බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර - මඩිහේ පඤ්ඤාසීහ හිමි 1994.pdf
- කතෘ :
- මඩිහේ පඤ්ඤාසීහ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2010
- මුද්‍රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 49
- බාගත කිරීම් ගණන :
- 521
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-02-01
- ගොනුවේ ප්‍රමාණය :
- 2.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර යනු අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද, බෞද්ධ ජීවන පැවැත්ම හා සාරධර්ම පිළිබඳ මඟපෙන්වන අගනා කෙටි ග්රන්ථයකි.
බෞද්ධයකු යනු කවරෙක් ද යන්න පැහැදිලි කරමින් ආරම්භ වන මෙම කෘතියෙහි සර්ව සාධාරණ බෞද්ධ ගුණධර්ම මෙන්ම මව්පියන්, දූදරුවන් සහ කුල කාන්තාවන් විසින් රැකිය යුතු චාරිත්‍ර වාරිත්‍ර මැනවින් විස්තර කෙරේ. බෞද්ධ ළමයින් වෙනුවෙන් පිළිපැදිය යුතු දස පිළිවෙතක් ද මෙහි ඇතුළත් කර ඇත.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් “පිළිවෙතින් පෙළ ගැසෙමු” / “පිළිවෙතින් සැරසෙමු” තේමාව යටතේ කරුණා භාරයේ අනුග්‍රහයෙන් මෙම තෙවන මුද්‍රණය (2010) හෝමාගම කරුණාරත්න සහ පුත්‍රයෝ ආයතනයෙන් මුද්‍රණය කර ධර්මදානය පිණිස බෙදාහැර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් පෙරවදන සපයා ඇත.
පෙරවදන
තථාගත බුදුපියාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර 2600ක් සම්පූර්ණවීම ක්‍රි.ව. 2011ට යෙදී තිබේ. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන් මෙම වර්ෂය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය ලෙස නම් කොට ලේකම් කාර්යාලයක් පිහිටුවා, මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ. “පිළිවෙතින් සැරසෙමු” යන තේමා පාඨය ඔස්සේ විසිවැදෑරුම් වැඩසටහන් මුළු රට පුරා ක්‍රියාත්මක කරලීම මෙම මෙහෙයුම් කමිටුව වෙත පැවරී ඇති කාර්යභාරයයි.
ශ්‍රී ලාංකික ජන සමාජය පිළිවෙතින් සරු කරලීමේ පරම ආධ්‍යාශයෙන් යුතුව මේ වන විටත් බොහෝ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මෙහිදී ප්‍රධානත්වය ලැබෙන්නේ පිළිවෙත් හෙවත් ප්‍රතිපත්ති දියුණු කරලීමටයි. නැතහොත් යහපත් ගුණධර්මවලින් පිරි සමාජයක් නිර්මාණය කරලීමයි. අප තථාගත බුදුපියාණන්ගේ සම්බුද්ධත්වය නිමිතිකර අප ජන සමාජය පිළිවෙතින් සරු කරන්නට මේ ලද අවස්ථාව භාවිතාවට ගනිමු.
සත්‍ය වශයෙන්ම මෑතකාලීනව අපට උරුම වූ පාරිභෝගික සංස්කෘතිය මිනිස් දිවියේ පැවති සියලු වටිනාකම් හෙවත් පිළිවෙත් සියල්ලම පාහේ, කාබාසිනියා කර දමන්නට සමත් විය. ජනයාගේ සරල චාම් අහිංසක දිවි පෙවෙත අතිශය සංකීර්ණත්වයට පත්වෙමින් සියලු සංස්කෘතික ධර්ම උඩු යටිකුරු වී ඇති අයුරු අපට පෙනේ. ඇඳුම පැළඳුම, කථාබහ, ගමන බිමන පමණක් නොව උපතේ සිට මරණය දක්වා ජීවිතයේ සියලු වැදගත් අවස්ථා සංකර සිරිත් විරිත් ඔස්සේ සමරන්නට පුරුදුව තිබේ. මානව දයාව මුදලට විකිණී ගොස් රුපියල් නොව ඩොලර්, යුරෝ වෙනුවෙන් සියලු සංස්කෘතිකාංග උගසට තබන්නට මේ වන විට අප සමාජය සැහැසි වී තිබේ.
මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් සමාජය මුදවා ගැනීමට මෙම සියවසේදී අපට නොහැකි වුවහොත් තවත් සියවසකට රැගෙන යන්නට ශ්‍රී ලාංකික දේශයක් අපට උරුම නොවනු ඇත.
එබැවින් සම්බුද්ධත්ව ජයන්තිය විශාල සමාජ පරිවර්තනයක් ඇති කර ගැනීම සඳහා ලද අගනා අවස්ථාවකි. මෙහිදී පිළිවෙත් සරු කරලීමේ කාර්යයේදී බෞද්ධ ගෙදර හා බැඳුණු ප්‍රතිපත්ති සංවර්ධනය කරලීම අනිවාර්ය අවශ්‍යතාවක් වී තිබේ. බෞද්ධ ගෙදරක් තුළ පැවති වටිනාකම් නැවත ගොඩනගා ගැනීම බෞද්ධ සමාජයේ දියුණුවට හේතු වන බැවිනි. ඒ සඳහා උපස්ථම්භක කරගත හැකි වටිනා කෘතියක් ලෙස අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ විසින් රචිත “බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර” නම් වූ මෙම කෘතිය හැඳින්විය හැකිය.
බෞද්ධයා යනු කවරෙක්දැයි හඳුන්වා දීමේ සිට - අර්ථවත් බෞද්ධ දිවියක් ගත කරන ආකාරය අපට කියාදෙන මෙම කෘතිය බෞද්ධයාගේ අත් පොතක් බවට පත් කළයුතු ග්රන්ථයකි. “කරුණා භාරයේ” කාරුණික අනුග්‍රහයෙන් මෙය මුද්‍රණය වී ඔබ අතට පත් කෙරෙන අතර සම්බුද්ධත්ව ජයන්තියේ පිළිවෙත් දියුණු කර ගැනීම උදෙසා මාහැඟි මග පෙන්වීමක් මේ ඔස්සේ සිදු කෙරේ.
තෙරුවන් සරණින් සිරිලක ජනතාවට දැහැමි ජීවිත ගත කරන්නට ශක්තිය ලැබේවා!
පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්ථවිර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සිංහල අධ්‍යයන අංශය
කොළඹ විශ්වවිද්‍යාලය