන දේවාරාධනයට සැරැසෙන ශුද්ධ මාසයක් වශයෙන් ද සම්මත ව ඇත. වෙසක් පොසොන් උත්සව දෙක හැරුණු විට ලංකාවේ පවත්වන දීපව්‍යාප්ත මේ ආෂාඪ (ඇසළ) උත්සවයට සමකළ හැකි කිසිදු උත්සවයක් වෙනත් නො මැත. මහනුවර ආදී පුණ්‍යතීර්ථයන්හි වර්ෂයක් පාසා පැවැත්වෙන මේ ඇසළ පෙරහර උත්සවාදිය නිසා අනෙක් පුනු පෝය දිනයන් හි එළැඹෙන මාසයන්ට වඩා ඇසළ පෝය උදාවෙන ශුද්ධ මාසය දෙව් පුද සඳහා ම වෙන් කැරුණු විවිධ උත්සව විශේෂයන් ගෙන් පිරුණු මාසයක් වශයෙන් බෞද්ධ අබෞද්ධ හැම දෙනා විසින් ම පිළිගනු ලැබේ. එයිනුදු මහනුවර පවත්වන ඇසළ පෙරහර බෞද්ධ ස්වරූපයක් ගැන්වීම පිනිස නාථ - විෂ්ණු - කතරගම - පත්තිනි යන සතර දේවාලයන් හි පෙරහර සතරට මුලින් දළදා පෙරහර එක්වීම එහි දක්නට ඇති විශේෂ ලක්ෂණයකි.

භාරතීය සමාජය

ක්‍රි.පූ. සවන සිය වස ලෝකයේ ආගමික ඉතිහාසයේ අමුතු ම ප්‍රබෝධයක් ඇති කළ යුගයක් වශයෙන් හැඳින්විය හැකි ය. භාරතීය සමාජය ද ‍නොයෙක් දෘෂ්ටීන් ගෙන් ‍හා නොයෙක් ලබ්ධි ගත්තවුන් ගෙන් පිරී පැවතුණි. සත්‍යය කුමක්දැයි විමසන මේ බුද්ධිමතුන් ගේ විමුක්ති පර්යේෂණය හේතු කොට ගෙන ඉන්දීය සමාජය තුළ එක්තරා ප්‍රමාණයෙක චින්තන ප්‍රබෝධයක් ඇති විය. ලෝකයෙහි ද්‍රව්‍ය සන්තතියෙත් සත්ව සන්තතියේත් සම්භවය, ව්‍යාප්තිය හා පරිහානිය පිළිබඳ පැවැති ලෝක ගැටළුව ප්‍රධාන කරගෙන පැන නැගුණු විවිධ දෘෂ්ටීන් නිසා භාරතීය සමාජය නානාවිධ දෘෂ්ටිගතිකයන් ගේ කෙළි බිමක් බවට පත් ව තිබුණි.

ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමෙන් සදා විමුක්තිය හිමිකර ගන්නට ඔවුහු දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අති විශාල පරිශ්‍රමයක් දැරූ හ. එහෙත් ඔවුන් ගේ චින්තාවන් ගෙන් මෙලොව ජීවනයවත් සැපවත් කර ගන්නට නො හැකි විය. සමහරු රූපාවචර - අරූපාවචර අෂ්ට සමාපත්තීන් උපදවා ගෙන ඒ තමා ලබා ගත් සමාපත්ති විශේෂයන් මෝක්ෂය වශයෙන් සලකන්නට වූහ. පූරණකස්සප, මක්ඛලිගෝසාල, නිගණ්ඨනාථපුත්ත, අජිතකෙසකම්බල, සඤ්ජය බෙල්ලට්ඨි පුත්ත, පකුධ කච්චායන යන නම් වලින් හඳුන්වනු ලබන කලක් මුළුල්ලෙහි භාරතීය ජන සමාජයේ හරසර ලබමින් මහ ඉහළින් ජීවත්වුණු ‍නෙ‍ායෙක් දෘෂ්ටිවාද ප්‍රකාශ කළ ශාස්තෘවරුන් සදෙනෙක් වූහ. ඔවුනට ද දහස් ගණන් අනුගාමිකයෝ ද සිය ගණන් ශ්‍රාවකයෝ ද සිටිය හ. ඔවුන් ගේ දර්ශන ශාස්වතවාද හා උච්ඡෙදවාද යන දෘෂ්ටි කඳවුරු දෙකට අයත් ය.

මේ ෂට් ශාස්තෘවරුන් අතුරෙන් උච්ඡෙදවාදය සම්බන්ධ අනාත්මවාදී නාස්තික දෘෂ්ටිකයෝ කර්මය හා විපාකය ප්‍රතික්ෂේප කළ හ. ශාස්වතවාදය සම්බන්ධ ආත්මවාදී නාස්තික දෘෂ්ටිකයෝ ඊශ්වර නිර්මාණවාදයත් කර්මය හා කර්ම ඵලයත් විශ්වාස කළහ. මේ ෂට් ශාස්තෘවරයන් ගෙන් පිටත් නාම ගෝත්‍ර වශයෙන් අප්‍රකට බොහෝ දෘෂ්‍ටිවාදීහු පැරැණි භාරත සමාජයෙහි සුලභ ව සිටිය හ. ඔවුන්ගේ තපෝ ක්‍රම නානාවිධ ය. ජුගුප්සා ජනක ය. සමහරු අර්ධ නිර්වස්ත්‍රයෙන් ද ඇතැමෙක් සම්පූර්ණ අචේලක භාවයෙන් ද යුක්ත ව විසූහ. දිනපතා ආහාර අනුභව කිරීම වෙනුවට දින දෙකකට හෝ සත් දිනකට හෝ අඩ මසකට හෝ වරක් බැගින් ආහාර අනුභව කළ හ. තවත් කෙනෙක් ගෝව්‍රත - ශුනක ව්‍රත - අජව්‍රත රකිමින් ද ගොම වැරටි රුක් පතුරු ආදිය අනුභව කරමින් ද විසූහ. මේ නානාවිධ දෘෂ්ටිගතිකයන් ගේ ප්‍රතිපත්තිය සත්‍යයෙන් තොර වූවත් ප්‍රතිඵලය හිස් වුවත් හැම දෙනාගේ ම මූලික පරමාර්ථය සත්‍ය ගවේෂණය යි. ආධ්‍යාත්මික විමුක්තිය ලබා ගැනීමේ පරමාධ්‍යාශය යි.

බෞද්ධ සංස්කෘතියේ උදාව

මෙබඳු අනේක විධ දෘෂ්ටීන් හේතු කොට ගෙන ප්‍රබුද්ධ ව සිටි භාරත වාසීන් ගේ බුද්ධි විකාශනයට සත්‍ය දර්ශනයක් පාරිශුද්ධ ආගමයක් අවශ්‍ය ව තිබුණු අවධියෙක තථාගතයන් වහන්සේ ගේ ලොව පහළ වීම සිදු විය. බුද්ධ කාලය වන විට ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ හැඟීම් තියුණු තත්ත්වයකට පත් ව තිබුණි. නොයෙක් දර්ශනවාදීහු සත්‍ය ගවේෂණයෙහි යෙදී සිටියහ. එහෙත් කිසිවකුටත් ලෝකය පිළිබඳ ව පැවැත්ම හා නැවැත්ම දෙකට මූලික හේතු කිසිවක් සොයා ගන්නට නො හැකි විය. ඊශ්වර නිර්මාණවාදී ශාස්වත දෘෂ්ටිකයෝ සත්ත්වයා පිළිබඳ එක ම හේතුවක් දුට හ. අප්‍රත්‍යයවාදී උච්ඡෙද දෘෂ්ටිකයෝ කිසිම හේතුවක් නො දුට හ. මේ දර්ශන වාදීන්ගෙන් මහත් පීඩාවට පත් ව පරම සත්‍යය කුමක්දැ යි දැනගත නො හැකිව සිටිය යුගයක පහළ වුණු බුදුහු ලෝකයත් සත්ත්ව සමූහයාත් ඊශ්වරයකු විසින් හෝ සර්ව බලධාරියකු විසින් හෝ නිර්මාණය නො කරන ලද බව සහේතුක ව ලෝකයාට වදාළ ‍හ. එතෙක් ලෝකයේ හා සත්ත්ව සන්තතියේ සම්භවයත් විකාශයත් පිළිබඳ අඳුරට ම වැටී සිටි ඉන්දියානු සමාජයට තථාගතයන් වහන්සේ ගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධර්ම චක්‍ර සූත්‍ර දේශනාවෙන් මතුවුණු මධ්‍යම ප්‍රතිපදාව වැනි ධර්මයන් නිසා අග්‍රගණ්‍ය බුද්ධි ප්‍රබෝධයක් ඇති විය.

එතෙක් දඹදිව පැතිර පැවැති සංස්කෘතීන් යටපත් කරමින් බෞද්ධ සංස්කෘතිය පැතිරෙන්නට විය. විවිධ හැඟීම් හා බලපෑම් නිසා සංකීර්ණත්වයට පත් ව සිටි ජනතාවගේ චින්තන පරම්පරාව අමුතු මඟකට හරවන්නට බුද්ධ ධර්මයේ හා බෞද්ධ සංස්කෘතියේ ‍ආරම්භයත් සමඟ ම පුළුවන් විය. කුලභේද - පන්තිභේද - ජාතිභේද හා ආගම්භේද ආදී විවිධ භේදයන්ගෙන් කොටස් වී සිටි භාරතීය සමාජයට තථාගතයන් වහන්සේ වැනි උත්තරීතර මානුෂික ගුණයන් ගෙන් යුත් උතුමකු ගෙන් විශාල පරිවර්තනයක්, උදාර සේවයක් ඉටු විය යුතු ය. දඹදිව මධ්‍ය මණ්ඩලයේ ප්‍රබල රජකු ගේ පුත්‍රයකු වූ උන්වහන්සේ ගෙන් ඒ අහිංසාවදී විමුක්ති සටනේ ආරම්භය ඇසළ පුනු පොහෝ දිනයක මිගදායේ ඉසිපතන නම් මහා ජය භූමියෙන් ආරම්භ විය.

චතුස්සත්‍යාවබෝධය

තථාගතයන් වහන්සේ ඇසළ පුනු පොහෝ දා බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් මුල් කොට ඇති දස දහසක් සක්වලින් පැමිණි දෙව්බඹ පිරිස් මැද ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට වදාළ හ. “ද්වෙ මෙ භික්ඛවෙ අන්ති පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චා’ යං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො ‍පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උහො අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතී” යනුවෙන් “මහණෙනි, ලාමක වූ ග්‍රාම්‍ය වූ පොදු ජනයා විසින් සෙවුනා වූ අනාර්‍ය්‍ය වූ අනර්ථයෙන් යුක්ත වූ කාමසුඛල්ලිකානුයෝගයෙහි සුඛ වශයෙන් ඇලීමෙක් වේ ද, දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්ථයෙන් යුක්ත වූ අත්ත කිලමථානුයෝගයෙහි යෙදීමෙක් වේද, යන මේ අන්ත දෙක ම පැවිද්දා විසින් නො සෙවිය යුතුය. මහණෙනි, මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද නුවණැස පිරිසුදු කරන ඤාණය පහළ කරන ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නම් මධ්‍යම ප්‍රතිපදාව කෙළෙසුන් දුරු කරනු පිණිස, සිවුසස් දහම් මනා කොට අවබෝධ කර ගනු පිණිස, සම්බෝධිය පිණිස, නිවන් පිණිස පවතී” යයි වදාළ හ. එය ඇසීමෙන් පස්වග මහණුන් ගෙන් කොණ්ඩඤ්ඤ තවුසාට හා අටළොස් කෝටියක් දෙව් බඹුන් හට චතුස්සත්‍යාවබෝධය විය. සිවුසස් දහම් සොළොස් ආකාරයෙන් දැන ගන්නා ආශ්‍රවක්ෂයකර ඥානය (අර්හත්මාර්ග ඥානය) පහළ විය. “චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, අ‍ාලෝකො උදපාදි” යනුවෙන් දැක්වෙන පරිදි නුවණැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ වී යැයි ප්‍රීතියෙන් පිනා ගිය දෙව් බඹ පිරිස්හු සාධුනාද පැවැත් වූ හ. මහ පොළොවින් පැන නැගුණු සාධු නාදය අකනිටා බඹ ලොව දක්වා පැතිර ගියේ ය.

බෞද්ධ දර්ශනය පහළ වීමෙන් මුල පටන් ම නොයෙක් දර්ශනයන් ට ආකරයක් ව පැවතුණු දඹදිව සෙසු දර්ශනයන් සුනු විසුනු වී ගියේ ය. බෞද්ධ දර්ශනයේ ආරම්භයත් සමග ම විශාල සමාජ විපර්‍ය්‍යාසයක් දාර්ශනික විප්ලවයක් ආගමික උද්‍යෝගයක් ඇති විය. චතුස්සත්‍යාවබෝධයෙන් එනම්, දුක්ඛ සත්‍යාවබෝධයෙන් සත්කාය දෘෂ්ටියත්, සමුදය සත්‍යාවබෝධයෙන් උච්ඡෙද දෘෂ්ටියත් නිරෝධ සත්‍යාවබෝධයෙන් ශාස්වත දෘෂ්ටියත් මාර්ග සත්‍යාවබෝධයෙන් අක්‍රිය දෘෂ්ටියත් බිඳ වැටෙන්නට විය. අනීශ්වරවාදය අනාත්ම වාදය, කර්ම වාදය, පුනර්භවය හා නිර්වාණය වැනි ගැඹුරු ධර්ම කරුණු විෂයයෙහි සමාජයෙහි විශාල බුද්ධි ප්‍රබෝධයක් ඇති විය. අසරණ සතුන්ගේ ලෝහිතයෙන් පූජාසන තවරන යාග හෝම බලි බිලි පවත්වමින් කරනු ලබන පඤ්ච සතික සප්ත සතිකාදි හිංසාවාදී ක්‍රියාවන්ටත් මනඃකල්පිත දෙවියන්ටත්, කුලවාදයටත්, වහල් වෙළඳාමටත්, මානුෂික නිදහසටත්, විරුද්ධ ව ඇති නීතිරීතිවලටත් එරෙහි ව අහිංසාවාදී ක්‍රියාමාර්ගයෙක අතුල්‍ය පදනම වැටුණේ ධර්ම චක්‍ර සූත්‍ර දේශනාවෙන් හෙළි කළ බුද්ධ ධර්මය හේතු කොටගෙනය.

සමාජ ප්‍රබෝධය

ක්‍රි.පූ. සයවන සියවසේ භාරතයේ පහළ වුණු බුද්ධ ධර්මය කරණකොට ගෙන අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි ලෝකයාට සිදුවුණු උදාර සේවය අති විශිෂ්ට ය. පෙර අපර දෙ දිග රටවල පහළවුණු සංස්කෘතින් අතර බෞද්ධ සංස්කෘතියෙන් තරම් අගනා සේවයක් චින්තන ප්‍රබෝධයක් සමාජ විපර්‍ය්‍යාසයක් අන් කිසිදු සංස්කෘතියකින් ඇති නො වීය. බුද්ධාගමය බුද්ධියට මුල් තැන දුන් දර්ශනයෙකි. එය භක්ති මාර්ගයක් නො වේ. බුද්ධි මාර්ගයකි. එහි අන්ධ විශ්වාසයෙක් නැත. පරීක්ෂා කිරීමට තහනමෙක් නැත. අමුතුවෙන් තර්ක කරන්නට දෙයක් නැත. රත්රන් ගින්නෙහි ලා උණු කොට හොඳ නරක විමසන්නා සේ තම තමන්ගේ පරීක්ෂණ බුද්ධිය නැමැති ගින්නෙහි ලා හොඳ නරක විමසා පිළිගන්නට නිදහස ලබා දී තිබේ. එසේ නො මැතිව බලයෙන් මිනිසුන්ට ආගම අදහවන්නට පෙළඹවීමක් නැත. බෞද්ධ සංස්කෘතිය ලෝකයේ රටවල පැතිරී ගියේ ආක්‍රමණශීලී සතුරෙකු වශයෙන් නො වැ මිනිසාගේ ජීවිතයේ මාර්ග දේශකයෙකු යහපත් මිතුරෙකු වශයෙනි. බෞද්ධ සංස්කෘතිය පැතිරී ගිය හැම රටක ම ඇතිවුණු සමාජ පෙරළිය ආගමික ප්‍රබෝධය එයට සාක්ෂ්‍ය දරනු ඇත. බුදුන් වහන්සේ ගේ කාලයේත් ඊට පසුවත් ලෝකයේ පෙර අපර දෙදිග රටවල නොයක් චින්තකයන්, මහා දාර්ශනිකයන් පහළ වූවත්, මනුෂ්‍ය සමාජයේ ප්‍රගතියට හේතු වන සාධාරණ වූත් ප්‍රඥා ගෝචර වූත් ධර්ම මාර්ගයක් වදාළේ තථාගතයන් වහන්සේ විසිනි. උසස් පඬිවරයෙකු වූ “රීස් ඩේවිඩ්ස්” මහතා ප්‍රකාශ කරන්නේ “ගෝලයන් සිය කැමැත්තෙන්, පසු ව වෙනස් කළ හැකි ධර්ම මාර්ගයක් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත්තා හ” යනුවෙනි. ඇතැම් ආගම් වල පවත්නා මූලික සිද්ධාන්තයන් පව‍ා මේ විද්‍යා යුගයේ විද්‍යාඥයන් ගේ අලුත් සොයා ගැනීම් අනුව වෙනස් කරන්නට තරම් හේතු විය. එහෙත් මෙයට ශත වර්ෂ විසි පහකට පමණ පෙර පහළවුණු බෞද්ධ දර්ශනය නවීන විද්‍යාවන් ඉදිරියේ තව තවත් බැබළෙන්නට විය. ලෝකයේ වෙනස්වීම් අනුව සමාජ තත්ත්වය දෙස බලා කලින් කලට වෙනස් කළ යුතු ධර්මයක් තථාගතයන් වහන්සේ නො වදාළ හ. ලෝකයට කවදටත් එකසේ ගැළපෙන ස්ථීර පදනමක් මත පිහිටි ධර්මයක් බුදුහු වදාළ හ.

අවිද්‍යාව නසා විද්‍යාව ඇති කොට පුද්ගලයාත් සමාජයත් දියුණු කරන ධර්ම ක්‍රමයක් බුදු දහමේ ගැබ් ව ඇත. ශීලාචාර ගුණ සම්පන්න සභ්‍ය සමාජයක් බවට හැරවීමට සමත් උපදෙස් එහි ඇතුළත් ව පවතී. “තමා ගේ නිදහස තමා විසින් ම සොයා ගත යුතු ය” යන ඉගැන්වීම බෞද්ධ දර්ශනයේ සඳහන් වන ශ්‍රෙෂ්ඨ උපදේශයෙකි. බුද්ධත්වය වැනි උසස් තත්ත්වයන් පවා ලබා ගත හැක්කේ උත්සා‍හයෙන් මිස දෙවියන් ගේ උදව්වෙන් නො වන බව පෙන්වා දී තිබේ. ජීවිතය වෙනස් වෙමින් ගමන් කරන්නක් බවත් එසේ වෙනස් වෙමින් පෙරළෙමින් දිගින් දිගට ම යන්නට නො දී වෙනස් නොවන පරම සැපත ලබා ගන්නට ක්‍රියා කළ යුතු ආකාරයත් වදාරා ඇත. සීමාන්විත සැපයත් සීමාන්විත දුකත් දෙක ම ප්‍රතික්ෂේප කළ බුදුහු මධ්‍යම ප්‍රතිපදාව වදාළ හ. ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සතුටේත් ඉඳුරන් හික්මීමෙන් ලැබෙන සතුටේත් විශාල වෙනසක් ඇති බව බුදුහු දේශනා කළ හ. බෞද්ධයා ගේ පරමාර්ථය වූ පරම සැපත ලැබිය හැක්කේ ඉඳුරන් පිනවීමෙන් නොව, ඉඳුරන් හික්මවීමෙන් බව බුදු දහම නිසා ‍ලෝකයාට අවබෝධ විය. බුද්ධාගමය මිනිසා ගේ දියුණුව සැලසීමට පමණක් සීමාවූවක් නො ව එය මිනිසාගේ මෙන් ම සමාජයේත් හැඩ ගැස්වීමට සමත් සමාජ ශීලයක් සමාජ දර්ශනයක් බව ලෝකයාට අවබෝධ වීය. බුදු දහම පුද්ගලයාගේ විමුක්තිය මෙන් ම සමාජයේ විමුක්තියත් ලබා ගන්නට මඟ පෙන්වන ‍දර්ශනයෙකි. මිනිසුන් අතර සමගිය හා සමාදානය අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය ඇති කර ගන්නා අයුරු බුදු දහමින් ලෝකයාට මැනැවින් පෙන්වා දී තිබේ. ආගම් සමහරුන් පෞද්ගලික වස්තුවක් වශයෙන් තබාගෙන ක්‍රියා කළ අවධියෙක් ලොව පහළවුණු තථාගතයන් වහන්සේ ආගම මිනිසා ගේ පොදු වස්තුවක් වශයෙන් කාටත් සාධාරණ ව නිදහස් කල්පනාවට අනුව ඇදහීමට ඉඩ සලසා දුන්හ. මානුෂික නිදහස උසස් පහත් කුලීන කුලහීන කොයි කාටත් එකසේ සාධාරණ ව විඳීමේ අයිතිය බුදු දහමේ උදාවෙන් පසුව ලෝකයාට ලැබිණ. බුදු දහම කිසිවිටෙක මානුෂික නිදහසට හරස් නො වෙයි. නිදහස් හැඟුමෙන් පිබිදෙන්නට ඉවහල් වෙයි. ආත්ම විමුක්තිය සාක්ෂාත් කර ගන්නට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එයින් උගන්වයි.

බ්‍රහ්මාරාධනය

වෙළඳ දෙබෑයන් විසින් පිරිනැමූ දන් වැළඳූ බුදුරජාණන් වහන්සේ කිරිපලුරුක මුලින් නැගිට නැවැත අජපාල නුග රුක කරා වැඩම කළහ. එහි චිත්ත විවේකයෙන් වැඩ හුන් උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. “මා විසින් අවබෝධ කරන ලද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ඉතා ගැඹුරු ය. පහසුවෙන් දැක්ක නො හැකි ය. සුවසේ අවබෝධ කිරීමට ද නො හැකි ය. එය ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් නො වැ එය ඥානයෙන් ම පරීක්ෂා කටයුතු ය. පණ්ඩිතයන් විසින් අ‍වබෝධ කටයුතු ය. මේ ලෝකවාසී සත්ත්වයෝ පස්කම් ගුණයෙහි බැඳී එයින් සතුටු ව වෙසෙති. එබඳු අය හට මා විසින් අවබෝධ කළ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැඹුරු ය. අ‍‍වබෝධ කිරීමට නො හැකි ය. එබැවින් ඔවුනට ධර්මය දේශනා කිරීම නිෂ්ඵල ය.

මා විසින් දුක සේ අවබෝධ කළ ධර්මය රාග ද්වේෂ දෙකින් මඬනා ලද්ද වුන් විසින් අ‍වබෝධ කළ නො හැකි ය. රාගයෙන් බැඳුණු අවිද්‍යාවෙන් වැසුණු සත්ත්වයෝ නිර්වාණය කරා පමුණුවන සියම් වූ ගැඹුරු වූ ධර්මය අවබෝධ කිරීමට අසමත්හු වෙති”.

මෙසේ තථාගතයන් වහන්සේ ගේ සිත ධර්ම දේශනයෙහි මන්දෝත්සාහී බවට පත් ව තිබෙනු දුටු සහම්පතී බ්‍රහ්ම තෙමේ වහාම පැමිණ බුදුරදුන්ට වැඳ “ස්වාමීනි, ධර්මය දේශනා කරන සේක්වා. කෙලෙස් අඩු සත්ත්වයෝ ලොව ඇත්තා හ. දහම් ඇසීමට නො ලැබුණොත් ඔහු පිරිහෙති. ධර්මය අවබෝධයෙහි සමර්ථ සත්ත්වයෝ සිටිති” යි කියමින් මේ ගාථාවන් ද ප්‍රකාශ කෙළේ ය.

1. පාතුරභොසි මගධෙසු පුබ්බෙ

ධම්මො අසුද්ධො සමලෙහි චින්තිකො

අවාප‍ුරෙතං අමතස්ස ද්වාරං

සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං

.

2. සෙලෙ යථා පබ්බත මුද්ධ නිට්ඨිතො

යථාපි පස්සෙ ජනතං සමන්තතො

තථූපමං ධම්ම මයං සුමෙධ

පාසාදමරුය් භ සමන්තචක්ඛූ

සොකාවතිණ්ණං ජනතමපෙත සොකො

අවෙකඛස්සු ජාති ජරාභිභූතං

.

3. උට්ඨෙහි වීර විජිත සංගාම

සත්ථවාහ අණන විචර ලොකෙ

දෙසස්සු භගවා ධම්මං

අඤ්ඤාතාරො භවිස්සන්තී’ති

  1. “පෙර මගධ දනව්වෙහි රාගාදි කෙලෙස් මලින් යුක්ත වූවන් විසින් සිතන ලද්දා වූ මිථ්‍යාදෘෂ්ටි ධර්මයෙක් පහළ විය. නිවන් දොරටුව ආර්‍ය්‍ය මාර්ගය විවෘත කරනු මැනැවි. දුරු කළ රාගාධි කෙලෙස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කළ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සත්ත්වයෝ අසත්වා”
  2. “ගල් පවුවක් මුදුනෙහි සිටි පුරුෂයෙක් හාත්පස ජන සමූහයා පහසුනේ දක්නේ යම් සේ ද එසේ ම සියල්ල දක්නා නුවණ ඇති බුදුරජාණන් වහන්ස! පහ වූ ශෝක ඇති ඔබ වහන්සේ ඒ ගල් පවුව වැනි වූ ධර්ම නැමැති ප්‍රාසාදයට නැගී ශෝකයෙහි බැඳුණු ජාති ජරා දුකින් මඩනා ලද සත්ත්වයන් දෙස නුවණින් බලන සේක් වා”.
  3. දිනන ලද මාරසංගාම ඇති සාර්ථවාහක වූ කාමච්ඡන්ද නැමැති ණය නැති වීරයන් වහන්ස! නැගී සිටිනු මැනැවි. ධර්ම දේශනා කරනු මැනවි. ධර්මාවබෝධයට සමර්ථ වූ සත්ත්වයෝ ඇත්තාහ.

ඉක්බිති බ්‍රහ්මාරාධනය ලත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් ලොව බැලූ සේක. එසේ ලොව බැලූ උන්වහන්සේට රාගාදී කෙලෙස් අඩු වූ ද වැඩි වූ ද ශ්‍රද්ධා දී ඉන්ද්‍රියයන් තියුණු වූ ද මෘදු වූ ද සත්ත්වයන් දැක ‍ධර්මය දේශනා කරන බව සහම්පතී මහා බ්‍රහ්මයාට දැන් වූ සේක.

“අපාරුතං තෙසං අමතස්ස ද්වාරා

යො සොතවන්තො පමුඤ්චන්තු සද්ධං

විහිංස සඤ්ඤි පගුණං න භාසුයිං

ධම්මං පණීතං මනුජෙසු බ්‍රහ්මෙ”

“බ්‍රහ්මය! වෙහෙසය යන කල්පනාව ඇති වූ යෙම් ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන්ට මේ තාක් නො කීයෙමි. යම් කෙනෙක් කන් ඇත්තෝ වෙත් ද ඔහු ශ්‍රද්දාව උපදවා ගනිත්වා. ඔවුනට අමෘත ද්වාරයෝ විවෘත කරන ලද හ”.

ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ බුදුරජාණන් වහනසේ විසින් ඔහු‍ ගේ ආරාධනය පිළිගත් බව දැන භාග්‍යවතුන් වැඳ පැදකුණු කෙට අතුරුදහන් විය. බ්‍රහ්මයා ගේ ආරාධනය ඇති ව ධර්ම දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ කල්පනා කෙළේ එකල ලෝ වැසි බොහෝ දෙනෙකු බ්‍රහ්ම ගරුකයන් වන හෙයිනි. ඔහුගේ ආරාධනය ලබා ධර්මය දෙසනවිට බ්‍රහ්ම ගරුක ලෝකයා එය ඇසිමට වඩාත් කැමැත්ත දක්වති. ඉක්බිති බුදුරජානන් වහන්සේට “මම කවරෙකුට පළමුව දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ සිවුසස් දහම් අවබෝධ කිරීමට සමත් වේ දැයි සිකෙත් පහළ විය. ‍එකෙනෙහිම උන් වහන්සේට ආළාරකාළාම තවුසා සිහිපත් විය. ඔහු කොහි වෙසේ දැයි බුදු නුවණින් බැලූ කලැ සත් දවසකට පෙර කලුරිය කළ බව පෙනුනේ ය.

අන් කවරෙක් මාගේ ධර්මය අවබෝධකර ගන්නේ දැයි විමසනුයේ උන්වහන්සේට උද්දකරාමපුත්ත තවුසා ගැන සිහිපත් විය. ඔහු කොතැන් හි වෙසේ දැයි බැලූ කලැ ඔහු ද ඊයේ රාත්‍රියේ කලුරිය කළ බව පෙනුණි. තුන් වෙනුවද පෙර සේම සිතූ බුදුන් වහන්සේට මේ අදහස පහළ විය. “පස්වග තවුසහු මට බො‍හෝ උපකාර කළ හ. ඔවුහු මා දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි මට උපස්ථාන ද කළ හ. ධර්මාව‍බෝධයට ද සමත් වෙති. මම ඔවුනට පළමුවෙන් දහම් දෙසන්නෙම් නම් මැනැවි” යනුවෙනි. ඔවුහෙු කොතැන්හි වෙසෙත්දැයි බැලූ කලැ බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වෙසෙන බව දිවැසින් දැක ඔවුනට දහම් දෙසන්නට ඉට ගත් සේක.

උපකගේ හමුවීම

පස්වග තවුසනට දහම් දෙසීමට ඇසළ පුනු පොහෝදා බරණැස් නුවර මිගදාය නම් වූ ඉසිපතනාරාමය බලා බුදුහු වැඩම කළහ. උපක ආජීවක තෙමේ ගයාවට හා බෝධියට ද අතරෙහි වූ මාර්ගයෙහි දී සන්සුන් ව වඩනා බුදුරජාණන් වහන්සේ දැක මෙසේ කී ය. “ඇවැත්නී! ඔබ වහන්සේ ගේ චක්ෂුරාදී ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නය හ. ශරීර වර්ණය ද පිරිසිදු ය. අතිශයින් නිර්මල ය. ඔබ වහන්සේ කවරකු ගේ ධර්මයට රුචි කරන සේක් දැ”යි ප්‍රශ්න කෙළේ ය. ඔහුට පිළිතුරු වශයෙන් බුදුහු මේ ගාථාවන් වදාළ හ.

1. “සබ්බාභිභූ සබ්බවිදූ හමස්මි

සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො

සබ්බඤ්ජහො තණ්හක්ඛයො විමුත්තො

සයං අභිඤ්ඤාය කමුද්දි සෙය්‍යං

.

2. නමෙ ආචාරියො අත්ථි - සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලොකස්මිං - නත්ථි මෙ පටිපුග්ගලො

.

3. අහංභි අරහා ලොකෙ - අහං සත්ථා අනුත්තරො

එකොම්හි සම්මා සම්බුද්ධො - සීතිභූතොස්මි නිබ්බුතො

.

4. ධම්ම චක්කං පවත්තෙතුං - ගච්ඡාමි කාසිනං පුරං

අන්ධභූතස්මිං ලොකස්මිං - අභඤ්ජං අමත දුන්දුභිං”

  1. මම කාම රූප අරූප යන තුන් භවය‍ට අයත් සියලු ධර්මයන් මැඩ සිටියෙමි. කාම රූප අරූප ලෝකෝත්තර යන සතර භූමීන්ට අයත් සියලු ධර්මයන් දැන ගතිමි. තුන් භවයට අයත් කිසිදු ධර්මයෙක් හි නො ඇලුනේ වෙමි. එ‍හෙයින් තෙමේ ම සියලු ධර්මයන් දැන සිටි හෙයින් මම කවරකු ගුරුවරයා වශයෙන් උදෙසම් ද?
  2. ලෝකෝත්තර ධර්මයෙහි මට ගුරුවරයෙක් නැත. මට සමාන කෙනෙක් විද්‍යමාන නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හා සමාන පුද්ගලයෙක් නැත.
  3. මම ම ලෝකයෙහි රහත් වෙමි. මම ම නිරුත්තර ශාස්තෘ වෙමි. මම ම සම්‍යක් සම්බුද්ධ වෙමි. සියලු කෙලෙස් ගිනි නිවීමෙන් සිහිල් වූයේ වෙමි. එහෙයින් ම නිවුණේ වෙමි.
  4. මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යා වෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි.

මෙසේ බුදුන් වහන්සේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ “ඇවැත්නී! ඔබ වහන්සේ එසේ පිළින කරන හෙයින් “අනන්තජින” වීමට සුදුසු යැ යි කීයේ ය. ඔහු ගේ වචනයට බුදුහු මෙසේ පිළිතුරු දුන් සේක.

“මාදිසා වෙ ජිනා හොන්ති - යෙ පත්තා ආසවක්ඛයං

ජිතා මෙ පාපකා ධම්මා - තස්මා, හං උපකාජිනො”

  1. කාමාදී ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණි මා වැනි යම් කෙනෙක් වෙත් ද ඔහු ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, මා විසින් සියලු පාප ධර්මයෝ දිනන ලද හ. එහෙයින් මම (අනන්ත) ජින නම් වෙමි.

මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ හිස සලා එසේ විය හැකිය යි ප්‍රකාශ කොට වංගහාර ජනපදය බලා ගියේ ය.

බුදුරජානන් වහන්සේ අට‍ළොස් යොදුන් මග ගෙවා බුද්ධත්වයෙන් සැට දවසක් සම්පූර්ණ වූ ඇසළ මස පුර පසළොස්වක් දිනයෙහි බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි පස්වග මහණුන් වෙත වැඩි සේක. බුදුරදුන් වඩිනු දුටු පස්වග මහණහු මෙසේ කතික කර ගත්හ. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ප්‍රධන් වීර්‍ය්‍ය අත්හැර මධුර වූ ආහාර අනුභව කොට කය මැනැවින් සතප්පවා ගෙන බුදු විය නොහී අපකරා පැමිණේ. අප ඔහුට නොවැඳිය යුතු ය. උවටැන් නො කළ යුතු ය. පා සිව‍ුරු නො පිළිගත යුතු ය. පෙර ගමන් නො කොට යුතු ය. දැක හුනස්නෙන් නො නැගිටිය යුතු ය. එසේ නමුත් රජ කුලයෙහි උපන් හෙයින් කැමැති නම් හිඳගනු පිණිස අසුනක් දිය යුතු ය.”

එහෙත් භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් වෙත එළඹෙත් ම ඔවුනට ස්වකීය කතිකාවන් හි සිටින්නට නො හැකි විය. එක් තවුසෙක් පෙර ගමන් ක‍ොට පා සිවුරු පිළිගත්තේ ය. එක් තවුසෙක් අසුනක් පැණවී ය. එක් තවුසෙක් පා දෝනා දිය ආදිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අසුනෙහි වැඩ හුන් හ. බුදුරදුන් කථා කළ කල්හි පස්වග මහණහු “ආවු‍සො” (ඇවැත්නි) වාදයෙන් බුදුන් වහන්සේ ඇමතූහ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය අවබෝධ කළ බැවින් “ආවුසො” යි ආමන්ත්‍රණය නො කරන ලෙස ඔවුනට තුන් යළ දක්වා ප්‍රකාශ කොට තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බැව් හැඟ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළිගත් පස්වග තවුසෝ දහම් අසන්නට කන් යොමු කළ හ.

ධර්මචක්‍ර සූත්‍ර සාරය

සහම්පතී මහා බ්‍රහ්ම රාජයා ගේ ආරාධනා පිළිගත් බුදුහු බුද්ධත්වයෙන් මාස දෙකක් සම්පූර්ණ වුණු ඇසළ මස පුන් පොහෝ දා බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් ප්‍රධාන කොට ඇති දස දහසක් සක්වලින් පැමිණි දෙව් බඹ පිරිස් මැද ධම්ම චක්ක සූත්‍රය දේශනා කළ සේක. අන්තද්වය - මධ්‍යම ප්‍රතිපදාව - චතුරාය්‍යර්‍ සත්‍යය - ත්‍රිපරිවෘත්ය - හා ද්වාදශාකාරය යන මේ කරුණු මෙහි ඇතළත් වේ. ධම්ම චක්ක සූත්‍රය - සංයුත්ත නිකායේ සච්ච සංයුත්තයට අයත් දෙවන වර්ගයේ ප්‍රථම සූත්‍රය යි. සකල බුද්ධ ධර්මය සංක්ෂිප්තව සංගෘහිත වන හෙයින් එය ධම්ම චක්ක නමින් ව්‍යවහාර වෙයි.

ධම්ම චක්ක

  1. පටිවෙධ ධම්ම චක්ක
  2. දෙසනා ධම්ම චක්ක

යනුවෙන් ධම්ම චක්ක ශබ්දය අර්ථ දෙකක යෙදේ.

පටිවෙධ ධම්ම චක්ක නම්:

පරිඤ්ඤා - පහාණ - සච්ඡිකාතබ්බ - භාවෙතබ්බ වශයෙන් සිවු මගින් සොළොස් ආකාරයෙන් සිවුසස් දහම් මනා කොට අ‍‍වබෝධ කිරීම යි. සෝවාන් වන විට දුක්ඛාරය සත්‍යය පිරිසිඳ දැන ගනියි. (පරිඤ්ඤෙය්‍යං) සමුදයාර්‍ය්‍ය සත්‍යය පුහාණය කෙරෙයි. (පහාතබ්බං) නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කෙරෙයි. (සච්ඡිකාතබ්බං) මාර්ග සත්‍යය වැඩිය යුතු වෙයි. (භාවෙතබ්බං)

මෙසේ සෝවාන් වෙන විට සිවුසස් දහම් පෙර පසු නො වී එක විට ම අවබෝධ වෙයි. සකෘදාගාමී අනාගාමි අර්හත් යන ත්‍රිවිධ මාර්ගයන් අවබෝධ වෙන විට ද පෙර පසු නො වී සිවුසස් දහම් ඒ ඒ මඟ ඵල සිත්වලට අවබෝධ වෙයි. මෙසේ සිවුසස් දහම් සිවු මගින් සොළොස් ආකාරයෙන් මනා කොට දැන ගන්නා නුවණ ප්‍රතිවේධ ධර්ම චක්‍ර ඥානය යි. ප්‍රතිවේධය ප්‍රඥාවෙන් සිද්ධ වෙයි. බුදුරජාණන් වහන්සේ ගේ අර්හත්වය ප්‍රඥාවෙන් යුක්ත වූ ප්‍රතිවේධ ඥානයෙන් සම්පූර්ණ විය. තථාගතයන් වහන්සේ බෝධි මූලයෙහි දී බුද්ධත්වයට පත් වීමෙන් ලැබුවේ ප්‍රතිවේධ ධර්ම චක්‍ර ඥානය නම් වෙයි.

දෙසනා ධම්ම චක්ක නම්:

සත්‍යඥාන - කෘත්‍යඥාන - කෘතඥාන යන ත්‍රිපරිවෘත්තයකින් යුත් දෙ‍ාළොස් ආකාරයෙන් සිවුසස් දහම් අන්‍යයන් හට මනා කොට අවබෝධ කරවීම යි. දේශනාව කරුණාවෙන් සිද්ධ වෙයි. කරුණාවෙන් ප්‍රතිමණ්ඩිත ව දේශනා ඥානයෙන් අන්‍යයන් ගේ අර්හත් ඵලාවබෝධය සිදු වෙයි. ‍බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් ඉදිරියේ වදාළේ දේශනා ධර්ම චක්‍රය යි. ප්‍රතිවේධඥාන දේශනාඥාන යන දෙආකාරයෙන් යුත් චතුස්සත්‍ය ධර්ම චක්‍රය මෙහි ධම්ම චක්ක ශබ්දයෙන් ගනු ලැබේ.

ධම්ම චක්කප්පවත්තන නම්:

  1. ධර්ම නැමැති ‍රෝදය පෙරළා හැරීම යි.
  2. මාර්ග ඵල පිළිබඳ දැනීම ගොඩ නැංවීම යි.
  3. පරම සත්‍යය පිළිබඳ රෝදය කල්‍යාණ ධර්මය පිළිබඳ රෝදය පෙරලා හැරීම යි.
  4. ධර්ම චක්‍රය නමැති ආයුධයෙන් විනය ජනයන් ගේ සිත් සතන්හි ඇති කෙලෙස් නැමැති සතුරන් විනාශ කොට පළවා හැරීම යි.
  5. විනය ජනයන් ගේ චිත්ත සන්තානයන්හි ඉන්ද්‍රිය - බල බොජ්ඣංග ආදී සත්තිස් බෝධි පාක්ෂික ධර්ම උපදවා හික්මවා ලීම යි.
  6. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය ලෝක වාසීන් ගේ දැන ගැනීම පිණිස ඔවුන් ඉදිරියේ තැබීම යි.

ඉසිපතන නම්:

පළමුවෙන් ම සදහම් අමා බෙර හඬ නිකුත් වුණු අපරාජිත ශුද්ධ භූමිය යි. දැන් මේ ස්ථානය හැඳින්වෙන්නේ “සාරානාත්” යන නාමයෙනි. මෙයට සාරනාත් යන නාමය ලැබුණේ ‘මිග ජාතකයේ’ දී මුවන්ට අභය සැලසූ බෝධි සත්ත්ව මුවා ගේ නාමයෙනි. උන් වහන්සේ ගේ එකල නාමය සාරංගනාථ යනු යි. මුවන් ගේ ආරක්ෂකයා යන අදහස ඉන් ලැබේ. බෝධි සත්ත්ව කාලයේදීත් බුදුවූවායින් පසුවත් ලෝකයාට කරුණාව දැක්වීම සඳහා උන් වහන්සේ මේ ස්ථානය තෝරා ගත් හ. ඍෂි වරුන් සහ පසේ බුදුවරුන් අහසින් අවුත් බිමට බැසීම අහසට නැගීමාදිය සිදු වූ ස්ථානය ‘ඉසිපතනය’ යන නමින් ව්‍යවහාරයට ගිය බව සමහරු කියති. මේ පුණ්‍ය භූමිය ඈත අතීතයේ පටන් ම තාපසවරුන් හට සැනසුම් සිසිල ගෙන දුන් රමණීය අසපුවක් ලෙස පැවතුණේ ය. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූප ගමනය සිදුවූයේ ද මේ ජය භූමියේ ය. එය මේ වන තුරු ම ලක්ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශ්‍රද්ධා භක්තීන් උපදවන පුණ්‍ය භූමියක් ලෙස පවත්නේ ය.

අපේ පැරැණි කවියන් ඒ මහා ජය භූමිය හඳුන්වා ඇත්තේ මෙසේ යැ.

බුදුව දැන සව් නේ

තුටුව පල සම වති නේ

ගොසින් ඉසිපත නේ

උතුම් දම්සක් පවත් වමි නේ

මිගදාය නම්:

මෙය ඉසිපතනයට ව්‍යවහාර කරන නාමයෙකි. මුව ආදී සිවුපාවුන්ට අභය දානය කළ නිසා මේ ස්ථානය මිගදාය නම් විය. අප බෝසතාණන් වහන්සේ එක් කලෙක න්‍යග්‍රෝධ නමින් මුවකු ව ඉපිද මෙහි විසූ හ. රජු විසින් මුවන් විනාශ කිරීමෙහි යෙදී සිටිය දී ඔහුට කරුණු පැහැදිලි කිරීමෙන් පසු මේ ස්ථානය අභය භූමියක් වශයෙන් සම්මත වුණු බව න්‍යග්‍රෝධ මිග ජාතකයෙ හි සඳහන් වේ.

අන්ත දෙක නම්:

කාම සුඛල්ලිකානු යෝගය හා අත්තකිලමථානු යෝගය යි. අන්ත යනු කෙළවර යි. කාම සුඛල්ලිකානුයෝගය නම්, වස්තු කාම - ක්ලෙශ කාමයන් පිළිබඳ සත්ත්වය‍ා තුළ පවත්නා තෘෂ්ණාව යි. මෙහි කාම යනුවෙන් වස්තුකාම - ක්ලේශකාම යන ද්විවිධ කාමයෝ ගැනෙති. රූපකාම - සද්දකාම - ගන්ධකාම - රසකාම - ඵොට්ඨබ්බකාම - ධම්මකාම යැයි ෂඩ් විධ වෙති. ‍එසේ සත්ත්වයා විසින් තෘෂ්ණාවෙන් පිළිගනු ලබන සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වූ ස්ත්‍රී පුරුෂ ධන ධාන්‍යාදී සියලු දේ වස්තු කාමයො යි. ක්ලේශ කාමය නම්, ඒ වස්තු කාමය පිළිබඳ ව සත්ත්වයාට උපදින ආශාව යි. මේ ද්විවිධ කාමයන් හි ඇලී ගැලී වාසය කිරීම කාම සුඛල්ලිකානුයෝගය යි. අත්ත කිලමථානුයෝගය නම්, ශරීරය ක්ලාන්ත බවට වෙහෙසට පත් කරන ශරීරයට දුක් පීඩා ගෙන දෙන පඤ්ච විධ කටුක ව්‍රතාදියෙහි නැවැත නැවැත යෙදී වාසය කිරීම යි. පෙර දඹදිව සමහරු මිථ්‍යාශීල - මිථ්‍යා ව්‍රත සමාදන් ව එයින් විමෝක්ෂය බලාපොරොත්තු වූ හ. ශරීරයට බලවත් දුක් දීමෙන් එ් උත්තරීතර සුඛය ලබාගත හැකි බව ඔවුහු විශ්වාස කරමින් කටුක ව්‍රතවල ඒ අනුව යෙදී වාසය කළහ. අධික ශීත කාලයේ දියේ ගිලීම අධික ග්‍රීස්ම කාලයේ ගිනි තැපීම, ගිනි මතුයෙහි සක්මන් කිරීම කටු ගොඩවල් මතුයෙහි සයනය කිරීම ආදී විවිධ ව්‍රත චර්‍ය්‍යාවෙහි යෙදෙමින් කය සිත දෙකට බලවත් පීඩා ගෙන දෙන හැසිරීම අත්තකිලමථානු යෝගය යි.

මේ අන්ත දෙක ම ආර්යයන් විසින් සේවනය නො කළ යුතු අනාර්යයන් විසින් සේවනය කළ යුතු හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද්දක් බව බුදුන් වහන්සේ වදාළ හ. උන් වහන්සේ එය දේශනා කොට වදාළේ තමන් ද එහි යෙදී කිසිදු හරයක් නා මැති බව ප්‍රත්‍යක්ෂ ව ම අවබෝධ කර ගෙන ය. එකුන් තිස් වසක් මුළුල්ලෙහි ලොව කිසිවකු හටත් සම කළ නො හැකි අයුරින් කාමසුඛල්ලිකානු යෝගයෙහි උත්කෘෂ්ට ලෙස යෙදී වාසය කළ හ. සය වසක් මුළුල්ලෙහි ප්‍රමාණ කළ නො හැකි තරම් වූ මහා දුෂ්කර වීර්‍ය්‍යයක් කරමින් අත්තකිලමථානු යෝගයෙහි යෙදී වාසය කළ හ. එහෙත් මේ ද්විවිධ ක්‍රමයන් ගේ ඇති අනාර්යත්වය අවබෝධ කරගෙන එයින් වෙන් වන ලෙස වදාළ හ.

මධ්‍යම ප්‍රතිපදාව නම්:

පළමු කියන ලද අන්ත දෙකට නො පැමිණ නිවන් සුව ලබනු පිණිස ගමන් කළ යුතු සම්මාදිට්ඨි ආදී අංග අටකින් යුත් මේ උතුම් ප්‍රතිපදා මාර්ගය යි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ග ය යි. ආර්ය යනු බුදු - පසේ බුදු - මහරහත් උතුමනට ව්‍යවහාර කරන නාමයෙකි. මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගය සෝවාන් ආදී ඒ ඒ මගින් නැසිය යුතු කෙලෙසුන් නේ දුරු ව හෙයින් ද ආර්යභාවය සිදු කර දෙන හෙයින් ද, ආර්යඵල ප්‍රතිලාභය පිණිස පවත්නා හෙයින් ද, ආර්ය යැයි කියනු ලැබේ. අෂ්ට යනු අට යි. අංගික යනු හේතුව යන තේරුම යි. මාර්ගික යනු උපාය පාර යන තේරුම දෙයි. ‍එවිට මෙහි සම්පූර්ණ අදහස නම් බුදු - පසේ බුදු - මහ රහතන් වහන්සේලා පිළිපන් අංග අටකින් යුත් මාර්ගය යනු යි. පුද්ගලයා ආර්යභාවයට පමුණුවන්නා වූ ද, පුද්ගලයාට ආර්යඵල ප්‍රතිලාභය සිදු කර දෙන්නා වූ ද, අංග අටක් ඇති මාර්ගයට ආර්යඅෂ්ටාංගික මාර්ග යැයි ද කියනු ලැබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සද සංයෝජනයන් අර්හත් මාර්ග ඥානයෙන් නැසීමෙන් ලැබෙන විජයග්‍රහණය වන පුනර්භවය සිඳලීම බෞද්ධ දර්ශනයේ සඳහන් වන බෞද්ධයා බලාපොරොත්තු වන විමුක්ති සැපත වන බව දේශනා කළ හ. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සමාජයේ සම්භාවනයට පාත්‍රවුණු විවිධ දෘෂ්‍ටීන් හා දර්ශනත් යටපත් කරමින් මතු වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුකොට ගෙන සිදුවුණු සාමයික විපර්‍ය්‍යාසය ඉතා විශාල ය. එම සත්‍ය දර්ශනයේ ආලෝකයෙන් ලෝකය ප්‍රබෝධවත් විය. තථාගතයන් වහන්සේ ගේ ඉහළ ම සොයා ගැනීම නම් මේ මැඳුම් පිළිවෙත් මඟ යි. උන් වහන්සේ‍ ගේ ධර්ම යේ උසස් අංග සියල්ලක් ම මෙයට ඇතුළත් වේ.

1. සම්මාදිට්ඨි

දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන චතුස්සත්‍යාවබෝධය පිණිස පිළිපන් යෝගීහු ගේ අවිද්‍යානුශය නසන විද්‍යා නම් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨි නමි. එය නොයෙක් ප්‍රභේද වලින් යුක්ත ය.

(අ) කම්මස්සකතා සම්මාදිට්ඨි

(ආ) චතුසච්ච සම්මා දිට්ඨි

(ඉ) විපස්සනා සම්මාදිට්ඨි

(ඊ) ඣාන සම්මාදිට්ඨි

(උ) මග්ග සම්මාදිට්ඨි

(ඌ) ඵල සම්මාදිට්ඨි

යනු විසිනි.

(අ) කම්මස්සකතා සම්මාදිට්ඨි

කර්මය හා විපාකය තමා අයත් කොට ඇති බව දැකීම සැලකීම කම්මස්සකතා සම්මාදිට්ඨිය යි. දශ වස්තුක සම්‍යක් දෘෂ්ටිය ද මෙයට අයත් වෙයි.

  1. දුන් දෙයෙහි විපාක ඇත.
  2. මහා පූජාවන් හි විපාක ඇත.
  3. වෙතට පමුණුවා දෙන දැයෙහි විපාක ඇත.
  4. ‍සත්ත්වයා විසින් කරනු ලබන හෙඳ නරක දෙක්හි විපාක ඇත.
  5. මෙලොවක් ඇත.
  6. පරලොවක් ඇත.
  7. මවට කරනු ලබන හොඳ නරක දෙක්හි විපාක ඇත.
  8. පියාට කරනු ලබන හොඳ නරක දෙක්හි විපාක ඇත.
  9. ඕපපාතිකව උපදින සත්ත්වයෝ ඇත.

(ආ) චතුසච්ච සම්මාදිට්ඨි

දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන චතුස්සත්‍යය දැනීම චතුසච්ච සම්මාදිට්ඨිය යි. චතුසච්ච සම්මාදිට්ටි නිසි ලෙස අවබෝධ වූ විට තමා තුළ තිබෙන වැරැදි විශ්වාස සියල්ලක් ම දුරු වී යෙයි. චතුසච්ච සම්මාදිට්ඨිය බුද්ධාගමයේ මිස අන් කිසි ම ආගමක නැත.

(ඉ) විපස්සනා සම්මාදිට්ඨි

භාවනා කිරීමෙහි දී ත්‍රෛභූමක ධර්මයන් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වහයෙන් සැකීමේ දී ඇති වන නිවැරැදි දැකීම යි. විදර්ශනා ඥානය විපස්සනා සම්මාදිට්ඨිය යි.

(ඊ) ඣාන සම්මාදිට්ඨි

රූපාවචර - අරූපාවචර ධ්‍යානයන්හි පහළවන සම්‍යක් ප්‍රඥාව යි.

(උ) මග්ග සම්මාදිට්ඨි

සෝවාන් ආදී මාර්ග සිත්වල පහළ වන නිවැරදි අවබෝධය යි. මාර්ගඥානය මග්ග සම්මාදිට්ඨිය යි.

(ඌ) ඵල සම්මාදිට්ඨි

සෝවාන් ආදී ඵල සිත්වල පහළ වන යහපත් නුවණ යි. ඵල ඥානය ඵල සම්මාදිට්ඨි නම් වේ.

සම්මාදිට්ඨිය නැති කිසිවකු හටත් සසරින් නිදහස් වීමට හෝ ‍දුක් කෙළවර කිරීම හෝ නො හැකි ය. ලෞකික - ලෝකෝත්තර වශයෙන් ද සම්මාදිට්ඨිය දෙවැදෑරුම් වේ.

2. සම්මා සංකප්ප

නිවැරදි කල්පනාවයි. හේ වනාහි නෙක්ඛම්ම - අව්‍යාපාද - අවිහිංසා සංකප්ප වශයෙන් ත්‍රිවිධ වේ.

නන් වැදෑරුම් නාමයෙන් පිළිකුල් වශයෙන් සලකා එයින් වෙන්ව විසීමේ කල්පනාව නෙක්ඛම්ම සංකප්පය යි.

ක්‍රෝධ කිරීමේ ඇති ආදීන ව සලකා එයින් වෙන් ව සියලු සත්ත්වයන් විෂයයෙහි අනුකම්පාව හා මෛත්‍රිය පතුරුවන කල්පනාව අව්‍යපාද සංකප්ප යයි. අනුන්ට හිංසා පීඩා කිරීමේ ආදීනව ගැන නුවණින් සලකා බලා හිංසාවෙන් වෙන් වූ කරුණා සහගත කල්පනාව අවිහිංසා සංකප්පය යි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යනුවෙන් මිථ්‍යා විතර්කය ත්‍රිවිධ වේ.

3. සම්මා වාචා

චතුර්විධ වාග් දුශ්චරිතයෙන් වෙන් ව චතුර්විධ වාග් සුචරිතයෙහි යෙදීම සම්මා වාචාව යි.

4. සම්මා කම්මන්තය

ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වෙන් ව ත්‍රිවිධ කාය සුචරිතයෙහි යෙදිම සම්මා කම්මන්තය යි.

5. සම්මා ආජීව

චතුර්විධ වාග් දුශ්චරිතයෙන් හා ත්‍රිවිධ කාය දුස්චරිතයෙන් ද පඤ්ච විධ වෙළඳාම් ආදියෙන් ද දැහැමින් දිවි පැවැත් ම සම්මා ආජීව ය යි. (මේ මාර්ගාංග තුන රකින විට ආජීව අෂ්ටමක ශීලය රැකේ.)

6. සම්මා වායාම

සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යය සම්මා වායාමය යි.

7. සම්මා සති

සතර සතිපට්ඨානය සම්මා සතිය යි.

8. සම්මා සමාධි

චිත්ත චෛතසික ධර්මයන් නොයෙක් ආරම්මණයන් විෂයෙහි විසිර යන්නට නො දී එක අරමුණක සිත යොමු කරන ස්වභාවයෙන් යුත් මිථ්‍යා සමාධිය නසන එකග්ගතා චෛතසිකය සම්මා සමාධිය යි.

මාර්ගාංග භෙදය

ආර්ය අෂ්ටාංගික මාර්ගය (මාර්ග සත්‍යය) භාවෙතව්‍ය වශයෙන් එකවිධය. සමථ විපස්සනා වශයෙන් ද්විවිධ ය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක විදර්ශනාවට අයත් ය. ඉතිරි මාර්ගාංග සය ශමථයට අයත් ය.

ශීල - සමාධි - ප්‍රඥා යන ස්කන්ධ භෙදයෙන් ත්‍රිවිධ ය.

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව - ශීල

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි - සමාධි

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප - ප්‍රඥා

සොතාපත්ති - සකෘදාගාමී - අනාගාමි - අරහත්ත මග්ග භේදයෙන් චතුර්විධ ය. පඤ්ඤා - විතක්ක - විරති - විරිය - සති - එකග්ගතා යන චෛතසිකයන් ගේ වශයෙන් ෂට් විධ වේ.

චතුරාර්‍ය්‍ය සත්‍යය

දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන සතරයි. බුද්ධාදී ආර්යයන් විසින් අවබෝධ කළ හෙයින් අරිය නම් වේ. කිසි කලෙකත් වෙනස් කරන්නට නො හැකි නිසාත් මේ සතරින් එකක් වත් අර්ය සත්‍ය නො වේ යැ යි කියා අසත්‍ය බවට පත්කරන්නට නො හැකි නිසාත් එයට බැහැරින් එකතු කරන්නට වෙනත් සත්‍යයක් නො මැති නිසාත් සත්‍ය නම් වේ.

අඩු වැඩි නැති ව හරියට ම සත්‍ය සතරක් දේශනා කළේ පැවතීම (පවත්ති) පැවතීමේ හේතුව (පවත්තක) නැවතීම (නිවත්ති) නැවතීමේ හේතුව (නිවත්තක) වශයෙනි. මෙසේ පවත්ති - නිවත්ති දෙකට අවශ්‍ය මේ සත්‍ය සතර නිසා අඩු වැඩි නැති ව සත්‍ය සතරක් ම වදාළ හ. එසේ ම දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගැනීම (පරිඤ්ඤෙය්‍යං) සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම (පහාතබ්බං) නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීම (සච්ඡිකා තබ්බං) මාර්ග සත්‍යය වැඩීම (භාවෙතබ්බං) යන මේ කරුණු සතර අනුව ද අඩු වැඩි නැති ව සත්‍ය සතරක් වදාළ හ.

1. දුක්ඛාර්‍ය්‍ය සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාති’පි දුක්ඛා, ජරා’පි දුක්ඛා, ව්‍යාධි’පි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡිං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙ පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”

ඉපදීම දුක ය, ජරාව දුක ය, රෝගය දුක ය, මරණය දුක ය, අප්‍රියයන් හා එක්වීම දුක ය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ය, කැමැති දේ නො ලැබීම දුක ය, සංක්ෂේපයෙන් පඤ්චොපාදානස්කන්ධයෝ ම දුකය හ. මේ දුක්ඛාර්ය සත්‍යය යි. ධම්ම චක්ක සූත්‍රයේ අටාකාරයකින් දුක්ඛාර්‍ය්‍ය සත්‍යය දේශනා කොට තිබේ. වෙන තැන්හි දී දොළොස් ආකාරයකින් දේශනා කොට ඇත.

සොක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස යන පස වෙනුවට ව්‍යාධිපි දුක්ඛො යි දේශනා කොට තිබෙ. මේ පස ම ව්‍යාධියෙහි ඇතුළත් වේ. පරිදෙව - දුක්ඛ දෙක කයේ ඇති වන දුක් ය. සෝකය - දෝමනස්ස - ‍උපායාස තුන සිතෙ උපදනා දුක් ය. මේ දේශනා ක්‍රම දෙකේ ම වෙනසක් නැත.

2. සමුදයාර්‍ය්‍ය සතයය

“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං යා යං තණ්හා පොනො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍ය‍ථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා”.

කාම තෘෂ්ණා - භව තෘෂ්ණා - විභව තෘෂ්ණා ආදී වශයෙන් බෙදී යන එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව සමුදයාර්ය සත්‍යය යි. තෘෂ්ණාව, කාමතෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධ වේ. එය රූපා දී ෂඩාලම්බන භේදයෙන් ගුණ කළ විට අ‍ටළොසක් වේ. නැවැත ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකෙන් ගුණ කළ විට සතිසෙක් වේ. එය නැවැතත් අතීත, අනාගත, වර්තමාන යන කාලතය්‍රයෙන් ගුණ කළ විට එකසිය අටෙක් වේ.

කාම තණ්හා, රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශටවය යන පඤ්චකාම වස්තූන් විෂයයෙහෙි උච්ඡෙද දෘෂ්ටියෙන් හා ශාස්වත දෘෂ්ටියෙන් තොර වැ ආසා කිරීම කාම තෘෂ්ණාව නමි.

භව තණ්හා, රූප අරූප භවයන් පිළිබඳ ව සත්ත්‍වයා සදාකාලිකය යි ගන්නා ශාස්වත දෘෂ්ටිය සමග උපදනා ආසාව භව තෘෂ්ණාව නමි.

විභව තණ්හා, සත්ත්වයා මරණින් මතු උච්ඡෙදයට යෙයි. පුනර්භවයෙක් නැත යන උච්ඡෙද දෘෂ්ටිය සමග උපදනා ආසාව විභව තෘෂ්ණාව නමි.

3. නිරෝධාර්‍ය්‍ය සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛ නිරොධං අරිය සච්චං, යො තස්සායෙව තණ්හාය අසෙය විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො”

තෘෂ්ණාව ගේ අසේ ය විරාග නිරෝධයෙක් වේ ද, යම් දුරු කිරීමෙක්, බැහැර කිරීමෙක්, මිදීමෙක්, නො ඇලීමෙක් වේ ද, ඒ තෘෂ්ණා නිරෝධ සංඛ්‍යාත නිර්වාණය නිරෝධාර්ය සත්‍යය යි.

4. මාර්ග සත්‍යය

ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය පළමු ව විස්තර කර ඇත.

තිපරිවට්ටය චතුරාර්ය සත්‍ය ධර්මයන් විෂයයෙහි පහළ වන සත්‍ය ඥාන - කෘත්‍ය ඥාන - කෘත ඥාන යන ත්‍රිවිධ ඥානය තිපරිවට්ට නම් වේ.

සත්‍ය ඥානය නම්, මේ දුක්ඛ සත්‍යය, මේ සමුදය සත්‍යය, මේ නිරෝධ සත්‍යය, මේ මාර්ග සත්‍යය යි යන ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය තත්ත්වකාරයෙන් දැන ගන්නා ප්‍රඥාව යි.

කෘත්‍යඥාන නම්, දුක්ඛ සත්‍යය පිරිසිඳ දත යුතු ය. සමුදය සත්‍ය ය ප්‍රහීන කටයුතු ය. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කටයුතු ය. මාර්ග සත්‍යය වැඩිය යුතු ය යන පිළිවෙළින් චතුරාර්ය සතයය පිළිබඳ කෘත්‍යය දන්නා ප්‍රඥාව යි.

කෘතඥාන නම්, දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගන්නා ලදී, සමුදය සත්‍යය ප්‍රහීන කරන ලදී, නිරෝද සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ලදී, මාර්ග සත්‍යය වඩන ලදී, යන ක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම විෂයයෙහි ඒ ඒ කෘත්‍යයන් කළ බව දන්නා ප්‍රඥාව යි.

මේ ත්‍රිවිධ ඥානය චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ගුණ කළ කල්හි දෙ‍ාළොසක් වේ. එය ද්වාදශාකාරය නමි.

උපසම්පදාව ගෙන ඒම

ලක්දිව පිරිසිදු උපසම්පදාව ඇති භික්ෂූන් වහන්සේලා නැති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්‍ය පුරයේ ධාර්මික නම් රජතුමා වෙත පඬුරු හා සන්දේශ දී ඇමතියන් අයෝධ්‍ය පුරයට යැව්වේ ය. සියම් රජතුමා ඒ බලා ලංකාවේ හාසන තත්ත්වය ගැන කම්පාවට පත් ව සියම් රටේ සංඝ රාජයන් වහන්සේ ප්‍රධාන ධර්‍ම විනයධර හිමිවරුන් රැස් කරවා සාකච්ඡා කොට උපාලි ස්ථවිර ප්‍රමුඛ අතිරේක දස වර්ගික සංඝයා ද ලක්දිව නැති ධර්‍ම විනය පොත් ද රන් පිළිමයක් හා රන් පොතක් ද ලක් රජු වෙත එවී ය. අයෝධ්‍ය පුරයෙහි රාජ්‍යාමත්‍යයෝ කීප දෙනෙක් ද ඒ සමඟ පැමිණියහ.

එම පිරිස පිළිගත් රජතුමා මල්වත්තේ පුෂ්පාරාමයට සියමින් වැඩම කළ උපාලි අරිය මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු සංඝයා වැඩමවා ගෙන ගොස් වඩා හිඳුවා බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය අනූහය වැන්නෙහි ඇසළ පුනු පොහෝදා ලක්දිව සාමණේර හිමිවරුන්හට උපසම්පදාව දෙවී ය.

8. නිකිණි පෝය

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු ය. නිකිණු පුනු පොහෝ දිනය භික්‍ෂූන් වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි වපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළඹෙන හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්‍ය්‍යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ, වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි මහා වග්ගයේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතු ය. පසු වස් එළඹීය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූණ් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හ, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදී ස්ථාන වල නො එළඹිය යුතු ය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං, යො උපගච්ඡෙය්‍ය ආපත්තී දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹීය යුතු ය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි දේශනා කොට ඇත. වහළක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතු ය. වස් විසීමට සෙනසුනක් කරවා දෙන දායක කාරකාදී කෙනෙකුන් නැතිනම් උපකාරකයන් සොයාගෙන ‍හෝ සෙනසුනක් කරවා ගත යුතු බවත් උපකාරකයන් ද සොයා ගන්නට නො හැකි නම් තමා විසින් ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතු බවත් වදාරා ඇත. කොතරම් සැලකිල්ලෙකින් මේ ශාසන ප්‍රතිපත්ති රැකිය යුතු ද යනු මේ බුද්ධ නියමයෙන් පැහිදිලි වෙයි.

වස් විසීමේ ආරම්භය

ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පනවන ලදී. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සමග මිගදායෙහි ඉසිපතනාරාමයෙහි ප්‍රථම වස් කාලය ගත කළහ. ඒ වැසි කාලය එසේ එක් තැනක ගත කිරීම දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ සිරිතක් වශයෙන් ආවේණික ධර්මයක් වශයෙන් මිස බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් නො වීය. ක්‍රමයෙන් භික්ෂු සමාජය විකාශනයට පත් වෙන විට භික්ෂූහු වස්සාන ඍතුවේත් චාරිකාචරණයෙහි යෙදෙමින් දඹදිව පැවැති පෞරාණික ධර්මයන් උල්ලංඝනය කරන්නට වූහ. මෙය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ය. භික්ෂූන් වහන්සේලා ගේ මේ චාරිත්‍ර ධර්මයන් උල්ලංඝනය කරමින් කරනු ලබන චාරික චරණය දුටු මහ ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. “තීර්ථකයන් පවා වස් එළඹී ඇති මේ කාලයෙහි ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද, ගිම්හානයෙ‍හි ද, වස්සානයෙහි ද නිල් තණ මඩිමින් පා ගමනින් ඒකීන්ද්‍රිය ජීවිත පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාවෙහි හැසිරෙති. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාදීහු එක්තැන් ව වස් විසීමෙහි ඇලී වෙසෙති. කුරුල්ලෝ ද ගස් මුදුන් හි කූඩු සාදාගෙන වැසි කාලයෙහි ඒ කූඩු වල ඇලී වෙසෙති. ගොදුරු සෙවීමෙහි උත්සාහ නැති ව නිතර එක්තැන් ව වසති. එහෙත් මේ ශ්‍රමණ ශාක්‍ය මුනි පුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකීන්ද්‍රීය ජීවයන් පෙළමින් බොහෝ කුඩා සතුනන් වානශයට පමුණුවමින් කවර කරුණක් නිසා චාරිකාවෙහි හැසිරෙන්නාහු දැ”යි අවමන් කෙරෙති. නින්දා කෙරෙති. දොස් කියති. අවමන් කරන නින්දා කරන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූ භික්ෂූහු ඒ කාරණය බුදුන් හට දැන්වූහ.

මේ නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් “මහණෙනි, මම වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි”යි භික්ෂූන් ඇමතූ සේක. එකල් හි භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම් කෙතෙක් දැ යි විමතියක් ඇති විය. එය භාග්‍යවතුන් හට දන්වා සිටිය හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “ද්වෙ මා භික්ඛවෙ වස්සූපනායිකා පූරිමිකා පච්ඡිමිකා ච අපරජ්ජුගතාය ආසාළ්භියා පුරිමිකා උපගන්තබ්බා. මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා. ඉමාඛො භික්ඛවෙ දෙව වස්සූපනායිකා” යනුවෙන් “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුනු පොහොයට පසු දින, එනම් අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. ඇසළ පුනු පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක”යි වදාළහ. මෙතැන් සිට දඹදිව තීර්ථක පරිබ්‍රාජකාදීන් තුළ පැවැති එනම්, ප්‍රාග් බෞද්ධ යුගයේ සිට දඹදිව පැවැති ආවේණික චාරිත්‍ර ධරමයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ ද ප්‍රධාන ප්‍රඥප්තියක් බවට පත් විය. මේ අනුව සලකන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීමේ ශාසනික චාරිත්‍ර ධර්මයේ ආරම්භය මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ‍වශයෙන් ඇති වූවක් බව සැලකිය යුතු ය.

ව්‍යාප්තිය

ආරම්භයේ දී ඇසළ පුනු පෝයට පසු අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹීම පැවතුණි. එහෙත් එය වැඩි කලක් නො පැවැත්තේ ය. ඇසළ පුනු පොහෝ දිනයෙහි වස් එළඹෙනු දකිනු කැමති වූ බිම්බිසාර රජතුමා එ් බව දූතයකු ගේ මාර්ගයෙන් භික්ෂූන්ට දැන්වී ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැල කළ හ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “අනුජානාමි භික්ඛවෙ රාජුනං අනුවත්තිතුං” යනුවෙන් “මහණෙනි, රජුන්ට එකඟ ව පවතින්නට අනුදනිමි” යි වදාළ සේක. එතැන් සිට ඇසළ පුනු පොහෝ දා වස් එළඹිය හ. බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ප්‍රඥප්ති බොහොමයක් ම ඒ ඒ රටවල දේශගුණය හා පරිසරය අනුව සකස් වූවකි. එබැවින් මධ්‍ය මණ්ඩලයට පනවන ලද ප්‍රඥප්ති ප්‍රත්‍යන්ත දේශවල වෙනස් වෙයි. වස්සික සාටිකය හෙවත් වැසිසළුව වස් වසන භික්ෂූන් විසින් වස්වසන දිනයෙහි ම අධිෂ්ඨාන කොට වස් සාර මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් වශයෙන් නියම කොට ඇත. නාන කඩය යන නමින් හඳුන්වන මේ චීවරය භික්ෂූන්ට වාග් විඥප්තියෙන් වුව ද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට පහසුව ප්‍රථමයෙන් ම ඇතිකර දෙන ලද්දේ විසාඛා උපාසිකාව ගේ ඉල්ලීමක් අනුව ය. වස් විසූ භික්ෂූන් චාරිකාචරණයෙහි නො යෙදුණත් පිණ්ඩපාත සෙවීමාදී කටයුතු වල දී වැස්සෙන් තෙමෙමින් පීඩා විඳින්නට සිදු විය. මෙය දුටු විසාඛා උපාසිකාව “ඉච්ඡා මහං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සික සාටිකං දාතුං” යනුවෙන් “ස්වාමීනි! මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමි”යි ප්‍රකාශ කළා ය. ඇය ගේ බසට කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ වස්සිකසාටිකං වස්සානං චාතුං මාසං අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං” යනුවෙන් “මහණෙනි, වස් සාරමාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගන්නටත් එයින් පසු විකප්පනය කරන්නටත් අනුදැන වදාරමි”යි වදාළ හ. මේ වැසි සළු සැදැහැති දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවාත් සමඟ ම උතුම් ශාසනික චාරිත්‍ර ධර්මයක් ද ඉටු වන්නේ ය. “ස්වාමීනි, මේ වස් සාර මාසය තුළ අපි නුඹ වහන්සේලාට සිවු පසයෙන් ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදු කරනු මැනැවැ”යි සැදැහැවත් දායක කාරකාදීහු වැසි සළු හා දැහැත් ගොටු පිරිනමමින් සංඝයාට ආරාධනා කරති. එයින් භික්ෂූන් වහන්සේලාගේ වස් විසීමත් දායකයන් ගේ ආරාධනයත් දෙක ම ඉටුවෙයි.

වස් එළඹ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඒ ආරාමයෙන් පිටත යන විට සත්තාහකරණයෙන් යා යුතු වෙත්. “අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහ කරණීයෙන පභිතෙ ගන්තුං” යනුවෙන් “මහණෙනි! පණිවුඩ එවූ කල්හි සත් දෙනෙකුන් වෙතට සත්තාහ කරණීයයෙන් යන්නට අනු දනිමි”යි දේශනා කොට ඇත්තාහ. සත්තාහ කරණයෙන් යෑම නම් සත් දිනක් ඉක්ම වන්නට පෙර වස් විසූ ස්ථානයට පැමිණ ඒ වස් එළඹී ආරාමයෙහි අරුණ නැගීම යි. ඒ සත්තාහ කරණයෙන් යන්නට හැක්කේ සත් දෙනෙකුන් වෙත පමණි. භික්ෂුව - භික්ෂුණිය - ශික්ෂමානාව - සාමණේර - ස‍ාමණේරිය - මව ය - පියා ය යන මොවුන් සත් දෙනා උදෙසා ආරාධනාවක් ඇත ද නැත ද සත්තාහකරණයෙන් යන්නට පුළුවන. එහෙත් සතිය ඉක්මෙන්නට ප්‍රථමයෙන් වස් විසූ ආරාමයට පැමිණිය යුතු ය. මේ බුද්ධ නියමය යි.

එසේ ම ගිලන් භික්ෂුවක් රෝගී ව සිටින විට ඒ භික්ෂුවට පහසුවක් ඇති කරලීමටත් සස්නෙහි කලකිරී සිටින භික්ෂුවකට අවවාද කරනු පිණිසත්, උපන් යම් කුකුස් ඇත්නම් එය දුරු කරනු පිණිසත්, උපන් මිථ්‍යා මතයන් දුරු කරනු පිණිසත්, පරිවාස මූලාය පටිකස්සන - මානත්ත - අබ්භාන තජ්ජනීය නියස්ස - පබ්බාජනීය පටිසාරනීය උක්ඛෙපනීය යන මේ සංඝ කර්මයන් සඳහාත් මවු පිය සහෝදර ඥාතීන් රෝගීව සිටින විට ඔවුන් දැකීම පිණිසත් සත්තාහ කරණයෙන් යන්නට හැකි ය.

වස්සච්ඡේදය

වස් විසූ භික්ෂූන්ට ඒ ඒ ආරාමයන් හි යම් යම් උවදුරුවලට මුහුණ පාන්නට සිදු වේ නම් සත්තාහ කරණයක් නැති ව සුදුසු ආරක්ෂක ස්ථානයකට යා හැකි ය. වස්සච්ඡේදයෙන් එනම්, වස් බිඳීමෙන් සිදුවෙන ඇවතින් නිදහස ඒ භික්ෂූන්ට තිබේ. නයි, පො‍ළොං, ආදී විෂඝෝර සර්යන්ගෙන්, යක්ෂාදීන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අන්තරා ඇති කල්හි වස් විසූ ආරාමයෙන් සත්තාහ කරණය නැති ව ඉවත යා හැකි ය. එසේ ම වස් විසූ ආරාමය පිහිටි ගම වෙනස් වූවොත් ගම්වැසියන් ගිය තැනට වස් විසූ භික්ෂූන්ට යන්නට ඉඩ ඇත. ගම දෙකකට වෙන් වූ විට සැදැහැති පිරිස සිටින ස්ථානයට යන්නට පුළුවන. වස් විසූ භික්ෂූන්ට යැපෙන පමණ පිණ්ඩපාත නො ලැබේ නම් පථ්‍ය බෙහෙත් ආදිය නො ලැබේ නම්, සුදුසු කැපකරු ආදීන් නො ලැබේ නම් සංඝ භේදයකට හෝ සීලාන්තරයට ඉඩ ලැබේ නම් වස් විසූ ආරාමය වෙනස් කරන්නට හැකි ය. වස්සච්ඡේදයෙන් ඒ භික්ෂූන්ට ඇවැත් සිදු නොවේ.

මෙබඳු නෙයෙක් කරුණු වලින් ශාසනික වැදගත් කමින් යුත් පස් විසීම ලංකාවට පැමි‍ණියේ බුද්ධ ශාසනය පිහිටුවා ලීමෙන් පසුව ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත් පිරිසත් අරිෂ්ඨ සිංහල රහතන් වහන්සේ ප්‍රධාන සපනසක් රහතන් ද ඇතුළු දෙසැටක් රහතන් වහන්සේලා දෙවන පෑතිස් නිරිඳුන් ගේ ආරාධනයෙන් එතුමා විසින් කරවා පූජා කරන ලද අට සැට ලෙන්වල වස් එළඹිය හ. මෙය ලක්දිව සිදුවූ ප්‍රථම වස්සූප ගමනය යි. මෙතැන් පටන් මේ උතුම් ශාසනික චාරිත්‍ර ධර්මය අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි බෞද්ධ පිින්වතුන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට නො සිඳ පවත්වා ගෙන එනු ලැබේ.

වස් කාලය එළඹෙත් ම ඒ ඒ විහාරස්ථානයන්ට සම්බන්ධ දායක පින්වත්හු දැහැත් ගොටු හා වැසි සළු රැගෙන ආරාමයන් කරා ගොස් භික්ෂූන් වහන්සේලාට වස් විසීමට ආරාධනා කරති. වස් සිවු මස සිවුපසයෙන් උපස්ථාන කරමින් හා ප්‍රතිපත්ති පූරණය කරමින් ක්‍රියා කරති. භික්ෂූන් වහන්සේලාත් විශේෂ ගුණ දහම් රකිමින් තමන්ට සිවුපසයෙන් සංග්‍රහ කරන දායකයනට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරමින් වැඩ වෙසෙති. ‍එබැවින් වස් විසීම දෙපක්ෂයට ම වැඩ සිදු වන්නෙකි. භික්ෂූන් වහන්සේලා ධර්මය ඉගෙනීමෙහිත් භාවනා කර්මයන්හිත් යෙදී වාසය කරති. උන් වහන්සේලාට උපස්ථාන කරන දායකයෝ ද බොහෝ පින් සිදු කර ගනිති. “යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා. ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති තත්ථ මනුස්සා තීහි ඨානෙනහි බහු පුඤ්ඤං පසවන්ති කායෙන, වාචාය මනසා” යනුවෙන් “සිල්වත් පැවිදි උතුමෝ ‍යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරගෙන වැඩ වෙසෙත් නම් එහි මිනිස්සු කයින් වචනයෙන් සිතින් යන ත්‍රිවිධ ද්වාරයෙන් පින් රැස් කෙරෙති” යි තථාගතයන් වහන්සේ වදාරා තිබේ.

ප්‍රථම සංගීතිය

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. ඇසළ පුන් පොහෝ දා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවිය දා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්‍වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්‍මසංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්‍ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ. වීර්‍ය්‍ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මදක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා පොළොවෙන් මිදින. හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන්වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදු විය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.

9. බිනර පෝය

වස්සාන සමයෙහි ‍එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය අමුතු හාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රක‍ට ය. භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිපඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට මැනැවින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහ්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථානයන් ඉල්වාගෙන විවේකී ප්‍රදේශයන් සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙරවස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට පිළිවණ. විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනය‍ට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයෙකි වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයක ම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩ වලින් පිරී ගිය සොම්නස් සුවය දනවන කාලයෙකි.

එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර ප‍සළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද කවි සිත පුබුදු කරවන ලද ස්වභාවික සෞන්දර්‍ය්‍ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති වලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත් කමකින් යුත් මාසයක් බව කිව හැකි ය.

මෙහෙණ සස්නේ ආරම්භය

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ගෝතමියගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තිරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්‍ය්‍යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්‍ගය පා ගමනින් ම ගෙවා කූටාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්‍ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබා‍දෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද‍ෙ නො දත්’යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැ”යි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්‍ෂෙප කළ හ. පසුව ආනන්ද හිමියන් ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෞතමී‍ය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. “ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්‍මයන් ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.

ගරු ධර්‍ම අට

  1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.
  2. භික්ෂූන් නො මැති ප්‍රදේශයක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.
  3. අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂූ සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලා පොරොත්තු විය යුතු ය.
  4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.
  5. ගරු ඇවැතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.
  6. අවුරුද්දෙන් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.
  7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට අක්‍රොෂ පරිභව නො කටයුතු යි.
  8. මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

ආනන්ද හිමියෝ මේ ගරු ධර්‍ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්‍මයන් විස්තර කොට කියා “ඉදින් ඔබ මේ ගරු ධර්‍මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පිමිදි උපසම්පදාව වන්නේ යැ”යි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “ආනන්ද ස්වාමීනි, යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙ අතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්‍මයන් අට දෙන පිළිගනිමි” යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමග ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණ කම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.

10. වප් පෝය

අවුරුද්දේ මාස දොළොස හේමන්ත - ගිම්හාන - වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූණ් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලය යි. වස් කාලය එළඹෙත් ම උවසු උවැසියෝ විහාර ස්ථානයන් කරා පැමිණ භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට ආරාධනා කරති. එසේ ආරාධනා ලැබ වස් විසූ භික්ෂූන් වහන්සේට කඨින චීවර පූජා කරති. වස් සාර මාසයේ අන්තිම මාසය කඨින චීවර පූජා කරන මාසය යි. එය චීවර මාසය නමින් ව්‍යවහාර කරනු ලැබේ. චීවර මාසය තුළ වස් විසූ හැම ආරාමයක ම කඨින පින්කම් පවත්වනු ලැබේ. කඨිනත්ථාර කාලය වශයෙන් විනයෙහි පරිවාර පාළියෙහි එය මෙසේ සඳහන් වෙයි. “කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බොති, වස්සානස්ස පච්ඡිමො, මාසො ජානිතබ්බො” යනුවෙන් “වස්සාන ඍතුවේ අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දැන ගත යුතු යැ”යි වදාරා තිබේ. වප් මස අවපෑළවිවෙහි පටන් ඉල් මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය හැටියට ඒ දේශනා පාඨයෙන් මැනැවින් පැහැදිලි වෙයි. කඨිනාස්තරණ විනය කර්මයේ බල‍ය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වන මැදින් මස පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා ඇති පස්මාසය තුළ පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන් වහන්සේලාට මේ කාලය තුළ පඤ්ච ආනිසංසයෙක් අයත් වේ. කඨිනය උදාර බල සම්පන්න ගරු කුශල කර්මයෙකි. ඒ බව

“පඨිවිරිවන ජාතු කම්පතෙ

න චලති මෙරු රිවාති වායුනා

වජිරමිච න භිජ්ජ‍තෙ ඝනං

තමිධමතො කඨිනන්ති වුච්චති”

යන ගාථාවෙන් පැහැදිලි වෙයි. කඨින චීවර දානමය කුශලය මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නො වන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟීන් නො සෙල්වෙන ඒකඝන වජ්ර පර්වතය මෙන් නො බි‍ඳෙන ස්ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවෙකි. කඨින යන වචනයෙන් අදහස් කරනුයේ නො බිඳිය හැකි සිදුරු කළ නො හැකි කුශල කර්මයෙකි. කඨින චීවරදානය සියලු බුදුවරයන් වහන්සේලා විසින් පසස්නා ලද්දා වූ ද එසේ ම උන් වහන්සේලා විසින් ද එයට සහභාගී ව ලෝකයාට මහඟු ආදර්ශයක් දුන්නා වූ ද ශ්‍රෙෂ්ඨ කුශල කර්මයෙකි. සියලු ආමිස දානයන් අතුරෙන් කඨින චීවර දානය ඉතා උතුම් පින් කමකි. අටමහා කුශලයට අයත් වන්නෙකි.[1] එය පෙරවස් පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් දිය හැකි විශේෂ චීවර දානමය පුණ්‍ය ක්‍රියාවෙකි. විනය ප්‍රඥප්ති පිළිබඳ ව පස් මසක් තුළ භික්ෂූන් වහන්සේලාට විශේෂ පහසුකම් ලැබෙන හෙයින් කඨින චීවරය භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයක් වශයෙන් සලකනු ලැබේ. භික්ෂූන්ට අන් සිවුරු දහසක් ලැබුණත් කඨින චීවරයෙන් ලැබෙන පහසුකම් වලින් එකකුදු නො ලැබේ. කඨින චීවරදානය සිදු කරන දායක පක්ෂයට ද වෙනත් සිවුරු පූජා කරනවාට වඩා අනුසස් ලැබෙන ගරු කුශලයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

සූවිසි මහා විපත්තියෙකින් තොර ව සතළොස් මහා සම්පත්තියෙකින් යුක්ත ව කඨිනය අතුරන භික්ෂූන්ට ශික්ෂාපද පසෙකින් නිදහස් ව අනුසස් පසක් ලැබෙන උදාර පුණ්‍ය ක්‍රියාවෙකි. කඨිනයක් පූජා කිරීමෙන් දායක දායිකාවනට ද අනුසස් රැසක් ලැබෙන, ලොවී ලොව්තුරා සැප සිදු කර දෙන අවුරුද්දකට එක විහාරස්ථානයක දී නියමිත කාලපරිච්ඡෙදයක් තුළ එක වරක් මිස දෙවරක් කළ නො හැකි හෙයින් දුර්ලභ කුශල කර්මයක් වශයෙන් ද සලකනු ලැබේ. තුන් සිවුරෙන් කවර චීවරයක් හෝ කඨිනය වශයෙන් පූජා කළ හැකි ය. තුන් සිවුරු අතුරෙන් එක් සිවුරකට අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හා සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදිය ගෙන ගොස් ඉතා උදෑසන සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම එය පූජා කළ යුත්තේ එම වස්ත්‍රයෙන් එදා ම සිවුරක් සකස් කොට වැඩ නිමවා කඨිනාස්තරණය කළ යුතු නිසා ය. සියලු වැඩ අවසන් කළ පඬු පොවන ලද සිවුරක් කඨිනය වශයෙන් පූජා කරතොත් කවර වේලාවක පූජා කළත් වරදක් නැත. කඨිනය සමග පූජා කරන පරිවාර පරිෂ්කාරයන් නිසා එය තවත් මහත් බවට පත් කර ගත හැකි ය.

නිදානය

සාකේත නුවර වස් එළඹ මහා පවාර‍ණයෙන් පවාරණය කොට බුදුරදුන් දකිනු පිනිස සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පැමිණි තිස් නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලා අතර මගදී වැස්සට තෙමීමෙන් දියෙන් පිරුණු සිවුරු වලින් යුතු ව ක්ලාන්ත ගතියෙන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහු ය. උන් වහන්සේලාට සිදු වූ කරදරය අසා පසු ව තථාගතයන් වහන්සේ භික්ෂූන්හට තරමක පහසුවක් ඇති කර දෙනු වස් “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං” යනුවෙන්, “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි භික්ෂූන් වහන්සේලාට පඤ්චානිසංස ලැබෙන්නා වූ කඨිනාස්තරණය විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින සිවුරු පරිභෝග කිරීමට අවස්ථාව ලැබිණ.

කඨිනයක් හැම භික්ෂුවකට ම ලබා ගත නො හැකි ය. ඒ සඳහා කරුණු කිහිපයකින් භික්ෂුව සම්පූර්ණ විය යුතු ය. වස්සාන ඍතුවේ මුල් මාසය වන ඇසළ පුනු පොහෝදා පොහොය කොට අවපෑළවිය දා පෙරවස් එළඹ වස් කඩා නො ගෙන තුන් මාසය මුළුල්ලෙහි එය මැනැවින් ආරක්ෂා කොට වප් පුර පසළොස්වක්දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවක් විය යුතු ය. එසේ ම පෙරවස් සමාදන් ව විසූ යම් කිසි කරදරයක් හෝ ලෙඩ රෝගාදියක් නිසා පෙරවස් පවාරණය කරන්නට නො හැකි වූ භික්ෂුවකට ද කඨිනයක් පිළිගත හැකි ය. පෙරවස් එළඹ එය අතර මග දී කැඩී ගිය භික්ෂුවටත් පසුවස් එළඹි භික්ෂුවටත්, සාමණේරයනටත් කඨිනය පරිභෝග කිරීමට බලයක් නැත. එසේ ම කඨිනය අතුරනු ලැබූ වෙහෙරින් පිටත අනෙක් වෙහෙරක වස් විසූ භික්ෂූනට ද අයත් නැත. ඒ අය ගණ පූරක භික්ෂූහු වෙති. පඤ්චානිසංස ලැබෙනුයේත් වස් කඩා නොගත් කඨිනය අතුරන විහාරයේ ම වස් විසූ සංඝයාට ම ය. අන් වෙහෙරක වස් විසූ සංඝයාට වෙනත් ආරාමයක පිරිනමන ලද කඨිනයක පංචානිසංස නො ලැබේ. කඨිනයක් පරිභෝග කරන ලද භික්ෂුව අංග අටකින් සම්පූර්ණ විය යුතු ය.

  1. පුබ්බකරණං ජානාති - පූර්වකරණය දැනීම ය (තුන් සිවුරු පිළිබඳ කටයුතු)
  2. පච්චුද්ධාරං ජානාති - පුරාණ තුන් සිවුරු පිළිබඳ පච්චුද්ධාරය දැනීම ය.
  3. අධිට්ඨානං ජානාති - අධිෂ්ඨානය දැනීම ය.
  4. අත්ථාරං ජානාති - අත්ථාරය දැනීම ය.
  5. මාතිකං ජානාති - අෂ්ට මාතිකාව දැනීම ය.
  6. පළිබොධං ජානාති - පළිබෝධය දැනීම ය.
  7. උද්ධාරං ජානාති - උද්ධාරය දැනීම ය.
  8. ආනිසංසං ජානාති - ආනිසංස දැනීම ය.

යන අංග අටින් යුක්ත භික්ෂුව කඨිනාස්තරණයට සුදුසු බව විනයෙහි වදාරා තිබේ. එබැවින් කඨිනයක් ගැනීමට සුදුසු භික්ෂුවක වනු පිණිස මේ කියන ලද අංග අට භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන් උගත යුතු ය. කඨිනයක් ඇතිරීමට පුළුවන්කම තිබෙන්නේ සංඝාටි (සඟල සිවුර) උත්තරාසංග (තනිපට සිවුර) අන්තරාවාසක (අඳනා සිවුර) යන තුන් සිවුරෙන් එකකින් මිස අනිකකින් නො වේ. එය ද විනයෙහි දැක‍්වෙන පරිදි සූවිසි විපත්තිවලින් දුරු විය යුතු ය. සතළොස් සම්පත්තිවලින් එකකට අයත් වූවක් විය යුතු ය.

සූවිසි විපත්ති

එවං ඛො භික්ඛවෙ අත්ථතං හොති කඨිනං එවං අනත්ථතං කථඤ්ච භික්ඛවෙ, අනත්ථතං හොති කඨිනං, න උල්ලික්ඛිත්තෙන අත්ථතං හොති කඨිනං, න ධොවනමත්තෙන අත්ථතං හොති කඨිනං, න චීවර විචාරමත්තෙන අත්ථතං හොති කඨිනං න ඡෙදන මත්තෙන අත්ථතං හොති කඨිනං, න බන්ධන මත්තෙන අත්ථතං හොති කඨිනං, න ඔවට්ටි’ කරණමත්තෙන අත්ථතං හොති කඨිනං න කණ්ඩුස කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං න දළ්හි කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං.

න අනුවාත කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං න පරිභණ්ඩ කරණමත්තෙන අත්ථතං හොති කඨිනං න ඔවට්ටෙය්‍ය කරණමත්තොන අත්ථතං හොති කඨිනං න කම්මලමද්දනමත්තෙන අත්ථතං හොති කඨිනං න මිත්තකතෙන අත්ථතං හොති කටිනං න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං න කුක්කුකතෙන අත්ථතං හොති කඨිනං න සන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං න නිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං න අකප්පකතෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර උත්තරා සංඝාටියා අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර උත්තරා සංගෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර අන්තර වාසකෙනවා තද හෙව සඤ්ඡින්නේන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං සම්මාවෙච අත්ථතං හොති කඨිනං තඤ්චෙ නිස්සීමට්ඨො අනුමොදති. එවම්පි අනත්ථතං හොති කඨිනං. එවං ඛො භික්ඛවෙ අනත්ථතං හොති කඨිනං.

(මහාවග්ගපාළි - කඨිනක්ඛන්ධක)

මහණෙනි! කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේද?

  1. ලකුණු කළ පමණින් කඨිනය නො අතුළේ වේ.
  2. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  3. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  4. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  5. හිස් නූල් ඇදීම පමණින් කඨිනය නො අතුළේ වේ.
  6. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  7. අතු මූට්ටු කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  8. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  9. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  10. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  11. අමුතු රෙදි පටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  12. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  13. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  14. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  15. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  16. තැන්පත් කොට තිබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  17. එක් රැයක් ම ඉක්ම යෑමෙන් නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  18. කප් බිංදු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  19. සඟල සිවුරු හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
  20. උත්තරාසංග චීවරය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
  21. අන්තරවාසකය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
  22. එදින ම කපන ලද මහ මඬුලු කුඩා මඬුලු සහිතව කළා වූ කඩ අතු පසෙකින් හෝ වැඩියක් කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වෙයි.
  23. පුද්ගලයෙකුගේ ඇතිරීමෙන් විනා සංඝයාගේ හෝ සමූහයාගේ ඇතිරීමෙන් කඨිනය නො අතුළේ වෙයි.
  24. කඨිනය මනා කොට අතුරන ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වෙයි.

(ජයන්ති මුද්‍රණය)

සතළොස් සම්පත්ති

කථඤ්ච භික්ඛවෙ අත්ථතං හොති කඨිනං? අහතෙන අත්ථතං හොති කඨිනං, අහතකප්පෙන අත්ථතං හො කඨිනං, පිලොතිකාය අත්ථතං හොති කඨිනං, පංසුකූලෙන අත්ථතං හොති කඨිනං, පාපණිකෙන අත්ථතං හොති කඨිනං, අනිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං, අපරිකතාකතෙන අත්ථතං හොති කඨිනං, අකුක්කකතෙන අත්ථතං හොති කඨිනං, අසන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං,අනිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං, අප්පකෙන අත්ථතං හොති කඨිනං, සංඝාටියා අත්ථතං හොති කඨිනං, උත්තරා සංගෙන අත්ථතං හොති කඨිනං, අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං, පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ජින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං, පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං, සම්මාවෙච අත්ථතං හොති කඨිනං, තඤ්චෙ සීමට්ඨො අනුමොදති, එවම්පි අත්ථතං හොති කඨිනං, එවං ඛො භික්ඛවෙ, අත්ථතං හොති කඨිනං.

(මහාවග්ගපාළි - කඨිනක්ඛන්ධක)

මහණෙනි! කඨිනය කෙසේ අතුරන ලද්දේ වේ ද?

  1. අලුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  2. අලුත් වස්ත්‍රයට සමාන වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  3. රෙදි කැබෙලිවලින් කළ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  4. පංසුකූලික වශයෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  5. සල්පිල් දොරටුවෙහි හැර දැමූ අහුලා ගත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  6. හැඟවීමක් නැතිව ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  7. අනුසස් නො කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  8. තාවකාලික නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  9. සන්නිධි (තැන්පත් කොට) නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  10. නිසඟි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  11. කප් බින්දු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  12. සඟල සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  13. උතුරු සඟ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  14. අඳනා සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  15. එදවස ම කපන ලද මැඩිලි සහිත කරන ලද අතු පසක් ඇති පසට වැඩි හෝ අතු ඇති සිවුරකින් කඨිනය අතුරන ලද්දේ වේ.
  16. පුද්ගලයකු ගේ ඇතිරීමෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  17. මනා කොට නියමය අනුව ම කඨිනය අතුරන ලද්දේ වේ. එය සීමාවෙහි සිටියෙක් අනුමෝදන් වේ ද? මෙසේ කඨිනය අතුරන ලද්දේ වේ. මහණෙනි, කඨිනය මෙසේ අතුරන ලද්දේ වේ.

(ජ.මු)

කඨිනාස්තරණ මාතෘකා අට

  1. පක්කමනන්තිකා - කඨිනය අතුළ භික්ෂුව නිමකළ සිවුර ගෙන “පෙරළා නො එන්නෙමි”යි වස් විසූ ආවාසයෙන් බැහැර යෙ යි. ඒ භික්ෂුවට උපචාර සීමාව ඉක්මවනු සමග ම කඨිනුද්ධාරය වේ. පඤ්චානිසංසයට ද අහිමි වෙයි. එය පක්කමනන්තිකා නම් වේ.
  2. නිට්ඨානන්තිකා - සිවුර නිම කිරීම් අවසන් කොට ඇති කඨින බලය ඉදිරී යෑම යි. අතුළ කඨින ඇති මහණ තෙමේ වස්ත්‍රය ගෙන ‍බැහැර යෙ යි. එසේ සීමාවෙන් බැහැර ගිය භික්ෂුවට මෙහි දී සිවුර කරවන්නෙමි. නැවැත ඒ වස් විස අරමට නො යන්නෙමි සිතාගෙන සිවුර කරවයි. ඒ භික්ෂුවට නිට්ඨානන්තික කඨිනුද්ධාරය සිදුවෙයි.
  3. සන්නිට්ඨානන්තිකා - සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි.

අතුළ කඨිනය ඇති භික්ෂුව තෙමේ වස්ත්‍රය ගෙන බැහැර යෙයි බැහැර ගිය භික්ෂුව මම වස් විසූ නවැත නො එන්නෙමි. මේ සිවුරු නොකරන්නෙමි’යි සිතාගත හොත් එය සන්නිට්ඨාන්තික කඨිනුද්ධාරය වේ.

  1. නාසන්තිකා - නැසීම් අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුළ කඨින ඇති මහණ තෙමේ එයත් ගෙන බැහැර යෙ යි. එහි දී එ මහණහුට මම මෙහි දී ම සිවුර කරමි. පෙරළා වස් විසූ අරමට නො එන්නෙමි’යි සිතාගෙන සිවුර කරන කල්හි ඒ සිවුර නැසෙ යි. එයින් ඒ භික්ෂුවට නාසන්තික කඨිනුද්ධාරය වේ.
  2. සවනන්තිකා - ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුරන ලද කඨිනය ඇති මහණ සිවුර ගෙන පෙරළා එන්නෙමි’යි බැහැර යෙ යි. සිවුරේ කටයුතු අවසන් කරගෙන සිටින භික්ෂුවට විහාරස්ථ සංඝයා විසින් කඨිනය උද්ධරණය කරන ලදැයි යන ආරංචිය සැල වෙයි. එය සවනන්තිකා කඨිනුද්ධාරය වේ.
  3. ආසාවච්ඡෙදිකා - ආසාව සිඳී යෑමෙන් සිදුවන කඨිනුද්ධාරය යි. සිවුරක් නො ලැබ සිවුරු ගැන බලාපොරොත්තුවෙන් බැහැර ගිය භික්ෂුවට එහි දී යම් කිසිවෙකු සිවුරක් දෙන බව කියා පසුව එය දෙන්නට නො හැකි බව කී කල්හි ඒ සිවුර ගැන පැවැති බලාපොරොත්තුව සිඳී යෙ යි. එය ආසාවච්ඡෙදිකා කඨිනුද්ධාරය නම් වේ.
  4. සීමාතික්කන්තිකා - චීවර කාලසීමාව අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුළ කඨින ඇති මහණ තෙමේ වස් විසූ වෙහෙරට නැවැත එන්නෙමි’යි යන අපේක්ෂා ඇති ව අන් වෙහෙරකට ගොස් එහි දී සිවුරේ වැඩ නිම කොට ආපසු වස් ‍විසූ වෙහෙරට එන අතර මග දී හෝ පිටත සීමාවක දී හෝ චීවර කාලය ඉක්මවීමෙන් සීමාතික්කන්ති කඨිනුද්ධාරය වේ.
  5. සහුබ්භාරා - අතුළ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙන පෙරළා එන්නෙමි’යි යන අපේක්ෂාවෙන් ‍බැහැර යෙ යි. අන් වෙහෙරක දී සිවුරේ වැඩ නිම කරයි. ඒ භික්ෂුවට විහාරයේ භික්ෂූන්ට කඨිනුද්ධාරය වනු සමගම සහුබ්භාර කඨිනුද්ධාරය සිදු වෙයි.

මේ සඳහන් කරුණු අටින් එකක් හෝ ඇති වුවොත් අත්ථාරක-අනුමෝදක දෙපක්ෂයට ම අයත් වන පඤ්චානිසංසය නැති වී යන්නේ ය.

භික්ෂුන්ට ලැබෙන අනුසස්

කඨිනය අතුළ භික්ෂූන්ට ඒ ගරු විනය කර්මය නිසා බුද්ධාඥාව පරිදි ආනිසංස පහක් ලැබේ. එයට කඨිනානිසංසයැ යි කියනු ලැබේ. කඨිනය පූජා කරන දායකයනට ලැබෙන විපාකයනට ද කඨිනානිසංස යැ යි ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් කඨිනානිසංසය එය ලබන භික්ෂූන්ට මෙන් ම පිරිනමන දායකයනට ද එක සේ මහත් අනුසස් ලැබන පින් කමෙකි. කඨිනයකින් භික්ෂූන්ට ලැබෙ පඤ්චානිසංසය විනයෙහි මහාවග්ග පාළියේ කඨිනක්ඛන්ධකයේ මෙසේ සඳහන් වෙයි. 1. අනාමන්තචාරය 2. අසමාදානචාරය 3. ගණ භොජනය 4. යාවදත්ථ චීවරය 5. යොවතත්ථ චීවරුප්පාදය යන මේ කරුණු ස ය.

1. අනාමත්තචාරය

පාචිත්තිය පාළියෙහි අවෙලක වර්ගයේ සවන ශික්ෂා පදයෙන් කඨිනෝද්ධාරය නො වන තාක් නො විචාරා යාමෙන් සිදුවන පචිති ඇවතින් නිදහස ලැබීම යි. ආරාමයන් හි වෙසෙන භික්ෂුව පිටත ගෙවල්වලට යනවිට ආරාමයෙහි සිටින භික්ෂුවකට දන්වා යා යුතු ය. එසේ නෙ දන්වා යාමෙන් ඒ භික්ෂුවට පචිති ඇවතක් සිදු වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට එය සිදු නො වේ. කඨිනය ඇතිර‍ීහෙන් පසු කඨිනෝද්ධාරය නො වනතාක් නො විචාර කුලවල හැසිරීමට නිදහස ඇත.

2. අසමාදානචාරය

තිචීවර විප්පවාස නිසඟි පචිතියෙන් සිදුවන ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට සීමිත කාලය තුළ නිදහස ලැබීම අසමාදානචාරය යි. අධිෂ්ඨාන කරගෙන තුන් සිවුරු පාවිච්චි කරන භික්ෂුවට තුන් සිවුරෙන් වෙන් ව රාත්‍රි ඉක්වීමෙන් නිසඟි වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ තමන් කැමැති සිවුරකින් වෙන් ව විසීමට නිදහස ලැබී ඇත.

3. ගණ භෝජනය

ගණ භෝජනය වැළඳීමෙන් වන පචිති ඇවතින් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ නිදහස ඇත. ගණ භෝජනය නම්, “අපට බත් දෙව” ආදී වශයෙන් භික්ෂූන් ගේ වාග් විඥප්තියෙන් හෝ “අප ගේ බත් ගනුව” ආදී වශයෙන් දායකයන් ගේ ආරාධනයෙන් හෝ මෙසේ දෙපක්ෂයේ ම අකැප ව්‍යවහා‍රයෙන් උපන් බත සතර නමක් හෝ එයින් වැඩි පිරිසක් හෝ එක් ව වැළඳීම යි. ගණ භෝජනය නිමන්ත්‍රණයෙන් හා වාග් විඥප්තියෙන් යන දෙ අයුරින් ම සිදු වෙයි. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට ඒ නියමිත කාලය තුළ ගණ භෝජනය පිළිගෙන වැළඳිය හැකි ය. ඇවැතින් නිදහස ලැබේ.

4. යාවදත්ථ චීවරය

නො ඉටා නො විකපා කැමැති තාක් සිවුරු පරිභෝග කිරීමට කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ හැකි ය. නිසඟි පචිතිවල එන ප්‍රථම සිකපදයෙන් නිදහස ලැබේ. යම් භික්ෂූවක් දස දිනකට වඩා කල් අතිරේක චීවර තබා ගනී නම් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු වෙයි. ‍එහෙත් කඨිනය අතුළ භික්ෂුනට කඨිනෝද්ධාරය නො වන තාක් අධිෂ්ඨාන විකල්පනය නො කළ සිවුරු දැරිය හැකි ය.

5. යොවතත්ථචීවරුප්පාදය

කඨිනාස්තරණය තුළ ආරාමයෙහි සාංඝික වශයෙන් හෝ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පුදන ලද සිවුරු පිරිකරාදිය කඨිනානිසංස කාලය තුළ ඒ සියල්ල කඨිනය අතුළ භික්ෂූන් හට අයත් වේ. හේමන්ත ඍතුවේ කෙළවර වූ මැදින් පුර පසළොස්වක් ‍දිනය දක්වා ඇති පස් මස කඨිනානිසංස කාලය වශයෙන් සලකනු ලැබේ. අපලෝකනය නො කොට ගැනීමෙන් සිදුවන දුකුළා ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට නිදහස තිබේ.

වස්සාන ඍතුවේ අවසාන මානය කඨිනත්ථාර කාලය වශයෙන් සලකනු ල‍ැබේ. වප් මස අව පෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය යි. කඨිනය අතුළ භික්ෂූන්ට කඨිනාස්තරණ විනය කර්මයේ බලය එනම්, පඤ්චානිසංසය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වූ මැදින් පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන්ටත් එය අනුමෝදන් වූ භික්ෂූන්ටත් වප් මස අව පෑළවියෙහි පටන් මැදින් මස පුනු පොහෝ දිනය දක්වා ඇති පස් මාසය තුළ මෙකී පඤ්චානිසංසය ලැබේ.

යුතුකම්

මහා සංඝයා විසින් කඨින චීවරය එම විහාරයෙහි වස් විසූ මහා පවාරණයෙන් පවාරණය සිදු කළ සුදුසු භික්ෂුවකට සංඝ සම්මතයෙන් පවරනු ලැබේ. ඉන්පසු එය ලැබූ භික්ෂුව විසින් කළ යුතු යුතුකම් කිහිපයක් ඇත. එහි කප් බින්දු තබා දෙපොට සිවුරක් කඨිනය පිණිස ලැබී ඇත්නම් තමා ගේ පරණ දෙපොට සිවුර පච්චුද්ධරණය කළ යුතු ය. සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන තුන් සිවුරු ඉටා පරිබෝග කිරීම භික්ෂුව සතු යුතු කමෙකි. අධිෂ්ඨාන කොට පරිහරණය කරන තුන් සිවුරෙන් එකකිනුදු වෙන් ව එක් රැයකුදු විසුවොත් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු‍ වේ. පච්චුද්ධරණය කිරීම යනුවෙන් අදහස් කරනුයේ අධිෂ්ඨාන කොට පරිහරණය කරන තුන් සිවුරේ අධිෂ්ඨානය අවලංගු කිරීම යි. කඨිනය පිණිස තහන්ට ලැබුණේ සංඝාටි චීවරයක් නම් පරණ සංඝාටි චීවරය පච්චුද්ධරණය කොට කඨින චීවරය “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යනුවෙන් තුන් වරක් කියා අදිටන් කර ගත යුතු ය. උත්තරාසංග චීවරයක් කඨිනය වශයෙන් ලැබුණේ නම් පරණ තනිපොට සිවුර පච්චුද්ධරණය කොට “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යනුවෙන් තුන් වරක් කියා මේ වාක්‍යය එය අදිටන් කර ගත් යුතු ය. අන්තරවාසක චීවරයක් කඨිනයට ලැබුණේ නම් පරන අඳනා සිවුර පච්චුද්ධරණය කොට “ඉමං අන්තරාවාසකං අධිට්ඨාමි” යනුවෙන් එය තුන් වරක් කියා අදිටන් කර ගත යුතු ය. ඉන් පසු කඨින චීවරය ඇතිරීම කළ යුතු ය. එම කඨින චීවරය අතට ගෙන එය සාංඝාටික චීවරයක් නම් “ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි” යන වාක්‍ය තුන් වරක් කියමින් අතින් පිරිමැදිය යුතු ය.උත්තරාසංග චීවරයක් නම් “ඉමිනා උත්තරසගෙන කඨිනං අත්ථරාමි” යන වාක්‍යය තෙවරක් කියමින් අතින් එය පිරිමැදිය යුතු ය. අන්තරවාසකයක් නම් “ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යන වාක්‍යය තෙවරක් කියමින් අතින් පිරිමැදිය යුතුය.‍ මෙයට විනයෙහි සඳහන් කරනුයේ කඨිනත්ථරණය යනුවෙනි. මේ කඨිනාස්තරණය කිරීමෙන් පසු ඒ භික්ෂූන් වහන්සේට තථාගත නියමය පරදිි අනාමන්තචරාදී පඤ්චානිසංසය හිමිවන්නේ ය. ඉන්පසු ඒ අත්ථාරක භික්ෂුව විසින් කඨිනාස්තරණ කර්මය ඒ විහාරයේ වස් විසූ අනෙක් භික්ෂූන් හට අනුමෝදන් කරවිය යුතු ය. කඨිනත්ථාරක භික්ෂුව විසින් සිවුර ඒකාංස කොට පොරවා ඇඳිලි බැඳගෙන එම විහාරයේ වස් විසූ භික්ෂූ සංඝයා රැස් කරවා ගෙන උන් වහන්සේලා ඉදිරියෙහි තමාගේ වැඩි මහලු කම් අනුව මෙසේ ආමන්ත්‍රණය කළ යුතු ය. “අත්ථතං භන්තෙ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො කඨිනං අනුමොදථ” යනුවෙන් ඇඳිලි බැඳගෙන එක් එක් නම බැගින් වෙන වෙන ම “අත්ථක භන්තෙ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො කඨිනං අනුමෝදාමි” යන වාක්‍යය තෙවරක් කියමින් එය අනුමෝදන් විය යුතු ය. එසේ අනුමෝදක භික්ෂූන් හටත් අනාමන්තචාරාදී පඤ්චානිසංසය නො අඩුව නියමිත කාලපරිච්ඡෙදය තුළ ල‍ැබෙනු ඇත. මේවා කඨානත්ථාරක භික්ෂුව විසින් නො පරිහෙළා කළයුතු යුතුකම් වෙති. කඨිනාස්තරණ කර්මයෙන් ලැබෙන පඤ්චානිසංසය සංසිඳී එහි බලය නැති වී යන කඨිනාස්තරණය අවලංගු වී යන පක්කමනන්තිකා ආදී කරුණු අට මුලින් විස්තරකොට ඇත.

දායකයනට ලැබෙන අනුසස්

කඨිනය පූජා කරන දායකයනට ද ලෞකික ලෝකෝත්තර උභය සම්පත්තිය ම ලබා ගත හැකි ය. නාගිතාපදානය දෙස විමසන විට එහි අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත එක් අත් බවෙක කඨිනයක් පූජා කොට ඒ ශ්‍රෙෂ්ඨ කුසලය අශ්‍රවක්ෂයකරඥානයට (අර්හත්මාර්ග ඥාණයට) උපනිඃශ්‍රය වේවා යි ප්‍රාර්ථනා කෙළේ ය. එවක් පටන් ඒ පිනින් සිවු අපායේ නො ඉපිද සදෙව් ලොව සහ මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ අවසානයේ ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි ව සිවු පිළිසිඹියාපත් මහරහත් බවට නාගිත හිමියෝ පැමිණියහ. උවසු උවැසියන් කඨින පින්කම් වලට විශේෂ සැලකිල්ලක් හා ගෞරයක් දක්වන්නේ මෙබඳු ආනිසංසයන් ලැබෙන නිසා ය. කඨින චීවරය පර‍ිභෝග කරන භික්ෂුවට ලැබෙන ආනිසංස බස කඨිනයේ බලය නැති වූ අවස්ථාවේ නැති වී යාම භික්ෂූන් වහන්සේට පාඩුවක් වුවත් කඨිනය පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිසංසයනට එයින් කිසිඳු හානියක් සිදු නොවේ.

පුරාණයේ මේ රටේ විසූ බෞද්ධ රජවරු මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතු ව කඨින චීවර දාන පූජාව පැවැත්වූහ. බුද්ධ වර්ෂයෙන් 1889 ලක්දිව පොළොන්නරුව රාජධානිය කොට ගෙන රාජ්‍යයට පත් මහා පරාක්‍රමබාහු රජතුමා උදාර ශාසනික සංග්‍රහයක් කළ ශ්‍රද්ධාකාමී රජ කෙනෙකි. එතුමා අවුරුදු 1254 කට අධික කාලයක් මුළුල්ලෙහි භින්න නිකායයන් වශයෙන් පැවැති මහා විහාර අභයගිරි ජේතවන නිකායත්‍රය සමගි කරවා සසුන් සෝදුවක් ද කරවා සංඝයා පාලනයට දිඹුලාගල ආරණ්‍යක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සංඝරාජ ධූරයට පත් කෙළේ ය. මෙතුමා අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා ස්ථාන අසූවක වස් විසූ මහාසංඝයා වහන්සේ අසූනමකට එක ම දිනයක සිවුරු සකස් කොට කඨින චීවර අසුවක් පූජා කර ඇත. බු.ව. 1958‍ කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය රාජධානිය කරගත් සවැනි පැරකුම්බා රජතුමා ද අවුරුදු පතා රුහුණු, මායා, පිහිටි යන ත්‍රි සිංහලයෙහි ඒ ඒ විහාරස්ථානයන්හි වස් විසූ භික්ෂූන් විෂයයෙහි කඨින චීවර පූජා කර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වේ. අවුරුදු පනස් දෙකක් රාජ්‍යය කෙළ මෙතුමා විසින් ගණනින් තුන් සිවුරු 26140 ක් ද සෙසු පිරිකර ඇති ව කඨින චීවර 3432ක් ද පූජා කර තිබේ. බු.ව. 2296 සෙන්කඩගල නුවර රාජධානිය කරගෙන රාජ්‍යය විචාළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බද්ධ සීමා කරවා උපෝසථාගාරයක් තනවා ඒ ඒ තන්හි ආවාස ද සකස් කොට අවුරුදු තුනක් ඇතළත සියලු විහාර කටයුතු නිමවා සංඝයාට පුදා එහි භික්ෂූ සංඝයා වස් වසවාගෙන සිවු පසයෙන් උපස්ථාන කොට වස් අවසානයෙහි කඨින චීවර සංඝයාට පූජා කොට ඇත්තේ ය. බු. ව. 2323 රජ පැමිණි රාජාධිරාජසිංහ රජතුමා “සියලු ආමිස දානයන්ට වඩා කඨින දානය අනුසස් ඇතැ”යි අසා එතුමා අවුරුදු පතා සංඝයා විෂයයෙහි කඨින චීවරදාන පූජාව පවත්වා ඇත. මෙබඳු උදාර ආනිසංස ඇති පුණ්‍ය කර්මයක් නාසි පැරැණි රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පවා මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව කඨින චීවර පූජාවන් පවත්වා ඇති අයුරු මෙයින් පැහැදිලි ය.

නාගිත චරිතාපදානය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන කල්හි නාගිත නම් කුමරුවෙක් වැඩි වියට පැමිණ තමා විසින් පෙර අත් බවෙක පුදන ලද කඨින දානමය කුශල කර්මයෙන් මෙහෙයවනු ලැබ ඥාති මිත්‍රයන් සමග බුදුරදුන් වෙත අවුත් බුදුන් වැඳ දහම් අසා තෙරුවන් සරණ ගොස් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ව‍ූයේ ය. නොබෝ කළකින් සිවු පිළිසිඹියා පත් මහරහත් බවට පත් විය. බුදුහු නාගිත රහත් හිමියන්ගේ විශේෂ කුශල කර්මය උන් වහන්සේ ලවා ම ප්‍රකාශ කරනු කැමැති ව වස් වසා අවසානයෙහි පවාරණය කොට අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ හ. “ආනන්දය! අද අනවතප්ත විල් තෙරට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පන්සියයක් රහතන් වහන්සේ රැස් කරව යි වදාළහ. අනඳ හිමියෝ බුදුරදුන් ගේ නියමය ඉටු කළහ. අනවතප්තවිල රහතන් වහන්සේලා ගේ කහවතින් බැබළුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිරිවරා වැඩහුන් මහා සංඝයා දෙස බලා මෙසේ වදාළ හ. “මහණෙනි, තොප අතුරෙන් පෙර ජාතියක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ උදෙසා විශේෂ කුශල කර්මයක් සිදු කළ භික්ෂුවක් සිටී නම් ඒ බව මෙහි දී ප්‍රකාශ කරව”යි වදාළ හ. එය ඇසූ ඒ පිරිසෙහි වැඩ සිටි නාගිත රහත් හිමියෝ බුදුරදුන් වෙත අවුත් වැඳ දොහොත් මුදුන් තබාගෙන තමන් විසින් සිදු කළ විශේෂ කුශලය බුදුන්ට මෙසේ විස්තර කළ හ.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරදුන් ගේ කාලයෙහි බන්ධුමතී නුවර ‍එක් කෙළෙඹි පුත්‍රයෙකු ව ඉපදීමි. දානපතියකු වූ මම දුගී මගී යාචකාදීන් විෂයයෙහි බොහෝ දානවස්තු පරිතයාග කෙළෙමි. අටවක් තුදුස්වක් පසළොස්වක් පොහෝ දිනවල පෙහෙවස් රැකීමි. එසේ ම පාටිහාරිය පක්ඛ උපෝසථය සමාදන් ව විසුවෙමි. (පටිහාරිය පක්ඛ උපෝසථය නම්, භික්ෂු සංඝයා වස් එළඹෙන තෙමස ඇතුළත අධිෂ්ඨාන කොට සමාදන් ව රක්නා අෂ්‍ටාංග ශීලය යි. එසේ තෙමස ම නො හැකි නම් පෙරවස් පවාරණය හා පසුවස් පවාරණය දක්වා ඇති මාසය තුළ අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ නො හැකි නම් පෙරවස් පවාරණයේ සිට පසළොස් දිනක් අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි.)

දිනක් බන්ධුමතී නුවර රජු ඇතුළු මහ පිරිස් හට දහම් දෙසන විපස්සී සම්බුදුරජාණන් ගෙන් බණ අසා පැහැදී බුදු පාමොක් මහ සඟනට මහ දන් දුනිමි. පසු ව සංඝයාට ආරාධනා කොට වස් වසවා ගෙන සිවු මස මුළුල්ලෙහි සිවු පසයෙන් උවටැන් කෙළෙමි. අවසනා වස් විසූ භික්ෂූන් හට බොහෝ පරිෂ්කාර ඇති ව කඨින චීවර දානය පිරිනමා එයින් ලැබෙන කුශලය අශ්‍රවක්ෂයකර ඥානය පිණිස උපනිඃශ්‍රය වේවා’යි පැතීමි. එතැන් සිට කඨින චීවර දානමය කුශලයෙන් සිවු අපායෙන් මිදී සදෙව් ලොව හා මිනිස් ලොව ඉපිද අනේක විධ දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳුන ලද අයුරු මෙසේ ප්‍රකාශ කළ හ.

කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ

‍ඉතො තිසෙ මහාකප්පෙ - නාභිජානාමි දුග්ගතිං

උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කොට මහා කල්ප තිසක් දුගතියක් නොම දනිමි. මේ කඨින දානයෙහි අනුසස යි.

අට්ඨාරසන්නං කප්පානං - දෙව ලොකෙ රමාමහං

චතුත්තංසක්ඛන්තුං දෙවින්දො - දෙවරජ්ජමකාරයිං

අටලොස් කල්පයක් මුළුල්‍ලෙහි දෙව්ලොව සිත් ලවා වාසය කෙළෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජ ව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

ආරපථෙ ආරපථෙ - චක්කවත්තිස්සීරිං ලභෙ

අසිතිංච චතුක්ඛන්තුං - චක්කවත්ති අභොසභං

එක ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නෙට හේතු සම්පත් ඇත ද, සසර එපමණ බොහෝ කලක් නො සිටි හෙයින් සුවාසූ වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි.

යත්ථ යත්ථූපපජ්ජාමි - ලභිත්වා සබ්බසම්පදං

පුරිසානං උත්තමො භොමි - කඨිනදානස්සිදං ඵලං

උපනූපන් හැම තන්හි සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වූයෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

ද්වෙ භවෙ උපපජ්ජාමි - ද්වො පිච මානුසො

අඤ්ඤං ගතිංන ජානාමි - කඨිනදානස්සිදං ඵලං

දිව්‍ය ගතිය මනුෂ්‍ය ගතිය යන මේ දෙගතිය හැර අනික් නරකාදී දුගතියක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

චෙ කුලෙ උපපජ්ජාමි - ඛත්තියෙ චාපි බ්‍රාහ්මණෙ

හීනෙ කුලෙ න ජානාමි - කඨිනදානස්සිදං ඵලං

ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ යන දෙකුලය හැර එයින් පහත් කුලයක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

චක්කවාළ මුපාදාය - මහිං සාගර කුණ්ඩලං

ඛොම දුස්සෙහි ඡාදෙය්‍යං - කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්‍ය්‍යන්ත වූ චක්‍රවාට පර්වතර ඇතුළත මුළු පො‍ළොව සුදු පට පිළියෙන් වසන්නට පොහොසත් වීමි. මේ කඨින දානයෙහි අනුසස යි.

අහො බුද්ධො අහො ධම්මො - අහො සංඝස්ස සම්පදා

පරිත්තදානං දත්වාන - ලද්ධං මෙ විපුලං සුඛං

බුද්ධ ධම්ම සංඝ යන තුණුරුවන් ගේ අර්හත්වය, නෛර්‍ය්‍යානිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂය ආශ්චර්‍ය්‍යය. මවිසින් එක් කඨින චීවරයක් දුන් විපාකයෙන් මේ සා මහත් සම්පත් ලබන ලද්දේ ය.

තෙනෙව කුසල කම්මෙන - පියොහං දෙව මානුසෙ

තස්සෙව භද්ද කම්මස්ස - පත්තොස්මි අමතං පදං

එම කඨින චීවර දානමය කුශල චේතනාව හේතු කොටගෙන දෙව්ලොව උපන් කල්හි දෙවියන්ට ද මිනිස් ලොව උපන් කල්හි මිනිසුන්ට ද ප්‍රිය මනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුශල කර්මයෙන් නිවනට ද පැමිණියෙමි.

එවං නාගව්හයො ථෙරො - මජ්ඣෙ සංඝස්ස සොභනො

පකාසෙයි සකං කම්මං - අනොතත්ත මහාසරෙ

මෙසේ සඟ මැද හොබනා වූ ශාන්ත වූ ගුණ ඇති නාගිත ස්ථවිරයන් වහන්සේ අනොතත්ත මහවිල්හි දී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දාන සංඛ්‍යාත කුශල කර්මයා ගේ ඉෂ්ට විපාක විශේෂය ප්‍රකාශ කළ සේක.

(කඨින වංසය ඇසුරිනි)

දේවාවරෝහණය

ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනයක සැවැත් නුවර ගණ්ඩම්බ රුක් මුල දී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමා මහ ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් ගේ තද බල සිඳ බිඳ දමා මුළු ගැන් වූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස ගත කරණු පිනිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් දෙව් රදුන් ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන සියලු දෙවියනට විජම් බණ (අභිධර්මය) දෙසු සේක. බුදුහු වස් තුන් මස ම දෙවියනට අභිධර්මය දෙසූ හ. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් දුට හ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය. පුරා තුන් මසක් මුළුල්ලෙහි බුදුරදුන් දැක ගන්නට නො ලැබුණු සැවැත් නුවර වාසී මහා පිරිස උන්වහන්සේ පෙරළා මිනිස් ලොවට වැඩම වන තෙක් බලාපොරොත්තු වෙමින් සියලු තොරතුරු මුගලන් ආදී හිමිවරුන් ගෙන් අසමින්, චුල්ල අනාථපිණ්ඩික සිටුතුමා විසින් පිළියෙළ කොට තැබූ දන් වැට පිළිගනිමිනි එක් තැනකට රැස් වී කඳවුරු බැඳගෙන හුන් හ.

වප් පුර පසළොස්වක් පොහෝ දිනය එළඹියේ ය. පුරා තුන් වසක් මුළුල්ලෙහි සක් දෙව් රදුන්ගේ පඬු ඇඹුල් සලස්නෙහි වස් වසා වැඩ විසූ බුදුරජාණන් වහන්සේ එහිදී වස් පවාරණය කොට මිනිස් ලොවට වඩින බව සක් දෙවිඳු හට වදාළ හ. මහා පවාරණය සිදු කොට වප් පුනු පොහෝ දා තව්තිසා දෙව්ලොවින් සංකස්ස නගරද්වාරයට බුදුරජාණන් වහන්සේ වඩින සේක, යන සම්බුද්ධාගමනයේ කර්ණරසායන මිහිරි පණිවුඩය සැවැත් නුවර පුරා ම තිස් යොදුනක් පමණ ප්‍රදේශයෙත් දස දහසක් සක්වලත් පැතිරී ගියේ ය.

එබස් ඇසූ මහ පිරිස සංකස්ස නගරද්වාරයට රැස්වන්නට වූහ. දිව්‍ය බ්‍රහ්ම සමූහයා‍ ගේ පඤ්චතූර්ය වාදනයෙන් හා මුළු ලොව ම බුදු මහිමයෙන් ඉපිලැ නැගෙන සාධු නාදයෙන් රැව් පිළිරැව් දෙද්දී තිලෝගුරු සම්බුදු රජානන් වහන්සේ සුර නර දෙපස මහා පෙරහැර මැද්දේ තව්තිසා දෙව්ලාවින් දඹදිව සකස්පුර දොරට මහ පෙළහර පාමින් වැඩි සේක. මේ අසිරිමත් බුදු මහිමය සිදු වූයේ වප් පුනු පොහෝ දිනයක ය. ශ්‍රී ශරීරයෙන් සමණක් ගන බුදුරැස් විහිදුවමින් දෙව්බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගරයට වැඩි මොහොතහි ඒ අසිරමත් පෙළහර දුටු බුදු සිරි බලා බුදුවන්නට නො පැතූ කෙනෙක් නැත්තා හ. ඒ විස්මය දුටුවා වූ සැරියුත් මහ රහතන් වහන්සේ සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී පාදය වැඳගෙන හෙව මෙවැනි බුද්ධ ශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින් ෂඩ්වර්ණ රශ්මී මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා ගිය හදවතකින් යුතු ව,

“නමෙ දිට්ඨො ඉතො පුබ්බෙ - නස්සුතො උදකස්සචි

එවං වග්ගු වදො සත්ථා - තුසිතා ගණිමාගතා”

යනාදීන් මුව නො සෑහෙන ස්තූතියෙන් ප්‍රශංසා කළ හ. ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ගේ පෙළහරෙහි කුළු ගන්වමින් සම්ප්‍රාප්ත වූ පර්ෂදයට ධර්ම දේශනා කොට වදාරණ සේක්.

“යෙ ඣාන පසුතා ධීරා - නෙක්ඛම්මූපසමෙරතා

දෙවාපි තෙසං පිහයන්ති - සම්බුද්ධානං සතී මතං”

යන ගාථාව වදාළ හ. ඒ ගාථා කෙළවර තිස් කෙළක් ප්‍රාණීහු අමාමහ නිවන් දුට හ. එය අසා සැරියුත් මාහිමියන් ‍ගේ සද්ධි විහාරික පන්සියයක් පමණ භික්ෂූහු රහත් වූහ.

ගාථාවේ අදහස:

යම් ප්‍රාඥ කෙනෙක් ආලම්බනෝප නිධ්‍යාන ලක්ෂණෝප නිධ්‍යාන වශයෙන් දෙවැදෑරුම් වූ ධ්‍යානයෙහි ආවජ්ජනාදී පඤ්ච වශිතාවන් ගේ වශයෙන් යෙදී වාසය කෙරෙත් ද? නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමය වූ නිර්වා‍ණයෙහි ඇලුණාහු වෙද් ද, ස්මෘති සම්පන්න වූ ඒ සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙති යනු යි.

මෙහි දී සිදු වූ තවත් ආශ්චර්‍ය්‍යවත් සිද්ධියක් නම් බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් විසින් නඟන ලද ප්‍රශ්න මාලාව විසඳා ලූ සැරියුත් මාහිමියෝ ඒ මහාජන සන්නිපාතය මධ්‍යයෙහි දී උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් අතුරෙන් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයන් වහන්සේ හැටියට පැවැසූහ. මේ සිද්ධිය වූයේත් වප් පුනු පොහෝ දිනයක ය.

මෙතේ බෝසත් තුමා පැවිදි වීම

දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ ජන සමූහයා බුදු බව පැතූහ. එයිනුදු බොහෝ දෙනෙක් සසුන් හි පැවිදි බව ලැබූහ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන මේ මහා සමාගමය මධ්‍යයෙහි සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජනයන්ට සවන් දී සිටි මෛත්‍රිය බෝධිසත්ත්වයන් වහන්සේ ඉමහත් ප්‍රාසාදයට පත් ව පැහැදී පැවිදි වූහ. මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව්තුරා බුදු බවට පැමිණෙන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරදුන් ගේ ශාසනයෙහි පැවිදි බවට පත් ව වදාළේත් වප් පුනු පොහෝ දිනයක ය.

දඹදිව යැවූ රාජකීය දූත පිරිස

මහින්දාගමනයෙන් ලංකාවේ ඇතිවුණු ආගමික ප්‍රබෝධය උදක් පිරිමි පක්ෂයට පමණක් සීමා නො වී ය. කාන්තා පක්ෂය ද පිරිමින් ට නො දෙවෙනි වන සේ ක්‍රියා කොට ඇත. ආගමික කටයුතු විෂ‍යයෙහි කවදත් කාන්තා පක්ෂය දක්වනුයේ පිරිමින්ට වඩා උද්‍යෝගයක් බව කීව ද වරදක් නො වේ යැ යි සිතේ. මිහිඳු මාහිමියන් ගෙන් බණ අසා පළමු ව මග පල ලැබුවෝ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පක්ෂය යි. ශාසන ගත ව පැවිදි කම් ලැබීමට කාන්තා පක්ෂයට අවශ්‍ය විය. අනුලා දේවිය ප්‍රධාන කුල කතුන් සසුන් ගත කිරීමට සංඝමිත්තා මහරහත් මෙහෙණිය ඇතුළු භික්ෂූණී සංඝයාත් ජය ශ්‍රී මහා බෝධිද්‍රැමයේ දක්ෂිණ ශාඛාවත් මෙහි වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන් ගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමා ගේ සන්දේශයත් සතුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවනු පිණිස පිටත් කොට යවන ලද්දේත් වප් මහා ශුක්ල පක්ෂයෙහි දෙවැනි දිනයක ය. ලංකා වාසී කාන්තා පක්ෂයට මහත් ආශිර්වාදයක් වූ භික්ෂුණී ශාසනයත්, ලංකා වාසී බෞද්ධ මහ ජනතාව‍ ගේ ඓතිහාසික ශ්‍රෙෂ්ඨතම පූජනීය මහාර්ඝ වස්තුවක් වූ ජය ශ්‍රී බෝධිරාජයා ගේ දක්ෂිණ ශාඛාවත් වැඩම වීමට රාජකීය දූත පිරිස යැවූ මෙදවස හෙළ බොදු බැතිමතුන් ගේ හදවත් තුළ සැදැහැබැති වැඩීමට හේතුවන වැදගත් ශාසනික දිනයෙකි.

විනය සංගායනාව

ලංකා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා උදාර සේවයක් සිදු කළ දේවානම් පියතිස්ස රජ තෙමේ මිහිඳු මාහිමියන්ගෙන් ලංකාද්වීපයෙහි ශාසනය පිහිටියේ දැ”යි විචාළේ ය. “එසේය, මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තව ම මුල් බැස නැත” යනුවෙන් උන්වහන්සේ ගේ පිළිතුර විය. ශාසනය මුල් බැස ගන්නේ කෙසේ දැ”යි තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙල දිවයිනෙහි සිංහල මවුපියන් හට උපන් දරුවෙක් මෙහි දීම පැවිදි ව විනය ඉගෙන ගෙන මේ දිවයිනෙහි දීම විනය උගන්වයි ද එකල්හි බුද්ධ ශාසනය මුල් බැස ගත්තා වන්නේ යැ”යි මිහිඳු මා හිමියෝ පැහැදිලි කළ හ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහාරිට්ඨ හිමියනට මේ සුදුසුකම් සියල්ල ම පිහිටා තිබුණේ ය. එබැවින් විනය සංගායනාවක් පැවැත්වීමට නො පමාව ම විධි විධාන යොදන ලදී. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහාරිට්ඨ සිංහල රහතන් වහන්සේ ඇතුළු මහ රහත් මාහිමිවරු අට සැට නමක් දහසක් බැගින් භික්ෂූ පිරිවර ඇති ව ථූපාරාමයෙහි රැස් වූහ. මහාරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මාහිමියන් ගේ අනුදැනීමු ඇති ව ථුපාරාම විහාර මධ්‍යයේදී මහා සංඝයා විසින් පිරිවරන ලදුයේ වප් මස පසළොස්වක් ලත් පෙ‍රවස් පැවුරුණු දිනයෙහි විනය පිටකය සංගායනා කළ හ. ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනා ව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් වප් පුනු පොහෝ දිනයක ය.

බෝධි අංකුරය

බුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ලක්දිව මහා බෝධිය පිහිටුවනු පිනිස අශෝක අධිරාජයා බෝධිද්‍රැම රාජයාණන් වෙත ගිය කල්හි ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව අයත්නයෙන් ම සිඳී රන් කටාභයෙහි පිහිටා සිටියේ වප් පුර පසළොස්වක් පොහෝ දිනයක ය. දඹදිව රාජ්‍යයෙන් තෙවරක් පිදුම් ලද බෝධි ශාකාව ඉල් මස පෙර පස පළමු පෑළවිය දිනයෙහි අශෝක රජතෙමේ ඔසවාගෙන ගෙල පමණ දියට බැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඟමිත් තෙරණිය ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට “පුත, මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළුවාට යැවීමි, එතෙමේ ද මෙපරිද්දෙන් ම මහා බෝධිය පුදාවා”යි දන්වා සිටියේ ය.

මේ නයින් සලකන විට මහා පවාරණ දේවාවරෝහණය සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම මෙතේ බෝසතුන් සසුන්හි පැවිදි බව ලැබීම - අරිෂ්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමනාරම්භය ආදී අසිරිමත් ආගමික කරුණු රැසක් සිදුවුණු වප් පුනු පොහෝ දිනය බෞද්ධයන් ගේ ප්‍රධාන ආගමික දිනයෙකි.

11. ඉල් පෝය

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.

මෙත් බෝසත්තුමා විවරණ ලැබීම

දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ ගේත් සැරියුත් මාහිමියන් ගේත් අතර ඇති වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසීමෙන් වප් පුනු පොහෝ දා මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ දහසක් පමණ වූ පිරිවර ජනයා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ මෙයින‍් සෙ‍ාළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට මතු බුදු වනු පිනිස නියත විවරණ සිරි ලබා පෙරුම්දම් පුරමින් එන්නා හ. අප ගේ ගෞතම බුදුපියාණන් ගේ කාලයෙහි දෙව්ලොවින් චුත ව සැවැත් නුවරින් තුන් යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලයෙක සිරිවඩ්ඪ නම් මහ කෙළඹියාට පුත් ව උපන්හ. දිසාපාමොක් ඇදුරුහුගෙන් සියලු සිප් සතර උගත් බෝසත් කුමරුවාණෝ මාපියන් ගේ ඇවෑමෙන් සියලු ධනයට අයිතිකාරයා වූ හ. මහපිරිවර ඇති ව සැප සම්පත් විඳින්නාහු දේවාව‍රෝහණ සමාගමයෙහි දී ඒ අසිරිමත් බුදු පෙළහරින් ඉමහත් සොම්නසට පත් ව සියලු ගිහි සම්පත් අතහැර දමා පිරිවර ජනයා සමග බුදු සසුන් හි පැවිදි බවට පත් වූ හ. පැවිද්ද හා උපසම්පදාව ලැබූ ආර්‍ය්‍ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ බුදු දහම මැනැවින් ඉගෙන එය භික්ෂූ සමූහයාට ඉගැන්වූහ.

පසු කලෙක චීවර මාසයේ අන්තයේ දී වස්සග්ගයෙහි මාහැඟි වස්ත්‍ර යුගලයක් තමන්වහන්සේට ලැබිණ. චීවර දානයේ අනුසස් දත් බෝසතාණන් වහන්සේ ඒ වස්ත්‍ර යුගලයෙන් එකක් තථාගතයන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියෙහි වියන් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා වියන් කෙළවර එල්ලා බැඳ භාග්‍යවතුන් වහන්සේට පුදා මහා සඟ මැද එකත් පස් ව වැඩ සිටියහ. මෛත්‍රෙය බෝධිසත්ත්වයන්ගේ මේ උදාර පුණ්‍ය ක්‍රියාව සර්වඥතාඥනයෙන් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ ආර්‍ය්‍ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂුව අමතා ඔබ වනාහි මේ භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය සමින් බුදු වන්නෙහි යැයි විවරණ සිරි දී වදාළ හ. මේ මහා පූජාවකින් තිලෝගුරු සම්බුදු රදුන් පුදා එකත් පසෙක සිටිනා මහා පුරුෂයාණන්ගේ අධ්‍යාශය මහා සංඝයා හට මෙසේ වදාළ හ. “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයෙකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධාන‍ියෙක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහු ගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුනා මෛත්‍රෙය බුදුන් ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණුහු ගේ භාර්‍ය්‍යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා ‍රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහු ගේ ‍බෝරදුන් වෙයි” යනුවෙන් විවරණ සිරි දී වදාළ හ. තමන් ගේ අධ්‍යාශයන් අනාගතයෙහි මස්තකප්‍රාප්ත වන බව දැන පුරන ලද පාරමිතාවන් ඇති බුද්ධාංකුරයාණන් වහන්සේ මේ විවරණ සිරි ඥානය දොහොත් මුදුන් තබා ඉවසා සිටිය හ. මහා සංඝයා සාධුනාද පැවැත්වී ය. දෙවියෝ ප්‍රීතියෙන් උද්දාමවත් ව දිව මලින් පිදූ හ. මිනිස්සු සැණකෙළි පැවැත්වූ හ. මේ ආගමික මහා පුණ්‍ය ක්‍රියාව සිදු වූයේ ඉල් පුනු පොහෝ දිනයක ය.

ධර්‍මදූත සේවය

බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම අමතා “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ‍ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෙසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” යනුවෙන්

“මහණෙනි! බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද, චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නො යවු. මහණෙනි, මුල මැද අවසැන යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසවු. පිරිසිදු වූ බ්‍රහ්මාචර්‍ය්‍යය ප්‍රකාශ කරවු”යි අවවාද දී ධර්මදූත සේවයෙහි යෙදවූයේ ඉල් පුනු පොහෝ දිනයක ය.

උරුවෙල් දනව්වෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යයි සහෝදර ජටිල තාපසයන් තිදෙනෙක් නේරඤ්ජරා නදිය සමීපයේ ආරාමයන් කරගෙන වෙසෙති. එයින් උරුවේල කාශ්‍යප තාපසයා හට පන්සියයක් පිරිස සිටිති. නදී කාශ්‍යප තවුසා හට තුන්සියයක් පිරිස සිටිති. ගයා කාශ්‍යප තවුසා හට දෙසියයක් පිරිස සිටිති. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කසුප් තවුසාණන් ගේ අසවුපට වැඩම කොට තුන් දහස් පන්සිය සොළොසක් පෙළහර දක්වා උරුවෙල් කසුප් තවුසාණන් ඇතුළු පන්සියයක් අතවැසි පිරිස පහදවා සසන් හි පැවිදි කළ සේක. පැවිදි වූ ඔවුහු ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජරා නදියෙහි පා කොට යැවූහ. ග‍ඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු නදී කාශ්‍යප තවුසා ස්වකීය වැඩි මහලු සහෝදරයා ඇතුළු පිරිසට අනතුරක් සිදු වීදැ යි දැනගනු පිණිස පිරිස මග පැමිණි විට පැවිදි වී සිටි පිරිස දැක තෙමේ ද තන් සියයක් පිරිස සමඟ පැවිදි වූයේ ය. ග‍ඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප තවුසා ස්වකීය සහෝදරයනට අනතුරක් සිදු වීදැ යි පරීක්ෂා කරනු පිණිස දෙසියයක් අතවැසි පිරිසත් සමග පැමිණ බුදුරදුන් ගෙන් බණ අසා පැවිදි විය. තථාගතයන් වහන්සේ නොබෝ දිනකින් දහසක් ජටිල භික්‍ෂූන් සමග උරුවෙල් දනව්වෙන් නික්මර ගයා ශීර්ෂයට වැඩම කොට එහිදී ඔවුන ආදිත්ත පරියාය සුත්‍රය දේශනා කොට රහත් කරවූ හ. ප්‍රථම ධර්ම දූත පිරිස සද්ධර්මය පතුරුවා හරිනු පිණිස යැවූ තථාගතයන් වහන්සේ තුන් බෑ ජටිලයන් හට සුව සෙත් සලසා දෙනු වස් වැඩමවා වද‍ාළේත් ඉල් පුනු පොහෝ දිනයක ය.

පවාරණය

පෙරවස් පවාරණය, පසුවස් පවාරණය යනුවෙන් පවාරණය දෙවැදෑරුම් වේ. ඇසළ පුනු ‍පොහෝදා පොහොය කොට අවපෑළවිය දා පෙරවස් සමාදන් ව වස හොඳින් ආරක්ණා කොට වප් පුනු පොහොයදි මහා පවාරණයෙන් පවාරණය කිරීම පෙරවස් පවාරණය නම් වේ. නිකිණි පුනු පොහොය දා පෝය කොට අවපෑළවියදා පසුවස් සමාදන් ව ඉල් පුනු පොහොයදා පවාරණය කිරීම පසුවස් පවාරණය නම් වේ. වස් විසූ භික්ෂූන් වහන්සේ විසින් පවාරණකර්මය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබේ. “අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං දිට්ඨෙනවා සුතෙනවා පරිසංකායවා සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානු ලොමතා ආපත්ති වුට්ඨානතා විනය පුරෙක්ඛාරතා” යන‍ුවෙන්

“මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනින් පවරන්නට අනුදනිමි” යි වදාළ හ. වස් විසූ භිකෂූන් විසින් මෙසේ පවාරණය කළ යුතු ය. එය පැහැර හරී නම් බුද්ධ ප්‍රඥප්තියක් පැහැර හැරියා වෙයි. චාතුද්දසී (තුදුස්වක්) පවාරණය, පණ්ණරසී (පසළොස්වක්) පවාරණය, සාම්ග්ගි පවාරණය යි දන වශයෙන් තුනෙක් ද, සංඝ පවාරණය, ගණ පවාරණය, පුග්ගල පවාරණය යි කාරක වශයෙන් තුනෙක් ද, තෙවාචික පවාරණය, ද්වෙවාචික පවාරණය, ඒකවාචික පවාරණය යි කර්තව්‍යකාරක වශයෙන් තුනෙක් දැ යි මෙසේ පවාරණය නව වැදෑරුම් කොට දක්වා තිබේ. මේ පවාරණ කර්ම කළ යුත්තේ වප් මස අවපෑලවියෙහි පටන් ඉල් මස පුර පසළොස්වක් දක්වා ඇති එකුන් තිස් දිනය තුළ යි. චාතුද්දසී පවාරණයක් සිදු වන්නේ වස්සනා ඍතුවේ සත්වන පොහොයහි පවාරණය කරතොත් පමණකි. සාමග්ගී උපෝසථයට සුදුසු කරුනක් වප් මස අවපෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක් දිනය දක්වා ඇති එකුන් තිස් දිනය තුළ සිදු‍ වේ නම් ඒ සාමග්ගි පවාරණය යි. සංඝ පවාරණයට යටත් පිරිසෙයින් සංඝයා පස් නමක් වත් සිටිය යුතු යි.

චීවර මාසයේ අන්තිම දිනය වශයෙන් සලකන ඉල් පුනු පොහෝ දිනයෙහි සසුන් වැඩ අරඹා උදාර පින්කම් වල යෙදී සිටි අපේ බොදු බැතිමත්හු කඨින චීවර පූජා කොට නිමාවට පත් වෙති. සසුන් වැඩ අරඹා පින් පල නෙළා ගන්නා සරු මාසයක් වශයෙන් ඉල් මහ සම්මත ව ඇතත් ලක් වැසියනට අතිශයින් හානි කර වූ විපත්තිකර මාසයක් වශයෙන් ද නම් දරා ඇත. නො කඩවා ඇද ‍හැලෙන මහ වැසි නිසා ගංගා ගලා උතුරා ගං වතුර බිය ඇතිකර කෙත් වතුපිටි ගස් කොළං ආදිය විනාශ කරමින් කඳු කඩා හැලෙන නායයන මංමාවත් විනාශ වන කාලයෙකි.

සැරියුත් මාහිමියන් ගේ පිරිනිවීම

භාග්‍යවතුන් වහන්සේ පන් සාලිස්වන වස බේලුව ගමෙහි වස් වැස මහා පවාරණයෙන් පවාරණය කොට සැවැත් නුවර ජේතවනාරාමයට පිවිසි සේක. එකල්හි ධර්ම සේනාදිපති සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේ බුදුරදුන්හට වැඳු තමන් වසනා ස්ථානයට ගොස් වැඩ වෙසෙන විට මේ පිරිවිතර්කය උපන් හ. “බුදුරජාණන් වහන්සේ පළමුකොට පිරිනිවන් පානා සේක් ද? නැතහොත් අග්‍රශ්‍රාවකයෝ පිරිනිවන් පාන්නාහු ද? යනු”යි . ඉක්බිති පළමුව අගසවු පිරිනිවන් පානා බව දැන තමන් ගේ ආයු සංස්කාරය බැලූහ. තව ඉදිරියට ඇත්තේ තමන් ගේ ආයුෂ දින සතකට පමණක් බව දැනගෙන එතෙක් රත්නත්‍රය විෂයයෙහි නො පැහැදී සිටි සිය මවුතුමිය මාර්ගඵලාවබෝධයට පත් කරවනු පිණිස තමන් උපන් ගෙදරට වැඩම වීමට සිතූ හ. පන්සියයක් භික්ෂූන් සමග බුදුරජාණන් වහන්සේ කරා එළඹ මෙසේ කී හ.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම දැන් ජරා ජීර්ණ වෙමි. මෙහි නැවත පැමි‍ණීමෙක් නැත. මේ අන්තිම ගමන යි. මේ මාගේ අන්තිම වැඳීම යි. මාගේ ආයුෂය ස්වල්ප ය. බර උසුලන්නකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරණ සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලය යි. මා විසින් ආයු සංස්කාරය හරණ ලදී.” යනුවෙන් වදාළ හ. මෙසේ ප්‍රකාශ කොට මගධ ජනපදයෙහි නාලක ගමෙහි තමන් උපන් ගෙදර ඔවරකයෙහි පිරිනිවන් පානා බව දැන්වූ හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “සාරිපුත්‍රයෙනි, තොපට කැමති සේ කරන්න. මින් පසු තොප ගේ වැඩිමහලු බාල සොහොවුරු භික්ෂු සංඝයාට තොප වැනි භික්ෂු නමක ගේ දර්ශනය නො ලැබෙන්නේ ය. ඔවුන්ට ධර්ම දේශනා කරන්නට යැ”යි වදාළ හ. සැරියුත් මාහිමියෝ ඍද්ධී ප්‍රාතිහාර්ය දක්වා ධර්ම දේශනා කොට මෙසේ කී හ. “ස්වාමීනි, බුදුරජාණන් වහන්සෙ, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වුණු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පා හමුවෙහිදී ඔබ වහන්සේ‍ ගේ දර්ශනය ප්‍රාර්ථනා කෙළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනා තොමෝ සමෘද්ධ වූවා ය. මා විසින් නුඹ වහන්සේ දක්නා ලද්දාහු ය. එ් මාගේ ප්‍රථම දර්ශනය යි. මේ අන්තිම දර්ශනය යි. නැවැත නුඹ වහන්සේ දැක්මෙක් මාගේ නැතැ”යි දෙ‍ාහොත් මුදුන් තබා වැඳ ගියහ. ඉක්බිති භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය පරිදි අගසවු සැරියුත් හිමියන් ගේ පසුපස ජේතවනාරාමයෙහි දොරටුව දක්වා පසු ගමන් කොට ගෞරව දැක්වූ හ. අනතුරු ව සැරියුත් මා හිමියෝ සත් දිනක් තිස්සේ අතර මගදී හමු වූ මිනිසුනට අනුග්‍රහ කරමින් ලෝකාර්ථ චර්‍ය්‍යාවෙහි යෙදෙමින් සත්වෙනි දිනයෙහි ඉල් පුර පසළොස්වක් පොහෝ දා සවස් වේලෙහි නාලක ගමට සම්ප්‍රාප්තව ගම්දොර නුගරුක් මුල හුන් සේක. එකල්හි තෙරුන් වහන්සේ ගේ බෑනා වූ උපරේවත නම් බ්‍රාහ්මණයා හමුව ඔහු ලවා සිය මෑණියන් වන මිථ්‍යාදෘෂ්ටික සාරී බැමිණියට පණිවුඩ යැවූ හ. එතුමිය සිය පුතණුවන් වූ සැරියුත් හිමියනට වැඩ සිටීමට එහිමියන් උපන් ඕවරකය සකස් කොට දුන්නා ය.

එහි වැඩමවා පනවන ලද අසුනෙහි වැඩ හිඳ තථාගතයන් වහන්සේ ගේ අනන්ත වූ ගුණ සමුදාය සිහිපත් කරවූ හ. “බුදුන් උපන් කෙණෙහි, මහාබිනික්මන් කළ කෙණෙහි, බුදු වූ කෙණෙහි, දම්සක් පැවැත්වූ කෙණෙහි, දස දහසක් ලෝක ධාතූහු කම්පිත වූ හ. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥානදර්ශනයෙන්, කරුණාවන්, අසමසම ධර්මකතාවෙන් බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් නැත්තා හ” යනුනේ සැරියුත් හිමියෝ සිය මවට දම් දෙසූ හ. නව අරහාදී ගුණ වර්ණනා කරමින් බුද්ධ ගුණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාව අවසානයෙහි සාරි බැමිණිය උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියා ය. ඇය ගේ ප්‍රීති උදානයෙන් පසු සැරියුත් හිමියෝ සිය මෑණියන් වූ රූපසාරි බැමිණියට “මම පෝෂණය කිරීමේ මිල ගෙවූවෙමි. මම වර්ධනය කිරීමේ දී ඇති වූ ණයගැති භාවයෙන් මිදුනෙමි”යි සිතමින් සෑහීමට පත් ව අනතුරුව මහ‍පොළොව කම්පා කරවමින් පිරිනිවන් පෑ සේක. බුදුහු සැරියුත් මාහිමියන් ගේ දාතු ගෙන ගාථා පන්සියයකින් එහිමියන් ගේ ගුණ වනා ධාතු චෛත්‍යයක් කර වූ සේක. මෙබඳු අසිරිමත් ශාසනික සිද්ධියකින් පිවිතුරු බවට පත් ඉල් පුනු පොහොය සමස්ත ලෝකවාසීන් ගේ ම ශ්‍රෙෂ්ඨ ආගමික දිනයකි.

බුදුරදුන් වස් විසූ ස්තාන

බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධියෙහි එනම්, බුද්ධත්වයට පත් මුල් අවුරුදු විස්ස එක් තරනක නිබඳ ව විසීමක් නො මැති ව කැමිත ආකාරයෙන් පහසුකම් අනුව ඒ ඒ තන්හී වැඩ විසූහ. පළමු වන වස ඉසිපතනයෙහි දම්සක් පවත්වා අට‍ළොස් කෙළක් දෙව් බඹුන් නිවන් දක්වා පස්වග මහණුන් සමග බරණැස විසූ සේක. දෙවන වස තෙවන වස සිව්වන වස රජගහ නුවර වේළුවනයෙහි ගත කළ හ. පස්වන වස විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහිත්, සවන වස මකුල පර්වතයෙහිත්, සත්වන වස තව්තිසා දෙව්ලොවෙහිත්, අටවන වස භඟු නුවර සුංසුමාර පර්වතය ඇසුරු කොට භේසකලා වනයෙහිත්, නව වන වස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහිත්, දසවන වස පාරිලෙය්‍ය වනයෙහිත්. එකොළොස්වන වස ඒකනාලා බමුණු ගමෙහිත්, දොළොස්වන වස වේරඤ්ජාවෙහිත්, තෙළෙස්වන වස චාලිය පර්වතයෙහිත්, තුදුස්වන වස සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහිත්, පසළොස්වන වස කිඹුල්වත් පුර නිග්‍රොධාරාමයෙහිත්, සොළොස්වන වස අලව් නුවරෙහිත්, සතළොස්වන වස රජගහ නුවර වේළුවනාරා‍මයේත්, අටළොස් වන හා එකුන් විසි වන වස චාලිය පර්වතයෙහිත්, විසිවන වස රජගහ නුවර වේළුවනාරාමයෙහිත් ගත කළ හ. ඉතිරි විසි පස් වසින් දහනව වසක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහිත් සවසක් සැවැත් නුවර පෙර අරමෙහිත් විසූ සේක. මෙසේ බුදුපියාණන් වහන්සේ අනේපිඬුසිටුතුමා ගේ හා විශාඛා උපාසිකා වන්ගේ ඇති ශ්‍රද්ධාදී උතුම් ආර්‍ය්‍යගුණයනට සැලකීමක් වශයෙන් සැවැත් නුවර විසිපස් වසක් ම ගත කොට ඇත්තා හ.

ථූපාරාම පූජා හා ධාතූන් ගෙන ඒම

අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු ධර්‍මදූත පිරිසක් ලංකාවේ ප්‍රථම සිංහල භික්ෂුව වූ අරිට්ඨ මහරහතුන් වහන්සේ ඇතුළු සිංහල රහතුන් සපනස් නමත් යන දෙසැටක් රහතන් වහන්සේලා දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් මිහින්තලාවේ අටසැට ලෙන්හි වස් එළඹීයහ. පසුව වප් පෝයදා වස් පවාරා අනතුරුව දෙවන පෑතිස් රජු හට බුදුරදුන් ගේ ධාතූන් නිදන්කොට චෛත්‍ය නිර්මාණය ක‍ොට වැඳුම් පිඳුම් සිදු කිරීමට අවශ්‍ය පූජනීය ස්ථාන පිළියෙළ විය යුතු බව වදාළේ ඉල් මස මැදි පොහෝ දිනක ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට සර්‍වඥ ධාතූණ් සහ විශේෂයෙන් දකුණු අකුධාතූන් වහන්සේත් ලංකාවට ගෙනාහ. ධර්‍මාශෝක අධිරාජයාණන් වසින් දෙන ලද පාත්‍රයක් පමණ ධාතූන් වහන්සේ මිහින්තලාවේ තබා දකුණු අකුධාතූණ් වහන්සේ රැගෙන අනුරාධපුරයට වැඩම කොට දෙවන පෑතිස් නිරිඳුන් ලබා ථූපාරාම චෛත්‍යය කරවා එහි නිදන් කරවූ හ. ලංකාවේ බුදු සසුන් පිහිටුවීමෙන් පසු කරවන ලද මුල් සෑය ථූපාරාම චෛත්‍යයයි.

12. උඳුවප් පෝය

ශ්‍රී සංඝමිත්තා මහරහත් මෙහණිය ගැන, ලංකා මෙහණෙ සසුන ගැන, ජයසිරි බෝ හිමි ගැන, අනුරාධපුරය ගැන, සිංහල කාන්තා ප්‍රබෝධය ගැන, මෙනෙහි කරන හැම බෞද්ධයන් තුළ ම පහළ වනුයේ මහා ප්‍රීතියෙකි. නො මැරෙන සැනසිල්ලෙකි. නො සි‍ඳෙන අධිෂ්ඨානයෙකි. සිංහල වනිතා පක්ෂය පිළිබඳ පැවැති හැම දුර්මතයන් ම බිඳ හැර දමා හෙළ වනිතාවන් ගේ හදවත් තුළ නො පරවන සේ හැඟුම් මල් පුුබුදුවා තබා අමරණීය නමක් ලංකා ශාසන ඉතිහාසයට ඇතුළත් කොට ලොව්තුරා පහන් ටැඹේ එළියෙන් නිවන් පුරයට පිවිසෙන විමුක්ති මාර්ගය එළි පෙහෙළි කොට ලංකා මෙහෙණි සසුන පිහිටුවා වදාළ ශ්‍රී සංඝමිත්තා මහරහත් උත්තමාව ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සි‍ඳෙන බැති කුසුම් පුදා කළගුණ සැලකීම විශේෂයෙන් සිංහල කාන්තාවන් ගේත් අවිශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ගේත් පරමෝදාර ශ්‍රෙෂ්ඨ යුතුකමකි.

එදා මිහින්තලා කන්දෙන් පැන නැගී ලංකාවේ දස අතට විහිදී ගලා ගිය ශාන්තිනායක අමා මෑණියන් වහන්සේ ගේ නිර්මල ධර්ම ගංගාව නිසා සියලුම සිංහලයෝ බෞද්ධයන් බවට පත් වූ හ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බරවී, අවිද්‍යාවෙන් අඳුරු වී, පැවැති මේ දිවයින උපබුදු මිහිඳු මහ රහත් මාහිමියන් විසින් සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී, ඒ සද්ධර්මාමෘතය පානය කළ සිංහලයෝ බුදු සසුන් හි පැවිදි වන්නට වූහ. එහෙත් මිහිඳු මාහිමියන්ගෙන් දහම් අසා ආර්‍ය්‍ය ශ්‍රාවිකාවන් බවට පත් ව සිටි අනුලාවන් ප්‍රධාන සිංහල කාන්තා පක්ෂයට මහණ වන්නට ඉඩෙක් නො ලැබිනි. මිහිඳු මාහිමියන් ගේ අනුදැනීම ඇති ව දෙවන පෑතිස් නිරිඳුන් ගේ ආරාධනයෙන් සංඝමිත්තා ස්ථවිරාවන් ප්‍රධාන භික්ෂුණී සංඝයා ලංකාවට වැඩම කොට අනුලාවන් ප්‍රධාන, සෝවාන් ඵලයට පත් ව සිටි ස්ත්‍රී සමූහයා මහණ කොට ලංකා මෙහෙණ සසුන පිහිටුවන ලදී. සිංහල කාන්තාවන් හට ඒතාක් වැසී තිබුණු ආගමික හා ජාතික නිදහස ලබා දෙමින් ලෞකික වූත් ලෝකෝත්තර වූත් විමුක්තියේ හැම දියුණුවක් ම හෙළි කර දුන් හ. සිංහල කාන්තාවන් ජාත්‍යන්තර කීර්තියට පවා පත් කරවමින් ලොව්තුරා ගුණදම් වගාවේ හිමිකාරියන් බවට පත්කළ හෙළ කතුන්ගේ නළලත රන් තිලකයක් බඳු වූ සිරි සඟමිත් මහ රහත් මෙහෙණියන් ගේ විසිතුරු චරිතාපදානය සිහි කිරීම මෙම ඓතිහාසික උඳුවප් පුනු පොහෝ දිනයෙහි ඉතා ම උචිත වන්නේ ය. උදාර අධිරාජයකු ගේ දයාබර දියණියක වූ එතුමිය රජමාළිගයත් එහි සියලු ඓශ්චර්‍ය්‍යයත් අතහැර දමා ආත්ම පරිත්‍යාගයෙන් යුතු ව සිදු කළ ශාසනික සංග්‍රහය සදානුස්මරණීය සිද්ධියකි. විමුක්ති රසයෙන් ලංකා මාතාව පින වූ ඒ උත්තමාව ගේ අවිනශ්වර කීර්ති රාශියට අනුපමේය මෙහෙයට කෘත ගුණ සැලකීම හැම සිංහල කාන්තාවක ගේ ම පරම යුතු කමෙකි.

ළදරු විය

සංඝමිත්තා උත්තමාව ගේ දෙගුරුන් පිළිබඳ වූ තොරතුරු මහින්ද පුරා වෘත්තය දැක්වීමෙහි දී විස්තර කොට ඇත. නැවැතත් එය සඳහන් කිරීම අනවශ්‍ය ය. එබැවින් එතුමිය ගේ බාල කාලය පිළිබඳ ව අවශ්‍යයෙන් දැනගත යුතු විශේසයෙන් අපේ බෞද්ධ බාලිකාවන් විසින් ආදර භක්තියෙන් යුක්තව සිහිපත් කළ යුතු කරුණු රාශියක් ඇත. සකල ජම්බුද්වීපය ම ඒකච්ඡත්‍ර නැංවූ ශ්‍රෙෂ්ඨ අධිරාජයකු ගේ දියණියක වූ සංඝමිත්තා කුමරිය ගේ බාලිකා ජීවිතය හැම අතින් ම ආදර්ශ සම්පන්න ය. මනා රූප සම්පත්තියත්, ලලනා ලාලිත්‍යයත්, කාන්තිමත් ප්‍රසාදාවහ දර්ශනයත්, එතුමියට ජන්මයෙන් ම ලැබුණු දායාදයෝ වූ හ. එහෙත් ඇය කිසි විටෙකවත් එයින් උද්දාමවත් නො වූවා ය. ඇය ගේ හැම ඉරියව් පැවැතුම් ප්‍රසාදජනක ය. ආචාර සම්පත්තිය ශෝභන දර්ශනය හා පවිත්‍ර චරිතය හේතු කොට ගෙන සංඝමිත්තා ළදරු කුමරිය දුටුවන්ගේ නෙත් සිත් ඇද ගැනීමෙහි එකතින් ම සමත් වූවා ය. ඉගෙන ගත යුතු අවස්ථාවෙහි මැනැවින් ඉගෙනීමෙහි යෙදීමත් ක්‍රීඩා කළ යුතු අවස්තාවෙහි ක්‍රීඩ‍ාවන් හි යෙදීමත්, ‍විවේකී ව සිටිය යුතු අවස්ථායෙහි හුදකලාව විවේක සුවය විඳීමත්. විනෝද විය යුුතු අවස්ථාවෙහි විනෝදවත් වීමත් ඇය ගේ දෛනික ජීවිතයේ දක්නට ලැබුණු ගුණාංගයෝ යි. කුඩා කළ සිට ම පොත පතට මෙන්ම ආගම ධර්මය ට ද ප්‍රිය කළ සංඝමිත්තා කුමරිය මුල සිට නික්ලේශී බෞද්ධ කාන්තාවන් ගේ උදාර චරිතාපදානයන් කියවීමට විශේෂයෙන් සැලකිලිමත් වූවා ය. මහා ප්‍රජාපතී ගෝතමි - යසෝදරා - ඛෙමා - උත්පලවණ්ණා වැනි භික්ෂූණී ශාසනය ශෝභාවත් කළ උත්තමාවන් ගේ චරිත කථා කියවීමට ඇය නිතර ආසා කළා ය. වයස අවුරුදු හත අට පමණ වන විට පවා ඇය තුළ තිබුණු බෞද්ධ ප්‍රබෝධය දකින ඕනෑම කෙනෙකුට වුව ද අනාගතය පිළිබඳ ව විශාල බලාපොරොත්තු ඇතිකර ගැනීමට පහසුවෙන් ම පිළිවන් විය.

තරුණ විය

දිනෙන් දින ගුණ නුවණින් මෙන් ම මනා රූසම්පතින් ද වැඩෙන සංඝමිත්තා කුමරිය ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තරුණ වියට පත් වූවා ය. රජකුමරියක වශයෙන් පුහුණු කළ යුතු යම් යම් ශිල්ප ශාස්ත්‍රාදියක් වී නම් ඇය එය මැනැවින් ඉගෙන ගත්තා ය. එසේ ම ගෘහණියක වශයෙන් දත යුතු ගෘහ සංවිධානය පිළිබඳ යම් වගකීමක් ඇත්නම් ඇය ඒ කාර්‍ය්‍යයන් පිළිබඳව ද මනා පුහුණුවක් ලැබුවා ය. ඇයට ජන්ම දායාදයක් වශයෙන් ලැබුණු රූපශ්‍රීසම්පත්තිය තරුණ වියේ දී තවත් බැබළෙන්නට විය. ‍එහෙත් එතුමිය කිසිවිටක වත් අභිමානයට හෝ මහේශාක්‍ය භාවයට හෝ හේතුවක් වශයෙන් නො සැලකුවා ය. නිහතමානී පැවැත්මත්, නිරහංකාර බවත්, සමානාත්මතාවත්, චාම් ජීවිත පැවැත්මත්, ඇය ගේ ජීවිතය තුළින් දක්නට ලැබිණ. භද්‍ර යෞවනයෙන් පරිපූර්ණ වූ සංඝමිත්තා රාජදුහිතෘව ධර්ම‍ාශෝක දම්පතින් ගේ මනදොළ සපුරවමින් සොළොස් වියට පා තැබුවා ය.

විවාහ ජීවිතය

කුඩා කල පටන් නම විරාගික සංකල්පනාවන් ගෙන් යුතු ව වැඩුණු සංඝමිත්තා කුමරිය සො‍ළොස් වියට පිවිසියත් විවාහ ජීවිතය පිළිබඳ අපේක්ෂාවෙක් නො වීය. එහෙත් හැම මවුපිය කෙනෙකුන් විසින් ම කළ යුතු වූ ශ්‍රෙෂ්ඨ යුතුකමක් නම් සුදුසු අවස්ථාවෙහි දී ස්වකීය දූ දරුවන් ආවාහ විවාහ ජීවිත වලට ඇතුළත් කිරීම ය. ඒ දෙගුරුන් සතු යුතුකම සංඝමිත්තා කුමරිය‍ ගේ දෙගුරුන් වූ ධර්මාශෝක දම්පතීන් විසින් ද ඉටු කළ යුතු ව තිබිණි. ධර්මාශෝක දම්පතීහු ඒ පිළිබඳ සාකච්ඡාවෙක යෙදුණාහ. සිය දියණියට සරිලන සැමියෙකු සෙවීමෙහි ඔවුහු සැලකිලිමත් වූ හ. ධර්මාශෝක දම්පතීනට ඒ පිලිබඳ අමුතු ප්‍රශ්නයක් පැණ නො නැඟිණි. සංඝමිත්තා කුමරිය අමුතු ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නො සිටියා ය. මවුපියන් හට එය ලොකු පහසුවක් විය. ශුභ මුහුර්තාදිය සලකා බලා රාජකීය චාරිත්‍රානුකූලව “අග්ගිබ්‍රහ්ම” නම් කුමාරයෙකු හට සංඝමිත්තා දූ කුමරිය සරණ පාවා දුන්හ. මේ රාජකීය විවාහ ජීවිතය හැම අතින් ම ආදර්ශ සම්පන්න ව ගෙන යන්නට සංඝමිත්තා කුමරිය දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ක්‍රියා කළා ය. සිය පති දේවයාට දැක්විය යුුත යුතුකම් කොටස ඇය ඔහු‍ ගේ නියම සහකාරියක වශයෙන් මැනැවින් ඉටු කළා ය. විවාහ ජීවිතය සාර්ථකවත් වනුයේ පති-පත්නීන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසයත්, පති-පත්නී භක්තියත් මත ය. ඒ අතින් අග්ගිබ්‍රහ්ම කුමාරයාත් සංඝමිත්තා කුමරියත් ආදර්ශ සම්පන්න ය. සමගියෙන් හා සමාදානයෙන් ගෙන ගිය ඔවුන් ගේ විවාහ ජීවිතය අවශේෂ ලෝකයාට ද ආදර්ශයට ගත හැකි ය. බෞද්ධ සාහිත්‍යයේ එන නකුලමාතා - නකුල පිතා යන දම්පතීන් මෙන් සංඝමිත්තා කුමරිය සහ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් ඉතා ම වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කළ හ. ගෘහ ජීවිතයේ උතුම් පරමාර්ථය වනුයේ වංශ පරම්පරා‍ව නොසිඳ පැවැතමට සමත් දරු සම්පත්ති ය යි. මේ රාජකීය දම්පතීන් ගේත් ඒ මුඛ්‍ය පරමාර්ථය සර්වප්‍රකාරයෙන් සාර්ථකවත් බවට පත් කරලීමට සමත් පුත් රුවනක් ඔවුනට ලැබුණේ ය. මවුපියන් ගේ සිත් සතන් අතිශයින් ප්‍රසන්න බවට පත් කරවමින් උපන් මේ කුඩා කුමරුවාට සුමන යන ප්‍රියකරු නාමය තැබූ හ. රාජකීයයන් ගේ දැඩි ප්‍රේම සම්බන්ධයත් ගෘහවාසයත් ස්ථිර බවට පත් කරවන් ප්‍රධාන මාර්ගයක් වශයෙන් මේ පුත්‍ර ලාභය සඳහන් කළ හැකි ය. එහෙත් මේ දම්පතීන් ගේ ජීවිත තුළින් දර්ශනය වූයේ එයට හාත්පසින් ම විරුද්ධ වැඩ පිළිවෙළකි.

මේ කාලය වන විට අශෝක රජතුමාගේ අභිෂේකයෙන් සිවුවන වස සම්පූර්ණ විය. එතුමා කාලිංග යුද්ධයෙන් පසු ව චිත්ත වේදනාවෙන් සිටින විට සත් හැවිරිදි ‍න්‍යග්‍රොධ සාමණේරයන් ගේ දර්ශනයෙන් බෞද්ධයෙක් විය. බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර පරිත්‍යාගයන් හි යෙදුණේ ය. ස්වකීය රාජ්‍ය තන්තුයේ මෙන් ම ස්වකීය ජීවිතයේත් විශාලත ම පරිවර්තනයනක් නොබෝ කලෙකින් ඇති විය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කළ හැකි හැම සේවයක් ම නො අඩුව ඉටු කෙළේය. ලාභලෝභ ලබා ගැනීමෙහි අපේක්ෂවෙන් බුදු සසුනට හොර රහසේ ඇතුළු වී ශ්‍රමණ වෙස්ගෙන සිටි විවිධ තීර්ථකයන් සසුනෙන් ඉවත් කරවීමට මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් එතුමා විසින් ධර්ම සංගායනාවක් කරවන ලදී. ශාසනය පිරිසිදු වීමෙන් පසු නැවැතත් බැබළෙන්නට වයි. ලෝකයේ විවිධ රාජ්‍යයන් වෙත ධර්ම දූතයන් යැවීමට ද කටයුතු සංවිධානය කෙළේ ය. නව ශාසන සංශෝධනයෙන් පසු බුදු සසුන් හි නොයෙක් තරාතිරම් වල අය පැවිද් වන්නට වූහ. උපරාජ පදවිය අතහැර ධර්මාශෝක අධිරාජයාගේ සහෝදර තිස්ස කුමාරයාණෝ එතුමා ගෙන් අවසර ගෙන සසුන් ගත වූහ. එතුමා සමග සසුන් ගත වූ ජන සංඛ්‍යාව ඉතා විශාලය හ. යුවරජතුමා‍ ගේ පැවිදි වීමෙන් පසු සංඝමිත්තා කුමාරිය ගෙන් අනුමැතිය ලැබ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද සසුන් ගත විය. සිය පති දේවයන් ගේ පැවිදිවීම පිළිබඳ ව සංඝමිත්තා කුමරිය තුළ අමනාපයක් නො වී ය. ඇය ඔහු ගේ උදාර අධ්‍යාශය අවංක හෘදයෙන් ම අනුමත කළා ය.

නොබෝ කලකින් සංඝමිත්තා කුමරිය ගේ දයාබර පුතණුවන් වූ සුමන කුමාරයාත් සත් හැවිරිදි වියට පිවිසෙනවාත් සමග ම සසුන පැවිද්ද ලැබී ය. අනූහය කෝටියක් ධනය වියදම් කොට සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයට උපහාර වශයෙන් සුවාසූ දහසක් වෙහෙර විහාර කොටත් හිමි නො වූ සාසන බන්ධුත්වයට සිය පියාණන් වහන්සේ පත් කරවනු පිනිස මහින්ද කුමාරයාණෝ බුදු සසුන් හි පැවිදි බව ලැබූ හ. ඒ පිළිබඳ විස්තර පොසොන් පෝය පිළිබඳ කොටසේ දී දක්වා ඇත. එයින් බලා දත මැනැවි.

පැවිදි බව ලැබීම

කුඩා කළ පටන් විරාගික හැඟීම් විලින් පිබිදී සිටිය සංඝමිත්තා කුමරියට ලෞකික සැප සම්පත් තව දුරටත් විඳීමට අවශ්‍යතාවක් නො වී ය. ස්වකීය සැමියාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් සිය පුත් සුමන කුමාරයාත් සහෝදර මහින්ද කුමාරයාත් සසුන් හි උතුම් පැවිදි බව ලැබූ හෙයින් සංඝමිත්තා කුමාරිය ගේ අපේක්ෂාව වනුයේ ද පැවිදි වීමට ය. ඇය ගේ උදාර අධ්‍යාශය පිය රජතුමා හට දැන්වී ය. අශෝක චක්‍රවර්තීන් සිය අනුමැතිය ඒ සඳහා දුන්නේ ය. ආයුපාලි නම් මහරහත් මෙහෙණින් වහන්සේ ගේ ආචාර්‍ය්‍යයත්වයෙන් හා ධම්මපාලා නම් මහරහත් මෙහෙණින් වහන්සේ ගේ උපාධ්‍යායයත්වයෙන් සංඝමිත්තා කුමරිය භික්ෂුණී ශාසනයෙහි පැවිදි වූවා ය. මහා ආත්ම විශ්වාසයකින් හා චිත්ත බලයෙකින් යුක්ත ව ක්‍රියා කළ සඟමිත් තෙරණිය නොබෝ කලෙකින් ම සව් කෙලෙසුන් නසා උතුම් රහත් බවට පත් වූවා ය.

ලංකා ගමන

මිහිඳු මහරහත් මාහිමියන් ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂය යි. ඔවුහු සසුන් හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවන පෑතිස් නිරිඳුන් ගේ මාර්ගයෙන් උපබුදු මිහිඳු මාහිමියනට දැන් වූහ. එහෙත් කාන්තාවන් පැවිදි කරන්නට තමන් වහන්සේට නො හැකි බවත් ඒ සඳහා සිය නැගණිය වන සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි ගෙන්වා ගන්නා ලෙසත් වදාළ හ. එය ඇසූ දෙවන පෑතිස් නිරිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන් හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්‍ය්‍යය සඳහා භික්ෂුණී සංඝයා ලංක‍ාවේ නො මැති හෙයින් එය කළ නො හැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේ ම පෙර තුන් බුදුවරයන් වහන්සේලා ගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිට දුන් බෝධි රාජයා ගේ ශාඛාවක් ද එවනු මැනවි” මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස වප් පුනු පොහෝදා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූ හ. ටික දිනකින් එහි ගිය ලාංකික ‍රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශය පිළිගන්වා සංඝමිත්තා මහරහත් මෙහෙණිය ද හමුව සිය සොහොවුරු මිහිඳු මාහිමියන්ගේ පණිවුඩය සැළ කළ හ. එහෙත් සිය පුතාත් මුණුබුරාත් වෙනුවට සංඝමිත්තා උත්තමාව නිසා සැනසී සිටිය ධර්‍මාශොක අධිරාජයා ඇය ලංකාවට එවීමට මුල දී එතරම් කැමැත්තක් නො දැක්වී ය. පසුව එතුමාට සඟමිත් මාතාව කරුණු විස්තර කර දුන්නේ මෙසේ ය.

“පියාණෙනි! මගේ සහෝදරයන් වහන්සේ ගේ වචනයට මා ගරු කළ යුතු යි. අනුලා ව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් මහණ වන්නට මා ගැන බලාපොරොත්තුවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතු යි. මගෙන් උදාර සේවාවක් ලංකා වාසීනට සිදු වනු ඇත” යනුවෙන් ඇය පැවසුවා ය. එය ඇසූ දම්සෝ නිරිඳුන් “දිය‍ණියෙනි, එසේ නම් වඩිනු මැනැවි. මගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට සේවය පිණිස වේවා. එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමග ම බෝධිරාජයා ගේ ශාඛාවක් ද ගෙන යනු පිණිස මම කටයුතු පිළියෙළ කොට දෙන්නෙමි”යි කී හ. මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංඝමිත්තා මහරහත් උත්තමාවන් භික්ෂුණී සංඝයා සමග පිරිවර සහිත ව ලංකාවට එවීමට සූදානම් කරවී ය.

අධිෂ්ඨාන පස

ධර්‍මාශෝක අධිරාජයා රජ මාළිගාවෙහි මහා සංඝයා විෂයයෙහි දන් පිරිනමා අවසනැ මහා‍ බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු දැ යි මෝගගලීපුත්තතිස්ස මහරහතන් මාහිමියන් ගෙන් විමසී ය. එය ඇසූ මොග්ගලීපුත්තතිස්ස මාහමියෝ බෝධි ශාඛාව ලංකාව යැවිය යුතු යැ යි වදාරමින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පස රජතුමාට දේශනා කළ හ.

  1. ලංකාවෙහි ‍රෝපණය කිරීම පිණිස බෝධිය ගැනීමට ‍අශෝක චක්‍රවර්තීන් එළඹුණු කල්හි බෝධි ශාඛාව අයත්නයෙන් ම ගැළ වී රන් කටාරමෙහි පිහිටා වා.
  2. බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වලා ගැබක් අතරට වැද සිටී වා.
  3. සත් දිනකට පසු නැවැත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන් ගෙන් හා ඵලයන් ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේ වා.
  4. දෙවන පෑතිස් නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුව පිහිටන කල්හ් යමාමහ ප්‍රාතිහාර්ය කෙරේ වා.
  5. ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතූන් රුවන්වැලි සෑයෙහි පිහිටන කල්හි බුද්ධ වේශය ගෙන අහසට පැන නැගී යමා මහ පෙළහර කෙරේ වා.

යන මේ අධිෂ්ඨාන පස පිරිනිවන් ඇ‍‍ඳේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ ලංකාව වෙත යොමු කළ හ’ යනුවෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ රජතුමාට සිහිපත් කරවූ හ. ඒ ඇසූ රජතුමා අතිශයින් සතුටු ව පැළලුප් නුවර පටන් බෝධීන් වහන්සේ දක්වා සත් යොදුන් මග සැරසවී ය. රන් කටාරමක් ඒ සඳහා පිළියෙළ විය. රජතුමා සිවුරඟ සෙනඟ පිරිවරාගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගියේ ය.

මහ බෝ පෙළහර

දහස් ගණන් මහ රහතන් වහන‍්සේලා ද අභිෂේක ලත් රජ දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් ද අප්‍රමාණ ජන සමූහයක් ද බෝධීන් වහන්සේ වෙත රැස් ව සිටිද්දී අශෝක අධිරාජයා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා ඇඳිලි බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙනෙහි ම දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය ද ඉතිරි කොට තබා සියලුම ශාඛාවෝ අන්තර්දාන වූ හ. මේ අසිරිමත් පෙළහර දුටු රජතුමා අතිශය ප්‍රීතියට පත් ව දඹදිව රාජ්‍යයෙන් පුදමි යි අභිෂේක කෙළේ ය. නැවත සුගන්ධාදිය පූජා කොට තුන් යලක් පැදකුණු කොට අට තැනක දී ඇඳලි බැඳ බෝධිය ප්‍රදක්ෂිණා කරමින් නමස්කාර කොට සත්‍යක්‍රියා බලයෙන් බෝධිය ගනු පිණිස මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රන් කටාරම තබ්බවා, රුවන් පුටුවකට නැගී රන් තෙලි කූරක් ගෙන ශාඛායෙහි ‍ඉරක් ඇඳ, “මේ බෝධි ශාඛාව ලක්දිවට යා යුතු නම්, මා සර්වඥ ශාසනයෙහි විමති රහිත නම්, මේ බෝධි ශාඛාව තමා ම බිඳී රන් කටාරමෙහි පිහිටා වා”යි සත්‍ය ක්‍රියා කෙළේ ය. මේ සත්‍යක්‍රියාව අවසානයෙහි බෝධි ශාඛාව තමා ම අයත්නයෙන් සිඳී රන් කටාරම මත්තෙහි පිහිටියා ය. එය දුටු රජතුමා ඇතුළු මහා පිරිස ප්‍රීති ඝෝෂා පැවැත් වූ හ. මහා සංඝයා වහන්සේ සාධු නාද කළ හ. බෝධි ශාඛාව මුල් සියයකින් කටාරමෙහි පිහිටියා ය. මහ පොළොව කම්පා විය. නා නා ප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය පහළ විය. මිනිස් දෙව් බඹුන් ගේ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව් තලය ඒකා කෝලාහල විය. බෝධි ශාඛාවේ ඵලයන් ගෙන් හා පත්‍ර වලින් සවණක් රැස් විහිදෙන්නට විය. රජතුමා නැවැතත් බෝධිය රාජ්‍යයෙන් පුදා රාජ්‍යයෙහි අභිෂේක කොට මහා බෝධි පූජා පැවැත් විය.

‍අශෝක අධිරජතුමා බෝධීන් වහන්සේ ආරක්ෂා කරනු පිණිස පරිවාර සෙනගත් ඇති ව ගංගා නම් නදියෙහි සරසන ලද නැවට බෝධීන් වහන්සේ නංවා එකොළොස් නමක් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝමිත්තා ස්ථවිරීන් වහන්සේ ත් මහාරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිසත් නැව් නංවා නුවරින් නික්ම සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාමලිත්ති නම් තොට ට පැමිණියේ ය. එහි දී දෙවියෝත් නාගයෝත් මනුෂ්‍යයෝත් උදාර පූජාවෙන් බෝධි රාජයා පුදමින් සත් දවසින් ම එහි ළඟා වූ හ. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවැතත් දඹදිව රාජ්‍යයෙන් පිදී ය. උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑළවිය දිනයෙහි බෝධිරාජයා ඔසවා ගෙන ග්‍රීවය දක්වා ජලයෙහි බැස නැවෙහි තැන්පත් කෙළේ ය. සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේලාත් මහාරිෂ්ඨ කුමරුන් ඇතුළු පිරිසත් නැවට නංවා මෙසේ ප්‍රකාශ කෙළේ ය. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධි රාජයා පිදුයෙමි. මගේ මිත්‍ර රජතුමා ද එසේ ම කෙරේ වා” යනුවෙනි.

මහා පෙරහැරින් නැව් නැංවූ මේ රාජකීය සම්භාවනීය පිරිස ‍හා බෝධි ශාඛාවත් අතර මග දී දෙවියන් ගේ හා නාගයන් ගේ නොයෙක් පූජා බලමින් උඳුවප් පුර පසළොස්වක් පොහෝ දා ලක්දිව දඹකොළ පටුනට පැමිණිය හ. නැව වෙරළට ළං වූ පසු රජතුමා ග්‍රීවය තෙක් ජලයට බැස සොළොස් කුල ජනයන් සමග බෝධි ශාඛාවත් සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයාත් මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව පිළිගෙන පසුව රාජකීය සම්මාන සහිත ව මහ පෙරහරින් අනුරාධපුර මහ මෙවුනා උයන වෙත කැඳවා ගෙන ගියේ ය.

ජයසිරි බෝ හිමි

ශ්‍රී සංඝමිත්තා මහරහත් උත්තමාවගේ වැඩමවීමෙන් සිදු වූ දෙවැනි ප්‍රතිඵලය නම් ජයසිරි බෝ හිමි ශාඛාවක් ලංකාවට ලැබීම ය. සිරිමා බෝරදුන් බුදුන් වහනසේගේ ආත්ම විමුක්තියේ විජයග්‍රණය මුළු ලෝකයට ප්‍රදර්ශනය කරන සංකේතයකි. සිංහල ජනවංශයේ සකල පුණ්‍ය ඵලයක් ම එක් තැනක පල ගත් කලක් මෙන් ලංකා ධරණී තලයේ එනම්, අනුරාධපුර අපරාජිත ශුද්ධ භූමියේ ඒ මහා ජය භූමියේ ජය සිරි බෝ හිමි මුල් බැස ගියේ ය. මුළු ලෝකයේ ම තිබෙන ‍ඓතිහාසික පැරැණිතම වෘක්ෂ රාජයාණන් වූ ද සිංහල බෞදධයන් ගේ ශ්‍රෙෂ්ඨතරම පූජනීය වස්තුව වූ ද සිරි මා බෝ හිමි ලක්දිවට වැඩම වීම පිළිබඳ මංගල පුවත සිදුවුණු උඳුවප් පොහොය ශ්‍රෙෂ්ඨ ආගමික දිනයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලෝකයේ සිදුවුණු ඓතිහාසික අපූර්වතම සංග්‍රාමයක තොරතුරු ලෝකයා හමුවේ කියා පාන එනම්. බුද්ධත්වය පිළිබඳ ශ්‍රෙෂ්ඨ පණිවුඩය සමස්ත ‍ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරන ජය සිරි මහ බෝ හිමියන් ගේ දකුණු ශාඛාව ලක්දිවට ලැබීමත් මේ දක්වා එය නිර්මලව ආරක්ෂා වීමත් සිංහල බෞද්ධයන් වූ අප ගේ මහා වාසනාවකි. බුදුරජාණන් වහන්සේ ගේ නිකෙලෙස් සිරුරේ සිසිල් පහස ලත් බෝ හිමි පාරිභෝගික චෛත්‍යයකි. ජය සිරි බෝ සමිඳුන් හට කලින් කල යෝනකයන් ගෙන් හා හින්දුන් ගෙන් සිදු වූ අතවර බොහෝ ය. එහෙත් එය කල්පාන්තය තෙක් නො නැසිය හැකි ය. දඹදිව ගයාවේ අද පවත්නේ එදා බුදුරදුන් පිට දීමෙන් පරම පූජනීය බවට පත් මහා බෝධිය නො වැ විනාශයට පත් කිරීමෙන් පසු ඇතිවුණු අංකුරයෙකි. එහෙත් ධර්මාශෝක අධිරාජයා ගේ දවස වන තෙක් එය නිර්මල ව නිරුපද්‍රිත ව බැබළුණේ ය. දෙවන පෑ තිස් නිරිඳුන් දවස ලක්දිවට ලැබුනේ ඒ නියම බෝධියේ ශාඛාවෙකි. මෙසේ සලකන කලැ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ වෙසෙන සිරිමා බෝ හිමි අද දඹදිව තිබෙන බෝධි රාජයාට වඩා පැරණි ද පූජනීය ද වෙයි.

භක්ති පූජා

අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි පෙර තුන් බුදුවරයන් ගේ බෝධි ශාඛා පිහිට වූ ස්ථානයෙහි රෙහෙණ නැකතින් පෘථිවියෙහි බෝධි ශාඛාව පිහිටා වදාළා ය. එකෙණෙහි ම මිහිකත තොමෝ සාධුනාද දෙන්නාක් මෙන් කම්පා වූවා ය. සවණක් බුදුරැස් විහිදුවමින් සිිදු වූ අසිරිමත් පෙළහර දුටු දෙවන පෑතිස් නිරිඳුන් එයට උපහාරයක් වශයෙන් ලක් රජයෙන් බෝධි ශාඛාව පිදී ය. අනුරපුර ජය බිමේ ජයසිරි බෝ හිමි මුල් බැසගති. සිරිමා බෝ හිමි ලක් පොළොවේ මුල් බැස ගියා පමණක් නො වැ එය සිංහල ජාතියේ ද, සිංහල දේශයේ ද මුල් බැස ගියේ ය. ජයසිරි මහ බෝ හිමියන් ගේ සිසිල් පහස ලබා එන සීතල සුළං රැළි පවා බොදු බැතිමතුන් ගේ ගතට සිතට සැනසිල්ලක් ලබා දෙයි. දෙවන පෑතිස් නිරිඳුන් ගෙන් ආම්භ වුණු බෝධි පූජා උත්සවය දුටුගැමුණු - භාතිය - ධාතුසේන - අඹහෙරණ - සලමෙවන් - දෙටුතිස් ආදී පශ්චාත් කාලීන රජවරුන් විසින් ද මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව පවත්වා තිබෙන අයුරු අපේ ශාසන ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. අද පවා අනුරපුරේ තිබෙන ශ්‍රී ජය බෝධි රාජයා හට ලංකා වාසී බෞද්ධ ජනතාව දක්වන ගෞරවය අසීමිත ය. ලක්ෂ ගණන් බැතිමතුන් ගේ සැදැහැබැති වඩවන ජය ශ්‍රී මහ බෝධි රාජයා සිංහල ජාතියේ ප්‍රෞඪත්වය මැනැවින් ආරක්ෂා කර දෙන්නේ ය.

ශාසනික සේවය

මහත් ආත්ම ශක්තියකින් හා ආත්ම බලයකින් යුත් සංඝමිත්තා උත්තමාව ලාංකික කාන්තාවන් වෙනුවෙන් කළ පරිත්‍යාගය සිංහල ජාතිය පවත්නා තාක් පරම්පරාවෙන් පරම්පරාවට නො සිඳ පවතිනු ඇත. ලාංකික කාන්තාවන් ගෙන් කිසිදු ගෞරවයක බලාපොරොත්තු නො වී හුදු කරුණාවෙන් ස්වදේශය හැර දමා විදේශගත ව අර්ධ ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය වනිතාවන් ගේ හද තුළ තැන්පත් වී ඇත. සංඝමිත්තා මහ රහත් උත්තමාව නිසා ලංකාවට රහත් මෙහෙණින් පිරිසක් ඇති වූවා පමණක් නො ව එතුමිය ගේ මාර්ග දේශකත්වය නිසා ම ශ්‍රෙෂ්ඨ සිංහල වනිතාවන් රැසක් පහළ වූ හ. විහාරමහාදේවි වැනි වීරෝදාර මාතාවන්, සෝමා දේවිය වැනි පති භක්තියෙන් හා දේශමාමකත්වයෙන් යුත් වීරවරියන්, ලීලාවතී - කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජ මෙහෙසියන්, ඇහැළේපොළ කුමාරිහාමි වැනි ආදර්ශවත් මාතාවන්, හේමාවන් වැනි ගුණ නුවණින් යුත් වනිතාවන් මේ රටේ පහළ වූයේ නම් මතුවට පහළ වන්නේ නම් ඒ සංඝමිත්තා මහරහත් උත්තමාව‍ ගේ අනුපමේය සේවයේ විශිෂ්ට ඵලය නිසා ය. ලංකා භූමියේත් සිංහල කාන්තා ප්‍රගතියේත් එක් එක් අංශය ගෙන බලත් බලත් සඟමිත් මාතාව නිසා බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නො වුණු එක ද අංශයක් හෝ ඇතැ යි කිව නො හැක. සිංහල කාන්තා ඉතිහාසයේ ස්වර්ණ යුගයක් යැ යි නම් කළ හැකි යම් යුගයක් වේ නම් ඒ සියල්ලම සඟමිත් මාතාව ගේ ශ්‍රී නාමයට බැඳී එක් ව ඇති ණයගැති භාවය පිළිබඳ නො නැසෙන සිහිවටනයෝ වෙති. නොයක් ග්‍රන්ථ කාරණයෙහිත් ධර්මදූත සේවාවන්හිත් යෙදුණු සිංහල භික්ෂුණීන් පිළිබඳ වැදගත් ප්‍රවෘත්ති ඉන්දියා ඉතිහාසයෙහි සඳහන් ව ඇත. වරක් පිරිහී ගිය චීන භික්ෂූණී ශාසනය නැවතත් ඇති කරන ලද්දේ ලංකාවෙන් වැඩම කළ සිංහල භික්ෂුණීන් විසිනි. මෙසේ ජාත්‍යන්තර කීර්තියට පවා පත් වෙමින් සිංහල භික්ෂුණී සංඝයා විසින් උදාර සේවාවක් සිදු කරන ලදී. මේ ‍රටේ ශාසනික සංවර්දනය සඳහා විශාල සේවයක් සංඝමිත්තා මෙහෙණියගෙන් සිදු විය. දුටුගැමුණු රාජ්‍ය සමය වන විට ලංකා භික්ෂුණී ශාසනය විශාල වශයෙන් දියුණු වී තිබිණි. සාමයික වශයෙන් හෝ වේව යි, සාමාජික වශයෙන් හෝ වේව යි, ආර්ථික වශයෙන් හෝ වේව යි යම් උච්චස්ථානයකට සිංහල කාන්තාව පැමිණියා නම් ඒ සියල්ල ම ශ්‍රී සංඝමිත්තා උත්තමාව ගේ උද්දීප්ත යුගය සිහිපත් කරන සංකේතයන් යැ යි කීම පිළිබඳ ව නැඟිය හැකි විරෝධයක් නැත. මැදහත් මාවත ඔස්සේ සමාජවාදය කරා ගමන් කරන මැදහත් රජයක් නියෝජනය කරන ලෝක ජාතීන් ගේ මහ මුළුව ඉදිරියේ සිංහල රටේත් සිංහල දේශයේත් සිංහල ජාතියේත් උදාරත්වය ප්‍රදර්ශනය කරන්නට ලෝක ශාන්තිය පිණිස අහිංසා ධර්මයේ ජයසංඛ නාදය සමස්ත ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරවන්නට හැම අතින් ම ප්‍රබල ලෝක ඉතිහාසයේ අභිනව පරිච්ඡේදයක් ගොඩ නැං වූ රාජ්‍ය නායිකාවන් මේ රටේ කලින් කල පහළ වනුයේ සංඝමිත්තා රහත් මෙහෙණිය විසින් උදාකළ ස්වරණමය නිදහස නිස යි. සිංහල කාන්තා පක්ෂයට පරාභවය පිළිබඳ නිදි යහනින් නැගිට සෞභාග්‍යයේ අරුණෝදයෙන් ප්‍රබෝධවත් වන්නට හැකි වූයේ එතුමිය විසින් හෙළි පෙහෙළි කර දුන් විමුක්තියේ රජත මාර්ගය නිසා බව හැම හෙළ කාන්තාවක විසින් ම මහත් ගෞරව නමස්කාරයෙන් යුක්ත ව සිහිපත් කළ යුතු යි.

සිහිවටනය

මෙසේ සිංහල කාන්තා පක්ෂය පිළිබඳ කළ හැකි හැම සේවයක් ම නො අඩුව ඉටු කොට එකුන් සැටවියේ දී උත්තිය රජු ගේ රාජ්‍යයෙන් නව වැන්නෙහි සිංහල වනිතා සමාජය ආලෝකවත් කළ මිණි පහන හත්ථාල්හක මෙහෙණවර දී නිවී ගියා ය. සිවුවන මහින්ද ගෙන් පසු එනම්, දශම ශතවර්ශයනේ පසු ලංකා මෙහෙණ සස්නට සිදු වූ අභාග්‍යය පළ කරන්නට මෙන් නො වේ නම් සිංහල කාන්තාවන් ගේ කෘතවේදීත්වය ලෝ හමුවේ ප්‍රදර්ශනය කරන්නට මෙන් එසේත් නැතිනම් “අහෝ සියලු සකරදම්හු අනිසයහ” යන තිලෝගුරු බුදු වදන අපට සැබෑ කරවන්නාක් මෙන් ථූපාරාමය අසළ දුක් මුසු සිහිවටනයක් අද ද දක්නට ඇත. සිංහල වනිතාවට නිදහස් ලෙස සිතන්නටත් ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමටත්, එතුමිය දුන් උරුමය හා වර්ෂ දෙදහස් ගණනක් මුළුල්ලෙහි ඒ පිළිබඳ ව ඔබ තුළ ඇති පුරුද්ද අදත් හදවතට නගා ගත යුතු ය.

බාලිකාවනට

ශ්‍රී සංඝමිත්තා ‍උත්තමාවගේ චරිතාපදානය ඉතා විසිතුරු ය. ඇය ගේ බාලිකා ජීවිතය - තරුණ ජීවිතය - විවාහ ජීවිතය හා පැවිදි ජීවිතය උදාර හැඟීම් වලින් හා ශාන්ත ගති පැවතුම් වලින් පිරුණු ආදර්ශ පිණ්ඩයෙකි. අද නොයෙක් විෂම අදහස් වලින් පිරුණු චරිත සංවර්ධනයට නො වැ හුදෙක් ම චරිත දූෂණයට හේතු වන විවිධ පොත් පත් සඟරාදිය කියවන කුඩා - තරුණ බාලිකාවනට පාසල් පොතක් වශයෙන් සංඝමිත්තා චරිතය කියවන්නට ඉඩ පහසුකම් ඇතිකර දුන්නොත් උදාර සේවයක් එයින් සැලසෙනු ඇත. ආගමික භක්තිය, ජාතික මමත්වය, සිංහල සංස්කෘතිය, සිංහල ශිෂ්ටාචාරය ආදිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බටහිර සිරිත් විරිත් අනුකරණය කරමින් ජීවත් වන බොහෝ බාලිකාවනට බෞද්ධ ශ්‍රාවිකා පාළියේ එන උදාර ආධ්‍යාශයන් ගෙන් පිරුණු උත්තමාවන් ගේ විශිෂ්ට ආදර්ශවත් චරිතාපදානයන් කියවන්නට පහසුකම් ඇතිකරලීම මේ රටේ සංස්කෘතිය ගැන ආදරයක් ඇති ගුරු දෙගුරු හැම දෙනා ගේ ම ශ්‍රෙෂ්ඨ යුතුකමක් වශයෙන් සැලකිය යුතු ය. නිකළැල් චරිත ශුද්ධියත්, නිහතමාන බවත්, නිරහංකාර පැවැත්මත්, වනිත‍ා ජීවිතය සරසන ගුණාංගයෝ වෙති. බාහිර අලංකාරයට වඩා ආධ්‍යාත්මික ගුණ වගාවකින් යුත් ජීවිතයක ඇති අගය සංඝමිත්තා චරිතාපදානයෙන් මැනැවින් අවබෝධ කර ගන්නට හැකි ය. විනීත ගුණගරුක් බාලිකාවන වනු කැමැති අපේ කුඩා තරුණ බාලිකාවන් විසින් මහත් ආදර භක්තියෙන් යුතු ව සංඝමිත්තා උත්තමාව ගේ ශ්‍රී නාමය සිහිපත් කල යුතු ය.

තවද, ඈත අතීතයේ සිට ම අපේ සිංහල බෞද්ධයෝ පදවීතිහාර පුණ්‍ය ක්‍රියාවන්හි බොහෝ ගෞරවයෙන් යෙදෙති. තුණුරුවන් පවත්නා පූජනීය ස්ථානයකට ශ්‍රද්ධාවෙන් යුක්තව යෑම පදවීතිහාරය යි හෙවත් ධර්ම යාත්‍රාව යි. එය බුදු - පසේ බුදු - මහරහතන් ආදී උතුමන් විසින් අනුගමනය කරන ලද සම්‍යක් ක්‍රියා මාර්ගයකි. අශෝක අධිරාජයා ද මෘගයාත්‍රා පිණිස යෙදූ කාලය ධර්‍මයාත්‍රා පිණිස යෙදූ සැටි ශිලා ලිපි වලින් හා අනුශාසනා ලිපි වලින් හෙළි වෙයි.

සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන සිරිපා වන්දනාව පිණිස අපේ සිංහල බෞද්ධයෝ වසරෙහි අගට එළඹෙන උඳුවප් පෝය වෙන් කරගෙන ඇත්තා හ. උඳුවප් පෝයෙන් ආරම්භ කරන සිරිපා වන්දනාව වෙසක් පෝයෙන් අවසන් කරති.

වජිරා සූත්‍රය

දිනක් වජිරා මෙහෙණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස පිවිසුනා ය. දන් වළඳා අවසනැ දිවා විහරණය පිණිස අන්ධ වනය වෙත එළඹුණා ය. පිවිස රුක් මූලක දිවා විහරණය පිනිස වැඩ උන්නා ය. ඉක්බිති පවිටු මරු වජිරා මෙහෙණට බිය තැති ගැනුම් හා ලොමු දැහැ ගැනුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහක කරනු කැමැත්තේ වජිරා මෙහෙණ වෙත එළඹ මෙසේ කී ය.

කෙනායං පකතො සත්තො - කුචං සත්තස්ස කාරකො

කුචං සත්තො සමුප්පන්නො - කුචං සත්තො නිරුජ්ඣති

මේ සත්ත්වයා කවරෙකු විසින් කරන ලද්දේ ද? මේ සත්ත්වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්ත්වයා කොහි හට ගත්තේ ද? මේ සත්ත්වයා කොහි නිරුද්ධ වේ ද?

1. කින්නු සත්තොති පච්චේසි - මාරදිට්ඨි ගතන්නු තෙ

සුද්ධ සංඛාර පුඤ්ජො යං - නයිධ සත්තූප ලබ්භති

.

2. යථාහි අග සම්භාරා හොති සද්දො රතො ඉති

එවං බන්ධෙසු සන්තසෙු - ‍හොති සත්තොති සම්මුති

.

3. දුක්ඛ මෙවහි සම්භොති - දුක්ඛං තිට්ඨති චෙති ව’

නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භොති - නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ඣති

  1. මරුව, සත්තවයෙකැ යි අදහන්නෙහි ද? තාගේ මාර දෘෂ්ටියෙක් නො වේද? මේ හුදු සංස්කාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ.‍
  2. අවයව සමූහය හේතු කොට ගෙන යම් සේ රථය යන ශබ්දයක් වේ ද? එසේ ම පඤ්චස්කන්ධයක් ඇති කල්හි සත්ත්වයා යෙන ලොක ව්‍යවහාරය වේ.
  3. දුක ම ලැබේ. දුකම පවතී. දුක ම විඳී. දුක හැර අනිකෙක් නො ලැබේ. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.

මෙය ඇසූ පවිටු මාරයා දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ අතුරුදහන් විය.

සෝමා සූත්‍රය

සෝමා භික්ෂුණිය අන්ධ වනයේ විවේක සුවයෙන් වැඩ වෙසෙන අවස්ථාවෙක පවිටු මාරයා එතුමිය වෙත අවුත් මෙසේ කී ය.

යන්තං ඉසිහි පත්තබ්බං - ඨානං දුරභි සම්භවං

නතං ද්වංගුල පඤ්ඤාය - සක්කා පප්පොතු මිත්ථියා

ඉසිවරුන් විසින් ලැබිය යුතු වූ දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද? එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් නො ලැබිය හැක.

එය ඇසූ සෝමා මෙහෙණ මෙසේ පිළිතුරු දුන්නා ය.

ඉත්ථි භාවො කිං කයිරා - චිත්තම්හි සුසමාහිතෙ

ඤාණහ් හි වත්තමානම්හි - සම්මා ධම්මං විපස්සතො

.

යස්ස නූන සියා එවං - ඉත්ථාහං පුරිසොති වා

කිංචි වා පන අඤ්ඤස්මිං - තං මාරො වත්තුමරහති

සිත මැනැවින් සමාදි ගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම් දකිනහුට ඉතිරි බව කුමක් ක‍රන්නේ ද? මම ස්ත්‍රියක් මු යි හෝ ‍පුරුෂයෙක් මි යි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමෙකුට මෙසේ අදහස වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්න සුදුසු වෙයි.

එය ඇසූ මාර තෙමේ දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.

ධීතු සූත්‍රය

දිනක් පසේනදී කෙ‍ාසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සිටින විට එක්තරා පුරුෂයෙක් පැමිණ “දේවයන් වහන්ස, මල්ලිකා දේවි තොමෝ දුවක වැදුවා ය”යි සැළ කෙළේ ය. එය ඇසූ කොසොල් රජතුමා නො සතුටු සිත් ඇත්තේ‍ විය. ඒ කාරණය දැන ගත් බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා හට මෙසේ වදාළ හ.

ඉතථිපිහි එකකච්චියා ‍- සෙය්‍යා පොස ජනාධිප

මෙධාවිනී සීලවතී - සස්සු දෙවා පතිබ්බතා

තස්සා යො ‍ජායතී පොසො සූරො හොති දිසම්පති

තාදිසා සුභගියා පුත්තො - රජ්ජම්පි අනුසාසතී

රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ද ශ්‍රෙෂ්ඨ ය. එහෙයින් ඇය පෝෂණය කරනු මැනැවි. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රකින යම් ස්ත්‍රික් වේ ද,

දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, හෙතෙමේ දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තිය ගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනා ද කෙරෙ යි.

  1. 1. කඨින දීම ය, 2. අටපිරිකර දීම ය, 3. ආවාසකරවා දීම ය, 4. උතුම් වූ බුදු පාමොක් මහ සඝනට දන් දීම ය, 5. බණ පොත් ලිවීම ය. 6. කෙත් වතු පූජා කිරීම, 7. බුදු පිළිම කරවීම ය, 8. වැසිකිළි කරවීම ය යන මේවා අට මහ කුසල් නම් වේ.